වෙබ් ලිපිනය:

Sunday, May 15, 2022

රනිල්ගේ ගෝටාගෝගම ගමන


සජිත් ප්‍රධාන සජබ විසින් තමන් කිසිසේත්ම ආණ්ඩුව සමඟ එකතු නොවෙන බව දැඩි ලෙස කියනවා. ඊට හේතුව ලෙස ඔවුන් කියන්නේ අරගලකරුවන්ව පාවා දිය නොහැකි බවයි. එසේ කීමෙන් සජිත් ඇතුළු සජබ විසින් පෙන්වන්න හදන්නේ ඔවුන් අරගලකරුවන් සමඟ ඒකාත්මිකව සිටින බවයි. 

ටික දවසකට කලින් සජිත් ගොටාගෝගම ගිය බවත්, එහිදී සජිත්ට ලැබුණු ප්‍රතිචාරත් කවුරුත් දන්නවා. ඊට සමගාමීව ගොටාගෝගම ගිය අනුර කුමාරට එවැනි ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුනේ නැහැ. මෙය විවිධ ආකාරයන්ගෙන් අර්ථකථනය වුනා. සජබ පැත්තෙන් කියවුනේ අරගලකරුවන් අතර සිටි ජවිපෙ සාමාජිකයින් විසින් සජිත්ට එරෙහි ක්‍රියාකාරකම මෙහෙයවූ බවයි. ඇත්තටම සිදු වුනේ එවැන්නක් වෙන්න පුළුවන්.

වඩා වැදගත් කරුණ අරගලකරුවන් අතර සිටි ජවිපෙ සාමාජිකයින් විසින් සජිත්ට එරෙහි ක්‍රියාකාරකම මෙහෙයවූවාද නැද්ද කියන එක නෙමෙයි. ඔවුන් එසේ කළේනම්, ඔවුන්ට අරගල භූමිය තුළ එසේ කළ හැකි වුනා කියන එකයි. මීට පෙර පාර්ලිමේන්තුව අසලදීත් මීට සමාන දෙයක් සිදු වුනා. මේ සිද්ධි හා අදාළව ජවිපෙට කරන විවේචන ඇත්ත සේ සැලකුවත්, එයින් පැහැදිලිව ගම්‍ය වන්නේ සජබට අරගලය තුළ කළ නොහැකි වූ දෙයක් ජවිපෙ විසින් අරගලය තුළ කර තිබෙන බවයි.

මේ සිද්ධිය හා අදාළව අනුර කුමාර විසින් පැහැදිලි කිරීමක් කළා. එහිදී ඔහු කිවුවේ සජිත් විසින් අරගලකරුවන් විසින් ප්‍රතික්ෂේප කළ සංස්කෘතිය නියෝජනය කරමින් එහි පැමිණීම හා තමන් එසේ නොකිරීම වෙනස් ප්‍රතිචාර වලට හේතු වූ බවයි. අදාළ සිද්ධිය පැත්තකින් තිබ්බත් අනුර කුමාර කියන මේ කතාව ඇත්තක්. සජිත් විසින් මෙන්ම බොහෝ දුරට සජබ විසින් නියෝජනය කරන්නේද අරගල බිමේ හා එයින් පිටත සිටින අරගලකරුවන් විසින් ප්‍රතික්ෂේප කරන සංස්කෘතියයි.

ගෝටාගෝගම බිහිවද්දී ඒ තුළ, රටේ සුළුතරයක් වන, ලිබරල් අදහස් ඇති නාගරික නිරාගමිකයන් බලවත්ව සිටියා. ඔවුන්ගේ සටන් පාඨ වලින් කොටසක්, විශේෂයෙන්ම දූෂණ විරෝධය හා සමානාත්මතාව, ජවිපෙ/පෙසප සටන් පාඨ සමඟ අතිපිහිත වුවත්, ආර්ථික නිදහස හා සම්බන්ධ ජවිපෙ/පෙසප සම්ප්‍රදායික අදහස් අරගලය තුළ කැපී පෙනෙන ලෙස නියෝජනය වූයේ නැහැ. "225ම එපා" කියන ඉල්ලීම රාජපක්ෂලා විසින් ජනගත කළ බොරු ඉල්ලීමක් නෙමෙයි. ප්‍රධාන පක්ෂ වලට තරම් නොවුනත් ජවිපෙ කෙරෙහිද යම් විරෝධයක් හෝ කළකිරීමක් අරගලය තුළ තිබුණා.

කෙසේ වුවත්, මෙවැනි මහජන ව්‍යාපාරයක් හා බද්ධ විය හැකි ආකාරය ගැන ප්‍රධාන පක්ෂ වලට නොතිබුණු අත්දැකීම් ජවිපෙ/පෙසප පක්ෂ වලට තිබුණා. ඔවුන් තමන්ගේ එම දැනුම හා අත්දැකීම් සාර්ථක ලෙස ප්‍රයෝජනයට ගනිමින් අරගලය හා බද්ධ වී තමන්ගේ අදහස් ඒ තුළට පොම්ප කළා. අනුර කුමාර ගෝටාගෝගම යන්නේ අවශ්‍ය පමණ අරගලයේ අරමුණු හා ජවිපෙ අරමුණු සුසර වී ඇති බව තහවුරු කර ගැනීමෙන් පසුවයි. ඊට පෙර, ජවිපෙ/ජාජබ පාගමන ගෝටාගෝගම යාමේ උත්සාහය හරහා දමා බැලූ මුට්ටියට පොලු පාර වැදීමෙන් ජවිපෙ විසින් පසු එම උත්සාහය අතහැර දමනු ලැබුවා.

මා පෙර ලිපියක සඳහන් කළ පරිදි අරගලයේ දිශානතිය ගැන සෑහීමකට පත් නොවන කෙනෙකු විසින් කළ යුතු වූයේ අරගලය හා බද්ධ වීමයි. අරගලය තුළ ඒ සඳහා දොරටු විවරව තිබුණා. ජවිපෙ/පෙසප මුලින්ම එහි ප්‍රයෝජනය ගත්තා. එම පක්ෂ වලට තිබෙන අත්දැකීම් යම් පමණකින් තිබෙන චම්පිකගේ කණ්ඩායමද ඔවුන්ට හැකි පරිදි අරගලය තුළට රිංගා ගත්තා. අරගලයට බෞද්ධ සංස්කෘතිකාංග එකතු වුනේ ඉන් පසුවයි. එහෙත්, චම්පික විසින් සජිත් ගත් අවදානම ගන්න ගියේ නැහැ.

සජිත් ප්‍රධාන සජබ විසින් මුල සිටම කළේත්, දැන් කරන්නේත්, අරගලයෙන් ආත්මික ලෙස දුරස්ථව සිටිමින් සම්ප්‍රදායිකව ලංකාවේ දේශපාලනඥයින් විසින් කළ ලෙස අරගලයේ නියෝජනය තමන් අතට ගන්න උත්සාහ කරන එකයි. එය හරියන වැඩක් නෙමෙයි. අරගලය හා ආත්මික ලෙස සම්බන්ධ නොවී භෞතික ලෙස ඒ හා සම්බන්ධ විය නොහැකියි. ගෝටාගෝගමින් සජිත්ව හෝ සජබ නියෝජනය නොවනවාක් මෙන්ම ගෝටාගෝගම ගොඩ නැගෙන්නේ සජිත් විසින්ද නියෝජනය කරන දේශපාලන සංස්කෘතියට එරෙහිවයි.

මේ අතින් බැලූ විට රාජපක්ෂලා ඉන්නේ සජිත්ට වඩා බොහෝ ඉදිරියෙන්. අරගලයේ ප්‍රධානම ඉල්ලීම රාජපක්ෂලා වී තිබීම තුළ පවා ඔවුන් අරගලය හා ඒකාත්මික වීමේ උත්සාහය අත ඇරියේ නැහැ. අරගලකරුවන්ගේ ප්‍රොෆයිල් වලට ජාතික කොඩි එකතු වෙද්දී  රාජපක්ෂලාගේ ප්‍රොෆයිල් වලට ජාතික කොඩි එකතු වීම උදාහරණයක්.

රාජපක්ෂලාට තිබෙන්නේ ජලය වැනි, අඩංගු භාජනයේ හැඩය ගන්නා, ගඳක් සුවඳක් නැති අවර්ණ දේශපාලනයක්. ඔවුන් අවශ්‍ය පරිදි එයට ගඳ සුවඳ හා වර්ණ එකතු කර ගන්නවා. රාජපක්ෂලාගේ ජාතිකවාද, ආර්ථික ප්‍රතිපත්ති ආදී හැම දෙයක්ම මේ විදිහට පිටින් එකතු කරගත් වර්ණ, ගන්ධ හා හැඩතල පමණයි. අවශ්‍ය මොහොතේදී තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඔවුන් මේ ඕනෑම දෙයක් වෙනස් කර ගන්නවා. මම හිතන්නේ මේ ගැනනම් විපක්ෂයේ සියළු පක්ෂ වලට මෙන්ම බොහෝ අරගලකරුවන්ටද හොඳ අවබෝධයක් තිබෙනවා. ඔවුන්ගේ අනෙක් හැම ඉල්ලීමකටම උඩින් රාජපක්ෂලා ගෙදර යා යුතු බවට වන ඉල්ලීම තියන්නේ ඒ නිසා.

තමන්ට බලයේ සිටිය හැකි තාක්, පීඩනය හමුවේ, රාජපක්ෂලා අනෙක් ඕනෑම ඉල්ලීමක් ඉටු කරනවා. මේ තත්ත්වය හමුවේ සජබ, ජාජබ වැනි විපක්ෂ දේශපාලන පක්ෂ වල උපක්‍රමය වී තිබෙන්නේ රාජපක්ෂලා සම්පූර්ණයෙන්ම ඉවත් වන තුරු සටන අත් නොහැරීමයි.

කොහොම වුනත්, රාජපක්ෂලා කියන්නේ අහම්බයක් නෙමෙයි. ඔවුන් තේරී පත්ව සිටින්නේ නීත්‍යනුකූල ලෙස මහජන කැමැත්තෙන්. නීතිය අනුව ඔවුන්ගේ ජනවරම නැති වී නැහැ. ඉල්ලා අස් වන සේ බල කිරීම හැර ගෝඨාභයව නීත්‍යානුකූල ලෙස ඉවත් කළ හැකි ක්‍රමයක් නැහැ. මේ කාරණයේදී පවතින නීති රාමුවට පිටින් යාමට ජවිපෙ/පෙසපෙ වැනි පක්ෂ පැකිලෙන්නේ නැතත් එය කිසිසේත්ම බහුතර කැමැත්ත නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය බිඳ වැටෙනවාට රටේ බහුතරය කැමති නැහැ. එවැනි අපේක්ෂාවන් ඇත්නම් ඒ ඉතා සුළු පිරිසකට පමණයි. අරගලය තුළ වුවද මෙවැනි අදහස් ඇති අයට සාපේක්ෂව වැඩි නියෝජනයක් මිස බහුතරය නියෝජනයක් ඇති බවක් පෙනෙන්නට නැහැ.

මේ අන්ත දෙක අතර රනිල්ගේ ප්‍රවේශය මධ්‍යස්ථ හා ප්‍රායෝගික එකක්. මෙහිදී රනිල් කරන්නේ අරගලය තුළ ජවිපෙ/පෙසපෙ වැනි පක්ෂ විසින් කළ දෙයමයි. 

අරගලය ආරම්භ වුනේ අඩු වැඩි වශයෙන් ජවිපෙටද එරෙහිවයි. එහෙත්, අරගලය හා සුසර වීම මගින් ජවිපෙ එහි බල කේන්ද්‍රය සැලකිය යුතු තරමින් තමන් දෙසට ආකර්ෂණය කර ගත්තා. මා ඒ දවස් වලම කියූ පරිදි, අරගලයේ දිශානතියට බලපෑම් කළ යුතු වූ අයෙකු විසින් කළ යුතු වූයේ අරගලයට සහයෝගය දෙමින් ඒ හා එක් වීමයි. දැන් ආණ්ඩුව සම්බන්ධවද මෙයම කළ හැකියි. රනිල් කරන්නේ එයයි.

රනිල් කරන දෙයම විපක්ෂයේ අනෙකුත් පක්ෂ විසින්ද කළේනම් ආණ්ඩුව තුළ රාජපක්ෂලා දුර්වල කර අවසාන වශයෙන් රාජපක්ෂලා ඉවත් කළ හැකිව තිබුණා. එහෙත්, රනිල්ට තනිව ඒ තරම් දුරක් යා නොහැකියි. එවැනි ඉලක්කයක්ද නොතිබිය හැකියි.

ප්‍රමුඛ සටන් පාඨය රාජපක්ෂලා ගෙදර යැවීම නොවුනානම්, මේ වන විට රාජපක්ෂලාත් ගෝටාගෝගම ගිහින්. එහෙත්, ප්‍රමුඛ සටන් පාඨය රාජපක්ෂලා ගෙදර යැවීම වීම තුළ ඔවුන්ට ඒ සඳහා වූ අවකාශය මුළුමනින්ම වාගේ ඇහිරී තිබෙනවා. මෙයට පිළියමක් ලෙස ආණ්ඩුව තුළ සිටි කොටස් එළියට යාමට ඉඩ සැලසුවත් එයින්ද අවශ්‍ය වැඩේ සිදු වුනේ නැහැ. 

රාජපක්ෂලා කොහොම වුනත් රනිල් මේ වෙද්දී ගෝටාගෝගම පදිංචි වෙලා. රනිල් ඒ වැඩේ කර තිබෙන්නේ තනිකරම සජිත්ගේ ක්‍රමයට ප්‍රතිවිරුද්ධ ලෙසයි. සජිත් අරගලයෙන් අධ්‍යාත්මික ලෙස දුරස්ථව සිටිමින් භෞතිකව එහි යාමට උත්සාහ කර ඇන ගනිද්දී, රනිල් අරගල භූමිය පැත්ත පළාතක නොගොත් එහි අදෘශ්‍යමාන කූඩාරමක් අටවා ගන්නවා. අනුර කුමාරලා මුලින් කරපු දෙයමයි. 

තමන් අරගලය පාවා නොදෙන බව සජබ කිවුවත්, සෛද්ධාන්තික ලෙසම මෙය කළ නොහැකියි. සජබ විසින් නියෝජනය කරන්නේද අරගලයට සක්‍රිය ලෙස සහභාගී වී සිටින්නන් විසින් ප්‍රතික්ෂේප කරන දේශපාලන සංස්කෘතියයි. අරගලය වෙනුවෙන් පෙනී සිටීම කියන්නේ රාජපක්ෂලාගේ දේශපාලනය මෙන්ම සජබ දේශපාලනයද අවසන් වීමයි.

කොහොම වුනත්, සජබටද අරගලය තුළ නියෝජනයක් තිබෙනවා. එහෙත් එය තිබෙන්නේ සක්‍රිය අරගල භූමිය තුළ නෙමෙයි. අරගලයට සහයෝගය දෙමින් අරගලයෙන් පිට සිටින වැඩිහිටි වයස් කාණ්ඩය තුළයි. ඒ අයට අරගලය තුළ සක්‍රියව සිටින "තමන්ගේ දරුවන්ට" සහයෝගය දෙන්නේ ආර්ථික හේතු මතයි. ඔවුන්ට දේශපාලන සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්න ඇතත් එය ප්‍රමුඛ ප්‍රශ්නය නෙමෙයි. ඒ වගේම, අරගලයට සහයෝගය දුන්නත්, මේ කණ්ඩායම ප්‍රශ්නයේම කොටසක්. 

තමන්ට නියෝජනය කළ හැකි, අරගලයට පිටින් සිටින අරගලකරුවන් ඉලක්ක කරනවානම් සජබ විසින් කළ යුතුව තිබුණේ ආණ්ඩුවට එකතු වී ආණ්ඩුව තුළ රාජපක්ෂ බලය දුර්වල කිරීමයි. එහෙත්, ඒ වෙනුවට සජබ විසින් සක්‍රිය අරගලකරුවන් නියෝජනය කරන්නට යාමෙන් කරගන්නේ යම් ආකාරයක දේශපාලනික සිය දිවි නසා ගැනීමක්. ඔවුන්ව නියෝජනය කරන්නට අවශ්‍යනම් සජබට තමන්ගේ දේශපාලන සංස්කෘතිය විප්ලවීය ලෙස වෙනස් කර ගන්න වෙනවා. කෙටියෙන් කිවුවොත් ජවිපෙ වගේ වෙන්න වෙනවා. එය ප්‍රායෝගිකව සජබට කළ නොහැකි දෙයක්. එවැනි තත්ත්වයක් යටතේ යම් ආකාරයකින් රාජපක්ෂලා ගෙදර යැවුවොත් එයින් පසුව අනිවාර්යයෙන්ම ඔය විරෝධයම සජබ පැත්තටත් හැරෙනවා.

