මම හිතන්නේ විණිමය හුවමාරු ගිවිසුම් කියන වචනය පහුගිය දවස් වල ලංකාවේ ගොඩක් අයට ඇහෙන්න ඇති. සමහර මාධ්‍ය වල පළ වී තිබුණු හැටියට ලංකාව ඉන්දියාවෙන් අරගෙන තිබුණු ඩොලර් මිලියන 400ක ණයක් වහාම ගෙවන්න කියලා ඉන්දියාව ඉල්ලලා තිබෙනවා. ඔය ගැන ලංකාවෙන් වගේම ඉන්දියාවෙන්ද පැහැදිලි කිරීම් කෙරුණා. ඊට පස්සේ දැන් චීනයෙන් ඩොලර් මිලියන 1,500ක ණයක් ගන්න යන කතාවකුත් ඇහෙනවා. ඔය කතා දෙකම එක්ක විණිමය හුවමාරු ගිවිසුම් කියන වචනයත් ඇහෙන බව ටිකක් හොයා බැලුවොත් පෙනෙයි.
මේ විණිමය හුවමාරු ගිවිසුම් කියන්නේ මොනවාද? ඒවා ණය නෙමෙයිද? අයිඑෆ්එම් හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගන්න ණය ගැනත් ඔය වගේම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ ගැන මීට කලිනුත් පැහැදිලි කරලා තියෙනවා. නමුත්, ගොඩක් අයට මෙය තවමත් පැහැදිලි නැති නිසා, විශේෂයෙන්ම වෙන තැන් වල නැවත පළවීමෙන් පසුව මේ ලිපි කියවන අයත් දැන් ගොඩක් ඉන්න නිසා, අපි මේ ගැන නැවතත් පැහැදිලි කර ගනිමු.
පළමුව රාජ්‍ය ණය හා විදේශ ණය අතර වෙනස නැවත පැහැදිලි කරන්නම්.
රාජ්‍ය ණය කියන්නේ රජය විසින් ලබා ගන්නා ණය. මේ ණය විදේශ ණය හෝ දේශීය ණය විය හැකියි. ඒ වගේම, විදේශ ණය කියන්නේ ලංකාවේ කවුරු හෝ විසින් විදේශයකින් ගන්නා ණය. ණය ගන්නේ රජය, පුද්ගලයෙක් හෝ සමාගමක් වෙන්න පුළුවන්. ලංකාවේ රාජ්‍ය ණය අර්බුදය හා විදේශ ණය අර්බුදය එකිනෙකට සම්බන්ධ වුනත් මේ දෙක දෙකක්.
රාජ්‍ය ණය ඉහළ යාමේ ප්‍රශ්නය වන්නේ ණය වාරික හා පොලිය ගෙවීම අනාගතයට ඉතිරි වීම, ඒ හරහා අනාගතයේදී රජයේ වියදම් ඉහළ ගොස් අයවැය හිඟය වැඩි වීම හා අයවැය හිගය පියවන්න වැඩි වැඩියෙන් තවතවත් ණය ගන්න සිදු වීම. මේ විදිහට අයවැය හිඟය ඉහළ ගිහින් ඒ අයවැය හිඟය පියවීම සඳහා තවදුරටත් දේශීය හෝ විදේශීය ණය ගන්න අමාරු වුනහම රජය සල්ලි අච්චු ගැහීම කරා යොමු වෙනවා. පහුගිය අවුරුද්දේ කළේම ඔය වැඩේනේ. එහි අහිතකර ප්‍රතිඵල ගැන කතා කරන්න කාලය වැය නොකර සිටිමු. කලින් මේ ගැන ඕනෑ තරම් කතා කරලා තියෙනවනේ.
ඇත්තටම රජය විසින් ලබා ගන්න ණය ඵලදායී ලෙස ආයෝජනය කරනවානම් ණය කොයි තරම් ගත්තත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කරපු මොනවා හෝ ආයෝජන නිසා රටේ ආදායම් ඉහළ යන නිසා ණය වාරික හා පොලී ගෙවන්න අවශ්‍ය අමතර මුදලට වඩා වැඩියෙන් රජයේ බදු ආදායම් ඉහළ යනවා. ඒ නිසා, ණය ගෙවන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලංකාවේ රාජ්‍ය ණය ඒ විදිහට ඵලදායී විදිහට ආයෝජනය නොවන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඒ නිසා, වරින් වර ඔය සල්ලි අච්චු ගහන විකල්පයට යන්න වෙනවා.
