රටවල් වලට, විශේෂයෙන්ම ලෝක දේශපාලනයේ පර්යන්තයේ පිහිටි ලොකු ආර්ථික ශක්තියක් නැති කුඩා රටවල් වලට, ස්වාධීන තීරණ ගන්න කොයි තරම් නිදහසක් තියෙනවද? මේක පසුගිය දවස් වල ලංකාවේ ටිකක් කතා වුනු මාතෘකාවක්. ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව බලය කියන සාධකය මත වෙනස් වෙනවා කියන එක පැහැදිලියි.
මේ කතාව රටවල් වලට වගේම ඒකීය පුද්ගලයින්ටත් අදාළයි. පුද්ගලයෙකුට ස්වාධීන තීරණ ගන්න තිබෙන හැකියාව එම පුද්ගලයාට බලය පැතිරවිය හැකි හා එමගින් පාලනය කළ හැකි සීමිත අවකාශයකට සීමා වෙනවා. එතැනින් එහාට ස්වාධීන කැමැත්තක් නැහැ.
මිනිහෙක්ට මොන විදිහක හෝ නිදහස් කැමැත්තක් නැති වෙන්න බැරිද? මේ වගේ ප්‍රශ්න දර්ශනයේ ප්‍රශ්න. මේ වගේ ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හොයන එක පහසු නැහැ. සමහර විට කරන්නම බැහැ.
මිනිසෙකුට කිසිම නිදහස් කැමැත්තක් නැති විය හැකි බව ප්‍රතික්ෂේප කිරීම අසීරු වුවත් වුවත්, පූර්ණ නිදහස් කැමැත්තක් නැති බවනම් ඉතාම පැහැදිලියි. මෙය පෙන්වා දෙන එක අපහසු නැහැ. අපි හිතමු එක් පුද්ගලයෙකුට පූර්ණ නිදහස් කැමැත්තක් තිබෙනවා කියලා. එහෙමනම් ඒ පුද්ගලයාට එම පූර්ණ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කරමින් වෙනත් අයෙකුගේ නිදහස් කැමැත්තට බාධා කරන්න පුළුවන්. ඒ නිසා, දෙවැන්නෙකුට කිසිසේත්ම පූර්ණ නිදහස් කැමැත්තක් තියෙන්න විදිහක් නැහැ. ඒ නිසා, පූර්ණ නිදහස් කැමැත්තක් තිබිය හැක්කේ උපරිම වශයෙන් එක් අයෙකුට පමණයි. අනෙක් අයගේ නිදහස් කැමැත්ත හැම විටම ඒ පූර්ණ නිදහස් කැමැත්ත තිබෙන පුද්ගලයාගේ නිදහස් කැමැත්තට යටත් සීමිත නිදහස් කැමැත්තක්. හැබැයි එවැනි පූර්ණ නිදහස් කැමැත්තක් තිබෙන කෙනෙක් අනිවාර්යයෙන්ම සිටිය යුතු නැහැ.
අපි හිතමු එසේ පූර්ණ නිදහස් කැමැත්තක් වගේම ඒ කැමැත්ත ක්‍රියාත්මක කිරීමේ බලයක්ද තිබෙන කෙනෙක් ඉන්නවා කියලා. එහෙමනම්, ඇත්තටම අනෙක් ඕනෑම කෙනෙකුගේ නිදහස් කැමැත්ත කියන එක මායාවක් පමණයි. මොකද වෙනත් ඕනෑම කෙනෙකු තමන්ගේ නිදහස් කැමැත්ත ලෙස ක්‍රියාත්මක කරන්නේත් පූර්ණ නිදහස් කැමැත්තක් තිබෙන පුද්ගලයාගේ කැමැත්ත. ඒක එහෙමද නැද්ද කියලා දැන ගන්න පුළුවන් වෙන්නේත් පූර්ණ නිදහස් කැමැත්තක් තිබෙන පුද්ගලයාගේ කැමැත්තට යටත්ව පමණයි.
ඒ කියන්නේ එක දෙයක් පැහැදිලියි. එක්කෝ අපට සීමිත නිදහස් කැමැත්තක් තිබෙනවා. එහෙම නැත්නම් කිසිසේත්ම නිදහස් කැමැත්තක් කියා දෙයක් නැහැ. අපේ නිදහස් කැමැත්ත කියා අපි හිතාගෙන ඉන්න දෙය වෙනත් කෙනෙකුගේ කැමැත්තට යටත්.
මේ වගේ දාර්ශනික ගැටළුවක් තිබීම අපේ එදිනෙදා ජීවිත වලට ප්‍රශ්නයක්ද? පැහැදිලිවම නැහැ. අපට තිබෙන නිදහස් කැමැත්ත සැබෑ නිදහස් කැමැත්තක්ද නැද්ද කියන ගැටළුව ගැන අඥේයවාදීව සිටින අතරම ඔය ප්‍රශ්නයට පිළිතුර කුමක් වුවත් කළ යුතු හොඳම දෙය අපට තිබෙන හෝ ඇත්තටම නොතිබෙන එහෙත් තිබෙනවාක් සේ පෙනෙන නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කරන එක කියන නිගමනයට අපට පහසුවෙන්ම එන්න පුළුවන්. ඒ කොහොමද?
