වෙබ් ලිපිනය:

Monday, June 6, 2022

බදු ගෙවන්නේ කවුද?

රටක බදු ප්‍රතිපත්තිය කුමක් විය යුතුද කියන එක දේශපාලනික කරුණක්. දේශපාලනික කරුණු වලට හැමෝටම එකඟ වෙන්න බැහැ. ඒ නිසා, ඒ වගේ දෙයක් ගැන සෘජුව අදහස් ප්‍රකාශ කරන්න මම කැමැති නැහැ. කොහොම වුනත්, මේ වගේ දෙයක් ගැන තමන්ගේ දේශපාලනික මතය හදාගන්න කලින් පවතින බදු ක්‍රමය මොන වගේ එකක්ද කියන එක ගැන හරි අවබෝධයක් අරගෙන ඉන්න ඕනෑ. 

පහත වගුවේ තියෙන්නේ එක් එක් ආදායම් කාණ්ඩය බදු ගෙවන ආකාරය හා ඒ වෙනුවෙන් ප්‍රතිලාභ ලබන ආකාරය පිළිබඳ සාරාංශයක්. මෙහි ආදායම් දශකයක් කියා කියන්නේ ලංකාවේ නිවාස ඒකක වලින් 10%ක්. ලංකාවේ මුළු නිවාස ඒකක ගණන මිලියන 5.7ක්. ඒ අනුව, එක ආදායම් දශකයකට පවුල් 570,000ක් ඇතුළත්. පළමු ආදායම් දශකයට අයත් වන්නේ දුප්පත්ම පවුල් 10%. දෙවැන්න ඊළඟ පවුල් 10%. පැහැදිලියිනේ.


මෙහි එක් එක් ආදායම් දශකයේ මධ්‍යන්‍ය ආදායම 2019දී ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ආදායම් හා වියදම් සමීක්ෂණය හරහා හොයාගත් ගණන්. එක් එක් ආදායම් කාණ්ඩයේ බදු ගෙවීම් මගේ ඇස්තමේන්තු. මේ ඇස්තමේන්තු සර්ව සම්පූර්ණ නැහැ. අදහසක් ගැනීම සඳහා පමණයි. ගණනය කරපු ක්‍රමය මේකයි. අවම ආදායම් බදු සීමාව අනුව සෘජු බදු සියල්ල ගෙවන්නේ දහවන ආදායම් දශකයේ අය. වක්‍ර බදු හා අනෙකුත් ගාස්තු සියල්ල පරිභෝජනයට සමානුපාතික සේ සලකා ආදායම් කාණ්ඩ අතර බෙදා හැර තිබෙනවා. රජයේ වියදම් වල ප්‍රතිලාභ බෙදා හැරීමේදී සමෘද්ධි වියදම් පහළ 30% අතර බෙදාහැර අනෙකුත් වියදම් සියලු දෙනා අතර සම සේ බෙදා හැර තිබෙනවා. පොලී වියදම් හා ණය ගෙවීම් මෙහි ඇතුළත් නැහැ. මේ බදු වැඩි කරන්න පෙර 2021දී රජයේ ආදායම් හා වියදම්.

සාමාන්‍යයෙන් සාධාරණත්වය ගැන හිතනවානම් අඩු ආදායම් දශක වල බදු අනුපාතික අඩු විය යුතුයි. වැඩි ආදායම් දශක වල බදු අනුපාතික වැඩි විය යුතුයි. නමුත් මෙහි දැකිය හැක්කේ එහි අනෙක් පැත්ත. හැබැයි ඉහළම ආදායම් දශකය තමන්ගේ ආදායමෙන් 42%ක්ම බදු සේ ගෙවනවා. ඉහළ ධනවත් පංතියෙන් සැලකිය යුතු බදු ආදායමක් රටට එන්නේ නෑ කියන එක බොරුවක්.

ගොඩක් අය කියන්නේ ආණ්ඩුව තමන්ගෙන් හැම දෙයකින්ම බදු අය කරනවා කියලයි. නමුත් ඇත්තටම ශුද්ධ වශයෙන් බදු ගෙවන්නේ ඉහළම ආදායම් ලබන 10% පමණයි. අනෙක් හැමෝම ගෙවන බදු වලට වඩා ප්‍රතිලාභ රජයෙන් ලබාගන්නවා. පහළ ආදායම් ස්ථර වල ඉන්න 40% එහෙම ප්‍රතිලාභ ලබාගත්තට කමක් නැහැ. නමුත්, අතරමැද ඉන්න අයත් ඒ විදිහට ගෙවන බදු වලට වඩා ප්‍රතිලාභ ලැබිය යුතුද? 

Sunday, June 5, 2022

මහ බැංකුව තාමත් සල්ලි අච්චු ගහනවද?


සල්ලි අච්චු ගැසීම ප්‍රශ්නයක් වුවත්, යම් කාලයක් යන තුරු තවත් සල්ලි අච්චු ගහන්න සිදු වෙන බව පසුගිය දවසක අගමැතිවරයා ප්‍රකාශ කළා. සාමාන්‍යයෙන් අගමැතිවරයෙක් මේ වගේ ප්‍රකාශයක් කරන්නේ නැහැ.  සල්ලි අච්චු ගැහිල්ල කිය කියා කරන්නෙත් නැහැ. ඔහුට මේ වගේ ප්‍රකාශයක් කරන්න සිදු වුනේ මේ වෙද්දී රටේ මිනිස්සු සල්ලි අච්චු ගැහිල්ල ගැන විමසිල්ලෙන් ඉන්න නිසයි. කොහොම වුනත්, ඔය වගේ ප්‍රකාශ වලට වඩා වැදගත් ඇත්තටම වෙලා තියෙන්නේ කුමක්ද කියන එකයි. 

සල්ලි අච්චු ගැසීම කියන එකෙන් සාමාන්‍යයෙන් අදහස් වෙන්නේ රජය විසින් මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකුණන එක. රජයට මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකුණන්න වෙන්නේ වෙන කවුරුවත් බිල්පත් මිල දී ගන්නේ නැති වුනාම. එහෙම නැත්නම් වෙන අය බිල්පත් මිල දී ගැනීම සඳහා ඉල්ලන පොලිය ගෙවීමට රජය සූදානම් නැති විට.

සාමාන්‍යයෙන් හැම බදාදා දවසකම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙනවා. පසුගිය සති තුනේ වෙන්දේසි දිහා බැලුවහම එම සති තුන තුළ රටේ ආර්ථිකයේ යම් යහපත් වර්ධනයක් සිදු වී තිබෙන බව පැහදිලිව දකින්න පුළුවන්. ඩොලරයක කළුකඩ මිල දිහා බැලුවහමත් මේ වෙනස ඒ විදිහටම පේන බව මම කලින් ලිපියක විස්තර කළා.

දැන් මම මේ විදිහට යහපත් වර්ධනයක් කියා කියන්නේ සති තුනකට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව. එය ඉතා හොඳ තත්ත්වයක් බව හෝ මේ වර්ධනය මේ විදිහට දිගටම පවතියි කියන එක එයින් අනිවාර්යයෙන්ම අදහස් වන්නේ නැහැ. ඕනෑ වෙලාවක සුළු දෙයකින් තත්ත්වය නරක අතට හැරෙන්න පුළුවන්. අපි මේ කතා කරන්නේ බංකොලොත් වෙච්ච රටක් ගැන. ඒ පසුබිමත් අමතක නොකර අපි පසුගිය තෙසතිය තුළ දැකිය හැකි වූ යහපත් වර්ධනයන් දිහා බලමු. 

මැයි 18 වෙන්දේසිය 

රජය විසින් දින-91 බිල්පත් රුපියල් මිලියන 50,000ක්,  දින-182 බිල්පත් රුපියල් මිලියන 20,000ක් හා දින-364 බිල්පත් රුපියල් මිලියන 20,000ක් වෙන්දේසියට දමනවා. එහෙත් මිල දී ගන්නේ දින-91 බිල්පත් රුපියල් මිලියන 6,416ක්,  දින-182 බිල්පත් රුපියල් මිලියන 3,433 ක් හා දින-364 බිල්පත් රුපියල් මිලියන 6,626 ක් පමණයි. ඒ කියන්නේ රජයට ඒ සතියේ රුපියල් මිලියන 90,000ක් අවශ්‍ය වුවත් බිල්පත් විකුණා හොයා ගන්න පුළුවන් වෙන්නේ රුපියල් මිලියන 16,475ක් පමණයි. දැන් මේ මදිපාඩු මුදල හොයා ගන්නේ කොහොමද?

මැයි 19 වෙනිදා රජය මහ බැංකුවට රුපියල් බිලියන 85ක පමණ භාණ්ඩාගාර බිල්පත් විකුණනවා. ඒ කියන්නේ එපමණ සල්ලි අච්චු ගැසීමක් වෙනවා. මේ ගැන මම අදාළ සතියේ ලිවුවා. 

රජයට වෙන්දේසියට ඉදිරිපත් කළ බිල්පත් සියල්ල විකුණා ගන්න බැරි වෙන්නේ ලන්සු ඉදිරිපත් කළ අය ඉහළ පොලියක් ඉල්ලා සිටි නිසා. රජය වෙනුවෙන් මහ බැංකුව විසින් භාර ගන්නේ 24% මට්ටම නොඉක්මවන පොලියක් ඉල්ලන අයගේ ලන්සු පමණයි. ඒ කියන්නේ සල්ලි අච්චු නොගසා ඉන්නනම් පොලී අනුපාතික 28-31% මට්ටමට ඉහළ යාමට ඉඩ දිය යුතුව තිබුණා. වෙනත් විදිහකින් කිවුවොත් මැයි 18 වන විට වෙළඳපොළ අපේක්ෂාව වුනේ පොලී අනුපාතික ඉදිරියේදී විශාල ලෙස වැඩි වනු ඇති බවයි.

ඒ නිසා, 24% පමණ පොලියක් ගෙවා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය හොයා ගන්න බැරි වුනා. රජය (වෙනුවෙන් මහ බැංකුව) ගෙවන්න සූදනම්ව සිටි උපරිම පොලී අනුපාතික පහත පරිදියි.

දින-91: 24.07%

දින-182: 24.69%

දින-364: 24.50%

ඉහත පොලී අනුපාතික යටතේ ලබා ගන්න පුළුවන් වුනේ රුපියල් මිලියන 16,475ක් පමණයි.

මැයි 25 වෙන්දේසිය 

රජය විසින් දින-91 බිල්පත් රුපියල් මිලියන 45,000ක්, දින-182 බිල්පත් රුපියල් මිලියන 22,500ක් හා දින-364 බිල්පත් රුපියල් මිලියන 22,500ක් වෙන්දේසියට දමනවා. දින-91 බිල්පත් රුපියල් මිලියන 60,116ක්, දින-182 බිල්පත් රුපියල් මිලියන 4,272ක් හා දින-364 බිල්පත් රුපියල් මිලියන 25,612ක් වෙන්දේසියෙන් මිල දී ගන්නවා. ඒ කියන්නේ අවශ්‍ය මුදල වූ රුපියල් මිලියන 90,000 හොයා ගන්නවා. හැබැයි ඒක කරන්නේ දින-91 බිල්පත් වැඩියෙනුත්, දින-182 බිල්පත් අඩුවෙනුත් අරගෙන. ඒ ඇයි?

ලංසු ඉදිරිපත් කරන ගොඩක් අය දින-91 බිල්පත් වැඩියෙන් ඉල්ලනවා. දින-182 බිල්පත් ඉල්ලන්නේ අඩුවෙන්. ඒ කියන්නේ, වෙළඳපොළ අපේක්ෂාව වුනේ පොලී අනුපාතික තව දුරටත් ඉහළ යනු ඇති බවයි. දින-91 බිල්පත් වැඩියෙන් ඉල්ලන්නේ ඉක්මණින් සල්ලි ආපසු ලබාගෙන වැඩි පොලියකට නැවත ආයෝජනය කරන්න බලාගෙන.

කොහොම හරි මොන විදිගෙන් හෝ අවශ්‍ය සල්ලි ටික ලැබුණු නිසා සල්ලි අච්චු ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ යන්නේ නැහැ. ඇත්තටම බිලියන තුනකින් පමණ පහළ යනවා. 

අවශ්‍ය අරමුදල් ප්‍රමාණය සපයා ගැනීම සඳහා ගෙවන්න සිදු වූ උපරිම පොලී අනුපාතික පහත පරිදියි.

දින-91: 23.65%

දින-182: 24.22%

දින-364: 24.30%

සුළුවෙන් වුවත් පෙර සතියට සාපේක්ෂව පොලී අනුපාතික පහළ ගිහින් බව පේනවා ඇතිනේ. 

ජූනි 1 වෙන්දේසිය 

රජය විසින් දින-91 බිල්පත් රුපියල් මිලියන 40,000ක්, දින-182 බිල්පත් රුපියල් මිලියන 23,000ක් හා දින-364 බිල්පත් රුපියල් මිලියන 20,000ක් වෙන්දේසියට දමනවා. දින-91 බිල්පත් රුපියල් මිලියන 37,199ක්, දින-182 බිල්පත් රුපියල් මිලියන 25,227ක් හා දින-364 බිල්පත් රුපියල් මිලියන 20,574ක් වෙන්දේසියෙන් මිල දී ගන්නවා. ඒ කියන්නේ අවශ්‍ය මුදල වූ රුපියල් මිලියන 83,000 හොයා ගන්නවා පමණක් නෙමෙයි ආසන්න වශයෙන් වෙන්දේසියට දාපු ප්‍රමාණ වලින්ම මිල දී ගන්නටත් පුළුවන් වෙනවා. පොලී අනුපාතිකත් පහළ ගිහින්. 

ඒ කියන්නේ, වෙළඳපොළ අපේක්ෂාවන් වෙනස් වෙලා. දැන් අපේක්ෂාව පොලී අනුපාතික ඉදිරි කාලයේදී පහළ යනු ඇති බවයි. දින-91 බිල්පත් නොඉල්ලා දින-182 හා දින-364 බිල්පත් ඉල්ලන්නේ පොලිය අඩු වෙන්න කලින් වැඩි කාලයකට තමන්ගේ ප්‍රතිලාභ සහතික කර ගන්නයි. 

මේ විදිහට වෙළඳපොළ අපේක්ෂාවන් වෙනස් වෙන්නේ බදු වැඩි කිරීමට ගත්ත තීරණයත් එක්ක. වැඩි කරපු බදු ආදායම් තවම රජයට ලැබිලා නැහැ. ඒක කවුරුත් දන්නවනේ. හැබැයි මේ සල්ලි ඉදිරි කාලයේදී රජයට ලැබෙනවා. ඒ නිසා, භාණ්ඩාගාර බිල්පත් විකුණා සල්ලි හොයන්න තිබෙන අවශ්‍යතාවයත් පහළ ගිහින් රජයට අඩු පොලියකට බිල්පත් විකුණන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම, සල්ලි අච්චු ගැහිල්ල සීමා වන නිසා මහ බැංකුවට පොලී අනුපාතික වැඩි කරන්න පීඩනයක් එන්නේත් නැහැ. මේ සියල්ල ලංසුකරුවෝ දන්නවා. ඒ නිසා, පොලිය අඩු වෙන්න කලින් මේ වෙලාවේ බිල්පත් ගන්න ඔවුන් තරඟ කරනවා. සති දෙකකට කලින් සිදුවුනේ මෙහි අනෙක් පැත්ත.

ඒ එක්කම මහ බැංකුව සතු බිල්පත් ප්‍රමාණය තවත් රුපියල් බිලියන හයකින් පමණ අඩු වෙලා. මහ බැංකුව සතු බිල්පත් කල් පිරුණු විට බිල්පත් ගන්න යෙදවූ සල්ලි පොලියත් එක්ක ආපසු මහ බැංකුවට එනවා. එවිට මුදල් සැපයුම පහළ යනවා. ඒ කියන්නේ අච්චු ගහලා එළියට දමපු සල්ලි වලින් කොටසක් නැවත සංසරණයෙන් ඉවත් වෙනවා. 

