වෙබ් ලිපිනය:

Friday, October 26, 2018

අගමැති හටන


ජනාධිපති සිරිසේන විසින් මහින්ද රාජපක්ෂව ලංකාවේ අගමැති ලෙස පත් කරලා තියෙනවා. ඒ අතර, රනිල් වික්‍රමසිංහ තමන්  තවදුරටත් අගමැති ලෙස කටයුතු කරන බව කියනවා. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමන් තවමත් ලංකාවේ අගමැති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රනිල් වික්‍රමසිංහ කියන කතාව හරි. එහි 46(2) අනුව්‍යවස්ථාවේ තියෙන්නේ මේ විදිහටයි.

"අග්‍රාමාත්‍යවරයා-

(අ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්වුවහොත්, හෝ 
(ආ) තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවුවහොත්, හෝ

මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේ ද ඒ තාක් කල් ස්වකීය ධුරය දරන්නේ ය."

මේ කරුණු කිසිවක් මේ අවස්ථාවේ සිදු වෙලා නැහැ. ජනාධිපති සිරිසේනට අවශ්‍යනම් මහින්ද රාජපක්ෂව අගමැති ලෙස පත් කිරීමේ හැකියාව තිබෙන බවට වූ මතයක් පහුගිය කාලයේ ඇතැම් අය විසින් ප්‍රචලිත කළා. පුළුවන් තමයි. ඒකනේ ඔය කරල තියෙන්නේ. නමුත්, ප්‍රශ්නය තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එහෙම කරන්න පුළුවන්ද කියන එකයි.

පුළුවන් කියා කියන අය එසේ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) අනුව්‍යවස්ථාව අනුවයි. එහි තිබෙන්නේ මේ විදිහටයි.

"ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේතුවේ විශ්වාසය උපරිමයෙන් ඇති මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය."

මේ අනුව, වැදගත් වෙන්නේ ජනාධිපතිවරයාගේ මතයයි. පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙනවාද වැනි කරුණු මෙහිදී සෘජුව වැදගත් වෙන්නේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සේ දිවුරුම් දීමෙන් අනතුරුව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහව පත් කළේ ඔය වගන්තියේ විධිවිධාන අනුවයි.

මේ විදිහට අලුත් අගමැතිවරයෙක් පත් කිරීමෙන් පසුව අගමැතිවරයාගේ උපදෙස් මත අමාත්‍ය මණ්ඩලයක් අලුතෙන් පත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ 43(1) හා 43(2) අනුව්‍යවස්ථා වල තිබෙනවා. ඒ වගේම, අගමැතිවරයාගේ උපදෙස් අනුව මේ ඇමතිවරුන් වෙනස් කළ හැකි වුවත් ඒ හේතුවෙන් අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට බලපෑමක් නොවන බව 43(3) අනුව්‍යවස්ථාවේ කියැවෙනවා.

මේ අනුව, අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම තිබෙන තාක් කල් අගමැති වන්නේ රනිල් වික්‍රමසිංහයි. ඔහුගේ නිර්දේශ අනුව ජනාධිපති වරයා විසින් ඉවත් කළොත්, ධුරයෙන් ඉල්ලා අස් වුවහොත් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි වුවහොත් මිස අගමැති වෙනස් නොවන තාක් කල් ඇමති වරයෙකුගේ ධුරයක් හෝ වෙනස් වෙන්නේ නැහැ. අමාත්‍ය මණ්ඩලය පවතින තුරු ඔවුන් ඇමතිවරු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) අනුව්‍යවස්ථාව අනුව අලුත් අගමැතිවරයෙක් පත් කරන්නනම් එම ධුරය හිස් වී තිබිය යුතු බව පැහැදිලි කරුණක්. රනිල් වික්‍රමසිංහ කියන්නේ එවැන්නක් සිදු වී නැති බැවින් තමන් තවමත් අගමැති බවයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සේ දිවුරුම් දීමෙන් පසුව ඒ වන විට අගමැති සේ කටයුතු කළ දි.මු. ජයරත්නව ඉවත් කරලා රනිල් වික්‍රමසිංහව අගමැති ලෙස පත් කළා. දැන් කරලා තිබෙන පත්වීම නීත්‍යානුකූල බව පෙන්වන්න උත්සාහ කරන අය ඉහත සිද්ධිය පූර්වාදර්ශයක් ලෙස පෙන්වනවා. නමුත්, එදා තත්ත්වය හා අද තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. ඒ වන විට දහනවවන සංශෝධනය සම්මත වෙලා තිබුණේ නැහැ.

දහනවවන සංශෝධනය සම්මත වන්නට පෙර, ධුර කාලය අවසන් වෙන්නට පෙර අගමැතිවරයාගේ තනතුර නැති විය හැකි ඉහත 46(2) අනුව්‍යවස්ථාවේ තිබෙන ක්‍රම දෙකට අමතරව තවත් ක්‍රමයක් තිබුණා. ඒ ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන සහිත ලිපියක් මගින් අගමැතිවරයාව ධුරයෙන් ඉවත් කිරීම. එය ඉතා පහසුවෙන් කළ හැකිව තිබුණු දෙයක්. නමුත්, ඒ ප්‍රතිපාදනය මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ. ඒ නිසා, මේ වෙලාවේ ජනාධිපති සිරිසේන විසින් කර තිබෙන්නේ ව්‍යවස්ථා විරෝධී කටයුත්තක්.

ජනාධිපති සිරිසේන විසින් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත යවා තිබෙන ලිපියේ වගේම අදාළ ගැසට් නිවේදනයේත් "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) ව්‍යවස්ථාව අනුව" තමන් ඔහුව පත් කළ බව කියන නමුත් "මා වෙත පැවරී ඇති බලතල අනුව" කියා කියනවා මිසක් ඉවත් කරන්න බලතල ලැබුණේ කොහොමද කියා කියන්නේ නැහැ.

දැනට පවතින ව්‍යවස්ථාවට අනුකූලව රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කරන්න තිබුණු පහසුම ක්‍රමය විශ්වාස භංග යෝජනාවකින් ආණ්ඩුව පරාජය කිරීමයි. එවිට, අමාත්‍ය මණ්ඩලය වගේම අගමැතිවරයාත් අලුතින් පත් කිරීමේ බලතල ජනාධිපතිවරයාට හිමිවෙනවා. ඒ සඳහා උත්සාහයක් දැරුවත් එය සාර්ථක වුනේ නැහැනේ. මේ විදිහට ව්‍යවස්ථාවට පිටින් ගිහින් අගමැති ඉවත් කිරීමේ අදහස එන්න ඇත්තේ ඉන් පසුව වෙන්න ඇති.

මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ බහුතර බලය වුවත් නැති වෙන්න පුළුවන්. ඔහුට බහුතර බලය තිබෙනවානම් අලුතෙන් පත්වන ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේදී පරාජය කළ හැකියි. නමුත්, එවැනි තත්ත්වයක් ඇති වෙන්නේ ඔහු අගමැති ධුරය හැර ගියොත්. එසේ ධුරය හැර යනවා කියන්නේ ඔහු ජනාධිපතිගේ ක්‍රියාවේ නීතිමය වලංගු භාවය පිළිගැනීමක්. රනිල් එහෙම කරයිද?

රනිල් නීතිය මත ඕනෑවට වඩා විශ්වාසය තියාගෙන ඉඳලා තිබෙන බව පේනවා. ලංකාව වගේ රටක මිනිස්සු හිතන විදිහ ගොඩක් වෙලාවට නීතියට වඩා බලවත්. ඒ තත්ත්වය වෙනස් කරන්න රනිල්ගේ කාලයේදී යම් උත්සාහයක් දැරුවත් ලොකු වෙනසක් වෙලාද කියන එක සැක සහිතයි.

ඒ නිසා, මේ වෙලාවේ ඇත්තටම ලංකාවේ සෑහෙන අවුලක් තියෙනවා. ඒ අවුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම විසඳෙයි කියා හිතන්න අමාරුයි. පොතේ නීති තිබුණත් සාමාන්‍ය කරුණකදී ඒ නීති ලංකාවේ බොහෝවිට ක්‍රියාත්මක වුනේ පොතේ හැටියටම නෙමෙයි. දැන් මේ තත්ත්වය සාමාන්‍ය කරුණු නොවන ලොකු කරුණු දක්වාම දුර දිග ගිහින්.

මිනිස්සු ඉන්නේ මහින්ද එක්ක කියා පෙනෙන විට රනිල් පහුබහින්න ඉඩතිබෙනවා. රනිල් අගමැති ධුරය අතහැර ගියොත් එජාප මන්ත්‍රීවරුන් අනිත් පැත්තට පනින එක වලක්වන්න කොහොමත් බැරි වෙනවා. ඒ නැතත්, රනිල් ඉදිරියේ තියෙන්නේ සෑහෙන අවදානමක්.

රනිල් පරාජය බාර ගනීද? තමන් අවුරුදු තුනක් තිස්සේ රටේ අධිකරණ පද්ධතිය කොයි තරම් ශක්තිමත් කරලා තියෙනවද කියලා පරීක්ෂා කරන්න යයිද? මේ තත්ත්වයට වෙනත් රටවල් කවර ආකාරයෙන් ප්‍රතිචාර දක්වයිද? දැන් ටිකකට පෙර පළ කර තිබෙන ටයිම්ස් ඔෆ් ඉන්දියා ලිපියක් කියෙවුවහම ලංකාවේ දේශපාලනයට ඉන්දියාව කොයි තරම් දුරට මැදිහත් වෙනවද කියන කරුණ පැහැදිලියි. වෙන්නේ මොනවාද කියලා බලා ඉන්න තමයි තියෙන්නේ.

රාජපක්ෂ පරම්පරාව


කලින් ලිපියේ ලිවුවා වගේ දරු උපතක් ගැහැණු හෝ පිරිමි වීමේ සම්භාවිතාව සමාන නැහැ. පිරිමි දරු උපතකට තිබෙන ඉඩකඩ වඩා වැඩියි.

පිරිමි ස්වභාවයෙන්ම ගැහැණුන්ට වඩා කළහකාරීයි. අවදානම් ගන්නවත් වැඩියි. ඒ නිසා, වයස්ගත වෙලා හෝ ලෙඩ රෝගයකින් මැරෙන්න කලින් කිසියම් අනතුරකින් පිරිමියෙක් මැරෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

ගැහැණු හා පිරිමි එක සමාන ප්‍රමාණ වලින් ඉපදුනොත් වැඩි පිරිමි ප්‍රමාණයක් අඩු වයසෙන් මිය යාම නිසා දරුවන් බිහි කරන වයසට එද්දී ගැහැණු ජනගහණය වඩා වැඩි වෙනවා. උපතේදී පිරිමි දරු උපත් ගණන වැඩි වෙලා තිබීම මෙය සමතුලිත කිරීම සඳහා වන ස්වභාව ධර්මයේ උපක්‍රමයයි.

සමස්ත ජනගහණය දිහා බැලුවහම දකින්න පුළුවන් ඉහත කී වෙනස්කමට අමතරව තනි පුද්ගලයෙක් ගත්තහම ඔහුට ගැහැණු හෝ පිරිමි දරුවන් ලැබෙන්න තිබෙන ඉඩකඩ සමාන නැහැ. ඔහුට කියා කිවුවේ හිතාමතාමයි. මේ කරුණේදී වැදගත් වන්නේ දරුවෙකු බිහි කරන්න දායක වන පිරිමියා.

එක්සත් රාජධානියේ, නිවු කාසල් සරසවියේ පර්යේෂකයෙකු වූ කොරී ජෙලාට්ලි විසින් වාර්තා හොයා ගත හැකි යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ පවුල් 927ක පුද්ගලයින් 556,387 දෙනෙකුගේ දරු උපත් රටාවන් පරීක්ෂා කර පෙන්වා දුන්නේ දරුවෙකු ගැහැණු හෝ පිරිමි වීම කිසියම් දුරකට පියාගේ පරම්පරාව අනුව තීරණය වන බවයි. මවගේ පැත්තෙන්නම් එවැනි සම්බන්ධයක් පෙනී ගොස් නැහැ. මෙය සිදුවෙන්න ඉඩ තිබෙන ආකාරය පිළිබඳ ඔහුගේ යෝජිත ආකෘතිය අදාළ පර්යේෂණ පත්‍රිකාවේ තිබෙනවා.

මේ අනුව, අයියලා මල්ලිලා ගොඩක් ඉන්න පවුලක පිරිමියෙකුට පිරිමි දරුවන් ලැබෙන්න ඉඩ වැඩියි. අක්කලා නංගිලා ගොඩක් මැද්දේ ඉපදෙන පිරිමියෙකුට ගැහැණු දරුවන් ලැබෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. ඒ අනුව, බැලුවහම දේවානම්පිතිස්සගේ පරම්පරාව ගැන මහා වංශයේ තිබෙන තොරතුරු වැරදියි කියා කියන්න බැහැ.


