වෙබ් ලිපිනය:

Tuesday, April 6, 2021

සමාජවාදී විකල්පය


මේ අවුරුද්දේ චීනය චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවස ලොකුවටම සමරන්න ලෑස්ති වෙනවා. ගෝඨාභය රාජපක්ෂත් චීන නායකයාට දුරකථනයෙන් කතා කරලා සුබ පතලා තිබුණා. චීන නායකයා කියන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයා. චීන කොමියුනිස්ට් පක්ෂය කියා කියන්නේ අද වන විට මිලියන 91ක සාමාජික පිරිසක් ඉන්න දැවැන්ත පක්ෂයක්. හැබැයි ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයින් ගණන එමෙන් දෙගුණයක්.

චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටවනු ලැබූ 1921 වසරේ සිට වසර පණහකට පෙර 1871දී දින 72ක් පැවතුණු පැරිස් කොමියුනය පිහිටවුනු ලැබුවා. රුසියන් විප්ලවයට උත්තේජනය සැපයුවේ පැරිස් කොමියුනය ලෙස සැලකෙනවා. චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටවනු ලැබුවේ රුසියන් විප්ලවයෙන් පසුව සෝවියට් දේශය පාලනය කළ සෝවියට් කොමියුනිස්ට් පක්ෂය අනුව යමින්. පසුව චීන කොමියුනිස්ට් පක්ෂය විසින් චීනයේ බලය අල්ලා ගත්තා. 

චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටවනු ලැබූ 1921 වසරේ සිට වසර පණහකට පසු 1971දී ජනතා විමුක්ති පෙරමුණ විසින් ලංකාවේ රාජ්‍ය බලය බලහත්කාරයෙන් ලබා ගෙන සමාජවාදී රාජ්‍යයක් පිහිටුවන්න අසාර්ථක උත්සාහයක් දැරුවා. ඉතා කෙටි කාලයකින් ජවිපෙ උත්සාහය පරාජය කෙරුණා. ඒ වෙද්දී ලෝක සමාජවාදී කඳවුර සෝවියට් කඳවුර හා චීන කඳවුර ලෙස දෙකට බෙදී සිටියා. ජනතා විමුක්ති පෙරමුණ සිටියේ චීනය පැත්තට බරවයි. 

මේ වන විට පැරිස් කොමියුනය බිඳ වැටිලා වසර 150ක්. චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවලා වසර 100ක්. ජවිපෙ පළමු කැරැල්ලට වසර 50ක්. සෝවියට් දේශය බිඳ වැටිලා වසර 30ක්. සෝවියට් සමාජවාදය බිඳ වැටුණත් චීන සමාජවාදය තවමත් ඉතිරි වී තිබෙනවා. චීනය හැරුණු විට සමාජවාදය ඉතිරිව තිබෙන්නේ චීනයට යාබදව පිහිටි තවත් රටවල් තුන හතරක හා කියුබාව වැනි වෙනත් රටවල් කිහිපයක පමණයි.

සමාජවාදය කියන වචනයට විවිධ අය විවිධ අර්ථකථන දෙනවා. මනෝරාජික සමාජවාදය ගැන මා විස්තර කර තිබෙනවා. මනෝරාජික සමාජවාදීන් ප්‍රායෝගිකව සාර්ථක වුනේ නැහැ. එහෙත් මනෝරාජික සමාජවාදය විවේචනය කරමින් ඉදිරිපත් කෙරුණු විද්‍යාත්මක සමාජවාදය හා ඒ මත පදනම් වූ මාක්ස්-ලෙනින්වාදය ලෝකයේ විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණා. චීනය තුළ මාක්ස්-ලෙනින්වාදය මත පදනම් වූ විද්‍යාත්මක සමාජවාදය හෝ එහි නෂ්ඨාවශේෂ තවමත් ජීවමානව පවතිනවා.

විද්‍යාත්මක සමාජවාදය අනුව අනාගතයේ දවසක කොමියුනිස්ට් සමාජයනම් වූ කේතුමතී රජදහනක් ඇති වෙනවා. එය කොහොමටත් සිදු වන දෙයක්. සමාජවාදය කියා කියන්නේ ඊට පෙර ඇති වන ධනවාදයට වඩා දියුණු, එහෙත් කොමියුනිස්ට් සමාජයක් නොවූ අතරමැදි තත්ත්වයක්. මේ තත්ත්වය මොන වගේ එකක්ද කියන එක හොඳින්ම පැහැදිලි කර තිබෙන්නේ සමාජවාදී සාහිත්‍යයේ ප්‍රධානම ලියැවිල්ලක් වන කොමියුනිස්ට් ප්‍රකාශනයේ. කොමියුනිස්ට් ප්‍රකාශනයේ මේ තත්ත්වය විස්තර කර තිබෙන්නේ කොමියුනිස්ට් සමාජයක මුල් අදියර ලෙසයි. ධනවාදයට විකල්පයක් ලෙස ඉදිරිපත් වූ සමාජවාදී සමාජයක් මොන වගේ එකක්ද කියා සෘජුව හා පැහැදිලිව කොමියුනිස්ට් ප්‍රකාශනයේ විස්තර කර තිබෙනවා.

සමාජවාදය කරා යාමේ පළමු පියවර වන්නේ වැඩ කරන ජනතාව විසින් විප්ලවයකින් රාජ්‍ය බලය පැහැර ගැනීම. 

"...the first step in the revolution by the working class, is to raise the proletariat to the position of ruling class..."

දෙවන පියවර වන්නේ එසේ ලබාගත් දේශපාලන අධිකාරී බලය ප්‍රයෝජනයට ගනිමින් රටේ සමස්ත ප්‍රාග්ධනය අයිතිකරුවන් වෙතින් පැහැරගෙන නිෂ්පාදන ක්‍රමවේද රජයේ මධ්‍යගත පාලනයකට යටත් කිරීම. 

"The proletariat will use its political supremacy, to wrest, by degrees, all capital from the bourgeoisie, to centralise all instruments of production in the hands of the State."

ඉන් පසුව, කොමියුනිස්ට් සමාජයක මුල් අදියර වන සමාජවාදී සමාජයක් ක්‍රියාත්මක වන ප්‍රධාන මූලධර්ම දහයක් කොමියුනිස්ට් ප්‍රකාශනය විස්තර කරනවා.

1.  පෞද්ගලික ඉඩම් අයිතිය අහෝසි කර ඉඩම් වෙනුවෙන් ලැබිය යුතු බදු කුලී සියල්ල රජය විසින් ලබා ගැනීම.

2.  ඉහළ ආදායම් ලබන්නන් මත වැඩි බරක් පැටවෙන පරිදි ආදායම් බදු අය කිරීම.

3.  උරුමයෙන් දේපොළ අයිති වීම සම්පූර්ණයෙන් අහෝසි කිරීම.

4.  රට හැර යන්නන්ගේ හා කැරලිකරුවන්ගේ සියලු දේපොළ රාජසන්තක කිරීම.

5.  ණය ලබා දීමේ ක්‍රියාවළිය රජය යටතේ පාලනය වන එක් බැංකුවක ඒකාධිකාරයට මුළුමනින්ම නතු කිරීම.

6.  සියලුම ජනමාධ්‍ය හා ප්‍රවාහනය රජයේ තනි පාලනයට යටත් කිරීම.

7.  රජයේ අයිතිය යටතේ කම්හල් ඇතුළු නිෂ්පාදන උපකරණ ව්‍යාප්ත කරන අතර පොදු සැලසුමක් යටතේ මුඩු බිම් වගා කිරීම හා පස සරු කිරීම.

8. සියලු දෙනාටම වැඩ කිරීම අනිවාර්ය කරමින් කාර්මික හමුදා හා වගා හමුදා ගොඩ නැගීම.

9. කෘෂිකර්මය හා කර්මාන්ත එකිනෙක සම්බන්ධ කරමින් ගම් සහ නගර අතර වෙනස අවම වන පරිදි ජනගහණය ව්‍යාප්ත කිරීම.

10. සියළු ළමුන්ට රජයේ පාසැල් වල මුදල් අය නොකර අධ්‍යාපනය ලබා දීම. එවකට පැවති ආකාරයෙන් ළමා ශ්‍රමය ලබා ගැනීම නවත්වා අධ්‍යාපනය හා කාර්මික නිෂ්පාදනය එකිනෙක සමඟ සම්බන්ධ කිරීම.

මාක්ස් හා එංගල්ස් විසින් කොමියුනිස්ට් ප්‍රකාශනය එළිදැක්වුවේ ලංකාවට නිදහස ලැබෙන්න සියවසකට පෙර 1848 වසරේදී. එහි සඳහන් ඉහත කරුණු දහයේ ලැයිස්තුව පදනම් වුනේ ඊට වසරකට පෙර එංගල්ස් විසින් කොමියුනිස්වාදයේ මූලධර්ම ලෙස ඉදිරිපත් කළ ලියැවිල්ලේ වූ කරුණු දොළහ මතයි. මේ කරුණු දොළහේ ලැයිස්තුව ඉහත කරුණු දහයට බොහෝ දුරට සමානයි.

සමාජවාදය කියා කියන්නේ ඔය ටික මිසක් වෙන කෙහෙම්මලක් නෙමෙයි. විශාල පිරිසක් මරණයට පත් කළ මාඕ සේතුන්ගේ මහා ඉදිරි පිම්ම හා ස්ටාලින් යටතේ රුසියාව කියා කියන්නේ ඔය ලැයිස්තුවේ අයිතමයන් හොඳින්ම ක්‍රියාත්මක කළ කාලවල්. සමගි පෙරමුණු ආණ්ඩුව සමාජවාදය කියලා ක්‍රියාත්මක කළේත් ඔය ලැයිස්තුවේ තිබුණු දේවල්. මාක්ස්-ලෙනින්වාදය යටතේ සමාජවාදය කියා කියන්නේ ඔය දේවල් එකින් එක හැකි පමණින් ක්‍රියාත්මක කරන එක.

එංගල්ස් විසින් පුරෝකථනය කළේ කාර්මික සංවර්ධනය අතින් වැඩියෙන්ම ඉදිරියෙන් හිටපු බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය හා ඇමරිකාව යන රටවල් වල මුලින්ම සමාජවාදී විප්ලවය වෙයි කියලා. නමුත් මේ රටවල් හතරෙන් එකකවත් තවම ඔය කියන විදිහේ සමාජවාදී විප්ලවයක් වෙලා නැහැ. වෙන පාටක් පෙනෙන්නත් නැහැ. විප්ලවය වුනේ පැත්තක තිබුණු රුසියාවේ. ඊට පස්සේ චීනයේ. අනෙක් ගොඩක් රටවල් එක්කෝ රුසියාව විසින් ඈඳා ගත්තා. නැත්නම් පැත්තක ඉඳලා කැරැල්ලක් මෙහෙයවූවා. චීන සමාජවාදය හැදෙන තුරුම බොහෝ දුරට සමාජවාදය කරා යාම වුනේ රුසියාවට රටවල් එකතු වෙන එක.

චීනය සමාජවාදී වුනාට පස්සේ සමාජවාදී ලෝකය දෙකට බෙදුනා. චීනය සෝවියට් දේශයේ පරිවාර රාජ්‍යයක් වුනේ නැහැ. චීනය වගේ ලොකු ජනගහණයක් සිටින රටක් තවත් රටක පරිවාර රාජ්‍යයක් කර ගන්න අමාරුයි. බ්‍රිතාන්‍යය විසින් පාලනය කළ ඉන්දියාව දැන් තනි රටක් වුනත් එය මුලදී චීනය වගේ තනි රටක්ව පැවතුනේ නැහැ.

සෝවියට් සමාජවාදය බිඳ වැටුණත් චීන සමාජවාදය තවමත් ඉතිරිව තිබෙනවා. එය බිඳ වැටෙන බවක් පෙනෙන්නත් නැහැ. යම් හෙයකින් එංගල්ස් විසින් පුරෝකථනය කළ බටහිර රටවල් හතරේ සමාජවාදී විප්ලවයක් එකවර සිදු වුනානම් බොහෝ විට මේ වෙද්දී ලෝකයම සමාජවාදී වෙලා. සමාජවාදය ධනවාදයට වඩා අකාර්යක්ෂම හා පසුගාමී ක්‍රමයක් වුවත් එයට ස්ථායී ලෙස පැවතිය හැකියි.

සමාජවාදයක් පවත්වා ගෙන යන්න ලැයිස්තුවේ හයවන හා දහවන කරුණු ඉතාම වැදගත්. සියලුම මාධ්‍ය පාලනය කරන්නේ රජය විසින් කියා කියන්නේ මිනිස්සුන්ට දැන ගන්න ලැබෙන්නේ රජය කියන දේවල් විතරයි. සියලුම ළමුන්ට රජයේ පාසැල් හරහා අනිවාර්ය අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණ පොඩි කාලේ ඉඳලම ඔලු හදන එකයි. මේ දෙක පමණක් කිරීමෙන් වුවත් ක්‍රමය ස්ථායී ලෙස පවත්වා ගෙන යන්න පුළුවන්. අඩුපාඩු තේරෙන්නේ වඩා සාර්ථක විකල්පයක් පෙනෙන්න තිබුනොත් පමණයි. යම් හෙයකින් ඉඳහිට කෙනෙක්ට ක්‍රමයේ අවුල පෙනුනත් ප්‍රාග්ධනය වගේම ප්‍රාග්ධනය ඉපැයීමේ මාර්ගත් තියෙන්නේ රජය යටතේ නිසා නිදහස් වෙන්න මාර්ගයක් නැහැ.

සෝවියට් දේශය බිඳ වැටුණේ සමාජවාදී ලෝකයෙන් පිටත ධනවාදී ලෝකයේ සාර්ථකත්වය දිගෙන් දිගටම වහගෙන ඉන්න බැරි වූ නිසා. අන්තිම කාලයේදී ප්‍රතිසංස්කරණ ගෙනාවත් එතකොට පරක්කු වැඩියි. හැබැයි සෝවියට් දේශය වැටුණු වලේ චීනය වැටුණේ නැහැ. චීනය විසින් උපක්‍රමික ලෙස ලෝකයේ බලවත්ම ආර්ථිකය බවට පත් වන තුරු යම් තරමකින් සමාජවාදය අත ඇරියා. දැන් චීනය සමාජවාදය ආරක්ෂා කරගත හැකි තරමට "ලොකු වෙලා".

Monday, April 5, 2021

සකලබුජන් කොට කලිසම්

ටොමී හිල්ෆිගර් කොට කලිසමට නැවත එමු. ඇමරිකාවේ ඔය වගේ සාමාන්‍ය කොට කලිසමක මිල ඩොලර් 55ක් වීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. එහෙත් එයින් අදහස් වන්නේ ඇමරිකාවේ කොට කලිසමක් ඩොලර් 55ක් කියන එකම නෙමෙයි. ඔය මිල ඇමරිකාවේ වුනත් ඔය වගේ සාමාන්‍ය කොට කලිසමකට ටිකක් ඉහළ මිලක්. 

මම පෞද්ගලිකව කවදාවත් කොට කලිසමකට ඩොලර් 20කට වඩා වියදම් කරලා නැතුව ඇති. ඒ වගේම, මම ඇඳුමක් ගනිද්දී සන්නාම බලන්නේ නැහැ. මගේ පවුලේ අනෙක් අයත් ඇඳුම් මිල දී ගනිද්දී සන්නාම පස්සේ යන්නේ නැහැ. මේ කාරණයේදී මම අවුට්ලයර් කෙනෙක් කියලයි මම හිතන්නේ.

මගේ ඇමරිකාවේ ජීවිතයට මම කැමති හේතු අතරින් එක හේතුවක් ඇඳුම් වෙනුවෙන් ඕනෑවට වඩා කාලයක් යොදවන්න අවශ්‍ය නොවීම. ඔය තියෙන එකක් ඇඳගත්තා. යන්න ඕනෑ තැනට ගියා. ටී ෂර්ට් එක කණපිට ඇඳගෙන යන එක සාමාන්‍යයෙන් මාසයකට පාරක්වත් වෙන දෙයක්. ඕවා කවුරුවත් ගණන් ගන්නවද නැද්ද කියලවත් මම දන්නේ නැහැ.

කොහොමටත් මට මිනිස්සුන්ගේ ඇඳුම් පැළඳුම් අවධානයට ලක් වෙන්නේ ඉතාම අඩුවෙන්. සමහර වෙලාවට කවුරු හරි අමුත්තෙක් සම්බන්ධව විස්තර කරද්දී අහන දෙයක් තමයි මොන පාට ඇඳුමක්ද ඇඳගෙන හිටියේ කියන එක. ඔය ප්‍රශ්නෙට මට ජීවිතේට උත්තර දෙන්න බැහැ. 

පාට මතක නැත්නම් ඇඳලා හිටියේ ගවුමක්ද සාරියක්ද කියලා මතකද? ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න සිදු වී ඇති වාර ගණනත් ඉතාම විශාලයි. මොන පිස්සුද? කාටද ඕවා මතක හිටින්නේ? හොඳ වෙලාවට පොලීසියක උසාවියක සාක්කි දෙන්න වෙලා නැහැ. හැබැයි අනෙක් පැත්තට සමහර වෙලාවට දකින වාහනයක නොම්මරේ, කණට ඇහෙන දුරකථන අංකයක්, උපන් දින වගේ ඒවානම් මතක හිටිනවා. 

ඇඳුම් ගනිද්දී සන්නාමය බැලුවේ නැති වුනත් වාහනයක් හෝ පරිගණයක් ගනිද්දී මම සන්නාමය බලනවා. ඔය වගේ සන්නාමය බලන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ටොමී හිල්ෆිගර් සන්නාමය ගැනනම් මම හොයා ගත්තේ අන්තර්ජාලය පීරලා. බලාගෙන ගියාම මගේ සමහර මිතුරි මිතුරියනුත් මේ සන්නාමයේ ෆෑන්ස්ලා.

ටොමී හිල්ෆිගර් වෙබ්සයිට් එකට ගිහින් කොට කලිසම් සර්ච් කළාම ආපු කලිසම තමයි උඩ තියෙන්නේ. එහි සාමාන්‍ය මිල ඩොලර් 55ක්. රුපියල් 200 ගානේ බැලුවොත් එකොළොස්දාහ හරි. හැබැයි විකුණන්නේ 51%ක් අඩු කරලා ඩොලර් 26.99කට. මේ මිලට දින දෙකක් ඇතුළත තැපැල් කර එවීමේ ගාස්තුවත්, කලිසම එපානම් ආපසු එවීමේ ගාස්තුවත් ඇතුළත්. ඒ අනුව බැලුවොත් කලිසම වෙන්නේ ඩොලර් විස්සක් වගේ.

ඔය ටොමී හිල්ෆිගර් වෙබ්සයිට් එකේ මිල. ඔය වගේ කලිසම් වෙන තැන් වලිනුත් මිල දී ගන්න පුළුවන්. අන්තර්ජාලයේ හෙවුවහම ඩොලර් 13ටත් තියෙනවා. මේක ඇමරිකාවේ සාමාන්‍ය තත්ත්වය. ඇඳුමක් ඩොලර් පනහක් හැටක් වුනත් ටිකක් හෙවුවොත් ඔය කියන ගානට වඩා ගොඩක් අඩුවෙන් මිල දී ගන්න පුළුවන්. ඔය සන්නාම සහිත ඇඳුම් විකුණන සාප්පුවකට ගියාම ඕනෑම දවසක විශාල වට්ටමකට විකුණන ඇඳුම් යම් ප්‍රමාණයක් තිබෙනවා. ගොඩක් අය මිල දී ගන්නේ ඔය ගොඩේ ඇඳුම්. හැබැයි තමන්ට ඕනෑ ඇඳුමම ගන්නනම් එහි මිල ගෙවන්න වෙනවා.

ඩොලර් පණහකට මිල කරලා තිබෙන ඇඳුමක් ඩොලර් විසිපහකට විකුණන එක සාමාන්‍ය තත්ත්වයක් කියා කියන්නේ ඇඳුම විකුණන්නේ එකට එකක් ලාබ තියාගෙන කියන එකනේ. ඇත්ත. එවැනි ලාබයක් ඔවුන් තියා ගන්නවා. මේක මේ කර්මාන්තයේ ස්වභාවය.

