වෙබ් ලිපිනය:

Friday, January 3, 2020

විස්සයි විස්සේ දැක්ම

විස්සයි විස්සේ (20/20) දැක්ම කියා කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ ඇස් පෙනීමේ මට්ටමටයි. ඔබේ පෙනීම තිබෙන්නේ 20/20 මට්ටමේනම් එයින් අදහස් වෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්ට අඩි 20ක දුරකදී හොඳින් පෙනෙන දෙයක් ඔබටත් අඩි 20ක දුරකදී පේනවා කියන එකයි.

ඔබේ පෙනීම තිබෙන්නේ 20/40 මට්ටමේනම් එය සාමාන්‍ය පුද්ගලයෙකුගේ පෙනීමේ මට්ටමට වඩා දුර්වල පෙනීමේ මට්ටමක්. ඔබට අඩි 20ක දුරක සිට හොඳින් දැකිය හැක්කේ සාමාන්‍ය පුද්ගලයෙක්ට අඩි 40ක දුරකදී හොඳින් පෙනෙන දෙයක් පමණයි. එහෙත්, එයත් නරකම මට්ටමක් නෙමෙයි. සාමාන්‍යයෙන් සැහැල්ලු වාහන රියදුරු බලපත් ලබා දීමේදී අවශ්‍ය සේ සැලකෙන අවම පෙනීමේ මට්ටම 20/40 මට්ටමයි.

මෙට්‍රික් ක්‍රමයට 20/20 මීටර් වලට හැරවී 6/6 වෙනවා. ඒ වගේම, 20/40 මෙට්‍රික් ක්‍රමයට 6/12 වෙනවා. 6/12 දැක්ම කියන එකෙන් අදහස් වෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්ට මීටර් 12ක දුරකදී හොඳින් පෙනෙන දෙයක් ඔබට මීටර් 6කදී හොඳින් පෙනෙන බවයි. ඒ මට්ටමට පෙනීම නැති අයෙකු රිය ධාවනය කරනවානම් උපැස් පැළඳිය යුතුයි. උපැස් වල කාච වක්‍රතාවය තීරණය කිරීමේදී ඉලක්කය වන්නේ 20/20 (හෙවත් 6/6) මට්ටමේ පෙනීමක් නැති අයෙකුගේ පෙනීම ඒ මට්ටමට ගේන එකයි.

විස්සයි විස්සේ එහෙමත් නැත්නම් මෙට්‍රික් ක්‍රමයට හයයි හයේ පෙනීම කියා කියන්නේ කෙනෙකුට තිබිය හැකි හොඳම මට්ටමේ පෙනීම නෙමෙයි. එය බොහෝ දෙනෙකුට පෙනෙන මට්ටමයි. ඊට වඩා හොඳින් පෙනෙන අයත් ඉන්නවා. 20/10 (මෙට්‍රික් ක්‍රමයට 6/3) පෙනීම කියා කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්ට අඩි 10ක දුරකදී හොඳින් පෙනෙන දෙයක් ඔබට අඩි 20ක දුරකදී පේනවා කියන එකයි. ඒ කියන්නේ එවැනි කෙනෙක් වෙනත් බොහෝ අයට වඩා දුර දකිනවා.

රිය පැදවීමේදී ප්‍රමාණවත් දුරක සිට ඉදිරිය පැහැදිලිව දකින්න හැකි වීම අත්‍යවශ්‍ය කරුණක්. ඊට අමතරව, පුළුල් පරාසයක් දැකිය හැකි වීම (දර්ශන ක්ෂේත්‍රය) හා එක් එක් තනි ඇසේ පෙනීම අවම මට්ටමක තිබීමත් අවශ්‍යයි. ඒ වගේම ද්විත්ව පෙනීම (ඩිප්ලෝපියාව), වර්ණ අන්ධතාව වැනි රෝගී තත්ත්වයන්ද ආරක්ෂාකාරී ලෙස රිය එළැවීමට බාධාවක්. ලංකාවේදී රියදුරු බලපතක් ලබා දීමේදී වර්ණ අන්ධතාව ප්‍රශ්නයක් සේ සලකන්නේ නැහැ.

ගෝඨාභයගේ ආර්එම්වී විසිට් එකෙන් පසුව, ලංකාවේ සැහැල්ලු වාහන රියදුරු බලපත් ලබා දීමේදී අවශ්‍ය වන වෛද්‍ය පරීක්ෂණය ඇස් පරීක්ෂාවකට සීමා කිරීම පිළිබඳව සලකා බලමින් ඉන්න බව පේනවා. ඇමරිකාවේදී සැහැල්ලු වාහන එළැවීමේ බලපත්‍රයක් ගන්න අවශ්‍ය වන්නේ අක්ෂි පරීක්ෂාවක් පමණයි. ගෝඨාභයත් මේ බව දන්නා නිසා ඇමරිකාවෙත් නැති එකක් ලංකාවට අවශ්‍ය වන්නේ ඇයි කියා හිතනවා ඇති.

