වෙබ් ලිපිනය:

Saturday, April 6, 2019

යකුන් එළවා නාගයින් සමගි කළේ කවුද? (තෙවන කොටස)


බුදුන්ගේ දෙවන ලංකාගමනය පිළිබඳ කතාවෙන් කියැවෙන්නේ පූර්ණ සූර්යග්‍රහණයක් ගැන වෙන්න පුළුවන් වගේම, පළමු ලංකාගමනය පිළිබඳ කතාවෙන් කියැවෙන්නේ චන්ද්‍රග්‍රහණයක් ගැන වෙන්නත් බැරිකමක් නැහැ. වංශ කතා අනුව පළමු ලංකාගමනය සිදුවෙන්නේ පුර පසළොස්වක දවසක රාත්‍රී කාලයේදීයි.

"ලංකාද්වීපයෙහි මනෝරම්‍ය වූ ගං ඉවුරෙහි තුන් යොදුන් දිගු එක් යොදුන් පුළුල්  වූ රම්‍ය වූ  මහා නාග වන නම් උයනෙහි යක්ෂයන්ගේ යුද්ධ භූමියෙහි ලක්දිව් වැසි යකුන්ගේ මහා නිශාචර සමාගමය ප්‍රසිද්ධ විය."

"ඒ මහා යක්ෂ සමාගමයට පැමිණි සර්වඥතෙම එහි සමාගම මැද ඔවුන්ගේ හිස්මතුයෙහි මහියංගනය ථූපයාගේ ස්ථානයෙහි අහස්කුස වැඩ සිටි සේක. ඔවුන්ට භයජනක වූ වර්ෂාවාතාන්ධාකාරාදිය මැවූ සේක."

දැන් මේ කතාවේ හැටියට වෙන්නේත් බුදුන් විසින් යක්ෂයින්ගේ හිස් මතුපිට සිට අන්ධකාරයක් මවන එකයි. පසුව අවශ්‍ය දේ සිදුවීමෙන් පසුව ගිණිගෙන දිලිසෙන්නාක් වැනි ආලෝකයක් දැකිය හැකි වෙනවා.

"ඔවුන්ගේ බියද ශීතද අන්ධකාරයද නසා ඒ දුන් භූමියෙහි පත්කඩ අතුට එහි වැඩහුන් සර්වඥතෙම එතැනින් ඒ පත්කඩ ගිනිගෙන දිලියෙන්නක් කොට හාත්පසින් විශාල කළ සේක." 

මේ ආකාරයට පෙනුනේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවන අවස්ථාවක පෙනෙන රතු හඳද?

විජය පැමිණියායැයි සැලකෙන කාලය හා ඊට පෙර සියවස් වල අවම වශයෙන් ලංකාවේ වෙනස් සංස්කෘතීන් දෙකක් පැවතී ඇති බව පැහැදිලියි. රට ඇතුළේ යක්ෂයින් හා මුහුදුබඩ පළාත් වල නාගයින් වශයෙන්. ලංකාවේ නාගයින් වත්මන් ඉන්දියාවේ මුහුදුබඩ පෙදෙස්වල විසූ නාගයින් සමඟ සමීප සංස්කෘතික සම්බන්ධතාවක් පවත්වාගෙන ඇති බවත් පැහැදිලියි. නමුත්, යක්ෂයින් හා නාගයින් අතර එවැනි සම්බන්ධතාවයක් තිබී ඇති බවක් පෙනෙන්නේ නැහැ.

යක්ෂයින්ගේ ප්‍රතිරෝධය හමුවේ ගංගා දිගේ රට ඇතුළට සංක්‍රමණය වෙන එක නාගයින්ට බොහෝ අසීරු කටයුත්තක්ව තිබෙන්න ඇති. එසේ තිබියදී නාගයින් ගෝකණ්ණයේ සිට මහවැලි ගඟ දිගේ ඉහළට ටිකෙන් ටික ඇවිත් මහියංගනය හරියටම ව්‍යාප්ත වෙලා හිටියා වෙන්න පුළුවන්. නමුත්, මහියංගනය ආසන්නව යක්ෂයින්ගේ බලය ලොකුවටම තියෙන්න ඇති.

වංශ කතා අනුව මහියංගනයේ යක්ෂයින් කඳුකරයට (ගිරි දිවයිනට) එළවා දමන්න හැකි වී තිබෙන්නේ බුදුන්ගේ උදවුවෙන්. නාග හා දේව ගෝත්‍රිකයින්ට යක්ෂයින් එළවා මහියංගනයේ බලය තහවුරු කරගන්න උදවු වුනේ දුරුතු පසළොස්වක පෝ දිනක සිදු වූ පූර්ණ චන්ද්‍රග්‍රහණයක්ද?

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදු වීම එතරම් දුලබ දෙයක් නොවන නිසා කිසියම් ඓතිහාසික සිදුවීමක් කාල නිර්ණය කර ගැනීමට එවැන්නක් පිළිබඳ දැනුමකින් ලොකු පිටිවහලක් ලැබෙන්නේ නැහැ. නමුත්, පූර්ණ සූර්යග්‍රහණයක් කියන්නේ ගොඩක් දුර්ලභ සිදුවීමක්.

බුදුන්ගේ දෙවන ලංකාගමනය සිදු වූ තැන සේ සැලකෙන්නේ නාගදීප දූපතයි. එම ස්ථානය පිහිටා තිබෙන්නේ උත්තර අක්ෂ භාග 9°36'17.8"හි හා  නැගෙනහිර දේශාංශ 79°46'07.1"හියි. ආසන්න වශයෙන් මුහුදු මට්ටමේම තිබෙන තැනක්. මේ විස්තර ඇසුරෙන් අපට බුද්ධ කාලය අයත් වන ක්‍රිස්තු පූර්ව පළමු සහශ්‍රය තුළ එහි සිට දැකිය හැකි වූ පූර්ණ සූර්යග්‍රහණ හඳුනාගත හැකියි. එම සහශ්‍රය තුළ නාගදීපයට දැකිය හැකි පූර්ණ සූර්යග්‍රහණ සිදුව තිබෙන්නේ හතරක් පමණයි. පහත තිබෙන්නේ අදාළ විස්තරයි.

-ක්‍රිස්තු පූර්ව 1055 මාර්තු 18 දින දවල් 12:51:42 සිට 12:57:05 දක්වා මිනිත්තු 5කුත්  තත්පර 23ක කාලයක්
-ක්‍රිස්තු පූර්ව 480 අප්‍රේල් 19 දින උදේ 8:40:27 සිට 8:44:13 දක්වා මිනිත්තු 3කුත්  තත්පර 46ක කාලයක්
-ක්‍රිස්තු පූර්ව 375 පෙබරවාරි 28 දින හවස 5:11:04 සිට 5:12:07 දක්වා මිනිත්තු 1කුත්  තත්පර 03ක කාලයක්
-ක්‍රිස්තු පූර්ව 335 ජූලි 04 දින හවස 4:34:57 සිට 4:36:19 දක්වා මිනිත්තු 2කුත් තත්පර 43ක කාලයක්
-ක්‍රිස්තු පූර්ව 168 ජූලි 17 දින උදේ 9:39:18 සිට 9:44:29 දක්වා මිනිත්තු 5කුත් තත්පර 10ක කාලයක්

අශෝක රජුගේ රාජ්‍යාභිෂේකය සිදු වූ වසර ක්‍රිස්තු පූර්ව 268 හෝ ආසන්න වසරක් බව සෑහෙන තරම් නිවැරදිව හඳුනාගෙන තිබෙනවා. මහා වංශයට අනුව, විජයාගමනය හා සම්බුද්ධ පරිනිර්වාණය සිදුව තිබෙන්නේ ඊට වසර 218කට පෙරයි. මෙය බොහෝ ගැටළු සහගත හා අවිනිශ්චිත මූලාශ්‍රයක් වුවත් දැනට තිබෙන වඩාත් පිළිගත් මූලාශ්‍රයයි. ඒ අනුව සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ වසර සේ පිළිගැනෙන්නේ ක්‍රිස්තු පූර්ව 486 වසරයි. එසේනම්, දෙවන ලංකාගමනය සිදුව තිබිය යුත්තේ ඊට වසර 40කට පෙර ක්‍රිස්තු පූර්ව 526දීයි. නමුත්, මෙම කාලයට ආසන්නවම සිදුව ඇති නාගදීපයට දැකිය හැකි පූර්ණ සූර්යග්‍රහණය සිදුව ඇත්තේ ක්‍රිස්තු පූර්ව 480දීයි. එනම් බුද්ධත්වයෙන් නොව සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර පහකට පමණ පසුවයි.

සම්බුද්ධ පරිනිර්වාණය හා විජයාවතරණය සිදු වුනේ එකම දවසක කියන එක නිවැරදි තොරතුරක් සේ පිළිගැනීම ගොඩක් ගැටළු සහගත දෙයක්. මහා වංශය අනුව සම්බුද්ධ පරිනිර්වාණය සිදුවන විට මගධයේ රජු අජාසත්. එතැන් සිට ධර්මාශෝක දක්වා මගධය පාලනය කරන රජවරුන් ගණන 29ක්. නමුත් මේ වසර 218 තුළ ලංකාව පාලනය කරන්නේ රජවරුන් 8 දෙනෙක් පමණයි. ඒ අතරින් ඇතැම් රජවරුන් පිළිගත නොහැකි තරම් දිගු කලක් ජීවත් වී තිබෙනවා.

වැඩිම වුනොත් මහින්දාගමනයේ සිට නිශ්චිත ක්‍රමවේදයකට වාර්තා කෙරුණු ලංකා ඉතිහාසයේ ඊට පෙර කොටස ප්‍රතිනිර්මාණය කළ කවුරු හෝ විසින් සම්බුද්ධ පරිනිර්වාණය හා විජයාවතරණය කෘතීම ලෙස ගැලපුවා වෙන්න සෑහෙන ඉඩක් තිබෙනවා. ඒ අනුව, විජයාවතරණය සිදුවුණේ සම්බුද්ධ පරිනිර්වාණයට පසුව වෙන්නත් සැලකිය යුතු ඉඩක් තිබෙනවා. වත්මන් ඉන්දියාවේ විවිධ පෙදෙස් වල සිට සංක්‍රමනික කණ්ඩායම් පැමිණීම සම්බුද්ධ පරිනිර්වාණයටත් පෙර සිටම දිගින් දිගටම සිදු වුනා වෙන්න පුළුවන්. විජය ඇතුළු කණ්ඩායම එසේ පැමිණි එකම හෝ මුල්ම කණ්ඩායම කියා හිතන්න අමාරුයි.

ඓතිහාසික කරුණු වල නිරවද්‍යතාවය සනාථ කරගැනීමේදී හා කාල නිර්ණය කර ගැනීමේදී ප්‍රධාන වශයෙන්ම කරන්නේ ලිඛිත සාක්ෂි හා පුරා විද්‍යාත්මක සාක්ෂි ගලපන එකයි. ප්‍රශ්නයකට තියෙන්නේ පුරා විද්‍යාත්මක සාක්ෂි කාල නිර්ණය කළ හැක්කේ විශාල ඇස්තමේන්තු වරදක් එක්ක වීමයි. මේ ක්‍රමවේදයට අනුපූරයක් ලෙස ඓතිහාසික කරුණු සමඟ සූර්යග්‍රහණයක් වැනි ස්වභාවික සංසිද්ධියක් ගැලපිය හැකිනම් අන්තිම තත්පරයටම ඓතිහාසික සිද්ධි කාල නිර්ණය කළ හැකියි. කේන්ද්‍ර සටහන් ආදිය ඇත්නම් ඒවා ඇසුරෙනුත් එවැන්නක් කළ හැකියි.

නාගදීපයට පෙනෙන ලෙස බුද්ධ කාලයට ආසන්නව සිදුව තිබෙන එකම පූර්ණ සූර්යග්‍රහණය සිදුව තිබෙන්නේ ප්‍රලම්බිත ජුලියන් කැලැන්ඩරයෙන් ක්‍රිස්තු පූර්ව 480 අප්‍රේල් 19 වෙනිදා උදේ 8:40-8:44 අතරයි. මේ දවස හරියම බක් අමාවක දවසක් වීම විශේෂ කරුණක්. එවැන්නක් සිදුවෙන්න ඉඩ තිබෙන්නේ අවුරුදු දහස් ගණනකට වරක් පමණයි.ඊට අමතරව, මේ පූර්ණ සූර්යග්‍රහණය සිදුවෙන්න වසර පහකට පමණ පෙර දුරුතු පුර පසළොස්වක පෝය දවසක රෑ මහියංගණයට (උත්තර අක්ෂාංශ 7°19'11.1" හා නැගෙනහිර දේශාංශ 80°59'17.5", මුහුදු මට්ටමේ සිට මීටර 100 පමණ) පෙනෙනු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්ද සිදුවී තිබෙනවා. ඒ ක්‍රිස්තු පූර්ව 485 ජනවාරි 31 වෙනිදා මධ්‍යම රාත්‍රී 11:39 සිට 1:17 දක්වා කාලය ඇතුළතයි.

Friday, April 5, 2019

යකුන් එළවා නාගයින් සමගි කළේ කවුද? (දෙවන කොටස)


දෙපාර්ශ්වයක් එකතු වෙලා විශාල යුද්ධයකට අර අඳින වෙලාවේ අනපේක්ෂිත විදිහට එක පාරටම අහස අඳුරු වෙලා, තවත් ටික වෙලාවකින් ඉර ටිකෙන් ටික වැසී ගිහින් කළුවර වුනොත් ඇති වන තත්ත්වය හිතා ගන්න පුළුවන්ද? යුද්ධ කරන එක කොහොම වෙතත් පාර්ශ්ව දෙකම යුද්ධය අමතක කරලා තම තමන්ගේ දෙවියන් යදින්න පටන් ගන්න එකක් නැද්ද?

යම් හෙයකින් චූලෝදර හා මහෝදර පාර්ශ්වයන් සටනට ලක ලෑස්ති වෙමින් සිටිද්දී පූර්ණ සූර්යග්‍රහණයක් ඇති වෙලා අහස අඳුරු වුනානම් එවැනි තත්ත්වයක් ඇති වෙන්න බැරිකමක් නැහැ. පාර්ශ්ව දෙක විසින්ම පූජනීය සේ සැලකූ අයෙක් සිටියානම් සූර්යග්‍රහණය වෙලාවේ මේ පාර්ශ්ව දෙකම ඒ පූජනීය පුද්ගලයාගෙන් කිසියම් සහනයක් ඉල්ලා සිටින්න ඉඩ තිබෙනවා වගේම මේ අනපේක්ෂිත සිදුවීම වුනේ තමන් යුද්ධයට එළැඹි නිසා කියා හිතා යුද්ධය නවතා සමඟි වෙන්නත් ඉඩ තිබෙනවා. යුද්ධයට හේතු වූ මිණිපළඟ බෙදාගන්න අමාරු නිසා එය අර දෙපාර්ශ්වයටම පිළිගත හැකි පුද්ගලයාට පූජා කිරීම විසඳුමක්.

චූලෝදර මහෝදර සටන සිදු වෙන්න ගිහින් තියෙන්නේ අමාවක පොහොය දවසක උදය කාලයේ. සූර්යග්‍රහණයක් සිදු වෙන්නෙත් අමාවක පෝය දවස් වලටයි. ඒ වගේම නිශ්චිත කිසියම් ප්‍රදේශයකට පූර්ණ සූර්යග්‍රහණයක් පෙනෙන්නේ එය දවල් කාලයේ සිදු වුනොත්. ඒ නිසා මේ කියන දවසේ එවැනි පූර්ණ සූර්යග්‍රහණයක් සිදු වුනා වෙන්න පුළුවන්. එවැන්නක් වුනානම් ඒ පිළිබඳ සාමූහික මතකය සියවස් ගණනක් යන තුරු ඉතිරි වෙන්න පුළුවන්. හැබැයි මේ වගේ ජනශ්‍රැති පරම්පරාවෙන් පරම්පරාවට යද්දී කතාව විශාල ලෙස වෙනස් වෙනවා. දීප වංශය ලියන කාලය වෙද්දී කතාව මේ වගේ එකක්.

යථා නාගානං සංගාමං- තථා ගන්ත්වා නරුත්තමෝ 
උභෝනාගවරමජ්ජේ- ඨිතෝ සත්තානුකම්පකෝ 

නරෝත්තමයන් වහන්සේ සත්ත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් නාගයින්ගේ සංග්‍රාමය පැවති තැනට ගොස් නාගයින්ගේ පාර්ශ්ව දෙක මධ්‍යයෙහි සිටගත් බව මෙයින් කියැවෙනවා.

නභේ ගන්ත්වාන සම්බුද්ධෝ- උභෝ නාගානං උපරි 
තිබ්බන්ධකාරතමං ඝෝරං- අකාසි ලෝකනායකෝ 

ලෝකනායක සම්බුද්ධයන් පාර්ශ්ව දෙකේම නාගයින් සිටි තැන් වලට ඉහළ අහසට ගොස් තීව්‍ර, ඝෝර අන්ධකාරයක් ඇති කළ බව මෙයින් කියැවෙනවා.

අපි නිකමට හිතමු මේ පාර්ශ්ව දෙකේම සිටි නාගයින් සූර්ය වන්දනාව කළ අය කියා. එය එසේ වෙන්න හෝ නොවෙන්න පුළුවන්. එසේ වුනානම් මේ කතාවේ කියන ආකාරයේ විශාල සංග්‍රාමයකට අවතීර්ණ වෙන්න කලින් මේ අය කරන්නේ ඉර දෙවියන් වඳින එකයි. ඒ වගේ වෙලාවක එක පාරටම අහස අඳුරු වී අන්ධකාරයක් පැතිරුනොත් හිතෙන්නේ මෙය තමන් අදහන, තමන්ගේ හිස් මුදුනේ පෙනෙන්න ඉන්න, ඉර දෙවියා හා අදාළ දෙයක් බවයි. පරම්පරා කිහිපයකට පස්සේ මේ ජනශ්‍රැතිය ඉදිරියට ගෙනයන අය බුදුන් අදහන්නන් වීමෙන් පසුව සූර්ය දේවරාජයා වෙනුවට ලෝකනායක සම්බුද්ධයන් ආදේශ වීම වැන්නක් ජනශ්‍රැති විකාශනය වීමේදී සිදුවන සාමාන්‍ය දෙයක්. යම් හෙයකින් මේ කණ්ඩායම් දෙකේ හිටියේ මහින්දාගමනයට පෙර ලංකාවේ සිටි බෞද්ධයින් වීනම් (මේ ගැන පසුව කතා කරමු), ඉර නොපෙනී යාම හමුවේ මේ විදිහට සහනයක් ඉල්ලා සිටියේ බුදුන්ගෙන්ම වෙන්න වුණත් බැරිකමක් නැහැ.