බදු වැඩි කිරීමේ වාසි ක්ෂණිකවම පෙනෙන්න තිබෙනවා. බදු බර මිනිස්සු මතම වැටෙනවා වුනත් බදු වැඩි නොකර සල්ලි අච්චු ගැසූ විට වෙන්නෙත් ඒකම තමයි. බොහෝ විට දෙවැන්නේ හානිය වැඩියි. පොලී අනුපාතික ඉහළ ගියාම වැඩි වන වියදම් පියවන්න වෙන්නෙත් තව සල්ලි අච්චු ගහලා. මේ තත්ත්වය දැන් ක්ෂණයකින් වෙනස් වෙලා තියෙනවා. බදු වැඩි කිරීමේ බර වැඩිපුර වැටෙන්නේ ධනවතුන් මතයි. එහෙත් සල්ලි අච්චු ගැසීම නිසා උද්ධමනය ඉහළ ගිය විට එහි බර වැඩිපුර පැටවෙන්නේ දුප්පතුන් මත. 

දුප්පතුන් තමන්ගේ ආදායම මුළුමනින්ම යොදවන්නේ පරිභෝජනය සඳහා. එහෙත් ධනවතුන් ඔවුන්ගේ ආදායමෙන් විශාල කොටසක් ආයෝජනය කරනවා. උද්ධමනය වැඩි වී පොලී ඉහළ යද්දී දුප්පතුන්ට මෙන්ම ධනවතුන්ටද හානියක් වුවත් ආදායමට සාපේක්ෂව වැඩි හානියක් වෙන්නේ දුප්පතුන්ටයි. ආයෝජන වෙනුවෙන් වැඩි ප්‍රතිලාභ ලැබෙන නිසා ධනවතුන්ට එයින් වාසියක් වෙන්න වුනත් පුළුවන්. බදු වැඩි කිරීමේ හානියද සියල්ලන්ටම වුවත් වැඩි බරක් වැටෙන්නේ ධනවතුන් මතයි. 

ජූනි 1 වෙන්දේසියේදී අවශ්‍ය අරමුදල් ප්‍රමාණය සපයා ගැනීම සඳහා ගෙවන්න සිදු වූ උපරිම පොලී අනුපාතික පහත වැටී තිබුනේ මේ විදිහටයි.

දින-91: 22.75%

දින-182: 23.60%

දින-364: 23.75%

ජූනි 8 වෙන්දේසිය 

ඊළඟ බැඳුම්කර වෙන්දේසිය තියෙන්නේ ජූනි 8. මේ වෙන්දේසිය සඳහා රජය වෙනුවෙන් මහ බැංකුව විසින් රුපියල් මිලියන 98,000ක බිල්පත් ඉදිරිපත් කර තිබෙනවා. ඒ දින-91 බිල්පත් රුපියල් මිලියන 40,000ක්, දින-182 බිල්පත් රුපියල් මිලියන 30,000ක් හා දින-364 බිල්පත් රුපියල් මිලියන 28,000ක් ලෙසයි. මේ බිල්පත් ප්‍රමාණය වෙන්දේසි කර ගන්න පුළුවන් වෙයිද? ඒ සඳහා කොපමණ පොලියක් ගෙවන්න වෙයිද? එසේ නැත්නම් මහ බැංකුවටම මේ බිල්පත් වලින් යම් ප්‍රමාණයක් මිල දී ගන්න වෙයිද? අපි වෙන්දේසියෙන් පසුව බලමු.

Saturday, June 4, 2022

ලංකාවේ අධි උද්ධමන භීතිකාව ඉවරද?

අධි උද්ධමනය ලෙස හඳුන්වන්නේ උද්ධමනය මනින දර්ශකයක අගය මාසයක් තුළ 50%කින් ඉහළ ගිය විටයි. සාමාන්‍යයෙන් උද්ධමනය සේ හඳුන්වන්නේ දර්ශකයක අගයේ වසරක් තුළ සිදුවන වෙනස් වීම. මාසයකට 50%ක වැඩි වීමක් කියන්නේ වසරකට 12,875%ක වැඩි වීමක්. එහෙමත් නැත්නම් 12,875%ක උද්ධමනයක්.

ලංකාවේ උද්ධමනය මේ වන විට ඉතිහාසයේ කවදාවත් නොතිබුණු තරමකට වැඩි වෙලා. ඉදිරි මාස වල තවත් වැඩි වෙයි. මෙය බිය විය යුතු හා සැලකිලිමත් විය යුතු කරුණක්. නමුත් අවශ්‍ය පමණට මිස අනවශ්‍ය පමණට බිය විය යුතු නැහැ. දැනටනම් ලංකාවේ ඉහළ මට්ටමක උද්ධමනයක් මිසක් අධි උද්ධමන තත්ත්වයක් නැහැ. 

හැම විටම වගේ පවතින තත්ත්වය එලෙස නොදැක අතිශයෝක්තියට නැංවීමෙන් වෙන්නේ ඇත්තටම අවධානය අවශ්‍ය දෙය අවධානයෙන් ගිලිගෙන එකයි. හොඳම උදාහරණය හොරකම් හා දූෂණ. මිලියනයක හොරකම බිලියන දහයක් කළාම එහෙම හොරකමක් වුනේ නැහැ කියන එක පෙන්වන්න ඉතාම පහසුයි. අන්තිමට වෙන්නේ අර මිලියනයේ හොරකම යට යන එක. අධි උද්ධමන කතාවෙන් වෙන්නෙත් ඔය වගේ වැඩක්. 

ලංකාවේ උද්ධමනය මනින කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) හෝ ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) යන දෙකෙන් එකක්වත් තවම මාසයකට 50%කින් ඉහළ ගොස් නැහැ. එහෙත්, මහ බැංකුවේ දත්ත අනුව 2022 මාර්තු මාසයේදී ඩොලරයක මිල රුපියල් 201.06 සිට 306.08 දක්වා 52.2%කින් ඉහළ ගියා. මේ සමඟම ලංකාව ඇමරිකානු මහාචාර්යවරයෙකු වන ස්ටීව් හැන්කිගේ අවධානයට යොමු වුනා. ඔහු ලෝකයේ කඩා වැටෙන මුදල් ඒකක ගැන විශේෂඥයෙක්.

ස්ටීව් හැන්කි විසින් රටක උද්ධමනය මැනීම සඳහා භාවිතා කරන විකල්ප දර්ශකයක් තිබෙනවා. ඒ අනුව, උද්ධමනය සේ සලකන්නේ ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකය වෙනස් වීමේ හා ඩොලරයක මිල වෙනස් වීමේ එකතුවයි.  ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකය මාසයක් තුළ වෙනස් වන්නේ ඉතා සුළුවෙන් නිසා ප්‍රායෝගිකව මෙයින් අදහස් වන්නේ ඩොලරයක මිල වෙනස් වීමයි. ,ඒ පදනම මත බැලුවොත් නිල විණිමය අනුපාතයේ වෙනස්වීම අනුව 2022 මාර්තු මාසයේදී ලංකාවේ අධි උද්ධමන තත්ත්වයක් පැවතී තිබිය යුතුයි. 

කෙසේ වුවත් හැන්කි ඔහුගේ දර්ශකය ගණනය කිරීම සඳහා මහ බැංකුවේ නිල විනිමය අනුපාතය යොදා ගන්නේ නැහැ. ඔහු  ඒ සඳහා දත්ත ලබා ගන්නේ වෙනත් තැනකින්. පහත පළමු වගුවේ පෙන්වා තිබෙන්නේ ඩොලරයක නිල මිල හා හැන්කිගේ මූලාශ්‍රය අනුව කළුකඩ මිල පසුගිය කාලය තුළ වෙනස් වී ඇති ආකාරයයි.

මේ අනුව පෙනෙන පරිදි හැන්කිගේ උද්ධමන දර්ශකය කිසිදු මාසයක 50%කින් වැඩි වී නැහැ. එහෙත්, 2022 පෙබරවාරි හා මාර්තු මාස වලදී එම දර්ශකය 25% ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා. කිසියම් රටක උද්ධමන දර්ශකය (ඔහුගේ මිනුම අනුව) මාසයක් තුළ 25%කින් වැඩි වී ඇත්නම් හැන්කි එය නිරන්තරව පරීක්ෂාවට ලක් කරන්න පටන් ගන්නවා. 

පහත දෙවන වගුවේ පෙන්වා තිබෙන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ  (CCPI), ජාතික පාරිභෝගික මිල දර්ශකයේ  (NCPI), ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකයේ (US CPI) හා ක්‍රය ශක්ති සාම්‍යය (PPP) මත පදනම් වූ හැන්කිගේ උද්ධමන දර්ශකයේ මාසික වෙනස් වීමයි. මේ අනුව පෙනෙන්නේ අධි උද්ධමන තත්ත්වයක් පෙන්වන්නේ නැතත් ලංකාවේ නිල උද්ධමන දර්ශක අනුව මාසික මිල වෙනස් වීම මේ වන විට ඉතා ඉහළ මට්ටමක පවතින බවයි. 


මැයි මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශකය හා ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකය තවමත් ප්‍රකාශයට පත් කර නැහැ. එහෙත් කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ හැසිරීම දෙස බලා  ජාතික පාරිභෝගික මිල දර්ශකයේ හැසිරීම ගැන අදහසක් ගන්න පුළුවන්.

හැන්කිගේ ක්‍රය ශක්ති සාම්‍යය මත පදනම් වූ දර්ශකය (PPP I) නිල උද්ධමන දර්ශක දෙකටම වඩා වැඩියෙන් ඉහළ ගොස් තිබෙනවා. විකල්පයක් ලෙස නරක නැතත්, මෙහි නිල උද්ධමන දර්ශක හා කිට්ටුවෙන් තැබිය හැකි නිරවද්‍යතාවයක් නැහැ. නිල දර්ශක පදනම් වන්නේ අයිතමයන් සිය ගණනක මිල ගණන් වෙනස් වීමේ සාමාන්‍ය අගය මතයි. එහෙත්, හැන්කිගේ දර්ශකය පදනම් වන්නේ එක් වෙබ් අඩවියකින් ලබා ගන්න ඩොලරයක කළුකඩ මිල මතයි.

ගෙවුණු මැයි මාසයේදී ඩොලරයක කළුකඩ මිල 3.3%කින් පහත වැටී තිබෙනවා. තවම සංඛ්‍යාලේඛණ ඇවිත් නැතත් ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකය මාසයක් තුළ කීයටවත් 3.3%කින් වැඩි වන්නේ නැහැ. ඒ කියන්නේ හැන්කිගේ දර්ශකය නිවැරදිනම් මැයි මාසයේදී ලංකාවේ මිල මට්ටම් අඩු වී තිබිය යුතුයි. මැයි මාසයේදී ඒ විදිහට ලංකාවේ බඩු මිල කලින් තිබුණාට වඩා පහළ ගිහින්ද? 

හැන්කිගේ දර්ශකය මහ පොළොවේ පවතින සැබෑ තත්ත්වය වඩා හොඳින් නිරූපණය කරන බව හිතන අයට මෙය හිතන්න කාරණයක්. සම්මත ක්‍රම තිබියදී තමන්ගේ රුචිකත්වයට ගැලපෙන මිනුම් තෝරා ගත් විට ඔය වගේ අවුල් ඇති වෙනවා. ඩොලරයක කළුකඩ මිල පහළ යද්දී හැන්කිගේ දර්ශකය තවත් පහළ යයි. හැබැයි ලංකාවේ බඩු මිල පහළ යන එකක් නැහැ.

Friday, June 3, 2022

ආයෙත් ඩොලර් එක හිර කරගෙනද?

දවසකට දෙකකට සැරයක් රුපියල් පහකින් හෝ දහයකින් ඉහළ ගිය ඩොලරයක මිල දැන් ඒ විදිහට ඉහළ යන්නේ නැහැ. ඩොලරයක මිල රුපියල් 360 ආසන්නයේ ස්ථාවර වෙලා. හැබැයි ස්ථාවර වෙලා කිවුවට මෙතැන ඇත්තටම වෙලා තියෙන්නේ මහ බැංකුව මැදිහත් වී මිල ස්ථාවර කිරීමක් කියන එක කාටවත් රහසක් නෙමෙයි.

මීට කලින් ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියාගෙන ඉඳලා වෙච්ච සන්තෑසිය කාටවත් රහසක් නෙමෙයිනේ. දැන් ආයෙත් නැවත වටයකින් ඒ වගේම දෙයක් වෙන්නද යන්නේ?

කලින් පාර ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියාගන්න ගිහින් මහ බැංකුවේ සංචිත බිංදුවටම හිඳුනා. දැන් මහ බැංකුව සතුව සංචිත නැහැ. එහෙමනම් ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ තියාගන්නේ කොහොමද? එහෙම කරන එකේ මොකක් හෝ තේරුමක් තියෙනවද? 

වෙළඳපොළ තුළ ඩොලරයක මිල තීරණය වන්නේ ලංකාව ඇතුළේ ඩොලර් වලට තිබෙන ඉල්ලුම හා ඩොලර් සැපයුම මත. අපනයන, ශ්‍රමික ප්‍රේෂණ, සංචාරකයින්, රජය විසින් ගන්නා ණය, බැංකු වලට එන ඩොලර් තැන්පතු ආදිය හරහා රටට ඩොලර් එනවා. ආනයන, විදේශ සංචාර, ණය ආපසු ගැනීම් ආදිය ඉහළ යද්දී ඩොලර් ඉල්ලුම ඉහළ යනවා. සැපයුමට වඩා ඉල්ලුම වැඩි වූ විට ඩොලර් අවශ්‍ය අයට වෙළඳපොළේ තිබෙන සීමිත ඩොලර් ප්‍රමාණය මිල දී ගැනීමට තරඟ කරන්න වෙනවා.  ඒ තරඟය නිසා ඩොලරයේ මිල ඉහළ යනවා. ඩොලරයේ මිල ඉහළ ගියාම ආනයන ඉල්ලුම, විදේශ සංචාර ආදිය අඩු වෙලා ඩොලර් ඉල්ලුමත් පහළ ගිහින් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. ඕක තමයි ලංකාවේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වන සාමාන්‍ය ක්‍රමය.

එතකොට පහුගිය කාලයේ වුනේ කුමක්ද? විශාල ලෙස සල්ලි අච්චු ගහපු නිසා ආනයන ඉල්ලුම ඉහළ ගියා. ඇයි අතේ තියෙන රුපියල් වියදම් කරන්න ක්‍රමයකුත් හැදෙන්න ඕනෑනේ. නමුත් සල්ලි අච්චු ගැහුවා කියලා රටේ නිෂ්පාදනය වැඩි නොවන නිසා මිල දී ගන්න වෙන්නේ ආනයනය කරන දේවල්. 

දැන් ඔය විදිහට ආනයන ඉල්ලුම වැඩි වෙද්දී ඩොලර් ඉල්ලුමත් ඉහළ යනවා. හැබැයි ඩොලර් සැපයුම වැඩි වෙන්නේ නැහැනේ. මහ බැංකුව විසින් කළේ සංචිත විකුණමින් ඉල්ලුමට සරිලන තරමට ඩොලර් සපයන එක. එවිට එම ඩොලර් ආනයන සඳහා යොදා ගන්න පුළුවන්. මොන විදිහෙන් හෝ ඉල්ලුම හා සැපයුම සමතුලිත වන නිසා මිල ඉහළ යන්නේ නැහැ. ඔය වැඩේ කරන්න ගිහින් අවසාන වශයෙන් රටේ ඩොලර් සංචිතය බිංදුවටම හිඳුනා කියලා අපි දන්නවනේ.

දැන් මහ බැංකුවට ඔය වැඩේ කරන්න බැහැ. මොකද ඔය වැඩේ කරන්න පුළුවන් සංචිත අතේ තියෙනවානම් පමණයි. ඒ කියන්නේ ඩොලරයක මිල කීයට ගියත් මහ බැංකුවට උඩ බලාගෙන ඉන්නවා මිසක් කරන්න පුළුවන් දෙයක් නැහැ. මිල ඉහළ යාමෙන්ම ඉල්ලුම හා සැපයුම සමතුලිත විය යුතුයි.

මේ වෙද්දී මිල ඉහළ ගොස් තියෙන තරමට හා වෙනත් ක්‍රියාමාර්ග නිසා හරිනම් ලංකාවේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්න ඕනෑ. නමුත් තවමත් ඒක වෙලා නැහැ. ඊට ප්‍රධාන හේතුව කලින් ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ ඒ විදිහටම නොලැබීම. ඒකට හේතුව දේශපාලන හේතු නිසා පිටරට වල ඉන්න අය සල්ලි එවන්නේ නැතුව සිටීම වගේ සරල දෙයක් නෙමෙයි. හේතුව මම පැහැදිලි කරන්නම්.

