වෙබ් ලිපිනය:

Tuesday, July 28, 2020

මුදල් මවන්නේ කොහොමද?


මේ ලිපිය පෙර ලිපියට සම්බන්ධයි. එහි දෙවන කොටසක් කියා කියන්න පුළුවන්. ඒ නිසා, කරුණාකර පෙර ලිපිය කියෙවුවේ නැත්නම් එය මුලින් කියවා එන්න නැත්නම් අගක් මුලක් නොතේරෙන්න පුළුවන්. 


මුලින්ම එම ලිපිය පළ  කිරීමෙන් පසුව පාඨකයෙකු විසින් ඇසූ ප්‍රශ්නයක් සහ එයට ලබා දුන් පිළිතුර මෙහි නැවත පළ කරන්නම්. මම හිතන්නේ ඉදිරියට යාම සඳහා එම ප්‍රශ්නය වගේම පිළිතුරත් වැදගත්.

"ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනය මහජන බැංකුවේ නැතුව සම්පත් බැංකුවේ අර ලක්ශ දහය තැන්පත් කලා නම් මොකද වෙන්නෙ? එතකොට චන්ද්‍රානි ලක්ශ දහයක් ණය ඉල්ලං මහජන බැංකුවට එනකොට මහජන බැංකුව සම්පත් බැංකුවෙන් ඒක ණයක් හැටියට ගන්නවද?"

ඔබ අසා තිබෙන්නේ තර්කානුකූලව ඊළඟට ඇසිය යුතු ප්‍රශ්නයක්. කෙටි පිළිතුර, ඔව්.

පැහැදිලි කිරීමේ පහසුව සඳහා මහජන බැංකුව පමණක් යොදාගත්තත් ඇත්තටම මේ වැඩේට බැංකු පද්ධතියම සම්බන්ධයි. ඒ වගේම දවසකට මේ වගේ දේවල් වෙන්නේ එකක් නෙමෙයිනේ. විශාල ප්‍රමාණයක් ඔය වගේම සිද්ධි වෙනවා. එක සිද්ධියක් තනිව ගත්තහම මහජන බැංකුවට සම්පත් බැංකුවෙන් ණයක් ගන්න වෙනවා. වෙනත් සිද්ධියකදී සම්පත් බැංකුවට මහජන බැංකුවෙන් ණයක් ගන්න වෙනවා. එහෙම නැත්නම් ඔය බැංකු දෙකටම ලංකා බැංකුවෙන් ණයක් ගන්න වෙනවා.

වැදගත් කරුණ වන්නේ කවර හෝ බැංකුවකින් ණය ලෙස එළියට යන මුදල් තව කවර හෝ බැංකුවකට තැන්පතු ලෙස ආපසු ලැබෙනවා. ඒ වගේම, කවර හෝ බැංකුවකින් ණයක් නිකුත් කළ විට වෙනත් කවර හෝ බැංකුවකට එම මුදල තැන්පතුවක් ලෙස ආපසු එනවා. ඒ නිසා, මහජන බැංකුව වගේ නිශ්චිත බැංකුවක් ගත්තොත් එම බැංකුවෙන් ආපසු ගන්නා තැන්පතු සම්පත් බැංකුවේ තැන්පත් කෙරෙනවා වගේම එහි අනික් පැත්තත් සිදු වී සෑහෙන තරමකින් සමතුලිත වීමක් වෙනවා. හරියටම සමතුලිත වෙන්නේ නැහැ තමයි.

අවසානයේදී මහජන බැංකුවේ මුදල් තැන්පතු කිරීම්, ආපසු ගැනීම්, ණය දීම්, ණය ආපසු ලැබීම් ආදිය හේතුවෙන් කිසියම් සුළු මුදලක් පමණක් ඉතිරි වුනොත් එය ඊළඟ දවස වෙනුවෙන් තියා ගන්න පුළුවන්. සුළු අඩුවක් වුනොත් එය බැංකුවේ තිබෙන අමතර අරමුදල් වලින් පියවා ගන්න පුළුවන්. නමුත්, එම හිඟය වැඩිනම් වෙනත් බැංකුවකින්, ඔබ කියන පරිදි සම්පත් බැංකුවෙන් දෛනික පදනම මත ණයක් ගන්න වෙනවා. ඒ වගේම, දවස අවසානයේදී සැලකිය යුතු මුදලක් ඉතිරි වුනොත් එය වෙනත් වාණිජ බැංකුවකට දෛනික පදනමින් ණයක් විදිහට දෙන්න පුළුවන්.

මේ වැඩේ වෙන්නේ බැංකු වලින් එළියට යන සල්ලි ප්‍රමාණයට සමාන මුදලක් නැවතත් කවර හෝ බැංකුවකට ආවොත්නේ. එහෙම එනවා කියන්නේ රටේ මුදල් ඉල්ලුම හා සැපයුම සමතුලිතයි.

සිංහල අවුරුදු කාලය වගේ විශේෂ අවස්ථාවක් ගත්තොත් අදාළ සතියේ බැංකු වලින් එළියට යන මුදල් සතියක් පමණ යන තුරු බැංකු පද්ධතියට නැවත ආපහු එන්නේ නැහැ. ඒ නිසා, සමස්තයක් ලෙස බැංකු පද්ධතියට ද්‍රවශීලතා හිඟයකට මුහුණ දෙන්න වෙනවා. එක බැංකුවක අඩුව පියවන්න වෙනත් බැංකුවක් නැහැ. ඒ වගේ අවස්ථාවක මහ බැංකුවට තාවකාලිකව මුදල් සැපයුම වැඩි කරන්න වෙනවා.

කෝවිඩ් නිසා සිදු වී තිබෙන්නේ සිංහල අවුරුදු කාලයේ දින කිහිපයකට ඇති වනවා වගේ තත්ත්වයක් මාස ගණනක්ම අල්ලා සිටීමයි. මිනිස්සු සල්ලි ආපසු ගන්න තරමට සල්ලි නැවත බැංකු වල තැන්පත් කරන්නේ නැහැ. ඒ වගේම, ණය වාරික ගෙවීම කල් දැමීම නිසා මුදල් අපේක්ෂා කළ පරිදි බැංකු වලට එන්නේ නැහැ. මේ අඩුව පුරවන්න මුදල් සැපයුම වැඩි කළ යුතුයි.

හැබැයි දැන් වෙලා තිබෙන්නේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මුදල් සැපයුම වැඩි කිරීමක්. ඒ නිසා, බැංකු වල රුපියල් බිලියන ගණනක් ගොඩ ගැහිලා. ආණ්ඩුව විසින් මහ බැංකුවට සල්ලි අච්චු ගහන්න බල කිරීම මත හෝ මහ බැංකුව කැමැත්තෙන්ම එසේ කිරීම නිසා. පසුගිය සතිය අවසානයේ රුපියල් බිලියන 118ක අතිරික්තයක්. ඔය වගේ සමස්ත අතිරික්තයක් බැංකු පද්ධතිය ඇතුළේ තිබෙන විට එක් බැංකුවකට තවත් බැංකුවකින් ණය ගන්න අවශ්‍ය වෙන්න ඉතාම අඩු ඉඩකඩක් තියෙන්නේ. හැම බැංකුවක් සතුවම වගේ වැඩිපුර මුදල් තිබෙනවා. ඒ නිසා, බැංකු වලට ණය විදිහට ඔය සල්ලි කාට හෝ තල්ලු කරන්න වෙනවා. මේ වෙද්දී ලංකාවේ බැංකු විසින් කරමින් ඉන්නේ ඒකයි.

ඉහත ප්‍රශ්නයට ලබා දුන් පිළිතුර අවසන්. මේ ලිපිය පළ කරන්නේ පාඨකයින් විසින් අසා තිබෙන තවත් ප්‍රශ්න දෙකකට පිළිතුරු සපයන්නයි. ප්‍රශ්න අසා තිබෙන පාඨකයින් දෙදෙනා එක් අයෙකුම නොවේය යන්න මගේ උපකල්පනයයි. එම ප්‍රශ්න වලට වෙනම පිළිතුරු නොදී මෙසේ ලිපියකින් ප්‍රතිචාර දක්වන්නේ ප්‍රශ්න දෙකම එකිනෙකට සම්බන්ධ නිසයි. ප්‍රශ්න දෙකක් කියා කිවුවත් ප්‍රශ්න ගණනාවක් සහිත ප්‍රතිචාර දෙකක්.

"රටේ සංසරණය වෙන මුදල් ප්‍රමාණය තීරණය කරන්නේ කවුද? කොහොමද ?
උදා. මහජන බැංකුව රත්නසේකරට දෙන දෙවෙනි ලක්ශ 10 එහෙම මවලා දෙන්න පුලුවන් කියලා තීරණය කරේ කොහොමද?"

"ස්තුතියි ඉකොනෝ කොමෙන්ටුවට පොස්ටුවක් දමාම පැහැදිලි කරාට. ඒ වගේම මට තව ගැටළුවක් ආවා මේක කියවද්දී. ඒ තමයි දැන් බැංකුවට තැන්පතුවක් ලෙස තිබෙන්නේ ලක්ෂ 10 යි. එතකොට ඒක තව කෙනෙක්ට ණයක් විදියට දෙන්න පුළුවන්. ඒ උනාට ආයේ තවත් කෙනෙක්ට ලක්ෂ 10 ක ණයක් දෙන්නේ කොහොමද? මොකද එහෙම දෙන එක නිවැරදි නැහැනි. මොකද එහෙම දෙන්න පුළුවන් මුදලක් ඇත්තටම නැහැ. එහෙම කරන්න පුළුවන් තමයි ඉකොනෝ කියලා තියෙන විදියට ප්‍රායෝගිකව. ඒත් එහෙම කරන එක නිත්‍යානුකූල කරලා තියෙන්නේ ඇයි? මූල්‍ය ආයතනයටත් රිස්ක් එකක් නැද්ද ඒකෙන්?"

මේ වගේ ප්‍රශ්න මතු වීම ඉතාම සාධාරණයිනේ. හරිනම් මේවා පාසැල් වල ඉගැන්විය යුතු දේවල්. තේරුම් ගන්න උපාධි අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ දේවල් බොහෝ දෙනෙක් නොදැන සිටීමෙන් ඒ ක්‍රියාවලීන් ගැන අවබෝධයක් තිබෙන අයට එසේ නොදන්නා අයව පාලනය කිරීමේ ඉඩක් ලැබෙනවා. මම මේ ප්‍රශ්න වලට ගැලපෙන පිළිවෙලට පිළිතුරු දෙන්නම්.

"මහජන බැංකුව රත්නසේකරට දෙන දෙවෙනි ලක්ෂ 10 එහෙම මවලා දෙන්න පුලුවන් කියලා තීරණය කරේ කොහොමද?"

මම මුල් ලිපියේ මේ ක්‍රියාදාමය පැහැදිලි කර තිබෙන ආකාරය නිවැරදි වුවත් එසේ පැහැදිලි කර තිබෙන්නේ ආර්ථික විද්‍යා පාඨ ග්‍රන්ථයක මේ ක්‍රියාවලිය පැහැදිලි කරන සම්මත ආකාරයට නෙමෙයි. මම පටන් ගත්තේ ප්‍රශ්නය ඇසූ පාඨකයා සිතන තැන සිටයි. මේ ප්‍රශ්න මේ ආකාරයට මතු වන්නේ මා මුල් ප්‍රශ්නය පැහැදිලි කළ ආකාරය හේතුවෙනුයි. සම්මත ක්‍රමයට පැහැදිලි කළානම් බොහෝ විට මෙවැනි ප්‍රශ්න මතු වන්නේ නැහැ. 

ඒ එම ප්‍රශ්න නැති නිසා නෙමෙයි. සාමාන්‍ය පැහැදිලි කිරීමේදී ඒ ප්‍රශ්න සැඟවෙන නිසා. ඒ නිසා, කවුරු හෝ අමතර ප්‍රශ්නයක් ඇහුවත් කෙනෙකුට ඉතා පහසුවෙන් ඇඟ බේරා ගන්නා ගිරා පිළිතුරක් දෙන්න පුළුවන්. නමුත්, මට අවශ්‍ය වුනේ එවැන්නක් නොකර මේ සිද්ධි දාමය ඇතුළේ තිබෙන මූලධර්ම මොනවාද කියා ඒත්තු ගන්නන්නයි. මේ ප්‍රශ්න මතු වී තිබීමෙන් පෙනෙන්නේ මේ කරුණේදී මා සාර්ථක බවයි.

මේ ප්‍රශ්න දෙකෙන්ම පැහැදිලි වෙන්නේ මහජන බැංකුව විසින් දෙවන ලක්ෂ දහය ණය ලෙස ලබා දීම මොකක් හෝ වැරැද්දක් සේ පෙනෙන බවයි. "ඒ තමයි සාමාන්‍යයෙන් බැංකු කටයුතු සිදු වෙන විදිහ" වැනි ඇඟ බේරාගත හැකි පහසු පිළිතුරක් දෙන්න මම කැමති නැහැ.

පළමුව, වාණිජ බැංකුවක ප්‍රධාන ව්‍යාපාරික කාර්යය වන්නේ තැන්පතුකරුවන්ගේ තැන්පතු මුදල් සේප්පුවක දමා ආරක්ෂා කර දීම නෙමෙයි. බැංකු විසින් ආදායම් උපයන්නේ පොලියක් අය කර ණය දීම මගිනුයි. තැන්පතු කියන්නේ එසේ ණය ලෙස ලබා දීම සඳහා අරමුදල් හොයා ගන්නා ක්‍රමයක්.

මගේ මුල් පැහැදිලි කිරීම අනුව මහජන බැංකුව විසින් දෙවන ලක්ෂ දහය ණය ලෙස ලබා දෙන අවස්ථාව දක්වාම රටේ සෑම මුදල් නෝට්ටුවකටම කිසියම් "අයිතිකාරයෙක්" ඉන්නවා. මේ තත්ත්වය අපිට පහසුවෙන් මනසින් මවා ගත හැකි තත්ත්වයක්. ඒ නිසා, බැංකුවේ තිබෙන තැන්පතු සමරදිවාකරගේ මුදල්, රාමලිංගම්ගේ මුදල්, ෆර්සානාගේ මුදල් ආදී ලෙස වෙන් කළ හැකියි. වැඩේ අවුල් වෙන්නේ දෙවන ලක්ෂ දහය ලබා දීමෙන් පසුවයි. 

නමුත්, ඇත්තටම වාණිජ බැංකුවක් ඔය විදිහට සල්ලි ලේබල් කරන්නේ නැහැනේ. ඔවුන් කරන්නේ තැන්පතු සේ ලැබෙන මුදල් සියල්ල එකම "පෙට්ටියකට" දමන එකයි. ඒ පෙට්ටියෙන් රුපියල් පන්දාහක් අරගෙන එය සමරදිවාකරගේද, රාමලිංගම්ගේද, නැත්නම් ෆර්සානාගේද කියා හොයන්න බැහැ. බැරි නැති වුනත් බැංකුවක් එසේ කරන්නේ නැහැ. එසේ නොකිරීම වැරැද්දක්ද කියන එක පසුව සාකච්ඡා කරමු.

නැවත ණය නිකුත් කරන කොටත් ඔය පෙට්ටියෙන් මුදල් අරගෙන දෙනවා මිසක් ඒ දෙන්නේ සමරදිවාකරගේ මුදල්ද, රාමලිංගම්ගේ මුදල්ද, ෆර්සානාගේ මුදල්ද කියා හොයන්න බැංකුව මහන්සි වෙන්නේ නැහැ. බැංකුවේ මුදල් තිබේනම් ණය ලෙස නිකුත් කරනවා. එපමණයි. ඒ නිසා, චන්ද්‍රානිට ණයට දුන්නේ සමරදිවාකරගේ සල්ලි කියා මම කිවුවත් බැංකුව කොහේවත් එහෙම සටහන් කරගෙන නැහැ. තමන්ට ලැබුනේ සමරදිවාකරගේ තැන්පතු මුදල් බව චන්ද්‍රානි නොදන්නවා වගේම චන්ද්‍රානිට ණයට දුන්නේ සමරදිවාකරගේ මුදල් බව අඩු ගානේ බැංකුවවත් දන්නේ නැහැ.

චන්ද්‍රානි විසින් රුපියල් ලක්ෂ දහයක ණය මුදල ලබාගෙන අනික් අතට ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ තැන්පත් කළ නිසා එසේ තැන්පත් කළේ ණයට ගත් සල්ලිම බව අපි දන්නවා. එහෙත්, බැංකුව ඒ බව කොහේවත් වාර්තා කර ගන්නේ නැහැ. ඒ වගේම, මේ අවස්ථාවේ අපට මේ ණය මුදල හා තැන්පතුව එකිනෙක හා පාහන්න හැකි වුවත් බොහෝ විට එවැන්නක් කරන්න අමාරුයි. උදාහරණයක් විදිහට චන්ද්‍රානි විසින් එවෙලේම මුදල් තැන්පත් නොකර ගෙදර යාමෙන් පසුව ඇගේ දරුවා විසින් මහජන බැංකුවේ වෙනත් ශාඛාවකින් ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමට මුදල් බැර කළොත් ඒ සල්ලි බැංකුවෙන් ණයට දුන් සල්ලිම බව තහවුරු කරන්න අමාරුයි. මේ වැඩේට රටේ බැංකු පද්ධතියම සම්බන්ධ වන නිසා වැඩේ කරන්නම බැරි තරම්.

එයින් අදහස් වෙන්නේ කුමක්ද? මහජන බැංකුවේ පැත්තෙන් බැලූ විට මුලින් සමරදිවාකර විසින් තැන්පත් කළ රුපියල් ලක්ෂ දහයක මුදල වගේම දෙවනුව චන්ද්‍රානි විසින් ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ තැන්පත් කළ රුපියල් ලක්ෂ දහයක මුදලත් එක සමාන තැන්පතු දෙකක්. ඒ දෙක එකක්මද දෙකක්ද කියන එක බැංකුවට හොයා ගන්න බැහැ. බැංකුව විසින් කරන්නේ තැන්පතු ලෙස ලැබෙන මුදල් ණය සේ ලබා දෙන එක පමණයි. එසේ ලබා දෙන ණය නැවත තැන්පතු සේ බැංකු පද්ධතිය ඇතුළටම එන එක ස්වභාවිකවම වෙන දෙයක්. එහෙම නැතුව බැංකු විසින් කරන "වැරැද්දක්" නෙමෙයි.

වැරැද්දක් නෙමෙයි කියා මම කිවුවත් තර්කානුකූලව මෙහි අවුලක් තිබෙන බව පේනවනේ. ගොඩක් වෙලාවට කියවන කෙනෙකුට අවුලක් දැනුනත් අහන්න අවශ්‍ය ප්‍රශ්නය එක පාරටම ඔළුවට එන එකක් නැහැ. ඒ නිසා, මමම ප්‍රශ්නය පැහැදිලි කරන්නම්.

අපි අපේ මුල් උදාහරණයට ගියොත්, මම කියපු කතාව ඔය විදිහටම සිද්ධ වෙනවානම් බැංකුවකට එකම රුපියල් ලක්ෂ දහය අනන්ත වාරයක් ණය ලෙස නිකුත් කළ හැකියිනේ. එහෙම වෙනවානම් අනිවාර්යයෙන්ම එහි අවුලක් තිබිය යුතුයිනේ.

දැනට අපි මහ බැංකුව හා සියලුම බැංකු නියාමන නීති අමතක කරමු. ඒ කිසිවක් නැතත් ඉහත කී ආකාරයේ දෙයක් වෙන්නේ නැහැ. එයට හේතුව වෙනත් ඕනෑම ව්‍යාපාරයක් කරන කෙනෙක් වගේම බැංකු ව්‍යාපාරයක් කරන කෙනෙකුත් අවදානම් ගන්නවා වුවත් අසීමිත ලෙස අවදානම් ගන්නේ නැහැ. බැංකුවේ පැත්තෙන් ගත් විට අවදානම ආරම්භ වන්නේ දෙවන වරට රත්නසේකරට ලක්ෂ දහයක් ණයට දෙන අවස්ථාවේදී නෙමෙයි. පළමු වරට චන්ද්‍රානිට ලක්ෂ දහය ණයට දෙන විටත් ඒ අවදානමම තිබෙනවා.

මුදල් මැවීම අමතක කරමු. මහජන බැංකුව විසින් චන්ද්‍රානිට ණයට දෙන්නේ සමරදිවාකරගේ තැන්පතු මුදල්. එසේ එම මුදල් ණයට දුන් පසු සමරදිවාකර බැංකුවට පැමිණ තමන්ගේ තැන්පතු මුදල් ආපසු ඉල්ලුවොත් මහජන බැංකුව මොකද කරන්නේ? සල්ලි නොදී ඉන්න බැහැනේ. බැහැ කිවුවොත් බැංකුව බංකොලොත් වෙනවා.

අනිවාර්යයයෙන්ම මෙහි අවදානමක් තිබෙනවා. ඒ අවදානම ගන්නේ නැත්නම් වාණිජ බැංකුවකට ණය දෙන්නම බැහැ. ඒ කියන්නේ වාණිජ බැංකු ව්‍යාපාරයට පවතින්නම බැහැ. වාණිජ බැංකු විසින් කරන්නේ දක්ෂ ලෙස මේ අවදානම කළමනාකරණය කරන එකයි. එසේ කර ගන්න බැරි බැංකු බංකොලොත් වී වැසී යනවා. 

වාණිජ බැංකු පවතින තාක් කල් මුදල් මැවීම කියන එකත් ස්වභාවිකවම සිදු වෙනවා. එය සැලසුම් කර කරන දෙයක් නෙමෙයි. නමුත්, මගේ මුල් උදාහරණයේදී මෙන් බැංකුවකට රුපියල් ලක්ෂ දහයක් තැන්පතු සේ ලැබුණු විට බැංකුව විසින් එම මුළු මුදලම නැවත ණය සේ නිකුත් කරන්නේ නැහැ. එසේ නිකුත් කරන්නේ එම මුදල් වලින් යම් කොටසක් පමණයි. එම කොටස කොපමණද කියන එක එක් එක් බැංකුවේ තීරණයක්. එය තීරණය වන්නේ එක් එක් බැංකුව විසින් ගන්නා අවදානම මතයි.

බැංකුවක තැන්පතුකරුවන් විසින් ඕනෑම වෙලාවක තමන්ගේ තැන්පතු ආපසු ඉල්ලා සිටිය හැකි බවත්, එසේ ඉල්ලූ විට ආපසු දිය යුතු බවත් බැංකු දන්නවා. ඒ එක්කම හැම තැන්පතුකරුවෙක්ම එක වර තමන්ගේ මුදල් ආපසු ගන්නේ නැති බවත් බැංකු දන්නවා. 

කිසියම් නිශ්චිත දවසක තැන්පතු සේ ආපසු ඉල්ලන මුදල් ප්‍රමාණය ගැන දළ අදහසක් බැංකුවකට තිබෙනවා. ඒ නිසා, හැම විටම බැංකුවක් විසින් ණය සේ අරමුදල් නිකුත් කරන්නේ තැන්පතු ආපසු ගෙවීම සඳහා කිසියම් මුදල් ප්‍රමාණයක් අතේ තියාගෙනයි. මුල් උදාහරණයට නැවත පැමිණියහොත් මහජන බැංකුව විසින් කිසි විටකටත් සමරදිවාකරගේ රුපියල් ලක්ෂ දහයක මුදලම චන්ද්‍රානිට දෙන්නේ නැහැ. එසේ දෙන්නේ රුපියල් ලක්ෂ අටක් හෝ නවයක් වැනි අඩු මුදලක්. ඒ නිසා, චන්ද්‍රානි විසින් නැවත ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ තැන්පත් කරන්නේ රුපියල් ලක්ෂ අටක් හෝ නවයක් වැනි අඩු මුදලක්. අපි මේ මුදල ලක්ෂ අටක් කියා කියමු. සමරදිවාකර ඔහුගේ තැන්පතු ආපසු ගන්න ආවොත් දෙන්න මහජන බැංකුව විසින් ඉතුරු ලක්ෂ දෙක තියා ගන්නවා.

