වෙබ් ලිපිනය:

Showing posts with label කෘෂිකර්මය. Show all posts
Showing posts with label කෘෂිකර්මය. Show all posts

Monday, May 4, 2020

මඩ සෝදාගෙන ගොඩ එන ඇමරිකාවේ වී ගොවිතැන

ඇමරිකානුවන්ගේ ප්‍රධාන ආහාරය බත් නෙමෙයි. ලාංකිකයෙක් වසරකට හාල් කිලෝග්‍රෑම් සීයක් විතර පරිභෝජනය කරද්දී ඇමරිකානුවෙකුගේ වාර්ෂික හාල් පරිභෝජනය කිලෝග්‍රෑම් දහයක පමණ ප්‍රමාණයක්. ඇමරිකාව අනාදිමත් කාලයක සිට වී ගොවිතැන් කළ රටකුත් නෙමෙයි. දාහත්වන සියවසේ අග භාගයේදී මැඩගස්කරයෙන් ඇමරිකාවට මුලින්ම වී හඳුන්වා දී ඇති සේ සැලකෙන නමුත් හරියකට වී වගාවක් පටන් අරන් තියෙන්නේ පසුගිය සියවසේ මුල් කාලයේදී.

වී ගොවිතැන හා අදාළ, ශත වර්ෂ ගණනාවක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වූ සම්ප්‍රදායික දැනුමක් ඇමරිකානුවන්ට නැහැ. ඇමරිකාවේ වී ගොවිතැන ඉතා අසීරුවෙන් සීහුම් නැහැසුම් ක්‍රමයට පටන් ගත් කටයුත්තක්. හැබැයි ඇමරිකාව මේ වෙද්දී සාර්ථක ලෙස වී ගොවිතැන් කර, වී හා සහල් අපනයනයෙන් වාර්ෂිකව විශාල අපනයන ආදායමක්ද උපයනවා.


වී ගොවිතැන සඳහා සුදුසු කාලගුණයක් හා සුදුසු පසක් අවශ්‍ය බව මෙය කියවන අයට අමුතුවෙන් කිව යුතු දෙයක් නෙමෙයි. ඒ තත්ත්වයන් තියෙන්නේ ඇමරිකාවේ සීමිත තැන් කිහිපයක පමණයි. ඒ නිසා, ඇමරිකාවේ වී ගොවිතැන ආකන්සා, කැලිෆෝනියා, ටෙක්සස්, ලුවිසියනා, මිසුරී හා මිසිසිපි ප්‍රාන්ත වලට අයත් වී වගා කලාප හතරකට සීමා වී තිබෙනවා. ඒ ආකන්සා තණබිම්, කැලිෆෝනියාවේ සැක්රමෙන්ටෝ නිම්නය, ටෙක්සස් ප්‍රාන්තයේ හා ලුවිසියානා ප්‍රාන්තයේ නිරිතදිග කොටස් ඇතුළත් ගල්ෆ් වෙරළ තීරය සහ මිසූරි, මිසිසිපි, ආකන්සා, ලුවිසියනා ප්‍රාන්ත හරහා දිවෙන මිසිසිපි ගඟ දෙපස බිම් තීරුව යන කලාප හතරයි. මේ එක් එක් කලාපයේ අදාළ කාලගුණයට හා පසට උචිත වෙනස් වී වර්ග වගා කෙරෙනවා.


පසුගිය 2019 වසරේදී ඇමරිකාවේ ඉඩම් අක්කර 2,472,000ක වී වගා කර තිබෙනවා. සංසන්දනාත්මකව බලනවානම් 2018/19 මහ කන්නයේදී ලංකාවේ දිස්ත්‍රික්ක විසි පහේම වී වගා කර ඇති ඉඩම් අක්කර ගණන 1,789,000ක්. ලංකාව 2018 කන්න දෙකේදීම වී මෙට්‍රික් ටොන් 3,930,000ක් නිපදවද්දී, ඇමරිකාව එම වසරේදී වී මෙට්‍රික් ටොන් 7,107,000ක් නිපදවා තිබෙනවා. ඇමරිකාව ඉඩම් හෙක්ටයාරයකින් වී කිලෝග්‍රෑම් 8,460ක් පමණ ලබා ගනිද්දී, 2018 යල හා මහ කන්න වලදී ලංකාවේ අස්වැන්න පිළිවෙලින් ඉඩම් හෙක්ටයාරයකට වී කිලෝග්‍රෑම් 4,683ක් හා 4,302ක් පමණයි. කාලයක් තිස්සේ පරීක්ෂණයට ලක් වූ සම්ප්‍රදායික දැනුමක් හා පළපුරුද්දක් තිබූ පමණින් හොඳම ප්‍රතිඵල ලබා ගන්න බැහැ.

ලංකාවේ නිපදවන වී ප්‍රමාණය ලංකාවේ පරිභෝජනය සඳහාවත් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා, ලංකාවට යම් ප්‍රමාණයක් හෝ සහල් ආනයනය කරන්න සිදු වෙනවා. ඇමරිකාවේ සහල් පරිභෝජනය ලංකාවේ තරමට වඩා අඩු නැතත් නිෂ්පාදන ඵලදායීතාවය ඉතා ඉහළ නිසා ඇමරිකාව වී සහ සහල් අපනයනය කර විශාල ආදායමක් උපයනවා. 2019දී ලංකාවේ සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 2,850,000 ක් වෙද්දී ඇමරිකාවේ සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 4,224,000ක්. ඇමරිකාව විසින් අපනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3,143,000ක්.

ඇමරිකාව මේ වන විට සහල් අපනයනය අතින් ලෝකයේ පස්වන හෝ හයවන රටයි. ඇමරිකාවේ නිපදවන සහල් මිල දී ගන්නා රටවල් අතර කැනඩාව, මෙක්සිකෝව, දකුණු ඇමරිකානු රටවල්, මැද පෙරදිග රටවල් මෙන්ම චීනය, ජපානය හා දකුණු කොරියාව ඇතුළු ආසියානු රටවල්ද සිටිනවා. ඇමරිකාව මේ ආකාරයට විශාල ලෙස සහල් අපනයනය කළත් ඇමරිකාවේ දේශීය වී ගොවිතැන රැක ගැනීම සඳහා රටට සහල් ආනයනය කිරීම තහනම් කර නැහැ. පසුගිය වසරේදී ඇමරිකාව විසින් ආනයනය කර තිබෙන සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1,032,000ක්.

ඇමරිකාවේ දේශීය වී ගොවියා ඇමරිකාවට විවිධ රටවලින් නිදහසේ එන ආනයනික සහල් සමඟ තරඟ කළ යුතුයි. අප බොහෝ විට මිල දී ගන්නේ ලංකාවෙන් එන සහල් වර්ගයි. ලංකාවෙන් එන හාල් ඇමරිකාවේ හදන හාල් වලට වඩා මිල අධිකයි. එහෙත්, අපේ රුචිකත්වය තිබෙන්නේ ලංකාවේ හදන හාල් වර්ග වලට නිසා අප විසින් කැමැත්තෙන්ම මේ වැඩි මිල ගෙවනවා.


ඇමරිකාවේ මිනිස් ශ්‍රමය ලංකාවට සාපේක්ෂව ගොඩක් මිල අධික බව රහසක් නෙමෙයිනේ. ඒ කියන්නේ වී ගොවිතැන සඳහා යොදා ගන්නා ශ්‍රමිකයින්ට ලංකාවේ හැටියට ලොකු වැටුපක් ගෙවන්න වෙනවා. එහෙම වෙලත් ඇමරිකාවේ වී ගොවියා විශාල ලාබයක් ලබන්නේත් ලංකාවේ වී ගොවියා හැමදාම දුප්පතෙකුව සිටින්නේත් ඇයි? ඇමරිකාව සහල් අපනයනය කරද්දී ලංකාවට සහල් ආනයනය කරන්න වෙලා තියෙන්නේ ඇයි? ඇමරිකාවේ වී ගොවියෙකුට ශ්‍රමය ඉතා ලාබ චීනය, ඉන්දියාව, පකිස්ථානය වගේ රටවල නිපදවා ඇමරිකාවට එවන හාල් වල මිලට අඩුවෙන් හාල් විකුණා සැලකිය යුතු ලාබයක් ලබන්න හැකි වී තිබෙන්නේ කොහොමද? පොහොර සහනාධාර, වී සඳහා සහතික මිල, නොමිලේ වතුර ඇතුළු සහන පැකේජයක් රජයෙන් ලැබෙද්දී ලංකාවේ වී ගොවියාට පිටරටින් එන හාල් එක්ක තරඟ කරන්න බැරි ඇයි?

වෙනත් බොහෝ කෘෂිකාර්මික නිෂ්පාදන හා අදාළවත් ඔය වගේම ප්‍රශ්න ටිකක් අහන්න පුළුවන්.

Sunday, May 3, 2020

ධනවාදයේ ඊළඟ යාමය හා බුෆේ කෑම


ආර්ථික විද්‍යාව උගන්වන විට කියා දෙන පළමු කරුණක් වන්නේ "මිනිසුන්ගේ ආශාවන් අසීමිත වුවත් එම ආශාවන් සැපිරීම සඳහා තිබෙන සම්පත් ප්‍රමාණය සීමිතයි" කියන එක. මේ කරුණ බොහෝ විට නිවැරදියි. එහෙත්, හැම විටම නෙමෙයි. ආශාවන් සංතෘප්ත වන කිසියම් අවස්ථාවක් තියෙනවා.

අපි බොහෝ දෙනෙකුට ජීවිතයේ සෑහෙන කාලයක් හිතේ හැටියට කන්න ලැබී නැහැ. ඒ කියන්නේ බඩගින්නේ හිටියා කියන එකම නෙමෙයි. බඩගින්න නිවා ගන්න තිබුණේ සීමිත තේරීම් ටිකක් පමණයි කියන එකයි. එහෙම අත්දැකීමක් කවදාවත් නොලැබූ අය ඇති. එහෙත්, ලංකාවේ මා දැන සිටි හැම දෙනෙක්ම හිටියේ මේ බෝට්ටුවේ. මම හිතන්නේ අදටත් ලංකාවේ මධ්‍යම පාන්තිකයින්ට පවා කෑම කියන්නේ නොසංසිඳුණු ආශාවක්.

ලංකාවේ ආහාර මිල හා ඇමරිකාවේ ආහාර මිල අතර විශාල වෙනසක් නැහැ. එහෙත්, ආදායම් මට්ටම් අතර විශාල වෙනසක් තියෙනවා. ලංකාවේ ඉහළ මධ්‍යම පන්තිකයෙකුට වුවත් ආහාර සඳහා යන වියදම ඇඟට දැනෙනවා. නමුත්, ඇමරිකාවේ සාපේක්ෂව අඩු ආදායමක් ලබන කෙනෙකුට වුවත් ආහාර සඳහා යන වියදම සීමාකාරී සාධකයක් නෙමෙයි. මෙයින් මා කියන්නේ ඇමරිකාවේ කුසගින්නේ සිටින කිසිවෙකුත් නැහැ කියන එක නෙමෙයි. එවැනි අයත් යම් ප්‍රමාණයක් ඉන්නවා.

මා හැදුනේ වැඩුණේ මුහුදුබඩ පළාතක නෙමෙයි. බොහෝ විට අපේ සත්ත්ව ප්‍රෝටීන් ප්‍රභව වුනේ බිත්තර, කරවල හාල්මැස්සන් සහ ටින් මාළු. අලුත් මාළු හෝ මස් ආහාරයට ගත්තානම් ඒ අතරින් පතර දවසකයි. බොහෝ විට කළේ බතක් තම්බාගෙන අල පරිප්පු වගේ දෙයක් එක්ක හෝ වෙන මොනවා හරි එළවළුවක් එක්ක කන එකයි. නිතර මැල්ලුම් කෑවේ වත්තෙන් ඕනෑ වෙලාවක මොනවා හෝ පලා කොළයක් හොයාගන්න පුළුවන් වූ නිසා මිස ගුණ ගැන සලකා නෙමෙයි.

පාසැලේ හවස පන්ති හෝ වෙනත් අතිරේක ක්‍රියාකාරකමක් තිබුණු දවසට අපි ගෙදරින් බත් එකක් බැඳගෙන යනවා. පන්තියේ අනිත් ළමයිනුත් බත් එකක් ගේනවා. අපි මේ බත් මුල් ලෙහාගෙන කන්නේ එකටයි. බොහෝ විට බත් එකේ තිබෙන දේවල් හුවමාරු කර ගන්නවා. කන්තෝරු වල වැඩ කරන අයටත් මේ පුරුද්ද තියෙනවා.

ඔය විදිහට පාසැලට හෝ කන්තෝරුවට ගෙනියන බත් පැකට් එකෙන් කුස පුරවනවාට අමතරව තවත් දේවල් කරනවා. බත් එකේ තියෙන්නේ මොනවද කියන එකෙන් සමාජ තත්ත්වය පෙන්වනවා. ගෙදරදී සම්බෝලයි බතුයි කන එක ප්‍රශ්නයක් නොවුණත් පාසැලේදී හෝ කන්තෝරුවේදී ඒ වගේ දුප්පත් බත් මුලක් දිග අරින කෙනෙක් එසේ කරන්නේ ලැජ්ජාවෙන්. කුකුළු මස් වගේ දෙයක් තිබෙනවානම් එය ආඩම්බරයට කරුණක්. එය කෙනෙකුගේ සමාජ තත්ත්වය පිළිබිඹු කරනවා.

ගෙදරකට ඉඳහිට දවසක කුකුළු මස් ගෙනා විට අහල පහළ ගෙවල් වලටත් දීසියක් යවනවා. ඒ අයත් ඒකම කරනවා. මෙහි බෙදා හදාගෙන කෑමේ හොඳ ගුණය තිබෙනවා තමයි. නමුත්, ඒ එක්කම අපිත් කුකුළු මස් කනවා කියා අනෙකාට පෙන්වීමකුත් මෙහි තිබෙනවා.

පාසැල් වල හා කන්තෝරු වල බත් මුල් බෙදාගෙන කන කණ්ඩායම් වලට බොහෝ විට එකතු වෙන්නේ එකම විදිහේ බත් මුල් අරගෙන එන අයයි. ඉඳහිට දවසක බත් මුල දුප්පත් වීම ප්‍රශ්නයක් නොවුනත් හැමදාම දුප්පත් බත් මුලක් ගේන කෙනෙකුට කණ්ඩායමේ ඉන්න අමාරුයි. වඩා පෝසත් බත් මුලක් ගේන කෙනෙකුටත් එහෙමයි.