අන්ධං තමං තදා හෝති- කේසර මායා ඉද්ධියා 
අන්ධකාරේන ඕනද්ධෝ- සිහිතා යා රුක්ඛෝ අහූ 

සිංහයාගේ මායා සෘද්ධි බලයෙන් අන්ධකාරය හාත්පස පැතිරී ගිය බවත්, සිංහයා සහ වෘක්ෂය අන්ධකාරය තුළ ගිලී නොපෙනී ගිය බවත් මෙයින් කියැවෙනවා. මේ ගාථාවෙහි සිංහයා (කේසර/සිහ) ලෙස හඳුන්වන්නේ බුදුන් බව පෙනෙනවා. මෙහි කියැවෙන ගස, පෙර ගාථාවක විස්තර කර ඇති පරිදි, ජේතවනාරාමයේ සිට බුදුන්ට සෙවණ සලසමින් සමිද්ධි නම් දේවතාවා විසින් රැගෙන එන එම දේවතාවා වාසය කර ඇති ගසයි.

පසුව බුදුන් ආදේශ වී තිබෙන්නේ හිරු දෙවියන් වෙනුවටනම් අඳුර පැතිරෙන්නට පෙර සිටම හිරු දෙවියන්ට වෙනත් අයෙකු විසින් සෙවණ සලසමින් සිට ඇති බව පෙනෙනවා. නාගයින් මෙසේ දකින්නේ ඉරේ සැර විශාල ලෙස අඩුවන සූර්යග්‍රහණයක  මුල් අදියර විය හැකියි.

අඤ්ඤාම​ඤ්ඤං න පස්සන්ති- තසිතා නාගා භයට්ඨිතා 
ජයංපි න පස්සන්ති- කුතෝ සංගාම කාරිතුං 

එකිනෙකාව නොපෙනෙන නිසා නාගයින් බියපත් වී හා තැතිගෙන සිටිනවා. ජයංපි න පස්සන්ති, කුතෝ සංගාම කාරිතුං? දිනනවද (නැද්ද) කියා පේන්නේ නැතුව සංග්‍රාම කරන්නේ කොහොමද?

සබ්බේ සංගාමං භින්දිත්වා- පමුඤ්චිත්වාන​ ආයුධං
නමස්සමානා සම්බුද්ධං- සබ්බේ ඨිතා කතඤ්ජලී

සියළු දෙනාම යුද්ධ කිරීම නවත්වා, ආයුධ පැත්තකට දමා අත් එකතු කර බුදුන්ට නමස්කාර කරන්න පටන් ගන්නවා.

සලෝමහට්ඨේ ඤත්වාන- දිස්වා නාගේ භයට්ඨිතේ
මෙත්ත චිත්තේන පරිත්වාන- උණ්හාරංසිං පමුඤ්චයී

මහත් බියකින් සැලෙමින් සිටින නයින් දැකීමෙන් මෙත් සිත් පහළ කරගෙන උණුසුම් රැස් දහරක් එවනවා. මේ කියන්නේ පූර්ණ සූර්යග්‍රහණයකදී ඉර මුළුමනින්ම වැසී යාමෙන් පසුව දකින්නට ලැබෙන පළමු ආලෝක රැස් දහර ගැන වෙන්න බැරිද?

ආලෝකෝව මහා ආසි- අබ්භුතෝ ලෝකහංසනෝ 
සබ්බේ පස්සන්ති සම්බුද්ධං- නභේ චදං ව නිම්මලං

ලොම් කෙළින් කරවන අද්භූත සිදුවීමක් ලෙසින් නිමල ආලෝකය අහස පුරා පැතිරෙද්දී සියලු දෙනාම සම්බුදුන් දකිනවා.

ශ්‍රද්ධාවන්ත බෞද්ධයින්ට දැනුත් ඇතැම් වෙහෙර විහාර වලින් බුදුරැස් විහිදෙන බව ඇස් දෙකටම පේන එකේ ඒ කාලේ එහෙම දෙයක් පෙනෙන්න ලොකු ඉඩක් තියෙනවා. පූර්ණ සූර්යග්‍රහණයකදී ඉර මුළුමනින්ම වැසී යාමෙන් පසුව දකින්න ලැබෙන පළමු ආලෝක දහර අතිශයින්ම විචිත්‍රයි. දියමන්ති මුද්දක් අහසේ තියෙනවා වගෙයි පෙනෙන්නේ (Diamond Ring Effect). (උඩ තිබෙන ඡායාරූපය බලන්න)

ඡහි වණ්ණේහි උපේතෝ- ජලන්තෝ නභකන්තරේ 
දස දිසා විරෝචන්තෝ- ඨිතෝ නාගා අභාසථා 

ෂඩ් වර්ණ රැසින් අහසේ දස දිශාවම දිදුළවමින් බුදුන් නාගයින්ව අමතනවා. ඉන්පසුව තමයි මිණි පළඟ බුදුන්ට පුදා නාගයින් දෙපිරිස සමඟි වෙන්නේ.

බුදුන් පැමිණි කතාව පැත්තකින් තිබ්බොත් නාගයින් කණ්ඩායම් දෙකක් අතර සටනක් සිදු වෙන්න ගිහින් කිසියම් අයුරකින් එය වැළකී යාමක් පිළිබඳ කතාවක් මෙහි තිබෙනවා. එවැනි දෙයක් ඇත්තටම සිදු වුණාද? සිදුවෙන්නට ගිය මේ සටන වැළකෙන්නට ඇත්තටම හේතු වුනේ ඒ අවස්ථාවේදී සිදු වුනු පූර්ණ සූර්යග්‍රහණයක්ද?

Thursday, April 4, 2019

යකුන් එළවා නාගයින් සමගි කළේ කවුද? (පළමු කොටස)


අද මැදින් අමාවක පෝය. ඉන්පසුව බක් මාසය ආරම්භ වෙනවා. බක් මාසය කියන්නේ ලංකාවට සංස්කෘතිකව ගොඩක් වැදගත් මාසයක්.

වංශකතා අනුව, ගෞතම බුදුන් තෙවරක් ලක්බිමට වැඩම කර තිබෙනවා. බුදුන්ගේ පළමු ලංකාගමනය සිදුව තිබෙන්නේ බුද්ධත්වය සිදුව වසරක් ඇතුළත දුරුතු පුර පසළොස්වක් පෝ දිනක මහියංගනයටයි. දෙවන ලංකාගමනය බුද්ධත්වයෙන් පස් වන වසරේ බක්මස අමාවක් පොහෝ දින උදය කාලයෙහි සිදුව තිබෙනවා. පැමිණ තිබෙන්නේ නාගදීපයටයි. වසර පහක කාලයක් ඇතුළත සිදුව තිබෙන මේ ඓතිහාසික සිදුවීම් දෙක මහා වංශ කතුවරයා විසින් වාර්තා කර තිබෙන්නේ පහත ආකාරයටයි.

"ශත්‍රැමර්දනය කරණශීලී වූ සර්වඥතම උරුවෙල් කසුප්නම් ජටිලයාගේ මහා යාගය එළඹ සිටි කල්හි තමන් නොඊමෙහි වූ ඔහුගේ ඉච්ඡා වාරය දැන උතුරුකුරු දිවයිනෙත් පිණ්ඩපාතය ගෙණවුත් අනවතප්ත නම් විල සමිපයෙහි දී වළඳා තෙමේ සවස් වේලෙහි සම්‍යක් සම්බෝධියෙන් නව වන මස දුරුතු පුර පසළොස්වක්හි ලංකාද්වීපය ශුද්ධ කරනු පිණිස ලක්දිවට පැමිණි සේක. සර්වඥයන් වහන්සේ විසින් ලංකා තොමෝ සසුන් බබලන තැනෙකැයිද යකුන් විසින් පිරුණු ලක්දිව යක්ෂයන් බැහැර කටයුතු යැයිද දන්නා ලදී. ලංකාද්වීපයෙහි මනෝරම්‍ය වූ ගං ඉවුරෙහි තුන් යොදුන් දිගු එක් යොදුන් පුළුල්  වූ රම්‍ය වූ  මහා නාග වන නම් උයනෙහි යක්ෂයන්ගේ යුද්ධ භූමියෙහි ලක්දිව් වැසි යකුන්ගේ මහා නිශාචර සමාගමය ප්‍රසිද්ධ විය."

"ඒ මහා යක්ෂ සමාගමයට පැමිණි සර්වඥතෙම එහි සමාගම මැද ඔවුන්ගේ හිස්මතුයෙහි මහියංගනය ථූපයාගේ ස්ථානයෙහි අහස්කුස වැඩ සිටි සේක. ඔවුන්ට භයජනක වූ වර්ෂාවාතාන්ධාකාරාදිය මැවූ සේක. බියෙන් පෙළුනා වූ ඒ යක්ෂයෝ නිර්භය වූ  තථාගතයන් වහන්සේගෙන් අභය ඉල්වූහ. අභයදායී වූ තථාගතයන් වහන්සේ ඉතා භයින් පීඩිත වූ ඒ යකුන්ට මෙසේ වදාළ සේක. “යක්ෂයෙනි, තොපගේ මේ භය හා දුක් මම පහකරන්නෙමි. තොපි සමගිව මෙතන්හි මට හිඳිනා තැනක් දෙන්නහු ද? නොම දෙන්නහුද?” “නිදුකානෙනි, නුඹ වහන්සේට මේ සියලුම ලක්දිව දෙම්හ. අපව අභය දුනමැනවැ”යි ඒ සියලුම යක්ෂයෝ තථාගතයන් වහන්සේට කිවූය. ඔවුන්ගේ බියද ශීතද අන්ධකාරයද නසා ඒ දුන් භූමියෙහි පත්කඩ අතුට එහි වැඩහුන් සර්වඥතෙම එතැනින් ඒ පත්කඩ ගිනිගෙන දිලියෙන්නක් කොට හාත්පසින් විශාල කළ සේක. ග්‍රීස්මයෙන් පීඩිත වූ ඒ යක්ෂයෝ බියපත්ව (ලක්දිව) අන්තයෙහි හාත්පසින් සිටියෝය. ඉක්බිත්තෙන් සර්වඥයන් වහන්සේ ඔවුන්ට රම්‍ය වූ ගිරිදිවයින්  මෙහි ලඟා කළ සේක. උන් එහි වන් කළ තිබුන තන්හි තැබූ සේක. සර්වඥතෙම ඒ පත්කඩ හැකුලු සේක. එකල්හි දෙවියෝ සර්වඥයන්වහන්සේ කරා පැමිණියෝය. ඒ සමාගමෙහි ශාස්තෲන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළ සේක. නොයෙක් කෙළ ගණන් සත්ත්වයින්ට සෝවාන් ඵලාදියෙන් ධර්මාවබෝධ වූයේය. සංඛ්‍යාපථාතීත සත්ත්වයෝ තිසරණ පන්සිල් පිහිටියෝය."

"පස්මරුන් දිනූ මහත් කරුණා ඇත්තා වූ සියලු ලෝ වැස්සන්ගේ වැඩෙහි ඇලුනා වූ ශාස්තෘ වූ සර්වඥයින් වහන්සේ සම්‍යක් සම්බෝධියෙන් පස්වෙනි වස ජේතවන විහාරයෙහි වැඩ වසන සේක්, මහෝදර නාගය එසේම චූළෝදර නාගය යන පිරිස්  සහිත වූ න‍ාගයන්ගේ මිණි පළඟ හේතු කොට එළඹ සිටියා වු යුද්ධය දැක, බක්මස අමාවක් පොහෝ දින උදය කාලයෙහි ම උතුම් වූ පා සිවුරු ගෙණ නාගයන්ට අනුකම්පා පිණිස නාගදීපයට වැඩි සේක. එකල්හි මහත් සෘද්ධි ඇති ඒ මහෝදර නම් නාග තෙමේ මුහුද පන්සියයක් යොදුන් අයම් නාග භවනයෙහි රජ වී උහුගේ නැගණි තොමෝ කන්වඩමන් නම් පව්වෙහි නා රජහට දෙන ලද්දීය. උහුගේ පුත්‍ර තෙම චූළෝදර නමි. උහුගේ මෑණියන් පිය වූ නා රජතෙම උතුම් වූ මිණිපළඟ මෑණියන්ට දී කාලක්‍රියා  කෙළේ ය. එසේ හෙයින් මයිල් නාරජු හා බැණනුවන්ගේ යුද්ධය තෙම එළඹ සිටියේය. පර්වත වාසී වූ ද ඒ නාගයෝ මහත් සෘද්ධිමත් වූහ. සමිද්ධි සුමන නම් දෙවි තෙමේද ජේතවනයෙහි පිහිටි තමන් යහපත් භවනය වූ කිරිපලුරුක බුද්ධානුමතියෙන්ම  ගෙන ඡත්‍රාකාරයෙන් සර්වඥයන් මත්තෙහි දරන්නේ ඒ පෙර විසූ ස්ථානයට ආයේ ය. ඒ දෙවි තෙම අනතුරු බැවෙහි නාගදීපයෙහි මනුෂ්‍යයෙක් විය..."

"...මෝහාන්ධකාර නසන්නා වූ සර්වඥ තෙම එහි යුද්ධ මධ්‍යයෙහි අහසේ වැඩ හුන්නේය. ඒ නාගයන්ට භය එලවන්නා වූ  අන්ධකාරයක් මවා පෑ සේක. (සර්වඥයන් වහන්සේ) බියෙන් ‍පෙළුන ඒ (නයින්) අස්වසන්නේ ආලෝකයක් පැතිරවූ සේක. සර්වඥයන් දැක සතුටු වූ ඒ නාගයෝ සර්වඥයන් වහන්සේගේ පා වැන්දෝය. පස්මරුන් දිනූ සර්වඥ තෙම සමඟි කරන්නා වූ  ධර්මයන් ඔවුන්ට දේශනා කළ සේක. සතුටු වූ ඒ දෙදෙන ම මිණිපළඟ ‍ සර්වඥයන් වහන්සේට ප්‍රදානය කළහ. ලෝකනායක වූ ශාස්තෘ තෙම එහි බැස අස්නෙහි වැඩහිඳ, ඒ නාග රාජයන් විසින් දිව්‍යාහාරපානයෙන් සතපන ලත් සේක්,  දිය වැසි වූද ගොඩ වැසි වූද අසූ කෙළක් නයින් තුන් සරණයෙහි ද සීලයෙහි ද පිහිට වූ සේක."

අද මේ ලිපිය ලියන මා මෙන්ම මහාවංශ කතුවරයාද මේ සිදුවීම් සිදුවන කාලයේ ජීවත් වී නැහැ. සියවස් ගණනාවකට පසුව ඔහු විසින් කර තිබෙන්නේ, දැන් මා කරන්නාක් මෙන්ම, තමන්ට පරිශීලනය කරන්නට ලැබී තිබෙන මූලාශ්‍ර ඇසුරු කර ගනිමින් ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමක්. දැනටත් අපට පරිශීලනය කළ හැකි දීපවංශය සැලකෙන්නේ මේ සිදුවීම් පිළිබඳව මහාවංශයට වඩා පැරණි ඓතිහාසික මූලාශ්‍රයක් ලෙසයි. එහෙත්, දීපවංශ කතුවරයා හෝ කතුවරුන් විසින් කර තිබෙන්නේත් එවකට ඔවුන් දැන සිටි දේ ඇසුරු කරගනිමින් ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමක්. ඒ නිසා, මේ ඓතිහාසික වාර්තා වල තිබෙන්නේ සැබෑවටම සිදු වූ දෙයක් ගැන විස්තරයක් බව අපට සහතිකවම කියන්න බැහැ. නමුත්, මෙවැනි ප්‍රවාද හැදෙන්න කවර හෝ පදනමක් තිබිය යුතුයි.

මහාවංශයට හා දීපවංශයට පදනම් වී තිබෙන්නේ මුඛපරම්පරාවෙන් ඉදිරියට ගෙනැවිත් තිබෙන ලංකාවේ බුද්ධ ශාසනයේ ඉතිහාසයයි. එය විධිමත් ලෙස සිදුවන්නට ඇතැයි සිතිය හැක්කේ මහින්දාගමනයෙන් පසුවයි. ඊට පෙර කොටස ඒ කාලයේදී වත්මන් ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වූ බෞද්ධ භික්ෂූන් විසින් ප්‍රතිනිර්මාණය කළ ඉතිහාසයක්. එහිදී ඔවුන් එවකට ලංකාවේ වූ ජනශ්‍රැති වලින් තොරතුරු ලබාගන්න ඇති.

දෙවනපෑතිස් කියන්නේ ඉහත කී සංක්‍රමණික බෞද්ධ භික්ෂූන්ට ලංකාවේදී සම්මුඛ වූ චරිතයක්. දැක නොතිබුණත් ඔහුගේ පියා වූ මුටසීව ගැනත් ඔවුන් ලංකාවට පැමිණෙන්න පෙර සිටම අසා තිබෙනවා. ලංකාවේදී ඔවුන්ට දෙවනපෑතිස්ගේ පියා මුටසීවව මෙන්ම දෙවනපෑතිස්ගේ පියාගේ පියා වූ පණ්ඩුකාභය ගැනත් හොඳින් දැන සිටි ඔවුන්ගේ කාලයේ ජීවත් වූ වයස්ගත පුද්ගලයින් හමු වෙන්න ඇති. එහෙත්, පණ්ඩුකාභයගේ පරම්පරාවට පෙර පරම්පරා වල අය ඒ වන විට ජීවත්ව ඉන්න ඉඩක් නැහැ.

කොහොම වුවත්, දෙවනපෑතිස් රජුගේ පරම්පරාවේ අක්මුල් හොයා යන සංක්‍රමණික භික්ෂූන්ට පණ්ඩුකාභයගේ මවගේ පියා වූ පඬුවස්දෙව් ගැනත්, පඬුවස්දෙව්ට ලංකාවට සංක්‍රමණය වීමට ඉඩකඩ සපයා දුන් ඔහුගේ පියාගේ සොහොයුරෙකු වූ විජය ගැනත් තොරතුරු හමුවුණා කියා හිතන්න පුළුවන්. බුදුන්ගේ ලංකා ගමන් වංශ කතා වල විස්තර කෙරෙන්නේ විජය ලංකාවට සංක්‍රමණය වන්නට පෙර කලෙක සිදු වූ සිදුවීම් ලෙසයි. නාගයින් හා යක්ෂයින් විජයගේ කාලයට පෙර සිටම ලංකාවේ ජීවත්ව සිට ඇති ජනකොටස් බව වංශ කතා කතුවරුන් විසින් හඳුනාගෙන තිබෙනවා.

