පෙර කොටසින් විස්තරාත්මක ලෙස පැහැදිලි කළ පරිදි, ලංකාවේ ආර්ථිකය මේ වන විට පත් වී ඇති තත්ත්වයට වසංගතයේ දායකත්වය බැහැර කළ නොහැකි වුවත්, රටේ විදේශ අංශයට වසංගතය නිසා සිදු වූ යහපත් හා අයහපත් බලපෑම් සැලකිල්ලට ගැනීමෙන් පසුව නිගමනය කළ හැක්කේ වසංගතය නොපැවතියද මේ වන විට රටේ තත්ත්වය දැන් තිබෙනවාට වඩා යහපත් මට්ටමක නොතිබිය හැකි වූ බවයි. වසංගතය නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් "පිනට" ලැබුණු ඩොලර් මිලියන 800ක මුදල වැනි සාධකද සැලකූ විට කිව හැක්කේ වසංගතය නොතිබුණානම් මේ වෙද්දී රටේ තත්ත්වය මීටත් වඩා දරුණු වන්නට වුවද ඉඩ තිබුණු බවයි.
ප්‍රශ්නයේ මුල් නිදහස ලැබූ කාලය තෙක්ම ඇදී යන නමුත් මේ ආණ්ඩුවේ අදූරදර්ශී සාර්ව-ආර්ථික උපාය මාර්ග නොවන්නට රටේ ආර්ථිකය මේ තරමටම කඩා වැටීමේ ඉඩක් තිබුණේ නැහැ. මේ අදූරදර්ශී සාර්ව-ආර්ථික උපාය මාර්ග අතරින් බදු කැපිල්ලේ හානි මේ වන විට පුළුල් ලෙස සාකච්ඡා වී හා පිළිගැනීමට ලක් වී අවසන් වුවත් විණිමය අනුපාතය පාලනය කිරීමේ හානි ඒ තරමටම සාකච්ඡා වී නැහැ.
ආනයන පාලනය කිරීමේ හානි යම් තරමකින් වැඩි අවධානයකට යොමු වී ඇතත් ආනයන පාලනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වී තිබෙන්නේම විණිමය අනුපාතය පාලනය කිරීම නිසාය යන්න අවධාරණය වී තිබෙන්නේ අඩුවෙන්. මුලින් න්‍යාය මත පමණක් පදනම්ව සිදු විය හැකි බව පෙන්වා දුන් මේ කරුණ දැන් අපට සංඛ්‍යාලේඛණ ඇසුරෙන්ම පෙන්වා දිය හැකියි.
වසංගතයට පෙර 2019 වසරේදී ආනයන පාලනයක් සිදු වූයේ නැහැ. වඩාත් නිවැරදිව කියනවානම් ආනයන පාලනය සිදු වුනේ වෙළඳපොළ මූලධර්ම අනුවයි. වෙළඳපොල විසින් ආනයන පාලනය කෙරෙන ස්වභාවික ක්‍රමය වන්නේ මිල ඉහළ යන්නට සැලැස්වීම මගින් ආනයන ඉල්ලුම අඩු කිරීමයි. මෙහිදී කිසිදු භාණ්ඩ හිඟයක් ඇති වන්නේ නැහැ. මෙයින් වෙනස්ව, මේ ආණ්ඩුවේ වත්මන් සාර්ව-ආර්ථික උපාය මාර්ගය වී තිබෙන්නේ මිල වැඩි නොකර සැපයුම පාලනය කිරීමයි. මෙහි ප්‍රතිඵලය ඉල්ලුම තවතවත් ඉහළ යාමයි.
