වෙබ් ලිපිනය:

Wednesday, August 25, 2021

රට වැසීමේ පාඩුව කීයද?


රට වැසීම විවාදාත්මක මාතෘකාවක්. රට වහන්න යෝජනා කරන අය වගේම එයට විරුද්ධ අයත් රට වැසීමෙන් පාඩුවක් වෙන බව පිළිගන්නවා. එකඟතාවයක් නැත්තේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් ඒ පාඩුව දැරිය යුතුද නැද්ද කියන කරුණේදී. මේ වගේ කරුණක් සම්බන්ධව නිගමනයකට එන්නනම් මුලින්ම රට වැසීමේ පාඩුව ගැන ඇස්තමේන්තුවක් අවශ්‍ය වෙනවා.

ලංකාවට කෝවිඩ් තර්ජනයක් නොතිබුණු 2019 වසරේදී රටේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 15,013ක්. මේ ගණන 365න් බෙදුවොත් රුපියල් බිලියන 41ක් පමණ. එය ලංකාවේ දිනකදී ඉපැයෙන සමස්ත ආදායම. කොහොම වුනත්, රට වැහුවා කියලා රටේ ආදායම බිංදුවට වැටෙන්නේ නැහැ. 2020 දෙවන කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය 16.4%කින් පහළ ගිය නිසා ඒ වගේ අඩුවක් වෙන්න පුළුවන්. එම කාර්තුව තුළ දිගටම රට වසා නොතිබුණු නිසා රට වැසීමේ අලාභය මීට වඩා වැඩි විය යුතුයි.

අවම ඇස්තමේන්තුවක් විදිහට අපි රට වැහීම නිසා දවසක රටේ සමස්ත ආදායමෙන් 16.4%ක් අඩු වෙනවා කියලා ගත්තොත් දවසකට රුපියල් බිලියන 6.75ක් පමණ. දවස් දහයකට රුපියල් බිලියන 67.5ක්. මේ ගණන දවස් දහයක් රට වසා තැබීමේ අවම පාඩුව.

කලින් ඇස්තමේන්තු කරපු විදිහට මේ වෙලාවේ දවස් දහයක් රට වැහීමෙන් උපරිම වශයෙන් ජීවිත 300ක් බේරෙයි. එක ජීවිතයක් රුපියල් මිලියන 130ක් වටිනා සේ සැලකුවොත් පාඩුව රුපියල් බිලියන 39ක්. මෙපමණ ජීවිත ගණනක් බේරෙන්නේ මේ වෙලාවේ රට වැසීම නිසා. එන්නත්කරණය සම්පූර්ණ කිරීමෙන් පසුව මේ විදිහටම දවස් දහයක් රට වැහුවොත් ඕනෑනම් ජීවිත 25ක් බේරෙයි. ඒ කියන්නේ රුපියල් බිලියන 67.5ක පාඩුවක් කර ගැනීමෙන් පසු ලැබෙන වාසිය රුපියල් බිලියන 3.25ක් පමණයි. ආණ්ඩුව රට වහන්න දක්වන ප්‍රතිරෝධය තේරුම් ගන්න අමාරු නැහැ.

Tuesday, August 24, 2021

ජීවිතයක වටිනාකම අසීමිතද?


මංගල සමරවීරත් කෝවිඩ් වසංගතයේ ගොදුරක් වෙලා. මංගල කියා කියන්නේ මා කවදාවත් පෞද්ගලිකව දැන සිටි අයෙක් නෙමෙයි. මගේ මිතුරන් අතරනම් ඔහුව සමීපව ඇසුරු කළ අය ඉන්නවා. මංගල බොහෝ දෙනෙකුව තරාතිරම නොබලා ලඟින් ඇසුරු කර තිබෙන අයෙක්. ඒ අය මංගල ගැන බොහෝ දේ ලියා තිබෙනවා. මංගලව කිසිදා පෞද්ගලිකව ඇසුරු කර නැති මට මංගල ගැන අනෙකුත් අය කියා ඇති දේවල් වලට එකතු කරන්න මහ ලොකු දෙයක් නැහැ. 

ලොකුවට සමරන ගොඩක් වීරයෝ වීරයන් වී ඉන්නෙම කලින්ම මැරුණු නිසා. කාලයක් වීරයන් වී සිටි අය දැන් පජාත වී සිටින්නේ ඒ කාලෙම නොමැරුණු නිසා. කවුරු වුනත් පීක් වෙන කාලයක් තියෙනවා. ඊට පස්සේ බැහැලා යනවා. මංගල ගැන මගේ පෞද්ගලික අදහස ඔහු තවත් කාලයක් ජීවත්ව සිටියානම් ඔහුට කළ හැකි භූමිකාවක් තිබුණා කියන එකයි. 

දෙන දෙයක් කාලා වෙන දෙයක් බලා ඉන්න මිනිස්සු අතරේ මොකක් හෝ වෙනසක් වෙනුවෙන් සෘජුව පෙනී සිටින මිනිස්සු අඩුයි. ලෝකය ඉදිරියට යන්නේ ඒ වගේ මිනිස්සු නිසා. සමහර විට මේ වගේ මිනිස්සු නිසාම ලෝකය පස්සට යන්න වුනත් පුළුවන්. හැබැයි ඒ අවදානම ගන්න මිනිස්සු නැත්නම් ලෝකය එකම තැනයි. මංගලට සුබ ගමන්!

හරියටම දන්නේ නැතත් මංගල බොහෝ විට කෝවිඩ් එන්නතක මාත්‍රා සම්පූර්ණ කර පූර්ණ ප්‍රතිශක්තිය ලබා ඉන්න ඇතැයි මා හිතනවා. මංගල වැනි ලංකාවේ "ඇති හැකි" ගොඩේ සිටි අයෙකුට එන්නත කලින්ම නොලැබෙන්න හේතුවක් තිබුණේ නැහැ. ඒ වගේම ඔහුට එන්නත ලබා ගන්න ප්‍රතිපත්තිමය ප්‍රශ්න තියෙන්නත් විදිහක් නැහැ.

ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය ගැන කයිවාරු ගහන අය වැහි වැහැලා හිටියත්, ධනය හා බලය නැති සාමාන්‍ය මිනිහෙක්ට ලැබෙන කෝවිඩ් ප්‍රතිකාර මොන වගේද කියා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මංගලටනම් ඉහළම මට්ටමෙන් වෛද්‍ය ප්‍රතිකාරත් ලැබෙන්න ඇති. එහෙම වෙලත් මංගල වගේ අයෙකුට කෝවිඩ් හමුවේ පැරදෙන්න වීමෙන් පෙනෙන්නේ රෝගයේ භයානක කමයි.

කෝවිඩ් එක අතකින් "ඇති හැකි" අයගේ රෝගයක්. රටවල් විදිහට ගත්තත් වැඩිපුර බැට කෑවේ ඇති හැකි රටවල්. විස්තර කරන්න යන්නේ නැතත් මෙයට හේතු තිබෙනවා. මංගල මේ වෙද්දී කෝවිඩ් වලට ගොදුරු වූ ලංකාවේ ඉහළම සමාජ-ආර්ථික තලයක සිටි පුද්ගලයා කියා කිව හැකියි. කිලී මහරාජා වැනි අයත් කෝවිඩ් වලට ගොදුරු වුනා. මේ පෝලිමට තව කවුරු එකතු වෙයිද කියා අපි කවුරුවත් දන්නේ නැහැ. මිය ගියේ කෝවිඩ් වලින් වුනත්, කාලයක් තිස්සේ පවත්වා ගත් ජීවන විලාසිතාවන්ද මංගල වැනි අයෙකුගේ මරණයට දායක වුනා විය හැකියි.

මංගල ගැන පෙර ලියූ ලිපි ගැන මතක් කරද්දී මුලින්ම මතකයට ආවේ ඔහු පසුගිය ආණ්ඩුවේ මුදල් ඇමති තනතුර භාරගත් අවස්ථාවේ ලියා පළ කළ ලිපිය. එම ලිපියේ ලියූ පරිදි, ඒ වන විට මුදල් ඇමති ධුරය දැරූ රවී කරුණානායකගේ භුමිකාවේ ලොකු වැරැද්දක් තිබුණේ නැහැ. හොඳින් කටයුතු සිදු වෙමින් තිබුණු තනතුරක් භාර ගන්නා අයෙකුට සාර්ථක වීම වඩා අසීරුයි. මංගලට මේ අභියෝගයට මුහුණ දෙන්න සිදු වී තිබුණා. ඒ ගැන මා ලිවුවේ මේ විදිහටයි.

"දැන් මුදල් ඇමති ලෙස පත්වී සිටින්නේ මංගල සමරවීරයි. ඔහු හොඳ පරිපාලකයෙකු හා තීරණ ගැනීමට බය නැති පුද්ගලයෙකු බව පෙන්වා ඇතත් ආර්ථික විද්‍යාව හෝ  මූල්‍යකරණය වැනි විෂයයක විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති අයෙකු නොවේ. පවත්නා තත්වයන් හමුවේ රවී කරුණානායක විසින් නොකළ දෙයක් මංගල සමරවීර විසින් කිරීමට ලොකු ඉඩක් ඇති බවක් නොපෙනේ. මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ තීරණ වලට ඕනෑවට වඩා මැදිහත් නොවී පරිපාලකයෙකු ලෙස පමණක් කටයුතු කිරීමෙන් අඩුම වශයෙන් පවත්නා තත්ත්වය තවත් නරක් නොකර තබා ගැනීම හා වලගැට්ටෙන් යාන්තමින් ඈත්වී ඇති ආර්ථිකය ලොකු පිමි පන්නවන්නට උත්සාහ කරමින් අවදානමක් ගැනීම යන මාර්ග දෙක මංගල සමරවීර ඉදිරියේ විවෘතව තිබේ."

මංගල සමරවීරගේ ධුර කාලය තුළ ඉහත විස්තර කළ අසීරු අභියෝගය සාර්ථකව ජයගත්තා. 1955 වසරේ සිට 1992දී හැර  එක දිගටම පැවති රජයේ අයවැයේ ප්‍රාථමික හිඟය මංගල සමරවීර මුදල් ඇමති ධුරය දැරූ 2017 හා 2018 දෙවසර තුළ අතිරික්තයක් බවට පත් වුනා.

මේ වෙද්දීනම් අයවැයේ ප්‍රාථමික හිඟය ඉතිහාසයේ කවදාවත් නොවූ තරම් පුළුල් වෙලා. දැන් ආණ්ඩුව රජයේ  වියදම් කැපීම ගැන කතා නොකර බැරිම තැනකට පත් වෙලා. දිනපතා සිය ගණනින් මිනිස්සු මැරෙද්දිත් බලාගෙන ඉන්නවා ඇර වෙන කරන්න දෙයක් නැති තැනකට ආණ්ඩුව වැටිලා. එසේ වුවත්, ආණ්ඩුවට වෙනත් කළ හැකි දෙයක් තියෙනවද? ආණ්ඩුව වෙනස් වුනොත් කළ හැකි වෙනස් දෙයක් තියෙනවද?

සමහර අය කියන විදිහටනම් මිනිස් ජීවිතයක් මිල කළ නොහැකි තරම් අසීමිතයි. ඔහොම කිවුවට නොදන්නා අයෙකුගේ ජීවිතයක් බේරා ගන්න තමන් සතු මිල මුදල් දේපොළ පරිත්‍යාග කරන්න ඔය කියන අය සූදානම්ද? මම නම් මගේ ජීවිතය වෙනුවෙන් වුවත්, මට අයිති භෞතික වටිනාකම් සියල්ල නැති කර ගන්නේ නැහැ. මම මැරුණත් මගෙන් පැවත එන අය ජීවත් විය යුතුයි. ඒ අයට යහපත් ජීවිතයක් ගෙවන්න පුළුවන් විය යුතුයි. 

ජීවිතයක් බේරා ගැනීම කියන එකෙන් අදහස් වෙන්නේ කුමක්ද? අපි කවුරුත් කොයි වෙලාවේ හෝ මැරෙනවා. කොයි තරම් දැඟලුවත්, ඕක ටිකක් කල් දාගන්න පමණයි පුළුවන්. ජීවිතයක වටිනාකම ගැන අපට කතා කළ හැක්කේම ආයුකාලය දිගු කර ගැනීම කියන අර්ථයෙන් පමණයි. 

තමන්ගේම ආයුකාලය දිගු කරගන්න හෝ එය අඩු වීමේ අවදානම අඩු කරගන්න මිනිස්සු ඕනෑම මිලක් ගෙවනවාද? මිනිස්සුන්ගේ හැසිරීම් වලින්නම් එහෙම පෙනෙන්නේ නැහැ. ආයුකාලය දිගු කර ගැනීම සඳහා කළ හැකි වියදම් නොයන, බොහෝ විට මිල මුදල් ඉතිරි වන, දේවල් නොසලකා හරින අය කොයි තරම් ඉන්නවද? මම වුනත් මේ ගොඩේ ඉන්න කෙනෙක්. වසංගතය නිසා ඇතැම් ජීවන විලාසිතා ගැන අලුතෙන් හිතන්න පෙළඹුමක් ඇති කරන නමුත් ඇබ්බැහි වලින් මිදෙන්න ලේසි නැහැ. මේ බ්ලොග් ලිවිල්ල වුනත් ඒ වගේ දෙයක්. 

පාරේ වාහනයක් එළවන අයෙක් කොයි තරම් අවදානමක් ගන්නවද? පාරට බහිනවා කියා කියන්නේම මැරෙන්න තියෙන අවදානම වැඩි වෙනවා කියන එකයි. එහෙත්, රස්සාව කළ යුතුයි. සල්ලි වෙනුවෙන් යම් ජීවිත අවදානමක් ගත යුතුයි. ජීවිත අවදානම ලැබෙන දෙයට වඩා වැඩිනම් අවදානම නොගෙන ඉන්න එක වෙනම දෙයක්.

සල්ලි වෙනුවෙන් මිනිස්සු කොයි තරම් අවදානමක් ගන්නවද කියන එක දිහා බලලා මිනිස් ජීවිතයක වටිනාකම තක්සේරු කරන්න පුළුවන්. පහුගිය දවස් වල ලංකාවේ ගුරුවරු උද්ඝෝෂණ වලට ගියෙත් මේ වගේ අවදානමක් අරගෙනනේ. අපි හිතමු ඔය උද්ඝෝෂණ නිසා පඩි වැඩි වුනා කියලා. මාසයකට ඕනෑනම් රුපියල් 10,000ක් වැඩි වෙයි. අවුරුද්දකට රුපියල් 120,000ක්.

දැන් ඔය උද්ඝෝෂනයම තව අවුරුදු දෙකකට පස්සේ කළානම් කෝවිඩ් නිසා වන ජීවිත අවදානම නැහැනේ. එතකොට මේ උද්ඝෝෂණ මේ වෙලාවෙම කිරීමේ වාසිය අවුරුදු දෙකක වගේ කාලයකදී වැඩිපුර අතට එන මුදලනේ. ඒ කියන්නේ රුපියල් 240,000ක් වගේ මුදලක්. හැබැයි ඔය වාසිය වෙන්නේ පඩි වැඩි වුනොත් පමණයි. එහෙම සහතිකයක් නැහැනේ. අපි හිතමු උද්ඝෝෂණ කිරීමෙන් පඩි වැඩි වෙන්න තිබුණු සම්භාවිතාව 50%ක් කියලා. ඒ කියන්නේ මේ වැඩෙන් අපේක්ෂිත වාසිය ඉහත මුදලින් 50%ක් හෙවත් රුපියල් 120,000ක්. දැන් මේ ගුරුවරු ජීවිත අවදානමක් ගත්තේ ඔය මුදල වෙනුවෙන්.

