වෙබ් ලිපිනය:

Tuesday, June 23, 2015

සුපිරි වීරයන් බිහිකරන ආන්තික තල්ලුව



ගොම්මන් අඳුර වැටෙද්දී සිය සුපුරුදු දින චරියාව වෙනස් නොකරමින් කළුවා බුලත්කොහුපිටිය හන්දියට ඇදෙන විට ඔහුගේ අතීසාර මිත්‍රයන් වන තරංග, කවිරත්න සහ රිටිගල බරපතල වැඩකට අතගහලාය. ඔවුහු ඇඟේ ඉතුරු වී ඇති මුළු වීරියම දමා තරංගලාගේ තාත්තාගේ තවමත් කෑලි නොහැලෙන ඓතිහාසික කණේ මයිල් වොක්ස්වැගනය තල්ලු කරති. වාහනේ මේ දැන් තල්ලු වෙනවා වගේ දැනේ. ඒත් ඒක එක තැනමය. හරියට පාර්ලිමේන්තුව විසිරුවන එක වගේය.

"අඩෝ, කළුවා. උඹ එනකම් තමයි මේ හිටියේ. මේකට පොඩ්ඩක් අතගහපන්."

රිටිගලයා ඕක කිවුවත් නොකිවුවත් කළුවා මල් වට්ටියට අතගහනු ඇත. කළුවාගේ කෙට්ටු දෑත් කණ්ඩායමේ මුල් අත් හයට එකතු වෙද්දී දහනම වෙනි සංශෝධනය පාස් වුණා සේ සීරුවෙන් ඉදිරියට ඇදුනු වොක්ස්වැගනයේ කණේ මයිල් කෙළින් කරමින් එන්ජිම ඉස්ටාට් විය.

"ඒකනේ! කළුවාම එන්ඩ ඕනෑ."

වොක්ස්වැගනය පණගැන්වුණේ කළුවා නිසායැයි කීවොත් එය වැරදි නැත. කළුවා නොආවානම් වාහනය අඟලක් හෝ නොසෙල්වෙනු ඇත. එහෙත් කළුවාට ඔය වාහනයම තනියම තල්ලු කිරීමනම් හිතීමටවත් බැරි දෙයකි. බුලත්කොහුපිටියේ කළුවා තඹුත්තේගම හේරත් බණ්ඩාගේ හෝ සාංචි ආරච්චිගේ ජිනදාසගේ ළඟ නෑයෙක් නොවේ.

අවශ්‍ය ජවය ලබා නොදී වාහනය තල්ලු කළ හැකිනම් නිවුටන්ගේ හතරවන නියමය බොරු නොවන නමුත් දෙවන නියමය බොරුවිය යුතුය. කළුවාගෙන් වොක්ස්වැගනයට ලැබුණේ එය චලනය කිරීමට අවශ්‍ය වන ආන්තික ජවයයි. මේ ආන්තික ජවය මහ ලොකු එකක් නොවුවත් එයින් අවශ්‍ය වැඩේ සිදුවිය. කළුවාගේ පොඩි තල්ලුවෙන් වාහනය පණගැන්වුණේ ඒ වන විටත් අත් හයක තල්ලුව වාහනයට ලැබී තිබුණු නිසාය.

මේ ආන්තික ජවය ඉතා ප්‍රබල දෙයකි. අවශ්‍ය තත්ත්වයන් සපිරී ඇතිවිට ඉතා සුළු බලයක් යෙදීමෙන් ලොකු වෙනසක් සිදුවේ.

බොහෝ ආර්ථික විද්‍යා න්‍යායයන් සහ ප්‍රායෝගික යෙදීම් සඳහා ආන්තික විශ්ලේෂණ උපයෝගී කර ගැනේ. තරංගලාගේ තාත්තාට වොක්ස්වැගනයෙන් නිදහස් වීමට අවශ්‍ය වූ විට සිළුමිණ පත්තරේ දැන්වීමක් දමනු ඇත. සෙනසුරාදා උදේ සිට කාර් එක බැලීමට සෙනඟ ඇදෙනු ඇත. ඒ අයට තරංගලාගේ තාත්තා බලාපොරොත්තු වන ගාණ දැනගන්නට ලැබෙනු ඇත.