කෘතීම ආනයන පාලනයක් සිදු නොවූ 2019 වසරේදී ලංකාවේ ආනයන වියදම වූයේ ඩොලර් මිලියන 19,937ක් පමණයි. එහෙත්, වාහන, කිරිපිටි ආදී බොහෝ දේ ආනයනය කිරීම මුළුමනින්ම වලක්වා තවත් ආනයනික භාණ්ඩ විශාල ප්‍රමාණයක් ආනයනය කිරීම සීමා කර තිබියදී පවා 2021 වසර තුළ ආනයන වෙනුවෙන් වැය වී තිබෙන මුදල ඩොලර් මිලියන 20,637ක්. මෙය ඩොලර් මිලියන 700ක ඉහළ යාමක්. මීට සාපේක්ෂව අපනයන ආදායම් ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 562කින් පමණයි. මේ අනුව, කොපමණ ආනයන සීමා දැම්මත් 2019ට සාපේක්ෂව 2021දී වෙළඳ හිඟය සුළුවෙන් හෝ වැඩි වී මිස අඩු වී නැහැ.
විණිමය අනුපාතය වෙනස් වන්නට ඉඩ නොදී, ආනයනික භාණ්ඩ කෘතීම ලෙස ලාබ කර, තෝරාගත් කාණ්ඩ වල ආනයනික භාණ්ඩ ආනයනය වැළැක්වූ විට සිදු වන්නේ එසේ තහනම් නොකළ ආනයනික භාණ්ඩ සඳහා වන ඉල්ලුම ඉහළ යාමයි. ආනයනික භාණ්ඩ ආනයනය එකින් එක තහනම් කර ගෙන ගොස් මේ ප්‍රශ්නය විසඳිය හැක්කේ භාණ්ඩ ආනයනය මුළුමනින්ම නැවැත්වීමෙන් පසුව පමණයි. ආනයනික භාණ්ඩ සඳහා වැය වන විදේශ විණිමය රට තුළ රඳවා ගත හැකි සරලම හා පහසුම ක්‍රමය විණිමය අනුපාතය ඉහළ යන්නට ඉඩ දීමයි. එය නොකරන තුරු ක්‍රමක්‍රමයෙන් රට තුළ ආනයනික භාණ්ඩ හිඟය ඉහළ යාම වැළැක්විය නොහැකියි.
ලංකාව වැනි කුඩා ආර්ථිකයක් තිබෙන රටක ආනයනික භාණ්ඩ සීමා වීම යන්නෙන් අදහස් වන්නේ දේශීය නිෂ්පාදනයද විශාල ලෙස බිඳ වැටෙනවා යන්නයි. ලංකාවේ දේශීය නිෂ්පාදන බොහොමයකට සැලකිය යුතු තරමක ආනයනික ආදාන අවශ්‍යයි. මේ වන විට මේ දේවල් ඇස් පනාපිට පෙනෙමින් තිබෙනවා. වසංගතය නොවන්නට සංචාරක කර්මාන්තය ඇතුළු සේවා ආර්ථිකයටද විණිමය අනුපාතය පාලනය කිරීම නිසා සිදුවන හානිය පැහැදිලි ලෙසම දැකගත හැකිව තිබුණා. මේ වසර මැද වන විට වසංගත බිය දුරු වී ලෝකය බොහෝ දුරට පෙර පැවති මට්ටමට පැමිණෙනු ඇති නමුත් පවතින විණිමය අනුපාතය එලෙසම තිබියදී සේවා ගිණුමේ අතිරික්තය 2019 මට්ටමට ඉහළ නංවා ගැනීම ගිම්හානයේ දකින සිහිනයක් පමණයි.
කෙසේ වුවත්, විණිමය අනුපාතය පාලනය කිරීමේ හානිය වැඩි වශයෙන්ම දැනී තිබෙන්නේ ශ්‍රමික ප්‍රේෂණ සටහන් වන ද්වීතියික ආදායම් ගිණුමටයි. මෙය අනිවාර්යයෙන්ම මහ බැංකුව ඇතුළු ලංකාවේ සාර්ව-ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් අපේක්ෂා නොකළ තත්ත්වයක්. ආර්ථික න්‍යාය දැන සිටියත් ඒවා පිළිබඳව විශ්වාසයක් නැති වූ විට මෙවැනි ප්‍රශ්න මතු වෙනවා.
