වෙබ් ලිපිනය:

Wednesday, November 14, 2018

ඒකීය රාජ්‍යය තවමත් තිබේද?


පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා ජනාධිපති සිරිසේන විසින් නටන්නට පටන් ගත් තොවිලයෙන් මේ වන විට අහිමි වී තිබෙන්නේ බෙර පළුවක් පමණක් නොවෙයි. ලංකාවේ රාජ්‍යයේ ඒකීය ස්වභාවයේ සිට දිගු කලක් තිස්සේ ගොඩ නඟා ගත් ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වූ රාජ්‍ය පාලනය පිළිබඳ කීර්ති නාමය හා අසීරුවෙන් තුලනය කර ගනිමින් සිටි ආර්ථික ස්ථාවරත්වය දක්වා බොහෝ දෑ දැනටමත් මේ බල වියරුව හේතුවෙන් අභියෝගයට ලක් වී අවසන්.

මේ සා දැවැන්ත බිඳවැටීම් රැසක් හමුවේ වුවත් නැවත ස්වයං-පිළිසකර කර ගත හැකි තරමට ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව ශක්තිමත් බව තහවුරු වෙමින් තිබීම සතුටට කරුණක්. එසේ වුවත් අවදානම් තත්ත්වයන් කිසිවක් තවමත් පහ වී නැහැ.

ශ්‍රී ලංකාව ජනරජයක්. ඒ නිසා රටේ පරමාධිපත්‍යය තිබෙන්නේ ජනතාවටයි. ඒ වගේම එය ඒකීය රජයක්. එහි බල අධිකාර එකකට වඩා තිබිය නොහැකියි. නමුත්, පසුගිය ඔක්තෝබර් 26 සිට ගෙවුණු කාලය තුළ ලංකාවේ පැවතුණේ එක් බල අධිකාරයක් පමණක්යැයි කියන්න බැහැ. වෙනත් අයුරකින් කිවුවොත් ඔක්තෝබර් 26 සිට ලංකාවේ ඒකීය රාජ්‍යයක් පැවති බව කීම අවිවාදාත්මක කරුණක් නෙමෙයි. මේ තත්ත්වය තවමත් සම්පූර්ණයෙන් වෙනස් වී නැහැ.

ශ්‍රී ලංකාවේ වලංගු ව්‍යවස්ථාව අනුව, ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වන ආකාර තුනක් තිබෙනවා. ඒ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය වශයෙනුයි. මේ එක් කොටසක් අනෙක් කොටස් වලට යටත් නැහැ.

ව්‍යවස්ථාදායක බලය කියන්නේ නීති හැදීමේ බලය. අධිකරණ බලය කියන්නේ නීති අර්ථදැක්වීමේ බලය. විධායක බලය කියන්නේ නීති ක්‍රියාත්මක කිරීමේ බලය.

සරල උදාහරණයක් ගත්තොත් බීමත්ව රිය පැදවීම වරදක්ය යනුවෙන් නීතියක් පනවන්නේත්, ඒ වරදට ලබා දිය යුතු දඬුවම් පුළුල් හා පොදු වශයෙන් තීරණය කරන්නේත් ව්‍යවස්ථාදායකය විසින්. කිසියම් පුද්ගලයෙකු බීමත්ව රිය පැදවූයේද යන්න නිගමනය කර ඒ නිගමනය මත පදනම්ව පවතින නීතිය යටතේ ලබා දිය යුතු නිශ්චිත දඬුවම තීරණය කරන්නේ අධිකරණය විසින්. බීමත්ව රිය පදවන බවට සැක කර පුද්ගලයෙකු අධිකරණය වෙත යොමු කර චෝදනා ඉදිරිපත් කරන්නේත්, අධිකරණය විසින් නියම කරන දඬුවම් ක්‍රියාත්මක කරන්නේත් විධායකය විසින්. රාජ්‍යයක් ශක්තිමත්ව පැවතීමට මේ අංශ තුනම නිසි පරිදි ක්‍රියාත්මක විය යුතුවා වගේම අංශ තුන අතර මනා සහයෝගීතාවක්ද තිබිය යුතුයි.

ජනමතවිචාරණයකදී සිදුවන්නේ රටේ ජනතාව විසින් සෘජුවම ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කිරීමක්. එසේ නොවන අනෙකුත් අවස්ථා වලදී ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව හරහා මහජන නියෝජිතයින් (පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්) විසින්. පාර්ලිමේන්තුවේ කටයුතු මෙහෙයවන්නේ මේ මහජන නියෝජිතයින් අතරින් තෝරා ගැනෙන කථානායකවරයා විසිනුයි.

