Tuesday, August 20, 2019
අනුර කුමාර ඉදිරිපත් වුනේ ඇයි?
අනුර කුමාර දිසානායක මේ වන විට ජාතික ජන බලවේගයේ අපේක්ෂයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව බර තබා දැනුම් දී තිබෙනවා. එහෙත්, එජාප අපේක්ෂයාව එළි දැක්වීමෙන් අනතුරුව අනුර කුමාර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී ලිස්සා යනු ඇතැයි ඇතැම් අය අදහස් පළ කරනවා. සාධක ගණනාවක් මත එය එසේ වේයැයි මා හිතන්නේ නැහැ.
මගේ අදහස අනුව මෙවර ජනපතිවරණයට ජවිපෙ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම 2015 ට පෙර සිටම ජවිපෙ සැලසුම් කළ ඉදිරි ක්‍රියාමාර්ග හා ගැලපෙන්නක්. 2015දී ජවිපෙ ප්‍රමුඛතාවය දුන්නේ රාජපක්ෂ රෙජීමය බලයෙන් පහ කිරීමටටයි. ඔවුන් එය කිරීමට සමත් වුනා. 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය සඳහා ජවිපෙ දායකත්වය තීරණාත්මක ලෙස බලපෑවා. එහෙත්, ජවිපෙ ඒ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටියේ වක්‍ර ලෙසයි. ඔවුන් ජනතාවට "අන්න ඉබ්බා. මෙන්න ගින්දර" කියා පෙන්නුවා මිසක් ඊට වඩා වැඩි දෙයක් කිවුවේ නැහැ. එසේ කළේ "ඉබ්බා පුච්චන්න කියා අපි කවදාවත් කියා නැහැ" කියා පසුව කීමේ ඉඩකඩ වෙනුවෙනුයි. නමුත්, තමන්ට වාසිදායක තත්ත්වයන් යටතේදී "ඉබ්බව වගේම ගින්දරත් පෙන්නුවේ අපි. අනෙක් අය කළේ අපි පෙන්නුවාට පස්සේ ඉබ්බව පුච්චපු එක විතරයි" කියා කීමේ විකල්පයත් ඔවුන් ඉතිරි කර ගත්තා.
පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේදී යහපාලනය වෙනුවෙන් පෙනී සිටි බොහෝ දෙනෙකුගේ අපේක්ෂාවන්ට සාපේක්ෂව යහපාලන ආණ්ඩුව ඉතා ඉක්මණින්ම අසාර්ථක වීමට නියමිතව තිබුණු බව මුල සිටම පැහැදිලිව පෙනුණු දෙයක්. ජවිපෙත් මේ බව නිවැරදිව ඇස්තමේන්තු කළා. පැවති තත්ත්වය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාම සඳහා රනිල් වික්‍රමසිංහ සතුව මාර්ග සිතියමක් තිබුණා. එහි මූලික හා ප්‍රධානම උපාය මාර්ගය වූයේ ශ්රීලනිපය දෙකඩ කිරීමයි. එහෙත්, ශ්‍රීලනිප දෙකඩ වීම වෙනුවට සිදු වුනේ ශ්රීලනිපය නැති වීම නිසා රනිල්ගේ සැලසුම් සාර්ථක වූයේ නැහැ.
ජවිපෙ සැලසුම් පදනම් වූයේද රනිල්ගේ සැලසුම් වලට සමාන්තරවයි. ශ්රීලනිපය දෙකඩ වී දුර්වල වීමෙන් පසුව එජාපයටද මතු වෙන්නට ඉඩ නොදී පක්ෂ දෙක කෙරෙහිම කලකිරෙන විශාල පිරිස තමන් වෙත ආකර්ශනය කර ගැනීම ජවිපෙ අභිලාශය වුනා. ජවිපෙ විසින් බැඳුම්කර සිදුවීම උපයෝගී කරගෙන එජාපයට මුලදීම මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළේ එජාපයේ ගමනට තිරිංග දමා තමන්ගේ ගමන වේගවත් කර ගැනීමට මිස රාජපක්ෂලාට නැවත බලයට එන්න තිබෙන ඉඩකඩ වැඩි කරන්න නෙමෙයි.
එජාප හා ජවිපෙ සැලසුම් වෙනස් වුනේ මහින්ද විසින් ශ්‍රීලනිප සභාපතිකම මෛත්‍රීට දී පැත්තකට වීමත් සමඟයි. බැලූ බැල්මටට මෙය පෙනුණේ මෛත්‍රීට වගේම එජාපයට හා ජවිපෙටත් ලැබුණු අනපේක්ෂිත වාසියක් විදිහටයි. එහෙත්, ඉත්තන් කිහිප දෙනෙක් කැපෙන්නට ඇරීමෙන් රාජපක්ෂලාට දාන් යන්න පාරක් ඇරුණා.
ජවිපෙ ඇතුළේ සිටිමින් එජාපයට අවශ්‍ය පරිදි කටයුතු කරන බවට චෝදනාවක් කලක සිටම අනුර කුමාරට එල්ල වී තිබෙනවා. ඒ වගේම ජවිපෙට පොදුවේ "රතු අලි" ලේබලයක් වැදී තිබෙනවා. මේ ලේබල් ගහන කණ්ඩායම් අතර රාජපක්ෂවාදීන් වගේම ජවිපෙන් කැඩී ගිය කණ්ඩායම් දෙකේ අයත් කැපී පෙනෙනවා.
කිසියම් දේශපාලන පක්ෂයක් ඇතුළේ වෙනත් පක්ෂයක ඉත්තන් සිටීම අමුතු දෙයක් නෙමෙයි. ජවිපෙ ඇතුළෙත් එවැනි අය සිටිය හැකියි. විමල් වීරවංශ වැනි අය ජවිපෙ ඇතුළේ සිටියදී රාජපක්ෂලාට අවශ්‍ය පරිදි කටයුතු කර ඇති බව පැහැදිලියි. ඒ ආකාරයටම අනුර කුමාර එජාපයට අවශ්‍ය ආකාරයට කටයුතු නොකරනවා කියා මට සහතික විය නොහැකියි. හැබැයි එවැනි තත්ත්වයක් තිබේනම් එය ජවිපෙ සාමාජිකයින්ගේ හා නිලධාරී මණ්ඩලයේ ප්‍රශ්නයක්. ඔවුන්ට එය ප්‍රශ්නයක් නොවේනම් හෝ එවැනි ප්‍රශ්නයක් නොපෙනේනම් ජවිපෙට පිටින් සිටින අය එය ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ.
බාහිර නිරීක්ෂකයෙක් ලෙස මා දැකපු ආකාරයටනම් සිදු වුනේ ඇතැම් තත්ත්වයන් යටතේදී ජවිපෙ හා එජාප අවශ්‍යතා සමපාත වීමක්. එය ජවිපෙ එජාපය වෙනුවෙන් කඩේ යමක් ලෙස ලඝු කරන්න බැහැ. ජවිපෙ උත්සාහ කළේ මුලින් එජාපයේ උදවුවෙන් රාජපක්ෂ කල්ලිය ඇතුළු ශ්‍රීලනිපත්, දෙවනුව එජාපයත් දුර්වල කර 2020දී රාජ්‍ය බලය වෙත කිට්ටු කරන්නයි. ඔවුන් ඉලක්ක කළ පරිදි බොහෝ දේ සිදු වුනේ නොමැති තත්ත්වයක් යටතේ වුවත් වෙනම තරඟ කිරීම ඔවුන්ට මේ වෙලාවේ ගත හැකි හොඳම ක්‍රියා මාර්ගයයි. මේ මා දකින පළමු හේතුව.
පසුගිය දෙවරම ජවිපෙ විසින් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කළේ එම පක්ෂයේ සැලකිය යුතු ව්‍යුහමය වෙනසක් සිදු වීමෙන් පසුවයි. පළමු කැරැල්ලෙන් පසුව නිදහස ලබා නැවත සංවිධානය වීමෙන් පසුව 1982දී රෝහණ විජේවීර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනා. මෙය කළේ බලහත්කාරයෙන් රාජ්‍ය බලය ලබා ගැනීමේ අරමුණින් හැදූ ජවිපෙ පක්ෂ ව්‍යුහය මැතිවරණ ඉලක්ක කර යම් තරමකින් වෙනස් කර ගැනීමෙන් පසුවයි. මේ ආකාරයෙන්ම දෙවන කැරැල්ලෙන් පසුව පක්ෂ ව්‍යුහය ප්‍රතිසංවිධානය කර ගැනීමෙන් පසුව 1994දී නිහාල් ගලප්පත්තිව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට උත්සාහයක් ගත්තත්, ඒ වන විටත් දෙවන කැරැල්ලේ තුවාල සුව වී නොතිබූ නිසා ඔවුන්ගේ දෙවන ජනාධිපතිවරණ පරීක්ෂණය 1999 දක්වා කල් දමන්න සිදුවුණා.
මෙවර ජවිපෙ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ජවිපෙ තුන්වන කැරැල්ලේ තුවාල සුව කරගැනීමෙන් පසුවයි. පළමු කැරලි දෙකේදී මෙන් ජවිපෙ තුන් වන කැරැල්ලේදී රටට හානියක් සිදු වුනේ නැහැ. දැනෙන බලපෑමක් සිදු වුනෙත් නැහැ. එහෙත්, මුල් කැරළි අවස්ථා දෙකේදී වගේම පක්ෂයේ ආකෘතිමය රාමුවට හානි සිදු වුනා. ඉන් පසුව, මේ හානි ප්‍රතිසංස්කරණය කර ගනිමින් ජවිපෙට ව්‍යුහමය වෙනස්කම් කර ගන්න සිදු වුනා.
පක්ෂ අභ්‍යන්තරයට සීමා වූ ජවිපෙ තුන් වන කැරැල්ල 2012දී සිදු වූ කුමාර් ගුණරත්නම් ඇතුළු කණ්ඩායමේ වෙන් වීමයි. ඊට පෙර 2008දී සිදු වූ විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමේ වෙන්වීම නිසා ජවිපෙ ඡන්ද පදනම විශාල ලෙස බිඳ වැටුණත්, එම කණ්ඩායමේ වෙන් වීම ජවිපෙ පක්ෂ ව්‍යුහයට බලපෑවේ නැහැ. ප්‍රසිද්ධියේ මොනවා කිවුවත්, 2012 වන තුරුම ජවිපෙ යනු මැතිවරණ ජයග්‍රහණ ඉලක්ක කළ පක්ෂයක් නෙමෙයි. ඔවුන් මැතිවරණ ජයග්‍රහණ උපයෝගී කර ගත්තේ පක්ෂයේ ආරම්භයේ සිටම පැවතුනු අවසාන අරමුණ වූ අවි බලයෙන් රාජ්‍ය බලය පැහැර ගැනීමේ ඉලක්කය කරා යාමට උදවු වන අතරමැදි ඉලක්ක ලෙස පමණයි. නමුත්, ජවිපෙ ක්‍රමයෙන් මැතිවරණ ජයග්‍රහණ ලබා ගනිද්දී මුල් අරමුණ වෙනුවෙන් පෙනී සිටින කොටස් ක්‍රමයෙන් පක්ෂය තුළ දුර්වල වී 2012දී ඔවුන්ව තීරණාත්මක ලෙස පරාජය කෙරුණා.
විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමට වෙන්ව යාමට සිදු වීමත් මෙයට සම්බන්ධයි. ඔවුන් ජවිපෙ ඇතුළේ ප්රජාතන්ත්රවාදී ඉලක්ක වෙනුවෙන් මුලින්ම පෙනී සිටි කණ්ඩායමක්. එහෙත්, බාහිර නිරීක්ෂකයින්ට ඔවුන් පෙනුනේ පක්ෂයේ ප්‍රබලයින් ලෙස වුවත්, ඔවුන්ට පක්ෂය ඇතුළේ බලයක් නොතිබුණු නිසා පක්ෂය ප්‍රතිසංස්කරණය වීම වෙනුවට සිදු වුනේ ඔවුන් එළියට විසි වීමයි.
කුමාර් ගුණරත්නම් කණ්ඩායම ඉවත් වීමෙන් පසුවත් ජවිපෙ පක්ෂ ව්‍යුහය ඇතුළේ භක්තිමත් මාක්ස්වාදීන් ඉතිරිව සිටිනවා. ඔවුන් ඇතැමෙකුට පක්ෂය ඇතුළේ තවමත් විශාල බලයක් තිබෙනවා. ටිල්වින් ද සිල්වා උදාහරණයක් ලෙස පෙන්වන්න පුළුවන්. පක්ෂයේ නියමුවා පුවත්පත වැනි තැන් වල තවමත් ප්‍රමුඛතාවය ලැබෙන්නේ ලෙනින්ලාගේ මූලධර්මවාදී ආගමික පාඨ වලටයි. එසේ වුවත්, ජවිපෙ මේ වන විට සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයක් ලෙස රූපාන්තරණය වෙමින් පවතින බව පැහැදිලියි.
එක් වෙබ් අඩවියක පෙන්වා දී තිබුණේ අනුර කුමාර මෙවර රතු කමිසයක් ඇඳ නොසිටි බව හා සමාජවාදය යන වචනය ඔහුගේ කතාවේ කිසි තැනක සඳහන් නොකළ බවයි. එමෙන්ම, අනුරගේ මෙවර කතාවේ ලෙනින්, මාක්ස් හෝ එංගල්ස් කියූ දේවල් කිසිවක් නැහැ. අඩු වශයෙන් රෝහණ විජේවීර කියූ දේවල් හෝ නැහැ. ඒ වෙනුවට ඔහු උපුටා ගන්නේ ඇමරිකානු සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වූ මාටින් ලූතර් කිංග්වයි. මෙයින් පෙනෙන්නේ ජවිපෙ සමාජවාදය අතහැර ඇති බවයැයි අප කියන්නේ නැහැ. මෙය හිතා මතාම කරන රැවටීමක් විය හැකියි. එහෙත්, ඒ ආකාරයේ රැවටීමක් වුවත් ජවිපෙ ඉතිහාසයට සාපේක්ෂව විශාල වෙනසක්. ආරම්භයේදී ජවිපෙ මැතිවරණ වලට ඉදිරිපත් වූයේත් රැවටිල්ලක් ලෙස වුවත්, ඒ රැවටිල්ල නිසා දිගුකාලීනව ජවිපෙ පක්ෂ ව්‍යුහයේ සැබෑ වෙනසක් සිදු වුනා.
අනුර කුමාරගේ කතාවේ වැදගත්ම කොටස ලෙස මා දකින්නේ පහත කොටසයි.
"ඒ වගේම පුද්ගල නිදහස පිළිබඳ ප්රශ්නය. මිනිස් සංහතිය මානව වර්ගයාගේ උසස්තතම නිර්මාණයන් අත්පත් කර ගත්තේ කෙසේද? ඒ නිර්මාණයන් අත්පත් කර ගත්තේ ඇතිවන අදහස් ඇතිවන සිතුවිලි පෙට්ටගමක් අස්සට දාල ඉබියතුරු දාල වසා තැබීමෙන් නෙමෙයි. මානව සංහතියේ ප්රගමනය නිර්මාණය වී තිබෙන්නේ නිදහස් අදහස් ගැටීමෙන්. ඒ නිදහස් අදහස් අතර සමාජ ප්රගමනයට හිතකර මතයන් උරා ගැනීමෙන්. එසේ නැතිව වසා තැබීමෙන් නෙමෙයි. ඒ නිසා අපේ සමාජය ඉදිරියට ගෙන යා හැකි වන්නේ පුද්ගල නිදහස වගේම නිදහස් මතයන් දැරීමේ අයිතිය පිළිගැනීමෙන් පමණයි. සමාජයට විනයක් නිර්මාණය කළ හැක්කේ එතැනින් පමණයි. සමාජය ඇතුළේ නීතියේ සහ විධානයේ ආධිපත්‍යය තහවුරු කළ හැකි වන්නේ එතැනින් පමණයි. එසේ නැතිව ඇති කර ගන්නා ලද කවර වර්ගයේ විනයක්, එසේ නැතිව ඇති කර ගන්නා ලද කවර වර්ගයේ නීතියේ සහ විධානයේ ආධිපත්‍යයක් ජනතාව පීඩාවට පත් කරන්නක් හැර අන් කවරක් නෙමෙයි. ඒ නිසා අපි පුද්ගලික නිදහස පිළිබඳව විවෘතව කටයුතු කළ යුතු අවදියකට අප අවතීර්ණ වී සිටිනවා."
අන් මත දරන්නන් කුරුරු ලෙස ඝාතනය කළ පක්ෂයක් මෙවැනි තැනකට පැමිණීම ඉතා වැදගත් පරිවර්තනයක්. මෙහි අනුර කුමාර විසින් කතා කරන පුද්ගලික නිදහස කියන සංකල්පයේ ඉතා වැදගත් අංගයක් වන්නේ ඒකීය පුද්ගලයින්ට නිදහස් ගනුදෙනු වල යෙදීමට තිබෙන අයිතියයි. සමාජවාදය ධනවාදයෙන් වෙනස් වන්නේ සමාජවාදය තුළ රාජ්‍ය මැදිහත්වීම් හරහා ඒ නිදහසට බාධා කිරීමත්, ධනවාදය තුළ එසේ නොකිරීමත් යන කරුණ මතයි. අනුර කුමාරගේ කතාවේ රටේ හා ජනතාවගේ ආර්ථික දියුණුව ගැන කතා කළත් ඒ වෙනුවෙන් ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග ගැන කිසිවක් සඳහන් වන්නේ නැහැ. ඇතැම් විට සමාජවාදී ඉතිහාසයක් තිබෙන පක්ෂයක් විදිහට තවමත් ජවිපෙට නිදහස් වෙළඳපොල සංකල්පය වෙනුවෙන් පෙනී සිටින්න අමාරු ඇති.
යම් සීමාවන් තවමත් තිබුණත් මේ එළැඹෙන්නේ පක්ෂය ඇතුළට සීමා වූ ජවිපෙ තෙවන කැරැල්ලෙන් පසුව පක්ෂ ව්‍යුහය ප්‍රතිසංවිධානය කරගැනීමෙන් පසුව එළැඹෙන පළමු ජනාධිපතිවරණයයි. ඒ නිසා, මෙවරත් පෙර අවස්ථා දෙකේදී වගේම මේ වෙනසට ජනතාව ප්‍රතිචාර දක්වන ආකාරය දැන ගැනීමේ උවමනාවක් ජවිපෙට තිබෙනවා. මෙය ඔවුන් තමන්ගේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන දෙවන හේතුවයි.
ජවිපෙ මින් පෙර ජනාධිපතිවරණයකට සිය අපේක්ෂකයින් ඉදිරිපත් කළ අවස්ථා දෙකම බොහෝ දෙනෙකුට යම් තරමකින් හෝ ප්‍රධාන පක්ෂ දෙකම එපා වී තිබුණු අවස්ථාවන්. නිදහසේ සිට හැත්තෑ හත දක්වාම ලංකාවේ සිදුවුනේ එජාපය හා ශ්රීලනිපය (හෝ එම පක්ෂ මුල් වූ සන්ධාන) මාරුවෙන් මාරුවට බලයට පැමිණීමයි. නමුත්, 1982 වන විටත් ලංකාවේ මිනිස්සුන්ට සමගි පෙරමුණු ආණ්ඩුවේ සමාජවාදය අමතක වී තිබුණේ නැහැ. ඒ නිසා, ජේආර්ගේ ආණ්ඩුව පෙරළා නැවත ශ්රීලනිපය බලයට පත් කර ගැනීමේ සූදානමක් ඒ වන විටත් රටේ තිබුණේ නැහැ. අනෙක් අතට ජේආර්ගේ ආණ්ඩුව ගැන කළ කිරුණු විශාල පිරිසක් ඒ වන විට රටේ හිටියා. එවර ජවිපෙ විසින් ඉලක්ක කළේ මෙසේ ප්‍රධාන පක්ෂ දෙකම ගැන කළ කිරුණු පිරිසයි.
චන්ද්‍රිකා දෙවන වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට තිබුණේත් මේ වගේ තත්ත්වයක්. ඒ වන විට 62.3%ක ජනවරමකින් බලයට පත්ව සිටි නූතන විහාර මහා දේවිය චෞර රැජින සේ බෞතීස්ම ලබා සිටියත්, ජනතාවටට එජාපයේ "දාහත් අවුරුදු සාපය" අමතකව තිබුණේත් නැහැ. ජවිපෙ උත්සාහ කළේ මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගන්නයි. දැන් නැවතත් එවැනිම වටපිටාවක් සකස් වී තිබෙනවා. ජවිපෙ තරඟයට එන්නේ ඒ නිසයි.
කිසියම් ඡන්ද පදනමක් තිබෙන තෙවන අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන විට හැමවිටම වගේ නැගෙන චෝදනාවක් වන්නේ මේ අපේක්ෂකයා එන්නේ ඡන්ද කඩන්න කියන එකයි. මට මතක ඇති කාලයේ මේ චෝදනාවට වැඩිපුරම ලක් වුනේ මෙතෙක් ලංකාවේ ජනාධිපතිවරණයකදී වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වූ තෙවන අපේක්ෂකයා වන ඔසී අබේගුණසේකරයි. මේ චෝදනාව අප මේ වියුණුවේ ලිපියක් පළ කළ විට අපව කිසියම් දේශපාලන පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට සම්බන්ධ කර සිතීමට තරමක් සමානයි.
අප ලියන ඇතැම් දේ වලින් ඇතැම් දේශපාලන පක්ෂ වලට හෝ පුද්ගලයින්ට වාසියක් හෝ අවාසියක් වෙන්න පුළුවන්. නමුත්, එය අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ ආකාරයටම තෙවන අපේක්ෂකයෙකු ඉදිරිපත් වන හැම විටකම ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ ඡන්ද කැඩෙනවා. දෙදෙනාගෙන් එක් අයෙකුගේ ඡන්ද වැඩියෙන් කැඩෙන නිසා තෙවන අපේක්ෂකයෙකු ඉදිරිපත් වීමෙන් ප්‍රතිඵලය වෙනස් වෙන්නත් පුළුවන්. නමුත්, ගෝඨාභයගේ හෝ එජාප අපේක්ෂකයාගේ ඡන්ද කැඩෙනවාද නැද්ද කියන එක ජවිපෙ ප්‍රශ්නයක් නෙමෙයි. ඔවුන්ගේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම හෝ නොකිරීම ඔවුන්ගේ අයිතියක්.
ඒකීය පුද්ගලයින්ගේ තේරීම් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකුට, වැඩි විකල්ප ගණනක් ලැබීමට විරුද්ධ වීමේ හැකියාවක් නැහැ. තෝරා ගැනීමට තිබෙන විකල්ප ප්‍රමාණය ඉහළ යන තරමට සිදු වන්නේ යහපතක්. අලුතෙන් එකතු වෙන විකල්පයක් තමන්ට සාපේක්ෂව නරක එකක් වුවත් මෙහි වෙනසක් නැහැ. විකල්පය නරක එකක්යැයි පෙනේනම් එය තෝරා නොගෙන සිටීමේ අයිතිය පුද්ගලයෙකුට තිබෙනවා. එහෙත්, විකල්ප අඩු වූ විට වෙන්නේ අඩු නරක තෝරා ගන්න වෙන්න පුළුවන්.
ඒ වගේම ලංකාවේ ජනාධිපතිවරණයකදී මනාප භාවිතා කිරීමේ නිදහසද තිබෙන නිසා මේ ඡන්ද කඩන කතාව කොහෙත්ම අදාළ එකක් නෙමෙයි. තෙවන අපේක්ෂකයෙකු වෙනුවෙන් ඡන්දය භාවිතා කරන අයෙකුට ඒ හේතුවෙන් තමන් අකැමැති අයෙකු බලයට පත් වේයයි බයක් තිබේනම්, එය වළකනු පිණිස තමන්ගේ දෙවන මනාපය භාවිතා කළ හැකියි. එවිට අවසන් ප්‍රතිඵලය වෙනස් වෙන්නේ නැහැ. 1982 ජනාධිපතිවරණයේදී තමන්ට පළමු මනාපය දෙන අයගේ දෙවන මනාපය සිරිමාවෝ බණ්ඩාරනායක වෙත ලබා දෙන මෙන් කොල්වින් ආර් ද සිල්වා විසින් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියා.
පොදුජන පෙරමුණ හා එජාපය යන පක්ෂ දෙකටම එරෙහි විකල්ප අපේක්ෂකයෙකු සේ පෙනී සිටින අනුර කුමාරට හෝ ඔහුගේ පක්ෂය වන ජවිපෙට කොල්වින් ආර් ද සිල්වා විසින් කළ ආකාරයේ ඉල්ලීමක් ප්‍රසිද්ධියේ කරන්න අමාරුයි. එහෙත්, ජවිපෙ සාමාජිකයෙකු ලෙස පෙනී නොසිටින ජාතික ජන බලවේගයේ ප්රකාශකයෙකුට එවැනි ඉල්ලීමක් කළ හැකියි. ජවිපෙටම වුවත් අප්රසිද්ධියේ තමන්ගේ විශ්වාසවන්ත සාමාජිකයින් දැනුවත් කළ හැකියි. ජවිපෙ සතුව මේ විකල්පය තිබෙන නිසා, අවසාන මොහොතේ අනුර කුමාර තරඟයෙන් ඉවත් වේයැයි හිතන්න පුළුවන් කමක් නැහැ. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පක්ෂයක් ලෙස ජවිපෙට ඉතා වැදගත් දෙයක්.
පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ එජාපය හා ජවිපෙ විසින් රාජපක්ෂලාට කළ චෝදනා හා රාජපක්ෂලාගේම හැසිරීම් නිසා විශාල පිරිසකට රාජපක්ෂලාව එපා වුනා. ඔවුන් යහපාලනය වෙනුවෙන් ඡන්දය දුන්නා. ඉන් පසුව රාජපක්ෂලා හා ජවිපෙ විසින් වගේම මෛත්‍රීපාල පාර්ශ්වය විසින්ද බැඳුම්කර චෝදනාව එල්ල කරමින් එජාපයට විශාල පහරක් ගැහුවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස රාජපක්ෂලා එපා වී යහපාලනයට ආ විශාල පිරිසකට එජාපයත් එපා වුනා. නමුත්, මේ පිරිස් ජවිපෙ මුලින් ගණන් හදා බලා තිබූ ආකාරයට ඔවුන් වෙත ආවේ නැහැ. මහින්ද පාර්ශ්වයේ රතු අලි ලේබල් එක නිසා එජාපයෙන් ඉවත් වන පිරිස් ජවිපෙන්ද ඉවත් වුනා. ඉන් පසුව, මේ පිරිස් නැවතත් දින පණහේ ඔක්තෝබර් විප්ලවය වෙලාවේ මහින්දට හා මෛත්‍රීට එරෙහිව නැගී සිටියා. එහෙත්, ඔවුන් එජාපය වෙත හෝ ජවිපෙ වෙත නැවත ආකර්ශනය වුනේ නැහැ.
අවසාන ප්‍රතිඵලය විදිහට මේ වෙද්දී එජාප, ශ්‍රීලනිප (පොදුජන පෙරමුණද ඇතුළුව) හා ජවිපෙ තුනම එපා වී 225ම එපා කියා කියන පිරිසක් රටේ බිහි වී සිටිනවා. ඒ අයගේ ඉල්ලුම සපුරමින් අපේක්ෂකයින් කිහිප දෙනෙක්ද කරලියට පැමිණ තිබෙනවා. දැන් තිබෙන තත්ත්වය අනුව, රාජපක්ෂ කඳවුරේ ඡන්ද තමන් වෙත ආකර්ශනය කර ගැනීමේ හැකියාවක් ජවිපෙ සතුව නැහැ. මෑතකාලීන ඉතිහාසය පුරාම ජවිපෙ වෙත ආකර්ෂණය වුනේ ශ්‍රීලනිප ඡන්ද වුවත් දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා. ජවිපෙට යම් තරමකින් හෝ ගෝඨාභයට සෘජු බලපෑමක් කළ හැක්කේ ඔහුට ලැබෙන්නට ඉඩ තිබෙන පාවෙන ඡන්ද යම් ප්‍රමාණයක් ආකර්ශනය කර ගැනීමෙන් පමණයි.
ජවිපෙ විසින් තමන්ගේ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකර එජාප අපේක්ෂයෙකුට සෘජුව හෝ වක්‍රව සහාය පළ කිරීම මඟින් මේ පාවෙන ඡන්ද එජාපය වෙත තල්ලු කළ නොහැකි තරමට ජවිපෙ විසින් බැඳුම්කර සිද්ධිය උපයෝගී කර ගනිමින් එජාපයට බැට දී අවසන්. ඒ නිසා, ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට ඉඩ ඇති නාගානන්ද කොඩිතුවක්කු හෝ රොහාන් පල්ලෙවත්ත වැනි අයෙකුට ලබා ගත හැකි කිසියම් ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා. මේ ඡන්ද මෙතෙක් ජවිපෙට ලැබුණු ජවිපෙ නොවන ඡන්ද. ජවිපෙ විසින් අනුර කුමාර වෙත ආකර්ශනය කර ගැනීමට බලාපොරොත්තු වන්නේ මේ පාවෙන ඡන්දයි.
එහෙමනම්, ජවිපෙ විසින් ගාමිණී විජේසිංහ වැනි අයෙකු නොදා තමන්ගේ නායකයාම තරඟයට ඉදිරිපත් කළේ ඇයි? අපේ පහසුව සඳහා අපි අර විකල්ප අපේක්ෂකයා නාගානන්ද කියා හිතමු. දැන් නාගානන්ද වෙනුවෙන් ඡන්දය දෙන්නේ පක්ෂ තුනම එපා කියා කියන අයයි. මේ ඡන්ද සඳහා තරඟ කරන්න ගාමිණී විජේසිංහ දැම්මා කියා කියමු. දැන් තේරීම තියෙන්නේ දේශපාලන පක්ෂයක ඉත්තෙක්ව සිටින ස්වාධීන පුද්ගලයෙක් හා එසේ නොවන ස්වාධීන පුද්ගලයෙක් අතරයි. මේ වැඩෙන් අවශ්‍ය කාර්යය නොකෙරෙන බව පැහැදිලියි. ජවිපෙට ස්වාධීන පුද්ගලයෙක් තරඟයට දමා 225ම එපා කියන අයගේ ඡන්ද ලබා ගන්න බැහැ.
මේ තත්ත්වය යටතේ ජවිපෙ විසින් උත්සාහ කරන්නේ 225ම එපා කියන අදහසට මතවාදීව එරෙහි වෙමින් මේ පාවෙන ඡන්ද ආකර්ශනය කර ගන්නයි. විකල්ප අදහසක් ලෙස ඔවුන් කියන්නේ ජනතාව අතර කාලයක් සිටි කෙනෙකුට ආදේශකයක් වීමට රොකට් කාරයෙකුට නොහැකි බවයි. මේ කතාව ගැලපෙන්නේ ජවිපෙ දැනට සිටින නායකයෙකුටයි. වඩාත්ම ගැලපෙන්නේ එහි නායකයාටයි. ඔහුට අවම වශයෙන් ජවිපෙ ඡන්ද සියල්ලම ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.
අනුර කුමාරව ඉදිරිපත් කිරීමේ තිබෙන ප්රශ්නය වන්නේ ඔහුව "රතු අලියෙක්" සේ හඳුනා ගෙන තිබීමයි. එහෙත්, මෙය ප්‍රශ්නයක් වන්නේ රාජපක්ෂ කඳවුරේ ඡන්ද ඉලක්ක කරනවානම් පමණයි. ජවිපෙ දැන් ඉලක්ක කරන්නේ යහපාලනයට ලැබුණු, මේ වන විට යහපාලනයෙන් ගිලිහී ඇති ඡන්දයි. ජවිපෙ මෙවර තනිව තරඟ කරන තෙවන හේතුව මෙන්ම, ජවිපෙ අපේක්ෂකයා අනුර කුමාර වන්නේද මේ නිසයි.
අනුර කුමාර ඉදිරිපත් පත් වීම නිසා අවසන් ප්‍රතිඵලයට සිදු වන බලපෑම මෛත්‍රීපාල සිරිසේනගේ හැසිරීම, එජාප අපේක්ෂකයා කවුරුන්ද යන වග හා ඉදිරිපත් විය හැකි නාගානන්ද වැනි "ස්වාධීන" අපේක්ෂකයින් මත තීරණය වනවාක් මෙන්ම ඒ දේවල් සිදුවන ආකාරයද අනුර කුමාරගේ ඉදිරිපත් වීම මත යම් තරමකින් වෙනස් විය හැකියි.
Labels:
අනුර කුමාර දිසානායක,
ජනාධිපතිවරණය,
දේශපාලනය
Monday, August 19, 2019
ජවිපෙ මැතිවරණ පුරාණය
ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අලුත් දේශපාලන පක්ෂයක් නෙමෙයි. මේ වන විට එම පක්ෂයේ ඉතිහාසය වසර පණහකටත් වඩා වැඩියි. පක්ෂය හදන කාලයේ එහි නිර්මාතෘ රෝහණ විජේවීර වයස අවුරුදු විසි එකක තරුණයෙක්. පළමු කැරැල්ලට සහභාගී වූ තරුණයින්ගේ සාමාන්‍ය වයස අවුරුදු 20ක් සේ සැලකෙනවා.
රෝහණ විජේවීරව මරා දමන විට ඔහුගේ වයස අවුරුදු 46යි. පළමු කැරැල්ලට සහභාගී වූ අය ඒ වන විට ජීවත්ව සිටියේනම් ඒ බොහෝ දෙනෙක්ගේ වයසද ආසන්න වශයෙන් එපමණ වෙනවා. නමුත්, විජේවීරගේ මරණය සිදුවුණු කාලය වන විට පළමු කැරැල්ලට සහභාගී වූ බොහෝ දෙනෙක් ජවිපෙ සමඟ සිටියේ නැහැ. ඒ වන විට ජවිපෙ සමඟ සිටි හා ජවිපෙ දෙවන කැරැල්ලට සහභාගී වූ බොහෝ අය ඒ කාලය වන විට අවුරුදු විස්සකට ආසන්නව සිටි අයයි.
ජවිපෙ ආරම්භයේ සිට දෙවන කැරැල්ල අවසන් වූ කාලය දක්වාම එම පක්ෂයේ සාමාජිකයින්ව සිටියේ තරුණ තරුණියන්. ඒ හැර ජවිපෙ පවුල් කියා කිව හැකි පවුල් නොතිබුණු තරම්. මුල් කැරැල්ලට සහභාගී වූ බොහෝ දෙනෙක්ගේ දෙමවුපියන් සම්ප්‍රදායිකව පැරණි වාමාංශික පක්ෂයකට සහයෝගය දැක්වූ අය. දෙවන කැරැල්ලට සහයෝගය දැක්වූ බොහෝ දෙනෙකුගේ දෙමවුපියන් ශ්‍රීලනිප පාක්ෂිකයින්. මේ අය අතරින් බොහෝ දෙනෙකු තමන්ගේ දරුවන් ජවිපෙ සාමාජිකයින්ව සිටින බව දැන සිටියේ නැහැ.
ජවිපෙ මැතිවරණ වලට ඉදිරිපත් වෙන්න පටන් ගත්තේ දෙවන කැරැල්ලෙන් පසුව නෙමෙයි. එහෙත්, දෙවන කැරැල්ල පරාජය වීමෙන් පසුව එම පක්ෂය දිගටම ප්රජාතන්ත්රවාදී රාමුව තුළ කටයුතු කරමින් සිටිනවා. එම කාලය දශක දෙකකට ආසන්නයි.
දෙවන කැරැල්ලෙන් පසුව පක්ෂය නැවත ගොඩ නැගූ එවකට තරුණ වියේ සිටි නායකයින්ගෙන් සැලකිය යුතු පිරිසක් තවමත් එම පක්ෂයේ නායකයින් ලෙස කටයුතු කරනවා. ඔවුන් බොහෝ දෙනෙක් මේ වන විට රෝහණ විජේවීර මිය යන විට සිටි වයස පහු කරලා. මේ වන විට ජවිපෙ හා අදාළ තීරණ ගන්නේ වයස අවුරුදු පණහක් පමණ වූ පරිණත පිරිසක්. පක්ෂයේ නායක හා ජනාධිපති අපේක්ෂක අනුර කුමාරත් වයස අවුරුදු පණහක් වූ පරිණත පුද්ගලයෙක්.
ජවිපෙ තව දුරටත් තරුණයින්ගේ පක්ෂයක් නෙමෙයි. පක්ෂයේ ඉහළ තලයේ සිටින පුද්ගලයින් සමඟම ජවිපෙද පරිණත වී තිබෙනවා. මේ වන විට ජවිපෙ පවුල් කියා හැඳින්විය හැකි පවුල් රටේ සිටිනවා. තරුණයෙකු තව දුරටත් ගෙදරට හොරෙන් ජවිපෙ දේශපාලනය කළ යුතුද නැහැ.
ජවිපෙ මුලින්ම ජනාධිපතිවරණයකට තරඟ කළේ 1982දී. එය ලංකාවේ පළමු ජනාධිපතිවරණයද වූවා. ජනාධිපතිවරණයට තරඟ කළේ පක්ෂයේ නිර්මාතෘ හා එවකටද නායකයා වූ රෝහණ විජේවීරමයි.
මේ පළමු ජනාධිපතිවරණය පැවැත්වෙන විට රටේ ජනාධිපතිව සිටියේ ජේආර් ජයවර්ධනයි. ජනාධිපතිවරණයේ ප්රමුඛ අපේක්ෂකයාව සිටියේද එජාපයෙන් තරඟ කළ ඔහුමයි. රටේ මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍ය සියල්ලක්ම තුළ ජේආර්ගේ ඒකාධිකාරය පැහැදිලි ලෙස කැපී පෙනුනා.
පළමු ජනාධිපතිවරණයේදී ජේආර්ගේ ප්‍රතිවාදියා ලෙස සටනක් දීමේ වැඩිම ශක්‍යතාව තිබුණේ ශ්‍රීලනිප නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායකට වුවත්, ජනාධිපතිවරණය පැවැත්වෙන විට ඇගේ ප්‍රජා අයිතිය අහිමිව තිබූ බැවින් ඇයට තරඟ කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඊට අමතරව ඒ වන විට ශ්රීලනිපය දෙපිලකට බෙදී පක්ෂයේ අයිතිය හා සම්බන්ධවද ගැටළු පැන නැගී තිබුණා. ශ්‍රීලනිප අපේක්ෂකයා වූ හෙක්ටර් කොබ්බෑකඩුවට එම පක්ෂයේ සියලු දෙනාගේම ආශීර්වාදය ලැබුණේ නැහැ. මේ තත්ත්වය තුළ 1982 ජනාධිපතිවරණය තනි අස්සයෙකු දිවූ තරඟයක්.
මේ කාලය වෙද්දී ජවිපෙ ඉලක්කය වූයේ රටේ දෙවන ප්‍රධාන දේශපාලන බලවේගය ලෙස ශ්රීලනිපය අභිබවා ඉදිරියට පැමිණීමයි. ජනාධිපතිවරණයේදී තමන්ට ආණ්ඩුවට එරෙහි ඡන්ද වලින් විශාල කොටසක් ලබා ගත හැකි වනු ඇති බව රෝහණ විජේවීර විසින් තක්සේරු කර තිබෙන්න ඇති. කෙසේ වුවත්, ඔහුට ලබා ගත හැකි වූයේ මුළු ඡන්ද ප්‍රමාණයෙන් 4.19%ක් පමණයි.
දෙවන ජනාධිපතිවරණය පැවැත්වෙන විට එජාපයට පෙර වූ ජනප්‍රියත්වය තව දුරටත් එසේම තිබුණේ නැහැ. තෙවන අපේක්ෂකයෙකු ලෙස ඔසී අබේගුණසේකරද ඉදිරිපත්ව සිටියත්, ශ්‍රීලනිප අපේක්ෂිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක ඒ වන විට එජාපය සමඟ තරඟ කළ හැකි මට්ටමකට ජනප්‍රිය සිටියා. ජේආර් ජයවර්ධන විසින් රණසිංහ ප්‍රේමදාසට අවස්ථාව ලබා දුන්නේ පැරදෙන්නට නියමිත බව පෙනෙන්නට තිබුණු ජනාධිපතිවරණයකට තරඟ කිරීමටයි.
සිරිමාවෝ බණ්ඩාරනායක මුලින්ම ඉදිරිපත් වූයේ ජවිපෙද ඇතුළත් පක්ෂ අටක සන්ධානයක පොදු අපේක්ෂිකාව ලෙසයි. එහෙත්, මැතිවරණයට පෙර ජවිපෙ මේ පොදු සන්ධානයෙන් ඉවත් වුනා. එක පැත්තකින් ජවිපෙ විසින් සන්ධානයකට ඇතුළු වී ශ්‍රීලනිප ඡන්ද තමන් වෙත හරවා ගැනීමට උත්සාහ කරද්දී, ශ්‍රීලනිප විසින් එජාපයට එරෙහිව ජවිපෙ ඉදිරියට දමා පැත්තක සිට පහසුවෙන් බලය ලබා ගන්නට උත්සාහ කිරීම මේ සන්ධානය බිඳ වැටීමට හේතු වූවා විය හැකියි.
දෙවන ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය වෙනස් වීමට ප්‍රධානම හේතුව වූයේ ජවිපෙ භූමිකාවයි. ජවිපෙ විසින් එම මැතිවරණය වර්ජනය කිරීමෙන් නොනැවතී මැතිවරණ රාජකාරි වල නියැලෙන පුද්ගලයින්ට මෙන්ම ඡන්දය දමන්නන්ටද මරණ තර්ජන එල්ල කළා පමණක් නොව මැතිවරණ රාජකාරි වල නියැලුණු ඇතැම් නිලධාරීන්ව වෙඩි තබා මරා දැමුවා. මේ මැතිවරණයේදී මැතිවරණ රාජකාරි වල නියැළුණු අයෙකු ලෙස අනෙකුත් නිලධාරීන් හා ඡන්දදායකයින් සිටි මානසිකත්වය මා පෞද්ගලිකවම අත් විඳි දෙයක්. ඡන්ද පොළ රාජකාරි කළ බොහෝ දෙනෙකු පෙර දින හරියකට නින්දක් ලැබුවේ නැහැ. පළමුවෙන් ඡන්දය දමන පස් දෙනා මරා දමන බව දන්වා තිබුණු නිසා, බොහෝ දෙනෙක් වෙනත් අය ඡන්දය දමන තුරු බලා සිටියා.
ජවිපෙ දෙවන කැරැල්ලේ බලපෑම වැඩිපුරම තිබුණේ සිරිමාවෝ බණ්ඩාරනායකට වැඩිම සහයෝගයක් තිබුණු ප්‍රදේශ වලයි. ඒ නිසා, ඡන්ද වැළැක්වීම වැඩිපුරම බලපෑවේ ඈ වෙනුවෙන් ඡන්දය භාවිතා කළ හැකිව තිබුණු ඡන්දදායකයින්ටයි. ජවිපෙ තර්ජන නොවන්නට රණසිංහ ප්‍රේමදාසටට එවර ලංකාවේ ජනාධිපති නොවිය හැකිව තිබුණා.
ජවිපෙ අපේක්ෂාව වූයේද දෙවන ජනාධිපතිවරණයෙන් එජාපය ජයග්‍රහණය කරනු දැකීමයි. මැතිවරණයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක ජයග්‍රහණය කළහොත් එජාප විරෝධී බලවේග දෙකට බෙදෙනු ඇති බවත්, එජාපය ජය ගැනීමෙන් පසුව සියලු ආණ්ඩු විරෝධී බලවේග තමන් වටා එකතු කරගෙන රාජ්‍ය බලය ලබා ගැනීම පහසු වනු ඇති බවත් ජවිපෙ තක්සේරුව වුනා. ඇත්තටම සිදු වූ දෙය නැවත විස්තර කළ යුතු නැහැ.
කොහොම වුනත්, ජවිපෙ විසින් ලංකාවේ ජනාධිපතිවරණයක ප්‍රතිඵලය වෙනස් කළ හෝ ප්‍රතිඵලයට තීරණාත්මක බලපෑමක් කළ පළමු අවස්ථාව ලෙස 1988 ජනාධිපතිවරණය හඳුනාගත හැකියි.
තෙවන ජනාධිපතිවරණය පැවැත්වෙන විට ජවිපෙ නැවත සංවිධානය වී පළමු වරට පාර්ලිමේන්තු නියෝජනයක්ද හිමි කර ගෙන සිටියා. එම පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මේ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා ප්රගතිශීලී පෙරමුණ නමින් නාම යෝජනා භාර දුන්නා. නමුත්, මේ වන විටත් ජවිපෙට රට පුරා නිදහසේ ඡන්ද ප්‍රචාරණය කළ හැකි වාතාවරණයක් හෝ ප්‍රබල යාන්ත්‍රණයක් නොතිබුණු නිසා ඔහුට සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමේ ඉඩකඩක් පෙනෙන්නට තිබුණේ නැහැ. ඒ වගේම, මේ මැතිවරණය ආසන්නයේදී ගාමිණී දිසානායක ඝාතනය වීම හා එජාපයෙන් තරඟය සඳහා ඉදිරිපත් කළ ඔහුගේ බිරිඳ ශ්‍රීමා දිසානායක ප්‍රබල ප්රතිවාදිනියක නොවීම නිසා එජනිස අපේක්ෂිකාව වූ චන්ද්‍රිකා කුමාරතුංගගේ ජයග්‍රහණය පැහැදිලිව පෙනෙන්නට තිබුණා.
වසරක් තුළ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට චන්ද්‍රිකාගෙන් පොරොන්දුවක් ලබා ගනිමින් නිහාල් ගලප්පත්ති නොනිල ලෙස තරඟයෙන් ඉවත් වුනා. මේ පොරොන්දුව ඉටු නොවන පොරොන්දුවක් බව ජවිපෙ දැන නොසිටින්නට හේතුවක් නැහැ. චන්ද්‍රිකාට ජයග්‍රහණය කිරීමට ජවිපෙ සහයෝගය වැදගත් නොවූවත්, ඒ වෙලාවේ විධායක ජනාධිපති ධුරයට රටේ තිබුණු විරෝධය අනුව මේ පොරොන්දුව නොදී සිටීමේ දේශපාලනික හානියක් ඇයට තිබුණා. පොරොන්දුව ලබා ගැනීම හරහා කෙටිකාලීනව චන්ද්‍රිකාගේ ජයග්‍රහණයට අයිතිවාසිකම් කීමේ හැකියාව මෙන්ම දිගුකාලීනව චන්ද්‍රිකා යනු විශ්වාසය තැබිය නොහැකි තැනැත්තියක බව පෙන්වා දීමේ වාසි ජවිපෙ විසින් ලබා ගත්තා.
සිවුවන ජනාධිපතිවරණය පැවැත්වුණු 1999 වන විට චන්ද්‍රිකාගේ ජනප්‍රියත්වය සෑහෙන පමණකින් ගිලිහී තිබුණත්, එජාපයේ "දාහත් අවුරුදු සාපය" බොහෝ දෙනෙකුට අමතක වී නොතිබුණු නිසා චන්ද්‍රිකාට එරෙහිව තරඟ කළ රනිල් වික්‍රමසිංහට චන්ද්‍රිකාව මිනිස්සුන්ට එපා වීමේ වාසිය ලබා ගත හැකි තත්ත්වයක් ද තිබුණේ නැහැ. මේ ආකාරයට ප්‍රධාන පක්ෂ දෙක කෙරෙහිම කළ කිරුණු සැලකිය යුතු ඡන්ද දායක පිරිසක් සිටීම ජවිපෙ වැනි තෙවන බලවේගයකට වාසිදායක තත්ත්වයක්. අනෙක් අතින් මේ වන විට ජවිපෙ සංවිධාන ජාලය නැවතත් රට පුරා ව්‍යාප්ත වී තිබුණා.
ජයග්‍රහණය ඉතා දුරස්ථ බව දැන දැනම නන්දන ගුණතිලකව සිවුවන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමෙන් ජවිපෙ කරුණු කිහිපයක් ඉලක්ක කරන්නට ඇතැයි සිතිය හැකියි. පළමුව, මෙය ඔවුන්ට ඔවුන් සතු ඡන්දදායක පදනම ඇස්තමේන්තු කර ගැනීමට උදවුවක්. දෙවනුව, ඔවුන්ට යම් නියෝජනයක් ලබා ගත හැකි බව පෙනෙන්නට තිබුණු මහ මැතිවරණයට ඉදිරිපත් වන්නට පෙර මෙවැනි ප්‍රධාන මැතිවරණයකට ඉදිරිපත් වීමෙන් මහ මැතිවරණයේදී ප්රචාරක වාසියක් ලබා ගත හැකියි.
ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නන්දන ගුණතිලකව තෝරා ගත්තත් ඔහු ඒ වන විට ජවිපෙ නායකයා නෙමෙයි. ඒ වගේම, ඔහුට වඩා ජනප්‍රිය පුද්ගලයින් කිහිප දෙනෙකුම ඒ වෙද්දී ජවිපෙ සතුව සිටියා. එසේ තිබියදී නන්දන ගුණතිලකව අපේක්ෂකයා සේ ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්න ඇත්තේ මහ මැතිවරණයට පෙර අඩු වශයෙන් රට හඳුනන තවත් එක් අපේක්ෂකයෙකු බිහි කර ගැනීම විය හැකියි. මේ වෙද්දී ජවිපෙ සතුව දිස්ත්‍රික් නායකයින් සේ දැමීමට අවශ්‍ය තරමට හෝ රට හඳුනන පුද්ගලයින් සිටියේ නැහැ.
සිවුවන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ පරාජයට තෙවන අපේක්ෂකයෙකු ලෙස නන්දන ගුණතිලක ඉදිරිපත් වීම බලපෑවේයැයි සිතිය නොහැකියි. චන්ද්‍රිකා කුමාරතුංගගේ ඡන්ද ප්‍රතිශතය පළමු වාරයට සාපේක්ෂව විශාල ලෙස පහත වැටී තිබුණත්, ඈ 50% මට්ටම ඉක්මවා ඡන්ද ලබාගත්තා. යම් හෙයකින්, ජවිපෙ මැදිහත්වීම හේතුවෙන් ප්‍රතිඵලය වෙනස් වීමේ ඉඩකඩක් තිබුණේ වුවද මේ අවස්ථාව වන විට එය ජවිපෙට ප්‍රශ්නයක් වන්නට හේතුවක් නැහැ. ඔවුන්ට රනිල් හා චන්ද්‍රිකා අතරින් එක් නිශ්චිත අයෙකු බලයට පත් කර ගැනීමට විශේෂ කැමැත්තක් නොතිබෙන්න ඇති.