ස්ටීව් හැන්කි ගැන දැන් හැමෝම වගේ දන්නවනේ. ඔහු ලංකාවේ උද්ධමනය ගණනය කරන්න ගන්නේ ඩොලරයක කළුකඩ මිල. මේ දත්ත ගන්නේ රුපියල් ගෙවා ක්‍රිප්ටෝ ඇතුළු වෙනත් මුදල් වර්ග මිල දී ගත හැකි වෙබ් අඩවියකින්. පසුගිය පෙබරවාරි මාසය පමණ දක්වා මේ වෙබ් අඩවියේ රුපියල් ගනුදෙනු සිදු වී තිබෙන්නේ ඉතා අඩුවෙන්. සමහර විට දවස් ගාණකට එකක්. ගනුදෙනු සිදුවන මිලත් බැංකු වල මිලට ආසන්නයි. 

පෙබරවාරි මාසයේදී පමණ එකවර හදිසි වෙනසක් වෙනවා. දෛනික රුපියල් ගනුදෙනු ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යනවා. බැංකු වල මිල හා කළුකඩ මිල අතර පරතරයද විශාල ලෙස වැඩි වෙනවා. 

පහත රූප සටහන දිහා බැලුවහම මෙය හොඳින් දකින්න පුළුවන්. දැන් මේ වුනේ කුමක්ද?

විණිමය සමපේක්ෂකයෝ කියලා ජාතියක් ලෝකයේ ඉන්නවා. මේ අය බලාගෙන ඉන්නේ ව්‍යවහාර මුදල් ගනුදෙනු වලින් තමන්ට ලොකු ලාබයක් ගන්න පුළුවන් අවස්ථාවක් එළැඹෙන තුරු. රටක මහ බැංකුවක් පිස්සු කෙලිනවා කියන්නේ ඒ වගේ වාසියක් ගන්න පුළුවන් හොඳම අවස්ථාවක්. ජෝජ් සෝරෝස් ඔය විදිහට වෙලාව බලලා එංගලන්තයේ මහ බැංකුවටත් ගේම දුන්න හැටි අහල ඇතිනේ. 

ලංකාවේ මහ බැංකුව සංචිත විකුණමින් ඩොලරයේ මිල ආරක්ෂා කරගෙන ඉන්නවා කියන එකත්, ඔය වැඩෙන් කොයි වෙලාවක හෝ කෙළවගන්නවා කියන එකත් අපි වගේ මැට්ටන්ට පවා කලින්ම තේරුණ එකේ ඕවා ගැන නිරන්තර අවධානයෙන් ඉන්න විණිමය සමපේක්ෂකයන්ට ඕක මීටර් නොවී තියෙන්නේ නැහැනේ. හැබැයි මේ ගොල්ලෝ හදිස්සි වෙන්නේ නැහැ. බලාගෙන ඉන්නවා.

ඔහොම ගිහින් ගිහින් ලංකාවේ සංචිත ඉතාම පහළ මට්ටමකට වැටෙනවා. දැන් කොයි වෙලාවේ හෝ ඩොලර් එක අතාරින්න වෙනවා කියන එක සහසුද්දෙන්ම පේනවා. ඔන්න ඔය වෙලාවේ සමපේක්ෂකයෝ වැඩ පටන් ගන්නවා. බැංකු ඩොලර් වලට රුපියල් 200ක් පමණක් ගෙවද්දී ලංකාවට සල්ලි එවන්න අවශ්‍ය අයට රුපියල් 240-260 වගේ ගණන් දීලා ඒ ඩොලර් මිල දී ගන්නවා. මේ විදිහට වැඩි මිලට ඩොලර් මිල දී ගන්නවා කියන්නේ අඩු මිලට රුපියල් විකුණනවා කියන එක. හැබැයි විකුණන්නේ නැති රුපියල්. ඉංග්‍රීසියෙන් කිවුවොත් රුපියල් ෂෝර්ට් සෙල් කරනවා.

මේ වැඩේ අවදානම් වැඩක්. හැබැයි ඔය වගේ වැඩ වලට අතගහන්නේ පළපුරුද්දක් තිබෙන අය. ඒ එක්කම ලංකාවේ රුපියලේ අපේක්ෂිත කඩා වැටීම, උද්ධමනය ආදිය තිබෙනවාටත් වඩා අතිශයෝක්තියට නංවලා මිනිස්සු බය කළාම ලංකාව ඇතුළේ රුපියල් ඉල්ලුම පහළ ගිහින් ඩොලර් ඉල්ලුම ඉහළ යනවා. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු ඩොලරයකට විශාල මුදලක් ගෙවන්න සූදානම් වන වාතාවරණයක් හැදෙනවා. ඊට පස්සේ අතින් සල්ලි යට නොකරම ලාබ එකතු කරන්න පටන් ගන්න පුළුවන්. 

ලංකාවට එවන්න ඉන්න ඩොලරයක් රුපියල් 240ට අරගෙන ගෙදර අයට ඒ සල්ලි දෙන්න පොරොන්දු වුනා කියමු. අනෙක් පැත්තෙන් ඒ ඩොලර් එක රුපියල් 260ට ලංකාවේම කාට හරි විකුණලා අවශ්‍ය රුපියල් ටික එකතු කරගන්න ගමන් ලාබෙකුත් තියා ගන්නවා. ඔය වැඩේ දිගටම කරද්දී එකතු වන රුපියල් ලාබ ටිකත් ඔය ක්‍රමයෙන්ම ඩොලර් කර ගන්න පුළුවන්, අන්තිමේදී සල්ලි යට නොකරම ඩොලර් වලින්ම විශාල ලාබයක් ලැබිලා. විණිමය සමපේක්ෂණය කියන්නේ ඔය වගේ වැඩක්. 

මම හිතන විදිහට මේක ලංකාවට එන ශ්‍රමික ප්‍රේෂණ නොලැබී යන්න ප්‍රධානම හේතුවක්. විණිමය සමපේක්ෂකයා විසින් තමන්ට ලාබ හොයන්න කරන අතරමැදි ක්‍රියාවලිය හරහා ශ්‍රමික ප්‍රේෂණ ලංකාවට නොපැමිණ රටින් පිට නවතිනවා. ලංකාවේ ඉන්න තමන්ගේ අතේ රුපියල් තියෙන අය ඒ රුපියල් ක්‍රිප්ටෝ වලට හැරවීම සඳහා හෝ ඩොලර් වලට හැරවීම සඳහා සමපේක්ෂකයා හරහා මේ ඩොලර් ලබා ගන්නවා. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය වෙන්නේ ලංකාවේ ඉන්න අතේ රුපියල් වත්කම් තිබෙන බොහෝ දෙනෙක් තුළ රුපියල විශාල ලෙස කඩා වැටෙයි කියා තිබෙන බය නිසා. ඒ බය නැත්නම් ඒ අය වැඩි මිලක් දීලා ක්‍රිප්ටෝ මිල දී ගන්නේ නැහැ. එහෙම ඩොලර් හෝ ක්‍රිප්ටෝ ගන්න කෙනෙක් නැත්නම් විණිමය සමපේක්ෂකයන්ට ක්‍රියාත්මක වී රුපියල් ෂෝට්සෙල් කිරීමෙන් ලාබ ගන්නත් බැහැ. 

පෙබරවාරි මාසයේදී විතර විණිමය සමපේක්ෂකයෝ ලංකාවේ රුපියලට ඇටෑක් කරනවා. එහෙම කරලා පෙබරවාරි අවසානය වෙද්දී ඩොලරයක කළු කඩ මිල රුපියල් 270 පමණ දක්වා ඉහළ දමනවා. මේක කරන්නේ ගණන් හදලා. රුපියල් 270 කියන්නේ ක්‍රය ශක්ති සාම්‍ය පදනම අනුව බැලුවොත් (ආසන්න වශයෙන්) රුපියල තිබිය යුතු මිල. මේ විදිහට කළුකඩ මිල එහි "නියම මිල" දක්වා ඉහළ යාමෙන් පසුව මහ බැංකුවට රුපියල අත නොහැර බැරි වෙනවා. 

මේ වගේ වැඩක් කලින්ම කළානම් මහ බැංකුව වැඩිපුර සංචිත ටිකක් විකුණලා රුපියලේ පාලනය අතට ගන්නවා. සමපේක්ෂකයන් වැඩේට අත ගහන්න පෙබරවාරි වනකම් බලා ඉන්නේ ඒ නිසා. විණිමය සමපේක්ෂකයන්ගේ සාමාන්‍ය උපාය මාර්ගය වන්නේ හොඳටම දුර්වල වෙනකම් ඉඳලා එක පාරෙන් නොකවුට් කරන එක. 

සමපේක්ෂකයින් ක්‍රියාත්මක වුනේ නැත්නම් ඩොලරයක මිල රුපියල් 275 පමණ මට්ටමකට යාමෙන් පසුව මිල ස්ථාවර විය යුතුව තිබුණා. නමුත් සමපේක්ෂකයින් විසින් ශ්‍රමික ප්‍රේෂණ එවන අයට රුපියල් ෂෝට් සෙල් කරමින් රුපියලේ පාලනය අතට ගත්තා. ඉන්පසුව දවසකට දෙකකට වරක් ඩොලරය රුපියල් පහකින් දහයකින් වැඩි වෙන්න පටන්ගත්තා. මහ බැංකුවට සංචිත මුදා හැරීම හරහා තත්ත්වය පාලනය කිරීමට ඉඩක් ඉතිරි වී තිබුණේ නැහැ. 

මේ වගේ තත්ත්වයක් යටතේ ඩොලරයක මිල කීයට ගියත් ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වන්නේ නැහැ. මිල ඉහළ යාමේදී ආනයන ඉල්ලුම ආදිය පහළ යනවා වුවත් එක් සීමාවකින් පසුව ඒ වැඩේ වෙන්නේ නැහැ. ඉන්ධන, ආහාර, ඖෂධ ආදිය මිල වැඩි කිරීමෙන් පමණක් ලොකුවට සීමා කරන්න බැහැ. ඒ නිසා, ඩොලරයක මිල 360 දක්වා ඉහළ ගියාට පස්සේ එම මිල තවදුරටත් ඉහළ යන්න දීමෙන් ඩොලර් ඉල්ලුම විශාල ලෙස අඩු වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් ඩොලරයක මිල දවසින් දවස ඉහළ යද්දී ඩොලර් වලට තිබෙන සමපේක්ෂණ ඉල්ලුම ඉහළ යනවා. ඒ නිසා, තවදුරටත් දිගින් දිගටම මිල ඉහළ යන්න දෙනවා වෙනුවට මිල මාර්ගෝපදේශනය ඇතුළු තවත් ක්‍රියාමාර්ග හරහා සමපේක්ෂණ ඉල්ලුම පාලනය කරන්න උත්සාහ දැරීම හොඳ ප්‍රවේශයක්. 

රූප සටහන දිහා බැලුවහම මේ කරුණ තහවුරු වෙනවා. මහ බැංකුව ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ තියාගන්න කියලා බැංකු වලට කියලා නැහැ. දවසක් ඇතුළත මිල ඉහළ දැමිය හැකි ප්‍රමාණය පමණයි සීමා කරලා තිබෙන්නේ. නමුත් මිල ඉහළ ගිහින් නැහැ. ඒ කියන්නේ මේ මිල සම්බන්ධව බැංකු වලට ප්‍රශ්නයක් නැහැ කියන එකයි. හැබැයි මහ බැංකුව විසින් නොනිල ලෙස බැංකු වල විණිමය අනුපාතය පාලනය කරනවාද කියලා අපි දන්නේ නැහැ. එහෙමත් වැඩ වෙනවනේ. 

වැදගත්ම දේ ඒක නෙමෙයි. මොන විදිහෙන් හෝ ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ තියාගෙන ඉන්න බව පැහැදිලිව පේනවනේ. මේ මිල නියම මිල නෙමෙයිනම්, නියම මිල වඩා වැඩි මිලක්නම්, ඔහොම කරද්දී ඩොලර් ඉල්ලුම හා සැපයුම අතර පරතරය ටිකෙන් ටික වැඩි වෙන නිසා කළුකඩ මිල ටිකෙන් ටික ඉහළ යා යුතුයිනේ. නමුත් ඇත්තටම වෙමින් තියෙන්නේ ඒකේ අනෙක් පැත්ත. මහ බැංකුව මේ වැඩේ පටන් ගත් දවසේ ඉඳලා කළුකඩ මිල ටිකෙන් ටික පහළ වැටෙන්න පටන් අරන්. ඒ ඇයි?

සමපේක්ෂකයන්ගේ ගේම් එක වැඩ කරන්නේ දවසින් දවස ඩොලර් එක වැඩි වෙද්දී ඇති වන බය එක්ක. ඔය බයට ලංකිකයෝ කීය හෝ දීලා ඩොලර් ගන්නවා. වැඩේ පාඩුවකුත් නැහැනේ. අද අරන් හෙට ආපහු විකිණුවත් රුපියල් දහයක් විතර වාසියි. රට ඇතුළේ ඔය ඉල්ලුම තියෙන තුරු සමපේක්ෂකයින්ට බය නැතුව රුපියල් ෂෝට් සෙල් කරන්න පුළුවන්. අනෙක් පැත්තෙන් වැඩි මිලක් ගෙවලා ශ්‍රමික ප්‍රේෂණ ටික එකතු කරගන්න පුළුවන්. 

මහ බැංකුවේ තීරණය නිසා දැන් වැඩේ බැක්ෆයර් වෙලා.  රට ඇතුළේ තිබුණු සමපේක්ෂණ ඩොලර් ඉල්ලුම එක පාරටම අඩු වෙලා. ඒ එක්ක කළුකඩ මිල ටිකෙන් ටික පහත වැටෙනවා. මැයි 15 වන විට රුපියල් 442.74 දක්වා ඉහළ ගොස් තිබුණු ඩොලරයක කළුකඩ මිල ඊයේ (ජූනි 2) වෙද්දී රුපියල් 411.06 දක්වා පහත වැටිලා. මහ බැංකුවේ මිල එලෙසම තිබියදී කළුකඩ මිල අඩු වීමෙන් පෙනෙන්නේ සමපේක්ෂණ ඉල්ලුම අඩු වෙමින් තිබෙන බවයි.

මේ අනුව, මහ බැංකුවේ උපක්‍රමය සාර්ථක වී තිබෙන බව පේනවා. ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් ඇති විට මිල ඉහළ යන්න දීමේ අරමුණ ඉල්ලුම අඩු කර එම පරතරය නැති කිරීමයි. පවතින සුවිශේෂී තත්ත්වය තුළ එය අසීරු වුවත් මහ බැංකුව විසින් වෙනත් ක්‍රමයකින් ඩොලර් ඉල්ලුම අඩු කිරීමට සමත් වී තිබෙනවා.

එහෙමනම් මේ වැඩේ කරන්න ඩොලරයක මිල රුපියල් 360 වන තුරු හිටියේ ඇයි? ඔය වැඩේ කලින්ම කරන්න තිබුණනේ?

එහෙම කරන්න බැහැ. මේක මහ බැංකුව සහ විණිමය සමපේක්ෂකයින් අතර ගේම් එකක්. මහ බැංකුව ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියාගෙන හිටියේ එය තිබිය යුතු නියම මිල ඊට වඩා වැඩි බව ඕනෑම කෙනෙකුට පැහැදිලිව තිබියදී. තමන් කරන වැඩේ "වැරැද්දක්" තිබෙන බව ඒ වෙලාවේ මහ බැංකුව දැනගෙනයි ඉන්නේ. විණිමය සමපේක්ෂකයින් විසින් ඇඟිල්ලෙන් ඇනලා මහ බැංකුව හෙළුවෙන් බව පෙන්නූ  වහාම මහ බැංකුවට විලි වහගන්න සිදු වුනේ ඒ නිසා.

දැන් තත්වය හරියටම අනෙක් පැත්ත. ඩොලරයක මිල රුපියල් 360ක් කියන්නේ ඕනෑවට වඩා වැඩි මිලක් බව සමපේක්ෂයෝ දන්නවා. මහ බැංකුව විසින් දැන් ඒ බව ඔවුන්ට පෙන්වා දී තිබෙනවා. මිල රුපියල් 300 පමණ මට්ටමක තියෙද්දී ඔය වැඩේම කළානම් බොහෝ විට අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. ඔය වගේ වැඩකින් ප්‍රතිඵලයක් ලැබෙන්නනම් ඩොලරයක මිල දැන් තිබෙන මිලට වඩා අඩු විය යුතු බව මහ බැංකුව විතරක් හිතලා හරියන්නේ නැහැ. අනෙක් පැත්තේ ඉන්න විණිමය සමපේක්ෂයින් විසින්ද ඒ විදිහටම හිතන්න ඕනෑ. ඔවුන් හිතන්නේ තව දුරටත් මිල වැඩි විය යුතු බවනම් වැඩේ බැක්ෆයර් වෙනවා.

