වෙබ් ලිපිනය:

Tuesday, April 2, 2019

අර්ධ


වෙනදා වගේම ඊයෙත් ගෙදර ආපු ගමන් කෙළින්ම ගියේ පරිගණකයට. සේවා ස්ථානයේ කාර්යාල කාමරයේ සිට නිවසේ කාර්යාල කාමරය දක්වා එන්න ගතවන කාලය තුළ ලැබී තිබෙන්නට ඉඩ තිබෙන කාල-සංවේදී විද්‍යුත් ලිපි ගැන ගෙදර පැමිණි වහාම සොයා බැලීම මගේ පුරුද්දක්.

ගෙදරින් යන කොට හොඳින් වැඩ කළ පරිගණකයේ මූසිකය දැන් වැඩ කරන්නේ නැහැ. පරිගණකය අක්‍රිය කර නැවත ක්‍රියා කළත් වෙනසක් නැහැ. මූසිකය මධ්‍යම සැකසුම් ඒකකයෙන් ගලවා නැවත සම්බන්ධ කළත් තත්ත්වය එසේමයි.

මේ සතිය අපේ දරුවන්ට නිවාඩු සතියක්. ගෙදර සිටින ඔවුන්ගෙන් කෙනෙක් හෝ බිරිඳ මගේ පරිගණකය භාවිතා කළා වෙන්න පුළුවන්. ඔවුන් සියල්ලන්ටම තම තමන්ගේ ලැප්ටොප් පරිගණක තිබුණත් මගේ පරිගණකයට එන වෙලාවල් තියෙනවා.

බිරිඳගෙන් විමසුවත් ඈ කියන විදිහට මා නිවසේ නැති අතරේ ඈ හෝ දරුවෙකු මගේ පරිගණකය භාවිතා කර නැහැ. එහෙමනම් මූසිකය වැඩ නොකරන්නේ ඇයි?

තවත් හොඳින් සොයා බලද්දී පෙනුණේ මූසිකය යට ලේසර් සෙන්සරය වැහෙන පරිදි ටේප් කෑල්ලක් ඇලී ඇති බවයි. මෙවැන්නක් අහම්බෙන් වෙන්න බැරිකමක් නැතත්, ඔය වගේ පොඩි ටේප් කෑල්ලක් ලියන මේසය උඩ තියෙන්න හේතුවක් නැහැ. මෙය කවුරු හෝ විසින් හිතාමතාම කළ දෙයක්.

අපේ පොඩි එකා සමහර වෙලාවට ඔය වගේ ගොන්පාට් වැඩ කරනවා. සමහර අය අදහස් වාරණය කරන්න කරන බොළඳ වැඩ වගේ මූසිකයේ සෙන්සරය වසා මා ලියන එක නවත්වන්නවත් හිතුවද? ඔවුන් ගෙදර ඉන්න සතියේවත් පරිගණකය අමතක කර ඔවුන් එක්ක වැඩි කාලයක් ගෙවිය යුතුයි කියා සිතා එහෙම කළානම් වැරැද්දක් කියන්නත් බැහැ.

පොඩි එකා ගෙන්නලා ඇහුවහම පොර හිනාවෙනවා.

"මතක නැද්ද අද අප්‍රේල් පළමුවැනිදා!"

ගොඩක් දෙනෙක් අප්‍රේල් පළමුවැනිදාට ඔය වගේ ගොන්පාට් එකක් කරනවා. හැබැයි අප්‍රේල් පළමුවැනිදාට කරන හැමදෙයක්ම ගොන්පාට් ගොඩට දමන්න බැහැ.

ඊයේ පොල්ගහවෙල මහේත්ත්‍රාත් අධිකරණය විසින් ශක්තික සත්කුමාර නමැත්තෙකු විසින් ලියන ලද කෙටිකතාවක් හේතුවෙන් ඔහුව අප්‍රේල් 9 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වී තිබෙනවා. අප්‍රේල් විහිළුවක් වෙන්න බැහැ.

අප්‍රේල් පළමුවැනිදාවක ලංකාවේ අධිකරණයක් විසින් ලබා දී තිබෙන මේ නියෝගය නිසා මේ වන විට අදාළ කෙටි කතාවට විශාල ප්‍රචාරයක් ලැබෙමින් පවතිනවා. මමනම් මේ ලේඛකයා ගැන දැන ගත්තෙත් මේ සිද්ධියෙන් පසුවයි. අදාළ කෙටිකතාව රසිකොලොජියේ හා තවත් තැන් වල සම්පූර්ණයෙන්ම පළ කර තිබෙනවා.

