වෙබ් ලිපිනය:

Saturday, October 17, 2020

ට්‍රොලි ප්‍රශ්නය


ට්‍රොලි ප්‍රශ්නය ආචාර ධාර්මික ගැටළු පිළිබඳව සාකච්ඡා කරන විට විශේෂයෙනුත්, මනෝ විද්‍යාවේදී පොදු වශයෙනුත් යොදා ගැනෙන චිත්ත පරීක්ෂණයක්. මෙහි වර්ෂන් ගණනාවක් තිබෙනවා. සරලම වර්ෂන් එක මේ වගේ එකක්.

දුම්රිය මාර්ගයක් දිගේ බඩු පැටවූ ට්‍රොලියක් අනපේක්ෂිත වෙලාවක පාලනයෙන් තොරව වේගයෙන් එනවා. පාරේ පුද්ගලයින් පස් දෙනෙක් ඉන්නවා. ට්‍රොලිය දිගටම ගමන් කළොත් අනිවාර්යයෙන්ම මේ පස් දෙනාම මැරෙනවා. ලීවරයක් ඇදලා ට්‍රොලිය ගමන් කරන මාර්ගය වෙනස් කරන්න පුළුවන්. එවිට මේ පස් දෙනාගේ ජීවිත බේරෙනවා. 

ඔබ ඉන්නේ ලීවරය තිබෙන තැන. ලීවරය අදිනවාද නැද්ද කියන ඔබේ තීරණය මත මේ ජීවිත පහ බේරෙන්න හෝ නැති වෙන්න පුළුවන්. ලීවරය ඇදලා ට්‍රොලියේ ගමන් මාර්ගය සයිඩ් ට්‍රැක් එකකට මාරු කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය ඒ සයිඩ් ට්‍රැක් එකේත් එක් පුද්ගලයෙක් ඉන්නවා. පස් දෙනෙක්ගේ ජීවිත බේරන්න ඔබ ලීවරය ඇද්දොත් සයිඩ් ට්‍රැක් එකේ ඉන්න පුද්ගලයා මැරෙනවා. 

මේ හය දෙනාගෙන් එක් අයෙකුටවත් අනතුර ගැන දැනුම් දීමේ හැකියාවක් ඔබට නැහැ. කරන්න පුළුවන් ලීවරය අදින එක හෝ නොඇද බලාගෙන ඉන්න එක පමණයි. [නිකම් බලාගෙන නොඉඳ කැමතිනම් ෆේස්බුක් ලයිව් දමන්නත් පුළුවන්.] ඔබ ලීවරය අදිනවාද නැද්ද?

මේ ප්‍රශ්නයට වැඩි දෙනෙක් දෙන පිළිතුර ලීවරය අදිනවා කියන එකයි. ලීවරය අදින එකේ සදාචාරාත්මක පදනම ජීවිත පහක් එක ජීවිතයකට වඩා වටිනවා කියන එකයි. හැබැයි ලීවරය අදින එකෙන් ඔබ කරන්නේ හිතාමතාම අහිංසක මිනිහෙක්ව මරණයට පත් කරන එකයි. [චක්‍රලේඛ වලටම වැඩ කරන කෙනෙක්නම් චක්‍රලේඛයේ කියල නැත්නම් ලීවරය අදින එකක් නැහැ.]

ඔබ ලීවරය අදින ගොඩේ ඉන්න කෙනෙක් කියා කියමු. මැරෙන්න යන පස් දෙනා ඔබ නොහඳුනන අයනම්, අර සයිඩ් ට්‍රැක් එකේ ඉන්නේ ඔබේ පෙම්වතිය, සැමියා, මව වගේ කෙනෙක්නම් ඔබ ඒත් ලීවරය අදිනවද? සයිඩ් ට්‍රැක් එකේ ඉන්න පුද්ගලයා නොදන්නා කෙනෙක් වී මැරෙන්න යන පස් දෙනා කුඩුකාරයින් හෝ පාතාල සාමාජිකයින් පස් දෙනෙක්නම් ඔබ ලීවරය අදිනවාද?

මැරෙන්න යන පස් දෙනා ඔබේ ජාතියේ හෝ ජනවර්ගයේ අයනම් (සිංහල කියා කියමු) සයිඩ් ට්‍රැක් එකේ ඉන්නේ වෙනත් ජනවර්ගයක අයෙක්නම් (මුස්ලිම් කියා කියමු) ඔබ ලීවරය අදිනවාද? 

මැරෙන්න යන පස් දෙනා ඔබේ ජාතියේ හෝ ජනවර්ගයේ නොවේනම් (මුස්ලිම් කියා කියමු) හා සයිඩ් ට්‍රැක් එකේ ඉන්නේ ඔබේ ජාතියේ හෝ ජනවර්ගයේ අයෙක්නම් (සිංහල කියා කියමු) ඔබේ තීරණය වෙනස් වෙනවාද?

මැරෙන්න යන්නේ රාජපක්ෂ පවුලේ සාමාජිකයෝ පස් දෙනෙක්නම් හා සයිඩ් ට්‍රැක් එකේ ඉන්නේ අනුර කුමාර හරි කුමාර් ගුණරත්නම් හරි වගේ කෙනෙක්නම් ඔබ ලීවරය අදිනවාද? 

මැරෙන්න යන්නේ ජවිපෙ හෝ පෙසපෙ මධ්‍යම කාරක සභා සාමාජිකයෝ පස් දෙනෙක්නම් හා සයිඩ් ට්‍රැක් එකේ ඉන්නේ ගෝඨාභය හරි බැසිල් හරි වගේ කෙනෙක්නම් ඔබ ලීවරය අදිනවාද? 

අනුභූතික දත්ත අනුව පෙනෙන්නේ දෙපැත්තෙන් එක පැත්තක කවුරු හෝ දන්නා කෙනෙක් ඉන්න කොට මිනිස්සු ගන්න තීරණය නොදන්නා හය දෙනෙක් ඉන්න වෙලාවක ගන්න තීරණයම නොවන බවයි.

මේ ප්‍රශ්නය උපකල්පිත තත්ත්වයක් හා අදාළ එකක් වුවත් සැබෑ ජීවිතයේදී මිනිස්සුන්ට මේ ආකාරයේ තීරණ ගන්න සිදු වෙන එක දුලබ දෙයක් නෙමෙයි. උදාහරණයක් විදිහට තරමක් ලොකු වාහනයක් එළවද්දී (කැබ් එකක් වගේ කියමු) ඔබ ඉදිරියට පාරේ වැරදි පැත්තෙන් ත්‍රිරෝද රථයක් එනවා. එහි හතර පස් දෙනෙක්ම ඉන්න බව පැහැදිලිව පෙනෙනවා. අනතුර වලක්වා ගන්න පුළුවන් වෙන්නේ ඔබේ වාහනය පැත්තකට කපලා. එහෙත් එහෙම කළොත් පාරේ යන අහිංසක මනුස්සයෙක්ව යට වෙනවා. ඔබ කරන්නේ කුමක්ද? පාරේ යන්නේ ඔබේ පවුලේ සාමාජිකයෙක්නම් ඔබ ඒත් කරන්නේ ඒකමද?

ඉහත කී පළමු ට්‍රොලි ප්‍රශ්නය ඇසීමෙන් පසුව අහන දෙවන ට්‍රොලි ප්‍රශ්නයක්ද තිබෙනවා. එහිදී ඔබ ඉන්නේ ලීවරයක් ළඟ නෙමෙයි. දුම්රිය මාර්ගය උඩින් තිබෙන පාලමක් උඩ. ඔබ ඉදිරියේ මහත මිනිහෙක් ඉන්නවා. ඔහුව පාලමෙන් තල්ලු කළොත් ඔහුගේ සිරුරේ හැපී ට්‍රොලිය නවතිනවා. ජීවිත පහක් බේරෙනවා. ඔබ ඔහුව දුම්රිය පාරට තල්ලු කරනවාද?

පළමු අවස්ථාවේදී ලීවරය අදින බොහෝ දෙනෙක් දෙවන අවස්ථාවේදී මහත මිනිහාව තල්ලු කරන්නේ නැහැ. ලීවරය අදින එකෙන් වෙන්නේ ජීවිත පහක් බේරී එක මිනිහෙක් මැරෙන එකයි. මහත මිනිහාව තල්ලු කළ විට වෙන්නේත් එයමයි. මේ දෙකෙන් එකක් සදාචාරාත්මක වැරැද්දක් වෙන්නේත්, අනිත් එක එසේ නොවන්නේත් කොහොමද?

මේ තත්ත්වයන් මනඃකල්පිත තත්ත්වයන් නෙමෙයි. අපි හිතමු කිසියම් පුද්ගලයෙක් වෙන්ටිලේටරයක දමා තිබෙනවා. ඔහුව සුව වෙන්නනම් සති තුන හතරක් එක දිගටම වෙන්ටිලේටරයේ තියන්න වෙනවා. ඔය අතරේ අලුත් රෝගීන් පස් දෙනෙක් රෝහලට ගේනවා. ඒ අයව සාපේක්ෂව කෙටි කාලයක් බැගින් එකිනෙකා වෙන්ටිලේටරයේ දමා ඔවුන්ගේ ජීවිත බේරගන්න පුළුවන්. එසේ නොකළොත් තත්ත්වය නරක අතට හැරී මේ පස් දෙනාම මැරෙනවා. හැබැයි වෙන්ටිලේටරයෙන් ගැලෙවුවොත් දැන් එහි ඉන්න පුද්ගලයා මැරෙනවා. තියෙන්නේ එකම වෙන්ටිලේටරයයි. 

අපි කියමු ජීවිත පහක් බේරගන්න එක පුද්ගලයෙක්ව මැරෙන්න අරින එක සදාචාරත්මකව නිවැරදියි කියලා.

දෙවන අවස්ථාවේදී වෙනස් අවයව නරක් වූ පුද්ගලයින් පස් දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ ජීවිත බේරගන්න පුළුවන් වෙන්නේ එම අවයව ඉතා ඉක්මණින් හොයාගෙන බද්ධ කළොත් පමණයි. කෝමා තත්ත්වයේ ඉන්න පුද්ගලයෙක් ජීවිත ආධාරක වල උදවුවෙන් ජීවත් වෙනවා. ජීවිත ආධාරක ඉවත් කළොත් ඔහු මැරෙනවා. ඔහු මැරුණොත් ඔහුගේ අවයව අරගෙන පස් දෙනෙක්ට බද්ධ කර ජීවිත පහක් බේරා ගන්න පුළුවන්. ඔහුට මැරෙන්න හැර අවයව ගන්න එක සාධාරණද? ඒකත් සාධාරණනම්, පැත්තක ඉන්න නිරෝගී පුද්ගලයෙක්ව මරලා ඔහුගේ අවයව අරගෙන ජීවිත පහක් බේරා ගන්න එකත් සාධාරණද?



Friday, October 16, 2020

එතුවක් දුරින් ඉන්න ඈතින්...

කොරෝනා එහෙමත් නැත්නම් කෝවිඩ්-19 ගැන අන්තිමට කතා කළේ මාසයකට පමණ පෙරයි. වසංගතයේ ව්‍යාප්තිය ආරම්භයේදී අප මේ හා අදාළ ලිපි ගණනාවක් පළ කළත්, පසුගිය ජූලි මාසයේ සිට කොරෝනා ගැන කතා කර තිබෙන්නේ මසකට වරක් පමණයි. ඒ ලිපි වලත් ගැඹුරු තාක්ෂණික කරුණු කිසිවක් කතා කර නැහැ.

සිවු මසකට පෙර "කෝවිඩ් නැත්තේ කොහේද?" යනුවෙන් ලිපියක් මෙහි පළ කරමින් අප ඒ වන විට ලෝකයේ කෝවිඩ් වලින් තොර රටවල් ගැන කතා කළා. එහි සඳහන් කළ උතුරු කොරියාව හා තුර්ක්මේනිස්ථානය යන රටවල් නිල වශයෙන් කෝවිඩ්-19 ආසාදිතයින් වාර්තා කර නැතත් අදාළ රටවල් කෝවිඩ් වලින් නොතොර බව බොහෝ විශේෂඥයින්ගේ මතයයි. බටහිර සහරාවේ පොලිසාරියෝ පෙරමුණ විසින් පාලනය කරන නැගෙනහිර බිම් තීරුව සම්බන්ධ තත්ත්වයත් මෙවැන්නක්.

තොරතුරු නිවැරදිව වාර්තා නොවන ඉහත රටවල් /ප්‍රදේශ හැරුණු විට කෝවිඩ් වලින් තොර රටවල් සේ සැලකිය හැකිව තිබුනේ ශාන්තිකර සාගර කලාපයේ දූපත් රාජ්‍ය දහයක් පමණයි. මේ කලාපයේ පිහිටි ජනගහණය වැඩිම දූපත් රාජ්‍යය වූ ෆිජි ජනරජයෙන් ඒ වන විටද කෝවිඩ්-19 ආසාදිතයින් වාර්තා වී තිබුණා. 


ඉහත කී දූපත් රාජ්‍ය දහය අතරින් වැඩිම ජනගහණයක් සිටින රට වන සොලමන් දූපත් වලින්ද මේ වන විට කෝවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු හමු වී තිබෙනවා. මේ අනුව, මේ වෙද්දී කෝවිඩ් වලින් බේරී සිටින්නේ ශාන්තිකර කලාපයේ දූපත් රාජ්‍ය නවයක් පමණයි. මේ අතරින් වැඩිම ජනගහණයක් සිටින දූපත් රාජ්‍යය වන්වාතු. එහි ජනගහණය ආසන්න වශයෙන් ලක්ෂ තුනක් පමණ වෙනවා. වන්වාතුද ඇතුළුව මේ දූපත් රාජ්‍ය නවයේම ජනගහණය මිලියනයකට වඩා අඩුයි.


ලක්ෂයක පමණ ජනගහණයක් සිටින බටහිර ඉන්දීය දූපත් රාජ්‍යයක් වන සෙන්ට් වින්සන්ට් සහ ග්‍රෙනඩීස් දූපත් වලින් හමු වූ කෝවිඩ්-19 ආසාදිතයින් 64 දෙනෙකුත්, එම කලාපයේම පිහිටි පනස් දහසක පමණ ජනගහණයකින් යුත් සෙන්ට් කිට්ස් සහ නෙවීස් දූපත් වලින් හමු වූ කෝවිඩ්-19 ආසාදිතයින් 19 දෙනෙකුත් මේ වන විට සුවය ලබා සිටින නිසා එම රටවල්ද මේ වන විට කෝවිඩ් වලින් නිදහස් බව ඕනෑනම් කියන්න පුළුවන්. 

ඉහත කී රටවල් සියල්ල සීමිත ජනගහණයක් සිටින හුදෙකලා දූපත් රාජ්‍යයන්. ඇමරිකාව හෝ ඉන්දියාව වැනි විශාල කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණයක් සිටින රටවල වුවත් කෝවිඩ්-19 ආසාදිතයින් නැති මෙවැනි කුඩා ප්‍රදේශ තියෙන්න පුළුවන්. ඒ නිසා, මේ වෙද්දී කෝවිඩ්-19 විසින් ලෝකයම ග්‍රහණයට අරගෙන කියන එක සෑහෙන තරමේ සාධාරණ ප්‍රකාශයක්. වරින් වර කෝවිඩ්-19 "සාර්ථකව මර්දනය කළ" බොහෝ රටවල දැන් නැවතත් ආසාදිතයින් හමු වෙන්න පටන් අරන්. [මෙය ලංකාව ඉලක්ක කර කරන ප්‍රකාශයක් නෙමෙයි.]


ඉහත ප්‍රකාශය අභියෝගයට ලක් වෙනවානම් මුලින්ම එය වෙන්නේ කෝවිඩ්-19 මුලින්ම පැතිරුණු චීනයේදී. චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් පිටත ජනගහණය ලක්ෂයකට කෝවිඩ්-19 ආසාදිතයින් ගණන 15කට වඩා අඩුයි. චීනය හැරුණු විට මේ මට්ටමේ කෝවිඩ්-19 පාලනයක් දැකිය හැක්කේ චීනයට යාබද වියට්නාමය, ලාඕසය හා කාම්බෝජය ඇතුළත් භූගෝලීය කලාපයේ හා නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සානියාවේ පමණයි. 

කෝවිඩ්-19 සාර්ථකව පාලනය කිරීම සම්බන්ධව ටැන්සානියාව දෙවෙනි වනවානම් ඒ උතුරු කොරියාවට හා තුර්ක්මේනිස්ථානයට පමණයි. නිල වශයෙන් රටක කෝවිඩ්-19 ආසාදිතයින් සිටිය හැක්කේ පරීක්ෂා කර හඳුනාගෙන අදාළ තොරතුරු ප්‍රසිද්ධියට පත් කළොත් පමණයි. කෝවිඩ්-19 පරීක්ෂණ සිදු කිරීම සම්පූර්ණයෙන් නැවැත්වූ විට අලුත් කෝවිඩ්-19 ආසාදිතයින් හමු වන එකත් සම්පූර්ණයෙන්ම නවතිනවා. ඒ වන විට හඳුනාගත් ආසාදිතයින් සුව වූ පසු රට කෝවිඩ් වලින් තොර වෙනවා.

රටවැසියන්ගේ යාඥා වල ප්‍රතිඵලයක් ලෙස ටැන්සානියාව කෝවිඩ් වලින් තොර වී ඇති බව එරට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර රෝග ලක්ෂණ ඇති අය පරීක්ෂා කිරීම නැවැත්වීමෙන් පසුව ටැන්සානියාවෙන් කෝවිඩ්-19 ආසාදිතයින් හමු වන්නේ නැහැ. සිම්පල් ප්ලෑන් එකක්!

තොරතුරු වාරණයක් සිදු වනවා විය හැකි වුවත් චීනය ටැන්සානියාවේ ගොඩට දමන්න බැහැ. හුබෙයි ප්‍රාන්තයෙන් කෝවිඩ්-19 ව්‍යාප්තිය ආරම්භ වූ මුල් අදියරෙන් පසුව චීනය රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉතා දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. අවදානම් සහිත ජන කණ්ඩායම් මහා පරිමාණයෙන් පරීක්ෂාවට ලක් කිරීමද චීනය විසින් අනුගමනය කරන ක්‍රමවේදයේ කොටසක්. එහෙත්, එය චීනය විසින් කරන එකම දෙය නෙමෙයි ආක්‍රමනශීලී ලෙස සබඳතා හමා යාම, විශාල ජනගහණයක් සිටින ප්‍රදේශ ලොක් ඩවුන් කිරීම ඇතුළු තවත් බොහෝ දේ චීනය විසින් කරනවා.

චීනය මධ්‍යගත පාලනයක් තිබෙන විශාල රටක් වීම කෝවිඩ් මර්දනයේදී උදවුවක් වී තිබෙනවා. මෙහිදී දෙවන සාධකය අමතක කර පළමු සාධකය ගැන පමණක් කතා කරන්න බැහැ. ඇත්තටම චීනයේ දැඩි මධ්‍යගත පාලනය නොවන්නට ඇතැම් විට කෝවිඩ් ව්‍යාප්තිය මුල් අදියරේදීම හඳුනාගනු ලැබ වුහාන් වලටම සීමා වන්නට වුවත් ඉඩ තිබුණා. කෙසේ වුවත්, යම් මට්ටමකට වසංගතය පැතිරුණු පසුව චීනය විසින් වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ඉතා දැඩි ක්‍රියාමාර්ග ගත්තා.