මම ඔහේ අහුවෙන ඇඳුමක් ඇඟේ දාගෙන ගියාට ගොඩක් අය ඇඳුම් ගැන සැලකිලිමත්නේ. ඒ වගේ අය තමන්ගේ ඇඟට ගැලපෙන, හොඳ, ඇඳුමක් හොයන්නේ තමන් ඇසුරු කරන අය අතර කැපී පෙනෙන්න. 

මේක මම නිශේධනීය අර්ථයකින් කියන දෙයක් නෙමෙයි. අපි හැමෝම විවිධ ආකාර වලින් අනෙක් අය අතර කැපී පෙනෙන්න උත්සාහ කරනවා. වෙනත් විදිහකින් කිවුවොත් විවිධ ආකාර වලින් "මම" කියන අනන්‍යතාවය නඩත්තු කරනවා. මේ එක ක්‍රමයක් හොඳ වෙන්නත් තව ක්‍රමයක් නරක වෙන්නත් හේතුවක් නැහැ.

හැමෝම අඳින විදිහේ ඇඳුමක් ඇඳලා කැපී පෙනෙන්න බැහැ. ඒකට ටිකක් වෙනස් ඇඳුමක් අඳින්න ඕනෑ. ඒ වෙනස් ඇඳුම හැමෝම මිල දී ගත්තොත් එය තව දුරටත් වෙනස් ඇඳුමක් වෙන්නේ නැහැ. ඒ නිසා හැමදාම අලුත් මෝස්තර වලට ඉල්ලුමක් තිබෙනවා. මේ ඉල්ලුම සපයන මෝස්තර කර්මාන්තයක් තිබෙනවා. ටොමී හිල්ෆිගර් සන්නාමයේ නිර්මාතෘ ටොමී හිල්ෆිගර් කියන්නෙත් මෝස්‌තර සැලසුම් ශිල්පියෙක්. 

අලුත් ඇඳුම් මෝස්තරයක් වෙළඳපොළට දමන එකේ ස්ථිර පිරිවැයක් තිබෙනවා. සාමාන්‍යයෙන් නිෂ්පාදන ක්‍රියාවලියක ස්ථිර පිරිවැය හදන ඒකක ප්‍රමාණය අතර බෙදී යනවා. එහෙත් මෝස්තර නිර්මාණය වගේ කටයුත්තකදී පිරිවැය බෙදා හැරිය හැක්කේ අදාළ මෝස්තරයේ ඇඳුම් සීමිත ප්‍රමාණයක් අතර පමණයි. එකම මෝස්තරයෙන් වැඩි ඇඳුම් ප්‍රමාණයක් හැදුවොත් මෝස්තරයේ වටිනාකම අඩු වෙනවා.

කොට කලිසමක් ඩොලර් පණහකට මිල කරන්නේ එහි මෝස්තරය වෙනුවෙන් වටිනාකමක් දෙන, මෝස්තරය වෙනුවෙන් මිලක් ගෙවන්න කැමති පාරිභෝගිකයන් ඉලක්ක කරලා. ටික දවසක් යද්දී ඒ ඉල්ලුම ඉවර වෙනවා. සමහර විට මෝස්තරය හිට් වෙන්නෙම නැහැ. අපි වගේ ඔය කොට කලිසම කොට කලිසමක් සේ පමණක් වටිනා සේ සලකා එයට අඩු වටිනාකමක් දෙන පාරිභෝගිකයන්ට ඩොලර් විස්සක් විසිපහක් ගෙවා කලිසම මිල දී ගන්න ලැබෙන්නේ ඊට පස්සේ.

කලිසම එකම වුනත් එයට එක් එක් පාරිභෝගිකයා විසින් දෙන්නේ වෙනස් වටිනාකම්. ඇමරිකාවේ සමහර සාප්පු වල ප්‍රසිද්ධ සන්නාම සහිත ඇඳුම් සාමාන්‍ය මිලට වඩා ගොඩක් අඩුවෙන් විකුණනවා. ඇඳුමේ සන්නාමය තිබුණත් ඒ වගේ සාප්පුවක ලොකු තේරීමක් නැහැ. එහෙම තැන් වලට යන්නේ ලාබෙට ඇඳුම් හොයන අය. පාරිභෝගිකයෝ ගොඩයි. ඇඳුම් ටිකයි. ලාබ ආන්තිකය ටිකයි. ලාබය එන්නේ විකිණෙන ප්‍රමාණයෙන්.

ඕකේ අනෙක් අන්තයත් තිබෙනවා. සමහර සාප්පු ඉලක්ක කරන්නේම ඇඳුමකට ඉහළ වටිනාකමක් ගෙවන්න සූදානම් පාරිභෝගිකයින්. ඒ වගේ තැනක පාරිභෝගිකයෙකුට තමන් කැමති ඇඳුමක් තෝරා ගන්න මෝස්තර විශාල ප්‍රමාණයක් තිබෙනවා. සාප්පුවේ ඇඳුම් ප්‍රමාණයට පාරිභෝගිකයෝ අඩුයි. විකිණෙන්නේ ඇඳුම් ටිකයි. නමුත් ලාබ ආන්තිකය ඉහළයි. සාප්පුවේ ලාබය එන්නේ ලාබ ආන්තිකයෙන්. 

ඩොලර් විස්සේ හෝ විසිපහේ කොට කලිසමක වටිනාකම ඩොලර් පනහක් හෝ පනස් පහක් වෙන්නේ ඔය වගේ සාප්පුවකදී. ලංකාවේ ඇඟලුම් කම්හලෙන් එළියට එද්දී ඔය කොට කලිසමේ වටිනාකම ඩොලර් පනස් පහක් වෙලා නැහැ. ඩොලර් පනස් පහේ ටැග් එක ගහන්නේනම් ලංකාවේදී වෙන්න පුළුවන්.

කලිසමට අන්තිම ඩොලර් තිහේ අගය එකතු වෙන්නේ එය විකුණන සාප්පුවේදී. කලිසමේ වටිනාකමට ඒ ඩොලර් තිහ එකතු වෙන්න සාප්පුවේ වෙනත් මෝස්තර වල කලිසම් විශාල ප්‍රමාණයක් තියෙන්න ඕනෑ. සැලකිය යුතු සේවක පිරිසක් ඉන්න ඕනෑ. සාප්පුව එය තිබෙන තැනම පවත්වාගෙන යන්න ඕනෑ. තව ගොඩක් දේවල් කරන්න ඕනෑ. කලිසමේ වටිනාකම ඩොලර් තිහකින් ඉහළ යද්දී ඔය අනෙකුත් වියදම්ද ඒ ප්‍රමාණයටම ඉහළ යනවා. 

ඉහළ ගිය ඩොලර් තිහේ වටිනාකම එහි වටිනාකම ඉහළ දැමීමට දායක වූ අයගේ ශ්‍රමයේ හෝ ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය අනුව බෙදී යනවා. මේ විදිහට වටිනාකම අමතර ඩොලර් තිහකින් ඉහළ යාම තනිකරම ඇමරිකාවේදී සිදු වන දෙයක්. එයට ලංකාවේ ඇඟලුම් සේවිකාවන්ගේ දායකත්වයක් නැහැ. ලංකාවේදී තමන්ගේ කොටස මහලා පඩිය ගත්තට පස්සේ ඔවුන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ලැබිලා ඉවරයි.

ලංකාවෙන් එළියට එද්දී ඔය කොට කලිසමක් ඩොලර් විස්සක් වෙලත් නැහැ. වටිනාකම ඩොලර් විස්සක් වෙන්නෙත් අදියර ගණනාවකින්. ඒ හැම අදියරකදීම කලිසමේ වටිනාකමට එකතු වන අතිරික්ත වටිනාකම එම අතිරික්ත වටිනාකම සපයන අය අතර ඔවුන්ගේ ශ්‍රමයේ හෝ ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවයට සමානුපාතිකව බෙදී යනවා. 

Sunday, April 4, 2021

එකොළොස් දාහේ කොට කලිසම


වත්පතේ විශාල ලෙස සංසරණය වුනායැයි සඳහන් සටහනක් අපේ වියුණුවේ ප්‍රතිචාර කොටසේ දෙවරක්ම පළ වී තිබුණා. පළමු වර ප්‍රතිචාරයක් නොදැම්මත්, දෙවන වරටත් මෙය නැවත පළ වීමෙන් පසුව කෙටි ප්‍රතිචාරයක් දැම්මා. ඒ ප්‍රතිචාරය ගැන අප සමඟ නිතර අදහස් හුවමාරු කර ගන්නා පාඨකයෙක් විසින් විමසීමක්ද කර තිබුණා.

කාගේ හෝ අදහසක් බොළඳ හෝ මෝඩ අදහසක් ලෙස වර්ග කර නොසලකා හැරීම හොඳ දෙයක් කියා මම හිතන්නේ නැහැ. අද ලෝකය මුහුණ පාන ගොඩක් ප්‍රශ්න වල හේතු වී තිබෙන්නේ උගතුන් හෝ බුද්ධිමතුන් ලෙස තමන් ගැන හිතන අය අනෙක් අයව කාලයක් තිස්සේ නොසලකා හැරීමයි. අන්තිමට ඒ වලේම වැටීම මගේ ඉලක්කයක් නෙමෙයි. මේ වියුණුව පටන් ගත්තේම බොළඳ හෝ මෝඩ අදහස් ලෙස බැහැර නොකර කාගේ වුවත් අදහස් වලට ඉඩක් විවර කර දිය යුතුයි කියන විශ්වාසය පෙරදැරිවයි. 

එය එසේ වුවත් අපගේ කාලයේ විශාල ආවස්ථික පිරිවැයක් තිබෙනවා. විවිධ පාඨකයින් අපගෙන් විවිධ දේ අපේක්ෂා කරන නමුත් ඒ හැම ඉල්ලීමක්ම ඉටු කිරීමේ හැකියාවක් අප‍ට නැහැ. ඒ නිසා ප්‍රමුඛතා හඳුනා ගැනීමක් කරන්න වෙනවා. බොළඳ හෝ මෝඩ අදහසක් ලෙස වර්ග කර බැහැර නොකළත් අපේ වියුණුව කියවන බවක් අප නොදන්නා කොහේවත් ඉන්න කෙනෙක් කොහේ හෝ කියා තිබෙන දෙයක් ගැන අදහස් දක්වන්න කාලය යොදවන එකේ ප්‍රයෝජනයක් තිබෙන්නේ එවැන්නක් අප මෙහි කතා කරන කරුණකට සම්බන්ධ වන මානයක් ඇත්නම් පමණයි. 

ප්‍රස්තුත ප්‍රතිචාරය ඇමරිකාවේදී රුපියල් 11,000ක පමණ මිලකට විකිණෙන රුපියල් 34,000ක මාසික වැටුපකට සේවය කරන ලංකාවේ ඇඟලුම් සේවිකාවන් විසින් මහන කොට කලිසමක් ගැනයි. ප්‍රතිචාරයේ ටොමී හිල්ෆයිටර් ලෙස සඳහන්ව තිබෙන්නේ ටොමී හිල්ෆිගර් සන්නාමය පිළිබඳව විය යුතුයි.

ෂැං‍ග්‍රිලා හෝටලය හදපු ශ්‍රමිකයෙකුට ෂැං‍ග්‍රිලා හෝටලය සල්ලි වලට ගන්න බැහැ වගේම එහි කාමරයක් කුලියට ගෙන නැවතී ඉන්න හෝ දිනපතා එම හෝටලයෙන් දවල් කෑම කන්න බැහැ. ඇමරිකාවේ බෝයිං සමාගමේ වැඩ කරන සේවකයෙකුට තමන්ගේ දායකත්වයෙන් හදපු ගුවන් යානයක් මිල දී ගන්න බැහැ. ටොමී හිල්ෆිගර් සන්නාමය දරන කොට කලිසමක් මහන්න දායකත්වය ලබා දෙන ඇඟලුම් සේවිකාවකට තමන් මහන කොට කලිසමක් මිල දී ගන්න පුළුවන් විය යුතුයි කියා සිතීම ඉතාම බොළඳ අදහසක්.

මේක අලුත් සංසිද්ධියක් නෙමෙයි. කතාවට කියන්නේ වඩුවාගේ ගෙදර පුටුවක් නැහැ කියලා. වඩුවාගේ ගෙදර පුටුවක් නැත්තේ වඩුවාට පුටුවක ලොකු වටිනාකමක් නැති නිසා. වඩුවා වැඩ නැතිව ගෙදර ඉන්න දවස් තිබෙනවා. එහෙම දවසක ඕනෑනම් මහන්සි වෙලා තමන්ගේ ගෙදර පාවිච්චියට පුටුවක් හදාගන්න බැරිකමක් නැහැ. නමුත් වඩුවාට ගෙදර පාවිච්චියට පුටුවක් හදනවාට වඩා ඒ දවස විවේකයෙන් ගත කරන එක වටිනවා. වටිනාකම් කියන ඒවා සාපේක්ෂයි.

දැන් මේ සකලබුජන් කොට කලිසම් තර්කයේ පදනම ලංකාවේ ඇඟළුම් සේවිකාව විසින් රුපියල් 11,000ක වාස්තවික වටිනාකමක් තිබෙන කොට කලිසමක් නිර්මාණය කරලා තිබෙනවා කියන එකයි. එහෙමනම් කාට වුනත් මේ කොට කලිසමක් රුපියල් 11,000ක් වටින්න ඕනෑ. ඒක එහෙම නොවන බව අපි දන්නවා. ඔය ඇඟලුම් සේවිකාවට මාසේ වැටුප් නොගෙවා හිල්ෆිගර් කොට කලිසම් හතරක් දුන්නොත් ඇය එය බාර ගනියිද?

කොට කලිසමක් රුපියල් 11,000ක් වටිනවානම් කලිසම් හතරක් රුපියල් 44,000ක් වටිනවා විය යුතුයි. ඒ කියන්නේ ඇඟලුම් සේවිකාවගේ මාසික වැටුප රුපියල් 10,000කින් වැඩි වෙලා. නමුත් එය එසේ නොවන බව කාට වුනත් තේරෙනවා කියා මම හිතනවා. මාසික වැටුප වෙනුවට ඔය කොට කලිසම් හතරක් නෙමෙයි දහයක් දුන්නත් ඇය එම අර්පණය භාර ගන්නේ නැහැ. ඇයට ඔය කොට කලිසමක් සමහර විට රුපියල් දාහක්වත් වටින්නේ නැහැ.

මෙතැන තියෙන්නේ ධනවාදය තමයි. හැබැයි ලංකාවේ ඇඟලුම් සේවිකාව විසින් නිර්මාණය කරන රුපියල් 11,000ක අතිරික්ත වටිනාකමකින් සොච්චමක් ඇයට ඉතිරි කර ඉතිරි කොටස ඇගෙන් සූරාගැනීමක් නෙමෙයි. මසා අවසන් වෙද්දී බොහෝ විට රුපියල් දාහක්වත් නොවටිනා කොට කලිසමේ අගය නිදහස් ගනුදෙනු හරහා රුපියල් 11,000ක් දක්වා ඉහළ යාමකුයි මෙහිදී වෙන්නේ. එහි වාසිය විශාල පිරිසක් අතර ඉතාම සාධාරණ ලෙස, ඔවුන්ගේ දායකත්වයට සමානුපාතිකව, බෙදී යනවා. මෙය සිදු වන ආකාරය ඉදිරියේදී විස්තර කරන්නම්.

දැන් ඩොලර් එක රුපියල් 200ක් පමණ. ඒ කියන්නේ රුපියල් 11,000ක් කියා කියන්නේ ඩොලර් 55ක් පමණ. ඔය වගේ මුදලකට හිල්ෆිගර් කොට කලිසමක් ඇමරිකාවේදී විකිණෙනවා කියන එක ඇත්ත. දැන් මේ කොට කලිසම ලංකාවේ මුදලින් රුපියල් 11,000ක් වෙන්නේම ඩොලරය රුපියල් 200ක් වීම නිසා. 

මීට අවුරුදු පණහකට පෙර ඇමරිකන් ඩොලරයක් රුපියල් පහක්වත් වුනේ නැහැ. විණිමය අනුපාතිකය ඒ මට්ටමේම තිබුණානම් මේ කොට කලිසමේ මිල රුපියල් වලින් 260ක් වගේ ගණනක්. ඒ වගේ මිලක් ලංකාවේ ඇඟලුම් සේවිකාවකට දරා ගන්න බැරි මිලක් නෙමෙයි. ඇමරිකන් ඩොලර් 55 රුපියල් 260ක් නොවී රුපියල් 11,000ක් වෙලා තියෙන්නේ ඩොලරයක මිල රුපියල් 4.76 ලෙස නොතිබී රුපියල් 200 වී තිබෙන නිසයි. මෙතැනදී වෙනස් වී තිබෙන්නේ ඇමරිකානුවන්ගේ වටිනාකම් ලංකාවේ මිනිස්සු දකින මිනුමයි.

රුපියල් 4.76ට තිබුණු ඩොලරය අවුරුදු පණහකට පස්සේ රුපියල් 200 වී තිබෙන්නේ කොහොමද? ඔය කාලය තුළ රුපියලේ වටිනාකම එපමණ බාල්දු වන තුරු සල්ලි අච්චු ගැසීම නිසා. සල්ලි අච්චු ගහන්න සිදු වී තිබෙන්නේ ඇයි? රජයේ අයවැය හිඟය නිසා. රජයේ අයවැය හිඟයට හේතුව කුමක්ද? ආදායම ඉක්මවා වියදම් කිරීම. 

නිදහසෙන් පස්සේ ලංකාවේ රජය විසින් දිගින් දිගටම කරලා තියෙන්නේ ආදායම ඉක්මවා වියදම් කිරීම. ඇමරිකාවේ ඩොලර් 55ට විකිණෙන ටොමී හිල්ෆිගර් කොට කලිසමක් රුපියල් 260ක් නොවී රුපියල් 11,000ක් වී තිබෙන්නේ ලංකාවේ රජය විසින් සල්ලි අච්චු ගැසීම හරහා දිගින් දිගටම කර තිබෙන, තවමත් කරන සූරාකෑම හරහා. ඔය සූරාකෑමට වග කියන්න ඕනෑ කවුද? එක පැත්තකින් මාක්ස්. අනෙක් පැත්තෙන් කේන්ස්.

ඇමරිකාවේ ඩොලර් 55කට විකිණෙන කොට කලිසමක රුපියල් අගය ලංකාවේ තරුණයෙකුට විහිළුවක් වන මට්ටමට රුපියල පිරිහී තිබෙන්නේ ලංකාවේ ඉපදුනු මාක්ස්ගේ දරුවන් හා කේන්ස්ගේ දරුවන් අතර සහජීවනය නිසා. 

Saturday, April 3, 2021

සල්ලි බාල්දු වීමේ කතාව


සීනි සීරිස් එකට දවස් ගාණක් යට වුනානේ. අපි නැවතත් ඊට කලින් කතා කරපු අයිසෙක් නිවුටන්ගේ කාලයට යමු. නිවුටන් විසින් ඉදිරිපත් කරපු, දැනටත් බොහෝ දෙනෙක් ඉගෙන ගන්න, භෞතික විද්‍යා ප්‍රවාද ගොඩක් ප්‍රචලිතයිනේ. නිවුටන් මේ ප්‍රවාද ඉදිරිපත් කළේ පෙනෙන්න තිබෙන දේවල් දිහා වියුක්ත ලෙස බලලා. නිවුටන් කියා කියන්නේ ඒ කාලයේ හැටියට ගොඩක් හොඳින් වියුක්ත ලෙස හිතන්න පුළුවන්කම තිබුණු කෙනෙක්.

