ඇමරිකාව, ඉන්දියාව වැනි රටවල කෝවිඩ් ව්‍යාප්තිය පිළිබඳව මා වරින් වර "අනාවැකි" පළකර තිබෙනවා. එහෙත්, ලංකාව සම්බන්ධව මා එවැනි අනාවැකි පළ කළේ නැහැ. ඇතැම් අය ලංකාවේ කෝවිඩ් ව්‍යාප්තිය පිළිබඳ විවිධ පුරෝකථන කරද්දී මා එසේ නොකළාක් මෙන්ම එසේ නොකිරීමට හේතුවද පැහැදිලි කර තිබෙනවා.
කෝවිඩ් වැනි වසංගතයක් පැතිරෙන ආකාරය පිළිබඳව සෑහෙන තරම් නිවැරදි ලෙස අනාවැකි කිව හැකියි. මෙවැනි වසංගතයක් පැතිරෙන ආකාරය පුරෝකථනය කරන්නේ වසංගතවේදයේ ආකෘති අනුසාරයෙනුයි. එම ආකෘති සකස් කර තිබෙන්නේ යම් නිශ්චිත උපකල්පන මතයි. උපකල්පන නිවැරදි වන තරමට ආකෘතිය යොදාගෙන කරන පුරෝකථනද නිවැරදියි.
ඇමරිකාව, ඉන්දියාව වැනි රටවල කෝවිඩ් පැතිරෙන්නේ මෙවැනි ආකෘතියකින් පුරෝකථනය කර හැකි තරම් "නිශ්චිත" රටාවකට කියන එක පෙන්වා දෙන්න ගොඩක් තාක්ෂණික කරුණු කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පහත ප්‍රස්ථාර දෙස බැලූ විට ඕනෑම කෙනෙකුට එවැනි රටාවක් ඇති බව පැහැදිලිව පෙනෙනවා.
ඇමරිකාවෙන් දිනකට හමුවන කෝවිඩ් රෝගීන් ප්‍රමාණය මාර්තු මැද සිට සති තුනක පමණ කාලයක් ක්‍රමයෙන් ඉහළ ගියා. ඉන් පසුව, ජූනි මැද දක්වා ටිකෙන් ටික අඩු වුනත් එතැන් සිට ජූලි මැද දක්වා නැවතත් ක්‍රමයෙන් වැඩි වුනා. ජූලි මැද සිට දෙමසක පමණ කාලයක් කෝවිඩ් ව්‍යාප්තිය අඩු වුනත්, සැප්තැම්බර් මැද සිට නැවතත් වැඩි වෙමින් තිබෙනවා. මේ අනුව දැන් යන්නේ තෙවන චක්‍රය කියා කිව හැකියි.
ඇමරිකාවේ රටාවෙන් වෙනස්ව ඉන්දියාවේ කෝවිඩ් වසංගත වක්‍රය අප්‍රේල් මැද සිට මාස පහක් පමණ එක දිගටම ඉහළ ගියා. සැප්තැම්බර් මැද සිට එම ප්‍රවණතාව ආපසු හැරවී තිබෙනවා.
ඇමරිකාවේ හෝ ඉන්දියාවේ වසංගත වක්‍රයේ හැසිරීම ආකෘතියක් ඇසුරෙන් පහසුවෙන් පැහැදිලි කරන්න පුළුවන්. වසංගතරෝග විද්‍යාඥයින් විසින් පසුගිය මාර්තු මාසයේදීම ඇමරිකාවේ වසංගත වක්‍රයේ හැසිරීම නිවැරදිව පුරෝකථනය කළා. එයින් අදහස් වෙන්නේ මිය යන ප්‍රමාණය හෝ ආසාදිතයින් ප්‍රමාණය හරියටම පුරෝකථනය කළා කියන එක නෙමෙයි. එවැනි දේ ආකෘතියක පරාමිතීන් වෙනස් වන විට වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට අප පෙර පැහැදිලි කර දී තිබෙන R0 අගය එවැනි පරාමිතියක්.
ආකෘතියක පරාමිතීන් වෙනස් වන විට එය යොදාගෙන කරන පුරෝකථනද වෙනස් වෙනවා. මේ පරාමිතීන් ඇස්තමේන්තු කරන්න වෙන්නේ අනුභූතික දත්ත අනුසාරයෙන්. මිනිසුන්ගේ හැසිරීම් වෙනස් වන විට R0 අගය වැනි පරාමිතීන්ද වෙනස් වෙනවා. එහෙත්, එසේ වුනා කියා ආකෘති අහක දාන්න අවශ්‍ය නැහැ. මිරිස් කොටන මෝලේම කොත්තමල්ලිත් කොටන්න පුළුවන්.
