වෙබ් ලිපිනය:

Thursday, April 7, 2022

අලුත් මහබැංකු අධිපති මොනවා කරයිද?


මහබැංකු අධිපති ධුරයට ආචාර්ය වීරසිංහව පත් කරනු ලැබීම උද්ඝෝෂණකරුවන් විසින් ඔවුන්ගේ පළමු වැදගත් ජයග්‍රහණය සේ සලකනවා. ආචාර්ය වීරසිංහ ශ්‍රී ලංකා මහ බැංකුව තුළ විදේශ අංශය පිළිබඳ කටයුතු වල කාලයක් තිස්සේ නිරතව සිටි, විදේශ අංශයේ ගැටළු පිළිබඳ ප්‍රවීණතාවක් ඇති අයෙක්. ශ්‍රී ලංකා රජය විසින් නම් කරනු ලැබ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේද කාලයක් සේවය කර ඇති අයෙක්.

ඊට අමතරව ජනාධිපතිවරයා විසින් ජාත්‍යන්තර ආයතන වල ඉහළ තනතුරු දරා ඇති, ලංකාව දැනට මුහුණ දෙන ආකාරයේ ගැටළු වලට මුහුණ දුන් වෙනත් රටවල් වලටද ප්‍රතිපත්ති උපදේශන ලබා දී ඇති, ශ්‍රී ලාංකික සම්භවයක් ඇති, කීර්තිමත් ආර්ථික විද්‍යාඥයින් තිදෙනෙකු උපදේශකවරුන් සේ පත් කර තිබෙනවා. 

හිටපු මහ බැංකු අධිපති ආචාර්ය කුමාරස්වාමි ගැන ලංකාවට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. ආචාර්ය ශාන්තා දේවරාජන් ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා ලෙස කටයුතු කළ අයෙක්. ආචාර්ය ශාමිනි කුරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ තනතුරු දරා තිබෙනවා. මේ පත් කිරීම් සියල්ල කර තිබෙන්නේ හැකි ඉක්මණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් බව පැහැදිලියි.

ඉහත පත් කිරීම් වාර්තා වීමට සමාන්තරව අන්තර්-බැංකු තැන් අනුපාත වල යම් හැරවුමක් නිරීක්ෂණය කළ හැකියි. එය ඇතැම් විට තාවකාලික තත්ත්වයක් වෙන්න පුළුවන්. ස්වෛරිත්ව බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල ගණන්නම් පසුගිය සතිය තුළ වේගයෙන් පහත වැටෙමින් තිබෙනවා. ඇතැම් විට එම තත්ත්වයේද යම් ස්ථාවර වීමක් සිදු විය හැකියි. බරපතල ප්‍රකාශ කරන්නට තවම කල් වැඩියි.

මේ වෙලාවේ තත්ත්වය අනුව බැලුවොත් මුලින්ම කළ යුතුව තියෙන්නේ රටේ ආර්ථිකය ගොඩ ගැනීම නෙමෙයි. කොයි තරම් යටට ගිලිලද කියලා හරියට හොයා ගන්න එකයි. රටේ ආර්ථිකය නහය ලඟට ගිලී තිබුණු කාලය පහුවෙලා දැන් ගොඩක් කල්. ගොඩගන්න කලින් දියේ කිමිදිලා ආර්ථිකය දැන් තිබෙන තැන හොයා ගන්න වෙනවා. 

අධිපති වීරසිංහ වැඩ පටන් ගත්තට පස්සේ මොන විදිහට මේ තත්ත්වය කළමනාකරණය කරයිද?

සති දෙකකට පෙර (පසුගිය මාර්තු 25 වෙනිදා) ආචාර්ය වීරසිංහ ලංකාවේ ප්‍රධාන ආර්ථික විද්‍යා සංගම් තුන එකතු වී සංවිධානය කළ දේශනයකදී ආර්ථිකය පිළිසකර කළ යුතු ආකාරය පිළිබඳ ඔහුගේ දැක්ම විස්තර කළා. ඔහුගේ අදහස අනුව, පහත දේවල් ඒ අනුපිළිවෙලට කිරීමෙන් වසරක පමණ කාලයක් තුළ තත්ත්වය කළමනාකරණය කර ගත හැකිව තිබුණා.

1. මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම 

2. ඒ සමඟම රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම (බදු අනුපාතික 2019 මට්ටමට නැවත ඉහළ දැමීම)

3. ඉන්ධන හා විදුලිය සඳහා මිල සූත්‍ර හඳුන්වාදීම 

4. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජයේ අභිප්‍රාය ප්‍රකාශයට පත් කිරීම හා ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම 

5. ණය ප්‍රතිව්‍යුහගත කරන තුරු ජාත්‍යන්තර සංවිධාන වලින් තාවකාලික ණය ලබා ගැනීම.

