වෙබ් ලිපිනය:

Tuesday, June 9, 2015

චම් බකට් බාල්දි හෙල්මට් විකිණීමට තිබේ.


අසාර්ථක මෙහෙයුම් ගණනාවකින් පසුව අවසානයේදී බිකිනි බොටම්හි පිහිටි මිස්ටර් ක්‍රැබ්ගේ ක්‍රස්ටි ක්‍රැබ් බොජුන්හලින් ක්‍රැබි පැටි වට්ටෝරුව කෙසේ හෝ සොරාගන්නා ප්ලැන්ක්ටන් ක්‍රස්ටි ක්‍රැබ් පාරිභෝගිකයින් සැවොම ඔහුගේ චම් බකට් බොජුන්හලට ආකර්ෂණය කරගනී. චම් බකට් බොජුන්හලෙන් කෑමගන්නා සියළුම පාරිභෝගිකයන්ට නොමිලයේ චම් බකට් බාල්දි හෙල්මටයක් ලැබෙන අතර එය පැළඳ ගන්නා පාරිභෝගිකයෝ සතුටින් පිටව යති. මේ හෙල්මටය සිතිවිලි පාලකයක් බව ඔවුන් දන්නේ නැත. හෙල්මටය පැළඳගත් මොහොතේ සිට ඔවුන් ක්‍රියා කරන්නේ ප්ලැන්ක්ටන්ගේ දුරස්ථ පාලකයෙන් මෙහෙයවෙන රොබෝවන් ලෙසිනි. ඔවුන් කරන්නේ "ප්ලැන්ක්ටන්ට ජයවේවා!" යයි කෑගසමින් පෙළපාලි යාම පමණි.

ඉහත සිදුවීම දැකගත හැක්කේ සිංහලෙන්ද දෙබස් කවා විකාශනය කෙරුණු ජනප්‍රිය ඇමරිකානු කාටුන් කතාංග මාලාවක් වූ ස්පන්ජ්බොබ් ස්ක්වයාපෑන්ට්හි එක් කතාංගයකය.

ඇමරිකානු විදුලි කාර්මිකයෙකු වූ ජෙසී සුලිවන්ට අතපසු වීමකින් වෝල්ට් 7000ක විදුලි රැහැනක් ස්පර්ශ විය. මේ හේතුවෙන් 2001 දී ඔහුගේ අත් දෙකම කපා ඉවත් කිරීමට සිදුවිය. සුලිවන්ට පිහිට වූයේ කෘතීම අතකි. එහෙත් එය සම්ප්‍රදායික යාන්ත්‍රික අතක් නොවේ. සාමාන්‍ය අතක් සේම මේ කෘතීම අත පාලනය වන්නේ සුලිවන්ගේ සිතුවිලි මඟිනි.

ජෙසී මෙවැනි බයෝනික් අතකට හිමිකම් කියූ පළමුවැන්නාය. මෙහිදී පළමුව ඔහුගේ බාහුවේ වූ අතේ අහිමි වූ කොටස පාලනය කරන ස්නායු තන්තු ඉවත් කරගෙන ඒවා ඔහුගේ පපුවේ වූ මාංශ පේශීන් කිහිපයකට සම්බන්ධ කෙරිණි. මෙය නිසි ලෙස සම්බන්ධ වූ පසු ඔහුගේ පපුවට සම්බන්ධ කර ඇති ඉලෙක්ට්‍රෝඩ මගින් මේ ස්නායු වල සංවේදන කියවා ප්‍රක්‍රමයක් මඟින් විශ්ලේෂණය කර තේරුම් ගත හැකිය. එම තොරතුරු කෘතීම අතෙහි ඇති විද්‍යුත් පරිපථ වෙත සන්නිවේදනය කළ විට අත ප්‍රතිචාර දක්වයි. මේ අනුව ජෙසී අත එසවීමට සිතන විට අත එසැවේ.

දහනම හැවිරිදි ඉංග්‍රීසි ජාතික තරුණයෙක් වූ එවාන් රෙනෝල්ඩ්ස් 1986 ග්‍රීෂ්ම සෘතුවේදී මිතුරෙකුගේ මෝටර් රථයෙන් නිවසට පැමිණියේ රථයේ වීදුරුව පහත් කර පොර සේ අත එළියට දාගෙනය. පාර අයිනේ වූ ලී කණුවක වේගයෙන් වැදුණු අත සිරුරෙන් වෙන් වී බිම වැටුනේ ඇසි පිය ගහන නිමේෂයකිනි. එය නැවත සිරුරට බද්ධ කළ හැකි තත්ත්වයක තිබුණේ නැත. රෙනෝල්ඩ්ස්ට පිහිට වුයේද බයෝනික් අතකි. සුලිවන්ගේ අතට වඩා අංග සම්පුර්ණ ක්‍රියාකාරිත්වයක් ඇති මේ අත බාහුවේ උඩ කොටසේ ඇති ස්නායු තන්තු මඟින් පාලනය වන අතර එය සිරුරට සම්බන්ධ කිරීම සුළු කටයුත්තක් විය. ඔහුට මේ අලුත් අතට පුරුදු වීමට ගත වූයේ විනාඩි කිහිපයක් පමණි.

