උද්ධමනයට හේතු වෙන්නේ මුදල් සැපයුම ඉහළ යාම බව මේ වන විට ලංකාවේ බොහෝ දෙනෙක් න්‍යායාත්මකව පමණක් නෙමෙයි අත්දැකීමෙන්ම දන්නවා. පසුගිය ජනවාරි මාසයේදී ලංකාවේ උද්ධමනය කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 14.2% දක්වාත්, ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 16.8% දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. මේ විදිහට උද්ධමනය ඉහළ යාම කොතැනකින් නවතියිද?
ඊට පෙර ඇසිය යුතු මූලික ප්‍රශ්නයක් ලෙස, පසුගිය වසර දෙකක කාලය තුළ ලංකාවේ මුදල් සැපයුම කොපමණ ඉහළ ගිහින්ද?
ලංකාවේ මුදල් සැපයුම මනින නිර්ණායක කිහිපයක්ම තිබෙනවා. කෙසේ වුවත්, ලංකාවේ හෝ වෙනත් රටක මුදල් සැපයුම ගැන කරන කතාබහක් ආරම්භ කළ යුත්තේ සංචිත මුදල් වලින්. සංචිත මුදල් ලෙස හැඳින්වෙන්නේ මහ බැංකුවේ වගකීම්. මහ බැංකුව විසින් අච්චු ගසා කෙළින්ම සංසරණයට එකතු කරන මුදල්. සාමාන්‍ය ව්‍යවහාරයේදී සල්ලි අච්චු ගහනවා කියන එකෙන් අදහස් වෙන්නේ සංචිත මුදල් ප්‍රමාණය ඉහළ යාමයි. මුදල් පදනම, පාදක මුදල්, M0 ආදී නම් වලින් හැඳින්වෙන්නේත් මේ සංචිත මුදල්මයි.
පසුගිය දෙවසර තුළ, එනම් 2019 අවසානයේ සිට 2021 අවසානය දක්වා කාලය තුළ සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 932.6 සිට රුපියල් බිලියන 1,305.8 දක්වා 40.0%කින් ඉහළ ගොස් තිබෙනවා.
රටක මහ බැංකුව විසින් "අච්චු ගහන" මුදල් ප්‍රමාණය එම රටේ වාණිජ බැංකු පද්ධතිය විසින් ගුණනය කිරීමක් කරනවා. එකම රුපියල නැවත නැවත කිහිප දෙනෙකුට ණයට දීම හරහා සිදුවන මෙම ක්‍රියාවලිය තුළ මහ බැංකුව විසින් අච්චු ගහන එක රුපියලක් රුපියල් කිහිපයක් බවට පත් වෙනවා. මෙය හැඳින්වෙන්නේ මුදල් මැවීම ලෙසයි. මුදල් සැපයුම ලෙස හැඳින්වෙන්නේ මේ අයුරින් ගුණනය වූ සංචිත මුදල් ප්‍රමාණයයි. එයට මහ බැංකුවේ වගකීම් මෙන්ම වාණිජ බැංකු වල වගකීම්ද ඇතුළත් වෙනවා.
ලංකාවේ මුදල් සැපයුම මනින M1, M2 හා M2b ලෙස හැඳින්වෙන නිර්ණායක තුනක් තිබෙනවා. M1 යන්න පටු මුදල් සැපයුම ලෙසද හැඳින්වෙනවා. එයට සංසරණයේ ඇති නෝට්ටු හා කාසිත්, වාණිජ බැංකු වල පවත්වා ගෙන යන ජංගම ගිණුම් තැන්පතුත් ඇතුළත්. පුළුල් මුදල් සැපයුම ලෙස හැඳින්වෙන M2 හා M2b නිර්ණායක වලට මීට අමතරව පුද්ගලයින් විසින් වාණිජ බැංකු වල පවත්වා ගෙන යන ඉතිරි කිරීම් ගිණුම් වල හා ස්ථිර තැන්පතු වල තිබෙන මුදල්ද ඇතුළත් වෙනවා.
විශාල වෙනසක් නැති, M2 හා M2b අතර තිබෙන වෙනස වන්නේ M2 වලට රුපියල් තැන්පතු පමණක් ඇතුළත් වන නමුත් M2b වලට විදේශ ව්‍යවහාර මුදලින් පවත්වා ගෙන යන ගිණුම් වල තිබෙන තැන්පතුද ඇතුළත් වීමයි. ලංකාවේ මුදල් සැපයුම පිළිබඳ නිර්ණායක අතරින් හොඳම නිර්ණායකය ලෙස සැලකෙන්නේ M2b පුළුල් මුදල් සැපයුමයි. මීට අමතරව, වාණිජ බැංකු නොවන මූල්‍ය ආයතන වල පවත්වා ගෙන යන තැන්පතුද ඇතුළත් වඩාත් පුළුල් M4 නම් නිර්ණායකයක්ද ඇතත් එය භාවිතා කෙරෙන්නේ අඩුවෙන්.
