වෙබ් ලිපිනය:

Monday, August 15, 2016

මා කැමතිම ගීත දහසය?

ඉයන් විසින් ඔහු කැමති ගීත දහසයක් පළකරමින් වෙනත් අයටත් එසේ කරන්නට අභියෝගයක් (ආරාධනාවක්) කර තිබේ. කල්‍යාණ මිත්‍ර විසින් දැනටමත් මේ අභියෝගයට ප්‍රතිචාර ලෙස සටහනක් පළ කර ඇති අතර තවත් කිහිප දෙනෙකු විසින් මේ වන විට එවැනි සටහන් පළ කර තිබෙන්නට පුළුවන.

ඉකොනොමැට්ටා මේ හදන්නේ ඔහු කැමති ගීත දහසය පළ කරන්නට නොවේ. පුළුල් පරාසයක විහිදුනු රුචිකත්වයක් ඇති ඉකොනොමැට්ටාට ඒ කටයුත්ත පහසු වැඩක්ද නොවේ. මේ ලිපියෙන් කතා කරන්නට හදන්නේ ඉහත සටහන් දෙක කියවූ පසු ඔළුවට ආ, චර්යාත්මක ආර්ථික විද්‍යාවට (Behavioral economics) විශේෂයෙනුත්, ආර්ථික විද්‍යාවට පුළුල් ලෙසත් සම්බන්ධ 'තෝරා ගැනීම්' ගැන කතා කරන්නටය.

ඔබ කැමති ගීත දහසයක් තෝරන්නට ඔබට සිදු වුණොත් ඔබ එය කරන්නේ කොහොමද?

ඉයන්, කල්‍යාණ මිත්‍ර හෝ වෙනත් අයෙකු හිතන ආකාරය මා නොදන්නා නිසා මට වැරදීමක් වෙන්නට බොහෝ දුරට ඉඩ ඇතත්, ඔවුන්ගේ ලැයිස්තු දෙස බැලූ විට මට හිතෙන්නේ මේ දෙදෙනා විසින්ම අවිඥානිකව සිදු කර ඇත්තේ සිංදු දහසයක 'පැකේජයක්' තේරීම බවයි. එම පැකේජයන් ඇතුළත සැලකිය යුතු විවිධත්වයක් තිබේ. වෙනත් අයුරකින් කිවහොත්, තමන්ට ඉදිරි ජීවිත කාලයේදී අසන්නට ලැබෙන්නේ සිංදු දහසයක් පමණක්නම් ඔවුන් තෝරා ගන්නා පැකේජය ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති බවයි. මේ උපරිම සිංදු සීමාව සියයක්නම්, ඇතැම් විට ඒ සිංදු සියය අතර උඩින්ම ඇති සිංදු දහසය මේ සිංදුම නොවිය හැකිය. මෙය සාමාන්‍යයෙන් මිනිසුන් තෝරාගැනීම් කරන ආකාරයයි.

කමී සම්බන්ධවනම් මෙය වඩාත් පැහැදිලිය.

"හිතුවට දැන් බැලුවම ඒක කාලෙකින් හම්බවෙච්චි ලොකුම අමාරු වැඩක්.. ඒ කියන්නේ මගේ කැමැත්ත සිංදු දාසයකට සීමා කරන එක.."

කළ යුත්තේ සරල ශ්‍රේණිගත කිරීමක් පමණක්නම් මෙය එතරම් අසීරු වැඩක් නොවේ. එහෙත්, මේ සිංදු දහසය තේරීමේදී අටවන සිංදුව තෝරන විට දැනට තෝරාගෙන ඇති සිංදු හත ගැනද හිතන්නට සිදු වේ.

මේ කතාව තවත් පැහැදිලි කිරීමට අපි උදාහරණයක් ගනිමු. ගීතිකාගේ ප්‍රියතම ගායකයා (ගායිකාවන්ද ඇතුලත්ව) කපුගේය. කපුගේගේ සෑම ගීතයකටම පාහේ ඇය කැමතිය. එමෙන්ම, ඇය වඩා කැමති ගායක ගායිකාවන් අතර සිටින අමරදේවගේ, නන්දා මාලිනීගේ, දිවුල්ගනේගේ හා අමරසිරි පීරිස්ගේ ගීත බොහොමයකටද ඇය කැමතිය. දැන් ඇයට තමන් කැමතිම ගීත දහයක් තෝරන්නට සිදුවුවහොත් ඒ අතරින් මුල් පහටම එන්නේ කපුගේගේ ගීතයි. අන්තිම පහට ඉතිරි සිවු දෙනාගේ ගීත පහක් ඇතුළු වනු ඇත. ඇතැම් විට ඇගේ ප්‍රියතම ගායක ලැයිස්තුවේ නොසිටියත්, ප්‍රියතම ගීත අතර ඇති ගී ගයන සුනිල් පෙරේරා, අජිත් කුමාරසිරි හෝ චින්තක ගීතදේව වැනි වෙනත් අයෙකුගේ ගීයක්ද ඒ ගී දහයේ ලැයිස්තුවේ අග කොටසට ඇතුළත් විය හැකිය.

යම් හෙයකින්, ඇයට තෝරා ගැනීමට ඇත්තේ ගීත පහක් පමණක්නම් ඒ පහම කපුගේගේ ගීත වනු ඇතිද?

සාමාන්‍යයෙන් එය එසේ නොවේ. කපුගේට කොයි තරම් කැමති වුවත්, ජීවිත කාලයම කපුගේගේ සිංදු පමණක් අසන්නට ගීතිකා කැමති නොවනු ඇත. ඒ නිසා, ඇගේ සීමාව පහක්නම් ඒ පහට කපුගේගේ නොවන වෙනත් ගීතද ඇතුළත් වනු ඇත.

අපේ වෙනත් තේරීම් අප කරන්නේද මේ අයුරිනි. ඔබට ආප්ප, අයිස්ක්‍රීම් හා ප්ලේන් ටී යන තුනෙන් එකක් තෝරා ගැනීමට ඇති විට ඔබේ තේරීම අයිස් ක්‍රීම් වූ පමණින්, දෙකක් තෝරා ගත හැකි විට ඒ දෙකට අයිස් ක්‍රීම් ඇතුළත් වන බව අදහස් නොවේ.