රුපියල් 120,000ක් වෙනුවෙන් ගුරුවරු ජීවිත අවදානමක් ගත්තේ එම අවදානමට වඩා ඉහත මුදල වටින නිසා. එහෙත්, කෝවිඩ් ව්‍යාප්ත වෙද්දී ඉහත මුදලට වඩා ජීවිත අවදානම ඉහළ ගියා. උද්ඝෝෂණ නැවතුනා. මේ විදිහට උද්ඝෝෂණ නැවතුන මොහොත ජීවිත අවදානම රුපියල් 120,000කට සමාන වූ මොහොත සේ සැලකිය හැකියි.

මේ වෙද්දී රටේ ජනගහනයෙන් 1%ක් පමණ කෝවිඩ් ආසාදිතයින් වෙලානේ. උද්ඝෝෂණ නැවතෙන කොට ඔය ප්‍රමාණය 0.5%ක් පමණ වෙන්න ඇති. ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් 200ක් සහභාගී වන උද්ඝෝෂණයක කෝවිඩ් ආසාදිතයෙක් ඉන්නවා කියන එකයි. හැබැයි උද්ඝෝෂණයට සහභාගී වන හැමෝටම වෛරසය ආසාදනය වෙන්නේ නැහැනේ. මුහුණු ආවරණ දැමීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම වගේ දේවලුත් කළානේ. ඒ නිසා, අපි හිතමු ඔය 200ක පිරිසෙන් 20කට කෝවිඩ් ආසාදනය වුනා කියලා. ඒ අනුව, උද්ඝෝෂණයට සහභාගී වීමෙන් කෝවිඩ් හැදෙන්න 10%ක පමණ සම්භාවිතාවක් තියෙනවා.

කෝවිඩ් හැදුනා කියලා මැරෙන්නේ නැහැනේ. අපි හිතමු හැදුනට පස්සේ මැරෙන සම්භාවිතාව 1%ක් කියලා. ඒ කියන්නේ උද්ඝෝෂණයට සහභාගී වීමෙන් මැරෙන්න වෙන සම්භාවිතාව 0.1%ක් කියන එකයි. මේ විදිහට දාහෙන් එකක ජීවිතය අහිමි වීමේ අවදානමක් ගන්නේ රුපියල් 120,000ක් වෙනුවෙන්. ඒ කියන්නේ, ජීවිතයේ වටිනාකම පිළිබඳ තක්සේරුව රුපියල් 120,000ක් මෙන් දහස් ගුණයක් හෙවත් රුපියල් මිලියන 120ක් කියන එකයි,

මේ ගණන් හැදීම ඕනෑවට වඩා සරල ගණන් හැදීමක් වුනත් මීට වඩා සංකීර්ණ විදිහට ලාංකිකයෙකුගේ ජීවිතයක වටිනාකම ගැන කර තිබෙන ඇස්තමේන්තුත් මීට කිට්ටුයි. 

Sunday, August 22, 2021

රට කෝවිඩ් වලින් නිදහස් කළ හැකිද?


කෝවිඩ් වසංගතය ආරම්භයේදී චීනය, ලංකාව ඇතුළු ඇතැම් රටවල් කෝවිඩ් රටින් තුරන් කර රට නිදහස් කර ගැනීමේ අභ්‍යාසයක නිරතව සිටියා. චීනය තවමත් මේ අභ්‍යාසය අත හැර නැහැ. එහෙත්, මෙම අභ්‍යාසයෙහි නිරතව සිටි ලංකාව ඇතුළු බොහෝ රටවල් මේ වෙද්දී මේ ප්‍රවේශයේ නිරර්ථක බව අවබෝධ කරගෙන තිබෙනවා. 

ලංකාවේ වගේම ලෝකයේ අනෙක් රටවලද වාර්තා වල ඇති කෝවිඩ් මරණ හා ආසාදිතයින් සංඛ්‍යා සම්බන්ධ පැහැදිලි ප්‍රශ්න තිබෙනවා. වසංගතය ආරම්භ වී සෑහෙන කාලයක් යන තුරු ලංකාවේ කෝවිඩ් ආසාදිතයින් හඳුනා ගනු ලැබීම ඉහළ මට්ටමක තිබුණා. එය ලංකාව අනුගමනය කළ ආක්‍රමණශීලී කෝවිඩ් මර්දන වැඩ පිළිවෙලෙහි අතුරුපලයක්. මීට සාපේක්ෂව වසංගතයේ මුල් අදියරේදී ඇමරිකාව වැනි රටවල කෝවිඩ් ආසාදිතයින් හඳුනා ගැනුනේ අඩුවෙන්.

කෝවිඩ් ආසාදිතයින් බොහෝ දුරට නිවැරදිව වාර්තා කෙරුණත්, ලංකාවේ කෝවිඩ් මරණ වාර්තා වීම යම් තරමකින් හෝ අඩුවෙන් සිදු වූ බව මගේ අදහසයි. මා හිතන පරිදි මෙය සිදු වූ දෙයකට වඩා හිතාමතා කළ දෙයක්. එහෙත්, මෙය විශාල මිනුම් වරදකට හේතු වුනා කියා මා හිතන්නේ නැහැ. 

ආරම්භයේදී ලංකාවේ කෝවිඩ් මරණ අනුපාතිකය වෙනත් බොහෝ රටවලට සාපේක්ෂව අඩු මට්ටමක පැවතුනා. මෙය ලංකාවේ සැබෑ කෝවිඩ් මරණ අනුපාතිකය හෝ එයට සුළුවෙන් අඩු අනුපාතිකයක් සේ සැලකිය හැකියි.

ඉහත කී තත්ත්වය මේ වෙද්දී විශාල ලෙස වෙනස් වී තිබෙනවා. වාර්තා වන සංඛ්‍යාලේඛණ අනුව ලංකාවේ කෝවිඩ් මරණ අනුපාතිකය 5% තරම් ඉහළ මට්ටමක තිබෙනවා. මෙයට ප්‍රධාන හේතුව පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව ලංකාවේ කෝවිඩ් ආසාදිතයින් හඳුනා ගනු නොලැබීමයි. කෝවිඩ් මරණද යම් තරමකින් අඩුවෙන් වාර්තා වන බව පෙනෙන නමුත් ආසාදිතයින් හඳුනා ගනු ලැබ වාර්තා වන්නේ ඉතාම අඩුවෙන්.

මේ වෙද්දී ලංකාවෙන් හමුවන දෛනික කෝවිඩ් ආසාදිතයින් ප්‍රමාණය 4000කට ආසන්න වන අතර දෛනික මරණ ප්‍රමාණය 200ක් පමණ වනවා. මේ අනුව, කෝවිඩ් මරණ අනුපාතය 5% පමණ වුවත් එම අනුපාතය සැබැවින්ම 1% පමණ මට්ටමක තිබිය යුතුයි. ඒ අනුව, දිනකට 20,000ක පමණ පිරිසක් ආසාදිතයින් බවට පත් වන බව උපකල්පනය කළ හැකියි. එක් ආසාදිතයෙකු දින 10ක් පුරා කෝවිඩ් පතුරුවන බව සැලකුවොත් මේ වන විට ලංකාවේ කෝවිඩ් ආසාදිතයින් ලක්ෂ දෙකක්වත් සිටිය යුතුයි. මෙය රටේ ජනගහනයෙන් 1%ක පමණ ප්‍රතිශතයක්.

නිල සංඛ්‍යාලේඛණ අනුවම රට තුළ මේ වෙද්දී කෝවිඩ් ආසාදිතයින් 55,000ක් සිටිනවා. සැබෑ ප්‍රමාණය මේ ගණන මෙන් සිවු ගුණයක් සේ සැලකීම නරක උපකල්පනයක් කියා මම හිතන්නේ නැහැ. නිල සංඛ්‍යාලේඛණ අනුව වසංගතය ආරම්භයේ සිට මෙතෙක් කෝවිඩ් ආසාදනය වූ පිරිස රටේ ජනගහනයෙන් 1.7%ක් පමණයි. සැබෑ ගණන මේ ප්‍රමාණය මෙන් තෙගුණයක් සේ සැලකුවොත් රටේ ජනගහණයෙන් 95%කටම තවමත් කෝවිඩ් ආසාදනය වී නැහැ. දැනට සිටින 1%ක් පමණ වන ආසාදිතයින්ට කොයි මොහොතක හෝ ඉතිරි 95% ආසාදිතයින් බවට පත් කළ හැකියි.

කෝවිඩ් භයානක රෝගයක් වන්නේ එය පැතිරෙන වේගය නිසා මිස මරණ අනුපාතය නිසා නෙමෙයි. වසංගතය ආරම්භයේදී පැවති තත්ත්වය අනුව එක් ආසාදිතයෙකු විසින් තවත් 2.2 දෙනෙකු ආසාදිතයින් බවට පත් කරනවා. මූලික ප්‍රතිජනන අගය හා ඵලදායී ප්‍රතිජනන අගය පිළිබඳව වසංගතය ආරම්භයේදී විස්තරාත්මකව කරුණු පැහැදිලි කර තිබෙන නිසා මා නැවත මේවා විස්තර කරන්නේ නැහැ. අවශ්‍ය කෙනෙක් පැරණි ලිපි හොයාගෙන කියවන්න.

ඵලදායී ප්‍රතිජනන අගය 2.2 යන්නෙන් අදහස් වන්නේ ජනගහනයෙන් 100ක් ආසාදිතයින්නම් එම පිරිස විසින් තවත් 220ක පමණ පිරිසකට වෛරසය ආසාදනය කරන බවයි. වසංගතයක් ආරම්භයේදී ඵලදායී ප්‍රතිජනන අගය මූලික ප්‍රතිජනන අගයට (R0) සමානයි. එහෙත්, රටේ යම් පිරිසක් එන්නත්කරණය හෝ රෝගය වැළඳීම හරහා ප්‍රතිශක්තිය ලබා ගනිද්දී ඵලදායී ප්‍රතිජනන අගය ටිකෙන් ටික පහත වැටෙනවා. රෝගය තුරන් වී යන්නටනම් ඵලදායී ප්‍රතිජනන අගය 1.0ට වඩා පහත වැටිය යුතුයි. 

මූලික ප්‍රතිජනන අගය 2.2නම්, ජනගහණයෙන් 55%ක් පමණ ප්‍රතිශක්තිය ලබා ගැනීමෙන් පසු ඵලදායී ප්‍රතිජනන අගය 1.0 මට්ටමට පහත වැටෙනවා. මෙහිදී ආසාදිතයින් 100 දෙනෙකු නිරෝගී පුද්ගලයින් 220 දෙනෙකුට වෛරසය සම්ප්‍රේෂණය කළත් ඔවුන්ගෙන් 220*55%=121 දෙනෙකුට වෛරසය ආසාදනය නොවන නිසා ආසාදිතයින් වන්නේ ඉතිරි 99 දෙනෙකු පමණයි. මේ අනුව, එන්නතක ඵලදායීතාවය 99%ක්නම්, ජනගහණයෙන් 55%ක් එන්නත් කළ පසු වසංගතය පාලනය විය යුතුයි. එන්නතේ ඵලදායීතාවය 55%ක් පමණක්නම් ඒ සඳහා ජනගහණයෙන් 99%ක් එන්නත් කළ යුතුයි. ඊටත් වඩා අඩුවෙන් ඵලදායී එන්නතකට වසංගතය පැතිරීම මන්දගාමී කළ හැකි වුවත් එය පහසුවෙන් තුරන් කළ නොහැකියි.

ඇමරිකාවේ භාවිතා කළ මොඩර්නා සහ පයිසර්-බයෝඑන්තෙක් එන්නත් වල ඵලදායීතාවය 95% පමණ මට්ටමක තිබුණා. මේ අනුව ජනගහනයෙන් 58%ක් පමණ එන්නත් කිරීමෙන් පසුව වසංගතය පාලනය විය යුතුව තිබුණා. මේ වෙද්දී ඇමරිකාවේ ජනගහනයෙන් 52%ක් පමණ එන්නත් මාත්‍රා සම්පූර්ණ කර තිබෙන අතර 60%ක් පමණ එන්නත් ගැනීම ආරම්භ කර තිබෙනවා. 

කෙසේ වුවත්, වසංගතය ආරම්භයේදී වූ ඉහත කී අගයයන් මේ වෙද්දී වෙනස් වී තිබෙනවා. ඩෙල්ටා ප්‍රභේදයේ මූලික ප්‍රතිජනන අගය 6-7 පමණ ඉහළ අගයක්. මෙය අප 6.5 සේ සැලකුවොත් වසංගතය පාලනය විය හැක්කේ ජනගහණයෙන් 85%ක් පමණ ප්‍රතිශක්තිය ලැබුවහොත් පමණයි. ඩෙල්ටා ප්‍රභේදයේ මූලික ප්‍රතිජනන අගය මෙසේ ඉහළ යද්දී, ඉහත කී එන්නත් දෙකෙහි ඵලදායීතාවයද ඩෙල්ටා ප්‍රභේදය හමුවේ 80% පමණ මට්ටමට අඩු වී තිබෙනවා. එයින් අදහස් වන්නේ රටේ මුළු ජනගහනයම එන්නත් කළද වෛරසය නැත්තටම නැති කළ නොහැකි බවයි.

කෙසේ වුවත්, එන්නත්කරණයෙන් වැඩක් නොවන බව මෙයින් අදහස් වෙන්නේ නැහැ. එන්නත් ලබා ගන්නා අයට දරුණු රෝග ලක්ෂණ පහළ වන්නේ අඩුවෙන්. මිය යාමේ අවදානමද බොහෝ අඩුයි. හැබැයි මේ අවදානම් නැති වන්නේ නැහැ.

එන්නත් වල ඵලදායීතාවය කාලයත් සමඟද අඩුවෙනවා. ආරම්භයේදී 95%ක ඵලදයීතාවයක් ඇති මොඩර්නා සහ පයිසර්-බයෝඑන්ටෙක් වැනි එන්නතක ඵලදායීතාවය මාස අටක් යද්දී 77% පමණ මට්ටමකට අඩු වෙනවා. ආරම්භයේදී 70%ක ඵලදයීතාවයක් ඇති එන්නතක ඵලදායීතාවය මාස අටක් යද්දී 33% පමණ මට්ටමකට අඩු වෙනවා. ඒ වගේම, කෝවිඩ් ආසාදනය වීම නිසා ලැබෙන ප්‍රතිශක්තියද දිගටම පවතින්නක් නෙමෙයි.

