වෙබ් ලිපිනය:

Wednesday, April 6, 2022

සල්ලි පන්නන්නේ කටුනායකින්ද?


දිගට ඇදෙන අරගලය තුළ අරගලකරුවන් පාරට බැස ඉල්ලා සිටින්නේ කුමක්ද කියන එක වෙනම ලිපියකින් කතා කළ යුතු පුළුල් කරුණක්. අරගලය තවමත් ඉදිරියට ඇදෙනවා. එය මෙතෙක් අල නොවීමට ප්‍රධාන හේතුව සාපේක්ෂ සාමකාමීත්වයයි. එක පැත්තකින් නෙමෙයි දෙපැත්තෙන්ම. මුලින්ම ප්‍රචණ්ඩකාරී වන පාර්ශ්වයේ අවාසියට අවසානය තීන්දු වන බව දෙපාර්ශ්වය විසින්ම නිවැරදිව අවබෝධ කර ගෙන ඉන්නවා. 

මෙහිදී ආණ්ඩුව සතු මර්දනය මුදා හැරීමේ හැකියාව දෙපැත්තකින් සීමා වී තිබෙනවා. එක පැත්තකින් ලෝකය, විශේෂයෙන්ම බටහිර රටවල්, ආණ්ඩුව දෙස බලා ඉන්නවා. මෙහිදී ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ පරණ වාර්තා නරක ලෙස බලපා තිබෙනවා. අනෙක් පැත්තෙන් පාලන යාන්ත්‍රණයක් නැතිව යන රැල්ලේ වේගයට මර්දනය ඉක්මන් කිරීම කියන්නේ ආණ්ඩුව විසින් වචනාර්ථයෙන්ම සිය දිවි නසා ගැනීමක් වෙන්න පුළුවන්.

අරගලය තුළ දේශපාලන නායකත්වයක් නැත්තේම නැහැ. එය සියුම් ලෙස ක්‍රියාත්මක වන බවකුයි පෙනෙන්නේ. ජීවිත හා දේපොළ හානි සිදුවන තැනකට අරගලය පීලි පැන්නොත් ඒ වහාම ජනමතය මෙන්ම අරගලකරුවන්ද දෙපිල බෙදී ආණ්ඩුවට අරගලය පාලනය කිරීම සඳහා අවකාශයක් විවෘත වෙනවා. 

මේ අරගලයේ වූ සාධනීයම දෙය එයට දේශපාලන නායකත්වයක් නොතිබීමයි. එමෙන්ම, අවසාන වශයෙන් සිදු විය හැකි නරකම දෙය එයට දේශපාලන නායකත්වයක් ලැබීමයි. අවශ්‍ය වන්නේ අරගලකරුවන්ගේ ඉල්ලීම් සඳහා දේශපාලන නියෝජනයක් මිසක් ඔවුන්ව ඉස්සරහට දමා තමන්ගේ අරමුණු ඉටු කර ගන්නට උත්සාහ කරන දේශපාලන නායකත්වයක් නෙමෙයි. එහෙත්, ස්වාධීන ජනමතය කණ්ඩායමකගේ සැලසුම්සහගත මතයට යටපත් වීමේ අවදානම හැම විටම තිබෙන දෙයක්. 

අරගලකරුවන්ගේ ඉල්ලීම් පරිණාමය වන කිසියම් රටාවක් තිබෙනවා. මේ වන විට "අපේ සල්ලි අපිට දීලා යන්න" කියන එක ප්‍රමුඛ සටන් පාඨයක් වෙලා. ඇතැම් අය සල්ලි බෑග් වල දාගෙන රටින් පනින්න හදන අය අල්ල ගන්න කටුනායක පාරේ රැකවල් දාගෙන ඉන්නවා. ඒ ගොඩක් අය එය කරන්නේ අවංකව හා කැපවීමෙන්. හැබැයි සල්ලි පන්නන්න අවශ්‍ය අය සල්ලි රටින් පන්නන්නේ මේ දවස් වල විකාශනය වන "පාර වසා ඇත" ටෙලිනාට්‍යයේ ක්‍රමයට නෙමෙයි!

මෙයටම සම්බන්ධ තවත් කරුණක් ලෙස ඇතැම් අය උන්ඩියල් ක්‍රමයට සල්ලි එවන්න එපා කියලා විදේශගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිනවා. මේ දෙක අතර සම්බන්ධය මම පැහැදිලි කරන්නම්.

පසුගිය දෙවසර තුළ විශාල වශයෙන් සල්ලි අච්චු ගැසූ බව මේ වෙද්දී කවුරුත් දන්නා කරුණක්. 2020 වසර ආරම්භ වන විට රටේ සාමාන්‍ය ජනතාව අතේ සංසරණය වූ මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 494,208ක්. 2021 අවසාන වන විට මෙම ප්‍රමාණය රුපියල් මිලියන 784,441ක්. දෙවසරක් තුළ රුපියල් මිලියන 290,233ක වැඩිවීමක්. 

මම මේ කතා කරන්නේ මුදල් සැපයුම ගැන නෙමෙයි. මුදල් සැපයුමට අයත් වන්නේ කාසි හා නෝට්ටු පමණක් නොවන බව කලින් ලිපි වල විස්තරාත්මකව පැහැදිලි කර තිබෙනවා. මේ කතා කරන්නේ කෙළින්ම මුදල් නෝට්ටු ගැන. මුළුමනින්ම වගේ රුපියල් 5000 නෝට්ටු ගැන. කාසි හා පොඩි නෝට්ටු ප්‍රමාණයේ විශාල වෙනසක් වී නැහැ. 

ඒ වගේම මේ ගණන් වලට බැංකු වල තිබෙන සල්ලි හෝ රජය සතු සල්ලි ඇතුළත් නැහැ. මේ කියන්නේ ගෙවල් වල සහ මුදලින් ගනුදෙනු කරන බැංකු නොවන ව්‍යාපාරික ආයතන වල තිබෙන මුදල් නෝට්ටු ප්‍රමාණය ගැන. පසුගිය මාස තුන තුළ ඔය ප්‍රමාණය තවත් වැඩි වෙලා ඇති. 

දෙවසරක වැඩිවීම රුපියල් බිලියන 300ක් කියා ගනිමු. ලංකාවේ නිවාස ඒකක ගණන මිලියන 5ක් වගේනේ. ඒ කියන්නේ, සාමාන්‍ය වශයෙන් එක ගෙදරක මේ වන විට 2020 මුලදී තිබුණාට වඩා රුපියල් 60,000ක් තියෙන්න ඕනෑ. බැංකු වල නෙමෙයි. අතේ. ලංකාවේ ගෙවල් කීයකට මේ කතාව වලංගුද? 

මුදල් නෝට්ටු වලින්ම තමන්ගේ වත්කම් තියාගෙන ඉන්න යම් පිරිසක් ඉන්නවා. මෙය ලංකාවේ පමණක් සිදුවන දෙයක් නෙමෙයි. ගොඩක් වෙලාවට මේ විදිහට මුදල් නෝට්ටු වලින්ම තියා ගන්නේ ඉපැයූ විදිහක් පෙන්නන්න බැරි වත්කම්. කාලයකට පෙර කෝටි තිස් ගණනක මුදල් නෝට්ටු දමා මැසූ මෙට්ටයක් ගැන කතාවක් අහපු අය ඇතිනේ. 

දැන් අපි උන්ඩියල් වලට එමු. පෙනෙන විදිහට මේ වෙද්දී උන්ඩියල් කරුවෝ ඩොලරයට රුපියල් 450 දක්වා විශාල මුදල් ගෙවනවා. බැංකු වලද ඩොලරයක මිල වේගයෙන් ඉහළ යනවා තමයි. අද වන විට ඩොලරයක් රුපියල් 320 දක්වා ඉහළ ගිහින්. එහෙත් උන්ඩියල් මිල ඊට වඩා ගොඩක් වැඩියි.

උන්ඩියල් වෙළඳපොළ කියා කියන්නෙත් නිදහස් වෙළඳපොළක්. සාමාන්‍යයෙන් උන්ඩියල් හරහා ආවත් ඒ මුදල් රටට එනවා. නිල සංඛ්‍යාලේඛණ වල නැති එක විතරයි වෙනස. නමුත්, මේ වෙලාවේ තියෙන්නේ ඊට වඩා වෙනස් තත්ත්වයක්. එහෙම නැත්නම් උන්ඩියල් මිල සහ බැංකු වල මිල අතර මේ තරම් විශාල පරතරයක් හැදෙන්නේ නැහැ. 

උන්ඩියල් වෙළඳපොළ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? උදාහරණයක් ලෙස මම ඇමරිකාවේ උන්ඩියල් කරුවෙකුට ඩොලර් 100ක් දෙනවා. ලංකාවේ ඔහුගේ නියෝජිතයෙක් ඩොලරයට රුපියල් 400 බැගින් ගණන් හදා අපේ ගෙදරට රුපියල් 40,000ක් දෙනවා. ඕකනේ වෙන්නේ. 

දැන් ඔය වැඩේ දිගටම වෙද්දී දිගින් දිගටම රුපියල් වලින් ගෙවන්න ලංකාවේ නියෝජිතයාට සල්ලි කොහෙන්ද? ඒ සල්ලි කොහෙන් හරි ලැබෙන්න ඕනෑනේ. සාමාන්‍ය තත්ත්වය යටතේනම් වෙන්නේ ඔහු අනෙක් පැත්තට රුපියල් 410 බැගින් අර ඩොලර් ටික විකුණන එක. එවිට ඔහුට රුපියල් 41,000ක් අතට ලැබෙනවා. ඔහුගේ නියෝජිතයා අනෙක් පැත්තෙන් ඩොලර් ටික අවශ්‍ය තැනට යවනවා. ඩොලර් 100 ලංකාවට ආවේ නැතත් ඇවිත් ආපහු ගියා වගේම වැඩක් තමයි වෙන්නේ. බැංකු ක්‍රමය ඇතුළේ වෙන්නෙත් ඕකම තමයි. වෙනස සමතුලිත මිල පොඩ්ඩක් උඩින් තියෙන එක පමණයි. 

නමුත් ලංකාවේ කිසියම් පිරිසකට විශාල කළු සල්ලි ප්‍රමාණයක් ඉතා ඉක්මණින් ඩොලර් කර රටින් පන්නන්න අවශ්‍ය වූ විට ඉහත තත්ත්වය වෙනස් වෙන්නේ කොහොමද? 

දැන් මේ කොණේ රුපියල් ප්‍රශ්නයක් නැහැ. අනෙක් කොණෙන් ඩොලර් ලැබෙනවානම් ඒ වෙනුවෙන් ගෙවන්න රුපියල් නෝට්ටු ඕනෑ තරම් මේ කොණේ තිබෙනවා. ඒ නිසා, උන්ඩියල්කරුවන්ට ඩොලර් අනෙක් අතට ලංකාවේ කාට හරි විකුණන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගන්න පුළුවන් හැම ඩොලරයක්ම නොවටිනා ගානක්‌ දීලා හරි ගන්න බලාගෙන මේ කොණේ පිරිසක් ඉන්නවා. 

ඩොලරයක උන්ඩියල් මිල රුපියල් 450-500 දක්වා ගිහින්නම් එයින් පෙනෙන්නේ යම් පිරිසක් තමන්ගේ රුපියල් ඩොලර් කර හැකි ඉක්මණින් රටින් පන්නා ගැනීමට පිස්සුවෙන් මෙන් දඟලන බවයි. තව දවසක් දෙකක් යද්දී මෙවැනි අයෙක් ඩොලරයකට රුපියල් දාහක් දෙදාහක් වුනත් ගෙවන්න සූදානම් වෙන්න පුළුවන්. මොකද රුපියල් වලින් තිබෙන කළු සල්ලි නැති වීමේ අවදානම හමුවේ කීයක් දී හෝ මිල දී ගන්න ඩොලර් එක වටින නිසා.

මේ වැඩේ මෙවැනි ගෙවුම් ශේෂ අර්බුද ඇති වුනු වෙනත් රටවලත් වුනු දෙයක්. අන්තිමට IMF එකෙන් ලැබුණු සල්ලි පවා ඔය ක්‍රමයට රටින් එළියට ගිය අවස්ථා තිබෙනවා. නිදහස් ගනුදෙනු කියන්නේ නරක දෙයක් නෙමෙයි. එහෙත් සදාචාරාත්මක ගනුදෙනු කියා ජාතියකුත් තියෙනවා. මගේ ඇස් පනාපිට අල්ලපු වත්තට පැන හොරකම් කරන බඩුවක් අඩුවට ලැබුනා කියලා එය ගන්න එක හරිද? 

මෙතැන ප්‍රශ්නය හොර ගනුදෙනු වුනත් නිදහස් ගනුදෙනු නිසා මේවා පාලනය කරන්න අමාරු වීමයි. සමහර විට පුළුල් ජනතා ක්‍රියාකාරිත්වයක් මේ වැඩේට උදවුවක් වෙන්න පුළුවන්. කවුරු හරි රුපියල් 450ක් ගෙවා ඩොලර් ගන්නවානම් ඒ ගන්නේ මොකටද? ඒ වෙනුවෙන් රුපියල් හොයාගත්තේ මොන විදිහටද? මේවා නීතිය ක්‍රියාත්මක කරන අයගේ සහ ජනතා ක්‍රියාකාරිකයන්ගේ වපසරියට අයිති දේවල්.

Tuesday, April 5, 2022

අලුත් මහ බැංකු අධිපති රට ගොඩදායිද?


මේ මොහොත වන විටද පොදුජන අරගලය ව්‍යාප්ත වෙමින් තිබෙනවා. එහි අවසානය කුමක් වෙයිද කියන එක අනාගතයට භාර දෙයක්. මේ මොහොත වන තුරුනම් අරගලය ව්‍යාප්ත වන්නේ සාධනීය ආකාරයකින්. 

අරගලයයේ සාර්ථකත්වය පසුපස මූලික හේතු දෙකක් තිබෙනවා. පළමු හේතුව, අරගලකරුවන්ගේ සාමූහිකත්වයයි. දෙවැන්න සාපේක්ෂව ප්‍රචණ්ඩකාරී නොවීමයි. මේ දෙකෙන් එකක් හෝ බිඳ නොවැටී පවත්වා ගත හැකි වන තුරු අරගලයට ඉදිරියට යා හැකියි. 