පොදුජන එක්සත් පෙරමුණු ලැයිස්තුව යටතේ තරඟ කළ ජවිපෙට 2000 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන් තරඟ කළ බොහෝ දිස්ත්‍රික්ක වල වැඩිම මනාප ගණනක් ගැනීමට හැකි වූයේත්, පසුගිය මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ සමඟ සන්ධානගත වූ හෙළ උරුමය හා ජානිපෙ වැනි සුළු පක්ෂ වල ජනප්‍රිය අපේක්ෂකයින්ට තේරී පත් වීමට හැකි වෙද්දී එසේ නොකළ සරත් ෆොන්සේකාට ජයගත නොහැකි වූයේත්, ඡන්දදායකයින් විසින් තෝරන්නේ අපේක්ෂකයින් තිදෙනෙකුගේ 'පැකේජයක්' බැවිනි. මේ පැකේජයේ විවිධත්වයක් දකින්නට ඔවුන් බොහෝ දෙනෙකු කැමතිය.


සටහන සිංදු ගැන නිසා ඔන්න එහෙනම් සිංදු කිහිපයක්! හැබැයි මම කැමතිම සිංදු හෝ සිංදු පැකේජයනම් නෙමෙයි.

අම්මද තාත්තද? සිරි අයියත් නෑනේ අහන්න.


දකුණු ඇහැද? වම් ඇහැද?


තුම්මුල්ලෙන් කොයි මුළු දෙකද?

සමහර තෝරාගැනීම් ලේසි තෝරාගැනීම් නෙමෙයි...


අපිට තියෙන තෝරාගැනීම් ප්‍රමාණය වැඩි වූ විට ජීවිතය වඩාත් සුන්දරයි!

Friday, August 5, 2016

යුරෝපීයයන්ගේ ලෝකය හා ඉන්දියානුවන්ගේ ලෝකය


පහළොස්වන සියවසෙහිදී ඉන්දියාව සොයා ගිය ක්‍රිස්ටෝපර් කොලොම්බස් විසින් ඇමරිකානු මහාද්වීපයට ආසන්න බහමාස් දූපතකට ගොඩ බසින විටත්, යුරෝපීයයන් දැන සිටි ලෝකය නිශ්චිත සීමාවන්ගෙන් වටවුණු පැතලි ලෝකයකි. එයින් මා අදහස් කරන්නේ තත්කාලීන යුරෝපය ලෝකය පැතලියැයි සිතා සිටි බව නොවේ. ලෝකය ගෝලාකාර බව ඒ වන විට යුරෝපීය විද්‍යාර්ථීන්ගේ පොදු දැනුමකි. එමෙන්ම, තමන් හොඳින් දැන සිටි සීමාවන්ගෙන් බාහිරව ලෝකයක් නොපැවති බව යුරෝපීයයන් විශ්වාස කළ බවද නොවේ. ඔවුන්ගේ එවකට පැවති සංකල්පීය ලෝකයේ තමන් වඩා හොඳින් දැන සිටි කොටසක්, යාන්තමින් දැන සිටි හෝ අසා සිටි කොටසක් සහ ඇතැයි සිතා සිටි කොටසක් වූ බවය. මේ කාලයේදී යුරෝපීය ලෝක දැක්ම සකස් වුනේ ඔවුන් හොඳින් දැන සිටි ලෝකය පාදකවය.

ඉහත තත්ත්වය පහළොස්වන සියවස දක්වා ලෝකයේ වෙනත් ප්‍රදේශ වල පැවති ලෝකය පිළිබඳ දැනුමට ආකෘතිමය ලෙස සමානය. යුරෝපීයයන් විසින් අළුතින් 'හොයාගත්' ඇමරිකාව, ආසියාව හෝ ඕස්ට්‍රේලියාව ඇතුළු ක්‍රිස්තියානි නොවූ ලෝකය එවකට මිනිසුන්ගෙන්, සංස්කෘතියෙන් හෝ දැනුමින් හිස් බිම් නොවූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. යුරෝපීයයන් මෙන්ම මේ එක් එක් පෙදෙස්වල විසූ මිනිසුන්ද දැන සිටි ලෝක පැවති අතර ඒ ලෝක වලටද සීමා මායිම් තිබුණේය.

පස්වන සියවසේදී වත්මන් ඉන්දියාව දැන සිටි ලෝකයේ මධ්‍යය වූයේ ලංකා දිවයිනයි. මේ ලංකා දිවයින සමකය මත පිහිටියේය. ආර්යභටියේ හා සූර්ය සිද්ධාන්තයේ සියළු ගණනය කිරීම් සඳහා කේන්ද්‍ර කරගන්නේ සමකය මත මේ කියන ලංකා දිවයින පැවති තැනයි. සමකය මත, ලංකා දිවයිනට අංශක 90ක් බටහිරින් රෝමකයත්, අංශක 90ක් නැගෙනහිරින් යවකෝටියත්, අංශක 180ක් දුරින් එනම් ප්‍රතිවිරුද්ධ පැත්තේ, සිද්ධපුරයත් පිහිටියේය. ලංකා දිවයිනට අංශක 22.5ක් උතුරින් උදේනි නුවර පිහිටියේය. එමෙන්ම, උත්තර ධ්‍රැවයෙහි සුරයන් වසන මහා මේරුවත්, දක්ෂිණ ධ්‍රැවයෙහි ප්‍රේතයින් වසන වඩබාමුඛයත් පිහිටියේය. ඔවුන් එවකට දැන සිටි පරිදි, ලෝක ගෝලයේ සමකයෙන් උතුරු අර්ධයේ ගොඩබිම්ද, දකුණු අර්ධයේ සාගරයද පැතිරී තිබුණේය.

සූර්ය සිද්ධාන්තයේ සඳහන් ලංකා දිවයින වත්මන් ලංකාවද යන්න විවාදිත කරුණකි. දැන් අප දන්නා පරිදි, උදේනි නුවර පිහිටා ඇත්තේ උතුරු අක්ෂාංශ 23.3හි හා නැගෙනහිර දේශාංශ 75.5හිය. ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ උතුරු අක්ෂාංශ 5-10 හා නැගෙනහිර දේශාංශ 79-82 අතරය. මේ අනුව, වත්මන් ලංකාවේ කිසිම තැනක් සමකය මත හෝ උදේනි නුවරට සෘජුව දකුණින් පිහිටා නැත. අනෙක් අතට, සූර්ය සිද්ධාන්තය හා ආර්යභටිය අනුව ලංකා දිවයින පිහිටිය යුතු, උදේනි නුවරට සෘජුව දකුණින් සමකය මත ඇත්තේ ඉන්දියානු සාගරයයි. එහි කිසිදු දිවයිනක් නැත. එම ස්ථානයට ආසන්නයේම ඇති මාල දිවයින් සමූහයට අයත් දිවයින් පිහිටා ඇත්තේද මේ ස්ථානයට අංශක දෙකක් පමණ නැගෙනහිරිනි.