චීන්නු කටවහගෙන ආණ්ඩුව කියන දේ ඒ විදිහටම කරන්න කාලයක් තිස්සේ පුරුදු වී සිටීම වැඩේට පහසුවක් වුනා. හැබැයි එහෙම කටවහගෙන ආණ්ඩුව කියන දේ කරන ජනතාවක් සිටි පමණින් කුඩා රටකට චීනය කළ දේවල් කරන්න පහසු වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට මිලියන 60ක පමණ ජනගහණයක් සිටින හුබෙයි ප්‍රාන්තය ලොක් ඩවුන් කරද්දී රටේ වැඩ කටයුතු කරගෙන යන්න තවත් මිලියන 1380ක පමණ ජනගහණයක් හුබෙයි ප්‍රාන්තයෙන් පිටත හිටියා. ලංකාව වගේ රටක ජනගහණය මෙන් තුන් ගුණයකගේ සංචරණය සීමා කළාට පසුවත් චීනයෙන් 96%ක්ම වැඩ. 

මෙය චීනයට පමණක්ම කළ හැකි දෙයක්. රටේ ආර්ථික කටයුතු වලට විශාල බලපෑමක් කර නොගනිමින් මිලියන 60ක ජනගහණයක් පැත්තකට කරන්න පුළුවන් තරමේ විශාල ජනගහණයක් සිටින වෙනත් රටක් ඇත්නම් ඒ ඉන්දියාව පමණයි. ඉන්දියාවේද චීනයේ මෙන්ම විශාල ජනගහණයක් සිටියත් චීනයේ මෙන් දැඩි මධ්‍යගත පාලනයක් නැති නිසා ඉන්දියාවටත් මෙවැන්නක් කරන්න බැහැ. අනෙක් අතට මධ්‍යගත පාලනයක් තිබුණා කියලා පොඩි රටකට මෙවැන්නක් කරන්නත් බැහැ. 

චීනය කෝවිඩ් රටින් තුරන් කරලා නැහැ. රට ඇතුළෙන් වරින් වර කෝවිඩ් ආසාදිතයින් හමු වෙනවා. එහෙත්, ඒ විදිහට හමුවෙන ආසාදිතයින් ඉක්මණින් හඳුනාගෙන වෙන් කිරීමට හැකි යාන්ත්‍රණයක් චීනය සතුව තිබෙනවා. ඒ යාන්ත්‍රනය චීනයේ ආර්ථිකයට දරා ගත නොහැකි බරක් නෙමෙයි. අනෙක් පැත්තෙන් එන්නත් තරඟය තුළත් චීනය ඉදිරියෙන් ඉන්නවා. ඒ නිසා, එන්නතක් වැඩි දියුණු කර ගන්නා තුරු කෝවිඩ් විශාල ලෙස රට ඇතුළේ පැතිරෙන එක වලක්වා ගන්න චීනයට බැරි වෙයි කියා කියන්න බැහැ. 

චීනයට දකුණින් තිබෙන ලාඕසය, වියට්නාමය හා කාම්බෝජය වගේ රටවල් වලට වගේම තායිලන්තයටත් චීනය කෝවිඩ් පාලනය කර ගැනීමේ වාසිය වක්‍ර විදිහට ලැබී තිබෙනවා. හැබැයි මේ තත්ත්වය කොයි වෙලාවක හෝ වෙනස් වෙන්න බැරිකමක් නැහැ. මෑතක් වන තුරුම කෝවිඩ් ව්‍යාප්තිය ඉතා අඩු මට්ටමක තිබුණු මියන්මාරයේ මේ වෙද්දී වේගයෙන් කෝවිඩ් ව්‍යාප්ත වන ආකාරය අනුව පැහැදිලි වන්නේ ඉහත රටවල දැනට පෙනෙන්නට තිබෙන ස්ථාවර තත්ත්වය එසේම දිගටම පවතිනු ඇති බවට කිසිදු සහතිකයක් නැති බවයි. චීන බෝඩරය ආරක්‍ෂිත වුනත් මියන්මාරය පැත්තෙන් හරි මැලේසියාව පැත්තෙන් හරි මේ බ්ලොක් එකේ රටවල කෝවිඩ් පැතිරෙන්න පුළුවන්.

කෝවිඩ් වසංගතය හමුවේ දූපත් රාජ්‍ය වලට යම් වාසිදායක තත්ත්වයක් දිගටම වගේ තිබුණා. අයිස්ලන්තය උදාහරණයක් ලෙස පෙන්වන්න පුළුවන්. එක පැත්තකින් දූපත් රාජ්‍යයක් වීමේ වාසියත්, අනෙක් පැත්තෙන් අඩු ජන ඝනත්වයක් තිබීමේ වාසියත් අයිස්ලන්තයට තිබුණා. ඊට අමතරව අයිස්ලන්තය මුල් කාලයේදීම තමන්ගේ රටේ ජනගහණය විශාල ලෙස පරීක්ෂාවට ලක් කළා. 

අයිස්ලන්තය ගැන බොහෝ දෙනෙක් කතා කළේ සාර්ථක ලෙස කෝවිඩ් මර්දනය කළ රටක් විදිහටයි. නමුත්, මේ වෙද්දී කෝවිඩ් "දෙවන රැල්ල" අයිස්ලන්තය හරහා හමා යනවා. සීෂෙල්ස්, නවසීලන්තය වගේ දූපත් රාජ්‍ය වල තත්ත්වයනම් තවමත් හොඳින් පාලනය වී තිබෙනවා.දූපත් රාජ්‍ය වලට කෝවිඩ් වලින් බේරීම සාපේක්ෂව පහසු වුනත් එය ඉබේටම වෙන්නේ නැහැ. එය තවත් සාධක ගණනාවක් මත තීරණය වන දෙයක්.

ලංකාවේ කෝවිඩ් මර්දන කටයුතු මෙතෙක් සාර්ථකව සිදු වී ඇති බව පැහැදිලි කරුණක්. එහෙත්, මේ වෙද්දී ලංකාව නැවතත් "හන්දියකට" පිවිස තිබෙනවා. මේ ලිපියෙන් මම ලංකාව ගැන කතා කරන්න යන්නේ නැහැ. කොහොම වුනත් දැන් පවතින තත්ත්වය අනුව, කාලයකට ඉස්සර ප්‍රේමකීර්ති ද අල්විස් විසින් දීලා තියෙන උපදෙස් පිළිපදින එක තමයි කරන්න තියෙන්නේ.

එතුවක් දුරින් ඉන්න ඈතින්...

එහෙම නැත්නම් වෙන දේත් කියල තියෙනවනේ.

මනසින් ලබන්න හැකි සුවේ...අප ලං වුනොත් දුරස් වෙතේ...



Thursday, October 15, 2020

බැල ගෙඩියටත් කෙලවන මිල පාලනය


ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දෙද්දී "ඔය වැඩෙන් වෙන්නේ ගමක පොල් ගෙඩියක් කඩා ගන්නවත් මනුස්සයෙක් නැති වෙන එක" කියලා සමහර අය විරුද්ධ වුනා කියනවනේ. ඔය පොල් කඩන වැඩේ කාලයක් ලංකාවේ විශාල පිරිසක් නිරතව හිටපු වෙන කරන්න දෙයක් නැති අයට කළ හැකි වූ රැකියාවක්. අපි පොඩි කාලේ විභාගයකදී ලකුණු ටිකක් අඩු වුනොත් වැඩිහිටියෝ කියන්නේ "ඔහොම කරලනම් කවද හරි පොල් කඩන්න තමයි වෙන්නේ" කියලා. මම හිතන විදිහට මේ රස්සාව අද සමාන කරන්න පුළුවන් වෙන්නේ ත්‍රිරෝද රථ රස්සාව වගේ එකකටයි.

ඒ දවස් වල පොල් කඩන රස්සාව කරපු අයට අපි සල්ලි දුන්නේ නැහැ. නගින ගහකට ගෙඩිය ගානේ දෙන එකයි කළේ. ඔයාකාරයට පොල් කැඩීමේ කුලිය විදිහට දුන් ගෙඩියට බැල ගෙඩිය කියලයි කිවුවේ. දැන් කල්පනා කරලා බැලුවහම වචනයේ තේරුම බැලයාගේ එහෙම නැත්නම් සේවකයාගේ පංගුව වගේ එකක් බව පේනවා. ඔය වචනය ගූගල් එකේවත් නැත්තේ සමහර විට අපේ පැත්තේ ප්‍රාදේශීය යෙදුමක් නිසාද දන්නේ නැහැ.

මේ "අපේ පැත්ත" තිබුණේ පොල් ත්‍රිකෝණය ඇතුළේ හෝ මුහුදක් අයිනේ නෙමෙයි. ඒ නිසා අපේ පොල් ගස් වල සාර සොබාවට ගෙඩි හැදුනේ නැහැ. එහෙම හැදුනේ ගේ කිට්ටුව තිබුණු වැඩි සාත්තු සප්පායම් ලැබූ ගස් කිහිපයක පමණයි. වත්තේ ගෙදරින් ඈතට වෙන්න තිබුණු, ඔහේ හැදෙනවට හැදුණු සමහර ගස් වල වල්ලක ගෙඩි දෙක තුනකට වඩා තිබුණේ නැහැ. ඔය වගේ ගෙඩි දෙක තුනක් තියෙන ගහක පොල් කඩවලා බැල ගෙඩිය දීලා ගෙඩියක් හෝ දෙකක් ගන්න එකේ තේරුමක් නැති නිසා ඒ වගේ ගස් වල තියෙන ගෙඩි කීපය කඩවන්නේ නැතුව වේලිලා වැටෙන්න අරින එකයි කළේ. 

සමහර හවුල් ඉඩම් වලට අයිතිකාරයෝ විශාල ගණනක් හිටියා. කඩන පොල් අයිතිකාරයින් අතර බෙදෙනවා. ඒ ඇතැම් අයිතිකාරයින්ගේ පංගුවේ තරමට වාරයකට පොල් ගෙඩියකට දෙකකට වඩා ලැබෙන්නේ නැහැ. සමහර ඉඩම් වල පොල් මුර ක්‍රමයක් තිබුණා. ඉඩමේ පළමු පහෙන් පංගුවේ කොටස් අයිතිකාරයින්ට එක අවුරුද්දක පොල් ලැබෙනවා. ඉන් පසු දෙවන පහෙන් පංගුවේ අයිතිකාරයින්ට. සිංහල අවුරුද්දට පස්සේ පොල් මුරේ මාරු වෙනවා. මුරේ ඉවර වුනාට පස්සේ ආයේ මුරයක් ඉන්නේ අවුරුදු පහකට පස්සේ. ඔය එක පහෙන් පංගුවකටත් අයිතිකාරයෝ සෑහෙන ගණනක් හිටියා. ඉතිං පොල් ටික කඩලා බෙදුවට පස්සේ ලොකුම පොල් ගොඩ අයිතිවෙන්නේ පොල් කඩපු මනුස්සයාටයි.

සාමාන්‍යයෙන් ගහක ගෙඩි ටික කඩලා එකතු කළ ගමන්ම පොල් කඩන මනුස්සයා බැල ගෙඩිය පැත්තකට කර ගන්නවා. ඒ නිසා, ලොකු හෝ පොඩි ගෙඩි ප්‍රශ්නයක් මතු වෙන්නේ නැහැ. ගහේ පොල් ලොකුනම් බැල ගෙඩියත් ලොකුයි. ගහේ පොල් පොඩිනම් බැල ගෙඩියත් පොඩියි.

පොල් ගහකට නැග්ගට පස්සේ කඩන ගෙඩි ප්‍රමාණය අනුව මහන්සිය ලොකුවට අඩු වැඩි වෙන්නේ නැහැනේ. ගහේ එක පොල් ගෙඩියක් තිබුණත් ගෙඩි විස්සක් තිහක් තිබුණත් ගහට නගින මහන්සිය එකයි. නමුත්, ගහට නැගලා පොල් කැඩීම නිසා නිර්මාණය වන වටිනාකම කඩන පොල් ගෙඩි ගණන අනුව වෙනස් වෙනවා. 

පොල් වත්තේ අයිතිකාරයාට වැදගත් වන්නේ කැඩෙන පොල් ගෙඩි ගණනයි. පොල් ගෙඩි ගණන ඉහළ යන තරමට සමානුපාතිකව ඔහුට හෝ ඇයට ලැබෙන දෙය ඉහළ යනවා. පොල් කඩන ශ්‍රමිකයාගේ පැත්තෙන් බැලුවොත් වැදගත් වන්නේ නගින පොල් ගස් ගණන මිසක් කඩන පොල් ගෙඩි ගණන නෙමෙයි. 

දැන් මේ අනුව බැළුවහම පොල් කැඩීමේ රස්සාව හා අදාළ ශ්‍රම වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම වෙනස් වන ආකාරයේ පැහැදිලි වෙනස්කමක් දෘශ්‍යමාන වෙනවනේ. පොල් කඩන මනුස්සයාට ගහේ තියෙන ගෙඩි ගණන වැදගත් නැහැ. ඒ නිසා ඔහු හදන්නේ ගෙඩි අඩුවෙන් තියෙන ගහකට හරි නැගලා තමන්ගේ ගාස්තුව ගන්නයි. නමුත්, පොල් ගස් අයිතිකාරයාට පොල් කඩන්නාගේ ශ්‍රමය අවශ්‍ය වෙන්නේ ගහේ යම් අවම ගෙඩි ප්‍රමාණයක් තියෙනවානම් පමණයි. ඔය දෙපාර්ශවයේ අවශ්‍යතා සමතුලිත වීම අනුව පොල් කැඩෙන ගස් ගණන තීරණය වෙනවා. 

ඒ කියන්නේ පොල් කඩන මනුස්සයාට ගහේ තියෙන ගෙඩි ගණන වැදගත් නැත්තේත් නැහැ. කවුරු හරි පොල් කඩන්න කිවුවොත් ගහේ ගෙඩි ගණන ගැන වද නොවී ඔහු ගහට නගින බව ඇත්ත. නමුත්, ඔහුට ඒ විදිහට පොල් කඩන්න අවස්ථාවක් ලැබෙන එක ගහේ තිබෙන පොල් ගෙඩි ගණන අනුව තීරණය වෙනවා. ඒ නිසා, වක්‍රව ගහේ තියෙන ගෙඩි ගණන ඔහුට වැදගත්. 

පොල් කඩන්නාගේ දවසක ආදායම තීරණය වෙන්නේ ඔහු දවසකට නගින පොල් ගස් ගණන අනුව. ඒ නිසා, තමන්ගේ මහන්සියෙන් ආදායම වැඩි කර ගැනීමේ අවස්ථාවක් ඔහුට තිබෙනවා. හැබැයි මේ ආකාරයට මහන්සි වී තමන්ගේ ආදායම වැඩි කර ගන්න පුළුවන් සීමාවක් තිබෙනවා. මොකද ඔහුට නගින්න ලැබෙන ගස් ගණන තීරණය කරන්නේ පොල් ගස් අයිතිකාරයා. 

පොල් ගස් අයිතිකාරයාගේ තීරණයට බලපාන්නේ ගහක තිබෙන පොල් ගෙඩි ගණන පමණක් නෙමෙයි. පොල් ගෙඩියක මිලත් එයට බලපානවා. පොල් ගොඩක් ගණන්නම් සාපේක්ෂව අඩු පොල් ගෙඩි ප්‍රමාණයක් තිබෙන ගහක වුවත් ගෙඩි කඩවන්න ඔහු මැලි වෙන්නේ නැහැ. ඒ වගේම පොල් මිල අඩුනම් ඔහු කෙනෙක්ව ගහට යවලා පොල් කඩවන්නේ වැඩි පොල් ප්‍රමාණයක් ගහේ තිබුණොත් පමණයි.  ඒ නිසා, පොල් කඩන්නාට නගින්න ලැබෙන පොල් ගස් ප්‍රමාණය පොල් මිල මතත් තීරණය වෙනවා. ඒ අනුව, ඔහුට ලැබෙන බැල ගෙඩි ප්‍රමාණයත් පොල් මිල මත තීරණය වෙනවා.

ලැබෙන බැල ගෙඩි ප්‍රමාණය ඉහළ යාම නිසා, පොල් මිල වැඩි වෙද්දී පොල් කඩන්නාගේ ආදායම වක්‍ර ලෙස ඉහළ යනවා. ඒ වගේම, පොල් ගෙඩියක මිල වඩා වැඩි නිසා අර බැල ගෙඩි විකුණා ලැබිය හැකි ආදායම පොල් මිල ඉහළ යද්දී සෘජුවමත් වැඩි වෙනවා. වාසි දෙකයි.

පොල් කඩන්නාට වැඩියෙන් මහන්සි වෙලා වැඩි පොල් ගස් ගණනක් නැගලා ඔහුගේ ආන්තික ඵලදායීතාවය වැඩි කර ගන්න පුළුවන්. ඒ වගේම, මොන විදිහකින් හරි වඩා කාර්යක්ෂම ලෙස පොල් ගස් නැගලා ඔහුගේ ආන්තික ඵලදායීතාවය වැඩි කර ගන්නත් පුළුවන්. ඒ නිසා, පොල් කඩන්නාගේ ආන්තික ඵලදායීතාවය යම් පමණකට ඔහුගේ අතේ තිබෙන දෙයක්. හැබැයි මුළුමනින්ම නෙමෙයි. ඔහුගේ පාලනයට යටත් නැති, වෙනත් බාහිර සාධක මත ඔහුගේ ආන්තික ඵලදායීතාවය වෙනස් වෙනවා. ඒ අනුව, ඔහුගේ ආදායමත් වෙනස් වෙනවා.

පොල් මිල වෙනස් වෙද්දී පොල් කඩන්නාගේ ආන්තික ඵලදායීතාවය වෙනස් වෙනවා. පොල් මිල වෙනස් වෙන්නේ රටේ පොල් වලට තිබෙන ඉල්ලුම හා සැපයුම අනුව. එය පොල් කඩන්නාගේ පාලනයට යටත් නැති කරුණක්.

ඉඩෝර කාලෙකදී පොල් හැදෙන්නේ අඩුවෙන්. ඒ නිසා, පොල් කඩන්නෙකුට පොල් කඩන්න ලැබෙන අවස්ථා ගණනත් අඩු වෙනවා. ගස් වල පොල් නැත්නම් කඩන්නේ මොනවාද? ඒ කියන්නේ ඉඩෝර කාලෙකදී පොල් කඩන්නෙකුගේ ආදායම අඩු වෙනවා.

ඉඩෝර කාලෙකදී පොල් අඩුවෙන් කැඩෙන කොට පොල් සැපයුම පහළ ගිහින් පොල් මිල ඉහළ යනවා. ඒ නිසා, පොල් කඩන්නාට ලැබෙන බැල ගෙඩි වල වෙළඳපොළ වටිනාකමත් ඉහළ ගිහින් ඔහුගේ ආදායම වැඩි වෙනවා. ඒ වගේම, පොල් ගස් අයිතිකාරයාට පොල් අඩු ගස් වලත් ගෙඩි කඩවන්න ඉහළ පොල් මිල නිසා පෙළඹුමක් ඇති වෙනවා. ඒ නිසා, පොල් කඩන්නාට ලැබෙන බැල ගෙඩි ප්‍රමාණයත් යම් තරමකින් ඉහළ යනවා. අවසාන වශයෙන් ඉඩෝරය නිසා පොල් කඩන්නාට වෙන්න ගිය පාඩුව මගහැරෙනවා.

