වෙබ් ලිපිනය:

Sunday, February 14, 2021

විදේශ සංචිත අඩුවුණේ කොහොමද?


පසුගිය වසර ආරම්භ වන විට ලංකාවේ නිල විදේශ විණිමය සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 7,642ක්. වසර අවසාන වෙද්දී මෙම නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 5,665 දක්වා අඩු වී තිබෙනවා. මෙය ඩොලර් මිලියන 1,977ක අඩුවක්. ජනවාරි මාසය ඇතුළත තවත් ඩොලර් මිලියන 851කින් අඩු වීමෙන් පසුව තවත් ඉතිරිව තිබෙන්නේ ඩොලර් මිලියන 4,815ක් පමණයි. වසරේ ඉදිරි මාස එකොළහ තුළ විදේශ ණය හා වාරික ලෙස ගෙවිය යුතු මුදල මීට වඩා වැඩියි. 

ලංකාව නැවත වරක් ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී සිටින බව පැහැදිලියි. කොහොම වුනත් ගෙවුම් ශේෂ අර්බුද ලංකාවට අලුත් දෙයක්නම් නෙමෙයි.

පසුගිය වසර ඇතුළත ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,977කින් අඩු වුනේ කොහොමද?

විදේශ සංචිත අඩු වුනේ කෝවිඩ් නිසා කියන එකනම් පිළිගන්න අමාරුයි. ඇතැම් විට කෝවිඩ් වසංගතය නොවන්නට තත්ත්වය වඩාත් දරුණු විය හැකිව තිබුණු බව මගේ අදහසයි. මා එසේ කියන්නේ හේතු ඇතිව.

ලංකාවට විදේශ විණිමය ලැබෙන ප්‍රධාන මාර්ග තුන විදිහට භාණ්ඩ අපනයනය, සේවා අපනයනය හා ශ්‍රමික ප්‍රේෂණ හඳුනා ගත හැකියි. පසුගිය වසර ඇතුළත විදේශ විණිමය ලැබෙන මේ එක් එක් මාර්ගයට සිදු වුනේ කුමක්ද?

වසර තුළදී භාණ්ඩ අපනයන ආදායම පෙර වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 1,863කින් අඩු වී තිබෙනවා. මෙයින් ඩොලර් මිලියන 1,266ක්ම අඩු වී තිබෙන්නේ ඇඟලුම් අපනයන ආදායමින්. කොහොමටත් ලංකාවේ අපනයන ආදායමෙන් බාගයකට වඩා ලැබෙන්නේ ඇඟලුම් අපනයන වලින් නිසා මෙහි විශාල අමුත්තකුත් නැහැ. ඉතිරි අඩුව අනෙක් සියළුම අපනයන අතර බෙදී ගොස් තිබෙනවා. 

අපනයන ආදායම අඩු වීමට හේතුව කෝවිඩ් වසංගතය හා එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ හා යුරෝපයේ ඇඟලුම් ඇතුළු අනෙකුත් අපනයන සඳහා වූ ඉල්ලුම අඩු වීම ලෙස හඳුනාගත හැකියි. ඒ අනුව, අවශ්‍යනම් ගෙවුම් ශේෂ හිඟයට හේතුව වසංගතය නිසා අපනයන ආදායම් අඩු වීම කියන සරල නිගමනයට පැමිණිය හැකියි. එහෙත් එවැනි නිගමනයක් නිවැරදි නොවන්නේ වසංගතය නිසා අපනයන ආදායම් අඩු වනවාට වඩා වැඩියෙන් ආනයන වියදම් අඩු වී තිබීම නිසයි.

අපනයන ආදායම් ඩොලර් 1,863කින් අඩු වෙද්දී ආනයන වියදම් ඩොලර් 3,882කින් අඩු වී තිබෙනවා. මේ අනුව, පසුගිය වසරේදී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් මිලියන 2,019කින් පහළ ගොස් තිබෙනවා. වෙනත් විදියකින් කිවුවොත් ආනයන අපනයන පරතරයක් තිබුණත් එය පෙර වසරට වඩා ඩොලර් මිලියන 2,019කින් අඩු පරතරයක්. ඒ නිසා, සංචිත වැඩි වෙන්න මිසක් අඩු වෙන්න හේතුවක් නැහැ. 

ආනයන වියදම් වලින් ඩොලර් 1,349ක්ම අඩු වී තිබෙන්නේ ඉන්ධන ආනයන වියදම් වලින්. කෝවිඩ් නිසා ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩු වීමත්, රට ඇතුළේ ඉන්ධන අවශ්‍යතා යම් තරමකින් අඩු වීමත් මෙයට හේතුව බව පැහැදිලියි. ඒ කියන්නේ මෙය වසංගතය නිසා ලැබුණු වාසිදායක ප්‍රතිඵලයක්. මේ වාසිය පමණක් ගත්තත් ඇඟලුම් අපනයන අඩු වීමේ අවාසියට වඩා වැඩියි. 

ලංකාවේ ප්‍රධානම අපනයන ආදායම ඇඟලුම් වුනත් මේ අපනයන නිෂ්පාදනය සඳහා අවශ්‍ය රෙදිපිළි ඇතුළු බොහෝ අමුද්‍රව්‍ය ආනයනය කරන නිසා කර්මාන්තයෙන් ලැබෙන අපනයන ආදායම ශුද්ධ අපනයන ආදායමක් නෙමෙයි. ආදායමෙන් කොටසක් අමුද්‍රව්‍ය ආනයනය සඳහා නැවත රටෙන් එළියට යනවා. කර්මාන්තය කඩා වැටෙන විට අපනයන ආදායම් අඩු වනවා වගේම ආනයන වියදම් වලින් කොටසක්ද අඩු වෙනවා. පසුගිය වසර තුළ ඇඟලුම් හා රෙදිපිළි ආනයන වියදම් ඩොලර් මිලියන 574කින් අඩු වී තිබෙනවා. ඒ කියන්නේ, අඩු වුනු ඇඟලුම් අපනයන ආදායම් වලින් බාගයකට කිට්ටු මුදලක් ඇත්තටම අඩු වෙලා නැහැ. වෙන පැත්තකින් ඉතුරු වෙලා. 

මේ අනුව, මෙම මුදල අඩුකර, සමස්ත අපනයන ආදායමේ සැබෑ අඩු වීම ඩොලර් මිලියන 1,863 - 574 = 1,289ක් කියා කියන්න පුළුවන්. තෙල් වලින් පමණක් ලැබී තිබෙන වාසිය ඩොලර් 1,349ක්. ඒ වාසිය අපනයන අඩුවීමේ සමස්ත අවාසියට වඩා වැඩියි. වසංගතය නිසා වෙළඳ ශේෂයට වාසියක් මිස අවාසියක් සිදු වී නැති බව ඉතාම පැහැදිලියි.

එහෙමනම්, ශ්‍රමික ප්‍රේෂණ අඩු වෙලාද?

ඒත් නැහැ. වසර තුළ ශ්‍රමික ප්‍රේෂණ විදිහට ඩොලර් මිලියන 7,104ක් ලැබී තිබෙනවා. මෙය පෙර වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 387ක වැඩි වීමක්. වසංගතය නිසා ශ්‍රමික ප්‍රේෂණ තවත් වැඩි වී මිස අඩු වී නැහැ. 

පසුගිය අවුරුද්දේ සමස්ත වෙළඳ ශේෂය ඩොලර් මිලියන 5,978 දක්වා අඩු වෙද්දී ශ්‍රමික ප්‍රේෂණ විදිහට පමණක් ඩොලර් මිලියන 7,104ක් ලැබී තිබෙනවා. මෙතැනම ඩොලර් මිලියන 1,126ක් වැඩිපුර තිබෙනවා. පහුගිය කාලය මුළුල්ලේම ලංකාවේ වෙළඳ ශේෂ හිඟයෙන් සැලකිය යුතු කොටසක් ශ්‍රමික ප්‍රේෂණ වලින් ආවරණය වුනත් මේ විදිහට ශ්‍රමික ප්‍රේෂණ වලින් වෙළඳ ශේෂ හිඟය මුළුමනින්ම ආවරණය වුනේ පළමු වතාවට කියලයි මම හිතන්නේ. 

ආනයන පාලනය කිරීමේ බලපෑම නොසලකා හැරිය නොහැකි වුවත්, මෙය බොහෝ දුරට වසංගතය නිසා ලැබුණු වාසියක්. ආනයන පාලනය ගැන අපි වෙනම කතා කරමු.

දැන් අඩු වශයෙන් කරුණු දෙකක් පැහැදිලි විය යුතුයි. පළමුව, කෝවිඩ් නිසා භාණ්ඩ අපනයන වෙළඳපොළේ තත්ත්වය හොඳ අතට මිස නරක අතට හැරී නැහැ. දෙවනුව, ශ්‍රමික ප්‍රේෂණ වැඩි වී මිස අඩු වී නැහැ. 

වසංගතය නිසා සිදු වූ තුන් වන පාඩුව ලෙස සැලකෙන්නේ සංචාරක කර්මාන්තය හරහා ලැබුණු ආදායම් අඩු වීම. පසුගිය වසර තුළදී සංචාරක කර්මාන්තයෙන් උපයා තිබෙන ආදායම ඩොලර් මිලියන 957ක් පමණයි. පෙර වසරේ ආදායම ඩොලර් මිලියන 3,607ක්. මෙය ඩොලර් මිලියන 2,650ක අඩුවක්. 

සංචාරක කර්මාන්තයෙන් ලංකාව විශාල ආදායමක් උපයනවා කියන එක ඇත්ත. හැබැයි අනෙක් පැත්තට ශ්‍රී ලාංකිකයින් විදේශ රටවල සංචාරය කරද්දී වියදමක්ද යනවා. ඒ නිසා මේ මුළු මුදලම කර්මාන්තය හරහා සිදු වූ ශුද්ධ විදේශ විණිමය ලැබීමක් ලෙස සලකන්න බැහැ. පහුගිය අවුරුද්දේ සංචාරක ආදායම් ප්‍රමාණය ඩොලර් මිලියන 3,607ක් වෙද්දී සංචාරක වියදම්ද ඩොලර් මිලියන 1,638ක්ව තිබුණා. ඒ නිසා කර්මාන්තයේ ශුද්ධ විදේශ විණිමය ලැබීම ප්‍රමාණය වුනේ ඩොලර් මිලියන 1,969ක් පමණයි. ඒ වගේම සමස්තයක් ලෙස සියලුම සේවා අංශ වලින් ඩොලර් මිලියන 2,849ක ශුද්ධ විදේශ විණිමය ප්‍රමාණයක් ලැබී තිබුණා.

දැන් මේ අවුරුද්දේ සංචාරක ආදායම් ඩොලර් මිලියන 2,650කින් අඩු වෙද්දී සංචාරක වියදම්ද විශාල ලෙස අඩු වී තිබිය යුතුයි. මාර්තු වලින් පස්සේ ලාංකිකයින් විදේශ සංචාර වල යෙදෙන එක සම්පූර්ණයෙන්ම වගේ නැවතුනානේ. ඒ නිසා, ඉහත කී අවාසියෙන් සෑහෙන ප්‍රමාණයක් අඩු විය යුතුයි. සංඛ්‍යාලේඛණ හරියටම නැතත් වසංගතය නිසා සිදු වූ පාඩුව ඩොලර් බිලියන 1-1.5 ප්‍රමාණයක් කියා හිතන්න පුළුවන්. මේ මට්ටමේ අවාසියක් සිදු වුනත්, සමස්තයක් ලෙස ලංකාවේ සේවා ගිණුමේ අතිරික්තයක් තිබිය යුතුයි. 

වෙළඳ ගිණුමේ හිඟය ශ්‍රමික ප්‍රේෂණ වලින් සම්පූර්ණයෙන්ම ආවරණය වෙලානම්, සේවා ගිණුමේත් හිඟයක් නැත්නම්, පසුගිය වසර තුළදී රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,977කින් අඩු වුනේ කොහොමද?

මෙය වසංගතය නිසා සිදු වී ඇති දෙයක් නෙමෙයි. රටේ මිනිස්සුන්ගේ හෝ ව්‍යාපාරිකයින්ගේ අකාර්යක්ෂමතාවය හෝ වෙනත් වැරැද්දක් නිසා සිදු වී ඇති දෙයක්ද නෙමෙයි. සමස්තයක් විදිහට රටේ පෞද්ගලික අංශය විසින් වියදම් කරනවාට වඩා වැඩියෙන් විදේශ විණිමය උපයා තිබෙනවා. පසුගිය වසර පමණක් තනිව ගත්තොත් රජයේ කාර්යභාරයත් සාධනීයයි.

පහුගිය කාලය මුළුල්ලේම රටේ සමස්ත ගෙවුම් ශේෂය යම් ස්ථාවර තත්ත්වයක පැවතුනා තමයි. උදාහරණයක් විදිහට 2019 වසර තුළ රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 377කින් ඉහළ ගියා. නමුත්, එසේ නිල සංචිත ඉහළ ගියේ විදේශ ණය විදිහට රජය විසින් ඩොලර් මිලියන 6,570ක් ලබා ගැනීමෙන් පසුවයි. ණය නොගත්තානම් පසුගිය වසරේදීම විදේශ සංචිත හිඳිලා. ඉහත ණය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 4,400ක්ම ලබා ගත්තේ ස්වෛරීත්ව බැඳුම්කර විකුණලා. ඉතිරි ඩොලර් මිලියන 2,170 වෙනත් ණය. මේක කාලයක් තිස්සේම ගහපු රෝලක්.

මේ වෙද්දී මේ රෝල තවදුරටත් ගහන්න බැරි තරමට තත්ත්වය නරක අතට හැරිලා. එයට හේතුව වසංගතය නෙමෙයි. වසංගතය නොතිබුණත් මේ වෙද්දී ඔය ටික වෙනවා. දැන් මේ කොහොමටත් සිදු විය හැකිව තිබුණු දෙය වසංගතය පිට දමන්න හැකි වී තිබෙනවා. 

දැන් ලංකාවට තවදුරටත් ස්වෛරීත්ව බැඳුම්කර විකුණා ණය ගන්න බැහැ. එසේ බැරි වුනේ ණය ශ්‍රේණිගත කරන ආයතන ලංකාවේ ශ්‍රේණිගත කිරීම් පහළට දමපු නිසා නෙමෙයි. එය සිදු වී තිබෙන්නේ අනෙක් පැත්තටයි. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කරන ආයතන වලට ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළට දමන්න සිදු වුනේම ලංකාවට ස්වෛරීත්ව බැඳුම්කර හරහා තවදුරටත් ණය අරගෙන ගෙවන්න බැරි මට්ටමට වැටී තිබෙන නිසයි. ශ්‍රේණිගත කිරීම් පහළට නොදමන්නට ලංකාව තවත් ණය අරගෙන මීට වඩා ලොකු අමාරුවක වැටෙනවා.

පහුගිය අවුරුද්ද ඇතුළත ලංකාවේ රජයට ස්වෛරීත්ව බැඳුම්කර විකුණා එක ඩොලරයක් හෝ හොයා ගන්න පුළුවන් වුනේ නැහැ. එහෙත්, වෙනත් ක්‍රම වලින් ඩොලර් මිලියන 2,002ක ණය අරගෙන තිබෙනවා. 2019 වසරේදී ලබාගත් ඩොලර් මිලියන 6,570ක ශුද්ධ විදේශ ණය ප්‍රමාණය එක්ක බැලුවහම මෙය ඩොලර් මිලියන 4,568ක අඩුවක්. 

රජය විසින් ලබාගත් විදේශ ණය ඩොලර් මිලියන 4,568කින් අඩු වෙද්දී විදේශ සංචිත අඩු වී තිබෙන්නේ ඩොලර් මිලියන 1,977කින් පමණයි. මෙය ඉතා හොඳ තත්ත්වයක්. මෙයින් අදහස් වෙන්නේ පෙර වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 2,591කින් ශුද්ධ විණිමය ලැබීම් ඉහළ ගිහින් කියන එකයි. පෙර වසරට සාපේක්ෂව වෙළඳ ශේෂය ඩොලර් මිලියන 2,019කින් අඩු වීමත්, ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් මිලියන 387කින් ඉහළ යාමත් මේ වෙනස බොහෝ දුරට පැහැදිලි කරනවා. ඊට අමතරවද  තවත් ඩොලර් මිලියන 185ක ඉතිරියක් තිබීමෙන් පෙනෙන්නේ සේවා ගිණුම ඇතුළු අනෙක් සියලු ගිණුම් වල ශේෂයන් සමස්තයක් ලෙස ගත් විටද හොඳ අතට මිස නරක අතට හැරී නැති බවයි. 

ආනයන පාලනය වෙනම දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. ආනයන පාලනය කිරීම ඉහත ප්‍රතිඵලය කෙරෙහි බලපා ඇති බවත්, ආර්ථික වර්ධනය අඩාල කිරීමටද හේතු වී ඇති බවත් බොරු නෙමෙයි. එහෙත්, මෙහිදී රජය පැත්තෙන් සිදු වී තිබෙන්නේ අවශ්‍ය පමණ විදේශ ණය ගැනීමේ හැකියාවක් නැති නිසා විකල්පයක් නැති කමින් ආනයන පාලනය කිරීම කෙරෙහි යොමු වීමක් මිස ආනයන පාලනය හේතුවෙන් ණය ගන්න අවශ්‍ය නොවීමක් නෙමෙයි. යම් හෙයකින් පහසුවෙන් තවත් විදේශ ණය ලබා ගත හැකිව තිබුණානම් මේ විදිහේ ආනයන පාලනයක් කරා රජය යොමු නොවිය හැකිව තිබුණා.

