වෙබ් ලිපිනය:

Thursday, February 16, 2017

බයිට් එක වෙන බේබද්දෝ

"මා දැන සිටි එක් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු මධුලෝලයෙන් පෙලෙන රෝගීන් ගේ හිමොග්ලෝබීන් කෙතෙක් අඩු වූවද ඔවුනට රුධිර පාරවිලනය කිරීමට විරුද්ධ විය​. ඒ ආගමික හේතු නිසා නොවේ. මේ බේබදු කාලකන්නින්ට බ්ලඩ් දෙන එක අපරාධයක් කියා ඔහු නිතර කීවේය​. සුරාධූර්ත්වය රෝගයක් ලෙස දැකීමට ඔහුට නොහැකි විය​. බඩවල් ඉදිමුණු මදිරාබාධයෙන් පෙලුනු රෝගීන් ඔහුගේ වාට්ටුවේ මිය ගියද ඔහු සැලුනේ නැත."

ඉහත ඡේදය උපුටා ගත්තේ ටික දවසකට පෙර පළ කර තිබුණු වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ ලිපියකිනි. එම ලිපියට කමෙන්ටුවක් එකතු කරමින් අජිත් ධර්මා විසින් ලියා තිබුණේ කිසි දිනෙක මත්පැන් පානය නොකළ ඔහුගේ පියාට බොහෝ විට අධික මත්පැන් පානය හේතුවෙන් හැදෙන රෝගයක් වැළඳී රෝහල්ගතව සිටියදීද රෝහල් සේවකයින් විසින් ඔහු මධු ලෝලියෙකුව සිට ඇති බවට පූර්ව නිගමනයකට පැමිණ කුඩම්මාගේ සැලකිලි දැක්වූ බවයි.

ඇමරිකාවේ ජනගහණයෙන් ඇතැම් සීමිත කොටස් වලට හැර වැඩි දෙනෙකුට නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් නැති අතර වෛද්‍ය ප්‍රතිකාර වල මිල සෘජුව හෝ වක්‍රව (වෛද්‍ය රක්ෂණයක් හරහා) රෝගියා විසින් ගෙවිය යුතුය. මේ නිසා කිසියම් වෛද්‍ය ප්‍රතිකාරයක මිල යනු වෙනත් පාරිභෝගික භාණ්ඩයක මෙන්ම ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිලයි. ඉල්ලුම හා සැපයුම සමතුලිත වන විට භාණ්ඩයක හෝ සේවාවක හිඟයක් ඇති නොවේ. කෙසේ වුවද, වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැය කළ හැකි මුදල රෝගියාගේ මිල දී ගැනීමේ හැකියාව මත තීරණය වන නිසා වෛද්‍යවරයෙකු විසින් රෝගියෙකුට ප්‍රතිකාරයක් නියම කිරීමේ දී, හැම විටම සවිඥානකව සිදු නොවූවත්, එයින් රෝගියාට සැලසෙන යහපත වැය වෙන මුදල සමඟ සැසඳීමක් කිරීමට සිදු වේ.

ලංකාවේ රජයේ රෝහලක සේවය කරන වෛද්‍ය වරයෙකුට බොහෝ විට මේ මිල සාධකය ගැන ඇමරිකාවේදී මෙන් සැලකිලිමත් වන්නට සිදු නොවේ. එහෙත්, වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැය වෙන මුදල රෝගියාගෙන් අය කර නොගෙන වෙනත් අයෙකුගෙන් අය කර ගන්නා ක්‍රමයකදී ඉල්ලුම හා සැපයුම සමතුලිත නොවන බැවින් බොහෝ විට වෛද්‍යවරයාට වෙනත් ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදු වේ. ඒ අවශ්‍යතා තරමට සම්පත් නොමැති වීම නිසා ඇතිවන සම්පත් බෙදා හැරීමේ ගැටළුවයි. මෙහිදී ඇමරිකාවේදී මිල සාධකය මඟින් ස්වයංක්‍රීය ලෙස සිදු වන සම්පත් බෙදා හැරීමේ කාර්යය වෛද්‍යවරයාට තමන්ගේ අභිමතය පරිදි කිරීමට සිදු වේ. වඩා ඉහළ තලයකදී රෝහල් අතර සම්පත් බෙදා හැරීම කිසියම් නිලධාරියෙකු හෝ නිලධාරීන් කිහිප දෙනකු විසින් ඔවුන්ගේ අභිමතය පරිදිත්, පොදුවේ සියළුම රජයේ රෝහල් වලට සම්පත් වෙන් කරන ප්‍රමාණය මුදල් ඇමති වරයා හා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් විසින් ඔවුන්ගේ අභිමතය පරිදිත් සිදු කරයි.

