දවසකට දෙකකට සැරයක් රුපියල් පහකින් හෝ දහයකින් ඉහළ ගිය ඩොලරයක මිල දැන් ඒ විදිහට ඉහළ යන්නේ නැහැ. ඩොලරයක මිල රුපියල් 360 ආසන්නයේ ස්ථාවර වෙලා. හැබැයි ස්ථාවර වෙලා කිවුවට මෙතැන ඇත්තටම වෙලා තියෙන්නේ මහ බැංකුව මැදිහත් වී මිල ස්ථාවර කිරීමක් කියන එක කාටවත් රහසක් නෙමෙයි.
මීට කලින් ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියාගෙන ඉඳලා වෙච්ච සන්තෑසිය කාටවත් රහසක් නෙමෙයිනේ. දැන් ආයෙත් නැවත වටයකින් ඒ වගේම දෙයක් වෙන්නද යන්නේ?
කලින් පාර ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියාගන්න ගිහින් මහ බැංකුවේ සංචිත බිංදුවටම හිඳුනා. දැන් මහ බැංකුව සතුව සංචිත නැහැ. එහෙමනම් ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ තියාගන්නේ කොහොමද? එහෙම කරන එකේ මොකක් හෝ තේරුමක් තියෙනවද?
වෙළඳපොළ තුළ ඩොලරයක මිල තීරණය වන්නේ ලංකාව ඇතුළේ ඩොලර් වලට තිබෙන ඉල්ලුම හා ඩොලර් සැපයුම මත. අපනයන, ශ්‍රමික ප්‍රේෂණ, සංචාරකයින්, රජය විසින් ගන්නා ණය, බැංකු වලට එන ඩොලර් තැන්පතු ආදිය හරහා රටට ඩොලර් එනවා. ආනයන, විදේශ සංචාර, ණය ආපසු ගැනීම් ආදිය ඉහළ යද්දී ඩොලර් ඉල්ලුම ඉහළ යනවා. සැපයුමට වඩා ඉල්ලුම වැඩි වූ විට ඩොලර් අවශ්‍ය අයට වෙළඳපොළේ තිබෙන සීමිත ඩොලර් ප්‍රමාණය මිල දී ගැනීමට තරඟ කරන්න වෙනවා. ඒ තරඟය නිසා ඩොලරයේ මිල ඉහළ යනවා. ඩොලරයේ මිල ඉහළ ගියාම ආනයන ඉල්ලුම, විදේශ සංචාර ආදිය අඩු වෙලා ඩොලර් ඉල්ලුමත් පහළ ගිහින් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. ඕක තමයි ලංකාවේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වන සාමාන්‍ය ක්‍රමය.
එතකොට පහුගිය කාලයේ වුනේ කුමක්ද? විශාල ලෙස සල්ලි අච්චු ගහපු නිසා ආනයන ඉල්ලුම ඉහළ ගියා. ඇයි අතේ තියෙන රුපියල් වියදම් කරන්න ක්‍රමයකුත් හැදෙන්න ඕනෑනේ. නමුත් සල්ලි අච්චු ගැහුවා කියලා රටේ නිෂ්පාදනය වැඩි නොවන නිසා මිල දී ගන්න වෙන්නේ ආනයනය කරන දේවල්.
දැන් ඔය විදිහට ආනයන ඉල්ලුම වැඩි වෙද්දී ඩොලර් ඉල්ලුමත් ඉහළ යනවා. හැබැයි ඩොලර් සැපයුම වැඩි වෙන්නේ නැහැනේ. මහ බැංකුව විසින් කළේ සංචිත විකුණමින් ඉල්ලුමට සරිලන තරමට ඩොලර් සපයන එක. එවිට එම ඩොලර් ආනයන සඳහා යොදා ගන්න පුළුවන්. මොන විදිහෙන් හෝ ඉල්ලුම හා සැපයුම සමතුලිත වන නිසා මිල ඉහළ යන්නේ නැහැ. ඔය වැඩේ කරන්න ගිහින් අවසාන වශයෙන් රටේ ඩොලර් සංචිතය බිංදුවටම හිඳුනා කියලා අපි දන්නවනේ.
දැන් මහ බැංකුවට ඔය වැඩේ කරන්න බැහැ. මොකද ඔය වැඩේ කරන්න පුළුවන් සංචිත අතේ තියෙනවානම් පමණයි. ඒ කියන්නේ ඩොලරයක මිල කීයට ගියත් මහ බැංකුවට උඩ බලාගෙන ඉන්නවා මිසක් කරන්න පුළුවන් දෙයක් නැහැ. මිල ඉහළ යාමෙන්ම ඉල්ලුම හා සැපයුම සමතුලිත විය යුතුයි.
