වෙබ් ලිපිනය:

Wednesday, January 13, 2016

ලංකාවේ ආදායම් විෂමතාවය

සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන ලංකාවේ ගෘහස්ත ආදායම් හා වියදම් පිලිබඳ සමීක්ෂණය දැන් තෙවසරකට වරක් පැවැත්වේ. අවසන් වරට 2012/13දී සිදු කළ මේ සමීක්ෂණයේ අවසන් වාර්තාව අනුව ලංකාවේ ගෘහස්ථ ඒකකයක සාමාන්‍ය මාසික ආදායම රුපියල් 45,878කි. පෙර සමීක්ෂණය සිදුකළ 2009/10දී මෙය රුපියල් 36,451ක් විය.

ලංකාවේ ගෘහස්ථ ඒකකයක සාමාන්‍යයෙන් 3.9 දෙනෙකු වාසය කරයි. මේ අනුව, මේ සමීක්ෂණයේ ප්‍රතිඵල මත පදනම්ව ගණනය කර ඇති ඒක පුද්ගල ගෘහස්ථ ආදායම රුපියල් 11,819කි. 2009/10දී මෙය රුපියල් 9,104ක් විය.

බැලූ බැල්මට පෙනෙන්නේ ඒක පුද්ගල ගෘහස්ථ ආදායම 29.8%කින් වැඩි වී ඇති බවයි. එහෙත්, මේ වසර තුන තුල 22.9%කින් මිල මට්ටම වැඩිවීම නිසා රුපියලේ දේශීය වටිනාකමේ සිදුවූ පිරිහීම සැලකූ විට ආදායම සැබෑ ලෙසම වර්ධනය වී ඇත්තේ 5.6%කිනි.

මේ අයුරින්ම, 2006/07 සමීක්ෂණය අනුව ඒක පුද්ගල ගෘහස්ථ ආදායම රුපියල් 6,462ක් වූ නිසා 2009/10 දක්වා වසර තුන තුළ ආදායමේ සිදුවූ නාමික වර්ධනය 40.9%ක් වුවත්, මිල මට්ටමේ වැඩි වීම 42.4%ක් වූ නිසා සැබෑවටම සිදුවී ඇත්තේ ආදායමේ අඩු වීමකි.

වසර හය තුළම නාමික ආදායම 82.9%කින් වැඩි වී ඇතත් මිල මට්ටමද 75.0% කින් වැඩි වී ඇති නිසා, වසර හයටම මූර්ත ආදායම වර්ධනය වී ඇත්තේ 4.0%කින් පමණි. එනම් වසරකට 0.6%කින් පමණි.

සමස්තයක් ලෙස ගත් විට රටේ සාමාන්‍ය ඒක පුද්ගල ගෘහස්ථ ආදායම රුපියල් 11,819ක් වුවත් ආදායම් විෂමතාවය ඉතා විශාලය. නාගරික ගෘහස්ථ ඒකක වල ඒක පුද්ගල ආදායමේ සාමාන්‍ය අගය රුපියල් 17,262ක් වෙද්දී, ග්‍රාමීය ගෘහස්ථ ඒකක වල එය රුපියල් 10,843කි. වතු ගෘහස්ථ ඒකක වල මෙය රුපියල් 7,100ක් පමණි. කොළඹ දිස්ත්‍රික්කයේ මෙම සාමාන්‍යය රුපියල් 19,346ක් වුවත් මාතලේ, නුවරඑළිය, යාපනය, මන්නාරම, මුලතිවු, කිලිනොච්චි, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, බදුල්ල හා මොණරාගල යන දිස්ත්‍රික්ක එකොළහේ එම අගය කොළඹ අගයෙන් අඩකටත් අඩුය. මේ දිස්ත්‍රික්ක සියල්ලම වාගේ සුළුතර-බහුතර හෝ සැලකිය යුතු සුළුතර ජනගහනයක් සිටින දිස්ත්‍රික්ක වීම සැලකිල්ලට ගතයුතු කරුණකි.

රටේ ගෘහස්ථ ආදායමෙන් 52.9%ක් රැඳෙන්නේ වැඩිම ආදායම් ලබන 20% අතේය. ඉතා විශාල ආදායම් විෂමතාවක් ඇති ඇමරිකාවේද මේ ප්‍රතිශතය (2012දී) 49.9%ක් පමණි. පහළම ආදායම් ලබන 40% වෙත සම්ප්‍රේෂණය වන්නේ මුළු ආදායමින් 13.7%ක් පමණි. මැදි ආදායම් ලබන 40% වෙත 33.3%ක් රැඳේ.

