වෙබ් ලිපිනය:

Thursday, July 18, 2019

රස්සා ආරස්සා...


ආයු අපේක්ෂාව ගැන ලියන්න තවත් ගොඩක් දේවල් තිබුණත්, තාක්ෂණික පැත්තට බර ලිපි එක දිගට කියවන්න ගොඩක් අය කැමති නෑනේ. මේ ලිපිය සති කිහිපයකට කලින් ලියන්න පටන් ගත් එකක්. ආයු අපේක්ෂාව ගැන කතා කරන්න කලින් කතා කරපු මාතෘකාවට සම්බන්ධ ලිපියක් වුනත්, වක්‍රව ආයු අපේක්ෂාවටත් සම්බන්ධයක් තිබෙනවා.

ලිපිය ලියන්න පටන් ගත් දවසේ උදේ පොඩි වැඩක් කරගන්න රාජ්‍ය අංශයේ ආයතනයකට ගියා. කවුරු හෝ මේ වියුණුව නිතිපතා නොකියවන අයෙක් මේ ලිපිය කියවනවානම් දැනගැනීම පිණිස මේ කතා කරන්නේ ඇමරිකාවේ රාජ්‍ය අංශයේ ආයතනයක් ගැන බව මතක් කළ යුතුයි. නිශ්චිතවම කියනවානම් ගියේ සමාජ සංරක්ෂණ අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලයකටයි. මේ විදිහට ඇමරිකාවේ ජීවත්වන අයෙක්ට රජයේ ආයතනයකට යන්න අවශ්‍ය වෙන්නේ ඉතා කලාතුරකින්. බොහෝ දේවල් දුරකථනය හෝ අන්තර්ජාලය උපයෝගී කරගෙන කරගත හැකියි.

ඇමරිකාවේ රාජ්‍ය අංශය වුවත් ලංකාවට සාපේක්ෂව ගොඩක් කාර්යක්ෂමයි. ඒ වගේම, ලංකාවේ පෞද්ගලික අංශය වුවත් පොදු වශයෙන් සැලකූ විට ගොඩක්ම කාර්යක්ෂම නැහැ. මේ වෙනසට හේතු තිබෙනවා.

ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්යක්ෂමතාවය අඩුයි කියන එකෙන් අදහස් වෙන්නේ ලංකාවේ මිනිස්සු වැඩ නොකර හොරට පඩි ගන්නවා කියන එක නෙමෙයි. මේ දෙක දෙකක්. ඇමරිකාවේ සාමාන්‍ය ශ්‍රමිකයෙකු දවල් රෑ නැතුව මැරීගෙන වැඩ කරන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ රාජ්‍ය අංශයේ පවා දවල් රෑ නැතුව මැරීගෙන වැඩ කරන අය ඉන්නවා. නමුත්, එයින් අදහස් වන්නේ වැඩ කරන පැය ගණනේ තරමට පලදායී කාර්යයක් සිදු වෙනවා කියන එකම නෙමෙයි.

ඇමරිකාවේ සමාජ සංරක්ෂණ අධිකාරියේ හෝ රථවාහන කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයක් ගත්තොත් ලංකාවේ රාජ්‍ය ආයතන වලට සාපේක්ෂව වැඩ කෙරෙන පිළිවෙළේ මූලික වෙනස්කම් ගණනාවක් තිබෙනවා. පළමු වෙනස කිසියම් සේවාදායකයෙකු වැඩක් කරගන්න අදාළ ආයතනයේ "තමන්ට අයිති" ශාඛාවටම යා යුතු නොවීමයි. තොරතුරු මුළුමනින්ම වගේ පරිගණකගත කර තිබෙන නිසා ඕනෑම සේවකයෙකු කිසියම් කාර්යයක් කරන්නේ කවර ශාඛාවේ සිටද කියන එක වැදගත් නැහැ. මේ හේතුව නිසා, එක් ප්‍රාදේශීය කාර්යාලය අසීමිත තදබදයක් තියෙද්දී වෙනත් ප්‍රාදේශීය කාර්යාලයක සේවකයින් වැඩ නැතිව වේලි වේලී ඉන්න එක සෑහෙන දුරකට ස්වභාවිකවම මඟ හැරෙනවා.

මගේ පෞද්ගලික නිරීක්ෂණ අනුව මේ ගොඩක් කාර්යාල වලට දවසකට සැලකිය යුතු සෙනඟක් එනවා. කාර්යාල සේවකයින් වැඩ නැතිව බලා සිටින බවක් මා දැකලාම නැහැ. ඒ වගේම, සේවාදායකයෙකු සෙනඟ වැඩි නිසා ආපසු හැරී යන බවකුත් මා දැක නැහැ. ප්‍රාදේශීය කාර්යාල ස්ථානගත කර තිබෙන්නේත්, ඒවාට සේවකයින් අනුයුක්ත කර තිබෙන්නේත් සේවාදායක ඉල්ලුම හා ගැලපෙන තරමටයි. මා හිතන්නේ රටේ පවතින යාන්ත්‍රණය තුළ මේ සමතුලිතතාවය ස්වභාවික ලෙසම ඇති වෙනවා කියලයි.

ඉතා කලාතුරකින් හැර කිසියම් කටයුත්තක් කර ගන්න යන අයෙකුට තමන්ට හමුවෙන පළමු නිලධාරියා හෝ නිලධාරිනිය හරහා ඒ කටයුත්ත කරගත හැකියි. ඔහු හෝ ඇය තවත් කිහිප දෙනෙකුගේ අනුමැතිය ලබා ගත යුතු නැහැ. ඒ වගේම ඡායා පිටපත් ලබා ගැනීමේ සිට මුදල් අය කිරීම දක්වා සියලු කටයුතු කරන්නේ මේ නිලධාරියා හෝ නිලධාරිනිය විසින්ම නිසා අමතර රස්තියාදුවක් නැහැ. මෙය ලංකාවට සාපේක්ෂව විශාල වෙනසක්.

කාර්යාලයට යන අයෙකු මුලින්ම කළ යුත්තේ නොම්මරයක් ගැනීමයි. එකම පිළිවෙළට යන නොම්මර වෙනුවට තමන්ට කරගන්න අවශ්‍ය කාර්යය අනුව කාණ්ඩ කිහිපයක් යටතේ මේ නොම්මර නිකුත් කෙරෙන අතර එකම කටයුත්තකට පැමිණි අයව බොහෝ විට එකම කවුන්ටරයකට යොමු කෙරෙන නමුත් ඒ කටයුත්තට පැමිණි අය නැත්නම් වෙනත් කටයුතු වලට පැමිණි අයත් ඒ කවුන්ටරයට යොමු කෙරෙනවා. මෙයත් කාර්යක්ෂමතාවය ඉහළ නංවනවා. සමස්තයක් වශයෙන් ගත් විට සේවකයින් සේවය කරන කාලය ඇතුළත එක දිගට වැඩ කර දවස අවසන් වෙද්දී සේවාදායක ඉල්ලුම සපුරා අවසන් කරනවා.

මේ විදිහට රාජ්‍ය ආයතන කාර්යක්ෂමව පැවතීමට මූලිකම මට්ටමේදී හේතු වෙන්නේ රාජ්‍ය ආයතන වල මූල්‍ය කළමනාකරණය සිදු වන ආකාරයයි. ලංකාවට සාපේක්ෂව ගත් විට මේ මූල්‍ය කළමනාකරණ ක්‍රමවේදයේ ලොකු මූලික වෙනසක් තිබෙනවා.

ලංකාවේ වගේම ඇමරිකාවේත් රාජ්‍ය අංශය නඩත්තු වෙන්නේ බදු මුදල් වලින්. වෙනස තියෙන්නේ බදු මුදල් වියදම් කරන ආකාරයේ. බදු සේ අය කරන ඩොලරයක් ලංකාවේ බදු රුපියල් වගේ නිදහසේ කැමති කටයුත්තක් වෙනුවෙන් වෙන් කරන්න බැහැ. බදු බොහොමයක් අය කරන්නේ නිශ්චිත වියදම් වෙනුවෙනුයි.

උදාහරණයක් විදිහට ඇමරිකාවේ අධිවේගී මාර්ග හා පොදු ප්‍රවාහනය වෙනුවෙන් කෙරෙන වියදම් ආවරණය වෙන්නේ එම මාර්ග භාවිතා කරන අය විසින් ගෙවන බදු මුදල් වලිනුයි. අදාළ බදු මුදල් කෙළින්ම යන්නේ වෙනම අරමුදලකට. ඒ බදු මුදල් වෙනත් කටයුත්තකට වියදම් කරන්න බැහැ.

ෆෙඩරල් අධිවේගී මාර්ග භාර අරමුදල ලෙස හැඳින්වෙන ඉහත අරමුදල යටතේ ගිණුම් දෙකක් තිබෙනවා. ඒ අධිවේගී මාර්ග ගිණුම හා පොදු ප්‍රවාහන සේවා ගිණුමයි. ඇමරිකාවේ අධිවේගී මාර්ග ඉදිකිරීම්, සංවර්ධනය, නඩත්තුව හා නියාමනය වෙනුවෙන් මුදල් වැය කෙරෙන්නේ පළමු ගිණුමෙන්. උමං දුම්රිය සේවා ඇතුළු පොදු ප්‍රවාහන සේවා සංවර්ධනය කිරීම හා නියාමනය වෙනුවෙන් වියදම් සිදු කෙරෙන්නේ දෙවන ගිණුමෙන්.

අධිවේගී මාර්ග භාර අරමුදල යටතේ ඇති ඉහත ගිණුම් දෙකට බදු හරහා අරමුදල් සැපයෙන නිශ්චිත ක්‍රමවේදයක් තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම මේ අරමුදල් ලැබෙන්නේ ඉන්ධන බදු වලින්. මේ වන විට ඇමරිකාවේ විකිණෙන පෙට්‍රෝල් ගැලුමකින් ඇමරිකන් ශත 18.40ක හා ඩීසල් ගැලුමකින් ඇමරිකන් ශත 24.40ක බද්දක් අය කෙරෙනවා. මේ බදු ප්‍රමාණ 1997 ඔක්තෝබර් සිට වෙනස් වී නැහැ. පෙට්‍රල් ගැලුමකින් හා ඩීසල් ගැලුමකින් ශත 2.86 බැගින් පොදු ප්‍රවාහන සේවා ගිණුමට බැර වෙනවා. පෙට්‍රල් ගැලුමකින් ශත 15.44ක් හා ඩීසල් ගැලුමකින් ශත 24.44 බැගින් අධිවේගී මාර්ග ගිණුමට බැර වෙනවා. එවිට අය කරන බදු මුදලින් ඉතිරි වන්නේ තවත් ශත 0.10ක් පමණයි. ඒ ශත දශමය යන්නේ තවත් අරමුදලකට. ඒ භූගත ඉන්ධන ටැංකි කාන්දු අරමුදලටයි. භූගත ඉන්ධන ටැංකි වලින් ඉන්ධන කාන්දු වීම වැළැක්වෙන පරිදි නියාමනය කටයුතු කිරීම වෙනුවෙන් මුදල් වැය කෙරෙන්නේ භූගත ඉන්ධන ටැංකි කාන්දු අරමුදලෙන්.

ඩීසල් හා පෙට්‍රෝල් වලට අමතරව අඩු අලෙවියක් ඇති අනෙකුත් ඉන්ධන වර්ග වලින්ද ඉහත කී ගිණුම් තුනට අරමුදල් බැර වෙනවා. ඒ බදු මුදල් රජයේ පොදු අරමුදලට බැර වන්නේ නැහැ. ඊට අමතරව තවත් බදු වර්ග කිහිපයකින් ලැබෙන ආදායම්ද අධිවේගී මාර්ග ගිණුමට මුළුමනින්ම බැර වෙනවා. එම බදු අය කෙරෙන්නේ ට්‍රක් රථ වැනි බරවාහන වලින් හා එම බරවාහන සඳහා යොදා ගන්නා ටයර් අලෙවි කරන විටයි. මේ ආකාරයට බදු මුදල් නිශ්චිත කාර්යයන් සඳහා වෙන් කර තිබෙන නිසා රටේ මහාමාර්ග පද්ධතියේ ප්‍රතිලාභ ලබන අයගෙන්ම එම ප්‍රතිලාභ වෙනුවෙන් වැය වෙන මිල අය කෙරෙනවා. අනෙක් අතට, අදාළ බදු ගෙවන අයටම එම බදු වල ප්‍රතිලාභ ලැබෙනවා.

මේ ආකාරයට අධිවේගී මාර්ග ගිණුමට එකතු වන මුදල් එක් එක් ප්‍රාන්ත වල මාර්ග සංවර්ධන කටයුතු සඳහා ප්‍රාන්ත අතර බෙදා හැරෙනවා. එහිදී කිසියම් ප්‍රාන්තයකින් එකතු වෙන බදු මුදල් හරියටම එම ප්‍රාන්තයටම ලබා දෙන්නේ නැහැ. එහෙත් අරමුදල් ප්‍රාන්ත අතර බෙදා හැරීම සිදු වන්නේත් ක්‍රමවේදයක් අනුවයි.

මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීමෙන් පසුව ඉතිරි වන අරමුදල් ආයෝජනය කෙරෙනවා. එමගින් අරමුදලට පොලී ආදායමක්ද ලැබෙනවා. ඇමරිකාවේ රාජ්‍ය ණය වලින් විශාල ප්‍රමාණයක් ඇමරිකානු රජය යටතේම තිබෙන මෙවැනි අරමුදල් වලින් ගත් ණයයි.

ගුවන් තොටුපොළ සංවර්ධනය වැනි අංශයක් ගත්තත් කටයුතු සිදු වන්නේ මේ ආකාරයටයි. එම වියදම් සිදු කෙරෙන්නේ ගුවන් තොටුපොළ හා ගුවන් මාර්ග භාර අරමුදලින්. ඒ යටතේ ගිණුම් හතරක් තිබෙනවා. ඒ ගොඩනැගිලි හා උපකරණ ගිණුම, පර්යේෂණ සංවර්ධන ගිණුම, ගුවන් තොටුපොළ සංවර්ධන වැඩසටහන් ගිණුම හා මෙහෙයුම් ගිණුම ලෙසයි. මේ එක් එක් ගිණුමට මුදල් ලැබෙන්නේත් නිශ්චිත බදු වලින්. අභ්‍යන්තර ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර බද්ද, රටට පැමිණෙන හා රටින් පිටතට යන ගුවන් යානා වල මගීන්ගෙන් අය කරන බද්ද, "ගුවන් සැතපුම්" මිල දී ගැනීමේදී අය කරන බද්ද, ගුවන් මඟින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී අය කරන බද්ද, ගුවන් යානා සඳහා යොදා ගන්නා ඉන්ධන වලින් අය කෙරෙන බද්ද ආදී බදු ආදායම් බැර වෙන්නේ ඉහත ගිණුම් වලටයි.

මා ලිපිය පටන් ගැනීමේදී සඳහන් කළ සමාජ සංරක්ෂණ අධිකාරිය නඩත්තු වෙන්නේ සමාජ සංරක්ෂණ අරමුදල යටතේයි. ඇමරිකානුවන් බොහෝ දෙනෙකුගේ ප්‍රධාන විශ්‍රාමික ආදායම වන්නේ මාසිකව ලැබෙන සමාජ සංරක්ෂණ දීමනාවයි. මේ දීමනාවේ ප්‍රමාණය තීරණය වන්නේ විශ්‍රාම යාමට පෙර යම් අයෙකු විසින් උපයා තිබෙන ආදායම මතයි. ඇමරිකාවේ සේවය කරන අයගේ වැටුප අතට ලැබෙන්නේ එයින් සමාජ සංරක්ෂණ බදු මුදල් හා විශ්‍රාමික සෞඛ්‍ය වියදම් ප්‍රතිලාභ බදු අඩු කර ගැනීමෙන් පසුවයි.

විශ්‍රාම යාමෙන් පසු යමෙකුට ලැබෙන මාසික සමාජ සංරක්ෂණ දීමනාව තීරණය වන්නේ ඔහු හෝ අය විශ්‍රාම යාමට පෙර රැකියා කර ඉපැයූ සාමාන්‍ය ආදායම මතයි. ඒ කියන්නේ වක්‍රව ඔහු හෝ අය විසින් ගෙවා ඇති සමාජ සංරක්ෂණ බදු මුදල් ප්‍රමාණය මතයි. එහෙත්, එයින් අදහස් වන්නේ හරියටම යමෙක් ගෙවූ බදු මුදල නැවත ආපසු ලැබෙනවා කියන එක නෙමෙයි. මාසික දීමනාව ගණනය කෙරෙන්නේ පහළ ආදායම් ඉපැයූ අයට වාසිදායක වන ආකාරයටයි. එසේ වුවත්, සමස්තයක් ලෙස සමාජ සංරක්ෂණ දීමනා ගෙවිය යුත්තේ එකතු වී ඇති බදු මුදල් වලින් හා ඒ බදු මුදල් ආයෝජනය කර උපයා ඇති පොලී ආදායමෙනුයි. ඊට අමතරව සමාජ සංරක්ෂණ අධිකාරියට නඩත්තු වෙන්න සිදුවෙන්නේත් මේ අරමුදලෙන්.

මේ වන විටත් සමාජ සංරක්ෂණ අරමුදල ක්ෂය වෙමිනුයි පවතින්නේ. ඇමරිකානුවෙකුගේ ආයු අපේක්ෂාව කාලයත් සමඟ ඉහළ යාම සමාජ සංරක්ෂණ අරමුදල වඩා වේගයෙන් ක්ෂය වී යාමට හේතු වී තිබෙනවා. අරමුදල ආරම්භ කළ අවදියේ එකතු කර ගන්නා බදු මුදල් තරමට දීමනා ලබා ගන්නා විශ්‍රාමිකයින් නොසිටියත් කල් යද්දී මේ තත්ත්වය කණපිට හැරෙන නිසා නුදුරු වසරකදී අරමුදලේ සංචිත වලින් මාසික දීමනා ගෙවීම කළ නොහැකි වීමට නියමිතයි. එවිට මාසික දීමනා දිගටම ගෙවන්නනම් බදු වැඩි කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් අරමුදල තර කළ යුතු වෙනවා.

මෙවැනි තත්ත්වයක් තියෙද්දී අරමුදලේ පරිපාලකයින්ට අකාර්යක්ෂම වෙන්න බැහැ. ඔවුන්ට අවම පිරිවැයකින් අවශ්‍ය සේවා සපයන්න සිදු වෙනවා. ඔවුන්ගේ සාපේක්ෂ කාර්යක්ෂමතාවයට හේතුව මෙයයි.

පොදුවේ ගත්තත් ඇමරිකාවේ ෆෙඩරල් සේවකයෙකුට තමන් ගන්නා වැටුපට සරිලන ඵලදායී සේවයක් නොකර වැටුප් ගැනීම අසීරුයි. ඒ නිසා, ඇමරිකානුවෙකුට රජයේ රැකියාවක මහා ලොකු ආකර්ශනීයත්වයක් නැහැ. සාපේක්ෂව යම් රැකියා සුරක්ෂිතතාවයක් තිබුණත් ඒ වෙනුවෙන් මිලක් ගෙවිය යුතුයි. අනෙක් අතට පෞද්ගලික අංශයේ රැකියා සුරක්ෂිතතාවයක් නැතත් මුහුණ දෙන අවිනිශ්චිතතාවය වෙනුවෙන් එහි මිල ලැබෙනවා.

ලංකාවේ රාජ්‍ය අංශයේ වගේම පෞද්ගලික අංශයේත් රැකියා සුරක්ෂිතතාව රටේ නීති පද්ධතියෙන් තහවුරු කර තිබෙනවා. මෙය ලංකාවේ පෞද්ගලික අංශයේ අකාර්යක්ෂමතාවයට එක් හේතුවක්. ලංකාවේ පෞද්ගලික සමාගමකට පාඩු ලබන හෝ අවශ්‍ය තරම් ලාබ නොලබන කාලයකදී අකාර්යක්ෂම සේවකයින් සේවයෙන් ඉවත් කර පාඩු පියවා ගැනීම කළ නොහැකි තරමට අසීරු දෙයක්. බැලූ බැල්මට පෙනෙන්නේ මෙයින් රටේ වැටුප් ලබන ශ්‍රමිකයින්ට යහපතක් වී ඇති බවයි. එහෙත්, එය එසේම නැහැ.

පාඩු ලබන කාලයකදී සේවකයින් ඉවත් කිරීමේ හැකියාවක් නැති නිසා ලංකාවේ පෞද්ගලික සමාගමක් සේවකයින් බඳවා ගන්නේ එවැනි කාලයකදී වුවත් ආදායම් වියදම් තුලනය කර ගත හැකි තරමට පමණයි. මෙහි අවාසිය තිබෙන්නේ සමාගමකට ලාබ ලැබීමේ ඉඩප්‍රස්ථා වැඩි වන කාල වලදීයි. සේවකයින් අවශ්‍ය විටක ඉවත් කිරීමේ හැකියාවක් තිබුණානම්, පෞද්ගලික සමාගමක් එවැනි කාලයකදී බය නැතිව වැඩිපුර සේවකයින් බඳවාගෙන නිෂ්පාදනය ඉහළ දමනවා. නමුත්, එසේ කිරීමේ දිගුකාලීන අවදානම නිසා ලංකාවේ බොහෝ සමාගම් වලට තමන්ගේ ලාබ වැඩි කර ගැනීමේ ඉඩප්‍රස්ථා මග හැරී යනවා. ඇතැම් සමාගම්නම් අනියම් සේවකයින් පිරිසක් නඩත්තු කරමින් නීතියේ හිල් වලින් රිංගනවා.