ජනාධිපතිවරයා විධායකයේ ප්‍රධානියා. අමාත්‍ය මණ්ඩලය වගේම ඒ අමාත්‍ය මණ්ඩලය යටතේ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් විසින් ද කරන්නේ විධායක බලය ක්‍රියාත්මක කිරීමයි. නීතිපති දෙපාර්තමේන්තුව සැලකිය හැක්කේත් විධායකයේම කොටසක් ලෙසයි. නීතිපතිවරයා විසින් කරන්නේ රජය වෙනුවෙන් අධිකරණය නියෝජනය කිරීමයි.

අධිකරණ බලය ක්‍රියාත්මක වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට පහළට ඇති අධිකරණ පද්ධතිය හරහා. කෙසේ වුවත්, පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද, පරිහාර හා බලතල සම්බන්ධව අධිකරණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටමයි.

ලංකාවේ ව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා හැරුණු විට අනෙකුත් සාමාජිකයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද වෙනවා. මෙහිදී එකම පුද්ගලයින් කණ්ඩායම වරෙක විධායකයේ කොටසක් ලෙසත් තවත් වරෙක අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ ව්‍යවස්ථාදායකය ලෙසත් කටයුතු කරනවා.

දහතුන් වන සංශෝධනය නිසා සිදු වී තිබෙන වෙනස්කම් ගැන අපි දැනට කතා නොකර ඉමු.

ඔක්තෝබර් 26 වෙනිදා ජනාධිපතිවරයා විසින් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් අධිකරණය හෝ ව්‍යවස්ථාදායකය හා අදාළව කිසිදු වෙනස්කමක් වුණේ නැහැ. අගමැති තනතුර හා ඇමති තනතුරු වෙනස් කිරීම විධායකය ඇතුළේ සිදු වුනු වෙනසක්.

පෙර කී පරිදි, ජනමතවිචාරණ අවස්ථාවකදී හැර, රාජ්‍යයේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව විසින්. මෙහිදී ව්‍යවස්ථාදායකයේ තීරණය ලෙස සැලකිය හැක්කේ පාර්ලිමේන්තුවේ බහුතර මතයයි.

ඔක්තෝබර් 26 වෙනිදා ජනාධිපතිවරයා විසින් ක්‍රියා කළ ආකාරය ව්‍යවස්ථානුකූල නොවන බව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ මතය වුණා. ඔවුන් ඒ බව කථානායකවරයා වෙත ලිඛිතව දැනුම් දුන්නා. කථානායකවරයා හිටියේත් ඒ මතයේ. මෙහිදී වුනේ ව්‍යවස්ථාදායකය විසින් විධායකයට අභියෝග කිරීමක් කියා කියන්න පුළුවන්.

මෙයට සමාන්තරව රටේ නියම විධායකය කුමක්ද කියන ගැටළුව මතු වුණා. ඇතැම් අය රනිල් වික්‍රමසිංහව තවදුරටත් අගමැති සේ පිළිගනිද්දී තවත් අය අගමැති මහින්ද රාජපක්ෂ බව විශ්වාස කළා. අමාත්‍ය මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින් කවුරුන්ද යන්න හා අදාළවත් මේ බෙදීම සිදු වුණා.

ඒකීය රාජ්‍යයක විධායකයන් දෙකක් තියෙන්න විදිහක් නැහැ. ඒ නිසා, නීත්‍යානුකූල අගමැති විය හැක්කේ රනිල් වික්‍රමසිංහ හෝ මහින්ද රාජපක්ෂ යන දෙදෙනාගෙන් එක් අයෙකු පමණයි. මේ දෙදෙනාගෙන් රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ ඇමති මණ්ඩලය විසින් පසුගිය ඔක්තෝබර් 26 දින සිට රටේ විධායක බලය ක්‍රියාත්මක කිරීමක් සිදු වුනේ නැහැ. එය කළේ මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ඇමති මණ්ඩලය විසිනුයි. රාජ්‍ය සේවයේ නිරත අති මහත් බහුතරය විසින් කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ඇමති මණ්ඩලය විධායකය සේ සලකමින් ඔවුන්ගේ නියෝග පිළිපැද්දා. රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ ඇමති මණ්ඩලය විසින් ප්‍රායෝගිකව රටේ විධායක බලය ක්‍රියාත්මක කිරීම අත හැර දමා තිබුණා.