6. විණිමය අනුපාතය අනුක්‍රමික ලෙස නිදහස් කිරීම 

7. රාජ්‍ය බැංකු කඩාවැටීමේ අවදානම වැළැක්වෙන ක්‍රියාමාර්ග ගැනීම 

ඉහත අවස්ථාව වන විට රටේ උද්ඝෝෂණ ඇති වී තිබුණේ හෝ මහ බැංකු අධිපති ධුරය වෙනස් වීමේ ඉඩක් පෙනෙන්න තිබුනේ නැහැ. කෙසේ වුවත්, අලුත් මහ බැංකු අධිපති හිතන විදිහ මෙයින් පිළිබිඹු වෙනවා. 

මහ බැංකුව තීරණ ගන්නේ අධිපතිවරයාගේ තනි කැමැත්තෙන් නෙමෙයි. නිලධාරී මට්ටමේ යෝජනා, මුදල් මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින්ගේ අදහස් හා රජයේ බලපෑම්ද අවසාන වශයෙන් මේ තීරණ වලට බලපානවා. ඒ නිසා, ඇත්තටම සිදු වන්නේ කුමක්ද කියන එක සමීපව නිරීක්ෂණය කළ යුතුයි.

ලැයිස්තුවේ උඩින්ම තියෙන්නේ මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම. එයින් අදහස් කෙරෙන්නේ පොලී අනුපාතික ඉහළ දැමීම හා එහි උදවුවෙන් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් විකුණා දැමීම. මේ වන විට මහ බැංකුව විසින් පෙරේදා ගත යුතුව තිබුණු මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීම කල් දමා තිබෙනවා. අලුත් මුදල් මණ්ඩලය රැස් වූ වහාම එම තීරණය ගැනෙනු ඇතැයි විශ්වාස කළ හැකියි. 

ප්‍රතිපත්ති පොලී අනුපාතික 10%කින් පමණවත් ඉහළ යා යුතු වුවත්, මහ බැංකුව විසින් එකවර එවැනි විශාල වැඩි කිරීමක් අනුමත කිරීමේ ඉඩක් නැහැ. එහෙත්, පොලී අනුපාතික වල සැලකිය යුතු ඉහළ යාමක් අපේක්ෂා කළ හැකියි.

30 comments:

  1. ආන්න ඉකොනෝමැට්ටාගේ රෙදි ගලවලා නේද කිරියේ පින්තුර එක්කම. නාකි ඩයල් එකෙක්නේ මේ මනුස්සය. ලංකාවේ පුරවැසියෙකුත් නෙමෙයි කියන්නේ. විදෙස් පුරවැසියෙක්ට ලංකාව ගැන මෙච්චර ලිපි ලියන්න තියෙන අවශ්‍යතාවයන් මොකක්ද? කාගේ හරි කොන්ත්‍රාත් එකක් තමයි.

    ස්පෑම්චෙක්ට කියලා ත්‍රෙඩ් එක අයින් කරගන්නවත් බලන්න ඉකොනෝ. ළමයිගේ පින්තුරත් දාලා තියෙන එකේ.

    ReplyDelete
  2. ලංකාවේ ආර්ථිකයේ ඇති සැබෑ ප්‍රශ්න ගැන තබා ලංකාවේ බහුතරයක් ජනතාවට තවමත් රට තුළ ඇති දරුණු තත්ත්වය පිළිබඳව අවබෝධයක් නොමැති බව ඉතාමත් පැහැදිලිව පේනවා.

    මම දන්නේ නෑ ලංකාවේ ජනතාව දන්නවා ද කියලා මේ වෙනකොට ලංකාවේ ආර්ථිකය වැටිලා තියෙන්නේ දරුණු වලක බව. ලංකාවේ රජය IMF සාකච්ඡා මේ සතියේ ආරම්භ කළේ නැත්තම් මූල්‍ය උපදේශකයෙකු පත්කරලා ලංකාවේ විදේශ ණය ඉතා ඉක්මනින් ප්‍රතිව්‍යුහගත කරන එක අවශ්‍ය තරමට කඩිනමින් කරන්න හම්බවෙන්නේ නෑ.

    ඒ වගේම තමයි 2022 ජුලි මාසයේ ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 1ක මුදලක් ගෙවිය යුතුව තිබෙනවා. ඒක ගෙවන්න වෙන්නෙත් ලංකාවේ විදේශ සංචිතවලින් තමයි.

    හැබැයි ඒක ගෙවනවා කියන්නේ ඊළඟ මාස දෙකේ කිසිම ආනයනයක් නොකර රටේම ආදායම සියල්ලම එකතු කරලා ඉතුරු කරන්න වෙනවා මේ ඩොලර් බිලියනය ගෙවන්න.

    එතකොට ලංකාවේ කිසිදු තැනක බෙහෙත් නෑ, විදුලිය නෑ, තෙල් නෑ, ගෑස් නෑ. දැනට ඉන්දියාවෙන් එන තෙල් වලින් උපරිමයෙන් මැයි අග වෙනකම් යයි. ඊට පස්සේ ලංකාවට තෙල් ලබාගන්නේ කොහොමද?