මේ හා අදාළ මෑතකාලීන උදාහරණ වුවත් හොයාගන්න එතරම්ම අමාරු නැහැ. මහින්ද රාජපක්ෂට ඉන්නේ පුත්තුම තුන් දෙනෙක්. ගැහැණු දරුවන් නැහැ. උඩ පරම්පරාව දිහා බැලුවත් පිරිමි වැඩියි. චමල්, මහින්ද, චන්ද්‍රා, ගෝඨාභය, බැසිල්, ඩඩ්ලි සහෝදර සමාගමේ ඉන්න පිරිමි හය දෙනෙකුගේ පවුලේ ගැහැණු ඉන්නේ තුන් දෙනෙක් පමණයි. ඊට පෙර පරම්පරාවෙත් හතරෙන් තුනක්ම පිරිමි. මේ විදිහට රාජපක්ෂ වරුන්ට වැඩිපුර පිරිමි දරුවන් ලැබෙන එක අහම්බයක් නොවෙන්න පුළුවන්.

(Image: http://archives.dailynews.lk/2010/06/07/fea23.asp)

Thursday, October 25, 2018

සැමන් මාළු, වලස්සු හා කණාමැදිරියෝ...


අභිජනනය පිණිස සැතපුම් සිය ගණනක් උඩු ගං බලා පීනන සැමන් මාළු ගැන කලින් ලිපියක ලිවුවනේ. එහි මා සඳහන් කළ පරිදි, මේ ගැන ලියන්න මාව උනන්දු කරමින් විශාල තොරතුරු ප්‍රමාණයක් විද්‍යුත් තැපෑලෙන් එවුවේ කැනඩාවේ ජීවත් වන පාඨකයෙක්. මම හිතන විදිහට මේ වගේ ගඟ ඉහළට පීනන සැමන් මාළු දැකලා ඔහුට ඇති වුනු සංවේදී හැඟීම එයට හේතු වෙන්න ඇති. පහළින් තිබෙන්නේ ඒ ගැන විස්තර කරමින් ඔහු වසරකට පමණ පෙර එවපු විද්‍යුත් ලිපියෙන් කොටසක්.

"වෙහෙසකර ගමනක නිරතවන මෙම සතුන් දුටු, අප සියලු දෙනා තුළම ඇතිවූයේ වචනයෙන් විස්තර කළ නොහැකි කිසියම් පාලු ගුප්ත භාවයකින් යුත් ඉතාමත්ම තද කණගාටුදායක කනස්සල්ලක් වන් තත්ත්වයකි. පිහිනන බොහොමයක් මාළුවන් තුළ දකින්න ලැබුනේ ඉතා දුර්වල වෙහෙසකර භාවයක්. සමහර සැමන් මාළු අඩි කිහිපයක් පිහිනා ගොස් පැත්ත පෙරැළී ටික වෙලාවක් හුස්ම ඇද ඇද සිටී..... තවත් තැනක ගල් මත පතිත වී සහ ගල් අතර සිරවී මියගොස් සිටින මසුන්..... හරිම හිත් කම්පා කරවන දර්ශනයක්. තවත් තැනක (අවසර දී ඇති ස්ථාන වල) බිලී පිති අමෝරාගෙන අහිංසක ගැබ්බර මාළුන් ඩැහැගන්න බලා සිටින පුද්ගලයෝ.....මේ අතර දකින්න ලැබුණ කුඩා ළමුන් සමග බිලි බෑමේ නිරතවන පවුල්..... අනේ සංසාරේ කියලා හිතෙනවා...  :(    ඊටත් වඩා..... දුක තවත් තීව්‍ර වන්නේ අනේ මේ මාළු යන්නේ තමාගේ අවසන් ගමන නේද කියලා හිතෙනකොට දැනෙන විස්තර කරන්න අමාරු කණගාටුව......"

මම හිතන්නේ මේ හැඟීම විස්තර කළ හැකි වචනය සහකම්පනය. අපේ පාඨක හිතවතා මේ අවස්ථාවේදී හදවතින් සැමන් මාළු එක්ක එක් වෙලා සැමන් මාළුන්ගේ වෙහෙසට, දුකට, කණගාටුවට සම්මාදම් වෙනවා. හැබැයි ඉතිං සැමන් මාළුවාට දැනෙන හැඟීම මේ දිහා බලා සිටින අපේ පාඨකයාට දැනෙන හැඟීමම කියා කියන්න බැහැ. ඇත්තටම ඔහු සම්මාදම් වෙන්නේ තමන්ගේම හිතේ ඉන්න සැමන් මාළු අහිනකගේ දුකටයි.

දැන් මේ විස්තරයේ තියෙන විදිහටම අමාරුවෙන් උඩු ගං පීනන මාළුන්ව වලසුන්ගේ වගේම මිනිස්සුන්ගේ පහසු ගොදුරු බවට පත් වෙනවා. ඒ වුනත්, සැමන් මාළු ගැන පමණක්ම නොහිතා පරිසර පද්ධතියක් සේ හිතුවොත් මෙහි ඇති "වැරැද්දක්" නැහැ. සැමන් මාළුන්ව ගඟ අයිනේ ජීවත්වන, ආහාර දාමයේ සැමන්ලාට වඩා උඩින් ඉන්න, වලස්සු වගේ සතුන්ට ගොදුරු වෙන එක ඒ සතුන්ගේ පැවැත්මට වගේම සැමන් මසුන්ගේ පැවැත්මටත් වැදගත් කරුණක්.

මේ විදිහට වලසුන්ට හා මිනිස්සුන්ට ගොදුරු වෙන්නේ සැමන් අහිනේ ඉන්න දුර්වලම සත්තු. බේරිලා යන්නේ ශක්තිමත්ම සත්තු. ඒ නිසා, අභිජනනය කර අළුත් සැමන් පරම්පරාවක් බිහි කරන්න දායක වෙන්නේ මාළු අහිනේ ඉන්න හොඳම මාළු ටික. හැම අළුත් සැමන් පරම්පරාවක්ම කලින් පරම්පරාවට වඩා ඉදිරියෙන්.

ඔහොම කාලයක් යද්දී සැමන්ලා ගොඩක් "ස්මාර්ට්" වෙලා මිනිසුන්ගෙන් හා වලස්සුන්ගෙන් බේරිලා යාමේ කුසලතාවය ඉහළ ගියොත් මොකද වෙන්නේ?

එවිට වෙන්නේ ගඟ අද්දර ඉන්න මිනිස්සුන්ගෙන් හා වලස්සුන්ගෙන් කොටසක් කන්න මාළු නැතුව මැරෙන එකයි. මේ විදිහට මැරෙන්නේ මාළුවෙක්වත් අල්ලගන්න බැරි දුර්වල මිනිස්සු හා වලස්සු. වඩා ශක්තිමත් මිනිස්සු හා වලස්සු කොහොම හරි මාළුවෙක් අල්ලගනියි.

ඔය කිවුවට මිනිස්සු හා වලස්සු කන්න මාළු නැතුව මැරෙන එකක්ම නැහැ. නමුත්, මාළුවෙක් අල්ලගන්නවත් බැරි පිරිමි මිනිහෙක්ට හෝ වලහෙක්ට ගැහැණු සතෙක්ව හොයා ගැනීම වඩා වඩා අමාරු වීම නිසා වර්ගයා බෝ කරන්න අවස්ථාව නැති වෙයි. එහි ප්‍රතිඵලයත් කලින් එකමයි. ඒ එක්කම, අළුත් පරම්පරාවේ වලස්සු හා මිනිස්සු පෙර පරම්පරාවට වඩා "ස්මාර්ට්" වීම නිසා මාළුන්ට ලැබුණු ඉන්ටවල් එක වැඩි කාලයක් පවතින්නේ නැහැ.

ස්වභාව ධර්මය පරිසර පද්ධති වල සමතුලිතතාවය පවත්වාගන්නේ ඔය විදිහටයි. හැබැයි ස්වභාව ධර්මයට වුනත් කරන්න පුළුවන් සීමාවක් තිබෙනවා. වලස්සු ඉන්නේ මේ සීමාව ඇතුළේ වුනත් මිනිස්සු ඉන්නේ ඒ සීමාවෙන් පිට වෙන්න පුළුවන්. ස්වභාව ධර්මයට ප්‍රතිචාර දක්වන්න කාලයක් නොදී ඉතා කෙටි කාලයක් තුළ පරිසර පද්ධතියකට විශාල බලපෑමක් කිරීමේ හැකියාවක් මිනිස්සුන්ට තිබෙනවා. නමුත්, ඒ විදිහට මිනිස්සුන්ට දිගින් දිගටම ස්වභාව ධර්මය අභිබවා යාමේ හැකියාවක් තියෙනවද?

මේ දවස් වල පෙන්වන කණාමැදිරියෝ ටෙලිනාට්‍යයේ මේ අදහස සාකච්ඡාවට බඳුන් කරනවා.

ස්වභාව ධර්මය හා මිනිසා අතර ගැටුම පිළිබඳ අදහස් විශාල පරාසයක පැතිරිලයි තියෙන්නේ. එක අන්තයක ඉන්න අය මිනිස්සු සහ මිනිස් නිර්මාණ අයින් කරලා ඉතිරි වෙන කොටස ස්වභාව ධර්මය ලෙස සලකමින් මිනිස්සු විසින් ස්වභාව ධර්මය විනාශ කිරීම ගැන කතා කරනවා. එතකොට මතුවන ප්‍රශ්නය ඇයි මිනිස්සු සහ මිනිස් නිර්මාණ පමණක් ස්වභාව ධර්මයේ කොටසක් නොවන්නේ කියන එකයි. වඩු කුරුළු කූඩුවක් ස්වභාව ධර්මයේ කොටසක් වෙද්දී, නෙලුම් කුළුන ස්වභාව ධර්මයේ කොටසක් නොවන්නේ කොහොමද? ස්වභාව ධර්මය කියන්නේ දෙවියන් විසින් මවපු ලෝකයේ මුලින්ම තිබුණු දේවල් ටිකද?

කණාමැදිරියෝ බලන්න ගත්තේනම් ඒක ඇතුලෙ තියෙන දාර්ශනික සංවාද නිසා නෙමෙයි. කුතුහලය තරමක් දුරට හෝ පවත්වා ගන්න පුළුවන් විදිහට කතාව ගෙනියන නිසයි. ඒ අතින් කූඹියෝ තිර රචනයට ටිකක් කිට්ටුයි.

කූඹියෝ ටෙලිනාට්‍යය වටා පෙළගැහිච්ච රසිකයෝ කොටස් දෙකක් හිටියනේ. කට්ටියක් කැමති වුණේ ඒකෙ තිබුණා කියා හිතාගෙන හිටපු දේශපාලනයට. කතාවේ තියෙන්නෙ තමන් හිතාගෙන හිටපු දේශපාලනය නෙමෙයි කියා තේරෙන කොට ඒ කට්ටිය හිමිහිට අයින් වුනා.

දෙවන කණ්ඩායම කූඹියෝ බැලුවේ එහි වේගවත් ගලා යාම හා ත්‍රිලර් ගතියට. අන්න ඒ ගතිය ටිකක් කණාමැදිරියෝ ටෙලි නාට්‍යයේත් තියෙනවා. නමුත්, කණාමැදිරියෝ බලන්න ලොකු රැල්ලක් හැදිලා නැති එකෙන් පේන්නේ කූඹියෝ වටේ වැඩිපුර ඉඳල තියෙන්නේ පළමු කණ්ඩායමේ අය බව. කූඹියෝ සහ ඒ එක්කම වාගේ විකාශනය වූ සහෝදරයා අතර සමානකම් දැක්කේ ඒ අයයි.

වේගවත් ගලා යාම කියා කියද්දී මිණිගංදෑළ මතක් වෙන එක නවත්තන්න බැහැ. අර කතාවක් තියෙනවනේ එකම ගඟ දෙවරක් දකින්න බැහැ කියලා. මුලින් උනන්දුවෙන් බලන්න පටන්ගත්ත මිණිගංදෑළ බලන එක ඒ දවස වලම නවත්තල නොදැම්මනම් ඔය කතාව පට්ට බොරුවක් බව ඔප්පු කරන්න තිබුණා. කොහොම වුනත් ඒ කාලය කණාමැදිරියෝ බලන්න ඉතිරි වුණා.

කණාමැදිරියෝ ගලාගෙන යන්නේ තාත්ත්වික සීමාවෙන් එපිට අන්ත දෙකක ඉන්න චරිත දෙකක් මැදින්. මුලින්ම හිතුනේ තිර රචකයා ප්‍රොෆෙසර් මහේන්ද්‍රගේ පැත්තේ කියලයි. කතාව තවම ඉවර නැතත්, යන විදිහට පේන්නේ මුලින් වෙන්න බැරි දේවල් වගේ පෙනුණු දේවල් වලට "විද්‍යාත්මක" පැහැදිලි කිරීම් එකින් එක එමින් තියෙන බවයි.

(Image: https://pgcpsmess.wordpress.com/tag/spawning-salmon-and-bears/)

Wednesday, October 24, 2018

සාධාරණ කාසි


ලංකා ඉතිහාසයේ මුල හරියේ හමුවන රජ වරුන්ට පුත්තු වැඩිපුර ඉඳලා තිබෙන බව මහා වංශය අනුව පේනවනේ. ඒ වගේම, අන්තිම හරියේ රජකරපු "රජවරුන්ටත්" ඉන්නේ පුත්තුමනේ. එහෙම වෙන්න පුලුවන්ද?

ගොඩක් අය හිතාගෙන ඉන්නේ කාට හරි ලැබෙන දරුවෙක් ගැහැණු හෝ පිරිමි වීම අහඹු දෙයක් කියලයි. හරියට කාසියක් උඩ දැම්මහම සිරස හා අගය ලැබීම වගේ.