ළමයා ඉපදෙන්න කලින්ම හඳහන් බලනවා වගේ මහ බැංකුව විසින් අනාගතයේ ලැබෙන්නට නියමිත ශ්‍රමික ප්‍රේෂණ කලින්ම විකුණන්නට සැලසුම් හැදුවා. මෙහිදී මහ බැංකුවේ උපකල්පනය වුනේ ශ්‍රමික ප්‍රේෂණ කියන්නේ ඕනෑම තත්ත්වයක් යටතේ නොසිඳෙන ඩොලර් උල්පතක් බවයි. කන්න නොදී කොයි තරම් පහර දුන්නත් කිරි සපයන කිරි එළදෙනක් බවයි. 2021 නොවැම්බර් තරම් මෑත කාලයකදී පවා මහ බැංකුව මේ විශ්වාසය තුළ සිටියා. වසරකට ඩොලර් මිලියන 7,000ක ශ්‍රමික ප්‍රේෂණ ලැබෙන එක ගැන මහ බැංකුවට කිසිම සැකයක් තිබුණේ නැහැ.
පසුගිය වසර පහක හෝ ඊටත් වැඩි කාලය තුළ වසරකට ඩොලර් බිලියන 7ක පමණ ශ්‍රමික ප්‍රේෂණ රටට ලැබුණා කියන එක කවුරුත් දන්නා දෙයක්. ඇත්තටම මේ ශ්‍රමික ප්‍රේෂණ කියන අර්ථදක්වීමේත් ප්‍රශ්නයක් තිබෙනවා. එය පසුව කතා කරමු. කොහොම වුනත් පහුගිය අවුරුදු වල ලංකාවට සල්ලි එවන අයට ඩොලරයක් වෙනුවෙන් සාධාරණ රුපියල් ප්‍රමාණයක් ලැබුණා. අවුරුද්දකට ඩොලර් බිලියන හතක් සල්ලි ආවේ ඒ තත්ත්වය යටතේ.
දැන් වෙලා තියෙන්නේ කුමක්ද? 2021 ජනවාරි මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 675.3ක් ලැබුණා. ඔය ගණන දොළහෙන් වැඩි කළොත්, ඩොලර් මිලියන 8,103.6ක්. නමුත්, 2022 ජනවාරි මාසයේදී ලැබුණේ ඩොලර් මිලියන 259.2ක් පමණයි. දොළහෙන් වැඩි කළොත් ඩොලර් මිලියන 3,110.4ක් පමණයි. ඩොලර් බිලියන 5ක වෙනසක්. පේනවනේ යන්නේ කොහාටද කියලා.
ලංකාවේ ආණ්ඩුවට හා මහ බැංකුවට ආනයන පාලනය කරලා රටට එන ඩොලර් රටින් එළියට යන එක වලක්වා ගන්න උත්සාහ කරන්න පුළුවන්. අපනයනකරුවන් විසින් උපයන ඩොලර් රටට ගේන්න කියලා ඔවුන්ට බල කරන්නත් පුළුවන්. හැබැයි ඔය විදිහට තග දාලා රටින් පිට සිට ලංකාවට ඩොලර් ගෙන්න ගන්න බැහැ. රටින් පිට ජීවත් වන අය ලංකාවේ ආණ්ඩුව කියන දේවල් මායිම් කරන්නේ නැහැ. අනිත් එක සල්ලි එවද්දී "රට විරුවෝ" වුනත් ඔය මිනිස්සුන්ට කෝවිඩ් කාලේ ආණ්ඩුව සලකපු විදිහත් අමතක නැතුව ඇතිනේ. ඒ නිසා, නියම රුපියල් ගණන නොලැබෙද්දී ආණ්ඩුව ගැන අනුකම්පා කරලා සල්ලි එවයිද?