කිසියම් රජයේ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙකුට රෝගීන් අතර බෙදා දිය හැකි සම්පත් ප්‍රමාණය සියළුම රෝගීන්ගේ අවශ්‍යතාවන් සඳහා ප්‍රමාණවත් නැත. ඖෂධ, පරීක්ෂණ උපකරණ හා රෝහල් ඇඳන් ආදී සියළුම ආකාර වල සම්පත් වලට මෙය බලපායි. මෙහිදී සම්පත් බෙදා හැරීම සම්බන්ධව අභිමතය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති වෛද්‍ය වරයෙකු තමන්ගේ පෞද්ගලික නිර්ණායක හෝ වෛද්‍ය ආචාර ධර්ම මත පදනම් වූ වෙනත් පොදු නිර්ණායකයක් යොදා ගනිමින් ප්‍රමුඛතා පදනම මත සම්පත් බෙදා හැරීම සිදු කරයි. මේ ප්‍රමුඛතා පදනම තීරණ ගන්නා පුද්ගලයා අනුව වෙනස් විය හැකිය. රුවන් ජයතුංගගේ උදාහරණයේ මධු ලෝලියාට හා අජිත් ධර්මාගේ පියාට රුධිර ප්ලාස්මා පාරවිලනය සිදු නොකෙරෙන්නේ ඔවුන් මේ තීරණය ගන්නා පුද්ගලයාගේ ප්‍රමුඛතා පදනම මත පහළට වැටෙන බැවිනි.

රජයේ රෝහල් වල සම්පත් හිඟය ක්‍රමයෙන් ඉහළ යද්දී සම්පත් බෙදා හැරීම සම්බන්ධව වෛද්‍ය වරුන්ට කළ හැකි බලපෑමද ක්‍රමයෙන් ඉහළ යයි. 2017 වසර සඳහා අයවැයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 160,971.8 කි. මෙය 2016 වසර සඳහා වෙන්කර තිබුණු මුදල වූ රුපියල් මිලියන 198,838.0 ක මුදලට වඩා 19.04% කින් අඩු මුදලකි (2017 අයවැය ඇස්තමේන්තු ඉංග්‍රීසි පිටපත වෙළුම 1 පිටුව 327). කෙසේ වුවද, 2016 වසරේ ගණන සංඛ්‍යාලේඛණ විජ්ජාවකින් වැඩිකර පෙන්වූ මුදලකි. ඇත්තටම වෙන් කර තිබුණු මුදල මීට වඩා රුපියල් මිලියන 17,878 කින් අඩු මුදලක් විය. එම ගණන ඉවත් කළද 11.05%කින් ප්‍රතිපාදන කප්පාදු වී තිබේ. 

රජයේ වියදම් වැඩි කර නොගන්නා අතර, ණය ගෙවීම සඳහා වැඩි මුදලක් වෙන් කිරීම සඳහා මෙවර අමාත්‍යාංශ වැඩි ප්‍රමාණයක ප්‍රතිපාදන යම් ප්‍රමාණයකින් කප්පාදු කර ඇති බව පෙනේ. බොහෝ දෙනාගේ අවධානයට ලක්වන සෞඛ්‍ය හා අධ්‍යාපන වැනි ක්ෂේත්‍රද මේ ප්‍රතිපාදන කප්පාදුවෙන් ගැලවී නැත. (මේ ගැන ඉඩක් ලැබුණු විටක පසුව වෙනම කතා කරමු.)

කෙසේ වුවද, අවසන් ප්‍රතිඵලය වන්නේ රජයේ රෝහල් වල සම්පත් හිඟය තව දුරටත් ඉහළ යාමයි. ඒ සමඟම වෛද්‍යවරුන් ඇතුළු රෝහල් සේවකයින්ට සම්පත් බෙදා හැරීමේදී සිය අභිමතය ක්‍රියාත්මක කිරීමට ලැබෙන ඉඩකඩ තව දුරටත් ඉහළ යනු ඇති අතර, රුවන් ජයතුංගගේ ලිපියේ මධු ලෝලියා වැනි අයට එහි වන්දිය වැඩිපුර ගෙවන්නට සිදු වනු ඇත.