පොල් සරුවට හැදෙන කාල වලදී පොල් කඩන්නෙකුට වැඩ වැඩියි. ලැබෙන බැල ගෙඩි ගණනත් වැඩියි. නමුත්, පොල් මිල අඩු නිසා පොල් කඩන්නාගේ ආදායම මහා ලොකුවට වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, පොල් වැඩියෙන් හැදුනා කියලා පොල් කඩන්නෙකුට ඔහුගේ ආන්තික ඵලදායීතාවය ඉක්මවන විශාල ආදායමක් ලබා ගන්න වෙළඳපොළ ඉඩ අරින්නෙත් නැහැ. පොල් හොඳට හැදෙන කාල වලදී වගේම, පොල් අඩුවෙන් හැදෙන කාල වලදීත් පොල් කඩන්නෙකුට ලැබෙන ආදායම විශාල ලෙස උච්ඡාවචනය නොවන පරිදි වෙළඳපොළ යාන්ත්‍රනය විසින් ස්වභාවික ලෙසම නියාමනය කරනවා.

පොල් අස්වැන්න අඩු වැඩි වෙද්දී නිදහස් වෙළඳපොලක ඉල්ලුම හා සැපයුම මත වෙනස් වන පොල් මිල නිසා පොල් කඩන්නාගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයත් අනුරූපී ලෙස වෙනස් වෙලා ඔහුගේ ආදායමත් නිසි සේ සකස් වෙනවා. මේ ස්වභාවික නියාමන යාන්ත්‍රනය නිසා පායනා කාලෙකදී පොල් අඩුවෙන් කැඩුනත්, ඊට සමානුපාතිකව පොල් කඩන්නෙකුගේ ආදායම අඩු වෙන්නේ නැහැ. ඒ නිසා, පොල් කඩන්නෙකුගේ දරුවන්ට පොල් අවාරයේදී හාමතේ ඉන්න වෙන්නේ නැහැ.

පොල් අවාරෙකදී රජය මැදිහත් වෙලා පොල් වලට පාලන මිලක් දැම්මහම මොකද වෙන්නේ? ගස් වල පොල් අඩු නිසා පොල් කඩන්නෙකුට පොල් කඩන්න ලැබෙන්නේ සීමිත ගස් ප්‍රමාණයක පමණයි. මිල අඩු නිසා පොල් ගස් අයිතිකාරයා වැඩි ගස් ප්‍රමාණයක පොල් කඩවන්න උනන්දු වෙන්නේ නැහැ. ඒ නිසා, පොල් කඩන්නෙකුට ලැබෙන්නේ බැල ගෙඩි අඩු ප්‍රමාණයක්. අනෙක් අතට මේ බැල ගෙඩි ටික විකුණන්න වෙන්නේ අඩු මිලකට. පොල් කඩන්නාගේ ආදායම දෙයාකාරයකින්ම අඩු වෙලා. පොල් ගහෙන් වැටිච්ච මිනිහට මිල පාලන ගොනා අනින්නේ ඔය විදිහටයි.

රජය වෙළඳපොළට මැදිහත්වීම නිසා බඩේ පාර වදින්නේ පොල් කඩන රස්සාව කරන අයට විතරක් නෙමෙයි. ශ්‍රමිකයින් බොහෝ දෙනෙකුට රාජ්‍ය මැදිහත්වීම් නිසා බඩේ පාර වදිනවා. ඒ අතරිනුත්, සුවිශේෂී කුසලතා අවශ්‍ය නොවන, පොල් කැඩීම වැනි රැකියා කරන අයට බලපෑම වැඩියි.

Wednesday, October 14, 2020

කැමති තරම් නිවාඩු එක්ක රස්සාවක්!


සමහර රටවල රස්සාවක් කරන ගොඩක් අයට තියෙන ප්‍රධානම ප්‍රශ්නය නිවාඩු ප්‍රශ්නයයි. අවුරුද්දකට තියෙන නිවාඩු ගණන කීයක් වුනත් සමහර අයට ඒ ගණන මදි. නිවාඩු තියෙනවානම් කරන්න වැඩ ඕනෑ තරම්.

එක පැත්තකින් මේක තමන් කරන රැකියාවෙන් සතුටක් නොලැබීම පිළිබඳ ප්‍රශ්නයක්. රස්සාව කරන්නේ කිසිම කැමැත්තකින් නෙමෙයි. මාසෙ අන්තිමට අතට එන පඩිය නිසා. පඩිය ඒ විදිහටම අතට එනවනම් මේ වගේ කෙනෙක් බලන්නේ පුළුවන් තරම් නිවාඩු අරගෙන, පුළුවන් තරම් අඩුවෙන් වැඩ කරන්නයි. ඒත් ඉතිං නිවාඩු තියෙන්නේ නිශ්චිත ගණනක්නේ. ඒ නිසා ඉතිරි දවස් වල අකැමැත්තෙන් වුනත් වැඩ කරන්න වෙනවා.

කිසිම සීමාවක් නැතුව තමන්ට කැමති තරමට නිවාඩු ගන්න පුළුවන් රස්සා නැද්ද? 

ලංකාවේනම් තියෙනවද කියන්න මම දන්නේ නැහැ. හැබැයි ඇමරිකාවේනම් සමාගම් ගණනාවක්ම දැන් අසීමිත නිවාඩු ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඉතිරි සමාගම් අතරත් මේ ප්‍රතිපත්තිය වේගයෙන් ව්‍යාප්ත වෙනවා. ඒ කියන්නේ අවුරුද්දකට සේවකයෙකුට අයිති නිවාඩු ප්‍රමාණය කියලා නිශ්චිත ගණනක් නැහැ. නිවාඩු ගන්න පුළුවන් උපරිම සීමාවක් නැහැ.

සමාගම් වලින් මේ ආකාරයට කැමති තරම් නිවාඩු දෙන්නේ ඒ සමාගම් වල වෘත්තීය සමිති මුල් වී කරපු අරගල නිසාද? සේවකයෝ වැඩ වර්ජන කරලා හාම්පුතුන් දණ ගස්සපු නිසාද? "නිවාඩු සීමා ඉවත් කරනු!" කියලා බෝඩ් අල්ලගෙන හිටපු නිසාද? එහෙමත් නැත්නම් ආණ්ඩුව එහෙම නීතියක් පනවපු නිසාද? 

නෑ. ඔය එකක්වත් නිසා නෙමෙයි. ධනවාදී තරඟය නිසා.

ධනවාදී රටක වැටුප් සේ ලැබෙන්නේ ශ්‍රමිකයෙකුගේ ආන්තික ඵලදායීතාවයට සමාන මුදලක්. අවශ්‍ය වැඩේ කෙරෙනවානම් ඒ වෙනුවෙන් පැය කීයක් ගත වුනාද කියන එක වැදගත් නැහැ. දවස් කීයක් නිවාඩු ගත්තද කියන එකත් වැදගත් නැහැ.

නිවාඩු අසීමිතව තිබුණා කියලා ශ්‍රමිකයෝ හැමදාම නිවාඩු ගන්නේ නැහැ. එහෙම කළොත් වෙන්නේ තමන්ගේ ආන්තික ඵලදායීතාවය අඩු වෙන එක බව ඒ අය දන්නවා. එහි ප්‍රතිඵලය වැටුප් අඩු වෙන එකයි. 

අනෙක් පැත්තෙන් ශ්‍රමිකයෙක් රැකියාවෙන් නිවාඩු ගන්නේ තමන්ට සතුටු විය හැකි වෙනත් කාර්යයක යෙදෙන්නයි. කරන රැකියාවෙන් වෙන දෙයක් කරනවාට වඩා සතුටු වෙන්න පුළුවන්නම් ආයේ නිවාඩු ගන්නේ මොන කෙහෙම්මලකටද?

ඇමරිකාව වගේ ශ්‍රම වෙළඳපොළ පුළුල් වූ රටක ශ්‍රමිකයෙකුට තමන් කැමති ආකාරයේ රස්සාවක් කරන්න වැඩි අවස්ථාවන් ප්‍රමාණයක් තිබෙනවා. පුළුල් වූ වෙළඳපොලක ශ්‍රමිකයෙකු විසින් කරන්න කැමති දේ අගය කරන, ඒ කැමති දෙයට වටිනාකමක් දෙන, විශාල පිරිසක්ද ඉන්න නිසා තමන් සතුටු දේ කරන අතරම ආන්තික ඵලදායීතාවයද ඉහළ මට්ටමක පවත්වා ගන්න පුළුවන්. ඒ නිසා, පඩි තකා තමන් අකැමැති රස්සාවක් කරන්න වෙන්නේ අඩුවෙන්. තමන් කැමති රස්සාවක් කරන කෙනෙක් ඒ රස්සාව කිරීමෙන්ම සතුටු වෙනවා. ඒ නිසා, හැම වෙලාවේම නිවාඩු යන්න දඟලන්නේ නැහැ.

ඇමරිකාවේ තියෙන්නේ සේවකයින් වැඩිපුර නිවාඩු ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. අවශ්‍ය පමණ නිවාඩු නොගැනීම පිළිබඳ ප්‍රශ්නයක්.

ඇමරිකානු ශ්‍රමිකයෙකුට 2018 වසරේදී ලබාගත හැකිව තිබුණු සාමාන්‍ය පඩි සහිත නිවාඩු ප්‍රමාණය දින 24ක් පමණ වෙනවා. එහෙත්, 2018 දත්ත අනුව, ඇමරිකානු ශ්‍රමිකයින්ගෙන් 55%ක්ම තමන්ට ලබා ගත හැකිව තිබුණු පඩි සහිත නිවාඩු සියල්ල ලබා ගෙන නැහැ. මෙසේ ලබා නොගත් සමස්ත නිවාඩු දින ගණන මිලියන 768ක්.

ඇතැම් ඇමරිකානු සමාගම් අසීමිත නිවාඩු ප්‍රතිපත්තියට අමතරව අනිවාර්ය නිවාඩු ප්‍රතිපත්තියක්ද අනුගමනය කරනවා. ලංකාවේද මෘදුකාංග සමාගම්, දැනටමත් මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැත්නම්, ඉතා ඉක්මණින් මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට ඉඩ තිබෙනවා. අනෙක් අංශ ගැනනම් කියන්න බැහැ.

Tuesday, October 13, 2020

පඩි තකා වැඩ කිරීම


මිනිසා වැඩ කරන්නේ ඇයි කියන එක ගැන කලින් ලිපියෙන් අපි කතා කළා. මිනිස්සු වැඩ කරන්නේ එක්කෝ වැඩ කිරීමෙන් සතුටු  වන නිසා. එහෙම නැත්නම් වැඩ කිරීම අසතුටක් වුනත්, වැඩ කිරීම නිසා ලැබෙන සල්ලි හෝ වෙනත් දෙයකින් ඒ අසතුට ඉක්මවන සතුටක් ලැබෙන නිසා. 

බොහෝ දෙනෙක්ගේ පළමු ඉලක්කය තමන්ට සතුටු විය හැකි වැඩක් කරන එකයි. ඒ නිසා, ජීවත් වෙන්න ප්‍රමාණවත් තරම් සල්ලි තියෙන මිනිස්සු එසේ සල්ලි තිබුණු පලියට වැඩ නොකර ඉන්නේ නැහැ. එවැනි සමහර අය වැඩ කරන්නේ සල්ලි බලාගෙන නෙමෙයි. නමුත්, සල්ලි බලාගෙන වැඩ නොකළත් සල්ලි ලැබෙන වෙලාවල් තියෙනවා. සමහර විට සල්ලි ගලන වෙලාවලුත් තිබෙනවා. එය තීරණය වෙන්නේ එවැන්නෙක් තමන්ගේ සතුට වෙනුවෙන් කරන වැඩ නිසා වෙනත් අය කොයි තරම් සතුටු වෙනවද කියන එක මතයි.

සල්ලි බලාපොරොත්තුවක් නැතිව තමන්ගේ සතුට ගැන පමණක් සිතා වැඩ කරන අයට සමහර වෙලාවට සල්ලිත් ලැබෙනවා වුනත් ඒ ගැන සහතිකයක් නැහැ. එහෙත්, ලැබෙන සතුට වෙනුවෙන් මිනිස්සු සල්ලි නැතුවත් වැඩ කරනවා. මේ වගේ බ්ලොග් ලියන අපි වගේ අය, වත්පොතේ දේශපාලනය කරන අය වගේම වෙනත් විවිධ ස්වේච්ඡා කටයුතු වල නිරත වන අය ඒ දේවල් කරන්නේ තනිකරම තමන්ගේ සතුට වෙනුවෙන්. ඊටත් අමතරව තමන්ගේ සතුට වෙනුවෙන් සල්ලි දීලා වැඩ කරන අයත් ඉන්නවා. දිනපතා ජිම් යන අය ගැන හිතන්න!

තමන් සතුටු වෙන ඇතැම් දේවල් කරන්න මුදලක් වැය වෙනවා. තමන් සතුටු වෙන වෙනත් දේවල් කරලා ඒ මුදල උපයාගන්න බැරිනම්, ඒ සතුටු වන දේවල් කිරීම සඳහා මුදල් හොයා ගන්න අසතුටු දේවලුත් කරන්න වෙන්න පුළුවන්. තමන් සතුටු වන දේවල් කරලා මුදල් උපයන්න පුළුවන්ද කියන එක යම් තරමකට කෙනෙකුගේ "වාසනාව" මත තීරණය වන දෙයක්. මම මෙහිදී වාසනාව කියන වචනය භාවිතා කළේ තමන්ගේ පාලනයට මුළුමනින්ම යටත් නැති බාහිර සාධක මත කියන අදහසින්. 

මහන්සි වූ තරමට මිනිහෙක්ට සාර්ථක වෙන්න පුළුවන් කියන එක අර්ධ සත්‍යයක්. මහන්සි වන මිනිහෙක් එසේ මහන්සි නොවන මිනිහෙක්ට වඩා සාර්ථක වෙන්න ඉඩ තිබෙනවා වුවත් හැම විටම එය එසේම වෙන්නේ නැහැ. එය තීරණය වෙන්නේ මහන්සි වෙන්නේ මොකටද කියන කාරණාව මතයි. මැණික් හම්බ වෙන්න ඉඩක් තියෙන්නේ මැණික් ඉල්ලමක් තියෙන තැනක පතලයක් හෑරුවොත් පමණයි! 

කවුරු හෝ කෙනෙක් කරන වැඩ වලට ලැබෙන මුදල තීරණය වෙන්නේ ඒ වැඩේ ආන්තික ඵලදායීතාවය මතයි. ආන්තික ඵලදායීතාවය තීරණය වෙන්නේ කරන වැඩෙන් සතුටු වන අය මතයි. ඒ නිසා කරන වැඩකින් තමන්ද සතුටු වී සල්ලිත් හොයා ගන්න අවශ්‍යනම් ඒ වැඩෙන් තමන් සතුටු වීම හා අනුන් සතුටු කරවීම අතර සමතුලිතතාවයක් පවත්වා ගන්න වෙනවා. මෙයම වෙනත් විදිහකින් කිවුවොත් තමන් කරන වැඩෙන් ඒ වැඩේ කිරීම නිසාම ලැබෙන සතුට හා වැඩේ කිරීම වෙනුවෙන් ලැබෙන මුදල් නිසා ලැබෙන සතුට අතර සමතුලිතතාවයක් පවත්වා ගන්න වෙනවා.

සාමාන්‍යයෙන් තමන් කැමති රස්සා කරන අයට ඒ වෙනුවෙන් යම් මිලක් ගෙවන්න වෙනවා. ඒක ස්වභාවිකවම වෙන දෙයක්. අපි හිතමු කෙනෙක්ට රැකියා තෝරා ගැනීම් දෙකක් තිබෙනවා. පළමු රැකියාවෙන් මසකට රුපියල් 25,000ක් ලැබෙන නමුත් දෙවැන්නෙන් ලැබෙන්නේ රුපියල් 20,000ක් පමණයි. මේ වගේ වෙලාවක මුදලින් පාඩුවක් වුනත්, දෙවන රැකියාව තෝරා ගන්නා අය ඉන්නවා. එහෙම කරන්නේ දෙවන රැකියාව කිරීමෙන් ලැබෙන සතුට පළමු රැකියාව කිරීමෙන් ලැබෙන සතුටට වඩා වැඩි නිසයි. එපමණක් නෙමෙයි. ඒ වැඩි වන සතුට, එහෙමත් නැත්නම් සතුටු වෙනස, මසකට රුපියල් 5000ක් ලැබීමේ සතුටටත් වඩා වැඩි නිසයි. 

දැන් මේ වගේ අවස්ථාවක කෙනෙක් පළමු රැකියාව තෝරා ගන්නේ මසකට රුපියල් 5000ක් වැඩියෙන් ලැබෙන නිසානේ. ඔය රුපියල් 5000 පස්සේ යන්නේ ඒ සල්ලි වලින් තමන් සතුටු වන දේවල් මිල දී ගන්න පුළුවන් වන නිසයි. ඒ කියන්නේ අවසාන වශයෙන් බැලුවහම පළමු රැකියාව තෝරා ගන්නේ රුපියල් 5000 වැය කර "මිල දී ගත හැකි" සතුට නිසා මිසක් රුපියල් 5000 නිසා නෙමෙයි. දෙවන රැකියාව කිරීමෙන් ඊට වඩා සතුටක් "නොමිලේම" ලැබෙනවානම්, ඔය අමතර රුපියල් පන්දාහෙන් මිල දී ගන්න පුළුවන් අඩු සතුට පස්සේ යන එක තේරුමක් නැහැනේ. ඒ නිසා, තාර්කිකව හිතන මිනිහෙක්ගේ තේරීම වන්නේ දෙවන රැකියාවයි.

දැන් මේ තේරීම සිදු වෙන්නේ ශ්‍රමිකයාගේ පැත්තෙන්. කරන වැඩේ ආන්තික ඵලදායීතාවය මෙයින් බාහිර වෙනම කරුණක්‌. මේ උදාහරණයේදී ශ්‍රමිකයා වඩා සතුටු වෙන්නේ තමන්ගේ ආන්තික ඵලදායීතාවය අඩු රස්සාව කිරීමෙන්. 

මෙය තවත් පැහැදිලි කරන්න අපි කවුරු හෝ පුද්ගලයෙක් ගනිමු. අපි කියමු රවීන් කණිෂ්ක කියලා. රවීන් කණිෂ්කට එක්කෝ රඟපාන්න පුළුවන්. නැත්නම් සිංදු කියන්න පුළුවන්. මේ දෙකෙන් ඔහු වඩා සතුටු වෙන්නේ කොයි වැඩෙන්ද? අපි කියමු ඔහු වඩා සතුටු වෙන්නේ සිංදු කියන එකෙන් කියලා. රඟපාන්න ඔහු සිංදු කියන්න තරම්ම කැමැත්තක් නැහැ. නමුත්, ඔහු සිංදු කියන විට සතුටු වන පිරිසට වඩා රඟපාන විට සතුටු වන පිරිස වැඩියි. ඒ නිසා, නළුවෙක් විදිහට ඔහුගේ ආන්තික ඵලදායීතාවය වැඩියි. ගායකයෙක් විදිහට ඔහුගේ ආන්තික ඵලදායීතාවය අඩුයි. 