කෙසේවුවද, මේ අවුල ඇති වන්නේ අද අපට ඇති භූගෝලීය දැනුම එදා ඉන්දියානුවන්ටද තිබුණේයැයි උපකල්පනය කළ විටය. එය එසේ නොවේ. පහළොස්වෙනි සියවසේ යුරෝපීයයන්ගේ භූගෝලීය දැනුමේ සැලකිය යුතු සීමාවන් පැවතියාක් මෙන්ම, ඊට සහශ්‍රයකට පෙර විසූ ඉන්දියානුවන්ටද තිබෙන්නට ඇතැයි සිතිය හැක්කේ සීමිත භූගෝලීය දැනුමකි. මේ අනුව, මේ වෙනසට හේතුව ලංකා දිවයිනේ නිවැරදි පිහිටීම පිළිබඳව පැවති දැනුමේ අඩුවක් විය හැකිය. (මේ ගැන තවත් අදහසක් තිබේ. ඒ ගැන පසු ලිපියක කතා කරමි.)

ඉරට හා හඳට ඇති දුරත්, පෘථිවියේ පරිධියත් ඉතා ආසන්නව දැන ගෙන සිටි ඉන්දියානුවන්ට, ඉන්දියාවට යොදුන් කිහිපයක් පහළින් පිහිටි ලංකා දිවයිනේ පිහිටීම නිවැරදිව දැන ගත නොහැකි වීම විය හැක්කක්ද? පිළිතුර සරලය. පළමු කී කරුණු පිළිබඳ දැනුමට පාදක වන්නේ උදේනි නුවර සිට හෝ වෙනත් තැනක සිට කළ හැකි තාරකා නිරීක්ෂණ හා එවකට ඉන්දියානුවන් දැන සිටි ගණිතමය සිද්ධාන්තයි. එහෙත්, ලංකාවේ පිහිටීම ගැන දැන ගන්නට වෙන්නේ මේ කාලයේ ලංකාවට යාත්‍රා කර ආපසු පැමිණ සිටි සීමිත නාවිකයින් පිරිසෙන් අයෙකු හෝ කිහිප දෙනෙකු ලබාදුන් තොරතුරු මතය. රෝමකයේ පිහිටීම සම්බන්ධවද මේ අවුලම තිබේ. රෝමකය වත්මන් රෝමයයැයි ඇතැම් අය සිතතත් උදේනි නුවර සිට අංශක 90ක් දුරින් පිහිටා ඇත්තේ අත්ලාන්තික් සාගරයයි. රෝමය පමණක් නොව එවකට පැවති රෝම අධිරාජ්‍යයේ බටහිර මායිමද පිහිටියේ සූර්ය සිද්ධාන්තයේ සඳහන් රෝමකය පිහිටිය යුතු තැනට වඩා කිට්ටුවෙනි.

පස්වන සියවසෙහිදී උදේනි නුවර විසූ විද්‍යාර්ථින් විසින් එවකට සමුද්‍ර ගවේෂණයන්හි යෙදුණු නාවිකයින් හරහා දැන සිටි උදේනි නුවර සිට වඩාත්ම දකුණින් පිහිටි ස්ථානය ලංකා දිවයිනද, වඩාත්ම බටහිරින් පිහිටි ස්ථානය රෝමකයද, වඩාත්ම නැගෙනහිරින් පිහිටි ස්ථානය යමකෝටියද වන්නට ඇතැයි සිතිය හැකිය. මහාමේරුව, වඩබාමුඛය හා සිද්ධපුර යනු මෙසේ දැන හෝ අසා සිටි කරුණු වල දිගුවක් ලෙස ඇති කරගත් උපකල්පන හෝ ප්‍රවාද පමණක් විය යුතුය. 


තත්කාලීන ඉන්දියාව දැන සිටි උතුරුම බිම් පෙදෙස් වූයේ හිමාල කඳු පංතියයි. ක්‍රමයෙන් උස්වන මේ කඳු පංතිය තරමක් දුරට හෝ තරණය කළ අයෙකු හමුවීම එවකට දුලබ කරුණක් වන්නට ඇත. ඒ අනුව, මේ කඳු පංතියෙන් එපිට සුරයන්ගේ වාසස්ථානය වන යොදුනක් උසැති මහාමේරුව ඇතැයි ඔවුන් සලකන්නට ඇත. එමෙන්ම, දකුණු මුහුදේ සංචාරය කළ නාවිකයින් අතරින් ලංකාවෙන් එපිටට ගිය කිසිවකු බොහෝ විට ආපසු නොඑන්නට ඇත. මේ නිසා, ලංකාවෙන් දකුණේ සාගර මධ්‍යයෙහි සියල්ල පොළොව තුළට ඇදගන්නා වඩබාමුඛයක් ඇතැයි ඔවුන් සිතන්නට ඇත. ඉන්දියානු විද්‍යාර්ථින් නාවිකයින් මඟින් දැන සිටි පරිදි, උදේනි නුවරට දකුණින් පිහිටි කෙළින්ම ඉර මුදුන් වන තැනක් වූ ලංකා දිවයින සමකය මත පිහිටි ලෝකයේ මධ්‍යය ලෙස ගිණීමට සුදුසු තැනක් ලෙස සලකන්නට ඇත.

(Image: http://shyamasundaradasa.com/jyotish/resources/articles/non-jyotish_articles/lanka.html)

Thursday, August 4, 2016

බටහිර රටවල්, ටොඩෙසියස් සම්මුතිය හා ලෝකයේ මැද


අපි නිතරම බටහිර සංස්කෘතිය ගැන කතා කරමු. බටහිර සංස්කෘතියක් ගැන කතා කරන්නේ බටහිර රටවල් කියා රටවල් ඇති නිසාය. මේ බටහිර රටවලට එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය හා ඉතාලිය වැනි බටහිර යුරෝපීය රටවල්ද, ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය වැනි යුරෝපයෙන් පිටත පිහිටි යුරෝපීයයන් විසින් සිය සංස්කෘතිය ප්‍රමුඛ සංස්කෘතිය බවට පත් කෙරුණු රටවල්ද අයත් වේ. මේ සම්මතය අනුව ඉන්දියාව, චීනය හා ලංකාව වැනි රටවල් පෙරදිග රටවල් ලෙසත්, පෝලන්තය, හංගේරියාව හා රුමේනියාව වැනි රටවල් නැගෙනහිර යුරෝපීය රටවල් ලෙසත් හැඳින්වේ.