මේ වෙද්දී මිල ඉහළ ගොස් තියෙන තරමට හා වෙනත් ක්‍රියාමාර්ග නිසා හරිනම් ලංකාවේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්න ඕනෑ. නමුත් තවමත් ඒක වෙලා නැහැ. ඊට ප්‍රධාන හේතුව කලින් ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ ඒ විදිහටම නොලැබීම. ඒකට හේතුව දේශපාලන හේතු නිසා පිටරට වල ඉන්න අය සල්ලි එවන්නේ නැතුව සිටීම වගේ සරල දෙයක් නෙමෙයි. හේතුව මම පැහැදිලි කරන්නම්.
ස්ටීව් හැන්කි ගැන දැන් හැමෝම වගේ දන්නවනේ. ඔහු ලංකාවේ උද්ධමනය ගණනය කරන්න ගන්නේ ඩොලරයක කළුකඩ මිල. මේ දත්ත ගන්නේ රුපියල් ගෙවා ක්‍රිප්ටෝ ඇතුළු වෙනත් මුදල් වර්ග මිල දී ගත හැකි වෙබ් අඩවියකින්. පසුගිය පෙබරවාරි මාසය පමණ දක්වා මේ වෙබ් අඩවියේ රුපියල් ගනුදෙනු සිදු වී තිබෙන්නේ ඉතා අඩුවෙන්. සමහර විට දවස් ගාණකට එකක්. ගනුදෙනු සිදුවන මිලත් බැංකු වල මිලට ආසන්නයි.
පෙබරවාරි මාසයේදී පමණ එකවර හදිසි වෙනසක් වෙනවා. දෛනික රුපියල් ගනුදෙනු ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යනවා. බැංකු වල මිල හා කළුකඩ මිල අතර පරතරයද විශාල ලෙස වැඩි වෙනවා.
පහත රූප සටහන දිහා බැලුවහම මෙය හොඳින් දකින්න පුළුවන්. දැන් මේ වුනේ කුමක්ද?
විණිමය සමපේක්ෂකයෝ කියලා ජාතියක් ලෝකයේ ඉන්නවා. මේ අය බලාගෙන ඉන්නේ ව්‍යවහාර මුදල් ගනුදෙනු වලින් තමන්ට ලොකු ලාබයක් ගන්න පුළුවන් අවස්ථාවක් එළැඹෙන තුරු. රටක මහ බැංකුවක් පිස්සු කෙලිනවා කියන්නේ ඒ වගේ වාසියක් ගන්න පුළුවන් හොඳම අවස්ථාවක්. ජෝජ් සෝරෝස් ඔය විදිහට වෙලාව බලලා එංගලන්තයේ මහ බැංකුවටත් ගේම දුන්න හැටි අහල ඇතිනේ.
ලංකාවේ මහ බැංකුව සංචිත විකුණමින් ඩොලරයේ මිල ආරක්ෂා කරගෙන ඉන්නවා කියන එකත්, ඔය වැඩෙන් කොයි වෙලාවක හෝ කෙළවගන්නවා කියන එකත් අපි වගේ මැට්ටන්ට පවා කලින්ම තේරුණ එකේ ඕවා ගැන නිරන්තර අවධානයෙන් ඉන්න විණිමය සමපේක්ෂකයන්ට ඕක මීටර් නොවී තියෙන්නේ නැහැනේ. හැබැයි මේ ගොල්ලෝ හදිස්සි වෙන්නේ නැහැ. බලාගෙන ඉන්නවා.
ඔහොම ගිහින් ගිහින් ලංකාවේ සංචිත ඉතාම පහළ මට්ටමකට වැටෙනවා. දැන් කොයි වෙලාවේ හෝ ඩොලර් එක අතාරින්න වෙනවා කියන එක සහසුද්දෙන්ම පේනවා. ඔන්න ඔය වෙලාවේ සමපේක්ෂකයෝ වැඩ පටන් ගන්නවා. බැංකු ඩොලර් වලට රුපියල් 200ක් පමණක් ගෙවද්දී ලංකාවට සල්ලි එවන්න අවශ්‍ය අයට රුපියල් 240-260 වගේ ගණන් දීලා ඒ ඩොලර් මිල දී ගන්නවා. මේ විදිහට වැඩි මිලට ඩොලර් මිල දී ගන්නවා කියන්නේ අඩු මිලට රුපියල් විකුණනවා කියන එක. හැබැයි විකුණන්නේ නැති රුපියල්. ඉංග්‍රීසියෙන් කිවුවොත් රුපියල් ෂෝර්ට් සෙල් කරනවා.
