වෙබ් ලිපිනය:

Thursday, February 11, 2016

වසර බිලියන 1.3ක අතීතයට සවන් දෙමු!

මා පෙර ලිපියේ සටහන් කළ පරිදිම ඊළඟ ලිපිය ලියා පැය විසි හතරකින් පසු ස්වයංක්‍රීයව පළවෙන්නට ඉඩ හැර තිබුණේය. එහෙත්, අනාගතය නිශ්චිත නැත. මගේ වත්මන් විෂය ක්ෂේත්‍රයට දුරස්ථ විෂයකට අදාළ කරුණක් වුවත්, මීට ටික වේලාවකට පෙර සිදු වූ අසිරිමත් සිදුවීමක් ගැන කෙටියෙන් හෝ සටහනක් දැමීමට ඉඩක් ගැනීමට ඒ ලිපිය පසුපසට තල්ලු කර හැරීම නොකර සිටිය නොහැකි දෙයකි.

දිනය: 2016 පෙබරවාරි 11
වේලාව: පෙරවරු 10:35
ස්ථානය: ජාතික පුවත් සමාජය, හෝල්මන් ලෝන්ග්, 13වන මහල, 529 වයඹ 14 වන වීදිය, වොෂින්ටන් ඩීසී.
ශ්‍රී ලංකා වේලාව: පස්වරු 9:05
කථක: ෆ්‍රැන්සිස් කෝර්ඩෝවා (ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ)

"නෝනාවරුනි මහත්වරුනි, අපි ගුරුත්ව තරංග නිරීක්ෂනය කළා!!! අපි එය කළා!!!!!!!!!!!! "

වසර බිලියන 1.3කට පෙර, පෘථිවිය මත බහුසෛලික ජීවීන් ව්‍යාප්ත වීම යාන්තම් ඇරඹුණු අළුත, කළු කුහර දෙකක් එකිනෙක වෙත ආකර්ෂණය වී එක් කළු කුහරයක් බවට පත් විය. මෙයින් එක් කළු කුහරයක් සූර්යයා මෙන් 36 ගුණයක්ද අනෙක සූර්යයා මෙන් 29 ගුණයක්ද විශාල විය. එකිනෙක වෙත ආකර්ෂණය වූ මේ කළු කුහර දෙක ඔවුනොවුන් වටා ආලෝකයේ වේගයෙන් අඩක පමණ වේගයෙන් භ්‍රමණය වෙමින් වේගයෙන් ලං විය. අවසානයේදී මේ කළු කුහර දෙක
කිලෝමීටර 210ක පමණ කුඩා ඉඩකඩක් තුළ, සූර්යයා මෙන් 62 ගුණයක ස්කන්ධයක් සහිත තනි කළු කුහරයක් බවට පත් වුනේ සූර්යයා මෙන් තෙගුණයක ස්කන්ධයක් ශක්තිය බවට පරිවර්තනය කරමිනි. මේ සිදුවීම නිසා ඇති වූ ගුරුත්ව තරංග වසර බිලියන 1.3කට පසු, පසුගිය සැප්තැම්බර් 14 දින ග්‍රිනිච් වේලාවෙන් උදේ 09:50:45ට පෘථිවිය වෙත ලඟා විය.

ඇල්බට් අයින්ස්ටයින් විසින් ගුරුත්ව තරංග පිළිබඳ අදහස මුලින්ම ඉදිරිපත් කළේ වසර සියයකට පෙර 1916දීය. එදාමෙදාතුර න්‍යායාත්මක පදනම මත ගුරුත්ව තරංග වල පැවැත්ම භෞතික විද්‍යාඥයින් විසින් විශ්වාස කළත්, කිසිවෙකු ගුරුත්ව තරංග නිරීක්ෂණය කර නොතිබුණේය. 




පසුගිය සැප්තැම්බර් 14 වන දින ඇමරිකාවේ ලුසියානාහි වේලාවෙන් අළුයම 02:50ට ලුසියානා ප්‍රාන්තයේ ලිවින්ස්ටන්හි පිහිටි විද්‍යාගාරයක සිට අභ්යාවකාශය නිරීක්ෂනය කරමින් සිටි විද්‍යාඥයින් පිරිසකට සංඛ්‍යාතය 35ක් වූ 'අමුතු' සංඥාවකට සවන් දීමට හැකි විය. තත්පර 0.25ක පමණ කාලයකට පසු මේ ශබ්දයේ සංඛ්‍යාතය 250 පමණ දක්වා ක්‍රමයෙන් වැඩි වී නෑසී ගියේය.

මේ වන විට වොෂින්ටන් ප්‍රාන්තයේ වේලාව අළුයම 04:50 විය. තත්පර 0.007කට පසුව මේ සංඥාව සැතපුම් දෙදහසක් පමණ දුරින් වොෂින්ටන් ප්‍රාන්තයේ හැන්කොක්හි සිට අභ්යාවකාශය නිරීක්ෂණය කරමින් සිටි විද්‍යාඥ කණ්ඩායමකටද අසන්නට හැකි විය. ලිවින්ස්ටන් සිට හැන්කොක් දක්වා මේ දැනුණේ වසර බිලියන 1.3කට පෙර එකට ගැටුණු කළු කුහර දෙකේ කම්පනයයි.

මෙවැනි නිරීක්ෂණ හා අදාළව වැරදීම් සිදු වීමට ඕනෑ තරම් ඉඩ ඇති නිසා නිරවද්‍යතාවය හරියටම තහවුරු කරගන්නා තෙක් වැඩිපුර කෑගහන්නට මේ විද්‍යාඥ කණ්ඩායම් හදිස්සි වුනේ නැත. මාස හතරකට පසු දැන් ඔවුන් මේ ශබ්දය වසර බිලියන 1.3කට පෙර කළු කුහර ගැටීම නිසා
ඇතිවුණු ගුරුත්ව තරංග හේතුවෙන් ඇති වූ හඬක් බව තහවුරු කරගෙන තිබේ. වැරදීමක් ඇති වීමට ඇති සම්භාවිතාව 203 000 කට එකක් පමණි.

මේ ඇරී ඇත්තේ විශ්වය දෙස බැලිය හැකි අළුත්ම අළුත් කවුළුවකි. මෙහි වටිනාකම තවම හරියටම හිතාගන්නත් නොහැකිය.

පහතින් ඇත්තේ වසර බිලියන 1.3ක අතීතයක් ඇති ඒ හඬයි.



(Image: www.iflscience.com)

Wednesday, February 10, 2016

මැරෙන දවස දැනගන්න ඕනෑද?

ජීවිතය අනියතය. මරණය නියතය. මරණය නියත වුවත් මැරෙන දිනය අනියතය. යමෙකු මැරෙන දිනය නිශ්චිතව කිව හැකි විද්‍යාවක් නැත. යම් හෙයකින් එවැනි හැකියාවක් යම් විද්‍යාවකට තිබේනම් එයින් අදහස් වන්නේ මැරෙන දවස වෙනස් කළ නොහැකි බවයි.

තාර්කික සීමාවන් ඇති බැවින් ඇතැම් දේවල් අපට කෙසේවත් නිශ්චිතව දැනගත නොහැක. එහෙත්, එයින් අදහස් වන්නේ එවැනි දේ ගැන අපට කිසිම දැනුමක් ලබා ගත නොහැකි බව නොවේ. මැරෙන දිනය සම්බන්ධව ඇත්තේනම් එවැනි තාර්කික සීමාවක් නොවේ. ප්‍රායෝගික සීමාවකි. මැරෙන දිනය හරියටම දැනගත නොහැකි වුණත් ඒ ගැන අදහසක් ගන්නට විද්‍යාව උදවු වේ.

මෙය ලියන මා මෙය පළවන විට ජීවත්ව නොසිටින්නට ඉඩකඩක් ඇත. එහෙත්, ඒ ඉඩකඩ විශාල ඉඩකඩක් නොවේ. ඒ නිසා, මා අද තීරණ ගන්නේ මා හෙට මියයනු ඇතැයි යන පදනම මත නොවේ. එමෙන්ම, මා තව වසර පනණක් ජීවත් වීමට ඉඩ ඇතත් ඒ ඉඩකඩ නොගිණිය හැකි තරමේ සුළු ඉඩකඩකි. වෙනත් අයුරකින් කිවහොත් මගේ අපේක්ෂිත ආයු කාලය ගැන මට දළ අදහසක් තිබේ. එහෙත්, අවිනිශ්චිතතාව ඉතා විශාලය.

යම් පුද්ගලයෙකු වසරක්, වසර පහක් හෝ වසර දහයක් වැනි කාලයක් ඇතුළත මිය යාමට ඇති සම්භාවිතාව එවැන්නෙකු ගැන දන්නා දේ ඇසුරින් ගණනය කළ හැකිය. මේ දන්නා දේ වලට මූලික වශයෙන් දැන් වයස, ස්ත්‍රී පුරුෂ භාවය සහ ජීවත් වන ප්‍රදේශය ඇතුළත්ය. පුද්ගලයෙකුගේ ශරීර සෞඛ්‍යට අදාළ විවිධ දත්ත භාවිතයෙන් මේ සම්භාවිතාව වඩා නිවැරදිව ගණනය කළ හැකිය.

ශ්‍රී ලාංකිකයෙකුගේ අපේක්ෂිත ආයුකාලය වසර 75කි. මෙයින් අදහස් වන්නේ ශ්‍රී ලාංකිකයෙකු වයස 75 වන විට අනිවාර්යයෙන්ම මිය යන බව නොවේ. මිය යාමේ සම්භාවිතාව 50%ක් බවයි. ඔබේ ඔබේ 75වන උපන්දිනය සමරන විට ඔබ උපන්දිනම උපන් මිතුරන්ගෙන් 50%ක්ම ජීවතුන් අතර නොසිටිනු ඇත.

අපේක්ෂිත ආයුකාලය 75ක් යන්නෙන් අදහස් වන්නේ ඔබේ දැන් වයස 40ක්නම් ඔබේ ඉතිරිවී ඇති අපේක්ෂිත ආයු කාලය 35ක් බවද නොවේ. දිවි මාවතේ ඔබ පසු කරන සෑම කඩඉමක් සමගම ඔබේ අපේක්ෂිත ආයු කාලය වැඩි වේ. වෙනත් විදිහකින් කියනවානම් ඔබ උපන් දිනම උපන් අයෙකු වසර 75කට පෙර මියයන විට ඔහුට ලඟා වීමට නොලැබුණු අපේක්ෂිත කාලය ඒ වන විට ජීවත් වන අයගේ කාලයට එකතු වේ.

ලාංකිකයෙකුගේ අපේක්ෂිත ආයු කාලයේ සාමාන්‍යය වසර 75ක් වුවත් වෙනත් කරුණු අනුව මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට විශාල ලෙස වෙනස් වේ. ගැහැණියකගේ අපේක්ෂිත ආයු කාලය වසර 78.5 ක් වන අතර පිරිමියෙකුගේ අපේක්ෂිත ආයු කාලය ඊට වඩා වසර හතකින් පමණ අඩුය. ලංකාවේ දිස්ත්‍රික්ක අතරින් ආයුකාලය අඩුම කොළඹ වැසියන්ගේය. වැඩිම හම්බන්තොටය. කොළඹ සිට හම්බන්තොටට පදිංචිය වෙනස් කිරීමෙන් අපේක්ෂිත ආයුකාලය වසර දහයහමාරකින් පමණ වැඩි කර ගත හැකිය. එය අපහසුනම්, කොළඹ වැට පැන ගම්පහට පැමිණීමෙන් වුවද අපේක්ෂිත ආයුකාලය වසර නවයකින් පමණ වැඩි කර ගත හැකිය.

පහත වගු වල ඇත්තේ ලංකාවේ පිරිමියෙකු හෝ ගැහැණියක ඔහුගේ හෝ ඇයගේ අද (2016 පෙබරවාරි 10) වයස අනුව මියගොස් සිටීමට 50%ක සම්භාවිතාවකින් ඉඩ ඇති දිනයයි.



ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් 2000-2002 ජීවදත්ත වගු ඇසුරිනි. මේ වන විට වෙනස් වී තිබිය යුතුය.

ඊළඟ ලිපිය: මැරෙන විදිහ දැනගන්න ඕනෑද?

(Image: www.indiapost.com)

Sunday, February 7, 2016

ගීත තුනක්...


පසුගිය සතියක හෝ දෙකක කාලය තුළ ගීත තුනක් සමාජ ජාල ඇතුළත කතාබහට ලක්විය. මේ අවස්ථා තුනෙහි කිසියම් සමානත්වයක් තිබේ. ඒ, මේ අවස්ථා තුනෙහිදීම සාමාන්‍ය සම්ප්‍රදාය බිඳීමය.

පළමුවැන්න වූයේ භාෂි මධුභාෂිණී නැවත ගැයූ හන්තාන ප්‍රේමයේ සුවඳ පිළිබඳ ගීයයි. මෙය ඉදිරිපත් කළේ ටැලන්ට් ෂෝ එකක් වෙනුවෙනි. ප්‍රශ්නය මතු වුනේ බුද්ධිමය දේපල ප්‍රශ්නයක් වැනි නීති කරුණක් අරභයා නොවේ. ඇගේ ගායනා ආර සම්බන්ධවය. මටනම් පෞද්ගලිකව හැඟුණේ මේ පදපෙලට ඇගේ ශෛලිය එතරම් නොගැලපෙන බවයි. පවනේ ආ, සීතල පොළොවම වැනි ගීයකටනම් නන්දා මාලිනී ගැයූ ආරට වඩා මේ ආර ගැලපෙන්නට ඉඩ තිබේ.

මගේ අදහස පෞද්ගලික අදහසකි. එක් එක් පුද්ගලයාගේ රස වින්දනය වෙනස්ය. එය උසස් හෝ පහත් ලෙස ශ්‍රේණිගත කිරීම කළ හැක්කේ යම් සම්ප්‍රදායක් තුළ පමණක් බව මගේ අදහසයි. මට අනුව, ගීයකින් හෝ වෙනත් කලා නිර්මාණයකින් බොහෝ දෙනෙකු සතුටු වනවානම් එය නරක නිර්මාණයක් නොවේ.

ටැලන්ට් ෂෝ එකකට භාෂි මධුභාෂිණි ඇයට අවශ්‍ය, වෙනස් සම්ප්‍රදායකින් ගී නිර්මාණයක් ඉදිරිපත් කිරීමෙහි කිසිම ප්‍රශ්නයක් නැත. ඇගේ රසිකයින්ට එයට කැමති වීමට හෝ අකැමති වීමට හැකියාව තිබේ. කැමැති අය ඇගේ සම්ප්‍රදාය වැළඳ ගනිද්දී, අකැමති අයගෙන් ඇයව ප්‍රතික්ෂේප වනු ඇත.

කතාබහට ලක්වූ දෙවන අවස්ථාව වූයේ නිදහස් උත්සවයේදී දෙමළ බසින් ජාතික ගීය ගැයීමයි. රටක ජාතික ගීය යනු භාෂී මධුභාෂිනී ගැයූ හන්තානේ ප්‍රේමය ගැන ලියැවුණු ගීතය වැනි තවත් එක් ගීයක් නොවේ. එහි පදමාලාව මෙන්ම සංගීතයද නිශ්චිත ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර තිබේ. ඒ නිසා එය කැමති පරිදි රැප් කළ හැකි හෝ වෙනත් සම්ප්‍රදායකින් ගැයිය හැකි ගීයක් නොවේ.

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල පිටපතේ හත්වන වගන්තිය අනුව, "ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය "ශ්‍රී ලංකා" මාතා වන්නේය. ජාතික ගීයෙහි පදමාලාව සහ සංගීතය තුන්වන උපලේඛනයෙහි දැක්වෙන්නේය." තුන්වන උපලේඛනයෙහි මේ ගීතයේ නිවැරදි පදමාලාව සහ සංගීතය සම්පූර්ණයෙන්ම දක්වා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපතේ මෙය සඳහන් වන්නේ මේ අයුරිනි. "The National Anthem of the Republic of Sri Lanka shall be “Sri Lanka Matha”, the words and music of which are set out in the Third Schedule." ඉංග්‍රීසි පිටපතේ අනුලේඛනයෙහි ඇති ජාතික ගීය සිංහල පිටපතෙහි ඇති ගීයමය. එය රෝමන් අකුරින් මුද්‍රණය කර තිබේ.
 