මහ බැංකුව පැත්තෙන් ගත් තීරණය තරමක් අවදානම් තීරණයක්. නමුත් ප්‍රතිඵල වලින් පෙනෙන්නේ මහ බැංකුවේ විනිශ්චය නිවැරදි බවයි. 

Thursday, June 2, 2022

උද්ධමනය වැරදිද?


කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගෙවුණු මැයි මාසයේදී ලංකාවේ උද්ධමනය 39.1%ක් වුනා. ඇතැම් අය හිතන්නේ "යථාර්තය" මීටත් වඩා නරක බවයි. ඔවුන් එසේ කියන්නේ ඉතා විශාල ලෙස ඉහළ ගොස් තිබෙන ඇතැම් භාණ්ඩ හා සේවා නිදසුන් සේ පෙන්වමිනුයි.

උදාහරණයක් විදිහට 2021 මැයි මාසයේදී රුපියල් 1,493ක් වූ කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක් 2022 මැයි වන විට රුපියල් 5,350 දක්වා වැඩි වෙලා. මෙය 258.34%ක මිල වැඩි වීමක්. ඒ වගේම, 2021 මැයි මාසයේදී රුපියල් 621.37ක් වූ අමු මිරිස් කිලෝග්‍රෑම් එකක් 2022 මැයි වන විට රුපියල් 1,684.19 දක්වා වැඩි වෙලා. මෙය 169.89%ක මිල වැඩි වීමක්. එහෙමනම් උද්ධමනය 39.1% කියන එක හරිද?

උද්ධමනය කියා කියන්නේ ගෑස්, අමු මිරිස් වගේ පාරිභෝගික භාණ්ඩ දෙක තුනක මිල වැඩිවීම නෙමෙයි. සමස්තයක් ලෙස ගෙදරක වියදම් ඉහළ යාම. ගෑස්, අමු මිරිස් ඉහළ යද්දී වෙනත් මොනවා හරි බඩු ගණනාවක මිල අඩු වුනොත් සමස්තයක් ලෙස ගෙදරක වියදම් වැඩි නොවෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට 2021 මැයි මාසයේදී රුපියල් 735.09ක් වූ කවුපී කිලෝග්‍රෑමයක මිල 2022 මැයි වන විට රුපියල් 661.73 දක්වා අඩු වෙලා. මෙය 9.98%ක මිල අඩු වීමක්. ඔය විදිහට ගොඩක් බඩු වල මිල ඉහළ යන අතරේ වුවත් සමහර බඩු වල මිල පහළ යනවා. තවත් සමහර බඩු වල මිල ඉහළ ගියත් ලොකුවට ඉහළ යන්නේ නැහැ. කොළඹ පාරිභෝගික මිල දර්ශකය ගණනය කරන්න භාණ්ඩ හා සේවාවන් 392ක්ම උපයෝගී කර ගන්නේ ඒ නිසා.

මේ භාණ්ඩ හා සේවා සියල්ලම ඉදිරිපත් කරන්න ගියොත් ලොකු ඉඩක් යන නිසා ඒ  භාණ්ඩ හා සේවාවන් 392 කාණ්ඩ 12ක් යටතේ වර්ග කරමු. අදාළ භාණ්ඩ මිල දී ගැනීම සඳහා 2013 වසරේදී කොළඹ නාගරික ප්‍රදේශ වල නිවසක වැසියන් විසින් වැය කළ මුදල් ප්‍රමාණ පහත තිබෙනවා. වරහන් ඇතුළේ තියෙන්නේ මුළු වියදමෙන් අදාළ කාණ්ඩයට වැය කළ ප්‍රතිශතය.

ආහාර සහ මද්‍යසාර නොවන පාන වර්ග - රුපියල් 17,044.70 (28.2%)

මද්‍යසාර පාන සහ දුම්කොල - රුපියල්  620.31 (1.0%)

රෙදිපිළි සහ පාවහන් - රුපියල් 1,383.22 (2.3%)

නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන - රුපියල්  19,306.27 (32.0%)

ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තුව - රුපියල්  1,533.73 (2.5%)

සෞඛ්‍යය - රුපියල්  2,650.13 (4.4%)

ප්‍රවාහනය - රුපියල්  6,401.44 (10.6%)

සන්නිවේදනය - රුපියල් 1,993.16 (3.3%)

විනෝදාස්වාද හා සංස්කෘතික කටයුතු - රුපියල් 785.87 (1.3%)

අධ්‍යාපනය - රුපියල් 3,538.72 (5.9%)

ආපනශාලා හා හෝටල් - රුපියල්  3,101.87 (5.1%)

වෙනත් විවිධ භාණ්ඩ හා සේවා - රුපියල්  2,005.31 (3.3%)

එකතුව - රුපියල් 60,364.74 (100.0%)

උද්ධමනය කියා කියන්නේ ඔය මුළු වියදම වසරකදී වැඩි වන ප්‍රතිශතය. ඒ කියන්නේ උද්ධමනය 100% වෙන්නනම් ඔය රුපියල් 60,364.74 වසරකින් පසුව දෙගුණ විය යුතුයි. අපි හිතමු "නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන" පමණක් 100%කින් ඉහළ ගියා කියලා. දැන් මුළු වියදම ඉහළ යන්නේ රුපියල් 19,306.27කින් පමණයි. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 32.0%යි. ඒ කියන්නේ උද්ධමනය 32% වෙනවා මිසක් 100% වෙන්නේ නැහැ. එහෙම වෙන්නනම් එක්කෝ හැම දෙයක්ම 100% බැගින් වැඩි වෙන්න ඕනෑ. නැත්නම් එසේ වැඩි නොවන ඒවාටත් හරියන්න අනෙක් ඒවා වැඩියෙන් වැඩි වෙන්න ඕනෑ. 

පහත තියෙන්නේ 2021 මැයි හා 2022 මැයි අතර ඉහත එක් එක් කාණ්ඩය තුළ මිල වෙනස් වී ඇති ආකාරය.

ආහාර සහ මද්‍යසාර නොවන පාන වර්ග - 57.4%

මද්‍යසාර පාන සහ දුම්කොල - 18.7%

රෙදිපිළි සහ පාවහන් - 37.0%

නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන - 13.1%

ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තුව - 33.8%

සෞඛ්‍යය - 21.3%

ප්‍රවාහනය - 91.5%

සන්නිවේදනය - 0.0%

විනෝදාස්වාද හා සංස්කෘතික කටයුතු - 30.6%

අධ්‍යාපනය - 14.6%

ආපනශාලා හා හෝටල් - 50.3%

වෙනත් විවිධ භාණ්ඩ හා සේවා - 40.5%

එකතුව - 39.1%

මේ අනුව පෙනෙනවා ප්‍රවාහනය වැනි ඇතැම් කාණ්ඩ වල මිල ඉහළ යාම 91.5% තරම් වුවත් සන්නිවේදනය වැනි මිල වෙනස් වුනේම නැති කාණ්ඩත් තිබෙනවා. උද්ධමනය කියන්න ඔය හැම එකකම සාමාන්‍ය අගයක්.

මේ එක් එක් කාණ්ඩය ඇතුළට ගිහින් බැලුවහමත් ඔය වගේම තත්ත්වයක් දැකිය හැකියි. උදාහරණයක් විදිහට අපි "නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන" කාණ්ඩය පරීක්ෂා කර බලමු. මේ කාණ්ඩයේ වියදම් වැඩි වීම 13.1% වුනේ කොහොමද?

ඔය කාණ්ඩය ඇතුළේ ගෙදරක මුළු වියදම් වලින් 32.0%ක් තියෙනවා. 

නිවාස කුලිය - 22.69%

නිවාස අලුත්වැඩියා හා නඩත්තු - 1.15%

ජලය - 1.06%

විදුලිය - 4.39%

LP ගෑස් - 2.19%

භූමි තෙල් - 0.31%

දර - 0.19%

එකතුව - 32.0%

මේ අනුව පෙනෙන්නේ LP ගෑස් මිල 200% ඉක්මවා වැඩි වී ඇතත් මේ කාණ්ඩයේ තිබෙන නිවාස කුලී, නිවාස අලුත්වැඩියා හා නඩත්තු, ජල හා විදුලි බිල් ගාස්තු ආදීය වැඩි වී නැති බවයි. මේ අතරින් විශාලම බරක් ඇති අයිතමය වන නිවාස කුලිය ඩොලරයේ මිල මත තීරණය වන එකක් නෙමෙයි. ජලය, විදුලිය හා ඉන්ධන ආදියේ මිල තීරණය කරන්නේ රජය විසින්. ඒ නිසා ඩොලරය ඉහළ යාම බලපාන්නේ රජය විසින් මිල වැඩි කළොත් පමණයි. ආහාර වැනි වෙනත් කාණ්ඩයක් ඇතුළට ගියත් මෙවැනි විවිධ අයිතමයන් හඳුනාගන්න පුළුවන් වෙයි.

මුල් ප්‍රශ්නයට නැවත එමු. එහෙමනම් 39.1% උද්ධමනය හරිද?

මේක තීරණය වන්නේ උද්ධමනය මනින්න අවශ්‍ය වන්නේ කුමකටද කියන එක අනුවයි. අරමුණ පවුලක වියදම් වැඩි වූ ආකාරය ගැන දැන ගැනීමනම් මේ මිනුමේ වැරැද්දක් නැහැ පමණක් නෙමෙයි මෙයින් වියදම් වැඩි වීම ඕනෑවටත් වඩා වැඩියෙන් පෙන්වනවා වෙන්න පුළුවන්. මොකද මේ ගණනය කිරීමේදී උපකල්පනය කරන්නේ මිල කොපමණ ඉහළ ගියත් 2013දී මිනිස්සු මිල දී ගත්ත දේවල් ඒ ප්‍රමාණ වලින්ම දැනුත් මිල දී ගන්නවා කියන එකයි. නමුත්, මිනිස්සු මිල විශාල ලෙස වැඩි වන දේවල් මිල දී ගැනීම සීමා කරනවා. ඒ නිසා, පවුලක වියදම් ඔය තරමටම වැඩි වෙන්නේ නැහැ.

අනෙක් පැත්තෙන් මහ බැංකුව වගේ ආයතනයක් උද්ධමනය පාලනය කිරීමේ අරමුණින් මේ දිහා බලනවානම් ඇත්ත උද්ධමනය මීට වඩා ටිකක් වැඩියි කියා හිතන එකේ වැරැද්දක් නැහැ. මොකද විදුලි බිල්, ඉන්ධන මිල ගණන් වගේ දේවල් රජය විසින් පාලනය නොකර වෙළඳපොළ තුළ තීරණය වුනානම් ඔය සමස්ත වැඩිවීම දර්ශකයෙන් පේනවට වඩා ඉහළ අගයක් ගන්නවා. ඉදිරි මාස වලදී රජයට මේ පාලිත මිල ගණන් සංශෝධනය කරන්න සිදු වෙන නිසා එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය තවත් වැඩි වීමට නියමිත බව මහ බැංකුව විසින් තේරුම් ගත යුතුයි. හැබැයි ස්ටීව් හැන්කිගේ ගණන් හැදීම ඕනෑවට වඩා වැඩි ඇස්තමේන්තුවක්. මොකද උද්ධමන දර්ශකයෙන් 22.69%ක් වන නිවාස කුලිය ඇතුළු තවත් අයිතමයන් ගණනාවක් ඩොලරයක මිල වැඩි වන අනුපාතයෙන් වැඩි වෙන්න සෛද්ධාන්තික හෝ ප්‍රායෝගික හේතුවක් නැහැ. 

Tuesday, May 31, 2022

මැයි උද්ධමනය 39.1% දක්වා ඉහළට!


කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්ව මනින උද්ධමනය ගෙවුනු මැයි මාසයේදී 39.1% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර උද්ධමනය 57.4% දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන භාණ්ඩ හා සේවා හා අදාළ උද්ධමනයද 30.6% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම ඇස්තමේන්තු පදනම් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික පාරිභෝගිකයින්ගේ ජීවන රටා මතයි. රටේම පරිභෝජනය මත පදනම් වන ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් උද්ධමන ඇස්තමේන්තු පිළියෙල වන්නේ දින 21ක කාල පමාවකින් පසුවයි. එම ඇස්තමේන්තුව තරමක් ඉහළින් තිබිය හැකි වුවත් 45% ආසන්නව පවතිනු ඇති බව මගේ විශ්වාසයයි. මේ පිළිබඳ වැඩිදුර විග්‍රහයක් පසුව බලාපොරොත්තු වන්න!

මේ අතර ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් ජාතික ගිණුම් ඇස්තමේන්තු සංශෝධනය කර තිබෙනවා. සංශෝධිත ඇස්තමේන්තු අනුව පෙනී යන්නේ 2020දී ආර්ථිකය සංකෝචනය වීමට පෙරම 2019දීද ආර්ථිකය සංකෝචනය වී ඇති බවයි. සංශෝධිත ඇස්තමේන්තු අනුව 2019 වසරේදී ලංකාවේ ආර්ථිකය 0.2%කින්ද, 2020 වසරේදී තවත් 3.5%කින්ද හැකිලී තිබෙනවා. 2021දී ආර්ථිකය 3.3%කින් වර්ධනය වී ඇතත් මේ වසරේදී ඉතිහාසයේ කවදාවත් සිදු නොවූ තරමේ විශාල හැකිලීමක් සිදු විය හැකියි.

Monday, May 30, 2022

බයිසිකල් මාෆියාව


එක්තරා පුද්ගලයෙක් පාපැදියක් මිල දී ගන්න ගිහින් වෙච්චි අලකලංචියක් ගැන කතාවක් මේ දවස් වල සමාජ මාධ්‍ය වල සංසරණය වෙනවා. ඔහු වෙළඳසැලට යන්නේ පාපැදියක් රුපියල් 22,000ක් හෝ 25,000ක් පමණ වෙයි කියා හිතාගෙන. ගිහින් බලද්දී මිල රුපියල් 49,000ක්. ඒ නිසා ඔහු ආපහු හැරී එනවා.

කතාව අහපු බොහෝ දෙනෙක් අදාළ පුද්ගලයාට පාපැදියක් අරන් දෙන්න ඉදිරිපත් වෙලා. දැන් එම පුද්ගලයා කියන විදිහට ඔහු වෑන් රථයක් හා යතුරු පැදියක් හිමි රාජ්‍ය සේවකයෙක්. ඒ වෙලාවේ අතේ සල්ලි නොතිබුණත් අවශ්‍යනම් ඔහුට එම පාපැදිය මිල දී ගන්න පුළුවන් බව ඔහු කියනවා. වීඩියෝවේ අරමුණ වී තිබෙන්නේ මෙහි තිබෙන "වැරැද්ද" පෙන්වා දීම.

මේ වැරැද්ද කුමක්ද? ඔහු සහ ඔහුව උපුටා දක්වමින් මේ පුවත පළ කරන අයට අනුව මෙහි වැරදි එකක් නොව කිහිපයක්ම තිබෙනවා. පළමුවැන්න, වෙළඳසැල් හිමියා විසින් අසාධාරණ ලාබයක් ලැබීම. දෙවැන්න, මේ මිලට බොහෝ දෙනෙකුට තමන්ගේ මාසික වැටුපෙන් පාපැදියක් මිල දී ගන්න නොහැකි වීම. තුන්වැන්න ලංකාවේ පාපැදි නිෂ්පාදනය නොකිරීම. අපි මේ "වැරදි" එකින් එක අරගෙන කතා කරමු.

මෙහි කියැවෙන විදිහට පාපැදියක මිල රුපියල් 22,000ක් හෝ 25,000ක් පමණ වෙයි කියා හිතාගෙන අදාළ පුද්ගලයා කඩේට එනවා. එයින් ඔහු හිතාගෙන හිටි හැටි හැර වෙනත් කිසිම දෙයක් අදහස් වන්නේ නැහැ. ඒ නිසා, අපි පාපැදියක මිල මෑතක් වන තුරුම එවැනි මට්ටමක තිබුණා කියා උපකල්පනය කරමු. පසුගිය මාස තුන ඇතුළත මේ මිල රුපියල් 22,000 හෝ 25,000 සිට රුපියල් 49,000 දක්වා ඉහළ ගියා කියා හිතමු. 