    ඒ නිසා තත්ත්වය ඉතාම උග්‍රයි බරපතළයි. දැනට කෝකටත් තෛලයක් වගේ තියෙන IMF සමග සාකච්ඡා කරන්න මුදල් ඇමති කෙනෙක් ඉන්න ඕනේ.. රජයක් තියෙන්න ඕනේ. කෝ එහෙම එකක්?

    ලංකාව ඉක්මනට කඩිනමින් පියවර ගත්තේ නැත්තම් ජුනි මාසයෙන් පස්සේ මුළු රටම පැය විසි හතරම විදුලිය විසන්ධි කර රෑ පුරාම අඳුරේ ඉන්න පුළුවන්. මේ වෙනකොට ලංකාවේ ආර්ථිකය තියෙන තත්ත්වය අනුව බිලියනයක් නෙමෙයි මිලයන 100ක් වත් ගෙවා ගන්න බැරි තත්ත්වයක ඉන්නේ. මේකට උත්තර නෑනෙ ඔය කියන මොන විද්වතා ගෙනාවත් රට සම්පූර්ණයෙන්ම බංකොලොත් වේවි.

    ReplyDelete
  3. මේ මිනිහට ආර්ථිකේ ගොඩගන්න අපිට පුලුවන් විදියට උදවු කරන්න පුලුවන්නම් වටිනවා. පිටරට උන් උන්ඩියෙල් හවාල නැතුව හරි විදියට සල්ලි එවන රැල්ලක් හදමු. ෆේස්බුක් එකේ රිසිට් එක පෝස්ට් කරන්න 'මම මගේ යුතුකම ඉටු කලා කියල'. එකම කෙටි කාලීන විසදුම ඒකයි.
    රාජපක්ශල, කුඩු මුදලාලිලා පහුගිය කාලෙ හොදට තමන්ගෙ හොර සල්ලි සුදු කරගත්තා. උඹල හිතන්නෙ මේ වගේ තත්වයක් වෙනව කියල නොදැන එයාල හිටිය කියලද. නෑ මචං, එයාල අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නෙ. එයාල දැන් ඇති වෙන්න හම්බ කරගෙන ඉන්නෙ. ඒ කලු සල්ලි ටික සුදු කරගන්න තමා මේ තත්වෙ ඇති කලේ. ඊට පස්සෙ පුලුවන් උන්ට රට පනින්න. පහු ගිය මාස දෙකට විතරක් බිලියන ගානක් සල්ලි සුද්ද කරගෙන තියනවා. උන් උන්ඩියෙල්, හවාල ප්‍රමෝට් වෙන තැනට වැඩ කලා. උන්ට ඕනෙ කලේ ඒකයි. උන්ගෙ සල්ලි සුදු කරගන්න ගේම ගැහුවා. අපේ එවුන් ඒ ගැටේට අහු උනා. උන්ට ඩොලර් දීලා අපේ එවුන් උන්ගේ කලු සල්ලි ගත්තා..උන්ඩියෙල්,හවාලා දානව කියන්නෙම රාජපක්ශලට, ලන්සලට, දුමින්දලට, වෙලේ සුදාට රත්තරං කුට්ටි බන්දේසියක තියල දෙනවා හා සමානයි.

    ReplyDelete
    Replies
    1. රැලි හදනවනම් උන්ඩ්යල් නැතිව එවමු වගේ ගොං වැඩ නොකර චැනල් කාරයින්ට, ටියුෂන් කාරයන්ට බදු ගෙවපියව් කියල රැලි හදමු, තමුන් වැඩ කරන ඔෆිස් එකේ සිදුවන වංචා ගැන සාක්ෂ ඇතිව හෙළිදරව් කරමු.

      Delete
    2. ඔව්. උන්ඩියල් ක්‍රමයට හෝ බැංකු හරහා කවුරුවත් සල්ලි එවීමේ අනිවාර්යතාවයක් නැහැ. දැන් තියෙන ඔය ක්‍රමයත් දිගුකාලීනව කඩා වැටී අර්බුදයකට මග පාදන ක්‍රමයක්. නමුත් රජයේ වියදම් රටේ බදු වලින් පියවෙන එක අනිවාර්යයෙන්ම සිදු විය යුතු දෙයක්. ලංකාවේ සංස්කෘතියේ තියෙන ප්‍රශ්නයක් වන්නේ තමන්ට සමීප කෙනෙකුගේ වැරදි එළිදරවු කිරීමට හෝ මුහුණට කීමට තිබෙන පසුබට භාවයයි. බදු වංචාවක් හෝ වෙනත් වංචාවක් කළ විට (පාඩුව රජයටනම්) වංචාව කළ පුද්ගලයාට උදවු කරන්න බොහෝ අය ඉන්නවා. වැරැද්දක් බව දැන දැනම "අපේ එකා" නිසා වැරැද්ද වහගන්න උදවු කරනවා. හැමෝම අනෙක් අයව පොදුවේ විවේචනය කළත් තමන් හොඳින්ම දන්නා වරදකදී නිශ්චිත ලෙස ඇඟිල්ල දික්කරන්න සූදානම් නැහැ. රැල්ලක් අවශ්‍ය වන්නේ මේ සංස්කෘතිය වෙනස් කිරීමටයි.