පෞද්ගලික අංශයේ රැකියා සුරක්ෂිතතාවය තහවුරු කිරීමට වැඩි බරක් දීමේ තවත් අවාසියක් වන්නේ තරුණයින්ට රැකියා අවස්ථා අහිමි වීමයි. අකාර්යක්ෂම සේවකයින් ඉවත් කිරීමේ හැකියාවක් පෞද්ගලික සමාගම් වලට තිබුණානම් පළපුරුදු සේවයින්ට වගේම ආධුනික සේවකයින්ටත් වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලැබෙනවා. සමස්තයක් ලෙස රටේ රැකියා ප්‍රමාණය, සමාගම් වල ලාභ වගේම රටේ ජාතික ආදායමත් ඉහළ යනවා. ඒ වගේම, ව්‍යවසායකයින් අළුත් ව්‍යාපාර වලට අතගහන්න දැන් තරමට බය වෙන්නේත් නැහැ.

පෞද්ගලික අංශයේ රැකියා සුරක්ෂිතතාවය නීතියෙන් කෘතීම ලෙස තහවුරු නොකර තිබුණේ වුවත් දැන් රැකියා කරන අයට රැකියා නැති වෙන්නේ නැහැ. සමස්තයක් ලෙස රටේ රැකියා සැපයුම ඉහළ යන නිසා ශ්‍රම වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වීමේදී ඒ අයට කොහොමටත් රැකියා ලැබෙනවා. නමුත්, ඒ රැකියා නැති කර නොගෙන තියා ගන්නනම් දිගින් දිගටම කාර්යක්ෂමව ඉන්න වෙනවා.

හැබැයි ලංකාව තියෙන්නේ එක තැන කියා මා කියන්නේ නැහැ. වසරින් වසර ලංකාවේ තත්ත්වය යම් තරමකින් හොඳ අතට හැරෙනවා. 1990 පමණ කාලයේදී කාට හෝ බැංකු ගණුදෙනුවක් කර ගන්න අවශ්‍යනම් බොහෝ විට තමන්ගේ බැංකු ශාඛාවටම යා යුතුව තිබුණා. මේ තත්ත්වය වෙනස් වෙන්න පටන් ගත්තේ සම්පත් බැංකුව වැඩ පටන් ගැනීමත් එක්කයි. ඔවුන්ගේ ආකෘතියේ කලින් පැවති ආකෘතියට සාපේක්ෂ ප්‍රධාන වෙනස්කම් දෙකක් තිබුණා. පළමුව, සියළු බැංකු ශාඛා පරිගණකගත කිරීම හරහා "තමන්ගේ බැංකු ශාඛාව" කියන සංකල්පය ඔවුන් විසින් නැති කර දැම්මා. දෙවනුව, පාරිභෝගිකයෙකුගේ අවශ්‍යතාව කවරක් වුවත් එය තනිව ඉටු කළ හැකි බැංකු විධායකයින් සහිත ආකෘතියක් සම්පත් බැංකුව විසින් හඳුන්වා දුන්නා.

සම්පත් බැංකුවේ මේ කාර්යක්ෂම ක්‍රමවේදයන් ඉතා වේගයෙන් අනෙක් පෞද්ගලික බැංකු වලටත් බෝ වුණා. එසේ වුනේ තරඟකාරී පසුබිමක ලාබ අපේක්ෂා කරන පෞද්ගලික බැංකුවට පවතින්නනම් අනෙක් තරඟකරුවන්ට සාපේක්ෂව හැකිතාක් කාර්යක්ෂම වෙන්න නිදහස් වෙළඳපොල ක්‍රමය විසින් බල කෙරෙන නිසයි. රාජ්‍ය බැංකු වලට එවැනි පීඩනයක් නොතිබුණත්, දිගුකාලීනව මේ පීඩනය ඔවුන්ටත් යම් තරමකින් දැනෙන්න ගත් නිසා ඔවුන්ටත් හෙමින් හෙමින් වුවත් යම් වෙනස්කම් කරගන්න සිදු වුනා. එහෙත්, රාජ්‍ය බැංකුවකට ලාබ ලබන්න පෞද්ගලික බැංකුවකට තරම් පීඩනයක් නැති නිසා ලංකාවේ රාජ්‍ය බැංකු පෞද්ගලික බැංකු තරමට කාර්යක්ෂම වුනේ නැහැ.

මෙහි වක්‍ර ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ බැංකු රස්සා (විශේෂයෙන්ම ඇමරිකාවට සාපේක්ෂව) තවමත් පොෂ් රස්සා ලෙස පවතිනවා. රැකියා සැපයුමට සාපේක්ෂව ඉල්ලුම වැඩියි. රැකියා වෙළඳපොළට අලුතින් එකතු වන අයෙකුට බැංකු රස්සාවකට ඔලුව දමා ගැනීම අසීරුයි. ඉන්න කෙනෙක් ලේසියකට රස්සාව අතාරින්නේ නැහැ. ඒ වගේම පාරිභෝගික සත්කාරය නරකම නැතත් දියුණු කළ හැකි තරමටම ඉහළ ගිහින් ඇතැයි කියන්න බැහැ.

කුමක් හෝ රස්සාවක් කරන කෙනෙක් ඒ රස්සාව ලේසියකට අතහරින්නේ නැහැ කියන එකෙන් බොහෝ විට අදහස් වෙන්නේ  ඔහුට හෝ ඇයට තමන් දැනට ලබා ගන්නා වැටුප් හා වරප්‍රසාද ලබා ගත හැකි විකල්ප රැකියා අවස්ථාවක් නැහැ කියන එකයි. ඒ කියන්නේ තමන් ලබා දෙන නිෂ්පාදන දායකත්වයට වඩා දෙයක් තමන් විසින් ලබා ගන්නවා කියන එකයි. සිද්ද වෙන්නේ මෙහි අනිත් පැත්තනම් මේ වගේ කෙනෙක්ට එක තැනකින් යන පරක්කුවට වෙනත් තැනක රස්සාවක් ලැබෙන්න ඕනෑ. එවැනි හැකියාවක් තිබෙන අයත් ඉන්නවා. ඒ අය බොහෝ විට එක තැනක එල්ලී නොසිට තමන්ගේ නියම මිල හොයාගෙන යනවා. නමුත්, ඒ ටික දෙනෙක්. කෘතීමව ඇති කර තිබෙන රැකියා සුරක්ෂිතතාවයේ වාසිය ගන්න අය ඊට වඩා ගොඩක් වැඩියි.

Wednesday, July 17, 2019

ෆේස්ඇප්: ඔබත් මූණ දමා බැලුවාද?


අපේක්ෂිත ආයුකාලය ගැන දැන් ලිපි කිහිපයකින්ම කතා කළා. හැමෝම නොවුණත් අපි ගොඩක් දෙනෙක් තව ටික කලක් ජීවත් වෙන්න කැමතියි. තරුණ හා මැදි වයස් වල ඉන්න බොහෝ අය තව අවුරුදු විස්සක්වත් ජීවත් වෙන්න කැමතියි පමණක් නෙමෙයි, තව අවුරුදු විස්සකින් තමන්ගේ පෙනුම කොයි වගේද කියා දැන ගන්න හැකිනම් එයටත් කැමතියි.

මගේ ලංකාවේ ජීවත් වන දැනට මැදි වියේ ඉන්න මිතුරෙක් අද උදේ වත්පොතේ අපූරු ඡායාරූප කිහිපයක් පළ කර තිබුණා. පළමුවැන්නේ තිබුණේ ඔහුගේ දැන් පෙනුම හා වසර 20කට පසුව පෙනුමයි. තවත් මෙවැනි ඡායාරූප දෙක තුනක් තිබුණා. මේ මිතුරා ඔහුගේ වසර 20කට පසු පෙනුම මොන වගේද කියා දැන ගන්න භාවිතා කර තිබුණේ ෆේස්ඇප් කියන ඇප් එකයි.

ෆේස්ඇප් ඇප් එක ඇවිත් දැන් වසර කිහිපයක් වෙනවා. මේ වෙද්දී එය වෛරල් වී ඇති බව පෙනෙනවා. මේ වන විට මේ ඇප් එක ගූගල් ප්ලේ හරහා මිලියන 100ක් දෙනා බාගත කරගෙන ඇති බවත්, රටවල් 121කම ජනප්‍රියම ඇප් එක බවත් මාධ්‍ය වාර්තා වල කියැවෙනවා.

ෆේස්ඇප් ඇප් එක නිසා ආරක්ෂාවට ඇති වී තිබෙන තර්ජනය ගැන මේ වෙද්දී ඇමරිකානු මාධ්‍ය විසින් කතා කරන්න පටන් අරන් තිබෙනවා. මෙවැනි කතාබහක් ඇති වී තිබෙන්නේ අදාළ ඇප් එක බාගත කර ගන්නා අයෙකු විසින් කැමති විය යුතු කොන්දේසි වල සුවිශේෂී ස්වභාවය නිසයි. ඇප් එකක් බාගත කර ගැනීමට පෙර බොහෝ දෙනෙක් මේ කොන්දේසි නොකියවන බව අමුතුවෙන් කිව යුතු නැහැනේ.

"You grant FaceApp a perpetual, irrevocable, nonexclusive, royalty-free, worldwide, fully-paid, transferable sub-licensable license to use, reproduce, modify, adapt, publish, translate, create derivative works from, distribute, publicly perform and display your User Content and any name, username or likeness provided in connection with your User Content in all media formats and channels now known or later developed, without compensation to you. When you post or otherwise share User Content on or through our Services, you understand that your User Content and any associated information (such as your [username], location or profile photo) will be visible to the public."

ෆේස්ඇප් ඇප් එක බාගත කර ගන්නා අයෙකු දැනුවත්ව හෝ නොසැලකිල්ල හේතුවෙන් එකඟ වන කොන්දේසි අනුව ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික තොරතුරු එකතු කරගෙන එම තොරතුරු අදාළ සමාගමට අවශ්‍ය පරිදි මුදල් නොගෙවා භාවිතා කිරීමට, වෙනස් කිරීමට, බෙදා හැරීමට හා ප්‍රසිද්ධ කිරීමට සදාකාලික, අවලංගු කළ නොහැකි අවසරයක් ලබා දෙනවා. අදාළ සමාගමේ මවු සමාගම රුසියානු සමාගමක් වීමත්, පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව විසින් සමාජ මාධ්‍ය හරහා බලපෑමක් කළේය යන්නත් මේ හා අදාළ ඇමරිකානු කණස්සල්ල වැඩි කිරීමට හේතු වී තිබෙනවා.

(Image: https://www.indiatimes.com/technology/news/meet-faceapp-the-aging-app-that-s-taken-over-social-media-recently-371417.html)

Tuesday, July 16, 2019

ජීවිතයේ දාදු කැටේ...


කැට ක්‍රීඩාවේ අපේක්ෂිත අගය ගැනත්, ආයු අපේක්ෂාව ගැනත් අපි කතා කළානේ. ඔය දෙකේ සමානකම් වගේම වෙනස්කමුත් තිබෙනවා. කැට ක්‍රීඩාවේ අපේක්ෂිත අගය ගණනය කිරීම පහසු වුනේ ලැබිය හැකි අගයයන් හයෙන් ඕනෑම අගයක් ලැබෙන්න සමාන ඉඩකඩක් තිබෙන බව අප උපකල්පනය කළ නිසා. නමුත්, යමෙකුගේ ජීවිත කාලය හා අදාළව ලැබිය හැකි වෙනස් අගයයන් ලැබෙන්න තිබෙන ඉඩකඩ සමාන නැහැ. ඒ නිසා, ආයු අපේක්ෂාව ගණනය කරන එක, විශේෂයෙන්ම ජීවත්ව සිටින අයෙකුගේ ආයු අපේක්ෂාව ගණනය කරන එක එතරම්ම සරල නැහැ.

කැට ක්‍රීඩාවටම ආපසු ගියොත් ලැබිය හැකි අගයයන්ගෙන් ඕනෑම එකක් ලැබෙන්න තිබෙන්නේ සමාන ඉඩක්නම් එවැනි කැටයකට අපි සාධාරණ කැටයක් කියා කියනවා. හරියටම කියනවනම් මේකත් වියුක්ත අදහසක්. නමුත්, ප්‍රායෝගික තත්ත්වයන් යටතේදී සාධාරණ කැටයක් ලෙස සැලකිය හැකි කැටයක් හොයා ගැනීම හෝ හදා ගැනීම නොකළ හැකි දෙයක් නෙමෙයි. ඔය විදිහටම උඩ දැම්මහම අගය හෝ සිරස වැටෙන්න සමාන ඉඩක් තිබෙන කාසියක් සාධාරණ කාසියක් ලෙස අර්ථ දක්වනවා.

දැන් මෙහි සිරස කියා කියන්නේ එංගලන්ත රැජිනගේ හෝ රජුගේ සිරස ගැනයි. ලංකාවේ කාසි වලනම් දැන් සිරසක් නැහැ. ඒවායේ ඒ වෙනුවට තිබෙන්නේ රාජ්‍ය ලාංඡනය. සෑහෙන කලකට පෙර භාවිතා වුනු ලංකාවේ පරණ කාසි වලනම් එක පැත්තක එංගලන්තයේ රජකම් කළ රජුගේ හෝ රැජිනගේ හිස දැකිය හැකිව තිබුණා. එංගලන්ත කාසි වල එක පැත්තක තවමත් එළිසබෙත් නෝනාගේ හිස දැකිය හැකියි. ඔය නෝනා කලකට පෙර ලංකාවේ කාසි වල හා නෝට්ටු වලත් පැත්තක හිටියා.

එළිසබෙත් නෝනා දැන් අවුරුදු හැට හතක් තිස්සේම එංගලන්තයේ රජකමේ වගේම කාසි වල පැත්තකත් ඉන්නවා. ඔයාකාරයටම ලංකාව ඉංග්‍රීසින් යටතේ පාලනය වූ අවුරුදු 133ක කාලයෙන් බාගයකටත් වඩා කාලයක් එංගලන්තයේ රජකම් කළේ හා ඒ කාලයේ එංගලන්තයේ වගේම එංගලන්ත යටත් විජිතයක් වූ ලංකාවේත් කාසි වල පැත්තක හිටියේ එළිසබෙත් නෝනාගේ සීයාගේ ආච්චි වූ වික්ටෝරියා නෝනා. ඒ කාසි වල අගය සටහන්ව තිබුණු පැත්තේ මැදින් පොල් ගහකුත් තිබුණා.  ඔය කාසි උඩ දැමීම නෝනා පොල්ල දැමීම වෙන්න ඇත්තේ ඒ නිසයි.

මේ කාසි සාධාරණ කාසි බවත් සිරස හෝ අගය එහෙමත් නැත්නම් නෝනා හෝ පොල්ල වැටෙන්න තිබෙන්නේ සමාන ඉඩක් බවත් අප බොහෝ දෙනක් විශ්වාස කරනවා. එංගලන්තය හා නවසීලන්තය අතර ලෝක කුසලාන අවසන් තරඟය කාසියක් උඩ දමලා පටන් ගත්තේ ඒ නිසයි. කාසියේ වාසිය නවසීලන්තයට ලබාගන්න විලියම්සන් උන්නැහේ වාසනාවන්ත වුනත්, ලෝක කුසලානයේ වාසිය නවසීලන්තයට ලබාගන්න තරම් උන්නැහේ වාසනාවන්ත වුනේ නැහැ. ඒ වාසනාව තිබුණේ එංගලන්තයට.

එංගලන්ත නවසීලන්ත තරඟයට කලින් උඩ දමපු කාසිය සාධාරණ කාසියක්ද කියා කවුරුවත් පරීක්ෂා කළා කියා මම හිතන්නේ නැහැ. එය එවැන්නක් බව කවුරුත් විශ්වාස කරන්න ඇති. කාට හරි සැකයක් තියෙනවානම් මෙවැනි කරුණක් පරීක්ෂා කරන්න බැරිකමක් නැහැ. කරන්න තිබෙන්නේ විශාල වාර ගණනක් මේ කාසිය දිගින් දිගටම උඩ දමමින් අගය හා සිරස වැටෙන වාර ගණන් සටහන් කර ගන්න එකයි. කාසිය සාධාරණ කාසියක්නම් මේ විදිහට විශාල වාර ගණනක් කාසිය උඩ දමද්දී අගය හා සිරස වැටෙන වාර ගණන් සමාන විය යුතුයි.

සාමාන්‍යයෙන් කිසිම කාසියක දෙපැත්ත සමාන නැති නිසා කිසිම කාසියක් හරියටම සමමිතික නැහැ. ඒ නිසා, කාසියක් ඔය විදිහට විශාල වාර ගණනක් උඩ දැම්මොත් අගය හා සිරස වැටෙන වාර ගණනේ පොඩි හෝ වෙනසක් තියෙයි කියන එකයි මගේනම් අදහස. සමහර විට ඉතා කලාතුරකින් අගය හෝ සිරස යන දෙකම නොවැටී කාසිය කෙළින් හිටින්නත් ඉඩ තියෙනවා. එංගලන්ත නවසීලන්ත තරඟයේදීත් වුණේ ඒ වගේ වැඩක්නේ. ඔය විදිහටම කැටයක වුණත් පැති හයම හරියටම සමාන නැහැ.

යම් විදිහකින් සාධාරණ කාසි හා සාධාරණ කැට තිබුණාම කියා හිතමුකෝ. දැන් අපිට මේ කාසි හෝ කැට සාධාරණ ඒවා බව පරීක්ෂා කර තහවුරු කරගත හැකියි. ඕනෑනම් මේ වැඩේටම සමමිතික කාසියක් හදාගන්න වුනත් පුළුවන්නේ. එසේ වූ පමණින් වුවත් මෙවැනි සාධාරණ කාසියක් උඩ දැමූ විට සිරස හෝ අගය වැටෙන්න තිබෙන ඉඩකඩ සමානයි කියන එක උපකල්පනයක්. මොකද කිසියම් කාසියක් අතීතයේදී සාධාරණ කාසියක් වූ පමණින් අනාගතයේදීත් එය සාධාරණ කාසියක් විය යුතුම නැහැ. උදාහරණයක් විදිහට උඩ දමා බිම වැටෙන වාරයක් ගානේ කාසිය ඉතා සුළුවෙන් කඩතොළු වීම නිසා වාර ගණනක් උඩ දැමීමෙන් පසුව අර කලින් තිබූ සාධාරණකම නැති වෙන්න පුළුවන්. ක්‍රිකට් තරඟයකදී අලුත් පන්දුවක් ලබා දුන්නහම වෙන වෙනස දන්නවනේ.

කොහොම වුනත් අනාගතයේදී සාධාරණ කාසියක් අසාධාරණ කාසියක් වෙයිද කියන එක අපිට පූර්ව විනිශ්චය කළ නොහැකියි. එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඔය විදිහටම අසාධාරණ කාසියක් අනාගතයේදී සාධාරණ කාසියක් වෙන්න වුනත් බැරි නැහැ. ඒ නිසා, අතීතයේදී කරුණු කාරණා සිදු වී තිබෙන රටාවටම අනාගතයේදීත් කරුණු කාරණා සිදු වෙයි කියා හිතීම ප්‍රායෝගික තත්ත්වයන් යටතේදී නරක උපකල්පනයක් නෙමෙයි. මිය නොගිය අයෙකුගේ ආයු අපේක්ෂාව ඇස්තමේන්තු කරන්නේත් ඔයාකාරයේ උපකල්පනයක් මත පදනම්වයි. උපකල්පනය වැරදෙන අවස්ථා වලදී ඇස්තමේන්තුවත් වරදින බව අමුතුවෙන් කිව යුතු නැහැ.

වැඩේ පටන් ගන්නේ සංඛ්‍යාලේඛණ හොයාගත හැකි අවසන් අවුරුද්ද පදනම් කරගෙනයි. අපි හිතමු 2018 අවුරුද්ද කියලා. අවසන් වරට සිදු කළ සංගණනයේ තොරතුරු, ලියා පදිංචි කළ උපත් හා මරණ පිළිබඳ තොරතුරු හා ආගමන විගමන සංඛ්‍යාලේඛණ පරිශීලනය කිරීමෙන් වයස මත පදනම්ව (ආසන්නම අවුරුද්දට) අවුරුද්ද මුලදී රටේ ජීවත් වූ පුද්ගලයින් වර්ග කළ හැකියි. ඉන් පසුව, වසර තුළ වාර්තා වූ මරණ ගණන අනුව, එක් එක් වයස් කාණ්ඩයේ සිටි අය තවත් වසරක් ජීවත් වීමට තිබුණු සම්භාවිතාව ගණනය කළ හැකියි.

උදාහරණයක් විදිහට 2018 වසර මුලදී රටේ ජීවත් වූ වයස්ගතම පුද්ගලයාගේ වයස 103ක් බවත්, ඒ වයසේම තවත් 3 දෙනෙක් පමණක් සිටි බවත්, එම පුද්ගලන් 4 දෙනාම 2018 වසර තුළ මිය ගිය බවත් හිතමු. මේ අනුව, 2018දී වයස 103ක් වූ අයෙක් වයස 104 වන තුරු ජීවත් වීමේ සම්භාවිතාව 0 යි. වයස 102 වූ 10 දෙනෙකු වසර මුලදී ජීවත්ව සිට ඇති අතර එයින් 6 දෙනෙකු වසර තුළ මිය ගොස් තිබෙනවා කියමු. මේ අනුව, 2018දී වසර 102 වයසක සිටි අයෙකු තවත් වසරක් ජීවත් වීමේ සම්භාවිතාව 0.4 යි. ඔය විදිහටම 2018දී වසර 101 වයසක සිටි අයෙකු 102 දක්වා තවත් වසරක් ජීවත් වීමේ සම්භාවිතාව 0.25 යි කියමු. වසර 100 වයසක සිටි අයෙකු 101 දක්වා තවත් වසරක් ජීවත් වීමේ සම්භාවිතාව 0.2 යි කියාත් කියමු.

මේ විදිහට එක් එක් වයස් කාණ්ඩය සඳහා තවත් වසරක් ජීවත්වීමේ සම්භාවිතාව ගණනය කර ගැනීමෙන් පසුව, ඒ අනුසාරයෙන් කිසියම් නිශ්චිත වයසකදී අපේක්ෂිත ආයු කාලය ගණනය කළ හැකියි. ඉහත උදාහරණයේදී වසර 100ක අයෙකුගේ අපේක්ෂිත ආයු කාලය ගණනය කරන හැටි අපි බලමු.