බුදුන්ගේ දෙවන ලංකාගමනය ලෙස වාර්තා වී තිබෙන සිදුවීම ඉහත කී දේශීය ජනකොටසක් වූ නාගයින්ගේ කණ්ඩායම් දෙකක් අතර සිදුවන්නට ගිය සටනක් පිළිබඳව අවිධිමත් ලෙස කටින් කට සම්ප්‍රේෂණය වූ වාර්තා මත පදනම් වී ඇති බව සිතිය හැකියි. මෙය බක් අමාවක් පොහෝ දිනක උදය වරුවේ සිදුවන්නට ගොස්, යුද්ධයේ පාර්ශ්වකරුවන් විසින් අපේක්ෂා නොකළ හේතුවක් නිසා වැලකී තිබෙන සටනක්. ඒ ආකාරයට, යුද්ධයක් වැළැකී දෙපාර්ශ්වය සමඟි වීමට හේතු විය හැකි, ඒ හේතුව නිසාම කාලයක් කිසියම් ජන කොට්ඨාශයකගේ සාමූහික මතකයේ රැඳී තිබිය හැකි, ස්වභාවික සංසිද්ධි තිබිය නොහැකිද?

Tuesday, April 2, 2019

අර්ධ


වෙනදා වගේම ඊයෙත් ගෙදර ආපු ගමන් කෙළින්ම ගියේ පරිගණකයට. සේවා ස්ථානයේ කාර්යාල කාමරයේ සිට නිවසේ කාර්යාල කාමරය දක්වා එන්න ගතවන කාලය තුළ ලැබී තිබෙන්නට ඉඩ තිබෙන කාල-සංවේදී විද්‍යුත් ලිපි ගැන ගෙදර පැමිණි වහාම සොයා බැලීම මගේ පුරුද්දක්.

ගෙදරින් යන කොට හොඳින් වැඩ කළ පරිගණකයේ මූසිකය දැන් වැඩ කරන්නේ නැහැ. පරිගණකය අක්‍රිය කර නැවත ක්‍රියා කළත් වෙනසක් නැහැ. මූසිකය මධ්‍යම සැකසුම් ඒකකයෙන් ගලවා නැවත සම්බන්ධ කළත් තත්ත්වය එසේමයි.

මේ සතිය අපේ දරුවන්ට නිවාඩු සතියක්. ගෙදර සිටින ඔවුන්ගෙන් කෙනෙක් හෝ බිරිඳ මගේ පරිගණකය භාවිතා කළා වෙන්න පුළුවන්. ඔවුන් සියල්ලන්ටම තම තමන්ගේ ලැප්ටොප් පරිගණක තිබුණත් මගේ පරිගණකයට එන වෙලාවල් තියෙනවා.

බිරිඳගෙන් විමසුවත් ඈ කියන විදිහට මා නිවසේ නැති අතරේ ඈ හෝ දරුවෙකු මගේ පරිගණකය භාවිතා කර නැහැ. එහෙමනම් මූසිකය වැඩ නොකරන්නේ ඇයි?

තවත් හොඳින් සොයා බලද්දී පෙනුණේ මූසිකය යට ලේසර් සෙන්සරය වැහෙන පරිදි ටේප් කෑල්ලක් ඇලී ඇති බවයි. මෙවැන්නක් අහම්බෙන් වෙන්න බැරිකමක් නැතත්, ඔය වගේ පොඩි ටේප් කෑල්ලක් ලියන මේසය උඩ තියෙන්න හේතුවක් නැහැ. මෙය කවුරු හෝ විසින් හිතාමතාම කළ දෙයක්.

අපේ පොඩි එකා සමහර වෙලාවට ඔය වගේ ගොන්පාට් වැඩ කරනවා. සමහර අය අදහස් වාරණය කරන්න කරන බොළඳ වැඩ වගේ මූසිකයේ සෙන්සරය වසා මා ලියන එක නවත්වන්නවත් හිතුවද? ඔවුන් ගෙදර ඉන්න සතියේවත් පරිගණකය අමතක කර ඔවුන් එක්ක වැඩි කාලයක් ගෙවිය යුතුයි කියා සිතා එහෙම කළානම් වැරැද්දක් කියන්නත් බැහැ.

පොඩි එකා ගෙන්නලා ඇහුවහම පොර හිනාවෙනවා.

"මතක නැද්ද අද අප්‍රේල් පළමුවැනිදා!"

ගොඩක් දෙනෙක් අප්‍රේල් පළමුවැනිදාට ඔය වගේ ගොන්පාට් එකක් කරනවා. හැබැයි අප්‍රේල් පළමුවැනිදාට කරන හැමදෙයක්ම ගොන්පාට් ගොඩට දමන්න බැහැ.

ඊයේ පොල්ගහවෙල මහේත්ත්‍රාත් අධිකරණය විසින් ශක්තික සත්කුමාර නමැත්තෙකු විසින් ලියන ලද කෙටිකතාවක් හේතුවෙන් ඔහුව අප්‍රේල් 9 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වී තිබෙනවා. අප්‍රේල් විහිළුවක් වෙන්න බැහැ.

අප්‍රේල් පළමුවැනිදාවක ලංකාවේ අධිකරණයක් විසින් ලබා දී තිබෙන මේ නියෝගය නිසා මේ වන විට අදාළ කෙටි කතාවට විශාල ප්‍රචාරයක් ලැබෙමින් පවතිනවා. මමනම් මේ ලේඛකයා ගැන දැන ගත්තෙත් මේ සිද්ධියෙන් පසුවයි. අදාළ කෙටිකතාව රසිකොලොජියේ හා තවත් තැන් වල සම්පූර්ණයෙන්ම පළ කර තිබෙනවා.

ශක්තික සත්කුමාර, "අර්ධ" සහ අඳ බාලයින්ට ගිය රට! - Free Shakthika Sathkuara immediately

ට්‍රාන්සිල්වේනියා වියුණුවට අනුව මේ උසාවි තීන්දුව ලබා දී තිබෙන්නේ ICCPR නම් පනත අනුවයි.

කෙටි කතාවක් ලිවීම නිසා ලේඛකයා රිමාන්ඩ්

මොකක්ද මේ ICCPR නම් පනත?

මේ කියන්නේ 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබද පනත ගැනයි. ඒ ගැන කතා කරන්න කලින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ගැන කතා කළ යුතුයි.

නමින්ම කියවෙන පරිදි මෙය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියක්. අදාළ සම්මුතිය කෙටුම්පත් කිරීමෙන් අනතුරුව 1966 දෙසැම්බර් 16 දින සාමාජික රටවල් වලට අත්සන් තැබීම පිණිස විවෘත කෙරුණු අතර 1976 මාර්තු 23 දින සිට ජාත්‍යන්තර සම්මුතියක් ලෙස බලාත්මක කෙරුණා. 1980 ජූනි 11 දින ශ්‍රී ලංකාවද මෙම සම්මුතියට අත්සන් තැබුවා.

ඉහත සම්මුතියට අත්සන් තබා ඇති රටවල් විසින් එම සම්මුතිය අදාළ රට තුළ ක්‍රියාත්මක කෙරෙන පරිදි නීති සම්පාදනය කළ යුතුයි. සම්මුතියට අත්සන් තබන විටත් ලංකාවේ නීති පද්ධතිය තුළ සම්මුතියේ බොහෝ කරුණු ආවරණය වුණා. 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබද පනත 2007 නොවැම්බර් 16 දින සම්මත කර ගැනුණේ එසේ ලංකාවේ නීතියෙන් නිසි පරිදි ආවරණය නොවූ දෑ ආවරණය කරගනු පිණිසයි.

මා හිතන ආකාරයට ශක්තික සත්කුමාරව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන්නේ අදාළ පණතේ තෙවන වගන්තියේ ප්‍රතිපාදන අනුව විය යුතුයි. එය මෙවැන්නක්.

3(1) කිසිම තැනැත්තෙකු විසින්, යුද්ධය පැතිරවීමට හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම් වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියා වලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම නොකළ යුතුය. 

(2) (1) වන උපවගන්තියේ සඳහන් වරදක්-
(අ) සිදු කිරීමට තැත්කරන;
(ආ) සිදු කිරීමට ආධාර හෝ අනුබල දෙන; හෝ 
(ඇ) සිදුකරන බවට තර්ජනය කරන,

සෑම තැනැත්තෙක්ම මේ පණත යටතේ වූ වරදකට වරදකරු වන්නේය.

මෙහි ඊළඟ උපවගන්ති අනුව, මහාධිකරණයක් විසින් මෙහි සඳහන් වරදකට වරදකරු කරන අයෙකුට බරපතල වැඩ ඇතිව දසවසරකට නොවැඩි සිර දඬුවම් ලබා දිය හැකියි. ඒ වගේම මෙය නීතිය අනුව ඇප දිය නොහැකි වරදක්. මහාධිකරණය විසින් අනෙක් නඩු කල් තබා මෙවැනි නඩුවක් වහාම විභාගයට ගත යුතු අතර නඩු විභාගය අවසන් වන තුරු කල් නොතබා දිගටම නඩුව ඇසිය යුතුයි.

ඉහත සඳහන් අදාළ පණතේ තෙවන වගන්තිය පාදක වෙන්නේ ජාත්‍යන්තර සම්මුතියේ 20වන වගන්තිය මතයි. එය මෙවැන්නක්.

Article 20

1. Any propaganda for war shall be prohibited by law.

2. Any advocacy of national, racial or religious hatred that constitutes incitement to discrimination, hostility or violence shall be prohibited by law.

20 වගන්තිය

1. යුද්ධය වෙනුවෙන් සිදු කෙරෙන ඕනෑම ප්‍රචාරණයක් නීතියෙන් තහනම් විය යුතුය.

2. වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම් වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියා වලට පොළඹවමින් ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය පැතිරවීම වෙනුවෙන් පෙනී සිටීම නීතියෙන් තහනම් විය යුතුය.

මේ අනුව ලංකාවේ පණතේ 3(1) වගන්තිය ජාත්‍යන්තර සම්මුතියේ 20 වගන්තිය සමඟ සෑහෙන තරමකින් ගැලපෙනවා. නමුත්, මෙහිදී ජාත්‍යන්තර සම්මුතියේ 19 වගන්තියේ සඳහන් කරුණු දෙසත් බැලීම වැදගත්.

Article 19

1. Everyone shall have the right to hold opinions without interference.

2. Everyone shall have the right to freedom of expression; this right shall include freedom to seek, receive and impart information and ideas of all kinds, regardless of frontiers, either orally, in writing or in print, in the form of art, or through any other media of his choice.

3. The exercise of the rights provided for in paragraph 2 of this article carries with it special duties and responsibilities. It may therefore be subject to certain restrictions, but these shall only be such as are provided by law and are necessary:

(a) For respect of the rights or reputations of others;

(b) For the protection of national security or of public order (ordre public), or of public health or morals.

ඉහත වගන්තියේ අරමුණ බාධාවකින් තොරව අදහස් පළ කිරීමේ අයිතිය තහවුරු කිරීමයි. එසේ වුවත් එම වගන්තියෙන්ම අදාළ නිදහස භුක්ති විඳීමේදී අමතක නොකළ යුතු සීමාවන් පිළිබඳවද සඳහන් වෙනවා. ඒ අනුව, කිසියම් අදහස් පළ කිරීමක් නිසා වෙනත් අයෙකුගේ අයිතිවාසිකම් වලට හෝ ගරුත්වයට හානි වන අවස්ථා වලදීත්, ජාතික ආරක්ෂාවට, රටේ නීතිය හා සාමයට හෝ මහජන සෞඛ්‍යට හානිකර වන විටකදීත් එසේ අදහස් පළ කිරීමේ නිදහස සීමා වෙනවා.

සම්මුතියේ 19 වන වගන්තියේ මූලික අරමුණ වන්නේ භාෂණයේ නිදහස තහවුරු කිරීම බව ඉතා පැහැදිලියි. මේ නිදහසේ සීමාවන් ගැන සඳහන් වන්නේ ව්‍යතිරේඛ ලෙසයි. 20 වන වගන්තියෙන් විස්තර කෙරෙන්නේ ඒ ව්‍යතිරේඛ පිළිබඳවයි. ලංකාවේ නීතියේ තිබෙන්නේ දළ වශයෙන් එකම කරුණු වුනත්, එහිදී භාෂණයේ නිදහස යන්නට ප්‍රමුඛතාවය දී ඉහත කී ව්‍යතිරේඛ තත්ත්වය ගැනද කියනවා වෙනුවට ව්‍යතිරේඛ වලට ප්‍රමුඛතාවයක් ලබා දී ඇති සෙයක් පෙනෙනවා. වෙනත් විදිහකින් කිවුවොත් ලංකාවේ නීතියේ මූලික කාර්ය භාරය අදාළ තත්ත්වයන් යටතේදී භාෂණයේ නිදහස සීමා කිරීම බවට පත්ව තිබෙනවා.

ශක්තික සත්කුමාර සිද්ධියේදී මහේත්ත්‍රාත් අධිකරණය විසින් ක්‍රියා කර ඇති ආකාරයේ නීතිමය වරදක් පෙනෙන්න නැහැ. මෙවැනි සංඥය වරදකට පොලීසිය විසින් යමෙක්ව අත් අඩංගුවට ගැනීමෙන් පසුව සැකකරුව මහාධිකරණයට ඉදිරිපත් කරන තුරු ඇප දීමේ හැකියාවක් නැති බව මගේ අදහසයි. නීතිය පොඩ්ඩක් ඉගෙනගෙන තිබුණත් මා නීතිඥයෙකු නෙමෙයි. මා වැරදි වෙන්න පුළුවන්.

ලංකාවේදී යමෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම කියන්නේම ලොකු දඬුවමක්. පෙනෙන විදිහට මේ වගේ චෝදනාවක් ඉදිරිපත් වූ අවස්ථාවකදී නීතිය අනුව සිදුවිය යුතු සාමාන්‍ය දෙය එයයි. මගේ අදහස අනුව මෙහි තිබෙන්නේ නීතියේ ප්‍රශ්නයක් මිස නීතිය ක්‍රියාත්මක වී ඇති ආකාරයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා මෙය ඉදිරියේදී තවත් මෙවැනි නඩු ගොනු වීමට පූර්වාදර්ශයක් සපයන්න පුළුවන්. එවැනි නඩු විවිධ පැති වලට කැරකෙන්න පුළුවන්. භාෂණයේ නිදහස පිළිබඳව වගේම ලංකාවේ දේශපාලනික තත්ත්වයන්ද සැලකූ විට එහි විශාල අනතුරක් තිබෙනවා.

Saturday, March 30, 2019

පොලීසියට රතු එළියක්!


පසුගිය 2018 අවුරුද්ද පටන් ගන්න වුනේම උසාවියෙන් කියා මා ඒ දවස් වල ලිවුවා. ඒ රතු එළිය නොතකා ධාවනය කිරීම පිළිබඳව චෝදනාවක් ලැබීමෙන් පසුව අදාළ පොලිස් නිලධාරියාගේ නිගමනයට අභියෝග කරන්නට මා තීරණය කළ නිසයි. ඒ තීරණයෙන් පාඩුවක් වුනේ නැහැ. අදාළ ලිපිය නොකියැවූ හා අමතක අය වෙනුවෙන් ලින්ක් එකක් පහත තියෙනවා.

දඩ කොළය සමඟ උසාවියට...

ලංකාවේදීත් එසේ පොලිස් නිලධාරියෙකුගේ දඩ කොළයකට අභියෝග කර ඇති අවස්ථාවක් ගැන අද දැනගන්නට ලැබුණා. මෙය සිදුව තිබෙන්නේ වසර හයකට පෙරයි. (මෙවැනි අවස්ථා තවත් ඕනෑ තරම් ඇති!)

මෙසේ පොලීසියට අභියෝග කර තිබෙන්නේ තලංගම කොස්වත්තේ රවීන්ද්‍ර ලසන්ත පතිනායක නම් අයෙක්. අදාළ මූලික අයිතිවාසිකම් නඩු තීන්දුවේ (SC. FR. No. 367/10) දළ සිංහල පරිවර්තනයක් පහත තිබෙනවා. මේ නඩු තීන්දුවේ සාරාංශයක්  සිංහලට පරිවර්තනය කර බෙදා හැර තිබුණේ නීතිඥ මාධව ලොකුසූරිය විසිනුයි. ඔහුට ස්තුති කරමින් ඔහුගේ පරිවර්තනය සුළු සංශෝධන සහිතව පහත පළ කෙරෙනවා.

රතු එළිය නොසලකා ධාවනය කිරීම නඩුවේ චෝදනා පත්‍රයට නිවැරදිකරු කී පෙත්සම්කරු නඩු විභාගයෙන් පසු ගරු අධිකරණය විසින් නිදොස්කොට නිදහස් කරන ලදී.

රවීන්ද්‍ර ලසන්ත පතිනායක එදිරිව පොලිස්පති ඇතුළු තවත් අය

අධිකරණය :- ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය

නඩු අංකය :- මූලික අයිතිවාසිකම් (FR 367/10)

විනිසුරු මණ්ඩලය :- ගරු ශිරාණි තිලකවර්ධන, ගරු ශ්‍රී පවන් සහ ගරු ඒකනායක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල

තීන්දුව ප්‍රකාශිත දිනය :- 03-05-2013

තීන්දුව කෙටියෙන්

මෙම නඩුවේ පෙත්සම්කරු වන රවීන්ද්‍ර ලසන්ත පතිනායක යන අය වර්ෂ 2010 මැයි 22 දින පෙරවරු 10:15ට පමණ WP-PA 5709 දරන සිය මෝටර් රථය කොල්ලුපිටියේ සිට ආනන්ද කුමාරස්වාමි මාවත ඔස්සේ හෝර්ටන් පෙදෙස දක්වා ධාවනය කරමින් සිටියේය. හෝර්ටන් පෙදෙස හතර මං හන්දියේදී රතු සංඥාව නිරීක්ෂණය වීමෙන් අනතුරුව ඔහු සිය වාහනය එහි නතර කළේය. එසේ සිය වාහනය නැවැත්වූ වහාම අදාළ මංසන්ධියේ රථවාහන හසුරුවමින් රාජකාරීයේ නිරතව සිටි කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල් දර්ශන (PC 38832) විසින් වාහනය දිගටම ඉදිරියට ධාවනය කරන සේ ලබාදුන් හස්ත සංඥාව අනුව රතු එළිය නොසලකා පෙත්සම්කරු සිය වාහනය ඉදිරියට ධාවනය කළේය. කොළඹ නගරයේ රථවාහන තදබදය වැඩි වූ අවස්ථාවක රථවාහන ආලෝක සංඥා නොසලකා එම ස්ථානයේ සිටින පොලිස් නිලධාරියාගේ සංඥා අනුව වාහන ධාවනය කිරීම සාමාන්‍ය සිදුවීමකි.