ආහාර යනු ඕනෑම කෙනෙකුට හිතේ හැටියට අවශ්‍ය පමණ කන්න නොලැබෙන සුඛෝපභෝගී පරිභෝජනයක්ව පවතින තාක් කෙනෙකුගේ බත් මුලෙන් සමාජ තත්ත්වය නිරූපණය වීමක්ද වෙනවා. එය තව දුරටත් කුසගින්න නිවන දෙයක් පමණක් නෙමෙයි.

අඳින ඇඳුම්, පාවිච්චි කරන වාහනය වගේ දේවල් වලින් සමාජ තත්ත්වය පිළිබිඹු කරන්නෙත් ඔය පදනමින්මයි. කැමති ඇඳුමක් මිල දී ගන්න එක ඕනෑම කෙනෙකුට පහසුවෙන් කළ හැකි දෙයක්නම් කාටවත් තමන්ගේ ඇඳුමෙන් සමාජ තත්ත්වය පෙන්නන්න බැහැ. ඒ නිසා, තමන්ට පහසු මොන ඇඳුමක් ඇන්දත් එහි අවුලක් නැහැ. කැමති විදිහක වාහනයක් මිල දී ගන්න එක ඕනෑම කෙනෙකුට කළ හැකි දෙයක්නම් කෙනෙක් වාහනයක් ගන්නේ තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවය සපුරා ගන්න පමණයි.

කාලයක් ගිහින් කඩෙන් කෑම කන්න හරි පිටින් බත් මුලක් මිල දී ගන්න හරි පටන් ගත්තට පස්සේ ගෙදරදී නොලැබෙන යම් තේරීමක් ලැබෙනවා. චිකන්, බීෆ්, මාළු, බිත්තර නැත්නම් නිකම්ම එළවළු කෑම එකක්. ඔය තේරීම් අතරත් සත්ත්ව ප්‍රෝටීන් එකකට වඩා නැහැ. චිකන්, බීෆ්, මාළු කියා කීවත් යාන්තම් රහ බලන්න මිසක් හිතේ හැටියට කන්න ඔය දේවල් ලැබෙන්නේ නැහැ.

පස්සේ පස්සේ ලංකාවේ චීන අවන්හල් බෝ වුනානේ. ඒවායේනම් චිකන් ඩෙවල් වගේ දීසි තිබුණා. සාපේක්ෂව මිල අධිකයි. මස් ටිකක් වැඩිපුර තිබුණත් ඒවා එන්නෙත් තත්කාලි, මාළු මිරිස් මහ ගොඩක් එක්කයි. හතර පස් දෙනෙක් එක්ක ගියොත් බොහොම ඉක්මණට මස් කෑලි ටික වාෂ්ප වෙනවා. ඉතුරු වෙන්නේ තත්කාලී මාළු මිරිස් ටික විතරයි.

මම හිතන්නේ ඒ දවස් වල බුෆේ තිබුණේ ප්‍රධාන පෙළේ හෝටල් වල විතරයි. ඒවායින්නම් හිතේ හැටියට කන්න බාධාවක් තිබුණේ නැහැ. නමුත්, මිල ඉතාම අධිකයි. මට මතක හැටියට සාමාන්‍ය හෝටලේක කෑම වේලක් රුපියල් විස්සක් විසිපහක් වගේ වූ කාලයක ලොකු හෝටලේක බුෆේ එක දාහකට වඩා වැඩියි. නමුත්, තිබුණු තේරීම් ප්‍රමාණය දිහා බැලුවහම මිලේ වැරැද්දක් පෙනෙන්නේ නැහැ. තේරීම් ප්‍රමාණය ඉතා විශාලයි. කැමති තරමක් බෙදාගෙන කන්නත් පුළුවන්.

මේ බුෆේ ක්‍රමය ඇමරිකාවේ ජනප්‍රියයි. විශේෂයෙන්ම චීන, ඉන්දියානු, තායි වගේ අවන්හල් බොහෝ විට බුෆේ ක්‍රමයට කෑම සපයනවා. ඇමරිකන් ආහාර බුෆේ ක්‍රමයට දෙන තැනුත් තිබෙනවා. විවිධ ආහාර වර්ග ගණනාවක් වෙන වෙනම තිබෙන තැනුත් තියෙනවා.මේ වගේ තැනකට ගියාම කැමති දෙයක්, කැමති ප්‍රමාණයක් කන්න පුළුවන්.

වැදගත්ම කරුණ මේ වගේ බුෆේ ආහාර වේලක මිලයි. බොහෝ විට එම මිල ඉතා අඩු මිලක්. තනි කෑම වේලක් ඇණවුම් කළොත් බොහෝ විට ඊට වඩා වැඩි වියදමක් යනවා. එහෙම වෙන්නේ කොහොමද?

මේක නිෂ්පාදනයේ එක අදියරකදී සිදු වන දෙයක්. ලංකාවේදී ආහාර වේලක් පිළියෙළ කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා වැය කළ යුතු මුදලට සාපේක්ෂව එම ආහාර පිළියෙල කිරීම සඳහා අවශ්‍ය වන ශ්‍රමය ගොඩක් ලාබයි. නමුත්, ඇමරිකාවේ තත්ත්වය එහි විලෝමයයි. ලංකාවේ අවන්හල් හිමියෙක් උත්සාහ කරන්නේ හැකි තරම් අමුද්‍රව්‍ය ඉතිරි කර ගන්න වුවත් ඇමරිකාවේ අවන්හල් හිමියෙක් උත්සාහ කරන්නේ හැකි තරම් ශ්‍රමය ඉතිරි කර ගන්නයි.

එක් එක් ඇණවුම වෙනුවෙන් වෙන වෙනම ආහාර පිළියෙල කරන්න ගියොත් විශාල මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වෙනවා. ඇමරිකාවේදී මිනිස් ශ්‍රමය මිල අධිකයි. කෑම වර්ග ගණනාවක් එකවර හදා පාරිභෝගිකයාට කැමති දෙයක් තෝරා ගන්න සැලැස්වූ විට ශ්‍රමය වෙනුවෙන් යන විශාල මුදලක් ඉතිරියි. ඒ නිසා කෑම වේලක් අඩුවට දෙන්න පුළුවන්.

හැබැයි එන පාරිභෝගිකයෝ ඇරියස් අල්ලන්න බලාගෙන එන බඩගිණි කාරයෝනම් මේ වැඩේ හරියන්නේ නැහැ. ඇමරිකාවේ එවැනි තත්ත්වයක් නැති නිසා මේ ක්‍රමය වැඩ කරනවා. කාටවත් අනවශ්‍ය තරමට කෑම බෙදාගෙන නාස්ති කරන්න උවමනාවක් නැහැ. බෙදාගත්ත ප්‍රමාණය මදිනම් නැවත නැවත බෙදාගන්න බාධාවක් නැහැනේ.

දැන් මේ වගේ බුෆේ එකකට එන අයට තමන් කැමති දේ කැමති පමණ බෙදාගෙන කන්න නිදහස තිබෙනවා. ගාණ දරාගන්න අමාරු ගාණක් නෙමෙයි. මෙනුපත බලා කිසියම් දීසියක් ඇනවුම් කළොත් බොහෝ විට වැඩි මිලක් ගෙවන්න වෙනවා.

කවුරුත් ගෙවන්නේ එකම මිල වුවත් එක් එක් කෙනා කන්නේ තමන්ගේ බඩගින්නේ ප්‍රමාණයට හා රුචිකත්වය අනුවයි. බුෆේ එකෙන් කරලා තියෙන්නේ සමානාත්මතාවය ඇති කිරීමක්. එය ධනවාදය තුළ ඇති වූ නෛසර්ගික සමතුලිතතාවයක්. එක එක්කෙනා කන ප්‍රමාණය ගණන් බලා වෙන වෙනම මිල නියම කිරීමට සාපේක්ෂව මේ ක්‍රමය කාර්යක්ෂමයි.

ඇමරිකාවේ කෘෂිකාර්මික අංශයේ ඉහළ කාර්යක්ෂමතාවය නිසා ශ්‍රමයේ මිල එක්ක බැලුවහම අමු ආහාර වල මිල ඉතා අඩුයි. ඒ නිසා ශ්‍රමය නාස්ති කිරීමේ පාඩුවට වඩා ආහාර නාස්ති කිරීමේ පාඩුව අඩුයි. ඔය වැඩේ වෙන්නේ බුෆේ වලදී පමණක් නෙමෙයි. නිෂ්පාදන කාර්යක්ෂමතාවය එක සීමාවක් පැන්නට පස්සේ ඕනෑම වෙළඳපොලක ඔය වගේ දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ සීමාවට යන එක දුෂ්කර ගමනක්!

Saturday, May 2, 2020

පූර්ව කෝවිඩ් ලෝකය


මිනිසුන්ගේ කුදු මහත් අවශ්‍යතා අතරින් ප්‍රමුඛම අවශ්‍යතාවය ආහාර කියා කියන්න පුළුවන්. ඕනෑනම් තවත් පියවරක් පසුපසට ගිහින් මිනිස්සුන්ගේ ලොකුම ආශය ජීවත් වීමට ඇති ආශාව කියා කියන්න පුළුවන්. ජීවත් වෙන්න කෑම අවශ්‍ය වන නිසා ඒ එක්කම කෑම සඳහා වන අවශ්‍යතාවය මතු වෙනවා. ඉතිහාසය පුරා මිනිස්සු කෑම හොයා ගන්න බොහෝ අරගල කර තිබෙනවා.

ස්වභාවිකව හමු වෙන ආහාර වලින් පමණක් මිනිස්සුන්ට නඩත්තු වෙන්න පුළුවන් කාලයක් තිබුණා. ආහාර එකතු කරන්නෝ විදිහට එහෙමත් නැත්නම් දඩයක්කාරයෝ හැටියට මිනිස්සු ගත කරපු ඒ යුගයේදී බොහෝ මිනිස්සුන්ට එක්කෝ ආහාර නැති කමින් එහෙමත් නැත්නම් වෙනත් සතෙකුගේ ආහාරයක් වීමෙන් ජීවිතය අඩු වයසකදී අවසන් කරන්න සිදු වුනා. ඒ නිසා, ඒ කාලයේදී මිනිස් ජනගහණය ලොකුවට වර්ධනය වුනේ නැහැ. මේ තත්ත්වය තීරණාත්මක ලෙස වෙනස් වුනේ මිනිස්සු කෘෂිකාර්මික ජීවිතයකට පුරුදු වීමෙන් පසුවයි. ඒ එක්කම මිනිසුන්ගේ ජනගහණ වර්ධන වේගයත් යම් තරමකින් ඉහළ ගියා.

මුල් කාලයේදී කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා අවශ්‍ය වුනේ මිනිස් ශ්‍රමය හා ඉඩම් පමණයි. ඉඩම් සීමාකාරී සාධකයක් නොවූ නිසා සීමාකාරී සාධකය වුනේ මිනිස් ශ්‍රමයයි. මිනිස් ශ්‍රමය නිපදවන්න ආහාර අවශ්‍ය වුනා. ආහාර නිපදවන්න මිනිස් ශ්‍රමය අවශ්‍ය වුනා. මිනිස් ශ්‍රමය හා ආහාර අතර ශක්ති සංස්ථිතිය චක්‍රීය ලෙස සිදු වෙද්දී නිෂ්පාදන අතිරික්තයක් ලොකුවට තිබුණේ නැහැ. ඇතැම් කාල වල ඇතැම් ප්‍රදේශ වල නිෂ්පාදන අතිරික්තයක් නොතිබුණා නෙමෙයි. ඒ බොහෝ විට වාසිදායක කාලගුණ තත්ත්වයන් පැවති විටයි.

කෘෂි කර්මාන්තය සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතය ආරම්භ වීමත් සමඟම නිෂ්පාදන කාර්යක්ෂමතාවය සැලකිය යුතු ලෙස ඉහළ ගියා. මෙයට සමාන්තරව කෘෂිකාර්මික ඉඩම් සීමාකාරී සාධකයක් වෙන්න පටන් ගත්තා. අවසාන ප්‍රතිඵලය වුනේ නිෂ්පාදිතය ශ්‍රමිකයා, ඉඩම් හිමිකරු සහ අනෙකුත් නිෂ්පාදන සාධක වල හිමිකරු අතර බෙදී යා යුතු වීමයි. දැන් පවතින තත්ත්වය මෙවැන්නක්.

කෘෂිකාර්මික නිෂ්පාදිත ප්‍රමාණය වැඩි කරන්නනම් ශ්‍රමය, ඉඩම් හා යන්ත්‍ර සූත්‍ර කියන නිෂ්පාදන සාධක තුනෙන් එකක් හෝ වැඩි ගණනක් වැඩි කළ යුතුයි. එහිදී, මේ එක් එක් සාධකයක් වෙනුවෙන් අමතර මිලක් ගෙවිය යුතු වෙනවා. ඉහළ දැමිය යුත්තේ කවර සාධකයද කියන එක තීරණය වන්නේ මේ එක් එක් සාධකය වැඩි කළ විට ලැබෙන ප්‍රතිඵල හා ඒ වෙනුවෙන් ගෙවිය යුතු මිල මතයි. මෙහිදී මා යන්ත්‍ර සූත්‍ර කීමේදී අදහස් කරන්නේ ඉඩම් හැර නිෂ්පාදනය සඳහා යොදා ගැනෙන අනෙකුත් සියලු ආකාර වල ප්‍රාග්ධනයයි.

බ්‍රිතාන්‍යයින් ලංකාවට පැමිණ තේ වැවුවේ ලංකාවෙන් අඩු වියදමකින් ඉඩම් හොයා ගන්න පුළුවන් වූ නිසයි. ඉන්දියාවෙන් ලංකාවට ශ්‍රමිකයින් ගෙනාවේ ඉන්දියාවේ ශ්‍රමය වඩා ලාබ වූ නිසයි. ඒ යුගයේ මෙන් බලය යොදා භූමිය අත්පත් කරගෙන කෘෂිකාර්මික ඉඩම් ප්‍රසම්පාදනය කර ගැනීම දැන් කිසිම රටකට කළ හැකි දෙයක් නෙමෙයි. ඒ නිසා, කෘෂි කර්මාන්තයෙන් ලාබ ගන්නනම් එක්කෝ ඉඩම් ඇති තැනකට ලාබ ශ්‍රමය රැගෙන එන්න වෙනවා. එසේ නැත්නම්, ලාබ ශ්‍රමය ඇති තැනකින් වැඩි මිලක් හෝ ගෙවා ඉඩම් හොයා ගන්න වෙනවා.