ඔය තරංගලාගේ තාත්තා බලාපොරොත්තු වන ගාණ ඇත්තටම තරංගලාගේ තාත්තා බලාපොරොත්තු වන ගාණ නොවේ. ඊට වඩා වැඩි ගාණකි. කවුරු හරි වැඩියෙන් ගෙවනවානම් ඒ කැමැත්තෙනි. ඉතිං අපිට මොකෝ?

ඔය කිවුවාට තරංගලාගේ තාත්තා කියන අස්ප ගණන් වලට වොක්ස්වැගනය ගැනීමට කැමති මෝඩයෙක් සොයාගැනීම පොරොන්දු වූ දේ ඒ විදිහටම කරන ජනාධිපති අපේක්ෂකයෙක් හොයා ගන්නවාටත් වඩා අමාරුය. මේ බව තරංගලාගේ තාත්තා නොදන්නවා නොවේ. ඒ නිසා කාර් එකට කැමති අයට තමන්ගේ අර්පණයන් ඉදිරිපත් කිරීමට බාධාවක් නැත.

රත්නායකට කාර් එක අල්ලලා යයි. පොඩි අවුල් ටිකක් ඇතත් හත්-අට දාහකින් ගොඩදමා ගැනීමට අමාරු නැත. වාහනේ යන්ඩ ඇරියොත් අපරාදේය. හැබැයි පේන හැටියට ටිකක් අඩුවට ගන්ඩත් පුළුවන් වගේය. ඔෆර් එක ගොඩක් අඩුවුණොත් වැඩේ මිස් වෙන්නත් ඉඩ තිබේ. ඔය සියළු කරුණු සැලකිල්ලට ගෙන රත්නායක ඔහුගේ අර්පණය ඉදිරිපත් කරනු ඇත.

දවස අන්තිමේ තරංගලාගේ තාත්තාට අර්පණ තුන හතරක් ලැබේ. රත්නායකගේ අර්පණයට වඩා රුපියල් පන්දාහක් වැඩි අර්පණයක් ඇති නිසා වොක්ස්වැගනය රත්නායකට හිමි නොවනු ඇත. වාහනය හිමිකරගැනීම සඳහා අවශ්‍ය වූ ආන්තික තල්ලුව රත්නායකට දැමිය නොහැකි වූ අතර වෙන අයෙකු ඒ තල්ලුව දමා තිබේ.

නිෂ්පාදකයන් මෙන්ම පාරිභෝගිකයින්ද විශාල ගණනක් සමබන්ධ වන තරඟකාරී පුළුල් වෙළඳපලකදී අවසානයේ මිල තීරණය වන්නේ එක් ආන්තික පාරිභෝගිකයෙකු ගෙවීමට කැමති වන සහ එක් නිෂ්පාදකයෙකු විකිණීමට කැමති වන මිල අනුවය. එහෙත් මේ ආන්තික පාරිභෝගිකයා සහ ආන්තික නිෂ්පාදකයා නිර්මාණය වන්නේ තවත් දහස් ගණනක් නිෂ්පාදකයින් සහ ඊටත් වඩා ගණනක් පාරිභෝගිකයින්ගේ සාමුහික චින්තනය තුළිනි.

පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති වරයා (මෛත්‍රී) ඡන්ද හැට දෙලක්ෂයක් ලබා ගත් අතර හිටපු ජනාධිපති වරයා (මහින්ද) ඡන්ද පනස් අට ලක්ෂයක් ලබාගත්තේය (පහසුවට කොටේ හලා තිබේ). මෛත්‍රීව ජනාධිපති කිරීමට අවශ්‍ය වූ ආන්තික තල්ලුව ලැබුණේ එක් ආන්තික ඡන්දදායකයෙකුගෙනි. මේ සුවිශේෂී පුද්ගලයා කවුද? (අනේ මමනම් නෙමේ.)