කෙසේ නමුත් රතු එළිය නොසලකා පොලිස් නිලධාරියාගේ අණකිරීම මත පෙත්සම්කරු සිය වාහනය ධාවනය කළද, මංසන්ධිය පසුකරනවාත් සමගම ඉදිරියේ වූ පොලිස් රථවාහන අංශයට අයත් සුදු පැහැති මෝටර් රථයක සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් පෙත්සම්කරුගේ වාහනය නවත්වා රතු එළිය නොතකා රථය ධාවනය කිරීම සම්බන්ධයෙන් චෝදනා කොට රියදුරු බලපත්‍රය අත්අඩංගුවට ගත්තේය. එම රථයේ සිටි පොලිස් නිලධාරින් දෙදෙනා එවකට කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ සාජන්ට් බණ්ඩාර (26433) සහ පොලිස් කොස්තාපල් තෙන්නකෝන් (30032) යන අයයි.

පෙත්සම්කරු මංසන්ධියේ සේවයේ නිරතව සිටි පොලිස් නිලධාරියාගේ අණකිරීම මත සිය වාහනය ධාවනය කල බව පෙර කී නිලධාරීන් වෙත ප්‍රකාශ කළද එය ඇසීමට මෙම නිලධාරින් දෙදෙනා කාරුණික නොවීය. එකී නිලධාරීන් දෙදෙනා විසින්  පෙත්සම්කරුගේ රියදුරු බලපත්‍රය අත් අඩංගුවට ගැනීමෙන් පසුව  වර්ෂ 2010-05-22 දින සිට 2010-06-01 දින දක්වා දින 11 ක කාලයකට පමණක් වලංගු තාවකාලික රියැදුරු බලපත්‍රයක් නිකුත් කළේය. උසාවි දිනය 2010-06-10 ලෙස එකී බලපත්‍රයේ සඳහන් වුවද, අදාල අධිකරණය පිළිබඳව දැනුම් දීමක් කර නොතිබුණේය. අදාළ දඩකොළය පොලිස් ස්ථානයෙන් ලබා ගෙන දඩය ගෙවන ලෙසට මේ පොලිස් නිලධාරීන් දෙදෙනා පෙත්සම්කරුට අණ කළේය.

පසු දින දඩ කොළය ලබා ගැනීමට කුරුඳුවත්ත පොලිස් ස්ථානයට ගිය පෙත්සම්කරු අදාළ දඩය නොගෙවා තමන්ට සිදුවූ අසාධාරණය හා අදාළ පහත කරුණු පිළිබඳව පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කළේය. එනම්,

1. පොලිස් නිලධාරියාගේ සංඥා මත වාහනය ඉදිරියට ධාවනය කිරීම,

2. තාවකාලික රියදුරු බලපත්‍රය දින 14 ක කාලයකට ලබා දිය යුතු වුවත්, දින 11 කට පමණක් ලබා දීම,

3. දින 11 ඉක්ම යාමෙන් පසුව අධිකරණ දිනය තෙක් සිය රථය ධාවනය කිරීමට නොහැකි වීම,

4. ඉහත 2 සහ 3 හේතු මත තාවකාලික රියදුරු බලපත්‍රය සංශෝධනය කර දෙන මෙන් ඉල්ලා සිටීම.

කෙසේ නමුත් පෙත්සම්කරුගේ අරමුණ ඉටු නොවීය.ඉන්පසු නියෝජ්‍ය පොලිස්පතිවරයා හමු විය. නමුත්, සාධාරණය ඉටු නොවීය. මේ අනුව, අධිකරණය වෙත ගොස් සහනයක් ඉල්ලා සිටීමට පෙත්සම්කරු තීරණය කළේය.

ඉන්පසුව, පෙත්සම්කරුට එරෙහිව කොළඹ රථවාහන අධිකරණයේ නඩු අංක 59586/7 යටතේ නඩු පවරන ලදී. නඩුවේ චෝදනා පත්‍රයට නිවැරදිකරු කී පෙත්සම්කරු නඩු විභාගයෙන් පසු ගරු අධිකරණය විසින් නිදොස්කොට නිදහස් කරන ලදී.

ඉහත කී නඩුව පවතින අතරතුර, පෙත්සම්කරු විසින් නීතිපතිවරයා, පොලිස්පතිවරයා සහ පෙර කී පොලිස් නිලධාරීන් වගඋත්තරකරුවන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) යටතේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරුවේය. මෙහිදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පහත කරුණු සලකා බැලීය.

1. තාවකාලික බලපත්‍රය මෝටර් රථ පනතේ 135(4) වගන්තියට පටහැනිව නිකුත් කොට තිබීම,

2. මහේස්ත්‍රාත් අධිකරණයේ ලබා දුන් සාක්ෂි වලට පටහැනි ලෙස මෙම නඩුවේ වගඋත්තරකරුවන් විසින් කරුණු ඉදිරිපත් කිරීම.

ඒ අනුව, මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව පෙත්සම්කරුගේ වාසියට ලබා දෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) අනුව්‍යවස්ථාවෙන් තහවුරුකොට ඇති නීතිය ඉදිරියේ සම රැකවරණය යන මූලික අයිතිය වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් කඩකොට ඇති බවට තීරණය කරමින් රුපියල් 175,000ක වන්දි මුදලක් වගඋත්තරකරුට ගෙවන ලෙසටත් එකී මුදල් අදාළ පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ගේ පෞද්ගලික මුදලින් ගෙවිය යුතු බවටත්, ඊට අමතරව රුපියල් 10,000ක නඩු ගාස්තුවක්ද ගෙවිය යුතු බවත් එකී සියලු මුදල් මාස තුනක් ඇතුළත ගෙවිය යුතු බවටත් නියෝග කෙරුණි.

Tuesday, March 26, 2019

ඇමරිකන් කුණු හා චීන කුණු


නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රශ්නය ආර්ථික සංවර්ධනයේ එක්තරා අදියරකදී රටකට මුහුණ දෙන්න සිදුවන ප්‍රශ්නයක්. ලෝකයේ ලොකුම ආර්ථිකය වූ ඇමරිකාව සෑහෙන කලක් තිස්සේ ලෝකයේ ලොකුම කුණු නිෂ්පාදකයාද වුනා. දැන් ඒ තැනට පත්ව ඉන්නේ අසල්වැසි ඉන්දියාවයි. ඇමරිකාව හා ඉන්දියාව වගේම චීනයත් ලෝකයේ විශාලතම කුණු නිෂ්පාදකයෙක්.

ආර්ථිකය ප්‍රසාරණය වීමට සාපේක්ෂව රටක නාගරික ඝන අපද්‍රව්‍ය නිෂ්පාදන පරිමාවත් ඉහළ යනවා. නමුත්, ඇමරිකාව දැන් ඉන්නේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් තවත් වැඩි වැඩියෙන් කුණු නිෂ්පාදනය කළ යුතු අදියර පහු කරලා. පසුගිය වසර ගණනාව මුළුල්ලේම ඇමරිකාවේ ඒක පුද්ගල කුණු නිෂ්පාදනය පහත ගොස් තිබෙනවා. නමුත්, චීනය, ඉන්දියාව වගේ රටවල සිදු වෙන්නේ එහි අනිත් පැත්තයි.

ඇමරිකාවේ පරිසර සංරක්ෂණ නියෝජිතායතනයේ දත්ත අනුව 2015 වසරේදී ඇමරිකාවේ නාගරික ඝන අපද්‍රව්‍ය නිෂ්පාදනය ටොන් මිලියන 262.4ක්. මේ කුණු වලින් ටොන් මිලියන 68ක් ප්‍රතිචක්‍රීකරණය කර තිබෙන අතර තවත් ටොන් මිලියන 23කින් කොම්පෝස්ට් පොහොර හදා තිබෙනවා. මේ අනුව, ඇමරිකාවේ කුණු වලින් ටොන් මිලියන 93ක් එනම් 34.7%ක් ප්‍රතිචක්‍රීකරණය කෙරී හෝ කොම්පෝස්ට් බවට පත් වී තිබෙනවා. ඉතිරි ප්‍රමාණයෙන් ටොන් මිලියන 33ක් (12.8%ක්) බලශක්තිය ජනනය කරමින් දහනය කර තිබෙන අතර ටොන් මිලියන 137ක් (52.5%ක්) සනීපාරක්ෂිත ලෙස වළලා දමා තිබෙනවා.

මෑතකාලීන ලෝක බැංකු වාර්තාවකට අනුව, ඇමරිකාව, ඉන්දියාව, චීනය හා ලංකාව යන රටවල 2016, 2030 හා 2050 වසර වලදී නිෂ්පාදනය කෙරෙනු ඇතැයි සැලකෙන නාගරික ඝන අපද්‍රව්‍ය ටොන් ගණන මෙහෙමයි.

ඇමරිකාව
2016: 263,726,732
2030: 311,039,297
2050: 359,887,136

චීනය
2016: 220,402,706
2030: 295,035,224
2050: 335,791,732

ඉන්දියාව
2016: 277,136,133
2030: 387,770,524
2050: 543,277,457

ශ්‍රී ලංකාව
2016: 2,581,444
2030: 3,168,447
2050: 3,746,891

චීනයේ කුණු වලින් 60.2%ක් වලලා දැමෙන අතර 29.8%ක් දහනය කෙරෙනවා. තවත් 8.2%ක් විවෘත තැන් වල ගොඩ ගසනවා. කොම්පෝස්ට් ලෙස නැවත ප්‍රයෝජනයට ගැනෙන්නේ කුණු වලින් 3%ක් පමණයි. ඉන්දියාවේ කුණු වලින් 77%ක්ම විවෘත තැන්වල ගොඩගසන නමුත් 18%කින් කොම්පෝස්ට් හදා 5%ක් ප්‍රතිචක්‍රීකරණය කරනවා. ලෝක බැංකුවේ සංඛ්‍යාලේඛණ වලට අනුව, ලංකාවේ කුණු වලින් 85%ක් විවෘත තැන්වල ගොඩගසන අතර 12.8%ක් ප්‍රතිචක්‍රීකරණය කෙරෙන බවත්, තවත් 5%කින් කොම්පෝස්ට් හදන බවත් පෙන්වන නමුත් මේ ප්‍රතිශත වල එකතුව 100% ඉක්මවන නිසා මෙහි කිසියම් වරදක් ඇති බව පෙනෙනවා.

සමහර අයගේ හිස් ඇතුළේ පුරවගෙන ඉන්න කුණු ප්‍රමාණය ඔය කොයි රටේ නිපදවන කුණු ප්‍රමාණයටත් වඩා වැඩියි. ඒ අය බොහෝ වෙලාවට ඒ කුණු විවෘත අවකාශයට මුදා හරිනවා. උඩින්ම පළ කර තිබෙන්නේ එවැනි අය වත්පොත හරහා ප්‍රචාරය කරන කාටූනයක්. මෙය පකිස්ථානය හෝ ඉන්දුනීසියාව වැනි රටක ජීවත් වන අයෙකුගේ පරිකල්පනයක් වෙන්න පුළුවන්.

කාටූනය අනුව කිසියම් පුද්ගලයෙකු පාර අතුගානවා. ඔහුව පෙන්වමින් ඇමරිකන් කාන්තාවක් තමන්ගේ දරුවාට මෙහෙම කියනවා.

"අර මෝඩ මනුස්සයා දිහා බලන්න. ඔයා හරියට ඉගෙන ගත්තේ නැත්නම් ඔයාටත් වෙන්නේ ඔය වගේ පාර අතුගාන්න"

නමුත්, සමාජවාදී රටක (පැරණි සෝවියට් දේශයේ) කාන්තාවක් තමන්ගේ දරුවාට මේ පුද්ගලයාව හඳුන්වා දෙන්නේ වෙනත් විදිහකටයි.

"අර සහෝදරයා දිහා බලන්න. ඔහු සමාජයට සේවයක් කරනවා. ඔහුගේ ශ්‍රමය නිසා අපේ සමාජය වඩා ලස්සන වෙනවා"

මේ කාටූනය ඇඳපු පුද්ගලයා ඇමරිකාව ගැන හරියට නොදන්නා බවනම් පැහැදිලියි. පළමුව, ඔය විදිහේ පාර අතුගාන පුද්ගලයින් ඇමරිකාවේ දකින්න නැහැ. දෙවනුව, තමන්ගේ දරුවන්ට ඔය වගේ කතාවක් කියන අම්මෙක් ඇමරිකාවේ හිටියොත් ඒ බොහෝ විට චීනය, ඉන්දියාව, ලංකාව වගේ ආසියාතික රටකින් සංක්‍රමණය වූ අයෙක්.

ඇමරිකාවේ පාරවල් ඔය විදිහට අතුගාන එක සාමාන්‍ය දෙයක් නෙමෙයි. සංක්‍රමණිකයින් බහුල ඇතැම් පැති හැරුණු විට සාමාන්‍යයෙන් මිනිස්සු පාරවල් වල කුණු දමන්නේ නැහැ. එක් එක් වීදියේ කුණු එකතු කරන නිශ්චිත සතියේ දවසක් තිබෙනවා. ඒ දවසට නිවැසියන් තමන්ගේ කුණු බක්කි පාර අයිනෙන් තියනවා. අනෙක් දවස් වලට කුණු බක්කි ප්‍රදර්ශනය කිරීමට අවසරයක් නැහැ. (එයත් ප්‍රදේශයේ නිවැසියන් විසින් තමන්ගේ කැමැත්තෙන් ඇති කරගෙන තිබෙන නියමයක් මිස ආණ්ඩුවෙන් නියම කර තිබෙන දෙයක් නෙමෙයි)

කුණු එකතු කරන ට්‍රක් රථ අදාළ දවසේ නියමිත වෙලාවට එනවා. ප්‍රතිචක්‍රීකරණය කළ යුතු කුණු එකතු කරන්නේ වෙනම රථයකින්. මේ කුණු එකතු කරන ට්‍රක් රථයක රියැදුරා කුණු බක්කිය ඔසොවා රථයට හලා ගන්නේ රියදුරු අසුනේ සිට පාලනය කළ හැකි යාන්ත්‍රික අතකින්. කුණු ටික හලා ගැනීමෙන් පසුව හිස් බක්කිය නැවත නිවස ඉරිදිපිට පාර අයිනෙන් තියන්නෙත් එලෙසමයි. නමුත්, ඇතැම් නිවැසියන් එසේ යාන්ත්‍රික අතින් අල්ලා ගත හැකි සීමාවේ කුණු බක්කිය නොතබන වෙලාවල් තිබෙනවා.ඒ වගේ වෙලාවට, එහෙමත් නැත්නම් වෙනත් ලොකු කාඩ්බෝඩ් පෙට්ටියක් වැනි විශේෂ යමක් (උදාහරණයක් ලෙස රූපවාහිණී යන්ත්‍ර අසුරනයක්) කුණු බක්කිය සමඟ අපද්‍රව්‍යයක් සේ බැහැර කර ඇති විට රියදුරු සහායකයාට එය ට්‍රක් රථයට දමාගන්න සිදුවෙනවා.

කොහොම වුනත්, ඇමරිකාවේදී මේ කුණු එකතු කරන්නන්ගේ ජීවිත තුන්වන ලෝකයේ රටකදී මෙන් දුක්ඛිත නැහැ. වෙළඳපොළ ආර්ථිකයක් ඇති රටක සමාජයට සේවය කරන සියල්ලන්ටම තමන් කරන සේවයේ නියම මිල වැටුප් සේ ලැබෙන නිසා ඔවුන් සේවයක් කරන බව අමුතුවෙන් ඇඟිල්ල දිගු කර පෙන්වන්න අවශ්‍ය නැහැ. එසේ කිරීම අවශ්‍ය වන්නේ සමාජයට සේවය කරනවා කියන බොරු ලේබලය අලවා අඩු වැටුපකට මිනිහෙක් කරන්න අකැමැති දෙයක් කරගන්නා අවස්ථා වලදීයි. ඇමරිකන් ආණ්ඩුව ඇතුළු ආණ්ඩු විසින් රණවිරු ලේබලය අලවා තරුණයන් යුද්ධයට යවා කරන්නේත් ඔය වගේ දෙයක්.

මොලිනා හා ශංකර් කියන්නේ නිවුයෝර්ක් නගරයේ කුණු එකතු කරන්නන් දෙන්නෙක්. මොලිනා කුණු ට්‍රක්රථයේ රියැදුරා. ගයනාවේ සිට පැමිණි සංක්‍රමණිකයෙක් වන ශංකර් රියදුරු සහායකයා. උසස්පෙළ අසමතුන් වන මේ දෙන්නාටම මේ වගේ රැකියා තෝරා ගන්න සිදු වී තිබෙන්නේ වඩා හොඳ රැකියාවක් කිරීමට තරම් අධ්‍යාපනයක් ඔවුන් විසින් ලබා නොතිබීම නිසා බව ඇත්තක්. එහෙත්, ඔවුන් වසර දහයක පමණ කාලයක් තිස්සේ ඉතා කැමැත්තෙන් මේ රැකියාවේ නිරතව ඉන්නේ මේ රැකියාවෙන් ඔවුන්ට සැලකිය යුතු තරම් ඉහළ වැටුපක් ලැබෙන නිසයි. මොලිනාගේ වාර්ෂික වැටුප ඇමරිකන් ඩොලර් 112,000ක්. ශංකර්ගේ වැටුප ඩොලර් 100,000ක්. රුපියල් වලින්නම් මාසයකට ලක්ෂ 15කට වැඩියි.

හැම කුණු එකතු කරන්නාටම මොලිනාට හා ශංකර්ට තරම් ලොකු වැටුප් නොලැබෙන බව කාට හරි කියන්න පුළුවන්. ඇත්ත. ඇමරිකාවේ කම්කරු සංඛ්‍යාලේඛණ කාර්යාංශයේ දත්ත අනුව කුණු එකතු කරන්නෙකුගේ මධ්‍යස්ථ වාර්ෂික වැටුප ඇමරිකන් ඩොලර් 36,160ක්. මොලිනාගේ හා ශංකර්ගේ වැටුප් වලට වඩා අඩු වුනත් මාසයකට රුපියල් ලක්ෂ හයකට කිට්ටු වැටුපක්. මේ වැටුප ඇමරිකාවේ හැටියට වුනත් නරකම නැහැ. වඩා වැඩි අධ්‍යාපනයක් ලබා තිබෙන පාසැලක ගුරු සහායකයෙකුගේ මධ්‍යස්ථ වාර්ෂික වැටුප ඩොලර් 26,260ක් පමණයි.

ඇමරිකාවේදී කුණු එකතු කරන්නෙකු ඔහුගේ හෝ ඇයගේ රැකියාව මත පදනම්ව පහත් කොට සලකන්නේ නැහැ. එසේ වුවත්, කුණු එකතු කිරීම ජනප්‍රිය රැකියාවක් නෙමෙයි.