නාගරික අංශය තුළ ආදායම් විෂමතාවය මෙයටත් වඩා වැඩිය. එහි ඉහළම 20% විසින් 71.2%ක් ලබා ගනිද්දී පහළම 40% වෙත ලැබෙන්නේ 5.9%ක් පමණි. මැද 40%ට 23.0%කි. ග්‍රාමීය අංශයේ ඉහළ 20%, මැද 40% හා පහළ 40% අතර 47.2%, 36.8% සහ 16.0% ලෙස ආදායම් බෙදේ. වතු අංශයේ මේ බෙදීම 28.5%, 44.1% සහ 27.5% ලෙසිනි. වතු අංශයේ ආදායම් විෂමතාව අඩුවෙන් ඇත්තේ එම අංශයේ ඉහළ ආදායම් ලාභීන්ගේ ආදායමද එතරම් ඉහළ නැති නිසාය.

මේ සංඛ්‍යාලේඛණ වලින් පැහැදිලි වන්නේ රටේ ආර්ථික වර්ධනයේ ප්‍රතිඵල ගෘහස්ථ ඒකක වෙත සම්ප්‍රේෂණය වන රටාවයි. ඉහළ යන ඒක පුද්ගල ආදායම නිසා මුලින්ම සිදුවන්නේ ඉහළ ආදායම් ලබන ස්ථර වල ආදායම තවත් වැඩි වීමයි. නාගරික මැදි ආදායම් ලබන කණ්ඩායම් සහ ඉහළ ආදායම් ලබන ග්‍රාමීය කොටස් වෙත දෙවනුව ආදායම සම්ප්‍රේෂණය වේ. වතු ගෘහස්ථ ඒකක වෙත මේ ආදායම් වර්ධනය දැනී ඇත්තේ ඉතා සුළුවෙනි.

රටක ආදායම් විෂමතාවය ප්‍රශ්නයකි. එයට විසඳුම් සෙවිය යුතුය. එහෙත්, එය කළ යුත්තේ වැඩි ආදායම් ලබන කොටස් පීඩාවට පත්කර ඔවුන්ගේ ජීවන තත්ත්වය පහත හෙලීමෙන් නොවේ. අඩු ආදායම් ලබන කොටස් වල ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට ඔවුන්ට අවස්ථා සැලසීමෙනි.

මෙය සිදු කළ හැක්කේ ව්‍යවසායකත්වයට දිරි දෙන මූල්‍ය පරිසරයක් සකස් කිරීමෙනි. කෙසේවුවද, පහලම සමාජ ස්ථර හා අදාළවනම් ආහාර සුරක්ෂිතතාව සහ මූලික අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැනි දෑ පළමුව තහවුරු විය යුතු බව මේ සමීක්ෂණයේ අනෙකුත් තොරතුරු අනුව පෙනේ.

(Image: www.skai.gr)

මුල් පලකිරීම: http://emgesathapaha.blogspot.com/2016/01/blog-post_9.html
 

26 comments:

  1. මැට්ටා සෙන්සේ
    සමාවෙන්න ඕනෙ පොස්ට් එකට අදාල නැති ප්‍රශ්නයක් ඇහුවට.
    මෑතකදි දැනගන්න ලැබුණ GalaticAds ගැන මොනවද කියන්න තියෙන්නෙ.
    මේකත් අර එක ලෙවල් එකකට ආවම කඩා වැටෙන පිරමිඩ් බිස්නස් එකක්ද.

    http://www.sarusara.com/galaticads-sinhala-day-04/?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+sarusara+%28%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+Binary+Options+Trading+%E0%B6%89%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%29

    ReplyDelete
    Replies
    1. මම ඔබේ ලින්ක් එකෙන් ගොස් බැලූ විට දුටු දෙය හැර වෙනත් වැඩි යමක්නම් දන්නේ නැහැ, ඇනෝ. හැබැයි මෙය පිරමිඩ් බිස්නස් එකක් බවනම් බැලූ බැල්මටම පේනවා. වෙනත් පිරමිඩ් බිස්නස් වගේම මුලින් එකතු වන අයට මුදලක් හොයා ගන්න පුළුවන් වෙයි. හැබැයි කොයි වෙලාවේ හරි කඩා වැටෙනවා.