මේ වැඩේ අවදානම් වැඩක්. හැබැයි ඔය වගේ වැඩ වලට අතගහන්නේ පළපුරුද්දක් තිබෙන අය. ඒ එක්කම ලංකාවේ රුපියලේ අපේක්ෂිත කඩා වැටීම, උද්ධමනය ආදිය තිබෙනවාටත් වඩා අතිශයෝක්තියට නංවලා මිනිස්සු බය කළාම ලංකාව ඇතුළේ රුපියල් ඉල්ලුම පහළ ගිහින් ඩොලර් ඉල්ලුම ඉහළ යනවා. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු ඩොලරයකට විශාල මුදලක් ගෙවන්න සූදානම් වන වාතාවරණයක් හැදෙනවා. ඊට පස්සේ අතින් සල්ලි යට නොකරම ලාබ එකතු කරන්න පටන් ගන්න පුළුවන්.
ලංකාවට එවන්න ඉන්න ඩොලරයක් රුපියල් 240ට අරගෙන ගෙදර අයට ඒ සල්ලි දෙන්න පොරොන්දු වුනා කියමු. අනෙක් පැත්තෙන් ඒ ඩොලර් එක රුපියල් 260ට ලංකාවේම කාට හරි විකුණලා අවශ්‍ය රුපියල් ටික එකතු කරගන්න ගමන් ලාබෙකුත් තියා ගන්නවා. ඔය වැඩේ දිගටම කරද්දී එකතු වන රුපියල් ලාබ ටිකත් ඔය ක්‍රමයෙන්ම ඩොලර් කර ගන්න පුළුවන්, අන්තිමේදී සල්ලි යට නොකරම ඩොලර් වලින්ම විශාල ලාබයක් ලැබිලා. විණිමය සමපේක්ෂණය කියන්නේ ඔය වගේ වැඩක්.
මම හිතන විදිහට මේක ලංකාවට එන ශ්‍රමික ප්‍රේෂණ නොලැබී යන්න ප්‍රධානම හේතුවක්. විණිමය සමපේක්ෂකයා විසින් තමන්ට ලාබ හොයන්න කරන අතරමැදි ක්‍රියාවලිය හරහා ශ්‍රමික ප්‍රේෂණ ලංකාවට නොපැමිණ රටින් පිට නවතිනවා. ලංකාවේ ඉන්න තමන්ගේ අතේ රුපියල් තියෙන අය ඒ රුපියල් ක්‍රිප්ටෝ වලට හැරවීම සඳහා හෝ ඩොලර් වලට හැරවීම සඳහා සමපේක්ෂකයා හරහා මේ ඩොලර් ලබා ගන්නවා. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය වෙන්නේ ලංකාවේ ඉන්න අතේ රුපියල් වත්කම් තිබෙන බොහෝ දෙනෙක් තුළ රුපියල විශාල ලෙස කඩා වැටෙයි කියා තිබෙන බය නිසා. ඒ බය නැත්නම් ඒ අය වැඩි මිලක් දීලා ක්‍රිප්ටෝ මිල දී ගන්නේ නැහැ. එහෙම ඩොලර් හෝ ක්‍රිප්ටෝ ගන්න කෙනෙක් නැත්නම් විණිමය සමපේක්ෂකයන්ට ක්‍රියාත්මක වී රුපියල් ෂෝට්සෙල් කිරීමෙන් ලාබ ගන්නත් බැහැ.
පෙබරවාරි මාසයේදී විතර විණිමය සමපේක්ෂකයෝ ලංකාවේ රුපියලට ඇටෑක් කරනවා. එහෙම කරලා පෙබරවාරි අවසානය වෙද්දී ඩොලරයක කළු කඩ මිල රුපියල් 270 පමණ දක්වා ඉහළ දමනවා. මේක කරන්නේ ගණන් හදලා. රුපියල් 270 කියන්නේ ක්‍රය ශක්ති සාම්‍ය පදනම අනුව බැලුවොත් (ආසන්න වශයෙන්) රුපියල තිබිය යුතු මිල. මේ විදිහට කළුකඩ මිල එහි "නියම මිල" දක්වා ඉහළ යාමෙන් පසුව මහ බැංකුවට රුපියල අත නොහැර බැරි වෙනවා.
