වෙබ් ලිපිනය:

Friday, June 5, 2015

"මහ බැංකු අධිපති ශ්‍රී ලංකා පුරවැසියෙක්‌ද?"



මහ බැංකු අධිපති ශ්‍රී ලංකා පුරවැසියෙක්‌ද?

ප්‍රශ්නය මගේ නොවේ. දිනේෂ් ගුණවර්ධනගේය. අසා ඇත්තේ අගමැතිගෙනි. පාර්ලිමේන්තුවේදීය. තියෙන්නේ දිවයිනේය.

http://www.divaina.com/2015/06/04/news02.html

මට ඇති ප්‍රශ්නය වෙන එකකි.

"මහ බැංකු අධිපති ශ්‍රී ලංකා පුරවැසියෙක්‌ වීමේ හෝ නොවීමේ ඇති වැදගත්කම කුමක්ද?"

මා කියවා ඇති තොරතුරු අනුව වත්මන් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් උපතින් ශ්‍රී ලාංකිකයෙකි. පසුව සිංගප්පූරු පුරවැසි භාවය ලබා ඇත. සිංගප්පූරු පුරවැසියන්ට තවත් රටක ද්විත්ව පුරවැසි භාවය පවත්වා ගත නොහැක. අර්ජුන මහේන්ද්‍රන් බොහෝ විට ශ්‍රී ලංකා පුරවැසියෙක්‌ නොවිය හැකිය.

දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රශ්නයෙන් මහ බැංකු අධිපති ශ්‍රී ලංකා පුරවැසියෙක්‌ නොවේනම් එය ප්‍රශ්නයක් විය හැකියැයි අදහසක් ඇති කෙරේ.

රටක නීතිය ඒ රටේ ජනතාවගේ සුභ සාධනය අරමුණු කරගත් නිමැවුමක් වන අතර වෙනස් නොවිය යුතු, ස්ථිර පැවැත්මක් ඇති දෙයක් නොවේ. එසේ වුවද, මෙය රටේ නීතිය හා කෙසේ ගැලපේදැයි පළමුව විමසීම යෝග්‍ය වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පිටවනු ලැබුවේ 1949 අංක 58 දරන මුදල් නීති පනතේ නීතිමය ප්‍රතිපාදන අනුවය. මහ බැංකු අධිපති වීමට ඇති නුසුදුසුකම් (2002දී සංශෝධිත) එහි 11 වන ඡේදයේ දැක්වේ. ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවීම එවැනි නුසුදුසුකමක් නොවේ.

අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී ලංකා මහ බැංකුවේ දොළොස්වන අධිපති වරයා විය. අනුපිලිවෙල අනුව අර්ජුන මහේන්ද්‍රන් එහි දහතුන්වන අධිපතිවරයා විය යුතුය.

දහතුන අවාසනාවන්ත අංකයක් ලෙස සැලකේ. අපේ දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සැලකූ විටනම් මෙය ඇත්තක්දැයි සිතේ. දහතුන අවාසනාවන්ත අංකයක් නිසා කොටුවේ පිහිටි මහ බැංකු ගොඩනැඟිල්ලේ දහතුන්වන මහලක් නැත. දොළොස්වන මහලට ඉහළින් ඇත්තේ දහහතරවන මහලයි. මේ අනුව අර්ජුන මහේන්ද්‍රන් සැලකෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ දහහතර වන අධිපති වරයා ලෙසදැයි ඉකොනොමැට්ටා නොදනී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ පළමු අධිපති වරයා වූයේ ජෝන් එක්ස්ටර්ය. ඔහු ශ්‍රී ලාංකිකයෙකු නොවීය. ඇමරිකානුවෙකි. මේ අනුව වෙනත් රටක පුරවැසියකු මහ බැංකු අධිපති වීම පිලිබඳ පූර්වාදර්ශයක් අපට හමු වන්නේ මහ බැංකුවේ ආරම්භයේදීමය.

මහ බැංකුවේ අධිපති ධුරය නිශ්චිත රැකියාවකි. මේ රැකියාවට අදාළ නිශ්චිත කාර්ය භාරයක් ඇති අතර ධුරය දරන්නෙකු ඒ වගකීම නිසියාකාරව ඉටු කරනවානම් ඔහුගේ පුරවැසි භාවය ප්‍රශ්නයක් විය නොහැක. එහෙත් මේ ධුරය හිමි විය යුත්තේ රටේ පුරවැසියෙකුට පමණෙකැයි රටේ පුරවැසියෝ බහුතරයක් සිතත්නම් එහිද වරදක් නැති අතර එසේනම් කළ යුත්තේ මේ බාධකය රටේ නීති පද්ධතියට ඇතුලත් කිරීමයි.