කාසියක් උඩ දැම්මහම සිරස හෝ අගය වැටීමේ සම්භාවිතාව 50%ක් නැත්නම් 0.5ක් කියලා ඉගෙන ගත්ත අය ඕනෑ තරම් මෙය කියවන අය අතර ඇති. ඒ පදනම මත බැලුවොත් කාසියක් එක දිගට උඩ දමන විට එක දිගටම සිරස නැත්නම් අගය වැටෙනවානම් ටිකක් අවුල් වගේනේ.

කවුරු හරි කාසියක් උඩ දමලා මේ කතාව හරිද කියලා පරික්ෂා කරල තියෙනවද?

කාසියක් එක පාරක් උඩ දමලා මේ කතාව හරිද වැරදිද කියන එක තහවුරු කරගන්න බෑනේ. එක්කෝ අගය නැත්නම් සිරස වැටෙයි. කතාව හරිද බලන්න වාර ගණනක් කාසිය උඩ දාන්න ඕනෑ.

අපි හිතමු ඔය කියන සම්භාවිතාව 0.5මයි කියලා. එවිට කාසිය දෙපාරක් උඩ දැම්මොත් දෙපාරම සිරස වැටෙන්න 0.25ක සම්භාවිතාවක් තිබෙනවා. අගය දෙපාරක් වැටෙන්නත් 0.25ක සම්භාවිතාවක් තිබෙනවා. සිරස හා අගය සමාන වාර ගණනක් වැටෙන්න තිබෙන සම්භාවිතාව 0.5ක් පමණයි.

එක දිගට කාසිය දහ පාරක් උඩ දැම්මොත් සිරස හා අගය වාර පහ බැගින් වැටෙන්න තිබෙන සම්භාවිතාව කුමක්ද? එය 0.2461ක් පමණ වෙනවා.

කාසිය උඩ දමන වාර ගණන වැඩි වෙද්දී සිරස හා අගය වැටෙන වාර ගණන සමාන වෙන්න තිබෙන සමභාවිතාව ටිකෙන් ටික අඩු වෙනවා. සිය වාරයක් උඩ දැම්මොත් සිරස හා අගය පණහ පණහ බැගින් වැටෙන්න තිබෙන සම්භාවිතාව 0.0786ක් පමණයි.

කොහොම වුණත් මේ විදිහට කාසිය උඩ දමන වාර ගණන වැඩි වන තරමට සිරස හෝ අගය වැටෙන වාර ගණන මුළු වාර ගණනේ ප්‍රතිශතයක් ලෙස 50%ට ටිකෙන් ටික කිට්ටු වෙනවා. ඕකට කියන්නේ විශාල සංඛ්‍යා වල නීතිය කියලා.

නමුත්, මේක වෙන්නේ එක වාරයක් කාසිය උඩ දැම්මහම සිරස හෝ අගය වැටෙන සම්භාවිතාව 0.5ක්නම් පමණයි. ඒ වගේ ප්‍රතිඵලයක් ලබා දෙන කාසියකට සාධාරණ කාසියක් කියා කියනවා.

ඔය සාධාරණ කාසියක් කියන්නේ ගණිතමය සංකල්පයක්. ඇත්ත කාසි කිසිවකට සාධාරණ කාසි කියන්න බැහැ. ඒවා හදලා තියෙන්නේ හරියටම සමමිතිකව නෙමෙයි. ඒ නිසා, කවුරු හරි සැබෑ ලෝකයේ කාසියක් අරගෙන විශාල වාර ගණනක්, අපි හිතමු වාර මිලියනයක් විතර, ඕක උඩ දැම්මොත් සිරස හෝ අගය වැටෙන වාර ගණන මුළු වාර ගණනේ ප්‍රතිශතයක් ලෙස කිට්ටු වෙන්න ඉඩ තිබෙන්නේ 0.5ට ආසන්න වුවත් 0.5ම නොවන සංඛ්‍යාවකටයි.

වාර කිහිපයක් සිරස හෝ අගය දෙකෙන් එකක්වත් නොවැටී කාසිය කෙළින් හිටින්නත් ඉඩ තිබෙනවා. රුපියල් පහේ කාසියක් වගේ ඝනකම කාසියක්නම් මේ ඉඩකඩ තවත් වැඩියි.

අපි හිතමු කාසිය ඔය කියන විදිහේ සෛධාන්තික සාධාරණ කාසියක්ම කියලා. එහෙම වුනත්, උඩ දාන පුද්ගලයා මත ප්‍රතිඵලය වෙනස් වෙන්න පුළුවන්. හොඳට නිරීක්ෂණය කරල බලන්න කිසියම් පුද්ගලයෙක් කාසිය උඩ දාන්න පෙර එය තියා ගන්නේ කොහොමද කියලා. එක් එක් පුද්ගලයාට අනන්‍ය රටාවක් දකින්න බැරි වෙන එකක් නැහැ. සමහර අය සිරස උඩට තියාගෙන කාසිය උඩ දමයි. තවත් අය එහි අනිත් පැත්ත කරයි. මේ වගේ දේවල් වෙන්නේ නිරායාසයෙන්මයි.

කොහොම වුනත් ඔය කියපු වෙනස්කම් නිසා කාසියක් උඩ දැම්මහම සිරස හෝ අගය වැටීමේ සම්භාවිතාව මහා ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, ක්‍රිකට් තරඟයක් අරඹන අවස්ථාවක් වගේ වෙලාවකදී ප්‍රායෝගිකව මේ සම්භාවිතාව 0.5ක් කියා ගන්න එකේ ලොකු අවුලක් නැහැ.

දැනට කර තිබෙන පර්යේෂණ අධ්‍යයන අනුව, දරුවෙකු පිළිසිඳගන්නා අවස්ථාවේදී ගැහැණු හෝ පිරිමි වීමේ සම්භාවිතාව 0.5 හෝ එයට ඉතාමත්ම කිට්ටු අගයක්. නමුත්, මේ විදිහට සිදුවන පිළිසිඳ ගැනීම් සියල්ලම සජීවී දරු උපත් විදිහට අවසන් වෙන්නේ නැහැනේ.

කළලයක් වැඩෙන මාස නවයක පමණ කාලය තුළ ස්වභාවිකවම ගබ්සා වන කළල වලින් වැඩි ප්‍රමාණයක් ගැහැණු කළල. සමහර විට ගැහැණියක් බිහි කිරීමේදී ස්වභාව ධර්මය වඩා වැඩි සැලකිල්ලක් දක්වනවා ඇති. එහෙම වෙන්න හේතු තියෙනවා. දුර්වල කළල වැඩි ප්‍රමාණයක් ස්වභාවිකව ගබ්සා වූ තරමට එසේ ගබ්සා නොවී ඉතිරි වන්නේ වඩා නිරෝගී කළල. ගැහැණියක් පිරිමියෙකුට වඩා වැඩි කාලයක් ජීවත් වෙන්න මෙයත් හේතුවක් වෙනවා ඇති.

මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට වඩා වැදගත් වෙන්නේ පිරිමියෙකුට වඩා ගැහැණියක් වැඩි කල් ජීවත් වීමයි. පිරිමියෙකුට වර්ගයා බෝ කිරීමේ තමන්ගේ යුතුකම කරන්න මහා ලොකු කාලයක් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. අවුරුදු විස්සක් ජීවත් වන පිරිමියෙකුට වුවත් දරුවන් සිය ගණනක් බිහි කරන්න බැරි කමක් නැහැ. නමුත්, ගැහැණියකට ඒ ආකාරයට කෙටි කාලයක් තුළ දරුවන් විශාල පිරිසක් බිහි කිරීමේ හැකියාවක් නැහැ.

ස්වභාවික තත්ත්වයන් යටතේදී සජීවී ගැහැණු දරු උපත් 100ක් සිදු වෙන විට සජීවී පිරිමි දරු උපත් 105ක් පමණ සිදු වෙනවා. ඒ කියන්නේ පිරිමි දරුවෙකු ඉපදෙන්න තිබෙන සම්භාවිතාව 51%කට ටිකක් වැඩියි. ගැහැණු දරුවෙක් ඉපදීමේ සම්භාවිතාව 49%කට ටිකක් අඩුයි.

මේ කිවුවේ ස්වභාවික තත්ත්වයන් යටතේ. දැන් තිබෙන්නේ ස්වභාවික තත්ත්වයන්ම නෙමෙයිනේ. ලෝකයේ ගොඩක් රටවල නීත්‍යානුකූලවත්, ලංකාව වගේ රටවල් වල නීතියට පිටින් අවිධිමත් විදිහටත් සැලසුම් සහගතව ගබ්සා කිරීම් සිදු වෙනවනේ. ඒ වගේම කළලයට සති ගණනක් වෙද්දී ගැහැණු පිරිමි බව හොයාගන්න එකත් දැන් සරල දෙයක්නේ. මේ කරුණු දෙකේ ප්‍රතිඵලයක් විදිහට ඇතැම් රටවල සජීවී පිරිමි දරු උපතක් සිදු වීමේ සම්භාවිතාව ඔය කලින් කියපු ගණනටත් වැඩියි.

අපේ අසල්වැසි ඉන්දියාවේ සජීවී ගැහැණු දරු උපත් 100ක් සිදු වෙන විට සජීවී පිරිමි දරු උපත් 111ක් පමණ සිදු වෙනවා. චීනයේ මේ අනුපාතය 115ක්. ඉන්දියාව හා චීනය කියන්නේ ලෝකයේ වැඩිම ජනගහණයක් සිටින රටවල් දෙක නිසා ලෝකයම ගත්තහම සජීවී පිරිමි දරු උපත් අනුපාතය පැහැදිලිව පෙනෙන තරමට ස්වභාවික අනුපාතයට වඩා වැඩියි. ලංකාවේ අනුපාතයනම් ස්වභාවික අනුපාතයට කිට්ටුයි. ලංකාවේත් ගබ්සා කිරීම් විශාල සේ සිදු වුණත් ගැහැණු පිරිමි බව අනුව වෙනසක් ලොකුවට වෙනවා කියා මම හිතන්නේ නැහැ.

කොහොම වුනත්, උපදින දරුවෙකුගේ ගැහැණු පිරිමි බව කියන්නේ සාධාරණ කාසියක් උඩ දැමීමක් නෙමෙයි. ඒ නිසා, පුතෙක් බලාපොරොත්තු වන කෙනෙක්ගේ කැමැත්ත ඉටුවෙන්න තිබෙන ඉඩ 50%ට වඩා තරමක් වැඩියි.

රජවරුන්ගේ පුත්තු ගැන පැහැදිලි කරන්නනම් මේ ප්‍රවාදය ප්‍රමාණවත් නැහැ. ඒ ගැන කතා කරන එක තවත් දවසකට තියමු.

ඊට කලින් කැමති කෙනෙක්ට පිළිතුරු දෙන්න පොඩි ගණිත ගැටලුවක් පහත තියෙනවා. මෙය විසඳීමේදී ඉහත කියැවූ විස්තර අමතක කරලා දරුවෙක් ගැහැණු හෝ පිරිමි වෙන්න තිබෙන සම්භාවිතාව සමාන සේ සලකන්න.

අමලා සහ කමලා යන දෙන්නටම දරුවන් දෙදෙනා බැගින් ඉන්නවා. අමලාගේ වැඩිමල් දරුවා පුතෙක්. කමලාගේ (අඩු වශයෙන්) එක් දරුවෙක් පුතෙක්.

(1) අමලාට පුත්තුම දෙන්නෙක් සිටීමේ සම්භාවිතාව කීයද?
(a) 1/4
(b) 1/3
(c) 1/2
(d) 3/4

(2) කමලාට පුත්තුම දෙන්නෙක් සිටීමේ සම්භාවිතාව කීයද?
(a) 1/4
(b) 1/3
(c) 1/2
(d) 3/4

(Image: http://www.cityofphysics.com/blog/2015/12/08/flipping-coins-and-gender-quotas/)

පඬුවස්දෙව්ගේ දරුවෝ


මහා වංශයට අනුව සිංහල අනන්‍යතාවය පටන් ගන්නේ විජයගෙන්. ඔය කතාවත් එක්ක මට ලොකු ප්‍රශ්නයක් නැහැ. තමන්ව  සිංහලයෙක් ලෙස හඳුන්වාගත් පළමු පුද්ගලයා විජය වෙන්න පුළුවන්. එය ජාතික අනන්‍යතාවයක්ද නැද්ද කියන එක වෙනම කරුණක්. ගොඩක් වෙලාවට එයින් අදහස් වෙන්න ඇත්තේ ඔහුගේ පරම්පරාව.

ඔය ආකාරයට තමන්ගේ පරම්පරාවේ අනන්‍යතාවයෙන් තමන්ව හඳුන්වා ගත්තු මිනිස්සු ඉතිහාසයේ ඕනෑ තරම් ඉන්න ඇති. නමුත්, මහා වංශ ඉතිහාසයේ විජයට ලැබී තිබෙන තැන ඒ වෙනත් අයට ලැබිලා නැහැ.