අයිසෙක් නිවුටන් 1696 අවුරුද්දේ ඉඳලා අවුරුදු තිස් එකක් එංගලන්තයේ රාජකීය ටන්කනයේ එහෙමත් නැත්නම් රෝයල් මින්ට් එකේ වෝඩන් හා පසුව මාස්ටර් ලෙස සේවය කළ බව මම කිවුවනේ. ඔය කාලයේ එංගලන්තය මුහුණ දුන්න බරපතලම ප්‍රශ්නයක් වුනේ එංගලන්තයේ මුදල් ලෙස භාවිතා කළ රිදී කාසි වක්කඩ කැඩුවා වගේ රටින් පිටතට යන එක. මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන එක නිවුටන් හමුවේ තිබුණු අභියෝගයක්.

මුදල් වල ඉතිහාසය දිහා බැලුවොත්, ආරම්භයේදී මුදල් කියන්නේ මිනිස්සුන්ට අවශ්‍ය අනෙකුත් පාරිභෝගික භාණ්ඩ වලට වඩා ලොකු වෙනසක් නොතිබුණු දෙයක්. ආභරණ වැනි දේ හදන්න මිනිස්සු රන් හා රිදී භාවිතා කළා. එම ලෝහ වල මිල තීරණය වුනේ පුද්ගලයින්ට සාපේක්ෂව එක් එක් පුද්ගලයාගේ ප්‍රයෝජ්‍ය වටිනාකම් මත පදනම් වූ ඉල්ලුම හා ලෝහ කැණීම මත තීරණය වූ සැපයුම සමතුලිත වීමෙන්. වෙනත් පාරිභෝගික භාණ්ඩයක මිල තීරණය වන ආකාරයටම තමයි. මෙහිදී මිල කියා කියන්නේ හුවමාරු වටිනාකම. හුවමාරුව සිදුවෙන්නේ කුමක් සමඟ හෝ වෙන්න පුළුවන්.

රන් හා රිදී කාසි ලෙස, ආභරණ ලෙස වගේම වෙනත් විවිධ ස්වරූප වලින් තිබුණා. මොන විදිහට තිබුණත් වටිනාකම තීරණය වුනේ (බොහෝ දුරට) ලෝහ ප්‍රමාණය මත. කාසි උණු කරලා ආභරණත්, ආභරණ උණු කරලා කාසිත් හැදුවා. මිනිස්සු පාරිභෝගික භාණ්ඩ මේ කාසි සමඟත්, වෙනත් පාරිභෝගික භාණ්ඩ සමඟත් හුවමාරු කළා. කාසි හදා තිබුණු ලෝහත් පාරිභෝගික භාණ්ඩම වූ නිසා ඔය දෙකේ ලොකු වෙනසක් තිබුණේ නැහැ. 

පොල් අවාරෙට පොල් ගණන් යනවා වගේ, වාරකන් කාලෙට මාළු ගණන් යනවා වගේ රන් හා රිදී වල මිල ගණනුත් එකිනෙකින් ස්වායත්තව වෙනස් වුනා. හාල් පොල් මිල ගණන් වගේම මේ මිල ගණන් වෙනස් වීම්ද හැම තැනකම එකම අනුපාතයකින් සිදු වුනේ නැහැ. ඒ නිසා, සමහර රටවල රිදී වලට සාපේක්ෂව රන් මිල ඉහළ යද්දී තවත් රටවල එය ඒ විදිහටම වුනේ නැහැ. 

ලංකාවේ සීනි හදනවාට වඩා අඩු මිලකට ඉන්දියාවෙන් සීනි මිල දී ගන්න පුලුවන් නිසා ලංකාව ඉන්දියාවෙන් සීනි ආනයනය කරනවා වගේ එංගලන්තයේ රිදී මිල අඩු වූ නිසා වෙනත් රටවල්, විශේෂයෙන්ම ඉන්දියාව හා චීනය, එංගලන්තයෙන් රිදී ආනයනය කළා. එංගලන්තය රන් වලට හොඳ මිලක් ගෙවපු නිසා රන් එංගලන්තයට අපනයනය කළා. මේ දේවල් සිදු වුනේ ඉල්ලුම හා සැපයුම මත හා මා මගේ ජාත්‍යන්තර වෙළඳාම ගැන ලියද්දී විස්තර කළ සංසන්දනාත්මක වාසිය කියන සංකල්පයෙන් විස්තර කරන ආකාරය අනුවයි. හැබැයි ඔය ප්‍රවාද දෙකෙන් එකකවත් ඔය කාලය වෙද්දී ඉදිරිපත් වී තිබුණේ නැහැ. ඒවා ආවේ පස්සේ.

නිවුටන් වගේම ඊට කලින් හා පසුව සිටි තවත් බොහෝ අය දැනුම සොයනවා කියලා කළේ ලෝකයේ පෙනෙන්නට තිබෙන සිදුවීම් සිදුවන සාධාරණ නීති මොනවාද කියලා එළිදරවු කරගන්න උත්සාහ කරන එකයි. එහෙම කළේ අපි නොදන්නවා වුවත් එවැනි සාධාරණ නීති තිබෙනවා කියන පරම විශ්වාසයෙන්. උදාහරණයක් විදිහට ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ඇසුරෙන් විවිධ වස්තූන් උඩ සිට බිමට වැටෙන එක සාධාරණ ලෙස පැහැදිලි කළ හැකි වුනා. ඒ වෙද්දී භෞතික විද්‍යා විෂය ක්ෂේත්‍රයට අයිති බොහෝ නිරීක්ෂණ මෙවැනි සාධාරණ නීති හෝ ප්‍රවාද ඇසුරෙන් සාර්ථකව පැහැදිලි කළ හැකිව තිබුණා.

නිවුටන් එංගලන්තයේ රිදී කාසි ප්‍රශ්නය විසඳන්න අත ගැහුවේත් මෙවැනි ප්‍රවේශයකින්. ඔහු රන් වලට සාපේක්ෂව රිදී වල නියම වටිනාකම හොයන්න උත්සාහ කළා. ස්ටර්ලින් පවුම් 4.25ක වටිනාකම රන් අවුන්සයක වටිනාකමට සමාන සේ ඔහු නිගමනය කළේ මේ ප්‍රවේශය අනුව අධ්‍යයනයක් කරලා. 

හැබැයි නිවුටන්ට මේ කටයුත්තේදීනම් වියුක්තව හිතලා වියුක්ත ප්‍රවාදයක් හදන්න බැරි වුනා. ඔහු පවුමක නියම වටිනාකම තීරණය කළේ යුරෝපයේ රටවල් දෙස බලා යුරෝපයේ මිල නියම මිල ලෙස සලකලා. ඒ වෙද්දී එංගලන්තය මුහුණ දුන් ආකාරයේ ප්‍රශ්නයකට යුරෝපය මුහුණ දී සිටියේ නැහැ. නිවුටන්ගේ යුරෝ කේන්ද්‍රීය දැක්ම නිසා ඔහුට ඉන්දියාවේ හා චීනයේ වෙළඳපොළ පරිමාවේ බලපෑම මග හැරුණා. අන්තිමේදී නිවුටන් විසින් තීරණය කළ මිල රිදී වල ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිල නෙමෙයි. ඒ නිසා, එංගලන්තයේ රිදී කාසි සියල්ලම වගේ රටින් පිටතට ඇදී ගොස් එංගලන්තයට රන් සම්මතයකට යන්න වුනා.

මේ වැඩෙන් එංගලන්තය අමාරුවේ වැටුණේ නැහැ. ඒ වෙනුවට සිදු වුනේ එංගලන්තය විසින් තමන් වැටී සිටි වලෙන්ද දියමන්ති සොයා ගැනීමයි. එංගලන්තයේ වගේම ලෝකයේ අනෙකුත් බොහෝ රටවල මුදල් ලෙස භාවිතා වුනු රිදී රටෙන් පිටතට ඇදී ගිහින් මුදල් ලෙසද සැලකුනත් බොහෝ දුරට පාරිභෝගික භාණ්ඩයක් වූ රන් එංගලන්තයේ ගොඩ ගැහෙද්දී එංගලන්තය විසින් කළේ රිදී සම්මතය අත ඇරලා රන් සම්මතයකට යන එකයි. 

එංගලන්තය මේ වැඩේ සැලසුම් සහගතව නොකළා වෙන්න පුළුවන්. ඒ වන විට එංගලන්තය මුහුණ පා සිටි ගෙවුම් ශේෂ ප්‍රශ්නය හමුවේ ඔවුන්ට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. හිතාමතා කළ දෙයක් වුනත්, අහම්බයක් වුනත්, මේ වැඩෙන් එංගලන්තයට විශාල වාසියක් සිදු වුනා. 

එක පැත්තකින් ලෝකයේම තිබුණු රන් සංචිත එංගලන්තයට එකතු වෙද්දී අනෙක් පැත්තෙන් අළුතෙන් කැනෙන රන් ආකාර බොහොමයක් තිබුණේත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පාලනය යටතේ. ඒ නිසා ලෝකයේ බොහෝ රටවල රන් වලට වඩා රිදී ඉල්ලුමක් තියෙද්දී රන් සැපයුම පාලනය කිරීමේ ඒකාධිකාරය හරහා රන් මිල සැලකිය යුතු ලෙස ඉහළ යවන්න එංගලන්තයට හැකි වුනා. 

ඉතිහාසය පුරාම ලෝකයේ විශාලම ආර්ථිකයන් දෙකෙන් එකක් වූ චීනය දිගින් දිගටම රිදී සම්මතයේ හිටියා. අනෙක් විශාලම ආර්ථිකය වූ, ඒ වන විට බ්‍රිතාන්‍ය පාලනයට නතුව තිබුණු, ඉන්දියාව තුළද රිදී වෙනුවට රන් ආදේශ කළ හැකි වුනේ නැහැ. මේ රටවල් වල ධනය තිබුණේ රිදී ලෙසයි. එංගලන්තය රන් වඩා වටිනා සේ සැලකූ නිසා ඉන්දියාවේ හා චීනයේ තිබුණු රත්තරන්ද එංගලන්තය වෙතම ඇදී ගියා. පසුකාලීනව අලුත් නිධි හමු වී ලෝකයේ රිදී සැපයුම ඉහළ යද්දී ඉන්දියාව හා චීනය රන් සම්මතයේ සිටි රට වලට සාපේක්ෂව දුප්පත් වී එංගලන්තය පෝසත් වුනා. ඇමරිකාවේ රන් සැපයුම ඉහළ ගොස් ඒකාධිකාරය බිඳෙන තුරු එංගලන්තයට පවුමේ වටිනාකම ඉහළින් තියා ගැනීම අසීරු වුනේ නැහැ.

නිවුටන් විසින් 1717දී හදපු එංගලන්තයේ රන් සම්මතය 1930 පමණ වන තුරු අවුරුදු දෙසීයකටත් වඩා කාලයක් පැවතුණා. මේ සම්මතය කැඩුනේ කේන්ස්ගේ අදහස් මත පදනම්වයි.

රන් සම්මතය තියෙද්දී රජයකට හිතූ මනාපෙට සල්ලි අච්චු ගහන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. සල්ලි එළියට දමන්නනම් සල්ලි වල වටිනාකමට රත්තරන් තිබිය යුතු වුනා. ඒ නිසා සල්ලි වල සැබෑ වටිනාකමක් තිබුණා. මේ කාලයේදී පෙනෙන්නට තිබුණු ආකාරය අනුව භාණ්ඩයක වටිනාකමේ මූලය වුනේ රත්තරන්. 

පළමුව, වෙළඳපොළේදී කිසියම් භාණ්ඩයක මිල ඩොලර්, පවුම් වගේ මුදල් ඒකකයකින් කියැවුනා. ඒ කියන්නේ පෙනෙන විදිහට භාණ්ඩයේ වටිනාකම එන්නේ මේ මුදල් ඒකක සමඟ හුවමාරුව සිදුවන ආකාරය මතයි. අනෙක් අතට මේ මුදල් ඒකක වල මිල තීරණය වුනේ රත්තරන් වලට සාපේක්ෂවයි. ඒ කියන්නේ ඕනෑම භාණ්ඩයක වටිනාකමේ ප්‍රභවය රත්තරන්. 

භාණ්ඩයක වටිනාකම හැදෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයට පිළිතුරක් ලෙස සාධාරණ න්‍යායයක් හොයපු අයට වටිනාකම එන්නේ රත්තරන් වලින් කියන එක විකාරයක් වගේ පෙනෙන එක අහන්නත් දෙයක් නෙමෙයි. රත්තරන් වලට අනෙක් කිසිවකට නැති විශේෂ වටිනාකමක් ලැබෙන්න කිසිදු දාර්ශනික හේතුවක් නැහැ. ඒ නිසා රත්තරන් වෙනුවට වඩා යෝග්‍ය ආදේශකයක් ගැන හිතපු ඇඩම් ස්මිත් වගේ අය සියලු වටිනාකම් වල මූලය ඒ මත යොදවන මිනිස් ශ්‍රමය විය යුතුයි කියන අදහස කරා යොමුවුනා. 

කාල් මාක්ස් විසින් පසුව ඉදිරියට ගෙන ගියේ ඔහුගේ කාලය වෙද්දී තව දුරටත් වැඩි දියුණු වී තිබුණු, ශ්‍රමය මත පාදක වූ වටිනාකම් පිළිබඳ අදහසයි, ඔහු මනෝරාජික සමාජවාදීන්ගේ අදහස්, හේගල්ගේ දයලෙක්තිකය හා පරිණාමය පිළිබඳ සමකාලීනව වැඩි දියුණු වෙමින් තිබුණු අදහස් එකතු කරමින් මාක්ස්වාදය ඉදිරිපත් කළා. 

මේ ශ්‍රම න්‍යාය වටිනාකම් පිළිබඳව දැන් පිළිගැනෙන ප්‍රධාන ධාරාවේ අදහස් සමඟ පසුකාලීනව ප්‍රතික්ෂේප වුවත් මාක්ස්වාදී සම්ප්‍රදාය තුළ එය තවමත් ඉතිරිව තිබෙනවා. ශ්‍රම න්‍යාය බිඳ වැටෙද්දී ඇඩම් ස්මිත්ගේ නිදහස් වෙළඳපොළ පිළිබඳ අදහස් වලට හානියක් නොවූවත්, එය මාක්ස්වාදයේ පාදම වන බැවින් මාක්ස්වාදීන්ට ශ්‍රම න්‍යාය කෙතරම් අවලංගු එකක් වුවත් එය අත අරින්න පුළුවන්කමක් නැහැ. එහෙම කළොත් තවදුරටත් මාක්ස්වාදයක් කියා එකක් ඉතිරි වන්නේ නැහැ.

වටිනාකම් සාපේක්ෂ වුවත් ඒ සාපේක්ෂ වටිනාකම් ප්‍රයෝජ්‍ය වටිනාකම් මිසක් අහසෙන් කඩාපාත් වෙන දෙයක් නෙමෙයි. කෝවිඩ් එන්නතක වටිනාකම එකිනෙකාට සාපේක්ෂයි. එහෙත් ඒ වටිනාකමේ මූලය එන්නත මගින් කෝවිඩ් වලට එරෙහිව සපයන හෝ සපයනු ඇතැයි අපේක්ෂිත ආරක්ෂාවයි. එය ප්‍රයෝජ්‍ය වටිනාකමක්. එවැනි ප්‍රයෝජ්‍ය අගයක් නැත්නම් කෝවිඩ් එන්නතකින් වැඩක් නැහැ. 

රුපියල් පන්දාහේ නෝට්ටුවක ප්‍රයෝජ්‍ය වටිනාකමක් හෝ නෛසර්ගික වටිනාකමක් නැහැ. ඒ වගේම ඩොලර් සීයේ නෝට්ටුවක වුවත් කිසිදු නෛසර්ගික වටිනාකමක් නැහැ. මේ ආකාරයේ ආඥාප්ති ව්‍යවහාර මුදල් වල වටිනාකම තනිකරම ආරෝපිත වටිනාකමක්. ඒ ආරෝපිත වටිනාකම මුදල් නෝට්ටුවකට ලැබෙන්නේ මුදල් නෝට්ටුව සමඟ හුවමාරු කර ලබා ගත හැකි භාණ්ඩ හෝ සේවා වල ප්‍රයෝජ්‍ය අගය මතයි. 

නිව්ටන්ගේ රන් සම්මතයේ සිට වසර 213කට පසුවත් බ්‍රිතාන්‍ය පවුමක වටිනාකම රන් අවුන්සයකින් 4.25කින් පංගුවක් සේ පැවතුණා. මේ අනුපාතය ඉන්දියාවේ හා ලංකාවේ රුපියල් වල වටිනාකමද තීරණය කළා. එය සම්මත නිශ්චිත වටිනාකමක්. 

පළමු ලෝක යුද්ධයේ වියදම් වල බරට 1929 ආර්ථික අවපාතයේ බර එකතු වීමෙන් පසුව බ්‍රිතාන්‍ය රජයට අයවැය තුලනය කර ගන්න බැරි වුනා. එංගලන්තය විසින් ඇමරිකාවෙන් යුද්ධය වෙනුවෙන් ගත් ණය පියවිය යුතුව තිබුණා. ඒ සල්ලි අය කර ගත යුතුව තිබුණේ ප්‍රංශයෙන්. ප්‍රංශය ණය අය කර ගත යුතුව තිබුණේ ජර්මනියෙන්. නමුත් ජර්මනිය යුද්ධයෙන් පසුව බංකොලොත් වෙලා. 1931 සැප්තැම්බර් 21 වනදා බ්‍රිතාන්‍ය රජය විසින් නිවුටන්ගේ කාලයේ සිට පැවති රන් සම්මතය බිඳිමින් රන් ප්‍රමාණයේ වටිනාකම ඉක්මවා සල්ලි අච්චු ගසා අයවැය හිඟය පියවා ගත්තා. 

බ්‍රිතාන්‍යය තමන් සතු වූ රන් ප්‍රමාණයට වඩා පවුම් අච්චු ගසා එළියට දැමීම නිසා රන් වලට සාපේක්ෂව පවුමක වටිනාකම අඩු වුනා. ඒ කියන්නේ පවුම බාල්දු වුනා. කලින් ඩොලර් 4.86ක් වූ පවුම ඩොලර් 3.69ක් වුනා. කලින් පවුම් 4.25ක් වූ රන් අවුන්සය පවුම් 5.60ක් වුනා. ඒ කියන්නේ පවුමක රන් වටිනාකම අවුන්සයකින් 4.25කින් කොටසක සිට අවුන්සයකින් 5.60කින් කොටසක් දක්වා අඩු වුනා. ඇමරිකන් ඩොලර් 4.86ක් වූ පවුම ඩොලර් 3.69ක් දක්වා අඩු වුනා. 

පවුම අවප්‍රමාණය කිරීම නිසා බ්‍රිතාන්‍යය නිපදවන බඩු ඇමරිකන් බඩු වලට වඩා ලාබ වී ඇමරිකාවේ අපනයන තරඟකාරීත්වය අඩු වුනා. මේ නිසා ඇමරිකාවට ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් ඇති වුනා. මා කලින් ලිපියක විස්තර කළ "රත්තරන් මංකොල්ලය" කරන්නට ඇමරිකානු රජයට සිදුවුනේ මේ තත්ත්වයට පිළියමක් ලෙසයි. 

"රන් මංකොල්ලයෙන්" පසුව, කලින් ඇමරිකන් ඩොලර් 20.67කට සමාන වූ රන් අවුන්සය ඇමරිකන් ඩොලර් 35ක් වුනා. එයට අනුරූපව ඇමරිකන් ඩොලරය පිරිහුණා. පවුමක අගය නැවතත් ඇමරිකන් ඩොලර් 5 ඉක්මවා ඉහළ ගියා. ඇමරිකානු තරඟකාරීත්වය නැවතත් ඇති වුනා. ඇමරිකාව විසින් පවත්වාගත් වෙළඳ ශේෂ අතිරික්තය හරහා වසරින් වසර රන් සංචිත ගොඩ ගැහෙද්දී කාලයක් ලෝක ආධිපත්‍යය දැරූ පවුමට තිබුණු තැන ටිකෙන් ටික පිරිහී ඇමරිකන් ඩොලරය ඒ තැනට එන්න පටන් ගත්තා.

