වෙබ් ලිපිනය:

Thursday, August 12, 2021

වේරම්භ වාතයට යට වූ දකුණු හුළඟ


 ‘‘ඡ ඛොමෙ, ගහපතිපුත්ත, ආදීනවා විකාලවිසිඛාචරියානුයොගෙ. අත්තාපිස්ස අගුත්තො අරක්ඛිතො හොති, පුත්තදාරොපිස්ස අගුත්තො අරක්ඛිතො හොති, සාපතෙය්‍යංපිස්ස අගුත්තං අරක්ඛිතං හොති, සඞ්කියො ච හොති පාපකෙසු ඨානෙසු, අභූතවචනඤ්ච තස්මිං රූහති, බහූනඤ්ච දුක්ඛධම්මානං පුරක්ඛතො හොති."

“ගෘහපති පුතේ, නුසුදුසු අවස්ථා වල වීථි සංචාරයෙහි නැවත නැවත යෙදීමේ දෝෂ හයක් තිබෙනවා. තමා ප්‍රවේසම් නොවේ, ආරක්ෂා නොවේ. තමාගේ අඹුදරුවෝද ප්‍රවේසම් නොවේ, ආරක්ෂා නොවේ. තමාගේ වස්තුවද ප්‍රවේසම් නොවේ, ආරක්ෂා නොවේ. අනුන්ගේ සැකයට බඳුන් වේ. නොකළ වැරදි වලට අසු වේ. නොයෙක් දුක් කරදර වලට මුහුණ දෙන්නට සිදු වේ."

මම හිතන්නේ බුදු හාමුදුරුවෝ සිඟාලක ගෘහපතියාට දුන් ඉහත අවවාදය මේ දවස් වල ලංකාවේ වැසියන්ට වෙන කවරදාකටත් වඩා වටිනවා. තමනුත්, අඹුදරුවනුත් රැක ගන්න අවශ්‍යනම් අත්‍යාවශ්‍ය නොවන වීථි සංචරණ සීමා කරන්නම වෙනවා. 

බුදුහාමුදුරුවන්ට සිඟාලක ගෘහපතියාව දකින්න ලැබෙන විට ඔහු උදේ පාන්දරම තෙත හිස කෙස් පිටින් සය දිසාවට වඳිනවා. මෙය ඔහුට ඔහුගේ පියා මියයන්න කලින් උගන්වා තිබුණු වතාවතක්. මේ බව දකින බුදුහාමුදුරුවෝ පරම්පරාවෙන් ආ සම්ප්‍රදායික දැනුමක් වුවත් තේරුමක් නැති දේ කිරීමෙන් යහපතක් නොවන බව සිඟාලකට පැහැදිලි කරනවා. මේ වගේ තේරුමක් නැති සම්ප්‍රදායික දැනුම් ප්‍රශ්න කිරීම බුදුහාමුදුරුවන් විසින් බොහෝ අවස්ථා වල කර තිබෙන දෙයක්. එවැනි වෙනත් අවස්ථා වලදී වගේම මේ අවස්ථාවේදීත් බුදුහාමුදුරුවෝ කරන්නේ භාෂාවට අලුත් අර්ථකථනයක් දීම හරහා සම්ප්‍රදාය වෙනස් කිරීම. ඒ අනුව, බුදුහාමුදුරුවෝ සය දිසාව නැවත අර්ථකථනය කරනවා.

සිගාලෝවාද සූත්‍රයට අනුව දකුණු දිශාව කියන්නේ ගුරුවරු. පසුගිය දවස් වල ලංකාවේ දකුණු දිශාවේ කැළඹීමක් ඇති වුනා. අපි දකුණු සුළඟ කියා කියමු. දකුණු සුළඟ හමද්දී ලංකාවේ ආර්ථිකය හරහා ප්‍රචණ්ඩ කුණාටුවක් හමමිනුයි තිබුණේ. දැන් දකුණු සුළඟ නැවතිලා. හැබැයි එය සිදු වී තිබෙන්නේ රට හරහා වේරම්භ වාතයක් හමා යාමට සමාන්තරවයි. ලෝකයේ හොඳින්ම කෝවිඩ් පාලනය කළ ආණ්ඩුවකට දැන් කෝවිඩ් ප්‍රශ්නයක් වෙලා!

මේ වෙලාවේ කෝවිඩ් වලට අවධානය යොමු වී තිබුණත්, ගුරු ප්‍රශ්නය වගේම ඊට වඩා ගොඩක් බරපතල රටේ ආර්ථිකයේ ප්‍රශ්නත් ඒ විදිහටම තිබෙනවා වගේම මේ ප්‍රශ්න එකිනෙකට සම්බන්ධයි. ගුරු ප්‍රශ්නය හදාගත් ප්‍රශ්නයක් වුවත් එය මේ ආණ්ඩුව විසින් හැදූ ප්‍රශ්නයක් නෙමෙයි. ආර්ථිකයේ ප්‍රශ්නයත් හදාගත් ප්‍රශ්නයක්. එයද මේ ආණ්ඩුව විසින් හැදූ ප්‍රශ්නයක් නොවූවත්, මේ වන විටද මේ ආණ්ඩුව පෙනී සිටින ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇති වූ ප්‍රශ්නයක්. කෝවිඩ් මර්දනයේදී ආණ්ඩුව අනුගමනය කළ ක්‍රියාමාර්ග කිසි ලෙසකින්වත් සර්ව සම්පූර්ණ නැතත්, වසංගතය හා ආශ්‍රිත ප්‍රශ්න මේ ආණ්ඩුවේ හෝ වෙනත් ආණ්ඩුවක වරදකින් ඇති වූ ප්‍රශ්න නෙමෙයි. 

කෝවිඩ් පැතුරුණේ දකුණු හුළඟ නිසා කියා කියන්න බැහැ. එය කොයි වෙලාවක හෝ සිදු විය හැකිව තිබුණු දෙයක්. මේ බව අප සටහන් කළේ ලංකාව කෝවිඩ් මර්දනයෙන් ලෝකයේ හොඳම රටක්ව සිටින බව ප්‍රචාරය කෙරුණු කාලයේදීමයි. කෝවිඩ් පැතිරීම ආණ්ඩුවේ වැරැද්දක් නොවනාවක් මෙන්ම ගුරුවරුන්ගේ වැරැද්දක්ද නෙමෙයි. දිගින් දිගටම නොකල්හි වීථි සංචාරය කළ ගුරුවරුන්ට දැන් සිඟාලක ගෘහපතිට බුදු හාමුදුරුවන් විසින් කියූ පරිදිම නොකළ වැරදි වලට අසු වී, අනුන්ගේ සැකයට බඳුන් වී, නොයෙක් දුක් කරදර වලට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා.

ප්‍රශ්න ඇති වුනේ මොන විදිහට වුනත් පවතින ආණ්ඩුවට එම ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා. කෝවිඩ් වේරම්භ වාතය හමුවේ දකුණු සුළඟ සමහර විට යටපත් වෙලා යයි. කෝවිඩ් ප්‍රශ්නයත් කාලයත් එක්ක විසඳී යයි. ස්වභාවිකව ඇති වන ප්‍රශ්න නරකම තත්ත්වයක් යටතේ වුවත් කාලයත් සමඟ ස්වභාවිකවම විසඳෙනවා. හැබැයි ඊට පෙර තත්ත්වය දැන් තිබෙනවාට වඩා නරක අතට හැරෙන බවත් පැහැදිලියි.

කෝවිඩ් මර්දන කාර්යයේදී ලංකාවේ ආණ්ඩුව අසමත්ව ඇති බව දැන් වෙද්දී වැඩි පිළිගැනීමක් තිබෙන මතයක්. වසංගතයේ ආරම්භක අවදියේදී ගොඩක් අය එහෙම කිවුවේ හෝ හිතුවේ නැහැ. මෙහිදී ආණ්ඩුව අසමත් වන්නේ වෙන අයෙකුට කළ හැකිව තිබුණු දේ නොකළ නිසා නෙමෙයි. ආණ්ඩුවකට නොකළ හැකි දේ කළ හැකි සේ සලකා කරන්න යාම තුළයි.

ආර්ථික කළමනාකරණයේදීත් කෝවිඩ් වලින් උගත් පාඩම අමතක නොකළොත් එය ආණ්ඩුවේ පැවැත්මට හොඳ වෙයි. ආර්ථිකයේ ප්‍රශ්න වසංගතය මෙන් ස්වභාවිකව ඇති වූ ප්‍රශ්න නොවන නිසා එම ප්‍රශ්න කාලය විසින් විසඳන්නේ නැහැ. ඒ ප්‍රශ්න විසඳන්නම වෙනවා. ප්‍රශ්න වල මුල ආණ්ඩුවකට කළ නොහැකි දේ කරන්න යාමයි. නොකළ හැකි දේ කරන්න දිගින් දිගටම උත්සාහ දරන තුරු ආණ්ඩුවේ අසමත් බව සැඟවිය නොහැකි ලෙස මතු වීමේ අවදානම එලෙසම තිබෙනවා.

Tuesday, August 10, 2021

ඇමරිකාවේ පාසැල් අධ්‍යාපනය


මා සාමාන්‍යයෙන් කිසියම් අයෙකු විසින් ගන්නා වෙනත් අයට බලපාන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග විවේචනය කරන්නේ අදාළ භූමිකාව පෞද්ගලිකව මට පැවරී තිබුණේනම් එය වඩා හොඳින් කළ හැකිව තිබුණු හෝ තිබෙන ආකාරයක් ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇති විට පමණයි. බොහෝ විට සිදු වන්නේ පවතින තත්ත්වය පහසුවෙන් විවේචනය කළ හැකි තරම් නරක වුවත්, එම තත්ත්වය වෙනස් කර ගත හැක්කේ කොහොමද කියන එක අවිනිශ්චිත වීමයි. මේ වගේ වෙලාවකදී, පවතින තත්ත්වය කොයි තරම් නරක වුවත්, ප්‍රශ්නයට සෘජුව මුහුණ දෙන පුද්ගලයින් විවේචනය කිරීමට මම යොමු වෙන්නේ නැහැ. 

විශේෂයෙන්ම ලංකාව වගේ රටක ප්‍රතිපත්ති සම්පාදකයින්ට ඇතැම් වෙලාවට තමන්ට නිවැරදි සේ පෙනෙන දෙයම කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවක එවැන්නෙකු කරන දෙයක් විවේචනය කිරීම ඒ අයටම කරන උදවුවක් වෙනවා. 

බොහෝ වෙලාවට ප්‍රශ්න පැහැදිලි වුවත් එම ප්‍රශ්න වලට විසඳුම් බ්ලොග් පෝස්ට් එකකින් ඉදිරිපත් කළ හැකි තරම් සරල නැහැ. එහෙත් එයින් අදහස් වෙන්නේ විසඳුම් නැති බව නෙමෙයි. බොහෝ විට අපේ බොහෝ පාඨකයින් ඇතැම් දේවල් සම්බන්ධව "කළ හැක්කේ කුමක්ද?" කියා අපෙන් විමසා තිබෙනවා. ඒ වගේම, "අපේ ප්‍රශ්න අපි විසඳාගන්නම්. ඕගොල්ලෝ පැත්තකට වෙලා ඉන්න" කියා කියන පිරිසකුත් ඉන්නවා.

මේ විදිහට "ඕගොල්ලෝ පැත්තකට වෙලා ඉන්න" කියා කියන ගොඩක් අය සෘජුවම ප්‍රශ්නය විසඳීමේ වගකීම දරන අය නෙමෙයි. මේ ප්‍රකාශයෙන් ප්‍රායෝගිකව අදහස් වෙන්නේ "ඕගොල්ලෝ පැත්තකට වෙලා ඉන්න. අපේ බුවා අපිට ප්‍රශ්නේ විසඳලා දෙයි!" කියන එකයි. 

මේ දවස් වල ලංකාවේ ආණ්ඩුව මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න දෙකෙන් එකක් නොවූවත් අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයකටද ආණ්ඩුව මුහුණ දෙමින් සිටිනවා. "අපේ බුවා අපිට ප්‍රශ්නේ විසඳලා දෙයි!" කියා හිතන ඇච්චන් කෙසේ ප්‍රතිචාර දැක්වුවත්, ප්‍රශ්නයට සෘජුව මුහුණ දෙන අය ලෝකයේ කොහේ හෝ සිටින අයගේ අදහස් වලට විවෘතව සිටින බව පේනවා.

රටක අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීමේදී එකිනෙක හා ගැටෙන ඉලක්ක තුනක් ලඟා කර ගැනීමේ අභියෝගයට මුහුණ දීමට ප්‍රතිපත්ති සම්පාදකයෙකුට සිදු වෙනවා. ඒ ප්‍රවේශය වැඩි කිරීම, ගුණාත්මක භාවය වැඩි කිරීම හා පිරිවැය අඩු කිරීම කියන ඉලක්ක තුනයි. ඇමරිකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ මේ එක් එක් ඉලක්කය සපුරා ගන්නේ කොහොමද?

පළමු ඉලක්කය වන ප්‍රවේශය වැඩි කිරීමට තිබෙන ප්‍රධානම බාධාව පිරිවැයයි. ඇමරිකාව තුළදී ඕනෑම සිසුවෙකුට අවම වශයෙන් වසර දහතුනක මූලික අධ්‍යාපනයක් නොමිලේ ලබා ගත හැකියි. මේ හරහා ප්‍රවේශය පිළිබඳ ප්‍රශ්නය විසඳෙනවා.

ඇමරිකාවේ පාසැල් ආකෘතිය ප්‍රදේශය අනුව වෙනස් වන දෙයක්. ව්‍යතිරේඛද සුලභ වුවත්, වඩාත්ම සුලභ පාසැල් ආකෘතිය පහත ආකෘතියයි.