පෘථිවිය මත පිහිටි බොහෝ නිශ්චිත ස්ථාන වලට සාපේක්ෂව අපට නැගෙනහිරක් හා බටහිරක් ගැන කතා කළ හැකිය. එවැනි කිසියම් ස්ථානයකට ඉර නැගෙනු පෙනෙන්නේ පෙරදිගින් හෙවත් නැගෙනහිරිනි. ඉර බසිනු පෙනෙන්නේ අපරදිගින් හෙවත් බටහිරිනි. ඒ අනුව, කිසියම් රටකට බටහිරින් පිහිටි රටක් බටහිර රටක් ලෙසත්, නැගෙනහිරින් පිහිටි රටක් පෙරදිග රටක් ලෙසත් හැඳින්විය හැකිය. ගෝලාකාර පෘථිවියේ නැගෙනහිරට හෝ බටහිරට දිගටම ගියහොත්, එහි ප්‍රතිවිරුද්ධ දිශාවට එසේම ගමන් කිරීමේදී හමුවිය හැකි ඕනෑම රටක් හමුවන නිසා මේ සංකල්පයේද අවුලක් තිබුණත් සීමිත ප්‍රායෝගික තත්ත්වයන් යටතේ මේ සංකල්පයේ අවුලක් නැත.

කෙසේ වුවද, ඉහත අර්ථ දැක්වීම හරියන්නේ පෘථිවිය මත කිසියම් නිශ්චිත තැනකට සාපේක්ෂවය. එසේම, ලෝකයේ කාටත් එකඟ විය හැකි පෙරදිග හා අපරදිග රටවල් පිලිබඳ සම්මුතියක් ඇතිවන්නේ කෙසේද? මෙවැනි බෙදීමක් පැවතිය හැක්කේම කිසියම් නිශ්චිත ස්ථානයකට සාපේක්ෂවය.



බටහිර රටවල් යන වත්මන් සංකල්පය පාදක වී ඇත්තේ වතිකානුව කේන්ද්‍ර වී බව යුරෝපීය සිතියමක් දෙස බැලු විට පැහැදිලි වේ. ඒ අනුව, පැරණි ලෝකයේ වතිකානුවට බටහිරින් පිහිටි එංගලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය වැනි රටවල් බටහිර යුරෝපීය රටවල් වන අතර, වතිකානුවට නැගෙනහිරින් පිහිටි හංගේරියාව, රුමේනියාව වැනි රටවල් නැගෙනහිර යුරෝපීය රටවල්ද, ඉන්දියාව, චීනය, ලංකාව වැනි රටවල් පෙරදිග රටවල්ද ලෙස සම්මත වී තිබේ. ලෝකයේ මැද දෙස සැලකිය හැකි කිසිදු සුවිශේෂී තැනක් නැතත් පහළොස්වන සියවසෙහිදී යුරෝපීයයන් දැනගෙන සිටි ලෝකය වතිකානුව හරහා බටහිර හා නැගෙනහිර ලෙස බෙදී තිබුණු එකකි. අද වන විට ලෝකයේ මැද තවත් ටිකක් බටහිරට තල්ලුකර එංගලන්තයේ ග්‍රිනිච් රේඛාව වෙත ගෙනගොස් තිබුණත් බටහිර රටවල් පිළිබඳ වතිකානු-කේන්ද්‍රීය සම්මතය එසේම පවතී.

පහළොස්වන සියවසේදී, ප්‍රබලම කතෝලික රාජ්‍ය දෙකක් වූ ස්පාඤ්ඤය හා පෘතුගාලය විසින් සාගර තරණය කරමින් සිදු කළ ගවේෂණ හේතුවෙන් එවකට යුරෝපය දැන සිටි ලෝකය පුළුල් විය. ක්‍රිස්ටෝපර් කොලොම්බස්ගේ සාර්ථක මුහුදු ගවේෂණ වලින් අනතුරුව ඔහු විසින් අළුතින් හඳුනාගත් බිම් පෙර පැවති ගිවිසුමකට අනුව පෘතුගාලය සතු විය යුතුයැයි එරට පැවසීම හේතුවෙන් ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර යුද්ධයක් ඇති වීමේ ඉඩකඩක් ඇති වී හතරවන ඇලෙක්සැන්ඩර් පාප්තුමාට මැදිහත් වීමට සිදු වූ අතර 1494 ජූනි 7 දින එම දෙරට අතර අත්සන් කෙරුණු ටොඩෙසියස් සම්මුතිය (Treaty of Tordesillas) එහි අවසන් ප්‍රතිඵලයයි.

ටොඩෙසියස් සම්මුතිය මඟින් ලෝක සිතියමෙහි ඉරක් ඇඳ, එවකට පැවති ක්‍රිස්තියානි නොවන ලෝකය ස්පාඤ්ඤය හා පෘතුගාලය යන දෙරට අතර බෙදා දෙනු ලැබීය. මේ ඉර අඳිනු ලැබුවේ පෘතුගාලය විසින් එවකට ලඟා වී සිටි බටහිරින්ම පිහිටි ස්ථානය වූ කේප් වර්ඩ් දිවයින හා කොලොම්බස් විසින් අළුතින් හඳුනාගත් බටහිර ඉන්දීය දිවයින් අතර හරි මැදිනි. කෙසේවුවද, පසුව ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර කෙරුණු හෙට්ටු කිරීම් මඟින් ඉහත රේඛාව වඩාත් බටහිරට තල්ලු කෙරුණු අතර ඒ හේතුවෙන් එවකට හඳුනාගෙන නොතිබුණු වත්මන් බ්‍රසීලයට අයත් බිම් පෙදෙස් ස්පාඤ්ඤයට අයිති නොවී පෘතුගාලයට අයිති විය. ඉතිරි දකුණු ඇමරිකානු බිම් මුළුමනින්ම පාහේ ස්පාඤ්ඤයට අයිති විය.

ඒ වන විට විශ්වාස කෙරුණේ කොලොම්බස් විසින් ලඟා වූ තැන ඉන්දියාවේ නැගෙනහිර කොන බවයි. එහෙත්, ලෝකය පහළොස්වන සියවසෙහිදී යුරෝපීයයන් දැන සිටියාට වඩා බොහෝ විශාල බව වැඩිකල් නොයාම ඔවුන්ට අවබෝධ විය.

ටොඩෙසියස් සම්මුතිය අනුව, දකුණු ඇමරිකාවේ බ්‍රසීලය හැර ඉතිරි පෙදෙස් ස්පාඤ්ඤය සතු වෙද්දී ටොඩෙසියස් රේඛාවට නැගෙනහිරින් පිහිටි අප්‍රිකානු හා ආසියානු රටවල් පෘතුගාලය සතු විය. ලංකාව ස්පාඤ්ඤ යටත් විජිතයක් නොවී පෘතුගීසි කොලනියක් වන්නේ මේ නිසාය.