අප බොහෝ විට ආඩම්බරයෙන් කියන්නේ ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන්නේ ලංකාවේ බවයි. මේ ප්‍රකාශය පදනම් වන්නේ 1931 වසරේදී සිට ලංකාවේ සියළු වැඩිහිටියන්ට ඡන්ද බලය හිමිවීම මතයි. බොහෝ බටහිර රටවල මුලින්ම ඡන්ද බලය හිමි වුනේ ධනවත් සුදු පිරිමින්ටයි. ලංකාවේ වුවත් මුලින්ම ඡන්ද බලය හිමිවුණේ ප්‍රමාණවත් අධ්‍යාපනයක් හා වත්කම් තිබුණු අයට පමණයි.

බොහෝ බටහිර රටවල ධනවත් සුදු පිරිමින්ට ඡන්ද බලය, එනම් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය, ලැබෙන විට ඔවුන් අතර ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් ඇති වෙලා ඉවරයි. කාන්තාවන් හා සුළුතර කොටස් වලට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙන විට ඔවුන්ද යම් තරමකින් මේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායේ කොටස්කරුවන් වෙලා. 

ලංකාවට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙන විට රට ඇතුළේ මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් හැදී තිබුණේ නැහැ. ධුරාවලිගත සමාජ ව්‍යුහය ඇතුළේ එවැනි ඉඩක් තිබුණේත් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයක් පැවතිය හැක්කේ සමානයින් සිටින සමාජයකයි. බටහිර රටවල ප්‍රජාතන්ත්‍රවාදය මුලදී ධනවත් සුදු පිරිමින්ට සීමා වුනේ අනෙකුත් අය සමානයින් නොවූ නිසයි.

මේ අරගලයෙන් පෙනෙන්නේ මෙතෙක් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් මිස සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් නොතිබුණු ලංකාවේ පොදු ජනතාව වැඩවසම් ක්‍රමයෙන් මිදී ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් කරමින් සිටින බවයි. ව්‍යවස්ථාව අනුව ජනරජයක් වන ලංකාවේ පරමාධිපත්‍යය ජනතාව සතු වුවත් එයින් අදහස් වන්නේ කුමක්ද කියන එක මිනිස්සු තේරුම් ගනිමින් සිටින්නේ දැනුයි. 

ප්‍රශ්නයේ මුල ආර්ථික අර්බුදය වුවත් මේ වන විට එය දේශපාලන අර්බුදයක් බවට පත්ව තිබෙනවා. දේශපාලන අර්බුදයට මෙන්ම ආර්ථික අර්බුදයටද ක්ෂණික විසඳුම් අවශ්‍යයි. ආර්ථික අර්බුදය විසඳීම දේශපාලන අර්බුදය විසඳන තරම් පහසු නැහැ.

පොදුජන අරගලයේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට මුදල් ඇමති ධුරය මෙන්ම මහ බැංකු අධිපති ධුරයද පුරප්පාඩු වී තිබෙනවා. මේ තනතුරු පුරප්පාඩු කර තැබිය නොහැකියි. නමට හෝ කවුරුවත් නොසිටියොත් රටේ ඇතැම් වැදගත් කටයුතු කළ නොහැකිව අකර්මන්‍ය වීමේ අවදානමක් තිබෙනවා. 

අලුත් මුදල් ඇමති ලෙස පත් කෙරුණු අලි සබ්‍රි නීතිඥයෙකු මිස අදාළ විෂය ප්‍රවීණයෙක් නෙමෙයි. දැන් ඔහුත් ඉල්ලා අස් වෙලා. මේ වෙලාවේ කවුරු හෝ මේ තනතුර දැරිය යුතුයි. මේ අභියෝගාත්මක මොහොතේ මහ බැංකු අධිපති ධුරය භාර ගැනීමට සූදානම්ව සිටින ආචාර්ය නන්දලාල් වීරසිංහ ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති හා පළපුරුද්දක් ඇති අයෙක්. කෙසේ වුවත්, ඔහුගේ කාර්ය සාධනය තීරණය වන්නේ මහ බැංකුවට කොයි තරම් දුරට ස්වාධීන විය හැකිද යන්න මතයි. ඒ වගේම, ඔහුට හෝ වෙනත් අයෙකුට මහ බැංකුව භාරගෙන මැජික් පෙන්වන්න බැහැ.

ජන අරගලය අවසන් වෙද්දී ආණ්ඩුව මාරු වී හෝ ඒ සඳහා අත්තිවාරම් වැටී තිබෙන්න පුළුවන්. එහෙත්, එසේ වුනා කියා ආර්ථිකයේ අවදානම් පහව යන්නේ නැහැ. ඇත්ත කතා නොකර "අපිට කොරන්න පුළුවන්" කියා ආණ්ඩුව භාර ගන්න ඕනෑම පාර්ශ්වයකට වැඩි කලක් යන්න කලින් මෙවැනිම තත්ත්වයකට මුහුණ දෙන්න සිදු විය හැකියි. 

අද වන විට ප්‍රධාන බැංකු වල ඩොලරයක මිල රුපියල් 310 සීමාව දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය රුපියල් 300 මට්ටමේ රඳවා ගැනීමට මහ බැංකුව යම් උත්සාහයක් දැරුවත් ඉතා ඉක්මණින්ම එම අදහස අතහැර දමා ඇති බව පෙනෙනවා. දැන් පවතින වාතාවරණය තුළ ඩොලරය රුපියල් 300 මට්ටමේ ස්ථාවර කිරීමේ හැකියාවක් පෙනෙන්න නැහැ.

පවතින දේශපාලන වාතාවරණය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කෙරෙන සාකච්ඡා තවත් ප්‍රමාද විය හැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණය ප්‍රමාණය හා එය ලැබෙන දිනය ගැන එම අරමුදල විසින් නිශ්චිත ප්‍රකාශයක් සිදු කරන තෙක් ඩොලරය ස්ථාවර කර ගැනීමට ඉඩක් ලැබෙන එකක් නැහැ. ඒ අතරතුර ඩොලරයක මිල ඉතා පහසුවෙන්ම රුපියල් 400 සීමාව දක්වා යා හැකියි. 

රටේ ඩොලර් ප්‍රශ්න ගැන හිතන්න පෙර මහ බැංකුවට මහ බැංකුවේ ඩොලර් ප්‍රශ්නය ගැන හිතන්න වෙනවා. බැංකු වලට බැංකු වල ඩොලර් ප්‍රශ්න ගැන හිතන්න වෙනවා. මිල ඉහළ යාමට සමාන්තරව බැංකු අංශයේ ඩොලර් හිඟය අඩු වෙමින් තිබෙනවා. සමස්තයක් ලෙස ලංකාවේ වානිජ බැංකු විසින් නැති ඩොලර් විශාල ප්‍රමාණයක් විකුණා ඇති බව මම කලින්ම පැහැදිලි කර තිබෙන දෙයක්. දැන් ඩොලරයේ මිල ඉහළ යන වේගය අනුව බැංකු වලට තමන්ගේ පාඩු අවම කර ගැනීම සඳහා හැකි ඉක්මනින් මේ නැති ඩොලර් ප්‍රමාණය මිල දී ගෙන එකතු කර ගන්න සිදු වී තිබෙනවා. ඩොලරය ස්ථාවර වනු ඇත්තේ ඒ කටයුත්ත අහවර වීමෙන් පසුව පමණයි. 

නන්දලාල් වීරසිංහ කියන්නේ මේ වෙලාවේ මහ බැංකු අධිපති ධුරය සඳහා තිබෙන සීමිත තේරීම් අතරින් හොඳ තේරීමක්. ඔහු මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති දක්වා ධුර වල කාලයක් කටයුතු කර ඇති, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේද විධායක අධ්‍යක්ෂ්‍ය වරයෙකු ලෙස කටයුතු කර ඇති අයෙක්. ආර්ථිකයේ පවතින වත්මන් අස්ථාවර තත්ත්වය වසරක් තුළ ස්ථාවර කළ හැකි බවට ඔහු මෑතකදී විශ්වාසය පළ කළා. කෙසේ වුවද, එය කළ හැකි වනු ඇත්තේ අවශ්‍ය දේශපාලන සහයෝගය ලැබේනම් පමණයි.

Monday, April 4, 2022

කී බෝඩ් වීරයෝ දැන් මහපාරේ!


වියුණුවෙහි ලිපියක් පළ කරන්නේ සතියකට පසුවයි. පාඨකයින්ගේ පැත්තෙන් බැලුවොත් මෙය තරමක දිගු නිහැඬියාවක්.

පසුගිය සතිය ලංකාවට සාමාන්‍ය සතියක් නෙමෙයි. ලෝකයම ලංකාව දෙස බලා සිටින මේ වගේ විශේෂ අවස්ථාවක කාලය වැය කළ යුතුව තිබුණු හොඳම ආකාරය වෙනදා මෙන් ලිපියක් ලියා පළ කර පැත්තකට වී සිටීම නෙමෙයි. මම හිතන්නේ මේ වියුණුවෙහි පළ වන ලිපි සාමාන්‍යයෙන් කියවන පාඨකයින් බොහෝ දෙනෙකු හා අදාළව වුවත් මෙය මෙවැනි ලිපි කියවමින් කාලය නාස්ති කළ හැකි වෙලාවක් නෙමෙයි.

මා ජීවත් වන නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ද ඊයේ සවස විරෝධතාවකට එක් වුනා. ඒ බොහෝ දෙනෙකු දෙවසරකට පෙර ගෝඨාභයගේ ජය සැමරූ අය වීමද විශේෂත්වයක්. 

මේ වගේ විරෝධතා වලින් අවසාන වශයෙන් සිදු වන්නේ කුමක්ද කියන එක ප්‍රශ්නයක්. ප්‍රශ්නය ජාත්‍යන්තරීකරණය වීම අවදානම් දෙයක්. කෙසේ වුවත්, දැන් එය සිදු වී අවසානයි. 

විරෝධතා හරහා අත් කර ගත හැකි වාසිය කුමක්ද කියන එකත් එම වාසි වලට සාපේක්ෂව සිදුවන හානිය ප්‍රශ්නයක් නොවන්නේද යන්නත් ගැටළුවක්. එහෙත්, කොහොමටත් සිදු වීමට නියමිත හානිය හමුවේ මෙය නිරර්ථක තර්කයක්. 

මෙය නිදහසින් පසු ලංකාවේ දැකිය හැකි වූ පුළුල්ම මහජන නැගිටීමයි. ජවිපෙ කැරලි දෙකේදී මෙන්ම උතුරේ කැරැල්ලේදීත් මෙවැනි පුළුල් ජන සහභාගීත්වයක් දැකිය හැකි වූයේ නැහැ. මෙය සරල ආණ්ඩු විරෝධී කැරැල්ලක් නෙමෙයි. පුළුල් ක්‍රම විරෝධී කැරැල්ලක්. ඒ නිසාම, එහි දිශානතිය අවිනිශ්චිතයි. 

පැවති තත්ත්වය තුළ සජබ හා ජාජබ විසින් මෙහෙයවුණු විරෝධතාවන් සඳහාද විශාල ජන සහභාගිත්වයක් දැකිය හැකි වුනා. එම කණ්ඩායම් වලට පැහැදිලි දේශපාලන ඉලක්ක තිබුණා. එහෙත්, ආණ්ඩුව සමඟ ඉහත කණ්ඩායම් දෙකමද ප්‍රතික්ෂේප කරන විශාල පිරිසක්, විශේෂයෙන්ම තරුණ වයස් කාණ්ඩ අතර, දැකිය හැකියි. ඔවුන්ට පටු ඉලක්ක නැහැ. ඒ නිසා, ඔවුන් සමඟ ගේම් ගසා වැඩේ ගොඩ දාගන්න ලේසි නැහැ. මේ ගොඩක් අය තනි තනිව හිතා තමන්ගේ හෘද ශාක්ෂිය පසුපස යන අයයි.

ව්‍යතිරේඛ ගණනාවක් ඇතත්, පොදුවේ ලංකාවේ මෑතකාලීන දේශපාලනඥයා රටේ ජනතාවට වඩා උඩින් ජීවත් වූ අයෙක්. ධනවාදය සමඟ කිසිසේත්ම පටලවා ගත යුතු නැතත්, මේ තත්ත්වය මෙවැනි නරක අතකට හැරුණේ හැත්තෑ හතෙන් පසුවයි. 

හැත්තෑ හතට පෙරත් දේශපාලනඥයින් රටේ පොදු ජනතාවට වඩා ඉහළින් නොසිටියා නෙමෙයි. එහෙත් බොහෝ විට එය එසේ සිදු වුනේ කොහොමටත් පොදු ජනතාවට වඩා ඉහළින් සිටි ප්‍රභූන් දේශපාලනයට පැමිණීම නිසා මිසක් ඔවුන් දේශපාලනය හරහා පොරවල් හෝ සල්ලිකාරයින් වීම නිසා නෙමෙයි.

හැත්තෑ හතෙන් පස්සේ සිදු වුනේ කොහේවත් සිටි නිකමුන්ටත් දේශපාලනය හරහා පොරවල් වී මහජනතාවට ඉහළින් වැජඹිය හැකි තත්ත්වයක් ඇති වීමයි. 

මෙය යම් ආකාරයකින් එක්තරා අහම්බයක ප්‍රතිඵලයක්. සමගි පෙරමුණු ජාතික සමාජවාදී රජය විසින් ආනයන තහනම් කර, විණිමය අනුපාතය හිර කරගෙන, රට වසා ගෙන සංවෘත නිෂ්පාදන ආර්ථිකයක් හැදීමට දැරූ උත්සාහයත්, ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස දෙවසරක් වැඩියෙන් ආණ්ඩු කිරීමත් නිසා හැත්තෑ හතේදී එජාපයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ පොල් පිත්තකට වුවත් පාර්ලිමේන්තු යන්න අවස්ථාවක් ලැබුනා. ඒ ඇතැම් මන්ත්‍රීවරු තේරී පත් වුනේ ඊට පෙර තේරී පත්වුණු මහජන නියෝජිතයින්ට සාපේක්ෂව ධන බලයක්, ජන බලයක් තබා පෞරුෂයක් හෝ ලොකුවට තිබුණු නිසා නෙමෙයි.