      Delete
    3. මෙන්න මේ ඉකොනො කියන කාරනාව තමයි මම එදා ඉඳන්ම කියන්නෙ. තමන් දන්න එකාගෙ හොර වහන්න වලිකන උන් අනුන්ට චෝදනා කරනව ඔක්කොම යාලුවො කියල. ලන්කාවෙ තුන් සින්හලේම නෑදෑයො, අයීයා මල්ලි සන්ස්කෘතිය තියෙනකම් හොරු අල්ලන පොරොන්දු සීරියස්ලි විශ්වාස කරන හරක් ලන්කාවෙ ඉන්නෙ.

      Delete
  4. හරි..මම ඩොලර් එවන්නම් උඹ කියන විධියට. ඒ සඳහා මට ලැබෙන ප්‍රතිලාභයක් ලෙස වෛදවෛද්‍යවරුන්ට සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට, හමුදාවට,පොලීසියට වාහන ගෙන්වීම/බලපත්‍ර ලබා දීම වහාම අහෝසි කල යුතුයි.
    තවද, මැද පෙරදිග වැඩ කරන ගෘහ සේවිකා, පෙදරේරු, කම්කරු ආදී යටම ආර්ථික තලයේ සිටින අයට දැඩි නීති යටතේ වාහන ආනයන බලපත්‍ර ලබා දිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. මෙහෙම කරනවනම් සලකා බලන්න පුලුවන්. අපිට බලපත්‍ර නොදුන්නත් අනිත් කාලකන්නින්ට පර්මිට් දෙන්න බෑ අපේ සල්ලි වලින්

      Delete
    2. හරියට හරි.

      Delete
  5. රටේ අර්බුධය දරුණුවටම යනවනෙ. මේකට කට්ටිය එක එක හේතු කියනව. දූශණය නාස්තිය නිසා මේක වෙනව කියල පටන් ගතපු හේතු, දැන් වෙද්දි ඉතාම විහිළු සහගත ලෙවල් එකේ හේතු දක්වා පරිනාමය වෙලා තියනව. නිකන් ඉන්න රාජ්‍ය සේවකයන්ගෙ ඉඳල, මිනිස්සුන්ට ගෑස් දාන ගුවන් සේවිකාවො, ටොෆි කොල පාරෙ දාන උන්, පාරෙ කෙල ගහන උන් දක්වා වරදකාරයො ගොඩයි. කාටත් අනුව තමන්ගෙ අවුලක් නැති අතර, අනිත් මිනිස්සුන්ගෙ නරක නිසා රටට කෙලවී ඇත...

    මේත් එක්කම ප්‍රශ්නෙට විසඳුම් එහෙමත් වැඩිය හිතන්නෙ නැතුව ඔටෝමැටිකලිම ලැබිල තියනව. IMF යන්න, ඒකෙන් කියන විසඳුම් හරියට ක්‍රියාත්මක කරන්න, රටේ ආර්ථිකය නිකන්ම හරි පාරට එයි කියල කවුරුත් නිල නොවන එකඟතාවක ඉන්නව වගේ.

    ඇත්තටම මොකක්ද දැන් තියන අර්බුධය?

    දැන් තියන ප්‍රශ්නෙ විදේශ විනිමය ප්‍රශ්ණයක් කියන එක පැහැදිලියිනෙ, ඒ කියන්නෙ ඩොලර් හිඟයක්. රටේ මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය දේවල් ගේන්නවත් ඩොලර් නෑ. රටට ඩොලර් ලැබෙන්නෙ අපේ නිශ්පාදන සහ සේවා අපනයනය කරල, අපේ ආනයන වලට අපිට ගෙවන්න වෙන්නෙ ඩොලර් වලින්. සාමාන්‍යයෙන් අපේ වසරක ආනයන, අපනයන වලට වඩා $ බිලියන ගානක් වැඩියි සහ මේක පියවන්නෙ විදේශ ණය වලින්. මේ ආණ්ඩුවෙ මරිමෝඩ තීරණ නිසා ණය අරගෙනවත් මේක පියවන්න බැරි තැනකට කඩාගෙන වැටුනත්, ප්‍රශ්නෙ රූට්ස් දශක ගානක් ඈතට යනව කියන එක පැහැදිලියි.

    එතකොට ආන්ඩුවෙ අය වැය පරතරය? අකාර්යක්ශම රාජ්‍ය සේවය? සල්ලි අච්චු ගහන එක? මේව ප්‍රශ්න නෙවෙයිද?

    තියන ඩොලර් අර්බුදයට අමතරව, රජයේ වියදම, ආදායමට වඩා වැඩියි. මේක පහුගිය කාලෙ කරපු ටැක්ස් කට් වලින් තව දුරටත් වැඩි උනා, දිගටම සල්ලි අච්චු ගහන්න වෙන එකේ මුල තියෙන්නෙ මෙතන. මේක රුපියල අවප්‍රමාන වෙන්න උදව් උනත්, ඩොලර් හිඟයට කෙලින්ම සම්බන්ධයක් නෑ (මට තේරෙන විදියට). ඒ නිසා මේව ආර්ථිකයට ප්‍රශ්ණ උනාට, කෙලින්ම දැන් තියන අර්බුධයට සම්බන්ධ නෑ.