වෙළඳපොළ ආර්ථිකයක් ඇති රටක වැටුප් තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මතයි. එසේ නැතුව ආණ්ඩුවෙන් වැටුප් තීරණය කරන්නේ නැහැ. කුණු එකතු කිරීම රැකියාවක් ලෙස ජනප්‍රිය නොවන තරමට ඒ රැකියාවට තිබෙන ඉල්ලුම අඩු වෙනවා. එවිට ස්වභාවික ලෙසම වැටුප් ඉහළ යනවා. ඇමරිකාවේ කුණු එකතු කරන්නන්ගේ වැටුප් ගුරු සහායකයින්ගේ වැටුප් වලට වඩා ඉහළින් තිබෙන්නේ ඒ නිසයි. ගුරු සහායකයින්ට තමන්ට වැඩි අධ්‍යාපන සුදුසුකම් ඇති නිසා කුණු එකතු කරන්නන්ට වඩා වැඩි වැටුප් හිමි විය යුතු බව කියමින් වර්ජනය කරන්න බැහැ. එසේ වර්ජනය කළොත් ගුරු සහායකයින් සේ සේවය කරන්න කැමති තවත් අය ඕනෑ තරම් රටේ ඉන්නවා. ධනවාදී රටක කිසියම් පුද්ගලයෙකු යම් රැකියාවක් හරහා සමාජයට කරන සේවය ඔහු හෝ ඇය විසින් ලබන වැටුපට සමානයි. අඩුත් නැහැ. වැඩිත් නැහැ.

දැන් අපි හිතමු අර උඩ කාටුන් එකේ වගේ කුණු එකතු කරන්නන් දිහා ඇමරිකන් සමාජය ගොඩක් නිශේධනාත්මක ලෙස බලන්න පටන් ගත්තා කියා. එහි ප්‍රතිඵලය වන්නේ මේ රැකියාවට තිබෙන ඉල්ලුම තවත් පහළ ගොස් රැකියාව කරන අයගේ වැටුප් තවත් ඉහළ යන එකයි. එවිට, ඒ මිල ගෙවන්න වෙන්නේ කුණු බැහැර කරන්න අවශ්‍ය පාරිභෝගිකයින් වන අපටයි. සල්ලි ගෙවා නරක ආකල්ප නඩත්තු කරන්න කාටවත් අවශ්‍ය නැහැ. ඒ වගේම කුණු එකතු කරන්නන්ගේ වැටුප් ඉහළ යන තරමට මේ කටයුත්ත සඳහා තාක්ෂනය යොදා ගැනීම වඩා ලාභදායක වෙනවා. තාක්ෂනය යොදා ගැනීම වැඩි වන තරමට කුණු එකතු කරන්නන්ගේ රැකියාව වඩා පහසු වී රැකියාවට තිබෙන ඉල්ලුම ඉහළ යනවා. කුණු එකතු කරන ට්‍රක් රථ වලට යාන්ත්‍රික අත් එකතු වී තිබෙන්නේ ඒ විදිහටයි.

මේ සියල්ලම වෙළඳපොළ යාන්ත්‍රණය තුල ස්වභාවිකවම සිදු වන දේවල්. එහෙම නැතුව ඇමරිකාවේ පාලකයින් ලංකාවේ පාලකයින්ට වඩා දක්ෂ සැලසුම්කරුවන් වන නිසා සිදුව ඇති දේවල් නෙමෙයි. වෙළඳපොළ යාන්ත්‍රණයට ඉඩ දී ආණ්ඩුව ජනජීවිතයට මැදිහත් වීමෙන් ඉවත් වන තරමට රටේ කාගේත් ජනජීවිතය වඩා යහපත් වෙනවා. තමන්ගේ ඔළු වල ටොන් ගණන් කුණු පුරවාගෙන තැන් තැන් වල ඒ කුණු හලමින් යන අය හිතන්නේ වැරැද්ද දැන් ඉන්න හෝ හිටපු පාලකයින්ගේ නිසා ආණ්ඩුවේ ඔළු වෙනස් කර රටක් සුඛිත මුදිත කළ හැකි බවයි. අනෙක් අයට කරදරයක් නොවන තාක්, කුණු ඔළුවේ පුරවාගෙන ජීවත් වෙන්න කැමති අයගේ ඒ අයිතියටත් අප ගරු කරනවා.

Sunday, March 24, 2019

2018 ආර්ථික වර්ධනය 3.2%ට බසී!


පසුගිය වසරේ ලංකාවේ ආර්ථික වර්ධනය පිළිබඳ සංඛ්‍යාලේඛණ ඇතුළත් ජාතික ගිණුම් ඇස්තමේන්තු ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. වසර තුළ ආර්ථිකය වර්ධනය වී තිබෙන්නේ 3.2%කින් පමණයි.

මෙය ඉතා පහළ වර්ධන වේගයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. 1977න් පසු මේ මට්ටමට වඩා අඩු ආර්ථික වර්ධන වේගයක් දකින්න ලැබුණේ කටුනායක එල්ටීටීඊ ප්‍රහාරය හේතුවෙන් ආර්ථිකය අකර්මන්‍ය වූ 2001දී හා ජවිපෙ/දේජව්‍යා විසින් රටේ ආර්ථික කටයුතු අඩපණ කළ 1987-89 වසර තුනේදී පමණයි.

වත්මන් ආණ්ඩුව ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට අසමත්ව සිටින බව මේ වන විට ඉතා පැහැදිලි කරුණක්. 2014දී 5%කින් වර්ධනය වූ ලංකාවේ ආර්ථිකය ඉන් පසු වසර වලදී වර්ධනය වී තිබෙන්නේ මෙලෙසයි.

2015 - 5%
2016- 4.5%
2017- 3.4%
2018- 3.2%

ප්‍රවණතාව තිබෙන්නේ කොයි දිශාවටද කියන එක බැලූ බැල්මටම පෙනෙනවා. සාමාන්‍යයක් ලෙස පසුගිය 205-2018 වසර හතර ඇතුළත ලංකාවේ ආර්ථික වර්ධන වේගය 4%ක් පමණයි. මේ වසරේදී තත්ත්වයේ ලොකු වෙනසක් සිදුවෙයි කියා හිතන්න අමාරුයි.

රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි 2002-2004 කාලයද ඇතුළත්ව, නිදහසින් පසු ලංකාවේ අගමැතිව සිටි කිසිදු එජාප අගමැතිවරයෙකුගේ කාලයේදී හෝ 1977න් පසු අගමැතිව සිටි එජාප නොවන අගමැතිවරයෙකුගේ ධුර කාලය තුළ ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 4% මට්ටමට වඩා අඩු වී නැහැ. එවැනි අඩු ආර්ථික වර්ධනයක් පැවතී තිබෙන්නේ සමාජවාදී ප්‍රතිපත්ති වලට වඩා බරවූ 1956-64 හා 1970-77 බණ්ඩාරනායක යුග වලදී පමණයි.

ආර්ථිකය අවශ්‍ය මට්ටමට වඩා ප්‍රසාරණය වී ඇති අවස්ථාවක ආර්ථික වර්ධනය යම් තරමකින් මන්දගාමී වී ආර්ථිකය එහි විභව මට්ටම කරා පැමිණීම ස්වභාවික දෙයක් වනවා මෙන්ම හැමවිටම නරක දෙයක් නෙමෙයි. නමුත්, ලංකාවේ තත්ත්වය තවදුරටත් එවැනි තත්ත්වයක් පමණක් සේ හඳුනාගත නොහැකියි.

මහින්ද රාජපක්ෂ කාලයේ පැවති සාපේක්ෂව ඉහළ ආර්ථික වර්ධනයට රජය මූලිකව සිදුකළ ඉදිකිරීම් වලින් විශාල දායකත්වයක් ලැබුණා. ඒ ඉදිකිරීම් කළේ ණය ගනිමිනුයි. එම ආණ්ඩුවේ උපාය මාර්ගය වූයේ විදේශ ණය ගනිමින් රාජ්‍ය ආයෝජන ඉහළ මට්ටමක පවත්වා ගැනීම මගින් ආර්ථික වර්ධනය වේගවත් කිරීමයි. මෙය මුලින්ම ජේආර් ජයවර්ධනගේ ආර්ථික උපාය මාර්ගයද වූ අතර ජේආර්ගේ ආණ්ඩුව එහි පල නෙලාගත්තා. කෙසේ වුවත්, මේ ආර්ථික උපාය මාර්ගයේ ප්‍රතිඵලයක් ලෙස ලංකාව ණය උගුලක පැටළුනා.

රනිල් වික්‍රමසිංහගේ ප්‍රමුඛතාවය වුනේ ආර්ථික වර්ධනය වේගවත් කිරීමට කලින් රටේ ආර්ථිකයේ මූලික ආකෘතිමය ප්‍රශ්න වලට විසඳුම් හෙවීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සැලසුම් හදන විට කරන්නේත් එයයි. රනිල් අගමැති වීමෙන් අනතුරුව ප්‍රධාන වශයෙන්ම බදු වැඩි කිරීම් හා රාජ්‍ය ආයෝජන සීමා කිරීම මගින් රජයේ අයවැයෙහි අසමතුලිතතා අඩු කරගැනීමට උත්සාහ දැරුවා. ඒ වගේම ගෙවුම් ශේෂ ප්‍රශ්නයට විසඳුමක් ලෙස විණිමය අනුපාතිකය යම් තරමකට නිවැරදි වෙන්න ඉඩ හැරියා.

කෙසේ වුවත්, මේ කරුණු දෙකේදීම ආණ්ඩුව අවශ්‍ය තරම් දුර යාමට පැකිළුණු නිසා හෝ ආණ්ඩුව ඇතුළේ පැවති අර්බුද හා රටේ දේශපාලනික වාතාවරණය හමුවේ අවශ්‍ය දුර යා නොහැකි වූ නිසා මේ ක්‍රියාමාර්ග හරහා කැපී පෙනෙන වෙනසක් දැකීමට පුළුවන් වී නැහැ. ඒ වගේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කරන ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග වලට අමතරව දිගුකාලීන ආර්ථික සංවර්ධනයට හේතු වන සුවිශේෂී සැලසුම් කිසිවක් පසුගිය කාලය තුළ දකින්න ලැබුණේ නැහැ.

රනිල් ඇතුළු එජාප ආණ්ඩුවේ දිගුකාලීන ආර්ථික ප්‍රතිපත්තිය පසුගිය වසර හතර ඇතුළත අනුගමනය කළ ප්‍රතිපත්තියම බව පැහැදිලියි. එමඟින් ලොකු ආර්ථික වර්ධනයක් නැතිව, ආර්ථිකය කඩා වැටෙන්නෙත් නැතුව කලක් ඔහේ ඇදගෙන යන්න පුළුවන්. ක්‍රිකට් ක්‍රීඩාවේදී පන්දුවට පහර නොදී ලෑල්ල දමමින් ඉන්නවා වගේ වැඩක්.

ඊට සාපේක්ෂව මහින්ද වටා සිටින ආර්ථික උපදේශකයින් තවමත් රාජ්‍ය ආයෝජන ඉහළ නැංවීම වෙනුවෙන් පෙනී සිටින බවක් පෙනෙනවා. එය කරන්න වෙන්නේ දිගින් දිගටම තවත් විදේශ ණය ගැනීම හරහා පමණයි. මේ වන විට ලබාගෙන තිබෙන විදේශ ණය ආපසු ගෙවීමද දිනෙන් දින වඩ වඩා අභියෝගාත්මක වන පසුබිමක ඒ ආර්ථික උපාය මාර්ගය දිගුකාලීනව ඉතා අවදානම් සහගත එකක්. එහෙත්, එමඟින් කෙටිකාලීනව ආර්ථිකය ප්‍රසාරණය කරන්න වගේම විණිමය අනුපාතිකය කෘතිමව පහළින් තබාගන්නත් පුළුවන්. මේ විදිහට සීමාවෙන් ඉදිරියට පැන පහර දී ගොඩයන්න යම් ඉඩක් තිබුණත්, ඉක්මණින් විකට් ගැලවෙන්න තිබෙන ඉඩ ඊට වඩා වැඩියි.

ලංකාව හමුවේ තිබෙන මහින්ද කණ්ඩායමේ හා රනිල් කණ්ඩායමේ ආර්ථික උපාය මාර්ග දෙකම ප්‍රශ්නයෙන් ගොඩ යන්න (හෝ නොයන්න) තිබෙන විකල්ප දෙකක්. මේ උපාය මාර්ග වල ප්‍රතිඵල හරියටම දැනගන්න ලැබෙන්නේ ක්‍රියාත්මක කර වසර ගණනාවකට පසුවයි. මේ දෙමග හැර වඩා හොඳ තෙවන මගක් නැද්ද? ඉහත කණ්ඩායම් දෙක හැර වෙනත් කිසිවෙකුට ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගෙනයාම පිළිබඳව ප්‍රායෝගික සැලසුමක් ඇති බවක් දැනටනම් පෙනෙන්නට නැහැ.

Monday, March 18, 2019

අපේ කුණු...


හැමදාම නැතත් ගොඩක් දවස් වලට අපේ ගෙදර ලංකාවේ කෑම මොනවා හෝ හදනවා. සමහර අය හිතන විදිහටනම් මේක පසුගාමී වැඩක්. ලංකාවේ ඇතැම් අය හිතන්නේ එහෙම වුනත්, පරිප්පුයි බතුයි වගේ පසුගාමී කෑම වේලක් හදල දුන්නහම ගොඩක් සුද්දෝ වුනත් බොහොම ආසාවෙනුයි කන්නේ.

ලංකාවේ කෑම හදන්න පොල් නැතුවම බෑනේ. අපි සාමාන්‍යයෙන් මිල දී ගන්නේ පොල් කිරි ටින්. මැල්ලුම් සම්බෝල වගේ වගේ දේවල් හදන්න ගාපු පොල් පැකට් මිල දී ගන්නවා. බොහෝ විට මේවා එන්නේ තායිලන්තය වියට්නාමය වගේ රටවල් වලින්.

මේක අවුරුද්දකට දෙකකට කලින් සිදු වුනු සිද්ධියක්. ශ්‍රී ලාංකික සම්භවයක් තිබෙන මිතුරියක් අපේ ගෙදර ඇවිත්. ඈ පැමිණ සිටින නිසා අපේ ගෘහමූලිකාව බතක් එළවළුවක් හදන්න පටන් අරන්. පොල් කිරි ටින් එකක් කඩා හට්ටියට දැම්මට පස්සේ ඈ හිස් ටින් එක සෝදනවා.

"ඇයි අනේ ඔයා ඔය ටින් එක හෝදන්නේ. මොකක් හරි වැඩකට ගන්නද?"

අපේ නිවසට පැමිණි අමුත්තිය අහනවා.

මේ ප්‍රශ්නය මීටත් වසර කිහිපයකට කලින් වෙනත් නිවසකදී අපිත් අහපු ප්‍රශ්නයක්. ඒ අපේ මස්සිනාගේ නිවසේදී. ඔහු ඇමරිකාවේ ජීවත් වන්නේ අප මෙහි එන්න අවුරුදු ගණනකට පෙර සිටයි. සාමාන්‍යයෙන් ලංකාවේ කෑම හදන්නේ නැති වුනත් එදා අප එහි ගිය නිසා ඔවුන් ලංකාවේ කෑම හදන්න පටන් ගත්තා. හිස් පොල් කිරි ටින් එක හෝදන්නේ ඇයි කියන ප්‍රශ්නය අපට මතු වුනේ ඒ වෙලාවෙදියි.

එදා ඔහු හිස් පොල් කිරි ටින් එක හේදුවේත්, දැන් අපි ඔහුව අනුගමනය කරමින් ඒ දෙයම කරන්නේත් ටින් එකෙන් විශේෂ වැඩක් ගන්න නෙමෙයි. එය කුණු බක්කියට දමන්නයි. ටින් වැනි ලෝහ වර්ග දමන ප්‍රතිචක්‍රීකරනය සඳහා යන කුණු බක්කියට ආහාර කොටස් එක්ක හිස් ටින් එක දමන එක සුදුසු නැති නිසයි අප ඒ වැඩේ කරන්නේ.

මස්සිනා හිස් ටින් එකක් හෝදනවා දැකපු දවස් වල අපේ ගෙදර කුණු බක්කි කිහිපයක් තිබුණේ නැහැ. හැම කුණක්ම දාන්න තිබුණේ එකම එක කුණු බක්කියක් පමණයි. ඒ නිසා, ඒ දවස් වල අප ඒ දෙයම කරන එකේ තේරුමක් තිබුණේ නැහැ. නමුත්, පසුව අපිත් වෙන වෙනම කුණු බක්කි කිහිපයක් ඇණවුම් කළා.

දැන් අපේ ගෙදර "සාමාන්‍ය" කලවම් කුණු දමන බක්කිය පිරෙන්නේම නැති තරම්. ගෙදර එකතු වන කුණු වලින් විශාල ප්‍රමාණයක් කාඩ්බෝඩ් හෝ කඩදාසි, ටින් වැනි ලෝහ, වීදුරු බෝතල්, ප්ලාස්ටික් යන කැටගරි හතරෙන් එකකට වැටෙන ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කුණු. බක්කියේ ඉඩ මදි වෙන්නේ මේ ප්‍රතිචක්‍රීකරණය කළ අපද්‍රව්‍ය දමන්නයි. මුලින් වුනේ එහි අනිත් පැත්තයි. ආහාර අපද්‍රව්‍ය කොම්පෝස්ට් කරන්න පටන් ගත්තට පස්සේ කලවම් කුණු බක්කියට කලින් වැටුණු කුණුත් නැතුව ගිහින්.

සමහර අය හිතා ඉන්නවා වගේ කුණු කියන්නේ සම්පතක් නෙමෙයි. කුණු කුණුම තමයි. උඩින් ලියපු දේවල් ඇතුළු බොහෝ දේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වුවත් අනුන්ගේ කුණු එකතු කරගෙන ගිහින් ප්‍රතිචක්‍රීකරණය කර විකිණීමෙන් ලාබයක් ලැබිය හැකියි කියා මා හිතන්නේ නැහැ. ඒ නිසා කුණු ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වියදමෙන් කොටසක් තමන්ගේ කුණු බැහැර කරන්න අවශ්‍ය කුණු වල අයිතිකාරයින්ටත් ගෙවන්නම වෙනවා.

අපේ ගෙදර එකතු වන කුණු වෙනුවෙන් අප ගෙවිය යුතු මිල තීරණය වෙන්නේ අප විසින් තෝරා ගන්නා කුණු බක්කි ගණන හා ඒවායේ ප්‍රමාණය මතයි. කුණු ඔක්කොම එකම බක්කියකට දමනවානම් ගෙවන්න වෙන්නේ අඩු මිලක්. විවිධ වර්ග වල කුණු වෙනුවෙන් බක්කි කිහිපයක් නඩත්තු කරන්න වැඩි මිලක් ගෙවන්න වෙනවා. නමුත්, අප වගේම තවත් බොහෝ දෙනෙක් කැමැත්තෙන්ම ඒ මිල ගෙවනවා. ඒ නිසා, අපේ කුණු වලින් විශාල ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය වෙනවා. සෞඛ්‍යාරක්ෂිත ලෙස වළලා දමනු ලැබෙන්නේ මෙසේ ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ඉතුරු කුණු ප්‍රමාණය පමණයි.

