වෙබ් ලිපිනය:

Saturday, May 27, 2017

ගංවතුර ගලා උතුරා යයි දෙගොඩ තලා...


දෙසතියකට පෙර අපේ නිවස ආසන්නයේ ඇති පිට්ටනිය හා ඒ අවට ප්‍රදේශය ගංවතුරින් යට වුණේය. ගංවතුර කියා කිවුවත් පිටාර දමා තිබුණේ "ක්‍රීක්" එකක් ලෙස හැඳින්වෙන කුඩා දොළපාරකි. ඇමරිකාවේ මා ජීවත් වන ප්‍රදේශයේ ගංවතුර යනු එතරම්ම දුලබ සිදුවීමක් නොවේ. එහෙත්, මෙසේ ඇති වුනු ගංවතුරක් හේතුවෙන් මා දන්නා තරමින් මේ ප්‍රදේශයේ විශාල ජීවිත හෝ දේපොළ හානියක් සිදු වී නැත.

කෙසේවුවත්, විශාල රටක් වන ඇමරිකාවේ විවිධ ප්‍රදේශ වල ජීවත්වන පුද්ගලයින් මුහුණ දෙන ස්වභාවික ව්‍යසන අතරින් වැඩිම ජීවිත හානි සිදු කරන ස්වභාවික ව්‍යසනය ලෙස ගංවතුර හැඳින්විය හැකිය. 2015 වසරේදී ගංවතුර හේතුවෙන් ඇමරිකාවේ ජීවිත හානි 176ක් සිදුව තිබුණු අතර සිදුවූ දේපොළ හානිය ඩොලර් බිලියන 2.2 ඉක්මවීය. එම වසරේ සියලුම ස්වභාවික ව්‍යසන වලින් සිදු වුනු ජීවිත හානි ගණන 522ක්ද, දේපොළ විනාශය ඩොලර් බිලියන 4.2ක් ද විය.

ගංවතුර නිසා ඇති වන හානි අවම කරගැනීම සඳහා ඇමරිකාවේ ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ. අඩුම වශයෙන් වසර 100කට වරක් ගංවතුරෙන් යටවීමට ඉඩ ඇති, එනම් වසරක් තුළ ගංවතුරෙන් යටවීමට 1%ක සම්භාවිතාවක් ඇති ප්‍රදේශ සිතියම්ගත කර ඇති අතර මේ සිතියම් අන්තර්ජාලයෙන් බලාගන්නට පුළුවන.

නිවසක් මිලදී ගැනීමට පෙර යමෙකු සොයා බලන එක් කරුණක් වන්නේ අදාළ ප්‍රදේශය ඉහත කී සිතියමක ගංවතුර කලාපයක් ලෙස සලකුණු වී ඇත්ද යන්නයි. එසේ ලකුණු වී ඇත්නම් ගංවතුර හානි වෙනුවෙන් රක්ෂණයක් මිල දී ගන්නට සිදුවන අතර මේ වෙනුවෙන් වාර්ෂිකව මුදල් වැය කළ යුතුය. එහි ප්‍රතිඵලයක් ලෙස ගංවතුරට යටවීමේ සම්භාවිතාව 1% ඉක්මවන ප්‍රදේශ වල දේපොළ සඳහා ඉල්ලුම අඩු නිසා දේපොළ වටිනාකම වෙනත් ප්‍රදේශ වලට වඩා තරමක් අඩුය. මෙය වක්‍ර ලෙස පහත් බිම් වල ඉදිකිරීම් සීමා කරයි.

ගංවතුරෙන් සිදුවන හානි ගැන කතා කිරීමේදී මා ගංවතුර ලෙස සිංහලට පරිවර්තනය කළේ ෆ්ලඩ් (flood) යන ඉංග්‍රීසි වචනයයි. එහෙත්, මේ හානි වලින් වැඩි ප්‍රමාණයක් සිදුවී ඇත්තේ සැබෑවටම ගංවතුර ලෙස හැඳින්විය හැකි රිවර් ෆ්ලඩ් (river flood) හේතුවෙන් නොව ෆ්ලෑෂ් ෆ්ලඩ් (flash flood) හෙවත් "ක්ෂණික වතුර" හේතුවෙනි. ෆ්ලෑෂ් ෆ්ලඩ් වලට බොහෝ විට හේතු වන්නේ ශීත කාලයේදී උස් ප්‍රදේශ වල හිම එකතු වීමෙන් පසුව පරිසරයේ උෂ්ණත්වය හිම දියවන මට්ටමට පැමිණීම නිසා උස් ප්‍රදේශ වල එකතු වී ඇති හිම විශාල තොගයක් ඉතා කෙටි කාලයක් තුළ දියවී පහත් බිම් වෙත ගලා ඒමය.

ටොර්නේඩෝ, සුළිසුළං, ලැව්ගිනි ආදී වෙනත් ස්වභාවික ව්‍යසන මෙන්ම ගංවතුර හා ක්ෂණික වතුර ආපදා පිළිබඳවද කලින් නිවැරදිව පුරෝකථනය කර ජනතාව දැනුවත් කරන නිසා ඇමරිකාවේ ස්වභාවික ව්‍යසන වලින් ජීවිත හානි සිදුවන්නේ ඉතා අඩුවෙනි. මේ පුරෝකථන සෑහෙන දුරට නිවැරදි වීම වීම හා ජනතාව ඒ ගැන විශ්වාසය තබමින් ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීම හානි අඩුවීමට හේතුවයි.

අපේ නිවස අසල පිට්ටනිය වතුරෙන් යට වී තිබෙනු විට මට නිතැතින්ම සිහිවන්නේ මගේ කුඩා කාලයයි. ගංවතුර කොයිතරම් හානිකර වුවත්, වැඩිහිටියන්ට මෙන් එහි බරක් පතලක් නොතේරෙන කුඩා දරුවන්ට එයින් ලැබුණේ විශාල ආශ්වාදයකි.

"ගංවතුර ගලා උතුරා යයි දෙගොඩ තලා
පදිමු පදිමු ඔරුව පදිමු එතෙර බලා"



මගේ පියාගේ මහගෙදර පිහිටා තිබුණු ගම අප කුඩා කාලයේ සෑම වසරකම වාගේ ගංවතුරෙන් යටවූ අතර ගංවතුර කාලයට ගම වටකරගත් වතුර හේතුවෙන් ඒ ගම ඇතැම් විට සති ගණනක් බාහිර ලෝකයෙන් වෙන් කෙරුණේය. ගම මැද තරමක උස් ඉඩමක පිහිටා තිබුණු මගේ පියාගේ මහගෙදර ගංවතුරෙන් කිසිවිටෙකත් යට නොවුනත් ගමේ පහත් බිම් වල පිහිටි ගෙවල් බොහොමයක්ම ගංවතුරට යට වුණේය. මේ ඇතැම් ගෙවල් වල වැසියෝ ඒ කාලයට පවුල් පියාගේ මහගෙදර පිහිටි ඉඩමේ කඳවුරු බැඳගත් අතර ඒ නිවසේ ඒ කාලයට විශාල බත් හැලියක් ඉදුණේය.

මගේ පියාගේ ගමේ බොහෝ නිවෙස් වල ඒ දවස් වල දැකිය හැකිව තිබුණු දෙයක් වූයේ ඉස්තෝප්පුවේ හෝ පිටත පිටත මඩුවක මුනින් අතට තබා තිබුණු කොල්ලෑ ඔරුවයි. සැහැල්ලු ලීයක මැද හාරා හදා තිබුණු මේ ඔරු සාමාන්‍යයෙන් බංකුවක් මෙන් වාඩිවීම සඳහා පාවිච්චි කළ අතර ගංවතුර කාලයේදී ගමනාගමනය සඳහා නැතුවම බැරි දෙයක් විය.

කුඩා කාලයේ ගංවතුර දැකීමේ මිහිරක් තිබුණත් ගංවතුර යනු එඩ්වඩ් ජයකොඩිගේ උඩින් ඇති ගීතය ඇසෙන විට හිතට දැනෙන ආකාරයේ සුන්දර අත්දැකීමක් නොවන බව කිවයුතු නැත. ලංකාවේ ගංවතුර ආපදා බොහෝ විට අවසන් වන්නේ විශාල ජීවිත හා දේපොළ හානි සිදුකරමින්, තවත් විශාල පිරිසක් අවතැන් කරමිනි. මෙවරද තත්ත්වයේ ලොකු වෙනසක් නැත.


මා පෙර කිවූ මගේ පියාගේ මහගෙදර පිහිටි ගම මෙවරද ගංවතුරෙන් වට වී ඇත. එවැනි ගම් වලට සාමාන්‍යයෙන් පහසුවෙන් ලඟා විය හැකි හා ප්‍රධාන මාර්ග වලට ආසන්නව පිහිටි ගම් වලට ලැබෙන තරම් හෝ ලැබෙන ඉක්මණින් බාහිර ආධාර ලැබෙන්නේද නැත.

විවිධ දේශපාලන කණ්ඩායම් තරඟයට මෙන් ගංවතුරෙන් විපතට පත් වූවන්ට ආධාර කිරීමට ඉදිරිපත්ව සිටින බව පෙනේ. ඔවුන් එසේ කරන්නේ වෙනත් අභිමතාර්ථ ඇතුව වන්නට පුළුවන. එහෙත්, මෙවැනි ව්‍යසන අවස්ථාවක වැදගත් වන්නේ එවැනි වෙනත් අභිමතාර්ථ තිබෙනවාද නැද්ද යන්න නොවේ. තමන්ට හැකි පමණින් මොනවා හෝ කිරීමයි.

Friday, May 26, 2017

ඔක්ස්ෆෑම් ධනපතියන්ගේ උරුමය කාටද?


දරිද්‍රතාවය හා ආදායම් විෂමතාවය සාර්ථක ලෙස අලෙවි කරමින් මුදල් එකතු කිරීම මඟින් හා එසේ එකතු කරගන්නා බදු මුදල් විශාල ප්‍රමාණයක්ද ඇතුළු අරමුදල් ආයෝජනය කිරීම මඟින් ආදායම් උපදවන, එසේ උපදවන ආදායම් වලින් අඩුම වශයෙන් 42%ක් තම සංවිධානයේ නඩත්තුව වෙනුවෙන් වැය කරන ඔක්ස්ෆෑම් ජාත්‍යන්තර සංවිධානය විසින් පිළියෙළ කර ප්‍රසිද්ධ කර ඇති ලෝකයේ ආදායම් විෂමතාවය පිළිබඳ වාර්තාවෙන් පෙන්වා දෙන ප්‍රධාන කරුණක් වන්නේ ඉදිරි වසර 20 තුළ ලෝකයේ ධනවත් පුද්ගලයින් 500 දෙනෙකු විසින් ඉන්දියාවේ දළ ජාතික නිෂ්පාදිතය ඉක්මවන ඩොලර් ට්‍රිලියන 2.1ක ධනයක් ඔවුන්ගේ උරුමක්කාරයින් වෙත ඉතිරි කරනු ඇති බවයි.

"Over the next 20 years, 500 people will hand over $2.1 trillion to their heirs – a sum larger than the GDP of India, a country of 1.3 billion people."

කවුරු හෝ පුද්ගලයෙකු තමන්ගේ දක්ෂතාවයෙන් උපයන ධනය තමන්ගේ දරුවන් වෙනුවෙන් ඉතිරි කිරීමේ හෝ තමන් කැමති වෙනත් ඕනෑම අයෙකුට පැවරීමේ කිසිදු වැරැද්දක් නැත. එය ඒ අයගේ තීරණයකි. ඒ මුදල් පිනට දෙන්නට හෝ ලෝකයේ දරිද්‍රතාවය නැති කිරීම වෙනුවෙන් වැය කරන්නට
අවශ්‍ය නැත. එහෙත්, ඔවුන් කැමතිනම් ඔවුන්ට තමන්ගේ ධනයෙන් වැඩි කොටසක් පිනට දෙන්නට වුවද අයිතියක් තිබේ. ඒ, ඒ ධනය ඔවුන්ගේ ධනයක් බැවින් ධනය වැය කළ යුතු ආකාරය තීරණය කළ යුත්තේද ඔවුන්ම බැවිනි.