මොන විදිහෙන් සිදු වුනත් සිදු වී තිබෙන්නේ සිදු විය යුතුව තිබුණු දෙයක්. විදේශ සංචිත අඩු වී ඇතත්, විදේශ ණය අඩු වූ තරමට විදේශ සංචිත අඩු වී නැහැ. වසංගතය නිමා වීමෙන් පසුවද මේ ක්‍රමයට දිගටම ගියොත් දිගුකාලීනව ගෙවුම් ශේෂය මත තිබෙන පීඩනය අඩු කර ගන්න පුළුවන් වෙයි. හැබැයි ඒ අතරවාරයේ ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් ඇවිත් ආර්ථිකය කඩා වැටෙන එක වලක්වා ගන්න අවශ්‍ය මට්ටමට ණය ගන්න වෙනවා. 

Friday, February 12, 2021

දැය දියුණට පැද යන නැවියා


කලින් ලිපියක මම සංවර්ධන ආර්ථික විද්‍යාවේදී යොදා ගන්නා සොලෝ ආකෘතිය පිළිබඳව විස්තර කළා. වෙනත් ඕනෑම ආකෘතියකින් කරනවා වගේම මේ ආකෘතියෙන් කරන්නෙත් අපට විශ්ලේෂණය කරන්න අවශ්‍ය කරුණට අවධානය යොමු කිරීම පහසු කරමින් අවශේෂ දේවල් අයින් කරලා සරල ආකෘතියක් ඇසුරෙන් පවතින හෝ පැවතිය හැකි තත්ත්වය විග්‍රහ කරන එක. ඒ කියන්නේ ආකෘතිය ඇතුළේදී අවශේෂ කරුණු නොවෙනස්ව තිබෙන සේ සලකමින් හදාරන්න අවශ්‍ය ප්‍රධාන කරුණ හැදෑරීම.

සොලෝ ආකෘතිය රටක ආර්ථික වර්ධනයට ප්‍රාග්ධනය බලපාන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න උපයෝගී කර ගන්න පුළුවන්. මේ ආකෘතිය තවත් දේවල් පැහැදිලි කරන්නත් යොදා ගත හැකියි. එහෙත්, මම ප්‍රධාන වශයෙන්ම මෙය යොදා ගන්නේ ඉහත කරුණ පැහැදිලි කරන්න. මේ ආකෘතිය ඉදිරිපත් කිරීමේදී මම කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය යොදා ගත්තා. එය පැහැදිලි කිරීමේ පහසුවට කළ දෙයක්. කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය යොදා නොගෙන වුවත් සොලෝ ආකෘතිය ඉදිරිපත් කරන්න පුළුවන්. 

කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය යොදා ගන්නේ ශ්‍රමය, ප්‍රාග්ධනය හා නිෂ්පාදිතය අතර සම්බන්ධය පැහැදිලි කරන්න. නිෂ්පාදනදී බිහිවන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යා යුතු සාධාරණ ක්‍රමය කුමක්ද කියන එක පිළිබඳ ධනවාදී අදහස ගැනත් මෙම මේ ශ්‍රිතය ආශ්‍රයෙන් පැහැදිලි කළා. එහෙත්, ඒ පැහැදිලි කිරීම කරන්නත් කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය අවශ්‍ය වන්නේ නැහැ. එය යොදා ගත්තේ පැහැදිලි කිරීමේ පහසුවට. කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය යොදා ගෙන නිෂ්පාදනදී බිහිවන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යා යුතු සාධාරණ ක්‍රමය කුමක්ද කියන එක පිළිබඳ සමාජවාදී අදහස වුවත් විස්තර කළ හැකියි. 

අතිරික්තය සාධාරණව බෙදිය යුතු ආකාරය පිළිබඳ ධනවාදී අදහස අනුව ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමය ලබා දෙන අයටත් ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ප්‍රාග්ධනය ලබා දෙන අයටත් හිමි විය යුතුයි. තරඟකාරී වෙළඳපොළක් ඇති විට කිසිවෙකුගේ මැදිහත්වීමක් නැතිවම ඒ බෙදීම නිවැරදිව සිදු වෙනවා. කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය යොදා ගනිමින් මම ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය හා ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය වෙනුවෙන් වෙන් විය යුතු කොටස් ගණනය කර පෙන්වූවා. 

ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය = ∂Y/∂L = (1-α)Y/L

ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය = ∂Y/∂K = αY/K  

මාක්ස්වාදී අදහස වන්නේ අතිරික්තයෙන් කොටසක් ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ ලෙස වෙන් කිරීම අසාධාරණ බවයි. ඒ අදහස අනුව අතිරික්තය මුළුමනින්ම ලැබෙන්නේ ශ්‍රමය ලබා දෙන අයටයි. මේ අනුව සමාජවාදී බෙදීමකදී ශ්‍රමිකයෙකුට Y/L කොටසක් හිමි වෙනවා. α<1 නිසා (1-α)Y/L < Y/L බව පැහැදිලියිනේ. මේ අනුව, සමාජවාදී රටක ශ්‍රමිකයෙකුට ධනවාදී රටක ශ්‍රමිකයෙකුට ලැබෙනවාට වඩා ප්‍රතිලාභ හිමි විය යුතුයි. එහෙමනම් එය එසේ නොවන්නේ ඇයි? 

රටේ සමස්ත නිෂ්පාදිතය එකම මට්ටමේ තිබේනම් සමාජවාදී බෙදීමකදී ශ්‍රමිකයෙකුට වැඩි ප්‍රතිලාභ ලැබෙනවා. α = 1/3 ලෙස සැලකුවොත්, සමාජවාදී රටක ශ්‍රමිකයෙකුට එක් ශ්‍රම ඒකකයක් වෙනුවෙන් Y/L ප්‍රතිලාභයක් ලැබෙන විට ධනවාදී රටක ශ්‍රමිකයෙකුට එක් ශ්‍රම ඒකකයක් වෙනුවෙන් ලැබෙන්නේ ඊට වඩා 33%ක් පමණ අඩුවෙන්. හැබැයි මේ කතාව හරියන්නේ රටවල් දෙකේම නිෂ්පාදිතය, එනම් Y අගය, සමාන මට්ටමක තිබුනොත් පමණයි. ධනවාදී ක්‍රමය යටතේ මොනයම් හෝ ආකාරයකින් Y අගය 50%කින් වැඩි වුනොත් ධනවාදී රටේ ශ්‍රමිකයාට සමාජවාදී රටේ ශ්‍රමිකයාට ලැබෙන ප්‍රතිලාභයම ලැබෙනවා.

ධනවාදී රට: w = (1 - 1/3)*1.5Y/L = Y/L

සමාජවාදී රට: w = Y/L

මේ තත්ත්වය යටතේදී ධනවාදී රටේ නිෂ්පාදිතයෙන් තුනෙන් එකක් ප්‍රාග්ධනය ලබා දෙන අය වෙනුවෙන් වෙන් කළාට පසුවත් ශ්‍රමිකයාට ලැබෙන කොටස සමාජවාදී රටක ශ්‍රමිකයෙකුට ලැබෙන කොටසට සමානයි. යම් ආකාරයකින් ධනවාදී රටේ නිෂ්පාදිතය 50%කට වඩා වැඩිනම් ධනවාදී රටේ ශ්‍රමිකයාට සමාජවාදී රටක ශ්‍රමිකයෙකුට ලැබෙනවාට වඩා වැඩි ප්‍රතිලාභ ලැබෙනවා. 

අපි මේ 50% කියන එක හදාගත්තේ  α = 1/3 ලෙස සලකලානේ. සාධාරණ ප්‍රකාශනයක් ලෙස මෙය ඉදිරිපත් කළොත් ධනවාදී රටේ නිෂ්පාදිතය සමාජවාදී රටේ නිෂ්පාදිතයට වඩා අඩුම වශයෙන් 1/(1-α) ගුණයක් වුනොත් අපට මේ තත්ත්වය නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. 

දැන් අපි නැවතත් සොලෝ ආකෘතියට යමු. සොලෝ ආකෘතිය අනුව ස්ථායී තත්ත්වයකදී යම් රටක එක් ශ්‍රමිකයෙකු විසින් සිදු කරන නිෂ්පාදිතය (y* අගය) තීරණය වන්නේ A, α, δ, s යන සාධක මතයි. මේ විචල්‍යයන් අතර සම්බන්ධතාවය පහත ආකාරයේ එකක්.

y* = Y*/L = (A)1/1-α(s/δ)α/1-α 

ධනවාදී රටක ශ්‍රමිකයෙකුට ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ සමාජවාදී රටක ශ්‍රමිකයෙකුට ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ වලට වඩා වැඩි වෙන්නනම් ධනවාදී රටේ y* අගය සමාජවාදී රටේ එම අගය මෙන් අඩුම වශයෙන් 1/(1-α) ගුණයක් විය යුතුයි. මෙහි α අගය ධනවාදී රටේ α අගයයි. සමාජවාදී රටේ α අගය මේ සංසන්දනය සඳහා වැදගත් නැහැ. ඇමරිකාවේ මේ අගය කාලයක් තිබුණේ 0.33 මට්ටමේ. දැන් 0.38 මට්ටමට කිට්ටුයි. α වැඩි කර ගැනීම සාර්ථක ක්‍රමයක් වුවත් එයින් අතුරු ප්‍රශ්නද ඇති වෙනවා. විරැකියාව ඉහළ යාම එවැනි එක ප්‍රශ්නයක්. 

මෙය කළ හැක්කේ A, α, δ, s යන සාධක වලින් එකක් වෙනස් කිරීම මගිනුයි. α හෝ A වැඩි කරනවා කියා කියන්නේ නිෂ්පාදන තාක්ෂනය වඩා කාර්යක්ෂම ලෙස වෙනස් කරනවා කියන එක. δ අඩු කිරීම කියන්නේ ප්‍රාග්ධනය ක්ෂය වීම අඩු කර ගැනීම. s වැඩි කිරීම කියා කියන්නේ ඉතිරි කිරීමේ අනුපාතය වැඩි කිරීම.

ඕනෑම ආකාරයක ප්‍රාග්ධන ආයෝජනයක් ක්ෂය වෙනවා කියන එක සාමාන්‍ය කරුණක්. අවුරුදු තුන හතරක් යද්දී පරිගණයකින් තව දුරටත් වැඩක් නැහැ. පාලමක් හෝ අධිවේගී මාර්ගයක් වසර තිහක් හතලිහක් ප්‍රයෝජනයට ගන්න පුළුවන් විය හැකි වුවත් ඒ අතරවාරයේ නඩත්තු කිරීම් කළ යුතුයි. ගොඩනැගිල්ලක්, වාහනයක් හෝ යන්ත්‍ර සූත්‍ර ගත්තත් ඒවාට ජීවිත කාලයක් තිබෙනවා. ඒ නිසා, මේ δ අගය අඩු කළ හැකි සීමාවක් තිබෙනවා. ඒ වගේම, තාක්ෂනය අලුත් කිරීම කියන ක්‍රියාවලිය ඇතුළේම පවතින ප්‍රාග්ධනය යම් තරමකින් විනාශ කිරීමක්ද අවශ්‍ය වෙනවා. 

ක්ෂය වීමේ අනුපාතය වැඩි වෙන්න වෙනත් හේතුද බලපානවා. යුද්ධ වගේම නාස්තිය හා දූෂණය හේතුවෙනුත් ප්‍රාග්ධනය ක්ෂය වෙනවා. ඒ වගේ හේතු මත ක්ෂය වන ප්‍රාග්ධනය ඉතුරු කරගෙන δ අගය යම් තරමකින් අඩු කරගන්න පුළුවන්. එසේ කිරීමෙන් ආර්ථිකය යම් තරමකින් ඉදිරියට තල්ලු කරන්න පුළුවන්. හැබැයි මෙය කළ හැකි සීමාවක් තිබෙනවා. දිගින් දිගටම කරන්න බැහැ. උතුරේ යුද්ධය අවසන් වී වසර කිහිපයක් යන තුරු ලංකාවේ ආර්ථිකය වේගයෙන් වර්ධනය වුනේ  δ අගය අඩු වූ නිසා. ඇමරිකාවේ δ අගය 0.05 පමණ වෙනවා.

ඉතිරි කිරීමේ අනුපාතය වැඩි කර ගැනීමෙන්ද ආර්ථිකය ප්‍රසාරණය කර ගන්න පුළුවන්. චීනය, දකුණු කොරියාව, සිංගප්පූරුව වගේ රටවල් කාලයක් වේගයෙන් වර්ධනය වුනේ s විශාල ලෙස වැඩි කරගත් නිසා. දැනටත් එම රටවල වගේම ලංකාවේද ඉතිරි කිරීමේ අනුපාතය ඇමරිකාවේ එම අනුපාතයට වඩා වැඩියි. කෝවිඩ් නිසා ඇමරිකාවේ s විශාල ලෙස ඉහළ ගොස් තිබුණත් එය තාවකාලික තත්ත්වයක් පමණයි. නමුත්, s වැඩි කර ගැනීම හරහා ආර්ථිකය ප්‍රසාරණය කළ හැක්කේද යම් සීමාවක් දක්වා පමණයි. 

අවුලක් නැතුව ආර්ථිකයක් වේගයෙන් දිගින් දිගටම වර්ධනය කර ගත හැකි පහසුම ක්‍රමය A වැඩි කර ගැනීමයි. එයට සීමාවක් නැහැ. අද හොඳ මට්ටමක තිබෙන රටවල් ඒ තැන් වල තිබෙන්නේ එම රටවල A අගය ගොඩක් වැඩි නිසයි. රටක් දියුණුව කරා පැදවිය හැකි මාර්ගය වැටී තිබෙන්නේ A අගය වැඩි කර ගැනීම හරහා.

Wednesday, February 10, 2021

පුරවැසි සමනල්ලු හා සාමණේර ගස්


නවසීලන්ත පාර්ලිමේන්තුව තුළ 2017 මාර්තු මාසයේදී සම්මත කළ පනතකින් එරට තෙවන විශාලතම ගංගාව වන වන්ගානුයී ගංගාව නෛතික පුද්ගලයෙක් බවට පත් වුනා. මෙය මෙවැන්නක් සිදු වූ පළමු අවස්ථාවයි. ඒ එක්කම වාගේ ඉන්දියාවේ උත්තරඛාන්ද් ප්‍රාන්තයේ අධිකරණයක් විසින් ගංගා හා යමුනා ගංගාවන් නෛතික පුද්ගලයින් සේ ප්‍රකාශයට පත් කරමින් තීන්දුවක් දුන්නා. පසුව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ තීන්දුව ආපසු හැරෙවුවා. ඉන් පසුව, 2019 වසරේදී කොස්ටරිකාවේ කරිදාබත් නගරය වවුලන්, සමනලයින්, මී මැස්සන්, පැණි කුරුල්ලන් ඇතුළු සත්ව විශේෂ ගණනාවකට හා ශාඛ ගණනාවකට එම නගරයේ පුරවැසිකම ලබා දෙන බව ප්‍රකාශ කළා. 

දැන් ලංකාවේ බෞද්ධ භික්ෂූන් පිරිසක් විසින් ලංකාවේ තිබෙන දුලබ ශාඛයකට සාමණේර භාවය ලබා දී තිබෙනවා. මෙය සංකේතාත්මක හා ප්‍රදර්ශනාත්මක කරුණක් පමණක් විය හැකියි. කෙසේ වුවත්, ලංකාවේ සමාජය තුළ සාමණේර තත්ත්වය නෛතික පුද්ගල තත්ත්වයට හා පුරවැසි තත්ත්වයටත් වඩා ඉහළ ගෞරවනීය තත්ත්වයක්. 

හැම ජීවයක්ම පැවැත්ම සඳහා නිරන්තර සටනක් කරනවා. එහිදී සමහර වෙලාවට වෙනත් වර්ග වල ජීවීන් එක්ක ගැටුමක් තිබෙනවා. තවත් සමහර වෙලාවට සහජීවනයක් තිබෙනවා. ඒ වගේම සමහර වෙලාවට තමන්ගේ වර්ගයා එක්කම ගැටුමක් හෝ සහජීවනයක් තිබෙනවා. මේ සටන හෝ සහජීවනය හිතාමතා කරන කටයුත්තක් වෙන්න අවශ්‍ය නැහැ. හිතුවත්, නැතත් පරිණාමයේ නීති අනුව එය කොහොමටත් සිදු වෙනවා. අවසාන වශයෙන් සිදුවෙන්නේ පැවැත්ම සඳහා වඩාත්ම හිතකර දෙයයි. පැවැත්මට බාධා කරන ලක්ෂණයක් හෝ චර්යාවක් දිගුකාලීනව පවතින්නේ නැහැ.

මිනිස්සුන්ගේ අවශ්‍යතා හැම එකකම වගේ අවසාන අරමුණ පැවැත්ම තහවුරු කර ගැනීම. මිනිස්සුන්ගේ ප්‍රශ්න කියා කියන්නේ මිනිස්සුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම පිළිබඳ ප්‍රශ්න. පාරිසරික ප්‍රශ්න කියා කියන්නෙත් මිනිස්සුන්ගේ වෙනත් ප්‍රශ්න වගේම මිනිස්සුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම පිළිබඳ ප්‍රශ්න. මේ ප්‍රශ්න වලට මිනිස්සුන්ගේ විසඳුම් කියා කියන්නේ මිනිස්සුන්ගේ පැවැත්ම තහවුරු කරන විසඳුම් වලටම මිසක් වෙන කෙහෙල්මලකට නෙමෙයි. වන්ගානුයී ගංගාව නෛතික පුද්ගලයෙක් වෙන්නේත් කෘඩියා සෙලනිකා ගහ සාමණේර කෙනෙක් වෙන්නේත් මිනිස්සුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා කරන සටන ඇතුළේ. අධිවේගී මාර්ග හදන එක සිදු වෙන්නේත් මිනිස්සුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා කරන සටන ඇතුළේ.

