භාෂණයේ නිදහස අනෙකාගේ නහය කොණෙන් අවසන් විය යුතු වුවත්, අනෙකාගේ නහය ඇඟිලි කොණටම ලං වූ විට මේ සම්මුතිය එළෙසම පවත්වා ගැනීම හිතන තරම්ම පහසු නැහැ. එවැනි අවස්ථාවක සම්මුතිය කඩ කිරීමේ වන්දිය මරණය විය හැකියි. තමන්ගේ හා අනුන්ගේ නිදහස උදෙසා ජීවිත වන්දිය වුවත් ගෙවන්න පසුබට නොවන මිනිස්සුත් ඉන්නවා. එවැනි වන්දියක් ගෙවූ මිනිසෙකුගේ උපන් දිනය ලොව පුරා සැමරෙන අද දිනයේ (මෙය ලියන දෙසැම්බර් 25), ජුනයිඩ් හෆීස්ට මරණ දඬුවම නියම කෙරුණු පසුබිම පිළිබඳව ඉස්රාල් අහමඩ් විසින් ලියා පළ කර ඇති බ්ලොග් ලිපියේ ඉතිරි කොටසට දැන් අපි යමු. ලිපියේ මේ කොටසින් පැහැදිලි වන පරිදි ලේඛකයාගේ ඇඟිල්ල මරණ දඬුවමට පාත්‍ර වී සිටින ජුනයිඩ් හෆීස් වෙත මෙන්ම ඔහුගේ අංශ ප්‍රධානියා වූ ආචාර්ය ශිරින් සුබයිර් වෙතද යොමු වෙනවා. ලිපිය කියවිය යුත්තේ මෙය ලියා තිබෙන්නේ ජුනයිඩ් හෆීස්ට මරණ දඬුවම නියම කිරීම සාධාරණීකරනය කරමින් බව මතක තබා ගෙනයි.
කෙසේ වුවත්, ඔහුගේ ෆේස්බුක් ගිණුම සහ කණ්ඩායම් ගිණුම තවත් පැය ගණනක් සෝදිසි කිරීමෙන් පසුව, 2013 ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලය තුළ පළ කර තිබුණු අපහාසාත්මක පෝස්ට් 35 ක් පමණ සොයා ගැනීමට පරීක්ෂණ කණ්ඩායම සමත් වේ.
(විමර්ශනය තවදුරටත් ඉදිරියට ගිය අතර ජුනයිඩ් හෆීස්ට එරෙහිව සිසුන්ගෙන් ලිඛිත පැමිණිලි කිහිපයක්ම ලැබී තිබියදී ආචාර්ය ශිරිස් මේ කාරණය පරිපාලනයේ අවධානයට යොමු නොකළ බව අනාවරණය විය. ඈ විසින් මෙම කාරණය විසඳා ඇති බව පවසමින් උපකුලපතිවරයා නොමඟ යවා ඇත.)
විශ්ව විද්‍යාල පරිපාලනය සහ උපකුලපති විසින් ජූලි මාසයේදී ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් සමන්විත කරුණු සෙවීමේ කමිටුවක් පත් කෙරුණු අතර එම කමිටුව විසින් 2013 පෙබරවාරි 25 වන දින අයිඑම්එස් ශාලාවේදී පැවති උත්සවයකදී ජුනයිඩ් හෆීස් විසින් සර්ව බලධාරී දෙවියන් වහන්සේව සමච්චලයට ලක් කර ඇති බව ප්‍රථම වරට වාර්තා කළේය.
එදින, උත්සවයට සහභාගී වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු විසින් කමිටුව හමුවේ සාක්ෂි දෙමින් පහත කරුණු ඉදිරිපත් කළේය.
“මම එදින උත්සවයට සහභාගී වුනා. අප සියලු දෙනා විසින්ම ප්‍රසන්න උත්සව අවස්ථාවක් බලාපොරොත්තුවෙන් සිටියා. සාමාන්‍යයෙන් මෙවැනි උත්සවයක් ආරම්භ කරන්නේ සර්වබලධාරී දෙවියන්ව සිහි කිරීමෙන් පසුවයි. එහෙත්, හදිසියේම වේදිකාවට පැමිණි ජුනයිඩ් හෆීස් විසින් උත්සවය ආරම්භ කළේ වෙනත් අයුරකිනුයි."
