අධිපති මාරුවෙන් පසුව මහ බැංකුව රටේ පවතින තත්ත්වය ගැන ඇත්ත කතා කරනවා. මහ බැංකුව කියා කිවුවේ එහි ඉහළ ස්ථරය. මේ වන විට මහ බැංකුවට පිටින් සිටි විවේචකයින් විසින් කියූ දේ සහ මහ බැංකුව විසින් කියන දේ අතර විශාල පරතරයක් නැහැ. ඉතා සංක්ෂිප්ත ලෙස කිවුවොත් පවතින තත්ත්වය ගොඩක් අය හිතාගෙන ඉන්නවාට වඩා සෑහෙන්න දරුණු තත්ත්වයක්. මේ වෙලාවේ කවුරු ඇවිත් මොන දේ කළත් මේ විනාශය වලක්වා ගත හැක්කේ යම් සීමාවක් දක්වා පමණයි.
අපි ජූලි මාසයෙන් පටන් ගනිමු. ජූලි 25 ඩොලර් බිලියනයක ස්වෛරිත්ව බැඳුම්කරයක් හා එහි පොලිය ගෙවන්න තියෙනවා. මෙය එදිනට ගෙවන්න බැරි වීම ආසන්න අනිවාර්යතාවයක්. දැනට තිබෙන එකම තේරීම ඊට පෙර කෙසේ හෝ ණයකරුවන් සමඟ සාකච්ඡාවක් කර සැලසුම්සහගත ලෙස මෙම ණය පැහැර හැරීම සිදු කිරීමයි. මේ නිශ්චිත කාරණය හා අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන එකෙන් අදහස් වනු ඇත්තේ එයයි.
අද වන විට ජූලි 25 දින කල් පිරෙන බැඳුම්කරයේ ද්වීතියික වෙළඳපොළ මිල ඩොලර් 47.9 දක්වා පහත වැටී තිබෙනවා. ඒ කියන්නේ අනුපාතයක් ලෙස ගත්තොත් අද ඩොලර් 48ක් ආයෝජනය කරලා තව සති 15කින් ඩොලර් 103ක් ලබා ගත හැකියි කියන එක. මෙය ඉතා ඉහළ ප්‍රතිලාභයක් බව කිව යුතු නැහැ. එවැනි ඉහළ ප්‍රතිලාභයක් හමුවේ කවුරුවත් මේ බැඳුම්කර මිල දී නොගන්නේ සල්ලි ආපසු නොලැබෙන බව ඒ තරම්ම පැහැදිලි නිසයි. අවදානම ඉහළ යද්දී මිල තවතවත් පහත වැටෙමින් තිබෙනවා.
ඉහත ස්වෛරිත්ව බැඳුම්කරය හා අදාළව ලංකාව හමුවේ තිබෙන විකල්ප මොනවාද? මේ වන විට රජය විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කිසියම් උත්සාහයක් දරමින් සිටින බව පෙනුනත්, බොහෝ විට ජූලි 25 දිනට පෙර එය සිදු නොවිය හැකියි. මොන විදිහෙන් හෝ ණයකරුවන් එක්රැස් කරගත්තොත් ඔවුන් අතරෙන් බොහෝ දෙනෙක් ඩොලර් 100ම නොගෙන යම් අඩු මුදලක් ලබා ගන්න කැමති විය හැකියි. එහෙත්, එසේ කැමති නොවන යම් පිරිසක් ඉතිරි වෙයි. ඔවුන් ණය පැහැර හැරීමක් සිදුවීමෙන් පසුව නඩු මගට යා හැකියි.
බොහෝ විට සිදු විය හැකි පරිදි, ඉහත ආකාරයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කිරීමට ඉඩක් නොලැබී, පූර්ව දැනුම් දීමකින් තොරව ණය පැහැර හැරියොත් වෙන්නෙත් ඒ ටිකම වුනත් එය වඩා භයානක ආකාරයකින් වෙයි. ණයකරුවන් සංවිධානය වී නඩු මගට ගොස් අවසාන වශයෙන් නඩු ගාස්තු හා පොලී අධිභාරයක්ද සමඟ ණය හා පොලිය ගෙවන්න වෙන්න පුළුවන්. මෙය තීරණය වන්නේ ස්වෛරිත්ව බැඳුම්කර ගිවිසුමේ කොන්දේසි මතයි. මම මේ කොන්දේසි පිළිබඳව හදාරා නැහැ. එහෙත්, මෙය සිදු විය හැකි සාමාන්‍ය දෙයයි.
රටේ දේශපාලනික තත්ත්වය බාධාවක් නොවුනොත් ලබන වසරේ සිට ගෙවිය යුතු ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරගන්න අවස්ථාවක් ලැබෙයි. ඒ වගේම, ජූලි බැඳුම්කරය පැහැර හැරීමෙන් පසු ඇතිවන ආතතිය එයට උදවුවක් විය හැකියි. කෙසේ වුවත්, ජූලි බැඳුම්කරය නිසි සේ නොගෙවීමේ අහිතකර ප්‍රතිඵල වලට ලංකාවට මුහුණ දෙන්න වෙයි.