කවුරු හරි කෙනෙක් "මම" කියලා වෙන් කර ගන්න කොටස ඇරුනහම ඉතුරු සියල්ල පරිසරය. වඩු කුරුළු කූඩුවක් වගේම නෙළුම් කුළුනත් පරිසරයේම කොටස්. පරිසරය කියන්නේ හැම මොහොතකම ගතික ලෙස වෙනස් වෙන දෙයක්. මේ වෙනස් වීම ඇතුළේ සමහර ශාඛ හා සත්ත්ව විශේෂ වඳ වෙලා යනවා. තව ඒවා අළුතින් බිහි වෙනවා. ඒක සාමාන්‍ය තත්ත්වය.

සමහර ශාඛ හා සත්ත්ව විශේෂ පෘථිවියෙන් වඳ වී ගොස් තියෙන්නේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන්. මිනිස්සු කියන්නේත් පරිසරයේම කොටසක් නිසා කිසියම් ශාඛ හෝ සත්ත්ව විශේෂයක් පෘථිවියෙන් වඳ වී යාමට හේතු වෙන්නේ මිනිස් ක්‍රියාකාරකම්ද නැත්නම් වෙනත් කරුණක්ද කියන එක වැදගත් වෙන්නේත් එය මිනිසුන්ගේ පැවැත්ම කෙරෙහි බලපෑමක් කරනවානම් පමණයි. දැන් ලෝකයේ ගොඩක් දේවල් සිදුවන්නේ මිනිස් ක්‍රියාකාරකම් වල බලපෑමක් සහිතවයි. මිනිස් ක්‍රියාකාරකම් කියන්නේත් පරිසරයේම කොටසක්. මිනිස් ක්‍රියාකාරකම් නිසාම ලෝකයට අලුතෙන් ශාඛ හා සත්ත්ව විශේෂ කොයි තරම් බිහි වෙලා තියෙනවද?

මොන විදිහේ තර්ක ඉදිරිපත් කළත් වෙනත් ශාඛ හෝ සත්ත්ව විශේෂ වඳ නොවී පැවතිය යුතු පරම වූ හේතුවක් මිනිස්සුන්ට තිබෙනවානම් ඒ මිනිස්සුන්ගේ පැවැත්මට එයින් කවර හෝ උදවුවක් ලැබීමයි. තමන්ගේ පැවැත්මට බාධා වන ශාඛ හෝ සත්ත්ව විශේෂයක් මිහිමතින් වඳ කර දැමීමට මිනිස්සු පැකිලෙන්නේ නැතුවාක් වගේම එහි වැරැද්දකුත් නැහැ.

ඕනෑම දෙයකට මිලක් තිබෙනවා. කෘඩියා සෙලනිකා ශාඛයට වගේම ශ්‍රී මහා බෝධියටත් මේ කතාව වලංගුයි. ශ්‍රී මහා බෝධියට තිබෙන්නේ ඓතිහාසික, ආගමික හා සංස්කෘතික වටිනාකමක්. ඒ වටිනාකම දෙන්නේ මිනිස්සු. එහෙම නැතුව ශ්‍රී මහා බෝධියට වාස්තවික වටිනාකමක් නැහැ. ඓතිහාසික, ආගමික හා සංස්කෘතික ලෙස කවුරුවත් ශ්‍රී මහා බෝධිය වටිනා සේ නොසලකන පසුබිමක ශ්‍රී මහා බෝධියට වටිනාකමක් නැතුව යනවා. එවැනි වටිනාකමක් තිබෙන පසුබිමක වුවත් එම වටිනාකාම අසීමිත නැහැ. 

මනඃකල්පිත උදාහරණයක් විදිහට අපි හිතමු තවුතිසා දිව්‍ය ලෝකයෙන් දේව කණ්ඩායමක් ඇවිත් ශ්‍රී මහා බෝධිය අරගෙන යන්න හදනවා කියලා. ඔය වගේ කතා බෞද්ධ සාහිත්‍යයේ තියෙනවනේ. දැන් ශ්‍රී මහා බෝධිය බේරගන්න එයට වටිනාකමක් දෙන හැම කෙනෙක්ම දේව කණ්ඩායම එක්ක මරාගෙන මැරෙන සටනක් කරලා ශ්‍රී මහා බෝධියට වටිනාකමක් ලබා දෙන සංස්කෘතිය පෘථිවියෙන් වඳ වී යාමේ අවදානම ගන්නවද? ශ්‍රී මහා බෝධියට වටිනාකමක් ලබා දෙන සංස්කෘතිය නැති වුනොත් ශ්‍රී මහා බෝධියට වටිනාකමක් තියෙනවද?

වඳ වීමේ තර්ජනයට ලක්ව තිබෙන ගහක් හේතුවක් නැතුව වඳ වෙන්න අරින්න අවශ්‍ය නැහැ. නමුත්, එම ගහ වඳ වෙන්න නොදී පරිස්සම් කර ගත යුත්තේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරක් අවශ්‍යයි. ගහ වෙනුවෙන් කොයි තරම් මිලක් ගෙවිය යුතුද? මේ මිල කොපමණ වුවත් මිලට කවර හෝ සීමාවක් තිබෙනවා. එය අසීමිත නැහැ. ගෙවිය යුතු මිල වැඩිනම් ගහ විනාශ වෙන්න අරින්න වෙනවා.

එහෙමනම් පාරිසරික ප්‍රශ්න කියා දේවල් නැද්ද? තියෙනවා. පරිසර ප්‍රශ්න කියන ඒවායේ මූලික ලක්ෂණයක් වන්නේ කිසියම් මිනිස් ක්‍රියාකාරකමක් හේතුවෙන් අනාගතයේදී මිනිසාගේ පැවැත්මට සිදු විය හැකි හානි පිළිබඳව බොහෝ මිනිස්සුන්ට අවබෝධයක් නැතිකම හේතුවෙන් මේ ප්‍රශ්න ඇති වී තිබීමයි. වෙනත් අයුරකින් කිවුවොත් මේ ප්‍රශ්න තොරතුරු අසමමිතිය පිළිබඳ ප්‍රශ්න. තොරතුරු අසමමිතිය පිළිබඳ ප්‍රශ්න වලට විසඳුම දැනුවත්භාවය වැඩි කර මිනිස් ක්‍රියාකාරකම් වෙනස් කිරීමයි.

පරිසර ප්‍රශ්නයකට විසඳුමක් දෙන හැම වෙලාවකම එය කළ යුත්තේ එයින් මිනිසුන්ගේ පැවැත්මට ලැබෙන වාසි හා අවාසි සැලකිල්ලට අරගෙනයි. එවිට විසඳුම සරලයි. දුලබ ගහක් වඳ වී යාම වැළැක්වීමේ වාසිය කුමක්ද? මේ වගේ දෙයක් ඇස්තමේන්තු කළ හැකි වාස්තවික ආකාරයක් නැහැ. වාසිය විෂයමූලිකයි. මිනිසුන්ගේ විෂයමූලික වටිනාකම් සමීක්ෂණයක් හරහා හොයා ගෙන දුලබ ගහක් වඳ වී යාම වැළැක්වීමේ වාසිය ඇස්තමේන්තු කළ හැකියි.

කෘඩියා සෙලනිකා ගහ බේරා ගන්න අවශ්‍යයි කියන කෙනෙක් ඒ වෙනුවෙන් උපරිම වශයෙන් කොපමණ මුදලක් ගෙවන්න කැමතිද? එසේ මුදලක් ගෙවන්න කැමති හැම කෙනෙක්ම එකතු වී ගෙවන්න කැමති උපරිම මුදල කීයද? අධිවේගී මාර්ගයේ සැලසුම වෙනස් කළොත් යන අමතර වියදම ඊට වඩා අඩුද වැඩිද?

Tuesday, February 9, 2021

ඇමරිකාවේ කොරෝනා පැතිරීම තවත් පහළට


පසුගිය මාස තුනක කාලය තුළ හැම දවසකම ඇමරිකාවෙන් කෝවිඩ් ආසාදිතයින් ඉලක්කම් හයේ ගණනක් හමු වුනා. දැන් මේ ප්‍රමාණය ඉලක්කම් පහේ මට්ටමට වැටී තිබෙනවා. සති අන්තයේ ආසාදිතයින් අඩුවෙන් හමු වී සතියේ දිනවල ඉහළ යන එක සාමාන්‍ය රටාවයි. සති අන්තය පහු වී ගත වුණු දවස් දෙකේද ආසාදිතයින් ප්‍රමාණය ඉලක්කම් පහේ සීමාවේ තිබීමෙන් පෙනෙන්නේ අඩුවීම ස්ථිර අඩුවීමක් බවයි.

එන්නත්කරණය මෙයට හේතු වී තිබෙන ප්‍රධානම කරුණක් බවට සැකයක් නැහැ. එහෙත් එය එකම හේතුව කියා හිතන්න අමාරුයි. තවමත් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබා ගැනීමට හැකි වී තිබෙන්නේ ජනගහණයෙන් 9.7%කට පමණයි. ඒ වගේ මට්ටමකදී සාමූහික ප්‍රතිශක්තිය ඇති වන්නේ නැහැ. එහෙත්, ඇමරිකානුවන්ගෙන් 8.4%ක් මේ වන විට කෝවිඩ් ආසාදිතයින් සේ හඳුනාගෙන තිබෙන නිසාත්, සැබෑ ආසාදිතයින් ගණන එමෙන් කිහිප ගුණයක් විය හැකි නිසාත් ඇතැම් ප්‍රදේශ සාමූහික ප්‍රතිශක්ති මට්ටමට ලඟා වී තිබිය හැකියි. 

අළුත් ආසාදිතයින් අඩුවීමට වෙනත් හේතුද බලපානවා විය හැකියි. එන්නත අත ළඟටම ඇවිත් තිබියදී කෝවිඩ් හදා ගැනීම කාගේවත් කැමැත්ත නොවන නිසා බොහෝ දෙනෙක් කලින් පරිස්සම් වුනාට වඩා වැඩියෙන් පරිස්සම් වීම වගේම එන්නතට වැඩි අවධානයක් යොමුවීම නිසා කෝවිඩ් පරීක්ෂා අඩුවෙන් සිදුවීම වැනි හේතුද නොසලකා හරින්න බැහැ.

රෝගය ආසාදනය වීම හරහා ලැබෙන ප්‍රතිශක්තිය ගැන කිසිවකුට නිශ්චිත අදහසක් නැහැ. ඒ නිසා, එන්නත්කරණ වැඩ සටහනේදී රෝගය ආසාදනය වී ඇති අයෙක්ද යන කරුණ සලකා බලන්නේ නැහැ. ඔවුන්ටත් අනෙක් අයට වගේම එන්නත් ලබා දෙනවා.

එන්නත්කරණය හරහා සාමූහික ප්‍රතිශක්තිය කරා යාම තවමත් ඇමරිකාවට දුරස්ථ ඉලක්කයක්. දැනට තිබෙන ඇස්තමේන්තු අනුව රට මුළුමනින්ම සාමාන්‍ය තත්ත්වයට පත් වීමට ඉඩ තිබෙන්නේ නොවැම්බර් පමණ වන විටයි. එසේ වනු ඇත්තේද එන්නත්කරණ වැඩ සටහන බාධාවක් නැතිව හොඳින් ක්‍රියාත්මක වුවහොත් පමණයි. අළුත් වෛරස් ප්‍රභේද පැතිරෙන එක එන්නත්කරණ වැඩ සටහනට වඩා ඉක්මන් වුවහොත් මේ අවුරුද්ද අවසාන වන විටත් ප්‍රශ්නය නොවිසඳී තිබෙන්න පුළුවන්.

ලංකාවේ තත්ත්වයනම් හොඳ අතට හැරෙනු ඇත්තේ තවත් කාලයක් නරක අතට වර්ධනය වීමෙන් පසුවයි. ඇස්ට්‍රසෙනිකා එන්නතෙන් සාමූහික ප්‍රතිශක්තිය කරා ළඟා වීම වඩා අසීරු දෙයක්. දැනට දිනකට ලංකාවෙන් හමු වන ආසාදිතයින් ගණන ඉලක්කම් තුනේ ගණනක් වුවත් මෙය ඉතා ඉක්මණින් ඉලක්කම් හතරේ මට්ටමට යා හැකියි. 

මේ වගේ තත්ත්වයක් යටතේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එන්නත ලැබී තිබීම ගොඩක් වටිනවා. ඒ අයට රෝගයට බයේ ඉන්න සිදු වුනානම් අමාරු වන අනෙක් ආසාදිතයින්ට එයින් බලපෑමක් ඇති වීම නොවැලැක්විය හැකි දෙයක්.

Sunday, February 7, 2021

දෙවියෝ මොන වගේද?


මම කවදාවත් කොරෝනා වෛරස් එකක් දැකලා නැහැ. ඒ නිසා, මට කොරෝනා වෛරස් එකක් චිත්ත රූපයක් විදිහට හිතේ මවා ගන්න අමාරුයි. ඒ වුනත්, විවිධ මාධ්‍ය වල දැකිය හැකි ආකාරයේ කොරෝනා වෛරස් එකක රූපයක් හෝ කෘතීම ලෙස වර්ණ ගැන්වූ ඡායාරූපයක් චිත්ත රූපයක් විදිහට හිතේ මවාගන්න එකනම් අමාරු වැඩක් නෙමෙයි. 

මම තවමත් හදිසියේ හෝ ගෙයින් එළියට යනවානම් යන්නේ මුව වැසුම් දමාගෙන. ගෙදර ඇවිත් මුව වැසුම ඉවත් කරන්නේ ගොඩක් පරිස්සමින්. අත් වල හා වෙනත් තැන් වල රැඳී තිබිය හැකි කොරෝනා වෛරස් විනාශ කරන්න මම විෂබීජ නාශක භාවිතා කරනවා. සබන් ගා අත් සෝදනවා. මේ එකක්වත් කරන්නේ කොරෝනා වෛරස් පෙනිලා නෙමෙයි. කොරෝනා වෛරස් වල චිත්තරූප හිතේ මවාගෙනත් නෙමෙයි. එහෙත්, කොරෝනා වෛරස් තිබිය හැකි බව හිතා ගෙන. විය හැකියාවක් ලෙස ඒ වගේ දෙයක් ගැන හිතන්න අමාරු නැහැ.

කොරෝනා වෛරස් එකක් කවදාවත් දැකලා නැති වීම මට ප්‍රශ්නයක් නෙමෙයි. කොරෝනා වෛරස් ඇස් දෙකෙන් දකින්න අවශ්‍යනම් ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂයක් උපකාරයෙන් එය කළ හැකි බවට මට විශ්වාසයක් තිබෙනවා. ඒ සඳහා පුහුණුවක් අවශ්‍යනම් ඒ පුහුණුව ලබා ගැනීම අසීරු නොවනු ඇති බවටද මට විශ්වාසයක් තිබෙනවා. කොරෝනා වෛරස් ගැන මම දන්නේ වෙනත් අය කියා හෝ ලියා ඇති දේවල් පමණක් වුනත් ඒ දේවල් ගැන මට විශාල සැකයක් නැහැ. යම් කරුණු පිළිබඳව සැක තිබුණත් සමස්තයක් ලෙස විශාල විශ්වාසයක් තිබෙනවා.

මිනිස් ඇස් වලට නොපෙනෙන දෙවියෝ, භූතයෝ, යක්ෂයෝ, පෙරේතයෝ වගේ සංකල්පික ජීවීන් මම කවදාවත් දැකලා නැහැ. වෙනත් අයුරකින් එවැන්නන් සිටින බවක් දැනිලත් නැහැ. එහෙම සංකල්පික ජීවීන් පිළිබද විවිධ කතානම් කුඩා කාලයේ ඉඳලම අහල තියෙනවා. හැබැයි මේ කතා මට කියලා තිබෙන වැඩි දෙනෙක් ඒ කතා වෙනත් අයගෙන් අහපු අයයි. ඊට වඩා වැඩි දුරකට ගිය අය වරින් වර හමු වී තිබුණත් එවැන්නන් කියන දේ ඇත්ත බවට කවදාවත් විශ්වාසයක් ඇති වී නැහැ. සහතික කර කියන්න බැරි වුනත්. බොරු බව හිතන්න උදවු වෙන කරුණුනම් එවැනි හැම විටකම වගේ හමු වී තිබෙනවා. 

දෙවියෝ, භූතයෝ, යක්ෂයෝ, පෙරේතයෝ වගේ සංකල්ප වල තිබෙන සංකල්පික ලක්ෂණ අනුවම මම මහන්සි වුනා කියා දෙවියෝ, භූතයෝ, යක්ෂයෝ, පෙරේතයෝ දැක ගන්න හෝ වෙනත් අයුරකින් හඳුනාගෙන සම්බන්ධ වෙන්න පුළුවන් පැහැදිලි ක්‍රමයක් නැහැ. ඒ නිසා කිසියම් අහම්බයක් වුනොත් මිසක් අනාගතයේදී වුවත් වියුක්ත අදහසක් ලෙස මිසක් ප්‍රත්‍යක්ෂයෙන් මට දෙවියෝ, භූතයෝ, යක්ෂයෝ, පෙරේතයෝ හඳුනා ගන්න පුළුවන් වෙයි කියා හිතීමේ හැකියාවක් නැහැ. මේ කියන ආකාරයේ දෙවියෝ, භූතයෝ, යක්ෂයෝ, පෙරේතයෝ මිනිස්සු හදාගත් වියුක්ත සංකල්ප ලෙස මිස ඊට වඩා අමුතු දේවල් ලෙස මට හිතාගන්න අමාරුයි. ඒ නිසා, මේ කියන ජීවීන් ඇත්තටම ඉන්නවාද නැද්ද කියන එකේ මට කිසිම වෙනසක් නැහැ.