හෝඩිය

මූලික පාසැල (1-5 ශ්‍රේණි)

මධ්‍යම පාසැල (6-8 ශ්‍රේණි)

උසස් පාසැල (9-12 ශ්‍රේණි)

මේ අනුව ඇමරිකානු සිසුවෙකුට අවම වශයෙන් පාසැල් තුනකට හෝ හතරකට යන්න සිදු වෙනවා. හෝඩිය බොහෝ විට මූලික පාසැලේම කොටසක්. අඩු ආදායම්ලාභී පවුල් වල සිසුන්ට පෙර පාසැල් අධ්‍යාපනයද නොමිලේ ලබා ගත හැකියි. 

ඕනෑම ඇමරිකානු සිසුවෙකුට තමන් ජීවත් වන ස්ථානය මත පදනම් වූ නිශ්චිත මූලික, මධ්‍යම හා උසස් පාසැලක් තිබෙනවා. පෙර ලිපියක විස්තර කළ පෞද්ගලික හෝ වරලත් පාසැලකට නොයන්නේනම් සහ නිවසේ සිට අධ්‍යාපනය නොලබන්නේනම් යා යුත්තේ මේ නිශ්චිත පාසැල් වලටයි.

පාසැල් දිස්ත්‍රික්කයක් යන්නෙන් බොහෝ විට අදහස් වන්නේ උසස් පාසැලක භූගෝලීය සීමාවයි. ඒ අනුව, ව්‍යතිරේඛ තිබුණත්, කිසියම් පාසැල් දිස්ත්‍රික්කයක සිසුන් බොහෝ විට යා යුත්තේ එකම උසස් පාසැලකටයි. එම සීමාව තුළ මධ්‍යම පාසැල් එකකට වඩා තිබිය හැකියි. මූලික පාසැල්නම් බොහෝ විට කිහිපයක් තිබෙනවා. උසස් පාසැලේ සීමාව තුළ මූලික පාසැල් වල භූගෝලීය සීමා ලකුණු කර තිබෙනවා. ඒ අනුව, සෑම සිසුවෙකුටම ප්‍රාථමික අධ්‍යාපනය සඳහා නිවසට ඉතාම ආසන්න පාසැලකට යා හැකියි. මධ්‍යම හා උසස් පාසැල් ඊට වඩා තරමක් ඈතින් පිහිටා තිබෙනවා විය හැකි වුවත් ඒවාද එම මට්ටමේදී තිබෙන ළඟම පාසැල්.

ඇමරිකාවේ පොදු පාසැල් අධ්‍යාපනය පොදු සේවාවක් වුවත් එය මධ්‍යගතව සැලසුම් නොවන ප්‍රාදේශීය කටයුත්තක්. උසස් පාසැලකට නඩත්තු විය හැක්කේ යම් අවම සිසු ගහණයක් සිටීනම් පමණයි. ඒ නිසා, නාගරික ප්‍රදේශයක පාසැල් දිස්ත්‍රික්කයක් කුඩා වුවත්, ග්‍රාමීය ප්‍රදේශයක පාසැල් දිස්ත්‍රික්කයක් සාපේක්ෂව විශාලයි. සිසුන් ප්‍රමාණය යම් අවම මට්ටමක පවත්වා ගත හැකි පරිදි පාසැල් දිස්ත්‍රික් සීමා නිර්ණය වීමේදී අදාළ සීමාව තුළ නිවාස ඒකක ප්‍රමාණය යම් අවම මට්ටමක තිබීමද සහතික කෙරෙනවා. මේ අනුව, දේපොළ බදු සේ අය කෙරෙන ආදායම්ද යම් අවම මට්ටමක තිබීම සහතික කෙරෙනවා. පාසැල් ප්‍රධාන වශයෙන්ම නඩත්තු වන්නේ මේ දේපොළ බදු වලින්. 

කිසියම් පොදු පාසැලකට දරුවන් යවන පිරිසත් එම පාසැල නඩත්තු කිරීම වෙනුවෙන් දේපොළ බදු ගෙවන පිරිසත් එකම පිරිසක්. මේ නිසා, පදිංචිය තහවුරු කර ගැනීම අපහසු නැහැ. පදිංචිය වෙනස් කළොත් දරුවන්ගේ පාසැල්ද වෙනස් කළ යුතුයි. මේ ක්‍රමය තුළ පාසැල් අධ්‍යාපනය වෙනුවෙන් සෘජුව මුදල් නොගෙවුවත්, එය වක්‍රව ගෙවන්නේ එම දරුවන්ගේම දෙමවුපියන් විසිනුයි.

වැඩි වැටුප් ගෙවීමෙන් වඩා හොඳ ගුරුවරුන් ආකර්ෂණය කර ගත හැකියි. එහිදී දරුවන්ට ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවයද ඉහළ යනවා. එහෙත්, ඒ වෙනුවෙන් වැඩි මිලක් ගෙවන්න සිදු වෙනවා. වෙනත් අයුරකින් කිවුවොත්, ඇමරිකානු පාසැල් දිස්ත්‍රික් ක්‍රමය තුළ ඕනෑම සිසුවෙකුට ප්‍රවේශය සහතික කෙරෙනවා. එය සාධාරණ ලෙසද සිදු වෙනවා. ඒ වගේම, පිරිවැය අවම වන පරිදිද එය සිදු වෙනවා. එහෙත්, මෙහිදී අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සමාන මට්ටමකින් පවතින බව සහතික කෙරෙන්නේ නැහැ.

පොදු පාසැල් පද්ධතිය තුළ ඉගෙන ගන්නා තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ දමා ගන්නනම් දෙමවුපියන්ට දේපොළ බදු ලෙස ඉහළ මිලක් ගෙවීමේ එකඟතාවයකට එන්න සිදු වෙනවා. දේපොළ බදු වැඩිපුර ගෙවන්න කැමති නැත්නම් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය අඩුවීම භාර ගන්න සිදු වෙනවා. පොදු පාසැල් හරහා ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය අඩු වූ විට තමන්ගේ දරුවන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න අවශ්‍ය දෙමවුපියන් දරුවන්ව මුදල් ගෙවා පෞද්ගලික පාසැලකට යවන්න පෙළඹෙනවා. එවිට ඔවුන්ට පොදු පාසැල් නඩත්තු කිරීම වෙනුවෙන් දේපොළ බදු ගෙවීමට තිබෙන අවශ්‍යතාවයද නැති වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පොදු පාසැල් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය තවත් පහළ යනවා. මෙය චක්‍රීය ලෙස සිදු වී අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිළිබඳ විෂමතා ඉහළ යනවා. 

ඇතැම් ප්‍රදේශ වල වැසියන් පොදු පාසැල් පද්ධතියේ ගුණාත්මක භාවය පවත්වා ගැනීමට ප්‍රමාණවත් තරම් බදු ගෙවීමට සූදානම් නොවීමෙන් ඔවුන්ට අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැදගත් නොවන බවක් හැම විටම අදහස් වෙන්නේ නැහැ. පාසැල් දිස්ත්‍රික්ක වල පිහිටි නිවාස ඒකක වල ආදායම් මට්ටම් අතර සැලකිය යුතු විෂමතා තිබෙනවා. පොදු පාසැල් පද්ධතියේ ගුණාත්මක භාවය පවත්වා ගැනීමේ බර හැම පෙදෙසකම වැසියන්ට එක සේ දැරිය නොහැකියි. ප්‍රාන්ත මට්ටමේ මැදිහත් වීම් වලින් වෙන්නේ මෙවැනි විෂමතා අඩු කිරීමයි. ප්‍රාදේශීය ආදායම් අඩු, ඒ හේතුව නිසා පොදු පාසැල් පද්ධතියේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම අසීරු පාසැල් දිස්ත්‍රික්ක වලට ප්‍රාන්ත අරමුදල් වල උදවුවෙන් වඩා හොඳ ගුරුවරුන් ආකර්ෂණය කරගෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නංවා ගත හැකියි. මේ ආකාරයෙන්ම ෆෙඩරල් අරමුදල් වලින් ප්‍රාන්ත අතර තිබෙන විෂමතා අඩු කළ හැකියි.

ගුණාත්මක භාවය පහළ අඩියකට වැටුණොත් එය ප්‍රවේශය පිළිබඳ ප්‍රශ්නයක් බවටද පත් වෙනවා. සෑම සිසුවෙකුටම මුදල් නොගෙවා මූලික අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව තිබීම පමණක් ප්‍රමාණවත් නැහැ. එම අධ්‍යාපනය අවශ්‍ය පමණ ගුණාත්මක අධ්‍යාපනයක්ද විය යුතුයි. එවැනි ගුණාත්මක අධ්‍යාපනයක් සියල්ලන්ටම ලැබේනම් එය ලැබෙන්නේ කෙසේද යන්න වැදගත් නැහැ.

ඇතැම් දෙමවුපියන්ට තමන්ගේ දරුවන්ට අවශ්‍ය ගුණාත්මක අධ්‍යාපනය නිවසේදීම ලබා දිය හැකියි. තවත් දෙමවුපියන් මේ සඳහා පෞද්ගලික පාසැල් තෝරා ගන්නවා. පොදු පාසැල් අවශ්‍ය වන්නේ මේ අවස්ථා දෙකම හිමි නොවන දරුවන්ටයි. පොදු පාසල් ක්‍රමය තුළ, තමන්ගේ දරුවන් පොදු පාසැලකට නොයවන පවුල් වල අය ඇතුළු පාසැල් දිස්ත්‍රික්කයේ වැසියන්ගේ වියදමෙන් මේ අධ්‍යාපනය ලැබෙනවා. මෙහිදී අදාළ ප්‍රදේශයේම වැඩි ආදායම්ලාභී පවුල් විසින් ඔවුන්ගේ කැමැත්තෙන් අඩු ආදායම්ලාභී පවුල් සුබසාධනය කිරීමක් සිදු වෙනවා. එය අවශ්‍ය පමණට සිදු නොවන විට ප්‍රාන්ත රජය මැදිහත් වී ප්‍රාන්තයේම  වෙනත් ප්‍රදේශ වල වැසියන්ගේ වියදමින් ඇතැම් පාසැල් දිස්ත්‍රික්ක සුබසාධනය කරනවා. එයද ප්‍රමාණවත් නොවන අවස්ථා වල පමණක් ෆෙඩරල් රජය මැදිහත් වී අනෙකුත් ප්‍රාන්ත වල වැසියන්ගේ වියදමෙන් ඇතැම් පාසැල් දිස්ත්‍රික්ක සුබසාධනය කරනවා. මේ සියල්ල සිදු වන්නේ ධනවාදී සමාජ-ආර්ථික ව්‍යුහය එලෙසම තිබියදී. 

Sunday, August 8, 2021

ඇමරිකාවේදී ගුරුවරයෙකු වන හැටි


ඇමරිකාවේදී වෙනත් බොහෝ වෘත්තීන් වගේම ගුරු වෘත්තියේ නියැලීම සඳහාත් බලපත්‍රයක් ලබා ගත යුතුයි. මෙවැනි බලපත්‍ර එක් එක් ප්‍රාන්තය විසින් නිකුත් කරනවා. බලපත්‍රය වලංගු වන්නේ අදාළ ප්‍රාන්තය තුළ පමණයි. වෙනත් ප්‍රාන්තයක ගුරුවරයෙකු ලෙස රැකියාව කරන්නනම් එම ප්‍රාන්තයෙන් බලපත්‍රයක් ලබා ගත යුතුයි.

බලපත්‍රය ලබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් අධ්‍යාපනය හා ඉගැන්වීම පිළිබඳ ප්‍රථම උපාධියක් තිබිය යුතුයි. නිශ්චිත විෂයයන් ඉගැන්වීම සඳහා අවම වශයෙන් අදාළ විෂය සම්බන්ධ ප්‍රථම උපාධියක්ද තිබිය යුතුයි. ඇතැම් විට පශ්චාත් උපාධියක් තිබිය යුතුයි. අධ්‍යාපනය හා ඉගැන්වීම පිළිබඳ ප්‍රථම උපාධියක් නැති, එහෙත් වෙනත් විෂයයක් සම්බන්ධ ප්‍රථම උපාධියක් තිබෙන අයෙකුට ඉගැන්වීම පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරා ගුරු වෘත්තියට ඇතුළු විය හැකියි. 

බලපත්‍රයක් ලබා ගැනීම සඳහා කළ යුතු දේ ප්‍රාන්තය අනුව වෙනස් වෙනවා. බොහෝ විට ලබා ගන්නා බලපත්‍රයේ ස්වභාවය (උගන්වන විෂයයන් හා පන්ති) අනුව, අදාළ විෂයයන් පිළිබඳ දැනුම සම්බන්ධ හා ඉගැන්වීමේ හැකියාව සම්බන්ධ විභාග වලින් සමත් විය යුතුයි. ඊට අමතරව අපේ ප්‍රාන්තයේ ගුරුවරු ප්‍රථමාධාර පිළිබඳ පුහුණු පාඨමාලාවක් (හදිසි අවස්ථාවකදී හෘදය වස්තුව පණ ගැන්වීම) හා සිය දිවි නසා ගැනීමේ ලක්ෂණ කලින් හඳුනා ගෙන වැළැක්වීම පිළිබඳ පුහුණු පාඨමාලාවක්ද සම්පූර්ණ කළ යුතුයි. වෙනත් ප්‍රාන්ත වල අවශ්‍යතා මීට වඩා අඩු හෝ වැඩි විය හැකියි.

