වෙබ් ලිපිනය:

Thursday, December 24, 2020

නත්තලට එන්නතක්!


ලොකු සාද හෝ එකතු වීම් නැතිව, පවුලේ සාමාජිකයින් පමණක් එකතුව පවත්වන මෙවර නත්තල ඇමරිකානුවන්ට සරු නත්තලක් කියා මොන විදිහකින්වත් කියන්න බැහැ. මේ වන විට ඇමරිකානුවන්ගෙන් දහසකට එක් අයෙක් කෝවිඩ්-19 හේතුවෙන් මිය ගිහින්. මේ වන විටත් දිනකට තවත් මරණ තුන් දහසකට වඩා වැඩි ප්‍රමාණයක් ඉහත ගණනට එකතු වෙනවා. කොහොම වුනත්, මෙවර නත්තලේදී නත්තල් සීයා අරගෙන එන වටිනාම තෑග්ග කෝවිඩ්-19 එන්නතක්.

කෝවිඩ්-19 සඳහා වන පයිසර්-බයෝඑන්ටෙක් එන්නතට පසුගිය 11 වනදාත්, මොඩර්නා එන්නතට පසුගිය 18 වනදාත් පවතින හදිසි තත්ත්වය යටතේ ඇමරිකාව තුළ භාවිතය සඳහා අවසර ලැබුණා. ඊයේ (දෙසැම්බර් 23) උදෑසන වන විට ඇමරිකානුවන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් විසින් මේ එන්නත් දෙකෙන් එකක පළමු මාත්‍රාව ලබා ගෙන තිබුණා. 

පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් දෙකේම ඵලදායීතාවය ආසන්න වශයෙන් 95% තරම් ඉහළ අගයක්. මුල් අදියරේදීම මෙතරම් ඉහළ ඵලදායීතාවයක් තිබෙන එන්නත් නිපදවා ගැනීමට හැකි වීම අපේක්ෂා කළාට වඩා ගොඩක් හොඳ තත්ත්වයක්. 70% තරමේ ඵලදායීතාවයක් ඇති එන්නතකට වුවත් මුල් අදියරේදී හදිසි භාවිතාව සඳහා අනුමැතිය ලැබිය හැකිව තිබුණා. ලෝක ඉතිහාසය තුළ මිනිස් වර්ගයා විසින් මෙතරම් සාර්ථක ලෙස හා මෙවැනි කෙටි කලකින් මෙවැනි දරුණු වසංගතයකට මුහුණ දිය හැකි සාර්ථක ක්‍රමයක් සොයාගත් මුල් අවස්ථාව මෙය විය හැකියි.

අවම වශයෙන් ලෝකයේ රටවල් ගණනාවක සමාගම් දෙසීයකට අධික ප්‍රමාණයක් කෝවිඩ්-19 සඳහා එන්නත් නිපදවීමේ කාර්යය තුළ සිටියා. ඉක්මන් හා සාර්ථක ප්‍රතිඵල ලැබෙන්න හේතු වුනේ මේ එන්නත් නිෂ්පාදකයින් අතර වූ තරඟයයි.

මේ විදිහට තරඟ නොකර කවුරුත් එකතු වී එක එන්නතක් නිපදවූවානම් මීට වඩා හොඳ නැද්ද?

පැහැදිලිවම නැහැ. එන්නතක් "සොයා ගැනීමේ" මූලික කටයුතු ටික කරන්න මහා විශාල පිරිසක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම, ඒ වැඩේට විශාල කාලයක් යන්නේත් නැහැ. සමහර විට අවශ්‍ය දැනුම හා පුහුණුව තිබෙන හත් අට දෙනෙකුගෙන් යුතු කණ්ඩායමකට සති කිහිපයක් තුළ කළ හැකි දෙයක්. මේ දැනුම හා පුහුණුව තිබෙන අය ලෝකයේ බොහෝ රටවල ඉන්නවා. ඒ හැමෝම එකතු වුනා කියලත් ඔය වැඩේ ඔයිට වඩා හොඳින් හෝ ඉක්මණින් කරන්න බැහැ. එහෙම වුනානම් වෙන්නේ දැන් තිබෙන දෙසිය ගණනක් වන විකල්ප වෙනුවට එක් විසඳුමක් පමණක් ඉතිරි වීමයි. එහි ඵලදායීතාවය ඉහළ මට්ටමක නොතිබෙන්න පුළුවන්.

එහෙමනම් එන්නතක් හදන්න අවුරුද්දකට කිට්ටු කාලයක් ගියේ ඇයි?

ඇත්තටම එන්නත් හදන්න සති කිහිපයකට වඩා කාලයක් ගත වී නැහැ. ඉතිරි කාලය අවශ්‍ය වන්නේ මේ එන්නත් වල සුරක්ෂිතතාව හා ඵලදායීතාවය පරීක්ෂා කර තහවුරු කරන්නයි. ඒ සඳහා නිශ්චිත අවම කාලයක් යනවා. එන්නත ලබා දී වසර දෙකකට පසුව එහි අතුරු ආබාධයක් නොඑන බව තහවුරු කරගන්නනම් අඩුම වශයෙන් වසර දෙකක් ඉන්නම වෙනවා. වැඩියෙන් මුදල් හා පිරිස් බලය යෙදෙවූවා කියා මේ කාලය අඩුකරන්න පුළුවන්කමක් නැහැ. 

අපි හිතමු වෙනත් කිසියම් විකල්ප ක්‍රමයකින් කෝවිඩ්-19 වැළැක්විය හැකි ක්‍රමයක් ඉක්මණින් හොයා ගත්තා කියලා. එහෙම හොයා ගත්තත් එහි සුරක්ෂිතතාව හා ඵලදායීතාවය පරීක්ෂා කර තහවුරු කර ගැනීම සඳහා ඔය වගේම කාලයක් ගතවෙනවා. එහෙම නැතුව එය කෝවිඩ්-19 වලක්වන බව නිශ්චිතව කියන්න පුළුවන්කමක් නැහැ. යම් කෙනෙකුට එවැනි නිසි පරීක්ෂාවකින් තොරව අදාළ විකල්ප ක්‍රමය පිළිබඳව විශ්වාසය තැබීමේ හැකියාව තිබෙනවා. එය සමාන කළ හැක්කේ කෝවිඩ්-19 සඳහා වන එන්නතක් එය "සොයා ගත්" වහාම නිසි පරීක්ෂාවකින් තොරව භාවිතා කිරීමටයි. 