නන්දන ගුණතිලක විසින් 1999 ජනාධිපතිවරණයේදී 4.08%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. මේ ප්‍රතිශතය 1982දී රෝහණ විජේවීර විසින් ලබාගත් ඡන්ද ප්‍රතිශතයට ඉතා ආසන්නයි. 2000 මහ මැතිවරණයේදී ජවිපෙ ඡන්ද පදනම 6.00% දක්වාත්, 2001 වන විට 9.10% දක්වාත් වර්ධනය වුනා. ඒ ගැම්මටම ගියානම් ජවිපෙට තනි පක්ෂයක් ලෙස තවත් ඉදිරියට යා හැකිව තිබුණා. එහෙත්, 2004 මහ මැතිවරණය අබිමුව එජනිස ලෙස ශ්රීලනිපය හා සන්ධානගත වීම නිසා ජවිපෙට තාවකාලික වාසියක් ලැබුණත් එයින් දිගුකාලීනව එම පක්ෂයට සිදු වූයේ හානියක්.
ආරම්භයේ සිට ඉතා මෑතක් වන තුරුම ජනතා විමුක්ති පෙරමුණේ ඉලක්කය වුනේ ශ්‍රීලනිප හා පැරණි වාමාංශික පක්ෂ වටා එක්රැස් වී සිටි එජාප විරෝධී ජන කොටස් තම පක්ෂය වටා එකතු කර ගන්නයි. ඔවුන්ට බොහෝ විට මේ ඉලක්කයට යන්න පුදුම හදිස්සියක් තිබුණා. හදිස්සියට හේතුව වෙන්න ඇත්තේ පක්ෂය වගේම පක්ෂයේ සාමාජිකයින් වැඩි දෙනෙක්ද දුර දිග නොබලා හදිසි තීරණ ගන්නා වයසක සිටීම වෙන්න ඇති.
වේගයෙන් වර්ධනය වෙමින් තිබුණු හා ඒ වන විටත් 9.10% මට්ටමට වර්ධනය වී තිබුණු ඡන්ද පදමනක් අතේ තියාගෙන ශ්රීලනිපය සමඟ සන්ධානයක් හදන්න ජවිපෙ යොමු වෙන්න ඇත්තේ එසේ කිරීමෙන් තමන්ගේ දිගුකාලීන ඉලක්කයට වඩා ඉක්මණින් යා හැකි වනු ඇතැයි සිතූ නිසා වෙන්න ඇති. මේ දිගුකාලීන ඉලක්කය තමන්ගේ ජන පදනම වඩා පුළුල් කරගැනීම මිස පාර්ලිමේන්තු නියෝජනය වඩා වැඩි කර ගැනීම වූවා කියා මා හිතන්නේ නැහැ. එහෙත්, 2004 මහ මැතිවරණයේදී ජවිපෙ පාර්ලිමේන්තු නියෝජනය අපේක්ෂා නොකළ ලෙස 39 දක්වා ඉහළ ගියා.
මේ මැතිවරණයේදී මා ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් භාර නිලධාරියෙකු ලෙස කටයුතු කර ඉන් පසුව ගණන් කිරීමේ මධ්‍යස්ථානයකද කටයුතු කළා. ඒ නිසා, ඡන්ද පොළ නියෝජිතයින්, අපේක්ෂයින් හා ඡන්දදායකයින්ගේ හැසිරීම් මෙන්ම ඡන්ද හා මනාප සලකුණු වී තිබුණු රටාවන්ද පැහැදිලිව නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබුණා. ඒ අනුව, පෙනී ගියේ තමන්ගේ නියෝජනය වැඩි කර ගැනීම සඳහා ජවිපෙ අනුගමනය කළ ක්‍රමවේදය සාර්ථක ප්‍රතිඵල ලබා දී තිබුණු බවයි.
එම මැතිවරණයේදී සාමාන්‍ය ශ්‍රීලනිප ඡන්දදායකයින්ගෙන් ජවිපෙ ඉල්ලා සිටියේ ජවිපෙ අපේක්ෂකයෙකුටත් එක් මනාපයක් ලබා දෙන ලෙසයි. ශ්‍රීලනිප අපේක්ෂකයින් මෙය ප්‍රශ්නයක් ලෙස සැලකුවේ නැහැ. ඔවුන් අවධානය යොමු කළේ තමන්ගේ පිලේම තරඟකරුවන් අභිබවා වැඩි මනාප ගන්නයි. එතරම් ප්‍රසිද්ධියක් නැති ජවිපෙ අපේක්ෂකයින් විසින් තේරී පත් වීමට ප්‍රමාණවත් මනාප ප්‍රමාණයක් ලබා ගනු ඇතැයි ඔවුන් විශ්වාස කළේ නැහැ. සරලව කියනවානම් ඔවුන් බලාගෙන හිටියේ ජවිපෙ උදවුවෙන් තමන්ගේ නියෝජනය හා මනාප ප්‍රමාණය වැඩි කරගන්නයි.
ජවිපෙ විසින් පොදුවේ සියලුම ඡන්දදායකයින්ගෙන් අඩු වශයෙන් එක් මනාපයක් හෝ ලබා දෙන මෙන් ඉල්ලා සිටින අතරම ජවිපෙ අපේක්ෂකයින්ට පමණක් මනාප දෙන මෙන් තමන්ගේ පාක්ෂිකයින්ව දැනුවත් කර තිබුණා. මෙහි අවසාන ප්‍රතිඵලය ලෙස බොහෝ දිස්ත්‍රික්ක වල ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයින් වැඩිම මනාප ලබමින් තේරී පත් වුනා. ජවිපෙට ඇමති ධුර හතරක්ද හිමි වුනා. මේ මැතිවරණයට බෞද්ධ භික්ෂූන් ඉදිරිපත් කළ ජාතික හෙළ උරුමයද තනිව තරඟ කර මන්ත්‍රී ධුර නවයක් හිමි කර ගත්තා.
මහින්ද රාජපක්ෂ පළමු වර ජනාධිපති ධුරයට තරඟ කරද්දී ඔහු පසුපස සිටි ප්‍රධානම බලවේග දෙක ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික හෙළ උරුමයයි. මැතිවරණයෙන් ජයගත් මහින්ද හා ප්‍රධාන ප්‍රතිවාදියා වූ රනිල් අතර වූ පරතරය 1.86%ක් පමණයි. මෙතෙක් පැවති වෙනත් කිසිදු ජනාධිපතිවරණයකදී සටන මෙතරම් තීව්ර ලෙස පැවතී නැහැ. ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික හෙළ උරුමය යන පාර්ශ්ව දෙකෙන් එකක් හෝ මහින්දට සහයෝගය ලබා නුදුන්නානම් 2005දී ජනාධිපති වෙන්නේ රනිල් වික්රමසිංහයි. එම පාර්ශ්ව දෙකේ සහාය ලැබුණත්, එල්ටීටීඊ සංවිධානය විසින් උතුරේ ඡන්ද දැමීම නොවැළැක්වූයේනම් මහින්දට දිනන්න ලැබෙන්නේ නැහැ. 2005 ජනාධිපතිවරණය ජවිපෙ විසින් ලංකාවේ ජනාධිපතිවරණයක ප්‍රතිඵලය වෙනස් කළේයැයි සැලකිය හැකි දෙවන අවස්ථාවයි.
එක වර ලැබුණු මන්ත්‍රී ධුර 39 වගේම ඇමති ධුර හතරත් ජවිපෙට දරා ගත හැකි වූයේ නැහැ. පක්ෂයක් ලෙස ජවිපෙ රාජ්‍ය පාලනයට දායක විය හැකි තරමට පරිණත වී සිටියේ නැහැ. ඔවුන් පුරුදු වී සිටියේ පවතින ආණ්ඩු විසින් කරන දේවල් වලට විරුද්ධ වීමට පමණයි. ඒ නිසා, ලැබුණු ආණ්ඩු බලය පක්ෂයේ ජන පදනම වර්ධනය කර ගැනීම සඳහා උදවු කර ගැනීමට ජවිපෙ සමත් වුනේ නැහැ. ඒ අතර, ජවිපෙ ජාතිකවාදී හා ජනප්‍රියවාදී කොටස් ජවිපෙන් ගලවා තමන් වෙත ලං කර ගැනීමට මහින්ද සමත් වීම නිසා එක පැත්තකින් ජවිපෙ හා ශ්රීලනිපය අතර දීගය කැඩී යාමත් අනික් පැත්තෙන් ජවිපෙ මැතිවරණ ගැම්ම නැති වීමත් සිදු වුනා.
යුද ජයග්රහණයෙන් පසුව මහින්දගේ ජනප්‍රියත්වය විශාල ලෙස ඉහළ ගියා. ඔහුට දෙවන වර තේරී පත් වෙන්න ජවිපෙ හෝ වෙනත් කිසිදු තෙවන පාර්ශ්වයක සහාය අවශ්‍ය වූයේ නැහැ. ඔහුගේ ජයග්‍රහණය වලක්වන්න ජවිපෙට පුළුවන්කමක් නොතිබුණත්, එජාපයේද සහයෝගය ලබන පොදු අපේක්ෂකයෙකු ලෙස සරත් ෆොන්සේකාව මහින්දට එරෙහිව ඉදිරිපත් කරමින් ජවිපෙ ඒ සඳහා උත්සාහයක් ගත්තා. ඉන් පසුව සරත් ෆොන්සේකා පාර්ශ්වය සමඟ සන්ධානයක් හදාගෙන 2005 මැතිවරණයට ඉදිරිපත් වූවත්, එහිදී එම සන්ධානයට ලැබුණේ 5.59%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. මේ වන විට ජාතිකවාදී ඡන්ද ආකර්ශනය කර ගත හැකි තැනක ජවිපෙ නොසිටියාක් මෙන්ම මතවාදී ලෙස ජවිපෙ ජාතිකවාදයෙන් බැහැර වෙමින් සිටියා.
දෙවන කැරැල්ලෙන් පසුව ජවිපෙ තුළ සිදු වූ පළමු විභේදනය විමල් වීරවංශ පාර්ශ්වය ඉවත්ව යාමයි. ඔහු ජවිපෙ මැතිවරණ වේදිකා වල වැඩිම ආකර්ශනයක් ලබාගත් කථිකයා ලෙස හැඳින්විය හැකියි. ජවිපෙන් ඉවත් වීමෙන් පසුව මේ දක්වාම ඔහු ජවිපෙට එරෙහිව මහින්ද රාජපක්ෂ වෙනුවෙන් සේවය කරමින් සිටිනවා.
විමල් වීරවංශ පාර්ශ්වය ඉවත් වීමෙන් පසුව ජවිපෙ දෙවන විභේදනය සිදු වී කුමාර් ගුණරත්නම් පාර්ශ්වය ජවිපෙන් ඉවත්ව ගියා. මැතිවරණ වලට මුහුණ දෙමින් ප්රජාතන්ත්රවාදී පක්ෂයක් සේ කටයුතු කරන බව පෙන්වූවත් ඒ වන විටත් ජවිපෙ විසින් ඔවුන්ගේ ආරම්භක දේශපාලනික ඉලක්කය වූ අවි බලයෙන් රාජ්‍ය බලය පැහැර ගැනීමේ අරමුණ අතහැර තිබුණේ නැහැ. විමල් වීරවංශ පක්ෂයෙන් ඉවත් වීමෙන් පසුව ජවිපෙ අභ්‍යන්තරය මෙන්ම ඒ වන විටද යටිබිම්ගතව සිටි ජවිපෙ නායකයින්ද සෑහෙන තරමකින් පිටතට එළිදරවු වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස හා වෙනත් කරුණු හේතුවෙන් ජවිපෙ දෙවන විභේදනය සිදු වුනා.
දෙවන විභේදනය නිසා ජවිපෙ ඡන්ද පදනමට හානි වුනේ නැහැ. එයින් සිදු වුනේ ඔවුන්ගේ කාඩර්වරුන් අහිමි වීමයි. මේ වන විටත් රට දැන සිටි හා මැතිවරණ වේදිකා වල දැකිය හැකි වූ ජවිපෙ නායකයින් හැම විටම පක්ෂය ඇතුළේ බලපෑමක් කළ අය හැකි වූයේ නැහැ. රට දැන නොසිටි රහසිගත නායකයින් පක්ෂය ඇතුළේ බලය හෙබවූවා. මේ තත්ත්වය වෙනස් වුනේ දෙවන විභේදනයෙන් පසුවයි. අනුර කුමාර දිසානායක කියා කියන්නේ ජවිපෙ ජාතිකවාදී හා විප්ලවවාදී පාර්ශ්ව පක්ෂයෙන් ඉවත් වීමෙන් පසුව පක්ෂය තුළ ඉදිරියට ආ නායකයෙක්. ඔහුගෙන් නියෝජනය වන්නේ ජවිපෙ දැන් සිටින "නූතන" අදියරයි.
ඉහත කණ්ඩායම් දෙකම ඉවත් වීමෙන් පසුව, 2015 මහ මැතිවරණයේදී තනිව තරඟ කර ජවිපෙ විසින් ලබාගත්තේ 4.87%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. 2018 පෙබරවාරි පළාත් පාලන මැතිවරණ වලදී ජවිපෙ විසින් 5.76%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තා.
මේ සංඛ්‍යා දෙස බැලූ විට 2015 ජනවාරිය ආසන්නයේදී ජවිපෙ ඡන්ද පදනම පිළිබඳව අදහසක් ගත හැකියි. 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන අතර වූ පරතරය 3.70%ක් පමණයි. ඒ අනුව, ජවිපෙ සහයෝගය මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණයට තීරණාත්මක ලෙස බලපෑවා. මෙය ජවිපෙ විසින් ලංකාවේ ජනාධිපතිවරණයක ප්‍රතිඵලය වෙනස් කළ තෙවන අවස්ථාවයි.
ජවිපෙ අපේක්ෂකයෙකු තරඟ කර තිබෙන්නේ මෙතෙක් පැවති ජනාධිපතිවරණ හතෙන් දෙකකදී පමණයි. ඒ අවස්ථා දෙකම තෙවන විකල්පයකට රටේ කිසියම් ඉල්ලුමක් තිබුණු අවස්ථා ලෙස මෙන්ම ජවිපෙ පක්ෂ ව්‍යුහයේ කිසියම් සැලකිය යුතු වෙනසක් වීමෙන් පසුව පැවති මුල්ම මැතිවරණ ලෙස සැලකිය හැකියි. අවස්ථා හතෙන් අවස්ථා තුනකදී ඔවුන් තරඟ නොකර ප්‍රතිඵලයට තීරණාත්මක බලපෑමක් කිරීමට සමත් වුනා. තවත් එක් අවස්ථාවකදී, 2010දී, ඔවුන් එසේ කිරීම සඳහා අසාර්ථක උත්සාහයක් දැරුවා. ඉතිරි අවස්ථාවේදී දේශපාලනික වාසියක් ලබා ගනිමින් නොනිල ලෙස තරඟයෙන් ඉවත් වුනා.
අනුර කුමාර දිසානායකව ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීම තේරුම් ගන්න වෙන්නේ ජවිපෙ මැතිවරණ ඉතිහාසය හා අදාළ මේ පසුබිම් කරුණු පාදක කර ගනිමිනුයි.
(Image: http://www.dailymirror.lk/print/opinion/can-anuras-logical-oratory-spur-peoples-imagination/172-42702)
Sunday, August 18, 2019
අනුර කුමාර දිසානායක
මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ වත්මන් නායක අනුර කුමාර දිසානායකව නම් කර තිබෙනවා. ඔවුන් ජාතික ජන බලවේගය නමින් ජනාධිපතිවරණයට හා අනෙකුත් ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් වීමට යන බව කියනවා.
ජාතික ජන බලවේගය නමින් ආවත් එම බලවේගය ඇතුළේ තිබෙන්නේ ජවිපෙම තමයි. එහි වෙනත් කොටස් ඇත්නම් ඒ සියල්ලක්ම ජන බලයක් නැති නාමික සංවිධාන. මේ ආකාරයට පරණ වයින් අලුත් බෝතල් වල දැමීම ජවිපෙට අලුත් දෙයක් නෙමෙයි. එය ජවිපෙ විසින් මීට පෙර වාර ගණනාවක් අත් හදා බලා ඇති දෙයක්.
ඉදිරි ජනාධිපතිවරණය හා අදාළව පළමු බර පියවර තැබුවේ පොදුජන පෙරමුණයි. එම පෙරමුණ විසින් සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂව නම් කරමින් එක වරම ලොකු ගැම්මක් ගත්තා. ඊට පෙර ක්‍රියාත්මක වීමට එජාපය විසින් උත්සාහයක් දැරුවත්, එම පාර්ශ්වයට සිය ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව එකඟතාවයකට පැමිණීමට තවමත් හැකි වී නැහැ. මේ අයුරින් ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධාන ප්‍රතිවාදියා තවමත් සැඟවුණු අමුත්තෙක්ව සිටියදී, ජවිපෙ විසින් ජනාධිපතිවරණය ඉලක්ක කර සැලසුම් සහගත ඉදිරි පියවරක් තබා තිබෙනවා.
සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා හඳුන්වාදීම නාට්‍යානුසාරී ලෙස කිරීමට එම පක්ෂය විසින් විශාල උත්සාහයක් දරා තිබුණා. අවසන් මොහොත තෙක් අපේක්ෂකයාගේ නම රහසක්ව තබා ගැනීමද එහි කොටසක්. එහෙත්, මේ අපේක්ෂකයා අනුර කුමාර හෝ වෙනත් ප්‍රධාන පෙළේ ජවිපෙ නායකයෙක් බවට ඉඟි පළ කෙරී තිබුණා. ජාතික ජන බලවේගයේ සමාරම්භක රැළියට විශාල ජනතා සහභාගිත්වයක් පෙන්වීමටත්, එම බලවේගයට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතා කොටස් වල පුළුල් සහායක් ඇති බව පෙන්වීමටත් ඔවුන් විශේෂ ප්‍රමුඛතාවයක් දී තිබුණා.
පළමු අරමුණ වෙනුවෙන් සිය සාමාජිකයින් හා ආධාරකරුවන් පවුල් පිටින් ගාලු මුවදොර පිටියට ගෙන්වීමට ඔවුන් පෙළඹී ඇති බව සෙනඟ අතර කුඩා දරුවන් විශාල වශයෙන් දැකිය හැකි වීමෙන් පෙනෙනවා. වේදිකාවේ කෙසේ වුවත් සෙනඟ අතර දෙමළ බස තේරුම් ගත හැකි වැඩි දෙනෙකු නැති බව ප්‍රතිචාර වලින් පැහැදිලි වෙනවා. ඒ වගේම, ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස අනුර කුමාරව හඳුන්වා දීමේදී දැකිය හැකි ප්‍රතිචාරයෙන් පෙනෙන්නේ පැමිණි අය අතරින් බොහෝ අය කිසියම් "සර්ප්‍රයිස් එකක්" බලාපොරොත්තුවෙන් සිට අපේක්ෂාභංගත්වයට පත් වූ අයුරකියි.
ජනතා විමුක්ති පෙරමුණ, අනෙකුත් ප්‍රධාන දේශපාලන පක්ෂ වලට සාපේක්ෂව, පුද්ගල චරිත ඉස්මතු කිරීමට වඩා පක්ෂ සාමූහිකත්වයට මුල් තැන දෙනවා. නමුත්, මහ මැතිවරණයකදී මෙන් නොව ජනාධිපතිවරණයකදී අපේක්ෂකයා කවුද කියන එක ප්‍රතිඵලයට සැලකිය යුතු බලපෑමක් කරනවා. ජවිපෙ වැනි පක්ෂයක් විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද කියන එකෙන් එම පක්ෂයේ මැතිවරණ ඉලක්කය ගැන අදහසක් ලබා ගත හැකියි.
ජවිපෙ පැත්තෙන් බැලූ විට ඔවුන්ගේ තේරීම නරක එකක් නෙමෙයි. මේ ගැන අපේ විග්‍රහය පසුව ඉදිරිපත් කෙරෙනු ඇති.
Friday, August 16, 2019
ගෝඨාභය තවමත් ඇමරිකන් පුරවැසියෙක්ද?
ගෝඨාභය පාර්ශ්වය විසින් ප්‍රකාශ කරන ආකාරයට මේ වන විට ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙකු නෙමෙයි. එහෙත්, මේ කතාව විශ්වාස කරන්න බොහෝ දෙනෙක් මැලි වෙනවා. ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් ඊයේ ප්‍රකාශයට පත් කළ 2019 දෙවන කාර්තුව තුළ ඇමරිකානු පුරවැසිකම හෝ ස්ථිර පදිංචිය අහිමි කරගත් පුද්ගලයින්ගේ නාම ලේඛණයක ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත් නොවීම හේතුවෙන් මේ අවිශ්වාසය තවදුරටත් වර්ධනය වෙමින් තිබෙනවා.
ගෝඨාභය තවමත් ඇමරිකන් පුරවැසියෙක්ද?
මේ ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් දීමේ හැකියාවක් අපට නැහැ. එහෙත්, සිදු විය හැකි හා නොහැකි දේ විමසා බැලීමක් කළ හැකියි. මේ කරන්නේ එයයි.
ගෝඨාභය තවමත් ඇමරිකන් පුරවැසියෙක්ද යන ප්‍රශ්නයට අමතරව ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය ඇතුළු වෙනත් කරුණු ගණනාවක් ගැනත් සැක සංකා මතු වී තිබෙනවා. එහෙත්, අප මෙහිදී කතා කරන්නේ ඔහුගේ ඇමරිකන් පුරවැසිකම ගැන පමණයි.
ඇමරිකන් පුරවැසිකම හා ඇමරිකානු ජාතිකත්වය
ඇමරිකන් පුරවැසියෙකු නෛතික ලෙස හැම විටම ඇමරිකන් ජාතිකයෙකුද වෙනවා. එහෙත්, සියලුම ඇමරිකන් ජාතිකයින් ඇමරිකන් පුරවැසියන් නෙමෙයි. උපතින් ඇමරිකන් පුරවැසියෙකු නොවූ අයෙකු ඇමරිකන් පුරවැසිකම ලබා ගනිද්දී එවැන්නෙකුට ඇමරිකන් ජාතිකත්වයද හිමි වෙනවා. යමෙකුගේ ඇමරිකන් ජාතිකත්වය අහිමි වන අවස්ථාවකදී ඇමරිකන් පුරවැසිකමද අහෝසි වෙනවා.
ඇමරිකන් පුරවැසියකුගේ වගකීම්
ඇමරිකන් පුරවැසිකමට විශාල ඉල්ලුමක් තිබෙනවා. එහෙත්, ඇමරිකන් පුරවැසියෙකු වීම පහසුවෙන් කළ හැකි දෙයක් නෙමෙයි. එසේ වුවත්, සෑම වසරකදීම විශාල පිරිසක් ඇමරිකන් පුරවැසිකම ලබා ගන්නවා. පසුගිය 2018 වසරේදී 756,800 දෙනෙකු අලුතෙන් ඇමරිකන් පුරවැසිකම ලබාගත්තා.
ඇමරිකන් පුරවැසිකමට මෙපමණ ඉල්ලුමක් තිබෙන්නේ ඒ හේතුවෙන් ලැබෙන විවිධ වරප්‍රසාද හා අයිතිවාසිකම් නිසා. එහෙත්, ඒ වරප්‍රසාද හා අයිතිවාසිකම් වලට අමතරව ඇමරිකන් පුරවැසිකම සමඟ විවිධ වගකීම් හා යුතුකම් රැසක්ද එකතු වෙනවා. ඇමරිකන් පුරවැසියෙකු විසින් තමන් විසින් ලෝකයේ කොහේ හෝ රටක උපයන ආදායම් වලට මෙන්ම කොහේ හෝ රටක ඇති වත්කම් වලටත් ඇමරිකානු රජයට බදු ගෙවිය යුතුයි. මේ බදු වගකීම ඇමරිකානු පුරවැසියන්ට මෙන්ම ඇමරිකාවේ ස්ථිර පදිංචිකරුවන්ටත් තිබෙනවා.
ඇමරිකන් පුරවැසිකම අත් හැරීම
ඇමරිකන් පුරවැසිකම හෝ ස්ථිර පදිංචිය හිමි අයෙකුට තමන්ගේ මේ අයිතීන් නැති කර ගැනීම මේ දේවල් හිමි කර ගන්නා තරම් අමාරු නැහැ. එහෙත්, ඇමරිකන් පුරවැසිකම හෝ ස්ථිර පදිංචිය අහිමි කර ගැනීමට පෙළඹෙන්නේ සාපේක්ෂව ඉතා සුළු පිරිසක්. මෙසේ 2018 වසර තුළ ඇමරිකන් පුරවැසිකම හෝ ස්ථිර පදිංචිය අහිමි කරගත් 3,974 දෙනෙකුගේ නම් එම වසර සඳහා වූ ෆෙඩරල් රෙජිස්ට්‍රි වල පළ වී තිබුණා.