මේ වන විට සජබට නියෝජනය කළ හැකිව තිබුණු, අරගලය තුළ සක්‍රියව නොසිටින, පැත්තකට වී අරගලයට සහයෝගය දෙන විශාල පිරිසකගේ වීරයා වී ඉන්නේ රනිල් වික්‍රමසිංහයි. ආර්ථික ස්ථායීකරණය සඳහා රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරියේදී ගෙන ඒමට නියමිත ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ වීමට සජබට කිසිසේත්ම හැකි වන්නේ නැහැ. ඒ නිසා, එම ප්‍රතිසංස්කරණ වලට එරෙහිව නැගෙන ජනමතයේ වාසිය කිසිසේත්ම සජබට ගත හැකි වන්නේ නැහැ. අනෙක් පැත්තෙන් එම ප්‍රතිසංස්කරණ  නොකරම බැරි බව පිළිගන්නා පිරිසට නායකත්වය දීමේ හැකියාවද සජබ විසින් ප්‍රයෝජනයට අරගෙන නැහැ. 

ජවිපෙට අනුව රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලාගේ "කුලී හේවායෙක්". නලින් ද සිල්වා වැනි අය නොකියා කියන්නෙත් ඒකයි. යම් හෙයකින් රනිල් වික්‍රමසිංහ සාර්ථක වුවහොත් රාජපක්ෂලා කියනු ඇත්තේ අවශ්‍ය පරිදි "කුලී හේවායින්" යොදාගෙන අවශ්‍ය දේ කර ගැනීමට තමන්ට හැකි බවයි. රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලාගේ කුලී හේවායෙක්නම් දැන් ඒ කුලී හේවායා ගෝටාගෝගම කූඩාරමකුත් අටෝගෙන.

Saturday, May 14, 2022

සජිත් හමුවේ ඇති අවසන් පරීක්ෂණය


නව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් විපක්ෂ නායක හා සජබ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යවමින් සම්ප්‍රදායික පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබ්බට ගිය නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආරාධනා කර තිබෙනවා. මේ ආරාධනාව හමුවේ සජිත් විසින් මොන විදිහට ප්‍රතිචාර දක්වයිද? සජිත් හමුවේ තිබෙන විකල්ප මොනවාද?

දැනට ආණ්ඩුව කියන්නේ කලින් සිටි ආණ්ඩුව සහ රනිල් වික්‍රමසිංහගේ එකතුවක්. මහජන විරෝධය එල්ල වුනේ සමස්තයක් ලෙස කලින් ආණ්ඩුවට, එහි ප්‍රධාන පුද්ගලයින්ට, එහි මතවාදයට හා ක්‍රියාකාරකම් වලටයි. එයින් ඔබ්බට සමස්ත දේශපාලන ක්‍රමයටද ඊට වඩා තරමක් අඩු විරෝධයක් එල්ල වුනා. සමස්ත ආර්ථික-දේශපාලන ක්‍රමයටද ඊටත් වඩා අඩු, එහෙත් ප්‍රබල විරෝධයක් එල්ල වී තිබෙනවා. 

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව හා එකතු වීමෙන් සමස්ත ආර්ථික-දේශපාලන ක්‍රමයටම විරෝධය දක්වන්නන් එම විරෝධයෙන් බැහැර වන්නේ නැහැ. සජිත්ගේ තීරණය මත මෙය වෙනස් වන්නේද නැහැ. එහෙත්, සජිත්ගේ තීරණය මත සමස්ත දේශපාලන ක්‍රමයට විරෝධය දක්වන්නන් කෙරෙහි යම් පමණකද, ආණ්ඩුවේ ප්‍රධානීන්ට හා එහි ක්‍රියාකාරකම් වලට එරෙහි අයගේ විරෝධයට යම් පමණකද, බලපෑමක් සිදු වනවා. ආර්ථිකය සම්බන්ධව ආණ්ඩුවේ මතවාදයට පමණක් එරෙහි වූ බොහෝ දෙනෙකුගේ එම විරෝධය යම් පමණකින් හෝ සමනය කරන්නට රනිලාගමනය දැනටමත් සමත්ව තිබෙනවා. 

රනිල් අගමැති ධුරය දරන ආණ්ඩුවකට සම්බන්ධ වීම වඩාත්ම පහසු සජබටයි. පොදුජන පෙරමුණට එය ඊට වඩා අපහසුයි. යම් හෙයකින් සජිත් ඇතුළු සජබ මේ ආරාධනාව ප්‍රතික්ෂේප කළහොත් රනිල් හමුවේ තිබෙන විකල්ප මොනවාද? එක්කෝ කලින් ආණ්ඩුවේ සිටි අය සමඟ ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුයි. එසේ නැත්නම්, යම් නිර්පාක්ෂික පිරිසක් ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමේ විකල්පයද රනිල් හමුවේ තිබෙනවා. 

මෙයින් දෙවැන්න කළහොත් මහජන විරෝධය මුළුමනින්ම නොවුනත් යම් තරමකින් හෝ බොහෝ දුරට සමනය වෙනවා. එහෙත්, එහිදී ජයගත යුතු බාධක ගණනාවක් තිබෙනවා. පළමුව, මේ වැඩේට ඉඩ සලසා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීන් යම් පිරිසකට ඉල්ලා අස්වීමට සිදු වෙනවා. දෙවනුව, මේ සඳහා සුදුසුකම් ඇති, අභියෝගය භාර ගැනීමට කැමති හා අරගලකරුවන්ගේ සහයෝගය දිනාගත හැකි පුද්ගලයින් හොයා ගන්න වෙනවා. මේ සියල්ල හදිසියේ සිදු වීමට විශාල ඉඩක් නැහැ.  

දෙවැන්න සිදු නොවන්නේනම් ඉතිරි වන්නේ පළමු විකල්පයයි. ඒ තත්ත්වය යටතේ මහජන විරෝධය කෙතරම් දුරකට සමනය වේද යන්න පිළිබඳව අනාවැකි කියන්න අමාරුයි. රනිල්ව පරීක්ෂා කිරීම සඳහා යම් කාලයක් මහජනතාවගෙන් ලැබුණා කියා අපි හිතමු. එම කාලය තුළ අරගලකරුවන් අපේක්ෂා කරන ආකාරයේ "හොර ඇල්ලීමක්" හෝ "හොරුන්ට දඬුවම් දීමක්" සිදු වීමේ ඉඩක් නැහැ. එහෙත්, ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ අනිවාර්යයෙන්ම ඉදිරියට යයි.

මේ තත්ත්වය තුළ සිදු වන්නේ සජබ අවලංගු කාසියක් බවට පත් වීමයි. මොකද ආර්ථිකය හා අදාළව රනිල්ට නැති අමුතු යෝජනාවක්, අදහසක් හෝ වැඩපිලිවෙලක් සජබ සතුව නැහැ. ඒ නිසා, මේ ආණ්ඩුව සමඟ එක්ව රනිල් විසින් ඉදිරිපත් කිරීමට ඉඩ තිබෙන වැඩ පිලිවෙළකට සජබටද සහයෝගය දක්වන්න වෙනවා. විරුද්ධ වෙනවානම් විරුද්ධ වෙන්න පුළුවන් වෙන්නේ බොරු තාක්ෂනික හේතුවක් අල්ලා ගැනීමෙන් පමණයි. එහෙම කළොත් එයත් සජබට නරක විදිහට බලපානවා. 

ජාජබට මෙන්ම ආණ්ඩුව සමඟ සිටි සුළු පක්ෂ වලටද මේ ප්‍රශ්නය මෙලෙසම බලපාන්නේ නැහැ. චම්පිකගේ 43බලකායට පවා එජාපයෙන් හා සජබයෙන් වෙනස් ලෙස පෙනී සිටිය හැකි යම් අනන්‍යතාවයක් තිබෙනවා. එහෙත් සජබය හා එජාපය අතර එවැනි වෙනස්කමක් නැහැ. ඒ නිසා, ආර්ථික නොවන වෙනත් කරුණු ඉදිරිපත් කරමින් සජබ විසින් රනිල්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමේ වාසිය වැඩි වශයෙන් ජාජබ විසින් හා යම් තරමකින් 43 කණ්ඩායම විසින් ලබා ගන්නට ඉඩ තිබෙනවා. 

සජබ මේ ආරාධනාව පිළිගන්නේනම් ඇති වන තත්ත්වය කුමක්ද? 

රනිල් විසින් එකඟ වීමට ඉඩ ඇති ආර්ථික වැඩ පිළිවෙළ සමඟ සජබට කොහොමටත් එකඟ වෙන්න වෙනවා. ආණ්ඩුව ඇතුළේ සිටියත් නැතත් එයට විරුද්ධ වීමට සජබට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඊට අමතරව අරගලකරුවන් විසින් ඉල්ලා සිටින අනෙකුත් ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටීමේ හෝ නොසිටීමේ තීරණයද සජබ හමුවේ තිබෙනවා. 

ආණ්ඩුවට එකතු වී රනිල් විසින් යෝජනා කරන්නට නියමිත ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම පමණක් කළොත්, සජබට ඒත් වෙන්නේ ජවිපෙ උගුලේ හිර වෙන්නයි. එහිදී රන්ජන් රාමනායකගේ ජනප්‍රිය විවේචනය තව දුරටත් තහවුරු වෙනවා. ඒ නිසා, ආණ්ඩුවට මේ ආකාරයෙන් ආර්ථිකය බේරාගැනීම සඳහා පමණක් එකතු වුනත්, එසේ නොකළත්, සජබ එකම උගුලේ අහුවෙලා. 

සජබට තවදුරටත් පවතින්න අවශ්‍යනම් අනිවාර්යයෙන්ම ආර්ථික ස්ථායීකරන වැඩපිළිවෙලකට එකඟ වන අතරම දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සඳහාද සක්‍රිය ලෙස මැදිහත් වීමට සිදු වෙනවා. එය කළ හැකි වන්නේ අවශ්‍ය දේශපාලන බලය ලබා ගත හැකිනම් පමණයි. මෙය අභියෝගාත්මක කාර්යයක් වුවත් සජබ සතුව ඒ සඳහා අවශ්‍ය හෙට්ටු කිරීමේ ශක්තිය තිබෙනවා.

සජබ ආණ්ඩුව සමඟ එකතු වන්නේනම් සහ මැදිහත් වීම් නොකර දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයාමට ඉඩ දෙන බව විශ්වාසනීය ලෙස තහවුරු කළ හැකිනම් අරගලකරුවන් අතරින් සමස්ත ආර්ථික-දේශපාලන ක්‍රමයේ වෙනසක් සොයන කණ්ඩායම් හැර අනෙකුත් බොහෝ දෙනෙකුගේ අරමුණු ඉටු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ධුරය අත් නොහැරීම මෙයට බාධාවක් නෙමෙයි. ආණ්ඩුක්‍රම සංශෝධනයකින් ඔහුගේ බලතල සීමා කර, පාර්ලිමේන්තුව හරහා මුදල් වෙන් කිරීම් සීමා කළ විට ඔහුට කළ හැකි ලොකු දෙයක් නැහැ. 

මේ දේවල් කිරීම සඳහා සජබට අවංක උවමනාවක් තිබිය යුතුයි. ඒ වගේම ඒ බව ජනතාවට පෙනෙන්නත් අවශ්‍යයි. සජබ විසින් කළ යුත්තේ මේ සඳහා අවශ්‍ය බලතල ලබා ගැනීමට හෙට්ටු කිරීමයි. පාර්ලිමේන්තුවේ සිටින සජබ සාමාජිකයින්ම වෙනුවට අරගලකරුවන්ට එකඟ විය හැකි ස්වාධීන පුද්ගලයෙකු හෝ දෙදෙනෙකු පිටතින් ගෙන ආ හැකිනම් ඔවුන් අනිවාර්යයෙන්ම තෘප්තිමත් වනු ඇති. 

මේ ආකාරයේ බරපතල හෙට්ටු කිරීමක් කිරීමේ හැකියාවක් ජාජබ සතුව නැහැ. එහෙත් සජබ සතුයි. එවැනි හෙට්ටු කිරීමක් කිරීමෙන් පසුව ප්‍රතිඵලය කුමක් වුවත් එහි වාසිය සජබටයි. එසේ නොකර පන්දුව නිදැල්ලේ යන්න ඇරියොත් හෝ විකට්ටුව වහගෙන ආරක්ෂාකාරී පියවර ගන්න ගියොත් පාඩුවත් සජබටම තමයි. යම් හෙයකින් සාර්ථක හෙට්ටු කිරීමක් කර දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය බලතලද සමඟ ආණ්ඩුවට එකතු වීමට හැකි වුවහොත් අභියෝගයට මුහුණ දෙන්න වෙන්නේ ජාජබටයි. හෙට්ටු කිරීම අසාර්ථක වුවහොත් පළමුව ආණ්ඩුවට හා රනිල්ටත්, දෙවනුව ජාජබටත් අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දෙන්න වෙනවා.

#ඉකොනොමැට්ටා 

ඩොලර් එකට වෙන්න යන දේ


පෙර ලිපියෙහි අනුමාන කළ මහ බැංකු තීරණය හා අදාළ නිල නිවේදනය හොයා ගත හැකි වුනා. මහ බැංකුව විසින් වාණිජ බැංකු වල ප්‍රධාන විධායක නිලධාරීන්ට නිකුත් කර ඇති 2022 මැයි 12 දාතම දරන හා අංක 33/04/12/0012/004 දරන මෙහෙයුම් උපදෙස් අනුව 2022 මැයි 13 දින සිට මහ බැංකුව විසින් වාණිජ බැංකු වල තැන් ගනුදෙනු (spot transactions) එක්තරා ආකාරයක නියාමනයකට ලක් කරනවා. මෙහිදී සිදුවන්නේ අදාළ ගනුදෙනු සිදුවිය යුතු උපරිම හා අවම සීමාවක් නියම කිරීමයි.

මීට පෙර මහ බැංකු අධිපති ධුරය දැරූ කබ්රාල්ගේ සයමාසික සැලැස්ම තුළද මෙවැනි දෙයක් සිදු වුනා. එය පවතින අර්බුදයටද හේතු වුනා.  දැන් සිදු වෙන්න යන්නේත් එවැන්නක්ද?

මෙය එවැන්නක් මෙන් පෙනුනත් එවැන්නක්ම නෙමෙයි. වෙනස මේකයි. කලින් වාරයේද මෙවැනිම උපරිම හා අවම සීමා නියම කිරීමක් (විධිමත් හෝ අවිධිමත් ආකාරයෙන්) සිදු වුනත් අදාළ සීමා නියම කෙරුණේ හිතුමතේට, පුද්ගල විනිශ්චයන් මතයි. එහෙත්, මෙවර මෙම සීමා නියම කෙරෙන්නේ එසේ කාගෙවත් හිතු මනාපෙට නෙමෙයි. වෙළඳපොළ මත පදනම්වයි.

මේ අනුව, එක් එක් දිනයේ සිදුවන අන්තර්බැංකු තැන් ගනුදෙනු වල බරිත සාමාන්‍ය අගය මහ බැංකුව විසින් ගණනය කරනවා. මේ ගණනය කිරීම අලුත් දෙයක් නෙමෙයි. මහ බැංකුව විණිමය අනුපාතය ලෙස දිනපතා ප්‍රසිද්ධ කරන්නේ මෙම අගයයි. මේ අගය වෙළඳපොළ මත තීරණය වන්නක්. දැන් සිදුවන අලුත් වෙනස වන්නේ ඕනෑම දිනක අන්තර්බැංකු තැන් ගනුදෙනු සිදු කළ හැකි මිල මෙසේ මහ බැංකුව විසින් නිවේදනය කරන පෙර දින පැවති සාමාන්‍ය මිලෙන් වෙනස් විය හැක්කේ නිශ්චිත සීමාවක් තුළ පමණක් වීමයි.

මෙහිදී සිදු වන්නේ වෙළඳපොළ නියාමනය කිරීමක්. එහෙත්, වෙළඳපොළ සංඥාව මග හැර යාමක් සිදු වන්නේ නැහැ. අවිනිශ්චිතතාවය අඩු කිරීමක් පමණක් සිදු වෙනවා. ඕනෑම දවසක ඩොලරයක මිල ඉල්ලුම හා සැපයුම අනුව ඉහළ හෝ පහළ යා හැකියි. එහෙත්, එසේ ඉහළ හෝ පහළ යා හැකි උපරිම සීමාවක් තිබෙනවා. ඒ නිසා, ආනයනකරුවන්ට, අපනයනකරුවන්ට හා අනෙකුත් අයට ඩොලරයේ මිල වෙනස් වීම ගැන යම් අදහසක් ඇති කර ගත හැකියි.