කෙසේ වුවද, දෙමළ පිටපතේ ඇත්තේ මෙවැන්නකි. "இலங்கைக் குடியரசின் தேசிய கீதம் "ஸ்ரீ லங்கா தாயே" என்பதாக இருத்தல் வேண்டும்; அதன் சொற்களும் இசையமைப்பும் மூன்றாம் அட்டவனையில் தரப்பட்டவான்றாக இருத்தல் வேண்டும்." මේ වගන්තියේද, උපලේඛනයේද ඇත්තේ "ශ්‍රී ලංකා තායේ (ஸ்ரீ லங்கா தாயே)" නම් වූ වෙනස් පදමාලාවකි.  ව්‍යවස්ථාව දෙමළට පරිවර්තනය කිරීමේදී ජාතික ගීයේ පදමාලාවද දෙමළට පරිවර්තනය කර තිබේ.

මෙයින් අදහස් වන්නේ නීත්‍යානුකූලව ලංකාවට ජාතික ගී දෙකක් ඇති බව නොවේ. එය එසේනම්, පිටපත් තුනේම එය පැහැදිලිව සඳහන් කිරීම සාමාන්‍ය ක්‍රමයයි. මෙහි ඇත්තේ පිටපත් නොගැලපීම නිසා ඇති වී ඇති අවුල් සහගත තත්ත්වයකි. සිංහල හා ඉංග්‍රීසි පිටපත් අනුව ජාතික ගීය "ශ්‍රී ලංකා මාතා" වන අතර දෙමළ පිටපත අනුව එය "ශ්‍රී ලංකා තායේ" ගීයයි. යම් පණතක පිටපත් අතර මෙවැනි නොගැලපීමක් වූ
විට මුල් පිටපත ලෙස සැලකිය යුත්තේ කවර පිටපතද යන්න ගැන ඇතැම් පණත් වල සඳහනක් තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එවැනි සඳහනක් ඇති බව මා දන්නේ නැත. එවිට, මෙය වෙනත් නීතියක් මඟින් හෝ අධිකරණයක් මඟින් අර්ථකථනය විය යුතුය. එවැන්නක් තිබේදැයි මට දැනුමක් නැත.

රජයේ නිලධාරීන් බහුතරයකට (එවකට) ද්විභාෂා (සිංහල සහ දෙමළ) දැනුමක් නොමැති වීම මේ අවුලට හේතු වූවා විය හැකිය. අළුත් ව්‍යවස්ථාවේ මෙවැනි අවුල් ඉවත් කරගැනීමට කටයුතු කළ යුතුය.

කෙසේ හෝ නිදහස් දින උත්සවයේදී, මේ ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් පසු පළමු වරට, දෙමළ බසින් ජාතික ගීය ගැයුනේය. මේ ගැනද පක්ෂ හා විපක්ෂ අදහස් පළ වී තිබේ. විපක්ෂ අදහස් වලින් බොහෝ විට කියවෙන්නේ රටකට තිබිය යුත්තේ එක් ජාතික ගීයක් බවයි. පක්ෂ අදහස් වල අරුත වන්නේ මෙමඟින් දෙමළ ජනතාවට ශ්‍රී ලංකා රාජ්‍යය සමඟ හදවතින්ම එක් වීමට උදවුවක් ලැබෙන බවයි.

උතුරු පළාත් සභා මහ ඇමතිවරයාගේ ප්‍රදර්ශනාත්මක ප්‍රතිචාරයෙන් පෙනුණේ ඔහු මේ ක්‍රියාවෙන් සතුටු වන බවයි. ඔහු සමඟ තවත් සැලකිය යුතු දෙමළ කතාකරන ශ්‍රී ලාංකිකයින් පිරිසක් සිටින බව මගේ අදහසයි. සිංහල කතා කරන අය අතරින්ද, දේශපාලන පාක්ෂිකත්වය මත හෝ වෙනත් හේතු මත මේ ක්‍රියාව අගය කරන සැලකිය යුතු පිරිසක් සිටිති. ආර්ථික විද්‍යාව අනුව, රජයක් විසින් යමක් කරද්දී එය කළ යුත්තේ සමස්තයක් වශයෙන් රටේ ජනතාවට යහපතක් සැලසෙන පරිදිය. මෙහිදී ඇතැම් විට ඇතැම් පිරිස් වලට පාඩුවක් විය හැකිය. රජයේ තක්සේරුව අනුව, ජාතික ගීය දෙමළෙන් ගැයීම නිසා සතුටු වන පිරිස ඒ නිසා අසතුටට පත්වෙන පිරිසට වඩා වැඩිනම් නීතිය අමතක කර ආර්ථික විද්‍යා සංකල්ප අනුව බැලුවොත් මෙහි වරදක් නැත. (වාසි අවාසි යනු හැමවිටම මුදල් වලින් මනින දේ නොවේ.)

විවාදිත තුන්වන ගීතය නිදහස් උළෙලේදීම කිශානි ජයසිංහ විසින් ගැයුනු "දන්නෝ බුදුන්ගේ" ගීතයයි. ඈ මේ ගීය ඔපෙරා සම්ප්‍රදාය අනුව ගැයීම තුළ "බෞද්ධ ගීතයකට" අනිසි ලෙස සැලකීමක් සිදුවී ඇති බව ඇතැම් අය සිතන බව පෙනේ. වෙනත් අය පෙන්වා දෙන්නේ ඇගේ ගායනය ඉතා ඉහළ බව, මේ ගීතය බෞද්ධයන්ටම සින්නක්කර අයිතියක් නැති ගීයක් බව වැනි කරුණුය.

මෙයට එරෙහි වන ඇතැම් අය තමන්ගේ දේශපාලන පාක්ෂිකත්වය අනුව මෙය විවේචනය කරති. එහෙත්, මේ නිසා සැබෑවටම සිත් රිදීමක් වී ඇති පිරිස්ද ඇති බව මගේ අදහසයි. එවැන්නන්ට, සිත් රිදීමක් ඇති වන්නන්ට හේතු නොමැති බවට වෙනත් අය තර්ක කිරීම නිරර්ථක කාර්යයකි. එය දෙමළාට දෙමළ වීම නිසා ප්‍රශ්න නැති බවට දෙමළ නොවන අය ගෙන එන තර්කය වැන්නකි.

ග්‍රාමීය සිංහල බෞද්ධයින් බොහෝ දෙනෙකුට "දන්නෝ බුදුන්ගේ" බෞද්ධ ගීයකි. ඔපෙරා සම්ප්‍රදාය රස විඳින ලාංකිකයින් ඇත්නම් ඒ ඉතාම සුළු පිරිසකි. දෙමළ, මුස්ලිම් ජනවර්ග අතර වුවද එය එසේමය. කුශානිගේ ගායනය කොතරම් හොඳ වුවද, මේ ගීය සාමාන්‍යයෙන් අසන පිළිවෙලට දශක ගණනාවක් තිස්සේ ඇබ්බැහි වී සිටින බොහෝ දෙනෙකුට කුශානිගේ ගීය අඳෝනාවක් පමණි. ඔවුන් බයියන් බව කෙනකුට කියන්නට පුළුවන. මෙහි ඇති ප්‍රශ්නය පිරිසකගේ සිත් රිදවා ලබන වාසිය කුමක්ද යන්නයි.

ලාංකිකයින්ට ඔපෙරා රසවිඳීමට පුහුණු කිරීම රජයේ ප්‍රමුඛතාවයක් නොවේ. කවර අයුරකින් හෝ රජයේ ක්‍රියාවකින් පිරිසකට කණගාටුවක් හෝ අපහසුතාවයක් ඇතිවේනම්, එවැන්නක් කළ යුත්තේ එයින් ඊට වඩා යහපතක් සිදුවන්නේනම් පමණි. ලංකාවේ ඔපෙරා රස විඳින සුළුතරයක් සිටිති. නිදහස් උළෙලකදී, වෙනත් අයට අපහසුතාවයක් නොවේනම්, කවර හෝ සුළුතරයක් සතුටු කරවන දෙයක් කිරීමේ වරදක් නැත. නිදහස් උළෙලකදී ඔපෙරා ශෛලියට ගීයක් ගැයීම අවශ්‍යනම් ඒ සඳහා තෝරා ගන්නට ඕනෑ තරම් ගීත තිබේ.

ලෝකයේ හොඳම වයලීන් වාදකයෙකු වන ජෝෂුවා බෙල් 2007දී වොෂින්ටන් ඩීසීහි උමං දුම්රියපොලක සිට ඇමරිකන් ඩොලර් මිලියන 3.5ක් වටිනා සිය වයලීනයෙන් විනාඩි 45ක් තිස්සේ එතෙක් මෙතෙක් ලියැවුණු හොඳම සංගීත ඛණ්ඩ වයා උපයාගත්තේ ඩොලර් 32ක් පමණි. අඩු වශයෙන් නැවතී ඔහුට සවන් දුන්නේද කිහිප දෙනෙකු පමණි. ඊට දින දෙකකට පෙර බොස්ටන්හිදී මේ ඉදිරිපත් කිරීමම කරද්දී ප්‍රවේශපත්‍රයක් විකුනුණු සාමාන්‍ය මිල ඩොලර් සීයකි. සෑම දෙයකටම නිසි තැනක් තිබේ.

රටේ යහපත වෙනුවෙන් කළ යුතු යමක් ඇත්නම් විරුද්ධ වන පිරිස් නොතකා එය කිරීම හොඳ දෙයකි. එහෙත්, අවසාන වශයෙන් ලොකු ප්‍රයෝජනයක් නොලැබෙන දෙයකට නිකං කොකු දමා ගැනීමට යාම පිස්සු වැඩකි. බටහිර දේවල් වැළඳගත යුත්තේ ඒවායින් ප්‍රයෝජනයක් ඇති බැවින් මිස බටහිර දේවල් වීම නිසා නොවේ. හැම  කෙහෙම්මලම බටහිරකරණය කරන්නට යාමත් බටහිර විරෝධය මෙන්ම පිස්සුවකි.


(Image: bapam.org.uk)

Friday, February 5, 2016

මරා දමන්නට පෙර තවත් වරක් සිතන්න!


(ඔබ පළමු කොටස කියවා නැත්නම් කරුණාකර එය කියවා මෙහි නැවත එන්න.)

පළමු කොටස: නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ...

රටකට නීතියක් හඳුන්වාදුන් පසු ඒ නීතියෙන් සියල්ලෝම බැඳෙති. මෙය නීතිය හඳුන්වා දෙන ඉංග්‍රීසින්ටද පොදුය. ඒ නිසා, ඔවුන්ට පෙනුණු පරිදි වඩා දියුණු, වඩා සාධාරණ නීති ක්‍රමය තමන්ටද බලපවත්වන පරිදි රටේ පොදු නීතිය ලෙස යොදාගත්තා විය යුතුය. පසුකාලීනව වුවද, ඔවුන් විසින් ඉංග්‍රීසි නීතියෙන් රෝම-ලන්දේසි නීතියේ අඩු තැන් පිරෙවුවා මිස රෝම-ලන්දේසි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඉංග්‍රීසි නීතිය ආදේශ කළේ නැත. නිදහස ලැබෙන විට ලංකාවේ පැවතියේ මෙසේ ඉංග්‍රීසි නීතියේ කොටස් මිශ්‍ර වූ රෝම-ලන්දේසි නීතියයි.

නිදහස ලබන විට ලංකාවේ පොදු සමාජය මත පටවා තිබුණු නීතිය ඉංග්‍රීසින් විසින් බලෙන් පැටවූවක්යැයි යමෙක් කියන්නේනම් එය වැරදි නැත. එවකට අපේ "පොදු සමාජයට" අවශ්‍ය වීනම්, අපට රාජසිංහ රජුගේ මී මුණුපුරෙකු හෝ ළඟ නෑදෑයෙකු හොයාගෙන නැවතත් උඩරට රාජ නීතිය ක්‍රියාත්මක කරන්නට තිබුණි. එසේ නැත්නම්, වෙනත් "අපේම" නීතියක් අළුතින් හදාගන්නට තිබුණි. එහෙත්, අප විසින් ඒ අවස්ථාවේදී චේතනාන්විතවම තෝරාගත්තේ පැවති නීති ආකෘතිය එලෙසම පවත්වා ගනිමින් පසුව අවශ්‍ය සංශෝධන කර ගැනීමේ ක්‍රමවේදයයි. මේ, ඉංග්‍රීසින් රට භාර ගත් අවස්ථාවේදී කළ දෙයමය.

ලංකාවට 1948 දී නිදහස ලැබුණත්, එය සම්පුර්ණ නිදහසක් නොවීය. තවදුරටත්, බ්‍රිතාන්‍ය කිරීටය මෙන්ම බ්‍රිතාන්‍ය අධිකරණ පද්ධතියද අපේ අධිකරණ පද්ධතියේ ඉහළින්ම වැජඹුනේය. ඒ නිසා, ලංකාවේ ඉහළම අධිකරණයක තීන්දුවකින් සෑහීමකට පත් නොවන අයෙකුට බ්‍රිතාන්‍ය අධිකරණයකින් යුක්තිය ඉටු කරවා ගැනීමේ හැකියාව තිබුණේය. කෙසේවුවද, මේ කාලය තුළ රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැර අනෙකුත් නීති අපට අවශ්‍ය පරිදි වෙනස් කරගැනීමට අපට ලොකු බාධාවක් තිබුණේ නැත.

උදාහරණයක් වශයෙන් නිදහස ලබා දින 285කින් සම්මත කරගත් 1948 අංක 18 දරන පුරවැසි පණත මඟින් අපට එවකට රටේ ජනගහණයෙන් 11%ක් වූ, ඉන්දියානු සම්භවය සහිත දෙමළුන්ගේ පුරවැසිභාවය අහෝසි කළ හැකි විය. 1949 අංක 58 දරන මුදල් නීති පණත සම්මත කරගෙන මහ බැංකුව පිහිටුවන්නට හැකි විය. 1956 අංක 29 දරන මී හරකුන් රැකගැනීමේ පනත සම්මත කරගෙන රටේ මී හරකුන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කළ හැකි විය.

මේ නීති සම්මත කර ගනු ලැබුවේ රටේ පොදු ජනතාව විසින් තෝරා පත් කර ගැනුණු ඔවුන්ගේ නියෝජිතයින් විසිනි. එනයින්, මේ නීති පොදු සමාජයේ තේරීම්ය. අඩුම වශයෙන්, රටේ ඡන්ද අයිතිය තිබුණු පුද්ගලයින්ගේ තේරීම්ය.

අධිකරණ තීන්දුවකින් සෑහීමකට පත් නොවන ලංකාවේ පුරවැසියකුට බ්‍රිතාන්‍යයේ ප්‍රිවි කවුන්සිලයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට තිබුණු හැකියාව ඉවත් වූයේ 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත වීමට ආසන්න කාලයේ වුවත් එමඟින් නොවේ. ඊට පෙර සම්මත කර ගැනුණු, 1971 අංක 44 දරන අභියාචනාධිකරණ පණත මඟිනි. ඩීබීඑස් ජෙයරාජ්ට අනුව, පරිදි මේ පණත හදිසියේ ගෙන ඒමට හේතු වී ඇත්තේ කොඩීස්වරන් නම් වූ දෙමළ ලිපිකරුවෙක් ප්‍රිවි කවුන්සිලයට ඉදිරිපත් කළ අභියාචනයකි. සිය වැටුප් වර්ධකය ලබා ගැනීම සඳහා සිංහල ඉගෙන ගැනීමට අවශ්‍ය වීම සිය මූලික අයිතිවාසිකමක් කඩවීමක් ලෙස ඔහු විසින් ඉදිරිපත් කළ තර්කය ප්‍රිවි කවුන්සිලයේදී පිළිගැනී ඇත. කෙසේවුවද, මේ පණතට හේතුවූයේ මෙවැනි සරල කරුණක්ය යන්න ලොකු බරක් තැබිය හැකි තර්කයක් නොවේ.