පෞද්ගලිකව රවීන් කණිෂ්ක වඩා සතුටු වෙන්නේ සිංදු කියලා. හැබැයි මේ තමන් වඩා සතුටු වන දේ කිරීමෙන් ඔහුට මුදල් වලින් බැලූ විට අවාසියක් වෙනවා. ඒ නිසා, ඔහු වඩා වැඩි මුදලක් උපයන්න පුළුවන් රඟපෑම කරලා ඒ අමතර මුදලින් තමන්ට අඩු වෙන සතුට මිල දී ගන්නවා.

සෞම්‍ය ලියනගේ දක්ෂ නළුවෙක්. නළුවෙක් විදිහට ඔහුගේ ආන්තික ඵලදායීතාවය ගොඩක් වැඩියි. නමුත්, ඔහු පෞද්ගලිකව මේ නළු රස්සාවට වඩා විශ්ව විද්‍යාලයේ රස්සාවට කැමතියි. තමන්ගේ සතුට වෙනුවෙන් සෞම්‍ය ලියනගේ විශ්ව විද්‍යාලයේ රස්සාව තෝරා ගන්නවා. ඒ රස්සාවේදී ඔහුගේ ආන්තික ඵලදායීතාවය සාපේක්ෂව අඩුයි. ඒ නිසා, ලැබෙන මුදලත් අඩුයි. නමුත්, ඒ රස්සාව කිරීමෙන් ඔහුට ලැබෙන අමතර සතුට නළු රස්සාව කරලා ලැබෙන අමතර මුදලින් මිල දී ගන්න බැහැ. ඒ නිසා, සෞම්‍ය ලියනගේගේ තේරීම වන්නේ විශ්ව විද්‍යාලයේ රස්සාවයි. එය තාර්කික තේරීමක්. (රවීන් කණිෂ්ක වගේම සෞම්‍ය ලියනගේවත් උදාහරණ විදිහට ගත්තේ මේ කරුණ පැහැදිලි කිරීම සඳහා පමණයි. ඒ අයගේ සැබෑ පෞද්ගලික රුචි අරුචිකම් මොනවාද කියලා දන්නේ ඒ අයයි.)

තමන් පෞද්ගලිකව කැමති වැඩ කරන්න යාමෙන් මේ විදිහට මූල්‍යමය පාඩුවක් වෙන්නේ තමන් කරන්න වඩා කැමති දෙය හා තමන්ට වඩාත්ම ඵලදායී ලෙස කළ හැකි දෙය, එනම් වෙනත් අය තමන් කරනවාට කැමති දෙය, එකක් නොවී දෙකක් වූ විටයි. එවිට එක්කෝ ලැබෙන මුදල ගැන සතුටු නොවෙමින් තමන් කරන රස්සාව කරන්න වෙනවා. එහෙම නැත්නම්, තමන් කරන රස්සාව ගැන කැමැත්තක් නැතුව සල්ලි වෙනුවෙන් අකැමැත්තෙන් වැඩ කරන්න වෙනවා.

ඉහත කාණ්ඩ දෙකේම ඉන්න අයට කවර හෝ දුක් ගැනවිල්ලක් තිබෙනවා. ලේඛකයෝ, කලාකාරයෝ වගේ අයත්, බොහෝ සරසවි ආචාර්යවරුන් හා ඇතැම් ආණ්ඩුවේ රස්සා කරන අයත් පළමු කාණ්ඩයේ පිරිස් අතර ඉන්නවා. ඒ අය තමන් කැමති රස්සා තෝරාගෙන තිබෙනවා. ඒ රස්සා කිරීමෙන් ඔවුන්ට ලැබෙන ආදායම තීරණය වෙන්නේ ඔවුන්ගේ ආන්තික ඵලදායීතාවය මතයි. බොහෝ විට රස්සාවේ ස්වභාවය අනුව මහන්සි වී වැඩ කලා කියලා ආන්තික ඵලදායීතාවය වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, ආදායම් වැඩි වෙන්නේත් නැහැ. ඇඟළුම් කර්මාන්තයේ ශ්‍රමිකයින් වගේ අය බොහෝ විට ඉන්නේ දෙවන කාණ්ඩයේ. ඔවුන්ට සාපේක්ෂව හොඳ වැටුපක් ලැබෙනවා. ලැබෙන වැටුප තකා රැකියාව කළත්, ඔවුන් බොහෝ විට කරන රැකියාවෙන් සතුටු වෙන්නේ නැහැ.

මේ ගැටළුව විසඳෙන්නේ තමන් කැමති රස්සාවත්, තමන්ට වඩාත්ම ඵලදායී ලෙස කළ හැකි රස්සාවත් දෙකම එකක් වූ විට පමණයි. වැඩි දෙනෙකුට එවැනි රැකියා කරන්න ඉඩ ලැබෙන්නේ ශ්‍රම වෙළඳපොළ පුළුල් වන තරමටයි. 

ලංකාව වගේ ශ්‍රම වෙළඳපොළ සාපේක්ෂව පුළුල් නැති, ශ්‍රම වෙළඳපොළ සාපේක්ෂව නිදහස් නැති රටක බොහෝ දෙනෙකු හා අදාළව බොහෝ විට මේ දෙක දෙකක්. ඒ නිසා, ගොඩක් අය තමන් කරන රස්සා කරන්නේ කැමැත්තෙන් නෙමෙයි. කැමති රස්සා කරන ගොඩක් අය ලැබෙන වැටුප පිලිබඳව සතුටු නැහැ. ඇමරිකාව වගේ රටක වුනත් තමන් කරන රැකියාව ගැන වගේම ලැබෙන වැටුප ගැනත් සතුටු පිරිස බහුතරය නෙමෙයි. එහෙත්, ඒ පිරිස සාපේක්ෂව වැඩියි.

Sunday, October 11, 2020

මිනිසා වැඩ කරන්නේ කුමටද?


මේ ප්‍රශ්නය අජිත් පැරකුම්ගේ ප්‍රශ්නයක්. ප්‍රශ්නයට අදාළ ඔහුගේ නිරීක්ෂණ කිහිපයක් ඉදිරිපත් කර සාකච්ඡා කිරීමෙන් අනතුරුව පැරා ඔහුගේ ලිපිය අවසන් කරන්නේ මේ විදිහටයි.

"මිනිසා වැඩ කරන්නේ කුමටද යන ප්‍රශ්නය මා ඉදිරියේ තිබේ. එහෙත්, මට එයට පිළිතුරක් නැත."

පිළිතුරු නැති ප්‍රශ්න වලට පිළිතුරු ඉදිරිපත් කරන්න මම කැමතියි. පිළිතුරු කියා කියන එක අවුල් වගේනම් යෝජනා කියා කියමු. මා විසින් පිළිතුරු හෝ යෝජනා ඉදිරිපත් කරන්නේ ඇයි කියන එකත් මේ ප්‍රශ්නයට දිය හැකි පිළිතුරේම කොටසක්. 

සරල ප්‍රශ්නයක් වගේ පෙනුනත් පැරාගේ ප්‍රශ්නය ගොඩක් සංකීර්ණ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට පිළිතුර කුමක්ද කියන එක මත වඩා සංකීර්ණ ප්‍රශ්න ගණනාවකට පිළිතුරු මොනවාද කියන එකත් තීරණය වෙනවා. උදාහරණ විදිහට සෞම්‍ය ලියනගේට රැකියාව නැති වීම, ඊට පෙර නලින් ද සිල්වා, වික්‍රමබාහු කරුණාරත්න, සුචරිත ගම්ලත් වගේ අයට රැකියා නැති වීම, හරිනි අමරසූරිය විසින් මැතකදී යෝජනා කළ, කාලයකට පෙර සිංහලේ මහා සම්මත භූමිපුත්‍ර පක්ෂයේ හෝ හරිශ්චන්ද්‍ර විජේතුංගගේ යෝජනාවක් වූ ගෙවල් වල වැඩ කරන කාන්තාවන්ට දීමනාවක් ගෙවීම පිළිබඳ කතිකාව, ප්‍රසූත නිවාඩු ප්‍රශ්නය, බ්‍රැන්ඩික්ස් සන්නාලියන්ට කෝවිඩ් ආසාදනය වීම ආදී ප්‍රශ්න වල සිට අජිත් පැරකුම් විසින් කතා කරන ලංකාවේ චීන ශ්‍රමිකයින් පිළිබඳ කතිකාව දක්වා බොහෝ ප්‍රශ්න මේ ප්‍රශ්නයටම සම්බන්ධයි.

මිනිසා වැඩ කරන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරු එකකට වඩා තිබෙනවා. සමාජවාදී පිළිතුර එයින් එකක්. ධනවාදී පිළිතුර තවත් එකක්. 

ද්‍රව්‍යවාදය මත පදනම් වූ මාක්ස්වාදී විග්‍රහය අනුව ශ්‍රමය කියා කියන්නේ මිනිස් යන්ත්‍රයේ ප්‍රතිදාන (outputs). මේ ප්‍රතිදාන ලබා ගැනීම සඳහා ආහාර, ඇඳුම්, නිවාස වැනි ආදාන (inputs) අවශ්‍යයි. අනෙක් අතට එම ආහාර, ඇඳුම්, නිවාස වැනි පරිභෝජන භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා මිනිස් ශ්‍රමය අවශ්‍ය වෙනවා. මේ නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුළේදී මිනිස් ශ්‍රමය ආදානයක් බවටත්, ආහාර වැනි පරිභෝජන භාණ්ඩ ප්‍රතිදානයක් බවටත් පත් වෙනවා. 

මිනිස් යන්ත්‍රයේ දායකත්වයෙන් එහෙත් මිනිස් යන්ත්‍රයෙන් බැහැරව සිදු වන සාමූහික නිෂ්පාදන ක්‍රියාවලිය තුළ අතිරික්තයක් ජනනය වෙනවා. ඒ නිසා, මිනිස් යන්ත්‍රය නඩත්තු කිරීමට අවශ්‍ය ආදාන නිපදවීමට දවසේ සීමිත කාලයක් පමණක් ශ්‍රමය යෙදවීම ප්‍රමාණවත්. ඉතිරි වන අතිරික්ත කාලය මිනිස්සුන්ට තමන් සතුටු වන වෙනත් දේවල් වෙනුවෙන් යෙදවිය හැකියි.

මාක්ස්වාදීන් විසින් දකින "ධනවාදී ක්‍රමය" අනුව, ලෝකයේ මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා. ප්‍රාග්ධනය හිමි පංතිය හා ප්‍රාග්ධනය අහිමි, වැඩ කරන පංතිය විදිහට. ධනවාදය ඇතුළේ ප්‍රාග්ධනය හිමි පංතිය විසින් වැඩ කරන පංතියේ ශ්‍රමය මිල දී ගන්නවා. එහෙත්, ඒ වෙනුවෙන් ගෙවන්නේ ඔවුන්ගේ ශ්‍රමය ප්‍රතිදානය කිරීම සඳහා අවශ්‍ය අවම ආදාන ලබා ගැනීමට ප්‍රමාණවත් මුදලක් පමණයි. ඒ නිසා, වැඩ කරන පංතියට තමන්ගේ ජීවිත පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ආදාන ලබා ගැනීම සඳහා දවස පුරා වැඩ කරනු හැර වෙනත් විකල්පයක් නැහැ. ඔවුන්ට තමන් සතුටු වන වෙනත් දේවල් වෙනුවෙන් යෙදවීමට කාලයක් ඉතිරි වන්නේ නැහැ. අතිරික්තය මුළුමනින්ම ලබා ගෙන පරිභෝජනය කරන්නේ ප්‍රාග්ධනය හිමි පංතිය විසින්. ඔවුන් වැඩ නොකර තමන්ට රිසි සේ විනෝද වෙනවා.

සමාජවාදීන්ගේ ඉලක්කය ඉහත කී පරිදි ප්‍රාග්ධනය හිමි පංතිය විසින් තනිව භුක්ති විඳින අතිරික්තය සියළු දෙනා අතර සම සේ බෙදා හැරීමයි. එහෙත්, එසේ අතිරික්තය සම සේ බෙදා හැරියා කියලා කාටවත් වැඩ නොකර ඉන්න ලැබෙන්නේ නැහැ. නමුත්, වැඩ කරන පංතියේ අයට ටිකක් අඩුවෙන් වැඩ කරලා ඉතිරි කාලය තමන්ට රිසි සේ විනෝද වෙන්න පුළුවන්. එහි හිලවුවට ප්‍රාග්ධනය හිමි පංතියේ අයගේ විනෝදය අඩු වෙලා ඒ අයටත් වැඩ කරන්න වෙනවා.

මිනිහෙක් දවසකට කොයි තරම් කාලයක් වැඩ කළ යුතුද? කොයි තරම් කාලයක් විනෝද විය යුතුද? ඒවා තීරණය කරන්නේ පක්ෂයයි. පක්ෂය හෝ ආණ්ඩුව විසින් නියම කරන අවම කාලය වැඩ කරන එක ඔබේ වගකීමක් හා යුතුකමක්. ඒ වගේම, ඒ කාලය වැඩ කිරීම වෙනුවෙන් ඔබට ලැබෙන දේ තීරණය කරන්නේත් පක්ෂය හෝ ආණ්ඩුව විසිනුයි. ඒ ලැබෙන දේ ඔබේ ශ්‍රමයේ නියම වටිනාකම බව ඔබට පිළිගන්න සිදු වෙනවා.

දැන් මේ අනුව බැලුවහම මිනිසා වැඩ කරන්නේ ඇයි කියන ප්‍රශ්නයට සමාජවාදී පිළිතුර තීරණය වෙන්නේ පවතින සමාජ ක්‍රමය ධනවාදී එකක්ද සමාජවාදී එකක්ද කියන එක මතයි. පවතින්නේ ධනවාදී ක්‍රමයක්නම් මිනිස්සු වැඩ කරන්නේ තමන්ගේ ජීවිතය පවත්වා ගැනීම සඳහා. වැඩ කරන මිනිස්සුන්ට වැඩ කරනවා හා ජීවත් වෙනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න වෙලාවක් නැහැ. වැඩ නොකරන මිනිස්සු වැඩ නොකරන නිසා ඔවුන් හා අදාළව මිනිස්සු වැඩ කරන්නේ ඇයි කියන ප්‍රශ්නය මතු වෙන්නේ නැහැ. එහෙත්, ඒ මිනිස්සු වැඩ නොකරන්නේ ඇයි කියා ඇහුවොත් ඔවුන්ට වැඩ නොකර ජීවත් වෙන්න පුලුවන්කම තිබෙන නිසා කියා කියන්න පුළුවන්. 

මේ අනුව, සමාජවාදී විග්‍රහය අනුව මිනිස්සුන්ට වැඩ නොකර ජීවත් වෙන්න පුලුවන්කම තියෙනවානම් මිනිස්සු වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ වැඩ කිරීම වෙනත් කළ හැකි දෙයක් නැතිකමට අකැමැත්තෙන් කරන නිශේධනීය දෙයක් මිසක් කවුරුවත් කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි. වැඩ කරන්න අකැමැති නිසා වැඩ නොකළොත් ජීවිතය පවත්වාගෙන යන්න බැරි නිසා වැඩ කරන පංතියේ අයට වැඩ කරන්න වෙනවා. සමාජවාදය ආවා කියලත් ඔය තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි වඩා හොඳ ස්වාමියෙක් ලැබෙනවා. එහෙම නැත්නම් වඩා හොඳ ස්වාමියෙක් ලැබෙන බවට පොරොන්දුවක් සමාජවාදය ඇතුළේ තිබෙනවා.

සමාජවාදී විග්‍රහය අනුව ධනවාදී සමාජ ක්‍රමයක් පවතිද්දී වැඩ කරන එකේ වාසිය තනිකරම ලැබෙන්නේ ප්‍රාග්ධන හිමියන්ටයි. වැඩ කරන අයට ලැබෙන කිසිම දෙයක් නැහැ. ඒ නිසා, පුළුවන් තරම් අඩුවෙන් වැඩ කළා කියලා හරි හොරට වැඩ කළා කියලා හරි ඔවුන්ට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. පාඩුව වෙන්නේ ප්‍රාග්ධන හිමියන්ටයි. එහෙම තියෙද්දී මිනිස්සු මහන්සි වෙලා වැඩ කරන්නේ ඔය ටික තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති නිසා. සමාජවාදී පක්ෂ උත්සාහ කරන්නේ වැඩ කරන ජනතාවට ඔය කාරණාව කියා දෙන්නයි. බය නැතුව වැඩ වර්ජන වගේ දේවල් සංවිධානය කරන්නෙත් ප්‍රාග්ධන හිමියන්ට ශ්‍රමිකයන් නැතුව බැරි නිසයි. වැඩේ කියන්නේ ශ්‍රමිකයෝ කොයි තරම් කියා දෙන්න හැදුවත් ඔය ටික තේරුම් ගන්නේ නැහැ. ඒ අය හිතන්නේ මහන්සි වී වැඩ නොකළොත්, වැඩ වර්ජන කළොත්, කරන රස්සාවත් නැති වෙයි කියලා. පවු ඒ අය!

වැඩ කිරීම පිළිබඳ ධනවාදී අදහස ඉහත සමාජවාදී අදහසට වඩා හාත්පසින්ම වෙනස් අදහසක් නෙමෙයි. සමහර මූලික කරුණු සමානයි.

ධනවාදී ආර්ථික විද්‍යාව අනුව මිනිස්සු කොයි දෙයක් වුනත් කරන්නේ තමන්ගේ සතුට වෙනුවෙන්. ඒ අනුව, වැඩ කරන්නේත් තමන්ගේ සතුට වෙනුවෙන් කියා කියන්න පුළුවන්. එහෙත්, සතුට තිබෙන්නේ වැඩ කිරීමේ ක්‍රියාවලිය තුළම නොවෙන්න පුළුවන්. 

මිනිස්සු ජීවත් වීමෙන් සතුටු වෙනවා. ජීවත් වීමේ පූර්ව කොන්දේසියක් ලෙස ආහාර ආදිය අවශ්‍ය වෙනවා. ඒ දේවල් සපයා ගන්න වැඩ කරන්න වෙනවා. මෙහිදී වැඩ කිරීමේ ක්‍රියාවලිය තුළ සතුටක් නැති වෙන්න පුළුවන්. එහෙත්, ශ්‍රමය වෙනුවෙන් ලැබෙන කුලිය හෙවත් වැටුප් තුළ සතුට තිබෙනවා. එසේ ලැබෙන මුදලින් මිල දී ගන්නා දේවල් තුළ සතුට තිබෙනවා.

ධනවාදී ආර්ථික විද්‍යාව අනුව වැඩ කරන එක අකැමැත්තෙන් කරන දෙයක් විය යුතුම නැහැ. වැඩ කිරීමේ ක්‍රියාවලිය තුළම සතුට තිබෙන්න පුළුවන්. හැබැයි එසේ තිබීම අනිවාර්යත් නැහැ. වැටුප් තකා, අසතුටෙන් වැඩ කරන අයත් ඕනෑ තරම් ඉන්න පුළුවන්.

සමාජවාදී විග්‍රහය අනුව ධනවාදී ක්‍රමයක් තුළ වැටුප් සේ ගෙවනු ලබන්නේ ශ්‍රමිකයෙකුට යාන්තම් පණ ගැට ගසා ගැනීමට අවශ්‍ය ප්‍රමාණය පමණයි. ඉතිරිය ප්‍රාග්ධනය අයිති පුද්ගලයා විසින් "සූරා කනු" ලබනවා. එහෙත්, ධනවාදී ආර්ථික විද්‍යාව අනුව, තරඟකාරී වෙළඳපොළක් ඇති විට ශ්‍රමිකයෙකුට තමන්ගේ ශ්‍රමයේ නියම වටිනාකම වැටුප් සේ හිමි වෙනවා. මේ "නියම වටිනාකම" මනින්නේ කොහොමද?