එකම ආකෘතිය යොදාගත්තත් විවිධ රටවල් හා අදාළව ආකෘතියකින් පෙන්වන්නේ එකම ප්‍රතිඵලය නෙමෙයි. එයට හේතුව ආකෘති වල ආදාන සේ යොදාගන්නා පරාමිතීන් රටින් රටට වෙනස් වීමයි. එකම රටකට වුවත් එකම පරාමිතීන් හැමදාටම වලංගු වන්නේ නැහැ. කෙසේ වුවත්, ලංකාව සඳහා මෙතෙක් මෙවැනි සම්මත ආකෘතියක් යොදා ගැනීම කළ නොහැකි වුනේ ලංකාවේ කෝවිඩ් ව්‍යාප්තිය මෙතෙක් සිදු වුනේ වසංගත ව්‍යාප්තිය පැහැදිලි කරන SIR ආකෘතියට හෝ එහි ව්‍යුත්පන්න ආකෘතියකට ගැලපෙන ආකාරයෙන් නොවූ නිසයි.
ඉතාම මූලික මට්ටමේ SIR ආකෘතියකදී අහඹු ලෙස හමුවන ඕනෑම පුද්ගලයෙක් ආසාදිතයෙක් විය හැකියි. එහෙත්, කලාතුරකින් මිස මෙතෙක් ලංකාවෙන් එසේ අහඹු ලෙස ආසාදිතයින් හමු වුනේ නැහැ. ඔවුන් හමු වුනේ පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් අතරින්. ඇතැම් අය ලංකාවේ කෝවිඩ් සමාජ පැතිරීමක් නැති බව දිගින් දිගටම කිවුවේ මේ පදනමෙන්.
ඕනෑම අහඹු පුද්ගලයෙක් ආසාදිතයෙක් විය හැකියි කියන එක ඉතාම සරල SIR ආකෘතියකදී කරන උපකල්පනයක් පමණයි. සැබෑ ලෝකයේ එය එසේම වෙන්නේ නැහැ. ඇතැම් අය ආසාදිතයින් වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම මූලික මට්ටමේ SIR ආකෘතියකදී ඕනෑම අහඹු පුද්ගලයෙකුට වෙනත් ඕනෑම පුද්ගලයෙකු අහඹු ලෙස හමු විය හැකි බව උපකල්පනය කරනවා. සැබෑ ලෝකයේ එසේ වෙන්නේ නැහැ.
මූලික මට්ටමේ වසංගත විද්‍යා පාඨමාලාවකදී මුලින්ම උගන්වන්නේ මෙවැනි සරල SIR ආකෘතියක් වුවත්, ඒ තරම්ම සරල ආකෘති ප්‍රායෝගිකව භාවිතා කරන්නේ නැහැ. වඩා සංකීර්ණ ආකෘතියක පරාමිතීන් වැඩි ප්‍රමාණයක් තිබෙනවා. කෙසේ වුවත්, එවැනි වඩා සංකීර්ණ ආකෘතියක් වුවත් සැබෑ ලෝකයේ ඇත්තටම රෝගය පැතිරෙන ආකාරයට වඩා ගොඩක් සරලයි. හයේ හතේ පන්ති වලදී පරාවර්තනය හෝ වර්තනය ඉගැන්වීම සඳහා ආලෝකය සරල රේඛීයව ගමන් කරන සේ සැලකීම ප්‍රමාණවත්. ඒ වගේම රෝගය පැතිරෙන ආකාරය ගැන අදහසක් ගන්න මේ ආකෘති ප්‍රමාණවත්.
ඇමරිකාව හෝ ඉන්දියාව වැනි රටක් ගත්තත් ඕනෑම අහඹු පුද්ගලයෙකු කෝවිඩ් ආසාදිතයෙකු වෙන්න තිබෙන සම්භාවිතාව සමාන නැහැ. එය විවිධ කරුණු ගණනාවක් මත වෙනස් වෙනවා. ඒ වගේම, මේ වෙද්දී වුනත් ඇමරිකාවේ කෝවිඩ් පැතිරෙන්නේ පොකුරු විදිහටයි. බොහෝ විට කෝවිඩ් පරීක්ෂාව කර ගන්න යන්නේ ආසාදිතයෙකු සමීපව ඇසුරු කළ අයයි. එහෙත්, රට පුරා මෙවැනි පොකුරු විශාල ප්‍රමාණයක් තිබෙන නිසා ඕනෑම අහඹු පුද්ගලයෙකු කෝවිඩ් ආසාදිතයෙකු වෙන්න පුළුවන් කියන උපකල්පනය මත ගොඩ නගපු ආකෘති වැඩ කරනවා.