      Delete
  2. මේවට සොලියුසොන් හොයනවට වඩා ලේසියි හාන්දුරුවරු ඩැයිවින් කොරනවද කියලා හොයලා බලන එක.. එතකොට කේන්දර බලනවද කියලා හොයලා බලන එක..

    ReplyDelete
  3. වැඩිපුරම ලේඛන ගත වෙන්නේ කොලොඹ අගයන් ටික නැත්නම් සමස්ථ ලංවෙම ඒවා එකතු කරලා බෙදන එක මේකෙන් දුක්ශර ප්‍රදේශ වලට අසාධාරණයක් වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බැළුවොත්, මහේෂ්, කොළඹ ගණන් වැඩිවෙලා තියෙන්නෙත් ටිකදෙනෙක් නිසා. කොළඹත් අඩු ආදායම් ලබන අයගේ තත්ත්වය ශෝචනීයයි.

      Delete
  4. රට පාලනය කරන උත්තමයෝ ඔය වාර්තා නිකමට හරි බලනවද, බැලුවට තේරෙනවද දන්නෙ නැහැ...

    ReplyDelete
    Replies
    1. ඕවට මොකට මහන්සි වෙනවද? (හැබැයි බලන අයත් ටිකදෙනෙක් ඉන්නවා)

      Delete
  5. සුපිරි විග්‍රහයක් මචං....... නමුත් මේ කියන අාදායම බෙදී යෑම ලොකු විෂමතාවයකින් වෙන ඒකයි අවුල..... නැත්තං 49 ක් කියන්නේ හොද ගානක් තමා නේද????????? ඒත් කන්න බොන්න නැති කීයක්නං රටේ ඉන්නවාද?????????

    ReplyDelete
    Replies
    1. ආදායම වැඩිවන විට වියදම් වැඩිවීම එක ප්‍රශ්නයක්. විෂමතාව තවත් ප්‍රශ්නයක්. කොහොමටත් රටක් දියුණු වන විට මුලින්ම වැඩිවන්නේ එක් කොටසකගේ ආදායම තමයි. රැකියා නිර්මාණය හරහා මේ වාසිය පහළ ස්ථර වලට කාන්දු විය යුතුයි. ඩීල් වලින් ආදායම වැඩි කර ගැනීමේදී රැකියා උත්පාදනයක් වෙන්නේ නැහැ.

      Delete
  6. ඉකොනොමැට්ටා Economatta,

    ඇත්තටම මහාචාර්ය Richard Wolff අපුරු පැහැදිලි කිරීමක් කරනවා

    https://www.youtube.com/watch?v=-eMs8rzBesw

    ඔහු පැහැදිලිකරනවා සමාගම්වලින් ඉහල බදු අයකිරීම මගින් අමරිකාව ආදායම් විෂමතාවය අවම කිරීමට පියවර ගත්බව "The
    Great Depression (1929-39)" ජනාධිපති රුස්වෙල්ට් ධනවත් සමාගම් වලින් 94% තරම් ඉහල බදු අයකළ
    බව සදහන්, මෙමගින් තමයි ඇමරිකාවේ unemployment benefits සහ social security
    benefits වැනි පහසුකම් ඇතිකිරීමට හේතු උනේ, ඉහත පහසුකම් ජනතාවට ලබාදී ඇත්තේ The Great
    Depression (1929-39) ඇති කාලයේදීම තමයි.

    මෙපිලිබද මෙම කතාව ඇත්ත බව http://flaglerlive.com/26685/gc-fdr-and-taxes/ තවදුරටත් සෙවීමේ දී තේරුනා,
    Thomas Piketty මෙපිලිබද අපුරු විස්තරයක් සදහන් කළා
    https://www.youtube.com/watch?v=JKsHhXwqDqM

    ඉතිහාසයේ සිට සිදුවී ඇත්තේ ධනවත් ආයතන සහ පුද්ගලයන් වෙනුවෙන් පවතී බදු ක්‍රමානුකුලව සාමාන්‍ය ජනයා වෙත විතැන් කිරීමයි.