මේ සුදුසුකම් ඇත්නම් ඉගැන්වීමේ බලපත්‍රයක් සඳහා අයැදුම් කළ හැකියි. එහිදී මුලින්ම අයැදුම්කරුගේ පෙර වැරදි පිළිබඳ (criminal history) සොයා බැලීමක් කරනවා. පළමු වරට ලැබෙන්නේ ආධුනික බලපත්‍රයක්. එය වලංගු වන්නේ වසර දෙකක කාලයකට පමණයි. එහිදී පුහුණු ගුරුවරයෙකුගේ අධීක්ෂණය යටතේ තවත් අවශ්‍යතා සම්පුර්ණ කළ යුතුයි. ඉන් පසුව, පූර්ණ බලපත්‍රයක් ලබා ගත හැකියි. කිසියම් හේතුවක් මත අවලංගු කරනු නොලැබුවහොත් ගුරු බලපත්‍රයක් වසර පහකට වලංගුයි. ඉන් පසුව නැවත බලපත්‍රය අලුත් කළ යුතුයි. ඒ සඳහා, ඇතැම් පුහුණු පාඨමාලා නැවත සම්පූර්ණ කළ යුතුයි. මේ දේවල්ද ප්‍රාන්තය අනුව තීරණය වන දේවල්.

ගුරු බලපත්‍රයක් ඇති අයෙකුට එම බලපත්‍රයෙන් ආවරණය වන විෂයයන් හා පංති වල ඉගැන්වීම සඳහා ප්‍රාන්තය තුළ පාසැල් වල තිබෙන පුරප්පාඩු වලට අයැදුම් කළ හැකියි. කිසියම් පාසැලක තිබෙන පුරප්පාඩුවක් සඳහා තෝරා ගනු ලැබුවහොත් රැකියාව භාර ගැනීමට පෙර තමන්ගේ වැටුප සම්බන්ධව හෙට්ටු කළ හැකියි. එසේ හෙට්ටු කිරීම සඳහා පෙන්විය හැකි සුදුසුකම්, කුසලතා හෝ කාර්ය සාධන වාර්තා තිබිය යුතුයි.

යම් හෙයකින් ප්‍රාන්තය මාරු කළහොත් අලුත් ප්‍රාන්තයෙන් බලපත්‍රයක් ලබා ගත යුතුයි. මෙහිදී හැම දෙයක්ම මුල සිටම කළ යුතු නැහැ. බලපත්‍රය ලබා ගැනීම සඳහා කළ යුතු දේ මුල් බලපත්‍රය ලබාගත් ප්‍රාන්තය හා අලුත් ප්‍රාන්තය කුමක්ද යන්න මත තීරණය වෙනවා. ඇතැම් විට මුල් බලපත්‍රය පෙන්වා අලුත් බලපත්‍රය ලබා ගන්න හැකි විය හැකි නමුත් සමහර විට නැවතත් අලුතෙන්ම ඇතැම් පාඨමාලා හදාරන්න සිදු වෙන්නත් පුළුවන්.

විදේශ උපාධි තිබෙන අයටද ගුරු බලපත්‍ර සඳහා අයැදුම් කළ හැකියි. එහිදී විදේශ සුදුසුකම් ඇමරිකානු පාඨමාලා අවශ්‍යතා හා ගැලපේනම් එවැනි පාඨමාලා නැවත හැදෑරිය යුතු නැහැ. ඉතිරි සුදුසුකම් සම්පූර්ණ කළ යුතුයි.

ගුරුවරයෙකු වන අයෙකු සාමාන්‍යයෙන් ආධුනිකයෙකු ලෙස වෘත්තියට පිවිසෙන්නේ වසර පහක පමණ කාලයක්වත් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීමෙන් පසුවයි. ගුරුවරයෙකු ලෙස ලබන ප්‍රතිලාභ වලින් එම ආයෝජන වල වියදම් ආවරණය විය යුතුයි. වෙළඳපොළ යාන්ත්‍රනය විසින් හැම විටම මෙය සිදුවන බවට වග බලා ගන්නවා. එහෙත්, ගුරුවරයෙකු "නිෂ්පාදනය වීමට" වසර පහ හයක කාලයක් ගත වන නිසා කෙටිකාලීනව වෙළඳපොළ අසමතුලිතතා තිබිය හැකියි. මෙය වෛද්‍ය වෘත්තීය වැනි වෙනත් වෘත්තීන් හා අදාළවද සිදු වන දෙයක්.  මෙවැනි තත්ත්වයන් ඇති විට තාවකාලිකව විදේශිකයින්ට ඇමරිකානු රැකියා වෙළඳපොළ විවෘත වෙනවා.

පහත රූප සටහනේ පෙන්වා ඇති පරිදි ඇමරිකාවේ එක් එක් ප්‍රාන්තයේ සාමාන්‍ය ගුරු වැටුප විශාල ලෙස වෙනස් වෙනවා. ප්‍රාන්තයක් තුළ පාසැල් දිස්ත්‍රික්ක අතරත්, පාසැල් වල ගුරුවරුන් අතරත් මෙවැනිම වෙනස්කම් දැකිය හැකියි. 


Thursday, August 5, 2021

ඇමරිකාවේ පාසැල් වල අයවැය


වෙනත් බොහෝ රටවල වගේම ඇමරිකාවේත් දරුවන්ට මූලික අධ්‍යාපනය ලබා දීම අනිවාර්යයි. එහෙත්, එය කළ හැකි ආකාර කිහිපයක් තිබෙනවා. 

දෙමවුපියන්ගේ රුචිකත්වය පරිදි අවශ්‍යනම් දරුවන් පාසැලකට නොයවා ගෙදරදී අධ්‍යාපනය ලබා දිය හැකියි. පසුගිය වසරේදීනම් ඇමරිකානු දරුවන් හැමෝම වගේ අධ්‍යාපනය ලැබුවේ මේ ක්‍රමයට වුවත් සාමාන්‍ය වසරකදී නිවසේ සිට අධ්‍යාපනය ලබන්නේ ඇමරිකානු දරුවන්ගෙන් 3-4% පමණ පිරිසක් පමණයි. ඉතිරි දරුවන් අධ්‍යාපනය ලැබීම සඳහා කවර හෝ පාසැලකට යනවා.

ඇමරිකාවේ පාසැල් වලින් 25%ක් පමණ පෞද්ගලික පාසැල්. එහෙත් එම පාසැල් වල ඉගෙනුම ලබන්නේ පාසැල් යන සිසුන්ගෙන් 10-11% පමණ පිරිසක් පමණයි. ඔවුන් වැඩි දෙනෙක් ඉහළ ආදායම් ලබන පවුල් වල දරුවන්. පාසැල් යන සිසුන්ගෙන් 90%කට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන්නේ පොදු පාසැලකයි.

සාමාන්‍ය පාසැල් සහ වරලත් පාසැල් ලෙස පොදු පාසැල් වර්ග දෙකක් තිබෙනවා. මේ පාසැල් වර්ග දෙකම නඩත්තු වන්නේ බදු මුදල් වලින් වුවත් වරලත් පාසැල් සාමාන්‍ය පාසැල් වලට වඩා ස්වාධීන, රජයෙන් පාලනය නොවන, ඉල්ලුම අනුව සිසුන් බඳවා ගන්නා ආයතනයි. බොහෝ විට අවවරප්‍රසාදිත සිසුන් ඉලක්ක කර හෝ වෙනත් විශේෂ ඉලක්ක ඇතිව පිහිටුවා තිබෙන මෙම පාසැල් වල සමස්ත සිසුගහණයෙන් 5-6% පමණ ප්‍රමාණයක් ඉගෙනුම ලබනවා. රටේ මුළු පාසැල් ප්‍රමාණයෙන්ද ආසන්න වශයෙන් එපමණ ප්‍රමාණයක් වරලත් පාසැල්.

මූල්‍යනය සහ පාලනය සිදුවන ආකාරය අනුව ඇමරිකාවේ පෞද්ගලික පාසැල් ලංකාවේ ජාත්‍යන්තර පාසැල් සමඟත්, වරලත් පාසැල් ශාන්ත තෝමස් විදුහල වැනි සම්ප්‍රදායික පෞද්ගලික පාසැල් සමඟත් සංසන්දනය කළ හැකියි. මේ පාසැල් වලට යම් සිසු පිරිසක් ගියත්, ලංකාවේ මෙන්ම ඇමරිකාවේද සිසුන්ගෙන් බහුතරය ඉගෙනුම ලබන්නේ බදු මුදලින් නඩත්තු වන සාමාන්‍ය පාසැල් වලයි. එහෙත් ලංකාවේ හා ඇමරිකාවේ මෙම පාසැල් ආකෘති අතර සැලකිය යුතු වෙනස්කම් තිබෙනවා.

ලංකාවට සාපේක්ෂව ඇමරිකාවේ පොදු පාසැල් පද්ධතියේ තිබෙන ප්‍රධානම වෙනස්කම වන්නේ ඕනෑම සිසුවෙකුට නියමිත නිශ්චිත පාසැලක් තිබීමයි. නිවසේ සිට ඉගෙනුම ලැබීම, පෞද්ගලික පාසැලකට යාම හා වරලත් පාසැලකට යාම යන විකල්ප තිබුණත්, පොදු පාසැල් පද්ධතිය තුළ ඉගෙනුම ලබන්නේනම් තමන්ට නියමිත පාසල වෙනස් කිරීමේ හැකියාවක් සාමාන්‍යයෙන් නැහැ. එය කළ හැක්කේ පදිංචිය මාරු කිරීමෙන් පමණයි. ඒ වගේම, පෞද්ගලික පාසැල් හා වරලත් පාසැල් බොහෝ විට පිහිටා තිබෙන්නේ නාගරික ප්‍රදේශ වල නිසා බොහෝ තැන් වල ජීවත් වන ඇමරිකානුවන්ට ඔවුන්ගේ දරුවන්ට විධිමත් ආයතන පද්ධතියක් තුළ අධ්‍යාපනය ලබා දීම සඳහා පොදු පාසැල් පද්ධතිය හැර වෙනත් විකල්පයක් නැහැ.

ඇමරිකාවේ පොදු පාසැල් ප්‍රධාන වශයෙන්ම නඩත්තු වෙන්නේ ප්‍රාදේශීය හා ප්‍රාන්ත අරමුදල් වලින්. ඇමරිකානු ෆෙඩරල් රජයෙන්ද යම් ප්‍රමාණයක අරමුදල් ලැබෙනවා. අපේ පාසැල් දිස්ත්‍රික්කයේ පසුගිය වසරේ ආදායම් වලින් 57%ක් උපයාගෙන තිබුණේ ප්‍රාදේශීය බදු හා ගාස්තු වලින්. ප්‍රාන්ත අරමුදල් වලින් 42%ක් ලැබී තිබුණු අතර ෆෙඩරල් අරමුදල් ඇතුළු අනෙකුත් ප්‍රභව වලින් ලැබී තිබුණේ 1%ට අඩු කොටසක්.

ඇමරිකාවේ පාසැල් දිස්ත්‍රික්කයක් ලංකාවේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් සමඟ සංසන්දනය කළ හැකියි. අපේ පාසැල් දිස්ත්‍රික්කයට පාසැල් 24ක් අයත් වන අතර එම පාසැල් වල සිසුසිසුවියන් 21,500ක් පමණ ඉගෙනුම ලබනවා. ඔවුන්ට උගන්වන ගුරුවරු ප්‍රමාණය 1,400ක් පමණ. මේ පාසැල් පාලනය වන්නේ ඡන්දයෙන් තේරී පත් වන පාලක මණ්ඩලයක් මගින්. ඔවුන්ට පාලක මණ්ඩල රැස්වීමකට සහභාගී වීම වෙනුවෙන් සුළු දීමනාවක් ලබා ගත හැකි වුවත් ඒ හැර වෙනත් වැටුප් හෝ වරප්‍රසාද කිසිවක් ලැබෙන්නේ නැහැ. මෙය සැලකිය හැක්කේ ස්වේච්ඡා සේවාවක් ලෙසයි. 

පාලක මණ්ඩල සාමාජිකයින්ගෙන් කොටසක් මුළු පාසැල් දිස්ත්‍රික්කයම නියෝජනය කරන අතර ඔවුන්ව පාසැල් දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් විසින් තෝරා පත් කර ගන්නවා. ඉතිරි සාමාජිකයින්ව පත් කර ගන්නේ පාසැල් දිස්ත්‍රික්කය තුළ යම් කුඩා ප්‍රදේශයක් නියෝජනය කිරීමටයි. ඔවුන්ව අදාළ ප්‍රදේශයේ ඡන්දදායකයින් විසින් තෝරා පත් කර ගන්නවා. පාලක මණ්ඩල සාමාජිකයෙකු තේරී පත් වන්නේ වසර හතරක කාලයක් සඳහා වුවත් වරකදී අලුතෙන් පත් කර ගන්නේ සාමාජිකයින්ගෙන් අඩක් පමණයි. ඒ නිසා, සෑම දෙවසරකටම වරක් පාලක මණ්ඩලය අලුත් වෙනවා.

පාසැල් ප්‍රධාන වශයෙන්ම නඩත්තු වන්නේ පාසැල් දිස්ත්‍රික්කයේ වැසියන්ගෙන්ම අය කරන දේපොළ බදු වලින් (property tax) සහ විකුණන භාණ්ඩ වලින් අය කරන ප්‍රාදේශීය බදු වලින් (local sales tax). නිවාස වල වාර්ෂික තක්සේරු වටිනාකම වැඩි වන විට සමානුපාතිකව බදු ආදායම්ද ඉහළ යනවා. තවත් ප්‍රාදේශීය බදු වර්ග කිහිපයකින් ලැබෙන ආදායම් හා විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු වැනි ඇතැම් ගාස්තුද යන්නේ අධ්‍යාපන අරමුදලටයි. මේ අනුව, පොදු පාසැල් පද්ධතිය තුළ සියලුම සිසුන්ට නොමිලේ අධ්‍යාපනය ලැබීමේ ඉඩ ප්‍රස්තා හිමිවන නමුත් ඒ වෙනුවෙන් පිරිවැය දරන්න වෙන්නේද බොහෝ දුරට අදාළ ප්‍රදේශයේ වැසියන්ටමයි.

