ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර තිබෙන ගැටුම, ප්‍රාග්ධනයේ ගෝලීය හැසිරීම, ලෝක ප්‍රාග්ධනයේ හැසිරීම තුළ ලංකාවට තිබෙන භූ දේශපාලනික බලපෑම වගේ දේවල් ගැන ගොඩක් අය බොහොම බරපතල විදිහට කතා කරනවා. ඔය වගේ දේවල් ගැන ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. එහෙත් එයින් අදහස් වන්නේ ඒ කියන දේවල් වලට හැම විටම තේරුමක් තියෙනවා කියන එක නෙමෙයි. කොහෙන් හෝ අහුලාගත් දෙයක් ගිරවු වගේ කියවන එක අමාරු වැඩක් නෙමෙයි.
බොහෝ විට මේ වගේ දේවල් සම්බන්ධව කළ හැකි ගුණාත්මක විශ්ලේෂණයකට තේරුමක් තියෙන්නේ එවැනි ගුණාත්මක විශ්ලේෂණයක් ප්‍රමාණාත්මක විශ්ලේෂණ මත පාදක වනවානම් පමණයි. සීනි වැඩිපුර ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යයට අහිතකර බව කෙනෙකුට කියන්න පුළුවන්. එහෙම කියන ගොඩක් අය විසින් කරන්නේ තවත් අයෙක් කියපු දෙයක් පුනරුච්ඡාරණය කරන එක. මුලින් කියපු කෙනා කතාව කියන්නේ ප්‍රමාණාත්මක විශ්ලේෂණයක් මත පදනම්ව වුවත් පුනරුච්ඡාරණය කරන අය ඒ කොටස ග්‍රහණය කර ගන්නේ කලාතුරකින්. සීනි වැඩිපුර කියා කියද්දී වැඩිපුර කියන්නේ කොපමණද කියන එක නැතුව කතාවට ප්‍රායෝගික තේරුමක් නැහැ. වැරදිලා ඇල්කොහොල් තේ හැන්දක් පෙවුනොත් වකුගඩු වලට කොයි තරම් හානියක් වෙයිද?
මේකෙම අනෙක් පැත්තකුත් තිබෙනවා. ගණිතය හෝ සංඛ්‍යානය ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගන්න තියෙන මෙවලම් මිසක් ප්‍රශ්න වලට අවසාන හෝ නිවැරදි පිළිතුරු නෙමෙයි. ඒ නිසා, ගුණාත්මක විශ්ලේෂණ නැති හෝ වැරදි ගුණාත්මක විශ්ලේෂණ මත පදනම් වූ ප්‍රමාණාත්මක විශ්ලේෂණ ගොඩක් වෙලාවට "පට්ට පල් බොරු".
මම මේ බ්ලොග් එකෙන් කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය හඳුන්වා දුන්නේ ඒ අනුසාරයෙන් තව ගොඩක් දේවල් පැහැදිලි කිරීමේ බලාපොරොත්තුවෙන්. මේ පැහැදිලි කිරීම් සඳහා කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය අවශ්‍ය නොවුනත්, මා එය යොදා ගන්නේ පැහැදිලි කිරීමේ පහසුවටයි. ලෝකයේ වෙනත් බොහෝ ආර්ථික විද්‍යාඥයින් විසින්ද එය සුලභව යොදා ගන්නවා. ඒ නිසා, කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය කොයි තරම් නිවැරදිද කියන එක වැදගත් ප්‍රශ්නයක් නෙමෙයි. නිවැරදි කෙසේ වුවත්, එය ලියෝන්ටිෆ් නිෂ්පාදන ශ්‍රිතය වැනි වෙනත් බොහෝ විකල්ප වලට වඩා මේ වැඩේට ගැලපෙනවා.
දැන් අපි මේ කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය ගත්තොත්,
∂Y/∂L = (1-α)Y/L
∂Y/∂K = αY/K
∂Y/∂K: ශ්‍රමය දැනට තිබෙන මට්ටමේම තියෙද්දී ප්‍රාග්ධනය යම් ප්‍රමාණයකින් වැඩි කළොත් නිෂ්පාදිතය වැඩි වන ප්‍රමාණය. මෙයට අපි ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය කියා කියනවා.