මේ අයගෙන්, ඇමරිකන් පුරවැසියන් ප්‍රමාණය කොපමණක්ද යන්න ෆෙඩරල් රෙජිස්ට්‍රියෙහි ඇති තොරතුරු වලින් සොයා ගත නොහැකියි. එමෙන්ම, පුරවැසිකම අහිමි කරගත් බොහෝ දෙනෙකුගේ නම් ෆෙඩරල් රෙජිස්ට්‍රියෙහි පළ නොවනවා විය හැකියි. මේ හේතු නිසා වසරකදී ඇමරිකන් පුරවැසිකම අහිමි කරගන්නා පුද්ගලයින් ගණන නිශ්චිතව දැන ගැනීම අසීරු වුවත් එම ප්‍රමාණය වසරකට ඇමරිකන් පුරවැසිකම ලබා ගන්නා ප්‍රමාණයට සාපේක්ෂව සුළු ප්‍රමාණයක් බව පැහැදිලියි.
බොහෝ ඇමරිකන් පුරවැසියන් තම පුරවැසිකම ස්වේච්ඡාවෙන් අතහරින්නේ ඇමරිකන් රජයට බදු ගෙවීමේ වගකීමෙන් ගැලවෙන්නයි. උදාහරණයක් විදිහට වසර කිහිපයකට පෙර ඇමරිකන් පුරවැසිකම අත් හළ ෆේස්බුක් සමාගමේ ආරම්භකයෙකු වන එඩුවාඩෝ සවරින් එසේ කළේ තමන්ගේ වත්කම් හා ආදායම් වලින් ඇමරිකන් රජයට ගෙවිය යුතු බදු නොගෙවා සිටීම පිණිස බව පොදු පිළිගැනීමයි.
ඇමරිකන් පුරවැසිකම අහිමි කරගත හැකි ආකාර
ඇමරිකන් පුරවැසියෙකුට තමන්ගේ පුරවැසිකම අහෝසි කරගත හැකි ආකාර හතක් තිබෙනවා. මෙසේ පුරවැසිකම අතහැරීමට බොහෝ පුද්ගලයින් පෙළඹෙන හේතුවක් වන්නේ ලෝකයේ කොහේ හෝ තිබෙන තමන්ගේ වත්කම් හෝ ලබන ආදායම් මත ඇමරිකන් රජයට බදු ගෙවිය යුතු වීමයි.
ආකාර හතක් තිබුණත් බොහෝ දෙනෙක් ඇමරිකන් පුරවැසිකම අහෝසි කර ගන්නා ක්‍රමය ගෝඨාභය රාජපක්ෂ විසින් ද අනුගමනය කර ඇති ප්‍රචලිත ක්රමවේදයයි. මේ ක්‍රමවේදයට පියවර ගණනක් අයත් වුවත්, වඩාත්ම වැදගත් පියවර වන්නේ ඇමරිකාවෙන් පිටත වෙනත් රටක තානාපති කාර්යාලයකදී ස්වේච්ඡාවෙන් තමන්ගේ ඇමරිකානු ජාතිකත්වය හා පුරවැසිකම අත් හැරීමයි. එසේ කරන අයෙකු ඒ අවස්ථාවේදී තමන්ගේ ඇමරිකානු ගමන් බලපත්රයද තානාපති කාර්යාලයේ නිලධාරියෙකුට භාර දිය යුතුයි.
මේ ආකාරයෙන් ඇමරිකාවෙන් පිටත කිසියම් ඇමරිකානු තානාපති කාර්යාලයකදී යමෙකු සිය ඇමරිකන් පුරවැසිකම අත් හැරීමෙන් පසුව, අදාළ තානාපති කාර්යාලය විසින් ඒ බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දැනුම් දෙනවා. පුරවැසිකම අත් හැරීම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පිළිගැනීමෙන් පසුව ඇමරිකානු ජාතිකත්වය අහෝසි වූ බව තහවුරු කරමින් සහතිකයක් නිකුත් කරනවා. ඉන් පසුව, අදාළ තානාපති කාර්යාලය විසින් මේ සහතිකය හා අවලංගු කළ ඇමරිකානු ගමන් බලපත්‍රය පුරවැසිකම අත් හළ පුද්ගලයාට භාර දෙනවා.
නෛතික ලෙස කිසියම් පුද්ගලයෙකුගේ ඇමරිකන් පුරවැසිකම අහිමිවීමේ දිනය සේ සැලකෙන්නේ ඉහත කී පරිදි කිසියම් තානාපති කාර්යාලයකදී ඇමරිකන් පුරවැසිකම අත් හළ දිනය වුවත්, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එවැනි ඉල්ලීමක් අනුමත කර ඇමරිකානු ජාතිකත්වය අහිමි වීමේ සහතිකය නිකුත් කරන තුරු ගත වන කාලය එක්තරා ආකාරයක ගන්ධබ්බ කාලයක්. මේ කාලය තුළ කිසියම් පුද්ගලයෙකු ඇමරිකන් පුරවැසියෙකු නොවූ බව ස්ථිරව දැනගන්නට ලැබෙන්නේ සහතිකය අතට ලැබුණු පසුව පමණයි.
ගෝඨාභයගේ ඇමරිකන් පුරවැසිකම අහිමි වුනාද?
ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු ජාතිකත්වය අහිමි වීමේ සහතිකය ලෙස මුලින් සංසරණය වූයේ කූඨ ලේඛණයක් බව ගෝඨාභය රාජපක්ෂ විසින්ම පිළිගෙන තිබෙන නිසා ඒ ගැන කතා කිරීමේ තේරුමක් නැහැ. එහෙත්, දෙවනුව සංසරණය වූ සහතිකය ව්‍යාජ එකක් බව කිව හැකි පැහැදිලි හේතු නැහැ.
මේ දෙවන සහතිකය අනුව ගෝඨාභය රාජපක්ෂ විසින් 2019 අප්‍රේල් 17 දින සිය ඇමරිකානු පුරවැසිකම ඉවත් කර ගෙන තිබෙන අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2019 මැයි 3 දින මේ ඉල්ලීම පිළිගෙන අදාළ සහතිකය නිකුත් කර තිබෙනවා. ප්‍රසිද්ධ කර තිබෙන සහතිකය ව්‍යාජ එකක් නොවේනම් 2019 අප්‍රේල් 17 දින සිට ගෝඨාභය රාජපක්ෂ ඇමරිකන් පුරවැසියෙක් නෙමෙයි.
සහතිකය ව්‍යාජ එකක්ද?
ලසන්ත වික්‍රමතුංග ඝාතනය හා සම්බන්ධව අහිංසා වික්‍රමතුංග විසින් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පනවනු ලැබූ නඩුවක් මේ වන විට ඇමරිකානු අධිකරණයක විභාග වෙනවා. මෙම නඩුව හා අදාළව ගෝඨාභය රාජපක්ෂ පාර්ශ්වයේ නීතිඥයින් විසින් 2019 ජූනි 27 දින එම අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක ගෝඨාභය රාජපක්ෂ විසින් 2019 අප්‍රේල් 17 දින සිය ඇමරිකානු පුරවැසිභාවය අත් හළ බව සඳහන් කර තිබෙනවා. මෙය විශ්වාසනීය මූලාශ්‍රයක්. මේ දිනය දෙවන සහතිකයේ දිනය සමඟ ගැලපෙනවා. එහෙත්, මේ අත් හැරීම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පිළිගත් බවක් අදාළ ලේඛණය මඟින් තහවුරු කරන්නේ නැහැ.
ගෝඨාභය රාජපක්ෂ විසින් සිය පුරවැසිකම අත් හැර මේ වන විට මාස හතරක් ගත වී තිබෙනවා. විශේෂ හේතුවක් නැත්නම්, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබෙන්න මෙය ප්‍රමාණවත් කාලයක්. යම් කිසිවෙකු ඇමරිකානු පුරවැසිකම අත් හැරීමෙන් පසුව, අදාළ ඉල්ලීම අනුමත නොවීම ඉතා විරල සිදු වීමක්. ඇමරිකානු පුරවැසිකම ඉවත් කර ගැනීමෙන් පසුවද ඉන් පෙර කළ හෝ පසුව කරන වරදකට කිසියම් පුද්ගලයෙකුට දඬුවම් කිරීමේ හැකියාව අහිමි නොවන නිසා ඇමරිකානු අධිකරණයක විභාග වෙමින් තිබෙන නඩුවක චුදිතයකු වූ පමණින් මෙවැනි ඉල්ලීමක් ප්‍රතික්ෂේප කෙරෙන්නේ නැහැ.
2019 අප්‍රේල් 17 දින ඇමරිකානු පුරවැසිකම අත් හළ අයෙකුට 2019 මැයි 3 වන විට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබීම බොහෝ විට සිදු විය හැකි දෙයක්. ඒ නිසා, දෙවන වරට දකින්නට ලැබුණු සහතිකය බොහෝ විට සැබෑ එකක් විය හැකියි.
ඒ වගේම, මේ හා අදාළව ගෝඨාභය කඳවුරේ ප්‍රතිචාරය නිරීක්ෂනය කිරීමත් වැදගත්. ප්‍රතිවාදීන් ගෝඨාභයගේ පුරවැසිකම පිළිබඳ ප්රශ්නය අල්ලාගෙන දඟලද්දී ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ කණ්ඩායම මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට වද නොවී ජනාධිපතිවරණය ඉලක්ක කර සිය ශක්තිය යොදවනු පෙනීමෙන්ද හැඟී යන්නේ ඔවුන් ප්රශ්නය විසඳාගෙන අවසන් බවයි.
එහෙමනම්, ෆෙඩරල් රෙජිස්ට්‍රියේ ගෝඨාභයගේ නම නැත්තේ ඇයි?
ඇමරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් සෑම කාර්තුවක් ඇතුළතම ඇමරිකන් පුරවැසිකම හෝ ස්ථිර පදිංචිය (ග්‍රීන් කාඩ්) ඉවත් කරගත් පුද්ගලයින්ගේ ලේඛණයක් ප්‍රකාශයට පත් කරනවා. 2019 දෙවන කාර්තුව සඳහා වූ ලැයිස්තුවේ ගෝඨාභය රාජපක්ෂගේ නම නැහැ. යම් හෙයකින් එම ලැයිස්තුවේ ඔහුගේ නම තිබුණානම් එය මේ වන විට ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙකු නොවන බව තහවුරු කරනවා. කෙසේ වුවත්, අදාළ ලැයිස්තුවේ ඔහුගේ නම නොතිබූ පමණින් ඔහු තව දුරටත් ඇමරිකානු පුරවැසියෙකු බව තහවුරු වන්නේ නැහැ.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධ කරන මේ ලැයිස්තුවට නම ඇතුළත් වීම යමෙකුගේ ඇමරිකානු පුරවැසිකම අහිමි වීම පිණිස අත්‍යවශ්‍ය කරුණක් නෙමෙයි. මේ හා අදාළ නීතිමය ප්රතිපාදනය ඇතුළත් ඇමරිකානු දේශීය ආදායම් පණතේ 6089G(d) වගන්තිය අනුව මෙසේ ප්‍රසිද්ධ කළ යුත්තේ 877(a) හෝ 877A වගන්ති වලින් අර්ථදැක්වෙන පුද්ගලයින්ගේ නම් පමණයි.
"Notwithstanding any other provision of law, not later than 30 days after the close of each calendar quarter, the Secretary shall publish in the Federal Register the name of each individual losing United States citizenship (within the meaning of section 877(a) or 877A) with respect to whom the Secretary receives information under the preceding sentence during such quarter."
මේ නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමේ අරමුණ වන්නේ කිසියම් පුද්ගලයෙකු බදු පැහැර හැරීමේ අරමුණින් ඇමරිකන් පුරවැසිබව හෝ ස්ථිර පදිංචිය අත් හරින බව සැක කළ හැකි විට එවැනි පුද්ගලයෙකු විසින් බදු පැහැර හැරීම වලක්වා ගැනීමයි. ඒ අනුව, බදු පැහැර හැරීමේ අරමුණින් තොරව පුරවැසිකම අත් හළ බව පෙනෙන අයගේ නම් මේ ලැයිස්තුවට ඇතුළත් නොවිය හැකියි. එවැන්නන් හඳුනා ගැනීම පිණිස නිර්ණායක තුනක් භාවිතා කෙරෙනවා. ඒවානම්, පසුගිය වසර පහේ සාමාන්‍ය ආදායම, මුළු වත්කම් එකතුව හා පසුගිය වසර පහ තුළ නිසි පරිදි බදු ගෙවා තිබීම යන කරුණුයි. 2019 අප්‍රේල් මාසයේදී ඇමරිකන් පුරවැසිභාවය අත් හරින අයෙකු පහත කොන්දේසි තුනම සපුරා ඇත්නම් 877(a) වගන්තියෙන් අර්ථදක්වා ඇති "ආවරණය වන පුද්ගලයෙකු" සේ සැලකෙන්නේ නැහැ.
1) පසුගිය පස් වසරේ සාමාන්‍ය වාර්ෂික ආදායම ඇමරිකන් ඩොලර් 165,000කට නොවැඩි වීම
2) ශුද්ධ වත්කම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 2කට නොවැඩි වීම
3) 2014 සිට 2018 දක්වා එක් එක් වසර සඳහා ගෙවිය යුතු බදු මුදල් නිසි පරිදි ගෙවා තිබීම
ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව ඔහු ඉහත කොන්දේසි තුනම සපුරා ඇත්නම් ඔහුගේ නම ෆෙඩරල් රෙජිස්ට්‍රියේ පළ නොවිය හැකියි. කිසියම් පුද්ගලයෙකුගේ නම ෆෙඩරල් රෙජිස්ට්‍රියේ පළ වීම හෝ නොවීම එම පුද්ගලයාගේ ආදායම හා වත්කම් මත තීරණය වීමත්, කිසියම් පුද්ගලයෙකුගේ ආදායම හා වත්කම් යනු රහස්‍ය පෞද්ගලික තොරතුරක් වීමත් නිසා මේ හා අදාළ වැඩි විස්තර හෙළිදරවු කිරීම ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කරනවා විය හැකියි.
කෙසේ වුවත්, ෆෙඩරල් රෙජිස්ට්‍රියේ පළ වන්නේ "ආවරණය වන පුද්ගලයින්ගේ" නම් පමණක්ද යන්න හරියටම පැහැදිලි නැහැ. මේ හා අදාළව වෙනස් මත පළ කරන නීතිවේදීන්ද සිටින නිසා ගෝඨාභයගේ නම ෆෙඩරල් රෙජිස්ට්‍රියේ නොතිබීම ඔහුගේ පුරවැසිකම ඉවත් කරගෙන තිබීම සැක කිරීමට හේතුවක් නොවන බව සියයට සියයක් තහවුරු කළ නොහැකි වුවත්, මගේ අදහස අනුව ඔහු 2019 අප්‍රේල් 17 දින සිට ඇමරිකන් පුරවැසියෙකු නොවන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2019 මැයි 3 දින තහවුරු කර තිබීමට විශාල ඉඩකඩක් තිබෙනවා.
මුලින් අතේ මාට්ටු වන ව්‍යාජ සහතිකයක් එළියට දමා ඒ ගැන අවධානය යොමු වීමෙන් පසුව හරි සහතිකය එළියට දැමීම ගෝඨාභය කඳවුරේ ප්රචාරක උපක්‍රමයක් වෙන්න පුළුවන්.
Labels:
ඇමරිකාව,
ගෝඨාභය රාජපක්ෂ,
නීතිය
Thursday, August 15, 2019
ගෝඨාභය නම නැතිව ෆෙඩරල් රෙජිස්ට්‍රිය පිට වේ!
මේ වසරේ දෙවන කාර්තුව ඇතුළත, එනම් 2019 අප්‍රේල් 1 දින සිට ජූනි 30 දක්වා කාලය ඇතුළත, ඇමරිකානු පුරවැසිකම ස්වේච්ඡාවෙන් අහිමි කරගත් පුද්ගලයින් 609 දෙනෙකුගේ නාම ලේඛනය නිල වශයෙන් අද (අගෝස්තු 15) ප්‍රකාශයට පත් කෙරුණා. සාමාන්‍ය පිළිවෙත අනුව, මහජන නිරීක්ෂණය පිණිස මේ ලැයිස්තුව ඊට පෙර ඊයේ (අගෝස්තු 14) නොනිල ලෙස ප්‍රසිද්ධ කෙරුණා. උදය ගම්මන්පිල වැනි ඇතැම් ගෝඨාභය හිතවාදීන් විසින් ස්ථිර කර පැවසූ පරිදි ගෝඨාභය රාජපක්ෂගේ නම මේ ලැයිස්තුවට ඇතුළත්ව නැහැ.
මීට පෙර ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිකමින් ඉවත් වීමේ සහතිකය ලෙස සඳහන් කූට ලේඛනයක් ප්‍රසිද්ධ වූ අතර එය කූඨ ලේඛනයක් බව ඉතා ඉක්මනින්ම හඳුනා ගනු ලැබුණා. එයට ප්‍රතිචාර ලෙස ගෝඨාභය විසින් ප්‍රකාශ කර තිබුණේ එම සහතිකය නියම එක නොවූවත්, සැබෑ සහතිකය තමන් සතුව තිබෙන බවයි. පසුව සැබෑ සහතිකය ලෙස සඳහන් දෙවන සහතිකයක්ද සංසරණය වුනා.
ඇමරිකානු පුරවැසියෙකු වීම ගෝඨාභය ලංකාවේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වීම වළක්වනවාක් මෙන්ම ඒ හා අදාළව ජනතාවට බොරු කියා ඔහු විසින් රැවටිල්ලක් කර ඇත්නම්, එය අවංක හා විනයගරුක පුද්ගලයෙකු ලෙස ඉදිරිපත් කෙරෙන ගෝඨාභය ප්‍රතිරූපයට ආරම්භයේදීම සිදු කෙරෙන හානියක් ද වනවා.
අද (අගෝස්තු 15) නිල වශයෙන් ප්‍රකාශයට කළ 2019 දෙවන කාර්තුවේදී ඇමරිකානු පුරවැසිකම අහිමි කරගත් පුද්ගලයින්ගේ නාම ලේඛණය පහත සබැඳියේ තිබෙනවා.
https://www.federalregister.gov/documents/2019/08/15/2019-17498/quarterly-publication-of-individuals-who-have-chosen-to-expatriate-as-required-by-section-6039g
Labels:
ඇමරිකාව,
ගෝඨාභය රාජපක්ෂ
Wednesday, August 14, 2019
ගෝඨාභය දිනයිද?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා විදිහට මේ වන විට ගෝඨාභය රාජපක්ෂව නම් කර තිබුණත්, එජාපය හෝ කිසියම් ඡන්ද පදනමක් තිබෙන වෙනත් පක්ෂයක් තවමත් තමන්ගේ අපේක්ෂකයකු නම් කර නැහැ.
සජිත් ප්‍රේමදාස එජාප ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගන්න සෑහෙන සටනක් කරනවා. අවසානයේදී සජිත් එජාප අපේක්ෂකයා වෙයි කියා අපේ වියුණුවේ ප්‍රතිචාර දමන කිහිප දෙනක්ම හිතන බව පෙනෙනවා. වෙනත් නම්ද කියැවෙනවා. ජවිපෙ විසින් ඔවුන්ගේම අපේක්ෂකයෙකු ඉදිරිපත් කෙරෙන බවක්ද කියැවෙනවා. මුස්ලිම් පක්ෂ එකතු වී අපේක්ෂකයෙකු දමන කතාවක්ද තිබෙනවා.
ගෝඨාභය රාජපක්ෂව පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස පත් කරනු ලැබූ බව කීවත් ඇත්තටම වුනේ පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය ඔහුට නොදී බැරි වීමයි. එජාප අපේක්ෂකත්වය සජිත්ට ලැබෙනු ඇතැයි ඇතැම් අය හිතන්නේත් ඒ පදනමින්ම වෙන්න පුළුවන්.
නමුත්, ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් සජිත් කරන සටනේත්, ගෝඨාභය වෙනුවෙන් කෙරුණු සටනේත් වෙනසක් තිබෙනවා. ගෝඨාභය වෙනුවෙන් සටන් කළේ ගෝඨාභය අවශ්‍යයැයි සිතූ වෙනත් අයයි. ගෝඨාභය කළේ මේ ඉල්ලීමට අවනත වීමයි. නමුත්, සජිත්ගේ සටන බොහෝ දුරට ඔහුගේ පෞද්ගලික සටනක්.
එයින් කියන්නේ සජිත්ව ඉල්ලා සිටින වෙනත් අය නැති බව නෙමෙයි. සජිත් ඔය සටන කරන්නේ ඒ වෙනත් අයගේ බල කිරීම නිසා නොවන බවයි. නමුත්, ගෝඨාභයට එවැනි ඉල්ලුමක් නොතිබුණානම් ඔහු තමන්ගේ ඇමරිකානු පුරවැසිකම තියාගෙන පැත්තකට වී සිටිය හැකිව තිබුණා.
නලින් ද සිල්වා විසින් ගෝඨාභයව හඳුන්වා තිබෙන්නේ reluctant politician කෙනෙක් ලෙසයි. ඒ කියන්නේ වෙනත් අයගේ බල කිරීම නිසා දේශපාලනයට පැමිණි කෙනෙක් ලෙස. මේ කතාව බොරුවක් නෙමෙයි. ඇමරිකාවට වී සිටි ගෝඨාභය ලංකාවට පැමිණ ආරක්ෂක ලේකම් ධුරය භාර ගත්තේත් ඔය වගේ පසුබිමකයි. ඉන් පසුව, ගෝඨාභය පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස කටයුතු කළා.
ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කරුවෙකු වූ බව කිවුවත්, ගෝඨාභය විසින් බොහෝ විට කළේ ඔහුට ලබා දුන් විශේෂිත වගකීම් හෝ ඉලක්ක හා අදාළ කටයුතුයි. එයට ඔහුගේ හමුදා විනය හේතු වෙන්න ඇති. හමුදා නිලධාරියෙක් සාමාන්‍යයෙන් ලබා දුන් ඉලක්කයක් කරා යාම ගැන හිතන්න වෙහෙසෙනවා මිස සාමාන්‍ය වෘත්තීය දේශපාලනඥයෙකු මෙන් ධුරාවලියේ ඉහළට යාම ප්‍රධාන ඉලක්කයක් කර ගන්නේ නැහැ. මේ ලක්ෂණය සරත් ෆොන්සේකාගෙනුත් දෘශ්‍යමාන වෙනවා.
වෘත්තීය දේශපාලනඥයින් හිතන්නට හා ක්‍රියා කරන්නට පුහුණු වී තිබෙන ආකාරය අනුව ඔවුන්ගේ ඔලු හැම විටම වැඩ කරන්නේ බලය කරා යාම හා ලබා ගත් බලය රැකගැනීම ගැන හිතන්නයි. අනෙක් දේවල් කරන්නේ බලය කරා යාමට හා බලය රැක ගැනීමට උදවුවක් ලෙසයි. මහින්ද, රනිල්, සජිත්, චම්පික වැනි ගොඩක් අය ඉන්නේ ඔය ගොඩේ. ගෝඨාභයම වුවත් වෘත්තීය දේශපාලනඥයෙක් සේ පරිණත වීමේදී මේ තත්ත්වයටම පත් වෙන්න පුළුවන්.
ලංකාවේ මෙතෙක් පැවති සෑම ජනාධිපතිවරණයකදීම ජයගත් අපේක්ෂකයා විසින් 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර තිබුණත් ලංකාවේ ජනාධිපති වීම සඳහා 50%ක ඡන්ද ගැනීම අවශ්‍යම නැහැ. රටේ වැඩි දෙනෙකුගේ වැඩි කැමැත්ත තිබෙන අපේක්ෂකයා වීම ඒ සඳහා ප්‍රමාණවත්. ජනාධිපතිවරණයකදී අනුපිළිවෙලින් මනාප තුනක් ලකුණු කරන්න අවස්ථාව දී තිබෙන්නේ මේ වැඩි කැමැත්ත හොයා ගන්නයි. එහෙත්, මෙතෙක් කිසි විටෙකත් මේ දෙවන තුන්වන මනාප ගණන් කරන්න අවශ්‍ය වී නැහැ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් හිමි තනි දේශපාලන පක්ෂයයි. පසුගිය පළාත් පාලන මැතිවරණ වලදී එම පෙරමුණ හා එම පෙරමුණේ අනුග්‍රහය ලැබූ ස්වාධීන කණ්ඩායම් විසින් ලබාගත් 41.24% යනු ගෝඨාභය රාජපක්ෂට ලබා ගත හැකි ඡන්ද ප්‍රමාණයේ අවම සීමාවක්.