ප්‍රාදේශීය බදු වලට අමතරව ප්‍රාන්තයෙන් අය කරන බදු වලින් කොටසක්ද පාසැල් දිස්ත්‍රික්ක වලට බෙදා දෙනවා. එය කරන්නේ නිශ්චිත සමීකරණ අනුවයි. පාසැල් දිස්ත්‍රික්කයක සිසුන් ගණන වැඩි වෙද්දී වගේම අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩිවෙද්දීත්, විශේෂ අවශ්‍යතා ඇති සිසුන්ට සලසන පහසුකම් වැඩි වෙද්දීත් ප්‍රාන්තයෙන් ලැබෙන අරමුදල් ප්‍රමාණය ඉහළ යනවා. ප්‍රාන්ත අරමුදල් වෙන් කිරීමේදී සලකා බලන නිර්ණායක ගණනාවක් තිබෙනවා. අරමුදල් වැඩියෙන් ලබා ගැනීමටනම් අවශ්‍ය ඉලක්ක සපුරාලිය යුතුයි. 

ෆෙඩරල් රජයෙන් ලබා දෙන අරමුදල් වලින් කොටසක් තරඟකාරී පදනමකින් ලබා ගත යුතු ප්‍රදාන. එම අරමුදල් ලබා ගැනීම සඳහා ව්‍යාපෘති යෝජනා (grant proposals) ඉදිරිපත් කළ යුතුයි. ඒ නිසා, එවැනි අරමුදල් හැම පාසැලකටම ලැබෙන්නේ නැහැ. වෙනත් ඇතැම් අරමුදල් හිමි වන්නේ නිශ්චිත කාර්යයන් සඳහා වියදම් කිරීමටයි. 

පාසැල් දිස්ත්‍රික්කයක සියලු වියදම් ඉහත ආකාර වලින් ලැබෙන ආදායම් වලින් පියවා ගත යුතුයි. ඉතිරියක් වේනම් අනාගතයට ඉතිරි කළ හැකියි. ලැබෙන ආදායම් වලින් යම් කොටසක් හදිසියකදී ගැනීම සඳහා ඉතිරි කිරීම ඇමරිකාවේ ඕනෑම ආයතනයක සාමාන්‍ය ක්‍රමයයි. එතරම් විශාල නැතත්, එවැනි ඉතිරි කිරීම් වෙනුවෙන් ලැබෙන පොලී මුදල්ද නිත්‍ය ආදායම් ප්‍රභවයක්. යම් හෙයකින් වියදම් තරමට ආදායම් නැත්නම් ඉතිරි කිරීම් ප්‍රයෝජනයට ගන්න වෙනවා. නැත්නම් ණය ලබා ගන්න සිදු වෙනවා. ගත් ණය ආපසු ගෙවන තුරු පොලිය වියදම් වලට එකතු වෙනවා.

පාසැල් දිස්ත්‍රික්කයක ප්‍රධානම වියදම ගුරු වැටුප්. ගුරුවරයෙකුව බඳවා ගන්නේ කිසියම් නිශ්චිත පාසැලකටයි. එය බොහෝ විට කරන්නේ පාසල් දිස්ත්‍රික් පරිපාලනයේ අනුමැතියට යටත්ව විදුහල්පතිවරයා විසිනුයි. එසේ නැත්නම් පාසල් දිස්ත්‍රික් පරිපාලනය හා විදුහල්පතිවරයා එකතුවයි. ගුරුවරු බඳවා ගැනීම මෙන්ම ඉවත් කිරීමද, ගුරු වැටුප් තීරණය කිරීමද ඔවුන්ට කළ හැකියි. ගුරුවරයෙකු එක් පාසැලකින් අස් වී වැඩි වැටුපක් වෙනුවෙන් වෙනත් පාසැලකට යාම සාමාන්‍ය දෙයක්.

පාසැල් දිස්ත්‍රික්කය තුළ මෙන්ම පාසැල් තුළද ආදායම් හා වියදම් කළමනාකරණය කර ගත යුතු නිසා ගුරු වැටුප් ඕනෑවට වඩා වැඩි කළොත් බඳවා ගත හැකි ගුරුවරු ගණන පහළ යනවා. එය ලබා දෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය කෙරෙහි නරක ලෙස බලපාන නිසා විභාග ප්‍රතිඵල වැනි නිර්ණායක මත පදනම්ව ප්‍රාන්තයෙන් ලැබෙන ප්‍රතිපාදන පහළ යාමේ අවදානමක් තිබෙනවා. 

පාසැල් වල වියදම් බොහෝ දුරට අදාළ ප්‍රදේශයෙන්ම එකතු කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස පොහොසතුන් සිටින ප්‍රදේශ වල පාසැල් දිස්ත්‍රික්ක වලට වැඩි බදු ආදායමක් ලැබෙනවා. එහෙයින් එම පාසැල් දිස්ත්‍රික්ක වලට වැඩි වැටුප් ගෙවා හොඳ ගුරුවරුන් බඳවා ගැනීම පහසුයි. එවිට අධ්‍යාපනයේ ගුණාත්මක භාවයද ඉහළ යනවා. දුප්පතුන් වැඩිපුර සිටින පෙදෙස් වල සිසුන්ට මෙයින් යම් අසාධාරණයක් වෙනවා. ප්‍රාන්ත හා ෆෙඩරල් ප්‍රතිපාදන වෙන් කිරීම සිදු වන්නේ මේ විෂමතා අවම වන පරිදියි. අපේ පාසැල් දිස්ත්‍රික්කයට සාපේක්ෂව, ප්‍රමාණවත් තරම් ප්‍රාදේශීය බදු ආදායම් උපයා ගත නොහැකි වෙනත් පාසැල් දිස්ත්‍රික්ක වලට ප්‍රාන්ත අරමුදල් හා ෆෙඩරල් අරමුදල් වැඩිපුර ලැබෙනවා. 

නිවුයෝර්ක් සහ කැලිෆෝර්නියා වැනි නාගරික ජනගහණයක් සිටින ප්‍රාන්ත වල දේපොළ වල වටිනාකම් ඉතා වැඩි නිසා දේපොළ බදු සේ අය කෙරෙන ආදායම්ද ඉහළ මට්ටමක තිබෙනවා. ඒ නිසා, එවැනි ප්‍රදේශ වල ගුරුවරුන්ට වැඩි වැටුපක් ගෙවිය හැකියි. අනෙක් අතට එවැනි නාගරික ප්‍රදේශ වල නිවාස මිල දී ගැනීම හෝ කුලියට ගැනීම සඳහා විශාල පිරිවැයක් දැරිය යුතු නිසා ජීවන වියදම වැඩියි. ඒ නිසා, ගුරුවරුන් ආකර්ශනය කර ගැනීම සඳහා වැඩි වැටුපක් ගෙවන්නම වෙනවා. මිසිසිපි ප්‍රාන්තය වැනි ග්‍රාමීය, කෘෂිකාර්මික ප්‍රාන්තයක තත්ත්වය මෙහි අනෙක් පැත්තයි. 

පසුගිය වසරේදී මිසිසිපි ප්‍රාන්තයේ ගුරුවරයෙකුගේ මධ්‍යන්‍ය වාර්ෂික වැටුප ඩොලර් 45,105ක් පමණක් වුවත්, කැලිෆෝර්නියා ප්‍රාන්තයේ එම අගය ඩොලර් 83,059ක්ද, නිවුයෝර්ක් ප්‍රාන්තයේ ඩොලර් 85,889ක්ද වුනා. ප්‍රාන්ත අතර වගේම ප්‍රාන්ත වල පාසැල් දිස්ත්‍රික් අතරත්, පාසැල් දිස්ත්‍රික්ක වල පාසැල් අතරත්, පාසැල් වල ගුරුවරුන් අතරත් මෙවැනි වෙනස්කම් දැකිය හැකියි. වෙනම පාලනය වන වරලත් පාසැල් වල සහ පෞද්ගලික පාසැල් වල ගුරු වැටුප් කොහොමටත් වෙනස්. පෞද්ගලික පාසැලක උගන්වන ගුරුවරයෙකුගේ සාමාන්‍ය වැටුප පවතින්නේ පොදු පාසැල් පද්ධතියේ ගුරුවරයෙකුගේ සාමාන්‍ය වැටුපෙන් 80%ක පමණ මට්ටමේයි.

ඇමරිකාවේ ගුරුවරු වෙනත් දෙවන රැකියාවක් කිරීමද දුලබ දෙයක් නෙමෙයි. පාසැල් නිවාඩු කාල වල ඔවුන් බොහෝ විට වෙනත් රැකියාවක් කරනවා. ඇතැම් අය පාසැල් වාරය තුළද දෙවන රැකියාවක් කරනවා. දෙවන රැකියාව අදාළ පාසැල් දිස්ත්‍රික්කය වෙනුවෙන්ම සපයන සේවාවක් විය හැකියි. ඇතැම් ප්‍රදේශ වල වැටුපට අමතරව කුසලතා මත පාරිතෝෂික මුදලක්ද ගුරුවරුන්ට හිමි වෙනවා. සිසුන්ගේ විභාග ප්‍රතිඵල හරහා ගුරුවරයෙකුට කුසලතා පෙන්විය හැකියි. මෙවැනි ද්වීතියික ආදායම්ද එකතු වන නිසා ගුරුවරයෙකුගේ වාර්ෂික ආදායම බොහෝ විට ගුරු වැටුපට වඩා තරමක් වැඩියි.

පොදු පාසැල් පද්ධතියේ ගුරුවරු බොහෝ විට වෘත්තීය සමිති ලෙස සංවිධානය වී සිටිනු දැකිය හැකියි. ඒ නිසා, ඇමරිකාවේ ගුරුවරුන් විසින්ද වෘත්තීය අරගල කිරීමත් නිරීක්ෂණය කළ හැකියි. බොහෝ විට මෙවැනි ගුරු අරගල වල ඉලක්කය වන්නේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරෙන ප්‍රාන්ත ප්‍රතිපාදන වැඩි කර ගැනීම හෝ එම ප්‍රතිපාදන කපා හැරීමට ප්‍රතිරෝධය දැක්වීමයි. කවර ආකාරයකින් හෝ පාසැල් දිස්ත්‍රික්කයේ ආදායම් වැඩි කර නොගෙන ගුරු වැටුප් වැඩි කර ගැනීමේ හැකියාවක් නැහැ.

Tuesday, August 3, 2021

ඇමරිකාවේ ගුරු වැටුප්


ගුරු වැටුප් ඉහළ නොදැමීමට කැබිනට් තීරණයක් ගෙන ඇති බව වාර්තා වී තිබෙනවා. එහෙත්, ගුරු අරගලය දිගටම සිදු වන බව පේනවා. ගුරු වැටුප් ඉහළ දැමිය යුතුද නැද්ද යන්න පිළිබඳව මා සෘජු අදහසක් ඉදිරිපත් කරන්නේ නැහැ. එය මට කළ හැකි දෙයක්ද නොවෙයි. මෙවැන්නක් කිව හැක්කේ කවර හෝ පදනමක් මතයි. තෝරා ගන්නා පදනම වෙනස් වෙද්දී නිගමනයද වෙනස් වෙනවා.

ගුරුවරුන් කියා කියන්නේ සුවිශේෂී සේවයක් කරන පිරිසක් නෙමෙයි. ආරක්ෂක හමුදා සාමාජිකයින්, වෛද්‍යවරුන් වගේම ගුරුවරුන් කියා කියන්නේත් තවත් එක් රැකියාවක් කරන පිරිසක්. රැකියාවක් කිරීමේ ප්‍රධාන අරමුණ ඒ වෙනුවෙන් ලැබෙන වැටුප්, අනෙකුත් වරප්‍රසාද හා මානසික තෘප්තියයි. මෙය ඕනෑම රැකියාවකට පොදුයි. මානසික තෘප්තිය රැකියා කරන සියල්ලන්ටම නොලැබෙනවා විය හැකියි.

ඕනෑම රැකියාවක් කරන අයෙකු විසින් සමාජයට යම් සේවයක් සලසනවාය යන අර්ථයෙන් ගුරුවරුන් විසින්ද සමාජයට සේවයක් සලසනවා. එම සේවය කොයි තරම් වටිනවාද යන්න නිර්ණය කළ යුත්තේ සේවය ලබන අය විසිනුයි. වෙළඳපොළ ක්‍රමයක් තුළ කිසියම් සේවයක් සපයන අයෙකුට එම සේවයේ නියම වටිනාකම ලැබෙනවා. සේවය ලබා ගන්නා අයට ඒ වෙනුවෙන් නියම මිල ගෙවන්න සිදු වෙනවා. 

ලංකාවේ ගුරු වැටුප් තීරණය වන්නේ වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම අනුව නෙමෙයි. ඒ වෙනුවට සේවය සපයන්නන් හා සේවය ලබන්නන් අතර අතරමැදියෙකු ලෙස රජය කටයුතු කරනවා. ගුරුවරුන් විසින් සපයන සේවයේ වටිනාකම තීරණය කරන්නේ රජය විසිනුයි. මේ අවස්ථාවේදී ගුරුවරු විසින් මෙම තීරණය අභියෝගයට ලක් කරමින් සිටිනවා.

රජයේ තීරණය අභියෝගයට ලක් කළත් ගුරුවරුන්ද තමන්ගේ සේවයේ වටිනාකම නිර්ණය කිරීමේ අර්බුදයක සිරව සිටින බව පෙනෙනවා. වෙළඳපොළක් නැති පසුබිමක ඔවුන්ට එය නිර්ණය කළ හැකි නිරපේක්ෂ ක්‍රමයක් නැහැ. ඒ නිසා, බොහෝ දෙනෙකු තමන්ගේ වැටුප් රජයේ වෙනත් රැකියා කරන්නන්ගේ වැටුප් සමඟත්, වෙනත් රටවල ගුරු වැටුප් සමඟත් සංසන්දනය කරමින් සිටිනවා. එවැනි එක් සංසන්දනයක ඇමරිකාවේ ගුරු වැටුප් ගැනද සඳහන්ව තිබුණා.