උදාහරණයක් විදිහට මොඩර්නා එන්නත වැඩි දියුණු කළ වහාම, සායනික පරීක්ෂණ කිසිවක් සිදු නොකර කිසියම් රටක රජයක් මැදිහත් වී එය මහා පරිමාණයෙන් ඒ රටේ මිනිස්සුන්ට ලබා දුන්නා කියා හිතමු. එසේ කළානම් ඒ රට කෝවිඩ් වලින් සම්පූර්ණයෙන්ම වාගේ බේරෙන්න ඉඩ තිබුණා. හැබැයි එය එසේ විය හැකිව තිබුණු බව අප දන්නේ දැනුයි. යම් හෙයකින් මේ එන්නත ඵලදායී නොවූවානම් ඒ විදිහට එන්නත ලබා දුන්නා කියා කිසිම වැඩක් වෙන්නේ නැහැ. 

එන්නතක ඵලදායීතාවය කියා කියන්නේ කුමක්ද?

පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් දෙකේම ඵලදායීතාවය ආසන්න වශයෙන් 95% පමණ බව ගොඩක් අයට ඇහිලා ඇතිනේ. මෙයින් අදහස් වෙන්නේ කුමක්ද? එන්නත ලබාගත්තාට පසුවත් කෝවිඩ්-19 හැදෙන්න 5%ක ඉඩක් තිබෙනවා කියන එකද? 

පැහැදිලිවම නැහැ. එය අනිවාර්යයෙන්ම ඊට වඩා අඩු සම්භාවිතාවක්. 

එන්නතක් ලබා ගත්තත් නැතත් හැමෝටම කෝවිඩ්-19 හැදෙන්නේ නැහැ. ඒ නිසා, එන්නතක් (හෝ වෙනත් විකල්පයක්) ලබා ගැනීමෙන් පසුව එය ලබාගත් බොහෝ දෙනෙකුට කෝවිඩ්-19 හැදුනේ නැතත්, එසේ කෝවිඩ්-19 හැදුනේ නැත්තේ අදාළ එන්නත හෝ වෙනත් විකල්පය නිසා කියා කියන්න බැහැ. 

තෙවන අදියරේ සායනික පරීක්ෂා වලදී මොඩර්නා එන්නත 15,185 දෙනෙකුට ලබා දී තිබෙනවා. නොවැම්බර් 21 දින වන විට ඔවුන්ගෙන් 11 දෙනෙකුට කෝවිඩ්-19 ආසාදනය වී තිබෙන නමුත් ඉතිරි කිසිවෙකුට කෝවිඩ්-19 ආසාදනය වී නැහැ. මේ අනුව එන්නත ලබා ගෙන සති 9කට පමණ පසුව එය ලබාගත් අයගෙන් 99.9%ක්ම කෝවිඩ් වලින් බේරී සිටිනවා. 

ඉහත ප්‍රතිඵලය මත පදනම්ව මොඩර්නා එන්නත 99.9%ක් සාර්ථක බව කියන්න පුළුවන්ද? කිසිසේත්ම බැහැ. සමහර විට මේ එන්නත ලබා දුන්නේ ලංකාවේනම් එන්නත ලබාගත් කාටවත්ම කෝවිඩ් නොහැදෙන්න වුනත් ඉඩ තිබුණා. එන්නත ලබා ගත් බොහෝ දෙනෙකුට කෝවිඩ් නොහැදුනේ ඔවුන් වෛරසයට නිරාවරණය නොවූ නිසා හෝ ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තිය හේතුවෙන් මිස එන්නත නිසා නොවෙන්න පුළුවන්. එහෙමනම්, එන්නතේ ඵලදායීතාවය හොයා ගන්නේ කොහොමද?

එන්නතක හෝ වෙනත් ඖෂධයක ඵලදායීතාවය හොයා ගන්න සසම්භාවී සායනික පරීක්ෂණ පවත්වන්නේ එන්නත ලබා නොගත්තත් බොහෝ දෙනෙකුට කෝවිඩ් වැළඳෙන්නේ නැති නිසයි. තෙවන අදියරේ මොඩර්නා සායනික පරීක්ෂණ සඳහා 30,350 දෙනෙකු යොදාගෙන තිබෙන අතර පයිසර්-බයෝඑන්ටෙක්  සායනික පරීක්ෂණ සඳහා 43,651 දෙනෙකු යොදා ගෙන තිබෙනවා. සසම්භාවී සායනික පරීක්ෂණයකදී කරන්නේ මේ අයගෙන් ආසන්න වශයෙන් බාගයකට නියම එන්නතත්, අනෙක් බාගයට බොරු එන්නතකුත් ලබා දෙන එකයි. බොරු එන්නත ලබාගත් කණ්ඩායමේ අයට කෝවිඩ් වැඩියෙන් හැදී ඇත්ත එන්නත ලබාගත් අයට අඩුවෙන් හැදෙනවානම් එයින් පැහැදිලි වන්නේ එන්නත වැඩ කරන බවයි.

මේ වගේ පරීක්ෂණයක් සාර්ථක වෙන්නනම් කරුණු කිහිපයක් ඉටු විය යුතුයි. සසම්භාවී සායනික පරීක්ෂණයක මූලික උපකල්පනයක් වෙන්නේ කණ්ඩායම් දෙක සමාන කණ්ඩායම් දෙකක් බවයි. දහ දෙනෙකුගේ පමණ කුඩා කණ්ඩායමක් අහඹු ලෙස පහේ ගොඩවල් දෙකකට දැම්මා කියා ඒ කණ්ඩායම් දෙක හරියටම සමාන වන්නේ නැහැ. එහෙත්, තිස් දහසක පමණ විශාල කණ්ඩායමක් අහඹු ලෙස ගොඩවල් දෙකකට බෙදූ විට එම කණ්ඩායම් දෙක අතර අසමානතා නැති තරම්. පරීක්ෂණය සඳහා යොදා ගන්නා කණ්ඩායම් දෙක සමාන සේ සැලකිය හැක්කේ විශාල පිරිසක් පරීක්ෂණය සඳහා යොදා ගන්නා තරමටයි. ඒ සඳහා සැලකිය යුතු කාලයක් හා මුදලක් වැය වෙනවා. ඒ වගේම, එන්නතේ අතුරු ආබාධ තිබිය හැකි නිසා මෙය අවදානම් කටයුත්තක්. 