වයස 100ක අයෙකුගේ ඉතිරිව ඇති ආයු කාලය 0ක් වීමේ (වසර තුල මිය යාමේ) සම්භාවිතාව 0.8ක්. අඩු වශයෙන් තවත් වසරක් ජීවත් වීමේ සම්භාවිතාව 0.2ක් පමණයි. මේ විදිහට වයස 101 වන තුරු ජීවත්වන 20%ක් වූ අයගෙන් 102 දක්වා ජීවත් වෙන්නේ 25%ක් පමණයි. ඉතිරි 75%කගේ, එනම් 20%කගෙන් 75%කගේ හෙවත් 15%කගේ ඉතිරිව ඇති ආයු කාලය වසර 1 යි.

මේ අනුව, වයස 100ක් වූ අයගෙන් 80% කගේ ඉතිරිව ඇති ආයු කාලය 0ක් හා තවත් 15%කගේ ඉතිරිව ඇති ආයු කාලය වසර 1ක් වෙනවා. 102 වන තුරු ජීවත් වන්නේ මේ අයගෙන් 5%ක් පමණයි. 102 දක්වා ජීවත් වන අයගෙන් 0.4ක්, එනම් 2%ක් 103 වන තුරු ජීවත් වෙනවා. ඉතිරි 3% 102 වයසේදී මිය යනවා. ඒ අයගේ ඉතිරිව ඇති ආයු කාලය වසර 2ක්. ඉතිරි 2% වයස 103 වන තුරු ජීවත් වන නමුත් ඔවුන් කිසිවෙකු 104 දක්වා ජීවත් වන්නේ නැහැ. ඔවුන්ගේ ඉතිරිව ඇති ආයු කාලය වසර 3ක්.

දැන් නැවත වයස 100දී තත්ත්වය දෙස බැලුවොත්, ඉතිරිව ඇති ආයු කාලය 0ක් වීමට 0.8ක ඉඩකුත්, 1ක් වීමට 0.15ක ඉඩකුත්, 2ක් වීමට 0.03ක ඉඩකුත්, 3ක් වීමට 0.02ක ඉඩකුත් තිබෙන නිසා බරිත සාමාන්‍යයක් ලෙස වයස 100ක අයෙකුගේ (ඉතිරිව ඇති) අපේක්ෂිත ආයු කාලය ගණනය කළ හැකියි. ඒ මෙසේයි.

වයස 100දී අපේක්ෂිත ආයු කාලය = 0*0.8 + 1*0.15 + 0.03*2 + 0.02*3 = 0.27

ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් වසර 100ක අයෙකුට තවත් ජීවත් වීමට ඉතිරිව තිබෙන්නේ මාස තුනක පමණ කාලයක් කියන එකයි. නමුත්, යම් හෙයකින් මේ අයගෙන් කෙනෙක් වයස 102 වන තුරු ජීවත් වුවහොත් එවැන්නෙකු තවත් වසරක් ජීවත් වෙන්න 0.4ක ඉඩක් තිබෙන නිසා 102දී අපේක්ෂිත (ඉතිරිව තිබෙන) ආයුකාලය මාස 4ක් පමණ දක්වා ඉහළ යනවා.

ඉහත ක්‍රමවේදය අනුගමනය කරමින් උපතේදී හෝ වෙනත් වයසකදී ඉතිරිව ඇති ආයු කාලය ගණනය කළ හැකියි. කිසියම් වයසකදී ඉතිරිව ඇති ආයුකාලය කියන්නේ උපතේදී වූ අපේක්ෂිත ආයු කාලයෙන් දැන් වයස අඩු කළ විට ඉතිරිවන අවුරුදු ගණන නොවන බව පැහැදිලි විය යුතුයි.

මතක තබාගත යුතු තවත් වැදගත්ම කරුණක් වන්නේ මේ ආකාරයට උපතේදී ආයු අපේක්ෂාව ගණනය කරන්නේ අද උපදින අයෙකුගේ වයස 60ක් වූ විට ඔහු හෝ ඇය තවත් වසරක් ජීවත් වීමේ ඉඩකඩ මේ වන විට වයස 60ක් වන අයෙකු තවත් වසරක් ජීවත් වීමට තිබෙන ඉඩකඩටම සමානය යන පදනම මත බවයි. නමුත්, අද ඉපදෙන අයෙකුගේ වයස අවුරුදු 60ක් වන විට තාක්ෂණයේ දියුණුව නිසා හා යහපත් ජීවන විලාසිතා ඇතුළු වෙනත් විවිධ හේතු නිසා මේ සම්භාවිතාව විශාල ලෙස ඉහළ හා හැකියි. ඇතැම් විට අයහපත් ජීවන විලාසිතා, යුද්ධ හෝ අළුතින් පැතිරෙන රෝග වැනි හේතු මත මේ සම්භාවිතාව අඩු වෙන්න වුවත් බැරි කමක් නැහැ.




Monday, July 15, 2019

කැට ගහමු!


ආයු අපේක්ෂාව කියන සංකල්පය, හරියටම කියනවානම් සංකල්ප, ගැන පැහැදිලි කරමින් ලියූ ලිපියේ තාක්ෂනික කරුණු ගැන කිහිප දෙනෙක් උනන්දුවක් දැක්වූ නිසා ඒ පිළිබඳව තවත් ටිකක් විස්තර කරන්න හිතුනා. එහි සඳහන් කළ ආයු අපේක්ෂා අර්ථදැක්වීම් තුනෙන් වඩාත්ම ප්‍රචලිත එක මා විසින් වාස්තවික ආයු අපේක්ෂාව ලෙස හැඳින්වූ පළමුවැන්නයි. මේ අර්ථදැක්වීම වාස්තවික එකක් සේ හැඳින්වූයේ කවර පදනමකින්ද කියන එකත් තවත් ටිකක් විස්තර කළ යුතුයි.

මේ අර්ථදැක්වීමේ පදනම සංඛ්‍යාන විද්‍යාවේ එන අපේක්ෂිත අගය කියන අර්ථදැක්වීමයි. එයින් අදහස් වන්නේ කිසියම් නිශ්චිත පරීක්ෂණයක ප්‍රතිඵලය සම්භාවිතාව මත තීරණය වන එකිනෙකට වෙනස් අගයයන් (outcomes) ගණනාවක් වූ විට ඒ අගයයන්ගේ (සම්භාවිතාව මත බර තැබූ) බරිත සාමාන්‍යය කියන එකයි.

උදාහරණයක් විදිහට අපි පැති හයේ සාධාරණ කැටයක් උඩ දැමීම ගැන හිතමු. ඕනෑනම් කැටය උඩ නොදමා අවුරුදු කාලෙදී වගේ කැටයෙන් ලෑල්ලකට ගහන්නත් පුළුවන්. අපි ඔය අවුරුදු කාලෙට කැට ගහන්න ගන්න ජාතියේ කැටයක් ගැනම හිතමු. ඔය කැටයේ පැති හයේ අගයයන් 3, 6, 9, 12, 15 හා 18 බව කියවන ගොඩක් අයට මතක ඇතිනේ. හරියටම ඔය විදිහේ කැටයක රූපයක් අන්තර්ජාලයේ හෙවුවත් හොයාගන්න බැරි වුණා.

අවුරුදු කැටය ලෑල්ලට දමා ගැසුවාට පසුව උඩ පැත්තට වැටෙන අගය කලින් හරියටම කියන්න බැහැ. එය ඉහත අගයයන් හයෙන් කවර එකක් හෝ විය හැකියි. සමහර අයට 18 හෝ "වැඩි අගයක්" වැඩිපුර ලැබෙන විදිහට මේ ක්‍රීඩාව කරන්න දක්ෂ කමක් තිබෙන බව අමතක කර මේ අගයයන් හයෙන් කොයි එකක් හෝ ලැබෙන්න එක සමාන ඉඩක් තිබෙන බව අපි හිතමු. ඒ උපකල්පනය යටතේ, සංඛ්‍යානයේ එන අපේක්ෂිත අගය කියා කියන්නේ ඉහත අගයයන් හයේ සාමාන්‍ය අගයයි.

අපේක්ෂිත අගය = (3 + 6 + 9 + 12 + 15 + 18)/6 = 10.5

දැන් අපි සංඛ්‍යාන විද්‍යාවේ අර්ථදැක්වීම අනුව අවුරුදු කැටයක් ක්‍රීඩා කළ විට ලැබිය හැකි අගයයන්ගේ අපේක්ෂිත අගය 10.5ක් කියා කියනවා.

මෙය ඉතා පැහැදිලිවම වියුක්ත සංකල්පයක්. අපේක්ෂිත අගය 10.5ක් වුවත්, කැට ක්‍රීඩා කරන කෙනෙකුට කවදාවත් 10.5ක අගයක් ලැබෙන්නේ නැහැ. සිදුරු 10.5ක් ලකුණු කර ඇති පැත්තක් කැටයේ ඇත්තේත් නැහැ. එහි පැති හයේ තිබෙන්නේ 3, 6, 9, 12, 15 හා 18 නිසා ලැබිය හැක්කේ ඒ අගයයන්ගෙන් එකක් පමණයි.

ඒ වුනත්, සංඛ්‍යානය හදාරා ඇති ඕනෑම කෙනෙක් ඉහත උපකල්පන යටතේ කැට ක්‍රීඩාවේ අපේක්ෂිත අගය නිවැරදිව ගණනය කළොත් නිශ්චිතවම ලැබෙන්නේ 10.5 කියන අගයයි. එය ගණනය කරන පුද්ගලයා මත වෙනස් වන්නේ නැහැ. මේ අගය වාස්තවික අගයක් කියා මා කියන්නේ ඒ අර්ථයෙන්.

දැන් මේ 10.5 කියන අගය කැට ක්‍රීඩාවෙන් කවදාවත් නොලැබෙන අගයයක්නම් ඔය තරම් මහන්සි වෙලා ඔය අගය හොයා ගන්නේ මොකටද?

මේ අගය ගොඩක් වැදගත් අගයක්. මෙය සරලව පැහැදිලි කරන්න අපි මේ අවුරුදු කැටයම යොදාගෙන කරන වෙනස් විදිහේ සූදුවක් ගැන හිතමු. මෙය කණ්ඩායමක් අවශ්‍ය නොවන තනි තනිව සූදුකරු සමඟ කළ හැකි සූදුවක්. ඔට්ටු තැබීම සඳහා ඔබ කිසියම් නිශ්චිත මුදලක් සූදූකරුට ගෙවිය යුතුයි. ඉන් පසු කැටය ඔබේ අතට ලැබෙනවා. ක්‍රීඩා කිරීමෙන් පසුව ඔබට වැටෙන අගය අනුව රුපියල්  3, 6, 9, 12, 15 හෝ 18 යන දිනුම් මුදලක් ලැබෙනවා. මේ සූදුව වාසිදායක සූදුවක් වෙන්නේ කවර තත්ත්වයන් යටතේද?

ක්‍රීඩාව එක දිගටම කළොත් ඔබට වරකට ලැබෙන දිනුම් මුදලේ සාමාන්‍ය අගය රුපියල් 10.50 ක්. ඒ නිසා, ඔට්ටු තැබීම සඳහා රුපියල් 10.50කට වඩා වැඩි මුදලක් අය කළොත් ක්‍රීඩාව දිගින් දිගටම කරද්දී සූදුපොළ හිමිකරු වෙත මුදල් ගලායාමක් සිදු වෙනවා. ඔබට ගෙදර යන්න වෙන්නේ අතේ තිබුණු මුදල් ඉවර කරගෙන. අය කරන්නේ රුපියල් 10.50කට වඩා අඩු මුදලක්නම් අනිවාර්යයෙන්ම ඔබට වාසියි. ක්‍රීඩා වාරයකට හරියටම රුපියල් 10.50ක් අය කළොත් දිගින් දිගට ක්‍රීඩා කිරීමේදී ඔබට හෝ සූදුකරුට විශේෂ වාසියක් වෙන්නේ නැහැ. සූදු ක්‍රීඩාව සාධාරණ ක්‍රීඩාවක්.

සැබෑ ලෝකයේ වාසිදායක හෝ සාධාරණ සූදු නැති තරම්. සූදුකරුවෙකු සූදුවක් සැලසුම් කරන්නේම ක්‍රීඩා කිරීම සඳහා දිනුම් වල අපේක්ෂිත අගයට වඩා වැඩි මුදලක් අය කර ගනිමිනුයි. රජයෙන් රුපියල් 30කට විකුණන සූරන ලොතරැයියක දිනුම් මුදල් වල අපේක්ෂිත අගය බොහෝ විට රුපියල් 12කට වඩා වැඩි නැහැ. කිසියම් ලොතරැයියක් හා අදාළව මේ අගය නිශ්චිතව ගණනය කළ හැකියි. එසේ වුවත්, බොහෝ දෙනෙක් ලොතරැයි මිල දී ගන්නවා.

දැන් අපි ඉහත කතා කළ කැට ක්‍රීඩාවේ යෙදීමට රුපියල් 11ක මුදලක් ගෙවිය යුතුයි කියා හිතමු. ඒ අනුව, "වැඩි" වැටුණොත් ඔබට වාසියක් වෙනවා. "අඩු" වැටුනොත් වෙන්නේ පාඩුවක්. (නොදන්නා අයෙක් ඉන්නවානම් දැන ගැනීම පිණිස කැට ක්‍රීඩාවේදී 3, 6 හා 9 "අඩු" ලෙසත්, 12, 15 හා 18 "වැඩි" ලෙසත් සැලකෙනවා.). එසේ වුවත්, දිගින් දිගටම ක්‍රීඩා කිරීමේදී ක්‍රීඩා වාරයකට ශත 50ක සාමාන්‍ය මුදලක් ඔබේ අතෙන් සූදුකරු වෙත යනවා. ඒ නිසා රුපියල් 50ක් අරගෙන ක්‍රීඩා කරන්න පටන් ගන්න කෙනෙකුට ආසන්න වශයෙන් වාර 100ක් ක්‍රීඩා කිරීමෙන් පසුව හිස් අතින් ගෙදර යන්න වෙනවා.

නමුත්, මිනිස්සු මේ වගේ ක්‍රීඩා නොකර ඉන්නේ නැහැ. එයට පළමු හේතුව ක්‍රීඩාවේ අපේක්ෂිත අගය ගැන පැහැදිලි අදහසක් නැතිකම. දෙවැනි හේතුව, එවැනි අදහසක් තිබුනත් බොහෝ දෙනෙකුට තමන් ගැන අධි විශ්වාසයක් තිබීම. කැට ක්‍රීඩාවෙන් වැඩි වැටෙන්න තිබෙන සම්භාවිතාව 50%ක් වුවත්, තමන්ට උත්සාහ කර ඊට වඩා වැඩි ප්‍රතිඵලයක් ලබා ගත හැකැයි බොහෝ මිනිසුත් හිතනවා.

තාක්ෂනික වචන යොදාගෙන කිවුවොත් ක්‍රීඩාවේ වාස්තවික අපේක්ෂිත අගය 10.5ක් වුවත් තමන්ගේ වාසනාව හෝ හැකියාව නිසා තමන් ක්‍රීඩා කළ විට අපේක්ෂිත අගය 11ට වඩා වැඩි විය හැකි බව බොහෝ දෙනෙක් හිතනවා. අපේක්ෂිත අගය 11ට වඩා වැඩිනම් ගෙවන මුදල රුපියල් 11ක් පමණක් නිසා ක්‍රීඩාව ක්‍රීඩකයාට වාසියි. මා පෙර ලිපියෙහි සඳහන් කළ විෂයමූලික අපේක්ෂිත අගය කියන්නේ මෙයයි.

විෂයමූලික අපේක්ෂිත අගය බොහෝ විට නිවැරදි නැහැ. එහෙත්, බොහෝ මිනිසුන් තීන්දු තීරණ ගන්නේ වාස්තවික අපේක්ෂිත අගය වෙනුවට විෂයමූලික අපේක්ෂිත අගය මත පදනම්වයි.

දැන් මේ උදාහරණයේ පරමාදර්ශී අපේක්ෂිත අගය වන්නේ කුමක්ද? එයින් අදහස් වන්නේ ක්‍රීඩකයෙකු තමන්ට ලැබෙනවානම් වඩාත්ම කැමති ඉලක්ක අගයයි. එම අගය 18 බව කිව යුතු නැහැ.

ඔය ආකාරයටම වාස්තවික ආයු අපේක්ෂාව කියා කියන්නේ කිසියම් නිශ්චිත දවසක හෝ වසරක උපන් පුද්ගලයින් ජීවත්වන හෝ ජීවත් වූ කාල වල සාමාන්‍ය අගයයි. මේ හැම දෙනෙක්ම මිය ගිය හෝ මිය යන දවස හරියටම දන්නවා කියා අපි හිතමු. එවිට අපිට මේ එක් එක් පුද්ගලයා ජීවත්ව සිටි හෝ ජීවත්ව සිටින කාලය හරියටම හොයා ගන්න පුළුවන්. වාස්තවික ආයු අපේක්ෂාව නැත්නම් සාමාන්‍යයෙන් කියන පරිදි "ආයු අපේක්ෂාව" කියා කියන්නේ මේ ආයු කාල අගයයන්ගේ සාමාන්‍ය අගයයි.

කිසියම් දවසක (අපි 1900 ජනවාරි 1 වැනි දවසක් ගනිමු) උපන් කිසියම් රටක ජීවත් වන සියලු දෙනා මිය ගිය පසු ඒ එක් එක් පුද්ගලයා ජීවත් වූ කාලය සටහන් කරගෙන ඒ අගයන්ගේ සාමාන්‍යය ගණනය කිරීමෙන් අපට අදාළ රටේ එම දිනයේ උපන් අයෙකුගේ අපේක්ෂිත ආයු කාලය හොයා ගන්න පුළුවන්. මෙය වසර 31 මාස 1 දින 17 ආකාරයේ (ගණනය කළ සැබෑ අගයක් නොවේ) නිශ්චිත කාලයක්.

නමුත්, ඉහත කැට උදාහරණයේ 10.5 අගය කිසි දිනක නොවැටෙන අගයක් වනවාක් මෙන්ම මේ කියන දිනයේ උපන් කිසිදු පුද්ගලයෙකුගේ ආයු කාලය හරියටම අන්තිම දවසටම නිවැරදිව අපේක්ෂිත ආයු කාලයේ අගය නොවන්නට පුළුවන්. බොහෝ දෙනෙක්  වසර 31 මාස 1 දින 17කට පෙර මිය ගොස් තිබිය හැකි අතර තවත් බොහෝ දෙනෙක් ඊට වඩා වැඩි කාලයක් ජීවත්ව සිට තිබිය හැකියි.

එසේ වුවත්, මේ අපේක්ෂිත ආයු කාලය හරියටම දැන ගැනීම ප්‍රතිපත්ති සම්පාදකයෙකුට වැදගත්. අපි හිතමු 1900 ජනවාරි 1 උපන් සියලු දෙනාට රජයෙන් මිය යන තුරු මසකට හාල් කිලෝ දෙකක සලාකයක් දෙනවා කියා. මෙහි අපේක්ෂිත වියදම ගණනය කිරීම සඳහා අදාළ දිනයේ උපන් සියලු දෙනාම ඉහත කාලය ජීවත් වන බව සිතීමේ වරදක් නැහැ. එක් අයෙක් අදාළ කාලයට මාසයකට පෙර ගියත් වෙනත් අයෙක් මාසයකට පසු මිය යන නිසා වියදම් ඇස්තමේන්තුව වෙනස් වන්නේ නැහැ. හරියටම නොවුණත් ආසන්න වශයෙන් (වාස්තවික) අපේක්ෂිත ආයු කාලය කියා කියන්නේ කිසියම් දිනක උපන් අයගෙන් හරි අඩක් පමණ මිය යන්නට ගත වන කාලය කියා කිව හැකියි. එසේ නැතිව, කිසියම් දිනක උපන් සියලුම දෙනා මේ වයසින් මිය යන්නේ නැහැ.

අපේක්ෂිත ආයු කාලය කියන සංකල්පය පැහැදිලි කර ගත්තත් එය ගණනය කිරීම සඳහා එක් එක් පුද්ගලයාගේ ආයු කාලය හරියටම දැන ගත යුතුයි. එය කළ හැක්කේ කිසියම් දවසක උපන් සියලු පුද්ගලයින් මිය යාමෙන් පසුවයි. මේ පදනමින් 1900දී ලංකාවේ ආයු අපේක්ෂාව ගණනය කළ හැකි වුවත්, 2019 ආයු අපේක්ෂාව ගණනය කළ නොහැකියි. එය කරන්නේ කොහොමද කියා ඉදිරි ලිපියකින් කතා කරමු.

Wednesday, July 10, 2019

පරමාදර්ශී ආයු අපේක්ෂාව


අප ලියන දේ සමඟ හැම විටම එකඟ නොවන නමුත් අප ලියන දේ නිතිපතාම කියවන අයෙක්යැයි මා හිතන ජෝශප් විසින් පසුගිය ලිපියට ප්‍රතිචාරයක් දමමින් මෙහෙම කියනවා.

"මේ කතා කරන ආයු අපේක්‍ෂාව යන සිංහල වචනය ම බොරුවක්. ඒ ආචාර්‍ය නලින් ද සිල්වා ගේ අර්ථ කථනය අනුව ම නොවෙයි. ඔය කතා කරන කරුණට වෙන වචනයක් සාදා ගත යුතුයි. ජගත් පතිරණ නිතර පෙන්වා දෙන අයුරින්, බටහිර චින්තනයේ ආයු අපේක්‍ෂාව හා සිංහලයින්ගේ ආයු අපේක්‍ෂාව දෙකක් මිස එකක් නොවෙයි. සිංහලයින්ට උපතේදී ආයු අපේක්‍ෂාවක් ඇත්තේම නැති තරම්. ඇත්නම් ඇත්තේ කුක්කු අපේක්‍ෂාවක්.