අපට යම් තරමක හෝ නිදහස් කැමැත්තක් ඇත්තටම තිබෙනවානම් කළ යුතු හොඳම දෙය ඒ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කරන එකයි. අපට දැනෙන නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කිරීමේ හැකියාව හරහා සිදු වන්නේ වෙනත් අයෙකුගේ කැමැත්තක් ක්‍රියාත්මක වීමනම්, අපට එයින් ගැලවෙන්න විදිහක් කොහොමටවත් නැත්නම්, ඒත් කළ යුතු හොඳම දෙය ඒ නිදහස් කැමැත්ත සේ පෙනෙන දෙය ක්‍රියාත්මක කරන එකයි.
ඒකීය පුද්ගලයින් සේ අප විසින් හැම විටම කළ යුතු හොඳම දෙය අපේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කිරීමනම් මේ කතාව වෙනත් අයටත් පොදු විය යුතුයි. ඒ නිසා, අපට වෙනත් අයට ඔවුන්ගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කිරීමට තිබෙන අයිතියත් පිළිගන්න වෙනවා. ගොඩක් වෙලාවට මේකේ අවුලක් නැතත් එක් අයෙකුගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කිරීමේදී තවත් අයකුගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කිරීමට බාධා වන අවස්ථාවක මේ වැඩේ අවුලක් ඇති වෙනවා. දෙකෙන් එකක් මිසක් දෙකම කරන්න බැහැ. එක් අයෙකුට පරාජය භාර ගෙන අනෙක් තැනැත්තාගේ නිදහස් කැමැත්තට ඉඩ දෙන්න සිදු වෙනවා.
මේ ප්‍රශ්නයට හැම විටම හරියන (universal) විසඳුමක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කියා කියන්නේ මේ වගේ අවස්ථාවකදී හැමෝම කතාබහ කරලා එකඟත්වයක් ඇති කර ගැනීම. නමුත්, හැම තත්ත්වයක් යටතේදීම ඒ ආකාරයට කතා බහ කරලා විසඳුමක් ඇති කර ගත හැකි බවට සහතිකයක් නැහැ. ඒ වගේ වෙලාවක ක්‍රියාත්මක වන්නේ කාගේ නිදහස් කැමැත්තද කියන එක අවසාන වශයෙන් තීරණය වන්නේ බලය කියන සාධකය මත.
ඒකාධිපති ක්‍රමයකදී වෙන්නේ එක් පුද්ගලයෙකුගේ නිදහස් කැමැත්ත අනෙක් සියලු දෙනා විසින්ම පිළිගැනීමක් හෝ එම නිදහස් කැමැත්තට අනෙක් හැම දෙනෙක්ම යටත් වීමක්. තමන්ගේ නිදහස් කැමැත්ත අමතක කර ඒකාධිපතියාගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක වීමට ඉඩ හැරීම අනෙක් හැම දෙනෙකුගේම නිදහස් කැමැත්තනම් මෙහි පරස්පරයක් ඇති වන්නේ නැහැ.
"මොනවද අපි ඕඩර් කරන්නේ?"
"ඔයා කැමති දෙයක්!"
"අද අපි කොහෙද යන්නේ?"
"ඔයා කැමති දිහාවක යමු!"
ආදරය මත ගොඩ නැගෙන ලෝකයක් වගේ සුන්දර කතා කියන්න පුළුවන් වුනත් ඔය වැඩෙන් වෙන්නේත් තමන්ගේ නිදහස් කැමැත්ත වෙනුවට වෙනත් කෙනෙකුගේ කැමැත්ත පිළිගැනීම. මේ වගේ ක්‍රමයක තර්කානුකූල දිගුව වන්නේ අනෙක් හැම දෙනෙක්ම ඒකාධිපතියෙකුගේ නිදහස් කැමැත්ත පිළිගැනීමයි. ප්‍රායෝගිකව මේ වගේ දෙයක් සැබෑ ලෝකයේ වෙන්නේ නැහැ. බොහෝ දෙනෙකුට අකැමැත්තෙන් තමන්ගේ කැමැත්ත ඒකාධිපතියෙකුගේ කැමැත්තට යටපත් කරන්න සිදු වෙන එකයි වෙන්නේ.
නීතියේ පාලනය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එකම නෙමෙයි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන් නිසා ඇති වන ප්‍රශ්න අඩු කර ගත හැකි ක්‍රමයක්. මෙහිදී වෙන්නේ ඒකාධිපතියෙකු වෙනුවට නීතිය ආදේශ වීම. බලය කියන සාධකය තවමත් එලෙසම තිබෙනවා. දැන් එය ඒකාධිපතියාගෙන් නීතිය වෙත මාරු වෙලා.