මේ කියන ආකාරයේ මධු ලෝලීන් මට මගේ ජීවිතයේදී ඕනෑ තරම් හමු වී තිබේ. මැරෙන්නම අමාරු වී රෝහල් ගත කර යාන්තම් ගොඩදාගෙන නැවත ආපසු පැමිණියත් මෙවැනි අය මත්පැන් පානය නවත්වන්නේ නැත. ඇත්තටම ඒ වන විට මත්පැනෙහි වහලුන්ව සිටින ඔවුන්ට මේ පුරුද්දෙන් මිදීමේ හැකියාවක්ද නැත. බොහෝ රෝහල් සේවකයින් මෙවැනි තැනැත්තන්ව දකින්නේ තමන්ගේ පාලනය යටතේ ඇති සීමිත සම්පත් ප්‍රමාණය විනාශ කරන සමාජ විරෝධීන් කොටසක් වශයෙනි. ඒ නිසා සම්පත් බෙදා හැරීමේදී වරදකාරී හැඟීමකින් තොරව එවැන්නන්ට අඩු ප්‍රමුඛතාවයක් දීමට ඔවුන්ට හැකි වී තිබේ. අධික ලෙස මත්පැන් පානය කිරීමේ සමාජ පිරිවැයක් ඇත්තටම තිබුණත් මෙහිදී එම තාර්කික හේතුවට වඩා වැඩිපුර බලපාන්නේ තීරණ ගන්නා පුද්ගලයින්ගේ ආගමික හා සංස්කෘතික පසුබිමයි.

මත්පැන් වලට එරෙහිව යන තාර්කික හේතුත්, ඊටත් වඩා ආගමික හා සංස්කෘතික හේතුත් නිසා රජයයන්ට මත්පැන් පානය අධෛර්යමත් කිරීම හේතුවක් ලෙස ඉදිරියට දමමින් මත්පැන් පානය කරන්නන්ගෙන් අධික බදු අය කිරීමට හැකියාවක් ලැබී තිබේ. මේ මඟින් මත්පැන් භාවිතය අධෛර්යමත් වන බව ඇත්තක් වුවත් බදු වැඩි කිරීම මඟින් රජය ඇත්තටම අපේක්ෂා කරන්නේ සිය බදු ආදායම් ඉහළ නංවා ගැනීමය. එය එසේ නොවේනම් රජය විසින් කළ යුත්තේ මෙසේ සුරා බදු ලෙස එකතු කර ගන්නා මුදල් වැය කිරීමේදී මත්පැන් වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමට ප්‍රමුඛතාවයක් දීමයි. එහෙත්, එවැන්නක් සිදු නොවේ. ඒ නිසා, හැමවිටම වාගේ මේ බදු වැඩි කිරීම් කරන්නේ "ගාණකටය". 

බදු වැඩි වීම නිසා ඕනෑවට වඩා මිල වැඩි වූ විට අන්තිමට වෙන්නේ, ලොතරැයි වලින් වුනාක් මෙන්, රජයේ බදු ආදායම අඩු වීමයි. ඇස්තමේන්තු කර ඇති පරිදි, 2017 වසරේදී රජයේ සුරා බදු ආදායම රුපියල් මිලියන 175,500 දක්වා වැඩි කර ගැනීමට රජය අපේක්ෂා කරයි (2017 අයවැය ඇස්තමේන්තු ඉංග්‍රීසි පිටපත වෙළුම 1 පිටුව XXIV). මේ මුදල 2017 වසරේදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට වෙන් කර ඇති මුළු මුදලට වඩා රුපියල් මිලියන 14,528 කින් පමණ වැඩිය. ඒ නිසා, ලංකාවේ මධු ලෝලීන් ගෙවන බදු වලින් පමණක් රජය විසින් "නොමිලේ" ලබා දෙන සියළුම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය සේවාවන් ලබා දී වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ රජයේ ඉහළ නිලධාරීන්ගේ වාහන ආනයන බදු සහන නිසා රජයට අහිමි වන ආදායමද ආවරණය කර ගැනීමට පුළුවන.