ලෝකය ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර බෙදා දීම කෙසේ වුවත් ටොඩෙසියස් සම්මුතිය මඟින් ඉටු කෙරුණු වෙනත් සාධනීය දෑ  රැසකි. අද වන විට ජාත්‍යන්තර නීතියේ කොටස් බවට පත්වී ඇති අභ්‍යන්තර ජලාශ හා රටවලට අයත් මුහුදු සීමා පිළිබඳ අදහසේත්, විශේෂයෙන්ම කාටත් නිදහසේ භාවිතා කළ හැකි ජාත්‍යන්තර මුහුදු පිළිබඳ අදහසේත් මුල් මේ ටොඩෙසියස් සම්මුතිය තුළ තිබේ.

මුල සිටම හරියටම ක්‍රියාත්මක නොවුණත්, සෑහෙන මට්ටමකට ක්‍රියාත්මක වූ ටොඩෙසියස් සම්මුතිය මුලින්ම ලොකු අර්බුදයකට ලක්වන්නේ ස්පාඤ්ඤයේ හා පෘතුගාලයේ මුහුදු ගවේෂණ වත්මන් නැගෙනහිර ආසියානු කලාපය කරා පුළුල් වීමේදීය. ඒ, ටොඩෙසියස් රේඛාවේ අනෙක් (නැගෙනහිර) අර්ධය සම්බන්ධයෙනි. මේ වන විට දේශාංශ වල නිවැරදි පිහිටීම කිසිවකු දැන නොසිටි නිසා දෙරට අතර ලෝක ගෝලයෙහි අර්ධය බැගින් බෙදා ගැනීමේදී එහි නැගෙනහිර මායිම නිශ්චය කර ගැනීම ගැටළුකාරී කරුණක් විය.

වත්මන් ඉන්දුනීසියාවට අයත්, කුළුබඩු වෙළඳාම එවකට ජයටම කෙරුණු, මලාකු දිවයිනට ස්පාඤ්ඤය හා පෘතුගාලය යන දෙරටම අයිතිවාසිකම් කීමත් සමඟ ප්‍රශ්නය උග්‍ර වූ අතර දෙරට අතර සංහිඳියාවක් ඇති කර ගැනීම සඳහා දෙරටේ තාරකා විද්‍යාඥයින්, සිතියම් විද්‍යාඥයින් (cartographers), සමුද්‍ර ගවේෂකයින් හා ගණිතඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කෙරුණු අතර 1529 අප්‍රේල් මස 22 දින අත්සන් තැබුණු සරගොසා සම්මුතිය (Treaty of Zaragoza) මෙහි අවසන් ප්‍රතිඵලයයි.

සරගොසා සම්මුතිය මඟින් ලෝකය ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර බෙදාගැනීම සම්පූර්ණ වුවද, දෙරට අතර සිදුවූ හෙට්ටු කිරීම් වලත්, එවකට පැවති සීමිත භූගෝලීය දනුමේත් ප්‍රතිඵලයක් ලෙස මේ බෙදීම සමානව සිදු නොවීය. ඒ අනුව, පෘතුගාලයට 191/360ක 'ලොකු කෑල්ලත්', ස්පාඤ්ඤයට 169/360ක 'පොඩි කෑල්ලත්' හිමි විය. ආසියාවේ නැගෙනහිරින්ම පිහිටි පිලිපීනය ස්පාඤ්ඤ යටත් විජිතයක් බවට පත් වෙද්දී, ලංකාව ඇතුළු ඉතිරි ආසියාතික රටවල් පෘතුගීසි කොලනි බවට පත් විය. දකුණු ඇමරිකාවේ නැගෙනහිරින්ම පිහිටි බ්‍රසීලය පමණක් පෘතුගීසි කොලනියක් වූ අතර ඉතිරි රටවල් ස්පාඤ්ඤ යටත් විජිත බවට පත් විය.

ඉහත කී ලෙස හතරවන ඇලෙක්සැන්ඩර් පාප්තුමා විසින් එවකට ක්‍රිස්තියානි නොවූ ලෝකය ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර බෙදාදීමේ අරමුණ වූයේ ලොව පුරා ක්‍රිස්තියානි ශුභාරංචිය පැතිරවීමයි. මේ අයුරින්, අදාළ රටවලට ඒකාධිකාරයක් ලබා දීම හේතුවෙන් එම රටවලට විශාල ආර්ථික වාසි සැලසුන අතර අනෙකුත් යුරෝපීය රටවලට නැති සුවිශේෂී වාසියක් ලැබුණේය. දහසයවන සියවස පමණ වන විට යුරෝපයේ නැඟී ආ ආර්ථික බලයන් වූ එංගලන්තය හා ඕලන්දය වැනි රටවලට මේ බෙදීම 'දිරෙවුවේ' නැත. කෙසේවුවද, යුරෝපය තුළ වතිකානුවේ ආධිපත්‍යය ස්ථාවරව පැවති පදනම තුළ ටොඩෙසියස් හා සරගොසා සම්මුතීන්ට රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය පදනමකට අමතරව ආධ්‍යාත්මික හා ආචාර ධාර්මීය පදනමක්ද පැවති බැවින් ඒ සම්මුති නොසලකා හැරීම පහසු කරුණක් නොවීය.

එංගලන්තය හා ඕලන්දය වැනි රටවල ප්‍රොතෙස්තන්ත ව්‍යාපාර ඉස්මතු වන්නේ මෙවැනි පසුබිමකය. ඒ සමඟම වතිකානුවේ ලෝක ආධිපත්‍යය තර්ජනයට ලක්වන අතර ටොඩෙසියස් හා සරගොසා සම්මුතීන් රඳවා තිබුණු ආධ්‍යාත්මික හා ආචාර ධාර්මීය පදනම ගිලිහී යයි. එංගලන්තය හා ඕලන්දය වැනි රටවලට වර්ධනය වූ නාවික බලය ශක්තියක් කරගනිමින් රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය පදනමකින් ස්පාඤ්ඤය හා පෘතුගාලය සමඟ හෙට්ටු කර ගිවිසුම් අළුත් කර ගැනීමට ඉඩ සැලසේ. ලෝකයේ මැද වතිකානුවේ සිට එංගලන්තයට විතැන් වේ. පෘතුගීසි කොලනියක්ව පැවති ලංකාව පිළිවෙලින් ඕලන්ද හා ඉංග්‍රීසි ආධිපත්‍යයට නතු වේ. කෙසේ වුවද, ටොඩෙසියස් හා සරගොසා සම්මුතීන්හි බලපෑම් ලෝකය පුරා අදටත් දක්නට හැකිය.


