ආගම ගැන ගාමිණී වියන්ගොඩට හිතෙන හැටි ගැන ලිපියක් පළ කර තිබෙනවා. ඒ ලිපියේ මා කැමතිම කොටසක් තිබෙනවා. මා ඒ කොටසට කැමති වන්නේ මා කුඩා කාලයේ මා ජීවත් වූ සංස්කෘතිය තුළ පුනරුප්පතිය කියන අදහස මා වෙත උඩුගත කෙරෙමින් තිබුණු කාලයේදී ඒ ගැන මා හිතපු ආකාරයෙන් කොටසක් ගාමිණී වියන්ගොඩ විසින්ද ඒ අයුරින්ම විස්තර කර තිබෙන නිසයි.
යම් හෙයකින් ඊළඟ ආත්මයක් තිබුණොත්?
"එවිට මා සිතන්නේ මෙසේය: අද සිටින 'මම' යනු ඉහතින් කී සියල්ලේ සංජානනයයි. අහවල් නමක් ඇති, අහවල් සම්බන්ධකම් ඇති, අහවල් පවුලක් ඇති, අහවල් අතීතයක් සහ වර්තමානයක් ඇති, අහවල් සංස්කෘතියක් සහ රටක් ඇති, අහවල් විශ්වාස සහ දෘෂ්ටිවාද සමුදායක් ඇති, අහවල් භාෂාවක් ඇති 'මම' යන හැඟීමක් හෙවත් සංජානනයකි. ඇත්තෙන්ම එය, මූලික වශයෙන්, භාෂාමය නිර්මිතයකි. ඊළඟ ආත්මයේදී, වෙනත් භාෂා නිර්මිතයක් සහිත, වෙනත් සංස්කෘතික පසුබිමක මා උපන්නොත්, ඒ 'මම' එදාට මා සංජානනය කරනු ඇත්තේ වර්තමාන කෝදුවෙන් නොවේ. තවදුරටත් මේ කාරණය පැහැදිලි කළොත්: ඊළඟ ආත්මයේ මා පණුවෙකු වී උපන්නොත්, ඒ පණුවා තමාගේ 'මම' සංජානනය කරනු ඇත්තේ, අද 'මම' විසින් පණුවා යන සතාව සංජානනය කරන කෝදුවෙන් නොවේ. අද 'මම' තුළ සිටින දෙමාපියන්, දරුවන්, ගෙවල් දොරවල්, සංස්කෘතිය ආදී කිසිවක් පණුවාගේ 'මම' සඳහා සංජානනීය මෙවලම් වශයෙන් පාවිච්චියට නොගැනේ. පණුවා 'මම' යන්න සංජානනය කරනු ඇත්තේ, පස, මඩ, වතුර ආදිය සමගය. අප මුලින් කී 'පැවැත්ම' සමග අනන්‍ය වන කිසිවක් ඊළඟ පැවැත්ම සමග අනන්‍ය නොවන බව මෙහි අදහසයි. එසේ නම්, වර්තමාන 'මම' විසින් ඇති කරගන්නා මතු පැවැත්මක සංජානනයක්, මරණින් පසු ඊළඟ පැවැත්මක් තිබුණත්, ඒ පැවැත්මට අදාළ වන්නේ නැත. මන්ද යත්, වටිනාකම් මැනෙන කෝදුව වෙනස් වන බැවිනි. තවත් විදිහකින් කිවහොත්, මගේ තර්කය වන්නේ, පණුවාගේ සැපත/දුක සහ මගේ සැපත/දුක අතර, එකිනෙකාට සාපේක්ෂව, වෙනසක් නැති බවයි."
වියන්ගොඩගේ සිට මා වෙත හැරුණොත්, මරණයෙන් මතු ජීවිතය පිළිබඳ අදහස මා තුළ ස්වභාවිකවම ඇති වුනු අදහසක් නෙමෙයි. මරණයෙන් පස්සේ වෙන්නේ කුමක්ද කියන එක මට ප්‍රශ්නයක් වෙන්නත් කළින්ම ඒ ප්‍රශ්නයට පිළිතුරක් මට ලැබී තිබුණා. ඒ පිළිතුර ඔය ප්‍රශ්නයට තිබෙන සිංහල බෞද්ධ පිළිතුර කියා කියන්න පුළුවන්. මේ පිළිතුර පසුව ඉගෙනගත් අභිධර්මයේ විස්තර කරන දෙයමත් නෙමෙයි. මා ජීවත් වුනේ වෙනත් සංස්කෘතියකනම් බොහෝ විට මට මේ ප්‍රශ්නයට වෙනත් පිළිතුරක් ලැබිය හැකිව තිබුණා.
අද ඉපදෙන දරුවන් වැඩි දෙනෙකුට වුවත් මේ ප්රශ්නය ඔවුන්ට ප්‍රශ්නයක් වෙන්නත් කලින්ම ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙනවා. පිළිතුර තීරණය වන්නේ සංස්කෘතිය මත. දරුවන් වැඩිහිටියන් වන්නේ මේ පිළිතුර තමන්ගේ ලෝකයේ සාමාන්‍ය කොටසක් ලෙස සලකමින්. ඇතැම් අය වැඩිහිටියන් වන්නේ මේ පිළිතුර වෙනත් හැම දෙනෙකුගේම ලෝක වලද සාමාන්‍ය කොටසක් ලෙස සලකමින්.