නමුත් වැඩිහිටි සිංහලයින්ට ආයු අපේක්‍ෂාව අවුරුදු අසූවක්, සීයක් පමණ. මේ වයස එළඹීමට පෙර සමහරුන් මැරී යාම වෙනම කතාවක්. මා මේ කියන්නේ ලංකාව නිදහස ලබන සමයේ 1940 හා 1950 ගණන් වල වැඩිහිටියන් ගැන. ඊට පසු 1970 ගණන් වල අය ගත්තොත් ආයු අපේක්‍ෂාව 70 පමණ. සිංහල අර්ථයෙන් සිදු වී තිබෙන්නේ ආයු අපේක්‍ෂාව අඩු වීමක්. 1980 ගණන් වන 1990 ගණන් වල උපන් හාදයන් (නව පරපුර) අවුරුදු 60 වත් ජීවත් වීමේ අපේක්‍ෂාවක් පෙන්වන්නේ නෑ.

මීට හේතුව සීඝ්‍ර බටහිරකරණය. බටහිර වෛද්‍ය විද්‍යාවේ ඊනියා ප්‍රාතිහාර්‍ය ගැන ප්‍රසස්ති ප්‍රබන්ධ කිරීමට පෙර බටහිර ක්‍රමය විසින් අප සමාජය සමස්ථයක් වශයෙන් රෝගීන් බවට පත් කර තිබීම ගැන සංවාදයක් ඇති කළ යුතුව තිබේ."

තෙවන ඡේදයේ සඳහන් "බටහිර ක්‍රමය විසින් අප සමාජය සමස්ථයක් වශයෙන් රෝගීන් බවට පත් කර තිබීම" යන ප්‍රකාශය සමඟ මා එකඟ වන්නේ නැහැ. එහෙත්, දැනට ඒ ගැන පැහැදිලි කරන්න යන්නේ නැහැ. දෙවන ඡේදයේ තිබෙන්නේ ඔහු හිතන දෙයක්. සමීක්ෂණයක් නොකර සිංහලයන්ගේ "ආයු අපේක්ෂාව" පිළිබඳව ඔහු කර ඇති ආකාරයේ ප්‍රකාශයක් නිශ්චිතව කරන්න පුළුවන්කමක් නැහැ. මා එවැනි සමීක්ෂණයක් කර නැති නිසා ඔහු කියන කරුණ වැරදියි කියා මට නිශ්චිතව කියන්නත් පුළුවන්කමක් නැහැ.

ජෝශප්ගේ දෙවන ඡේදයේ ප්‍රකාශය ඔහු පළමු ඡේදයේ කර ඇති ප්‍රකාශයට සම්බන්ධයි. එහිදී ඔහු කතා කරන්නේ ආයු අපේක්ෂාව කියන වචනය ගැනයි.

ආයු අපේක්ෂාව ලෙස සිංහලට පෙරළා තිබෙන්නේ life expectancy කියන ඉංග්‍රීසි වචනයි. ඇතැම් විට අපේක්ෂිත ආයුකාලය කියාත් කියනවා. මේ කියන ආයු අපේක්ෂාවට නිශ්චිත අර්ථදැක්වීමක් තිබෙනවා. එය සම්භාවිතාව මත පදනම් වූ සංඛ්‍යානමය අර්ථදැක්වීමක්. මගේ ලිපිය පදනම් වූයේ මේ අර්ථදැක්වීම මතයි.

ජීවත්වන අයෙක් මියයන දවස නිශ්චිතව කියන්න බැහැ. එහෙත්, ජීවත්වන අය යම් දවසක මිය යන බව නිශ්චිත කරුණක්. වඩා ගැඹුරට ගියොත්, මේ නිශ්චිත බව වගේම, උපත, මරණය හා ජීවිතය කියන සංකල්පත් නිශ්චිත දේවල් නෙමෙයි. නමුත්, එතරම් ගැඹුරට නොගියොත් උපත හා මරණය කියන්නේ බොහෝ දෙනෙක් අපහසුවක් නැතිව තේරුම් ගන්නා නිශ්චිත අවස්ථා දෙකක්. කෙනෙකුගේ ආයු කාලය නැත්නම් ජීවිත කාලය කියන්නේ මේ නිශ්චිත සිදුවීම් දෙක අතර ගෙවෙන කාලයයි.

මේ වන විට ලෝකයේ මෙන්ම ලංකාවේත් උපත් හා මරණ සියල්ල සෑහෙන තරම් නිවැරදිව වාර්තා වෙනවා. ඒ නිසා, කිසියම් රටක කිසියම් දවසක ඉපදෙන අයගේ ආයු කාලය වෙනස් වෙන පරාසය හා ඒ පරාසය ඇතුළත ආයු කාල ව්‍යාප්ත වී ඇති ආකාරය සංඛ්‍යාලේඛණ ඇසුරින් නිශ්චිතව නිරීක්ෂණය කළ හැකියි. අපේක්ෂිත ආයු කාලය නැත්නම් ආයු අපේක්ෂාව අනුරූප වන්නේ උපතේදී හෝ වෙනත් නිශ්චිත වයසකදී කිසියම් දිනක ඉපදුණු අයගෙන් අඩක් පමණ මිය යාමට ගත වන කාලයටයි. මේ අගය ඉහළ යනවානම් එයින් අදහස් වෙන්නේ අදාළ රටේ ජනතාව පොදු වශයෙන් කලින් ජීවත් වුනාට වඩා වැඩි කාලයක් ජීවත් වන බවයි.

අපේක්ෂිත ආයු කාලය කියන එක සාමාන්‍ය පුද්ගලයින්ටත් වඩා වැදගත් වන්නේ රටක ප්‍රතිපත්ති සම්පාදකයින්ටයි. උදාහරණයක් විදිහට රටක අපේක්ෂිත ආයු කාලය ඉහළ යන විට විශ්‍රාමිකයින්ට විශ්‍රාම වැටුප් සේ ගෙවිය යුතු මුදල ඉහළ යන නිසා රජයකට එයට පෙර සූදානම් වෙන්න සිදු වෙනවා.

මෙහිදී සැලකිල්ලට ගන්නා අපේක්ෂිත ආයු කාලය කියන අර්ථ දැක්වීම සාමාන්‍ය අර්ථයෙන් වාස්තවික මිනුමක්. ඒ අනුව, කිසියම් පුද්ගලයෙකුගේ අපේක්ෂිත ආයු කාලය තීරණය වෙන්නේ එම පුද්ගලයාගේ දැන් වයස, ස්ත්‍රී-පුරුෂ භාවය, පදිංචි ස්ථානය වැනි වෙනත් අයෙකුට නිරීක්ෂණය කළ හැකි කරුණු මතයි. එය නිරීක්ෂකයා මත වෙනස් වන දෙයක් නෙමෙයි. (වඩා ගැඹුරට ගියොත්නම් මේ මිනුමත් නිරීක්ෂකයා මත වෙනස්වන ආකාරය අපහසුවකින් තොරව කතා කළ හැකියි. නමුත්, පෙන්වා දෙන කරුණ වෙනුවෙන් එසේ කළ යුතු නැහැ.)

සිංහලයෙකුට හෝ වෙනත් ලාංකිකයෙකුට පමණක් නොව බටහිර රටක බටහිර සංස්කෘතියේ ජීවත් වන අයෙකුට වුවත් මේ මිනුම ඇඟට දැනෙන එකක් නෙමෙයි. යමෙකුට තමන්ගේ ඉතිරි වී ඇති ආයු කාලය ඇස්තමේන්තු කළ හැකි එකම ක්‍රමය සංඛ්‍යානමය ක්‍රමවේද ඇසුරෙන් ජනවිකාශ දත්ත විශ්ලේෂණය කිරීම පමණයි.  එහෙත්, තනි පුද්ගලයෙක් සැලකූ විට ජනවිකාශ සංඛ්‍යාලේඛණ වල නැති තමන් පිළිබඳ තොරතුරු රැසක් ඔහු හෝ ඇය දන්නවා. තමන් ගැන තමන්ට වඩා දන්නා කෙනෙක් ඉන්නවද?

මුලින් කී ආයු අපේක්ෂාව පිළිබඳ වාස්තවික මිනුම අදාළ වෙන්නේ "සාමාන්‍ය" පුද්ගලයෙකුටයි. නමුත්, බොහෝ දෙනෙක් පෞද්ගලිකව තමන් සාමාන්‍ය පුද්ගලයින් සේ සිතන්නේ නැහැ. තමන් සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා නිරෝගීයැයි සිතන කෙනෙක්, එය හරි වුවත් වැරදි වුවත්, තමන් සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩි කලක් ජීවත් වනු ඇතැයි සිතීම තේරුම් ගැනීමට අපහසු නැති කරුණක්. ඒ වගේම, තමන් සාමාන්‍ය පුද්ගලයකුට වඩා අඩුවෙන් සෞඛ්‍ය සම්පන්නයැයි හිතන කෙනක් තමන්ගේ ආයු අපේක්ෂාව අඩුවෙන් ඇස්තමේන්තු කරන බවත් පැහැදිලියි.

මේ නිසා, එක් එක් පුද්ගලයා හා අදාළව මුලින් කී වාස්තවික ආයු අපේක්ෂාවෙන් වෙනස් විෂයමූලික ආයු අපේක්ෂාවක්ද තිබෙනවා. ඒකීය පුද්ගලයින්ගේ තීරණ පදනම් වෙන්නේ මේ දෙවනු කී විෂයමූලික ආයු අපේක්ෂා කාලය මත මිස පළමු කී වාස්තවික ආයු අපේක්ෂා කාලය මත නොවන නිසා චර්යාත්මක ආර්ථික විද්‍යාඥයෙකුට හෝ වෙනත් සමාජ විද්‍යාඥයෙකුට මේ විෂයමූලික ආයු අපේක්ෂා ගැන හැදෑරීමත් වැදගත්. උදාහරණයක් විදිහට කිසියම් පුද්ගලයෙකු විසින් අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් කරන පෞද්ගලික ආයෝජන තීරණය වෙන්නේ ඔහුගේ හෝ ඇයගේ විෂයමූලික ආයු අපේක්ෂාව මත මිස "සැබෑ" ආයු අපේක්ෂා කාලය මත නෙමෙයි. සතියකට වඩා ජීවත් නොවන බව වෛද්‍යවරුන් විසින් තහවුරු කර ඇති පිළිකා රෝගියෙකු වෙනුවෙන් ඉඩකඩම් උගස්කර ඖෂධ මිල දී ගන්නා අයෙකු එසේ කරන්නේ මේ මිනුම් දෙකේ වෙනස නිසයි.

ඇමරිකාවේ සිදු කෙරෙන ඇතැම් සමීක්ෂණ වලදී ඉහත දෙවනුව කී විෂයමූලික ආයු අපේක්ෂාව පිළිබඳව දත්ත එකතු කෙරෙනවා. මෙය අදාළ පුද්ගලයින්ගෙන්ම අසා දැනගත යුතු දෙයක් මිස, වාස්තවික ආයු අපේක්ෂාව මෙන් ජනවිකාශ දත්ත ඇසුරෙන් සංඛ්‍යාන මූලධර්ම අනුව ගණනය කළ හැකි දෙයක් නෙමෙයි. මේ අයුරින් එකතු කරගත් දත්ත අනුව පෙනෙන්නේ පුද්ගලයෙකුගේ විෂයමූලික ආයු අපේක්ෂාව හා වාස්තවික ආයු අපේක්ෂාව අතර සැලකිය යුතු සහසම්බන්ධයක් ඇතත් එය පරිපූර්ණ එකක් නොවන බවයි.

උඩින්ම ඇති ජෝශප්ගේ ප්‍රකාශයේ තිබෙන ආයු අපේක්ෂාව ඔය දෙකෙන් එකක්වත් නෙමෙයි. එය ආයු අපේක්ෂාව කියන වචනයේ සෘජු අර්ථය අනුව යන්නක්. මෙහිදී, ඔහු මෙය "සිංහලයින්ගේ ආයු අපේක්‍ෂාව" ලෙස හැඳින්වුවත් බටහිර රටක ජීවත්වන  life expectancy කියන ඉංග්‍රීසි වචනයේ සංඛ්‍යානමය අර්ථදැක්වීම නොදන්නා අයෙකු වුවත් මේ වචන ජෝශප් කියන  "සිංහලයින්ගේ ආයු අපේක්‍ෂාව" කියන අර්ථයෙන්ම තේරුම් ගන්න ඉඩ තිබෙනවා. ඒ නිසා, එය සිංහලයින් සිතන ආකාරයේ වෙනසක් කියා මම හිතන්නේ නැහැ.

මෙහිදී ජෝශප් කතා කරන්නේ කිසියම් පුද්ගලයෙකු ගෙවීමට කැමැත්තෙන් සිටින පරමාදර්ශී (ideal) ආයු කාලය ගැනයි. මෙය ඉහත දෙවනු කී විෂයමූලික ආයු අපේක්ෂාව කියන සංකල්පයම නෙමෙයි. මේ ගැන කතා කිරීමට ඉහත අර්ථදැක්වීම් දෙකෙන් වෙනස් අලුත් වචනයක් අවශ්‍ය නිසාත්, එය සිංහල ආයු අපේක්ෂාව ලෙස හැඳින්වීම නිවැරදියැයි මා නොසිතන නිසාත් මා මේ සංකල්පය පරමාදර්ශී ආයු අපේක්ෂාව ලෙස නම් කරන්න කැමතියි. මෙයින් අදහස් වෙන්නේ මගේ ආයුකාලය මට තීරණය කළ හැකිනම් මා ජීවත් වන්න කැමති කාලයයි.

මෙතෙක් ලියූ දේ සාරංශ කළොත්, දැන් අපට එකිනෙකට වෙනස් ආයු අපේක්ෂා අර්ථදැක්වීම් තුනක් තිබෙනවා.

1. වාස්තවික ආයු අපේක්ෂාව
2. විෂයමූලික ආයු අපේක්ෂාව
3. පරමාදර්ශී ආයු අපේක්ෂාව

මෙය අපි උදාහරණයකින් පැහැදිලි කර ගනිමු. මාරාන්තික වකුගඩු රෝගයකින් පෙළෙන ඇනස්ලිට ජීවත් වීමට ඉතිරිව ඇති කාලය වසර දෙකක් බව වෛද්‍ය මතයයි. ඔහුගේ රෝගය පිළිබඳ තොරතුරු පරීක්ෂා කරන වෛද්‍යවරුන් පොදු වශයෙන් මේ අදහස දරනවා. වසර දෙකක කාලය වෛද්‍යවරුන්ට නිරීක්ෂණය කළ හැකි කරුණු මත නිර්ණය වන්නක්. මේ නිර්ණය කිරීම කරන්නේ එකම නිශ්චිත ක්‍රමවේදයකටනම් ඇනස්ලිගේ වාස්තවික ආයු අපේක්ෂාව එය නිර්ණය කරන පුද්ගලයා අනුව වෙනස් වෙන්නේ නැහැ. (ප්‍රායෝගිකව මෙවැන්නක් සිදු නොවන බව අපි අමතක කරමු.)

නමුත්, ඇනස්ලිට තවමත් රෝගී පෙනුමක් නැහැ. ඒ නිසා, ඇනස්ලි තවත් වසර දෙකකින් මිය යනු ඇතැයි ඔහුගේ බිරිඳට හිතාගන්න බැහැ.  ඒ වුනත්, ඇනස්ලිගේ රෝගය පිළිබඳව වෛද්‍යවරුන්ගේ පැහැදිලි කිරීම් ඇයට අහක දාන්නත් බැහැ. ඇය දෙලොවක අතර මං වෙලා. ඇනස්ලි මිය යන බව ඇය දන්නා නමුත් එය වසර දෙකකින් සිදුවනු ඇතැයි ඇය හිතන්නේ නැහැ. ඇයට සාපේක්ෂව ඇනස්ලිගේ විෂයමූලික ආයු අපේක්ෂාව වසර පහක්.

වකුගඩු රෝගයක් ඇති බව හා එය සුව නොවන්නක් බව මිසක් එය මාරාන්තික එකක් බව ඇනස්ලි දන්නේ නැහැ. ඔහු හිතන්නේ වකුගඩු රෝගයෙන් පීඩා විඳිමින් තවත් අවුරුදු පහළොවක් පමණ ඔහුට ජීවත් වන්නට සිදුවනු ඇති බවයි. එය ඇනස්ලිට සාපේක්ෂව ඇනස්ලිගේ විෂයමූලික ආයු අපේක්ෂාවයි. වාස්තවික ආයු අපේක්ෂාව මෙන් නොව විෂයමූලික ආයු අපේක්ෂාව පුද්ගලයා මත වෙනස් වන දෙයක්. මේ උදාහරණයේදී වෙනස් ඇස්තමේන්තු වලට ඇනස්ලි හා ඔහුගේ බිරිඳ සතු තොරතුරු වල වෙනස්කම් බලපෑවත්, විෂයමූලික ආයු අපේක්ෂාව හා අදාළව එකම තොරතුරු මත පදනම්ව වුවත් දෙදෙනෙකු නිගමන දෙකකට එළැඹිය හැකියි.

දැන් මෙහිදී තමන් තවත් වසර පහළොවක් ජීවත් වනු ඇතැයි ඇනස්ලි විශ්වාශ කරනවා. එහෙත්, වකුගඩු රෝගය සුව නොවනවානම් එයින් පීඩා විඳිමින්, ගෙදර අයටත් වදයක් වෙමින් තවත් වසර පහළොවක් ජීවත්වීම ඇනස්ලිගේ පැතුම නෙමෙයි. තමන් ඊට කලින් මිය යනවානම් ඔහු සතුටුයි. ඔහුගේ පරමාදර්ශී ආයු අපේක්ෂාව වසර දහයක්. වසර දහයකින් මිය යාම ඇනස්ලිගේ කැමැත්ත වුවත්, තමන් වසර දහයකින් මිය යනු ඇතැයි ඇනස්ලි විශ්වාස කරන්නේ නැහැ.

යමෙකුගේ තමන්ට සාපේක්ෂ විෂයමූලික ආයු අපේක්ෂාව හා පරමාදර්ශී ආයු අපේක්ෂාව සාමාන්‍යයෙන් සමාන නැහැ. මේ දෙක අතර පරතරය අපේක්ෂා භංගත්වයකට හේතු වෙන්න පුළුවන්. තමන්ට සාපේක්ෂ විෂයමූලික ආයු අපේක්ෂාවට වඩා පරමාදර්ශී ආයු අපේක්ෂාව අඩුනම් යමෙක් අවදානම් සෞඛ්‍ය පුරුදු දිගින් දිගටම අනුගමනය කරන්න වගේම සිය දිවි නසාගන්න පවා පෙළඹෙන්න පුළුවන්. නමුත්, වැඩි දෙනෙකු හා අදාළව තමන්ට සාපේක්ෂ විෂයමූලික ආයු අපේක්ෂාවට වඩා පරමාදර්ශී ආයු අපේක්ෂාව වැඩියි. එසේ වූ විට පුද්ගලයෙකු තමන්ගේ සෞඛ්‍යය වෙනුවෙන් මුදල්මය හා මුදල්මය නොවන ආයෝජන කරන්න පෙළඹෙනවා. උදාහරණයක් විදිහට බොහෝ දෙනෙක් දිනපතා ව්‍යායාම කරන්නේ හා කෑම පාලනය කරන්නේ පරමාදර්ශී ආයු අපේක්ෂාව තමන්ට සාපේක්ෂ විෂයමූලික ආයු අපේක්ෂාවට වඩා වැඩි නිසා.

පරමාදර්ශී ආයු අපේක්ෂාව හා අදාළව සමීක්ෂණ සිදු කෙරී තිබෙන්නේ අඩුවෙන්. ලාංකිකයින් යොදා ගනිමින් එවැනි සමීක්ෂණයක් කවරදාකවත් කර ඇත්දැයි සැක සහිතයි. ඒ නිසා, ජෝශප් කියන ආකාරයට සිංහලයින්ගේ පරමාදර්ශී ආයු අපේක්ෂාව අඩුවෙමින් ඇත්දැයි නිගමනය කිරීමේ හැකියාවක් නැහැ. ඔහුගේ ගණන් අනුව බැලුවොත්, "1980 ගණන් වල 1990 ගණන් වල උපන් හාදයන්ගේ" පරමාදර්ශී ආයු අපේක්ෂාව ඔවුන්ගේ වාස්තවික ආයු අපේක්ෂාවටත් වඩා අඩුයි. ඇතැම් දේශපාලන මතධාරීන් හා කලාකරුවන් විසින් ප්‍රවර්ධනය කරන "බොහීමියන්" ජීවන විලාසිතාව හඹා යන තරුණ තරුණියන් හා අදාළව මෙය ඇත්තක් වෙන්නත් පුළුවන්.

ලංකාවේ කොහොම වුවත් ඇමරිකාවේනම් පරමාදර්ශී ආයු අපේක්ෂාව පිළිබඳවත් සමීක්ෂණ සිදු කර තිබෙනවා. පොදු වශයෙන් ගත් විට ඇමරිකානුවන්ගේ පරමාදර්ශී ආයු අපේක්ෂාව වාස්තවික ආයු අපේක්ෂාවට වඩා වැඩි වුවත් එය අසීමිත නැහැ. වයස අවුරුදු 25ක තෙල් ඉහිරෙන තරුණ වයසේ සදාකල් ජීවත් වෙන්න ලැබෙන තත්ත්වයක් යටතේ වුවත්, සාමාන්‍ය ඇමරිකානුවෙකු අවුරුදු 100-125කට වඩා ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.

(Image: https://www.vulture.com/2015/12/hear-some-rare-freddie-mercury-vocals.html)

Tuesday, July 9, 2019

හැට පැන්නම හොට බිමද?