දැනට තිබෙන වඩාත්ම ඵලදායී එන්නත් රටේ මුළු ජනගහනයටම ලබා දුන්නත් වසංගතය මුළුමනින්ම දුරු කළ නොහැකි තත්ත්වයක් යටතේ, සාපේක්ෂව අඩු ඵලදායී එන්නත් භාවිතා කළ ලංකාව වැනි රටක එන්නත්කරන වැඩ සටහන කෙතරම් සාර්ථක වුවත් ඒ හරහා වෛරසය රටින් තුරන් කිරීම නොකළ හැකි තරම් අසීරු ඉලක්කයක්.

මා ඉහත සඳහන් කළ මූලික ප්‍රතිජනන අගයයන් ඇස්තමේන්තු කර තිබෙන්නේ ලංකාව පාදක කරගෙන නෙමෙයි. දේශගුණික, සමාජයීය, සංස්කෘතික කරුණුද මේ අගය කෙරෙහි බලපානවා. කවර හෝ හේතු නිසා ඇමරිකාවට සාපේක්ෂව ලංකාවේ වෛරසය පැතුරුණේ තරමක් අඩු වේගයකින්. පසුගිය දත්ත දෙස බැලුවොත්, දින 12ක පමණ කාලයක් තුළ ලංකාවේ දෛනික කෝවිඩ් මරණ ප්‍රමාණය දෙගුණ වී තිබෙන බව පේනවා. මේ ප්‍රවණතාවය අනුව, රට වසා නොදැමුවේනම්, මාසය අවසාන වෙද්දී ලංකාවේ දෛනිකව වාර්තා වන කෝවිඩ් මරණ ප්‍රමාණය 400ක් පමණ විය යුතු බව පැහැදිලියි. 

රට වසා දැමූ විට, එම කාලය තුළ, වෛරසය පැතිරීම මන්දගාමී වෙනවා. එහෙත්, රට නැවත විවෘත කළ පසු නැවත පෙර මෙන්ම වෛරසය ව්‍යාප්ත වෙනවා. රට තුළ කෝවිඩ් ආසාදිතයින් ලක්ෂ දෙකක් පමණ සිටින පසුබිමක මාස ගණනක් රට වසා තැබුවත් එම කාලය තුළ වෛරසයේ පැතිරීම මන්දගාමී වනවා මිස වෛරසය තුරන් වන්නේ නැහැ. විවෘත කළ දින සිට නැවත ආසාදිතයන් හා මරණ ඉහළ යන්න පටන් ගන්නවා. පවතින තත්ත්වය යටතේ රට වසා තබා තැබීමෙන් ලැබෙන වාසිය වෙනත් කෝවිඩ් මර්දන කටයුත්තක් වෙනුවෙන් යම් කාලයක් ලැබෙන එක පමණයි. ඒ වෙනත්, දේවල් නිසා මිස රට වසා තැබීම නිසාම ජීවිත සැලකිය යුතු තරමකින් සුරැකෙන්නේ නැහැ.

රට වසා දමන දින දක්වා දත්ත අනුව, දින 12ක පමණ කාලයක් තුළ ලංකාවේ දෛනික කෝවිඩ් මරණ ප්‍රමාණය දෙගුණ වී තිබෙන බව පේන බව මම කිවුවනේ. වෛරසය පැතිරුනේද මේ වේගයෙන් කියා අප උපකල්පනය කරමු. කෝවිඩ් ආසාදිතයෙකු විසින් වෛරසය පතුරුවන සාමාන්‍ය කාලය දින 12කට වඩා අඩු නිසා, මෙයින් අදහස් වන්නේ රට වහන අවස්ථාවේදී පැවති ඵලදායී ප්‍රතිජනන අගය 2.0ට වඩා අඩු වූ බවයි. ඒ වන විටද  ලංකාවේ බොහෝ දෙනෙකු මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, නිවෙස් වලට වී සිටීම ආදී ක්‍රම වලින් පරිස්සම් වී සිටි නිසාත්, ලංකාවේ මහා පරිමාණ පුද්ගල එක්රැස්වීම් බොහොමයක් සිදු වුනේ එළිමහනේ නිසාත් මෙය මෙසේ විය හැකියි. 

දැන් මේ 2.0ට අඩු, අපි හරියටම නොදන්නා, ඵලදායී ප්‍රතිජනන අගය පවතිද්දී, රට වසා නොදැමුවේනම්, දින 12කදී ලංකාවේ කොවිඩ් මරණ ප්‍රමාණය දෙගුණ වෙනවා. ඒ කියන්නේ, තව දින 12කට පසුව දෛනික මරණ ප්‍රමාණය 400ක්ද, දින 24කට පසුව 800ක්ද වෙනවා කියන එකයි. ආසාදිතයින් වැඩි වෙද්දී ඵලදායී ප්‍රතිජනන අගයද ක්‍රමයෙන් පහළ බහින නිසා මේ ගණනය කිරීම දිගින් දිගටම කරගෙන යාම නිවැරදි නැහැ. දැනට අපි මේ ගණන් වෙත පමණක් අවධානය යොමු කරමු.

රට වසා දැමීම නිසා ඵලදායී ප්‍රතිජනන අගය පහළ යනවා. මේ අගය බාගයකින් අඩු වුනොත්, දින 12කට පසුව දෛනික මරණ ප්‍රමාණය දැන් මට්ටමේම, ඒ කියන්නේ 200 මට්ටමේ, නවතිනවා. එය 400ක් වෙන්නේ නැහැ. නමුත් රට ඇරියාට පසුව දින 12කින් එය 400 දක්වාත්, දින 24කින් 800 දක්වාත් ඉහළ යනවා. අවසාන වශයෙන් වෙන්නේ දින 12ක කාලපමාවකින් පසුව කලින් වෙන්න තිබුණු දේම වෙන එකයි. ඒ කියන්නේ, කෝවිඩ් නිසා මිය යන අයට ජීවත් වෙන්න දින 12ක අමතර කාලයක් ලැබෙනවා.

රට වසා දැමීම නිසා ඵලදායී ප්‍රතිජනන අගය බාගයකින් අඩුවෙනවා කියන එක මෙය පැහැදිලි කිරීම සඳහා කළ උපකල්පනයක් පමණයි. අපි මේ අගය හතරෙන් එකක් දක්වා අඩු වෙනවා කියා හිතුවොත් දින 12කට පසුව දෛනික මරණ ප්‍රමාණය 100 දක්වා අඩු වෙනවා. ඉන් පසුව, දින 12කින් නැවත 200දක්වා වැඩි වී එතැන් සිට කලින් වෙන්න තිබුණු දේම වෙනවා. කෝවිඩ් නිසා මිය යන අයට ජීවත් වෙන්න දින 24ක අමතර කාලයක් ලැබෙනවා. ප්‍රතිජනන අගය අටෙන් එකක් දක්වා අඩු වුනොත් ඔය දින ගණන දින 36ක් දක්වා ඉහළ යනවා. රට වැහුවා කියලා ඵලදායී ප්‍රතිජනන අගය ඊටත් වඩා අඩුවෙයි කියා හිතන්න අමාරුයි.

මේ හේතුව නිසා රට වැහීමෙන් වැඩක් වෙන්නේ නැහැ කියා අදහස් වෙන්නේ නැහැ. මරණ වැළැක්වීම කියා කතාවට කිවුවත් රට වහලා මරණ වලක්වන්න බැහැ. කෝවිඩ් තිබුණත් නැතත් මිනිස්සු කවදා හරි මැරෙනවා. කෝවිඩ් නොතිබුණානම් අවුරුදු 75ක් ජීවත් විය හැකිව තිබුණු කෙනෙක් කෝවිඩ් නිසා වයස අවුරුදු 60දී මිය යනවා කියමු. මොන අයුරකින් හෝ මේ මරණය වැළකෙනවා කියන්නේ එම පුද්ගලයාට ජීවත් වෙන්න තවත් වසර 15ක කාලයක් ලැබෙනවා කියන එකයි. ඒ අනුව, එම මරණය වැලකීම හා කෝවිඩ් නිසා මිය යන හැමෝටම ජීවත්වීම සඳහා අමතර දින ගණනක් ලැබෙනවා කියන කරුණු දෙකෙන් අදහස් වන දේවල් ගොඩක් වෙනස් නැහැ.

අපි හිතමු කෝවිඩ් හේතුවෙන් ලංකාවේ තවත් මරණ 15,000ක් සිදු විය හැකියි කියා. මේ හැම කෙනෙකුටම ජීවත් වෙන්න දින 12ක කාලයක් ලැබෙනවා කියන්නේ ජීවිත-අවුරුදු 500ක් ඉතිරි වුනා කියන එකයි. දින 24ක් ලැබුණොත් ජීවිත-අවුරුදු 1000ක්. ලාංකිකයෙකුගේ සාමාන්‍ය වයස අවුරුදු 35ක් ලෙසත්, අපේක්ෂිත ආයු කාලය අවුරුදු 75ක් ලෙසත් ගත්තොත් මෙය සමාන කළ හැක්කේ ජීවිත 25ක් බේරෙන ඒකටයි. එක් අයෙකු අවුරුදු 40ක් වැඩියෙන් ජීවත් වුනොත් 25 දෙනෙකුගෙන් ජීවිත අවුරුදු 1000ක් හැදෙනවනේ. පවතින තත්ත්වය යටතේ දින 12ක් රට වැහුවොත් ලැබෙන්නේ ඔය වගේ වාසියක් පමණයි.

මතක තියාගන්න අපි මේ ඇස්තමේන්තුව කළේ දින දහයක් රට වැසීමේ ප්‍රතිඵලයක් ලෙස ඵලදායී ප්‍රතිජනන අගය පැවති මට්ටමෙන් 25% මට්ටමට අඩු වී, ඒ හරහා, රට වසා දින 12කට පසුව (ඒ කියන්නේ රට නැවත විවෘත කර දින 2කට පසු) දෛනික කෝවිඩ් මරණ ප්‍රමාණය දැන් තිබෙන 200 මට්ටමේ සිට 100 මට්ටම දක්වා අඩු වෙයි කියන උපකල්පනය යටතේ. බොහෝ විට රට වැසීමේ බලපෑම ඊට වඩා අඩු විය හැකියි.

හැබැයි මේ විදිහට රට වසා තිබෙන දින 12 තුළ රටේ කළ හැකි අනෙකුත් වෙනස්කම් නිසා මීට වඩා විශාල වාසියක් ලැබෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඇමරිකාව මුලින්ම රට වසා දැම්මේ රටේ සෞඛ්‍ය පද්ධතිය පුළුල් කිරීම සඳහා කාලය ලබා ගන්න. ඒ කාලය තුළ මෝටර් රථ හදන කර්මාන්ත ශාලා වෙන්ටිලේටර් හදන්න පටන් ගත්තා. පසුව ලංකාව ඇතුළු රටවලට ඇමරිකාව බෙදා දුන්නේ මේ වෙන්ටිලේටර්. රටේ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව වැඩි කිරීම සඳහා තවත් බොහෝ දේවල් කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස, කෝවිඩ් නිසා සිදුවන මරණ අඩු නොවුණත්, කෝවිඩ් සඳහා ප්‍රතිකාර නොලැබීමෙන් සිදුවිය හැකිව තිබුණු මරණ වලක්වා ගත හැකි වුනා.

රට වසා තැබීමෙන් ලංකාවට ලැබෙන ප්‍රධානම වාසිය එම කාලය තුළ සැලකිය යුතු පිරිසකට එන්නත් මාත්‍රා සම්පූර්ණ කිරීමට අවස්ථාව ලැබීමයි. රජයේ සංඛ්‍යාලේඛණ අනුව මේ වන විට ලංකාවේ වයස අවුරුදු 30 ඉක්මවූ හැමෝටම වගේ එන්නතේ එක් මාත්‍රාවක් ලබා දීලා. රට වසා තැබෙන කාලය තුළ එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන නොමැති අයට කඩිනමින් එම මාත්‍රාව ලබා දීමට නියමිතයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස රට නැවත විවෘත කිරීමෙන් පසුව වෛරසයේ ව්‍යාප්තිය යම් තරමකින් අඩු වීමට නියමිත නමුත් එයින් සිදු වනු ඇත්තේ වෛරසය ආසාදනය වීම මන්දගාමී වීම පමණයි. 

එන්නත් මාත්‍රා සම්පූර්ණ කළ අයෙකු ආසාදිතයෙකු වුවත් මිය යාමට තිබෙන සම්භාවිතාව අඩු වෙනවා. ඒ නිසා, රට වැසීමෙන් සැලකිය යුතු ජීවිත ප්‍රමාණයක් බේරෙන්න පුළුවන්. උපකල්පන මත පදනම්ව මෙසේ බේරෙන ජීවිත ප්‍රමාණයද ඇස්තමේන්තු කළ හැකියි.

රට වහන අවස්ථාව වෙද්දීත් වයස අවුරුදු 30 ඉක්මවූ අය 100%කටම වගේ එන්නතෙහි පළමු මාත්‍රාව ලබා දී අවසන් බව කියනවනේ. එහෙත් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී තිබෙන්නේ ඒ අයගෙන් බාගයකට වඩා අඩු පිරිසකටයි. රට වසා ඇති කාලය තුළ දෙවන මාත්‍රාව ලබා දී නැති අයටද දෙවන මාත්‍රාව ලබා දීම සැලසුමයි.

රට වැහුවා කියා එන්නත් මාත්‍රා දෙකම දැනටමත් ලබාගෙන තිබෙන අය මුහුණ දෙන අවදානමේ කලින්ම ගණන් හැදූ වෙනසට අමතර වෙනත් වෙනසක් වෙන්නේ නැහැ. එහෙත්, එක් මාත්‍රාවක් පමණක් ලබා සිටි අය මුහුණ දෙන අවදානමේ වැඩිපුර අඩුවීමක් වෙනවා.

එන්නතේ දෙවන මාත්‍රාව ලබා නැති අයට දෙවන මාත්‍රාව දෙන්න රට වහන්න අවශ්‍ය නැහැ. එය කොහොමටත් කළ හැකි දෙයක්. ඒ නිසා, දෙවන මාත්‍රාව ලබා දීම නිසාම සිදුවන අවදානම අඩු වීම රට වැසීමේ ප්‍රතිඵලයක් නෙමෙයි. රට වැසීමේ ප්‍රතිඵලයක් ලෙස මේ කණ්ඩායමට වාසියක් ලැබෙන්නේ ඔවුන්ගේ ප්‍රතිශක්තිය ඉහළ යන කාලය අතරතුර වෛරසය අසාදනය වීමේ අවදානම අඩු වීම නිසයි. ඒ කියන්නේ රට වැසීමේ හා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමේ සම්ප්‍රයුක්ත වාසිය.

එන්නතක පළමු මාත්‍රාව පමණක් ගත් කණ්ඩායමේ අයට ඩෙල්ටා ප්‍රභේදය හමුවේ වෛරසය ආසාදනය වී රෝහල්ගත වන්නට සිදු වීමට එරෙහිව 50%ක පමණ ආරක්ෂාවක් තිබෙන බවත්, එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගත් විට මේ අවදානම 75% පමණ දක්වා අඩු වන බවත් උපකල්පනය කරමු. මේ අනුව, අවදානමෙහි 25%ක පමණ අඩුවක් සිදු වෙනවා. මෙය එතරම්ම විශ්වාසනීය ඇස්තමේන්තුවක් නෙමෙයි. එහෙත්, මේ අවදානම් වඩා නිවැරදිව ඇස්තමේන්තු කිරීම අපහසු වැඩක්. රට වසා තබන දින 10ක කාලය තුළ ප්‍රතිශක්තිය වර්ධනය වීම නිසා රෝහල්ගත වීමේ අවදානම අඩුවීම මීට වඩා ගොඩක් වැඩියි කියා හිතන්න අමාරුයි. 