සායනික පරීක්ෂණ සඳහා විශාල පිරිසක් යොදවා ගැනීමේ අවදානම අඩු කර ගැනීම සඳහා මුලින්ම තෝරාගත් සුළු පිරිසකට එන්නත ලබා දිය යුතුයි. ඊට පෙර, එහි සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සඳහා වෙනත් පරීක්ෂණ කළ යුතුයි. මේ එක් එක් අදියරේ පරීක්ෂා සඳහා යම් අවම කාලයක් ගත වෙනවා. ඒ කාලය අඩු කරන්න බැහැ. කාලය අඩු කිරීම අවදානම වැඩි කිරීමක්.

සසම්භාවී සායනික පරීක්ෂණයක් සඳහා විශාල පිරිසක් යොදවා ගත්තත්, එය ලබාගත් පිරිස කෝවිඩ් ආසාදනය කරන වෛරසයට නිරාවරණය වුනේ නැත්නම් කොහොමටවත් කෝවිඩ් නොහැදෙන නිසා එන්නතේ ඵලදායීතාවය පරීක්ෂා කරන්න විදිහක් නැහැ. එහෙමයි කියලා පරීක්ෂණයට සහභාගී වුනු අයට කෝවිඩ් හැදීමේ ඉඩකඩ වැඩි කරන්න පුළුවන්කමකුත් නැහැ. ඒ නිසා, මේ කණ්ඩායමේ සැලකිය යුතු පිරිසක් සාමාන්‍ය තත්ත්වයන් යටතේ වෛරසයට නිරාවරණය වන තුරු බලා ඉන්න වෙනවා. 

මොඩර්නා සායනික පරීක්ෂණ සඳහා යොදාගත් අයගෙන් 15,185 දෙනෙකුට ඇත්ත එන්නත ලබා දුන්නා. ඉතිරි 15,165 දෙනෙකුට ලබා දුන්නේ බොරු එන්නතක්. ඇත්ත එන්නත ලබාගත් 11 දෙනෙකුට කෝවිඩ්-19 ආසාදනය වෙද්දී බොරු එන්නත ලබාගත් 185 දෙනෙකුට කෝවිඩ්-19 ආසාදනය වී තිබෙනවා. කණ්ඩායම් දෙක සමාන කණ්ඩායම් නිසා, එන්නත ලබා නොදුන්නානම් එය ලබාගත් කණ්ඩායමේද 185 දෙනෙකු ආසාදිතයින් විය හැකි බව අපට උපකල්පනය කරන්න පුළුවන්. ඒ අනුව, එම ප්‍රමාණය 11 දක්වා අඩු වී තිබෙන්නේ එන්නත නිසා බව උපකල්පනය කළ හැකියි. ඒ කියන්නේ එන්නත ලබා ගැනීම නිසා 185 - 11 = 174 දෙනෙකු කෝවිඩ් වලින් බේරිලා.

මේ ආකාරයේ සසම්භාවී සායනික පරීක්ෂාවක් නොකළේනම් අපට පෙනෙන්නේ එන්නත ලබාගත් 15,185 දෙනෙකුගෙන් 15,174 දෙනෙකුම එන්නත නිසා කෝවිඩ් වලින් බේරුණු බවයි. ඇමරිකාවේ කෝවිඩ් මේ තරමටම ප්‍රචලිතව නොතිබුණානම්, දැනට ලංකාවේ ප්‍රචලිතව ඇති මට්ටමේ තිබුණානම්, එන්තත ලබාගත් කිසිවෙකුට කොවිඩ් නොවැළඳෙන්න ඉඩ තිබුණා. ඒ වගේම නියැදිය මෙපමණ විශාල නොවී, නියැදියේ ප්‍රමාණය දහසක් පමණ වුනානම් බොහෝ විට එම නියැදියෙන් කොවිඩ් වැළඳුනු කිසිවෙකු හමු නොවෙන්න ඉඩ තිබුණා. 

එන්නත ලබාගත් 15,185 දෙනෙකුගෙන් 15,000කටම කෝවිඩ් නොවැළඳුනේ එන්නත නිසා නොව වෛරසයට නිරාවරණය නොවූ නිසා හෝ ස්වභාවික ප්‍රතිශක්තිය නිසා මිස එන්නත නිසා නොවන බව අප දන්නේ සසම්භාවී සායනික පරීක්ෂාවක් කළ නිසයි. එන්නත නොතිබුණත් කෝවිඩ්-19 හැදෙන්නට ඉඩ තිබුණේ ඉතිරි 185 දෙනාට පමණයි. ඒ 185 දෙනාගෙන් 11 දෙනෙකුට මොඩර්නා එන්නත අරගෙනත් කෝවිඩ් හැදිලා. ඒ නිසා, එන්නත නිසා රෝගය වැලකී තිබෙන්නේ 185 දෙනෙකුගෙන් 174 දෙනෙකුගේ පමණයි. මෙය ප්‍රතිශතයක් ලෙස 174/185 = 94%ක්. මොඩර්නා එන්නත ආසන්න වශයෙන් 95%ක් ඵලදායී බව කියන්නේ මේ පදමිනුයි. 

සැබෑ එන්නත හෝ බොරු එන්නත ලබාගෙන කාලය ගත වෙද්දී කණ්ඩායම් දෙකේම අය වැඩි වැඩියෙන් වෛරසයට නිරාවරණය වෙමින් සිටිනවා. එහිදී, කණ්ඩායම් දෙකේ වෛරස් ආසාදිතයින් ප්‍රමාණ අතර පරතරය එන්න එන්නම පුළුල් වෙමින් පවතිනවා. 


මේ ආකාරයෙන්ම පයිසර්-බයෝඑන්ටෙක් සායනික පරීක්ෂණ වලදී 21,823 දෙනෙකුට සැබෑ එන්නතත්, 21,828 දෙනෙකුට සේලයින් දියරය අඩංගු බොරු එන්නතකුත් ලබා දී තිබෙනවා. බොරු එන්නත ලබාගත් 162 දෙනෙකුට කොවිඩ්-19 වැළඳෙන විට ඇත්ත එන්නත ලබාගත් කණ්ඩායමෙන් කෝවිඩ්-19 ආසාදිතයින් හමු වී තිබෙන්නේ 8 දෙනෙකු පමණයි. මේ අනුව, පයිසර්-බයෝඑන්ටෙක් එන්නත නිසා 162 දෙනෙකුගෙන් 154 දෙනෙකු කෝවිඩ්-19 වලින් බේරී තිබෙනවා. මෙය ප්‍රතිශතයක් ලෙස 154/162 = 95%ක්.