ලිපිකරුවකු වූ කොඩීස්වරන්ට සිය වැටුප් වර්ධකය වෙනුවෙන් එංගලන්තයට යාමේ හැකියාව එදා තිබුණත් (එමෙන්ම එහි පිරිවැය සිංහල ඉගෙන ගැනීමේ ආවස්ථික පිරිවැයට වඩා අඩු වුවත්), තමන්ට අවාසිදායක නඩු තීන්දුවක් වෙනස් කරවා ගන්නට මෙසේ එංගලන්තයට යාමේ හැකියාව තිබුණේ රටේ ඉතා සීමිත පිරිසකට බව නොකිවමනාය. (මෙය අද දක්වා ක්‍රියාත්මක වූවානම්, ඇතැම් විට, කැමැත්තෙන් හෝ වැරැද්දක් කර නඩුවට සහභාගී වීමට එංගලන්තයට යාමට දිග පෝලිමක් ඇති විය හැකිව තිබුණි.) මෙවැනි ඇති හැකි අයට, ලංකාවේදී යම් වරදකට වරදකරු වීමෙන් පසුව (පත්තර වල ලොකුවට ප්‍රවෘත්තිද වැටීමෙන් පසුව) එංගලන්තයට ගොස් හීන් සීරුවේ තීන්දුව වෙනස් කරගෙන නැවත පැමිණ සද්ද බද්ද නැතුව පාඩුවේ ඉන්නට ඉඩ ලැබුණු අවස්ථා මේ කාලයේදී තිබුණේය.

තුනෙන් දෙකක බලයක් දී සමඟි පෙරමුණු රජය පත් කරගැනීම මඟින් බ්‍රිතාන්‍ය පෙකණිවැලේ ඉතිරිව තිබූ කොටස් කපා දමා ජනරජ ව්‍යවස්ථාව හදා ගැනීමට වක්‍රව දායක වූයේ ලංකාවේ පොදු ජනතාවයි. ඉන් පසුව, ජේආර්ගේ රජයට ඊටත් වැඩි බලයක් ලබා දී වත්මන් ව්‍යවස්ථාව හදා ගැනීමට වක්‍රව දායක වුනේද ලංකාවේ පොදු ජනතාව හෙවත් සුනිල් ආරියරත්නගේ වචන වලින් "අපෙ වුන්"ය. ඒ නිසා මේ ව්‍යවස්ථා හෝ ඊට පහළින් ඇති නීති කිසිවක් "පොදු ජනතාව විසින් තමන්ගේ අවශ්‍යතාවය අනුව සකස්කර නොගන්නා ලද වෙනත් අය විසින් සකස්කර බලහත්කාරීව පිළිපැදිය යුතුයැයි පනවා තිබෙන" සම්මුතීන් ලෙස සලකමින් ඒවායේ තිබිය හැකි අඩුපාඩු සම්බන්ධ වගකීමෙන් අපට සම්පූර්ණයෙන්ම ගැලවෙන්නට නුපුළුවන.

සමඟි පෙරමුණ විසින් සම්මත කරගත් ජනරජ ව්‍යවස්ථාවේ (සහ ඉන්පසුව සම්මත කරගත් වත්මන් ව්‍යවස්ථාවේ) ඉන් පෙර පැවති ව්‍යවස්ථාවට සාපේක්ෂව ඉතා වැදගත් මූලික වෙනසක් තිබේ. ජනරජයක බලයේ ප්‍රභවය රජෙකු හෝ රැජිනක නොවේ. ඒ රටේ ජනතාවයි. ව්‍යවස්ථාදායකයට, විධායකයට මෙන්ම අධිකරණයටද බලය ලැබෙන්නේ රටේ ජනතාවගෙනි. ජනතාව සිටින්නේ මේ සියල්ලන්ටම වඩා ඉහළිනි.

ජනරජයක නීති හදන්නේ රටේ ජනතාව මිස "වෙනත් අය විසින්" නොවේ. "වෙනත් අය විසින්" එසේ කරනවානම් ඒ රටේ පොදු ජනතාවගේ කැමැත්ත පරිදි සිදු කරන, "පොදු ජනතාව" විසින් පවරා ඇති කාර්යයක් පමණි. මේ කාර්යය වෙනුවෙන් "පොදු ජනතාව" මේ සඳහා දායක වන අයට මුදල් ගෙවයි. ඒ අනුව, මෙය මුදල් පිණිස කරන කොන්ත්‍රාත්තුවක් නැත්නම් කුලී වැඩක් පමණි. කරන කාර්යය හරියට නොකරනවානම් මේ කොන්ත්‍රාත්කරුවන් ඉවත් කිරීමට, ඔවුන්ට මුදල් නොගෙවා සිටීමට, වෙනත් කොන්ත්‍රාත් කරුවෙකුට වැඩේ භාර දීමට මෙන්ම තමන් විසින් සෘජුවම මේ කාර්යය කර ගැනීමට බලයේ ප්‍රභවය වන "පොදු ජනතාව"ට හැකියාව තිබේ.

දැන් ප්‍රශ්නය මෙයයි. කවුද මේ "පොදු ජනතාව"?

පාඩුවේ ගොවිතැන් බතක් කරගෙන ඉන්නා දෙමෝදර හේරත් බණ්ඩා, පොලේ බඩු විකුණන ආරච්චිකට්ටුවේ ශ්‍රියාලතා හෝ හෝ කල්මුණේ ඔරාබි පාෂා පාරේ සිල්ලර කඩයක් කරන සම්සුදීන් රටේ නීති හදන්නට සෘජුව දායක වෙන්නේ නැත. එසේ දායක වෙන්නට තරම් දැනුමක් හෝ ඕනෑකමක්ද ඒ අයට නැත. ඒ වුනත්, උසස් පෙළ ගොඩදාගෙන සරසවියකට ඇතුළු වී දැන් ආණ්ඩුවේ කන්තෝරුවක වැඩකරන හේරත් බණ්ඩාගේ දෙවන පුතාත්, අවුරුදු හතරෙන් තුනක්ම ඔහුගේ ඔහුගේ රූමා වූ ශ්‍රියාලතාගේ මල්ලීත්, සම්සුදීන්ගේ කඩේට අල්ලපු ගෙදර කුලියට හිඳ ළඟදී මාරුවීමක් ලබා කොළඹට ගිය ආමීනුත් මේ වැඩේට හවුල් වෙති.

වෙනත් රටවල මෙන්ම ලංකාවේද නීති හදන (ඉවත් කරන හා වෙනස් කරන) ක්‍රමවේදයක් තිබේ. යම් පණත් කෙටුම්පතක් පෞද්ගලික හෝ පොදු පණතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම මේ ක්‍රමවේදයේ අත්‍යාවශ්‍ය අංගයකි. එහෙත්, බොහෝ විට මෙවැන්නක් මහජන නියෝජිතයෙකු විසින් තනිව කරන සරල කාර්යයකට වඩා ඉතා විශාල පිරිසක් විසින් කාලයක් තිස්සේ දායක වීමෙන් සිදුවන ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. පොදු පණතක් සඳහා බොහෝ විට මුල පුරන්නේ විෂයයට අදාළ රජයේ ආයතනයක හෝ කිහිපයක සේවය කරන නිලධාරී කණ්ඩායමකි. නීතිපති දෙපාර්තමේන්තුව වැනි තැන් වල සේවය කරන අයගේ දායකත්වයද මෙයට ලැබේ.

පණත් කෙටුම්පතක් නිවැරදිව සකස් කිරීම පහසු කටයුත්තක් නොවේ. නීති ඕනෑවට වඩා දැඩි වූ විට නීතියත් යුක්තියත් ගැටෙන්නට ගනී. එමෙන්ම, එවැනි නීතියක් ක්‍රියාත්මක කිරීමද අපහසුය. නීතියේ හිල් ඇති විට වරද කරුවන්ට ඒ හිල් වලින් රිංගා යාමට ඉඩ ලැබේ. ඒ නිසා, මෙවැනි කෙටුම්පතක් ඒ ගැන දැනුමක් ඇති කණ්ඩායමකගේ සුපරීක්ෂාවට ලක්වෙමින් වැඩි දියුණු වීමට කාලයක් ගතවේ. මේ අතරතුර බොහෝ විට විෂය භාර ඇමති වරයා මාරු වේ. ඇතැම් විට ආණ්ඩුවද මාරු වේ. අවසානයේදී, එය සභාගත කරන විෂය භාර ඇමතිවරයා නිලධාරියෙකුගෙන් දමාගත් කුප්පියක් ඇරෙන්නට ඒ ගැන වැඩි දෙයක් නොදන්නවා වුවද විය හැකිය. 

නීතිය හැදීමට ඇත්තටම දායක වන බොහෝ දෙනෙකු පෙර කී "අපෙ උන්"ගේ ගොඩෙන් පැමිණි, බොහෝ විට තවමත් ඒ ගොඩේම ඉන්නා අයයි. ඒ අය "පොදු ජනතාව" කියන කුලකයෙන් පිටත ඉන්නා අය නොවේ. මේ අයුරින් හදන නීති ක්‍රියාත්මක කරන පොලීසි, බන්ධනාගාර දෙපාර්තමේන්තු හා උසාවි වැනි තැන් වල ඉන්නේද පිටසක්වලකින් පැමිණෙන්නෝ නොවෙති. ඒ නිසා "ජේලර මහතුන් නෑදෑයෝ වේවා" කියා අමුතුවෙන් කියන්නට දෙයක් නැත. ඒ අය කවර අයුරකින්වත් නොනෑයෝනම් නොවෙති.

කෙසේ වුවද, "වෙනත් අය විසින් සකස්කර බලහත්කාරීව පිළිපැදිය යුතුයැයි පනවා තිබෙන" කියන කතාවේ ඇත්තක්ද තිබේ. අප උපදින්නේත්, වැඩිහිටියන් වන්නේත් අප මත අපේ කැමැත්ත නොවිමසා පනවා ඇති නීති වල බර දරාගෙනය. මෙය අපේ තෝරාගැනීමක් නොවේ. නමුත්, නීතිය කියන්නේ අප මත එසේ පටවා ඇති එකම බර නොවේ. අපට ඉපදෙන්නට පෙර කාලය, දීපය, දේශය, කුලය හෝ මව තෝරා ගැනීමේ හැකියාවක් නැත. මේ දේවල් අපට පෙර කර්මය නිසා, දෙවියන්ගේ කැමැත්ත නිසා හෝ අහම්බයෙන්, අපේ පාලනයකින් තොරව හිමිවේ. ඒ අහඹු දේවල් අපේ ජීවිත වලට බලපෑම් කරයි. 

නීති හැදීම පොදු ජනතාවගේ කාර්යයක් වුවත්, නීතියට යටත් වන එහෙත් නීති හැදීමේ කාර්යයෙන් බැහැර කරනු ලැබුවෝ සිටිති. රටේ පුරවැසියන් නොවන අය සහ බාල වයස්කරුවන් උදාහරණයි. කෙසේවුවද, නීතිය තමන් මත බලෙන් පටවා ඇති බවට මැසිවිලි නැඟෙන්නේ මේ අයගෙන් නොවේ.

නීතිය තමන් මත බලෙන් පටවා ඇති, සමාජයේ තෝරා ගැනීමක් නොවන දෙයක්යැයි සිතෙන විට යමෙකු තමන්ගෙන්ම ප්‍රශ්න කළ යුත්තේ මෙයයි. මේ නීතිය වෙනස් කිරීමට මට ඉඩ ලැබුණොත් මා එය කළ යුත්තේ කෙසේද? 

අළුතින් යමක් කිරීම සංකීර්ණ කටයුත්තක්නම් ප්‍රායෝගිකව හොඳම විසඳුම දැනට සිටින තැනින් පටන් ගැනීමයි.

රටේ ගමක් ගානේ දුසිම් ගණනින් විනිසුරුවන් හා නීති ක්‍රම බිහි වූ 1988/89 කාලයේ මෙන් රජ කාලයේ නීති වලටත් වඩා දරුණු නීති ක්‍රමයක් හදා ගැනීමනම් එතරම් අමාරු නැත. දැනටත්, වාහන අනතුරක් සිදුවන ඇතැම් අවස්ථා වල කාර්යක්ෂම ලෙස නඩු අසා, ක්ෂණික තීන්දුවක් දීමට "පොදු ජනතාව" ඉදිරිපත් වේ. එපමණින්, සමාජයේ තෝරා ගැනීම පවතින නීති ක්‍රමය කඩා බිඳ දමා වෙනස්ම නීති ක්‍රමයක් හදා ගැනීම  යැයි කිව නොහැකිය.

රටේ නීතිය ඇත්තේ පොදු ජනතාව වෙනුවෙනි. පවතින ව්‍යවස්ථාව මඟින් විවිධ ආයතන වෙත බලය සම්ප්‍රේෂණය වන්නේ පොදු ජනතාව වෙතිනි. තමන් උදෙසා වන නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමේ ප්‍රධානම පාර්ශ්වකරුවන් වන්නේද මේ පොදු ජනතාවයි. යම් හෙයකින් එය එලෙස සිදු නොවන්නේනම්, කළ යුත්තේ එය දිරිගැන්වීමයි. "නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ" කියන විට මේ පොදු ජනතාවට දෙන අදහස නීතිය ඇත්තේ විශේෂිත පිරිසකගේ ආරක්ෂාව වෙනුවෙන් යන්නයි. මෙවැනි අදහස් මැද ලොකු මහත් කර නීතිය ක්‍රියාවේ යොදවන්නට යොමු කළ විට මේ "පොදු ජනතාවගේ" දරුවන් සිතන්නේ තමන්ගේ කාර්යය භාරය වන්නේ "අපෙ උන්ගෙන්" "උන්"ව ආරක්ෂා කර ගැනීම බවයි.




තුලාව ගෙන නෙත්යුග බැඳ රෙදි කඩකින්...
නීතියෙ යුවතිය වැජබෙයි අද නිදුකින්...
ඔබවන් මිනිසුන් වෙනුයෙන් ඇණ සැතකින්...
මරා දමමි ඇය මරා දමමි සැනෙකින්...

ලියවුනු පසුබිම සහ ගීතයේ මධුරත්වය අතහැර, සුනිල් ආරියරත්න යෝජනා කරන දෙය දෙස බැලූ විට එහි ඇති විසංවාදය හඳුනාගත හැකිය. "ඔබවන් මිනිසුන් වෙනුයෙන් ඇණ සැතකින්" මරා දමන්නට යෝජනා කරන්නේ ඒ මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැප වී සිටින නීතියේ යුවතියවය. සැත දික්කකරගෙන ගලබොඩඅත්තේ ඥානසාර හිමි දශක ගණනකට පසු එන්නේත් මේ කාර්යය කරන්නටය. එහෙත්, ඒ වන විටත් මේ යුවතිය ඇඟේ සීරුම් තුවාලයක්වත් නැති, කිසිදා වරදේ නොබැඳුනු කන්‍යාවක් නොවේ.

ඇතැම් අය ඇයව බිම පෙරලාගෙන අතවර කරන විට ඇයට දෑස් ආවරණ පිටින්ම ඉවසා සිටින්නට සිදු වූ අවස්ථා තිබුණේය. ඇගේ තරාදිය සමතුලිතව තබා ගැනීමට විශාල මහන්සියක් දැරීමට සිදු වුනු අවස්ථා තිබුණේය. මේ යුවතිය "උන්ගේ" පීඩනය මැද තරාදිය සමතුලිතව තබා ගන්නට දඟලද්දී, "අපෙ උන්" කළේ ඇගේ තරාදියේ ඇදය හේතුවකට ගෙන ඇයව සමූහ දූෂණය කිරීමයි. 