පළාත් පාලන මැතිවරණ පැවැත්වෙද්දී පොදුජන පෙරමුණ ඉතිහාසයක් නැති, හරියකට අයිතිකාරයෙක් නැති පක්ෂයක්. එතරම් වැදගත්කමක් නොතිබුණු පළාත් පාලන මැතිවරණ වලදී පොදුජන පෙරමුණ වෙනුවෙන් ඡන්දය භාවිතා කළ අය විසින් කළේ යහපාලන ආණ්ඩුවේ පාර්ශ්ව දෙකට තමන්ගේ විරෝධය පෙන්වීම පමණයි. එසේ කිරීමෙන් ඒ අය බලාපොරොත්තු වූ වෙනත් දෙයක් නැහැ. ඒ වගේම, වෙනත් වචන වලින් කිවුවොත්, මේ ඡන්දදායකයින් විසින් කළේ මහින්ද රාජපක්ෂ කෙරෙහි තමන්ගේ වූ පක්ෂපාතීත්වය පෙන්වීමයි.
කොහොම වුනත්, පළාත් පාලන ඡන්ද පැවැත්වෙන විට මහින්ද නිල වශයෙන් ශ්‍රීලනිප සාමාජිකයෙක්. ශ්‍රීලනිපයත්, ශ්‍රීලනිප හෝ එජනිස ලෙස පළාත් පාලන මැතිවරණ වලට තරඟ කර 12.07%ක ඡන්ද ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. පැරණි ශ්‍රීලනිපයේ තැනට පොදුජන පෙරමුණ පත් වී ඇති බව පැහැදිලිව තිබෙන පසුබිමක, ශ්රීලනිපය හා පොදුජන පෙරමුණ සන්ධානගත නොවූවත් මේ ඡන්ද වලින් සැලකිය යුතු කොටසක් ශ්‍රීලනිප හා තවමත් රැඳී සිටින දේශපාලනඥයින් ගණනාවක්ද සමඟ පොදුජන පෙරමුණ වෙත ආකර්ෂණය වීම නොවැලැක්විය හැකියි. නමුත්, එම ප්‍රමාණය ගෝඨාභයට 50% සීමාවට යාමට අවශ්‍ය වන 8.74%ට වඩා අඩුද වැඩිද කියන එක තවත් සාධක ගණනාවක් මත තීරණය වන්නක්.
වෙනත් තැනකින්, එනම් 2015 ජනවාරි ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් විශ්ලේෂණය පටන් ගත්තොත්, මහින්ද රාජපක්ෂ විසින් එම මැතිවරණයේදී 47.58%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තා. ශ්‍රීලනිප හා තවමත් රැඳී සිටින දේශපාලනඥයින් හා ඡන්දදායකින්ගෙන් කොටසක් ජනාධිපතිවරණයට පෙර නිරුත්සාහයෙන් ආකර්ෂණය කර ගැනීමේ උපකල්පනය මත, එම ඡන්ද ප්‍රතිශතය ඉදිරි ජනාධිපතිවරණයකදී ගෝඨාභයට ලබා ගැනීම අසීරු කටයුත්තක් නොවන නිසා ඔහුගේ අවම සීමාව පහසුවෙන්ම 47.58% මට්ටම දක්වා ඔසොවන්න පුළුවන්.
කෙසේ වුවත්, 2015 ජනවාරියේදී මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළේ නැහැ. එම මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන විසින් 51.28%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ජයග්‍රහණය කළා. ඒ නිසා, ගෝඨාභයට පළමු වටයෙන් 50% මට්ටමට ළඟා වී පහසු ජයග්‍රහණයක් ලබන්නනම් 2015 ජනවාරියේදී මහින්දට එරෙහිව මෛත්‍රීපාල විසින් ලැබූ ඡන්ද වලින් කිසියම් ප්‍රමාණයක්ද ලබා ගත යුතු වෙනවා. මේ ප්‍රමාණය විශාල ප්‍රමාණයක් නොවූවත් එම සුළු ඡන්ද ප්‍රමාණය මැතිවරණ ප්‍රතිඵලයට ඉතා තීරණාත්මක ලෙස බලපානවා.
කෙසේ වුවත්, පෙර කී පරිදි, ගෝඨාභයට ජයග්‍රහණය පිණිස 50%ක ඡන්ද ලබා ගැනීම අවශ්‍ය වන්නේ 2015 ජනවාරියේදී මෙන් ඔහුට එරෙහිව පොදු අපේක්ෂකයෙකු මැතිවරණයට ඉදිරිපත් වන පසුබිමකදීයි. සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබාගත හැකි තෙවන අපේක්ෂකයින් ඡන්දයට ඉදිරිපත් වේනම්, ගෝඨාභයට ජයග්‍රහණය කිරීමට 50%ක ඡන්ද අවශ්‍ය වන්නේ නැහැ.
පොදුජන පෙරමුණ හැරුණු විට වැඩිම ඡන්ද ප්‍රතිශතයක් හිමි තනි පක්ෂය එජාපයයි. එජාපය පසුගිය පළාත් පාලන මැතිවරණ වලදී ලබාගත්තේ 29.41%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. මෙය ගෝඨාභයට ලබා ගැනීමට අසීරු නොවන ඉලක්කයක් වන 47.58% මට්ටමට වඩා බොහෝ අඩු ප්‍රතිශතයක්. ඒ නිසා, කවර හෝ එජාප අපේක්ෂයෙකුට පටන් ගන්න වෙන්නේ ගෝඨාභයට වඩා බොහෝ අවාසිදායක තැනක සිටයි. එජාප හෝ එජාප සහයෝගය ලබන අපේක්ෂකයෙකුට පළාත් පාලන මැතිවරණ වලදී දෙමළ හා මුස්ලිම් පක්ෂ විසින් ලබාගත් ඡන්ද වැඩි ප්‍රමාණයක්ද ලබාගත හැකි නිසා මේ පරතරයෙන් කොටසක් අඩු වෙනවා.
ඉකොනොමැට්ටාගේ ඇස්තමේන්තු අනුව, 2015 ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ ඡන්ද වලින් 57.9%ක්ද, දෙමළ නොවන කතෝලික හා ක්‍රිස්තියානි ඡන්ද වලින් 44.7%ක්ද, ශ්‍රී ලාංකික දෙමළ ඡන්ද වලින් 18.2%ක්ද, ඉන්දියානු දෙමළ ඡන්ද වලින් 19.6%ක්ද, ඉස්ලාම් භක්තිකයින්ගේ ඡන්ද වලින් 11.5%ක්ද ලබාගත්තේ මහින්ද රාජපක්ෂ විසිනුයි. ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලාංකික දෙමළ හෝ ඉස්ලාම් ඡන්ද වලින් මීට වඩා වැඩි ප්‍රතිශතයක් ලැබේයැයි සිතන්න බැහැ. ඇතැම් විට මේ ප්‍රතිශත යම් තරමකින් අඩු වෙන්න වුවත් පුළුවන්. ඉන්දියානු දෙමළ පදනමක් ඇති දේශපාලන පක්ෂ වල සහයෝගය ලැබීම මත ඉන්දියානු දෙමළ ඡන්ද ප්‍රතිශතය තරමක් වාසිදායක ලෙස වෙනස් කර ගැනීමේ හැකියාවක් තිබුණත් එහි සමස්ත බලපෑම එතරම් විශාල නැහැ. ඒ නිසා, 50% මට්ටමට යන්නනම්, ගෝඨාභයට ඉලක්ක කරන්න වෙන්නේ සිංහල බෞද්ධ හා සිංහල කතෝලික ඡන්ද ප්‍රතිශත ඉහළ දමා ගැනීම කෙරෙහියි.
සිංහල බෞද්ධ හා සිංහල කතෝලික ඡන්දදායකයින්ගේ ප්‍රතිශතය ආසන්න වශයෙන් 75%ක් පමණ වෙනවා. 50% මට්ටමට යාමට ගෝඨාභයට අඩු 2.42%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. සිංහල ඡන්ද වලින් 2015දී නොලැබුණු ඡන්ද 3.23%ක් ලබා ගත්තොත් මේ ඉලක්කය සම්පූර්ණ වෙනවා. මෙය සිංහල බෞද්ධ ඡන්ද වලින් 61.1%ක් හා සිංහල කතෝලික හා ක්‍රිස්තියානි ඡන්ද වලින් 47.9%ක ඉලක්කයක් කියා කියන්නත් පුළුවන්.
ප්‍රතිවාදී අපේක්ෂයෙකුට ගෝඨාභයව අභිබවන්නටනම්, පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අමතරව ගෝඨාභය විසින් මෛත්‍රීපාල සිරිසේන විසින් 2015දී ලබාගත් සිංහල ඡන්ද වලින් 3.23%ක් ලබා ගැනීම වලක්වන්නටද සිදු වෙනවා. ඒ සඳහා උත්සාහයක් හෝ දරන්නනම් දෙමළ හා මුස්ලිම් ඡන්ද අඩු කර නොගෙන 2015දී මෛත්‍රීපාල සිරිසේන වෙත ලැබුණු සිංහල ඡන්ද ද රඳවාගත හැකි පුද්ගලයෙකු පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කරන්න සිදු වෙනවා.
ලංකාවේ මෙතෙක් පැවති ජනාධිපතිවරණ බොහොමයක්ම අපේක්ෂකයින් දෙදෙනෙකු අතර පැවති තරඟයි. ප්‍රතිඵලයට බලපෑමක් කළ හැකි තෙවන තරඟකරුවෙකු සිටියේ අවස්ථා තුනකදී පමණයි. ඒ, ජවිපෙ වෙනම තරඟ කළ අවස්ථා දෙකේදී හා ඔසී අබේගුණසේකර තරඟ කළ අවස්ථාවේදීයි. ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර තරඟ කළ 1982දී ඔහු 4.19%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. 1999දී ජවිපෙ අපේක්ෂක නන්දන ගුණතිලක විසින් 4.08%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. ජවිපෙ තරඟ නොකළ හා ඡන්දය දැමූවන්ට මරණ තර්ජන කළ 1989දී ඔසී අබේගුණසේකර විසින් 4.63%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. කිසිදු තෙවන අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයකදී 5% මට්ටමට ගොස් නැහැ.
මෙවර දෙමළ පක්ෂ වලින් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කෙරෙන බවක් පෙනෙන්නට නැහැ. එම පක්ෂ වල අභිලාශය වන්නේ ගෝඨාභයට එරෙහිව ඉදිරිපත් වන ප්‍රධාන ප්‍රතිවාදියාගේ ජයග්‍රහණය බව පැහැදිලියි. මුස්ලිම් දේශපාලන පක්ෂ එකතු වී අපේක්ෂයෙකු ඉදිරිපත් කරන බව කීවත්, එවැන්නක් සිදු වේයැයි මා හිතන්නේ නැහැ. මේ වෙලාවේ, ජන වාර්ගික කණ්ඩායමක් ලෙස සැලකූ විට ගෝඨාභයට වඩාත්ම ප්රතිපක්ෂව ඉන්නේ මුස්ලිමුනුයි. ඒ නිසා, ඔවුන්ට ගෝඨාභය බලයට පැමිණීම වලක්වන්න තිබෙන්නේ දෙමළුන්ට තිබෙනවාටත් වඩා උවමනාවක්. ගෝඨාභයගේ ප්‍රතිවාදියාට ඡන්දය නොදී මුස්ලිම් අපේක්ෂකයෙකුට ඡන්දය දීමෙන් තමන්ගේ අපේක්ෂාව ඉටු නොවන බව සාමාන්‍ය මුස්ලිමුන් දන්නා නිසා යම් හෙයකින් එවැනි අපේක්ෂකයෙකු ඉදිරිපත් වුනත් එවැන්නෙකුට සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබා ගත හැකි වන එකක් නැහැ. මුස්ලිම් දේශපාලන පක්ෂ මේ බව හොඳින්ම දන්නා නිසා ඔවුන් එවැනි අපේක්ෂකයෙකු දමන්න ලොකු ඉඩක් නැහැ.
ජවිපෙ අද ඉන්නේ 1982දී හා 1999දී හිටියාට වඩා තරමක් හෝ දුර්වල තැනකයි. ඒ නිසා, ජවිපෙට මෙවර තනිව තරඟ කර 4% මට්ටමෙන් ඔබ්බට යන්න අසීරුයි. කෙසේ වුවත්, 2015දී මහින්ද හා මෛත්‍රී අතර වූ පරතරය 3.7%ක් පමණයි. ජවිපෙට මේ මට්ටමට එන්න බැරිකමක් නැහැ. ඒ නිසා, ජවිපෙ විසින් වෙනම අපේක්ෂයෙකු ඉදිරිපත් කරනවාද නැද්ද කියන එක තීරණාත්මක කරුණක්. ජවිපෙ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ගෝඨාභයට ශ්‍රීලනිප නිල සහායක් නොමැතිව හා 50% නොලබා වුවත් ජනාධිපති ධුරයට පත් වීමේ ඉඩකඩක් විවර වෙනවා.
පසුගිය වකවානුව තුළ නාගානන්ද කොඩිතුවක්කු, රොහාන් පල්ලෙවත්ත වැනි වෙනත් තරඟකරුවන්ද කරලියට ආවා. මෙවර ජනාධිපතිවරණයද රාජපක්ෂවාදීන් හා රාජපක්ෂ විරෝධීන් අතර සටනක් වන පසුබිමකදී නාගානන්ද පන්නයේ තරඟකරුවෙකුට මැතිවරණ ප්‍රතිඵලයට බලපෑමක් කළ හැකි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත හැකි වීමේ ඉඩක් පෙනෙන්නට නැහැ.
තමන්ට ජයග්‍රහණය කළ නොහැකි ජනාධිපති හටනකදී ඔලුව හප්පා ගන්නවා වෙනුවට ඔලුව බේරාගෙන පැත්තකට විය හැකිනම් එය කිරීම හෝ මුට්ටියක් දමා බැලීම ජවිපෙ සාමාන්‍ය ක්‍රමයයි. ඒ නිසා, තමන්ගේම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනු වෙනුවට ජවිපෙ විසින් සලකා බැලීමට ඉඩ තිබෙන තවත් විකල්ප දෙකක් තිබෙනවා. එකක් අවසාන මොහොතකදී පොදු අපේක්ෂකයෙකුට සහාය දීමයි. දෙවැන්න, නාගානන්ද වැනි වෙනත් තෙවන අපේක්ෂකයෙකුට සහාය දීමයි. යම් හෙයකින්, ජවිපෙ සහාය ලබන "ස්වාධීන" අපේක්ෂකයෙකු තරඟයට ඉදිරිපත් වුවහොත් 5%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනු ඇතැයි මා සිතන නමුත් එයින් ඔබ්බට යා හැකියැයි සිතන්නේ නැහැ.
ජවිපෙ විසින් ඔවුන්ගේම අපේක්ෂකයෙකු දැම්මොත් හෝ වෙනත් තෙවන අපේක්ෂකයෙකුට සහාය පළ කළහොත් එයින් ලොකුම බඩේ පාර වදින්නේ මෛත්‍රීපාල සිරිසේනටයි. ඔහුට රාජපක්ෂ කඳවුර සමඟ හෙට්ටු කිරීමට ඉඩකඩක් විවර වන්නේ ජවිපෙ සහායද ලබන පොදු අපේක්ෂකයෙකු ගෝඨාභයගේ ප්‍රතිවාදියා වන පසුබිමකදී පමණයි.
ශ්රීලනිපය සමඟ දැනට ඉතිරිව සිටින දේශපාලනඥයින් ටික දෙනාගෙන් වැඩි දෙනෙක් ඉදිරි කාලයේදී පොදුජන පෙරමුණ හෝ එජාපය සමඟ එක් වද්දී ඔවුන්ගේ ආධාරකරුවන්ගේ ඡන්දත් ශ්‍රීලනිපයෙන් ගිලිහී යාම නොවැලැක්විය හැකියි. ඒ නිසා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔහු විසින් 2-3%ක ඡන්ද ප්‍රතිශතයක්වත් ලබා නොගැනීමට ඉඩ තිබෙනවා. නමුත්, මෛත්‍රීපාල සිරිසේන ක්‍රියා කරන ආකාරය අනුව මෙවැනි අවාසිදායක තත්ත්වයක් හමුවේ වුවත් ඔහු මැතිවරණයට ඉදිරිපත් වෙන්න බැරිකමක් නැහැ. ගෝඨාභය විරෝධී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් වන පසුබිමකදී මිස මේ ඡන්ද වෙනුවෙන් රාජපක්ෂ කඳවුරෙන් නොවටිනා මිලක් ලබා ගැනීමේ හැකියාවක් ඔහුට නැහැ.
බොහෝ විට සිදු විය හැකි පරිදි, පොදුජන පෙරමුණ හා ශ්රීලනිපය සන්ධානගත වුවත් ගෝඨාභයට 50% මට්ටටට යාමේ හැකියාව 100%ක් තහවුරු වෙන්නේ නැහැ. එයට හේතුව පළාත් පාලන මැතිවරණ වලදී ශ්රීලනිපය හා එජනිසය විසින් ලබාගත් 12.07%ක ඡන්ද ප්‍රතිශතයේ විෂමජාතීය ස්වභාවයයි. මෙයින් කොටසක් 2015දී මහින්ද වෙනුවෙන් භාවිතා වුනු ඡන්ද. ශ්රීලනිපය විසින් මේ ඡන්ද ලබාගත්තේ ඒ වෙද්දී මහින්ද යනු තවදුරටත් ශ්රීලනිපය නොව පොදුජන පෙරමුණ බව තේරුම් ගෙන නොසිටි පිරිසක් සිටි නිසයි. ඒ ඡන්ද, කොහොමටත් පොදුජන පෙරමුණ වෙත ආකර්ශනය වෙනවා. තවත් කොටසක් මෛත්රීපාලගේ හා ඒ වන විට ශ්‍රීලනිප සමඟ සිටි තවත් කිහිප දෙනෙකුගේ පෞද්ගලික ඡන්ද. ඒ වෙනත් අයගේ ඡන්ද වලින් කොටසක් ඒ වෙනත් අයද සමඟ පොදුජන පෙරමුණට හෝ එජාපයට යාමෙන් පසු ඉතිරි වන කොටස එතරම් විශාල නැහැ. තෙවන කොටස පාවෙන ඡන්ද. මේ ඡන්ද වලට ජනවාරි ඡන්ද කියා කියන්නත් පුළුවන්.
ජනවාරි ඡන්ද කියන්නේ 2015 වන විට රාජපක්ෂ විරෝධී වූ, එහෙත් ඊට පෙර මහින්ද වෙනුවෙන් වැටුණු සිංහල, බෞද්ධ, නාගරික ඡන්ද. මේ ගොඩක් ඡන්ද මහින්දගෙන් ගිලිහුණේ රාජපක්ෂලාගේ හොරකම් ගැන ප්‍රසිද්ධ වූ කතා එක්කයි. නමුත්, යහපාලන ආණ්ඩුව මේ හොරකම් කිසිවක් එළිදරවු නොකිරීමත්, ඊටත් වඩා ලොකු බැඳුම්කර හොරකමක පැටලීමත් හමුවේ (මේ අයගේ කෝණයෙන්) පළාත් පාලන මැතිවරණ වලදී මේ කණ්ඩායමේ තේරීම වුනේ යහපාලන ආණ්ඩුවේ "පිරිසිදු පාර්ශ්වය" ලෙස පෙනුණු මෛත්‍රීපාල සිරිසේනයි. ඔවුන් තව දුරටත් රාජපක්ෂ විරෝධීන් වූ බවත්, පළාත් පාලන මැතිවරණ වලදී ශ්රීලනිපය හිටියේ රාජපක්ෂලාට වඩා එජාපයට කිට්ටුවෙන් බවත් අමතක කළ යුතු නැහැ.
මේ ඡන්ද ගෝඨාභයට ආකර්ශනය කර ගත නොහැකි ඡන්ද නොවූවත්, මෛත්‍රීපාල සිරිසේනට පාලනය කළ හැකි ඡන්ද නෙමෙයි. ඒ නිසා ශ්‍රීලනිප එකතු කර ගැනීමෙන් පොදුජන පෙරමුණට ලැබෙන ආන්තික වාසිය ඉතා සුළු එකක්. එය 50% මට්ටමට යාමට ප්‍රමාණවත් එකක් නෙමෙයි. එහෙත්, 2015 ජනවාරියේදී ගිලිහුණු සිංහල, බෞද්ධ, නාගරික ඡන්ද එකතු කර ගැනීමේ වටිනාකම ඊට වඩා ගොඩක් වැඩියි. ගෝඨාභය කඳවුරට මේ සමතුලනය ගැන පැහැදිලි අදහසක් තිබෙන බව පේනවා. ඔවුන් ශ්රීලනිපය එකතු කර ගැනීමට වඩා ජනවාරි ඡන්ද එකතු කර ගැනීමට බර දමමින් සිටීමෙන් පෙනෙන්නේ එයයි.
මෙතෙක් කතා කළ පදනම මත, ශ්‍රීලනිප/එජනිස පළාත් සභා ඡන්ද වලින් ආසන්න වශයෙන් අඩක්, එනම් 12.07%න් 6.34%ක් (=47.58% - 41.24%), කොහොමටත් පොදුජන පෙරමුණ වෙත ආකර්ශනය වන පසුබිමක 50% මට්ටම පහු කරන්න ගෝඨාභයට අවශ්‍ය වන්නේ ඉතිරි ශ්‍රීලනිප/එජනිස පළාත් සභා ඡන්ද වලින් ( 5.73%න්) අඩකට වඩා අඩු (2.42%ක) ප්‍රතිශතයක්. ගෝඨාභය පරද්දන්නනම් කාට හෝ පොදු අපේක්ෂකයෙකුට ශ්‍රීලනිප/එජනිස පළාත් සභා ඡන්ද වලින් අවම වශයෙන් 3.31%කට වඩා වැඩි කොටසක් ගෝඨාභය වෙත යාම වලක්වා තමන් වෙත ආකර්ශනය කරගන්න සිදු වෙනවා. එය කළ හැකි පොදු අපේක්ෂකයෙකු සොයා ගත හැකිනම් ගෝඨාභයට තරඟයක් දිය හැකියි.
රනිල් වික්‍රමසිංහට මෙය කළ නොහැකි බව පැහැදිලියි. ඔහු ඒ බව අවබෝධ කරගෙන සිටින බවත් පැහැදිලියි. ඒ වගේම, ඒ ඉලක්කයට යා හැකි අයෙකුට අවස්ථාවක් දීමට ඔහු පැකිළෙන එකක් නැහැ. වෙනත් අයෙකු ජනාධිපති කරගෙන තමන්ට අගමැති විය හැකිනම් එය නරක ප්‍රතිඵලයක් ලෙස සලකන්න හේතුවක් රනිල්ට නැහැ.
මේ ආකාරයට ශ්‍රීලනිප/එජනිස පළාත් සභා ඡන්ද ගොඩෙන් තුනෙන් එකක් පමණවත් ලබා ගැනීමේ හැකියාවක් රනිල්ට මෙන්ම රාජිත, රවී, මංගල වැනි අයෙකුටද නැහැ. මේ ඡන්ද සිංහල, බෞද්ධ, නාගරික ඡන්ද. සජිත්ට එය කළ හැකිද?
සජිත් කියන්නේ තවමත් ඔහුගේ පියාගේ යුගයේ ජීවත් වන අයෙක්. මට එක පාරටම මතක් වෙන්නේ අපේ පාසැල් කාලයේදී කියපු සිංදුවක්.
"අර බලපන්කෝ මේ බලපන්කෝ
අර බලපන් මේ බලපන් බුරි නැති කොල්ලෝ //"
ඕක කෝරස් එක. ඊට පස්සේ ඕකට එක එක පුද්ගලයින්ගේ නමින් කෑලි එකතු වෙනවා.
"ප්‍රේමදාස බුරිය දැකල මෙහෙම කියනවා
ප්‍රේමදාස බුරිය දැකල මෙහෙම කියනවා
බුරිය මැද්දෙ උදාගමක්
බුරිය මැද්දෙ උදාගමක්
බුරිය මැද්දෙ උදාගමක් හදමු කියනවා"
ඔය කියන්නේ සජිත්ගේ තාත්තා ප්‍රේමදාස ගැනයි. අවුරුදු තිහ හතළිහකට පස්සේ සජිත්ගේ ලෝකය තාමත් තියෙන්නේ ඔය බුරිය මැද්දෙමයි.
අනෙක් පැත්තෙන් සජිත් කියන්නේ අමු ගෝත්‍රවාදියෙක්. ඔහුගේ තේමාව වන්නේම යූඇන්පී කාරයින්ට සැලකීමයි. පාක්ෂිකයාට සැලකීම කියා කියන්නේ බොහෝ කලකට පෙර අසාර්ථක වූ අදහසක්. රාජපක්ෂලා කරන්නෙත් තමන්ගේ හිතවතුන්ට සලකන එක තමයි. නමුත්, වෙනසකට තියෙන්නේ ඕනෑම කෙනෙකුට වැඩි අමාරුවක් නැතිව රාජපක්ෂ හිතවතෙකු වීමේ ඉඩකඩක් විවරව තිබීමයි.