රටක ආර්ථිකය ටිකෙන් ටික ඉදිරියට යන කොට ශ්‍රමයේ මිලත් ටිකෙන් ටික ඉහළ යනවා. ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 60,000ක් පමණ වෙනවා. ඉන්දියාවේනම් මේ අගය ඩොලර් 2000ක් පමණයි. තිස් ගුණයක පමණ වෙනසක්. අපි හිතමු ඇමරිකාවේ ශ්‍රමිකයෙකුට දවසකට ඩොලර් සීයක් ගෙවිය යුතුයි කියා. ඉන්දියාවේ ශ්‍රමිකයෙකුටනම් ඩොලර් පහක් පමණ ගෙවීම ප්‍රමාණවත්. එහෙමනම්, ඇමරිකාවේ කෘෂිකාර්මික අංශයේ ව්‍යවසායකයෙක් මිල වැඩි ඇමරිකානු ශ්‍රමිකයෙක් වෙනුවට මිල අඩු ඉන්දියානුවෙක්ව ආදේශ නොකරන්නේ ඇයි? එසේ නොකර ඉන්දියාවේ අඩු ශ්‍රමය යොදා ගෙන නිපදවන අර්තාපල් රාත්තලක මිලට වඩා අඩුවෙන් ඇමරිකාවේ පාරිභෝගිකයෙකුට අර්තාපල් රාත්තලක් සපයන්නේ කොහොමද?

ඇමරිකානු ශ්‍රමිකයා වෙනුවට ඉන්දියානු ශ්‍රමිකයා ආදේශ කරන්නනම් එක්කෝ ඉන්දියානු ශ්‍රමිකයාව ඇමරිකාවට ගේන්න වෙනවා. එහෙම නැත්නම්, ගොවිපොළ ඉන්දියාවට ගෙනියන්න වෙනවා.

මෙතැනදී ඇමරිකාවේ ධනවාදයට ඇමරිකාවේ දේශපාලනය සම්මුඛ වෙනවා. අර ඉන්දියානුවාව ඇමරිකාවට ගෙනත් වහලෙකුට වගේ සලකන්න බැහැ. එහෙම කරපු යුගය අවසන් වෙලා ගොඩක් කල්. ඉන්දියානු ශ්‍රමිකයා ඇමරිකාවට පැමිණි වහාම ඔහුත් ඇමරිකානුවෙක් වෙනවා. ඇමරිකානුවෙකුගේ ශ්‍රමය වෙනුවෙන් ගෙවන මිලම ඔහුටත් ගෙවන්න වෙනවා. සමහර විට පොඩ්ඩක් අඩුවෙන් වෙන්න පුළුවන්. මේ වැඩෙන් ලැබෙන විශේෂ වාසියක් නැහැ.

කන්ද මහමත් ළඟට එන්නේ නැත්නම් මහමත්ට කන්ද ළඟට යන්න බැරිද? ඉන්දියාව ඉඩම් සුලභ රටක් වෙලා ඇමරිකාව ඉඩම් හිඟ රටක් වුනානම් සමහර විට එහෙම වෙන්න ඉඩ තිබුණා. නමුත්, ඇමරිකාව කියන්නේ ඉන්දියාව වගේ තුන් ගුණයක් ලොකු එහෙත් ඉන්දියාවේ මෙන් හතරෙන් එකක ජනගහණයක් සිටින රටක්. ඇමරිකාවට සාපේක්ෂව ඉන්දියාවේ ඉඩම් හිඟයි. ලෝකයේ ශ්‍රමය ලාබ ගොඩක් රටවල් වලට සාපේක්ෂව ඇමරිකාව ඉඩම් ප්‍රශ්නයක් නැති රටක්. අනෙක් අතට ඉඩම් හා ලාබ ශ්‍රමය දෙකම තියෙන රටක් තිබුණත් ඒ ඉඩම් ඇමරිකාවට නිදහසේ ප්‍රයෝජනයට ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ඒ වැඩෙත් හරියන්නේ නැහැ.

ඔය දෙකම කරන්න බැරිනම්, ඉන්දියාවේ ලාබ ශ්‍රමය එක්ක ඇමරිකාව තරඟ කරන්නේ කොහොමද?

වගා කරන තැන වෙනස් කරන්නත් බැරිනම්, ශ්‍රමය වෙනුවෙන් ගෙවන මිල අඩු කරන්නත් බැරිනම් තරඟකාරීත්වය පවත්වාගන්න ඉතිරිව තිබෙන්නේ තවත් එක විකල්පයක් පමණයි. ඒ නිෂ්පාදන ඒකකයක් සඳහා අවශ්‍ය වන ශ්‍රමය අඩු කර ගැනීම.

අපි ගත්ත උදාහරණයේදී ඉන්දියාවේ ශ්‍රමිකයෙකුට ඩොලර් පහක් පමණක් ගෙවීම ප්‍රමාණවත්. ඒ අනුව, අර්තාපල් කිසියම් නිශ්චිත ප්‍රමාණයක් හදන්න ශ්‍රමිකයින් 30ක් අවශ්‍යනම් ඩොලර් 150ක් යනවා.

ඇමරිකාවේ ශ්‍රමිකයෙකුට දවසකට ඩොලර් සීයක් ගෙවිය යුතුයි. එහෙත්, ඉන්දියාවේ ශ්‍රමිකයින් 30ක් යොදවා හදන අර්තාපල් ප්‍රමාණයම ඇමරිකාවේ එක ශ්‍රමිකයෙකුට හදන්න පුළුවන්නම් ප්‍රශ්නය විසඳිලා.

තාක්ෂනය යොදා ගනිමින් මේ වැඩේ කරන්න පුළුවන්. අදාළ යන්ත්‍ර සූත්‍ර ආදිය වෙනුවෙනුත් පිරිවැයක් දරන්න වෙනවා. නමුත්, ඒ පිරිවැය ඩොලර් 50ට වඩා අඩුවෙන් තියා ගන්න පුළුවන්නම් ඉන්දියාවෙන් අර්තාපල් ආනයනය කරනවාට වඩා ඇමරිකාවේම හදා ගන්න එක වාසියි.

ඇමරිකාවේ සාපේක්ෂව ඉඩම් හිඟයක් නොතිබීමත්, ඇමරිකානු කෘෂිකාර්මික ශ්‍රමය වෙනුවට වඩා ලාබ ශ්‍රමය ආදේශ කරන්න බැරි වීමත් නිසා දිගින් දිගටම සිදු වී තිබෙන්නේ ඇමරිකාවේ කෘෂි නිෂ්පාදන තාක්ෂණයේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම වෙනුවෙන් දිගින් දිගටම ආයෝජන සිදු වීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදිතය දිගින් දිගටම ඉහළ යාම සීමා වී තිබෙන්නේ ආහාර සඳහා වන ඉල්ලුම එක්තරා මට්ටමකදී යම් තරමකින් සංතෘප්ත වන නිසයි.

ඉල්ලුම වැඩි නොවෙද්දී සැපයුමත් සීමා වෙනවා. එහෙත්, ඒ අතරම නිෂ්පාදන තාක්ෂණයේ කාර්යක්ෂමතාවයද වැඩි වන නිසා ඇමරිකාවේ කෘෂි කර්මාන්තයට අවශ්‍ය වන ශ්‍රමිකයින් ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා. අඩු වන රැකියා වෙනුවට වෙනත් ක්ෂේත්‍ර වල රැකියා අවශ්‍ය වෙනවා. එසේ නැත්නම් ඇමරිකාවේ විශාල රැකියා වියුක්තියක් ඇති වෙනවා. මේ වෙනත් ක්ෂේත්‍ර වන්නේ නිෂ්පාදන හා සේවා අංශයි.

හැබැයි නිෂ්පාදන අංශයේ රැකියා කෘෂිකාර්මික අංශය මුහුණ නොදෙන වෙනත් ගැටළුවකට මුහුණ දෙනවා. කෘෂිකාර්මික ව්‍යවසාය මෙන් නිෂ්පාදන කර්මාන්ත ලාබ ශ්‍රමය තිබෙන තැනකට විතැන් කරන්න අමාරු නැහැ. ලංකාවේ තිබෙන ඇඟලුම් කම්හලක් ඇමරිකාවට ගෙනාවොත් ලංකාවේ ශ්‍රමිකයෙකුට ගෙවන මුදල මෙන් විසි තිස් ගුණයකවත් වැටුපක් ගෙවන්න වෙනවා. ඒ නිසා, කර්මාන්ත රටින් පිටතට ගෙන යාම වඩා වාසිදායකයි. අවසාන ප්‍රතිඵලය වන්නේ ඇමරිකානුවන්ට නිෂ්පාදන අංශයේ රැකියාත් අහිමි වීමයි.

මේ දෙ අංශයේම රැකියා අහිමි වෙද්දී ඇමරිකානුවන්ට ඉතිරි වෙන්නේ සේවා අංශයේ රැකියා. සේවා නිෂ්පාදන ශ්‍රමමූලික වීමත්, එසැණම පරිභෝජනය කරනු මිස ගබඩා කර තබාගෙන පසුව ආනයනය කළ නොහැකි නිසාත් නිෂ්පාදන අංශයේ රැකියා වලට මෙන් සේවා අංශයේ රැකියා වලට ලාබ ශ්‍රමය සමඟ තරඟ කරන්න වෙන්නේ නැහැ. කෝල් සෙන්ටර් ආදිය හරහා යම් ආදේශ වීමක් සිදු වුනත්, ඉතා මෑතක් වන තුරුම ඇමරිකාවේ කෘෂිකාර්මික හා කාර්මික නිෂ්පාදන අංශ වලට අවශ්‍ය නොවන ශ්‍රමය අවශෝෂණය කර ගන්න සේවා අංශයට හැකි වුනා.

කෝවිඩ් පැතිරෙන්න ආසන්න කාලයේ ඇමරිකාවේ ආර්ථිකය මූලික වශයෙන්ම සේවා ආර්ථිකයක්. ඇමරිකාවේ කෘෂිකාර්මික හා කාර්මික අංශ වලට අවශ්‍ය නොවූ ශ්‍රමය අවශෝෂණය කර ගත්තේ සේවා ආර්ථිකයයි. රටේ ආර්ථිකය වර්ධනය වුණෙත් බොහෝ දුරට සේවා ආර්ථිකය වර්ධනය වීමට සමාන්තරවයි. ඒ වුනත්, ශක්තිමත් හා කාර්යක්ෂම කෘෂි ආර්ථිකයක්ද ඇමරිකාවේ දිගටම තිබුණා. ඇමරිකාවේ කෘෂි ආර්ථිකයට ශ්‍රමය වෙනුවෙන් වැඩි මිලක් ගෙවීමෙන් පසුවත් ශ්‍රමය ලාබ අනෙක් රටවල් සමඟ තරඟකාරී වෙන්න පුළුවන්කම තිබුණා.

ඇමරිකාවේ කෘෂිකාර්මික අංශයට සාපේක්ෂව බැලුවොත් නිෂ්පාදන හා සේවා අංශ තරඟකාරී නැහැ. ලංකාවේ අර්තාපල් කිලෝවක් හෝ කුකුළු මස් කිලෝවක් හදන්න යන මිලට වඩා අඩුවෙන් ඇමරිකාවේදී ඒ දේවල් හදාගන්න පුළුවන් වුනත් ලංකාවේ මහන ඇඟළුමක් ඇමරිකන් ශ්‍රමය යොදවා ඒ මිලට හදන්න බැහැ. ලංකාවේ කරණවෑමියෙක් කොණ්ඩය කපන මිලට ඇමරිකානුවෙකුට කොණ්ඩය කපා ගන්න බැහැ. හැබැයි මේ දේවල් ඇමරිකාව ඇතුළේ කරගන්න බැරිකමක් නැහැ. මිල වැඩිකම පමණයි ප්‍රශ්නයකට තියෙන්නේ.

ඇමරිකානුවෙකුට කොණ්ඩය කපා ගන්න අවශ්‍ය වූ විට ලංකාවට යන්න බැහැ. ඒ වැඩේ කරගන්න වෙන්නේ ඇමරිකාවේදීමයි. ඒ නිසා, ඇමරිකාවේදී මේ සේවය සපයන අයෙක් ලංකාවේ කරණවෑමියෙක් තරමටම කාර්යක්ෂම නොවීමේ අවුලක් නැහැ. මෙහිදී මා කාර්යක්ෂම කියන එක අර්ථ දක්වන්නේ නිෂ්පාදන පිරිවැයට සාපේක්ෂවයි.

එහෙත්, නිෂ්පාදන අංශයේ ශ්‍රමිකයෙකුට වෙනත් රටක ලාබ ශ්‍රමය එක්ක තරඟ කරන්න වෙනවා. චීනයේ හෝ ලංකාවේ ලාබ ශ්‍රමය හමුවේ ඇමරිකානුවන්ගේ රැකියා නැති වෙනවා. අනෙක් අතට කෘෂිකාර්මික අංශය වඩා කාර්යක්ෂම වෙද්දී ඒ හේතුව නිසාත් ශ්‍රම අවශ්‍යතාවය අඩු වී රැකියා අහිමි වෙනවා.

අවසන් ගැලවුම්කරු සේවා අංශය වුවත්, ඇමරිකාවේ සේවා අංශය ලෝකයේ වෙනත් රටවල ලාබ ශ්‍රමය හා සැසඳූ විට අකාර්යක්ෂමයි. අකාර්යක්ෂමතාවය ඇති විට ලාබ සොයන ධනවාදය කාර්යක්ෂම විය හැකි ආකාර ගැන හිතනවා. සේවා නිෂ්පාදන එසැණින් පරිභෝජනය කළ යුතු නිසා පාරිභෝගිකයා සිටින ඇමරිකාවෙන්ම මිස ලාබ ශ්‍රමය තිබෙන වෙනත් රටකින් ශ්‍රමය ලබා ගන්න බැහැ. කෝල් සෙන්ටර් වගේ සීමිත අංශ කිහිපයකදී පමණක් එය කළ හැකියි. එහෙත්, ඉන්දියාවේ රියැදුරකුට ඉන්දියාවේ සිට ඇමරිකාවේ වාහනයක් එළවන්න බැහැ. ඉන්දියාවේ ලාබ ශ්‍රමය ඇමරිකාවට රැගෙන ආවොත් එය තව දුරටත් ලාබ ශ්‍රමයක් නොවන නිසා ඒ වැඩේ හරියන්නෙත් නැහැ. එහෙමනම්, සේවා අංශයේ කාර්යක්ෂමතාවය වැඩි කර ගන්නේ කොහොමද?