දැනටත් මහ බැංකුව හිතන බව පෙන්නේ කොහොම හරි සල්ලි උන්ඩියල් වෙන එක නවත්ත ගත්තොත් වැඩේ ගොඩ කියලා. උන්ඩියල් පාලනය කරන්න ගියොත් වෙන්නේ තත්ත්වය තවත් නරක අතට හැරෙන එක පමණයි. උන්ඩියල් වෙන සල්ලි බැංකු පද්ධතිය හරහා නොආවත් වක්‍ර ලෙස හෝ රටට එනවා. වැඩිය සෙල්ලම් දාන්න යනවා කියන්නේ ඒ එන ටිකත් නැති වෙන එකයි.
ලංකාවේ ගොඩක් අයගේ අදහස දරු පවුල ලංකාවේ තියලා මැද පෙරදිග රැකියා වලට යන අය ලංකාවට ඩොලර් එවුවත් ස්ථිර පදිංචිය සඳහා බටහිර රටවලට යන අය සල්ලි එවන්නේ නැහැ කියන එක. සමහර අය කියන විදිහට ඒ අය ලංකාවේ තිබෙන ඉඩකඩමුත් විකුණලා ඩොලර් රටින් අරන් යන එකයි කරන්නේ. මේ කතාවේ ඇත්තක් තිබුණත් එය අර්ධ සත්‍යයක්. සංඛ්‍යාලේඛණ වල කොයි තරම් නිවැරදිව පිළිබිඹු වනවාද කියලා මම දන්නේ නැතත්, ස්ථිර පදිංචිය සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් විසින්ද ලංකාවට සැලකිය යුතු මුදලක් එවනවා. මම පෞද්ගලිකව දන්න ගොඩක් අය පවුල පිටින්ම රටින් පිටවෙලා අවුරුදු ගාණක් ගිහින් තිබුණත් හැම අවුරුද්දකම විශාල මුදලක් ලංකාවට යවන අය.
පවුල ලංකාවේ සිටිද්දී, වෘත්තීය නොවන රැකියාවක් කරන්න මැද පෙරදිග රටකට ගොස් සිටින අයෙකුට මාස්පතා ලංකාවට සල්ලි නොඑවා ඉන්න බැහැ. බැංකු හරහා, උන්ඩියල් කරලා බැරිනම් පරෙයියෙක්ගේ කකුලේ බැඳලා හරි ඒ අයට ලංකාවට සල්ලි එවන්නම වෙනවා. එහෙම නොකළොත් ගෙවල් වල මිනිස්සුන්ට කන්න බොන්න විදිහක් නැහැ. බටහිර රටක ස්ථිර පදිංචිය සඳහා ගිහින් සිටින කෙනෙකුට ඒ ප්‍රශ්නය නැහැ. ඒ අය සල්ලි එවන තුරු බලා ඉන්න පවුලක් ලංකාවේ නැහැ.
මේ වගේ කෙනෙක් ලංකාවට සල්ලි එවන්නේ එක්කෝ තමන්ගේ විස්තෘත පවුලේ සාමාජිකයෙකුගේ කුමක් හෝ වියදමක් වෙනුවෙන්. වයස්ගත දෙමවුපියන්, සහෝදර සහෝදරියන් හෝ ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් වෙන්න පුළුවන්. හැබැයි බොහෝ විට මේ විදිහට සල්ලි එවන්නේ මරණයක්, මගුලක්, දානයක්, උපන් දිනයක් වගේ විශේෂ අවස්ථාවකදී මිසක් මාස්පතා දීමනාවක් විදිහට නෙමෙයි. එහෙම නැත්නම් සමාජ කටයුත්තකට. පන්සලකට, ළමා නිවාසයකට හෝ පාසැලේ ආදි ශිෂ්‍ය සංගමයට වගේ තැනකට වෙන්න පුළුවන්. තවත් අය සල්ලි එවන්නේ ලංකාවේ කුමක් හෝ දේපොළක් මිල දී ගන්න හෝ සංවර්ධනය කරන්න. එහෙම කරන අයත් ගොඩක් ඉන්නවා. මේවා හරිනම් සංඛ්‍යාලේඛණ වල ප්‍රාග්ධන ගිණුමේ සටහන් විය යුතු වුවත්, වෙන් කර හඳුනා ගන්න අමාරු නිසා ශ්‍රමික ප්‍රේෂණ ගොඩටම එකතු වෙනවා.
