වෙබ් ලිපිනය:

Monday, July 23, 2018

වූල්වර්ත්ස් මාර්ක්-අප් එක කොපමණද?


වූල්වර්ත්ස් වෙළඳසැල් සමූහය වගේ සමාගමක් පාරිභෝගිකයින් පීඩාවට පත් කරමින් අසීමිත ලාභ නොලබන බවත්, සමාගමකට එසේ කිරීමේ හැකියාවක් නැති බවත් මගේ පෙර ලිපියේ සඳහන් කළ නමුත් එහි මා නිශ්චිත සංඛ්‍යාලේඛණ කිසිවක් ඉදිරිපත් කළේ නැහැ. එම සමාගමේ මූල්‍ය වාර්තා වලින් මේ සංඛ්‍යාලේඛණ සොයා ගත හැකියි.

2017 වසර සඳහා වූ ඕස්ට්‍රේලියාවේ වූල්වර්ත්ස් සමාගමේ මූල්‍ය ප්‍රකාශන අනුව එම වසර තුළ ඔවුන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 55,475.0 ක භාණ්ඩ අලෙවි කර තිබෙන අතර මේ භාණ්ඩ වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 39,739.7ක මුදලක් ගෙවා තිබෙනවා. මේ අනුව, සමස්තයක් ලෙස ගත් විට එම සමාගමේ මාර්ක්-අප් එක විකිණුම් මිලෙන් 28.4%ක්. එය ඇතැම් පාරිභෝගිකයින් හිතන තරමේ විශාල මාර්ක්-අප් එකක් නෙමෙයි.

සමාගමක සේවක වියදම් ආදී සියලු අමතර වියදම් පියවා ගන්න වෙන්නේ ඉහත කී මාර්ක්-අප් එකෙනුයි. කොහොම වුවත්, ඒ වියදම් පියවා ගන්න විකිණුම් මිලෙන් 28.4%ක මාර්ක්-අප් එකක් අවශ්‍යද කියන ප්‍රශ්නයට පිළිතුරක් මෙහි නැහැ. අවශ්‍යනම් අපට මේ මාර්ක්-අප් එක වෙනත් රටවල් වල මේ ආකාරයේම කර්මාන්තයක නියැලෙන සමාගම් වල මාර්ක්-අප් සමඟ සැසඳිය හැකියි.

2018 ජනවාරි 31න් අවසන් වූ මූල්‍ය වසර සඳහා වූ ඇමරිකාවේ වෝල්මාර්ට් වෙළඳ සමූහයේ මූල්‍ය ප්‍රකාශන අනුව එම වසර තුළ ඔවුන් ඇමරිකන් ඩොලර් මිලියන 485,751ක භාණ්ඩ අලෙවි කර තිබෙන අතර මේ භාණ්ඩ වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 373,396ක මුදලක් ගෙවා තිබෙනවා. මේ අනුව, සමස්තයක් ලෙස ගත් විට එම සමාගමේ මාර්ක්-අප් එක 23.1%ක් පමණයි. මේ අනුව වෝල්මාර්ට් සමාගම තබා ගන්නා මාර්ක්-අප් එක වූල්වර්ත්ස් මාර්ක්-අප් එකට වඩා 5.3%කින් අඩුයි.

මේ ආකාරයෙන්ම අපට ලංකාවේ කාර්ගීල්ස් ආයතනයේ 2018 මාර්තු 31න් අවසන් වූ මූල්‍ය වසර සඳහා වූ මූල්‍ය වාර්තාත් පිරික්සිය හැකියි. එම වසර තුළ ඔවුන් රුපියල් මිලියන 91,293.1 ක භාණ්ඩ අලෙවි කර තිබෙන අතර මේ භාණ්ඩ වෙනුවෙන් රුපියල් මිලියන 80,718.8 ක මුදලක් ගෙවා තිබෙනවා. මේ අනුව, සමස්තයක් ලෙස ගත් විට එම සමාගමේ මාර්ක්-අප් එක 11.6%ක් පමණයි.

එහෙමනම්, ලංකාවේ කාර්ගීල්ස් ආයතනය ඇමරිකාවේ වෝල්මාර්ට් ආයතනයට හා ඕස්ට්‍රේලියාවේ වූල්වර්ත්ස් ආයතයනයට වඩා කාර්යක්ෂමද?  එසේ නැත්නම් එම ආයතන දෙකට වඩා සාධාරණ වෙළඳාමක නියැලෙනවාද? එසේත් නැත්නම් ඒ සමාගම් දෙකටම වඩා වැඩියෙන් සේවකයින්ව සූරාකනවද?

ඉහත දත්ත සසඳමින් මේ කිසිවක් කීමේ හැකියාවක් අපට නැහැ. අප සැලකිල්ලට ලක් කළ එක් එක් රටේ සේවක වැටුප් තීරණය වන්නේ රටේ සමස්ත ආර්ථිකයේ තත්ත්වය හා කම්කරු නීති ආදිය මතයි. සුපිරි වෙළඳසැල් සමූහයකට කළ හැක්කේ ශ්‍රම වෙළඳපොළේ පවතින තත්ත්වයන් අනුව ඔවුන්ගේ ව්‍යාපාරික උපාය මාර්ග ප්‍රශස්ත ලෙස සැලසුම් කර ගැනීම පමණයි.

ඇමරිකාව හෝ ඕස්ට්‍රේලියාව වැනි බටහිර රටකට සාපේක්ෂව ලංකාවේ කම්කරු ශ්‍රමය ලාබයි. ඒ නිසා, සේවක වැටුප් ගෙවීමෙන් පසුවත් තමන්ගේ ප්‍රාග්ධනය වෙනුවෙන් අවශ්‍ය තරමේ ප්‍රතිලාභයක් ලැබීමට 11.6%ක මාර්ක්-අප් එක ප්‍රමාණවත්. ඒ වගේම රටේ පාරිභෝගිකයින්ගේ මිල දී ගැනීමේ හැකියාව ඇමරිකාව හෝ ඕස්ට්‍රේලියාව වැනි රටක තරමට ඉහළ නැති නිසා පවතින තරඟකාරී වෙළඳපොළ තුළ මේ මාර්ක්-අප් එක තවත් වැඩිකර ලාභ වැඩි කරගැනීමේ හැකියාවක් නැහැ. එසේ කළොත් සිදුවන්නේ භාණ්ඩ විකිණෙන එක අඩු වී ලාබ අඩු වීමයි.

ඒ වගේම අනෙක් අතට මෙවැනි එක් සමාගමකට පමණක් සේවක හෙට්ටු කිරීම් වැනි හේතුවක් මත සේවක වැටුප් ඕනෑවට වඩා වැඩි කරන්නට සිදු වුනොත් ඒ අමතර වියදම අල්ලන්නට මාර්ක්-අප් එක ඉහළ දමා පාරිභෝගිකයින් එලෙසම රඳවා ගන්න බැහැ. එවිට සිදුවන්නේ යොදන ප්‍රාග්ධනය වෙනුවෙන් අවශ්‍ය වන අවම ප්‍රතිලාභය හෝ නොලැබී යාම නිසා සමාගම වැසී යාමයි. එහෙත්, රටේ ආර්ථික වර්ධනයට හා පාරිභෝගිකයන්ගේ මිල දී ගැනීමේ හැකියාව ඉහළ යාමට අනුරූපව ශ්‍රම වෙළඳපොළ මිල ගණන් අනුව යමින් සේවක වැටුප් ඉහළ දමන්නට සිදුවීමෙන් එවැනි ගැටළු මතු වන්නේ නැහැ.

රටක එක් සමාගමක මූල්‍ය ප්‍රකාශන පමණක් පිරික්සා ලොකු නිගමන වලට පැමිණීම නිවැරදි නැහැ. ඒ බව අමතක කර, මේ සමාගම් අදාළ රටවල සුපිරි වෙළඳසැල් නියෝජනය කරන සමාගම් සේ සැලකුවොත් ඕස්ට්‍රේලියාවේ වූල්වර්ත්ස් සමාගමේ මාර්ක්-අප් එකෙහි ඇමරිකාවේ වෝල්මාර්ට් සමාගමේ මාර්ක්-අප් එකට සාපේක්ෂව වුවත් කැපී පෙනෙන තරමේ වෙනසක් දැකිය හැකියි.

මෙයට හේතුවත් දෙරටේ ශ්‍රම වෙළඳපොළ සාධක වල වෙනස්කම් වෙන්න පුළුවන්. එය එසේනම්, ඕස්ට්‍රේලියාවේ වූල්වර්ත්ස් සමාගමට වැඩි මාර්ක්-අප් එකක් තබාගන්න අවශ්‍ය වෙන්නේ එරට කම්කරු නීති නිසා හෝ ශ්‍රම වෙළඳපොළේ ස්වභාවික තත්ත්වයන්ම නිසා සේවක වියදම් ඇමරිකාවේ සේවක වියදම් වලට වඩා වැඩි වීම විය යුතුයි.

ඇමරිකාවට සාපේක්ෂව ඕස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් වල භාණ්ඩ වැඩි ප්‍රමාණයක් හොරකම් කරනු ලැබීමත් මෙයට තවත් හේතුවක් වෙන්න පුළුවන්. පෙනෙන විදිහට සේවකයින් අඩු කරන විට හොරකම් ඉහළ යන නිසා වක්‍ර ලෙස ගත්තොත් මෙයට හේතුවත් ඕස්ට්‍රේලියාවේදී ශ්‍රමය සඳහා ගෙවිය යුතු මිල වඩා වැඩි වීමයි.

(Image: https://www.dailymercury.com.au/news/woolworths-standing-firm-on-no-nudity-at-melbourne/3435499/)

Sunday, July 22, 2018

හොරකම් කර සමාගම් වල ලාබ අඩු කළ හැකිද?


පහතින් තිබෙන්නේ පෙර ලිපියකට අපේ පාඨකයෙකු විසින් දැමූ ප්‍රතිචාරයකින් කොටසක්.

"වුලීස් හා කෝල්ස් පමණක් නොවේ, අයි ජී ඒ , අල්ඩි ඇතුළු හැම සුපර්මාර්කට් කාරයෙක්ම 200% - 500% අතර (හෝ ඊටත් වැඩි ) මාර්ක්අප් එකක් ඇතුව බඩු විකුනනවා. ඒ මදිවට ඒ සඳහා සේවය සලසා ගැනීමත් කස්ටමර්ටම බාර දුන්නාම, කස්ටමර් තමන්ටම සේවය සලසා ගන්නවා මිසක් වුලීස් ලාට වත් වෙස්ට්ෆාමර්ස් ලාටවත් සේවය සලසා දෙන්නේ #කේ අමාරුවටද ? මේ සෙල්ෆ් සර්ව් කවුන්ටර් වලට පාර්භෝගිකයන් විරුද්ධ කොපමණද?, ඒ හා සමානව සුපර් මාර්කට් සේවක/සේවිකාවනුත් විරුද්ධයි. එක අතකින් ඔවුන්ට තම රැකියාව අහිමි වන අතර අනිත් අතින් ඔවුනට පෙනී පෙනීම කිලෝ එක $20 වන කජු අරගෙන කිලෝ එක $1.50 ට විකිනෙන ක්‍රැකර් වල කෝඩ් එක ගහලා අරගෙන යනවා. කවුන්ටර් ස්ටාෆ් එකේ පඩිය ඉතුරු වෙන නිසා කස්ටමර්ස්ලා බඩු හොරෙන් ගෙනිච්චාට කඩේ ලාබය වැඩිවෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මේක විශාල අර්බුදයක් කියලා ඔබ කිව්වාට ඒ අර්බුදය ඇති කලේ සුපර්මාර්කට් කාරයෝ මිසක් ගනුදෙනුකරුවෝ නොවන බව නොකීම ලොකු අඩුවක්"

ඔහු මෙහි සටහන් කර ඇති දේ නිවැරදි නොවන බව නොකියා අර්ධ සත්‍යයක් බව කීම වඩා සුදුසුයි. ඔහු මෙහි සටහන් කරන පාරිභෝගික හා සේවක ආකල්ප හා හැසිරීම් පිළිබඳ තොරතුරු නිවැරදියි කියා මා සිතනවා. වූල්වර්ත්ස්හි සියලුම පාරිභෝගිකයින් හා සේවකයින් මේ අයුරින්ම සිතන බවක් මා නොසිතන නමුත් එසේ සිතන හා හැසිරෙන විශාල පිරිසක් සිටින බව පැහැදිලියි. ඔවුන්ගෙන් අති මහත් බහුතරය ලංකාවෙන් එහි ගිය අය හෝ වෙනත් රටවලින් එහි ගිය සංක්‍රමණිකයින්ම නොවන බව මගේ අදහසයි.