මගේ පෞද්ගලික අදහසත් සැහැල්ලු වාහන එළැවීමට බලපත් නිකුත් කිරීමේදී අක්ෂි පරීක්ෂාවක් කිරීම ප්‍රමාණවත් කියන එකයි. එහෙත්, මේ වගේ දෙයක් තනි පුද්ගලයෙක් විසින් තීරණය කරන එක සුදුසුයි කියා මා හිතන්නේ නැහැ. මේ පිළිබඳ විශේෂඥතාවයක් තිබෙන අය සාමාන්‍ය පුද්ගලයෙකු නොදකින පැති දකිනවා වෙන්න පුළුවන්.

ජනාධිපතිවරයා විසින් හෝ රජයේ වෙනත් කවුරු හෝ ලොක්කෙක් විසින් රටේ බොහෝ දෙනෙකුගේ ජීවිත ආරක්ෂාවට බලපාන මේ වගේ තීන්දු තනිව ගන්නා හැම විටකම අවම වශයෙන් ඒ බව ප්‍රසිද්ධ කර මහජන අදහස් දැක්වීම සඳහා අවස්ථාව හා ප්‍රමාණවත් කාලයක් දී ඒ අදහස් ගැනද සලකා බැලීමෙන් පසුව අදාළ තීන්දු ක්‍රියාත්මක කරන එකයි වඩාත්ම යෝග්‍ය ක්‍රමය.

8 comments:

  1. ' ඇමරිකාවේදී සැහැල්ලු වාහන එළැවීමේ බලපත්‍රයක් ගන්න අවශ්‍ය වන්නේ අක්ෂි පරීක්ෂාවක් පමණයි.'

    එතකොට අතපය නැති කෙනෙක්ට, කන් ඇහෙන්නේ නැති කෙනෙක්ට ඇමරිකාවේ සැහැල්ලු රියදුරු බලපත්‍රයක් ගන්නට පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ හෝන් ගැසීම සිදු නොවන තරම් නිසා ඇසීමේ දුර්වලතා තිබීම වාහන එළැවීමට බලපාන ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ෆෝන් කනේ කහගෙන යාම නිසා සිදු වන අනතුරු සැලකූ විට එවැනි අය වාහන එළැවීම වඩා ආරක්ෂාකාරී වෙන්නත් පුළුවන්. අතපය නැති අයට අවශ්‍ය තැනකට තනිව යාම අපහසු නිසා එවැනි අයට වාහනයක් එළැවීමට අවස්ථාව සැලසීම ඉතාම වැදගත්. නැත්තේ කොයි අංගද කියන එක අනුව එළවන වාහනයට කොපමණ අමතර උපාංග අවශ්‍යද කියන එක තීරණය වෙනවා. උදාහරණයක් විදිහට වම් කකුල නැති වීම සාමාන්‍ය ඔටෝ ගියර් වාහනයක් එළැවීමට බාධාවක් නෙමෙයි. දකුණු කකුල නැත්නම් ඇක්සලරේටරය වම් කකුල තියෙන පැත්තට මාරු කළ යුතුයි. කකුල් දෙකම නැත්නම් ඇක්සලරේටරය අතින් පාලනය කළ හැකි විය යුතුයි. අත් දෙකම නැති අයට කකුලෙන් පාලනය කළ හැකි සුක්කානමක් පහතින් සවි කර ගත හැකියි.

      පහත ලියැවිල්ල කැනඩාවේ එකක්. මෙහි පස් වන පිටුව බලන්න.

      https://www.waramps.ca/pdf/english-site/ways-we-help/living-with-amputation/licence-to-drive.pdf

      Delete
    2. සාදු! සාදු!! සාදූ!!!

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. +++++++++++++++++++++++++++++++++++++

      Delete
    5. 2014 න් පසු දකුණෙ දෙමළ ගුරුවරු බඳවා ගෙන නැති බවත් අවුරුදු 5 ක් දකුණේ දෙමළ මාධ්‍ය දරුවන්ට අහිමි කළ ඒ සමාජ අසමතුලිතාවයට විසඳුම් ලබා දෙමින් මසක් ඇතුළත දෙමළ මාධ්‍ය ගුරුවරු 94 දෙනෙකු බඳවා ගන්න හැකි වූ බව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා දකුණේ දෙමළ මාධ්‍ය උපාධිධාරීන්ට ගුරු පත්වීම් ලබා දෙමින් පැවසුවේය.

