එජාපය ඉතා පරිස්සමෙන් කෑම මේසය සකස් කළේය. මෙසේ කෑම මේසය සකස් කරද්දී තමන් ඇතුළු එක් එක් පුද්ගලයින්ට අසුන් ගන්නට සිදුවන තැන් ගැන අදහසක් එජාපයට තිබුණේය. ඒ අනුව, හොඳම රසමසවුළු දීසි තමන් අසුන් ගන්නට සිටි අසුන ආසන්නයේ ස්ථානගත කෙරුණු අතර ඒ කෑම බඳුන් බොහොමයක් තබා තිබුණේ පොදුජන පෙරමුණ අසුන් ගනු ඇතැයි පෙනෙන්නට තිබුණු පැත්තට හැකි තරම් දුරස්ථවය. එහෙත්, අවසානයේදී එජාපයට අසුන් ගන්නට සිදු වී තිබෙන්නේ කෑම මේසයේ විරුද්ධ පැත්තේය.
පළාත් පාලන ආයතන වලට කාන්තා නියෝජිතයින් පත් කිරීම හා අදාළව ඉහත තත්ත්වය විශේෂයෙන් කැපී පෙනේ. පොදුජන පෙරමුණේ මන්ත්‍රීධුර 3445න් 3266ක්ම කොට්ඨාශ මන්ත්‍රීධුරයි. කිසියම් පක්ෂයක සමානුපාතික නියෝජනය කොට්ඨාශ මන්ත්‍රීධුර වලින් දැනටමත් සම්පූර්ණ වී ඇති විට පණත අනුව 25% කාන්තා නියෝජනය අදාළ නොවේ. එමෙන්ම, එජනිස/ශ්‍රීලනිප හා ජවිපෙ ඇතුළු අනෙකුත් බොහෝ පක්ෂ 20% මට්ටම ඉක්මවා ඡන්ද ලබාගනිමින් අඩුම වශයෙන් ලැයිස්තු මන්ත්‍රීධුර 4ක් හිමි කර ගෙන ඇත්නම් ඒ ඉතාම සීමිත තැන් කිහිපයක පමණි. ඒ නිසා, එජාපය හැර අනෙකුත් පක්ෂ කිසිවකට 25% කාන්තා නියෝජනය බරක් වන්නේ නැත.
එහෙත්, එජාපයේ මන්ත්‍රීධුර 2,436න් 1,570ක්ම ලැයිස්තු මන්ත්‍රීධුරයි. එමෙන්ම, එජාපය ආයතන බොහොමයක 20% ඡන්ද ප්‍රතිශතය ඉක්මවා ඇති අතර අවම වශයෙන් මන්ත්‍රීධුර 4ක් හිමි කරගෙනද තිබේ. ඒ නිසා, 25% කාන්තා නියෝජනයේ බර වැඩිපුරම වැටෙන්නේ එජාපය මතය. කිසියම් දේශපාලන පක්ෂයකට වාසි වන පරිදි මැතිවරණ නීති සකස් කිරීමේ ඇති අවුල මෙයයි. ඡන්දදායක හැසිරීම කිසිවෙකුට හරියටම පුරෝකථනය කළ නොහැකි නිසා මෙවැනි අපේක්ෂිත වාසියක් ඉතා පහසුවෙන් අවාසියකට හැරෙන්නට පුළුවන.