ශක්තික සත්කුමාර, "අර්ධ" සහ අඳ බාලයින්ට ගිය රට! - Free Shakthika Sathkuara immediately

ට්‍රාන්සිල්වේනියා වියුණුවට අනුව මේ උසාවි තීන්දුව ලබා දී තිබෙන්නේ ICCPR නම් පනත අනුවයි.

කෙටි කතාවක් ලිවීම නිසා ලේඛකයා රිමාන්ඩ්

මොකක්ද මේ ICCPR නම් පනත?

මේ කියන්නේ 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබද පනත ගැනයි. ඒ ගැන කතා කරන්න කලින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ගැන කතා කළ යුතුයි.

නමින්ම කියවෙන පරිදි මෙය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියක්. අදාළ සම්මුතිය කෙටුම්පත් කිරීමෙන් අනතුරුව 1966 දෙසැම්බර් 16 දින සාමාජික රටවල් වලට අත්සන් තැබීම පිණිස විවෘත කෙරුණු අතර 1976 මාර්තු 23 දින සිට ජාත්‍යන්තර සම්මුතියක් ලෙස බලාත්මක කෙරුණා. 1980 ජූනි 11 දින ශ්‍රී ලංකාවද මෙම සම්මුතියට අත්සන් තැබුවා.

ඉහත සම්මුතියට අත්සන් තබා ඇති රටවල් විසින් එම සම්මුතිය අදාළ රට තුළ ක්‍රියාත්මක කෙරෙන පරිදි නීති සම්පාදනය කළ යුතුයි. සම්මුතියට අත්සන් තබන විටත් ලංකාවේ නීති පද්ධතිය තුළ සම්මුතියේ බොහෝ කරුණු ආවරණය වුණා. 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබද පනත 2007 නොවැම්බර් 16 දින සම්මත කර ගැනුණේ එසේ ලංකාවේ නීතියෙන් නිසි පරිදි ආවරණය නොවූ දෑ ආවරණය කරගනු පිණිසයි.

මා හිතන ආකාරයට ශක්තික සත්කුමාරව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන්නේ අදාළ පණතේ තෙවන වගන්තියේ ප්‍රතිපාදන අනුව විය යුතුයි. එය මෙවැන්නක්.

3(1) කිසිම තැනැත්තෙකු විසින්, යුද්ධය පැතිරවීමට හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම් වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියා වලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම නොකළ යුතුය. 

(2) (1) වන උපවගන්තියේ සඳහන් වරදක්-
(අ) සිදු කිරීමට තැත්කරන;
(ආ) සිදු කිරීමට ආධාර හෝ අනුබල දෙන; හෝ 
(ඇ) සිදුකරන බවට තර්ජනය කරන,

සෑම තැනැත්තෙක්ම මේ පණත යටතේ වූ වරදකට වරදකරු වන්නේය.

මෙහි ඊළඟ උපවගන්ති අනුව, මහාධිකරණයක් විසින් මෙහි සඳහන් වරදකට වරදකරු කරන අයෙකුට බරපතල වැඩ ඇතිව දසවසරකට නොවැඩි සිර දඬුවම් ලබා දිය හැකියි. ඒ වගේම මෙය නීතිය අනුව ඇප දිය නොහැකි වරදක්. මහාධිකරණය විසින් අනෙක් නඩු කල් තබා මෙවැනි නඩුවක් වහාම විභාගයට ගත යුතු අතර නඩු විභාගය අවසන් වන තුරු කල් නොතබා දිගටම නඩුව ඇසිය යුතුයි.

ඉහත සඳහන් අදාළ පණතේ තෙවන වගන්තිය පාදක වෙන්නේ ජාත්‍යන්තර සම්මුතියේ 20වන වගන්තිය මතයි. එය මෙවැන්නක්.

Article 20

1. Any propaganda for war shall be prohibited by law.

2. Any advocacy of national, racial or religious hatred that constitutes incitement to discrimination, hostility or violence shall be prohibited by law.

20 වගන්තිය

1. යුද්ධය වෙනුවෙන් සිදු කෙරෙන ඕනෑම ප්‍රචාරණයක් නීතියෙන් තහනම් විය යුතුය.

2. වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම් වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියා වලට පොළඹවමින් ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය පැතිරවීම වෙනුවෙන් පෙනී සිටීම නීතියෙන් තහනම් විය යුතුය.