මේ වාසිය ලබන පිරිස මිලියන 6.5 ක පමණ, එනම් රටේ ජනගහණයෙන් 30%ක පමණ, පිරිසක්. ඒ කියන්නේ රටේ ජනගහනයෙන් 30%කගේ කෝවිඩ් හැදී රෝහල්ගත වන්නට සිදු වීමේ අවදානම මේ කාලය තුළ 25%කින් අඩු වෙනවා කියන එකයි. එනම්, සමස්තයක් ලෙස ලංකාවේ වැසියෙකුට කෝවිඩ් හැදී රෝහල්ගත වන්නට සිදු වීමේ අවදානම 7.5%කින් පමණ අඩුවීමක්. 

දැනට රටේ සිටින රෝහල්ගත විය යුතු මට්ටමේ කෝවිඩ් ආසාදිතයින් ප්‍රමාණය 40,000ක් පමණ බවත්, රට නොවැසුවේනම් මෙම ප්‍රමාණය දින 12කින් තවත් 40,000කින් වැඩි විය හැකිව තිබුණු බවත්, රට වැසීම නිසා එම ප්‍රමාණය 10,000 දක්වා අඩු වන බවත් උපකල්පනය කරමු. මේ අනුව, රට වැසීම හේතුවෙන් 30,000ක පමණ පිරිසකගේ කෝවිඩ් හැදී රෝහල්ගත වන්නට සිදු වීමේ අවදානම 7.5%කින් අඩු වෙනවා.මෙය කෝවිඩ් හේතුවෙන් රෝහල්ගත වීම් ප්‍රමාණය 2,250කින් පමණ අඩුවීමක්. රෝහල්ගත වන අයගෙන් 5%ක් මිය යන සේ සැලකුවොත් කෝවිඩ් මරණ ප්‍රමාණය 225කින් පමණ අඩු වීමක්. ඉහතින් ගණන් හැදූ මරණ 25ද සමඟ දැන් එකතුව රට වැසීම නිසා නොසිදුවන මරණ 250ක්.

මේ වෙද්දීත් ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය එහි ධාරිතාව ඉක්මවා ඇති බව පැහැදිලියි. ඒ නිසා, වෛරසය පැතිරීම මන්දගාමී කර ගැනීමෙන් වලක්වා ගත හැකි කෝවිඩ් මරණ වලට අමතරව, අවශ්‍ය ප්‍රතිකාර නොමැති කමින් සිදු විය හැකි මරණ යම් ප්‍රමාණයක්ද වලක්වා ගත හැකියි. මේ ප්‍රමාණය ඉහත ඇස්තමේන්තුවෙන් 20%ක් පමණ සේ සැලකුවොත් ඒ හරහා වැළකෙන මරණ ප්‍රමාණය 50ක් පමණ වෙනවා. එම මරණ ප්‍රමාණයද අනුව දින දහයක් රට වැසීමේ ප්‍රතිඵලයක් ලෙස ඉතිරි වන ජීවිත ප්‍රමාණය 300ක් පමණ.

කෙසේ වුවත් ඉහත ප්‍රමාණයෙන් රට වැසීම නිසාම ඉතිරි වන ජීවිත ප්‍රමාණය 25ක් පමණයි. ඉතිරි ජීවිත බේරෙන්නේ හරියටම මේ අවස්ථාවේදීම රට වැසීම හා රට වසා තිබෙන කාලය තුළ එන්නත් මාත්‍රා ලබා දීම සම්පූර්ණ කිරීම නිසා. දෙවනු කී වාසි එකවර ලැබෙන වාසියක් මිස රට වසා තැබීමෙන් දිගින් දිගටම ලැබෙන වාසි නෙමෙයි. ඒ වගේම මේ ගණනය කිරීම් කළේ රට වැසීමෙන් ඵලදායී ප්‍රතිජනන අගය 75%කින් අඩු වුවහොත් යන පදනම මතයි. බොහෝ විට එය එසේ නොවිය හැකියි. මෙය දින දහයකට පසු පරීක්ෂා කර බැලිය හැකි දෙයක්. 

යම් ජීවිත ප්‍රමාණයක් බේරෙන නමුත් දැන් පවතින තත්ත්වය අනුව රට වැහුවා කියා ලංකාවේ කෝවිඩ් පැතිරෙන එක නවත්වන්නනම් බැහැ. රට වසා ඇති කාලය තුළ යම් පාලනය වීමක් සිදු වුවත් රට නැවත විවෘත කළ තැන් පටන් නැවතත් වෛරසය පැතිරීම නොවැලැක්විය හැකි දෙයක්. වේගවත් එන්නත්කරනය මගින් වුවද කළ හැක්කේ හානි අවම කිරීමක් පමණයි.

Saturday, August 21, 2021

වසංගත බය, දුර්භික්ෂ බය හා ගෝටාබය


ගොඩක් අය ජනාධිපති ගෝටාබය රාජපක්ෂව සලකන්නේ දුර්වල සන්නිවේදකයෙක් ලෙසයි. කතාව බොරුවක්ම නෙමෙයි. නමුත්, හොඳ සන්නිවේදකයෙක් කියා කියන්නේ මොන වගේ කෙනෙකුටද? මහින්ද වගේ ඇදලා පැදලා "දැන් සැපද" කියලා අහන්න පුළුවන් කෙනෙක්ටද? සජිත් වගේ "ආදරණීය සදාදරණීය" කියලා පටන් ගන්න කෙනෙක්ටද? අනුර කුමාර වගේ "නැද්ද හා" කියල අහන කෙනෙක්ටද? 

ඊයේ කළ  ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ ජාතිය ඇමතීමේ කතාවේදීනම් ඔහු කියන්න අවශ්‍ය දේ ඉතා හොඳින් සන්නිවේදනය කළා. ආලවට්ටම් වැල් වටාරම් නැතුව පොයින්ට් එකට කරපු කතාවක් කියා කියන්න පුළුවන්. සුපුරුදු පුරාජේරුවනම් පොඩ්ඩක් තිබුණා. සමහර විට ලියලා දීපු කතාවක් කියෙවුවා වෙන්න පුළුවන්. ඒක අදාළ කරුණක් නෙමෙයි. කතාව කළේ ගෝටාබය.

කතාවක හොඳ නරක එහි ඉලක්කගත කණ්ඩායම අනුව වෙනස් වන දෙයක්. පොයින්ට් එකට කරන කතා හැමෝටම හරියන්නේ නැහැ. ඒ වුනත්, මැතිවරණ වේදිකාවකදී කරන කතා කොහොම වුනත්, රාජ්‍ය නායකයෙකු විසින් කතාවක් කරද්දී එහි අන්තර්ගතය දිහා ඇතැම් විට ලෝකයම බලා ඉන්නවා. මේ කතාවේ වැදගත් සංඥා ගණනාවක් තිබෙනවා. 

කෝවිඩ් සැමදා අප සමගය කියන අදහස වසංගතය ආරම්භයේදීම ප්‍රචලිත වූ අදහසක්. අදහසට පදනම් වුනේ බටහිර විද්‍යාත්මක චින්තනය වුවත්, විද්‍යාව මත පදනම් වූ මෙවැනි විශ්වාසයක් තහවුරු කළ හැකි සාධක ඒ වෙද්දී තිබුණේ නැහැ. දැන් තත්ත්වය වෙනස්. කෝවිඩ් අප හැර නොයන බව ඉතා පැහැදිලියි. කෝවිඩ් සමඟ සහජීවනයකට යනු හැර විකල්පයක් කිසිදු රටකට නැහැ. 

පෘථිවිය මත වෛරස් සැරිසරන්න පටන් ගත්තේ මිනිස්සු බිහි වෙන්නට විශාල කාලයකට පෙරයි. වෛරස් ආසාදන කියන්නේ මිනිස්සුන්ට අලුත් දෙයක් නෙමෙයි. ඉතිහාසය පුරා මිනිස්සු වෛරස් ආසාදන වලින් මිය ගියා. කෝවිඩ් වසංගතය ආරම්භයේදී වෛරස් පිළිබඳව තිබුණු දැනුම තරම් දැනුමක් මීට පෙර කිසිදු වසංගත අවස්ථාවක මිනිස්සුන්ට තිබුණේ නැහැ.

ලෝකයේ විවිධ දැනුම් පද්ධති තිබෙනවා. එහෙත්, කෝවිඩ් ආසාදනය පැතිරෙන ආකාරය පිළිබඳව බටහිර විද්‍යා දැනුමට කිට්ටුවෙන්වත් තැබිය හැකි වෙනත් කිසිදු විකල්ප දැනුමක් නැති බව මේ වෙද්දී ඉතා පැහැදිලිව ප්‍රදර්ශනය වී තිබෙනවා. බටහිර විද්‍යා දැනුම වුවද පරිපූර්ණ දැනුමක් නෙමෙයි.

කෝවිඩ් හමුවේ මිනිස් සංහතිය හමුවේ දැනට තිබෙන එකම සාර්ථක අවිය එන්නත්කරණයයි. වෙනත් අවි තිබිය හැකි වුවත් ඒ කිසිවක සාර්ථකත්වය තහවුරු වී නැහැ. එහෙත් එන්නත්කරණයේද සීමාවන් තිබෙනවා. එන්නත්කරණය මගින් වුවද කෝවිඩ් මිහිමතින් තුරන් කළ නොහැකි බව දැනට පෙනෙන්නට තිබෙන තත්ත්වයයි. කෝවිඩ් සදා අප සමඟයි!

එන්නත්කරණය මගින් කෝවිඩ් ලෝකයෙන් හෝ ලංකාවෙන් තුරන් කළ නොහැකි වුවත් පාලනය කළ හැකියි. වල් අලි තරම් හීලෑ අලි දරුණු නැහැ. හීලෑ අලින්ද ඇත් ගොව්වන් ඔසොවා පොළොවේ ගහනවා. එහෙත්, හීලෑ අලින් නිසා වල් අලින්ගෙන් තරම් හානි හෝ මරණ සිදු වන්නේ නැහැ. ලංකාවේ ආණ්ඩුව වසංගතය ආරම්භයේදී පෙරහරේ ගෙනිච්චත්, හීලෑ අලින්ගෙන් මෙන් කෝවිඩ් හදන වෛරසයෙන් වැඩ ගන්නනම් බැහැ. 

වසංගතය ආරම්භයේදී කෝවිඩ් මර්දනය කළ හැකි එන්නත් පිළිබඳව තිබුණේ බලාපොරොත්තුවක් පමණයි. විශේෂයෙන්ම ලංකාව වගේ රටක ආණ්ඩුවකට මෙය දුරස්ථ බලාපොරොත්තුවක්. දියුණු වන රටවල්ද ඇතුළුව ලෝකයේ බොහෝ රටවල් එන්නත් හදන වැඩේට අත ගැහුවත් ලංකාව එවැන්නක් කළ හැකි තැනක හිටියේ නැහැ. ඒ නිසා, ලංකාවට වෙන රටක එන්නත් හැදෙන තුරු බලා ඉන්න සිදු වී තිබුණා. මුල් කාලයේ ලංකාවේ ආණ්ඩුව අනුගමනය කළ කෝවිඩ් මර්දන ක්‍රමවේදයේ විශාල ප්‍රශ්න ඇතත්, සමස්තයක් ලෙස අදාළ ක්‍රියාවලිය පිළිබඳව වැරැද්දක් කියන්න බැහැ. 

මේ වන විට ලංකාවේ ආණ්ඩුව එන්නත්කරණය කෙරෙහි විශ්වාසය තබා ඇතුවාක් මෙන්ම ජනාධිපති ගෝටාබය රාජපක්ෂ ඒ බව සෘජුවම ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වුවත්, ලංකාවම එන්නත් කිරීමෙන් පසුව වුවත් ලංකාවෙන් කෝවිඩ් තුරන් වෙන එකක් නැහැ. හැමදාම රට වහගෙන ඉන්නත් බැහැ. 

කෝවිඩ් එක්ක ජීවත් වෙන්නනම් දිගින් දිගටම එන්නත් අවශ්‍ය වෙනවා. පරීක්ෂණ කට්ටලද අවශ්‍ය වෙනවා. වසරකට වරක් රටේ ජනගහණය එන්නත් කරන එක බටහිර රටවල සාමාන්‍ය දෙයක්. එහෙත්, මෙවැන්නක් ලංකාවට පුරුදු දෙයක් නෙමෙයි. යටිතල පහසුකම් ප්‍රශ්නය විසඳා ගැනීම හා පවතින සෞඛ්‍ය ආකෘතිය තුල වැඩේ සංවිධානය කර ගැනීම අසීරු වන එකක් නැතත්, මේ වැඩේට දිගින් දිගටම මුදල් හා විදේශ විණිමයත් අවශ්‍ය වෙනවා. ලංකාවේ රජයට නැත්තේම ඔය දෙකයි!

රට වැහීම කියා කියන්නේ මිනිස් ජීවිත හා ආර්ථිකය අතර සිදු කරන තේරීමක් නෙමෙයි. ආර්ථිකය කියා කියන්නෙත් මිනිස් ජීවිතම තමයි. දෙපැත්තේම තියෙන්නේ මිනිස් ජීවිත. රට වැහීමෙන් මිනිස් ජීවිත බේරෙනවද අහිමි වෙනවද කියන එක පවතින තත්ත්වය අනුව තීරණය වන, වෙනස් වන දෙයක්.

තාවකාලිකව මොනවා කළත්, ආණ්ඩුව මේ වෙලාවේ සිතිය යුත්තේ පවතින තත්ත්වය දිගුකාලීනව කළමණාකරණය කර ගන්නේ කොහොමද කියන එකයි. ලංකාව තුළ එන්නත් නිෂ්පාදනය ආරම්භ කළ හැකිනම් එය වසංගත ප්‍රශ්නයට වගේම ආර්ථික ප්‍රශ්න වලටද තාවකාලික මෙන්ම දිගුකාලීන විසඳුමක්. මේ වෙලාවේදී චීනයට තිබෙන භූ දේශපාලනික හා ආර්ථික අවශ්‍යතා මේ වැඩේට ප්‍රයෝජනයට ගත හැකියි. 

එන්නත් නිපදවීමේ කලාව ලාංකිකයන්ට අල්ලා ගත හැකි දෙයක්. මේ වගේ වැඩ වලට ලාංකිකයෝ දක්ෂයි. මම කියන්නේ තිබෙන එන්නත් වල මාත්‍රා නිෂ්පාදනය කිරීම ගැන පමණක් නෙමෙයි. එය කෙටිකාලීනව හා මැදිකාලීනව හොඳ ඉලක්කයක්. දිගුකාලීනව අලුත් එන්නත් හදන වැඩේටත් අත ගහන්න බැරිකමක් නැහැ. එක් නිශ්චිත එන්නතක් සාර්ථක වීමේ සම්භාවිතාව ඉතා අඩු වුවත්, වැඩේ දිගටම කරගෙන යද්දී එකක් පත්තු වුනොත් ලැබෙන වාසිය ඉතා විශාලයි. මාත්‍රා නිෂ්පාදනය වුවත් අපනයනය ඉලක්ක කරගෙන කළ හැකිනම් විශාල වෙළඳපොළක් තිබෙනවා. එය ලේසියකට නැති වන වෙළඳපොළක් නෙමෙයි.

