මිනිසුන්ගේ කුදු මහත් අවශ්‍යතා අතරින් ප්‍රමුඛම අවශ්‍යතාවය ආහාර කියා කියන්න පුළුවන්. ඕනෑනම් තවත් පියවරක් පසුපසට ගිහින් මිනිස්සුන්ගේ ලොකුම ආශය ජීවත් වීමට ඇති ආශාව කියා කියන්න පුළුවන්. ජීවත් වෙන්න කෑම අවශ්‍ය වන නිසා ඒ එක්කම කෑම සඳහා වන අවශ්‍යතාවය මතු වෙනවා. ඉතිහාසය පුරා මිනිස්සු කෑම හොයා ගන්න බොහෝ අරගල කර තිබෙනවා.
ස්වභාවිකව හමු වෙන ආහාර වලින් පමණක් මිනිස්සුන්ට නඩත්තු වෙන්න පුළුවන් කාලයක් තිබුණා. ආහාර එකතු කරන්නෝ විදිහට එහෙමත් නැත්නම් දඩයක්කාරයෝ හැටියට මිනිස්සු ගත කරපු ඒ යුගයේදී බොහෝ මිනිස්සුන්ට එක්කෝ ආහාර නැති කමින් එහෙමත් නැත්නම් වෙනත් සතෙකුගේ ආහාරයක් වීමෙන් ජීවිතය අඩු වයසකදී අවසන් කරන්න සිදු වුනා. ඒ නිසා, ඒ කාලයේදී මිනිස් ජනගහණය ලොකුවට වර්ධනය වුනේ නැහැ. මේ තත්ත්වය තීරණාත්මක ලෙස වෙනස් වුනේ මිනිස්සු කෘෂිකාර්මික ජීවිතයකට පුරුදු වීමෙන් පසුවයි. ඒ එක්කම මිනිසුන්ගේ ජනගහණ වර්ධන වේගයත් යම් තරමකින් ඉහළ ගියා.
මුල් කාලයේදී කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා අවශ්‍ය වුනේ මිනිස් ශ්‍රමය හා ඉඩම් පමණයි. ඉඩම් සීමාකාරී සාධකයක් නොවූ නිසා සීමාකාරී සාධකය වුනේ මිනිස් ශ්‍රමයයි. මිනිස් ශ්‍රමය නිපදවන්න ආහාර අවශ්‍ය වුනා. ආහාර නිපදවන්න මිනිස් ශ්‍රමය අවශ්‍ය වුනා. මිනිස් ශ්‍රමය හා ආහාර අතර ශක්ති සංස්ථිතිය චක්‍රීය ලෙස සිදු වෙද්දී නිෂ්පාදන අතිරික්තයක් ලොකුවට තිබුණේ නැහැ. ඇතැම් කාල වල ඇතැම් ප්‍රදේශ වල නිෂ්පාදන අතිරික්තයක් නොතිබුණා නෙමෙයි. ඒ බොහෝ විට වාසිදායක කාලගුණ තත්ත්වයන් පැවති විටයි.
කෘෂි කර්මාන්තය සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතය ආරම්භ වීමත් සමඟම නිෂ්පාදන කාර්යක්ෂමතාවය සැලකිය යුතු ලෙස ඉහළ ගියා. මෙයට සමාන්තරව කෘෂිකාර්මික ඉඩම් සීමාකාරී සාධකයක් වෙන්න පටන් ගත්තා. අවසාන ප්‍රතිඵලය වුනේ නිෂ්පාදිතය ශ්‍රමිකයා, ඉඩම් හිමිකරු සහ අනෙකුත් නිෂ්පාදන සාධක වල හිමිකරු අතර බෙදී යා යුතු වීමයි. දැන් පවතින තත්ත්වය මෙවැන්නක්.