මා හැදී වැදුණු බෞද්ධ ආගමික පසුබිම නිසා ඔය ආකාරයේ ජීවීන් ගැන මට කුඩා කළ සිට අහන්න ලැබී තිබෙන කතා ගොඩක් ත්‍රිපිටකයේ විවිධ සූත්‍ර දේශනා වල තිබෙන කතා වලට බොහෝ දුරට සමානයි. මේ සූත්‍ර දේශනා වල විවිධ දෙවිවරු, දේවතාවියෝ, යක්ෂයෝ, ප්‍රේතයෝ, කුම්භාණ්ඩයෝ ඉන්නවා, එම තොරතුරු ඇසුරෙන් මට දෙවි කෙනෙක් කියන සංකල්පය හිතෙන් මවාගන්න පුළුවන්. හැබැයි චිත්ත රූපයක් විදිහට නෙමෙයි. අවශ්‍යනම් දෙවි කෙනෙකුගේ පිළිමයක් හෝ චිත්‍රයක් හිතෙන් මවාගන්න පුළුවන්.

සූත්‍ර දේශනා වල හමු වන දෙවිවරු මොන වගේ පිරිසක්ද?

මේ ප්‍රශ්නයට ගොඩක් විස්තරාත්මක පිළිතුරක් ලියන්න පුළුවන්. දෙවියෝ, භූතයෝ, යක්ෂයෝ, පෙරේතයෝ වගේ සංකල්පික ජීවීන් ගැන ත්‍රිපිටකයේ හා අටුවා වල සෑහෙන විස්තර ප්‍රමාණයක් තිබෙනවා. මේවා ගැන එකිනෙක අරගෙන කතා කරන එක ලොකු කාලයක් ගත වන වැඩක්. කොහොම වුනත්, තොරතුරු විදිහට ගත්තොත් බොහෝ තැන් වල තිබෙන්නේ එකම වගේ තොරතුරු. 

රාත්‍රී කාලයේ අවට ආලෝකමත් කරගෙන එන දෙවි කෙනෙක් බුදු හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහලා යන එක වගේ විස්තර විවිධ තැන් වල තිබුනත් ඒ එන දෙවියා හෝ දෙවියා පැමිණි තැන ගැන වැඩි විස්තරයක් නැහැ. දැන් මාධ්‍ය වල අපරාධයක් වාර්තා කරන කොට අපරාධකරුගේ බිරිඳගේ අනියම් පෙම්වතාගේ මවගේ ජාතිය වගේ දේවල් විස්තර කරන වෙලාවල් තිබුණත් විය යුතු පරිදිම සූත්‍ර දේශනා වල දෙවියන් අහපු ප්‍රශ්නය හා ප්‍රශ්නයට ලබා දුන් පිළිතුරු ගැන මිසක් දෙවියන්ගේ ජාතකේ ගැන විස්තර කරලා නැහැ. ඒ වගේ වැඩි විස්තරයක් තියෙන්නේ ප්‍රස්තුතයට අදාළ වන තැන් වල පමණයි. කියන්න හදන මූලික කරුණ ගැන හදාරනවා වෙනුවට ත්‍රිපිටකය හරහා දෙවියන් ගැන තොරතුරු හොයන්න මහන්සි වෙන කෙනෙකුට ප්‍රයෝජනවත් වන්නේ මේ වගේ තැන් වල තිබෙන තොරතුරු.

ත්‍රිපිටකය හරහා දෙවියන් ගැන තොරතුරු හොයන කෙනෙකුට විමානවත්ථුපාලියේ එන සෙරිස්සක විමාන කථාව හොඳ මූලාශ්‍රයක්. මෙහි විස්තර වෙන්නේ මිනිස් කණ්ඩායමකට දෙවිවරුන් පිරිසක් හමු වන අවස්ථාවක්. මේ හමුවීම හා අදාළව හොඳ විස්තරයක් සෙරිස්සක විමාන කථාවේ තිබෙනවා. ඒ කතාව ඇසුරෙන් අපට දෙවිවරු කියන්නේ මොන වගේ පිරිසක්ද කියා තේරුම් ගන්න පුළුවන්. මේ විමසීම කරද්දී දෙවියන් කියා පිරිසක් ඇත්තමට ඉන්නවද නැද්ද කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. විමසීම හරහා එවැනි පිරිසක් සිටින බව හෝ නොසිටින බව තහවුරු වෙන්නේ නැහැ. නමුත්, ඇත්තටම සිටින හෝ නොසිටින දෙවිවරු ගැන ථෙරවාද බෞද්ධ දැනුම මොන වගේ එකක්ද කියා අපට මේ හරහා විමසා අවබෝධ කර ගත හැකියි.

දැන් මේ කතාව අනුව අංග හා මගධ දේශ වල වැසියන් වූ පිරිසක් ගැල් සාත්තුවකින් පාඨලීපුත්‍ර නගරයේ සිට සින්ධු හා සෞවීර රාජධානි බලා වෙළඳාම පිණිස ගමන් අරඹනවා. සැතපුම් එක් දහස් පන්සීයක පමණ දුරක්. මෝටර් රථයකින් එක දිගට ගමන් කළොත් අද වුවත් මේ ගමනට පැය තිස් තුනක් පමණ යනවා. ගැල් සාත්තුවේ මැදි වියේ අය වගේම දරුවන් හා මහල්ලනුත් ඉන්නවා. එය ඒ දවස් වල සාමාන්‍ය තත්ත්වය වෙන්න ඇති. බෞද්ධ භික්ෂූන් පවා ගැල් සාත්තු එක්ක ගමන් කළ අවස්ථා තිබෙනවානේ. දැන් කෝච්චියක ගමනක් යනවා වගේ.


ගැල් සාත්තුව බඩු පිරවූ ගැල් දහසක එකක්. විශාල පිරිසක් මේ වගේ දිගු ගමනක් යද්දී සහායක සේවා සපයන අයත් ගෙනියන්න වෙනවනේ. සම්භව නම් වූ කරණවෑමියාද මේ අයුරින් මේ ගැල් සාත්තුවේ යන්නන්ගේ කොණ්ඩා රැවුළු කපමින් ගැල් සාත්තුව සමඟ ගමන් කරනවා. 

ගැල් සාත්තුව කාන්තාර ප්‍රදේශයකට ලඟා වෙනවා. විස්තරයේ හැටියට මේ කියන්නේ සින්ධු සෞවීර දේශ වලට කිට්ටු වෙද්දී හමු වන දැන් තාර් කාන්තාර ප්‍රදේශය ලෙස හඳුන්වන පැත්ත කියා හිතන්න පුළුවන්. මේ ප්‍රදේශයේ උෂ්ණය ඉතා අධික නිසා ගැල් සාත්තුව දිවා කාලයේ එක තැනක නැවතී විවේක ගනිමින් රාත්‍රී කාලය තුළ ගමනේ යෙදෙනවා. මෙසේ ගමන් කරද්දී මග වැරදී අතරමං වෙනවා. දේව විමානයක් හමු වෙන්නේ ඔය විදිහට අතරමං වෙලා සිටින අවස්ථාවක.

මේ දේව විමානය තිබෙන්නේ මහරි කැලෑවක් මැද. ඇතැම් තැන් වල සඳහන්ව තිබෙන විදිහට මහරි කියන්නේ මාර වර්ගයේ ගසක්. කකුසඳ බුදුන් බුදු වී තිබෙන්නේත් මහරි ගසකට පිට දීලා. මාරද කියා මම හරියටම දන්නේ නැති නිසා අපි මහරි කියලම කියමු. පාලි භාෂාවෙන් සේරිස්සක කියන්නේ මහරි කියන අර්ථයෙන්. මහරි ගස් මැද පිහිටි මේ දෙවු විමන හඳුන්වා තිබෙන්නේ සේරිස්සක විමානය ලෙසින්. එහි වසන දේව පුත්‍රයා සේරිස්සක දේව පුත්‍රයා ලෙස හැඳින්වෙනවා. මේ සේරිස්සක දේව පුත්‍රයාගේ අතීත කතා හා සේරිස්සක දේව විමානයේ අතීත කතා ගොඩක් තියෙනවා. ඒවායේ වැඩි විස්තර අපි පැත්තකින් තියමු. 

සේරිස්සක විමානයට සේරිස්සක දේව පුත්‍රයා ඇවිත් වැඩි කලක් නැහැ. මිනිස් වර්ෂ වලින් සීයක් පමණ. මේ දේව පුත්‍රයා බුද්ධ කාලයේ ප්‍රාදේශීය රජෙක් ලෙස ජීවත්ව සිට ඇති අයෙක්. සේරිස්සක විමානයේ කලින් සිටි දේව පුත්‍රයා චුත වෙලා මිනිස් ලොවට ගියාට පස්සේ තමයි මේ දෙවුවිමන ඔහුට හිමි වී තියෙන්නේ. මුලින්ම ඇවිත් තිබෙන්නේ හිස් විමානයකට. පස්සේ තවත් පිරිස් එහි ඇවිත් තිබෙනවා. තවත් පිරිස් කිවුවට මිනිස් ලෝකයේ රජෙක්ව සිටිද්දී හිටපු පිරිවර. දැන් ඒ අය මේ දේව පුත්‍රයාගේ පිරිවර ලෙස ඉන්නවා.

සේරිස්සක දේව පුත්‍රයා නිකම් ඉන්න දේවතාවෙක් නෙමෙයි. ඔහු වෙසමුණි දෙවියන් වෙනුවෙන් දේවකාරියක් කරනවා. ඒ මේ කාන්තර ප්‍රදේශයේ යද්දී ජලය නැති කමෙන් හා උෂ්ණයෙන් පීඩාවට පත් වන අයට පිහිට වන එක සහ මේ ප්‍රදේශයේ සැරිසරන අමනුෂ්‍යයින්ගෙන් ආරක්ෂාව සැපයීම. විමානයේ ඉන්න අනෙක් පරිවාර දෙවිවරුන්ට ඉතිං කොහොමටත් එක එක වැඩ තියෙනවනේ. 

වෙසමුණිගේ අණ පරිදි පීඩාවට පත් වන අයට උදවු කරනවා කිවුවට සේරිස්සක දේව පුත්‍රයා කාන්තාරයේ ගමන් කරද්දී අමාරුවේ වැටෙන හැමෝටම උදවු කරන්නේ නැහැ. මේ ගැල් කණ්ඩායමට උදවු කරන්නේ ඒ සමඟ ගමන් කළ, තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වූ, සම්භව නම් වූ කරණවෑමියා නිසා. ඔහු නොහිටින්න මේ දෙව්-මිනිස් හමුව සිදු වන්නේ නැහැ. 

වෙසමුණි දෙවි කියන්නේ හතර වරම් දෙවි වරුන්ගෙන් එක් අයෙක්. පහළම දේව ලෝකය වන චතුර් මහා රාජිකය පාලනය කරන්නේ මේ හතර වරම් දෙවිවරු. සේරිස්සක දේව පුත්‍රයා වගේ පොළොව ආශ්‍රිතව ඉන්න භූමාටු දෙවිවරු චතුර් මහා රාජිකයේ ඉපදුනු අය. දැන් ඔය තාර් කාන්තාර ප්‍රදේශයේ මහරි ගස් ගොඩක් මැද්දේ තමයි චතුර් මහා රාජිකයේ කොටසක් වන සේරිස්සක විමානය තියෙන්නේ.

දිව්‍ය පුත්‍රයා රස්සාව කරමින් වුවත් දෙවු සැප වළඳමින් ඔය මහරි කැලෑවට වෙලා හිටියට ගැල් කණ්ඩායම රස්සාව කරමින් ලෝකේ හතර වටේ කරක් ගහනවනේ. ඉතිං සේරිස්සක දේව පුත්‍රයා මේ ගැල්කරුවන්ගෙන් රටේ ලෝකේ විස්තර අහනවා.

"දැන් ඕගොල්ලෝ සල්ලි හොයන්න මූදෙන් එතෙර, එතකොට මේ වගේ කාන්තාර ප්‍රදේශ වල, කණු සිටුවා වේවැල් බැඳ හදා ඇති පාලම් උඩින්, පර්වත සහිත මාර්ග වල, ගංගා වල වගේ හැම තැනකම යනවනේ. ඉතිං ඔය එක එක රට රාජ්ජ වල යද්දී දැකල තියෙන විශේෂ දේවල් මොනවද?"

දේව පුත්‍රයා ඔය ප්‍රශ්නය ඇහුවේ බොරුවට නෙමෙයිනම් ඒ කියන්නේ මේ දේව පුත්‍රයා තමන්ගේ වාස භවනයෙන් පිට රටේ ලෝකේ සිද්ධ වන දේවල් දැන ගන්නේ මිනිස්සු ඒ දේවල් දැන ගන්න විදිහටමයි.

"අපි ඔය ගිය කිසිම තැනක ඔබ මේ විඳින සැප සම්පත් තරම් සැප සම්පත් විඳින කෙනෙක්නම් දැකල නැහැ!"

ගැල් කාරයෝ ඔහොම කියන්නේ ඇත්තටමද නැත්නම් දේව පුත්‍රයාව මුරුංගා ඇත්තේ තියන්නද කියලා අපි දන්නේ නැහැ.

දැන් මේ කියන සැප සම්පත් මොනවාද? ඒවා වැඩි හරියක්ම දේව විමානය හා සම්බන්ධ දේවල්.

පලිඟු, කණක වෛරෝඩි, දියමන්ති, රතු මැණික් ආදියෙන් හැදූ රැස් විහිදෙන රියන් සියයක් පමණ උස කුළුණු මත මේ ප්‍රාසාදය හදා තිබෙනවා. සුදු නෙළුම්, රතු නෙලුම් ආදී බොහෝ මල් වලින් ගැවසුණු නිර්මල සිහිල් ජලයෙන් පිරුණාවූ පොකුණු ආකාශයෙහි (නිවසේ උඩු මහලේ?) ගලා බසිනවා. නිතර නොයෙක් ඵල පල්ලවයෙන් සැදුම්ලත් දිව්‍යවෘක්ෂ වලින් හාත්පස සුවඳ හමනවා. සත්රුවනින් නිමියාවූ දහසක් පමණ බිත්ති කණු තරප්පු ආදියෙන් හෙබියාවූ ස්වර්ණමය වේදිකාවෙන් යුක්තවූ මත්තෙහි රන්පටින් වසනලද්දාවූ දඹ රනින් මනා කොට ඔප නගනලද මේ විමානය දවසක් තිස්සේ බැළුවත් හිතේ හැටියට බලා නිම කරන්න බැහැ.

මේ රන්මාලිගාව ඇතුළෙහි කඩා කෑයුතු බුදිය යුතු නොයෙක් දිව්‍ය භෝජන සාදා තිබෙනවා. දක්ෂ වූ ගාන්ධර්වයන් විසින් වයන මිහිඟුබෙර පනාබෙර ආදී පංච තූර්ය නාද හැම විටම ඇසෙනවා. නොයෙක් දිව්‍යපුත්‍රයන් විසින් ස්තුති ගී කියමින් නමස්කාර කරනවා.

වෙසමුණි රජු ඔහුගේ නොයෙක් මලින් සැදුනාවූ නලිනී නම් පොකුණෙහි ක්‍රීඩා කරන අයුරින්ම සේරිස්සක දේව පුත්‍රයාටත් නොයෙක් දෙවඟනන් පිරිවරා මේ දෙව් විමනෙහි ක්‍රීඩා කරමින් හිතා ගත නොහැකි තරම් සතුටු වෙමින් දෙව් සැප විඳින්න පුළුවන්.

හිතා ගන්න බැරි තරම් කිවුවත් මේ දෙවු සැප අතර මිනිස්සුන්ට හිතා ගන්න බැරි දෙවු සැප නැහැ. බොහොමයක් දෙවු සැප මිනිස්සුන්ට පහසුවෙන් හිතා ගන්න පුළුවන්, එහෙත් බොහෝ මිනිසුන්ට ළඟා කර ගන්න අසීරු සැප. 

හිතේ හැටියට කෑම බීම. සංගීතය. සේවකයෝ. කාන්තාවෝ. රන් රිදී මැණික් වගේ නෛසර්ගික ප්‍රයෝජනයක් ලොකුවට නැති දුර්ලභ නිසාම වටිනාකමක් ලැබී තිබෙන දේවල්. ලොකු ගෙයක්. වැඩි මහන්සියක් නැතුව කළ හැකි රස්සාවක්. බුදුන්ගේ කාලයේ ජීවත් වූ මිනිහෙකුට හිතා ගන්න පුළුවන් වූ ලොකුම සැප. තමන්ට අවශ්‍ය පමණ සමාජයෙන් අරගෙන තමන්ට හැකි පමණ සමාජයට දීලා සතුටෙන් කාලය ගෙවන එකයි කරන්න තියෙන්නේ. 

අනෙක් ගොඩක් කතාත් ආකෘතිය අනුව මේ කතාවට වඩා ගොඩක් වෙනස් නැහැ, දෙව්ලොව ඉපදෙන ගොඩක් අය ඉපදෙන්නේ විමානයක් ආශ්‍රිතව. විමානයක් කියන්නේ ලොකු ගෙයක්. මාලිගාවක්. අලුත්ම එකක් හෝ කලින් වෙනත් දෙවියෙක් ඉඳලා හිස් වූ එකක්. රන් රිදී මුතු මැණික් හිතේ හැටියට. වෙනත් බොහෝ දේවලුත් හිතන කොටම පහළ වෙනවා. හැබැයි පංති රහිත සමාජයක්නම් නැහැ. පරිවාර දෙවියෝ ප්‍රධාන දෙවියාව සතුටු කරන්න ඕනෑ. කාන්තාවෝනම් ඉපදෙන්නේම දෙවි කෙනෙකුගේ දෙවඟනක් විදිහට. 