(Image: www.reddit.com)

Wednesday, August 3, 2016

සුදු සහ කළු


ලංකාවේ ගත කළ කාලය තුළ අපට සුදු සහ කළු වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනය නැරඹීමට අවස්ථාවක් ලැබුණේය. මා මෙම නළුව මෙවර නැරඹුයේ තෙවන වරටය.

සයිමන් නවගත්තේගමගේ සුදු සහ කළු මුල් නිෂ්පාදනය අසූව දශකයේ දෙවන අර්ධයේ කිසියම් දිනෙක මම ලුම්බිණි රඟහලෙහිදී හෝ ලයනල් වෙන්ඩ්ට්හිදී නැරඹුවෙමි. එවකට එහි ප්‍රධාන චරිතය රඟපෑවේ නැසී ගිය ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන එච් ඒ පෙරේරාය. පසු කලෙක, මම එච්ඒගේ ආයතන ප්‍රධානියා ලෙසද කටයුතු කළෙමි.

දෙවන වරට මා මේ වේදිකා නළුව නැරඹුවේ එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨයේදී හෙවත් පේරාදෙණිය වලේදීය. ඒ 1991දී හෝ ආසන්න වසරකදීය. මා පේරාදෙණියේ ගතකළ කාලය තුළ වලේ පෙන්වූ එකදු නාට්‍යයක් හෝ මගෙන් ගිලිහී නැත. පේරාදෙණිය ගවේෂණ සංගමය මුල් වී මේ වසර මුලදී ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ  සුදු සහ කළු නව නිෂ්පාදනයද වලේ පෙන්වා තිබුණේය.

මෙවර මා මේ නාට්‍යය නැරඹුවේ කොළඹින් පිටත නගරයකදීය. අවසන් වරට පේරාදෙණියේ වලේදී සුදු සහ කළු නරඹා සියවස් කාලක් ගෙවී ඇති බැවින් එම නළුව පිළිබඳව මගේ පැරණි මතක එතරම්ම පැහැදිළි නොවීය. අළුත් නිෂ්පාදනයේ ප්‍රධාන චරිතය රඟපෑවේ දක්ෂ නළුවකු වන ශ්‍රියන්ත මෙන්ඩිස් විසිනි. දෙබස් වැරදීම් දෙකක් හැරුණු විට ඔහුගේ රඟපෑම් ඉතා හොඳ මට්ටමක පැවැතිණි. එවැනිම ප්‍රතිභාපූර්ණ රංගධරයෙකු මෙන්ම මොරටුව සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකුද වන ජයලාල් රෝහණ තවත් ප්‍රධාන චරිතයකට පණ පෙවුවේය.

මේ නාට්‍ය දර්ශනය නැරඹීමට අප පෙළඹුණේ එහි ප්‍රධාන සංවිධායකයකු වූ අප හිතවතෙකු අපේ පැමිණීම විශේෂයෙන් බලාපොරොත්තු වෙමින් ඉදිරි පෙළ ප්‍රවේශපත්ද අප වෙනුවෙන් වෙන් කර තිබුණු බැවිනි. මට මගේ දරුවන් නිවසක රඳවා මෙම නාට්‍යය නැරඹීම ප්‍රායෝගිකව අපහසු කරුණක් වූ බැවින් නාට්‍යය දරුවන් සඳහා යෝග්‍යද යන ප්‍රශ්නය පළමුව මතු විය. මෙහිදී, මගේ සොයුරිය විසින් පෙන්වා දුන්නේ එහි පාසැල් දර්ශනයක්ද ඇති බැවින් දරුවන් රැගෙන යාමෙහි වරදක් තිබිය නොහැකි බවයි. ඒ අනුව, අපි පෙර කී සංවිධායක හිතවතා අමතා ඔවුන් වෙනුවෙන්ද ආසන වෙන් කරවා ගත්තෙමු. මේ අවස්ථාවේදී, මගේ සොයුරිය යෝජනා කළේ පළමු පෙළ අසුනකට වඩා දෙවන පෙළ අසුන් යෝග්‍ය බවයි.

"කලින් ඔතනම ලෝරන්ස්ගේ මනමාලි පෙන්නුවා. අපි හිටියේ ඉස්සරහම පේළියේ. අන්තිමට දුලීකා ස්ටේජ් එක අතුගාන කොට දුවිලි ඔක්කොම අපේ ඇඟේ!"

ඒ අනුව, අපි දර්ශනය ඇරඹීමට නියමිත වෙලාවට විනාඩි පහකට පෙර දෙවන පේලියේ අසුන් ගත්තෙමු. නියමිත වෙලාව පසුවී විනාඩි විස්සකින් රංගනය ඇරඹුණු අතර මෙම දර්ශනයට විවේක කාලයක් නොමැති බව ශ්‍රියන්ත මෙන්ඩිස් විසින් මුලින්ම නිවේදනය කළේය.

නාට්‍යය අතරතුර ජයලාල් රෝහණගේ රඟපෑම් අපව මහත් අපහසුතාවයකට පත් කළේය. ඒ ඔහු තමා රඟපෑ චරිතය ඕනෑවටත් වඩා තාත්ත්වික ලෙස රඟ පෑ බැවිනි. නාට්‍ය දර්ශනය අතරතුර දෙවරක්ම (නිරූපණය කළ චරිතය තුළ) ලොකු කළු සුරුට්ටු පත්තු කරගෙන පැමිණි ඔහු මේ සුරුට්ටු උරමින් (හෝ උරන බව පෙන්වමින්) එහි දුම ප්‍රේක්ෂකාගාරය වෙතට වරින් වර පිට කළේය. මා සිගරැට් හා සුරුට්ටු දුම අප්‍රිය කළත් දුම්පානය කරන මිතුරන් සමඟ ටික වෙලාවක් ගත කිරීම මට ලොකු ප්‍රශ්නයක් නොවේ. එහෙත්, මගේ බිරිඳ, සොහොයුරිය හා දරුවෝ මෙයින් මහත් අසීරුතාවයකට පත් වූහ. මා පෙර ලිපියෙන් අවධානයට ලක් ක, පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳින අයද මේ ප්‍රේක්ෂකාගාරයේ සිටින්නට ඇත.

කොටු කරන ලද පොදු ස්ථානයක් වන නාට්‍ය රඟහලක් තුළ දුම්පානය කිරීම වසර දහයක පටන්ම ලංකාව තුළ නීතිමය වරදක් බව ජයලාල් රෝහණ නොදන්නවාදැයි නොදනිමි. 2006 අංක 27 දරන දුම්කොළ හා මධ්‍යසාරය පිලිබඳ ජාතික අධිකාරිය පණතේ 39 වන වගන්තියේ මේ ගැන සඳහන්ව ඇත්තේ පහත පරිදිය.