කෘෂිකාර්මික නිෂ්පාදිත ප්‍රමාණය වැඩි කරන්නනම් ශ්‍රමය, ඉඩම් හා යන්ත්‍ර සූත්‍ර කියන නිෂ්පාදන සාධක තුනෙන් එකක් හෝ වැඩි ගණනක් වැඩි කළ යුතුයි. එහිදී, මේ එක් එක් සාධකයක් වෙනුවෙන් අමතර මිලක් ගෙවිය යුතු වෙනවා. ඉහළ දැමිය යුත්තේ කවර සාධකයද කියන එක තීරණය වන්නේ මේ එක් එක් සාධකය වැඩි කළ විට ලැබෙන ප්‍රතිඵල හා ඒ වෙනුවෙන් ගෙවිය යුතු මිල මතයි. මෙහිදී මා යන්ත්‍ර සූත්‍ර කීමේදී අදහස් කරන්නේ ඉඩම් හැර නිෂ්පාදනය සඳහා යොදා ගැනෙන අනෙකුත් සියලු ආකාර වල ප්‍රාග්ධනයයි.
බ්‍රිතාන්‍යයින් ලංකාවට පැමිණ තේ වැවුවේ ලංකාවෙන් අඩු වියදමකින් ඉඩම් හොයා ගන්න පුළුවන් වූ නිසයි. ඉන්දියාවෙන් ලංකාවට ශ්‍රමිකයින් ගෙනාවේ ඉන්දියාවේ ශ්‍රමය වඩා ලාබ වූ නිසයි. ඒ යුගයේ මෙන් බලය යොදා භූමිය අත්පත් කරගෙන කෘෂිකාර්මික ඉඩම් ප්‍රසම්පාදනය කර ගැනීම දැන් කිසිම රටකට කළ හැකි දෙයක් නෙමෙයි. ඒ නිසා, කෘෂි කර්මාන්තයෙන් ලාබ ගන්නනම් එක්කෝ ඉඩම් ඇති තැනකට ලාබ ශ්‍රමය රැගෙන එන්න වෙනවා. එසේ නැත්නම්, ලාබ ශ්‍රමය ඇති තැනකින් වැඩි මිලක් හෝ ගෙවා ඉඩම් හොයා ගන්න වෙනවා.
රටක ආර්ථිකය ටිකෙන් ටික ඉදිරියට යන කොට ශ්‍රමයේ මිලත් ටිකෙන් ටික ඉහළ යනවා. ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 60,000ක් පමණ වෙනවා. ඉන්දියාවේනම් මේ අගය ඩොලර් 2000ක් පමණයි. තිස් ගුණයක පමණ වෙනසක්. අපි හිතමු ඇමරිකාවේ ශ්‍රමිකයෙකුට දවසකට ඩොලර් සීයක් ගෙවිය යුතුයි කියා. ඉන්දියාවේ ශ්‍රමිකයෙකුටනම් ඩොලර් පහක් පමණ ගෙවීම ප්‍රමාණවත්. එහෙමනම්, ඇමරිකාවේ කෘෂිකාර්මික අංශයේ ව්‍යවසායකයෙක් මිල වැඩි ඇමරිකානු ශ්‍රමිකයෙක් වෙනුවට මිල අඩු ඉන්දියානුවෙක්ව ආදේශ නොකරන්නේ ඇයි? එසේ නොකර ඉන්දියාවේ අඩු ශ්‍රමය යොදා ගෙන නිපදවන අර්තාපල් රාත්තලක මිලට වඩා අඩුවෙන් ඇමරිකාවේ පාරිභෝගිකයෙකුට අර්තාපල් රාත්තලක් සපයන්නේ කොහොමද?
ඇමරිකානු ශ්‍රමිකයා වෙනුවට ඉන්දියානු ශ්‍රමිකයා ආදේශ කරන්නනම් එක්කෝ ඉන්දියානු ශ්‍රමිකයාව ඇමරිකාවට ගේන්න වෙනවා. එහෙම නැත්නම්, ගොවිපොළ ඉන්දියාවට ගෙනියන්න වෙනවා.
මෙතැනදී ඇමරිකාවේ ධනවාදයට ඇමරිකාවේ දේශපාලනය සම්මුඛ වෙනවා. අර ඉන්දියානුවාව ඇමරිකාවට ගෙනත් වහලෙකුට වගේ සලකන්න බැහැ. එහෙම කරපු යුගය අවසන් වෙලා ගොඩක් කල්. ඉන්දියානු ශ්‍රමිකයා ඇමරිකාවට පැමිණි වහාම ඔහුත් ඇමරිකානුවෙක් වෙනවා. ඇමරිකානුවෙකුගේ ශ්‍රමය වෙනුවෙන් ගෙවන මිලම ඔහුටත් ගෙවන්න වෙනවා. සමහර විට පොඩ්ඩක් අඩුවෙන් වෙන්න පුළුවන්. මේ වැඩෙන් ලැබෙන විශේෂ වාසියක් නැහැ.