මේ අනුව ලංකාවේ පණතේ 3(1) වගන්තිය ජාත්‍යන්තර සම්මුතියේ 20 වගන්තිය සමඟ සෑහෙන තරමකින් ගැලපෙනවා. නමුත්, මෙහිදී ජාත්‍යන්තර සම්මුතියේ 19 වගන්තියේ සඳහන් කරුණු දෙසත් බැලීම වැදගත්.

Article 19

1. Everyone shall have the right to hold opinions without interference.

2. Everyone shall have the right to freedom of expression; this right shall include freedom to seek, receive and impart information and ideas of all kinds, regardless of frontiers, either orally, in writing or in print, in the form of art, or through any other media of his choice.

3. The exercise of the rights provided for in paragraph 2 of this article carries with it special duties and responsibilities. It may therefore be subject to certain restrictions, but these shall only be such as are provided by law and are necessary:

(a) For respect of the rights or reputations of others;

(b) For the protection of national security or of public order (ordre public), or of public health or morals.

ඉහත වගන්තියේ අරමුණ බාධාවකින් තොරව අදහස් පළ කිරීමේ අයිතිය තහවුරු කිරීමයි. එසේ වුවත් එම වගන්තියෙන්ම අදාළ නිදහස භුක්ති විඳීමේදී අමතක නොකළ යුතු සීමාවන් පිළිබඳවද සඳහන් වෙනවා. ඒ අනුව, කිසියම් අදහස් පළ කිරීමක් නිසා වෙනත් අයෙකුගේ අයිතිවාසිකම් වලට හෝ ගරුත්වයට හානි වන අවස්ථා වලදීත්, ජාතික ආරක්ෂාවට, රටේ නීතිය හා සාමයට හෝ මහජන සෞඛ්‍යට හානිකර වන විටකදීත් එසේ අදහස් පළ කිරීමේ නිදහස සීමා වෙනවා.

සම්මුතියේ 19 වන වගන්තියේ මූලික අරමුණ වන්නේ භාෂණයේ නිදහස තහවුරු කිරීම බව ඉතා පැහැදිලියි. මේ නිදහසේ සීමාවන් ගැන සඳහන් වන්නේ ව්‍යතිරේඛ ලෙසයි. 20 වන වගන්තියෙන් විස්තර කෙරෙන්නේ ඒ ව්‍යතිරේඛ පිළිබඳවයි. ලංකාවේ නීතියේ තිබෙන්නේ දළ වශයෙන් එකම කරුණු වුනත්, එහිදී භාෂණයේ නිදහස යන්නට ප්‍රමුඛතාවය දී ඉහත කී ව්‍යතිරේඛ තත්ත්වය ගැනද කියනවා වෙනුවට ව්‍යතිරේඛ වලට ප්‍රමුඛතාවයක් ලබා දී ඇති සෙයක් පෙනෙනවා. වෙනත් විදිහකින් කිවුවොත් ලංකාවේ නීතියේ මූලික කාර්ය භාරය අදාළ තත්ත්වයන් යටතේදී භාෂණයේ නිදහස සීමා කිරීම බවට පත්ව තිබෙනවා.

ශක්තික සත්කුමාර සිද්ධියේදී මහේත්ත්‍රාත් අධිකරණය විසින් ක්‍රියා කර ඇති ආකාරයේ නීතිමය වරදක් පෙනෙන්න නැහැ. මෙවැනි සංඥය වරදකට පොලීසිය විසින් යමෙක්ව අත් අඩංගුවට ගැනීමෙන් පසුව සැකකරුව මහාධිකරණයට ඉදිරිපත් කරන තුරු ඇප දීමේ හැකියාවක් නැති බව මගේ අදහසයි. නීතිය පොඩ්ඩක් ඉගෙනගෙන තිබුණත් මා නීතිඥයෙකු නෙමෙයි. මා වැරදි වෙන්න පුළුවන්.

ලංකාවේදී යමෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම කියන්නේම ලොකු දඬුවමක්. පෙනෙන විදිහට මේ වගේ චෝදනාවක් ඉදිරිපත් වූ අවස්ථාවකදී නීතිය අනුව සිදුවිය යුතු සාමාන්‍ය දෙය එයයි. මගේ අදහස අනුව මෙහි තිබෙන්නේ නීතියේ ප්‍රශ්නයක් මිස නීතිය ක්‍රියාත්මක වී ඇති ආකාරයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා මෙය ඉදිරියේදී තවත් මෙවැනි නඩු ගොනු වීමට පූර්වාදර්ශයක් සපයන්න පුළුවන්. එවැනි නඩු විවිධ පැති වලට කැරකෙන්න පුළුවන්. භාෂණයේ නිදහස පිළිබඳව වගේම ලංකාවේ දේශපාලනික තත්ත්වයන්ද සැලකූ විට එහි විශාල අනතුරක් තිබෙනවා.