ලෝකයේ දැනට සිටින ඉහළම වත්කම් හිමියන් වන බිල් ගේට්ස් හා වොරන් බුෆේ විසින් 2010දී නිවේදනය කළ "දාන ප්‍රතිඥාවට" මේ වන විට ඔක්ස්ෆෑම් ලැයිස්තුවේ සිටින ඇමරිකන් ප්‍රකෝටිපතියන් වන මාක් සකබර්ග්, ලැරී එලිසන් හා මයිකල් බ්ලූම්බර්ග් ඇතුළු ධනපතියන් 139ක් එක්ව සිටින අතර විකිපීඩියා අනුව ඔවුන්ගේ ශුද්ධ වත්කම් වල එකතුව ඩොලර් බිලියන 731කි. විකිපීඩියා සටහන කාලයකින් යාවත්කාලීන කර නැති අතර මේ ශුද්ධ වත්කම් ප්‍රමාණය දැන් මීට වඩා බොහෝ වැඩිය. දාන ප්‍රතිඥාව අනුව මේ ධනපතියන් සියළු දෙනාම ඔවුන්ගේ ජීවිත කාලය තුළ හෝ මරණයෙන් පසුව තමන්ගේ වත්කම් වලින් වැඩි ප්‍රමාණය ජනහිතකාමී කටයුතු වෙනුවෙන් වැය කරනු ඇත. මෙසේ වැය කෙරෙනු ඇති අරමුදල් ප්‍රමාණය ඔක්ස්ෆෑම් සංවිධානයේ ගණනය කිරීම් අනුව ලෝකයේ වත්කම් අඩු මිනිසුන් බිලියන 3.6කගේ වත්කම් වල එකතුව වූ මුදලට වඩා වැඩිය.

ප්‍රතිඥාව අනුව ඔවුන් ජනහිතකාමී කටයුතු වෙනුවෙන් වැය කළ යුත්තේ සිය වත්කම් වලින් අඩකට නොඅඩු ප්‍රමාණයක් වුවත් මේ බොහෝ දෙනෙකු තමන්ගේ වත්කම් වලින් අඩකට වඩා බොහෝ වැඩි ප්‍රමාණයක් ජනහිතකාමී කටයුතු වෙනුවෙන් වෙන් කරන්නට සූදානම්ව සිටිති. මාක් සකර්බර්ග් හා ඔහුගේ බිරිඳ ප්‍රිසිලා චෑන් විසින් 2015 දෙසැම්බරයේදී ඔවුන්ගේ කුළුඳුල් දියණිය උපන් දින නිවේදනය කළ පරිදි, ඔවුන් සතු ෆේස්බුක් කොටස් හිමිකම් වලින් 99%ක්ම ජනහිතකාමී කටයුතු වෙනුවෙන් යොදවනු ඇත. ඒ නිසා ඇයටත්, තව මාස කිහිපයකින් මෙලොව එළිය දැකීමට නියමිත මාක්ගේ හා ප්‍රිසිලාගේ දෙවන දරුවාටත්  බෙදී යනු ඇත්තේ ෆේස්බුක් කොටස් වලින් 1%කට අඩු ප්‍රමාණයකි.

වොරන් බුෆේ විසින්ද මේ වන විට ඔහුගේ වත්කම් වලින් 83%ක් බිල් සහ මෙලින්ඩා පදනමේ ජනහිතකාමී කටයුතු වෙනුවෙන් වෙන් කර ඇති අතර එය ඔහු විසින් කර ඇති ජනහිතකාමී කටයුතු අතරින් එකක් පමණි. තමන්ගේ දරුවන්ට උරුම කරන දේ ගැන ඔහුගේ අදහස මෙවැන්නකි.

"මගේ දරුවන්ට ඔවුන්ට කරන්නට අවශ්‍ය දෙයක් කරන්නට මුදල් නැතිකම බාධාවක් නොවන තරම් මුදලක් මා ඔවුන් වෙනුවෙන් ඉතිරි කරන්නට බලාපොරොත්තු වන නමුත් කිසිවක් නොකර සිටින්නට ඔවුන්ව දිරිගන්වන තරම් මුදලක් ඉතිරි කරන්නට බලාපොරොත්තුවක් නැහැ."

වොරන් බුෆේ, මාක් සකබර්ග් හා බිල් ගේට්ස් වැනි ප්‍රකෝටිපතියන් ජනහිතකාමී කටයුතු වෙනුවෙන් තමන්ගේ ධනයෙන් වැඩි ප්‍රමාණයක් මෙසේ වෙන් කළත් ඒ අරමුදල් ඔක්ස්ෆෑම් සංවිධානය වැනි දිළිඳුකම විකුණා මුදල් හොයන සංවිධාන හරහා බෙදා නොහැර තමන් විසින්ම ඒ අරමුදල් පාලනය කිරීමට තීරණය කර ඇත්තේ එවැනි සංවිධාන හරහා ගලායන මුදල් වලින් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය තැන් වලට නොයන බව ඔවුන් හොඳින්ම දන්නා බැවිනි. ඒ නිසා, මේ අයගේ ධනයට ලැබෙන ප්‍රසිද්ධිය ඔවුන්ගේ ජනහිතකාමී කටයුතු සඳහා ලැබෙන්නේ නැත.




(Image: http://www.nytimes.com/2010/11/11/giving/11PLEDGE.html?pagewanted=all&_r=0)

Thursday, May 25, 2017

රවී මේසයෙන් මාරුවීම, මංගලගේ මාරුව හා ලංකාවේ අනාගතය


සිංහල අවුරුද්ද දවසේ රවි ග්‍රහයා හෙවත් ඉර මීන රාශියෙන් මේෂ රාශියට මාරු වේ. ආසන්න වශයෙන් තවත් දින 30කට පසු රවි ග්‍රහයා මේෂ රාශියෙන් වෘෂභ රාශියට මාරු වේ. මේ අනුව, පසුගිය මැයි 14 වෙනිදා රවි ග්‍රහයා මේෂ රාශියෙන් වෘෂභ රාශියට මාරු වූ අතර සූර්ය වර්ෂ ක්‍රමය අනුව නව වසරේ දෙවන මාසය වන වෘෂභරවි මාසය ආරම්භ වුණේය. චන්ද්‍ර මාස ක්‍රමය අනුව තවමත් ගෙවෙන්නේ වෙසක් මාසයයි. 


සිංහල අවුරුදු දවසේ රවි මේෂයට පැමිණෙන්නට පැය ගණනකට පෙර මේෂයේ සිටි මංගල හෙවත් අඟහරු ග්‍රහයා මේෂ රාශියෙන් වෘෂභ රාශියට මාරු විය. රවි මංගල සිටි තැනට පැමිණීම නිසා මේ දවස්වල රවි හා මංගල දෙදෙනාම වෘෂභ රාශියේ සිටියත් තව දින තුනකින් මංගල වෘෂභ රාශියෙන් පිටවී මිථුන රාශියට යාමට නියමිතය.


රවි මේෂයෙන් මංගල සිටි වෘෂභ රාශියට මාරු වී සතියක් යද්දී රවී කරුණානායකගේ මේසයද මාරු විය. ඔහු සිටි මුදල් ඇමති මේසයට මංගල සමරවීර පැමිණෙද්දී, රවීට මංගල සිටි විදේශ ඇමති මේසයට යන්නට සිදුවිය. ඇමති මේස මාරුවට හේතුව කවරක් වුවත් එය ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ අතර බලතුලනය පිළිබඳ ප්‍රශ්නයක් වන්නට ඉඩ තිබේ.

රවී කරුණානායකට මුදල් ඇමති ලෙස කටයුතු කරන්නට සිදුවුණේ දෙවසරකට මඳක් වැඩි කාලයක් පමණි. ඒ කාලය අතරතුර ඔහුට රජයේ අයවැය දෙකක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණේය. මේ කාලය අතරතුර 'දී බෑන්කර්' සඟරාව විසින් රවී කරුණානායකව 2016 වසරේ ආසියා-ශාන්තිකර කලාපයේ හොඳම මුදල් ඇමති ලෙසද නම් කර තිබුණේය.

අඩුපාඩු තිබුණත්, ඉකොනොමැට්ටාගේ අදහස වනුයේ රවී කරුණානායක විසින් පසුගිය දෙවසර තුළ මුදල් ඇමති ලෙස කටයුතු කර ඇති ආකාරය පිළිබඳව සමස්තයක් ලෙස සෑහීමකට පත් විය හැකි බවයි.

දේශපාලනයට පැමිණීමට පෙර රවී කරුණානායක වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙකු ලෙස කටයුතු කළේය. ආණ්ඩු මාරුවට පෙර හිටපු මහ බැංකු අධිපති වූ අජිත් නිවාඩ් කබ්රාල්ද වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙකි.

ගණකාධිකාරීවරයෙකු හා අර්ථශාස්ත්‍රඥයෙකු සිතන ආකාරයේ මූලික වෙනස්කම් තිබේ. එය අදාළ වෘත්තීයවේදීන් විසින් ලබා ඇති අධ්‍යාපනයට හා පුහුණුවට සම්බන්ධය. ආර්ථික විද්‍යාවට සාපේක්ෂව ගිණුම්කරණය යනු තාක්ෂනික විෂයයකි. එහි විෂය පථය මූලික වශයෙන්ම ඉලක්කම් හරඹයකි.

ගණකාධිකාරීවරයෙකුට "සංඛ්‍යාලේඛණ විජ්ජා" කිරීමට හැකිවීම කුසලතාවයක් මිස වැරැද්දක් නොවේ. ගණකාධිකාරීවරයෙකුගේ අරමුණු බොහෝ විට කෙටිකාලීනය. එහෙත්, අර්ථශාස්ත්‍රඥයෙකුගේ කාර්ය භාරය එයින් වෙනස්, දිගුකාලීන වෙනස්කම් අරමුණු කරගත් එකකි.

අර්ථශාස්ත්‍රඥයෙකු ගන්නා බොහෝ තීරණ වල ප්‍රතිඵල ක්ෂණිකව දකින්නට නොලැබෙන අතර, දිගුකාලීනව හොඳ ප්‍රතිඵල ලබාදෙන තීරණ ගැනීම සඳහා අර්ථශාස්ත්‍රඥයෙකුට තමන් ඉගෙනගෙන ඇති න්‍යාය පිළිබඳව විශ්වාසය තබන්නට සිදුවේ. මේ විශ්වාසය ගොඩනැඟෙන්නේ පළපුරුද්ද සමඟය. මෙය වෛද්‍යවරයෙකු වැනි වෙනත් වෘත්තිකයෙකු තුළ පළපුරුද්ද සමඟ ගොඩනැගෙන විශ්වාසයට සමානය.

සාමාන්‍යයෙන් අර්ථශාස්ත්‍රඥයෙකු විසින් දරන මහ බැංකු අධිපති ධුරයට ගණකාධිකාරීවරයෙකු වූ අජිත් නිවාර්ඩ් කබ්රාල්ව පත් කිරීමෙන් පසුව ලංකාවේ ආර්ථික ප්‍රවණතා නිරීක්ෂණය කළ විට මේ වෙනස පැහැදිලිව පෙනේ. ඔහු තමන් ධුරය දැරූ කාලය තුළ රටේ ආර්ථිකය හා අදාළ කෙටිකාලීන හා මැදිකාලීන ඉලක්ක ගණනාවක් නියම කර ඒවා ලඟා කරගත්තේය. එහෙත්, එසේ හඹා ගිය කෙටිකාලීන හා මැදිකාලීන ඉලක්ක බොහොමයක් ලංකාවේ ආර්ථිකයේ දිගුකාලීන ශුභ සිද්ධිය පිණිස හේතු වී නැත. මහ බැංකු අධිපති ධුරය වැනි තනතුරකට පත් විය යුත්තේ ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුමක් මෙන්ම දිගුකාලීන පළපුරුද්දක්ද ඇති පරිණත පුද්ගලයෙක් මිස "පොල්කට්ටෙන් පිට හිතන" හෝ "රැඩිකල් තීරණ ගන්නා" පුද්ගලයෙකු නොවේ.