∂Y/∂L: ප්‍රාග්ධනය දැනට තිබෙන මට්ටමේම තියෙද්දී ශ්‍රමය යම් ප්‍රමාණයකින් වැඩි කළොත් නිෂ්පාදිතය වැඩි වන ප්‍රමාණය. මෙයට අපි ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය කියා කියනවා.
ධනවාදයේ මූලධර්මය වන්නේ ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය නිෂ්පාදනය සඳහා ප්‍රාග්ධනය සපයන අයටත්, ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය නිෂ්පාදනය සඳහා ශ්‍රමය සපයන අයටත් ලැබිය යුතු බවයි. එය කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයට සම්බන්ධයක් නැති දේශපාලනික කරුණක්.
මාක්ස්වාදී අදහස වන්නේ ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ ලෙස කිසිවක් ලැබිය යුතු නැති බවයි. ඒ අනුව, ඉහත කොටස් දෙකම නිෂ්පාදනය සඳහා ශ්‍රමය සපයන අයට ලැබිය යුතුයි. මාක්ස්වාදය තුළ ශ්‍රමය සූරාකෑම ලෙස අර්ථ දැක්වෙන්නේ ඉහත කී ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය වෙනුවෙන් නිෂ්පාදනය සඳහා ප්‍රාග්ධනය සපයන අය විසින් ලබා ගන්නා කොටසටයි.
මේ දෙකම මූලධාර්මික අදහස්. ඇත්තටම ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ප්‍රතිලාභ බෙදෙන්නේ කොහොමද කියන එක වෙනම ප්‍රායෝගික කරුණක්.
ශ්‍රම ඒකකයකට ගෙවන වැටුප් අනුපාතිකය w ලෙසත්, ප්‍රාග්ධන ඒකකයකට ගෙවන ලාභාංශ හෝ පොලී අනුපාතිකය r ලෙසත් සලකමු. එවිට, අපට ධනවාදී මූලධර්ම අනුව ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ප්‍රතිලාභ බෙදී යා යුතු ආකාරය මෙසේ ලියන්න පුළුවන්.
w = ∂Y/∂L = (1-α)Y/L
r = ∂Y/∂K = αY/K
මාක්ස්වාදී මූලධර්ම අනුව මේ බෙදීම සිදු විය යුත්තේ වෙනස් ආකාරයකටයි.
w = Y/L
r = 0
කෙසේ වුවත් මාක්ස්වාදය අනුවද ප්‍රායෝගික තත්ත්වයන් යටතේදී නිෂ්පාදිතයෙන් කොටසක් නැවත ආයෝජනය කළ යුතුයි. ඒ නිසා, නිෂ්පාදිතය (Y) මුළුමනින්ම ශ්‍රමය ලබා දුන් අය අතර බෙදා හැරීමේ හැකියාවක් නැහැ. අවම වශයෙන් ක්ෂය වන ප්‍රාග්ධනය ප්‍රතිපූරණය කර ගැනීම පිණිස Y වලින් කොටසක් වෙන් කරන්න සිදු වෙනවා. පොදු ප්‍රාග්ධනයක් මිසක් පෞද්ගලික ප්‍රාග්ධනයක් නැති නිසා, පොදු ප්‍රාග්ධනය ක්ෂය වී යද්දී අතිරික්තයෙන් කොටසක් ඒ වෙනුවෙන් නොයෙදෙවුවොත් ක්‍රමයෙන් K ක්ෂය වී යන නිසා Yද ක්‍රමයෙන් අඩු වී යනවා.
මේ අනුව, ඇත්තටම මාක්ස්වාදී ක්‍රමයේදී වුවත් මූලධාර්මික ලෙස බැලුවොත් ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ වෙන් කිරීමක් වැනි දෙයක් වෙනවා. මෙය හරියටම ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ වෙන් කිරීමක් ලෙස හැඳින්වීම නිවැරදි නැති වුවත්, සමාජවාදී ක්‍රමයකදී වුවද ප්‍රාග්ධන සංචිත පවත්වා ගැනීම හෝ වර්ධනය කර ගැනීම සඳහා අතිරික්තයෙන් කොටසක් නැවත ආයෝජනය කරන නිසා, අතිරික්තය මුළුමනින්ම ශ්‍රමයේ ප්‍රතිලාභ ලෙස බෙදා දීමක් වෙන්නේ නැහැ.