ඉහත කී පරිදි හිතන හා හැසිරෙන බොහෝ දෙනෙකුට අනුව සුපිරි වෙළඳසැල් වල ලාභ පිලිබඳව ප්‍රතිචාරයේ සඳහන් අදහස් නිවැරදි වුවත්, ඇත්තටම එය එසේ නැහැ.

පළමුව, සුපිරි වෙළඳසැල් වල විකුණන ඇතැම් භාණ්ඩ වලින් 200-500%ක පමණ මාර්ක්අප් එකක් තබා ගන්නවා වුවත්, මෙවැනි සුපිරි වෙළඳසැලක ඉතා අඩු මාර්ක්අප් එකක් තබාගෙන විකුණන බඩු වගේම ගත් මිලට වඩා අඩුවෙන් විකුණන බඩුත් තිබෙනවා. ඇතැම් බඩු කල් ඉකුත් වීම වැනි විවිධ හේතු නිසා කොහොමටවත් විකුණන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා සමස්තයක් ලෙස ගත් විට මෙවැනි සුපිරි වෙළඳසැලක විකුණන සියලුම බඩු වෙනුවෙන් තබා ගන්නා සාමාන්‍ය මාර්ක්අප් එක මෙහි සඳහන් ප්‍රතිශතයට වඩා ගොඩක් අඩුයි. මේ හා අදාළ නිශ්චිත සංඛ්‍යාලේඛණ ඉදිරි ලිපියක් සමඟ පළවනු ඇති.

දෙවනුව, පාරිභෝගිකයින් විසින් තමන්ටම සේවය සලසා ගැනීමේ වාසිය මුළුමනින්ම ලැබෙන්නේ අදාල සමාගමට කියන එක නිවැරදි නැහැ. ඔවුන් එසේ නොකළේනම්, අදාළ සමාගමට සේවකයින් වෙනුවෙන් වේතන සේ වැඩි මිලක් ගෙවන්න සිදුවන බව හා එම සේවකයින් ඉවත් කිරීමෙන් කිසියම් මුදලක් ඉතිරි වන බව ඇත්තක් වුවත් එසේ කිරීමේ වාසිය තනිකරම ගන්නේ සමාගම් විසින් නොවෙයි. වාසියෙන් සැලකිය යුතු කොටසක් පාරිභෝගිකයින්ටත් ලැබෙනවා.

සුපිරි වෙළඳසැල් අතර කිසියම් හෝ මට්ටමක තරඟයක් තිබෙන නිසා ඔවුන්ට තමන්ට අවශ්‍ය ඕනෑම තරමක මාර්ක්අප් එකක් තබාගෙන බඩු විකිණීමේ හැකියාවක් නැහැ. එක් සුපිරි වෙළඳසැල් සමූහයකට කිසියම් රටක ඒකාධිකාරයක් තිබෙන්නේ වුවත්  එසේ කළ නොහැකියි.

එය එසේ වන්නේ මිල යම් සීමාවක් ඉක්මවූ පසු ඕනෑම පාරිභෝගිකයෙකු භාණ්ඩයක් මිල දී නොගෙන ඉන්න නිසයි. ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩ හා අදාළව මේ කරුණ පැහැදිලිව පෙනෙන්නේ නැතත්, මිල වැඩි වන තරමට විකිණෙන භාණ්ඩ ප්‍රමාණය අඩු වන බව පැහැදිලි කරුණක්. මේ මඟින් සාමාන්‍ය වශයෙන් සුපිරි වෙළඳසැලකට තබා ගත හැකි උපරිම මාර්ක්-අප් එක තීරණය වෙනවා.

සුපිරි වෙළඳසැලක් ඔවුන්ගේ සේවක වියදම් මෙන්ම ප්‍රාග්ධන ආයෝජන වෙනුවෙන් ගෙවිය යුතු ප්‍රතිලාභ ආවරණය කරගත යුත්තේත් භාණ්ඩ විකිණීමේදී තබා ගන්නා මාර්ක්-අප් එකෙනුයි. ඒ සියලු වියදම් ආවරණය නොවන්නේනම් සුපිරි වෙළඳසැලකට දිගුකාලීනව ව්‍යාපාරික ක්ෂේත්‍රයේ රැඳී සිටිය නොහැකියි. මේ මඟින් සාමාන්‍ය වශයෙන් සුපිරි වෙළඳසැලකට තබා ගත හැකි අවම මාර්ක්-අප් එක තීරණය වෙනවා.

අවම වැටුප් ඉහළ යාම, සේවකයින්ගේ සාමූහික හෙට්ටු කිරීම් හෝ බාහිර වෙළඳපොල තත්ත්වයන් හේතුවෙන් සේවක වියදම් ඉහළ ගිය විට සුපිරි වෙළඳසැලක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන අවම ලාභය දිගටම පවත්වා ගන්නනම් මාර්ක්-අප් එක වැඩි කරන්න සිදු වෙනවා. එවිට මිල ඉහළ ගොස් පාරිභෝගික ඉල්ලුමත් අඩු වෙනවා. වෙළඳපොළ තරඟය වැඩි වන තරමට මාර්ක්-අප් එක වැඩි කිරීම වඩා අසීරුයි. මේ ප්‍රශ්නයට කලින්ම මුහුණ දෙන්න වෙන්නේ සේවක වැටුප් වෙනුවෙන් වැඩිම මුදලක් වෙන් කරන සුපිරි වෙළඳසැලකටයි.

ස්වයංකරණය හඳුන්වා දීමෙන් සුපිරි වෙළඳසැලකට මාර්ක්-අප් එක හා මිල ඉහළ නොදමා එලෙසම පවත්වා ගන්න ඉඩක් ලැබෙනවා. එයින් පාරිභෝගිකයින්ට සිදුවන්නේ ලාබයක්.

කෙසේ වුවත්, මෙහිදී කිසියම් සේවක පිරිසකට රැකියා අහිමි වෙනවා.  ඒ නිසා, ඉතිරිවන සේවකයින් පිරිසෙන් ඇතැම් අය අධෛර්යමත් වී හොරකම් සිදුවනු දකිද්දීත් නොදැක්කා මෙන් සිටීම විය හැකි දෙයක්.

ඒ වගේම, පාරිභෝගිකයින්ට භාණ්ඩ තමන් විසින්ම මිලදී ගන්නට සිදුවීමේ අපහසුතාවයට මුහුණ දෙන්නත් සිදුවෙනවා. එය වැඩි මිලක් නොගෙවා සිටීමේ වාසිය වෙනුවෙන් ඔවුන්ට කැප කරන්නට සිදුවන දෙයක්. ඇතැම් පාරිභෝගිකයින්ට මෙසේ සිදුවන අපහසුතාවයේ අවාසිය ලැබෙන වාසියට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම, ඇතැම් පාරිභෝගිකයින් මේ අලුත් වෙනසට විරෝධය දැක්වීමක් සේ භාණ්ඩ හොරකම් හෝ වංචා කිරීමට පෙළඹෙන්නත් පුලුවන්.

පාරිභෝගිකයින් විසින් වැඩි වැඩියෙන් භාණ්ඩ හොරකම් කිරීමත්, සේවකයින් එයට උඩගෙඩි දීමත් නිසා සිදුවන්නේ සමස්තයක් ලෙස ගණනය කළ විට සුපිරි වෙළඳසැලක මාර්ක්අප් එක අඩු වීමයි. එවිට ස්වයංකරණය හඳුන්වාදීමෙන් අපේක්ෂා කළ අරමුණ ඉටු නොවෙන්න පුළුවන්.

සමාගමක් මේ තත්ත්වයට කෙසේ මුහුණ දෙනු ඇත්ද යන්න කරුණු ගණනාවක් මත තීරණය වන දෙයක්. ඒ නිසා, සමාගමේ අවසාන උපාය මාර්ගික ප්‍රතිචාරය ලෙස නැවතත් සේවකයින් යෙදවීම සිදු විය හැකි වුවත්, එහිදී සමාගමේ පිරිවැය ඉහළ යන නිසා සමාගම විසින් අවශ්‍ය මාර්ක්-අප් එක පවත්වා ගැනීම තුළ මිල ඉහළ යා හැකියි. එහි අවාසිය පරිභෝගිකයින්ටමයි.

සමාගමක් විසින් ගන්නට ඉඩ තිබෙන අනෙකුත් විකල්පය වන්නේ හොරකම් වැළැක්වීම වෙනුවෙන් ආයෝජනය කිරීමයි. මේ වෙනුවෙන් අමතර සේවකයින් හෝ තාක්ෂනය යොදා ගන්න ඉඩ තිබෙනවා. ඒ දෙකෙන් කොයි එක කළත් අවසාන වශයෙන් සමාගම ඔවුන්ගේ මාර්ක්-අප් එක පවත්වා ගත යුතුයි. ඒ නිසා, එසේ කළත්, මිල ඉහළ යාම හරහා හොරකම් වල අවාසිය වැඩි වශයෙන්ම දරන්නට වෙන්නේ පාරිභෝගිකයින්ටමයි.

මේ පැහැදිලි කිරීම් සියල්ල කළත්, ඇතැම් පාරිභෝගිකයින්ට තිබෙන බව පෙනෙන මූලික සැක සංකාවක් මා මෙහි දුරලා නැහැ. ඒ වූල්වර්ත්ස් වැනි සුපිරි වෙළඳසැල් ඇත්තටම අධික ලාභ නොලබන්නේද කියන කරුණයි. ඒ ගැන කතා කිරීම අපි ඊළඟ ලිපියකට ඉතිරි කරමු.

(Image: https://thehighlife.com.au/woolworths-joins-qantas-mall/)

Saturday, July 21, 2018

හොරකමට හිත හදා ගන්නේ කොහොමද?

වෙනත් අයෙකුට අයත් භාණ්ඩයක් හෝ වත්කමක් එහි අයිතිකරුගේ කැමැත්තකින් හෝ අනුදැනුමකින් තොරව තමන් සන්තක කර ගැනීම අපි හොරකමක් ලෙස හඳුන්වමු. එසේ කරන්නෝ හොරු ලෙස හැඳින්වෙති. හොරකම ශිෂ්ඨ සමාජයක අනුමත කෙරෙන ක්‍රියාවක් නොවූවත් හොරකම් සිදු නොවන, හොරු නැති සමාජ ලෝකයේ කොහේවත් නැත.

හොරු නැති තැන් නැතත් හොරු අඩු හා හොරු වැඩි තැන් තිබේ. හොරු අඩු වන තරමට සමාජයක ජීවත් වන පුද්ගලයෙකුගේ පෞද්ගලික දේපොළ වඩා සුරක්ෂිතය.

හොරකමක් කරන අයෙකු බොහෝ විට තමන් හොරකමක් කරන බව දනී. ඒ නිසා, එවැන්නෙකුට හොරකමක් කිරීමේදී වරදකාරී හැඟීමක් ඇති වේ. මේ වරදකාරී හැඟීම නිසා එවැන්නෙකු යටිහිතෙන් හෝ පීඩා විඳී. එය හොරෙකු විසින් ලබන ලාභය වෙනුවෙන් ගෙවන මිලෙන් කොටසකි.

හොරකමක් කිරීම නිසා සිදුවන වරදකාරී හැඟීමෙන් මිදීම සඳහා බොහෝ හොරු තමන්ගේම හිත රවටා ගත හැකි උපක්‍රම සොයති. ස්වයං සේවා වෙළඳසැල් වලින් භාණ්ඩ සොරාගන්නා පුද්ගලයින් විසින් මෙසේ තමන්ගේ හිත රවටා ගන්නා ආකාර ගැන ඕස්ට්‍රේලියානු පුවත් අඩවියක පළ කර තිබුණු විස්තරයක් වෙත අපේ පාඨක හිතවතෙකු විසින් යොමු අපව යොමු කර තිබුණේය.

මේ විස්තරයෙහි ස්වයං සේවා වෙළඳසැල් හරහා භාණ්ඩ හොරකම් කරන හොරුන් වර්ග පහක් හඳුනාගෙන තිබේ. මෙසේ හඳුනාගෙන ඇති, පහත විස්තර කෙරෙන,  වර්ග පහක හොරුන් අපට හොරකම් සිදුවන වෙනත් තැන් වලද දැකිය හැකිය.

1. අහඹු වැරදීමක් සිදු වීමෙන් පසු ඒ "වැරදීම" දිගටම කිරීම:

මෙහිදී මුලින්ම වෙන්නේ අත්වැරදීමකින් කිසියම් භාණ්ඩයක් ස්කෑන් කරන්නට අමතක වීමයි. එය අහු නොවන, ඉතා පහසු හොරකමක් බව අවබෝධ වූ පසුව මෙය හිතාමතාම දිගටම කරයි. වෙනත් උදාහරණයක් ගත්තොත්, මුලින්ම අමතක වීමකින් කාර්යාලයේ පෑන සාක්කුවේ දමාගෙන එයි. එයින් පසුව පැහැදිලි වන්නේ මෙවැනි "පොඩි හොරකමක්" ඉතා පහසුවෙන් කළ හැකි බවයි. ඉන් පසුව, පෑනකට වඩා වටිනා දේවල්ද සාක්කුවේ රිංගා ගෙදර පැමිණේ.