එහෙත්, මුදල් අමාත්‍ය ධුරයේ වගකීම් මහ බැංකු අධිපති ධුරයේ වගකීම් වලට සමාන නැත. මුදල් අමාත්‍යංශයේ කාර්ය භාරය කෙටිකාලීන හෝ වැඩිම වුනොත් මැදිකාලීන එකකි. මුදල් ඇමති වරයා විසින් බොහෝවිට කළ යුත්තේ රජයේ ආදායම් හා වියදම් පිළිබඳ වාර්ෂික සැලසුමක් හදා එය ක්‍රියාත්මක කිරීමයි. මෙය සෑහෙන දුරකට තාක්ෂණික කටයුත්තකි. අරමුදල් කළමනාකරණය හා ගිණුම්කරණය යනු වෙනස් විෂයයන් දෙකක් වුවත් ආර්ථික විද්‍යාවේ විෂය පථය හා සැසඳූ විට මේ විෂය දෙකේ විෂය පථයන් තරමක් දුරට සමපාත වේ. මුදල් අමාත්‍ය ධුරය සඳහා කළමනාකරණ ගිණුම්කරණයෙහි ප්‍රවීණතාවයක් ඇති අයෙකු පත් කිරීම එතරම් නරක තීරණයක් නොවේ.

රවී කරුණානායක විසින් භාරගත්තේ විශාල ලෙස අර්බුදයට ලක්ව තිබුණු, කොයි වෙලාවේ හෝ කඩා වැටෙන්නට ඉඩතිබුණු ආර්ථිකයක්ය යන්න බොරුවක් නොවේ. මේ අවදානම තවමත් කිසිසේත්ම ඉවත්වී නැතත් මේ වන විට ආර්ථිකය කඩා වැටීමට ඇති ඉඩකඩ සෑහෙන දුරට පසුපසට තල්ලු වී තිබේ. එයට හේතුව පසුගිය දෙවසර තුළ සිදුවී ඇති රජයේ මූල්‍ය කළමනාකරණයේ සාපේක්ෂව යහපත් වර්ධනයන්ය.

මේ කටයුත්තේදී රවී කරුණානායකගේ පෞද්ගලික මැදිහත්වීම කෙතරම් වීදැයි මා දන්නේ නැත. පසුගිය ආණ්ඩුව කාලයේනම් මුදල් අමාත්‍යංශයේ කටයුතු වලට අමාත්‍යවරයා මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයාත් ලොකු මැදිහත් වීමක් කළේ නැත. ඒ නිසා, ඒ කාලයේ ආර්ථිකයේ යම් යහපත් වර්ධනයක් වීනම් එහි ගෞරවයද, වැරැද්දක් වීනම් එහි වගකීමද බොහෝ දුරට හිමිවිය යුත්තේ ඒ කාලයේ මුදල් අමාත්‍යාංශය පාලනය කළ ඉහළ මට්ටමේ නිලධාරීන්ට මිස දේශපාලන අධිකාරියට නොවේ. පසුගිය දෙවසර තුළ මේ තත්ත්වය කෙසේ වෙනස් වීදැයි මා දන්නේ නැත.

රවී කරුණානායක විසින් පළමු අයවැය පිළියෙළ කරන අවස්ථාවේදී රටේ ආර්ථිකයට පසුගිය කාලයේ ආර්ථිකය හා අදාළව ගත් තීරණ වල පීඩනය දැනෙමින් තිබුණු අතර, ඒ මතට මේ ආණ්ඩුව බලයට පත්වීම සඳහා ලබාදුන් මැතිවරණ පොරොන්දු වල බරද එකතු විය. ඒ වෙලාවේ විශාල වෙනස්කම් කිරීමට අවකාශයක් නොතිබුණේය. ඉකොනොමැට්ටා විසින් ඒ කාලයේ පෙන්වාදුන් පරිදි මේ පළමු අයවැයට රවී කරුණානායකගේ සංඛ්‍යාලේඛණ විජ්ජාවන්ද එකතු වී තිබුණේය. එහෙත්, දෙවන අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී ඔහු ඒ වරද නිවැරදි කර තිබුණේය.

පසුගිය දශක දෙක තුන තුළම ලංකාවේ රාජ්‍ය අයවැය යෝජනා බොහොමයක් වසර තුළදී ඒ අයුරින්ම ක්‍රියාත්මක වුණේ නැත. බොහෝ වසර වල සිදුවූ සාමාන්‍ය දෙය වූයේ අපේක්ෂිත ආදායම් එකතු නොවීම හා වියදම් වැඩිවීමයි. ඒ නිසා, අයවැය හිඟය බොහෝ විට වසර මුලදී ඇස්තමේන්තු කරනවාට වඩා ඉහළ ගියේය. එමෙන්ම, පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කර අයවැයට පිටින් වියදම් කිරීම සාමාන්‍ය දෙයක් වී තිබුණේය.

ඉහත තත්ත්වය දැනටත් සම්පූර්ණයෙන් වෙනස් වී නැතත් මේ වන විට සෑහෙන තරමකින් පාලනය වී තිබේ. පසුගිය දෙවසර තුළ රජයේ ආදායම් ඉහළ නංවාගැනීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනා බොහොමයක් පසුව අකුලා ගන්නට සිදුවුවත් එසේ සිදුවුණේ රටතුළ පීඩක කණ්ඩායම් තුළින් මතු වූ විරෝධය හේතුවෙන් මිස ආණ්ඩුවේ වරදකින් නොවේ. එමෙන්ම, ආදායම් වැඩි කරගැනීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කළ ඇතැම් යෝජනා 'බැක්ෆයර්' විය. එහෙත්, වසර ගණනාවකට පසු සමස්තයක් ලෙස ආදායම් එකතු කර ගැනීමේ අංශයේ ප්‍රගතියක් පෙන්වීමට රජය සමත් විය.

රජයේ වැය ශීර්ෂයන් තුළද මූල්‍ය විනය වර්ධනය වීම පැහැදිලිව පෙනෙන්නට තිබේ. රජයේ පුනරාවර්තන වියදම් අඩුවී නැතත්, එහි වරද මුදල් ඇමතිවරයා පිට පැටවිය නොහැකිය. රටේ දේශපාලන ව්‍යුහය මෙන්ම බලතුලනයද සකස් වී ඇති ආකාරය අනුව ආණ්ඩුවට ආණ්ඩුව පවත්වා ගැනීම සඳහා පොදු මුදල් නාස්ති කරමින්, තනතුරු මවමින් තවදුරටත් අකාර්යක්ෂමතාවයන් වැඩි කරන්නට සිදු වී තිබේ. රටේ ඉල්ලුම තිබෙන්නේද රාජ්‍යය පුළුල් කිරීමට මිස සීමා කිරීමට නොවේ. මේ තත්ත්වය හමුවේ පුනරාවර්තන  වියදම් අඩුවී නැත. එහෙත්, යම් තරමකින් හෝ ඵලදායී ප්‍රාග්ධන වියදම් තවදුරටත් කපා හැරීම මඟින් කෙසේ හෝ  අයවැය තුලනය කර ගැනීමට පසුගිය දෙවසර තුළ මුදල් ඇමති වරයා සමත්ව සිටී.

දැන් මුදල් ඇමති ලෙස පත්වී සිටින්නේ මංගල සමරවීරයි. ඔහු හොඳ පරිපාලකයෙකු හා තීරණ ගැනීමට බය නැති පුද්ගලයෙකු බව පෙන්වා ඇතත් ආර්ථික විද්‍යාව හෝ  මූල්‍යකරණය වැනි විෂයයක විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති අයෙකු නොවේ. පවත්නා තත්වයන් හමුවේ රවී කරුණානායක විසින් නොකළ දෙයක් මංගල සමරවීර විසින් කිරීමට ලොකු ඉඩක් ඇති බවක් නොපෙනේ. මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ තීරණ වලට ඕනෑවට වඩා මැදිහත් නොවී පරිපාලකයෙකු ලෙස පමණක් කටයුතු කිරීමෙන් අඩුම වශයෙන් පවත්නා තත්ත්වය තවත් නරක් නොකර තබා ගැනීම හා වලගැට්ටෙන් යාන්තමින් ඈත්වී ඇති ආර්ථිකය ලොකු පිමි පන්නවන්නට උත්සාහ කරමින් අවදානමක් ගැනීම යන මාර්ග දෙක මංගල සමරවීර ඉදිරියේ විවෘතව තිබේ.

කවර ආකාරයෙන් බැලුවත් මංගල සමරවීර විසින් භාරගෙන තිබෙන්නේ විශාල අභියෝගයකි.


(Image: http://mirrorcitizen.dailymirror.lk/2017/05/22/cabinet-reshuffle-mangala-ravi-to-swap-portfolios/)

Wednesday, May 24, 2017

බටහිර රටවල ජීවත් වන්නෝ දනට පිනට නොලැදිද?

ඇතැම් අය හිතාගෙන ඉන්නේ බටහිර රටවල ජීවත්වන අය පරිභෝජනය වෙනුවෙන්ම ජීවත්වන, තමන්ගේ වටපිටාව හෝ අනෙකුත් අය ගැන නොතකන, ආත්මාර්ථකාමී මිනිසුන් බවයි. ඒ මිනිසුන් ඇසුරු කර ඇති අය හොඳින්ම දන්නා ඇත්ත තත්ත්වය ඇතැම් සංඛ්‍යාලේඛණ දෙස බැලූ විටද කැපී පෙනේ.

පහත රූප පළමු සටහනෙන් පෙන්වා ඇත්තේ ලෝකයේ එක් එක් රටවල ජනගහණයෙන් දහසකට සිටින ලේ දන් දෙන්නන් ප්‍රමාණයයි. රූප සටහනේ දුඹුරු පැහැයෙන් ලකුණු කර ඇති ජනගහණයෙන් දහසකට සිටින ලේ දන් දෙන්නන් තිහකට වඩා සිටින රටවල් වැඩි ප්‍රමාණයක් සංවර්ධිත බටහිර රටවල් බව වැඩි මහන්සියක් නැතුවම දැකිය හැකි දෙයකි. ලංකාවේ එම ගණන 10-19.9 අතර ප්‍රමාණයකි.




දෙවන රූප සටහනේ ඇත්තේ මේ ලේ දන් දෙන්නන් අතරින් මුදල් වාසියක් නොමැතිව ස්වේච්ඡාවෙන් ලේ දන් දෙන ප්‍රතිශතයයි. එහි දුඹුරු පැහැයෙන් ලකුණු කර ඇත්තේ මේ ප්‍රතිශතය 99% ඉක්මවන රටවල්ය. බටහිර රටවල් සියල්ලේම පාහේ මේ ප්‍රතිශතය 99% ඉක්මවන නමුත් ලංකාවේ එම ප්‍රතිශතය ඊට වඩා අඩුය.

දුප්පත් මිහිහාගේ දුක දැනෙන්නේ දුප්පතාටම බව බටහිර රටවලද ජනප්‍රිය මතයකි. එහෙත්, එය එසේ නොවන බව මා පැහැදිලිවම දන්නේ ජනහිතකාමය හා අදාළ සංඛ්‍යාලේඛණ පිළියෙළ කිරීමට උපයෝගී කරගන්නා දත්ත පෞද්ගලිකවම විමර්ශනයට ලක් කර ඇති බැවිනි. බොහෝ විට සිදුවන්නේ එහි අනිත් පැත්තයි. කිසියම් පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා ඉටු වී නැත්නම් ඔහු හෝ ඇය වෙනත් අයෙකුට උදවු කිරීමට පෙළඹෙන්නේ අඩුවෙනි. එහෙත්, මිනිසුන්ගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ වී ඇති විට අනෙක් අය ගැනත් හිතන්නට වැඩි ඉඩක් ලැබේ.