මේ ප්‍රශ්නයට ටිකක් කිට්ටුවෙන් යන ප්‍රශ්නයක් පහුගිය දවසක නලින් ද සිල්වා විසින් අහලා තිබුණා. 

"අප කරන වැඩ මනින්න බැහැ. වැඩක් මනින්නෙ කොහොම ද කියන එක මට තේරෙන්නෙ නැහැ. යම්කිසි නිර්ණායක යොදා ගෙන අපි වැඩ මනිනවා. උගතුන් කරන වැඩ මානසික වැඩ ශාරීරික ව කරන වැඩවලට වඩා වටිනවා කියල අපි හිතනවා. උගතුන්ට වැඩියෙන් වැටුප් ඉල්ලනවා. සමහරු කියනව මා අහල තියෙනවා අපි මෙච්චර මහන්සියෙන් පාඩම් කෙරුව ඒවට ගෙවන්න ඕන කියල. ඒ ආයෝජන කතාවක්. නූතනත්වයේ ධනවාදී ක්‍රමයෙ කතාවක්.  ඒ අනුව නම් මට සතපහක් ගෙවන්න ඕන නැහැ. මා මහන්සි වෙලා පාඩම් කරලත් නැහැ වෙන කිසිම දෙයක් කරලත් නැහැ. මා කැමති දේ පමණක් කරනවා. මා අංක එකේ අත්මාර්ථකාමියෙක් වෙන්න ඇති."

නලින් ද සිල්වාගේ සටහනේ වැදගත් කරුණු ගණනාවක් මතු කර තිබෙනවා. එහෙත් එහි සඳහන් එක් කරුණක් වැරදියි. "අපි මෙච්චර මහන්සියෙන් පාඩම් කෙරුව ඒවට ගෙවන්න ඕන" කියන කතාව සමාජවාදී ප්‍රකාශයක් මිසක් "නූතනත්වයේ ධනවාදී ක්‍රමයෙ කතාවක්" නෙමෙයි. 

මාක්ස්වාදය අනුව මිනිස්සු හැමෝම සමාන නිසා හැම මිනිහෙකුගේම පැයක ශ්‍රමයේ වටිනාකමත් සමානයි. ඒ අනුව, වැඩක් මනින්නේ ඒ වැඩේ කරන්න යෙදවූ ශ්‍රමය මත පදනම්වයි. මහන්සි වෙලා පාඩම් කළානම් ඒ වෙනුවෙන් පැය ගණනට ගෙවන්න ඕනෑ. ඉගෙන ගත්තද නැද්ද කියන එක වැදගත් නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් වටිනාකම මනින්නේ ආදාන (inputs) මත පදනම්වයි. එහෙත්, ධනවාදය අනුව වටිනාකම මනින්නේ ප්‍රතිදාන (outputs) මත පදනම්වයි. කවුරු හෝ කෙනෙක් මහන්සි වෙලා වැඩ කළා කියලා හෝ මහන්සි වෙලා පාඩම් කළා කියලා ඒ මහන්සියට සමානුපාතිකව යමක් ලැබෙන්නේ නැහැ. ලැබෙන දේ තීරණය වන්නේ මහන්සි වී කළ දෙයින් වැඩක් වුනාද කියන එක මතයි.

ලංකාවේ සරසවි ඇදුරන්ගේ වැටුප් තීරණය වෙන්නේ සමාජවාදී ක්‍රමයට ආදාන මත පදනම්වයි. ඒ අනුව, වැටුප් නිර්ණායක හදා තිබෙන්නේ මහන්සි වූ තරම මැනීම සඳහායි. එක සමානව මහන්සි වී ඇත්නම් ඒ මහන්සියෙන් ලැබුණු ප්‍රතිඵල මොනවාද කියන එක අදාළ නැහැ. අවුරුදු අටක් ඇතුළත ආචාර්ය උපාධියක් ලබා ගත්තාද නැද්ද කියන එකෙන්, සර්ව සම්පූර්ණ ලෙස නොවුණත්, අවුරුදු අට ඇතුළත කොයි තරම් මහන්සි වුනාද කියන එක මනින්න පුළුවන්. ඒ අනුව, සමාන තරමට මහන්සි වී ඇති බව පෙනෙන අයට සමාන වැටුප් දෙන්න පුළුවන්. ලබාගත් ආචාර්ය උපාධිය නිසා "නිෂ්පාදනය" කොයි තරම් ඉහළ ගියාද කියන එක වැදගත් කරුණක් නෙමෙයි. එය වැදගත් වන්නේ ධනවාදී ක්‍රමය තුළයි.

එහෙත්, බ්‍රැන්ඩික්ස් සන්නාලියන්ගේ වටිනාකම තීරණය වෙන්නේ සරසවි ඇදුරන්ගේ වටිනාකම මනින සමාජවාදී ක්‍රමයට නෙමෙයි. ඔවුන් වැඩ කරන පැය ගණනට වඩා පැයකදී මහන කෑලි ගණනයි වැදගත් වෙන්නේ.

වටිනාකම් මනින ධනවාදී ක්‍රමයත් සමාජවාදී ක්‍රමය වගේම ආකෘතියක් මත පදනම් වූ ක්‍රමයක් තමයි. එහෙත්, එය වඩා සංගතයි. ධනවාදී විග්‍රහය අනුව තරඟකාරී ශ්‍රම වෙළඳපොළක් ඇති විට ශ්‍රමිකයෙකුට වැටුප් සේ හිමිවන්නේ ඔහුගේ හෝ ඇයගේ ආන්තික ඵලදායීතාවයයි. මෙහිදී ආන්තික ඵලදායීතාවය යනුවෙන් අදහස් වන්නේ කිසියම් ශ්‍රමිකයෙකු නිෂ්පාදනය සඳහා සම්බන්ධ කර ගැනීම නිසා නිෂ්පාදනය ඉහළ ගිය ප්‍රමාණයයි.

ආන්තික ඵලදායීතාවය ශ්‍රමයේ නියම වටිනාකම සේ සැලකීමේ පදනම කුමක්ද?

අපි හිතමු බිත්තියක් බඳින බාස් කෙනෙක් ගැන. බාස්ට දවසකට ලැබෙන මුදල තීරණය වෙන්නේ බඳින වර්ග අඩි ගණන අනුව කියා සලකමු. අපි හිතමු බාස්ට තනිවම බිත්ති වර්ග අඩි හැත්තෑවක් බඳින්න පුලුවන් කියා. අත්වැඩකාරයෙක් ගත්තොත් බිත්ති වර්ග අඩි සීයක් බඳින්න පුළුවන්. දැන් මේ විදිහට දවසකට වර්ග අඩි තිහක් වැඩියෙන් බඳින්න පුළුවන් වුනේ අත්වැඩ කාරයා නිසයි. ඒ අනුව, අත්වැඩකාරයාගේ ශ්‍රමයේ වටිනාකම බිත්ති වර්ග අඩි තිහක් බැඳ ලැබිය හැකි මුදලයි.

බිත්ති බැඳීම වෙනුවෙන් රුපියල් දස දහසක මුදලක් ලැබුණොත් එයින් හත් දහසක් යන්නේ බාස්ටයි. අත්වැඩකරුට යන්නේ තුන් දහසක් පමණයි. එහෙත්, දෙදෙනාම සමාන පැය ගණනක් වැඩ කර තිබෙනවා. සමාජවාදී ක්‍රමයටනම් රුපියල් දසදහස දෙදෙනා අතර සම සේ බෙදී යා යුතුයි. මේ ක්‍රමය අසාධාරණ වන්නේ අත්වැඩකරු නැතත් බාස්ට තනිව රුපියල් හත් දහසක් උපයා ගත හැකි නිසයි. 

අත්වැඩකරු විසින් රුපියල් තුන් දහසකට වඩා ඉල්ලා සිටියොත් බාස් ඔහුට රැකියාව ලබා දෙන්නේ නැහැ. එය අතින් කා හරක් බැලීමක්. අනෙක් අතට බාස් නැතිව අත්වැඩකරුට තනිව බිත්ති බඳින්න බැහැ. ඒ නිසා, රැකියාවක් නැත්නම් ඔහුට ආදායමක් ඉපැයිය හැකි වෙනත් වඩා හොඳ ක්‍රමයක් නැති වෙන්න පුළුවන්. එවැනි වෙනත් වඩා හොඳ ක්‍රමයක් තිබේනම් ඔහු අත්වැඩ දෙන්න එන්නේ නැහැ.

අජිත් පැරකුම්ගේ ලිපියේ ඇති තොරතුරු අනුව චීන කම්කරුවෙකුට ලංකාවේදී මසකට එක්සත් ජනපද ඩොලර් 1,000ක් පමණ වැටුප් ලැබෙන නමුත් ශ්‍රී ලාංකික කම්කරුවෙකුට ලැබෙන්නේ එම මුදලෙන් තුනෙන් එකක් පමණයි. මේ වෙනසින් පිළිබිඹු වන්නේ අදාළ සන්දර්භය තුළ චීන කම්කරුවෙකුගේ හා ශ්‍රී ලාංකික කම්කරුවෙකුගේ ආන්තික ඵලදායීතාවයන්ගේ වෙනසයි.

මේ ආන්තික ඵලදායීතා වෙනස අජිත් පැරකුම් විසින් පැහැදිලි කරන්නේ මේ ආකාරයටයි.

"[චීන කම්කරුවන්] දවසේ නියමිත මුළු කාලය ම වැඩ කරන අතර, නිවාඩු නොගෙන දිනපතා වැඩට පැමිණෙති. ලාංකික කම්කරුවන් ගැන විස්තර සඳහන් කිරීම අවශ්‍ය නැත. සාමාන්‍යයෙන් ඔවුන් ස්ථිරව සේවයේ රැඳෙන්නේ නැත. අධික ලෙස නිවාඩු ලබාගනිති. අලසය. වැඩ සම්බන්ධයෙන් සුබවාදී නැත. අවස්ථාව ලැබුණොත් සොරකම් කරති."

මේ වෙනස්කම් ආන්තික ඵලදායීතා වෙනසට විශාල ලෙස හේතු වනවා විය හැකි නමුත් ඒ සඳහා වෙනත් අමතර කරුණුද බලපානවා විය හැකියි. උදාහරණයක් ලෙස චීන වැඩ බිමක සේවය කරන කම්කරුවෙකු චීන භාෂාව දැන සිටීම විවිධ ආකාර වලින් එම ශ්‍රමිකයාගේ ආන්තික ඵලදායීතාවය ඉහළ නංවනවා. කෙසේ වුවත්, ලාංකික කොන්ත්‍රාත්කරුවන් විසින්ද චීන ශ්‍රමිකයින්ට වැඩි කැමැත්තක් දක්වන්නේනම් එයින් පෙනෙන්නේ ඉහත අජිත් පැරකුම් විසින් සඳහන් කර තිබෙන කරුණු වල වැඩි බලපෑමක් ඇති බවයි.

අජිත් පැරකුම්ගේ මුල් ප්‍රශ්නයට ආවොත්, මිනිසා වැඩ කරන්නේ ඇයි කියන ප්‍රශ්නයට "ජීවත්වීම සඳහා" හෝ "තමන් එයින් සතුටු වන නිසා" ලෙස සරල පිළිතුරක් දෙන්න බැහැ. ඔය හේතු දෙකම නිසා මිනිස්සු වැඩ කරනවා. ඇතැම් අය ස්වේච්ඡා රැකියා පවා කරන්නේ වැඩ කිරීමෙන් සතුටු වන නිසා. බොහෝ දෙනෙක් තමන් කරන රැකියාව කරන්නේ ලැබෙන වැටුපට අමතරව එම රැකියාව කිරීමෙන්ම යම් සතුටක්ද ලැබෙන නිසා.

මිනිස්සු එදිනෙදා කරන දේවල් ජීවත්වීම සඳහා කරන්න සිදු වී ඇති හෝ අකැමැත්තෙන් කරන "වැඩ" හා විනෝදය පිණිස කරන දේවල් ලෙස ඉරක් ගසා වෙන් කරන්න බැහැ. සිංදු කියන එක බොහෝ දෙනෙක් විනෝදය සඳහා කරන දෙයක්. වෘත්තීය ගායකයෝ රැකියාව ලෙස සිංදු කියනවා. ඔවුන් එය කරන්නේ අකැමැත්තෙන්ද? ඔවුන් තමන්ගේ රැකියාවෙන් විනෝදයක් ලබන්නේ නැද්ද? 

බොහෝ වෘත්තීය කලාකරුවන් තමන්ගේ රැකියාවෙන් වැටුපක් වගේම සතුටකුත් ලබනවා. වෙනත් බොහෝ වෘත්තිකයිනුත් අඩු වැඩි වශයෙන් තම තමන්ගේ රැකියා වලින් සතුටක් ලබනවා. බොහෝ ව්‍යවසායකයින්, වෛද්‍යවරුන්, ගුරුවරුන්, සරසවි ඇදුරන්, දේශපාලනඥයින් යම් තරමකට හෝ තම තමන්ගේ රැකියා වලින් සතුටු වන අයයි. එහෙත්, ඉදිකිරීම් හෝ කෘෂිකාර්මික කම්කරුවන් බොහෝ දෙනෙක් ජීවත්වීම සඳහාම රැකියා කරන අය වෙන්න පුළුවන්.

කෙනෙක් රැකියාවක් තෝරා ගන්නේ කොහොමද? 

දැන් කරන රැකියාව හා අදාළවම නොවිය හැකි වුවත් නලින් ද සිල්වා මෙහෙම කියනවා.

"ඒ අනුව නම් මට සතපහක් ගෙවන්න ඕන නැහැ. මා මහන්සිලාවෙලා පාඩම් කරලත් නැහැ වෙන කිසිම දෙයක් කරලත් නැහැ. මා කැමති දේ පමණක් කරනවා. මා අංක එකේ ආත්මාර්ථකාමියෙක් වෙන්න ඇති."

ඒ අතර, අජිත් පැරකුම් මෙහෙම කියනවා.

"මා වැඩ කරන්නේ මගේ ජීවිත අරමුණු කීපයක් සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනීමට වුව ද, අවසානයේදී මගේ වැඩකිරීම හසුරුවනු ලබන්නේ මගේ එකී අවශ්‍යතාව විසින් නොව මට ලැබෙන වැඩ විසිනි."

නලින් ද සිල්වා, අජිත් පැරකුම් වගේම වෙනත් ඕනෑම කෙනෙක් ප්‍රමුඛතාවය දෙන්නේ තමන් කැමති, තමන්ට සතුටු විය හැකි දෙයක් කරන්නයි. නමුත්, ඒ විදිහට තමන් කැමති දෙයම කරන්න ඉඩ ලැබෙනවාද කියන එක තීරණය වෙන්නේ බාහිර කරුණු මතයි. මේක අර මුලින් කී සමාජවාදී විග්‍රහය අනුව පැහැදිලි කරන්න බැහැ. 

ඕනෑම කෙනෙක් තමන් සතුටු දේ කළාම වටිනාකම් නිර්මාණය වෙනවානම් කරන්න තියෙන්නේ දවසේ නියමිත පැය ගණනක් මහන්සි වෙලා තම තමන් කැමති දේවල් කරන එකයි. වටිනාකම් නිර්මාණය වෙන්නේ යොදවපු ශ්‍රමයට සමානුපාතිකවනම් මොනවා කළත් අවුලක් නැහැනේ. හැබැයි එහෙම කළොත් කාටත් වෙන්නේ ආඬි හත් දෙනාගේ කැඳ හැලිය බෙදාගෙන බොන්න බව ඉතාම පැහැදිලියි. තමතමන් කැමති දේවල් කළ පමණින් වටිනාකම් නිර්මාණය වෙන්නේ නැහැ. 

නලින් ද සිල්වා, අජිත් පැරකුම් හෝ සෞම්‍ය ලියනගේ කරන දේවල් වල වටිනාකම තීරණය කරන්නේ වෙනත් අයයි. එය තමන්ට තීරණය කරන්න බැහැ. කරපු දෙයින් වෙන කාටවත්ම වැඩක් නැත්නම් එතැන කරපු දෙයක් නැහැ. අනෙක් අතට කාට හෝ වැඩක් වෙලානම් කොයි තරම් මහන්සි වෙලාද කියන එක වැදගත් නැහැ. ධනවාදී ක්‍රමයක් ඇතුළේ තමන් කරපු දේ වෙනුවෙන් ලැබෙන්නේ මොනවාද කියන එක තීරණය වෙන්නේ ඒ කරපු දේවල් වෙනත් අයට කොයි තරම් වටිනවාද කියන එක මතයි.

අනුන්ට වටිනාකමක් තියෙනවාද නැද්ද කියන එක ගැන වැඩිය වද නොවී "මා කැමති දේ පමණක් කරනවා" කියන නලින් ද සිල්වා වගේ කෙනෙක්ට එහෙම තමන් කැමති දේ පමණක්ම කරන්නනම් "මට සතපහක් ගෙවන්න ඕන නැහැ" කියන පදනමෙන් වැඩ කරන්න වෙනවා. නමුත්, යම් තරමකින් තමන් කැමති දේ කරන අතරම ඒ වෙනුවෙන් යම් ගෙවීමක්ද බලාපොරොත්තු වන අජිත් පැරකුම් වැනි කෙනෙකුගේ වැඩකිරීම හසුරුවනු ලබන්නේ ඔහුගේ එකී අවශ්‍යතාව විසින් වගේම ඔහුට ලැබෙන වැඩ අනුවයි.

මේ කරුණු අනුව, එක දෙයක් පෙන්වා දෙන්න පුළුවන්. කවුරු හෝ කෙනෙක් තමන් කැමති. තමන් සතුටු වන දෙයක් කරද්දී වෙනත් අය ඒ දෙයින් සතුටු වෙනවානම්, ඒ කියන්නේ තමන් කොහොමටත් සතුටු වන දෙයින් වටිනාකම් නිර්මාණය වෙනවානම් අර වැඩ හා විනෝදය කියන දෙක අතර ඉර බොඳ වී යනවා. වැඩ කිරීමම විනෝදයක් බවට පත් වෙනවා. ධනවාදය දියුණු වෙද්දී ශ්‍රම වෙළඳපොළ පරිණාමය වෙන්නේ මේ වගේ තැනකටයි. 

අපි හිතමු ග්‍රාමීය මට්ටමේදී ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ගැන. ආර්ථික ක්‍රමය කුමක් වුනත්, හැමෝටම ආහාර අවශ්‍යයි. ආහාර සපයා ගැනීම සඳහා හැමෝටම වගේ වැඩ කරන්න වෙනවා. මේ අතරින් කිහිප දෙනෙක් එසේ වැඩ කිරීමෙන් විනෝදයක් ලබනවා වෙන්න පුළුවන්. නමුත්, විශාල පිරිසකට මෙය විනෝදයක් නෙමෙයි. තමන්ගේ වත්තේ, තමන්ගේ කුඹුරේ වැඩ කළා කියලා මෙය වෙනස් වෙන්නේ නැහැ. මෙතැන තියෙන්නේ වැඩ කිරීමේ රුචිකත්වය පිළිබඳ ප්‍රශ්නයක් මිසක් සූරාකෑම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි.