මේ විදිහට ඉල්ලුවේ අලියා ලකුණෙන් වීම නිසාම විශාල පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් පිරිසක් තේරී පත් වෙද්දී මන්ත්‍රීවරුන්ගේ ස්වාධීනත්වය පක්ෂයට යට වී ගියා. ඒ ක්‍රමය තවත් වැඩි දියුණු වී මහජන නියෝජිතයින් සිග්නල් කණු බවට පත් වුනා. පුළුල් ප්‍රජාතන්ත්‍රවාදයක් කවදාවත් හරියට නොතිබුණු ලංකාවේ නමට හෝ තිබුණු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයත් අවසාන වශයෙන් නූතන වැඩවසම් ක්‍රමයක් බවට පත් වුනා. 

මෑතකාලීනව ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ලෙස පෙනෙන්නට තිබුණේ මැතිවරණ හරහා තමන්ගේ නියෝජිතයින්ව තෝරා ගැනීමට අවස්ථාවක් තිබීම පමණයි. ඊට පස්සේ සාමාන්‍ය ජනතාවට කිසිම හඬක් තිබුණේ නැහැ. මහජන නියෝජිතයෝ පොරවල්. අනෙක් මිනිස්සු කාණුවට බැසිය යුතුයි. 

සමාජ ජාලා පරම්පරාවේ තරුණ තරුණියන්ට මේ ක්‍රමය දිරවන්නේ නැහැ. "කී බෝඩ් වීරයෝ" කියන අවතක්සේරුව හරහා වහන්න හැදුවත්, ඒ විදිහට මතු වුනේ ලංකාවේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය. මේ පරම්පරාවට කවුරුවත් පොරවල් නෙමෙයි. ඒ වගේම, දැන් තියෙන තාක්ෂණයත් එක්ක දේශ සීමා හරහා ප්‍රාග්ධනය ගලා යාම වගේ දේවල් පාලනය කිරීම වුනත් විහිළු.

මේක හදිසියේ මතු වුනු ප්‍රවණතාවක් නෙමෙයි. "225ම එපා" සටන් පාඨය මතු වුනේ 2020 මැතිවරණ වලට කලින්. ඒත් පස්සේ ඒක යටපත් වුනා. ඇත්තටම ගෝඨාභය බලයට පත් වුනෙත් ඔය "225ම එපා" රැල්ල හරහා. දැන් "කී බෝඩ් වීරයෝ" මහ පාරට ඇවිත්. පොරවල් වෙලා හිටපු අයට කාණුවට බහින්න වෙලා. ගෙවල් අස්සේ හැංගෙන්න වෙලා. 

මේක ආණ්ඩුවට විතරක් නෙමෙයි. ඉදිරියේදී බලයට එන්න ඉන්න කාට වුනත් බරපතල සංඥාවක්. 

තව කතා කරන්න දේවල්නම් ගොඩක් තියෙනවා. නමුත් වෙලාවක් නැහැ. වෙලාව ලැබුණු විට තව මොනවා හරි ලියන්නම්!

Saturday, March 26, 2022

IMF වාර්තාව මොකක්ද?


මේ වන විට IMF වාර්තාවක් සංසරණය වෙනවා. මෙය IMF එකෙන් ණය ගැනීම සඳහා ඇති කරගත් ගිවිසුමක කෙටුම්පතක් නෙමෙයි. සාමාන්‍යයෙන් වසරකට වරක් සාමාජික රටවල ආර්ථිකය හා ආර්ථික ප්‍රතිපත්ති විශ්ලේෂණය කරලා IMF එක විසින් නිකුත් කරන උපදේශන වාර්තාව. මෙය රටේ ප්‍රශ්නයක් තිබුණත් නැතත් සාමාන්‍යයෙන් සිදු වන දෙයක්. ඒ වගේම, මෙය උපදේශනයක් මිසක් ගිවිසුමක් හෝ කොන්දේසි දැමීමක් නෙමෙයි. 

ණය ලබා ගැනීම සඳහා එකඟ වී ගිවිසුමක් ගහන එක මීට වඩා පුළුල් හා සංකීර්ණ වැඩක්. එහිදී IMF එක රටේ ආර්ථිකය ගැන මීට වඩා ගැඹුරු ලෙස අධ්‍යයනය කර වඩා පුළුල් හා නිශ්චිත ක්‍රියා මාර්ග යෝජනා කරනවා. එය වැඩි කාලයක් ගත වන වැඩක්. සර්ව පාක්ෂික සමුළුවේදී බැසිල් හා රනිල් අතර සිදු වූ සංවාදය අනුව මම හිතුවේ තිරයෙන් පසුපස යම් ක්‍රියාවලියක් සිදු වී ඇති බවයි. එහෙත්, දැන් පෙනෙන විදිහට ඒ කතාබහ සිදු වී තිබෙන්නේ මේ උපදේශන වාර්තාව සම්බන්ධව වගෙයි පෙනෙන්නේ. 

ඒ කියන්නේ IMF එකෙන් ණය ගන්න වැඩේ ඒ තරම්ම හදිසියෙන් වෙන්නේ නැහැ කියන එකයි. IMF ණය හදිසියේ එන්නේ නැහැ කියා කියන්නේ ඩොලරයක මිල ඉතා ඉක්මණින් ස්ථාවර වෙන්නෙත් නැහැ කියන එකයි. දැන් පේන විදිහට ඩොලරයක මිල රුපියල් 300 ඉක්මවන එක රජය හෝ මහ බැංකුව විසින් වලක්වන පාටක් නැහැ. ලබන සතියේ හරියටම බලමු. 

ඩොලරයක මිල ස්ථාවර වනු ඇත්තේ කවදා හෝ දවසක IMF එක සමඟ ඇති කර ගන්නා ගිවිසුම පිළිබඳව නිශ්චිත හා විස්තරාත්මක ප්‍රකාශයක්  කිරීමෙන් පසුව පමණයි. තවමත් රුපියල පාවෙන්නේ නැති බවත් එය යම් මාර්ගෝපදේශනයක් යටතේ අවප්‍රමාණය වෙමින් තිබෙනු පමණක් බවත් මතක තබා ගත යුතුයි. ඇතැම් විට මිල ඉහළ යාමට ඉඩ හැර මහ බැංකුව විසින් වෙළඳපොළෙන් සංචිත මිල දී ගනිමින් සිටිනවා විය හැකියි. එසේ වෙනවානම් එය සාධනීය දෙයක්.

රටේ කාගේ හරි අතේ සල්ලි නැති වුනාම තියෙන දෙයක් උගස් කරලා හරි ණයක් ගන්න වෙන්නේ බැංකුවකින්. බැංකු වලට මේ වැඩේම වුනාම ණයක් ගන්න වෙන්නේ මහ බැංකුවෙන්. මේ වෙද්දී මහ බැංකුවත් බංකොලොත්. මහ බැංකුව සතුව උගස් කළ හැකි දෙයක්වත් නැහැ. පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක් ඇති නැති ගානය!

ගුවන් යානයක යද්දී හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වූ වෙලාවක අනික් අයට උදවු කරන්න කලින් මුලින්ම කළ යුත්තේ තමන් ඔක්සිජන් මාස්ක් එක දාගන්න එක. දැන් මහ බැංකුව ඉන්නෙත් ඒ වගේ අඩියකට වැටිලා. රට ගැන, බැංකු ගැන බලන්න කලින් මහ බැංකුවේම ණය ආපසු ගෙවන විදිහ ගැන හිතන්න වෙනවා. මීට මාස හත අටකට පෙර මහ බැංකුවේ විදේශ වත්කම් වලින් විදේශ බැරකම් පියවලා මහ බැංකුව කරන්සි බෝඩ් එකක් කරන්න පුළුවන්කම තිබුණත් දැන් එහෙම කරන්න පුළුවන් තත්ත්වයක්වත් නැහැ. 

මහ බැංකුව විසින් බැංකු වලට එන ඩොලර් එකතු කර ගනිමින් සිටිනවානම් එහි කිසිම වැරැද්දක් නැහැ. එයින් ඩොලරයක මිල ඉහළ යන්නේ වුවත්, අවසාන වශයෙන් ඩොලරයක මිල පාලනය කර ගැනීමට උදවුවක් විය හැක්කේ එසේ එකතු කර ගන්නා සුළු හෝ ඩොලර් ප්‍රමාණයයි. 

අරමුදලේ උපදේශන වාර්තාව ණය ගිවිසුමක් නොවෙතත් එයින් ලංකාවේ ආර්ථිකය ගැන IMF එක හිතන විදිහ ගැන දළ අදහසක් ගන්න පුළුවන්. එහි තිබෙන ප්‍රධාන යෝජනා මොනවද?

1. රජයේ ආදායම් වැඩි කර ගැනීම හරහා රාජ්‍ය අයවැය පරතරය අඩු කර ගැනීම. මේ සඳහා ආදායම් බදු හා වැට් බදු අනුපාතික ඉහළ දැමීම හා බදු පදනම් පුළුල් කර ගැනීම. බදු වලින් නිදහස් කිරීම් හැකිතාක් අවම කිරීම. ඉන්ධන මිල හා විදුලි බිල් පිරිවැය හා ගැලපෙන පරිදි මිල සූත්‍ර හඳුන්වා දීම. 2024 වන විට ප්‍රාථමික හිඟය ශුන්‍ය කර ගැනීම. දූෂණ අඩු කර ගනිමින් යහපාලනය සවිමත් කිරීම. රාජ්‍ය මූල්‍යනය සම්බන්ධ පාරදෘශ්‍යභාවය හා වගවීම වැඩි කිරීම. 

2. තිරසාර ලෙස ණය කළමනාකරණය කරගත හැකි ක්‍රමවේදයක් සකසා ගැනීම. කලට වෙලාවට ණය ආපසු ගෙවීම සුදුසුයැයි අරමුදල සිතන නමුත් ආදායම් වැඩි කරගෙන අයවැය හිඟය සීමා කර ගැනීම මගින් පමණක් ණය කලට වේලාවට ගෙවිය හැකි වේද යන්න පිළිබඳව අරමුදල සැක පහළ කරයි. 

3. මේ වන විට ඉහළ ගොස් ඇති උද්ධමනය එම ඉහළ මට්ටමෙහි දිගටම නොපැවතෙන පරිදි මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම. මුදල් අමාත්‍යාංශය සමඟ කතාබහ කර මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කර ගැනීම.

4. විණිමය අනුපාතය සැලසුම් සහගත ලෙස ක්‍රමයෙන් ඉහළ යන්නට සලස්වා අවසානයේදී එය ඉල්ලුම සැපයුම මත තීරණය වීමට ඉඩ හැරීම. කෙසේ වුවද, එකවර විශාල ලෙස මිල ඉහළ යාම වැළැක්වෙන පරිදි, අනෙකුත් වෙනස්කම් කරන අතර මෙය පියවරෙන් පියවර කළ යුතුයි. එයට සමාන්තරව දේශීය නිෂ්පාදනයට බාධාවක් වන ආනයන සීමාවන් ඉවත් කළ යුතුයි.

5. ඉහත වෙනස්කම් නිසා පීඩාවට පත් වන සමාජයේ පහළ ස්ථාවර වල පීඩාවන් අවම වන පරිදි සමාජ ආරක්ෂණ වියදම් වැඩි කිරීම හා ඉලක්කගත ලෙස වැඩි පිරිසකට සහන ලැබෙන පරිදි පුළුල් කිරීම. දැනට දදේනියෙන් 0.4%ක් පමණක් වන සමාජ සංරක්ෂණ වියදම් පවතින්නේ ලංකාවේ මට්ටමේ වෙනත් රටවලට සාපේක්ෂව පහළ මට්ටමකයි.

මේවා පසුගිය දෙසැම්බරයේ පැවති තත්ත්වය අනුව සිදු කර තිබෙන යෝජනා. ණය ලබා දීමේ ගිවිසුමක කොටස් නෙමෙයි. එහෙත් ණය ලබා දෙන ගිවිසුමකට මේ දේවල් ඇතුළත් විය හැකියි. මේ දේවල් කරන්න ගිහින් ලංකාවට කෙළවෙයිද? IMF එක මේ හදන්නේ ලංකාවට කෙළවන්නද?

Friday, March 25, 2022

හර්ෂ කියපු කතාව මොකක්ද?


හර්ෂ ද සිල්වා විසින් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් ගැන සමාජ මාධ්‍ය වල පුළුල් කතාබහක් ඇති වුනානේ. එහිදී එක්තරා රාජ්‍ය බැංකුවක් විසින් කර තිබෙන විදේශ ව්‍යවහාර මුදල් ගනුදෙනු පිළිබඳව තොරතුරු ඔහු අනාවරණය කළා. මේ තොරතුරු වල ඇත්ත නැත්ත මම දන්නේ නැහැ. මෙය එහිදී කියූ දේ පිළිබඳ තාක්ෂණික පැහැදිලි කිරීමක්.

මෙහිදී අපි කතා කරන්නේ යන්නේ පොදුවේ විදේශ විණිමය ගනුදෙනු ගැන වුවත්, පැහැදිලි කිරීමේ පහසුවට ඩොලර් වෙළඳාම කියා කියමු. 

ඩොලර් මිල දී ගන්න හෝ විකුනන්න අවශ්‍ය කෙනෙක් සාමාන්‍යයෙන් කරන්නේ බැංකුවකට හෝ මුදල් හුවමාරුකරුවෙකු (moneychanger) වෙත ගොස් රුපියල් නෝට්ටු දී ඩොලර් නෝට්ටු ගන්න එක. එහෙම නැත්නම් ඩොලර් නෝට්ටු දී රුපියල් නෝට්ටු ගන්න එක. සිල්ලර කඩේකින් හාල් පොල් ගන්නවා වගේ ගණුදෙනුව එතැනින් ඉවරයි. 

හැබැයි බැංකු අතර විධිමත් ලෙස සිදුවන මහා පරිමාණ විදේශ විණිමය ගනුදෙනු සිදු වෙන්නේ ඔයිට වඩා ටිකක් සංකීර්ණ විදිහකට. ඒ ගනුදෙනු වලදී බොහෝ වෙලාවට එක් ගිණුමකින් තවත් ගිණුමකට මුදල් සම්ප්‍රේෂණය වනවා මිස රුපියල් හෝ ඩොලර් නෝට්ටු හුවමාරුවක් වෙන්නේම නැහැ. විධිමත් විදේශ විණිමය වෙළඳපොළේ සිදුවන ගනුදෙනු අදාළ ගනුදෙනුව සම්පූර්ණ වීමට ගත වන කාලය අනුව වර්ග කෙරෙනවා.