දැන් දෙවන වටයේදී රත්නසේකර ණය ඉල්ලාගෙන බැංකුවට එනවා. බැංකුවේ ලක්ෂ දහයක් තියෙනවා තමයි. නමුත්, එයින් ලක්ෂ දෙකක් තියාගෙන ඉන්නේ සමරදිවාකර ඔහුගේ තැන්පතු ආපසු ගන්න ආවොත් ආපසු දෙන්නයි. ඒ නිසා, ඒ සල්ලි රත්නසේකරට ණයට දෙන්න බැහැ. එහෙමනම්, ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ තිබෙන ලක්ෂ අටක මුදල රත්නසේකරට දෙන්න පුළුවන්ද? 

එසේ කළත් කලින් ප්‍රශ්නයම එනවනේ. ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනය සල්ලි ආපහු ගන්න ආවොත් මොකද වෙන්නේ?

මහජන බැංකුවට ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ තිබෙන ලක්ෂ අටක මුදල මුළුමනින්ම රත්නසේකරට දෙන්න පුළුවන්කමක් නැහැ. එහි අවදානමක් තිබෙනවා. ඒ නිසා, මහජන බැංකුව විසින් දෙවන වටයේදී ණය නිකුත් කරන්නේ ඒ අවදානම වෙනුවෙන්ද යම් මුදලක් ඉතිරි කර ගෙනයි. අපි කියමු මේ මුදලත් ලක්ෂ දෙකක් කියා. ඒ කියන්නේ, රත්නසේකරට ණය ලෙස දෙන්නේ රුපියල් ලක්ෂ හයක් පමණයි. ඔහු නැවත ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ තැන්පත් කරන්නේත් ලක්ෂ හයක් පමණයි. 

මෙහිදීත් මුල් අවස්ථාවේදී වගේම මුදල් මැවීමක් සිදු වී තිබෙනවා. එය ඉතාම පැහැදිලියිනේ. නමුත්, එක් වටයකදී අලුතෙන් මැවෙන මුදල් ප්‍රමාණය ආරම්භක තැන්පතුවට සාපේක්ෂව අඩු මුදලක්. ඒ නිසා, වාණිජ බැංකුවකට එකම රුපියල් ලක්ෂ දහය අනන්ත වාරයක් ගුණනය කරන්න බැහැ. වාණිජ බැංකුවකට මැවිය හැකි මුදල් ප්‍රමාණය යම් නිශ්චිත සීමාවකට ඇවිත් නවතිනවා. මේ සීමාව තීරණය වෙන්නේ එක් එක් වාණිජ බැංකුව විසින් ගන්නා අවදානම මතයි.

දැන් ඔබට එක දෙයක් පැහැදිලි විය යුතුයි. කිසියම් බැංකුවක තැන්පතුකරුවන් සියලුම දෙනා එකවර තමන්ගේ තැන්පතු මුදල් ආපසු ඉල්ලා සිටියොත් එම මුදල් ආපසු ගෙවීමේ හැකියාවක් කිසිදු බැංකුවකට නැහැ. එසේ ඉල්ලා සිටියහොත් ඕනෑම ශක්තිමත් බැංකුවක් කඩා වැටෙනවා. 

හැබැයි මෙය පුදුම විය යුතු භයානක තත්ත්වයක් නෙමෙයි. මේ වගේ අවදානමක් ඕනෑම දෙයක තිබෙනවා. රෝහලක ඖෂධ ගබඩා කර තබා ගන්නේ සාමාන්‍යයෙන් පැමිනෙනු ඇතැයි සිතිය හැකි රෝගීන් ප්‍රමාණය ගැන සලකලයි. ඇඳන් ප්‍රමාණය, වාට්ටු ප්‍රමාණය, වෛද්‍යවරුන් හා හෙදියන් ප්‍රමාණය ආදිය තීරණය කරන්නේත් එවැනි පදනමක සිටයි. කෝවිඩ් වැනි තත්ත්වයක් නිසා එකවර විශාල රෝගීන් ප්‍රමාණයක් රෝහල්ගත වුවහොත් ඖෂධ හා ඇඳන් හිඟයක් ඇති වීම නොවැලැක්විය හැකියි. ඒ හේතුව නිසා, රෝහල් පහසුකම් සාමාන්‍ය අවශ්‍යතාව මෙන් දහ ගුණයක් දක්වා පුළුල් කර දිගින් දිගටම පවත්වා ගැනීම කාර්යක්ෂමයි කියා කියන්න බැහැ. නමුත්, එසේ නොකිරීමේ අවදානමක් තිබෙනවා.

පාලමක් සැලසුම් කරද්දී ඒ මතින් එකවර ගමන් කරන්නට ඉඩ තිබෙන පුද්ගලයින් ප්‍රමාණය හා ඔවුන් පා තබන රටාව පිළිබඳව පූර්ව උපකල්පන කරනවා. ඒ පූර්ව උපකල්පන ඉක්මවා යන තත්ත්වයකදී පාලම ඔරොත්තු නොදෙන්න පුළුවන්.

අපි තවමත් බැංකු නියාමනය ගැන කතා කළේ නැහැනේ. මහ බැංකු හා බැංකු නියාමනය සාපේක්ෂව අලුත් සංකල්ප. වාණිජ බැංකු සංකල්පය ඊට වඩා ගොඩක් පරණයි. ජාතක කතා වල ඉන්න සිටුවරු කියන්නේත් යම් ආකාරයක බැංකුකරුවන් පිරිසක්. මහ බැංකු විසින් රටක සමස්ත බැංකු පද්ධතියේ අවදානම් ගැන හිතන්න පටන්ගන්න පෙර සිටම වාණිජ බැංකු තමන්ට තිබෙන අවදානම් ගැන සැලකිලිමත් වුනා. ඔවුන් ණය සේ  අරමුදල් නිකුත් කළේ තමන්ට ලැබෙන තැන්පතු වලින් කිසියම් ප්‍රතිශතයක් හදිසි සංචිතයක් සේ තබා ගැනීමෙන් පසුවයි. ඒ, තැන්පතුකරුවන් තමන්ගේ අරමුදල් ඉල්ලගෙන පැමිණි විට එම මුදල් ආපසු දෙන්නයි. මේ ප්‍රතිශතය 1% ද, 5%ද 20%ද කියන එක එක් එක් බැංකුවේ තීරණයක්. එම ප්‍රතිශතය අනුව අදාළ බැංකුව විසින් කොයි තරම් දුරකට මුදල් මැවීමට දායක වෙනවාද කියන එකත් තීරණය වෙනවා.

මහ බැංකු කියන්නේ එක විදිහකින් බැලුවහම පසුකාලීනව ඇති වී බැංකු ක්‍රියාකාරිත්වයේ සුක්කානම තමන් අතට ගත් ව්‍යුහයක්. මහ බැංකු බිහි වෙන්න පෙර සිටම වාණිජ බැංකු තිබුණා. මුදල් මැවීමත් සිදු වුනා. ඒ විතරක් නෙමෙයි. මුල් කාලයේ අලුතින් මුදල් නෝට්ටු සංසරණයට එකතු කළේත් බැංකු විසින් හෝ බැංකු සේ සැලකිය හැකි ව්‍යුහයන් විසින්. නමුත්, මේ වන විට රටක සංසරණය වෙන මුදල් ප්‍රමාණය තීරණය කරන්නේ මහ බැංකු විසින්.

එසේ වුවත්, ඔබට එක් දෙයක් පැහැදිලි විය යුතුයි. රටක මහ බැංකුවකට මුදල් සැපයුම තීරණය කළ හැකි වුවත් එය එක්තරා විදිහක සාමූහික කටයුත්තක්ද වෙනවා. අලුතින් මුදල් නෝට්ටු මුද්‍රණය කර මුදා හැරීමේ ඒකාධිකාරය තිබෙන්න මහ බැංකු අතේ. එසේ වුවත්, එම මුදල් ප්‍රමාණය වාණිජ බැංකු විසින් ගුණනය කරනවා. ඒ වගේම, මේ ගුණනය වීම රටේ මුදල් හා ණය ඉල්ලුම මතද තීරණය වන්නක්.

මේ වගේ සංකීර්ණ තත්ත්වයක් යටතේ මහ බැංකුව විසින් රටේ මුදල් සැපයුම කොපමණ විය යුතුදැයි තීරණය කිරීමෙන් පසුව එම ඉලක්කය සැපිරෙන බවට වගබලා ගන්නේ කොහොමද?

පළමුව, වාණිජ බැංකු විසින් මුදල් මැවීමක් කළත් මෙහිදී වෙන්නේ මහ බැංකුව විසින් අලුතෙන් නිකුත් කරන මුදල් ගුණනය වීමක් නිසා ආරම්භක මුදල පාලනය කළ විට අවසන් මුදල් ප්‍රමාණයද පාලනය වෙනවා. දෙවනුව, වාණිජ බැංකු විසින් ණය නිකුත් කිරීමේදී තැන්පතු වලින් කිසියම් ප්‍රතිශතයක් සංචිතයක් සේ තබා ගන්නා බව මම කිවුවනේ. මහ බැංකුව විසින් මේ සඳහා අවම සීමාවක් පනවා තිබෙනවා. ඒ නිසා, වාණිජ බැංකු වලට ණය නිකුත් කළ හැක්කේ එම අවම සංචිත ප්‍රමාණය මහ බැංකුවේ ගිණුමක තැන්පත් කිරීමෙන් පසුවයි. මේ අවම සීමාව වෙනස් කිරීමෙන් වාණිජ බැංකු වල මුදල් මැවීමේ හැකියාව පාලනය කළ හැකියි.

මේ කරුණු තවත් දීර්ඝ ලෙස විස්තර කළ හැකියි. ප්‍රශ්න මතු වුවහොත් පිළිතුරු සපයන්නම්. 

Monday, July 27, 2020

අපේ සල්ලි හා බැංකුවේ සල්ලි


කාලයකට පස්සේ මම ගොඩක් කැමති විදිහේ ප්‍රශ්නයක් පාඨකයෙක් විසින් අහලා තිබුණා. ආර්ථික විද්‍යාව පොඩ්ඩක් හරි හදාරලා තිබෙන කෙනෙක්ටනම් ඉතාම සරල ප්‍රශ්නයක්. සමහර විට කෙනෙකුට මෝඩ ප්‍රශ්නයක් වගේ පෙනෙන්නත් පුළුවන්. නමුත්, මේ වගේ ප්‍රශ්නයක් ආර්ථික විද්‍යාව හදාරලා නැති කෙනෙකුට ඉතාම සංකීර්ණ, බරපතල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. බ්ලොග් එක ලියන්න පටන් ගනිද්දී මම ඉලක්ක කළේ මේ වගේ මූලික මට්ටමේ ප්‍රශ්න තිබෙන අයවයි. වෙනත් විෂයයක් ගත්තත් ඔය ප්‍රශ්නයම තියෙනවා. කිසියම් විෂයයක් හදාරපු කෙනෙකුට ඉතා සරල ප්‍රශ්නයක් වගේ පෙනෙන දෙයක් එම විෂය හදාරා නැති කෙනෙකුගේ හිතට වද දෙන සංකීර්ණ ප්‍රශ්නයක්.

ඔය වගේ සරල ප්‍රශ්න වලට සරල උත්තර දෙන්න යන කොට ආර්ථික විද්‍යාව ගැන යම් දැනුමක් තිබෙන අය සංකීර්ණ ප්‍රශ්න මතු කරනවා. එවිට ඒ අය ඉලක්ක කර සංකීර්ණ පිළිතුරු සපයන්න වෙනවා. මේ වැඩේ දිගින් දිගටම සිදු වීම නිසා සමහර විට දැන් බ්ලොග් එක ඕනෑවට වඩා බරපතල වෙලාද කියලත් වෙලාවකට හිතෙනවා. වඩා වැදගත් වෙන්නේ ආර්ථික විද්‍යා විෂය දැනුමක් තිබෙන, මෙහි ලියන දේවල් සමඟ පහසුවෙන් එකඟ වෙන අය මෙය කියවන එක නෙමෙයි. එවැනි දැනුමක් නැති ටික දෙනෙක් හෝ ආර්ථික විද්‍යාවේ මූලික සංකල්ප අවබෝධ කර ගැනීමයි. 

රටේ මුදල් හා මූල්‍ය පාලනය භාරව ඉන්න ටික දෙනෙකුට ලංකාවේ හැමෝගෙම ජීවිත පාලනය කරන්න හැකි වී තිබෙන්නේ එවැනි දැනුමක් රටේ බොහෝ දෙනෙකුට නැති නිසයි. එය මිනිස්සුන්ගේ වැරැද්දක් නෙමෙයි. ලංකාවේ සමාජවාදී ආණ්ඩු විසින් සමාජවාදී අධ්‍යාපන ක්‍රමය හරහා දිගින් දිගටම පවත්වා ගෙන යන තත්ත්වයක්. ලංකාවේ ධනවාදී දේශපාලන පක්ෂ නැති නිසා මේ උගුලෙන් ගැලවෙන්න වෙන්නේ රටේ මිනිස්සු කවර හෝ විකල්ප ක්‍රමයකින් අවශ්‍ය දැනුම ලබා ගත්තොත් විතරයි. හැමදේම අතැඹුලක් සේ දන්න විවිධ නිකාය වල භක්තිවාදී මාක්ස්වාදී ආගමිකයින්ට දැනුම පොවන්න බැරි වුනත්, භක්තිවාදීන් නොවන විවෘත මනසක් තිබෙන අයට නොදන්නා විෂයයක් තේරුම් ගැනීම නොකළ හැක්කක් නෙමෙයි.

"ඉතිං බැංකුවට ගිහිං අපි ගන්නේ අපේ ගිණුමේ ඉතිරි වෙලා තියෙන සල්ලි ටිකනේ. එතකොට කොහොමද රටේ මුදල් හිගයක් ඇති වෙන්නේ ඉකොනෝ. මොකද අපිට ගන්න පුළුවන් ගිණුමේ තියෙන මුදල මිසක් ඊට වඩා වැඩි ගානක් නෙමේ. ඒ කියන්නේ රටක සියලුම ගිණුම් වල තියෙන මුදල් ප්‍රමාණය ඉලක්කම් වලින් පෙන්නවට වඩා අඩු මුදල් නෝට්ටු ගණනක්ද මුද්‍රණයේ පවතින්නේ. ප්‍රශ්නේ තේරුනාද දන්නේ නැහැ. මේ ප්‍රශ්නේ මගේ ඔලුවට ආවට මෙහෙම ලියලා තේරුම් කරන්න මටත් තේරෙන්නේ නැහැ."

මේ ප්‍රශ්නය ඇතුළේ ආර්ථික විද්‍යාවේ මූලික කරුණු ගණනාවක් තිබෙනවා. මම හිතන්නේ මම මේ ගොඩක් දේවල් වරින් වර පැහැදිලි කරලත් තිබෙනවා. අපි මේ පාඨකයාගේ ගැටලුව හැකි තරමින් පැහැදිලි කරන්න උත්සාහ කරමු. එය ඔහු හෝ ඇය වැනි තවත් අයටත් උපකාරයක් වෙයි කියා මම හිතනවා.

මුදල් කියා කිවුවහම බොහෝ දෙනෙක්ගේ සිහියට එන්නේ මුදල් නෝට්ටු. රුපියල් සීයේ කොළයක් නැත්නම් රුපියල් පන්දාහේ කොළයක් වගේ දෙයක්. ඔවු. ඒවා මුදල් තමයි. එය ඉතාම පැහැදිලි කරුණක්නේ. 

අපිට මේ මුදල් ලැබෙන්නේ කොහොමද? බොහෝ දෙනෙක් හා අදාළව සරලම පිළිතුර වැඩ කරලා උපයන ආදායමක් ලෙස කියන එකයි. සමහර විට මොනවා හෝ කෘෂිකාර්මික හෝ ධීවර නිෂ්පාදනයක් විකුණලා ලබා ගන්න සල්ලි. සමහර විට වඩු වැඩක්, මේසන් වැඩක්, කරණවෑමි රැකියාවක් වගේ දෙයක් කරලා ලබා ගන්න සල්ලි. මේ වගේ වැඩක් කළාම කෙළින්ම අතට සල්ලි එනවා. රුපියල් නෝට්ටු වලින්. වැඩේ සරලයි.

ඔය විදිහට කවුරු හෝ කෙනෙක් විසින් උපයන මුදල් වෙනත් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම වෙනුවෙන් වැය කරනවා. එවිට තවත් පිරිසක් අතට මේ සල්ලි යනවා. අවසානයේ යම් ඉතිරියක් ඇතොත් බැංකු ගිණුමක තැන්පත් කරනවා. දැන් බැංකුවේ තියෙන්නේ කාගේ සල්ලිද? අර පාඨකයා නිවැරදිව කියනවා වගේ අපේ සල්ලි. අපිට අවශ්‍ය වෙලාවට බැංකුවට ගිහින් ඔය සල්ලි ආපහු ගන්න පුළුවන්.

සමහර අය ආදායම් උපයන්නේ රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් කරලා. එවැනි රැකියා කළ අයට කාලයකට පෙර පඩි පැකට් එකක් ලැබුණා. හරියට සතේටම ලියුම් කවරයක දමපු නෝට්ටු හා කාසි ගොඩක්. පඩි පැකට් එක ගත්තට පස්සේ කතාව කලින් වගේමයි. ණය තුරුස් ඇත්නම් ගෙවලා ඉතිරිය වියදම් කරනවා. යම් විදිහකින් ඉතිරියක් ඇත්නම් බැංකු ගිනුමේ තැන්පත් කරනවා.

දැන් මම හිතන්නේ ඔය පඩි පැකට් ක්‍රමය එතරම් දකින්න නැහැ. නැත්තේමත් නැහැ තමයි. පඩි දවසේ සල්ලි අරගෙන යන වාහනය මංකොල්ල කෑ පුවත් දැනුත් කලාතුරකින් හෝ ඇහෙනවා. හැබැයි බොහෝ විට පඩිය කෙළින්ම බැංකු ගිණුමකට යනවා. ඊට පස්සේ බැංකුවෙන් අවශ්‍ය තරමට මුදල් අරගෙන වියදම් කරන එකයි කරන්න තියෙන්නේ. මුළු වැටුපම වියදම් කර අවසන් කළේ නැත්නම් ඔය සල්ලි බැංකුවේ ඉතිරි වෙනවා.

මේ ක්‍රමය කලින් ක්‍රමයට වඩා වෙනස් වෙන්නේ එක් කරුණකින් පමණයි. කලින් ක්‍රමයට අතට එන සල්ලි වලින් කොටසක් බැංකුවේ දමනවා. දැන් ක්‍රමයට බැංකුවට කෙළින්ම එන සල්ලි වලින් කොටසක් එහි ඉතිරි වෙනවා. ඒ වෙනස හැරුණු විට අවසාන වශයෙන් බැංකුවේ තිබෙන්නේ පාඨකයා විසින් නිවැරදිව තේරුම් අරන් තිබෙන විදිහටම අපේ සල්ලි.

අතේ තිබුණත් බැංකුවේ තිබුණත් සල්ලි අපේනේ. සල්ලි අතට ආවේ වෙන කෙනෙකුගෙන්. මේ වෙන කෙනා තවත් අපි වගේම වැටුපක් සඳහා වැඩ කරන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එහෙමනම් ඒ පුද්ගලයාගේ අතට සල්ලි ඇවිත් තියෙන්නේත් අපිට සල්ලි ලැබුණු විදිහටමයි. එහෙම නැත්නම් පෞද්ගලික සමාගමකින් වෙන්න පුළුවන්. පෞද්ගලික සමාගමක් සල්ලි හොයන්නේ මොනවා හෝ විකුණලානේ. ඒ කියන්නේ, අපි වගේ කාගේ හරි අතේ තිබුණු සල්ලි. 

සල්ලි ලැබුණේ රජයෙන් වෙන්නත් පුළුවන්. ලංකාවේ ගොඩක් අය කරන්නේ රජයේ රැකියානේ. රජයට සල්ලි කොහෙන්ද? අපි දැනට හිතමු රජය සල්ලි හොයන්නේ බදු හා වෙනත් ආදායම් වලින් කියලා. වෙනත් ආදායම් කිවුවේ ඔය වාහන ලියාපදිංචි ගාස්තු වගේ දේවල්. ඔය විදිහට බැලුවොත් රජයෙන් ලැබෙන්නේත් අපි වගේ කාගෙන් හෝ එකතු කර ගන්නා සල්ලි.

දැන් මේ කතාවේ පොඩි අවුලක් පෙනෙන්නේ නැද්ද? සල්ලි අතින් අතට යන බව පැහැදිලියි. අපේ අතේ තිබෙන රුපියල් පන්සීයක නෝට්ටුවක අතීතය මොනයම් විදිහකින් හෝ හාරා ඇවිස්සුවොත් එහි පරණ අයිතිකාරයින් හොයා ගන්න පුළුවන්. එහෙත් ප්‍රශ්නය මුලින්ම මේ රුපියල් පන්සීයේ නෝට්ටුව කාගේ හරි අතට ලැබුණේ කොහොමද?

ඒ ප්‍රශ්නය එහෙම්මම තියෙද්දී අපි දැන් බැංකුවට යමු. අපි මොන ආකාරයකින් හෝ සල්ලි හොයනවා. ඒ සල්ලි වලින් කොටසක් බැංකුවට යනවා. අර පාඨකයා කියපු විදිහටම දැන් බැංකුවේ තියෙන්නේ අපේ සල්ලි මිසක් බැංකුවේ සල්ලි නෙමෙයිනේ. නමුත්, බැංකුව අපි කවදා හරි ආපහු ගන්නකම් මේ සල්ලි සේප්පුවේ තියාගෙන ඉන්නවද? 

බැංකුවකට රත්තරන් බඩුවක් උගස් කළාමනම් එය ආපහු ගන්නකම් බැංකුව සේප්පුවක දමලා තියාගෙන ඉන්නවා. නමුත්, බැංකුවක සල්ලි දැම්මහම බැංකුව ඒ විදිහට ඒ සල්ලි තියාගෙන ඉන්නේ නැහැ. ණය විදිහට කාට හරි දෙනවා. දැන් ඒ දෙන්නේ බැංකුවේ සල්ලිද අපේ සල්ලිද? අපේ සල්ලිනේ. ඒ කියන්නේ දැන් ගිහින් බැලුවොත් අපි බැංකුවේ දමපු සල්ලි සියල්ල බැංකුවේ නැහැ. 