කිසියම් තනතුරක් නීත්‍යානුකූලව හිමි තැනැත්තා වෙනුවට වෙනත් අයෙකු එම තනතුරේ කටයුතු කරන විට එසේ කටයුතු කරන පුද්ගලයා හැඳින්වීමට "ඩි ෆැක්ටෝ" යන ලතින් වචනයත් තනතුර නීත්‍යානුකූලව හිමි තැනැත්තා හැඳින්වීමට "ඩි ජුරේ" යන ලතින් වචනයත් යොදා ගැනෙනවා. පසුගිය දෙසතිය තුළ ඩි ෆැක්ටෝ අමාත්‍ය මණ්ඩලය වූයේ මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම ලෙස සැලකීම වඩා නිවැරදියි.

රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායම විසින් දිගින් දිගටම කියා සිටියේ ඩි ජුරේ අමාත්‍ය මණ්ඩලය තමන්ගේ කණ්ඩායම බවයි. එහෙත්, මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම විසින් ද තමන් ඩි ෆැක්ටෝ කණ්ඩායම බව ප්‍රදර්ශනය කරන අතරම ඩි ජුරේ අමාත්‍ය මණ්ඩලය තමන්ගේ කණ්ඩායම බවත් කියා සිටියා.

ඉහත තත්ත්වය තුළ ලංකාවේ ඩි ජුරේ විධායකය කුමක්ද යන්න පිළිබඳව රටේ බෙදීමක් ඇති වුණා. මේ වගේ අවස්ථාවක අර්බුදයේ සෘජු පාර්ශ්වකරුවන් නොවන අයගේ අදහස් වලට වැඩි වටිනාකමක් ලැබෙනවා. එසේ කීමෙන් මා කරන්නේ  අර්බුදයේ සෘජු පාර්ශ්වකරුවන් නොවන අය නිරපේක්ෂ ස්වාධීන පුද්ගලයින් සේ හැඳින්වීමක් නෙමෙයි. ස්වාධීනත්වයක් ගැන කතා කළ හැක්කේ කිසියම් සන්දර්භයක පමණයි.

මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ඇමති මණ්ඩලයේ නීත්‍යානුකූල භාවය වෙනුවෙන් පෙනී සිටි හා තර්ක කළ සියල්ලන්ම පාහේ මහින්ද ඇතුළු කණ්ඩායම නැවත බලයට පත් කර ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණු අය. මේ අතරින් ප්‍රමුඛ කණ්ඩායම පසුගිය පළාත් පාලන මැතිවරණ වලදී පොදුජන පෙරමුණට ඡන්දය දුන් අයයි. ප්‍රමාණාත්මකව ගත්තොත් ලක්ෂ 50.3ක්.

පළාත් පාලන මැතිවරණ වලදී පොදුජන පෙරමුණ හැර අනෙකුත් පක්ෂ හා කණ්ඩායම් වලට ඡන්දය දුන් පිරිස ලක්ෂ 73.8ක්. නමුත්, එයින් කොටසක් එම පක්ෂයේ සහයෝගය ලැබූ වෙනත් පක්ෂ හෝ කණ්ඩායම් විසින් ලැබූ ඡන්ද. ඒ වගේම, ශ්‍රීලනිපය හා එජනිසය විසින් ලබාගත් ලක්ෂ 15ක ඡන්ද ප්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක්ද මේ ප්‍රශ්නය ආරම්භය වන විටත් මහින්ද පාක්ෂිකයින් වී සිටියා වෙන්න පුළුවන්. මේ සියල්ල සැලකූ විට ව්‍යවස්ථානුකූල භාවය කෙසේ වුවත්, මහින්ද ඇතුළු කණ්ඩායම බලයට පත් වනු දකින්න කැමති විශාල පිරිසක් රටේ හිටියා. ඒ කණ්ඩායම බොහෝ විට රටේ ජනගහණයෙන් අඩකට වඩා වැඩි වෙන්න පුළුවන්.

මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම විසින් ප්‍රයෝජනයට ගත්තේ ඔවුන් සතු වූ ඉහත කී ජන පදනමයි. කොහොමවුවත්, එම කණ්ඩායමට රටේ තිබුණු ජන පදනම රටේ වැඩිහිටි ජනගහණයෙන් හරි අඩකට වඩා ගොඩක්ම වැඩි වෙන්න විදිහක් නැහැ.

මෙයින් වෙනස්ව රජයේ සේවකයින් අතරේ මහින්දගේ ජන පදනම මීට වඩා ගොඩක්ම වැඩි වූ බව මගේ අදහසයි. එයට හේතු තේරුම් ගැනීම අපහසු නැහැ. මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට ඩි ෆැක්ටෝ විධායකය වීම මේ තරම්ම පහසු වුනේ ඒ නිසයි.