දැනට ඉතිරි වෙලා ඉන්න යූඇන්පී කාරයින් අතරින් පහළ සමාජ ස්ථර වල අය චූන් එකේ තියා ගන්න හා ඔවුන්ව චූන් කර ඡන්ද පොළට දක්කන්න සජිත්ට පුළුවන්. නමුත්, මේ වර්ගයේ අය දැන් එජාපයේ වැඩිපුර නැහැ. එහෙම අය හිටියේ සජිත්ගේ තාත්තගේ කාලයේ. ඒ වගේම මහින්ද එක්ක ඉන්න එවැනි අය මහින්දගෙන් කඩලා තමන් වෙත ආකර්ශනය කර ගැනීමේ හැකියාවක්ද සජිත්ට නැහැ. 2015දී මෛත්‍රීට ලැබුණු හා පළාත් පාලන මැතිවරණ වලදී ශ්‍රීලනිපයට ලැබුණු සිංහල බෞද්ධ නාගරික ඡන්ද ගෝඨාභයට යන එක වලක්වා තමන් වෙත ආකර්ශනය කර ගැනීමේ හැකියාවක් සජිත්ට කොහෙත්ම නැහැ. ඒ නිසා, ඔහුගේ ජනාධිපති සිහිනය සිහිනයක්ම පමණයි.
සිංහල, බෞද්ධ, නාගරික ඡන්ද සඳහා ගෝඨාභය සමඟ තරඟ කළ හැකි එජාප පිලේ සිටින අපේක්ෂකයින් වන්නේ චම්පික හා කරු ජයසූරියයි. චම්පික වැනි එජාප නොවන අයෙකුට ජනාධිපති අපේක්ෂකත්වය පිරිනමන්න තවමත් එජාපය සූදානම්ද යන්න සැක සහිතයි. ඒ වගේම, තමන් සෙල්ලම් කරන්නේ අනුන්ගේ පිට්ටනියක බව දන්න නිසා චම්පික දැනට ක්‍රීඩා කරන්නේ කඩුල්ල ආරක්ෂා කර ගෙනයි. සීමාවන් ඉදිරියට පැන පහර දී දුවද්දී දැවී යාමේ අවදානමට මුහුණ දෙන්න සූදානම් බවක් ඔහු පෙන්වන්නේ නැහැ. චම්පික කියා කියන්නේ අවස්ථාව ලැබෙන තුරු ඉවසා සිටින කෙනෙක්.
ප්‍රතිවාදී ලැයිස්තුවට සරත් ෆොන්සේකාවත් දැමිය හැකියි. එහෙත්, ඔහු එජාප අපේක්ෂකයා ලෙස ඉදිරියට පැමිණීමේ හෝ එසේ පැමිණියත් ගෝඨාභයව අභිබවා යාමේ ඉඩකඩක් පෙනෙන්නට නැහැ. ඒ නිසා, එජාප පිලේ සිටින්නන් අතරින් පොදු අපේක්ෂකයෙකු වීමේ විභවයක් වැඩිපුරම පෙන්වන්නේ කරු ජයසූරියයි. මම හිතන විදිහට රනිල්ගේ තේරීම වන්නේත් කරු ජයසූරියයි.
එක අතකින් බලන කොට මේ පොදු අපේක්ෂක කතාවම විහිළුවක්. 2015දී වුනේ රාජපක්ෂ විරෝධය කියන පොදු තේමාව යටතේ නොගැලපෙන රෝද අමුණාගත් කරත්තයක් ඉදිරියට තල්ලු කරන්න උත්සාහ කිරීමක්. කරත්තය වැඩි දුරක් ගියේ නැහැ. එසේ තිබියදී, නැවතත් ඒ රෝදම දාගෙන අලුත් කරත්තයක් තල්ලු කරන්න පුලුවන්ද කියන එක වලංගු ප්‍රශ්නයක්.
කොහොම වුනත්, මහින්ද අගමැති සේ දිවුරුම් දීමෙන් පසුව පැහැදිලි වූ පරිදි මෙවැනි නොගැලපෙන රෝද එකතු කර කරත්තයක් හැදීමේ විභවයක් රාජපක්ෂ විරෝධයට තවමත් තිබෙනවා. ඒ නිසා, රාජපක්ෂ විරෝධය මත පමණක් විවිධ අදහස් දරන කොටස් එකතු කිරීම තවමත් කළ හැකි දෙයක්. එසේ කළත්, ගෝඨාභය අභිබවා ජයග්‍රහණය කිරීම අමාරු ඉලක්කයක්. නමුත්, කෙසේවත්ම සිදු නොවිය හැක්කක් නෙමෙයි.
පොදු අපේක්ෂක සිහිනය බිඳ වැට්ටවීමට ලොකුම දායකත්වයක් දෙන්නේ සජිත් විසිනුයි. සජිත්ගේ අරගලය හමුවේ එජාප ජනාධිපති අපේක්ෂකත්වය ඔහුට ලැබුණොත් ඔහුට ජය ගැනීමේ හැකියාවක් නැති බව පැහැදිලි නිසා ජවිපෙ විසින් තෙවන පාර්ශ්වයකට සහයෝගය දීමේ හෝ තමන්ගේම අපේක්ෂකයෙකු දැමීමේ ඉඩකඩ ඉහළ යනවා. එයින් වෙන්නේ ගෝඨාභයගේ ජයග්‍රහණය පැහැදිලි ලෙස තහවුරු වීමයි.
Labels:
ගෝඨාභය රාජපක්ෂ,
දේශපාලනය,
මැතිවරණ ප්‍රතිඵල
Monday, August 12, 2019
ගෝඨාභයගේ කතාව
ගෝඨාභය රාජපක්ෂව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂයා ලෙස නම් කරනු ලැබීමෙන් පසුව ඔහු විසින් කළ කතාව අවධානය යොමු කළ යුතු කතාවක්. සාමාන්‍යයෙන් මේ වගේ පුද්ගලයින්ගේ ප්‍රසිද්ධ කතා මගේම නොවන මගේ කතා. ගෝඨාභය, රනිල් හෝ මහින්ද වැනි කෙනෙක්ගේ ප්‍රසිද්ධ කතාවක් කියා කියන්නේ බොහෝ විට වෙනත් අයෙකු හෝ කිහිප දෙනෙකු විසින් ලියා දෙන කතාවක්.
එතරම්ම වැදගත් නොවන අවස්ථාවකදීනම් සිදු වන්නේ ඒ වෙලාවේ අතට ලැබෙන කොළයේ ඇති දේ කොළය (හෝ ටෙලිප්‍රොම්ටරය) බලාගෙන කියවන එකයි. නමුත්, ඊයේ වගේ සුවිශේෂී අවස්ථාවක ගෝඨාභය වගේ කෙනෙක් කරන කතාව දිහා රටම පමණක් නෙමෙයි ලෝකයම බලාගෙන ඉන්න බව ඔහු වගේම ඔහු වටා ඉන්න අයත් හොඳින්ම දන්නා නිසා මේ කතාවේ පිටපත ගෝඨාභය ඇතුළු කිහිප දෙනෙකුගේම පූර්ව විමර්ශනයට ලක් නොවූවක් වන්නට ඉඩක් නැහැ.
ගෝඨාභයගේ කතාවෙන් පිළිබිඹු වන්නේ හරියටම ඔහු හිතන විදිහ කියා අපට කියන්න බැරි වුවත්, ඔහු හිතන විදිහ කියා ඔහුට පෙන්වන්න අවශ්‍ය විදිහ බව සැකයක් නැහැ. ඒ නිසා, ඔහු ලංකාවේ ජනාධිපති වුවහොත් ඔහු පිටතට පෙන්වන්න කැමැත්තනේ සිටින ප්‍රතිරූපයේ පිළිබිඹුවක් ලෙස ඔහුගේ මේ කතාව සැලකිය හැකියි. මේ මොහොත වෙද්දී ලංකාවේ මීළඟ ජනාධිපති ධුරයට වඩාත්ම කිට්ටුවෙන් ඉන්න පුද්ගලයා ගෝඨාභය නිසා ඔහුගේ කතාවේ මගේ අවධානයට යොමු වූ තැන් ගැන පොඩ්ඩක් කතා කරන්න කැමතියි.
"පසුගිය කාලය පුරා රට වෙනුවෙන් හඩක් නැගූ මහා සංඝරත්නය, ආගමික පූජකතුමන්ලා, දේශපාලනඥයන්, ජාතික සංවිධාන, මාධ්‍යවේදීන්, සමාජ ජාලා ක්රියාකාරිකයන්, හා විශේෂයෙන්ම රටේ තරුණ පරපුර පෙරටුකරගත් පොදු මහජනතාවට මම මේ අවස්ථාවේ මගේ ගෞරව පූර්වක ස්තූතිය පුදකරනවා."
මෙහි සඳහන් ලැයිස්තුවට සමාජ ජාලා ක්රියාකාරිකයන් ඇතුළත්ව සිටීම අවධානයට ලක් විය යුතු දෙයක්. කාලයක් තිස්සේම ලංකාවේ දේශපාලනයේ දිශානතිය තීරණය කළ මහා සංඝරත්නය, ආගමික පූජකතුමන්ලා, දේශපාලනඥයන්, ජාතික සංවිධාන, මාධ්‍යවේදීන් හා රටේ තරුණ පරපුර යන කොටස් අතරට සමාජ ජාලා ක්රියාකාරිකයන්ද එක් වී සිටින බව මේ වෙද්දී ගෝඨාභය විසින් හිතන බව පැහැදිලියි.
ගෝඨාභය රාජපක්ෂද ප්‍රධාන කොටස්කරුවෙකු වූ පසුගිය රාජපක්ෂ දශකයේදී පෞද්ගලික මාධ්‍යද ඇතුළුව විධිමත් මුද්‍රිත හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය සියල්ලක් මතම ආණ්ඩුවේ හෙවනැල්ල වැටී තිබුණු බව රහසක් නෙමෙයි. බොහෝ විට සිදු වුනේ මාධ්‍යකරුවන් විසින්ම ස්වයං වාරණයක් පනවා ගැනීමයි. වෙනත් දේවලුත් වුනා. නමුත්, සමාජ මාධ්‍ය කෙරෙහි ආණ්ඩුවෙන් එපමණම බලපෑමක් සිදු වුනේ නැහැ. එයට හේතුව පසුගිය ආණ්ඩුව විසින් සමාජ මාධ්‍ය වල බලපෑම නිසි පරිදි හඳුනා ගෙන නොතිබීම විය යුතුයි. නමුත්, රාජපක්ෂලා ඒ වැරැද්ද නැවත වරක් කරන එකක් නැහැ.
තමන් පොදුජන පෙරමුණේ ආධාරකරුවෙකු ලෙස හඳුන්වාගෙන තිබෙන විජේබාහු නමින් ප්‍රතිචාර දමන පාඨකයා විසින් ගෝඨාභය තවමත් ඇමරිකානු පුරවැසියෙකුයැයි අප විශ්වාස කරන්නේදැයි විමසා තිබෙනවා. අප එසේ විශ්වාස කරන්නේ හෝ නොකරන්නේ නැහැ. තහවුරු කර ගැනීමට අසීරු දේ පිළිබඳව අපගේ සාමාන්‍ය ස්ථාවරයද එවැන්නක්. අප සාමාන්‍යයෙන් කරන්නේ නොදන්නා දේ නොදන්නා බව දැනගෙන ඒ පදනම මත කටයුතු කිරීමයි.
කොහොම වුවත් ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසිකම පිළිබඳව ඇතැම් දේ පැහැදිලියි. ඔහු 2003 සිට ඉතා මෑතක් වන තුරුම ඇමරිකන් පුරවැසියෙක්. අවම වශයෙන් ඊට වසර පහකට පෙර සිට ඇමරිකාවේ ස්ථිර පදිංචිකරුවෙක් (ග්‍රීන්කාඩ් හිමියෙක්). ඒ වගේම, ඔහු ඇමරිකන් පුරවැසිකම ලබාගෙන තිබෙන්නේ ලංකාවේ පුරවැසිකම නැති වෙන්නට ඉඩ හරිමිනුයි. ඒ ලංකාවේ පුරවැසිකම අත් නොහැරම ඇමරිකානු පුරවැසියෙකු වීමේ විකල්පය ඔහු හමුවේ තිබියදී. ගෝඨාභය විසින් නැවත ලංකාවේ ද්විත්ව පුරවැසිකම ලබා ගෙන තිබෙන්නේ වසර ගණනාවකට පසුවයි.
මේ වෙද්දී ගෝඨාභය විසින් තමන්ගේ ඇමරිකන් පුරවැසිකමෙන් මිදී සිටින්න සැලකිය යුතු ඉඩක් තිබෙනවා. එහෙත්, එය ස්ථිරවම කිව නොහැකියි. එය එසේ බව පෙන්වමින් අන්තර්ජාලය හරහා කූඨ ලේඛන හුවමාරු වෙද්දී, එම ලේඛන කූඨ ලේඛන බව තහවුරු වන තුරු ඔහු ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. කෙසේ වුවත්, ඇමරිකන් පුරවැසිකම තිබියදී ඔහුට ලංකාවේ ජනාධිපති ධුරයට තරඟ කිරීමේ නීතිමය හැකියාවක් නැති නිසා, යම් හෙයකින් මේ වෙද්දී මේ කටයුත්ත අවසන්ව නැති වුවත් ඉතා ඉක්මණින් අදාළ කටයුතු අවසන් වන බවට විශ්වාසයකින් ඔහු කටයුතු කරන බව ස්ථිරයි. ඒ නිසා, මේ ගැන හොයන්නට වද වීම වැදගත් කරුණක් කියා මා හිතන්නේ නැහැ.
මට පෙනෙන වැදගත්ම කරුණනම් අවසන් මොහොත තෙක්ම ගෝඨාභය තමන්ගේ ඇමරිකන් පුරවැසිකම අත් හරින්නට සූදානම් නොවීමයි. ඔහු එය කරන්නේ තමන්ට ලංකාවේ ජනාධිපති වීමට සැලකිය යුතු ඉඩක් තිබෙන බව තහවුරු කර ගැනීමෙන් පසුවයි. ඊට වඩා අඩු වෙනත් කිසිවක් වෙනුවෙන් ඔහු ඒ පියවර තබන්නට සූදානම්ව සිටියේ නැහැ. එයින් පෙනෙන්නේ ඔහු තමන්ගේ ඇමරිකන් පුරවැසිකම කොයි තරම් වැදගත් සේ සලකනවාද කියන එකයි.
ගෝඨාභයට ඇමරිකන් පුරවැසිකමෙහි ඔය තරම් විශාල වටිනාකමක් පෙනුණේ ඇයි? මෙයට හේතුව මූල්‍ය වාසි වෙන්න බැහැ.
ගෝඨාභය ඇමරිකාවට පැමිණ ඔහුට ලංකාවේදී ඉපැයිය නොහැකි තරම් විශාල ආදායමක් උපයා නැහැ. ලංකාවේදී මෙන් ඉහළ තනතුරු හෝ දේශපාලන බලය ඔහුට ඇමරිකාවේදී ලැබී නැහැ. ඇමරිකාවේදී ඔහු තවත් එක් සාමාන්‍ය පුද්ගලයෙක් පමණයි.
ගෝඨාභය වැනි කෙනෙක් ලංකාවේදී තමන්ට ලැබෙන බලය, තනතුරු ආදී සියලු වරප්‍රසාද හමුවේ ඇමරිකන් පුරවැසිකමට මෙතරම් වටිනාකමක් දීමෙන් පෙනෙන්නේ ඇමරිකාව පිළිබඳව ඔහුගේ තිබෙන දැඩි විශ්වාසයයි. යමෙක් ලංකාවේ පුරවැසිකම අතහැර ඇමරිකාවේ පුරවැසියෙකු වීමට තීරණය කරන්නේ පළමුව ඇමරිකාව හා ලංකාව අතර තමන් වැදගත් සේ සලකන නිර්ණායක අනුව විශාල පරතරයක් දැකීම හා දෙවනුව තමන්ගේ හෝ තමන්ගේ දරුවන්ගේ ජීවිත කාල තුළ ඒ පරතරය පියැවෙන බවක් නොදකින නිසයි. ගෝඨාභය හා සැලකූ විට මේ නිර්ණායක මුදල් හෝ සාපේක්ෂ සමාජ තත්ත්වය වැනි දේ විය නොහැකියි. එසේනම්, ඔහු ප්‍රසිද්ධියේ මොනවා කිවුවත්, ඇමරිකානු සමාජ ආර්ථික ක්‍රමය පිළිබඳව දැඩි සේ විශ්වාසය තබන්නෙකු විය හැකියි.
ගෝඨාභයට පසුගිය කාලයේ යුද අපරාධ චෝදනා ඇතුළු විවිධ චෝදනා නැගුනා. අවසන් කාලයේ ඇමරිකන් අධිකරණ වල චෝදනා ඉදිරිපත් කෙරුණා. නමුත්, මෙවැනි චෝදනාවකට වරදකරු වීමේ අවදානම හමුවේ ගෝඨාභය ඇමරිකන් පුරවැසිකම ඉවත් කරගත්තේ නැහැ. එයින් පෙනෙන්නේ ඔහු ඇමරිකන් අධිකරණ ක්‍රමය පිළිබඳව කොපමණ විශ්වාසයකින් කටයුතු කර ඇත්ද යන්නයි.
එකම පවුලේ සොයුරන් වන මහින්ද හා ගෝඨාභය හිතන ආකාරයන් වෙනස් වෙන්න ඉඩ තිබෙන ප්‍රධාන හේතු දෙකක් වන්නේ ගෝඨාභයගේ හමුදා පසුබිම හා ඇමරිකන් පසුබිමයි. මෙයින් පළමුවැන්න විශාල සේ කතාබහට ලක් වී ඇතත් දෙවැන්න එතරම් සාකච්ඡාවට බඳුන් වී නැහැ. ගෝඨාභය ලංකාවේ රාජ්‍ය නායකයා වුවහොත් ඔහු බටහිර විරෝධියෙකු වේයැයි කිසිසේත්ම හිතන්න බැහැ. ඒ වගේම, ඊයේ ඔහු පැවැත්වූ කතාවෙන් බටහිර රටවලට මේ බව සංඥා කරන්නටත් ඔහු අමතක කර නැහැ. මා පහත කොටස් උපුටා ගන්නේ ඊයේ ගෝඨාභය විසින් කළ කතාවෙන් මිසක් රනිල් වික්‍රමසිංහගේ කතාවකින් නෙමෙයි.
"සෑම පුරවැසියෙකුටම ආර්ථික ස්ථාවරත්වයකුත්, දියුණු වීමේ සම අවස්ථාවකුත්, ගෞරවාන්විතව ජීවත්වීමේ අයිතියත් තිබිය යුතුයි."
"අලූතින් රැකියා අවස්ථා බිහිකිරීමට මෙන්ම තරුණ පරපුර තුලින් පුද්ගලික ව්‍යවසායකයන් වැඩි වැඩියෙන් බිහිකිරීමට අවශ්‍ය කරන ආර්ථික වටපිටාව සකස් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා."
"අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ හරහා ශිල්පීය දැනුම ලබා දෙන අතර නව නිර්මාණයන් කිරීම සඳහා අපේ තරුණ පරපුරට අතහිත දිය යුතුයි. අපේ දීර්ඝ කාලීණ අරමුණ විය යුත්තේ නව නිර්මාණයන්ගෙන් ලෝකයේ ඉදිරියෙන්ම සිටිනා රට බවට පත් වීමයි."
ගෝඨාභය මෙහි සඳහන් කරන්නේ සැමට දියුණු වීමේ සම අවස්ථා ගැන මිසක්, ඔහු වටා ඉන්න ඇතැම් සමාජවාදීන්ගේ ඔලු වල තිබෙන ආකාරයේ සැමට සැම දේ සමානව ලැබෙන ක්‍රමයක් ගැන නෙමෙයි. සම්පත් සමානව බෙදීම වෙනුවට ව්‍යවසායකත්වයට වැඩි ඉඩකඩක් විවර කර එක් එක් පුද්ගලයාගේ දක්ෂතාවය අනුව සම්පත් අත් කර ගැනීමට සැමට සමාන ඉඩකඩක් සපයා දෙන සමාජ ආර්ථික ක්‍රමයක් ගැනයි. ඉහත වැකි තුන ඇමරිකන් ඌරුවට ලියැවුණු වැකි තුනක්.
ඒ වගේම උතුරේ දෙමළ ජනතාවගේ සිතුම් පැතුම් හා අදාළව ඔහු ප්‍රකාශ කරන අදහස ඔහු වටා සිටින බොහෝ ජාතිකවාදීන් හිතන ආකාරයට වඩා වෙනස් එකක්. ඔහු කරන්නේ බටහිර රටවල් වලට අවශ්‍ය ආකාරයේ ප්‍රකාශයක්.
"උතුරේ ජනතාවට විශේෂිත වූ අපේක්ෂාවන් ගැන අපට මනා අවබෝධයක් තිබෙනවා. ඔවුන්ගේ මේ ගැටළු අපේ රජයක් විසින් නිසැකවම විසඳන්නට කටයුතු කරනවා."
මේ ප්‍රකාශ වගේම වෙනත් ඇතැම් ප්‍රකාශත් රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශ වලට වඩා වෙනස් නැහැ.
"රටේ සෑම ප්රදේශයකටම අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දීමට අපි කටයුතු කරනවා."
කෙසේ වුවත්, ආරක්ෂණවාදී නැඹුරුවක්ද ගෝඨාභයගේ කතාවෙන් ඉඟි කෙරෙනවා.
"අපේ ආර්ථික ප්‍රතිපත්තිය තුල දේශීය ව්‍යාපාර ආරක්ෂා කරමින් ගෝලිය ආර්ථිකය තුළ නව වෙළඳපොළ අවස්ථා සොයා යාමට බලාපොරොත්තු වෙනවා."
ඔය දෙකම එකවර කරන්න මෙතෙක් පැවති ආණ්ඩු බොහොමයක්ම උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැහැ. කොහොම වුවත්, වත්මන් ප්රවණතා අනුව ලංකාව වැනි රටක ආරක්ෂණවාදී නැඹුරුවක් තිබීම බටහිර රටවලට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.
ඒ වගේම මහින්දගේ කාලයේදී ඔය දෙකෙන් එකක්වත් සිදු වුණේ නැහැ. කිවුවේ මොනවා වුනත්, එම දශකය තුළ පවත්වාගෙන ගිය රුපියල කෘතීම ලෙස ඕනෑවට වඩා ශක්තිමත්ව තබා ගැනීමේ විදේශ විණිමය ප්‍රතිපත්තිය හේතුවෙන් දේශීය නිෂ්පාදන වෙනුවට විශාල ලෙස ආනයන ආදේශ වුනා. රටේ ආනයන අපනයන පරතරය විශාල ලෙස වැඩි වුනා.
මහින්ද රාජපක්ෂගේ කාලයේ මෙන් රජය මූලිකව යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කැමැත්ත ගෝඨාභය විසින්ද පෙන්වනවා.
"රටේ සෑම ප්රදේශයක්ම යාකරමින් ඇතිකළ මාර්ග පද්ධති හා දුම්රිය මාර්ග දියුණුව ඉදිරියට ගෙන යමින් ප්‍රවාහන සේවාවල විශාල ප්‍රගතියක් හැකි ඉක්මනින් අපි අත්පත් කරගත යුතුයි."
එහෙත්, රාජ්‍ය මූල්‍යනය පිළිබඳ කිසිදු සඳහනක් ගෝඨාභයගේ කතාවේ නැහැ. කතාවේ නොකිවුවත්, ප්‍රායෝගිකව රජය මුල් වී කරන මෙවැනි කවර හෝ ව්‍යාපෘතියක් වෙනුවෙන් වැය කරන්න වෙන්නේ විදේශ ණය ලෙස ලබා ගන්නා ප්‍රාග්ධනයයි. බටහිර රටවල් වලින් මෙවැනි ණය මහා පරිමාණයෙන් ලබා ගැනීමේ හැකියාවක් නැති නිසා නැවත යන්න වෙන්නේ චීනය පැත්තටම තමයි.
විදේශ ණය අරගෙන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත්, දේශීය නිෂ්පාදන දිරි ගැන්වීමත් යන දෙකම එකවර කිරීම අසීරු දෙයක්. ප්‍රාග්ධන ගිණුමට විදේශ ව්‍යවහාර මුදල් ගලා එන තරමටම ජංගම ගිණුමේ හිඟයත් ඉහළ යනවා. ඒ කියන්නේ ආනයන අපනයන පරතරය ඉහළ යනවා. එය සිදු වීම වැළැක්විය හැකි එකම ක්‍රමය ණය ලෙස ලබා ගන්නා විදේශ ව්‍යවහාර මුදල් රටින් පිටතට නොයවා විදේශ සංචිත සේ රඳවා ගැනීමයි. නමුත්, ප්‍රාග්ධන ආයෝජන සඳහා අවශ්‍ය දෑ රට තුළ නොනිපදවෙන නිසා එය කිරීම අසීරුයි. වෙනත් විදිහකින් කිවුවොත් විදේශ ණය ලබා ගෙන රටේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත්, දේශීය නිෂ්පාදන හා රටේ අපනයන ආර්ථිකය නැංවීමත් යන දෙකම එක වර කිරීම පහසු කටයුත්තක් නෙමෙයි.
කවුරු බලයට පත් වුවත්, රජය මුල් වී මහා පරිමාණ ආයෝජන විශාල ලෙස සිදු කළ හැක්කේ විදේශ ණය තව තවත් ගෙන රටේ අනාගතය අස්ථාවර වන්නට ඉඩ හරිමින් පමණයි. එසේ නොකරනවානම් සිදුවන්නේ ආශ්චර්ය අමතක කර ස්ථාවර සාමාන්‍ය ආර්ථික වර්ධනයකින් සෑහීමකට පත් වෙන්නයි.