"In the name of Allah who is always absent without any leave, who's omnipotent absence is always taken as his omnipotent presence"
"සැමවිටම නිවාඩු නොගෙන නොපැමිණ සිටින හා කිසි තැනක නොසිටීමම සෑම තැනකම සිටීම සේ සැලකෙන සර්වබලධාරී දෙවියන් වහන්සේගේ නාමයෙන්"
"මේ විකාර සහගත ප්‍රකාශය නිසා සහභාගී වූ අය මහත් විමතියට පත් වුනා. එහෙත්, පසුව පිරිස සන්සුන් වුනා. උත්සව සභාවේ කටයුතු දිගටම කරගෙන ගියා."
මේ සිද්ධිය පිළිබඳව අංශාධිපති ශිරින් කිසිවිටෙකත් ජුනයිඩ්ගෙන් ප්‍රශ්න කර නැත.
ජුනයිඩ් සමඟ දර්ශනවේදී උපාධිය හදාරන සෙසු සිසුන්ගේ ප්‍රකාශයන් ද පටිගත කරන ලද අතර, විවේචනාත්මක න්‍යාය විෂය උගන්වන මුවාවෙන් ආචාර්ය ශිරින් විසින් ඇගේ පන්තියේදී අසභ්‍ය චිත්‍රපට පෙන්වා ඇති බවත් පසුව එම චිත්‍රපට හා අදාළව පැවරුම් ලබා දී ඇති බවත් එම ප්‍රකාශයන්ගෙන් අනාවරණය විය. එසේම, මෙම චිත්‍රපට නිවසේදී නැරඹීමට අපහසු ඒවා වූ බැවින්, සිසුන් විසින් බොහෝ විට ගූගල් හරහා බාගත කර ගත හැකි චිත්‍රපට වල තොරතුරු සොයාගෙන පැවරුම් සම්පූර්ණ කර තිබේ. එම සිසුන් විසින් ඉන්දියානු චිත්‍රපටයක් වන "The Dirty Picture" ඇසුරෙන් පැවරුම සම්පූර්ණ කර ඇතත් ආචාර්ය ශිරින් විසින් ඉංග්‍රීසි චිත්‍රපටයක් ඇසුරෙන් පැවරුම සම්පූර්ණ කරන මෙන් දන්වා තිබේ.
දර්ශනවේදය හදාරන සිසුන් විසින් වාර්තා කර ඇති පරිදි ශිරින් සුබයිර් විසින් බොහෝ අවස්ථා වලදී පන්තියේදී විචාරය කළ යුතු කෘතිය තෝරා ගැනීමට ජුනයිඩ්ට අවස්ථාව ලබා දී තිබේ. විවේචනාත්මක විචාරයක් ලිවීම සඳහා වරක් ඔහු විසින් තෝරා ගෙන තිබෙන කවියක අවසන් පද දෙක මෙවැන්නකි.
"God is dead
God is dead"
“දෙවියන් මිය ගොස් ඇත
දෙවියන් මිය ගොස් ඇත"
මෙම කවිය අඩංගු පත්‍රිකාව මෙන්ම ජුනයිඩ් හෆීස්ගේ ෆේස්බුක් ගිණුමෙන් ලබාගත් සමහර තොරතුරු ද කමිටුව විසින් ලබාගෙන ඇති අතර ඒවා උසාවියේ ඇති ලිපිගොනුවෙහි ඇමිණුමකි.
ශිරින් සුබයිර්ගේ පංතියේ සිසුන් සහ ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවේ සිසුන්ගේ ප්‍රකාශ අනුව ඔවුන් කමිටුවට පවසා ඇත්තේ ශිරින් යනු ආගමට වෛර කරන්නියක් බව ආගම පිළිබඳ ඇගේ අදහස් වලින් පැහැදිලි වන බවයි.
මෙම සියලු චෝදනා මත පදනම්ව කමිටුව විසින් ශිරින්ගෙන් ප්‍රතිචාර දක්වන ලෙස ඉල්ලා සිටියද ඇය දිගින් දිගටම නිදහසට කරුණු ඉදිරිපත් කළ අතර පසුව ප්‍රශ්න කිහිපයකට පමණක් පිළිතුරු සැපයුවාය.