අපි හිතමු මෙසේ නැවත ආයෝජනය කරන කොටස λ කියා. දැන් ශ්‍රමයේ ප්‍රතිලාභ ලෙස බෙදා දෙන්න වෙන්නේ (1-λ)Y කියන කොටස පමණයි. මේ λ කොපමණද කියන එක තීරණය කරන්නේ මධ්‍යගත සැලසුම් හදන අයයි. එය ධනවාදී ක්‍රමයකදී මෙන් නිදහසේ තීරණය වන දෙයක් නෙමෙයි. සමාජවාදී රටක ප්‍රාග්ධන සංචිත වර්ධනය වනවාද, ක්ෂය වනවාද, ස්ථායී ලෙස පවතිනවාද කියන එක තීරණය වන්නේ මේ වෙන් කිරීම සිදු කරන ආකාරය අනුවයි.
කොහොම වුනත් ප්‍රායෝගිකව යම් වෙන් කිරීමක් කරනවනේ. ඒ නිසා, ධනවාදී ක්‍රමයට මේ දිහා බැලුවොත් r = 0 වෙන්නේ නැහැ. අනෙක් අතට, w = Y/L වෙන්නේත් නැහැ. අපිට මෙය මෙලෙස ලියන්න පුළුවන්.
w = (1-λ)Y/L
r = λY/K
මෙහි මා r ලෙස හඳුන්වා තිබෙන්නේ නිෂ්පාදන අතිරික්තයෙන් නැවත ආයෝජනය කළ කොටස ආරම්භක ප්‍රාග්ධනයේ අනුපාතයක් ලෙස කොපමණද කියන එකයි. මාක්ස්වාදී ක්‍රමයේදී ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ බෙදීමක් සිදු නොවන නිසා මෙහි r ප්‍රාග්ධනය සඳහා ලැබෙන ප්‍රතිලාභ අනුපාතිකය ලෙස හැඳින්වීම වැරදි වුවත් මා එසේ කරන්නේ ධනවාදය සමඟ සංසන්දනය කිරීම පහසු කරන්නයි. මා දන්නා තරමින් කිසිවෙකු මෙවැන්නක් කර නැහැ. මා මෙය කරන්නේ මාක්ස්වාදය පමණක් හදාරා ඇති අයට ධනවාදය තේරුම් ගැනීමත්, ධනවාදී ආර්ථික විද්‍යාව පමණක් හදාරා ඇති අයට මාක්ස්වාදය තේරුම් ගැනීමත් පහසු කිරීම සඳහා පමණයි. ඒ නිසා, ප්‍රාග්ධනය පොත ඇතුළු මාක්ස්වාදී ආර්ථික විද්‍යා පොත් වල හෝ ධනවාදී ආර්ථික විද්‍යා පොත් වල මෙවැනි දෙයක් හොයන්න උත්සාහ කරන්න එපා.
දැන් අපි නැවත ධනවාදය වෙත හැරෙමු.
ධනවාදී මූලධර්ම අනුව ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ප්‍රතිලාභ බෙදිය යුතු ආකාරය මෙසේ ලියන්න පුළුවන්.
w = ∂Y/∂L = (1-α)Y/L
r = ∂Y/∂K = αY/K
මෙහි එකම වෙනස λ වෙනුවට α තිබීමයි. α යනු λ මෙන් මධ්‍යගත සැලසුමක් යටතේ තීරණය වන දෙයක් නෙමෙයි. ඒ වගේම එය වෙළඳපොළ සාධක මත තීරණය වන දෙයක්ද නෙමෙයි. α යනු නිෂ්පාදන ක්‍රමවේදය හා සම්බන්ධ කරුණක්. එය වෙනස් වෙන්නේ තාක්ෂනය සමඟයි. එහි ධනවාදය හෝ සමාජවාදය සමඟ සම්බන්ධයක් නැහැ. කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය නිෂ්පාදන ආකෘතියක් මිසක් දේශපාලනික ආකෘතියක් නෙමෙයි.
එහෙමනම් ධනවාදය හා α අතර තිබෙන සම්බන්ධය කුමක්ද? ධනවාදය විසින් යෝජනා කරන බෙදීම මේ පරාමිතිය සමඟ සම්බන්ධයි. ඒ කියන්නේ අවසාන වශයෙන් ධනවාදය විසින් යෝජනා කරන පරමාදර්ශී බෙදීම තීරණය කරන්නේ නිෂ්පාදන තාක්ෂනය විසින්. මෙයින් වෙනස්ව සමාජවාදී ක්‍රමයකදී λ අගය තීරණය කරන්නේ පොදු ප්‍රාග්ධනය පාලනය කිරීමේ බලය අතේ තිබෙන පිරිස විසින්.