දෙවන ලෝක යුද්ධය ආසන්න කාලය වන විට ඇමරිකන් ඩොලරය පවුමකට ඩොලර් 4.03 මට්ටමට එන තුරු  පවුම පිරිහිලා තිබුණා. ලංකාවට නිදහස ලැබෙන කොටත් ඇමරිකන් ඩොලරයක් ස්ටර්ලින් පවුම් 4.03ක්. එහෙත් බ්‍රිතාන්‍යය තවදුරටත් ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට මුහුණු දෙමින් සිටියා. විශේෂයෙන්ම ඉන්දියාව වගේ ලොකු කෑල්ලක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ගැලවුනාට පස්සේ. 1949 සැප්තැම්බර් 19 වෙනිදා බ්‍රිතාන්‍යයට පවුම 30%කින් පමණ අවප්‍රමාණය කරන්න වුනා. ඉන් පසුව පවුමක් ඇමරිකන් ඩොලර් 2.80 වුනා.

බ්‍රිතාන්‍ය පවුම අවප්‍රමාණය වන වාරයක් පාසා ලංකාවේ රුපියලද අවප්‍රමාණය වුනා. ජාත්‍යන්තර ආදායම් බොහොමයක් බ්‍රිතාන්‍ය පවුම් වලින් ඉපැයූ ලංකාවට එසේ නොකර රටේ අපනයන තරඟකාරිත්වය පවත්වා ගන්න බැරි වුනා. 1949දී පවුම හා රුපියල අවප්‍රමාණය කිරීමෙන් පසුව, ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවද්දී, ඇමරිකන් ඩොලරයක් රුපියල් 4.76යි.

වසර 18ක් පමණ ඔය තත්ත්වය ඔය විදිහට තිබුණා. බ්‍රිතාන්‍ය පවුම ඔය මට්ටමේ වුවත් දිගටම තියා ගන්න පහසු වුනේ නැහැ. 1967 නොවැම්බර් 18 වනදා බ්‍රිතාන්‍යය විසින් නැවතත් පවුම අවප්‍රමාණය කළා. ඩොලර් 2.80ක් වූ පවුම ඩොලර් 2.40ට බැස්සා. 

බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුවත් රුපියල බ්‍රිතාන්‍ය පවුමෙන් නිදහස් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා පවුමට කිඹුහුමක් යන වාරයක් පාසා රුපියලට හෙම්බිරිස්සාව හැදුනා. පවුම 14%කින් අවප්‍රමාණය කරලා දවස් හතරකට පස්සේ 1967 නොවැම්බර් 22 වෙනිදා රුපියල 20%කින් අවප්‍රමාණය කෙරුණා. මේ අනුව එතෙක් රුපියල් 13.33ක් වූ පවුම රුපියල් 14.28ක් වෙද්දී ඇමරිකන් ඩොලරය රුපියල් 5.95ක් වුනා.

ඇමරිකන් ඩොලරයකට තව දුරටත් රන් අවුන්ස 1/35ක වටිනාකමක් තිබුණා. එහෙත් කලින් බ්‍රිතාන්‍ය පවුම් 12.5කට මිල දී ගත හැකිව තිබුණු රන් අවුන්සයක් මිල දී ගන්න අවශ්‍ය පවුම් ප්‍රමාණය 14.59 දක්වා ඉහළ ගියා. රන් ග්‍රේන්ස් 2.88ක හෙවත් රන් අවුන්ස 0.006ක වටිනාකමක් තිබුණු රුපියල රන් අවුන්ස 0.0048 දක්වා පහත වැටුනා. වෙනත් විදිහකින් කිවුවොත් රන් අවුන්සයක මිල රුපියල් 208 දක්වා ඉහළ ගියා. 

නිදහස ලැබූ තැන් සිට රුපියල රන් වලට, ඩොලරයට වගේම පවුමටද සාපේක්ෂව යම් තරමකින් බාල්දු වී තිබුණත් මේ වන විටද රන් සම්මතයක් තව දුරටත් එසේම තිබුණා. 1971 අගෝස්තු 15 වනදා ඇමරිකාව විසින් රන් සම්මතය අත හරින විටත් ඇමරිකන් ඩොලරයක් රුපියල් 5.95යි. රන් අවුන්සයක් නිල වශයෙන් රුපියල් 208යි. ඉතිරි හැම දෙයක්ම සිදු වී අද තිබෙන තැනට රුපියල වැටුනේ ඉන්පසු ගෙවුණු වසර පණහකට යාන්තමින් අඩු කාලය තුළයි.

Friday, April 2, 2021

වසරක සිර දඬුවම


මාර්තු ඉවර වෙලා අප්‍රේල් ආවා. මාර්තු මාසය මා වසරක සිර දඬුවමකින් නිදහස ලැබූ මාසය. මෙය ස්ව කැමැත්තෙන් ලබාගත් සිර දඬුවමක්. හරියටමනම් නිවාස අඩස්සිගත වීමක්. පසුගිය වසරේ මාර්තු මැද සිට මේ වසරේ මාර්තු මැද දක්වා හරියටම වසරක කාලයක් තුළ මා ගෙදරින් එළියට බැස්සේ ඉතාම සීමිත වාර ගණනක් පමණයි.

මේ වෙද්දී අපේ ප්‍රාන්තයේ වයස අවුරුදු 16ට වැඩි ඕනෑම කෙනෙකුට තමන් කැමති තැනකින් නොමිලේ පයිසර්-බයෝඑන්ටෙක් එන්නතක් ලබා ගත හැකියි. වයස අවුරුදු 18 ඉක්මවූ ඕනෑම කෙනෙකුට පයිසර්-බයෝඑන්ටෙක්, මොඩර්නා හා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් තුනෙන් කැමති එකක් කැමති තැනකින් ලබා ගත හැකියි. එහෙත් කිසිවකු විසින් අනිවාර්යයෙන් එන්නතක්  ලබා ගත යුතු නැහැ. 

ප්‍රාන්ත රජය විසින් ස්ථාන ගණනාවකම එන්නත් ලබා දෙනවා. ඒ වගේම ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාල කිහිපයකම පිහිටි ෆාමසි වලින්ද එන්නත් ලබා දෙනවා. මේ තැන් වල මේ වන විට පරීක්ෂා කර බලන්නේ වයස පමණයි. එන්නත් ලබා ගැනීම සඳහා ප්‍රාන්ත වැසියෙකු වීම, වීසා තත්ත්වය හෝ රක්ෂණ ආවරණයක් තිබීම අවශ්‍ය කරුණක් නෙමෙයි. මෙවැනි තැනක් පයින් යන දුරකින් හොයා ගන්න බැරි කමක් නැහැ. ඊට අමතරව සරසවි හා වෙනත් පෞද්ගලික ආයතන වල එම ආයතන වලට සම්බන්ධ අයට එන්නත් ලබා දෙනවා. කිසිදු තැනක එන්නත් වෙනුවෙන් හෝ එන්නත් ලබා දීම වෙනුවෙන් මුදල් අය කිරීමක් කරන්නේ නැහැ. 

එන්නත් සම්බන්ධව තේරීමක් තිබීම ඉතා හොඳ දෙයක්. එන්නත් තුන අතරින් මගේ වැඩිම මනාපය තිබුණේ පයිසර්-බයෝඑන්ටෙක් එන්නතටයි. මා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගනිද්දී ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත අනුමත වී ගතව තිබුනේ දින කිහිපයක් පමණයි. ඉතිරි එන්නත් දෙක මිලියන ගණනක ඇමරිකානුවන් විසින් ලබා ගෙන තිබුණා. ඒ දෙක අතරින් පයිසර්-බයෝඑන්ටෙක් එන්නත ලෝකය පුරා විශාල පිරිසක් විසින්ද ලබා ගෙන තිබුණා. මොඩර්නා එන්නත පයිසර්-බයෝඑන්ටෙක් එන්නතට සාපේක්ෂව ඇමරිකාවෙන් පිටත විශාල ලෙස භාවිතා වී තිබුණේ නැහැ. මීට අමතරව මොඩර්නා එන්නත ලබා ගත්තානම් දෙවන මාත්‍රාව ලබා ගැනීමට වැඩිපුර සතියක් ඉන්න වෙනවා.

මා මෙසේ සිතුවත් එක් මාත්‍රාවකින් වැඩේ කෙළවරක් වන නිසා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතට වැඩි මනාපයක් දැක්වූ අය වගේම විවිධ හේතු මත මොඩර්නා එන්නතට වැඩි මනාපයක් දැක්වූ අයත් හිටියා. ඒ වගේම බොහෝ දෙනෙක් විසින් මුලින්ම ලබා ගත හැකි එන්නත හොඳම එන්නත ලෙස සැලකුවා. දැන් වුවත් තමන් කැමති එන්නත තමන් කැමති තැනින්ම ලබා ගන්නනම් දවස් හෝ සති ගණනක් බලා ඉන්න සිදු විය හැකි වුවත් තමන් කැමති එන්නත ඉක්මණින් ලබා ගත හැකි තැනක් ප්‍රාන්තයේ කොහෙන් හෝ හොයා ගන්න බැරිකමක් නැහැ. මා එන්නත් ලබා ගත්තේද පයින් යන දුරක තැනකින් නෙමෙයි. මිනිත්තු 15ක් පමණ කාලයක් ගෙවා යා යුතු අල්ලපු ගමේ තැනකින්.

දෙවන මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව එන්නත ලබා දුන් හෙදිය අදාළ තොරතුරු පරිගණකයට ඇතුළු කරන තුරු මිනිත්තු දෙකක් මාව රස්තියාදු කරන්න සිදු වීම පිළිබඳව සමාව අයැද සිටියා. මා ඇයට කිවුවේ එන්නත ලබා ගන්න අවුරුද්දක් බලා සිටි මට මිනිත්තු දෙකක් රස්තියාදු වෙන්න සිදුවීම දැනෙන දෙයක් නොවන බවයි.

එන්නතක් වැඩි දියුණු කෙරෙන තුරු, අනුමත කෙරෙන තුරු හා ලබා ගැනීමට ඉඩක් ලැබෙන තුරු මා හරියටම වසරක් බලා හිටියා. යම් හෙයකින් තේරීමක් නොතිබුණානම් මේ එන්නත් තුන අතරින් ලැබෙන කවර හෝ එන්නතක් ලබා ගන්න මා පැකිලෙන්නේ නැහැ. මේ වන තුරුද ඇමරිකාවේ අනුමත වී නැති ඇස්ට්‍රසෙනිකා එන්නත අනුමත වී තිබුණානම් මා එය වුවත් පැකිලීමක් නොමැතිව ලබා ගන්නවා. ඒ වගේම එන්නත් නොමිලේ ලබා නොදුන්නානම් එන්නතක මිල ගෙවන්නටද මා දෙවරක් හිතන්නේ නැහැ. එහෙත් මා දන්නා ඇතැම් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අයද ඇතුළුව ඇමරිකාවේ ජීවත්වන සැලකිය යුතු පිරිසක් නොමිලේ දුන්නත් එන්නතක් ලබා ගන්න සූදානමක් නැහැ. එය ඒ අයගේ කැමැත්ත.

කෝවිඩ් එන්නත් හා අදාළව දැන් ඇමරිකාවේ තිබෙන්නේ ඉල්ලුම පිළිබඳ ප්‍රශ්නයක් මිසක් සැපයුම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඇස්ට්‍රසෙනිකා එන්නත අනුමත කළත් එය ඇමරිකානුවන්ට අවශ්‍ය වන එකක් නැහැ. සියල්ලන්ම එන්නත් ලබා නොගන්නා නිසා ඇමරිකාව තුළ බොහෝ විට කවදාවත්ම කෝවිඩ් සඳහා සාමූහික ප්‍රතිශක්තිය ඇති නොවෙන්න පුළුවන්. ඒ නිසා සමහර විට වසර අවසාන වෙද්දී නැවතත් එන්නතේ තෙවන මාත්‍රාවක් ලබා ගන්න සිදුවිය හැකියි. එයින් පසු වාර්ෂිකව එන්නතේ මාත්‍රාවක් ලබා ගන්න සිදු වෙන්නත් පුළුවන්. ඒ වෙනුවෙන් යම් පිරිවැයක් දරන්න වෙන්නත් පුළුවන්.

මේ වෙද්දී ඇමරිකාව තුළ කෝවිඩ් ව්‍යාප්තිය පාලනය වී තිබුණත් එය යම් මට්ටමක ස්ථාවර වී හෝ සමහර විට තාවකාලිකව තරමක් නරක අතට හැරෙමින් තිබෙනවා. එහෙත් දැන් මට කෝවිඩ් ගැන බයක් නැහැ. මා ස්ව කැමැත්තෙන් නිවාස අඩස්සියට පත් වුනේ අපේ ප්‍රාන්තයේ පළමු කෝවිඩ් මරණය වාර්තා වෙද්දී. එසේ කළේ ආකෘති ඇසුරෙන් ඉදිරි අවුරුද්ද මොන වගේද කියා වියුක්තව හිතන්න පුළුවන් වූ නිසා. මේ වන විටත් දවසකට අපේ ප්‍රාන්තයේ හතර පස් දෙනෙක් කෝවිඩ් නිසා මිය යන නමුත් ආකෘති ඇසුරෙන් වියුක්ත ලෙස සුබවාදී නුදුරු අනාගතයක් දකිමින් මා මගේ වසරක සිර දඬුවමින් මේ වන විට නිදහස්ව සිටිනවා.

Wednesday, March 31, 2021

අන්දරේ සීනි කෑ හැටි- පස් කාගේ කටේද?

සීනි සීරීස් එක මෙගා ටෙලියක් වෙන්න යනවා වගේ තේරෙනවද? ඔය වැඩේ කළේනම් හිතලමයි. ලංකාවේ දේශපාලනය කියන්නේ සිද්ධියෙන් සිද්ධියට යන එකනේ. ලංකාවේ කිවුවට වෙන රටවලත් වැඩි වෙනසක් නැහැ. ඔය සිද්ධියෙන් සිද්ධියට යන එකෙන් ඒ තරම් වැඩක් නැහැ. හැබැයි ඔය වගේ වෙලාවක දුවන කෝච්චියට අපිට ඕනෑ කරන බඩු ගෝනි ලේසියෙන් පටවා ගන්න පුළුවන්. සීනි අස්සේ ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ගැනත් කියල දැම්මේ ඒ නිසයි.

මොන දේක වුනත් කෙළවරක් තියෙන්න ඕනැනේ. අපි කෙළින්ම පොයින්ට් එකට ඇවිත් මේ සීනි සීරිස් එක ඉවර කරලා දමමු. තව කොයි තරම් දේවල්නම් කතා කරන්න තියෙනවද?

ආනයනික සීනි මත අය කෙරුනු වෙනත් බදු වර්ග හතරක් වෙනුවට 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ සීනි ආනයන මත "විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්" පැනවූ බව පසුගිය කොටසෙන් කිවුවනේ. ඊට පස්සේ වරින් වර ඔය බද්ද සංශෝධනය කෙරුණා. නමුත් බද්ද විශේෂ වෙළඳ භාණ්ඩ බද්දම තමයි. 

පහුගිය අවුරුදු හත තුළ, හරියටමනම් 2013 ජූලි සිට 2020 පෙබරවාරි දක්වා කාලය තුළ, ඔය බද්ද බොහෝ විට තිබුණේ රුපියල් 30කට ආසන්න මට්ටමකයි. යහපාලන ආණ්ඩුව බලයට පත් වන විට බද්ද රුපියල් 28යි. ඔය කාලයේදී සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 100කට ආසන්න මට්ටමේ ස්ථාවරව තිබුණා. යහපාලන ආණ්ඩුවේ දින සීයේ වැඩ සටහන කියලා එකක් තිබුණනේ. කියවන අයට දැන් ඕවා මතකද මන්දා. 

ඔය දින සියයේ වැඩ සටහන යටතේ 2015 ජනවාරි මාසයේදී සීනි බද්ද රුපියල් 10කින් අඩු කළා. ඒ කියන්නේ රුපියල් 18 කළා. සීනි කිලෝවක මිලත් පටස් ගාලා රුපියල් 85 පමණ මට්ටමට අඩු වුනා. බද්ද රුපියල් 10කින් අඩු කරද්දී සීනි මිල රුපියල් 15කින් 20කින් වගේ අඩු වුණේ ඔය දවස් වල ලෝක වෙළඳපොළේ සීනි මිලත් අඩු වෙමින් තිබුණු නිසා. 

කොහොම වුවත් ඔය දින සියයේ වැඩ පිළිවෙළ යටතේ කරපු ගොඩක් දේවල් අගෝස්තු මැතිවරණය දිහා බලාගෙන කරපු දේවල්නේ. මහ මැතිවරණය ඉවර වුන ගමන් සීනි බද්ද රුපියල් 30 වුනා. බද්ද වැඩි කරන්න එකම හේතුව මැතිවරණය ඉවර වීම කියන එක සාධාරණ නැහැ. ඔය දවස් වෙද්දී සීනි වල ආනයනික මිල හොඳටම බැහැලයි තිබුණේ. ඒ නිසා බද්ද රුපියල් 30 කළා කියලා සීනි ලොකුවට ගණන් ගියේ නැහැ.

හැබැයි අවුරුද්ද අවසන් වෙද්දී සීනි වල ආනයනික මිල ඉහළ ගියා.  ඒ අනුව සීනි මිලත් යහපාලන ආණ්ඩුව එන්න කලින් තිබුණු රුපියල් 100 මට්ටමට ගියා. 2016 මැද වන තුරුම ලෝක වෙළඳපොළේ සීනි මිල ටිකෙන් ටික වැඩි වෙලා එහි බලපෑමෙන් ලංකාවේ සිල්ලර සීනි මිලත් ඉහළ යාම නිසා එම වසරේ ජූලි මැදදී යහපාලන ආණ්ඩුව එක පාරටම සීනි බද්ද රුපියල් 30ක සිට ශත 25 දක්වා අඩු කළා. මෑතක් වන තුරුම සීනි බද්ද එක පාරටම ලොකුවටම අඩු වුනේ මේ අවස්ථාවේදී.

කලින් පාර සීනි බද්ද රුපියල් 30කින්ම වගේ අඩු කළේ ලෝක වෙළඳපොළේ සීනි මිල සැලකිය යුතු තරමින් ඉහළ යාමට සමාන්තරවයි. බද්ද රුපියල් 30කින් අඩු කරද්දී ආනයනික සීනි මිල රුපියල් 15කින් පමණ ඉහළ ගිය නිසා සීනි වල සිල්ලර මිල අඩු වුනේ රුපියල් 15කට කිට්ටු ප්‍රමාණයකින් පමණයි. සීනි වල සිල්ලර මිලේ විකෘතියක් පෙනෙන්න තිබුණේ නැහැ.

ඔය විදිහට බද්ද ශත 25 දක්වා අඩු කර තිබුණේ මාස දෙකක් පමණයි. ඉන් පසු නැවත බද්ද වැඩි කෙරුණා. හැබැයි එක පාර නෙමෙයි. රුපියල් 2, රුපියල් 7, රුපියල් 13, රුපියල් 25, රුපියල් 33 ආදී ලෙස ටිකෙන් ටික. ඒ වගේම බද්ද වැඩි කළේ ලෝක වෙළඳපොළේ සීනි මිල ටිකෙන් ටික පහළ යාමට සමාන්තරවයි. ඒ නිසා පසුගිය වසර වන තුරු සෑහෙන කාලයක් සීනි මිල ස්ථාවරව තිබුණා. 2020 අප්‍රේල් වෙද්දී සීනි වල සිල්ලර මිල රුපියල් 108ක් පමණ. සීනි බද්ද, ඒ කිවුවේ සීනි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 35ක් වුනා.

පසුගිය වසරේ මැයි 22 වනදා ආණ්ඩුව සීනි බද්ද රුපියල් 50 දක්වා රුපියල් 15කින් වැඩි කළා. මීට පෙර කවදාවත්ම සීනි බද්ද මේ තරමට වැඩි කරලා තිබුණේ නැහැ. ඒ වගේම මේ විදිහට සීනි බද්ද වැඩි කළේ කලින් වාර වල වගේ ලෝක වෙළඳපොළේ සීනි මිල අඩුවීම වැනි හේතුවක් නිසාත් නෙමෙයි.