දෙව්ලොව ඉපදෙන කාටත් ලැබෙන එක දෙයක් තිබෙනවා. ඒ ආලෝකය විහිදෙන, දිලිසෙන සමක්. ඒකෙත් අඩුවැඩිකම් තිබෙනවා. හැබැයි පොදුවේ හැම දෙවි කෙනෙකුටම වගේ මේ ආලෝකමත් පැහැය තිබෙනවා. 

දෙවිවරු කියා පිරිසක් ඇත්තටම හිටියත් නැතත් වියුක්ත ලෙස දෙවිවරු ගැන හිතන්න පුළුවන් වීමෙන් මිනිස්සුන්ට සිදු වූ යහපතක් තිබෙනවා. මේ බොහෝ දෙවු සැප මිනිස් ලෝකයේදීම ලැබිය හැකි ආකාර මිනිස්සු හොයා ගෙන තිබෙනවා. තව දුරටත් හොයා ගනිමින් සිටිනවා. දෙවු සැප වැනි සැප ලබන මිනිස්සු ඉන්නේ සීමිත ප්‍රමාණයක් වුවත් ඒ ප්‍රමාණය ටිකෙන් ටික වැඩි වෙනවා. 

Friday, February 5, 2021

අපි කොයි තරම් නිදහස්ද?


රටවල් වලට, විශේෂයෙන්ම ලෝක දේශපාලනයේ පර්යන්තයේ පිහිටි ලොකු ආර්ථික ශක්තියක් නැති කුඩා රටවල් වලට, ස්වාධීන තීරණ ගන්න කොයි තරම් නිදහසක් තියෙනවද? මේක පසුගිය දවස් වල ලංකාවේ ටිකක් කතා වුනු මාතෘකාවක්. ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව බලය කියන සාධකය මත වෙනස් වෙනවා කියන එක පැහැදිලියි.

මේ කතාව රටවල් වලට වගේම ඒකීය පුද්ගලයින්ටත් අදාළයි. පුද්ගලයෙකුට ස්වාධීන තීරණ ගන්න තිබෙන හැකියාව එම පුද්ගලයාට බලය පැතිරවිය හැකි හා එමගින් පාලනය කළ හැකි සීමිත අවකාශයකට සීමා වෙනවා. එතැනින් එහාට ස්වාධීන කැමැත්තක් නැහැ. 

මිනිහෙක්ට මොන විදිහක හෝ නිදහස් කැමැත්තක් නැති වෙන්න බැරිද? මේ වගේ ප්‍රශ්න දර්ශනයේ ප්‍රශ්න. මේ වගේ ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හොයන එක පහසු නැහැ. සමහර විට කරන්නම බැහැ. 

මිනිසෙකුට කිසිම නිදහස් කැමැත්තක් නැති විය හැකි බව ප්‍රතික්ෂේප කිරීම අසීරු වුවත් වුවත්, පූර්ණ නිදහස් කැමැත්තක් නැති බවනම් ඉතාම පැහැදිලියි. මෙය පෙන්වා දෙන එක අපහසු නැහැ. අපි හිතමු එක් පුද්ගලයෙකුට පූර්ණ නිදහස් කැමැත්තක් තිබෙනවා කියලා. එහෙමනම් ඒ පුද්ගලයාට එම පූර්ණ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කරමින් වෙනත් අයෙකුගේ නිදහස් කැමැත්තට බාධා කරන්න පුළුවන්. ඒ නිසා, දෙවැන්නෙකුට කිසිසේත්ම පූර්ණ නිදහස් කැමැත්තක් තියෙන්න විදිහක් නැහැ. ඒ නිසා, පූර්ණ නිදහස් කැමැත්තක් තිබිය හැක්කේ උපරිම වශයෙන් එක් අයෙකුට පමණයි. අනෙක් අයගේ නිදහස් කැමැත්ත හැම විටම ඒ පූර්ණ නිදහස් කැමැත්ත තිබෙන පුද්ගලයාගේ නිදහස් කැමැත්තට යටත් සීමිත නිදහස් කැමැත්තක්. හැබැයි එවැනි පූර්ණ නිදහස් කැමැත්තක් තිබෙන කෙනෙක් අනිවාර්යයෙන්ම සිටිය යුතු නැහැ.

අපි හිතමු එසේ පූර්ණ නිදහස් කැමැත්තක් වගේම ඒ කැමැත්ත ක්‍රියාත්මක කිරීමේ බලයක්ද තිබෙන කෙනෙක් ඉන්නවා කියලා. එහෙමනම්, ඇත්තටම අනෙක් ඕනෑම කෙනෙකුගේ නිදහස් කැමැත්ත කියන එක මායාවක් පමණයි. මොකද වෙනත් ඕනෑම කෙනෙකු තමන්ගේ නිදහස් කැමැත්ත ලෙස ක්‍රියාත්මක කරන්නේත් පූර්ණ නිදහස් කැමැත්තක් තිබෙන පුද්ගලයාගේ කැමැත්ත. ඒක එහෙමද නැද්ද කියලා දැන ගන්න පුළුවන් වෙන්නේත් පූර්ණ නිදහස් කැමැත්තක් තිබෙන පුද්ගලයාගේ කැමැත්තට යටත්ව පමණයි.

ඒ කියන්නේ එක දෙයක් පැහැදිලියි. එක්කෝ අපට සීමිත නිදහස් කැමැත්තක් තිබෙනවා. එහෙම නැත්නම් කිසිසේත්ම නිදහස් කැමැත්තක් කියා දෙයක් නැහැ. අපේ නිදහස් කැමැත්ත කියා අපි හිතාගෙන ඉන්න දෙය වෙනත් කෙනෙකුගේ කැමැත්තට යටත්. 

මේ වගේ දාර්ශනික ගැටළුවක් තිබීම අපේ එදිනෙදා ජීවිත වලට ප්‍රශ්නයක්ද? පැහැදිලිවම නැහැ. අපට තිබෙන නිදහස් කැමැත්ත සැබෑ නිදහස් කැමැත්තක්ද නැද්ද කියන ගැටළුව ගැන අඥේයවාදීව සිටින අතරම ඔය ප්‍රශ්නයට පිළිතුර කුමක් වුවත් කළ යුතු හොඳම දෙය අපට තිබෙන හෝ ඇත්තටම නොතිබෙන එහෙත් තිබෙනවාක් සේ පෙනෙන නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කරන එක කියන නිගමනයට අපට පහසුවෙන්ම එන්න පුළුවන්. ඒ කොහොමද?

අපට යම් තරමක හෝ නිදහස් කැමැත්තක් ඇත්තටම තිබෙනවානම් කළ යුතු හොඳම දෙය ඒ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කරන එකයි. අපට දැනෙන නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කිරීමේ හැකියාව හරහා සිදු වන්නේ වෙනත් අයෙකුගේ කැමැත්තක් ක්‍රියාත්මක වීමනම්, අපට එයින් ගැලවෙන්න විදිහක් කොහොමටවත් නැත්නම්, ඒත් කළ යුතු හොඳම දෙය ඒ නිදහස් කැමැත්ත සේ පෙනෙන දෙය ක්‍රියාත්මක කරන එකයි. 

ඒකීය පුද්ගලයින් සේ අප විසින් හැම විටම කළ යුතු හොඳම දෙය අපේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කිරීමනම් මේ කතාව වෙනත් අයටත් පොදු විය යුතුයි. ඒ නිසා, අපට වෙනත් අයට ඔවුන්ගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කිරීමට තිබෙන අයිතියත් පිළිගන්න වෙනවා. ගොඩක් වෙලාවට මේකේ අවුලක් නැතත් එක් අයෙකුගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කිරීමේදී තවත් අයකුගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කිරීමට බාධා වන අවස්ථාවක මේ වැඩේ අවුලක් ඇති වෙනවා. දෙකෙන් එකක් මිසක් දෙකම කරන්න බැහැ. එක් අයෙකුට පරාජය භාර ගෙන අනෙක් තැනැත්තාගේ නිදහස් කැමැත්තට ඉඩ දෙන්න සිදු වෙනවා.

මේ ප්‍රශ්නයට හැම විටම හරියන (universal) විසඳුමක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කියා කියන්නේ මේ වගේ අවස්ථාවකදී හැමෝම කතාබහ කරලා එකඟත්වයක් ඇති කර ගැනීම. නමුත්, හැම තත්ත්වයක් යටතේදීම ඒ ආකාරයට කතා බහ කරලා විසඳුමක් ඇති කර ගත හැකි බවට සහතිකයක් නැහැ. ඒ වගේ වෙලාවක ක්‍රියාත්මක වන්නේ කාගේ නිදහස් කැමැත්තද කියන එක අවසාන වශයෙන් තීරණය වන්නේ බලය කියන සාධකය මත.

ඒකාධිපති ක්‍රමයකදී වෙන්නේ එක් පුද්ගලයෙකුගේ නිදහස් කැමැත්ත අනෙක් සියලු දෙනා විසින්ම පිළිගැනීමක් හෝ එම නිදහස් කැමැත්තට අනෙක් හැම දෙනෙක්ම යටත් වීමක්. තමන්ගේ නිදහස් කැමැත්ත අමතක කර ඒකාධිපතියාගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක වීමට ඉඩ හැරීම අනෙක් හැම දෙනෙකුගේම නිදහස් කැමැත්තනම් මෙහි පරස්පරයක් ඇති වන්නේ නැහැ. 

"මොනවද අපි ඕඩර් කරන්නේ?"

"ඔයා කැමති දෙයක්!"

"අද අපි කොහෙද යන්නේ?"

"ඔයා කැමති දිහාවක යමු!"

ආදරය මත ගොඩ නැගෙන ලෝකයක් වගේ සුන්දර කතා කියන්න පුළුවන් වුනත් ඔය වැඩෙන් වෙන්නේත් තමන්ගේ නිදහස් කැමැත්ත වෙනුවට වෙනත් කෙනෙකුගේ කැමැත්ත පිළිගැනීම. මේ වගේ ක්‍රමයක තර්කානුකූල දිගුව වන්නේ අනෙක් හැම දෙනෙක්ම ඒකාධිපතියෙකුගේ නිදහස් කැමැත්ත පිළිගැනීමයි. ප්‍රායෝගිකව මේ වගේ දෙයක් සැබෑ ලෝකයේ වෙන්නේ නැහැ. බොහෝ දෙනෙකුට අකැමැත්තෙන් තමන්ගේ කැමැත්ත ඒකාධිපතියෙකුගේ කැමැත්තට යටපත් කරන්න සිදු වෙන එකයි වෙන්නේ.

නීතියේ පාලනය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එකම නෙමෙයි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන් නිසා ඇති වන ප්‍රශ්න අඩු කර ගත හැකි ක්‍රමයක්. මෙහිදී වෙන්නේ ඒකාධිපතියෙකු වෙනුවට නීතිය ආදේශ වීම. බලය කියන සාධකය තවමත් එලෙසම තිබෙනවා. දැන් එය ඒකාධිපතියාගෙන් නීතිය වෙත මාරු වෙලා.

සමහර වෙලාවට ඒකාධිපතිත්වයක් යටතේ වුවත් නීතියේ පාලනයක් තියෙන්න පුළුවන්. ලී ක්වාන් යූ ක්‍රමයේ තිබුණේ ඒ වගේ එකක්නේ. මේ වගේ ක්‍රමයකදී නීතිය හදන්නේ ඒකාධිපතියාගේ කැමැත්ත පරිදි වුනත්, ඒකාධිපතියාට අවශ්‍ය විදිහට නීතිය නැමීමක් වෙන්නේ නැහැ. සමහර විට නීතියේ පාලනයක් නැති ප්‍රජාතන්ත්‍රවාදයකට වඩා නීතියේ පාලනයක් තිබෙන ඒකාධිපතිත්වයක් හොඳ වෙන්න වුනත් පුළුවන්. මොකද තිබෙන තත්ත්වය රටේ මිනිස්සු කැමතිම තත්ත්වය නොවුනත්, එම තත්ත්වය කුමක්ද කියා පැහැදිලි නිසා අවිනිශ්චිතතාවය අඩුයිනේ.

සමහර ඒකාධිපතිත්ව ක්‍රියාත්මක කරන්නේ තනි පුද්ගලයෙක් විසින් නෙමෙයි. කල්ලියක් හෝ දේශපාලන පක්ෂයක් විසින්. නීතිය කියා කියන්නේ මේ කල්ලියේ සාමාජිකයින්ගේ කැමැත්ත. අනෙක් අතට කොයි රටක වුනත් රටේ හැම මිනිහෙක්ම නීති හදන්න එක විදිහට දායක වෙන්නේ නැහැ. බොහෝ විට ප්‍රායෝගිකව ඔය වැඩේට සම්බන්ධ වෙන්නේ කිසියම් සීමිත පිරිසක්. ඔය කණ්ඩායම විශාල වන තරමට හා ඕනෑම කෙනෙකුට කණ්ඩායමට සම්බන්ධ විය හැකි තරමට විවෘත වූ තරමට කිසියම් රටක ප්‍රජාතන්ත්‍රවාදය හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් කියා කියන්න පුළුවන්.

මිනිස්සු ජාති, ආගම්, දේශපාලන පක්ෂ විදිහට නොහිතා ස්වාධීනව තමන්ගේ නිදහස් තීරණ ක්‍රියාත්මක කරන තරමට ප්‍රජාතන්ත්‍රවාදයක් වඩා ශක්තිමත් වෙනවා. ඒ කියන්නේ මේ වගේ දේවල් නොසලකා හැරිය යුතුයි කියන එක නෙමෙයි. තමන්ගේ ජාතියේ, ආගමේ හෝ දේශපාලන පක්ෂයේ සාමූහික කැමැත්ත සමඟ තමන්ගේ පෞද්ගලික කැමැත්ත අතිපිහිත වන්නේනම් පමණක් සාමූහික මතය සමඟ සිටිය යුතුයි කියන එක. අවසානයේදී සාමූහික තීරණය පිළිගන්න එක වෙනම කරුණක්. හැබැයි එය කළ යුත්තේ තමන්ගේ අදහස ඉදිරිපත් කරලා සාකච්ඡාවට ලක් වෙන්න ඉඩ ඇරීමෙන් පසුව පමණයි.

ලෝකයේ හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන රටවල් මොනවාද? සෑම අවුරුද්දකම වාගේ "දී ඉකොනොමිස්ට්" සඟරාවේ ආර්ථික බුද්ධි අංශය විසින් පිළියෙල කරන ප්‍රජාතන්ත්‍රවාදී දර්ශක සහිත වාර්තාව 2020 වසර සඳහාත් පළ කරලා තිබෙනවා. මෙහි රටවල් 167ක් අතරින් නියම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ලෙස හඳුනාගෙන තිබෙන්නේ රටවල් 23ක් පමණයි. ඇමරිකාව වගේම ලංකාවත් වර්ග කර තිබෙන්නේ අඩුපාඩු සහිත ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන රටවල් ලෙසයි. 

ලකුණු 98.1%ක් අරගෙන ලැයිස්තුවේ උඩින්ම ඉන්නේ නෝර්වේ රාජ්‍යය. පහළින්ම ඉන්නේ ලකුණු 10.8%ක් පමණක් අරගෙන තිබෙන උතුරු කොරියාව. ඇමරිකාව ඉන්නේ 25 වන ස්ථානයේ. ලකුණු 79.2%යි. ලංකාව ලකුණු 61.4%ක් අරගෙන 68 වන ස්ථානයේ ඉන්නවා. 



Thursday, February 4, 2021

රටවල් දියුණු වෙන්නේ කොහොමද?


අද ලංකාවේ හැත්තෑ තුන් වන නිදහස් දිනය. ඔය නිදහස් දිනය දවසේ සාමාන්‍යයෙන් කියන කතා කිහිපයක් තියෙනවා. නිදහසින් පස්සේ ලංකාව එන්න එන්නම පස්සට ගිහින් කියන එක මේ කතා වලින් එකක්. එහෙම වෙන්න හේතු විදිහට ඉදිරිපත් කෙරෙන ජනප්‍රිය කතා තිබෙනවා. මේ කතා බොහොමයක් ඇත්ත නොවන බව මේ වියුණුව හරහා වරින් වර පෙන්වා දී තිබෙනවා. එසේ වුවත්, පසුගිය වසර හැත්තෑ තුන තුළ ලෝකයේ වෙනත් බොහෝ රටවල් ලංකාවට වඩා වේගයෙන් දියුණු වී තිබෙන බවනම් බොරුවක් නෙමෙයි.

සමහර රටවල් වෙනත් රටවල් වලට වඩා වේගයෙන් දියුණු වෙන්නේ ඇයි? රටවල් අතර ඒක පුද්ගල ආදායමේ වෙනස්කම් දිගින් දිගටම පවතින්නේ ඇයි? මේ වෙනස්කම් අඩු කර ගත හැක්කේ කොහොමද? මේ වගේ දේවල් ගැන අධ්‍යයනය කරන ආර්ථික විද්‍යාවේ අනු ක්ෂේත්‍රය සංවර්ධන ආර්ථික විද්‍යාව ලෙස හැඳින්වෙනවා. 

රොබර්ට් සොලෝ විසින් ඉදිරිපත් කළ සොලෝ ආකෘතිය සංවර්ධන ආර්ථික විද්‍යාවේ භාවිතා කරන ප්‍රචලිත ආකෘතියක්. මෙය ඉදිරිපත් කිරීම ඇතුළුව ඔහු විසින්  සංවර්ධන ආර්ථික විද්‍යාවට සිදු කළ සේවය වෙනුවෙන් රොබර්ට් සොලෝට 1987 වසරේදී ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමි වුනා.