කමිටුව සිය වාර්තාවෙන් නිගමනය කළේ ශිරින්ට ආගමට අපහාස කිරීම පිළිබඳව චෝදනා කළ හැකි සාක්ෂි නොමැති නමුත් ඇගේ පරිපාලනය යටතේ මෙම ඛේදජනක සිදුවීම සිදුවී ඇති බව හා ජුනයිඩ් හෆීස්ව නොවැලැක්වීමෙන් සහ ඔහුට පූර්ණ ආරක්ෂාව සැපයීමෙන් ඇය විශ්ව විද්‍යාලයේ කීර්ති නාමයට හානි කර ඇති බවයි.
කමිටුව පත් කිරීමට පෙර ශිරින් විශ්ව විද්‍යාලයෙන් නිවාඩු ලබාගෙන ජර්මනියට ගොස් ඇති අතර මේ වන තෙක් නැවත විශ්ව විද්‍යාලයට පැමිණ නැත.
ජුනයිඩ් හෆීස් විසින් ආරම්භක අවස්ථාවේදී පොලීසිය ඉදිරියේ පාපොච්චාරණය කළද පසුව තම පාපොච්චාරණය ඉල්ලා අස්කර ගෙන නඩුව ඉදිරියට ගෙනයාමට කටයුතු කළේය.
තමා 2013 මාර්තු 15 වන දින සිට ස්ථීර කථිකාචාර්යවරයකු ලෙස පත් කිරීමට නියමිතව තිබුණු බවත් මෙය ඇතැම් කථිකාචාර්යවරුන් විසින් එයට එරෙහිව කරන කුමන්ත්‍රණයක් බවත් ජුනයිඩ් කියා සිටියේය. එහෙත්, විශ්ව විද්‍යාල වාර්තා පරීක්ෂා කර බැලූ විට පෙනී යන පරිදි මෙය පදනම් විරහිත ප්‍රකාශයක් වූ අතර විශ්ව විද්‍යාලය විසින් ඒ වන විට එවැනි පුරප්පාඩුවක් පිරවීම ගැන සලකා බලමින් නොසිටියේය. ජුනයිඩ් මේ වන විටද දර්ශනවේදී උපාධිය හදාරමින් සිටි සිසුවෙකු වූ අතර ඔහුගේ උපාධිය සම්පූර්ණ වීමට නියමිතව තිබුණේ 2014 වසර අවසානයේදී බැවින් ඒ වන තුරු ඔහුට කිසිදු ආකාරයකින් ස්ථිර කථිකාචාර්යවරයකු වීමට හැකියාවක් තිබුණේ නැත. එමෙන්ම, ජුනයිඩ් හෆීස්ට ඔහුගේ ප්‍රකාශය තහවුරු කළ හැකි කිසිදු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි විය.
ඉන් පසුව චුදිත ජුනයිඩ් විසින් යළිත් වෙනත් ස්ථාවරයක් ගනිමින් මාස කිහිපයකට පෙර ඔහුගේ ෆේස්බුක් ගිණුම හැක් කර ඇති බව ප්‍රකාශ කර සිටියේය. 1400ක් පමණ වන ඔබේ ෆේස්බුක් මිතුරන්ගේ ලැයිස්තුවෙහි පංතියේ මිතුරන්, වෙනත් පෞද්ගලික මිතුරන් සහ සිසුන් සිටියදී, දිනපතාම පෝස්ට් වලට ඔවුන්ගෙන් ලයික් හා කමෙන්ට්ස් වැටෙද්දී මේ පිළිබඳව ඒ කිසිවෙකු ඔබට නොකීවේ ඇයි කියාත්, ඔබේ ෆේස්බුක් ගිණුම ඔබගේ ජංගම දුරකථනයට හා විද්‍යුත් තැපෑලට සම්බන්ධ වී තිබියදී මේ ගැන මාස ගණනක් යන තුරු දැනගත හැකි නොවූයේ ඇයි කියාත් විමසු විට චුදිතයාට උසාවියට පිළිගත හැකි නිශ්චිත පිළිතුරක් ලබා දිය නොහැකි විය.