මහා වංශය ලියා තිබෙන්නේ (දළ වශයෙන්) විජයගේ කාලයෙන් සියවස් අටකට පමණ පසුව වුනත්, මහා වංශය ලියන්න පදනම් කරගෙන තියෙන කතා ඊට වඩා පැරණියි. දේවානම්පියතිස්ස රජුගේ කාලයේ ඉඳලා මේ ඉතිහාස කතා දිගින් දිගටම යාවත්කාලීන කරමින් කටින් කට ඉදිරියට ගෙනත් තිබෙනවා. ඒ විදිහට ගෙනත් තියෙන්නේ ලංකාවේ බුද්ධ ශාසනයේ ඉතිහාසය. මේ කතා වල රජවරුන්ට තැනක් ලැබෙන්නේ බුද්ධ ශාසනයේ ඉතිහාසයට ඔවුන් සම්බන්ධ වන තරමටයි.

මහාවංශ ප්‍රවාදය අනුව ලංකාවේ බුද්ධ ශාසනයේ ඉතිහාසය පටන් ගන්නේ දේවානම්පියතිස්ස රජුගේ කාලයෙන්. කතාවේ ඊට පෙර කොටස තිබෙන්නේ මගධය ඇතුළු වත්මන් ඉන්දියානු අර්ධද්වීපයට අයත් තැන් වල. ඒ කොටසත් එකතු කළොත් කතාව අඛණ්ඩව යාවත්කාලීන වෙන්න පටන් ගන්නේ බුද්ධ කාලයෙන්. නමුත්, මහින්දාගමනය තෙක් මේ විදිහට යාවත්කාලීන වී තිබෙන්නේ මගධයේ ඉතිහාසය මිසක් ලංකාවේ ඉතිහාසය නෙමෙයි.

මහින්දාගමනයට පෙර ලංකාවේ බෞද්ධයින් සිටි බව කාට හෝ මතක් කරන්න පුළුවන්. එය එසේ නොවෙන්න හේතුවක් නැහැ. නමුත්, ඒ බෞද්ධයින්ගේ යම් සම්ප්‍රදායයන් තිබුණානම් ඒවා එක්කෝ නැති වෙලා ගිහින්. එහෙම නැත්නම් අශෝක බුද්ධාගම ඇතුළේ දිය වෙලා ගිහින්. දැන් තිබෙන සම්ප්‍රදාය මගධයේ පරිණාමය වෙලා ලංකාවට ඇවිත් තිබෙන්නේ මහින්දාගමනයත් එක්කයි.

දේවානම්පියතිස්ස කියන්නේ මහා වංශයට මුල් වූ පූර්ව ඉතිහාස කතා අනාගතයට සම්ප්‍රේෂණය කරපු බෞද්ධ භික්ෂූන්ට මුහුණට මුහුණ හමු වූ චරිතයක්. නමුත්, විජය කියන්නේ ඒ විදිහට ඔවුන්ට හමු වූ අයෙක් නොවෙයි. මහා වංශයට විජය වැදගත් පුද්ගලයෙක් වෙන්නේ දේවානම්පියතිස්සගේ පරම්පරාවේ ලංකාව ඇතුළේ හඳුනාගත හැකි පළමුවැන්නා විජය නිසයි.

කොහොම වුනත්, දේවානම්පියතිස්ස කියන්නේ විජයගෙන් කෙළින්ම පැවත එය අයෙක් නෙමෙයි. විජයගේ දරුවන්ට ලංකාවේ සිහසුනට උරුමයක් ලැබෙන්නේ නැහැ. දේවානම්පියතිස්ස පැවත එන්නේ පඬුවස්දෙව්ගෙන්.

දේවානම්පියතිස්සගේ පියා මුටසීව. මුටසීවගේ පියා පණ්ඩුකාභය. පණ්ඩුකාභයගේ මව චිත්‍රා. චිත්‍රාගේ පියා පඬුවස්දෙව්. පඬුවස්දෙව්ගේ පියා විජයගේ සොහොයුරා.

විජය වගේම පඬුවස්දෙව් කියන්නෙත් පළමු පරම්පරාවේ සංක්‍රමණිකයෙක්. නමුත්, පඬුවස්දෙව් ලංකාවට එන්නේ විජය පැමිණියා වගේ අහම්බයකින් නෙමෙයි. ඔහුට ලංකාවට එන්න පසුබිම හදන්නේ විජය. ඒ නිසා, දේවානම්පියතිස්ස කියා පුද්ගලයෙක් ලංකාවේ බිහිවෙන්න අඩිතාලම වැටෙන්නේ විජය නිසා. බුද්ධාගම ලංකාවේ ස්ථාපිත වෙන්න අඩිතාලම වැටෙන්නේ දේවානම්පියතිස්ස නිසා.

දේවානම්පියතිස්සගේ පියා මුටසීවනේ. මහා වංශයට අනුව මුටසීවට දරුවන් දොළොස් දෙනෙක්. පුත්තු දහයක් හා දුවලා දෙන්නෙක්. මහා වංශයේ එකොළොස් වන පරිච්ඡේදයේ තියෙන්නේ මෙහෙමයි.

"ඒ රජහට උනුන් හිතෛෂී වූ පුතුන් දස දෙනෙක් වූහ. කුලයට සුදුසු කීකරු වූ දූන් දෙදෙනෙකුද වූ ය. දේවානම් පියතිස්ස (දෙවෙන පෑතිස්ස) යයි ප්‍රසිද්ධ වූ දෙවෙනි පුත්‍ර තෙමේ ඒ සියලු සහෝදරයන් ‍අතුරෙන් පින්පැණ ගුණෙන් අධික වී."

මුටසීවගේ සීයා පණ්ඩුවාසදේවත් දරුවෝ එකොළහක් හදලා තියෙනවා. පුත්තු දහයක් හා දුවෙක්. මහා වංශයේ නවවන පරිච්ඡේදයේ තියෙන්නේ මෙහෙමයි.

"ඒ මෙහෙසිතොමෝ පුතුන් දසදෙනෙකු හා එක් දුවකුදු වැදුවා. සියල්ලන් දෙටුපිත් අභය නම  කණිට්ඨිකා තොම චිත්‍රා නම."

මේ විස්තර අනුව පෙනෙන්නේ ලංකාවට සංක්‍රමණය වූ පඬුවස්දෙව්ගේ පරම්පරාව ඉතා වේගයෙන් ව්‍යාප්ත වී තිබෙන බවයි.

තවත් කරුණක් සමහර විට ඔබ නිරීක්ෂණය කරන්න ඇති. ඒ තමයි මේ පරම්පරාවේ පිරිමි දරුවන්ට සාපේක්ෂව ගැහැණු දරුවන් ඉපදිලා තිබෙන්නේ අඩුවෙන් බව. එහෙම වුනේ කොහොමද?

මේ ගැන ඉදිරි ලිපියකින් කතාකරමු.

Tuesday, October 23, 2018

යුද්ධය නිමවීමෙන් පසු ලංකාවේ ආර්ථිකය

ලංකාවේ දිගුකාලීන ආර්ථික වර්ධනය ගැන කතා කරමින් "දිවීම හා බැරි මරගාතේ දිවීම" මාතෘකාව යටතේ ලිපියක් ලියලා දැන් මාස දෙකකටත් වැඩියි. ඒ ලිපියෙන් කතා කළේ ලංකාවේ ආර්ථිකයේ ශක්‍ය ධාරිතාව ගැනයි. අදාළ ලිපිය සමඟ රූප සටහන් තුනක් පළ කළා.


පළමු රූප සටහනේ තිබුණේ 1961 වසරේ සිට ලංකාවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ 2010 රුපියල් මිලියන ඇස්තමේන්තු වල ලඝු අගය. එය සරල රේඛා ඛණ්ඩයකට ගොඩක් කිට්ටුයි.


දෙවන රූප සටහනේ ඉහත කී රේඛාව එක්කම ඒ රේඛාව නිරූපණය කළ හැකි ආකෘතිමය රේඛාවක් පෙන්වූවා. මේ දෙවන රේඛාවේ බෑවුමෙන් අදහස් වෙන්නේ ලංකාවට දිගුකාලීනව පවත්වා ගත හැකි වූ ආර්ථික වර්ධන වේගය බව මම පැහැදිලි කළා. එය 4.5%ක පමණ වාර්ෂික වර්ධන වේගයක්.


තෙවන රූප සටහනේ පෙන්වූවේ මේ ආකාරයට ඇස්තමේන්තු කළ ශක්‍ය දළ දේශීය නිෂ්පාදිතය හා සැබෑ දළ දේශීය නිෂ්පාදිතය අතර වෙනස හෙවත් නිපැයුම් පරතරය චක්‍රීය ලෙස විචලනය වෙමින් පැවති ආකාරයයි. මේ හා අදාළ තාක්ෂනික කරුණු වෙනත් ලිපි වල පැහැදිලි කර තිබෙනවා.

ඉහත කී දෙවන හා තෙවන රූප සටහන් වලින් පෙන්වූයේ 2005 වසර දක්වා තත්ත්වය පමණයි. ඒ අනුව, පෙනුනේ 2005 වන විට ලංකාවේ නිමැවුම් පරතරය පියැවී ආර්ථිකයේ මූර්ත අංශය සමතුලිතව පැවති බවයි. 2005න් පසුව සිදු වූ දේ ඊළඟ ලිපියෙන් බලමු කියා ඒ ලිපිය අවසන් කළත් ඒ කියූ දෙවන ලිපිය ලිවුවේ නැහැනේ. දැන් හදන්නේ මේ පරණ පොරොන්දුව ඉටු කරන්නයි.

පහත සිවුවන රූප සටහනෙහි පෙර දෙවන රූප සටහනේ වූ රේඛීය ප්‍රස්ථාර 2017 වසර දක්වාම දිගු කරලා තිබෙනවා. මේ රූප සටහන දිහා බැලුවහම පැහැදිලිව පෙනෙනවා 2008-2012 වගේ අතර කාලයක කිසියම් වෙනසක් සිදු වෙලා තිබෙන බව. එතෙක්  කාලයක් විචලනය වෙමින් වුවත් අර 4.5% බෑවුම දිගේ වර්ධන වූ ලංකාවේ ආර්ථිකය ඒ අවුරුදු තුන හතරේදී එක පාරටම සමාන්තරව යන වෙන පීල්ලකට වැටෙනවා. එහෙම වෙන්න පුළුවන්ද?



මේ වගේ වෙනසක් වෙන්නනම් රටක ආර්ථිකයට විශාල බලපෑමක් වෙන වෙනසක් ඔය කාලයේ වෙන්න ඕනෑ. එහෙම දෙයක් ලංකාවේ සිදු වුනා. ඒ තමයි අවුරුදු 26ක් පැවති යුද්ධය අවසන් වීම. සෛද්ධන්තිකව බැලුවොත් මේ වගේ දෙයක තිබෙන බලපෑම කුමක්ද?

දිගු කාලයක් තිස්සේ ලංකාවේ මානව සම්පත් වගේම භෞතික සම්පත් වලින් විශාල කොටසක් යුද්ධය වෙනුවෙන් නාස්ති වුණා. යුද්ධය අවසන් වුනා කියන්නේ වාර්ෂිකව මේ සම්පත් ප්‍රමාණය ඉතිරි වෙනවා කියන එක. ඒ කියන්නේ රටේ සම්පත් සංචිතය එකවරම ඉහළ යනවා. මේ සම්පත් කලිනුත් රටේ තිබුණත් ඒවා යොදා ගැනුනේ සම්පත් විනාශ කරන්න මිසක් සම්පත් ජනනය කරන්නේ නෙමෙයිනේ. සම්පත් සංචිතය එකවරම ඉහළ යනවා කියන්නේ රටේ දළ දේශීය නිෂ්පාදිතය කෙටි කාලයක් තුළ එකවර ඉහළ යනවා කියන එකයි.

මේ විදිහට කෙටි කාලයක් තුළ රටේ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යද්දී වසර කිහිපයක් එක දිගට ඉහළ ආර්ථික වර්ධන වේගයක් දකින්න පුළුවන් වෙනවා. 2008 වසරේ පමණ සිටම මේ තත්ත්වය දකින්න පුළුවන් වුනා. යුද්ධය ඉවර වුනේ 2009දී බව කාට හෝ මතක් කරන්න පුළුවන්. ඇත්ත. නමුත්, 2009 මැයි මාසේ සිරිසේන මහත්තයා සති දෙකෙන් යුද්දේ ඉවර කරන කාලේ වන විට යුද්ධය ලංකාවේ කුඩා මුල්ලකට සීමා වෙලා ඉවරයි. නැගෙනහිර පළාතේ යුද්ධය ඉවර වෙලා ඒ වන විට සෑහෙන කලක්.

නැගෙනහිර පළාතේ යුද්දේ ඉවර වෙනවත් එක්කම ඒ පැත්තේ කුඹුරු කාලෙකට පස්සේ අස්වැද්දෙන්න පටන් ගත්තා. නැගෙනහිර පළාත ඉතිහාසය පුරාම ලංකාවට බත සැපයූ පළාතක්. මේ අස්වැන්න ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට එකතු වුනා. ඔය විදිහට ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට කලින් ගණන් නොගැනුණු කොටස් ටිකෙන් ටික එකතු වෙන්න ගත්තා.