බදු වැඩි කළාම රජයේ ආදායම් වැඩි වෙනවා. බද්දේ බර වැටෙන්නේ පාරිභෝගිකයන්ටද සැපයුම්කරුවන්ටද කියන එක තීරණය වෙන්නේ ඉල්ලුම් හා සැපයුම් වක්‍ර වල බෑවුම් අනුව බවත්, සැපයුම් වක්‍රයේ බෑවුමක් නැති නිසා මුළු බරම වැටෙන්නේ පාරිභෝගිකයින් මත කියන එකත් මම පෙර ලිපි වල පැහැදිලි කළානේ. ඒ කියන්නේ මේ වැඩි කළ රුපියල් 15ම ගෙවන්න වෙන්නේ පාරිභෝගිකයන්ට කියන එකයි. හැබැයි බද්ද වැඩි කළාට වඩා වැඩි මිලකින් සීනි මිල ඉහළ යන්න හේතුවක් නැහැ.

පසුගිය මැයි මාසයේදී සීනි බද්ද රුපියල් 15කින් වැඩි කිරීමෙන් පසුව සීනි වල සිල්ලර මිල රුපියල් 25-30 අතර ප්‍රමාණයකින් ඉහළ ගියා. ඔය කාලයේ සීනි වල ආනයනික මිල ලොකුවට වැඩි වුනේ නැහැ. ඕනෑනම් වැඩිම වුනොත් රුපියල් 5ක් දමමු. ඒත් සීනි මිල වැඩි විය යුත්තේ රුපියල් 20කින් පමණයි. එහෙමනම් සීනි මිල රුපියල් 30කට ආසන්නව ඉහළ ගියේ කොහොමද?

රජයෙන් සීනි ආනයනකරුවන්ට අභ්‍යන්තර තොරතුරු ලැබුණේ නැත්නම් පසුගිය මැයි මාසයේ කළ බදු වැඩි කිරීම තරමක් වෙනස් එකක් බව ඔවුන්ට තේරෙනවා. මේ වැඩේ කළේ වෙනදා වගේ ලෝක වෙළඳපොළේ සීනි මිල අඩු වීමට ප්‍රතිචාරයක් විදිහට නෙමෙයිනේ. 

ඔය දවස් වල ආණ්ඩුව හිටියේ ආනයන අධෛර්යමත් කරන ප්‍රතිපත්තියක. සමහර දේවල් ආනයනය කරන එක තහනම්ම කළා. අභ්‍යන්තර තොරතුරු ලැබුණේ නැත්නම් සීනි ආනයනකරුවෙකුට පෙනෙන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කාලයක් යන තුරුම බද්ද ඉහළින් තබාගෙන ආනයන අධෛර්යමත් කරන එක බවයි. අනෙක් පැත්තෙන් රුපියල මත ලොකු පීඩනයක් එල්ල වෙලා තිබුණා. රුපියල ඉදිරි කාලය තුළ අවප්‍රමාණය වීමට නියමිත බව සක් සුදක් සේ පෙනෙන්නට තිබුණා. ඒ කියන්නේ ඉදිරියේදී එක පැත්තකින් සීනි ආනයනයට ආණ්ඩුව බාධා කරන්න පුළුවන්. සීනි ආනයනය නවත්වන්න වුනත් පුළුවන්. ඒ වගේම විණිමය අනුපාතිකය පිරිහීමට නියමිත නිසා ඉදිරියේදී සීනි වල ආනයනික මිල ඉහළ යාමට නියමිතයි. 

ඔය වගේ තත්ත්වයක් යටතේ සීනි ආනයනකරුවෙක් ක්‍රියා කරන්නේ මොන විදිහටද? පළමුව ඩොලර් එක වැඩි වෙන්න කලින් හා සීනි ආනයනයට සීමා පැනවෙන්න කලින් හැකි තරම් සීනි ආනයනය කරන එක. දෙවනුව දැනට තිබෙන තොග මුදා හැරීම පාලනය කරන එක. ඔය දෙකේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය වන්නේ සීනි ආනයනකරුවෙකු සතු මුදල් සියල්ල යොදවා තමන්ගේ ගබඩා සියල්ල පුරවා ගන්නවා කියන එකයි. එහෙම නොකරනවානම් එක්කෝ අමු මෝඩයෙක්. නැත්නම් අනෙක් අයට නොපෙනෙන දේ දැකිය හැකි දක්ෂතාවයක් තිබෙන කෙනෙක්. එහෙමත් නැත්නම් මොන විදිහකින් හරි ආණ්ඩුව ඉස්සරහට කරන්න ඉන්න දේ දන්න කෙනෙක්!

ආණ්ඩුව සීනි බද්ද රුපියල් 15කින් වැඩි කරද්දී සීනි මිල රුපියල් 25-30කින් පමණ ඉහළ ගියේ සැපයුම්කරුවන් බොහෝ දෙනෙක් අනාගතය ගැන හිතා තමන්ගේ තොග මුදා නොහරිමින් සැපයුම පාලනය කළ නිසයි. බලාත්මක කළ නොහැකි පාලන මිලක් දමා තිබීමත් එයට හේතුවක් වෙන්න ඇති.

ඔහොම තත්ත්වයක් තියෙද්දී ආණ්ඩුව එකපාරටම සීනි බද්ද ශත 25 දක්වා අඩු කරනවා. මේක හරියට උස්සලා පොළොවේ ගහනවා වගේ වැඩක්. රුපියල් 50ට උස්සලා ශත 25 මට්ටමටම බැස්සුවහම කොහොමද?

හැබැයි ඔය විදිහට බදු අඩු වැඩි කිරීම වංචාවක් කියා කියන්න බැහැ. ආණ්ඩුවකට එහෙම කරන්න කිසිම තහනමක් නැහැ. ඒ වගේම බදු අඩු කළ නිසා රජයට පාඩුවක් වුනා කියන එකත් විහිළු කතාවක්. බදු ගැහීම රජයක් විසින් අනිවාර්යයෙන් කළ යුතු දෙයක් නෙමෙයි. බදු වැඩි කරද්දී රජයේ ආදායම් වැඩි වෙනවා. බදු අඩු කරද්දී රජයේ ආදායම් අඩු වෙනවා.

රජයට කැමති විදිහට බදු අඩු වැඩි කරන්න පුළුවන්කම තිබුණත් තේරුම් ගත හැකි හේතු මත රුපියල් 50 දක්වා වැඩි කළ බද්ද එක පාරටම ශත 25 දක්වා අඩු කළේ ඇයි කියන එක පිළිබඳවනම් සාධාරණ සැකයක් තිබෙනවා. ඒ සැකය වැඩි වෙන්නේ ඊට පස්සේ කරපු දේවල් එක්කයි.

ඔක්තෝබර් 14 වනදී සීනි මත අය කරන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා අඩු කරන ආණ්ඩුව නොවැම්බර් 17 වනදා ආනයනික සීනි කිලෝවක් මත රුපියල් 30ක තීරු බද්දක් දමනවා. 2007දී  දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත සම්මත කළාට පස්සේ දිගටම සීනි මිල පාලනය කරලා තිබෙන්නේ එම බද්ද හරහා. ඒ හැර සීනි වලට තීරු බද්දක් අය කරලාම නැහැ. දැන් එක පාරටම කාලයක් තිස්සේම අය කරනු නොලැබූ තීරු බද්දක් අළුතෙන් එන්නේ කොහොමද? හංගලා ගැහිල්ලක් නෙමෙයිද?

මම හිතන විදිහට තීරු බදු අය කරන්නේ භාණ්ඩ ඇනවුම් කළ දවස මත පදනම්වයි. ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමෙන් පසුව භාණ්ඩ රටට ගේන්න දින අනූවක කාලයක් තිබෙනවා කියා මම හිතනවා. තහවුරු කිරීම සඳහා ලේඛණයක් හොයා ගන්න බැරි වූ නිසා මේ කාරණයේදී මම නිවැරදි නොවෙන්න ඉඩ තිබෙනවා. අපි දැනට හිතමු මේක මෙහෙමයි කියලා.

මේ අනුව ශත 25ක බද්දක් ගෙවා සීනි ආනයනය කරන්න පුළුවන්කම තිබෙන්නේ ඔක්තෝබර් 14 සිට නොවැම්බර් 17 දක්වා දින 35ක කාලය තුළ සීනි ඇණවුම් කළ අයට පමණයි. එම කාලය තුළ ඇණවුම් කළානම් දින 90ක් ඇතුළත ශත 25 පමණක් ගෙවා සීනි නිදහස් කර ගත හැකිව තිබුණා කියන එක මගේ අදහසයි. මෙහි වැරැද්දක් තිබෙන බව යම් කෙනෙක් පෙන්වා දුන්නොත් නිවැරදි කිරීමක් කරන්නම්.

මැයි 22 රුපියල් 50 දක්වා ඉහළ දමපු සීනි බද්ද ඔක්තෝබර් 17 වෙනිදා එක පාරටම පෙරේතයා පොළොවේ ගැහුවා වගේ ශත 25 දක්වා අඩු වෙනවා. මැයි මාසයේ වැඩි කළ බද්ද ආණ්ඩුවේ ආනයන අධෛර්යමත් කිරීමේ ප්‍රතිපත්තියේ පිළිබිඹුවක් විදිහට තේරුම් ගත් සැපයුම්කරුවෝ ඒ වෙද්දී තමන්ගේ සල්ලි යට කරලා සීනි තොග ගොඩ ගහගෙන. ආනයන පාලනයක් එන බව පෙනෙද්දී කවුරු වුනත් කරන්නේ ඕකනේ. දැන් බද්ද අඩු කළා කියලා මේ අයට එක පාරට සීනි ආනයනය කරන්න බැහැ. කලින් ආනයනය කරලා රුපියල් 50 බැගින් බදු ගෙවා නිදහස් කරගත් සීනි තොග විකුණලා ඉන්න ඕනෑ. ඒ අය හුස්මක් කටක් අරගෙන සීනි ආනයනය කරන එක ගැන හිතන කොට බද්ද නැවතත් වැඩි වෙලා. විශේෂ වෙළඳ භාණ්ඩ බද්දනම් ශත 25 ලෙසම තියෙනවා. හැබැයි අලුතෙන් රුපියල් 30ක තීරු බද්දක් එකතු වෙලා.

කොහොම වුනත් හැම සැපයුම්කරුවෙක්ම එක විදිහටම කටයුතු කරන්න නීතියක් නැහැනේ. ඔය සීනි ආනයනකරුවන් අතරේ තමන්ගේ ගබඩා හිස් කරගෙන, සල්ලි අතේ තියාගෙන සීනි ආනයනය කරන්න බලාගෙන හිටපු අයත් ඉන්න බැරිකමක් නැහැ. හේතුව ඒ අයට අනෙක් අයට නොතිබුණු සුවිශේෂී විශ්ලේෂණ හැකියාවක් තිබීම වෙන්න පුළුවන්. වෙළඳපොළ ගැන හරි අවබෝධයක් නැතිකම වෙන්නත් පුළුවන්. අභ්‍යන්තර තොරතුරු ලැබී තිබීම වෙන්නත් පුළුවන්. හේතු හොයන එක අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඔය මොන හේතුවක් හරි නිසා බද්ද ශත 25ට බස්සා තිබුණු දින 35 ඇතුළේ සීනි ඇණවුම් කළ සමාගම් වලට දැන් කල්ල මරේ!

මම හරියටම තොරතුරු දන්නේ නැතත් ඇහෙන කතා වල හැටියට බද්ද ශත 25 වූ වහාම එක සමාගමක් ඔවුන්ගේ බන්ධිත ගුදම් වල තිබුණු සැලකිය යුතු සීනි තොගයක් නිදහස් කරගෙන තිබෙනවා. මෙහිනම් කිසිම අසාමාන්‍ය කමක් නැහැ. ඕනෑම සමාගමක් ඔය වැඩේ කරයි. 

ඒ සමාගමම දින කිහිපයක් ඇතුළත සීනි නැවක්ම ගෙනාවා කියලත් කියනවා. හැබැයි සීනි ආනයන විශාල ලෙස ඉහළ ගිහින් තියෙන්නේ 2021 ජනවාරි මාසයේදී. දෙසැම්බර් දක්වා මාස තුන තුළ සීනි ආනයනයේ කිසිම අසාමාන්‍ය වෙනසක් නැහැ. සමහර විට ඔක්තෝබර් මාසයේ ඇණවුම් කළ සීනි ජනවාරි මාසයේදී ශත 25 බැගින් ගෙවා, රුපියල් 30ක තීරු බද්ද නොගෙවා, නිදහස් කර ගත්තා වෙන්න පුළුවන්. නොවැම්බර් 17 පහු වෙලා ඇණවුම් කළානම් රුපියල් 30.25ක් බදු ලෙස ගෙවන්න වෙනවා.

කොහොමින් කොහොම හරි මේ වෙද්දී රුපියල් 50 බැගින් බදු ගෙවා ගෙන්වූ සීනි හා ශත 25 බැගින් බදු ගෙවා ගෙන්වූ සීනි විදිහට සීනි වර්ග දෙකක් වෙළඳපොළේ තිබෙනවා. ඔය සීනි වර්ග දෙකේ පාරිභෝගිකයන්ට හඳුනාගත හැකි කිසිම වෙනසක් නැහැ. නමුත්, ශත 25 ගෙවා නිදහස් කරගත් සීනි වල පිරිවැය රුපියල් 49.75කින් අඩුයි. 

සීනි ආනයනකරුවන් කිසිවෙකු විසින් තවමත් රුපියල් 30.25 බැගින් බදු ගෙවා සීනි නිදහස් කරගෙන නැතුවා විය හැකියි. රුපියල් 50 බැගින් බදු ගෙවා නිදහස් කරගත් සීනි තොග තමන් සතුව නොතිබුණානම් අනිවාර්යයයෙන්ම ශත 25ට ගෙන්විය හැකිව තිබුණු දින 35 ඇතුළත සීනි ඇණවුම් කරනවනේ. ඒ නිසා, නොවැම්බර් 17න් පස්සේ සීනි ලොකුවට ඇනවුම් කළා කියා හිතන්න බැහැ. 

යම් හෙයකින් කිසියම් සමාගමක් විසින් එහෙම කළා හෝ දැන් කරනවා කියා කියමු. ඔය කාලය ඇතුළත ලෝක වෙළඳපොළේ සීනි මිල 10%කින් පමණ ඉහළ ගියා. ඒ වගේම ඩොලරයක මිල 5%කින් පමණ ඉහළ ගියා. මේ කරුණු දෙක නිසා ආනයනික සීනි කිලෝවක මිල රුපියල් 20කින් පමණ වැඩි වුනා. මේ අනුව, දැන් රුපියල් 30.25ක් බදු ගෙවා සීනි ආනයනය කරන කෙනෙක්ගේ පිරිවැයත් ඔක්තෝබර් 14ට පෙර රුපියල් 50ක් බදු ගෙවා සීනි නිදහස් කරගත් අයගේ පිරිවැයට බොහෝ දුරට සමානයි. ඒ නිසා, සීනි වර්ග දෙකක් තියෙනවා කියපු කතාව වෙනස් වෙන්නේ නැහැ.

විවිධ සැපයුම්කරුවන්ගේ පිරිවැය හරියටම සමාන නොවන බවත් ඒ නිසා ලංකාවේ සිල්ලර සීනි වෙළඳපොළේ සැපයුම් වක්‍රයේ මම පහසුවට තිරස් රේඛාවකින් නිරූපණය කළ කොටස ඉතාම සුළු බෑවුමක් තිබෙන පඩිපෙළක් වගේ එකක් බවත් මම කලින් ලිපියක විස්තර කළා. සාමාන්‍යයෙන් මේ පඩිපෙළේ පඩි දෙකක් අතර උස ශත ගණනක්. පඩි සියල්ලේම උස වුවත් රුපියල් දෙක තුනකට වඩා වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා කිසියම් සැපයුම්කරුවෙකුට අනෙක් අයට වඩා ලාබයක් ගන්න පුළුවන් වුනත් වැඩිම වුනොත් එම ලාබය රුපියලක් නැත්නම් දෙකක්.

නමුත් දැන් වෙලා තියෙන්නේ කුමක්ද? පඩි දෙකක් අතර විශාල පරතරයක් තිබෙනවා. කොපමණ විශාල පරතරයක්ද?

බද්ද රුපියල් 50ක්ව තිබියදී, 2020 සැප්තැම්බර් මාසය අවසානයේ ඩොලරයක මිල හා ලෝක වෙළඳපොළේ සීනි මිල අනුව සීනි කිලෝවක මිල රුපියල් 67.34ක්. එයට නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු ලෙස 5%ක් එකතු කර ආනයනික මිල රුපියල් 70.71ක් ලෙස ඇස්තමේන්තු කළ හැකියි. බද්ද එකතු කළ විට රුපියල් 120.71ක් වෙනවා. මෙයට ආනයනකරුගේ හා තොග හා සිල්ලර වෙළෙන්දන්ගේ ලාබ විදිහට 12%ක් එකතු කළොත් සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 135.20ක් විය යුතුයි. එම මාසයේ සීනි සිල්ලර මිල වූ රුපියල් 135.54 මෙම ඇස්තමේන්තුව සමඟ සැසඳෙනවා.


බද්ද අඩු කිරීමෙන් පසු, 2020 ඔක්තෝබර් මාසය අවසානයේ ඩොලරයක මිල හා ලෝක වෙළඳපොළේ සීනි මිල අනුව සීනි කිලෝවක මිල රුපියල් 71.56ක්. එයට නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු ලෙස 5%ක් එකතු කර ආනයනික මිල රුපියල් 75.14ක් ලෙස ඇස්තමේන්තු කළ හැකියි. බද්ද එකතු කළ විට රුපියල් 75.39ක් වෙනවා. මෙයට ආනයනකරුගේ හා තොග හා සිල්ලර වෙළෙන්දන්ගේ ලාබ විදිහට 12%ක් එකතු කළොත් සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 84.43ක් විය යුතුයි. ඒ කියන්නේ ශත විසි පහේ බද්දට සීනි ආනයනය කළ අයට අවශ්‍යනම් රජයේ පාලන මිල වූ රුපියල් 85ට සීනි සපයන්න තිබුණා. ඒ මිල යටතේ ඔවුන්ට ඔවුන්ගේ සාමාන්‍ය ලාබය ලැබෙනවා.


හැබැයි කලින් රුපියල් 50ක බද්දක් ගෙවා සීනි ආනයනය කර තිබුණු අයට රුපියල් 85ට සීනි දෙන්න බැහැ. රේගුවෙන් නිදහස් කර ගන්න කොටම සීනි කිලෝවක් රුපියල් 120.71ක් වෙලා. මේ මිලට 12%ක සාමාන්‍ය ලාබයක් එකතු කළොත් විකුණන්න වෙන්නේ රුපියල් 135.20ක මිලකට. මම කියපු මිල පරතරය රුපියල් 50.76ක්. බද්ද වැඩි වුනු ප්‍රමාණය වූ රුපියල් 49.75ට ආසන්න වෙනසක්. 

බද්ද අඩු කිරීමෙන් පසු, 2020 නොවැම්බර් මුල් සතියේදී සීනි විකිණුනේ කිලෝව රුපියල් 126.25 බැගින්. ඒ කියන්නේ ශත 25 බැගින් බදු ගෙවා සීනි නිදහස් කරගත් අයට 12%ක සාමාන්‍ය ලාබයට අමතරව 41.82ක සුපිරි ලාබයක් ලැබිලා. රුපියල් 50 බැගින් බදු ගෙවූ අයගේ සාමාන්‍ය ලාබයෙන් රුපියල් 8.95ක් අඩු වෙලා.

දළ වශයෙන් මේ කතාව කිවුවොත් රජය රුපියල් 50ක් පාඩු කර ගනිද්දී එයින් රුපියල් 9ක පමණ වාසියක් පාරිභෝගිකයන්ට ලැබෙනවා. හදිසියේ සීනි ගෙන්වපු අයට රුපියල් 41ක සුපිරි ලාබයක් ලැබෙනවා. කලින් සීනි තොග රැස් කරගෙන හිටපු අයට රුපියල් 9ක පාඩුවක් වෙනවා.ඔය නොවැම්බර් මාසයේදී පැවති තත්ත්වය.