අවසාන වශයෙන් ගෝඨාභයගේ කතාව ඇතුළේ පොදුජන පෙරමුණේ සාමාජිකයින් නොවන විවිධ කණ්ඩායම් ගණනාවකට ආමන්ත්‍රණය කෙරෙන විවිධ හා වෙනස් වාක්‍ය ගණනාවක් රිංගවා තිබීමෙන් පේන්නේ අතේ තිබෙන 41.2%ක ඡන්ද ප්‍රතිශතයේ සිට 50% මට්ටම දක්වා යාමට අවශ්‍ය අමතර ඡන්ද ප්‍රමාණය ලබාගැනීමේ අභියෝගය ගෝඨාභය රාජපක්ෂ විසින් සිල්ලරට ගෙන නැති බවයි.
Labels:
ආකල්ප,
ඇමරිකාව,
ගෝඨාභය රාජපක්ෂ,
දේශපාලනය
Sunday, August 11, 2019
ගෝඨාභය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂව මේ වන විට නිල වශයෙන් නම් කර තිබෙනවා. මේ වෙද්දී ලංකාවේ දේශපාලන පක්ෂ අතරින් වැඩිම ජන පදනමක් තිබෙන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඒ නිසා, මේ මොහොත වන විට ලංකාවේ මීළඟ ජනාධිපති වීමට වැඩිම ඉඩකඩක් ඇති පුද්ගලයා වන්නේ ගෝඨාභය රාජපක්ෂයි. එහෙත්, ඉදිරි දේශපාලන පෙළගැසීම් සිදුවන ආකාරය මත මේ තත්ත්වය වෙනස් වීමේ ඉඩකඩක්ද තිබෙනවා.
ඇමරිකාවේනම් ප්‍රධාන දේශපාලන පක්ෂ වල ජනාධිපති අපේක්ෂකයින් තෝරා ගනු ලබන්නේ ප්‍රාථමික මැතිවරණ ප්‍රතිඵල අනුවයි. මේ ප්‍රාථමික මැතිවරණ වලදී කිසියම් දේශපාලන පක්ෂයක සාමාජිකයින් සේ ලියාපදිංචි වී සිටින ඡන්දදායකයින් විසින් තමන්ගේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය පතන පුද්ගලයින් අතරින් අයෙකු වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරනවා. ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ මෙවැනි නිශ්චිත හා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැහැ.
කෙසේ වුවත්, යම් හෙයකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගේ බහුතර ඡන්දයෙන් එම පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂයා තේරුවේනම් එම තේරීම වන්නේ ගෝඨාභය රාජපක්ෂ බව පැහැදිලියි. ගෝඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වීම ඉල්ලුම් සාධක මත තීරණය වූවක්. ඔහුගේ සොහොයුරු මහින්ද රාජපක්ෂ මෙවැනි ඉල්ලුම් සාධක හඳුනාගත හැකි ඉවක් තිබෙන හා බොහෝ විට ඉල්ලුම් සාධක නොසලකා නොහරින අයෙක්.
පොදුජන පෙරමුණේ සාමාජිකයින් අතර වැඩිම ඉල්ලුමක් තිබුණු ජනාධිපති ධුර අපේක්ෂයා ගෝඨාභය රාජපක්ෂ වුවත් අවසන් සතිය පමණ දක්වාම ඔහුගේ අපේක්ෂකත්වය පිළිබඳව කිසියම් අවිනිශ්චිතතාවයක් තිබුණා. ඒ අවිනිශ්චිතතාවයට පාදක වූ සාධක ගණනාවක් අතරින් ප්‍රධාන එකක් වූයේ ඔහුගේ ඇමරිකානු පුරවැසි භාවයයි.
වාර්තා වන ආකාරයට මේ වන විට ගෝඨාභය රාජපක්ෂ විසින් තමන්ගේ ඇමරිකානු පුරවැසිභාවයෙන් ස්ව-කැමැත්තෙන් මිදී සිටිනවා. ඒ වගේම ඔහු විසින් සිය කැමැත්තෙන් ඇමරිකානු පුරවැසිකමින් මිදීම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පිළිගෙන අදාළ ලියකියවිලි ඔහු වෙත ලබා දී තිබෙන බවද කියැවෙනවා. මේ බව සඳහන් ෆෙඩරල් රෙජිස්ට්‍රිය තවමත් ප්‍රකාශයට පත් කෙරී නැතත් එය කිසියම් අයෙකු සිය ඇමරිකානු පුරවැසිකම අත් හැරීම පිළිබඳව සිදු කෙරෙන නිවේදනයක් මිස එම කටයුත්ත සම්පූර්ණ වීම සඳහා අත්‍යාවශ්‍ය කරුණක් නෙමෙයි. කෙසේ වුවත්, 2019 දෙවන කාර්තුව හා අදාළ ෆෙඩරල් රෙජිස්ට්‍රියද නුදුරු දිනක ප්‍රකාශයට පත් වීමට ඉඩ තිබෙන නිසා මෙය තහවුරු කර ගැනීමට වැඩි කලක් බලා ඉන්න අවශ්‍ය වන එකක් නැහැ.
ගෝඨාභය රාජපක්ෂ මෙතෙක් ලංකාවේ මැතිවරණයකට ඉදිරිපත් නොවූ හා සෘජුව දේශපාලකයෙකු සේ කටයුතු නොකළ, සිය සොහොයුරා ජනාධිපතිව සිටියදී රාජ්‍ය සේවයේ ප්‍රධාන පෙළේ තනතුරු කිහිපයක් පමණක් දැරූ අයෙක්. එහෙත්, එම තනතුරු දරද්දී ඔහු කටයුතු කළ ආකාරය බොහෝ සේ කතාබහට ලක් වී තිබෙනවා.
අවසන් වරට පැවති ප්‍රධාන මැතිවරණය වූ පළාත් පාලන මැතිවරණ වලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා එම පක්ෂයේ සහයෝගය ලැබූ ස්වාධීන කණ්ඩායම් වලට රටේ ඡන්ද වලින් 41.24%ක ප්‍රතිශතයක් ලැබුණා. එම මැතිවරණය පොදුජන පෙරමුණ මුහුණ දුන් පළමු හා එකම මැතිවරණයයි. ඒ වෙද්දී, පොදුජන පෙරමුණ හරියකට නායකයෙකු හෝ නොසිටි අඩමානයට අටවාගත් පක්ෂයක්. එවැනි තත්ත්වයක් යටතේ එම පක්ෂය විසින් 41.24%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනු ලැබීම කිසිවකු හෝ අපේක්ෂා කළ දෙයක් නෙමෙයි.
මේ වන විට පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ ඡන්ද පදනම වැඩි දියුණු වන්නට මිස ගිලිහී තිබෙන්නට කිසිදු හේතුවක් නැහැ. මේ ඡන්ද ඉදිරි ජනාධිපතිවරණයකදී අපහසුවකින් තොරව ගෝඨාභය රාජපක්ෂ විසින් ලබා ගනු ඇතැයි සිතිය හැකි ස්ථිර ඡන්ද.
ජනාධිපතිවරණයකට පෙර පොදුජන පෙරමුණ ශ්රීලනිපය ප්‍රධාන එජනිසය හා සන්ධානගත වීමට සැලකිය යුතු ඉඩක් තිබෙනවා. පළාත් පාලන මැතිවරණ වලදී එජනිසය හා ශ්රීලනිපය විසින් 12.07%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. නමුත්, එම ඡන්ද වලින් විශාල කොටසක් පාවෙන ඡන්ද මිස පාක්ෂික ඡන්ද සේ සැලකිය නොහැකියි. මේ පාවෙන ඡන්ද 2015ට පෙර එජනිසයට ලැබුණු, එහෙත් 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන විසින් ලබාගත් සිංහල බෞද්ධ නාගරික ඡන්ද. ඊට අමතරව මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රීලනිප හා එජනිස ප්‍රාදේශීය නායකයන්ගේ පාලනයට නතු පාක්ෂික ඡන්ද යම් ප්‍රමාණයක්ද මේ 12.07ට ඇතුළත්.
පොදුජන පෙරමුණ විසින් යම් හෙයකින් ශ්රීලනිපය හා එජනිසය සමඟ සන්ධානගත නොවූවත් ඉහත කී සිංහල බෞද්ධ නාගරික ඡන්ද වලින් සැලකිය යුතු කොටසක් ආකර්ශනය කරගැනීම පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කෙරෙන ජනාධිපති අපේක්ෂකයාට පහසුවෙන් කළ හැකි දෙයක්. ගෝඨාභය රාජපක්ෂට මෙය වඩාත් පහසුයි. ඊට අමතරව දැනට ශ්රීලනිපය හා රැඳී සිටින ප්‍රාදේශීය දේශපාලනඥයින් බොහෝ දෙනෙක්ද ඉදිරි කාලය තුල පොදුජන පෙරමුණ හෝ එජාපය සමඟ එක් වීමට ඉඩ ඇති නිසා ඉතිරි ඡන්ද වලිනුත් වැඩි කොටසක් ක්‍රමයෙන් පොදුජන පෙරමුණ වෙත වැඩියෙන් හා එජාපය වෙත අඩුවෙන් විතැන් වී, හැත්තෑ හතේදී පැරණි වාමාංශික පක්ෂ වලට සිදු වුනාක් මෙන්, ශ්රීලනිපය දිය වී යාමට විශාල ඉඩක් තිබෙනවා. යම් හෙයකින් මෛත්‍රීපාල සිරිසේන නැවත ජනාධිපති ධුරයට තරඟ කළහොත් සාමාන්‍යයෙන් සුළු ජාතික පක්ෂයක ජනාධිපති අපේක්ෂකයෙකු හෝ ජවිපෙ අපේක්ෂකයෙකු ගන්නා ඡන්ද ප්‍රමාණය හෝ ඔහුට නොලැබී යා හැකියි.
පොදුජන පෙරමුණ විසින් ගෝඨාභය රාජපක්ෂව සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමඟ එජාප ප්රමුඛ ප්‍රතිවාදී පිල යම් පසුබෑමකට ලක්ව ඇති බවක් පෙනෙනවා. ඔවුන්ගේ පිලෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා කවරෙකුද යන්න පිළිබඳව තවමත් එකඟත්වයක් ඇති බවක් පෙනෙන්නේ නැහැ.
පසුගිය පළාත් පාලන මැතිවරණ වලදී එජාපය විසින් ලබාගන්නට සමත් වූයේ 29.4%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. මේ ප්‍රමාණය මේ වන විට වැඩි වී තිබෙන්නට හේතුවක් නැහැ. ඒ නිසා, එජාපය තනිව තරඟ කළහොත්, අපේක්ෂකයා කවුරු වුවත්, ඔවුන්ට ජය ගැනීමට ඉඩක් නැහැ.
ඉහත 29.4% ප්‍රතිශතය 2015ට පෙර මැතිවරණ වලදී එජාපය තනිව තරඟ කර ලබාගත් ඡන්ද ප්‍රතිශතයට බොහෝ ආසන්නයි. මේ එජාපයේ පාක්ෂික ඡන්ද. එවැනි තත්ත්වයක් තිබියදී, එජාප ප්රමුඛ සන්ධානයේ අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන 2015 ජනාධිපතිවරණය ජය ගැනීමට සමත් වූයේ ජවිපෙ හා ද්‍රවිඩ සන්ධානය එක පිලකට එකතු කර ගැනීමේ හා සිංහල බෞද්ධ නාගරික ඡන්ද සැලකිය යුතු ප්‍රතිශතයක්ද ආකර්ශනය කර ගත හැකි වීමේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක් ලෙසයි.
මෙවරද, එජාපය විසින් පුළුල් පෙරමුණක් සේ තරඟ කිරීමට උත්සාහ දරන බවත්, එයට විශාල අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇති බවත් පෙනෙන්නට තිබෙනවා. පොදුජන පෙරමුණ විසින් සිය ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නට පෙර පුළුල් පෙරමුණක් ගොඩ නගන්නට එජාපය උත්සාහ කළත් ඔවුන්ට එය තවමත් කරගත හැකි වී නැහැ. එවැනි පුළුල් පෙරමුණක් හදා ගැනීම 2015දී තරම් පහසු නැති බවයි දැනටනම් පෙනෙන්නට තිබෙන්නේ. ඒ නිසා, මේ මොහොත වෙද්දීනම් ගෝඨාභය රාජපක්ෂ ඉන්නේ පැහැදිලි වාසිදායක තැනකයි.
Labels:
ගෝඨාභය රාජපක්ෂ,
දේශපාලනය,
මැතිවරණ ප්‍රතිඵල
Thursday, August 8, 2019
අලි දමනය හා නවක වදය
අලියෙක්ගේ රූපයක් එක්ක රට පුරා ගහපු පෝස්ටරයක් පහුගිය දවස්වල ආන්දෝලනයක් ඇති කරලා තිබුණා. ඒ එක්කම වගේ රජයේ සරසවි වල නවක වදය ගැන කතාබහත් ආපහු ඇදිලා ආවා. ඔය දෙක අතර බැලූ බැල්මටම පේන සම්බන්ධයක් නැහැ. වඩා විමසිල්ලෙන් බැලුවත් එහෙම සම්බන්ධයක් පෙනෙන්න නැහැ.
පෝස්ටරේ පැත්තකින් තියමුකෝ. ලංකාවේ අලි මිනිස් ගැටුම හා ලංකාවේ රජයේ සරසවි වල නවක වදය අතර කුමක් හෝ සමානත්වයක් තියෙනවද?
ඔය දෙකම හිටපු ගමන් නැගලා යන මාතෘකා. හැබැයි නැගල යනවා වගේම බැහැලත් යනවා. එක්කෝ නවක වදය හේතුවෙන් අගතියට පත් සිසුවෙකු හෝ සිසුවියක ගැන ප්‍රසිද්ධ වුනාම, එහෙමත් නැත්නම් කුමක් හෝ කටයුත්තකට සරසවි ප්‍රජාවෙන් ලොකු විරෝධයක් මතු වෙන වෙලාවට නවක වදය ගැන කතාබහ නැගලා යනවා. ඊට පස්සේ කතාව කාලෙකට අමතක වෙනවා. ඔය විදිහටම අලියෙක් ගහලා මිනිහෙක් මැරුණහම, එහෙමත් නැත්නම් මිනිස්සු එකතු වෙලා අලියෙක් මරල දැම්මහම අලි මිනිස් ගැටුම ගැන කතාබහ නැගලා යනවා. බැහැලත් යනවා. හිතලා බැලුවොත් අර පෝස්ටරේ පිටිපස්සේ තියෙන කතාවත් ටිකක් ඔය වගේ එකක්!
කොයි තරම් කතා කළත්, විවිධ විසඳුම් යෝජනා වී තිබුණත් රජයේ සරසවි වල නවක වද ප්රශ්නය වගේම අලි මිනිස් ගැටුමත් තවම ඒ විදිහටම තියෙනවා. සරසවි නවක වදය තිබෙන්නේ ලංකාවේ රජයේ සරසවි වල පමණක් නෙමෙයි. නමුත්, ලංකාවේ රජයේ සරසවි වල තරම් දරුණු නවක වදයක් වෙනත් කිසිදු රටක පවතිනවා කියා මා හිතන්නේ නැහැ. මෙය යම් තරමකට ලංකාවටම සුවිශේෂී ප්‍රශ්නයක්.
අලි මිනිස් ගැටුම සරසවි නවක වදය තරමට ලංකාවටම ආවේණික ප්‍රශ්නයක් නෙමෙයි. මේ ප්‍රශ්නයට මුහුණ දෙන තවත් ආසියානු හා අප්‍රිකානු රටවල් ගණනාවක් තිබෙනවා. ඒ රටවල් විසිනුත් මේ ප්‍රශ්නයට විවිධාකාරයේ විසඳුම් ලබා දෙන්න උත්සාහ දරා තිබෙනවා.
අලි වැළැක්වීම සඳහා මී මැසි වැටක් යොදා ගැනීම අප්‍රිකානු රටවල් ගණනාවකදී සාර්ථක ප්‍රතිඵල පෙන්වා තිබෙන ක්‍රමයක්. මෙහිදී කරන්නේ මීටර දහයක පමණ පරතරයක් ඇතිව ලණුවක් හෝ කම්බියක් මඟින් එකිනෙකට සම්බන්ධ කර මී මැසි ජනපද සහිත හෝ රහිත මී මැසි පෙට්ටි එල්ලීමයි. අලියෙක් මේ ලණුවේ හෝ කම්බියේ වැදුණු වහාම මී මැසි පෙට්ටි සියල්ලම හෙල්ලී මී මැස්සන් එළියට ඇවිත් අනින්න පටන් ගන්නවා. මේ අත්දැකීමට මුහුණ දෙන අලියෙක් ආයේ පැත්ත පළාතේ එන්නේ නැහැ. බොරු මී මැසි පෙට්ටි වලටත් බය වෙනවා.
මී මැසි වැට ක්‍රමය මේ වෙද්දී ලංකාවේත් අත් හදා බැලෙමින් තිබෙනවා. මෙවැනි වැටක් නිසි පරිදි හදා ගන්නා ආකාරය පිළිබඳ අත් පොතක් (ඉංග්‍රීසි බසින්) මෙහි තිබෙනවා.
අලි පාලනයට මීට පෙර යොදාගත් විදුලි වැට ක්‍රමයට සාපේක්ෂව මී මැසි වැට ක්රමයේ වාසි ගණනාවක් තිබෙනවා. විදුලි වැට වෙනුවෙන් වියදමක් දරන්න අවශ්‍ය වෙද්දී මී මැසි වැටකින් අමතර ආදායමක්ද ලැබෙනවා. ඒ වගේම කෘෂිකාර්මික බෝග හොඳින් පරාගනය වීම නිසා අස්වනු වැඩි වීමේ වාසියත් තිබෙනවා. අලින්ට ලී කොට දමා විදුලි වැට පහත් කර වැට පනින්න හැකි වුවත් මී මැසි වැටත් එක්ක ඒ වැඩේ කරන්න බැහැ. මෙය පාරිසරික ප්‍රශ්නයකට පාරිසරික විසඳුමක්.
සරසවි වල නවක වද ප්‍රශ්නයටත් බොහෝ විට යෝජනා වී තිබෙන්නේ විදුලි වැට විසඳුම්. නමුත්, වැටට කොට ගෙනත් තියලා අලි වැට පනිනවා. අවශ්‍ය වන්නේ විදුලි වැටක් වෙනුවට මී මැසි වැටක්.
(Image: http://www.readthehook.com/88743/elephant-can-they-avoid-bees-all-costs)
Wednesday, July 24, 2019
ලී ක්වාන් යූ මිථ්‍යාව
මේ වන විට ආසියානු කලාපයේ වැඩිම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයක් වාර්තා කරන රට සිංගප්පූරුවයි. සිංගප්පූරුවට මෙවැනි තැනකට එන්න අඩිතාලම වැටුණේ ලී ක්වාන් යූ එරට අගමැති ධුරය දැරූ දශක තුනක කාලය තුළදීයි. එම කාලය තුළ සිංගප්පූරු ආර්ථිකය ඉතා වේගයෙන් වර්ධනය වී සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් වුනා.
ලී ක්වාන් යූ ආර්ථික සංවර්ධන උපාය මාර්ගය රාජ්‍ය මූලික එකක්. ඒ වගේම, ඔහුගේ පාලන කාලය තුළ සිංගප්පූරුව තුළ ඉතා දැඩි නීති ක්‍රියාත්මක වුනා. ඒ නීති නොපිළිපදින අයට දැඩි දඬුවම් ලබා දෙනු ලැබුවා. මේ නීති හා දඩුවම් මොනවාද කියා විස්තර කරන්න මා වචන නාස්ති කරන්නේ නැහැ.
සිංගප්පූරුව ලංකාවේ බොහෝ දෙනෙකුගේ පරමාදර්ශී රටක්. ලංකාවේ ලී ක්වාන් යූ කෙනෙකු බිහි වී ලංකාව කෙටි කලක් තුළ සිංගප්පූරුවක් වනු දැකීම මෙවැනි අයගේ අභිලාෂයයි. මේ අය දරන අදහස් දළ වශයෙන් පහත ආකාරයට පෙළ ගැස්විය හැකියි.
1. ලංකාවට නිදහස ලැබෙන විට ඒක පුද්ගල ආදායම අතින් ලංකාව හිටියේ ආසියාවේ ජපානයට පමණක් පිටුපසින්.
2. සිංගප්පූරුව හැදීමේදී ලී ක්වාන් යූගේ පරමාදර්ශය වුණේ ලංකාවයි. (එසේ නැත්නම් කොළඹ නගරයයි.)
3. සිංගප්පූරුව දියුණු රටක් වුනේ ලී ක්වාන් යූ නිසා.
4. මැලේසියාව විසින් අනපේක්ෂිත ලෙස හදිසියේම එළියට දැම්මට පස්සේ ලී ක්වාන් යූට භාර ගන්න වුනේ කිසිදු වගාවක් කළ නොහැකි දුප්පත් රටක්.
5. ලී ක්වාන් යූ යටතේ සිංගප්පූරුව දියුණු රටක් වුනේ ඔහු දැඩි නීති හා දැඩි දඬුවම් සහිත ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක කළ නිසා.
6. සිංගප්පූරුව ඉදිරියට යද්දී ලංකාව එන්න එන්නම පස්සට ගියා. (එසේ නැත්නම් එකතැන නැවතී තිබුණා.)
7. ලී ක්වාන් යූ වැනි පාලකයෙක් බලයට පත් වී ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් වගේ දේවල් පැත්තකට දමා ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක කළහොත් ලංකාවත් සිංගප්පූරුව මෙන් දියුණු රටක් කළ හැකියි.
8. "xxx"ට ලංකාවේ ලී ක්වාන් යූ විය හැකියි. (මේ අවස්ථාවේදී, ගොඩක් අයට මේ "xxx" ගෝඨාභය රාජපක්ෂ. නමුත්, ඉහත 1-6 අදහස් ගෝඨාභය රාජපක්ෂ ගැන කතාබහක් ඇතිවෙන්න පෙර සිට කාලයක් තිස්සේ පවතිනවා.)
මේ අදහස් ගැන මට කියන්න තියෙන්නේ මේ කියන දේවල් සාවද්‍ය ප්‍රකාශ නොවේනම් වැඩිම වුවහොත් අර්ධ සත්‍ය බවයි.
ලංකාවට නිදහස ලැබෙන විට ඒක පුද්ගල ආදායම අතින් ලංකාව හිටියේ ආසියාවේ ජපානයට පමණක් පිටුපසින්.
අද ලෝක සිතියමේ දැකිය හැකි ආසියානු රටවල් බොහොමයක් ලංකාවට නිදහස ලැබෙන විට ස්වාධීන රටවල් සේ පැවතුණේ නැහැ. උදාහරණයක් විදිහට සිංගප්පූරුව, මැලේසියාව හෝ බංග්ලා දේශය නමින් ස්වාධීන රටවල් ඒ වන විට තිබුණේ නැහැ. ඒ නිසා, අද රටවල් සේ තිබෙන බොහෝ බිම් පෙදෙස් වල ඒ වන විට ලංකාව සමඟ සංසන්දනය කළ හැකි සංවර්ධන නිර්ණායක නැහැ. ඒ වගේම, ඒ වෙද්දී පැවති ස්වාධීන රටවල් සියල්ලේම ඒක පුද්ගල ආදායම වැනි සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් කෙරුණේත් නැහැ.
ඇතැම් ආසියානු රටවල 1960 හෝ ඊට පසු වසරක සිට ඒක පුද්ගල දදේනි පිළිබඳ දත්ත ලෝක බැංකු වෙබ් අඩවියේ තිබෙනවා. ඒ වෙද්දී ලංකාවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 142ක්. මහ බැංකු වාර්තා වල තිබෙන ලංකාවේ ආර්ථික වර්ධන වේගයන් හා ජනගහණ වර්ධන වේගයන් අනුව නිදහස ලැබෙන විට ලංකාවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 118කට ආසන්න විය යුතුයි. 1960 වන විට ජපානයට අමතරව සිංගප්පූරුව, මැලේසියාව, කොරියාව, පිලිපීනය, හොංකොං ආදී තවත් රටවල් ගණනාවක ඒපුදදේනි ඒ වසරේදී ලංකාවේ ඒපුදදේනිට වඩා වැඩියි. ඒ වෙද්දී තිබුණු පරතරය අනුව, මේ වෙනස වසර 12ක් තුළ ඇති වූ එකක් වෙන්න ඉඩක් තිබෙන්නේ කොරියාව හා අදාළව පමණයි. ඒ අනුව, ලංකාව හිටියේ ජපානයට පමණක් පසුපසින් කියන එක පිළිගතහැකි කරුණක් නෙමෙයි.
සිංගප්පූරුව හැදීමේදී ලී ක්වාන් යූගේ පරමාදර්ශය වුණේ ලංකාවයි. (එසේ නැත්නම් කොළඹ නගරයයි.)