මුල්ලවයික්කාල් අන්තිම සටන වෙන්න මාස ගාණකට කලින්ම ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකාර්මික අංශයට එකතු වෙන්න තිබුණු ගොඩක් දේවල් එකතු වෙලා ඉවරයි. ඒ වගේම, යුද්ධය ඉවර වුනා කියලා ලංකාවේ ආර්ථිකයේ කාර්මික අංශයේ මහා ලොකු වෙනසක් වෙන්න හේතුවක් තිබුණේ නැහැ. සේවා අංශයනම් යුද්ධය ඉවර වෙලා අවුරුදු කිහිපයක් යනකම් වේගයෙන් ඉහළ ගිය බව කියන්න පුළුවන්. සංචාරකයින් පැමිණීම වර්ධනය වෙන්න ගත්තේ යුද්ධය සම්පූර්ණයෙන්ම අවසන් වීමෙන් පසුවයි.

යුද්ධය අවසන් වීම නිසා සිදුවුනේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය එකවර ඉහළ යාමක් මිසක් එහි වර්ධන වේගය ඉහළ යාමක් නෙමෙයි. රටක දිගුකාලීන වර්ධන වේගය ඉහළ යන්නේ රටකට අලුත් තාක්ෂනය ලබා ගැනීමේ හැකියාව ඉහළ ගියොත් පමණයි. යුද්ධය අවසන් වුනා කියා එහෙම දෙයක් වුනේ නැහැ. යුද්ධයෙන් පස්සේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ලඝු අගය පෙන්වන රේඛාව උඩට ඉස්සිලා (අන්තඃඛණ්ඩය වැඩි වෙලා) මිසක් බෑවුම වෙනස් වෙලා නැති බව හතරවන හා පස්වන රූපසටහන් දිහා බැලුවහම නිරීක්ෂනය කරන්න අමාරු නැහැ.

හරි. අපි කියමුකෝ යුද්ධයෙන් පස්සේ සිදු වුනේ ශක්‍ය දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වන ආකාරය පෙන්වන රේඛා ඛණ්ඩය උඩට ඉස්සුණු එක කියා. එහෙමනං එය කොපමණ ඉහළට ඉස්සුනාද? වෙනත් විදිහකින් කියනවනම් යුද්ධය නිමා වීමේ ප්‍රතිඵලය ලෙස ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය කොපමණ ප්‍රසාරණය වුනාද? මගේ අදහස 15%ක් පමණ කියන එකයි. ශක්‍ය නිෂ්පාදිතය පෙන්වන රේඛාව එකවර 0.15කින් ඉහළ ගියා කියා උපකල්පනය කළොත් ලංකාවේ ආර්ථිකය දැන් ගමන් කරන පථය  වඩා හොඳින් ආකෘතිගත කරන්න පුළුවන්.

මෙතැනදී එකවර කියා කියන එකෙන් අදහස් වෙන්නේ දිගින් දිගටම අවුරුදු ගණනාවක් එක දිගට සිදු නොවන වෙනසක් කියන එක මිසක් යුද්ධය අවසන් වූ වහාම ක්ෂණිකව ලංකාවේ දදේනි 15%කින් වැඩි වූ බව නෙමෙයි. යුද්ධය අවසන් වීමට පෙර හා පසු අවුරුදු පහක පමණ කාලය තුළ මේ වෙනස සිදු වූ සංක්‍රාන්ති කාලය ලෙස සලකන්න පුළුවන්. ඒ නිසා, ඒ කාලයේ ලංකාවේ ආර්ථිකය වේගයෙන්  වර්ධනය වෙන්න ප්‍රධාන හේතුව එය කියා කියන්නත් පුළුවන්.  ඒ අනුව, 2008 වසරේ සිට 2012 වසර දක්වා වසරකට 3% බැගින් (4.5%ට අමතරව) මේ 15% වර්ධනය සිදුවුනා කියා හිතුවොත් දදේනි වක්‍රය උඩට ඉස්සුනු ආකාරය පහසුවෙන් විස්තර කරන්න පුළුවන්.


පෙනෙන විදිහට මේ වන විට යුද්ධය අවසන් වීමේ බෝනස් එක ඉවරයි. ඒ නිසා දැන් ආයෙමත් ලංකාවේ ආර්ථිකය වර්ධනය වෙන්නේ අර කලින් තිබුණු බෑවුම දිගේ. ඒ බෑවුම 4.5%ක පමණ බෑවුමක්.

Monday, October 22, 2018

උපන් බිමේ මැරෙන්නට උඩු ගං බලා...


කලින් ලිපියෙන් කතා කළ අභ්‍යාවකාශ තරණය කියන්නේ විශාල වියදමක් දරන්න වෙන වැඩක්. ඒ වියදමට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද කියන එක පැහැදිලි නැහැ. ඒ වුනත්, මේ වගේ ප්‍රතිලාභ පැහැදිලි නැති දේවල් වෙනුවෙන් මිනිස්සු වියදම් කරන අවස්ථා ඕනෑ තරම් තියෙනවා.

අභ්‍යාවකාශ තරණයට මිනිස්සුන්ගේ තියෙන කැමැත්ත පිටුපස තියෙන්නේ තමන් දන්න සීමාවෙන් ඔබ්බට තිබෙන දේවල් ගවේෂණය කරන්න මිනිස්සුන්ගේ තිබෙන ස්වභාවික කැමැත්ත. එය මිනිස්සුන්ව සංක්‍රමණයට පොළොඹවන ප්‍රධාන හේතුවක්ද  වෙනවා. ආර්ථික වාසි හොයාගෙන මිනිස්සු වගේම වෙනත් සත්තුත් උපන් බිමේ සිට දුර බැහැර පෙදෙස් වලට සංක්‍රමණය වනවා වගේම අලුත් දේවල් දැනගන්න තිබෙන ස්වභාවික කුතුහලය නිසා සංක්‍රමණය තෝරා ගන්නා අයත් ඉන්නවා.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් දවස් කිහිපයකට කලින් ප්‍රසිද්ධ කරලා තිබුණු ලැයිස්තුවේ ඉන්නේ ලංකාවේ සරසවියක සේවය කරමින් සිට උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වෙලා ලංකාවට ආපසු නොපැමිණි අයගෙන් එක් කොටසක් පමණයි. සරසවිය සමඟ බැඳුම්කරයකට අත්සන් නොතබා රටින් පිටව ගිය අය මෙහි නැහැ.

ලංකාවේ සරසවි වල ආචාර්ය මණ්ඩලයේ ඉන්න කෙනෙක්ට උසස් අධ්‍යාපනය ලබාගන්න ලංකාවේ රජයෙන් අරමුදල් හෝ ණය දෙනවද කියා මම දන්නේ නැහැ. එහෙම දෙනවනම් ඒ ඉතාම සීමිත පිරිසකට පමණක් විය යුතුයි. බොහෝ දෙනෙක් මේ විදිහට විදේශගත වෙන්නේ අදාළ රටේ මහජන මුදල් වලින් ලබා දෙන ශිෂ්‍යත්ව ලබා ගෙනයි.

විදේශ ශිෂ්‍යත්වයක් ලබා ලංකාවෙන් බැහැර යන කෙනෙක් ඒ වෙලාවේ ආපසු ලංකාවට නොපැමිණීමේ තීරණයේ ඉන්නවානම් මේ විදිහේ බැඳුම්කරයකට අත්සන් කරන්නේ නැහැ. එවැනි අයෙක් ලංකාවේ තමන්ගේ රැකියාවෙන් ඉල්ලා අස්වෙලා විදේශගත වුනා කියා පාඩුවක් වෙන්නේ නැහැ.

බැඳුම්කරයකට අත්සන් කර විදේශගත වෙන්නේ නැවත ලංකාවට එන්න හිතාගෙන රටින් පිටව යන අයයි. රැකියාවෙන් ඉවත් වෙලා විදේශගත වුනොත් නැවත ලංකාවට පැමිණියාට පසුව සුදුසු රැකියාවක් හොයා ගැනීම පහසු නොවන බව දන්නා නිසා ලංකාවේ රැකියාව සුරක්ෂිතව තියාගන්නයි මේ විදිහට බැඳුම්කරයකට අත්සන් කර රටින් පිටවෙන්නේ. නමුත්, ඒ අයගෙන් කොටසක් නැවත ලංකාවට එන්නේ නැහැ.

මුල් තීරණය පසුව වෙනස් වී තමන් ගිය රටේම නවතින්න ගොඩක් අය පෙළඹීමට ආර්ථික වාසි වගේම වෙනත් හේතුත් බලපානවා. තමන් කලින් නොදුටු අවස්ථා දකින්න ලැබෙන විට ඇතැම් අයගේ මුල් තීරණය වෙනස් වෙනවා.

මිනිස්සුන්ට පමණක් නෙමෙයි සත්තුන්ට පවා තමන්ගේ පැවැත්ම සඳහා වඩාත්ම හොඳ තීරණය ගැනීමේ ස්වභාවික ඉවක් තිබුණත් එවැනි තීරණයක් හොඳම තීරණය වෙන්නේ ඒ මොහොතේ තමන්ගේ දැනුමට සාපේක්ෂව. දැනුම අලුත් වෙද්දී කලින් හොඳයි සිතා ගත් තීරණ හොඳම තීරණ නොවන බව පෙනෙන්න පුළුවන්. එහෙම පෙනුනා කියා බැක් ටු ද ෆියුචර් චිත්‍රපටියේ වගේ අතීතයට ගිහින් කලින් ගත්ත තීරණය වෙනස් කරන්න බැහැ. නමුත්, කලින් සැලසුම් කර තිබුණු අනාගත තේරීම් වෙනස් කරන්න පුළුවන්.

සංක්‍රමණය කියන්නේ අවදානම් කටයුත්තක්. මේ තීරණය ගනිද්දී එහි අනාගත ප්‍රතිඵල සියල්ලක්ම හරියටම දැනගන්න ක්‍රමයක් නැහැ. නමුත්, ඉතිහාසය පුරාම මිනිස්සු ඒ අවදානම අරගෙන තිබෙනවා. මිනිස්සු වගේම ඒ අවදානම ගන්න සත්තුත් ඉන්නවා.

සත්ත්ව ලෝකයේ සංක්‍රමණිකයින් ගැන කතා කරද්දී සැමන් මාළු ගැන කතා නොකරම බැහැ. අපි පොඩි කාලේ සැමන් කියා කිවුවේ පොදුවේ ටින් මාළු වලටයි. මේ සමහර ටින් වල අසුරා තිබුණේ මැකරල් වගේ වෙනත් මාළු වර්ග. මේ කියන්නේනම් ඔරිජිනල් සැමන් මාළු ගැන.

මාළු සාමාන්‍යයෙන් මිරිදිය මාළු හා මුහුදු මාළු විදිහට වර්ග කෙරෙනවා. කරදිය මාළුන්ට මිරිදියේ ජීවත් වෙන්න බැරුවා වගේම මිරිදිය මාළුන්ට මුහුදේ ජීවත් වෙන්නත් බැහැ. මිනිස්සු වගේම සත්තුත් පරිණාමය වෙලා තිබෙන්නේ තමන් පරම්පරා ගණනක් ජීවත් වූ පරිසරයට උචිත ආකාරයටයි.

සැමන් මාළුවාගේ පොඩි වෙනසක් තියෙනවා. සැමන් මාළු ඉපදෙන්නේ වගේම මැරෙන්නත් මිරිදියේ වුවත් වැඩිකලක් ජීවත් වෙන්නේ කරදියේ. ඔවුන්ට තියෙන්නේ අපූරු ජීවන චක්‍රයක්.

මිරිදිය මාළු විදිහට පරිණාමය වෙලා ඉන්න සැමන් මාළුන්ට කුඩා කාලයේ කරදියේ ජීවත් වෙන්න බැහැ. නමුත්, වැඩුණු සැමන් මාළුවෙකුට කරදියට හුරු වෙන්න පුළුවන්.

මුහුද කියන්නේ මාළුවෙකුට ජීවත් වෙන්න අවශ්‍ය සම්පත් විශාල වශයෙන් තියෙන තැනක්. මිරිදිය ජලාශ වල ඒ තරම් සම්පත් නැහැ. තරමක් ලොකු මාළුවෙක් වන සැමන් මාළුවෙකු තමන් උපන් තැනම මුළු ජීවිත කාලයම ගෙවනවානම් එක්තරා ප්‍රමාණයකට වැඩුනට පස්සේ මේ සම්පත් හිඟය අභියෝගයක් වෙනවා. එහෙම වුනොත් තිබෙන සීමිත සම්පත් ප්‍රමාණය බෙදාගන්න සැමන් මාළුන්ට එකිනෙකා එක්ක සෑහෙන තරඟයක් කරන්න වෙනවා. මේ වගේ තරඟයක් කුඩා සැමන් පැටවුන්ට අවාසිදායක සේ බලපාන්න පුළුවන්. තියෙන කෑම ඩිංගිත්ත ලොකු සැමන් මාළු ටික දෙනෙක් උලා කෑවට පස්සේ පොඩි එවුන්ට හූල්ල හූල්ල ඉන්න තමයි වෙන්නේ.

කොහොම වුනත්, තමන් උපන් තැනින් ලබා ගන්න පුළුවන් සම්පත් අරගෙන එක ප්‍රමාණයකට ලොකු මහත් වුන සැමන් මාළු වඩා දුර්වල සැමන් පැටවුන්ට ඇණයක් වෙමින් එතැනම ටැග් ගැහි ගැහී ඉන්නේ නැහැ. උන් කරන්නේ විශාල අවදානමකට මුහුණ දෙමින් සම්පත් බහුල මුහුද කරා ගමන් අරඹන එකයි.