ධනවාදය යටතේ අතිරික්තය බෙදිය යුතු සාධාරණ ආකාරය කියන එකෙන් අදහස් වෙන්නේ හැමවිටම ධනවාදී සේ සැලකෙන රටක නිෂ්පාදන අතිරික්තය ඒ විදිහටම බෙදෙනවා කියා කියන එක නෙමෙයි. එහෙමනම්, ධනවාදය යටතේ මේ පරමාදර්ශී බෙදීම ඒ විදිහටම සිදු වන බවට තිබෙන සහතිකය කුමක්ද? එහෙම වෙන්නනම් ශ්‍රමය සපයන අය අතරත්, ප්‍රාග්ධනය සපයන අය අතරත් ඔවුනොවුන් අතර වගේම ප්‍රතිවිරුද්ධ කණ්ඩායම සමඟද ප්‍රමාණවත් තරඟයක් තිබිය යුතුයි. මේ තරඟය තුළ හැකි තරම් අඩුවෙන් ශ්‍රමය සපයන්න ශ්‍රමිකයින් එකිනෙකා සමඟ තරඟ කරනවා වගේම හැකි තරම් අඩු මිලකට ප්‍රාග්ධනය සපයන්න ප්‍රාග්ධන හිමියන් එකිනෙකා සමඟ තරඟ කරනවා. එම තරඟය තුළ කිසිවෙකුට ලැබිය යුතු ප්‍රමාණයට වඩා දෙයක් නොලැබෙන බව සහතික කෙරෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ තමන්ට "ලැබිය යුතු" කොටස උදුරා ගැනීම සඳහා අරගල කරලා අවසානයේදී ලබාගත හැකි දෙයම තමන් විසින් "දිය යුතු" කොටස ස්වේච්ඡාවෙන් ලබා දීමේ තරඟය තුළද ඒ විදිහටම ලැබෙන එකයි. ශ්‍රමය සඳහා වැඩිම මිල ලබා ගැනීම සඳහා කළ යුතු අරගලයක් බොහෝ විට ප්‍රචණ්ඩයි. හැකි තරම් අඩුවෙන් ශ්‍රමය සැපයීම සඳහා කරන තරඟය තුළ එවැනි ප්‍රචණ්ඩත්වයක් නැහැ. එය සිදු වන්නේ නිදහස් කැමැත්තෙන්. අපූරුම දෙය වන්නේ හැකි තරම් අඩුවෙන් ශ්‍රමය සැපයීම සඳහා කරන තරඟය තුළ අරගල කර ශ්‍රමය සඳහා ලබා ගත හැකි වැඩිම මිල අරගලයකින් තොරවම ලැබෙන එකයි.
මෙය මෙසේ සිදු වන බවට තිබෙන සහතිකය කුමක්ද? මෙය සිදු වෙන්නනම් මිනිස්සුන්ට තමන්ට වඩාත්ම වාසිදායක දේ කිරීමේ දැනුමක් හා නිදහසක් තිබිය යුතුයි. මේ තත්ත්වය වියුක්ත තත්ත්වයක් බව කාට හරි කියන්න පුළුවන්.
භෞතික විද්‍යාවේදී ඝර්ෂණය නැති සුමට පෘෂ්ඨ ගැන කතා කරනවා. එහෙත් එවැනි ඝර්ෂණය නැති සුමට පෘෂ්ඨ සැබෑ ලෝකයේ නැහැ. ඝර්ෂණය නැති සුමට පෘෂ්ඨයක සිදුවන චලිතයක් ඝර්ෂණය තිබෙන සුමට නැති පෘෂ්ඨයක ඒ විදිහටම වෙන්නේ නැහැ.