එන්නතක් ලබා ගැනීම පෞද්ගලික තීරණයක් වුවත් එය පෞද්ගලික යහපත වගේම පොදු යහපත සැලසෙන තීරණයක්. කිසියම් රටක හෝ ප්‍රදේශයක එන්නතක් ලබා ගන්නා පිරිස ඉහළ යන තරමට එන්නත ලබා නොගන්නා අයට රෝගය ආසාදනය වීමේ අවදානමත් විශාල ලෙස පහත වැටෙනවා. ඊයේ වෙද්දී ඇමරිකාව තුළ පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා  කෝවිඩ් එන්නත් 9,465,725ක් බෙදා හැර තිබුණු අතර ඇමරිකානුවන් 1,008,025 දෙනෙකු විසින් මේ එන්නතක පළමු මාත්‍රාව ලබා ගෙන තිබුණා. 

පයිසර්-බයෝඑන්ටෙක් එන්නත ලබාගත් අය දින 21කට පසුවත්, මොඩර්නා එන්නත ලබාගත් අය දින 28කට පසුවත් එන්නතේ දෙවන මාත්‍රාවක් ලබාගත යුතුයි. මේ එන්නතක් ලබා ගැනීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට එය ලබා ගත හැකි තරමේ එන්නත් සැපයුමක් තවමත් නැතත් මාර්තු අවසානය පමණ වන විට බොහෝ ඇමරිකානුවන්ට එන්නතක මාත්‍රාවක් ලබා ගන්න පුළුවන් වෙයි. 

දැනට තිබෙන සීමිත එන්නත් ප්‍රමාණය වැඩි ප්‍රමුඛතාවයක් අවශ්‍ය අයට ලබා දෙන නිසා අපටනම් නත්තල් තෑගි විදිහට කෝවිඩ් එන්නත් ලැබෙන්නේ නැහැ. කොහොම වුනත්, සිංහල අවුරුදු තෑග්ගක් විදිහටවත් අපට කෝවිඩ් එන්නතක් ලැබෙයි. එතකන් ඉතින් අත්ත බිඳෙයි පය බුරුලෙන් තමයි!


28 comments:

  1. Good explanation. This message should go to all the people (who only read in Sinhala) in Sri Lanka.

    ReplyDelete
  2. ඉකොනෝ, (එකොනෝ)
    Scientific American reported based on the fact,  the World Health Organization has estimated that 65 percent to 70 percent of the population needs to be immuned, to achieve the sucess of the vaccine. ඔබ වෙබ් ලිපියේ ඉහත  සඳහන් //කිසියම් රටක හෝ ප්‍රදේශයක එන්නතක් ලබා ගන්නා පිරිස ඉහළ යන තරමට එන්නත ලබා නොගන්නා අයට රෝගය ආසාදනය වීමේ අවදානමත් විශාල ලෙස පහත වැටෙනවා.// ලෙසින් ඔබ කියන්නේත් මෙයමයි නේද?

    ගණිතමය ආකෘතියකින් මේ ප්‍රකාශනය තව දුරටත්, කරුණාවෙන් පහදා දිය හැකිද?  එම විස්තරය වඩාත් තාක්ෂණික වන හෙයින් මේ බ්ලොගයේ පල කිරීම ඇතැම් විට දුෂ්කර විය හැකියි. එසේ නම් ඒ කරුණ ගැන වඩාත් දැන ගැනීමට කැමති අය⁣ට යා හැකි web link කිහිපයක්, information site කිහිපයක්  දැක්විය හැකිද?

    CP-C

    ReplyDelete
    Replies
    1. අවශ්‍යනම් විස්තරාත්මක පිළිතුරක් ලිවිය හැකි වුවත් දැනට හැකි තරම්ම සරල ආකාරයට පැහැදිලි කරන්නම්. පළමුව, ඔබ විසින් කියවා ඇතත්, කියවා නැති වෙනත් අයෙකුට අවස්ථා සම්බන්ධය ගලපා ගැනීම සඳහා, R0 අගය ගැන වැඩි විස්තර පහත ලිපියේ තිබෙනවා.

      http://economatta.blogspot.com/2020/03/blog-post_26.html

      දෙවනුව, SIR ආකෘතිය ගැන වැඩි විස්තර පහත ලිපියේ තිබෙනවා.

      http://economatta.blogspot.com/2020/04/blog-post_4.html#comment-form

      දැන් මේ ආකෘතිය අනුව වසංගතයක් පැතිරෙන්නේ රෝගය වැළඳිය හැකි (රෝගයට ප්‍රතිශක්තිය නැති) අයෙකුට රෝගය ආසාදනය කළ හැකි අයෙකු හමු වීමෙන්. වසංගතය ආරම්භයේදී කිසිවෙකුටත් ප්‍රතිශක්තිය නැහැ. යම් පුද්ගලයෙක්ට බාහිර ප්‍රභවයකින් (ඉතාලියෙන් කියමු) වෛරසය සම්ප්‍රේෂණය වෙනවා. එම පුද්ගලයා විසින් වෙනත් පුද්ගලයින් මුණ ගැසෙන රටාව, එහිදී වෛරසය සම්ප්‍රේෂණය වීමට තිබෙන ඉඩකඩ හා ආසාදිතයෙකු විසින් අදාළ වෛරසය සම්ප්‍රේෂණය කරන කාලය ආදිය මත අපට එක් පුද්ගලයෙක් විසින් සාමාන්‍ය වශයෙන් තවත් කී දෙනෙකුට රෝගය පතුරනවාද කියන එක හොයා ගන්න පුළුවන්. මෙම අගය 1ට අඩුනම් රෝගය කාලයත් සමඟ ඉක්මණින් නැති වී යනවා. උදාහරණයක් විදිහට මෙම අගය 0.5නම් එයින් කියන්නේ 100දෙනෙකු විසින් 50 දෙනෙකුට රෝගය බෝකරනවා කියන එකයි. ඒ 50 විසින් තවත් 25කට රෝගය බෝකරනවා. කෙටි කාලයකදී මේ ක්‍රියාදාමය නවතිනවා. නමුත්, 100 දෙනෙකු විසින් 200 දෙනෙකුට රෝගය බෝකරනවානම් එය නවතින්නේ ඉතා විශාල පිරිසකට රෝගය වැළඳුනාට පසුවයි.