විදේශ ණය ඉහළ යාමේ ප්‍රශ්නය වෙන එකක්. අපි රජය පැත්තකින්ම තියමුකෝ. ලංකාවේ කවර හෝ සමාගමක් විසින් විශාල (ඩොලර් බිලියන දෙක තුනක වගේ) විදේශ ණයක් ගත්තා කියමු. මේ විදිහට ලබාගත් අරමුදල් ඉතාම ඵලදායී ලෙස ආයෝජනය කරලා ණය ගෙවන්න අවශ්‍ය මුදලටත් වඩා ආදායමක් ඉපැයූවා කියමු. හැබැයි ආදායම උපයා තියෙන්නේ රුපියල් වලින්. ණය ආපසු ගෙවන්න තියෙන්නේ ඩොලර් වලින්.
දැන් මේ සමාගමට ණය ගෙවන්න රුපියල් ඩොලර් වලට මාරු කරන්න වෙනවා. ඒ සඳහා, ඩොලර් දීලා රුපියල් ගන්න කැමති කෙනෙක් ළඟට යන්න වෙනවා. පොඩි ඩොලර් ගණනක්නම් ඔය විදේශ මුදල් හුවමාරු කරන තැනකින් ගන්න පුළුවන්. ටිකක් ලොකු ගණනක් බැංකුවකින් ගන්න පුළුවන්. හැබැයි ලංකාවේ කිසිම වාණිජ බැංකුවක බිලියන ගණන් ඩොලර් නැහැ. ඒ වගේ ගණනක් ගන්න පුළුවන් තැන මහ බැංකුව. රුපියල් දීලා ඩොලර් ගන්න පුළුවන් වෙන්නේ මහ බැංකුවේ ඩොලර් සංචිත වලින්.
ඇත්තටම කියනවානම් වෙන කවුරු විසින් ප්‍රතික්ෂේප කළත් මහ බැංකුවට රුපියල් අරගෙන ඩොලර් දෙන එක ප්‍රතික්ෂේප කරන්න බැහැ. මහ බැංකුව විසින් එහෙම කරනවානම් එහි විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඇයි?
මහ බැංකුව විසින් රුපියල් අරගෙන ඩොලර් දෙන්න බැහැ කියා කියනවානම් එය සමාන කළ හැක්කේ වාණිජ බැංකුවක් විසින් ඔබේ තැන්පතු ආපසු දෙන්න බෑ කියන එකටයි. ඔබේ අතේ තිබෙන රුපියල් මුද්‍රණය කරලා සංසරණයට එකතු කරලා තියෙන්නේ මහ බැංකුව විසින්. ඔබ මේ රුපියල් ලබා ගෙන තිබෙන්නේ නිකම් නෙමෙයි. මහන්සියෙන් හදාගත් මොනවා හෝ දෙයක් එක්ක හුවමාරු කරලා. එහෙම නැත්නම් ඔබේ ශ්‍රමය එක්ක හුවමාරු කරලා. ඔබ වටිනා දෙයක් රුපියල් නෝට්ටු එක්ක හුවමාරු කරගන්න කැමති වී තිබෙන්නේ මහ බැංකුව මත තිබෙන විශ්වාසය මත. රුපියල් අතේ තියා ගන්නවා කියන්නේත් හරියට බැංකුවක සල්ලි දමනවා වගේම දෙයක් තමයි.
රුපියල් වලට වටිනාකමක් තිබෙන බව කියන්නේ මහ බැංකුව. මේ වටිනාකම හරියටම ඔබට දැනුම් දෙන්නෙත් මහ බැංකුව. නිශ්චිතවම කියනවානම් රුපියල් දෙසීයක ඇමරිකන් ඩොලරයකට සමාන වටිනාකමක් තිබෙන බව ඔබට කියන්නේ මහ බැංකුව. මහ බැංකුව ඔබට එහෙම කියනවානම් ඔබ රුපියල් දෙසීයක් මහ බැංකුවට දුන්නහම ඔබට ඩොලරයක් දෙන්න මහ බැංකුවට වගකීමක් තියෙනවා. මහා බැංකුව එහෙම දෙන්න බැහැ කියනවානම් ඒ කියන්නේ රුපියලේ වටිනාකම පිළිබඳව මහ බැංකුව කියන්නේ බොරුවක් කියන එකයි.