ඇමරිකාවේ සේවා අංශය තුළ දැන් සිදු වන්නේ කෘෂිකාර්මික අංශය තුළ කලකට සිදු වූ ආකාරයේ පරිවර්තනයක්. ස්වයංකරණය හරහා ඇමරිකාවේ සේවා අංශය කාර්යක්ෂම වෙනවා. ඇමරිකාවේ සේවා අංශයේ පිරිවැය ලාබ ශ්‍රමය ඇති රටවල් හා තරඟ කළ හැකි තරමට කාර්යක්ෂම වෙනවා. එයට සමාන්තරව ඇමරිකානුවන්ගේ රැකියා අහිමි වෙනවා.

කෘෂිකාර්මික අංශය කාර්මීකරණය වෙද්දී මාංශ පේශි ශක්තිය වෙනුවට යාන්ත්‍රික ශ්‍රමය ආදේශ වුනා. එහෙත්, යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරන්න මිනිස්සු අවශ්‍ය වුනා. මිනිස් මොළයට ආදේශකයක් තිබුණේ නැහැ. ඒ නිසා, සේවා අංශයේ හිතන්න අවශ්‍ය රැකියා වලට ස්වයංකරණය තර්ජනයක් වුනේ නැහැ. නමුත්, දැන් තත්ත්වය වෙනස්. ස්වයංක්‍රීය වාහනයක්  මිනිස් රියැදුරෙකු රහිතව වඩා දක්ෂ ලෙස හා අනතුරු රහිතව ධාවනය වෙනවා. රොබෝ යන්ත්‍ර යොදාගෙන සුපිරි වෙළඳසැලක භාණ්ඩ ඇසිරීම හෝ බිම පිරිසිදු කිරීම අවම වැටුප් ගෙවා ශ්‍රමිකයෙකු නඩත්තු කරනවාටත් වඩා ලාබයි. යන්ත්‍රයකට මිනිස්සුන්ගේ ලිංගික අවශ්‍යතා හා ආගමික අවශ්‍යතා ආදිය පවා සපයන්න පුළුවන්.

ඇමරිකාව වගේ රට වල මිනිස් ශ්‍රමය දැන් අලුත් අභියෝගයකට මුහුණ දී තිබෙනවා. අවම වැටුප් යටතේ වුවත් මිනිස් ශ්‍රමය අකාර්යක්ෂමනම් විසඳුම කුමක්ද? ජීවිතය පවත්වා ගැනීමට අවම පරිභෝජන මට්ටමක් පවත්වා ගත යුතුයි. ඒ වෙනුවෙන් අවම වියදමක් දැරිය යුතුයි. මිනිස් ශ්‍රමයේ වටිනාකම ඒ වියදම දැරිය නොහැකි තරමට පහත වැටුනොත් වෙන්නේ කුමක්ද?

යන්ත්‍රයක් නඩත්තු කරන්න යන වියදම එයින් කළ හැකි කාර්යයේ වටිනාකමට වඩා අඩුනම් අපි කරන්නේ එම යන්ත්‍රය අත හැර දමන එකයි. එහෙත්, මිනිස්සුන්ව එසේ අත හැර දමන්න බැහැ. අනෙක් අතට නුපුහුණු මූලික මිනිස් ශ්‍රමය ප්‍රයෝජනයක් නැති තරමටම වැටිලා. වෙනත් විදිහටකට කිවුවොත්, රටක මිනිස්සු සියලු දෙනාගේම සියලු පරිභෝජන අවශ්‍යතා සඳහා අවශ්‍ය වන භාණ්ඩ හා සේවා සියල්ල හදන්න ඒ රටේ මිනිස්සුන්ගෙන් කොටසකගේ පමණක් ශ්‍රම දායකත්වය ප්‍රමාණවත්නම්, ඉතිරි මිනිසුන්ගේ අතිරික්ත ශ්‍රමයට කරන්නේ මොකක්ද?

ධනවාදය තුළ නිෂ්පාදන කාර්යක්ෂමතාවය ටිකෙන් ටික ඉහළ ගිහින් යම් අවස්ථාවක මේ තත්ත්වය ඇති විය යුතුයි. ඉතිහාසයේ පළමු වරට දැන් එවැනි තත්ත්වයක් ඇති වී හෝ ඇති වෙමින් තිබෙනවා. කෝවිඩ්-19 පැතිරුණේ එහෙම අවස්ථාවකයි.

Friday, May 1, 2020

දැන් ඉතිං නැගිටියවු!


ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 2018 වසරේදී කුසගින්නෙන් පෙළුණු පුද්ගලයින් ගණන මිලියන 821.6ක්. එයින් මිලියන 513.9 ක් ආසියාවේත්, මිලියන 256.1ක් අප්‍රිකාවේත්, මිලියන 42.5ක් දකුණු ඇමරිකාවේත් (කැරිබියන් දූපත්ද ඇතුළුව) ජීවත්ව සිටි අයයි. මේ ගණන් තුන එකතු කර මුල් ගණනින් අඩු කළ විට උතුරු ඇමරිකාවේ, යුරෝපයේ හා ඕස්ට්‍රේලියාවේ කුසගින්නෙන් පෙළෙන ජනගහණය හොයා ගන්න පුළුවන්. ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නය මේ වන විට බොහෝ දුරට ආසියාවේ, අප්‍රිකාවේ හා දකුණු ඇමරිකාවේ ප්‍රශ්නයක්.

මෑතක් වන තුරුම සැබෑ ලෝක ඉතිහාසය බඩගින්නෙන් සිටි මිනිසුන් පිළිබඳ කතාවක්. ඉතිහාසය පිළිබඳ සුරංගනා කතා කියන අය මොනවා කිවුවත්, ලෝක ජනගහණයෙන් වැඩි පිරිසකට බඩ පිරෙන්න ආහාරයක් ලැබෙන්නේ වැඩිම වුනොත් සියවසකට පෙර සිටයි. අදටත් ලෝක ජනගහණයෙන් දහයකට එක් අයෙකුට කුසට අහරක් නැතත් දැන් පවතින තත්ත්වය අතීතයට සාපේක්ෂව ගොඩක් හොඳ තත්ත්වයක්.

ලෝකයේ හැම දෙනෙක්ටම කුස පිරෙන්න ප්‍රමාණවත් තරම් ආහාර නිෂ්පාදනයක් ලෝකයේ සිදු නොවුණු කාලයක, ප්‍රාග්ධනය කියන්නේ ප්‍රධාන වශයෙන්ම වගා කළ හැකි ඉඩම් වූ කාලයක, ප්‍රධානම ශක්ති ප්‍රභවය මිනිසුන්ගේ මාංශ පේශි ශක්තිය වූ කාලයක, ශ්‍රමය සූරාකෑම කියන අදහසට තේරුමක් තිබුණා. ඒ කාලය මේ වෙද්දී මතකයේ රැඳුණු අතීතයක් පමණයි පමණයි කියා මා නොකියන්නේ ලෝකයේ ඇතැම් තැන් වන තවමත් මේ වගේ තත්ත්වයක් නැහැ කියා සහතිකයෙන්ම කියන්න බැරි නිසයි. එහෙත් ඇමරිකාව හා අදාළවනම් මේ කතාව මේ විදිහට කියන්න බැරිකමක් නැහැ.

කාලයක් යද්දී කෘෂිකාර්මික ආර්ථිකයන් කාර්මික ආර්ථිකයන් බවට පත් වුනා. විශාල පිරිසකගේ ශ්‍රමය යොදවා සිදු කළ කෘෂිකාර්මික නිෂ්පාදනය ඊට වඩා අඩු පිරිසකට කරන්න පුළුවන් වුනා. ඒ යන්ත්‍ර සූත්‍ර වල උදවුවෙන්. ඉතුරු වූ ශ්‍රමය කාර්මික අංශයට විතැන් වුනා. තවත් කාලයක් යද්දී කාර්මික ආර්ථිකයේ ඵලදායීතාවයද කෙමෙන් ඉහළ යද්දී කාර්මික නිෂ්පාදන සඳහා තව දුරටත් අවශ්‍ය නොවූ ශ්‍රමය සේවා අංශය වෙත විතැන් වුනා.

මේ වෙද්දී ඇමරිකාවේ කෘෂිකාර්මික නිෂ්පාදිතය දළ දේශීය නිෂ්පාදිතයෙන් 1%කට අඩුයි. සෘජුව කෘෂිකාර්මික රැකියා වල නිරත වන්නේද ජනගහණයෙන් 1%කට අඩු පිරිසක්. එහෙත් ඒ ඇමරිකාවේ කෘෂිකාර්මික අංශය දිය වී ගොස් ඇති නිසා නෙමෙයි.

ඇමරිකානු වෙළඳපොළ ආහාර ආනයනයට හා අපනයනයට මුළුමනින්ම වාගේ විවෘත රටක්. ඕනෑම රටක හැදෙන දෙයක් ඇමරිකාවේදී මිල දී ගත හැකියි. එසේ වුවත්, සමස්තයක් ලෙස ඇමරිකාව ආහාර අතින් ස්වයංපෝෂිත රටක්. ආනයන කිසිවක් නැතත් ඇමරිකානුවන්ට කුසගින්නේ ඉන්න වෙන්නේ නැහැ.

මා මෙයින් කියන්නේ ආනයනික ආහාර ඇමරිකාවට අනවශ්‍ය බව නෙමෙයි. ඇමරිකාවේ කෝපි, කොකෝවා, කුළුබඩු හා මාළු ඉල්ලුම වැඩි වශයෙන්ම සැපිරෙන්නේ ආනයන වලින්. අලුත් පළතුරු හා පළතුරු යුෂ ඉල්ලුමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක්, අළුත් හා සකස් කළ එළවළු ඉල්ලුමෙන් පහෙන් එකක් පමණ හා සීනි හා වයින් ඉල්ලුමෙන් තුනෙන් එකක් පමණත් සැපිරෙන්නේ ආනයන වලින්.

එළවළු හා පළතුරු ඇමරිකාවට විශාල ලෙස ආනයනය කළත් එපමණම ප්‍රමාණයක් ඇමරිකාව විසින් අපනයනයද කරනවා. ඒ ඇමරිකාවේ හා ලෝකයේ වෙනත් ඇතැම් රටවල වැවිය හැකි එළවලු හා පළතුරු වර්ග වෙනස් නිසයි. ඇමරිකාවේ නිපදවන සහල්, තිරිඟු හා සෝයා බෝංචි වලින් අඩක් පමණ හා ඌරු මස් වලින් පහෙන් එකක් පමණද අපනයනය කෙරෙනවා. සමස්තයක් ලෙස ඇමරිකාව වෙළඳ හිඟයක් ඇති රටක් වුවත්, කෘෂිකාර්මික නිෂ්පාදන පමණක් සැලකූ විට ඇමරිකාවේ කාලයක් තිස්සේම වෙළඳ අතිරික්තයක් තියෙනවා.

ඇමරිකානුවන්ට කන්න අවශ්‍ය ආහාර හදන්න අවශ්‍ය වෙන්නේ ඇමරිකානු ජනගහණයෙන් 1%කට අඩු පිරිසකගේ ශ්‍රමය පමණයි. ඒ නිෂ්පාදන තාක්ෂණයේ දියුණුවයි. ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය නොවන ශ්‍රමය යෙදවෙන්නේ වෙනත් කටයුතු සඳහායි. ඒ අතරින් නිෂ්පාදන කර්මාන්තද ඇමරිකානු දළ දේශීය නිෂ්පාදිතයෙන් 18%ක් පමණයි. ඇමරිකානු ආර්ථිකය බොහෝ දුරට සේවා අංශය මත රැඳී තිබෙන ආර්ථිකයක්. රැකියා වලින් 80%ක් පමණම සේවා අංශයේ රැකියා.

රටක නිෂ්පාදන කාර්යක්ෂමතාවය ක්‍රමයෙන් ඉහළ යද්දී ප්‍රාථමික ශ්‍රමයට තිබෙන ඉල්ලුම ක්‍රමයෙන් අඩු වී යනවා. පළමු අදියරේදී ප්‍රාථමික ශ්‍රමය යොදා කළ වැඩ වෙනුවට යන්ත්‍ර ආදේශ වෙනවා. එහෙත්, මේ යන්ත්‍ර ක්‍රියා කරවීම සඳහා ශ්‍රමය අවශ්‍ය වෙනවා. එය යම් මට්ටමක පුහුණු ශ්‍රමයක්. ඉන් පසුව ස්වයංකරණය හරහා නිෂ්පාදන කාර්යක්ෂමතාවය තවත් ඉහළ යන විට එම ශ්‍රමයද අවශ්‍ය නැති වෙනවා. කාර්මික අංශයේ ශ්‍රම අවශ්‍යතා අඩු වෙද්දී රැකියා හිඟයක් ඇති නොවුනේ සේවා අංශය විසින් එම ශ්‍රමය අවශෝෂණය කරගත් නිසයි. එහෙත්, මේ වෙද්දී ඇමරිකාවේ සේවා අංශයද වේගයෙන් ස්වයංකරණය වෙනවා.

ජනප්‍රිය අදහසක් වන්නේ ධනවාදය කියන්නේ පරිභෝජනවාදයක් කියන එක. ධනවාදය අනෙකාගේ පරිභෝජන අවශ්‍යතා සපිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. එහෙත්, පරිභෝජනවාදය කියන එකෙන් අදහස් වෙන්නේ කුමක්ද? මේ වචනය බොහෝ විට යෙදෙන්නේ නිශේධනාත්මක අරුතකින්. කුසගින්නේ සිටින කෙනෙක් වෙතට ආහාර සපයන යාන්ත්‍රණයක් පරිභෝජනවාදීද?

මට හෝ මගේ පවුලේ අයට මේ වෙද්දී කුසගින්න කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඇමරිකාවේ ජීවත් වන තවත් බොහෝ දෙනෙක් වගේම ආහාර වෙනුවෙන් මා වැය කරන්නේ මගේ ආදායමෙන් කුඩා ප්‍රතිශතයක්. ඒ වගේම, විනෝදාංශයක් ලෙස වත්තේ මොනවා හෝ වැවුවත් ආහාර නිෂ්පාදනය වෙනුවෙන් මා ශ්‍රමය වගුරුවන්නේ නැහැ. නමුත්, එයින් අදහස් වෙන්නේ මගේ ආහාර වේල සැපයීම සඳහා කොහේ හෝ ඇමරිකාවේ ගොවිපොළක කිසියම් පිරිසක් ඉතා අසීරු තත්ත්වයන් යටතේ වෙනත් කරන්න දෙයක් නැති කමට අකැමැත්තෙන් ශ්‍රමය වගුරුවනවා කියන එක නෙමෙයි. එහෙම දෙයක් වෙන්නේ නැහැ.