මෙවර පළාත් පාලන මැතිවරණ වලින් පොදුජන පෙරමුණ හා එහි සහාය ලැබූ කණ්ඩායම් විසින් ලක්ෂ 51.25ක පමණ ඡන්ද ප්‍රමාණයක් ලබා තිබේ. මෙය පසුගිය මහ මැතිවරණයේදී එජනිසය විසින් ලබාගත් ලක්ෂ 47.3ක ඡන්ද ප්‍රමාණය ඉක්මවන්නකි. වලංගු ඡන්ද ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස මෙය මහ මැතිවරණයේ එජනිස ඡන්ද ප්‍රතිඵලයට වඩා අඩු වන්නේ 1.1%කින් පමණි. ශ්‍රීලනිපය හෝ එජනිසය විසින් මෙවර ලබාගෙන තිබෙන්නේ ඡන්ද ලක්ෂ 15.0 ක් හෙවත් මහමැතිවරණයේදී එජනිසය විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයෙන් 31.67%ක් පමණි. ඊට අමතරව, මහ මැතිවරණයේදී එජනිසයට සහාය දුන් ලංකා කම්කරු කොංග්‍රසය, තමිල් මක්කල් විඩුතලයි පුලිකල්, ජාතික කොංග්‍රසය ඇතුළු වෙනත් පක්ෂ විසින් මෙවර තවත් ඡන්ද ලක්ෂ 1.84ක් ලබා තිබේ. මේ ඡන්දද ඉවත් කළ විට, මහ මැතිවරණයේදී එජනිසය විසින් ලබාගත් ඡන්ද වලින් අඩුම වශයෙන් ඡන්ද ලක්ෂ 30.50ක් මෙවර පොදුජන පෙරමුණ විසින් ලබාගෙන තිබේ.
කෙසේවුවත්, පොදුජන පෙරමුණ හා එහි සහාය ලැබූ කණ්ඩායම් විසින් ලබා ඇති මුළු ඡන්ද ප්‍රමාණය ලක්ෂ 51.25ක් පමණ වන අතර ඒ ප්‍රමාණය ඉහත ගණනට වඩා ලක්ෂ 20.75කින් වැඩිය. මහ මැතිවරණයේදී එජනිසය විසින් ලබාගත්තේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා ලක්ෂ 10.35කින් අඩු ඡන්ද ප්‍රමාණයකි. මේ ඡන්ද මහ මැතිවරණයේදී භාවිතා නොවුණු බව පෙනෙන්නට තිබුණේය. ඒ, වලංගු ඡන්ද සංඛ්‍යාවද ඊට ආසන්න ප්‍රමාණයකින් (ලක්ෂ 9.56කින්) පහළ යාමත්, ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන විසින් ලැබූ ඡන්ද ප්‍රමාණය ඔහුට සහාය දැක්වූ පක්ෂ වල ඡන්ද වල එකතුවට ආසන්නව සමාන වීමත් සැලකූ විටය.
පළාත් පාලන ඡන්ද වලදී වලංගු ඡන්ද ප්‍රමාණය ලක්ෂ 12.42කින් ඉහළ ගිය නිසා මේ ඡන්ද මෙවර පොදුජන පෙරමුණ විසින් ආකර්ෂණය කර ගෙන ඇතැයි සිතිය හැකි වුවත්, පොදුජන පෙරමුණ හා සහායක පක්ෂ විසින් මෙවර ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය තවත් මිලියනයකින් පමණ වැඩිය.
මහ මැතිවරණයේදී ජවිපෙ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණය මෙවර ලක්ෂ 1.7කින් වැඩි වී ඇති අතර ද්‍රවිඩ සන්ධානයේ ඡන්දද අඩු වී නැත. ලක්ෂ 14.49කින් විශාල ලෙස අඩු වී ඇත්තේ එජාපයේ ඡන්දයි. මෙයින් ලක්ෂ 1.64ක් පමණ මහ මැතිවරණයේදීදී එජාපයට සහාය දැක්වූ වෙනත් පක්ෂ අත ඇතත් තවත් ලක්ෂ 12.85ක පමණ අඩුවක් තිබේ. මෙවර සෑම දිස්ත්‍රික්කයකම ඡන්ද භාවිතය මහ මැතිවරණයට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බැවින් මේ ඡන්ද භාවිතා නොවූ ලෙස සැලකිය නොහැකිය.