ඉන් පසුව චුදිත ජුනයිඩ් විසින් යළිත් වෙනත් තෙවන ස්ථාවරයක් ගනිමින් හැක් කර ඇති ෆේස්බුක් ගිණුම ඔහුගේ වුවත් ඊමේල් ගිණුම තමන්ගේ නොවන බව පැවසුවේය. ඊමේල් ගිණුම ඔබේ නොවේ නම් ඔබේ ඊමේල් සහ ෆේස්බුක් පරිශීලක නාමයන් සමාන වන්නේ කෙසේද කියාත් ඔබගේ අනෙක් ජංගම දුරකථන අංකය මෙම විද්‍යුත් තැපැල් ගිණුම හා සම්බන්ධ වන්නේ කෙසේද කියාත් ඇසූ විට ඔහුට එය පැහැදිලි කළ නොහැකි විය. එමෙන්ම, එම විද්‍යුත් තැපැල් ලිපිනයෙන් විශ්ව විද්‍යාල ගුරුවරුන් කිහිප දෙනෙකු සමඟ ඊමේල් පණිවුඩ හුවමාරු කර ගෙන ඇති බවත්, එක්සත් ජනපද ශිෂ්‍යත්වය හා අදාළ ලිපි එම ලිපිනයට ලැබී ඇති බවත් පෙන්වා දුන් විට චුදිතයාට කට උත්තර නැති විය.
සාක්ෂිකරුවන් පහළොස් දෙනෙකු පමණ ජුනයිඩ් හෆීස්ට එරෙහිව සිය ප්‍රකාශ ගොනු කළ අතර විත්තිකරුට ඔහුගේ ප්‍රකාශය වෙනුවෙන් කිසිදු සාක්ෂිකරුවෙකු හෝ ලේඛන ඉදිරිපත් කිරීමට නොහැකි විය. ජුනයිඩ් හෆීස්ගේ ෆේස්බුක් ගිණුමෙන් ලබාගත් සියලු තොරතුරු පාකිස්තාන වෝහාරික පර්යේෂණාගාරයට යැවීමෙන් පසු එහි වාර්තාව ද ජුනයිඩ්ට එරෙහිව ඉදිරිපත් විය. ජුනයිඩ් හෆීස්ට එරෙහිව විශ්ව විද්‍යාල කමිටුවේ වාර්තාව ද එළියට ආවේය.
මේ කරුණු අනුව පෙනී යන්නේ ජුනයිඩ් හෆීස් මේ සියළු දේ කර තිබෙන්නේ සරණාගතයෙකු ලෙස එක්සත් ජනපද පුරවැසිභාවය ලබා ගැනීමේ අරමුණින් බවයි. ජුනයිඩ් හෆීස්ගේ හිටපු ගුරුවරයෙකු සහ ශිරින් සුබයිර්ගේ ස්වාමිපුරුෂයා වන මොයින් හයිඩර් නොහොත් ජාවාලා මුඛි ද විදේශීය පුරවැසිභාවය සහ දේශපාලන රැකවරණ ලබා ගත් අයෙකි.
අනෙක් අතට, ජුනයිඩ් හෆීස්ගේ නඩුව අධිකරණය වෙත යාමෙන් පසුව ඔහු විසි වතාවකට වඩා උසාවියේ පෙනී සිටි නමුත් කිසිදු අවාසනාවන්ත සිදුවීමක් සිදු වූයේ නැත. නමුත් හදිසියේම වසරකට පසුව පැමිණිල්ලට එරෙහිව නඩු පැවරීමට උත්සාහ කරමින් සිටියදී ජුනයිඩ්ගේ නීතිඥයා වූ රෂීඩ් රෙහ්මාන්ව ඝාතනය කරනු ලැබුවේය. එයින් පසුවද සුළු ආරක්ෂාවක් යටතේ ජුනයිඩ්ව විසි වරකට වඩා මුල්තාන් වෙත ගෙන එන ලද අතර කිසිවෙකු ඔහුට පහර දුන්නේ නැත.
මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ජුනයිඩ් හෆීස් නඩුවේ සියලු වියදම් හා නීතිඥ ගාස්තු ගෙවන බැවින් ජුනයිඩ්ගේ පියා මාධ්‍යයට කියා ඇති නඩුවේ අධික පිරිවැය කතාවද විශ්වසනීයත්වයක් නොමැති කතාවකි.