Friday, August 20, 2021

කෝවිඩ් බය


මේ වන විටද ලෝකයේ රටවල් අතරින් වැඩිම කෝවිඩ් ආසාදිතයින් ගණනක් හඳුනා ගැනුණු රට මෙන්ම වැඩිම කෝවිඩ් මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇති රටද ඇමරිකාවයි. ඇමරිකාවෙන් පිටත බොහෝ දෙනෙකුට අනුව ඇමරිකාවේ ආණ්ඩුව ඇමරිකානුවන්ගේ ජීවිත පරදුවට තබමින් ආර්ථිකය ආරක්ෂා කර ගෙන තිබෙනවා. ඒ වගේම ඇමරිකානුවන් ඉතා නොසැලකිලිමත් ලෙස හැසිරී විශාල විනාශයක් කරගෙන තිබෙනවා. මේ කතා සුරංගනා කතා පමණක්ම බව පැහැදිලි කරද්දී එය පිළි නොගත් අයටද ඉතා ඉක්මණින් මේ බැව් පිළිගන්නට සිදුවනු නොඅනුමානයි.

මා පසුගිය වසර මුලදීම කියා ඇති පරිදි ඇමරිකාව කෝවිඩ් වසංගතය සැලකුවේ දිගුකාලීන යුද්ධයක් ලෙස මිස ඉතා ඉක්මණින් අවසන් සතුරාද මරා දමා ජයග්‍රහණය සැමරිය හැකි සටනක් ලෙස නෙමෙයි. ලංකාවේ අත්දැකීම තරමක් වෙනස් සේ මතුපිටින් පෙනුනත්, දිගුකාලීන යුද්ධ බොහෝ විට එක් පාර්ශ්වයක් මුළුමනින්ම විනාශ වීමෙන් අවසන් වන්නේ නැහැ. බොහෝ යුද්ධ වල අවසානය යම් ආකාරයක සංහිඳියාවක්. 

ඇමරිකාව බොහොමයක් තීරණ ගනු ලැබුවේ විද්‍යාව මත පදනම්වයි. ඇතැම් තීරණ ගනු ලැබුවේත්, බොහෝ ඇමරිකානුවන් ක්‍රියා කළේත් විද්‍යාව අදහමින් කියා කිව හැකියි. විද්‍යාව අදහමින් ගනු ලබන තීරණ විද්‍යාව මත පදනම්ව ගන්නා තීරණ තරමටම සාර්ථක වෙන්නේ නැහැ. විද්‍යාව මත පදනම්ව ගන්නා තීරණද හැම විටම සාර්ථක වන්නේ නැහැ. එහෙත්, කෝවිඩ් හා අදාලවනම් මේ දෙවර්ගයේම තීරණ බොහෝ දුරට හරි ගියා. ඇමරිකාව තවමත් කෝවිඩ් පරාජය කර නැතත්, එය ඇමරිකාව ෆේල් වීමක් නොවන්නේ මේ තත්ත්වය මුල සිටම ඇමරිකාව අපේක්ෂා කළ දෙයක් වූ නිසයි.

කෝවිඩ් සතුරා ලේසියකට පරාජය කළ නොහැකි බව ඇමරිකාව මුල සිටම තේරුම් ගෙන සිටි කරුණක්. ඒ අනුව හැම විටම ඉලක්කය වුනේ හානිය අවම කිරීම මිස කෝවිඩ් සහමුලින්ම දුරු කිරීම නෙමෙයි. ඇමරිකාවේ කියා කිවුවත් පොදුවේ බොහොමයක් බටහිර රටවලට මේ කියන දේවල් අදාලයි.

ඇමරිකාව ඇතුළු බටහිර රටවල ප්‍රවේශය නිවැරදි බව මේ වෙද්දී තහවුරු වී අවසන්. ඝර්ම කලාපීය රටවල් කෝවිඩ් වලින් ආරක්ෂා වුනේ නැහැ. බීසීජී එන්නත් කළ රටවල් කෝවිඩ් වලින් ආරක්ෂා වුනේ නැහැ. දුඹුරු හම ඇති අය කෝවිඩ් වලින් ආරක්ෂා වුනේ නැහැ. විවිධ විකල්ප ඖෂධ භාවිතා කළ අය කෝවිඩ් වලින් ආරක්ෂා වුනේ නැහැ. සමාජවාදී රටවල් කෝවිඩ් වලින් ආරක්ෂා වුනේ නැහැ. ථෙරවාදී බෞද්ධ රටවල් කෝවිඩ් වලින් ආරක්ෂා වුනේත් නැහැ. චීනය පමණක් තවමත් කෝවිඩ් පාලනය කරගෙන ඉන්නවා.

කෝවිඩ් මරණ අනුපාතය අතින් ඊයේ ලංකාවට වඩා ඉහළින් හිටියේ ජනගහණය ඉතා අඩු රටවල් කිහිපයක් පමණයි. කෝවිඩ් මර්දන කාර්යයේදී ලංකාවේ ආණ්ඩුව පට්ට ෆේල් බව මේ වන විට විවාදිත කරුණක් නෙමෙයි. එය එසේ වන්නේ ලංකාව ලෝකයේ රටවල් අතරින් කෝවිඩ් පාලනය කිරීමට අසමත්ම වූ රට නිසා නෙමෙයි. ලංකාවේ ආණ්ඩුව තමන්ගේම ක්‍රමයකට රට කෝවිඩ් වලින් මුදාගෙන බටහිර රටවල් ඇතුළු ලෝකයට පෙන්වීමට බලාගෙන සිට ඇණගත් නිසයි. ආරම්භය එසේ වුවත් මේ වෙද්දී ලංකාවේ ආණ්ඩුව කෝවිඩ් සමඟ සහජීවනයකට සූදානම්ව සිටිනවා.

ඇමරිකාව ඇතුළේ හැම දෙයක්ම කලින් සැලසුම් කළ, පුරෝකථනය කළ හා අපේක්ෂා කළ විදිහට සිදු වුනා. හැබැයි ඇමරිකාවේ ජනාධිපතිට වුනත් බලාගෙන හිටපු විදිහට ජයට නිදහස් දිනය සමරා රට විවෘත කරන්න ඉඩ ලැබුණේ නැහැ. මේ වෙද්දී ඇමරිකාවේ එන්නත් ලබා ගන්නට අවශ්‍ය හැම දෙනෙක්ම වගේ එන්නත් ලබාගෙන අවසන්. එසේ ලබාගෙන තිබෙන්නේත් තිබෙන හොඳම එන්නත්. එසේ වෙලත් මේ වෙද්දී ඇමරිකාව පුරා කෝවිඩ් ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරෙනවා. එහි R0 අගය 6-7 තරම් විශාලයි වගේම මරණ අනුපාතයද අඩු නැහැ. වෛරසයේ පරිණාමය ඩෙල්ටා ප්‍රභේදයෙන් අවසන් වන එකක් නෙමෙයි.


කෝවිඩ් වලට එරෙහිව එන්නත් වලින් ආරක්ෂාවක් ලැබෙන බව ඉතා පැහැදිලියි. එහෙත් මෙය සාපේක්ෂ ආරක්ෂාවක් පමණයි. එන්නත් දෙකම ලබාගත් අයටත් කෝවිඩ් හැදෙනවා. ඔවුන් කෝවිඩ් බෝ කරනවා. ඇතැමෙක් මැරෙනවා. ශීත සෘතුව එළැඹෙද්දී තත්ත්වය තවත් දරුණු විය හැකි බව පැහැදිලියි.

මම පෞද්ගලිකව ගත්තොත්, වසරකට වැඩි කාලයක් පුරා ස්වේච්ඡාවෙන් නිවාස අඩස්සිගතව සිටියා කිව හැකියි. එළියට බැස්සේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සති දෙකකට පසු පූර්ණ ප්‍රතිශක්තිය ලැබීමෙන් පසුවයි. එහෙත් මේ පූර්ණ ප්‍රතිශක්තිය කියන එකත් වචනයක් පමණයි. ඕනෑම වෙලාවක මට කෝවිඩ් හැදෙන්න පුළුවන්. අමාරු වෙන්න වගේම මැරෙන්නත් පුළුවන්.

වසරක්ම ගෙදරට වී සිටියේ උමග කෙළවර එළිය දෙස බලාගෙනයි. ඒ එළිය අපේක්ෂා කළ පරිදිම දැක ගත හැකි වුනා. එය කණාමැදිරි එළියක්‌ කියා මම කියන්නේ නැහැ. එහෙත්, එළිය පෙනුණේ උමග කෙළවර නෙමෙයි. උමග තව දිගයි. 

කෝවිඩ් අවදානම තිබුණත් හැමදාම ගේ ඇතුළට වී ඉන්න බැහැ. කොයි දේක වුනත් සීමාවක් තිබෙනවා. මොන තරම් අවදානමක් තිබුණත් කෝවිඩ් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්නම වෙනවා. දැන් ඇමරිකාවේ ජීවිතය ගැන ගැන කෙටියෙන්ම කිවුවොත් මෙය කෝවිඩ් සමඟ සහජීවනයක්. ලෝකයේ අනෙක් හැම රටකටමත් කොයි වෙලාවේ හෝ කරන්න වෙන්නේ ඕකම තමයි. යම් පිරිසක් තව දුරටත් මැරෙයි. ඒ අතර මම වුනත් ඉන්න පුළුවන්. එන්නත නිසා අවදානම අඩු වෙලා තිබෙනවා. එච්චරයි. 

Thursday, August 19, 2021

උද්ධමන බය


මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දමා තිබෙනවා. ඒ වගේම සංචිත පොලී අනුපාතිකයද ඉහළ දමා තිබෙනවා. මේ හරහා මහ බැංකුව විසින් සංඥා කර තිබෙන්නේ මහ බැංකුවටද උද්ධමන බය දැනී තිබෙන බවයි. ඒ වගේම, උද්ධමනය පාලනය කිරීමට මහ බැංකුව නොපසුබට වන බවද මේ හරහා සංඥා කර තිබෙනවා.

මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසීම පිළිබඳව විශාල බියක් මේ වන විට ජනගත කරනු ලැබ තිබෙනවා. මේ බිය පදනම් විරහිත බියක්ම නෙමෙයි. කෙසේ වුවත්, මේ කියන සල්ලි අච්චු ගැහීම මූලික වශයෙන්ම මහ බැංකුවේ විදේශ සංචිත විකිණීමේ අතුරු පලයක්. ප්‍රධාන ප්‍රශ්නය ඩොලර් හිඟය මිසක් සල්ලි අච්චු ගැහීම නෙමෙයි. එය ද්වීතියික ප්‍රශ්නයක්. ද්වීතියික ප්‍රශ්නයද විශාල ප්‍රශ්නයක් විය හැකි නමුත් එයට මුහුණ දෙන්න වෙන්නේ මුල් ප්‍රශ්නයට මුහුණ දීමෙන් පසුවයි.

කෝවිඩ් හමුවේ ලෝකයේ බොහෝ රටවල් වල මහ බැංකු විශාල වශයෙන් සල්ලි අච්චු ගහන්න පෙළඹුණා. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්ද ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සිදුවිය යුතුව තිබුණු දෙයක්. කෙසේ වුවත්, ලංකාවේ රජයේ ආදායම් අඩු වී වියදම් වැඩි වුනේ කෝවිඩ් නිසාම නෙමෙයි. වසංගතයට පෙර ආණ්ඩුව විසින් අනුගමනය කළ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිසා. වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් අනතුරුව එක පැත්තකින් ආදායම් අඩු කර ගනිමින් අනෙක් පැත්තෙන් රාජ්‍ය වියදම් වැඩි කර ගත්තා. ඒ හරහා අයවැය හිඟය විශාල ලෙස පුළුල් කර ගත්තා. 

ආණ්ඩුව මෙහෙම කළේ ඇයි? දේශපාලනිකව මෙය ජනප්‍රියවාදී ප්‍රවේශයක්. රජයෙන් ලැබෙන දේවල් වැඩියෙන් අරගෙන අඩුවෙන් බදු ගෙවන්න මිනිස්සු කැමතියි. ඊට අමතරව, ලිහිල් රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්තියක් දිගින් දිගටම පවත්වා ගැනීමෙන් ආර්ථිකය දිගින් දිගටම ප්‍රසාරණය කළ හැකිය යන විශ්වාසයද මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ තිබෙනවා. මේ සඳහා අයවැය හිඟය වගේම අඩු පොලී අනුපාතිකද නඩත්තු කළ යුතුයි.

රජයේ අයවැය හිඟය ඉහළ යද්දී ඒ අඩුව පුරවන්න ණය ගන්න වෙනවා. ලංකාවට විදේශ ණය ලබා ගැනීම ඉතා අසීරු මට්ටමකට පත් වීමත් සමඟ මේ සඳහා ඉතිරිව තිබුණු විකල්පය දේශීය ණය ගැනීමයි. එහිදී පොලී අනුපාතික ඉහළ යනවා. අයවැය හිඟය ඉහළ මට්ටමක තබා ගනිමින් පොලී අනුපාතිකද පහළ මට්ටමක තබා ගත හැක්කේ විදේශ ණය දිගින් දිගටම ලබාගත හැකිනම් පමණයි. එය කළ නොහැකි වූ විට, එක්කෝ පොලී අනුපාතික ඉහළ යන්න ඉඩ අරින්න වෙනවා. එසේ නැත්නම් සල්ලි අච්චු ගහන්න වෙනවා. සල්ලි අච්චු ගැහීම උද්ධමනයට හේතු වූ විට උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාතික වැඩි කරන්න සිදු වන නිසා මෙය තුවාලය කැසීමක් පමණක්.

වසංගතය නිසා ලංකාවට එන ඩොලර් ප්‍රවාහ වල අඩුවීමක්ද සිදු වුනා. විශේෂයෙන් සංචාරක කර්මාන්තය හරහා රටට ගලා ආ ඩොලර්. මේ නිසා, රජයේ විදේශ ණය ගෙවන්න ඩොලර් නැති වීමේ ප්‍රශ්නයට ආණ්ඩුවට මුහුණ දෙන්න සිදු වුනා. මේ වගේ වෙලාවක මහ බැංකුවේ තිබෙන විදේශ සංචිත ප්‍රයෝජනයට ගැනීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. සංචිත තියා ගන්නේම ඔය වගේ හදිසියකට ගන්න. නමුත් ප්‍රශ්නය ලංකාව සතුව මහා ලොකු විදේශ සංචිත ප්‍රමාණයක් නොතිබීමයි.