සුනිල් ආරියරත්න කියන පරිදි ඇය සිටින්නේ නිදුකින්ම නොවේ. ඇගේ ඇඟ පුරාම සැත් පාරවල් මෙන්ම, කලෂ්නිකොව් හා ගල්කටස් වලින් සිදු වූ තුවාල කැළැල්ද තිබේ. එහෙත්, ඇය තවමත් නිරෝගීය. ඇය වෛශ්‍යාවක්ද නොවේ. 

ඇයගෙන් රැකවරණය ලබන, රැකවරණය පතන පොදු ජනතාව කළ යුත්තේ අතේ ඇති සැත පැත්තකට විසිකර ඇගේ තුවාල කැළැල් මකා දමා, ඇයට දිගු කලක් නිදුක් නිරෝගීව ජීවත් විය හැකි පරිසරයක් හදා ගන්නට උදවු කිරීමයි. එසේ නැතිව, ඇයට සැතකින් ඇන මරා දැමුවහොත් මේ "පොදු ජනතාවට" අවසානයේ සිදු වන්නේද ඒ සැතම ගලවා ආපසුගෙන හරාකිරි කර ගන්නටය.

(Image: lawandhumanitiesrome.org)


Thursday, February 4, 2016

නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ...

රටක නීතියේ අරමුණ යුක්තියයි. එහෙත්, ඇතැම් අවස්ථා වලදී යමෙකුට තමන් යුක්තියයැයි සිතන කරුණක් වෙනුවෙන් නීතියට එරෙහි වන්නට සිදුවිය හැකිය. එමෙන්ම, මෙවැනි ක්‍රියාවක් නීතිය ඉදිරියේ වරදක් වන නිසා දඬුවමක් විඳින්නටද සිදුවිය හැකිය.

මා මුර ගෑවේ පිහිටක් අයදින්නයි...
ධන වැද්දෙකුගෙන් බඹසර රැක ගන්නයි..
ඔබ දිව ආයේ මාදිවි ගලවන්නයි...
අවි එසවූයේ යුක්තිය විසඳන්නයි...

මේ වගේ වෙලාවට 119 අමතන්නට මතක් වෙන්නේ නැත. ඇමතුවා කියා ඇති වැඩකුත් නැත. එහෙත්, නීතිය ඉදිරියේ වරදක් වී ඇත්නම් දඬුවමකට ලක් වෙන්නට සිදු වේ. සිර මැදිරියක සීතල පොළොව සිරියහනක් නොවේ. ගෝණි පඩංගුව මුදු පළසක් නොවේ. තැටියේ බත්පත දිවබොජුනක්ද නොවේ. ඒවා සොවින් බර හිතක මතුවන අහිංසක බලාපොරොත්තු පමණි. මේ වගේ වෙලාවට තමන් රටේ නීති පද්ධතියෙන් පිටස්තරයෙකු බව කෙනෙකුට දැනෙනවානම් එහි ලොකු පුදුමයක් නැත.

දිළිදු ළඳුන්ගේ කුමරි දිවිය උන්ගේ...
කාසිය උන්ගේ ලොකු ලොකුවුන් උන්ගේ...
පොලිසිය උන්ගේ කූඩුව අපෙ උන්ගේ...
නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ...

මා විසින් පළ කළ පෙර ලිපියකට පාඨකයෙකු විසින් දැමූ ප්‍රතිචාරයකින් පසු ඇරඹුණු සංවාදයක එක අංශයක් මේ වන විට (මගේ පමාවෙන්) නැවතී ඇත්තේ මෙවැනි තැනකය.

"ඔබ සමස්ථ කරුණු දැක්වීම තුලම දක්වා ඇති කරුණ වන (මා හට තේරුම් ගිය පරිදි) “ සමාජය විසින් පොදු සම්මුතියක් ලෙස සකස්කරගෙන ඇති නීතී උල්ලංගනය කරන අවස්ථාවන් වලදී ඕනෑම අයෙකුට එරෙහිව සමාන ලෙස නීතීය ක්‍රියාත්මක කල යුතුයි සහ එලෙස පොදු සම්මුතින් උල්ලංගනය කරන අවස්ථාවලදී සමාජයෙන් එවා කඩ කරන්නන්හට එරෙහිව පිඩනයක් ඇතිකල යුතු බවයි. තවද අවශ්‍යතාවයන් අනුව බහුතරයකගේ කැමැත්තෙන් නීතී සංශෝධනය කරගත යුතු බවයි“ යන්නය. 

පළමු කරුණනම් ඔබ නීතීය යනු සමාජය විසින් සකස්කරගෙන තිබෙන පොදු සම්මුතියක් ලෙස සිතනවාය. මම සිතන්නේ නීතීය සමාජ විසින් සකස්කර ගතයුතු පොදු සම්මුතියක් ලෙසය. එනම් දැනට තිබෙන නීතී පද්දතිය පොදු ජනතාව විසින් තමන්ගේ අවශ්‍යතාවය අනුව සකස්කර නොගන්නා ලද වෙනත් අය විසින් සකස්කර බලහත්කාරීව පිලිපැදිය යුතුයැයි පනවා තිබෙන සම්මුතියක් ලෙසය."


මෙහි මුල් කොටසේ ඔහු විසින් මගේ අදහස් ඉතා නිවැරදිව සම්පින්ඩනය කර තිබේ. දෙවන කොටසේ ඇති අදහස් අපට මෙසේ කොටස් තුනකට බෙදිය හැකිය.

1. නීතීය යනු සමාජය විසින් සකස්කරගෙන තිබෙන පොදු සම්මුතියකි. (මගේ මතය)
2. නීතීය යනු සමාජය විසින් සකස්කර ගතයුතු පොදු සම්මුතියකි. (ඔහුගේ මතය)
3. දැනට තිබෙන නීතී පද්ධතිය පොදු ජනතාව විසින් තමන්ගේ අවශ්‍යතාවය අනුව සකස්කර නොගන්නා ලද වෙනත් අය විසින් සකස්කර බලහත්කාරීව පිළිපැදිය යුතුයැයි පනවා තිබෙන සම්මුතියකි. (ඔහුගේ මතය)

ඔහු සඳහන් කර ඇති පරිදිම ඉහත (1) මගේ මතයයි. එහෙත්, මගේ ඒ මතය මඟින් ඉහත (2) හා (3) සම්පූර්ණයෙන් බැහැර කෙරෙන්නේද නැත. (1) සත්‍යයක් වූ පමණින්ම (2) හා (3) හැම විටම බොරු වෙන්නේ නැත.

මෙය මා විස්තර නොකළහොත් එක් වර අණ්ඩර දෙමළයක් මෙන් පෙනෙන්නට පුළුවන.

අපි තුන්වන කරුණට එමු. "දැනට තිබෙන නීතී පද්ධතිය පොදු ජනතාව විසින් තමන්ගේ අවශ්‍යතාවය අනුව සකස්කර නොගන්නා ලද වෙනත් අය විසින් සකස්කර බලහත්කාරීව පිළිපැදිය යුතුයැයි පනවා තිබෙන සම්මුතියකි." කලකට පෙර "පොලිසිය උන්ගේ කූඩුව අපෙ උන්ගේ- නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ" යනුවෙන් සුනිල් ආරියරත්න වෙනත් විදිහකට කියන්නේද මේ කරුණමය.

එසේනම්, මේ "පොදු ජනතාව" යන අර්ථකථනයට අයත් නොවන "වෙනත් අය" කවුද? "අපෙ වුන්" නොවන "උන්" කවුද? නීති පද්ධතිය සකස් කර බලහත්කාරීව පිළිපැදිය යුතුයැයි සම්මත කර ඇත්තේ කවුද?

ලංකාවේ නීති පද්ධතිය විකාශනය වූ හැටි මගේ පෙර ලිපියකින්ද ඉතා කෙටියෙන් කතා කළෙමි. යුරෝපීයයන් එන තුරු ලංකාවේ තිබුණේ රාජාණ්ඩුවකි. රාජාණ්ඩුවක බලයේ ප්‍රභවය රටේ රජු හෝ රැජිනයි. මේ බලය ඉහළ සිට පහළට සම්ප්‍රේෂණය වේ. ඒ රජුගේ හෝ රැජිනගේ කැමැත්ත පරිදිය. එවැනි සමාජයක පොදු ජනතාවට යුක්තිය බලාපොරොත්තු විය හැක්කේ "රජු ධාර්මික වේවා!"යි ප්‍රාර්ථනා කිරීමෙනි.

කෙසේ වුවද, රාජ්‍ය ව්‍යුහය අද තරම් සංකීර්ණ හෝ විශාල නොවූ ඒ කාලයේ රාජ්‍ය බලය (රාජ නීතිය) ඈත ගම් දනවු වල සෑම අහුමුල්ලක් කරාම ව්‍යාප්තව තිබුණේයැයි සිතිය නොහැකිය. බොහෝ විට රටේ අගනුවරින් බැහැර ප්‍රදේශ වල ක්‍රියාත්මක වන්නට ඇත්තේ ප්‍රාදේශීය ප්‍රධානීන්ගේ නීතීන්ය. රජු විසින් ක්‍රියාත්මක කළද, ප්‍රාදේශීය ප්‍රධානියෙකු විසින් ක්‍රියාත්මක කළද, මේ නීති පද්ධතිය අදට සාපේක්ෂව ඉතා අවිධිමත්, අවිනිශ්චිත එකකි.

උඩරට (හෝ වෙනත් රටක හෝ ප්‍රදේශයක ක්‍රියාත්මක වූ) රාජ නීතිය සමාජයේ තේරීමක් නොවූ, සමාජය මත බලෙන් පැටවූ එකකැයි යමෙකුට තර්ක කළ හැකිය. මෙය එසේමැයි මා සිතන්නේ නැත. මේ කාලයේ ජීවත් වූ, රටේ නීති පද්ධතිය ගැන සෑහීමකට පත් නොවූ,  'සාමාන්‍ය පුරවැසියෙකුගේ' විකල්ප යෝජනාවක් විය හැකිව තිබුණේ කුමක්ද? බොහෝ විට, මෙවැනි විකල්ප යෝජනාවක් විය හැකිව තිබුණේ සිංහාසනාරූඪ රජු වෙනුවට, රාජ උරුමය ඇති, වඩා යුක්තිගරුක හා/හෝ ධාර්මිකයැයි සිතිය හැකි, වෙනත් පුද්ගලයෙකු පත්කර ගැනීමයි. ඉන්පසු, මේ විකල්ප පුද්ගලයා විසින් යුක්තිය ලෙස හඳුනාගන්නා ක්‍රමවේදයට යටත් වීමයි. (මෙසේ සිතන අය දැනටත් නොඅඩු බව පෙනේ.) ඒ මිස, පැවති නීති ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කර ගැනීම නොවේ. එනයින්, ඒ ක්‍රමයද පොදු සමාජයේම තේරීමකි. (ඒ සඳහා ඉවහල් වූ ඓතිහාසික තත්ත්වයන් පැවතීම වෙනම කරුණකි.)


ලංකාවේ නීති පද්ධතිය සෑහෙන මට්ටමකට විධිමත් වන්නේ ලන්දේසීන්ගේ පාලනය තුළය. අදටත්, අපේ නීති පද්ධතියේ මූලික හරය රෝම ලන්දේසි නීතියයි. කෙසේවුවද, ලන්දේසින් යටතේ මේ නීති පද්ධතිය ක්‍රියාත්මක වූයේ රටේ සීමිත වපසරියක පමණි.

ඉංග්‍රීසින් විසින් ලංකාවේ පාලන බලය අත්පත් කරගන්නා කාලය වන විට ඉංග්‍රීසි නීතිය සැහෙන දුරකට වැඩි දියුණු වී තිබුණේය. එහෙත්, යටත් විජිත සම්බන්ධව ඔවුන්ගේ එවකට ප්‍රතිපත්තිය වූයේ අවශ්‍ය වෙනස්කම් කරගන්නා තෙක් යම් රටක මුලින් පැවති නීති පද්ධතිය පවත්වා ගැනීමයි. මේ ප්‍රතිපත්තියට හේතු වන්නට ඇත්තේ රටක නීතිය වෙනස් කිරීම හිතන තරම් පහසු හෝ සරල කටයුත්තක් නොවීමයි.

ලංකාවේ පැවති දේශීය නීතිය හඳුනාගැනීමට ඉංග්‍රීසින් දැරූ උත්සාහයේදී ඔවුන්ට රටේ විවිධ ප්‍රදේශ වල එවකට ක්‍රියාත්මක වූ නීති ක්‍රම යටත් පිරිසෙයින් හතරක්වත් හමුවිය. ඒ රෝම-ලන්දේසි, උඩරට, තේසවලාමේ සහ මුස්ලිම් නීති ලෙස ඔවුන් විසින් හඳුනා ගැනුණු නීති පද්ධතීන්ය. මේ නීති ක්‍රම හතරම ලංකාවේ වලංගු නීති ලෙස ඔවුන් පිළිගත්තේය. පළමුවැන්න රටේ සාමාන්‍ය නීතිය වූ අතර ඉතිරිවා ක්‍රියාත්මක වූයේ ඒ වන විට ඒ නීති පිළිගත් ජන කණ්ඩායම් හා අදාළව පමණි.

රටේ ප්‍රධාන නීතිය ලෙස එවකට රටේ සීමිත ප්‍රදේශයක ක්‍රියාත්මක වුණු රෝම-ලන්දේසි නීතිය යොදා ගැනුණේ ඇයිද යන කරුණ මෙහිදී විමසා බැලීම වටී.

රටකට නීතියක් හඳුන්වාදුන් පසු ඒ නීතියෙන් සියල්ලෝම බැඳෙති. මෙය නීතිය හඳුන්වා දෙන ඉංග්‍රීසින්ටද පොදුය. ඒ නිසා, ඔවුන්ට පෙනුණු පරිදි වඩා දියුණු, වඩා සාධාරණ නීති ක්‍රමය තමන්ටද බලපවත්වන පරිදි රටේ පොදු නීතිය ලෙස යොදාගත්තා විය යුතුය.

(මේ ලිපිය වචන 2000 ඉක්මවා ඇති නිසා කොටස් දෙකකින් පළවේ. ඉතිරි කොටස පැය 24කින් පසු කියවිය හැකිය.)

දෙවන කොටස: මරා දමන්නට පෙර තවත් වරක් සිතන්න!




(Image: www.tumblr.com)

Monday, February 1, 2016

ලෝකය නැවතත් සෘජු ප්‍රජාතන්ත්‍රවාදය කරා...

පසුගිය ලිපියෙන් මම ලෝකයේ වත්මන් ප්‍රවණතාවක් වන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ සිට සෘජු ප්‍රජාතන්ත්‍රවාදයක් කරා සංක්‍රමනය වීම ගැන කතා කළෙමි. එහිදී මා එය පළමුව විස්තර කළේ ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක මෑත කාලයේදී කංසා නීතිගත වීම උදාහරණයකට ගනිමිනි.

කෙසේ වුවද, සෘජු ප්‍රජාතන්ත්‍රවාදය භාවිතා වන අවස්ථා මීට වඩා බොහෝ සෙයින් පුළුල්ය. පළමුව, මෙවැනි ඉඩප්‍රස්තා අවශ්‍ය වන්නේ කංසා භාවිතය නීතිගත කිරීම වැනි මතභේදකාරී නීති පැනවීමටම නොවේ. දෙවනුව, එය යොදා ගැනීමට ෆෙඩරල් ක්‍රමයක් තිබීම අවශ්‍ය වන්නේද නැත. තෙවනුව, මෙය ඇමරිකාව වැනි දියුණු රටවල පමණක් යොදාගැනෙන ක්‍රමයක්ද නොවේ.

ඒක පුද්ගල ආදායම අතින් ලංකාවට කිට්ටු, තවත් ආසියාතික රටක් වන පිලිපීනයේ නීති පැනවීම මෙන්ම ව්‍යවස්ථා සංශෝධයක් කිරීමද මහජනතාවට මුල් වී කළ හැකිය. එය මහජන නියෝජිතයින් විසින් සිදු කරන තුරු බලා සිටීම අවශ්‍ය නොවේ.