මේ පුද්ගලයා කියන දෙයින් සමාජයේ විශාල පිරිසක් නියෝජනය වන නිසා මම ඔහුගේ ඇත්ත නම වෙනුවට "ගුණරත්න" කියන මනඃකල්පිත නම යොදා ගන්නම්. ඒ පදනමින්ම, බයිසිකල් කඩේ අයිති පුද්ගලයා "ආරියසිංහ මුදලාලි" ලෙස සලකමු. පහුගිය මාස තුන ඇතුළත ආරියසිංහ මුදලාලිගේ කඩේ බයිසිකල් එකක මිල රුපියල් 22,000 සිට රුපියල් 49,000 දක්වා වැඩි වෙලා කියලා හිතමු. ඒ කියන්නේ 123%ක වැඩි වීමක්. මේ ගණන් වල යම් අතිශයෝක්තියක් තිබෙනවා වෙන්න පුළුවන්. මෙවැනි වැඩිවීමක් ඇත්තම වෙන්නත් බැරිකමක්ම නැහැ.

අපි හිතමු මේ විදිහට මිල වැඩි වුනේ වෙනත් රටකින් ආනයනය කළ "කුමාලා" බයිසිකල් කියලා. රුපියල් 200ට තිබුණු ඩොලර් එක රුපියල් 366 වුණාම මිල කෙළින්ම 83%කින් වැඩි වෙන්න ඕනෑ. ඊට අමතරව ලංකාවේ තරමටම නැතත් බයිසිකලය නිපදවන රටේත් යම් උද්ධමනයක් තියෙන නිසා ඔය මිල තවත් ඉහළ යනවා. බයිසිකල් ආනයනය කරන්න බැංකු වලින් ඩොලර් ගන්න බැරි නිසා කළුකඩෙන් ඩොලර් ගත්තානම් 123%ක වැඩිවීමක් සිදු වෙන්න බැරිකමක් නැහැ. ස්වීව් හැන්කි ලංකාවේ උද්ධමනය ඔය වගේ මට්ටමක තිබෙන බව කියන්නේ ඔය තර්කය අනුවයි. 

දැන් මෙතැන මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඔය විදිහට වැඩි මිලට විකුණන්නේ ඩොලර් එක වැඩි වුනාට පස්සේ ගෙනාපු බයිසිකල්ද නැත්නම් කලින් අඩුවට ගෙනාපුවද? බොහෝ විට කලින් ගෙනාපුවා වෙන්න පුළුවන්. එහෙමනම් අඩුවට ගෙනාපු බයිසිකල් අඩුවට විකිණිය යුතුද?

අපි හිතමු ඔය බයිසිකලේ ගන්න එන "ගුණරත්න" සතුව වෑන් එකක් සහ මෝටර් සයිකල් එකක් තියෙනවා කියලා. පහුගිය කාලයේ වාහන ආනයනය නවත්වා තිබුණු නිසාත්, ඩොලර් එක වැඩි වෙලා නිසාත්, දැන් පරණ වාහන මිල විශාල ලෙස වැඩි වෙලා. ලක්ෂ තිහක වාහනයක් දැන් ලක්ෂ හැටක් විතර වෙලා වෙන්න පුළුවන්. බයික් එකක් වුනත් එහෙමයි. දැන් කවුරු හරි ගුණරත්නගේ වෑන් එක හරි මෝටර් සයිකලේ හරි ගන්න ආවොත් ගුණරත්න ඕක තමන් ගත්ත ගානට විකුණනවද? එහෙම නැත්නම් කාලයක් පාවිච්චි කරලා නිසා ගත්ත ගානෙන් බාගෙකට විකුණනවද?

ගුණරත්න එහෙම කරන්නේ නැහැ. ඔහු මේ වාහන විකුණනවානම් විකුණන්නේ තමන්ට විකිණිය හැකි ඉහළම මිලට. ඒ කියන්නේ වෙළඳපොළ මිලට. ඒකේ කිසිම වැරැද්දක් නැහැ. මොකද අතේ තියෙන වාහනේ අඩුවට විකුණලා ආයේ ඒ ගානට ඔය වගේ වාහනයක් ගන්න බැහැ. ආර්ථික විද්‍යාඥයෝ ඕකට කියන්නේ ආවස්ථික පිරිවැය කියලා.

වෑන්, මෝටර් සයිකල් පැත්තකින් තියමු.  අපි හිතමු ගුණරත්න ළඟ මාස තුනකට කලින් රුපියල් 22,000ට ගත්ත බයිසිකයක් තියෙනවා කියලා. දැන් අළුත් බයිසිකලයක් රුපියල් 49,000යි. කවුරු හරි ගුණරත්නගෙන් ඔය මාස තුනක් පැදපු පරණ බයිසිකලේ ඉල්ලුවොත් දැන් ගුණරත්න අඩු ගානේ ඒ පරණ බයිසිකලේවත් රුපියල් 22,000ට විකුණයිද? බයිසිකලේ හොඳ තත්ත්වයෙන් තියෙනවානම් බොහෝ විට ඔය වැඩේ වෙන්නේ නැහැ. ගුණරත්න ඕක විකුණන්නේ කීයක් හරි වැඩියෙන්.

ආරියසිංහ මුදලාලි කරන්නෙත් ඕකම තමයි. කඩේ තියෙන බයිසිකල් රුපියල් 22,000ට විකුණලා ආරියසිංහ මුදලාලිට ඒ ගානට ආපහු කඩේට බයිසිකල් දාන්න බැහැ. අපි හිතමු මොකක් හෝ හේතුවකට ආරියසිංහ මුදලාලි බයිසිකල් වල මිල වැඩි කළේ නැහැ කියලා. දැන් වෙන්නේ කවුරු හරි කෙනෙක් ඔය බයිසිකල් ටික ඔක්කොම රුපියල් 22,000 ගානේ අරගෙන ගිහින් පසුව වැඩි මිලට විකුණන එක. හාල්, සීනි, ඉන්ධන වගේ  අනෙක් දේවල් වලටත් ඔය වැඩේම වෙනවනේ. 

ආනයන සීමාවන් ඇතුළු සැපයුම් සීමාවන් මිල වැඩි වෙන්න තවත් හේතුවක්. අපි හිතමු මොන හේතුවක් හෝ නිසා කඩේට අලුතෙන් බයිසිකල් එන්නේ නැහැ කියලා. දැන් ආරියසිංහ මුදලාලි කඩේ තියෙන බයිසිකල් ටික ඔක්කොම විකිණෙන්න ඇරලා ඊට පස්සේ කඩේ වහන්නද? ඔහුට කඩ කුලී, ලයිට් බිල්, සේවක පඩි නඩි ආදිය ගෙවන්න තිබෙනවා. බයිසිකල් විකිණුවත් නැතත් මේ වියදම් ඒ විදිහටම තියෙනවා.

අපි හිතමු මේ වියදම් සියල්ලේ එකතුව මාසයකට රුපියල් ලක්ෂ දෙකක් කියලා. මාසයකට බයිසිකල් 40ක් විකිණුවොත් බයිසිකලේකින් රුපියල් 5000 ගානේ තියා ගත්තහම අමතර වියදම් ආවරණය වෙලා. හැබැයි මාස දෙකකට කඩේට අලුතෙන් බයිසිකල් එන්නේ නැත්නම්, එහෙමත් නැත්නම් සැපයුම 50%කින් අඩු වෙලානම්, මාසයකට බයිසිකල් 20ක් විකුණලා ඔය වියදම් ආවරණය කර ගන්න වෙනවා. ඒ කියන්නේ බයිසිකලේකින් රුපියල් 10000 ගානේ තියා ගත්ත වෙනවා. මේ කතාව අදාළ වෙන්නේ ආනයන සීමා හෝ වෙනත් සැපයුම් සීමා තිබේනම් පමණයි. එය එහෙම වෙන්න පුළුවන්.

අනෙක් පැත්තෙන් තෙල් පෝලිම් නිසා ඉල්ලුම වැඩි වෙලා තියෙන්නත් පුළුවන්. කලින් විකිනුණේ බයිසිකල් 40 වුනත් දැන් 50ක් විකිණෙනවා කියලා අපි හිතමු. නමුත් සැපයුම වැඩි වෙන්නේ නැහැ. කඩේ තියෙන බයිසිකල් 40 දැන් කොහොමද 50 දෙනෙකුට විකුණන්නේ? 

ඕකට තිබෙන හොඳම විසඳුම මිල වැඩි කරන එක. මිල වැඩි කළාම 10 දෙනෙක් ආපහු හැරිලා යනවා. එතකොට අනෙක් 40 දෙනාට තියෙන බයිසිකල් ටික විකුණන්න පුළුවන්. මේ ක්‍රමයේදී ආරියසිංහ මුදලාලිගේ ලාබ ඉහළ යනවා. නමුත් බයිසිකල් ටික ලැබෙන්නේ ඒවා අවශ්‍යම අයට. ඒ කියන්නේ වැඩි මිලක් දීලා වුවත් බයිසිකලයක් ගන්න කැමති, අතේ සල්ලිත් තියෙන, මුදලට සාපේක්ෂව බයිසිකලයක වටිනාකම වැඩි අයට. 

එහෙම නැතුව බයිසිකලයක් කලින් මිලටම විකිණුවොත් මොකද වෙන්නේ. මුලින් එන අයට බයිසිකල් ලැබෙනවා. කීයක් දීලා හෝ බයිසිකලයක් ගන්න බලාගෙන එන බයිසිකලයක් අත්‍යාවශ්‍යම සමහර අයට බයිසිකල් ලැබෙන්නේ නැහැ. ඒ අයට කලින් බයිසිකල් ගත් අය පස්සේ ගිහින් වැඩි මිලකට බයිසිකලයක් ගන්න වෙනවා. මුදලාලිට ගන්න තිබුණු ලාබය වෙන කෙනෙක් ගන්නවා. මිල කොහොමත් වැඩි වෙනවා. සරලවම කිවුවොත් මිල වැඩි වෙන්නේ ඉල්ලුම වැඩිවීම (හා සැපයුම අනුරූපව වැඩි නොවීම) නිසා මිසක් මාෆියා කෙහෙම්මලක් නිසා නෙමෙයි.

බයිසිකල් මිල වැඩි වීම නිසා දැන් ගොඩක් අයට මාසෙක පඩියෙන් බයිසිකලයක් ගන්න බැරි වෙලාද? වෙන්න පුළුවන්. කාටවත් තමන්ගේ මාසෙක පඩියෙන් තමන් කැමති හැම දෙයක්ම මිල දී ගන්න බැහැ. එක්කෝ පඩියට හරියන්න අවශ්‍යතා සීමා කර ගන්න ඕනෑ. නැත්නම් අවශ්‍යතා වලට ගැලපෙන විදිහට පඩිය වැඩි කර ගන්න ඕනෑ.

වැරැද්ද ලංකාවේ බයිසිකලයක්වත් හදන්නේ නැති එකද? වෙන්න පුළුවන්. ආණ්ඩුවේ රස්සාවක් කරලා පඩියෙන් මෝටර් සයිකලයක්, වෑන් එකක් අරගෙන ආතල් එකේ ඉන්න පුළුවන්කම තියෙද්දී ගොඩක් අය බයිසිකල් හදන්න මහන්සි වෙන්නේ නැහැ. ගොඩක් අයට ලංකාවේ බයිසිකල් හැදිය යුතු බව මතක් වෙන්නේ තෙල් පෝලිම් වල ඉන්න වෙලා, තෙල් ගණන් ගිහිං ආතල් කැඩුනට පස්සේ. දැන් ඔය බයිසිකල් හදන වැඩේ කවුද කළ යුත්තේ? අනුන්ට කිවුවට හරියන්නේ නැහැනේ. වැඩේ කවුරු හරි පටන් ගන්න ඕනෑ.

ලංකාවේ බයිසිකල් හදන වැඩේ ප්‍රවර්ධනය වෙන්නනම් ඔය විදිහට බයිසිකල් මිල වැඩි වෙන්නම ඕනෑ. වැඩෙන් ලාබ ගන්න පුළුවන් බව පැහැදිලිව පෙනුනොත් තමයි කවුරු හරි වැඩේට අත ගහන්නේ. ඒකත් තීරණය වෙන්නේ ආවස්ථික පිරිවැය මත. අසූවේ ජූලි වර්ජනයෙන් රස්සා නැති වුනාට පස්සේ ව්‍යාපාර පටන් ගත් ඇතැම් රාජ්‍ය සේවකයෝ අද වෙද්දී දැවැන්ත ව්‍යාපාරිකයෝ වෙලා තියෙනවා. දැන් ඉන්න රාජ්‍ය සේවකයින් පිරිසකට රස්සා නැති වුනොත් ඒ අතරින් කෙනෙක් හෝ කීප දෙනෙක් බයිසිකල් නිපදවන වැඩේට අත ගහන්න වුනත් පුළුවන්.

පොදුවේ කියපු මේ දේවල් වල ඉඳලා සැබෑ ලෝකයට එමු. ලංකාවේ බයිසිකලයක්වත් හදන්නේ නැහැ කියන ඔය චෝදනාව ගොඩක් අය කරනවා වුනත්, ලුමාලා කියන්නේ ඇත්තටම ලංකාවේ හදන බයිසිකලයක්. ලංකාවේ හදනවා විතරක් නෙමෙයි ඇත්තටම මේ බයිසිකල් වෙනත් රටවලටත් අපනයනය කරනවා.  ඒ වගේම ලංකාවේ විශාලතම බයිසිකල් නිෂ්පාදකයා වන ලුමාලා අයිතිකරුවන් ලංකාවේ ආනයන ආදේශන කර්මාන්ත බිහි වන හා බිහි විය හැකි සාමාන්‍ය ක්‍රමය පිළිබඳ හොඳ නිදර්ශනයක්.

මේ ව්‍යාපාරය පටන් ගන්නෙත් පිටරටින් බයිසිකල් ආනයනය කර විකුණන ව්‍යාපාරයක් විදිහටයි. ලුමාලා කියා කියන්නේ ඒ විදිහට ලංකාවට ගෙන්වන ජපන් සන්නාමයක්. නමුත් ජපන් යෙන් එක අධිප්‍රමාණය වීම නිසා ජපානයේ මේ ව්‍යාපාරය බිඳ වැටෙනවා. මුදල් අධිප්‍රමාණය වුණාම වෙන සාමාන්‍ය දෙය. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලංකාවේ ආනයනකරු ජපානයේ ලුමාලා බයිසිකල් හදපු කර්මාන්ත ශාලාවේ තිබුණු යන්ත්‍ර සූත්‍ර, බයිසිකල් හදන තාක්ෂනය වගේම ලුමාලා සන්නාමයත් මිල දී ගෙන ලංකාවේ මේ බයිසිකල් හදන්න පටන් ගන්නවා.

මේ වැඩේ වෙන්නේ 1985දී. දැන් ලුමාලා ලංකාවේ සන්නාමයක්. ලංකාවේ හදන ලුමාලා බයිසිකල් ඉන්දියාවට, අප්‍රිකානු රටවලට. මැද පෙරදිගට වගේම යුරෝපීය සංගමයේ රටවලටත් යනවා. 

බයිසිකල් හදන්නේ ලංකාවෙනම් ඩොලර් එක වැඩි වෙද්දී ඔය විදිහට මිල වැඩි වෙන්නේ කොහොමද? ලංකාවේ හදන හෝ අනාගතයේදී හදන්න ඉඩ තිබෙන ගොඩක් දේවල් වගේම බයිසිකල් හදන්නත් අවශ්‍ය අමුද්‍රව්‍ය පිටරට වලින් ආනයනය කරන්න වෙනවා. අපනයන වැඩි කරන්නනම් ආනයන වලටත් ඉඩ දෙන්න වෙනවා. ලුමාලා බයිසිකල් ලංකාවේ හැදෙන්නේම මුලින් ජපානයෙන් එම බයිසිකල් ආනයනය කරන්න ඉඩ ලැබුණු නිසා.