එමෙන්ම සාහිත්‍යයට ඇති කැමැත්ත නිසා ජුනයිඩ් හෆීස් කිං එඩ්වඩ් වෛද්‍ය විද්‍යාලයෙන් ඉවත් වූ බව මෙම නඩුව හා සම්බන්ධ සමාජ මාධ්‍ය වාර්තා වල සඳහන් වන නමුත් සත්‍යය වන්නේ ඔහුට වෛද්‍ය විද්‍යාලයෙන් ඉවත් වීමට සිදු වුනේ විනය උල්ලංඝනය කිරීම නිසා බවයි. ඔහුව කිං එඩ්වඩ් වෛද්‍ය විද්‍යාලයෙන් නෙරපා හරින ලද අතර පසුව ඔහුට එංගලන්තයේ සාහිත්‍යය හැදෑරීමට අවස්ථාව ලැබුණේය.
අධික ගාස්තු අය කරන ජුනයිඩ්ගේ නීතිඥයින් විසින් හා විවිධ වාසි ලබන රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙම නඩුවේ ඉතිහාසය හා කරුණු වෙනස් කරමින්, නඩුව හා සම්බන්ධ ව්‍යාජ කථා නිර්මාණය කරමින් නඩුවේ සත්‍ය කරුණු විකෘති කිරීමට උත්සාහ කරන අතර එම ව්‍යාජ කථා රට තුළ හා ජාත්‍යන්තරව ප්‍රචාරය කරමින් මෙම නඩු විභාගයට බලපෑම් කළෝය. හෆීස් නඩුව විභාග කිරීමට දීර්ඝ කාලයක් ගත වීමේ වගකීම ගත යුත්තේ ජුනයිඩ්ගේ නීතිඥයින් විසින්ය. ඔවුන් එක් සාක්ෂිකරුවෙකුව (තොරතුරු තාක්‍ෂණ විශේෂඥයාව) වසර තුනහමාරක පමණ කාලයක් තිස්සේ ප්‍රශ්න කළෝය. මෙවැනි දීරිඝ ප්‍රශ්න කිරීමක් සිදු වුනේ ඉතිහාසයේ පළමු වරටය.
රාජ්‍ය නොවන සංවිධාන, එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ කාදියානි පංතිය (අහමදියා මුස්ලිම්වරුන් හැඳින්වෙන නමකි) කෙතරම් බලපෑම් කළේද යත්, එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස් විසින් ජුනයිඩ් හෆීස්ව නිදහස් කරන මෙන් 2019 ජූලි මාසයේදී පාකිස්තානයෙන් සෘජු ලෙසම ඉල්ලා සිටියේය. ඉම්රාන් ඛාන්ගේ එක්සත් ජනපද සංචාරයේදීද, ජුනයිඩ් හෆීස් නිදහස් කරන ලෙස ඉම්රාන් ඛාන්ගෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් සෘජුවම ඉල්ලා සිටි අතර, එක්සත් ජනපද ආධාර ලබා දීම සඳහා ජුනයිඩ් හෆීස්ව නිදහස් කිරීම කොන්දේසියක් ලෙස ඉදිරිපත් කෙරුණේය.
පකිස්ථානයයේ ආගමික අපහාස නීති දිගින් දිගටම උපුටා දක්වමින් විවේචනය කරන කාදියානි වරුන් (අහමදියා මුස්ලිම්වරුන්), එක්සත් ජනපදය හා බටහිර මාධ්‍ය විසින් ජුනයිඩ් හෆීස්ව වීරයෙකු ලෙස උලුප්පන්නේ ඔහු මුස්ලිම් වරුන්ට සහ ඉස්ලාම් ආගමට පහර දුන් නිසාය.
2019 නොවැම්බර් මාසයේ දී, කාදියානි ආටීෆ් මියන් ඇතුළු බටහිර හා කාදියානි විද්වතුන් 20 කට වැඩි පිරිසක් විසින්ද ජුනයිඩ් හෆීස් නිදහස් කරන ලෙස ඉල්ලා පාකිස්තාන අගවිනිසුරු අසීෆ් සයීඩ් කොසා වෙත ලිපියක්ද ලියා තිබේ.
Dawn පුවත්පත (පකිස්ථානයේ වැඩියෙන්ම කියවන සහ පැරණිම ඉංග්‍රීසි පුවත්පතකි) සහ අනෙකුත් පුවත්පත් ජුනයිඩ් හෆීස් සහ නඩුව පිළිබඳව අසත්‍ය ලිපි අඛණ්ඩව පළ කරමින් සිටී. නඩුවේ සත්‍ය කරුණු පිළිබඳව කිහිප වතාවක්ම මෙම පුවත්පත් සම්බන්ධ කර ගනිමින් කරුණු කාරණා ලබා දුන් නමුත් කිසි දිනෙක මේ පුවත්පත් සත්‍යයට ඉඩක් ලබා දුන්නේ නැත.