මෛත්‍රීට ජනාධිපතිවීමට අවශ්‍ය වූයේ ඡන්ද පනස් අට ලක්ෂයක් සහ තවත් එකකි (හරි ගණන නොවේ. පහසුවටය.) ඒ අනුව අන්තිම ලක්ෂ හතරෙන් කිසිම වැඩක් වී නැත. ඒ අනුව අන්තිම ලක්ෂ හතර අතහැරියහොත් මහින්දට වඩා මෛත්‍රීට ඇත්තේ එක ඡන්දයකි. ගොඩවල් දෙකම සමානව තියෙද්දී මෛත්‍රී වෙනුවෙන් තම අම්බානක් වටිනා ඡන්දය පාවිච්චි කළ මේ මනුස්සයා මෛත්‍රීව ජනාධිපති ලෙස පත් කළේය. බොහොම වටිනා මනුස්සයෙකි.

සුදු වෑන් තවම ගරාජ් වල නිසා ඔය මනුස්සයාව අඳුනා ගැනීමට ඉකොනොමැට්ටාට පොඩි උදවුවවක් කළ හැකිය. ඒක කරන්නේ මේ විදියටය.


පුද්ගලයා හඳුනාගැනීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් එක්කෝටි විසි ලක්ෂය එක්තරා ක්‍රමයකට පෝලිම් ගැස්සවීමට සිදුවේ. ඉදිරියෙන්ම ඉන්නේ කැපුවත් මෛත්‍රීට කට්ටියයි. කැපුවත් මහින්දට කට්ටිය පිටිපස්සෙන්ම සිටිති. (ඉස්සරහ පස්ස මාරු කළත් ප්‍රශ්නයක් නැත.) මේ දෙගොල්ලන්ගේම පක්ෂපාතීත්වය පිලිබඳව මෛත්‍රීට හෝ මහින්දට කිසිදු සැකයක් නැත. මැදින් සිටින්නේ 'ප්‍රතිපත්තියක් නැති' වැනෙන අයයි. මේ මැද සිටින අය සිතීමේ සහ තීරණ ගැනීමේ භයානක හැකියා ඇති දරුණු පුද්ගලයින් වන අතර ඡන්දය මහින්දට මෙන්ම මෛත්‍රීටත් දීමේ සම්භාවිතාවක් ඇති පිරිසකි. එහෙත් මේ සම්භාවිතාව පණහට පණහ නොවේ. සියයට එකේ සිට අනූ නවය දක්වා පුද්ගලයා අනුව වෙනස් විය හැකිය.

දැන් අපිට උවමනා වුනේ අර ආන්තික ඡන්දදායකයා සොයාගැනීමයි. ඒ සඳහා පෝලිම ඉදිරියට ඇදෙන විට ඔළුව වසා ගෙන පරීක්ෂාවෙන් සිටින බිල්ලෙකු අවශ්‍ය නොවේ. කළ යුත්තේ ඔය මැද කණ්ඩායමද මෛත්‍රීට ඡන්දය දීමේ සම්භාවිතාව වැඩිවන (සහ මහින්දට ඡන්දය දීමේ සම්භාවිතාව අඩුවන) අනු පිළිවෙලට පෙළගැස්වීමයි. එසේ පෙළ ගැස්වීමෙන් අනතුරුව පෝලිමේ මුල සිට ලක්ෂ පනස් අටක් ගණන්කර ඉවත් කළ යුතුය. දැන් ආන්තික ඡන්දදායකයා ඉදිරියෙන්ම සිටී. බඩු මාට්ටුය.

ආන්තික ඡන්දදායකයා හඳුනාගත් පසු ඔහුගේ (හෝ ඇයගේ) ලිපිගොනුව හිස් නොවේනම් ඉතා පහසුවෙනුත් එසේ නැත්නම් තරමක් අමාරුවෙනුත් ආන්තික ඡන්දදායකයාගේ තීරණය වෙනස් කර ගැනීමට බැරි නැතත් එය අත්දුටුවයි සත්තයි ප්‍රතිකර්මයක් නොවන්නේ ආන්තික ඡන්දදායකයාගේ තැන ගැනීමට තවත් ලක්ෂ හතරක් මේ පෝලිමේ සිටින නිසාය. එහෙත් ඔය උපස්ථ (බැක්-අප්) විකල්ප හැමවිටම හමුනොවේ. උපස්ථ විකල්ප අඩුවන තරමට ඡන්දදායකයෙකුගේ වටිනාකම ඉහළ යයි. 