මේ වෙද්දී සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 115 පමණ මට්ටමට අඩු වෙලා. ශත 25 බැගින් බදු ගෙවූ අයට 12%ක සාමාන්‍ය ලාබයක් එක්ක රුපියල් 85 බැගින් සීනි සපයන්න පුළුවන් නිසා මෙතැන රුපියල් 30ක සුපිරි ලාබයක් තියෙනවා. අනෙක් අතට රජයට වූ රුපියල් 50ක පාඩුවෙන් රුපියල් 20ක් පමණ පාරිභෝගිකයන්ට ගිහින් තිබෙනවා. කලින් තොග රැස් කරගෙන සිටි අයට රුපියල් 20ක පමණ පාඩුවක්ද සිදු වී තිබෙනවා.

බදු අඩු කළ විට තොග රැස් කරගෙන ඉන්න කෙනෙකුට පාඩුවක් වෙනවා කියන එක සාමාන්‍ය කරුණක්, ව්‍යාපාරිකයෙකු වුනහම ඒ අවදානම ගන්න ඕනෑ. සාමාන්‍ය ලාබ වලින් මේ අවදානමේ අවාසියත් ආවරණය වෙනවා. එකම ප්‍රශ්නය ඒ අවාසිය හැම සැපයුම්කරුවෙකුටම එක විදිහට වුනාද කියන එකයි.

රුපියල් 30ක තීරු බද්ද ගෙවා ලෝක වෙළඳපොළේ දැන් මිලට හා දැන් විණිමය අනුපාතිකයට සීනි ගේන කෙනෙකුට 12%ක සාමාන්‍ය ලාබය නැතුව පිරිවැය ලෙස පමණක් රුපියල් 123.64ක් යනවා. ඒ නිසා, වෙළඳපොළේ මිල දැන් තිබෙන රුපියල් 115 මට්ටමේ තිබියදී හා රට ඇතුළේ සැලකිය යුතු සීනි තොග තිබියදී කවුරුවත් අලුතෙන් සීනි ආනයනය කරන්න පෙළඹෙන්නේ නැහැ. එහෙම කරලා දැන් මිලට වඩා අඩුවෙන් කොහොම වෙතත් දැන් මිලටවත් සීනි විකුණන්න බැහැ. ඒ නිසා ටික කාලයක් යන තුරු ලෝක වෙළඳපොළේ සීනි මිල හෝ විණිමය අනුපාතිකය ලංකාවේ සිල්ලර වෙළඳපොළේ සීනි මිලට බලපෑමක් කරන්නේ නැහැ. කළොත් කරන්නේ රජය විසින් රුපියල් 30ක තීරු බද්ද ඉවත් කළොත් හෝ විශාල ලෙස අඩු කළොත් පමණයි.

රුපියල් 135කට මිල විය යුතු සීනි හා රුපියල් 85ට මිල විය යුතු සීනි ලෙස ගොඩවල් දෙකක් තිබුණත් ඔය සීනි දෙවර්ගයේ වෙනසක් නැහැනේ. කිසියම් ආනයනකරුවෙක් ගත්තොත් එම ආනයනකරු සතුව බොහෝ විට ඔය සීනි දෙවර්ගයම තිබෙනවා. ඒ නිසා ආනයනකරුවෙකුගේ සීනි කිලෝවක සාමාන්‍ය පිරිවැය තීරණය වන්නේ කලින් තිබුණු තොග හා අලුතෙන් ආනයනය කළ තොග ප්‍රමාණ අතර අනුපාතය අනුවයි. 

අලුතෙන් ආනයනය කළේම නැත්නම් සාමාන්‍ය වියදම රුපියල් 135යි. පරණ තොග තිබුණේම නැත්නම් සාමාන්‍ය වියදම රුපියල් 85යි. පරණ තොග හා අලුත් තොග හරි හරියටනම් සීනි කිලෝවක් රුපියල් 110කට පමණ දෙන්න පුළුවන්. ඒ නිසා, දැන් සීනි මිල රුපියල් 115 වීමෙන් අදහස් වෙන්නේ රුපියල් 50 බැගින් බදු ගෙවා ආනයනය කළ සීනි වලින් පාඩුවක් වන බව වුවත් සමස්තයක් ලෙස පාඩුවක් වනවා කියන එකම නෙමෙයි. පරණ තොග අඩු වන තරමට සීනි මිල පහළ යා යුතුයි. 

සීනි මිල කොයි තරම් පහළ යයිද? රුපියල් 85 මට්ටමට පහළ යන්නේනම් නැහැ. එහෙම විය හැකිව තිබුණේ පරණ තොග තිබුනේම නැත්නම් පමණයි. සමහර විට තව පොඩ්ඩක් පහළ යයි. 

ඉතා පැහැදිලිවම සීනි බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයන්ට ගිහින් නැහැ. නමුත් මාසයකට පසුව බද්ද නැවත රුපියල් 50 නොකර රුපියල් 30 කළ එකේ වාසිය පාරිභෝගිකයනට ගිහින් තිබෙනවා. ඔය අතර දින 35ක්  තුළ පමණක් බද්ද ශත 25 මට්ටමේ පවත්වා ගත්තේ ඇයි කියන එකට තර්කානුකූල හේතුවක් පෙනෙන්න නැහැ. මේ කාලය ඇතුළත ශත 25ක බද්ද ගෙවා ආනයනය කළ සීනි වලින් එසේ ආනයනය කළ අය සුපිරි ලාබයක් ලබා තිබෙනවා. එය රජයේ ආදායමෙන් අඩු වූ එහෙත්  පාරිභෝගිකයන්ට නොලැබුණු කොටසක්. 

ප්‍රමාණය කොපමණද කියන එක තීරණය වෙන්නේ ශත 25 බැගින් ආනයනය කර තිබෙන සීනි ප්‍රමාණය මතයි. අලාභය ගණනය කිරීමේදී මෙම සීනි කිලෝග්‍රෑම් ප්‍රමාණය රුපියල් 49.75කින් වැඩි කරන්නේ නැතිව රුපියල් 19.75කින් වැඩි කිරීම වඩා නිවැරදි බවයි මම හිතන්නේ. අන්දරේ සීනි කෑවේ කා එක්කද කියලා හරියටම දැන ගන්න වෙන්නේනම් බැඳුම්කර සිද්ධියේදී වගේ කොමිසම් දෙක තුනක් දමලා තමයි!

Tuesday, March 30, 2021

උඩ කරනම් ගහන රාළහාමිත් වින්දිතයෙක්!


රථවාහන පොලීසියේ රාළහාමිගේ උඩ කරනම් වීඩියෝව ගොඩක් අය දකින්න ඇති. රාළහාමිගේ වැඩ තහනම් වෙලා වගේ කතාවකුත් දැක්කා. පහර කෑ පුද්ගලයා ජෝජ් ෆ්ලොයිඩ් තරම් අවාසනාවන්ත වුනේ නැහැ. හැබැයි ජෝජ් ෆ්ලොයිඩ්ගේ ගෙල හිර කරපු පොලිස් නිලධාරියා විසින් කළේ පොලිස් අත්පොතේ තිබුණු, තමන්ගේ පොලිස් පුහුණුවේ කොටසක් වූ දෙයක්. හෙළ බොජුන් ඉස්සරහ රාළහාමි ගහන උඩ කරනම්නම් පොලිස් පොතේ තියෙනවා වෙන්න බැහැ. රාළහාමි ක්‍රියාවෙන් වගේම කතාවෙනුත් හරිම සංවරයි! පහර කෑ මනුස්සයා අපේ රජය තියෙද්දීත් වරදක් කළ නිසා රාළහාමිට කේන්ති ගියාද දන්නේ නැහැ. කරපු වැරැද්ද මොකක් වුනත් රාළහාමිගේ හෙළ බොජුන් සත්කාරයනම් මාරයි!

ලංකාවේ පොලිස් නිලධාරීන්ට උඩ කරනම් බිම කරනම් ගහන එකේ ඉඳලා පන්දාහේ කොළ ගිලින එක දක්වා ගොඩක් රාජකාරී කරන්න තිබෙනවා. ඔය අතරේ සමහර වෙලාවට පොලිස් රාජකාරිත් කරනවා. නිවාඩු වෙලාවට බෙලි කපලා බෑග් වල පැක් කරන එක වගේ වැඩත් කරනවා.

ලංකාවේ පොලිස් සේවය මධ්‍යගත එකක්. ඒ නිසා පස්සර බස් අනතුර සිදු වූ තැන වගේ තැන් වල සේවයේ යොදවන්න පොලිස් නිලධාරීන් නැතත් ප්‍රභූ ආරක්ෂාවට ඕනෑ තරම් පොලිස් නිලධාරීන් ඉන්නවා. පොලිස් සේවයේ නිරත නිලධාරීන්ගෙන් කොපමණ ප්‍රතිශතයක් ප්‍රභූ ආරක්ෂක සේවයේ යෙදී සිටිනවාද කියන එක හොඳ ප්‍රශ්නයක්.

පොලිස් සේවය විමධ්‍යගත වී තිබුණානම් බොහෝ විට පස්සර ප්‍රශ්නය වගේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනවා. මම කියන්නේ පළාත් සභා වලට පොලිස් බලතල දීම වැනි ජාතිවාදී අරමුණකින් කරන විමධ්‍යගත කිරීමක් ගැන නෙමෙයි. මහජන ආරක්ෂාව සැපයීම වගේ දේවල් ප්‍රාදේශීය සභා මට්ටමටම යනවානම් වඩාත් හොඳයි. දැන්නම් ප්‍රාදේශීය සභා පළාත් සභා ආදී සියල්ලම දේශපාලනඥයින් පුහුණු කරන ඇකඩමි විතරයිනේ.

පොලීසිය පහළම මට්ටමකින් පාලනය වන ඒකකයක් වූ විට අදාළ ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සේවය ලබා දෙන්න පොලීසියට සිදු වෙනවා. මධ්‍යගත පොලීසියකට සේවය කරන නිලධාරීන්ට වෙන්නේ ලොක්කෝ කියන විදිහට උඩ කරනම් බිම කරනම් ගහන්නයි. සමහර වෙලාවට නැන්ද මාමලා බලන්න තෑගි බෝග අරගෙන යන්නත් වෙනවා.

පොලිස් දෙපාර්තමේන්තුවෙන් පඩි ගත්තත් ගොඩක් පොලිස් රාළහාමිලාට සේවය කරන්න වෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන්. විශේෂයෙන්ම රථවාහන පොලීසියේ නිලධාරීන්ට. මේ අය තමන්ට දෙන ටාගට් කවර් කළ යුතුයි. මාසේ අන්තිමට ටාගට් කවර් කරලා නැත්නම් උඩ කරනම් රාළහාමිගේ ලොක්කා උඩ කරණම් රාළහාමිට කතා කරන්නෙත් ඔය වීඩියෝ එකේ ඇහෙන වචන වලින්ම තමයි.

ලංකාවේ රථවාහන පොලිස් නිලධාරීන් සාමාන්‍යයෙන් ඉන්නේ නොපෙනෙන තැනක හැංගිලා. එහෙම කරන්නේ වරදක් කරන්න පොළඹවා දඩ කොළයක් දෙන්නයි. අරමුණ දඩය මිසක් වරද සිදු වීම වැළැක්වීම නෙමෙයි. ඇමරිකාවේනම් ඔය වැඩේ වෙන්නේ අනෙක් පැත්තට. පොලිස් නිලධාරියෙක් බොහෝ විට පෙනෙන්නම ඉන්නවා. නිලධාරියාව දැක්කට පස්සේ ගොඩක් අය ක්ෂණිකව වේගය අඩු කරනවා. ඉලක්කය වන්නේ අනතුරු වැළැක්වීම මිසක් දඩ ගහන එක නෙමෙයි. දඩ ගහන්නේ අනතුරු අඩු කරගන්න.

ලංකාවේ රථවාහන පොලිස් නිලධාරීන්ට ටාගට් දෙන්නේ භාණ්ඩාගාරයට අරමුදල් එකතු කරලා දෙන්න මිසක් අනතුරු අඩු කරන්න නෙමෙයි. දඩ කොළ ලියලා ටාගට් කවර් කරන්නනම් වැරදි අඩු කරලා හරියන්නේ නැහැ. වැරදි දිගටම සිදු වෙන්න ඕනෑ. සුරාබදු නිලධාරීන් වගේ අය ගත්තත් ඔහොමයි. හොර මත්පැන් මත්ද්‍රව්‍ය නැති වුනොත් ටාගට් කවර් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වැඩ කරන අයත් එක්ක සහජීවනයක් පවත්වා ගන්න වෙනවා. නැත්නම් කොහොමද මාසෙ අන්තිමට ටාගට් කවර් කරන්නේ?

රථවාහන පොලිස් නිලධාරීන් රියැදුරන්ට වේගයෙන් යන්න ඉඩ සලසමින් හැංගිලා ඉඳිද්දී ලයිට් ගහලා වාහන වල වේගය පාලනය කරන්නේ පාරේ අනෙක් පැත්තෙන් එන වාහන වල රියැදුරන්. අනෙක් පැත්තෙන් වෙන්නේ අඳුරන වාහනයක් වෙන්න අවශ්‍ය නැහැ. මේවා ලංකාවේ වාහන එළැවීමේ ආචාර ධර්ම. ඇමරිකාවේනම් රියැදුරෙක් පාරේ පිස්සු කෙළින කොට අනෙක් රියැදුරන් විසින් කරන්නේ පොලීසියට දැනුම් දෙන එකයි. 

ලංකාවේ හා ඇමරිකාවේ සාමූහිකත්වයේ වෙනස ඕකයි. ලංකාවේ සාමූහිකත්වය ක්‍රියාත්මක වන්නේ වරදකරුවන්ව ආරක්ෂා කරන්න. ඇමරිකාවේ සාමූහිකත්වය ක්‍රියාත්මක වන්නේ වරදකරුවන්ගෙන් සමාජය ආරක්ෂා කරන්න. 

එක පැත්තකින් මේ වෙනසට හේතු වී තිබෙන්නේ ලංකාවේ නීතිය හා සාමාන්‍ය මිනිස්සු අතර තිබෙන දුරස්ථ භාවයයි. නීතිය උන්ගේ. පොලීසියත් උන්ගේ. පොලීසිය ප්‍රාදේශීය පොලීසියක් වුනානම් එය අපේ පොලීසියක් මිසක් උන්ගේ පොලීසියක් වෙන්නේ නැහැ. නීතිය මිනිස්සුන්ගේ තේරීමක් වුනානම් එය අපේ නීතියක් මිසක් උන්ගේ නීතියක් වෙන්නේ නැහැ. වැරැද්ද එංගලන්තයට පටවන්න පුළුවන් වුනත් අවුරුදු හැත්තෑ තුනකට පස්සේත් එංගලන්තයටම බැණ බැණ ඉන්න එකේනම් අවුලක් තියෙනවා.

උඩ කරනම් රාළහාමි විශාල පීඩනයකින් ඉන්න බව පැහැදිලියි. මාසේ අන්තිම වෙද්දී රථවාහන පොලීසියේ නිලධාරීන්ගේ ආතතිය වැඩි වෙන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. ආණ්ඩුව පිස්සුවෙන් වගේ සල්ලි හොයන මේ දවස් වල පොලිස් නිලධාරීන්ගේ ටාගට් සමහර විට වැඩි කරලා ඇති. ඔය මහ පාර මැද්දේ හෙළ බොජුන් සත්කාර භුක්ති විඳින මනුස්සයා වගේම උඩ කරනම් ගහන රථවාහන පොලීසියේ රාළහාමිත් වින්දිතයෙක්!

Monday, March 29, 2021

අන්දරේ සීනි කෑ හැටි (අටවන කොටස)

අන්දරේට වගේ හැමෝටම නොමිලේ රජවාසල සීනි කන්න ලැබෙන්නේ නැහැ. සීනි කන්නනම් සීනි වල මිලත් ගෙවන්න වෙනවා. නිදහස් වෙළඳපොලක සීනි මිල තීරණය වෙන්නේ කොහොමද? ඉල්ලුම හා සැපයුම මත කියා සරලව කියන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේ මූලික පාඩමක් වුනත් ඔය ඉල්ලුම හා සැපයුම ගැන කතා කරන හැමෝම හරියටම මේ ගැන දන්නවද?

මේ ලිපි මාලාවේ මුල් කොටස් පහෙන් අපි ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ඇතුළු ආර්ථික විද්‍යාවේ සම්මත මූලික කරුණු ගැන හැදෑරුවා. හයවන හා හත්වන කොටස් වලින් ලංකාවේ සීනි වෙළඳපොළේ මූලික ලක්ෂණ ගැන කතා කළා. මේ කොටසින් අපි සීනි වලට බදු ගැසීමේ මෑතකාලීන ඉතිහාසය ගැන කතා කරමු. 

බදු ගහන එකේ ප්‍රධානම අරමුණ රජය නඩත්තු කිරීමේ වියදම ආවරණය කර ගැනීම. ඊට අමතරව, රටේ ආදායම් විෂමතාවය අඩු කිරීම, දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීම, අහිතකර පුරුදු අධෛර්යමත් කිරීම වගේ වෙනත් අරමුණු මතද බදු අය කරනවා. වෙනත් අරමුණු තිබෙන අවස්ථා වලදී පවා බොහෝ විට ලංකාවේ බදු ප්‍රතිපත්තිය තුළ වැඩි ප්‍රමුඛතාවයක් ලැබෙන්නේ රජය නඩත්තු කිරීමේ වියදම ආවරණය කර ගැනීමටයි.

ලංකාවේ බදු බොහොමයක් පාරිභෝගිකයින් විසින් ගෙවන වක්‍ර බදු. මේ ආකාරයේ බදු වලින් ආදායම් විෂමතාවය තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. සීනි බද්දම හොඳ උදාහරණයක්. ආදායමේ ප්‍රතිශතයක් ලෙස ගත්තොත් සීනි වෙනුවෙන් වැඩි වියදමක් දරන්නේ පහළ ආදායම් ස්ථර වල අය. ඒ නිසා, සීනි බද්ද වගේ බද්දකින් ඉහළ ආදායම් ස්ථර වල අයගෙන් ඉතා සුළු බදු අනුපාතිකයක් අය කෙරෙද්දී පහළ ස්ථර වල අයගේ ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් බදු ලෙස අය කෙරෙනවා.


ඉහත ප්‍රස්ථාරයේ පෙන්වා තිබෙන්නේ ලංකාවේ එක් එක් ආදායම් කාණ්ඩය තමන්ගේ ආදායමෙන් කොපමණ ප්‍රතිශතයක් සීනි මිල දී ගැනීමට වැය කරනවාද කියන එකයි. පහළම ආදායම් ලබන 10% තමන්ගේ ආදායමෙන් 2.24%ක් සීනි වෙනුවෙන් වැය කරද්දී ඉහළම ආදායම් ලබන 10% සීනි වෙනුවෙන් වැය කරන්නේ තමන්ගේ ආදායමෙන් 0.22%ක් පමණයි. සීනි වල මිලෙන් 30%ක් බදු සේ සැලකුවොත් පහළම ආදායම් ලබන 10% සීනි බදු විදිහට තමන්ගේ ආදායමෙන් 0.672%ක් ගෙවනවා. නමුත් ඉහළම ආදායම් ලබන 10% ගෙවන්නේ තමන්ගේ ආදායමෙන් 0.066%ක් පමණයි. පහළම ආදායම් ලබන අයගේ "ආදායම් බදු" අනුපාතිකය ඉහළම ආදායම් ලබන අයගේ අනුපාතිකය මෙන් දහ ගුණයකට වඩා වැඩියි. ඕක තමයි ලංකාවේ සමාජවාදය!

ප්‍රශ්නයක් නැහැ. ජනතාවගේ කැමැත්ත කියල කියමුකෝ. විශාල රජයක් නඩත්තු කරන්න අවශ්‍යනම් එහි වියදමත් කවුරු හරි දැරිය යුතුයිනේ. 