      අපි දැනට හිතමු මේ අනුපාතය එනම් R0 අගය 2.0යි කියලා. දැන් සෑම ආසාදිතයන් 100 දෙනෙකු විසින්ම තවත් 200කට රෝගය ආසාදනය කරනවා. දැන් අපි සමාජයේ 50%ක් එන්නත් කළා කියා හිතමු. ඒ වගේම අදාළ එන්නතේ ඵලදායීතාවය 70%යි කියා හිතමු. ඒ කියන්නේ ආසාදිතයන් 100 දෙනෙකුට අහඹු ලෙස හමුවන 200 දෙනාගෙන් 100 දෙනෙකුට එන්නත ලැබිලා. ඒ 100 දෙනාගෙන් 70කට රෝගය හැදෙන්නේ නැහැ. ඒ නිසා 100 දෙනා විසින් දැන් රෝගය පතුරවන්නේ 130 දෙනෙකුට පමණයි. ඔය ගණන 100ට වඩා අඩු වුනොත් රෝගය පැතිරෙන එක අවශ්‍ය තරමට මන්දගාමී වී එය නැතිව යනවා. සමාජයේ එන්නත ලබාගත් ප්‍රතිශතය යම් ප්‍රමාණයක් ඉක්මවූ පසුව මේ තත්ත්වය ඇති වෙනවා. එම ප්‍රමාණය තීරණය වන්නේ අදාළ එන්නතේ ඵලදායීතාවය හා රෝගයේ R0 අගය මත.

      අපි හිතමු කිසියම් වසංගතයක ආරම්භයේදී R0 අගය 1ට වඩා වැඩියි. සමාජයේ P ප්‍රතිශතයක් එන්නත ලබාගෙන. එන්නතේ ඵලදායීතාවය E . මේ අනුව, P*E ප්‍රතිශතයකට රෝගය ආසාදනය වෙන්නේ නැහැ. ඒ නිසා, එක් අයෙකු රෝගය බෝකරන්නේ තවත් R0(1-P*E) දෙනෙකුට පමණයි. මෙම අගය 1 වූ වහාම රෝගය පාලනය වෙනවා. ඒ සඳහා කොපමණ ප්‍රතිශතයක් එන්නත ලබා ගත යුතුද? R0(1-P*E) = 1. ඒ නිසා, P = (1 - 1/R0)/E. එන්නතේ ඵලදායීතාවය වැඩි තරමට මේ ඉලක්කයට යන්න පහසුයි. R0=2.5 හා E=0.7 ලෙස ගත්තොත් P = 86% පමණ වෙනවා. R0=2.2 හා E=0.95 ලෙස ගත්තොත් P = 57% පමණ වෙනවා. එන්නත් නිෂ්පාදකයින් විශාල පිරිසක් මේ වැඩේට අත ගැසීමේ වාසිය වන්නේ ඒවායින් යම් ප්‍රමාණයක් ඉතා ඉහළ ඵලදායීතාවයක් සහිත ඒවා වීමේ හැකියාව ඉහළ යාමයි. මොකද වෙළඳපොළ තුළ සාර්ථක විය හැක්කේ වැඩිම ඵලදායීතාවයක් තිබෙන එන්නතට නිසා. අනෙක් අතට අඩු ඵලදායීතාවය තිබෙන එන්නතක් හදන කෙනෙකුටත් එය අඩු මිලට විකුණන්න පුළුවන්. එන්නතේ ඵලදායීතාවය අඩු වුනත් මිල අඩු නිසා වැඩි පිරිසක් වෙත ඉක්මණින් ගිහින් අවශ්‍ය වැඩේ වෙනවා. ඒ වගේම, ඉහත සූත්‍රයෙන් පැහැදිලි වෙනවා ඇති සමාජයක සාමූහික ප්‍රතිශක්තිය ඇති කර ගන්නා තුරු සමාජ දුරස්ථභාවය, අත් සේදීම, මුහුණු ආවරණ ආදී ප්‍රවේශම්කාරී ක්‍රියා දිගටම කිරීමේ වැදගත්කම. දැනට R0 අගය පහළින් තියෙන්නේ මේ දේවල් නිසා. එම උපක්‍රම ලිහිල් කළ වහාම R0 අගය ඉහළ යනවා. ඒ නිසා, 60% පමණවත් එන්නත ලබා ගන්නා තුරු එවැනි උපක්‍රම දිගටම අනුගමනය කළ යුතුයි.

      Delete
    2. එකොනො,
      ඔබේ පිලිතුර  ඉතා හොඳින් කියවා තේරුම් ගතිමි.මේ බෙදා දුන් දැනුමට ස්තුතියි. MAA වෙබ් අඩවියේ මේ පිලිබඳව ලියැවුණ  තවත් දේ හමුවුනා.maa.org ලිපිනය මෙහි පල කරන්නේ  මේ ගැන උනන්දුවක් දක්වන මා වැනි  පිරිසකගේ ප්‍රයෝජනය සඳහායි.

      Delete
  3. "මේ වන විට ඇමරිකානුවන්ගෙන් දහසකට එක් අයෙක් කෝවිඩ්-19 හේතුවෙන් මිය ගිහින්."
    විශ්වාස නැත.
    ලංකාවේ අර මහර බන්ධනාගාරේ සීන් එකක් උනා දන්නවා නේද, සෙට් එකක් මැරිලා තියෙන්නේ වෙඩි වැදීමෙන් සහ කොරෝනා ආසාදනය වීමෙන්.

    ReplyDelete
    Replies
    1. https://www.who.int/classifications/icd/Guidelines_Cause_of_Death_COVID-19.pdf