ඉන්දියානා සරසවියේ පර්යේෂකයින් විසින් වාර්ෂිකව පිළියෙළ කර ප්‍රකාශයට පත් කරන ඇමරිකාවේ ජනහිතකාමය පිළිබඳ වාර්තා අනුව 2015 වසරේදී ඇමරිකානුවන් විසින් පුණ්‍ය කටයුතු සඳහා වැය කර ඇති අරමුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 373.25කි. එය ලංකාවේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම මෙන් සිවු ගුණයක් ඉක්මවයි. එමෙන්ම, 2017-18 වසර සඳහා ජනහිතකාමය පිළිබඳ පෙර දැක්ම වාර්තාව (Philanthropy Outlook) අනුව,  ඇමරිකාවේ පුණ්‍ය කටයුතු වල නිරතවන ආයතන වල ආදායම (හා වියදම) ඩොලර් ට්‍රිලියන 2 ඉක්මවයි. මෙය ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.4%කි.

Tuesday, May 23, 2017

ඔක්ස්ෆෑම් ධනවතුන් දැන් කොහේද?


පසුගිය ජනවාරි මාසයේදී බ්‍රිතාන්‍යය මූලස්ථානය කරගත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් වන ඔක්ස්ෆෑම් ජාත්‍යන්තර සංවිධානය විසින් ප්‍රසිද්ධ කළ වාර්තාවක සඳහන්ව තිබුණු සංඛ්‍යාලේඛණයක් සමාජ ජාල වල පුළුල් ලෙස සංසරණය විය. මේ වාර්තාවෙන් පෙන්වා දුන්නේ ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අට දෙනෙකුගේ වත්කම් වල එකතුව, ලෝක ජනගහණයෙන් වත්කම් පදනම මත දුප්පත්ම මිනිසුන් බිලියන 3.6කගේ වත්කම් වල එකතුවට සමාන බවයි.

අදාළ වාර්තාව අනුව ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අටදෙනා හා ඔවුන්ගේ වත්කම් පිළිවෙලින් මෙසේ විය.

බිල් ගේට්ස් - ඩොලර් බිලියන 75
ඇමන්සියෝ ඔටේගා - ඩොලර් බිලියන 67
වොරන් බුෆේ - ඩොලර් බිලියන 60.8
කාලෝස් ස්ලිම් හෙලු - ඩොලර් බිලියන 50
ජෙෆ් බෙසොස් - ඩොලර් බිලියන 45.2
මාක් සකබර්ග් - ඩොලර් බිලියන 44.6
ලැරී එලිසන් - ඩොලර් බිලියන 43.6
මයිකල් බ්ලූම්බර්ග් - ඩොලර් බිලියන 40

මේ වාර්තාව පිළියෙළ කිරීම සඳහා ලෝක ධනවතුන්ගේ වත්කම් ලබාගෙන තිබුණේ 2016 මාර්තුවේදී ප්‍රකාශයට පත් කෙරුණු ෆෝර්බ්ස් ප්‍රකෝටිපති ලැයිස්තුවෙනි. 2017 මාර්තුවේදී මේ ලැයිස්තුව නැවතත් යාවත්කාලීන කර තිබුණේය. ඒ අනුව, මේ මාර්තුව වන විට ලෝකයේ ලොකුම ධන කුවේරයින්ගේ වත්කම් තව දුරටත් ඉහළ ගොස් තිබුණේ පහත පරිද්දෙනි. වරහන් තුළ දක්වා ඇත්තේ වසරකට පසුව ලැයිස්තුවේ ඔවුන් සිටින ස්ථානයයි.

බිල් ගේට්ස් - ඩොලර් බිලියන 86 (1)
ඇමන්සියෝ ඔටේගා - ඩොලර් බිලියන 71.3 (4)
වොරන් බුෆේ - ඩොලර් බිලියන 75.6 (2)
කාලෝස් ස්ලිම් හෙලු - ඩොලර් බිලියන 54.5 (6)
ජෙෆ් බෙසොස් - ඩොලර් බිලියන 72.8 (3)
මාක් සකබර්ග් - ඩොලර් බිලියන 56 (5)
ලැරී එලිසන් - ඩොලර් බිලියන 52.2 (7)
මයිකල් බ්ලූම්බර්ග් - ඩොලර් බිලියන 47.5 (10)

ඔක්ස්ෆෑම් වාර්තාව අනුව ලෝකයේ ජනගහණයෙන් අඩක් සතු වත්කම් වල එකතුව ඩොලර් බිලියන 426ක් විය. ඉහත සංඛ්‍යාලේඛණය ක්‍රෙඩිට් සුවිස් ආයතනය විසින් පිළියෙළ කළ වෙනත් වාර්තාවක දත්ත මත පිළියෙළ කළ බව හැර ඒ සඳහා යොදාගත් නිශ්චිත ක්‍රමවේදය සඳහන් කර නොමැත. එබැවින් එම සංඛ්‍යාලේඛණය ඔවුන්ගේ ක්‍රමය යොදාගනිමින් යාවත්කාලීන කිරීමේ හැකියාවක් නැතත්, ඉහත ක්‍රෙඩිට් සුවිස් වාර්තාව නිකුත් කර ඇත්තේ ෆෝර්බ්ස් වාර්තාව මෙන් වසර මුල නොව වසර අග නිසා එය විශාල ලෙස වෙනස් වී නැතැයි සැලකිය හැකිය.

එසේනම්, දැන් ලෝකයේ ජනගහණයෙන් බාගයකගේ වත්කම් වැඩිම වත්කම් ඇති අටදෙනෙකුගේ නොව හත්දෙනෙකුගේ වත්කම් වලට වඩා අඩුය. 2017 මාර්තුව වන විට ලැයිස්තුවේ මුල් හත් දෙනාගේ වත්කම් වල එකතුව පමණක් ඩොලර් බිලියන 468.4ක් වූ අතර මාර්තු සිට මැයි දක්වා ගතවුණු දෙමස තුළ ඔවුන් වැඩි දෙනෙකුගේ වත්කම් තවත් ඉහළ ගොස් තිබේ.

මොවුන් මේ වත්කම් උපයාගෙන ඇත්තේ රජයයන් විසින් බදු ලෙස වැඩ කරන මිනිසුන්ගේ ධනය කොල්ලකන අයුරින් අනුන්ට අයිති දේ බලහත්කාරයෙන් ලබාගැනීමෙන් හෝ කොමිස් හෝ අනිසි ලෙස කොන්ත්‍රාත් ගැනීම ආදී ලෙස එවැනි බදු මුදල් හොරා කෑමෙන් නොවේ. අලුතින් ධනය නිර්මාණය කිරීමෙනි. මේ එක් එක් පුද්ගලයා එසේ අලුතින් ධනය නිර්මාණය කළේ කෙසේද යන්න ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය පීරා පහසුවෙන් හොයා ගන්නට බැරිකමක් නැත.

වැදගත්ම කරුණ වන්නේ ලෝකයේ මිනිසුන් බිලියන 3.6කට උරුමයෙන් හෝ ඔවුන් විසින් නිර්මාණය කිරීමෙන් හිමි වී ඇති  මුළු වත්කම් ඉක්මවන තරම් ධනයක් තනි මිනිසුන් හත් දෙනෙකු විසින් නිර්මාණය කර තිබීමයි. ව්‍යවසායකයින් සුවිශේෂී මිනිසුන් හා සැමරිය යුතු විරුවන් වන්නේ ඒ නිසාය.

ඉහත පුද්ගලයින් විසින් නිර්මාණය කර ඇති වත්කම් නිසා ලෝකයේ තවත් විශාල පිරිසකගේ ජීවිත සමෘද්ධිමත් වී තිබේ. ඒ අතර සිටින්නේ ඔවුන්ට වැඩි හිමිකම් ඇති සමාගම් වලින් හෝ ඔවුන් පුණ්‍ය කටයුතු සඳහා ලබාදෙන අරමුදල් වලින් සෘජුව ප්‍රයෝජන ගන්නා අය පමණක් නොවේ. බිල් ගේට්ස් විසින් නිර්මාණය කර ඇති වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මත දුවන මාක් සකබර්ගේ ෆේස්බුක් උපාංගයේ දවසකට පැය ගණනක් ගෙවමින් සතපහක්වත් නොගෙවා ධනවාදය විවේචනය කරන්නට මිනිසුන් විශාල පිරිසකට අවස්ථාව සැලසී ඇත්තේද ව්‍යවසායකත්වය දිරිමත් කරන ධනවාදී රටවල මිනිසුන් ලෝකයට අලුතින් දායාද කර ඇති දේ නිසාය.

ඒ සමඟම අප අනෙක් අතට විමසිය යුත්තේ ලෝකයේ මිනිසුන් බිලියන 3.6කගේ වත්කම් සාපේක්ෂව මෙතරම් අඩු ඇයිද යන්නයි. ලෝකයේ බොහෝ රටවල වත්කම් හිමිකම් වැඩි ප්‍රමාණයක් සමාජවාදයේ නාමයෙන් අදාළ රටවල රජයන්ගේ ඒකාධිකාර ලෙස පවතී. එහි ප්‍රතිඵලය ඒ රටවල මිනිසුන්ගේ පෞද්ගලික වත්කම් සීමා වීමයි. ඒ නිසා එවැනි රටවල ජීවත්වන මිනිසුන්ට බොහෝ දේ හා අදාළව රජය මත යැපෙන්නට සිදු වේ. මේ රජයයන් බොහොමයක සම්පත් බෙදීයාම් සිදුවන්නේ සීමිත පුද්ගලයින් කණ්ඩායමකගේ අභිමතය පරිදිය.

වත්පොතේ ප්‍රචාරය වන ඉහත බැනරය අනුව බිල් ගේට්ස් ඔහු සතු සියළු ව්‍යාපාර කටයුතු අද සිට නවතා ඔහු සතු ධනයෙන් දිනකට මිලියනය බැගින් වියදම් කළොත් ඔහු සතු සම්පූර්ණ ධනය අවසන් වීමට වසර 735ක් ගත වේ. දැන් දශකයක පමණ සිට මයික්‍රොසොෆ්ට් සමාගමේ අර්ධකාලීනව සේවය කරන බිල් ගේට්ස් පූර්ණකාලීනව බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම හරහා පුණ්‍ය කටයුතු වල නිරතව සිටිමින් ඔහුගේ ධනය වියදම් කරයි. එසේ වියදම් කරන මුදල දිනකට මිලියනයකට වඩා බොහෝ වැඩි වුවත් ඔහු සතු වත්කම් එන්න එන්නම වැඩි වනවා මිස අඩු වන්නේ නැත.

බිල් ගේට්ස් වැනි ධනවතුන් නැති කර දැමීමෙන් ලෝකයේ ආදායම් විෂමතාවය අඩු කළ හැකිය. ධනවතුන් කිසිවකු නැති වූ විට ආදායම් විෂමතාවයක්ද නැත. එහෙත්, එසේ කිරීමෙන් ලෝකය වඩා යහපත් තැනක් වන්නේ නැත.

Monday, May 22, 2017

ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය පුළුල් කිරීමට ඉන්දියානු බලපෑම්!

ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය ඇතුළු සුබසාධන පහසුකම් පුළුල් කිරීම සඳහා ඉන්දියාවෙන් සිදු කර ඇති බලපෑම් ගැන විශ්වාසනීය තොරතුරු අපට අශෝක සෙල්ලිපි වලින් හමුවේ. මුඛ පරම්පරාවෙන් එන තොරතුරු හෝ වරින් වර අතින් පිටපත් කෙරුණු පොත් වල ඇති තොරතුරු මෙන් කාලයත් සමඟ වෙනස් නොවන නිසා සෙල්ලිපි වල ඇති තොරතුරු ඉතිහාසය පිළිබඳ වඩාත්ම විශ්වාසනීය මූලාශ්‍ර ලෙස සැලකිය හැකිය.

පැරණි අශෝක අධිරාජ්‍යයට අයත් බිම් පෙදෙස් පුළුල් ලෙස ආවරණය කරමින් පිහිටුවා ඇති අශෝක සෙල්ලිපි හා ටැම්ලිපි වලින් ඒ කාලයේ කලාපීය භූ දේශපාලනය හා සමාජ ජීවිතය ගැන තොරතුරු රැසක් දැනගත හැකිය. මේ සෙල්ලිපි හා ටැම්ලිපි වල සරල භාෂා විලාශය අනුව ඒවා අශෝක රජු විසින් පෞද්ගලිකවම ලියා දී ඇති ලෙස සැලකේ.