ඉහත තර්කය අනුව ඔබ රුපියල් දුන්නහම ඔබට අවශ්‍ය ප්‍රමාණයට ඩොලර් දෙන්න බැරිනම් මහ බැංකුවේ විශ්වාසනීයත්වය පිළිබඳ ගැටළුවක් මතු වෙනවා. ඒ නිසා, මහ බැංකුවක් මේ තත්ත්වයට වැටෙන්න කැමති නැහැ. එහෙම වැටෙනවානම් වැටෙන්නේ වෙන කරන්න කිසිම දෙයක් නැති වුනහම. එහෙමත් නැත්නම් මහ බැංකුව බංකොලොත් වුනහම. රටක මහ බැංකුවක් බංකොලොත් වෙනවා කියන්න ඒ රටේ මුදල් වලට කිසිම වටිනාකමක් නැති වෙලා නිකම්ම කඩදාසි බවට පත් වෙලා කියන එක. සමහර රටවල් වල ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. කවුරු හෝ ඉල්ලුවොත් ඉල්ලන තරමක් දෙන්න ප්‍රමාණවත් ඩොලර් සංචිතයක් මහ බැංකුවේ පවත්වා ගැනීම ඉතාම වැදගත් වන්නේ මේ නිසා.
මහ බැංකුවේ ඩොලර් සංචිත පහත වැටිලා ඉල්ලුමට සරිලන තරම් ඩොලර් සපයන එක අසීරු වුනහම එය අපි ගෙවුම් ශේෂ අර්බුදයක් කියා හඳුන්වනවා. ලංකාව වසර කිහිපයකට වරක් ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දෙනවා. ගොඩක් වෙලාවට ගොඩ දමන්නේ අයිඑම්එෆ් එක. අර්බුදය අවසන් වන විට රුපියල සෑහෙන තරමකින් අවප්‍රමාණය වෙනවා. බොහෝ විට වෙන්නේ සංචිත ඉහළ යන එකට වඩා විණිමය අනුපාතය ඉහළ යාම නිසා ඩොලර් වලට තිබෙන ඉල්ලුම අඩු වෙන එක.
රුපියල් දෙසීය ගානේ මහා බැංකුවෙන් ඩොලර් ඉල්ලන ගොඩක් අය රුපියල් තුන්සීය ගානේ ඩොලර් ඉල්ලගෙන එන්නේ නැහැ. ඒ නිසා සංචිත වැඩි වුනේ නැතත් අඩු වශයෙන් තාවකාලිකව හෝ ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳෙනවා. කාලයක් ගිහින් අලුත් වටයකින් නැවත ගෙවුම් ශේෂ ප්‍රශ්නය මතු වෙන කොට ආයෙත් ඔය රවුමම යනවා. රුපියල අවප්‍රමාණය වෙනවා.
දැන් මම ඔය විස්තර කළේ ගෙවුම් ශේෂ ප්‍රශ්නය. මම මෙය විස්තර කළේ රජය ගාවා නොගෙන. ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට හේතුව මහ බැංකුවේ විදේශ විණිමය ප්‍රතිපත්තිය. රාජ්‍ය ණය ප්‍රශ්නයක් නොතිබුණත් මහ බැංකුවේ විදේශ විණිමය ප්‍රතිපත්තිය නිසා ඔය වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ උදාහරණයේදී මෙන් විදේශ ණය ලබාගත් පෞද්ගලික සමාගම එම මුදල් ඵලදායී ලෙස ආයෝජනය කරලා ආදායම් ඉපදවූයේ වුවත් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.