පිලිපීනයේ පැරණි (1935 සහ 1973) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුව, ව්‍යවස්ථා සංශෝධනයක් කළ හැකි ක්‍රම තිබුණේ දෙකක් පමණි.
1. කොන්ග්‍රසයේ හතරෙන් තුනක ඡන්දයෙන්; සහ
2. ව්‍යවස්ථාදායක සම්මේලනයක් (constitutional convention) මඟිනි.

දැනට බලාත්මක 1987 ව්‍යවස්ථාව අනුව තුන්වන විකල්පයක්ද මෙයට එක් වී ඇත. මේ අනුව, එක් එක් දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් අවම වශයෙන් 3%ක් ඇතුළත්ව, රටේ වලංගු ඡන්දදායක සංඛ්‍යාවෙන් 12%කගේ අත්සන් සහිතව මහජන පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට මුලපිරිය හැකිය.

එමෙන්ම, එක් එක් දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් අවම වශයෙන් 3%ක් ඇතුළත්ව, රටේ වලංගු ඡන්දදායක සංඛ්‍යාවෙන් 10%කගේ අත්සන් සහිතව මහජන පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් වෙනත් ඕනෑම නීතියක් යෝජනා කිරීමට හෝ කොන්ග්‍රසය විසින් සම්මත කරගත් නීතියක් අහෝසි කිරීමට මුලපිරීමේ හැකියාව පිලිපීන ඡන්දදායකයින් සතු අයිතියකි. මෙසේ මුලපිරෙන ජනමූල යෝජනාවක් ජනමතවිචාරණයකට යොමු කෙරී සරල බහුතරයක් ලබා ගැනීමෙන් පසු එය බලාත්මක වේ.

අප්‍රිකානු කලාපයෙන් උදාහරණයක් ගන්නේනම්, 1995දී හඳුන්වා දුන් උගන්ඩා ව්‍යවස්ථාවේ 255 වන වගන්තිය අනුව, මැතිවරණ බලප්‍රදේශ වලින් තුනෙන් දෙකක ලියාපදිංචි ඡන්දදායකයින්ගෙන් 10%ක අත්සන් සහිත මහජන පෙත්සමක් රටේ මැතිවරණ කොමිසමට ඉදිරිපත් කිරීමෙන් ජනමතවිචාරණයක් කැඳවිය හැකිය. එමෙන්ම යම් මහජන නියෝජිතයෙකුව තෝරා පත්කර ගැනුණු බල ප්‍රදේශයේ ඡන්දදායකයින්ගෙන් තුනෙන් දෙකක් අත්සන් කර ඇත්නම් එවැන්නෙකුගේ ධුරය අහෝසි වේ.

සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීම හා අදාළව ලෝකයේ ඉදිරියෙන්ම සිටින රට ලෙස සැලකෙන්නේ ස්විට්සර්ලන්තයයි. එහි, ප්‍රාදේශීය (කැන්ටන්) මට්ටමේදී ජනතා මුලපිරීම් මත පදනම් වූ වෙනස්වීම් ඉතා සුලභය. උදාහරණයක් වශයෙන් අළුතින් පාරක් තැනීම හෝ වෙනත් පොදු කටයුත්තකට මුදල් වෙන් කිරීම අදාළ ප්‍රදේශයේ සියළු ඡන්දදායකයින්ගේ සහභාගිත්වයෙන් තීරණය වීම එහි දුලබ දෙයක් නොවේ.

ලංකාවේ ෆෙඩරල් ක්‍රමයක් නැතත් සෑහෙන මට්ටමකට බලය විමධ්‍යගත වී තිබේ. ප්‍රාදේශීය සභාවකට හෝ නගර සභාවකට අදාළ ප්‍රදේශයේ යටිතල පහසුකම්, බදු වැනි දේ සම්බන්ධව තීරණ ගැනීමට සැලකිය යුතු බලයක් තිබේ. 


මේ ආයතන වලට බොහෝ විට තේරී පත්වෙන්නේ දේශපාලන පක්ෂ වල නියෝජිතයින්ය. බොහෝවිට ඔවුන්ගේ ප්‍රධාන අපේක්ෂාව වන්නේ තමන්ගේ පක්ෂයේ ජාතික බල ව්‍යාපෘතිය වෙනුවෙන් බිම් මට්ටමේදී පෙනී සිටීමයි. සමාජය වෙනුවෙන් යමක් කිරීමට කැමති සහ ශක්‍යතාවක් ඇති, එහෙත් පක්ෂ දේශපාලනයේ අතකොලුවක් වීමට අකැමති බොහෝ දෙනෙකු ප්‍රාදේශීය දේශපාලනයෙන් ඈත් වී සිටින අතර එවැන්නෙකු යම් හෙයකින් තරඟ කළද තේරී පත්වීමට ඇත්තේ ඉතාම සීමිත ඉඩකඩකි.


සෘජු ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත්නම් තමන්ගේ ප්‍රදේශය සම්බන්ධව යමක් කිරීමට බලාපොරොත්තු වන, එහෙත් ජාතික දේශපාලනයට හෝ පක්ෂ දේශපාලනයට අකැමති අයෙකුට වුවද තමන්ගේ යෝජනා ජනතා අනුමැතියට ඉදිරිපත් කර ඒවා ක්‍රියාත්මක කර ගැනීමේ හැකියාව තිබේ. උදාහරණයක් වශයෙන් තමන්ගේ ප්‍රදේශයට විමධ්‍යගත අයවැයෙන් වෙන් කරන මුදල් වියදම් කළ යුතු ආකාරය ගැන සාමාන්‍ය පුද්ගලයෙකුට යෝජනා ඉදිරිපත් කළ හැකිය.

වසර කිහිපයකට පෙර අයෝවා විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හැදෑරු සිසුවෙකු ඉදිරිපත් කර තිබුණු නිබන්ධනයේ සාකච්ඡා කර තිබුණේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදය හඳු
න්වා දීමෙන් පසු ඡන්දදායකයින් විසින් සිය නියෝජිතයින් තෝරා ගන්නා ආකාරය වෙනස් වී ඇති ආකාරයයි. ඔහු පෙන්වා දෙන පරිදි, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යටතේ මහජන නියෝජිතයෙකුගේ ප්‍රතිපත්ති වඩා වැදගත් වුවත්, සෘජු ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ප්‍රතිපත්ති තීරණ තමන්ටම ගත හැකි බැවින් නියෝජිතයෙකුගේ අවංක භාවය, විශ්වාසනීයත්වය, මහන්සි වී වැඩ කිරීමේ හැකියාව වැනි පුද්ගල ස්වභාවය හා සම්බන්ධ ගුණාංග වඩා වැදගත්ය. ඒ නිසා, ඡන්දදායකයින් එවැනි අපේක්ෂකයින් වෙතට වඩා නැඹුරු වී තිබේ. මෙයින් ප්‍රධාන ධාරාවේ නොවන පක්ෂ වල අපේක්ෂකයින්ට යම් වාසියක් සැලසී ඇත.

ලංකාව වැනි රටකනම් සෘජු ප්‍රජාතන්ත්‍රවාදයක් යටතේ වුවත්, බොහෝ ඡන්දදායකයින් සිය පක්ෂය අනුවම තීරණ ගැනීම සිදු වීමට ඉඩ තිබේ. ඒ නිසා, වත්මන් සන්දර්භය යටතේ එමඟින් ජාතික තලයේදීනම් ලොකු වෙනසක් සිදුවීමේ ඉඩකඩක් නැත. එහෙත්, ප්‍රාදේශීය තලයේදී පක්ෂ දේශපාලනයට අකැමති සමාජ ක්‍රියාකාරීන් තීරණ වලට හවුල් කර ගැනීමට එවැන්නකින් ඉඩ සැලසිය හැකිය.



(Images: ideasmakemarket.com, http://occupiedmedia.us/2012/05/a-few-good-democrats-are-not-enough/ )


Friday, January 29, 2016

ඇමරිකාවේ මරිජුවානා නීතිය ලංකාවේ අළුත් ව්‍යවස්ථාවට?

විනෝදාස්වාදය සඳහා කංසා (හා ආශ්‍රිත නිෂ්පාදන) භාවිතය ඇමරිකාවේ ප්‍රාන්ත හතරකම මේ වන විට නීත්‍යානුකූල කටයුත්තකි. මෙය ලංකාවේ බොහෝ දෙනා දන්නා, සිංහල මාධ්‍ය වල කතාබහට ලක්වී ඇති කරුණකි. එහෙත්, ඇමරිකාවේ ෆෙඩරල් නීතිය අනුව, තවමත්, කංසා භාවිතය, ළඟ තබා ගැනීම, විකිණීම, වැවීම හා ප්‍රවාහනය කිරීම නීති විරෝධී කටයුත්තකි.

මේ ලිපියේ අරමුණ විනෝදාස්වාදය සඳහා කංසා භාවිතය නීතිගත වීමේ ඇති හොඳ නරක සාකච්ඡා කිරීම නොවේ. ඒ නීතිය සම්මත වූ ආකාරය විස්තර කිරීමයි.

ෆෙඩරල් නීතිය අනුව කංසා භාවිතය ඇමරිකාව පුරාම විශාල වරදක්ව තිබියදී, 1996 නොවැම්බරයේදී කැලිෆෝර්නියා ප්‍රාන්තයේ වැසියෝ වෛද්‍ය අවශ්‍යතා මත කංසා භාවිතය නීතිගත කරමින් පණතක් සම්මත කර ගැනීමට සමත් වූහ. මෙයින් අනතුරුව, මේ වන විට තවත් ප්‍රාන්ත 22ක් කැලිෆෝර්නියාව අනුගමනය කර තිබේ. විනෝදාස්වාදය සඳහා කංසා භාවිතය මුලින්ම නීතිගත වූයේ වොෂින්ටන් සහ කොලරාඩෝ ප්‍රාන්ත වලය. ඒ 2012 නොවැම්බරයේ පැවති මැතිවරණ අනුවය.

වෛද්‍ය අවශ්‍යතා මත කංසා භාවිතය නීතිගත කෙරුණු කැලිෆෝර්නියා පණත මෙන්ම, වොෂින්ටන් සහ කොලරාඩෝ ප්‍රාන්ත වල විනෝදාස්වාදය සඳහා කංසා භාවිතය නීතිගත වීමද සිදුවූයේ ජනමූල යෝජනා ලෙසිනි. මා මෙහි විස්තර කරන්නේ වොෂින්ටන් ක්‍රියාවලියයි. ඉතිරි තැන් වල වූයේද මෙවැන්නකි.

විනෝදාස්වාදය සඳහා කංසා භාවිතය නීතිගත කළ යුතු බවට ජනතා හඬක් ඇති වුවත් දේශපාලනඥයින් විසින් මෙය යෝජනාවක් ලෙස ඉදිරියට ගෙනයාමක් නිසි පරිදි සිදුනොවුණු බැවින්, ජනතා ක්‍රියාකාරීහු යෝජනාවට පක්ෂව අත්සන් එකතු කරන්නට පටන් ගත්හ. 2011 දෙසැම්බර් 11දින වන විට අත්සන් 354,608ක් එකතු කරගත් ඔවුහු සිය පෙත්සම වොෂින්ටන් රාජ්‍ය ලේකම් වෙත ඉදිරිපත් කළහ.

අවසන් වරට පැවති මැතිවරණයේදී ප්‍රකාශ කළ ඡන්ද සංඛ්‍යාවෙන් 8%කට (හෙවත් 241,152කට) නොඅඩු වලංගු අත්සන් සංඛ්‍යාවක් සමඟ මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කළ විට ව්‍යවස්ථාව අනුව එය සලකා බලන්නට සිදුවේ. කෙසේ වුවද, අත්සන් පරික්ෂා කිරීමේදී  ඡන්දදායකයින් නොවන අයගේ ඒවා, නොගැලපෙන අත්සන්, දෙවරක් අත්සන් යෙදූ අය ආදීන් හඳුනාගෙන සාමාන්‍යයෙන් පෙත්සමක ඇති අත්සන් වලින් 20%ක් පමණ ඉවත් කෙරෙන නිසා අවශ්‍ය ප්‍රමාණයට වඩා අත්සන් එකතු කිරීමට සිදුවේ. මේ පෙත්සමේ එවැනි අත්සන් 21.73%ක් ඉවත් කිරීමෙන් පසුවද අවශ්‍ය ප්‍රමාණයට වඩා අත්සන් 36,000ක් ඉක්මවා තිබුණේය. ඒ නිසා මේ යෝජනාව ව්‍යවස්ථාදායකයට යොමු විය.

කෙසේවුවද, ඉහත යෝජනාව ව්‍යවස්ථාදායකය විසින් සලකා බැලුනේ නැත. ලංකාවේදීනම් සිදුවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු ඉදිරිපත් කරන යෝජනාවක් වුවත් අදාළ සැසිවාරය තුළ සලකා බලනු නොලැබූයේනම් එය අහෝසි වී යාමයි. එහෙත්, වොෂින්ටන් ව්‍යවස්ථාව අනුව, එසේ සලකා නොබලන යෝජනා ඊළඟ මැතිවරණ දිනයේදී ජනතා තීන්දුවට යොමු විය යුතුය. එය එසේම සිදුවිය. අවශ්‍යනම්, ජනතා ක්‍රියාකාරීන්ට මෙසේ අත්සන් එකතු කරගෙන, ව්‍යවස්ථාදායකය වෙත යොමු නොකර සෘජුවම ජනතා තීන්දුවට යොමු කිරීමටද පුළුවන.

2012 ජූලි 6 වන දින මෙවැනි ජනමූල යෝජනා එම වසරේ නොවැම්බර් ඡන්ද පත්‍රිකාවට එක් කිරීම සලකා බැලෙන අවසන් දිනයයි. ඒ වන විට ඉදිරිපත් වී තිබුණු යෝජනා අතරින් මේ යෝජනාව සහ බදු හා පාසැල් අධ්‍යාපනය හා අදාළ තවත් ජනමූල යෝජනා දෙකක් 2012 නොවැම්බර් 6 ඇමරිකානු මැතිවරණ දිනයේදී වොෂින්ටන් ඡන්ද පත්‍රිකාවට එක් විය.

මේ වන විට වොෂින්ටන් ව්‍යවස්ථාදායකය විසින් සමලිංගිකයන්ගේ වෛවාහික අයිතිය තහවුරු කරමින් පණතක් සම්මත කර තිබුණේය. එහෙත්, මේ පණතට විශාල විරෝධයක්ද පැවතුණේය. ව්‍යවස්ථාදායකය මඟින් සම්මත කළ පණතකට ජනතාව විරුද්ධ වන්නේනම් එය අහෝසි කරන ලෙස ඉල්ලා  පෙර සේම ජනතා තීන්දුවට (referendum) යොමු කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ ජනමූල යෝජනාවකට (initiative) අවශ්‍ය අත්සන් ප්‍රමාණයෙන් අඩක් පමණි. ඒ අත්සන් ප්‍රමාණය තිබුණු බැවින් මේ තීන්දුවද නොවැම්බර් ඡන්ද පත්‍රිකාව මඟින් ජනතාව වෙත යොමු කෙරුණේය.

ඡන්ද ප්‍රතිඵල අනුව කංසා නීතිගත කිරීමට ඡන්දදායකයින්ගෙන් 55.7%ක සහයෝගයක් ලැබුණු අතර සමලිංගික විවාහ නීතිය 53.7%කගෙන් අනුමත විය. බදු හා පාසැල් අධ්‍යාපනය හා සම්බන්ධ ඉතිරි ජනමූල යෝජනා දෙකද (පසුව අධිකරණයේදී අභියෝගයට ලක්වුවත්) බහුතර ඡන්දයෙන් සම්මත විය.