    ReplyDelete
    Replies
    1. ලෝක ඉතිහාසයේ මුල සිට 1800 පමණ වන තුරු ආදායම් විෂමතාවය ප්‍රශ්නයක් වුනේ නැහැ. කාගේත් ආදායම අඩු නිසා. දැනටත් ලංකාවේ වතු අංශයේ ආදායම් විෂමතාවය හොඳටම අඩුයි. ආදායම් විෂමතාවය අඩුකරන්න පහසුම ක්‍රමය තමයි පෝසතුන්ගෙන් අරගෙන දුප්පතුන්ට දෙන එක. හැමෝම දුප්පතුන් වුණාම විෂමතාවයක් නැහැ. ඇමරිකාව 1932 ආදායම් පනතින් බදු අනුපාතය 62% දක්වා වැඩි කර තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම එය කර ඇත්තේ රජයේ අයවැය හිඟය පියවා ගැනීමට. එයින් ආර්ථික අවපාතය තවත් උග්‍ර වී තිබෙනවා.

      ඇමරිකාවේ බදු අනුපාත වරින් වර වෙනස් වෙනවා. අඩුවීම වගේම වැඩි වීමත් වෙනවා. බදු අනුපාත වැඩිපුරම ඉහළ දමා තියෙන්නේ පළමු සහ දෙවන යුද්ධ කාල වලයි. බොහෝ විට සියල්ලන්ගේම බදු වැඩි කිරීමයි සිදුකර තියෙන්නේ. ආදායම වැඩි අයගේ පමණක් නෙමෙයි. මෙසේ කර ඇත්තේ රජයට යුද්ධය නිසා දැරීමට සිදුවුණු වැඩි පිරිවැය පියවා ගැනීමටයි.

      රිචඩ් වුල්ෆ් ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාඥයෙක් නෙමෙයි. ඔහු මෙහිදී කරන්නේ ඕනෑම කෙනෙකුට කළ හැකි ගැලරියට කරන කතාවක්. සමහර සංඛ්‍යාත් වැරදියි. තෝමස් පිකටිගේ කතාවේනම් න්‍යායාත්මක පදනමක් තියෙනවා. ඔහු යෝජනා කරන්නේ ආදායම් විෂමතාවය අවම වන පරිදි බදු ක්‍රමය සංශෝධනය කළ යුතු ආකාරයක් ගැන සහ එය කළ යුත්තේ ඇයි කියන කරුණ. එය වුල්ෆ්ගේ කතාව වගේ සරල කතාවක් නෙමෙයි.

      මේ තියෙන්නේ පසුගිය අවුරුදු 150 තුළ ඇමරිකාවේ බදු අනුපාත වෙනස් වූ ආකාරය.

      http://taxfoundation.org/sites/default/files/docs/fed_individual_rate_history_nominal.pdf

      ලින්ක්ස් යොමු කළාට ස්තුතියි!

      Delete
    2. ඉකොනො,

      ඔබ ඉදිරිපත් කරන්නේ පුද්දලික බදු සම්බන්දව (Federal Individual Income Tax Rates History) , කල්පනාවෙන් බැලුවොත් මෙයිනුත් පෙනෙනවා දිළින්දන්ට බදු පැටවී ඇති අයුරු (දනවතුන්ගේ බදු අනුපාතය අඩුකිරීම කියන්නේ දිලින්දන් අතට බදු විතැන් කිරීමයි )

      https://www.youtube.com/watch?v=k71DYM20WRM

      එනම් 1950 සිට 1980 දශකයේ පහලම ආදායම් ලබන 90% වේ ආදායම 75% වැඩිවී ඇත එනම් ඩොලර් 13000 කින් නමුත් 1980 සිට 2008 දක්වා රේගන් ජනාධිපතිගේ ප්‍රතිසංස්කරණ නිසා පහලම ස්තරය තුල ආදායම වැඩිවී ඇත්තේ 1% පමණයි එනම් ඩොලර් 303 පමණ

      නමුත් වැඩිම ආදායම් ලබන පුද්ගලයන් ගෙන් 0.001% ගේ ආදායම වැඩිවී ඇති ආකාරය 1950 සිට 1980 දක්වා ඩොලර් මිලියන 2.4 වැඩිවීමක් පෙන්වන අතර එය 80% වැඩිවීමක් නමුත් 1980 සිට 2008 දක්වා ඩොලර් මිලියන 22 කින් වැඩි වුනා එය 403% වැඩිවීමක්

      ඔබට මේඅනුව පැහැදිලි වියයුතුයි සිදුවූ දෙය.