මේ ප්‍රශ්න දෙකේ වෙනස පැහැදිලි කරන්න මේ විදිහට පෞද්ගලික අංශය විසින් ලබාගත් විදේශ ණයක් උදාහරණයට ගත්තත් ඇත්තටම ලංකාවේ විදේශ ණය වලින් විශාල කොටසක් අරගෙන තිබෙන්නේ රජය විසින්නේ. රජය විසින් විදේශ ණය ගත්තහම එක පැත්තකින් රාජ්‍ය ණය අර්බුදයක් වගේම අනෙක් පැත්තෙන් ගෙවුම් ශේෂ අර්බුදයක්ද මතු වෙනවා. ඒ නිසා, වෙන වෙනම ප්‍රශ්න දෙකක් වුනත් මේ ප්‍රශ්න දෙක එකට ගැට ගැහිලයි තියෙන්නේ.
විදේශ ණය ගත්තහම තාවකාලිකව ප්‍රශ්න දෙකම යටපත් වෙනවා. එක පැත්තකින් ගත්ත ඩොලර් ටික රුපියල් වලට මාරු කළාම රටේ බැංකු පද්ධතියට ඩොලර් ඇවිත් ගෙවුම් ශේෂ ප්‍රශ්නය යට යනවා. අනෙක් පැත්තෙන් ඩොලර් මාරු කරලා ගත්ත රුපියල් ටිකෙන් අයවැය හිඟය පියවාගන්න පුළුවන්. ඒ නිසා, සල්ලි අච්චු ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. උද්ධමන ප්‍රශ්නයක් එන්නෙත් නැහැ. ලංකාව කාලයක් තිස්සේම කරන්නේ මේ වැඩේ.
හැබැයි ඉතිං මේ වැඩේ තනිකරම හිඟන්නාගේ තුවාලය කහනවා වගේ වැඩක්. විදේශ ණය අරගෙන තාවකාලිකව ප්‍රශ්න දෙකම යටපත් කර ගත්තත් ගත්ත ණය පොලියත් එක්ක ගෙවන්න වුනහම ප්‍රශ්නය අලුත් වටයකින් එන්නේ තිබුණාටත් වඩා දරුණු වෙලා. එතකොට හැමදාම වැඩි වැඩියෙන් විදේශ ණය ගන්න වෙනවා. නමුත්, ණය ගන්නනම් ණය දෙන්න කැමති අයත් ඉන්න ඕනෑනේ.
දැන් ලංකාවේ රජය ණය අරන් තිබෙන තරමට හා ඒ ගත්ත ණය මෙතෙක් කාලයක් වියදම් කරලා තිබෙන විදිහට රජයට තවත් ණය දෙන එක විශාල අවදානමක් බව කාට වුනත් තේරෙනවා. මෙච්චර කල් ගත්ත ණය වලින් ආදායම් උපදවා නැතුවා වගේම කවදාවත් ගත්ත ණය ගෙවලත් නැහැනේ. ගත්ත ණය ගෙවලා නැහැ කියා කියන්නේ ණයට පොලු තියලා තියෙනවා කියන එක නෙමෙයි. ලංකාව එහෙම කරලා නැහැ. නමුත්, හැම විටම ගත් ණය ගෙවා තියෙන්නේ අලුත් ණය වලින්. ඔය පිරමිඩ් එක කොයි වෙලේ හෝ කඩා වැටෙන බව කාට වුනත් තේරෙනවනේ.
දැන් ලංකාවේ රජයට විදේශ ණය ලබා ගන්න එක ඉතාම අසීරුයි. අවුරුද්දකින් (2022 ජනවාරි 18) කල් පිරෙන්න නියමිත ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කරයක අද ආයෝජනය කරන කෙනෙකුට (ද්වීතියික වෙළඳපොළෙන් මිල දී ගන්න කෙනෙකුට) 40%කට කිට්ටු පොලියක් ඩොලර් වලින්ම ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවට අවුරුද්දකට ඩොලර් 100ක් දෙන කෙනෙක් එසේ කරන්නේ අවුරුද්දකින් ඩොලර් 140ක් ලැබෙනවානම් පමණයි. මෙයින් පෙන්වන්නේ රට ඇතුළේ ඉන්න අයට නොතේරුණත් රුපියලේ සැබෑ වටිනාකම කොයි තරම් අඩු වෙලාද කියන එකයි.