කන්ද මහමත් ළඟට එන්නේ නැත්නම් මහමත්ට කන්ද ළඟට යන්න බැරිද? ඉන්දියාව ඉඩම් සුලභ රටක් වෙලා ඇමරිකාව ඉඩම් හිඟ රටක් වුනානම් සමහර විට එහෙම වෙන්න ඉඩ තිබුණා. නමුත්, ඇමරිකාව කියන්නේ ඉන්දියාව වගේ තුන් ගුණයක් ලොකු එහෙත් ඉන්දියාවේ මෙන් හතරෙන් එකක ජනගහණයක් සිටින රටක්. ඇමරිකාවට සාපේක්ෂව ඉන්දියාවේ ඉඩම් හිඟයි. ලෝකයේ ශ්‍රමය ලාබ ගොඩක් රටවල් වලට සාපේක්ෂව ඇමරිකාව ඉඩම් ප්‍රශ්නයක් නැති රටක්. අනෙක් අතට ඉඩම් හා ලාබ ශ්‍රමය දෙකම තියෙන රටක් තිබුණත් ඒ ඉඩම් ඇමරිකාවට නිදහසේ ප්‍රයෝජනයට ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ඒ වැඩෙත් හරියන්නේ නැහැ.
ඔය දෙකම කරන්න බැරිනම්, ඉන්දියාවේ ලාබ ශ්‍රමය එක්ක ඇමරිකාව තරඟ කරන්නේ කොහොමද?
වගා කරන තැන වෙනස් කරන්නත් බැරිනම්, ශ්‍රමය වෙනුවෙන් ගෙවන මිල අඩු කරන්නත් බැරිනම් තරඟකාරීත්වය පවත්වාගන්න ඉතිරිව තිබෙන්නේ තවත් එක විකල්පයක් පමණයි. ඒ නිෂ්පාදන ඒකකයක් සඳහා අවශ්‍ය වන ශ්‍රමය අඩු කර ගැනීම.
අපි ගත්ත උදාහරණයේදී ඉන්දියාවේ ශ්‍රමිකයෙකුට ඩොලර් පහක් පමණක් ගෙවීම ප්‍රමාණවත්. ඒ අනුව, අර්තාපල් කිසියම් නිශ්චිත ප්‍රමාණයක් හදන්න ශ්‍රමිකයින් 30ක් අවශ්‍යනම් ඩොලර් 150ක් යනවා.
ඇමරිකාවේ ශ්‍රමිකයෙකුට දවසකට ඩොලර් සීයක් ගෙවිය යුතුයි. එහෙත්, ඉන්දියාවේ ශ්‍රමිකයින් 30ක් යොදවා හදන අර්තාපල් ප්‍රමාණයම ඇමරිකාවේ එක ශ්‍රමිකයෙකුට හදන්න පුළුවන්නම් ප්‍රශ්නය විසඳිලා.
තාක්ෂනය යොදා ගනිමින් මේ වැඩේ කරන්න පුළුවන්. අදාළ යන්ත්‍ර සූත්‍ර ආදිය වෙනුවෙනුත් පිරිවැයක් දරන්න වෙනවා. නමුත්, ඒ පිරිවැය ඩොලර් 50ට වඩා අඩුවෙන් තියා ගන්න පුළුවන්නම් ඉන්දියාවෙන් අර්තාපල් ආනයනය කරනවාට වඩා ඇමරිකාවේම හදා ගන්න එක වාසියි.
ඇමරිකාවේ සාපේක්ෂව ඉඩම් හිඟයක් නොතිබීමත්, ඇමරිකානු කෘෂිකාර්මික ශ්‍රමය වෙනුවට වඩා ලාබ ශ්‍රමය ආදේශ කරන්න බැරි වීමත් නිසා දිගින් දිගටම සිදු වී තිබෙන්නේ ඇමරිකාවේ කෘෂි නිෂ්පාදන තාක්ෂණයේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම වෙනුවෙන් දිගින් දිගටම ආයෝජන සිදු වීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදිතය දිගින් දිගටම ඉහළ යාම සීමා වී තිබෙන්නේ ආහාර සඳහා වන ඉල්ලුම එක්තරා මට්ටමකදී යම් තරමකින් සංතෘප්ත වන නිසයි.