13 comments:

  1. මේ වැඩෙන් සත්කුමාරට ලොකු ප්‍රසිද්ධියක් ලැබෙනවා.යසෝධරා ගැන හෝ සිද්ධාර්ථ ගැන මොන වල්පල් ලිව්වත් දඬුවම් කරන්න පුළුවන් කියලා මට හිතෙන්නෙ නෑ. මේ දෙන්නම ඉන්දියානු පුරවැසියන් නිසා නඩුවත් ඉන්දියාවට ගෙනිච්චනම් තමයි හොඳ!

    ReplyDelete
  2. ඔයාගෙනුත් ලොකුම සේවයක් වෙන්නේ 'රසිකොලොජි' ලින්ක් එක දැමිල්ලෙන්. කෙටිකතාව හොයමින් හිටි මම එහාට ගිහින්- එක කියවලා- ප්‍රතිචාරයකුත් යවලයි ආපහු ආවේ!

    අනේ අපේ පන් ගොන්ඩිතලා.

    ස්තුතියි ඉකොනො!



    ReplyDelete
  3. If there is such a law, and there is a complain from an aggravated party, what's wrong with implementation of it?

    Are we saying law must be applied selectively?

    Who are we finding fault here? Police, Judge?

    It only looks silly like the 'Pidurangala' puka seen, but now people will know such a law exists.

    ReplyDelete
  4. සූත්‍රාන්තපිටකයෙහි
    දික් සඟිය
    සීලස්කන්ධවර්ගය
    1. බ්‍රහ්මජාල සූත්‍රය
    .....
    (ඒ භික්ෂූන්ගේ කථාව අසා භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක්) “මහණෙනි, අනුන් මට දොස් කියතොත්, ධර්මයට හෝ දොස් කියතොත්, සංඝයාට හෝ දොස් කියතොත්, ඒ තන්හි දී තොප විසින් කෝප නො ඉපැදැවියැ යුතු ය. නොසතුට නො ම ඉපැදැවියැ යුතු ය. සිතැ අමනාප බව නොකට යුතු ය. මහණෙනි, අනුන් මට දොස් කියතොත්, ධර්මයට හෝ දොස් කියතොත් සඞ්ඝයාට හෝ දොස් කියතොත් ඒ දොස් කීමෙහි තෙපි කිපෙන්නහු නම්, නොසතුටු හෝ වන්නහු නම්, එයින් තොපට ම (තොපගේ ම ධ්‍යානලාභාදියට) අන්තරාය (බාධා) වන්නේ ය....

    6. “මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියතොත්, එහි තොප විසින් ප්‍රීතිය නො ඉපදැවිය යුතු ය. සොම්නස නො කළ යුතු ය. සිතෙහි ප්‍රීතියෙන් ඉල්පුණුබව නො කළ යුතු ය. මහණෙනි, අනුන් මාගේ හෝ ගුණ කියතොත්, ධර්මයේ හෝ ගුණ කියතොත්, සංඝයාගේ හෝ ගුණ කියතොත්, එහි තෙපි ප්‍රීති වන්නහු නම්, සතුටු වන්නහු නම්, තොපට ම එයින් අන්තරාය වේ.

    https://www.thripitakaya.org/tipitakaya/Index/45?s=6

    ReplyDelete
    Replies
    1. “මහණෙනි, අනුන් මට දොස් කියතොත්, ධර්මයට හෝ දොස් කියතොත්, සංඝයාට හෝ දොස් කියතොත්, ඒ තන්හි දී තොප විසින් කෝප නො ඉපැදැවියැ යුතු ය. නොසතුට නො ම ඉපැදැවියැ යුතු ය. සිතැ අමනාප බව නොකට යුතු ය. මහණෙනි, අනුන් මට දොස් කියතොත්, ධර්මයට හෝ දොස් කියතොත් සඞ්ඝයාට හෝ දොස් කියතොත් ඒ දොස් කීමෙහි තෙපි කිපෙන්නහු නම්, නොසතුටු හෝ වන්නහු නම්, එයින් තොපට ම (තොපගේ ම ධ්‍යානලාභාදියට) අන්තරාය (බාධා) වන්නේ ය....