එංගලන්ත බැංකුව ලෝකයේ දෙවන පැරණිතම මහ බැංකුවයි. එහි වත්මන් අධිපති මාර්ක් කාර්නිය. කාර්නි බ්‍රිතාන්‍ය පුරවැසියෙකු නොවේ. කැනේඩියානු පුරවැසියෙකි. එංගලන්ත බැංකුවේ අධිපති ධුරය භාර ගැනීමට පෙර ඔහු කැනේඩියානු (මහ) බැංකුවේ අධිපති වරයාය.

ඇමරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුවේ වත්මන් සභාපතිනිය ජැනට් යෙලන්ය. ඇයනම් යුදෙව්වියක වුවත් ඇමරිකාවේ ඉපදුනු තැනැත්තියකි. ඇගේ පියා පෝලන්ත සංක්‍රමණිකයෙකි. ෆෙඩරල් සංචිත බැංකුවේ මීළඟ සභාපති වීමේ විභවයක් ඇති එහි වත්මන් නියෝජ්‍ය සභාපති ස්ටැන්ලි ෆිෂර් සංක්‍රමණික යුදෙව්වෙකි. ඇමරිකාවේ මෙන්ම ඊශ්‍රායලයේ ද්විත්ව පුරවැසියෙකි. ඔහු ඊශ්‍රායල (මහ) බැංකුවේ අධිපති ධුරයද හොබවා තිබේ. ජැනට් යෙලන්ට පෙර ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපතිවරුන් වූ බෙන් බර්නැංකි මෙන්ම ඇලන් ග්‍රීන්ස්පැන් ද ඇමරිකානු යුදෙව්වෝය.

ෆෙඩරල් සංචිත බැංකුවේ කටයුතු බොහෝ කරුණු මත බොහෝ දෙනාගේ විවේචනයට ලක්වේ. එහෙත් ඇමරිකානු ජනගහණයෙන් සියයට දෙකක් වන යුදෙව්වන් අවශ්‍ය ප්‍රමාණයට වඩා එහි නියෝජනය වේයැයි කිසිවකු චෝදනා නොකරති.

අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය භාර ගැනීමෙන් පසු ඔහුගේ ක්‍රියාකාරීත්වය විවේචනයට ලක් විය. කමිටුවක් මඟින් ඔහුව නිවැරදිකරු කරනු ලැබීය. කමිටුවේ තීන්දුව සතුටුදායක නොවේනම් එය තව දුරටත් සාකච්ඡා විය යුතුය. මෙහිදී විවේචන සඳහා පදනම් විය යුත්තේ නීතිමය කරුණු හා නීතිමය කරුණු පසුබිමේ ඇති සදාචාරාත්මක කරුණුය.

මවගේ අවමංගල කටයුතු අවසන් වීමටත් පෙර පෙම්වතිය හා මුහුදු වෙරළේ සතුටු වීම මර්සොල්ට්ව අරාබි කාරයාගේ මරණයට වරදකරු කිරීමට හේතුවක් නොවිය යුතුව තිබිණි. විල්පත්තුව විනාශ කලේනම් බදුර්දීන් වරදකරුවෙකු වියයුත්තේ ඔහු මුසල්මානුවෙකු වීම නිසා නොවන්නා සේම අභ්‍යන්තර වෙළඳාමක් සිදු වී ඇත්නම් අර්ජුන මහේන්ද්‍රන් වරදකරුවෙකු වියයුත්තේ ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම හෝ නොවීම සලකා නොවේ.

පලුද්ද නැති තැනක කොන්ක්‍රීට් ඇතිල්ලීමෙන් කඩතොළු තවත් වැඩිවේ.

(ඡායාරූපය දෙරණ වෙබ් අඩවියෙනි.)

11 comments:

  1. අර්ජුන් මහේන්ද්‍රන් සින්ග්ප්පූරු පුරවැසිකම ගන්නේ නම් ඔහුට ස්‍රි ලන්කා පුරවැසිකම අත් හල යුතුය.


    එවිට ඔහු ලන්කාවේ රස්සාවකට එන්නේ නම් Employment VISA ගත යුතුය.

    ඔහු Employment VISA ගත්තාද?

    ReplyDelete
    Replies
    1. ඔබ මතු කරන කරුණ නොවැදගත්යැයි මා කියන්නේ නැත. රටක නීතිය කාටත් එක ලෙස ක්‍රියාත්මක විය යුතුය. මා හරියටම දන්නේ නැති වුවත් ඔහු මේ සරල කරුණ නොසලකා හැර තිබීමට ඇති ඉඩකඩ අඩුය.

      Delete
    2. ඇර්ජුන් Employment VISA ගත්තු බවක් කිසිම තැනක සඳහන් වී නැහැ... ඊලඟ ආන්ඩුවට මිනිහාව කූඩුඒ දමන්න මේ කාරනය හොඳටම ප්‍රමානවත්... ආගමන විගමන නීති කැඩූ විට නඩු නොඅසාම හිරේ..