රජයට මහ බැංකුවෙන් ඩොලර් සෘජුවම මිල දී ගන්න වගේම බැංකු පද්ධතිය හරහා වක්‍ර ලෙස මිල දී ගන්නත් පුළුවන්. මහ බැංකුවෙන් සෘජුවම ඩොලර් මිල දී ගන්නා විට මහ බැංකුවට රුපියල් ආපසු එන නිසා මුදල් සැපයුම පහළ යනවා. එවිට මහ බැංකුවට නැවත මුදල් සැපයුම ප්‍රතිස්ථාපනය කරන්න සිදු වෙනවා. ඒ සඳහා භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්න සිදු වෙනවා. මේ භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළෙන් මිල දී ගත්තොත් ද්වීතියික වෙළඳපොළේ පොලී අනුපාතික පහළ යනවා. එහෙත් කෙළින්ම රජයෙන් අලුත් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත්තොත් පොලී අනුපාතික වලට එවැනි බලපෑමක් වෙන්නේ නැහැ. 

රජයට මුහුණ දෙන්න සිදු වූ ප්‍රශ්නය වසංගතය නිසා ඇති වූ ඩොලර් ප්‍රශ්නය පමණක්නම් සල්ලි අච්චු ගැහීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රජය රුපියල් දී මහ බැංකුවෙන් ඩොලර් ගන්නවා. මහ බැංකුව ද්වීතියික වෙළඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන රුපියල් එළියට දමනවා. මුදල් සැපයුම ස්ථාවරයි. පොලී අනුපාතිකත් අඩු වෙනවා. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. 

එහෙත් රජයට තිබුණේ ඩොලර් ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. විශාල අයවැය පරතරයක්ද පියවිය යුතුව තිබුණා. රජය මහ බැංකුවෙන් සංචිත මිල දී ගැනීම සඳහා ගෙවූ රුපියල් මහ බැංකුවෙන්ම ලබාගත් රුපියල්. ඒ නිසා, මහ බැංකුවට වසංගතය හමුවේ පොලී අනුපාතික අඩු කරන්න තව ගලක් ගහන්න වුනා. ඒ තමයි සංචිත පොලී අනුපාතික පහළ දැමීම.

දැන් මහ බැංකුව නැවතත් සංචිත පොලී අනුපාතික වැඩි කරලා. උද්ධමන පාලන උපාය මාර්ගයක් ලෙස ගත් මේ තීරණය නිසා පුළුල් මුදල් සැපයුම හැකිලෙනවා. රජයට දේශීය වෙළඳපොළෙන් ණය ලබා ගැනීම වඩා අසීරු වෙනවා. ඒ වෙනුවෙන් වැඩි පොලියක් ගෙවන්න සිදු වෙනවා. එයට අනුරූපව ව්‍යවස්ථාපිත පොලී අනුපාතිකද ඉහළ දමා තිබෙනවා.

මේ එක්කම රජයේ දේශීය ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී වියදම් ඉහළ යන නිසා රාජ්‍ය අයවැය හිඟය මත පීඩනය තවත් වැඩි වෙනවා. ආදායම් වැඩි කර ගැනීම ගැන නොහිතනවානම් වියදම් කපන්න සිදු වෙනවා. මොන විදිහකින් හෝ රටට ඩොලර් ඇවිත් මහ බැංකුවේ සංචිත ඉහළ දාගත හැකි වුවහොත් එක්කෝ මහ බැංකුවට එම ඩොලර් මිල දී ගන්න අලුත් රුපියල් යොදාගන්න වෙනවා. එහිදී උද්ධමනය වැඩි විය හැකි නිසා නැවතත් පොලී අනුපාතික වැඩි කරන්න වෙනවා. එහෙම නැත්නම් වැඩි වන ඩොලර් සංචිත වලට අනුරූපව භාණ්ඩාගාර බිල්පත් විකුණන්න වෙනවා. එහිදීත් පොලී අනුපාතික ඉහළ යනවා. ඒ නිසා, උද්ධමනය වලක්වා ගන්න අවශ්‍යනම් අයවැය හිඟය පාලනය නොකර ආණ්ඩුවට බේරෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. 

Wednesday, August 18, 2021

කරාබු කඩා හැදූ මැණිකේ මගේ හිතේ


සිංහල සිංදුවක් ජාත්‍යන්තරයට ගිහින් තිබෙනවා. ජාත්‍යන්තරයට කියා කිවුවත් ඇත්තටම වෙලා තියෙන්නේ සිංහල සිංදුවක් ඉන්දියාව පුරා හිට් වීමයි. 

මෙසේ කීමෙන් මා කිසිසේත්ම මේ සිංදුව අවතක්සේරු කිරීමක් කරන්නේ නැහැ. සිංහල සිංදුවක් කවදාවත්ම ඉන්දියානු කලාපයෙන් පිටත, ලෝකය පුරා ජනප්‍රිය වී නැහැ. මා දන්නා තරමින් මීට පෙර ඉන්දියානු කලාපය පුරා හෝ ජනප්‍රිය වී තිබෙන්නේ එකම එක සිංහල සිංදුවක් පමණයි. ඒ නිසා, මේ සිංදුව ඉන්දියානු කලාපය පුරා ජනප්‍රිය වීම පට්ටයි කියලා කට පුරා කියන්න පුළුවන්.

මැණිකේ මගේ හිතේ සිංදුව ඉන්දියාව පුරා වගේම, ඉන්දියානු කලාපයේ යාබද රටවල ප්‍රේක්ෂකයින් අතරත්, ලොව පුරා විසිරී සිටින එම රටවල ඩයස්පෝරිකයින් අතරත් ජනප්‍රිය වී තිබෙනවා. ඒ අර්ථයෙන් සිංදුව ජාත්‍යන්තරයට ගිහින් කීමේ වරදකුත් නැහැ. ඒ වගේම මෙය ඉන්දියානු සංස්කෘතියෙන් පිටතද ජනප්‍රිය වීමේ යම් විභවයක් තිබෙනවා. එසේ වේවා කියා අප ප්‍රාර්ථනා කරනවා.

සිංදුවක් ජනප්‍රිය වීමට එහි සංගීතය, ගායනය, පද මාලාවේ අර්ථ රසය, පද මාලාවේ ශබ්ද රසය ඇතුළු බොහෝ කරුණු බලපානවා. මේ කරුණු අතරින් පද මාලාවේ අර්ථ රසය වැදගත් වන්නේ සිංදුව ලියැවී තිබෙන භාෂාව දන්නා අයට පමණයි. එම භාෂාව නොදන්නා අයට වැදගත් වන්නේ ඉතිරි කරුණු තුන හා වෙනත් කරුණුයි. මේ වෙනත් කරුණු අතර මේ වන විට රූප රසයද වැදගත් කරුණක්ව තිබෙනවා.

කාලයක් තිස්සේ ලංකාව තුළ හොඳ සිංදු සේ සැලකුනේ පද මාලාවේ අර්ථ රසය ඉහළ මට්ටමක වූ සිංදුයි. මෙවැනි බොහෝ සිංදු වල අර්ථය සිංහල භාෂාව මුල් බස වූ අයෙකුට වුවත් හරියටම තේරුම් ගන්න අමාරුයි. ඒ වගේ සිංදු, ඉතිරි සාධක නිසා නොවේනම්, ලංකාවේ කොයි තරම් ජනප්‍රිය වුවත්, ජාත්‍යන්තරයට යන්නේ නැහැ. ඕනෑනම් වැඩිම වුනොත් සිංහල බස මුල් බස වූ සංක්‍රමණිකයින් අතර ජනප්‍රිය වෙයි. 

මා දන්නා තරමින් වෙනත් භාෂා වලින් ලියැවෙන සිංදු බොහොමයක තිබෙන්නේ සරල අර්ථයක්. වෙනත් රටවල සිංදු හැදෙද්දී සිංහල සිංදු වල මෙන් පද මාලාවේ අර්ථ රසය බොහෝ වැදගත් සේ සැලකෙන බවක් මා දන්නේ නැහැ. 

මැණිකේ මගේ හිතේ සිංදුවේ පද මාලාවේ අර්ථ රසයක්නම් නැහැ. සම්ප්‍රදායික සම්මත අනුව බැලුවොත් මෙය කසිකබල් සිංදුවක් කියන්න පුළුවන්. එහෙත් මේ පද මාලාවේ ශබ්ද රසය තිබෙනවා. සිංදුව හිට් වීමට වැඩිපුරම දායක වී තිබෙන්නේ එහි සංගීතය විය හැකි වුවත්, පද මාලාවේ ශබ්ද රසයද එයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබෙන බව පැහැදිලියි.

මීට පෙර මේ ආකාරයෙන් ඉන්දියාව පුරා හිට් වූ සිංහල සිංදුවක් ඇත්නම් ඒ සුරංගනීට මාළු ගෙනාවා ගීතය පමණයි. දශක ගණනාවකට පෙර ඉන්දියාවේ හිට් වූ සුරංගනී ගීතය ඉන්දියානුවන් අතර තවමත් ජනප්‍රියයි. සිංදුව දන්නා නමුත් එය සිංහල සිංදුවක් බව බොහෝ ඉන්දියානුවන් දන්නේ නැහැ. සුරංගනී ගීතය ඉන්දියාව පුරා ජනප්‍රිය කළේ සිලෝන් මනෝහර් ලෙසද  ප්‍රසිද්ධව සිටි ඒ ඊ මනෝහරන් විසිනුයි. ඔහු තෙවසරකට පෙර වකුගඩු ආබාධයකින් මිය ගියා. 

මැණිකේ මගේ හිතේ ගීතය මෙන්ම සංගීතය හා පද මාලාවේ ශබ්ද රසය නිසා ජනප්‍රිය වූ සුරංගනී ගීතය ඉන්දියාවේ විවිධ භාෂා වලට මිශ්‍ර වී තිබෙනවා. මේ ආකාරයෙන්ම මේ වන විට මැණිකේ මගේ හිතේ ගීතයද ඉන්දියාවේ විවිධ භාෂා ගණනාවක් සමඟ මිශ්‍ර වී තිබෙනවා. ඊට අමතරව ඉංග්‍රීසි භාෂාව සමඟ මිශ්‍ර කළ වර්ෂන් එකක්ද තිබෙනවා. මනෝහර්ට නොතිබුණු තාක්ෂනයේ වාසිය වගේම කාලයේ වාසියත් මැණිකේ මගේ හිතේ ගීතයේ නිෂ්පාදකයින්ට මේ ගීතය ඉතා කෙටි කලකින් ඉන්දියාව පුරා ජනප්‍රිය කර ගැනීමට උදවු වී තිබෙනවා. එය යම් තරමකට වාසනාව මත සිදුව ඇති දෙයක් වුවත් සැලසුම් සහගත මහන්සියක් මේ ගීතය පසුපස ඇති බව ඉතාම පැහැදිලියි.

ගීතය මුලින්ම බිහි වී තිබෙන්නේ කෑගල්ලේ තරුණයෙකු වන සතීෂාන් රත්නායකට ගීතයක් එළිදැක්වීමට තිබුණු උවමනාව මතයි. සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියන විදිහට මේ සිංදුව හදන්න සල්ලි හොයා ගැනීම සඳහා ඔහු කවුරුවත් නොකරන දේවල් පවා කර තිබෙනවා. ඔහුට අනුව මේ කවුරුවත් නොකරන දේ කරාබු කැඩීමයි.

ඔහු මේ කියන්නේ කෝච්චියේ මාල කැඩීම වගේ දෙයක් ගැන නෙමෙයි. කරාබු ගස් වලින් කරාබු කැඩීම ගැනයි. අදාළ සාකච්ඡාව මෙහෙයවන්නාට හෝ එය නරඹන අයට කරාබු කැඩීම කවුරුවත් නොකරන දෙයක් වන්නේ ඇයි කියා අවබෝධයක් නැතුව ඇති. මෙය ඉතා අසීරු වැඩක්. 


කරාබු ගස් අඩි විස්සක් විසිපහක් උසට වැවෙනවා. ඒ නිසා, කරාබු කැඩීම තේ දළු කඩනවා වගේ පහසුවෙන් කළ හැකි දෙයක් නෙමෙයි. කරාබු මල් පිපෙද්දී නටුවද සමඟ පොහොට්ටු කඩා ගන්න ගහට නැග අතු අග්ගිසි වලට යා යුතුයි. කරාබු නැටි අපනයනය හෝ දේශීය වෙළඳපොළ සඳහා සකස් කරන්නේ මේ පොහොට්ටු අව්වේ වේලලා. මේ වැඩේ අමාරු වන්නේ ගහට නගින්න වීම නිසා හෝ අතු අග්ගිසි වලට යන්න අවශ්‍ය නිසාම නෙමෙයි. කරාබු ගහේ හැම කොටසකම වගේ ලොකු සැරක් තියෙනවා. ගහට නැගලා පැය කිහිපයක් කරාබු කඩන කොට මුළු ඇඟම දැවිල්ල හැදෙනවා.

කරාබු කඩන්න ශ්‍රමිකයින් හොයා ගන්න එක ගොඩක් අමාරු වැඩක්. වැඩේට කැමති අයට හොඳ මිලක් ලැබෙනවා. බොහෝ විට සල්ලි ලැබෙන්නේ කඩන කරාබු ප්‍රමාණය අනුවයි. මේ මිල ගෙවා ලාබයක් ලැබිය හැකි තරමට කරාබු නැටි මිල ඉහළ මට්ටමක නැත්නම් කරාබු නොකඩා ඉන්න වෙලාවල් තියෙනවා. 

සතීෂාන් රත්නායක විසින් ගායනා කරන චමත් සංගීත් විසින් සංගීතය යොදා ඇති දුලාන් ARXගේ පද මාලාවේ මුල් වර්ෂන් එකද ජනප්‍රියව ඇතත් ඉන්දියාව පුරා හිට් වී තිබෙන්නේ ඉන්පසුව ඔහු යොහානි දිලෝකා ද සිල්වා සමඟ ගයන වර්ෂන් එකයි. යොහානිගේ හැඟීම්බර ගායනය වගේම සංගීත වීඩියෝවේ රූප රසයද සිංදුව ජනප්‍රිය වීමට හේතු වී ඇති බව පැහැදිලියි. ඉන්දියාවේ විවිධ භාෂා වලින් නිපදවා තිබෙන වර්ෂන් වල යොහානි විසින් ගයන සිංහල කොටස එසේම තිබියදී සතීෂාන්ගේ රැප් කොටසට වෙනම ගායකයින් ආදේශ වී තිබෙනවා. 

යොහානිගේ හා සතීෂාන්ගේ වර්ෂන් එකේ යූටියුබ් වීඩියෝව මේ වන විට මිලියන 38කට වඩා වැඩි පිරිසක් විසින් නරඹා ඇති අතර සතීෂාන්ගේ මුල් වර්ෂන් එකද මිලියන 13කට වැඩි පිරිසක් විසින් නරඹා තිබෙනවා. සුපිරි නළු අම්තාබ් බච්චන්ගේ මිණිපිරිය නව්‍යා නවේලි නන්දා විසින් අමිතාබ් රඟන චිත්‍රපට රූප රාමුවකට මේ ගීතය මුසු කොට ප්‍රසිද්ධ කිරීමෙන් පසුව අමිතාබ් විසින් පවසා තියෙන්නේ මේ ගීය කොපමණ ඇසුවත් ඇති නොවන බවයි.