මේ ප්‍රකාශය කාලයක් තිස්සේ බොහෝ දෙනෙක් නිතර නිතර කියන එකක් වුවත් මෙවැන්නක් කියා ඇති තැනක් මට හමු වී නැහැ. මෙය ඔහුගේ කිසියම් ආසන්න ප්‍රකාශයක් මත පදනම්ව බිහි වූ "කතන්දරයක්" විය හැකියි. මේ කතාව ඇත්තක්නම් ඔහු ඒ ගැන පසුකාලීනව සඳහන් කිරීමට සැලකිය යුතු ඉඩක් තිබුණා. ලී ක්වාන් යූ විසින් වරින් වර ලංකාව ගැන නිශේධනාත්මක ප්‍රකාශනම් ගණනාවක්ම කර තිබෙනවා.
සිංගප්පූරුව දියුණු රටක් වුනේ ලී ක්වාන් යූ නිසා.
මේ කතාව හරියට ලංකාවේ සිවිල් යුද්ධය දිනුවේ රාජපක්ෂලා නිසා කියනවා වගේ කතාවක්. ලංකාවේ සිවිල් යුද්ධය දිනන්න රාජපක්ෂලාගෙන් විශාල දායකත්වයක් ලැබුනා වගේම සිංගප්පූරුව දියුණු රටක් වෙන්න ලී ක්වාන් යූගෙන් විශාල දායකත්වයක් ලැබුණා තමයි. වෙනත් අයෙක් ලංකාවේ බලයේ සිටියානම් ඇතැම්විට යුද්ධය නොදිනන්න ඉඩක් තිබුණා වගේම වෙනත් අයෙක් සිංගප්පූරු අගමැතිව සිටියානම් ඇතැම්විට සිංගප්පූරුව මේ තරම් ඉක්මණින් දියුණු රටක් නොවෙන්නත් ඉඩ තිබුණා.
නමුත්, ලංකාවේ සිවිල් යුද්ධය ජයග්‍රහණය කිරීම වගේම සිංගප්පූරුව දියුණු වීමත් සාධක විශාල ප්‍රමාණයක සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය. මේ දෙකම වෙන කිසියම් අයෙකු අතින් වුවත් සිදුවිය හැකිව තිබුණා. (එයින් අදහස් කරන්නේ වෙන ඕනෑම අයෙකු අතින් කියන එක නෙමෙයි).
වඩමාරච්චි මෙහෙයුම වෙලාවේ ලංකාවේ ජනාධිපති ජේආර් ජයවර්ධන නොවී මහින්ද රාජපක්ෂ වුනානම් ඒ වෙලාවේ යුද්ධය අවසන් වෙනවා කියා කවුරු හරි හිතනවානම් එය මුලාවක්. සිංගප්පූරුව දියුණුවීම ගැන කියන්න තියෙන්නෙත් ඒකම තමයි. යුද්ධයක් දිනීම හෝ රටක් දියුණු කිරීම සඳහා පාලකයෙක් අවදානම් තීන්දු ගත යුතුයි. නමුත්, මේ අවදානම් ගැනීම් වලින් හැම විටම අපේක්ෂිත ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. එය යම් තරමකට වාසනාව මතත් තීරණය වන දෙයක්. ලැබෙන ප්‍රතිඵලය අනුව කෙනෙක් වීරයෙක් හෝ දුෂ්ඨයෙක් විය හැකියි. බලාපොරොත්තු වූ විදිහට වැඩේ කෙරුණොත් වීරයා වන කෙනාගේ වාසියට ඉතිහාසය ලියැවිලා අවශේෂ කරුණු අමතක වී යනවා.
අවසන් ප්‍රතිඵලය පැත්තකින් තිබ්බොත්, ලංකාව සම්බන්ධවම වුවත් මෙවැනි අවදානම් තීන්දු ගත් පාලකයින් ඉන්නවා. සිරිමාවෝ බණ්ඩාරනායක හා ජේ ආර් ජයවර්ධන උදාහරණ විදිහට පෙන්වන්න පුළුවන්. වැඩේ පත්තු වුනානම් මේ අයත් ලී ක්වාන් යූලා. ලී ක්වාන් යූ කියන්නේ දැවැන්ත චරිතයක්. නමුත්, ලී ක්වාන් යූ ප්‍රතිරූපය මේ වෙද්දී එය පුම්බලා තියෙන තරමටම ලොකු එකක් නෙමෙයි.
මැලේසියාව විසින් අනපේක්ෂිත ලෙස හදිසියේම එළියට දැම්මට පස්සේ ලී ක්වාන් යූට භාර ගන්න වුනේ කිසිදු වගාවක් කළ නොහැකි දුප්පත් රටක්.
එළියට දැමීමේ කතාවෙන් පටන් ගත්තොත්, සිංගප්පූරුව නිදහස් රටක් වුනේ 1965දී. ඊට පෙර සිංගප්පූරුව මැලේසියාවේ කොටසක්ව පැවතුනා. නමුත්, සිංගප්පූරු මැලේසියා දීගය දෙවසරක ඉතා කෙටි දීගයක්. 1963 දක්වා වසර 16ක පමණ කාලයක් සිංගප්පූරුව බ්‍රිතාන්‍ය කිරීටයට යටත් ස්වාධීන පාලනයක් ලෙස හා වෙනම බ්‍රිතාන්‍ය කොලනියක් ලෙස මැලේසියාවෙන් වෙන්ව පැවතුනා. මැලේසියාවට නිදහස ලැබෙන විට මැලේසියාව සමඟ එකතු වෙන්න වැඩිපුරම අවශ්‍ය වුනේ සිංගප්පූරුවටයි. ඒ වන විටත් (1959 සිට) සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ. පසුගිය සියවසේ මුල භාගයේදී ලංකාවේ ඇතැම් දෙමළ නායකයින්ට මුළු රටේම නායකයින් වීමට තිබුණු ආකාරයේ උවමනාවක් සමහර විට ලී ක්වාන් යූටත් තිබුණා වෙන්න පුළුවන්.
සිංගප්පූරුව හා මැලේසියාව එකතුව සිටි දෙවසර තුළ වුවත් රටවල් දෙක හරියටම එකම රටක් විදිහට ක්‍රියාත්මක වුනේ නැහැ. මේ දීගය මුල සිටම අවුල් ගොඩක් තිබුණු දීගයක්. මැලේසියාවෙන් එළියට දැම්මේ හදිසියේ වුවත් එය කොයි වෙලාවක හෝ සිදුවන දෙයක් බව ලී ක්වාන් යූ පැහැදිලිවම දැන සිටියා.
සිංගප්පූරුව කියන්නේ කිසිදු වගාවක් කරන්න ඉඩක් ඉතිරිව නොතිබුණු බිමක් බව ඇත්ත. නමුත්, ඉංග්‍රීසින් විසින් කාලයක් තිස්සේම සිංගප්පූරුව වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කර තිබුණා. එය ලී ක්වාන් යූගේ දැක්ම මත සිදු වූ සුවිශේෂී දෙයක් නෙමෙයි. ඒ වගේම, ලී ක්වාන් යූ විසින් භාරගත් සිංගප්පූරුව සංවර්ධිත රටක් නොවූවත් සැලකිය යුතු ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණයක් එක් රැස්වී තිබුණු තැනක්. එය කිසිවක් නොතිබුණු දුප්පතුන් පිරී සිටි මුඩුබිමක් නෙමෙයි.
සිංගප්පූරුව නිදහස් රටක් වූ 1965දී සිංගප්පූරුවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 516.5ක්. නමුත්, ඒ වෙද්දී ලංකාවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 152.9 ක් පමණයි. ලී ක්වාන් යූ අගමැති ධුරය භාරගත් කාලයට ගියත් සිංගප්පූරුව කියා කියන්නේ ඒ වන විටත් ජපානය හැරුණු විට ආසියාවේ හොඳම ජීවන තත්ත්වයක් තිබුණු තැනක්. 1960දී සිංගප්පූරුවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 428ක්. ලංකාවේනම් ඇමරිකන් ඩොලර් 142ක් පමණයි. ඒ වගේම මැලේසියාවත් මේ කාලය වෙද්දී පවා හිටියේ ලංකාවට වඩා උඩින්. 1960දී මැලේසියාවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 235ක්. එසේ නැත්නම් ලී ක්වාන් යූ මැලේසියාව සමඟ එකතු වෙන්න හිතන්නේ නැහැ.
ලී ක්වාන් යූ යටතේ සිංගප්පූරුව දියුණු රටක් වුනේ ඔහු දැඩි නීති හා දැඩි දඬුවම් සහිත ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක කළ නිසා.
ලී ක්වාන් යූගේ දරදඬු පාලනය සිංගප්පූරුව අද තියෙන තැනට එන්න උදවුවක් වුවත් සිංගප්පූරුව අද තියෙන තැනට ආවේ ඔහුගේ දරදඬු පාලනය නිසාම කියා කියන්න බැහැ. මේ දරදඬු පාලනය වගේම රාජ්‍යමූලික සංවර්ධන උපාය මාර්ගයත් සිංගප්පූරුවට වාසිදායක වුණේ සුවිශේෂී හේතු කිහිපයක් නිසා. ඒ ගැන පසුව වැඩිපුර කතා කරමු.
සිංගප්පූරුවට වේගයෙන් දියුණු වෙන්න මූලික වශයෙන්ම උපකාරී වුනේ එහි ආනයන අපනයන ආර්ථිකයයි. සිංගප්පූරුවට ආනයන අපනයන වේගයෙන් වර්ධනය කර ගනිමින් දියුණු වීමට උපකාරී වූ කරුණු අතර ලී ක්වාන් යූගේ දරදඬු පාලනයට අමතරව බ්‍රිතාන්‍යයන් විසින් කාලයක් තිස්සේ වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස දියුණු කර තිබීම, භූගෝලීය පිහිටීම, කුඩා දූපතක් වීම, කුඩා ප්‍රදේශයක ජීවත් වූ නොවිසුරුණු කුඩා ජනගහණයක් සිටීම, සංස්කෘතික සාධක (චීන සම්භවය හා ඉංග්‍රීසි සංස්කෘතිය යටතේ පුහුණු වී සිටීම) ආදී කරුණු ගණනාවක් බලපා ඇති බව සිතිය හැකියි.
මේ කරුණු අතරින් ලී ක්වාන් යූගේ දරදඬු පාලනයේ දායකත්වය කුමක්ද කියා අපට බැලිය හැක්කේ ආසන්න වශයෙන් හෝ අනෙක් සාධක ගැලපෙන වෙනත් තැනක් ඇත්නම් පමණයි. එසේ නැතුව සිංගප්පූරුව ලංකාව හෝ වෙනත් අහඹු තැනක් සමඟ සසඳා අපට නිගමන වලට පැමිණිය නොහැකියි.
හොඳ වෙලාවට එවැනි තැනක් තිබෙනවා. ඒ හොංකොං. හොංකොං කියා කියන්නේත් බ්‍රිතාන්‍යයන් විසින් කාලයක් තිස්සේ වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස දියුණු කළ, චීන සම්භවයක් සහිත මිනිසුන් වෙසෙන, කුඩා දූපතක්. දුපතේ ප්‍රමාණය හා ජනගහණය අනුව හොංකො බොහෝ දුරට සිංගප්පූරුවට සමානයි. බ්‍රිතාන්‍යය විසින් චීනයෙන් 99 අවුරුදු බද්දට ලබාගෙන තිබුණු හොංකො දූපත 1997දී නැවත චීනයට භාර දෙනු ලැබූ නිසා සිංගප්පූරුව හා සංසන්දනය කළ යුත්තේ ඊට පෙර කාලයයි. මේ කාලයෙන් වැඩි කොටසක් ලී ක්වාන් යූ සිංගප්පූරුවේ අගමැති සේ කටයුතු කළ අතර ඉතිරි කාලය ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු ලෙස කටයුතු කළා.
1960දී සිංගප්පූරුවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 428ක් වන විට හොංකොං ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 428ක්. 1997දී සිංගප්පූරුවේ ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 26,276ක් වන විට හොංකොං ඒපුදදේනි ඇමරිකන් ඩොලර් 27,330ක්. රටවල් දෙකේම ආදායම් වර්ධනය වී තිබෙන්නේ එකම රටාවකට බව පහත ප්‍රස්ථාරය දෙස බැලූ විට පැහැදිලි වෙනවා. (චීනයේ කොටසක් වුනාට පස්සේ හොංකොං වලට සිංගප්පූරු ගැම්මටම යන්න බැරි වුනා.) ඒ කියන්නේ ලී ක්වාන් යූ හා ඔහුගේ දරදඬු නීති සමඟ සිංගප්පූරුව යම් ප්‍රගතියක් අත්පත් කරගත්තානම් ලී ක්වාන් යූ කෙනෙක් නොසිටි හොංකොං රටත් ඒ කාලය තුළ එවැනිම ප්‍රගතියක් අත් කරගෙන තිබෙනවා.
ගොනා එක්ක කරත්තයත් යා යුතුයි. නමුත්, කරත්තය ගොනාට කලින් යා යුතු නැහැ. රටවල් දියුණු වෙන කොට මිනිස්සුන්ට අනිත් මිනිස්සු ගැන හිතන්න ඉස්පාසුවක් ලැබෙනවා. එතකොට ටිකින් ටික විනය හැදෙනවා. එය ස්වභාවිකවම වෙන දෙයක්. ලංකාවෙන්ම උදාහරණ පෙන්වන්න පුළුවන්. ලිපිය දිග් ගැහෙනවා.
සිංගප්පූරුව ඉදිරියට යද්දී ලංකාව එන්න එන්නම පස්සට ගියා.
කලින් කිවුවා වගේ සිංගප්පූරුව කවදාවත් ලංකාවට පසුපසින් හිටියේ නැහැ. සිංගප්පූරුව කියන රට හැදෙන විටත් එහි ඒපුදදේනි ලංකාවේ මෙන් තෙගුණයකටත් වඩා වැඩියි. ඒ වගේම ලංකාව පසුපසට ගිහින් නැහැ. 1960දී ඇමරිකන් ඩොලර් 142ක් පමණක් වූ (නිදහස ලැබෙන විට ඇමරිකන් ඩොලර් 118ක් පමණක් වූ) ලංකාවේ ඒපුදදේනි මේ වෙද්දී ඇමරිකන් ඩොලර් 4000 පන්නා තිබෙනවා. ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට පත් වී තිබෙනවා. 1960දී ලංකාවට වඩා පසු පසුපසින් සිටි තායිලන්තය වැනි ඇතැම් ආසියානු රටවල් මේ වෙද්දී ලංකාව ඉක්මවා ඉදිරියට ගොස් ඇති බව ඇත්තක් වුවත් පිලිපීනය වැනි වෙනත් ඇතැම් ආසියානු රටවල් හා 1960දී ලංකාවට වඩා ඉදිරියෙන් සිටි අප්‍රිකානු රටවල් ගණනාවක් පසුකරන්න ලංකාව සමත් වී තිබෙනවා. සිංගප්පූරුව තරම් වේගයෙන් ලංකාව ඉදිරියට ගොස් නැතත් ලංකාව එන්න එන්නම පස්සට ගියා කියන එක බොරුවක්. (ඒ වගේම පහුගිය දශක දෙක දිහා බැලුවොත් ලංකාව සිංගප්පූරුවට වඩා ගොඩක් වේගයෙන් ඉදිරියට යනවා.)
ලී ක්වාන් යූ වැනි පාලකයෙක් බලයට පත් වී ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් වගේ දේවල් පැත්තකට දමා ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක කළහොත් ලංකාවත් සිංගප්පූරුව මෙන් දියුණු රටක් කළ හැකියි.
ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් වගේ දේවල් පැත්තකට දමන එක හොඳ අදහසක් නෙමෙයි. රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම, වංචාව දූෂණය නාස්තිය අවම කිරීම වගේ දේවල් කළ යුතුයි. හැබැයි මේ දේවල් කළ පමණින් ලංකාව සිංගප්පූරුවක් කරන්න බැහැ. සිංගප්පූරුව සිංගප්පූරුවක් වෙන්න හේතු වූ සුවිශේෂී තත්ත්වයන් සියල්ල ඒ ආකාරයෙන්ම ලංකාවට ආදේශ කරන්න බැහැ.
කලකට පෙර ඔය කුරුණෑගල පැත්තේ මීවැල්ලාව කියා පන්සලක බෝධියකින් බුද්ධ රූපයක් මතු වුනා. ඒ එක්කම රටේ හැම පැත්තෙන්ම ඔය ගමට ට්‍රිප් යන්න පටන් ගත්තා. ඒ එක්කම මේ අභ්‍යන්තර සංචාරකයින් ඉලක්ක කරගත් ආර්ථිකයක් ගමේ හැදුණා. ඔය වගේ සිද්ධියකින් පස්සේ ගමක් කෙටි කලක් ඇතුළත වේගයෙන් දියුණු වෙන්න පුළුවන්.
මීවැල්ලාව රැල්ල ටික කාලයකින් නැතුව ගියා. ඔය වගේ සමහර රැළි කාලයක් දිගටම තියෙනවා. ඉන්දියාවේ පුත්තපාර්තිය ගැන හිතන්න. සායි අනුගාමිකයින් නිසා ඇති වුනු විශාල ආර්ථිකයක් එහි තිබෙනවා. නමුත්, මෙවැනි ආර්ථිකයක් විශාලනය කරන්න බැහැ (unscalable). සිංගප්පූරු ආර්ථිකයත් ඒ වගේ එකක්. එය හොංකොං වගේ තැනකට හරියනවා. නමුත්, ලංකාවට හරියන්නේ නැහැ.
මාල දිවයින වගේ රටකට සංචාරක ව්‍යාපාරය වගේ දෙයකින් පමණක් ගොඩ යන්න පුළුවන්. රටේ ජනගහණය ලක්ෂ හතරකට පොඩ්ඩයි වැඩි. අවුරුද්දකට ඒ වගේ තුන් ගුණයක් සංචාරකයෝ එනවා. දැනට එහි පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය දහ ගුණයකින් වැඩි කරන එක කරන්න බැරි දෙයක් නෙමෙයි. මිලියන් දොළහක් මාල දිවයිනට ගෙන්වා ගන්න තරම් සංචාරක ඉල්ලුමක් ලෝකයේ තියෙනවා. එවිට රටට එන සල්ලි වලින් මාල දිවයිනේ ඒක පුද්ගල ආදායම හත් අට ගුණයකින් ඉහළ යන්න පුළුවන්. එක මාල දිවයින් වැසියෙකුට වසරකට සංචාරකයෝ තිහක් විතර එනවනේ.
හැබැයි ලංකාවට ඔය ඉලක්කයට යන්නනම් වසරකට සංචාරකයෝ මිලියන හයසීයක් ගෙන්න ගන්න වෙනවා. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. රටක් කුඩා වෙද්දී බාහිර ඉල්ලුම ගැන වැඩිපුර අවධානය යෙදිය යුතු වුවත් රටක් ලොකු වෙද්දී අභ්‍යන්තර ඉල්ලුම ගැන හිතන්න වෙනවා. ඇමරිකාව, ඉන්දියාව, චීනය, සෝවියට් දේශය වගේ රටකට ජාත්‍යන්තර වෙළඳාම කොයි තරම් වාසිදායක වුවත්, ලොකු දේශීය ඉල්ලුමක් හා දේශීය නිෂ්පාදිතයක් නැතුව වැඩිදුර යන්න බැහැ. මොකද ඒ රටවල්වල තරමට අවශ්‍ය තරම් විශාල බාහිර ආර්ථිකයක් නැහැ.
ඇමරිකාව, ඉන්දියාව වගේ ලොකු රටකට අවශ්‍යනම් ස්වයංපෝෂිත ආර්ථිකයක් පවත්වා ගන්න බැරිකමක් නැහැ. නමුත්, ලංකාවට ඒක කරන්නත් බැහැ. කරන්න ගියොත් දැන් ඉන්න තැනිනුත් පහළට වැටෙනවා. හැබැයි එහෙම කියලා දේශීය ආර්ථිකය සම්පූර්ණයෙන්ම අමතක කරලා සිංගප්පූරුව වගේ වෙන්නත් බැහැ. ඔය දෙකේ මනා සංකලනයක් ලංකාවට අවශයි. මේක මීට වඩා බර විදිහට පැහැදිලි කරන්න පුළුවන්. අවශ්‍ය නැහැනේ.
සිංගප්පූරු ආර්ථිකය පදනම් වෙලා තියෙන්නේ ආනයන අපනයන වෙළඳාම මතයි. දළ වශයෙන් කිවුවොත් සිංගප්පූරුව කරන්නේ ඇමරිකාව, යුරෝපය වගේ රටවල් වලින් වැඩිපුර ආනයනය කරලා චීනය, කොරියාව වගේ රටවලට වැඩිපුර අපනයනය කරන එකයි.
සිංගප්පූරු ජාතිකයින් බහුතරය මැන්ඩරීන් චීන්නු. ඒ නිසා, ඔවුන්ට අනෙක් කහ මිනිස්සු එක්ක ගණුදෙනු කරන එක පහසුයි. ඒ එක්කම බටහිර එක්ක ගණුදෙනු කරන්න අවශ්‍ය සංස්කෘතික පුහුණුවත් ඔවුන්ට තිබෙනවා. චීන්නුන්ට මෙය නැහැ. ඒ නිසා, සිංගප්පූරු කාරයෙක්ව අතරමැදියෙක් විදිහට තියාගන්න එක චීනටත් වාසියි. සුද්දටත් වාසියි.
සිංගප්පූරුව කාලයක් තිස්සේ ගත්ත මේ වාසිය වෙන රටකට ඒ විදිහටම ගන්න බැහැ. ඒ වගේම මේ වාසිය ලංකාව තරමේ රටකට විශාලනය කළ හැකි එකකුත් නෙමෙයි. (මේක දළ පැහැදිලි කිරීමක් පමණයි.) ඒ වගේම දැන් ටික කලක ඉඳලා බටහිර එක්ක ගනුදෙනු කළ හැකි චීන්නු, කොරියන් කාරයෝ වේගයෙන් වැඩි වෙනවා. ඒ නිසා මේ වාසියත් ක්‍රමයෙන් ගිලිහෙනවා. සිංගප්පූරුවනම් දැන් ගොඩ ගිහින් ඉවර නිසා ආපහු වැටෙන්නේ නැහැ. ඒත් වෙන රටකට අනෙක් අවශ්‍යතා සම්පූර්ණ කර තිබුණත් අනාගතේ ඔය වාසිය ගන්න බැහැ.
"xxx"ට ලංකාවේ ලී ක්වාන් යූ විය හැකියි.
මේ සංවාදයට පුද්ගලයෙක් කොහෙත්ම වැදගත් නැති වුනත් මේ වෙලාවේ ලී ක්වාන් යූ කෙනෙක්ට ලංකාවේ තිබෙන ඉල්ලුම එක්ක වැඩිපුරම ගලපමින් තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ නම නිසා අපට ඔහුව මුළුමනින්ම මග හැර කතා කරන්නත් බැහැ. හැබැයි මේ ඉල්ලුම ගෝඨාභය නම මතු වෙන්න කලින් සිටම කාලයක් තිස්සේ තිබුණු එකක්. ජේආර් මතු වෙද්දීත් මේ කතිකාව යම් තරමකට මතු වී තිබුණා. අනෙක් අතට ගෝඨාභය ගැන පුද්ගලයෙකු සේ සැලකුවොත් ඔහු ජනාධිපති අපේක්ෂකයෙකු වීම මේ වන විටත් දුරස්ථ කරුණක්.
ලී ක්වාන් යූ කෙනෙක් විදිහට ලංකාවේ මිනිස්සු ගෝඨාභයව තෝරා ගත්තත්, වෙන කෙනෙක් තෝරාගත්තත් ඒ තෝරා ගන්නා පුද්ගලයා බලයට පත් වූ පසු ක්‍රියා කරන්න ඉඩ තිබෙන ආකාරය ගැන කිසිම සහතිකයක් නැහැ. ලෝක ඉතිහාසය පුරා විවිධ රටවල සාර්ථක වූ එක් ආඥාදායකයෙකුට අසාර්ථක වූ අය විශාල ගණනක් ඉන්නවා. යම් හෙයකින් ඒ විදිහට ක්‍රියා කළත්, එසේ කළ පමණින් ලංකාව සිංගප්පූරුවක් වෙන්නේත් නැහැ.
පුද්ගලයෙක් විදිහට ගෝඨාභය ගත්තොත්, යකා කියන තරම් කළු නැහැ කියනවා වගේ, පවතින බාහිර තත්ත්වයන් යටතේ ඔහු ගොඩක් අය හිතන ආකාරයට වඩා මුළුමනින්ම වෙනස් ආකාරයකට හැසිරෙන්න වුවත් පුළුවන්. ග්‍රීසියේ සිරිසා සන්ධානය වගේ. ගෝඨාභය කියන පුද්ගලයාට වඩා ප්රශ්නය තිබෙන්නේ ඔහුට කැමති මිනිස්සු ඔහුගෙන් අපේක්ෂා කරන දේවල් වලයි. මිනිස්සුන්ගේ ඉල්ලුම තිබෙන්නේ ආඥාදායකයෙකුටනම් ගෝඨාභය හෝ වෙනත් නොහිතනම අයෙකු ආඥාදායකයෙකු සේ මතු වෙන්න පුළුවන්. වැඩේ වැරදුනා කියා තේරෙන කොට පරක්කු වැඩි විය හැකියි.
(Image credit: http://cheekiongyeo.com/contemporary-sculpture-series/figurative/timeless/lky-front-cover/)
Subscribe to:
Posts (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...