සංක්‍රමණය හා අදාළව එකට කතා වෙන වචන දෙකක් වන බුද්ධි ගලනය හා බුද්ධි ජනනය (Brain Drain & Brain Gain) කියන වචන දෙකෙන් දෙවැන්න ගැන කතාබහක් ලංකාවේදී ඇහෙන්නෙම නැති තරම්. මේ දෙකෙන්  බුද්ධි ජනනයේ වාසිය තිබෙන්නේ සංක්‍රමණිකයින් ආකර්ශනය කරගන්නා රටවල් වලට පමණක් නෙමෙයි. සංක්‍රමණිකයින්ගේ මුල් රටවලටත් බුද්ධි ජනනය වාසියක් වෙනවා. ඇතැම් තත්ත්වයන් යටතේදී මේ වාසිය බුද්ධි ගලනයේ අවාසිය ඉක්මවනවා.

සාමාන්‍යයෙන් සංක්‍රමණයට පෙළඹෙන්නේ අවදානම් ගැනීමේ අභියෝගයට මුහුණ දෙන්න සූදානම් අය. සමාන කුසලතා තිබෙන දෙදෙනෙකුගෙන් නුහුරු බිමක ජීවත් වන අයෙකුට වඩා උපන් බිමේ ජීවත්වන අයෙකුට ජීවිතය පහසුයි. ඒ නිසා, සංක්‍රමණිකයෙකුට ගමනාන්ත රටේදී තරඟයට මුහුණ දී ජයගන්න පුළුවන් වෙන්නේ කුසලතා අතින් වඩා ඉදිරියෙන් සිටියොත් පමණයි.

සංක්‍රමණයට තිබෙන අවස්ථා පුළුල් වන තරමට කිසියම් රටක ඉන්න ශ්‍රම බලකාය සංක්‍රමණයේ අවදානම් වලට මුහුණ දිය හැකි තරමට කුසලතා වර්ධනය කර ගන්න පෙළඹෙනවා. නමුත්, ඒ විදිහට තමන්ගේ කුසලතා වර්ධනය කර ගන්න හැමෝම අන්තිමේදී සංක්‍රමණයට පෙළඹෙන්නේ නැහැ. මෙය බුද්ධි ජනනයට හේතු වන එක් කරුණක්.

හැබැයි සැමන් මාළුනම් එහෙම නැහැ. සංක්‍රමණයට අවශ්‍ය කුසලතා වර්ධනය කර ගත්තට පස්සේ සැමන් මාළු කිසිවෙක් උපන් තැන නැවතිලා ඉන්නේ නැහැ.

ගඟක ඉහළ ඉපදෙන සැමන් මාළුන්ට මුහුද බලා ගඟ පහළට යන එක ගොඩක් අමාරු වැඩක් නෙමෙයි. ගොඩක් පොඩි මාළු කරන්නේ ඔළුව ගඟ ඉහළට තබාගෙන දිය පාර දිගේ හෙමින් පහළට ගසාගෙන යන්න ඉඩ අරින එකයි. තරමක් ලොකු මාළුනම් ඒ විදිහට දෛවයට ඉඩ දී බලා ඉන්නේ නැතුව ඔළුව දිය පාර දිහාවට හරවලා සක්‍රිය ලෙස පීනනවා. මේ සංක්‍රමණය ආරම්භ කරන්නේ වයස අවුරුද්දක් පමණ වූ සැමන් මාළු. මේ වයස සැමන් ප්‍රභේදය අනුව වෙනස් වෙනවා.

මේ විදිහට හරිත තණ බිම් හොයාගෙන යන සැමන් මාළුන්ට වැඩේ බරපතලකම තේරෙන්න ගන්නේ මිරිදියෙන් කරදියට මාරු වෙද්දී. අලුත් පරිසරයට හැඩගැහෙන අතරේ මේ සැමන් මාළු හොඳට කාලා වේගයෙන් වැඩෙනවා. අලුත් පරිසරයේ සම්පත් වගේම අභියෝගත් වැඩියිනේ. ඒ අභියෝග ජයගන්නනම් තමන්ගේ කුසලතා තවත් හොඳින් වර්ධනය කරගන්න ඕනෑ.

කරදියට හුරුවෙන සැමන් මාළු අවුරුදු හතරක් පහක්ම කර දියේ ගෙවනවා. ඇතැම් විශේෂ අවුරුදු හත අටක්ම. මේ කාලය ඇතුළත මුහුදේ තිබෙන විශාල සම්පත් ප්‍රමාණයේ වාසිය ලබමින් මේ සැමන් මාළු පුෂ්ඨිමත්ව වැඩෙනවා.

පොඩි අවුලකට තියෙන්නේ ලොකු සැමන් මාළුන්ට මේ විදිහට කරදියට හුරු වෙන්න පුළුවන් වුනත් සැමන් බිත්තර වලට හෝ කුඩා සැමන් පැටවුන්ට කරදියේ අභියෝග වලට මුහුණ දෙන්න බැරි වීමයි. මොකද සැමන් මාළු පරිණාමය වෙලා තිබෙන්නේ මිරිදිය මාළු වර්ගයක් විදිහට නිසා.

මේ හේතුව නිසා සංක්‍රමණික සැමන් මාළුන්ට අලුත් පරිසරයේ තමන්ගේ පරම්පරාව ඉදිරියට ගෙනයාමේ හැකියාවක් නැහැ. අනෙක් අතට සැමන් මාළු ඉපදුණු ගඟ ඉහළ නිජබිම් වල සැමන් පරම්පරාව ඉදිරියට ගෙන යා හැකි වැඩිහිටි සැමන් මාළු කිසිවෙක් ඉතිරි වෙලත් නැහැ. එහෙමනං සැමන් පරම්පරාව වඳ නොවී දිගටම පවතින්නේ කොහොමද?

සැමන් මාළු කියන්නේ යුතුකම් දන්න සත්තු. විශ්වාස නැත්නම් සැමන් මාළුවෙකුගෙන් අහල බලන්න. මුහුදට ඇවිදින් සම්පත් මැද්දේ ජීවත් වුණත් සැමන් මාළු තමන් උපන් තැන අමතක කරන්නේ නැහැ. පරම්පරාව ගෙනියන්න පැටවු බෝ කරන්න අවශ්‍ය බව අමතක කරන්නෙත් නැහැ.

අවුරුදු හතරක් පහක් මුහුදේ සැපට හැදෙන සැමන් මාළු අන්තිමට කරන්නේ තමන්ගේ වර්ගයා බෝ කිරීමේ කටයුත්ත සඳහා නැවත උපන් තැනට ප්‍රති-සංක්‍රමණය වීමයි. නමුත්, මුහුදේ ඉඳන් උපන් තැනට ආපහු යන එක මුහුදට ආපු තරම් පහසු කටයුත්තක් නෙමෙයි. ඒ සඳහා සැතපුම් සිය ගණනක් ගඟ ඉහළට පීනන්න ඕනෑ.

මේ විදිහට වර්ගයා බෝ කිරීමේ අරමුණින් ඉතා අමාරුවෙන් සැතපුම් සිය ගණනක් උඩු ගං බලා පීනන සැමන් මාළු මේ දුෂ්කර චාරිකාවේ යෙදෙන්නේ උපවාසයකද යෙදෙමිනුයි. ඇඟේ තැන්පත් වී තිබෙන මේද දහනය වෙද්දී ඔවුන්ට උඩු ගං පීනන්න අවශ්‍ය ජවය ලැබෙන අතරම ඇඟේ බර සැහැල්ලු වීම මේ කටයුත්තට තවත් උදවුවක් වෙනවා.

ගමන අවසන් වන විට මේ සැමන් මාළුන්ගේ ප්‍රජනන පද්ධතියේ අවයව හැර අනෙකුත් අවයව සියල්ලම හොඳටම දුර්වල වෙලා අවසන්. ඒ නිසා, තමන් උපන් තැනට ආපසු පැමිණි වහාම ගැහැණු මාළු කරන්නේ තමන්ගේ වරල් වලින් සුරක්ෂිත තැනක් හදලා බිත්තර දමන එකයි. පිරිමි මාළු ඒ එක්කම වගේ මේ බිත්තර සංසේචනය කරන්න අවශ්‍ය කරන දේ එතැනටම හලනවා.

ඔය යුතුකම ඉටු කරලා ඉවර වෙන කොට ගැහැණු පිරිමි දෙවර්ගයේම සැමන් මාළුන්ගේ හොඳ පණ ගිහිං ඉවරයි. එයින් පස්සේ මේ මාළු වැඩිම වුනොත් සතියකට වඩා ජීවත් වෙන්නේ නැහැ. අන්තිමේදී ඔවුන්ගේ සිරුරු දිරා ගිහින් ඔවුන් මුහුදෙන් රැගෙන ආ පෝෂ්‍ය පදාර්ථ උපන් වතුරට එකතු වෙද්දී අලුතෙන් බිහිවුණු පැටවුන්ට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබාගන්න ඉඩක් ඔවුන්ට සැලසෙනවා.

කොහොම වුනත් හැම සැමන් මාළුවාටම මේ අවසන් චාරිකාව නිමා කරලා උපන් වතුරට නැවත එන්න ලැබෙන්නේ නැහැ. ඒ වාසනාව ලැබෙන්නේ දිය පහර සමඟ සටන් කරමින් උඩු ගං පීනන සැමන් මාළුන්ව ගොදුරු කරගන්න බලාගෙන ඉන්න වලස්සු වගේ සත්තුන්ගෙන් වගේම මිනිස්සුන්ගෙනුත් බේරී ගමන අවසන් කරන්න හැකි වන සැමන්ලාට පමණයි.

උතුරු ඇමරිකාවේ සැමන්ලා මේ විදිහට උඩු ගං බලා පීනීම පටන් ගන්නේ උත්තරාර්ධගෝලය උණුසුම් වෙන්න පටන් ගනිද්දී. උත්තරාර්ධගෝලය ශීතල වෙන්න පටන් ගන්න මේ කාලය සැමන් රන් එකේ අන්තිම කාලය. ඔය මාස හයේ තමයි උතුරු ඇමරිකාවේ සැමන් දඩයම ජයටම කෙරෙන්නේ.

මේ විදිහට අමාරුවෙන් උඩුගං පීනන සැමන් මාළුන්ව දඩයම් කිරීම බලා ඉන්න කණගාටුදායක දෙයක් බවත් සඳහන් කරමින්, මේ ගැන ලියන්න කියා අපේ පාඨකයෙක් මගෙන් ඉල්ලීමක් කළේ හරියටම අවුරුද්දකට කලින්. ඔහු මේ හා අදාළ ගොඩක් විස්තරත් එවලා තිබුණා. ලිපියක් ලියන්නම් කියා පොරොන්දු වුනත් අවුරුද්දකට පස්සේ සිහි කැඳවීමක් ලැබෙනකල්ම වැඩේ කෙරුණේ නැහැ.

හොයලා බැලුවොත් ඔය විදිහට ඉකොනොමැට්ටා පොරොන්දු වෙලා ඉටු නොකරපු දේවල් තව සෑහෙන්න ඇති. පොරොන්දු කියන්නේ ඉතිං ඉටු කරන දේවල්ම නෙමෙයිනේ!

සැමන් මාළු මැරෙන්න කලින් තමන් උපන් තැනට ආපහු එන්නේත් පොරොන්දුවක් ඉටු කරන්න හෝ මුහුද බලා යන්න කලින් බැඳුම්කරයක් අත්සන් කර තිබීම නිසාද කියා දැනගන්න වෙන්නෙත් උන්ගෙන්ම තමයි. කොහොම වුනත් කමක් නෑ ඊළඟ සැරේ හොද්දක් හරි බැදුමක් හරි හදන්න සැමන් ටින් එකක් කඩන කොට මතක තියා ගන්න ඔය ටින් එක ඇතුළේ සැමන් වගේ පැක් වෙලා ඉන්නේ උපන් දියට සහ මව්දියේ සැමන්ලාට ද්‍රෝහියෙක් නොවූ සැමන් කෙනෙක් බව.

පසු එකතු කිරීම: සැමන් මාළු ගැන වසර කිහිපයකට කලින් ඔමා ලියපු ලිපියක මේ හා අදාළ තොරතුරු ගොඩක් තියෙනවා.

රැඩිකල් මාළුවා ('Salmon fish')

(Image: https://healthyeating.sfgate.com/benefits-canned-salmon-4196.html)

Sunday, October 21, 2018

2020 දී මොකක් වෙයිද?


දෙදාස් විස්සෙදී මොකක් වෙයිද වගේ ප්‍රශ්න ගොඩක් අයට තිබෙනවා. අනාගතයේ වෙන දේවල් අපට නිශ්චිතවම දැනගන්න විදිහක් නැහැ. නමුත්, එයින් කියන්නේ අනාගතය තනිකරම අහම්බයක් කියන එක නෙමෙයි. අද අපි ගන්නා තීරණ අනාගතය වෙනස් කරනවා. හරියට සැලසුම් කළොත් අනාගතය වඩා හොඳ විදිහකට වෙනස් කරගන්න බැරිකමක් නැහැ.