      බුදුන් වහන්සේ මෙය වදාරා ඇත්තේ මහනුන්ටයි. නැතුව ගිහියන්ට නොවෙයි. ඒ අනුව මහනුන් කෝප නොවිය යුතුයි. අවශ්‍යනම් ගිහියන්ට කෝප විය හැකියි.

      බුදුදහමට අනුව බෞද්ධයන් අතර සිව්වනක් පිරිසක් සිටිති. එයින් භික්ෂු භිෂූණීන් යනු (ඉන්දියාවේ හිජ්රාවන් මෙන්) සිය කැමැත්තෙන්ම විකල්ප ජීවන රටාවක් තෝරාගත් පිරිසක් විනා බුදුදහම භාර පූජක පැලැන්තියක් නොවෙයි. බෞද්ධ ජනගහනයෙන් බහුතරයක් ගිහියන් නිසා බුදුදහම වැඩියෙන් අයිති ගිහියන්ට බව ගිහියන් වටහාගත යුතුයි.

      Delete
    2. "පූජ්‍ය අඟුලගල්ලේ සිරි ජිනානන්ද හිමි, විධායක අධ්‍යක්ෂ, බෞද්ධ තොරතුරු කේන්ද්‍රය, ශ්‍රී විමලාරාමය, ඉසුරුපුර, මාලඹේ..." යනු මහණෙකි නේද?

      ඔය තොරතුරු කේන්ද්‍රයේ අනුශාසකවරු ද මහනුන්.

      මෙන්න පැමිණිල්ල...
      https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/56300203_278325143078141_177358758932905984_n.jpg?_nc_cat=110&_nc_ht=scontent.fcmb1-1.fna&oh=de20240e26282346a7c6746b0acb2ab7&oe=5D0D5191

      Delete
    3. මේ තොරතුරු කේන්ද්‍රයේ අය අර දෙරණෙ ලොක්කව දැකලා නෑ වගේ නේද? එයත් මොකක්ද අමුතු බණක් දෙසුවනේ ළඟදී ආතල් එකේ ඉඳලා බුදු වෙන්න පුළුවන් කියලා...

      Delete
  5. මේ කතාවේදි වාර්ගික හෝ ආගමික වෛරයක් පතුරන්නේ නැහැ නේද? එහෙනං එක ආගමකට සාපේක්ෂව අනෙක් ආගමක් ගැනයි කතා කරන්න ඕන. මට නං හිතෙන විදියට මේක විකාරයක්. එහෙනං සන්නස්ගල මේ වෙනකොට තාම හිරේ. නීතිය යන්නේ සවිබල නැති අතු කඩන්න තමා

    ReplyDelete
    Replies
    1. අනී උයාට තීන්නේ කොමියුනිස්ට් හැදියාවක්. හයිය අතු කඩන්න බැරිනම් දුර්වල අත්තක් හරි කඩනඑක හොඳයි.

      Delete
  6. මාර කෙටි කතාව කියෙව්වට පස්සේ තමා තේරුනේ තලේබාන් හාමුදුරුවරු ටිකක් එකතු වෙලා මානසික රෝගියෙකුට ප්‍රසිද්ධියක් දීලා කියලා.. ඒ යකා චන්න වෙනුවට කන්ථක කියලා දැම්මත් පුදුම වෙන්න දෙයක් නෑ..

    හැබැයි මිනිහව හිරේ දාපු එක බුදුහාමුදුරුවෝ පවා අනුමත කරණ එකක් නෑ.. ඒකෙන් තමා බුදු දහමට ලොකුම අගෞරවය වුනේ...

    ReplyDelete
    Replies
    1. ඥානසාර හාමුදුරුවෝ වගේ ඇඟේ හයියෙන් විරෝධය පෑවාම ඒකටත් බනිනවා. මෙතනදී වික්ටෝරියානු ක්‍රමයට නීතියෙන් විරෝධය පෑවාම ඒකටත් විරුද්ධයි. ඒක අසාධාරණයි

      Delete
  7. නිතිය පැහැදිලි කලාට ස්තූතියි. මේ මනුස්සය මොනවා ලීවත් / සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියක්// මේක යටතේ දඬුවම් කිරීම මහා විහිළුවක්

    ReplyDelete
  8. This issue has become a festival of bashing of Buddhist Monks who made the complain.

    What is the big deal? This is a ordinary case of applying the existing law. If the law is misinterpreted, he can go to high courts to complain and get compensation.

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...