මේ වගේ තත්ත්වයකදී ලංකාවට විදේශ ණය ලබා ගැනීම ඉතාම අසීරුයි. වාණිජ පදනමින් ණය ගන්නවානම් 40%ක පමණ පොලියක් ගෙවන්න වෙනවා. නැත්නම් ඉන්දියාව, චීනය හෝ වෙනත් බටහිර රටක් දේශපාලන අරමුණක් පෙරදැරිව අඩු පොලියකට ණය දෙන්න ඕනෑ.
මේ ආණ්ඩුව බලයට පත් වූ වහාම විශාල ලෙස බදු අඩු කළානේ. එහි දේශපාලනය අපි පැත්තකින් තියමු. මේ වැඩෙන් රජයේ ආදායම් විශාල ලෙස අඩු වෙලා අයවැය හිඟය විශාල ලෙස ඉහළ ගියා. දැන් එක පැත්තකින් අයවැය හිඟය විශාල ලෙස ඉහළ ගිහින්. අනෙක් පැත්තෙන් අයවැය හිඟය පියවාගන්න විදේශ ණය ගන්නත් බැහැ. දේශීය ණය ගන්න පුළුවන් වුනත් දේශීය ආයෝජකයෝ වුනත් ආණ්ඩුවට අවශ්‍ය පොලියට ණය දෙන්න සූදානම් නැහැ. පවතින පොලියට රජයට ණය දීම අවදානම් බව දේශීය ආයෝජකයෝ පවා හිතනවා. මේ තත්ත්වය යටතේ විශාල ලෙස සල්ලි අච්චු ගසමින් අයවැය හිඟය පියවා ගන්න ආණ්ඩුව පෙළඹී තිබෙනවා.
මේ වැඩෙන් යම් කාල පමාවකින් පසුව විශාල ලෙස රටේ බඩු මිල ඉහළ යාම හා ඉන් පසුව ඩොලරයේ මිලද ඉහළ යන එක ඉතාම පැහැදිලියි. ඒ කතාව අපි පැත්තකින් තියමුකෝ. ඒ අනාගත අවදානම් කොහොම වුනත් මේ විදිහට සල්ලි අච්චු ගහන එකෙන් මේ අවස්ථාවේදී තාවකාලිකව රාජ්‍යමූල්‍ය අර්බුදය විසඳෙනවා. අච්චු ගහපු සල්ලි වලින් දේශීය ණය වගේම පොලියත් ආපහු ගෙවන්න පුළුවන්. අනෙක් දේශීය වියදම් වෙනුවෙන් මේ මුදල් වැය කරන්නත් පුළුවන්. ඒ වගේම විදේශ ණය හා පොලිය ගෙවන්න අවශ්‍ය තරමට මුදලක් අච්චු ගහගන්නත් පුළුවන්.
ප්‍රශ්නය තියෙන්නේ එතැනින් එහාට. ඩොලර් වලින් ලංකාවේ රජයට ණය දුන් කවුරුවත් රුපියල් දෙසීයක් ඩොලරයේ අනුපාතයට රුපියල් වලින් ණය හා වාරික ආපහු ගන්න කැමති නැහැ. මොකද එහෙම ගත්තා කියලා රුපියල් දෙසීයේ අනුපාතයට රුපියල් ඩොලර් වලට මාරු කරලා දෙන්න කෙනෙක් නැහැ. ආණ්ඩුව ඩොලර් වලින් ගත් ණය හා පොලිය ඩොලර් වලින්ම ආපසු ගෙවිය යුතුයි. රුපියල් ඩොලර් වලට මාරු කරගන්න වෙන්නේ මහ බැංකුවෙන්. නමුත් ඒ වැඩේට ප්‍රමාණවත් ඩොලර් මහ බැංකුවේ නැහැ. ඔන්න ඕකයි ප්‍රශ්නය.
"අපේ රුපියල් දීලා ඩොලර් අරන් ණය ගෙවන්න බැරිද? එහෙම ගෙව්වොත් ඩොලර් එක කොච්චරකින් වැඩිවෙයිද? (ඩොලර් බිලිනයක් ගත්තොත් ඩොලරය කීයක් වෙයිද?) ඒ ඔප්ශන් එකට යන්නෙ නැත්තෙ ඇයි?"
ඔය ඔප්ෂන් එකට යන්න පුළුවන්නම් හරිම ලේසියි. කැමති තරමක් රුපියල් මුද්‍රණය කළා. ඩොලර් වලට මාරු කළා. ණය ගෙවුවා. සිම්පල් ප්ලෑන් එකක්!