පෙනෙන නොපෙනෙන වියුණුව ලියන නදීර විසින් පසුගිය කාලය මුළුල්ලේ මානව සංහතිය විසින් අත් කරගෙන තිබෙන ප්‍රගතිය ගැන හා නැවත අතීතයට යාමට කතා කිරීමේ විහිළුව ගැන අවධානය යොමු කරමින් ලිපියක් පළ කර තිබුණා. ලිපියට සබැඳියක් පහත තිබෙනවා.

විඥාන විප්ලවයක් කරගැනීමට නොහැකි වූ අපි - ඉස්සර කාලේද හොඳම?

ඉහත ලිපියේ නදීර මෙසේ සඳහන් කරනවා.

"දල වශයෙන් මිනිසෙකුගේ අපේක්ෂිත ආයු කාලය පහුගිය අවුරුදු 150 ඇතුලත දෙගුණ වුණා. මේකට හේතුව විද්‍යාවේ දියුණුවත් එක්ක මිනිසුන්ගේ ආයු අපේක්ෂාව වැඩිවීම."

මේ බව පෙන්වා දෙන්න ඔහු ලෝකයේ විවිධ කලාප වල ආයු අපේක්ෂාව පසුගිය කාලයේ වෙනස් වූ ආකාරය පිළිබඳව ප්‍රස්ථාරයක්ද උපුටා පළ කරනවා. ප්‍රස්ථාරය දෙස බැලූ විට ඔහු පෙන්වා දෙන කරුණ පැහැදිලිව පෙනෙනවා.

පහත තිබෙන්නේ ලංකාව හා අදාළව තත්ත්වයයි.


වසර සියයකට පමණ පෙර 1920-22 කාලයේදී ලංකාවේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර 31.7ක් පමණයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවත් සමඟ ලාංකිකයෙකුගේ ආයු අපේක්ෂාව පසුගිය වසර සියයකට නොවැඩි කාලය තුළ ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇති බව පැහැදිලියි. 2011-13 වෙද්දී ලංකාවේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර 75.3ක්. ලංකාව හා අදාළව ගත් විට වසර සියයක් ඇතුළත සාමාන්‍ය ආයු කාලය 2.5 ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

මේ හා අදාළ ලිපියක් අජිත් පැරකුම් විසින්ද පළ කර තිබෙනවා.

ජනගහන වියපත් වීමේ ස්ත්‍රීකරණය යනු කුමක් ද?

අජිත් පැරකුම් විසින් පෙන්වා දෙන්නේ ලංකාවේ පිරිමින්ගේ ආයු අපේක්ෂාවට සාපේක්ෂව ගැහැණුන්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් තිබීමයි. මෙය ඉහත වගුවෙන්ද පැහැදිලි වෙනවා.

1960 දශකය පමණ වන තුරු ලංකාවේ ගැහැණියකට උපතේදී අපේක්ෂා කළ හැකි වූයේ පිරිමියෙකුට වඩා අඩු ආයු කාලයක්. එහෙත් 1960 පමණ සිට මේ තත්ත්වය වේගයෙන් වෙනස් වුනා. එයට ප්‍රධානම හේතුවක් වුනේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවත් සමඟ ලංකාවේ මාතෘ මරණ අනුපාතිකය වේගයෙන් පහළ යාමයි. ඒ වගේම ළදරු මරණ අනුපාතය වේගයෙන් පහත වැටීම ගැහැණු පිරිමි දෙපාර්ශ්වයේම ආයු අපේක්ෂාව ඉහළ යාමට හේතු වුණා.

මේ කරුණු දෙකේ හා තවත් කරුණු වල සංයුක්ත ප්‍රතිඵලයක් ලෙස ලාංකිකයෙකුගේ ආයු අපේක්ෂාව පොදු වශයෙනුත්, ලාංකික ගැහැණියකගේ ආයු අපේක්ෂාව වඩා වැඩියෙනුත් ඉහළ ගොස් තිබෙනවා. 2011-2013 වන විට උපතේදී ලංකාවේ පිරිමියෙකුගේ ආයු අපේක්ෂාව වසර 72.0ක් වන අතර ගැහැණියකගේ ආයු අපේක්ෂාව වසර 78.6ක් වෙනවා.

උපතේදී ගැහැණියකගේ ආයු අපේක්ෂාව වසර 78.6ක් කියන එකෙන් අදහස් වෙන්නේ ඒ වයස වන විට ගැහැණු සියල්ල මිය යන බව නෙමෙයි. ඒ වයස වෙද්දී ගැහැණුන්ගෙන් 50%ක් මිය යන බවයි. ඉතිරි 50% වඩා වැඩි කලක් ජීවත් වෙනවා. ඒ නිසා, අජිත් පැරකුම්ගේ ලිපියේ තිබෙන (එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ පැහැදිලි කිරීමක් ලෙස සඳහන්) පහත අවසන්  වාක්‍යය නිවැරදි නැහැ.

“ශ්‍රී ලාංකික කාන්තාවකගේ උපතේදී ආයු අපේක්ෂාව වසර 79කි. පිරිමියකුගේ උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු 72කි. එයින් අදහස් වන පරිදි වයස අවුරුදු 60 සපිරෙන විට ශ්‍රී ලංකාවේ කාන්තාවන් ඉදිරියේ තවත් අවුරුදු 19ක් තිබියදී පිරිමින් ඉදිරියේ අවුරුදු 12ක කාලයක් තිබේ." 

උපතේදී ආයු අපේක්ෂාව වසර 72ක් වූ පමණින් වයස අවුරුදු 60 සපිරෙන විට ආයු අපේක්ෂාව වසර 12ක් වන්නේ නැහැ. එයට හේතුව වසර 60ක් දක්වා ජීවත් වන්නේ වඩා නිරෝගී අය වීමයි. හරියටම නිවැරදි නැතත්, තේරුම් ගැනීමේ පහසුව සඳහා සරල ආකාරයකින් කිවුවොත් හැට පැන්නූ විට අපේක්ෂිත ආයු කාලයට බෝනස් එකක් එකතු වෙනවා. ඒ නිසා, වසර 60 දක්වා ජීවත් වන අයෙකුගේ ආයු අපේක්ෂාව ඔහුගේ හෝ ඇයගේ උපතේදී ආයු අපේක්ෂාවෙන් ඉතිරි වී ඇති කාලයට වඩා වැඩියි.

ජනවිකාශ දත්ත ඇසුරෙන් මේ කාලය නිශ්චිත ලෙස ගණනය කළ හැකියි. 2011-13 වන විට ලංකාවේ වයස 60ක ගැහැණියකගේ ආයු අපේක්ෂාව වසර 22.0ක් හා වයස 60ක පිරිමියෙකුගේ ආයු අපේක්ෂාව වසර 18.3ක්. ඒ කියන්නේ හැට පැනපු ගැහැණුන්ගෙන් අඩක් වසර 82.0ක් දක්වාත්, හැට පැනපු පිරිමින්ගෙන් අඩක් වසර 78.3ක් දක්වාත් ජීවත් වනවා කියන එකයි.

වසර 70ක් ජීවත් වුවහොත් අපේක්ෂිත ආයු කාලය තවත් දිගු වෙනවා. ජනවිකාශ ඇස්තමේන්තු අනුව, හැත්තෑව පැනපු ගැහැණුන්ගෙන් අඩක් වසර 83.9ක් දක්වාත්, හැත්තෑව පැනපු පිරිමින්ගෙන් අඩක් වසර 81.1ක් දක්වාත් ජීවත් වනවා.

මේ අනුව පෙනෙන්නේ වැඩි කලක් ජීවත් වෙද්දී ගැහැණු පිරිමි ආයු අපේක්ෂා පරතරය ක්‍රමයෙන් පටු වන බවයි. එයට හේතුවක් තිබෙනවා. අවදානම් කටයුතු වල වැඩිපුර නියැලීම නිසා තරුණ වයසේදී පිරිමි මරණ වැඩිපුර සිදු වුවත්, වයස්ගත වෙද්දී මේ ප්‍රවණතාවයේ බලපෑම තුනී වී යනවා.

විශේෂයෙන්ම ලංකාව හා අදාළව ගත් විට සිවිල් යුද්ධය නිසා ගැහැණුන්ට වඩා වැඩි පිරිමි ප්‍රමාණයක් තරුණ වයසෙන් මිය ගියා. ඒ නිසා, යුද්ධයේ බලපෑම වැඩිපුර තිබුණු දිස්ත්‍රික්ක වල ගැහැණු පිරිමි ආයු අපේක්ෂා පරතරය බොහෝ වැඩි බව කැපී පෙනෙනවා. යුද්ධය හේතුවෙන් තරුණයින් මියයාම අඩුවෙන් සිදු වූ කොළඹ හා නුවරඑළිය වැනි දිස්ත්‍රික්ක වල ගැහැණු හා පිරිමි අතර ආයු අපේක්ෂා පරතරය සාපේක්ෂව අඩුයි.


ජනගහන අරමුදලේ පැහැදිලි කිරීමේ නිවැරදි නොවන අතිශයෝක්තියක් තිබුණත්, ජනගහන වියපත් වීමේ ස්ත්‍රීකරණය සැබෑවක් හා අවධානය යොමු විය යුතු කරුණක්.

Monday, July 8, 2019

ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයට!

ලෝක බැංකුව විසින් ලංකාව ඉහළ මැදි ආදායම් රටක් සේ නම් කර තිබෙනවා. මෙතෙක් ලංකාව වර්ගීකරණය වී තිබුණේ පහළ මැදි ආදායම් රටක් ලෙසයි. ඉහළ මැදි ආදායම් රටක් සේ නම් කරනු ලැබීම සඳහා අවශ්‍ය වන අවම ඒක පුද්ගල දළ ජාතික ආදායම් මට්ටම වන ඇමරිකන් ඩොලර් 3,996 ඉක්මවමින් 2018 වසරේදී ඇමරිකන් ඩොලර් 4,060ක ඒක පුද්ගල දළ ජාතික ආදායම් මට්ටමක් කරා ළඟා වීමට හැකි වීම මත ලංකාවට මේ උසස් වීම ලැබී තිබෙනවා.

ලංකාව සමඟම කොසොවෝ රාජ්‍යය හා ජෝර්ජියාවත් ඉහළ මැදි ආදායම් තත්ත්වයට උසස්වීම් ලබද්දී ආජන්ටිනාවේ තත්ත්වය ඉහළ ආදායම් රටක සිට ඉහළ මැදි ආදායම් රටක් දක්වා පහත හෙළා තිබෙනවා. එමෙන්ම, අඩු ආදායම් රටවල්ව පැවති කොමරෝස්, සෙනගාලය හා සිම්බාබ්වේ යන රටවල් පහළ මැදි ආදායම් තත්ත්වයට උසස් වී තිබෙනවා.

ඒක පුද්ගල ජාතික ආදායම් මට්ටම අනුව ලෝක බැංකුව විසින් කාණ්ඩ හතරක් යටතේ රටවල් වර්ගීකරණය කරනවා. ඒ ඉහළ ආදායම්, ඉහළ මැදි ආදායම්, පහළ මැදි ආදායම් හා පහළ ආදායම් රටවල් ලෙසයි.

ඉහළ ආදායම් රටවල් සේ සැලකෙන්නේ ඒක පුද්ගල දළ ජාතික ආදායම් මට්ටම ඇමරිකන් ඩොලර් 12,376 ඉක්මවන රටවලුයි. මේ කාණ්ඩයේ රටවල් 80 අතර වැඩිපුරම දැකිය හැක්කේ බටහිර රටවල්, මැද පෙරදිග රටවල් හා ඇතැම් කුඩා දූපත් රාජ්‍යයනුයි. ආසියානු කලාපයේ ඉහළ ආදායම් රටවල් වන්නේ ජපානය, දකුණු කොරියාව, හොංකොං, සිංගප්පූරුව, තායිවානය හා බෘනායි යන රටවල් පමණයි. දකුණු ආසියානු රටවල් කිසිවක් මේ කාණ්ඩයට අයත් වන්නේ නැහැ.

පහළ ආදායම් රටවල් බොහොමයක්ම අප්‍රිකානු රටවල්. ඇමරිකන් ඩොලර් 1,025 නොඉක්මවන ඒක පුද්ගල දළ ජාතික ආදායම් මට්ටමක් ඇති මේ රටවල් අතර අප්‍රිකානු රටවලට අමතරව දකුණු ආසියානු රටවල් සේ සැලකෙන නේපාලය හා ඇෆ්ඝනිස්තානය මෙන්ම උතුරු කොරියාව, සිරියාව හා තජිකිස්ථානය වැනි රටවල්ද තිබෙනවා. මේ කාණ්ඩයට අයත් රටවල් ගණන 31ක්.

ලෝකයේ රටවල් 107ක්ම අයත් වන්නේ මැදි ආදායම් කාණ්ඩයකටයි. ඒ අතරින් රටවල් 47ක් පහළ මැදි ආදායම් රටවල් වන අතර ඉතිරි රටවල් 60 ඉහළ මැදි ආදායම් කාණ්ඩයට අයත් වෙනවා. දකුණු ආසියානු රටවල් අතරින් මුලින්ම ඉහළ මැදි ආදායම් කාණ්ඩයට ඇතුළු වූයේ මාල දිවයිනයි. ලංකාව මේ කාණ්ඩයට ප්‍රවේශ වන දෙවන දකුණු ආසියානු රටයි. රුසියාව, චීනය, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව, තායිලන්තය, මැලේසියාව, ඉරානය, ඉරාකය වැනි රටවල් අයත් වන්නේත් මේ කාණ්ඩයටයි. එහෙත් ඉන්දියාව, පකිස්ථානය, බංග්ලා දේශය, මියන්මාරය, පිලිපීනය, වියට්නාමය, ඉන්දුනීසියාව වැනි බොහෝ ආසියාතික රටවල් තවමත් සැලකෙන්නේ පහළ මැදි ආදායම් රටවල් ලෙසයි.

ලෝක බැංකුවේ මේ වර්ගීකරණය පදනම් වන්නේ ඒක පුද්ගල දළ ජාතික ආදායම් මට්ටම මතයි. මීට සමාන්තර තවත් නිර්ණායකයක් වන ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයට වඩා මෙය සුළුවෙන් වෙනස් වෙනවා. දළ දේශීය නිෂ්පාදිතය ලෙස ඇස්තමේන්තු කරන්නේ රටේ සිදු වූ සමස්ත භාණ්ඩ හා සේවා නිෂ්පාදිතයේ වටිනාකමයි. දළ ජාතික ආදායම ගණනය කිරීමේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් විදේශිකයින් විසින් රට තුළ නිපදවූ කොටස අඩු කර ශ්‍රී ලාංකිකයින් විසින් රටින් පිටතදී නිපදවූ භාණ්ඩ හා සේවා වල අගය එකතු කරනවා. එවිට, දළ ජාතික ආදායම දළ දේශීය නිෂ්පාදිතයට වඩා අඩු හෝ වැඩි විය හැකියි. ලංකාව හා අදාළවනම් දළ ජාතික ආදායම දළ දේශීය නිෂ්පාදිතයට වඩා අඩුයි.

මහා බැංකු වාර්තාවේ ඇති පරිදි ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය හා ඒක පුද්ගල දළ ජාතික ආදායම පසුගිය වසර කිහිපයේදී වෙනස් වී තිබෙන ආකාරය පහත වගුවේ පෙන්වා තිබෙනවා. මහ බැංකු ඇස්තමේන්තු අනුවනම් ලංකාව ඉහළ මැදි ආදායම් රටක් විය යුතුව තිබුණේ වසරකට පෙරයි. ඒ වගේම ඒ සංඛ්‍යාලේඛණ අනුව බැලුවොත් රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මේ අවුරුද්දේ නැවත ආපසු කලින් තැනටම වැටෙනවා.


නමුත්, ලෝක බැංකුව විසින් මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ ඒ විදිහටම ගන්නේ නැහැ. මහ බැංකුවට විණිමය අනුපාතිකය මත බලපෑම් කිරීමට තිබෙන හැකියාව සලකමින් ලෝක බැංකුව විසින් රුපියල් ඩොලර් කිරීමේදී පවතින විණිමය අනුපාතිකය යොදාගනු වෙනුවට නිශ්චිත ක්‍රමවේදයක් (ඇට්ලස් ක්‍රමවේදය) අනුව මේ සංඛ්‍යා සීරුමාරු කරනවා. ඒ නිසා, ලෝක බැංකුව විසින් සලකා බලන ඒක පුද්ගල දළ ජාතික ආදායම් ඇස්තමේන්තු (ඇමරිකන් ඩොලර් වලින්) මහ බැංකුවේ ඇස්තමේන්තු වලට වඩා අඩු හෝ වැඩි විය හැකියි.

මේ විදිහට ඒක පුද්ගල දළ ජාතික ආදායම් ඇස්තමේන්තු සීරුමාරු කරගැනීමෙන් පසුව ලෝක බැංකුව විසින් ආදායම් මට්ටම අනුව රටවල් වර්ගීකරණය කිරීම පිණිස යොදාගන්නා ආදායම් පරාසද උද්ධමනය වැනි සාධක මත වසරින් වසර වෙනස් වෙනවා. ඉහළ මැදි ආදායම් රටක් සේ සැලකීමට අවශ්‍ය අවම ආදායම් මට්ටම පසුගිය වසර කිහිපය තුළදී යම් තරමකින් පහත වැටී තිබෙනු දැකිය හැකියි. ලංකාවට ඉහළ මැදි ආදායම් තත්ත්වය කරා ඉක්මනින් ළඟා වීමට මේ සාධකයද යම් පමණකින් හේතු වුනා.

පැමිණි ආකාරය කොහොම වුනත්, දැන් ලංකාව ඉහළ මැදි ආදායම් රටක්.

Tuesday, June 18, 2019

කන්ටේනර් ටෝක්!


හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහගේ ප්‍රකාශයක් වෙත ඇනෝ කෙනෙක් විසින් අවධානය යොමු කරලා තිබුණා. ඔහුගේ ප්‍රකාශයේ සාරාංශය ගත්තොත් එය මෙවැන්නක්. කතාවේ තිබෙන අවශේෂ කරුණු ගැන මම කතා කරන්න යන්නේ නැහැ.

"රජයේ දවසක ආදායම රුපියල් බිලියන පහක්. වියදම රුපියල් බිලියන හතක්. බදු අනුපාතික ඉහළ නොදමා රජයේ ආදායම දවසකට රුපියල් රුපියල් බිලියන හයක් හතක් දක්වා ඉහළ දැමීම පහසුවෙන් කළ හැකි දෙයක්. ඒ වගේම වියදම රුපියල් බිලියන පහක් දක්වා අඩු කරන එකත් පහසුවෙන් කළ හැකි බව ඔප්පු කර තිබෙන දෙයක්."

දැන් මේ ප්‍රකාශය අනුව, දවසකට රුපියල් බිලියන දෙකක් වන රජයේ අයවැය හිඟය රුපියල් බිලියන දෙකක අතිරික්තයක් කර ගැනීම ඉතාම පහසු වැඩක්. මේ කතාව ඇත්තද? නැත්නම්, මේකත් තවත් ගැලරි ටෝක් එකක් විතරද?

ගාමිණි විජේසිංහගේ ප්‍රකාශය සාමාන්‍ය පුද්ගලයෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි සරල ප්‍රකාශයක්. ඒ නිසා, අපි මුලින්ම ඔහු කියන සංඛ්‍යාලේඛණ වලින්ම පටන් ගනිමු. ඔහුගේ ප්‍රකාශයේ තිබෙන විදිහට රජයේ දවසක ආදායම හා වියදම බිලියන වලින් බැලූ විට ගොඩක් දෙනෙකුට කතාව තේරුම් ගන්න පහසුයි.

රජයේ දවසක ආදායම (2018දී රුපියල් බිලියන වලින්) - 5,260
රජයේ දවසක වියදම (2018දී රුපියල් බිලියන වලින්) - 7,379

මේ අනුව, මේ ගණන් රුපියල් බිලියන වලින් 5,000 හා 7,000 ලෙස සඳහන් කිරීමේ වැරැද්දක් නැහැ. 2018දී රුපියල් බිලියන වලින්ම මේ වියදම් මොනවාද කියා අපි වැඩි දුරටත් හොයා බලමු.

රජයේ දවසක වියදම (2018දී රුපියල් බිලියන වලින්)
ප්‍රාග්ධන වියදම්- 1,678
පුනරාවර්තන වියදම්- 5,725

මෙයින් පුනරාවර්තන වියදම් වැඩි දුරටත් පහත ආකාරයට කොටස් කළ හැකියි.
රාජ්‍ය සේවක වැටුප්- 1,715
පොලී වියදම්- 2,335
සහනාධාර- 1,182
භාණ්ඩ හා සේවා මිල දී ගැනීම්- 493

දවසකට රුපියල් බිලියන 2,000කින් රජයේ වියදම අඩු කරන ආකාරය ගාමිණි විජේසිංහගේ කතාවේ උපුටා දක්වා ඇති කොටසේ නැහැ. ඔහු ඒ බව පෙන්වා ඇති තැනක් ඇත්නම් ඒ ගැන වැඩිදුර කතා කළ හැකියි. මගේ පෞද්ගලික අදහසනම් කවුරු මුදල් අමාත්‍යාංශය භාර ගත්තත් ගාමිණි විජේසිංහ කියන ආකාරයට දවසකට රුපියල් බිලියන 2,000කින් රජයේ වියදම අඩු කළ නොහැකි බවයි.

යහපාලන ආණ්ඩුව යටතේ පසුගිය වසර හතර ඇතුළත ප්‍රාග්ධන වියදම් විශාල ලෙස කප්පාදු කර තිබෙනවා. ඇතැම් විට මේ වසර හතර ඇතුළත ක්ෂය වූ ප්‍රාග්ධනයේ ප්‍රමාණයටවත් අලුතින් ප්‍රාග්ධන ආයෝජන සිදු කර නැති වෙන්න පුළුවන්. රටේ පාරවල් දිහා බැලූ විට මේ බව පෙනෙනවා. බොහෝ පාරවල් 2014 අගදී තිබුණු මට්ටමට නඩත්තු වී නැහැ.