ඇමරිකාවේ ගුරු වැටුප් මධ්‍යගත ලෙස නිර්ණය වන්නේ නැහැ. එය සිදු වන්නේ වෙළඳපොල සාධක මතයි. කිසියම් ගුරුවරයෙකුට ඉල්ලුම වැඩි වෙද්දී ඔහුගේ හෝ ඇයගේ වැටුප්ද ඉහළ යනවා. ගුරුවරයෙකු සඳහා ඉල්ලුම වැඩි වන්නේ ඔහු හෝ ඈ විසින් සපයන සේවය පිළිබඳ සේවය ලබන්නන්ගේ ඇගයුම් ඉහළ යන තරමටයි.

ඇමරිකාවේ ගුරුවරයෙකු පසුගිය 2020 වසරේදී ඉපැයූ මධ්‍යන්‍ය වැටුප් පහත දැක්වෙනවා. 


පෙර පාසැල් ගුරුවරු - වසරකට ඩොලර් 31,930

බාලාංශ ශ්‍රේණියෙහි උගන්වන ගුරුවරු - වසරකට ඩොලර් 57,860

ප්‍රාථමික ශ්‍රේණි වල (1-5) උගන්වන ගුරුවරු - වසරකට ඩොලර් 60,940

කනිෂ්ඨ ද්වීතියික (6-8) ශ්‍රේණි වල උගන්වන ගුරුවරු- වසරකට ඩොලර් 60,810

ජ්‍යෙෂ්ඨ ද්වීතියික (9-12) ශ්‍රේණි වල උගන්වන ගුරුවරු- වසරකට ඩොලර් 62,870

ගුරු සහායකවරු - වසරකට ඩොලර් 28,900

විදුහල්පතිවරු - වසරකට ඩොලර් 98,490


මේ ගණන් රුපියල් වලට හැරවූ විට විශාල ගණන්. ඒ නිසා, ඇමරිකාවේ ගුරු වැටුප් පිළිබඳව විමර්ශනය කිරීමේදී පහත කරුණුද සැලකිල්ලට ගත යුතුයි.


ඇමරිකාවේ නිවාස ඒකකයක මධ්‍යන්‍ය ආදායම - වසරකට ඩොලර් 78,500

ඇමරිකාවේ දරිද්‍රතා ආදායම් සීමාව -  වසරකට ඩොලර් 26,500 (සිවු දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා)


ලංකාවේ නිවාස ඒකකයක මධ්‍යන්‍ය ආදායම (2016)- මසකට රුපියල් 43,511 

ලංකාවේ දරිද්‍රතා ආදායම් සීමාව -  මසකට රුපියල් 5,312


Saturday, July 31, 2021

මහ බැංකුව සහ භාණ්ඩාගාර බිල්පත්


මේ වියුණුව හරහා මා පෙර ලිපි ගණනාවකින් රාජ්‍ය ණය සහ විදේශ ණය අතර වෙනස පැහැදිලි කර තිබෙනවා. සියලුම රාජ්‍ය ණය විදේශ ණය නොවනවාක් මෙන්ම සියලුම විදේශ ණය රාජ්‍ය ණයද නෙමෙයි. ඒ නිසා, රාජ්‍ය ණය අඩු වෙද්දී විදේශ ණය ඉහළ යා හැකියි. ඒ වගේම විදේශ ණය අඩු වෙද්දී රාජ්‍ය ණය ඉහළ යා හැකියි. මේ වෙද්දී, අඩු වශයෙන් අපේ වියුණුවෙහි පාඨකයින්ට, රාජ්‍ය ණය සහ විදේශ ණය අතර සම්බන්ධය පිළිබඳ ලොකු ගැටළු නැතැයි මා සිතනවා.

මහ බැංකුව සහ භාණ්ඩාගාර බිල්පත් අතර සම්බන්ධයද මෙවැනිම පැටලිලි සහගත දෙයක්. ඒ නිසා, බොහෝ දෙනෙකුට මේ සම්බන්ධය පිළිබඳව විවිධ ගැටළු මතු වෙනවා.

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම කිසියම් රටක රජය විසින් ණය ලබා ගන්නා ක්‍රමයක්. එම ණය දේශීය ණය හෝ විදේශීය ණය විය හැකියි. එය තීරණය වන්නේ නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නේ රට වැසියෙක්ද නැත්නම් විදේශිකයෙක්ද යන්න මතයි. රජයක් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් වලින් යම් කොටසක් එම රටේ මහ බැංකුව විසින්ද මිල දී ගන්නට ඉඩ තිබෙනවා. එහිදී මහ බැංකුව විසින් රජයට ගෙවන්නේ අලුතෙන් මුද්‍රණය කළ මුදල්. ඒ නිසා රටේ මුදල් සැපයුම ඉහළ යනවා. 

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිද්දී රටේ මුදල් සැපයුම ඉහළ ගියත්, එම බිල්පත් කල් පිරෙද්දී රජය විසින් ණය ලෙස ලබාගත් මුදල පොලියද සමඟ ආපසු මහ බැංකුවට ගෙවන නිසා කලින් සංසරණයට එකතු වූ මුදල් සංසරණයෙන් ඉවත් වී නැවතත් මහ බැංකුව කරාම පැමිණෙනවා. මෙහිදී මුදල් සැපයුමෙහි අඩු වීමක් සිදු වෙනවා. 

ඉහත පරිදි මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිද්දී සංසරණයට එකතු වන මුදල් නැවතත් කෙටි කලකින් මහ බැංකුව වෙතම ආපසු පැමිණියහොත් එයින් රටේ උද්ධමනය කෙරෙහි අහිතකර බලපෑමක් සිදු වන්නේ නැහැ. උද්ධමනයට හේතු වන්නේ මුදල් සැපයුම ඉහළ ගොස් දිගු කලක් එම ඉහළ මට්ටමෙහිම පැවති විටයි. මහ බැංකුව සතු රජයේ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය මහ බැංකුවේ වත්කමක් වන අතර රජයේ ණයක් හෙවත් බැරකමක්.

මේ ආකාරයෙන් මහ බැංකුව විසින් මිල දී ගන්නා භාණ්ඩාගාර බිල්පත් ඇතැම් විට මහ බැංකුව විසින් කල් පිරෙන තුරු තබා ගන්නා නමුත් හැම විටම එසේ කරන්නේ නැහැ. කල් පිරෙන්නට පෙර ඒවා බොහෝ විට ද්වීතියික වෙළඳපොළේ විකුණනවා. එවිට මහ බැංකුවට කල් පිරෙන්නට පෙරම මුදල් නැවත ලැබෙනවා. කල් පිරීමේදී රජය විසින් බිල්පතෙහි ඒ වන විට අයිතිකරුට මුදල් ගෙවනවා. මේ ආකාරයෙන්ම මහ බැංකුව විසින් සෘජුව රජයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී නොගෙන කලින් මිල දී ගත් අයෙකුගෙන් මිල දී ගැනීමද කරනවා. 

මහ බැංකුව විසින් සෘජුව රජයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත්තත්, වෙනත් අයෙකුගෙන් ද්වීතියක වෙළඳපොළෙන් මිල දී ගත්තත් ඒ වෙනුවෙන් ගෙවන්නේ අලුතින් මුද්‍රණය කළ මුදල් නිසා මුදල් සැපයුම ඉහළ යනවා. බිල්පත් කල් පිරීමේදී හෝ ඊට පෙර ද්වීතියක වෙළඳපොළෙහි විකිණීමේදී මුදල් සැපයුම අඩු වෙනවා.

මීට අමතරව භාණ්ඩාගාර බිල්පත් හා අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරන තවත් කාර්යයක් තිබෙනවා. ඒ රජය වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් අලුතෙන් නිකුත් කර වෙන්දේසි කිරීමයි. මෙය ඉහත කී මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමෙන් හා විකිණීමෙන් වෙනස් වෙනම වැඩක්. පළමු කාර්යය ලෝකයේ බොහෝ මහ බැංකු විසින් කරන දෙයක් වුවත් දෙවැන්න එසේ ලෝකයේ අනෙකුත් රටවල සිදුවන සාමාන්‍ය දෙයක් නෙමෙයි. එය තනිකරම රජයේ නියෝජිතයෙකු ලෙස රජය වෙනුවෙන් කරන කාර්යයක්.

මහ බැංකුව විසින් රජය වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් අලුතෙන් නිකුත් කරන විට රාජ්‍ය ණය ඉහළ යනවා. එම බිල්පත් කල් පිරුණු විට රාජ්‍ය ණය පහළ යනවා. මෙසේ රජය වෙනුවෙන් මහ බැංකුව විසින් අලුතෙන් නිකුත් කරන බිල්පත් මහ බැංකුව විසින්ම මිල දී ගත්තොත් හැර එයින් රටේ මුදල් සැපයුමට බලපෑමක් සිදු වන්නේ නැහැ.

මහ බැංකුව වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම හා විකිණීම කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව විසින්. මෙහි අරමුණ රටේ මුදල් සැපයුම නිසි මට්ටමෙහි ස්ථාවරව තබා ගැනීමයි. එහිදී මහ බැංකුව විසින් ලාබ ඉපැයීම වැනි ඉලක්ක පසුපස යන්නේ නැහැ. මුදල් සැපයුම පාලනය කිරීම හරහා අවසාන වශයෙන් ඉලක්ක කරන්නේ උද්ධමනය පාලනය කිරීමයි.

රජය වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සහ කළමණාකරණය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින්. වසර කිහිපයකට පෙර බොහෝ කතා බහට ලක්වූ බැඳුම්කර වෙන්දේසිය වැනි වෙන්දේසි පැවැත්වෙන්නේ මෙම දෙපාර්තමේන්තුවේ. එම වෙන්දේසි සහ මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය අතර කිසිදු සෘජු සම්බන්ධයක් නැහැ. ඒ වගේම මේ වෙන්දේසියේදී වෙන්දේසි කෙරෙන්නේ මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් නෙමෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ බැංකුකරු ලෙසද කටයුතු කරනවා. ඒ අනුව, රජයේ මුදල් මහ බැංකුවේ තැන්පත් කරනවා. මහ බැංකුව රජයට ණය දෙනවා. දැන්නම් පළමුවැන්න සිදුවන්නේ ඉතා අඩුවෙන්. බොහෝ විට සිදු වන්නේ දෙවැන්නයි. මෙහිදී රජයට දෙන ණය ලෙස හැඳින්වූයේ මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම පමණක් නෙමෙයි. මහ බැංකුව විසින් රජයට එසේ නැතිවත් ණය දෙනවා. මහ බැංකුව විසින් කවර ආකාරයකින් රජයට ණය දුන්නත් එයින් මුදල් සැපයුම ඉහළ යනවා. 

පසුගිය ජූලි 28 දින වන විට රජය විසින් නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල වටිනාකම රුපියල් බිලියන 8,216ක්. එයින් රුපියල් බිලියන 1,136ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල හිමිකරු වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. මෙය පෙර නොවූ විරූ මට්ටමක් වුවත්, ඒ වගේම යම් තරමක සල්ලි අච්චු ගැසීමක්ද සිදුව තිබුණත්, මෙය බොහෝ දුරට මහ බැංකුව සතු වූ විදේශ සංචිත විකිණීමේ අතුරු ප්‍රතිඵලයක් මිසක් සල්ලි අච්චු ගැසීමක් නෙමෙයි. 

Wednesday, July 28, 2021

කෝටි දෙදාහේ මැණික


රත්නපුරේ පතලයකින් රුපියල් කෝටි දෙදාහක් වටිනා මැණිකක් හමු වී තිබෙන කතාව ගොඩක් අයට අහන්න ලැබෙන්න ඇතිනේ. ඇතැම් වාර්තා අනුව මැණික ඒ තරම්ම වටින්නේ නැහැ. ලිපිය ඉදිරියට ගෙන යාමේ අරමුණ පමණක් පෙරදැරිව මේ මැණික ඇත්තටම රුපියල් කෝටි දෙදාහක් වටිනවා කියලා අපි උපකල්පනය කරමු. අපට සාකච්ඡාවට බඳුන් කරන්න අවශ්‍ය අදහස් බොහොමයක්ම ඉදිරිපත්ව තිබුණේ එම උපකල්පනය මත පදනම්වයි.

පළමු ප්‍රශ්නය මේ වගේ වටිනා මැණිකක් මැණික් ව්‍යාපාරිකයෙකුගේ වත්තෙන්ම මතු වුනේ කොහොමද කියන එක. ඇතැම් අය මේ ප්‍රශ්නය මතු කර තිබෙනු මම දැක්කා. බොහෝ විට රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයින්ට අනෙක් සාමාන්‍ය අයට වඩා වැඩියෙන් විශාල ලොතරැයි දිනුම්ද ඇදෙනවා. ඔය වගේ ප්‍රවෘත්ති ප්‍රචාරය වෙද්දී කුණු තියෙන තැනටමයි කුණු ඇදෙන්නේ කියලා සමහරු හූල්ලනවා. මේ වැඩේ වෙන්නේ කොහොමද කියලා දන්නෝ දනිති කියා මම හිතනවා. මේ මැණික ඇතැම් විට ඇත්තටම අදාළ පුද්ගලයාගේ වත්තෙන්ම ලැබුණු එකක් විය හැකි නිසා, හරියටම කරුණු නොදැන මම වැඩිදුර මුකුත් කියන්නේ නැහැ.