ඉහත සඳහන් මෙහෙයුම් උපදෙස් වල බලපෑම තීරණය වන්නේ මහ බැංකුව විසින් නිවේදනය කරන විචල්‍යතා සීමාව මතයි. පෙර දින බරිත සාමාන්‍ය තැන් මිල තීරණය වන්නේ මහ බැංකුවෙන් ස්වායත්ත ලෙස තනිකරම වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත වුවත්, විචල්‍යතා සීමාව තීරණය වන්නේ මහ බැංකුවේ අභිමතය මතයි. එය තීරණය කරන ආකාරය ඉහත කී අංක 33/04/12/0012/004 දරන මෙහෙයුම් උපදෙස් මාලාවේ නැහැ.

ඉන් පසුව මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන 2022 මැයි 13 දාතම දරන හා අංක 33/04/12/0012/005 දරන මෙහෙයුම් උපදෙස් අපට වෙනත් මූලාශ්‍රයකින් ලැබී තිබෙනවා. මහ බැංකු වෙබ් අඩවියෙන් මෙහි මුල් පිටපතක් සොයා ගත නොහැකි වුවත්, පෙනෙන ආකාරයට මෙය සැබෑ ලේඛණයක් කියා සිතිය හැකියි. එය පදනම් වන්නේ පෙර දින නිකුත් කළ මෙහෙයුම් උපදෙස් මතයි.

දෙවනු කී 33/04/12/0012/005 දරන මෙහෙයුම් උපදෙස් අනුව අන්තර්බැංකු තැන් අනුපාතය පෙර දින පැවති අනුපාතය වූ රුපියල් 360 සිට අඩු හෝ වැඩි විය හැක්කේ රුපියල් 2.60කින් පමණයි. මෙම සීමාව ගණනය කළ ආකාරය පැහැදිලි නැහැ. කෙසේ වුවද, මෙම මෙහෙයුම් උපදෙස් නිකුත් කිරීමෙන් අනතුරුව ඩොලරයක තැන් මිල පෙර දින පැවති රුපියල් 360 මට්ටමේම ස්ථාවර වී තිබෙනවා. මහ බැංකු උපදෙස් නොකඩමින් රුපියල් 362.60 දක්වා මිලකට ඩොලර් අලෙවි කළ හැකි වුවත් එවැන්නක් සිදු වී නැහැ.

මගේ පෙර ලිපියෙහි මා අනුමාන කළ අයුරින් පාරිභෝගිකයන්ට ඩොලර් විකිණිය යුතු හා ඔවුන්ගෙන් ඩොලර් මිල දී ගත යුතු මිල මහ බැංකුව විසින් සෘජුව තීරණය කර නැහැ. සීමා පනවා ඇත්තේ තැන් අනුපාතිකයටයි. කෙසේ වුවත්, මහ බැංකුවේ මේ තීරණයෙන් අනතුරුව විකුණුම් මිල තැන් මිලට වඩා ආසන්න වශයෙන් රුපියල් 5ක් වැඩියෙනුත් ගැනුම් මිල ආසන්න වශයෙන් රුපියල් 5ක් අඩුවෙනුත් ස්ථාවර වී තිබෙනවා. 

පවතින තත්ත්වය තුළ, මේ තීරණය නරක එකක් ලෙස මා දකින්නේ නැහැ. මෙහිදී සිදු වන පළමු දෙය විවිධ බැංකු අතර විණිමය අනුපාතයේ තිබෙන වෙනස්කම් අවම වීමයි. එවැනි ස්ථාවරත්වයක් තිබීම කාට වුවත් හොඳයි. දෙවැනි ප්‍රතිඵලය හෙට ඩොලරය කීයක් වෙයිද කියන අවිනිශ්චිතතාවය අවම වීමයි. ඒ හැර, මේ තීරණයෙන් ඩොලරයක මිල ක්‍රමයෙන් ඉහළ යාම වලක්වා නැහැ. 

තවමත් අවිනිශ්චිත කරුණකට තිබෙන්නේ මහ බැංකුව විසින් විචල්‍යතා සීමාව තීරණය කරන්න යන්නේ කොහොමද කියන එකයි. ලබන සතිය තුළ මෙයද දැන ගන්න ලැබෙයි. 

දැනට පෙනෙන්නට තිබෙන රුපියල් 2.60 දිනකට ඩොලරයක මිල ඉහළ යා හැකි උපරිම ප්‍රමාණය සේ සැලකුවත්, මේ හරහා ලැබෙන යහපත් ප්රතිඵල ගණනාවක් තිබෙනවා. අපනයනකරුවෙකුට දැන් වඩා පහසුවෙන් තමන් අතේ තිබෙන ඩොලර් විකුණනවාද තියා ගෙන ඉන්නවාද කියන තීරණය ගන්න පුළුවන්. ඒ වගේම ආනයනකරුවන්ට තමන් ඩොලරයකට ගෙවිය යුතු සාධාරණ මුදල පිළිබඳව වඩා නිවැරදි තක්සේරුවකට එන්න පුළුවන්. මූල්‍ය වෙළඳපොළකට අවශ්‍යම දෙය ස්ථාවරත්වයයි.

දැනට පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් තුළ ඩොලරයක මිල නැවත විශාල ලෙස පහත වැටේයැයි මා හිතන්නේ නැහැ. යම් හෙයකින් එසේ පහත වැටීමේ ප්‍රවණතාවක් ඇති වුනත් මේ තීරණය නිසා එකවර ඩොලරයක මිල කඩා වැටීමේ ඉඩ ඇහිරෙනවා. ඩොලරයක මිල දැන් තිබෙන මට්ටමේ ටික දවසකට හෝ ස්ථාවර වෙයිද නැත්නම් හෙමින් හෙමින් ඉහළ යයිද කියන එක බලා ගන්න වෙන්නේ වෙළඳපොළ ප්‍රතිචාර අනුවයි. බොහෝ විට එළැඹෙන සතිය තුළ මේ දිශානතිය නිරීක්ෂණය කරන්න පුළුවන් වෙයි.

Friday, May 13, 2022

ඩොලරයක මිල අඩු වුනේ කොහොමද?


රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය භාර ගැනීමත් සමඟ ඩොලරයක මිල පහළ ගොස් ඇති බව ප්‍රධාන ජනමාධ්‍ය විසින් වාර්තා කරද්දී, එයට හේතුව පුත්තලමේ දූපතක් විකිණීම බව සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වෙනවා. ඇත්තටම වෙලා තියෙන්නේ කුමක්ද? පුත්තලමේ දූපත බදු දී ඇත්නම් එය මේ වෙලාවේ හැටියට කිසිසේත්ම නරක තීරණයක් නොවුනත්, ඩොලරයේ මිල වෙනස් වීම හා දූපත බදු දුන් කතාව අතර සම්බන්ධයක් නැහැ.

මේක තරමක් සංකීර්ණ කාරණයක් නිසා මම සියයට සියයක් තාක්ෂනිකව නිවැරදි ලෙස විස්තර කරන්න මහන්සි නොවී හැකි තරම් සරල ලෙස පැහැදිලි කරන්නම්. 

වෙළඳපොළ තුළ විණිමය අනුපාතය තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මතනේ. දිගුකාලීනව බැලුවොත් ඉල්ලුම හා සැපයුම තීරණය වන්නේ ක්‍රය ශක්ති සාම්‍ය මූලධර්මය අනුව. එහෙත් කෙටිකාලීනව ඉල්ලුම හා සැපයුම තීරණය වන්නේ සමපේක්ෂණය මත. මේ කියන දේවල් පැරණි ලිපි වල විස්තරාත්මක ලෙස පැහැදිලි කර තිබෙනවා.

මේ වෙලාවේ ලංකාවේ විණිමය වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම තනිකරම වගේ තීරණය වන්නේ සමපේක්ෂණය මත. අවුරුදු ගණනක් තිස්සේම ඩොලරයක මිල ඉහළ යා යුතු බව මම දිගින් දිගටම කිවුවේ ක්‍රය ශක්ති සාම්‍ය මූලධර්මය මත පදනම්වයි. ලංකාව මේ වගේ ඩොලර් අර්බුදයක හිර වුනේ එසේ නොකර ඩොලරයක මිල පහළ මට්ටමක තියාගෙන හිටපු නිසා. අඩු වශයෙන් වසරකට කලින් IMF ගිහින්, විණිමය අනුපාතය පාවෙන්න ඇරියානම් ඩොලරයක මිල රුපියල් 275 පමණ මට්ටමක නවතිනවා. ක්‍රය ශක්ති සාම්‍ය මූලධර්මය අනුව බැලුවොත් ඩොලරයක මිල දැන් තරමටම ඉහළ යා යුතු නැහැ. 

ඩොලරයක මිල සමපේක්ෂණය මත තීරණය වන විට එයට පාලනයක් නැහැ. නියම වටිනාකමක්, නියම මිලක් කියා දෙයක් නැහැ. ඩොලරයක මිල ඉහළ යයි කියා හැමෝම හිතුවොත් මිල ඉහළ යනවා. අඩු වෙයි කියා හැමෝම හිතුවොත් අඩු වෙනවා. 

ඩොලරයක මිල කියා කිවුවත් ඩොලරයක මිල කියන්නේ නිශ්චිත මිලක් නෙමෙයි. මම මේ කියන්නේ දවසින් දවස මිල වෙනස් වෙන එක ගැන නෙමෙයි. උන්ඩියල් ගැනත් නෙමෙයි. යම් මොහොතක බැංකු පද්ධතිය ඇතුළේම පවතින විවිධ මිල ගණන් ගැන.

ලංකාවේ ඩොලර් වෙළඳපොළ කියන්නේ කවුරු හෝ ඩොලර් සීයක් දෙසීයක් මාරු කරන එක නෙමෙයි. මේ වෙළඳපොළේ ප්‍රධාන පාර්ශවකරුවෝ වෙන්නේ ආනයනකරුවන්, අපනයනකරුවන් හා බැංකු. ඒ අනුව, ඩොලරයකට මිලවල් තුනක් තිබෙනවා. (ඉහත ඇති ප්‍රස්ථාරය දෙස බලන්න)

1. බැංකු විසින් අපනයනකරුවන්ගෙන් ඩොලර් ගන්න මිල (ගැනුම් මිල)

2. බැංකු විසින් ආනයනකරුවන්ට ඩොලර් විකුණන මිල (විකුණුම් මිල)

3. බැංකු එකිනෙකා අතර ගනුදෙනු කරගන්නා මිල (තැන් මිල)

විකිණුම් මිල ගැනුම් මිලට වඩා වැඩි බව ඉතාම පැහැදිලියිනේ. බැංකු කරන්නේ අපනයනකරුවන්ගෙන් ඩොලර් අරගෙන ගානක් තියාගෙන ආනයනකරුවන්ට විකුණන එක. තැන් මිල සාමාන්‍යයෙන් ඔය දෙක අතර මිලක්. ඒ ඇයි?

වෙළඳපොළ සමතුලිතනම් බැංකුවක් විසින් ආනයනකරුවන්ට විකුණන්නේ අපනයනකරුවන්ගෙන් ගන්න ඩොලර් ටිකයි. ශ්‍රමික ප්‍රේෂණ එහෙමත් තිබුණත් කතාව සරල කර ගැනීම සඳහා පැත්තකින් තියමු. දැන් ඔය ඩොලර් ටික විකුණගන්න බැරිනම් කරන්නේ වෙනත් බැංකුවකට විකුණන එකයි. ඒ වගේම ඩොලර් ඉල්ලුම වැඩිනම් වෙන බැංකුවකින් මිල දී ගත හැකියි. සමස්තයක් ලෙස බැංකු පද්ධතිය ඇතුළේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිතයි. එහෙම නොවෙන්නේ මහ බැංකුව මැදිහත් වුනොත් පමණයි.

දැන් අපි කිසියම් බැංකුවක් ගත්තොත් ඒ බැංකුවට වෙන බැංකුවකින් ඩොලර් ගන්න පුළුවන් ගාණට වඩා වැඩි මිලක් අපනයනකරුවෙකුට ගෙවන්න හේතුවක් නැහැනේ. ඒ වගේම, වෙන බැංකුවකට විකිණිය හැකි මිලට වඩා අඩු මිලකට ආනයනකරුවන්ට ඩොලර් විකුනන්න හේතුවකුත් නැහැනේ. ඒ නිසා, සාමාන්‍යයෙන් ගැනුම් මිලට වඩා තැන් මිල වැඩියි. තැන් මිලට වඩා විකිණුම් මිල වැඩියි.

පහුගිය කාලයේ මාධ්‍ය වාර්තා බැලුවොත් බැංකු වල ඩොලරයක මිල මේ ගානයි නමුත් මහ බැංකුවේ මේ ගානයි කියලා කියන තැන් තියෙනවනේ. දැන් ඔය බැංකු වල මිල කියා කියන්නේ විකිණුම් මිල. මහ බැංකුවේ මිල කියන්නේ තැන් මිල. ඇත්තටම ඩොලරයක මිලට මොකද වෙන්නේ කියලා බලන්න හොඳම නිර්ණායකය තැන් මිල.

රනිල් අගමැති වුනු ආරංචියට ඔය තැන් මිල ටිකක් අඩු වෙලා තිබෙනවා. මම ඒකට එන්නම්. ඊට කලින් නන්දලාල් මහ බැංකු අධිපති වෙද්දීත් තැන් මිල පහළ ගියා. අප්‍රේල් 4 වෙනිදා ඩොලරයක තැන් මිල රුපියල් 310.86යි. අධිපති මාරුවෙන ආරංචියටම තැන් මිල පොඩ්ඩක් අඩු වුනා. අධිපති වැඩභාරගත් අප්‍රේල් 7 වෙනදා ඩොලරයක තැන් මිල රුපියල් 299.91 දක්වා අඩු වුනා. අප්‍රේල් 20 වන විටත් තැන් මිල රුපියල් 310 සීමාවේ රැඳී තිබුණා. 

නන්දලාල් වැඩ භාර ගැනීමෙන් පසුව IMF ගිහින් ඉක්මණින් සල්ලි අරගෙන ඇවිත් වැඩේ ගොඩදායි කියන විශ්වාසය බැංකු පද්ධතිය ඇතුළේ තහවුරු වුනා. තැන් මිල මේ විදිහට ස්ථාවර වුනේ ඒ නිසා. හැබැයි නන්දලාල්ම කරපු තවත් වැඩක් නිසා මේ ප්‍රවණතාව එළියට පෙනුණේ නැහැ. 

අපනයනකරුවන්ගෙන් ඩොලර් මිල දී ගැනීමේදී ගෙවන ඩොලරයක ගැනුම් මිල බැංකු පද්ධතිය ඇතුළේ ගනුදෙනු සිදුවන තැන් මිලට වඩා උඩින් තියාගන්න කියලා (එවැන්නක් ඇඟවෙන ආසන්න දෙයක් විය හැකියි) අලුත් අධිපතිවරයා විසින් බැංකු වලට උපදෙස් දී තිබුණා. එතකොට විකිණුම් මිල අනිවාර්යයෙන්ම ඊට වඩා වැඩි වෙනවා. මම හිතන්නේ මෙය ඉතා හොඳ තීරණයක්. මෙහි අරමුණ වුනේ ඩොලර් පුළුවන් තරමක් බැංකු පද්ධතිය ඇතුළට ගන්න එකයි. ඩොලර් ඇතුළට ගන්න තරමට අපනයන සඳහා ඩොලර් නිකුත් කළ හැකියි. අපනයන භාණ්ඩ හිඟය අඩු කළ හැකියි. මේ හේතුව නිසා ඩොලරයක විකිණුම් මිල ඉහළ ගියත්, තැන් මිල ස්ථාවර වුනා. ඩොලරයක මිල දිනෙන් දින ඉහළ යාම ගැන ලෙඩ්ඩු බය වුනත්, දොස්තරලාට බය වෙන්න දෙයක් නැති බව මම කිවුවේ ඔය දවස් වල.