මා විශ්වාස කරන අර්ථ ක්‍රමය නිදහස් වෙළඳපොළ මත පදනම් වූ එකකි. එමෙන්ම, මා විශ්වාස කරන දේශපාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයයි. ඒ, මේ දෙකෙන් එකක්වත් මිනිසුන්ගේ සියළු ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන සර්ව සම්පූර්ණ ක්‍රම නිසා නොවේ. මේ ක්‍රම වල අඩුපාඩු තිබේ. එහෙත්, මට සිතාගත හැකි වෙනත් විකල්ප දේශපාලන හා අර්ථ ක්‍රම වලට වඩා (වත්මන් සමාජය සිටින තැනට සාපේක්ෂව) මේ ක්‍රම දෙකම ඇත්තේ ගවුගණනක් ඉදිරියෙනි.

බොහෝදෙනා නිදහස් අර්ථ ක්‍රමයේත්, ප්‍රජාතන්ත්‍රවාදයේත් අඩුපාඩු දකිති. එහෙත්, බොහෝදෙනෙකු බොහෝවිට දකින මේ අඩුපාඩු සැබෑවටම මේ ක්‍රම වල ඇති අඩුපාඩු නොවේ. යම් රටක එවැනි ක්‍රමයක් ක්‍රියාත්මක (නො)වන ආකාරයේ ඇති අඩුපාඩුය.

ප්‍රජාතන්ත්‍රවාදය ග්‍රීසියේදී ඇරඹුණේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙසිනි. එහෙත්, කල් යාමේදී විශාල ප්‍රජාවක් එක්ව තීරණ ගැනීමේදී සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රායෝගික නොවූ බැවින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් දක්වා පසු බැසීමට සිදුවිය. ලංකාවේ බොහෝ දෙනෙකු දකින ගැටළු ඇත්තේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළය.

ලංකාවේ ඡන්දදායකයෙකුට රටේ පාලනයට හවුල් වන්නට ලැබෙන්නේ ඡන්ද විමසීමකදී පමණි. ඉන් පසු සිදුවන්නේ සිය නියෝජිතයින් පොරොන්දු වූ පරිදි කටයුතු කරන තෙක් කට ඇරගෙන බලා ඉන්නටය. නැත්නම්, බැන බැන බ්ලොග් සටහනක් ලියන්නටය. පොරොන්දු වන දේ බොහෝ විට ඉටු නොවේ. එහෙත්, ඊළඟ ඡන්දය වනතුරු කළ හැකි දෙයක් නැත. ඊළඟ ඡන්දයෙන් මුහුණු මාරු කළත් අවසාන වශයෙන් බොහෝවිට ඡන්දදායකයෙකුට ඉතිරි වන්නේ අතෘප්තියයි.

මා විශ්වාස කරන පරිදි, තාක්ෂනය විසින් අනාගතයේදී සෘජු ප්‍රජාතන්ත්‍රවාදයකට නැවතත් ඉඩ සලසනු ඇත. ඒ නැතත්, මේ වන විටත් ඉහත විස්තර කර ඇති පරිදි, බොහෝ රටවල ඇති ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට වඩා සෘජු ප්‍රජාතන්ත්‍රවාදයට කිට්ටුය. නීති සම්මත කිරීම හෝ සම්මත කළ නීතියක් අවලංගු කිරීමට සිය නියෝජිතයින් හරහාම යන්නට අවශ්‍ය නොවන ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාද ලෝකයේ තිබේ. මේ ආකාරයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට හෝ පත්කළ නියෝජිතයෙකු ධුර කාලය අවසන් වීමට පෙර ආපසු කැඳවීමට වුවද ජනතාවට හැකියාවක් තිබේ. 2003 වසරේදී කැලිෆෝර්නියාවේ ආණ්ඩුකාරයාව සිටි ගැරී ඩේවිස්ව ධුර කාලය අවසන්වීමට පෙර ඉවත් කර (හොලිවුඩ් තිරයේ හුරුපුරුදු මුහුණක් වන, සංක්‍රමණිකකුද වූ) ආර්නෝල්ඩ් ස්වාශින්ගර්ව පත් කර ගැනුනේද මේ අයුරිනි.

මේවා ඇමරිකාවේ පමණක් සිදුවන දේවල් නොවේ. යුරෝපයේ බොහෝ රටවලද, පිලිපීනය වැනි ආසියාතික රටවලද, වෙනිසියුලාව වැනි රටවලද ව්‍යවස්ථා මඟින් මෙවැනි සෘජු ජනතා මැදිහත්වීම් වලට ඉඩ සලසයි. වෙනිසියුලාවේ ව්‍යවස්ථාව අනුව යම් මහජන නියෝජිතයෙකු පත් කිරීමට ඡන්දය දුන් ගණනින් 20%ක් අත්සන් කළ විට ඔහුව ඉවත් කිරීම තීරණය කිරීමට ඡන්දයක් තැබිය යුතුය. මේ අත්සන් ගණන 25%ක් වුවහොත්, එය පවත්වන තුරු, අදාළ නියෝජිතයාගේ තනතුර වහාම ක්‍රියාත්මක වන ලෙස බලරහිත වේ. 2004 වසරේදී හියුගෝ චාවේස්ට එරෙහිව මෙසේ අවශ්‍ය අත්සන් ප්‍රමාණය එකතු කිරීමට ඔහුට විරුද්ධ බලවේග සමත් වූ බැවින් මෙවැනි ජනමතවිචාරණයක් පැවැත්වුණු නමුත් ජනමතවිචාරණයේ ප්‍රතිඵල අනුව චාවේස්ට තවදුරටත් ධුරයේ රැඳී සිටීමට ඉඩ සැලසුණේය.

ලෝකයේ වෙනත් රටවල ව්‍යවස්ථා වල මෙවැනි දේවලුත් තිබෙන බව නොදන්නා අයගේ දැන ගැනීම පිණිසය.


(Image: http://kuow.org/)

Thursday, January 28, 2016

ගලගොඩඅත්තේ ඥානසාර එ. කුමාර් ගුණරත්නම්


පහතින් ඇත්තේ මාතලන් විසින් පළකළ ලිපියකට ඇනෝ කෙනෙකු විසින් දැමූ කමෙන්ටුවකි.

"ඉතාලි, ප්‍රංශ සහ චීන ජාතිකයෝ පිළිවෙලින් ගෙඹි කකුල්, ගාලික් බටර් සමග බේක් කළ ගොලුබෙල්ලන් (Escargot) සහ සර්පයෝ කෑමට ඉතාම රුසියි. අප රටවලට මේ තරම් අසික්කිත පිළිකුල් සහගත දෙයක් තව නැහැ. යුරෝපියන් වැඩි දෙනෙක් හැඳි ගෑරෝප්පු පාවිච්චි කරනවා. අතේ කෑම තවරාගනීම ඔවුන්ට පිළිකුල දනවන අසංවර දෙයක්. නමුත් ඉන්දියානුවන්ට හෝ අපට එය ඉතා සාමාන්‍ය දෙයක්. ලංකාවේ හෝ ඉන්දියාවේ සාමාන්‍යයෙන් විවාහයකදී දෑවැද්දක් බලාපොරොත්තු වෙනවා මනාලියගේ පාර්ශවයෙන්; මේක බටහිර කෝණයකින් බැලුවහම ඉතාම තුප්පහි දෙයක්, මිනිස් ජීවිතයකට මුදලින් සප්ලිමන්ට් කරන එක.

කාලයෙන් පසුපසට යන්න යන්න; ලංකාවේ තියෙන්නේ අම්මල පුතාල, සහෝදර සහෝදරියෝ එකට නිදාගත්ත, ඊටත් පසු සතවර්ෂ වල එකගෙයි කාපු කාලය පැවතුනේ බටහිර ආක්‍රමණ වලට පෙර. ඊටත් සතවර්ෂ කිහිපයක් පස්සට යන්න; උදේට රූපවාහිනියෙන් හැමදාම පාහේ කුඩා දරුවන්ට පවා පෙන්නන උඩුකය නිරාවරණය කරගත් කාන්තාවන්ගේ බිතු සිතුවම්, උඩුකය නිරාවරණය කරගැනීම කාන්තාවකට ඉතාමත් අසෝබන දෙයක් ලෙස සලකන අද කාලේ කරානම් කොච්චර වනචර දෙයක් කියල කෑගහන අය සෑහෙන්න ඉඳි.

කාල පරාසයකට සහ යම් භූගෝලීය පරාසයකට අනුව ඔබගේ හිතේ මැවෙන භූතාත්ම (entities) තමයි ඔය ජාතිවාදී නොවන ශීලාචාර කම කියන්නේ; ඔබ අසංවර, තුප්පහි, විලිලැජ්ජා නැති අන්තවාදීන්, පිස්සන්, ලෙඩුන්, මානසික රෝගීන් යනුවෙන් අර්ථකථනය කරන දේවල් හුදෙක් ඔබ හිතේ මවාගත් ප්‍රතිරූප, ඔබට මේ ප්‍රතිරූප මවගැනීමට අයිතියක් තියෙනවා – නමුත් ඒවාට අනුගත වන්නට කිසිවෙක් කිසිසේත්ම බැදී නැහැ (ඔබගේ සහෝදරියන්, බිරිද, දියනියන් පවා). මන්ද ඔබට ඔවුන් ගේ සිරුරු හෝ මනෝභාවයන් අයිති නැති නිසා, ඔවුන් ට ඔවුන් විසින් නිර්වචනය කර ගෙන ඇති සදාචාර පරාස ඇති නිසා.

සදාචාරය වෙන්නේ, ඇඳුමේ දිගවත්, තමන් කන්නේ බොන්නේ මොනවද යන්නවත්, තමන් රාත්‍රියට සමාජ ශාලාවකට යනවද යන්නවත්, සුළු ජාතික ජාතිවාද්යට උඩගෙඩි දීමවත් සියලු ජාතීන් සමයි කීමවත් නොවේ. – සදාචාරය මනින මිම්මක් වෙන්නේ, පැත්තක ඉන්න මිනිස්සු, අනෙක් මිනිස්සුන්ගේ (තමන්ට හෝ අනුන්ට කරදරයක් නොවන) නිදහසට අත පෙවීමයි. මේ අතින් අපේ නූතන, පශ්චාත් වික්ටෝරියානු “සදාචාරය” – අරාබිකරයේ “සදාචාරයට” වැඩ වෙනස් නැහැ. කෙසේ නමුත් ජාතිවාදී අන්තවාදී ත්‍රස්තවාදී ඝාතක පිරිස් නම් මර්දනය කල යුතුයි

එකම වෙනස, අප සහ ඔවුන් තමන්ගේ කාන්තාවන්ගේ සිරුර වැසීමට භාවිත වන රෙදි වල වර්ගපලය පමණයි. ආකල්ප බෙහෙවින් සමානයි. තවමන් කාන්තාවන් වෙනුවෙන් පිරිමින් තීරණ ගන්න අසික්කිත, තුප්පහි සමාජයක වසන අපිට සදාචාරය ගැන කතාකිරීමට පවා ලැජ්ජයි. ඉතින් ගෝත්‍රික වර්ගවාදය වගේම ඊට එරෙහි අන්තවාදය ද එකම අක්ෂයක අන්ත දෙකක් ලෙසයි මටනම් පෙනෙන්නේ."


මේ කමෙන්ටුවේ ඇනෝ විසින් කියා ඇති සියළුම කරුණු වලට මා වචනයෙන් වචනය, වාක්‍යයෙන් වාක්‍යය එකඟ වන්නේ නැත. එහෙත්, ඔහු මතු කරන කරුණෙහි හරය සමඟ මට එකඟ විය හැකිය. සදාචාරය, ජාතිවාදය, ජාත්‍යන්තරවාදය, මානවවාදය වැනි සංකල්ප කිසිවක් සෑම කාලයකටම හා සෑම සමාජයකටම ගැලපෙන නිරපේක්ෂ සංකල්ප නොවේ.

යමෙකු සිය වකුගඩුව මුදලට අලෙවි කිරීම වත්මන් ලාංකික සමාජයේ ජීවත්වන බොහෝ දෙනෙකුට 'කිසියම් අවුලක් ඇති' සංකල්පයකි. එහෙත්, වකුගඩුවක් මුදල් නොලබා ප්‍රදානය කිරීම ගැන අපුලක් ඇති අය ඇත්නම් ඒ ඉතා අඩුවෙනි. අවුල ඇත්තේ මුදල් ගණුදෙනුවේය. වකුගඩු දායකයෙකු සහ ග්‍රාහකයෙකු සම්බන්ධ කරමින් තැරැව්කරුවකු විසින් ලාභයක් ලැබීම ඇතැම් අයට අශීලාචාර කටයුත්තක් ලෙස පෙනිය හැකිය.

විවාහය අතිශය පෞද්ගලික කටයුත්තකි. විවාහය සහ දෑවැදි අතර සම්බන්ධතාව තවමත් ලාංකික සමාජයෙන් මුළුමනින්ම ගිලිහී ඇති දෙයක් නොවේ. මෙහිදීද  සිදුවන්නේ අතිශය පෞද්ගලික කටයුත්තක් සඳහා මුදල් මැදිහත් වීම වුවත් බොහෝ දෙනෙකු එය අශීලාචාර දෙයක් ලෙස නොසලකති.

ශීලාචාර වීම ලෙස මා දකින්නේ තමන් ජීවත්වන සමාජය විසින් යම් කාලයකදී පිළිගන්නා මූලික සම්මුතීන් සමඟ අනුගත වීමයි. සුළුතරය බහුතරයේ අදහසට අනිවාර්යයෙන්ම යටවිය යුතුය යන්න එයින් ගම්‍ය නොවේ. සුළුතරයේ අදහස් වලට ඉඩදීම සමාජ සම්මුතියේ අංගයක් විය හැකිය. ඇතැම් විටක එය එසේ නොවන්නටද පුළුවන.


කිසියම් සමාජයක ස්ථාපිත වී ඇති සම්මුතීන්ට ඒ සමාජයේ බොහෝ දෙනෙකු විසින් ගරු කිරීම දියුණු ලක්ෂණයකි. එවැනි සමාජයකට කිසිදු නිශ්චිත අරමුණක් නැතිව ඉබාගාතේ යන සමාජයකට සාපේක්ෂව ඉදිරි ගමනක් තිබේ. සම්මුතීන් වෙනස් නොකළ යුතු බව එයින් අදහස් නොවේ. සම්මුතීන් නිර්මාණය කරන්නේ පුද්ගලයින් විසින් ඔවුන්ගේ පොදු යහපත වෙනුවෙනි. යම් සම්මුතියක් තවදුරටත් පොදු යහපත පිණිස හේතු නොවේනම් එය වෙනස් කළ යුතුය. එහෙත්, ඒ වෙනස්කම සිදු කරන තුරු අදාළ සම්මුතියට ගරු කළ යුතුය.

වත්මන් ලෝකයේ සෑම සමාජයකම මෙන්ම මූලික පදනම වන්නේ ඒ සමාජය විසින් පිළිගත් නීති පද්ධතියකට ගරු කිරීමයි. මේ නීති පද්ධතිය රටින් රටට මෙන්ම එක් රටක භූගෝලීය කලාප අනුවද වෙනස් විය හැකිය. නීති පද්ධතිය කවරක් වුවද, ශිෂ්ඨත්වය වන්නේ තමන්ට අදාළ නීති පද්ධතියට ගරු කිරීමයි.

ලංකාවේ වත්මන් නීති පද්ධතිය ස්ථාපිත කළේ ලන්දේසීන් විසිනි. එය රෝම නීතියේත් ඕලන්ද නීති සම්ප්‍රදායන්ගේත් මිශ්‍රණයක් වූ රෝම-ලන්දේසි නීතියයි. කෙසේ වුවද, ලන්දේසින් යටතේ මේ නීතිය රට පුරාම ක්‍රියාත්මක වූයේ නැත. එය ක්‍රියාත්මක වූයේ ලංකාවේ පදිංචි වී සිටි ලන්දේසීන්, ලන්දේසීන්ට සේවය කළ ලාංකිකයින්, කතෝලික හෝ ක්‍රිස්තියානි ආගම වැළදගෙන සිටි ලාංකිකයින් සහ ලන්දේසි කොටු තුළ ජීවත්වූ සිවිල් වැසියන් වැනි සීමිත පිරිසක් හා අදාළවය. ඉතිරි ජනකොටස් අතර වෙනත් සම්මුතීන් පැවතුණේය.