එදින ගනුදෙනු (cash transactions) - ගණුදෙනුව සිදු වූ දවස ඇතුළතම ගිණුම් අතර රුපියල් හා ඩොලර් හුවමාරු වෙනවා. මෙම ගනුදෙනු Today යන්න කෙටි කර Tod transactions ලෙසද හඳුන්වනවා. 

ඉදිරි දින ගනුදෙනු (Tom transactions) - ගණුදෙනුව සිදු වූ දිනට පසු දින ගිණුම් අතර රුපියල් හා ඩොලර් හුවමාරු වෙනවා. මෙහි Tom යන්න හැදී තිබෙන්නේ Tomorrow යන්න කෙටි වීමෙන්.

තැන් ගනුදෙනු (spot transactions) - ගණුදෙනුව සිදු වූ දවසේ සිට දින දෙකක් ඇතුළත ගිණුම් අතර රුපියල් හා ඩොලර් හුවමාරු වෙනවා.

ඉදිරි හුවමාරු ගනුදෙනු (forward transactions) - ගණුදෙනුව සිදු වූ දවසේ සිට දින දෙක ඉක්මවූ කලින් එකඟ වූ දිනයකදී ගිණුම් අතර රුපියල් හා ඩොලර් හුවමාරු වෙනවා. හුවමාරුව සිදු වන දිනය බොහෝ විට සතියකට, මසකට, තෙමසකට, සයමසකට හෝ වසරකට පසුව විය හැකියි. ඇතැම් විට වෙනත් කාලයකට පසුව වෙන්නත් පුළුවන්.

මුදල් හුවමාරු ගිවිසුම් (swap transactions) - මෙම ගනුදෙනුවක කොටස් දෙකක් තිබෙනවා. දළ වශයෙන් මෙය තැන් ගනුදෙනුවක හා ඉදිරි හුවමාරු ගනුදෙනුවක එකතුවක් වැනි දෙයක්. ගනුදෙනුව අනුව පළමු හුවමාරුව සිදු කර, කලින් එකඟ වූ නිශ්චිත කාලයකට පසුව, දෙවන ගනුදෙනුවකින් මුල් ගනුදෙනුව ආපසු හැරවෙනවා.

එදින, ඉදිරි දින හා තැන් ගනුදෙනු වලදී හුවමාරුව සිදු වන විණිමය අනුපාතය විශාල ලෙස වෙනස් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කිසියම් දිනක විණිමය අනුපාතය ලෙස හඳුන්වන අනුපාතයට මෙම අනුපාත ආසන්නව සමානයි. එහෙත්, ඉදිරි හුවමාරු ගනුදෙනු වලදී එකඟ වන විණිමය අනුපාතය බොහෝ විට වෙනස් අනුපාතයක්. ඒ වගේම හුවමාරුව සිදුවන කාලය අනුව මෙම අනුපාතය වෙනස් වෙනවා.

සාමාන්‍ය මූලධර්මයක් ලෙස තැන් අනුපාතය හා ඉදිරි හුවමාරු අනුපාතය අතර වෙනසින් අදාළ රටවල් දෙක අතර පවතින උද්ධමන වෙනස පිළිබිඹු විය යුතුයි. 

මම මෙය උදාහරණයකින් පැහැදිලි කරන්නම්. 

ලංකාවේ උද්ධමනය 17.5% ලෙසත්, ඇමරිකාවේ උද්ධමනය 7.5% ලෙසත් සලකමු. මේ අනුව, රටවල් දෙක අතර උද්ධමන වෙනස 10%ක්. එයින් අදහස් වන්නේ වෙනත් සාධක වෙනස් නොවේනම් ඩොලරයක රුපියල් මිල වසරකට 10%කින් ඉහළ යාමට නියමිත බවයි. ඒ අනුව, මාස 6කදී 5%කිනුත්, මාස 3කදී 2.5%කිනුත් මිල ඉහළ යාමට නියමිතයි.

අද තැන් අනුපාතය රුපියල් 300 සේ සලකමු.

ඒ අනුව, මාස-3 ඉදිරි හුවමාරු අනුපාතය 307.50ක්ද, මාස-6 ඉදිරි හුවමාරු අනුපාතය 315ක්ද, වසර-1 ඉදිරි හුවමාරු අනුපාතය 330ක්ද විය යුතුයි. 

ජාත්‍යන්තර මූල්‍යකරණ විෂයයෙහි ඉදිරි හුවමාරු අනුපාතය හා තැන් හුවමාරු අනුපාතය සම්බන්ධ කෙරෙන "Theory of unbiased forward rates" නම් වූ න්‍යායයක් තිබෙනවා. එයින් කියැවෙන්නේ, අද දිනයේ තිබෙන තොරතුරු අනුව, මාස 6කට පසුව තැන් හුවමාරු අනුපාතය පිළිබඳ හොඳම ඇස්තමේන්තුව අද දිනයේ පවතින මාස-6 ඉදිරි හුවමාරු අනුපාතය බවයි. මෙය වෙනත් ඕනෑම කාලයකටද අදාළයි. එහෙත්, දැනට නොදන්නා පසුව ලැබෙන්නට නියමිත තොරතුරු මත මෙය වෙනස් විය හැකියි.

ඉදිරි හුවමාරු අනුපාතය හා තැන් හුවමාරු අනුපාතය අතර වෙනස ධන අගයක්නම් එය ඉදිරි හුවමාරු අධිභාරයක් (forward premium) ලෙසත්, මෙය සෘණ අගයක්නම් ඉදිරි හුවමාරු වට්ටමක් (forward discount) ලෙසත් හැඳින්වෙනවා.

ජාත්‍යන්තර මූල්‍යකරණ විෂයයෙහි මෙන්ම ආර්ථික විද්‍යාවෙහිද ප්‍රචලිත තවත් න්‍යායක් වන්නේ ක්‍රය ශක්ති සාම්‍ය (purchasing power parity) න්‍යායයි. එම න්‍යාය අනුව දෙරට අතර උද්ධමන වෙනස එක්-වසර ඉදිරි හුවමාරු අධිභාරයට හෝ ඉදිරි හුවමාරු වට්ටමට සමාන විය යුතුයි. මාස-6 ඉදිරි හුවමාරු අධිභාරය හෝ ඉදිරි හුවමාරු වට්ටම උද්ධමන වෙනසින් බාගයකට වඩා අඩු විය යුතුයි.

ලංකාවේ උද්ධමනය ඇමරිකාවේ උද්ධමනයට වඩා වැඩි වීම සාමාන්‍ය තත්ත්වය බව අපි දන්නවා. ඇමරිකාව දිගුකාලීනව උද්ධමනය 2% මට්ටමේ තියා ගන්නා නමුත් ලංකාවේ එම ඉලක්කයම වුවත් 5% පමණ මට්ටමක්. ඇත්ත උද්ධමනය බොහෝ විට ඊටත් වඩා වැඩියි. ඒ කියන්නේ උද්ධමන වෙනස අවම වශයෙන් 3%ක් පමණවත් වෙනවා. දැන්නම් 10% පමණ. ඉදිරියේදී තවත් ගොඩක් වැඩිවෙයි.

මේ අනුව, ලංකාවේ විදේශ විණිමය වෙළඳපොළේ ඉදිරි හුවමාරු අධිභාරයක් මිස ඉදිරි හුවමාරු වට්ටමක් තිබීම සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. එවැනි තත්ත්වයක් දැකිය හැකිනම් බොහෝ විට එය අසාමාන්‍ය තත්ත්වයක්.

මුදල් හුවමාරු ගිවිසුමක් කියා කියන්නේ තැන් ගනුදෙනුවක හා ඉදිරි හුවමාරු ගනුදෙනුවක එකතුවක් වැනි දෙයක් කියා මම කිවුවනේ. මෙය පැහැදිලි කිරීම සඳහා ඉදිරි හුවමාරු අධිභාරය 10%ක් ලෙස සලකමු. මෙහිදී ගිවිසුම අනුව, A විසින් B ට අද රුපියල් 300 බැගින් කිසියම් ඩොලර් ප්‍රමාණයක් දෙනවා. හරියටම වසරකට පසුව B විසින් Aට රුපියල් 330 බැගින් ඩොලර් 100ක් දිය යුතුයි. ඒ වන විට ඩොලරයේ තැන් මිල කීයක් වුනත් එහි ලාබය හෝ පාඩුව අදාළ පාර්ශ්ව වලට භාර ගන්න වෙනවා.

හර්ෂ කියන කතාව ඇත්තනම් මහජන බැංකුව විසින් පසුව රුපියල් 185 බැගින් ඩොලර් ආපසු දෙන පොරොන්දුවට රුපියල් 200 බැගින් ඩොලර් අරගෙන. ඒ කියන්නේ ඉදිරි හුවමාරු වට්ටමකට. දැන් මහජන බැංකුවට එම ගිවිසුම අනුව වෙළඳපොළෙන් රුපියල් 300ට ගන්න ඩොලර් රුපියල් 185 බැගින් විකුණන්න සිදු වෙලා. ඩොලර් එක තව ඉහළ ගියොත් පාඩුව තවත් වැඩි වෙනවා. 

මේ වැඩෙන් මහජන බැංකුව බංකොලොත් වෙලා කඩා වැටෙන එකක්නම් නැහැ. (ඒ ඇයි කියා විස්තර කරන්න ගියොත් ලිපිය ගොඩක් දිග වෙනවා. එය පසුව කරන්නම්). නමුත්, පාඩුවක් වෙන බව ඉතාම පැහැදිලියිනේ. එය තීරණය වන්නේ ගිවිසුම්ගත මුදල් ප්‍රමාණ හා ගිවිසුම් කාල මතයි. 

Thursday, March 24, 2022

බැංකු කඩා වැටෙන්නද යන්නේ?

 

මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් "බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සිදු කර ඇති යම් ප්‍රකාශයන් නිවැරදි නොවන අතර, බැංකු පද්ධතිය ස්ථාවර බවටත්, රාජ්‍ය බැංකු ආයතනවල මෙහෙයුම් කටයුතු සුමට ආකාරයෙන් සිදු වෙමින් පවතින බවටත්, මහජනතාව සහ සියලු පාර්ශ්වයන් වෙත මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහවුරු කරන බව" දැනුම් දී තිබෙනවා. 

මහ බැංකුව විසින් මීට මහජනතාව වෙත කළ මෙවැනි ඇතැම් දැනුම්දීම් නිවැරදි නොවූ බව මේ වන විට තහවුරු වී තිබෙනවා. ඒ හේතුව මත මහ බැංකුවට මේ වෙලාවේ "කොටියා ආවෝ" ආකාරයේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. මේ වෙලාවේ මහ බැංකුව ඇත්ත කිවුවත් මිනිස්සු පිළිගන්නේ නැහැ. ඒ නිසා, පැහැදිලි කිරීමක් කරන එක පැත්තක සිටින අප වැනි අයගේ වගකීමක් කියා මම හිතනවා. 

වාණිජ බැංකු විසින් කරන්නේ පොලියක් ගෙවා තැන්පතු සේ එකතු කරගන්නා මුදල් වැඩි ඊට වඩා පොලියකට ණය සේ ලබා දී ලාබයක් ලබන එකයි. ඔවුන්ගේ ව්‍යාපාරික ආකෘතියම මෙය නිසා ලෝකයේ කිසිම බැංකුවක් තැන්පතු සේ එකතු කරගන්නා මුදල්  සියල්ල බැංකුවේ ගොඩ ගසා ගෙන ඉන්නේ නැහැ. තමන්ගේ තැන්පතු මුදල් ආපසු ඉල්ලන අයට ලබා දීමට ප්‍රමාණවත්යැයි ඇස්තමේන්තු කරන මුදලක් අතේ තියාගෙන ඉතිරි සල්ලි ණයට දෙනවා.

සියලුම තැන්පතුකරුවන් එකවර පැමිණ බැංකුවේ තිබෙන තමන්ගේ සල්ලි මුදල් නෝට්ටු වලින් ඉල්ලා සිටියොත් ලෝකයේ ඕනෑම බැංකුවක් කඩා වැටෙනවා. එහෙම ගෙවන්න සල්ලි බැංකුවේ නැහැ. බැංකුවේ විතරක් නෙමෙයි රටෙත් නැහැ. මම පළමුව ඇමරිකාවේ දත්ත පෙන්වන්නම්. 

ඇමරිකානුවන් සතු මුළු මුදල් ප්‍රමාණය, එහෙමත් නැත්නම් මුදල් සැපයුම, කොපමණද?

පහත තිබෙන්නේ 2022 පෙබරවාරි අවසානයේ ඇමරිකාවේ M1 මුදල් සැපයුම හා එහි සංරචකයි.

සංසරණයේ ඇති මුදල් නෝට්ටු - ඩොලර් බිලියන 2,141.8යි.

ඉල්ලුම් තැන්පතු (ජංගම ගිණුම්) - ඩොලර් බිලියන 4,695.3යි.

අනෙකුත් ද්‍රවශීල තැන්පතු (ඉතිරි කිරීමේ ගිණුම් ආදිය) - ඩොලර් බිලියන 13,723.7යි.

එකතුව - ඩොලර් බිලියන 20,560.8යි. 

දැන් මේ අනුව රටේ මිනිස්සුන්ගෙන් සල්ලි වලින් 90%ක් පමණම තියෙන්නේ බැංකු වලයි. එහෙමයි කියලා මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ. ඇමරිකාවේ ගොඩක් අය ගනුදෙනු කරන්නේ කාඩ්පත් වලින් හා වෙනත් විද්‍යුත් ක්‍රම වලින් මිසක් මුදල් නෝට්ටු වලින් නෙමෙයි. ලෝකයේ වෙනත් බොහෝ දියුණු රටවලත් තත්ත්වය එවැන්නක්.

දැන් මෙහි සඳහන් ඩොලර් බිලියන 20,560.8ක් වන මිනිස්සුන්ගේ සල්ලි වලින් ඩොලර් බිලියන 18,419ක්ම තියෙන්නේ බැංකු වල. මිනිස්සු එක පාරටම ඒ සල්ලි ඉල්ලුවොත් දෙන්න සල්ලි බැංකු වල තියෙනවද?