ඉල්ලුම වැඩි නොවෙද්දී සැපයුමත් සීමා වෙනවා. එහෙත්, ඒ අතරම නිෂ්පාදන තාක්ෂණයේ කාර්යක්ෂමතාවයද වැඩි වන නිසා ඇමරිකාවේ කෘෂි කර්මාන්තයට අවශ්‍ය වන ශ්‍රමිකයින් ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා. අඩු වන රැකියා වෙනුවට වෙනත් ක්ෂේත්‍ර වල රැකියා අවශ්‍ය වෙනවා. එසේ නැත්නම් ඇමරිකාවේ විශාල රැකියා වියුක්තියක් ඇති වෙනවා. මේ වෙනත් ක්ෂේත්‍ර වන්නේ නිෂ්පාදන හා සේවා අංශයි.
හැබැයි නිෂ්පාදන අංශයේ රැකියා කෘෂිකාර්මික අංශය මුහුණ නොදෙන වෙනත් ගැටළුවකට මුහුණ දෙනවා. කෘෂිකාර්මික ව්‍යවසාය මෙන් නිෂ්පාදන කර්මාන්ත ලාබ ශ්‍රමය තිබෙන තැනකට විතැන් කරන්න අමාරු නැහැ. ලංකාවේ තිබෙන ඇඟලුම් කම්හලක් ඇමරිකාවට ගෙනාවොත් ලංකාවේ ශ්‍රමිකයෙකුට ගෙවන මුදල මෙන් විසි තිස් ගුණයකවත් වැටුපක් ගෙවන්න වෙනවා. ඒ නිසා, කර්මාන්ත රටින් පිටතට ගෙන යාම වඩා වාසිදායකයි. අවසාන ප්‍රතිඵලය වන්නේ ඇමරිකානුවන්ට නිෂ්පාදන අංශයේ රැකියාත් අහිමි වීමයි.
මේ දෙ අංශයේම රැකියා අහිමි වෙද්දී ඇමරිකානුවන්ට ඉතිරි වෙන්නේ සේවා අංශයේ රැකියා. සේවා නිෂ්පාදන ශ්‍රමමූලික වීමත්, එසැණම පරිභෝජනය කරනු මිස ගබඩා කර තබාගෙන පසුව ආනයනය කළ නොහැකි නිසාත් නිෂ්පාදන අංශයේ රැකියා වලට මෙන් සේවා අංශයේ රැකියා වලට ලාබ ශ්‍රමය සමඟ තරඟ කරන්න වෙන්නේ නැහැ. කෝල් සෙන්ටර් ආදිය හරහා යම් ආදේශ වීමක් සිදු වුනත්, ඉතා මෑතක් වන තුරුම ඇමරිකාවේ කෘෂිකාර්මික හා කාර්මික නිෂ්පාදන අංශ වලට අවශ්‍ය නොවන ශ්‍රමය අවශෝෂණය කර ගන්න සේවා අංශයට හැකි වුනා.
කෝවිඩ් පැතිරෙන්න ආසන්න කාලයේ ඇමරිකාවේ ආර්ථිකය මූලික වශයෙන්ම සේවා ආර්ථිකයක්. ඇමරිකාවේ කෘෂිකාර්මික හා කාර්මික අංශ වලට අවශ්‍ය නොවූ ශ්‍රමය අවශෝෂණය කර ගත්තේ සේවා ආර්ථිකයයි. රටේ ආර්ථිකය වර්ධනය වුණෙත් බොහෝ දුරට සේවා ආර්ථිකය වර්ධනය වීමට සමාන්තරවයි. ඒ වුනත්, ශක්තිමත් හා කාර්යක්ෂම කෘෂි ආර්ථිකයක්ද ඇමරිකාවේ දිගටම තිබුණා. ඇමරිකාවේ කෘෂි ආර්ථිකයට ශ්‍රමය වෙනුවෙන් වැඩි මිලක් ගෙවීමෙන් පසුවත් ශ්‍රමය ලාබ අනෙක් රටවල් සමඟ තරඟකාරී වෙන්න පුළුවන්කම තිබුණා.