මේ වගේ වැඩක් කලින්ම කළානම් මහ බැංකුව වැඩිපුර සංචිත ටිකක් විකුණලා රුපියලේ පාලනය අතට ගන්නවා. සමපේක්ෂකයන් වැඩේට අත ගහන්න පෙබරවාරි වනකම් බලා ඉන්නේ ඒ නිසා. විණිමය සමපේක්ෂකයන්ගේ සාමාන්‍ය උපාය මාර්ගය වන්නේ හොඳටම දුර්වල වෙනකම් ඉඳලා එක පාරෙන් නොකවුට් කරන එක.
සමපේක්ෂකයින් ක්‍රියාත්මක වුනේ නැත්නම් ඩොලරයක මිල රුපියල් 275 පමණ මට්ටමකට යාමෙන් පසුව මිල ස්ථාවර විය යුතුව තිබුණා. නමුත් සමපේක්ෂකයින් විසින් ශ්‍රමික ප්‍රේෂණ එවන අයට රුපියල් ෂෝට් සෙල් කරමින් රුපියලේ පාලනය අතට ගත්තා. ඉන්පසුව දවසකට දෙකකට වරක් ඩොලරය රුපියල් පහකින් දහයකින් වැඩි වෙන්න පටන්ගත්තා. මහ බැංකුවට සංචිත මුදා හැරීම හරහා තත්ත්වය පාලනය කිරීමට ඉඩක් ඉතිරි වී තිබුණේ නැහැ.
මේ වගේ තත්ත්වයක් යටතේ ඩොලරයක මිල කීයට ගියත් ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වන්නේ නැහැ. මිල ඉහළ යාමේදී ආනයන ඉල්ලුම ආදිය පහළ යනවා වුවත් එක් සීමාවකින් පසුව ඒ වැඩේ වෙන්නේ නැහැ. ඉන්ධන, ආහාර, ඖෂධ ආදිය මිල වැඩි කිරීමෙන් පමණක් ලොකුවට සීමා කරන්න බැහැ. ඒ නිසා, ඩොලරයක මිල 360 දක්වා ඉහළ ගියාට පස්සේ එම මිල තවදුරටත් ඉහළ යන්න දීමෙන් ඩොලර් ඉල්ලුම විශාල ලෙස අඩු වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් ඩොලරයක මිල දවසින් දවස ඉහළ යද්දී ඩොලර් වලට තිබෙන සමපේක්ෂණ ඉල්ලුම ඉහළ යනවා. ඒ නිසා, තවදුරටත් දිගින් දිගටම මිල ඉහළ යන්න දෙනවා වෙනුවට මිල මාර්ගෝපදේශනය ඇතුළු තවත් ක්‍රියාමාර්ග හරහා සමපේක්ෂණ ඉල්ලුම පාලනය කරන්න උත්සාහ දැරීම හොඳ ප්‍රවේශයක්.
රූප සටහන දිහා බැලුවහම මේ කරුණ තහවුරු වෙනවා. මහ බැංකුව ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ තියාගන්න කියලා බැංකු වලට කියලා නැහැ. දවසක් ඇතුළත මිල ඉහළ දැමිය හැකි ප්‍රමාණය පමණයි සීමා කරලා තිබෙන්නේ. නමුත් මිල ඉහළ ගිහින් නැහැ. ඒ කියන්නේ මේ මිල සම්බන්ධව බැංකු වලට ප්‍රශ්නයක් නැහැ කියන එකයි. හැබැයි මහ බැංකුව විසින් නොනිල ලෙස බැංකු වල විණිමය අනුපාතය පාලනය කරනවාද කියලා අපි දන්නේ නැහැ. එහෙමත් වැඩ වෙනවනේ.
වැදගත්ම දේ ඒක නෙමෙයි. මොන විදිහෙන් හෝ ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ තියාගෙන ඉන්න බව පැහැදිලිව පේනවනේ. මේ මිල නියම මිල නෙමෙයිනම්, නියම මිල වඩා වැඩි මිලක්නම්, ඔහොම කරද්දී ඩොලර් ඉල්ලුම හා සැපයුම අතර පරතරය ටිකෙන් ටික වැඩි වෙන නිසා කළුකඩ මිල ටිකෙන් ටික ඉහළ යා යුතුයිනේ. නමුත් ඇත්තටම වෙමින් තියෙන්නේ ඒකේ අනෙක් පැත්ත. මහ බැංකුව මේ වැඩේ පටන් ගත් දවසේ ඉඳලා කළුකඩ මිල ටිකෙන් ටික පහළ වැටෙන්න පටන් අරන්. ඒ ඇයි?