පාපැදි නිපදවීමේ කර්මාන්තය ලංකාවට තරඟකාරී විය හැකි කර්මාන්තයක්. ලුමාලා වගේ ලංකාවේ පාපැදි නිෂ්පාදකයෝ කර්මාන්තයේ නියැලී ඉන්නේ (මම දන්නා තරමින්) රජයෙන් ලැබෙන රැකවරණයක උදවුවෙන් නෙමෙයි. ලංකාවේ හදන මේ පාපැදි තිබුණත් චීනය වගේ රටවලින් ආනයනය කරන පාපැදිත් ලංකාවේ වෙළඳපොළට එනවා. නමුත් ලංකාවේ හදන පාපැදි වලට චීන පාපැදි එක්ක තරඟ කරන්න පුළුවන්. ලංකාවේ විතරක් නෙමෙයි. ලංකාවෙන් පිටතදීත් මේ තරඟකාරිත්වය පවත්වා ගන්න පුළුවන්. රජය මුල් වෙලා "දේශීය පාපැදි නිපදවීමේ කර්මාන්තය ආරක්ෂා කරන්න" පාපැදි ආනයනය කරන එක නැවැත්තුවොත් වෙන්නේ ඔය තරඟකාරිත්වය නැති වෙන එකයි.

පාපැදි හදන්නේ ලංකාවේනම් ඩොලරයක මිල ඉහළ ගියාම පාපැදියක මිල ඉහළ යන්නේ ඇයි? එක හේතුවක් පිරිවැය ඉහළ යාම. ලංකාවේ හදන හෝ හැදිය හැකි ඕනෑම දෙයකට ප්‍රායෝගිකව යම් ආනයනික අමුද්‍රව්‍ය ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා, ඩොලරයක මිල ඉහළ යද්දී නිෂ්පාදන පිරිවැය ඉහළ යනවා. හැබැයි මෙය එකම හේතුව නෙමෙයි.

ඩොලරයක මිල ඉහළ යද්දී ආනයනික පාපැදි වල මිල ඉහළ යනවා. දැන් දේශීය නිශ්පාදකයින්ටත් ඒ වැඩි වූ මිලටම පාපැදි විකුණා වැඩි ලාබයක් ලබා ගන්න අවස්ථාව සැලසෙනවා. මිල වැඩි වෙද්දී ඉල්ලුම අඩු වුනොත් ඕක ඔය විදිහටම වෙන්නේ නැහැ. නමුත් දැන් පවතින තත්ත්වයන් යටතේ ඉල්ලුමත් ඉහළ යන නිසා මිල ඉහළ යනවා. 

ඒ විතරක් නෙමෙයි. ලංකාවේ වෙළඳපොළ පැත්තකින් තිබ්බත් දේශීය පාපැදි නිෂ්පාදකයෙකුට දැන් කලින් මිලටම පාපැදි අපනයනය කරලා ලැබෙන ඩොලර් ටික රුපියල් කළාම සැලකිය යුතු වැඩි මිලක් ලැබෙනවා. එහෙම තියෙද්දී හදන බයිසිකල් අඩුවට ලංකාවේ වෙළඳපොළේ විකුණන එකේ තේරුමක් නැහැ. 

බයිසිකල් ලංකාවේ විකිණුවත්, අපනයනය කළත් ඩොලර් එක වැඩි වෙලා නිසා දැන් ලාබ වැඩියි. රට ඇතුළෙන් අලුත් නිෂ්පාදකයෝ, අලුත් අපනයනකරුවෝ බිහිවෙන්නේ ඔය වගේ වාතාවරණයක් තිබෙන විටයි. ඒ නිසා, එක පැත්තකින් බයිසිකල් මාෆියාවක් ගැන කියමින් මිල වැඩි වීමට එරෙහි වන අතරම අනෙක් පැත්තෙන් රටේ බයිසිකලයක්වත් හදන්නේ නැති එක ගැන දොස් කියන එක තනිකරම පරස්පරයක්. 

කොහොම වුනත් ඩොලර් එක වැඩි වීමේ මේ වාසිය නිෂ්පාදකයින්ට ලැබෙන්නේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය "ඕනෑවට වඩා" වැඩි වී නැත්නම් පමණයි. නමුත් ඇත්තටම වෙලා තියෙන දේ කවුරුත් වගේ දන්නවා කියා මම හිතනවා. යකඩ, වානේ වගේ දේවල් අවශ්‍ය පමණ ආනයනය කරන්න ඩොලර් නිකුත් නොකිරීම නිසා මිල විශාල ලෙස ඉහළ ගිහින්. ආනයන සිදු කිරීමට බාධාවක් නොතිබුණානම් මිල ඉහළ යන්නේ ඩොලරයක් ඉහළ යන තරමට පමණයි. 

මේ වෙලාවේ තිබෙන ඩොලර් ටික අත්‍යවශ්‍ය ආනයන වෙනුවෙන් වෙන් කර තිබෙනවා. අත්‍යවශ්‍ය මොනවාද කියන එක තීරණය කරන්නේ කවුරු හෝ බලධාරියෙක් විසින්. ඉන්දියාවෙන් ලැබුණු ඩොලර් බිලියනයක ක්‍රෙඩිට් ලයින් එක මුලින්ම වෙන් කරලා තියෙන්නේ පහත පරිදියි.

ආහාර ද්‍රව්‍ය - ඩොලර් මිලියන 300

ඖෂධ - ඩොලර් මිලියන 200

කාර්මික අමුද්‍රව්‍ය - ඩොලර් මිලියන 500

ආහාර ද්‍රව්‍ය හා ඖෂධ අත්‍යාවශ්‍ය බව ගොඩක් අය එකඟ වන දෙයක්නේ. සමහර අය විරුද්ධ වෙලා තියෙන්නේ ඔය කාර්මික අමුද්‍රව්‍ය කොටසටයි. ආහාර, බේත් ගේන්න ඉන්දියාවෙන් දුන්නු ණය වානේ ගේන්න වියදම් කරලා කියලා කතාවක් හැදිලා තියෙන්නේ ඔය කාර්මික අමුද්‍රව්‍ය වෙනුවෙන් කරපු ඩොලර් මිලියන 500ක වෙන් කිරීම නිසයි. 

මෙතැන යටින් මොකක් හරි ගේමක් ගියාද නැද්ද කියලා මට සහතිකේට කියන්න බැහැ. වෙළඳපොළට මැදිහත්වීමක් කරන ඕනෑම වෙලාවක ඒ වගේ ගේම් වලටත් ඉඩක් ඇරෙනවා. කොහොම වුනත් කාර්මික අමුද්‍රව්‍ය ආනයනයත් ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ආනයනය වගේම අත්‍යවශ්‍යයි. ඒ ටික නැවතුනොත් අපනයන කර්මාන්ත කඩා වැටිලා ලැබෙන ඩොලර් ටිකත් නැති වෙනවා. බොහෝ දෙනෙකුට රස්සාවල් නැති වෙනවා. 

හැබැයි ඔය විරෝධතාව නිසා හෝ වෙනත් කිසියම් හේතුවක් නිසා මේ වන විට ඔය ඩොලර් බිලියනයෙන් කාර්මික අමුද්‍රව්‍ය සඳහා ලබා දෙන කොටස ඩොලර් මිලියන 260කට සීමා කරලා. අඩු කරපු ප්‍රමාණය වෙන් කරලා තියෙන්නේ ඉන්ධන හා ගෑස් ආනයනය කරන්න. කාර්මික අමුද්‍රව්‍ය සඳහා වෙන් කළ මුදලින් ඩොලර් මිලියන 40ක් වානේ ආනයනය සඳහා ලබා ගෙන තිබෙනවා. 

Saturday, May 28, 2022

රට බංකොලොත් කළ තනි ඡන්දය?


පහතින් තියෙන්නේ අප්‍රේල් 10 දින පළ කළ ලිපියෙන් උපුටාගත් කොටසක්.

"අලුත් මහ බැංකු අධිපතිගේ හා භාණ්ඩාගාර ලේකම්ගේ මාධ්‍ය සාකච්ඡාවේදී පැහැදිලි ලෙස එළිදරවු කර ඇති පරිදි මහ බැංකුවේ නිලධාරීන් විසින් දැන් සිදු වී තිබෙන විනාශය කලින්ම දැක තිබෙනවා. ඒ වගේම නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග යෝජනා කර තිබෙනවා. එම ප්‍රකාශ නිවැරදිනම්, නිලධාරී මට්ටමේ යෝජනා හා පුරෝකථන නොසලකා හරිමින් වැරදි තීන්දු ගෙන තිබෙන්නේ මුදල් මණ්ඩලයයි. ඒ සඳහා මුදල් මණ්ඩලයට බලයක් තිබෙනවා. ඒ වගේම ඒ විදිහට ඔවුන් තීන්දු ගත්තේ ඇයි කියා දැන ගන්න ජනතාවටත් අයිතියක් තිබෙනවා.

මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අවසාන වශයෙන් ගත් තීන්දු නිවැරදි තීන්දු නොවේනම් සහ ඇතැම් මුදල් මණ්ඩල සාමාජිකයින් විසින් "ඉතා ස්වාධීනව, අපක්ෂපාතීව, වෘත්තීමයභාවය ආරක්ෂා කරගනිමින්, කාර්යක්ෂමව ක්‍රියා කර" ඇත්නම් එයින් අදහස් වන්නේ මුදල් මණ්ඩලය විසින් ගත් තීන්දු ඒකමතික තීන්දු නොවූ බවද? මුදල් මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුගේ විරුද්ධත්වය තිබියදී, ඉතිරි සාමාජිකයින් තිදෙනා විසින් බහුතර ඡන්දයෙන් තීන්දු ගත් බවද?

මම හිතන්නේ ජනතාවට මෙය පැහැදිලි කර ගැනීමට අයිතියක් තිබෙනවා."

මේ කරුණු දැන් කෝප් කමිටුවේ විමසීම් හමුවේ එළිදරවු වී තිබෙනවා. ඒ අනුව, පෙනෙන්නේ අදාළ තීන්දු ගෙන තිබෙන්නේ මුදල් මණ්ඩලයේ ඒකමතික කැමැත්ත මත නොව බහුතර කැමැත්ත මත බවයි. මෙහි නීත්‍යනුකූල වරදක් නැහැ. නමුත්, එයින් කියැවෙන්නේ මුදල් මණ්ඩලයේ එක් සාමාජිකයෙකුගේ ඡන්දය නොවන්නට සිදු වූ දේවල් මේ විදිහට සිදු නොවනවා කියන එකයි. 

කියන කතාව ඇත්තනම්, මහ බැංකුවේ නිලධාරීන් විසින් ඔවුන්ගේ දැනුම යොදාගෙන සංකීර්ණ විශ්ලේෂණයක් කර යම් දේවල් ටිකක් කියනවා. මුදල් මණ්ඩලය ඒ දේවල් ප්‍රතික්ෂේප කර වෙනත් දෙයක් කරනවා. මුදල් මණ්ඩලයේ සාමාජිකයින් පස් දෙනාගෙන් දෙදෙනෙක්ද මෙයට විරුද්ධ වෙනවා. නමුත් ඉතිරි තිදෙනාගේ තීරණය ක්‍රියාත්මක වෙනවා. අවසාන ප්‍රතිඵලය රට බංකොලොත් වීමයි. 

මම හිතන්නේ මේ කතා ඇහෙන කොට මිනිස්සුන්ට ඇති වන ප්‍රශ්නය කවුරු හෝ තිදෙනෙකුට තමන්ට හරියැයි හිතෙන දේ ක්‍රියාත්මක කරන්න මහ බැංකුවක් මොකටද කියන එකයි. මහ බැංකුව පැත්තකින් තියලා වෙනත් රාජ්‍ය ආයතනයක් දිහා බැලුවත් ඔය වගේ කතාවක් ඇති. 

මේ ප්‍රශ්නයට යෝජනා වෙන ජනප්‍රිය විසඳුම ඔය වගේ තනතුරු වලට උගත්, දක්ෂ, හොරු නොවන මිනිස්සු පත් කරන එක. ඇත්තටම විසඳුම ඒකද?

දැන් මහ බැංකු අධිපති තනතුරට සහ මුදල් මණ්ඩලයේ තවත් තනතුරු වලට ඔය කියපු විදිගේ අය පත් වෙලා තිබෙනවා. එහෙම නැත්නම් අඩු වශයෙන් රටේ බොහෝ දෙනෙක් එහෙම හිතනවා. ඒක එහෙමද? එහෙම වෙන්න පුළුවන්. හැබැයි මේක විෂයමූලික කරුණක්. 

හිටපු අධිපතිවරයා වැඩ භාර ගනිද්දීත් ගොඩක් අය ඒක දැක්කේ හොඳ තත්ත්වයක් විදිහට. ඊට කලින් ජනාධිපතිවරයා හදිසියේ මහ බැංකුවට කඩා පාත් වෙලා තගක් දාපු වෙලාවෙත් ගොඩක් අය හුරේ දැම්මා. ඒ වගේම, මහ බැංකුවේ නිලධාරීන් විසින්ද මාධ්‍ය ඉදිරියට ඇවිත් මුදල් මණ්ඩල තීරණ සාධාරණීකරණය කළ අවස්ථා තිබුණා. ඒ ඔළුවට පිස්තෝල තියලා තිබුණු නිසාද? සියඹලා ඔක්කොම ගෙනාවේ මුදල් මණ්ඩලයද? ඔය හැම දෙයක්ම ප්‍රශ්න වෙලා තියෙන්නේ රට බංකොලොත් වුණාටත් පස්සේ. එහෙමනම් දැන් කරන දේවල් හරි දේවල්ම නෙමෙයි කියලා පසුව පේන එකක් නැහැ කියලා තියෙන සහතිකය මොකක්ද?

සද්භාවයෙන් ගන්නා තීරණ වුවත් වැරදි තීරණ බව පසුව පේන්න පුළුවන්. තනි පුද්ගලයින් ගැන විශ්වාසය තියන එකේ තිබෙන ප්‍රශ්නය ඕකයි. හැමදාම හොඳ මිනිස්සු, දක්ෂ මිනිස්සු හොයන්න වෙනවනම්, එහෙම අය හොයා ගන්න බැරි වුණාම වැඩේ අවුල් වෙනවානම් එතැන තියන්නේත් ක්‍රමවේදයේ ප්‍රශ්නයක්. වෙනස් වෙන්න ඕනෑ මේ ක්‍රමවේදයයි. ක්‍රමවේදය හරිනම් කවුරු ආවත් වැඩේ හරියට කෙරෙන්න ඕනෑ. 

මහ බැංකුවට වගේම අනෙක් රාජ්‍ය ආයතන වලටත් මෙය අදාළයි. සමහර අය කියන විදිහට ඒ අය ඒ ආයතන පාලනය කරද්දී ආයතන ලාබ පෙන්නලා. හැබැයි දැන් නැහැ. ඒ කියන්නේ ලාබ පෙන්නුවේ රහසිගත මැජික් වට්ටෝරුවකට අනුවද? ඒක "පරම්පරාවෙන්" පිට නොදෙන ගුරු මුෂ්ඨියක්ද?

එහෙම පාඩු ලබන රාජ්‍ය ආයතන ලාබ ලබන ආයතන කළ හැකි අත් දුටුවයි සත්තයි ක්‍රමයක් කවුරු හරි දන්නවනම්, රටට හා ජනතාවට ආදරේකුත් තියෙනවානම්, තමන්ටම වැඩේ භාර දෙන්න කියා ඉල්ලන්නේ නැතිව ක්‍රමේ කියන එකයි කරන්න තියෙන්නේ. ක්‍රමේ හරිනම් කවුරු කළත් හරියන්න ඕනෑ. එහෙම ක්‍රමයක් නැත්නම් වැඩ කරලා තියෙන්නේ කණාපල්ලමක්ද කියලා අපි දන්නේ කොහොමද?

මහ බැංකුවට නැවත ආවොත් දැන් අධිපතිවරයා විසින් හෝ අනාගත අධිපතිවරයෙක් විසින් නිලධාරීන් කියන දේ නොසලකා හැරලා රටම අමාරුවේ දමන්න තියෙන ඉඩකඩ සීමා කර ගත හැක්කේ කොහොමද? එවැනි අයෙක් සද්භාවයෙන් ගන්නා තීරණයක් වැරදිලා වීරයා එක රැයකින් ද්‍රෝහියෙක් වෙන්න තිබෙන ඉඩකඩ වලක්වා ගත හැක්කේ කොහොමද? මෙය කළ හැක්කේ පාරදෘශ්‍ය වීමෙන් පමණයි. 