      ලසන්ත වික්‍රමතුන්ග ඒ කාලේ සුමතිපාල ව හිරේ දමන්නත් පාවිච්චි කලේ ආගමන විගමන නීති කැඩීමේ පමිනිල්ලකි...

      Delete
  2. පුරවැසිකම ගැන නොහිතා උගෙන් වෙන වැඩේ හරියට වෙනවද බලමුද

    ReplyDelete
    Replies
    1. වැදගත් වන්නේ එයයි. එමෙන්ම දැනට ප්‍රශ්නයක් මතු වී නොමැති තත්ත්වයකදී වුවත් යම් අවදානමක් ඇත්නම් ඒ ගැන සැලකිලිමත් වීමෙහිද වරදක් නැත.

      Delete
  3. දිනේෂ් ඇසූ ප්‍රශ්ණයට රනිල් දුන් පිළිතුර මෙසේ ලු!

    "ප්‍රශ්න කරන්නවත් නිදහසක් තිබීම ගැන සතුටු වෙන්න කියා මම ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා. ඒ කාලයේ දිනේෂ් ගුණවර්ධන මහතා අමෙරිකානු පුරවැසියන් ගැන ප්‍රශ්න කළා නම්, එතුමාට සිදුවෙන්නේ, සුදු වෑන් වල අවමංගල ගමන යන්නටයි. දැන් සුදු වෑන් නෑ. ඒ නිසා හුඟක් දෙනාගේ කටවල් මුවහත් වෙලා. මකුළු දැල් බැඳී තිබුණු ඔය කටවල් එහෙම හරි මුවහත් වීම ගැන අපි සතුටුයි..."

    ReplyDelete
  4. රටේ වගකිවයුතු තනතුරවල් වලදී ද්විත්ව පුරවැසියන් හෝ පිට‍රැටියෙකු යොදා ගැනීම 'කන්‍ෆිලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට්' තත්වයකි.

    උදාහරණයක් ලෙස මේ රටේ හිටපු ආරක්ශක ලේකම්වරයාගේ ඇමරිකානු ග්‍රීන්කාඩ් හිමිකාරිතව ආරක්ශාව පිලිබදව ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව ගැටෙන අවස්ථාවකදී ප්‍රශ්නකාරීය.

    එසේම මහෙන්ද්‍රන් ගේ සිංගප්පූරු පුරවැසිභාවයද එවැන්නකි...මන්ද ආර්ථික කටයුතු වලදී සිංගප්පූරුව ඇතැම් අවස්ථාවලදී අපගේ තරඟකරුවකු වෙන බැවිනි...

    ReplyDelete
    Replies
    1. ආරක්ෂක ධුරය සම්බන්ධව මෙවැනි ගැටළුකාරී තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩ විශාලය. එහෙත්, මහා බැංකු අධිපති ධුරයට අදාළ මූලික වගකීම් සම්බන්ධව මෙවැනි තත්ත්වයක් ඇතිවීමට ලොකු ඉඩකඩක් නැත. අතීතයේදී මහ බැංකු අධිපතිවරු එම ධුරයේ කටයුතු වලින් බාහිර රජයේ කටයුතු වලට සම්බන්ධවීම බහුලව සිදුවී ඇති නිසා සාමාන්‍ය පුද්ගලයන් තුළ මහා බැංකු අධිපති ධුරයට අදාළ මූලික වගකීම් සම්බන්ධව ඇත්තේ ව්‍යාකූලත්වයකි. එවැනි ඇතැම් කටයුතු වල යෙදීමේදීනම් ප්‍රශ්න ඇති විය හැක.

      Delete
  5. වැඩිමන්ත් වශයෙන් 'කන්‍ෆිලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට්' තත්වය යටතේ වරදකරු වීම පිලිගත් ඉංජිනේරූ ආයතන, ගණකාධීකාර ආයතන වල කෝඩ්ස් ඔෆ් එතික්ස් වලට පටහැනිය...ඒවන් තතවයක්දී අදාල වෲතිකයාගේ පිලිගත් වෲතීයභාවය අහෝසී වීමට ද එය හේතුවක් විය හැක.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම ප්‍රශ්නය ඇත්තේ මෙතැනය. ඔබ සඳහන් කරන අනෙකුත් වෘත්තිකයෙකුට වඩා 'කන්‍ෆිලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට්' තිබීමේ බලපෑම මෙහිදී ඉතා විශාලය. ඒ ගැන සලකා ඒ සම්බන්ධ වගන්ති මුදල් නීති පණතටද ඇතුලත් කර තිබේ.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...