ඉංග්‍රීසින් විසින් ලංකාවේම පාලනය සියතට ගැනීමෙන් පසු, ඔවුන්ගේ යටත් විජිත ප්‍රතිපත්තිය අනුව යමින්, එවකට රටේ පැවති නීතිය අනුවම තවදුරටත් ක්‍රියාකිරීමට පටන් ගත්තේය. කෙසේ වුවද, මෙහිදී 'එවකට රටේ පැවති නීතිය' ලෙස ඉංග්‍රීසින් විසින් සැලකුවේ රෝම ලන්දේසි නීතියයි. වෙනත් ජනකොටස් අතර පැවති සම්මුතීන් උඩරට, තේසවලාමේ සහ මුස්ලිම් නීති ලෙස පිළිගැනීමකට ලක්වුවද ඒ නීති වලට ලැබුණේ දෙවන තැනකි.

ලංකාව පාලනය කළ ඉංග්‍රීසින්ට තවමත් රැජිනක් සිටී. එහෙත්, අද මෙන්ම ඔවුන් ලංකාවට පැමිණි එදාත් එංගලන්තයේ රජෙකුට හෝ රැජිනකට යටත් වැසියෙකුව දියේ ගිල්වා මැරීමට හෝ බිළිඳෙකුව වංගෙඩියක දමා කෙටීමට අණ කළ හැකි සම්මුතියක් එංගලන්තයේ තිබුණේ නැත. එවැන්නක් ලංකාවේ සිදු වූ විට රටේ ජනතාව දින ගණනක් ලිප ගිණි නොදල්වමින් ශෝකයෙන් කල් ගත කළත් විරෝධතාවක් දැක්වීමට ඉදිරිපත් නොවුණේ රජුට ඇති බියට අමතරව එවැන්නක් කිරීමට රජුට ඇති අයිතිය පිළිගත් සමාජ සම්මුතියද වූ බැවිනි. ජනතාවට කළ හැකිව තිබුණු දෙය "රාජා භවතු ධම්මිකෝ" කියා උදේ හවස ප්‍රාර්ථනා කිරීමයි. කෙසේවුවද, රජුට කිසිදු සම්මුතියකට යටත් නොවී ක්‍රියා කළ හැකිව තිබුණු බව මෙයින් අදහස් නොවේ.

යම් රටක නීතියේ පදනම ඓතිහාසික සම්මතයන්, ආගමික ඉගැන්වීම් හෝ විද්‍යාත්මක සොයාගැනීම් වල ප්‍රතිඵල වැනි කවරක් හෝ විය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මේ නීති හදන්නේ ව්‍යවස්ථාදායකයි. අධිකරණය මේ නීති අර්ථ දක්වමින් ගන්නා තීරණ පොලීසිය වැනි ආයතන හරහා ක්‍රියාත්මක කරයි. ප්‍රායෝගිකව නීතියක් ක්‍රියාත්මක කළ හැකි වන්නේ එය අදාළ සමාජයේ බහුතරය විසින් පිළිගන්නා සම්මුතීන් සමඟ ගැලපෙන්නේනම් පමණි. එසේ නොවන විට කළ යුත්තේ නීති වෙනස් කිරීමයි. එහෙත්, එසේ නීති වෙනස් කරන තුරු ඒවාට ගරු කළ යුතුය. නීති හැදීමේ බලය රටක ව්‍යවස්ථාදායකයට තිබුණත්, එසේ හදන නීති වලට ව්‍යවස්ථාදායකය මෙන්ම විධායකයද යටත්ය. නීතියේ සමානාත්මතාව වත්මනේ පුළුල් ලෙස පිළිගත් සම්මුතියකි.

ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ 64ක් තිබේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය, බොදු ජන පෙරමුණ හා තමිළ් මක්කල් විඩුදලෛප් පුළිකල් යනු මේ අතරින් පක්ෂ තුනකි. පිළිවෙලින් කුමාර් ගුණරත්නම්, ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මේ පක්ෂ වල නායකයින් ලෙස සැලකිය හැකිය. (මේ තිදෙනාම ජීවිතයේ යම් කාලවල යම් සන්දර්භයන් යටතේ වෙනත් නම්ද භාවිතා කර තිබේ.) මේ අවස්ථාව වන විට මේ තිදෙනාම, රටේ පවත්නා නීතිය අනුව, කිසියම් වරදකට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගතව සිටී. (එහෙත්, වරදකරුවන් වී නොමැත.) මේ තිදෙනාගෙන් තෙවැන්නා ගැන සිංහල මාධ්‍ය වල විශාල අවධානයක් දැනට නැතත් (ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍ය වල මේ තෙ
වැන්නාද අවධානයට ලක්වේ.) පළමු දෙදෙනා ගැන සැලකිය යුතු කතිකාවක් ඇති වී තිබේ.

කුමාර් ගුණරත්නම් සහ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යන පුද්ගලයන් දෙදෙනාත්, ඔවුන් නියෝජනය කරන දේශපාලන ධාරාවනුත් එකිනෙකට ප්‍රතිවිරුද්ධ, අන්ත දෙකක ඇති ඒවා ලෙස බොහෝ දෙනා සලකති. ඒ අනුව, එක් කණ්ඩායමක් ජාතිවාදීය. අනෙක් කණ්ඩායම ජාතිවාදයට විරුද්ධය.

කෙසේ වුවද, මේ කණ්ඩායම් දෙකේ සමානකම්ද තිබේ. මේ කණ්ඩායම් දෙකටම, රටේ ජනගහනයට සාපේක්ෂව සුළු ප්‍රතිශතයක් වුවත්, නිශ්චිත ආධාරකරුවන් පිරිසක් සිටිති. මේ පිරිස අතිශයින්ම ක්‍රියාශීලීය. අනෙක් සියළු මතවාදී කණ්ඩායම් වලට වඩා තමන් ඉදිරියෙන් සිටින බව සිතති. ඔවුන්ව නොසලකා හරිති. කණ්ඩායම් දෙකටම ආධාරකරුවන් නොවන අනුකම්පා කරන්නෝද (sympathizers) සැලකියයුතු පිරිසක් සිටිති. එකම ආකාරයේ නොවූවත්, කණ්ඩායම් දෙකටම ක්‍රම විරෝධයක්ද තිබේ. කණ්ඩායම් දෙකම තමන් සතු පිරිස් බලය ප්‍රයෝජනයට ගනිමින් පවතින සම්මතයන්ට අභියෝග කරති. (මේ කණ්ඩායම් පසුපස කවරෙකු සිටීද යන කරුණ පැත්තකින් තියමු.)

මේ කණ්ඩායම් දෙකටම, විශාල පිරිස් බලයක් නැතත්, සමාජයට දැනෙන තරමේ බලපෑමක් කිරීමේ ශක්තියක් තිබේ. රටේ නීතිය මේ දෙපිරිසේම අභියෝගයට ලක්වී ඇත.

වත්මනේ සෑම සමාජයකම පාහේ මූලික සැකිල්ලෙහි කොටසක් වන නීති පද්ධතියට අභියෝග කිරීම සුළුපටු දෙයක් නොවේ. මේ සැකිල්ල බිඳ වැටුණු විට එහි හානිය සමස්ත සමාජයටමය. ඒ නිසා, සාමාන්‍යයෙන් සිදුවිය යුත්තේ එවැනි අභියෝගයකට සමාජයෙන් ප්‍රති-ප්‍රහාර එල්ල වීමයි (පොලු මුගුරු නොවේ!). යම් තරමකට එය සිදුවුණත්, මේ අභියෝගය සමාජයෙන් අනුමත වීමක්ද පෙනෙන්නට තිබේ. මෙයින් පෙනී යන්නේ රටේ පිළිගත් සම්මුතීන් සමඟ මහා සමාජයටද බේරා ගැනීමට ගණුදෙනු ඇති බවයි.

ලංකාවේ නීතිය හා සාමය ක්‍රියාත්මක වීම පිළිබඳ ගැටළු අද ඊයේ ඇති වූ ඒවා නොවේ. එහෙත්, කිසිවිටෙකත් සමස්තයක් වශයෙන් නීතිය පිලිබඳ ජනතා විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණේයැයි කිව නොහැකිය. ජවිපෙ විසින් දෙවරක්ද, උතුරේ සටන්කාමී කණ්ඩායම් විසින් දශක දෙකහමාරක් තිස්සේද රටේ නීතිය අභියෝගයට ලක් කළේය. ඒ අභියෝග හමුවේ නීතියේ ආධිපත්‍යය නැවත ස්ථාපිත කිරීමට මහා සමාජයට හැකි විය.

නීතිය ක්‍රියාත්මක කිරීමේ ඇති දුර්වලතා හේතුවෙන් පසුගිය කාලයේ වරින්වර මතු වූ විරෝධතාවන් කිසියම් කණ්ඩායමක උසිගැන්වීම් නිසා ඇති වුනු තත්ත්වයන් ලෙස ලඝු කළ නොහැකිය. බොහෝ විට එවැනි කණ්ඩායම් විසින් කළේ පැවති තත්ත්වයෙන් දේශපාලන වාසියක් ගැනීමයි. පොලීසියට සාපේක්ෂව, අධිකරණ පද්ධතිය පිළිබඳව මැතක් වන තුරුම රටේ පැවතුණේ විශ්වාසයකි. දේශපාලඥයින් විසින් වරින්වර අධිකරණයට බලපෑම් නොකළා නොවේ. එහෙත්, එය කළේද අධිකරණ පද්ධතියේ මූලික ආකෘතිය දුර්වල නොකරමිනි. රටේ සාමාන්‍ය ජනතාව අධිකරණ පද්ධතියට එරෙහිව කැරලි ගැසීමක් සිදු නොවූ තරම්ය.


ශිරාණි බණ්ඩාරනායක හා අදාළව ගත් ක්‍රියාමාර්ගය ලංකාවේ අධිකරණ පද්ධතිය පිලිබඳ විශ්වාසනීයත්වය කෙරෙහි ඉතා නරක බලපෑමක් සිදු කළේය. එහෙත්, ඒ අවස්ථාවේදීද, සියළු පියවර ගනු ලැබුවේ රටේ පිළිගත් සම්මුතීන් අනුව කටයුතු කරන බව (බොහෝ දෙනෙකුට පිළිගත නොහැකි වුවත්) ප්‍රදර්ශනය කරමිනි. ඒ නිසා ඇතිවූ අවුල් සහගත තත්ත්වය ආපසු හැරවීම පිණිස ගනු ලැබූ ක්‍රියාමාර්ගය ඊටත් වඩා අවුල් සහගත, ක්‍රම විරෝධී එකකි. තත්කාලීන දේශපාලන වාතාවරණය අනුව, පැවති හොඳම විකල්පය එය වූවා විය හැකි වුවත් ඒ අවස්ථාවේදී දුන්නේ එතරම් හොඳ පූර්වාදර්ශයක් නොවේ. සරත් ෆොන්සේකා හා අදාළවනම් අවශ්‍ය නිවැරදි කිරීම් පැවති නීති රාමුව යටතේම සිදුවිය.

තමන් සිටින්නේ නීතියට උඩින්යැයි ඇතැම් අය සිතනවා විය හැකිය. දයා ගමගේ සහ චම්පික රණවක අතර ගැටුමේද වෙනත් නොදන්නා බොහෝ දේ තිබිය හැකි වුවත් එවැනි දෙයක්ද පෙනෙන්නට තිබේ. රජයක් පිහිටුවීම සඳහා මූල්‍යමය දායකත්වය සැපයීම හෝ රජයේ බලවතෙකු වීම නීතියට වඩා උඩින් සිටීමට නිදහසට කරුණක් නොවේ.

රටකට ඉදිරියට යාමට නීතියක් අවශ්‍යය. ඒ නීතිය සමාජයේ සම්මුතීන් සමඟ ගැලපීමද අවශ්‍යය. එසේ නොවන්නේනම්, එවැනි නීති සංශෝධනය වීමද සිදු විය යුතුය. එහෙත්, ඕනෑම මොහොතක රටක පවතින නීතිය කාටත් පොදුවේ ක්‍රියාත්මක විය යුතුය. 


ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකු සරම කොනකින් උස්සාගෙන මහේස්ත්‍රාත් අධිකරණයකට පැමිණ තමන්ගේ ආධාරකරුවෙකු නිදහස් කරන ලෙස ඉල්ලමින් විනිසුරුවරයාට අසභ්‍ය වචනයෙන් බැණීම හෝ ගමේ 'පොදු ජනතාව' උසාවියට රැස් වී සැකකරුවෙකුට ලබා දිය යුතු දඬුවම ගැන විනිසුරුට උපදෙස් දීම ඉදිරියේදී සිදු නොවිය යුත්තකි.

Monday, January 25, 2016

ජාත්‍යන්තර මිනිස් අවයව වෙළඳාම

මේ වන විට ජාත්‍යන්තර මිනිස් අවයව වෙළඳාම ගෝලීය ප්‍රශ්නයක් ලෙස හඳුනාගෙන තිබේ. මේ ලිපිය පදනම් වන්නේ මේ හා අදාළව යුරෝපීය පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් මෑතකදී සිදුකළ අධ්‍යයනයක් ඇසුරිණි. මේ විෂය හා අදාළව පසුගිය දශකයක පමණ කාලය තුළ පළවුණු අධ්‍යයන වාර්තා රැසක්ම මේ ලේඛකයා විසින් කියවා ඇති අතර ඒ සියළුම වාර්තා වල පාහේ ඇති වැදගත් කරුණු ඉහත  වාර්තාවේ සංක්ෂිප්තව සටහන්ව ඇත.

මේ සහස්‍රයේ ඇරඹුම ආසන්නය දක්වා ලෝක අවයව ජාවාරම, විශේෂයෙන්ම නීතිවිරෝධී වකුගඩු වෙළඳාම, ඉන්දියානු උපමහාද්වීපය සහ අග්නිදිග ආසියාව ආශ්‍රිතව කේන්ද්‍රගත වී තිබුණේය. වකුගඩු මිලදී ගත්තේ ප්‍රධාන වශයෙන්ම මැදපෙරදිග, ජපානයේ සහ අනෙකුත් ආසියාතික රටවල වැසියන්ය. කෙසේවුවද පසුගිය වසර පහළොව තුළ මේ ක්‍රියාවලිය ලෝකය පුරාම පැතිරුණේය. එයට ප්‍රධාන ලෙසම මුල් වූයේ රුසියාව සහ අනෙකුත් නැගෙනහිර යුරෝපීය රටවල් කේන්ද්‍ර කරගනිමින් අවයව බද්ධ කිරීමේ සැත්කම් සිදුක
ඊශ්‍රායෙල් වෛද්‍ය වෘත්තිකයින් හා රෝගීන්ය. පසුගිය වසර කිහිපය තුළ නැගෙනහිර යුරෝපය, පිලිපීනය සහ ඉන්දියානු උපමහාද්වීපය තුළ අවයව වෙළඳාම හා අදාල නීතිරීති දැඩිවීම හේතුවෙන් මේ ජාවාරම මේ වන විට දකුණු ඇමරිකාව, උතුරු අප්‍රිකාව සහ ආර්ථික හා දේශපාලන වශයෙන් අස්ථාවර වෙනත් රටවල් ආශ්‍රිතව කේන්ද්‍රගත වී තිබේ.