      Delete
  4. දැනට අනුමතවී ඇති එන්නත් වලින් ලංකාවට සුදුසු එන්නතක් ගැනීමට මොනවගේ මිලක් ගෙවන්න වේවිද? WHO එක ජනගහනයෙන් 20%කට එන්නත ලබාදෙන බවට පුවත් පළවෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ පිළිබඳව නිශ්චිතව කියන්න අමාරුයි. මුලදී මිල සාධකයට වඩා ප්‍රශ්නයක් වනු ඇත්තේ එන්නත් ලබා ගැනීමයි. පහු ගිය කාලය පුරාම ලෝකයේ බොහෝ රටවල් වල රජයයන් විසින් කළේ එන්නත් හදමින් සිටි සමාගම් සමඟ ගිවිසුම් වලට එළැඹෙන එකයි. ලංකාව එවැනි ගිවිසුමකට එළැඹ නැති නිසා අනෙක් රටවල් විසින් කලින්ම ඇණවුම් කර ඇති මුලින් හදන එන්නත් ටික අරගෙන අවසන් වන තුරු බලා ඉන්න වෙයි. දැනට ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නතක් විකිණෙන්නේ ඩොලර් 20-25 පමණ මුදලකට. එක් අයෙකුට එවැනි එන්නත් දෙකක් අවශ්‍ය වෙනවා. ලංකාවෙන් බාගයකට පමණ මේ එන්නත දෙන්නනම් ඩොලර් මිලියන 400ක් පමණ අවශ්‍ය වෙනවා. ලංකාව එපා කියපු MCC ආධාර මුදලට වඩා අඩු මුදලක්. වසරේ දෙවන කාර්තුවේදී රට වසා තැබීම නිසා සිදු වූ පාඩුව මේ මුදල මෙන් හත් අට ගුණයක්. ඒ වගේම, වෙනත් ඇතැම් සමාගම් විසින් තුන්වන ලෝකයේ රටවලට ඩොලර් 3-4ක පමණ මිලකට (ලාබ නොලබා) එන්නත් ලබා දෙන්න සූදානමින් ඉන්නවා. එවැනි මිලකට එන්නත් ලැබුණොත් ඩොලර් මිලියන 60-70කට පමණ අවශ්‍ය එන්නත් ප්‍රමාණය මිල දී ගන්න පුළුවන් වෙයි.

      Delete
    2. පිළිතුරට ස්තුති කරමි. ආණ්ඩුව ඩොලර් මිලියන 50 ණයක් බලාපොරොත්තු වෙන්නේ ඩොලර් 2-3ට දෙන තැනකින් මේ එන්නත ගන්න වෙන්න ඇති. (රුපියල් 50හෙ සීනි බද්ද ශත 25 ට අඩු කරලා අදානි සමාගමට කල ප්‍රති උපකාරයෙන් රජය සතුටින් ලැබූ අලාභයත් ඩොලර් මිලියන 55ක්ය කියන්නේ)

      Delete
  5. එන්නත ලබා ගත්තු අයටත් රෝගය වැලදෙනවනම් එන්නත සාර්තකයි කියන්න පුළුවන්ද? එන්නත ලබා ගත්තු අය වෙනත් සෞඛ්‍ය ආරක්ශිත ක්‍රියාමාර්ග අනුගමනය නොකර නෙමේ ද එන්නතේ සාත්තකත්වය බලන්නෙ ?

    ReplyDelete
    Replies
    1. //එන්නත ලබා ගත්තු අයටත් රෝගය වැලදෙනවනම් එන්නත සාර්තකයි කියන්න පුළුවන්ද?//

      ඕනෑම එන්නතකින් කරන්නේ කිසියම් රෝගයකට ශරීරයේ ප්‍රතිශක්තිය ඇති කරන එක. කිසිම එන්නතකින් රෝගය හැදෙන එක 100%ක් වළක්වන්නේ නැහැ. 95%ක ඵලදායීතාවයක් කියන්නේ ඉතාම ඉහළ අගයක්. ඒ වගේම ඇඟේ ප්‍රතිශක්තිය තිබෙන නිසා රෝගය හැදුණත් එය දරුණු වෙන්නේ නැහැ. ඒ වගේම, රටේ යම් අවම ප්‍රතිශතයක් එන්නත ලබාගැනීමෙන් පසුව රෝගය මුළුමනින්ම නැති වී යනවා. ඇතැම් වසංගත රෝග ලෝකයෙන් තුරන් කර තිබෙන්නේ මේ ක්‍රමයටයි. රටක එන්නත් වැඩසටහනක ප්‍රධාන ඉලක්කය වන්නේ මේ තත්ත්වය (සාමූහික ප්‍රතිශක්තිය) ඇති කර රෝගය දුරු කර දැමීම මිස තනි පුද්ගලයින්ට රෝගය හැදෙන එක වැළැක්වීම නෙමෙයි. එය ද්වීතියික හා පෞද්ගලික කාරණයක්.

      //එන්නත ලබා ගත්තු අය වෙනත් සෞඛ්‍ය ආරක්ශිත ක්‍රියාමාර්ග අනුගමනය නොකර නෙමේ ද එන්නතේ සාත්තකත්වය බලන්නෙ ?//

      එහෙම කරන එක ආචාර ධාර්මිකව නිවැරදි නැහැනේ. මේ වගේ වසංගත අවස්ථාවක බොහෝ දෙනෙක් කවර හෝ ආරක්‍ෂිත ක්‍රියාමාර්ගයක් ගන්නවා. සසම්භාවී සායනික පරීක්ෂාවකදී කරන්නේ එවැනි සාමාන්‍යයෙන් කෙනෙක් ගන්නා ආරක්‍ෂිත ක්‍රියාමාර්ග ගැනීමෙන් (හෝ නොගැනීමෙන්) පසුවත් රෝගය වැළඳෙන එක කොයි තරම් අඩු වෙනවාද කියා පරීක්ෂා කර බලන එකයි.

      Delete
  6. බොහොම පිං මෙහෙම තොරතුරු ලියනවට
    ඔබටත් ලැබේවා එන්නත් ඉක්මනට
    රෝ බිය කිසිත් නොම වේවා ඔබ හැමට
    ආසිරි! නත්තලට සහ නව වසරකට

    ReplyDelete
    Replies
    1. හදිසියේම නොවුනත් ලබන වසරේ මැද වන විට වසංගතය සෑහෙන තරමකින් පාලනය වෙයි. ඔබටත් නිදුක් නිරෝගී සැප!

      Delete
  7. 95% සාර්ථකයි කියන එකේ තේරුම අද තමයි හරියටම දැන ගත්තේ. ඉකොනො ට ස්තුති. මේ වගේ පරිපුර්ණ විස්තරයක් සිංහලෙන් ලියවෙන්නේ බොහොම අඩුවෙන්.

    ReplyDelete
  8. නත්තලට එන්නතක්
    බලාගෙන හිටි අපට
    කොත්තමල්ලි විලාසෙන්
    කන්ටේනර විසිඅටක්ම
    කටගාවට පුරවපු කුණු
    යුක්රේනෙන් ඇවිල්ලාලු
    අනේ වාසනාවන්!