දැනටත් කුසගින්නේ සිටින මිලියන 821.6ක පිරිස වගේම මමත් ඕනෑ තරම් කුසගින්නේ සිට තිබෙනවා. කුසගින්නේ නොසිටි බොහෝ අවස්ථා වලත් හිතේ හැටියට කන්න ලැබී නැහැ. ඒ වගේ තත්ත්වයක ඉන්න කෙනෙක්ගේ පළමු ඉලක්කය කවදා හෝ හිතේ හැටියට කන්න පුළුවන් ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීමයි. අනෙක් දේවල් එන්නේ ඉන් පසුවයි. අසීමිත ලෙස සම්පත් තිබේනම් මිනිස්සු කොයි තරම් ආහාර පරිභෝජනය කරයිද?

මිනිස්සුන්ගේ ආදායම් තත්ත්වය ඉහළ යද්දී ආහාර පරිභෝජනයද ඉහළ යනවා. මා කුඩා කාලයේ ලංකාවේ ගම් වල සිටි බොහෝ දෙනෙක් කෙසඟ සිරුරු තිබුණු අයයි. ගොඩක් පත්තර කාටුන් වල සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස නිරූපණය වුනේ මේ කෙට්ටු මනුස්සයාවයි. මහතට හිටියානම් ඒ එක්කෝ මුදලාලි කෙනෙක්. නැත්නම් දේශපාලනඥයෙක්. සමහර කාටුන් චරිත තවමත් තියෙන්නේ මේ ආකෘතිය ඇතුළේ.

දශක ගණනකට පෙර මාධ්‍ය හරහා මා දැන සිටි ඇමරිකානුවා බොහෝ ස්ථුල පුද්ගලයෙක්. සමහර විට ඇත්තටමත් එය එසේ වෙන්න ඇති. දැන් ලංකාවේ බොහෝ දෙනෙකුත් කෙසඟ පුද්ගලයින් නෙමෙයි.

ආහාර සඳහා වන ඉල්ලුම නැති නොවන ඉල්ලුමක්. රටක මිනිස්සු බොහෝ දෙනෙක් කුසගින්නේ ඉන්නවා කියන්නේ ආහාර සඳහා විශාල නොසන්සිඳුණු ඉල්ලුමක් තියෙනවා කියන එකයි. ධනවාදී ක්‍රමයක් ඇති විට මෙය කෙනෙකුට ලාබ ලැබීමේ අවස්ථාවක්. එහෙත්, එසේ ලාබ ලබන්න හැකි වන්නේ පුළුවන් තරම් වැඩිම මිලකට ආහාර විකිණීමෙන් නෙමෙයි. එසේ කරන්න ගියොත් අඩු මිලට විකුණන කෙනෙක්ට වෙළඳපොළ අල්ලාගෙන ඒ ලාබ තමන් වෙත ආකර්ශනය කර ගන්න පුළුවන්. ඒ නිසා, නිෂ්පාදකයින්ට ලාබ ලබන්නනම් හැකි තරම් අඩු මිලකට ආහාර නිෂ්පාදනය කරන්න සිදු වෙනවා. මේ කටයුත්තේදී අකාර්යක්ෂම නිෂ්පාදකයින් ටිකෙන් ටික හැලී ගිහින් වඩා කාර්යක්ෂම නිෂ්පාදකයින් පමණක් ඉතිරි වෙනවා. ඇමරිකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය 1% මට්ටමෙනුත් පහළට වැටෙන්න එක් හේතුවක් වන්නේ මේ විදිහට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නිෂ්පාදන ඵලදායීතාව විශාල ලෙස ඉහළ යාමයි.

නිෂ්පාදන ඵලදායීතාව ඉහළ යාමට සමාන්තරව ආහාර මිල පහළ යනවා. එවිට ආහාර පරිභෝජනය ඉහළ යනවා. නමුත්, කොයි තරම් දුරකටද?

මිල පහළ ගියා කියා පරිභෝජනය අසීමිත ලෙස ඉහළ යන්නේ නැහැ. මුලදී කෙසඟ සිරුරු වල මස් ලියලනවා. ඒත් ඕනෑවට වඩා මස් ලියලන්න ගත්තහම මෙය තමන්ට අවාසිදායක බව තේරෙන්න ගන්නවා. පරිභෝජනය ස්වභාවිකවම සීමා වෙනවා. දැන් ඇමරිකාවේ ස්ථුලතාවයෙන් අදහස් කෙරෙන්නේ අඩු සමාජ ආර්ථික තත්ත්වයක් මිස ධනය හා බලය නෙමෙයි. ඉහළ සමාජ ආර්ථික තත්ත්වයක් ඇති අය කෙසඟ සිරුරු ඇති, බොහෝ විට තමන්ගේ කැමැත්තෙන් කුසගින්නේ සිටින අයයි.

නිෂ්පාදන ඵලදායීතාව එක්තරා මට්ටමකට පැමිණ නිෂ්පාදනය ඉහළ ගොස් ප්‍රමාණවත් තරමින් මිල අඩු වූ විට රටක ආහාර සඳහා වන සමස්ත ඉල්ලුම සෑහෙන තරමකින් සංතෘප්ත වෙනවා. තව දුරටත් මිල පහළ ගියා කියා පරිභෝජනය සැලකිය යුතු ලෙස ඉහළ යන්නේ නැහැ. ඒ නිසා, කෘෂිකාර්මික අංශය දියුණු කර ආර්ථිකය තව දුරටත් ඉදිරියට ගෙනියන්න බැහැ. (මම මේ කියන්නේ ඇමරිකාව ගැන මිස කෘෂිකාර්මික අංශයේ ඇමරිකාවේ වැනි නිෂ්පාදන ඵලදායීතාවයක් නැති රටවල් ගැන නෙමෙයි.)

ආහාර වලින් පටන් ගත්තේ කෘෂිකාර්මික අංශය හා අදාළව මේ තත්ත්වය ඉතා පැහැදිලි නිසයි. නමුත්, වෙනත් ඕනෑම ආකාරයක පරිභෝජන අවශ්‍යතාවයක් හා අදාළවත් මේ කතාව නිවැරදියි. ඔබට අවශ්‍ය තරම් මුදල් තිබේනම් කොයි තරම් ලොකු ගෙයක් හදනවද? මෝටර් රථ කීයක් මිල දී ගන්නවද? විදේශ සංචාර කීයක යෙදෙනවද?

මුදල් නැති කමින් කුසගින්නේ සිටින කෙනෙක් සිහින දකින්නේ බඩ පැලෙන්න කන්න ලැබෙන අනාගතයක් ගැනයි. එහෙත්, එවැනි අනාගතයක් ඇත්තටම එළැඹුණු විට එය එසේ වෙන්නේ නැහැ. ගෙවල්, මෝටර් රථ, විදේශ සංචාර පිළිබඳව වුනත් එහෙම තමයි.

අවම වශයෙන් ඇමරිකාව වැනි රටවල ඇතැම් විශේෂිත කණ්ඩායම් හැර අනෙක් සියලුම මිනිස්සුන්ට අවශ්‍ය පමණ ආහාර පරිභෝජනය කළ හැකි තරමට නිෂ්පාදන ඵලදායීතාව ඉහළ ගොස් තිබෙනවා. එහෙත්, සෑම පරිභෝජන අවශ්‍යතාවයක් හා අදාළවම එවැනි තත්ත්වයක් ඇති වී නැහැ. ඒ නිසා, ආදායම් ඉහළ යාමට සමාන්තරව පරිභෝජනයද ඉහළ යනවා.

මේ විදිහට කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා වල ඉල්ලුම අසීමිතව ඉහළ යා හැකිද? පවතින තත්ත්වයන් යටතේ බොහෝ වෙළඳපොළවල් හා අදාළව එය එසේ නොවන බවක් පැහැදිලිව පෙනෙන්නට නැතත්, නිෂ්පාදන කාර්යක්ෂමතාවය යම් මට්ටමක් ඉක්මවීමෙන් පසුව එය එසේ වෙන්න පුළුවන්. ඇමරිකාවේ ආහාර ඉල්ලුම හා අදාළව දැනටමත් දැකිය හැක්කේ මේ තත්ත්වයයි.

ඇමරිකාව වගේ බටහිර රටකදී, අන්තිම සටනට සැරසී, දැන් ඉතින් නැගිට ගොස්, ව්‍යායාම කර ඇඟේ කැලරි දහනය කර ගන්න සිදු වී තිබෙන්නේ සාදුකින් පෙළෙනවුන්ට නෙමෙයි. ස්ථුලතාවයෙන් පෙළෙන අයටයි.

(Image: Creator: monkeybusinessimages/Getty Images
Credit: Getty Images/iStockphoto
Copyright: monkeybusinessimages/Getty Images)

Friday, January 18, 2019

දොඩන්නැතුව කෝමෙයි?


පහුගිය ලිපියට වැඩිපුර ලැබිල තිබුණේ යන්නෙ කොහෙද මල්ලෙ දොඩම් ප්‍රතිචාර. කතා කළේ ඉරටයි හඳටයි යන එක ගැනයි. දොඩමුත් ඉර හඳ වගේ ගෝලාකාර නිසා දොඩම් මතක් වුනාද දන්නෙ නෑ. කොහොම වුනත් දොඩම් ගැන කතාවක් ඇදිල ඇවිත් නිසා ඒ ගැනත් මක්කා හරි දොඩන්නැතුව කෝමෙයි?

ඔය ප්‍රතිචාර වල කියන කවුරු හරි විදේශිකයින් කණ්ඩායමක් බිබිලේ දොඩම් වලට ගේම දුන්නා කියන කතාව ටිකක් පරණ කතාවක්. මට ඔය කතාව අහන්න ලැබිලා අඩු ගානේ අවුරුදු තිහක් තිස් පහක්වත් ඇති. ඒ දවස් වල ඔය වගේ කතාවක් ඇහුනහම වැඩි හොයා බැලිල්ලක් නැතුව කතාවට ප්‍රචාරයක් දෙන එක අපිත් කරපු වැඩක්.

ඔය වගේ කතාවක් පැතිරෙන්න මොකක් හෝ හේතුවක් තියෙන්න පුළුවන්. ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියනවනේ. හැබැයි ගිණි නැතුවම දුම් නගින වෙලාවලුත් තියෙනවා. මේ කතාවේ පසුබිම හා අදාළ වැඩි තොරතුරු සමහර විට කියවන අය දන්නවා ඇති. මමනම් දන්නේ නැහැ. නොදත් පමණින්, ඔය කතාව බොරුවක් බව හෝ ඔය වගේ දේවල් වෙන්න විදිහක් නෑ කියලා කියන්නත් බෑ. කොහොම වුනත්, පදනමක් ඇතුව හෝ නැතුව ඔය වගේ කතාවක් වේගයෙන් පැතිරුණේ කොහොමද කියන එක ගැනනම් අදහස් දක්වන්න බැරිකමක් නැහැ.

දැන් ලංකාවේ ඕනෑම අහුමුල්ලකින් රටින් එන කහ දොඩම් මිල දී ගන්න පුළුවන්. ඇමරිකාවත් දොඩම් නිෂ්පාදනය කරන හා අපනයනය කරන රටක් වුනත් ලංකාවට මේ දොඩම් එන්නේ ඇමරිකාවෙන් කියා මම හිතන්නේ නැහැ. බොහෝ විට ඉන්දියාව, චීනය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලින් වෙන්න පුළුවන්. මේ හා අදාළ අළුත් සංඛ්‍යාලේඛණ තියෙන තැනක් මට හමු වෙලා නැති නිසා නිශ්චිත ප්‍රකාශයක් කරන්න අමාරුයි.

කොහොම වුනත් ඔය කහ පාට රට දොඩම් ලංකාවට එන්න ගත්තේ අසූව දශකයේ මැද හරියේදී වගේ. ඊට කලින් අපි (මම) දැකලා තිබුණේ කොළ පාට දොඩම් විතරයි. අපේ ගම් වල ගොඩක් ගෙවතු වල දොඩම් ගහක් තිබුණා. ඒ ගස් වල කවදාවත්  "මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ" කියන්න තරම් ගෙඩි හැදුනේ නැහැ. හැබැයි ගෙඩි හැදුනා. ගස් ලොකු නිසා ගෙඩියක් කඩා ගන්න එක ටිකක් අමාරු වැඩක්. ඒ වගේම පැණි දොඩම් කියා කිවුවත් ඔය දොඩම් දැන් තියෙන රට දොඩම් තරම් පැණි රස නැහැ. පොඩි ඇඹුල් ගතියකුත් තිබුණා. ඒ නිසා, ගොඩක් වෙලාවට දොඩම් මිරිකලා දොඩම් යුෂ හදලා බොනවා මිසක් දොඩම් බිකි ගලවාගෙන කෑවේ නැහැ.

ඔය කාලේ වෙද්දී මොණරාගල බිබිලේ වගේ පැති වල වාණිජ වගාවක් විදිහට දොඩම් වවන්න ඇති. මමනම් ලංකාවේ එවැනි වාණිජ දොඩම් වගාවක් කවදාවත් දැකලා තිබුණේ නැහැ. කොහොම වුනත්, ඒ පැති වලින් ආපු හෝ එහෙම නැත්නම් අපේ පැත්තේම ගෘහස්ථ වගාවක් ලෙස වවපු ගස් වලින් කඩාගත් දොඩම් කඩෙන් මිල දී ගත හැකිව තිබුණා. ලෙඩෙක් බලන්න එහෙම යන වෙලාවල් වලදී අපි ගෙදර ගහකින් කඩාගත් හෝ කඩෙන් ගත් දොඩම් ගෙඩි දෙක තුනක් අරං ගියා.

දොඩම් ගෙඩි දෙකක් තරමවත් උස නැති කාලේ දැකලා නොතිබුණත් ටිකක් ලොකු මහත් වුනාට පස්සේ කාලෙදී කඩවල් වල කහපාට රට දොඩම් තිබුණු බව මතකයි. මේ රට දොඩම් වල දේශීය දොඩම් වල නොතිබුණු ප්‍රණීත රසයක් වගේම සිත් ඇදගන්නා සුළු පෙනුමකුත් තිබුණා. කොහොමත් ඉතිං මාකට් එකට පොත්ත රතු ගෙඩියක් බැස්සහම ගොඩක් අයට කකා හිටපු ගෙදර වත්තේ ගෙඩිය අමතක වෙනවනේ. ඊට අමතරව මේ ගෙඩියේ රහත් හොඳයි. මිරික මිරික ඉන්න දෙයක් නැහැ. පොත්ත ගැලෙව්වා. ඇදල ඇරියා.