පුනරුප්පතිය පිළිබඳ අදහස කුඩා කාලයේදී මට ලැබුණේ, ලෝකයේ වෙනත් බොහෝ දරුවන්ට වගේම, ඉතාම සාමාන්‍ය, කවුරුත් දන්නා දෙයක් විදිහටයි. හරියට ගින්දරට අත පිච්චෙනවා වගේ. හැබැයි ඉතිං මගේනම් පොඩි කාලේ ඉඳලම තිබුණු පුරුද්දක් වුනේ කවුරු හරි ගින්දරට අත පිච්චෙනවා කියා කිවුවත් අල්ලලාම බලන්න පෙළඹෙන එක. මෙයින් අදහස් කළේ එහි වචනාර්ථයම නොවුණත් යම් සීමාවන් තුළ වචනාර්ථයම තමයි. ගින්දරට අත පිච්චෙනවා කියන කතාව ගැන පොඩි සැකයක් තිබුණත් ලොකු සැකයක් නැත්නම් අවදානම ගන්න යන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම තේරුමක් නැතුව බුර බුරා ඇවිලෙන ගිණි ගොඩකට පනින්නේ නැහැ. අනෙක් අතට ඔය ගින්දරට අත පිච්චෙනවා කියන කතාව මොන විදිහකින්වත් සෙට් වෙන්නේ නැත්නම් හරි, අවදානම එතරම් විශාල නැති බව පෙනෙනවානම් හරි අවදානම අරගෙන අල්ලලාම බලනවා. ඔය පුච්චපු කොස් ඇටයක් බාගන්න අවශ්‍ය වෙලාවක අත පිච්චෙයි කියන බයට බළල්ලු හොයා හොයා ඉන්නේ නැහැ.
ඒ දවස් වල ක්‍රියා කළ ආකාරය ඒ දවස් වල දැන නොසිටි දැන් දන්නා සංකල්පයක් ඇසුරෙන් විස්තර කරනවානම් කවුරු හෝ කියන දෙයක් ඒ විදිහටම වෙන්න හෝ නොවෙන්න තිබෙන විෂයමූලික සම්භාවිතාව මත තීරණ ගන්න එකයි කළේ. සවිඥානිකව හෝ අවිඥානිකව මම දැන් කරන්නේත්, වෙනත් අය විසින් කරනවා කියා හිතන්නේත් ඒකම තමයි. එක් එක් පුද්ගලයා ක්‍රියා කරන ආකාරය වෙනස් වෙන්නේත්, එකම පුද්ගලයා වෙනස් අවස්ථා වලදී ක්‍රියා කරන ආකාරය වෙනස් වන්නේත් බොහෝ දුරට මේ විෂයමූලික සම්භාවිතාව වෙනස් වන ආකාරය මතයි.
මගේ මවු භාෂාව සිංහල. පසුව පාසැලේදී විෂයයක් විදිහට සිංහල භාෂාව ඉගෙන ගත්තත් මුලින්ම ගෙදරදී සිංහල ඉගෙන ගන්නේ ලෝකය තේරුම් ගැනීමේ කොටසක් විදිහටනේ. මම පෞද්ගලිකව ගත්තොත් පුනරුප්පත්තිය ගැන ඉගෙන ගත්තේත් ඔය විදිහටම තමයි. එවැනි තවත් අය වගේම එසේ නොවූ අයත් ඇති. උදාහරණයක් විදිහට පහත සඳහන් ආකාරයේ මනඃකල්පිත සිදු වීමක් කුඩාම කාලයේ මා සිටි තැනක සිදු විය හැකිව තිබුණා.
"මේකිනම් ලොකු අත්තම්මමයි. මේ බලන්නකෝ නාහේ, කට, ඇස්... බෙල්ලේ උපන් ලපේත් ඒ විදිහටම තියෙනවා.."
"නෑ. ඒක වෙන්න බැහැ. අම්මා මැරෙනකල්ම ප්‍රාර්ථනා කළේ ඊළඟ පාර පිරිමි ආත්මෙක ඉපදෙන්න. ආපහු ගෑනු ආත්මෙකම ඉපදෙයිද?"
දැන් විවාදය සිදු වෙන්නේ අළුත උපන් බිළිඳියක් කලින් මිය ගිය ඥාතිවරියකගේ පුනරුප්පත්තියක්ද නැද්ද කියන එක ගැන. ඒ හැර, කලින් මිය ගිය කෙනෙක් මේ විදිහට බිළිඳියක් ලෙස පවුලේ කෙනෙකුගේ කුසින් ඉපදෙන්න පුළුවන්ද කියන එක ගැන කිසිම විවාදයක් නැහැ. එය පොදු දැනුමක කොටසක්.
සමහර වෙලාවට මේ වගේ අවවාදත් ලැබෙනවා.
"උඹනම් ලබන ආත්මේ පෙරේතයෙක් වෙලා ඉපදෙයි ඔහොම තනියම කෑවොත්!"
සමහර වෙලාවට කුස්සියට එන ගෙම්බෙක් කොයි තරම් එළෙවුවත් නැවත නැවතත් එනවා.