ඇත්තටම කියනවානම් මේ වෙලාවේ තියෙන තත්ත්වය අනුව ජූලි මාසයේ වෙන්න තිබෙන දේ ගැන කතා කරන එකෙත් තේරුමක් නැහැ. ඊට කලින්ම ලංකාවට විශාල ප්‍රශ්න ගොඩකට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න වෙනවා.
මහ බැංකුවේ නිල සංඛ්‍යලේඛන අනුව මාර්තු අවසානයේ ඉතිරිව තිබුණු සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,939ක් පමණයි. මෙම සංචිත ප්‍රමාණයෙන් වැඩි කොටසක් චීන විණිමය හුවමාරු පහසුකම හරහා ලැබුණු මුදල් බවත් අපි දන්නවා. ඒ මුදල් ඕනෑම කටයුත්තක් වෙනුවෙන් යෙදවිය නොහැකියි. අප්‍රේල් හා මැයි මාස දෙක තුළ ආපසු ගෙවිය යුතු ණය වාරික හා පොලී ප්‍රමාණය ඩොලර් මිලියන 1,898ක්. ඊට අමතරව බැංකු පද්ධතිය විසින් දැනටම විකුණා ඇති "නැති ඩොලර්" ප්‍රමාණය ඩොලර් මිලියන 562ක්. කතාව පැහැදිලියිනේ.
ලංකාවට මාසයකට අපනයන ආදායම් ලෙස ඩොලර් බිලියනයක් පමණ ලැබෙනවා. එම අපනයනකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ආදිය ආනයනය කිරීම සඳහා එයින් අඩු වශයෙන් ඩොලර් මිලියන 300ක් පමණවත් යනවා කියන එක මගේ අදහසයි. ශ්‍රමික ප්‍රේෂණ ලෙස මේ වන විට බැංකු පද්ධතියට ලැබෙන්නේ මසකට ඩොලර් මිලියන 200-250කට ආසන්න මුදලක් පමණයි. රටේ පවතින වාතාවරණය යටතේ සංචාරක කර්මාන්තයෙන් මසකට ඩොලර් මිලියන 150-200කට වඩා හොයා ගැනීමේ හැකියාවක් පෙනෙන්න නැහැ. ඔය විදිහට බැංකු පද්ධතියට මාසයකට එනවා ඇත්තේ ඩොලර් බිලියනයකට මඳක් වැඩි මුදලක් පමණයි.
බැංකු පද්ධතියට එන ඩොලර් වලින් 50%ක් මහ බැංකුවට විකිණීය යුතුයි. ඒ කියන්නේ මහ බැංකුවට රටට එන ඩොලර් වලින් මසකට ඩොලර් මිලියන 500ක් පමණ මිල දී ගැනීමේ හැකියාවක් තිබෙනවා. මාස දෙකට බිලියනයක් පමණ. ඉන්ධන ආනයනය හා අනෙකුත් අත්‍යවශ්‍ය ආනයන සඳහා එම මුදල් මුදා හැරීමෙන් පසුව ණය ගෙවීම සඳහා මුදල් ඉතිරි වන්නේ නැහැ. ණය ගෙවුවොත් ඉන්ධන ආනයනය හා අනෙකුත් අත්‍යවශ්‍ය ආනයන සඳහා මුදල් ඉතිරි වන්නේ නැහැ. මහ බැංකුව විසින් ඉන්දියාවට ගෙවිය යුතු ණය පමණක්ම වුවත් ඩොලර් බිලියන 1.3-1.5ක් පමණ බව මගේ අදහසයි.
ලංකාවේ සාමාන්‍ය මාසික ආනයන වියදම අඩු වශයෙන් ඩොලර් මිලියන 1,700ක් පමණවත් වෙනවා. අපනයනකරුවන් විසින් ඔවුන්ගේ ආනයන වෙනුවෙන් අවශ්‍ය ඩොලර් ටික වෙන් කරගත්තා කියමු. තව ඩොලර් මිලියන 1,400ක් පමණ අඩුයි. ඉන්ධන හා අනෙකුත් අත්‍යවශ්‍ය ආනයන වෙනුවෙන් මහ බැංකුව විසින් මිල දී ගන්නා ඩොලර් ටික නිකුත් කළොත් ඉන් පසුවත් තව ඩොලර් බිලියනයක පමණ හිඟයක් තිබෙනවා. මාස දෙකට ඩොලර් බිලියන දෙකක්. නමුත් බැංකු පද්ධතියට මාස දෙකට එන ඩොලර් බිලියන දෙකෙන් බිලියනයක් මහ බැංකුවට දුන්නට පස්සේ බැංකු වල ඉතුරු වෙන්නේ තව ඩොලර් බිලියනයක් පමණයි. බැංකු විසින් දැනටම විකුණා ඇති මිලියන 500කට වැඩි නැති ඩොලර් ටික අයින් කර ගන්න වෙන්නෙත් ඒ ලැබෙන ඩොලර් ටිකෙන්.