ජනාධිපතිවරණයට සාපේක්ෂව බැලුවොත් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ඡන්ද පනස් දහසක පමණ අඩුවක් හා ගම්පහ ඡන්ද දස දහසක පමණ සුළු අඩුවක් දැකිය හැකි වුවත් ඉතිරි සෑම දිස්ත්‍රික්කයකම වලංගු ඡන්ද ප්‍රමාණයන් ඉහළ ගොස් ඇත. මේ අනුව, එජාපය විසින් මහ මැතිවරණයේදී ලබාගත් නාගරික ඡන්ද හැටදහසක් පමණ භාවිතා නොවූ බවත්, තවත් ලක්ෂ 1.7ක් පමණ ජවිපෙ වෙත සම්ප්‍රේෂණය වූ බවත් සැලකුවහොත් තවදුරටත් ලක්ෂ 10.5ක පමණ අඩුවක් තිබේ.
මහ මැතිවරණය හා පළාත් පාලන මැතිවරණ අතර ඡන්ද වෙනස් වීම් සැලකූ විට මෙවර ශ්‍රීලනිපය හා එජනිසය විසින් ලැබූ ඡන්ද ලක්ෂ 15 පසුගිය මහ මැතිවරණයේදී එජනිසය විසින් ලබාගත් ඡන්දම සේ සැලකුවහොත් මහ මැතිවරණයේදී එජාපය විසින් ලබාගත් ඡන්ද වලින් මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් පොදුජන පෙරමුණ වෙත සම්ප්‍රේෂණය වී තිබිය යුතුය. එජාපය විසින් 2015දී ලබාගත් පාවෙන ඡන්ද කිසියම් ප්‍රමාණයක් පොදුජන පෙරමුණ වෙත සෘජුවම මාරු වී තිබිය හැකි වුවත් බොහෝ විට සිදුවී තිබෙනවා විය හැක්කේ එජනිස ඡන්ද වලින් තවත් මිලියනයක් පමණ පොදුජන පෙරමුණ වෙතත්, එජාප ඡන්ද එපමණම ප්‍රමාණයක් ශ්‍රීලනිපය හෝ එජනිසය වෙතත් සම්ප්‍රේෂණය වීමයි.
එසේනම් එජනිසය මහ මැතිවරණයේදී ලබාගත් ඡන්ද ලක්ෂ 47.3න් ලක්ෂ 41ක් පමණම එනම් 87%ක් පමණම ලබාගෙන ඇත්තේ පොදුජන පෙරමුණයි. එජනිස වෙත ඉතිරිව ඇත්තේ එම ඡන්ද වලින් 10%කට නොවැඩි ප්‍රමාණයකි. එනම් ප්‍රමාණාත්මකව ලක්ෂ පහකට නොවැඩි ඡන්ද ප්‍රමාණයකි. එජනිසයේ ඉතිරි ඡන්ද මිලියනයක් පමණ මහ මැතිවරණයේදී එජාපය වෙත ලැබුණු ඡන්දයි.
පළාත් පාලන මැතිවරණ වලින් ජවිපෙ හා ද්‍රවිඩ සන්ධානයට අයත් පක්ෂ විසින් ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණ මැතිවරණයට පෙර අප විසින් සිතා සිටි ප්‍රමාණ වලට සමානය. ශ්‍රීලනිප හා එජනිස විසින් ලබාගෙන ඇති ලක්ෂ 15ක පමණ ඡන්ද ප්‍රමාණයද නිවැරදි වුවත් ඒ වැරදි උපකල්පන කිහිපයක සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ශුන්‍ය වී ඇති බැවිනි.
පළමුව, එජනිස ඡන්ද වලින් අවම වශයෙන් 20%ක්වත් එම පක්ෂය වෙත රැඳෙනු ඇතැයි මා සිතුවත් එසේ රැඳී ඇත්තේ 10%ක පමණ ඡන්ද ප්‍රමාණයකි. එම ඡන්ද වලින් 90%කට ආසන්නවම ලබාගන්නට පොදුජන පෙරමුණ සමත්ව තිබේ.