රෝහල්ගත වී යන්තම් ගොඩ දාගෙන ආපසු ගෙදර යන මධු ලෝලීහු නැවතත් මත්පැන් පානය කර රෝගී වී ආපසු රෝහල්ගත වෙති. එහෙත්, රෝහල්ගත වන ඒ වාර දෙක අතරද ඔවුහු රජයට තවත් සැලකිය යුතු වැඩිපුර මුදලක් බදු ලෙස ගෙවති.

මෙහිදී මෙසේ රෝහල්ගත වන වැඩි දෙනෙකු පරිභෝජනය කරන්නේ නීති විරෝධී මත්පැන් බවත්, ඒ නිසා ඔවුනගෙන් රජයට බදු ආදායමක් නොලැබෙන බවත් කියවන අයෙකුට මට "කියා දෙන්නට" පුළුවන. මතුපිටින් පෙනෙන පරිදි මේ කතාව නිවැරදිය. එහෙත්, ඇත්තටම මෙය සංකීර්ණ කරුණකි. නීති විරෝධී මත්පැන් පරිභෝජනය කිරීමට මේ පිරිස් පොළඹවා ඇත්තේ රජයයි. ඒ, බදු මඟින් මිල හත් අට ගුණයකින් ඉහළ යැවීම හරහා "නියම මිලට" තත්ත්වයෙන් වඩා හොඳ මත්පැන් පරිභෝජනය කිරීමට අඩු ආදායම්ලාභී බොහෝ දෙනෙකුට ඇති අයිතිය රජය විසින් නැති කර ඇති බැවිනි. 

මේ පිටුපස සෞඛ්‍යමය හේතු තිබුණත්, මෙහිදී ආගමික හා සංස්කෘතික හේතු වලින් මේ ඉහළ බදු වලට වැඩි තල්ලුවක් ලැබී තිබේ. සීනි හා පිෂ්ඨය වැඩිපුර ගැනීමද විශාල ලෙස සෞඛ්‍ය ප්‍රශ්න ඇති කරන අතර බත් වලට වන ඇබ්බැහියද අත් හැරීම ඉතා අපහසු ඇබ්බැහියකි. ඒ නිසා මත්පැන් මෙන්ම මිල වැඩි වුවත් ඉල්ලුම එතරම් අඩු නොවන හාල් වලට විශාල බද්දක් පැනවීමෙන් රජයට බදු ආදායම සැලකිය යුතු ලෙස වැඩි කර ගැනීමට පුළුවන. නමුත්, කිසිදු රජයක් ඒ ගැන නිකමටවත් හිතන්නෙවත් නැතිවා පමණක් නොව හැකි තරම් අඩු මිලකට හාල් සැපයීමට දැඩි උත්සාහයක් දරයි. ඒ, සෞඛ්‍යමය හේතු කෙසේ වුවත් "බඩ පිරෙන්නට බත් කෑම" මත්පැන් පානය කිරීම මෙන් "වරදක්" නොවන නිසාය.

මත්පැන් පානය කරන්නෝද අඩු වැඩි වශයෙන් මේ සංස්කෘතික රාමුව තුළම සිරවී සිටින අතර තමන් කරන්නේ වරදක්ය යන හැඟීම පෙරදැරි කරගෙන කියන ගාණක් ගෙවා මත්පැන් මිලදී ගන්නවා මිස ඔවුහු කවදාවත් සංවිධානය වී කොටුව දුම්රියපොළ ඉදිරිපිට රැස් වී රජය නඩත්තු කිරීමට විශාල දායකත්වයක් දෙන තමන්ගේ "බේබදු අයිතිවාසිකම්" වෙනුවෙන් හඬ නඟන්නේ නැත. ඒ වෙනුවට ඔවුන්ගේ තෝරා ගැනීම වන්නේ නීත්‍යානුකූල මත්පැන් මිල තමන්ට දරා ගැනීමට නොහැකි වන විට නිහඬව නීති විරෝධී මත්පැන් වෙත යොමු වීමයි. මෙසේ ඉහළ සුරා බදු හමුවේ කිසිදු විරෝධයක් නොපා නීත්‍යානුකූල මත්පැන් වෙළඳපොළෙන් පිරිසක් බැහැර වීම තුළ එසේ නොකරන අයගෙන් වැඩි මුදලක් බදු ලෙස ඉපැයීමට රජයට වක්‍රව උදවුවක් ලැබේ. නීත්‍යානුකූල මත්පැන් සඳහා අය කරන ඉහළ බදු නිසාම ඇතිවන නීති විරෝධී මත්පැන් වෙළඳසැල් වෙත ඔවුහු යොමු වෙති.