දැන් මෙයින් කියැවෙන්නේ කුමක්ද? ඉදිරි මාස දෙක තුළ ආනයනකරුවන් විසින් අඩු වශයෙන් ඩොලර් බිලියන දෙකක් පමණ බැංකු වලින් ඉල්ලා සිටිද්දී බැංකු වලට ඔවුන්ට විකුණන්න හැකි වෙන්නේ ඩොලර් මිලියන 500ක් පමණයි. අනාගතයේ දෙන පොරොන්දුවට තවත් "නැති ඩොලර්" මිලියන 500ක් විකිණුවත් ඉල්ලුම සැපයුම මෙන් දෙගුණයක්. මේ තත්ත්වය වෙනස් නොවන තාක් ඩොලරයක මිල දවසින් දවස ඉහළ යාම වැළැක්විය නොහැකියි. හැබැයි එසේ වෙද්දී ආනයන ඉල්ලුමත් යම් තරමකින් අඩු වෙයි.
අනෙක් පැත්තෙන් මහ බැංකුව විසින් බැංකු වලින් එකතු කරගන්නා ඩොලර් අත්‍යවශ්‍ය ආනයන වෙනුවෙන් වෙන් කරන්න වෙනවා කියන්නේ ණය ගෙවන්න ලැබෙන්නේ නැහැ කියන එකයි. හදිසියෙන්ම ගෙවන්න තියෙන්නේ ඉන්දියාවේ ණය. බොහෝ විට ඉන්දියාව නැවත වරක් ණය ගෙවීමේ කාලය දිගු කරලා දෙයි. එහෙම නැත්නම් ඉතින් රටම කළුවරේ තමයි.
මේ තියෙන තත්ත්වය යටතේ බැංකු පද්ධතිය හරහා රටට එන පොඩි ඩොලර් ප්‍රමාණයක් වුනත් ඇත්තටම ලොකු උදවුවක්. කෙළින්ම තමන්ගේ ගෙදරට යවන සල්ලි කාටවත් හොරකම් කරන්න පුළුවන්කමක් නැහැනේ. කවුරු හරි වංචනික ලෙස එක්රැස් කරගත් සල්ලි තිබේනම් ඒ සල්ලි ඩොලර් කර රටින් පන්නාගන්න උදවු කරන්නේ උන්ඩියල් ක්‍රම වලට සල්ලි එවන අයයි. බැංකු වලට එවන සල්ලි එක පැත්තකින් රුපියල් වෙලා ගෙදරට යනවා. අනෙක් පැත්තෙන් මහ බැංකුවට එම ඩොලර් අත්‍යවශ්‍ය ආනයන වෙනුවෙන් වෙන් කිරීමේ හැකියාවක් ලැබෙනවා.
ඇත්තටම උන්ඩියල් ක්‍රමයට එවුවත් බොහෝ විට ඒ සල්ලි ලංකාවට ලැබෙනවා. ඔය සල්ලි ඔක්කොම කළු සල්ලි රටින් පැන්නීම සඳහා යෙදවෙන්නේ නැහැනේ. නමුත් එයින් ඉන්ධන, ඖෂධ වැනි අත්‍යවශ්‍ය ආනයන වෙනුවෙන් එම මුදල් යොදවන්න ඉඩක් නොලැබෙන නිසා ලංකාවේ මිනිස්සුන්ගේ මූලික ප්‍රශ්න වලට විසඳුමක් ලැබෙන්නේ නැහැ.
මම හිතන්නේ මෙය විදේශගත ලාංකිකයින්ට ලංකාවේ දේපොළ මිල දී ගන්නත් හොඳම අවස්ථාවක්. මිලියනය දහයක ඉඩමක් ගන්න කලින් ඩොලර් 50,000ක් ගියත් දැන් යන්නේ ඩොලර් 30,000ක් පමණයි. රජයේ හා/හෝ මහා බැංකුවේ පැත්තෙන් මේ වෙලාවේ රටට ඩොලර් අද්දගන්න කළ හැකි එක් දෙයක් වන්නේ විදේශිකයින් විසින් ඉඩම් මිල දී ගැනීමේදී ගෙවිය යුතු 100% බද්ද තාවකාලිකව 50% හෝ 25% පමණ මට්ටමකට අඩු කිරීමයි. මෙය නිශ්චිත කාලයකට දෙන බදු සහනයක් ලෙස ප්‍රකාශ කිරීම වැදගත්. එම කාලය තීරණය කළ යුත්තේ මූල්‍ය අරමුදලෙන් සල්ලි ලැබෙන දවස මත පදනම්වයි. එවැන්නක් කිරීමෙන් බොහෝ විට රටට ඩොලර් වගේම රජයට බදු ආදායම්ද එකතු කරගත හැකියි. මුදල් අමාත්‍යාංශයේ ඉන්න බදු විශේෂඥයින්ට පුළුවන්නේ දත්ත දිහා බලලා යෝග්‍ය මට්ටම හරියටම තීරණය කරන්න.