ධනවාදය තුළ වෙළඳපොළ ප්‍රසාරණය වෙද්දී සිදු වෙන්නේ ඔය විදිහට තමන් අකැමැති රැකියා කරන අය ක්‍රමයෙන් තමන් කැමති රැකියා කරා විතැන් වීමයි. හැමෝටම වගේ ආහාර වල වටිනාකමක් තිබෙනවා. එහෙත්, බහුතරයකට නොතේරෙන දාර්ශනික ප්‍රවාදයක වටිනාකමක් තියෙන්නේ ඉතාම කලාතුරකින් කෙනෙක්ටයි. සරල ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ඇතුළේ මාර සිරා දාර්ශනිකයෙකුට ඉල්ලුමක් නැහැ. එවැන්නෙකුගේ ශ්‍රමයට හුවමාරු වටිනාකමක් නැහැ. ඒ නිසා දර්ශනය පැත්තකට දමලා අකැමැත්තෙන් වුනත් කුඹුරට බහින්න වෙනවා. නැත්නම් හාමතේ මැරෙන්න වෙනවා. වෙළඳපොළ විශාල ලෙස ප්‍රසාරණය වීමේ වාසිය වන්නේ බොහෝ දෙනෙක්ට වටිනාකමක් නැති, තමන් කරන්න කැමති දෙයට වටිනාකමක් දෙන පුද්ගලයෙක් කොහෙන් හෝ හමු වීමයි.

ධනවාදය යටතේ වුවත් හැම පුද්ගලයෙකුටම තමන් කැමතිම දේ කරන්න ලැබෙන බවට සහතිකයක් නැහැ. එහෙම කරනවානම් කරන්න වෙන්නේ කවුරුවත් "සතපහක් ගෙවන්න ඕන නැහැ" කියන පදනමිනුයි. හැමෝම තමන් වඩාත්ම කැමති දේවල් තෝරා ගත්තොත් සමාජවාදයක් යටතේ වගේම ධනවාදයක් යටතේත් කවුරු හෝ විසින් කළ යුතු, කවුරුත් කරන්න කැමති නැති වැඩ කොටසක් කරන්න කෙනෙක් නැතිව ඉතිරි වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ අවස්ථාවක ශ්‍රම වෙළඳපොළ අසමතුලිතතාවය නිසා ඒ අකැමැති වැඩේ කරන්න අවශ්‍ය ශ්‍රමය වෙනුවෙන් ගෙවන මිල ඉහළ යනවා. ඔය විදිහට මිල ඉහළ යද්දී, එක අවස්ථාවක වැඩේ කරන්න ප්‍රමාණවත් පිරිසක් එකතු වෙනවා. වැඩේ තමන් කරන්න කැමතිම දෙය නොවූවත්, ලැබෙන ගණන බැලුවහම පාඩුවක් නැහැ!

සමාජවාදයක් යටතේ "තමන්ට හැකි ප්‍රමාණයට සමාජයට තමන්ට අවශ්‍ය ප්‍රමාණයට සමාජයෙන්" කියල කතාවක් තියෙනවනේ. දැන් ඔය කතාවේ පළමු කොටසේ අදහස වෙන්නේ හැමෝම නිශ්චිත පැය ගණනක් වැඩ කරනවා නමුත් එම පැය ගණන තුළ සිදුවන ඵලදායී කාර්යය සමාන විය යුතු නැහැ කියන එකයි. තමන්ට හැකි ප්‍රමාණයනේ! දෙවන කොටසෙන් ප්‍රයෝගිකව අදහස් වෙන්නේ නිෂ්පාදිතය සමසමව බෙදෙනවා කියන එකයි. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය ප්‍රමාණය තීරණය කරන්නේ සමාජය විසින් මිසක් තමන් විසින් නොවන බවයි. 

ධනවාදය ඇතුළේ තමන්ට අවශ්‍ය ප්‍රමාණය තීරණය කරන්නේ තමන් විසින්. එහෙත්, තමන්ට අවශ්‍ය ප්‍රමාණය සමාජයෙන් ලබා ගන්නනම් අවශ්‍ය පමණ සමාජයටත් දිය යුතුයි. හැකි පමණ සමාජයට දී අවශ්‍ය පමණ සමාජයෙන් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා සමාජයට දෙන අයගේ සහකම්පනය මත පමණයි. 

මිනිසාට තමන් කැමති වැඩක් කිරීමට තිබෙන අයිතිය ගැන සමාජවාදීන් විසින්ද කතා කරනවා. ඇතැම් අය කියන විදිහට සමාජවාදී ක්‍රමයක් යටතේ පුද්ගලයෙක් විසින් කරන්නේ තමන් කැමති රැකියාවයි. එහෙත්, සියළු දෙනාම තමන් කැමති රැකියා කළොත් සියලු දෙනාට අවශ්‍ය ඇතැම් දේවල් ප්‍රමාණවත් තරමින් නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒ නිසා, ප්‍රායෝගිකව මේ වැඩේ කරන්න විදිහක් නැහැ. ප්‍රායෝගිකව සිදුවෙන්නේ පක්ෂය විසින් යම් පිරිසක් ඔවුන් අකැමැති රැකියා වලට ඇද දමන එකයි. ධනවාදය යටතේත් යම් පිරිසකට තමන් අකැමැති රැකියා කරන්න සිදු වුනත් එහිදී කිසිවකු බලහත්කාරයෙන් එම රැකියා වලට තල්ලු කරන්නේ නැහැ. වැඩි වැටුප් හරහා ස්වේච්ඡාවෙන් පිරිස් ආකර්ෂණය කර ගන්න එකයි සිදු වෙන්නේ.

මේ වෙනස ඉතා වැදගත් වෙනසක්. සමාජවාදය යටතේ "තමන්ගේ සමාජ වගකීම ඉටු කිරීමට" කිසියම් පිරිසක් ඔවුන් අකැමැති රැකියා වලට බලෙන් තල්ලු කෙරෙනවා. එහෙත්, ඒ වෙනුවෙන් ඔවුන්ට අනෙක් අයට නොලැබෙන දෙයක් ලැබෙන්නේ නැහැ. ධනවාදය තුළ මෙසේ තමන් අකැමැති රැකියා කරන අයට එහි වටිනාකම ලැබෙනවා.

ධනවාදය තුළ කිසියම් රැකියාවක් කරන්න කැමති පිරිස් අඩු වෙද්දී එම රැකියාව හා අදාළ ශ්‍රමයේ මිල ඉහළ යනවා. මේ විදිහට ඉහළ යන ශ්‍රමය විසින් අදාළ රැකියාව ස්වයංකරණය කිරීම සඳහා තාක්ෂනය වැඩි දියුණු කිරීම පිණිස සිදු කෙරෙන ආයෝජන දිරිමත් කෙරෙනවා. අවසානයේදී ස්වයංකරණය විසින් මිනිස්සු කරන්න අකැමැති රැකියා ප්‍රතිස්ථාපනය කෙරෙනවා. ඒ නිසා, අවසාන වශයෙන් හැමෝටම වගේ තමන් කැමති රැකියා කරන්න අවස්ථාව සැලසෙනවා. සමාජවාදී ක්‍රමයක් යටතේ මෙවැනි ජනප්‍රිය නැති රැකියා සඳහා යම් පිරිසක් බලෙන්ම වගේ යොමු කෙරෙන නිසා වේගවත් ස්වයංකරණයක් සඳහා අවශ්‍ය ආර්ථික සාධක සම්පූර්ණ වෙන්නේ නැහැ.

වෙළඳපොළ පුළුල්වීම හා ස්වයංකරණය නිසා ටිකෙන් ටික සිදු වන්නේ "වැඩ" හා "විනෝදය" අතර ඉර මැකී යාමයි. කෙනෙකුගේ "වැඩ" හා "විනෝදය" එකක් වූ විට දවසේ වැඩ කරන පැය ගණන සීමා කිරීම විනෝදය සීමා කිරීමක් බවට පත් වෙනවා. වැඩ කරන තරමට ආන්තික ඵලදායීතාවය ඉහළ ගොස් ශ්‍රමයේ මිල ඉහළ යනවාක් වගේම විනෝදයත් ඉහළ යනවා. මිනිහෙකුට වැඩි වැඩියෙන් විනෝද වෙන්න අවස්ථාව දීම හා වැඩි වැඩියෙන් වැඩ කරන්න අවස්ථාව දීම යන දෙකම එකක් වුනාම වැඩි වැඩියෙන් වැඩ ගැනීම සූරාකෑමක් කියා කියන්න මොකක් හරි පදනමක් ඉතිරි වෙනවද?

Sunday, October 4, 2020

රුසියන් බිංදුව


රුසියාවේ විභාග ඇගයීම් ක්‍රමය ගැන සටහනක් පහුගිය දවස්වල වත්පොතේ හුවමාරු වුනා. සටහන මුලින්ම පළ කළේ කවුද කියලානම් මට හොයා ගන්න බැරිවුනා. හැබැයි මා දන්නා තරමින් මේ සටහනේ තිබෙන තොරතුර නිවැරදියි. සුළු අක්ෂර වින්‍යාස නිවැරදි කිරීම් කිහිපයක් පමණක් සමඟ මම එම සටහන පහත පළ කරනවා.

"රුසියාවේ බහුතර විභාගවල උපරිම ලකුණු සංඛ්‍යාව 5කි. සිසුවෙකු කිසිම ප්‍රශ්නයකට පිළිතුර නොදී හිස් ප්‍රශ්න පත්‍රය ආපසු ලබාදුන්නේ නම් ඔහුට ලැබෙන ලකුණු සංඛ්‍යාව 2කි.

මොස්කව් විශ්වවිද්‍යාලයෙහි මාගේ මුල් දිනවල මා මෙම ක්‍රමය පිලිබඳව නොදැනුවත්ව සිටියෙමි. පසුව පුදුමයට පත් මා තියඩෝර් මෙඩ්රේව් මහාචාර්යවරයාගෙන් මෙසේ විමසුවෙමි. 

"කිසිම පැනයකට පිලිතුරු නොදුන් සිසුවෙකුට ලකුණු 5න් 2ක් ලබාදීම සාධාරණයි කියා ඔබ සිතනවාද? ඔහුට ලකුණු බිංදුවක් නොදෙන්නේ ඇයි? නිවැරදි ක්‍රමය එය නොවේද?"

එතුමා මාගේ පැනයට මෙසේ පිලිතුරු ලබාදුන්නේය.

"දරුවෙකුට අප ලකුණු බිංදුවක් ලබාදෙන්නේ කෙසේද? සෑම දේශනයකටම සහභාගී වීමට උදෑසන 7ට අවදි වූ සිසුවෙකුට ලකුණු බිංදුවක් දෙන්නේ කෙසේද? මෙම ශීත කාලගුණයේද උදෑසන අවදි වී පොදු ප්‍රවාහන සේවය මගින් නියමිත වේලාවට විභාගයට පැමිණ ප්‍රශ්නවලට පිලිතුරු ලිවීමට උත්සාහ දැරූ සිසුවෙකුට කිසිම ලකුණක් නොදෙන්නේ කෙසේද? රෑ දවල් පාඩම් කර තමන්ගේ මුදලින් පෑනක්, පොතක්, පරිගණකයක් ලබාගෙන තම අධ්‍යාපනයට කැපවූ සිසුවෙකුට ලකුණු බිංදුවක් ලබාදෙන්නේ කෙසේද? අනිත් සියලුම ජීවන ක්‍රම ප්‍රතික්ෂේප කර අධ්‍යාපනයට යොමුවුන සිසුවෙකුට කිසිම ලකුණක් නොදෙන්නේ කෙසේද?

මෙහි පුතේ, දරුවෙකු පිළිතුරු නොදැනීම හේතුවෙන් අපි ඔහුට ලකුණු බිංදුවක් ලබා නොදෙන්නෙමු. ඔහුද මිනිසෙකි. ඔහුට මොලයක් ඇත. ඔහු ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට උත්සාහ ගෙන ඇත.

අප මෙහි ලබාදෙන ලකුණු විභාග ප්‍රශ්න පත්‍රයට පමණක් සීමා නොවේ. ඔහුට උපහාරයක් ලෙස ලකුණු ප්‍රමාණයක් ලැබිය යුතුයි."

එයට ප්‍රතිචාර දැක්වීමට නොදැන මාගේ දෙනෙත් කඳුලෙන් පිරුණි. මිනිසෙකු ලෙස මාගේ වටිනාකම මා හට වැටහුනි.

බිංදුව ළමුන් තමන් ගැන තබාගෙන ඇති විශ්වාසය නසයි. ඉගෙනීමට ඇති උනන්දුව වනසයි. අද මා මෙම සටහන තබන්නේ අප රටේ පවතින මෙම අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට උත්සාහයක් දරන ගුරුවරුන් වෙනුවෙනි.

උපුටා ගැනීමකි.

මා රුසියාවේ හෝ සෝවියට් දේශයේ ඉගෙනුම ලබා නැහැ. එසේ ඉගෙනුම ලැබූ අය මෙය කියවන අය අතර ඉන්නවා. ඔවුන්ට ඔවුන්ගේම පෞද්ගලික අත්දැකීම් ඇති. එහෙත්, මේ ඇගයීම් ක්‍රමය පිළිබඳ සංසන්දනාත්මක අධ්‍යයන මා පරිශීලනය කර තිබෙනවා. ඒ වගේම, රුසියානු මිතුරන්ගෙන් වැඩිදුර තොරතුරු අසා දැනගෙන තිබෙනවා.

පළමුවෙන්ම කියන්න තිබෙන්නේ මේ ඇගයීම් ක්‍රමය රුසියන් ක්‍රමයක් මිස "සමාජවාදී" ක්‍රමයක් නොවන බවයි. රුසියාවේ විභාග ඇගයීම් ක්‍රමය ප්‍රචලිත වී තිබෙන්නේ දහනවවන සියවසේ මුල් කාලයේදී. නොවැම්බර් විප්ලවයෙන් පසු මුල් කාලයේදී මේ ක්‍රමය වෙනස් කර වෙනත් ක්‍රමයක් හඳුන්වා දෙන්න උත්සාහ කර ඇතත් එය සාර්ථක වී නැහැ. ඒ නිසා, මේ ක්‍රමයේ හොඳ හෝ නරක කවර වුවත් එය සමාජවාදයට සෘජුව සම්බන්ධ දෙයක් නෙමෙයි. එහෙත්, වක්‍ර සම්බන්ධයක් තිබෙනවා. මේ වත්පොත් සටහනෙන් පැහැදිලි වන්නේ එම වක්‍ර සම්බන්ධයයි. ඒ වක්‍ර සම්බන්ධය ගැන කතා කරන්න කලින් මේ සටහනේ නැති රුසියන් ඇගයීම් ක්‍රමයේ තවත් සුවිශේෂතා කිහිපයක් ගැන සඳහන් කළ යුතුයි.

ලංකාවේද ප්‍රචලිත බටහිර විභාග ඇගයීම් ක්‍රමයේදී ලිඛිත විභාග වලට වැඩි බරක් දෙනවා. එයට සාපේක්ෂව රුසියානු ක්‍රමයේදී වාචික විභාග වඩා ප්‍රචලිතයි. ඒ වගේම, බටහිර ලිඛිත විභාග වලදී මුළු විෂය නිර්දේශයම පිළිබඳ දැනුම පරීක්ෂාවට ලක් කෙරෙන නමුත් රුසියානු ක්‍රමයේදී බොහෝ විට අහඹු ප්‍රශ්න තුනක් අසා එමගින් දැනුම පරීක්ෂා කරනවා. විභාග ක්‍රම සංසන්දනය කළ යුත්තේ මේ වෙනස්කම්ද සිහියේ තබාගෙනයි.

විභාගයකදී මුළු විෂය නිර්දේශයම පරීක්ෂාවට ලක් කෙරෙන විට විභාග ප්‍රතිඵලය හා දැනුම අතර සහසම්බන්ධය වැඩියි. එහෙත්, අහඹු ලෙස ප්‍රශ්න තුනක් අසා එමගින් දැනුම පරීක්ෂාවට ලක් කරද්දී වැරදීම් වෙන්න වැඩි ඉඩක් තිබෙනවා. ඉහත කී අහඹු ප්‍රශ්න තුනෙන් දෙකකට නිවැරදිව පිළිතුරු දුන්නොත් රුසියානු විභාගයක් සමත් වූ සේ සැලකෙනවා. ලකුණු 3/5ක් ලැබෙනවා. ප්‍රශ්න තුනටම නිවැරදි පිළිතුරු දුන්නොත් 4/5ක් ලැබෙනවා. අවම වශයෙන් ප්‍රශ්න දෙකකට නිවැරදි පිළිතුරු ලබා නොදුන්නොත් ලැබෙන්නේ ලකුණු 2/5යි. මේ අනුව, 2/5 ලබා ගන්නා සිසුන් අතර ප්‍රශ්න තුනෙන් එකකට පමණක් නිවැරදි පිළිතුරු ලබා දුන් අයත්, එක ප්‍රශ්නයකටවත් නිවැරදි පිළිතුරු ලබා නොදුන් අයත් ඉන්නවා.

ලකුණු 5/5ක් ලබා දෙන්නේ මුල් ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලබා දුන් අය වෙත තවත් අමතර ප්‍රශ්න යොමු කර ඒ ප්‍රශ්න වලටත් නිවැරදි පිළිතුරු දුන්නොත් පමණයි. ඒ වගේම, 2/5ට වඩා අඩු ලකුණු ලබා දෙන අවස්ථාත්, කලාතුරකින් වුවත්, තිබෙනවා. 1/5 වැනි ලකුණකින් අදහස් කෙරෙන්නේ නීති පිළි නොපැදීම හෝ විනය විරෝධී ක්‍රියාවක්. ප්‍රශ්න කිසිවකට නිවැරදිව පිළිතුරු ලබා නොදීම නිසා ලකුණු ප්‍රමාණය 2/5ට වඩා අඩු වන්නේ නැහැ.

මුළු විෂය නිර්දේශයම පරීක්ෂාවට ලක් කෙරෙන බටහිර ආකෘතියේ විභාගයකින් වෙනස්ව, අහඹු ප්‍රශ්න තුනක් පමණක් අහන විට සැලකිය යුතු දැනුමක් ඇති අයෙකුට වුවත් එම ප්‍රශ්න කිසිවකට පිළිතුරු දෙන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා, 0/5 වෙනුවට 2/5 ලබා දීමේ නිශ්චිත පදනමක් තිබෙනවා. 

අනෙක් අතට මේ සමත්/අසමත් ලකුණ සංකේතයක් පමණයි. කාගේ හෝ ලකුණු ප්‍රමාණය 2/5ක් නම් එයින් අදහස් වන්නේ කුමක්ද කියන එක එම ඇගයීම් ක්‍රමය ගැන දන්නා කාට වුනත් රහසක් නෙමෙයි. විභාගයකට මුහුණ දෙන සිසුවෙකුට වැදගත් වන්නේ විභාගය සමත්ද අසමත්ද කියන එක මිසක් ඒ බව දැනුම් දෙන සංකේතය කුමක්ද කියන එක නෙමෙයි. ලැබුනේ 2/5නම් එය අසමත්වීමක් බව අදාළ සිසුවාත් අනෙක් අයත් දන්නවා. වෙනත් රටක විභාග ඇගයීම් ක්‍රම ගැන නොදන්නා රුසියානු සිසුවෙකුට මෙය බිංදුවම තමයි. ඒ නිසා, බිංදුවෙන් ළමුන් තමන් ගැන තබාගෙන ඇති විශ්වාසය නසා ඉගෙනීමට ඇති උනන්දුව වනසනවානම් රුසියානු දෙකෙනුත් ඒ වැඩේම වෙනවා.