පාවෙන ඡන්දදායකන්ගේ ඡන්දය දීමේ සම්භාවිතාවන් හරියටම හඳුනාගත නොහැකි නිසා ඔය මැද කණ්ඩායම නිවැරදිව පෙළගැස්වීම අමාරු වැඩකි. මේ නිසා ආන්තික ඡන්දදායකයෙකුට ලැබිය හැකි මිල කණ්ඩායමක් අතර බෙදී යා හැකිය. ජාතික මැතිවරණයකදීනම් මේ කණ්ඩායම ඉතා විශාලය. පාර්ලිමේන්තුවේ පණතක් සම්මත කරගැනීම සඳහා වන ඡන්ද විමසීමකදී සාපේක්ෂව අවිනිශ්චිතතාව අඩු නිසා ආන්තික ඡන්දදායකයා හඳුනා ගැනීම පහසුය. ඒ නිසා ඔහුගේ හෝ ඇයගේ මිල ඉහළය.


වසර හතරකට පෙර අවසන් ගමන් ගිය සාංචි ආරච්චිගේ ජිනදාස හෙවත් මරදන්කඩවල යකඩයා පිලිබඳ තවමත් අසම්පුර්ණ සිංහල විකිපීඩියා පිටුවේ සඳහන් පරිදි "2011 වසරෙහිදී මිය යාමට වසර දෙකකට ඉහතදී යකඩයා අරලියගහ මන්දිරයෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂයන් හමුවීමට වරම් ලැබීය. පෙරදී කුප්‍රකට සාපරාධියෙක් සුපිරි වීරයෙක් කිරීමට මෙම සිදුවීම ඉවහල් වූයේ යැයි කියති."

විකිපීඩියා අනුව පැහැදිලි වන්නේ රටේ ජනාධිපතිවරයා හමුවූවිට කුප්‍රකට සාපරාධියෙකුට වුවද සුපිරි වීරයෙක් වීම සඳහා අවශ්‍ය වන ආන්තික තල්ලුව ලැබෙන බවයි. ඔය තල්ලුව ලබා ගැනීමට ඇති පෝලිමනම් තවමත් අඩුවන පාටක් නැත.

(ඡායාරූප අන්තර්ජාලයෙනි.)

19 comments:

  1. ඉකොනොමික්ස් පොරවල්...සරල ගණිතය මෙච්චර සංකීර්ණ කර ගන්නේ ඇයි කියලා නම් මට තේරෙන්නේ නෑ.. හික් හික්

    පොඩි කාලේ කථාවක් තිබ්බා...ගහක් අත්තක් කඩා ගන්න මුලු කෑලේම ඉන්න සත්තු ගහේ අත්තට නගිනවා..ඒත් කැඩෙන්නේ නෑ...ඒත් අන්තිමට මී මැස්සා ඇවීල්ල්ලා වැහුවම අත්ත කැඩෙනවා....

    ReplyDelete
    Replies
    1. මයියගේ උදාහරණය ගොඩක් හොඳ එකක්.

      Delete
    2. In addition, economic theory also is mostly mathematics and some even complain that mathematics has hijacked the subject.

      Delete
  2. මං කාලයක් ආස වෙලා හිටිය ඒත් මොකක් හරි හේතුවකට අන්තෙට යනකං අප්පිරිය වෙච්ච සබ්ජෙක්ට් එකක් තමයි එකොන් ඒත් මොකක් හරි මගුලකට බොලාගෙ ලිිපි ඔක්කම කියවනව..
    දාන්න තරං කමෙන්ටුවක් ඇතත් නැතත්

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල මගේ ප්‍රියතම බ්ලොග් එකක් තමයි මේක. මේකයි, රසිකොලොජියයි, රුවන් දොස්තර මහත්තයගෙ අඩවියයි තමයි කියවන්නෙ.