"මූව කොච්චර එළෙවුවත් ආපහු එනවනේ. මළ ගිය ප්රාණකාරයෙක්ද කොහෙද?"
මැරෙන කෙනෙක් නැවත ඉපදෙනවා. ඒ ඉපදෙන්නේ වෙනත් මනුෂ්‍යයෙක් ලෙස වෙන්න පුළුවන්. මනුෂ්‍යයෙක් නොවන ඇහැට පෙනෙන වෙනත් සතෙක් ලෙස වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඇහැට නොපෙනෙන නමුත් අපි අතරේම හෝ වෙන කොහේ හරි ඉන්න මනුෂ්‍ය නොවන ප්‍රාණියෙක් විදිහට වෙන්න පුළුවන්. ඒ වගේම ඔය කොයි තත්ත්වයක හෝ ඉන්න කෙනෙක් මනුෂ්‍යයෙක් ලෙස ඉපදෙන්නත් පුළුවන්. මම හිතන විදිහට ඕක ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතිය ඇතුළේ හැදෙන කෙනෙක් මුලදීම ලෝකය අවබෝධ කර ගන්නා ආකාරයේම කොටසක්.
කුඩා කාලයේදී හරි වැරදි ගැන අදහස තේරුම් ගන්න වෙන්නේත් ඔය විදිහටමයි. හරි දේ කළොත් එයින් යහපතක් වෙනවා. වැරදි දේ කළොත් දඬුවම් ලැබෙනවා. සමහර වැරදි වලට දඬුවම් ලැබෙන බව ප්රත්යක්ෂ සත්‍යයක්. බොරු කියලා හෝ හොරකම් කරලා අහු වුනොත් කාගෙන් හෝ දඬුවම් ලැබෙනවා. අහු වුනේ නැත්නම් එහෙම කාගෙන්වත් දඬුවම් ලැබෙන්නේ නැහැ. හැබැයි කියන විදිහට ඒ වගේ අහු නොවෙන්න කරන වැරදි වලටත් ස්වභාව ධර්මයෙන්ම දඬුවම් ලැබෙනවා.
"ඕවට සොබා දර්මෙන්ම දඬුවම් ලැබෙනවා!"
සමහර වෙලාවට කාටවත් අහුනොවෙන්න පූසෙක්ට පයින් ගහලා ටික වෙලාවකට පස්සේ කකුල ඇඳ විට්ටමේ වදිනවා. ඒක ස්වභාව ධර්මයෙන් ලැබුණු දඬුවමක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම නොවෙන වෙලාවල් ඕනෑ තරම් තියෙනවා. ඒවාට දඬුවම් ලැබෙනවා ඇත්තේ පසු ආත්මයකදී.
"ඔය බේරිලා හිටියට ඕවා ලබන ආත්මේ හරි පටිසන් දෙනවා!"
සමහර දේවල් කරනවාද නොකරනවාද කියා තීරණය කිරීමේදී මරණයෙන් මතු ඒ ක්‍රියාවන්ට ලැබිය හැකි හොඳ හෝ නරක ප්රතික්රියාවන්ද සැලකිල්ලට ගන්න වෙනවා. මේ ප්‍රතික්‍රියා ගැන දැනගන්න වෙන්නේ වැඩිහිටියන්ගෙන්. ඒ වුනත්, වැඩිහිටියන් කියන දේ ඒ විදිහටම වෙනවා කියලා තියෙන සහතිකේ මොකක්ද?
"ඔය බිත්තියේ කුරුටු ගාන්න එපා. තාත්තා ආවහම ගුටිකන්න වෙයි!"
ඔහොම කිවුවාට ඔය වගේ වැරැද්දක් කරන හැම වෙලාවකම තාත්තාගෙන් ගුටිකන්න වෙන්නේ නැහැ. ගුටිකන්න වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. ඒ නිසා, අවදානමක් අරගෙන බිත්තියේ කුරුටු ගාන එක දිගටම කරගෙන යන්න පුළුවන්කමක් තිබෙනවා. ලබන ආත්මයේ පටිසන් දෙන්න නියමිත වැරදි වලට වුනත් ඔය විදිහටම දඬුවම් නොලැබී යන්න බැරිද? එහෙමනම්, පොඩි අවදානමක් ගත්තහම මොකද වෙන්නේ?
තාත්තාගෙන් ගුටිකන්න වෙන සම්භාවිතාව පිළිබඳ විෂයමූලික දැනුම ලැබෙන්නේ ප්රත්යක්ෂයෙන්. අත්දැකීමෙන්. නමුත්, ලබන ආත්මයේ දඬුවම් විඳින්න වෙන සම්භාවිතාව ගැන ඒ වගේ ප්රත්යක්ෂ දැනුමක් නැහැ. තාත්තාගෙන් ගුටිකන්න වෙන වැරැද්දක්නම් තැත්වරද ක්‍රමයට ගුටිකන්න වෙන සීමාව දක්වා කරලා නවත්වන්න සැලසුම් කරන්න පුළුවන්. ලබන ආත්මයේ දඬුවම් විඳින්න වෙන වැරදි ඒ විදිහට කරන්න බැහැ. හැබැයි මේ ආත්මයේම ස්වභාව ධර්මයෙන්ම දඬුවම් විඳින්න වෙනවාද කියන එකනම් තැත්වරද ක්‍රමයට පරීක්ෂා කරන්න පුළුවන්.