ප්‍රාග්ධන වියදම් මීටත් වඩා අඩු කළොත් වෙන්නේ ක්‍රමක්‍රමයෙන් රාජ්‍ය යාන්ත්‍රණය අකර්මන්‍ය වී යාම පමණයි. රෝහල් වල උපකරණ කැඩෙන විට ඒවා පිළිසකර කළ යුතුයි. ගොඩ දාන්න බැරි මට්ටමට ආ විට අලුත් උපකරණ මිල දී ගත යුතුයි. එසේ නොකළොත්, සෞඛ්‍ය සේවකයින් සිටි පමණින් නිසි පරිදි ප්‍රතිකාර කළ නොහැකි වෙනවා. රජයේ කාර්යාල වල පරිගණක කල් ඉකුත් වන විට අළුත් පරිගණක මිල දී ගත යුතුයි. පරිගණකයක් නැතිව පරිගණක ක්‍රියාකරුවෙකුට කළ හැකි දෙයක් නැහැ. වාහන අබලන් වන විට අළුත් වාහන මිල දී ගන්න වෙනවා. වාහනයක් නැතිව රියදුරෙකුට වැටුප් ගෙවා නඩත්තු කළා කියා කිසිදු නිෂ්පාදනයක් සිදු වෙන්නේ නැහැ. දවසකට ප්‍රාග්ධන වියදම් සේ වැය කරන රුපියල් බිලියන 1,678 තවදුරටත් කප්පාදු කිරීමෙන් වෙන්නේ රාජ්‍ය අංශයේ සේවකයින් සෑහෙන පිරිසකට වැඩක් නොකර වැටුප් ගන්න වෙන එකයි. එවැනි කප්පාදුවක් දිගුකාලීනව එය රටට බොහෝ හානිකර විය හැකියි.

පොලී වියදම් වලින් සතයක්වත් අඩු කරන්න අමාරුයි. දැනටම අරගෙන තිබෙන ණය වලට කලින් පොරොන්දු වී ඇති පොලී ගෙවන්නම වෙනවා. ඒ වගේම, රජයේ සේවකයන්ගේ වැටුප් කප්පාදු කරන්න බැහැ. රාජ්‍ය සේවකයින් සේවයෙන් ඉවත් කරන්නත් බැහැ. දැනට සිටින රජයේ සේවකයින් ප්‍රමාණයට සාපේක්ෂව රජය විසින් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම වෙනුවෙන් වැය කරන්නේ ඉතා අඩු මුදලක්. ප්‍රාග්ධන වියදම් මෙන්ම මේ වියදම්ද තවත් අඩු කරන්න අමාරුයි. රජයේ කාර්යාල වල කටයුතු අවම මට්ටමින් හෝ කරන්න ලිපි ද්‍රව්‍ය, ඉන්ධන ආදී විවිධ වියදම් දරන්නම වෙනවා. මේ වියදම් තවත් කැපුවොත් වෙන්නේ රජයේ සේවකයින්ට වැටුප් ගෙන වැඩක් නොකර ඉන්න වෙන එකයි.

හැබැයි එකවර විශාල රාජ්‍ය සේවකයින් පිරිසක් සේවයෙන් ඉවත් කිරීම වැනි දෙයක් කළොත්නම්, සමානුපාතිකව ඇතැම් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම් වෙනුවෙන් යන වියදම් හා ප්‍රාග්ධන වියදම් කප්පාදු කළ හැකියි. එවැන්නක් කරන්න කිසිදු ආණ්ඩුවක් පෙළඹෙයි කියා හිතන්න බැහැ.  ගාමිණි විජේසිංහ එවැන්නක් යෝජනා කරනවා කියා මා හිතන්නේත් නැහැ.

මේ සියල්ලට අමතරව ඉතිරිව තිබෙන්නේ විවිධ සහනාධාර සඳහා යන වියදම්. වියදම් අඩු කරනවානම් සාපේක්ෂව පහසුම දේ මේ ඇතැම් සහනාධාර නොදී ඉන්න එකයි. ගාමිණි විජේසිංහ විසින් යෝජනා කරන්නේ එවැන්නක්ද? එසේනම්, ඒ විදිහට කපා දැමිය යුත්තේ කවර සහනාධාරද?

ප්‍රකාශයේ තිබෙන විදිහට රජයේ දවසක වියදමෙන් රුපියල් බිලියන 2,000ක් අඩු කරන එක මටනම් හිතාගන්නවත් අමාරු දෙයක්. රුපියල් බිලියන දෙතුන් සීයක්නම් කොහොම හරි අඩු කර ගන්න උත්සාහ කළ හැකියි. නමුත්, රජයේ වියදම් දවසකට රුපියල් බිලියන 5,000 දක්වා අඩු කරනවා කියන එක රුපියල් 2,500න් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියනවා වගේ කතාවක්.

අපි ආදායම් පැත්තත් බලමු. ආදායම් වැඩි කිරීම හා අදාළව ඔහු සතුව යෝජනාවක් තිබෙන බව පේනවා. ඔහුගේ ප්‍රකාශය අනුව, ලංකාවට දවසකට එන කන්ටේනර් 1,500කින් පරීක්ෂාවට ලක්වන්නේ 100ක් පමණයි. මෙසේ කීමෙන් ඔහු අදහස් කරන්නේ මේ කන්ටේනර් 1,500ම පරීක්ෂාවට ලක් විය යුතු බව වෙන්න පුළුවන්.

වරායේදී කන්ටේනර් පරීක්ෂා කරන ක්‍රමවේදය ගැන මම හරියටම දන්නේ නැහැ. නමුත්, මේ වගේ තැනකදී අහඹු නියැදියක් පරීක්ෂාවට ලක් කිරීම සම්මත ක්‍රමයක්. ප්‍රසස්ථ ක්‍රමය වන්නේද එසේ නියැදි පරීක්ෂාවක් කිරීමයි. මේ ගණන් නිවැරදියි කියා උපකල්පනය කළොත් ඕනෑම කන්ටේනරයක් පරීක්ෂාවට ලක් වෙන්න 1/15ක සම්භාවිතාවක් තිබෙන නිසා බොහෝ දෙනෙක් බදු වංචාවක් කිරීමට පෙර ඒ ගැන හිතා බලනවා. ඒ වගේම, "දැක්කොත් බුවා නොදක්කොත් එබුවා" කියා පරීක්ෂාවට ලක් නොවෙන්න 14/15ක සම්භාවිතාවක් තිබීමේ වාසිය ගන්න අයත් ඉන්න පුළුවන්.

අවුරුදු විස්සකට පමණ පෙර මා අසා තිබුණා බදු නොගෙවා ලංකාවට පාවහන් ගෙන්වන ආනයනකරුවෙක් පිළිබඳ කතාවක්. තායිලන්තයෙන් පාවහන් මිල දී ගන්නා ඔහු මේ පාවහන් ලංකාවට එවන්න කලින් ඒවා දකුණු හා වම් කකුල් පාවහන් ලෙස ගොඩවල් දෙකකට වර්ග කරනවා. ඉන් පසු, මේ වර්ග දෙක වෙන වෙනම නැව්ගත කරනවා. බොහෝ විට මේ පාවහන් පරීක්ෂාවට ලක් වන්නේ නැහැ. වෙන වෙනම එන තොග ලංකාවට ලැබුණු පසු ලංකාවේදී දකුණු හා වම් කකුල් එකතු කර ගන්නවා.

සමහර වෙලාවට පාවහන් තොගයක් රේගු නිලධාරීන්ට අහු වෙනවා. එවිට මේ ආනයනකරු දඩමුදල් ගෙවා පාවහන් නිදහස් කරගන්න යන්නේ නැහැ. පාවහන් තොගය රාජසන්තක වෙනවා. ඉන් පසු මේ පාවහන් වෙන්දේසියේ දමනවා. නමුත්, කවුරුත් ලන්සු තියන්නේ නැහැ. එක කකුලක් විතරක් මොකටද? අන්තිමට අර මනුස්සයාම ගිහිං පොඩි ගාණකට වෙන්දේසියෙන් පාවහන් තොගය ගන්නවා. අරගෙන තමන් ළඟ තිබෙන අනික් කකුල සමඟ මැච් කර ගන්නවා. ඔය කතාව ඇත්තක් වුනත් බොරුවක් වුනත් ආනයනික භාණ්ඩ තොග සියල්ලම පරික්ෂා කරනවානම් ඔය වගේ සෙල්ලම් කරන්න ලැබෙන්නේ නැහැ.

අපි හිතමු ගාමිණී විජේසිංහ කියනවා වගේ රේගුව කන්ටේනර් සියල්ල පරික්ෂා කරන්න පටන් ගත්තා කියලා. වැඩේ පටන්ගත් අලුත, බදු වංචා කරුවන් ගණනාවක් අහු වෙයි. නමුත්, ඒ වෙනුවෙන් දැනට වඩා විශාල රේගු නිලධාරීන් පිරිසක් අවශ්‍ය වෙනවා. අනෙක් වියදම්ද සමානුපාතිකව ඉහළ යනවා. එවැනි වියදමක් දරා බදු වංචාකරුවන් අල්ලා ගත්තා කියා කියමුකෝ. එයින්, පසුව ඒ අය දිගින් දිගටම බදු ගෙවමින් කලින් වගේම භාණ්ඩ ආනයනය කරයිද?

ඇතැම් අය අවදානමක් ගෙන බදු වංචා කර භාණ්ඩ ආනයනය කරන්නේ ඒ භාණ්ඩ විකුණා ලාබයක් ලබන්නයි. මේ වගේ භාණ්ඩ සාමාන්‍යයෙන් විකිණෙන්නේ අඩු මිලකටයි. හරියට බදු ගෙවුවොත් ඔවුන්ට එවැනි අඩු මිලකට බඩු විකුණන්න බැහැ. මිල වැඩි කළොත් මේ භාණ්ඩ විකිණෙන්නේ නැහැ. මෙවැනි ආනයනකරුවන් වැඩේට අත ගහන්නේම බදු නොගෙවා භාණ්ඩ රට ඇතුළට පන්නා ගැනීම පිළිබඳව තිබෙන විශ්වාසය මතයි. ඒ නිසා, ගාමිණී විජේසිංහ යෝජනා කරන විදිහට රේගුවේ හිල් සියල්ලම වැහුවොත් වෙන්නේ එවැනි අය බොහෝ දෙනෙක් වැඩේ නවත්වන එකයි. එවිට, බදු වංචා නැවතුණත් ඔහු අපේක්ෂා කරන ආකාරයට රජයේ ආදායම වැඩි වෙන්නේ නැහැ. අමතර රේගු නිලධාරීන් පිරිසක් නඩත්තු කරන්න සිදුවීම නිසා වියදම වැඩි වෙන එක සැලකූ විට අන්තිමට රජයේ ආදායම වැඩි වනවාට වඩා වියදම වැඩි වෙන්නත් පුළුවන්.

පොදුවේ රටේ ආර්ථිකය ගැන සැලකුවාම කන්ටේනර් සියල්ලම පරීක්ෂා කරන්න යාමේ විශාල ආර්ථික පිරිවැයක්ද තිබෙනවා. පරීක්ෂාව සඳහා ගත වන කාලය තුළ ඇතැම් භාණ්ඩ නරක් වෙන්න පුළුවන්. ඇතැම් භාණ්ඩ විකුණා ගැනීමට තිබෙන අවස්ථාව ගිලිහෙන්න පුළුවන්. ඒ වගේම, භාණ්ඩ වෙළඳපොළට එන්න කලින් සිදුවන පැයක හෝ ප්‍රමාදයක් කියන්නේ විශාල ප්‍රමාදයක්. මේ වගේ යෝජනාවක වක්‍ර ආර්ථික පිරිවැය විශාලයි. මේ හේතුව නිසා ආනයන වෙළඳාම අධෛර්යමත් වීමෙන් රජයේ බදු ආදායමට යම් සෘණාත්මක බලපෑමක්ද විය හැකියි. මෙවැනි යෝජනාවක් කවදාවත් බදු වංචා කරන්න නොහිතන ආනයනකරුවෙකුගේ හෝ සතුටට හේතු වෙන්නේ නැහැ.

කන්ටේනර් පරීක්ෂා කිරීමේදී 1/15ක් පමණක් පරීක්ෂා කිරීම ප්‍රසස්තම මට්ටමද කියා මා දන්නේ නැහැ. නමුත්, කන්ටේනර් සියල්ලම පරීක්ෂා කිරීමනම් කාර්යක්ෂම ක්‍රමවේදයක් නෙමෙයි. ආදායම් බදු ආදිය හා අදාළවත් තත්ත්වය මෙවැන්නක්. නියැදි පරීක්ෂාවන් කළ යුතු ආකාරය ගැන මනා දැනුමක් තිබෙන නිලධාරීන් අදාළ ආයතන වල ඉන්න නිසා ඔවුන් මේ වැඩේ සම්පූර්ණයෙන්ම අනාගෙන ඉන්නවා කියා හිතන්න අමාරුයි.

පැත්තක ඉඳන් විවේචනය කරන එක පහසුයි. නමුත්, වැඩක් කරන එක ඒ තරම්ම ලේසි නැහැ.


Monday, June 17, 2019

රාජ්‍ය වියදම් අඩු කිරීමේ අභියෝගය

කාලයක් තිස්සේ ලංකාව හිර වී සිටින ණය උගුලෙන් රට ගොඩගන්න යහපාලන ආණ්ඩුව සමත් වී නැති බව පැහැදිලි කරුණක්. වැඩි විස්තර පෙර ලිපියේ ලියා තිබෙනවා. යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති උපාය මාර්ග පෙර ආණ්ඩුවේ උපායමාර්ග වලින් වෙනස් වුවත්, රට පැටලී සිටින ණය උගුල හා අදාළව සැලකූ විට පසුගිය සිවුවසර ඇතුළත අමුතු ප්‍රගතියක් අත් වී නැහැ.

යහපාලන ආණ්ඩුවට තිබෙන එක් "චෝදනාවක්" වන්නේ එම ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් බවයි. මේ කතාවට පදනමක් තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සාමාන්‍යයෙන් නිර්දේශ කරන ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් හා යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් සෑහෙන තරමකින් සමපාත වූවා තමයි.

ලංකාව හෝ වෙනත් රටක් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් ක්‍රියාත්මක කිරීම ඒ හේතුව නිසාම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් වෙන්නේ වඩා හොඳ ප්‍රතිපත්ති විකල්පයක් තියෙද්දී නරක ප්‍රතිපත්ති විකල්පයක් තෝරා ගත්තේනම් එසේ කිරීමයි.

මේ ආණ්ඩුව වගේම රාජපක්ෂ ආණ්ඩුව විසිනුත් වරින් වර ආර්ථික අර්බුද හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට සොයා ගොස් තිබෙනවා. රටක් ඒ විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්නේ රටකට ඊට වඩා හොඳ විකල්පයක් නැති වූ විටයි. ලංකාව හැම විටකම වගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට සොයා ගොස් තිබෙන්නේ ගෙවුම් ශේෂ අර්බුද වල හිර වීමෙන් පසුවයි.

රටක් ගෙවුම් ශේෂ අර්බුදයක පැටලී සිටින විට එවැනි රටක රජයකට විදේශ ණය ලබා ගැනීම ඉතා අසීරු වෙනවා. එසේ වෙන්නේ එවැනි රජයකට ණය දීම බොහෝ අවදානම් සහගත කටයුත්තක් නිසයි. රටේ ආර්ථිකය බිඳ වැටුණොත් දුන් ණය ආපසු ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ණය ලබා දෙන අය ඒ අවදානමට සරිලන ඉතා ඉහළ පොලී අනුපාතිකයක් නැතුව ණය දෙන්නේ නැහැ. මෙවැනි ඉහළ පොලී අනුපාතිකයකට ණය ගෙන තාවකාලිකව ප්‍රශ්නය යටපත් කර ගත හැකි වුවත්, ණය ආපසු ගෙවන්න යාමේදී ගෙවුම් ශේෂ අර්බුදය වඩාත් දරුණු විදිහට මතු වෙනවා.

මේ වගේ වෙලාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අරමුදල විසින් සහනදායී පොලී අනුපාතිකයකට ණය ලබා දෙනවා. නමුත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එසේ කළ හැක්කේ කවර හෝ ආකාරයකින් රටේ ආර්ථිකය බිඳ වැටීමේ අවදානම අඩු වෙනවානම් පමණයි. ඒ නිසා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මේ විදිහට සහනදායී පොලී අනුපාතිකයකට ණය දෙන්නේ රටේ ආර්ථිකය බිඳ වැටීමේ අවදානම අඩු කෙරෙන නිර්දේශ සමඟයි. අදාළ ණය මුදල ලබා ගන්නනම් රජයකට මේ කොන්දේසි වලට එකඟ වෙන්න වෙනවා.

මේ වගේ වෙලාවක කිසියම් රටක් වෙනුවෙන් නිර්දේශ සකස් කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය වන්නේ ඔවුන් ලබා දෙන ණය මුදල ආපසු ගෙවන තුරු රටේ ආර්ථිකය බිඳ නොවැටෙන බව තහවුරු කර ගැනීමයි. සෘජුව ප්‍රකාශ නොකළත්, එතැනින් එහාට රටේ ආර්ථිකය සැලසුම් කිරීම ඔවුන්ගේ ප්‍රමුඛතාවයක් නෙමෙයි. මේ විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා ණය බොහෝ විට අවුරුදු තුනක සිට පහක පමණ කාලයකින් ආපසු ගෙවිය යුතුයි. ඒ නිසා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් බොහෝ විට ඉලක්ක කරන්නේ එවැනි කාල සීමාවක් තුළ ආර්ථිකය කඩා නොවැටෙන පරිදි ස්ථාවර කිරීමටයි.

අනෙක් අතට රටක ආණ්ඩුවක පැත්තෙන් ගත් විට, රටක් ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී සිටින විට ආණ්ඩුවේ ක්ෂණික ඉලක්කය වන්නේ රටේ ආර්ථිකය ඉතා කෙටි කාලයක් ඇතුළත බිඳ වැටෙන්න තිබෙන අවදානම අඩු කර ගන්න එක මිසක් දිගුකාලීන ආර්ථික වර්ධන ඉලක්ක පසුපස හඹා යන එක නෙමෙයි. ඒ නිසා, බොහෝ විට එවැනි අවස්ථා වලදී ආණ්ඩුවක හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතා සමපාත වෙනවා. ඒ නිසා, එවැනි අවස්ථාවකදී ආණ්ඩුවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිගැනීම ගොඩක් අසීරු වෙන්නේ නැහැ.

මේ ආණ්ඩුව හා පසුගිය ආණ්ඩු යටතේ ලංකාව ගෙවුම් ශේෂ අර්බුද වලට මුහුණ දුන් හැම විටකම වාගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදවුවෙන් එම අර්බුද වලින් ගොඩ ගිහින් තිබෙනවා. ඒ කිසිදු අවස්ථාවක ලංකාවේ ආර්ථිකය බිඳ වැටුණේ නැහැ. ඒ නිසා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ වලින් රටට හානියක් වුණා කියා කියන්න බැහැ. පැවති ආණ්ඩු විසින් අදාළ කොන්දේසි පිළිගැනීම ඒ ඒ අවස්ථා වල ඉතිරිව තිබූ හොඳම විකල්ප බව කීමේ වැරැද්දක් නැහැ.

ආර්ථික අර්බුදයක් හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදවුවෙන් ක්ෂණික හානියක් වලක්වා ගත්තට පස්සේ එවැනි අර්බුදයකට තුඩුදුන් ආකෘතිමය හේතු වලට විසඳුම් සොයා ගැනීම රටේ ආණ්ඩු වල වැඩක්. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩක් නෙමෙයි. මත්පැන් ඇබ්බැහිය හේතුවෙන් අක්මාව හානි කරගත් අයෙකු රෝහල්ගත වූ විට ඔහුට වෛද්‍ය ප්‍රතිකාර දී ක්ෂණිකව මරණයට පත් වීම වලක්වා ගෙදර යැවීමෙන් පසුව නැවතත් මත්පැන් පානය කර රෝගී වුවහොත් එහි වරද වෛද්‍යවරයාගේ නෙමෙයි.

වෛද්‍ය ප්‍රතිකාර වලින් ක්ෂණික මරණය වලක්වා ගැනීමෙන් පසුව නැවත මත්පැන් බී රෝගී වීම කිහිප වරක් සිදු වූ පසු අන්තිමේදී මත්පැන් පානයෙන් වැලකුණත් අක්මාවේ ප්‍රශ්නය නැවත මතු වෙන්න පුළුවන්. එයත් වෛද්‍යවරයාගේ වරදක් නෙමෙයි. ලංකාවේ ණය ප්‍රශ්නයත් දැන් තිබෙන්නේ මේ වගේ අදියරකයි. අක්මාවට දැනටමත් හානි වෙලා තිබෙන තරම අනුව, දැන් මත්පැන් පානය නොකළා කියා රෝගය සුවවන්නේ නැහැ.

රටක් ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දුන් විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිරේදේශ කරන ක්‍රියාමාර්ග අතර ඉහළින්ම තිබෙන්නේ විණිමය අනුපාතිකය නිවැරදි කර ගැනීමයි. දෙවන නිර්දේශය රජයේ අයවැය හිඟය අඩු කර ගැනීමයි. අයවැය හිඟය ඉහළ යන තරමට වාර්ෂිකව වැඩි වැඩියෙන් ණය ගන්න සිදුවීම එයට හේතුවයි.

රජයේ අයවැය හිඟය අඩු කරගත යුතු බව මේ ආණ්ඩුව, පෙර ආණ්ඩුව මෙන්ම ඊටත් පෙර ආණ්ඩුවත් ප්‍රතිපත්තියක් ලෙස පිළිගත් කරුණක්. ප්‍රශ්නය තිබෙන්නේ මේ වන විට පවතින තත්ත්වයන් යටතේ රජයේ අයවැය හිඟය අඩු කරගැනීම හිතන තරම් පහසු කරුණක් නොවීමයි.