දෙවනුව, ජනාධිපතිවරණයේදී භාවිතා වී මහ මැතිවරණයේදී භාවිතා නොවුණු මිලියනයක් පමණ වූ ශ්‍රීලනිප ඡන්ද ආණ්ඩු බලය වෙනස් නොකරන පළාත් පාලන මැතිවරණයකදී පොදුජන පෙරමුණ වෙත ආකර්ෂණය වනු ඇතැයි මා සිතුවේ නැත. එහෙත්, එය එසේ සිදුවී තිබේ.
තෙවනුව, මහ මැතිවරණයේදී එජාපය විසින් ලබාගත් පාවෙන ඡන්ද වලින් කොටසක් ශ්‍රීලනිප/එජනිස හා ජවිපෙ වෙත ආකර්ශනය වනු ඇතැයි මා සිතා සිටියත් ඒ ප්‍රමාණය පිළිබඳව මගේ ඇස්තමේන්තුව වූයේ මීට වඩා අඩු එකකි. මා සිතා සිටියේ එජාපය ලක්ෂ 40 ඉක්මවා, බොහෝ විට ලක්ෂ 41-42ක පමණ ඡන්ද ප්‍රමාණයක් ලබාගනු ඇති බවයි. ඒ අනුව, මෙවර එජනිසයට 2015 එජනිස ඡන්ද ලක්ෂ 10ක් පමණ හා 2015 එජාප ඡන්ද ලක්ෂ 5ක් පමණ ලැබෙනු ඇතැයි මා සිතා සිටියත් ඔවුන්ට ලැබී ඇති බව පෙනෙන්නේ එජාප ඡන්ද ලක්ෂ 10ක් පමණ හා එජනිස ඡන්ද ලක්ෂ 5කට නොවැඩි ප්‍රමාණයකි.
මා ලංකාවේ ඉදිරි දේශපාලන ප්‍රවණතා තේරුම් ගන්නේ එජනිස ඡන්ද වල මේ සංයුතිය අනුසාරයෙනි.
පොදුජන පක්ෂයේ වත්මන් ශක්තිය 41.2% පමණ වන අතර එජාපයේ ශක්තිය 29.4%කි. ඇතැම් අය විසින් කරන පරිදි එජනිසයේ 12.1% එජාපයට එකතු කළද, එහි තිබෙන්නේ 41.5%කි.
මේ අතර මහින්දවාදීන් විසින් පොදුජන පක්ෂයේ ඡන්ද හා එජනිස ඡන්ද එකතු කරමින් ගණන් හදති. මේ ගොඩවල් දෙක එකතු කළ විට 53.3%ක් පමණ වේ. ඉදිරි මැතිවරණයකදී එජනිස වෙත තවමත් ඉතිරිව ඇති ශ්‍රීලනිප ඡන්ද වලින් සැලකිය යුතු කොටසක් පොදුජන පෙරමුණ විසින් ආකර්ශනය කරගනු ඇති නමුත් එජනිස විසින් මෙවර ලබාගෙන ඇති මිලියනයක් පමණ වූ පාවෙන ඡන්ද ප්‍රමාණය පිළිබඳව එවැනි සරල උපකල්පනයක් කළ නොහැකිය.
ජනාධිපතිවරණ හා මහ මැතිවරණ ගැන බොහෝ දෙනෙක් කතා කළත් එවැනි ජාතික මැතිවරණයක් පැවැත්වෙන්නට පෙර මුලින්ම පැවැත්වෙනු ඇත්තේ පළාත් සභා මැතිවරණයයි. අලුත් පළාත් සභා මැතිවරණ ක්‍රමය හා අලුත් පළාත් පාලන මැතිවරණ ක්‍රමය අතර එක් පැහැදිලි වෙනසක් තිබේ.
පළාත් පාලන මැතිවරණ සඳහා අදාළ වූ 60:40 අනුපාතය පළාත් සභා මැතිවරණ වලදී 50:50 ලෙස වෙනස් වේ. ඒ නිසා, කිසියම් පළාත් සභාවක බලය පිහිටුවීම සඳහා එම පළාත් සභා බල ප්‍රදේශයේ සියලුම කොට්ඨාශ ජයගැනීම ප්‍රමාණවත් සාධකයක් නොවේ!