මම කුඩා කාලයේදීම පෞද්ගලිකව ඔය වැඩේ කරල තියෙනවා. ඇත්තටම කියනවානම් වැඩිපුර කරලා තියෙන්නේ ඕකේ අනික් පැත්ත. ඒ කියන්නේ හොඳ වැඩ කළාම හොඳ විපාක ලැබෙනවාද කියලා පරීක්ෂා කරන එක. උදාහරණයක් විදිහට දවස් ගණන් එක දිගට නිශ්චිත මදුරුවන් ගණනකට ලේ දන් දීම වගේ වැඩ. හොඳ වෙලාවට ඒ කාලයේ ඩෙංගු, මැලේරියා වගේ රෝග තිබුණේ නැහැ. එහෙම වුනානම් වැඩි දවසක් නොගිහින් විපාක ලැබෙනවා.
කාටවත්ම නොකියා තනියම හොරෙන් කළත්, විද්‍යාව හෝ විද්‍යාත්මක ක්‍රමය ගැන දැන නොසිටියත් මේ විදිහට කුඩා කාලයේදීම කළේ එක විදිහක විද්‍යාත්මක පරීක්ෂණ. දැන් දන්නා බටහිර විද්‍යාවේ විධික්රමය අනුවනම් මෙය විද්‍යාත්මක පරීක්ෂණයක් නෙමෙයි. මේ පරීක්ෂණ හරහා ඉතාම කුඩා කාලයේදී මා පැමිණි නිගමනය හොඳ හෝ නරක වැඩ වලට කවුරු හෝ විසින් ඒවා නිරීක්ෂණය කර දඬුවම් හෝ ත්‍යාග ලබා දුන්නේ නැත්නම්, ස්වභාව ධර්මය විසින් හෝ වෙනත් අදෘශ්‍යමාන බලවේගයක් විසින් එවැන්නක් කරන බවට පිළිගත හැකි සාධක නැති බවයි. මෙයින් අදහස් වන්නේ තවමත් මම මේ විදිහටම හිතනවා කියන එක නෙමෙයි.
මේ ආත්මයේදී කරන ක්‍රියා වලට ලබන ආත්මයකදී විපාක ලැබෙනවාද කියන එක ඔය විදිහට පරීක්ෂා කරන්න විදිහක් නැති නිසා, ඒ ගැන නිගමනයකට එන්න වුනේ තර්කය මත පදනම්ව. තර්කය පදනම් වුනේ මොන දැනුමක් මතද කියා අදවත් මම දන්නේ නැහැ. බොහෝ විට එදිනෙදා කතාබහ අතරතුර වැඩිහිටියෝ තර්ක කරනවා බලා ඉඳලා ඉගෙන ගත්ත විදිහක් වෙන්න පුළුවන්. කොහොම වුනත්, මගේම අභ්‍යන්තරයෙන් පැන නැගුනු ප්‍රශ්නයට මගේම පිළිතුර මම හෙවුවේ මේ විදිහටයි.
මේ ආත්මයේ කරන දේවල් බලා ඉඳලා වැඩිහිටියෙක් එවේල්දීම දඬුවම් දෙනවා වගේ මේ ආත්මයේ කරන දේවල් බලා ඉඳලා ලබන ආත්මයේ දඬුවම් දෙන්න කෙනෙක් ඉන්නවානම් ඒ කවුරු හරි කෙනා මේ ආත්මයේදී කිසිම දඬුවමක් නොදී ඉන්න හේතුවක් නැහැ. ප්රත්යක්ෂයෙන්ම පෙනෙන පරිදි කරන හොඳ හෝ නරක වැඩකට එවෙලේම හෝ ඉතා ඉක්මණින් දඬුවම් හෝ තෑගි නොලැබුණොත් පස්සේ තැපෑලෙන් විපාක ලැබෙන එක අඩු සම්භාවිතාවක් තිබෙන වැඩක්. ඒ නිසා, පස්සේ දඬුවම් දෙන්න බලාගෙන ඉන්න කෙනෙක් අනිවාර්යයෙන්ම දැනුත් මොනවා හරි දඬුවම් ටිකක් දිය යුතුයි. තියෙන වැඩ ටික කරන්න සේවකයින් මදිකම නිසා ප්‍රමත්ත සමුදාය (බැක්ලොග්) ඇති වෙන්න පුළුවන් වගේ දේවල් ඒ දවස් වල මතක් වුනේ නැහැ. ඒ අනුව, මේ ආත්මයේ "රහසින්" කරන හොඳ හෝ නරක වැඩ දිහා බලා ඉඳලා ඒවාට විපාක ලබා දෙන කෙනෙක් ඉන්න බවක් පෙනෙන්නේ නැති නිසා, ලබන ආත්මයක ඒ වැඩ වලට විපාක ලැබෙයි කියන එක සැක නොකර ඉන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.