මේ වන විට ලෝකය පුරා වසරකට අවයව බද්ධ කිරීමේ සැත්කම් 115,000ක් පමණ සිදුවුවද, මේ ප්‍රමාණය එවැනි සැත්කම් සඳහා වන අවශ්‍යතාවයෙන් 15%ක් පමණි. 2012 වසරේදී, රටවල් 109ක සිදු කෙරුණු එවැනි සැත්කම් වලින් 70%ක් පමණම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම්ය. 2010-2012 කාලය තුළදී අවයව ඉවත් කරගැනීම පිණිස පුද්ගලයින්ව රැගෙන එනු ලැබූ අවස්ථාවන් 50ක් පමණ යුරෝපයෙන් සහ මධ්‍යම ආසියාවෙන් වාර්තා වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු අනුව වසරක් තුළ සිදුවන වකුගඩු ප්‍රදානය කිරීම් වලින් 5000-7000 පමණ සිදුවන්නේ මුදල් පදනමකිනි. පහත සිතියමේ රතු පැහැයෙන් ලකුණු කර ඇත්තේ ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර වෙළඳපොළට වකුගඩු සපයන රටවල්ය. ලංකාවද මේ රටවල් අතරින් එකකි. වකුගඩු මිලදී ගන්නා රටවල් නිල් පැහැයෙන් ලකුණු කර තිබේ.




පිළිගත හැකි පොලිස් වාර්තා අනුව, රටවල් කිහිපයකදී වකුගඩුවක් විකිණීමෙන් දායකයකු ලබා ගෙන ඇති මුදල් ප්‍රමාණ මෙසේය.

ඉන්දියාව: ඩොලර් 1,400
පිලිපීනය: ඩොලර් 2,300-6,300
බංග්ලා දේශය: ඩොලර් 1,400
කොලොම්බියාව: ඩොලර් 1,700
බ්‍රසීලය: ඩොලර් 3,000
රුමේනියාව: ඩොලර් 6,000
මෝල්දෝවා: ඩොලර් 2,500-3000
ඊශ්‍රායාලය: ඩොලර් 10,000-20,000
තුර්කිය: ඩොලර් 10,000-20,000


විවිධ රටවල වැසියන් විසින් වකුගඩුවක් වෙනුවෙන් ගෙවා ඇති මුදල් ප්‍රමාණ මෙසේය.

පකිස්ථානය: ඩොලර් 7,300
ජර්මනිය: ඩොලර් 108,000
කොරියාව: ඩොලර් 42,000
ඇමරිකාව: ඩොලර් 120,000-160,000
ඊශ්‍රායාලය: ඩොලර් 100,000-120,000
තුර්කිය: ඩොලර් 20,000-40,000

මේ අනුව, වකුගඩුවක් මිලදී ගැනීම සඳහා යමෙකු ගෙවන මුදලින් වැඩි ප්‍රමාණයක් යන්නේ අතරමැදියන්ට බව පෙනේ. බොහෝවිට, මෙවැනි වකුගඩු බද්ධයක් සිදුවන්නේ තෙවැනි රටකය. පහත රූප සටහනේ දැක්වෙන්නේ වර්තමානයේ ජාත්‍යන්තර වකුගඩු වෙළදාම සම්බන්ධීකරණය වන ආකාරයයි.  




Saturday, January 23, 2016

වකුගඩුවක නියම මිල?

ශ්‍රී ලංකාව විදේශිකයින්ට වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් කිරීම අත්හිටුවා ඇති බව ඊයේ විදෙස් මාධ්‍ය රැසක්ම වාර්තා කර තිබුණේය. මේ තහනමට හේතුව දින කිහිපයකට පෙර රසිකගේ හා පැරාගේ බ්ලොග් වල වකුගඩු සැත්කම් ගැන පලවී තිබූ ලිපි විය නොහැක. ඔවුන් වකුගඩු බද්ධ කිරීම පිළිබඳව අදහස් පළ කර තිබුණත් ඉහත ආකාරයේ ඉල්ලීමක් කර තිබුණේ හෝ අඩු වශයෙන් අවයව වෙළඳාම ගැන කතා කර තිබුණේ හෝ නැත. තහනමට හේතු වී ඇත්තේ ලංකාවේ සහ ඉන්දියාවේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකු සහ ලංකාවේ රෝහලක් හෝ රෝහල් කිහිපයක් සම්බන්ධ වී සිදු කළේයැයි කියන 'වකුගඩු ජාවාරමකි'.

මෙහි වකුගඩු ජාවාරමක් ලෙස හැඳින්වෙන්නේ මුදලට තමන්ගේ වකුගඩුවක් විකිණීමට කැමති කෙනෙකු විසින් මුදල් ගෙවා වකුගඩුවක් විකිණීමට කැමති කෙනෙකුට අතරමැදියෙකු හෝ අතරමැදියන් කිහිපදෙනෙකු හරහා සිය වකුගඩුවක් විකිණීමයි. ලංකාවේ මෙන්ම ඉන්දියාවේත්, තවත් රටවල් බොහොමයකත් පවතින නීතිය අනුව, ජීවත්ව සිටින කෙනෙකුගේ ශරීර අවයවයක් වෙනත් අයෙකුට පරිත්‍යාග කිරීමට ඉඩකඩ ඇතත් එවැන්නක් මුදලට විකිණීම තහනම් කටයුත්තකි.

ලෝකයේ බොහොමයක් රටවල වකුගඩුවක් බද්ධ කළ යුතු තත්ත්වයේ රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටිති. මේ නිසා, වකුගඩු වලට ලොවපුරාම විශාල ඉල්ලුමක් පවතී. අවයව වෙළඳාම නීති විරෝධී කටයුත්තක් වන රටවල මේ ඉල්ලුම සැපිරෙන ක්‍රමදෙකක් තිබේ. පළමුවැන්න මිය ගිය පුද්ගලයෙකුගේ හොඳ තත්ත්වයේ ඇති වකුගඩුවක් බද්ධ කිරීමයි. දෙවැන්න, ජීවත්වන පුද්ගලයෙකු විසින් පරිත්‍යාග කරනු ලබන වකුගඩුවක් බද්ධ කිරීමයි. කෙසේවුවද, මේ ක්‍රම දෙකෙන්ම සැපිරෙන්නේ වකුගඩු අවශ්‍යතාවයෙන් කොටසක් පමණි. ඒ නිසා, බොහෝ රටවල වකුගඩු වෙනුවෙන් විශාල නොසන්සිඳුණු ඉල්ලුමක්
පවතී.

2014 වසර තුළ, ඇමරිකාවේ පමණක් වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 17,107ක් සිදු කරනු ලැබීය. මේ ප්‍රමාණයෙන් 11,570ක්ම මියගිය අයගේ වකුගඩු වූ අතර ඉතිරිය ජීවත්වන්නන් විසින් පරිත්‍යාග කරනු ලැබූ වකුගඩුය. එහෙත්, වසරක් තුළ වකුගඩු සැත්කම් අවශ්‍ය පිරිස මීට වඩා බොහෝ වැඩිය. ඔවුන්ට සිදුවන්නේ වකුගඩුවක් ලැබෙන තුරු පොරොත්තු ලේඛණගතව බලා සිටීමටය. පසුගිය සතිය මුලදී මේ පොරොත්තු ලේඛණයේ වකුගඩු අපේක්ෂාවෙන් සිටි පිරිස 100,791කි. මේ පොරොත්තු ලේඛණයට සෑම විනාඩි 14කටම වරක් අළුතින් රෝගියෙකු එකතු වේ. එමෙන්ම, සෑම දිනකම පොරොත්තු ලේඛණයේ සිටින රෝගීන් 13 දෙනෙකු බද්ධ කිරීමට වකුගඩු නොමැති නිසා මියයති. තවත් 9 දෙනෙකු වකුගඩු බද්ධයකට නුසුදුසු තරමට රෝගී වීම නිසා පොරොත්තු ලේඛණයෙන් ඉවත් කරනු ලබති.

ආර්ථික විද්‍යා මුලධර්ම අනුව ඉල්ලුම හා සැපයුම අතර නොගැලපීමක් ඇත්නම් එහි නිදහස් ගණුදෙණු වලට යම් බාධාවක් පැවතිය යුතුය. මෙහි ඇති බාධාව මිල පාලනයයි. යමෙකු කැමති වුවත් සිය වකුගඩුවක් මුදලට අලෙවි කිරීමේ අවස්ථාව සාමාන්‍යයෙන් නිදහස් වෙළඳපොළ මූලධර්ම අනුගමනය කරන ඇමරිකාවේද නැත. මේ නිසා, මේ හා අදාළව ඇමරිකාවේත් පෝලිම් තිබේ.

ඉහත ආකාරයේ වෙළඳපොළ අවහිරතාවක් ඇති විට සිදුවිය හැකි එක් දෙයක් වන්නේ නීති විරෝධී වෙළඳපොළක මේ ඉල්ලුම හා සැපයුම සමතුලිතවීමයි. නීතිය සාපේක්ෂව ඉහළින් ක්‍රියාත්මක වන ඇමරිකාව තුළ 'අත යටින්' වකුගඩු විකිණීම අසීරු කාර්යයකි. එහෙත්, ලංකාව හා ඉන්දියාව ඇතුළු බොහෝ රටවල මෙය සිදුවේ. මෙහිදී, වකුගඩුදායකයා ඉදිරිපත්වන්නේ සිය වකුගඩුව නොමිලේ පරිත්‍යාගකරන්නෙකු ලෙසිනි. මුදල අතයටින් හුවමාරු වේ.

මෙවැනි අතයටින් සිදුවන ජාවාරමකදී ගණුදෙණුවට සම්බන්ධ වන පාර්ශ්ව වලට කිසිදු නීතිමය රැකවරණයක් නැත. වකුගඩුව ලබාදෙන බව පවසා මුදල් ගෙන පසුව එය ප්‍රතික්ෂේප කිරීම මෙන්ම වකුගඩුව ලබාගෙන පොරොන්දු වූ මුදල ලබා නොදී සිටීමද විය හැකි දේවල්ය. අවස්ථා කිහිපයකදී හෝ සිදුවී ඇති බව වාර්තා වී ඇති දේවල්ය. එමෙන්ම, නීති විරෝධී තත්ත්වය යටතේ මෙවැනි මුදල් හුවමාරුවක් සිදුවන විට වකුගඩු දායකයා අතට මුදලක් ලැබෙන්නේ අතරමැදි ජාවාරම්කරුවන් රැසකගේ ගාස්තු අඩුවීමෙන් පසුවය.

මුදල් ලබාගෙන හෝ නොගෙන වකුගඩුවක් පරිත්‍යාග කිරීම විශාල ධෛර්යයක් අවශ්‍ය කටයුත්තකි. තමන්ගේ සමීපතමයෙකු වෙනුවෙන් මෙවැනි පරිත්‍යාගයක් කිරීමට පසුබටවන්නෙකු මුදල් පිණිස එවැන්නක් කිරීමට ලොකු ඉඩකඩක් ඇතැයි මම නොසිතමි. කෙසේවුවද, නීතිවිරෝධී තත්ත්වයක් යටතේ වුවත් මුදල් පිණිස වකුගඩු ලබාදෙන්නෝ සිටිති. එසේ කරන්නේ, කවර පදනමකින් හෝ, ලැබෙන මුදල නිසා එවැන්නෙකු ලබන සතුට වකුගඩුව අහිමිවීමේ අවාසියට වඩා වැඩි නිසාය. අනෙක් අතට, අතේ මුදල් ඇති, වකුගඩුවක් අවශ්‍ය අයෙකු එවැන්නක් ලබා ගැනීමට විශාල මුදලක් ගෙවීමට සූදානම් වීම තේරුම් ගත හැකි කරුණකි. අවයව ජාවාරමට නීතිමය බාධා පැනවූ විට සිදුවන්නේ දෙදෙනෙකුටම සිදුවිය හැකි යහපතක් බලහත්කාරයෙන් වැළැක්වීමයි.

1992 වසරේදී ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමිවූයේ ගැරී බෙකර්ටය. ජුලියෝ එලියස් සමඟ එක්ව 2007 වසරේදී ඔහු විසින් පළ කළ පර්යේෂණ පත්‍රිකාවකින් පෙන්වා දුන්නේ වකුගඩුවක් සඳහා ඩොලර් 15,200ක මුදලක් ගෙවන්නේනම් ඇමරිකාවේ වකුගඩු සඳහා වන ඉල්ලුම හා සැපයුම සමතුලිත වනු ඇති බවයි. අවයව වෙළඳාමට එරෙහිව නැඟෙන ප්‍රධානම තර්කයක් වන්නේ එයින් ආදායම අඩු අයට අසාධාරණයක් වන බවයි. මේ හා අදාළව බෙකර්ගේ හා එලියස්ගේ යෝජනාව වූයේ මේ මුදල ෆෙඩරල් රජය විසින් වකුගඩු දායකයාට ගෙවිය යුතුබවයි. මේ මුදල එවැනි රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීම (dialysis) වෙනුවෙන් රජය වැය කරන මුදලට වඩා අඩුබවත්, ඇමරිකාවේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කමකට වැයවන මුදලින් 10%ක් පමණක් බවත් ඔවුහු පෙන්වා දුන්හ. ඉන්දියාව හා අදාළවද ඔවුන් මෙවැනිම ගණනය කිරීමක් සිදු කර තිබේ.

දැනට ලෝකයේ වකුගඩු පරිත්‍යාග කිරීම වෙනුවෙන් මුදලක් ලබාගැනීම නිත්‍යානුකූල වන්නේ ඉරානයේ පමණි. වෙනත් අංශ වලින් කෙතරම් පිටුපසින් සිටියත් මේ කරුණ හා අදාළව නිදහස් වෙළඳපොළ මූලධර්ම පිළිගැනීම අතින් ඉදිරියෙන්ම සිටින්නේ ඉරානයයි. ඒ නිසා, ඉරානයේදී පමණක් වකුගඩු බද්ධයක් අවශ්‍ය කෙනෙකුට පොරොත්තු ලේඛණයක නොරැඳී ඒ කටයුත්ත කරගැනීමේ හැකියාව තිබේ.

ඇමරිකාව වැනි රටක කෙසේ වෙතත්, ලංකාව හෝ ඉන්දියාව වැනි රටක අවයව වෙළඳාම නීතිගත කිරීමේ ඇති ප්‍රශ්නය වකුගඩුවක් පරිත්‍යාග කිරීම හා අදාළ අවදානම වඩා වැඩිවීම සහ ඒ අවදානම ගැන අඩු ආදායම්ලාභී, වකුගඩුවක් විකිණීමේ වැඩි ඉඩකඩක් ඇති කණ්ඩායමට නිසි අවබෝධයක් නොමැති විය හැකි වීමයි. ඒ නිසා, මෙවැනි කටයුත්තකදී දැඩි නියාමනයක් අවශ්‍ය වේ. එහෙත්, එවැනි නියාමනයක් සාර්ථක ලෙස ක්‍රියාවට නැඟිය හැකි යාන්ත්‍රණයක් ලංකාව වැනි රටක තිබේද යන්න සැක සහිතය.

අනෙක් අතට, ජීවිත ගණනාවක් බේරා ගැනීමේ හැකියාව ඇති, මිය ගිය අයගේ වකුගඩු විශාල ප්‍රමාණයක් නිකම්ම වැළලී යාමද සැලකිල්ලට ගතයුතු කරුණකි. අවයව පරිත්‍යාග කිරීමට කැමැත්ත ඉල්ලා සිටින බොහෝ රටවල මෙසේ කැමැත්ත ලබා දෙන්නේ රටේ ජනගහණයෙන් සුළු ප්‍රතිශතයකි. මෙයට විකල්පයක් ලෙස ඇතැම් රටවල් අවයව පරිත්‍යාගයට ඇති කැමැත්ත සාමාන්‍ය තත්ත්වය ලෙස සලකා එයට අකමැති අයට ඒ බව දැනුම් දෙන ලෙස ඉල්ලා ඇත. මෙසේ කළ විට අකැමැත්ත දැක්වීමට ඉදිරිපත් වන්නේද මුළු ජනගහණයෙන් සුළු පිරිසක් බැවින් මේ ක්‍රමය යටතේ අවයව සැපයුම බොහෝ සේ වැඩිකරගත හැකිය.


(Image: www.sde.co.ke)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...