සොලෝ ආකෘතිය හැකි තරම් සරලව පැහැදිලි කිරීම සඳහා අපි කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයෙන් පටන් ගනිමු. පෙර ලිපි වල මේ ශ්‍රිතය පිළිබඳව විස්තර කරලා තියෙනවනේ.

ඇත්තටම මෙය පැහැදිලි කරන්න කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය වැනි නිශ්චිත ශ්‍රිතයක් අවශ්‍ය වන්නේ නැහැ. එය යොදා ගන්නේත්, කලින් ලිපි වල ඒ ගැන පැහැදිලි කළේත්, මෙවැනි නිශ්චිත ශ්‍රිතයක් යොදා නොගෙන වඩා වියුක්ත ලෙස විස්තර කළොත් බොහෝ දෙනෙකුට තේරුම් ගන්න අසීරු නිසයි. මේ පැහැදිලි කිරීම වුනත්, කියවන ගොඩක් අයට වියුක්ත වැඩි බවයි පෙනෙන්නේ.

Y = F(K,L) = AKαL1-α 

Y - නිෂ්පාදිතය 

K - ප්‍රාග්ධනය 

L -  ශ්‍රමය 

මේ නිෂ්පාදිතයට වෙන්නේ කුමක්ද?

Y = C + S

C - පරිභෝජනය 

S - ඉතිරි කිරීම් 

අපි හිතමු රටේ සමස්ත ආදායමෙන් ඉතිරි කරන අනුපාතය s කියලා. 

ඒ කියන්නේ, 

S = sY = sF(K,L).

දැන් අපි එක් ශ්‍රමිකයෙකු සඳහා පහත අනුපාත අර්ථදක්වමු.

K/L = k

Y/L = y = F(K,L)/ L = AKαL-α = A(K/L)α = Akα

S/L = sY/L = sy = sAkα

ප්‍රාග්ධනය ක්ෂය වන අනුපාතය δ ලෙස සලකමු. ඒ කියන්නේ δ = 0.05නම් සෑම වසරකදීම තිබෙන ප්‍රාග්ධන සංචිතයෙන් 5%ක් ක්ෂය වෙනවා. හැබැයි ඒ එක්කම ඉතිරි කිරීම් ප්‍රාග්ධන සංචිතයට එකතු වෙනවා. 

එහෙමනම්, එක් ශ්‍රම ඒකකයකට ප්‍රාග්ධන ඒකක ගණන කාලයත් සමඟ වෙනස් වෙන්නේ කොහොමද?

∆k = sAkα − δk 

ඉහත ගතික සමීකරණයේ ∆k කියන්නේ යම් කාලයක් තුළ ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර අනුපාතයේ වෙනස්වීම. එසේ නැත්නම් කාලය විෂයයෙහි අවකල සංගුණකය (dk/dt). මෙහි 0<α<1 නිසා, k වැඩි වෙද්දී sAkα වැඩි වන නමුත් එසේ වැඩි වන වේගය එන්න එන්නම අඩු වෙනවා. එසේ අඩු වෙමින් ගොස් sAkα = δk වූ පසු k තව දුරටත් වැඩි වෙන්නේ නැහැ.

ඒ කියන්නේ ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර අනුපාතය වෙනස් නොවන ස්ථායී සමතුලිතතාවයකට එනවා. මේ අනුපාතය කුමක්ද? 

ස්ථායී තත්ත්වයේදී ∆k = 0 නිසා,

sAkα = δk

sA = δk1-α

k1-α = As/δ

k* = (As/δ)1/1-α 

මෙයට අනුරූප y අගය:

y* = A(k*)α = (A)1/1-α(s/δ)α/1-α 

මෙම y* අගය ස්ථායී සමතුලිතාවයකදී කිසියම් රටක එක් ශ්‍රමිකයෙකුගේ මධ්‍යන්‍ය ආදායමයි.

සොලෝ ආකෘතියෙන් පෙන්වා දෙන වැදගත්ම කාරණයක් වන්නේ දීර්ඝකාලීනව රටක ඒක පුද්ගල ආදායම තීරණය වන්නේ ප්‍රාග්ධන සංචිත ප්‍රමාණය අනුව නොවන බවයි. ඉහත y* අගය A, α, δ, s යන සාධක මත මිස k අගය මත වෙනස් වන්නේ නැහැ. මේ අනුව,  A, α, δ, s යන සාධක වෙනස් නැත්නම් ආරම්භක ප්‍රාග්ධන සංචිත ප්‍රමාණ කොයි තරම් අසමාන වුවත්, ස්ථායී සමතුලිතාවයකට පැමිණෙද්දී රටවල් අතර ආදායම් මට්ටම් වල විෂමතා නැති වී යා යුතුයි. 

වෙනස් විදිහකට කිවුවොත් රටවල් අතර ආදායම් විෂමතා වලට හේතුව A, α, δ, s යන සාධක මිස ප්‍රාග්ධනයේ අඩු වැඩිකම් නෙමෙයි.

මේ පරාමිතීන් හතරෙන් α, δ, s යන තුනටම සෛද්ධාන්තික සීමාවන් තිබෙනවා. මේ අගයයන් හැම විටම 0 හා 1 අතර තිබිය යුතුයි. α =1 කියන්නේ නිෂ්පාදනය සඳහා ශ්‍රමයේ කිසිම දායකත්වයක් නැහැ කියන එකයි. හැම දෙයක්ම ස්වයංක්‍රීය ලෙස සිදු වෙනවා. δ = 0 කියන්නේ කොයි තරම් කල් ගියත් ප්‍රාග්ධනය ක්ෂය වෙන්නේ නැහැ කියන එකයි. s = 1 කියා කියන්නේ මිනිස්සු කිසිම දෙයක් පරිභෝජනය නොකර රටේ ආදායම මුළුමනින්ම ඉතුරු කරනවා කියන එකයි. මේ තුනෙන් එකක්වත් වෙන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ නිසා, මේ විචල්‍යයන් වෙනස් වීම හරහා රටක ඒක පුද්ගල ආදායම වැඩි වෙන්න පුළුවන් යම් සීමාවක් දක්වා පමණයි. 

මෙවැනි සීමාවක් නැත්තේ A වලට පමණයි. A කියන්නේ ඵලදායීතාවය. ලෝකයේ දියුණුම රටවල් දිගින් දිගටම තව තවත් දියුණු වෙන්නේ දිගින් දිගටම ඵලදායීතාවය වැඩි කර ගැනීම මගින්.

Wednesday, February 3, 2021

මිනිස්සුන්ගේ ප්‍රශ්න


මිනිස්සුන්ට විවිධ අවශ්‍යතා තිබෙනවා. මිනිස්සු මේ අවශ්‍යතා සපුරා ගන්න නිරන්තර අරගලයක යෙදී ඉන්නවා. තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම අසීරු වීම මිනිස්සුන්ට තිබෙන ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම කියනවානම් ප්‍රශ්නයක් නොකියා ප්‍රශ්නය කියා කියන්න වුනත් පුළුවන්. මිනිස්සුන්ගේ ප්‍රශ්නය!

මිනිස්සුන්ට අවශ්‍යතා ඇති වන්නේ ඇයි? ජීවත් වෙන්න කියලා කවුරු හරි කියන්න පුළුවන්. වැරදි පිළිතුරක් නෙමෙයි. මිනිස්සුන්ගේ අවශ්‍යතා හැම එකකම වගේ අවසාන අරමුණ පැවැත්ම තහවුරු කර ගැනීම. මිනිස්සුන්ගේ ප්‍රශ්න කියා කියන්නේ මිනිස්සුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම පිළිබඳ ප්‍රශ්න.

මිනිස්සුන්ගේ අවශ්‍යතා හා මිනිස්සුන්ගේ ප්‍රශ්න අහම්බ නෙමෙයි. මිනිස්සු ඉපදෙන්නේම මේ ප්‍රශ්න අරගෙන. ප්‍රශ්න තිබෙන්නේ අපේ ජාන වල. මිනිස්සුන්ට වියුක්තව හිතන්න පුළුවන්කමක් නොතිබුණානම් ජාන වලින් අරන් එන ප්‍රශ්න වලට පරිණාමය විසින්ම විසඳුම් ලබා දෙන තුරු අවුලක් නැතුව මිනිස්සු මේ ප්‍රශ්න එක්ක ජීවත් වෙන්න ඉඩ තිබුණා. ප්‍රශ්නයක් ගැන නොහිතන තාක් එය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

ජීවත් වීම කියන එකට ජීවත් නොවීමද ඇතුළත්. ජීවත් වීම නිසා ඇති වන ප්‍රශ්න වලට තිබෙන එක් විසඳුමක් වන්නේ ජීවත් නොවීමයි. ප්‍රශ්න වැඩි පැවැත්මක් පවතින්න තිබෙන ඉඩ අවම කරමින් ප්‍රශ්න අඩු පැවැත්මක් පවතින්න තිබෙන ඉඩ වැඩි කිරීම හරහා ප්‍රශ්න විසඳීම පරිණාමයේ ක්‍රමයයි.

ජීවත් නොවීම කියන්නේ මැරෙන එක නෙමෙයි. ඉපදුනු මිනිස්සුන්ට ප්‍රශ්න එක්ක ජීවත් වෙන්න වෙනවා. සමහර මිනිස්සුන්ට වෙනත් මිනිස්සුන්ට සාපේක්ෂව වැඩිපුර ප්‍රශ්න එක්ක ජීවත් වෙන්න වෙනවා. පරිණාමය විසින් කරන්නේ වෙනත් මිනිස්සුන්ට සාපේක්ෂව වැඩිපුර ප්‍රශ්න එක්ක ජීවත් වෙන්න ඉඩ තිබෙන මිනිස්සු ඉපදෙන එක වලක්වන එක. කිසියම් ප්‍රශ්නයක් එක්ක ඉපදෙන මිනිස්සු ඉපදෙන එක නැවතුනාම අදාළ ප්‍රශ්නයත් නැතුව යනවා. මිනිස්සුන්ට වගේම සත්තුන්ට හා ගහකොළ වලටත් මේ කතාව අදාළයි.

මිනිස්සුන්ට වියුක්තව හිතන්න පුළුවන් නිසා අවශ්‍යතා වගේම ප්‍රශ්නත් ඇති වී තිබෙනවා. මිනිස්සුන්ට ආහාර නොමැතිකම ප්‍රශ්නයක් වෙන්නේ බඩගිනි එන නිසාම නෙමෙයි. ආහාර අඩුවක් නැති, බඩගිණි නැති, නොපවතින තත්ත්වයක් ගැන වියුක්තව හිතලා පවතින තත්ත්වය එක්ක සංසන්දනයක් කරන්න පුළුවන් නිසා. ලෙඩ රෝග ප්‍රශ්නයක් වෙන්නේ නිරෝගී ජීවිතයක් ගැන හිතලා පවතින තත්ත්වය එක්ක සංසන්දනයක් කරන්න පුළුවන් නිසා. මරණය ප්‍රශ්නයක් වෙනවානම් වෙන්නේ අමරණීයත්වයක් ගැන වියුක්තව හිතන්න පුළුවන් කෙනෙක්ට. 

කෑම කියා කියන්නේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයක්. මිනිස්සු වැඩි පුර කැමති රස කෑමක් කන්නයි. මේ රස කෑම බොහොමයක් එක්කෝ සීනි, එහෙමත් නැත්නම් තෙල් අධික ආහාර. පොදුවේ ගත්තහම කැලරි අධික ආහාර. මෙය අහම්බයක් නෙමෙයි. අවුරුදු ගණනක් තිස්සේ කැලරි අධික ආහාර වැඩිපුර ගන්න තිබෙන කැමැත්ත මිනිස්සුන්ගේ පැවැත්ම තහවුරු කරලා තිබෙනවා.

මිනිස්සුන්ට තිබෙන ලොකුම ප්‍රශ්නයක් වන්නේ වයසට යන එක. තරුණ වයසේ දිගටම ඉන්න බොහෝ මිනිස්සු කැමතියි. හැබැයි වයසට යන්න කැමති පිරිසකුත් ඉන්නවා. ඒ වයසෙන් අඩු ළමයි. යම් වයසක් දක්වා ළමයින්ට අවශ්‍ය ඉක්මණින් ලොකු වෙන්න. වයසින් වැඩෙන්න. හැබැයි ඉන් පසුව අවශ්‍ය වන්නේ වයසින් නොවැඩී තරුණ වයසේ දිගටම ඉන්න. මේ තරුණ වයස කියන්නේ මොකක්ද? වර්ගයා බෝ කළ හැකි වයස. මේ වයසේ දිගටම ඉන්න තිබෙන කැමැත්ත හෝ අවශ්‍යතාවය පැවැත්ම තහවුරු කිරීමට සෘජුවම අදාළ පරිණාමික කරුණක්. 

මිනිස්සුන්ගේ තවත් ප්‍රශ්න විශාල ප්‍රමානයක් ලිංගික අවශ්‍යතා වලට සම්බන්ධයි. මේ ප්‍රශ්න අපි ඉපදෙන කොටම අරගෙන එන ප්‍රශ්න. අපට උරුම වී තිබෙන්නේ වැඩි වැඩියෙන් ජනිතයින් බෝ කළ අයගේ ජාන මිසක් ඔය වැඩේට කම්මැලි වූ අයගේ ජාන නෙමෙයි.

ඇඳුම් පැළඳුම් කියන්නේත් මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක්. මිනිස්සු ඇඳුම් අඳින්නේ ඇයි? ශීතලෙන් ආරක්ෂා වෙන්න වගේ කතා කියන්න පුළුවන්. සමහර විට ඇඳුම් අඳින්නේ ශීතලෙන් ආරක්ෂා වෙන්න විය හැකියි. නමුත්, අපි ගොඩක් වෙලාවට ඇඳුම් අඳින්නේ ශීතලෙන් ආරක්ෂා වෙන්නද? 

අපට ඇඳුම් පැළඳුම් අවශ්‍ය වන්නේත් ප්‍රධාන වශයෙන්ම විරුද්ධ ලිංගිකයින් ආකර්ශනය කර ගන්නයි. මිනිස්සුන්ට ඇඳුම් කියා දෙයක් ගැන වියුක්තව හිතන්න පුළුවන් නොවුනානම් ජාන විකෘතියක් වෙලා පාට පාට හම් තියෙන මිනිස්සු හැදෙන තුරු, එහෙම නැත්නම් පාට පාට පිහාටු හරි ලොම් හරි හැදෙන තුරු මිනිස්සුන්ට වසර ලක්ෂ ගණනක් බලා ඉන්න වෙනවා. ඇඳුම් හොයා ගැනීම හරහා මිනිස්සු මේ වැඩේ ඉතා කෙටි කාලයක් තුළ කරගෙන තිබෙනවා.

මිනිස්සුන්ට ගෙවල් මොකටද? පරිමාණය අපට පරිසරයට උචිත විදිහට හැඩ ගැහෙන්න උදවු කරනවා. ගෙවල් හදා ගැනීම කියා කියන්නේ පරිසරයට උචිත විදිහට හැඩ ගැහෙනවා වෙනුවට උචිත විදිහට පරිසරය වෙනස් කර ගැනීමේ මූලික පියවරක්. අන්තිමට වෙන්නේ පරිසරයට අවශ්‍ය විදිහට අපි වෙනස් වෙන්නේ නැතිවම, පරිසරයට උචිත විදිහේ පැවැත්මක් හදා ගැනීම. 

මිනිස්සුන්ගේ මුල් වාසස්ථාන වුනේ ගල් ගුහා වගේ ස්වභාවික තැන්. මෙහිදී සිදු වුනේ පරිසරයට උචිත ලෙස වෙනස් වීම වෙනුවට වඩා උචිත තැනක වැඩි වෙලාවක් ජීවත් වීමේ විකල්පය තෝරා ගැනීම. පසුව මෙය වඩා උචිත තැන් නිර්මාණය කරගෙන ජීවත් වීම දක්වා වැඩි දියුණු වුනා. මිනිස්සුන්ට ලොකු ගෙවල් අවශ්‍ය ඇයි? ලොකු ගෙයක් කියා කියන්නේ ජීවත් වීම සඳහා වඩා උචිත වඩා විශාල අවකාශයක්. ජීවත් වීමට වඩා උචිත හදාගත් ගෙයක වැඩි කාලයක් ගෙවනවා කියන්නේ පරිසරයට උචිත ලෙස වෙනස් වීමට විකල්පයක්. මේ වැඩෙන් අවසාන වශයෙන් වෙන්නේත් පැවැත්ම තහවුරු වීම.

මිනිස්සුන්ට වාහන මොකටද? ජීවත් වෙන්න වඩා උචිත තැනක් හොයා ගත්තා හෝ හදා ගත්තා කියලා හැම වෙලාවේම එතැනම ඉන්න බැහැ. ජීවත් වීමට උචිත විදිහට මුළු පෘතුවියම වෙනස් කර ගන්න එකත් කරන්න අමාරුයි. ජීවත් වෙන්න අඩුවෙන් සුදුසු තැනක ඉඳලා ජීවත් වෙන්න වඩා සුදුසු තැනකට හැකි ඉක්මණින් පැමිණීමේ හැකියාව හරහා වැඩි වෙලාවක් වඩා සුදුසු තැනක ඉන්න ඉඩ සලසනවා. ඒ නිසා, ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු වන තරමට පැවැත්ම වඩා තහවුරු වෙනවා.

කෑම බීම, ඇඳුම් පැළඳුම් වගේම ලොකු ගෙයක්, ලොකු වාහනයක් මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේත් මේ දේවල් වලින් පැවැත්ම තහවුරු කරන නිසා. මිනිස්සුන්ගේ අවශ්‍යතා හැම එකකින්ම වගේ කරන්නේ ඔය වැඩේ. ගෙදරට රෙදි සෝදන යන්ත්‍රයක් අවශ්‍ය වෙන්නේ අපිරිසිදු ඇඳුම් ඇඳීම පැවැත්මට හානිකර නිසා. ශීතකරණයක් අවශ්‍යවෙන්නේ නරක් වූ ආහාර පැවැත්මට හානිකර නිසා.