දැන් අපි අර මුලින් කතාවට තවත් කොටසක් එකතු කරමු. අපි මොනවා හෝ විකුණලා එහෙම නැත්නම් රස්සාවක් කරලා සල්ලි හොයනවා. ඒ සල්ලි වියදම් කරනවා. ඊට අමතරව අපිට බැංකුවකින් ණයක් අරගෙන ඒ සල්ලිත් වියදම් කරන්න පුළුවන්. හැබැයි මේ සල්ලි කාගේ හරි සල්ලිනේ. හදිසියකට අසල්වැසියාගෙන් රුපියල් දාහක් ණයට ඉල්ලගත්තහම අසල්වැසියාගේ අතේ තිබෙන සල්ලි වලින් රුපියල් දාහක් අඩු වෙනවා වගේ බැංකුවෙන් ණයක් ගත්තහම බැංකුවේ තිබෙන අපේ සල්ලි වලින් කොටසක් අඩු වෙනවා. නමුත්, සල්ලි වෙන තැනකට ගිහින් මිසක් සල්ලි ප්‍රමාණය වෙනස් වෙලා නැහැ. ඒ නිසා, මේ විදිහට බැලුවොත් හැම මුදල් නෝට්ටුවකටම කවුරු හරි අයිතිකාරයෙක් ඉන්නවා. මම බැංකුවෙන් ණයට ගත් රුපියල් පන්දාහේ නෝට්ටුවේ සැබෑ අයිතිකාරයා ඒ රුපියල් පන්දාහ බැංකුවේ තැන්පත් කළ පුද්ගලයා. 

තවමත් කතාව සරලයි. ඒ වගේම, මුදල් නෝට්ටු මුලින්ම සංසරණයට ආවේ කොහොමද කියන ප්‍රශ්නය විසඳිලා නැහැ. 

පුද්ගලයෙකුට හෝ සමාගමකට වියදම් කළ හැක්කේ තමන් උපයන ආදායම හෝ ණයට ගන්නා මුදලක් පමණයි. ණයට ගන්නා මුදල් කියා කියන්නේත් වෙනත් පුද්ගලයෙකුගේ හෝ සමාගමක ආදායමයි. නමුත්, රජයට ආදායම ඉක්මවා වියදම් කළ හැකි තවත් ක්‍රමයක් තිබෙනවා. ඒ මහ බැංකුව සමඟ හවුල් වී සල්ලි අච්චු ගැසීමයි. උදාහරණයක් විදිහට රජයට අළුතෙන්ම මුද්‍රණය කළ මුදල් නෝට්ටු වලින් රජයේ සේවකයෙකුගේ වැටුප් ගෙවන්න පුළුවන්කම තිබෙනවා. ඒ මුදල් රජය විසින් බදු හෝ ආදායම් ලෙස එකතු කරගත් මුදල් විය යුතුම නැහැ. අලුතින්ම මුදල් නෝට්ටු සංසරණයට එන්නේ ඔය විදිහටයි. මෙය ඉතාම සරල පැහැදිලි කිරීමක්. 

දැන් කතාව ටිකක් සම්පූර්ණයි. රජය මහ බැංකුව හා හවුල්ව සල්ලි අච්චු ගසා වියදම් කරනවා. ඒ සල්ලි කාගේ හෝ ආදායමක් වෙනවා. ඉන් පසු, සල්ලි අතින් අත යනවා. කොටසක් බැංකු වලට යනවා. නැවත ණය ලෙස බැංකු වලින් එළියට එනවා. හැබැයි මොන ආකාරයට හෝ සංසරණය වෙන්නේ රජය විසින් මහ බැංකුව සමඟ එකතු වී සංසරණයට එකතු කළ මුදල් ප්‍රමාණයයි. සල්ලි තිබෙන්නේ බැංකුවේද අතේද කියන එක අදාළ කරුණක් නෙමෙයි. අර පාඨකයා තේරුම් ගෙන තිබෙන ආකාරය තවමත් නිවැරදියි.

කතාවේ තේරුම් ගන්න අමාරු කොටස ඉන් පසු කොටසයි. අපි හිතමු කවුරු හෝ කෙනෙක් බැංකුවෙන් ණයක් අරගෙන දරුවෙකුගේ පෞද්ගලික උපාධි පාඨමාලාවක් සඳහා වැය කළා කියලා. අපි කියමු රුපියල් ලක්ෂ දහයක්. දැන් බැංකුවට මේ විදිහට දෙන්න වෙන්නේ කාගේ හරි සල්ලිනේ.

මෙහෙම හිතමු. සමරදිවාකර විශ්‍රාමිකයෙක්. ඔහු රුපියල් ලක්ෂ දහයක් මහජන බැංකුවේ විශ්‍රාමික ගිණුමක තියලා එහි පොලියෙන් ජීවත් වෙනවා. ඔහු මේ ආදායම උපයා තියෙන්නේ රජයේ රැකියාවක් කරලා. රජය ඔහුට වැටුප් ගෙවා තියෙන්නේ සල්ලි අච්චු ගහලා. ඒ කියන්නේ, සමරදිවාකර තමයි මේ සල්ලි වල මුල් අයිතිකරුවා හා වත්මන් සැබෑ අයිතිකරුවා. මහජන බැංකුව සමරදිවාකරගේ සල්ලි වල භාරකරුවා.

සමරදිවාකර මේ සල්ලි හදිස්සියේ ආපහු නොගන්න බව බැංකුව දන්නවා. චන්ද්‍රානි ඇගේ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් මහජන බැංකුවෙන් ලක්ෂ දහයක ණයක් ඉල්ලනවා. මහජන බැංකුව සමරදිවාකාරගේ සල්ලි චන්ද්‍රානිට දෙනවා. හැබැයි ඒ සල්ලි සමරදිවාකරගේ බව චන්ද්‍රානි දන්නේ නැහැ. තමන්ගේ සල්ලි ණයක් සේ චන්ද්‍රානිට දුන් බව සමරදිවාකර දන්නේත් නැහැ. මහජන බැංකුව චන්ද්‍රානිට දුන් ණය වෙනුවෙන් 10%ක පොලියක් අය කර ගන්නවා. සමරදිවාකරට පොලිය ලෙස 8%ක් ගෙවනවා. ඉතරි 2% බැංකුවේ වියහියදම් වෙනුවෙන් යොදවනවා. තවමත් මුදල් සැපයුම වෙනස් වෙලා නැහැ. සමරදිවාකරගේ සල්ලි චන්ද්‍රානි අතට යාම හා මහජන බැංකුව අතරමැදියෙකු සේ කටයුතු කර ලාබයක් ලැබීම පමණයි සිදු වී තිබෙන්නේ.

චන්ද්‍රානි මේ සල්ලි ගත්තේ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන්නනේ. ඇය අනෙක් අතට ඒ සල්ලි "ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ" ගිණුම් අංකයකට බැර කරනවා. මේ ගිණුම පවත්වාගෙන යන්නෙත් මහජන බැංකුවේ. ඒ කියන්නේ, චන්ද්‍රානි රුපියල් ලක්ෂ දහයක ණයක් ගත්තත් ඒ සල්ලි බැංකුවෙන් එළියට ගිහින් නැහැ. ඒ විදිහටම තිබෙනවා.

චන්ද්‍රානි තමන්ගේ දරුවාගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් ණයක් ගත් බව දැන ගන්නා රත්නසේකරටත් ඔහුගේ දරුවා වෙනුවෙන් ණයක් ගන්න අවශ්‍ය වී මහජන බැංකුවට එනවා. චන්ද්‍රානි විසින් ලබාගත් ණය මුදල බැංකුවෙන් එළියට ගියේ නැතුවා සේම රත්නසේකර විසින් ගන්නා ණය මුදලත් එළියට නොයන බව මහජන බැංකුව දන්නවා. මහජන බැංකුව ඒ ලක්ෂ දහයම නැවතත් රත්නසේකරට ණයට දෙනවා. රත්නසේකර විසින් එම මුදල ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුම් අංකයට බැර කරනවා. දැන් ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ රුපියල් ලක්ෂ දෙකක් තියෙනවා.

මහජන බැංකුව විසින් චන්ද්‍රානිට ණයට දුන්නේ සමරදිවාකරගේ සල්ලිනේ. එහෙමනම්, රත්නසේකරට ණයට දුන්නේ කාගේ සල්ලිද? සමරදිවාකරගේ සල්ලි කියා කියන්න බැහැනේ. සමරදිවාකරගේ ගිණුමේ ලක්ෂ දහයක් මිසක් ලක්ෂ විස්සක් තිබුණේ නැහැනේ. ඒ වගේම, මේ වෙලාවේ අලුතෙන් සල්ලි අච්චු ගැසීමක් වුනෙත් නැහැ. ඒ කියන්නේ රටේ තිබුණු මුදල් නෝට්ටු ප්‍රමාණය වෙනස් වුනේ නැහැ. එහෙමනම්, මේ අමතර රුපියල් ලක්ෂ දහය ආවේ කොහෙන්ද?

බැංකු විසින් කරන මුදල් මැවීම කියා කියන්නේ ඕකටයි. මෙය මහ බැංකුව හා රජය එකතු වී කරන සල්ලි අච්චු ගැසීමට වඩා වෙනස් දෙයක්. සල්ලි අච්චු ගහන විට රටේ භෞතික ලෙස සංසරණය වන මුදල් නෝට්ටු ප්‍රමාණය වැඩි වෙනවා වුනත් (පැහැදිලි කිරීම සඳහා කියන සරල කතාවක් පමණයි. ඇත්තටම එහෙමම වෙන්නේත් නැහැ) වාණිජ බැංකු විසින් මුදල් මවන විට එවැනි දෙයක් වෙන්නේ නැහැ. මෙහිදී වෙන්නේ එකම රුපියල් පන්දාහේ නෝට්ටුව වාර ගණනාවක්ම නැවත නැවත ණය ලෙස ලබා දෙන එකයි. ණය ලෙස ලබා ගන්නා මුදල් නැවත නැවත බැංකුවට ආපසු එන තුරු මේ වැඩේ දිගින් දිගටම කරන්න පුළුවන්.

වාණිජ බැංකු විසින් මේ ආකාරයට මුදල් මැවීමක් කිරීමේ එහෙමත් නැත්නම් රටේ මුදල් ප්‍රමාණය ගුණනය කිරීමේ මූලධර්මය බැංකුවේ තැන්පත් කර තිබෙන මුදල් සියල්ල එම ගිණුම් අයිතිකරුවන් විසින් එක වර ලබා නොගන්නා බවට වන විශ්වාසයයි. එවැනි විශ්වාසයක් නැත්නම් බැංකුවකට ණය දෙන්නම බැහැනේ. අනෙක් අතට එවැනි විශ්වාසයක් තිබේනම් එකම රුපියල් පන්දාහ හතර පස් දෙනෙකුටම ණයට දුන්නා කියලා මොකද වෙන්නේ?

මම හිතන්නේ රටේ මුදල් සැපයුම සංසරණයේ තිබෙන නෝට්ටු ප්‍රමාණයට වඩා වැඩි වෙන්නේ කොහොමද කියන එක දැන් පැහැදිලි ඇති කියලා. අපේ උදාහරණයට ගියොත් එකම රුපියල් ලක්ෂ දහයට දැන් අයිතිකාරයෝ දෙන්නෙක් ඉන්නවා. මුල් අයිතිකාරයා වූ සමරදිවාකර හා දෙවන අයිතිකරුවා වූ ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනය. සමරදිවාකරගේ ගිණුමේ රුපියල් ලක්ෂ 10ක් තිබෙනවා. ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ රුපියල් ලක්ෂ 20ක් තිබෙනවා. හැබැයි බැංකුවේ මුදල් නෝට්ටු ලෙස තියෙන්නේ රුපියල් ලක්ෂ 10ක් පමණයි. මේ ගිණුම් දෙකේම මුදල් එකවර ගන්න ආවොත් බැංකුව අර්බුදයකට යනවා. එහෙම අර්බුදයකට ගිය බැංකු පිළිබඳ උදාහරණ ලංකාවේම තියෙනවනේ.

මම හිතන්නේ දැනට මේ ඇති. ප්‍රශ්න තිබේනම් තවත් අමතර පැහැදිලි කිරීම් කළ හැකියි.


Sunday, July 26, 2020

ඇමරිකාවෙන් ගත් ඩොලර් බිලියනයේ ණය


ඇමරිකාවේ වගේම සමස්තයක් ලෙස ලෝකයේත් කෝවිඩ් එන්න එන්නම තව දුරටත් ව්‍යාප්ත වෙනවා. ඒ අතින් ලංකාව ව්‍යතිරේඛයක් ලෙස සලකන්න පුළුවන්. කෝවිඩ් ඉවරයක් නැතත් දැන් කෝවිඩ් ඉන්ටවල්නම් ඉවරයි. කෝවිඩ් පැත්තකින් තියලා කලින් කරගෙන ගිය වැඩ ආපහු ඒ විදිහටම කරනවා හැර වෙන විකල්පයක් නැහැ.

හදිසි වැඩ කිහිපයක් ඉවර කරන්න අවශ්‍ය වූ නිසා ටික දවසකින් බ්ලොග් එක පැත්තේ එන්න වුනේ නැහැ. ඒ අතර, ලංකාව ඇමරිකාවෙන් ලබාගත් ඩොලර් බිලියනයක ණයක් ගැන කතාවක් පැතිරිලා හෝ පතුරවලා තියෙනවා දැක්කා. කතාවෙන් කියපු විදිහට දැන් ලංකාව ඇපයක් නොතියා ණයක් ගන්න බැරි තැනට වැටිලා. මේ කතාව ඇත්තද?

ණයක් කියා ප්‍රචාරය වී තිබුණත් ඇත්තටම මේ අරගෙන තිබෙන්නේ ණය ලබා ගැනීමේ පහසුකමක්. මෙය සමාන කරන්න පුළුවන් වෙන්නේ ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා වගේ දෙයකට. ණය පහසුකමක් ලබා ගත්තාට පස්සේ එහි උපරිම සීමාවට යටත්ව ඕනෑ වෙලාවක පහසුවෙන් ණය ලබා ගන්න පුළුවන්. හරියට ක්‍රෙඩිට් කාඩ් එකේ සීමාව පනින තුරු වියදම් කරන්න පුළුවන් වගේ. ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා කියලා එය භාවිතා කරන්න අවශ්‍යම නැහැ වගේ ණය පහසුකමක් ගත්තා කියලා ඒ පහසුකම පාවිච්චි කරන්න අවශ්‍යම නැහැ.

ලංකාව විසින් ලබාගත් ණය පහසුකම තවමත් පාවිච්චි කරලා නැහැ. පාවිච්චි කරන තුරු පොලියක් ගෙවන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. ඉදිරි කාලයේදී ණය පහසුකම පාවිච්චි කළොත් ඒ වෙනුවෙන් පොලී ගෙවන්න වෙයි. හැබැයි මේ වෙනුවෙන් ගෙවන්න වෙන්නේ ලංකාවේ විදේශ ණය සඳහා ගෙවන පොලී අනුපාතික වලට සාපේක්ෂව ඉතා අඩු පොලියක්.

මේ ණය පහසුකම ලබා දී තිබෙන්නේ ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් ණය පහසුකම් ලබා දීමේ අළුත් ක්‍රමවේදයක් යටතේ. ඇමරිකාවේ ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව විසින් මේ ණය ක්‍රමය හඳුන්වා දුන්නේ පසුගිය මාර්තු මාසය අවසානයේදී කෝවිඩ් තර්ජනය හමුවේ ගත් ක්‍රියාමාර්ගයක් ලෙසයි. එහි පසුබිම ගැන ටිකක් කතා කරමු.

කෝවිඩ් තර්ජනය නිසා ලෝකයේ රටවල් අතර වෙළඳාම, සංචරණය වගේම ප්‍රාග්ධන ප්‍රවාහ සැලකිය යුතු තරමින් සීමා වී තිබෙන බව කවුරුත් දන්නා දෙයක්නේ. ලංකාව ගත්තොත්, ලංකාවට සංචාරකයින්ගෙන්, ඇඟලුම් ආනයන ආදියෙන් ලැබෙන විදේශ විණිමය දැඩි ලෙස සීමා වී තිබෙනවා. ඒ වගේම එහි අනෙක් පැත්තත් සිදු වෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ තෙල් ආනයනය සීමා වන විට ලංකාවට තෙල් අපනයනය කරන රටවල විදේශ විණිමය ලැබීම් සීමා වෙනවා. එහි බලපෑම විශාල එකක් නොවෙන්න පුළුවන්. එය වෙනම කරුණක්.

කෝවිඩ් මිනිස්සුන්ගේ මුදල් භාවිතයට බලපාන්නේ කොහොමද? ගෙවල් වලට සීමා වී ඉන්න වූ විට බොහෝ දෙනෙක් තමන්ගේ බැංකු ගිණුම් වල තිබෙන මුදල් ආපසු අරගෙන අතේ තියාගන්න පෙළඹෙනවා. මේ තත්ත්වය ලංකාව ඇතුළු හැම රටකම වගේ දැකිය හැකියි. තාක්ෂනික ලෙස මෙයට රටේ ද්‍රවශීලතා අවශ්‍යතාව ඉහළ යාම කියා කියන්න පුළුවන්. කෝවිඩ් තර්ජනය මුළුමනින්ම තුරන් වන තුරු මේ තත්ත්වයේ ලොකු වෙනසක් වෙන්න ඉඩක් නැහැ.

මේ විදිහට රටක ද්‍රවශීලතා අවශ්‍යතාව ඉහළ යන විට රටේ මුදල් හිඟයක් ඇති නොවීම සඳහා මහ බැංකුවට අලුතින් මුදල් සංසරණයට එකතු කරන්න වෙනවා. සරලව කිවුවොත් සල්ලි අච්චු ගහන්න වෙනවා. ඔය සල්ලි අච්චු ගහන වැඩේ ඒ තරම් හොඳ දෙයක් නොවන බව මම බොහෝ වර පැහැදිලි කරලා තියෙනවනේ. හැබැයි මේක විශේෂ තත්ත්වයක්.

මේ වගේ අවස්ථාවක මිනිස්සුන්ට වැඩියෙන් මුදල් අවශ්‍ය වෙන්නේ පවතින අවිනිශ්චිත තත්ත්වය යටතේ අතේ මුදල් නැති වීමේ අවදානම අඩු කරගන්න මිසක් වැඩි වැඩියෙන් භාණ්ඩ මිල දී ගන්න නෙමෙයිනේ. ඒ නිසා, මේ විදිහට මහ බැංකුව විසින් මුදල් සැපයුම වැඩි කළ පමණින් උද්ධමනය ඉහළ යන්නේ නැහැ. උද්ධමනය ඉහළ යන්නේ රටේ මුදල් ඉල්ලුම ඉක්මවා වඩා වැඩියෙන් අලුත් මුදල් සංසරණයට එකතු කළ විටයි. මම කියන්නේ වැඩි වූ මුදල් ඉල්ලුම වෙනුවෙන් අවශ්‍ය තරමට අලුත් මුදල් සංසරණයට එකතු කිරීමක් ගැනයි.

ඔය විදිහට සංසරණයට එකතු කරන මුදල් වුවත් කෝවිඩ් තර්ජනය පහ වී මිනිසුන්ගේ මුදල් ඉල්ලුම අඩු වන විට ක්‍රමයෙන් නැවත එකතු කර නොගත්තොත් අවසාන ප්‍රතිඵලය උද්ධමනයයි. හැබැයි මේ වෙලාවේ ඕනෑම රටක මහ බැංකුවකට යම් තරමකින් අලුතෙන් සල්ලි අච්චු ගහන්න වෙනවා. ලෝකයේ ගොඩක් මහ බැංකු ඔය වැඩේ කරනවා.

රටක් ඇතුළේ ගනුදෙනු සිදු වෙන්නේ දේශීය ව්‍යවහාර මුදල් යොදාගෙන වුවත්, විදේශ ගනුදෙනු සඳහා විදේශ ව්‍යවහාර මුදල් අවශ්‍ය වෙනවනේ. කෝවිඩ් නිසා හැම රටකම වගේ දේශීය ව්‍යවහාර මුදල් සඳහා වන ඉල්ලුම ඉහළ ගිහින් තිබෙනවා වගේම විදේශ ව්‍යවහාර මුදල් සඳහා ඉල්ලුමත් ඉහළ ගිහින් තිබෙනවා. නමුත්, මේ ප්‍රශ්නය රටක මහ බැංකුවට පහසුවෙන් විසඳිය හැකි ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාව ගත්තොත් මහ බැංකුවට හිතේ හැටියට රුපියල් අච්චු ගහන්න පුළුවන්. නමුත්, ඒ විදිහට ඩොලර් හරි යුරෝ හරි අච්චු ගහන්න බැහැනේ.

ගොඩක් ජාත්‍යන්තර ගනුදෙනු කෙරෙන්නේ ඇමරිකන් ඩොලර් වලින් බව අපි දන්නවනේ. ඒ නිසා, මේ වෙලාවේ ලෝකයේ හැම රටකම වගේ ඇමරිකන් ඩොලර් වලට තිබෙන ඉල්ලුම ඉහළ ගිහින් තිබෙනවා. නමුත්, ඇමරිකන් ඩොලර් එළියට දමන්න පුළුවන්කම තිබෙන්නේ ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවට විතරයිනේ. ඒ නිසා, මේ වෙලාවේ ගොඩක් රටවල් වලට ඇමරිකන් ඩොලර් හොයා ගන්න ආකාරය ගැන හිතන්න වෙලා.

ඔය තරම්ම බරපතල ලෙස නොවුනත් ඔය වැඩේම අනික් පැත්තටත් වෙනවනේ. අපි හිතමු ඇමරිකානු සමාගමකට ලංකාවේ ඇඟලුම් ආනයනය කරන්න ඕනෑ. ඒ සඳහා ශ්‍රී ලංකා රුපියල් අවශ්‍ය වෙනවා. නමුත්, ෆෙඩරල් සංචිත බැංකුවට ශ්‍රී ලංකා රුපියල් අච්චු ගහන්න බැහැනේ. රුපියල් ගන්න වෙන්නේ ලංකාවෙන්ම තමයි.

හැබැයි ප්‍රායෝගිකව මේ වැඩේ ඒ තරම් ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාවේ අපනයනකරුවන් රුපියල් ඉල්ලන්නේ නැහැ. බොහොම කැමැත්තෙන් ඇමරිකන් ඩොලර් බාර ගන්නවා. ඒ නිසා, ඇමරිකාව ඇතුලේ ශ්‍රී ලංකා රුපියල් හිඟයක් ඇති වෙන්න ඉඩක් නැහැ.

ශ්‍රී ලංකා රුපියල් හා අදාළව තත්ත්වය ඔය වගේ වුනත් යුරෝ, යෙන් වගේ ව්‍යවහාර මුදල් හා අදාළව තත්ත්වය වෙනස්. ඒ වගේ විදේශ ව්‍යවහාර මුදල් සඳහා සැලකිය යුතු ඉල්ලුමක් ඇමරිකාව ඇතුළේ තිබෙනවා. එම ඉල්ලුමට සරිලන සැපයුමක් නැත්නම් එය ඇමරිකාවට ප්‍රශ්නයක් වෙනවා. යම් විදිහකින් මේ වගේ ප්‍රශ්නයක් ඇති වුනොත් එය ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවට සරලව විසඳිය හැකි ප්‍රශ්නයක් නෙමෙයි.

ඇත්තටම ඇමරිකාවට මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙලාම නැහැ. නමුත්, ඔය වගේ ප්‍රශ්නයක් ඇති වුනොත් හදිසියකට පවුම්, යුරෝ, යෙන් වගේ විදේශ ව්‍යවහාර මුදල් ලබා ගත හැකි පහසුකමක් තිබීම නරක දෙයක් නෙමෙයිනේ. සාමාන්‍යයෙන් ඇමරිකාව වගේ රටවල් ප්‍රශ්න විසඳන්න ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනකල්ම ඉන්නේ නැහැනේ. ඔය ගොඩක් අය කතා කරන ඇක්සා සෝෆා වගේ ගිවිසුම් අත්සන් කරන්නේත් අනාගතයේ යම් අවස්ථාවක ඇති විය හැකි තත්ත්වයන් ගැන සලකලා.