    ReplyDelete
  9. අපට (ලන්ඩනයට ) එන්නටත් ලැබිල. නමුත් තත්ත්වය එපමණ හොඳ නැහැ අලුත් ප්‍රභේදය නිසා. අපට ලැබෙයි කියල හිතනවා මාර්තු වෙද්දී. පැණියට වඩා නම් මම එන්නතට කැමැතියි. ලංකාවේ මගේ extended family එක ගැන ටිකක් දුකයි. දැනට දන්නා හඳුනන අය කිහිප දෙනෙක්ම මිය ගිහින්. අතුරු ආබාධ තිබූ අය තමා. නත්තලෙන් පසුව බලමු.

    ReplyDelete
    Replies
    1. එන්නත ආවත් සාමූහික ප්‍රතිශක්තිය ඇති වන තුරු අවදානම තිබෙනවා.

      Delete
  10. ඇමරිකාවේ අය සල්ලී දීල ද එන්නත ගන්න ඕනේ ? රජයෙන් හැමෝටම නොමිලේ දෙනවද එන්නත ?

    ReplyDelete
    Replies
    1. රජයෙන් හැමෝටම නොමිලේ දෙනවා, ඇනෝ.

      Delete
  11. ඉකෝ පොඩි කාරණයක් දැන ගන්න අවශ්‍යයි. රාසායන විද්‍යාව විශේෂ උපාධියක් ලංකාවේ විශ්වවිද්‍යාලයකින් හාරපු කෙනෙක්ට , ඇමරිකාවේ Msc එක කරන්න ශිෂ්‍යත්ව අයදුම් කරන්න පුලුවන් නේ. එතකොට හොදටම English බැරි නම් English ඉගෙන ගන්න ගමන් Msc වගේ කරන්න පුලුවන් ද දන්නව ද?

    USA වලට ielts ඕනේ නෑ නේ එන්නත්. දන්නවා නම් පොඩක් කියන්න පුලුවන් ද?

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ සරසවි සාමාන්‍යයෙන් බලන්නේ TOEFL සහ GRE. අනෙකුත් හැම දෙයක්ම හොඳනම් ප්‍රශ්නය ඉංග්‍රීසී ප්‍රවීණතාවය මදිකම පමණක්නම් මුලින් ඉංග්‍රීසි ඉගෙන ගෙන පසුව පාඨමාලාවට ලියා පදිංචි වෙන එක කළ නොහැකි දෙයක් නෙමෙයි. මම දන්නා එසේ කළ අය ඉන්නවා (රසායන විද්‍යාව හදාරපු අය හෝ ලංකාවේ අයනම් නෙමෙයි). තෙවන පාර්ශ්වයකින් ලබා දෙන ශිෂ්‍යත්වයකින් ඉංග්‍රීසි භාෂා පාඨමාලාවේ වියදමත් ආවරණය වෙනවානම් සාමාන්‍යයෙන් සරසවියක් පාඨමාලාවකට බඳවා ගන්න මැලි වෙන්නේ නැහැ. එහෙත්, කවුරු හෝ මහාචාර්යවරයෙකුට ලියලා එවැන්නෙකුගේ grant සල්ලි වලින් එන්න බලනවානම් මම හිතන විදිහට වැඩේ ටිකක් අමාරුයි.

      Delete
  12. ඉකොනෝ,
    ඔ⁣බේ ලිපිය කියවන විට මෙහෙම අදහසක් ආවා. විශේෂයෙන්ම දැන් ලෝකයේ  ඩොලර් 23 ගනනේ තියා ඩොලර් 3.50 ගණනින්වත් මේ බෙහෙත මිලදී ගන්න බැරි රටවල් තියෙනවානේ. ලංකාවත් ඒ category  එකට  අයිතියිනේ. වැඩිපුර කහ ලඟ තියා ගත්තත් හිරේ දාන රටකට පුලුවන්ද PfIZER -BioNtech හෝ Moderna  එන්නත් මිලදී ගන්න? බැහැනේ!

    ඒක නිසා දැන් vaccine nationalism එකක් ඇති වෙලා තියෙනවා වාගෙයි නේද? ඒ කියන්නේ සල්ලි/ප්‍රාග්ධනය තියෙන රටවල්වල උදවිය මුලිනුත් ප්‍රාග්ධනය නැති රටවලට අන්තිමයටත් ලෙසින් නොවෙයිද මේ vaccine එක ලැබෙන්න යන්නේ?

    තරඟකාරීත්වය නිසා තමයි, ඔබ කියන විධියටම, මෙපමණ ඉක්මනින් මේ vaccine එක එලියට ආවේ. නමුත් එහෙම කියලා දුප්පත් එකාට මේ vaccine එක දෙන එක ප්‍රමාද වීමේ සමාජ අසමානතාවයක් සහ මනුෂ්‍යත්වයට නොගැලපෙන අසාධාරණයක් තියෙනවා නේද?

    දැන් බලන්න, ලංකාවේ  අර මේසන් බාස් පැණිය හොයාගෙන අං තට්ටුව නැති ජනතාව වුනත් වියදම් කරගෙන ආවේ මේ වසංගතයෙන් ගැලවෙන මඟක් හොයාගන්න නේද? තමන් ඡන්දය දුන් එවුන්ට දැන්  වගේ වගක් නැති බව දැන දැනත් මේ මිනිස්සු තවමත් ආණ්ඩුව මත යැපෙන්න බලනවා.

    සෑම යුගයකම ඉංජිනේරුවකුගේ කාර්යය භාරය වනාහී මිනිස් වර්ගයා මුහුණ දෙන ප්‍රශ්නවලට පිලිතුරු සම්පාදනය කිරීම නිසායි,(චම්පික සහ ග්‍රේරෝ හැර) මේ ප්‍රශ්නය ඔබට ඉදිරිපත් කරන්නේ?

    CP-C

    ReplyDelete
    Replies
    1. ඉතාම හොඳ ප්‍රශ්නයක්. මම පිළිතුරු සපයන්නේ ඔබ අහනවා කියා හිතන වඩා පුළුල් දාර්ශනික ප්‍රශ්නයට. මේ අවස්ථාවේ ඇති වී තිබෙන තාවකාලික ප්‍රශ්නයට නෙමෙයි.

      අපි මෙහෙම කියමු.

      X = කිසියම් රටක් ධනවත් රටක් වීම
      Y = කිසියම් රටක මිනිස්සුන්ට ඉක්මණින් කෝවිඩ් එන්නත් ලැබීම

      X හා Y අතර සහසම්බන්ධයක් තිබෙන බව ඉතාම පැහැදිලියි. ක්‍රම කිහිපයකට X හා Y අතර සහසම්බන්ධයක් ඇති වෙන්න පුළුවන්.