ඇත්තටම කියනවානම් ඇමරිකාව කරන්නේ ඔය වගේ වැඩක්. ඩොලර් අච්චු ගහලා ණය ගෙවනවා. ඇමරිකාව අච්චු ගහලා දෙන ඩොලර් කියන්නෙත් රුපියල් වගේම නිකම්ම කඩදාසි වුනත් ඒ කඩදාසි බාර ගන්න කැමති අය ඇමරිකාවෙන් පිටත ඕනෑ තරම් ඉන්නවා. නමුත්, ලංකාව ඒ විදිහට සල්ලි අච්චු ගැහුවා කියලා ලංකාවේ පිටත කිසිම කෙනෙක් ඒ කඩදාසි බාර ගන්නේ නැහැ. ඒවා බාර ගන්නේ ලංකාව ඇතුළේ ඉන්න අය පමණයි.
ලිපිය පටන් ගැනීමේදී කතා කළ විණිමය හුවමාරු ගිවිසුමක් කියා කියන්නේ මේ විදිහට රුපියල් අරගෙන ඩොලර් දීමක්. හැබැයි එහෙම දෙන අය රුපියල් අරගෙන ඩොලර් දෙන්නේ කොන්දේසියක් යටතේ. යම් නිශ්චිත කාලයකට පසුව රුපියල් ටික ආපසු අරගෙන ඩොලර් ටික ආපසු දෙන්න ඕනෑ. තාක්ෂනිකව බැලුවොත් මෙය ණය ගැනීමක් නෙමෙයි. මොකද ඩොලර් ගන්නේ රුපියල් දීලා.
විණිමය හුවමාරු ගිවිසුම් වලට යන්නේ රජයයන් පමණක් නෙමෙයි, උදාහරණයක් විදිහට සමාගමක් හා වාණිජ බැංකුවක් අතර විණිමය හුවමාරු ගිවිසුමක් ඇති වෙන්න පුළුවන්. අපි හිතමු චීනයෙන් මොනවා හරි ගෙන්නලා ඉන්දියාවට ප්‍රතිඅපනයනය කරන ලංකාවේ ව්‍යාපාරයක් ගැන. හදිසියේම ඉන්දියාව පැත්තෙන් ඉල්ලුම වැඩි වුනොත් එම ව්‍යාපාරික අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න අමතර ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. අනෙක් අතට බඩු ටික ඉන්දියාවට ගිය ගමන් ඩොලර් ලැබෙනවා. ඩොලර් අවශ්‍ය වන්නේ ඔය අතර කාලයේදී පමණයි.
එක විකල්පයක් වන්නේ ඩොලර් ණයට ගන්න එක. එතකොට ණයට පොලියක් ගෙවන්න වෙනවා. නමුත් අතේ රුපියල් වලින් ඕනෑ තරම් සල්ලි තියෙන කෙනෙකුට පොලියට ණය ගන්න අවශ්‍ය නැහැ. උවමනාව අතේ තිබෙන රුපියල් ටික තාවකාලිකව ඩොලර් කර ගන්න එකයි. ඒ වගේම දිගටම ඩොලර් අවශ්‍ය වෙන්නේත් නැහැ. මේ වගේ අවස්ථාවකදී විණිමය හුවමාරු ගිවිසුමකට යන එක හොඳ විකල්පයක්. පසුව දෙන පොරොන්දුවට කාගෙන් හෝ ඩොලර් ගත්තත් අනෙක් පැත්තෙන් රුපියල් ගෙවීමක්ද සිදුවන නිසා මෙය ණයක් නෙමෙයි. ඩොලර් ගන්නේ සදහටම නොවන නිසා සාමාන්‍ය විණිමය ගනුදෙනුවකුත් නෙමෙයි.