"යම් කොටු කරන ලද පොදු ස්ථානයක් ඇතුළත කිසිම තැනැත්තෙකු විසින් යම් දුම්කොළ නිෂ්පාදන පානය කිරීම හෝ යම් තැනැත්තෙකුට එසේ කිරීමට ඉඩදීම නොකළ යුතුය."

"මේ වගන්තියේ කාර්යය සඳහා පොදු ස්ථානයක් යන්නෙන් මහජනයාට අයිතියක් වශයෙන් හෝ අන්‍යාකාරයකට ප්‍රවේශ විය හැකි වූද යම් ස්ථානයක් අදහස් වේ."

"කොටු කරන ලද පොදු ස්ථානයක් යන්නට රජයේ දෙපාර්තමේන්තුවක්, ව්‍යවස්ථාපිත මණ්ඩලයක් හෝ අධිකාරියක් හෝ රජයේ ආයතනයක්, කාර්යාල පරිශ්‍ර, බැංකු, අධිකරණ ශාලා, ශ්‍රවනාගාර, ක්‍රීඩා සංකීර්ණ, ආරෝග්‍ය ශාලා, සායන, බෙහෙත් ශාලා, විද්‍යාගාර, පාසල්, විශ්ව විද්‍යාල හෝ වෙනත් අධ්‍යාපනික ආයතන, පුස්තකාල, කෞතුකාගාර, ආගමික ස්ථාන, හෝටල්, ආගන්තුක නිවාස, තාවකාලික නවාතැන්පොළ (ලොජ්), නේවාසිකාගාර, ආපනශාලා, සමාජශාලා, අන්තර්ජාල මධ්‍යස්ථාන, චිත්‍රපටිශාලා, නාට්‍ය රඟහල්, සුපිරි වෙළඳසැල්, ගුවන් තොටුපළ, දුම්රියපළ වල හෝ බස් නැවතුම්පළ වල විවේකාගාර, යම් පොදු වැසිකිළි, ගොඩනැඟිලි, ගොඩනැඟිලි තනා ඇති ස්ථාන හා විදුලි සෝපාන ඇතුළත් වේ."


මෙයට අමතරව, ඉහත නාට්‍යයේ ආකෘතිය අනුව ඉවත් කළ නොහැකියැයි මා සිතන නමුත්, ප්‍රදර්ශනාත්මකව මත්පැන් හා දුම්වැටි පානය කිරීමද වරදක් විය හැකිය.

නීතිමය තත්ත්වය අමතක කළත්, සරසවි කථිකාචාර්ය වරයෙක්ද වන, ජයලාල් රෝහණ වැනි ජනතාවට සමීප (මා පෞද්ගලිකවද ප්‍රිය කරන) කලාකරුවෙකු මෙවැනි කරුණක් ගැන මීට වඩා සැලකිලිමත් හා සංවේදී විය යුතුයැයි සිතමි.

Tuesday, August 2, 2016

නිකං ලැබෙන හුළං ටික?


ලංකාවේ සමහර අය මේ දවස්වල කියන ආකාරයට ආණ්ඩුව බදු ගහන්නේ නැත්තේ හුස්ම ගන්න හුළං ටිකට විතරය. සාමාන්‍යයෙන් කිසිම රටක හුස්ම ගන්න හුළං ටිකට කෙළින්ම මිලක් අය කරන්නේ හෝ බදු ගහන්නේ නැත. එහෙත්, වක්‍ර ලෙස අපි නිකං ලැබෙනවාක් මෙන් පෙනෙන හුස්ම ගන්න හුළං ටිකට මිලක් ගෙවනවාට අමතරව බදුද ගෙවන්නෙමු.

හුස්ම ගන්න
හුළං ටිකට අපට මිලක් ගෙවන්නට සිදුවන ආකාර කිහිපයකි. එක පැත්තකින් වායු දූෂණය වැඩි වන තරමට සෞඛ්‍ය වියදම් ඉහළ යන අතර මේ වියදම් මත බදු ගෙවන්නට සිදු වේ. අනෙක් අතෙන්, අනෙක් සියළුම සාධක සමාන තත්ත්වයන් යටතේ වායු දූෂණය අඩු තැන්වල නිවාස හා දේපළ වෙනුවෙන් එසේ නැති තැනක ගෙවනවාට වඩා වැඩි මිලක් ගෙවන්නට සිදුවන අතර මේ වැඩි මිල මතද බදු අය කෙරේ.

වායු දූෂණය විශාල සෞඛ්‍යමය ප්‍රශ්නයකි. මාස කිහිපයකට පෙර නේචර් සඟරාවේ පළ වූ අධ්‍යයනයකට අනුව, ආශ්වාස කරන වාතයේ තත්ත්වය හේතුවෙන් වසරක් තුළ සිදු වන ඇති අකල් මරණ ගණන මිලියන 3.3ක් වන අතර එයින් වැඩි ගණනක් සිදු වන්නේ ආසියානු කලාපයේය.

ලෝකයේ බොහෝ කලාප වල අපේක්ෂිත ආයු කාලය වැඩි වීමේදී මුලින්ම එය සිදුවන්නේ මාතෘ හා ළදරු මරණ අඩු වීම හේතුවෙනි. විශේෂයෙන්ම ළදරු මරණයක් වලක්වාගත් විට ජනගහණයේ සාමාන්‍ය අගයක් වන අපේක්ෂිත ආයු කාලයට සැලකිය යුතු තල්ලුවක් ලැබේ. කෙසේවුවද, ළදරු මරණ අනුපාතිකය සැලකිය යුතු ලෙස අඩු කරගැනීමෙන් පසු රටක අපේක්ෂිත ආයු කාලය කිසියම් ස්ථාවර මට්ටමකට පත්වන අතර එය තවදුරටත් ඉහළ නංවා ගැනීම වඩවඩාත් අපහසු වෙයි. මේ උගුලෙන් ගැලවිය හැකි එක් ක්‍රමයක් වන්නේ වායු ගෝලයේ තත්ත්වය දියුණු කර ගැනීමයි.