සමපේක්ෂකයන්ගේ ගේම් එක වැඩ කරන්නේ දවසින් දවස ඩොලර් එක වැඩි වෙද්දී ඇති වන බය එක්ක. ඔය බයට ලංකිකයෝ කීය හෝ දීලා ඩොලර් ගන්නවා. වැඩේ පාඩුවකුත් නැහැනේ. අද අරන් හෙට ආපහු විකිණුවත් රුපියල් දහයක් විතර වාසියි. රට ඇතුළේ ඔය ඉල්ලුම තියෙන තුරු සමපේක්ෂකයින්ට බය නැතුව රුපියල් ෂෝට් සෙල් කරන්න පුළුවන්. අනෙක් පැත්තෙන් වැඩි මිලක් ගෙවලා ශ්‍රමික ප්‍රේෂණ ටික එකතු කරගන්න පුළුවන්.
මහ බැංකුවේ තීරණය නිසා දැන් වැඩේ බැක්ෆයර් වෙලා. රට ඇතුළේ තිබුණු සමපේක්ෂණ ඩොලර් ඉල්ලුම එක පාරටම අඩු වෙලා. ඒ එක්ක කළුකඩ මිල ටිකෙන් ටික පහත වැටෙනවා. මැයි 15 වන විට රුපියල් 442.74 දක්වා ඉහළ ගොස් තිබුණු ඩොලරයක කළුකඩ මිල ඊයේ (ජූනි 2) වෙද්දී රුපියල් 411.06 දක්වා පහත වැටිලා. මහ බැංකුවේ මිල එලෙසම තිබියදී කළුකඩ මිල අඩු වීමෙන් පෙනෙන්නේ සමපේක්ෂණ ඉල්ලුම අඩු වෙමින් තිබෙන බවයි.
මේ අනුව, මහ බැංකුවේ උපක්‍රමය සාර්ථක වී තිබෙන බව පේනවා. ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් ඇති විට මිල ඉහළ යන්න දීමේ අරමුණ ඉල්ලුම අඩු කර එම පරතරය නැති කිරීමයි. පවතින සුවිශේෂී තත්ත්වය තුළ එය අසීරු වුවත් මහ බැංකුව විසින් වෙනත් ක්‍රමයකින් ඩොලර් ඉල්ලුම අඩු කිරීමට සමත් වී තිබෙනවා.
එහෙමනම් මේ වැඩේ කරන්න ඩොලරයක මිල රුපියල් 360 වන තුරු හිටියේ ඇයි? ඔය වැඩේ කලින්ම කරන්න තිබුණනේ?
එහෙම කරන්න බැහැ. මේක මහ බැංකුව සහ විණිමය සමපේක්ෂකයින් අතර ගේම් එකක්. මහ බැංකුව ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියාගෙන හිටියේ එය තිබිය යුතු නියම මිල ඊට වඩා වැඩි බව ඕනෑම කෙනෙකුට පැහැදිලිව තිබියදී. තමන් කරන වැඩේ "වැරැද්දක්" තිබෙන බව ඒ වෙලාවේ මහ බැංකුව දැනගෙනයි ඉන්නේ. විණිමය සමපේක්ෂකයින් විසින් ඇඟිල්ලෙන් ඇනලා මහ බැංකුව හෙළුවෙන් බව පෙන්නූ වහාම මහ බැංකුවට විලි වහගන්න සිදු වුනේ ඒ නිසා.
දැන් තත්වය හරියටම අනෙක් පැත්ත. ඩොලරයක මිල රුපියල් 360ක් කියන්නේ ඕනෑවට වඩා වැඩි මිලක් බව සමපේක්ෂයෝ දන්නවා. මහ බැංකුව විසින් දැන් ඒ බව ඔවුන්ට පෙන්වා දී තිබෙනවා. මිල රුපියල් 300 පමණ මට්ටමක තියෙද්දී ඔය වැඩේම කළානම් බොහෝ විට අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. ඔය වගේ වැඩකින් ප්‍රතිඵලයක් ලැබෙන්නනම් ඩොලරයක මිල දැන් තිබෙන මිලට වඩා අඩු විය යුතු බව මහ බැංකුව විතරක් හිතලා හරියන්නේ නැහැ. අනෙක් පැත්තේ ඉන්න විණිමය සමපේක්ෂයින් විසින්ද ඒ විදිහටම හිතන්න ඕනෑ. ඔවුන් හිතන්නේ තව දුරටත් මිල වැඩි විය යුතු බවනම් වැඩේ බැක්ෆයර් වෙනවා.
මහ බැංකුව පැත්තෙන් ගත් තීරණය තරමක් අවදානම් තීරණයක්. නමුත් ප්‍රතිඵල වලින් පෙනෙන්නේ මහ බැංකුවේ විනිශ්චය නිවැරදි බවයි.
No comments:
Post a Comment
ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.