එජාපය හා අදාළව ගත්තොත් පැවතුණේ මෙයින් හාත්පසින්ම වෙනස් තත්ත්වයක්. පළාත් පාලන මැතිවරණ වලදී ඔවුන්ට ලබාගත හැකි වූයේ ඡන්ද ලක්ෂ 36.5ක් පමණයි. රජයේ සේවකයින් අතර එජාපයේ ජනප්‍රියතාවය හොඳටම අඩු වෙලයි තිබුණේ. ඇත්තටම කියනවානම් ඔක්තෝබර් 26 වෙනිදා ගැසට් නිවේදන නිකුත් වූ වහාම රනිල් වික්‍රමසිංහගෙන් ලොකු සටන්කාමයක් ප්‍රදර්ශනය වුණේ නැහැ. ඔවුන් කළේ තමන් සතු වූ, ඔවුන්ට අනුව නීත්‍යානුකූල ලෙස ඔවුන් සතු වූ විධායක බලය වැඩි ප්‍රතිරෝධයක් නොදක්වා අත හැර දමනු ලැබීමයි.

කොහොම වුනත්, රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායම උපාය මාර්ගිකව කටයුතු කරන්න උත්සාහ කළා කියා කියන්න පුළුවන්. අර කියනවනේ මොළෙන් අහවල් එක කරනවා කියලා.

රනිල් මුල සිටම උත්සාහ කළේ තමන් සතු වූ ව්‍යවස්ථාදායක බලය යොදාගනිමින් විධායකයේ (ඔහුට අනුව) වැරදි තීරණයට අභියෝග කරන්නයි. මේ අවස්ථාවේදී රනිල් ජාත්‍යන්තර මතය තමන්ගේ වාසියට යොදාගන්න මුල සිටම උත්සාහ කළා. ඔහුට එහි ප්‍රතිඵල ලැබුණා. බටහිර රටවල් රනිල්ගේ කණ්ඩායම රටේ ඩි ජුරේ විධායකය සේ පිළිගන්නා බව අඟවන්න පැකිළුනේ නැහැ. කවුරු කොයි තරම් කයිවාරු ගැහුවත් ලංකාව වගේ රටකට බටහිර රටවල මතය නොසලකා කටයුතු කළ හැකි සීමාවක් තිබෙනවා. බටහිර රටවල ස්ථාවරය ජනාධිපතිවරයා මත සෑහෙන පීඩනයක් ඇති නොකළා කියන්න බැහැ.

විධායකයේ බලය අල්ලා ගැනීමෙන් පසුව මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ ඉලක්කය වුනේ ව්‍යවස්ථාදායකයේ බලය අල්ලා ගැනීමයි. එජනිස ඇතුලෙ සිටි මහින්ද-මෛත්‍රී කණ්ඩායම් වලට (ඊපීඩීපී මන්ත්‍රීධුරයද ඇතුළුව) මන්ත්‍රීවරු 96ක් සිටියා. එජාපයට තිබුණේ (මුස්ලිම් කොංග්‍රසයද ඇතුළුව) මන්ත්‍රී ධුර 107යි. ඉතිරි මන්ත්‍රී ධුර 22 තිබුණේ ජවිපෙ හා ද්‍රවිඩ සන්ධානය සතුවයි.

ජවිපෙ හා ද්‍රවිඩ සන්ධානය පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව සිටියානම් එජනිසයට එජාපය ඉක්මවීම සඳහා එජාපයේ මන්ත්‍රී වරුන් හය දෙනෙකු තමන්ගේ පැත්තට ඇද ගැනීම ප්‍රමාණවත්ව තිබුණා. මෙය එතරම්ම අමාරු ඉලක්කයක් බව පෙනෙන්න තිබුණේ නැහැ. එසේ වුණානම් ව්‍යවස්ථාදායකයේ බලය හිමි වන්නේ මහින්දගේ කණ්ඩායමටයි.