ඇමරිකාවේනම් "මුදල් මණ්ඩලයේ" සෑම රැස්වීමකින් පසුවම රැස්වීම් වාර්තා ප්‍රසිද්ධ කරනවා. එහිදී එක් එක් සාමාජිකයා අදාළ යෝජනාවට පක්ෂ වූයේද විරුද්ධ වූයේද යන්න පැහැදිලිව ජනතාවට දැනගත හැකියි. ඒ වගේම නිලධාරී මට්ටමේ යෝජනා හා පුරෝකථන මොනවාද කියන එකත්, එක් එක් "මුදල් මණ්ඩල" සාමාජිකයා විසින් ආර්ථිකය සම්බන්ධව වෙන වෙනම කරන පුරෝකථන මොනවාද කියන එකත් පැහැදිලිව දැනගත හැකියි. ඒ නිසා, තනි වැඩි ඡන්දයකින් බරපතල තීරණයක් ක්‍රියාත්මක කරන වෙලාවක රටේ මිනිස්සුන්ට ඒ බව ක්ෂණිකව දැනගෙන කරන දෙයක් කරන්න පුළුවන්. මම හිතන්නේ ලංකාවටත් එවැනි පාරදෘශ්‍යතාවයක් අවශ්‍යයි.

Thursday, May 26, 2022

හැන්කිගේ උද්ධමනය


ශ්‍රී ලංකා මහ බැංකුව විසුරුවා හැරලා කරන්සි බෝඩ් එකක් හැදිය යුතු බව කියන ස්ටීව් හැන්කි විසින් මෑතක සිට වරින් වර ලංකාවේ උද්ධමනය ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කරනවා. ඔහුගේ අලුත්ම සංඛ්‍යාලේඛනය අනුව මැයි 19 වනදා වන විට ලංකාවේ උද්ධමනය 123%ක්. මැයි මාසය තවමත් අවසන්ව නැහැ. මැයි මාසයේ නිල උද්ධමනය දැන ගන්න ලැබෙන්නේ මාසය අවසන් වූ පසු නිසා අපට දැනට මැයි මාසයේ හැන්කිගේ උද්ධමනය හා නිල උද්ධමනය සංසන්දනය කළ නොහැකියි. 

කෙසේ වුවත්, හැන්කිට අනුව අප්‍රේල් 28 වනදා ලංකාවේ උද්ධමනය පැවතියේද 123% මට්ටමේ. මෙය අපට අප්‍රේල් මාසයේ නිල උද්ධමනය වූ 33.8% සමඟ සංසන්දනය කළ හැකියි. මේ ගණන් අතර විශාල වෙනසක් තිබෙනවා. ඒ ඇයි?

ලංකාවේ නිල උද්ධමනය ඇස්තමේන්තු කරන ආකාරය මම කලින් සටහනක විස්තර කළා. වෙනත් රටවල මෙන්ම ලංකාවේද නිල උද්ධමනය ගණනය කරන්නේ රටේ ජනතාවගේ පරිභෝජන රටාව නිරූපණය වන භාණ්ඩ හා සේවා පැසක මිල වෙනස් වීම මතයි. ජාතික පාරිභෝගික මිල දර්ශකය සකස් කිරීම සඳහා උපයෝගී  කර ගන්නා භාණ්ඩ හා සේවා පැසෙහි අයිතමයන් 407ක් තිබෙනවා. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් ඒ එක් එක් අයිතමයේ මිල ලංකාවේ එක් එක් දිස්ත්‍රික්කයෙහි පිහිටි ස්ථාන තුනකින් එකතු කර ගන්නවා. මෙසේ දිස්ත්‍රික්ක සියල්ලෙන්ම මිල ගණන් තුන බැගින් එකතු කර ගැනීමෙන් පසුව එම මිල ගණන් වල සාමාන්‍ය අගය මත පදනම්ව භාණ්ඩ හා සේවා පැසෙහි මිල වෙනස් වීම ගණනය කරනවා. උද්ධමනය කියන්නේ වසරක් තුළ මෙම අගයේ වෙනස් වීමයි.

ජාතික පාරිභෝගික මිල දර්ශකය සකස් කිරීමට මිල ගණන් විශාල ප්‍රමාණයක් එකතු කරගත යුතු නිසා එය ප්‍රකාශයට පත් කරන්නේ දින 21ක කාල පමාවකින් පසුවයි. එහෙත්, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මාසය අවසන් වූ වහාම ප්‍රකාශයට පත් කරනවා. ඒ සඳහා, මිල ගණන් එකතු කර ගන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශ වල පිහිටි මධ්‍යස්ථාන 14කින්. එයින් ලංකාවේම පරිභෝජන රටා නිරූපණය වන්නේ නැහැ. එහෙත්, එමගින් ජාතික පාරිභෝගික මිල දර්ශකයේ හැසිරීම ගැන ආසන්න අදහසක් කලින්ම ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2022 අප්‍රේල් මාසයේදී උද්ධමනය 29.8%ක් වුනා. එය ලංකාවේම උද්ධමනය වූ 33.8%ට බොහෝ ආසන්නයි. 

ස්ටීව් හැන්කි විසින් උද්ධමනය ඇස්තමේන්තු කරන්නේ මේ සම්මත ක්‍රමයට නෙමෙයි. ඔහු විසින්ම හදාගත් සරල ක්‍රමයකට. ඒ සඳහා ලංකාවෙන් අවශ්‍ය වන්නේ විණිමය අනුපාතය පමණයි.

හැන්කිගේ ක්‍රමයේ පදනම ක්‍රය ශක්ති සාම්‍ය (Purchasing Power Parity) න්‍යායයි. එයින් කියවන්නේ මොන මුදල් ඒකකය භාවිතා කර මොන රටේ විකිණුවත් එක සමාන භාණ්ඩ විකිණෙන්නේ එකම මිලකට කියන එකයි. උදාහරණයක් විදිහට ලංකාවේ අඹ ගෙඩියක් රුපියල් 100යි. ඇමරිකාවේ ඒ වගේම අඹ ගෙඩියක් ඩොලර් සත 50යි. ඒ කියන්නේ ඩොලර් සත පණහක් රුපියල් සීයක් විය යුතු බවයි. ඩොලර් එකක් රුපියල් දෙසීයක් විය යුතු බවයි. 

ක්‍රය ශක්ති සාම්‍ය න්‍යායට පදනම් වන තර්කය වන්නේ කිසියම් බඩුවක් එක් රටක වඩා ලාබනම් අනෙක් රටට එය ආනයනය කළ හැකි නිසා ඒ බඩුවම වැඩි මිලට විකිණෙන්නට හේතුවක් නැති බවයි. මේ පදනම අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ අඩංගු භාණ්ඩ හා සේවා සියල්ල ඇමරිකාවේදී ඩොලර් ගෙවා මිල දී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය වෙළඳපොළෙන් මිල දී ගැනීමට අවශ්‍ය රුපියල් ගණන එම භාණ්ඩ හා සේවා පැස ලංකාවෙන් මිල දී ගැනීම සඳහා වැය වන රුපියල් ප්‍රමාණයට සමාන විය යුතුයි. 

ක්‍රය ශක්ති සාම්‍ය න්‍යාය ආසන්නව නිවැරදි වුවත් හේතු ගණනාවක් නිසා හරියටම හරියන න්‍යායයක් නෙමෙයි. පළමු හේතුව ප්‍රවාහන ගාස්තු. බොහෝ භාණ්ඩ එක් රටක වඩා ලාබ වුවත් වෙනත් ප්‍රවාහන ගාස්තු ගෙවා වෙනත් රටකට ගෙන ආ විට ඒ ලාබය නැති වෙනවා. දෙවන හේතුව බොහෝ භාණ්ඩ නිෂ්පාදනය කිරීමෙන් පසුව කල් තබා ගත නොහැකි වීමයි. අළුත් මාළු උදාහරණයක්. සේවා නිෂ්පාදන සෛද්ධාන්තික ලෙසම නිපදවන මොහොතේම පරිභෝජනය කළ යුතුයි. 

මෙවැනි අඩුපාඩු තිබුණත්, හැන්කි විසින් උද්ධමනය ගණනය කිරීමට යොදා ගන්නේ මේ න්‍යායයි. එහිදී ඔහුට ලංකාවෙන් මිල ගණන් කිසිවක් එකතු නොකරම ලංකාවේ උද්ධමනය ගණනය කළ හැකියි. ඇතැම් සන්දර්භ වලදී මෙවැනි විකල්ප ක්‍රමයක් තිබීම ප්‍රයෝජනවත්.

උද්ධමනය ගණනය කිරීම සඳහා හැන්කි විසින් කරන්නේ ඇමරිකාවේ උද්ධමනය ගණනය කිරීම සඳහා යොදා ගන්නා භාණ්ඩ හා සේවා පැසෙහි ඩොලර් අගය රුපියල් වලට හරවා ඒ ඇසුරෙන් ලංකාවේ උද්ධමනය මනින එකයි. එවිට, ඇමරිකාවේ උද්ධමනය හා රුපියල් වලින් ඩොලරයක මිල වෙනස් වීම පදනම් කර ගනිමින් ලංකාවේ උද්ධමනය ඇස්තමේන්තු කළ හැකියි. මේ සඳහා විණිමය අනුපාතය ලෙස ඔහු ගන්නේ ඩොලරයක කළු කඩ මිලයි.

පසුගිය අප්‍රේල් මාසයේදී ඇමරිකාවේ උද්ධමනය 8.2%යි. ඒ කියන්නේ වසරක් තුළ ඇමරිකාවේ උද්ධමනය ගණනය කිරීම සඳහා භාවිතා කරන භාණ්ඩ හා සේවා පැසේ මිල 8.2%කින් ඉහළ ගියා කියන එකයි. ක්‍රය ශක්ති සාම්‍ය න්‍යාය අනුව එම භාණ්ඩ හා සේවා පැස ලංකාවේ විකිණෙන මිලේ ඩොලර් වටිනාකමද හරියටම 8.2%කින් ඉහළ ගොස් තිබිය යුතුයි. රුපියල් වලින් ඉහළ යාම හොයා ගන්න වෙන්නේ අදාළ කාලයේ විණිමය අනුපාතය වෙනස් වූ ආකාරය අනුවයි.

මහ බැංකුවට අනුව අද (මැයි 26) ඩොලරයක තැන් මිල (spot rate) රුපියල් 359.71ක්. වසරකට පෙර මෙම මිල 199.56ක්. මේ අනුව ඩොලරයක මිල වසරක් තුළ 80.25%කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ ඇමරිකාවේ උද්ධමන පැසේ රුපියල් අගය 8.2%කින් හා නැවත 80.25%කින් ඉහළ ගොස් තිබෙනවා. මේ වර්ධනය වීම් දෙකම එකට ගත් විට නිල විණිමය අනුපාතයේ වෙනස් වීම මත පදනම්ව හැන්කිගේ ක්‍රමයට ලංකාවේ උද්ධමනය 95%ක් ලෙස ඇස්තමේන්තු කරන්න පුළුවන්.. 

කෙසේ වුවත්, හැන්කි විණිමය අනුපාතය සේ සලකන්නේ කළුකඩ මිලයි. ඔහුට අනුව ඊයේ (මැයි 25) එම මිල 426.07ක්. වසරකට පෙර මෙම මිල රුපියල් 200 සේ සැලකුවොත් මෙහි 113%ක පමණ වැඩි වීමක් තිබෙනවා. ඇමරිකාවේ උද්ධමනයද සැළකු විට මෙයින් අදහස් වන්නේ ලංකාවේ උද්ධමනය 131% පමණ වන බවයි. වසරකට පෙර කළුකඩ මිල හරියටම නොදන්නා පොඩ්ඩක් එහා මෙහා විය හැකි වුවත්, මේ වන විට ලංකාවේ හැන්කි උද්ධමනය 131% ආසන්නව පැවතිය යුතුයි. 

හැන්කි ක්‍රමය ලංකාවේ නිල උද්ධමනය ගණන් හදන සම්මත ක්‍රමය මෙන් පොදු භාවිතය සඳහා පිළිගත් ක්‍රමයක් නෙමෙයි. එහෙත් ඇතැම් සන්දර්භ වලදී මෙවැනි විකල්ප ක්‍රමයක් තිබීම ප්‍රයෝජනවත්. ඔහු මේ ක්‍රමය හඳුන්වා දී තිබෙන්නේම අධි උද්ධමන (hyperinlfation) තත්ත්වයක් ඇති රටවල් සඳහායි. අධි උද්ධමනය ලෙස අර්ථ දක්වන්නේ මාසයකට 50% ඉක්මවන මිල වැඩි වීමක්. 

සිම්බාබ්වේ කියන්නේ මෑත ඉතිහාසයේදී මෙවැනි අධි උද්ධමන තත්ත්වයක් ඇති වූ එක් රටක්. 2008 ජූලි මාසයේදී සිම්බාබ්වේ රාජ්‍යයේ නිල උද්ධමනය 231,150,889% දක්වා ඉහළ යාමෙන් පසුව නිල වශයෙන් එරට පාරිභෝගික මිල දර්ශකය ගණනය කර ප්‍රසිද්ධ කිරීම අත් හිටවනු ලැබුවා. ස්ටීව් හැන්කි හා තවත් අයෙකු විසින් ක්‍රය ශක්ති සාම්‍ය න්‍යාය මත පදනම්ව විකල්ප ක්‍රමයක් හඳුන්වා දුන්නේ මේ අඩුව පිරවීමටයි. ඔහුගේ ක්‍රමය අනුව, 2008 නොවැම්බර් 14 දින වන විට සිම්බාබ්වේ උද්ධමනය 89,700,000,000,000,000,000,000% දක්වා ඉහළ ගොස් තිබුණා. වෙනත් සංඛ්‍යාලේඛනයක් නැති නිසා මෙය විකල්ප මිනුමක් ලෙස පොදුවේ භාර ගැනුණා. 

තවත් ඇතැම් රටවල් විසින් අධි උද්ධමන තත්ත්වයක් ඇති විට පාරිභෝගික මිල දර්ශකය ගණනය කර ප්‍රසිද්ධ කිරීම හිතාමතාම ප්‍රමාද කරනවා. එවැනි තත්ත්වයක් යටතේද කුමක් හෝ විකල්පයක් තිබීම වැදගත්. 

ලංකාවේ ඉහත තත්ත්වයන් දෙකෙන් එකක්වත් නැහැ. හරියටම මාසය අවසානයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය ප්‍රකාශයට පත් කෙරෙනවා. එයින් දින 21කට පසුව ජාතික පාරිභෝගික මිල දර්ශකයද ප්‍රකාශයට පත් කෙරෙනවා. ඉදිරියේදී මේ දේවල් වෙනස් වෙන්න තිබෙන ඉඩකඩ අපට බැහැර කරන්න බැහැ. එහෙත් දැනටනම් උද්ධමනය මනින මිනුමක් නැති නිසා මොකක් හෝ විකල්පයක් හොයන්න අවශ්‍යතාවයක් ඇති වී නැහැ. 

හැන්කිගේ උද්ධමන මිනුම වෙනුවෙන් පෙනී සිටින අය එයට හේතුව සේ ඉදිරිපත් කරන්නේ ලංකාවේ නිල උද්ධමන මිනුම් වල අඩුපාඩු ඇති බවයි. මෙය ඇත්තක්. නිල උද්ධමන මිනුම් සර්ව සම්පූර්ණ නැහැ. නමුත් ප්‍රශ්නය හැන්කිගේ උද්ධමන මිනුම ඊට වඩා හොඳ එකක්ද කියන එකයි.

නිල උද්ධමන මිනුමට තිබෙන පළමු විවේචනය එමගින් ලංකාවේ වත්මන් පරිභෝජන රටාව නිරූපණය වන්නේ නැහැ කියන එකයි. දැනට එයින් පිළිබිඹු වන්නේ 2012/2013 කාලයේ පැවති පරිභෝජන රටාවයි. මේ වෙද්දී මෙහි වෙනසක් වී ඇතැයි යන්න පිළිගත හැකි තර්කයක්. එහෙත්, ඒ හේතුව නිසා ඇමරිකාවේ වත්මන් පරිභෝජන රටාව මත පදනම් වූ මිනුමක් ආදේශ කිරීම කිසිසේත්ම නිවැරදි නැහැ. පසුගිය දසවසරක කාලය තුළ ලංකාවේ පරිභෝජන රටාවන්හි සැලකිය යුතු වෙනසක් සිදුව තිබෙනවා විය හැකි වුවත් එසේ සිදු විය හැකි වෙනස ඇමරිකාවේ හා ලංකාවේ පරිභෝජන රටා වල වෙනසට වඩා ගොඩක් අඩු එකක්. 