      දැන් තව සරලව බැලුවොත් සිදුවන දෙය මෙයයි පොසතුන්ගෙන් ලබගෙන දුප්පතුන්ට ලබාදීම බොහෝදෙනා කැමති උනත් ඉදිරියේ දී මෙසේ මුදල් ලබන දුප්පතුන් නිසා නව කර්මාන්ත ශාලා ඇතිවන්නේ නෑ මොකද කර්මාන්ත ශාලා ඇතිකරන්නේ දිළින්දන් නොවන නිසයි. මේනිසා ධන්නවත් වීමට අවස්තාවක් ලබාදීම වැදගත් වෙනවා. නමුත් එක ප්‍රමාණයකින් පසු මිනිසුන් වියාපර දියුණු කරන්නට යොදන්නේ නෑ.

      අනෙක් අතට මෙවැනි සුබසාධන වැඩ නිසා රටේ ශ්‍රමයේ ඵලදායි තාව ඉහල යනවා, මෙහි දුර්වල ලක්ෂණයක් ලෙස විශාල රාජ්‍ය ආයතන ඇතිවී අකර්යක්ෂ්ම රාජ්‍ය සේවයක් ඇතිවීමට හැකි උනත් අද පවතින තක්ෂණය යොදා මෙය අවම කල හැකියි.

      මෙහි මේ විශාල ධනය බොහෝවිට අදාළ රටේ බැංකු වල ගොඩ ගැසී තිබෙන වා කියා සිතුවත් මෙම මුදල් අද ලෝක තත්වය මත වෙන රටක ආයෝජනය වෙනවා මෙහිදී මේ මුදල් උපයාගැනීමට උදව් වුන සමාජයට කිසිදු උපකාරයක් නොවී වෙන සමාජයක් වෙත ආයෝජනය වීමට සහ මෙම ක්‍රමය පවත්වාගැනීමට දෙසපලන්යයනට කප්පම් ගෙවීම සදහා යෙදවෙනවා.

      Delete
    3. ඔවු, 62% දක්වා වැඩි කළේ පුද්ගලික ආදායම් බදු. ඔබ සඳහන් කරන කාලයේ සමාගම් වලින් බදු අයකර ඇත්තේ ඔබ කියන අනුපාත වලට වගේම අද ඇති අනුපාත වලට සාපේක්ෂවත් ඉතාම අඩුවෙන්.

      මේ ඔය කියන 1929/39 කාලයේ උපරිම බදු අනුපාත.

      1929 - 11%
      1930/31 - 12%
      1932/35% - 13.75%
      1936/37 - 15%
      1938/39 - 19%

      මෙය විශාල ලෙස වැඩි කෙරෙන්නේ දෙවන ලෝක යුද්ධ කාලයේ සහ ඉන් පසුව. එහෙත්, කිසි විටක 52% ඉක්මවා නැහැ. දැන් උපරිම බදු අනුපාතය 35%ක්. මෙය ඔබ කියන කාලයේ පැවති අනුපාතිකය මෙන් දෙගුණයකට වැඩියි.

      මේ සංඛ්‍යාලේඛණ ඇමරිකාවේ බදු එකතු කරන IRS එකෙන්ම ගත් ඒවා. මෙහි ගොස් බැලිය හැකියි.

      https://www.irs.gov/pub/irs-soi/02corate.pdf

      Delete
    4. දැනුයි මට රිචඩ් වුල්ෆ්ගේ කතාව සම්පුර්ණයෙන් අහන්න වෙලාවක් ලැබුණේ. ඇත්තටම ඔහුගේ සංඛ්‍යාලේඛණ වල වරදක් නැහැ. ඔහු කියන්නේ 1970 දශකයේදී වැඩිම ආදායම් බදු අනුපාතය 70%ක් වූ බව සහ ඊට වසර 15කට පෙර 91%ක් වූ බවයි. 1929-39 කාලය ගැන නෙමෙයි. ඒ වගේම ඔහු කතා කරන්නේ පුද්ගලයින්ගේ ආදායම් බදු ගැන. සමාගම් වල බදු අනුපාතික ගැන නෙමෙයි. මෙය වැරදි විදිහට තේරුම් අරන් තියෙන්නේ ඔබයි. හැබැයි එහෙම වැරදියට තේරෙන්න ඔහු කතා කරන විදිහ හේතුවෙනවා. රිචඩ් වුල්ෆ් මාක්ස්වාදී ආර්ථික විද්‍යාඥයෙක් ලෙස තමන්ව හඳුන්වා ගන්නා කෙනෙක්. එවැනි අය ඇමරිකාවේ සිටින්නේ ඉතා සුළු පිරිසක්. බදු සම්බන්ධව ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාඥයින් සියල්ලන්ම ඔහු සිතන ආකාරයට හිතන්නේ නැහැ. එහෙත් ආදායම් විෂමතාවය ප්‍රශ්නයක් කියා හිතන බොහෝ දෙනෙක් ඉන්නවා. ආදායම් බදු ආකෘතිය සහ ආදායම් විෂමතාවය ගැන තියෙන්නේ මිශ්‍ර අදහස්. කොහොමවුනත්, 1980න් පසු ආර්ථික වර්ධනයේ වාසිය මුළුමනින්ම වාගේ ලැබී තිබෙන්නේ ඉහළ ස්ථර වලට කියන එක නිවැරදියි. රටින් පිටට මුදල් ගලායාමේත් බලපෑමක් තිබුණත් එය ප්‍රධානම කරුණක් නෙමෙයි.