පෙබරවාරි අවසන් වෙද්දී ඇමරිකාවේ සංචිත බැංකුව විසින් නිකුත් කර තිබුණු මුළු නෝට්ටු ප්‍රමාණයම ඩොලර් බිලියන 2,235.5ක් පමණයි. එයින් බිලියන 2,141.8ක්ම මිනිස්සු අතේ. එතකොට බැංකු වල තියෙන ප්‍රමාණය ඩොලර් මිලියන 93.7ක් පමණක් බව ගණන් හදා ගන්න පුළුවන්නේ. 

බැංකු වල ඩොලර් නෝට්ටු තිබෙන්නේ මෙපමණක් වුවත්, ඔය බැංකු විසින් සංචිත බැංකුවේ ගිණුම් වල දමපු සල්ලි තිබෙනවා. ඒ නිසා අවශ්‍ය වෙලාවක ඒ සල්ලි මුදල් නෝට්ටු ලෙස ආපසු ගන්න පුළුවන්. එම ප්‍රමාණය ඩොලර් බිලියන 3,804.5ක්. ඒ කියන්නේ තැන්පතුකරුවන් විසින් ආපසු ඉල්ලුවොත් ඩොලර් බිලියන 3,898.2ක් දක්වා මුදලක් ප්‍රශ්නයක් නැතුව ආපසු ගෙවන්න පුළුවන්.

ඇමරිකාවේ බැංකු වල තිබෙන මුළු තැන්පතු ප්‍රමාණය ඩොලර් බිලියන 18,419ක්. ඒ කියන්නේ හදිසියකදී ගෙවන්න පුළුවන් ඔය ප්‍රමාණයෙන් 21%ක් පමණයි. ඊට වඩා ඉල්ලුවොත් බැංකු කඩා වැටෙනවා. 

දැන් අපි ලංකාවට එමු. 2021 ජූනි අවසානයේදී ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ට අයිති වූ මුදල් ප්‍රමාණය හා එහි සංරචක පහත තිබෙනවා.

සංසරණයේ ඇති මුදල් නෝට්ටු - රුපියල් බිලියන 711.9යි.

ඉල්ලුම් තැන්පතු (ජංගම ගිණුම්) - රුපියල් බිලියන 581.5යි.

ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු - රුපියල් බිලියන 7,842.9යි.

එකතුව - රුපියල් බිලියන 9,136.3යි. 

දැන් පේනවනේ. මිනිස්සුන්ගේ සල්ලි වලින් 92%ක්ම තියෙන්නේ බැංකු වල. සමහර විට ඔය ප්‍රතිශතය මේ වෙද්දී ටිකක් අඩු වෙලා ඇති. නමුත්, 90%කට වඩා අඩු වෙන්න විදිහක් නැහැ. බැංකු වල තිබෙන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 8,424.4ක්. ඔය සල්ලි ඔක්කොම එක වර ගෙවන්න බැංකු වලට පුළුවන්ද?

ඔය දවස වෙද්දී බැංකු සතුව මුදල් ලෙස තිබුණේ රුපියල් බිලියන 238.2ක් පමණයි. තව රුපියල් බිලියන 115.0ක් මහ බැංකුවේ තැන්පත් කරලා තිබුණා. එතකොට එකතුව රුපියල් බිලියන 253.2ක් පමණයි. ඒ කියන්නේ මහජන තැන්පතු ප්‍රමාණයෙන් 3%ක් පමණයි. මේ ප්‍රතිශතය ඇමරිකාවේ 21%ට වඩා ගොඩක් අඩුයි. ඔය වගේ තත්ත්වයක් යටතේ මිනිස්සු එකවර බැංකු වලින් සල්ලි අදින්න ගත්තොත් රටේ බැංකු පද්ධතියම ක්ෂණිකව කඩා වැටෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ලංකාවේ මිනිස්සු ජංගම ගිණුම් වල තියෙන සල්ලි ගනුදෙනු සඳහා වියදම් කරන නමුත් ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු වල තිබෙන සල්ලි හොල්ලන්නේ නැහැ. ඔය කියන දවස වන විට ජංගම ගිණුම් වල තිබුණු සල්ලි වලින් 43.5%ක් එකවර ඉල්ලුවත් ගෙවන්න ප්‍රමාණවත් සල්ලි ලංකාවේ බැංකු සතුව තිබුණා. ඒ නිසා, මිනිස්සු ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු වල තිබෙන සල්ලි ආපසු නොගන්නා තුරු බැංකු පද්ධතිය කඩා වැටීමේ කිසිම අවදානමක් නැහැ.

පවතින ඉහළ උද්ධමනය හමුවේ බැංකු විසින් තැන්පතුකරුවන්ට ප්‍රමාණවත් තරම් ඉහළ පොලියක් ගෙවන්නේ නැහැ. මේ තත්ත්වය තුළ මිනිස්සු තමන්ගේ ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු වල තිබෙන සල්ලි ඇදලා රත්තරන් වැනි දේ මිල දී ගැනීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා. පුළුවන් අය ඩොලර් ගන්නවා. තව අය ඉඩම් වාහන වගේ දේවල් ගන්නවා. මේ තත්ත්වය තුළ බැංකු වලින් එළියට යන තරමට ඇතුළට සල්ලි එන්නේ නැහැ. ඊයේ (මාර්තු 23) වන විට බැංකු පද්ධතිය ඇතුළේ ද්‍රවශීලතා හිඟය රුපියල් බිලියන 585.95ක්. හැබැයි මහ බැංකුව විසින් 7.5% පොලියට ණය දීලා ඔය හිඟය පුරවනවා. අවදානම් පැත්තකින් තිබ්බොත්, මහ බැංකුවට සල්ලි අච්චු ගහන්න පුලුවන් නිසා ඔය වැඩේ දිගටම වුනත් කරන්න පුළුවන්. 

ඔය ප්‍රශ්නය ස්ථිරසාර ලෙස විසඳා බැංකු පද්ධතියේ ස්ථාවරභාවය තහවුරු කරන්න අවශ්‍යනම් මහ බැංකුව විසින් කළ යුත්තේ පොලී අනුපාතික වැඩි කරන එකයි. එතකොට මිනිස්සු බැංකු වලින් සල්ලි අදින එක නවතිනවා.

පෙනෙන විදිහට යම් කතාවක් පැතිරී තිබෙන්නේ මහජන බැංකුවේ ස්ථාවරත්වය පිළිබඳවයි. රොයිටර් වාර්තා කර තිබෙන විදිහට සංවර්ධන බැඳුම්කරයක් වෙනුවෙන් මහ බැංකුව විසින් මහජන බැංකුවට ගෙවිය යුතු වූ මුදලක් නියම වෙලාවට ගෙවලා නැහැ. එම මුදල නොලැබුණු නිසා මහජන බැංකුව විසින් තවත් වාණිජ බැංකු දෙකකට ගෙවිය යුතු වූ මුදල් ගෙවන්න බැරි වෙලා. ඔය වගේ පරක්කු වන එක ගෙවීමක් ක්ෂණිකව බැංකු පද්ධතියේම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

හැබැයි මතක තියා ගන්න මේ හිරවීම් සියල්ල සිදුවන්නේ ඩොලර් ගනුදෙනු හා අදාළවයි. ඒ හේතුව නිසා බැංකු පද්ධතියේ අස්ථාවරත්වයක් ඇති වුනත්, මහජනතාවගේ රුපියල් තැන්පතු වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වාණිජ බැංකු සතුව ප්‍රමාණවත් රුපියල් ප්‍රමාණයක් නැත්තේ එම රුපියල් වැඩි පොලියකට රජයට ණයට දීලා නිසා. හරියටම කිවුවොත් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරලා නිසා. බැංකු අතේ රුපියල් වලින් සල්ලි නැතත් මේ භාණ්ඩාගාර බිල්පත් තිබෙනවා. ඒ නිසා, ඕනෑ වෙලාවක ඒ භාණ්ඩාගාර බිල්පත් ඇපයට තියලා මහ බැංකුවෙන් 7.5% පොලියට ණය ගන්න පුළුවන්. 

තවත් විදිහකට කිවුවොත් මේ වෙලාවේ බැංකු වල තිබෙන රුපියල් තැන්පතු වලට කිසිම අවදානමක් නැහැ. හැබැයි හැමෝම බය වෙලා සල්ලි අදින්න ගත්තොත්නම් විශාල ප්‍රශ්නයක් වෙයි. එය කෙසේවත් නොකළ යුතු දෙයක්. මම හිතන්නේ ලංකාවට දැනට තියෙන ප්‍රශ්න ටික හොඳටම ඇති!

Wednesday, March 23, 2022

දෙසිය අනූවේ සිට...


සල්ලි කියන්නේ මොනවාද කියලා විස්තර කරලා ලිපියක් ලියන්න හිටියත් එය පොඩ්ඩක් කල් දැම්මා. එය පසුව ලියන්නම්. අද වන විට ප්‍රධාන පෞද්ගලික බැංකු වල ඩොලරයක මිල රුපියල් 290 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අනෙකුත් බැංකු බොහොමයකත් රුපියල් 285 දක්වා ඉහළ ගිහින්. මෙය කොතැනින් නවතියිද කියන එක ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා.

මහ බැංකුව හා රජය විසින් ඩොලරයක මිල රුපියල් 300 මට්ටම ඉක්මවන්න නොදී නවත්වාගන්න විශාල ඉඩක් තිබෙන නමුත් ඒ මට්ටමේදී රටේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන එකනම් සිදු වෙන එකක් නැහැ. මෙයට ප්‍රධානම හේතුව රට තුළ දැවැන්ත සමුච්ඡිත ආනයන ඉල්ලුමක් (accumulated import demand) තිබීමයි.

මේ වන විට දෙවසරක පමණ කාලයක් තිස්සේ රටේ ආනයන පාලනය කෙරෙමින් තිබෙනවා. ආනයන පාලනය නිසා, ආනයනය කිරීම් අඩු වුනත් ආනයන ඉල්ලුම අඩු වන්නේ නැහැ. ආරම්භයේදී මේ ඉල්ලුම සැපිරෙන්නේ සමුච්ඡිත තොග (accumulated inventories) වලින්. ගමේ සිල්ලර වෙළඳසැලෙන් පාරිභෝගිකයා වෙත ආනයන භාණ්ඩ ලැබෙන්නට පෙර සිදුවන ක්‍රියාවලියක් තිබෙනවා. ඒ ක්‍රියාවලිය තුළ අදියර ගණනාවකදී තොග පවත්වා ගැනීමක් සිදු වෙනවා. අවසානයේදී පාරිභෝගිකයාගේ මට්ටමේදීත් තොග නඩත්තු වෙනවා. මගුල් ගෙදරක යන්න තියෙන කෙනෙක් හැම විටම සපත්තු දෙකක් ගන්න කලින් දවස දක්වා ඉන්නේ නැහැ. හැමදාම ගන්න බෙහෙත් ටික මාසයකටවත් කලින් ගන්නවා.

පාරිභෝගිකයාගේ සිට ඉහළට යද්දී, ගමේ සිල්ලර වෙළෙන්දා, ආසන්න නගරයේ තොග වෙළෙන්දා, පිටකොටුවේ තොග වෙළෙන්දා, වරායේ බහලුම් තිබෙන ආනයනකරු, නැවේ ආනයනය කෙරෙමින් තිබෙන බඩු, ඇණවුම් කර ලැබෙන්නට නියමිත බඩු ආදී වශයෙන් තොග එකතු වන ක්‍රියාදාමයක් තිබෙනවා. ඒ නිසා, ආනයන තහනම් කිරීමෙන් පසුව පාරිභෝගිකයාට එකවර භාණ්ඩ හිඟයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. මේ දාමයේ ඉහළ සිට පහළ දක්වා තිබෙන තොග ක්‍රමයෙන් හිස් වෙද්දී අවශ්‍ය පාරිභෝගික ඉල්ලුම සැපිරෙනවා. හැබැයි අවුරුදු දෙකක් යද්දී ඔය සමස්ත දාමයේම තොග අවසන් වෙලා. 

දැන් නැවත ආනයන සඳහා නිදහසේ ඩොලර් නිකුත් කළොත් පාරිභෝගිකයාගේ සාමාන්‍ය ආනයන ඉල්ලුම පමණක් සම්පූර්ණ වෙලා වැඩේ නවතින්නේ නැහැ. කාලයක් තිස්සේ හිස් වූ තොග එකතු නැවත පිරෙන්න ඕනෑ. මිල ඉහළ යාම නිසා පාරිභෝගික මට්ටමේදී ඉල්ලුම සැලකිය යුතු ලෙස පහත වැටෙන නමුත් තොග එකතු පිරෙන තුරු (backlog) එක වර ඇති වන (one-off) විශාල ආනයන ඉල්ලුමක් තිබෙනවා. නමුත්, අනෙක් පැත්තෙන් එවැනි තත්ත්වයක් නැහැ. ලංකාවේ අපනයන වෙනුවෙන් එසේ සමුච්ඡිත ඉල්ලුමක් ගොඩ නැගී නැහැ. ශ්‍රමික ප්‍රේෂණ වලින් පමණක් එසේ සමුච්ඡනය වූ ඩොලර් ප්‍රමාණයක් එකවර රටට ලැබෙයි. 

ඩොලරයට නිදහසේ පාවෙන්න දුන්නොත් යම් මිලකදී ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙයි. ඒක කොහොමටත් වෙන දෙයක්. හැබැයි ඒ මිල කීයටවත් රුපියල් 300 වැනි පහළ මට්ටමක් නෙමෙයි. 

ඩොලරය රුපියල් 300 වැනි මට්ටමක ස්ථාවර කර ගැනීම අසීරු වෙන්න තවත් නිශ්චිත හා පැහැදිලි හේතුවක් තිබෙනවා. සාමාන්‍ය මූලධර්මයක් ලෙස මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය මුළු සංචිත මුදල් ප්‍රමාණයට සමාන වන තුරු ඩොලරයේ මිල ඉහළ යනවා. එහෙම නැතුව අවුරුද්දක් දෙකක් තියෙන්න පුළුවන්. නමුත් ලංකාවේ රුපියලේ දිගුකාලීන ස්ථායීතාවය තීරණය වෙන්නේ ඔය මූලධර්මය අනුවයි. 