මේ සෙල්ලිපි හා ටැම්ලිපි සඳහා යොදාගෙන ඇති නැගෙනහිර ඉන්දියාවේ එවකට භාවිතා වී ඇති ප්‍රාකෘත භාෂාව බුද්ධ ධර්මය දේශනා කළ නියම භාෂාව වන්නටත්, සිංහල භාෂාවේ නියම මූල භාෂාව වන්නටත් බොහෝ දුරට ඉඩ තිබේ. දැනට භාවිතයේ ඇති ත්‍රිපිටකයේ භාෂාව (පාලි) වඩා ආසන්න වන්නේ ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශයේ භාවිතා වී ඇති ප්‍රාකෘත භාෂාවටය. මිහිඳු හිමි හා සංඝමිත්තාවන් කුඩා කාලයේදී කතා කරන්නට ඇතැයි සිතිය හැක්කේ ඔවුන්ගේ මව ජීවත් වූ මධ්‍ය ප්‍රදේශයේ (විදිශා නගරයේ) භාෂාවයි. බින්දුසාර රජුගේ රාජ්‍ය කාලයේදී අශෝක රජු මුලින්ම යුව රජු ලෙස කටයුතු කළේද මධ්‍ය ප්‍රදේශයේ අවන්ති රාජ්‍යයේය. ඔවුන් ඒ භාෂාව මෙන්ම නැගෙනහිර ඉන්දියාවේ පාඨලීපුත්‍ර නගරයේ භාෂාවද හොඳින් දැන සිටින්නට ඇත. මේ භාෂා අතර මෙන්ම ඒ කාලයේ ලංකාවේ භාවිතා වී ඇති භාෂාවේත් කොහොමටත් ලොකු වෙනසක් නැත. පසුව බුද්ධඝෝෂ හිමියන් කතා කරන්නට ඇත්තේද මධ්‍ය ප්‍රදේශයේ භාෂාවයි.

නිදහස් සෞඛ්‍ය සේවය පුළුල් කිරීම පිළිබඳ අශෝක ප්‍රතිපත්ති ඔහුගේ දෙවන ප්‍රධාන සෙල්ලිපියේ පහත අයුරින් ලියා තබා තිබේ.

"සර්වත විජිතම්හි දෙවානංප්‍රියස පියදසිනො රාඤො එවමපි ප්‍රචංතෙසු යථා චොඩා පාඩා සතියපුතො කෙතලපුතො ආ තංබපංණී අංතියකො යොනරාජා යෙ වා පි තස අංතියකස සාමීපා රාජානො සර්වත්‍ර දෙවානංප්‍රියස ප්‍රියදසිනො රාඤො ද්වෙ චිකීඡ කතා මනුස චිකීඡා ච පසු චිකීඡා ච."

දෙවියන්ට ප්‍රිය වූ ප්‍රියදර්ශී රජුගේ සියළු විජිතයන්හිද, ප්‍රත්‍යන්තයන්හි ඇති චෝල, පාණ්ඩ්‍ය, සත්‍යපුත්‍ර, කේරලපුත්‍ර හා තම්බපණ්ණි, අන්තියක යවන රජුගේ හා අන්තියකගේ රාජ්‍යයට සමීප රටවල් යන සියළු තැන් වල දෙවියන්ට ප්‍රිය වූ ප්‍රියදර්ශී රජු විසින් මනුෂ්‍ය චිකිත්සා හා පශු චිකිත්සා යන දෙආකාරයේ චිකිත්සා සිදු කිරීමට කටයුතු සලස්වා තිබේ. (මෙහි සඳහන් අන්තියක යවන රජු ක්‍රිස්තු පූර්ව 261-246 අතර සිරියාව පාලනය කළ අන්තියෝකස් තියොස්ය.)

"ඔසුධානි ච යානි මනුසොපගානි ච පසුපගානි ච යත යත නාස්ති සර්වත්‍ර හාරාපිතානි ච රොපාපිතානි ච."

මිනිසුන්ට හා සතුන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ වර්ග නැති සියළු තැන් වලට ඒවා රැගෙන ඒමත් රෝපණය කිරීමත් කෙරේ.

"මූලානි ච ඵලානි ච යත යත්‍ර නාස්ති සර්වත හාරාපිතානි ච රොපාපිතානි ච."

(ඖෂධ පිළියෙළ කිරීම සඳහා අවශ්‍ය) මුල් හා ඵල නැති සියළු තැන් වලට ඒවා රැගෙන ඒමත් රෝපණය කිරීමත් කෙරේ.

"පංතෙසූ කූපා ච ඛානාපිතා ව්‍රචා ච රොපාපිතා පරිභොගාය පසුමනුසානං."

මාර්ග දෙපස සතුන්ගේ හා මිනිසුන්ගේ පරිභෝජනය පිණිස ලිං කැණීමද ආහාර සඳහා ගත හැකි (පළතුරු) ගස් සිටවීමද කරනු ලැබේ.

අශෝක රජුව නිදහස් සෞඛ්‍ය සේවය පුළුල් කිරීමට පෙළඹවූ හේතුව මහා වංශයේ පස්වන පරිච්ඡේදයේ විස්තර වෙයි.

"පූර්වයෙහි පැළලුප් නුවරින් නික්ම වනයෙහි හැසිරෙන්නා වූ වනචර පුරුෂයෙක් තෙම කුන්න කින්නරියක් සමඟ සංවාසය කළේය. ඕ තොමෝ උහු හා සංවාසයට පැමිණ පුතුන් දෙදෙනෙක් ඉපදවීය. දෙටු තෙමේ තිස්ස නම් ඇති විය. කණිටු තෙමේ සුමිත්ත නම් විය."


මේ සොහොයුරන් දෙදෙනාම සුදුසු කාලයෙහි මහා වරුණ නම් ස්ථවිරයන් සමීපයෙහි පැවිදි වී පසුව අර්හත් භාවයට පැමිණෙති. එසේ සිටියදී දිනක් වැඩිමල් තිස්ස ස්ථවිරයන්ව ගෝනුස්සෙකු විසින් දෂ්ඨ කරනු ලබයි. මෙයට ප්‍රතිකාර ලෙස ගිතෙල් අවශ්‍ය වුවත් ඒ ස්ථවිරයෝ මෙය රජුට දැන්වීමට හෝ සවස් කාලයේ ගිතෙල් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පිඬු සිඟා යාමට කැමති නොවෙති.

"ඉදින් තෙපි පිඬු පිණිස හැසිරෙමින් ගිතෙල් ලබන්නාහු නම් එ ගෙණව යි තිස්ස නම් ස්ථවිර තෙම සුමිත්තනම් උතුම් ස්ථවිරයන් වහන්සේට කී සේක. පිඬු පිණිස හැසිරෙන්නා වූ උන් වහන්සේ විසින් ගිතෙල් පතක් නොලද්දේය."

නිසි ප්‍රතිකාරයක් නොලබන තිස්ස ස්ථවිරයන්ගේ ජීවිතය කෙළවර වේ. මේ ගැන දැන ගැනීමට ලැබීමෙන් පසුව අශෝක රජු මහත් කම්පාවට පත් වේ.

"ඒ අසා හටගත් සංවේග ඇත්තේ නුවර (සතර) දොර සුණුවමින් කරන ලද පොකුණු බෙහොදින් පුරවා භික්ෂු සංඝයාට බෙහෙත් දුර්ලභ නො වේවා යි දවසක් දවසක් පාසා භික්ෂු සංඝයාට බෙහෙත් පැමිණ වූයේය. "

සිය අධිරාජ්‍යය තුළ පමණක් නොව ඉන් පිටත වූ තම්බපණ්ණිය හෙවත් ලංකාව ඇතුළු ප්‍රත්‍යන්ත ජනපද දක්වාම නිදහස් සෞඛ්‍ය සේවය පුළුල් කිරීමට අශෝක රජු පෙළඹුණේ මේ සිද්ධියෙන් පසුව වන්නට පුළුවන.කෙසේ වුවත්, මේ පසුපස ඇති අශෝක රජුගේ රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ගයන්ද ඉතා පැහැදිලිය. එයට හොඳම සාක්ෂිය වනුයේ  රාජ්‍ය බලය ලබා ගැනීමට නියමිත තිබුණු දේවානම්පියතිස්ස රජු සමඟ කලින්ම සම්බන්ධතා හදා ගැනීම හා මහින්දාගමන මෙහෙයුම සඳහා මුටසීව රජුගෙන් දේවානම්පියතිස්ස රජු අතට රාජ්‍ය බලය ලැබෙන තුරු කල් යල් බැලීමයි.

මහා වංශය ඇතුළු ඓතිහාසික ලේඛණ පිරික්සන විට පැහැදිලිව පෙනෙන්නේ අශෝක සමයේ ලංකාවට ඉන්දියාවෙන් ලැබී ඇත්තේ බුද්ධ ධර්මය පමණක් නොවන බවයි. එය තවත් බොහෝ දේ අඩංගු සම්පූර්ණ පැකේජයකි.

(Image: http://imgur.com)

Sunday, May 21, 2017

තිථි හා නැකැත්

පුර පසළොස්වක හෝ අමාවක පෝය දෙකක් අතර කාලය දින 29.53ක් පමණ වේ. හඳේ රටා අනුව සකස් කරගත් දින දර්ශන බොහොමයක මෙන්ම ලංකාවේ භාවිතා වන චන්ද්‍ර දින දර්ශනයේද මාසයක දින ගණන 29ක් හෝ 30ක් වේ. දින 30ක මාසයක් පක්ෂ ලෙස හැඳින්වෙන කොටස් දෙකකට වෙන් කෙරේ. අමාවක සිට පුර පසළොස්වක දක්වා පුර පක්ෂය හෙවත් ශුක්ල පක්ෂයයි. පුර පසළොස්වක සිට අමාවක දක්වා අව හෙවත් කෘෂ්ණ පක්ෂයයි. මේ එක් පක්ෂයක දින හැඳින්වෙන්නේ පහත නම් වලිනි.

1. පෑළවිය
2. දියවක
3. තියවක
4. ජලවක
5. විසේනිය
6. සැටවක
7. සතවක
8. අටවක
9. නවවක
10. දසවක
11. එකොළොස්වක
12. දොළොස්වක
13. තෙළෙස්වක
14. තුදුස්වක
15. පසළොස්වක/අමාවක

පක්ෂය අනුව පුර හෝ අව යන්න මුලට එකතුවේ. මේ අනුව, සිංහල චන්ද්‍ර මාසයක දෙවන දිනය පුර දියවක වන අතර දහහත්වන දිනය අව දියවකයි. පහළොස්වන දිනය පුර පසළොස්වක වන අතර අවසාන දිනය අව අමාවක දිනයයි. දින 29කින් අවසන් වන මාස වල අව තුදුස්වක දිනයම අමාවක දිනයද වෙයි. මෙය අමාන්ත ක්‍රමයයි.

පූර්ණාන්ත ක්‍රමයේදී අමාවක දිනය පහළොස්වන දිනයද පුර පසළොස්වක දිනය මාසයේ අවසන් දිනයද වන අතර පුර දියවක දිනය දහහත්වන දිනයද අව දියවක දෙවන දිනයද වෙයි.

කෙසේ වුවද, ජ්‍යෝතිෂයේදී තිථි ලෙස මේ නම් වලින්ම හැඳින්වෙන්නේ දවසක් නොවේ. චන්ද්‍ර මාසයක නියම කාලය 30න් බෙදූ කොටසකි. ඒ නිසා ජ්‍යෝතිෂයේදී චන්ද්‍ර මාසයක් හෙවත් තිථි 30ක් යනු දින 29ක් හෝ 30ක් නොවේ. ආසන්න ලෙස දින 29.53කි. මේ තිථියක් බොහෝ විට දවසේ මැද කිසියම් වෙලාවක ආරම්භ වී පසුදින එවැනිම මැද වෙලාවක අවසන් වන අතර පැය 24කට වඩා අඩු කාලයකින් අවසන් වේ.