"මම පැනක් වැරදිලා සාක්කුවේ දාගෙන ආවා. කිසි කෙනෙක්ට අහුවුනේ නැහැ. පෑනක් නෙමෙයි අලියෙක් දාගෙන ආවත් ඔච්චර තමයි! මේ සිකියුරිටිලගෙන්නම් සත පහකට වැඩක් නෑ. උස විතරයි!"

මේ ආකාරයේ හොරකම් කරන අය තමන්ගේම හිත රවටා ගන්නේ වරද තිබෙන්නේ හොරකම් වලක්වන්නට ප්‍රමාණවත් තරමේ වැඩ පිළිවෙලක් නැතිකමේ බවත්, එවැනි තැනකින් තමන් හොරකම් නොකළත් වෙනත් ඕනෑම කෙනෙක් හොරකම් කරනු ඇති බවත් සිතමිනුයි.

2. එක් භාණ්ඩයක් වෙනුවට වෙනත් එකක් ආදේශ කිරීම:

පුවත්පත් වාර්තාවේ උදාහරණය අනුව මෙවැන්නන් කරන්නේ අලිගැටපේර මිල දී ගැන කැරට් වෙනුවෙන් මිල ගෙවීමයි. මෙසේ අක්කාව පෙන්වා නංගිව රැගෙන යන්නේ නංගිගේ මිල අක්කාගේ මිලට වඩා වැඩි නිසයි.

"හරි. ඉතිං මම සල්ලි ගෙවන්නේ නැතුව නෙමෙයිනේ අලිගැටපේර අරං ආවේ. එතකොට කොහොමද හොරකමක් වෙන්නේ?"

මේ ජාතියේ හොරුන් තමන්වම රවටා ගන්නේ ඔය විදිහටය.
 
කොහොම වුනත් මේ වර්ගයේ හොරකම් කරන්නේ පාරිභෝගිකයින් පමණක් නොවේ. ඇතැම් සමාගම්ද කරන්නේ මේ වර්ගයේ හොරකම්ය. පසුගිය ලිපියකට අපේ පාඨකයින් කිහිප දෙනෙකු දමා තිබුණු ප්‍රතිචාර අනුව පැහැදිලි වන පරිදි අන්තර්ජාල සබඳතා ලබා දෙන ඇතැම් සමාගම් ගාස්තු අය කිරීමේදී පොරොන්දු වන දේවල් පසුව ඇත්තටම නොදීමත් මේ කාණ්ඩයටම දැමිය හැකි හොරකමකි. වෙනත් උදාහරණ ලෙස තමන්ගේ ආදායම සඟවා රජයෙන් සහනාධාර ලබා ගැනීම හා අඩුවෙන් බදු ගෙවීමද පෙන්වන්නට පුළුවන.

"හරි. ඉතිං මම බදු ගෙවුවනේ. නොගෙවා හිටිය නෙමෙයිනේ!"

මාස කිහිපයකට පෙර වික්ටර් අයිවන් විසින් ලියා තිබුණේ රාවයේ සේවය කළ ඇතැම් මාධ්‍යවේදීන් බස් වල ගොස් ත්‍රිරෝද රථ ගාස්තු වෙනුවෙන් වියදම් ප්‍රතිපූරණය කරගත් බවයි. මේ ආකාරයේ ක්‍රියාවන්ද මේ ගොඩට දැමිය හැකි වුවත් මෙවැනි හොරකම් වල ආකෘතිමය වෙනසක් තිබේ.

3. හොරකම වෙනත් අසාධාරණයකට වන්දියක් සේ සැලකීම:

සුපිරි වෙළඳසැල් හා අදාළව ගත් විට ඇතැම් පාරිභෝගිකයින් සිතන්නේ භාණ්ඩ විකිණීම සඳහා සේවකයෙකු නොයොදා ඒ කටයුත්තත් තමන්ටම කරන්නට ඉඩ හැරීමෙන් සමාගම වැඩි ලාභයක් උපයන නිසා එහි හිලවුවට සමාගමට පොඩි අලාභයක් කිරීමේ වැරැද්දක් නැති බවයි. ඇතැම් අය රජයට ගෙවිය යුතු බදු පැහැර හැරීම යුක්තියුක්ත කරන්නේත් මේ ආකාරයෙනි.

"බදු ගෙව්වත් කමක් නෑ ඔය සල්ලි වලින් ආපහු අපිට වැඩක් කරනවනම්. දැන් මුං ඔය සල්ලි අපෙන් අරන් තව කාර් ටිකක් ගෙන්වයි!"

මේ වර්ගයේ හොරකමක් දේශපාලන ක්‍රියාකාරකමක් නොවේදැයි තීරණය කිරීම ඉතා අපහසුය.

4. කුපිත වීම හෝ අපේක්ෂාභංගත්වය නිසා කරන හොරකම්:

කිසියම් භාණ්ඩයක බාර් කෝඩ් එක ස්කෑන් කරන්නට කිහිප වරක්ම උත්සාහ කර එය කළ නොහැකි වීම නිසා මුදල් නොගෙවාම භාණ්ඩය රැගෙන යාම උදාහරණයක් සේ දැක්විය හැකියි.

"බදු ගෙවන එකේනම් ප්‍රශ්නයක් නැහැ. මොකද අපේ ආදායමේ හැටියට බදු කියල මහ ලොකු මුදලක් ගෙවන්න වෙන්නෙ නැහැනේ. ඒ වුනාට ඕක ගෙවන්න කොච්චර වදයක් වෙන්න ඕනැද? අනිත් එක ඉතිං ඔය ෆයිල් එකක් ඇරගත්තා කියන්නේ ඊට පස්සේ ඕකේ කෙළවරක් නැහැ!"

මේ වෙනත් උදාහරණයක්.

5. සතුට පතා කරන හොරකම්:

සිසුන් කිහිප දෙනෙක් සමඟ කඩේකට ගොස් මොනවා හෝ දෙයක් කා ප්ලේන්ටියක් බීමෙන් පසු මුදල් නොගෙවා පැන යාම වගේම අනුන්ගේ වතු වලින් කුරුම්බා කැඩීම ගැටවර වියේදී මමත් කර ඇති දේවල්. ඒ වයසේදී මෙවැනි දේ කළේ හොරකමක් කිරීමේ අරමුණින්ම හෝ කන්න දෙයක් නැති නිසා නෙමෙයි. එහි තිබුණු ආතල් එකටයි.

අප ගැටවර වියේදී වරක් හෝ දෙතුන් වරක් මෙසේ කළ අයුරින් වැඩිහිටියන් වූ පසුවත් ඇතැම් හොරකම් කර එසේ කළ බව වෙනත් අයට කීමෙන් සතුටක් ලබන අය සිටී.

"පවුමක් වෙනුවට ලංකාවෙ රුපියල් පහක් වෙන්ඩින් මැෂින් එකට දැම්මම වැඩේ ශේප්!"

මේ වගේ දෙයක් කරන කෙනෙක් එසේ කරන්නේ එහි තිබෙන සුළු වාසිය වෙනුවෙන්ම නෙමෙයි.

හොරකම් කරන්නට පෙළඹීමේ මානසික ව්‍යාධිය නිසා හොරකම් කරන අය ඉහත ලැයිස්තුවට ඇතුළත් නැහැ. ඔවුන්ට බොහෝ විට හොරකම් කිරීමට ඇති නැමියාව පාලනය කර ගැනීමේ හැකියාවක් නැහැ.

ඇතැම් අය විසින් ඇතැම් හොරකම් සුළු හොරකම් සේ නම් කරනවා. මෙහි ඇති ප්‍රශ්නය සුළු හොරකම් හා ලොකු හොරකම් වෙන්කළ හැකි නිශ්චිත බෙදුම් ඉරක් නොමැති වීමයි.

මොන විදිහට හිත රවට්ටගන්න හැදුවත් හොරකමක් කියන්නේ හොරකමක්. හොරකමක අලාභය අනිවාර්යයෙන්ම වක්‍ර ලෙස හෝ වෙනත් අයෙකු විසින් දැරිය යුතුයි. ඒ වුනත්, ඇතැම් අවස්ථා වලදී කිසියම් ක්‍රියාවක් හොරකමක්ද කියා නිර්ණය කිරීම තරමක් අසීරු කාර්යයක්.

(Image: https://www.thecollegefix.com/post/23884/)

Tuesday, July 17, 2018

අන්කල් සෑම්ගේ දත් ගැලවූ අපේ දත් දොස්තර


පසුගිය ලිපියෙහි මා ලියූ පරිදි ඇමරිකාවේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ඉතා මිල අධික වන අතර දන්ත වෛද්‍ය රක්ෂණයක් තිබුණද මේ වියදම් වලින් සෑහෙන ප්‍රමාණයක් අතින් ගෙවන්නට සිදු වේ. කෙසේ වුවත්, අඩු ආදායම්ලාභීන් ඇතුළු ඇතැම් සුවිශේෂී කණ්ඩායම් වලට නොමිලේ ලැබෙන ආහාරපාන, වෛද්‍ය රක්ෂණ ආදී සහනාධාර අතර දන්ත ප්‍රතිකාර රක්ෂණද වේ.

මේ කියන කාලය වන විට අප ඇමරිකාවට පැමිණ වැඩි කලක් ගත වී නැත. එය මගේ සිසු අවදිය වූ බැවින් මගේ මාසික ආදායම අර්ධකාලීන පර්යේෂණ සහකාරවරයෙකු ලෙස ලැබූ දීමනාවට සීමා වී තිබුණේය. මගේ බිරිඳ ගර්භනීව සිටි අතර ඇයද රැකියාවක් නොකළාය. එවකට අප ජීවත් වූ ප්‍රාන්තයේ අඩුආදායම්ලාභී ගර්භණී කාන්තාවකට ලැබෙන සහනාධාර අතර දන්ත ප්‍රතිකාර රක්ෂණයක්ද විය. මේ දන්ත ප්‍රතිකාර රක්ෂණයේ විශේෂත්වය වූයේ අනෙකුත් සාමාන්‍ය දන්ත ප්‍රතිකාර රක්ෂණ මෙන් නොව ගෙවිය යුතු සම්පූර්ණ මුදලම රක්ෂණය මඟින් ආවරණය කිරීමයි.

විශේෂ අවශ්‍යතාවයක් නොතිබුණත් ආරක්ෂාකාරී පියවරක් වශයෙන් මේ රක්ෂණ වරප්‍රසාදය අපි ලබා ගත්තෙමු. රක්ෂණය ලබාගැනීමෙන් පසුව වුවද, දත් වල විශේෂ ප්‍රශ්නයක් නොතිබුණු බැවින් දරු උපත දක්වාම ඇයට එයින් ප්‍රයෝජනයක් ගන්නට අවස්ථාවක් නොලැබුණේය.

කෙසේ වුවද, දරු උපතින් පසුව මේ රක්ෂණ වරප්‍රසාදය අවසන් වෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී, බිරිඳ අප ජීවත් වූ නගරයේ සිටි දන්ත වෛද්‍යවරයෙකු හමු වූවාය. පසුව ඈ මට කී පරිදි, මේ හමුවේදී මිනිත්තු විස්සක පමණ කාලයක් ගනිමින් දන්ත වෛද්‍යවරයා විසින් ඇගේ දත් පරීක්ෂා කර පිරිසිදු කරනු ලැබ තිබේ. එහෙත්, ඇගේ දත් නිරෝගී වූ බැවින් අමතර යමක් කරන්නට අවශ්‍ය වී නැත.

රක්ෂණය මඟින් වෛද්‍ය ගාස්තුව සම්පූර්ණයෙන්ම ආවරණය වන බැවින් අප මේ වෙනුවෙන් කිසිදු මුදලක් ගෙවිය යුතුව තිබුණේ නැත. අප කළ යුතු වූයේ රජය මඟින් ලබා දෙන රක්ෂණයෙන් වෛද්‍ය ගාස්තුව අය කර ගැනීම සඳහා වෛද්‍යවරයාට අනුමැතිය දීම පමණි. ඒ නැතත්, මෙවැනි සාමාන්‍ය දන්ත පරීක්ෂාවක් හා දත් පිරිසිදු කිරීමක් වෙනුවෙන් අය කෙරෙන මුදල වෙනත් දන්ත ප්‍රතිකාර වියදම් වලට සාපේක්ෂව සුළු මුදලකි.