    IMF උත්තරයද?

    දැන් IMF එකේ තියන යෝජනා බලමු. මේව ෆෝකස් වෙලා තියෙන්නෙ, රාජ්‍ය ආදායම/වියදම අතර තියන වෙනස අඩු කරගන්න. උදාහරණ විදියට, රාජ්‍ය ආදායම වැඩි කරගන්න සහ වියදම් අඩු කරන යෝජනා තමයි තියෙන්නෙ. මේකෙන් ඩොලර් ප්‍රශ්නෙ විසඳෙන්නෙ කොහොමද කියල මටනම් තේරෙන්නෙ නෑ (දන්න එකෙක් ඉන්නවනම් කියන්න ). ආනයන/ අපනයන අතර වෙනස අඩුකරගන්න යෝජනා මුකුත් නෑ. රුපියලේ අගය මාකට් එකෙන් තීරණය වෙන්න දෙන්න කියන එක තමයි, වක්‍රාකාරව හරි ආනයන වලට බලපාන්නෙ. ඒත් මේක අපේ අපනයන වලට අදාල, අමුද්‍රව්‍ය ආනයන වලටත් බලපාන නිසා වැඩේ සිම්පල් නෑ.

    ආසන්නම IMF උදාහරණය ගත්තොත්, අපි 2016 ඉඳල 2019 අග වෙනකන් IMF ප්‍රොග්‍රෑම් එකකට වැඩ කරා. මෙතනදි ඒ යෝජනා ක්‍රියාත්මක කරල තියෙද්දිත්, ආනයන/ අපනයන පරතරය වැඩි උනා, ඒ නිසා ඩොලර් අර්බුධය වැඩි උනා.

    IMF යන එකෙන්, අපේ රටේ ආර්ථිකය සහ ණය ගෙවීමේ හැකියාව ගැන තියන විස්වාසය වැඩි වෙන නිසා, අපිට ණය ගන්න එක මීට වඩා ලේසිකර ගන්න පුළුවන්. ඒත් මේ ආනයන අපනයන අතර පරතරය කියන ප්‍රශ්නෙට උත්තරයක් නැත්නම්, ආයෙ කැරකිලා, මීටත් වඩා අමාරු තත්වයකදි, මෙතනම තමයි නතර වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නෙ මුල ගැන කවුරුත් වැඩිය කතා නොකරන නිසා සහ IMF යන එක මැජික් සොලුශන් එකක් වගේ පේන නිසා මේක ලිව්වෙ.

      පාරෙ ටොෆි කොල දාන, විනය නැති මිනිස්සුන්ගෙ අවුල නිසා, අපි වගේ උත්සාහවන්ත මිනිස්සුන්ටත් කෙලවෙලා කියල හිතාගෙන ඉන්න අයටනම් ඉතින්, ආයෙත් ගෝඨෙක් හරි වෙන මොකක් හරි නමක් තියෙන තවත් එක් පොර ටොක් කාරයෙක් ගෙනත්, මේ සයිකල් එකම රිපීට් කර කර ඉන්න පුළුවන්.

      Delete
    2. //මේව ෆෝකස් වෙලා තියෙන්නෙ, රාජ්‍ය ආදායම/වියදම අතර තියන වෙනස අඩු කරගන්න. උදාහරණ විදියට, රාජ්‍ය ආදායම වැඩි කරගන්න සහ වියදම් අඩු කරන යෝජනා තමයි තියෙන්නෙ. මේකෙන් ඩොලර් ප්‍රශ්නෙ විසඳෙන්නෙ කොහොමද කියල මටනම් තේරෙන්නෙ නෑ (දන්න එකෙක් ඉන්නවනම් කියන්න ).//

      පරණ ලිපි කියවන්න. ලිපි ගණනක විස්තරාත්මක ලෙස පැහැදිලි කරලා ලියලා තියෙනවා. මාස ගණනක් ඉගෙන ගත යුතු විෂය කරුණු පේලි දෙකකින් විස්තර කරන්න බැහැ. නමුත් හැකි තරම් කෙටි පිළිතුරක් දෙන්නම්.

      ඩොලර් හිඟයට මූලික හේතුව රාජ්‍ය ආදායම/වියදම අතර පරතරය. අයවැය පරතරයක් ඇති විට එය පියවීමට ණය ගන්න වෙනවා. විදේශ ණය ගත් විට රටේ ඩොලර් සැපයුම ඉහළ යනවා. එවිට (එම ඩොලර් සංචිත වලට එකතු කර නොගත්තොත්) ඩොලරයේ මිල පහළ යනවා. ආනයන ලාබ වෙනවා. අපනයන සාපේක්ෂව මිල අධික වෙනවා. ආනයන වැඩි වී අපනයන අඩු වෙනවා. ඔබට "සාමාන්‍යයෙන් අපේ වසරක ආනයන, අපනයන වලට වඩා $ බිලියන ගානක් වැඩියි සහ මේක පියවන්නෙ විදේශ ණය වලින්" වගේ පෙනුනත් ඕක වෙන්නේ අනෙක් පැත්තට. විදේශ ණය අරගෙන රාජ්‍ය ආදායම/වියදම අතර පරතරය පියවන නිසාම තමයි ආනයන, අපනයන වලට වඩා $ බිලියන ගානක් වැඩි වී තියෙන්නේ.