ඔහොම අදහසක් ඇති වුනා කියා වැරදි වැඩ කරන්න හෝ හොඳ වැඩ නොකර ඉන්න පෙළඹුමක් ඇති වුනේනම් නැහැ. මොකද නොපෙනෙන අය කෙසේ වෙතත් පෙනෙන්න ඉන්න අය මේ හොඳ හෝ නරක වැඩ වලට විපාක ලබා දෙනවනේ. අඩු වශයෙන් ඔය වගේ පවතින දැනුම ප්‍රශ්න කරන අදහස් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටීම පවා මෙලොවදීම විපාක දෙන වරදක් බව ඒ දවස්වලම තේරිලයි තිබුණේ. ඔය අවබෝධයත් එක්ක කරන්න තිබුණු හොඳම දෙය වෙනත් අය හොඳ වැඩ ලෙස සලකන දේවල් කරද්දී හැකි තරම් ප්‍රදර්ශනාත්මක ලෙස කරන එක සහ වෙනත් අය නරක වැඩ ලෙස සලකන දේවල් ඉඳහිට හෝ කරද්දී පුළුවන් තරම් රහසිගතව කරන එකයි. අත්දැකීම් එක්ක මේ උපාය මාර්ගයේ සාර්ථකත්වය තවතවත් තහවුරු වුනා. ඒ එක්කම වැඩිහිටියන් විසින් "දී තිබෙන" ලෝකය ඒ විදිහටම භාර ගැනීමේ අවදානම ගැනත් මටනම් පොඩි කාලයේදීම අවබෝධ වුනා.
ත්‍රිපිටකයේ තිබෙන්නේ මොනවා වුනත් බොහෝ සිංහල බෞද්ධයින් විසින් තේරුම් ගන්නා ආකාරයට පුනරුප්පත්තියේදී සිදු වෙන්නේ භෞතික ශරීරය ඇතුළේ තිබෙන ආත්මය හෝ එවැනි දෙයක් එයින් ඉවත්ව යාමයි. කරන හොඳ නරක ඊළඟ ආත්මයට අරන් යන්නේ මේ ආත්මයයි. මේ අදහස වඩා කිට්ටු හින්දු සංකල්ප වලට වුවත්, පසුව අභිධර්මය ඉගෙන ගන්නා තුරු, පුනරුප්පතිය කියන අදහස මම තේරුම් ගත්තේත් ඔය විදිහටයි.
දැන් මේ කියන කතාවේ හැටියට මගේ මරණයෙන් පස්සේ මම නැවත මිනිසෙකු, බල්ලෙකු, හරකෙකු, මදුරුවෙකු හෝ කවදාවත් දැක නැති පෙරේතයෙක් විදිහට නැවත ඉපදෙන්න පුළුවන්. ඒ විදිහට ඉපදුනාට පස්සේ දැන් කරන හොඳ නරක වල විපාකත් විඳින්න වෙනවා. ඒ විදිහටම බැලුවොත් දැන් මම විඳින හොඳ හෝ නරක විපාක වලට හේතුව පෙර ආත්මයක මිනිසෙකු, බල්ලෙකු, හරකෙකු, මදුරුවෙකු හෝ පෙරේතයෙකු ලෙස සිටියදී කළ දේවල්. නමුත්, ප්රශ්නය තියෙන්නේ ඔය කතාව ඇත්ත වුනත් බොරු වුනත් එහෙම පෙර භවයක් ගැන මට කිසිම මතකයක් නැති නිසා කතාව ඇත්තද බොරුද කියලා තහවුරු කරගන්න කිසිම ක්‍රමයක් නැති වීමයි. වැඩිහිටියන් විසින් කියා දෙන හැම දෙයක්ම ඇත්ත නොවන බව ඇස් පනාපිට පෙනෙද්දී, ඒ අය කියන නිසාම මේ පුනරුප්පත්ති කතාව ගැන සැක නොකර ඉන්න පුළුවන්ද?
අනෙක් අය කියන හැම දෙයක්ම ඇත්ත නොවුනත්, ගොඩක් අය පොදුවේ පිළිගන්න ගොඩක් දේවල් ඇත්ත බව අත්දැකීමෙන්ම පෙනෙන දෙයක්. පුනරුප්පතිය ගොඩක් අය පිළිගන්නවා. ඒ නිසා, මේ කතාව නොසලකා හැරීමේ අවදානමකුත් තිබෙනවා.
ඉහත උභතෝකෝටිකය හමුවේ මට ප්රශ්නය විසඳාගැනීමට පෑදුනු පොට ඉහත ගාමිණී වියන්ගොඩගේ තර්කයයි. මිනිහෙක් විදිහට ජීවත්වෙමින් හැමදාම තණකොළ උලාකන්න වීම දුකක් වුනත්, හරකෙක්ට එය දුකක්ද? තමන්ටත් තමන් අවට සිටින සියල්ලන්ටත් හිතන පතන විට කන්න අවශ්‍ය ඕනෑම කෑමක් ඉබේම පහළ වෙනවානම්, එය සුවිශේෂී සැපක් ලෙස තේරුම් ගන්න පුළුවන්ද? ඒ වගේම, හැමදාම ගිණිදැල් වලින් පිච්චෙමින් ජීවත් වන වෙනත් ආකාරයක ජීවිතයක් ගැන නොදන්නා කෙනෙක්ට එය දුකක් ලෙස තේරෙන්න පුළුවන්ද? එහෙමනම්, ඔය මොකෙක් වී ඉපදුණත් වෙනසක් තියෙනවාද?