      Delete
    2. සමහර විට ඉකොනොමැට්ටා නිසා දෙවෙනි පාරටත් අප්පිරිය වෙයි.

      Delete
  3. //අර්පණය//
    ඇහුවෙ අද!

    ReplyDelete
    Replies
    1. ඔය වගේ මැජික් වචන තියෙනවා. මම දන්නෙත් ටිකයි.

      Delete
  4. හැබෑටම ඔය ගණිතයේ සුළු දෙයක් නේ.. උඹ හොදට ලියනවා ඩෝ..

    ReplyDelete
    Replies
    1. බටහිර ආර්ථික විද්‍යාව හා බටහිර දේශපාලන විද්‍යාව බටහිර භෞතික විද්‍යාව පසුපස නොන්ඩිගසමින් යන විද්‍යාවන්ය කියලා නලීන් ද සිල්වා කිව්වේ මේකයි

      Delete
    2. විද්‍යාවක් නොවන විද්‍යාවන්
      Non exact sciences
      ඔය කියන නලීන්ද සිල්වා මළා නේද?:)

      Delete
    3. බටහිර භෞතික විද්‍යාව සම්බන්ධ විධිමත් සහ අවිධිමත් දැනුම අතින් නලින්ද සිල්වාට වඩා බොහෝ පිටුපසින් සිටින මට බටහිර නොවන භෞතික විද්‍යාවක් බෙදී යා හැකි තැනක් ගැන පැහැදිලි අදහසක් නැහැ. නමුත්, ආර්ථික විද්‍යාවනම් බටහිර කෙසේවෙතත් පරිභෝජනවාදී වන සීමාව ගැන මට යම් අදහසක් තිබෙනවා. වෙනසක් ඇත්තේ භාවිතාවේ මිස හරයේ නොවෙයි. ඒ නිසා මූලික සිද්ධාන්ත නොබිඳිමින් ධනවාදී නොවන සමාජවාදී හෝ බෞද්ධ ආර්ථික විද්‍යාවක් ගැන කතා කිරීමට බැරිකමක් නැහැ.

      Delete
    4. අද ලෝකයේ ප්‍රධාන ප්‍රශ්ණ්යක් වෙන පරිසර ප්‍රශ්ණය ට විසදුමක් ලෙස අධික පරිභෝජනත්වය සිමා කිරීමට ආර්ථික විද්‍යාව මෙන්ම බුදුදහමද අත්වැල් ගත හැකි බව මගේ අදහසයි.....ලෝකයේ හැමෝම අදාල දේට නියමිත මුදල ගෙවන දාට අධික පරිභෝජනය සීමා කල හැකි බව ආථික විද්‍යා නිගමනයි