ඇමරිකන් ඩොලර් හැර ලෝකයේ ප්‍රධාන ව්‍යවහාර මුදල් නිකුත් කරන මහ බැංකු එක්ක ඇමරිකාව කළින්ම ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඒ අනුව, ඇමරිකාවට ඕනෑම වෙලාවක කැනේඩියන් ඩොලර්, බ්‍රිතාන්‍ය පවුම්, ජපන් යෙන්, ස්විස් ෆ්‍රෑන්ක් හා යුරෝ අවශ්‍ය පමණ ණයට ලබා ගන්න පුළුවන්. අදාළ මහ බැංකු වලටත් ඕනෑම වෙලාවක අවශ්‍ය පමණ ඇමරිකන් ඩොලර් ණයට ලබා ගන්න පුළුවන්. ණය ආපසු පියවන විට කලින් එකඟ වී තිබෙන නිශ්චිත පොලියක් ගෙවිය යුතුයි. ඉහත එක් එක් රටවල් අතරත් මෙවැනිම ගිවිසුම් තිබෙනවා. උදාහරණයක් විදිහට බ්‍රිතාන්‍යයට (එංගලන්ත බැංකුවට) ඕනෑම වෙලාවක ජපාන බැංකුවෙන් අවශ්‍ය පමණ ජපන් යෙන් ණයට ලබා ගන්න පුළුවන්.

ඇමරිකාවට මේ පහසුකමින් ප්‍රයෝජනයක් ගන්න අවශ්‍ය නොවුනත්, කෝවිඩ් වලින් පසුව පෙර කී රටවල් මේ ගිවිසුම අනුව සැලකිය යුතු ලෙස ඇමරිකන් ඩොලර් ලබා ගනිමින් සිටිනවා. පසුගිය මාර්තු 19 වෙනිදා සිට ඇමරිකාව විසින් මේ පහසුකම ලෝකයේ තවත් රටවල් ගණනාවකට ලබා දෙනවා. හැබැයි පෙර කී රටවල් පහට වගේ අසීමිත ලෙස නෙමෙයි. උපරිම සීමාවකට යටත්ව.

මේ අනුව, ඕස්ට්‍රේලියාවට, බ්‍රසීලයට, දකුණු කොරියාවට, මෙක්සිකෝවට, සිංගප්පූරුවට හා ස්වීඩනයට ඇමරිකන් ඩොලර් බිලියන 60ක උපරිම සීමාවක් දක්වාත්, ඩෙන්මාර්කය, නෝර්වේ හා නවසීලන්තය යන රටවලට ඇමරිකන් ඩොලර් බිලියන 30ක උපරිම සීමාවක් දක්වාත් ඇමරිකන් ඩොලර් ණය ලබා ගත හැකියි. ඒ වෙනුවෙන්, කිසිවක් ඇප සේ තියන්න අවශ්‍ය නැහැ. දැනට මේ පහසුකම ලබා දී තිබෙන්නේ මාස හයක කාලයක් සඳහායි.

එහෙම කිවුවත් තාක්ෂනික ලෙස මෙහිදී වෙන්නේ ඇප ලෙස තමන්ගේ රටේ මුදල් තියන එක වගේ දෙයක්. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියානු ඩොලර් ඇපයට තියලා ඇමරිකන් ඩොලර් ගන්නවා වගේ වැඩක්. ඕස්ට්‍රේලියානු සංචිත බැංකුවට ඕනෑ තරම් ඕස්ට්‍රේලියානු ඩොලර් මුද්‍රණය කරන්න පුළුවන් නිසා මේක ඕස්ට්‍රේලියාවට බරක් දැනෙන දෙයක් නෙමෙයිනේ. ඒ නිසා ඇපයක් නැහැ වගේ තමයි. අනෙක් රටවල් හා අදාළවත් එය එහෙමයි.

මේ ආකාරයට ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් මේ වන විට ඉහත මුදල් ඒකක 14 භාවිතා කරන රටවල මහ බැංකු වලට සීමාවකට යටත්ව හෝ අසීමිත ලෙස ඇමරිකන් ඩොලර් ණය ලබා ගැනීමේ පහසුකම ලබා දී තිබෙනවා. ඒ සඳහා ඇප ලෙස කිසිවක් තැන්පත් කළ යුතු නැහැ. යුරෝ මුදල් ඒකකය භාවිතා කරන රටවල් ගණන 19ක් බව සැලකූ විට මේ වැඩෙන් ලෝකයේ රටවල් 32ක ඇමරිකන් ඩොලර් ද්‍රවශීලතා ප්‍රශ්නය තාවකාලිකව විසඳෙනවා.

කෙසේ වුවත්, මේ වෙලාවේ ඇමරිකන් ඩොලර් අවශ්‍ය වී තිබෙන්නේ ඔය රටවල් වලට පමණක් නෙමෙයිනේ. ලංකාව වගේ වෙනත් රටවල් වලටත් ඇමරිකන් ඩොලර් අවශ්‍යයි. පසුගිය මාර්තු 31 වෙනිදා ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව විසින් ඉහත ලැයිස්තුවේ නැති රටවල මහ බැංකු වලටත් තාවකාලිකව ඇමරිකන් ඩොලර් ණය ලබා ගැනීම සඳහා ක්‍රමයක් ඇති කළා. හැබැයි මේ ඉතිරි රට වලට ඉහත කී රටවල් වලට මෙන් ඇපයක් නැතිව ණය ලබා ගන්න බැහැ.

හේතුව ඉතාම පැහැදිලියිනේ. ශ්‍රී ලංකා රුපියල් වැනි මුදල් ඒකකයක් යුරෝ හෝ යෙන් වැනි ශක්තිමත් මුදල් ඒකකයක් සමඟ සසඳන්න බැහැනේ. ඒ නිසා, ඇමරිකාවට ශ්‍රී ලංකා රුපියල් ඇපයට තියාගෙන ණය දෙන්න බැහැ. ඩොලර් වලින්ම ඇපයක් තියා ගන්න වෙනවා.

මුලටම ගියොත් මේ වෙනසට හේතුව ලංකාවේ ආර්ථිකයේ අවුලක් තමයි. හැබැයි මේ වෙලාවේ සිදු වුනු විශේෂ දෙයක් නෙමෙයි. තවත් විදිහකට කිවුවොත් ලංකාව මේ වෙද්දී ගත් ණය ගෙවාගන්න බැරි තරමට හිර වී ඉන්න බව පැහැදිලි ඇත්තක්. නමුත්, ඇමරිකාව මේ කියන ණය පහසුකම දෙන්න ඇපයක් තියා ගන්නේ ඒ හේතුව නිසා කියා කියන්න බැහැ. ලංකාවේ ආර්ථිකය මීට වඩා තරමක් හොඳ තත්ත්වයේ තිබුණා කියලත් ඔය කතාව වෙනස් වෙන්නේ නැහැ. කලින් කී රටවල් හැර වෙනත් රටවල් එකසිය ගණනකටම ඇමරිකාවෙන් ණය පහසුකමක් ලබා ගන්න වෙන්නේ ඇමරිකන් ඩොලර් වත්කමක් ඇපයට තියලා.

මේ විදිහට ඇපයට තියන්න අවශ්‍ය ඇමරිකන් ඩොලර් වත්කම් මොනවාද?

ලංකාවේ සමස්ත විදේශ බැරකම් ප්‍රමාණය මේ වන විට ඇමරිකන් ඩොලර් බිලියන 58,211ක් බව මම කලින් කියල තියෙනවනේ. ඔය ගණනට අලගු තියන්නවත් මදි වුනත් ලංකාව සතුව ඇමරිකන් ඩොලර් බිලියන 13,277ක වත්කම් තිබෙනවා. එයින් බාගයක් පමණ මහ බැංකුව සතු නිල සංචිත. එයින් 75%ක් පමණම ඇමරිකන් ඩොලර් සංචිත. මේ ඇමරිකන් ඩොලර් සංචිත වලින් සැලකිය යුතු කොටසක් තිබෙන්නේ ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවේ ගිණුමක. ඔය විදිහටම තවත් ලෝකයේ රටවල් විශාල ගණනක මහ බැංකු විසින් ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවේ ගිණුම් පවත්වා ගෙන යනවා.

මේ විදිහට ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව ලෝකයේ මහ බැංකු වල බැංකුකරු සේ කටයුතු කරනවා. බැංකුවක මුදල් තැන්පත් කරන කවුරු වුනත් ඒ වෙනුවෙන් පොලියක් බලාපොරොත්තු වෙනවනේ. සාමාන්‍යයෙන් දිගුකාලීන ආයෝජන සඳහා පොලිය වැඩියි. හරියට බැංකුවක ස්ථිර තැන්පතු සඳහා වැඩි පොලී අනුපාතිකයක් ලැබෙනවා වගේ. නමුත්, ප්‍රශ්නය ස්ථිර තැන්පතුවක් දැම්මට පස්සේ කල් පිරෙනකම් ඉන්න වෙන එකයි. හදිස්සියක් වෙලා කලින් සල්ලි ගත්තොත් පොලිය නැති වෙනවා.

ඔය විදිහටම නොවුනත් ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවේ තිබෙන ලංකාවේ නිල සංචිත පිළිබඳ තත්ත්වයත් ඕකයි. මේ සංචිත වලින් කොටසක් වැඩි ආදායමක් ඉපැයීම සඳහා ඇමරිකාවේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරලයි තියෙන්නේ. ඇත්තටම කියනවානම් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානම ආදායම් මාර්ගය ඔය නිල සංචිත සඳහා ලැබෙන පොලී ආදායමයි. ලංකාවේ රජයට ණය දීලා ලබා ගන්නා පොලී ආදායම කියන්නේ එක්තරා ඉලක්කම් විජ්ජාවක් පමණයි.

දැන් ලංකාව ඩොලර් නැතුව අවුලෙන් ඉන්න බව රහසක් නෙමෙයිනේ. ඔය වගේ වෙලාවක වෙන කරන්නම දෙයක් නැති වුනොත් කරන්න වෙන්නේ පෙර කී දිගුකාලීන ආයෝජන කලින් මුදල් කරන එකයි. ඒ කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඇමරිකන් රාජ්‍ය සුරැකුම්පත් විකුණන එක. දැන් මේ පහසුකම නිසා ඒ වැඩේ කරන්න අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඇමරිකන් රාජ්‍ය සුරැකුම්පත් විකුණන්නේ නැතිව ඒවා ඇපයට තියලා කෙටිකාලීන ණයක් ගන්න පුළුවන්.

මේ ඇමරිකන් රාජ්‍ය සුරැකුම්පත් කොහොමටත් තියෙන්නේ ෆෙඩරල් සංචිත බැංකුවේ ගිණුමකයි. දැන් කරලා තියෙන්නේ ඒ රාජ්‍ය සුරැකුම්පත් වලින් ඇමරිකන් බිලියනයක් ඇපයට තියාගෙන ඒ ප්‍රමාණය දක්වා වන ණය පහසුකමක් ලබා දෙන එකයි. මේ වැඩෙන් ලංකාවට වාසියක් මිසක් කිසිදු පාඩුවක් නැහැ. පහසුකම ලබාගත්තත් ණය ලබා ගන්න අවශ්‍යම නැහැ. ණය ලබා නොගත්තොත් පොලියක් ගෙවන්න අවශ්‍ය නැහැ. ණය ගන්නවානම් පොලිය ගණනය කෙරෙන්නේ දවසින් දවසටයි. ඒ නිසා, හදිසියකට ගත් ණයක් ඉතා ඉක්මණින් පියෙවුවොත් පොලිය ලෙස විශාල මුදලක් ගෙවන්න වෙන්නේ නැහැ. රාජ්‍ය සුරැකුම්පත් වෙනුවෙන් ලැබෙන පොලිය අඩුවක් නැතුව ඒ විදිහටම ලැබෙනවා.

මේ වැඩෙන් ලංකාව ඇතුළු ලෝකයේ අනෙක් රටවලට වාසියක් මිස පාඩුවක් නැති බව පැහැදිලියිනේ. එතකොට ඇමරිකාවට මේ වැඩෙන් තියෙන වාසිය මොකක්ද?

ඇමරිකාව අත ලෙවකන්න මී කඩන්නේ නැති බව ලංකාවේ ගොඩක් අය දන්න දෙයක්නේ. මේ පහසුකම ලබා දෙන්නෙත් ලෝකයේ අනෙක් රටවලට උදවු කිරීමේ අරමුණින් නෙමෙයි. ඇමරිකාවට තිබෙන වාසිය ගැන සලකලා. වැඩෙන් අනෙක් රටවලටත් වාසියක් වෙන එක වෙනම කරුණක්.

ලෝකයේ අනෙක් රටවල ඇමරිකන් ඩොලර් හිඟයක් තියෙන්නේ ඒ රටවල ඇමරිකන් ඩොලර් ඉල්ලුම වැඩි වෙලා නිසානේ. ඒ වැඩි වූ ඉල්ලුමට හරියන්න ඩොලර් සැපයුවේ නැත්නම් මොකද වෙන්නේ? ඩොලරයේ අගය ඉහළ යනවා. එතකොට මොකද වෙන්නේ? ඇමරිකාවෙන් පිටත ඇමරිකන් බඩු මිල අධික වෙනවා. වෙනත් රටවල බඩු ඇමරිකාව ඇතුළේදී මිල අඩු වෙනවා. එහි අවසාන ප්‍රතිඵලය ලෙස ඇමරිකාවේ නිෂ්පාදන වැටෙනවා. මේ විදිහට ඩොලර් ණය පහසුකම් ලබා දෙමින් ඇමරිකාව උත්සාහ කරන්නේ ඒ තත්ත්වය වලක්වා ගන්නයි.

කෙටියෙන් කියනවානම් ඇමරිකාව මේ තරම් දඟලන්නේ ඇමරිකන් ඩොලරය අවප්‍රමාණය කර ගන්නයි. මෙය මම කියන දෙයක් නෙමෙයි. මේ ණය යෝජනා ක්‍රමය ඉදිරිපත් කරමින් ඇමරිකාවේ ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව විසින්ම පෙන්වා දුන් ඇමරිකාවට ලැබෙන වාසියයි. මීට පෙර ලිපියක විස්තර කළ විදිහට චීනය හැම විටම උත්සාහ කරන්නේත් යුවානය අවප්‍රමාණය කර ගන්නයි.

හැබැයි ලංකාවේ ඉලක්කය මොන විදිහකින් හරි රුපියල ශක්තිමත්ව තියා ගන්න එකයි. එහෙම කරන ගමන් ගෙවුම් ශේෂ ප්‍රශ්න එනකොට විසඳගන්න ආනයන සීමා කරනවා. ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයෝ ඇමරිකාව, චීනය වගේ රටවල් වල ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින්ට නොතේරෙන තියරි දන්න පට්ට මීටර්ද?

මෙහෙම කරන්නේ ඇයි කියන එක මම කලින් පැහැදිලි කරලා තියෙනවා. වෙලාව ලැබෙන විදිහට නැවත හමුවෙමු!

(Image: http://www.themorning.lk/cartoon-of-the-day-297/)

Monday, July 20, 2020

සැමට සුරක්ෂිත අහසක්!


සිවිල් ගුවන් සේවා අධිකාරිය

දැක්ම
සැමට සුරක්ෂිත අහසක් සහතික කරමින් දක්ෂ හා විශ්වාසදායක ගුවන් සේවා ආරක්ෂක නියාමකයෙකු වීම.

මෙහෙවර
උපායමාර්ගික සැලසුම්කරණය සහ ඵලදායී නියාමනයකට පහසුකම් සැලසීම සඳහා, ජාත්‍යන්තර ප්‍රමිති, නිර්දේශිත පිළිවෙත් හා ජාතික ව්‍යවස්ථාදායක අවශ්‍යතාවන්ට අනුකූල වන ආරක්ෂිත, කාර්යක්ෂම, නිත්‍ය සහ පරිසර හිතකාමී ජාතික සිවිල් ගුවන් සේවා පද්ධතියක් ක්‍රියාත්මක කිරීම.

අරමුණු

  • ආරක්ෂාව සහ ආරක්ෂක ඉලක්ක සපුරා ගැනීම හෝ ඉක්මවා යාම.
  • නිසි ලෙස සම්පත් ලබා ගැනීම.
  • වෘත්තීයෙකු වීම හා දක්ෂ වීම.
  • පුළුල් විශ්වසනීයත්වයක් සහ පිළිගැනීමක් ලබා ගැනීම සඳහා.
  • එහි ජයග්‍රහණ පවත්වා ගැනීමට හෝ වැඩි දියුණු කිරීමට.
  • සිදුකරන සෑම දෙයකම ඉහළම ඵලදායිතාව ළඟා කර ගැනීම.
  • ජාත්‍යන්තර ප්‍රමිති හා නිර්දේශිත පිළිවෙත් සමඟ ඉහළ මට්ටමක අනුකූලතාවයක් පවත්වා ගැනීම.
  • සිවිල් ගුවන් සේවා සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම සඳහා ශක්තිමත් පහසුකම් සපයන්නෙකු වීම.

මේ දවස් වල ප්‍රමුඛතාවය 


***
වසර පන් දහසකට පෙර ලෝකයේ ප්‍රථම වරට ගුවන් යානාවක් නිපදවා පියාසර කරවූයේ රාවණා රජු විසින් බව ඉදිරි වසර පහ ඇතුළත තහවුරු කරන බව  ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු උප සභාපති ශෂී ධනතුංග විසින් පවසා තිබෙන අතර මේ පුවතට ඉන්දීය මාධ්‍ය තුළ සෑහෙන ප්‍රසිද්ධියක් ලැබී තිබෙනවා.

ලංකාවේ රාවණා පුරාවෘත්තය පිළිබඳව පර්යේෂණ කිරීමේ වැරැද්දක් ඇතැයි මා හිතන්නේ නැහැ. මහින්දාගමනයෙන් හා විජයාගමනයෙන් ඔබ්බට යන ඉතිහාසයක් ලංකාවේ තිබෙන බව ඉතා පැහැදිලි කරුණක්. මේ පිළිබඳව උනන්දුවක් දක්වන අයෙකු විසින් මහාචාර්ය රාජ් සෝමදේවයන් සම්බන්ධ කරගෙන නෙත් එෆ්එම් හරහා විකාශනය කරන වැඩ සටහන් මාලාව පරිශීලනය කළ යුතුයි. එහෙත්, එවැනි පර්යේෂණ සිදු කළ යුත්තේ විෂය ප්‍රවීණයින් විසින් අදාළ සන්දර්භය තුළ නිසි ක්‍රමවේදයන්ට අනුවයි. ඒ වගේම, රටේ සැබෑ ඉතිහාසය සොයා යාමේ අවංක අරමුණින් මිස දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් නෙමෙයි.  

සිවිල් ගුවන් සේවා අධිකාරිය සතුව ලංකාවේ ඉතිහාසය පිළිබඳ මෙවැනි පුළුල් පර්යේෂණයක් කිරීමේ හැකියාවක් තිබේද යන්න සැක සහිතයි. අවශ්‍ය මානව සම්පත් නැතිව, වෙනත් කාර්යයක් සඳහා පිහිටුවා ඇති ආයතනයක් විසින් මෙවැනි කටයුත්තකට අත ගැසීම අනවශ්‍ය මහජන මුදල් නාස්තියක් විය හැකියි. සමහර විට මේ පර්යේෂණය ගුවන් යානා මගින් පුද්ගලයින් පැහැර ගැනීමේ හැකියාව සොයා බැලීම වැනි සාමාන්‍ය ඉතිහාස පර්යේෂකයින්ට කළ නොහැකි සුවිශේෂී එකක්ද දන්නේ නැහැ. 

මුදල් අමාත්‍යාංශය විසින් මෑතකදී නිකුත් කර තිබෙන මධ්‍ය වාර්ෂික මූල්‍ය වාර්තාව අනුව, ශ්‍රී ලංකා එයාර්ලයින්ස්හි 2018 වසරේ ශුද්ධ අලාභය රුපියල් මිලියන 17,214ක්ද, 2019 වසරේ ශුද්ධ අලාභය රුපියල් මිලියන 44,023ක්ද, 2020 පළමු මාස හතරේ අලාභය රුපියල් මිලියන 8,916ක්ද වෙනවා. සමස්තයක් ලෙස රජයට අයිති ව්‍යවසායයන් 52ක 2019 වසරේ ශුද්ධ අලාභය රුපියල් මිලියන 2,424ක් වූ අතර, 2020 පළමු මාස හතරේදී එම ආයතන සියල්ලේ ශුද්ධ අලාභය රුපියල් මිලියන 30,272ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ ආකාරයට රාජ්‍ය ව්‍යවසාය පාඩු ලබන්නට එක් හේතුවක් වන්නේ කළ යුතු දේ නොකර වෙනත් දේවල් කරන්න යාමයි.


Saturday, July 18, 2020

ණයෙන් හුළං ගසා රුපියල උඩ යැවීම


චීන වත්කම් ගැන ලියූ ලිපියෙන් මා ඉදිරිපත් කළේ අලුත් අදහසක් නෙමෙයි. එහි මා ලියා තිබෙන්නේ මේ බ්ලොග් එක පටන් ගත් කාලයේ සිටම දිගින් දිගටම කියන කතාවක්. එහෙත්, මෙවර එම ලිපියට වෙනදා තරම් විරෝධයක් ආවේ නැහැ. මම හිතන්නේ එයට හේතුව චීන සන්දර්භයේ මේ අදහස ඉදිරිපත් කිරීමයි.

මේ කතාවම මීට පෙර යහපාලන ආණ්ඩු කාලයේදී කියද්දී ගොඩක් අය එය තේරුම් ගත්තේ එජාපයට වාසිදායක ප්‍රකාශයක් විදිහටයි. එහෙත් දැන් එජාප සාධකය නොමැති වීම මේ වෙනසට එක් හේතුවක් වෙන්න පුළුවන්. එක පැත්තකින් දැන් එජාප ආණ්ඩුවක් නැහැ. අනෙක් පැත්තෙන් එජාපයට මෙවර මහ මැතිවරණයෙන් බලයට පත් වීමේ විභවයක් නැහැ. ඒ නිසා, ඉතා පැහැදිලිවම දැන් මේ සමීකරණයේ එජාපය නැහැ.

එජාපය නැතත් ලංකාවේ ආර්ථික අර්බුදය අවසන් වී නැහැ. එය වඩා උග්‍ර වී තිබෙනවා පමණයි. ඒ නිසා, කාලයක් තිස්සේ මෙහි ලියූ දේවල් කිසිවක් අවලංගු වී නැහැ.

ඓතිහාසිකව ගත්තොත් ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට කිසිදු ප්‍රබල දේශපාලන මතවාදයක් තිබුණේ නැහැ. එජාපය වගේම ශ්‍රීලනිපයත් කටයුතු කළේ බොහෝ දුරට ජනප්‍රියවාදය හා අවස්ථාවාදය මත පදනම්වයි. දැනටත් එජාපය හෝ එයින් කැඩී ගිය සමගි ජන බලවේගය ලංකාව ඇතුළේ කිසිදු ශක්තිමත් දේශපාලන මතවාදයක් පෝෂණය කරන්නේ නැහැ.