හඳට පොළොව වටා වටයක් හෙවත් අංශක 360ක් යාමට ගතවන්නේ දින 27.32කි. ඒ නිසා දින 29.53ක් තුළ හඳ පොළොව වටා වටයක් සම්පූර්ණ කර තවත් අංශක 29.11ක් (360*29.53/27.32= 389.11) ගමන් කරයි. පොළොවට ඉර වටා වටයක් යාමට දින 365.25ක් පමණ යයි. ඒ නිසා දින 29.53ක් තුළ පොළොව ඉර වටාද අංශක 29.11ක් (=360*29.53/365.25) ගමන් කරයි. මේ නිසා දින 29.53ක් තුළ පොළොවේ සිට ඉරට හා පොළොවේ සිට හඳට ඇඳිය හැකි සරල රේඛා දෙක අතර සෑදෙන කෝණය අංශක 0 සිට ක්‍රමයෙන් අංශක 360 දක්වා වැඩි වේ. තිථියක් ලෙස හැඳින්වෙන්නේ මේ කෝණය අංශක 12කින් වැඩි වීමට ගත වන කාලයයි.

තිථි තිහක කාලය දින 29.53ක් නිසා තිථියක් අවසන් වීමට ගතවන සාමාන්‍ය කාලය දිනකට වඩා අඩු වුවත් ඇතැම් විටෙක තිථියක් දවසකට වඩා දිගෙන් වැඩි විය හැකිය. ඒ පොළොව ඉර වටා යන පථය මෙන්ම, හඳ පොළොව වටා යන පථයද ඉලිප්සාකාර නිසා ඉහත කෝණය අංශක 12කින් වැඩි වීමට ගත වන කාලය නිශ්චිත කාලයක් නොවන බැවිනි.

තිථි වලින් මනින්නේ පොළොවේ සිට පෙනෙන පරිදි ඉරට සාපේක්ෂ හඳේ චලිතයයි. මේ අයුරින්ම, ජ්‍යෝතිෂයේදී පොළොව වටා හඳේ නිරපේක්ෂ (ඈතින් පිහිටි තාරකා වලට සාපේක්ෂ) චලිතය ගැනද සැලකිලිමත් වන අතර නැකැත් ලෙස හැඳින්වෙන්නේ ඒ හා අදාළ මිනුමකි.

හඳට පොළොව වටා යාමට දින 27.32ක් ගතවන අතර නැකතක් යනු මේ කාලය කොටස් 27කට බෙදූ විට කොටසකි. වඩාත් නිවැරදිව හඳට පොළොව වටා අංශක 360/27= 13.33ක් යාමට ගත වන කාලයයි. මේ චලිතය ඒකාකාරී නොවන නිසා, පෙර මෙන්ම මේ කාලය නියතයක් නොවේ. සාමාන්‍යයෙන් නැකතක කාලය දිනකට වඩා වැඩි වුවත් ඇතැම් විට දිනකට වඩා කෙටි වන්නටද පුළුවන.

නැකැත් විසි හතේ සංස්කෘත හා සිංහල නම් පහතින් තිබේ.

1. අශ්විනී  - අස්විද
2. භරණී - බෙරණ
3. කෘතිකා - කැති
4. රෝහිණී - රෙහෙණ
5. මෘග ශීර්ෂ - මුවසිරස
6. ආර්ද්‍ර - අද
7. පුනර්වසු - පුනාවස
8. පුෂ්‍ය - පුස
9. ආශ්ලේෂ - අස්ලිස
10. මාඝ - මා
11. පූර්ව ඵාල්ගුණී - පුවපල්
12. උත්තර ඵාල්ගුණී - උතුරුපල්
13. හස්ත - හත
14. චිත්‍ර - සිත
15. ස්වාති -සා
16. විශාඛ - විසා
17. අනුරාධ - අනුර
18. ජ්‍යෙෂ්ඨ -දෙට
19. මූල - මුල
20. පූර්ව ආශාඪ- පුවසල
21. උත්තර ආශාඪ- උතුරුසල
22. ශ්‍රාවන - සුවන
23. ධනිෂ්ඨ - දෙනට
24. ශතාභිෂ - සියාවස
25. පූර්ව භද්‍රපාද - පුවපුටුප
26. උත්තර භද්‍රපාද - උත්‍රපුටුප 
27. රේවතී - රේවතී

මේ නැකැත් ක්‍රමය පරිණාමය වූ ආකාරය හා චන්ද්‍රමාස වලට එහි ඇති සම්බන්ධය ඉදිරි ලිපියකින් කතා කරමු.

Friday, May 19, 2017

කලවම් නැති, ඉතා පිරිසිදු සිංහ ලේ


 "බැහැ බුදු පුතේ දැන්නම් මට ඉවසන්න
හැකිනම් මරණයෙන් මා බේරාගන්න
මේ වගෙ දුක් සුසුම් මවකගෙ සනසන්න
ආදර පුතෙකු ලෙස ඇවිදින් ලේ දෙන්න

ලේ හිඟ නිසා අද ඔත්පල වී ඉන්න
අසරණ ලෙඩුන් ගැන සිත යොමු කරලන්න
දන් දී ලේ බිඳක් ඒ අය ගොඩගන්න
ආදර පුතෙකු ලෙස ඇවිදින් ලේ දෙන්න"

මේ කවි දෙක සහිත පෝස්ටරයක් (සහ තවත් පෝස්ටරයක්) මා පළමු හෝ දෙවන ශ්‍රේණි වල උගත් කාලයේ මගේ  පියාගේ කාර්යාලයේ දැන්වීම් පුවරුවක ගසා අලවා තිබුණු බව මට තවමත් හොඳින් මතකය. කළු පැහැති අකුරෙන් මුද්‍රණය කර තිබුණු කවි දෙකේ ලේ යන වචනය පමණක් (උඩින් ඇති ආකාරයේ සිංහ ලේ ස්ටිකර් වල මෙන්) රතු පැහැයෙන් මුද්‍රණය කර තිබුණේය. එහි පැත්තක කාන්තාවකට ලේ දෙන චිත්‍රයක්ද ඇඳ තිබුණේය. එයද කළු රේඛා වලින් ඇඳ තිබුණු අතර ලේ බෝතලය සහ එහි සිට අත දක්වා ගලා එන ලේ ධාරාව රතු පාටින් මුද්‍රණය කර තිබුණේය. ඒ වයසේදී මේ "ලේ තැවරුණු" පෝස්ටරය දැකීම මට ප්‍රිය උපදවන කරුණක් නොවීය.

ඉහත පෝස්ටරය මුද්‍රණය කර තිබුණේ ලේ දන් දීමේ වැඩ සටහන් සඳහා ප්‍රචාරණයක් ලබා දීමටය. ලේ දන් දීමට හැකි ස්ථානය දිනය හා වෙලාව පෑනකින් ලකුණු කිරීම සඳහා එහි ඉඩක් වෙන් කර තිබුණත් පියාගේ කාර්යාලයේ වූ පෝස්ටරයේ ඒ තැන් හිස්ව තිබුණේය. තවත් මෙවැනි 'හිස්' පෝස්ටර් මිටියක් රාක්කයක තබා තිබුණු අතර ලේ දන්දීම් වැඩ සටහන් සංවිධානය කරන අයට ඒවායින් යම් ප්‍රමාණයක් රැගෙන ගොස් අදාළ ස්ථානය, දිනය හා වෙලාව ලියා ප්‍රචාරණය සඳහා භාවිතා කළ හැකිව තිබුණේය.

මේ කියන කාලය දැනට දශක හතරකට නොඅඩු කාලයකි. ඒ කාලයේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය වූ ලේ වලින් වැඩි ප්‍රමාණයක් ලබා ගත්තේ ස්වේච්ඡාවෙන් ලේ දන් දෙන පුද්ගලයන්ගෙනි. ඒ තත්ත්වය මේ වන විටද වෙනස් වී නැත.

පළමු වරට සාර්ථක ලෙස රුධිර පාරවිලනය සිදු කර ඇත්තේ 1907දී වුවත් ලේ දන්දීම ප්‍රචලිත වී ඇත්තේ 1940දී පමණය. එයින් දශකයකට පමණ පසුව ලංකාවේද ලේ දන්දීමට අවශ්‍ය පහසුකම් ඇති වී ඇතත් ලංකාවේ බොහෝ දෙනෙකු මේ ගැන දැනගෙන ඇත්තේ බණ්ඩාරනායක මහතාට වෙඩි තබනු ලැබූ අවස්ථාවෙන් පසුවය. බණ්ඩාරනායක ඝාතනයෙන් පසු ගෙවී ගිය දශක දෙකක පමණ කාලය තුළ මගේ මවගේ පියාද ලේ දන්දීමේ හා ඇස් දන්දීමේ වැඩ සටහන් වල ක්‍රියාශීලීව සිට ඇතත් මට මතක තිබෙන්නේ හැත්තෑව දශකයේ ඔහුගේ මරණයට පෙර කාලය පිළිබඳව පමණි.


ලෝකයේ සිටින මිලියන 112.5ක් වන ලේ දන් දෙන්නන්ගෙන් අඩක් පමණම ඉහළ ආදායම් ලබන රටවල ජීවත් වන අයයි. එහෙත්, මේ රටවල ජනගහණය ලෝක ජනගහණයෙන් 19%ක් පමණි. ඉහළ ආදායම් ලබන රටවල සෑම දහසකින්ම 33.1ක් ලේ දන් දෙන්නන් වන අතර, මැදි ආදායම් රටවල මේ ගණන 11.7කි. පහළ ආදායම් රටවල ජනගහණයෙන් දහසකට ලේ දන් දෙන්නන් සිටින්නේ 4.6ක් පමණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට සංඛ්‍යාලේඛණ ලබා දී ඇති රටවල් 146කින් රටවල් 74කම ලේ අවශ්‍යතාවයෙන් 90%ක්ම සපුරාගෙන ඇත්තේ ස්වේච්ඡා ලේ දන් දෙන්නන්ගෙනි. ඉතිරි රටවල් 72හි ලේ ඉල්ලුමෙන් අඩු වශයෙන් 50%ක් ලබාගෙන ඇත්තේ මුදල් ගෙවා හෝ පවුලේ අයෙකුගේ ලේ වල හිලවුවටය.

ජාතික රුධිර පාරවිලන සේවාවට අනුව ලංකාවේ ලේ දන් දෙන්නන් 100%ක්ම එය මුදල් නොලබා ස්වේච්ඡාවෙන් කරන අයයි. එහෙත්, මා දන්නා පරිදි හිලවුවට ලේ ලබා දීම ලංකාවේද බොහෝ විට සිදු වන දෙයකි. එමෙන්ම, මුදලට ලේ විකුණන පුද්ගලයින් මෙන්ම ඔවුන්ව සම්බන්ධ කරන තැරැවුකරුවන්ද ලංකාවේදී
මට හමු වී තිබේ. ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ හෝ සම්බන්ධව සිට ඇති මෙය කියවන අයට මේ හා අදාළ මට නැති අත්දැකීම් ඕනෑ තරම් තිබෙන්නට පුළුවන.

මිනිස් ලේ කෘතිමව නිෂ්පාදනය කිරීමේ හැකියාවක් තවමත් නැත. ඒ නිසා මිනිස් ලේ අවශ්‍යතාවය මුළුමනින්ම සපුරා ගත යුත්තේ ස්වේච්ඡාවෙන් හෝ මුදලට ලේ ලබා දෙන අයගෙනි. ලේ වලට ඇති ඉල්ලුම හා සැපයුම තුලනය වීමේදී ලේ වල මිල විශාල ලෙස ඉහළ ගොස් නැත්තේ ස්වේච්ඡාවෙන්, නොමිලේ ලේ දෙන්නන් විශාල පිරිසක් ලෝකයේ සිටින බැවිනි. මේ බොහෝ දෙනෙක් ඒ වෙනුවෙන් ලබා ගන්නා වාසිය වෙනත් අයෙකුට යහපතක් වනු දැකීමෙන් ලබන සතුටයි. එසේ වුවද, කිසියම් ආකාරයකින් මිනිස් ලේ කෘතීම ලෙස නිෂ්පාදනය කළ හැකිනම් එය සැලකිය යුතු තරමේ ලාභයක් ලැබිය හැකි ව්‍යාපාරයකි.

