පසුගිය මැයි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය 39.1% මට්ටමේ පැවතුණා. ඇතැම් අය කියන්නේ "මහ පොළොවේ" පෙනෙන උද්ධමනය මීටත් වඩා වැඩි බවයි. නිසි ක්‍රමවේදයකට ගණනය නොකර මහ පොළොවෙන් හෝ වෙනත් විකල්ප ක්‍රම වලින් උද්ධමනය හොයා ගන්න යාම සාර්ථක ප්‍රවේශයක් නොවන බව මම කලින් පැහැදිලි කර තිබෙනවා. එසේ වුවත්, උද්ධමනය 39.1% යන්නෙන් අදහස් වෙන්නේ හැමෝටම උද්ධමනය දැනෙන්නේ එක විදිහට කියන එක නෙමෙයි.
උද්ධමනය ගණනය කරන්නේ රටේ සාමාන්‍ය පාරිභෝගිකයෙකුගේ පරිභෝජන රටාව මත පදනම්වයි. එහෙත්, කිසියම් තනි පුද්ගලයෙක් හෝ පවුලක් සැලකූ විට පරිභෝජන රටාව මේ සාමාන්‍ය රටාවට හරියටම සමාන වෙන්නේ නැහැ. කවදාවත් ගෑස් වලින් උයපු නැති ගෙදරකට ගෑස් මිල වැඩි වීම දැනෙන්නේ නැහැ. ඉන්ධන මිල ඉහළ යාම මුලින්ම දැනෙන්නේ වාහන තිබෙන අයට. පසුව බස් ගාස්තු වැඩි කළ විට එය දැනෙන්නේ බස් වල යන අයට. එකිනෙකාගේ පරිභෝජන රටා අනුව කෙනෙකුට දැනෙන උද්ධමනය වෙනස්.
පහළම ආදායම් ස්ථර වල අය තමන්ගේ ආදායමෙන් වැඩි කොටසක් වැය කරන්නේ ආහාර වලට. ආදායමක් නැතත් ණය වෙලා හරි මොනවා හෝ නොකා ජීවත් වෙන්න බැහැ. මිනිස්සු වෙන දේවල් කරන්න හිතන්නේ බඩ පිරුණට පසුවයි. ආදායම ඉහළ යද්දී මිනිස්සු ආහාර සඳහා වැය කරන වියදම්ද ඉහළ දමන නමුත් ලැබෙන අමතර රුපියලකින් ආහාර සඳහා වැය කරන මුදල එන්න එන්නම අඩු කරනවා. ඒ නිසා, ආදායම ඉහළ යද්දී ආහාර පරිභෝජනය සමානුපාතිකව ඉහළ යන්නේ නැහැ. ආහාර සඳහා වෙන් කරන ආදායම් කොටස එන්න එන්නම අඩු වෙනවා.
මේ විදිහට ආදායම් ඉහළ යද්දී ආහාර සඳහා වෙන් කරන ආදායම් කොටස එන්න එන්නම අඩු වන අතර ආහාර නොවන පරිභෝජන වියදම් එන්න එන්න වැඩි වෙනවා. හැබැයි යම් ආදායම් මට්ටමකින් පසුව මේකත් නවතිනවා. එවැනි ඉහළ ආදායම් මට්ටමකදී මිනිස්සු පරිභෝජනය තවත් වැඩි නොකර ආයෝජන වැඩි කරනවා. පහත රූප සටහනෙන් මෙය පැහැදිලිව දැකිය හැකියි.
ලංකාවේ පහළම ආදායම් ස්ථරය තමන්ගේ ආදායමෙන් 76.2%ක්ම ආහාර සඳහා වැය කරනවා. අනෙකුත් වියදම් 48.6%ක්. මේ දෙකේ එකතුව 124.8%ක්. ඒ කියන්නේ 24.8%ක් ණය වෙලා හෝ වෙනත් ක්‍රමයකින් ලැබෙන්න ඕනෑ. නමුත්, රටේ ඉහළම ආදායම් ස්ථරය ආහාර වෙනුවෙන් වැය කරන්නේ තමන්ගේ ආදායමෙන් 12.7%ක් පමණයි. අනෙකුත් පරිභෝජන වියදම් වෙනුවෙන් 58.9%ක් වැය කරනවා.එකතුව 71.6%යි. ඒ කියන්නේ ඉතිරි කොටස ආයෝජනය කරනවා කියන එකයි.
පසුගිය මාසයේ උද්ධමනය 39.1% වුවත් ආහාර උද්ධමනය 57.4% තරම් ඉහළ මට්ටමක තිබුණා. මෙහි බලපෑම පහළම ආදායම් කාණ්ඩයට ඉතා දරුණුවට දැනෙන බව පැහැදිලි විය යුතුයි. නමුත්, ඉහළම ආදායම් කාණ්ඩයට මෙය ලොකුවට දැනෙන්නේ නැහැ. ආහාර හා අනෙකුත් භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන අනුපාතයේ වෙනස්කම් අනුව විවිධ ආදායම් කාණ්ඩ වලට උද්ධමනය බලපාන්නේ වෙනස් ආකාර වලින්. රටේ ජනගහණයෙන් 80%කටම උද්ධමනය 39.1%ට වඩා වැඩියෙන් දැනෙනවා. ඉහළම ආදායම් ලබන 20%ට උද්ධමනය දැනෙන්නේ එම ගාණට වඩා අඩුවෙන්.
උද්ධමනය දුප්පතාට වැඩියෙන් බලපානවා කියන එක මෙයින් පැහැදිලි විය යුතුයි. සෘජු බදු මෙන් නොව වක්‍ර බදු රටේ හැමෝටම ගෙවන්න වෙනවා. එහෙත් පහළම සමාජ තීරු වලට වුවත් වක්‍ර බදු නිසා සිදුවන හානිය උද්ධමනයේ හානියට වඩා අඩුයි.
No comments:
Post a Comment
ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.