ලංකාවේ බොහෝ දෙනෙකුට ඉන්දියානු භීතිකාවක් තිබෙනවා. මෙහිදී බොහෝ දෙනෙකු හිතන්නේ ඉන්දියානුවන් දේශීය වෙළඳපොළට අවතීර්ණ වීම තුළ තමන්ගේ වෙළඳපොළ අහිමි වී යනු ඇති බවයි. එහෙත්, එක් ශ්‍රී ලාංකිකයකුට දැවැන්ත ඉන්දියානු වෙළඳපොළට ඇතුළු විය හැකිනම් එහි වාසිය තුළින් ඉන්දියානු තරඟය නිසා දේශීය නිෂ්පාදකයින් පණහක් විනාශ වීමෙන් වන අවාසිය මැකෙනවා. මා මෙයින් අදහස් කරන්නේ දේශීය නිෂ්පාදකයින් පරාජය භාර ගත යුතු බව නෙමෙයි. එහි අනෙක් පැත්තයි. 

ලංකාවේ කලාකරුවන්ට, ව්‍යවසායකයන්ට වගේම වෘත්තිකයින්ටත් ජාත්‍යන්තරය ජය ගැනීමට අවශ්‍යනම් හොඳම ආරම්භය වන්නේ ඉන්දියානු වෙළඳපොළ ජය ගැනීමයි. මෙහිදී දූපත් මානසිකත්වයෙන් මිදී ලොකුවට සිතීම වැදගත්. මැණිකේ මගේ හිතේ නිෂ්පාදක කණ්ඩායම විසින් පෙන්වා දී තිබෙන්නේ එය කළ හැක්කක් බවයි.

Friday, August 13, 2021

සංචිත ඩොලර් බිලියන 2.8 දක්වා පහළට!


මහ බැංකුවේ අලුත්ම සංඛ්‍යාලේඛණ අනුව, ජූලි අවසානය වෙද්දී නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,833.5 දක්වා පහත වැටී තිබෙනවා. මෙයින්ද ද්‍රවශීල විදේශ වත්කම් තිබෙන්නේ ඩොලර් මිලියන 2,364.6ක් පමණයි. 

වසරේ පළමු මාස හය තුළ විදේශ ගනුදෙනු වල ඩොලර් මිලියන 1,261ක හිඟයක් පෙන්නුම් කරන අතර ඒ අනුව වසරේ අවසන් මාස හය තුළද එවැනිම හිඟයක් අපේක්ෂා කළහොත්, ද්‍රවශීල විදේශ වත්කම් ප්‍රමාණය වසර අවසන් වෙද්දී ඩොලර් බිලියනයක් පමණ දක්වා පහත වැටිය හැකියි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 780ක පමණ වටිනාකමක් ඇති එස්ඩීආර් ප්‍රමාණයක් ලැබෙන්නට නියමිතව ඇතත් මෙම ලැබීම් ද්‍රවශීල විදේශ වත්කම් සේ සැලකිය නොහැකියි. 

මේ මොහොත වන විට මහ බැංකුව සතු ඩොලර් මිලියන 2,833.5ක් වන සමස්ත විදේශ වත්කම් ප්‍රමාණය යොදා ගෙන රුපියල් බිලියන 1,060ක් පමණ වන මහ බැංකුවේ වගකීම් සියල්ල පියවන්නටනම් ඩොලරයක මිල රුපියල් 375ක්වත් විය යුතුයි. ඊට අඩු විණිමය අනුපාතිකයක් පවත්වා ගනිමින් අඩු ගණනේ ඩොලර් වලින් වගකීම් පියවා මහ බැංකුව විසුරුවා හරින්නවත් බැහැ. 

මෙයින් මා අදහස් කරන්නේ ඩොලරයක නියම මිල රුපියල් 375ක් බව නෙමෙයි. එහෙත්, ප්‍රමාණවත් තරමින් සංචිත වර්ධනය කරගත නොහැකිනම් ඉදිරි වසරේ මැද භාගය පමණ වන විට රුපියලේ දැවැන්ත කඩා වැටීමක් සිදුවීම නොවැලැක්විය හැකියි. 

මහ බැංකුව විසින් සංචිත වර්ධනය කර ගැනීම සඳහා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීමට උත්සාහ කරමින් සිටියත් විණිමය අනුපාතිකය පවතින මට්ටමේ නඩත්තු කරමින් එය කළ නොහැකියි. පවතින මිලට කවුරුවත් ඩොලර් විකුණන්නේ නැහැ. 

විණිමය අනුපාතිකය ඉහළ ගිය විට එක පැත්තකින් ආණ්ඩුවේ ආර්ථික කළමණාකරණයේ දුර්වලකම ප්‍රදර්ශනය වීමත්, අනෙක් පැත්තෙන් රජයේ විදේශ ණය වල රුපියල් අගය වැඩි වීමත් මේ විණිමය ප්‍රතිපත්තියට හේතු සේ සැලකිය හැකියි. විණිමය අනුපාතිකය නිවැරදි වෙන්නට ඉඩ හැරීමෙන් ඇත්තටම ආණ්ඩුවේ ආර්ථික කළමණාකරණයේ දුර්වලකමක් පිළිබිඹු නොවන නමුත් මේ ආණ්ඩුවේ ප්‍රබලයින් විසින්ම එවැනි මතයක් ජනගතකර තිබීම ආණ්ඩුවට පාරාවළල්ලක් වී තිබෙනවා. 

ඒ වගේම, විදේශ ණය වල රුපියල් අගය වැඩි වුනා කියා එම ණය ඇත්තටම වැඩි වන්නේ නැහැ. එහෙත්, ණය ගෙවීම සඳහා ඩොලර් මිල දී ගැනීමට අවශ්‍ය රුපියල් ප්‍රමාණය ඉහළ යන නිසා වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් විකුණන්න සිදු වෙනවා. පවතින පොලී අනුපාතික නඩත්තු කරමින් භාණ්ඩාගාර බිල්පත් අවශ්‍ය පමණ විකිණිය නොහැකියි.

Thursday, August 12, 2021

වේරම්භ වාතයට යට වූ දකුණු හුළඟ


 ‘‘ඡ ඛොමෙ, ගහපතිපුත්ත, ආදීනවා විකාලවිසිඛාචරියානුයොගෙ. අත්තාපිස්ස අගුත්තො අරක්ඛිතො හොති, පුත්තදාරොපිස්ස අගුත්තො අරක්ඛිතො හොති, සාපතෙය්‍යංපිස්ස අගුත්තං අරක්ඛිතං හොති, සඞ්කියො ච හොති පාපකෙසු ඨානෙසු, අභූතවචනඤ්ච තස්මිං රූහති, බහූනඤ්ච දුක්ඛධම්මානං පුරක්ඛතො හොති."

“ගෘහපති පුතේ, නුසුදුසු අවස්ථා වල වීථි සංචාරයෙහි නැවත නැවත යෙදීමේ දෝෂ හයක් තිබෙනවා. තමා ප්‍රවේසම් නොවේ, ආරක්ෂා නොවේ. තමාගේ අඹුදරුවෝද ප්‍රවේසම් නොවේ, ආරක්ෂා නොවේ. තමාගේ වස්තුවද ප්‍රවේසම් නොවේ, ආරක්ෂා නොවේ. අනුන්ගේ සැකයට බඳුන් වේ. නොකළ වැරදි වලට අසු වේ. නොයෙක් දුක් කරදර වලට මුහුණ දෙන්නට සිදු වේ."

මම හිතන්නේ බුදු හාමුදුරුවෝ සිඟාලක ගෘහපතියාට දුන් ඉහත අවවාදය මේ දවස් වල ලංකාවේ වැසියන්ට වෙන කවරදාකටත් වඩා වටිනවා. තමනුත්, අඹුදරුවනුත් රැක ගන්න අවශ්‍යනම් අත්‍යාවශ්‍ය නොවන වීථි සංචරණ සීමා කරන්නම වෙනවා. 

බුදුහාමුදුරුවන්ට සිඟාලක ගෘහපතියාව දකින්න ලැබෙන විට ඔහු උදේ පාන්දරම තෙත හිස කෙස් පිටින් සය දිසාවට වඳිනවා. මෙය ඔහුට ඔහුගේ පියා මියයන්න කලින් උගන්වා තිබුණු වතාවතක්. මේ බව දකින බුදුහාමුදුරුවෝ පරම්පරාවෙන් ආ සම්ප්‍රදායික දැනුමක් වුවත් තේරුමක් නැති දේ කිරීමෙන් යහපතක් නොවන බව සිඟාලකට පැහැදිලි කරනවා. මේ වගේ තේරුමක් නැති සම්ප්‍රදායික දැනුම් ප්‍රශ්න කිරීම බුදුහාමුදුරුවන් විසින් බොහෝ අවස්ථා වල කර තිබෙන දෙයක්. එවැනි වෙනත් අවස්ථා වලදී වගේම මේ අවස්ථාවේදීත් බුදුහාමුදුරුවෝ කරන්නේ භාෂාවට අලුත් අර්ථකථනයක් දීම හරහා සම්ප්‍රදාය වෙනස් කිරීම. ඒ අනුව, බුදුහාමුදුරුවෝ සය දිසාව නැවත අර්ථකථනය කරනවා.

සිගාලෝවාද සූත්‍රයට අනුව දකුණු දිශාව කියන්නේ ගුරුවරු. පසුගිය දවස් වල ලංකාවේ දකුණු දිශාවේ කැළඹීමක් ඇති වුනා. අපි දකුණු සුළඟ කියා කියමු. දකුණු සුළඟ හමද්දී ලංකාවේ ආර්ථිකය හරහා ප්‍රචණ්ඩ කුණාටුවක් හමමිනුයි තිබුණේ. දැන් දකුණු සුළඟ නැවතිලා. හැබැයි එය සිදු වී තිබෙන්නේ රට හරහා වේරම්භ වාතයක් හමා යාමට සමාන්තරවයි. ලෝකයේ හොඳින්ම කෝවිඩ් පාලනය කළ ආණ්ඩුවකට දැන් කෝවිඩ් ප්‍රශ්නයක් වෙලා!

මේ වෙලාවේ කෝවිඩ් වලට අවධානය යොමු වී තිබුණත්, ගුරු ප්‍රශ්නය වගේම ඊට වඩා ගොඩක් බරපතල රටේ ආර්ථිකයේ ප්‍රශ්නත් ඒ විදිහටම තිබෙනවා වගේම මේ ප්‍රශ්න එකිනෙකට සම්බන්ධයි. ගුරු ප්‍රශ්නය හදාගත් ප්‍රශ්නයක් වුවත් එය මේ ආණ්ඩුව විසින් හැදූ ප්‍රශ්නයක් නෙමෙයි. ආර්ථිකයේ ප්‍රශ්නයත් හදාගත් ප්‍රශ්නයක්. එයද මේ ආණ්ඩුව විසින් හැදූ ප්‍රශ්නයක් නොවූවත්, මේ වන විටද මේ ආණ්ඩුව පෙනී සිටින ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇති වූ ප්‍රශ්නයක්. කෝවිඩ් මර්දනයේදී ආණ්ඩුව අනුගමනය කළ ක්‍රියාමාර්ග කිසි ලෙසකින්වත් සර්ව සම්පූර්ණ නැතත්, වසංගතය හා ආශ්‍රිත ප්‍රශ්න මේ ආණ්ඩුවේ හෝ වෙනත් ආණ්ඩුවක වරදකින් ඇති වූ ප්‍රශ්න නෙමෙයි. 

කෝවිඩ් පැතුරුණේ දකුණු හුළඟ නිසා කියා කියන්න බැහැ. එය කොයි වෙලාවක හෝ සිදු විය හැකිව තිබුණු දෙයක්. මේ බව අප සටහන් කළේ ලංකාව කෝවිඩ් මර්දනයෙන් ලෝකයේ හොඳම රටක්ව සිටින බව ප්‍රචාරය කෙරුණු කාලයේදීමයි. කෝවිඩ් පැතිරීම ආණ්ඩුවේ වැරැද්දක් නොවනාවක් මෙන්ම ගුරුවරුන්ගේ වැරැද්දක්ද නෙමෙයි. දිගින් දිගටම නොකල්හි වීථි සංචාරය කළ ගුරුවරුන්ට දැන් සිඟාලක ගෘහපතිට බුදු හාමුදුරුවන් විසින් කියූ පරිදිම නොකළ වැරදි වලට අසු වී, අනුන්ගේ සැකයට බඳුන් වී, නොයෙක් දුක් කරදර වලට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා.

ප්‍රශ්න ඇති වුනේ මොන විදිහට වුනත් පවතින ආණ්ඩුවට එම ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා. කෝවිඩ් වේරම්භ වාතය හමුවේ දකුණු සුළඟ සමහර විට යටපත් වෙලා යයි. කෝවිඩ් ප්‍රශ්නයත් කාලයත් එක්ක විසඳී යයි. ස්වභාවිකව ඇති වන ප්‍රශ්න නරකම තත්ත්වයක් යටතේ වුවත් කාලයත් සමඟ ස්වභාවිකවම විසඳෙනවා. හැබැයි ඊට පෙර තත්ත්වය දැන් තිබෙනවාට වඩා නරක අතට හැරෙන බවත් පැහැදිලියි.

කෝවිඩ් මර්දන කාර්යයේදී ලංකාවේ ආණ්ඩුව අසමත්ව ඇති බව දැන් වෙද්දී වැඩි පිළිගැනීමක් තිබෙන මතයක්. වසංගතයේ ආරම්භක අවදියේදී ගොඩක් අය එහෙම කිවුවේ හෝ හිතුවේ නැහැ. මෙහිදී ආණ්ඩුව අසමත් වන්නේ වෙන අයෙකුට කළ හැකිව තිබුණු දේ නොකළ නිසා නෙමෙයි. ආණ්ඩුවකට නොකළ හැකි දේ කළ හැකි සේ සලකා කරන්න යාම තුළයි.

ආර්ථික කළමනාකරණයේදීත් කෝවිඩ් වලින් උගත් පාඩම අමතක නොකළොත් එය ආණ්ඩුවේ පැවැත්මට හොඳ වෙයි. ආර්ථිකයේ ප්‍රශ්න වසංගතය මෙන් ස්වභාවිකව ඇති වූ ප්‍රශ්න නොවන නිසා එම ප්‍රශ්න කාලය විසින් විසඳන්නේ නැහැ. ඒ ප්‍රශ්න විසඳන්නම වෙනවා. ප්‍රශ්න වල මුල ආණ්ඩුවකට කළ නොහැකි දේ කරන්න යාමයි. නොකළ හැකි දේ කරන්න දිගින් දිගටම උත්සාහ දරන තුරු ආණ්ඩුවේ අසමත් බව සැඟවිය නොහැකි ලෙස මතු වීමේ අවදානම එලෙසම තිබෙනවා.