මුල් කාලයේ අප මෙසේ කුණු බක්කි කිහිපයක් නඩත්තු කළේ නැහැ. එයට එක් හේතුවක් වුනේ ඒ දවස් වල අපේ ආදායම් මට්ටම අනුව කුණු වෙනුවෙන් ලොකු මිලක් ගෙවන්න පුළුවන් කමක් නොතිබීමයි. මිනිස්සුන්ගේ ආදායම් ඉහළ ගොස් මූලික අවශ්‍යතා සපුරා ගැනීම අභියෝගයක් නොවන තැනට ආවහම අනෙක් මිනිස්සු ගැනත්, පරිසරය ගැනත් හිතන්න පුළුවන්කමක් ලැබෙනවා. පණ ගැට ගහ ගැනීම අභියෝගයක් වී තිබියදී ඔය වගේ දේවල් ගැන හිතන්න අමාරුයි.

කුණු බැහැර කිරීමේ මිල ගෙවිය යුත්තේ කුණු නිපදවන අයයි. එය වෙනත් අයෙකු මත පටවා ඇඟ බේරා ගැනීම සාධාරණ දෙයක් නෙමෙයි. තමන්ගේ කුණු බැහැර කිරීමේ මිල ස්වකැමැත්තෙන් තමන් විසින්ම ගෙවන තැන දක්වා සමාජයක් එක වර පරිණත වෙන්නේ නැහැ. මුදලින් ගෙවන මිල වගේම උඩින්ම ලියූ පරිදි හිස් පොල් කිරි ටින් එක හෝදන්න යොදවන ශ්‍රමයත් මේ මිලේ කොටසක්. අප මෙය අපේ මස්සිනාගෙන් ඉගෙන ගත්තාක් මෙන් ඔහු තවත් කාගෙන් හෝ ඉගෙන ගන්න ඇති.

ලංකාවේ කුණු ප්‍රශ්නය කාලයක් තිස්සෙම තිබෙන එකක්. මේ ප්‍රශ්නය රට නාගරීකරණය වීමත් එක්ක ක්‍රමයෙන් ඇති වූ ප්‍රශ්නයක්. අනුන්ගේ වත්තකට හෝ පාරට කුණු දමන තැනක ඉඳලා කුණු වර්ග කර බැහැර කරන හා එහි මිල ගෙවන තැන දක්වා එකවර වෙනස් වෙන්න බැහැ.

දෙවසරකට පෙර සිංහල අවුරුදු සමය ගෙවුනේ විශාල ඛේදවාචකයක් එක්කයි. කුණු කන්දකට යට වී මිනිස්සුන්ට මිය යන්න සිදුවුණු එකම රට ලංකාව නොවුනත් එවැනි දෙයක් වුනු එකෙන් ප්‍රතිපත්ති සම්පාදනයේදී කොහේ හෝ විශාල වැරැද්දක් සිදුව තිබෙන බව පැහැදිලිව පෙනෙනවා.

කොළඹ කුණු කියන්නේ ලංකාවේ කාලයක් තිස්සේ පැවතුණු විශාල ප්‍රශ්නයක්. මේ කුණු කලවම් කුණු. ඇමරිකාවේදී හෝ වෙනත් ඕනෑම දියුණු රටකදී වුවත් මෙවැනි කලවම් කුණු සනීපාරක්ෂිතව වළලා දමනු හැර වෙන කළ හැකි දෙයක් නැහැ. ඇමරිකාවේ තරම් හිස් බිම් නැති ලංකාව වගේ රටක කුණු ප්‍රශ්නය ගොඩක්ම සංකීර්ණයි.

මීතොටමුල්ල ඛේදවාචකය සිදු වූ දවස් වල බොහෝ දෙනෙක් ඒ ගැන කතා කළා. නමුත්, ලංකාවේ සාමාන්‍ය ක්‍රමය සිද්ධියක් සිදු වී කලක් යද්දී එය කාටත් අමතක වී යාමයි. කුණු ප්‍රතිචක්‍රීකරණය කොහොම වෙතත් කුණු ප්‍රශ්නය ඇතුළු ලංකාවේ සමාජයීය ප්‍රශ්න ප්‍රතිචක්‍රීකරණය කරන එකනම් බොහොම සාමාන්‍ය දෙයක්.

මේ චක්‍රය බිඳ දමමින් කුණු වගේම කුණු ප්‍රශ්නයත් සනීපාරක්ෂිතව වළලා දමන්න උත්සාහයක් ගැනෙමින් තිබීම සතුටට කරුණක්. කවුරු කළත් හොඳ දේ අගය කළ යුතුයි.

Monday, March 11, 2019

ලංකාවේ ෆෝර්බ්ස් බිලියනපතියන් නැද්ද?


ඊයේ ලිපියෙන් මා කතා කළේත් ජෙෆ් බෙසෝස් ගැනයි. මෙහිදී ජෙෆ් බෙසෝස් සුවිශේෂී වන්නේ ඔහු ලෝකයේ ලොකුම ධනවතාව සිටින නිසා නෙමෙයි. ඔහු ලෝකයේ ලොකුම ධනවතා වී සිටින ආකාරය නිසයි. මා පෙන්වා දෙන කරුණ හා අදාළව, ඇමරිකාවේ ලොකුම ධනවතුන් බොහෝ දෙනෙක් ජෙෆ්ගේ ගොඩට දමන්න පුළුවන්.

ලෝකයේ ජීවත්වන ධනවතුන් සේ හඳුනාගත හැකි අයගෙන් කොටසක් එසේ ධනවතුන්ව සිටින්නේ ඔවුන් ධනවතුන්ගේ දරුවන්ව ඉපදී උරුමයෙන් ධනවතුන් වූ නිසයි. ඒ ආකාරයට උපතින් විශාල ප්‍රාග්ධනයකට උරුමකම් කී අයෙකුට තෝරා ගත හැකි මාර්ග තුනක් තිබෙනවා.

කොයි තරම් විශාල ධනයක් වුවත් පරිභෝජනය කර කෙටි කලකින් විනාශ කර දැමිය හැකි නාස්තිකාර පුතුන් ඉන්නවා. යමෙක් හත්මුතු පරම්පරාවකට සෑහෙන ධනයක් එකතු කර දරුවන්ට උරුම කළත් අවුරුදු කිහිපයකින් ඒ ධනය මුළුමනින්ම විනාශ කරගෙන හිඟමනට වැටුණු අය ගැන බොහෝ දෙනෙක් අසා ඇති. පැරණි ආගමික සාහිත්‍යයේ වුවත් ඒ වගේ අය ගැන අහන්න ලැබෙනවා.

දෙවන ක්‍රමය වන්නේ ඒ ධනය නාස්ති නොකර ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ දිගටම ලබා ගැනීමයි. එසේ කරන අයෙකුට, තමන්ගේ වාසනාවට උරුම වූ ධනය එලෙසම තබා ගනිමින් දිගින් දිගටම ආදායම් ඉපදවිය හැකියි. ඒ සඳහා සුවිශේෂී දක්ෂතාවයක් හෝ මහන්සියක් අවශ්‍ය වන්නේ නැහැ.

තුන්වන ආකාරය එසේ ලැබුණු ධනය තමන්ගේ දක්ෂතාවයෙන් හා මහන්සියෙන් විශාල ලෙස වර්ධනය කර ගැනීමයි.

උරුමයෙන් විශාල ප්‍රාග්ධනයකට හිමිකම් කී ඇතැම් අයගේ දරුවන් නාස්තිකාර පුතුන් වුවත් බොහෝ දෙනෙක් එවැන්නන් නෙමෙයි. ඒ වගේම, බොහෝ විට සුවිශේෂී ව්‍යවසායකත්වයක් තිබුණු කෙනෙකුගේ දරුවකු එවැනිම ව්‍යවසායකයෙකු වෙන්නේ නැහැ. බිංදුවෙන් පටන්ගෙන ඩොලර් බිලියනපතියෙකු විය හැකි අය ඉන්නේ ජනගහණයේ මිලියනයකට එක්කෙනෙක් දෙන්නෙක් පමණයි. එවැන්නෙකුගේ දරුවෙකුත් එවැන්නෙකුම වෙන්න විශාල ඉඩක් නැහැ.

උරුමයෙන් ධනවතුන් වූ බොහෝ දෙනෙක් කරන්නේ ඒ ධනය නාස්ති නොකර ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ දිගටම ලබා ගැනීමයි. ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභ තරම් විශාල නැහැ. ඒ නිසා, එවැන්නෙකුගේ ධනය වර්ධනය වන්නේ අඩු වේගයකින්. ඒ වගේම බොහෝ විට ධනවතෙකු මිය ගිය විට ඔහුගේ හෝ ඇයගේ ධනය කිහිප දෙනෙකු අතර බෙදී යනවා. ඒ නිසා, උරුමයෙන් ධනවතුන් වූ අයත් ධනවතුන් ලැයිස්තුවක සිටින නමුත් ව්‍යවසායකත්වය මත ධනවතුන් වන අය ඔවුන් පසු කර ක්‍රමයෙන් ලැයිස්තුවේ උඩට එනවා.

ජෙෆ් බෙසෝස්, බිල් ගේට්ස්, ලැරී එලිසන් හෝ මාක් සකර්බර්ග් වැනි ඇමරිකන් හා ලෝක ධනවතුන් අතර ඉහළින්ම සිටින බොහෝ දෙනෙක් උපතින් විශාල ධනවතුන් වූ අය නෙමෙයි. තමන්ගේ ව්‍යවසායකත්වය මත ඉහළට පැමිණි අයයි. ඔවුන්ගේ ධනයෙන් පිළිබිඹු වන්නේ ඔවුන් විසින් ඇමරිකාවේ හා ලෝකයේ ආර්ථිකයට එකතු කර ඇති අගයයි. ඇමරිකානු ධනවාදය තුළ ව්‍යවසායකත්වය ඇති අයෙකුට තමන් විසින් ආර්ථිකයට එකතු කරන අගයට සමාන මුදලක් තමන්ගේ පෞද්ගලික ධනය සේ එක්රැස් කරගන්නට ඉඩ සැලසෙනවා.

රටක ආණ්ඩුව විසින් ආර්ථිකය පාලනය කරන තරමට ව්‍යවසායකත්වය ඇති අයෙකුට තමන් විසින් ආර්ථිකයට එකතු කරන අගය තමන් වෙත තබා ගැනීමට බාධා කෙරෙනවා. එවැනි පසුබිමක වුවත් ඇතැම් අය පොදු යහපත හෝ පරාර්ථය සලකා නව නිර්මාණ බිහි කරනවා. නව අදහස් ලෝකයට දායාද කරනවා. පැරණි සෝවියට් දේශයේ එවැනි අය සිටියා. වෙනත් රටවලත් ඉන්නවා. නමුත්, තමන්ගේ ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභ තමන්ටම නොලැබෙන පසුබිමකදී ව්‍යවසායකත්වය තිබෙන හැම කෙනෙක්ම පොදු යහපත ගැන සිතා එසේ ක්‍රියා කරන්නේ නැහැ. එය මිනිස් ස්වභාවයයි.

ඒ වගේම, ඇතැම් තත්ත්වයන් යටතේදී රටේ ආර්ථිකයට සුවිශේෂී අගය එකතු කිරීමක් නොකරන කෙනෙක් වුවත් බිංදුවෙන් පටන් ගෙන විශාල ධනවතෙක් වෙන්න පුළුවන්. හොරකම්, වංචා ආදියේ සිට ආණ්ඩුවේ හිතවතෙකු වීමෙන් ලබන අනියම් වාසි දක්වා විවිධ ක්‍රම වලින් මේ ආකාරයට ධනවත් වන අය සිටිනවා. නමුත්, එවැන්නන් නිසා රටක ආර්ථිකය ඉදිරියට යන්නේ නැහැ. ඒ වගේ කෙනෙක් කරන්නේ වෙනත් කෙනෙකු සතු ධනය හෝ ධනය උපයන මාර්ග තමන් සතු කර ගැනීම පමණයි. අලුතින් ධනය නිර්මාණය කිරීමක් එහි නැහැ.

ජෙෆ් බෙසෝස්ගේ ධනය ඔහු විසින් අලුතින් නිර්මාණය කළ ධනයක් මිස වෙනත් අයෙකුගෙන් පැහැරගත් ධනයක් නෙමෙයි. ඔහු විසින් නිර්මාණය කළ වේදිකාව හරහා කලින් සිදු නොවූ ගනුදෙනු විශාල ප්‍රමාණයක් සිදු වුනා. දැනටත් සිදු වෙනවා. ගනුදෙනුවක් සිදු වන හැම විටකම ආර්ථිකයට අගය එකතු වීමක් සිදු වෙනවා. ඔහු නිසා වෙනත් අයගේ ධනය පැහැර ගැනීමක් සිදු වුනානම් ඒ සම්ප්‍රදායික පොත් වෙළෙන්දන් විසින් උපයන්නට නියමිතව තිබුණු ධනයෙන් කොටසකුයි. නමුත්, එය සාධනීය දෙයක්. ඇමසන් හරහා සිදු වුනේ අකාර්යක්ෂම අතරමැදියන් වෙනුවට වඩා කාර්යක්ෂම අතරමැදියෙකු ආදේශ වීමයි. ඔහුගේ වත්කම් කියා කියන්නේ එසේ කාර්යක්ෂමතාවය ඉහළ යාම නිසා ආර්ථිකයට එකතු වූ අගයයි. ධනවාදී ආර්ථිකයකට අගය එකතු කරන අයෙකුට එහි ප්‍රතිලාභ තමන් සතු කරගත හැකියි.

ලංකාවට ජෙෆ් බෙසෝස්ලා අවශ්‍යයි කියන එකෙන් මා කියන්නේ ලංකාවේ ආර්ථිකයට අගය එකතු කළ හැකි මිනිසුන් අවශ්‍ය බව මිස කෙසේ හෝ ධනය උපයන අය අවශ්‍ය බව නෙමෙයි. රටේ ටික දෙනෙකු බිංදුවෙන් පටන්ගෙන ධනවතුන් වූ පමණින්ම රට ඉදිරියට යන්නේ නැහැ. රට ඉදිරියට යන්නේ ආර්ථිකයට අගය එකතු කළ හැකි මිනිසුන් නිසා. එවැනි මිනිසුන් ඉදිරියට ගත හැක්කේ ඔවුන්ට තමන්ගේ ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභ තමන් වෙත රඳවා ගන්න පහසුකම් සලසන තරමටයි. එය කරද්දී රටේ ආදායම් විෂමතාවය ඉහළ යන්න පුළුවන්. නමුත්, එය රටට හානිකර දෙයක් නෙමෙයි.

ලංකාවේ බොහෝ ධනවතුන් ධනවතුන්ව සිටින්නේ ඔවුන්ට උරුමයෙන් විශාල ධනයක් ලැබීම නිසයි. මේ බොහෝ දෙනෙකු වාර්ෂිකව තමන් සතු ප්‍රාග්ධනය වෙනුවෙන් ලබන ප්‍රතිලාභ අනුපාතිකය බැඳුම්කර පොලී අනුපාතිකයටත් අඩුයි. ඔවුන් බොහෝ දෙනෙක් තමන් සතු ප්‍රාග්ධනය වෙනුවෙන් ලබන දෙයක් මිස ඊට වඩා දෙයක් උපයන්නේ නැහැ. ලංකාවේ කොටස් වෙළඳපොළේ ආයෝජනය කරනවාට වඩා රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කරන එක ලාබයි.

ලංකාවේ ධනවතුන් අතර පහළ සිට උඩට පැමිණි අයත් ඉන්නවා. ඒ බොහෝ දෙනෙක්ගේ ආරම්භය බැලුවොත් එහි තියෙන්නේ පැවති කවර හෝ රජයක් එක්ක සම්බන්ධ වෙමින් උඩට යාමකුයි. එහෙම නැත්නම් කැසිනෝ, ජැක්පොට්, අශ්වරේස් වගේ දෙයකින් උපයපු දෙයක්. ඒ ඇතැම් අය සතුව කිසියම් ව්‍යවසායකත්වයක්ද තිබෙනවා තමයි. නමුත්, බොහෝ ඇමරිකානු ව්‍යවසායකයින් වගේ අලුත්ම දේවල් කර උඩට පැමිණි අය දකින්න නැති තරම්. එය ලංකාවේ මිනිස්සුන්ගේ අදක්ෂතාවයක් කියා කියන්න බැහැ. බොහෝ විට සිදු  වී තිබීමට ඉඩ තිබෙන්නේ කවර හෝ හේතුවක් නිසා එවැනි ව්‍යවසායකත්වයක් ඇති අයට උඩට මතුවෙන්න අවකාශ නැති වීමයි.

ව්‍යවසායකත්වය කියන එක පැත්තකින් තබා (ඇමරිකන් ඩොලර්) බිලියනපතින් වීම ගැන බැලුවත් ලංකාවේ එවැන්නන් හෝ බිහි වී නැහැ. සතියකට පෙර ප්‍රකාශයට පත් කෙරුණු ෆෝර්බ්ස් බිලියනපති ලැයිස්තුවේ සිටින ගණනින් 2,153ක් වන බිලියනපතියන් අතර  කිසිදු ශ්‍රී ලාංකිකයෙකු නැහැ. මීට පෙර එවැන්නෙකුව සිටි එකම පුද්ගලයා මේ වන විට බන්ධනාගාරගතව සිටින රාජ් රාජරත්නම් පමණයි.

අලුත්ම ලැයිස්තුවේ සිටින බිලියනපතියන්ගෙන් 607ක්ම ඇමරිකානුවන්. ඔවුන්ගෙන් තුනෙන් දෙකක්ම උරුමයෙන් ධනවතුන් වූ අය නෙමෙයි. ඒ වගේම මේ අයගෙන් 11%ක්ම සංක්‍රමණිකයින් වීමත් කැපී පෙනෙන දෙයක්. මෙයින් කියන්නේ ඇමරිකාවේ ජනගහණය මිලියනයකට බිලියනපතියන් 1.85ක් සිටිනවා කියන එකයි. ඇමරිකාව ධනවත් රටක්ව පවතින්නේ ඇමරිකානුවන් අතර ධනවතුන් වැඩි නිසයි.

රටේ ජනගහණයට සාපේක්ෂව ඇමරිකාවටත් වඩා බිලියනපතියන් සිටින රටවල් ගණනාවක්ම තිබෙනවා. උදාහරණයක් විදිහට මා ධනවාදී රටක් සේ නොසලකන සිංගප්පූරුව පෙන්වන්න පුළුවන්. මිලියන 5.87ක ජනගහණයක් ජීවත්වන කුඩා නාගරික රාජ්‍යයක් වන සිංගප්පූරුවේ බිලියනපතියන් 22ක් ඉන්නවා. එය ජනගහණය මිලියනයකට බිලියනපතියන් 3.75ක්. සිංගප්පූරු ජාතිකයෙකුගේ ඒක පුද්ගල ආදායම ඇමරිකානුවෙකුගේ ඒක පුද්ගල ආදායමට ආසන්න ගණනක් වෙන්න මෙයත් හේතුවක්.