ඔය අතරේ තමයි IMF එකත් එක්ක සාකච්ඡා පැවැත්වුණේ. අප්‍රේල් 18-22 කාලයේ. IMF එකත් එක්ක සාකච්ඡා පටන් ගත්තට පස්සේ තමයි පැහැදිලි වුනේ සල්ලි ගන්න එක හිතන තරම් පහසුවෙන් හෝ ඉක්මණින් කළ නොහැකි බව. මේ තත්ත්වය බැංකු විසින් තේරුම් ගැනීමත් එක්කම ටික දවසක් ස්ථාවර වී තිබුණු තැන් මිල නැවතත් ඉහළ යන්න පටන් ගත්තා. අප්‍රේල් 20 රුපියල් 310 මට්ටමේ තිබුණු තැන් මිල අප්‍රේල් 21 වෙද්දී රුපියල් 335ට ගියා. හැබැයි විකිණුම් මිල ඒ වන විටත් රුපියල් 340 මට්ටමේ තිබුණු නිසා මේක පිටතට පෙනුණේ නැහැ. 

රනිල් අගමැති වෙන්න ආසන්නව තැන් මිල තිබුණේ රුපියල් 364.76 මට්ටමේ. රුපියල් 375 දක්වා ඉහළ ගිහින් තිබුණේ විකිණුම් මිලයි. ඇතැම් බැංකු වල මේ මිල රුපියල් 380 මට්ටම දක්වා ඉහළ ගොස් තිබුණා. රනිල් පත් වන ආරංචියත් එක්ක තැන් මිල රුපියල් 360 දක්වා පොඩ්ඩක් පහළ ගියා. විකුණුම් මිල ඊට වඩා වැඩියෙන් පහළ ගියේ වෙනත් හේතුවක් නිසා.

දින දෙක තුනකට පෙර මහ බැංකුව විසින් විණිමය ප්‍රතිපත්තියේ පොඩි වෙනසක් කළා. එහි අරමුණ වුනේ විකිණුම් මිල හා ගැනුම් මිල අතර පරතරය අඩු කිරීමයි. මාධ්‍ය වාර්තා මිසක් මහ බැංකු චක්‍රලේඛය ඇහැට දැක්කේ නැති නිසා එහි හරියටම තියෙන දෙය දන්නේ නැතත් මේ අනුව වෙන්නේ මහ බැංකුව විසින් දිනපතා උපරිම ගැනුම් මිල හා අවම විකිණුම් මිල තීරණය කිරීමයි. මේ අලුත් ප්‍රතිපත්තිය සම්බන්ධව මට තිබෙන විවේචන ගැන කතා කිරීම වෙන ලිපියකට ඉතිරි කරමු.

ඇත්තටම මෙහිදී මහ බැංකුව විසින් කරලා තියෙන්නේ කලින් දුන් උපදෙස ඉවත් කර ගැනීමක් කියා කියන්න පුළුවන්. ඒ කියන්නේ තැන් මිල නැවතත් ගැනුම් මිල හා විකිණුම් මිල අතරට ආපසු ගැනීමක්. විකිණුම් මිල රුපියල් 380 පමණ සිට 365 දක්වා පහත වැටී තිබෙන්නේ මේ හේතුව නිසා. රනිල් ආපු එකේ බලපෑමක් ඇත්නම් එය වැඩිම වුනොත් රුපියල් පහක අඩුවීමක්.

Thursday, May 12, 2022

රනිලාගමනය

රනිල් වික්‍රමසිංහ විසින් නැවතත් අගමැති ධුරය භාර ගෙන තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ රනිල් කියන්නේ මේ වන විට ජනප්‍රියතාව අනුව රටේ අනෙකුත් දේශපාලන පක්ෂ ගණනාවකටම වඩා පසුපසින් සිටින දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු (හා නායකයා) වීමයි. පසුගිය මහ මැතිවරණයේදී 2%කට මඳක් වැඩි ඡන්ද ප්‍රමාණයක් පමණක් ලබාගත් එජාපයට හිමි කර ගත හැකි වූයේ රනිල් වික්‍රමසිංහගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පමණයි. ආණ්ඩු බලය හිමි පොදුජන පෙරමුණ හා විපක්ෂයේ සිටින සජබ මෙන්ම ජාජබ පමණක් නොව ද්‍රවිඩ සන්ධානය වැනි වෙනත් පක්ෂද මීට වඩා ඡන්ද හා මන්ත්‍රී ධුර හිමි කර ගත්තා. 

මේ මොහොතේ රට ගොඩ ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය අංශයේ මෙතෙක් කවදාවත් සිදු නොකෙරෙනු ආකාරයේ වෙනස්කම් සිදු කෙරෙන ආර්ථික ස්ථායීකරන වැඩපිළිවෙලක් අනිවාර්යෙයන්ම අවශ්‍ය වෙනවා. පුළුල් මහජන සහයෝගයක් නොමැතිව එවැනි වැඩ පිළිවෙලක් සාර්ථක ලෙස ක්‍රියාත්මක කළ නොහැකියි. එවැනි පුළුල් මහජන සහයෝගයක් ලබා ගැනීමේ ශක්‍යතාවයක් තිබෙන්නේ පවතින ආණ්ඩුවට තවමත් සහයෝගය දක්වන ජන කොටස් වල නියෝජිතයින්ද ඇතුළත් සියලු දේශපාලන පක්ෂ වල එකතුවකට පමණයි. මෙතෙක් දිගින් දිගටම සිදු වූ පරිදි, එක් එක් දේශපාලන පක්ෂය විසින් තමන්ගේ බල ව්‍යාපෘති වලට ප්‍රමුඛතාවය දීම තුළ මේ කාර්යය කිසිසේත්ම සිදු වන එකක් නැහැ. එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ රට නැවත විශාල කාලයකට ගොඩ ගත නොහැකි අගාධයකට පතිත වීම පමණයි.

මා හිතන විදිහට අරගලයට සහයෝගය දැක්වූ නිර්පාක්ෂික කොටස් විසින් අපේක්ෂා කළේ පක්ෂ අනන්‍යතා ඉක්මවා ගිය මෙවැනි එකඟතාවක්. මා මෙහිදී අදහස් කරන්නේ සැබෑ නිර්පාක්ෂික කොටස් මිසක් නිර්පාක්ෂික අරගලය තුළ සිටිමින් දේශපාලන පක්ෂ වල බල ව්‍යාපෘති ක්‍රියාත්මක කළ කොටස් පිළිබඳව නෙමෙයි. අනපේක්ෂිත ලෙස නොවුනත්, අවාසනාවකට මෙන්, එවැනි එකඟතාවක් ඇති වීමේ ඉඩක් මේ වන විට දැකිය නොහැකියි. අරගලයට එල්ල වූ මැර ප්‍රහාරය හා එයින් පසුව ඇති වූ ප්‍රතිප්‍රහාර වලින් පසුව නැවතත් පාක්ෂික අනන්‍යතා බලවත් වී ඇති බව පේනවා.

මේ වෙලාවේ යටපත් වී තිබුණත්, රාජපක්ෂවාදීන්ට හා රාජපක්ෂලා සමඟ විවේචනයක් ඇතත් ආණ්ඩුව වෙනුවෙන් තවමත් පෙනී සිටින සැලකිය යුතු පිරිසකටද ඔවුන්ගේම කතාවක් තිබෙනවා. ඒ වගේම, රාජපක්ෂලාට එරෙහිව නැගී සිටින කණ්ඩායම ඇතුළේද එකිනෙකා සමඟ ප්‍රශ්න තිබෙන කණ්ඩායම් ගණනාවක් සිටිනවා. මට පේන විදිහටනම් මේ සියලු කොටස් වල එකඟතාවයක් ඇති වීම සිදු නොවිය හැකි තරම් දුරස්ථ කරුණක්. 

සාමාන්‍යයෙන් ලංකාවේ දක්ෂිණාංශික නැඹුරුවක් ඇති දේශපාලන පක්ෂ වල ක්‍රියාකාරී පදනම ප්‍රයෝජ්‍යතාවාදයයි. මෙයින් වෙනස්ව ඇතැම් වාමාංශික පක්ෂ තමන්ගේ න්‍යායික පදනම මුල් තැනෙහි ලා කටයුතු කරනවා. එවැනි පක්ෂ විසින් ජන පදනමට වඩා වැඩියෙන් වැදගත් සේ සලකන්නේ තමන් විශ්වාස කරන න්‍යාය මත පදනම් වූ දේශපාලනික නිරවද්‍යතාවයයි. රනිල් වික්‍රමසිංහ කියන්නේ දක්ෂිණාංශික කඳවුර තුළ සිටින මේ දෙවන ගොඩට දැමිය හැකි දුලබ චරිතයක්. ඔහුට තමන් නිවැරදියයි සේ දකින ස්ථාවරය ජනපදනමට වඩා වැදගත්. 

මේ ආණ්ඩුව බලයට පත් වන්නේ රනිල් වික්‍රමසිංහගේ මතවාදය මුළුමනින්ම පරාජය කරමිනුයි. ඊට සමාන්තරව ඔහුට ඔහුගේ ජනපදනමද නැතිව යනවා. දැන් අගමැති සේ නැවතත් පත්ව සිටින්නේ මේ අයුරින් සිය ජනපදනම මුළුමනින්ම අහෝසි කරගත්, පරාජිත මතවාදයක නියෝජිතයෙක්. එහෙම වෙන්නේ කොහොමද?

පසුව වෙනත් දේශපාලනික ඉල්ලීම් එකතු වුනත්, මේ ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය මතු වන්නේ ආර්ථික සාධක නිසා. සාමාන්‍ය මිනිස්සු බහුතරයක් පාරට බහින්නේ ගෑස්, පැට්‍රෝල්, විදුලිබලය ආදිය නැති නිසා මිසක් දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටිමින් නෙමෙයි. (මෙය දේශපාලන ප්‍රතිසංස්කරණ වල අවශ්‍යතාවය අවතක්සේරු කිරීමක් නෙමෙයි) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස් වී ගෙදර යන්න කියන ඉල්ලීම ඇතුළේ මුලින්ම තිබුණේ "කරන්න බැරිනම් කරන්න පුළුවන් කෙනෙක්ට දෙන්න" කියන ඉල්ලීමයි. මහ බැංකුවේ හිටපු අධිපති කබ්රාල්ව ඉවත් කර නන්දලාල්ව පත් කර ගැනීමෙන් පසුව රටේ බොහෝ දෙනෙකු විසින් ඔහුව "කරන්න පුළුවන් කෙනෙක්" ලෙස පිළිගත්තා. 

මහ බැංකු අධිපති වෙනස් කිරීම අරගලකරුවන් විසින් ලබාගත් විශාල ජයග්‍රහණයක්. එය සිදුවන විට නිර්පාක්ෂික කොටස් අරගලයේ ප්‍රධාන බලවේගය ලෙස සිටීම නිසා "කෝකටත් විරෝධීන්ගේ" හඬ යටපත්ව ගියා. එහෙත්, මේ වන විට අරගලය තුළ තවදුරටත් මුලින් ඒ තුළ දැකිය හැකි වූ නිර්පාක්ෂික ස්වරූපය පෙර ලෙසින්ම දැකිය හැක්කේ නැහැ. දැන් එය විවිධ දේශපාලනික කණ්ඩායම් කිහිපයක හා යම් නිර්පාක්ෂික පිරිසකගේ ලිහිල් එකතුවක්. 

මම හිතන විදිහට මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ කරලියට එන්නේ අරගලය තුළ සිටින නිර්පාක්ෂික කොටස් වල ඉල්ලීම් වලට  වඩාත්ම ගැලපෙන පුද්ගලයා ලෙසයි. දීර්ඝ දේශපාලන අතීතයක් තිබුණත්, මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ කියා කියන්නේ නිර්පාක්ෂික සේ සැලකිය හැකි තරමටම ජනපදනමක් නැති පුද්ගලයෙක්. ඔහු සතුව තිබෙන්නේ මතවාදයක් පමණයි. කොයි තරම් ජනප්‍රියත්වය පිරිහී තිබුණත්, තවමත් රනිල් වික්‍රමසිංහට වඩා සැලකිය යුතු ජනපදනමක් තිබෙන ආණ්ඩුව විසින් මේ වන විට තමන්ගේ මතවාදය හා උපක්‍රම මුළුමනින්ම අතහැර රනිල්ගේ මතවාදය වැළඳගෙන තිබෙනවා. එම මතවාදය අනුව කටයුතු කිරීම සඳහා ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස රනිල් වික්‍රමසිංහව පත් කර තිබෙනවා. දැන් ප්‍රශ්නය රනිල් වික්‍රමසිංහට මෙය කළ හැකිද යන්නයි.

අශුභවාදී අදහසක් සේ පෙනෙන්නට හැකි වුවත්, මගේ අදහසනම් රනිල් වික්‍රමසිංහව පත් කිරීමෙන් ප්‍රශ්නය නොවිසඳෙන බවයි. මා එසේ කියන්නේ ඔහු නිවැරදි මාර්ගයේ යාමට ඇති ඉඩ ගැන තිබෙන සැකයක් නිසා නෙමෙයි. එම මාර්ගයේ යාම සඳහා අවශ්‍ය දේශපාලන සහයෝගය ලබා ගැනීමේ ශක්‍යතාවය පැහැදිලි ලෙස නොපෙනෙන නිසයි.

මේ වෙලාවේ රනිල් අත ගසා තිබෙන්නේ ඉතාම අවදානම් කටයුත්තකටයි. මෙය නන්දලාල් වීරසිංහ විසින් මහ බැංකු අධිපති ධුරය භාර ගැනීම හා සම කළ නොහැකියි. මහ බැංකු අධිපති ධුරය සඳහා අවශ්‍ය වූයේ පුහුණුව හා අත්දැකීම් ඇති, වෙනත් විදිහකින් කිවුවොත් තාක්ෂණික කුසලතා ඇති අයෙක්. එහිදී කළ යුතුව තිබුණේ නිවැරදි තීරණ ගැනීම පමණයි. එහෙත්, රාජ්‍යමූල්‍ය කළමනාකරණය හා අදාළව නිවැරදි තීරණ ගැනීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා මහජන සහයෝගයද අවශ්‍යයි. 

අරගලය තුළ සක්‍රියව සිටින නාගරික, නිර්පාක්ෂික කොටස් විසින් නියෝජනය කෙරෙන ප්‍රතිශතය එතරම් විශාල ප්‍රතිශතයක්යැයි මා හිතන්නේ නැහැ. එහි සිටින විශාල පිරිසක් සජබ, ජාජබ, පෙසපෙ වැනි පක්ෂ වල ආධාරකරුවන්. ඔවුන්ට ඔවුන්ගේම බල ඉලක්ක තිබෙනවා. ඒ වගේම, රනිල්ගේ උදවුවෙන් රාජපක්ෂලා නැවත තමන්ගේ හීරුනු තැන් වෑල්ඩින් කර ගෙන නැගී සිටිනු ඇතැයි යන සහේතුක බියද මේ කණ්ඩායම් සියල්ලකටම වාගේ තිබෙනවා. ඒ නිසා, රනිල් වික්‍රමසිංහට නිවැරදි තීරණ ගෙන ක්‍රියාත්මක කිරීම සඳහා "අරගල කඳවුරෙන්" ලැබිය හැක්කේ සීමිත සහයෝගයක් පමණයි. අනෙක් පැත්තෙන්, ආණ්ඩුවේ ඉහළ තට්ටුව විසින් "නයිට් වොච්මන්" කෙනෙකු ලෙස රනිල්ව එළියට දමා ඇතත්, ආණ්ඩුව සමඟ රැඳී සිටින විශාල පිරිසක්ද රනිල්ගේ කකුලෙන් අදින බව පැහැදිලියි. මේ තත්ත්වය යටතේ රට ගොඩ දැමීමට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙන ඒමට රනිල්ට තිබෙන හැකියාව ඉතා සීමිතයි.

රනිල් මේ විදිහට අහක යන කරුමයකට කර ගහන්නේම ඔහුට ලොකු අනාගත අපේක්ෂා නැති නිසා. තමන් ඒ අවදානම ගන්න බය බව සජිත් ප්‍රේමදාස විසින් පැහැදිලි ලෙසම ප්‍රදර්ශනය කළා. සජිත්ගේ බය සාධාරණයි. මොන විදිහකින්වත් අරගලකරුවන්ගේ ඉල්ලීම් සියල්ල ප්‍රායෝගිකව ඉටු කළ නොහැකි නිසා ආණ්ඩුව සමඟ එකතු වීමෙන් සජිත් ජවිපෙ උගුලෙහි හිරවෙනවා. අනෙක් අතට ජවිපෙ දේශපාලන බලය රැඳී තිබෙන ප්‍රමුඛ සටන් පාඨය වන "හොර ඇල්ලීම" හරහා දේශපාලන බලයක් ගොඩ නගා ගැනීම හා පවත්වා ගැනීම කළ හැක්කේ විපක්ෂ දේශපාලනය තුළ පමණයි.