දැනට ලංකාවේ යම් කිසි ජනපදනමක් තිබෙන දේශපාලන මතවාද දෙක ජවිපෙ මාක්ස්වාදය හා රාජපක්ෂලාගේ ජාතිකවාදයයි. ජවිපෙ මාක්ස්වාදය ජවිපෙට වගේම ලංකාවටත් පිටින් වර්ධනය වී ජවිපෙ විසින් තමන්ට අවශ්‍ය ආකාරයට හදාගත් එකක්. රාජපක්ෂලාගේ ජාතිකවාදය ලංකාව ඇතුළේ රාජපක්ෂලාට පරිබාහිරව වර්ධනය වී රාජපක්ෂලා විසින් තමන්ට අවශ්‍ය තරමට අයිති කරගත් එකක්. මේ බ්ලොග් එක කියවන බොහෝ දුරට ස්වාධීනව හිතන විශාල පිරිසක් අතරේ ඉහත කණ්ඩායම් දෙකේ අයත් ඉන්නවා. අප ලියන ලිපි වලින් බොහෝ විට සිත් රිදීම් ඇති කර ගන්නේ එම කණ්ඩායම් දෙකෙන් එකක සිටින අයයි.

ප්‍රතිවිරුද්ධ මතවාද දැරුවත් ඉහත කුලක දෙකේම සිටින සැලකිය යුතු පිරිසකගේ යම් පොදු ලක්ෂණ ටිකක් තිබෙනවා. බටහිර විරෝධය, ඇමරිකන් භීතිකාව, චීන ආදරය, විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් වෙනුවෙන් පෙනී සිටීම, ආර්ථික ආරක්ෂණවාදයක් වෙනුවෙන් පෙනී සිටීම ආදිය ඒ පොදු ලක්ෂණයි. සමහර විට මේ ලක්ෂණ ශ්‍රී ලාංකික සමාජය ඇතුළේ පක්ෂ දේශපාලනයට පිටින් තිබෙන පොදු ලක්ෂණ වෙන්නත් පුළුවන්.

ඇතැම් විට චීන වත්කම් ලිපියට ලොකු ප්‍රතිරෝධයක් නො ආවේ එය ස්ථානගත කර තිබෙන ආකාරය නිසා වෙන්න පුළුවන්. ඇමරිකාව කරන දෙයක්නම් කීයටවත් හරි දෙයක් වෙන්න බැහැ. හැබැයි චීනය කරන දෙයක්නම් එතැන මොකක් හරි තේරුමක් තියෙන්න පුළුවන්!

සමහර විට මෙය ඒ තරම් බරපතල දෙයක් නොවෙන්නත් පුළුවන්. ලිපියේ විවේචකයන් විය හැකි අය මේ වෙලාවේ මහ මැතිවරණය වෙනුවෙන් වැඩ නිසා මෙහි ඇවිත් බ්ලොග් ලිපි කියවන්න වෙලාවක් නැතිව ඇති.

කොහොම වුවත් එක් පාඨකයෙක් විසින් මේ ලිපිය කියැවූ පසු ඇසිය යුතු වැදගත්ම ප්‍රශ්නය අසා තිබෙනවා.

"ඇයි ලංකාව ණය වෙලා හරි රුපියල ශක්තිමත් කරන්නෙ? අපිත් චීනේ වගේ බාල්දු කළානම් හුඟක් ප්‍රශ්න විසඳෙනවනේ!"

මේ ප්‍රශ්නයට කෙටි පිළිතුරක් ලෙස මා සඳහන් කළ පරිදි මේ ප්‍රශ්නය ඇතුළේ ලංකාවේ සමස්ත ආර්ථික-දේශපාලන අර්බුදයම කැටි වී තිබෙනවා. අවාසනාවට මේ කරුණ කවරෙකු විසින්වත් පුළුල් ලෙස විග්‍රහ කර නැහැ. ඒ නිසා, මේ කියන කරුණේ බැරෑරුම්කම ගැන ලංකාවේ බොහෝ දෙනෙකුට හරි අදහසක් නැහැ. එවැනි හරි අදහසක් එන කොට බොහෝ විට පරක්කු වැඩි වී තියෙයි.

රුපියල ශක්තිමත් කිරීම මම කියන තරම්ම නරකනම්, එය ඉතා පැහැදිලිනම්, ලංකාවේ ආණ්ඩු විසින් දිගින් දිගටම ඒ වැඩේ කරන්නේ ඇයි? මම මේ කරුණ නිශ්චිත ලෙස පැහැදිලි කළේ නැත්නම් මගේ පෙර තර්කය විශ්වාසනීය එකක් කියා ගොඩක් අය තේරුම් ගන්න එකක් නැහැ. විශාල පිරිසක් එකතු වෙලා කාලයක් තිස්සේ කරන දෙයක් මේ බ්ලොග් පඩංගුවක ලියා තිබෙන දෙයක් නිසා වැරදියි කියා අහක දමන්න පුළුවන්ද?

මේ කරුණ තේරුම් ගන්න ලංකාවේ ආණ්ඩු ඇතුළු ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් දිගින් දිගටම  ණය වෙලා හරි රුපියල ශක්තිමත්ව තියා ගන්න දඟලන්නේ ඇයි කියන කරුණ පැහැදිලි කරන්න වෙනවා. ඉතා කෙටි පිළිතුරක් දෙනවානම් ලංකාවේ පෙනෙන්නට තිබෙන සමස්ත ආර්ථික සෞභාග්‍යයම රඳා පවතින්නේ මේ විදිහට ණය ගනිමින් රුපියල ශක්තිමත්ව තබා ගැනීම මතයි.

දැන් අපි තරමක් දිගු පැහැදිලි කිරීමක් කරා යමු.

රටක ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ ප්‍රධාන ඉලක්ක මොනවාද?

- දළ ජාතික නිෂ්පාදිතය ඉහළ දමා ගැනීම
- විරැකියා අනුපාතිකය පහළ දමා ගැනීම
- උද්ධමනය පහළ දමා ගැනීම

ප්‍රධානම කරුණු තුන මේ තුනයි. අනෙක් හැම දෙයක්ම ද්වීතියිකයි. ඔය ඉලක්ක තුන සැපිරී ඇත්නම් අවශේෂ දේවල් බොහෝ විට ඉබේටම වගේ හරියනවා. පැහැදිලි නැති කරුණක් ඇත්නම් ප්‍රශ්න ඇහුවොත් පැහැදිලි කළ හැකියි.

විදේශ ණය ගනිමින් රුපියල ශක්තිමත් කිරීම මේ ඉලක්ක අත්පත් කර ගැනීමට උදවු වෙන්නේ කොහොමද?

අපි දළ ජාතික නිෂ්පාදිතය ගනිමු. මෙයින් අදහස් වෙන්නේ සැබෑ, භෞතික වර්ධනයක්. පසුගිය අවුරුද්දේ මාළු ටොන් 100ක් ඇල්ලුවානම්, මේ අවුරුද්දේ මාළු ටොන් 105ක් ඇල්ලුවානම්, එය 5%ක වර්ධනයක්. මේ වර්ධනය ලැබෙන්නේ කොහොමද?

- ධීවරයින් ගණන වැඩි වීමෙන් (ශ්‍රමය)
- ධීවර බෝට්ටු ඇතුළු ධීවර ආම්පන්න ප්‍රමාණය වැඩි වීමෙන් (ප්‍රාග්ධනය)
- එක් ධීවරයෙකු විසින් අල්ලන මාළු ප්‍රමාණය වැඩි වීමෙන් (තාක්ෂනය/ ඵලදායීතාවය)

මොන විදිහකින් හරි එක වර ප්‍රාග්ධනය සැලකිය යුතු ලෙස ඉහළ ගියොත් ධීවර බෝට්ටු ඇතුළු ධීවර ආම්පන්න ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන්. එවිට වැඩි ධීවරයින් පිරිසකට මුහුදු යන්න පුළුවන්. ඒ වගේම පරණ බෝට්ටු හා උපාංග වෙනුවට අලුත් තාක්ෂනය සහිත උපාංග ආවොත් එක් ධීවරයෙකු විසින් අල්ලන මාළු ප්‍රමාණයත් වැඩි වෙනවා. ප්‍රශ්නය වන්නේ ඒ විදිහට එක වර ප්‍රාග්ධනය සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි ආකාරයක් තිබෙනවද?

අපි හිතමු සමස්තයක් ලෙස ධීවර කර්මාන්තයේ යෙදෙන අය විසින් ණය ලෙස කර්මාන්තයට පිටතින් ප්‍රාග්ධනය ලබා ගන්නවා කියලා. ඒ ණය ලබා ගන්නේ රට ඇතුළෙන්මයි කියා සිතමු. දැන් ධීවර අංශයේ නිෂ්පාදිතය ඉහළ යනවා. නමුත්, මේ විදිහට ධීවර අංශයට ප්‍රාග්ධනය එනකොට වෙන කවර හෝ අංශයකට ප්‍රාග්ධනය යන එක අඩු වෙන්නත් ඕනෑනේ. ඒ නිසා, සමස්තයක් විදිහට මේ වැඩෙන් ලොකු මැජික් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. දළ ජාතික නිෂ්පාදිතය විශාල ලෙස ඉහළ යන්නේ නැහැ. එක අංශයක නිෂ්පාදිතය ඉහළ යද්දී වෙනත් අංශයක නිෂ්පාදිතය පහළ යනවා.

නමුත්, විදේශ ණය ලබා ගත්තහම තත්ත්වය වෙනස්. දැන් ලංකාවේ ධීවර අංශයට ප්‍රාග්ධනය ගලා ගෙන එන්නේ ලංකාවේම වෙනත් අංශයකින් නෙමෙයි. ඒ නිසා, ධීවර අංශයේ නිෂ්පාදිතය ඉහළ යද්දී වෙන අංශයක නිෂ්පාදිතය අඩු වෙන්නේ නැහැ. පළමු වටයේදී වැඩේ ගොඩ. ධීවර අංශයේ නිෂ්පාදිතය ඉහළ යනවා. විදේශ ණය වෙනුවට සෘජු විදේශ ආයෝජනයක් හෝ කළඹ ආයෝජනයක් (portfolio investment) ආවත් ප්‍රශ්නයක් නැහැ. ඔය වැඩේම වෙනවා.

හැබැයි පොඩි අවුලක් තිබෙනවා. දේශීය ණය (හෝ වෙනත් ආකාර වල ප්‍රාග්ධනය) අරගෙන ධීවර කර්මාන්තය වර්ධනය කළොත් ඒ ලබාගත් ප්‍රාග්ධනය වෙනුවෙන් ගෙවන ප්‍රතිලාභත් රට ඇතුළේම ඉතිරි වෙනවා. විදේශ ප්‍රාග්ධනය ලබාගත් විට ඒ ප්‍රතිලාභ රටෙන් පිටට යනවා. දැන් සංඛ්‍යාලේඛණ බලපුවහම ලංකාවේ ආර්ථික වර්ධනය වැඩි වෙලා. විරැකියාව අඩු වෙලා. හැබැයි ඒ විදිහට ආර්ථික වර්ධනය වැඩි වීමේ හා විරැකියාව අඩු වීමේ වාසිය ලබාගෙන තියෙන්නේ රටෙන් පිටත සිටින කෙනෙක්.

දැන් ඊළඟ වටයේදී අවුලක් වෙනවා. ධීවර කර්මාන්තය ඇතුළේ කලින් තිබුණු තරමටවත් ප්‍රාග්ධනය නැහැ. කර්මාන්තය කඩා වැටෙනවා. හැබැයි ඔය වැඩේ වෙන්නේ ප්‍රාග්ධනය ලබා දුන් විදේශිකයා තමන්ගේ ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ සියල්ල අරන් ගියොත්. එහෙම නොකර එම ප්‍රතිලාභ නැවත රට ඇතුළේම ආයෝජනය කළොත් අවුලක් නැහැ. විදේශ ණය හා අදාළව ගත්තොත් පසුගිය වසරේ ලබාගත් විදේශ ණය හා ඒ විදේශ ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලියට වඩා වැඩි මුදලක් මේ අවුරුද්දේ විදේශ ණය ලෙස නැවත ලබා ගන්නා තුරු ආර්ථික වර්ධනය පවත්වා ගන්න පුළුවන්. ණය ගැනීම අඩු කළ ගමන්ම ආර්ථික වර්ධනය නැවතෙනවා. ණය නොගෙන හිටියොත් ආර්ථිකය ක්ෂණිකව කඩා වැටෙනවා.

මෙහිදී සාකච්ඡා කළේ විදේශ ණය ගැනීම පිළිබඳවයි. විදේශ ණය රාජ්‍ය ණයම විය යුතු නැහැ. පෞද්ගලික අංශය විසින් සෘජුව ලබා ගන්නා ණය වෙන්නත් පුළුවන්.

දැන් අපි රාජ්‍ය ණය කියන කරුණ සාකච්ඡාවට ගනිමු. සරල කරුණක් විදිහට ගත්තොත් රජය විශාල කිරීමෙන්, එහෙමත් නැත්නම් වැඩි වැඩියෙන් රාජ්‍ය සේවකයින් බඳවා ගැනීමෙන්, රටේ විරැකියා අනුපාතය අඩු කරන්න පුළුවන්. වෙන කිසිදු හානියක් නැත්නම්, විරැකියා අනුපාතය අඩුවීම හොඳ බව ඉතාම පැහැදිලියිනේ.

අලුතින් බඳවා ගන්නා රාජ්‍ය සේවකයින්ට රජයෙන් වැටුප් හිමි වෙනවා. ඒ කියන්නේ රටේ සමස්ත ආදායම ඉහළ යනවා. හැබැයි අනික් පැත්තට රජය විසින් මේ වියදම් බදු ලෙස අය කර ගත යුතුයි. ඒ විදිහට අය කර ගන්න වෙන්නේ රටේ වෙනත් කවුරු හෝ ඉපැයූ ආදායමක්. ඒ කියන්නේ ඇත්තටම රටේ සමස්ත ආදායම ඉහළ යන්නේ නැහැ. එහෙම වෙන්නනම් රජය මේ අලුත් සේවකයින්ට වැටුප් ගෙවිය යුත්තේ බදු ඉහළ නොදමමින්. ඒ කියන්නේ අයවැය හිඟයක් පවත්වා ගනිමින්.

දැන් රජයේ අයවැය හිඟය පියවීම පිළිබඳ ප්‍රශ්නයක් මතු වෙනවා. එක විසඳුමක් වන්නේ දේශීය ණය ගැනීම. හැබැයි එවිට රටේ ජාතික ආදායම සමස්තයක් ලෙස ඉහළ යන්නේ නැහැ. එක් කෙනෙක්ගේ ආදායමෙන් කොටසක් අරගෙන වෙන කෙනෙකුට දෙන එක පමණයි. ඒ නිසා, ඒ වැඩෙන් ආර්ථිකය පුම්බන්න බැහැ. ඉතිරි ක්‍රම දෙක විදේශ ණය ගැනීම හා මහ බැංකුවෙන් ණය ගැනීම හෙවත් සල්ලි අච්චු ගැසීමයි. මේ කරුණු දෙකත් එකිනෙකට සම්බන්ධයි.

අපි දන්නවා සල්ලි අච්චු ගැසීම එහෙමත් නැත්නම් මහ බැංකුවෙන් ණය ගැනීම උද්ධමනයට හේතු වන බව. මේ කරුණ මා වරින් වර පැහැදිලි කර තිබුණත් මේ ලිපියේ පැහැදිලි කර නැති නිසා පසුව නැවත විස්තර කරන්නම්. දැනට අපි මේ කරුණ එළෙස පිළිගනිමු.

රජය විසින් විදේශ ණය අරගෙන ඒ විදේශ ව්‍යවහාර මුදල් මහ බැංකුවට දී මහ බැංකුවෙන් රුපියල් අරගෙන වියදම් කළා කියා හිතමු. එහෙම කළත් අන්තිමට වෙන්නේ රටේ මුදල් සැපයුම ඉහළ යාමයි. ඒ කියන්නේ අවසාන වශයෙන් උද්ධමනයට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා, විදේශ ණය ලෙස ලබා ගන්නා ඩොලර් සියල්ල මහ බැංකුවේ සංචිත ලෙස තබා ගැනීමත් රටේ උද්ධමනය පාලනය කර ගැනීමත් කියන දෙකම එකවර කිරීම සෛද්ධාන්තිකවම කරන්න බැහැ. විදේශ ණය ගන්නා අතරම උද්ධමනයත් පාලනය කරන්නනම් අනිවාර්යයෙන්ම ඒ විදේශ ණය වැය කර අපනයන ආදායම් ඉක්මවා භාණ්ඩ ආනයනය කරන්න වෙනවා. පළමුව වෙළඳ ශේෂ හිඟයත්, දෙවනුව ජංගම ගිණුම් ශේෂයේ හිඟයත් පුළුල් වෙන්න ඉඩ අරින්නම වෙනවා.

දැන් අපි උද්ධමනය කියන කරුණට එමු. ඉතාම සරල උදාහරණයක් ගනිමු. ලංකාවේ එකම නිෂ්පාදිතය පොල් පමණයි. වසරකට ලංකාවේ පොල් ගෙඩි 100ක් නිපදවනවා. රටේ මුදල් සැපයුම රුපියල් 10,000යි. අපේ පහසුව සඳහා රුපියලක් වසරකදී ගනුදෙනු සඳහා යොදා ගන්නේ වරක් පමණයි කියා හිතමු. දැන් පොල්ගෙඩියක මිල රුපියල් 100ක් ලෙස තීරණය වෙනවා. පොල් නිෂ්පාදිතය ගෙඩි 125ක් වී මුදල් සැපයුම වෙනස් වුනේ නැත්නම් පොල් ගෙඩියක් රුපියල් 80 දක්වා පහළ වැටෙනවා. පොල් නිෂ්පාදිතය ගෙඩි 80ක් දක්වා අඩු වී වී මුදල් සැපයුම වෙනස් වුනේ නැත්නම් පොල් ගෙඩියක් රුපියල් 125 දක්වා ඉහළ යනවා. පොල් නිෂ්පාදිතය 100 ලෙසම තිබියදී මහ බැංකුව මුදල් සැපයුම රුපියල් 12,000 දක්වා වැඩි කළොත් පොල් ගෙඩියක මිල රුපියල් 120 දක්වා ඉහළ යනවා.

අපි හිතමු රජය දේශීය ණය ලෙස රුපියල් 2000ක් ලබාගෙන රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා. එහෙම නැත්නම් කිසියම් සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් යොදවනවා. මේ වැඩෙන් රටේ මුදල් සැපයුම වැඩි වෙන්නේ නැහැ. රටේ මුදල් සැපයුම තිබුණේ රුපියල් 10,000 ලෙසනම් ණය ලෙස ලබා ගන්නේ එම මුදලින් රුපියල් 2000ක්. එය නැවත ආර්ථිකයට එකතු වෙනවා. ඒ නිසා මිල මට්ටමේ වෙනසක් වෙන්නේ නැහැ.

මේ වැඩෙන් රාජ්‍ය අංශයේ රැකියා ප්‍රමාණය ඉහළ යනවා. ඒ නිසා දළ දේශීය නිෂ්පාදිතයට යම් ධනාත්මක බලපෑමක් ඇති වෙනවා. නමුත්, ඒ එක්කම ධීවර කර්මාන්තය වගේ කිසියම් අංශයකට ලැබෙන්න තිබුණු ප්‍රාග්ධන ප්‍රවාහ අඩු වෙනවා. මොකද රජය විසින් අර රුපියල් 2000 එකතු කර ගත්තේ නැත්නම් ඒ මුදල වෙනත් කවර හෝ අංශයක ආයෝජනය වෙනවා. දැන් එය වෙන්නේ නැහැ. ඒ නිසා, රාජ්‍ය අංශයෙන් පිටත නිෂ්පාදිතය අඩු වෙනවා. විරැකියාව ඉහළ යනවා. අන්තිමට රටට ලැබුණු සමස්ත වාසියක් නැහැ.

මේ රුපියල් 2000 ණය ලෙස ගත්තේ මහ බැංකුවෙන්නම් ඉහත කී පරිදි දළ දේශීය නිෂ්පාදිතයට හා විරැකියා අනුපාතිකයට සිදු වන සාධනීය බලපෑම නිශේධනය වන්නේ නැහැ. නමුත්, මෙය උද්ධමනයට හේතු වෙනවා. කලින් රුපියල් 100ක් වූ පොල් ගෙඩිය රුපියල් 120ක් වෙනවා. ඒ කියන්නේ යම් පුද්ගලයෙකුට පරිභෝජනය කළ හැකිව තිබුණු පොල් ප්‍රමාණය 1/6කින් අඩු වෙනවා. වෙනත් විදිහකින් කිවුවොත් රාජ්‍ය අංශයෙන් පිටත සිටි අය පරිභෝජනය කළ පොල් ගෙඩි 6කින් එකක් රාජ්‍ය අංශය ඇතුළේ ඉන්න අය විසින් පරිභෝජනය කරන්න පටන් ගන්නවා. මෙයත් බද්දක් වගේමයි. බද්දක් පෙනෙන්න නැති කම පමණයි වෙනස. ඒ නිසා සමස්තයක් ලෙස රටේ මහා ලොකු වෙනසක් වෙන්නේ නැහැ.

දැන් අපි හිතමු රජය ඩොලර් 10ක ණයක් ගත්තා කියලා. ඊට පස්සේ මම යෝජනා කරන විදිහට මේ ඩොලර් 10 මහ බැංකුවට දී රුපියල් ලබා ගන්නවා. මහ බැංකුව විසින් ඩොලරයට රුපියල් 200 බැගින් රජයට ගෙවනවා. රජය අමතර රුපියල් 2000ක් වියදම් කරනවා. මහ බැංකුව විසින් මුදල් සැපයුමෙන් සමාන්තරව රුපියල් 2000ක් ආපසු ලබා ගත්තේ නැත්නම් මේ වැඩෙන් වෙන්නේත් උද්ධමනය ඉහළ යන එකයි. කලින් ක්‍රමයේදී වෙන දෙයමයි.

දැන් අපි මේ වගේ දෙයක් හිතමු. රජය විසින් ඩොලර් 20ක විදේශ ණයක් ගන්නවා. එයින් ඩොලර් 10ක් මහ බැංකුවට දී රුපියල් 2000ක් ලබා ගන්නවා. ඉතිරි ඩොලර් 10 වැය කර පොල් ගෙඩි 20ක් ආනයනය කර සහනාධාරයක් ලෙස බෙදා හරිනවා. ඒ එක්කම අර අමතර රුපියල් 2000 යොදවා රාජ්‍ය සේවය පුළුල් කරනවා.

මෙය සෘජුව නැතිව වක්‍ර ආකාරයකින් වුවත් සිදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ රජය විසින් ඩොලර් 20ම මහ බැංකුවට දී රුපියල් 4000ක් ලබාගෙන එම මුදල වියදම් කරනවා. මුදල් සැපයුම රුපියල් 4000කින් වැඩි වෙනවා. කවුරු හෝ කෙනෙක් එයින් රුපියල් 2000ක් නැවත මහ බැංකුවට දී ඩොලර් 10ක් ලබාගෙන එයින් පොල් ආනයනය කරනවා. අවසාන ප්‍රතිඵලය කලින් එකමයි. මුදල් සැපයුම අවසානයේදී රුපියල් 2000කින් වැඩි වෙනවා. නිල සංචිත ඩොලර් 10කින් වැඩි වෙනවා.

මේ වැඩෙන් විරැකියාව අඩු වෙනවා. ආර්ථික වර්ධනය වැඩි වෙනවා. එකම අවුල උද්ධමනය ඉහළ ගියොත් මේ වාසි නිශේධනය වෙන එකයි.