ඇමරිකාවේ විභාග වල සාමාන්‍ය සමත් ලකුණ 70 හෝ 73යි. A සාමාර්ථයක් ලබා ගන්නනම් 90ක් හෝ 93ක් ලබා ගත යුතුයි. නමුත්, ලංකාවේද ප්‍රචලිත බ්‍රිතාන්‍ය ක්‍රමයේදී සමත් ලකුණ 40ක් හෝ 50ක් පමණ වෙනවා. ලකුණු 70ක් හෝ 75ක් ලබාගත් විට A සාමාර්ථයක් ලැබිය හැකියි. ඇමරිකානු විභාග ක්‍රමයට පුරුදු වී සිටින බොහෝ දෙනෙක් දකින්නේ ඇමරිකාවේ අසමත් ලකුණක් වන 60%ක් පමණ ලබා බ්‍රිතාන්‍ය ක්‍රමයට සම්මාන සාමාර්ථයක් ලැබිය හැකි නිසා එය ඉතා පහසු බවයි. 

ඇත්තමට වෙන්නේ කිසියම් රටක භාවිතා කරන ඇගයීම් ක්‍රමය අනුව සිසුන් වගේම ඇගයීම් කරන අයත් තමන්ගේ විභාග සම්මත සීරුමාරු කර ගැනීමයි. ඒ නිසා, බොහෝ විට බ්‍රිතාන්‍ය ක්‍රමයට 40% ගැනීමත්, ඇමරිකානු ක්‍රමයට 70% ගැනීමත්, රුසියානු ක්‍රමයට 3/5 ගැනීමත් එක තරම් අමාරු වෙන්න ඉඩ තිබෙනවා. 

රුසියානු විභාග ඇගයීම් ක්‍රමය හා සෝවියට් සමාජවාදය අතර සම්බන්ධයක් නැතත් ඉහත සටහනේ සඳහන් මහාචාර්යවරයා හා සටහන ලියූ පුද්ගලයා විසින් මේ ඇගයීම් ක්‍රමය අර්ථකථනය කරන ආකාරය තුළින් ඔවුන්ගේ මාක්ස්වාදී චින්තනය පැහැදිලි වෙනවා.

දළ වශයෙන් කියනවානම් ඔවුන් සිතන්නේ විභාගයට පිළිතුරු දී ඇති ආකාරය කෙසේ වුවත් විභාගයට මුහුණ දීම දක්වා සිසුවා විසින් දරා ඇති මහන්සිය ඇගයීමට ලක් විය යුතු බවයි. මේ අදහස පදනම් වන්නේ ශ්‍රමයේ වටිනාකම පිළිබඳ මාක්ස්වාදී අදහස මතයි. මාක්ස්වාදය අනුව වටිනාකම් නිර්මාණය වන්නේ යෙදවූ ශ්‍රමයට සමානුපාතිකවයි. ඒ අනුව, එක තරමට මහන්සි වී විභාගයේදී සියලුම ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලබා දුන් සිසුවාත්, කිසිම ප්‍රශ්නයකට නිවැරදි පිළිතුරක් ලබා නොදුන් සිසුවාත් සමාන වටිනාකම් නිර්මාණය කර තිබෙනවා.

නොවැම්බර් විප්ලවයෙන් පසුව හඳුන්වා දෙන්න උත්සාහ කර තිබෙන්නේ විභාග නැති, ඇගයීම් නැති අධ්‍යාපන ක්‍රමයක්. එහි පදනම වන්නේත් ඉගෙන ගැනීම යනු ඒ සඳහා වැය කළ ශ්‍රමය මිසක් තමන් උකහා ගත් දෙය නොවන බවයි. සෝවියට් දේශයට වුවත් මාක්ස්වාදී මූලධර්ම මත පදනම් වූ එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට හැකි වී නැහැ.

ධනවාදයට අනුව යමෙක් මහන්සි වී වැඩ කළ පමණින් වටිනාකම් නිර්මාණය වන්නේ නැහැ. ඒ, ධනවාදයේදී මාක්ස්වාදයේදී මෙන් ශ්‍රමයට නිශ්චිත නිරපේක්ෂ වටිනාකමක් නැති නිසා. ශ්‍රමයේ සාපේක්ෂ වටිනාකම තීරණය වන්නේ එම ශ්‍රමය යොදවා නිර්මාණය කළ වටිනාකම් මතයි. ඒ අනුව, කොයි තරම් කාලයක් මහන්සි වුනත් ඉගෙන ගත්ත දෙයක් නැත්නම් ඒ ඉගෙන ගැනීමෙන් ඇති වැඩක් නැහැ. අනෙක් අතට විභාගයේදී සියලුම ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු දිය හැකිනම් එය කළේ අවුරුද්ද තිස්සේම බේසම් වල කකුල් ඔබාගෙන පාඩම් කරලද, විභාගයට කලින් දවසේ පැය කීපයක් පාඩම් කරලද කියන එක වැදගත් නැහැ. මීටරෙන් ගොඩ දැම්මත්, මෝටරෙන් ගොඩ දැම්මත් වැදගත් වන්නේ අවසාන ප්‍රතිඵලයයි. 

බටහිර විභාග ඇගයීම් ක්‍රමයේදී කොහොම වුනත්, ධනවාදය තුළදී  අවසානයේදී කිසිම වටිනාකමක් නිර්මාණය කිරීමට දායක වෙලා නැත්නම් කොයි තරම් මහන්සි වුනත් ලැබෙන්නේ බිංදුව පමණයි. සමාජවාදී ක්‍රමයකදී මෙන් පහෙන් දෙකක් ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙනවානම් ලැබෙන්නේ වටිනාකම් නිර්මාණය කරන අයගේ සහකම්පනය මත පමණයි.

Saturday, October 3, 2020

ඩොලර් බිලියනයක් හොයාගත්තේ කොහොමද?


හෙට කල් පිරෙන ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කරයේ මුහුණත අගය හා කූපන් ගෙවීම් මුදල මහ බැංකුව විසින් ඊයේ පියවා තිබෙනවා. ඒ, කල් පිරෙන දිනය ඉරිදා දිනයක් නිසා. 6.25%ක කූපන් පොලියෙන් අඩක්ද ඊයේ පියවූ සේ සැලකුවහොත් මෙය ඩොලර් මිලියන 1031.25ක මුදලක්.

ඉහත මුදල පියවීම සඳහා මහ බැංකුවේ පවත්වා ගෙන යන නිල සංචිත වල ඇති ඩොලර් රජයට විකුණා ඇති බවට සැකයක් නැහැ. ඒ අනුව, මේ වන විට රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියනයකින් පමණ පහළ ගොස් තිබිය යුතුයි.

මෙවැනි විශාල මුදලක් එකවර ගෙවීම සඳහා නිල සංචිත වල ඇති ඩොලර් යොදා ගැනීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. එසේ කිරීම වැරැද්දක් කියා කියන්න බැහැ. නිල සංචිත පවත්වා ගෙන යන්නේම ඔය වගේ අවස්ථාවක ප්‍රයෝජනයට ගන්නයි. 

ඇමරිකන් ඩොලරයක විකිණුම් මිල 187.21 සේ සැලකූ විට, රජයට මහ බැංකුවේ ඩොලර් මිලියන 1031.25ක නිල සංචිත (හෝ වෙනත් වාණිජ බැංකුවක තිබෙන ඩොලර්) මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 193ක මුදලක් අවශ්‍ය වෙනවා. වඩා වැදගත් ප්‍රශ්නය රජය ඒ මුදල් හොයා ගත්තේ කොහොමද කියන එකයි.

පෙනෙන ආකාරයට ඉහත මුදලෙන් වැඩි ප්‍රමාණයක් හොයාගෙන තිබෙන්නේ නැවත මහ බැංකුවටම භාණ්ඩාගාර බිල්පත් විකිණීමෙනුයි. පසුගිය සතිය ඇතුළත මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 322 සිට රුපියල් බිලියන  445 දක්වා එකවරම 38%කින් ඉහළ ගොස් තිබෙනවා. 

මේ අනුව පෙනෙන පරිදි ණය ගෙවීම සඳහා අවශ්‍ය වූ ඩොලර් මහ බැංකුවෙන් මිල දී ගැනීමට රජයට අවශ්‍ය වූ රුපියල් බිලියන 193ක මුදලින් රුපියල් බිලියන 123ක්ම නැවත රජයට ලබා දී තිබෙන්නේ මහ බැංකුව විසින්මයි. මහ බැංකුව මේ විදිහට සල්ලි රජයට දෙන්නේ කොහොමද කියන එක රහසක් නෙමෙයි.

Friday, October 2, 2020

බැඳුම්කර වංචා දොර ආයෙත් ඇරලද?


වසර පහකට පෙර සිදු වුනු "බැඳුම්කර වංචාව" ගැන ඕනෑ තරම් කතා කරල තියෙනවනේ. අවශේෂ කරුණු පැත්තකින් තිබ්බොත් 2015 පෙබරවාරි 27 වෙන්දේසියේදී සිදු වුනේ මහ බැංකුව විසින් වෙන්දේසියට ඉදිරිපත් කළ බැඳුම්කර ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 9ක බැඳුම්කර මිල දී ගැනීමයි. මෙය වංචාවක් සේ හැඳින්වූ පාර්ශ්ව වලට අනුව ඒ හේතුව නිසා පොලී අනුපාතික ඉහළ ගිහින් රජයට පාඩුවක් වුනා.

බැඳුම්කර වෙන්දේසියකදී මිල දී ගන්නා බැඳුම්කර ප්‍රමාණය වැඩි කළහම ගෙවිය යුතු පොලී අනුපාතිකත් ඉහළ යනවා කියන එක සරල කරුණක්. ඒ වගේම එම ප්‍රමාණය අඩු කළොත් පොලී අනුපාතික පහළ යනවා. ප්‍රශ්නය එය වැරැද්දක්ද නැද්ද කියන එකයි. එය වැරැද්දක්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ නියම පොලී අනුපාතිකය කුමක්ද කියන එක මතයි. "බැඳුම්කර වංචාව" ගැන කතා කළ බොහෝ දෙනෙකුට අනුව මේ නියම පොලී අනුපාතිකය වෙන්දේසියට ඉදිරිපත් කළ බැඳුම්කර ප්‍රමාණයම මිල දී ගත්තානම් ගෙවන්න වෙන පොලී අනුපාතිකයයි. තර්කානුකූලව මේ කතාව හරි.

නමුත්, ප්‍රශ්නය වුනේ කාලයක් තිස්සේම මහ බැංකුව විසින් බැඳුම්කර වෙන්දේසියකදී පිළිගන්නා බැඳුම්කර ප්‍රමාණය හිතු මනාපයට වෙනස් කර තිබීමයි. ඒ අනුව, වෙන්දේසියට ඉදිරිපත් කළ බැඳුම්කර ප්‍රමාණය කියන එක නිකම්ම නිකම් අංකයක් පමණයි. ඒ ප්‍රමාණය නිකම්ම නිකම් අංකයක් වූ විට නියම පොලී අනුපාතිකයක් කියලා එකකුත් නැහැ. මහ බැංකුවට කැමති ආකාරයට පොලී අනුපාතය අඩු වැඩි වෙන්න ඉඩ අරින්න පුළුවන්. අර්ජුන මහේන්ද්‍රන් විසින් "මගඩියක්" කළානම් එය කළේ කාලයක් තිස්සේ සිදු වුනු මේ වැරැද්දේ වාසිය ලබා ගනිමිනුයි.

මේක පැහැදිලි කරන්න අපි ගොඩක් අයට තේරෙන වෙනත් උදාහරණයක් ගනිමු. කවුරු හරි කෙනෙක් විභාගයකින් සමත් වෙන්නේ කොහොමද? විභාගය සාධාරණ එකක්නම් විභාගයට කලින් විභාගයෙන් සමත් විය හැකි ආකාරය නිශ්චිතව සඳහන් කර තිබිය යුතුයි. මෙය කළ හැකි ක්‍රම දෙකක් තිබෙනවා. 

පළමු ක්‍රමය පැහැදිලි සමත් ලකුණක් දැනුම් දීම. අපි කියමු 40% කියලා. දැන් 40% ගන්න ඕනෑම කෙනෙක් විභාගය සමත්. එම ලකුණු ප්‍රමාණය නොගන්නා අය අසමත්. කවුරුවත් 40% ගත්තේ නැහැ කියලා පස්සේ සමත් ලකුණ පහළ දමන්න බැහැ. ඒ වගේම, හැමෝම 40% ගත්තා කියලා සමත් ලකුණ ඉහළ දමන්නත් බැහැ. කොටින්ම කියනවානම් විභාගය පවත්වන පුද්ගලයාට විභාගය සමත් වන ප්‍රමාණය පාලනය කරන්න විදිහක් නැහැ. 40% ගන්නා කවර හෝ ප්‍රමාණය විභාගය සමත් සේ පිළිගන්න වෙනවා. ඒ හැර තමන් කැමති කෙනෙක්ව සමත් කරන්න හෝ අසමත් කරන්න පුළුවන්කමක් නැහැ.

දෙවන ක්‍රමය සමත් වන ප්‍රමාණය පිළිබඳව කලින් දැනුම් දීම. අපි හිතමු වැඩිම ලකුණු ගන්න 100දෙනා කියලා. මෙහිදී විභාගය පවත්වන පුද්ගලයාට සමත් ලකුණ තීරණය කරන්න බැහැ. එය 100 වෙනියාට ලකුණු ගන්න කවුරු හෝ පුද්ගලයාගේ ලකුණ. ඒ නිසා මෙහිදීත් තමන් කැමති කෙනෙක්ව සමත් කරන්න හෝ අසමත් කරන්න පුළුවන්කමක් නැහැ. මේ ක්‍රම දෙකෙන් කොයි ක්‍රමය අනුගමනය කළත් එක් විභාග අපේක්ෂකයෙකුට විශේෂයක් කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ.

නමුත්, සමත් වන නිශ්චිත ප්‍රමාණයකුත් නැත්නම්, නිශ්චිත සමත් ලකුණකුත් නැත්නම්, විභාගය පවත්වන පුද්ගලයාට තමන්ගේ හිතුමනාපයට සමත් ලකුණ තීරණය කරන්න පුළුවන්. ඒ මගින් තමන්ට කැමති කෙනෙකුට වාසියක් හෝ අවාසියක් කරන්න පුළුවන්. අපි හිතමු කවුරු හරි ලකුණු 70ක් ගත්තා කියලා. සමත් ලකුණ 71 කරලා ඇයව අසමත් කරන්න පුළුවන්. ඒ වගේම සමත් ලකුණ අඩු කරලා 25ක් ගත්ත කෙනෙක්ව සමත් කරන්නත් පුළුවන්. 

මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසිය කාලයක් තිස්සේම සිද්ධ වුනේත්, දැන් නැවත සිද්ධ වෙන්නේත් ඔය තුන් වන ක්‍රමයටයි.

බැඳුම්කර වෙන්දේසියක් පැවැත්විය යුතු නිවැරදි ක්‍රමය සමාන කළ හැක්කේ ඉහත දෙවන ක්‍රමයටයි. මෙහිදී මිල දී ගන්නා බැඳුම්කර ප්‍රමාණය කලින් දැනුම් දෙනවා. ඒ ප්‍රමාණය මිල දී ගන්නවා. පොලී අනුපාතික අඩු වැඩි වෙනවා කියලා එම ප්‍රමාණය වෙනස් කරන්නේ නැහැ. එහෙම කරන්න ගියොත් තමන් කැමති කෙනෙකුට වාසියක් කරන්න අවස්ථාව ලැබෙනවා.

සෘජු නිකුතු ක්‍රමය පැවැත්විය යුතු නිවැරදි ක්‍රමය සමාන කළ හැක්කේ ඉහත පළමු ක්‍රමයටයි. එහිදී මහ බැංකුව විසින් පොලී අනුපාතික තීරණය කිරීමෙන් පසුව ඒ පොලී අනුපාතිකයට කැමති කෙනෙකුට කැමති ප්‍රමාණයක් බැඳුම්කර ලබා දෙනවා. කාටවත් විශේෂයක් කරන්නේ නැහැ.

මහ බැංකුව ඔය දෙකෙන් එකක්වත් නිවැරදි ක්‍රමයට කරලා නැහැ. කරලා තියෙන්නේ තුන් වන ක්‍රමයටයි. විභාග උදාහරණයට ආවොත් පාස් කරන්නේ ලකුණු 40%ක් ගත්තොත් කියා කිවුවත් සමහර වෙලාවට අඩුවෙනුත් සමහර වෙලාවට වැඩියෙනුත් පාස් කරලා තියෙනවා. ඒ කියන්නේ සෘජු නිකුතු යටතේ බැඳුම්කර මිල දී ගන්නේ පසුගිය සතියේ සඵල ඵලදා අනුපාතිකයට කියා කිවුවත්, බොහෝ අවස්ථා වලදී ඊට වඩා අඩුවෙනුත් ඊට වඩා වැඩියෙනුත් මිල දී ගෙන තිබෙනවා.

වෙන්දේසි වලදීත් කරලා තියෙන්නේ ඕකමයි. වැඩිම ලකුණු ගන්න දහ දෙනා පාස් කරනවා කියලා පටන් ගත්තත් සමහර වෙලාවට දහයක් පාස් කරන්නේ නැහැ. සමහර වෙලාවට වැඩියෙන් පාස් කරනවා. කාවවත්ම පාස් කරන්නේ නැති අවස්ථාත් තියෙනවා. 2015 පෙබරවාරි 27 වෙනිදා වුනේ එක්කෙනෙක් පාස් කරනවා කියලා දහ දෙනෙක්වම පාස් කරන එක. එහෙම කරන්න ඉඩකඩ පෑදුනේ ඊට කලිනුත් බොහෝ විට කියපු ගාණම පාස් කරලා නොතිබීමයි.

කොහොම වුනත් 2016 අවසානයේ සිට මහ බැංකුව විසින් එතෙක් කරපු වැරැද්ද හදා ගත්තා. එතැන් සිට මෑතක් වන තුරුම මහ බැංකුව විසින් මිල දී ගත්තේ හරියටම බැඳුම්කර වෙන්දේසියට ඉදිරිපත් කරපු ප්‍රමාණයයි. වෙන්දේසියේ විවිධ පරිණත කාල යටතේ ඉදිරිපත් කරපු සුරැකුම්පත් ප්‍රමාණ අඩු වැඩි කළත් සමස්තයක් විදිහට මිල දී ගත් මුළු සුරැකුම්පත් ප්‍රමාණය අඩු වැඩි කළේ නැහැ. ඒ නිසා, කාටවත් තමන් කැමති කෙනෙකුට විශේෂ වාසියක් කරන්න ඉඩකඩක් තිබුණේ නැහැ.

දැන් නැවතත් මේ ක්‍රමයේ වෙනසක් කරලා. පසුගිය 29 වෙනිදා වෙන්දේසියට රුපියල් මිලියන 40,000ක භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කළත් මිල දී ගෙන තිබෙන්නේ රුපියල් මිලියන 895ක භාණ්ඩාගාර බිල්පත් පමණයි. 2015 පෙබරවාරි 27 වෙනිදා වුනේ එක්කෙනෙක් පාස් කරනවා කියලා දහ දෙනෙක්වම පාස් කරන එකනම් පසුගිය 29 කරලා තියෙන්නේ 40ක් පාස් කරනවා කියලා එක්කෙනෙක් පාස් කරන එක. 