මිනිස්සු හැමෝම හැම විටම තමන්ට වඩාත්ම වාසිදායක දේ කරන්නේ නැහැ. හැබැයි එහෙම නොකළා කියලත් ඉහත ධනවාදී සමතුලිතතාවය වෙනස් වෙන්නේ නැහැ. පෘෂ්ඨය සුමට නැත්නම් අර අඟහරු වෙත ඊයේ ගිය පර්සිවියරන්ස් රෝවරයට වගේ පාර වෙනස් කරලා පෘෂ්ඨය වඩා සුමට තැනක් හොයා ගන්න මිනිස්සුන්ට පුළුවන්. එහෙම තැන් නැත්නම් සුමට පෘෂ්ඨ හදා ගන්න පුළුවන්. සාමූහික ක්‍රමයක් වන ධනවාදී නිදහස් වෙළඳපොළක් කාර්යක්ෂම වීම සඳහා අවශ්‍ය වන අනිවාර්ය පූර්ව කොන්දේසිය මිනිස්සු හැමෝම හැම විටම තමන්ට වඩාත්ම වාසිදායක දේ කිරීම නෙමෙයි. මිනිස්සු වැඩි දෙනෙක් බොහෝ විට තමන්ට වඩාත්ම වාසිදායක දේ කිරීම ඒ සඳහා ප්‍රමාණවත්. විශේෂ තත්ත්වයන් තිබුණත්, මේ කොන්දේසිය බොහෝ විට ප්‍රායෝගිකව සම්පූර්ණ වන කොන්දේසියක්.
රුපියල් දාහක් පොල් ගෙඩියකට ගෙවන්න කැමති කිහිප දෙනෙක් ඉන්න පුළුවන්. එහෙත් වැඩි දෙනෙක් පොල් ගෙඩියකට එවැනි විශාල මිලක් ගෙවන්න සූදානම් නැහැ. ඒ නිසා, පොල් ගෙඩියකට රුපියල් දාහක් ගෙවන්න සූදානමින් ඉන්න කෙනාටත් සීයකට එකසිය විස්සකට පොල් ගෙඩියක් මිල දී ගන්න ලැබෙනවා. රුපියල් පණහකට දවසක් පුරා කුලී වැඩ කරන්න කැමති කෙනෙක් හිටියත් බොහෝ විට ඔහුට ඊට වඩා වැඩි කුලියක් ලැබෙනවා. ඒ රටේ ශ්‍රමිකයන් බොහෝ දෙනෙක් ඒ තරම් අඩු කුලියකට වැඩ කරන්න කැමති නැති නිසා. කිසියම් රටක ධනවාදයක් නොතිබුණත් යම් තරමකට හෝ ධනවාදී මූලධර්ම වැඩ කරනවා. ඒ එම මූලධර්ම ස්වභාවිකත්වයට කිට්ටු නිසා. ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය තිබුණත් නැතත් පොල් බිමට වැටෙනවා.
ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර අතිරික්තය බෙදිය හැකි වඩාත්ම කාර්යක්ෂම ක්‍රමය (1-α): α අනුපාතයට බෙදීමයි. ධනවාදය යටතේ කාගේවත් සැලසුමක් නැතිවම මෙය සිදු වෙනවා. සමාජවාදය යටතේ මේ බෙදීම වෙන්නේ මා ඉහත විස්තර කළ පරිදි (1-λ): λ අනුපාතයටයි. එම λ අගය කවුරු හෝ පිරිසක් විසින් සැලසුම් කරන දෙයක් මිසක් ස්වභාවික දෙයක් නෙමෙයි. කොහොම වුනත්, එක දෙයක් කියන්න පුළුවන්. λ = α වූ විට සමාජවාදී ක්‍රමයක් ධනවාදී ක්‍රමයක් තරමටම කාර්යක්ෂම වෙන්න පුළුවන්. (මේ කාර්යක්ෂමතාවය නැති වන වෙනත් බොහෝ හේතු තිබෙනවා. ප්‍රස්තුතයට අදාළ නොවන නිසා මෙහිදී මා ඒවා පැත්තකින් තියනවා)
සමාජවාදී රටක් ධනවාදයේ මූලධර්ම පිළි නොගත්තත් ධනවාදය පිළිගත් රටවල් සමඟ ප්‍රමාණවත් තරඟයක නියැලෙනවානම් එහි අවසාන ප්‍රතිඵලය වන්නේ නිසර්ගයෙන්ම λ = α වීමයි. ඒ සමානත්වය ඇති වන තුරුම සමාජවාදී රටේ පාලකයින්ට තමන්ගේ මධ්‍යගත සැලසුම් වෙනස් කරන්න වෙනවා. නැත්නම් ආර්ථිකය ටිකෙන් ටික වල පල්ලට යනවා. චීනය වගේ රටවල් කාලයක සිට මේ වැඩේ සාර්ථක ලෙස කරනවා. දැන් කියුබාවත් වැඩේට බැහැලා.