දැන් ප්‍රශ්නය මේ දේශපාලන වාතාවරණය රටේ ආර්ථික ප්‍රශ්නය විසඳීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කෙරෙහි මොන විදිහට බලපායිද කියන එකයි. IMF යාම ගැන මේ වන විට ආණ්ඩුව, විපක්ෂයේ ප්‍රධාන දේශපාලන ධාරා හතරක් හා අරගලකරුවන් අතර කිසියම් සම්මුතියක් තිබෙනවා. එසේ වුවත්, රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ යෝජනා ප්‍රසිද්ධ වූ වහාම මේ සම්මුතිය කැඩෙන බව ඉතා පැහැදිලියි. ප්‍රධාන දේශපාලන ධාරා අතර රාජ්‍ය අංශයේ මැදිහත්වීම් සම්බන්ධව තිබෙන හා ඉදිරියටත් නඩත්තු වීමට නියමිත ප්‍රතිපත්ති අතර විසම්මුතීන් සියල්ල එක් කළ විට අතිපිහිත වීම් ඉතා අඩුයි. 

අපේක්ෂිත IMF ප්‍රතිසංස්කරණ යෝජනා සමඟ වඩාත්ම එකඟ වනු ඇත්තේ සජබයි. එහෙත්, රනිල්ගේ ආණ්ඩුව තුළ සජබ නියෝජනය මේ වන තුරුද පැහැදිලි නැහැ. ඒ වගේම මේ වෙලාවේ ආණ්ඩුව විසින් රනිල්ව "රස්සාවට ගෙන" තිබුණත්, මේ ආණ්ඩුව බලයට පත් කළ ජනමතය රනිල් පෙනී සිටි හා IMF එකට එකඟ විට හැකි ප්‍රතිපත්තීන්ට එරෙහිව යන ජනමතයක්. මේ තත්ත්වය යටතේ මට පෙනෙන එකම ප්‍රායෝගික විසඳුම හැකි ඉක්මණින් මහ මැතිවරණයක් පැවැත්වීමයි. ඉන්පසුව ජනතා කැමැත්ත පරිදි සාමූහිකව ගොඩ යාම හා සාමූහිකව වැනසීම යන ඕනෑම එකක් කරගත හැකියි. රනිල්ට කළ හැකි එකම දෙය ආණ්ඩුව හා අරගලකරුවන් සමඟ සහයෝගයෙන් කෙටි කාලයකට (මාස කිහිපයකට) ආර්ථිකය ඇද ගෙන යාම සඳහා අවශ්‍ය "හදිසි ප්‍රතිකාර" හා "හදිසි නඩත්තු කටයුතු" කිරීම පමණයි.

#ඉකොනොමැට්ටා 

Wednesday, May 11, 2022

ආපසු පැමිණිය නොහැකි සීමාවේ සිට...

ලංකාවේ තත්ත්වය දවසින් දවස තවතවත් නරක අතට හැරෙන එක ඉතාම කණගාටුදායක කරුණක්. මට පෙනෙන හැටියටනම් මේ වන විටත් ලංකාව ආපසු පැමිණිය නොහැකි සීමාව පහු කරලා. යම් හෙයකින් එය එසේ නොවේනම් මේ වෙද්දී ඉන්නේ ඒ සීමා ඉර උඩ. ගොඩක්ම කණගාටු මේ දේවල් මේ විදිහට වෙයි කියන එක 2013 පමණ සිටම දැකිය හැකිව තිබියදී ඒ තත්ත්වය වෙනස් කර ගැනීමට නොහැකි වීමයි. ඊටත් වඩා කණගාටු මෙයින් ඉදිරියට විය හැකි වඩා භයානක දේවල්ද පැහැදිලිව පෙනෙද්දී ඒ දේවල් වලක්වා ගත හැකි ආකාරයක් දැනටත් නොපෙනීම. තිබෙන එකම සතුට තනි පුද්ගලයෙකු ලෙස පෞද්ගලික මට්ටමින් කළ හැකි සියල්ලක්ම කළ නිසා සහ දැනටත් කරමින් සිටින නිසා නොකළ දේ ගැන පසුතැවිල්ලක් නැති වීම.

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ යා හැකි ආකාරය ගැන පුළුල් සාකච්ඡාවකට ප්‍රවේශ වෙමින් විපක්ෂ දේශපාලන ධාරා හතරක සාමාජිකයින්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්, වෙනත් දේශපාලන ක්‍රියාකාරිකයින් හා මහජන අරගලය තුළ කැපී පෙනෙන වැඩ කොටසක් කරන සමාජ ක්‍රියාකාරිකයින් සහභාගී වූ සමුළුවක් පසුගිය සති අන්තයේදී (මැයි 7) ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වුනා. පවතින අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ යාම ගැන සැලකූ විට ඉතා හොඳ සංවාද මණ්ඩපයක් වූයේයි සැලකිය හැකි වූ මේ එකතුව දිහා සුබවාදී ඇසකින් බලා සිටියත්, දවසක් යද්දී ඒ තත්ත්වය කණපිට හැරුණා. ඉහත "සඳහන් ගොඩ යාමේ මග (Path to Recovery)" සමුළුව ගැන ලියූ හා ලියන්නට ඇති දේ පළ කිරීම මඳකට කල් අරිමු.

මේ වන විට ලංකාව පිළිබඳව ඉතාම නරක සංඥාවක් ලෝකයටම ගිහින් ඉවරයි. ලංකාව තුළ තමන්ගේ පෞද්ගලික දේපොළ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් නැති බව වගේම අඩු වශයෙන් ජීවිතාරක්ෂාව හෝ සහතික නැති බව ලංකාව විසින් ලෝකයටම ප්‍රදර්ශනය කර තිබෙනවා. ආර්ථික අර්බුදයේ ප්‍රතිවිපාක වඩා දරුණු කරමින් වසර ගණනක් යන තුරු ලංකාවේ සංචාරක කර්මාන්තයට මෙන්ම, විදෙස් ආයෝජන වලටද මේ සිදුවීම් බලපෑම් කරයි. ඒ වගේම, දේශපාලනයට අවතීර්ණ වෙන්න පොඩ්ඩක් හෝ නැඹුරුවක් තිබුණු හොඳ මිනිසුන් මේ වැඩෙන් තවදුරටත් අධෛර්යමත් වෙයි. අවදානම් ගන්න කැමති, ඕනෑම දේකට ඔට්ටු, මැරවරයෝ, හොරු දේශපාලනයට එන එක තවත් ප්‍රවර්ධනය වෙයි.

කොහොම වුනත්, සිදුවීම් පෙළගැසෙමින් තිබුණු ආකාරයට මෙය මෙලෙස සිදුවීම අහම්බයක් නෙමෙයි. අරගලකරුවන් ගිහින් තිබුණු දුරත්, අරගලයට හේතු වූ මූලසාධක තවදුරටත් වර්ධනය වෙමින් තිබීමත් තුළ ඔවුන්ට ආපසු හැරිය හැකි ඉඩක් ඉතිරි වී තිබුණේ නැහැ. ඒ වගේම, අරගලකරුවන්ගේ ඉල්ලීම් වල ස්වභාවය අනුව ආණ්ඩුව පහසුවෙන් යටත් වීමේ ඉඩක් තිබුණේත් නැහැ. මේ වගේ තත්ත්වයක් යටතේ සාමකාමී පරිවර්තනයක් සිදුකර ගැනීම ඉතාම අභියෝගාත්මක වැඩක්. නීතිඥ සංගමය ප්‍රධාන තවත් අය විසින් ඒ සඳහා විශාල මහන්සියක් දැරූ අතර ඒ උත්සාහයන් තවමත් අතහැර නැහැ. 

සමාජයක් වශයෙන් ගත්තහම සමස්තයක් ලෙස තවමත් ලාංකිකයින් විසින් දේපොළ අයිතිවාසිකම් ගරු කරන්නේ නැහැ. කිසියම් සමාජයක දේපොළ අයිතිවාසිකම් ස්ථිරසාර ලෙස තහවුරු වෙන්නේ අන්‍යොන්‍ය (reciprocal) පදනම මතයි. ඒ කියන්නේ තමන්ගේ දේපොළ ආරක්ෂා වන්නේ තමන් විසින් අනෙකාගේ දේපොළද ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප වන තුරු පමණක්ය යන අවබෝධය මිනිස්සු තුළ ඇති වීම සමඟයි. මේ වැඩේ වෙන්නනම්, තමන් අනෙක් අය අතර සමානයෙක් බව මිනිස්සුන්ට තේරෙන්න ඕනෑ. ආරක්ෂා කර ගත යුතු දෙයක් තමන් සතුව නැති බව මිනිහෙක්ට තේරුණාම ඒ මනුස්සයා වෙනත් අයෙකුගේ දේපොළ අයිතිවාසිකම් ගැන වද වෙන්නේ නැහැ. ජීවිත ආරක්ෂාව ගැන වුනත් කතාව ඕකයි.

ඒ වගේම කවුරු හරි භුක්ති විඳින දේපොළකට අදාළ පුද්ගලයා සතු අයිතිය පැහැදිලිව පේන්න තිබිය යුතුයි. අනෙකෙකුගේ දේපොළ අයිතිවාසිකම් පිළිබඳ අදහස එන්නේ මහන්සියෙන්, සාධාරණ ක්‍රමයකට උපයාගත් දේපොළ නේද කියන අදහසත් එක්ක. ඔය විදිහටම මහන්සි වුනානම් මටත් ඔය දේපොළ ඔය විදිහටම අයිති කරගන්න තිබුණා නේද කියන එක පැහැදිලිව පෙනෙන එකත් එක්ක. මේවා මේ විදිහට වෙන්නනම් නීතිය හා අධ්‍යාපනය තුළද සිදු විය යුතු කාර්ය භාරයක් තිබෙනවා.

මේ වෙලාවේ වගකීමෙන් කටයුතු නොකළේ ආණ්ඩුවයි. මම හිතන්නේ හිතූ තරම් ලේසියෙන් හෝ හදිසියෙන් IMF එකෙන් සල්ලි නොලැබෙන බව පැහැදිලි වීමත් සමඟ ආණ්ඩුව දුටු එකම විකල්පය අරගලය මර්දනය කිරීමයි. එහිදී ආණ්ඩුව විසින් කළේ ඔවුන් දිගින් දිගටම කළ වරද වූ "ඉල්ලුම" අමතක කර "මිල" පාලනය කිරීමයි. "මිල" පාලනය කිරීමේ උත්සාහයත් එක්කම "ඉල්ලුම" පුපුරා ගියා. 

කොහොම වුනත්, එක වැරැද්දක් නිසා වෙනත් වැරදි සාධාරණීකරණය වන්නේ නැහැ. ඇතැම් අයට අනුව පසුව උතුරේ (මෙන්ම දකුණේද) ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට හේතු වුනේ 1983 ජාතිවාදී කෝලාහලයයි. අවශ්‍යනම් එම ජාතිවාදී කෝලාහල වලට හේතු වුනේ හමුදා සෙබළුන් 13 දෙනෙකු මරා දැමීම කියා කියන්නත් පුළුවන්. මේ වගේ දේවල් වලදී වැරැද්ද කාගේද කියා හොයනවාට වඩා වැදගත් දෙය එකම වැරැද්ද නැවත නැවත සිදු වීම වලක්වා ගැනීමයි. මම හිතන්නේ එය තේරුම් ගත හැකි තරමට රටේ බහුතරය දැනුවත්. එය සතුටට කරුණක්.

මේ වෙලාවේ ඉතා ඉක්මණින් රටට දේශපාලන ස්ථාවරත්වය අවශ්‍යයි. ඒ වෙනුවෙන් හැමෝටම යම් තරමකින් හෝ කැපවීමක් කරන්න වෙනවා. දේශපාලන ස්ථාවරත්වය ඇති කරගත්තා කියලත් මේක ලේසියෙන් ගොඩදාන්න බැහැ. එහෙම නැති වුනොත්නම් සමහර විට අවුරුදු පණහකින් සීයකින් අතීතයට යන්න වෙයි. එහෙම වෙච්ච රටවල් ඕනෑ තරම් තියෙනවා.

Saturday, May 7, 2022

පල්ල ගෑවෙන මල්ල හාරන එල්ලයක් නැති සෙල්ලමක්?


මුදල් ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර තිබෙන විදිහට රටේ තිබෙන ද්‍රවශීල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන පණහකටත් අඩුයි. මට තේරෙන විදිහටනම් IMF එකෙන් සල්ලි ගන්න එකත් ටිකක් දුරස්ථ ඉලක්කයක් වගේ. මහ බැංකුවට IMF එකත් එක්ක සාකච්ඡා කරගෙන යන්න පුළුවන්. හැබැයි එක අවස්ථාවක රජය පැත්තට බෝලය පාස් වෙනවා. ඒ අවස්ථාවේදී ප්‍රශ්න කිහිපයක්ම මතු වෙනවා. 

ඉතා පැහැදිලිවම, දේශපාලන ස්ථාවරත්වය IMF එකෙන් ණයක් ගනිද්දී ප්‍රශ්නයක් වෙනවා. දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ ප්‍රශ්නය විසඳුනත්, IMF එක විසින් යෝජනා කරන වැඩ පිළිවෙලකට දේශපාලන සහයෝගය ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නය පැහැදිලි ලෙසම මතු වෙනවා. ඔය ප්‍රශ්න දෙකම මතු වෙන්නේ IMF එක විසින් ආර්ථිකය ගොඩ දැමිය හැකි විසඳුමක් යෝජනා කළාට පස්සේ. හැබැයි මට තිබෙන බැරෑරුම් ප්‍රශ්නය මේ තියෙන තැන ඉඳලා IMF එකට වුනත් ආර්ථිකය ගොඩ දැමිය හැකිද කියන එක. වැඩේ ඒ තරමටම ඇනිලයි තියෙන්නේ.

ආණ්ඩුවනම් ඉන්නේ කරකවලා අත ඇරලා වගේ. පහුගිය අවුරුදු දෙක ඇතුළත ආණ්ඩුව විසින් කළේ එදා වේල විසඳුම් හොයන එක. දැන්නම් එදා වේල විසඳුම්වත් නැහැ. රුවල් කැඩිච්ච ඔරුවක් වගේ ආර්ථිකය ඔහේ පාවෙන්න ඇරලා ආණ්ඩුව බලාගෙන ඉන්නවා. එක පැත්තකින් බැලුවහම එහෙම ඉන්න එකත් හොඳයි. 

මේ ප්‍රශ්නයට කිසිදු විපක්ෂ කණ්ඩායමක් සතුවත් පැහැදිලි විසඳුමක් නැහැ. අරගලකරුවන් ගැන කියන්න තියෙන්නෙත් ඒකමයි. සමහර අය හිතාගෙන ඉන්නේ රාජපක්ෂලා හොරකම් කරපු සල්ලි හොයාගෙන ඒ සල්ලි වලින් ණය ගෙවලා පරණ පුරුදු ජීවිතයට පහසුවෙන් යන්න පුළුවන් වෙයි කියලා. කිසිම බලාපොරොත්තුවක් නැති තැනකට වැටුනට පස්සේ හිත හදාගන්න ඔය වගේ සිහින දකින එක නරකම නැතත් මේ සිහින වලට සිහින ලෝකයෙන් ඔබ්බට යන්න පුළුවන්කමක් නැහැ.

රට මේ තැනට වැටෙන්න දූෂණ, වංචා හේතු වී තිබෙනවා කියන එක බොරුවක් නෙමෙයි. ඒ දූෂණ, වංචා වලට එරෙහිව හඬ අවදි කිරීමත් අවශ්‍යම දෙයක්. හැබැයි හොරකම් කරපු සල්ලි හොයාගෙන ගොඩ යන්න බලා සිටීමනම් දියසෙන් ඇවිත් රට ගොඩදාන තුරු බලා හිටියා වගේම වැඩක්. 

මට පේන විදිහට සිදු වෙන්න වැඩිපුරම ඉඩ තියෙන දෙය වෙළඳපොළ යාන්ත්‍රනය විසින්ම ප්‍රශ්නය විසඳන එක. වෙළඳපොළ විසින් ප්‍රශ්නය විසඳන්නේ වෙළඳපොළ මූලධර්ම අනුව මිසක් කිසිදු තනි පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට අවශ්‍ය විදිහට නෙමෙයි. ඒ නිසා, වෙළඳපොළ විසඳුම බොහෝ දෙනෙකුට සතුටු විය හැකි විසඳුමක් නොවෙන්න පුළුවන්. එහෙමයි කියලා ඩොලර් මිලියන පණහක්වත් අතේ නැති මහ බැංකුවකට හෝ පොලී ගෙවන්න තරමටවත් ආදායමක් උපයන්නේ නැති රජයකට වඩා හොඳ විදිහට වෙළඳපොළ විසඳුම වෙනස් කර ගත හැකි වීමේ ශක්‍යතාවයක් මේ වෙද්දී පෙනෙන්න නැහැ. 