ඔය දෙකම එකම කාසියේ දෙපැත්ත. මෙහිදී වංචාවක් වුනා කියලා මම කියන්නේ නැහැ. නමුත්, මේ විදිහට යද්දී කරන කෙනෙකුට වංචාවක් කරන්න පැහැදිලි ඉඩක් තිබෙනවා.

වෙන්දේසියට අඩුවෙන් සුරැකුම්පත් ඉදිරිපත් කරලා වැඩියෙන් මිල දී ගත්තහම පොලී අනුපාතික ඉහළ ගියත්, වැඩියෙන් ඉදිරිපත් කරලා අඩුවෙන් මිල දී ගත්තහම වෙන්නේ පොලී අනුපාතික පහළ යන එක කියලා කාට හරි කියන්න පුළුවන්. ප්‍රශ්නය පොලී අනුපාතික ඉහළ යනවද පහළ යනවද කියන එක නෙමෙයි. 

වෙන්දේසියේදී මිල දී ගන්නේ වෙන්දේසියට ඉදිරිපත් කරන සුරැකුම්පත් ප්‍රමාණය නොවූ විට වෙන්දේසියට ඉදිරිපත් කරන සුරැකුම්පත් ප්‍රමාණය කිසිම තේරුමක් නැති නිකම්ම ගණනක් වෙනවා. එවිට, එක ගැනුම්කරුවෙකුට වාසි වෙන ආකාරයට මිල දී ගන්නා සුරැකුම්පත් ප්‍රමාණය තීරණය කරන්න අවස්ථාව ලැබෙනවා. එය දැන් සිදු නොවුනත් කොයි වෙලාවක හෝ සිදු වෙන්න පුළුවන්. එතකොට බොරුවට කෑ ගහලා වැඩක් නැහැ.

තවත් ටිකක් පැහැදිලි කරන්නම්. දැන් 29 වෙනිදා කරලා තියෙන්නේ බිලියන 40ක් වෙන්දේසියට දමලා බිලියනයකටත් අඩුවෙන් මිල දී ගන්න එක. ඔය වැඩේ ටික දවසක් දිගින් දිගටම කරද්දී වෙන්දේසියට ලොකු ගණන් ඉදිරිපත් කළත් මහ බැංකුව විසින් ඇත්තටම මිල දී ගන්නේ පොඩි ප්‍රමාණයක් කියන එක කාටත් තේරෙනවා. එවිට හැමෝම මිල ගණන් ඉදිරිපත් කරන්නේ ඒ පදනම මතයි. 

ඔහොම දිගින් දිගටම 40ක් ඉදිරිපත් කරලා එකක් ගනිමින් ඉන්න අතර හදිසියේ එක දවසක 40ම ගත්තොත් මොකද වෙන්නේ? ඒ 40ම ගත්තේ මහ බැංකුවේ කාට හරි සම්බන්ධයක් තිබෙන එක් සමාගමක් විසින්නම් පස්සේ වැරැද්දක් කියන්න පුලුවන්ද? අපි වෙන්දේසියේදී මිල දී ගත්තේ වෙන්දේසියට දාපු ප්‍රමාණය කියලා හරි ලේසියට කියන්න පුළුවන්. එක හතළිහ වෙනවා කියන්නේ එක දහය වුනාට වඩා විශාල බලපෑමක්.

Thursday, October 1, 2020

රජ්ජුරුවන්ගේ හරක් හා අපේ හරක්


කලින් ලිපියෙන් එලොව පොල් පෙන්නිල්ල ගැන කතා කළානේ. අපි පොඩි කාලේ කරපු තවත් සෙල්ලමක් තමයි පොල් කඩන එක. මේකනම් එලොව පොල් පෙන්නිල්ල වගේ බුලි කිරීමක් නෙමෙයි. ඇත්තටම සෙල්ලමක්. ගැටවර වයසේදී කුරුම්බා කඩන සෙල්ලම කරන්න කලින් කාලයේදීයි ඔය සෙල්ලම කළේ.

වැඩේ පටන් ගන්නේ කට්ටිය වටේට වාඩි වෙලා මිට මොලවපු අත් එක උඩ එක තියලා පොල් ගහක් හදලයි. හතර දෙනෙක් එකතු වුනොත් අත් අටක්නේ. හැබැයි පොල් ගහේ නගින්න ක්‍රීඩාවේ නායකයා එක අතක් ඉතුරු කර ගන්නවා. මොකද පොල් ගස් නැගලා මාධ්‍ය සාකච්ඡා තියන්න කට්ටිය හිටියට පොල් ගෙඩියක් කඩාගන්න කෙනෙක් හොයා ගන්න එක ලේසි නෑනේ. ඊට පස්සේ ක්‍රීඩාවේ නායකයා මෙහෙම අහනවා.

"සීයේ සීයේ පොල් කඩමුද?"

ඔය අහන්නේ රුපියල් සීයේ පොල් ගැන නෙමෙයි. ඒ දවස්වල පොල් ගෙඩියක් රුපියලක්වත් වුනේ නෑ මගේ හිතේ. 

"දඩින් බිඩින් ඩෝන්"

ඔන්න පොල් කැඩුවා. ඊට පස්සේ පොල් ලෙලි ගහනවා. ලෙලි ගහපු පොල් ගෙඩිය වම් අතේ තියලා දකුණු අතින් පොල් බිඳිනවා. ඔක්කොම කරන්නේ අභිනයෙන්. ඊට පස්සේ තියෙන්නේ පොල් ගාන එක. දනිස්ස තමයි හිරමනේ. පොල් බෑය හිරමන තලේට වඩා ලොකුද වගේ ප්‍රශ්න අපට තිබුණේ නැහැ.

"ජින්ජි බරස් බරස් බරස්"

ඔය කටයුතු අභිනයෙන් කරන්නේ මේ ආකාරයට ප්‍රශ්න අහන ගමන්.

"කෝ කඩපු පොල්?"

"ලෙලි ගැහුවා"

"කෝ ලෙලි ගහපු පොල්?"

"බින්දා" 

"කෝ බිඳපු පොල්?"

"ගෑවා"

පොල් ටික ගාගත්තට පස්සේ තියෙන්නේ පොල් මිරිකන්නයි.

"මිටි කිරි කිරි දිය කිරි කිරි ඉඳා කපුටො පොල් කුඩු"

"කෝ ගාපු පොල්?"

"හොද්දට දැම්මා"

"කෝ හොදි?" 

"පූසා කට ගැහුවා"

"කෝ පූසා කට ගහපු හොදි?"

"තම්පලා කොටුවට දැම්මා"

"කෝ තම්පලා?"

"රජ්ජුරුවන්ගේ හරක් උඩින් උඩින් කෑවා. අපේ හරක් බිමින් බිමින් කෑවා."

පොල් කැඩිල්ල අන්තිමට ඉවර වෙන්නේ ඔය විදිහට රජ්ජුරුවන්ගේ හරක් උඩින් උඩින් කෑවට පස්සේ අපේ හරක් බිමින් බිමින් කාලයි. හරක්නේ ඉතින්. මොනවා කරන්නද? තම්පලා කෑවයි කියලා මරන්නයැ? ඇරත් රජ්ජුරුවන්ගේ හරක්!

ඔය රජ්ජුරුවන්ගේ හරක්, අපේ හරක් ඔක්කොම එකතු කළාම ලංකාවේ හරක් කොච්චර ඇද්ද?

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, 2019 වසරේදී ලංකාවේ එළ හරක්ගහණය 1,527,649ක් හා මී හරක්ගහණය 472,192ක්. එකතුව මිලියන දෙකකට ආසන්නයි (1,999,841ක්).

එහෙත්, ජන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, 2019 වසරේදී ලංකාවේ එළ හරක්ගහණය 1,086,010ක් හා මී හරක්ගහණය 298,430ක් පමණයි. ඒ අනුව, එකතුව 1,384,440ක්. සංඛ්‍යාලේඛණ වල වෙනසට හේතුව පැහැදිලි නැහැ.

ඉහත ගණනින් වසුපැටවුන් ඉවත් කළ විට සංඛ්‍යාලේඛණ මෙහෙමයි.

එළදෙනුන් - 635,200

එළ හරක් - 94,520

මී දෙනුන් - 171,620

මී හරක් - 26,730

එළදෙනුන් ප්‍රමාණයට සාපේක්ෂව එළ හරක් ප්‍රමාණය 14.9%ක්ද, මී දෙනුන්ට සාපේක්ෂව මී හරකුන් ප්‍රමාණය 15.6%ක්ද පමණයි. හරකුන් අතර උපතේදී ගැහැණු පිරිමි අනුපාතය සමාන සේ සැලකුවොත් වැඩිහිටි වයසට පත් වෙද්දී එළ හරකුන්ගෙන් මෙන්ම මී හරකුන්ගෙන්ද අවම වශයෙන් 85%ක් මස් කෙරෙන බව මේ අනුව පැහැදිලි වෙනවා. මේ ප්‍රමාණය 85%ක් වන්නේ එකම එළදෙනක හෝ මී දෙනක හෝ මසට නොමරන්නේයැයි සැලකුවහොත් පමණයි. එහෙත් එය එසේ නොවන බව අප දන්නා නිසා මෙය අවම ඇස්තමේන්තුවක් පමණයි. එළදෙනුන්ගෙන් හා මී දෙනුන්ගෙන් 10%ක් මසට මරන සේ සැලකුවහොත් එළ හරකුන්ගෙන් හා මී හරකුන්ගෙන් මසට මරන ප්‍රමාණය 95%ක් වෙනවා.

කිරි පිණිසම හදන වැඩි දියුණු කළ එළ හරක්ගහණය පමණක් සැලකුවහොත් එළදෙනුන්ට සාපේක්ෂව හරක් සිටින්නේ 10.6%ක් පමණයි. මෙයින් තහවුරු වන්නේ ලෝකයේ අනෙක් රටවල වගේම ලංකාවේත් කිරි කර්මාන්තය හා හරක් මස් කර්මාන්තය ඒකාබද්ධ වී ඇති කර්මාන්තයක් බවයි. කිරි නිෂ්පාදනය ඉහළ දැමීමට දෙනුන් කෙටි කාලාන්තර තුළ ගැබ් ගැන්විය යුතු නිසා එම දෙනුන්ට ස්වභාවික තත්ත්වයන් යටතේ ලැබෙනවාට වඩා පැටවුන් ලැබෙනවා. එම පැටවුන්ගෙන් 50%ක් කිරි කර්මාන්තය සඳහා අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන් නඩත්තු කිරීම අමතර වියදමක්. 

ලංකාවේ වසරකට කොපමණ හරක් මරනවාද?

පසුගිය 2019 වසරේදී මස් පිණිස මරා තිබෙන හරක් ප්‍රමාණය 158,723ක්. හොරෙන් මරන හරක් මේ ගණනට ඇතුළත් නැහැ.

ලංකාවේ දේශීය හරක් මස් සැපයුම කොපමණද?

පසුගිය 2019 වසරේදී ලංකාව තුළ හරක් මස් මෙට්‍රික් ටොන් 29,870ක් නිපදවා තිබෙනවා. මේ අනුව, එක හරකෙකුගෙන් කිලෝග්‍රෑම් 188ක් පමණ.

දැන් ලංකාව හරක්මස් ආනයනය කරන්නේ නැද්ද?

පසුගිය 2019 වසරේදී ලංකාවට හරක්මස් කිලෝග්‍රෑම් 116,766ක් ආනයනය කර තිබෙනවා. ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් 109,317,869ක්. ඒ අනුව, හරක්මස් කිලෝග්‍රෑම් එකක් ආනයනය කර තිබෙන්නේ රුපියල් 936.21 බැගින්.

ලංකාව හරක්මස් අපනයනය කරන්නේ නැද්ද?

පසුගිය 2019 වසරේදී ලංකාවෙන් හරක්මස් කිලෝග්‍රෑම් 59,364ක් අපනයනය කර තිබෙනවා. ලැබූ ආදායම රුපියල් 72,338,734ක්. ඒ අනුව, හරක්මස් කිලෝග්‍රෑම් එකක් අපනයනය කර තිබෙන්නේ රුපියල් 1,218.56 බැගින්.

ලංකාවේ දේශීය හරක් මස් ඉල්ලුම කොපමණද?

අපට එය මේ විදිහට හදා ගන්න පුළුවන්.

දේශීය පරිභෝජනය = දේශීය නිෂ්පාදිතය - අපනයන + ආනයන = 29,870 - 59 + 117 = මෙට්‍රික් ටොන් 29,928 ක්. මේ අනුව, ලංකාවේ හරක් මස් කර්මාන්තය තනිකරම දේශීය කර්මාන්තයක්. රටේ හරක් මස් ඉල්ලුමෙන් 99.8%ක්ම සපයා තිබෙන්නේ දේශීය හරක්මස් නිෂ්පාදකයින් විසිනුයි.

දේශීය හරක් මස් කර්මාන්තය වර්ධනය වෙනවාද?

මීට දශකයකට පෙර, 2010 වසරේදී, හරක් 203,520 දෙනෙකු මස් පිණිස මරා තිබෙන අතර හරක් මස් මෙට්‍රික් ටොන් 38,700ක් රට තුළ නිපදවා තිබෙනවා. ඒ අනුව, දේශීය හරක් මස් කර්මාන්තය ක්‍රමයෙන් දුර්වල වෙමින් තිබෙන බවකුයි පෙනෙන්නේ. මෙයට ඉල්ලුම් සාධක මෙන්ම සැපයුම් සාධකද බලපා ඇතැයි සිතිය හැකියි. දේශීය සැපයුම පහළ යාමට සාපේක්ෂව හරක් මස් ශුද්ධ ආනයන ඉහළ නොයෑමෙන් පෙනෙන්නේ එක්කෝ සැපයුම අඩුවීමට සාපේක්ෂව ඉල්ලුමද අඩු වී ඇති බවයි. නොඑසේනම් ආනයනික හරක් මස් දේශීය හරක් මස් සඳහා ආදේශකයක් නොවන බවයි.

මේ අතර හරක්මස් කිලෝග්‍රෑමයක මිල 2010දී වූ 385.71 මට්ටමේ සිට 2019 වන විට රුපියල් 995.61 මට්ටම දක්වා 2.58 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. මේ කාලය තුළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය ඉහළ ගොස් තිබෙන්නේ 53.8%කින් පමණයි. ඒ අනුව, ලංකාවේ හරක්මස් කිලෝග්‍රෑමයක මිල අනෙකුත් භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාමට වඩා 67.8%කින් ඉහළ ගොස් තිබෙනවා. මේ ආකාරයට පාරිභෝගික භාණ්ඩයක සාපේක්ෂ මිල ඉහළ යාමෙන් පෙනෙන්නේ ඉල්ලුමට සාපේක්ෂව සැපයුම වැඩි වී නැති බවයි. ඒ අනුව, හරක් මස් සැපයුම අඩුවීමට හේතුව ඉල්ලුම අඩුවීම නොවන බව අපට නිගමනය කළ හැකියි. 

මුළු කතාවම එකතු කළ විට පෙනෙන්නේ මේ වගේ දෙයක්.

- පසුගිය කාලය තුළ ලංකාවේ හරක් මස් සැපයුම පහළ ගොස් තිබෙනවා. එයට හේතුව හරක් මැරීමට එරෙහිව රට තුළ විරෝධයක් මතු වීම හා ඒ හේතුව මත වසරකට මරන හරක් ප්‍රමාණය අඩු වී දේශීය හරක් මස් නිෂ්පාදනය පහළ යාමයි.

- හරක් මස් සැපයුම පහළ යාමට සාපේක්ෂව හරක් මස් සඳහා වන දේශීය ඉල්ලුම අඩු වී නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස හරක් මස් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

- කෙසේ වුවත්, දේශීය හරක් මස් වෙනුවට ආනයනික හරක් මස් ආදේශ වී තිබෙන්නේ ඉතාම සුළු වශයෙන් පමණයි. 

මෙහි සඳහන් අවසන් කරුණට හේතු දෙකක් පාදක විය හැකියි. පළමුවැන්න පෙරද සඳහන් කළ කරුණක්. ඒ, දේශීය හරක් මස් සඳහා ආනයනික හරක් මස් හොඳ ආදේශකයක් නොවීම. දෙවැන්න, දැනට පවතින මිලට හරක් මස් ආනයනය කිරීම අසීරු වීම.

කාලයක් තිස්සේම ලංකාවේ හරක් මස් සාපේක්ෂව මිල අඩු පාරිභෝගික භාණ්ඩයක් වුවත්, පසුගිය දශකය තුළ මේ තත්ත්වය වෙනස් වී ඇති බව පෙනෙනවා. මේ වන විට ලංකාවේ හරක් මස් කිලෝවක සාමාන්‍ය මිල රුපියල් දහසක් පමණ වෙනවා. බොහෝ බටහිර රටවල හරක් මස් කිලෝග්‍රෑමයක් විකිණෙන සිල්ලර මිල මීට වඩා වැඩි වුවත් ලෝකයේ ප්‍රධාන හරක්මස් අපනයනකරුවන් වන බ්‍රසීලය හා ඉන්දියාව මීට වඩා අඩු මිලකට හරක්මස් අපනයනය කරනවා. පකිස්ථානයේ හරක්මස් මිලත් මීට වඩා අඩුයි.

ඒ නිසා, ලංකාවට දැන් පවතින වෙළඳපොල මිලට හරක් මස් ආනයනය කරන්න බැරිකමක් නැහැ. පසුගිය වසරේ ආනයනික හරක්මස් කිලෝග්‍රෑමයක් වෙනුවෙන් ලංකාව ගෙවා තිබෙන්නේ රුපියල් 936.21ක් පමණයි. එම මිල සාමාන්‍ය දේශීය වෙළඳපොළ මිල වූ රුපියල් 995.61ට වඩා අඩුයි.

දැනට ලංකාවේ ආනයනික හරක් මස් එතරම් ජනප්‍රිය වී නොතිබීම මිල පිළිබඳ ප්‍රශ්නයක් බව පෙනෙන්නේ නැහැ. එය රුචිකත්වය පිළිබඳ ප්‍රශ්නයක් විය යුතුයි. ඒ නිසා, දැන් මිලටම මිල දී ගත හැකි වුවත් බොහෝ දෙනෙකු විසින් පෙර තරමට හරක් මස් මිල දී නොගන්න ඉඩ තිබෙනවා.

ඉල්ලුම දැන් මට්ටමේම තිබුණොත් හරක්මස් ආනයනය කිරීමට ලංකාවට කොපමණ මුදලක් වැය වෙයිද?

පසුගිය වසරේ දේශීය හරක් මස් පරිභෝජනය මෙට්‍රික් ටොන් 29,928 ක්. එම වසරේ ආනයනික මිල ගණන් අනුව, මෙම මස් ප්‍රමාණය ආනයනය කරන්න රුපියල් බිලියන 28ක් පමණ වැය වෙනවා. ඩොලර් මිලියන 150කට අධික මුදලක්. පසුගිය වසරේ කිරි හා කිරි නිෂ්පාදන ආනයනය කිරීම සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 311.9ක් සේ සැලකූ විට මේ වැඩෙන් වෙළඳ ශේෂ වාසියක් වෙන්නනම් රටේ කිරි හා කිරි නිෂ්පාදන ආනයන වියදමෙන් බාගයක් පමණ අඩු වෙන්න ඕනෑ. 

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...