රජයේ අයවැය හිඟය කියන්නේ රජයේ ආදායම් හා වියදම් අතර වෙනසයි. ආදායම් කියන්නේ ප්‍රධාන වශයෙන්ම බදු ආදායම්. මගේ අදහස අනුව, අඩු වශයෙන් පසුගිය අවුරුදු පහළොවක පමණ කාලය තුළ රජයේ බදු ආදායම් වාර්ෂිකව හැකි උපරිම තරමින් වැඩි කරගෙන තිබෙනවා. රජය මීටත් වඩා බදු ගහන්නේ නැත්තේ බදු අනුපාතික තවත් වැඩි කළොත් බදු පදනම් (tax bases) පහළ ගිහින් ආදායම් අඩු විය හැකි නිසයි. උදාහරණයක් විදිහට වාහන මත පනවන බදු 10%කින් වැඩි කළ විට වාහන අලෙවිය 15%කින් අඩු වුනොත් වෙන්නේ රජයේ බදු ආදායම තවත් අඩු වෙන එකයි. ඒ නිසා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කිවුවත්, ආණ්ඩුව එකඟ වුනත්, රජයේ බදු ආදායම් තවත් වැඩි කර ගැනීම පහසු කටයුත්තක් නෙමෙයි.

ආදායම් වැඩි කර ගැනීම අසීරුනම් අයවැය හිඟය අඩු කර ගන්න වියදම් අඩු කර ගත යුතුයි. මේ කරුණේදී යහපාලන ආණ්ඩුව කටයුතු කළේ රාජපක්ෂ ආණ්ඩුවෙන් වෙනස් ආකාරයකටයි. ආණ්ඩුවකට ප්‍රායෝගිකව කරන්න පුළුවන් උපරිම තරමටම වගේ යහපාලන ආණ්ඩුව විසින් ආණ්ඩුවේ වියදම් සීමා කළා. දේශපාලනික වශයෙන් මෙය කොයි තරම් හානිකරද කියන එක ගැන නොතකා යහපාලන ආණ්ඩුව විසින්, වඩාත් නිවැරදිව කියනවානම් එහි රනිල් පාර්ශ්වය විසින්, මේ කටයුත්ත කළා. වියදම් සීමා කිරීම කියන කරුණ හා අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආණ්ඩුවට කෙටිකාලීනව කළ හැකි වෙනත් නිර්දේශ තියෙනවද කියන එකත් සැකයි.

රාජපක්ෂ ආණ්ඩුව මේ විදිහට කටයුතු කළේ නැහැ. යහපාලන ආණ්ඩුව යටතේ 2018 අවසානය දක්වා සිදු වූ 10.66%ක වාර්ෂික රාජ්‍ය වියදම් වර්ධන වේගයට වඩා ගොඩක් වැඩියෙන්, 14.18%ක සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයකින් රාජපක්ෂ දශකයේදී රාජ්‍ය වියදම් ඉහළ ගියා. මේ වගේ වේගයකින් ඉහළ යමින් තිබූ රාජ්‍ය වියදම් වර්ධනය සීමා කර රාජ්‍ය ආදායම් වර්ධන වේගය වැඩි කර ගැනීම යහපාලන ආණ්ඩුවට මුහුණ දෙන්න සිදු වූ විශාල අභියෝගයක්.

යහපාලන ආණ්ඩුවේ රනිල් පාර්ශ්වය මේ අභියෝගයට නිර්භයව මුහුණ දුන්නා කියා කියන්න පුළුවන්. නිර්භයව කියා කියන්නේ මේ කටයුත්ත දේශපාලනික වශයෙන් ඉතා හානිකර වූවක් නිසයි. සමහර විට මේ ආකාරයට රාජ්‍ය වියදම් සීමා කිරීම "ලෙඩා මැරුණත් බඩ සුද්දයි" මට්ටමට ගියාද කියන එකත් විමසා බැලිය යුතු කරුණක්.

පොදුවේ 14.18% සිට 10.66% මට්ටමට රාජ්‍ය වියදම් වර්ධනය අඩුවුවත්, මේ අඩු වීමට ප්‍රධාන වශයෙන්ම හේතු වුනේ ප්‍රාග්ධන වියදම් වර්ධනය සීමා කිරීමයි. පුනරාවර්තන වියදම් වර්ධනයේ එවැනි කැපී පෙනෙන අඩුවක් වුනේ නැහැ.

රාජපක්ෂ දශකයේදී රජයේ පුනරාවර්තන වියදම් 13.00%ක සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයකිනුත්, ප්‍රාග්ධන වියදම් 18.56%ක සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයකිනුත් වැඩි වුනා. ඒ කාලය ගැන කතා කරද්දී ගොඩක් අය සඳහන් කරන "ඇහැට පෙනෙන" සංවර්ධනයට හේතු වුනේ මේ වේගවත් ප්‍රාග්ධන වියදම් වර්ධනයයි. රාජපක්ෂ යුගයේදී සිදු කෙරුණු මහාපරිමාණ ප්‍රාග්ධන ආයෝජන ගැන අමුතුවෙන් මතක් කළ යුතු නැහැ. මේ ප්‍රාග්ධන ආයෝජන වල ඵලදායීතාව ගැන මම මෙහි සාකච්ඡා කරන්නේ නැහැ.

පසුගිය සිවුවසර ඇතුළත සාමාන්‍ය ප්‍රාග්ධන වියදම් වර්ධන වේගය 7.43%ක් පමණයි. මෙය විශාල අඩු වීමක්. නමුත්, පුනරාවර්තන වියදම් ඒ විදිහට අඩු වුනේ නැහැ. පසුගිය වසර හතර ඇතුළතත් රජයේ පුනරාවර්තන වියදම් 12.11%ක සාමාන්‍ය වර්ධන වේගයකින් ඉහළ ගියා. යහපාලන ආණ්ඩුව රාජ්‍ය වියදම් සීමා කිරීම කියා කළේ ප්‍රාග්ධන වියදම් සීමා කිරීම බව පැහැදිලි කරුණක්.

ප්‍රාග්ධන වියදම් කියා කියන්නේ අනාගත ආදායම් ඉහළ දමන වියදම්. හැබැයි මේ වියදම් කරන්නේ ණයට ගත් අරමුදල් යොදාගෙනනම්, ආදායම් වැඩි වෙද්දී පොලී ගෙවීම් ලෙස අනාගත වියදම්ද වැඩි වෙනවා. අපේක්ෂිත ආදායම් වලට වඩා ගෙවිය යුතු පොලී වියදම් වැඩිනම් ප්‍රාග්ධන ආයෝජනයකින් දිගුකාලීනව සිදුවෙන්නේ අවාසියක්. රාජපක්ෂ කාලයේ සිදු කළ ඇතැම් ආයෝජන හා අදාළව මේ විවේචනය තිබෙන නමුත් ඉහත කී ප්‍රාග්ධන වියදම් හේතුවෙන් රටේ ආර්ථික වර්ධනයට තල්ලුවක් සැපයුණු බවත්, ඉහළ දළ ජාතික නිෂ්පාදිතය නිසා රාජ්‍ය ආදායම් ඉහළ ගිය බවත් පැහැදිලිව පෙනෙන දෙයක්.

බදු අනුපාතික ඉහළ නොදැම්මත්, බදු පදනම් ඉහළ යන විට බදු ආදායම් ඉහළ යනවා. යහපාලන ආණ්ඩුව යටතේ සෑහෙන මහන්සියකින් පවත්වාගත් 12.58%ක සාමාන්‍ය වාර්ෂික රාජ්‍ය ආදායම් වර්ධන වේගය ඉක්මවන 14.39%ක සාමාන්‍ය වාර්ෂික රාජ්‍ය ආදායම් වර්ධන වේගයක් පවත්වා ගන්න රාජපක්ෂ ආණ්ඩුවට හැකි වුණේ ඒ නිසයි. රාජ්‍ය වියදම් වර්ධන වේගයන්ගේ වෙනසට වඩා රාජ්‍ය ආදායම් වර්ධන වේගයන්ගේ වෙනස ගොඩක් අඩු බවත් ඒ එක්කම නිරීක්ෂණය කළ යුතු දෙයක්. එයින් අදහස් වන්නේ ලැබූ ආදායම් වර්ධනය වෙනුවෙන් සාපේක්ෂව බොහෝ විශාල මිලක් ගෙවා තිබෙන බවයි.

ප්‍රාග්ධන වියදම් කියා කියන්නේ අධිවේගී මාර්ග, ගුවන් තොටුපොළවල් ආදිය හදන්න කරන වියදම් පමණක් නෙමෙයි. රජයේ කාර්යාලයකට ගන්න පරිගණකයක් හෝ මේසයක් පුටුවක් කියන්නෙත් ප්‍රාග්ධන වියදමක්. මේ ආකාරයේ ප්‍රාග්ධන භාණ්ඩයක් කියන්නේ අනාගත භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉහළ නංවන නිෂ්පාදන සාධකයක්. ප්‍රාග්ධන භාණ්ඩ වල තිබෙන එක් ලක්ෂණයක් වන්නේ ඒවා කාලයත් සමඟ ක්ෂය වී යාමයි. එවිට ප්‍රාග්ධන සංචිතය පහළ ගිහින් නිෂ්පාදන ශක්‍යතාවය අඩු වෙන එක වලක්වා ගැනීමටනම් ඒ විදිහට ක්ෂය වන ප්‍රාග්ධන සම්පත් නැවත ප්‍රතිස්ථාපනය කළ යුතුයි. පාරවල් හැදුවත් කලක් යද්දී නැවත කැඩෙනවා. පරිගණක කල් ඉකුත් වෙනවා.

සමස්තයක් ලෙස රටක ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණය ඉහළ නොදැම්මත්, දැනට තිබෙන මට්ටමේම පවත්වා ගැනීම සඳහා වුවත් සැලකිය යුතු මුදලක් වාර්ෂිකව වැය කළ යුතුයි. ඒ මට්ටම දක්වා ප්‍රාග්ධන ආයෝජන කළා කියා රටේ නිෂ්පාදිතය වැඩි වන්නේ නැති වුවත්, එපමණටවත් ප්‍රාග්ධන ආයෝජන නොකළොත් රටේ දළ දේශීය නිෂ්පාදිතය පහළ යනවා. රාජ්‍ය අංශය රටේ සමස්ත ආර්ථිකයෙන් කොටසක් පමණක් වුවත්, රාජ්‍ය අංශයේ නිෂ්පාදිතය හා අදාළවත් මේ තත්ත්වය බලපානවා. මූලික රෝහලක තිබෙන එකම එක්ස්රේ යන්ත්‍රය ප්‍රයෝජනයට ගත නොහැකි තරමට අබලන් වීම වැනි අවස්ථාවක් ගැන හිතුවොත් මේ කරුණ පැහැදිලි වෙයි. යහපාලන ආණ්ඩුව විසින් පසුගිය වසර ඇතුළත මේ අවම මට්ටම කිට්ටුවටම වගේ ප්‍රාග්ධන වියදම් සීමා කර ඇති බව පෙනෙනවා.

යහපාලන ආණ්ඩුව විසින් ප්‍රාග්ධන වියදම් මෙන් කැපී පෙනෙන සේ පුනරාවර්තන වියදම් අඩු කර නැහැ. මේ පුනරාවර්තන වියදම් මොනවාද කියා බැලූ විට, ඒ ඇයි කියන එක පැහැදිලි වෙනවා. පසුගිය ලිපියේත් සඳහන් කළ පරිදි, 2018දී රජයේ සමස්ත ආදායමෙන් 44.4%ක්ම වැය වුනේ පොලී වියදම් ගෙවන්නයි. පොලී වියදම තීරණය වන්නේ ගෙවිය යුතු සාමාන්‍ය පොලී අනුපාතිකය හා මුළු රාජ්‍ය ණය ප්‍රමාණය මතයි.

ලංකාවේ රාජ්‍ය ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී අනුපාතිකය පසුගිය දශක තුනක පමණ කාලය තුල සාමාන්‍ය වශයෙන් 6.5% මට්ටමේ ස්ථාවරව තිබී ඇති බව පෙනෙනවා. ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන්ගේ ව්‍යාපාර චක්‍ර වල බලපෑම මත මේ අනුපාතිකය 5.5%-7.5% අතර විචලනය වුවත් සාමාන්‍ය මට්ටම වෙනස් වී නැහැ. ලංකාවේ ආණ්ඩුවකට, ආණ්ඩුව කුමක් වුවත්, මේ පොලී අනුපාතිකය දැනෙන තරමකින් වෙනස් කර ගැනීමේ හැකියාවක් නැහැ. එය තීරණය වන්නේ ජාත්‍යන්තර සාධක මතයි.

පොලී අනුපාතිකය වෙනස් නොවන නිසා පොලී වියදම් සීමා කරගත හැකි එකම ක්‍රමය මුළු රාජ්‍ය ණය ප්‍රමාණය අඩු කර ගැනීමයි. නමුත්, රාජ්‍ය අයවැය හිඟය පවතින තුරු මුළු රාජ්‍ය ණය ප්‍රමාණය තවත් වැඩි වනවා මිස අඩු වන්නේ නැහැ. රාජ්‍ය ණය ප්‍රමාණය වැඩි වන අනුපාතයට වාර්ෂික පොලී වියදම්ද වැඩි වෙනවා. ඒ තරමට ආදායම් වැඩි නොවුනොත්, අයවැය හිඟය තවත් වැඩි වෙනවා. රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ සීමාවන් ගැන පෙර කතා කළා. මේ කරුණු අනුව බැලූ විට රජයේ සමස්ත ආදායමෙන් 45%ක් පමණ පොලී වියදම් සේ වැය කරන්නට වීම වලක්වා ගැනීම පහසු නැහැ. එවිට ඉතිරි වන්නේ තවත් 55%ක් පමණයි.

පොලී ගෙවීමෙන් පසුව, රජයේ සමස්ත ආදායමෙන් 42.7%ක් වැය වන්නේ රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනුවෙනුයි. රාජ්‍ය සේවක වැටුප් පහත හෙළීම හෝ රජයේ සේවකයින් සේවයෙන් දොට්ට දැමීම කළ හැකි දෙයක් නෙමෙයි. ඒ නිසා, මේ කැටගරියේ වියදම් පාලනය කර ගත හැකි ආකාර වන්නේ රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකිරීම හා අලුතින් සේවකයින් බඳවා නොගැනීමයි. මේ සීමා කිරීම් දෙක වුවත් කළ හැක්කේ යම් මට්ටමකට පමණයි. මා හිතන විදිහට, යහපාලන ආණ්ඩුව විසින් හැකි උපරිම මට්ටමට මේ කැටගරියේ වියදම්ද සීමා කර තිබෙනවා.


රාජපක්ෂ දශකය රාජ්‍ය අංශයේ ඔළුගෙඩි ගණන සැලකිය යුතු ලෙස ඉහළ දමනු ලැබූ කාලයක්. එම දශකය තුළ මේ ඔළුගෙඩි ගණන 19.05%කින් ඉහළ ගියා. රාජ්‍ය අංශයේ සේවකයින් ප්‍රමාණය ඉහළ යාමෙන් රටේ නිෂ්පාදිතය ඉහළ යාමක් අදහස් වන්නේ නැහැ. බොහෝ විට වෙන්නේ එහි අනික් පැත්තයි. ඒ, පෞද්ගලික අංශයේ සේවක සංඛ්‍යාව අඩුවීමේ හරහා. රාජපක්ෂ දශකය තුළ පෞද්ගලික අංශයේ සේවක ප්‍රමාණය 11.98%කින් පහළ ගියා.


රාජ්‍ය අංශයේ වැටුප් තීරණය වන්නේ පෞද්ගලික අංශයේ මෙන් ඵලදායීතාවය මත නෙමෙයි. නමුත්, පෞද්ගලික ආයතනයකට සේවකයෙකු බඳවා ගන්නේ එසේ කිරීමෙන් ලාබයක් ලැබිය හැකිනම් පමණයි. ශ්‍රම බලකායෙන් වැඩි කොටසක් රාජ්‍ය අංශය වෙත අවශෝෂණය කරගත් විට ශ්‍රම වෙළඳපොළේ ශ්‍රම සැපයුම පහළ ගිහින් මිල ඉහළ යනවා. එවිට, පෞද්ගලික අංශයට බඳවා ගන්න බැරි තරමට සේවකයකුගේ මිල ඉහළ යාම නිසා පෞද්ගලික අංශය හැකිලෙනවා. රාජපක්ෂ දශකය තුළ සිදු වුනේ එයයි. යහපාලන කාලය තුළ රාජ්‍ය සේවකයින් විශ්‍රාම යන තරමට අලුතින් සේවකයින් බඳවා නොගත් නිසා රාජ්‍ය සේවයේ ඔළුගෙඩි ගණන 2.51%කින් අඩු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලික අංශයේ සේවා නියුක්තිය 10.58%කින් වැඩි වී තිබෙනවා.

ඉදිරි ආණ්ඩුවක් විසින්ද යහපාලන ආණ්ඩුව විසින් කළාක් මෙන් රාජ්‍ය සේවක වැටුප් වියදම් සීමා කරන්නට උත්සාහ දැරුවත් උපරිම වශයෙන් කළ හැක්කේ විශ්‍රාම යන සේවක සංඛ්‍යාවට වඩා බොහෝ අඩුවෙන් සේවකයින් අලුතින් බඳවා ගැනීම මඟින් හා රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකර සිටීමෙන් වියදම් අඩු කිරීම පමණයි. එසේ කළත්, රජයේ සමස්ත ආදායමෙන් 42.7%ක් වන රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වියදම් ආදායමෙන් 35%ක පමණ මට්ටමට හෝ අඩු කර ගැනීම ඉතා අසීරු කටයුත්තක්.

එසේ කළා කියා අපි හිතමු. එවිට, ඒ 35%ට පොලී වියදම් 45% එකතු කළ විට රාජ්‍ය ආදායමෙන් 80%ක් ඉවරයි. අනෙකුත් අත්‍යවශ්‍ය පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් සඳහා ආදායමෙන් ඉතිරි 20% ප්‍රමාණවත් නොවන නිසා රජයේ වියදම් කොයි තරම් දුරකට පාලනය කළත්, අඩු ගානේ තවත් අවුරුදු පහළොවක් විස්සක්වත් යනකම් වාර්ෂිකව තවතවත් ණය නොගෙන අයවැය සමතුලිත කරගැනීමේ හැකියාවක් ලංකාවේ ආණ්ඩුවකට නැහැ.

කලින් උදාහරණයට නැවත ආවොත්, මේ වන විටත් අක්මාවට හානි වෙලා තියෙන තරම අනුව, දැන් බොන එක නැවැත්වුවා කියලත් කලින් තත්ත්වයට එන එක පහසු නැහැ. එයින් කියන්නේ නොබිවුවත් ප්‍රතිඵලයක් නැති නිසා ඔන්න ඔහේ දිගටම බොමු කියන එක නෙමෙයි.

ඇතැම් අය කියන විදිහට නාස්තිය හා දූෂණය වලක්වලා රට ගොඩ ගන්නවා කියන එක විහිළු කතාවක්. එයින් කියන්නේ නාස්තිය හා දූෂණය ප්‍රවර්ධනය කළ යුතු බව නෙමෙයි. නාස්තිය හා දූෂණය වැළැක්වීම අවශ්‍ය සාධකයක් වුවත් කිසිසේත්ම ප්‍රමාණවත් සාධකයක් නෙමෙයි. පෙර සඳහන් කළ විදිහට, රජයේ ආදායමෙන් 90%ක් පමණම වැය වන්නේ පොලී වියදම්, රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනුවෙනුයි. නාස්තිය හා දූෂණය අඩු කළා කියා ඔය කැටගරි දෙකේ වියදම් අඩු වෙන්නේ නැහැ. ඉතාම සරල කරුණක් විදිහට ඔය කැටගරි දෙකේ වියදම් අඩු නොවන තාක් රජයේ අයවැය හිඟය නැති කරන්න බැහැ.

අනෙක් අතට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කෝකටත් තෛලයට නැවත ආවොත්, රාජ්‍ය වියදම් අඩු කිරීම කළ යුතු දෙයක් තමයි. නමුත්, මේ වන විට ලංකාවේ රජය වියදම් කැපිය හැකි අවම සීමාව කිට්ටුවටම ඇවිත් ඉවරයි. ඒ නිසා, දැන් ඉන්න තැනින් එහාට යන්න කුමක් හෝ වෙනස් ක්‍රමෝපායක් අවශ්‍යයි. එහිදී වැඩි අවධානයක් යොමු කළ යුත්තේ ආදායම් වැඩි කරගැනීම පැත්තටයි.

රජයේ ආදායම් වැඩි කර ගැනීම පිණිස යහපාලන ආණ්ඩුවේ උපාය මාර්ගය වුණේ බදු අනුපාතික ඉහළ දැමීමයි. ඒ ක්‍රමෝපායයේ සීමාවන් දැන් පැහැදිලියි. ඒ නිසා, බදු අනුපාතික වෙනුවට බදු පදනම් ඉහළ දමා ගැනෙන ක්‍රියාමාර්ග අවශ්‍යයි. මෙයින් මා අදහස් කරන්නේ බදු පදනම් පුළුල් කෙරෙන තාක්ෂණික ක්‍රියාමාර්ග නෙමෙයි. ස්වභාවික ක්‍රියාමාර්ගයි. මේ ඉලක්කය කියන තරම් පහසු ඉලක්කයක් නෙමෙයි.