      Delete
    5. ඉකොනො,

      //සමාගම් වල බදු අනුපාතික ගැන නෙමෙයි. මෙය වැරදි විදිහට තේරුම් අරන් තියෙන්නේ ඔබයි. //
      ස්තුතියිඔබේ පැහැදිලි කිරීම නිවැරදියි!! ඔව් මම හිතපු විදිය වැරදියි එය සමාගම් වලින් නෙමෙයි සමාජයේ ඉහලම ධනවතුන් ගෙනුයි එසේ අයකර ඇත්තේ ,

      නමුත් මෙහිදී මෙම ක්‍රමය නිසා සමාජයේ ආධායම් බෙදීමේ විෂමතාවය වැලකි තිබෙනවා. ආර්ථික අතින් ඉතා දුර්වල තැනක එනම් අදවගේ කාලයක රුස්වෙල්ට් ගේ යෝජනා සාර්ථික වී තිබෙනවා.

      Delete
    6. //ආර්ථික අතින් ඉතා දුර්වල තැනක එනම් අදවගේ කාලයක//
      මෙය වැරදි අදහසක්. සමාජ සංරක්ෂණ පණත සම්මත කළ 1934දී ඇමරිකාවේ ආර්ථික වර්ධනය 10.8%ක්. 1937දී මෙය පළමු වරට ක්‍රියාත්මක කිරීමට පෙර වසර තුනේ ආර්ථික වර්ධනය පිළිවෙලින් 10.8%, 8.9% හා 12.9%ක්. යුද්ධ කාලය හැරුණු විට මෙය පසුගිය සියවසේ වැඩිම ආර්ථික වර්ධනයක් ලැබූ කාලයක්. (සංඛ්‍යාලේඛණ බලනවනම් ෆෙඩරල් රිසර්ව් හෝ රජයේ වෙබ් අඩවියකින් හරි ලෝක බැංකුව වගේ තැනකින් හරි බලන්න. සමාජජාල වල ඕනෑ කෙනෙකුට තමන් හිතන කිසිම පදනමක් නැති දේවල් දාන්න පුළුවන්) ආර්ථිකය දුර්වල වෙලාවක බදු වැඩිකිරීමෙන් වෙන්නේ තත්ත්වය තවත් දරුණු වීමයි. මෙය මහා ආර්ථික අවපාතය අවස්ථාවේ කළ වරදක්. එය කිරීමට හේතුවුණේ දේශපාලනික කරුණක්. එනම්, රජයට ණය ලබා ගැනීමට හැකිව තිබුණු උපරිම සීමාව වැඩි කර ගැනීමට වූ යෝජනාව සම්මත නොවූ නිසා අයවැය හිඟය පියවා ගැනීමට කළ දෙයක්. අනිත් කරුණ ඒ කාලයේ සමාගම් වලින් අයකළ උපරිම බද්ද අද ගණනින් බාගයකටත් අඩුයි. මට මේවා විස්තරාත්මකව පැහැදිලි කළ හැකියි. එහෙත්, ඊට පෙර ආර්ථික විද්‍යාවේ මූලික සංකල්ප ටිකවත් පැහැදිලි කරන්න වෙනවා. පසුකාලීනව, බදු වැඩි කළේ යුද්ධය වෙනුවෙන් සහ නිරවි යුද සමයේ කළ දේවල් වලින් ඉහළ ගිය රජයේ වියදම් පියවා ගැනීමටයි.

      Delete
    7. අනිත් කරුණ අදවන විට ඇමරිකන් ආර්ථිකය දුර්වල නැහැ. එය සාමාන්‍ය මට්ටමින් හෝ එයටත් වැඩියෙන් වර්ධනය වෙනවා. පොලී අනුපාතික ඉහළ දැම්මේ ඒ නිසයි.

