ලොකු සාද හෝ එකතු වීම් නැතිව, පවුලේ සාමාජිකයින් පමණක් එකතුව පවත්වන මෙවර නත්තල ඇමරිකානුවන්ට සරු නත්තලක් කියා මොන විදිහකින්වත් කියන්න බැහැ. මේ වන විට ඇමරිකානුවන්ගෙන් දහසකට එක් අයෙක් කෝවිඩ්-19 හේතුවෙන් මිය ගිහින්. මේ වන විටත් දිනකට තවත් මරණ තුන් දහසකට වඩා වැඩි ප්‍රමාණයක් ඉහත ගණනට එකතු වෙනවා. කොහොම වුනත්, මෙවර නත්තලේදී නත්තල් සීයා අරගෙන එන වටිනාම තෑග්ග කෝවිඩ්-19 එන්නතක්.
කෝවිඩ්-19 සඳහා වන පයිසර්-බයෝඑන්ටෙක් එන්නතට පසුගිය 11 වනදාත්, මොඩර්නා එන්නතට පසුගිය 18 වනදාත් පවතින හදිසි තත්ත්වය යටතේ ඇමරිකාව තුළ භාවිතය සඳහා අවසර ලැබුණා. ඊයේ (දෙසැම්බර් 23) උදෑසන වන විට ඇමරිකානුවන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් විසින් මේ එන්නත් දෙකෙන් එකක පළමු මාත්‍රාව ලබා ගෙන තිබුණා.
පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් දෙකේම ඵලදායීතාවය ආසන්න වශයෙන් 95% තරම් ඉහළ අගයක්. මුල් අදියරේදීම මෙතරම් ඉහළ ඵලදායීතාවයක් තිබෙන එන්නත් නිපදවා ගැනීමට හැකි වීම අපේක්ෂා කළාට වඩා ගොඩක් හොඳ තත්ත්වයක්. 70% තරමේ ඵලදායීතාවයක් ඇති එන්නතකට වුවත් මුල් අදියරේදී හදිසි භාවිතාව සඳහා අනුමැතිය ලැබිය හැකිව තිබුණා. ලෝක ඉතිහාසය තුළ මිනිස් වර්ගයා විසින් මෙතරම් සාර්ථක ලෙස හා මෙවැනි කෙටි කලකින් මෙවැනි දරුණු වසංගතයකට මුහුණ දිය හැකි සාර්ථක ක්‍රමයක් සොයාගත් මුල් අවස්ථාව මෙය විය හැකියි.
අවම වශයෙන් ලෝකයේ රටවල් ගණනාවක සමාගම් දෙසීයකට අධික ප්‍රමාණයක් කෝවිඩ්-19 සඳහා එන්නත් නිපදවීමේ කාර්යය තුළ සිටියා. ඉක්මන් හා සාර්ථක ප්‍රතිඵල ලැබෙන්න හේතු වුනේ මේ එන්නත් නිෂ්පාදකයින් අතර වූ තරඟයයි.
මේ විදිහට තරඟ නොකර කවුරුත් එකතු වී එක එන්නතක් නිපදවූවානම් මීට වඩා හොඳ නැද්ද?
පැහැදිලිවම නැහැ. එන්නතක් "සොයා ගැනීමේ" මූලික කටයුතු ටික කරන්න මහා විශාල පිරිසක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම, ඒ වැඩේට විශාල කාලයක් යන්නේත් නැහැ. සමහර විට අවශ්‍ය දැනුම හා පුහුණුව තිබෙන හත් අට දෙනෙකුගෙන් යුතු කණ්ඩායමකට සති කිහිපයක් තුළ කළ හැකි දෙයක්. මේ දැනුම හා පුහුණුව තිබෙන අය ලෝකයේ බොහෝ රටවල ඉන්නවා. ඒ හැමෝම එකතු වුනා කියලත් ඔය වැඩේ ඔයිට වඩා හොඳින් හෝ ඉක්මණින් කරන්න බැහැ. එහෙම වුනානම් වෙන්නේ දැන් තිබෙන දෙසිය ගණනක් වන විකල්ප වෙනුවට එක් විසඳුමක් පමණක් ඉතිරි වීමයි. එහි ඵලදායීතාවය ඉහළ මට්ටමක නොතිබෙන්න පුළුවන්.