      අයවැය පරතරය පියවීමට විදේශ ණය නොගෙන දේශීය (බැංකු නොවන) ණය ගනිද්දී පොලී අනුපාතික ඉහළ යනවා. රටට ඩොලර් ආකර්ශනය වෙනවා. කලින් වගේම එම ඩොලර් සංචිත වලට එකතු කර නොගත්තොත් ඩොලරයේ මිල පහළ යනවා. අවසාන වශයෙන් ඉහත පරිදිම ආනයන, අපනයන වලට වඩා වැඩි වෙනවා.

      බැංකු අංශයෙන් ණය ගත්තොත්, එහෙමත් නැත්නම් සල්ලි අච්චු ගැහුවොත්, උද්ධමනය වැඩි වෙනවා. එවිට අපනයන වල නිෂ්පාදන වියදම ඉහළ ගොස් මිල ඉහළ යනවා. එයට අනුරූප ලෙස ඩොලරයේ මිල ඉහළ නොදැම්මොත් අපනයන අඩු වී ආනයන, අපනයන වලට වඩා වැඩි වෙනවා.

      රාජ්‍ය ආදායම/වියදම අතර තියන වෙනස අඩු කරගත් විට ඔය තුන් ක්‍රමයෙන්ම ආනයන අපනයන පරතරය අඩුවෙනවා.

      Delete
    3. දැන් තියෙන තත්වය අනුව රාජ්‍ය ආදායම වියදම් පරතරේ නැති කරන්නෙ කොහොමද?

      Delete
    4. එය දේශපාලනික තීරණයක්. මනා රාජ්‍ය මූල්‍ය කලමනාකරණයක් ඇති රජයක් සෑම වසරකම බදු ආදායමෙන් කොටසක් අරමුදලකට බැර කර ඉතිරි කරනවා. එම ඉතිරි කිරීම් ආයෝජනය කර ආදායම් උපයනවා. යම් බාහිර හේතුවක් නිසා අයවැය හිඟයක් ඇති වූ විට එම අරමුදලෙන් මුදල් ගෙන හිඟය පියවා ගන්නවා. ඇමරිකාවේ ප්‍රාන්ත රජයයන්, සිංගප්පූරුව වැනි තැන් වල සිදු වන්නේ එයයි. එවැනි ඉතිරි කිරීම් නැති, හැමදාම ආදායම ඉක්මවා වියදම් කරන රජයකට මෙවැනි අවස්ථා වලදී සාමාන්‍යයෙන් කරන්න සිදුවන දේවල් වන්නේ බදු වැඩි කිරීම, ප්‍රාග්ධන වියදම් කපා හැරීම, රාජ්‍ය සේවක වැටුප් වලින් කොටසක් කපා හැරීම, රාජ්‍ය සේවකයින් අඩු කිරීම, රාජ්‍ය දේපොළ විකිණීම, සුබසාධන වියදම් කපා දැමීම ආදියයි.

      Delete
    5. //ආසන්නම IMF උදාහරණය ගත්තොත්, අපි 2016 ඉඳල 2019 අග වෙනකන් IMF ප්‍රොග්‍රෑම් එකකට වැඩ කරා. මෙතනදි ඒ යෝජනා ක්‍රියාත්මක කරල තියෙද්දිත්, ආනයන/ අපනයන පරතරය වැඩි උනා, ඒ නිසා ඩොලර් අර්බුධය වැඩි උනා.//

      බොරු ප්‍රකාශයක්නේ. 2016 ආනයන/ අපනයන පරතරය ඩොලර් බිලියන 8.873ක්. 2019දී ඩොලර් බිලියන 7.997යි. ඔය කාලයේ ඩොලර් අර්බුදයක් තිබුණේත් නැහැ. කොහොමටත් IMF ප්‍රොග්‍රෑම් එකකින් හැම විටම ආනයන අපනයන පරතරය අඩු කරන්නේ නැහැ. සමස්තයක් ලෙස ගෙවුම් ශේෂ හිඟය අඩු කරන එකයි කරන්නේ. ඒ වගේම, IMF ප්‍රොග්‍රෑම් එක පොරොන්දු වූ පරිදි හරියට ක්‍රියාත්මක කළේත් නැහැ. ලංකාව විසින් IMF ප්‍රොග්‍රෑම් ගණනාවක්ම "යාන්තම් සනීප වූ පසු" අතහැර දමනු ලැබ තිබෙනවා.