මේ වෙද්දී (මාර්තු 16) සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 1,370ක්. ඔය ගණන 300න් බෙදුවොත්, ඩොලර් බිලියන 4.5ක් පමණ. ඒ කියන්නේ, දිගුකාලීනව ඩොලරය රුපියල් 300 මට්ටමේ ස්ථාවර කරගන්න පුළුවන් වෙන්නනම් මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.5ක මට්ටමට යා යුතුයි. නමුත් දැන් කලක සිටම ලංකාවේ මහ බැංකුව බංකොලොත්. මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය බිලියන 2ක පමණ හිඟයක්. 

පහත තිබෙන්නේ පසුගිය වසර මැද පළ කළ ලිපියක්. 

මහ බැංකුව බංකොලොත්ද?

ඒ කියන්නේ ඩොලරය රුපියල් 300 මට්ටමේ ස්ථාවර කර ගැනීම සඳහා මහ බැංකුව විසින් තවත් ඩොලර් බිලියන 6.5ක් පමණ එකතු කර ගන්න වෙනවා කියන එකයි. ඩොලරය රුපියල් 400 මට්ටමේ ස්ථාවර කර ගැනීම සඳහා වුවත් මහ බැංකුව විසින් තවත් ඩොලර් බිලියන 5.4ක් පමණ එකතු කර ගත යුතුයි. දැනට තිබෙන තත්ත්වය අනුව, මේ වගේ දෙයක් හදිසියේ සිදු විය හැකි එකම ක්‍රමය IMF එකෙන් ඩොලර් බිලියන 5ක පමණ ණයක් ලැබෙන එක පමණයි. 

පොලී අනුපාතික අනිවාර්යයයෙන්ම ඉහළ දැමිය යුතුයි වගේම එයින් සැලකිය යුතු වාසියක් ලැබෙයි. එහෙත්, පොලී අනුපාතික 30-40% මට්ටමකට ඉහළ දමන එක ප්‍රායෝගිකව වෙන දෙයක් නෙමෙයිනේ. එසේ කිරීමෙන් සිදුවන අතුරු ප්‍රශ්න වලට මුහුණ දීමේ ශක්තියක් මේ වෙලාවේ ආණ්ඩුවට නැහැ. පොලී අනුපාතික යම් තරමකින් හෝ වැඩි කිරීමෙන් (15% පමණ මට්ටමකට) කිසියම් සහනයක් ලැබෙනු ඇති නමුත් එවැනි වැඩි කිරීමකින් ඩොලරය ස්ථාවර වෙන එකනම් සිදුවන එකක් නැහැ. එසේ වුවත්, මෙය අනිවාර්යයෙන්ම කරන්න සිදු වන දෙයක් නිසා එකවර වෙළඳපොළ කම්පනය නොකර දැන්ම වැඩේ පටන් ගන්න එකයි කළ යුත්තේ. 

දැන් ඩොලරය ස්ථාවර කළ හැකි එකම දෙය IMF එකෙන් ලැබෙන මුදල, ලැබෙන දිනය හා අදාළ වැඩපිළිවෙළ පිළිබඳ නිශ්චිත නිවේදනයක් පමණයි. එය IMF එක පැත්තෙන් හෝ එකවර දෙපැත්තෙන්ම පැමිණිය යුතුයි. එය සිදු වන තුරු ඩොලරය ඉහළ යන එක නැවැත්තුවොත් මිසක් ඉල්ලුම හා සැපයුම සමතුලිත වී නවතින්නේ නැහැ. ඩොලරයේ මිල ස්ථාවර වීම කෙසේ වුවත් ස්ථාවර කිරීමක් මේ සතිය අවසාන වෙද්දී වෙයි කියා මට හිතෙනවා. ඇතැම් විට ලබන සතියේ. 

Monday, March 21, 2022

අච්චු ගහන අච්චු නොගහන සල්ලි


මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ යද්දී ගොඩක් අය සල්ලි අච්චු ගහනවා කියලා කෑ ගහනවා. නමුත්, මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නා හැම විටෙකම සල්ලි අච්චු ගැසීමක් හෙවත් සංචිත මුදල් ඉහළ යාමක් සිදු වෙන්නේ නැහැ. ඒ බව කලින් ලිපියෙන් පැහැදිලි කළා.

මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ යද්දී කෙසේ වෙතත් සංචිත මුදල් ප්‍රමාණය ඉහළ යද්දී සංසරණයේ තිබෙන මුදල් ප්‍රමාණය වැඩි වී, රුපියලේ සැබෑ අගය පහළ යනවා. බඩු මිල ඉහළ යාමේදී හා විණිමය අනුපාතය අවප්‍රමාණය වීමේදී වෙන්නේ එසේ පහළ ගිය රුපියලේ සැබෑ අගය බඩු වල හා ඩොලරයේ මිලෙන් නිවැරදිව නිරූපණය වීමයි.

පසුගිය මාර්තු 16 දින වන විට සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 1,370.0ක්. වසර ආරම්භයේදී මෙම ප්‍රමාණය රුපියල් බිලියන 1,305.8ක්. පෙර වසර ආරම්භයේදී රුපියල් බිලියන 964.4ක්.

ඉහත සංඛ්‍යා දෙස බැලූ විට 2021 වසර තුළ සංචිත මුදල් ප්‍රමාණය 35.4%කින් වැඩි වී තිබෙන බව පේනවා. පසුගිය මාස දෙක හමාරක කාලය තුළ සංචිත මුදල් ඉහළ ගොස් තිබෙන්නේ 5.0%කින් පමණයි.

කෙසේ වුවත්, මේ සංඛ්‍යාලේඛණ වලින් නොපෙනෙන දෙයක් තිබෙනවා. ඒ, මෙහි සඳහන්ව ඇති මුදල් ප්‍රමාණයට අමතරව තවත් විශාල මුදල් ප්‍රමාණයක් මහ බැංකුව විසින් දෛනික පදනම මත බැංකු පද්ධතිය වෙත මුදා හරිමින් සිටින බවයි. මාර්තු 16 දින මෙසේ මුදා හළ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 562.8ක්. 

මෙය කලක සිටම සිදුවන දෙයක්. එහෙත්, මෙම මුදල ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙනවා. පසුගිය දෙසැම්බර් 31 දින මෙසේ මුදා හළ මුදල රුපියල් බිලියන 366.2ක් පමණයි. මේ අයුරින් මහ බැංකුවට දෛනික පදනම මත රුපියල් මුදා හරින්න සිදු වී තිබෙන්නේ මේ වන විට බැංකු පද්ධතියේ විශාල රුපියල් හිඟයක් තිබෙන නිසයි.

පෙර වසර අවසානයේ තිබුණේ වෙනස් තත්ත්වයක්. ඒ වන විට බැංකු පද්ධතියේ රුපියල් අතිරික්තයක් තිබුණා. 2020 දෙසැම්බර් 31 වන දින වාණිජ බැංකු විසින් දෛනික පදනම මත රුපියල් බිලියන 206.8ක් මහ බැංකුවේ තැන්පත් කළා. ඒ කියන්නේ සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 964.4ක් වුවත්, ඇත්තටම සංසරණයට එකතු වුනේ එයින් රුපියල් බිලියන 757.6ක් පමණයි.

දැන් සිදු වන්නේ එහි අනෙක් පැත්තයි. සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 1,370.0ක් පමණක් වුවත්, ඊට අමතරව තවත් රුපියල් බිලියන 562.8ක් දෛනික පදනම මත සංසරණයට එකතු වීම සැලකූ විට මුළු ප්‍රමාණය රුපියල් බිලියන 1932.8ක්. මේ ආකාරයෙන්ම වසර මුල රුපියල් බිලියන 1,305.8ක් වූ සංචිත ප්‍රමාණයට රුපියල් බිලියන 366.2ක ද්‍රවශීලතා හිඟය එකතු කළ විට එකතුව රුපියල් බිලියන 1,672.0ක්.

බැංකු පද්ධතිය තුළ මෙපමණ විශාල ද්‍රවශීලතා හිඟයක් ඇති වීමට හේතුව මුදල් වෙළඳපොළේ රුපියල් ඉල්ලුම හා රුපියල් සැපයුම අතර තිබෙන අසමතුලිතතාවයි. දැනට වඩා විශාල ප්‍රශ්නය වන ඩොලර් ඉල්ලුම හා සැපයුම අතර අසමතුලිතතාවයට හැමෝගෙම අවධානය යොමු වී තිබෙන නිසා යටපත්ව තිබුණත් මෙයත් විශාල ප්‍රශ්නයක්. 

මේ අසමතුලිතතාවය දුරු කර ආර්ථික හා මිල ස්ථායීතාවය ඇති කිරීම මුදල් නීති පණත අනුව මහ බැංකුවේ නීතිමය වගකීමක්. පොලී අනුපාතික ඉහළ දැමීම මගින් එය කළ හැකි වුවත්, පොලී අනුපාතික අවශ්‍ය පමණ ඉහළ නොදැමීම නිසා ප්‍රශ්නය ඔඩු දුවමින් තිබෙනවා. 

බැංකු වලට රුපියල් ලැබෙන්නේ කවුරු හෝ විසින් බැංකු වල මුදල් තැන්පත් කළ විටයි. එසේ නැත්නම් ගත් ණය ආපසු ගෙවන විටයි. තැන්පතුහිමියන් මුදල් ආපසු ගැනීමේදීත්, ණය ලබා ගැනීමේදීත් බැංකු වල තිබෙන රුපියල් එළියට යනවා. මේ විදිහට එළියට යන රුපියල් හා බැංකුවට එන රුපියල් ප්‍රමාණය සමතුලිත නොවුනහොත් බැංකුවට රුපියල් හිඟයකට මුහුණ දෙන්න වෙනවා. එසේ නැත්නම් රුපියල් අතිරික්තයක් ඇති වෙනවා. රුපියල් හිඟයක් ඇති වූ විට පොලී අනුපාතික ඉහළ දමා රුපියල් ආකර්ශනය කර ගන්න වෙනවා. එහිදී ණය ඉල්ලුමද අඩු වෙනවා. ඒ නිසා රුපියල් බැංකුවේ ඉතිරි වෙනවා.

මේ වෙලාවේ බැංකු වල විශාල රුපියල් හිඟයක් ඇති වීමට හේතුව රජය විසින් බැංකු වලට එකතු වන රුපියල් සියල්ලම මෙන් ණයට ගැනීමයි. බැංකු වල තිබෙන රුපියල් ප්‍රමාණයට අමතරව රජය විසින් බැංකු වල නැති රුපියල්ද ණයට ගෙන තිබෙනවා. එම නැති රුපියල් ප්‍රමාණය මහ බැංකුව විසින් දෛනික පදනම මත බැංකු වලට සපයමින් සිටිනවා. 

බැංකු වලට 7.5% පොලියට මහ බැංකුවෙන් "ඕනෑ තරම්" ණය ගත හැකියි. හවසට ගන්න සල්ලි පසුදා උදේ නැවත ආපසු ගෙවිය යුතුයි. ඉන් පසුව, පසුදා හවස නැවතත් ණය ගන්න පුළුවන්. මේ ණය වෙනුවෙන් වසරකට 7.5% පොලියෙන් දිනකට ගෙවිය යුතු කොටස මහ බැංකුවට ගෙවිය යුතුයි. 

වාණිජ බැංකු වලට ලාබෙට අරමුදල් සපයා ගැනීම සඳහා මේ විකල්පය තිබෙන නිසා ඔවුන් මීට වඩා වැඩි තැන්පතු පොලියක් ගෙවා රුපියල් එකතු කර ගන්න පෙළඹෙන්නේ නැහැ. දැන් ගෙවන පොලිය යටතේ මීට වඩා රුපියල් ප්‍රමාණයක් බැංකු වලට එකතු වෙන්නෙත් නැහැ. 

මහ බැංකුවෙන් 7.5% පොලියට ගන්න සල්ලි ඉතා පහසුවෙන් වැඩි පොලියකට ණයට දෙන්න පුළුවන්. මාර්තු 15 පැවති වෙන්දේසියේදී දින-91 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි වුනේ 11.35%ක පොලියකට. ඒ කියන්නේ 11.35%ක පොලියකට රජයටම ණය දෙන්න පුළුවන්. එක පැත්තකින් 7.5%ක පොලියකට මහ බැංකුවෙන් ණය අරගෙන අනෙක් පැත්තෙන් 11.35%ක පොලියකට ඒ සල්ලි ටිකම ණයට දෙන්න පුළුවන්නම් කවුද ඔය වැඩේ නොකරන්නේ?

රුපියල් 562.8ක් වන වෙළඳපොළ ද්‍රවශීලතා හිඟය ඇති වී තියෙන්නේ ඔය හේතුව නිසයි. මේ සල්ලි වලින් මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන නැති නිසා මෙම මුදල සංචිත මුදල් වලට එකතු වෙන්නේ නැහැ. භාණ්ඩාගාර බිල්පත් මිල දී අරගෙන තියෙන්නේ වාණිජ බැංකු. ඔවුන්ට රජය විසින් 11.35%ක පොලියක් ගෙවනවා. 

හැබැයි මේ සල්ලි වාණිජ බැංකු විසින් තැන්පතුකරුවන්ගෙන් එකතු කරගත් සල්ලි නෙමෙයි. භාණ්ඩාගාර බිල්පත් ඇපයට තබා මහ බැංකුවෙන්ම ගන්න සල්ලි. ඒ වෙනුවෙන් වාණිජ බැංකු විසින් මහ බැංකුවට 7.5%ක පොලියක් ගෙවනවා. 3.85%ක පොලී වෙනස ලාබය. වක්‍ර විදිහට වෙන්නේ මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමක්ම තමයි. දවල්ට මේ භාණ්ඩාගාර බිල්පත් එළියට ගිහින් රෑට ආපහු මහ බැංකුවට එනවා. සංඛ්‍යාලේඛණ වලට අනුව සල්ලි අච්චු ගැහීමක් වෙලා නැහැ.

උද්ධමනය ඉහළ යද්දී මේ වගේ තත්ත්වයක් නඩත්තු කිරීම තවත් ප්‍රශ්න ගණනාවකට පාර කැපීමක්. වියදම් ඉහළ යද්දී මිනිස්සු බැංකු වල තිබෙන සල්ලි අදිනවා. ණය කාඩ්පත් වලින් එහෙමත් සල්ලි අදිනවා. එය වලක්වා ගත හැකි ක්‍රමය විශාල ලෙස පොලී අනුපාතික ඉහළ දැමීමයි. අවම වශයෙන් මේ විශාල ද්‍රවශීලතා හිඟය නැති වන තුරු මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමිය යුතුයි. 