එහෙමනම් එන්නතක් හදන්න අවුරුද්දකට කිට්ටු කාලයක් ගියේ ඇයි?
ඇත්තටම එන්නත් හදන්න සති කිහිපයකට වඩා කාලයක් ගත වී නැහැ. ඉතිරි කාලය අවශ්‍ය වන්නේ මේ එන්නත් වල සුරක්ෂිතතාව හා ඵලදායීතාවය පරීක්ෂා කර තහවුරු කරන්නයි. ඒ සඳහා නිශ්චිත අවම කාලයක් යනවා. එන්නත ලබා දී වසර දෙකකට පසුව එහි අතුරු ආබාධයක් නොඑන බව තහවුරු කරගන්නනම් අඩුම වශයෙන් වසර දෙකක් ඉන්නම වෙනවා. වැඩියෙන් මුදල් හා පිරිස් බලය යෙදෙවූවා කියා මේ කාලය අඩුකරන්න පුළුවන්කමක් නැහැ.
අපි හිතමු වෙනත් කිසියම් විකල්ප ක්‍රමයකින් කෝවිඩ්-19 වැළැක්විය හැකි ක්‍රමයක් ඉක්මණින් හොයා ගත්තා කියලා. එහෙම හොයා ගත්තත් එහි සුරක්ෂිතතාව හා ඵලදායීතාවය පරීක්ෂා කර තහවුරු කර ගැනීම සඳහා ඔය වගේම කාලයක් ගතවෙනවා. එහෙම නැතුව එය කෝවිඩ්-19 වලක්වන බව නිශ්චිතව කියන්න පුළුවන්කමක් නැහැ. යම් කෙනෙකුට එවැනි නිසි පරීක්ෂාවකින් තොරව අදාළ විකල්ප ක්‍රමය පිළිබඳව විශ්වාසය තැබීමේ හැකියාව තිබෙනවා. එය සමාන කළ හැක්කේ කෝවිඩ්-19 සඳහා වන එන්නතක් එය "සොයා ගත්" වහාම නිසි පරීක්ෂාවකින් තොරව භාවිතා කිරීමටයි.
උදාහරණයක් විදිහට මොඩර්නා එන්නත වැඩි දියුණු කළ වහාම, සායනික පරීක්ෂණ කිසිවක් සිදු නොකර කිසියම් රටක රජයක් මැදිහත් වී එය මහා පරිමාණයෙන් ඒ රටේ මිනිස්සුන්ට ලබා දුන්නා කියා හිතමු. එසේ කළානම් ඒ රට කෝවිඩ් වලින් සම්පූර්ණයෙන්ම වාගේ බේරෙන්න ඉඩ තිබුණා. හැබැයි එය එසේ විය හැකිව තිබුණු බව අප දන්නේ දැනුයි. යම් හෙයකින් මේ එන්නත ඵලදායී නොවූවානම් ඒ විදිහට එන්නත ලබා දුන්නා කියා කිසිම වැඩක් වෙන්නේ නැහැ.
එන්නතක ඵලදායීතාවය කියා කියන්නේ කුමක්ද?
පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් දෙකේම ඵලදායීතාවය ආසන්න වශයෙන් 95% පමණ බව ගොඩක් අයට ඇහිලා ඇතිනේ. මෙයින් අදහස් වෙන්නේ කුමක්ද? එන්නත ලබාගත්තාට පසුවත් කෝවිඩ්-19 හැදෙන්න 5%ක ඉඩක් තිබෙනවා කියන එකද?
පැහැදිලිවම නැහැ. එය අනිවාර්යයෙන්ම ඊට වඩා අඩු සම්භාවිතාවක්.
එන්නතක් ලබා ගත්තත් නැතත් හැමෝටම කෝවිඩ්-19 හැදෙන්නේ නැහැ. ඒ නිසා, එන්නතක් (හෝ වෙනත් විකල්පයක්) ලබා ගැනීමෙන් පසුව එය ලබාගත් බොහෝ දෙනෙකුට කෝවිඩ්-19 හැදුනේ නැතත්, එසේ කෝවිඩ්-19 හැදුනේ නැත්තේ අදාළ එන්නත හෝ වෙනත් විකල්පය නිසා කියා කියන්න බැහැ.