සමාජ පැතිරීම හා පොකුරු පැතිරීම කියන්නේ ඉරක් ගහලා වෙන් කරන්න පුළුවන් තත්ත්වයන් දෙකක් නෙමෙයි. පොකුරු විදිහට පැතිරුණත් එය සමාජ පැතිරීමක්ම තමයි. වඩා වැදගත් වෙන්නේ ආකෘතියක් යොදාගෙන තේරුම් ගත හැකි තරමට පැතිරීමක් වෙලාද කියන එකයි. මගේ අදහස අනුව මේ වෙද්දී ලංකාව ඒ තත්ත්වයට අවතීර්ණ වෙලා.
ලංකාව ආරම්භයේ සිට කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉතා දැඩි ක්‍රියාමාර්ග ගත්තා. මේ ක්‍රියාමාර්ග හරහා කෝවිඩ් ව්‍යාප්තිය සෑහෙන දුරකට පාලනය කළ හැකි වුනා. එහෙත්, මේ පාලනය කොයි වෙලාවක හෝ ගිලිහීමේ අවදානම මුල සිටම තිබුණා. දැන් එය සිදු වී තිබෙනවා.
කෝවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් හොයාගෙන නිරෝධායන මධ්‍යස්ථානයක සති දෙකක් තියාගත් විට ඔවුන්ට කෝවිඩ් වැළඳී තිබුණානම් බොහෝ විට සති දෙක තුළ රෝග ලක්ෂණ මතු වෙනවා. ඒ නිසා, බාහිර සමාජයේ වෙනත් අයට වෛරසය ආසාදනය වීම පාලනය කර ගැනීමට අවස්ථාව සැලසෙනවා. ලංකාවේ රජය දිගින් දිගටම කළේ මෙයයි.
මේ ක්‍රමයේ වූ ගැටළුව ආසාදිතයෙකු නොවූ අයෙකුට නිරෝධායන මධ්‍යස්ථානයේදී කෝවිඩ් ආසාදනය වීමේ ඉඩක් තිබීමයි. එය සිදු වුනේ සති දෙකක කාලය අවසන් වන දිනයේදීනම් රෝග ලක්ෂණ මතු වන්නේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිට වී සති දෙකකට පසුවයි. යම් හෙයකින් එවැන්නෙකු රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයෙකු වී තවත් අයට වෛරසය ආසාදනය කළේනම් එවැනි ආශ්‍රිතයෙකු රෝග ලක්ෂණ පෙන්වන්න මාසයක් පමණ ගත විය හැකියි. ලංකාවේ කෝවිඩ් මර්දන ක්‍රමවේදය අනුව සමාජයේ අහඹු පුද්ගලයෙකු ආසාදිතයෙකු වීනම් ඒ බව එකවර දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ඕනෑම මොහොතක රටේ කොහෙන් හෝ කෝවිඩ් පොකුරක් හමු වීමේ අවදානම දිගටම තිබුණා. එසේ නොවීම වාසනාවක්.
දැන් කරුණු හොයාගෙන තිබෙන විදිහට කොරෝනා පොකුරට යුක්‍රේන සම්භවයක් ඇති බව කියනවා. සම්භවය කුමක් වුවත් මේ වෙද්දී කෝවිඩ් රටවටා පැතිරී අවසන්. ආසාදිතයින් සියලු දෙනාගේම ආශ්‍රිතයින් සොයමින් නිරෝධායනය කිරීම තව දුරටත් කළ හැකි බවක් පෙනෙන්නේ නැහැ. ඒ නිසා, ලංකාවේ රජය විසින් මෙතෙක් අනුගමනය කළ ක්‍රමවේදය තව දුරටත් වැඩ කරන එකක් නැහැ.
පසුගිය සති තුනක පමණ දත්ත අනුව අපට පෙනී යන්නේ සම්මත වසංගතවේද ආකෘතියක් යොදාගත හැකි තරමේ පැතිරීමක් මේ වන විට ලංකාවේ සිදු වී ඇති බවයි. අපගේ ප්‍රාර්ථනාව නොවුනත් ඉදිරි කාලය ලංකාවට හොඳ කාලයක් වන එකක් නැහැ.