අනෙක් පැත්තෙන් අද වන විට ඩොලරයක මිල රුපියල් 285 දක්වා ඉහළ ගිහින්. IMF යනවා කියලා කිවුවට ඩොලරය ඉහළ යන එක පාලනය වෙන්නේ නැහැ. IMF උපදෙස් යටතේ ආර්ථිකය ස්ථාවර කරන ආකාරය ගැන පැහැදිලිව කියන්න පොඩි ඉඩක් ලැබෙනවා පමණයි. ඒ ඉඩෙන් ප්‍රයෝජන නොගත්තොත් ආපහු හිටපු තැනටම වැටෙනවා.

විණිමය අනුපාතය කියන්නේ ඩොලරයේ හා රුපියලේ සාපේක්ෂ වටිනාකම් අතර අනුපාතය. මේ වෙලාවේ ඩොලරයේ නිරපේක්ෂ වටිනාකම ගොඩක් වැඩියි. ඒක අඩු කරන්න අමාරුයි. නමුත්, රුපියලේ වටිනාකමද වැඩි කිරීම මගින් ඩොලරයේ සාපේක්ෂ වටිනාකම අඩු කරලා මිල ස්ථාවර කර ගන්න පුළුවන්. එය කළ හැක්කේ බැංකු පද්ධතියේ දැන් තිබෙන රුපියල් හිඟය වෙනුවට රුපියල් අතිරික්තයක් ඇති කිරීමෙන්. 

රුපියල් අතේ තිබෙන අයට ඒ රුපියල් බැංකුවක තැන්පත් කර විශාල ප්‍රතිලාභයක් ලැබිය හැකි වූ විට රුපියල් වල වටිනාකම ඉහළ යනවා. මිල ඉහළ යාමේ වාසිය තකා ඩොලර් හොයන අයට පහසුවෙන් වැඩි ලාබයක් ලැබිය හැකි විකල්පයක් ලැබෙනවා. ඒ හරහා, ඩොලර් වලට තිබෙන සමපේක්ෂණ ඉල්ලුම පහළ යනවා.

Sunday, March 20, 2022

තාමත් සල්ලි අච්චු ගහනවද?

 


දෙරණට අනුව පසුගිය අඟහරුවාදා (මාර්තු 15) මහ බැංකුව විසින් අලුතෙන් රුපියල් කෝටි 8,300ක් සල්ලි අච්චු ගහලා තිබෙනවා. මගෙන් එක් හිතවතෙක් මේ ගැන විමසීමක් කරමින් මේ විදිහට සල්ලි අච්චු ගහද්දී රුපියල පාවෙන්න ඇරපු එකේ තේරුමක් තියෙනවද කියලා අහනවා.

මේ වන විට ශ්‍රමික ප්‍රේෂණ සඳහා වැඩි මුදලක් ගෙවන එක නවත්වා තියෙනවා. එය හොඳ තීරණයක්. එකම ඩොලරය සඳහා තෝරාගත් පිරිසකට පමණක් වැඩි මිලක් ගෙවීමෙන් වෙන්නේ ඩොලරය පිළිබඳ මිල අපේක්ෂාවන් සීමා කර ගැනීම වඩා අපහසු වීමයි. මේ වෙද්දී ඩොලරය එහි නියම අගය දක්වා අවප්‍රමාණය වී අවසන් නිසා අපේක්ෂාවන් ඉහළ නොයන්නේනම් ඩොලරයේ මිල මේ සතිය තුළ ස්ථායී විය යුතුයි. ඒ සමඟම, තාවකාලිකව වුවත්, ප්‍රශ්නයෙන් සැලකිය යුතු කොටසක් විසඳෙනවා.

කෙසේ වුවත්, වැඩි වැඩියෙන් සල්ලි අච්චු ගහනවා කියා කියන්නේ ඩොලරයේ නියම අගය තව තවත් ඉහළ යනවා කියන එකයි. එවිට ඩොලරයේ මිලෙන් එම අගය පිළිබිඹු වීමට ඉඩ හරින්න වෙනවා. මෙය වලක්වා ගත හැක්කේ සල්ලි අච්චු ගහන එක පාලනය කිරීමෙන් පමණයි.

දැන් අපි දෙරණ පුවත වෙත යමු. 

"ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතින භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 1,627.00 ක් බව ඊයේ අඟහරුවාදා (15) දින නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ඊට පෙර දින එනම් සඳුදා (14) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 1,543.97 ක් බව මීට පෙර සටහන්ව තිබීමයි.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය ඊයේ දිනය තුළ දී රු. බිලියන 83.03 කින් වැඩි වී ඇත.

එනම් රු. බිලියන 83.03 ක හෙවත් රු. කෝටි 8,303 ක නව මුදල් ප්‍රමාණයක් ඊයේ දින රටට මුදා හැරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති බවයි.

මෙලෙස නව මුදල් නිකුත් කිරීම සඳහා මුදල් අච්චු ගැසීම යන සාමාන්‍ය ව්‍යවහාරය ද භාවිත වේ."

මෙහි මුල් කොටසේ සඳහන් සංඛ්‍යාලේඛණ සියල්ල නිවැරදි වුවත් අවසන් වාක්‍ය දෙකෙහි සඳහන් කරුණු නිවැරදි නැහැ. මාර්තු 15 අඟහරුවාදා මහ බැංකුව සතුව තිබී ඇති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර වල මුහුණත වටිනාකම රුපියල් බිලියන 1,627.01ක්. පෙර දින එම අගය රුපියල් බිලියන 1,543.97ක්. ඒ අනුව, මහ බැංකුව සතු බිල්පත්/ බැඳුම්කර වල මුහුණත වටිනාකම දිනක් තුළ රුපියල් බිලියන 83.03කින් හෙවත් රුපියල් කෝටි 8,303කින් ඉහළ ගොස් තිබෙනවා.

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර මිල දී ගැනීම සඳහා මුදල් ගෙවද්දී අලුත් මුදල් සංසරණයට එකතු වී සංචිත මුදල් සැපයුම ඉහළ යනවා. සංචිත මුදල් සැපයුම ඉහළ යාම සාමාන්‍ය ව්‍යවහාරයේදී සල්ලි අච්චු ගැසීම ලෙස හැඳින්වෙනවා.

කෙසේ වුවත්, මහ බැංකුව විසින් හෝ වෙනත් අයෙකු විසින් භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර මිල දී ගැනීමේදී ඒ වෙනුවෙන් එහි මුහුණත වටිනාකම ගෙවන්නේ නැහැ. මුහුණත වටිනාකම කියන්නේ බිල්පත්/ බැඳුම්කර කල් පිරීමේදී ගෙවන මුදලයි. මහ බැංකුව විසින් හෝ වෙනත් අයෙකු විසින් භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර මිල දී ගැනීමේදී ඒ වෙනුවෙන් ගෙවන්නේ එහි වෙළඳපොළ වටිනාකමයි.

වැඩිපුර තොරතුරු අවශ්‍යනම් පහත ලිපි කියවන්න.

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (තෙවන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (සිවුවන කොටස)

මාර්තු 15 අඟහරුවාදා මහ බැංකුව සතුව තිබී ඇති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර වල මුහුණත වටිනාකම රුපියල් බිලියන 1,627.01ක් වුවත් එම බිල්පත්/ බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 1,567,26ක් පමණයි. පෙර දින එම අගය රුපියල් බිලියන 1,492,42ක්. මේ අනුව, මහ බැංකුව සතු වූ බිල්පත්/ බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම දිනක් තුළ රුපියල් බිලියන 74.85කින් හෙවත් රුපියල් කෝටි 7,485කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ කියන්නේ, දවසක් ඇතුළත එපමණ මුදලක් සල්ලි අච්චු ගහලද?

මහ බැංකුව විසින් මුදල් ගෙවා භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර මිල දී ගත් පමණින්ම සංචිත මුදල් සැපයුම ඉහළ යාමක්, එනම් සල්ලි අච්චු ගැසීමක්, සිදු වන්නේ නැහැ. මහ බැංකුවෙන් එළියට යන සල්ලි නැවත මහ බැංකුව වෙතම එන ක්‍රම ගණනාවක් තිබෙනවා. වත්මන් සන්දර්භය තුළ මේ සඳහා හොඳම උදාහරණය සංචිත විකිණීමයි. 

මහ බැංකුව විසින් ඩොලරයක් විකුණන හැම විටෙකම එහි රුපියල් වටිනාකම මහ බැංකුවට ලැබෙන නිසා යම් මුදල් ප්‍රමාණයක් සංසරණයෙන් ඉවත් වී නැවත මහ බැංකුව වෙත එනවා. එහිදී සංචිත මුදල් සැපයුම පහළ යනවා. සංචිත මුදල් විකුණා උපයන රුපියල් බිල්පත්/ බැඳුම්කර මිල දී ගැනීම සඳහා යෙදෙවුවොත්, මහ බැංකුව සතු බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය ඉහළ යන නමුත් සංචිත මුදල් වැඩි වෙන්නේ නැහැ. මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර කියා කියන්නේ සංචිත මුදල් ප්‍රමාණය තීරණය කෙරෙන නිර්ණායක ගණනාවක් අතරින් එකක් පමණයි.

මාර්තු 9 දින සිට මාර්තු 16 දක්වා සතියක කාලය තුළ මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් ප්‍රමාණය රුපියල් බිලියන 1,357.10 සිට රුපියල් බිලියන 1,370.50 දක්වා රුපියල් බිලියන 13.40 කින් හෙවත් රුපියල් කෝටි 1,340කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව අදාළ සතියේ එක් දිනක් තුළ රුපියල් කෝටි 8,303ක් සල්ලි අච්චු ගසා තිබීම විය නොහැක්කක්. එහෙත්, සල්ලි අච්චු ගැසීමේ ප්‍රශ්නයක් තිබෙනවා. 

Friday, March 18, 2022

බලු පූට්ටුවෙන් මිදිය යුතු ඇයි?


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජාතිය අමතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට කටයුතු කරමින් සිටින බව නිවේදනය කිරීමෙන් පසුව විණිමය අනුපාතයේ යම් ස්ථාවර වීමක් පෙනෙන්නට තිබෙනවා. සතිය අවසන් වෙද්දී, සම්පත් බැංකුවේ හා DFCC බැංකුවේ ඩොලරයක විකිණුම් මිල රුපියල් 280යි. සෙලාන් බැංකුවේ 277.50යි. NDB බැංකුවේ හා HSBCහි රුපියල් 276යි. රාජ්‍ය බැංකු දෙකේ සහ තවත් බැංකු ගණනාවක මෙම මිල තවමත් රුපියල් 275 සීමාවේ රැඳී තිබෙනවා. 

මා ඩොලරයක මිල සැලකිය යුතු ලෙස ඉහළ යා යුතු බවත්, එසේ නොකරන තාක් කල් ලංකාව විසින් කරන්නේ වැටී සිටින වල තව තවත් හාරා ගැනීමක් බවත් දිගින් දිගටම කියූ අයෙක්. පසුගිය කාලයට සාපේක්ෂව යහපාලන ආණ්ඩුව පැවති කාලය තුළ රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වුනා. එම වකවානු වලදී ඩොලරයේ මිල ඉහළ යාම ගැන ආණ්ඩුවට චෝදනා කළ අය ඕනෑ තරම් හිටියත්, ඩොලරයක මිල තවදුරටත් ඉහළ යා යුතු බව කරුණු සහිතව පෙන්වා දෙමින්, සෘජුව ප්‍රකාශ කළ අය නොසිටි තරම්. 

මා පහත සබැඳි මෙහි පළ කරන්නේ "ඔන්න බලන්න. අපි මේ ටික කලින්ම කිවුවා!" කියා පෙන්වන්න නෙමෙයි. ඩොලරයක මිල ඉහළ යා යුත්තේ ඇයි කියා පැහැදිලි කරමින් එම ලිපි වල ලියා තිබෙන කරුණු හැමදාටම වලංගු බැවින් එම කරුණු නැවත නැවත ලියා ලිපි දිග් ගැස්සිය නොහැකි නිසා. 


2016 මාර්තු 

එකසිය පණහයි! ලාබයි!!


2018 අප්‍රේල් 

එකසිය හැටයි! ලාබයි!!


2018 සැප්තැම්බර් 

රුපියල තවදුරටත් අවප්‍රමාණය විය යුත්තේ ඇයි?


"ඉකොනොමැට්ටාගේ බොජුන්හල" වියුණුවේ (bojunhala.economatta.com හෝ economatta. blogspot.com) විශාල ලිපි ප්‍රමාණයක් ඇතත්, එම ලිපි වලට යා හැකි සබැඳි වත්පොතේ පළ කළ නොහැකියි. වත්පොතේ සබැඳි පළ කළ හැක්කේ සතපහ වියුණුවේ (sathapaha.economatta.com හෝ emgesathapaha.blogspot.com) පළ කර තිබෙන ලිපි වලට යාමට  පමණයි. එහෙත් අවශ්‍යනම් බොජුන්හල වියුණුවේ පළ කර තිබෙන පැරණි ලිපි වල පිටපත් වරින් වර යාවත්කාලීන කෙරෙන ඡායා වියුණුවකට (2.economatta.com හෝ econometta.blogspot.com) වත්පොතේ සිට යා හැකියි.  

මෙය වත්පොතෙන් කියවන අයට මතු විය හැකි අතුරු ප්‍රශ්න බොහොමයකට විස්තරාත්මක පිළිතුරු සහිත ලිපි විශාල ප්‍රමාණයක් බොජුන්හල වියුණුවේ තිබෙනවා. එම ලිපි වලට සබැඳි වත්පොතේ පළ කළ නොහැකියි. 

කෙසේ වුවද, ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ හිර කර තියා ගනිමින් පසුගිය වසර තුළ ආණ්ඩුව නා ගත්තා. පැවති තත්ත්වය 2021 දෙසැම්බර් 10 දින පළ කළ "ඩොලරයක මිලෙන් නොවැසෙන ආර්ථිකයේ හෙළුව" ලිපිය අවසානයේදී ඉකොනොමැට්ටා විසින් විග්‍රහ කර තිබුණේ මේ විදිහටයි.