මේ රක්ෂණ ආවරණය නොමිලේ ලැබුණත් අපට එයින් වැඩි ප්‍රයෝජනයක් ගන්නට ඉඩක් ලැබුණේ නැත. දරු උපතින් තෙමසකට පසුව රක්ෂණ වරප්‍රසාදය අවසන් විය.

කාලයක් ගත විය. බිරිඳගේ දත් වල ලොකු ප්‍රශ්න නොතිබුණත් මට එවැනි ප්‍රශ්න තිබූ නිසා ලොකු වියදමක් යන වැඩ දෙක තුනක්ම කරන්නට සිදු විය. ඒ වෙනුවෙන් වරින් වර මට මේ වෛද්‍යවරයා වෙත යන්නට සිදු විය. ඇයට ගර්භණී කාලයේ ලැබුණු රක්ෂණයෙන් මෙන් නොව මගේ රක්ෂණයෙන් වෛද්‍ය ගාස්තු මුළුමනින්ම ආවරණය නොවුණු අතර සෑම විටකම වාගේ ගෙවිය යුතු මුදලින් කිසියම් ප්‍රතිශතයක් අතින් ගෙවන්නට සිදු විය.

ඇමරිකාවේ ජීවත් වන විට වෛද්‍ය රක්ෂණයක් (හෝ දන්ත වෛද්‍ය රක්ෂණයක්) තිබීමේ ප්‍රධාන වාසිය ප්‍රතිකාර ගාස්තු වලින් සෑහෙන කොටසක් ආවරණය වීම වුවත් එය එකම වාසිය නොවේ. රක්ෂණ සමාගම් විසින් බොහෝ විට වෛද්‍යවරයා සමඟ හෙට්ටු කර වෛද්‍ය ගාස්තු අඩු කරන නිසා එහි වාසියද රෝගියාට ලැබේ.

සාමාන්‍යයෙන් මා දැන් ප්‍රතිකාර ගන්නා බොහෝ වෛද්‍යවරුන් විසින් කරන්නේ ප්‍රතිකාර ගැනීමෙන් පසු මුලින්ම බිල රක්ෂණ සමාගමට යවා ඔවුන් එය පරීක්ෂා කර ඔවුන්ගේ කොටස ගෙවා රෝගියා විසින් ගෙවිය යුතු කොටස දැනුම් දීමෙන් අනතුරුව ඒ මුදල මගෙන් අය කර ගැනීමයි. එහෙත්, මේ වෛද්‍යවරයා විසින් රෝගියාගේ කොටස කලින්ම අය කර ගත්තේය. රක්ෂණ සමාගම වෙත බිල්පත ඉදිරිපත් කළේ එයින් පසුවය. ඇතැම් විට මෙයට හේතුව ඒ කාලය වන මට ඇමරිකාවේ ක්‍රෙඩිට් හිස්ට්‍රියක්, එනම් ගෙවිය යුතු මුදල් නිසි කලට ගෙවීමේ දිගුකාලීන වාර්තාගත ඉතිහාසයක් නොතිබීම වන්නට පුළුවන. මෙසේ ක්‍රෙඩිට් හිස්ට්‍රියක් නැතිකම ඇමරිකාවට අලුතෙන් පැමිණෙන සංක්‍රමණිකයෙකුට මුහුණ දෙන්නට සිදුවන එක් ප්‍රශ්නයකි.

මෙසේ මගේ රක්ෂණ සමාගම වෙත බිල්පත ඉදිරිපත් කළ සෑම විටකම වාගේ ඔවුන් වෛද්‍ය ගාස්තු පහළට සංශෝධනය කළ නිසා බොහෝ විට සිදුව තිබුණේ මා ඒ වන විටත් වෛද්‍යවරයාට ගෙවා තිබුණු මුදල ඕනෑවට වඩා වැඩි මුදලක් වීමයි. උදාහරණයක් සේ වෛද්‍යවරයා විසින් ඩොලර් දාහක බිලක් දමා එයින් රක්ෂණ සමාගම විසින් ගෙවනු ඇතැයි අපේක්ෂිත 50% අඩු කර ඩොලර් 500ක් මගෙන් අය කර ගත්තේයැයි සිතමු. ඉන්පසුව ඔවුන් ඉතිරි මුදල අය කර ගැනීම සඳහා බිල්පත රක්ෂණ සමාගමට ඉදිරිපත් කළ විට රක්ෂණ සමාගම විසින් මුළු බිල ඩොලර් 800 දක්වා අඩු කර එයින් ඩොලර් 400ක් ගෙවයි. රක්ෂණ සමාගම හා වෛද්‍යවරයා අතර ඇති ගිවිසුම අනුව ඔහුට මගෙන් අය කළ හැක්කේද ඩොලර් 400ක් වුවත් ඔහු ඒ වන විටද මගෙන් ඩොලර් 500ක් අය කර අවසන්ය. ඒ අනුව, මා වෛද්‍යවරයාට වැඩිපුර ඩොලර් 100ක් ගෙවා තිබේ.

ඉහත කී පරිදි ඇමරිකාවේ කිසියම් සේවා සපයන්නෙකුට වැඩිපුර මුදලක් ගෙවා ඇති විටක සාමාන්‍යයෙන් සිදුවන්නේ ඒ වැඩිපුර මුදල වෙනුවෙන් චෙක්පතක් තැපැල් කර එවීමයි. එහෙත්, මේ වෛද්‍යවරයා ඒ වෙනුවට කළේ නැවත ඔහු වෙත ගිය විට ගෙවිය යුතු බිලට හෝ කොටසකට මේ මුදල හිලවු කිරීමයි. ඉන්පසුව ඒ අලුත් බිල රක්ෂණ සමාගම වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව නැවතත් කිසියම් ඉතිරියක් වන නිසා මේ වෛද්‍ය සායනයේ වූ මගේ ගිණුමේ හැම විටම වගේ තිබුණේ ධන ශේෂයකි. මාස කිහිපයකට වරක් කිසියම් ප්‍රතිකාරයක් හෝ පරීක්ෂාවක් සඳහා පවුලේ අයෙකු එහි ගිය බැවින් මට මෙහි ප්‍රශ්නයක් තිබුණේ නැත.

වසර කිහිපයකට පසුව අපට මේ නගරයට මෙන්ම දන්ත වෛද්‍යවරයාටද සමුදෙන්නට අවස්ථාව එළඹුනේය. දන්ත වෛද්‍යවරයා වෙත ගිය අවසන් හමුවේදී ඔහු වෙත ඕනෑවට වඩා මුදලක් ඉතිරි කර එන්නට මට අවශ්‍ය වූයේ නැත. ප්‍රතිකාර ගැනීම, බිල ගෙවීම, වෛද්‍යවරයා විසින් රක්ෂණයට බිල ඉදිරිපත් කිරීම හා ඔවුන් විසින් බිල සංශෝධනය කිරීම යන ක්‍රියාවලියට සාමාන්‍යයෙන් මාස කිහිපයක් ගත වූ අතර ඒ කාලය තුළ බොහෝ විට අපේ පවුලේ යම් කිසිවකු දන්ත වෛද්‍යවරයාව නැවත හමු වූ බැවින් ගිණුමේ නියම ශේෂය දැන ගැනීම ලංකාවේ විදුලි බිලක නියම ශේෂය දැනගන්නවා වැනිම සංකීර්ණ කටයුත්තක් විය. ඒ නිසා, මේ අවසන් වෛද්‍ය හමුවෙන් පසුව, පසුගිය කාලයේ මගේ ගිණුම් පිළිබඳ විස්තර මම විමසා සිටියෙමි. මගේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම පහසු නොවූ බැවින් මේ කටයුත්ත කළ කාන්තාව විසින් ඇගේ පහසුවට කළේ මගේ සියලු ගිණුම් විස්තර මුද්‍රණ යන්ත්‍රය වෙත යවා කඩදාසි ගොනුවක් මගේ අතේ තැබීමයි.

ගෙදර යාමෙන් පසුව මම මේ ගිණුම් විස්තර අග සිට මුලට පරීක්ෂා කළෙමි. එසේ කරමින් මුල හරියට යද්දී තරමක කාලයකට පෙර මගේ බිරිඳ විසින් ලබාගත් දන්ත වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ විස්තරද හමු විය. මේ ගිණුම් විස්තර වලින් පෙනෙන පරිදි, ඇගේ මුඛයේ දත් ගණනාවක්ම වෛද්‍යවරයා විසින් පුරවා තිබේ. එහි බිල සෑහෙන මුදලකි. කෙසේ වුවද, ඒ වන විට රජයෙන් නොමිලේ ලැබුණු දන්ත වෛද්‍ය රක්ෂණයෙන් මේ මුළු මුදලම ආවරණය වී තිබේ.

"ඔන්න ඔයා හැමදාම කියනව ඔයාගෙ දත් වල මුකුත් ප්‍රශ්නයක් නෑ කියල. බැලුවහම පිටු ගාණකම තියෙන්නෙ ඔයාගෙ දත් පුරවපුවා..."

"කෝ බලන්න...."

"මගේ දත් සුද්ද කළා විතරයි. මේ මොනවත් කළේ නෑ!"

"සමහර විට චූටි චූටි ෆිලින්ග්ස් දාන්න ඇති...ඔයාට නොදැනුනාට..."

"ඔවු එහෙම වෙන්නත් බැරී නෑනම් තමයි. හැබැයි එහෙම කතාවක් කිවුවෙනම් නැහැ. අනිත් එක වැඩිම වුනොත් මම එතන විනාඩි පහළොවක් විස්සක් ඉන්න ඇති!"

නගරයේ වැදගත් පුද්ගලයෙකු වන, වසර හතළිහකට ආසන්න පළපුරුද්දක් තිබුණු මේ දන්ත වෛද්‍යවරයා වැනි අයෙකු හොරෙකු විය නොහැකි බව අපේ පූර්ව නිගමනය වුවත් ඇස් පනා පිට ඇති සාක්ෂි විසින් පෙන්වන්නේ එය එසේ නොවන බවයි. පෙනෙන ආකාරයට වෛද්‍යවරයා විසින් නොකළ වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන්ද රක්ෂණයට බිල් දමා තිබේ. මේ බිල් දැම්මේ සාමාන්‍ය රක්ෂණයකටනම් බිලෙන් ප්‍රතිශතයක් අප විසින්ද ගෙවිය යුතු බැවින් මෙය අපගේ පරීක්ෂාවට අනිවාර්යයෙන්ම ලක් වන නමුත් මෙහිදී එය සිදු වී නැත. (ඇනෝ කෙනෙක් කියා තිබුණු පරිදි අපට වෙන්නේම ඔය වගේ දේවල්ය!)

මෙය සිදුවූයේ අප මේ නගරයෙන් වෙනත් නගරයකට වාසය වෙනස් කරන්නට ඔන්න මෙන්න තිබියදී බැවින් ඉන් පසුව එය අපට අමතක වී ගියේය.

තවත් වසර ගණනාවකට පසුව, දැන ගන්නට ලැබුණේ පළපුරුදු දන්ත වෛද්‍ය වරයෙකු නොකළ ප්‍රතිකාර වලට බිල් දමා අසුවී සිර දඬුවම් ලබා ඇති බවයි. ඒ වන විට අප කිහිප වරක්ම පදිංචිය මෙන්ම ප්‍රාන්තයද මාරු කර තිබුනත් කලක් ප්‍රතිකාර ගන්නට ගිය මේ දන්ත වෛද්‍යවරයාගේ මුහුණ අමතකව ගොස් තිබුණේ නැත. දැන් මෙසේ මාට්ටු වී තිබෙන්නේ මේ මනුස්සයාවය.

අපේ දන්ත වෛද්‍යවරයා ගස් රැසකට කොටමින් ගොස් අන්තිමේදී කෙහෙල් ගහකටත් කොටා තිබේ. කිසියම් රෝගියෙකු විසින් පැමිණිලි කිරීමෙන් අනතුරුව මේ වෛද්‍යවරයා විසින් නොකළ ප්‍රතිකාර වෙනුවෙන් බිල් දැමීම දැඩි විමර්ශනයට ලක් කර තිබේ. විමර්ශනය වෙනුවෙන් වෙනත් දන්ත වෛද්‍යවරයෙකුගේ සහාය ඇතිව අදාළ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගත් රෝගීන් ගණනාවකගේ මුඛයේ එක්ස්රේ ඡායාරූප පිරික්සීමේදී පෙනී ගොස් තිබෙන්නේ ඒ බොහෝ දෙනෙකුගේ දත් වල කියන ආකාරයේ පිරවීම් නොමැති බවයි.