මීටත් වඩා වැදගත් ප්‍රශ්නය දෙවන ප්‍රශ්නයයි. මහ පොළොවෙන් හමු වන මේ වගේ වටිනා මැණිකක තනි අයිතිය ඉඩමේ හිමිකරුට ලැබෙන එක සාධාරණද? ලංකාවේ හැමෝටම රුපියල් පන්සීය බැගින් බෙදලා දුන්නත් ඔය කෝටි දෙදාහෙන් කෝටි දාහක්ම ඉතුරු වෙනවනේ. 

වටිනා මැණිකක් කියා කියන්නේ වසර කෝටි ගණනක් තිස්සේ ස්වභාවිකව හැදුනු දෙයක් මිසක් ඉඩම අයිතිකරුගේ ශ්‍රමයෙන් හදපු දෙයක් නොවන බවට තර්ක කළ හැකි නිසා මේ අදහසට කිසියම් පදනමක් තිබෙනවා. එහෙමනම්, පොළොවෙන් ලැබෙන මැණිකක් වැනි වටිනා දෙයක් ඉඩම අයිතිකරුට හිමිවීම වැරැද්දක් නොවන්නේ කොහොමද?

කෝටි ගණනක් වටිනා, පොළොවෙන් හමු වූ මැණිකක් ඉඩම අයිතිකරුටම අයිති වීම පවතින සමාජ-ආර්ථික ක්‍රමයේ වරදක් ලෙස දකින ගොඩක් අයට පහසුවෙන් අමතක වන දෙයක් වන්නේ එම මැණිකට කෝටි ගණනක වටිනාකමක් ලැබෙන්නේ කොහොමද කියන එකයි. මෙවැනි මැණිකකට එපමණ වටිනාකමක් ලැබෙන්නේම ඒ වෙනුවෙන් විශාල මුදලක් ගෙවන්න සූදානම් අය සිටින නිසයි. එසේ නැතුව මේ වගේ මැණිකක බොහෝ විට කිසිදු නෛසර්ගික වටිනාකමක් නැහැ.

ලෝකයේ මිනිසුන් අතර අද මෙන් ගනුදෙනු සිදු නොවන කාලයකදී දුප්පත් ගැමියෙකුගේ වත්තෙන් මේ වගේ මැණිකක් ලැබුණා කියා හිතන්න. ඒ මැණිකෙන් ඔහුට තිබෙන ප්‍රයෝජනය කුමක්ද? 

පිළිතුර ඉතාම සරලයි. පැහැදිලියි. මේ වගේ මැණිකකින් ඔහුට කිසිම වැඩක් නැහැ. ඕනෑනම් එය මිදුලේ තිබෙන්න හැර හවසට ඒ මත වාඩි වී විටක් හපන්න පුළුවන්. බොහෝ විට කවුරුවත් ඔය මැණික රෑට ඇවිත් හොරකම් කරගෙන යන එකක් නැහැ. එහෙම ගෙනිච්චා කියලා ගෙනියන කෙනෙකුටත් එයින් ඇති වැඩක් නැහැ.

කාලයකට පෙර තමන්ගේ වත්තෙන් මැණිකක් වගේ වටිනා දෙයක් හොයාගත් කෙනෙක් බොහෝ විට කළේ එය රජ තුමාට හෝ වෙනත් ප්‍රාදේශීය ප්‍රධානියෙකුට තෑගි කරන එක. මෙය මහ පොළොවෙන් හමු වන දෙයෙහි අයිතිය රජතුමා සතු වූ නිසා කළ දෙයක් කියා කියන්න පුළුවන් වුනත් එහි ඊට වඩා දෙයක් තිබෙනවා. ඔය වගේ දෙයක් රජ තුමාට තෑගි කිරීමෙන් පසුව බොහෝ විට ධාන්‍ය කරත්තයක් හෝ හරක් බානක් වැනි වෙනත් යමක් ආපසු තෑගි සේ ලැබෙනවා. මැණිකෙන් සෘජු ප්‍රයෝජනයක් නැතත් ධාන්‍ය කරත්තයෙන් හෝ හරක් බානෙන් ගැමියාට සෘජු ප්‍රයෝජනයක් තිබෙනවා. අනෙක් අතට රජතුමා සතුව අදාළ මැණිකට වටිනාකමක් දිය හැකි තරමට ධාන්‍ය, හරකා බාන වැනි මූලික මට්ටමේ සම්පත් අඩුවක් නැතිව තිබෙනවා.

අද රත්නපුරේ පතලයකින් හමු වන මැණිකක් ලෝකයේ කොහේ හෝ අයෙකු විසින් මැණික් වෙන්දේසියකින් මිල දී ගනිද්දී සිදු වන්නේත් සංකල්පීය ලෙස යම් තරමකින් ඔය වගේම දෙයක්. මේ වගේ මැණිකක් මුදල් ගෙවා මිල දී ගන්නට කැමති අය මහ ගොඩක් නැහැ. බොහෝ විට මෙය මිල දී ගන්නේ සමරු අයිතමයක් (collector's item) ලෙසයි. එසේ මිල දී ගන්නේ කිසියම් ධන කුවේරයෙකු හෝ කෞතුකාගාරයක් විසින් විය හැකියි. මිල දී ගන්න මැණික් ගල සමරු අයිතමයක් ලෙස තබා ගන්නවා හෝ ප්‍රදර්ශනය කරනවා හැර එය මිල දී ගන්නා අයෙකු විසින් එයින් වෙනත් සෘජු ප්‍රයෝජනයක් ලබා ගන්නේ නැහැ.

කන්න අඳින්නවත් සල්ලි නැති කෙනෙකුට මැණික් මිල දී ගන්න පුළුවන්කමක් හෝ අවශ්‍යතාවයක් නැහැ. එවැන්නක් කරන්නේ සැලකිය යුතු වත්කමක් තමන් සතුව තිබෙන කෙනෙක්. එවැනි විශාල වත්කමක් යමෙකු සතුව තිබිය හැක්කේ වෙනත් අය විසින් වටිනා සේ සලකන මොනවා හෝ දෙයක් නිර්මාණය කර හුවමාරු කළේනම් පමණයි. මැණික් ගල විකුණා මුදල් ලබා ගන්නා පුද්ගලයා පොහොසතෙක් වන ආකාරයේම ක්‍රියාවලියක් එය මිල දී ගන්නා පුද්ගලයා පොහොසතෙකු වීමේ ක්‍රියාවලිය තුළත් තිබෙනවා. මැණික් ගලට වටිනාකම දෙන්නේ ඔහු විසින් වනවාක් මෙන්ම ඔහු පොහොසතෙකු වී තිබෙන්නේ වෙනත් අය වටිනාකම් දෙන කවර හෝ දෙයක් නිවැරදිව හඳුනා ගැනීම නිසා.

තමන්ට අවශ්‍ය නැති මැණික් වැනි දෙයක් සෙවීම සඳහා කිසියම් අයෙකු විසින් තමන්ගේ ශ්‍රමය යොදවන්නේ මැණිකකට වටිනාකමක් දෙන කවුරු හෝ අයෙකු සිටින නිසා. එවැන්නෙකුගේ ශ්‍රමයට වටිනාකමක් ලැබෙන්නේම ධනවාදය තුළ සිදුවන නිදහස් හුවමාරුව නිසා. හුවමාරු කිරීමේ හැකියාවක් නැත්නම් ඔහු ගොවිතැනක් බතක් කරගෙන ඉන්නවා මිස මැණික් හොයන්න වෙහෙසෙන්නේ නැහැ. 

හුවමාරුවක් සිදු වන හැම විටකම අලුතෙන් වටිනාකමක් ජනනය වෙනවා. වී ගොවියෙක් වී විකුණා අත් ට්‍රැක්ටරයක් මිල දී ගන්නේ ඔහුට සාපේක්ෂව අත් ට්‍රැක්ටරයයේ වටිනාකම වී වල වටිනාකමට වඩා වැඩි නිසා. අත් ට්‍රැක්ටර් හදන ජපන් සමාගම එය යම් මිලකට විකුණන්නේ ඔවුන්ට එම මිලට එය විකිණීමෙන් ලාබයක් තිබෙන නිසා. මේ වැඩෙන් දෙපාර්ශ්වයටම සිදු වන්නේ ලාබයක්. එම ලාබය අලුතෙන්ම ජනනය වන වටිනාකමක්. රුපියල් කෝටි දෙදාහකට මැණිකක් මිල දී ගන්නා අයෙක් එහිදී වැය කරන්නේත් මේ ආකාරයෙන් ජනනය කරගත් වටිනාකම් වල මුදල් අගය. එවැන්නෙක් එසේ කරන්නේ ඔහුට සාපේක්ෂව අදාළ මැණික අවම වශයෙන් රුපියල් කෝටි දෙදාහක් වටින නිසා. වෙනත් අයෙකු විසින් එම මුදල ගෙවා එය මිල දී නොගන්නේ වෙනත් කිසිවෙකුට මැණික එපමණ නොවටින නිසා. මැණිකේ වටිනාකම රුපියල් කෝටි දෙදාහක් වන්නේම එපමණ මිලක් ගෙවා එය මිල දී ගන්නා පුද්ගලයෙකු සිටින නිසා.

හුවමාරුවක් සිදු වන හැම විටකම අලුතෙන් වටිනාකමක් ජනනය වෙනවා. කෝටි දෙදාහක මැණිකකට එම වටිනාකම ලැබීම තුළ පියවරෙන් පියවර වටිනාකම් එකතු වීමේ ක්‍රියාදාමයක් තිබෙනවා. මැණික වසර ලක්ෂ හෝ කෝටි ගණනක් තිස්සේ ස්වභාවිකව මහ පොළොවේ හැදී තිබෙනවා විය හැකි වුවත්, කිසිම නෛසර්ගික වටිනාකමක් නැති එවැනි මැණිකකට කෝටි ගණනක වටිනාකමක් ලැබෙන්නේ ධනවාදය තුළ නිදහස් ගනුදෙනු හරහා සිදුවන වටිනාකම් එකතු වීමේ ක්‍රියාවලිය නිසා මිසක් එය හැදෙන්න විශාල කාලයක් ගත වූ නිසා හෝ එවැනි මැණික් දුලබ වීම නිසාම නෙමෙයි. මැණික ලැබුණේ මහ පොළොවෙන් වුනත් මැණිකේ වටිනාකම මහ පොළොවෙන් ලැබුණු දෙයක් නෙමෙයි. 

Monday, July 26, 2021

ලංකාවේ රජය පැහැර හැරි ණය


මේ දවස් වල ලංකාවේ ජනප්‍රිය මාතෘකා දෙකකින් පළමුවැන්න ඩොලර් හිඟය සහ ණය පැහැර හැරීමට සිදු වීමේ අවදානම. දෙවැන්න කොතලාවල ප්‍රශ්නය සහ ගුරු වර්ජනය. පළමු කාරණාව සම්බන්ධව කොහොම වෙතත් දෙවැන්න සම්බන්ධව අපේ පෞද්ගලික හිත මිතුරන් හා පාඨකයින් දෙපිල බෙදී සිටීමක් දැකිය හැකියි. මේ බෙදීම සාමාන්‍ය පක්ෂ දේශපාලන බෙදීමම නොවන බවත් මට නිරීක්ෂණය වූ දෙයක්.

මීට පෙර සයිටම් ප්‍රශ්නය වෙලාවේදී මා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දැඩි සේ පෙනී සිටි බව ඔබට මතක ඇති. නිදහස් අධ්‍යාපනය යන්නෙන් මා අදහස් කරන්නේ කවර හෝ අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය අයෙකුට එම අධ්‍යාපනය ලබා ගැනීමට  තිබෙන අයිතිය. අධ්‍යාපනය ලබා දීමේ පිරිවැයක් තිබෙන නිසා එම පිරිවැය අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයාට හෝ වෙනත් අයෙකුට ගෙවන්නත් සිදු වෙනවා. තෙවන පාර්ශ්වයක් විසින් එය වැලැක්වීමෙන් සිදු වන්නේ නිදහස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි කිරීමක්. 

මේ අර්ථයෙන් මම කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය හරහා මුදල් අය කර සිවිල් වැසියන්ට උපාධි පිරිනැමීම ගැන විරුද්ධ නැහැ. එහෙත් මේ විරෝධය තුළ කතා වන හැම දෙයක් ගැනම මට අවබෝධයක් නැහැ. අදාළ පණත මා විසින් අධ්‍යයනය කර නැහැ. ඒ නිසා, ඒ ගැන වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ.

පළමු මාතෘකාවට ආවොත්, බාහිර ලෝකයේ ඇසින් ලංකාවේ රජයට ණය පැහැර හැරීමට සිදු වීමේ අවදානම විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ලංකාව තුළ වුවත් එය එසේ නොවන බව කියන පිරිස ඉතාම සීමිතයි. 

ලංකාවේ රජය බොහෝ විට ආඩම්බරයෙන් කියන දෙයක් වන්නේ මෙතෙක් කිසි විටෙකත් ලංකාවේ රජය විසින් ලබා ගත් ණය පැහැර හැර නැති බවයි. රාජ්‍ය ණය පැහැර හැරීම කියා කියන්නේ යාළුවෙක්ගෙන් ණයට ලබා ගන්නා රුපියල් පන්දාහක් ආපසු නොගෙවා මග හරිමින් සිටීම වැනි සරල දෙයක් නෙමෙයි. රාජ්‍ය ණය පැහැර හැරීම කියන එකට තිබෙන්නේ පුළුල් අර්ථකතනයක්. ණය ලබා ගැනීමේදී එකඟ වූ කොන්දේසි යාන්තමින් ඉටු නොවීම ණය පැහැර හැරීමක් ලෙස වාර්තා විය හැකියි.