ඩොලර් ප්‍රවාහ කිසිවක් IMF වැනි මූලාශ්‍රයකින් ක්ෂණිකව රටට ගලා නොඑන තත්ත්වයක් යටතේ වුවත් ඩොලරයේ මිල යම් මට්ටමකට ගියාට පස්සේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙලා ඩොලර් ප්‍රශ්නය විසඳෙයි. ඒ මට්ටම ගැන මට අනාවැකි කියන්න බැහැ. මහ බැංකු අධිපතිවරයාගේම වචන වලින් කිවුවොත් කාටවත්ම ඒ මට්ටම ගැන හරියටම කියන්න බැහැ. හැබැයි යම් මට්ටමකදී මේ වැඩේ අනිවාර්යයෙන්ම වෙනවා.

ඩොලර් එක ඉහළ ගියා කියලා ක්ෂණිකව අපනයන ආදායම් ඉහළ යන්නේ නැහැ. පවතින තත්ත්වය යටතේ සංචාරක ඉපැයීම් විශාල ලෙස ඉහළ යාමේ ඉඩක් පෙනෙන්නත් නැහැ. ප්‍රේෂණනම් බැංකු ක්‍රමයෙන් හෝ වෙනත් ක්‍රමයකින් රටට එයි. සමාජජාලා වල රැළි හදලා ප්‍රේෂණ වැඩි කරන්න බැරුවාක් මෙන්ම අඩු කරන්නත් බැහැ. එහෙම බලපෑම් නිසා සිදුවන අඩුවැඩි වීම් දැනෙන්නේවත් නැති තරමේ සිල්ලර වෙනස්කම්. නමුත් ප්‍රේෂණ වල මිල සංවේදීතාවයේ බලපෑම ඊට වඩා ලොකු, දැනෙන බලපෑමක්. ප්‍රමාණාත්මකව එතරම් විශාල නොවුනත්, ඩොලරයේ මිල ඉහළ යාමට සමාන්තරව කොටස් වෙළඳපොළටත් නැවත විදේශ ආයෝජන එන්න පටන් අරන් තිබෙනවා. පහුගිය කාලය මුළුල්ලේම වුනේ එහි අනෙක් පැත්ත. 

වෙළඳපොළ සමතුලිත විය හැකි ප්‍රධානම ආකාරය ඩොලරයේ මිල ඉහළ යාමට සමාන්තරව ආනයනික භාණ්ඩ හා සේවා වල මිල ඉහළ ගොස් එම ඉල්ලුම අඩු වීමයි.  රටට එන ඩොලර් ප්‍රමාණය දැනෙන තරමකින් වැඩි නොවන නිසා වෙළඳපොළ සමතුලිත වන්නේ රටින් යන ඩොලර් ප්‍රමාණය ඒ මට්ටමට පහළ ගිය පසුවයි. එය වෙන්නනම් පැට්‍රෝල්, ගෑස් ආදිය තව කොපමණ ඉහළ යා යුතුද කියන එක තීරණය වන්නේ රටේ මිනිස්සු අතේ වියදම් කළ හැකි මුදල් (රුපියල්) කොපමණ තියෙනවද කියන එක මතයි. 

මේ වැඩේ වුනාට පස්සේ කලින් ගෑස් වලින් උයපු ඇතැම් අයට දිගටම දර වලින් උයන්න වෙයි. කලින් ත්‍රීවීල් එකේ හන්දියට ගිය අයට පයින් යන්න වෙයි. ඌබර්, පික්මී ගත්ත අයට බස් වල යන්න වෙයි. ඉඳහිට සිංගප්පූරු සාප්පු සවාරියක් ගිය අයට, දඹදිව වන්දනා ගමනක් ගිය අයට ඒ ගමන් සිහිනයක් වෙයි. දරුවන් අධ්‍යාපනය සඳහා විදේශගත කරන්න බලාගෙන සල්ලි එකතු කරපු දෙමවුපියන්ට වෙන විකල්පයක් ගැන හිතන්න වෙයි. වෙළඳපොළ යාන්ත්‍රනය හරහා ඩොලර් ප්‍රශ්නය විසඳෙන්නේ ඔය ගොඩක් දේවල් වල මිල දරාගත නොහැකි මට්ටමකට වැඩි වුනාට පසුවයි.

රජය ණය ප්‍රතිව්‍යුහගත කරලා, IMF එකෙන් ණය අරගෙන, ඩොලර් ප්‍රශ්නය "විසඳන්න" කලින් බොහෝ විට වෙළඳපොළ විසින්ම ප්‍රශ්නය විසඳන්න පුළුවන්. ඩොලරයේ මිල ඉහළ යන වේගය හා ඉහත කටයුතු සිදුවීමේ ප්‍රගතිය දිහා සංසන්දනාත්මකව බැළුවහම මට දැනට කළ හැකි නිගමනය ඒකයි.  ඉතා පහසුවෙන් ඩොලරයක මිල රුපියල් 400 ඉක්මවයි. මෙය දෙසතියක් තුළ සිදු විය හැකියි. රුපියල් 450ට පමණ යන එකත් පහසුවෙන්ම සිදු විය හැකි දෙයක්. මොකද ඉතා ඉක්මණින් කාගෙන්වත් ණය ලැබෙන්නෙත් නැත්නම්, මහ බැංකුවේ සංචිතත් පල්ලටම හිඳිලානම්, මිල යාන්ත්‍රනය විසින් ප්‍රශ්නය විසඳන්න පෙර වෙළඳපොළට මැදිහත් වීමක් කරන්න මහ බැංකුවට හෝ රජයට ශක්තියක් නැහැ.

ඩොලරයක මිල ඔය මට්ටමට ගියාම, එයට අනුරූපව ආනයනික භාණ්ඩ වල මිලත් ඉහළ යන්න ඇරියොත්, ඩොලර් වෙළඳපොළ සමතුලිත විය යුතුයි. ඒ වැඩේට ඩොලරයක මිල දිගින් දිගටම ඉහළ යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඩොලරයේ මිල ඉහළ යාමට අනුරූපව, ඉන්ධන ආදියේ මිල ඉහළ යාම වැලක්වුවොත් ආනයන ඉල්ලුම අවශ්‍ය පමණ අඩු නොවන නිසා ඩොලර් එක තව තවත් ඉහළ යයි. අනෙක් පැත්තෙන් මිනිස්සුන්ට සහන දීලා, ඒ කියන්නේ සල්ලි අච්චු ගහලා, ආනයන පරිභෝජනය පවත්වා ගෙන යන්න උදවු කළොත්, ඒත් වෙන්නේ ඩොලරයක මිල තව තවත් ඉහළ යනවා කියන එකයි. සංක්ෂිප්තව කිවුවොත්, වෙළඳපොළ විසින් මේ ප්‍රශ්නය විසඳනවා කියන්නේ රටේ බොහෝ දෙනෙකුට කලින් මෙන් ජීවත් වෙන්න අමාරු වෙනවා කියන එකයි. මොන විදිහකින් හරි මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහළටම නොවැටී පවත්වා ගෙන යන්න රජය හෝ මහ බැංකුව විසින් උදවු කරන්න යනවා කියන්නේ ප්‍රශ්නය විසඳෙන එක තවත් කල් යනවා කියන එකයි.

අපි හිතමු ඩොලරයක මිල රුපියල් 400-450 අතර මට්ටමකට යද්දී එදිනෙදා ගනුදෙනු සඳහා අවශ්‍ය වන ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වුනා කියලා. හැබැයි මෙතෙක් ගත් ණය හා පොලී ගෙවීමේ ප්‍රශ්නය තව දුරටත් එලෙසම තිබෙනවා. රජයේ විදේශ ණය පැත්තකින්ම තිබ්බත්, මහ බැංකුවේ හා වාණිජ බැංකු වල ණය පියවන්නම වෙනවා. දළ වශයෙන් ගත්තොත් මේ ණය පසුගිය කාලයේ ආනයනය කර පරිභෝජනය කළ ආනයන වෙනුවෙන් ගෙවිය යුතු මුදල්. වෙනත් විදිහකින් කිවුවොත් පහුගිය අවුරුදු දෙකේ ගත්ත කෙටිකාලීන එදාවේල ණය ටික. මම හිතන්නේ ඔය ණය ටිකත් බිලියන හතර හමාරකට කිට්ටුයි. 

රටේ එදිනෙදා භාණ්ඩ හා සේවා ආනයන අවශ්‍යතා සඳහා අවශ්‍ය වන ඩොලර් ටික හොයා ගන්න පුළුවන් මට්ටමක් ඇති වෙන්න ඩොලර් එක රුපියල් 400-450 මට්ටමකට යාම ප්‍රමාණවත් විය හැකි වුවත්, ඔය එදා වේල ණය ටික පියවන්න අවශ්‍ය ඩොලර් වෙළඳපොළෙන් හොයා ගන්න එක ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නෙමෙයි. අනෙත් එක දැනට අමතක කර තිබෙන රජයේ ණයත් අවසාන වශයෙන් ගෙවන්න වෙනවා. ප්‍රතිව්‍යුහගත කරනවා කියන්නේ ණය ගෙවන කාලය දිගු වෙනවා කියන එක පමණයි. ඔය වැඩේ කරන්න පුළුවන් වෙන්නේ IMF ණය ලැබීමෙන් පසුව පමණයි. එතෙක් කල් දැනට තිබෙන එදා වේල ණය ටික එදා වේල ක්‍රමයටම රෝල් කරන්න වෙනවා. එහෙම රෝලක් ගහන්නේ නැතිව ඩොලරයේ මිල මොන විදිහකින්වත් ස්ථාවර කරන්න බැහැ. 

ඔය හැම දෙයක්ම දැනට අපිට යථාර්ථවාදී ලෙස අපේක්ෂා කළ හැකි හොඳම විදිහට වෙනවා කියලා හිතමු. ඒ කියන්නේ මේ වසර අවසන් වෙන්න කලින් IMF එකෙන් ණය ලැබෙනවා. එතකල් රෝලක් ගහගන්න ඉන්දියාවෙන් හරි වෙන කොහෙන් හරි ණය ලැබෙනවා. රෝලක් ගහගන්න කිවුවේ තව තව ආනයන කරන්න නෙමෙයි. බැංකු පද්ධතියේ හදිසි ණය ගෙවන එක කල් දා ගන්න. එහෙම කළත් IMF එකෙන් බොහෝ විට ලැබෙනු ඇත්තේ ඩොලර් බිලියන තුනක පමණ මුදලක්. ලෝක බැංකුව වගේ තවත් තැන් වලින් ටික ටික එකතු කරලා ඔය ප්‍රමාණය ඩොලර් බිලියන හතර හමාරක් කර ගත්තා කියමු. ඒ ටිකෙන් බැංකු පද්ධතියේ ද්‍රවශීලතා ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන්. හැබැයි රජයේ ණය ගෙවීමේ ප්‍රශ්නය වගේම IMF ණය ගෙවීමේ ප්‍රශ්නයත් තව දුරටත් ඉතිරි වෙනවා.

රජයේ ණය ගෙවීමේ ප්‍රශ්නය හා IMF ණය ආපසු ගෙවීමේ ප්‍රශ්නය අපි දැනට පැත්තකින් තියමු. වසර අවසන් වෙද්දී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්ත අහවර වෙලා, IMF එකේ ණයත් ලැබෙනවා කියා කියන්නේ ඔය ප්‍රශ්න දෙකට විසඳුම් මොන විදිහෙන් ලැබිලා කියන එකනේ. තිබෙන ණය ගෙවන්න වැඩි කාලයක් ලබා ගැනීම හා ඒ අනුව පහළ යන ණය වාරික ගෙවන්න අලුතෙන් වෙළඳපොළෙන් ණය ලබා ගැනීම අනිවාර්යයෙන්ම ඔය විසඳුමේ කොටසක් විය යුතුයි. එහෙම නැතුව ඔය තරම් කෙටි කාලයකින් ණය ගෙවන්න අවශ්‍ය තරමට ඩොලර් උපයා ඉතුරු කර ගන්න බැහැ.

සුබවාදීම තත්ත්වයක් යටතේ වුවත් එදිනෙදා වියදම් වලට අවශ්‍ය ඩොලර් ටික රටට එන ඩොලර් ටිකෙන් පියවිය හැකි තරමට ආනයන ඉල්ලුම අඩු විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය වන තරමට ආනයන මිල ඉහළින් තිබිය යුතුයි. ඒ කියන්නේ, රටේ බොහෝ දෙනෙකුට තමන්ගේ ආදායමෙන් කලින් තිබුණු පරිභෝජන මට්ටම පවත්වා ගන්න නොහැකි විය යුතුයි. 

මේ වගේ තත්ත්වයක් යටතේ රාජ්‍ය සේවකයින් විසින් වැඩි වැටුප් ඉල්ලා වෘත්තීය අරගල කරන්න ඉඩ තිබෙනවා. නමුත්, ප්‍රශ්නය විසඳෙන යාන්ත්‍රනය තිබෙන්නේම රජයේ සේවකයින්ට ජීවත් වෙන එක අමාරු වීම තුළයි. දැනට රජයේ ආදායම රුපියල් ට්‍රිලියන 1.5ක් පමණයි. 2019 මට්ටමට බදු වැඩි කළා කියලත් ඔය ආදායම ඕනෑනම් රුපියල් ට්‍රිලියන 2ක් කර ගන්න පුළුවන් වෙයි. රජයේ වියදම් රුපියල් ට්‍රිලියන 3.5කට වඩා වැඩියි. ප්‍රාග්ධන වියදම් මුළුමනින්ම වගේ කපා හැරියත්, පොලී වියදම් ඉහළ යන නිසා ඔය වියදම ඔය මට්ටමේම වගේ තියෙයි. ඒ කියන්නේ තව රුපියල් ට්‍රිලියන 1.5ක පමණවත් හිඟයක් ඉතිරි වෙනවා කියන එකයි. 

බැංකු අංශයෙන් ණය නොගෙන රුපියල් ට්‍රිලියන 1.5ක පමණ අයවැය හිඟයක් පියවන්න බැහැ. ඔය හිඟයෙන්  රුපියල් ට්‍රිලියනයක්වත් ගන්න වෙන්නේ බැංකු අංශයෙන්. ඒ කියන්නේ කොයි තරම් පාලනය කළත් මුදල් සැපයුම තව දුරටත් ඉහළ යාම නොවැලැක්විය හැකි දෙයක් බවයි. මුදල් සැපයුම තව දුරටත් ඉහළ යනවා කියා කියන්නේ ඩොලරය ඉහළ යද්දී හා ආනයනික භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යද්දී වුවත්, එම ආනයන සඳහා ඉල්ලුම විශාල ලෙස අඩු වෙන්නේ නැහැ කියන එකයි. එහෙම වුනොත්, උද්ධමනය හා ඩොලරයක මිල ස්ථාවර නොවී තව තවත් ඉහළ යාමද නොවැලැක්විය හැකියි.

වෙළඳපොළ විසින් ඩොලර් ප්‍රශ්නය විසඳනවා වගේම රාජ්‍ය අයවැය ප්‍රශ්නයත් විසඳනවා. ඒක වෙන්නේ මෙහෙමයි. බදු වැඩි නොකළත්, මිල ඉහළ යද්දී බදු ආදායම් ඉහළ යනවා. ඊට සමාන්තරව ඇතැම් රාජ්‍ය වියදම් වැඩි වුනත් රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, උද්ධමනය ඉහළ යද්දී රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකර සිටීමෙන් අයවැය හිඟය අඩු කර ගන්න පුළුවන්. සැලසුම්සහගතව බදු ආදායම් වැඩි කර නොගත්තොත්, ඔය වැඩේ සිදු වෙලා අයවැය හිඟය ස්වභාවිකවම පියවෙන තුරු මිල ගණන් ඉහළ යයි. ඒ කියන්නේ උද්ධමනය යම් කාලයක් ඉහළ මට්ටමක තියෙයි. හැබැයි පවතින අයවැය පරතරය අනුව ප්‍රායෝගිකව මේ වැඩේ වෙන්න කළින් රාජ්‍ය සේවකයින් වැඩි වැටුප් ඉල්ලා අරගල කරන්න පටන් ගන්නවා. 