සමහර වෙලාවට ඒකාධිපතිත්වයක් යටතේ වුවත් නීතියේ පාලනයක් තියෙන්න පුළුවන්. ලී ක්වාන් යූ ක්‍රමයේ තිබුණේ ඒ වගේ එකක්නේ. මේ වගේ ක්‍රමයකදී නීතිය හදන්නේ ඒකාධිපතියාගේ කැමැත්ත පරිදි වුනත්, ඒකාධිපතියාට අවශ්‍ය විදිහට නීතිය නැමීමක් වෙන්නේ නැහැ. සමහර විට නීතියේ පාලනයක් නැති ප්‍රජාතන්ත්‍රවාදයකට වඩා නීතියේ පාලනයක් තිබෙන ඒකාධිපතිත්වයක් හොඳ වෙන්න වුනත් පුළුවන්. මොකද තිබෙන තත්ත්වය රටේ මිනිස්සු කැමතිම තත්ත්වය නොවුනත්, එම තත්ත්වය කුමක්ද කියා පැහැදිලි නිසා අවිනිශ්චිතතාවය අඩුයිනේ.
සමහර ඒකාධිපතිත්ව ක්‍රියාත්මක කරන්නේ තනි පුද්ගලයෙක් විසින් නෙමෙයි. කල්ලියක් හෝ දේශපාලන පක්ෂයක් විසින්. නීතිය කියා කියන්නේ මේ කල්ලියේ සාමාජිකයින්ගේ කැමැත්ත. අනෙක් අතට කොයි රටක වුනත් රටේ හැම මිනිහෙක්ම නීති හදන්න එක විදිහට දායක වෙන්නේ නැහැ. බොහෝ විට ප්‍රායෝගිකව ඔය වැඩේට සම්බන්ධ වෙන්නේ කිසියම් සීමිත පිරිසක්. ඔය කණ්ඩායම විශාල වන තරමට හා ඕනෑම කෙනෙකුට කණ්ඩායමට සම්බන්ධ විය හැකි තරමට විවෘත වූ තරමට කිසියම් රටක ප්‍රජාතන්ත්‍රවාදය හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් කියා කියන්න පුළුවන්.
මිනිස්සු ජාති, ආගම්, දේශපාලන පක්ෂ විදිහට නොහිතා ස්වාධීනව තමන්ගේ නිදහස් තීරණ ක්‍රියාත්මක කරන තරමට ප්‍රජාතන්ත්‍රවාදයක් වඩා ශක්තිමත් වෙනවා. ඒ කියන්නේ මේ වගේ දේවල් නොසලකා හැරිය යුතුයි කියන එක නෙමෙයි. තමන්ගේ ජාතියේ, ආගමේ හෝ දේශපාලන පක්ෂයේ සාමූහික කැමැත්ත සමඟ තමන්ගේ පෞද්ගලික කැමැත්ත අතිපිහිත වන්නේනම් පමණක් සාමූහික මතය සමඟ සිටිය යුතුයි කියන එක. අවසානයේදී සාමූහික තීරණය පිළිගන්න එක වෙනම කරුණක්. හැබැයි එය කළ යුත්තේ තමන්ගේ අදහස ඉදිරිපත් කරලා සාකච්ඡාවට ලක් වෙන්න ඉඩ ඇරීමෙන් පසුව පමණයි.
ලෝකයේ හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන රටවල් මොනවාද? සෑම අවුරුද්දකම වාගේ "දී ඉකොනොමිස්ට්" සඟරාවේ ආර්ථික බුද්ධි අංශය විසින් පිළියෙල කරන ප්‍රජාතන්ත්‍රවාදී දර්ශක සහිත වාර්තාව 2020 වසර සඳහාත් පළ කරලා තිබෙනවා. මෙහි රටවල් 167ක් අතරින් නියම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ලෙස හඳුනාගෙන තිබෙන්නේ රටවල් 23ක් පමණයි. ඇමරිකාව වගේම ලංකාවත් වර්ග කර තිබෙන්නේ අඩුපාඩු සහිත ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන රටවල් ලෙසයි.
ලකුණු 98.1%ක් අරගෙන ලැයිස්තුවේ උඩින්ම ඉන්නේ නෝර්වේ රාජ්‍යය. පහළින්ම ඉන්නේ ලකුණු 10.8%ක් පමණක් අරගෙන තිබෙන උතුරු කොරියාව. ඇමරිකාව ඉන්නේ 25 වන ස්ථානයේ. ලකුණු 79.2%යි. ලංකාව ලකුණු 61.4%ක් අරගෙන 68 වන ස්ථානයේ ඉන්නවා.