රාජපක්ෂ ආණ්ඩුව ආර්ථික වර්ධනය කියන කරුණේදී සාර්ථක වූ බව පැහැදිලි කරුණක්. රාජ්‍ය සේවය පුළුල් කළ විටත් කිසියම් පිරිසකගේ අතට මුදල් ලැබී සමස්ත ඉල්ලුම ඉහළ යනවා. නමුත්, ඒ ඉල්ලුමට සරිලන පරිදි දේශීය නිෂ්පාදිතය ඉහළ නොයන නිසා විදේශ අංශය සමතුලිතව තිබුණොත් පුළුල් වූ රාජ්‍ය සේවයේ බර පැටවෙන්නේ පෞද්ගලික අංශය මතයි. පෞද්ගලික අංශයේ ඉපැයීම් රාජ්‍ය අංශය වෙත විතැන් වෙනවා හැර, සමස්තයක් ලෙස රටේ ආදායම් වර්ධනයක් වෙන්නේ නැහැ.

රාජපක්ෂ යුගයේදී රාජ්‍ය අංශයට පිටින් සිටි අයට එවැනි බරක් නොදැනුණේ ආනයන අපනයන පරතරය පුළුල් වෙන්න හරිමින් විදේශ අංශය අසමතුලිතව පවත්වාගත් නිසයි. රටේ වැඩි වූ ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් රට ඇතුළේ සිදු නොවුණත්, ආනයන නිසා රට ඇතුළේ භාණ්ඩ හා සේවා සැපයුම ඉහළ මට්ටමක තිබුණා. විණිමය අනුපාතිකය කෘතිමව පහළින් තබාගත් නිසා ආනයනික භාණ්ඩ රට ඇතුළේදී අඩු මිලකට විකිණුනා. ඒ ක්‍රමයට එක දිගට වැඩි කලක් යන්න බැහැ. එහෙම යන්නනම් පිරමිඩ් ක්‍රමයකදී වගේ දිගින් දිගටම වැඩි වැඩියෙන් විදේශ ණය ලබාගත යුතුයි. කොයි වෙලාවකදී හෝ කඩා වැටෙනවා. රාජපක්ෂ ආණ්ඩුවේ අන්තිම කාලයේදී මේ ක්‍රමයට යන්න පුළුවන් උපරිම සීමාවට ඇවිල්ලයි තිබුණේ. ඒ නිසා, ඒ ක්‍රමෝපායය වෙත ආපසු හැරීම විසඳුමක් නෙමෙයි.

හැම පැත්තම සමතුලිත කරගෙන ඉස්සරහට යන්නනම් රටේ අපනයන ආදායම විශාල ලෙස වැඩි කරගත යුතුව තිබෙනවා. අපනයනය කරන්නේ භාණ්ඩද සේවාවන්ද කියන එක වැදගත් නැහැ. සේවා අපනයන පැත්තෙන් ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීම වඩා පහසුයි.

රටේ අපනයන ආදායම වැඩි කරගත යුතු බව අලුත් අදහසක් නෙමෙයි. මේ ආණ්ඩුව වගේම කලින් ආණ්ඩුවත් මෙහි වැදගත්කම ගැන කතා කර තිබෙනවා. එහෙත්, කලින් ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් රටේ අපනයන වර්ධනය කෙරෙන විදේශ විණිමය ප්‍රතිපත්තියක් වෙත යොමු වී නැහැ. එයට හේතුව දේශපාලනිකයි.

Saturday, June 8, 2019

විස්සෙන් පස්සේ විස්ස පර නොවන්නට...

ජනාධිපති සිරිසේනගේ ධුර කාලය අවසන් වෙන්න තවත් තිබෙන්නේ මාස හයක් පමණයි. ඉන් පසුව, එළැඹෙන මැතිවරණ වල ප්‍රතිඵල ගැන අනාවැකි කියන්න තවමත් කල් වැඩියි. මැතිවරණවලට ඉදිරිපත් විය හැකි අපේක්ෂකයින් සම්බන්ධව වගේම ඇති විය හැකි මැතිවරණ සන්ධාන පිළිබඳවත් තවමත් තිබෙන්නේ අවිනිශ්චිත භාවයක්. අඩු වශයෙන් ප්‍රධාන මැතිවරණ පෙල ගැසෙන අනුපිළිවෙල ගැන හෝ ස්ථිරව කියන්න පුළුවන්කමක් නැහැ.

මේ වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වී වසර හතරහමාරක් වෙනවා. මහ මැතිවරණය පැවැත්වුණේ ඉන් මාස ගණනාවකට පසුව වුවත්, යහපාලන ආණ්ඩුවට මේ වන විට වසර හතර හමාරක් වයසයැයි සැලකීමේ වැරැද්දක් නැහැ. මම හිතන්නේ යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ගැන පසු විපරමක් කරන්න මෙය හොඳ අවස්ථාවක්.


රාජපක්ෂ දශකය තුළ ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 6.4%ක්ව පැවතියා. වසර විසිහයක් පැවති සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව රටේ ජාතික ආර්ථිකය සමඟ කාලයක් තිස්සේ බද්ධ වී නොතිබුණු බිම් කොටස් වල සිදුවන ආර්ථික කටයුතු ජාතික ආදායම් ඇස්තමේන්තු වලට නැවත ඇතුළත් වීම හා අදාළ කාලපරිච්ඡේදයේ අවසන් කාලයේ ආර්ථික වර්ධනය අඩු මට්ටමක පැවතීම වැනි කරුණු සැලකිල්ලට ගත්තත් මේ ආර්ථික වර්ධන වේගය නිදහසින් පසු ලංකාවේ කවර හෝ ආණ්ඩුවක් යටතේ දැකිය හැකි වූ වේගවත්වත්ම ආර්ථික වර්ධනය යන කරුණ බැහැර කරන්න බැහැ.

පසුගිය සිවු වසර තුළ ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය යාන්තම් 4.0%ක් පමණයි. මේ අවුරුද්දේ ආර්ථික වර්ධන වේගය මේ මට්ටමටවත් පැමිණෙයි කියා හිතන්න අමාරුයි. 1977න් පසු කවර හෝ ආණ්ඩුවක් යටතේ ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය මෙතරම් අඩු වී නැහැ. ඊට පෙරද කිසිදු එජාප ආණ්ඩුවක් යටතේ ආර්ථික වර්ධනය මෙතරම් අඩු වී නැහැ. එසේ ආර්ථික වර්ධන වේගය අඩු වී තිබෙන්නේ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ 1956-64 හා 1970-77 වකවානු වලදී පමණයි. ඒ අනුව, රටේ ආර්ථිකය පිළිබඳ ප්‍රධානම නිර්ණායකය වන ආර්ථික වර්ධනය පිළිබඳව සැලකූ විට යහපාලන ආණ්ඩුවේ අසමත්කම කැපී පෙනෙනවා.

කොහොම වුනත්, යහපාලන ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුව මෙන් රටේ ආර්ථික වර්ධනය ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති ඉලක්කය සේ නොසැලකු බව අපට මෙහිදී නොසලකා හරින්න බැහැ. යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති ඉලක්කය වූයේ ආර්ථික ස්ථාවරත්වයයි. ඔවුන් ඒ වෙනුවෙන් ආර්ථික වර්ධනය අඩාල කෙරෙන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගන්න පැකිළුනේ නැහැ. යහපාලන ආණ්ඩුවේ වචන වලින්ම කියනවානම් ඔවුන්ගේ ඉලක්කය වූයේ පළමුව "රාජපක්ෂ ණය" ගෙවා ණය උගුලින් මිදී දෙවනුව ආර්ථික වර්ධනය ගැන හිතීමයි.

යහපාලන ආණ්ඩුව බලයට පත් වන විට ලංකාව ණය උගුලක පැටලී සිටි බව බොරුවක් නෙමෙයි. රාජපක්ෂ දශකය තුළ ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,139.5 සිට රුපියල් බිලියන 7,390.9 දක්වා 3.45 ගුණයකින් ඉහළ ගියා. මෙය 13.2%ක වාර්ෂික වර්ධනයක්. කෙසේ වුවත්, මේ ණය වර්ධනය ලංකාව පිළිබඳව සැලකූ විට අසාමාන්‍ය ණය වර්ධනයක් නෙමෙයි. නිදහසින් පසු බලයට පත් වූ සෑම ආණ්ඩුවක් යටතේම වගේ අඩු වශයෙන් 12-13% පමණ වේගයකින් වාර්ෂිකව රාජ්‍ය ණය ප්‍රමාණය ඉහළ ගියා. ඒ නිසා, ලංකාව ණය උගුලක පැටළුනේ රාජපක්ෂ දශකය ඇතුළත බව කියන්න බැහැ. මේ බව මා මීට පෙර කරුණු සහිතව පෙන්වා දී තිබෙනවා.

රාජපක්ෂ ආණ්ඩුව බලයට පත් වන විටත් ලංකාව හිටියේ මේ ණය උගුලේ පැටලිලයි. ණය උගුලෙන් ගොඩයාම පිණිස රාජපක්ෂ උපාය මාර්ගය වුණේ රජයේ වියදම් අඩු කිරීම වෙනුවට රාජ්‍ය ආයෝජන වෙනුවෙන් තවත් වියදම් වැඩි කර ඒ හරහා රටේ ජාතික ආදායම වැඩි කිරීමෙන් ණය ගෙවීමේ හැකියාව වැඩි කර ගැනීමයි. ණය ගෙවීමේ හැකියාව වැඩි වුනාද නැද්ද යන්න විවාදිත කරුණක්. එහෙත්, මේ උපාය මාර්ගය හේතුවෙන් රටේ ජාතික ආදායම් ඉහළ ගියා. ඒ නිසා, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය පහළ ගියා.

යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති උපාය මාර්ගය වුණේ තනිකරම එහි අනිත් පැත්තයි. ඒ රජයේ ප්‍රාග්ධන වියදම් කපා හැර අළුතින් ණය ගැනීමේ අවශ්‍යතාවය සීමා කර ගැනීමයි. රාජ්‍ය වියදම් අඩු කිරීම කියා කිවුවත්, ඇත්තටම අඩු කළේ රජයේ ප්‍රාග්ධන වියදම්. රජයේ පුනරාවර්තන වියදම් එතරම් අඩු කෙරුණේ නැහැ. ඒ එක්කම, රජයේ ආදායම් වැඩි කර ගැනීම සඳහා බදු ඉහළ දැමීම කෙරෙහිත් යහපාලන ආණ්ඩුව යොමු වුණා. මේ හැම දෙයක්ම රටේ ආර්ථික වර්ධනය අඩාල කරන්න හේතු වුණා.

දැන් අප විමසා බැලිය යුත්තේ ආර්ථික වර්ධනය පැත්තෙන් මේ තරම් පාඩුවක් කරගෙන පසුගිය සිවුවසර තුළ රාජ්‍ය ණය කෙතරම් දුරකට අඩු කරගන්න යහපාලන ආණ්ඩුව සමත් වුණාද කියන එකයි. කලින් සටහන් කළ පරිදි, 2014 අවසානයේදී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,390.9ක්. 2018 අවසන් වන විට රුපියල් බිලියන 11,977.5ක්. මෙය 12.8%ක සාමාන්‍ය වාර්ෂික වර්ධනයක්. රාජපක්ෂ දශකයේ 13.2%ක ණය වර්ධන වේගයට වඩා අඩු යාන්තමිනුයි. මේ අනුව, පෙනෙන්නේ ආර්ථික වර්ධනය විශාල සේ අඩාල කෙරෙන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් පසුවත්, ණය අඩු වීම කෙසේ වෙතත්, රාජපක්ෂ දශකයේ ණය වැඩි වූ වේගයටම කිට්ටු වේගයකින් පසුගිය වසර හතර ඇතුළතත් ලංකාවේ රාජ්‍ය ණය ඉහළ ගොස් තිබෙන බවයි.

ආර්ථික වර්ධන වේගය විශාල ලෙස අඩු වෙද්දී ණය වර්ධන වේගය ඉතා සුළුවෙන් පමණක් අඩු වීමේ ප්‍රතිඵලයක් ලෙස දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් සේ ගත් විට ලංකාවේ රාජ්‍ය ණය ඉහළ යමින් තිබෙනවා. රාජපක්ෂ දශකය තුළ සිදු වුණේ එහි අනිත් පැත්තයි.

රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමේ අවශ්‍යතාවය මේ ආණ්ඩුව විසින් පුන පුනා කිවූ දෙයක්. ඒ වෙනුවෙන් විවිධ බදු හඳුන්වා දෙන්න ආණ්ඩුව පැකිළුනේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුවේ ආදායම් කොතරම් වැඩි වී තිබෙනවද? 2014-2018 කාලය ඇතුළත රජයේ බදු ආදායම් 13.00%ක සාමාන්‍ය වේගයකින් හා සමස්ත ආදායම් 12.58%ක සාමාන්‍ය වේගයකින් වර්ධනය වී තිබෙනවා. නමුත්, රාජපක්ෂ දශකය හා සැසඳූ විට මෙහි විශාල ප්‍රගතියක් පෙනෙන්න නැහැ. 2004-2014 කාලයේදී රජයේ බදු ආදායම් 14.07%ක සාමාන්‍ය වේගයකින් හා සමස්ත ආදායම් 14.39%ක සාමාන්‍ය වේගයකින් වර්ධනය වුණා.

රාජපක්ෂ දශකයේදී රජයේ බදු ආදායම් වඩා වේගයෙන් ඉහළ ගොස් ඇතත් හැම දෙයකටම බදු ගහන බව කියන්නේ යහපාලන ආණ්ඩුවයි. එහෙම වුණේ කොහොමද?

බදු අනුපාතික ඉහළ යවන හැම විටම රජයේ බදු ආදායම් ඉහළ යන්නේ නැහැ. ඉහළ දැමූ බදු නිසා කිසියම් භාණ්ඩයක හෝ සේවාවක මිල ඉහළ ගිය විට ඉල්ලුම අඩුවී විකිණෙන භාණ්ඩ ප්‍රමාණය අඩු වෙන නිසා අවසානයේදී රජයේ බදු ආදායම පහළ වැටෙන්න පුළුවන්. මේ ආණ්ඩුව විශාල සේ බදු වැඩි කළ අවස්ථා කිහිපයකදීම එවැනි තත්ත්වයක් දකින්න ලැබුණා. නිසි අධ්‍යයනයකින් තොරව බදු අනුපාතික ඉහළ දැමූ විට වෙන්නේ ආණ්ඩුවේ ජනප්‍රිතාවය අඩුවන නමුත් අවශ්‍ය ප්‍රතිඵලය වන රජයේ ආදායම් ඉහළ යාම සිදු නොවීමයි. එවිට, සැලසුම් කළ පරිදි රජයේ අයවැය හිඟය අඩු කරන්න හෝ ණය ගෙවන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. අනෙක් අතින් රාජපක්ෂ දශකයේ පැවති ඉහළ ආර්ථික වර්ධන වේගය නිසා බදු අනුපාතික වැඩි නොකළත් රජයේ බදු ආදායම් ඉහළ ගියා.
 

රට හිරවී සිටින ණය උගුල සැළකු විට පසුගිය වසර හතර ඇතුළත අමුතු දෙයක් සිදු වී නැහැ. තවමත් වාර්ෂිකව 13%ක පමණ වේගයකින් රටේ ණය ඉහළ යනවා. මේ ණය වෙනුවෙන් ලංකාවේ ආණ්ඩුව විසින් වාර්ෂිකව ගෙවිය යුතු පොලී අනුපාතිකය වසරින් වසර විචලනය වුවත් දිගුකාලීනව බැලූ විට එය ස්ථාවර එකක්. සාමාන්‍යයක් ලෙස 6.5%ක පමණ වාර්ෂික පොලියක්. ඒ නිසා, රාජ්‍ය ණය ඉහළ යාමට අනුරූපීව වාර්ෂික පොලී වියදමත් වැඩි වෙනවා (රූප සටහන 2).

පසුගිය වසරේදී ලංකාවේ රජය රාජ්‍ය ණය වෙනුවෙන් පොලී ලෙස ගෙවූ මුදල පමණක් රුපියල් බිලියන 852.2ක්. මේ මුදල රජයේ සමස්ත බදු ආදායමෙන් 49.8%ක්. රජයේ සමස්ත ආදායමෙන් 44.4%ක්. රජයේ බදු ආදායමෙන් බාගයක්ම පොලී විදිහට ගෙවුවට පස්සේ රජයකට කලින් ගත් ණය ගෙවන්න පුළුවන්කමක් නැහැ. ඉතිරි කොටස රජයේ වියදම් වලටත් මදි නිසා තවත් ණය ගන්නම වෙනවා. රටේ ණය කාලයක් තිස්සෙම වාර්ෂිකව 13%කින් පමණ ඉහළ යන්නේ ඒ නිසයි. රටේ ණය 13%කින් වැඩි වන විට වාර්ෂික පොලී වියදමත් 13%කින් වැඩි වෙනවා.

ලංකාවේ පවතින තත්ත්වයන් යටතේ රජයේ බදු ආදායම් වසරකට 13%කට වඩා වැඩි වේගයකින් ඉහළ දමාගන්න අමාරුයි. ඒ මට්ටම තමයි ප්‍රශස්ත මට්ටම. රජයේ බදු ආදායම් ඉහළ දමා ගන්න කියලා බදු අනුපාතික ඕනෑවට වඩා වැඩි කළොත් වෙන්නේ ලැබෙන ආදායම තවත් අඩු වෙන එකයි. ඒ නිසා, මේ වර්ධන වේගය උපරිම සීමාවක්. මේ ආණ්ඩුව විසින් මේ කරුණ තහවුරු කරලා තිබෙනවා.

අනෙක් පැත්තෙන් මේ ආණ්ඩුව ප්‍රාග්ධන වියදම් සීමා කළත් පුනරාවර්තන වියදම් සීමා කරන්න සමත් වී නැහැ. එයත් ප්‍රායෝගිකව කරන්න අමාරු දෙයක්. රජයේ පුනරාවර්තන වියදම් වලින් වැඩි කොටසක් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්. පසුගිය වසරේදී මේ වියදම් වල එකතුව රුපියල් බිලියන 820.5ක්. මේ මුදල රජයේ සමස්ත බදු ආදායමෙන් 47.9%ක්. සමස්ත අදායමෙන් 42.7%ක්. මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව රාජ්‍ය සේවය විශාල කිරීමක් ලොකුවට සිදු නොකළත් රජයේ ආදායමෙන් පොලී ගෙවා ඉතිරිවන කොටසින් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවුවට පස්සේ අනික් හැම වියදමක් වෙනුවෙන්ම ඉතුරු වෙන්නේ බදු ආදායමෙන් 2.3%ක් පමණයි. සමස්ත ආදායමෙන් වුවත් 12.9%ක් පමණයි.

ඒ සොච්චම් මුදලෙන් ණය ගෙවන්න කලින් කරන්න තව කොයි තරම් දේවල් තියෙනවද? ප්‍රාග්ධන වියදම් සම්පූර්ණයෙන්ම අමතක කළත් රජයේ අනෙක් සියළු මිල දී ගැනීම්, සමෘද්ධි, පොහොර සහනාධාර වගේ තව කොයි තරම් වියදම් තියෙනවද? ඒ නිසා, ප්‍රාග්ධන වියදම් සම්පූර්ණයෙන්ම කපා හැරියත් (එහෙම කරන්න බැහැ. අපි නිකමට එහෙම හිතමු.) ලංකාවේ ආණ්ඩුවකට අලුත් ණය නොගෙන දැනට තියෙන ණය ගෙවන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අඩු ගණනේ අලුත් ණය නොගෙන ඉන්න එකවත් කරන්න පුළුවන්කමක් නැහැ.


ඒ නිසා දැනට තිබෙන ලංකාවේ රාජ්‍ය ණය තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්න පුළුවන් ආකාරයක් පෙනෙන්නවත් නැහැ. මේ විදිහට වසරින් වසර ණය වැඩි වෙද්දී සමස්ත රාජ්‍ය ආදායමෙන් පොලී වියදම් ලෙස වෙන් කළ යුතු ප්‍රතිශතයත් වසරින් වසර වැඩි වෙනවා. පොලී අනුපාතික වෙනස් වීම අනුව විචලනය වීම් සිදු වුවත් පසුගිය දශක තුනක කාලයේ මේ ප්‍රතිශතය වෙනස් වීමේ ප්‍රවණතාවය දෙස බැලූ විට (රූප සටහන 3) මේ කරුණ පැහැදිලි වෙනවා. ලංකාව පැටලිලා ඉන්න ණය උගුල ඔයාකාරයේ එකක්. මෙහි කෙළවර කොතැනද?

ඉදිරි මැතිවරණයකදී කවුරු බලයට පත් වුණත් භාර ගන්න වෙන්නේ මේ විදිහේ ගොඩ යන්න බැරි ණය උගුලක පැටලී තිබෙන ආර්ථිකයක්. රජයේ ප්‍රාග්ධන වියදම් වැඩි කරලා ඒ හරහා ආදායම් වැඩි කරගෙන ණය උගුලෙන් ගොඩයන්න රාජපක්ෂ ආණ්ඩුව උත්සාහ කළා. නමුත්, ඒ උපාය මාර්ගය හරිගියේ නැහැ. ණය බර තවත් වැඩි වුණා. ප්‍රාග්ධන වියදම් කපා හැරලා රජයේ අයවැය හිඟය අඩු කරගෙන උගුලෙන් ගොඩයන්න යහපාලන ආණ්ඩුව උත්සාහ කළා. ඒත් හරි ගියේ නැහැ. ණය කලින් ආකාරයටම වැඩි වෙද්දී ආර්ථික වර්ධනයත් අඩාල වුන එක විතරයි වුණේ.

ලංකාවේ ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් වී බලය ලබා ගන්න බලාගෙන ඉන්න අයට ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන නිසි අවබෝධයක් තිබෙනවාද? එහෙමනම්, රට හිර වී තිබෙන උගුලෙන් ගොඩගන්න ඒ අයගේ උපාය මාර්ග මොනවාද? පැරණි රාජපක්ෂ උපාය මාර්ගයමද? නැත්නම් යහපාලන උපාය මාර්ගයද? එහෙමත් නැත්නම් මේ දෙකම නොවන වෙනත් කවර හෝ විකල්ප උපාය මාර්ගයක් තියෙනවද?

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...