නීල් ආම්ස්ට්‍රෝන් හඳට ගිහින් දැන් අවුරුදු පණහකට කිට්ටුයි. ඒ වෙන විට මම ඉපදිලා හිටියත් මේ ගැන සංවේදී වන වයසක නෙමෙයි හිටියේ. මේ ලිපිය කියවන බොහෝ දෙනෙක් එක්කෝ ඒ කාලයේ ඉපදිලා නැහැ. එහෙම නැත්නම් මම වගේම ඒ කාලයේ මේ ගැන සංවේදී නැති කුඩා දරුවෙක්. මෙය කියවන අය අතරේ ඔය හඳ ගමන හරියටම මතක තියෙන අයත් සෑහෙන පිරිසක් ඇති. නමුත්, අද ජීවත් වන බොහෝ දෙනෙක්ට ඕක තවත් ඉතිහාස කතන්දරයක් විතරයි.

ආම්ස්ට්‍රෝන් හඳට යන්න කලින් දශක දෙක අභ්‍යාවකාශ තරණය හා අදාළව ගොඩක් දේ සිදු වුනු කාලයක්. නමුත්, ආම්ස්ට්‍රෝන්ගේ හඳ ගමනින් ටික කාලයකට පස්සේ ඒ ගැම්ම අඩු වෙලා ගියා.

අභ්‍යාවකාශ තරණය හා අදාළව මුලින්ම ඉදිරියෙන් හිටියේ සෝවියට් දේශය කියා කියන්න පුළුවන්. ඇමරිකාව වැඩේට බර දැම්මේ සෝවියට් දේශයට දෙවෙනි වෙන්න තිබුණු අකැමැත්ත එක්කයි. ඇමරිකාවට සෝවියට් දේශයට වඩා කලින් මිනිහෙක්ව හඳට යවන්න පුළුවන් වුණත් ඒ වෙනුවෙන් විශාල වියදමක් දරන්න වුණා. ගැම්ම අඩුවෙලා යන්න මේ වියදම හේතු වුනා කිවුවොත් එය බොරුවක් නෙමෙයි.

අවුරුදු පණහකට පස්සේ දැන් ආයෙත් ඇමරිකාව හඳත් එක්ක ඔට්ටු අල්ලන්න ලෑස්ති වෙමින් ඉන්නවා. මේ පාර කලින් සැරේ වගේ හඳට ඇමරිකානුවෙක්ව යවලා වැඩේ නවත්වන්න අදහසක් නැහැ.

සැලසුම තිබෙන්නේ හඳ වෙත අඛණ්ඩව ගමන් බිමන් පවත්වා ගැනීම සහ එතැනින් එහාට අඟහරු පැත්තටත් ඔලුව දා ගැනීම. 2020 අන්තිම වෙද්දී නැවත වරක් ඇමරිකානුවෙක් හඳ මත පා තැබීමත් 2030 පමණ වෙද්දී අඟහරු ගමනක් ආරම්භ කිරීමත් සැලසුම් කෙරෙමින් තිබෙනවා. පසුගිය අගෝස්තු 12 වෙනිදා ඉර කිට්ටුවට ගමන් ආරම්භ කළ පාකර් ප්‍රෝබ් එකත් මේ සැලසුම් වලම කොටසක්. ආම්ස්ට්‍රෝන් හඳට යාමේ සිද්ධිය දිහා කුතුහලයෙන් බලා සිටි පරම්පරාවට ලැබුණු, අපට නොලැබුණු අත්දැකීම අපටත් වැඩි කල් නොයා විඳගන්න ලැබෙයි.

පසුගිය දවසක නාසා ආයතනයේ සේවය කරන මිතුරෙකු සමඟ අප කිහිප දෙනෙකු මේ දේවල් ගැන කතා බහක යෙදෙමින් හිටියා. මෙහිදී, අපේ එක් මිතුරෙකු දැඩි ලෙස තර්ක කළේ කරන්න ඕනෑ තරම් දේවල් තියෙද්දී අභ්‍යාවකාශ තරණය වැනි කටයුතු වලට මෙවැනි විශාල මුදලක් වැය කිරීම නාස්තියක් බවයි.

මේ අදහස ඔහුගේ පමණක් වන අදහසක් හෝ අලුත් අදහසක් නෙමෙයි. මම හිතන්නේ මේ අදහස දරන විශාල පිරිසක් ඉන්නවා. සමහර විට අභ්‍යාවකාශ තරණ ව්‍යාපෘති කාලයක් යට ගිහින් තියෙන්න හේතුවෙන්න ඇත්තෙත් මෙවැනි අදහස්. එහෙමනම්, නැවතත් අභ්‍යාවකාශ තරණය ආකර්ශනීය අදහසක් වෙලා තියෙන්නේ කොහොමද?

මම හිතන්නේ ලෝක බලතුලනයේ සිදු වෙමින් පවතින වෙනස්කම් මෙයට හේතු වනවා කියලයි. කලින් සිටම අභ්‍යවකාශ තරණයේදී ඉදිරියෙන් සිටි රුසියාවට අමතරව නැගී එන අලුත් ලෝක බලවතුන් වන චීනය හා ඉන්දියාවත් අභ්‍යාවකාශය දිහා බලාගෙනයි ඉන්නේ. යම් විදිහකින් ඇමරිකාවට කලින් වෙනත් රටක් හඳ මත තමන්ගේ ආධිපත්‍යය පැතුරුවොත් ඒ සිද්ධියම ලෝක දේශපාලනයේ ඇමරිකාවට තිබෙන තැන එක වර වෙනස් කරන්න ඉඩ තිබෙනවා. අනික් අතට ඇමරිකාවේ ආධිපත්‍යය හඳ දක්වා දිගු වුනොත් ඇමරිකාවට පෘථිවිය මත තිබෙන තැන තවත් ස්ථාවර වෙනවා.

මේ හේතු නිසා, මේ පාර ඇමරිකාව හඳට යාමෙන් නොනැවතී හඳ මත තමන්ගේ ආධිපත්‍යය පැතිරීමේ සිට එයින් ඔබ්බට අත පොවන එක දක්වා ගොඩක් දේවල් නොවෙන්න හේතුවක් නැහැ. බරපැන වැඩි වුවත් ඇමරිකාවට ඒ බරපැන දරන්න බල කෙරෙන හේතු පැහැදිලිව පෙනෙන්න තිබෙනවා.

(Image: https://en.wikipedia.org/wiki/Parker_Solar_Probe)

එන්ටර්ප්‍රයිස් ලංකා ව්‍යාපෘතිය ෆිස්කල් බූස්ටරයක් ලෙස...


ව්‍යවසායකයින් බිහි කිරීමේ අරමුණින් ඇති කළා කියන එන්ටර්ප්‍රයිස් ලංකා ව්‍යාපෘතියේ ආකෘතිය අනුව එහි ප්‍රකාශිත අරමුණ කොයි තරම් දුරට ඉටුවෙයිද කියන එක හරියටම කියන්න බැහැ. නමුත්, ඒ හේතුව නිසාම මේ වැඩසටහන නරකයි කියා කියන්නත් බැහැ.

මහ බැංකුව හෝ රජය විසින් කෙළින්ම කියා නැතත්, එන්ටර්ප්‍රයිස් ලංකා ව්‍යාපෘතිය දිහා රාජ්‍ය මූල්‍ය උත්තේජකයක් (fiscal stimulus) විදිහට බලන්නත් පුළුවන්. එහෙම බැලුවොත් මේ වෙලාවේ රටේ සමස්ත ඉල්ලුම ඉහළ දමන්න ගත හැකි විකල්ප මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වලට සාපේක්ෂව මෙය නරක එකක් නෙමෙයි.

මේ ආණ්ඩුව බලයට පත් වෙන්න ආසන්න වසර වල පැවතුණු ඉහළ ආර්ථික වර්ධනයට එක හේතුවක් වුණේ යුද්ධය අවසන් වීමෙන් පස්සේ ලංකාවේ විභව දළ දේශීය නිෂ්පාදිතය එකවරම ඉහළ මට්ටමකට යාමයි. නමුත්, ඒ විදිහට ඉහළ ගියේ රටේ දළ දේශීය නිෂ්පාදිතය මිසක් එහි වර්ධන වේගය නෙමෙයි. මේ දෙක දෙකක්.

රටේ දළ දේශීය නිෂ්පාදිතය ඔය වගේ බාහිර කරුණක් හේතුවෙන් එක වර ඉහළ යන විට ආර්ථික වර්ධන වේගයත් තාවකාලිකව ඉහළ යන නමුත් නැවතත් කලින් තැනටම එනවා. ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් වරද්දා ගත්ත තැන වුනේ මේ වැඩි වීම (ලෙවල් ශිෆ්ට් එක) වර්ධන වේගයේ වැඩි වීමක් සේ සැලකීමයි. මේ ගැන වැඩි විස්තර පසුව වෙනම ලිපියක ලියන්නම්.

කොහොම හරි පහුගිය කාලයේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඉහළ මට්ටමක පවත්වා ගැනීමේ ප්‍රකාශිත ඉලක්කයක් තිබුණනේ. ආර්ථික වර්ධන වේගය ඉහළ යනවනම් හොඳයි. එහි කතා දෙකක් නැහැ. නමුත්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වලින් හෝ මුදල් ප්‍රතිපත්ති වලින් පමණක් රටක දිගුකාලීන ආර්ථික වර්ධන වේගය ඉහළ දමන්න බැහැ. වරද්ද ගත්ත තැන ඔතැනයි. එය කරන්න උත්සාහ කරන තරමට වෙන්නේ විභව නිෂ්පාදිතය වැඩි වීම වෙනුවට නිපැයුම් පරතරය ඉහළ යාමයි. එය භයානකයි. බොහෝ විට අවසන් වෙන්නේ ආර්ථිකයේ එකවර සිදුවන ලොකු කඩා වැටීමකින්.

කොහොම වුනත් මහ බැංකුව හා රජය කල් පසුවී හෝ මෙය තේරුම් ගෙන ආර්ථික වර්ධනයට තිරිංග යොදපු නිසා එවැනි එකවර සිදුවන කඩා වැටීමක් වැළකුණා. මේ කියන්නේ රටේ මූර්ත අංශය ගැන. විණිමය අනුපාතිකය, ගෙවුම් ශේෂය වැනි විදේශ අංශයේ අංග ගැන හෝ මුදල් අංශය වැනි අනෙකුත් අංශ ගැන නෙමෙයි. විදේශ අංශයේ අවදානම් තවමත් පහවී නැහැ.

ඉහත කී තිරිංග දැමීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට මේ වන විට ලංකාවේ ආර්ථික වර්ධන වේගය දිගුකාලීන මට්ටමෙන් පහළට වැටිලා තිබෙනවා. රජය වගේම මහ බැංකුවත් දිගින් දිගටම දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටීමේ ප්‍රතිඵලයක් විදිහට ඉදිරි වසර දෙක තුන තුළ ආර්ථික වර්ධනය පහළ ගිහින් ව්‍යාපාර චක්‍රයේ අනික් පැත්ත දැකගන්න පුළුවන් විය හැකියි.

ඒ අතරම ලංකාවේ ආර්ථිකයේ දිගු කලක් තිස්සේ තිබෙන ආකෘතිමය ප්‍රශ්න දෙක වන රාජ්‍ය අයවැය හිඟය හා ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට තිරසාර විසඳුමක් හොයන එක ගැනත් රජය හා මහ බැංකුව හිතමින් ඉන්න බව පේනවා. ලිහිල් මුදල් ප්‍රතිපත්තියකට හෝ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියකට යාම මේ අරමුණට බාධාවක්. රැවුලයි කැඳයි දෙකම බේරගෙනයි කරන දෙයක් කරන්න වෙන්නේ.

රාජ්‍ය මූල්‍ය උත්තේජකයක් විදිහට එන්ටර්ප්‍රයිස් ලංකා ව්‍යාපෘතියේ වැදගත්කම මම දකින්නේ ඉහත පදනම මතයි.

ආර්ථිකය උත්තේජනය කරන්න රජයට මැදිහත් විය හැකි විවිධ ආකාර තිබෙනවා. රජයේ වියදම් වැඩි කිරීම හා බදු අඩු කිරීම කියා පොතේ තිබුණත් මේ දේවල් කළ හැකි ආකාර රැසක් තිබෙනවා. බදු කොටස ගත්තොත් අඩු හෝ වැඩි කරන්නේ කවර බදුද කියන එක මත ඇති වන බලපෑම වෙනස්. ඒ වගේම තමයි රජය විසින් කරන වියදම් රට ඇතුළට ගලා එන්නේ කොහොමද කියන එක.

අපි මුලින්ම බදු අඩු කිරීමේ විකල්පය ගැන හිතමු. මේක ප්‍රායෝගිකව ලංකාවට ඒ තරම් හරියන විකල්පයක් නෙමෙයි. බදු අඩු කළාම භාණ්ඩ හා සේවා වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. පරිභෝජනය ඉහළ යනවා. නමුත්, විදේශ අංශයේ තිබෙන අසමතුලිතතාවයත් එක්ක මේ වෙලාවේ ඒක වෙන්නේ රටේ රැකියා ජනනය වීම එක්ක නෙමෙයි. බොහෝ විට වෙන්නේ දේශීය නිෂ්පාදිතය ඉහළ යාම වෙනුවට ආනයන තවත් වැඩි වෙන එකයි. බදු අඩු කිරීමෙන් අයවැය හිඟය වැඩි වීමේ අවාසිය ගැන බැලුවහම තේරුමක් නැති වැඩක්. කොහොමත් මේ වෙලාවේ කෙරෙන දෙයකුත් නෙමෙයි. ආණ්ඩුව ඉන්නේ බදු තවත් වැඩි කරලා අයවැය හිඟය අඩු කරගන්න උත්සාහ ගනිමින්.