සිංගප්පූරුවේ වගේම ලංකාවෙන් බාගයක තරමේවත් ජනගහණයක් නැති නවසීලන්තය, අයර්ලන්තය, ස්ව්ට්සර්ලන්තය, ස්වීඩනය, නොර්වේ, ඊශ්‍රායලය වගේ රටවල් ගණනාවක බිලියනපතියන් රැසක් ඉන්නවා. ස්විට්සර්ලන්තයේ බිලියනපතියන් ගණන 33ක්. එය ජනගහණය මිලියනයකට බිලියනපතියන් 3.83ක්. ස්විට්සර්ලන්තය ඒක පුද්ගල ආදායම අනුව දෙවන තැන සිටින රටයි. ඒක පුද්ගල ආදායම අනුව තෙවන තැන සිටින නොර්වේ රාජ්‍යයේ ජනගහණය මිලියනයකට බිලියනපතියන් 2.78ක් (15ක්) ඉන්නවා. අයර්ලන්තයේ මේ ගණන ජනගහණය මිලියනයකට බිලියනපතියන් 1.86ක් (9ක්). ස්වීඩනයේ ජනගහණය මිලියනයකට බිලියනපතියන් 3.28ක් (31ක්).

කුඩා දේශීය වෙළඳපොළක් ඇති රටක ජීවත් වීම බිලියනපතියෙකු වෙන්න බාධාවක් නෙමෙයි. හොංකොං වල ජනගහණය මිලියනයකට බිලියනපතියන් 9.48ක් ඉන්නවා. රටවල් ධනවත් වෙන්නේ ඒ රටවල් වල ජීවත් වන මිනිස්සු ධනවත් වීම නිසයි. නමුත්, රටක ජීවත් වන හැම පුද්ගලයෙක්ම එකවර ධනවත් වෙන්නේ නැහැ. ඒ නිසා කෘතීම ලෙස වැලැක්වූයේ නැත්නම් රටවල් ධනවත් වන විට ඒ රටවල්වල ආදායම් විෂමතාවයන් වැඩි වෙනවා. ආදායම් විෂමතා නැති කිරීම රටක ඉලක්කය කරගත් විට සිදුවන්නේ රටක ආර්ථික වර්ධනයට තිරිංග වැටෙන එකයි.

ඇමරිකාව හැරුණු විට ලෝකයේ වැඩිම බිලියනපතියන් ප්‍රමාණයක් ඉන්නේ චීනයේ, ජර්මනියේ හා ඉන්දියාවේ. මේ ගණන් පිළිවෙලින් 324ක්, 114ක් හා 106ක්. නමුත් චීනය හා ඉන්දියාව කියන්නේ ජනගහණය අනුව ලෝකයේ විශාලම රටවල් දෙක නිසා ඒ රටවල් දෙකේ ජනගහණය මිලියනයකට සිටින බිලියනපතියන් ගණන පිළිවෙලින් 0.23ක් හා 0.07ක් පමණයි. මේ රටවල් දෙකේ ඒක පුද්ගල ආදායම් පෙර කී රටවල මට්ටමේ නැත්තේ ජනගහණයට සාපේක්ෂව ඒ රටවල ධනවතුන් ප්‍රමාණය අඩු නිසයි.

වෙනත් විදිහකින් කිවුවොත් ඉන්දියාවේ බිලියනපතියන් ගණන ජනගහණය මිලියන 13.4කට එක් අයෙක් පමණයි. හැබැයි ජනගහණය මිලියන 21.44කට එක බිලියනපතියෙක්වත් නැති ලංකාවේ තත්ත්වයට වඩා ඉන්දියාවේ තත්ත්වය හොඳයි. චීනයේ තත්ත්වයනම් ගොඩක්ම හොඳයි.

වැඩිපුර සමාජවාදී චීනයද ලංකාවද කියන එක වෙනම කතා කළ යුතු කරුණක්. චීනය ලංකාව මෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙමෙයි. බොහෝ ධනවාදී රටවල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වුවත් මේ දෙක දෙකක්. ධනවාදය ප්‍රජාතන්ත්‍රවාදය එක්ක ගැටෙන අවස්ථා පවා ඕනෑ තරම් තිබෙනවා. චීනයේ බිලියනපතියන් එන්න එන්නම වැඩිවන එකෙන් පෙනෙන්නේ චීනය ලංකාවේ ඇතැම් දේශපාලන පක්ෂ මෙන් රටේ ආදායම් විෂමතා නැති කිරීමේ ඉලක්කය පස්සේ පන්නන්නේ නැතිව ආර්ථිකය වර්ධනය කිරීමේ ඉලක්කය පසුපස හඹා යන්න පටන් ගෙන එහි සාර්ථක ප්‍රතිඵල නෙලා ගනිමින් සිටින ආකාරයයි. චීනයේ අධ්‍යාපනය  හා සෞඛ්‍යය වැනි අංශ පවා කලක සිටම ලංකාවට වඩා නිදහස්.

ලංකාව ආදායම් විෂමතා නැති කිරීමේ ඉලක්කය පස්සේ කාලයක් තිස්සෙම ඕනෑවට වඩා පන්නල තියෙන රටක්. දැන් හෝ කළ යුත්තේ ආදායම් ඉපැයීමේ ශක්‍යතාවයක් තිබෙන අයට, විශේෂයෙන්ම ආදායම් මට්ටම අතින් පහළින්ම සිටින කණ්ඩායම් වල එවැනි අයට, ආර්ථිකයට අගයක් එකතු කරමින් ධනවතුන් වෙන්න තිබෙන බාධා අවම කරන එක මිසක් ආදායම් විෂමතා නැති කිරීමේ ඉලක්ක පස්සේ පන්නා රටේ ආර්ථික වර්ධනය අඩාල කරන එක නෙමෙයි.

(Image: https://www.cbsnews.com/pictures/richest-people-in-world-forbes/)

Sunday, March 10, 2019

ලංකාවේ ජෙෆ් බෙසෝස්ලා නැත්තේ ඇයි?


පසුගිය ලිපියෙන් අපි මේ මොහොතේ ලෝකයේ ලොකුම ධනවතා වන ජෙෆ් බෙසෝස්ගේ වත්කම් ගැන කතා කළා. එම වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 134.4ක්. 2017 වසර ඇතුළත ලංකාවේ නිපදවූ සමස්ත භාණ්ඩ හා සේවා ප්‍රමාණයේ වෙළඳපොල මිල, එහෙමත් නැත්නම් එම වසරේ සියළුම ලාංකිකයින් විසින් ඉපැයූ ආදායම් එකතුව ලෙස සැලකිය හැකි රටේ දළ දේශීය නිෂ්පාදිතය වූයේ ඩොලර් බිලියන 87.17ක් පමණයි.

ජෙෆ් මේ තරම් ධනවතෙක්ව සිටින්නේ ඔහුගේ දෙමවුපියන් විශාල ධනවතුන්ව සිටි නිසා නෙමෙයි. ඔහු ඉපදෙන විට ඔහුගේ ජීව විද්‍යාත්මක පියා පැයකට ඩොලර් 1.25ක වැටුපට තාවකාලික රැකියා කළ අවුරුදු 19ක ගැටවරයෙක්. පාසැල් සිසුවියක වූ ජෙෆ්ගේ මව ගැබ් ගනිද්දී ඇයගේ වයස අවුරුදු 16ක් පමණයි. ජෙෆ්ගේ ජීව විද්‍යාත්මක පියා වන ටෙඩ්ගේ වයස අවුරුදු 18ක් පමණයි.

හොඳ පියෙකු හෝ සැමියෙකු නොවූ ටෙඩ් ජෙෆ් හා ඔහුගේ මව ජැකීව අතහැර යන විට ජෙෆ්ට අවුරුද්දක්වත් නැහැ. ඉන්පසු කවදාවත් නැවත ජෙෆ්ව හෝ ජැකීව හමු නොවන ටෙඩ් මිය යන්නේත් ඇමරිකානු සම්මත අනුව බැලුවොත් "නිර්ධන පාංතිකයෙක්" ලෙසයි. ටෙඩ්ගේ ජාන හැර ඔහුගෙන් ජෙෆ්ට උරුම වූ දෙයක් නැහැ.

ජෙෆ්ගේ ජීවිතය විශාල ව්‍යසනයක් නොවන්නේ ඔහුගේ මව ජැකීට හමුවන ඇගේ දෙවන සැමියා මයික් නිසයි. ජෙෆ්ගේ නීත්‍යානුකූල පියා වන්නේත්, ඔහුගේ ව්‍යාපාරයේ මුල්ම ආයෝජකයෙකු වන්නේත් මයික්. නමුත්, මයික් කියන්නේත් ගැටවර වියේදී සූට්කේසයක් පමණක් අතින් ගෙන කියුබාවේ සිට ඇමරිකාවට පැමිණි සරණාගතයෙකු මිස ධනවතෙක් නෙමෙයි. ජෙෆ් සමඟ ජැකීව භාර ගන්නා විට ඔහු ශිෂ්‍යත්ව මුදලකින් ඉගෙන ගන්නා සරසවි සිසුවෙක් පමණයි.

ජෙෆ් බෙසෝස් ලෝකයේ ලොකුම ධනවතා වන්නේ ඔහුගේ දෙමවුපියන් ධනවතුන් වූ නිසා නෙමෙයි. ඔහු ඉපදෙන්නේ ලෝකයේ වෙනත් බොහෝ අය වගේම උරුමයෙන් ලත් ප්‍රාග්ධනයක් නැතුවයි. ඒ නිසා, ලෝකයේ ලොකුම ධනවතා දෙසට ඇඟිල්ල දිගු කර ධනවාදය කියන්නේ දුප්පතුන් තවත් දුප්පත් කරන, පෝසතුන් තවත් පෝසත් කරන ක්‍රමයක් කියා කියන්න බැරි බව පැහැදිලි විය යුතුයි. වෙනත් බොහෝ ධනවතුන්ගේ ජීවිත කතා පිටුපසත් ඔය වගේම කතා තිබෙනවා.

ප්‍රාග්ධනයේ හිමිකරුවකුව නොඉපදුනු ජෙෆ් කුඩා කල සිටම ඉගෙනීමේ දක්ෂ දරුවෙක්ව සිට ඇති බව පෙනෙනවා. ඔහුගේ දක්ෂකමින් ඔහු ප්‍රින්ස්ටන් සරසවියට ඇතුළු වෙනවා. කෙසේ වුවත්, කුඩා කල සිටම ඉගෙනීමේ දක්ෂතා දක්වන ළමුන් සියළු දෙනාම ජෙෆ් මෙන් ධනවතුන් වන්නේ නැහැ.

ප්‍රින්ස්ටන් සරසවියේ තමන්ගේ කණ්ඩායමේ සිටි දක්ෂතම සිසුවා ලෙස ජෙෆ් විසින්ම හඳුන්වා තිබෙන යසන්ත ශ්‍රී ලාංකිකයෙක්. දින කිහිපයකට පෙර වාර්තා වූ පරිදි එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික සංක්‍රමණිකයෙකුගේ දියණියක් මෙන්සා සාමාජිකත්වය ගැනීම සඳහා මුහුණ දුන් පරීක්ෂණයේදී අයින්ස්ටයින්ගේ IQ ලකුණු මට්ටමද ඉක්මවා ලකුණු ලබාගෙන තිබෙනවා. විවිධ විභාග වලදී ලෝකයේ ප්‍රමුඛ රටවල් අතර ඉදිරියටම පැමිණෙන්නට තරම් දක්ෂතා දක්වන ශ්‍රී ලාංකිකයින් එතරම්ම දුලබ නැහැ. එසේ වුවත් ශ්‍රී ලාංකිකයෙකු ලෝකයේ ධනවතුන් අතර ඉදිරියට එන්න සමත් වී නැහැ. වඩාත්ම ධනය ඉපැයූ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයා සේ සැලකිය හැකි රාජ් රාජරත්නම් එය කර තිබෙන්නේත් නිසි අයුරින් නෙමෙයි.

බොහෝ ලාංකිකයින්ගේ ඉලක්කය වන්නේ අධ්‍යාපනය ලබා, ලොකු වැටුපක් ලැබෙන රැකියාවක් හොයාගෙන, එසේ ලැබෙන ආදායමින් සුවපහසු ජීවිතයක් ගත කිරීමයි. මේ ක්‍රමයේ ලොකු වැරැද්දක් නැහැ. උපතින් ප්‍රාග්ධනයකට උරුමකම් නොලබා ඉපදෙන බොහෝ දෙනෙක්ට මුලින්ම ආදායම් ලබාගත හැකි මාර්ගය තමන්ගේ ශ්‍රමය විකිණීමයි. අධ්‍යාපනය කියන්නේ ශ්‍රමය විකිණිය හැකි මිල ඉහළ දමාගත හැකි මාර්ගයක්.

ප්‍රින්ස්ටන් සරසවියෙන් පිටවන ජෙෆ් මුලින්ම යන්නේත් ඉහත කී මාර්ගයේම තමයි. සරසවියෙන් පිටවී වසර හත අටක් යනතුරුම ඔහු කරන්නේ වෙනත් තැන් වල රැකියා කිරීමයි. ඔහු දිගටම මෙසේ තැන් තැන් වල රැකියා කරමින් සිටියානම් ඔහුට සාමාන්‍ය මධ්‍යම පාන්තික ජීවිතයක් වෙනුවෙන් ආදායමෙන් වැඩි මුදලක් වෙන් කරමින් හා විශ්‍රාම දිවිය වෙනුවෙන් යම් මුදලක් ඉතිරි කරමින් ඔහුගේ නීත්‍යානුකූල පියා ගත කළ ආකාරයේ ජීවිතයක් ගෙවන්න තිබුණා. ඔහු එසේ කළානම් අද ඔහු ගැන මෙතරම් කතා කෙරෙන එකක් නැහැ. මේ ලිපිය ලියැවෙන එකකුත් නැහැ.

ජෙෆ්ගේ ජීවිතයේ තීරණාත්මක මොහොත වන්නේ ඔහු රැකියාවෙන් ඉවත් වී, එතෙක් ඉතිරි කරගත් ප්‍රාග්ධනය යොදවා සිය ගරාජයේ සිට අළුත් ව්‍යාපාරයකට අත ගසන මොහොතයි. අද වන විට මේ ව්‍යාපාරයේ වටිනාකම ඩොලර් බිලියන 796.14ක්. 1997 මැයි මාසයේදී ඇමසන් සමාගම පොදු සමාගමක් බවට පත් වන විට එහි වටිනාකම ඩොලර් බිලියන 0.43ක්. එතැන් සිට වර්ධනය පමණක් සැලකුවත් වසර 22ක් ඇතුළත 1,850 ගුණයක වර්ධනයක්. සෑම වසරකම ඇමසන් සමාගමේ වටිනාකම 40%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. ඇමසන් සමාගමේ වටිනාකම ඉහළ යාමට සාපේක්ෂව එහි ලොකුම කොටස් හිමිකරුවා වන ජෙෆ් බෙසෝස්ගේ වත්කම්ද ඉහළ ගොස් තිබෙනවා.

ඇමසන් සමාගමේ වටිනාකම ඉහළ යන්නේ ඇමසන් කොටසක මිල වසරෙන් වසර ඉහළ යන නිසයි. 1997 මැයි මාසයේදී ඇමසන් කොටසක මිල ඩොලර් 18ක් පමණයි. එම වසරේදී ඇමසන් කොටසක්  මිල දී ගත් අයෙකුගේ කොටසක් තෙවරක් විභේදනය කරනු ලැබ ඇති නිසා මුල් ඇමසන් කොටසක් සමාන වන්නේ වත්මන් කොටස් 12කටයි. ඒ අනුව, වත්මන් කොටසක මිල 1997දී ඩොලර් 1.50ක් පමණයි. මේ වන විට ඇමසන් කොටසක් විකිණෙන්නේ ඩොලර් 1620.80 බැගිනුයි. ඒ කියන්නේ 1997දී ඩොලර් 900ක් ගෙවා ඇමසන් කොටස් 50ක් මිල දී ගත් අයෙක්ට අද එම කොටස් විකුණා ඩොලර් මිලියනයකට ආසන්න මුදලක් ලබාගත හැකි බවයි.

ඇමසන් කොටස් මිල මේ ආකාරයට වසරින් වසර ඉහළ යන්නේ ඇයි?

ඇමසන් කොටසක මිල මේ ආකාරයට දහස් ගුණයකටත් වැඩියෙන් ඉහළ ගොස් තිබෙන්නේ එම කොටස් වලට තිබෙන ඉල්ලුම දිනෙන් දින ඉහළ යන නිසයි. කොටස් ඉල්ලුම ඉහළ යන්නේ ඇමසන් කොටස් වල ආයෝජනය කර ආදායම් ඉපැයීමේ හැකියාව බොහෝ දෙනෙකු විසින් දකින නිසයි. පොදු සමාගමක් වන ඇමසන්හි කොටස් ඕනෑම කෙනෙකුට මිල දී ගන්න බාධාවක් නැහැ.

සමාගම් කොටසක් කියා කියන්නේ වත්කමක්. වත්කමක් කියන්නේ අනාගතයේ ආදායමක් ඉපදවීමේ විභවයක් ඇති දෙයක්. ගෙයක්, ඉඩමක් හෝ වාහනයක් යමෙකුගේ වත්කමක් විය හැකියි. සමාගම් කොටසක් හා අදාළව මෙසේ අනාගතයේ ලැබෙන ආදායම සමාගමේ ලාභාංශයි. සමාගම් ලාබ ලබද්දී එම ලාබ සියල්ලම හෝ කොටසක් කොටස් හිමිකරුවන් අතර ලාභාංශ ලෙස බෙදා දෙනු ලබනවා.

කෙසේ වුවත්, මෙහිදී ඇමසන් සමාගම විශේෂයි. එම සමාගම සමාගම පිහිවීමෙන් පසුව ගත වූ සියවස් කාලකට කිට්ටු කාලය තුළ සමාගමේ කොටස් හිමිකරුවන්ට ලාභාංශ සේ කිසිදු මුදලක් ගෙවා නැහැ. වෙනත් අයුරකින් කිවුවොත් ඇමසන් සමාගමේ ලොකුම කොටස් හිමිකරු වන ජෙෆ් බෙසෝස් ඇතුළු කිසිවෙකුට ඔවුන් ඇමසන් කොටස් වල ආයෝජනය කළ මුදල් වෙනුවෙන් ලාභාංශ සේ මේ වන තුරුත් කිසිදු ප්‍රතිලාභ මුදලක් ලැබී නැහැ.