මෙම නඩුවේ සත්‍ය කරුණු විකෘති කරමින් සාමාන්‍ය ජනතාවද නොමඟ යවා ඇති අතර එය ඊනියා අහිංසක ජුනයිඩ් හෆීස්ට එරෙහි සමහර ආගමික සිසුන්ගේ කුමන්ත්‍රණයක් ලෙස නිරන්තරයෙන් හැඳින්වේ.
මෙම නඩුව කිසියම් විශේෂිත කණ්ඩායමක හෝ පන්තියක නොව සමස්ත ජාතියේම නඩුවකි. එබැවින්, මෙම නඩුවේදී බටහිර මාධ්‍ය, එක්සත් ජනපද රජය සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් අධිකරණය සහ රජය වෙත බලපෑම් කිරීම අපි තරයේ හෙළා දකිමු.
නඩුව සම්පූර්ණයෙන් විමර්ශනය කර සාක්ෂි සමාලෝචනය කිරීමෙන් හා දෙපාර්ශ්වයේම අවසාන තර්ක වලට දින තුනක් සහ රාත්‍රියක් සවන් දීමෙන් පසුව, ජුනයිඩ් හෆීස්ට අවසානයේදී 295 ඒ යටතේ වසර දහයක සිර දඬුවමක් සහ සහ රුපියල් ලක්ෂයක දඩයක්ද, 295 බී යටතේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් සහ 295 සී යටතේ රුපියල් ලක්ෂ 5 ක දඩයක් සහ මරණ දඬුවමද නියම විය.
මේ තීන්දුව ලබා දී තිබෙන්නේ මීට පෙර වරදකරුවන් බව ඔප්පු නොවීම නිසා අපහාස කිරීමේ චෝදනාවට ලක් වූ පුද්ගලයන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කර ඇති විනිසුරුවරුන්ම විසින්ය.
ජුනයිඩ් හෆීස්ගේ සිද්ධිය පාකිස්තාන ඉතිහාසයේ මෙවැනි ආකාරයේ පළමු අවස්ථාව වන අතර මේ සිද්ධියේදී ලේ වැගිරීම් කිසිවක් සිදු වුනේ නැත. ජුනයිඩ් හෆීස් විසින් සිදු කළ වරද පිළිබඳව කිසිදු සැකයක් නොමැති අතර ඒ බව තහවුරු කිරීම පිණිස සාක්ෂිකරුවන් හා සාක්ෂි ඕනෑ තරම් තිබේ.
“අල්ලාහ්ට සහ ඔහුගේ දූතයාට පීඩා කරන අය වෙත අල්ලාහ්ගේ ශාපය මෙලොවදීද පරලොවදීද නියත වශයෙන්ම පැමිණෙනු ඇත. අල්ලාහ් ඔවුන් වෙනුවෙන් නින්දිත දඬුවම් සූදානම් කර තිබේ.”
- අල් අහ්සාබ්, 57
(ලිවීම හා පර්යේෂණ: මුල්තාන් වක්ලා සමිතිය)
(සටහන: මෙම ලිපියේ විස්තර කර ඇති සිදුවීම් හා අදාළ ඕනෑම ලේඛනයක සහතික කළ පිටපතක් රුපියල් සිය ගණනක් ගෙවා උසාවියෙන් මිල දී ගත හැකිය.)
මේ බ්ලොග් සටහන පළ කර ඇති ලේඛකයාගේ බොහෝ අදහස් සමඟ එකඟ විය නොහැකි වුවත්, ලිපියේ ඇති කරුණු සෑහෙන තරමකින් නිවැරදි බව සිතිය හැකියි. ලේඛකයා උගත් තරුණයෙක්. ඔහු අන්තවාදියෙක් ලෙස සලකන්න බැහැ. මේ ලිපියෙන් නියෝජනය වන්නේ පකිස්ථානයේ බොහෝ දෙනෙක් මේ සිදු වීම ගැන හිතන ආකාරය වෙන්න පුළුවන්.