      2014 ජනවාරි මාසයෙන් පසු දකුණේ දෙමළ මාධ්‍ය ගුරුවරුන් කිසිවෙක් ගුරු සේවයට බඳවා ගෙන නොමැති බවත්, දකුණු පළාත තුළ මේ වන විට දෙමළ මාධ්‍ය පාසල් දරුවන් 15124 දෙනෙකුට ඒ හේතුවෙන් ඔවුන්ට අධ්‍යාපනයේ ලැබීමේ අයිතිය අහිමිව ඇති බව තමන් වටහා ගත් බවත්, කඩිනමින් දෙමළ මාධ්‍ය ගුරුවරු බඳවා ගැනීමට කටයුතු කළ බවත් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.

      වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා ‘මා විශ්වාස කරන අයුරින් රටේ සියළුම දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය සුරැකීම අප සැමගේම යුතුකමක්.. වගකීමක්. හිටපු උසස් අධ්‍යාපන මැතිතුමා දියත් කළ ‘මහපොල’ ව්‍යාපාරයත් ලංකාවේ ප්‍රධාන පෙළේ එවැනි වැඩසටහනක්. දරිද්‍රතාවයෙන් මිදීමේ මූලිකාංගය අධ්‍යාපනය යි. යම් සමාජයක් ඔසවා තබන්නට අවශ්‍ය ප්‍රධානතම මෙවලම අධ්‍යාපනයයි. 2014 ජනවාරි මාසයෙන් පසු කිසිදු දෙමළ ගුරුවරයෙක් දකුණු පළාතේ ගුරු සේවය සඳහා බඳවා ගෙන නැහැ. එය ඉතාම අවාසනාවන්ත සහගත තත්ත්වයක්. දකුණේ ආණ්ඩුකාර ධූරයට පත් වීමෙන් පසු මුස්ලිම් කණ්ඩායමක් පැමිණියා මා හමුවීමට. ඔවුන් මා සමග කියා සිටියා දෙමළ මාධ්‍ය පාසල්වල පවතින ගුරු හිඟය පිළිබඳව. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මෙම ගැටළුව විමසීමේදී දැනගන්නට ලැබුණා බඳවා ගැනීමට නොහැකි වීමට හේතුව යම් අධිකරණ වාරණයක් පවතින බව. 2016.05.19 ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී තිබූ වාරණ නියෝගය අප 2019 දෙසැම්බර් මාසේ වාරණ නියෝගය ඉවත් කර ගෙන මසක් ඇතුළත දෙමළ මාධ්‍ය ගුරුවරුන් 94 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කළා. එමෙන්ම දිවයිනේ කිසිදු පළාත් සභාවක් මසක් වැනි කෙටි කාලයක් තුළ මෙවැනි ගුරු බඳවා ගැනීමක් සිදු කොට නැහැ. දකුණු පළාතේ දෙමල මාධ්‍ය පාසල් 46 ක් තියෙනවා. ඉන් පළාත් සභාවට අයත් පාසල් ගණන 42 ක්. එමෙන්ම තවත් දෙමළ මාධ්‍ය ගුරුවරු 188 දෙනෙකු තරග විභාගයක් හරහා බඳවා ගැනීමට නියමිත යි. එම බඳවා ගැනීම් කටයුතු ද ඉදිරි මාස 2-3 ඇතුළත අවසන් කිරීමට මා අධ්‍යාපන අමාත්‍යාශය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

      ඒ අනුව අද දින පත්වීම් ලැබූ දෙමළ මාධ්‍ය ගුරුවරු 94 දෙනා දකුණු පළාතේ දෙමළ මාධ්‍ය පාසල් 34 ක සේවයේ යෙදවීමට නියමිත ව ඇත.

      Delete
  2. අපේ රටේ ගොඩක් අය හිතන්නේ බලයත් එක්ක දැනුමත් ලැබෙන බවයි, සියල්ල දත් අය බවට පත්වෙන බවයි. අතීතයේදී එවැනි අයට වැරැදුණු තැන් ගැනත් අධ්‍යයනයක් කෙරෙන්නේ නැහැ.

    සමහර විට හිතනවා ඇත්තේ තවත් දැනුමත්තන්ගේ පදෙස් ලැබීම මදිකමක් කියලා වෙන්නැති. තව අයට credit එක යනවාටත් බයයිද මන්දා.

    ඒ වගේම අනවශ්‍ය කඩිනම. බස්වලට සපයන ගීත තැටියට ගී 1000ක් තේරුවේ කවුද කියලා මා නම් කොතනකවත් දුටුවේ නැහැ.
    එවැනි දේවල් පවා ප්‍රසිද්ධ කරනවා නම් වැරදි කෙරෙන එක අඩුවෙනවා නේද?

    ReplyDelete
  3. ඝෝඨාභය සුද්දෙක් වගේ කලිසං කෝට් ඇඳලා ඉන්නවා දැක්කාම උඹලට මොකද හිතුනේ?

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...