මෙසේ විශාල මුදලක් රජයට බදු ලෙස ගෙවමින් තමන්ගේ මුදලින් මත්පැන් පානය කරන්නන් බොහෝ දෙනෙකු මෙන්ම මේ විශාල බදු මුදල නොගෙවිය හැකි බැවින් නීත්‍යානුකූල මත්පැන් වෙළඳපොළෙන් බැහැර වී බදුද සමඟ වැඩි මිලක් ගෙවා "හොඳ මත්පැන්" පරිභෝජනය කිරීමේ අවස්ථාව එය කිරීමට ආර්ථික ශක්තියක් ඇති අයට පවරා දීම මඟින් ඔවුන්ගෙන් වැඩිපුර බදු මුදලක් අය කර ගැනීමට රජයට වක්‍ර ලෙස උදවු කර ඇති පිරිසද මත්පැන් පානය කරන්නේ සංස්කෘතිය හරහා උරුම වන වරදකාරී හැඟීමක් සහිතව බැවින් බේබද්දන් රෝහල් තුළ මෙන්ම වෙනත් තැන් වලද බයිට් වීම ඉදිරියටත් එසේම සිදු වනු ඇත.

(Image: https://lordsofthedrinks.com/2015/03/11/drunk-guy-picks-fight-with-a-killer-elephant-in-sri-lanka/)

21 comments:

  1. සුරාධූර්ත්වය රෝගයක් එය දියවැඩියාව ප්‍රෙෂර් එක වගේ රෝගයක් එය එලෙස දකින්න තාම අපේ වෛද්‍යවරු සූදානම් නෑ. නමුත් තව වසර 10 - 20 යන විට ආකල්පමය වෙනසක් එයි

    ReplyDelete
    Replies
    1. මෙය රෝගයක් ලෙස සැලකුවොත් හදිසි අනතුරකට ලක් වූ අයෙක්ගේ මාල කඩා ගන්නවා වගේ වැඩක් වෙන්නේ.

      Delete
  2. බේබද්දා කියන්නේ අරක්කු බද්ද ගෙවන එකාට කියන නම කියල අපේ යාළුවෙක් තැනකදි කිව්වා. බේ = බීම , බද්දා = බද්ද ටැක්ස්. ඒ නයින් බේබද්දා බේබද්ද ගෙවන එකාය

    ReplyDelete
    Replies
    1. ඇත්තටම "බේබද්දා" කියන්නේ අරක්කු විකුනන්න ලයිසන් දෙන එකාට...

      බා = බාර්
      බෙද්දා = බෙදුවා / බෙදන්නා

      බාබෙද්දා-----බේබද්දා..

      Delete
    2. හොඳ පැහැදිලි කිරීමක්!

      කොහොම වුනත්, බේබද්දා වචනය ඇත්තටම අපට එන්නේ පෘතුගීසි භාෂාවෙන් (bêbado- බේබදෝ).

      පහලින් තියෙන්නේ පෘතුගීසි ප්‍රස්ථා පිරුළක්.

      "Cu de bêbado não tem dono."

      වචනාර්ථයෙන්: "බේබද්දාගේ අධෝමුඛයට අයිතිකාරයෙක් නැත."
      වෙනත් වචන වලින්: "පහත් තැනින් යයි ගලා ජලේ."

      මෙතැනදී අදාළ වෛද්‍යවරයාගේ සිට මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් දක්වා හැමෝම කරන්නේ එයයි.හොඳ පැහැදිලි කිරීමක්!

      Delete
  3. මට හිතෙන්නේ පැණි බීම වලින් ඔයිට වඩා හානියක් සිදුවෙනවා කියල මොකද ඔය කෝලා වර්ග වගේ ඒවා බොන අය වැඩියි . ඒ වගේම අර හැමදාම අරක්කු බොන අයට වඩා හැමදාම කෝලා බොන අය වැඩියි. ඒවයින් කොහාම ටැක්ස් එකක් ආන්ඩුවට එනවද දන්නෑ !