අවසානයේදී මේ දන්ත වෛද්‍යවරයාට දින 90ක කාලයක් සිරගතව සිටීම හැර ඉතිරිය අත් හිටවනු ලැබූ පස් වසරක සිර දඬුවමක්ද, ඩොලර් ලක්ෂයක දඩ මුදලක්ද, පැය 200ක පොදු වැඩද නියම වූ අතර වෛද්‍ය බලපත්‍රයද අහෝසි විය. දඬුවම නියම කරමින් විනිසුරුවරයා විසින් ප්‍රකාශ කර ඇත්තේ නගරයේ වැදගත් පුද්ගලයෙකු වන මොහුට මෙවැනි දඬුවමක් නියම කරන්නට සිදු වූ ඒ දිනය කණගාටුදායක දවසක් බවයි.

නිදහස් රටක් වන ඇමරිකාවේ හොරකමක් හෝ වෙනත් වරදක් හෝ අපරාධයක් කරන්නටද වැඩි නිදහසක් තිබේ. එහෙත්, එසේ වරදක් කර නිදහසේ සිටීම පහසු නැත.

(Image: http://alhsredcoats.weebly.com/unit-7.html)


Monday, July 16, 2018

ඇමරිකාවේ දත් ලෙඩ්ඩු


පසුගිය සටහන ආරම්භයේදී ලියූ පරිදි, ඇමරිකානුවන් ඔවුන්ගේ දත් ගැන බොහෝ සැලකිලිමත්ය. එසේ කිවුවත්, එය ලංකාවට සාපේක්ෂව සිදු කළ ප්‍රකාශයකි. ඇමරිකාවේ වුවද, දත් ගැන එසේ සැලකිලිමත් වන්නේ ආදායම් මට්ටම හා අධ්‍යාපන මට්ටම අනුව ඉහළින් සිටින අයයි. අඩු ආදායම්ලාභීන් හා අඩු ඉගෙනුමක් ලැබූවන් අතරින් බොහෝ දෙනෙකු හදිසි අවශ්‍යතාවයකදී හැර, නිතිපතා දන්ත වෛද්‍ය වරයෙකු බැහැ නොදකිති. වසරක් තුළ වරක් හෝ දන්ත වෛද්‍යවරයෙකු හමු වී ඇති ඇමරිකානුවන් ගණන රටේ වැඩිහිටි ජනගහණයෙන් තුනෙන් දෙකකට වඩා වැඩි නැත.

අඩු ආදායම්ලාභීන් බොහෝ දෙනෙකුට දරාගැනීම අපහසු තරමට ඇමරිකාවේ දන්ත වෛද්‍ය වියදම් ඉතා අධිකය. ඇමරිකාවේදී දතක් ගලවා ගැනීමට ගෙවන මුදලින් ලංකාවේදී දත් ඇන්දම ගලවා ගන්නට පුළුවන. කෙසේ වුවත්, වඩාත්ම වියදම් අධික දන්ත ප්‍රතිකාර වන්නේ ස්නායු පිරවීම්, දත් හිටවීම් හා දත් නිසි පරිදි ස්ථානගත කිරීම් ආදියයි. දතක් ගැලවීම සාපේක්ෂව වියදම් අඩු කටයුත්තකි.

ඇමරිකාවේ සෞඛ්‍ය රක්ෂණ වලින් සාමාන්‍යයෙන් දන්ත ප්‍රතිකාර ආවරණය වන්නේ නැත. ඒ සඳහා වෙනම දන්ත ප්‍රතිකාර රක්ෂණයක් අවශ්‍ය වේ. එවැනි රක්ෂණයක් තිබුණද ඒ රක්ෂණ වලින් වෛද්‍ය රක්ෂණ වලදී මෙන් විශාල වියදමක් ආවරණය කර ගත නොහැකිය. සාමාන්‍ය පුද්ගලයෙකු සතු දන්ත ප්‍රතිකාර රක්ෂණයකින් වාර්ෂිකව ආවරණය කෙරෙන උපරිම මුදල බොහෝ විට එක් වියදම් අධික ප්‍රතිකාරයක් කළ විට අවසන් වේ. එවැන්නක වියදමෙන් වුවද සැලකිය යුතු ප්‍රතිශතයක් අතින් ගෙවන්නට සිදු වේ. මේ හේතුව නිසා ලාංකිකයින් ඇතුළු ඇතැම් සංක්‍රමනිකයෝ නිවාඩුවකට තමන්ගේ මුල් රටට යන අවස්ථා වලදී අවශ්‍ය දන්ත ප්‍රතිකාර සිදුකර ගෙන පැමිණෙනු නිරීක්ෂණය කළ හැකිය.

කෙසේවුවත්, ඇමරිකානුවන් දන්ත වෛද්‍යවරයෙකු වෙත නොයන්නට එකම හේතුව වියදම් අධිකකම නොවේ. සමීක්ෂණ දත්ත අනුව වියදම් අධිකකම නිසා දන්ත වෛද්‍යවරයෙකු වෙත නොයන ප්‍රමාණය 59%කි. 22%ක් බය නිසාද, 19%ක් දන්ත වෛද්‍යවරයෙකු ලඟ පාතක නොසිටීම නිසාද දන්ත වෛද්‍ය ප්‍රතිකාර මඟ හරිති. 2014 සමීක්ෂණ දත්ත අනුව, ඇමරිකානුවන්ගෙන් 52.3%ක් අවම වශයෙන් සමසකට වරක්ද, 15.4%ක් වසරකට වරක්ද දන්ත වෛද්‍ය වරයෙකු හමු වී ඇති නමුත් ඉතිරි ඇමරිකානුවන් එසේ හමු වී වසර තිබෙන්නේ කිහිපයකට වරකි.

මෑතකාලීන පර්යේෂණ අධ්‍යයනයකට අනුව, දන්ත වෛද්‍යවරයෙකු නිතර හමු වීමේ එක් වක්‍ර වාසියක් වන්නේ ස්ථුලතාවය අඩු වීමයි. දන්ත සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් ලෙස සීනි භාවිතය අඩු කරන්නට නිතර දන්ත වෛද්‍යවරයෙකු හමු වන අය වැඩියෙන් පෙළඹීම ඊට හේතුවයි.

ඇමරිකාවේ දත් දොස්තරලා


ඇමරිකානුවන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ දත් ගැන බොහෝ සැලකිලිමත්ය. ඔවුන් දන්ත වෛද්‍යවරයෙකු වෙත යන්නේ දතක ප්‍රශ්නයක් ඇති වූ විට පමණක් නොවේ. දත් වල විශේෂ ප්‍රශ්න නැති අයෙකුට දන්තාබාධ නිවාරණ පරීක්ෂාවක් සඳහා සමසකට වරක් දන්ත වෛද්‍යවරයෙකු වෙත යාම නිර්දේශ කෙරෙන අතර දත් හෝ විදුරුමස් එතරම් නිරෝගී නොවේනම් මේ නිර්දේශිත කාලාන්තරය තෙමසක් පමණ දක්වා අඩු වන්නට පුළුවන.

ඉහත ඉල්ලුම හා ගැලපෙන දන්ත වෛද්‍ය සැපයුමක් ඇමරිකාවේ තිබේ. 2017 දත්ත අනුව, සේවයෙහි යෙදෙන දන්ත වෛද්‍යවරුන් 198,517 දෙනෙකු ඇමරිකාවේ සිටියේය. මෙය ජනගහණය ලක්ෂයකට දන්ත වෛද්‍යවරුන් 61.0 ක ප්‍රමාණයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2015 දත්ත අනුව, ලංකාවේ සිටින්නේ දන්ත වෛද්‍යවරුන් 1340 දෙනෙකු පමණි. මේ ගණන ජනගහණය ලක්ෂයකට දන්ත වෛද්‍යවරුන් 6.3 ක පමණ ප්‍රමාණ ප්‍රමාණයකි.

කෙසේ වුවත්, ඇමරිකාව ලෝකයේ වැඩිම දන්ත වෛද්‍ය ඝනත්වයක් ඇති රට නොවේ. ස්කැන්ඩිනේවියානු රටවල් ප්‍රධානව බටහිර යුරෝපීය රටවල් ගණනාවක දන්ත වෛද්‍ය ඝනත්වය ඇමරිකාවේ එම ඝනත්වයටද වඩා වැඩිය. පහත වගුවේ ඇති දත්ත තරමක් පැරණි වුවත් ඒ හරහා වත්මන් තත්ත්වය ගැන දළ අදහසක් ගත හැකිය.


ඇමරිකාවේ දන්ත වෛද්‍යවරයෙකු විසින් 2017 වසරේදී ඉපැයූ මධ්‍යස්ථ වාර්ෂික වැටුප ඩොලර් 158,120ක් විය. මෙය ඇමරිකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ වැටුප මෙන් දෙතුන් ගුණයක මුදලක් වුවත් දන්ත වෛද්‍යවරයෙකු ලෙස සුදුසුකම් ලැබීම සඳහා කළ යුතු ආයෝජනය හා ගත කළ යුතු කාලය සැලකූ විට මෙහි විශාල ආකර්ශනීයත්වයක් නැත.

ඇමරිකාවේ දන්ත වෛද්‍යවරුන් බිහි කරන විද්‍යාල 66ක් තිබේ. මේ දන්ත වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීම සඳහා අයදුම් කිරීමටනම් අවම වශයෙන් වසර දෙකක් උපාධි මට්ටමේ පාඨමාලා හදාරා තිබිය යුතුය. ඉන් පසුව ප්‍රවේශ විභාගයකට (DAT) මුහුණ දී සමත්වීම හා සම්මුඛ පරීක්ෂණයක් වැනි තවත් කඩඉම් කිහිපයක්ම තිබේ.

මේ තරඟකාරීත්වය හමුවේ දන්ත වෛද්‍ය විදුහලකට ඇතුළු වන බහුතරයක් විද්‍යා විෂයකින් වසර හතරක ප්‍රථම උපාධියක් සම්පූර්ණ කළ අයයි. ඇතැම් අය ඊට අමතරව තවත් පශ්චාත් උපාධියක් හැදෑරු අයයි. අවම සුදුසුකම වන වසර දෙකක උපාධි මට්ටමේ පාඨමාලා පමණක් හදාරා ඇති අයෙකු දන්ත වෛද්‍ය පාඨමාලාවක් සඳහා ඇතුළත් නොකෙරෙන තරම්ය. ඇමරිකාවේ වෛද්‍ය උපාධියක් මෙන්ම දන්ත වෛද්‍ය උපාධියක්ද සැලකෙන්නේ දෙවන උපාධියක් වශයෙනි.

දන්ත වෛද්‍ය සිසුවෙකු දන්ත වෛද්‍ය විද්‍යාලයකදී ලබන පුහුණුවට සායනික පුහුණුවක්ද ඇතුළත්ය. කිසියම් අනු ක්ෂේත්‍රයක දන්ත වෛද්‍ය විශේෂඥයෙකු වීම සඳහා වසර 2-4 අතර කාලයක අමතර නේවාසික පුහුණුවක් ලැබිය යුතු අතර දන්ත වෛද්‍ය පර්යේෂකයෙකු හෝ දේශකයෙකු වීම සඳහා වසර 2-5 අතර කාලයක අමතර පුහුණුවක් අවශ්‍ය වේ.

මෙසේ අවශ්‍ය සුදුසුකම් සැපිරීමෙන් අනතුරුව දන්ත වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා කිසියම් ප්‍රාන්තයකින් බලපත්‍රයක් ලබා ගත යුතුය. ඒ සඳහා ඉහත කී අනුමත උපාධි පාඨමාලාවක් සම්පූර්ණ කර තිබීමට අමතරව ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ සමත් වීමටද සිදු වේ.

මේ සියල්ල කර දන්ත වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා බලපත්‍රයක් ලබාගත්තද "ආණ්ඩුවෙන් රස්සා දීමක්" නැති නිසා දන්ත වෛද්‍ය සායනයක් ආරම්භ කිරීමට අවශ්‍ය උපකරණ ආදිය මිල දී ගැනීමට මූලික ප්‍රාග්ධනයක්ද අවශ්‍ය වේ. එසේ කළද, අලුත් දන්ත වෛද්‍යවරයෙකුට පාරිභෝගිකයන් ආකර්ශනය කර ගැනීම අභියෝගයකි. ඒ නිසා, බොහෝ අලුත් දන්ත වෛද්‍යවරුන් රැකියාව ආරම්භ කරන්නේ ජ්‍යෙෂ්ඨ දන්ත වෛද්‍යවරයෙකු යටතේය. තමන්ගේම දන්ත සායනයක් ආරම්භ කර ආදායම් ඉපැයීම සඳහා දන්ත වෛද්‍යවරයෙකුට ව්‍යාපාරික කුසලතාද අවශ්‍ය වේ.