ඉතා පැහැදිලිවම ඔය රට දොඩම, අඩු වශයෙන් මුල් කාලයේදී, දේශීය දොඩම් වලට වඩා ලංකාවේ ගොඩක් අය අතර ජනප්‍රිය වුණා. ඊට අමතරව මේ දොඩම් ගෙඩියක් විකිණුනේ දේශීය දොඩමක මිලට වඩා ටිකක් හෝ අඩු මිලකටයි. ඒ නිසා, රට දොඩම ආපු ගමන් ලංකාවේ දේශීය දොඩම් වලට තිබෙන ඉල්ලුම අඩු වන එකත්, ඒ හේතුව නිසා දේශීය දොඩම් නිෂ්පාදනය පහත වැටෙන එකත් අනිවාර්යයෙන්ම සිදුවිය හැකිව තිබුණු දේවල්. දේශීය දොඩම් නිෂ්පාදනය වට්ටන්න කවුරු හෝ විසින් කුමන්ත්‍රණයක් කළත් නොකළත් එය සිදු විය හැකිව තිබුණා.

රට දොඩම් ලංකාවේ වෙළඳපොළට ඇවිත් ටික කාලයක් යද්දී දේශීය දොඩම් වැඩිපුර පේන්න නැතුව ගියා. ඔය කුමන්ත්‍රණ කතාව වේගයෙන් ප්‍රචලිත වුනේ ඔය කාලයේදී. බිබිලේ කියන නම ඊට පෙර සිටම විදේශීය කුමන්ත්‍රණ හා අදාළව කතා කරද්දී කියැවුණු නමක් වීමත් මේ කතාව පැතිරෙන්න උදවුවක් උනාද දන්නේ නැහැ.

දැන්නම් නැවතත් කොළපාට දේශීය දොඩම් වලට ලංකාවේ ඉල්ලුමක් ඇති වී තිබෙනවා. එය තරමක් දුරට ලංකාවේ සිදු වූ සංස්කෘතික වෙනසක් එක්ක සිදු වුනු දෙයක් වෙන්න පුළුවන්. කොහොම වුනත් රට දොඩම් වල ජනප්‍රියත්වයත් තවමත් අඩු වෙලා නැහැ. මිල වුවත් දේශීය පළතුරු වල මිල එක්ක බැළුවහම එතරම් වැඩි නැහැ.

දැන් ලංකාවේ ආගමික කටයුතු සිදුවෙන විදිහෙත් අමුතු හා අලුත් දේවල් තියෙනවනේ. පහුගිය අවුරුද්දේ මගේ පියාගේ තුන් මාසේ දානය වෙලාවේ හාමුදුරුවරුන්ට පළතුරු කූඩයක් බැගින් පූජා කළ යුතු බව ගමේ හාමුදුරුවෝ විසින්ම කියලා තිබුණා. තවත් විශේෂ ඉල්ලීමුත් තිබුණා. දානයට වැඩම කරපු අප කාලයක් තිස්සේ දැන සිටි ජ්‍යෙෂ්ඨ නායක හිමිවරුන් කිහිප නමක් ඇතුළු වෙනත් විහාරාධිපති හිමිවරුන් තරමට ගමේ පන්සල මිල දී ගෙන අළුතින් පැමිණ සිටි මේ හාමුදුරුවන්ව අප ඇසුරු කර තිබුණේ නැහැ. කෙසේ වුවත් ගමේ පන්සල නිසා තීරණ ගැනීමේදී අපි ඒ හාමුදුරුවන්ට තැන දුන්නා.

ඔය වැඩේට පළතුරු ගන්න ගියේ මම. කූඩ තිහක් හදන්න ප්‍රමාණවත් තරමට ගත්ත පළතුරු අතර දේශීය පළතුරු වර්ග ගණනාවක්ම තිබුණා. ගෝනි කිහිපයක්. රට පළතුරුත් තිබුණා. නමුත්, මම අදහස් කරපු විදිහට කූඩ හැදුවහම වර්ග ගණනාවක් අතරේ රට පළතුරු ටික ලොකුවට මතු වෙලා පේන්නේ නැහැ. ගෙදර අනෙක් අයට ඕනෑ වුනෙත්, ගමේ හාමුදුරුවන්ට ඕනෑ වෙලා තිබුනෙත් ඇපල්, රට දොඩම් හා රට දෙළුම් වලින් පිරුණු කූඩ. ඒ නිසා අන්තිමට අර දේශීය පළතුරු පැත්තකට දමලා වැඩිපුර රට පළතුරු දමලා කූඩ පුරවන්න වුණා.

මම කියන්න හදන්නේ අවසාන වශයෙන් වෙළඳපොළ සමතුලිතතාවය තීරණය කරන්නේ පාරිභෝගික රුචිකත්වය විසින් බවයි. ලංකාවේ මිනිස්සු වඩා කැමති දේශීය දොඩම් වලටනම් මොන ලෙඩ බෝවුනත් ඒ ලෙඩ වලට පිළියම් කොහෙන් හෝ ලැබී නැවත ගස් වල දොඩම් හැදෙයි. වඩා කැමති රට දොඩම් වලටනම් කුමන්ත්‍රන නැතත් දේශීය දොඩම් නිෂ්පාදනයට පැවැත්මක් නැහැ.

රටින් එන පළතුරු වලට බෙහෙත් ගහලා කියන එක ප්‍රචලිත කතාවක්. කතාව බොරුවක් නෙමෙයි. ඇමරිකාවේදී අළුත් ඇපල්, දොඩම්, මිදි ආදිය කාලා ලංකාවට ආවහම ලංකාවේ වෙළඳපොළේ විකුණන්න තිබෙන ඒ පළතුරු කටේ තියන්නවත් හිතෙන්නේ නැහැ. එක පාරටම වෙනස තේරෙනවා. හැබැයි ඔය වැඩේ කෙරෙන්නේ ලංකාවේදීමයි. ඒ වගේම ඔය විදිහට රසායනික ගහන්නේ රට පළතුරු වලට විතරක් නෙමෙයි. කෙසෙල්, ගස්ලබු, අඹ වගේ දේශීය පළතුරක් ගත්තත් වෙනසක් නැහැ. මෙතැන සිදුවන්නේ බාහිර කුමන්ත්‍රණයක් නෙමෙයි.

දැන් ඔය කතාවට අනුව ඔය කුමන්ත්‍රණය වෙන්න කලින් බිබිල මොණරාගල පැත්තේ මාර විදිහට දොඩම් හැදිලා තිබෙනවා. බිබිලේ දොඩම්, නාවල අන්නාසි, මල්වානේ රඹුටන්, කළුතර මැන්ගුස් වගේ සමහර පළතුරු වල නම් එක්ක ගම් වල නම් කියවුනත් ඔය සම්බන්ධතා කොයි තරම් ප්‍රබලව පැවතුනාද කියන එක සොයා බැලිය යුතු දෙයක්.

කාලයක් බිබිල මොණරාගල පැත්තේ සරුවට දොඩම් හැදී තිබෙන බව බොරුවක් නෙමෙයි. මේ කියන කාලය අසූව දශකයට පෙර කාලයක්. නමුත්, මහා දිග කාලයක් නෙමෙයි. මම හිතන හැටියට වැඩිම වුනොත් දශක කිහිපයක කාලයක්. බිබිලේ දොඩම් වගාව විනාශ වුනේ කොහොමද කියන එක වගේම බිබිලේ දොඩම් හැදුණේ කොහොමද කියන එකත් කතා කළ යුතුයි.

ලංකාවේ දැන් ජනප්‍රියව තිබෙන බොහෝ පළතුරු වර්ග යුරෝපීය පාලන කාලයන් වලදී හඳුන්වා දෙනු ලැබූ හෝ ව්‍යාප්ත වූ පළතුරු. රඹුටන්, දුරියන්, මැන්ගුස් වගේ නම් මැලේ නම්. මේ පළතුරු පෘතුගීසි කාලයේදී වත්මන් මැලේසියාවෙන් හෝ ඉන්දුනීසියාවෙන් පැමිණි පළතුරු . නමුත්, දොඩම්නම් සෑහෙන කාලයක සිට ලංකාවේ තිබී ඇති පළතුරක්.

දොඩම් වල නිජබිම උතුරු ඉන්දියාව, උතුරු මියන්මාරය හා දකුණු චීනය අයත්වන ප්‍රදේශයක්. මුලින්ම දොඩම් පැතිරිලා තියෙන්නේ ආසියාවේ. සෑහෙන කාලයකට පෙර දකුණු යුරෝපයටත් පැතිරිලා තියෙනවා. නමුත් ඇමරිකාවට පැතිරිලා තියෙන්නේ කොලොම්බස් ආවට පස්සේ.

චන්ද්‍රසිරි දොඩම්ගොඩ, තුමිඳු දොඩම්තැන්න, බෙනඩික්ට් දොඩම්පේගම වගේ මිනිස්සු ගැනත් දොඩම්ගස්ලන්ද, දොඩම්පේ, දොඩම්දූව වගේ ගම් ගැනත් අපට අහන්න ලැබෙන එකෙන් පේන්නේ දොඩම් ගස් කාලයක් තිස්සේ ලංකාවේ පැතිර තිබී ඇති බවයි. නමුත්, ඒ අර මම මුලින්ම කිවුවා වගේ ගෘහස්ථ බෝගයක් විදිහට මිසක් වාණිජ බෝගයක් විදිහට නෙමෙයි. මේ ගස් වලින් ලොකු පලදාවක් ලැබී ඇති බවක් පෙනෙන්නේ නැහැ. ඒ නිසා, දහනවවන සියවසේ දෙවන අර්ධයේදීත් දොඩම් කියන්නේ ලංකාවේ ගෙවතු වගාවක් මිස වාණිජ භෝගයක් නෙමෙයි.

ලංකාවේ දොඩම් වගාව ගැන 1881දී ඩබ්. ෆර්ගසන් විසින් ලියනු ලැබ ඔබ්සර්වර් පුවත්පතට යැවූ ලිපියක් 1908 දී "ද ට්‍රොපිකල් ඇග්රිකල්චිර්ස්ට්" සඟරාවේ (වෙළුම 30, පිටුව 99) පළවී තිබෙනවා. එහි ඔහු මෙසේ කියනවා. (අරුත පැහැදිලි වන පරිදි මගේ වචන වලිනුයි ලියන්නේ)

"දොඩම් වගාව වෙනුවෙන්ම වෙන් කර ඇති කිසියම් ඉඩමක් ලංකාවේ ඇති බවක් මා දන්නේ නැහැ. ආර් එල් එම් බ්‍රවුන් මහත්තයා (වාණිජ බෝගයක් ලෙස) මහර පැත්තේ දොඩම් වවන්න උත්සාහ කළත් එය සාර්ථක වුනේ නැහැ. ලංකාවේ දොඩම් වවන්නේ ගෙවල් අවට හා වතු වල මිශ්‍ර වගාවක් ලෙසයි. ඒ නිසා, කොළඹ විකුණන්න තියෙන දොඩම් එන්නේ කොහෙන්ද කියා හොයන්න යන කෙනෙක් අමාරුවේ වැටෙනවා. පසුගිය අවුරුදු විසිපහ පුරා ගලහ වත්තේ දොඩම් ප්‍රසිද්ධියට පත්ව තිබුණත් එහි දොඩම් වවා තිබෙන්නේ කෝපි වවා ඇති මේ වත්තේ පාරවල් දිගේ මිසක් වෙනම වගාවක් ලෙස නෙමෙයි."

ලිපිය පළ වූ 1908 වෙද්දී ගලහට අමතරව හැටන් හා බදුල්ල ප්‍රදේශ වලත් වාණිජ භෝගයක් ලෙස දොඩම් වගාව ව්‍යාප්ත කරන්න උත්සාහ තිබෙන බව පෙනෙන නමුත් සාර්ථක වී ඇති බවක් පෙනෙන්නේ නැහැ. කෙසේ වුවත්, හැටන් වලට වඩා බදුල්ල දොඩම් වගාවට යෝග්‍ය බව පෙනී ගොස් තිබෙනවා.

වෙනත් වාර්තාවක ඇති තොරතුරු අනුව 1880 මැයි 13න් අවසන් වූ දෙසතිය තුළ ලංකාවේ නගර කිහිපයක දොඩම් විකිණිලා තිබෙන්නේ පහත මිල ගණන් වලටයි.

ලොකු දොඩම් ගෙඩි දුසිමක්
කොළඹ - ශත 50
මහනුවර - ශත 48
ගාල්ල - ශත 50
නුවරඑළිය - ශත 25

පොඩි දොඩම් ගෙඩි දුසිමක්
කොළඹ - ශත 37
මහනුවර - ශත 36
ගාල්ල - ශත 37
නුවරඑළිය - ශත 18

මිල ගණන් වල වෙනස්කම් අනුව පෙනෙන්නේ ඒ වන විට වැඩිපුර දොඩම් වවා තිබෙන්නේ නුවරඑළිය පැත්තට වෙන්න බවයි. පහතරට කලාපයේ වැවෙන පළතුරක් වන අන්නාසි ගෙඩියක මිල දිහා බැලූ විට මේ කරුණ පැහැදිලි වෙනවා.

අන්නාසි ගෙඩියක්
කොළඹ - ශත 4
මහනුවර - ශත 25
ගාල්ල - ශත 6
නුවරඑළිය - ශත 37

සමහර විට ඔය දවස්වල නාවල පැත්තේ ලොකුවට අන්නාසි වවන්න ඇති.

බ්‍රිතාන්‍ය පාලන කාලයේදී, 1912දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසුව රටේ විවිධ ප්‍රදේශ වල දොඩම් වගාව අත්හදා බලා තිබෙනවා. නමුත්, මුලදී සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම පහසු වෙලා නැහැ. අන්තිමට බදුල්ල හා මොණරාගල පැති වල දොඩම් වවා සරු අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ 1940 පමණ වෙද්දීයි.

කොහොම වුවත්, ඒ සාර්ථකත්වය වැඩි කලක් පැවතිලා නැහැ. 1950 පමණ වෙද්දී ට්‍රිස්ටෙසා වෛරසය පැතිරීම හා වෙනත් හේතු නිසා දොඩම් ගස් කණාටු වෙලා අස්වැන්න අඩුවෙලා ගිහින් තියෙනවා. මේ ලංකාවේ දොඩම් වගාවට මේ වගේ හානියක් සිදු වෙලා තිබෙන පළමු අවස්ථාව නෙමෙයි. දොඩම් වගාව රටේ ව්‍යාප්ත වෙන්නත් කලින් 1900 පමණදීත් හඳුනා නොගත් රෝගයක් වැළඳී ලංකාවේ දොඩම් වගාව විනාශ වෙලා තිබෙනවා. මේ විදිහට වෛරස් හෝ වෙනත් රෝග පැතිරීම නිසා වගාවන් විනාශ වීම දුලබ දෙයක් නෙමෙයි. ලංකාවේ කෝපි වගාව විනාශ වුනෙත් මෙවැනිම හේතුවකිනුයි.