දැන් මුදල් සැපයුම රුපියල් 12,000ක් වෙලා. රටේ පොල් නිෂ්පාදිතය ඉහළ ගිහින් නැහැ. නමුත්, ආනයනය කළ පොල් ගෙඩි 20ත් සමඟ රටේ පොල් සැපයුම 120ක් වෙලා. මුදල් සැපයුම 20%කින් ඉහළ යද්දී පොල් ගෙඩි ගණනත් 20%කින් ඉහළ ගිහින්. ඒ නිසා උද්ධමනයක් නැහැ. දැන් අවසාන ප්‍රතිඵලය කුමක්ද?

- ආර්ථිකය වර්ධනය වෙලා. ඒක පුද්ගල ආදායම වැඩි වෙලා.
- විරැකියා අනුපාතය අඩු වෙලා.
- උද්ධමනය පාලනය වෙලා.
- විදේශ සංචිතත් ඉහළ ගිහින්.

අපි තවත් අමතර කරුණු ටිකක් දෙසත් බලමු. රජය විසින් වෙළඳපොළට එකතු කරන අමතර ඩොලර් 10 නිසා ඩොලර් ඉල්ලුමට සාපේක්ෂව ඩොලර් සැපයුම ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් විදිහට රුපියල ශක්තිමත් වෙනවා. ඒ කියන්නේ රුපියල් 200ට වූ ඩොලරය රුපියල් 180ක් වෙනවා වගේ දෙයක් වෙන්න පුළුවන්.

දැන් මේ වැඩේ වුනේම විදේශ ණය අරගෙන වියදම් කිරීම නිසානේ. ඒ කියන්නේ විදේශ ණය ඩොලර් වලින් බැලුවොත් අනිවාර්යයෙන්ම ඉහළ ගිහින්. අපි හිතමු කලින් ඩොලර් 200ක විදේශ ණය තිබුණා කියලා. දැන් ඩොලර් 220ක විදේශ ණය තිබෙනවා. නමුත්, රුපියල් වලින් බැලුවොත් කොහොමද තත්ත්වය. කලින් විදේශ ණය ප්‍රමාණය 200x200 = රුපියල් 40,000යි. දැන් 220x180 = රුපියල් 39,600යි. කොහොමද ටිකිරි මොළේ? අන්තිමට ණයත් අඩු වෙලා.

රාජපක්ෂ රෙජීමයේ ආර්ථික කළමණාකරණය හරහා ළඟා කරගත් සෞභාග්‍යය ඔය වගේ සංකීර්ණ දෙයක්. බැලූ බැල්මටම පෙනෙන පරිදි සංඛ්‍යාලේඛණ හැම එකක්ම හොඳයි. ආර්ථික විද්‍යාව ගැන දැනුමක් හා පුහුණුවක් තිබෙන ස්වාධීන විශ්ලේෂකයින් ගොඩක් අයට මෙහි අවුලක් තිබෙන බව පේනවා. නමුත්, එය සාමාන්‍ය පුද්ගලයෙකුට තේරෙන විදිහට  පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ. කොහොමටත් එවැනි ස්වාධීන විශ්ලේෂකයින් ලංකාවේ ඉන්නවානම් ඉන්නේ ඉතාම අඩුවෙන්.

අනෙක් පැත්තෙන් රාජපක්ෂ රෙජීමය විසින් කළේ කාලයක් තිස්සේ සිදුවෙමින් තිබුණු ක්‍රියාවලියක් භයානක අන්තයකට තල්ලු කිරීම පමණයි. මේ ආර්ථික ආකෘතිය රාජපක්ෂලාගේම නිර්මාණයක් නෙමෙයි. නිදහසේ සිටම ක්‍රමිකව වර්ධනය වූ තත්ත්වයක ප්‍රතිඵලයක්. එක පැත්තකින් මේ සැලසුමේ නිර්මාණකරු ජේආර් කියා කියන්න පුළුවන්. එය ඔහු හැත්තෑ හතේදී පටන්ගත් ව්‍යාපෘතියක් නෙමෙයි. හතළිස් හතේදී පටන්ගත් ව්‍යාපෘතියක්.

මේ සියල්ල විස්තර කිරීමෙන් පසුවත් කියවන අයට මෙහි තිබෙන අවුල නොතේරෙන්න පුළුවන්. මේ ආර්ථික සැලසුමේ ප්‍රතිඵල මොනවාද?

- ආර්ථිකය වර්ධනය වෙලා. ඒක පුද්ගල ආදායම වැඩි වෙලා.
- විරැකියා අනුපාතය අඩු වෙලා.
- උද්ධමනය පාලනය වෙලා.
- විදේශ සංචිතත් ඉහළ ගිහින්.
- රුපියල ශක්තිමත් වෙලා.
- දදේනි අනුපාතිකයක් ලෙස රාජ්‍ය ණය පහළ ගිහින්.

ඔය වගේ තත්ත්වයක් පේන්න තියෙනවානම්, ඉතිං හත් දෙයියනේ මොකක්ද මේකේ තියෙන අවුල. හැම දේම මාර සිරාවට වෙලානේ.

කියවන අය අතර ඉංජිනේරු මිතුරන් ගොඩක් ඉන්නවනේ. අපි හිතමු අපිට තට්ටු පහක ගොඩනැගිල්ලක් හදන්න අවශ්‍යයි කියලා. අපි මුලින්ම ඔතැන පස් වල තත්ත්වය පරීක්ෂා කරලා අවශ්‍ය පමණ ශක්තිමත් පාදමක් දමනවානේ. දැන් අපි ඕකේ හතරවන තට්ටුවේ ස්ලැබ් එක දමද්දී ඔතැනට රාජ්‍ය බලධාරියෙක් එනවා. ඇවිත් නියම කරනවා ගොඩනැගිල්ල තට්ටු හයකට ගහන්න කියලා. නමුත්, පාදම සැලසුම් කරලා තියෙන්නේ තට්ටු පහක ගොඩනැගිල්ලකට. කරන්නම දෙයක් නැහැ. අන්තිමට වැඩේ කරනවා. දැන් තට්ටු හයයි.

ඔය ගොඩනැගිල්ල කඩා වැටෙනවද? ගොඩක් වෙලාවට කඩා වැටෙන්නේ නැහැ. මොකද තට්ටු පහකට සැලසුම් කළත් බොහෝ විට තට්ටු හයක් ගහන්න තරමට වුනත් පාදම ශක්තිමත්. සැලසුම හදලා තියෙන්නේ සේෆ්ටි ෆැක්ටර්ස් තියලා. දැන් මේ හය වන තට්ටුව කාපට් කරලා, ඒසී කරලා මාර ලස්සනට තිබෙනවා. අර රාජ්‍ය බලධාරියාට පුළුවන් පොර ටෝක් දෙන්න තමන්ගේ "අවුට් ඔෆ් ද බොක්ස්" ප්‍රවේශය ගැන. ඊට පස්සේ ඔය වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන්. හයට උඩින් හත් වෙනි තට්ටුවකුත් ගහනවා. ඒත් ගොඩනැගිල්ල කඩා වැටිලා නැහැ. නමුත්, එහි ස්ට්‍රක්චර් එක දවසින් දවස දුර්වල වෙනවා. එය පිටතට පේන්නේ නැහැ. ගොඩනැගිල්ලේ ඉන්න විට බයක් දැනෙන්නේ අදාළ ඉංජිනේරුමය දැනුම තිබෙන අයට පමණයි. අනෙක් අයට කිසිම අවුලක් නැහැ.

ඔය ගොඩනැගිල්ල සමහර විට කාලයක් කඩා නොවැටී තියෙන්න පුළුවන්. නමුත්, කාලයත් එක්ක එය කඩා වැටීමේ අවදානම ඉහළ යනවා. සුළි සුළඟක් වගේ ආපු වෙලාවක ඔය ගොඩනැගිල්ලේ ඉන්න එක අන්තිම භයානකයි. ලංකාවේ ආර්ථිකය ගත්තොත් කෝවිඩ් කියන්නේ ඒ වගේ සුළි සුළඟක්.

මේ ගොඩනැගිල්ල උඩට උස්සන්න අවශ්‍යනම් එය මුළුමනින්ම කඩා ඉවත් කරලා පාදම ශක්තිමත් කරන්න ඕනෑ. නමුත්, ඒ වැඩේ ජනප්‍රිය වැඩක් නෙමෙයි. ගොඩනැගිල්ල ඇතුළේ සැපට ඉන්න පුළුවන්. එය කඩා අළුතින් හදන්න මහන්සි වෙන්න ඕනෑ.

ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට දායක වන ප්‍රධාන කණ්ඩායම් තුනක් ඉන්නවා. පළමුව දේශපාලන අධිකාරිය එහෙමත් නැත්නම් බලයේ සිටින ආණ්ඩුව. දෙවනුව මහා භාණ්ඩාගාරයේ හා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්. තෙවනුව මහ බැංකුව. දේශපාලන අධිකාරිය ගත්තොත්, හැම විටම වාගේ ආණ්ඩුවකට කර ගහන්න වෙන්නේ පරණ පවු වලට. උදාහරණයක් විදිහට ගෝඨාභය රාජපක්ෂට විසඳන්න වී තිබෙන්නේ ඊට පෙර ආණ්ඩු විසින් ඇති කළ ප්‍රශ්නයක්. යහපාලන ආණ්ඩුව හෝ ඊට පෙර රාජපක්ෂ රෙජීමය ගත්තත් එහෙමයි. ප්‍රශ්නය විසඳනවා කියා කියන්නේ ගොඩනැගිල්ල කඩා පාදම ශක්තිමත් කර අළුතින් හදන එක. එය දේශපාලනිකව වාසිදායක වැඩක් නෙමෙයි. තමන් ආණ්ඩු කරන වසර හතර පහ ඇතුළත ගොඩනැගිල්ල කඩා නොවැටෙනු ඇතැයි යන විශ්වාසය මත ප්‍රශ්නය අමතක කර සිටීම ඔවුන්ගේ පැත්තෙන් වාසිදායකයි.

මහා භාණ්ඩාගාරයේ හෝ මහ බැංකුවේ ඉහළ නිලධාරීන් ගත්තත් ඔවුන්ගේ තීරණ දේශපාලනිකයි. ප්‍රශ්නය විසඳනවාට වඩා කල් දැමීම ගොඩක් අයට පෞද්ගලිකව ලේසි වැඩක්. හැබැයි දැන් තත්ත්වය තව දුරටත් ඉදිරි ආණ්ඩුවකට පැටවීමට අසීරු තරමටම ඔඩු දුවා තිබෙනවා.

වඩාත්ම නිරවුල්ව ප්‍රශ්නය කුමක්ද?

පවතින ආකෘතිය යටතේ ප්‍රධාන ආර්ථික නිර්ණායක හැම එකක්ම හොඳින් පවතින බව සහතික කරන්න පුළුවන් වුනත් එසේ කළ හැක්කේ ඉතාම භයානක පූර්ව කොන්දේසි යටතේයි. ඒ පූර්ව කොන්දේසි මොනවාද?

- සෑම වසරකම දැනට ඇති විදේශ ණය පියවීමට අලුතෙන් විදේශ ණය ගත යුතුයි.
- දැනට ඇති විදේශ ණය සඳහා පොලී ගෙවීමටද අලුතෙන් විදේශ ණය ලබාගත යුතුයි.
- ආර්ථික වර්ධනය ඉහළ මට්ටමක පවත්වා ගැනීමටනම් ඉහත මට්ටම් ඉක්මවා තවත් විදේශ ණය ලබා ගත යුතුයි.

කෙටියෙන් කිවුවොත් හැම වසරකදීම අලුතින් විදේශ ණය ලබා ගත යුතුවාක් මෙන්ම එසේ අලුතින් ලබා ගන්නා විදේශ ණය ප්‍රමාණය වසරින් වසර ඉහළ දැමිය යුතුයි. මෙය සමාන කළ හැක්කේ පිරමිඩ් ක්‍රමයකටයි.

එක්සත් ජාතික පක්ෂය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ බටහිර රටවල් මේ පිරමිඩ් ආකෘතියට මූලධාර්මික ලෙස විරුද්ධ නැති බවත් මෙහිදී පැහැදිලිව කිව යුතුයි. රාජපක්ෂලා යටතේ විණිමය අනුපාතිකය පාලනය කිරීමට මහ බැංකුව මැදිහත් වන විට එක්සත් ජාතික පක්ෂය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විරුද්ධ වන බව අප‍ට බොහෝ විට පෙනෙන දෙයක්. මේ කණ්ඩායම් වල ස්ථාවරය වන්නේ විණිමය අනුපාතිකය ස්වාධීනව නිර්ණය වීමට ඉඩ හැරිය යුතු බවයි. යහපාලන ආණ්ඩුව කාලයේ ඔවුන් යම්තාක් දුරකට මේ ස්ථාවරයේ සිටියා. එහෙත්, මා කියන දෙය මෙයම නෙමෙයි.

මා කතා කරන්නේ මහ බැංකුව මැදිහත් නොවී යම් මොහොතක විදේශ විනිමය වෙළඳපොළ සමතුලිතතාව පවත්වා ගැනීම පිළිබඳව නෙමෙයි. එයින් ඔබ්බට ගොස් රටේ ශුද්ධ වත්කම් හා බැරකම් පරතරය සමතුලිත කරගැනීම ඉලක්ක කළ යුතු බවයි. සමතුලිත කර ගැනීම ප්‍රායෝගිකව කළ නොහැකි බව පැහැදිලි වුවත්, අඩු වශයෙන් වත්කම් හා බැරකම් අතර පරතරය භයානක මට්ටමකට යා නොදී ස්ථාවර කර ගත යුතු බවයි. මේ කතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කියන කතාව හෝ බොහෝ නිදහස් මතධාරී ආර්ථික විද්‍යාඥයින් විසින් කියන කතාවම නෙමෙයි. විදේශ ණය අරගනිමින් විදේශ විනිමය වෙළඳපොළ සමතුලිතතාව පවත්වා ගැනීමේ වරදක් ඇතැයි ඔවුන් බොහෝ දෙනෙක් හිතන්නේ නැහැ. එහෙත්, ලංකාවේ ආර්ථිකයේ ගෙල සිරකරන තොණ්ඩුව තිබෙන්නේ එතැනයි.

මා පෙර පෙන්වා දී ඇති පරිදි මේ වන විට ලංකාවේ ශුද්ධ බැරකම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 45ක් පමණ වෙනවා. ඩොලර් බිලියන 2,137.3ක ශුද්ධ වත්කම් තිබෙන චීනය වැනි රටකට ඉදිරි වසර පහක කාලය තුළ තවත් ඩොලර් බිලියන 15ක් ලංකාවට ණය ලෙස දෙන එක අසීරු වැඩක් නෙමෙයි. ඒ නිසා, මේ ආණ්ඩුවටත් ප්‍රශ්නය ඉදිරි ආණ්ඩුවකට තල්ලු කිරීම කළ නොහැකි දෙයක් නෙමෙයි. එය තීරණය වන්නේ ගෝඨාභය රාජපක්ෂට ප්‍රශ්නය තේරුම් ගැනීමට හැකි වනු ඇත්ද යන කරුණ මතයි. ඔහු ප්‍රශ්න කල් දැමීම වෙනුවට ස්ථිර විසඳුම් සෙවීමට කැමැත්තක් දක්වන බව පෙනෙන්නට ඇතත් පළමුව ඔහු මෙහි ප්‍රශ්නයක් තිබෙන බව තේරුම් ගත යුතුයි. එහෙත්, මේ ප්‍රශ්නය ආර්ථික විද්‍යාව පිළිබඳ පුහුණුවක් තිබෙන බොහෝ දෙනෙකුට පවා හරියටම වටහා ගත නොහැකි සංකීර්ණ ප්‍රශ්නයක්.

මෙතෙක් ආර්ථික අගාධයක වැටී සිට "ගොඩගිය" රටවල් ලෙස සැලකිය හැකි ජර්මනිය, ජපානය, දකුණු කොරියාව, චීනය, සිංගප්පූරුව වැනි හැම රටක්ම වාගේ බැරකම් ගොඩගසා ගැනීම වෙනුවට වත්කම් ගොඩගසා ගත් රටවල්. ලෝකයේ එක් එක් රටවල ශුද්ධ වත්කම් හා බැරකම් දෙස බැලූ විට ශුද්ධ විදේශ බැරකම් ඇති රටවල් ලෙස අපට ඇමරිකාව හා ඕස්ට්‍රේලියාව වැනි "හොඳින් ඉන්න" රටවල්ද හඳුනාගන්න පුළුවන්. මේ රටවල් වලට ශුද්ධ විදේශ බැරකම් අඩු කර ගත හැකි විකල්ප මාර්ගයක්ද තිබෙනවා. ඒ බැරකම් වල අයිතිය හිමි විදේශිකයාව ස්වදේශිකයෙකු කර ගැනීමයි. සංක්‍රමණිකයෙකුට පහසුවෙන් ස්වදේශිකයෙකු වීමට ඉඩ සලසන සංස්කෘතියක් ඇති රටක් සතුව ශුද්ධ බැරකම් තිබීම ප්‍රශ්නයක් වන්නේ අඩුවෙන්.

චීනය, ජපානය හෝ කොරියාව වැනි රටවල ඉහත සාධකය නැහැ. විදේශිකයෙකුට චීනයට සංක්‍රමණය වී චීනෙකු වෙන්න බැහැ. ජපානයට සංක්‍රමණය වී ජපනෙකු වෙන්න බැහැ. මෙවැනි තත්ත්වයක් ඇති රුසියාව හා මැද පෙරදිග කලාපයේ රටවලත් ශුද්ධ විදේශ බැරකම් වෙනුවට ශුද්ධ විදේශ වත්කම් තිබෙනු දැකිය හැකියි.

ලංකාව සිටින්නේත් මේ දෙවන ගොඩේ. විදේශිකයෙකුට ලංකාවට පැමිණ ලංකාවේ සංස්කෘතියට අවශෝෂණය වීම මේ වන විට නොකළ හැකි තරම් අසීරු වැඩක්. සැබෑවක් නොවුනත් MCC භීතිකාව පැතිරූ අය ජනගත කළ අදහසක් වුනේ ලංකාවේ ඉඩම් ඇමරිකානුවන් විසින් අයිති කර ගනු ඇති බවයි. යම් හෙයකින් ලංකාවේ ගම් වල අතරින් පතර ඇමරිකානුවන්, චීනුන් හෝ අප්‍රිකානුවන් පදිංචි වෙන්න පටන් ගත්තොත් එය බොහෝ දෙනෙකු දකිනු ඇත්තේ විශාල ප්‍රශ්නයක් ලෙසයි. එහෙත්, ඇමරිකාව හෝ ඕස්ට්‍රේලියාව වැනි රටක සමාජය මේ වන විට එවැනි දෙයකට හුරු වෙලා සිටිනවා.

ලංකාවේ මේ තත්ත්වය කෙටි කලකදී වෙනස් වෙයි කියා හිතන්න අමාරුයි. සංක්‍රමණිකයින් විශාල ලෙස පිළිගන්න ලංකාවේ සමාජය සූදානම් නැත්නම්, ශුද්ධ බැරකම් පුළුල් කර ගැනීම ගැන මීට වඩා බරපතල ලෙස හිතන්න වෙනවා. රැවුලයි කැඳයි දෙකම බේරගන්න බැහැ.

Friday, July 17, 2020

මහ මැතිවරණය හා කොරෝනා


අගෝස්තු 5 ලංකාවේ මීළඟ මහ මැතිවරණය සඳහා දින නියම වී තිබෙනවා. ඒ වරක් මේ දිනය කල් දැමීමෙන් පසුවයි. ඒ අතර නැවතත් රටේ කොරෝනා පැතිරෙනවා. එයට සමාන්තරව මැතිවරණය තවදුරටත් කල් දැමිය යුතු බවට අදහසක්ද ප්‍රචලිත වෙමින් තිබෙනවා.

මුලින්ම දින නියම කළ පරිදි ජූනි 20 මැතිවරණය පැවැත්වූවානම් ලොකු අවුලක් සිදු විය හැකිව නොතිබුණු බව දැන් අපි දන්නවා. එහෙත්, දැන් නැවත අතීතයට යන්න බැහැ. ඒ වගේම, මැතිවරණය කල් දමන විට පැවති අවිනිශ්චිත තත්ත්වයන් අනුව ඒ වෙලාවේ එවැනි තීරණයක් ගැනීමේ වැරැද්දක් නැහැ.

කොරෝනා ගැන තවමත් නොදන්නා දේ බොහොමයි. එහෙත්, මුලින් නොදැන සිටි බොහෝ දේ දැන් අපි දන්නවා. අඩු වශයෙන් වැඩිදුර නිගමන වලට ඉඩ සලසන සාක්ෂි රැසක් දැන් අප සතුයි.

- උණුසුම් කාලගුණයක් ඇති හෝ ආර්ද්‍රතාවය වැඩි රටවල් කොරෝනා රෝගයෙන් ආරක්‍ෂිත නැහැ.
- දුඹුරු හම තිබෙන හෝ ආසියානු සම්භවයක් තිබෙන අය කොරෝනා වලින් ආරක්‍ෂිත නැහැ.
- බීසීජී එන්නත ලබා ගෙන තිබීම නිසා කොරෝනා වලින් ආරක්ෂා වෙන්නේ නැහැ.
- ස්වභාවික ප්‍රතිශක්තිය ලැබී රෝගය අවසන් වීම ප්‍රායෝගික යථාර්තයක් නෙමෙයි.
- කොයි තරම් දැඩි ක්‍රියාමාර්ග ගත්තත් කොරෝනා මුළුමනින්ම තුරන් කිරීම අසීරුයි.
- වැලිසර හා කන්දකාඩු නිරීක්ෂණ අනුව ලංකාවේ තිබෙන "සාමාන්‍ය" තත්ත්වයන් යටතේ ඉතා වේගයෙන් රෝගය පැතිරෙන්න පුළුවන්.
- එහෙත් රෝගය පැතිරීම පාලනය කර ගැනීමේ හැකියාව අප සතුයි.
- එන්නත් කිරීමේ විකල්පය ලැබෙනු ඇත්තේ අඩු වශයෙන් ලබන වසර මුලදී.
- එන්නත් කිරීමෙන් පසුවද බොහෝ විට සාමූහික ප්‍රතිශක්ති මට්ටමට යන්න බැරි වෙන්න ඉඩ තිබෙනවා.
- එන්නත් කිරීමෙන් පසුවද බොහෝ විට ප්‍රතිශක්තිය දිගු කාලයක් පවතින එකක් නැහැ. වාර්ෂිකව කෝවිඩ් එන්නතක් ලබා ගන්න අවශ්‍ය විය හැකියි.

මේ කරුණු ඇතුළු තවත් කරුණු වලින් පෙනී යන්නේ ලංකාව වැනි රටකට වුවත් කෝවිඩ් සමඟ ජීවත් වීමට පුරුදු වීම හැර වෙනත් විකල්පයක් නැති බවයි.

කෝවිඩ් වලක්වා ගැනීමේ ක්‍රියාමාර්ග වල ආර්ථික හානිය ගැනත් දැන් අපට ඉතා පැහැදිලියි. ලංකාව වැනි රටකට වුවත් ආර්ථිකය අමතක කර කෝවිඩ් පැතිරීම ගැන හිතන්න පුළුවන්කමක් නැහැ. ආර්ථිකයේ විශාල බිඳ වැටීමක් සිදු වුනොත් එහි අතුරු ප්‍රතිඵලයක් ලෙසත් විශාල ලෙස කෝවිඩ් පැතිරෙන්න පුළුවන්.