      1. X -> Y
      2. Y -> X
      3. Z -> X හා Z -> Y
      4. ඉහත (1),(2),(3) හි කිසියම් එකතුවක්.

      පවතින තත්ත්වය බැලූ බැල්මටම පෙනෙන්නේ X -> Y බවයි. ඒ කියන්නේ මේ සහසම්බන්ධයේ ප්‍රභවය X හේතුවෙන් Y සිදුවීම හෙවත් X සිට Y දක්වා වන හේතුඵල සම්බන්ධයක්. ඒ විදිහට සරලව විග්‍රහ කළොත් සමාජ ඉංජිනේරුවෙකුට තිබෙන විසඳුම් මොනවාද?

      a. හේතුඵල සම්බන්ධය ප්‍රයෝජනයට ගනිමින් X වෙනස් කිරීම හරහා Y වෙනස් කිරීම.
      b. හේතුඵල සම්බන්ධය කඩා දැමීම.

      ප්‍රශ්නය ඇති වී තිබෙන්නේම ඇතැම් රටවලට X වෙනස් කර ගැනීමට නොහැකි නිසා. ඒ නිසා, මේ විග්‍රහය ඇතුළේ a විසඳුමක් වන්නේ නැහැ. මොකද පහසුවෙන් X වෙනස් කර ගත හැකිනම් මෙහි ඔබ මතු කරන ප්‍රශ්නයම නැහැ. ප්‍රශ්නයක් නැති නිසා විසඳුමක අවශ්‍යතාවයක්ද නැහැ.

      සාකච්ඡාව ඉදිරියට ගෙනයාම සඳහා ඔබ යෝජනා කරන්නේ b විසඳුම කියා අපි කියමු. (ඔබ පෞද්ගලිකව ඇත්තටම එසේ යෝජනා කරනවා කියා මම කියන්නේ නැහැ). මෙය විසඳුමක් නොවන්නේ ඇයි?

      සමාජ ඉංජිනේරුවෙකු විසින් මොන විදිහකින් හෝ මේ හේතුඵල සම්බන්ධය කඩා දැම්මා කියා කියමු. එහෙම වුනා කියා හැමෝටම එකවර එන්නත් ලැබෙන්නේ නැහැ. මොකද ඉල්ලුමටට සාපේක්ෂව සැපයුම සීමිතයි. ඒ නිසා, මොන විදිහකින් හෝ ගැලපීමක් සිදු විය යුතුයි. එක්කෝ මේ ගැලපීම වෙනත් ආකාරයක සහසම්බන්ධයක් විය යුතුයි. එහෙම නැත්නම් කිසිදු සහසම්බන්ධයක් නැති අහඹු ගැලපීමක් විය යුතුයි. නමුත්, මෙහි X ඇති වන්නේම X -> Y හේතුඵල සම්බන්ධය නිසා. එම හේතුඵල සම්බන්ධය ඉවත් කළ වහාම X ද නැතිව යනවා. එවිට අපේක්ෂිත විසඳුම තවදුරටත් විසඳුමක් වන්නේ නැහැ.. ඒ විකල්ප තත්ත්වයට සාපේක්ෂව පවතින තත්ත්වය හොඳ තත්ත්වයක්.

      ඇත්තටම මෙය X -> Y ආකාරයේ සරල දෙයක් නෙමෙයි. මෙහි බොහෝ දුරට තිබෙන්නේ Z -> X හා Z -> Y ආකාරයේ සම්බන්ධයක්. ධනවත් රටවල් ධනවත් වී සිටින්නේත් (X), ධනවත් රටවලට එන්නත මුලින්ම ලැබෙන්නේත් (Y) වෙනත් තෙවන කරුණු ගණනාවක් (Z) නිසා. එම කරුණු අතර මිනිස්සුන්ට වෙනස් කළ හැකි මිනිස්සුන්ගේ තේරීම් තිබෙනවා. එම තේරීම් වෙනස් කිරීම හරහා X වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම X වලින් ස්වායත්තව Y වෙනස් කරන්නත් පුළුවන්. ඒ නිසා, සමාජ ඉංජිනේරුවෙක්ගේ කාර්ය භාරය වන්නේ එම Z වෙනුවෙන් පෙනී සිටීමයි.

      Delete
  13. "මුත්, මෙහි X ඇති වන්නේම X -> Y හේතුඵල සම්බන්ධය නිසා. එම හේතුඵල සම්බන්ධය ඉවත් කළ වහාම X ද නැතිව යනවා. එවිට අපේක්ෂිත විසඳුම තවදුරටත් විසඳුමක් වන්නේ නැහැ.. ඒ විකල්ප තත්ත්වයට සාපේක්ෂව පවතින තත්ත්වය හොඳ තත්ත්වයක්"
    I think here X need to be changed as Y. If not can u explain pls.

    ReplyDelete
    Replies
    1. Pharmaceutical companies are profit motivated. They know that they can sell a vaccine at a reasonable price to many people living in rich countries if they can lead the market. For that, they need to develop a highly effective vaccine faster. This requires a huge investment and carries a huge risk. The probability of failure is very high, not just because of technical reasons but because of economic factors. Any firm would be cautious before taking such a high risk. The US and many other Western countries funded some of these companies using tax money, transferring a part of that risk to the taxpayers in respective countries. It was that money which made those vaccines into existence (X here). In other words, the mere existence of X is a result of the potential causal relationship X -> Y. You may be confused because the nature of the relationship implies that X should first exist to have a relationship of this nature. In this case, the relationship was established even before X existed. Taxpayers in the US and several other western countries paid for many vaccines up front even before they existed, those up-front payments created several highly effective vaccines within a relatively short period. It was not just the money since money alone would not have done this. Most people living in those countries believed that the solution to the pandemic is an effective vaccine and financial incentives would bring an effective vaccine into existence faster. In other words, they believed in existing knowledge in virology and relied on existing epidemiologic models and economic models and were ready to bet on those models. The money pumped for these vaccine development projects did not appear out of thin air. Those investments are hard earned money of people living in these countries. They worked hard facing the risk of death to make sure that the economic machine runs smoothly, and many sacrificed their lives doing that- 330,000+ in the US alone. If the social norm was to “equally distribute” the vaccines to people living in rich and poor countries, many of these vaccines would never have come into existence. Because of the sacrifices of people living in so-called rich countries now effective vaccines do exist and people who contributed to those vaccines will get it first. Those who did not and those who even criticized this entire process also will ultimately be benefited from these vaccines.

      Delete
  14. Thank you v much....this explains the fact

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...