රජයක් හෝ පෞද්ගලික සමාගමක් විසින් බැඳුම්කරයක් නිකුත් කිරීමේදී එහි කූපන් පොලී මුදල් හා මුල් මුදල ආපසු ගෙවන දින වකවානු පිළිබඳ නිශ්චිත එකඟතාවයක් තිබෙනවා. හරියටම ඒ කියපු දවසට මුදල් ගෙවන්න නොහැකි වී සුළු හෝ ප්‍රමාදයක් සිදු වුවහොත් එය ණය පැහැර හැරීමක් සේ සැලකෙන්න පුළුවන්.

ජාත්‍යන්තර මුදල් හුවමාරු සිදු වන්නේ දෙල්කඳ පොළෙන් පොළොස් ගෙඩියක් මිල දී ගන්න විදිහට නෙමෙයි. මුදල් ගෙවන්නා සහ මුදල් ලබන්නා එකිනෙකා හා සම්බන්ධ වෙන්නේ වෙනත් අතරමැදියන් ගණනාවක් හරහා. මේ වැඩේට කිසියම් ගෙවුම් පද්ධතියක් හෝ ගෙවුම් පද්ධති කිහිපයක් යොදා ගැනෙනවා. ඇතැම් විට මුදල් ගෙවූ අවස්ථාවේ සිට මුදල් ලැබෙන අවස්ථාව දක්වා දවස් කිහිපයක් ගත වෙන්න පුළුවන්. ඒ වගේම අදාළ තොරතුරු සන්නිවේදනය කිරීමේදී සිදු වන සුළු තාක්ෂනික අත් වැරැද්දක් නිසා වෙලාවට සල්ලි නොයන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී වුවත් එකඟතාවය කඩවීමක් සිදු වන නිසා එය ණය පැහැර හැරීමක් සේ සටහන් විය හැකියි. 

යම් හෙයකින් තාක්ෂණික බිඳ වැටීමක් නිසා ලැබිය යුතු මුදලක් පැයක් පරක්කු වුනත් එයින් ණය දුන් අයෙකුට දැනෙන පාඩුවක් සිදු වන්නේ නැහැ. ලංකාවේ රජය ණය ආපසු ගෙවීමේදී මෙතෙක් කවදාවත් මෙවැනි අත් වැරැද්දක් කරගෙන නැහැ කියා කියන එකෙන් පෙනෙන්නේ අදාළ කටයුත්ත කොයි තරම් බැරෑරුම් ලෙස සලකා තියෙනවද කියන එකයි. 

මේ දවස් වල ඇහෙන තවත් වචනයක් වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන එක. ඉතාම කෙටියෙන් කිවුවොත් මෙහිදී වෙන්නේ මුලින් එකඟ වූ ආකාරයට ණය නොගෙවා සිටීමක්. නමුත් එය කරන්නේ කිසියම් පූර්ව එකඟතාවයකින් පසුවයි. කිසිවක්ම නොලැබී යාමේ අවදානම හමුවේ තමන්ට ලැබිය යුතු මුදලට වඩා අඩු මුදලක් ලබා ගැනීමට, නියම මුදල පසු දිනක ලබා ගැනීමට හෝ ඔය දෙකටම ණය දුන් පාර්ශ්වය එකඟ වෙන්න පුළුවන්. මෙහිදී ගිවිසුම් කඩවීමක් සිදු නොවන නිසා තාක්ෂනිකව ණය පැහැර හැරීමක් සිදු වන්නේ නැහැ. එහෙත් සුළු තාක්ෂනික ප්‍රමාදයක් නිසා සිදු වන තාක්ෂනික ණය පැහැර හැරීමක (technical default) අලාභයට සාපේක්ෂව මෙවැනි එකඟතාවයක අලාභය බොහෝ වැඩි විය හැකියි. ඒ නිසා, පූර්ව එකඟතා මත සිදු වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම් වුවත් ණය පැහැර හැරීම් සේ සැලකෙනවා. ඔය කාණ්ඩ දෙකටම නොවැටෙන, "ගෙවන්නේ නැහැ. පුළුවන් දෙයක් කරන්න!" මාදිලියේ ණය පැහැර හැරීම් ඉතාම දුලබයි.

බොහෝ ආර්ථික දැවැන්තයින් විසින්ද ණය පැහැර හැරි අවස්ථා ඉතිහාසයේ තිබුණත් මෑත ඉතිහාසය තුළ ණය පැහැර හැර ඇති සේ සැලකෙන බොහොමයක් රටවල් අඩු ආදායම්ලාභී හෝ මැදි ආදායම් කාණ්ඩයේ රටවල්. එහෙත් ආර්ථික විද්‍යා දෘෂ්ඨි කෝණයකින් පුළුල් ලෙස බැලුවොත් ලෝකයේ හැම රජයක්ම වගේ දිගින් දිගටම අඛණ්ඩව එක්තරා ආකාරයක ණය පැහැර හැරීමක් කරමින් සිටිනවා.

ගුරු වර්ජනය වෙත නැවත පැමිණියහොත්, වෙනත් ඉල්ලීම් ගණනාවක් පෙනෙන්නට තිබුනත්, මේ වර්ජනය පසුපස ගුරු වැටුප් වැඩි කර ගැනීමේ ඉල්ලීමක්ද තිබෙනවා. මේ ආකාරයෙන්ම වරින් වර වෛද්‍යවරුන් හා අනෙකුත් සෞඛ්‍ය සේවකයින්, සරසවි ඇදුරන් හා අනධ්‍යයන සේවකයින් වැනි වෙනත් රජයේ සේවකයින්ද වැඩි වැටුප් ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා. රජයේ සේවකයින් විශාල පිරිසකට රැකියා අහිමි කරමින් අවසන් වූ 1980 ජූලි වර්ජනය පිළිබඳ මතක තවමත් බොහෝ දෙනෙකුට තිබෙනවා. මේ ආකාරයට රජයේ සේවකයින් විසින් වරින් වර වැඩි වැටුප් ඉල්ලා සිටීම එක්තරා ආකාරයකින් රජය විසින් සිදු කරන ණය පැහැර හැරීමකට ප්‍රතිචාරයක් ලෙසද අර්ථ දැක්විය හැකියි.

කිසියම් අයෙකු රජයේ රැකියාවක් භාර ගැනීමේදී එම තැනැත්තා විසින් ලබා දෙන සේවය වෙනුවෙන් යම් නිශ්චිත වැටුපක් ලබා ගැනීමේ එකඟතාවයක් ඇති වෙනවා. පළමු පඩි දිනය දක්වා, මාසයකට ආසන්න කාලයක්, ශ්‍රමිකයා වැඩ කරන්නේ ණයටයි. මාසය අවසානයේදී රජය විසින් ණය ගෙවනවා. යම් හෙයකින් නියමිත දිනයේදී කලින් පොරොන්දු වූ වැටුප ලබා නොදුන්නොත් එය සැලකිය හැක්කේ ණය පැහැර හැරීමක් ලෙසයි.

ලංකාවේ රජය හා රාජ්‍ය සේවකයෙකු අතර ඇති වන සේවා ගිවිසුම තුළ එකඟතාවයක් ඇති වන්නේ නිශ්චිත ශ්‍රම කාලයක්  නිශ්චිත රුපියල් ප්‍රමාණයක් සමඟ හුවමාරු කර ගැනීමටයි. මෙහිදී රාජ්‍ය සේවකයා තමන්ගේ ශ්‍රමයේ වටිනාකම රුපියල් වලින් ලබා ගන්නේ රුපියල් පරිභෝජනය කළ හැකි නිසා නෙමෙයි. රුපියල් සත කන්න බැරි බව ත්‍රිරෝද රථ වලට ස්ටිකර් විකුණන අය වගේම ෆේස්බුක් එකේ පෝස්ට් ශෙයා කරන අයත් දන්නවා. රුපියල් ලබා ගන්නේ රුපියල් සමඟ හුවමාරු කර ලබා ගත හැකි පරිභෝජනය කළ හැකි දේවල් නිසා. එහෙත් ඒ බව බොහෝ විට සේවා ගිවිසුමේ නැහැ. එය යම් ආකාරයක අලිඛිත එකඟතාවයක්.

මාසය අවසානයේදී පොරොන්දු වූ වැටුප ලැබෙනවානම්, මුල් මාස වලදී ගැටලුවක් ඇති වන්නේ නැහැ. එහෙත් කාලයත් එක්ක ලැබෙන නිශ්චිත රුපියල් ප්‍රමාණයෙන් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩු වන බව ශ්‍රමිකයාට තේරෙනවා. එහෙත්, ගිවිසුමේ ඔහුගේ කොටස ඒ විදිහටම සිදු වෙනවා. ලබා දෙන ශ්‍රම කාලයේ අඩුවක් වෙන්නේ නැහැ. ගිවිසුම අනුව රජය වැරැද්දක් කර නැහැ. පොරොන්දු වූ රුපියල් ප්‍රමාණය මාසය අන්තිමට අඩු නැතුව ලැබෙනවා. නමුත් එම රුපියල් ප්‍රමාණය තුළ අපේක්ෂා කළ වටිනාකම නැහැ. ඒ පදනම මත බැලුවොත් ලැබෙන්නේ පොරොන්දු වූ දෙයට වඩා අඩු දෙයක්. 

මේ කතාව පෞද්ගලික ආයතනයක ශ්‍රමිකයන් හා අදාළව වුවත් කිව හැකියි. එහෙත්, මේ දෙකේ වෙනසක් තිබෙනවා. උද්ධමනය නිසා නාමික වැටුප් වල මූර්ත වටිනාකම අඩු වීම පෞද්ගලික ආයතනයක් විසින් හිතාමතා කරන දෙයක් නෙමෙයි. එය බාහිර කරුණක්. හැමවිටම නොවුනත්, ඇතැම් පෞද්ගලික ආයතන වල සේවා ගිවිසුම් තුළ සේවක වැටුප් උද්ධමනය හා ගැලපීමක්ද දකින්නට පුළුවන්.

මෙයින් වෙනස්ව, උද්ධමනය කියන්නේ රජය විසින් සැලසුම්සහගතව නිෂ්පාදනය කරන දෙයක්. එය බාහිර කරුණක් නෙමෙයි. රජයේ ආදායමට වඩා වියදම් වැඩිනම්, කවර හෝ හේතුවක් නිසා බදු හරහා ආදායම් වැඩි කර ගැනීම අසීරුනම්, සේවා ගිවිසුම් අනුව රජයේ සේවකයින්ගේ නාමික වැටුප් අඩු කරන්නත් බැරිනම්, උද්ධමනය තෝරා ගැනීම රජයකට හොඳ විකල්පයක්. 

උද්ධමනය ඉහළ යද්දී බොහෝ විට බදු අය කෙරෙන පදනම්ද නාමිකව ඉහළ ගොස් රජයේ ආදායම් ඉහළ යන නමුත් අඩු වශයෙන් යම් කාලයක් යන තුරු රජයේ වියදම් ඉහළ යන්නේ නැහැ. එය සිදු වන්නේ රජයේ සේවකයින් විසින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් හරහා වැටුප් වැඩි කරගැනීම වැනි දෙයක් සිදු වීමෙන් පසුවයි. එම කාලය තුළ රජයට ආදායම් හා වියදම් අතර පරතරය යම් තරමකින් අඩු කර ගන්න පුළුවන්, වෙනත් විදිහකින් කිවුවොත් නාමිකව ඉහළ ගියත්, මූර්ත පදනමකින් අයවැය හිඟය පහළ දමා ගන්න පුළුවන්. 

මේ විදිහට උද්ධමනය ඉහළ යද්දී රජයට වාසියක් වෙන්නේ මූර්ත පදනමින් රාජ්‍ය සේවක වැටුප් අඩුවීම නිසා පමණක් නෙමෙයි. සැපයුම්කරුවන්ට කරන ගෙවීම් වගේ දේවල් හා අදාළවත් ඔය වැඩේම වෙනවා. පොරොන්දු වූ මුදලක් මාස කිහිපයක් ප්‍රමාද කර ගෙවනවා කියා කියන්නේ මූර්ත පදනමින් අඩුවෙන් ගෙවීමක්. 

බැංකු ණයක් ගෙන රජය වෙනුවෙන් යම් භාණ්ඩ හෝ සේවා සැපයුමක් කරන කොන්ත්‍රාත්කරුවෙක් ගැන හිතන්න. දැන් මේ සැපයුම වෙනුවෙන් ලැබිය යුතු ගෙවීම ප්‍රමාද වන තරමට බැංකු ණය වෙනුවෙන් අමතර පොලී මුදලක් ගෙවන්න සිදු වෙනවා. එය කොන්ත්‍රාත්කරුට සිදු වන අවාසියක්. මෙහි ඇති සැඟවුණු කරුණ වන්නේ ඇත්තටම එම අවාසිය රජයට සිදුවන වාසියක් බවයි. වෙනත් ආකාරයකින් කිවුවොත් මෙහිදී සිදුවන්නේ රජය විසින් පොරොන්දු වූ මුදලට වඩා අඩු මුදලක් ගෙවීමක් හෙවත් ණය පැහැර හැරීමක් වැනි දෙයක්.

රජයේ සියලු වියදම් ආවරණය කරගත හැකි තරමට බදු ගෙවන්න රටක මිනිස්සු සූදානම් නැත්නම් එයින් අදහස් වන්නේ රජය විසින් සලසන සේවයේ වටිනාකම පිළිබඳ මිනිසුන්ගේ තක්සේරුව අඩු බවයි. වෙනත් අයුරකින් කිවුවොත් රාජ්‍ය සේවකයින් විසින් සලසන සේවය වෙනුවෙන් රටේ බදු ගෙවන ජනතාව ගෙවන්න සූදානම් මුදල ඔවුන් වැටුප් සේ ලබා ගන්නා මුදලට වඩා අඩු බවයි. එසේනම් කළ යුත්තේ රාජ්‍ය සේවක වැටුප් අඩු කරන එකයි. එහෙත් විවිධ නෛතික හා ප්‍රායෝගික බාධාවන් නිසා රජයකට එය කිරීම අසීරුයි. නාමික වැටුප් එලෙසම තිබියදී උද්ධමනයට ඉඩ හැර මූර්ත වැටුප් අඩු කිරීම මෙය වක්‍ර ලෙස කළ හැකි ක්‍රමයක්. ලංකාවේ රජය කාලයක සිට මේ උපක්‍රමය භාවිතා කරනවා.