ඇමරිකාවේ කෘෂිකාර්මික අංශයට සාපේක්ෂව බැලුවොත් නිෂ්පාදන හා සේවා අංශ තරඟකාරී නැහැ. ලංකාවේ අර්තාපල් කිලෝවක් හෝ කුකුළු මස් කිලෝවක් හදන්න යන මිලට වඩා අඩුවෙන් ඇමරිකාවේදී ඒ දේවල් හදාගන්න පුළුවන් වුනත් ලංකාවේ මහන ඇඟළුමක් ඇමරිකන් ශ්‍රමය යොදවා ඒ මිලට හදන්න බැහැ. ලංකාවේ කරණවෑමියෙක් කොණ්ඩය කපන මිලට ඇමරිකානුවෙකුට කොණ්ඩය කපා ගන්න බැහැ. හැබැයි මේ දේවල් ඇමරිකාව ඇතුළේ කරගන්න බැරිකමක් නැහැ. මිල වැඩිකම පමණයි ප්‍රශ්නයකට තියෙන්නේ.
ඇමරිකානුවෙකුට කොණ්ඩය කපා ගන්න අවශ්‍ය වූ විට ලංකාවට යන්න බැහැ. ඒ වැඩේ කරගන්න වෙන්නේ ඇමරිකාවේදීමයි. ඒ නිසා, ඇමරිකාවේදී මේ සේවය සපයන අයෙක් ලංකාවේ කරණවෑමියෙක් තරමටම කාර්යක්ෂම නොවීමේ අවුලක් නැහැ. මෙහිදී මා කාර්යක්ෂම කියන එක අර්ථ දක්වන්නේ නිෂ්පාදන පිරිවැයට සාපේක්ෂවයි.
එහෙත්, නිෂ්පාදන අංශයේ ශ්‍රමිකයෙකුට වෙනත් රටක ලාබ ශ්‍රමය එක්ක තරඟ කරන්න වෙනවා. චීනයේ හෝ ලංකාවේ ලාබ ශ්‍රමය හමුවේ ඇමරිකානුවන්ගේ රැකියා නැති වෙනවා. අනෙක් අතට කෘෂිකාර්මික අංශය වඩා කාර්යක්ෂම වෙද්දී ඒ හේතුව නිසාත් ශ්‍රම අවශ්‍යතාවය අඩු වී රැකියා අහිමි වෙනවා.
අවසන් ගැලවුම්කරු සේවා අංශය වුවත්, ඇමරිකාවේ සේවා අංශය ලෝකයේ වෙනත් රටවල ලාබ ශ්‍රමය හා සැසඳූ විට අකාර්යක්ෂමයි. අකාර්යක්ෂමතාවය ඇති විට ලාබ සොයන ධනවාදය කාර්යක්ෂම විය හැකි ආකාර ගැන හිතනවා. සේවා නිෂ්පාදන එසැණින් පරිභෝජනය කළ යුතු නිසා පාරිභෝගිකයා සිටින ඇමරිකාවෙන්ම මිස ලාබ ශ්‍රමය තිබෙන වෙනත් රටකින් ශ්‍රමය ලබා ගන්න බැහැ. කෝල් සෙන්ටර් වගේ සීමිත අංශ කිහිපයකදී පමණක් එය කළ හැකියි. එහෙත්, ඉන්දියාවේ රියැදුරකුට ඉන්දියාවේ සිට ඇමරිකාවේ වාහනයක් එළවන්න බැහැ. ඉන්දියාවේ ලාබ ශ්‍රමය ඇමරිකාවට රැගෙන ආවොත් එය තව දුරටත් ලාබ ශ්‍රමයක් නොවන නිසා ඒ වැඩේ හරියන්නෙත් නැහැ. එහෙමනම්, සේවා අංශයේ කාර්යක්ෂමතාවය වැඩි කර ගන්නේ කොහොමද?