කෝවිඩ් වැළැක්වීම හා ආර්ථිකය බිඳ වට්ටා නොගැනීම වැදගත්. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදයත් එසේම වැදගත්. මැතිවරණ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනිවාර්ය හා අත්‍යාවශ්‍ය අංගයක්. ඒ වගේම, විශේෂයෙන්ම මේ වගේ ආපදා අවස්ථාවකදී, රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත්ව පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය දෙයක්.

හැම දෙයකටම මිලක් තිබෙනවා. මේ වෙලාවේ මැතිවරණය පැවැත්වීමේත් මිලක් තිබෙනවා. එහෙත්, ඒ මිල ගෙවිය යුතු මිලක්.

මේ වගේ අවස්ථාවක මැතිවරණ ප්‍රචාරක කටයුතු සාමාන්‍ය පරිදි සිදු වෙන්නේ නැහැ. එහෙත්, එය නිශේධනීය කරුණකට වඩා සාධනීය කරුණක් කියා කියන්න පුළුවන්. ලංකාවේ මැතිවරණ ප්‍රචාරණ ක්‍රමවේදයේ බොහෝ අංග නැති විය යුතු අංග මිසක් අමාරුවෙන් පවත්වා ගත යුතු අංග නෙමෙයි.

මේ මැතිවරණ ප්‍රතිඵලයේ යම් විකෘතියක් තිබීම පැහැදිලිවම සිදු විය හැකි කරුණක්. එහෙත්, එවැනි විකෘතියක් ලංකාවේ මැතිවරණ ඉතිහාසයට සාපේක්ෂව බැලූ විට බරපතල විකෘතියක් වීමේ ඉඩක් නැහැ.

මෙවර ඡන්ද භාවිතය සෑහෙන තරමකින් අඩු වෙයි. ඒ හේතුවෙන් යම් විකෘතියක් සිදු වෙයි.

ඡන්ද භාවිතය අඩු වී මැතිවරණ ප්‍රතිඵල විශාල ලෙස විකෘති වූ අවස්ථා කිහිපයක්ම ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ දැකිය හැකියි. හොඳම උදාහරණ වන්නේ 1989 හා 2005 ජනාධිපතිවරණයි. එම වසර වලදී මෙන් සමස්ත ප්‍රතිඵලය කණපිට හැරීමේ ඉඩක් මෙවර පෙනෙන්නට නැහැ.

මෙවර ජයග්‍රාහකයා පොහොට්ටුව වනු ඇති බව අවිවාදිත කරුණක්. ආණ්ඩුවේ ඉලක්ක මොනවා වුවත් ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව පවා ආණ්ඩුවට තුනෙන් දෙකක් ගැනීමේ හැකියාවක් පෙනෙන්න තිබුණේ නැහැ. ජනාධිපතිවරණයෙන් පසුව ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩු වී මිස වැඩි වී නැහැ.

අනෙක් අතට මෙවර මැතිවරණය පැවැත්වෙන්නේ විපක්ෂය වෙන කවර දාකටවත් වඩා දුර්වලව සිටියදී. ඒ නිසා, කොරෝනා නොතිබුණත් මේ මැතිවරණය බොහෝ විට ඇල්මැරුණු එකක්. කෝවිඩ් නිසා ඒ තත්ත්වය උග්‍ර වෙලා.

මහ මැතිවරණයක ප්‍රතිඵලය තීරණය වන්නේ දිස්ත්‍රික් මට්ටමින් නිසා ඡන්ද භාවිතය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් වුනා කියා ලොකු විකෘතියක් වෙන්නේ නැහැ. එහෙත් වෙනත් ආකාර වල විකෘති සිදු විය හැකියි. උදාහරණයක් විදිහට පාවෙන ඡන්දදායකයින් බොහෝ පිරිසක් ඡන්දය භාවිතා නොකරන්න ඉඩ තිබෙනවා. එය පාක්ෂික ඡන්ද ගොඩක් තිබෙන පක්ෂයකට වාසියක්. ඒ වගේම, අඩු ඡන්ද ප්‍රමාණයක් ලබන පක්ෂයකට කොටෙන් ගොඩ යන එක වඩා පහසු වෙන්නත් ඉඩ තිබෙනවා.

මේ කරුණු වල සමස්ත ප්‍රතිඵලය පුරෝකථනය කිරීම අසීරුයි. කොහොම වුනත් කෝවිඩ් අස්සේ මැතිවරණය පැවැත්වුවා කියා කිසිදු දේශපාලන පක්ෂයකට විශාල අවාසියක් සිදු වෙනවා කියා කියන්න බැහැ.

මැතිවරණය නියමිත පරිදි නොපැවැත්වුවහොත් රටේ ව්‍යවස්ථාදායකයක් නැති වීමේ අඩුව දැනෙන්නනම් වැඩි දවසක් යන එකක් නැහැ.

Wednesday, July 15, 2020

චීන වත්කම්


ලංකාවේ වගේම ඇමරිකාවේත් ශුද්ධ බැරකම් ගැන කලින් ලිපියෙන් කතා කළා. මේ එක් එක් රටේ ශුද්ධ බැරකම් එම රට වල ජාතික ආදායමෙන් බාගයකට ටිකක් වැඩියි. ඇමරිකන් ඩොලර් බිලියන 84ක ජාතික ආදායමක් උපයන ලංකාවේ ශුද්ධ බැරකම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 45ක්. ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 21.4ක ජාතික ආදායමක් උපයන ඇමරිකාවේ ශුද්ධ බැරකම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 12.1ක්.

ඉහත සමානකම තිබුණත් ඇමරිකාවේ ශුද්ධ බැරකම් ලංකාවේ ශුද්ධ බැරකම් මෙන් රටට බරක් නොවන බව මම පැහැදිලි කළා. ඇමරිකාවේ ශුද්ධ බැරකම් මුළු බැරකම් ප්‍රමාණයෙන් 31%ක් පමණක් වුවත්, ලංකාවේ ශුද්ධ බැරකම් මුළු බැරකම් ප්‍රමාණයෙන් 77%ක් වීම මේ වෙනසට එක් හේතුවක්. එක් එක් රට තමන්ගේ වත්කම් වලින් උපයන හා බැරකම් වෙනුවෙන් ගෙවන පොලී අනුපාතික අතර වෙනස දෙවන හේතුවයි. කොහොම වුනත් ලෝකයේ විශාලතම ශුද්ධ බැරකම් සහිත රට ඇමරිකාව බව පැහැදිලි කරුණක්.

ලෝකයේ රටවල් අතරින් වැඩිම ශුද්ධ වත්කම් ඇති රටක් වන්නේ චීනයයි. 2020 මාර්තු අවසානයේදී ලෝකය පුරා වූ චීන වත්කම් වල වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 7,635.4ක් වෙද්දී චීනයේ බැරකම් වල වටිනාකම වුනේ ඇමරිකන් ඩොලර් බිලියන 5,498.1ක් පමණයි. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 2,137.3ක ශුද්ධ වත්කම් ප්‍රමාණයක් චීනය සතුයි. එම ප්‍රමාණය චීනයේ මුළු බැරකම් ප්‍රමාණයෙන් 39%ක්.

ලංකාවේ ඩොලර් 100ක වත්කම් වලට සාපේක්ෂව බැරකම් ලෙස ඩොලර් 438ක් තිබෙනවා. ඇමරිකාවේ ඩොලර් 100ක වත්කම් සාපේක්ෂව වලට බැරකම් ලෙස ඩොලර් 145ක් තිබෙනවා. එහෙත්, චීනයේ  ඩොලර් 100ක වත්කම් වලට සාපේක්ෂව බැරකම් තිබෙන්නේ ඩොලර් 72ක් පමණයි. වෙනස පැහැදිලියිනේ.

හැබැයි ශුද්ධ බැරකම් තිබුණු පලියටම ඇමරිකාවෙන් ප්‍රාග්ධනය පිටතට ගලා නොයන බව අපි පෙර ලිපියෙන් දැන ගත්තානේ. ඒ කියන්නේ ශුද්ධ වත්කම් තිබුණු පලියටම ප්‍රාග්ධනය රටක් ඇතුළට ගලා එන බවටත් සහතිකයක් නැහැ. ඒ නිසා, අපට චීනයේ වත්කම් හා බැරකම් වල සංයුතිය දෙසත් බලන්න වෙනවා.

පහතින් තිබෙන්නේ 2020 මාර්තු අවසානයේදී චීනයේ ශේෂ පත්‍රයයි. මෙයට හොංකොං ඇතුළත්ව නැහැ.

වත්කම් (ඇමරිකන් ඩොලර් බිලියන) 

සෘජු විදේශ ආයෝජන-    2,089.5
කළඹ ආයෝජන-                 640.8
මූල්‍ය ව්‍යුත්පන්න-                   10.5
වෙනත් ආයෝජන-           1,714.3
නිල සංචිත-                        3,180.3
එකතුව-                              7,635.4

බැරකම් (ඇමරිකන් ඩොලර් බිලියන) 

සෘජු විදේශ ආයෝජන-  2,906.4
කළඹ ආයෝජන-            1,263.2
මූල්‍ය ව්‍යුත්පන්න-                 11.9
වෙනත් ආයෝජන-         1,316.6
එකතුව-                             5,498.1

චීනයේ වත්කම් හා බැරකම් වල සංයුතිය දිහා බැලුවහම අපට කලින් නොපෙනුණු කරුණු කිහිපයක් පෙනෙනවා. රාජ්‍ය මැදිහත්වීම් වල බලපෑම අඩු සෘජු විදේශ ආයෝජන හා කළඹ ආයෝජන පමණක් සැලකුවොත් චීනයේ වත්කම් වලට වඩා බැරකම් වැඩියි. චීනයේ ශුද්ධ විදේශ වත්කම් වලට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ චීනය සතු විශාල විදේශ සංචිත ප්‍රමාණයයි.

චීනය සතු ඇමරිකන් ඩොලර් බිලියන 3,180.3ක නිල සංචිත වලින් ඇමරිකන් ඩොලර් බිලියන 3,060.6ක්ම විදේශ ව්‍යවහාර මුදල් සංචිත. මේ විදේශ ව්‍යවහාර මුදල් සංචිත තිබුණේ නැත්නම් චීනයේ ඩොලර් බිලියන 2,137.3ක ශුද්ධ වත්කම් ශුද්ධ බැරකමක් බවට හැරෙනවා. මේ විදිහට සංචිත ලෙස එකතු වී තිබෙන්නේ කාලයක් තිස්සේ ඇමරිකාව සමඟ කළ විදේශ වෙළඳාමේ වෙළඳ ශේෂය කියන්නත් පුළුවන්. එය සෘජුව වගේම වක්‍ර ලෙසිනුත් සිදු වී තිබෙනවා. උදාහරණයක් විදිහට අපිට ලංකාව කතාවට එකතු කරන්න පුළුවන්. ලංකාව ඇමරිකාව සමඟ කරන වෙළඳාමෙන් එකතු කර ගන්න ඇමරිකන් ඩොලර් චීනය සමඟ කරන වෙළඳාමේදී චීනයට යනවා.

ලංකාව විසින් ලෝකයට ණය වෙමින් රුපියල ආරක්ෂා කරගන්න දඟලද්දී චීනය විසින් කාලයක් තිස්සේ කළේ එහි අනික් පැත්තයි. චීන මහ බැංකුව විසින් අපනයන හරහා චීනයට ලැබෙන ඇමරිකන් ඩොලර් එකතු කර ගනිමින් දිගින් දිගටම චීනය ඇතුළේ කෘතීම ඩොලර් හිඟයක් ඇති කළා. එහි ප්‍රතිඵලය ලෙස එක පැත්තකින් චීනයට ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සීමා වී ආනයන සීමා වෙද්දී අනික් පැත්තෙන් චීන යුවානය එහි නියම වටිනාකමට වඩා දුර්වල වී ඩොලරය එහි නියම වටිනාකමට වඩා ශක්තිමත් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස චීන භාණ්ඩ චීනයෙන් පිටතදී එහි නියම මිලට වඩා ලාබ වෙනවා. ඇමරිකන් බඩු මිල අධික වෙනවා.

මෙහි ප්‍රතිඵලයක් විදිහට ඇමරිකාව ඇතුළේදී චීන භාණ්ඩ ගොඩක් ලාබ වෙනවා. ඇමරිකන් භාණ්ඩ වලට චීන බඩු එක්ක තරඟ කරන්න අසීරු වෙනවා. චීනය හා ඇමරිකාව අතර චීනයට වාසිදායක වෙළඳ ශේෂයක් ඇති වෙනවා. චීන ආනයන වෙනුවෙන් ඇමරිකාව ගෙවන ඩොලර් ඇමරිකන් අපනයන සමඟ හුවමාරු වී නැවත ඇමරිකාවට එන්නේ නැහැ. ඒ නිසා, චීනය ඇතුළේ ඇමරිකන් ඩොලර් එකතු වෙනවා.

චීනයේ රාජ්‍ය මැදිහත් වීම නොවන්නට මෙවැනි තත්ත්වයක් වැඩිකල් පවතින්නේ නැහැ. චීනය ඇතුලෙ ඩොලර් සැපයුම ටිකෙන් ටික ඉහළ යන විට ඩොලර් ඉල්ලුම අඩු වී ඩොලරය පිරිහෙනවා. එහෙත්, චීනය එය සිදුවෙන්න ඉඩ දෙන්නේ නැහැ. චීනයට එන ඩොලර් ටික වෙළඳපොළෙන් එකතු කර ගන්නවා. යුවානය ශක්තිමත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. චීනයේ සංචිත ඉහළ යනවා. චීන ඇමරිකා වෙළඳ යුද්ධයට හේතු වුනේ චීන රජය විසින් මේ ආකාරයට දිගින් දිගටම චීනයේ වාසියට විණිමය අනුපාතිකය පාලනය කිරීමයි.

දැන් මේ විදිහට සංචිත ලෙස චීනය ඇතුළේ එකතු වන ඇමරිකන් ඩොලර් වලට මොකද වෙන්නේ? සුරක්ෂිතතාව ගැන හිතනවානම් මේ ඩොලර් නැවත ඇමරිකාවේම ආයෝජනය කළ යුතුයි. ඒ නිසා, ඩොලර් වැඩි ප්‍රමාණයක් නැවත ඇමරිකාවටම ආපසු එනවා. හැබැයි එහෙම කරලා චීනයට ලොකු පොලී ආදායමක් උපයන්න බැහැ. මොකද ඇමරිකාව චීනයෙන් ණය ඉල්ලන්නේ නැහැ. සල්ලි අරගෙන ඇමරිකාවට එන්නේ චීනයයි. ඒ නිසා, චීනයට ගන්න වෙන්නේ ඇමරිකාව විසින් ලබා දෙන පොලී අනුපාතිකයයි.

චීනය සමඟ කරන වෙළඳාමෙන් ඇමරිකාවට එක පැත්තකින් ලාබෙට බඩු ලැබෙනවා. අනෙක් පැත්තෙන් අඩු පොලියකට ප්‍රාග්ධනය ලැබෙනවා. මේ වැඩේ කාලයක් තිස්සේ අවුලක් නැතුව සිදු වුනේ ඒ නිසයි. ඇමරිකාවට සිදු වූ අවුල මේ වැඩෙන් ඇමරිකානුවන්ගේ රැකියා අහිමි වීමයි. ඇමරිකාවේ චීන විරෝධය මතු වුනේ රැකියා ප්‍රශ්නය මුල් කරගෙනයි.

චීනය පැත්තෙන් බැලුවහම චීනයට මේ වැඩෙන් විශාල වෙළඳපොළක් හිමි වුනා. චීනය විසින් විණිමය අනුපාතිකය අවප්‍රමාණය කර තියා ගන්නවා කියා කියන්නේ චීන නිෂ්පාදකයින්ට නියම මිලට වඩා අඩු මිලක් ලැබෙනවා කියන එක. චීන ශ්‍රමිකයින්ට නියම වැටුපට වඩා අඩු වැටුපක් ලැබෙනවා කියන එක. ඒ කියන්නේ චීන රජය විසින් සැලසුම් සහගතව චීන ශ්‍රමිකයාව සූරාකෑමක්. චීනය සතු ඩොලර් සංචිත කියා කියන්නේ ඒ විදිහට චීන රජය විසින් එකතු කරගත් නිෂ්පාදන අතිරික්තය. මේ ක්‍රමයට චීනය හා ඇමරිකාව අතර වෙළඳාම චීනයේ වාසියට සිදු වුනත් ඒ වාසිය ලැබෙන්නේ චීන රජයට මිසක් චීන ශ්‍රමිකයාට නෙමෙයි. ඒ නිසා, චීන ශ්‍රමිකයාගේ ආදායම් ඉහළ ගිහින් ඇමරිකාව වැනි බටහිර රටක නිෂ්පාදන මිල දී ගැනීමේ හැකියාවක් චීනය ඇතුළේ හැදෙන්නේ නැහැ.

චීනයේ එකතු වන සංචිත සියල්ලම නැවත ඇමරිකාව ඇතුළේම ආයෝජනය කළොත් චීනයට වෙන්නේ අතින් කාලා හරක් බැලුවා වගේ වැඩක්. වත්කම් තිබුණට මොකටද ඒ වත්කම් වලින් ප්‍රමාණවත් ආදායමක් හැදෙන්නේ නැත්නම්?

චීනයේ ගොඩ ගැහෙන සංචිත වලින් පාඩුවක් නොවෙන්නනම් ඒ සල්ලි කාට හෝ වැඩි පොලියකට දෙන්නම වෙනවා. ලංකාව වගේ රටවල් ණය ගන්න චීනය පස්සේ ගියත් ඇත්තටම කාට හෝ ණය දෙන්න අවශ්‍ය චීනයටමයි. වත්කම් වලට වටිනාකමක් ලැබෙන්නේ ඒ වත්කම් වලින් ආදායම් ඉපැයිය හැකි තරමටයි.

චීනය වගේ රටවල් ඇමරිකාව එක්ක වෙළඳ යුද්ධ වල නිරත වෙන්නේ තමන්ගේ ජාතික ව්‍යවහාර මුදලේ වටිනාකම පහළින් තියා ගන්නයි. චීනයට කලින් ඇමරිකාව මේ වගේ වෙළඳ යුද්ධයක පැටලී හිටියේ ජපානය එක්කයි. එහෙත්, ලංකාව කාලයක් තිස්සේම උත්සාහ කරන්නේ රුපියල මොන විදියෙන් හෝ ශක්තිමත්ව තියා ගන්නයි.

ලංකාවේ රුපියල ශක්තිමත්ව තියා ගන්න උදවු කිරීමෙන් චීනයට වාසි ගණනාවක් ලැබෙනවා. පළමුව මේ වැඩෙන් ලංකාව ඇතුළේ චීන බඩු ලාබ වෙනවා. ඒ නිසා, ලංකාවට සිදු කෙරෙන චීන ආනයන ඉහළ යනවා. දේශීය කර්මාන්ත වැහෙනවා. රැකියා නැති වෙනවා. ඇමරිකාවේදී වෙන දේමයි. හැබැයි ඊට අමතරව තවත් දේවල් වෙනවා.

ලංකාව වගේම චීනයත් තෙවන රටකට විකුණන භාණ්ඩයක් ගැන හිතන්න. දැන් ලංකාවේ භාණ්ඩය නියම මිලට වඩා ගණන්. චීනයේ භාණ්ඩය නියම මිලට වඩා ලාබයි. එක පැත්තකින් ලංකාවට වෙළඳපොළ නැති වෙනවා. අනික් පැත්තෙන් ආයෝජකයෙකුට ලංකාවේ තිබෙන ආකර්ශනීයත්වය අඩු වෙනවා. එක පැත්තකින් ලංකාවේ ආනයන ආදායම අඩු වෙද්දී අනික් පැත්තෙන් ප්‍රාග්ධනය ආකර්ශනය කර ගැනීම, සෘජු ආයෝජන වගේම කළඹ ආයෝජනත්, අසීරු වෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ ලංකාවට වැඩි පොලියක් ගෙවා හෝ විදේශ ණය ගන්න සිදු වෙන එකයි. චීනයට තවත් වාසියක්!

ඇමරිකාව එක්ක කරන වෙළඳාම හරහා චීනය සංචිත එකතු කරන තාක් ඒ සංචිත වලින් කොටසක් වැඩි පොලියකට ආයෝජනය කළ හැකි ලංකාව වගේ තැන් හොයා ගන්න එකත් කරන්නම වෙනවා. මෙහිදී අවදානම ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අවදානම ගැන හිතනවානම් සල්ලි ආයෝජනය කරන්න තිබෙන්නේ නැවතත් ඇමරිකාවේමයි. කොහොමටත් ඒ වැඩේ වෙනවා. ලංකාව වගේ රටවලදී කෙරෙන්නේ වැඩි අවදානම්- වැඩි වාසි ආයෝජන. අවදානම ඉහළ වුනත් ලැබෙන පොලිය බැලුවහම ඒ අවදානම ගන්න එකේ පාඩුවක් නැහැ.

මොන කතන්දර කිවුවත් අන්තිමේදී ඇමරිකාව චීනයට ණයයි කියන එක වහන්න බැහැනේ. චීනයට වගේම ඇමරිකාවටත් දැනටනම් වැඩෙන් පාඩුවක් නැහැ. චීනය තමන්ගේ වත්කම් වලින් කොටසක් සුරක්ෂිත අඩු පොලී ආයෝජන වලත්, තවත් කොටසක් වැඩි අවදානම් වැඩි පොලී ආයෝජන වලත් දමලා ලාබ ගන්නවා. ඇමරිකාව තමන්ගේ වත්කම් වලින් උපයන ආදායමට වඩා අඩු පොලියකට ණය ලබා ගෙන එහි වාසිය ගන්නවා. ඒ නිසා, ඇමරිකාව සතුව ශුද්ධ බැරකම් තිබුණත් ඇමරිකාව ලංකාව වගේ අවදානමක නැහැ.

ඇමරිකාවට මේ වාසිය තියෙන්නේ චීනය වගේ රටවල් ඇමරිකන් ඩොලර් ගොඩගහගන්න නිසානේ. චීනය ඩොලර් එක අත ඇරියොත් ඇමරිකාවට මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ඩොලර් එක වැටෙන්න ඕනෑ නේද?

කොයි තරම් කතන්දර තිබුණත් ඔය වැඩෙන් ඇමරිකාවට ලොකු හානියක් වෙන්නේ නැහැ. ඇයි? චීනය සතු ඩොලර් සංචිත ප්‍රමාණය එක්ක බැලුවහම ඩොලර් එක වැටෙනවා කියා කියන්නේ චීනයට විශාල පාඩුවක්. චීනය අල්ලාගෙන ඉන්නේ කොටි වලිගයක්. ඒක එහෙම එක පාරට අතාරින්න බැහැ. යම් විදිහකින් චීනය ඔය සංචිත නිදහස් කරනවානම් එය කරන්න වෙන්නේ ටිකෙන් ටික සතෙන් සතේ මිසක් එක පාරට නෙමෙයි.

කොහොම වුනත් චීනය වගේ රටක් ඩොලර් සංචිත සැලකිය යුතු තරමින් නිදහස් කළොත් ඇමරිකන් ඩොලරය පිරිහෙනවා. එයින් ඇමරිකාවට සිදු වන බලපෑම කුමක්ද?

ඇමරිකන් ඩොලරය පිරිහෙනවා කියා කියන්නේ ඇමරිකාව ඇතුළේ ආනයනික භාණ්ඩ මිල අධික වෙනවා කියන එකයි. ඒ වගේම ඇමරිකන් බඩු ඇමරිකාවෙන් පිටතදී ලාබ වෙනවා කියන එක. මේ වගේ දෙයක් වුනොත් ඇමරිකානු නිෂ්පාදකයා ක්ෂණිකව ප්‍රතිචාර දක්වනවා.