පහුගිය දවස් වල කතාබහට ලක් වුනු ඉන්දියාවට ආපසු ගෙවපු ඩොලර් 400ක "ණය" මුදලත් ඔය විදිහට විණිමය හුවමාරු වැඩ සටහනක් යටතේ අරගෙන තිබුණු මුදලක්. දැන් චීනයෙන් ගන්න යනවා කියා කියන්නෙත් මේ වගේ "ණයක්". සාමාන්‍යයෙන් අයිඑම්එෆ් එකෙන් ගන්නා ණයත් මේ වර්ගයේ "ණය". අයිඑම්එෆ් ණය වලට විණිමය හුවමාරු ගිවිසුම් කියා කියන්නේ නැතත් ව්‍යුහමය ලෙස සිදුවන්නේ සමාන දෙයක්.
ඉහත අවස්ථා තුනේදීම ගනුදෙනුව සිදු වන්නේ මහ බැංකුව එක්ක මිසක් රජය එක්ක නෙමෙයි. මේ වගේ ගනුදෙනුවකින් රජය විදේශ ණය ගනිද්දී මෙන් රාජ්‍ය ණය ඉහළ යන්නේ නැහැ. මොකද රජය ණය ගැනීමක් නොකරන නිසා. රජය කරන්නේ කවර හෝ ක්‍රමයකින් හොයා ගන්නා රුපියල් මහ බැංකුවට දී ඩොලර් කර ගන්න එක. මහ බැංකුව විසින් කරන්නේ සංචිත වල ඩොලර් ප්‍රමාණය පහත වැටෙන එක වලක්වා ගැනීම සඳහා තාවකාලික ක්‍රියාමාර්ගයක් ගන්න එක.
යුරෝපයේ හා ඇමරිකාවේ පිහිටි සමාගම් දෙකක් අතර සිදුවන විණිමය හුවමාරු ගිවිසුමක් වගේ එකක් ගත්තොත් ඇමරිකාවේ සමාගමට තාවකාලිකව යුරෝ අවශ්‍ය වෙනවා. යුරෝපයේ සමාගමට තාවකාලිකව ඩොලර් අවශ්‍ය වෙනවා. නමුත්, ඉන්දියාවට, චීනයට හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඔය විදිහට තාවකාලිකව ලංකාවේ රුපියල් අවශ්‍ය වීමක් වෙන්නේ නැහැ. ලංකාවට ඩොලර් අවශ්‍ය වීම පමණයි සිදු වෙන්නේ. ඒ නිසා, ලංකාවට විණිමය හුවමාරු ගිවිසුමකට යන්න වෙන්නේ යම් තාක් දුරකට අනෙක් පාර්ශ්වයේ අනුකම්පාව මත හෝ කොන්දේසි වලට යටත් වෙමින් පමණයි.
තවත් දෙයක් තිබෙනවා. විණිමය හුවමාරු ගිවිසුමකදී සෛද්ධාන්තිකව ණය ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ලංකාවේ මහ බැංකුව විසින් කරන්නේ ඉන්දියාවේ මහ බැංකුව එක්ක තාවකාලිකව රුපියල් හා ඩොලර් මාරු කර ගැනීමක් පමණයි. ලංකාවේ රජය විසින් මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගන්නවා. ඒ සඳහා රුපියල් හොයා ගැනීම වෙනම කතාවක්. එය රජයේ බදු හෝ වෙනත් ආදායමක් වෙන්න පුළුවන්. නැත්නම් දේශීය වෙළඳපොළේ රාජ්‍ය සුරැකුම්පත් විකුණා හොයා ගන්න මුදලක් වෙන්න පුළුවන්.
හැබැයි දැන් වෙන්නේ කුමක්ද? රජය මහ බැංකුවට රාජ්‍ය සුරැකුම්පත් විකුණනවා. මහ බැංකුව අලුතින් මුද්‍රණය කළ මුදල් ගෙවා ඒ රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගන්නවා. ඉන් පසු රජය රාජ්‍ය සුරැකුම්පත් විකුණා මහා බැංකුවෙන් ලබාගත් මුදල්ම මහ බැංකුවට දී ඩොලර් ලබා ගන්නවා. මහ බැංකුව ඩොලර් ලබා ගන්නේ ඉන්දියාවේ මහ බැංකුවට රුපියල් දීලා. ඒ කියන්නේ වක්‍රව ගත්තහම මෙතැනදී අන්තිමට වෙන්නේ ලංකාවේ රජය විසින් ඉන්දියාවේ මහ බැංකුවෙන් ණයක් ගැනීමක්ම තමයි.