බදු අඩු කරන්නේ නැත්නම් රජයේ වියදම් වැඩි කරන්න ඕනෑ. කාලයක් තිස්සෙම ලංකාවේ ආණ්ඩු වල ජනප්‍රිය තේරීම වුනේ මෙයයි. හැබැයි වියදම් කරපු ආකාරයන්ගේ වෙනස්කම් තිබෙනවා.

ලංකාවේ රජයේ වියදම් ඉහළ යවන සම්ප්‍රදායික ක්‍රමය රජයේ සේවය පුළුල් කිරීමයි. මේ හරහා රටේ තෝරාගත් පවුල් ටිකක මිල දී ගැනීමේ හැකියාව වැඩි වෙනවා. නමුත්, ඊට සාපේක්ෂව රටේ නිෂ්පාදිතය වැඩි වීමක් වෙන්නේ නැහැ. නිපැයුම් පරතරය සෘණ පැත්තට ගිහින් තියෙන වෙලාවට මේ වැඩෙන් ඒ පරතරය පියවගන්න පුළුවන් වුනත් ඒ හේතුව නිසා දිගුකාලීනව අවුල තවත් වැඩි වෙන එකයි වෙන්නේ. මොකද රජයේ සේවයට බඳවා ගන්නවා මිසක් බඳවා ගත්ත අය ඉවත් කරන්න ප්‍රායෝගික ක්‍රමයක් නැති නිසා.

තවත් විකල්පයක් වෙන්නේ රජය මැදිහත් වෙලා මහා පරිමාණ ආයෝජන කරන එක. මේ වැඩේට ප්‍රාග්ධන භාණ්ඩ හා අන්තර් භාණ්ඩ ආනයනය කරන්න වෙනවා. ඒකට ඩොලර් ඕනෑ. ඒ නිසා ප්‍රායෝගිකව විදේශ ණය නොගෙන බැහැ. විදේශ ණය විදිහට ගන්න මුදල් වලින් වැඩි ප්‍රමාණයක් නැවත රටින් එළියට යනවා. උප කොන්ත්‍රාත්තු ආදිය හරහා රට ඇතුළට මුදල් ටිකක් යනවා. රැකියා ටිකකුත් හැදෙනවා. ආර්ථිකය ප්‍රසාරණය කරන්න මේ වැඩේ නරක නැති වුණත් දැන් කාලයක් තිස්සෙම ඕක කරලා අමාරුවේ වැටිලනේ ඉන්නේ. මේ වෙලාවේ තවත් විදේශ ණය අරගෙන රට ඇතුළේ වියදම් කරන්න පුළුවන් කමක් නැහැ.

මේ විකල්ප එක්ක බැලුවහම එන්ටර්ප්‍රයිස් ලංකා කියන්නේ නරක අදහසක් නෙමෙයි.

රජයෙන් වියදමක් කියල යනවනම් යන්නේ සහන පදනමකට ණය දෙන්න යන මුදල පමණයි. අපි හිතමු රුපියල් සීයකට ණය සහනය රුපියල් පහයි කියලා. ආණ්ඩුව රුපියල් පහක් වියදම් කරන කොට රුපියල් සීයක් රට ඇතුළට ගිහින්. කෙළින්ම වියදම් කරලා සමස්ත ඉල්ලුම ඉහළ දානවට වඩා විසිගුණයක් ප්‍රතිඵලදායකයි.

ඔය සල්ලි ගන්න හැමෝම මේ මුදල් යොදවලා ඵලදායී වැඩ කරයි කියා කියල සහතික වෙන්න බැහැ. නමුත්, ණය ගන්න අයගෙන් ටික දෙනෙක් හෝ යමක් කරයි. ණය ලබා දීමේ සැලසුමේ ඇතැම් කොටස් නරකම නැහැ. පාසැල් වෑන් රථ සේවා, සංචාරක සේවාවන් ආදිය කෙළින්ම ඉලක්ක කරලා තියෙනවා. උපාධිධාරීන්ට ණය දෙන එකේනම් තියෙන්නේ දේශපාලනික අරමුණක් වෙන්න පුළුවන්.

කොහොම වුණත් රජයේ අයවැය මත තිබෙන පීඩනය ලිහිල් කර ගන්නා අතරම ආර්ථිකය තරමක් ප්‍රසාරණය කරගන්න හෝ අඩු ගානේ සංකෝචනය වෙන එක වලක්වගන්න මේ ව්‍යාපෘතියෙන් උදවුවක් ලැබෙයි කියා හිතනවා.

Saturday, October 20, 2018

ව්‍යවසායකයන් බිහි කරන්නේත් රජයද?


රටක ආර්ථිකය ඉදිරියට ගෙන යන්න ව්‍යවසායකයන් කොයි තරම් විශාල කාර්ය භාරයක් කරනවද කියන එක මා බොහෝ වර පැහැදිලි කර ඇති කරුණක්. ව්‍යවසායකයින්ට ඔලුව උස්සන්න තිබෙන බාධා අවම වන තරමට රටකට වේගයෙන් ඉදිරියට යන්න පුළුවන්.

දැන් මේ ව්‍යවසායකයින්ට තිබෙන බාධා මොනවාද? රටක නිදහස් වෙළඳාමට රජයේ බලපෑම් වැඩි වන තරමට ව්‍යවසායකයකත්වය අඩු වෙලා රජයේ වහල්ලු වැඩි වෙනවා. රජයේ ඇඟිලි ගැසීම් අඩු වන තරමට ව්‍යවසායකයින් වැඩි වැඩියෙන් බිහිවෙනවා.

ව්‍යවසායකයින් කියන්නේ අර්ථ දැක්වීම අනුවම පවතින වාතාවරණය යටතේ වෙනත් අයට කළ නොහැකි දෙයක් කරන පිරිසක්. ව්‍යවසායකයෙකු වෙන්න රජයෙන් උදවු බලාගෙන ඉන්න කෙනෙක්ට හොඳ ව්‍යවසායකයෙක් කියන්න බැහැ. ව්‍යවසායකයෙකු වෙන්න කවුරු හෝ රජයේ උදවු හොයනවනම් එය නිදහස් චින්තකයෙකු වෙන හැටි ඉගෙන ගන්න ටියුෂන් පන්තියකට යනවා වගේ වැඩක්.

පසුගිය අයවැයෙන් ලංකාවේ ව්‍යවසායකයින් දිරිගන්වන වැඩ පිළිවෙලක් යෝජනා වුණා. මේ වන විට එය ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පේනවා. ව්‍යවසායකත්වය දිරි ගන්වන එකත් රජය විසින් කරන්න යාම තුළම මෙහි තිබෙන අවුල පෙනුණත් අඩු වශයෙන් අරමුණ හොඳ එකක් නේද කියන අදහසින් මම මේ ගැන ලිවුවේ නැහැ. වෙමින් තිබෙන්නේ මා හිතූ දෙයම බව දැන් දැනගන්නට ලැබෙන ආරංචි අනුව පැහැදිලියි.

මේ ව්‍යවසායකයින් දිරිගන්වන වැඩ සටහනේ ආකෘතිය කුමක්ද? මෙහිදී වෙන්නේ තමන් ව්‍යවසායකයෙකු බව රජයට පෙන්විය හැකි කෙනෙකුට වෙනත් අයට නොලැබෙන වාසියක් රජයෙන් ලැබෙන එකයි. ඒ වෙනත් අයට වඩා අඩු පොලියකට හා අඩු කොන්දේසි යටතේ ලැබෙන ණයක්. වෙනත් විදිහකින් කිවුවොත් ව්‍යවසායකයෝ වැඩේට බහින්නේ වෙනත් අයට නොලැබෙන වාසියක් ලබමින්.

ව්‍යවසායකයින්ට අඩු පොලියට ණය ලැබෙන විට පාඩු ලබන පිරිසකුත් ඉන්න ඕනෑනේ. දැන් මේ පාඩුව රාජ්‍ය බැංකු වලට හෝ රජයට. ඒ කියන්නේ මේ ව්‍යවසායකයින් බිහි කිරීම සිදු වෙන්නේ මහජන මුදල් යොදාගනිමිනුයි.

පහුගිය කාලයේ ලංකාවේ බැංකු වලින් වයස හැටක් වූ අයට වැඩි පොලියක් ගෙවන්න පටන් ගත්තා. මම හිතන්නේ මෙය තවමත් වෙනවා. මේ එක්කම වයස හැටක් නොවූ අය හැට පිරුණු වැඩිහිටියන්ගේ නමින් මුදල් තැන්පත් කරන්න ගත් බව මා දන්නා දෙයක්. එවැන්නක් වැළැක්වීමේ හැකියාවක් නැහැ.

ව්‍යවසායකයින්ට අඩු පොලියට ණය දෙනවා කියපු ගමන් වෙන්නේ මොනවා හෝ කතාවක් හදාගෙන ඔය ණය ගන්න කට්ටිය පෝලිමේ එන එකයි. ඔය නමින් නොවුනත් ඔයිට කලිනුත් ස්වයං රැකියා ණය කියා අඩු පොලියට ණය දුන් අවස්ථා තියෙනවා. ඒ වෙලාවල් වල වුනෙත් ඕකමයි.

රජයේ මැදිහත් වීමෙන් සහනදායී පදනමකින් ණය දෙන කොට අනිවාර්යයෙන්ම වෙන්නේ වෙන් කරන ප්‍රතිපාදන ප්‍රමාණයට වඩා වැඩි ණය ඉල්ලුමක් ඇති වීමයි. එතකොට මේ ඉල්ලුම්කරුවන් අතරින් ව්‍යවසායකත්වය වැඩි අය කවුද කියන එක තෝරන්න වෙන්නේ බැංකු නිලධාරීන්ටයි. ඔවුන් විසින් තෝරා ගැනෙන අයට මහජන මුදලින් වාසියක් සැලසෙනවා. තෝරා නොගන්නා අයට එය නැහැ. මේ වගේ වෙලාවක ණය පාස් කර ගැනීමේ ආට් එක දන්න අය තමයි අන්තිමට නියම ව්‍යවසායකයෝ වෙන්නේ.

තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට වඩා සහනදායී පදනමකට ලැබෙන ණය මුදල ලබා ගැනීම ඉස්සර වුනොත් අවසන් ප්‍රතිඵලය එතරම් හොඳ එකක් නොවෙන්න පුළුවන්. බැංකුව මහජන මුදල් නාස්ති කරද්දී ණය ලබාගත් අය ඒ මුදල් වෙනත් කටයුතු වෙනුවෙන් යොදවලා ව්‍යවසායකයෝ කොහොම වුණත් ණයකරුවෝ බිහිවෙන්න පුළුවන්.

මේ ආකෘතියේ පොඩි වෙනසක් කළානම් අවුල ලිහාගන්න බැරි නැහැ. රජයේ බැංකු විසින් කළ යුත්තේ ඔවුන් හඳුනාගන්නා ව්‍යවසායකයින්ට ණය දීම වෙනුවට ඔවුන් පටන් ගන්න යන ව්‍යාපාරයක කොටස් මිල දී ගැනීමයි. උදාහරණයක් විදිහට ව්‍යවසායකයාට 60%ක් තියෙද්දී බැංකුවට 40%ක් කොටස් මිල දී ගන්න පුළුවන්. එවිට බැංකුවට තමන්ගේ ආයෝජනයෙන් වාසියක් ලබා ගන්න තිබෙන උනන්දුව වැඩියි. ව්‍යාපාරය බංකොලොත් වුනොත් ව්‍යවසායකයා ණයකරුවෙක් වෙන්නෙත් නැහැ.

මේ විදිහට මුදල් ආයෝජනය කරද්දී අවදානම අමතක කර වැඩේ ගොඩ ගියොත් විශාල ලාභයක් තිබෙන ව්‍යාපෘති පමණක් තෝරා ගැනීම වැදගත්. ව්‍යාපෘති දහයකින් නවයක් බංකොලොත් වුවත් ඉතුරු එකෙන් ඒ අලාභය ආවරණය වන බවට බැංකුව වගබලාගන්න ඕනෑ.

වඩාත්ම හොඳ විදිහ මේ විදිහට කරන ආයෝජන නැවත වෙනත් අයට විකුණන එකයි. ව්‍යාපෘති දහයක් පමණ එකතු කරලා ඒ සමස්ත ආයෝජනය කොටස් කරලා නැවත විකුණන්න පුළුවන්. වැඩි ප්‍රතිලාභ වෙනුවෙන් අවදානම් ගන්න කැමති අය ලංකාවේ ඕනෑ තරම් ඉන්නවා.

ඒ තරම් ලොකු වෙනසක් කරන්න අමාරුනම් දැනට ඔය ලබා දෙන ණය එකතු කරලා ඒ එකතුව කොටස් කරලා නැවත විකුණන්න උත්සාහ කරන්න පුළුවන්. බැංකුව ව්‍යවසායකයින් හරියට තෝරගෙනනම් ණය වෙනත් අයෙකුට ආපසු විකුණන එක අමාරු වෙන්න හේතුවක් නැහැ. එහෙම කරන්න බැරිනම් ඒ කියන්නේ ව්‍යවසායකයින් හඳුනා ගැනීමේ හැකියාවක් රජයේ බැංකු වලට නෑ කියන එකයි.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...