නේචර් සඟරාවේ ඉදිරියේ කලාපයක පළ වීමට නියමිත, පෙරේදා (මැයි 17) අන්තර්ජාලයේ පළ කර ඇති කර ඇති පර්යේෂණ පත්‍රිකා දෙකකට අනුව පෙනෙන්නේ කඩෙන් කෘතීම ලේ මිල දී ගන්නට හැකි වන දිනය වැඩි ඈතක නොවිය හැකි බවයි. හාර්වඩ් වෛද්‍ය විද්‍යාලයේ රියෝහිචි සුගිමුරා ඇතුළු ඇතුළු පළමු පර්යේෂක කණ්ඩායම විසින් සෛද්ධාන්තිකව පුද්ගලයෙකුගේ හමේ කොටසකින් ලබා ගත හැකි බහුශක්‍ය මූල සෛල (pluripotent stem cell) නියැදියකින් පටන් ගනිමින් පළමු වරට විද්‍යාගාරයක් තුළ සාර්ථක ලෙස මිනිස් මූල රුධිර සෛල (blood stem cells) නිෂ්පාදනය කර තිබේ. මේ සෛල වලට සිරුරේ රතු රුධිරානු, සුදු රුධිරානු හා රුධිර පට්ටිකා ජනනය කිරීමේ හැකියාව තිබේ. මේ සොයා ගැනීමේ වැදගත්කම වන්නේ කිසියම් පුද්ගලයෙකුගේ රුධිරය ඒ ආකාරයටම නිපදවිය හැකි නිසා රුධිරය නොගැලපීමේ ප්‍රශ්න මතු නොවීමයි. වීල් කොර්නෙල් වෛද්‍ය විද්‍යාලයේ රපායෙල් ලිස් ඇතුළු දෙවන පර්යේෂක කණ්ඩායම විසින්ද මීයන් යොදා ගනිමින් මේ දෙයම කර තිබේ.

පිළිකා ඇති වීමේ අවදානම බැහැර කළ නොහැකි නිසා මේ මූල සෛල මිනිසුන්ට ඒ අයුරින්ම ලබා දීමේ හැකියාව ගැන සැක පහළ කරන මේ පර්යේෂකයෝ මෙසේ හදාගන්නා මූල සෛල යොදාගනිමින් න්‍යෂ්ඨි රහිත නිසා බෙදී නොයන රුධිරානු හා පට්ටිකා සෛල හදා ඒවා මිනිසුන්ට ලබා දුන් විට ඒ අවදානමද නැති වන බව පවසන අතර ඉදිරි දෙවසරක පමණ කාලය තුළ එය කළ හැකි බවට විශ්වාසය පළ කරති.

මේ අනුව, වැඩිකල් නොයා කෘතීම ලේ වාණිජ මට්ටමෙන් නිෂ්පාදනය වන්නට ඉඩ ඇති අතර "සිංහ ලේ" වැනි වෙළඳ නාම යටතේ ඒවා වෙළඳපොළට එන්නටත් "කලවම් නැති, ඉතා පිරිසිදු සිංහ ලේ" ආදී දැන්වීම් දැක ගන්නටත් නුදුරු දිනක අපට ඉඩ ලැබෙන්නට පුළුවන. ඒ සමඟම, ලේ වලිනුත් ලාබ ලබන බටහිර සමාගම් ගැන කතා කරන අයද අපට බ්ලොග් වලම වුවත් හමු වන්නට පුළුවන.


ඒ කෙසේ වුවත්, තවමත් කෘතීම ලේ ප්‍රායෝගිකව භාවිතා කළ හැකි අයුරින් නිපදවා නැති නිසා ලේ දන්දීම යමෙකුට කළ හැකි යහපත් කටයුත්තකි. ජූනි 14 දිනට යෙදෙන ලෝක ලේ දන්දීමේ දිනයට හෝ ජූනි 8 වෙනි දිනට යෙදෙන පොසොන් පෝය දිනයට ලේ දන්දීමේ වැඩ සටහනක් සංවිධානය කරන්නට කැමති කෙනෙකුට ඒ ගැන හිතන්නට තවමත් කල් තිබේ.


(Image: Aluth.com)

Wednesday, May 17, 2017

දෙකක් කතා කිරීම හා දෙකක් දා ගැනීම


"දෙකක් කතා කරල මිසක් පස්ස බලන්නෙ නෑ!"

සමහර අය ඔහොම කියන වෙලාවල් තිබේ. එහෙම කතා කරන සමහර අය කිවුවා වගේම දෙකක් කතා කරන තුරු පස්ස බලන්නේ නැත. ඒත්, ඔහොම කියන ගොඩක් අය නිකමට වගේ ඕක කිවුවාට දෙකක් කතා කරන්න යන්නේ නැත. ඒ දෙකක් කතා කිරීම කියන තරම්ම ලේසි නැති නිසාය. සමහර වෙලාවට කලින්ම දෙකක් දාගත් විට දෙකක් කතා කිරීමට උත්තේජනයක් ඇතිවේ.

ලොකුවට බලාපොරොත්තුවක් නොතිබුණත් ඉකොනොමැට්ටාත් අන්තිමේදී දෙකක් කතා කර තිබේ!

ඉකොනොමැට්ටා බ්ලොග් ලියන්නට පටන් ගත්තේ 2015 මැයි 18 වෙනිදාය. ඒ අනුව, 2017 මැයි 18 වෙනිදා වන විට ඉකොනොමැට්ටා මේ වියුණුව හරහා අවුරුදු දෙකක්ම කතා කර තිබේ.

අවුරුදු කිවුවාට අවුරුදු වර්ග තිබෙන්නේ එකක් නොවේ. දැන් මෙහි දෙකක් කතා කළ බව කියන්නේ ග්‍රෙගෝරියන් දින දර්ශනයේ අවුරුදු අනුවය. ග්‍රෙගෝරියන් අවුරුද්දකට දින 365ක් හෝ 366ක් තිබේ. ඉකොනොමැට්ටාගේ පළමු ග්‍රෙගෝරියන් අවුරුද්දට දින 366ක් තිබුණු නිසා අවුරුදු දෙකට දින 731කි. මෙය ග්‍රෙගෝරියන් අවුරුද්දක සාමාන්‍ය දිග අනුව හෝ නිවර්තන, නක්ෂත්‍ර මෙන්ම ඇනොමලිස්ටික් යන මොන ක්‍රමයට බැලුවත් අවුරුදු දෙකකට වඩා පැය 12කට ආසන්න කාලයකින් දිග වැඩිය.

ග්‍රෙගෝරියන් දින දර්ශනය වෙනුවට ජුලියන් දින දර්ශනය දිගටම භාවිතා කළේනම් ඉකොනොමැට්ටා බ්ලොග් එක ආරම්භ කළ දිනය වෙන්නේ 2015 මැයි 5 දිනයි. එමෙන්ම, සිංහල සූර්ය දින දර්ශනය අනුවනම් ශක වර්ෂ 1937 වෘෂභරවි මාසයේ තෙවන දිනයි. වෘෂභරවි මාසය සිංහල සූර්ය දින දර්ශනයේ දෙවන මාසයයි. මේ දින දර්ශන දෙක අනුවද 2017 මැයි 18 දිනට බ්ලොග් එකට වසර දෙකක් සම්පූර්ණ වේ. සූර්ය දින දර්ශනය අනුව 2017 මැයි 18 යනු ශක වර්ෂ 1939 වෘෂභරවි මාසයේ තෙවන දිනයි.

සිංහල චන්ද්‍රමාස ක්‍රමය අනුව, ඉකොනොමැට්ටා බ්ලොග් එක ආරම්භ කළ දිනය බුද්ධ වර්ෂ 2559 පොසොන් මාසයේ පළමු දිනය වන පුර පෑලවිය දිනයයි. එතැන් සිට දෙවසරක් ගත වී, බුද්ධ වර්ෂ 2561 පොසොන් මාසයේ පළමු දිනය වන පුර පෑලවිය දිනය එළැඹෙන්නේ 2017 මැයි 26 වෙනිදාය. ඒ නිසා සිංහල චන්ද්‍ර කැලැන්ඩරය අනුව දෙවන සංවත්සරය සමරන්නට ඉකොනොමැට්ටාට තවත් සතියක් බලා ඉන්නට සිදුවේ. චන්ද්‍ර වර්ෂ අනුව සංවත්සරය කල් යන්නේ මේ දෙවසර තුළ අධික මාසයක් එකතු වී ඇති බැවිනි.

අධික මාස එකතු කිරීමක් නොකරන චන්ද්‍ර කැලැන්ඩරයක් වන ඉස්ලාම් හිජ්රි කැලැන්ඩරය අනුව බ්ලොග් එක ආරම්භ කළ දිනය 1436 අටවන මාසය වන ශබාන් මාසයේ පළමු දිනයයි. 1438 ශබාන් මාසයේ පළමු දිනය යෙදුනේ 2017 අප්‍රේල් 26 දිනටය. ඒ නිසා, ඒ කැලැන්ඩරය අනුවනම් දැන් ඉකොනොමැට්ටා දෙකක් කතා කර සති තුනකටත් වඩා වැඩිය.

මේ අවුරුදු දෙක ඇතුළත ඉකොනොමැට්ටාට සම්මාන මෙන්ම අවමානද ලැබුණේය. ඒ මොනවා ලැබෙද්දීත් ඉකොනොමැට්ටා සමඟ දිගටම රැඳී සිටි පාඨක පිරිස ඉකොනොමැට්ටාගේ ලොකුම ශක්තියයි. මේ කාලය තුළ ඉකොනොමැට්ටාගේ බොජුන්හල වෙත පැමිණි ඇතැම් අය දැන් මේ වියුණුවේ පමණක් නොව සිංහල වියුණු අතරද පෙනෙන්නට නැත. ඇතැම් අය බ්ලොග් වලට පමණක් නොව ජීවිතයටද සමුදී ඇත. ඒ අයත්, තවමත් මෙහි පැමිණෙන අයත් ඇතුළු බොහෝ දෙනෙක් දිගින් දිගටම ඉකොනොමැට්ටාව දිරිමත් කළ බව ස්තුති පූර්වකව සඳහන් කළ යුතුය.

කෙසේ වුවත්, සමස්තයක් ලෙස පාඨකයින් ඉවත් වනවාට වඩා වැඩියෙන් සිදුවී ඇත්තේ අළුත් පාඨකයින් එකතු වීමයි. පාඨකයින් සංඛ්‍යාවට වඩා ඉකොනොමැට්ටාව සතුටට පත් කරන්නේ මුල් වසරට සාපේක්ෂව දැන් මෙහි ලිපි කියවන බොහෝ දෙනෙක් කැමැත්තෙන් කියවන අය වීමයි.   විශේෂයෙන්ම දෙවන වසර තුල සිදු වුනු ප්‍රධානම වෙනස කලින් සින්ඩි හරහා පැමිණි බොහෝ දෙනෙක් දැන් කෙළින්ම මෙහි ලිපිනය ඇතුළු කරමින් පැමිණීමයි. ඒ අතරම, ඉඳහිට කියවන්නට තමන් කැමති ආකාරයේ වෙනත් දෙයක් නැති විට අකැමැත්තෙන් මෙහි පැමිණි අය දැන් බොහෝ දුරට අඩුවී තිබේ.

කිසිදා කමෙන්ට් නොදැම්මත් දිගටම නොවරදවා මෙහි පැමිණෙන හා නන් අයුරින් මේ වියුණුව ප්‍රචාරණය කරන පාඨකයින් විශාල පිරිසක් සිටින බව ඉකොනොමැට්ටා නොදන්නවා නොවේ. ඒ අය ඇතුළු සියළුම පාඨකයින්ගේ ශක්තියෙන් දෙකක් කතා කරන්නට පෙර ඉකොනොමැට්ටාට දෙකක් දමා ගන්නට හැකිවුණා පමණක් නොව මදි පාඩුවට තවත් බාගයක් දාගන්නට
හැකි විය.



අපි දිගටම හමුවෙමු!