      Delete
    6. යහපාලන කාලෙ ණය වාරික නොසලක හැරියොත් ගෙවුම් ශේශය්ක් තිබුනබව ඔබ කිව්ව.
      රනිල්ගෙ 2001 ආන්ඩුව කාලෙ නය වාරිකත් ඇතුලුව ගෙවුම් ශේශය්ක් තිබ්බද?

      Delete
    7. //යහපාලන කාලෙ ණය වාරික නොසලක හැරියොත් ගෙවුම් ශේශය්ක් තිබුනබව ඔබ කිව්ව.
      රනිල්ගෙ 2001 ආන්ඩුව කාලෙ නය වාරිකත් ඇතුලුව ගෙවුම් ශේශය්ක් තිබ්බද?//

      ඔබ ගෙවුම් ශේෂයක් කියන එකෙන් අදහස් කරන්න ඇත්තේ ගෙවුම් ශේෂ අතිරික්තයක් කියන එක ගැන වෙන්න ඇති. මම කිවුවේ ණය වාරික නොසලකා හැරියොත් කියා නෙමෙයි. ණය (බැරකම්) වෙනුවෙන් ගෙවිය යුතු පොලී (ප්‍රතිලාභ) පමණක් නොසලකා හැරියොත් කියලා. ණය වාරික නොසලකා හැරියොත් කොහොමටත් මේ කතාව වලංගුයි. මට දැන් ගණන් හරියටම මතක නැහැ. නමුත් මම හිතන්නේ මේ කතාව 2001-2003 කාලයටත් වලංගුයි.

      Delete
    8. ඔව්. අතිරික්තය තමයි.
      පරණ ණය වාරිකය ගෙවීම සඳහා විදේශ විනිමය ආදායම ප්‍රමාණවත් බවද අදහස් කලේ? පොලිය සඳහා අලුතෙන් ණය ගැනීමට සිදු උනා.

      Delete

    9. නිදහස ලබපු කාලයේ පටන්ම ලංකාව පරණ ණය වාරික හා පොලී වියදම් ගෙවන්නේ අලුත් ණය වලින්. යහපාලන කාලයේ කියලා එහි වෙනසක් වුනේ නැහැ. පරණ ණය වල වාරික පමණක් අලුත් ණය වලින් ගෙවනවානම් ණය වැඩි වෙන්නේ නැහැ. එහෙත් තිබෙන ණය වලට එකතු වන පොලී ගෙවන්න ණය ගැනීමේදී ණය ඉහළ යනවා. යහපාලන කාලයේ වුනේ එයයි. එම පොලී වියදම් නොතිබුණානම් යහපාලන කාලයේ විදේශ ණය වැඩි වෙන්නේ නැහැ. ඒ කාලයේ ලැබුණු හා වැය කළ ඩොලර් ප්‍රමාණයන් (ආසන්න වශයෙන්) ගැලපුනා. ඒකයි පරණ ලිපියෙන් කිවුවේ. 2001-2003 කාලයේ තිබුණෙත් එවැනි තත්ත්වයක්.

      Delete
  6. ඉකොනෝ,

    කරුනාකර පැහැදිලි කරන්න, විදේශ වලින් ණය ගැනීමේදී බැංකු ක්‍රමයෙන් තොරව ගුවන් යානා හෝ නැව් මගින් ඩොලර් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කල හැකිද ? සහ එසේ ගෙන්වන මුදල් රට තුල අච්චු ගසන මුදල් සමග මාරුකර නැවත විදේශ ගත කිසිමට හැකිද කියල ?

    එහෙම වෙනවනම් ඔබ ඔය කියන අර්බුදයේ ගැබුර සෙවීමට අතිවිශාල කාලයක් යනු ඇති.

    උගන්ඩාවට Printed paper ලෙස ටොන් 102 ශ්‍රී ලංකාවෙන් අපනයනය කරලා තියනවා මේ වා විදේශ මුදල් වියනොහකිද ?

    ReplyDelete
    Replies
    1. //විදේශ වලින් ණය ගැනීමේදී බැංකු ක්‍රමයෙන් තොරව ගුවන් යානා හෝ නැව් මගින් ඩොලර් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කල හැකිද ?//
      කරන්න බැරිකමක් නැහැ. එහෙත්, එසේ කර ඇති කිසිම අවස්ථාවක් ගැන මම දන්නේ නැහැ. විශාල ජාත්‍යන්තර ගනුදෙනු කිසිවක් මුදල් නෝට්ටු වලින් සිදු වෙන්නේ නැහැ (මත්ද්‍රව්‍ය වැනි නීති විරෝධී ගනුදෙනු හැර). ඒ නිසා, එසේ මුදල් නෝට්ටු ගෙන්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මෙවැන්නක් කිරීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ රටේ මුදල් ඒකකය සම්පූර්ණයෙන්ම අතහැර දේශීය ගනුදෙනු සඳහා විදේශ මුදල් ඒකකයක් භාවිතා කරන අවස්ථාවක් වැනි විශේෂ අවස්ථාවකදී පමණයි.