ඔය කවර හෝ හේතුවක් නිසා සල්ලි එවන අයට ඒ සල්ලි ලංකාවට එවන්නම කියලා අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම, මේ ගොඩේ ඉන්න අය ලංකාවේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය ගැන දැනුවත් පිරිසක්. ඩොලරයක මිල වැඩි කලක් ඔය විදිහට තියා ගන්න බැරි බව ඒ අයට තේරෙනවා. මේ සල්ලි උන්ඩියල් වෙන්නේ නැහැ. රටට එන එක සම්පූර්ණයෙන්ම නැවතිලා.
මේ ගොඩට දැමිය හැක්කේ බටහිර රටවලට ස්ථිර පදිංචිය සඳහා ගොස් සිටින අය එවන සල්ලි පමණක් නෙමෙයි. මැදපෙරදිග රටවල වෘත්තීය රැකියා කරන අයටත් මේ කතාව අදාළයි. අපි හිතමු මැදපෙරදිග රටක සේවය කරන ගණකාධිකාරීවරයෙක් ගැන. ඔහුගේ බිරිඳ හා දරුවන් ඉන්නේ ලංකාවේ. බිරිඳ වෘත්තීය රැකියාවක් කරන්නේ නැත්නම් අඩු ගානේ ගුරු රැකියාවක් හෝ කරනවා. මේ පවුලේ සාමාජිකයින් සතුව ලංකාවේ බැංකු වල ඉතිරි කරගත් සැලකිය යුතු මුදලක්ද තිබෙනවා. දැන් අර මැදපෙරදිග ඉන්න පියා මාස කිහිපයක් ඩොලර් නොඑවුවා කියලා ලංකාවේ ඉන්න පවුල කන්න නැතුව මැරෙන්නේ නැහැ. ඒ නිසා, සල්ලි උන්ඩියල් කරන්න හදිස්සියක් නැහැ.
ශ්‍රමික ප්‍රේෂණ ලෙස මසකට ලැබුණු මුදලින් ඩොලර් මිලියන 400කටටත් වඩා අඩු වී තිබීමෙන් අදහස් වන්නේ ඔය මුදල උන්ඩියල් වෙනවා කියන එක නෙමෙයි. උන්ඩියල් වන මුදල වැඩිම වුනොත් මාසයකට ඩොලර් මිලියන 100ක් පමණ විය හැකියි. ඉතිරි කොටස අදූරදර්ශී විණිමය ප්‍රතිපත්තිය නිසා හිඳී ගොස් ඇති විදේශ විණිමය උල්පතක්.
විදේශගත ශ්‍රී ලාංකික ඩයස්පෝරාව කියා කියන්නේ ලංකාවට නොසලකා හැරිය හැකි පිරිසක් නෙමෙයි. හොඳට හෝ නරකට හෝ අනාගතයේදී ලංකාවේ කලාව, දේශපාලනය හා ආර්ථිකය මේ පිරිස විසින් තීරණය කරනු ලැබීම නොවැලැක්විය හැකි දෙයක්. දැනටත් ලංකාවේ ටෙලි නාට්‍ය, චිත්‍රපට, සිංදු, පොත්, වෙබ්අඩවි, සමාජ මාධ්‍ය, සමාජ සේවා, ක්ෂුද්‍ර ව්‍යාපාර, සිංහල ජාතිකවාදය ඇතුළු මතවාද සංස්කරණය ආදිය තුළ ඩයස්පෝරාවේ බලපෑම ඉතාම විශාලයි. ඒ බව නොසලකා හරින අයට මෝඩ චූන් ගන්න පුළුවන්. අනෙක් කරුණු කෙසේ වුවත්, ජවිපෙ මේ කරුණ නිවැරදිව අවබෝධ කරගෙන සිටින බව පේනවා. රැස්වීම තංගල්ලේ වුනත්, ගම්පහ වුනත් ජවිපෙ කථිකයෝ කතා කරන්නේ ඩයස්පෝරා සාමාජිකයින්ටත් එක්කයි.