තෙවන අදියරේ සායනික පරීක්ෂා වලදී මොඩර්නා එන්නත 15,185 දෙනෙකුට ලබා දී තිබෙනවා. නොවැම්බර් 21 දින වන විට ඔවුන්ගෙන් 11 දෙනෙකුට කෝවිඩ්-19 ආසාදනය වී තිබෙන නමුත් ඉතිරි කිසිවෙකුට කෝවිඩ්-19 ආසාදනය වී නැහැ. මේ අනුව එන්නත ලබා ගෙන සති 9කට පමණ පසුව එය ලබාගත් අයගෙන් 99.9%ක්ම කෝවිඩ් වලින් බේරී සිටිනවා.
ඉහත ප්‍රතිඵලය මත පදනම්ව මොඩර්නා එන්නත 99.9%ක් සාර්ථක බව කියන්න පුළුවන්ද? කිසිසේත්ම බැහැ. සමහර විට මේ එන්නත ලබා දුන්නේ ලංකාවේනම් එන්නත ලබාගත් කාටවත්ම කෝවිඩ් නොහැදෙන්න වුනත් ඉඩ තිබුණා. එන්නත ලබා ගත් බොහෝ දෙනෙකුට කෝවිඩ් නොහැදුනේ ඔවුන් වෛරසයට නිරාවරණය නොවූ නිසා හෝ ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තිය හේතුවෙන් මිස එන්නත නිසා නොවෙන්න පුළුවන්. එහෙමනම්, එන්නතේ ඵලදායීතාවය හොයා ගන්නේ කොහොමද?
එන්නතක හෝ වෙනත් ඖෂධයක ඵලදායීතාවය හොයා ගන්න සසම්භාවී සායනික පරීක්ෂණ පවත්වන්නේ එන්නත ලබා නොගත්තත් බොහෝ දෙනෙකුට කෝවිඩ් වැළඳෙන්නේ නැති නිසයි. තෙවන අදියරේ මොඩර්නා සායනික පරීක්ෂණ සඳහා 30,350 දෙනෙකු යොදාගෙන තිබෙන අතර පයිසර්-බයෝඑන්ටෙක් සායනික පරීක්ෂණ සඳහා 43,651 දෙනෙකු යොදා ගෙන තිබෙනවා. සසම්භාවී සායනික පරීක්ෂණයකදී කරන්නේ මේ අයගෙන් ආසන්න වශයෙන් බාගයකට නියම එන්නතත්, අනෙක් බාගයට බොරු එන්නතකුත් ලබා දෙන එකයි. බොරු එන්නත ලබාගත් කණ්ඩායමේ අයට කෝවිඩ් වැඩියෙන් හැදී ඇත්ත එන්නත ලබාගත් අයට අඩුවෙන් හැදෙනවානම් එයින් පැහැදිලි වන්නේ එන්නත වැඩ කරන බවයි.
මේ වගේ පරීක්ෂණයක් සාර්ථක වෙන්නනම් කරුණු කිහිපයක් ඉටු විය යුතුයි. සසම්භාවී සායනික පරීක්ෂණයක මූලික උපකල්පනයක් වෙන්නේ කණ්ඩායම් දෙක සමාන කණ්ඩායම් දෙකක් බවයි. දහ දෙනෙකුගේ පමණ කුඩා කණ්ඩායමක් අහඹු ලෙස පහේ ගොඩවල් දෙකකට දැම්මා කියා ඒ කණ්ඩායම් දෙක හරියටම සමාන වන්නේ නැහැ. එහෙත්, තිස් දහසක පමණ විශාල කණ්ඩායමක් අහඹු ලෙස ගොඩවල් දෙකකට බෙදූ විට එම කණ්ඩායම් දෙක අතර අසමානතා නැති තරම්. පරීක්ෂණය සඳහා යොදා ගන්නා කණ්ඩායම් දෙක සමාන සේ සැලකිය හැක්කේ විශාල පිරිසක් පරීක්ෂණය සඳහා යොදා ගන්නා තරමටයි. ඒ සඳහා සැලකිය යුතු කාලයක් හා මුදලක් වැය වෙනවා. ඒ වගේම, එන්නතේ අතුරු ආබාධ තිබිය හැකි නිසා මෙය අවදානම් කටයුත්තක්.