සාමාන්‍යයෙන් එක් දන්ත වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ දන්ත වෛද්‍ය සහායකයින් ගණනාවක් සේවය කරන අතර එක්ස්රේ ඡායාරූප ගැනීම හා සාමාන්‍ය දත් පිරිසිදු කිරීම් වැනි මූලික කටයුතු බොහොමයක් සිදුවන්නේ මේ දන්ත වෛද්‍ය සහායකයින් අතිනි. ඇතැම් ප්‍රාන්ත වල දන්ත සහායකයෙකු වීම සඳහාද උපාධියක් අවශ්‍ය වුවත්, දන්ත වෛද්‍යවරයෙකු යට‍තේ පුහුණු වීමෙන්ද දන්ත වෛද්‍ය සහායකයෙකු විය හැකිය. 2017දී දන්ත වෛද්‍ය සහායකයෙකුගේ මධ්‍යස්ථ වාර්ෂික වැටුප ඩොලර් 37,630ක් විය. මෙය සාපේක්ෂව අඩු වැටුපකි.

(Graph: http://www.businessinsider.com/which-countries-have-the-most-dentists-per-capita-2011-2; Image: https://www.unmc.edu/dentistry/)

Sunday, July 15, 2018

අයිස්ක්‍රීම් සමඟ හෙළුවෙන්...


අවුරුද්දේ හැම දවසකම වාගේ මොකක් හෝ ජාත්‍යන්තර දිනයක් හෝ ජාතික දිනයක් සැමරේ. අදත් එහෙම දවසකි. අද ඇමරිකාවේ ජාතික අයිස්ක්‍රීම් දිනයයි. ඇමරිකාවේ අයිස්ක්‍රීම් හලකට යන අයෙකුට අද දිනයේ විශාල වට්ටමක් සහිතව හෝ නොමිලේම අයිස්ක්‍රීම් කන්නට අවස්ථාව ලැබේ.


ජූලි මාසයේ තෙවන ඉරිදා දිනය 1984දී එවක ඇමරිකාවේ ජනාධිපති වූ රොනල්ඩ් රේගන් විසින් ජාතික අයිස්ක්‍රීම් දිනය ලෙස නම් කර තිබේ.

ඇමරිකාවේ අයිස්ක්‍රීම් කර්මාන්තය ලක්ෂ දෙකක පමණ පිරිසකට රැකියා සපයන, ඩොලර් බිලියන 40ක පමණ කර්මාන්තයකි. ඇමරිකාවේ වැඩිපුරම අයිස්ක්‍රීම් විකිණෙන්නේ උත්තරාර්ධ ගෝලයේ කාලගුණය වඩාත්ම උණුසුම් ජූනි හා ජූලි මාස වලදීය. ඇමරිකාවේ සාමාන්‍ය පාරිභෝගිකයෙකු වසරකට අයිස්ක්‍රීම් රාත්තල් 23ක් පමණ පරිභෝජනය කරයි.

අද දිනයේ මෙන්ම ඊයේ දිනයේද මෙවැනිම සැමරුමක් තිබුණේය. ඒ ජාත්‍යන්තර නිරුවත් දින සැමරුමයි. මේ දිනයේ ප්‍රභවය නවසීලන්තය සේ සැලකේ.

නිරුවත් දිනය සමරන්නෝ සදාචාර විරෝධීහු නොවන අතර වඩාත්ම සුන්දර ස්වභාවිකත්වය බව හිතන අයයි. කෙසේ වුවත්, බොහෝ තැන් වල නිරුවතින් සිටින්නට නීතියෙන් අවසරයක් නැති නිසා මේ දිනය සමරන අයට එය තමන්ට රිසි සේ කළ නොහැකිය. එසේ නමුත්, ඒ වෙනුවෙන් ඉඩකඩ සලසමින් නිරුවතින් ගුහාවක් ඇතුලේ චාරිකාවක යෙදෙන්නට ඉඩ සැලසූ නිවුයෝර්ක්හි හවු ගුහාව වැනි තැන්ද ඇමරිකාවේ තිබුණේය.

ලංකාවේ ප්‍රධානම අපනයනය ඇඟලුම් වන අතර, එම ඇඟලුම් අපනයන වලින් වැඩිම ප්‍රමාණයක් මිල දී ගන්නේ ඇමරිකානුවන් විසිනි. ඊයේ දිනය වැනි විශේෂ දවසක ඇමරිකානුවන් ටික දෙනෙකු ඇඳුම් නැතුව හිටියත්, බොහෝ ඇමරිකානුවන් බොහෝ දිනවල ඇඳුම් අඳින නිසාත්, ඒ ඇඳුම් වලින් කොටසක් ලංකාවෙන් මිලදී ගන්නා නිසාත්, ලංකාවේ ආර්ථිකයට ලැබී තිබෙන්නේ විශාල තල්ලුවකි.

(Images: https://www.wfla.com/news/local-news/deals-and-freebies-for-national-ice-cream-day/1303426750, http://howecaverns.com/, https://www.youtube.com/watch?v=eB2ypBejsrU)

Saturday, July 14, 2018

සුපර් මාර්කට් හොරු


පසුගිය ලිපියකට ප්‍රතිචාරයක් ලෙස ඇනෝ කෙනෙක් විසින් දමා ඇති කමෙන්ටුවකට අනුව හා ඔහු විසින් අපව යොමු කරන පුවත් වාර්තාවකට අනුව වාර්ෂිකව ඕස්ට්‍රේලියාවේ සිල්ලර වෙළඳසැල්  තුළ සිදුවන සොරකම් නිසා එම වෙළඳ ආයතන වලට සිදුවන අලාභය ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 9.3ක් හෙවත් එම කර්මාන්තයේ වාර්ෂික පිරිවැටුමෙන් 3%කට සමාන මුදලකි.

ඇමරිකාවේ 2017 සිල්ලර ආරක්ෂාව පිළිබඳ ජාතික සමීක්ෂණය (2017 National Retail Security Survey) අනුව, 2016 වසර තුළ ඇමරිකාවේ සිල්ලර වෙළඳසැල් වල වූ භාණ්ඩ තොග වලින් විකිණීම හැර වෙනත් හේතු නිසා අතුරුදහන් වූ භාණ්ඩ වල වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 48.9ක් හෙවත් එම කර්මාන්තයේ වාර්ෂික පිරිවැටුමෙන් 1.44%කි. ඊට පෙර වසරේදී මේ ප්‍රතිශතය පිරිවැටුමෙන් 1.38%ක් විය.

ඉහත සඳහන් අතුරුදහන් වූ භාණ්ඩ වල වටිනාකමින් 36.6%කට හේතුව පාරිභෝගිකයින් විසින් සිදුකළ කළ හොරකම් හා වංචාවන්ය. ඉතිරියට සේවක හොරකම් හා වංචාවන් (30.0%), දත්ත ඇතුළු කිරීමේ වැරදි (21.3%), භාණ්ඩ සැපයුම්කරුවන්ගේ වංචා හෝ වැරදීම් (5.4%) හා වෙනත් නොදන්නා කරුණු (6.8%) හේතු වේ. මේ අනුව, ඇමරිකාවේ පාරිභෝගිකයින් විසින් කරන හොරකම් හා වංචාවන් නිසා සිල්ලර වෙළඳසැල් වලට සිදුවන අලාභය එම සමාගම් වල පිරිවැටුමෙන් 0.53%කි. ඉහත සඳහන් ඕස්ට්‍රේලියානු පුවත් වාර්තාව නිවැරදිනම් ඕස්ට්‍රේලියාවේ සිදුවන මෙවැනි හොරකම් වල අලාභය කිහිප ගුණයකින්ම වැඩිය.

ඇමරිකාවේ සිල්ලර වෙළඳසැලකට යන පාරිභෝගිකයෙකුට ලංකාවේ එවැනි පාරිභෝගිකයකුට නැති විශාල නිදහසක් තිබේ. ඇමරිකාවේ පාරිභෝගිකයෙකු ලංකාවේදී මෙන් වෙළඳසැලකට ඇතුළු වන්නට පෙර තමන්ගේ අතේ තිබෙන සබ්බ සකල මනාවම කවුන්ටරයක තබා යා යුතු නැත. එමෙන්ම, ලංකාවේදී මෙන් සිල්ලර වෙළඳසැලකට ඇතුළු වූ තැන් පටන් පාරිභෝගිකයාගේ පස්සෙන්ම එන වෙළඳ සේවිකාවන් ඇමරිකාවේ නැත. මා දන්නා තරමින් වෙනත් බොහෝ බටහිර රටවල තත්ත්වයද මෙසේමය.

බටහිර රටක සිල්ලර පාරිභෝගිකයෙකුට ලංකාවට සාපේක්ෂව ඉහත ආකාරයේ නිදහසක් ලබා දීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ නිදහස අපහරණය කරන්නන්ට හොරකම් හෝ වංචා කිරීමටද වැඩි ඉඩක් ලැබී තිබේ. ලංකාවේදී සිල්ලර පරිභෝගිකයින්ව වෙළඳ සේවකයන්ගේ දැඩි අධීක්ෂණයට ලක් වෙද්දී පවා අපමණ හොරකම් සිදුවන සන්දර්භයක එවැනි අධීක්ෂණයක් රහිත වාතාවරනයකදී හොරකම් සිදුවීමේ පුදුම වන්නට දෙයක් නැත.

අපේ පාඨකයා විසින් අපව යොමු කරන පුවත් වාර්තාවෙහිද සඳහන් වන පරිදි, ස්වයං සේවා මිලදී ගැනීම් වැඩි වන තරමට පාරිභෝගිකයින්ගේ හොරකම් හා වංචාවන්ද වැඩි වන බව පෙනේ. ඇතැම් විට ඕස්ට්‍රේලියාවේ පාරිභෝගික වංචා ඇමරිකාවට සාපේක්ෂව වැඩි වන්නට එක් හේතුවක් වන්නේ එරට ස්වයං සේවා විකිණීම් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස වැඩිවීම වන්නට පුළුවන.

පාරිභෝගික හොරකම් හා වංචා නිසා සිදුවන අලාභයෙන් සැලකිය යුතු කොටසක් අවසාන වශයෙන් අය වන්නේ පාරිභෝගිකයින්ගෙන්මය. ඒ, සිල්ලර වෙළඳසැල් විසින් හොරකම් වල අලාභය හෝ එයින් සැලකිය යුතු කොටසක් ආවරණය වන පරිද්දෙන් ලාභ ආන්තික ඉහළ දමා ගැනීමත්, එහි ප්‍රතිඵලයක් ලෙස විකිණුම් මිල ඉහළ යාමත් මඟිනි. එහෙත්, ඔවුන්ට මෙය කරන්නට වෙන්නේ සිල්ලර වෙළඳසැල් අතර තරඟයට මුහුණ දෙමින් හා පාරිභෝගික ඉල්ලුම ගැන සැලකිලිමත් වෙමින් නිසා සමස්ත අලාභයම පාරිභෝගිකයින් මත පැටවෙන්නේද නැත. පාරිභෝගික හොරකම් හා වංචා නිසා සිල්ලර කර්මාන්තයේ නියැලෙන සමාගම් වල ලාභද යම් ප්‍රමාණයකින් පහත වැටේ.

තත්ත්වය එසේනම් බටහිර රටවල් ස්වයං සේවා විකිණීම් වැඩි කරන්නට යොමු වන්නේත්, එහිදී ඕස්ට්‍රේලියාව ඉදිරියෙන් සිටින බව පෙනෙන්නේත් ඇයි?

මේ වන විට ඕස්ට්‍රේලියාවේ අවම වැටුප ඕස්ට්‍රේලියානු ඩොලර් 18.93කි. මෙය ඇමරිකන් ඩොලර් 14 ඉක්මවන මුදලකි. ඇමරිකාවේ ෆෙඩරල් නීතිය අනුව අවම වැටුප ඇමරිකන් ඩොලර් 7.25ක් පමණි. බොහෝ ප්‍රාන්ත වල අවම වැටුප ෆෙඩරල් අවම වැටුපට වඩා වැඩි වුවත් ඇමරිකන් ඩොලර් 14ක් තරම් වැඩි නැත.

ඕස්ට්‍රේලියාවේ අවම වැටුප වෙනත් බොහෝ බටහිර රටවලටද සාපේක්ෂව ඉහළ එකක් බව ප්‍රචලිත කරුණකි.

මේ වන විට ඕස්ට්‍රේලියානු ඩොලරයක මිල රුපියල් 120ක් පමණ වන අතර ඒ අනුව ඕස්ට්‍රේලියාවේ අවම වැටුප රුපියල් 2270 ඉක්මවයි. එනම් පැය අටක දවසකට රුපියල් 18,170ක් පමණ මුදලකි. මේ මුදලට ලංකාවේදී මාසයක කාලයක් වෙළඳ සේවකයෙකුගේ සේවය ලබා ගැනීම අපහසු නැත. ඒ අනුව, ඕස්ට්‍රේලියාවේදී වෙළඳ සේවකයකු බඳවා ගන්නා මුදලින් ලංකාවේදී වෙළඳ සේවකයින් 20ක් පමණ බඳවා ගන්නට පුළුවන. නමුත් ලංකාවේ සුපිරි වෙළඳසැලක විකුණන භාණ්ඩ වල මිලෙහි හා ඒ නිසා හොරකමකින් සිදුවිය හැකි අලාභයේ එතරම් වෙනසක් නැත.