උන්ඩියල් වෙළඳපොළ කියන්නෙත් සමතුලිත වෙළඳපොළක්. උන්ඩියල් ක්‍රමයට රටට එන හැම ඩොලර් එකක්ම අනික් පැත්තට රටින් එළියට යනවා. ඒ කියන්නේ, ශ්‍රමික ප්‍රේෂණ වල වාර්තා වී නැති ඩොලර් එකක් උන්ඩියල් ක්‍රමයට රටට ඇවිත්නම් රටින් එළියට ගිය ඩොලර් එකකුත් සංඛ්‍යාලේඛණ වල නැහැ කියන එකයි.
සාමාන්‍යයෙන් පෞද්ගලික ප්‍රේෂණ ලෙස වසරකට ඩොලර් බිලියනයක් පමණ ලංකාවෙන් එළියට යනවා. බැංකු වලින් ඩොලර් ගන්න අමාරු නිසා 2021 වසරේදී මේ ප්‍රමාණයෙන් ඩොලර් 600ක් පමණ නියම ක්‍රමයට එළියට ගිහින් නැහැ. එයින් කොටසක් උන්ඩියල් වෙන්න ඇති. ආනයන වෙනුවෙන්ද යම් ඩොලර් ප්‍රමාණයක් උන්ඩියල් ක්‍රමයට රටින් යන්න ඇති. ඔය සියල්ල එකතු කළත් ඩොලර් බිලියනයකට වඩා වැඩි වෙන්න බැහැ. උන්ඩියල් ක්‍රම වලට වැඩි වැඩියෙන් වැට බඳින තරමට වෙන්නේ කළු කඩේ ඩොලර් මිල තවත් ඉහළ ගොස් නිල විණිමය අනුපාතය මත පීඩනය ඉහළ යන එක පමණයි.
දැන් තත්ත්වය අනුව වඩා සුදුසු ජංගම ගිණුම දෙස මාසික පදනමකින් බලන එකයි. අවුරුද්දකට පස්සේ තත්ත්වය ගැන හිතන එකෙත් ලොකු තේරුමක් නැහැ. පවතින තත්ත්වය තුළ මාසයකට ඩොලර් මිලියන 1000ක් පමණ අපනයන වලින් ලැබෙද්දී ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 1700ක් වියදම් වෙනවා. ණය පොලී ගෙවන්න තවත් ඩොලර් 200ක් යනවා. ඒ කියන්නේ මාසයකට ඩොලර් මිලියන 900ක් පමණ හොයා ගත යුතුයි. සංචාරකයන්ගෙන් හා ශ්‍රමික ප්‍රේෂණ වලින් ලැබෙන්නේ ඩොලර් මිලියන 500ක පමණ මුදලක්. තවත් ඩොලර් මිලියන 400ක් අඩුයි. ඒ ශ්‍රමික ප්‍රේෂණ අඩු වීමේ ප්‍රතිඵලය.
විණිමය අනුපාතය අවප්‍රමාණය වූ ගමන්ම ඔය ඩොලර් මිලියන 400 නැවතත් රටට එන්න පටන් ගන්නවා. ඊට පස්සේ හොයාගන්න වෙන්නේ ණය ආපසු ගෙවන්න අවශ්‍ය ඩොලර් ටික පමණයි. නමුත් වැරදි විණිමය ප්‍රතිපත්තිය නිසා දැන් මාසයකට තවත් අමතර ඩොලර් මිලියන 400ක් හොයාගන්න වෙලා. සංචිත තියෙන්නේ ඩොලර් බිලියන 2.3ක් පමණයි. ඉන්දියාව තවත් කොයි තරම් කාලයක් ලංකාවේ ආර්ථිකය ආරක්ෂා කරයිද?