සායනික පරීක්ෂණ සඳහා විශාල පිරිසක් යොදවා ගැනීමේ අවදානම අඩු කර ගැනීම සඳහා මුලින්ම තෝරාගත් සුළු පිරිසකට එන්නත ලබා දිය යුතුයි. ඊට පෙර, එහි සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සඳහා වෙනත් පරීක්ෂණ කළ යුතුයි. මේ එක් එක් අදියරේ පරීක්ෂා සඳහා යම් අවම කාලයක් ගත වෙනවා. ඒ කාලය අඩු කරන්න බැහැ. කාලය අඩු කිරීම අවදානම වැඩි කිරීමක්.
සසම්භාවී සායනික පරීක්ෂණයක් සඳහා විශාල පිරිසක් යොදවා ගත්තත්, එය ලබාගත් පිරිස කෝවිඩ් ආසාදනය කරන වෛරසයට නිරාවරණය වුනේ නැත්නම් කොහොමටවත් කෝවිඩ් නොහැදෙන නිසා එන්නතේ ඵලදායීතාවය පරීක්ෂා කරන්න විදිහක් නැහැ. එහෙමයි කියලා පරීක්ෂණයට සහභාගී වුනු අයට කෝවිඩ් හැදීමේ ඉඩකඩ වැඩි කරන්න පුළුවන්කමකුත් නැහැ. ඒ නිසා, මේ කණ්ඩායමේ සැලකිය යුතු පිරිසක් සාමාන්‍ය තත්ත්වයන් යටතේ වෛරසයට නිරාවරණය වන තුරු බලා ඉන්න වෙනවා.
මොඩර්නා සායනික පරීක්ෂණ සඳහා යොදාගත් අයගෙන් 15,185 දෙනෙකුට ඇත්ත එන්නත ලබා දුන්නා. ඉතිරි 15,165 දෙනෙකුට ලබා දුන්නේ බොරු එන්නතක්. ඇත්ත එන්නත ලබාගත් 11 දෙනෙකුට කෝවිඩ්-19 ආසාදනය වෙද්දී බොරු එන්නත ලබාගත් 185 දෙනෙකුට කෝවිඩ්-19 ආසාදනය වී තිබෙනවා. කණ්ඩායම් දෙක සමාන කණ්ඩායම් නිසා, එන්නත ලබා නොදුන්නානම් එය ලබාගත් කණ්ඩායමේද 185 දෙනෙකු ආසාදිතයින් විය හැකි බව අපට උපකල්පනය කරන්න පුළුවන්. ඒ අනුව, එම ප්‍රමාණය 11 දක්වා අඩු වී තිබෙන්නේ එන්නත නිසා බව උපකල්පනය කළ හැකියි. ඒ කියන්නේ එන්නත ලබා ගැනීම නිසා 185 - 11 = 174 දෙනෙකු කෝවිඩ් වලින් බේරිලා.
මේ ආකාරයේ සසම්භාවී සායනික පරීක්ෂාවක් නොකළේනම් අපට පෙනෙන්නේ එන්නත ලබාගත් 15,185 දෙනෙකුගෙන් 15,174 දෙනෙකුම එන්නත නිසා කෝවිඩ් වලින් බේරුණු බවයි. ඇමරිකාවේ කෝවිඩ් මේ තරමටම ප්‍රචලිතව නොතිබුණානම්, දැනට ලංකාවේ ප්‍රචලිතව ඇති මට්ටමේ තිබුණානම්, එන්තත ලබාගත් කිසිවෙකුට කොවිඩ් නොවැළඳෙන්න ඉඩ තිබුණා. ඒ වගේම නියැදිය මෙපමණ විශාල නොවී, නියැදියේ ප්‍රමාණය දහසක් පමණ වුනානම් බොහෝ විට එම නියැදියෙන් කොවිඩ් වැළඳුනු කිසිවෙකු හමු නොවෙන්න ඉඩ තිබුණා.