ජේආර්ගේ ආණ්ඩුවට හැත්තෑ හතේදී පෙනී ගිය කරුණක් වුනේ විශාල හා අකාර්යක්ෂම රාජ්‍ය සේවය රජයේ අයවැයට දරාගත නොහැකි බරක් බවයි. එහෙත්, රාජ්‍ය සේවයේ නාමික වියදම් අඩු කිරීම පහසුවෙන් කළ හැක්කක් වුනේ නැහැ. සල්ලි අච්චු ගසා උද්ධමනය ඉහළ යන්න සැලැස්වීමෙන් මේ කාර්යය වක්‍ර ලෙස කළ හැකි වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ සේවකයින්ට ඔවුන්ගේ වැටුපෙන් ජීවත් වීම අසීරු වුනා. ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා පෙළඹුණා. කෙසේ වුවත්, මෙහිදී සිදු වුනේ රාජ්‍ය සේවක ශ්‍රමයේ සැබෑ වටිනාකම හා ගැලපෙන පරිදි මූර්ත වැටුප් අඩු වීමක් නිසා ඔවුන්ට හෙට්ටු කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. වර්ජකයින් විශාල පිරිසකට තිබුණු ආදායමද අහිමි වුනා.

ජේආර් උපක්‍රමය අද දක්වාම සාර්ථකව නැවත නැවත ක්‍රියාත්මක වෙනවා.

Friday, July 23, 2021

රුපියලේ අනාගතය කුමක්ද?

අලුත් වැඩක්! ඉදිරියට යනවද කියන එක තීරණය වෙන්නේ ප්‍රතිචාර අනුවයි.




කිසියම් හේතුවක් නිසා ජංගම දුරකථන වලින් පිවිසෙන අයට වීඩියෝව පෙනෙන්නේ නැහැ. පහත ලින්ක් එක හරහා වීඩියෝවට යා හැකියි: https://www.youtube.com/watch?v=echr-J7HYhQ

Wednesday, July 21, 2021

සෙනසුරු අපලයෙන් බේරෙන්නේ කොහොමද?


ලංකාවේ බොහෝ දෙනෙක් ජ්‍යෝතිෂය විශ්වාස කරනවා. ජ්‍යෝතිෂය විශ්වාස කරන අය සෙනසුරු ඒරාෂ්ඨකය සලකන්නේ ඉතාම නරක අපල කාලයක් ලෙසයි. සෙනසුරු මාරුවක් සිදු වන විට ලංකාවේ බොහෝ දෙනෙක් තමන්ගේ කේන්ද්‍ර පරීක්ෂා කර ගන්නවා. සෙනසුරු ඒරාෂ්ඨක එහෙමත් නැත්නම් සාමාන්‍ය ව්‍යවහාරය අනුව "හෙනහුරාගේ අපලේ" ලැබෙන ආකාර ගණනාවක් තිබෙනවා. ඒ අතරින් ලග්න ඒරාෂ්ඨකය හෝ ජන්ම ඒරාෂ්ඨකය ලබපුවහම එය ගෙවෙන්න වසර හත හමාරක පමණ කාලයක් යනවා. සෙනසුරු ඒරාෂ්ඨකය ගැන දැන නොසිටියත්, හෙනහුරා අවුරුදු හතහමාරක් විෂ්ණු දෙවියන්ටත් බට කොළ කවපු කතාව ජ්‍යෝතිෂය විශ්වාස නොකරන අයෙක් වුවත් අසා නොතිබෙන්න හේතුවක් නැහැ.

ජ්‍යෝතිෂය පදනම් වී තිබෙන්නේ පෘථිවියට සාපේක්ෂව සිදු වන අනෙකුත් ග්‍රහයන්ගේ චලනය මතයි. කේන්ද්‍ර සටහනකින්  කරන්නේ කිසියම් මොහොතක පෘථිවියට සාපේක්ෂව අනෙකුත් ග්‍රහයින්ගේ පිහිටීම සටහන් කර තබන එකයි. මෙහිදී පොළොවට සාපේක්ෂ අහස කොටස් දොළහකට බෙදා එම එක් එක් කොටසක් තුළ දැකිය හැකි ග්‍රහයින් අදාළ කොටු වල සටහන් කරනවා.

සෙනසුරා හෙවත් ශනි ග්‍රහයා සූර්ය ග්‍රහ මණ්ඩලයේ සූර්යයාට බොහෝ ඈතින් වූ පථයක චලනය වන ග්‍රහයෙක්. පෘථිවිය චලනය වන්නේ සෙනසුරුට සාපේක්ෂව සූර්යයාට කිට්ටුවෙන් නිසා පෘථිවියට සාපේක්ෂව ශනි ග්‍රහයාට වටයක් සම්පූර්ණ කරන්න වසර තිහක පමණ කාලයක් ගත වෙනවා. ඒ නිසා, කිසියම් මොහොතක අඳින කේන්ද්‍ර සටහනක ශනි ග්‍රහයා ලකුණු කෙරෙන තැනට වටයක් ගොස් නැවත ආපසු එන්නට ශනි ග්‍රහයාට වසර තිහක පමණ කාලයක් ගත වෙනවා. ලග්න දොළහක් තිබෙන නිසා එක ලග්නයක සීමාව පසු කරන්න සෙනසුරුට වසර දෙකහමාරක පමණ කාලයක් ගත වෙනවා.

සෙනසුරු කිසියම් පුද්ගලයෙකුගේ උපන් ලග්නය, ඊට පෙර ලග්නය හා ඊට පසු ලග්නය පසුකරන කාලය සෙනසුරුගේ ලග්න ඒරාෂ්ඨකය ලෙස හැඳින්වෙනවා. මේ කොටු තුන පහු කරන්න ආසන්න වශයෙන් වසර හතහමාරක් පමණ ගත වෙනවා. එහෙත් මෙය සාපේක්ෂ චලිතයක් නිසා කාලය අඩු වැඩි වෙන්න පුළුවන්. කිසියම් පුද්ගලයකුට බොහෝ විට ජීවිත කාලය තුළ තෙවරක් සෙනසුරුගේ ලග්න ඒරාෂ්ඨකය ලබනවා. එහෙත්, තෙවන වර දක්වා හැමෝම ජීවත් නොවෙන්න පුළුවන්.

උදාහරණයක් විදිහට, 1948 පෙබරවාරි 4 දින උදේ 7:30ට කොළඹදී උපන් කෙනෙක්ගේ ලග්නය කුම්භ ලග්නයයි. ලංකාවට නිදහස ලැබුණේ මේ වෙලාවේදී නිසා ලංකාවේ රාජ්‍ය ලග්නයද කුම්භ ලග්නය සේ සලකනවා. කුම්භ ලග්නයට පෙර ලග්නය මකර ලග්නයයි. කුම්භ ලග්නයට පසු ලග්නය මීන ලග්නයයි. මේ අනුව, ලංකාවේ රාජ්‍ය කේන්ද්‍රය අනුව, මකර-කුම්භ-මීන රාශි වල සෙනසුරා ගමන් කරන කාලය සෙනසුරුගේ ලග්න ඒරාෂ්ඨක කාලය ලෙස සැලකිය හැකියි.  මකරාගේ කොටුවට සෙනසුරා ආවා කියන්නේ ඒරාෂ්ඨක කාලය ලබලා!

පසුගිය 2020 ජනවාරි 24 වෙනිදා සෙනසුරා මකර රාශියට ඇතුළු වුනා. මකර-කුම්භ-මීන රාශි හරහා ගමන් කරමින් සිටින සෙනසුරා මීන රාශියෙන් පිටව යන්නේ 2027 ජූනි මාසයේදී. මේ වසර හත හමාරක කාලය 1948 පෙබරවාරි 4 දින උදේ 7:30ට කොළඹදී උපන් කෙනෙකුගේ සෙනසුරු ඒරාෂ්ඨක කාලයක් සේ හඳුන්වන්න පුළුවන්. ජනශ්‍රැතිය අනුව, විෂ්ණු දෙවියන්ට බට කොළ කන්න සිදු වුනේත් සෙනසුරු ඒරාෂ්ඨක කාලයකයි.

විෂ්ණු දෙවියෝ ගැන කවුරු වුනත් අහලා තියෙනවනේ. ඔහුගේ බිරිඳ ලක්ෂ්මී. ධනයට අධිපති. සෙනසුරු ඒරාෂ්ඨක කාලය ලබන තුරුම විෂ්ණු ලක්ෂ්මීත් එක්ක ඉතාම සතුටින් දිව්‍ය භෝජන වළඳමින්, දෙවු සැප ලබමින් කාලය ගත කරලා තියෙනවා. ඔහොම ඉඳිද්දී හදිසියේම දවසක සෙනසුරා ඇවිදින් දැන් එළැඹෙන්නේ තමන්ගේ කාලය බව විෂ්ණු දෙවියන්ට මතක් කරලා. මේ වගේ දැනුම් දීමක් විෂ්ණු දෙවියන්ට වුනත් නොසලකා හරින්න බැහැනේ. සෙනසුරා එක්ක සෙල්ලම් නැහැ!

කොහොම වුනත් විෂ්ණු දෙවියෝ වගේ බලවත් කෙනෙක්ට පුළුවන්ද සෙනසුරාට වුනත් සෙකන්ඩ් වෙන්න? මොන නව නිංගිරාවක්ද? ඒ නිසා, විෂ්ණු දෙවියෝ කල්පනා කරනවා අපල කාලය ගෙවුනට පස්සේ  "මම තමයි හොඳටම කළේ" කියා කියන්න ක්‍රමයක්. ඔහොම කල්පනා කරලා අන්තිමට තීරණය කරනවා අපලය ගෙවෙන තුරු ඇත් වේශයක් අරගෙන සෙනසුරුට හොයා ගන්න බැරි කැලේක හැංගිලා ඉන්න. කොහොමද ටිකිරි මොළේ?

ඉතිං විෂ්ණු දෙවියෝ ඇත් වේශයක් අරගෙන කැලේකට යනවා. මේක බට කැලයක්. බට කැලේක දිව්‍ය භෝජන නැහැනේ. ඒ නිසා, අවුරුදු හතහමාරක් තිස්සෙම බට කොළ කකා කාලය ගෙවනවා. සෙනසුරු අපලය ගෙවුනට පස්සේ නැවත දිව්‍ය ලෝකයට ඇවිත් සෙනසුරාට කෝචෝක් පාරක් දානවා.

"තමුසේ හැමෝටම අපල කළාට අවුරුදු හතහමාරක් තිස්සෙම මාව අල්ල ගන්න බැරි වුනානේ?" 

මම තමයි පළමු වරට සෙනසුරු අපලෙන් බේරුණේ!

සෙනසුරා කට කොණකින් කින්ඩි හිනාවක් දානවා.

"ඔබ වගේ බලවත් දෙවි කෙනෙක්ට දිව්‍ය භෝජන අත ඇරලා, ලක්ෂ්මිය සමඟ කිසිදු ඇසුරක් නැතිව, අවුරුදු හත හමාරක් කැලේක හැංගිලා බට කොළ කන්න සලස්සන එකට වඩා තවත් කරන්න පුළුවන් අපලයක් තියෙනවද?'

මේ කතාව මට මතක් වුනේ මගේ මිතුරෙක් අහපු ප්‍රශ්නයක් නිසා.

"ආනයන පාලනය කරලා ලංකාවට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ යන්න බැරි වෙයිද?"

ලංකාව ආර්ථික අර්බුදයක ඉන්න බව අපි කවුරුත් දන්නවා. මේක විදේශ අංශයේ අර්බුදයක්. ඒ අනුව, ආර්ථිකය කඩා වැටුනොත් වෙන්නේ කුමක්ද?

මෙහි බලපෑම ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ විණිමය අනුපාතිකයට. නරක තත්ත්වයක් යටතේ ඩොලරයක මිල එක වර විශාල ලෙස ඉහළ යා හැකියි. ඉන් පසු, ආනයන වල රුපියල් මිල ඉහළ යන නිසා බොහෝ දේ පෙර තරමට ආනයනය කරන්න බැරි වෙයි. උදාහරණයක් විදිහට ගොවීන්ට අවශ්‍ය පමණ පෝර ආනයනය කරන්න නොහැකි වී, එය අස්වැන්න අඩු කිරීමට හේතු වෙන්න පුළුවන්. අවශ්‍ය පමණ තෙල් ආනයනය කරන්න බැරි වෙන්න පුළුවන්. මිල අධික නිසා වාහන අවශ්‍ය ඇතැම් අයට වාහන ආනයනය කරන්න බැරි වෙන්න පුළුවන්. කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කරන්න බැරි වී එය ආර්ථික වර්ධනය කෙරෙහි නරක ලෙස බලපාන්න පුළුවන්. රට තුළ බොහෝ දෙනෙකුට ආනයනික භාණ්ඩ මිල දී ගත නොහැකි තත්ත්වයක් ඇති විය හැකියි. මේ දේවල් වෙන්නේ විණිමය අනුපාතිකය එක වර කඩා වැටුණොත්.

ආනයන පාලනය කිරීමෙන් විණිමය අනුපාතිකය කඩා වැටෙන එක වලක්වා ගන්න පුළුවන්!

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...