මිනිස්සුන්ට තමන්ගේ පැවැත්ම තහවුරු කරන දේවල් ගැන වියුක්තව හිතන්න පුළුවන් වූ තරමට ඒ දේවල් කර ගන්න අමාරුයි. මිනිස්සුන්ගේ ගොඩක් ප්‍රශ්න වලට මුල මේකයි. අලුත් වාහනයක් ගන්න අවශ්‍ය වුනාට සල්ලි නැහැ. වයසට නොහිහින් ඉන්න කැමති වුනාට වයසට යනවා. මේ හැම දෙයක්ම ප්‍රශ්නයක් වන්නේ පවතින තත්ත්වය හා නොපවතින වියුක්ත තත්ත්වයක් අතර පරතරයක් තිබීම මත.

මිනිස්සුන්ගේ ප්‍රශ්න කියන ඒවා මිනිස්සු විසින්ම හදා ගන්න ප්‍රශ්න. ගෙදර ශීතකරණයක් නැති එක ප්‍රශ්නයක් වෙන්නේ ශීතකරණයක් ගෙදර තිබෙන වියුක්ත තත්ත්වයක් හිතෙන් මවාගෙන සංසන්දනයක් කිරීම එක්ක. ඉන් පසුව, මේ වියුක්ත තත්ත්වය පවතින තත්ත්වයක් බවට පත් කර ගැනීමේ සිහිනයක්, ඉලක්කයක් හා උත්සාහයක් ඇති වෙනවා. හැම වෙලාවකම ඉලක්කයට යන්න බැරි වෙන්න පුළුවන්. නමුත්, මිනිස් සංහතිය දියුණු වෙන්නේ මේ වගේ සිහින හඹා යාමේ ප්‍රතිඵලයක් විදිහටයි. 

නොපවතින තත්ත්වයක් ගැන සිහින මැවීමේ කිසිම වැරැද්දක් නැහැ. සමහර නොපවතින තත්ත්වයන් නොපැවතිය හැකි තත්ත්වයන් වෙන්න පුළුවන්. එහෙත්, හිතෙන් මවා ගත හැකි හැම නොපවතින තත්ත්වයක්ම නොපැවතිය හැකි තත්ත්වයන් නෙමෙයි. ඉතිහාසය පුරාම මිනිස්සු නොපවතින තත්ත්වයන් පවතින තත්ත්වයන් බවට පත් කරගෙන තිබෙනවා. හැම විටම වගේ මෙහි මුල් අදියර මිනිසෙකුගේ වියුක්ත සිතීම හරහා බිහි වන සිහිනයක්.

Tuesday, February 2, 2021

පැවැත්ම වෙනස් කර ගැනීම


හැම ජීවයක්ම පැවැත්ම සඳහා නිරන්තර සටනක් කරනවා. එහිදී සමහර වෙලාවට වෙනත් වර්ග වල ජීවීන් එක්ක ගැටුමක් තිබෙනවා. තවත් සමහර වෙලාවට සහජීවනයක් තිබෙනවා. ඒ වගේම සමහර වෙලාවට තමන්ගේ වර්ගයා එක්කම ගැටුමක් හෝ සහජීවනයක් තිබෙනවා. මේ සටන හෝ සහජීවනය හිතාමතා කරන කටයුත්තක් වෙන්න අවශ්‍ය නැහැ. හිතුවත්, නැතත් පරිණාමයේ නීති අනුව එය කොහොමටත් සිදු වෙනවා. අවසාන වශයෙන් සිදුවෙන්නේ පැවැත්ම සඳහා වඩාත්ම හිතකර දෙයයි. පැවැත්මට බාධා කරන ලක්ෂණයක් හෝ චර්යාවක් දිගුකාලීනව පවතින්නේ නැහැ.

ජීව විද්‍යාත්මක නීති මත පමණක් පරිණාමය වූ කාලයේදී මිනිසාගේ පූර්වජයන්ට අනෙක් බොහෝ ජීවයන්ට වගේම තමන්ගේ පැවැත්මට හිතකර ජාන විකෘතියක් සිදු වන තුරු දිගු කාලයක් බලා ඉන්න සිදු වුනා. මිනිස්සුන්ට වියුක්ත ලෙස හිතන්න පුළුවන්කම ලැබීමෙන් පසුව මේ තත්ත්වය වෙනස් වුනා. ඉන් පසුව ගත වුනු කාලයේදී තමන්ගෙන් බාහිර ලෝකයට වඩාත්ම උචිත ලෙස හැඩ ගැහෙමින් පැවැත්ම සහතික කර ගන්න මිනිසාට තවදුරටත් අහඹු ජාන විකෘතියක් වන තුරු බලා ඉන්න අවශ්‍ය වුනේ නැහැ. උපතෙන් ලැබෙන ජාන කට්ටල ඒ විදිහටම තියාගෙන මිනිස්සු සංස්කෘතික ලෙස පරිණාමය වෙන්න පටන් ගත්තා. එහෙම පරිණාමය වෙලා අනෙක් ජීව විශේෂ පහු කරගෙන ගිහින් සමූහයක් විදිහට පෘථිවියේ ආධිපත්‍යය ලබා ගත්තා.

වියුක්තව හිතන්න බැරි ජීවයකට කළ හැක්කේ තමන්ට "උපතින්" ලැබී තිබෙන ජාන කට්ටල වල තිබෙන ඇල්ගෝරිදම් වලට අනුව බාහිර පරිසරයට ප්‍රතිචාර දක්වන එක පමණයි. ඇල්ගෝරිදම් සුසර වෙන්නේ කාලයත් සමඟ අහම්බෙන් සිදුවන විකෘති හා ස්වභාවික වරණය එක්කයි. වියුක්තව හිතන්න පුළුවන් ජීවයකට මේ ඇල්ගෝරිදම් වල වහලුන්ව නොසිට ඇල්ගෝරිදම් වෙනස් කර ගන්න පුළුවන්. හැබැයි යම් සීමාවක් ඇතුළේ පමණයි. 

වියුක්තව හිතන්න පුළුවන් අයෙකුට පවතින තත්ත්වයට අමතරව නොපවතින තත්ත්වයන්ද පරිකල්පනය කළ හැකියි. එහෙත්, මෙය කළ හැක්කේ එක්තරා සීමාවක් තුළ පමණයි. නොපවතින තත්ත්වයන් ගැන පරිකල්පනය කළ හැක්කේ නිරීක්ෂණය කළ හැකි තත්ත්වයන්ගේ මිශ්‍රණයක් හෝ දිගුවක් විදිහටයි.

වසර දසදහස් ගණනක් තිස්සේ මිනිස්සු තමන්ගේ හැඟීම් වලට අනුවම කටයුතු නොකර වෙනස් ආකාර වලින් කටයුතු කරමින් විවිධ පරීක්ෂණ සිදු කර තිබෙනවා. මේ ඇතැම් පරීක්ෂණ සාර්ථක වී තිබෙනවා. සාර්ථක වීම කියන එකෙන් අදහස් කරන්නේ මිනිස් වර්ගයාගේ පැවැත්ම වඩා හොඳින් තහවුරු කිරීම යන්නයි. සංස්කෘතිය කියන්නේ එසේ සාර්ථක වූ පරීක්ෂණ. 

මේ පරීක්ෂණ දිගින් දිගටම සිදු වෙනවා. එහිදී අකාර්යක්ෂම චර්යාවන් වෙනුවට වඩා කාර්යක්ෂම චර්යාවන් ආදේශ වෙනවා. ඒ නිසා, මිනිස් සංස්කෘතිය එක තැන තියෙන්නේ නැහැ. වෙනස් වෙනවා.

සමහර චර්යාවන් හරහා මිනිස්සුන්ට තමන්ගේ අනාගතය වෙනස් කර ගන්න පුළුවන්. එසේ වුවත්, අනාගතය වෙනස් කර ගැනීමේ අරමුණ පෙරදැරි කරගත් ඇතැම් චර්යාවන් නිසා අවසාන වශයෙන් මිනිස් පැවැත්මට බාධා ඇති වී මිනිස්සු කබලෙන් ලිපට වැටෙනවා. මෙසේ වීමේ අවදානම නොගෙන මිනිස් සංහතියට ඉදිරියට යන්න බැහැ. අවදානම් ගන්න වෙනවා. හැබැයි එකම වැරැද්ද නැවත නැවත කළොත්නම් ගොඩයාමක් නැහැ.

අපි කරන සමහර දේවල් වල හොඳ ප්‍රතිඵල තිබෙන බවත් තවත් සමහර දේවල් වල නරක ප්‍රතිඵල තිබෙන බවත් ප්‍රත්‍යක්ෂයෙන් දැන ගැනීම අමාරු නැහැ. ගින්දර ඇල්ලුවොත් අත පිච්චෙනවා. ගින්දරට අල්ලා මස් පිච්චුවොත් මස් මෙලෙක් වී රසවත් වෙනවා.

ගින්දරට අත පිච්චෙන බව අවබෝධ කරගන්න ගින්දර අල්ලලා බලන්න අවශ්‍ය නැහැ. ගින්දර ඇල්ලීමෙන් පසුව සිදු විය හැකි නොපවතින තත්ත්වය ගැන මිනිස්සුන්ට වියුක්තව හිතන්න පුළුවන්. මස් පිච්චුවහම ඇති විය හැකි නොපවතින තත්ත්වය ගැනත් මිනිස්සුන්ට වියුක්තව හිතන්න පුළුවන්. අවශ්‍යනම් මේ දෙක පිළිබඳවම පරීක්ෂා කර බලා අවබෝධ කරගන්නත් පුළුවන්.

මිනිස්සු හිතාමතා කරන සමහර දේවල් වලින් ඔවුන්ගේ අනාගත ජීවිතය වඩා සැපවත් කරගන්න පුළුවන් බව පැහැදිලිව පෙනෙන නමුත් අවශ්‍ය තරමට සැපවත් කරගන්න බැහැ. හැබැයි මේ විදිහට අනාගත ජීවිතය යම් තරමකින් සැපවත් කරගන්න පුළුවන් වීම ගැන දිගින් දිගටම හිතුවොත් තමන්ට අවශ්‍ය තරමටම අනාගතය සැපවත් කර ගැනීමේ හැකියාව ගැන මිනිස්සුන්ට වියුක්තව හිතන්න පුළුවන්. 

කාලයක් තිස්සේම මිනිස්සු මේ ගැන හිතා තිබෙනවා. පරීක්ෂාවට ලක් කළ නොහැකි, නිරීක්ෂණය කළ නොහැකි වියුක්ත තත්ත්වයන් තුළ මිනිස්සුන්ගේ බොහෝ ප්‍රශ්න වලට විසඳුම් තිබෙන ලෝකයක් මවා ගන්න මිනිස්සුන්ට පුළුවන්. ඉන් පසුව, ඒ තත්ත්වය කරා ළඟා වෙන්න කළ යුතු දේවල් ගැනත් මිනිස්සුන්ට හිතන්න පුළුවන්. දිව්‍ය ලෝකය, පාරාදීසිය, කොමියුනිස්ට් සමාජය වගේ දේවල් ඔය විදිහේ වියුක්ත සංකල්ප.

මේ ආකාරයේ මනෝරාජික තත්ත්වයන් පිළිබඳව පරිකල්පනය කරන එක කිසිසේත්ම නරක දෙයක් නෙමෙයි. ඉතාම සාධනීය දෙයක්. ඉන්ද්‍රියයන්ගේ සීමා පැත්තකින් තිබ්බත්, අපට නිරීක්ෂණය කළ හැක්කේ යම් නිශ්චිත කාල-අවකාශයක් පමණයි. එයින් අදහස් වන්නේ වෙනත් ආකාරයන්හි පැවැත්මවල් තිබිය නොහැකි බව නෙමෙයි. තව මාසයකින් කෝවිඩ් පාලනය වෙලා තියෙයිද? දැනටත් වඩා නරක විදිහට ව්‍යාප්ත වී තියෙයිද? මට හරියටම දැන ගන්න විදිහක් නැහැ. හැබැයි ඔය මොකක් හරි තත්ත්වයක් තියෙයි. හරි හෝ වැරදි හෝ මට ඒ තත්ත්වය පරිකල්පනය කරන්න පුළුවන්. මම එවරස්ට් තරණය කරලා නැහැ. නමුත්, එවරස්ට් මුදුන මොන වගේද කියලා මට පරිකල්පනය කරන්න පුළුවන්.

ජාන විකෘතියක් වැනි අහම්බයක් සිදු වන තුරු බලා නොසිට, පවතින තත්ත්වය වඩා යහපත් ලෙස වෙනස් කර ගන්න අවශ්‍යනම් කවර හෝ වඩා යහපත් තත්ත්වයක් ගැන පරිකල්පනය කළ හැකි වීම අනිවාර්ය කොන්දේසියක්. කළ යුතු හෝ නොකළ යුතු දේවල් ගැන පරිකල්පනය කළ හැක්කේ එයින් පසුවයි. ඒ විකල්ප තත්ත්වය සැබවින්ම පැවතිය හැකි තත්ත්වයක් වෙන්න හෝ නොවෙන්න පුළුවන්. 

හැබැයි මොනවා හෝ දෙයක් කරන්න පුළුවන් වෙන්නේ අවදානමක් ගනිමින් මේ විකල්ප තත්ත්වය පැවතිය හැකි තත්ත්වයක් ලෙස සැලකුවොත් පමණයි. සමාජවාදය හරහා ගිහින් කොමියුනිස්ට් ක්‍රමයක් හදාගැනීම කියන අදහසට තේරුමක් එන්නේ විය හැකියාවක් ලෙස කොමියුනිස්ට් ක්‍රමයක් පැවතීම පිළිගැනීමෙන් පසුවයි. දෙව්ලොව යන්න පිං කරන එකට තේරුමක් එන්නේ විය හැකියාවක් ලෙස දෙව්ලොව කියා එකක් පැවතීම පිළිගැනීමෙන් පසුවයි. මේ වගේ සංකල්ප විශ්වාස විදිහට ඉතිරි වී තිබෙන්නේ ඒවායින් මිනිසාගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා කිසියම් සාධනීය කාර්යයක් සිදු වී තිබෙන නිසයි. එවැන්නක් තව දුරටත් සිදු නොවන තත්ත්වයක් යටතේ මේ සංකල්ප වලටත් පැවැත්මක් නැතුව යයි.

කිසියම් මොහොතක අපේ පැවැත්ම තියෙන්නේ නිශ්චිත ස්ථානයක. අපට මේ ස්ථානය වෙනස් කර ගැනීමේ සීමිත හැකියාවක් තිබෙනවා. එසේ වෙනස් කර ගැනීමෙන් පවතින තත්ත්වය වඩා යහපත් සේ වෙනස් කර ගැනීමේ හැකියාවද තිබෙනවා. ඒ වගේම එහෙම කරන්න ගිහින් තත්ත්වය වඩා නරක වෙන අවස්ථාද තිබෙනවා. 

අවුරුදු විසිපහකට කලින් මහ බැංකු බෝම්බය පුපුරද්දී එහි සිටි අනූ ගණනක් මිය ගියා. තවත් පිරිසක් ආබාධිතයින් වුනා. සුනාමිය වෙලාවේ මුහුද අයිනේ සිටි දහස් ගණන් පිරිස් මිය ගියා. මහ බැංකුවේ රැකියා කළ ගොඩක් අය ඒ රැකියාව තෝරා ගන්න ඇත්තේ තමන්ගේ ජීවිත වඩා සැපවත් කර ගන්න. සුනාමිය දවසේ මුහුද අයිනේ සංචාරක හෝටලයක නැවතී සිටි බොහෝ අය එසේ යන්න ඇත්තේ වැඩි සතුටක් ලබන්න. 

දඩයමේ යන ආදිවාසියෙකුට කොටියෙක් මුහුණට මුහුණ හමු වුනොත් බොහෝ විට කොටියාගේ ගොදුරක් වෙන්න සිදු වෙනවා. කොටි ඉන්න පැති මග හැරීමෙන් මේ අවදානම අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මුවෝ, ගෝන්නු නැති පැත්තක දඩයමේ ගියොත් ගෙදර එන්න වෙන්නේ හිස් අතින්. සත්තු වැඩි පැත්තක දඩයමේ ගියොත් ඉක්මණින් දඩයමක් කර ගන්න පුළුවන්. පහළ ආදායම් මට්ටමක ඉන්න රටක ඉඳලා සංවර්ධිත රටකට සංක්‍රමණය වන ගොඩක් අයට තමන්ගේ ජීවිත වඩා සැපවත් කර ගන්න පුළුවන්. 

සරලව කිවුවොත් හොඳ තැන් හා නරක තැන් කියා පැහැදිලිව හඳුනා ගත හැකි තැන් තිබෙනවා. හොඳ තැන් අතර වඩා හොඳ තැන් තිබෙනවා. එවැනි තැන් සොයා යාමෙන් ජීවිතය වඩා සැපවත් කර ගන්න පුළුවන්. මෙය ප්‍රත්‍යක්ෂයෙන් දැන ගත හැකි දෙයක්. එහෙමනම්, මේ විදිහට තැන් මාරු කරමින් දැන් මුහුණ දෙන ප්‍රශ්න සියල්ලම හෝ වැඩි ප්‍රමාණයක් විසඳා ගැනීමේ හැකියාවක් නැද්ද? 