"දැන්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ගොඩ දාගන්නවත් කාලයක් නැහැ. ... ඉතිරිව තිබෙන සොච්චම් ඩොලර් ප්‍රමාණයෙන් ආර්ථිකයේ හෙළුව වහගෙන ඉන්න කොයි තරම් හැදුවත්, ඔය සොච්චම් ඩොලර් ටික පොඩ්ඩක් එහාමෙහා වූ විට කාලයක් තිස්සේ වහගෙන ඉන්න අවලස්සන දේවල් ඔක්කොම එළියේ!"

ඒ අවලස්සන දේවල් දැන්නම් කාටත් පේනවා. කොණ්ඩ රැවුල් පාට කරලා, හමේ රැළි වහලා ලස්සනට ඉන්න කෙනෙකුගේ වකුගඩු කොයි තරම් නරක් වෙලාද කියලා ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් දැන ගන්නේ ශරීරය විවෘත කරන්න ගොඩක් කලින්. කපලා බලලා ඒ තීරණය ගන්නේ නැහැ. දැනටම වෙලා තියෙන නමුත් බොහෝ දෙනෙකුට නොපෙනෙන දේවල් වගේම වෙන්න තිබෙන දේවලුත් දැන ගන්න ඒ දේවල් ඇස් දෙකට පේන තුරු ඉන්න අවශ්‍ය නැහැ. ආර්ථික විද්‍යාව කියා නිශ්චිත විද්‍යාවක් තියෙන්නේ ඒකට. 

නිශ්චිත කියා කියන්නේ ආර්ථික ක්‍රියාකාරකම් විග්‍රහ කරන නිශ්චිත ක්‍රමවේදයක් තිබෙනවා කියන එක මිසක් නිශ්චිත සංඛ්‍යාත්මක පිළිතුරු හොයා ගන්නවා කියන එක නෙමෙයි. ආර්ථිකයක් ක්‍රියා කරන සංකීර්ණ ආකාරය උසස් පෙළට භෞතික විද්‍යා බහුවරණ ප්‍රශ්නයකට පිළිතුරු ලියද්දී වගේ තනි සමීකරණයකට ඌණනය කරලා තේරුම් ගන්න බැහැ. සාධක විශාල ගණනක අන්තර්ක්‍රියාව සමස්තයක් ලෙස තේරුම් ගන්න ඕනෑ. එය පුහුණුවක් අවශ්‍ය වැඩක්. 

කාලයක් තිස්සේම ප්‍රශ්නයට කෙටිකාලීන මෙන්ම දිගුකාලීන විසඳුම වන්නේද ඩොලරය අවප්‍රමාණය වන්නට ඉඩ හැරීම බව පුන පුනා කියපු ඉකොනොමැට්ටා පසුගිය මාර්තු 8 වනදා ඩොලරයක මිල රුපියල් 230 දක්වා ඉහළ යාමෙන් පසුව කිවුවේ මෙවැන්නක් බවත් අමතක කරන්න එපා.

"දිගුකාලීන ස්ථිර විසඳුම ඩොලරය පා කිරීමයි. එහෙත්, එය මේ වෙලාවේ ක්ෂණිකව කරන්නට යාම භයානක දෙයක්. ... දැන් තත්ත්වය යටතේ රුපියල පා කිරීම කළ යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමට සමාන්තරව පමණයි."

දියවැඩියාව තියෙන කෙනෙක් මාසයක් බෙහෙත් නොබී ඉඳලා දිනපතා ගත යුතු වූ මෙට්ෆෝමින් පෙති තිහම එක දවසේ බිව්වොත් වෙන්නේ මොකක්ද කියලා මම කියන්න අවශ්‍ය නැහැ. කොහොම වුවත් දැන් ඩොලරය රුපියල් 275-280 මට්ටමට ගිහින් අවසන් නිසා කරපු මෝඩකම් ගැන කතා කරලා වැඩක් නැහැ.

ඩොලරයේ මිල අවශ්‍ය පරිදි ටිකෙන් ටික ඉහළ යන්න දුන්නානම් මේ වගේ විශාල ආනයන අපනයන පරතරයක් හැදෙන්නේ නැහැ. දැන් ඩොලරය ඉහළ ගියා කියලා එක පාරටම ඒ පරතරය නැති වෙන්නෙත් නැහැ. ආණ්ඩුවේ ඇස්තමේන්තුව අනුව, ඩොලරය ඉහළ යාමෙන් ඩොලර් බිලියන හතක වාසියක් ලැබෙනවා. මගේ ඇස්තමේන්තුව ඊට වඩා ටිකක් අඩුයි. කොහොම වුනත් ඔය වාසිය ලැබෙන්නේ අවුරුද්දක පමණ කාලයක් ඇතුළතයි. ඒ කාලය ඇතුළතත් තත්ත්වය කළමනාකරණය කර ගත යුතුයි. එය කළ හැක්කේ මොන විදිහකින් හෝ රටේ විදේශ ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ විශ්වාසය තහවුරු කිරීමෙන්ම පමණයි. 

ඩොලරයේ "සැබෑ" මිල තීරණය වන්නේ ලංකාව ඇතුළේ ඩොලර් වලට තිබෙන ඉල්ලුම හා සැපයුම මතයි. මේ වෙලාවේ සැපයුමට වඩා ඉල්ලුම ගොඩක් වැඩියි. ඩොලර් හිඟ වී තිබෙන්නේ ඒ නිසා. ඩොලර් සැපයුම බොහෝ දුරට බාහිර සාධක මත තීරණය වන නිසා ලංකාවට ඩොලර් සැපයුම කෙරෙහි විශාල බලපෑමක් කරන්න බැහැ. ඊට සාපේක්ෂව ඩොලර් ඉල්ලුම කෙරෙහි වැඩි බලපෑමක් කළ හැකියි. 

ඩොලර් මිල පහළින් තියාගෙන ආනයන සීමා කළා කියලා ආනයන ඉල්ලුම අඩු වෙන්නේ නැහැ  ඒ නිසා, මේ ක්‍රමය කිසිසේත්ම  ස්ථිරසාර ක්‍රමයක් නෙමෙයි. නමුත්, ඩොලරයේ මිල ඉහළ යද්දී ආනයන ඉල්ලුම පහළ යනවා. එය ස්ථිරසාර ක්‍රමයක්. ඒ වගේම යම් තරමකින් හෝ අපනයන ඉල්ලුමද ඉහළ යනවා. ඒ නිසා, ඩොලරයේ මිල ඉහළ යද්දී රට ඇතුළේ තිබෙන ඉල්ලුම් සැපයුම් පරතරය යම් ප්‍රමාණයකින් පහළ යනවා.

ඉල්ලුම් සැපයුම් පරතරයට හේතු වී තිබෙන්නේ කෘතීම ලෙස පහළින් තබා ගත් ඩොලරයේ මිල වුවත් මේ වන විට මිල ඉහළ දැමීමෙන් පමණක් විසඳිය නොහැකි තරමට ප්‍රශ්නය ඔඩු දුවලා ඉවරයි. දැන් තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්. ඒ ලංකාවෙන් ඩොලර් ආපසු ගෙන යාමේ හැකියාව පිළිබඳ විශ්වාසය පලුළු වීමේ ප්‍රශ්නය. මේ හේතුව නිසා මෙතෙක් පසුව මුදල් ගෙවීමේ පදනම මත බඩු විකිණූ අයෙකු වුවත් අත්පිට ඩොලර් ඉල්ලන්න පෙළඹෙනවා. එවැනි තත්ත්වයක් යටතේ සාමාන්‍ය ව්‍යාපාරිකයෙකු විසින් සාමාන්‍යයෙන් ගහගෙන යන රෝල ගහගෙන යන්නත් බැරි වෙනවා. ඒ නිසා, දැන් කළ යුත්තේ වහාම මේ විශ්වාසය නැවත ඇති කිරීමයි. 

සියළුම තැන්පත්කරුවන් විසින් තමන්ගේ තැන්පතු මුදල් එකවර ආපසු ඉල්ලා සිටියොත් ලෝකයේ කිසිම බැංකුවකට එම මුදල් ආපසු ගෙවීමේ හැකියාවක් නැහැ. එහෙමයි කියලා බැංකු බංකොලොත් වෙන්නේ නැහැ. බැංකුවක් විසින් නිරන්තරයෙන් තැන්පතු ආපසු ගැනීම සඳහා වන ඉල්ලුම පුරෝකථනය කර ඒ සඳහා අවශ්‍ය වන මුදල අතේ තියා ගැනීමට සැලකිලිමත් වෙනවා. මුදල් ආපසු ගැනීම් ඉහළ යද්දී පොලී අනුපාතික ඉහළ දමා එය සීමා කර ගන්නවා. පොලී අනුපාතික වෙනස් වීමට ඉඩ හැරීම මගින් බැංකුවට එන හා බැංකුවෙන් යන මුදල් පාලනය කරනවා. 

එසේ නොකර පොලී අනුපාතික වැඩි නොකර එක තැන තියාගෙන හිටියොත් බැංකුවෙන් එළියට යන තරමට මුදල් බැංකුවට ආපසු නොඑන නිසා බැංකුවේ තිබෙන මුදල් සංචිත ටිකෙන් ටික හිඳෙන්න පටන් ගන්නවා. මෙයට පිළියමක් ලෙස බැංකුවෙන් මුදල් ආපසු ගැනීම සීමා කළොත් වෙන්නේ එම බැංකුව ගැන විශ්වාසය බිඳ වැටී කවුරුවත් සල්ලි දාන්නේ නැති වීමයි. මොකද සල්ලි දාන්න පුළුවන් වුනත් ගන්න පුළුවන් වෙයිද කියලා විශ්වාසයක් නැහැ. අර ඉස්සර කතාවක් තිබුණේ ලංකා බැංකුවේ ලාංඡනය සඳහා සුදුසු සංකේතය බලු පූට්ටුව කියලා. පෞද්ගලික බැංකු ව්‍යාප්ත වෙන්න පෙර කාලයේ කතාවක්!

මේ විශ්වාසය නැති වුනාට පස්සේ පොලී අනුපාතික වැඩි කළා කියලත් ප්‍රශ්නය එකවර විසඳෙන්නේ නැහැ. ඒ සඳහා, මුලින්ම බැංකුවේ දාන සල්ලි අවශ්‍ය වෙලාවක ආපසු ලබා ගත හැකි බවට වන විශ්වාසය නැවත තහවුරු කළ යුතු වෙනවා. 

ලංකාවේ ඩොලර් ප්‍රශ්නයත් දැන් තියෙන්නේ මේ වගේ තැනකයි. රටේ විදේශ ණය දිහා බැලුවොත්නම් ඩොලර් බිලියන පණහක් හැටක් තියෙනවා. ඔය ණය ඔක්කොමනම් කොහොමටත් ආපහු ගන්න බැහැනේ. ඒ වුනාට, එහෙම ඔය ණය ඔක්කොම එකවර ආපසු ගෙවන්න අවශ්‍යත් නැහැ. නමුත්, එයින් යම් කොටසක් හැම වසරකම ආපසු ගෙවිය යුතුයි. ගෙවන ප්‍රමාණයට හරියන තරමට ණය දෙන්න අය ඉන්න තුරු වැඩේ අවුලක් නැතුව ඇදගෙන යන්න පුළුවන්. බැංකු කරන්නෙත් ඔය වැඩේමනේ. 

හැබැයි මේක බලු පූට්ටුවක් වෙලා දාන ලේසියට ගන්න බෑ කියලා තේරුණාට පස්සේ කවුරුවත් රටට ඩොලර් ණයට දෙන්න බය වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන එකේ තියෙන වාසිය ණයට ලැබෙන ඩොලර් බිලියන හතර පහ පමණක් නෙමෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණයක් දෙන්නේ දෙන ණය ආපසු ලැබෙන බවට සහතිකයක් ඇත්නම් පමණයි. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගිය ගමන්ම අනෙක් අයගේත් බය ඇරෙනවා. වෙන තැනකින් ඔය මුදලම ගත්තා කියලා ඒ විදිහට බය ඇරෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්නය විසඳෙන්නෙත් නැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් වරදින වෙලාවල් තිබුණත් ගොඩක් වෙලාවට වරදින්නේ නැහැ. මොකද ඔවුන් ණය දෙන්නේ වසර හතර පහක් දිව යන ආර්ථික ස්ථායිකරණ වැඩ පිළිවෙලකට අදාළ රට එකඟ වීමෙන් පසුවයි. එවැනි වැඩ පිළිවෙලක් හදාගන්න මාස පහක් හයක් යනවා. මොකද මේක විචල්‍ය සිය ගණනක් තිබෙන සමීකරණ සිය ගණනක් එකවර විසඳා සොයා ගත යුතු පිළිතුරක්. උසස් පෙළ බහුවරණ ප්‍රශ්නයකට පිළිතුරු ලියද්දී උඩ දාපු ගලක් බිම වැටෙන වෙලාව හොයා ගන්නවා වගේ සරල දෙයක් නෙමෙයි.

භෞතික විද්‍යාවෙන් ප්‍රශ්නයකට නිශ්චිත පිළිතුරු නොලැබෙන බව ඉංජිනේරු විද්‍යාව හදාරපු අය දන්නවා. එහෙම නිශ්චිත පිළිතුරු ලැබෙනවානම් සේෆ්ටි මාජින් තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට කොයි තරම් සංකීර්ණ ආකෘතියක් හදන්න පුළුවන් වුනත්, හැම වෙලාවෙම සැබෑ ලෝකයේ සිදුවන ක්‍රියාවලිය ආකෘතියකට වඩා සංකීර්ණයි. කොයි තරම් සංකීර්ණ ආකෘතියකට වුවත් මග හැරෙන දේවල් ගණනාවක් තිබෙනවා. ඒකට විසඳුම ආකෘති අත හැරලා සරල කණාපල්ලං විසඳුමකට යන එක නෙමෙයි.

ඉකොනොමැට්ටාගේ ලිපි සාමාන්‍යයෙන් දිගයි. කාලය වැය කරලා මේ ලිපි ලියන්නේ තමන්ගේ කාලය ආයෝජනය කරලා කියවන්න කැමති අය වෙනුවෙන්. වත්පොතේ ඉන්න ගොඩක් අය එවැනි අය නොවන බව මම දන්නවා. ඒ අය කැමැති වොයිස්කට් විග්‍රහ වලට. එහෙම අයට ඉකොනොමැට්ටාගේ ලිපි නොගැලපෙන්න පුළුවන්. සමහර දේවල් බාගෙට දැන ගන්නවාට වඩා නොදැන ඉන්න එක හොඳයි.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...