දෙවැනි තර්කය ලංකාවේ බොහෝ මිල ගණන් රජය විසින් පාලනය කරනවා කියන එකයි. මෙය ඉතා නිවැරදි තර්කයක්. ලංකාවේ බොහෝ මිල ගණන් තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මත නෙමෙයි. එසේ තීරණය වන්නට ඉඩ දෙනවානම් මිල ගණන් මීට වඩා ගොඩක් ඉහළ යා යුතුයි. කෙසේ වුවත්, මෙය අලුත් තත්ත්වයක් නෙමෙයි. හැමදාමත් තිබුණු තත්ත්වයක්. ඒ නිසා, එහි බලපෑම මත පාරිභෝගික මිල දර්ශකයේ අගය අඩුවෙන් පෙන්වන නමුත් එම දර්ශක අගයේ වෙනස් වීම හෙවත් උද්ධමනය අඩුවෙන් පෙන්වන බවක් එයින් අදහස් වන්නේ නැහැ. එය එසේ වෙන්න හෝ නොවෙන්න පුළුවන්. 

අනෙක් අතට හැන්කිගේ දර්ශකය පදනම් වෙන්නේ විණිමය අනුපාතය මතයි. පාරිභෝගික භාණ්ඩ වල මිල මෙන්ම ඩොලරයක මිලද රජය හා මහ බැංකුව විසින් පාලනය කරන බව නොරහසක්. මේ හේතුව නිසාම හැන්කි විසින් නියම මිල සේ සලකන්නේ කළුකඩ මිලයි. කෙසේ වුවත්, නිල විණිමය අනුපාතය පාලනය කිරීම හරහා වක්‍ර ලෙස කළුකඩ මිලද පාලනය වෙනවා. මේ හේතුව නිසා දෙවැනි තර්කය අනුව නිල මිනුමේ තිබෙන අඩුපාඩුව වැනිම අඩුපාඩුවක් හැන්කිගේ මිනුමේත් තිබෙනවා.

තුන්වෙනි තර්කය වන්නේ හැන්කි කියන උද්ධමනය මහ පොළොවේ පෙනෙන තත්ත්වය හා වඩා ගැලපෙන බවයි. මෙය සාමාන්‍ය පුද්ගලයින් හිතන ආකාරය පිළිබඳ ප්‍රශ්නයක්. හැමදාම තිබෙන ප්‍රශ්නයක්. උද්ධමනය ඉතා අඩු කාල වකවානු වලදී පවා ගොඩක් අය ඔය කතාව කියනවා. එයට හේතුව විශාල ලෙස මිල ඉහළ යන භාණ්ඩ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වන නමුත් එතරම් මිල ඉහළ නොයන දේ එවැනි අවධානයකට ලක් නොවීමයි. මේ තුන් වන කරුණ ගැන පසුව විස්තරාත්මක ලෙස කතා කරමු.  

Tuesday, May 24, 2022

මහ බැංකුව කඩා කරන්සි බෝඩ් එකක් හැදීම


කරන්සි බෝඩ් එකක් කියන්නේ මොකක්ද කියලා ගොඩක් අය අහලා තිබුණා. මේ ගැන ගොඩක් අයට කුතුහලයක් ඇති වුනේ ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් සරසවියේ මහාචාර්ය ස්ටීව් හැන්කි විසින් ශ්‍රී ලංකා මහ බැංකුව විසුරුවා හැරලා කරන්සි බෝඩ් එකක් හැදිය යුතු බව ට්විටර් හරහා ප්‍රචාරය කළාට පස්සේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටෙවුවේ 1950දී. ඊට කලින් ලංකාවේ තිබුණේ කරන්සි බෝඩ් එකක්. මහ බැංකුවක් හා කරන්සි බෝඩ් එකක් අතර වෙනස කුමක්ද?

කරන්සි බෝඩ් එකකින් කරන්නෙත් මහ බැංකුවකින් වගේම රටට අවශ්‍ය මුදල් ප්‍රමාණය නිකුත් කරන එක. හැබැයි කරන්සි බෝඩ් එකකට හිතේ හැටියට සල්ලි අච්චු ගහන්න බැහැ. පැහැදිලි කිරීමේ පහසුවට මම සරල කරන්සි බෝඩ් ආකෘතියක් ගැන කතා කරන්නම්. වඩා සංකීර්ණ ආකෘති තිබෙනවා. හැන්කි කතා කරන්නෙත් සරල ආකෘතියක් ගැන.

මහ බැංකුවක් වුනත්, කරන්සි බෝඩ් එකක් වුනත්, සල්ලි අච්චු ගහලා මිනිස්සුන්ට නිකම් බෙදාගෙන යන්නේ නැහැ. සල්ලි ආර්ථිකයට මුදා හරින ක්‍රමවේදයක් තියෙනවා. හැන්කි යෝජනා කරන ආකෘතිය ඇතුළේ ලංකාවේ කරන්සි බෝඩ් එකක් හැදුවොත් මේ විදිහට රුපියල් නිකුත් කරන්නේ ඩොලර් එක්ක හුවමාරුවට. ඒ වැඩේ කරන්න මුලින්ම විණිමය අනුපාතයක් නියම කරන්න වෙනවා. ඊට පස්සේ ඒ විණිමය අනුපාතය වෙනස් කරන්නේ නැහැ.

අපි හිතමු ඩොලර් එකක් රුපියල් 400යි කියලා නියම කළා කියලා. දැන් ඕනෑම කෙනෙකුට මහ බැංකුවට ඩොලර් එකක් දීලා රුපියල් 400ක් ලබා ගන්න පුළුවන්. මහ බැංකුවට දීලා කිවුවත් බැංකුවක් හරහා වක්‍ර ලෙස ඔය වැඩේ වෙන්න පුළුවන්. ඒ වගේම රුපියල් 400 දීලා ඩොලර් එකක් ආපහු ගන්නත් පුළුවන්. 

දැන් මේ ක්‍රමයට හැම වෙලාවේම මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන රුපියල් ප්‍රමාණයට අනුරූප ඩොලර් ප්‍රමාණයක් සංචිත විදිහට තිබෙනවා. මහ බැංකුවේ ඩොලර් සංචිත අඩු වුනොත් රටේ සංසරණය වන රුපියල් ප්‍රමාණයත් අඩු වෙනවා. වැඩි වුනොත් වැඩි වෙනවා.

මේ ක්‍රමය යටතේ රටේ බඩු මිල ඉහළ යන්නේ ජාත්‍යන්තර ලෙස බඩු මිල ඉහළ යන විදිහටයි. වඩා නිවැරදිව කිවුවොත් ඇමරිකාවේ බඩු මිල ඉහළ යන විදිහටයි. ඇමරිකාවේ තෙල් මිල ඉහළ යද්දී ලංකාවේ තෙල් මිලත් ඒ අනුපාතයෙන්ම ඉහළ යනවා. අඩු වෙද්දී අඩු වෙනවා. ඒ කියන්නේ ලංකාවේ උද්ධමනයත් ඇමරිකාවේ උද්ධමනයට සමානයි (විවිධ හේතු නිසා මේක වෙනස් වෙනවා. දැනට ඒ දේවල් නොසලකා හරිමු).

වෙනත් විදිහකින් කිවුවොත් රුපියල බාල්දු වෙන්නේ ඇමරිකන් ඩොලරය බාල්දු වුනොත් විතරයි. විණිමය අනුපාතය වෙනස් වෙන්නේ නැත්නම් එහෙම වෙන්න ඕනෑනේ. බඩු මිල කීය වුනත් රුපියලට සත සීයයි වගේ ඩොලරයට රුපියල් හාර සීයයි.

මහ බැංකුවක් කරන්සි බෝඩ් එකකින් වෙනස් වෙන්නේ කොහොමද?

ඔය කලින් විස්තර කරපු කරන්සි බෝඩ් එකක් කරන හැම දෙයක්ම මහ බැංකුවත් කරනවා. ඒ කියන්නේ ඩොලර් දුන්නොත් රුපියල් දෙනවා. හැබැයි ඊට අමතරව මහ බැංකුවක් විසින් රජයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන ඒ වෙනුවෙනුත් රුපියල් දෙනවා. කරන්සි බෝඩ් එකක් ඔය වැඩේ කරන්නේ නැහැ.

කවුරුහරි ඩොලර් දීලා රුපියල් ගන්නම් ඒ ඩොලර් මොන විදිහකින් හෝ උපයන්න වෙනවා. ඒ නිසා, කරන්සි බෝඩ් ක්‍රමයේදී රුපියල් ප්‍රමාණය ඉහළ යන්නේ රටේ විදේශ විණිමය ඉපැයීම් ඉහළ යන්නේනම් පමණයි. නමුත් මහ බැංකු ක්‍රමයේදී එහෙම ප්‍රශ්නයක් නැහැ. රජයට ආදායම ඉක්මවා වියදම් කරලා අඩුව පුරවා ගන්න මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකුණන්න පුළුවන්. "සල්ලි අච්චු ගැසීම" කියා කියන්නේ ඔය වැඩේට. 

මේ ක්‍රමයේදී රටේ සංසරණය වන රුපියල් ප්‍රමාණය මහ බැංකුවේ තිබෙන විදේශ සංචිත ප්‍රමාණයේ රුපියල් වටිනාකමට වඩා ඉහළ යනවා. ඒ කියන්නේ රටේ හැමෝම තමන් අතේ තිබෙන රුපියල් දීලා මහ බැංකුවෙන් ඩොලර් ඉල්ලුවොත් දෙන්න ඩොලර් මහ බැංකුවේ නැහැ. ඒ නිසා, මහ බැංකුවට ඩොලරයක මිල ඉහළ යන්න දෙන්න වෙනවා. රජය මහ බැංකුවට වැඩි වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් විකුණද්දී ඩොලරයක මිලත් තව තව ඉහළ යනවා. උද්ධමනයත් වැඩි වෙනවා.

හැන්කි මහ බැංකුව විසුරුවලා කරන්සි බෝඩ් එකක් හදන්න කියන්නේ මේ ප්‍රශ්න විසඳගන්න. ඒ කියන විදිහට කරන්සි බෝඩ් එකක් හැදුවොත් විසඳෙන ප්‍රශ්න මොනවාද?

- ඩොලරයක මිල වෙනස් වෙන්නේ නැහැ. ස්ථිරව තිබෙනවා 

- උද්ධමනය ඇමරිකාවේ උද්ධමනයට වඩා වැඩි වෙන්නේ නැහැ 

- "සල්ලි අච්චු ගැසීමක්" නැති නිසා රජයට ආදායම හා වියදම ගලපා ගන්නම වෙනවා


වැඩේ හොඳයි. හැබැයි ප්‍රශ්නය ඕක කරන්නේ කොහොමද කියන එකයි. මේ වගේ වැඩක් කළ හැකි ක්‍රම දෙයක් තිබෙනවා.

- දැන් තියෙන මහ බැංකුව කරන්සි බෝඩ් එකක් බවට පරිවර්තනය කිරීම 

- අලුතෙන්ම කරන්සි බෝඩ් එකක් හැදීම 


ඔය විකල්ප දෙක ගැන අපි වෙන වෙනම කතා කරමු.

පළමු විකල්පයේදී දැන් සංසරණයේ තිබෙන රුපියල් වල වටිනාකම එලෙසම ඉතිරි වෙනවා. දැනට මහ බැංකුව විසින් ආසන්න වශයෙන් රුපියල් බිලියන 1,500ක් පමණ නිකුත් කර තිබෙනවා. ඒ අනුව, මහ බැංකුව කරන්සි බෝඩ් එකක් කරන්නනම් මේ රුපියල් ප්‍රමාණයට අනුරූප ඩොලර් ප්‍රමාණයක් මහ බැංකුවට සංචිත තියා ගන්න වෙනවා. ඩොලර් ප්‍රමාණය තීරණය වෙන්නේ නියම කරන විණිමය අනුපාතය මත.

මේ විණිමය අනුපාතය රුපියල් 375ක් කියා අපි හිතමු. ඒ කියන්නේ ඩොලර් බිලියන 4ක් තියෙනවානම් වැඩේ කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය මේ වන විට මහ බැංකුව සතු සංචිත කිසිවක් නැති වීමයි. මහ බැංකුව තවත් ඩොලර් බිලියන 4ක් ණයයි (දැන් මේ ගණන මීට වඩා වැඩි වෙන්න පුළුවන්). ඒ කියන්නේ, ඩොලරයක මිල රුපියල් 375 මට්ටමේ තියාගෙන ඔය වැඩේ කරන්නනම් මහ බැංකුවට ඩොලර් බිලියන 8ක් හොයා ගන්න වෙනවා. 

අපි හිතමු ඩොලරයක මිල රුපියල් 750 වෙන්න ඇරලා වැඩේ පටන් ගන්නවා කියලා. දැන් සංචිත අවශ්‍ය වෙන්නේ ඩොලර් බිලියන 2ක් පමණයි. හැබැයි ණය ටිකත් එකතු කළාම ඩොලර් බිලියන 6ක් ඕනෑ වෙනවා. ඩොලර් මිලියන 78ක කූපන් පොලී ගෙවාගන්න බැරුව, වරායට ඇවිත් තියෙන නැව් වල තියෙන තෙල් වලට ගෙවන්න ඩොලර් නැතුව ඔය වැඩේ කරන්නේ කොහොමද? මේ වැඩේ කරන්න පුළුවන් ක්‍රමයක් මටනම් තේරෙන්නේ නැහැ.

දෙවෙනි ක්‍රමය අලුතෙන්ම කරන්සි බෝඩ් එකක් හදන එක. කැමති වුනත්, නැති වුනත්, වෙන්න තියෙන නරකම දේ වුනොත් ඊට පස්සේ කොහොමටත් කරන්න වෙන්නේ ඔය වැඩේ තමයි. 

වෙන්න තියෙන නරකම වැඩේ කියලා මම කිවුවේ සිම්බාබ්වේ වල වුනා වගේ රුපියල් වල කිසිම වටිනාකමක් නැති වීම. ඒ කියන්නේ මහ බැංකුව කොහොමත් කඩා වැටිලා. මිනිස්සු රුපියල් වෙනුවට ගනුදෙනු සඳහා වෙන වෙන දේවල් භාවිතා කරනවා. ඔය වගේ තැනකට වැටුනොත් ආපහු මුල ඉඳන් පටන් ගන්න වෙන්නේ කරන්සි බෝඩ් එකකින්. කාට හරි රුපියල් අවශ්‍යනම් මොනවා හෝ අපනයනය කරලා ඩොලර් හොයන්න වෙනවා. 

බය කරන්න හදනවා නෙමෙයි. ළඟ පාතක වෙන්න තියෙන දේකුත් නෙමෙයි. හැබැයි කොහෙත්ම වෙන්න බැරිම දේකුත් නෙමෙයි. අපි හිතමු රුපියල වැඩකටම නැති වුනා කියලා. ලංකාවේ මිනිස්සු ගනුදෙනු සඳහා මොනවා යොදා ගනියිද? 

ඔය වගේ දෙයක් වුනොත් ලංකාවේ රුපියල් වෙනුවට ඇමරිකන් ඩොලර් ආදේශ වෙන්නේ නැහැ. චීන යුවාන් ආදේශ වෙන්නෙත් නැහැ. ඔතැනට අනිවාර්යයෙන්ම ආදේශ වෙන්නේ ඉන්දියානු රුපියල්. රුපියල බිංදුවටම කඩා නොවැටුණත්, තව ටිකක් දුර්වල වුනොත් ලංකාවේ සංසරණයට ඉන්දියානු නෝට්ටු එන්නේ නැද්ද කියලා බලන්න. සමහර විට ඉන්දියාව දැනටමත් ඒ තරමටම දුර බලලා වෙන්න පුළුවන්. යම් විදිහකින් ලංකාවේ කරන්සි බෝඩ් එකක් හැදුනත් ප්‍රායෝගිකව ලංකාවේ රුපියල අමුණන්න වෙන්නේ ඉන්දියාවේ රුපියලට.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...