      Delete
    5. මයියා: පරිසර ආර්ථික විද්‍යාව ඉතා සීඝ්‍රයෙන් දියුණු වන සහ බොහෝ පර්යේෂණ සිදුවන සාපේක්ෂව අලුත් ක්ෂේත්‍රයක්. ආර්ථික විද්‍යාවේ හරය නොබිඳිමින් භාවිතාව වෙනස් කළ හැකි ආකාරය පිලිබඳ න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික උදාහරණ රැසක් මේ ක්ෂේත්‍රය තුළ දැනටමත් දැක ගත හැකියි. 'අදාල දේට නියමිත මුදල ගෙවන දාට අධික පරිභෝජනය සීමා කල හැකි බව' කියන එකත් හිතන තරම්ම සරල අදහසක් නෙමෙයි. ඒ මේ 'නියමිත මිල' සාපේක්ෂ දෙයක් නිසා. මෙහිදී සාපේක්ෂ වන්නේ පුද්ගල රුචිකත්වයන්ටයි (තවත් බොහෝ බාහිර දේවල් වලට අමතරව). අධික පරිභෝජනය ධනවාදයේ ප්‍රශ්නයක් කියන එකට මම එකඟ වෙන්නේ නෑ. මෙතන තියෙන සැබෑ ප්‍රශ්නය මිනිසුන් (ඉතා විශාල බහුතරයක්) 'අධික' පරිභෝජනයෙන් තෘප්තිමත් වීම නිසා ඇතිවන පුද්ගල රුචිකත්වයන් පාදක කරගත් ප්‍රශ්නයක්. ආර්ථික විද්‍යාවෙන් විසඳුම් සොයන මූලික ගැටලුව වන්නේ මිනිසුන් තෘප්තිමත් කිරීම සඳහා අවශ්‍ය තරම් සම්පත් නොමැති වීමයි. සමාජවාදී ක්‍රමයක (මා දකින) හරය මිනිසුන්ට තෘප්තිමත් වීමට අවශ්‍ය සම්පත් ප්‍රමාණය පුද්ගලයින්ගෙන් බාහිරව සමාජය විසින් (ප්‍රායෝගිකව පුද්ගල කණඩායමක් විසින්) තීරණය කර පුද්ගලයින් මත බලෙන් පැටවීම වැනි දෙයක්. මෙහිදී වන්නේ අධික පරිභෝජනයට ඇති ඉඩ ප්‍රස්තා බලෙන් ඇහිරීමක් නිසා එය කල් පවතින විසඳුමක්යැයි මා සිතන්නේ නැහැ. කල් පවතින විසඳුමක් ඇති විය හැක්කේ පුද්ගල රුචිකත්වයන් අභ්‍යන්තර ලෙස වෙනස් වීමෙන් පමණයි. පරිසරය සම්බන්ධව මේ වෙනස දැනටමත් සීඝ්‍රයෙන් සිදුවෙනවා. සත්ත්ව ඝාතනය, මිනිස් අයිතිවාසිකම් ගැනත් සිතන අය දැන් වැඩියි. ළමා අයිතිවාසිකම්, පරිසරය ආදිය සුරැකීම වෙනුවෙන් මිලක් ගෙවීමට බොහෝ බටහිර පාරිභෝගිකයින් දැන් සූදානම්. බුදුදහම ගැන දන්නා පිරිස ලෝකයේ සමස්ත පරිභෝජකයින්ගෙන් ඉතා සුළු පිරිසක් කියන එක ප්‍රායෝගික යථාර්තයක්. සීමිත සම්පත් තුලින් වැඩි සතුටක් ලැබිය හැකි අභ්‍යන්තර පරිවර්තනයක් සඳහා බුදුදහමේ මඟ පෙන්වීමක් කෙරෙනවා. එහෙත් බුදුදහම අදහන අය අතරත් මෙහි භාවිතාව ඉතා අඩුයි. මිනිසුන් දියුණු වීමත් සමඟ බුදුදහම ගැන කිසිවක් නොදන්නා පිරිසුත් මේ මඟ ගැනීම සතුටට කරුණක්.

      Delete
  5. දේෂපාලනයේදී ආන්තික තල්ලු දෙන්නේ දේශපාලන අනාතයෝද?

    ReplyDelete
    Replies
    1. ඔබ අදහස් කරන්නේ මතවාදී ලෙස අනාථ වූ අය ගැන වියහැකියි. ඇත්තටම මම දේශපාලන අනාතයෝ ලෙස නිර්වචනය කරන්නේ ඔය ආන්තික තල්ලුව දීමට කිසිම හැකියාවක් නැති අයවයි. සුළු හෝ හැකියාවක් ඇත්නම් අනාත වෙලා කාගෙවත් සාරි, සාටක වල එල්ලෙන්න ඕනෑ නැහැ. (ඊළඟ සටහන බලන්න.)

      Delete
  6. සමාවෙන්න හැමෝම. ඉකොනොමැට්ටා මේ දවස් කිහිපය හොඳටම කාර්ය බහුලයි. කමෙන්ට්ස් වලට ස්තුතියි. පසුව පිළිතුරු සපයන්නම්.

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...