අලුත් මැතිවරණ ක්‍රමය අනුව පළාත් සභාවක බලය පිහිටුවීමටනම් අවම වශයෙන් 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබීම අනිවාර්ය අවශ්‍යතාවයකි. දැනට පවතින ඡන්ද සංයුතිය එසේම තිබුණොත් පොදුජන පෙරමුණට බලය පිහිටුවන්නට ඉඩක් ලැබෙනු ඇත්තේ දකුණු පළාත් සභාවේ පමණි. මේ ප්‍රතිඵලය අනුව, වෙනත් කිසිදු පළාත් සභාවක් තුළ කිසිදු තනි පක්ෂයකට බලය පිහිටුවන්නට ඉඩක් නැත.
පොදුජන පෙරමුණ විසින් මේ වන විටත් ඔවුන්ට ලබාගත හැකි ඡන්ද විශාල ප්‍රමාණයක් ආකර්ශනය කරගෙන අවසන් නිසා ඉතිරි තීරණාත්මක ඡන්ද ප්‍රමාණය ආකර්ශනය කර ගැනීම පහසු කටයුත්තක් නොවේ. ඒ අතරම, දැනට ඔවුන් සමඟ රැඳී සිටින ඡන්දදායකයින් එසේම රඳවා තබා ගැනීමද අවශ්‍ය වේ. මෙයින් දෙවැන්න සාපේක්ෂව පහසු කටයුත්තකි. මාධ්‍ය හරහා පුළුල් ලෙස ප්‍රචාරය කෙරෙන 45% බොරු ඡන්ද ප්‍රතිශතය මෙන්ම කුරහන් පාටින් පාට කර ඇති බොරු සිතියමද මේ දෙවන කටයුත්තට උපකාරී කරනු ඇතත්, ඒ හරහා එජනිස ඡන්ද සියල්ලම ආකර්ෂණය කර ගත හැකියැයි සිතන්නේනම් එය මුලාවකි.
ශ්‍රීලනිප පාක්ෂිකයින්ගෙන් 90%කටත් වඩා සිටින්නේ මහින්ද සමඟ බව පැහැදිලි කරුණක් වුවත් උග්‍ර මහින්ද විරෝධී ශ්‍රීලනිප පාක්ෂිකයෝද යම් ප්‍රමාණයක් සිටිති. මේ වන තුරුත් මෛත්‍රී වෙත රැඳී ඇති ශ්‍රීලනිප ඡන්ද වලින් යම් ප්‍රමාණයක් මෙවැන්නන්ගේ ඡන්දයි. එමෙන්ම, එජනිසය මෙවර ලබා ඇති පාවෙන ඡන්ද විශාල ප්‍රමාණයක්ද මහින්ද විරෝධී ඡන්දයි. එජාපයෙන් කැඩී එජනිසයට ඡන්දය දෙමින් ඔවුන් එජාපය වෙතද සිය විරෝධය පෙන්වා ඇතත්, ඔවුන්ට මහින්ද නැවත බලයට පත්වනු දකින්නට අවශ්‍ය නැත. කෙසේ වුවත්, එයින් අදහස් වන්නේ මහින්ද බලයට එනු වැළැක්වීම සඳහා මේ ඡන්දදායකයින් විසින් ඕනෑම තත්ත්වයක් යටතේ එජාපය වෙත ඡන්දය භාවිතා කරනු ඇති බව නොවේ.