ඇමරිකාවේ සේවා අංශය තුළ දැන් සිදු වන්නේ කෘෂිකාර්මික අංශය තුළ කලකට සිදු වූ ආකාරයේ පරිවර්තනයක්. ස්වයංකරණය හරහා ඇමරිකාවේ සේවා අංශය කාර්යක්ෂම වෙනවා. ඇමරිකාවේ සේවා අංශයේ පිරිවැය ලාබ ශ්‍රමය ඇති රටවල් හා තරඟ කළ හැකි තරමට කාර්යක්ෂම වෙනවා. එයට සමාන්තරව ඇමරිකානුවන්ගේ රැකියා අහිමි වෙනවා.
කෘෂිකාර්මික අංශය කාර්මීකරණය වෙද්දී මාංශ පේශි ශක්තිය වෙනුවට යාන්ත්‍රික ශ්‍රමය ආදේශ වුනා. එහෙත්, යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරන්න මිනිස්සු අවශ්‍ය වුනා. මිනිස් මොළයට ආදේශකයක් තිබුණේ නැහැ. ඒ නිසා, සේවා අංශයේ හිතන්න අවශ්‍ය රැකියා වලට ස්වයංකරණය තර්ජනයක් වුනේ නැහැ. නමුත්, දැන් තත්ත්වය වෙනස්. ස්වයංක්‍රීය වාහනයක් මිනිස් රියැදුරෙකු රහිතව වඩා දක්ෂ ලෙස හා අනතුරු රහිතව ධාවනය වෙනවා. රොබෝ යන්ත්‍ර යොදාගෙන සුපිරි වෙළඳසැලක භාණ්ඩ ඇසිරීම හෝ බිම පිරිසිදු කිරීම අවම වැටුප් ගෙවා ශ්‍රමිකයෙකු නඩත්තු කරනවාටත් වඩා ලාබයි. යන්ත්‍රයකට මිනිස්සුන්ගේ ලිංගික අවශ්‍යතා හා ආගමික අවශ්‍යතා ආදිය පවා සපයන්න පුළුවන්.
ඇමරිකාව වගේ රට වල මිනිස් ශ්‍රමය දැන් අලුත් අභියෝගයකට මුහුණ දී තිබෙනවා. අවම වැටුප් යටතේ වුවත් මිනිස් ශ්‍රමය අකාර්යක්ෂමනම් විසඳුම කුමක්ද? ජීවිතය පවත්වා ගැනීමට අවම පරිභෝජන මට්ටමක් පවත්වා ගත යුතුයි. ඒ වෙනුවෙන් අවම වියදමක් දැරිය යුතුයි. මිනිස් ශ්‍රමයේ වටිනාකම ඒ වියදම දැරිය නොහැකි තරමට පහත වැටුනොත් වෙන්නේ කුමක්ද?
යන්ත්‍රයක් නඩත්තු කරන්න යන වියදම එයින් කළ හැකි කාර්යයේ වටිනාකමට වඩා අඩුනම් අපි කරන්නේ එම යන්ත්‍රය අත හැර දමන එකයි. එහෙත්, මිනිස්සුන්ව එසේ අත හැර දමන්න බැහැ. අනෙක් අතට නුපුහුණු මූලික මිනිස් ශ්‍රමය ප්‍රයෝජනයක් නැති තරමටම වැටිලා. වෙනත් විදිහටකට කිවුවොත්, රටක මිනිස්සු සියලු දෙනාගේම සියලු පරිභෝජන අවශ්‍යතා සඳහා අවශ්‍ය වන භාණ්ඩ හා සේවා සියල්ල හදන්න ඒ රටේ මිනිස්සුන්ගෙන් කොටසකගේ පමණක් ශ්‍රම දායකත්වය ප්‍රමාණවත්නම්, ඉතිරි මිනිසුන්ගේ අතිරික්ත ශ්‍රමයට කරන්නේ මොකක්ද?
ධනවාදය තුළ නිෂ්පාදන කාර්යක්ෂමතාවය ටිකෙන් ටික ඉහළ ගිහින් යම් අවස්ථාවක මේ තත්ත්වය ඇති විය යුතුයි. ඉතිහාසයේ පළමු වරට දැන් එවැනි තත්ත්වයක් ඇති වී හෝ ඇති වෙමින් තිබෙනවා. කෝවිඩ්-19 පැතිරුණේ එහෙම අවස්ථාවකයි.