    ReplyDelete
    Replies
    1. මත්පැන් වල හානිය ගොඩක් වැඩියි. නමුත්, බොහෝ විට අධික සුරා බදු වල අරමුණ වෙන්නේ මේ හානිය අවම කිරීම නෙමෙයි. පැණි බීම භාවිතයත් එක්තරා සීමාවක් ඉක්මවූ විට හානිකර විය හැකියි. නමුත්, බදු වලින් ඒ හානිය අඩු කළ හැක්කේ යම් තත්ත්වයන් යටතේදී පමණයි.

      Delete
  4. මම හිතනවා දැන් දේශීය මත්පැන් වලට වඩා ලොකු ඉල්ලුමක් විදේශීය මත්පැන් වලට තියෙනවා කියලා.මොකද බදු සහිතව විශාල මුදලක් ගෙවා දේශීය මත්පැන් දෙනවාට වඩා සුළු මුදලක් වැඩියෙන් ගෙවා බදු රහිත විදේශීය මත්පැන් බෝතල් ගන්න පුලුවන්. ඉස්සර මගුල් ගෙවල්වල දුන්නේ ගොඩක් වේලාවට දේශීය මත්පැන් හැබැයි දැන් නම් විදේශීය මත්පැන් තමයි බොහෝවිට දෙන්නේ.ඒ දෙන්නෙත් වෙළඳ පොලේ මිලට වඩා අඩු මිලකට ඩියුටි ෆ්‍රී වලින් අර ගත්තු එව්වා.
    බදු සහිතව විශාල මුදලක් වෙන විදේශීය මත්පැන් බෝතලයක් උදාහරණයක් විදියට vat 69 750ml බෝතලයක් බදු සහිතව රුපියල් 5370/- වෙනවා.නමුත් බදු රහිතව අලෙවි කරන්නෙක් හොයා ගත්තොත් රුපියල් 2800 ත් 3000 ත් අතර මිලකට මිලී ලීටර් 750 vat 69 විස්කි බෝතලයක් මිලදී ගන්න පුළුවන්.සමහරු ඉන්නවා තොග වශයෙන් බදු රහිතව විදේශීය මත්පැන් ලග තබාගෙන ඉන්නා අය.එතකොටත් විශාල මුදලක් අහිමි වෙන්න පුළුවන් බදු වශයෙන්.

    ReplyDelete
    Replies
    1. මනෝජ්, ඔබ කියන කරුණ ඇත්ත. භාණ්ඩයක 'සැබෑ' මිල මෙන් කිහිප ගුණයක් බදු අය කළ විට වෙන්නේ මේ භාණ්ඩ භාවිතා කරන ආකාරය අනුව සමාජයේ පන්ති භේදයක් හැදෙන එකයි. දැන් මෙහිදී අධික සුරා බදු දරා ගත නොහැකි අඩුම ආදායම් ලබන ස්ථරය නීත්‍යානුකූල මත්පැන් පරිභෝජනයෙන් පළවා හැරෙනවා. ඔවුන් නීති විරෝධී මත්පැන් භාවිතයට යොමු වෙනවා. නිතර රටින් පිට යාමේ හැකියාව ඇති ඉහළ හා ඉහළ මැදි ආදායම් ලබන ස්ථරය බදු රහිතව විදේශීය මත්පැන් ගන්නවා. ඔය අතර ඉන්න අය තමයි මේ විශාල බද්ද ගෙවමින් නීත්‍යානුකූල දේශීය මත්පැන් මිලදී ගන්නේ. අධික ආනයන බදු අය කෙරෙන කාර් සම්බන්ධව වෙන්නෙත් ඔය ටිකමයි. ඉහළම ස්ථරය බදු රහිත හෝ බදු සහන වරප්‍රසාද ලබනවා. පහළම ස්ථරය අඩු මිලකට ත්‍රිරෝද රථයක් හෝ මෝටර් සයිකලයක් ගැනීමෙන් පවා පළවා හැරෙනවා. අතර මැද අය බදු බර දරමින් පරිභෝජනය කරනවා. මෙහිදී බදු බර දරන අතරමැද ස්ථරය මෙන්ම, ඇතැම් විට ඊටත් වඩා, මිලක් අධික බදු භාණ්ඩ නිසා පරිභෝජනයෙන් පළවා හැරෙන කණ්ඩායමටත් දරන්න වෙනවා.