සංඛ්‍යාලේඛණ වලින් පෙනෙන විදිහට 1960 දශකයේදී ලංකාවේ දොඩම් වගාව නැවතත් පණ ගසා ඇවිත් තියෙනවා. මේ වන විට ලංකාවේ පරිභෝජනය කරන දොඩම් ප්‍රමාණය තරමටම දොඩම් 1963, 1964 වගේ අවුරුදු වලදී රටේ නිෂ්පාදනය වී තිබෙනවා. නමුත්, සෑම වසරකම එක වගේ පලදාවක් ලැබී නැහැ. පලදාව විශාල ලෙස විචලනය වී තිබෙනවා. එසේ වුවත්, 1980 පමණ වන තුරු ලංකාවට දොඩම් ආනයනය කර නැති නිසා පරිභෝජනය කර තිබෙන්නේ රටේ හැදුණු දොඩම් ප්‍රමාණය පමණයි. මේ කාලයේදී දොඩම් වාරයට මිල ගණන් විශාල ලෙස පහත වැටීමත්, අවාරයට මිල ගොඩක් ඉහළ යාමත් සිදු ඇති බව පේනවා. දොඩම් ආනයනය කරන්න පටන් ගැනීමෙන් පසුව වසරේ සෑම කාලයකදීම ලංකාවේ වෙළඳපොළෙන් දොඩම් මිල දී ගන්න හැකි වී තිබෙනවා වගේම මිල ස්ථාවර වී ද තිබෙන බව පෙනෙනවා.

බිබිලේ දොඩම් වගාව විනාශ කරන්න කුමන්ත්‍රණය කර තිබෙන්නේ කවුරු වුවත් බිබිල පැත්තට දොඩම් වගාව හඳුන්වා දී ව්‍යාප්ත කර තිබෙන්නේනම් ඉංග්‍රීසින් විසිනුයි. 1850 පමණ සිට උත්සාහ කිරීමෙන් පසුව ඒ වැඩේ සාර්ථක වී තිබෙන්නේ 1940 පමණ වෙද්දීයි. එහෙම නැතුව අනාදිමත් කාලයක සිට මොණරාගල බිබිල පැති වල දොඩම් වගා තිබී නැහැ. සාර්ථකය කියා කීවත් මේ වගාවන්ගෙන් හොඳ මට්ටමේ පලදාවක් ලැබී තිබෙන්නේ අතරින් පතර වසර කිහිපයක කෙටි කාලාන්තර කිහිපයක් ඇතුළත පමණයි.


ඉංග්‍රීසින් ගියාට පස්සේ ලංකාවේ ආණ්ඩු යටතේත් කෘෂිකාර්මික අංශයටනම් යම් සැලකිල්ලක් ලැබුණු ලැබුණු බව කියන්න පුළුවන්. එහි වරදක් නැහැ. ඒ හේතුව නිසා හෝ වෙනත් වෙළඳපොළ සාධක මත මෑත වසර වලදී ලංකාවේ දොඩම් වගාව නැවතත් ජනප්‍රිය වෙමින් තිබෙනවා. මේ වන විට ලංකාවේ දොඩම් වගාව වෙනුවෙන් යෙදවෙන භූමි ප්‍රමාණය ඉතිහාසයේ කවර කලකවත් මේ වගාව වෙනුවෙන් යෙදෙවී නැහැ. එහෙත්, ලංකාවේ දොඩම් පරිභෝජනය රටේ දොඩම් නිෂ්පාදනය මෙන් දෙගුණයක් පමණ වෙනවා. මෙයට එක හේතුවක් වන්නේ දේශීය දොඩම් ආනයනික දොඩම් වලට පූර්ණ ආදේශකයක් නොවීමයි. අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ වගේ අය හොයන්නෙම පොත්ත රතු ගෙඩි නිසා දේශීය නිෂ්පාදනය ඉහළ යාම ආනයනික දොඩම් ඉල්ලුම මුළුමනින්ම නැති කරන්නේ නැහැ.

ඊළඟ ප්‍රශ්නය වන්නේ ලංකාවේ දොඩම් ඵලදා අනුපාතය ගොඩක් අඩු මට්ටමක පැවතීමයි. දොඩම් වගාවට වෙන් කරන ඉඩම් ප්‍රමාණයේ තරමට දොඩම් නැහැ. ඒ නිසා, වැඩි ඵලදාවක් තියෙන රටවලට මෙහේ හදනවට වඩා ගොඩක් අඩු මිලට ලංකාවට දොඩම් එවන්න පුළුවන්. පහත තියෙන්නේ ලංකාවේ හා වෙනත් ප්‍රධාන හා අසල්වැසි දොඩම් වවන රටවල ඉඩම් හෙක්ටයාරයකින් ලබාගන්නා දොඩම් කිලෝග්‍රෑම් ප්‍රමාණයයි.

බ්‍රසීලය- 27,640
ඇමරිකාව- 21,525
චීනය- 16,975
ඉන්දියාව- 12,724
මෙක්සිකෝව- 14,432
ස්පාඤ්ඤය-  23,894
ඊජිප්තුව- 25,203
තුර්කිය- 37,982
ඉතාලිය- 17,920
දකුණු අප්‍රිකාව-  42,195
ඇල්බේනියාව- 41,502
ඝානා- 39,926
ඉන්දුනීසියාව- 39,233
ගෝතමාලාව- 35,004
ග්‍රීසිය- 32,466
ඉරානය- 26,013
ඕස්ට්‍රේලියාව- 19,334
තායිලන්තය- 21,217
පකිස්තානය- 11,612
නේපාලය- 10,078
ලංකාව- 937

පේනවනේ තත්ත්වය. ලංකාවේ දොඩම් ගහක ගෙඩියක් හැදෙන කොට වෙන රටවල් වල ගහක ගෙඩි තිහ හතළිහක් හැදිලා. ලෝක ආහාර සංවිධානයේ දත්ත අනුව දොඩම් පලදාව අතින් ලංකාවට පහළින් ඉන්නේ තව එක රටක් (බොස්නියාව) විතරයි.  ඔය බිබිලේ දොඩම් අස්වැන්න සරුවටම තිබුණු අවුරුදු වලදීවත් ලංකාවේ දොඩම් අස්වැන්න අනික් රටවල් වල කිට්ටුවකවත් තිබිලා නැහැ. අනෙක් පැත්තෙන් බැලුවොත් දොඩම් නිෂ්පාදනය හෝ පරිභෝජනය අතින් ලංකාව කිසිම දවසක ලැයිස්තුවේ උඩ ඉන්න රටවල් වලට කිට්ටු කරලා නැහැ.

පළ ඇති දොඩම් රුක් තියෙන,  ලොකු දේශීය දොඩම් ඉල්ලුමක් තියෙන, දොඩම් අපනයනය කරන රටවල් තව සිය ගානක් තියෙද්දී, හිඟන්නාගේ දොඩම් පාත්තරේටම හෙනහුරාගෙන් ගෙනාපු ට්‍රිස්ටෙසා වෛරසය හරි වෙන පලිබෝධයක් හරි දාලා බිබිලේ දොඩම් වගාව කවුරු හරි විනාශ කළානම් ඒ මොකක් හරි මාර ලොකු තරහකටම වෙන්න ඕනෑ.

අහන්න කලින්ම කියන්න තව දෙයක් තියෙනවා. ලේඛකයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සුළු සේවකයෙක් නෙමෙයි!

Thursday, November 16, 2017

ආහාර නාස්තිය අඩුකර කුසගිණි නිවිය හැකිද?



දිවා ආහාරය ගන්නා වෙලාවට මා සිටින්නේ සේවා ආයතනයේනම් මට ඒ සඳහා යා හැකි තැන් කිහිපයක් තිබේ. මේ එක් තැනක් අපේ ආයතනයෙන්ම නඩත්තු කෙරෙන, බුෆේ ක්‍රමයට ආහාර ලබා ගත හැකි තැනකි. ආහාර ගෙන අවසන් වීමෙන් පසු පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු ආදිය කැරකෙන රාක්කයක තැබීම සඳහා කවුළුවක් පැත්තක තිබේ. එතැනින් ඒවා දීසි හෝදන යන්ත්‍රයකට යනවා විය යුතුය. එසේනම් ඊට පෙර පිඟන් වල ඇති ඉතිරි වූ ආහාර ඉවත් කෙරෙන ක්‍රමයක්ද තිබෙනවා විය යුතුය. මේ කටයුත්ත මුළුමනින්ම ස්වයංක්‍රීයව සිදු නොවනවා වන්නටද පුළුවන.

පසුගිය සතියේ දිනෙක දිවා ආහාරය ගෙන පිඟන් ආදී අඩුම කුඩුම ටික මේ රාක්කයේ තබන්නට යන විට දකින්නට ලැබුණේ අතරමඟ මේසයක් තබාගෙන ඉඳුල් පිඟන් කෝප්ප එකතු කරමින් සිටි දෙතුන් දෙනෙකි. මේ අය රාක්කයේ තබන්නට පෙර කෑම ගෙන අවසන් වූ පිඟන් ඉල්ලාගෙන ඒවායේ වූ ඉතිරි කෑම භාජනයකට එකතු කරමින් සිටියහ. ඒ පොලිස් කොත්තු හදන්නට නොවේ. ආහාර නාස්තිය පිළිබඳ සමීක්ෂණයක කොටසක් වශයෙනි. ඔවුහු මෙසේ එකතු කරගත් ආහාර කැබලි කිරා බලමින් අතේ වූ ඉලෙක්ට්‍රොනික උපකරණයක් මඟින් පැත්තක වූ ඉලෙක්ට්‍රොනික පුවරුවක එදින ඒ වන විට ඉවත දමා තිබුණු ආහාර රාත්තල් ගණන යාවත්කාලීන කරමින් සිටියහ.

සතිය පුරාම මේ කටයුත්ත මෙසේ සිදු වූ අතර නාස්ති වන ආහාර ප්‍රමාණය ඉලෙක්ට්‍රොනික තිරයෙහි දකින්නට ලැබෙන විට බොහෝ දෙනෙකුට අවශ්‍ය පමණට වඩා ආහාර බෙදා නොගන්නට පෙළඹීමක් ඇති වූවා නිසැකය. (ඉකොනොමැට්ටානම් කොහොමටත් පිඟානේ ඇති කරපිංචා කොළයක්වත් ලේසියකට ඉතිරි කරන්නේ නැත.)

ඇමරිකාවේ ඉතා විශාල ආහාර නාස්තියක් සිදු වේ. 2010 වසරේ ඇස්තමේන්තු අනුව වසර තුළ එක් අයෙකු විසින් නාස්ති කර ඇති ආහාර ප්‍රමාණය සාමාන්‍ය වශයෙන් රාත්තල් 218.9කි. රාත්තල් බිලියන 133ක් වන මේ ආහාර ප්‍රමාණයේ මුළු වටිනාකම ඩොලර් බිලියන 161.6ක් වන අතර නිෂ්පාදනය කරන මුළු ආහාර ප්‍රමාණයෙන් 31%කි. 2030 වසර වන විට මෙසේ නාස්ති වන ආහාර ප්‍රමාණය 50%කින් අඩු කර ගැනීම ඇමරිකාවේ ජාතික ඉලක්කයකි.

ලංකාව ඇතුළු ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වල පමණක් නොව ඇමරිකාවේද ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්න ඇති විශාල පිරිසක් ජීවත් වෙති. ආහාර ප්‍රශ්නය අපේ කාලයේදී හෝ ඊට පෙර ලංකාවේ ඉපදුණු බොහෝ දෙනෙකුට නොතේරෙන දෙයක් නොවූවත්, අපේ දරුවන්ට මෙහි බරක් පතලක් හරියටම නොතේරේ. ඒ නිසා, ආහාර පරිභෝජනය නොකර ඉවත දමන විට අපට දැනෙන වරදකාරී හැඟීම ඔවුන්ට නොදැනේ. ඇමරිකාවේ බොහෝ දෙනෙකුගේ තත්ත්වයද එසේම වන්නට පුළුවන.

ඇතැම් අය කියන්නේ මේ ආහාර නාස්තියට හේතුව ඇමරිකානු රජය විසින් බදු මුදල් යොදවමින් ආහාර නිෂ්පාදනය සුබ සාධනය කිරීම හා ඒ හේතුවෙන් මිල නියම මට්ටමට වඩා අඩුවෙන් පැවතීම බවයි. එහෙත්, ඒ තර්කය නිවැරදියැයි මා සිතන්නේ නැත.

ඇමරිකාවේ වසරකට ඩොලර් බිලියන 25ක පමණ මුදලක් කෘෂිකාර්මික නිෂ්පාදන සුබසාධනය පිණිස වැය කරන නමුත් ඒ මුදල් මුළුමනින්ම වාගේ වැය කෙරෙන්නේ මහා පරිමාණයෙන් වගා කෙරෙන ඉරිඟු, තිරිඟු, සෝයා බෝංචි, හාල් සහ කපු වෙනුවෙනි. එහෙත්, නාස්ති වන ආහාර වැඩි ප්‍රමාණයක් මේවා නොවේ. එමෙන්ම, මේ අරමුදල් බොහෝ විට වැය කෙරෙන්නේද මිල ස්ථාවරව තබා ගැනීමේ අරමුණින් මිස මිල අඩු කිරීමේ අරමුණින් නොවේ.

පාරිභෝගිකයින් විසින් මිල දී ගැනීමෙන් පසු ආහාර නාස්ති කිරීමට මනෝවිද්‍යාත්මක සාධකයක්ද හේතු වේ. ආහාර හිඟයක් යනු ඕනෑම මිනිසෙකුට විශාල ලෙස බිය ගෙන දෙන කරුණකි. එයට පරිණාමික හේතු තිබේ. ඒ නිසා, යම් ප්‍රමාණයක් ඉවත දමන්නට සිදු වුවත්, ආහාර ප්‍රමාණවත් නොවීමේ අවදානම ගැන සිතමින් යටි හිතේ ඇති ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ පරිණාමික බිය පහවන තුරු ආහාර තමා සතුව තබා ගන්නට බොහෝ මිනිස්සු පෙළඹෙති.