එන්නත ලබාගත් 15,185 දෙනෙකුගෙන් 15,000කටම කෝවිඩ් නොවැළඳුනේ එන්නත නිසා නොව වෛරසයට නිරාවරණය නොවූ නිසා හෝ ස්වභාවික ප්‍රතිශක්තිය නිසා මිස එන්නත නිසා නොවන බව අප දන්නේ සසම්භාවී සායනික පරීක්ෂාවක් කළ නිසයි. එන්නත නොතිබුණත් කෝවිඩ්-19 හැදෙන්නට ඉඩ තිබුණේ ඉතිරි 185 දෙනාට පමණයි. ඒ 185 දෙනාගෙන් 11 දෙනෙකුට මොඩර්නා එන්නත අරගෙනත් කෝවිඩ් හැදිලා. ඒ නිසා, එන්නත නිසා රෝගය වැලකී තිබෙන්නේ 185 දෙනෙකුගෙන් 174 දෙනෙකුගේ පමණයි. මෙය ප්‍රතිශතයක් ලෙස 174/185 = 94%ක්. මොඩර්නා එන්නත ආසන්න වශයෙන් 95%ක් ඵලදායී බව කියන්නේ මේ පදමිනුයි.
සැබෑ එන්නත හෝ බොරු එන්නත ලබාගෙන කාලය ගත වෙද්දී කණ්ඩායම් දෙකේම අය වැඩි වැඩියෙන් වෛරසයට නිරාවරණය වෙමින් සිටිනවා. එහිදී, කණ්ඩායම් දෙකේ වෛරස් ආසාදිතයින් ප්‍රමාණ අතර පරතරය එන්න එන්නම පුළුල් වෙමින් පවතිනවා.
මේ ආකාරයෙන්ම පයිසර්-බයෝඑන්ටෙක් සායනික පරීක්ෂණ වලදී 21,823 දෙනෙකුට සැබෑ එන්නතත්, 21,828 දෙනෙකුට සේලයින් දියරය අඩංගු බොරු එන්නතකුත් ලබා දී තිබෙනවා. බොරු එන්නත ලබාගත් 162 දෙනෙකුට කොවිඩ්-19 වැළඳෙන විට ඇත්ත එන්නත ලබාගත් කණ්ඩායමෙන් කෝවිඩ්-19 ආසාදිතයින් හමු වී තිබෙන්නේ 8 දෙනෙකු පමණයි. මේ අනුව, පයිසර්-බයෝඑන්ටෙක් එන්නත නිසා 162 දෙනෙකුගෙන් 154 දෙනෙකු කෝවිඩ්-19 වලින් බේරී තිබෙනවා. මෙය ප්‍රතිශතයක් ලෙස 154/162 = 95%ක්.
එන්නතක් ලබා ගැනීම පෞද්ගලික තීරණයක් වුවත් එය පෞද්ගලික යහපත වගේම පොදු යහපත සැලසෙන තීරණයක්. කිසියම් රටක හෝ ප්‍රදේශයක එන්නතක් ලබා ගන්නා පිරිස ඉහළ යන තරමට එන්නත ලබා නොගන්නා අයට රෝගය ආසාදනය වීමේ අවදානමත් විශාල ලෙස පහත වැටෙනවා. ඊයේ වෙද්දී ඇමරිකාව තුළ පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා කෝවිඩ් එන්නත් 9,465,725ක් බෙදා හැර තිබුණු අතර ඇමරිකානුවන් 1,008,025 දෙනෙකු විසින් මේ එන්නතක පළමු මාත්‍රාව ලබා ගෙන තිබුණා.
පයිසර්-බයෝඑන්ටෙක් එන්නත ලබාගත් අය දින 21කට පසුවත්, මොඩර්නා එන්නත ලබාගත් අය දින 28කට පසුවත් එන්නතේ දෙවන මාත්‍රාවක් ලබාගත යුතුයි. මේ එන්නතක් ලබා ගැනීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට එය ලබා ගත හැකි තරමේ එන්නත් සැපයුමක් තවමත් නැතත් මාර්තු අවසානය පමණ වන විට බොහෝ ඇමරිකානුවන්ට එන්නතක මාත්‍රාවක් ලබා ගන්න පුළුවන් වෙයි.
දැනට තිබෙන සීමිත එන්නත් ප්‍රමාණය වැඩි ප්‍රමුඛතාවයක් අවශ්‍ය අයට ලබා දෙන නිසා අපටනම් නත්තල් තෑගි විදිහට කෝවිඩ් එන්නත් ලැබෙන්නේ නැහැ. කොහොම වුනත්, සිංහල අවුරුදු තෑග්ගක් විදිහටවත් අපට කෝවිඩ් එන්නතක් ලැබෙයි. එතකන් ඉතින් අත්ත බිඳෙයි පය බුරුලෙන් තමයි!