මේ සියල්ල කළමනාකරණය කර ගැනීම දේශපාලනික කරුණක්. එය තමන්ට කළ නොහැකි බව ආණ්ඩුව වගේම විපක්ෂයේ පක්ෂද අවබෝධ කරගෙන ඉන්නවා. නමුත් ඒ කවුරුවත් මේක කෙළින්ම කියන්නේ නැහැ. එහෙම කියන්න ඔවුන්ට පුළුවන්කමක් නැහැ. ඒක හරියට ලෙඩේට හොඳම ප්‍රතිකාරය බෙහෙතක් නොගෙන සුවවන තුරු හෝ මැරෙන තුරු බලා ඉන්න එක කියලා දොස්තර කෙනෙක් කියනවා වගේ වැඩක්. දොස්තරට පැවැත්මක් තියෙන්නේ තමන්ට ලෙඩේ හොඳ කළ හැකි බව පෙන්විය හැකි වන තුරු පමණයි. තමන් සතුව විසඳුමක් තියෙනවා කියලා කවුරු හරි කියනවානම් ඉදිරි දෙවසර තුළ රාජ්ය අයවැය කළමනාකරණය කරන්නේ කොහොමද කියලා ඇස්තමේන්තු සමඟ පැහැදිලි කරන්න කියලා කියන්න. 

Wednesday, May 4, 2022

ඩොලරය ආපහු පහළ යයිද?


අද වන විට ඩොලරයක මිල රුපියල් 370 දක්වා ඉහළ ගිහින්. උද්ධමනය 29.8%යි. ආහාර උද්ධමනය 46.6%ක්. රටේ තත්ත්වය පිළිබඳව තවමත් බොහෝ දෙනෙකුට තිබෙන්නේ විශාල අවිනිශ්චිතතාවයක්. අලුත් මහ බැංකු අධිපතිවරයාට අනුව තත්ත්වය හොඳ අතට හැරෙමින් තිබෙනවා. 

අලුත් මහ බැංකු අධිපතිවරයා සෑහෙන තරම් විවෘතව හා යථාර්ථවාදී ලෙස කතා කරන පුද්ගලයෙක්. එහෙත්, ඕනෑම රටක මහ බැංකු අධිපතිවරයෙකුට යථාර්ථවාදී විය හැකි සීමාවක් තිබෙනවා. ඕනෑම රටක මහ බැංකු අධිපතිවරයෙකුට යම් තරමකට හෝ යථාර්තයෙන් බැහැර වී ශුභවාදී ලෙස කතා කරන්න වෙනවා. මහ බැංකු අධිපතිවරයෙකු අශුභවාදී වීමේ මිල ගොඩක් වැඩියි. 

ආර්ථික විචල්‍යයන් ඒත් අතට වගේම මේත් අතටත් සම්බන්ධ වෙනවා. මහ බැංකුවට ඒත් අතට සම්බන්ධය හදාරා පුරෝකථන කළ හැකියි. ඒ පුරෝකථන නිවැරදි වුවත්, මහ බැංකුවේ පුරෝකථන වලට අනෙකුත් පාර්ශ්ව ප්‍රතිචාර දක්වන නිසා එම පුරෝකථන පිළිබඳව මහ බැංකුව විසින් දැනුම් දුන් වහාම මේත් අතට සම්බන්ධයක් හැදී අපේක්ෂිත ප්‍රතිඵලය වෙනස් වෙනවා. ඒ හේතුව නිසාම මහ බැංකුවකට හා එහි ඉහළ නිලධාරීන්ට, ඔවුන් ස්වාධීන පුද්ගලයින් වුවද, කට පරිස්සම් කරගන්න වෙනවා. විශේෂයෙන්ම අශුභවාදී පුරෝකථන සම්බන්ධව. මොකද මහ බැංකුව විසින් අශුභවාදී පුරෝකථනයක් කරනවා කියන්නේම එවැන්නක් සිදු වීමට ඉඩ සැලසීමක් විය හැකි නිසා.

මහ බැංකුවට තිබෙන මේ ප්‍රශ්නය මහ බැංකුවට පිටින් සිටින අප වැනි අයට නැහැ. ඒ නිසා, අපට මහ බැංකුවට වඩා යථාර්ථවාදී විය හැකියි. කෙසේ වුවත්, මහ බැංකුව සතු දත්ත සියල්ල අප සතු නැති නිසා අපට නොපෙනෙන පැති මහ බැංකුව දකිනවා විය හැකි බවද කිව යුතුයි.

ලංකාව වැටී සිටින අර්බුදයෙන් ගොඩ යා හැකි කෙටි මාර්ග නැහැ. ආර්ථිකය කඩා වැටෙන්න පෙර පැවති "සෞභාග්‍යය" කරා නැවත යාමට අවුරුදු දහයක් පමණවත් ගත විය හැකියි. එය කරන්න වෙන්නේ පියවරෙන් පියවර. මේ මොහොතේ තිබෙන ප්‍රමුඛ ප්‍රශ්න දෙක ඩොලරයේ ඉහළ මිල යාම පාලනය කර ගැනීම හා උද්ධමනය පාලනය කර ගැනීමයි. මේ දෙකම මහ බැංකුවේ රාජකාරි. මේ අරමුණු කරා මහ බැංකුව කොයි තරම් ලං වෙලාද?

දැනට මහ බැංකුව විසින් පළමු ප්‍රමුඛතාවය සේ සලකන්නේ විදේශ අංශයේ ප්‍රශ්නය විසඳා ගැනීමයි. එය නිවැරදි ප්‍රවේශයක්. ඒ වගේම ඒ වෙනුවෙන් කළ හැකි දේ මහ බැංකුව විසින් කරමින් සිටිනවා. අලුත් අධිපතිවරයාට මේ සම්බන්ධව තිබෙන අත්දැකීම් හා පුහුණුව ඔහු ප්‍රයෝජනයට ගනිමින් සිටිනවා. 

ඩොලරයේ මිල ඉහළ යාම පාලනය කරන එක කොයි තරම් අමාරුද? මම කලින් ලිපි වල සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා දුන් පරිදි 2015-2019 කාලයේදී අපනයන හා ශ්‍රමික ප්‍රේෂණ ලෙස රටට පැමිණි ඩොලර් ප්‍රමාණය ආනයන සඳහා ප්‍රමාණවත් වුණා. ඩොලර් මදි වුනේ ණය වාරික හා පොලී ගෙවන්නයි. ඒ වෙනුවෙන් අලුතෙන් ණය ගත්තා. අළුතෙන් ණය ගන්න බැරි වූ විට මේ වැඩේ හිර වුනා.

මේ වන විට ණය වාරික හා පොලී ගෙවීම අත් හිටුවා තිබෙනවා. ඒ කියන්නේ, 2015-2019 සමතුලිතතාවට යන්න පුළුවන් විය යුතුයි. එය කළ නොහැකි වී තිබෙන්නේ හේතු දෙකක් නිසා. එකක් සංචාරක ඉපැයීම් අඩු වීම. අනෙක ශ්‍රමික ප්‍රේෂණ අඩුවීම. ඒ කියන්නේ මේ ප්‍රශ්න දෙක විසඳෙනවානම් වැඩේ ගොඩ දාගන්න පුළුවන් කියන එකයි.

සංචාරක ඉපැයීම් වැඩි කර ගන්න එක මහ බැංකුවට කළ හැකි දෙයක් නෙමෙයි. එය තීරණය වන්නේ බාහිර සාධක මත. මේ වන විට සංචාරක ව්‍යාපාරය හිස ඔසොවමින් තිබෙනවා. එහෙත් රටේ තිබෙන අර්බුදකාරී තත්ත්වය නිසා සංචාරක ඉපැයීම් "සාමාන්‍ය" තත්ත්වයට පැමිණීමේ ඉඩක් නැහැ. යම් වර්ධනයක් සිදු වුනත්, 2015-2019 කාලයට සාපේක්ෂව 2022දී ලැබෙනු ඇත්තේ අවම වශයෙන් ඩොලර් බිලියනයක්වත් අඩුවෙනුයි. 

ශ්‍රමික ප්‍රේෂණ සම්බන්ධව තිබෙන්නේ තරමක් වෙනස් තත්ත්වයක්. මේ සල්ලි අඩුවෙන් වාර්තා වුනත් එයින් වැඩි කොටසක් ඇත්තටම රටට එනවා. වෙනස බැංකු පද්ධතිය හරහා නොපැමිණීමයි. මේ විදිහට අවිධිමත් මාර්ග හරහා ඩොලර් රටට එන්නේ ඩොලර් වෙනුවෙන් වැඩි මිලක් ගෙවන්න සූදානම් අය රටේ ඉන්න නිසයි. මහ බැංකුව විසින් ඉතාම නිවැරදි ලෙස ඉල්ලුම පාලනය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. මේ සඳහා ඉතා ඉක්මණින් ගැනීමට නියමිත ක්‍රියාමාර්ග තුනක් ගැන අලුත් අධිපතිවරයා විස්තර කළා.

අධිපතිවරයා විසින් සඳහන් කළ පළමු ක්‍රමය බැංකු පද්ධතිය හරහා මුදල් නොගෙවා ආනයනය කරන භාණ්ඩ රේගුවෙන් නිදහස් නොකිරීමයි. මෙසේ "හොර පාරෙන්" මුදල් ගෙවා සිදු කරන ආනයන ප්‍රමාණය පිළිබඳව මට අදහසක් නැහැ. මහ බැංකුව සතුව සංඛ්‍යාලේඛණ තිබෙනවා විය හැකියි. 

මෙය පවතින තත්ත්වයන් යටතේ හොඳ ක්‍රියාමාර්ගයක්. ඒ හරහා යම් පමණකින් ආනයන පාලනය කර ගන්න ඉඩ ලැබෙයි. ඒ සමඟම අවිධිමත් වෙළඳපොළේ ඩොලර් ඉල්ලුමද යම් පමණකින් අඩු වීමට නියමිතයි. එහි ප්‍රතිඵලය වන්නේ අවිධිමත් වෙළඳපොළේ ඩොලරයක මිල හා බැංකු වල මිල අතර පරතරය අඩු වී බැංකු ක්‍රමය හරහා රටට එන ඩොලර් ප්‍රමාණය ඉහළ යාමයි. මේ වැඩෙන් සමස්තයක් ලෙස රටට එන ඩොලර් ප්‍රමාණය ඉහළ යන්නේ නැති වුනත්, එන ඩොලර් ටික අත්‍යවශ්‍ය ආනයන සඳහා වෙන් කිරීමට ඉඩ සැලසෙනවා.

ඔහු විසින් සඳහන් කළ දෙවන ක්‍රියාමාර්ගය අධ්‍යාපන කටයුතු ආදිය සඳහා රටින් පිටට යැවිය යුතු මුදල් බැංකු පද්ධතියෙන් ලබා ගැනීමට ඉඩ සැලසීමයි. රටින් පිට දරුවන් සිටින දෙමවුපියන් ඔවුන්ගේ නඩත්තුව සඳහා කෙසේ හෝ මුදල් යැවිය යුතුයි. මේ සඳහා බැංකු පද්ධතියෙන් මුදල් ලබා ගත නොහැකි වූ විට ඉතිරි වන්නේ කීයට හෝ ඩොලර් මිල දී ගෙන  "හොර පාරෙන්" සල්ලි යැවීමේ විකල්පයයි. නියම ක්‍රමයට ඩොලර් ලැබෙනවානම් හොර පාරෙන් යවන්න අවශ්‍ය වන්නේ නැහැ. 

මේ දෙවන ක්‍රියාමාර්ගය නිසාද අවිධිමත් වෙළඳපොළේ ඩොලර් ඉල්ලුම අඩු වී එම වෙළඳපොළ හා බැංකු අතර මිල පරතරය අඩු වීමට නියමිතයි. එහිදී බැංකු ක්‍රමය හරහා රටට එන ඩොලර් ප්‍රමාණය ඉහළ යන නමුත් ඒ ඩොලර් බැංකු වල නොරැඳෙන නිසා රටට එන ඩොලර් ප්‍රමාණය ඉහළ යන්නේ හෝ වෙනත් වැඩකට යොදා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙත්, උන්ඩියල් ප්‍රේෂණ අඩු කර ගැනීමට හා එමගින් ඩොලරයේ මිල පාලනය කර ගැනීමට එයින් උදවුවක් ලැබෙනවා. 

අධිපතිවරයා විසින් සඳහන් කළ තෙවන ක්‍රියාමාර්ගය අපනයනකරුවන්ගේ ආදායම් බලහත්කාරයෙන් රුපියල් වලට හැරවීම නැවැත්වීමයි. මෙය ආර්ථික විද්‍යා මූලධර්ම මත පදනම්ව ගන්නට යන තරමක් එඩිතර ක්‍රියාමාර්ගයක් කියා කියන්න පුළුවන්. පළමුව, මේ බලහත්කාර මුදල් පරිවර්තනයට හේතු වුනේ අපනයන ආදායම් රටට නොගෙන්වා පිටත තියා ගැනීමට ඇතිව තිබුණු පෙළඹුමයි. අපනයනකරුවන් එසේ කරන්නට පෙළඹුණේ ඩොලරයේ මිල නොවටිනා සීමාවක රඳවා ගෙන සිටි නිසයි. මේ වන විට ඩොලරයේ මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා, අපනයනකරුවන් විසින් තමන්ගේ ඩොලර් රටින් පිට තබා ගැනීමක් තවදුරටත් ලොකුවට සිදු නොවනු ඇතැයි මහ බැංකුව සිතන බව පේනවා.

මීටත් වඩා වැදගත් කාරණය මේ ආකාරයෙන් භාණ්ඩ අපනයනය කර උපයන ඩොලර් බලහත්කාරයෙන් රුපියල් කර ගත හැකි වුවත්, සේවා අපනයනය කර උපයන ඩොලර් එසේ ගෙන්වා ගත නොහැකි වීමයි. තමන්ගේ ඩොලර් බලහත්කාරයෙන් රුපියල් කෙරෙන තත්ත්වයක් යටතේ බොහෝ සේවා අපනයනකරුවන් තමන්ගේ ඩොලර් රටට ගෙන නොඒමට පෙළඹී සිටිනවා. ඒ නිසා, අවසාන වශයෙන් මේ තීරණයේ ප්‍රතිඵලය ලෙස සිදුව තිබෙන්නේ රටට එන ඩොලර් ප්‍රමාණය තවත් පහළ යන එකයි. 

මේ ක්‍රියාමාර්ග තුනෙන්ම කවර හෝ සාධනීය ප්‍රතිඵලයක් ලබා ගන්නට හැකි වෙයි. ඒ හරහා උන්ඩියල් වෙළඳපොළේ මිල පාලනය වීමට මෙන්ම පහළ වැටෙන්නට වුවද පුළුවන්. මෙහිදී උපක්‍රමය වන්නේ රට ඇතුළේ ඩොලර් වලට තිබෙන අවිධිමත් ඉල්ලුම අඩු කිරීමයි. ඉල්ලුම නැති වන විට නිසගයෙන්ම සැපයුමද අඩු වෙනවා. මෙය මෙතෙක් මහ බැංකුව විසින් අනුගමනය කළ සැපයුම පාලනය කිරීමේ උපක්‍රම වලට වඩා සාර්ථක වෙයි කියා මම හිතනවා.

කෙසේ වුවත්, මේ වැඩේ නිසා සමස්තයක් ලෙස ඩොලර් ඉල්ලුම හා සැපයුම අතර තිබෙන පරතරය විශාල ලෙස අඩු වන්නේ නැහැ. ඒ සඳහා කළ හැකි එකම දෙය අත්‍යවශ්‍ය නොවන ආනයන පාලනය කිරීමයි. දෙවන හා තුන්වන උපක්‍රම එයට උදවුවක් නොවුනත්, පළමුවැන්න හරහා එම ඉලක්කය යම් තරමකින් සාක්ෂාත් කරගත හැකියි.

පසුගිය ජනවාරි මාසයේදී ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 1,959ක් වැය වී තිබුණා. අපනයන ආදායම ඩොලර් මිලියන 1,101යි. ඒ කියන්නේ වෙළඳ ශේෂයේ  ඩොලර් මිලියන 859ක හිඟයක්. ශ්‍රමික ප්‍රේෂණ වලින් ඩොලර් මිලියන 259කුත්, සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 148කුත් ලැබී තිබුණා. ඒ කියන්නේ තව ඩොලර් මිලියන 452ක හිඟයක්. 