මධ්‍යස්ථ අදහස් කියන ඒවාත් සාපේක්ෂයි. පකිස්ථානය වැනි රටක හා බටහිර රටවල මධ්‍යස්ථ මතධාරීන් සේ සැලකෙන අයගේ අදහස් අතර පරතරය ඉතා පුළුල් එකක්. කිසියම් අදහසක් මධ්‍යස්ථ හෝ අන්තවාදී වන්නේ තවත් පුද්ගලයෙකුට සාපේක්ෂවයි. ප්‍රජනන සෞඛ්‍යය වැනි සරල දෙයක් ගැන කතා කිරීම පවා ඇතැම් විටෙක අනෙකාගේ නහයේ සීමාවේ වැදෙන්නක් වෙන්න පුළුවන්. මෙය පහසුවෙන් විසඳුම් සෙවිය හැකි ගැටලුවක් නෙමෙයි.
(Image: https://coolsandiegosights.com/2015/01/30/our-silences-and-precious-freedom-of-speech/)
ඉකොනො හෆීස් ගැන ලියන වෙලාවේ ලංකාවේ ආර්ථික දිනපතා විනාශ මුඛයට යමින් තමයි තියෙන්නේ. රාජපක්ෂ කල්ලියේ වන්දිභට්ට කැනහිලූන් රටේ බහුතරයක් ආයතන වලට පැන ඒවා විනාශ කරනවා ඉකොනොමැට්ටාට පේන්නෙ නෑ නේද?
ReplyDeleteරාජපක්ෂ කදවුරේ දක්ෂ වෘත්තීයවේදීන් නෑ. ඉන්න ඔක්කොම නූගත් හොරු රැලක්.. .අර්ජුන් මහෙන්ද්‍රන්ට වඩා අතිශයින්ම දක්ෂ ඉතාමත් හොඳ කෙනෙක් තවත් නැහැ. එයා හිටියනම් දැන් ලංකාව මීට වඩා ඉස්සරහට ගිහින්... නමුත් රාජපක්ෂ කල්ලියේ සිංහල බෞද්ධ අන්තවාදී මිනීමරු ත්‍රස්තවාදීන් රට විනාශ කරන එකට විරුද්ධව හඬ නැගීම ඉකොනොමැට්ටාගේ වගකීම වේ.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කියන එක සාපේක්ෂයි.
ReplyDeleteඋදාහරණයක් විදියට බටහිර ක්‍රිස්තියානි රටවල්වල වුනත් "ජාතික සමාජවාදීන්ට" එරෙහි නීති තියෙනවා. ඊට සාපේක්ෂව ලංකාවේ දෙමළ ජාතිවාදින්ට (එනම් සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විාශ්ෂ සංස්කෘතිය හැටියට පිලි නොගන්න ඔ්නෑම කෙනෙක්ට) ඉහල නිදහසක් තියෙනවා.
මම මේ 'Adolf Hitler - The Greatest Story NEVER Told' Parts 1-27 @TGSNTtv_(360p) කියන චිත්‍රපටය බැලුවා. ඒක බලලා මගේ ඇස්දෙකට කඳුළු ආවා.
This comment has been removed by the author.
ReplyDeleteමට අනුව නම් මේ ලිපිය ලියපු පකිස්තාන්කාරය ඉංජිනියර් කෙනෙක් වුනත් පිස්සුම හු**ක්. පොඩි කාලෙ ඉඳන් ගොබ්බ ආගමකින් මිනිහෙක්ට කරන්න පුළුවන් විනාසෙට ජීවමාන උදාහරණයක්. ෆේස්බුක් එකේ ලංකාවෙ උන් අල්ල කියන එකා ගැන ලියන ඒව දැක්ක නම් මූ වහ බොයි :D බටහිර රටවලත් ඔය වගේ දේවල් තියෙන්න පුළුවන් නමුත් මේ 2019 වගේ කාලෙක මෙච්චර ලොකු දඩුවම් දෙන්නෙ නෑනෙ. මේ මනුස්සය අවුරුදු 6 ක් හිරේ හිටපු එකම මදැයි. අනිත් එක විනිසුරුවරුන් මරණ තර්ජන නිසා බයවෙලා මේ තීන්දුව දීල තියෙන්නෙ කියලත් කියනවා. හැබැයි මේ සැරේ ලේසි වෙන්නෙ නෑ. ලෝකෙම බලාගෙන ඉන්නෙ. මේ සැරේ අල්ලට පශ්චාත් භාගෙත් නැතිවෙන්න පුළුවන් :)
ReplyDelete