(Image: https://vinepair.com/wine-blog/wine-toast-new-years-hate-champagne/)

Tuesday, May 16, 2017

ජුලියන් ප්‍රතිසංස්කරණය


ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල දැන් භාවිතා කරන සිවිල් දින දර්ශනය ග්‍රෙගෝරියන් දින දර්ශනයයි. ග්‍රෙගෝරියන් දින දර්ශනය සකස් කර ගැනුණේ ඉන් පෙර පැවති ජුලියන් දින දර්ශනය සංශෝධනය කර ගැනීමෙනි. ජුලියන් දින දර්ශනයේ ආරම්භය ජුලියස් සීසර්ගේ රෝමයට දිව යන්නකි.

ජුලියන් දින දර්ශනය සකස් කිරීමට සහශ්‍රයකට පමණ පෙර ලෝකයේ බොහෝ රටවල භාවිතා වූයේ චන්ද්‍ර මාස මත පදනම් වූ දින දර්ශනයයි. මේ දින දර්ශන වල විවිධ ප්‍රභේද තිබුණේය. ඇතැම් දින දර්ශන අමාවක පෝයෙන් අවසන් වූ අතර තවත් ඒවා පසළොස්වක පෝයෙන් අවසන් විය. මේ ක්‍රම දෙකේදීම, මුල් කාලයේදී මාසයේ ආරම්භය පදනම් වූයේ හඳේ අවශ්‍ය වක්‍රය සැබෑවටම අහසේ පෙනීම මතය. එහෙත්, කාලගුණ තත්ත්වය හෝ වෙනත් කිසියම් හේතුවක් නිසා නියම දින හඳ නොපෙනීම මේ ක්‍රමය අනුගමනය කිරීමේදී මතු වූ ගැටලුවකි.

ඉහත ගැටලුවට විසඳුමක් ලෙස චන්ද්‍රමාස මත පදනම් වූ සිවිල් දිනදර්ශන බොහෝ සංස්කෘතීන් තුළ නිර්මාණය විය. මේ මාසයක දින ගණන බොහෝ විට 29ක් හෝ 30ක් විය. ඉර, හඳ හා පොළොව (එසේ නැත්නම් ඉර, පොළොව හා හඳ)  එකම රේඛාවක් මත පිහිටන අවස්ථා දෙකක් අතර කාලය දින 29.53ක් පමණ වන නිසා කිසියම් මාසයක නියමිත දිනයේදී හඳ නොපෙනුණත් දිගුකාලීනව මේ දින දර්ශන නිරීක්ෂණ සමඟ සෑහෙන දුරකට ගැලපුනේය.

මෙවැනි ඇතැම් දින දර්ශන වසර තුනකට පමණ වරක් අධික මාසයක් එක් කිරීමෙන් සූර්ය වර්ෂය සමඟද ගලපනු ලැබුවේය. මුල් කාලයේදී මෙය කළේද ස්වභාවික නිරීක්ෂණ මත පදනම් වෙමිනි. තිරිගු පැසීම, සමනලයින් දක්නට ලැබීම හෝ සංචාරක කුරුල්ලන් පැමිණීම වැනි නිරීක්ෂණ වසරක් අවසන් වී ඇති බව තහවුරු කළේය. ඒ හැර නිවර්තන වර්ෂයක හෝ නක්ෂත්‍ර වර්ෂයක දිග හරියටම දැන ගැනීමට තරම් දැනුමක් මුල් කාලයේදී කිසිදු සංස්කෘතියක නොතිබුණේය.

සූර්ය වර්ෂය මත පදනම් වූ සිවිල් දින දර්ශන භාවිතය මුලින්ම ඇරැඹී ඇත්තේ ඊජිප්තුවේ හා බැබිලෝනියාවේය. මේ දින දර්ශන වල සූර්ය වර්ෂයක් දින 365ක් ලෙස සලකා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස වසර හතරකට පමණ වරක් අවුරුද්දකට දිනයක් අඩුවී තිබේ. ඊජිප්තු කැලැන්ඩරය සූර්ය කැලැන්ඩරයක් වූ මුල් කාලයේදී දින තිහේ මාස 12ක් ලෙස දින 360ක් පමණක් තිබී ඇතත් පසුව අමතර දින 5ක් අධික දින ලෙස වසර අවසානයට එකතු කර තිබේ. වසර හතරකට වරක් මේ අධික දින ගණන 6ක් දක්වා ඉහළ නැංවීමෙන් මේ දින දර්ශනය වඩා නිවැරදි කිරීමට ජුලියන් කැලැන්ඩරය හඳුන්වා දීමට සියවස් තුනකට පමණ පෙර උත්සාහ දරා ඇතත් එය සාර්ථක වී නැත.

රෝම කැලැන්ඩරයේ මුලින්ම තිබී ඇත්තේ මාස දහයක් පමණි. ඒ, මාර්තු සිට දෙසැම්බර් දක්වා වන මාස දහයයි. එයින් පසුව එළැඹෙන ශීත සෘතුව තුළ විශේෂ මාස නම් කිරීමක් සිදුවී නැත. කෙසේ වුවද, පසුව එකොළොස්වන හා දොළොස්වන මාස ලෙස ජනවාරි හා පෙබරවාරි මාසත්, ඇතැම් වසර වලදී පමණක් එකතු කෙරෙන දහතුන්වන අධික මාසයකුත් එක් වී තිබේ. රෝම කැලැන්ඩරය ජුලියන් ප්‍රතිසංස්කරණයට පෙරම මාසයකට නිශ්චිත දින ගණන් ඇති සිවිල් කැලැන්ඩරයක් වී ඇති අතර මුල් මාස එකොළහ දින 29කින් හෝ 31කින් සමන්විතවද, අවසන් මාසය වූ පෙබරවාරි මාසය කෙටි මාසයක්වද පැවතී තිබේ. සාමාන්‍ය අවුරුද්දක් දින 355ක් වුවත්, දින 378ක අධික අවුරුදු වරින් වර එකතු කිරීමෙන් පැරණි රෝමන් දින දර්ශනය සූර්ය වර්ෂය සමඟ සමපාතව තබාගෙන තිබේ.

කෙසේවුවද, මේ අධික මාස එකතු කිරීම බොහෝ වර්ෂ වලදී නිවැරදිව සිදුවී නැත. එහි ප්‍රතිඵලයක් ලෙස වසන්තයේ ආරම්භය වසරින් වසර කල් යාම නිසා ක්‍රිස්තු පූර්ව 46 වසර වන විට වසන්තය ජූනි මාසය පමණ දක්වා කල් ගොස් තිබේ. ජුලියන් කැලැන්ඩරය හඳුන්වා දෙනු ලබන්නේ මෙවැනි පසුබිමකය.

ජුලියන් කැලැන්ඩරයට අනුව සෑම වසර හතරකටම වරක් අධික අවුරුද්දක් පැමිණෙන නිසා වසරක සාමාන්‍ය දින ගණන 365.25කි. මෙය නිවර්තන වසරකට වඩා මිනිත්තු 11.23කින් පමණ දිග, එහෙත් සූර්ය සිද්ධාන්ත වසරකට වඩා මිනිත්තු 12.61කින් පමණ කෙටි කාලයකි. අවුරුද්දේ දින ගණන තීරණය කරන ක්‍රමවේදය නිශ්චය කිරීමට අමතරව, ඒ වන විට අධික මාස එකතු නොකිරීම නිසා ඇති වී තිබුණු අක්‍රමිකතාවය නැති කිරීමට මේ වසරට අමතර දින 90ක්ම එක් කර තිබේ. ඒ සාමාන්‍යයෙන් ඊට පෙර අධික වර්ෂයකට එකතු කළ දින 23 හා තවත් අමතර දින 67ක් වශයෙනි. ඒ අනුව, ක්‍රිස්තු පූර්ව 46 වර්ෂයට දින 445ක් තිබී ඇත.

ජුලියන් දින දර්ශන ප්‍රතිසංස්කරණයේදී වර්ෂයේ ආරම්භය ලෙස ජනවාරි 1 දිනය තෝරාගෙන තිබේ. ඒ දිනය එවකට රෝම අධිරාජ්‍යයේ තානාපති නිලධාරීන්ට පත්වීම් ලබාදුන් දිනයයි. එමෙන්ම, එසේ කිරීමෙන් එම වර්ෂයේ ශිශිර සූර්ය නිවෘත්තිය සිදුවූ දෙසැම්බර් 24 දිනය දැන් බොහෝ දෙනෙකු ජේසු උපත සිදුවූ දිනය ලෙස සලකමින් සමරන නත්තල් රාත්‍රිය සමඟ සමපාත විය. ඒ වර්ෂයේදී වසන්ත විෂුවය සිදුව ඇත්තේ දැන් ජේසු බිළිඳා පිළිසිඳුණු දින ලෙස බොහෝ දෙනෙකු විශ්වාස කරන මාර්තු 24 දිනයි. යුදෙවු හා මුල් ක්‍රිස්තියානි සම්ප්‍රදායේ දවස ඇරඹුණේ සූර්ය අස්තය සමඟ නිසා මේ දවස් වල රාත්‍රී කාල එම දින දර්ශන අනුව පිළිවෙලින් දෙසැම්බර් 25 හා මාර්තු 25 විය.

කෙසේ වුවද, ජුලියන් අවුරුද්දක් නිවර්තන අවුරුද්දකට වඩා මිනිත්තු 11.23කින් පමණ දිග නිසා ජුලියන් වර්ෂ ක්‍රමය පැවතෙද්දී වසන්ත විෂුවය දිනය වසර 128කට පමණ වරක් දිනකින් පසුපසට යාම නිසා 1582දී ග්‍රෙගෝරියන් කැලැන්ඩරය හඳුන්වා දෙන කාලය වන විට වසන්ත විෂුවය සිදුවී ඇත්තේ දින 14කට පමණ පෙර මාර්තු 11 දිනකය. ග්‍රෙගෝරියන් ප්‍රතිසංස්කරණය හේතුවෙන් 1582 වසරේ දින 10ක් කැලැන්ඩරයෙන් ඉවත් කරනු ලැබීම නිසා ඉන් පසුව වසන්ත විෂුවය මාර්තු 21 දක්වා තල්ලු වී තිබේ.

පෙර ලිපියෙන් පෙන්වා දුන් පරිදි ක්‍රිස්තු වර්ෂ 543 ආසන්න වසර වලදී මේෂ සංක්‍රාන්තිය හා වසන්ත විෂුවය සිදුව ඇත්තේ එකම දවසකය. එම වසරට පෙර වසර වලදී මේෂ සංක්‍රාන්තිය සිදුව ඇත්තේ වසන්ත විෂුවයට කලිනි. ජේසුස් වහන්සේගේ මරණය සිදුවී ඇති ක්‍රිස්තු වර්ෂ 33දී මේෂ සංක්‍රාන්තිය සිදුවී ඇත්තේ මාර්තු 14 දින හෝ ආසන්න දිනකය. මේෂ සංක්‍රාන්තිය පසුවී දින 5කට පසු මාර්තු 19වන දින උදාවූ පුර පෑලවිය හඳ සමඟ ඒ අවුරුද්දේ වෙසක් මාසය උදා විය. මේෂ සංක්‍රාන්තියෙන් දින 20කට පමණ පසුව අප්‍රේල් 3 වන දින පුර පසළොස්වක පෝය උදා වෙද්දී හඳ විසා නැකතටද පැමිණියේය. ඒ නිසා, ජේසුස් වහන්සේ මරණයට පත් වූ ක්‍රිස්තු වර්ෂ 33 අප්‍රේල් 3 සිකුරාදා දිනය සිංහල චන්ද්‍රමාස ක්‍රමය අනුව අනුව මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෙසක් දිනය තීරණය කිරීමට යොදාගන්නා තායිලන්තය හා මියන්මාරය වැනි වැනි ථෙරවාද බෞද්ධ රටවල භාවිතා කරන චන්ද්‍ර මාස ක්‍රමය අනුවද වෙසක් පුර පසළොස්වක පෝය දිනයකි.


(Image: http://www.vroma.org/~bmcmanus/caesar.html)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...