      Delete
  7. ලංකා සිතුවිලි කියන එකට පොඩි එකතු කිරීමක් කරන්න කැමතියි. ඇමෙරිකාවේ හා යුරෝපයේත් (බ්‍රිතාන්‍ය ඇතුළුව ) // unemployment benefits සහ social security
    benefits වැනි පහසුකම් ඇතිකිරීමට හේතු උනේ// සෝවියට් දේශය නමැති රට ඇතිවීම සහ ඔවුන් රැකියා ප්‍රශ්නය නැති කල නිසයි. (ඒ කියන්නේ මොකක් හරි රස්සාවක් හදා ඉන් පඩියක් දීම ) එතකොට පහල පන්තිය මේ ගැන දැන ගැනීමෙන් වෙන අපහසුතාවය හැර ගැනීමට කල දෙයක්. එනම් කොම්යුනිස්ට් ක්‍රමයක් ඉල්ලයි කියන බය. දැන් මේ සහන කපන්න යන්නෙත් එහෙම අවශ්‍යතාවයක් දනී නැති නිසා කියල තමයි මම කියවල් තිබෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පළමුවෙනි කරුණනම් එහෙම වෙන්න ඇති. ඒත් දැන් මේවා කපන්නේනම් ඒ නිසාම නෙමෙයි. මේ ආකෘති හදලා තියෙන්නේ හැම වෙලාවෙම වත්මන් පරම්පරාව විසින් පෙර පරපුරේ වියදම දැරීමේ පදනම මත. මේවා හදපු කාලයේ දිගටම ජනගහණය වර්ධනය වුන නිසා පෙර පරපුරේ එක් අයෙක් වෙනුවෙන් දැන් පරපුරේ එක් අයෙක් හෝ වැඩිපුර හිටියා. එහෙත්, පසුව ජනගහන පිරමිඩය අනිත් පැත්ත ගැහුවට පස්සේ මේ ක්‍රම සස්ටෙනබ්ල් නැතුව ගියා. මෙය ආකෘතියේම තිබුණු ගැටළුවක්. හැබැයි ඔබ කියන තර්ජනය දිගටම තිබුණානම් ඇතැම් විට මෙයට විසඳුමක් සෙවීමට මෙයට වඩා උත්සාහයක් දැරෙන්නත් ඉඩ තිබුණා.මෙය අදාළ social security වලට.

      Delete
    2. Ajith Dharma,

      ඇත්තටම අජිත් මට පෙන්වාදෙන්න උවමනා කලේ මේ පහසුකම් සලසන්නේ ආර්ථික ලෙස කඩා වැටුන කාලයක වීමයි. මෙම පහසුකම් ධනපතියන්ගෙන් ලබාගත් නිසා අපේ "ඉකොනො " ගෙන තර්කය වන //මේ ආකෘති හදලා තියෙන්නේ හැම වෙලාවෙම වත්මන් පරම්පරාව විසින් පෙර පරපුරේ වියදම දැරීමේ පදනම මත.// රුස්වෙල්ට් ජනාධිපති යුගයට අදාල නැති උනත්, ධනවතුන් ගෙන් බදු අය නොකිරීම නිසා සිදු වී ඇත්තේ අපේ "ඉකොනො" කියන කතාව තමයි

      මේ පිළිබද උඩ කොමෙන්ටුව්න් සංක්‍යලේකන මගින් පැහැදිලි කළා.

      Delete
    3. මේ පිළිබද අපුරු කාටුනයක් තියනව මේක ඇමරිකානු වැසියන් පමණක් නෙමෙයි ලංකාවේ සිටින අපටත් හරි වැදගත්
      https://www.youtube.com/watch?v=mII9NZ8MMVM