සීනි වලින් ලංකාවේ පාරිභෝගිකයන්ගෙන් බදු අය කරන එක කාලයක් තිස්සේම සිදු වන දෙයක්. සීනි වලින් විතරක් නෙමෙයි. තවත් බොහෝ පාරිභෝගික භාණ්ඩ හා අදාළව කතාව ඕකයි. නමුත් අපේ දැන් කතාව සීනි ගැනනේ! 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ සීනි ආනයන මත "විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්" පනවන විට සීනි ආනයන මත බදු වර්ග හතරක් අය කෙරෙමින් තිබුණා.

වැට් බද්ද - 15%

වරාය සංවර්ධන බද්ද - 7.5%

ජාතිය ගොඩනැගීමේ බද්ද - 2%

තීරු බදු - කිලෝ ග්‍රෑමයකට රුපියල් 12/=

මොන නමින් බදු ගැහුවත් ලංකාවේ සීනි වෙළඳපොළේ ස්වභාවය අනුව බද්ද ගෙවන්න වෙන්නේ පාරිභෝගිකයන්ට බව මම කලින් පැහැදිලි කළානේ. ඒ වගේම මේ බදු වල බර වැඩිපුරම දැනෙන්නේ පහළම ආදායම් ස්ථර වලට බවත් පැහැදිලි විය යුතුයි. 

විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත සම්මත කිරීමෙන් පසුව ඉහත කී බදු හතර වෙනුවට සීනි වලට තනි බද්දක් යෝජනා කෙරුණා. මේ බද්දේ නියම නම විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද. අපේ පහසුවට අපි මින් ඉදිරියට මේ බද්ද සීනි බද්ද ලෙස හඳුන්වමු. විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පනවනු ලැබුවේ සීනි වලට පමණක් නෙමෙයි. මම මෙහිදී සීනි බද්ද ලෙස හඳුන්වන්නේ සීනි මත පනවනු ලැබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද.

ඔය සීනි බද්ද දැම්මට පස්සේ පැවති ආණ්ඩු විසින් වරින් වර බද්ද සංශෝධනය කර තිබෙනවා. බොහෝ විට බද්ද සංශෝධනය කර තිබෙන්නේ ජාත්‍යන්තර සීනි මිල ගණන් වෙනස් වෙද්දී දේශීය සීනි මිල ස්ථාවරව තබා ගත හැකි ආකාරයකටයි. ඒ කියන්නේ ලෝක වෙළඳපොළේ සීනි මිල අඩු වෙන කොට බද්ද වැඩි කරනවා. ලෝක වෙළඳපොළේ සීනි මිල වැඩි වෙන කොට බද්ද අඩු කරනවා.

මේ විදිහට බදු වෙනස් කරද්දී බොහෝ විට, ආණ්ඩු භේදයක් නැතිව, කියන බොරු කිහිපයක් තිබෙනවා. එකක් පාරිභෝගිකයන්ට සෙත සැලසීම. පට්ට පල් බොරු!

ලෝක වෙළඳපොළේ සීනි මිල වැඩි වෙන කොට සීනි බද්ද අඩු කරන එක හරියට ගං වතුර එද්දී ගැට ගහල ඉන්න හරකෙක්ව ලිහනවා වගේ වැඩක්. ඔය වැඩෙන් හරකාගේ ජීවිතේ බේරෙනවා තමයි. හැබැයි ඔය විදිහට ගං වතුරට යට වෙලා මැරෙන්න නොඇර හරකගේ කඹේ කපන්නේ ඇයි? හරකට තියෙන ආදරේකටද?

කඹේ කැපුවට පස්සේ හරකා පණ එපා කියලා දුවලා කොහොම හරි බේරෙනවා. හැබැයි ගංවතුර බැස්සට පස්සේ ඌට තණකොළ ටිකක් උලා කාලා නිදහසේ ඉන්න ලැබෙන්නේ නැහැ. ආපහු අල්ලගෙන ඇවිත් ගහේ බඳිනවා. මොකටද කියල කියන්න ඕනෑ නැහැනේ.

සීනි බද්ද අඩු කරලා පාරිභෝගිකයන්ට සෙත සලසන එකත් ඔය වගේම වැඩක්. ඇයි හත් දෙයියනේ පාරිභෝගිකයන්ට සෙත සලසන්න අවශ්‍යනම් ඔය බද්ද අය නොකරම හිටියහම ඉවරයිනේ! 

අපි කියමු සීනි මිල ස්ථාවරව තිබෙන එක පාරිභෝගිකයාට වාසියක් කියලා. එකම අරමුණ ඕකනම් රජයකට "බදු-උදාසීන (tax-neutral)" මැදිහත් වීමක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මිල අඩු වෙද්දී බද්දක් අය කළත් මිල ඉහළ යද්දී සහනාධාරයක් විදිහට ඒ අය කරගත් බදු මුදල් ආපසු ගෙවනවා. එහෙම දෙයක් වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ මෙතැන තිබෙන අරමුණ රජයේ නඩත්තුවට ආදායම් උපයා ගැනීම කියන එක ආයේ හංගන්න දෙයක් නැහැ.

සීනි මිල ස්ථාවරව තියා ගැනීමේ වාසියත් ඇත්තටම වක්‍ර ලෙස රජයටමයි. මොකද සීනි වගේ පාරිභෝගික භාණ්ඩ වල මිල වැඩි වෙද්දී උද්ධමනය ඉහළ ගොස් ඇති බව පේන්න ගන්නවා. විශේෂයෙන්ම රටේ මුදල් සැපයුම විශාල ලෙස වැඩි වී තිබෙන මේ වගේ කාලයක. මොන විදියෙන් හරි සීනි මිල ස්ථාවරව තබා නොගත්තොත් උද්ධමනය තුළ එය නිරූපනය වෙනවා. එවිට උද්ධමනයට අනුරූපව රාජ්‍ය සුරැකුම්පත් සඳහා ගෙවිය යුතු පොලී අනුපාතික වැඩි කරන්න වෙනවා. රජයට විශාල පාඩුවක් වෙනවා. සීනි මිල ස්ථාවරව තබා ගැනීමෙන් උද්ධමනය කෘතීම ලෙස පාලනය කළ හැකියි. පණිවිඩය ලැබෙන්නට පෙර පණිවිඩකරු නැවැත්වීමේ උපාය මාර්ගය!

ලංකාවේ වාර්ෂික සීනි ආනයනය කිලෝග්‍රෑම් මිලියන 600ක් පමණ. මෑත වසර වලදී සීනි බද්ද තිබුණේ රුපියල් 33-35 මට්ටමේ. ඒ කියන්නේ මෑත වසර වලදී සීනි බද්දෙන් රජය වසරකට රුපියල් බිලියන 20ක් පමණ උපයා තිබෙනවා. 

ඔය විදිහට සීනි වලට බදු ගහන්න හේතුවක් විදිහට ඉදිරිපත් කරන තවත් කාරණාවක් වන්නේ දේශීය සීනි කර්මාන්තය ආරක්ෂා කර ගැනීමයි. රටවල් වලට ඔය විදිහේ ජාතික අභිලාශ තිබීමේ වැරැද්දක් නැහැ. ඒ වගේම ජාතික අභිලාශ වෙනුවෙන් පිරිවැයක් දරන්නත් වෙනවා. හැබැයි ගඟේ මූදේ දැම්මත් ගාණක් මිම්මක් ඇතුව කියා කියනවනේ. මේ ජාතික අභිලාශය වෙනුවෙන් කොයි තරම් පාඩුවක් දරන්න වෙනවද?

දේශීය සීනි නිෂ්පාදකයා කිවුවට ලංකාවේ ඉන්න එකම දේශීය සීනි නිෂ්පාදකයාත් ලංකාවේ රජයම තමයි. එතකොට මේ දේශීය සීනි කර්මාන්තය ආරක්ෂා කර ගැනීම කියා කියන්නේත් "අපි වෙනුවෙන් අපි" වැඩක්. 

ලංකාවේ සීනි නිෂ්පාදනය මුළුමනින්ම වගේ කරන සෙවණගල හා පැල්වත්ත සීනි කර්මාන්තශාලා තිබෙන්නේ රජයට අයිති ලංකා ෂුගර් පෞද්ගලික සමාගම යටතේ. ඒ වගේම දැනට ක්‍රියාත්මක නැති වුවත්, වැටුප් ලබන අධ්‍යක්ෂ්‍ය වරුන් සිටින කන්තලේ සීනි කම්හල වගේම හිඟුරාන සීනි කම්හලත් තිබෙන්නේ රජයේ පාලනය යටතේ. තව සීනි පර්යේෂණ ආයතනයකුත් තියෙනවා. ටික කලකට පෙර වෙනම සීනි ඇමති කෙනෙකුත් හිටියා. දැන් වෙනම අමාත්‍යංශයක් නැතත් එම අමාත්‍යංශය යටතේ වූ ආයතන වල වියදම නැති වී නැහැ. 

පසුගිය 2019 වසර තුළ ලංකා ෂුගර් පෞද්ගලික සමාගම විසින් සීනි කිලෝග්‍රෑම් මිලියන 41.2ක් රුපියල් මිලියන 5,458කට අලෙවි කර තිබෙනවා. ඒ අනුව දේශීය සීනි කිලෝවක් විකුණා තිබෙන්නේ රුපියල් 126.98 බැගින්. එම වසරේදී සීනි කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 104.09ක් පමණයි. සමහර විට තවත් එක් පාඩු ලබන රාජ්‍ය ආයතනයක් වන සතොස විසින් සීනි වැඩි මිලට මිලදී ගෙන අඩු මිලට විකිණුවාද කියා මා දන්නේ නැහැ.

ඔය විදිහට සීනි කිලෝවක් රුපියල් 127කට පමණ විකිණීමෙන් පසුවත් 2019 වසර තුළ ලංකා ෂුගර් විසින් ලබා තිබෙන පාඩුව රුපියල් මිලියන 1,308ක්. ඒ කියන්නේ සීනි කිලෝවකට රුපියල් 31.77ක්. ඒ අනුව, ලංකා ෂුගර් පෞද්ගලික සමාගමට පාඩු නොලබන්නටනම් සීනි කිලෝවක් රුපියල් 158.75 බැගින්වත් විකුණන්නට හැකි විය යුතුයි. 2019 වසරේදී ආනයනික සීනි කිලෝවක මිල නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තුද සමඟ රුපියල් 64.54ක් පමණයි. මේ අනුව ජාතික අභිලාශ වෙනුවෙන් දේශීය සීනි පාරිභෝගිකයෙකු විසින් සෘජුව හා වක්‍රව ගෙවිය යුතු මිල රුපියල් 94.21ක්. 

ලංකා ෂුගර් පෞද්ගලික සමාගම හැම වසරකම පාඩු ලබන්නේ නැහැ. ලාබ ලබන වසරවල්ද තිබෙනවා. හැබැයි පසුගිය වසර පහේ ලාබ අලාබ එකතුව ගත්තත් එකතුව රුපියල් මිලියන 808ක්. ඒ නිසා ඉහත ඇස්තමේන්තුව තරමක් වැඩි ඇස්තමේන්තුවක් විය හැකි වුවත් ජාතික අභිලාශ වෙනුවෙන් දේශීය සීනි පාරිභෝගිකයෙකු විසින් සැලකිය යුතු මිලක් ගෙවිය යුතුයි කියන එක බොරුවක් නෙමෙයි. සීනි පර්යේෂණ ආයතනය ඇතුළු ආයතන නඩත්තු කිරීමේ පිරිවැයද මේ මිලට එකතු කළ යුතුයි. සීනි ඇමති කෙනෙක් සිටිද්දී එම අමාත්‍යංශයේ වාර්ෂික වියදම් රුපියල් බිලියන 1.5කට ආසන්න මට්ටමක තිබුණා.

ලංකා ෂුගර් පාඩු, සීනි ඇමැතිලාගේ වියදම් ආදී සියල්ල එකතු කළත් ඕනෑනම් වැඩිම වුනොත් බිලියන දෙක තුනක් වෙයි. ඒ කියන්නේ සීනි බද්ද විදිහට අය කරන රුපියල් බිලියන 20ක පමණ මුදලින් ජාතික අභිලාශ වෙනුවෙන් යම් හෙයකින් මුදලක් වැය කෙරෙනවානම් එසේ වැය කෙරෙන්නේ බදු මුදලෙන් ඉතාම සුළු කොටසක් පමණයි. ඉතිරි කොටස ක්‍රියා කරන්නේ රටේ දුප්පතුන්ට වැඩි බරක් වැටෙන ආදායම් බද්දක් විදිහටයි. ඒ මුදලින් නඩත්තු වෙන්නේ කවුද?

Sunday, March 28, 2021

වාර්ෂික යුවාන් කප්පම හා රුපියල පදවන අත


ලංකාව අළුතෙන්ම අරගෙන තිබෙන ණය යුවාන් ණයක්. ඩොලර් වලින් නැතුව යුවාන් වලින් මේ ණය අරගෙන තියෙන්නේ ඇයි? ඇත්තටම කියනවානම් අහන්න තියෙන්නේ ලංකාව යුවාන් වලින් නැතුව ඩොලර් වලින් ණය ගත යුත්තේ ඇයි කියන ප්‍රශ්නයයි. මොකද ඇත්තටම ලංකාවට හිඟ යුවාන් මිසක් ඩොලර් නෙමෙයි.

මේ ලංකාව යුවාන් වලින් ණය ගත්ත පළමු අවස්ථාව නෙමෙයි. කාලයක් තිස්සේම ලංකාව යුවාන් වලින් ණය ගන්නවා. ඒ වගේම ඩොලර් නොවන වෙනත් විදේශ ව්‍යවහාර මුදල් වලින්ද ණය ගන්නවා. බොහෝ විට කතාබහට ලක්වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙන ණය SDR ණය (special drawing rights). SDR කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජාත්‍යන්තර මුදල් ඒකකයයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගනුදෙනු කරන්නේ SDR වලින්.

ණය ගන්නේ කවර විදේශ ව්‍යවහාර මුදලකින් වුවත්, ණය ගැන කතා කරද්දී බොහෝ විට එවැනි ණය මුදලක් ඩොලර් වලට පරිවර්තය කරලා ඩොලර් වලින් ප්‍රකාශ කරන එක රජය, මහ බැංකුව වගේම මාධ්‍ය විසින්ද කරන දෙයක්. එය සංසන්දනය කිරීමේ පහසුවට කරන දෙයක්. මෙවර වුනත් යුවාන් බිලියන 10 සමහර වෙලාවට ඩොලර් බිලියන 1.5ක් විදිහට හැඳින්වෙන්නේ මේ සම්ප්‍රදාය අනුවයි.

කොහොම වුනත්, ණයක් කියා කිවුවට මේ ගණුදෙනුව විණිමය හුවමාරු ගිවිසුමක්. විණිමය හුවමාරු ගිවිසුමක් කියන්නේ කුමක්ද කියා මම කලින් පැහැදිලි කරලා තිබෙනවා. මෙවැනි ගිවිසුමකට එළැඹෙන්නේ රටවල් දෙකක මහ බැංකු. සාමාන්‍ය ණයකදී මෙන් අදාළ ව්‍යවහාර මුදල් ඒකක ගැන කතා නොකර විණිමය හුවමාරු ගිවිසුමක් ගැන කතා කරන්න බැහැ. ඒ නිසා, මෙවර ණය ගත්තේ යුවාන් වලින් කියන එකට මහ බැංකුවේ පුවත්පත් නිවේදනයෙහි වෙනදාට නැති අවධානයක් යොදවා තිබෙනවා. 

මම කලින් කිවුවා වගේම සාමාන්‍යයෙන් මෙහි ලියන ලිපිද ඇතුළු බොහෝ ලිපිවල ලංකාවට ඩොලර් හිඟයක් තිබෙන බව බොහෝ වර කියා ඇති නමුත් මෙහිදී ඩොලර් කියන එකෙන් අදහස් වන්නේ පොදුවේ රුපියල් නොවන විදේශ මුදල් කියන එකයි. හරියටම බැලුවොත් යුවාන් හිඟයක් හා ඉන්දියානු රුපියල් හිඟයක් මිසක් ඩොලර් හිඟයක් නැහැ. 

චීන ආනයන වෙනුවෙන් 2019 වසරේදී ලංකාව ඩොලර් බිලියන 4.08ක් වැය කර තිබෙනවා. එහෙත් චීනය ලංකාවේ අපනයන වෙනුවෙන් ගෙවා තිබෙන්නේ ඩොලර් මිලියන 391ක් පමණයි. මේ අනුව මෙහි ඩොලර් බිලියන 3.67ක හිඟයක් තිබෙනවා. සෑම වසරකම වගේ තත්ත්වය මෙවැන්නක්. 

දැන් මෙහි ඩොලර් බිලියන 3.67ක හිඟයක් කියා කිවුවත් ඇත්තටම මෙය ඩොලර් වලට පරිවර්තනය කර ඉදිරිපත් කරන යුවාන් බිලියන 24ක හිඟයක්. ලංකාවට චීනයෙන්ම යුවාන් නොලැබුනොත් යුවාන් හොයා ගන්න වෙන ක්‍රමයක් නැහැ. ලංකාව කාලයක් තිස්සේම කරන්නේ යුවාන් වෙනුවට ඇමරිකාවට ඇඟලුම් ඇතුළු භාණ්ඩ අපනයනය කර හා වෙනත් විවිධ ක්‍රම වලින් රටට ලැබෙන ඩොලර් චීනයට ගෙවන එකයි. 

චීනයට ඇත්තටම ඩොලර් වලින් වැඩක් නැහැ. ලංකාව සමඟ කරන වෙළඳාමෙන් වගේම ඇමරිකාව සමඟ කරන වෙළඳාමෙනුත් චීනයට කාලයක් තිස්සේ ඩොලර් ලැබෙනවා. වෙනත් තෙවන රටවල් වලින්ද ඩොලර් ලැබෙනවා. මේ ඩොලර් වලින් ආදායමක් උපයන්නනම් චීනයට එම ඩොලර් නැවත ණය සේ කාට හෝ දෙන්න වෙනවා. ඇමරිකාව ණය ගන්නේ ඉතාම අඩු පොලියකට. පොලිය ශුන්‍ය මට්ටමට ආසන්නයි. ඒ නිසා චීනයට ඇත්තටම මේ ඩොලර් බරක්. 

චීනය සතුව තිබෙන ඩොලර් චීනයට බරක් වුවත් මේ ඩොලර් එළියට දමන එකේ පාඩුවත් අන්තිමට චීනයටමයි. එසේ කළොත් ඇමරිකන් ඩොලරය විශාල ලෙස බාල්දු වෙයි. නමුත් ඒ එක්කම ඇමරිකන් නිෂ්පාදන විශාල ලෙස ලාබ වෙනවා. ඇමරිකාවට චීනය සතු නිෂ්පාදන වෙළඳපොළවල් අල්ලගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම චීනයට ඇමරිකන් වෙළඳපොළ අහිමි වෙනවා. ඒ නිසා චීනය සතු ඩොලර් සංචිත කියා කියන්නේ චීනයට කොටි වලිගයක්. එක පාරට කොටි වලිගය අතාරින්න බැරි වුනත් උපක්‍රමික ලෙස කොටියාගෙන් නිදහස් වෙන්න චීනය සැලසුම් කරන බවයි ඔවුන්ගේ අලුත්ම පස් අවුරුදු සැලැස්මෙන් පෙනෙන්නේ.

චීනයට චීනයේ හදන බඩු විකුණන්න මිසක් ඩොලර් එකතු කරගෙන ගොඩ ගහගන්න අවශ්‍ය නැහැ. චීන බඩු රටින් පිට විකුණන්න පුළුවන් වෙන්නේ චීන යුවානය අවප්‍රමාණය වී තිබෙන තරමටයි. ඒ කියන්නේ අනෙක් මුදල් ඒකක අධිප්‍රමාණය වී තිබෙන තරමටයි. අනෙක් මුදල් ඒකක අධිප්‍රමාණය කරන්නනම් එම මුදල් මිල දී ගෙන ඉල්ලුම කෘතීම ලෙස වැඩි කළ යුතුයි. වක්‍ර විදිහට චීනය කාලයක් තිස්සේම ඇමරිකාවට කළේ ඒකයි.