මේ වන විට ලංකාවේ මැතිවරණ වල ප්‍රතිඵලයට පාවෙන ඡන්දදායකයින්ගේ බලපෑම පෙරටත් වඩා ඉතා විශාලය. 2015 ජනවාරියේදී මෙන්ම මෙවරද ඡන්ද ප්‍රතිඵලය තීරණාත්මක ලෙස වෙනස් කළේ මේ පිරිසයි. දශක කිහිපයකට පෙරද මෙවැනි කොටසක් සිටියත් ඔවුන්ට තනි පුද්ගලයින් ලෙස තීරණ ගන්නවා හැර අද තරම් විශාල බලපෑමක් කිරීමේ හැකියාවක් තිබුණේ නැත. එහෙත් දැන් ඔවුන්ට අදෘශ්‍ය සංවිධානයක් ලෙස එකතු වන්නට සමාජ මාධ්‍ය විසින් වේදිකාවක් සපයා තිබේ. ඒ නිසා, ඔවුන්ගේ තීරණ තනි තීරණ වුවත් ඒවා අහඹු තීරණ නොවේ. ඒ තීරණ වල දිශානතියක් හා රිද්මයක් තිබේ. එමෙන්ම මේ පිරිස දැන් සංඛ්‍යාත්මකව මෙන්ම ප්‍රතිශතයක් ලෙසද ඉතා විශාලය. ඒ හේතුව නිසා ලංකාවේ කිසියම් හෝ ඉදිරි මැතිවරණයක ප්‍රතිඵලය පුරෝකථනය කිරීම පහසු කටයුත්තක් නොවනු ඇත.
ඇතැම් අයට අනුව මෙවර පොදුජන පෙරමුණ ලැබූ ජය වාර්තාගත එකකි. ඔවුන් කියන පරිදි මෙතෙක් කිසිදු පළාත් පාලන මැතිවරණයකදී බලයේ සිටින පක්ෂය පරාජය වී නැත. මේ කරුණ මා විසින් සනාථ කරගෙන නැතත් එය එසේ වන්නට පුළුවන. පළාත් පාලන මැතිවරණයකදී බලයේ නොසිටින පක්ෂයකට ඡන්දදායකයින් ආකර්ෂණය කරගැනීම ඉතා අසීරුය. ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් ලබාගත් ඡන්ද වලින් මහ මැතිවරණයේදී එජනිසය වෙත නොලැබුණු ඡන්ද මිලියනය මෙවරද භාවිතා නොවනු ඇති මා විසින් උපකල්පනය කළේද මේ පදනමිනි.
කෙසේ වුවත්, පොදුජන පෙරමුණ විසින් මේ ඡන්ද මුළුමනින්ම වාගේ ආකර්ෂණය කරගෙන තිබේ.
වෙනත් අයුරකින් සිතා බැලුවොත් ඉතිහාසයේ සිදුවී ඇති දෙය හා මෙවර සිදුවී ඇති දෙය අතර ලොකු වෙනසක්ද නැත. පළාත් පාලන මැතිවරණයක් ජයගැනීම අසීරු වන්නේ බලයේ නැති පක්ෂයකටය. එහෙත්, 2015 මැතිවරණ පරාජයෙන් පසු දිගින් දිගටම මහින්දවාදීන් හැසිරුණේ පරාජිතයින් ලෙස නොවේ. තවදුරටත් බලය ඇත්තන් පරිද්දෙනි. අනෙක් අතට ආණ්ඩුවේ පාර්ශ්ව දෙක හැසිරුනේද තවදුරටත් මහින්ද අතේම බලය තිබෙන්නාක් මෙනි. මේ ආණ්ඩුව බලයට පත් වී සෑහෙන කාලයක් යනතුරුම මහින්ද බිල්ලා පෙන්නනවා හැරෙන්නට ආණ්ඩුවට වෙනත් පෙන්නන්නට යමක් තිබුණේ නැත. අන්තිමේදී රටේ ඡන්දදායකයින්ට නිතර අහන්නට ලැබුණු මහින්ද බිල්ලාගේ කතාව එපා විය.