      //සහ එසේ ගෙන්වන මුදල් රට තුල අච්චු ගසන මුදල් සමග මාරුකර නැවත විදේශ ගත කිසිමට හැකිද කියල ?//

      රට තුළ අච්චු ගහන්නේ රුපියල්නේ. රුපියල් විදේශගත කිරීමේ ප්‍රයෝජනය කුමක්ද?

      Delete
    2. //උගන්ඩාවට Printed paper ලෙස ටොන් 102 ශ්‍රී ලංකාවෙන් අපනයනය කරලා තියනවා මේ වා විදේශ මුදල් වියනොහකිද ?//

      එය මට කිව නොහැකියි. ටොන් 102ක ඇමරිකන් ඩොලරයේ නෝට්ටු යනු ඩොලර් මිලියන 102ක්. ඇමරිකන් ඩොලර් සීයේ නෝට්ටු යනු ඩොලර් බිලියන 10.2ක්.

      Delete
    3. ඉකොනෝ,

      මම කියන්නේ ඔවුන් රුපියල් විදෙෂගතකාලා කියල නෙමෙයි, මම කියන්නේ මෙසේ අච්චුහ්ගැසූ මුදල් විදේශ මුදල් වලට මාරුකළ බවයි ඉන්පසු ඔවුන් ට විදේශ ගත කරන්න පුළුවන් විදේශ මුදල් , රටේ ළමයින්ට විභාග ලියන්න කොළ නැති රටේ කඩදාසි ටොන් 102 උගන්ඩාවට යවන්නේ මොන අලගෙඩියක් ගන්නද ?

      Delete
    4. ඒ ගැන මට කිව නොහැකියි. "උගන්ඩාවට Printed paper ලෙස ටොන් 102 ශ්‍රී ලංකාවෙන් අපනයනය කරලා තියනවා"නම්, මේ තොරතුර දන්නා කෙනෙක් එය කළේ කවුද කියාත් දන්නවා ඇති නේද? කිසියම් මාධ්‍යකට පහසුවෙන්ම විමසීමක් කළ හැකිනේ. (හරි පිළිතුරක් නොදුන්නත් මොකක් හරි පිළිතුරක් දෙයිනේ.)

      Delete
  7. මහා බැංකුවේ අදිපතිතුමා සල්ලි අච්චු ගහන්නේ නැල්ලු නේද. මුදල් ඇමතිතුමා නැතුව සල්ලි අච්චු ගහන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. මහ බැංකුව කොහොමටත් නිශ්චිත සැලසුමකට සල්ලි අච්චු ගහනවා. සාමාන්‍යයෙන් එම සැලසුම පෙර වසර අවසානයේදී හදනවා. පසුව වරින් වර සංශෝධනය විය හැකියි. අනුමත සැලසුම ක්‍රියාත්මක කිරීමට මහ බැංකු අධිපති හෝ මුදල් අමාත්‍යංශ ලේකම් අවශ්‍ය වන්නේ නැහැ. එය නිලධාරී මට්ටමේදී සිදුවන වැඩක්. ලෝකයේ වෙන මහ බැංකුවක වුනත් එය සිදු වන්නේ එලෙසයි.

      Delete
  8. ඇත්තටම ඔය උගන්ඩා කතාව ඇත්තක් වෙන්න පුළුවන්ද.
    මට හිතෙන විදියට නම් මේක ජන අරගලයට අරමුනක් හදලා දෙන්න කරන වැඩක්.
    අරමුනක් නැතු වුනොත් අරගලය ටික දවසකින් බැහැලා යනවා.

    රත්තරන් වගේ දෙයක් පිට රටකට ගෙනිච්චා කිව්වොත් නම් පිලිගන්න පුළුවන්.
    ඒත් ඩොලර් කොල?

    අනිත් අතට ඔය චෝදනා ගේන අය ගැනත් සැලකිය යුතුයි. සුදන්තක සිංහල කතෝලිකයෙක්.


    ReplyDelete
    Replies
    1. මේ වගේ දෙයක් ගැන මට ඔව් හෝ නැහැ කියා නිශ්චිත පිළිතුරක් දෙන්න පුළුවන්කමක් නැහැ. දැනට කියන දේවල් අනුවනම් මම මේ කතාවට එතරම් බරක් තියන්නේ නැහැ.

      Delete
  9. Econo

    A small policy change can do lot of things in a country.When do a economic analysis I see that the education is the most beneficial cost of country.The world is unbounded and free to gain lot of economic benefits to country, but here is so many barriers to make curriculums and carrier paths. In Sri Lanka have high tallent human resources, but doctors opposed to give use the medical equipment to nonmedical trainers.The other fields also have such barriers. Further our tallent workforce are using very old technologies and equipment that are not used in other countries for trainings. The main reason for that trainers don't know how to use modern equipment. Many carrier paths to money within Sri Lanka if we think more. Why we not improve the fields such as p aramedical pharmacists, tourist guides etc.

    s

    ReplyDelete
  10. බලං හිටියට ඉකොනෝ
    අපිට නැහැනේ බකුනෝ
    ආවොතින් අද මකුතෝ
    අපිට වෙන්නේ හුකනෝ

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...