වත්කම් හා ආදායම් කියන්නේ කරුණු දෙකක්. වත්කම් තිබූ පමණින් හෝ වත්කම් වල මිල වැඩි වූ පමණින් යමෙකුගේ ආදායම් වැඩි වෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස කඩවත නගරය ආසන්නයේ පරම්පරාවෙන් උරුම වූ අක්කර කිහිපයක මුඩු ඉඩමක් හිමි අයෙක් ගැන හිතමු. කඩවත පැත්තේ ඉඩම් මිල වසරින් වසර ඉහළ යද්දී මේ ඉඩම අයිතිකරුගේ වත්කමත් ඉහළ යනවා. එසේ වුවත් එම ඉඩමෙන් අයිතිකරුට කිසිදු ආදායමක් ලැබෙන්නේ නැහැ. ආදායමක් ලබාගන්නනම් ඉඩම විකිණිය යුතුයි. නමුත්, ඉඩම නොවිකුණා තියා ගත්තොත් වසර කිහිපයකින් පසුව වඩාත් ඉහළ මුදලකට විකිණිය හැකියි.

ඇමසන් කොටස් මිල දී ගන්නා අයකුගේ තත්ත්වයත් ඔය වගෙයි. ඔවුන්ට තමන්ගේ කොටස් හිමිකම නිසා මෙතෙක් කිසිදු ආදායමක් ලැබී නැහැ. ඉදිරි වසර කිහිපය ඇතුළත ඇමසන් සමාගම ලාභාංශ ගෙවන්න සූදානමින් සිටින බවක් පෙනෙන්නත් නැහැ. නමුත්, ඇමසන් කොටසක මිල ඉදිරි කාලයේදීත් ඉහළ යන්න ඉඩ තිබෙන බව පෙනෙන නිසා කොටස් හිමිකම තවදුරටත් පවත්වා ගැනීම වාසිදායකයි.

ඇමසන් සමාගම එය පිහිටුවීමෙන් පසු වසර අටක් යන තුරුම ලාභ ලැබුවේ නැහැ. මෙසේ මුලදී පාඩු ලබමින් පවත්වාගෙන ගිය ඇමසන් සමාගම මෑතක් වන තුරුම විශාල ලාභ ලැබුවේ නැහැ. සමාගම මෙතෙක් ලැබූ ලාභ මුදල් සියල්ලම අනාගතය වෙනුවෙන් එම සමාගමේ ව්‍යාපාරික කටයුතු වලම නැවත ආයෝජනය කර තිබෙනවා. කොටස් හිමිකරුවන්ට ලාභාංශ සේ කිසිදු මුදලක් ගෙවා නැත්තේ ඒ නිසයි.

ඇමසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා එහි ප්‍රධාන කොටස් හිමිකරු වන ජෙෆ් බෙසෝස්මයි. ඔහුගේ මූලික වැටුප ඩොලර් 81,840ක් පමණයි. ඇමසන් සමාගමේ බොහෝ සේවකයින්ගේ මූලික වැටුප් ඊට වඩා වැඩියි. සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා ලෙස උපයන මූලික වැටුප හා වෙනත් දීමනා සැලකිය හැක්කේ ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ ලෙස නොව ශ්‍රමයේ ප්‍රතිලාභ ලෙසයි.

පසුගිය වසර අවසානයේදී ඇමසන් සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 750.99ක්. මේ තක්සේරුව පදනම් වන්නේ ඒ වන විට පැවති ඇමසන් කොටසක මිල මතයි. මිල වෙනස් වන විට සමාගමේ වටිනාකම වෙනස් වෙනවා. ද්වීතියික වෙළඳපොළේ ඇමසන් කොටස් වලට තිබෙන ඉල්ලුම හා සැපයුම වෙනස් වෙද්දී කොටස් මිල වෙනස් වෙනවා.

ඇමසන් කොටස් මිල වැඩි වන විට ජෙෆ් බෙසෝස්ගේ වත්කම ඉහළ යනවා. එසේ වුවත්, ඒ හේතුව නිසා ඔහුගේ ආදායම ඉහළ යන්නේ නැහැ. පුද්ගලයෙකුගේ වත්කම් හිමිකම් හා ආදායම් අතර පැහැදිලි සම්බන්ධයක් තිබුණත් එය සෘජු සම්බන්ධයක් නෙමෙයි. ගෙවල් තුනක හිමිකරුවෙකු වන කොටුව දුම්රියපොළේ හිඟන්නා උපයන ආදායම මෙන්  කිහිප ගුණයක ආදායමක් තමන්ටම කියා නිවසක් නැති රන්ජන් රාමනායක වැනි අයෙක් උපයනවා විය හැකියි.

ඇමසන් සමාගම මෙතෙක් එහි කොටස් හිමිකරුවන්ට කිසිදු ලාභාංශ මුදලක් ගෙවා නැති බව අමතක කර 1997 මැයි මාසයේදී ඇමසන් සමාගම පොදු සමාගමක් බවට පත් වන විට එහි වටිනාකම ඩොලර් බිලියන 0.43ක් වූ බවත්, 2018 වසර අවසානය වන විට එම වටිනාකම ඩොලර් බිලියන 750.99ක් වූ බවත් සැලකූ විට අදාළ කාලය තුළ එම සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 750කට වඩා වැඩියෙන් ඉහළ ගොස් ඇති බව පෙනෙනවා. එසේනම්, අදාළ කාලය තුළ ලාභාංශ නොගෙවුවත් සමාගම එපමණ ලාභ ලබා තිබෙනවාද?

පසුගිය වසර 24ක පමණ කාලය මුළුල්ලේම ඇමසන් සමාගම උපයා තිබෙන ලාභය ඩොලර් බිලියන 19.625ක් පමණයි. එයින්ද අඩකටත් වඩා උපයා තිබෙන්නේ පසුගිය 2018 වසර ඇතුළතයි. 2017 අවසන් වන විට ඇමසන් සමාගම විසින් උපයාගෙන තිබුණු සමස්ත ලාභය ඩොලර් බිලියන 8.636ක් පමණයි. එයින් වැඩි කොටසක් උපයාගෙන තිබෙන්නේත් 2016 හා 2017 දෙවසර ඇතුළතයි. 2015 වසර අවසානය දක්වා වූ වසර විස්සකට වැඩි කාලය තුළ ඇමසන් සමාගම විසින් උපයා තිබුණේ ඩොලර් බිලියන 2.545ක් පමණයි. ඉතා පැහැදිලිවම ඇමසන් සමාගමේ වත්මන් වටිනාකම වන ඩොලර් බිලියන 796.14ක මුදලින් එම සමාගම විසින් ලබා ඇති ලාභ නිරූපණය වන්නේ නැහැ.

ලාභාංශ ගෙවන්නේත් නැති, විශාල ලාභයක් උපයන්නේත් නැති සමාගමක කොටස් වලට මෙපමණ ඉල්ලුමක් ඇති වී කොටස් මිල ඉහළ ගොස් සමාගමේ වටිනාකම විශාල ලෙස ඉහළ ගොස් තිබෙන්නේ එම සමාගමේ අනාගතය පිළිබඳව ආයෝජකයින්ගේ තිබෙන විශ්වාසය නිසයි. පළමුව, ජෙෆ් බෙසෝස් ඇතුළු ඇමසන් සමාගමේ වත්මන් කොටස් හිමිකරුවන් සමාගම ලබන ලාභ ලාභාංශ සේ ඉවත් කර නොගෙන නැවත එහිම ආයෝජනය කරන්නේ එසේ කිරීමෙන් අනාගතයේ වැඩි ප්‍රතිලාභයක් ලැබිය හැකි බව ඔවුන් දකින නිසයි. ඇමසන් කොටස් ද්වීතියික වෙළඳපොළෙන් මිල දී ගන්නේත් ක්ෂණික ආදායමක් ලබනු වෙනුවට අනාගතයේ වැඩි ප්‍රතිලාභයක් ලැබෙන තුරු බලා ඉන්න සූදානම් ඉවසීමක් තිබෙන අයයි. එසේ නැතුව සමහර අය කියන විදිහේ "පරිභෝජනවාදීන්" නෙමෙයි.

ඇමසන් සමාගම කියන්නේ අදහසක්. එම අදහස මෘදුකාංගයක් බවට පත් වී ලෝකය පුරා විසිරී සිටින පොත් වෙළෙන්දන්ට හා පාරිභෝගිකයින්ට හමුවිය හැකි පොදු තැනක් ලැබෙනවා. සෛද්ධාන්තිකව මේ වගේ අදහසක් ලංකාවේ සිටින කෙනෙක්ට පහළ වෙන්න බැරිකමක් නැහැ. ලංකාවේ කාට හෝ ජෙෆ් බෙසෝස්ට පෙර මේ අදහස පහළ වුණානම් එය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වන ප්‍රාග්ධනය ලංකාවේදී හොයා ගන්න අපහසු තරම් විශාල මුදලක් නෙමෙයි. අපි නිකමට හිතමු ජෙෆ් බෙසෝස් වෙනුවට ලංකාවේ කවුරු හෝ විසින් මෘදුකාංගයක් ලියලා වැඩේ පටන් ගත්තා කියලා.

මෘදුකාංග ලියන්න ඇමරිකානුවන් තරමටම දක්ෂ අය ලංකාවේ ඉන්නවා. මුල් කාලයේත් හිටියා. ඒ වගේ කෙනෙක් ඇමසන් වගේ වෙබ්සයිට් එකක් ලංකාවේ ඉඳලා හදලා ලෝකය පුරා ඉන්න පොත් වෙළෙන්දන් හා පාරිභෝගිකයින් සම්බන්ධ කරගත්තානම් කලක් යද්දී ඒ වගේ සමාගමක් ඇමරිකාවේ කොටස් වෙළඳපොළක ලැයිස්තුගත කරන එක මහා ලොකු වැඩක් නෙමෙයි.

පසුගිය වසර ඇතුළත ඇමසන් සමාගම විසින් ඩොලර් බිලියන 232.9ක භාණ්ඩ අලෙවියක් සිදු කර තිබෙනවා. එම භාණ්ඩ සඳහා ගෙවා තිබෙන්නේ ඩොලර් බිලියන 139.16ක් පමණයි. ඒ අනුව ඇමසන් සමාගම විසින් පසුගිය වසර ඇතුළත ඩොලර් බිලියන 93.73ක අගය එකතු කිරීමක් කර තිබෙනවා. පසුගිය වසරේ ලංකාවේ සියලුම දෙනා විසින් කර තිබෙන අගය එකතු කිරීම එහෙමත් නැත්නම් රටේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 87.17ක් පමණයි. ඒ කියන්නේ ජෙෆ් බෙසෝස් වගේ එක මනුස්සයෙක් ලංකාවේ හිටියනම් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය වගේම ඒක පුද්ගල ආදායමත් දෙගුණයක් වෙලා. ඒ වගේ හතර දෙනෙක් හිටියානම් ලංකාවේ ඒක පුද්ගල ආදායම පස් ගුණයක් වෙලා.

රටක් ධනවත් රටක් වෙන්නේ ඒ රටේ ඉන්න ආර්ථිකයට වැඩි අගය එකතු කිරීමක් කළ හැකි පුද්ගලයින් ටික දෙනෙක් නිසයි. ජෙෆ් බෙසෝස් වගේ ගොඩක් අය ඇමරිකාවේ ඉන්න නිසා ඇමරිකාව ධනවත් රටක්. ලංකාවේ ඒ වගේ මිනිස්සු නැති නිසා ලංකාව ධනවත් රටක් නෙමෙයි.

ඔක්ස්ෆෑම් සංඛ්‍යාලේඛණය අනුව, ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අට දෙනෙකුගේ වත්කම් වල එකතුව, ලෝක ජනගහණයෙන් වත්කම් පදනම මත දුප්පත්ම මිනිසුන් බිලියන 3.6කගේ වත්කම් වල එකතුවට සමානයි. නමුත්, ඔය අට දෙනාගේ වත්කම් හෙට බිංදුවට බැස්සත්, දහ ගුණයකින් වැඩි වුනත්, ඒ හේතුව නිසා ඔය කියන බිලියන 3.6කගේ වත්කම් වෙනස් වෙන්නේ නැහැ. ඇමරිකානු ධනවාදය තුළ මිනිහෙක්ට පෝසතෙක් වෙන්න තිබෙන අවස්ථා ඔය බිලියන 3.6 ජීවත්වන රටවල නැති බව හොඳින් හොයා බැලුවොත් පැහැදිලි වෙයි.

අපි හිතමු ජෙෆ් බෙසෝස් ලාංකිකයෙක් වෙලා ඇමසන් සමාගම ලංකාවේ සමාගමක් වුනා කියා. එහෙම වුනානම්, ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය අද මෙන් දෙගුණයක්. හැබැයි එයින් අඩක්ම ඇමසන් සමාගමේ. ඒ කියන්නේ රටේ ආදායම් විෂමතාවය අදට වඩා ගොඩක් වැඩියි. හොඳ වෙලාවට ඇමසන් සමාගම ලංකාවේ සමාගමක් නොවූ නිසා ඒ ප්‍රශ්නය නැහැ. යන්තම් හරි ඉහළ වත්කම් තිබෙන ඉතිරි ටික දෙනාගේත් වත්කම් ඒ විදිහට නොතිබුණානම් ලංකාව ආදායම් විෂමතාවයක් නැති රටක්.

ධනවාදී ක්‍රමයක් යටතේ ආදායම් විෂමතාවය වැඩි වෙනවා කියන එක ඇත්තක්. හැබැයි ඒක වෙන්නේ පිරිසක් වඩා වැඩි වේගයෙන් පෝසත් වන නිසා මිසක් දුප්පතුන් තවත් දුප්පත් වන නිසා නෙමෙයි. දුප්පතුන් අඩු වේගයකින් පෝසත් වන නිසයි. ඇමසන් වගේ අදහස් රටේ හැම දෙනාටම එකවර පහළ වෙන්නේ නැහැ. ධනවාදී ක්‍රමයක් යටතේ සිදුවෙන්නේ ඒ වගේ අදහසක් පහළ වූ අයෙක්ට තමන්ගේ අදහස ක්‍රියාත්මක කර ධනය උපයන්න පහසුකම් සලසන එකයි.

ඇමරිකාවේ සම්ප්‍රදායික පොත් වෙළඳසැල් වලින් අලුත් පොත් වගේම පාවිච්චි කරපු පොතුත් මිල දී ගන්න පුළුවන්. මිල බොහෝ විට අලුත් පොතක මිලෙන් 2/3ක් පමණ වෙනවා. මේ වගේ පොතක් පොත් සාප්පුව විසින් මිල දී ගන්නේ එහි මිලෙන් 1/3ක පමණ මුදලකට.

මමනම් පෞද්ගලිකව පොත් එකතු කරන්න කැමති කෙනෙක්. ඒකත් තණ්හාවක් තමයි. එහෙම නොකරන කෙනෙකුට කියවපු පොතකින් වැඩක් නැහැ. අනික් අතට පුසුඹ ගහන අලුත් පොතකට දෙන ගානට වඩා අඩු මිලක් ගෙවා කලින් කෙනෙක් කියවපු පොතක් කියවන එකෙත් අවුලක් නැහැ. සම්ප්‍රදායික පොත් සාප්පුවක් හරහා මේ වගේ ගනුදෙනුවක් සිදුවන විට පොතේ මිලෙන් 1/3ක් පමණ පොත් සාප්පුවට යනවා. ඇමසන් හරහා ඔය වැඩේ සිදුවන විට ඇමසන් සමාගම ඒ තරම් ලොකු ලාභ ආන්තිකයක් තියා ගන්නේ නැහැ.

පොතක් ඇමසන් එකෙන් ගන්න කෙනෙක් එසේ කරන්නේ වෙනත් තැනකින් ඊට වඩා අඩු මිලකට එය ගන්න හැකියාවක් නැත්නම් පමණයි. ඒ වගේම ඇමසන් හරහා පොතක් විකුණන කෙනෙක් එසේ කරන්නේත් වෙනත් අයුරකින් වැඩි මිලකට ඒ පොත විකිණිය නොහැකි නිසයි. මේ ගනුදෙනුව හරහා ඇමසන් සමාගම ලාබයක් ලැබුවත් ඒ නිසා ගනුදෙනුවේ පාර්ශ්ව දෙකෙන් එකකටවත් පාඩුවක් වෙන්නේ නැහැ. දෙන්නටම වෙන්නේ වාසියක්. ඇමසන් සමාගමේ ලාභ කියන්නේ ඔවුන් නිර්මාණය කරන ධනයක් මිස කාගෙන්වත් හූරාකන දෙයක් නෙමෙයි.

ජෙෆ් බෙසෝස් ලාංකිකයෙක් වුනා කියා අපි නැවතත් හිතමු. එහෙම වුනානම්, ඇමසන් සමාගම ලංකාවේ තිබුණානම්, එහි සේවය කරන්නේත් ලාංකිකයෝ. ඔවුන්ගේ වැටුප් විදිහට සමාගමේ ලාභ ආන්තිකයෙන් කොටසක් වැය වෙනවා. ගොඩනැගිලි කුලී, විදුලි බිල් ආදිය ලෙස තවත් මුදලක් වැය වෙනවා. රජය බදු ලෙස ලාභයෙන් කොටසක් ගන්නවා. ඔය ආදී වශයෙන් සමාගමේ ලාබ වලින් සෑහෙන ප්‍රමාණයක් විවිධ අයගේ ආදායම් බවට පත් වෙනවා.

ජෙෆ් බෙසෝස් වගේ ධනවතෙක් වෙන්න ඔහුට වගේ සිරා අදහසක් පහළ වෙන්න අවශ්‍යම නැහැ. ඒ වගේ අදහසක් කෙනෙක්ට පහළ වූ විට එම අදහස ගැන විශ්වාසය තබා තමන් සතු මුදලක් මුලින්ම ආයෝජනය කරන කෙනෙකුටත් එවැනිම විශාල වාසියක් ලබන්න පුළුවන්.

ඔය මොනවා කරන්නත් ධනවාදය කෙරෙහි විශ්වාසයක් තියෙන්න ඕනෑ. නමුත්, ඇතැම් අය ධනවාදී පක්ෂයක් කියා හඳුන්වන එක්සත් ජාතික පක්ෂය වගේ පක්ෂ වල පවා ඉන්න බොහෝ දෙනෙක් ලොකු ආණ්ඩුවක් කෙරෙහි විශ්වාසය තබන සමාජවාදී මානසිකත්වයේ ඉන්න අයයි. ජාතිකවාදීන් කියා තමන්ව හඳුන්වා ගන්න ඇතැම් අය සමාජවාදයට බැන්නත් ඒ අය තවම ඉන්නේත් ඒ රාමුව ඇතුළෙමයි. ඉතිං කොහෙන්ද ජෙෆ් බෙසෝස් කෙනෙක්ට ඔළුව උස්සන්න ඉඩක්?

(Image: https://www.nbcnews.com/tech/tech-news/20-years-after-its-ipo-how-amazon-changed-way-we-n759546)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...