      Delete
  5. මත්පැන් වලට මේ විදියට ඉහළ දැමීම අන්තිම හරක් වැඩක්

    ReplyDelete
    Replies
    1. රජයක් නඩත්තු කිරීමේදී කාගෙන් හෝ එහි මිල අය කළ යුතුයි. ප්‍රායෝගිකව වෙන්නේ සමාජයේ අඩුම ප්‍රතිරෝධයක් ඇති තැනකින් මේ බදු අය කර ගැනීමයි.

      Delete
  6. පුන්නක්කු වලට ටැක්ස් එකක් ගැහුවනම් ඔය ඔක්කොම වියදම් පියවලා, භාණ්ඩාගාර බිල්පත් ටිකක් ගන්නත් සල්ලි ඉතිරි වෙයි... :D

    ReplyDelete
  7. අරක්කු සිගරැට් බොන එවුන්ගේ වැඩි ටැක්ස් දායකත්වයෙන් පඩිනඩි, නවාතැන්, ඩියුටි ෆ්‍රී වාහන, වෙදකම්, අධ්‍යාපනය ගන්න ගොන් ගොබිලෝ හැම එකාගෙන්ම බැනුම් අහන්න වෙන අහිංසක ජීවින් කොට්ඨාශයක් තමයි බේබද්දෝ සහ දුම් බොන්නෝ කියන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔවුන්ගෙන් සමාජයට වෙන හානි වලට වඩා ඒ වෙනුවෙන් ඔවුන්ට ගෙවීමට සිදුවී ඇති මිල ඉතාම වැඩියි. මත්පැන් බොන අය කියන්නේ පාරිභෝගිකයින් කණ්ඩායමක් ලෙස 'අධික සූරාකෑමකට' ලක් වූ පිරිසක්. මෙය රජය විසින් කරනවාක් මෙන් පෙනෙන නමුත් සංස්කෘතික ආධිපත්‍යය තුළ සිදුවන දෙයක්. 'සූරාකෑමට' ලක්වන පිරිස් පවා ඇතැම් විට අධික මත්පැන් බදු අනුමත කරන්නේ මේ සංස්කෘතික ආධිපත්‍යය නිසා. මධුලෝලියෙකුගේ බිරිඳක් වැනි අයෙකු උදාහරණයට ගත්තොත් මේ බදු වලින් සෑහෙන කොටසක් වක්‍ර ලෙස ඇයටත් ගෙවන්න වෙනවා.

      Delete
  8. සුරා කර්මාන්තය හරහා පවුල් කීයක් නඩත්තුවෙනවාද කියා බැලුවොත්, මේ පාරිභෝගිකයින් නැතිවී ගියොත් සෞඛ්‍ය සේවය නඩත්තු කරන්න කැසිනො දාන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. මෙහි එවැනි පැත්තකුත් තියෙනවා. බදු හා නීති කෙතරම් වැඩි කළත් මත්පැන් ඉල්ලුම සම්පූර්ණයෙන් නැති නොවන ඉල්ලුමක් නිසා සැපයුම කෙසේ හෝ හැදෙනවා. මත්පැන් විකිණීම තහනම් මුස්ලිම් රටවල් වල අත්දැකීම් ඇති අය එවැනි තැන් වලත් 'කර්මාන්තය' කෙසේ හෝ සිදුවන ආකාරය ගැන හොඳින්ම දන්නවා ඇති.

      Delete
  9. රංජංට වත් කියලා හෙන ඉල්ලවන්න හිතෙනවා මුං බදු ගහන ගැහිල්ලට..
    ජයවේවා..!!

    ReplyDelete
  10. Econ meka anthima thuchcha asikkithayinge ra tak kiyala mata hondatama pahadiliyi.. Me sudu redi andagena inna horu tikage niruwatha puluwan tharam ikmanin podu janathawata pennanna oni. Mokada mama thawamath wish wasa karanawa yamkisi awanka bhawayak samanya podu miniha thula ithuru wela thiyenawa.. Econ me tika mama danagaththe slvlog eke video tika balala. SLVlog thiyenne youtube eke. Karunakara me horun niruwath karanna uparima sahayak owunta denna. Oba mama pathana sadharana deshaya sandaha api kala yuthu eka wishala karyayak eka. Please check it out and I hope you will do that job of a good civilian with this. Thanks!

    ReplyDelete
    Replies
    1. ඉඩක් ලැබුණු විට බලන්නම්. මම සාමාන්‍යයෙන් යූ ටියුබ් වීඩියෝ බලන්න කාලය යොදවන්නේ නැහැ.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...