      Delete
    4. ඇමරිකාවේ සමාජ සංරක්ෂණ ප්‍රතිලාභ සහ විරැකියා රක්ෂණ ප්‍රතිලාභ දෙන්නේ ධනවතුන්ගෙන් අයකරගෙන නෙමෙයි. වැඩ කරන හැම කෙනෙක්ම තමන් උපයන මුදලින් සමාජ සංරක්ෂණ බද්දක් ගෙවිය යුතුයි. මෙය ඇත්තටම රක්ෂණ වාරිකයක් වැනි දෙයක්. නියමිත කාලයක් වැඩ කිරීමෙන් පසු රැකියාවක් නැති වුනොත් නැවත රැකියාවක් සොයාගන්නා තුරු විරැකියා රක්ෂණ ප්‍රතිලාභ ලැබෙන්නේ මෙසේ කපා ගන්නා මුදලින්. ප්‍රමාණය තීරණය වන්නේ තමන් වැඩ කරන විට උපයා ඇති මුදල අනුවයි. යම් අවම කාලයක් වැඩ කර ඇති අයට සමාජ සංරක්ෂණ ප්‍රතිලාභ දෙන්නේත් මේ අයුරින්ම තමන් විසින් උපයා, සමාජ සංරක්ෂණ බදු ලෙස ගෙවා ඇති මුදල මත පදනම්ව. 1934 දී සමාජ සංරක්ෂණ පනත හඳුන්වා දීමට මහා ආර්ථික අවපාතය කාලයේ අත්දැකීම් හේතුවුණා තමයි. එහෙත්, මෙහිදී ධනවතුන්ගෙන් අයකරගෙන දුප්පතුන්ට දීමක් වුනේ නැහැ. නැවත එවැනි අවස්ථාවක් පැමිණියහොත් සමාජයට වන හානිය අවම කිරීමේ සැලසුමක් ඇති කිරීමයි කළේ. 1937 ජනවාරියේදී මුල් වරටත්, 1940 ජනවාරි සිට මාස්පතාත් රැකියා කරන අය උපයන ආදායමින් ප්‍රතිශතයක් අයකිරීම ඇරඹීමයි ඇත්තටම සිදු වුනේ. සමාජ සංරක්ෂණ ප්‍රතිලාභ ලැබුණේ වයස 65ට වැඩි අයටයි (දැන් මෙය 66යි. ඉදිරියේදී 67 වෙනවා.). මේ සඳහා යොදාගත්තේ ඒ වන විට වැඩකරන තරුණ පරම්පරාවෙන් එකතු කළ මුදල්. දිගින් දිගටම සිදුවුනේ මෙයයි. එනම්, වැඩකරන වත්මන් පරම්පරාවේ මුදලින් පැරණි පරම්පරාව නඩත්තු කිරීම. එහෙම නැතුව ධනවතුන්ගෙන් අරගෙන දුප්පතුන්ට දෙන රොබින්හුඩ් ක්‍රමයක් නෙමෙයි.

      Delete
    5. ඉකොනො,

      //මෙහිදී ධනවතුන්ගෙන් අයකරගෙන දුප්පතුන්ට දීමක් වුනේ නැහැ. //

      මෙතන ප්‍රශනයක් තිබෙනවා රජයට මෙය මූලින් ආරම්භ කිරීමට කෝ අරමුදල් ?

      උදාහරණ 1937 වයස 64 වූ කෙනෙකුට ඊට වසර 2 පසු ජිවිත කාලයටම වැටුපක් ලාබදෙනවානම් කෝ ඔහුට ගෙවීම සදහා සංචිත කොහෙන්ද ලැබුනේ ?

      Delete
    6. ඒක තමයි මම පැහැදිලිවම ලියල තියෙන්නේ එහෙම සංචිත නැති බව. ඒකයි මේ ක්‍රම පවත්වාගෙන යන්න බැරි. 1937දී වැඩ කරන සියල්ලන්ගෙන්ම සමාජ සංරක්ෂණ බදු මුදල් එකතු කරගත් විට එසේ නොගෙවා විශ්‍රාම ගිය පළමු පරම්පරාවේ අයට ඒ මුදලින් යම් 'පිං පඩියක්' දිය හැකියි. ජීවිත කාලයටම දෙන්න සල්ලි නැහැ. 1937දී කළේ එකවර මුදලක් දීම පමණයි. මාස්පතා මුදල් දීම සිදුවුණේ 1940 සිට. මේවාට කියන්නේ overlapping generation models කියලා. දැන් ලංකාව ගත්තත් රජයේ සේවකයින්ට ජීවිත කාලයටම විශ්‍රාම වැටුප් ගෙවන්න සංචිත කොහෙවත් නැහැ. ඊළඟ පරම්පරාවයි ඒවා ගෙවන්න වෙන්නේ. මේ ක්‍රම මෙතෙක් කල් පවත්වාගෙන යන්න පුළුවන් වුණේ දිගින් දිගටම ජනගහණය විශාල ලෙස වර්ධනය වූ නිසා සංචිත එකතු වීමෙන්. ජනගහණ වර්ධනය අඩුවූ කාලයේ සිට තිබුණු සංචිත ටිකත් අඩුවෙමිනුයි යන්නේ.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...