එවාන් මෙන්ම දහනම හැවිරිදි වියේදී අනතුරකට මුහුණ පෑ ඇමරිකානු තරුණියක වූ ෂෙරී රොබට්සන්ට 1984දී ඇගේ දෑසම අහිමි විය. දශක දෙකක් අඳුරේ සිටි ඇයට නැවත ආලෝකයක් දැකිය හැකි වූයේ බයෝනික් ඇසක උදවුවෙනි. එහෙත් බයෝනික් ඇසක් සම්බන්ධ කිරීම බයෝනික් අතක් සම්බන්ධ කරන තරම් සරල නැත. පළමුව හිස් කබල විවෘත කර මොළයේ පෙනීම සඳහා උපකාරී වන ප්‍රදේශය මතුපිටින් ඉලෙක්ට්‍රෝඩ තැන්පත් කළ යුතුය. ඉන් පසුව උපැස් යුවලකට සවිකෙරුණු සියුම් කැමරා කාච මඟින් ග්‍රහණය කරගන්නා දර්ශන විද්‍යුත් චුම්භක තරංග බවට හරවා මේ ඉලෙක්ට්‍රෝඩ මඟින් මොළයට සම්බන්ධ කෙරේ.

ජෙසීගෙන් වසර පහළොවකට පසුව මේ තාක්ෂනය දැන් බොහෝ සේ දියුණු වී තිබේ. ජෙසී, එවාන් හා ෂෙරී හැර තවත් බොහෝ සයිබෝග්ලා දැන් අප අතර සිටිති. එමෙන්ම අන්තර්ජාලය හරහා වුවද මිලදී ගත හැකි සිතිවිලි මඟින් පාලනය කළ හැකි සරල සෙල්ලම් බඩු පවා දැන් අඩු නැත. උදාහරණයක් ලෙස ඇමසන් මගින් ඇනවුම් කළහැකි 'ස්ටාර් වෝර්ස් සයන්ස් ෆෝර්ස් ට්‍රේනර්' පැකේජයේ ඇති රැහැන් රහිත හෙඩ්ෆෝනය මඟින් සිතුවිලි මඟින් ඇතිවන විද්‍යුත් චුම්භක තරංග සම්ප්‍රේෂණය කර කුඩා පිංපොං බෝලයක් ඉහළ පහළ යැවිය හැකිය.

ඉහත පර්යේෂණ වල දිගුවක් ලෙස මෑතකදී හාර්වඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් ටෙලිපති ආකාරයේ සිතුවිලි සන්නිවේදනයන්ද සිදු කළ හැකි බව පෙන්වා දී තිබේ. මෙහිදී මීයෙකුගේ හිසට ලබා දෙන විද්‍යුත් චුම්භක සංවේදන හරහා පර්යේෂකයෙකුට සිතීමෙන් පමණක් මීයාගේ වලිගය සෙලවිය හැකිය.

මේ දැනුම් සම්භාරය සමඟ මිනිසාට විශාල බලයක් ලැබී තිබේ. සදාචාරාත්මක හේතුන් මත පර්යේෂණ සිදු නොකිරීම නිසා නොවේනම් චම් බකට් බාල්දි හෙල්මටයක් නිපදවීම වැඩි දුරක නොවනු ඇත.

එහෙත් මෙය වඳුරාට ලැබුණු දැලි පිහියක් වැනිය. මෙවැනි බලයක් ඒකාධිපති මානසික ලෙඩෙකුට ලැබුනහොත් සිදු විය හැකි විනාශය සිතාගැනීමට අපහසු නැත.

7 comments:

  1. සිතුවිලි වලින් පාලනය කරන උපකරණ වලට භාෂාව ප්‍රශ්නයක් නැද්ද..?

    ReplyDelete
    Replies
    1. භාෂාව මගින් පුද්ගලයකු සිතන ආකාරය තීරණය කෙරෙනවා තමයි, එදිරි. ඒත් මෙවැනි මූලික ක්‍රියාකාරිත්වයන් පිළිබඳව ඒ වෙනස එතරම් වැදගත් නැහැ.

      Delete
  2. විද්‍යාව මාරයි - දුක හමාරයි ද මන්දා

    ReplyDelete
    Replies
    1. විද්‍යාවට ලොකු විභවයක් තිබුණත්, කිචී, එය කෙතරම් යහපත් ලෙස යොදාගන්නවාද කියන එක තීරණය කරන්නේ දේශපාලනය විසින්.

      Delete
  3. අපිට හිතෙන ඒවා එවෙලම ලියන්න පුළුවන් මැශිමක් හරියට එනවනම් කොච්චර දෙයක්ද.. එහෙමනම් ඔය හිටිගමන් හිතට ඇවිත් අතුරුදහන් වෙන අදහස් අපතේ යන්නේ නෑ අපිට..

    ReplyDelete
    Replies
    1. හිතෙන දේ අපිට ලියන්ඩ ඕනෑ වෙන්නේ අපි හිතන දේ තව කෙනෙකුට සම්ප්‍රේෂණය කරන්ඩනේ, දිනේෂ්. ඒක කෙළින්ම කළ හැකිනම් ලියන්ඩ අවශ්‍යත් නෑ නේද? හරියට ඊ-තැපෑල නිසා සාමාන්‍ය තැපෑල වැඩක් නැති වෙලා මුද්‍රිත පොත් වෙනුවට ඊ-පොත් ආවා වගේ සිත්-තැපැල්, සිත්-පොත් ආවොත් කොහොමද? එක් කෙනෙක් හිතන දේ අන්තර්ජාලය හරහා තව කෙනෙකුගේ මොලයට සම්ප්‍රේෂණය කරන එක දැනටමත් සාර්ථකව කරලා තියෙනවා.
      http://www.washington.edu/news/2014/11/05/uw-study-shows-direct-brain-interface-between-humans/

      Delete
  4. වැදගත් කරුණු ටිකක්. සිත නැත්නම් සිතුවිලි උපදින තැන පිළිබඳව තියන්නෙ ගැටළුකාරී බවක්. එහෙම තියෙද්දි සිතුවිලි අනුව ක්‍රියාකරන යන්ත්‍ර නිපදවීම මට නං පුදුම හිතෙන වැඩක්.

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...