හැබැයි. මා විසින් හදාගත් ඉහත ගාමිණී වියන්ගොඩ තර්කයේ මට සාපේක්ෂව පොඩි අවුලකුත් තිබුණා. දැන් මගේ මේ තර්කය මේ විදිහට වැඩ කරන්නේ කෙනෙකුට තමන්ගේ අතීත භව ගැන මතකයක් නැත්නම් පමණයි. හරකෙක්ට තමන්ට මිනිහෙක් වී සිටීමේ විකල්පයක් තිබුණා කියා අවබෝධයක් ඇත්නම් හරක් ජීවිතය දුකක් සේ පෙනෙන්න පුළුවන්. සමාජවාදී සෝවියට් සංගමය පහුකරගෙන බටහිර රටවල් වේගයෙන් වර්ධනය වන බව සෝවියට් වැසියන්ට නොපෙනුනානම් සෝවියට් ක්‍රමය ඔය තරම් ඉක්මණින් කඩා වැටෙන්නේ නැහැ. ඒ වගේම දැන් තිබෙන ධනවාදී-ප්රජාතන්ත්රවාදී ක්‍රමයට වඩා සාර්ථක විකල්පයක් කොහේ හෝ තිබුණානම් මේ ක්‍රමය කල් නොගොස් කඩා වැටෙනවා. එවැනි සංසන්දනයක් කළ නොහැකිනම් අපායක හා දිව්‍ය ලෝකයක වෙනසක් නැහැ.
පුනරුප්පතිය පිළිබඳ අදහස අදටත් මගේ නොදන්නා සීමාවේ තිබෙන දෙයක් වුවත් එවැන්නක් තිබීමේ සම්භාවිතාව මා සලකන්නේ ශුන්‍යයට ආසන්න ලෙසයි. ශුන්‍ය වීම හා ශුන්‍යයට ආසන්න වීම අතර විශාල වෙනසක් තිබෙන බව ගණිතය උගත් අය දන්නවා ඇතිනේ. ඒ නිසා, පුනරුප්පතියක් තිබීමේ සුළු හෝ අවදානමකුත් තිබෙනවානේ. යම් හෙයකින් එවැන්නක් තිබුණත් එසේ නැවත උපදින්නේ මායැයි මා සිතන්නේ නැහැ. පුනරුප්පතිය පිළිබඳ කල්පිත ඉදිරිපත් කෙරෙන බොහෝ පැකේජ වලට අනුව මිනිස් ජීවිතය අනෙක් ආකාර වල ජීවිත වලට වඩා උසස් මාදිලියක ජීවිතයක්. එසේනම් පෙර භව පිළිබඳව මිනිසෙකුට නැති මතකයක් වෙනත් සතෙකුට හෝ වෙනත් ආකාරයක ජීවයකට තිබීමේ සම්භාවිතාව අඩු එකක්. පෙර භව පිළිබඳ මතකයක් නැත්නම් එය අලුත් ජීවිතයක්. මේ තර්කය අනුව පුනරුප්පතියක් තිබීමේ අවදානමත් නොසලකා හරින්න අමාරු වුනේ නැහැ. මම හිතන්නේ ඉහත ගාමිණී වියන්ගොඩ විසින් විස්තර කර තිබෙන්නේත් ඔය තර්කයයි.
පුනරුප්පතිය පිළිබඳ අදහස ඉතා අඩු වයසකදී මා විසින්ම තේරුම් ගත් ආකාරය අනුව ඒ කාලයේ සිටම මා ගත කළේ පරලොවට බය නැති, මරණයට ඉතා අඩුවෙන් බය ජීවිතයක්. මරණයට බය නැති කියා කිවුවොත් එය අතිශයෝක්තියක් වෙන්න පුළුවන්. මරණයට කෙසේ වෙතත් මරණය ආශ්රිත වේදනාවටත්, ජීවත්ව සිටියදීම මගේ පාලනය මට නැති වී යනවා කියන අදහසටත් මම බයයි.
මා මත පටවනු ලැබූ පුනරුප්පත්තිය වැනි සංකල්ප පිළිබඳව මට සැක ඇති වුනේ විද්‍යාව ඉගෙන ගැනීම නිසා නෙමෙයි. පාසැල් යන්න පටන් ගැනීමෙන් පසුව වුවත් පහළ පන්ති වලදී විද්‍යාවක් කියා දෙයක් හරියකට උගන්වන්නේ නැහැ. මා කොවූර්ගේ පොත් කියවන්න පටන් ගත්තේ වයස අවුරුදු නවය හෝ දහය කාලයේ. මගේ සංකල්පීය ලෝකය මුලින්ම විශාල ලෙස වෙනස් කළේ කොවූර්ගේ පොත්. එහෙත්, මෙහිදී සිදු වුනේ කොවූර්ගේ පොත් වලින් මා මොළ ශෝධනයකට ලක් වීම නෙමෙයි. මට ඒ වන විටත් ඇති වී තිබුණු, මා විසින්ම අඩමාන විසඳුම් හොයාගෙන තිබුණු ප්‍රශ්න වලට නිශ්චිත හා පැහැදිලි පිළිතුරු කොවූර්ගේ පොත් තුළින් හමු වීමයි එහිදී සිදු වුනේ.