ඇමරිකාව ඇතුළේ ආනයනික භාණ්ඩ මිල අධික වෙනවා කියා කියන්නේ ලංකාව ඇතුළේ ඒ දේම වෙනවා වගේ දෙයක් නෙමෙයි. ඇමරිකාව ආනයනය කරන්නේ ඇමරිකාව ඇතුළේ හදන්න බැරි දේවල් නෙමෙයි. ආනයනික භාණ්ඩ හැම දෙයක්ම වගේ ඇමරිකාව ඇතුළේ හදන්න අවශ්‍ය තාක්ෂනය, භෞතික ප්‍රාග්ධනය වගේම මානව ප්‍රාග්ධනයත් ඇමරිකාව ඇතුළේ තියෙනවා. එහෙම තියෙද්දී පිටින් ආනයනය කරන්න එකම හේතුව මිල අඩුකම පමණයි.

දැන් ඩොලරය පිරිහී ආනයනික භාණ්ඩ වල මිල වැඩි වුන ගමන් වෙන්නේ කුමක්ද? මේ හැම දෙයක්ම රට ඇතුළේ හැදෙනවා පමණක් නෙමෙයි අපනයන වෙළඳපොළටත් යනවා. ලෝකයට නැවතත් ඩොලර් අවශ්‍ය වෙනවා. ඇමරිකානු ජාතිකවාදය විසින් කරගන්න උත්සාහ කරන්නේත් ඔය වගේ දෙයක්.

ඔය ටික චීනය නොදන්නවා නෙමෙයිනේ. ඒ නිසා, චීනය ඔය කතන්දර වල තියෙන දේවල් කරන්න යන්නේ නැහැ. ඇමරිකාව හා චීනය අතර පෙනෙන්න තිබෙන වෙළඳ යුද්ධය හෝ තරඟය හෝ මොකක් හරි එකේ මතු පිටින් පෙනෙන තරම් ගැඹුරක් නැහැ. රටවල් දෙක අතර සහයෝගීතාවය ඊට වඩා ගැඹුරුයි. ඒ වගේම රටවල් දෙකටම වාසියි.

Tuesday, July 14, 2020

වත්කම්, බැරකම්, බැරිකම් හා පුළුවන්කම්


ඊයේ පෙරේදා දවසක අහම්බෙන් වගේ හිරු නාලිකාවේ ගිය, අනුර කුමාර දිසානායක සහභාගී වූ දේශපාලන සංවාදයක කොටසක් නරඹන්න ලැබුණා. එහිදී අනුර කුමාර විසින් ලංකාවේ ණය අර්බුදයට ඔවුන්ගේ විසඳුම ගැන අදහස් ප්‍රකාශ කළා. තවත් දේවලුත් කතා කළා. අනුර කුමාරගේ අදහස්, මම හිතන විදිහට මේ මොහොතේ ජවිපෙ නිල මතය, කෙටියෙන් මේ විදිහට පෙළ ගස්වන්න පුළුවන්.

- ණය ගැනීම අපරාධයක් හෝ පවක් නෙමෙයි.
- ප්‍රශ්නය ණය ගැනීම නෙමෙයි. ගත් ණය වලට සරිලන වත්කම් හැදී නැති එකයි.
- ණය අර්බුදයෙන් ගොඩ යන්න වෙන්නෙත් ණය අරගෙනම තමයි.

සති තුනකින් පසුව පැවැත්වෙන්නට නියමිත මහ මැතිවරණය පිළිබඳව තවමත් අවිනිශ්චිතතා තිබෙනවා. මහ මැතිවරණය බාධාවකින් තොරව දින නියම කර ඇති ආකාරයට පවත්වන්නට ඉඩ ලැබෙනු ඇතැයි අපි දැනට හිතමු.

පසුගිය ජනාධිපතිවරණයේදී ජවිපෙට ඔවුන් අපේක්ෂා කළ ප්‍රතිඵලය නොලැබුණු බව පැහැදිලි කරුණක්. මගේ පෞද්ගලික මතය මෙවර මහ මැතිවරණයේදී ජවිපෙ යම් තරමකින් හෝ ඉදිරියට පැමිණෙනු ඇති බවයි. එහෙත්, ජවිපෙ මේ මැතිවරණය ජයග්‍රහණය නොකරන බව ඉතාම පැහැදිලියි.

මැතිවරණයක් ජයග්‍රහණය නොකරන බව පැහැදිලිව පෙනෙන පසුබිමක දේශපාලන පක්ෂයකට තමන් බලයට ආ පසු කරන දේවල් ගැන ඕනෑ තරම් කතන්දර කියන්න පුළුවන්. නමුත්, ණය අර්බුදය හා අදාළව ජවිපෙ එවැනි මනඃකල්පිත කතන්දරයක් කියන්නේ නැහැ. මම හිතන විදිහට ජවිපෙ විසින් යෝජනා කරන්නේ බලයට පත් වන කවර ආණ්ඩුවකට වුවත් ප්‍රායෝගිකව කළ හැකි දේ.

මොනවා වුනත් ජවිපෙහි මේ ස්ථාවරය අගය කළ යුතුයි. එහි වටිනාකම කැපී පෙනෙන්නේ බලයට පැමිණීමට වැඩි ශක්‍යතාවයක් තිබුණු දේශපාලන පක්ෂ මැතිවරණ වලට පෙර ප්‍රකාශ කර සිටි ස්ථාවරයන් හා සංසන්දනය කළ විටයි.

වසරින් වසර අලුත් වන අර්බුදයක් වුවත් ලංකාවේ ණය අර්බුදය අලුත් එකක් නෙමෙයි. මෑත කාලය ගත්තොත්, යහපාලන ආණ්ඩුව බලයට පත් වෙන්න කලින් ණය අර්බුදය ගැන ලොකුවට කතා කළා. එහෙත්, අර්බුදයෙන් ගොඩ යන ආකාරය පිළිබඳ පැහැදිලි වැඩ පිළිවෙලක් ඔවුන්ට තිබුණේ නැහැ. ඔවුන්ට අනුව ණය අර්බුදයට හේතුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වංචා හා දූෂණ වූ නිසා ඒ වංචා හා දූෂණ නැවැත්වූ පසු පහසුවෙන්ම අර්බුදයෙන් ගොඩ යා හැකිව තිබුණා. මෙය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදී ආකර්ශනීය ප්‍රකාශයක් වුවත් ප්‍රශ්නයට විසඳුමක් නෙමෙයි. බලයට පත් වූ පසු ඔවුන්ට වෙනත් විකල්ප වලට යන්න වුනා.

මෙවර ජනාධිපතිවරණයට කලින් ප්‍රචාරය කෙරුණු යහපාලන ආණ්ඩුවේ නොහැකියාව පිළිබඳ කතාවත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වංචා හා දූෂණ වගේම තවත් කතාවක්. ඒ කතාවට අනුව, රනිල්ට බැරි වුනත් රාජපක්ෂලාට පුළුවන්. මේ හැම කතාවක්ම සිල්ලර කතා. ටිකක් බර විදිහට කියනවානම් ඡන්දදායකයින්ගේ බුද්ධියට නිගා කරන කතා. මම මේ කරන්නේ යහපාලන ආණ්ඩුවේ නොහැකියාව පිළිබඳ කතාව හෝ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වංචා හා දූෂණ පිළිබඳ කතාව ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි. මා අවධානය යොමු කරන්නේ ලංකාවේ ණය අර්බුදය ඒ වගේ දේවල් වලට ලඝු කිරීමේ තිබෙන රැවටිල්ල පිළිබඳවයි.

ඒ අතින් බැලුවහම ජවිපෙ අවංකයි. ණය අර්බුදයෙන් ගොඩ යන්න වෙන්නේත් තවත් ණය ගනිමින්ම තමයි. එහෙම නැතුව මැජික් විසඳුමක් නැහැ. ඉක්මන් විසඳුමකුත් නැහැ. ආණ්ඩු බලය ලබා ගැනීමේ වැඩි ශක්‍යතාවයක් තිබෙන පක්ෂ විසින් නොකියන මේ ඇත්ත ජවිපෙ විසින් කියනවා.

ණය හා වත්කම් පිළිබඳ ජවිපෙ විග්‍රහයත් පදනමක් තිබෙන එකක්. ණය ගැනීම වැරැද්දක් හෝ නොකළ යුතු දෙයක් නෙමෙයි. හැබැයි එය එසේ වෙන්නේ ණය ගැනීමේ අවසන් ප්‍රතිඵලයක් විදිහට ශුද්ධ වත්කමක් හැදෙනවානම් පමණයි.

ණයක් කියන්නේ බැරකමක්. ඒ නිසා, ණයක් ගන්න හැම විටකම ක්ෂණිකව හා අනිවාර්යයයෙන්ම බැරකමක් හැදෙනවා. එහි හානිය වලක්වාගන්නනම් අදාළ ණය මුදල යොදවා කිසියම් වත්කමක් හදාගත යුතුයි. ඒ විදිහට හදා ගන්නා වත්කම නිසා ඇති වන ධනාත්මක බලපෑම ණය නිසා ඇති වූ සෘණාත්මක බලපෑමට වඩා වැඩිනම් මේ දෙකේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ශුද්ධ වත්කමක් ලෙස සලකන්න පුළුවන්.

අපි උදාහරණයකින් මෙය පැහැදිලි කර ගනිමු. කවුරු හෝ කෙනෙක් ණයක් අරගෙන ත්‍රිරෝද රථයක් මිල දී ගන්නවා. කල්බදු ක්‍රමයට කියමු. දැන් මේ ණය වෙනුවෙන් මාස්පතා වියදමක් දරන්න වෙනවා. පොලී මුදල් හා ණය වාරික කියමු. තව ආදායම් බලපත්‍ර, රක්ෂණ වාරික වගේ වියදමුත් එකතු වෙනවා. ඒ කියන්නේ මේ ත්‍රිරෝද රථය බැරකමක්. නමුත්, ත්‍රිරෝද රථය කුලියට දීලා මාස්පතා යන වියදමට වඩා ආදායමක් හොයා ගන්න පුලුවන්නම් ඒ බැරකම ඉක්මවන වත්කමක් හැදිලා. ඒ නිසා ත්‍රිරෝද රථය ශුද්ධ වත්කමක් කියා කියන්න පුළුවන්. රටකට වුනත් මේ කතාව අදාළයි.

ණය ගන්න එකේ වැරැද්දක් නැහැ. ප්‍රශ්නය ගත් ණය වියදම් කරන්නේ කොහොමද කියන එකයි. ණය මුදල් යොදවා හදාගත් වත්කම් වල ආදායමින් ණය ගෙවාගෙන යන්න පුලුවන්නම් ගත්ත ණය රටට බරක් වෙන්නේ නැහැ. වසරින් වසර ලංකාවේ ණය ඉහළ යන්නේ ඒ විදිහට ලංකාව විසින් ගත් ණයට සරිලන වත්කම් හැදී නැති නිසයි.

ලංකාවේ රජය විසින් මේ වන විට රුපියල් ට්‍රිලියන 14 ඉක්මවන ණය ප්‍රමාණයක් ලබා ගෙන තිබෙන බව අපි දන්නවා. එම ණය ප්‍රමාණය ලංකාවේ රජයේ බැරකමක්. රජයට ණය දුන් අයගේ වත්කමක්. මේ ණය වලින් රුපියල් ට්‍රිලියන 7.2ක් දේශීය ණය. ඒ කියන්නේ රජයේ බැරකම් වලට සරිලන වත්කම් රට ඇතුළේ කවුරු හෝ සතුව තිබෙනවා. එහෙත්, ඉතිරි රුපියල් ට්‍රිලියන 6.8ට සරිලන වත්කම් ඒ අයුරින් රට ඇතුළේ නැහැ. ඒ නිසා, ඒ කොටස ලංකාවේ රජයේ බැරකමක් වනවාට අමතරව රටේ බැරකමක්ද වෙනවා.

ලංකාවේ බැරකම් වෙන්නේ ලංකාවේ රජයේ බැරකම් පමණක් නෙමෙයි. පෞද්ගලික අංශය විසින් විදේශ ණය ලබාගෙන ඇත්නම් ඒවාද ලංකාවේ බැරකම්. වත්කම්ද එසේයි. ඒ වගේම රටේ බැරකම් වෙන්නේ ණය පමණක්ම නෙමෙයි. සෘජු විදේශ ආයෝජන වගේ දේවලුත් රටේ බැරකම්. මොකද කවුරු හෝ විදේශිකයෙක් විසින් ලංකාවේ කරන ආයෝජනයක් වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ දිගින් දිගටම රටෙන් එළියට යනවා. කල්පනාකාරී වුනේ නැත්නම් සෘජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීම උගුලක අහුවීමක් වෙන්න පුළුවන්.

සමාගමක ශේෂ පත්‍රය හදනවා වගේ රටක ශේෂ පත්‍රයත් හදන්න පුළුවන්. එහි රටේ වත්කම් හා බැරකම් සටහන් වෙනවා. මේ වත්කම් හා බැරකම් සැසඳීමෙන් රටේ ශුද්ධ වත්කම් හෝ බැරකම් තත්ත්වය පරීක්ෂා කර බලන්න පුළුවන්.

කිසියම් රටක වත්කම් හා බැරකම් පහත පරිදි ලැයිස්තුගත කරන්න පුළුවන්.

1. සෘජු විදේශ ආයෝජන: විදේශිකයින් විසින් ලංකාවේ කර ඇති සෘජු ආයෝජන බැරකම් වන අතර ලාංකිකයින් විසින් විදේශ වල කර තිබෙන ආයෝජන ලංකාවේ වත්කම්.

2. කළඹ ආයෝජන: රාජ්‍ය හෝ පෞද්ගලික සුරැකුම්පත් ආදියෙහි, එසේ නැත්නම් කොටස් වෙළඳපොළෙහි කර ඇති ආයෝජන. ලාංකිකයින් විසින් වෙනත් රටවල කර තිබෙන ආයෝජන වත්කම් වන අතර විදේශිකයින් විසින් ලංකාවේ කර තිබෙන කළඹ ආයෝජන ලංකාවේ බැරකම්.

3. මූල්‍ය ව්‍යුත්පන්න: ලංකාවේ මූල්‍ය ව්‍යුත්පන්න ආයෝජන නැති තරම්.

4. වෙනත් ආයෝජන: රජය හෝ මහ බැංකුව විසින් සෘජුව ලබා ගන්නා ණය, දේශීය ව්‍යවසායකයින් විසින් ලබා ගන්නා හෝ ලබා දෙන වානිජ ණය හෝ අත්තිකාරම් ආදිය මේ යටතට වැටෙනවා. වත්කම් මෙන්ම බැරකම්ද තිබිය හැකියි.

5. නිල සංචිත: රටක නිල සංචිත එම රටේ වත්කම් වලින් කොටසක්. ඉහත අනෙකුත් අයිතමයන් මෙන් මෙයට අනුරූප බැරකමක් නැහැ.

පහත තිබෙන්නේ 2020 මාර්තු අවසානයේදී ලංකාවේ ශේෂ පත්‍රයයි.

වත්කම් (ඇමරිකන් ඩොලර් මිලියන) 

සෘජු විදේශ ආයෝජන-  1,504
කළඹ ආයෝජන-                  0.1
මූල්‍ය ව්‍යුත්පන්න-                  -
වෙනත් ආයෝජන-         4,239
නිල සංචිත-                     7,534
එකතුව-                         13,277

බැරකම් (ඇමරිකන් ඩොලර් මිලියන) 

සෘජු විදේශ ආයෝජන-   12,455
කළඹ ආයෝජන-               9,946
මූල්‍ය ව්‍යුත්පන්න-                  -
වෙනත් ආයෝජන-          35,860
එකතුව-                            58,211

මේ අනුව ලංකාවේ බැරකම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 58,211ක් වුවත්, වත්කම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 13,277ක් පමණයි. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 44,985ක ශුද්ධ බැරකමක්. ඉහත එක් එක් අයිතමය වෙන වෙනම ගත්තත් හැම විටම වත්කම් මෙන් කිහිප ගුණයක බැරකම් ඇති බව පැහැදිලිව පෙනෙනවා. ඉහත ශුද්ධ බැරකම් රටේ ජනගහණයෙන් බෙදුවොත් එක් අයෙකුට ඇමරිකන් ඩොලර් 2,102 ක්.

ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ රටවල් අතරින් ශුද්ධ බැරකම් වැඩිම රටයි. පහතින් තිබෙන්නේ 2020 මාර්තු අවසානයේදී ඇමරිකාවේ ශේෂ පත්‍රයයි.

වත්කම් (ඇමරිකන් ඩොලර් බිලියන) 

සෘජු විදේශ ආයෝජන-  6.982.0
කළඹ ආයෝජන-         10,987.4
මූල්‍ය ව්‍යුත්පන්න-           3,000.5
වෙනත් ආයෝජන-        5,259.7
නිල සංචිත-                       537.5
එකතුව-                        26,767.1

බැරකම් (ඇමරිකන් ඩොලර් බිලියන) 

සෘජු විදේශ ආයෝජන-   8,789.8
කළඹ ආයෝජන-          19,778.4
මූල්‍ය ව්‍යුත්පන්න-            2,965.2
වෙනත් ආයෝජන-         7,311.2
එකතුව-                         38,824.6

ඇමරිකාවේ වත්කම් ප්‍රමාණය වන ඩොලර් බිලියන 26,767.1 ට සම්මුඛව ඩොලර් බිලියන 38,824.6 ක බැරකම් තිබෙනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 12,057.5ක ශුද්ධ බැරකමක්. ඒ කියන්නේ එක් ඇමරිකානුවෙකුට ඩොලර් 36,500ක් පමණ. එක් ලාංකිකයෙකුට ඇමරිකන් ඩොලර් 2,100ක ශුද්ධ බැරකමක් තිබීම ප්‍රශ්නයක්නම් එක් ඇමරිකානුවෙකුට ඩොලර් 36,500ක ශුද්ධ බැරකමක් තිබීම ප්‍රශ්නයක් නොවන්නේ කොහොමද?

ඇමරිකාවේ ශුද්ධ බැරකම් ප්‍රමාණය ඩොලර් බිලියන 12,057.5ක් බව ඇත්ත. එහෙත් එය හැදී තිබෙන්නේ ඩොලර් බිලියන 26,767.1ක වත්කම් හා ඩොලර් බිලියන 38,824.6 බැරකම් වල එකතුවක් ලෙසයි. ඇමරිකාවේ ඩොලර් බිලියන 26,767.1ක වත්කම් වලින් ලැබෙන ආදායම ඩොලර් බිලියන 38,824.6 බැරකම් වෙනුවෙන් වැය කළ යුතු වියදමට වඩා වැඩියි. ඒ නිසා, ශුද්ධ වශයෙන් ඇමරිකාවේ බැරකම් වැඩි වුනත් වත්කම් හා බැරකම් වලින් ශුද්ධ ලෙස ඇමරිකාවට ආදායමක් ලැබෙනවා. මෙය ඇමරිකාවට සුවිශේෂී තත්ත්වයක්.

ඇමරිකාවේ වත්කම් හා බැරකම් වල සංයුතිය පරීක්ෂා කළ විට මේ කරුණ පැහැදිලි වෙනවා. වත්කම් හා බැරකම් අතර වෙනසට ප්‍රධානම හේතුව කළඹ ආයෝජන වල වෙනසයි. අනෙක් කොටස් සෑහෙන දුරට සමතුලිතයි. ඇමරිකාවේ බැරකම් වලින් අඩකටත් වඩා කළඹ ආයෝජන. මෙයින් සැලකිය යුතු කොටසක් විදේශිකයින් විසින් ඇමරිකාවේ රාජ්‍ය සුරැකුම්පත් වල කර තිබෙන ආයෝජන. ඒ වෙනුවෙන් ඇමරිකන් රජය විසින් ගෙවන්නේ ඉතා අඩු පොලියක්.

බොහෝ රටවල් හා අදාළව බැරකම් වලින් පිළිබිඹු වෙන්නේ බැරිකම්. බැරකම් ඉහළ ගොස් තිබෙන්නේ බැරිකම් වසා ගැනීමට ණය ඉල්ලාගෙන විදේශිකයින් වෙත යාම නිසයි. එවැනි තත්ත්වයක් යටතේ ණය ලබා ගන්න වෙන්නේ අවදානමට සරිලන විශාල පොලී අනුපාතිකයක් යටතේ.

නමුත්, ඇමරිකාවේ තත්ත්වය වෙනස්. ඇමරිකන් රජය ණය ඉල්ලාගෙන වෙනත් රටවල් වෙත ගොස් නැහැ. ඒ වෙනුවට සිදු වී තිබෙන්නේ වෙනත් රටවල් විසින් සුරක්ෂිත ආයෝජනයක් සේ සලකමින් ඇමරිකන් රජය විසින් නිකුත් කරන ණය සුරැකුම්පත් ඉල්ලාගෙන පැමිණීමයි. ඇමරිකාව එහි වාසිය ලබමින් ඉතා අඩු පොලියකට ප්‍රාග්ධනය ආකර්ශනය කර ගන්නවා. ඒ නිසා, ඇමරිකාව හා අදාළව බැරකම් කියා කියන්නේ බැරිකම් නෙමෙයි. පුළුවන්කම්.

ඇමරිකාවේ විදේශ වත්කම් ප්‍රමාණය විදේශ බැරකම් ප්‍රමාණයෙන් 69%ක් පමණයි. එසේ වුවත්, බැරකම් වෙනුවෙන් ඇමරිකාව වැය කරන මුදල වත්කම් වලින් උපයන ආදායමට වඩා අඩු මට්ටමක තිබෙන්නේ මේ පොලී අනුපාතික වෙනස නිසයි.

ලංකාවේ විදේශ වත්කම් ප්‍රමාණය විදේශ බැරකම් ප්‍රමාණයෙන් 22.8%ක් පමණයි. එයින් වැඩි කොටසක් නිල සංචිත. නිල සංචිත ආයෝජනය කරන්නේ සුරක්ෂිතතාවට ප්‍රමුඛතාවය දෙමින් නිසා එයින් විශාල පොලී ආදායමක් ලැබෙන්නේ නැහැ. ඉතිරි කොටස වාණිජ බැංකු වල සංචිත හා සමාගම් විසින් ලබා දී ඇති වාණිජ අත්තිකාරම්. ඒවායින්ද සැලකිය යුතු පොලී ආදායමක් ලැබෙන්නේ නැහැ. එහෙත්, බැරකම් වලින් සෑහෙන ප්‍රමාණයක් ස්වෛරීත්ව බැඳුම්කර විකුණා ලබාගෙන තිබෙන ණය. ඒ වෙනුවෙන් සැලකිය යුතු පොලී වියදමක් දරන්න වෙනවා. ලංකාවේ බැරකම් ප්‍රමාණය වත්කම් ප්‍රමාණය මෙන් හතර පස් ගුණයක් වීමට අමතරව බැරකම් වෙනුවෙන් වැඩි පොලී අනුපාතිකයක් ගෙවන්න සිදු වීමේ අවාසියද ලංකාවට තිබෙනවා.

කවුරු ආණ්ඩු කළත් ලංකාව පැටලී සිටින ණය උගුලෙන් අවුරුදු හතර පහකින් ගොඩ යන්න බැහැ. ගොඩ යන තුරු තව තවත් ණය ගන්න වෙනවා. උගුලෙන් ගොඩ යනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ ගන්න ණය ආයෝජනය කරන්නේ කොහොමද කියන එක මතයි.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...