මෙහි ප්‍රතිඵලය වන්නේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර තමන් සන්තකයේ තබා ගැනීමට පෙළඹීමක් ඇති වීම හා ඒ හේතුවෙන් ආහාර සඳහා පරිභෝජන අවශ්‍යතාවය ඉක්මවන ඉල්ලුමක් ඇති වීමයි. ඒ ඉල්ලුම සැපයෙන තරමට ආහාර නිෂ්පාදනය වන අතර මේ නිසා ආහාර නාස්තියේ අවසාන ප්‍රතිඵලය වන්නේ පරිභෝජනයට අවශ්‍ය පමණට වඩා ආහාර නිෂ්පාදනය වීමයි. එය ආහාර මිල අඩු වීමටද හේතු වනවා වන්නට පුළුවන.

ලෝකය පුරා සාගින්නෙන් පෙළෙන විශාල පිරිසක් සිටිති. කුසට අහරක් නැතිව හාමතේ මියයන අය මෙන්ම පවුල් පිටින් සිය දිවි නසා ගන්නා අවස්ථාද තිබේ. මෙය ප්‍රශ්නයකි.

ලෝකය පුරා විශාල පිරිසක් මෙසේ සාගින්නෙන් පෙළෙද්දී තවත් විශාල පිරිසක් ආහාර නාස්ති කරති. මෙයද ප්‍රශ්නයකි.

කෙසේවුවත්, පිරිසක් විසින් ආහාර නාස්ති කිරීම හා තවත් පිරිසක් සාගින්නෙන් පෙළීම වෙනස් ප්‍රශ්න දෙකක් මිස එකම ප්‍රශ්නයේම කොන් දෙකක් නොවේ. වෙනත් අයුරකින් කියනවානම්, ඉහත විස්තර කළ ආහාර නාස්තිය අඩු කළා කියා ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දී සිටින අයට යහපතක් සැළසෙන්නේ නැත.

වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් මෑතකදී සිදුකළ කියුබානු සංචාරයක් අළලා ඔහු විසින් ලියා ඇති ලිපියක කොටසක් මෙසේය

"සංචාරකයන්ට හෝටල් වල ආහාර හිඟයක් නැත​. එහෙත් අප හෝටල් වලදී   සොසේජස්, කුකුල් මස්, හරක් මස්, රිබ්ස්, චීස්, යන ආහාර යහමින් කන විට කියුබානු වේටර් වරුන් සහ වේටර්වරියන් ගේ වේදනාකාරී දෙනෙත් මා දුටුවෙමි. තවද ආහාර බොහෝ සෙයින් බෙදා ගෙන නොකා ඉවත දමන සංචාරකයන් පොදුවේ කරන්නේ අපරාධයක් බව මා පසක් කලෙමි. මේ සංචාරකයන් ඉවත දමන බිත්තර , මස් හෝ සොසේජස් පවුලක සතියක සලාකය බව ඔවුන් නොදනිති. මා සමග කතා කල එක් වේටර්වරියක් පැවසුවේ ඇය ජීවත් වන්නේ පස් හැවිරිදි පුතා සහ වියපත් වූ මව සමග බවයි. මවට විශ්‍රාම වැටුපක් ලැබේ. එහෙත් සලාකයට ලැබෙන ආහාර පවුලේ යැපීමට ප්‍රමාණවත් නැත​. මේ නිසා ඇය අසීරුවෙන් හෝ මුදල් සොයාගෙන කළු කඩයෙන් හාල් සහ මස් මිලදී ගෙන ළමයාගේ කුසගිනි නිවන්නීය​."

රුවන්ට මෙන්ම බොහෝ දෙනෙකුට එකවරම දැනෙන්නේ කුස නොපිරුණු කියුබානු වේටර්වරුන් සහ වේටර්වරියන් වේදනාකාරී දෙනෙතින් බලා සිටිද්දී, ආහාර බොහෝ සෙයින් බෙදාගෙන නොකා ඉවත දමන සංචාරකයන් විසින් පොදුවේ කරන්නේ අපරාධයක් බවයි. එහෙත්, ඇත්ත තත්ත්වය එහි අනිත් පැත්තයි. සංචාරකයින් තමන්ට කන්නට හැකි තරම් පමණක් ආහාර බෙදාගෙන ඉතිරිය හෝටලයේ ඉතිරි කළා කියා මේ වේටර්වරුන්ගේ හා වේටර්වරියන්ගේ කුසවල් පිරෙන්නේ නැත. එහෙත්, මේ සංචාරකයින් විසින් ආහාර මිල දී ගෙන නාස්ති කර දමන හැම විටකම හෝටලයේ ආදායම හා ලාභ වැඩි වේ. කියුබාවට විදේශ විණිමය ලැබේ. කියුබානු වේටර්වරුන් සහ වේටර්වරියන්ගේ රැකියා සුරක්ෂිතතාවය හා ඒ හරහා ලැබෙන ආහාර සුරක්ෂිතතාවය ඉහළ ගොස් ඔවුන්ගේ ජීවන තත්ත්වය වඩා යහපත් වේ.

මේ අයුරින්ම මුදල් ගෙවා ආහාර මිල දී ගැනීමෙන් පසු එම ආහාර වලින් කොටසක් කුණු බක්කියට දමන ඇමරිකානුවෙක් ඒ ආහාර වල නිෂ්පාදන පිරිවැය හා සැපයුම් දාමයේ සිටින විවිධ පුද්ගලයින්ගේ හෝ ආයතන වල ලාභ වෙනුවෙන් මුදල් ගෙවා අවසන්ය. ඒ නිසා ආහාර පරිභෝජනය කළත්, නාස්ති කළත් වෙනත් අයෙකුට පාඩුවක් සිදු නොවේ. මෙවැනි පාරිභෝගිකයින් විසින් පරිභෝජනය නොකර ඉවත දමන ආහාර වෙනුවෙන් වැය කරන මුදල යනු අවශ්‍ය වූ විට අවශ්‍ය ආහාර ළඟ නොතිබීම නිසා දැනෙන ආහාර සුරක්ෂිතතා අවදානම අඩු කර ගැනීම වෙනුවෙන් ගෙවන මිලකි.

මේ අයුරින්ම, සැපයුම් දාමයේ අවසන් අදියර වන පාරිභෝගිකයින් වෙත පැමිණෙන්නට පෙර සිල්ලර වෙළදසැල් වලදීද ආහාර නාස්ති වේ. එසේ වන්නේ සිල්ලර වෙළඳසැල් වල සාමාන්‍ය ඉල්ලුමට වඩා තොග ගොඩ ගසාගෙන සිටින බැවිනි. සිල්ලර වෙළඳසැල් හිමියන් එසේ කරන්නේ ආහාර මිල දී ගන්නට පාරිභෝගිකයෙකු පැමිණි විට වෙළඳසැලේ භාණ්ඩ නැති වීමේ අවදානම අවම කිරීමටය. අවශ්‍ය ප්‍රමාණයට පමණක් තොග තබා ගත් විට සිදුවන්නේ ඉල්ලුම සුළුවෙන් හෝ වැඩි වූ විට වෙළඳසැලෙහි භාණ්ඩ හිඟයක් ඇති වීමයි. එවැනි වෙළඳසැලක් පාරිභෝගිකයින්ට ආකර්ෂණීය තැනක් නොවේ. පාරිභෝගිකයින්ට අවශ්‍ය වන්නේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය ද්‍රව්‍යය මිලදී ගත හැකි තැනකි.

පාරිභෝගිකයින්ට හිඟයකින් තොරව භාණ්ඩ සැපයීමට යාමේදී සිල්ලර වෙළඳසැලකට සාමාන්‍ය ඉල්ලුමට වඩා තරමක් වැඩියෙන් භාණ්ඩ ගබඩා කරන්නට සිදුවන අතර මේ භාණ්ඩ වලින් කොටසක් විකුණන්නට පෙර කල් ඉකුත් වේ. එසේ නාස්ති වන භාණ්ඩ වල මිලද වක්‍ර ලෙස ගෙවන්නේ පාරිභෝගිකයින් විසිනි. එය ඔවුන් විසින් අවශ්‍ය වෙලාවට අවශ්‍ය දෙය මිල දී ගන්නට තිබීම සහතික කර ගැනීම සඳහා ගෙවන මිලකි.

සිල්ලර වෙළඳසැල් වලදී හා මිලදී ගැනීමෙන් පසු නිවසේදී නාස්ති වන ආහාර සඳහාද පරිභෝගිකයින් විසින් සෘජුව හෝ වක්‍රව මුදල් ගෙවන බැවින් එම ආහාර පරිභෝජනය කළද නොකළද සිදුවන්නේ සමස්ත ඉල්ලුම ඉහළ යාම නිසා නිෂ්පාදනයද ඉහළ යාමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස මිල වෙනස් වන්නේ කෙසේද යන්න තීරණය වන්නේ යොදාගන්නා නිෂ්පාදන තාක්ෂනය මතය. ආහාර නිෂ්පාදනය සඳහා යොදාගන්නා මූලික සම්පත් එතරම්ම සීමාකාරී නොවන ඇමරිකාව වැනි රටක නිෂ්පාදන පරිමාව ඉහළ යන විට නිෂ්පාදන ඒකකයක් සඳහා පිරිවැය පහළ යාමට විශාල ඉඩකඩක් තිබේ. ඒ නිසා, නාස්ති කරන්නට ආහාර මිල දී ගැනීමේ ශුද්ධ ප්‍රතිඵලය මිල අඩුවීම විය හැකිය. ඒ නැතත්, නාස්ති කරන ආහාර වෙනුවෙන් ගෙවන මුදල් තවත් බොහෝ දෙනෙකුගේ ආදායමක් වන නිසා එයින් විශාල පිරිසකගේ කුසගිණි නිවන්නට උදවුවක් වනවා විය හැකිය. එහෙත්, මේ ආහාර නාස්තිය අඩු කිරීමෙන් කාගේවත් කුසවල් පිරෙන්නේ නැත.

කෙසේවුවද, මෙයින් අදහස් කරන්නේ ආහාර නාස්ති කිරීම හොඳ දෙයක් බව හෝ ආහාර සුරක්ෂිතතාවය ප්‍රශ්නයක් නොවන බව නොවේ. මේ දෙක අතර පෙනෙන ආකාරයේ සම්බන්ධයක් නැති බවයි.

ආහාර නාස්ති කිරීමේ ඇති ලොකුම ප්‍රශ්නය කුණු ප්‍රශ්නයයි. මීතොටමුල්ල සිද්ධියෙන් පසුව ඇතැම් අය කිවුවේ "ලංකාවේ මෙහෙම වුනත්, පිටරට වලටනම් කුණු කියන්නේ සම්පතක්" බවයි. එහෙත්, කුණු වලින් වත්පොතේ ඇතැම් අය කියන ආකාරයට ආදායම් ඉපැයිය නොහැකිය. කුණු කියන්නේ කොහොමත් කුණුය.

ප්ලාස්ටික්, ලෝහ, වීදුරු වැනි බොහෝ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කළත් තවමත් ඇමරිකාවේ කුණු වලින් විශාල කොටසක් අවසන් වශයෙන් යන්නේ ලෑන්ඩ්ෆිල් සයිට් වලටය. මෙසේ ලෑන්ඩ්ෆිල් සයිට් වල වලලා දමන කුණු වලින් සැලකිය යුතු කොටසක් ඉවත දැමූ ආහාරයි. මේ හේතුවෙන් මෙන්ම විශාල ලෙස ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය නිසාද සැලකිය යුතු තරමේ පාරිසරික ප්‍රශ්න ඇති වේ. ආහාර නාස්තියේ ඇති ලොකුම ප්‍රශ්නය මේ පාරිසරික ප්‍රශ්නයි.

ආහාර නාස්ති වනු දැක බලා සිටින්නට බැරිකම පෞද්ගලිකව මටද තිබෙන ප්‍රශ්නයකි. කුඩා කල සිට රැගෙන ආ මේ පුරුද්දේ ප්‍රතිඵලය වන්නේ කිසියම් ආහාරයකින් සුළු ප්‍රමාණයක් ඉතිරි වී ඇති විට කන්නට ඇත්තටම අවශ්‍ය නැතත්, අහක යන නිසා කා දමන්නට සිතීමයි. එහෙත්, මේ පුරුද්දෙන් නරකක් මිස හොඳක් වන්නේ නැත. එක පැත්තකින් නාස්තිවනවා කියා සිරුරට අවශ්‍ය නොවන කැලරි ප්‍රමාණයක් ඇතුළු කර ගැනීමෙන් සෞඛ්‍යයට නරක බලපෑමක් වේ. අනෙක් පැත්තෙන් මේ අන්තිම ආහාර කොටස කුණු බක්කියට නොදා සිටියා කියා හාමතේ සිටින කිසිවකුට යහපතක් සැලසෙන්නේද නැත. සිදුවන එකම යහපත ලෑන්ඩ්ෆිල් සයිට් එකකට යන කුණු වලින් ටිකක් අඩු වීම පමණි.

සාගින්නෙන් පෙළෙන අය ගැන කණගාටුවක් ඇත්නම් කළ යුත්තේ ආහාර අපතේ යැවීම සීමා කිරීම නොව එවැන්නන් වෙත ආහාර ලැබෙන පරිදි කිසියම් සක්‍රිය මැදිහත්වීමක් කිරීමයි. ඇමරිකාවේ බොහෝ තැන් වල මේ ආකාරයේ ආහාර එකතු කිරීම් සිදු වේ. සුපිරි වෙළඳසැලක එවැන්නක් සිදුවන විට පාරිභෝගිකයෙකුට කිසියම් කල් තබාගත හැකි ආහාර වර්ගයක් හෝ කිහිපයක් තමන්ට අවශ්‍ය අනෙකුත් බඩු සමඟ මිල දී ගෙන පැත්තක තිබෙන පෙට්ටියකට දැමිය හැකිය. එවිට, සුපිරි වෙළඳසැල විසින් මේ ආහාර අවශ්‍ය පුද්ගලයින් වෙත බෙදා හරී. මෙය බොහෝ විට සිදු කරන්නේ ආහාර බැංකුවක් හරහාය. ඇමරිකාවේ බොහෝ ගම් හා නගර වල ක්‍රියාත්මක වන මෙවැනි ආහාර බැංකු පවත්වාගෙන යන්නේ ස්වේචඡා සේවකයින් විසිනි. එවැනි තැනකට යන අයෙකුට අඩුආදායම්ලාභීන්ට රජයෙන් ලබා දෙන ආහාර සලාක ලබා ගන්නා විටකදී මෙන් තමන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමේ අවශ්‍යතාවයක් හෝ නැත.

(Image: https://followgreenliving.com/food-waste-generation-care/)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...