Tuesday, August 10, 2021

ඇමරිකාවේ පාසැල් අධ්‍යාපනය


මා සාමාන්‍යයෙන් කිසියම් අයෙකු විසින් ගන්නා වෙනත් අයට බලපාන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග විවේචනය කරන්නේ අදාළ භූමිකාව පෞද්ගලිකව මට පැවරී තිබුණේනම් එය වඩා හොඳින් කළ හැකිව තිබුණු හෝ තිබෙන ආකාරයක් ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇති විට පමණයි. බොහෝ විට සිදු වන්නේ පවතින තත්ත්වය පහසුවෙන් විවේචනය කළ හැකි තරම් නරක වුවත්, එම තත්ත්වය වෙනස් කර ගත හැක්කේ කොහොමද කියන එක අවිනිශ්චිත වීමයි. මේ වගේ වෙලාවකදී, පවතින තත්ත්වය කොයි තරම් නරක වුවත්, ප්‍රශ්නයට සෘජුව මුහුණ දෙන පුද්ගලයින් විවේචනය කිරීමට මම යොමු වෙන්නේ නැහැ. 

විශේෂයෙන්ම ලංකාව වගේ රටක ප්‍රතිපත්ති සම්පාදකයින්ට ඇතැම් වෙලාවට තමන්ට නිවැරදි සේ පෙනෙන දෙයම කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවක එවැන්නෙකු කරන දෙයක් විවේචනය කිරීම ඒ අයටම කරන උදවුවක් වෙනවා. 

බොහෝ වෙලාවට ප්‍රශ්න පැහැදිලි වුවත් එම ප්‍රශ්න වලට විසඳුම් බ්ලොග් පෝස්ට් එකකින් ඉදිරිපත් කළ හැකි තරම් සරල නැහැ. එහෙත් එයින් අදහස් වෙන්නේ විසඳුම් නැති බව නෙමෙයි. බොහෝ විට අපේ බොහෝ පාඨකයින් ඇතැම් දේවල් සම්බන්ධව "කළ හැක්කේ කුමක්ද?" කියා අපෙන් විමසා තිබෙනවා. ඒ වගේම, "අපේ ප්‍රශ්න අපි විසඳාගන්නම්. ඕගොල්ලෝ පැත්තකට වෙලා ඉන්න" කියා කියන පිරිසකුත් ඉන්නවා.

මේ විදිහට "ඕගොල්ලෝ පැත්තකට වෙලා ඉන්න" කියා කියන ගොඩක් අය සෘජුවම ප්‍රශ්නය විසඳීමේ වගකීම දරන අය නෙමෙයි. මේ ප්‍රකාශයෙන් ප්‍රායෝගිකව අදහස් වෙන්නේ "ඕගොල්ලෝ පැත්තකට වෙලා ඉන්න. අපේ බුවා අපිට ප්‍රශ්නේ විසඳලා දෙයි!" කියන එකයි. 

මේ දවස් වල ලංකාවේ ආණ්ඩුව මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න දෙකෙන් එකක් නොවූවත් අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයකටද ආණ්ඩුව මුහුණ දෙමින් සිටිනවා. "අපේ බුවා අපිට ප්‍රශ්නේ විසඳලා දෙයි!" කියා හිතන ඇච්චන් කෙසේ ප්‍රතිචාර දැක්වුවත්, ප්‍රශ්නයට සෘජුව මුහුණ දෙන අය ලෝකයේ කොහේ හෝ සිටින අයගේ අදහස් වලට විවෘතව සිටින බව පේනවා.

රටක අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීමේදී එකිනෙක හා ගැටෙන ඉලක්ක තුනක් ලඟා කර ගැනීමේ අභියෝගයට මුහුණ දීමට ප්‍රතිපත්ති සම්පාදකයෙකුට සිදු වෙනවා. ඒ ප්‍රවේශය වැඩි කිරීම, ගුණාත්මක භාවය වැඩි කිරීම හා පිරිවැය අඩු කිරීම කියන ඉලක්ක තුනයි. ඇමරිකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ මේ එක් එක් ඉලක්කය සපුරා ගන්නේ කොහොමද?

පළමු ඉලක්කය වන ප්‍රවේශය වැඩි කිරීමට තිබෙන ප්‍රධානම බාධාව පිරිවැයයි. ඇමරිකාව තුළදී ඕනෑම සිසුවෙකුට අවම වශයෙන් වසර දහතුනක මූලික අධ්‍යාපනයක් නොමිලේ ලබා ගත හැකියි. මේ හරහා ප්‍රවේශය පිළිබඳ ප්‍රශ්නය විසඳෙනවා.

ඇමරිකාවේ පාසැල් ආකෘතිය ප්‍රදේශය අනුව වෙනස් වන දෙයක්. ව්‍යතිරේඛද සුලභ වුවත්, වඩාත්ම සුලභ පාසැල් ආකෘතිය පහත ආකෘතියයි.

හෝඩිය

මූලික පාසැල (1-5 ශ්‍රේණි)

මධ්‍යම පාසැල (6-8 ශ්‍රේණි)

උසස් පාසැල (9-12 ශ්‍රේණි)

මේ අනුව ඇමරිකානු සිසුවෙකුට අවම වශයෙන් පාසැල් තුනකට හෝ හතරකට යන්න සිදු වෙනවා. හෝඩිය බොහෝ විට මූලික පාසැලේම කොටසක්. අඩු ආදායම්ලාභී පවුල් වල සිසුන්ට පෙර පාසැල් අධ්‍යාපනයද නොමිලේ ලබා ගත හැකියි. 

ඕනෑම ඇමරිකානු සිසුවෙකුට තමන් ජීවත් වන ස්ථානය මත පදනම් වූ නිශ්චිත මූලික, මධ්‍යම හා උසස් පාසැලක් තිබෙනවා. පෙර ලිපියක විස්තර කළ පෞද්ගලික හෝ වරලත් පාසැලකට නොයන්නේනම් සහ නිවසේ සිට අධ්‍යාපනය නොලබන්නේනම් යා යුත්තේ මේ නිශ්චිත පාසැල් වලටයි.

පාසැල් දිස්ත්‍රික්කයක් යන්නෙන් බොහෝ විට අදහස් වන්නේ උසස් පාසැලක භූගෝලීය සීමාවයි. ඒ අනුව, ව්‍යතිරේඛ තිබුණත්, කිසියම් පාසැල් දිස්ත්‍රික්කයක සිසුන් බොහෝ විට යා යුත්තේ එකම උසස් පාසැලකටයි. එම සීමාව තුළ මධ්‍යම පාසැල් එකකට වඩා තිබිය හැකියි. මූලික පාසැල්නම් බොහෝ විට කිහිපයක් තිබෙනවා. උසස් පාසැලේ සීමාව තුළ මූලික පාසැල් වල භූගෝලීය සීමා ලකුණු කර තිබෙනවා. ඒ අනුව, සෑම සිසුවෙකුටම ප්‍රාථමික අධ්‍යාපනය සඳහා නිවසට ඉතාම ආසන්න පාසැලකට යා හැකියි. මධ්‍යම හා උසස් පාසැල් ඊට වඩා තරමක් ඈතින් පිහිටා තිබෙනවා විය හැකි වුවත් ඒවාද එම මට්ටමේදී තිබෙන ළඟම පාසැල්.

ඇමරිකාවේ පොදු පාසැල් අධ්‍යාපනය පොදු සේවාවක් වුවත් එය මධ්‍යගතව සැලසුම් නොවන ප්‍රාදේශීය කටයුත්තක්. උසස් පාසැලකට නඩත්තු විය හැක්කේ යම් අවම සිසු ගහණයක් සිටීනම් පමණයි. ඒ නිසා, නාගරික ප්‍රදේශයක පාසැල් දිස්ත්‍රික්කයක් කුඩා වුවත්, ග්‍රාමීය ප්‍රදේශයක පාසැල් දිස්ත්‍රික්කයක් සාපේක්ෂව විශාලයි. සිසුන් ප්‍රමාණය යම් අවම මට්ටමක පවත්වා ගත හැකි පරිදි පාසැල් දිස්ත්‍රික් සීමා නිර්ණය වීමේදී අදාළ සීමාව තුළ නිවාස ඒකක ප්‍රමාණය යම් අවම මට්ටමක තිබීමද සහතික කෙරෙනවා. මේ අනුව, දේපොළ බදු සේ අය කෙරෙන ආදායම්ද යම් අවම මට්ටමක තිබීම සහතික කෙරෙනවා. පාසැල් ප්‍රධාන වශයෙන්ම නඩත්තු වන්නේ මේ දේපොළ බදු වලින්. 

කිසියම් පොදු පාසැලකට දරුවන් යවන පිරිසත් එම පාසැල නඩත්තු කිරීම වෙනුවෙන් දේපොළ බදු ගෙවන පිරිසත් එකම පිරිසක්. මේ නිසා, පදිංචිය තහවුරු කර ගැනීම අපහසු නැහැ. පදිංචිය වෙනස් කළොත් දරුවන්ගේ පාසැල්ද වෙනස් කළ යුතුයි. මේ ක්‍රමය තුළ පාසැල් අධ්‍යාපනය වෙනුවෙන් සෘජුව මුදල් නොගෙවුවත්, එය වක්‍රව ගෙවන්නේ එම දරුවන්ගේම දෙමවුපියන් විසිනුයි.

වැඩි වැටුප් ගෙවීමෙන් වඩා හොඳ ගුරුවරුන් ආකර්ෂණය කර ගත හැකියි. එහිදී දරුවන්ට ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවයද ඉහළ යනවා. එහෙත්, ඒ වෙනුවෙන් වැඩි මිලක් ගෙවන්න සිදු වෙනවා. වෙනත් අයුරකින් කිවුවොත්, ඇමරිකානු පාසැල් දිස්ත්‍රික් ක්‍රමය තුළ ඕනෑම සිසුවෙකුට ප්‍රවේශය සහතික කෙරෙනවා. එය සාධාරණ ලෙසද සිදු වෙනවා. ඒ වගේම, පිරිවැය අවම වන පරිදිද එය සිදු වෙනවා. එහෙත්, මෙහිදී අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සමාන මට්ටමකින් පවතින බව සහතික කෙරෙන්නේ නැහැ.

පොදු පාසැල් පද්ධතිය තුළ ඉගෙන ගන්නා තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ දමා ගන්නනම් දෙමවුපියන්ට දේපොළ බදු ලෙස ඉහළ මිලක් ගෙවීමේ එකඟතාවයකට එන්න සිදු වෙනවා. දේපොළ බදු වැඩිපුර ගෙවන්න කැමති නැත්නම් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය අඩුවීම භාර ගන්න සිදු වෙනවා. පොදු පාසැල් හරහා ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය අඩු වූ විට තමන්ගේ දරුවන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න අවශ්‍ය දෙමවුපියන් දරුවන්ව මුදල් ගෙවා පෞද්ගලික පාසැලකට යවන්න පෙළඹෙනවා. එවිට ඔවුන්ට පොදු පාසැල් නඩත්තු කිරීම වෙනුවෙන් දේපොළ බදු ගෙවීමට තිබෙන අවශ්‍යතාවයද නැති වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පොදු පාසැල් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය තවත් පහළ යනවා. මෙය චක්‍රීය ලෙස සිදු වී අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිළිබඳ විෂමතා ඉහළ යනවා. 

ඇතැම් ප්‍රදේශ වල වැසියන් පොදු පාසැල් පද්ධතියේ ගුණාත්මක භාවය පවත්වා ගැනීමට ප්‍රමාණවත් තරම් බදු ගෙවීමට සූදානම් නොවීමෙන් ඔවුන්ට අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැදගත් නොවන බවක් හැම විටම අදහස් වෙන්නේ නැහැ. පාසැල් දිස්ත්‍රික්ක වල පිහිටි නිවාස ඒකක වල ආදායම් මට්ටම් අතර සැලකිය යුතු විෂමතා තිබෙනවා. පොදු පාසැල් පද්ධතියේ ගුණාත්මක භාවය පවත්වා ගැනීමේ බර හැම පෙදෙසකම වැසියන්ට එක සේ දැරිය නොහැකියි. ප්‍රාන්ත මට්ටමේ මැදිහත් වීම් වලින් වෙන්නේ මෙවැනි විෂමතා අඩු කිරීමයි. ප්‍රාදේශීය ආදායම් අඩු, ඒ හේතුව නිසා පොදු පාසැල් පද්ධතියේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම අසීරු පාසැල් දිස්ත්‍රික්ක වලට ප්‍රාන්ත අරමුදල් වල උදවුවෙන් වඩා හොඳ ගුරුවරුන් ආකර්ෂණය කරගෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නංවා ගත හැකියි. මේ ආකාරයෙන්ම ෆෙඩරල් අරමුදල් වලින් ප්‍රාන්ත අතර තිබෙන විෂමතා අඩු කළ හැකියි.

ගුණාත්මක භාවය පහළ අඩියකට වැටුණොත් එය ප්‍රවේශය පිළිබඳ ප්‍රශ්නයක් බවටද පත් වෙනවා. සෑම සිසුවෙකුටම මුදල් නොගෙවා මූලික අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව තිබීම පමණක් ප්‍රමාණවත් නැහැ. එම අධ්‍යාපනය අවශ්‍ය පමණ ගුණාත්මක අධ්‍යාපනයක්ද විය යුතුයි. එවැනි ගුණාත්මක අධ්‍යාපනයක් සියල්ලන්ටම ලැබේනම් එය ලැබෙන්නේ කෙසේද යන්න වැදගත් නැහැ.

ඇතැම් දෙමවුපියන්ට තමන්ගේ දරුවන්ට අවශ්‍ය ගුණාත්මක අධ්‍යාපනය නිවසේදීම ලබා දිය හැකියි. තවත් දෙමවුපියන් මේ සඳහා පෞද්ගලික පාසැල් තෝරා ගන්නවා. පොදු පාසැල් අවශ්‍ය වන්නේ මේ අවස්ථා දෙකම හිමි නොවන දරුවන්ටයි. පොදු පාසල් ක්‍රමය තුළ, තමන්ගේ දරුවන් පොදු පාසැලකට නොයවන පවුල් වල අය ඇතුළු පාසැල් දිස්ත්‍රික්කයේ වැසියන්ගේ වියදමෙන් මේ අධ්‍යාපනය ලැබෙනවා. මෙහිදී අදාළ ප්‍රදේශයේම වැඩි ආදායම්ලාභී පවුල් විසින් ඔවුන්ගේ කැමැත්තෙන් අඩු ආදායම්ලාභී පවුල් සුබසාධනය කිරීමක් සිදු වෙනවා. එය අවශ්‍ය පමණට සිදු නොවන විට ප්‍රාන්ත රජය මැදිහත් වී ප්‍රාන්තයේම  වෙනත් ප්‍රදේශ වල වැසියන්ගේ වියදමින් ඇතැම් පාසැල් දිස්ත්‍රික්ක සුබසාධනය කරනවා. එයද ප්‍රමාණවත් නොවන අවස්ථා වල පමණක් ෆෙඩරල් රජය මැදිහත් වී අනෙකුත් ප්‍රාන්ත වල වැසියන්ගේ වියදමෙන් ඇතැම් පාසැල් දිස්ත්‍රික්ක සුබසාධනය කරනවා. මේ සියල්ල සිදු වන්නේ ධනවාදී සමාජ-ආර්ථික ව්‍යුහය එලෙසම තිබියදී. 

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...