චීනය විසින් යුවාන් ගෙවා ඇමරිකාවෙන් ඩොලර් මිල දී ගන්නවා. මේ වැඩෙන් ඩොලරය අධිප්‍රමාණය වෙලා ඇමරිකන් බඩු වලට සාපේක්ෂව චීන බඩු ලාබ වෙනවා. ඇමරිකාවේ නිෂ්පාදන කර්මාන්ත වැහෙනවා. ඇමරිකානුවන්ගේ රස්සා චීනයට යනවා. ඇමරිකාවට මේ යුවාන් වලින් වැඩක් නැති නිසා ඇමරිකාව ඒ යුවාන් නැවත චීනයටම දීලා චීනයෙන් භාණ්ඩ මිල දී ගන්නවා. නමුත් චීනය එකතු කර ගන්න ඩොලර් වලින් ඇමරිකන් භාණ්ඩ මිල දී නොගෙන ඒ විදිහටම තියා ගන්නවා. නිකම්ම තියාගෙන ඉන්න එක පාඩු නිසා සුළු පොලියකට ඇමරිකාවේම ආයෝජනය කරනවා. ඇමරිකාවට චීනය සමඟ වෙළඳාමෙන් පාඩුවක් වුනත් එහි හිලවුවට අඩු පොලියට අරමුදල් ලැබෙනවා. සල්ලි චීනයෙන් වුනත් ගෙවන පොලිය තීරණය කරන්නේ ඇමරිකාව.

මෙතෙක් කල් ලංකාව ඇමරිකාවෙන් හෝ වෙනත් රටකින් උපයාගත් ඩොලර් චීනයට ගෙවමින් හිටියා. උපයන ඩොලර් ප්‍රමාණවත් නොවෙද්දී ගිණි පොලියට ණයට අරගෙන චීනයට ගෙවුවා. දැන් ලංකාව ණය ගන්න බැරුව හිර වෙලා. ඩොලරය කඩා වැටෙන එක නවත්වාගෙන ඉන්නේ බොහොම අමාරුවෙන් බවත්, ඉදිරියේදී රුපියල විශාල ලෙස අවප්‍රමාණය විය හැකි බවත් ළඟදී ආණ්ඩුවේ ඇමතිවරයෙක්ම කියල තිබුණේ. 

රුපියල කඩා වැටුණොත් චීනයට මොකද වෙන්නේ? චීන බඩු වල මිල ලංකාවේ රුපියල් වලින් විශාල ලෙස ගණන් යනවා. ලංකාවේ චීන බඩු විකිණෙන එක නවතිනවා. ලංකාවෙන් චීනයට ලැබෙන යුවාන් බිලියන 24ක වාර්ෂික "කප්පම" චීනයට අහිමි වෙනවා. ඒ නිසා දැන් චීනයට අවශ්‍ය මොන ජාතියෙන් හරි රුපියල අවප්‍රමාණය වන එක වළක්වන්නයි. ඒ වෙනුවෙන් ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින්ම කටයුතු කරන නිසා චීනයට මේ වැඩේ හරිම පහසුයි. ඇමරිකාව එක්ක කරන ගනුදෙනු වලදී වගේ කිසිම ආතතියක් නැහැ. චීනයට අවශ්‍ය රුපියල ශක්තිමත් කරන්න. ලංකාවට අවශ්‍යත් ඒකමයි.

චීන යුවාන් ගෙවා ඇමරිකන් ඩොලර් මිල දී ගෙන කාලයක් තිස්සේ ඇමරිකන් ඩොලරයේ අගය අවප්‍රමාණය වීම වැළැක්වුවා වගේම දැන් චීනය ලංකාවේ රුපියලටත් අත ගහලා තිබෙනවා. කාටවත් වැඩක් නැති ලංකාවේ රුපියල් අරගෙන චීනය ලංකාවට යුවාන් බිලියන 10ක් දීලා. ඔය ගත්ත රුපියල් වලින් චීනය ලංකාවේ භාණ්ඩ මිල දී ගන්නේ නැහැ. අවුරුදු තුනක් ඒ ගත්ත විදිහටම සේප්පුවක දාලා තියා ගන්නවා පමණයි. අවුරුදු තුනකින් පස්සේ ලංකාව ණයට ගත්ත යුවාන් බිලියන 10ට පොලියත් එකතු කරලා ආපසු චීනයට දීලා රුපියල් ටික බේරාගත යුතුයි. එහෙම කරන්න ලංකාවට අවුරුදු තුනකින් පස්සේ යුවාන් ලැබෙන ක්‍රමයක් තියෙනවද? සමහර විට චීනයට වටින මොනවා හරි දෙයක් ණයේ හිලවුවට චීනය බාර ගනියි.

දැන් මේ යුවාන් බිලියන දහය ඇත්තටම ලංකාවට ලැබෙනවද? එහෙම ලැබෙන්නෙත් නැහැ. ඇත්තටම වෙන්නේ ලංකාව වාර්ෂිකව චීනයට ගෙවන යුවාන් බිලියන 24ක කප්පම යුවාන් බිලියන 14 දක්වා අඩු වෙන එක විතරයි. ඒ කියන්නේ මේ සල්ලි ලංකාවට එන්නෙවත් නැහැ.

දැන් පවතින තත්ත්වය අනුව කොහොමටත් ලංකාවට යුවාන් බිලියන 24ක කප්පමක් චීනයට ගෙවන්න විදිහක් නැහැ. ගෙවන්න ඩොලර් කොහෙන්ද? ඒ නිසා ඔය කප්පම කොහොමටත් යුවාන් බිලියන 14 පමණ මට්ටමකට අඩු වෙනවා. දැන් චීනය කරන වැඩෙන් චීනයට වෙනදා වගේම යුවාන් බිලියන 24ක් ම ලැබෙනවා. එයින් යුවාන් බිලියන 10ක් ලැබෙන්නේ රුපියල් වලින්. වෙනත් විදිහකින් කිවුවොත් රුපියල් බිලියන 300කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ මහ බැංකුවෙන් චීන මහ බැංකුවට යනවා. 

ලංකාවේ මුදල් සැපයුම පාලනය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින්නේ. ඒ හරහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියලේ අගය තීරණය කරනවා. වෙන රටක මහ බැංකුවකට ලංකාවේ රුපියල් මුද්‍රණය කරන්න බැහැ. ඒ අයිතිය තියෙන්නේ ලංකාවේ මහ බැංකුවට පමණයි.

හැබැයි දැන් චීන මහ බැංකුව සතුවත් ලංකාවේ රුපියල් බිලියන 300ක් තිබෙනවා. රුපියල් අච්චු ගහන්න බැරි වුනත්, ඔය විදිහට රුපියල් එකතු කර ගත් විට ඒ සල්ලි වෙළඳපොළට දමලා රුපියලේ අගය පාලනය කරන්න චීන මහ බැංකුවටත් පුළුවන් වෙනවා. ඔය විදිහට ලංකාවේ මුදල් ප්‍රතිපත්ති හදන එකත් චීනයටම ගිහින් රුපියල් යුපියල් වෙයිද? 

Saturday, March 27, 2021

අන්දරේ සීනි කෑ හැටි (හත්වන කොටස)

අන්දරේට වගේ හැමෝටම නොමිලේ රජවාසල සීනි කන්න ලැබෙන්නේ නැහැ. සීනි කන්නනම් සීනි වල මිලත් ගෙවන්න වෙනවා. නිදහස් වෙළඳපොලක සීනි මිල තීරණය වෙන්නේ කොහොමද? ඉල්ලුම හා සැපයුම මත කියා සරලව කියන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේ මූලික පාඩමක් වුනත් ඔය ඉල්ලුම හා සැපයුම ගැන කතා කරන හැමෝම හරියටම මේ ගැන දන්නවද?

පළමු කොටසින් අපි ඉල්ලුම් වක්‍රය ගැන කතා කළා. දෙවන කොටසෙන් අපි සැපයුම් වක්‍රය ගැන ඉගෙන ගත්තා. තෙවන කොටසින් ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ගැන කතා කළා. මිල පාලනය ගැනත් කතා කළා. සිවුවන කොටසින් බදු ගැන කතා කළා. පස් වන කොටසින් ලංකාවේ සීනි වෙළඳපොළේ මූලික ලක්ෂණ ගැන කතා කළා. හයවන කොටසින් අපි ලංකාවේ සීනි වෙළඳපොල ගැන තව ටිකක් කතා කළා. විශේෂයෙන්ම ලංකාවේ සිල්ලර සීනි වෙළඳපොළේ සැපයුම් වක්‍රයේ හැඩය ගැන කතා කළා. 

මුල් කොටස් පහේ විස්තර කළ දේවල් ආර්ථික විද්‍යාවේ සම්මත මූලික කරුණු බවත් හයවන කොටසින් විස්තර කළ ලංකාවේ සිල්ලර සීනි වෙළඳපොළේ සැපයුම් වක්‍රයේ හැඩය පිළිබඳ අදහස ආර්ථික විද්‍යා මූලධර්ම හා ලංකාවේ සීනි වෙළඳපොළ පිළිබඳ තොරතුරු මත පදනම්ව ලේඛකයා විසින් ඉදිරිපත් කරන්නක් බවත් මෙහිදී කිව යුතුයි.

ලංකාවේ සිල්ලර සීනි වෙළඳපොළේ සැපයුම් වක්‍රයේ හැඩය ගැන ලියූ දේ සාරාංශගත කළොත් අප විසින් පෙන්වා දී තිබෙන ප්‍රධානම කරුණ වන්නේ සැපයුම් වක්‍රයේ අදාළ කොටසේ බෑවුම ශුන්‍යයට ආසන්න බවයි. එහෙමත් නැත්නම් සැපයුම් වක්‍රයේ අදාළ කොටස තිරස් රේඛාවක් බවයි.

අප පෙර ඉගෙන ගත් පරිදි කිසියම් වෙළඳපොලක සියලුම සැපයුම්කරුවන්ගේ ලාබ සැපයුම් වක්‍රයට උඩින්, සමතුලිත මිලට යටින් හා සමතුලිත ප්‍රමාණයට වම්පසින් පිහිටි ප්‍රදේශයේ වර්ග ඵලයට සමානයි. සැපයුම් වක්‍රය තිරස් රේඛාවක්නම්, සමතුලිත මිල තිබෙන්නේත් ඒ මට්ටමේමනම් මේ කියන වර්ග ඵලයද ශුන්‍යයි. ඒ කියන්නේ සැපයුම්කරුවන් විසින් ලාබයක් ලබන්නේම නැහැ. එහෙම වෙන්න පුලුවන්ද?

එහෙම වෙන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේදී අපි ලාබ ලෙස හදුන්වන්නේ ආර්ථික ලාබ මිසක් ගිණුම්කරණ ලාබ නෙමෙයි. ආර්ථික ලාබ ලෙස හඳුන්වන්නේ ගිණුම්කරණ ලාබ වලින් ගිණුම් වල නැති ආවස්ථික පිරිවැය අඩු කළ පසු ඉතිරි වන කොටසයි. උදාහරණයක් විදිහට සමාගමක අයිතිකරුවන් වැටුප් ලබා නොගෙන වැඩ කළානම් ඔවුන්ගේ වැටුප් වෙනුවෙන් නිසි මුදලක් ලාබ වලින් අඩු කළ යුතුයි. ආර්ථික විද්‍යා විශ්ලේෂනයකදී ලබා නොගත් වැටුප් ලාබ සේ සලකන්න බැහැ. ඒ වගේම සමාගමටම අයිති ගබඩාවක සීනි ගබඩා කර තැබුවත් ගබඩා ගාස්තු වෙනුවෙන් නිසි මුදල ලාබ වලින් අඩු කළ යුතුයි. ලාබ ශුන්‍ය සේ සලකන්නේ ඔය ආකාරයේ ගිණුම් වල නැති වියදම්ද අඩු කිරීමෙන් පසුවයි. 

ඔය ආකාරයේ ආවස්ථික පිරිවැය අඩු කිරීමෙන් පසුව තරඟකාරී වෙළඳපොලක සැපයුම්කරුවන්ගේ ලාබ ශුන්‍ය වෙනවා. එසේ නොවනවානම් ඒ ඒවාට කියන්නේ සුපිරි ලාබ කියලයි. ආර්ථික විද්‍යාවේදී සැබෑ ලාබ සේ සලකන්නේ මේ ආකාරයේ සුපිරි ලාබයි.

සැපයුම්කරුවෝ හැම වෙලාවේම තමන්ගේ ලාබ වැඩි කරගන්න උත්සාහ කරනවා. තනි සැපයුම්කරුවෙකුට වෙළඳපොළ මිල පාලනය කළ නොහැකි නිසා ලාබ වැඩි කරගන්න තිබෙන එකම ක්‍රමය පිරිවැය අඩු කර ගැනීමයි. ලංකාවට සීනි ආනයනය කරන හැම සැපයුම්කරුවෙකුටම සීනී ගේන්න වෙන්නේ එකම පිරිවැයක් දරමින් කියා මම කලින් කොටසේ කිවුවත් මේ ප්‍රකාශය ආසන්න සත්‍යයක් පමණයි. ලෝක වෙළඳපොළේ සීනි මිල දවසෙන් දවස වෙනස් වෙනවා. විණිමය අනුපාතිකයත් දවසින් දවස වෙනස් වෙනවා. නමුත් හැම සැපයුම්කරුවෙකු විසින්ම ලංකාවට සීනි ගේන්නේ එකම දවසේ නෙමෙයි. ඒ නිසා එක් එක් සැපයුම්කරුවාගේ පිරිවැය වල පොඩි පොඩි වෙනස්කම් තිබෙනවා. 

සමහර සැපයුම්කරුවන්ගේ පිරිවැය රුපියලක් දෙකක් අඩු වෙන්න පුළුවන්. ඒ අයට අනෙක් අයට සාපේක්ෂව පොඩි අමතර ලාබයක් තිබෙනවා. මේ කතාව සැපයුම් වක්‍රය ඇසුරෙන් පැහැදිලි කළොත් තිරස් රේඛාවක් කියා කිවුවත් ඔතැන තියෙන්නේ පඩි පෙළක ආකාරයේ සමාන්තර තිරස් රේඛා කිහිපයක්. සැපයුම් වක්‍රය තිරස් එකක් කියා කිවුවත් එහි සුළු බෑවුමක් තිබෙනවා. ඒ සුළු බෑවුම නිසා මම කලින් ලිපියේ කියූ දේවල් කිසිවක් දැනෙන තරමට වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අපි දැනට සැපයුම් වක්‍රය තිරස් රේඛාවක් ලෙසම සලකමු.

මේ තිරස් රේඛාවේ උස තීරණය කරන ප්‍රධාන සාධක වන්නේ ආනයනික මිල හා ලංකාවේ රජය විදින පනවන බදු අනුපාතිකයයි. පහත ප්‍රස්ථාරය පෙන්වා තිබෙන්නේ ලංකාවේ සිල්ලර වෙළඳපොළේ සීනි මිල තීරණය වන ආකාරයයි.


ඉහත ප්‍රස්ථාරය දෙස බැලූ විට ලංකාවේ සීනි වෙළඳපොළ පිළිබඳව මා විස්තර කර තිබෙන කරුණු නිවැරදි බව තහවුරු වෙනවා. මිල තීරණය කෙරෙන ප්‍රධානම සාධකය ලෝක වෙළඳපොළේ සීනි මිලයි. එයට නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු එකතු වෙනවා. නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු එකතු වීම නිසා ආනයනික මිල ලෝක වෙළඳපොළේ සීනි මිලට වඩා 7%කින් පමණ ඉහළ මිලක්. ආනයනික මිලට බදු එකතු වෙනවා. එම මුළු එකතුවම පිරිවැයේ කොටසක්. ඉන්පසුව ආනයනකරුගේ, තොග වෙළෙන්දාගේ හා සිල්ලර වෙළෙන්දාගේ ආන්තික මේ පිරිවැයට එකතු වෙනවා. එම සියලුම ආන්තික වල එකතුව 12%ක් පමණ. 

මේ ප්‍රස්ථාරයේ බදු පිළිබඳ දත්ත සියයට සියයක්ම නිවැරදි නැහැ. කිසියම් වසරක් තුළ බදු වෙනස් වූ විට අදාළ වසර සඳහා සාමාන්‍ය බදු ප්‍රමාණය සේ සැලකිය හැක්කේ එක් එක් බදු අනුපාතිකය යටතේ ආනයනය කළ සීනි ප්‍රමාණය අනුව බර තැබූ අගයක්. එම දත්ත මා සතු නැති නිසා මෙහි තිබෙන්නේ මගේ ආසන්න ඇස්තමේන්තු. බදු අනුපාතික වෙනස් නොවූ වසරවල් සඳහා දත්ත සම්පූර්ණයෙන්ම නිවැරදියි.

ඒ නිසා උදාහරණයක් විදිහට අපි බදු වෙනස් නොවූ වසරක් වන 2011 වසර සලකමු. එම වසරේ ලෝක වෙළඳපොළේ සීනි කිලෝවක මිල ඩොලර් 0.70ක්. එම වසරේදී ඩොලරයක් 110.57ක් වූ නිසා මෙය රුපියල් 77.15ක මුදලකට සමානයි. නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු එකතු වී ලංකාවට එන විට සීනි කිලෝවක් රුපියල් 81.80ක් වෙනවා. ඉන් පසු මෙයට රුපියල් 5ක බද්දක් එකතු වෙනවා. දැන් සීනි කිලෝවක් රුපියල් 86.80ක් වෙලා. ආනයනකරුගේ හා අනෙකුත් අතරමැදියන්ගේ ලාබ ආන්තික එකතු වීමෙන් පසුව සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 96.11ක් වෙනවා. 

වෙනත් වසරක දත්ත පරීක්ෂා කළත් පෙනෙන්නට තිබෙන චිත්‍රය මීට වඩා වෙනස් නැහැ. සීනි වෙළඳපොළෙහි මාෆියාවක් හෝ සුපිරි ලාබ ලබන අතරමැදියන් පෙනෙන්නට නැහැ. අතරමැදියන්ගේ අතිරික්තය ඔවුන්ගේ වක්‍ර වියදම් ආවරණය කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් නෙමෙයි. හැම අතින්ම පෙනෙන්නේ තරඟකාරී වෙළඳපොළක ලක්ෂණ.

සීනි වෙළඳපොළේ අතරමැදියන්ගේ ලාබ ආන්තික වසරින් වසර වෙනස් වන බවක් පෙනෙන්නේ නැහැ. මෙයට හේතුව ප්‍රමාණවත් තරඟකාරිත්වය ලෙස සැලකිය හැකියි. ඒ අනුව සැපයුම් වක්‍රය තිරස් හැඩයක් ගන්නා බවට අප කළ නිගමනය නිවැරදි බව තහවුරු වෙනවා. අතරමැදියෙකු විසින් සුපිරි ලාබ ලබනවානම් ඒ කලාතුරකින් හා සුළු වශයෙන් මිසක් සාමාන්‍ය තත්ත්වය ලෙස විය නොහැකියි. ඒ වගේම නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තුද විශාල ලෙස විචලනය වන්නේ නැහැ.

කෙසේ වුවත් ලෝක වෙළඳපොළේ සීනි මිල විශාල ලෙස විචලනය වෙනවා. විණිමය අනුපාතිකය කාලයත් සමඟ ටිකෙන් ටික පිරිහෙනවා. ඒ වගේම සීනි වල ආනයනික මිල වෙනස් වෙද්දී රජය විසින් මිල ස්ථාවර වන ආකාරයට බදු අනුපාතික වෙනස් කරනවා. මේ සාධක තුන මත සැපයුම් වක්‍රයේ තිරස් කොටසේ උස වරින් වර වෙනස් වෙනවා. එයට අනුරූපව සීනි වල සිල්ලර මිලද වෙනස් වෙනවා.

ඉහත කරුණු අනුසාරයෙන් අපට සීනි වෙළඳපොළේ කිසියම් විකෘතියක් වී තිබේනම් එය හදුනාගන්න පුළුවන්. 

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...