මහින්දලා තමන්ගේ ඉලක්කය වෙත වේගයෙන් ළඟා වෙමින් සිටියා. ඔවුන්ට ව්‍යවස්ථාදායකයේ බලය හිමි වන බව සැකයක් නැතිව තහවුරු වුණානම් මන්ත්‍රී වරයෙකු ඒ පැත්තට බා ගැනීමේ මිල විශාල ලෙස පහළ යනවා. එසේ වුනානම් ඔවුන්ට පාර්ලිමේන්තුවේ බහුතරය හදා ගන්න ඉඩ සැලසෙනවා. රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුව හැකි ඉක්මණින් නැවත කැඳවා ගැනීමට සිදු කළ උත්සාහය ඇතුළේ ඔවුන්ගේ පිලේ සාමාජිකයින් එකිනෙකා අහිමි වීමේ අවදානම ගැන වූ බිය පෙනෙන්නට තිබුණා.

ඉහත සමතුලිතාවය වෙනස් වෙන්න හේතු වුනේ ජවිපෙ හා ද්‍රවිඩ සන්ධානය විසින් ගත් ස්ථාවරයයි. මේ කණ්ඩායම් මුලින් ප්‍රශ්නයට මැදිහත් නොවී සිටින බවක් පෙනුණත් මහින්ද කණ්ඩායම විසින් ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරයෙකු බිලී බා ගැනීමත් සමඟම ද්‍රවිඩ සන්ධානයට එජාපයට සහයෝගය දෙන්න අවශ්‍ය වූ හේතුව හමු වුණා. මේ මන්ත්‍රී වරයා වෙනුවෙන් මහින්ද කණ්ඩායම ගෙවූ මිල ඉතා විශාලයි.

ද්‍රවිඩ සන්ධානයේ ස්ථාවරය වෙනස් වීමත් සමඟම මහින්ද-මෛත්‍රී කණ්ඩායමට පාර්ලිමේන්තුවේ බලය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වූ මන්ත්‍රීවරුන් ගණන 102 සිට 113 දක්වා ඉහළ ගියා. එජාප කණ්ඩායමේ මන්ත්‍රීවරුන් ගණන ඉක්මවීම තවදුරටත් ප්‍රමාණවත් සාධකයක් වුණේ නැහැ.

මේ අතර, 2015 දී මෛත්‍රීපාල සිරිසේනව ඉදිරියට තල්ලු කළ එජාප නොවන බලවේග නැවත සක්‍රිය වෙන්න පටන් ගත්තා. එජාප කණ්ඩායම ඇතුළේ සිටි හෙළ උරුමය වගේම එයින් පිටත හිටපු ජවිපෙත් රැල්ල අඳුනා ගත්තා. බලාපොරොත්තු නොවූ ජන සහයෝගයක් ලැබෙන්න ගනිද්දී එජාපයේ ජවය වැඩි වුනා. මහින්ද විරෝධී කණ්ඩායම් වලට ඔවුන්ගේ ප්‍රතිවිරෝධතා අත හැර එකතු විය හැකි පොදු නිමිත්තක් ජනාධිපතිවරයා විසින් සපයා තිබුණා. රටෙන් බාහිරව රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමට වැඩි පිළිගැනීමක් ලැබීමත්, රට ඇතුළේ රැල්ල මහින්ද පිලෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට හැරෙන්න වීමත් එක්ක මහින්ද කණ්ඩායමට තමන්ට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව හොයා ගැනීම වඩ වඩා අමාරු වුනා පමණක් නෙමෙයි එජනිස මන්ත්‍රී වරුන් තමන් වෙත රඳවා ගැනීම පවා අභියෝගයක් වුනා.

මහින්ද-මෛත්‍රී කණ්ඩායමට ව්‍යවස්ථාදායක බලය රහිතව විධායක බලය දිගින් දිගටම පවත්වා ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ අනුව, ජන බලය මත විශ්වාසය තබමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යන්න විධායකය තීරණය කළා.

මේ එක්කම වුනේ විධායකය විසින් ව්‍යවස්ථාදායකයට සෘජුව අභියෝග කිරීමක්. ඊට පෙර කතානායකවරයාගේ නිවේදන ආදිය හරහා ව්‍යවස්ථාදායකය විසින් විධායකයට අභියෝග කර තිබුණත්, පාර්ලිමේන්තුව කල් තබා තිබූ බැවින් ඒ විරෝධයන්ගේ තිබුණේ නෛතික ස්වභාවයකට වඩා දේශපාලන ස්වභාවයකුයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් ව්‍යවස්ථාදායකයට නීත්‍යානුකූල ලෙස විධායකයේ තීරණයට අභියෝග කිරීමට තිබුණු අවස්ථාව අහිමි කරනු ලැබුණා. මෙයට එරෙහිව අධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් වුණා. විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුමේ බල තුලනය තීරණය කිරීම අධිකරණය වෙත පැවරුණා.

(මතු සම්බන්ධයි)

1 comment:

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...