මා මෙහිදී සමාජවාදී රටවල් සේ හඳුන්වන්නේ පැරණි සෝවියට් දේශය, චීනය, කියුබාව, උතුරු කොරියාව වගේ පොදුවේ සමාජවාදී රටවල් සේ සැලකෙන රටවල් මිසක් කවදාවත් ලෝකයේ තිබී නැති සමාජවාදී රටවල් නෙමෙයි. සමහර අයට අනුව මේ රටවල් වල තිබී ඇත්තේ හෝ තිබෙන්නේ රාජ්‍ය ධනවාදයක් මිසක් සමාජවාදයක් නෙමෙයි. ඔය වචන වැදගත් නැහැ. පොදුවේ මාක්ස්වාදය තුළ කොමියුනිස්ට්වාදයට පෙර එන සමාජවාදය ලෙස හැඳින්වුණේ ඔය රටවල් වල තිබුණු හෝ තිබෙන මධ්‍යගත සැලසුම් ක්‍රමය. ජාතික සමාජවාදය ලෙස හැඳින්වුණු හිට්ලර්ගේ ජර්මනියේත්, රටේ නම අනුව දැනට ලෝකයේ තිබෙන සමාජවාදී රටවල් දෙකෙන් එකක් වූ ලංකාවේත් බොහෝ දුරට තිබෙන්නේ මේ ක්‍රමය. බොහෝ දෙනෙක් විසින් ධනවාදී රටක් ලෙස වැරදියට හඳුන්වන සිංගප්පූරුවේ වගේම රජ පවුල් විසින් තවමත් පාලනය කරන මැද පෙරදිග රටවලත් තියෙන්නේ මේ සමාජවාදී ක්‍රමයට කිට්ටු ක්‍රමයක්. මේ හැම රටකටම පොදු සාධකයක් වන්නේ ඉහත කී λ අගය යම් පිරිසක් විසින් පාලනය කිරීමයි. ඒ නිසා, එම අගය α අගයට සමාන වීමේ සෛද්ධාන්තික අවශ්‍යතාවයක් නැහැ.
හැබැයි මේ ඇතැම් රටවල් ලෝකයට විවෘතයි. ලෝකය සමඟ තරඟ කරනවා. ඒ කියන්නේ රට ඇතුළේ ධනවාදී මූලධර්ම ක්‍රියාත්මක නොවුනත් ජාත්‍යන්තර තලයේදී කටයුතු කරන්නේ යම් තරමකින් ධනවාදී මූලධර්ම වලට අනුගතවයි. චීනය ඇමරිකාවට භාණ්ඩ අපනයනය කරද්දී පුළුවන් තරම් අඩු මිලකට භාණ්ඩ සපයන්න උත්සාහ කරනවා මිසක් ඒ භාණ්ඩ හදන ශ්‍රමිකයින්ගේ ප්‍රතිලාභ වෙනුවෙන් අරගල කරන්නේ නැහැ. මේ ක්‍රමය පැරණි සෝවියට් දේශයේ ක්‍රමයට සාපේක්ෂව සාර්ථක වී තිබෙනවා.
පැරණි සෝවියට් දේශය ජාත්‍යන්තර ගනුදෙනු කළේ බොහෝ දුරට ධනවාදී ලෝකයෙන් වෙන්ව සිටිමින් සමාජවාදී හෝ තුන් වන ලෝකයේ රටවල් එක්කයි. ඒ නිසා, පැරණි සෝවියට් දේශය ධනවාදී රටවල් වල තිබුණු තරඟයට වක්‍ර ලෙස හෝ නිරාවරණය වුනේ නැහැ. තරඟයට වක්‍ර ලෙස හෝ නිරාවරණය නොවුණු නිසා λ = α විය හැකි යාන්ත්‍රණයක් තිබුණේ නැහැ. නමුත්, චීනයට එවැනි යාන්ත්‍රණයක් තිබෙනවා. ඒ නිසා, චීන සමාජවාදය රටෙන් පිටතදී කාර්යක්ෂමයි. චීන සමාජවාදය රට ඇතුළේ ශ්‍රමිකයින්ට සාධාරණය ඉටු කරනවාද නැද්ද කියන එක වෙනම කරුණක්.
References:
Feenstra, Robert C., Robert Inklaar and Marcel P. Timmer (2015), "The Next Generation of the Penn World Table" American Economic Review, 105(10), 3150-3182, available for download at www.ggdc.net/pwt