වයස අවුරුදු එකොළහක පමණ කාලය වෙද්දී මම මුළු හදවතින්ම හේතුවාදියෙක්. ඒ වන විට විද්‍යාව කියලා ලොකු දේවල් ඉගෙන තිබුණේ ගෙන නැහැ. ඒ නිසා, ආරම්භයේ සිටම මම විද්‍යාව ඉගෙන ගත්තේ මහත් උනන්දුවකින් වගේම අද ආපසු හැරී බැලුවොත් භක්තියකින්. සමහර අය කියන්නේ ආගම් විවේචනය කරන ගොඩක් අය මොකක් හෝ කරදරයක් වූ විට හොරෙන් ආගම් අදහනවා කියලයි. මා සම්බන්ධවනම් කියන්න තිබෙන්නේ තනිකරම අනික් පැත්ත.
මා හදවතින්ම හේතුවාදියෙක්ව සිටි කාලයේ වගේම ඉන් පසුව අඥේයවාදියෙක් විදිහට රූපාන්තරණය වීමෙන් පසුවත් මම ගෙදරදී හැර ගෙදරින් පිටතදී ප්‍රදර්ශනාත්මකව අනාගමිකයෙකු ලෙස කටයුතු කර තිබෙන්නේ ඉතා අඩුවෙන්. හේතුව ඉතාම සරලයි. ලැබෙන කිසිදු වාසියක් නැතිව අනාගමිකයෙකු වීමෙන් පසුව අහිමි වෙන සමාජයීය අවකාශය නැති කර ගන්න මට අවශ්‍ය වුනේ නැහැ. එය එකම හේතුවද නෙමෙයි. අනෙක් හැමෝටම වගේ විශ්වාස කරන්න අවුලක් නැති දේවල් මට පමණක් විශ්වාස කරන්න අමාරු ඇයි කියන කුතුහලයත් මට තිබුණා. ඒ නිසා මම බුද්ධ ධර්මය වගේම අනෙක් ආගම් ගැනත් සෑහෙන තරම් හැදෑරුවා. ඒ හැදෑරුවේ විශ්වාසයක් නැතුව වුවත් ආගම් බොරු කිරීමේ අදහසින් නෙමෙයි. විශ්වාසයක් ඇති කර ගත හැකි තරමේ දෙයක් හොයා ගත හැකිදැයි පරීක්ෂා කිරීමේ අරමුණින්.
විවිධ ආගම් වලින් යෝජනා කරන ප්‍රවාද වියහැකියාවන් ලෙස ඇත්ත වෙන්න පුළුවන්. ඒත් මේ හැම ප්‍රවාදයක්ම එකවර ඇත්ත වෙන්න බැහැ. අනෙක් අතට විද්‍යාව කියන්නේත් කතන්දර ගොඩක් තමයි. නලින් ද සිල්වා කියා කියන්නේ එය තේරුම් ගන්න මට උපකාරී වූ පුද්ගලයෙක්. කොවූර්ගේ පොත් වගේම නලින් ද සිල්වාගේ මගේ ලෝකයත් මා හිතන ආකාරය විශාල ලෙස වෙනස් කළ පොතක්.
දැනුම් ආධිපත්‍යය කියන අදහස මා මුලින්ම නලින් ද සිල්වාගෙන් ඉගෙනගත් දෙයක්. ඒ වගේම, විද්‍යාව කියන්නේ වාස්තවික යථාර්තයක් හෝ පරම සත්‍යයක් නොවන බව මුලින්ම තේරුම් ගත්තේත් නලින් ද සිල්වා හරහායි. ඒ සීමාවන්ට යටත්ව වුවත් විද්‍යාව පිළිබඳව විශ්වාසය තැබීම මට ප්‍රශ්නයක් නෙමෙයි. එය පරම විශ්වාසයක් නොවූවත් මට සාපේක්ෂව විවිධ විකල්ප අතර තිබෙන හොඳම විකල්පයයි.
නලින් ද සිල්වා විසින් භාවිතා කරන වචන සඳහා නලින් නැට්ටන් හා නලින් මැක්කන් ඔහු වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර අරගෙන තිබිය හැකි වුවත් ආධිපත්‍යය හරහා දැනුම සම්ප්‍රේෂණය කිරීම කියන එක අධ්‍යාපන මනෝ විද්‍යාවේ ප්‍රචලිත සංකල්පයක්. මෙය චාල්ස් පියර්ස් (1839–1914) විසින් විස්තරාත්මකව ඉදිරිපත් කළ අදහසක්. දන්නා තරමින් ඔහු පේටන්ට් එකක්නම් අරගෙන නැහැ. ඒ නිසා කවුරුවත් ඔහුට රෝයල්ටි ගෙවන්න අවශ්‍ය නැහැ.
ඕනෑම කෙනෙක් මුලින්ම හා බොහෝ විට වැඩිපුරම ලබා ගන්නේ ආධිපත්‍යය හරහා සම්ප්‍රේෂණය වන දැනුම. පළමුවෙන්ම මේ ආධිපත්‍යය පතුරුවන්නේ දෙමවුපියන් විසින්. ලංකාව වගේ විස්තෘත පවුල් තිබෙන රටකනම් ආච්චිලා, සීයලා, නැන්දලා මාමලා වගේ ගොඩක් අය ඉන්නවා. දැනටත් ලංකාවේ ගොඩක් ළමයි උසස්පෙළට හදාරන විෂයයන් තීරණය කරන්නේ වැඩිහිටියෝ. වැඩිහිටියන් වූ පසු රජය, ජනමාධ්‍ය, ආගමික සංස්ථා, වෘත්තීය සංවිධාන ආදිය විසින් මේ වැඩේ කරනවා. මෙය ලංකාවේ පමණක් සිදුවන දෙයක් නෙමෙයි.