මේ විදිහට හිතන කෙනෙකුට මෙහි තර්කානුකූල අවසානය විදිහට දිව්‍යලෝකයක් වගේ තැනක් හමු වෙනවා. එහි එක්කෝ මරණය කියා දෙයක් නැහැ. එහෙම නැත්නම් මරණය දක්වා ගත කළ හැකි ජීවිතය ඉතා දිගුයි. වයසට යාමක් කියා දෙයක්ද  නැහැ. හැමදාම තරුණයි. එක්කෝ වැඩ කරන්න අවශ්‍ය නැහැ. නැත්නම් වැඩ ඉතාම අඩුයි. සම්පත් වල සීමාවක් නැහැ. කැමති තරම් පරිභෝජනය කළ හැකියි. ඔය වගේ මනෝරාජික තත්ත්වයක් පරිකල්පනය කළාට පස්සේ දෙවනුව ඒ වගේ තැනකට යන විදිහ ගැන හිතන්න පහසුයි. දිගින් දිගටම ලෝකයේ තත්ත්වය වඩා යහපත් වෙනවා කියා හිතන කෙනෙකුට එම තර්කයේම දිගුවක් විදිහට පවතින ලෝකය අනාගතයේ කිසියම් දවසක මේ මනෝරාජික තත්ත්වය දක්වා පරිණාමය වෙයි කියා පරිකල්පනය කරන්නත් පුළුවන්.

හැබැයි මේ විදිහට වඩා හොඳ තැන් හොයන්න ගිහින් වැඩේ වැරදිලා ඇනගන්න වෙන එකත් ප්‍රත්‍යක්ෂ දැනුමක්. හැම වෙලාවෙම හැමෝටම එහෙම නොවුනත් එක දිගටම වැරදීම් වෙලා තත්ත්වය ගොඩක් නරක තැනකට වැටෙන්න පුළුවන්. එහෙම වැටෙන්න පුළුවන් නරකම තැන කුමක්ද? මේකත් පරිකල්පනය කළ හැකි දෙයක්. අපායවල් වගේ තැන් ඔය වගේ තැන්. 

අනෙක් අතට අද මේ තිබෙන අවුල් සහගත ලෝකය මේ වගේ කාලයක් තිස්සේ සිදු වුනු වැරදීම් වල ප්‍රතිඵලයක් වෙන්න බැරිද? එහෙමනම් කාලයකට ඉස්සර හැම දේම ඉතා හොඳින් තිබුණා වෙන්න බැරිද? මේකත් පරිකල්පනය කළ හැකි දෙයක්. බ්‍රහ්මජාල සූත්‍රයේ, උප්පත්ති කතාවේ එහෙම තියෙන්නේ ඔය වගේ වඩා යහපත්ව තිබුණු ලෝකයක් ගැන විස්තරයක්. ආදි කොමියුනිස්ට් සමාජය කියා කියන්නේත් ඔය ආකෘතියේම කතාවක්.

මිනිස්සුන්ට පැවැත්මේ ආරම්භය හා අවසානය, පැවැත්ම තුළ සතුට සොයා යාමේ අවසාන ඉලක්කය, පැවැත්මක් පැවතිය හැකි නරකම ආකාරය ආදී දේවල් ගැන විවිධ ආකාර වලින් පරිකල්පනය කළ හැකියි. එහෙත්, එයින් අදහස් වන්නේ පරිකල්පනය කළ හැකි හැම දෙයක්ම නිවැරදි බව නෙමෙයි. 

Monday, February 1, 2021

පැවැත්ම සඳහා සටන


කෝවිඩ් හදන වෛරසය ඉතා ඉක්මණින් පරිණාමය වෙනවාද? ඉතා ඉක්මණින් අලුත් ප්‍රභේද හදනවාද? මේ වෛරසය එසේ ඉතා ඉක්මණින් පරිණාමය වනවානම්, ඉතා ඉක්මණින් අලුත් ප්‍රභේද හදනවානම් එන්නත් වලින් වැඩක් නැතුව යයිද?

කෝවිඩ් හදන වෛරසය ලෙස හැඳින්වුවේ sars-cov-2 ලෙස නම් කර තිබෙන වෛරසයයි. අපි පහසුවට කෝවිඩ් වෛරසය කියලම කියමු. බ්ලොග් ලිපියක් මිසක් පර්යේෂණ පත්‍රිකාවක් නෙමෙයිනේ. 

දැන් මේ කෝවිඩ් වෛරසය කියා කියන්නේ කුමක්ද? මේකත් වියුක්ත අදහසක්. මේසය, පුටුව, හරකා, බල්ලා වැනි අදහසකින්. කෝවිඩ් වෛරස සියල්ල එකිනෙකට සමාන නැහැ. අපි කෝවිඩ් වෛරසය ලෙස හඳුන්වන්නේ එකිනෙකට වෙනස් වුවත් ගොඩක් වෙනස් නැති වෛරස් විශාල ප්‍රමාණයක පොදු ලක්ෂණ ටිකකට. මිනිසා ලෙස පොදුවේ හැඳින්වුවත් මිනිස්සු එකිනෙකාට සමාන නැහැ වගේ.

එතකොට කෝවිඩ් ප්‍රභේදයක් කියා කියන්නේ කුමක්ද? කෝවිඩ් ප්‍රභේදයක් කියා කියන්නේ ඔය කෝවිඩ් වෛරසය ලෙස පොදුවේ හඳුන්වන වෛරස සියල්ල අතරින් එකිනෙකට වඩා සමාන කෝවිඩ් වෛරස ටිකකට. දැන් ඔය මිනිස්සුත් කොකේසියන්, මොන්ගෝලියන් හා නීග්‍රෝ කියලා වර්ග කරන්නේ. සුදු කොකේසියානුවෙක් හා කහ සම තිබෙන මොන්ගෝලියානුවෙක් එකවරම වෙන් කරලා අඳුනගන්න එක ඒ තරම් අමාරු නැහැනේ. හැබැයි සමහර වෙලාවට හරියටම ඔය ගොඩකට දමන්න බැරි වැට උඩ මිනිස්සුත් අපිට හමු වෙනවා. වෛරස් වලට වුනත් ඔය කතාව පොදුයි. 

කෝවිඩ් වෛරස් එකිනෙකෙන් වෙනස් වෙන්නේත් මිනිස්සු උපතින් එකිනෙකාගෙන් වෙනස් වන හේතුවටම වුවත් මෙහි වෙනස්කමක්ද තිබෙනවා. වෛරසයක් මිනිස් ජෙනෝමය තරම් සංකීර්ණ ව්‍යුහයක් නෙමෙයි. ඒ වගේම, වෛරසයක්, විශේෂයෙන්ම කෝවිඩ් වෛරසය වැනි වෛරසයක්, පිටපත් හදන්නේ මිනිස් පිටපත් හදන තරම් සංකීර්ණ ක්‍රමයකට නෙමෙයි.

මිනිස් දරුවෙක් එම දරුවාගේ දෙමවුපියන්ගෙන් වගේම ඒ දෙදෙනාගෙන් බිහිවන සම-නිවුන් නොවන වෙනත් දරුවන්ගෙන්ද වෙනස් අලුත්ම පිටපතක් වෙන්නේ මවගෙන් හා පියාගෙන් ලැබෙන ජාන කට්ටල අහඹු ලෙස මිශ්‍ර විය හැකි ආකාර විශාල ප්‍රමාණයක් තිබෙන නිසා. හැබැයි මොන විදිහට මිශ්‍ර වුනත් බොහෝ විට දරුවන්ට ලැබෙන්නේ මවගේ හා පියාගේ ලක්ෂණ වල කලවමක්. එහෙම නැතුව මවට හෝ පියාට (හෝ ඔවුන්ගේ පරම්පරා වල ඉහළින් සිටි අයට) නැති අලුත්ම ලක්ෂණයක් දරුවෙකුට ලැබෙන්න විදිහක් නැද්ද?

මේ වගේ දෙයක් වෙන්නේ කලාතුරකින්. එවැනි අලුත් ලක්ෂණයක් ඇති වන්නේ පිටපත් හැදීමේදී සිදු වන වැරදි, එහෙමත් නැත්නම් විකෘති නිසා. බොහෝ විකෘති වලින් වෙන්නේ අලුත් ජනිතයෙකුගේ පැවැත්මට බාධා කරන එක වුවත් අහම්බෙන් සිදුවන සමහර විකෘති වඩා හිතකරයි. ඒ වගේ විකෘති වේගයෙන් පැතිරී කලකට පසුව සාමාන්‍ය තත්ත්වය බවට පත් වෙනවා. 

අපි හිතමු 99%ක්ම මැරෙන කිසියම් වෛරස් රෝගයක් වේගයෙන් ලෝකය පුරා පැතිරෙනවා කියලා. දැන් මේ රෝගයෙන් ලෝක ජනගහණයෙන් 99%ක්ම මැරෙනවා. බේරෙන්නේ 1%ක් පමණයි. ඒ 1%ට රෝගය හැදී ප්‍රතිකාර නිසා හෝ වෙනත් හේතුවක් නිසා පසුව සුව වෙනවා. ඔය අතරේ කිසියම් ජාන විකෘතියක් නිසා මේ රෝගය හැදෙන්නේ නැති එක් පුද්ගලයෙක් ඉන්නවා. ඔහුගේ හෝ ඇයගේ දරුවන්ගෙන් 50%කට මේ ජානය සම්ප්‍රේෂණය වනවා කියා හිතමු. ඒ අයගේ දරුවන්ටත් ඒ විදිහටම ජානය සම්ප්‍රේෂණය වෙනවා. පරම්පරා ගණනක් යද්දී මේ ජානය තිබෙන දහසක පමණ පිරිසක් ඉන්නවා.

දැන් නැවතත් අර වෛරසය පැතිරෙනවා. කලින් පාර රෝගය හැදී ඉතුරු වුනු 1%ක පිරිසගෙන් පැවත එන අයගෙන් 99%ක් මැරෙනවා. 1%ක් පමණක් ඉතිරි වෙනවා. අර ආරක්ෂක ජානය තිබෙන අයට පමණක් රෝගය හැදෙන්නේම නැහැ. මේ පිරිස විශේෂ පිරිසක් බව අනිත් අයට පෙනෙනවා. ඒ නිසා, ඒ අයට සහකරුවන් හොයා ගන්න වඩා පහසු වෙනවා. අනෙක් අයට වඩා වැඩියෙන් ඒ අය දරුවන් බිහි කරනවා. තව පරම්පරා ගණනකට පසුව තුන් වන වරටත් වසංගතය ආවොත්, ඒ වෙද්දී ජනගහණයෙන් විශාල පිරිසකට මේ ආරක්ෂාකාරී ජානය තිබෙනවා. ඔය වැඩේ දිගින් දිගටම වුනොත් ආරක්ෂාකාරී ජානය තිබෙන අය පමණක් ලෝකයේ ඉතුරු වෙලා අනෙක් අය වඳ වෙලාම යනවා. හැබැයි ඔය වගේ වැඩක් වෙන්න විශාල කාලයක් යනවා.

මිනිහෙක්ට තමන්ගේ පිටපතක් හදන්න අවුරුදු විසිපහක් පමණ යනවා. පිටපත් කිරීමේ වැරදි නිසා හිතකර විකෘතියක් හැදෙන්නේ පිටපත් දහස් ගණනක් පිටපත් වෙද්දී. ඒ නිසා, මිනිසාගේ පැවැත්මට වඩා හිතකර විකෘතියක් හැදෙන්න අවුරුදු දසදහස් ගණනක් යනවා. නමුත්, වෛරසයකට පැය දහයක පමණ කාලයකදී පිටපත් දහසක් පමණ හදන්න පුළුවන්. ඒ වගේම, වෛරස් වල (විශේෂයෙන්ම කෝවිඩ් වෛරස් වැනි RNA වෛරස් වල) පිටපත් කිරීමේ දෝෂ පරීක්ෂා කළ හැකි හොඳ යාන්ත්‍රනයක් නැති නිසා විකෘති ඇති වීමේ සම්භාවිතාව වැඩියි. දැන් සිදුවනවා වගේ ලෝකය පුරා වේගයෙන් වෛරසය ව්‍යාප්ත වන කාලයක ඉතා ඉක්මණින් විකෘති බිහි විය හැකියි. 

විකෘතියක් බිහි වුනු පලියටම එය පෙනෙන තරමේ සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වන්නේ නැහැ. එසේ සිදුවන්නේ විකෘතියට යම් පරිණාමික වාසියක් ඇත්නම් පමණයි. අළුතෙන් බිහි වී තිබෙන කෝවිඩ් ප්‍රභේද වේගයෙන් පැතිරෙන්නේ ඇයි?

කෝවිඩ් ප්‍රභේද හැමදාම අලුතෙන් බිහිවෙනවා ඇති. නමුත්, පරිණාමික වාසියක් නැත්නම් ඒවා ගොඩක් වෙලාවට ටික කාලයකින් "වඳ වී" යනවා. ඒ නිසා, බොහෝ විට "හෙමින් පැතිරෙන" කෝවිඩ් ප්‍රභේද අලුතෙන් බිහි නොවෙන්න පුළුවන්. මොකද එවැනි විකෘතියකට පරිණාමික වාසියක් නැහැ. නමුත්, අහම්බෙන් ඇති වූ විකෘතියක් නිසා වේගයෙන් පැතිරෙන කෝවිඩ් ප්‍රභේදයකට හැම විටම විශේෂ පරිණාමික වාසියක් තිබෙනවා. ඒ නිසා, එවැනි ප්‍රභේදයක් බිහි වූ විට කෙටි කාලයකදී අනෙක් ප්‍රභේද වඳ වී එම ප්‍රභේදය පමණක් ඉතිරි විය හැකියි. 

ඕනෑම ජීවයක් වගේම වෛරස් එකක් වැනි ආසන්න ජීවයක් හැමවිටම ක්‍රියාත්මක වන්නේ පැවැත්ම කියන සාධකය අරමුණු කරගෙනයි. මිනිස්සුන්ගේ සාධාරණත්වය, සහජීවනය වගේ කතා සියල්ල හැම විටම මේ පැවැත්ම කියන සාධකයට යටයි. උදාහරණයක් විදිහට මිනිස්සු පරිසරය ගැන, අනෙක් ජීවීන් ගැන වගේම අනෙක් මිනිස්සු ගැනත් හිතන්නේ එසේ හිතීමෙන් තමන්ගේම පැවැත්ම තහවුරු වන නිසා මිසක් වෙන කෙහෙම්මලකට නෙමෙයි. තමන්ගේ පැවැත්ම අනතුරේ හෙලාගෙන වෙන දෙයක් හෝ කෙනෙක් ගැන හිතමින් කරන කිසිම කටයුත්තකට පරිණාමික පැවැත්මක් නැහැ. වෛරස් ප්‍රශ්නයක් වෙනකොට වෛරස් මරන්න වෙනවා. ඔටුවෝ ප්‍රශ්නයක් වෙන කොට ඔටුවෝ මරන්න වෙනවා.

වෙනස් වන තත්ත්වයන්ට අනුරූපව ක්ෂණිකව වෙනස් වී තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමේදී වෛරසයකට තිබෙන වාසිය මිනිස්සුන්ට නැහැ. තමන්ට ජීවවිද්‍යාත්මකව පරිණාමය වී වෛරසයක් සමඟ තරඟ කළ නොහැකි වුවත්, කවර හෝ වාසිදායක ජාන විකෘතියක් නිසා වියුක්තව හිතන්න පුළුවන්කම ලැබීමෙන් පසු මිනිස්සුන්ට තවදුරටත් තමන්ව වෙනස් කරගන්න අහඹු ජාන විකෘතියක් සිදු වන තුරු බලා ඉන්න අවශ්‍ය නැහැ. එන්නත් හදාගෙන අපේ ප්‍රතිශක්තිය වැඩි කරගෙන වෛරස් එක්ක තරඟ කරන්න අපට පුළුවන්. හැබැයි එහෙමයි කියලා වෛරස් වැඩේ අතාරින්නෙත් නැහැ.

කෝවිඩ් වෛරසයකට අවශ්‍ය වන්නේත් තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න මිසක් මිනිස්සුන්ව ලෙඩ කරන්න හෝ මරන්න නෙමෙයි. කෝවිඩ් වෛරසයක් එහෙම කරන්නේ තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න. මේක හිතලා කරන දෙයක් නෙමෙයි. නමුත්, පරිණාමය හරහා වෙන්නේ ඒකයි.

මිනිස්සුන්ට අවශ්‍යත් ඕකම තමයි. කෝවිඩ් වෛරස් විනාශ කරන්න මිනිස්සුන්ට අවශ්‍ය නැහැ. මිනිස්සු කෝවිඩ් වෛරස් විනාශ කරන්නේ හෝ අලුතෙන් බිහිවීම වළක්වන්නේ තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්නයි.

ඔය විදිහට ජීවී විශේෂ දෙයක් තමන්ගේ පැවැත්මවල් තහවුරු කර ගන්න කරන සටනක් එම ජීවී විශේෂ දෙකෙන් එකක් වඳ වී අවසන් විය හැකි වුවත්, බොහෝ විට වෙන්නේ අදාළ ජීවී විශේෂ දෙකටම තමන්ගේ පැවැත්මවල් තහවුරු කරගත හැකි සහජීවනයකින් සටන කෙළවර වන එකයි. මේ වෙලාවේ සිදු විය හැක්කේත් එයයි.

මිනිස්සු කෝවිඩ් ප්‍රශ්නය ජයගෙන තමන්ගේ පැවැත්මට තිබෙන තර්ජනය ඉවත් කර ගනියි. කෝවිඩ් වෛරසයත් ඒ වැඩේම කරයි. කෝවිඩ් මිනිස්සුන්ට මරණය කැඳවන්නේ නැති සාමාන්‍ය ලෙඩක් විදිහට දිගටම පවතියි.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...