මාර්තු මාසය වන විට ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් මිලියන 319.4 දක්වාත්, සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 191.5 දක්වාත් ඉහළ ගොස් තිබුණා. මේ තත්ත්වය තවත් ටිකක් හොඳ අතට වෙනස් වෙයි කියා හිතුවත්, අවසාන වශයෙන් මාසයකට ඩොලර් 300ක පමණවත් හිඟයක් ඉතිරි වෙනවා. කලින් විස්තර කළ යෝජිත ක්‍රියාමාර්ග වලින් මේ හිඟය කොපමණ දුරකට අඩු කර ගත හැකි වෙයිද?

මගේ අදහසනම් අත්‍යාවශ්‍ය නොවන ආනයන වෙනුවෙන් "හොර පාරෙන්" යවන සල්ලි ප්‍රමාණය වැඩිම වුනොත් ඩොලර් මිලියන 100ක් පමණ වෙයි කියන එකයි. ඒ කියන්නේ, ඔය යෝජිත ක්‍රියාමාර්ග ගත්තත් මාසයකට තවත් ඩොලර් මිලියන 200ක පමණවත් හිඟයක් ඉතිරි වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි ලබා ගන්න අවම වශයෙන් තවත් මාස තුනක් පමණ යා හැකි බවකුයි පේන්න තියෙන්නේ. ඔය කාලය ඇදගන්න වෙන්නේ අතමාරු වලින්. හැබැයි ඒ අතර කලින් අතමාරුවට ගත්ත සල්ලිත් ගෙවන්න වෙනවා. මේ තත්ත්වය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි ලැබෙන තුරු ඩොලරයක මිල ස්ථාවර වෙයි කියලා හෝ පහළ යයි කියලා කොහොමටවත් හිතන්න අමාරුයි. හැබැයි මිල ඉහළ යන වේගය ටිකෙන් ටික අඩු වෙමින් තිබෙනවා. එයත් ස්ථාවර වීමක් තමයි. 

ඉහත තුන්වන යෝජනාව අනුව අපනයනකරුවන් විසින් රටට ගෙන ආ හැකිව තිබෙන ඩොලර් බලෙන් රුපියල් නොකෙරෙන නමුත් ඒ ඩොලර් බැංකු වල ඉතිරි වන නිසා එයින් බැංකු වලට ඔවුන්ගේ ඩොලර් ද්‍රවශීලතා ප්‍රශ්නය විසඳාගන්න වඩා පහසු වෙනවා. එයත් ඩොලරයක මිල ස්ථාවර කර ගැනීමට උදවුවක්. 

සමහර විට මහ බැංකු අධිපතිවරයා විසින් ඩොලරයක මිල පහළ යා හැකියි කියන එකෙන් අදහස් කළේ උන්ඩියල් වෙළඳපොළේ මිල ගැන වෙන්න පුළුවන්. ඒකනම් වෙන්න පුළුවන් දෙයක්. ඊට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි ලැබුණු විට බැංකු ක්‍රමය ඇතුළේ වුනත් ඩොලරයක මිල පහළ යාමට යම් තෙරපුමක් ඇති වෙන්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයකුත් තියෙනවා. සුඛෝපභෝගී භාණ්ඩ සේ සලකා ඇතැම් ආනයන වලට ඉඩ නොදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වෙයි කියලා හිතන්න අමාරුයි. සමහර විට වාහන ආනයනයට පවා නැවත ඉඩ දෙන්න සිදු විය හැකියි. මේවා දෙපාර්ශ්වය අතර සාකච්ඡා සිදුවන ආකාරය අනුව තීරණය වන දේවල් නිසා නිශ්චිත අනාවැකි කියන්න බැහැ.

ඩොලර් නිකුත් නොකර හෝ සෘජු වාරණ හරහා ආනයන පාලනය කිරීම නොකරනවානම් ආනයන වියදම අඩු කරගත හැකි ක්‍රමය අවශ්‍ය පමණ මිල ඉහළ යන්න ඉඩ සැලසීමයි. මාර්තු මුල් සතියෙන් පසුව දැනටමත් ඩොලරයක මිල 80%කින් පමණ ඉහළ ගොස් තිබෙන පසුබිමක, එම හේතුව නිසාම සැලකිය යුතු ලෙස ආනයන ඉල්ලුම පහළ නොයන්න හේතුවක් නැහැ. මිල වැඩි වීම නිසාම ගෑස්, පැට්‍රෝල් පෝලිම් නැති වෙන්න පුළුවන්. ඒ වගේම, වාහන ආනයනයට නැවත ඉඩ දුන්නට කලින් තරමටම වාහන ආනයන ඉල්ලුමක් ඇති නොවෙන්න පුළුවන්. ලංකාවේ මිනිස්සු වාහන ආයෝජනයක් ලෙසද සලකන නිසා මේක ටිකක් සංකීර්ණ තත්ත්වයක්. මොකක් වෙයිද කියලා හරියටම කියන්න අමාරුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි ලැබුණු විට ඩොලරයක මිල පොඩ්ඩක් පහළ යන්න යම් ඉඩක් තිබෙනවා. එහෙත්, බොහෝ විට එසේ නොවෙන්න පුළුවන්. යම් විදිහකින් මිල පහළ යනවානම් මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගෙන එය වැළැක්විය යුතුයි. ඩොලරය ඉහළ යද්දී ඉහළ යන බඩු මිල ඩොලරය පොඩ්ඩක් පහළ ගියා කියලා අඩු වෙන්නේ නැහැ. 

කොහොමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සල්ලි ලැබෙන එක ස්ථිර වෙද්දී ඩොලරය ස්ථාවර වෙන බව කාට වුවත් පැහැදිලි වන නිසා ඔය නිවේදනයත් එක්කම එක පාරටම රටින් පිට රඳවාගෙන තිබෙන ඩොලර් රටට එන්න සහ එයින් කොටසක් රුපියල් වෙන්න පුළුවන්. එයින්ද යම් අධිප්‍රමාණ පීඩනයක් එන්න පුළුවන්. ඒ වෙලාවට කළ යුත්තේ පුළුවන් තරමකින් සංචිත ගොඩ නගා ගන්න එකයි. අතමාරු ණය හැමදාම රෝල් කරන්නත් බැහැනේ. ඒවා පියවන්නත් ඩොලර් අවශ්‍ය නිසා කොහොමටත් ඔය වැඩේ කරන්නම වෙනවා.

උද්ධමනය ගැන වෙනම ලිපියකින් කතා කරමු.

Monday, May 2, 2022

වියදම් කැපිය හැක්කේ මොන විදිහටද?

ලංකාවේ රජයේ වියදම් ආදායම් වලට වඩා බොහෝ වැඩි බවත්, වත්මන් අර්බුදයට මූල හේතුව එය බවත් අප ලියන දේ කියවන අය නොදන්නා දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ප්‍රශ්නය විසඳන්නනම් ආදායම් හා වියදම් ගලපන්න වෙනවා කියන එකයි. මේ සඳහා එක්කෝ බදු වැඩි කළ යුතුයි. නැත්නම් වියදම් කැපිය යුතුයි. දැන් තිබෙන තත්ත්වය අනුව ඔය දෙකම කරන්න වෙනවා. කළ යුත්තේ කොහොමද කියන එක දේශපාලනික කරුණක්.

කොහොම කළත්, මුලින්ම කළ යුත්තේ දැන් පවතින තත්ත්වය නිවැරදිව තේරුම් ගැනීමයි. පසුගිය 2021 වසරේදී ලංකාවේ රාජ්‍ය ආදායම වැය කළේ කොහොමද?

පරිපාලන වියදම් - 13.0%

ආරක්ෂක වියදම් -17.7%

නීතිය හා සාමය - 7.8%

අධ්‍යාපනය - 21.3%

සෞඛ්‍යය - 26.6%

අනෙකුත් සුබසාධන වියදම් - 28.5%

ප්‍රජා සේවා - 3.5%

කෘෂිකර්මය හා වාරිමාර්ග - 10.1%

බලශක්ති හා ජල සැපයුම් - 6.7%

ප්‍රවාහන හා සන්නිවේදන - 21.3%

අනෙකුත් ආර්ථික සේවාවන් - 10.0%

පොලී වියදම් (දේශීය ණය) - 54.6%

පොලී වියදම් (විදේශීය ණය) - 17.4%

වෙනත් - 4.2%

එකතුව - 242.8%


ප්‍රශ්නය "පහසු කරගන්න" තවත් විස්තර ටිකක් එකතු කරන්නම්.


2020 අවසානයේදී දින-364 (වසර-1) භාණ්ඩාගාර බිල්පත් පොලිය - 5.03%

2020 අවසානයේදී නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය - රුපියල් බිලියන 6,999.6


2021 අවසානයේදී දින-364 (වසර-1) භාණ්ඩාගාර බිල්පත් පොලිය - 8.24%

2021 අවසානයේදී නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය - රුපියල් බිලියන 9,379.5


2022 අප්‍රේල් අවසානයේදී දින-364 (වසර-1) භාණ්ඩාගාර බිල්පත් පොලිය - 24.09%

2022 අප්‍රේල් අවසානයේදී නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය - රුපියල් බිලියන 10,730.8


මේ අනුව මේ වසරේදී විදේශීය ණය වල පොලිය සතයක්වත් නොගෙවුවත්, දේශීය ණය ප්‍රමාණය හා පොලී අනුපාතික ඉහළ යාම හේතුවෙන් සමස්ත පොලී වියදම පමණක් සමස්ත රාජ්‍ය අදායම ඉක්මවා යා හැකියි.

අයවැය සමතුලිත කළ යුතු ආකාරය යෝජනා කිරීම ඔබට බාරයි!




Sunday, May 1, 2022

අයවැය බොරුව


සංදර්ශනාත්මක ලෙස වසරකට වරක් ලංකාවේ පාර්ලිමේන්තුවේ අයවැයක් සම්මත කර ගන්නවා. හැබැයි ඒ විදිහට සම්මත කරගන්නා අයවැය කියා කියන්නේ නිකම්ම නිකම් ලේඛණයක් පමණයි. ඔය සම්මත අයවැයේ විදිහට කවදාවත් වැඩ සිදු වෙන්නේ නැහැ. 

ඉදිරි වසරේ ආදායම් හා වියදම් හරියටම සතේටම ඇස්තමේන්තු කරන්න කාටවත් බැහැ. එවැන්නක් අපේක්ෂා කළ යුතුත් නැහැ. නමුත්, අයවැය ඇස්තමේන්තු හා ඇත්ත සංඛ්‍යා වෙනස් වන්නේ පහසුවෙන් හඳුනාගත හැකි පැහැදිලි රටාවකටනම්, මෙහි  තිබෙන්නේ සැලසුම්සහගත බොරුවක් මිසක් ඇස්තමේන්තු කිරීම අසීරු වීමේ ප්‍රශ්නයක් නොවන බව ඉතාම පැහැදිලියි.

පහත කොටස් උපුටා ගත්තේ ආර්ථිකය කඩා වැටෙන්න පෙර ලියා පළ කළ ලිපියකින්.

"ආදායම් වැඩියෙනුත්, වර්තන වියදම් අඩුවෙනුත් ඇස්තමේන්තු කිරීම ලංකාවේ රජය (මුදල් අමාත්‍යංශයේ අදාළ නිලධාරීන්) විසින් කාලයක් තිස්සේම කරන දෙයක්. කවදාවත්ම මේ ඇස්තමේන්තු හරියට හදාගන්න බැරිනම් "අපට මේවා කළ හැකි දක්ෂ නිලධාරීන් ඉන්නවා" කියන කතාව හිස් වචන ටිකක් පමණක් වෙනවා. සමහර විට නිලධාරීන් දක්ෂ ඇති. ඒ දක්ෂතාවය යෙදෙවෙන්නේ මොන විදිහටද? 

රජයේ ප්‍රාග්ධන වියදම් කියා කියන්නේ රජය නඩත්තු කිරීමේ දැවැන්ත වියදම වසා ගැනීමට යොදා ගන්නා ආවරණයක් පමණයි. අයවැයෙන් ලොකුවට පෙන්වා සම්මත කර ගන්නා ප්‍රාග්ධන ආයෝජන ඇත්තමට ඒ විදිහටම වෙන්නේ නැහැ. ඒ සල්ලි වලින් සැලකිය යුතු කොටසක්ද අවසාන වශයෙන් යොදා ගැනෙන්නේ රජය නඩත්තු කිරීම වෙනුවෙනුයි. ඉතිං කොහොමද වත්කම් හැදෙන්නේ?"

මේ වන විට පසුගිය 2021 වසරේ රාජ්‍ය ආදායම් හා වියදම් පිළිබඳ ඇස්තමේන්තු ඉදිරිපත්ව තිබෙන නිසා, එම සැබෑ සංඛ්‍යාලේඛණ වසර මුල සම්මත කරගත් අයවැය ඇස්තමේන්තු සමඟ සංසන්දනය කළ හැකියි.

ආදායම් හා ප්‍රදාන:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 2,029යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 1,464යි.

මේ අනුව, ආදායම් හා ප්‍රදාන 27.9%කින් පහළ ගොස් තිබෙනවා.

බදු ආදායම්:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 1,724යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 1,298යි.

මේ අනුව, බදු ආදායම් 24.7%කින් පහළ ගොස් තිබෙනවා.

බදු නොවන ආදායම්:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 227යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 159යි.

මේ අනුව, බදු නොවන ආදායම් 29.9%කින් පහළ ගොස් තිබෙනවා.

ප්‍රදාන:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 10යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 6.7යි.

මේ අනුව, ප්‍රදාන 33%කින් පහළ ගොස් තිබෙනවා.

මෙය කිසිසේත්ම අහම්බයක් නෙමෙයි. ආදායම් ඇස්තමේන්තු වැඩියෙන් පෙන්වීම සෑම වසරකදීම සැලසුම්සහගත ලෙස කරන දෙයක්. 2020 වැනි වසරක් හා අදාළව වසංගතය ගැන කලින් දැන නොසිටි බව වැනි "සමාවට කරුණක්" ඉදිරිපත් කළ හැකි වුවත්, 2021 වසර සඳහා අයවැය ඇස්තමේන්තු හදන විට වසංගතයේ බලපෑම හොඳින්ම දන්නා දෙයක්. ආදායම් වැඩියෙන් පෙන්වන්නේ වැඩියෙන් වියදම් කිරීමේ උපක්‍රමයක් ලෙසයි.

සමස්ත වියදම:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 3,594යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 3,522යි.

මේ අනුව, සමස්ත වියදම 2.0%කින් පහළ ගොස් තිබෙනවා.

ආදායම් අඩුවීම හා කිසිසේත්ම නොගැලපෙන නමුත් වියදම්ද මෙලෙස සුළු වශයෙන් අඩු වී තිබුණත්, එසේ අඩු වී තිබෙන්නේ ප්‍රාග්ධන වියදම් කපා හැරීම නිසයි. පුනරාවර්තන වියදම් වැඩියෙන් කිරීමට අවකාශ සලසා ගනිමින් ප්‍රාග්ධන වියදම් වැඩියෙන් ඇස්තමේන්තු කර පසුව කපා හැරීමද සෑම වසරකම මෙන් සැලසුම්සහගත ලෙස කරන දෙයක්. 

ප්‍රාග්ධන වියදම:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 1,070යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 768යි.

මේ අනුව, ප්‍රාග්ධන වියදම 28.3%කින් පහළ ගොස් තිබෙනවා.

පුනරාවර්තන වියදම:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 2,534යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 2,748යි.

මේ අනුව, පුනරාවර්තන වියදම 8.4%කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ ආකාරයෙන්, ඇස්තමේන්තුව තරමට ආදායම් නොලැබීමේ හා ඇස්තමේන්තුව ඉක්මවා වියදම් කිරීමේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ඇස්තමේන්තුව ඉක්මවා ණය ගන්න සිදු වීමයි.

ණය අවශ්‍යතාවය:

ඇස්තමේන්තුව- රුපියල් බිලියන 1,565යි.

සැබෑ ගණන- රුපියල් බිලියන 2,058යි.

මේ අනුව, ණය අවශ්‍යතාවය 31.5%කින් ඉහළ ගොස් තිබෙනවා.

දැන් පවතින අසීරු තත්ත්වය යටතේ රාජ්‍යමූල්‍ය ස්ථාවරත්වය ඇති කර ගැනීම සඳහා සැලසුම් කිරීමේදී කළ යුතු පළමු දෙය බොරු ඇස්තමේන්තු ඉදිරිපත් නොකළ පවතින යථාර්තය පිළිබිඹු කෙරෙන නිවැරදි ආදායම් ඇස්තමේන්තු මත පදනම්ව වියදම් ගලපා ගැනීමයි.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...