විවිධ දැනුම් ආධිපත්‍ය යටතේ ඉන්න බොහෝ දෙනෙක් එම දැනුම් ආධිපත්‍යයන් ප්‍රශ්නයක් කියා හිතන්නේ නැහැ. දැනුම් ආධිපත්‍යයන් පවතින්නේම කිසියම් සමාජයක වැඩි දෙනෙක් එවැන්නක් පිළිගන්න නිසයි. එහෙත්, කවර හෝ දැනුම් ආධිපත්‍යයකට අනුගත නොවන කෙනෙකුට එවැනි දැනුම් ආධිපත්‍යයකින් පීඩනයක් දැනෙනවා. ඒ වගේම දැනුම් ආධිපත්‍යයකින් නිදහස් වෙන්න අවශ්‍ය වුවත් එය කරන්න අමාරුයි.
මටනම් පෞද්ගලිකව මුලින්ම ප්‍රශ්නයක් වුනේ සිංහල බෞද්ධ දැනුම් පද්ධතියේ ආධිපත්‍යයයි. කොවුර්ගේ පොත් ඒ ආධිපත්‍යයෙන් මානසිකව නිදහස් වෙන්න මට උපකාරී වුනා. ලංකාවේ ගෙදරින් පිට විධිමත් හා අවිධිමත් පොදු අධ්‍යාපනය තුළ බටහිර විද්‍යා දැනුමට ආධිපත්‍යයක් තිබීම එයට පහසුවක් වෙන්න ඇති. එහෙත් මෙය සිදු වුනේ මගේ තේරීමක් ලෙස නිසා බටහිර විද්‍යා දැනුම් ආධිපත්‍යය මට එතරම් පීඩාවක් වූයේ නැහැ. එතරම් කියා කීවේ දැනුම් ආධිපත්‍යයක යම් පීඩාවක් තිබෙන නිසයි. උදාහරණයක් විදිහට පාසැලේදී එන්නත් ලබා දෙන දවස් වල මා පාසැල් ගියේ ඉතාම අකැමැත්තෙන් මරන්න ගෙන යන හරකෙක් වගේ. (මරන්න ගෙන යන හරකෙක්ගේ හැඟීම් ගැන දැනගන්න හරකෙක් වෙන්නම අවශ්‍යයි කියා හිතන හරක් ඉන්න පුළුවන්!)
මානසිකව නිදහස්ව සිටියත්, සමාජයීය වශයෙන්නම් ලංකාවේ සිටියදී කවදාවත්ම සිංහල බෞද්ධ දැනුම් පද්ධතියේ ආධිපත්‍යයෙන් නිදහස් වෙන්න ලැබුණේ නැහැ. ලංකාවේ ජීවත්ව සිටියානම් අදටත් මේ පීඩාව විඳිමින් ජීවත් වෙන්න වෙනවා. එක පැත්තකින් එය මගේම තේරීමක්. එම ආධිපත්‍යයෙන් නිදහස් වීම සඳහා ගෙවිය යුතු මිල ගෙවන්න මට අවශ්‍ය වුනේ නැහැ කියන එක වඩා නිවැරදියි. හේතුවත් පැහැදිලියි. ලංකාවේදී ඒ ආධිපත්‍යයට අනුගත වීමේ සමාජයීය වටිනාකමක් තිබෙනවා.
බටහිර විද්‍යාවේ ආධිපත්‍යය පවතින්නේත් මේ හේතුව නිසා. නලින් ද සිල්වා කියනවා වගේම ලංකාවේ එවැනි ආධිපත්‍යයක් තිබෙනවා. නමුත්, එය ස්වභාවික සමතුලිතතාවයක්. ඒ වගේම, ලංකාවේ වැඩි දෙනෙකුගේ තේරීමක්. එම ආධිපත්‍යයෙන් නිදහස් වීම සඳහා ගෙවිය යුතු මිල ගෙවන්න හෝ ඒ ආධිපත්‍යයට අනුගත වීමේ සමාජයීය වටිනාකම නැති කර ගන්න ලංකාවේ බොහෝ දෙනෙකුට අවශ්‍ය නැහැ. ඒ නිසා, එවැනි දැනුම් ආධිපත්‍යයක් තිබීම වැරැද්දක්ම නෙමෙයි. වැරැද්දක් සිදු වන්නේ වැඩි දෙනෙකුගේ කැමැත්ත රහිතව, ආණ්ඩු බලය යොදා ගෙන අකාර්යක්ෂමතාවය නිසා පරිණාමයේදී ස්වභාවිකවම දියාරු වී ගිය දැනුම් සඳහා කෘතීම ලෙස ආධිපත්‍යයක් ඇති කළොත් ඒ හේතුව නිසයි.
(Image: http://www.dailymirror.lk/news-features/The-cane-Our-children-as-our-priority/131-136637)