ඕස්ට්‍රේලියාවේ සිල්ලර වෙළඳසැලක ලංකාවේ තරම් සේවකයින් නැත්තේ ඇයිද යන්න මෙයින් පැහැදිලි වේ.

අවම වැටුප ඉහළ යන තරමට සිල්ලර කර්මාන්තයේ ලාභ අඩුවේ. එවිට කර්මාන්තයේ රැඳී සිටීමටනම් සේවක සංඛ්‍යාව අඩු කර සේවක වියදම් කපා හරින්නට සිදු වේ. මෙය කළ හැක්කේ ස්වයංකරණය වෙනුවෙන් මුදල් ආයෝජනය කිරීම මඟිනි. ඒ නිසා, අවම වැටුප් ඉහළ යන තරමට සිල්ලර වෙළඳසැලක් ස්වයංකරණය කරන්නට වැඩි වැඩියෙන් පෙළඹේ. මේ අනුව, අවම වැටුප් වැඩිම බටහිර රටක් වන ඕස්ට්‍රේලියාවේ සිල්ලර වෙළඳසැල් ස්වයං සේවා විකිණීම් ඉහළ දමන්නට වැඩි වැඩියෙන් පෙළඹීම තේරුම් ගත හැකිය.

සිල්ලර වෙළඳසැල් ස්වයංකරණය කෙරෙහි යොමුවන්නට එකම හේතුව අවම වැටුප් නොවේ. වෙනත් හේතුවක් මත සේවක වැටුප් ඉහළ ගිය විටද සිදුවන්නේ එයමය. පසුගිය දිනක මෙහි (ඇමරිකාවේ) සිල්ලර වෙළඳසැලක සේවකයින් බඳවා ගැනීම සඳහා ප්‍රදර්ශනය කර තිබුණු දැන්වීමකට අනුව ඔවුන් ගෙවන්නට සූදානම්ව සිටින පැයක වැටුප ඇමරිකන් ඩොලර් 12 ඉක්මවයි. මෙය ඇමරිකාවේ අවම වැටුපට වඩා බොහෝ වැඩි මුදලකි.

මේ දින වල ඇමරිකාවේ ආර්ථිකය වේගයෙන් වර්ධනය වන අතර විරැකියා අනුපාතය විශාල ලෙස අඩු වී තිබේ. ඒ නිසා, ශ්‍රම වෙළඳපොළේ දැකිය හැක්කේ ශ්‍රමිකයින්ට වාසිදායක තත්ත්වයකි. අඩු කුසලතා සහිත සංක්‍රමණිකයින්ට ඇමරිකාවට පැමිණ රැකියාවක් කිරීම වඩා අසීරු වී තිබීමද මේ තත්ත්වයට දායක වී තිබේ. මේ හේතුව නිසා, ඇමරිකාවේ සිල්ලර වෙළඳසැල්ද ස්වයංකරණය වේගවත් කරමින් සිටින බව පෙනෙන්නට තිබෙන දෙයකි.

මුලින් සාකච්ඡා කළ ඕස්ට්‍රේලියානු පුවත් වාර්තාවෙන් පෙන්වන පරිදි ස්වයංකරණය ඉහළ යාමට අනුරූපව හොරකම් හා වංචාද ඉහළ යන බව පෙනේ. ඕස්ට්‍රේලියාව හා අදාළ දත්ත නිවැරදිනම්, විකිණීම ස්වයංකරණය කිරීමෙන් ලැබෙන වාසිය පිරිවැටුමෙන් 1%ක් වෙද්දී හොරකම් වල අලාභය පිරිවැටුමෙන් 3%කි. එම වාර්තාවටම අනුව ස්වයංකරණය කළ වෙළඳසැල්වල හොරකම් ප්‍රමාණය 52% සිට 86% දක්වා ඉහළ ගොස් තිබේ. මේ තත්ත්වය මෙසේ පැවතීමෙන් පෙනෙන්නේ ස්වයංකරණය නොකළද හොරකම් නිසා අවම වශයෙන් පිරිවැටුමෙන් 2%ක අලාභයක් සිදුවන බවයි. එසේ නැත්නම් මේ සිල්ලර වෙළඳසැල් 1%ක වාසියක් වෙනුවෙන් ස්වයංකරණය හඳුන්වා දෙන්නට හේතුවක් නැත.

මෙයටම අදාළ තවත් කරුණක් වන්නේ එක් පැත්තකින් ශ්‍රම වෙළඳපොළේ මිල ගණන් ස්වභාවිකව හෝ අවම වැටුප් හරහා කෘතිමව ඉහළ යද්දී, තාක්ෂණයේ දියුණුව නිසා ස්වයංකරණය කිරීමේ පිරිවැය පහළ යාමයි. ඒ නිසා, ස්වයංකරණය සමඟ හොරකම් ඉහළ ගියත්, සිල්ලර වෙළඳසැල් ස්වයංකරණය කිරීමේ ප්‍රවනතාවය ආපසු හැරවෙන්නට වැඩි ඉඩක් නැත. ඒ වෙනුවට සිදුවනු ඇත්තේ මිනිස් ශ්‍රමය යොදා නොගනිමින් ස්වයංකරන ක්‍රමවේද හරහාම හොරකම් වැළැක්වීමේ ක්‍රියාමාර්ග වැඩි දියුණු කිරීම වෙනුවෙන් මේ සමාගම් වැඩි වැඩියෙන් ආයෝජනය කරනු ලැබීමයි.

Friday, July 13, 2018

ප්‍රශ්නය පෙම්වතිය වූ විට...


"ගුරුජී මේ ක්‍රිෂ්ට ප්‍රශ්ණ කීපයකට පිළිතුරු හොයාගන්ට උවමනා වෙලා තියනව…...ඒත්…"

"ඔව් මොකක්ද ඒත්?" ගුරුජී ඇහුව.

"ගුරුජී ක්‍රිෂ්ට මෙහෙ, අපේ ආශ්‍රමයෙ ගතකරන්න පුලුවන් පැය දෙකක් විතරයි."

"ඇයි?.... පැය දෙකකට පස්සෙ මොකද වෙන්නෙ? "

"පැය දෙකකට පස්සෙ ක්‍රිෂ් එයාගෙ පෙම්වතිය මුණ ගැහෙන්න යොදාගෙන තියනව"

"ඒ කියන්නෙ ක්‍රිෂ් ඔබට ඔබේ ජීවිතේ විසඳාගත යුතු ප්‍රශ්ණවලට වැඩිය ඔබේ පෙම්වතිය වැදගත්...එහෙමද?"

"ඇත්තම කිව්වොත් ගුරුජී මගේ පෙම්වතිය තමයි විසඳාගත යුතු ප්‍රශ්ණය.." මම බිම බලාගෙන කිව්ව.

නිදහස් සිතුවිලි ලියන රවී උන්නැහේ දැන් ටික කලක සිට කොටස් වශයෙන් පරිවර්තනය කරන චේතන් භගට් උන්නැහේගේ නවකතාවේ අලුත්ම කොටස ඉවර වී තිබෙන්නේ ඔයාකාරයෙන්ය. කතාවේ ක්‍රිෂ්ට වගේම අපි කාටත් අපි ඉන්නා ආශ්‍රම වල ගත කරන්නට අසීමිත කාලයක් නැත. ඒ නිසා ඒ ඉන්න ටික කාලය තුළ අපට තේරීමක් ඇති හැම විටකම හොටු හූල්ල හූල්ලා නාහෙන් අඬමින් ඉන්නවා වෙනුවට අප කළ යුත්තේ ටිකක් හෝ වැඩිපුර සතුටින් ඉන්නට උදවු වන විකල්පයක් ඇත්නම් එය තෝරා ගැනීමයි.

මේ ආශ්‍රමයට පැමිණි දා සිටම ප්‍රශ්න වල අඩුවක් නැත. ජීවිතය කියන්නේ ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයන තේරීම් ගොඩකි. විසඳාගත යුතු ප්‍රශ්ණය පෙම්වතිය වූ විට ප්‍රශ්නය තරමක් සංකීර්ණය. ඒ තමන්ගේ සතුටට තමන්ගේ තේරීම් මෙන්ම පෙම්වතියගේ තේරීම්ද බලපාන බැවිනි.

ප්‍රශ්ණය පෙම්වතිය වූ විට ප්‍රශ්නය විසඳාගත හැකි ක්‍රම කිහිපයක්ම තිබේ. පළමුවැන්න පෙම්වතිය තමන්ට අවශ්‍ය ආකාරයට හදා ගැනීමයි. දෙවැන්න පෙම්වතියට ගැලපෙන ආකාරයට තමන් වෙනස් වීමයි. තුන්වැන්න පෙම්වතිය අතහැර දැමීමයි. මේ තුනෙන් හොඳම තේරීම කුමක්ද යන්න එක් එක් පුද්ගලයාට සාපේක්ෂ දෙයකි.

මෙහි පෙම්වතිය වෙනුවට තවත් බොහෝ දේ ආදේශ කර ගන්නට පුළුවන.


(Images: https://migrationdataportal.org/themes/international-migrant-stocks, https://www.hotstar.com/movies/2-states/1000034502)

Wednesday, July 11, 2018

සිවුරු හොරු, සුදු රෙදි හොරු හා තැපැල් හොරු


"ඔබ දන්නවා ද, මා 1995 ලංකාවෙන් ආ පසු මා මගේ අම්මාට යැවූ එකදු ලිපියක්වත් ඇයට ලැබුණේ නැති බව?

ඒ එක් ලිපියක යාවත්කාලීන කිරීමට කියා යැවූ මගේ ඔටෝමොබයිල් ආයතනයේ රියදුරු බලපත්‍රයත් තිබුණා!

එරෝග්‍රෑම් නම් අතරමග දී නැති නොවී නිවසට ලැබී තිබුණා!

තුන්වෙනි ලිපිය ද නොලැබුණු පසු මා සාමාන්‍ය තැපෑලේ ලිපි යැවීම නතර කළා. ලියකියවිලි සහිත ලිපි ලියාපදිංචි කර යැව්වා. පසුව අම්මාගේ නිවසට දුරකථනයක් ලැබීම නිසා ලිපි ලිවීම අනවශ්‍ය වී ගියා!"

ඉහතින් තිබෙන්නේ මෙහි පළ වූ පෙර ලිපියකට රසික සූරියආරච්චි විසින් දමා ඇති ප්‍රතිචාරයකි. මෙය විදෙස් රටක සිට ලංකාවට ලිපි එවා ඇති හෝ එවැනි ලිපි ලැබූ බොහෝ දෙනෙකුගේ පෞද්ගලික අත්දැකීමක් බව මගේ අදහසයි.

දශක කිහිපයකට පෙර මට ලැබුණු විදෙස් ලිපි කිහිපයක්මද මේ අයුරින් අතුරුදහන් වුණේය. වරක් එසේ අතුරුදහන් වූයේ එවකට විදෙස්ගතව සිටි මගේ අනාගත බිරිඳ විසින් එවූ ඡායාරූප ගණනක් සහිත ලිපියකි. මේ ඡායාරූප අතර ඒ අවස්ථාවේදී මට අවශ්‍යව තිබූ ඡායාරූප කිහිපයක්ද විය. ලිපිය බරට තිබුණු නිසා එහි වටිනා යමක් තිබිණැයි කිසියම් තැපැල් සේවකයෙකු විසින් උපකල්පනය කරන්නට ඇත.

දැන් කොහේ හෝ නීතිඥයෙකු ලෙස කටයුතු කරන්නේයැයි මා සිතන මගේ නීති විද්‍යාල බැචෙක් ඔහුගේ සිසු අවදියේදී තැපැල් දෙපාර්තමේන්තුවේ විදේශ පාර්සල් අංශයේ සේවය කළේය. ඔහු හරහා එහි කටයුතු සිදුවන ආකාරය හොඳින් දැන සිටි නිසා ඉහත අවස්ථාවේදී නැවතත් එවැනි දේ තැපෑලෙන් නොඑවන සේ මගේ අනාගත බිරිඳගෙන් ඉල්ලා සිටිනු හැර වෙනත් යමක් මම නොකළෙමි.