පසුගිය දෙවසර තුළ සංචිත මුදල් ප්‍රමාණය 40.0%කින් වැඩි වීමට අනුරූපව M1, M2 හා M2b යන මුදල් සැපයුම් නිර්ණායක තුනමද ඉහළ ගොස් තිබෙනවා. එම කාලය තුළ M1 මුදල් සැපයුම රුපියල් බිලියන 865.5 සිට රුපියල් බිලියන 1,459.9 දක්වා 68.7%කින්ද, M2 මුදල් සැපයුම රුපියල් බිලියන 6,912.7 සිට රුපියල් බිලියන 9,638.9 දක්වා 39.4%කින්ද ඉහළ ගොස් තිබෙනවා. වඩා වැදගත් M2b මුදල් සැපයුම රුපියල් බිලියන 7,624.1 සිට රුපියල් බිලියන 10,647.3 දක්වා 39.7%කින් ඉහළ ගොස් තිබෙනවා.
කවර නිර්ණායකය අනුව බැලුවත් දෙවසරක් තුළ මුදල් සැපයුම 40%කින් පමණ ඉහළ ගොස් ඇති බව පැහැදිලියි. මේ අයුරින් මුදල් සැපයුම ඉහළ ගියත් රටේ මුදල් ඉල්ලුමද නිෂ්පාදනය ඉහළ යාම හේතුවෙන් අනුරූපී ලෙස ඉහළ ගොස් ඇත්නම් මුදල් සැපයුමේ ඉහළ යාම උද්ධමනයට හේතු වන්නේ නැහැ. 2020 වසර තුළ රටේ ආර්ථිකය 3.6%කින් හැකිළුනා. 2021 වසර තුළ ආර්ථිකය 3.6%කින් වර්ධනය වීයැයි උපකල්පනය කළද සමස්තයක් ලෙස දෙවසරක කාලය තුළ රටේ නිෂ්පාදනයෙහි වෙනසක් වී නැහැ. ඒ නිසා, මේ අයුරින් 40%කින් පමණ මුදල් සැපයුම ප්‍රසාරණය වීමේ උද්ධමනකාරී බලපෑම වැළැක්විය නොහැකියි.
පසුගිය දෙවසරක කාලය තුළ (2021 දෙසැම්බර් දක්වා) කොළඹ පාරිභෝගික මිල දර්ශකය 16.9%කින් පමණ ඉහළ ගොස් ඇති අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය 19.3%කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, මුදල් සැපයුමේ ඉහළ යාමට අනුරූපව මිල මට්ටම් තව දුරටත් 20-25% පමණ ප්‍රමාණයකින් ඉහළ යාමේ විභවයක් තිබෙනවා. තවත් මාස තුන හතරක් යද්දී උද්ධමනය 20% මට්ටම ඉක්මවිය හැකියි. ඒ සමඟම, එයට අනුරූපව විණිමය අනුපාතය මත පීඩනය ඉහළ යාමද නොවැලැක්විය හැකියි.
වඩාත්ම වැදගත් ප්‍රශ්නය මේ වසර තුළ හා ඉදිරි වසර කිහිපය තුළ මුදල් සැපයුම කොයි තරම් දුරකට පාලනය කර ගත හැකිද කියන එකයි. තව දුරටත් මුදල් සැපයුම විශාල ලෙස ඉහළ නොගියහොත් උද්ධමනය 25% පමණ මට්ටමකට ඉහළ ගොස් ඉන් පසු ක්‍රමයෙන් අඩු වෙයි. එහෙත්, සල්ලි අච්චු ගැහිල්ල තව දුරටත් ඉහළ ගියොත් ලංකාවත් වැටෙන්නේ සිම්බාබ්වේ පාරටයි.
බදු වැඩි කර රජයේ ආදායම් වැඩි කර නොගන්නේනම් හා රජයේ වියදම් සැලකිය යුතු ලෙස අඩු කර නොගන්නේනම් විශාල අයවැය පරතරයක් පියවීමේ ප්‍රශ්නයට ආණ්ඩුවට මුහුණ දෙන්න වෙනවා. ආණ්ඩුව මේ වෙද්දී ආදායම් වැඩි කර ගැනීමට හා වියදම් සීමා කිරීමට යම් උත්සාහයන් දරමින් සිටින නමුත් ඒ අතරම එම අරමුණු වලට හාත්පසින්ම එරෙහි දේවල්ද කරනවා. පොලී අනුපාතික දැනට පවතින සීමාවේ නඩත්තු කරමින්, සල්ලි අච්චු නොගසා රජයේ අයවැය හිඟය පියවා ගත හැක්කේ සැලකිය යුතු විදේශ ණය ප්‍රමාණයක්ද රජයට ලැබෙන්නේනම් පමණයි. ඒ නිසා, ඉදිරි කාලයේදී රටේ උද්ධමනය පාලනය කිරීම සඳහාද විදේශ ණය නැතුවම බැහැ.