මහ බැංකුව ගිවිසුමේ කාලය අවසානයේදී ඉන්දියාවට ඩොලර් ආපසු දී රුපියල් ටික නැවත ලබාගත යුතුයි. නමුත්, ඩොලර් ටික දැන් රජයට දීලා ඉවරයි. ඒ ඩොලර් නැවත ආපසු ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ඉන්දියාව පැත්තෙන් බැලුවහම මහ බැංකුවට දුන් ඩොලර් ටික ආපසු ලබා ගැනීමේ අවදානම ඒ විදිහටම තිබෙනවා.
මෙහි ඉන්දියාව වෙනුවට අයිඑම්එෆ් එක හිටියත් කතාව ඔය විදිහමයි. දුන්න සල්ලි ආපසු නොලැබීමේ අවදානම අයිඑම්එෆ් එකට තිබෙනවා. ඒ නිසා, අයිඑම්එෆ් එක සල්ලි දෙන්නේ ඒ සල්ලි ආපසු ගෙවිය හැකි තරමේ වෙනසක් සිදුවන ප්‍රතිසංස්කරණ වලට ලංකාව කැමති වුනොත් පමණයි. ණය ගනිද්දී අයිඑම්එෆ් එක කොන්දේසි දමනවා කියා කියන්නේ ඕකටයි.
විණිමය හුවමාරු ගිවිසුම යටතේ ඉන්දියාව ඩොලර් මිලියන 400ක් දීලා තියෙන්නෙත් ඔය වගේ කොන්දේසියක් දමලා. කොන්දේසිය වන්නේ ලංකාව අයිඑම්එෆ් වැඩසටහනකට යා යුතු බවයි. එසේ කළහොත් ණය ආපසු ලබා ගැනීමේ අවදානම අඩු වන බව ඉන්දියාව දන්නවා. නමුත්, ලංකාව අයිඑම්එෆ් වැඩසටහනකට ගියේ නැහැ. ඒ නිසා, ඉන්දියාව තමන්ගේ අවදානම අඩු කර ගැනීම සඳහා ඩොලර් ටික නැවත ආපසු අරගෙන ගත්ත රුපියල් ටික ආපසු දුන්නා.
දැන් ලංකාව සතුව ඉතිරි වී තිබෙන එක් විකල්පයක් වන්නේ අයිඑම්එෆ් වැඩසටහනකට යන එකයි. දෙවන විකල්පය වන්නේ ඉන්දියාවෙන් හෝ චීනයෙන් ණය ගැනීමයි. තෙවන විකල්පය වන්නේ ඉන්දියාව හෝ චීනය සමඟ විණිමය හුවමාරු ගිවිසුමකට යන එකයි. හතරවන විකල්පය රටේ මූල්‍යමය නොවන වත්කම් වලින් කොටසක් විකුණන (හෝ බදු දෙන) එකයි.
මෙහි මා ඉන්දියාව හා චීනය ගැන සඳහන් කළේ එම දෙරටින් එකක් මේ වැඩේට කැමති වීමේ වැඩි හැකියාවක් තිබෙන නිසයි. ලංකාවේ ඩොලර් සංචිත හිඳෙනවා කියා කියන්නේ දැඩි ලෙස ආනයන සීමා කරන්න වෙනවා කියන එකයි. මෙයින් ප්‍රධාන වශයෙන්ම අවාසියක් වෙන්නේ ඉන්දියාවට හා චීනයටයි. එම රටවල් වලින් ලංකාවට කරන අපනයන අඩු නොකර පවත්වා ගන්නනම් අනෙක් පැත්තෙන් ලංකාවට බඩු ගන්න සල්ලිත් කිසියම් ක්‍රමයකින් දෙන්නම වෙනවා. වෙන විකල්පයක් නැහැ.
ණය ආපසු නොලැබීමේ අවදානම නොගෙන අපනයනද එලෙසම පවත්වා ගැනීම සඳහා අවශ්‍ය විදේශ විණිමය ලංකාවට පොම්ප කළ හැකි එකම ක්‍රමය ලංකාවේ මොනවා හෝ වත්කම් මිල දී ගැනීමයි. චීනය වගේම ඉන්දියාවත් කරන්න හදන්නේ ඒකයි.