ඉන් පසුව, මට ලොකු බලපෑමක් සිදු කළ තවත් මෙවැනිම අවස්ථාවක් වූයේ මගේ TOEFL විභාග ප්‍රතිඵලය තැපෑලේදී අතුරුදහන් වීමයි. ඉල්ලීමක් කිරීමෙන් පසුව දෙවන වරට මේ ප්‍රතිඵලය ලියාපදිංචි තැපෑලෙන් එවා තිබුණත් කිසියම් හෝ හේතුවක් නිසා එය අතට ලැබෙන්නට සති පහක් හෝ හයක් ගත වී තිබුණේය. ඒ වන විට කලින් නගින්නට හිතා සිටි කෝච්චි ගණනාවක්ම පිටත් වී හමාරය.

ලිපි තුළ බහා එවන වටිනා දේවල් හොරකම් කිරීමේ අරමුණින්ද, ඊර්ෂ්‍යාව හේතුවෙන් දන්නා කියන කෙනෙකුගේ රැකියා අවස්ථාවක් හෝ වෙනත් වාසියක් අහිමි කිරීමේ අරමුණින්ද තැපැල් සේවකයින් විසින් ලිපි අතුරුදහන් කිරීම ලංකාවේ බොහෝ දෙනෙකුට නුපුරුදු අත්දැකීමක් විය නොහැකිය. පහත විස්තර කරන මගේ මෑතකාලීන අත්දැකීමකින් පැහැදිලි වූ පරිදි තැපැල් සේවකයින්ගේ හොරකම් ලංකාවේ තවමත් දුලබ නැත.

මා පෙර මෙහි ලියූ පරිදි, පසුගිය මාසයේ මුල මගේ පියා වෙනුවෙන් දුන් තෙමසේ දානය පැවැත්වුනේය. මේ කටයුත්තට දින කිහිපයකට පෙර ගෙදර සියල්ලන්ම හදිසියේම කලබල වූයේ විදුලිබල මණ්ඩලය විසින් එවූ රතු බිලක් දැකීමෙනි. එහි පෙන්වන ආකාරයට පියාගේ මරණයෙන් පසුව ලැබුණු බිල්පත් තුනක්ම පියැවී නැත. ඒ හේතුව මත බණ හා දානය පැවැත්වෙන අවුඅස්සේ හදිසියේම ලයිට් කැපුවොත් වෙන්නේ මහා ජංජාලයකි!

මගේ පියා ජීවත්ව සිටියදී, ඔහු මිය යාමට පෙර මාසය දක්වාම, ගෙදර සියලු බිල්පත් නිසි වෙලාවට ගෙවා දැමූ අතර ඒවා පිළිවෙලකට ගොනු කරමින් වාර්තා තබා ගත්තේය. පියාගේ මරණයෙන් පසුව එක් එක් මාසයේ මේ කටයුත්ත කර තිබුණේ එක් අයෙක් විසින් නොවේ. ඒ නිසා, සිදුවී ඇති දෙය තෝරා බේරා ගන්නට පසුගිය මාස තුනෙහි බිල්පත් පිරික්සීමටත්, එක් එක් මාසයේ විදුලි බිල ගෙවීමේ වගකීම භාර ගෙන තිබුණු පවුලේ සාමාජිකයින් විමසන්නටත් සිදුවිය.

කියන විදිහට කවුරු හෝ විසින් සියලුම බිල්පත් ගෙවා තිබේ. ගෙවූ බිල්පත් වල රිසිට්පත්ද තිබේ.

පෙර මාස වල බිල්පත් පිරික්සීමේදී පෙනී ගියේ තැපැල් කන්තෝරුවට මුදල් ගෙවීමෙන් පසුව එය විදුලි බිල්පතේ යාවත්කාලීන වන්නට මාසයක් හෝ දෙකක් ගත වන බවයි. පියා ජීවත්ව සිටියදී සිදුකළ ගෙවීම් දෙකක්ම ඔහුගේ මරණයෙන් පසු ලැබුණු මේ බිල්පත් වල යාවත්කාලීන වී තිබුණේය. අලුත් බිලක් ලැබෙන හැම විටම වාගේ පැරණි ගෙවීමක්ද යාවත්කාලීන වී තිබුණු නිසා, හැම විටම වාගේ බිල්පත් වල මාසයක හෝ දෙකක හිඟයක් පෙන්නුවත් කවදාවත් රතු බිලක් ලැබෙන තැනට වැඩේ දිග්ගැස්සී නැත.

මෙවර අවසන් ගෙවීම් තුනක්ම යාවත්කාලීන වී නැත. ඊට අමතරව තවත් දෙයක් සිදු වී තිබේ. පියාගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වුණු මාසයේ විදුලි බිල සාමාන්‍ය බිල මෙන් තෙගුණයකට කිට්ටුය. ඒ නිසා, එයින් ඇති වූ සෘණ ශේෂය නිෂ්ක්‍රීය කරන්නට වෙනදා මෙන් පැරණි ගෙවීම් එකක් නොව තුනක්ම අවශ්‍ය වී ඇත. ඒ නිසා, විදුලි බිලෙන් පෙන්වන පරිදි, තෙමසකට වැඩි කාලයක් පුරා දිවෙන හිඟයක් ඇත. මේ "ලොකු බිල" යාවත්කාලීන වූවානම් අවුලක් නැත.

ප්‍රශ්නයට මුල පියාගේ අවමංගල උත්සවය පැවැත්වුණු මාසය වෙනුවෙන් ගෙවිය යුතුව තිබුණු ලොකු බිල බව පැහැදිලිය. එය යාවත්කාලීන වීම සඳහා ප්‍රමාණවත් කාලයක් මේ වන විට ගත වී ඇත. (අනෙක් මාස වල බිල් වලට සාපේක්ෂව ලොකු බිලක් කියා කිවුවත් මෙය මහා ලොකු මුදලක් නොවේ.)

කාගේත්, විශේෂයෙන්ම පෙර කී ලොකු බිල ගෙවීමේ වගකීම දරා තිබුණු මගේ බාල සොයුරාගේ, අවධානය එම බිල වෙත යොමු විය. ඔහු විසින් නිරීක්ෂණය කර පෙන්වා දුන්නේ ලදුපතෙහි ගිණුම් අංකය ලියා ඇති තැපැල් ස්ථානාධිපතිවරියගේ "0" හා "6" ඉලක්කම් වල වෙනසක් දැකීම අමාරු නිසා ගෙවූ මුදල වෙනත් ගිණුමකට බැර වී තිබෙන්නට හැකි බවයි.

මේ අනුව, තැපැල් ස්ථානාධිපතිවරියව විමසන ලදුව ඇය විසින් සහතික කර කියා තිබෙන්නේ අදාළ දිනයේදීම ගෙවූ මුදල විදුලිබල මණ්ඩලයට යවා ඇති බව හා ගිණුම් අංකය වරද්දා නැති බවත්ය. ඇයට අනුව ප්‍රශ්නය විදුලිබල මණ්ඩලයේය. විදුලිබල මණ්ඩලය විසින් ගෙවූ මුදල් යාවත්කාලීන කළ විට ප්‍රශ්නය විසඳෙනු ඇත.

කොහොම වුණත්, දානය කට ළඟ තියෙද්දී විදුලිය විසන්ධි කරනු ලැබීමේ සුළු හෝ අවදානමක් ගන්නට මගේ සොයුරිය කැමති වුණේ නැත. ඒ නිසා, මුදල් ලැබී ඇති බව විදුලිබල මණ්ඩලයෙන් තහවුරු කරගන්නට තීරණය කෙරිණි. සොහොයුරෙකු විසින් ඒ කාර්යය භාර ගත්තේය.

"අන්තිම මාස දෙකේ සල්ලි ගිහින් තියෙනවා. ඒත් අර ලොකු බිල ගිහිං නෑ. වැරදිලා වෙන එකවුන්ට් එකකට ගිහිල්ලත් නෑ..."

"ඒ කියන්නේ තැපැල් කන්තෝරුවේ ප්‍රශ්නයක්. සල්ලි ගෙවපු රිසිට් එක පෙන්නුවෙ නැද්ද?"

"ඒගොල්ලො කියන්නෙ රිසිට් මොනව තිබුණත් මණ්ඩලේට සල්ලි ලැබුනෙ නැත්නම් ඒගොල්ලන්ට කරන්න දෙයක් නෑ කියල!"

මේ අනුව, ප්‍රශ්නය විසඳාගත යුතුව තිබෙන්නේ තැපැල් ස්ථානාධිපතිවරිය සමඟ බව පැහැදිලිය. එක්කෝ ඇය විසින් වංචාවක් කර තිබේ. එසේ නැත්නම් මුදල් සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලියේදී කිසියම් තාක්ෂණික වරදක් සිදුව තිබේ.

මුලින් කිසිසේත්ම පිළිනොගත්තත්, ඉහළට පැමිණිලි කරන බව දැඩි සේ කියා සිටීමෙන් පසුව තමන් විසින් විදුලිබල මණ්ඩලයට අදාළ මුදල නොයැවූ බව පිළිගත් ඇය එම මුදල් වහාම විදුලිබල මණ්ඩලයට යැවීමට කටයුතු කළාය. ගෙවීම විදුලිබල මණ්ඩලයට ලැබුණු බවද තහවුරු කර ගත හැකි විය.  අප මුහුණ දී සිටි අවදානම දුරු විය.

ගමේ දන්නා හඳුනන පවුලක දැරිවියක වන මේ තැපැල් ස්ථානාධිපතිවරිය වංචාවක් කර තිබුණු බව ඉතා පැහැදිලිය. ඒ වංචාව කල් පසු වී වුවත් අතේ මාට්ටු වීමට නියමිතව තිබුණු බවද පැහැදිලිය. ඇතැම් විට පුරුද්දක් ලෙස ලැබෙන බිල්පත් වල ශේෂය පියවා දමනු මිස පසුගිය ගෙවීම් නිවැරදිව යාවත්කාලීන වූයේදැයි නොබලන අයගේ මුදල් ඇය විසින් මේ අයුරින් වංචා කරනවා වන්නටද පුළුවන. විදුලි බිල්පත් නිසි කලට පිළිවෙලට යාවත්කාලීන නොවන නිසා ගෙවූ මුදල් ගිණුමට බැර වූයේදැයි පිරික්සීමද සාමාන්‍ය පුද්ගලයෙකුට පහසුවෙන් කළ හැකි කටයුත්තක් නොවේ. ඒ නිසා, මේ වර්ගයේ හොරකම් අහුවෙන්නේද තැපෑලෙනි. තැපෑලෙන් අහුවන ආකාරයේ හොරකම් කරන තැපැල් හොරුන් සිටින්නේ තැපැල් කන්තෝරු වල පමණක්මද නොවේ.

මගේ අදහස වූයේ හොරකම ලොකු වුවත් පොඩි වුවත් මෙය හොරකමක් බැවින් අප විසින් මේ ගැන අදාළ තැනකට පැමිණිලි කළ යුතු බවයි. එහෙත්, ඒ වන විට අපේ ප්‍රශ්නය විසඳී තිබුණු නිසා පවුලේ අනෙක් කිසිවෙකුට ඒ සඳහා උවමනාවක් නොතිබුණා පමණක් නොව මේ වගේ "පොඩි දෙයකට" අහිංසක දැරිවියකගේ රස්සාව අවදානමේ හෙලීම මහා අපරාධයක් බව ඔවුන් වැඩි දෙනෙකුගේ අදහස විය. ඒ නිසා, මට මගේ යෝජනාව අකුලා ගන්නට සිදු විය.

හොරකම් ගැන ලංකාවේ ගොඩක් දෙනෙකුගේ ආකල්පය අපේ ගෙදර අයගේ ආකල්පයට සමානය. කවුරුත් හොරකම් ගැන විවේචනය කරති. හොරුන්ට දඬුවම් දිය යුතු බව කියති. එහෙත්, ඒ වෙනුවෙන් මුල පුරන්නට හෝ පෞද්ගලිකව උදවු කරන්නට කවුරුවත් කැමති නැත.

හොරකමේ පාඩුව තමන්ටම වූ විට බොහෝ දෙනෙක් පරල වේ. එහෙත්, එය තමන්ටම නොවූ විට හෝ හොරකම නිසා තමන්ට සිදුවන පාඩුව පැහැදිලි ලෙස දෘශ්‍යමාන නොවන විට බොහෝ දෙනෙක් කරන්නේ හොරකම ගැන කතා කරන අතරම හොරාට අනුකම්පා කිරීමයි. මෙහිදී සුලබව යොදාගන්නා තර්කයක් වන්නේ මේ හොරකමට වඩා ලොකු වෙනත් හොරකම් රටේ ඕනෑතරම් සිදුවන බවයි. හොරා කිසියම් හෝ සම්බන්ධයක් ඇති කෙනෙක්නම් හොරා වෙනුවෙන් පෙනී සිටින අයගේ අඩුවක් නැත. මේ මනෝභාවය ලොකු කුඩා භේදයක් නැතිව සුදු රෙදි හොරුන්ට, සිවුරු හොරුන්ට වගේම තැපැල් හොරුන්ටද වාසියකි.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...