මෙසේ ආණ්ඩුව විසින් මහින්ද බිල්ලා ගැනම කියනවා හැර වෙනත් යමක් නොකිරීමේ ප්‍රතිඵලය වී ඇත්තේ එජාපය වෙත 2015දී ආකර්ෂණය වූ පාවෙන ඡන්ද සියල්ලම වාගේ ඔවුන්ගෙන් ගිලිහීමයි. එහෙත්, මහබැංකු බිල්ලා පෙන්වමින් මේ ඡන්ද වලින් විශාල ප්‍රමාණයක් රඳවා ගන්නට මෛත්‍රීපාල සිරිසේන විසින් සමත් වී තිබේ. තවත් කොටසක් ජවිපෙ වෙත විතැන් වී ඇති අතර මුස්ලිම් ඡන්ද හා කොළඹ ආශ්‍රිත දෙමළ ඡන්ද ජනවාර්ගික පක්ෂ වෙත විතැන් වී තිබේ.
මේ බොහෝ පාවෙන ඡන්දදායකයින්ට මහින්ද බිල්ලා ගැනම අසා එපා වී තිබුණත් ඔවුන්ට මහින්ද රාජපක්ෂ යනු තවදුරටත් බිල්ලෙකි. අනෙක් අතට ආණ්ඩුවට මහින්ද බිල්ලාම නැවත කෙසේ හෝ විකුණනවා හැරෙන්නට විකුණන්නට වෙනත් දෙයක් ඇත්තේද නැත. කෙසේ වුවත්, 2015 ඡන්දයේදී මෙන්ම ඉන් පසුව දෙවසරක් පමණ තිස්සේද විකිණූ මහින්ද බිල්ලා නැවත විකුණන්නටනම් වෙනස් අසුරනයක් අවශ්‍යය.
මෙවර මැතිවරණයේ
වැරදි සමස්ත ප්‍රතිඵලය හා
කුරහන් පාට ලංකා සිතියම මුලින්ම ඉදිරිපත් කළේ
දෙරණයි. මේ වන විට එය ඇත්ත ප්‍රතිඵලය බවට පත්ව තිබේ. ඕනෑම සති අන්ත පුවත් පතක් හෝ විවිධ බ්ලොග් සටහන් ඇතුළු මැතිවරණය පිළිබඳව ලියැවුණු වෙනත් ලිපි කියවූ විට මෙය පැහැදිලිය. දෙරණ යනු පසුගිය ආණ්ඩුව කාලයේ සිය ව්‍යාපාර දියුණු කරගත් ලංකාවේ ජාතිකවාදීන් අතර ජනප්‍රිය මාධ්‍ය ආයතනයකි. පොදුජන පෙරමුණේ මැතිවරණ ජයග්‍රහණය උත්කර්ශයට නැංවීමට මීට වඩා හොඳ මාධ්‍ය ආයතනයක් තවත් නැත. කෙසේ වුවද, මෙවර එජාප මැතිවරණ ප්‍රචාරණ කොන්ත්‍රාත්තුව ලැබී තිබුණේද එම ආයතනයටමය.
කෙසේවුවත්, මේ කටයුත්තේදී එජාපයේ හා පොදුජන පෙරමුණේ අවශ්‍යතා පුදුමාකාර ලෙස සමපාත වී තිබේ. පොදුජන පෙරමුණට ඔවුන්ගේ ඡන්ද දායකයින්ට ළඟ පෙනෙන ජයග්‍රහණය පෙන්විය යුතුය. එජාපයට ඔවුන්ගෙන් ගිලිහී සිටින පාවෙන ඡන්දදායකයින්ව කීද්දුවා නැවතත් මහින්ද බිල්ලා පෙන්වන්නට අවශ්‍යය. එහෙත් එය කළ යුත්තේ පෙර මෙන් සෘජු ලෙස නොව ඇඟට නොදැනෙන පරිද්දෙනි. දැන් වැඩේ ගොඩය. මෙවර එජාපයට අවශ්‍ය ප්‍රචාරක කටයුත්ත කරන්නේ මහින්දවාදීන් විසින්මය. එජාපයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ හෝ කතා කළ ඇතැමුන් දැනටමත් නැවත එජාපය දෙසට හැරී තිබීම තුළ පෙනෙන්නේ මේ ප්‍රචාරක උපක්‍රමය සාර්ථක බවයි.