මා පසුගිය කාලයේ ජීවත්වීම සඳහා තැනක් තෝරාගන්නා අවස්ථා වලදී, වැඩිම ප්‍රමුඛතාවයක් දුන්නේ එක් එක් ප්‍රදේශයේ පාසැල් වල අධ්‍යාපන තත්ත්වය හා අපරාධ අනුපාතය වැනි කරුණු වලට වුවද වායුගෝලයේ තත්ත්වය ගැනද යම් සැලකිල්ලක් දැක්වූයෙමි. අවි ආයුධ පරිහරණය කිරීමේ නිදහස ඇති ඇමරිකාවේ ගෙවන ජීවිතය ගිණි අවි වලට බියෙන් ගෙවන දිවියක්යැයි ඇමරිකාවෙන් පිටත සිටින ඇතැම් අය සිතති. එහෙත්, සැබෑ තත්ත්වයනම් මෙවැනි සුරක්ෂිත නොවන තත්ත්වයක් පවතින්නේ රටේ ඇතැම් සීමිත භූගෝලීය කලාප වල පමණක් වීමයි. ජාතික සංඛ්‍යාලේඛණ නරක ලෙස පෙනෙන්නේ එවැනි පෙදෙස් නිසාය. මා ජීවත් වූ පෙදෙසක පසුගිය වසරේ මිනීමැරුමක් සිදු වූ අතර ඉහළ මධ්‍යම පන්තියේ වැදගත් පවුලක පාසැල් දරුවකු විසින් කවර හෝ හේතුවක් මත සිදුකළ එම මිනීමැරුම සඳහා උපයෝගී කරගෙන තිබුණේ ගිණි අවියක් නොව පෑන පිහියකි. මා පෙර ජීවත් වූ වෙනත් පෙදෙසක අවසන් වරට මිනීමැරුමක් සිදුවී තිබුණේ හැත්තෑව දශකයේදීය. ඇමරිකාවේ විවිධ පෙදෙස් වල පාසැල් වල අධ්‍යාපන තත්ත්වයේද සැලකිය යුතු වෙනස්කම් ඇති අතර එයට ප්‍රධාන හේතුව පාසැල් වල පහසුකම් වල ඇති වෙනස්කම් හෝ ගුරුවරුන්ගේ තත්ත්වයේ ඇති වෙනස්කම් නොවේ. විවිධ පෙදෙස් වල ජීවත්වන සිසුන්ගේ ඇති වෙනස්කම්ය.

අප ජීවත්වන හා ජීවත්වූ පෙදෙස්වල වායුගෝලයේ තත්ත්වය අපට නිතර අවධානයට ලක් නොවන කරුණකි. එහෙත්, එහි වටිනාකම එක වරම අවබෝධ වන්නේත්, ලංකාවේ වායුගෝලයේ තත්ත්වය පසුගිය කාලය තුළ සැලකිය යුතු ලෙස නරක අතට හැරී ඇති බව පසක් වන්නේත් කලකට පසු ලංකාවට පැමිණි විටය. ඇත්ත වශයෙන්ම කිවහොත්, බොහෝ කලක් ලංකාවේ ඇති තත්ත්වයෙන් වඩා අයහපත් වාතය ආඝ්‍රාණය කරමින් ජීවත්වී, ඒ තත්ත්වයට ආඝ්‍රානේන්ද්‍රිය සංවේදීව ඇති මට හෝ මගේ බිරිඳට මේ වෙනස්කම් එතරම් සංවේදී නොවේ. එහෙත්, වඩා හොඳ වාතය ආඝ්‍රාණය කරමින් ජීවත්වී පුරුදු වී සිටින අපේ දරුවන් හා අදාළ තත්ත්වය එසේ නොවේ.

ලංකාවේ සිටි කාලයේදී අසල්වැසි නිවසක දල්වන ගිණි ගොඩකින්, වාහන දුමින් හෝ වෙනත් එවැනි දෙයකින් අපේ දරුවන් අපහසුතාවයට පත්වූයේ වරක් දෙවරක් නොවේ. මැජස්ටික් සිටි වැනි වායු සමීකරණය කර ඇති, එහෙත් හඳුන්කූරු හෝ කට්ටකුමන්ජල් දුමින් අපිරිසිදු වුනු තැන් වලදීද ඔවුන් සිටියේ ඉතා අසීරුවෙනි. ලංකාවේ වාහන ලියාපදිංචි කිරීමේදී මේ වන විට දුම් පරීක්ෂාවද අනිවාර්යයෙන්ම කළ යුතුය. මේ ඒ ගැන අයෙකු මට කියූ දෙයකි.

"ඕවට ක්‍රම සහ විධි තියෙනවා. ටෙස්ට් එකට කලින් ගාණක් අරන් වැඩේ ගොඩ දාල දෙන තැන් තියෙනවා. වාහනේ රේස් කරගෙන ඉන්න ගමන් සයිලන්සරේට ප්‍රෙෂර් කරලා වතුර පාරක් ඇල්ලුවහම හරි. කළු පාටට ඇතුළේ බැඳිලා තියෙන ඔක්කොම කැඩිලා යනවා. ටෙස්ට් එක ගොඩ."

ඇතැම් දේවල් නීති වලින්ම වෙනස් කරන්නට නුපුළුවන. මෙවැනි දේ නිසි ලෙස සිදුවීම සඳහා රටේ සාමාන්‍ය ජනතාවට නිසග පෙළඹවීමක්ද අවශ්‍යය. එසේ නොවූ විට එහි මිල ගෙවන්නට වෙන්නේද ඔවුන්ටමය. මේ මිල ලංකාවේ බොහෝ දෙනා දැනටම ගෙවති.

ලංකාවේ ජීවත්වන මගේ ඥාතීන්ගේ හා මිතුරන්ගේ කුඩා දරුවෝ බොහෝ දෙනෙකු කිසියම් හෝ පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්වයකින් පීඩා විඳිති. ඔවුන්ට මෙය ඉතා සාමාන්‍ය තත්ත්වයකි. කුඩා දරුවන් සිටින ලංකාවේ බොහෝ ගෙවල් වල ආනනක (ඉන්හේලර්) යනු සීනි තේකොළ මෙන් එදිනෙදා පාවිච්චියට ගන්නා පාරිභෝගික භාණ්ඩයකි !


පෙනහළු ආශ්‍රිත රෝග ඉදිරි කාලයේදී වකුගඩු රෝග මෙන් ලංකාවේ බරපතල සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත් වීමට ඉඩ ඇතැයි මට සිතේ. 

(Image: www.allergyclinical.com)

Monday, August 1, 2016

අරමණ යුදවිරුවන් ඇගයීම



පෙර ලිපි වලින් කතා කළ පැරකුම්බාවන්ගේ අරමණ ආක්‍රමණය සඳහා මුල් වූයේ ආර්ථික හේතූන්ය. මේ යුද මෙහෙයුම වියදම් අධික එකක් විය. එහි අවසන් ප්‍රතිඵලය ලෙස ලක් රජයේ ආදායම් වැඩි වන්නට ඇතැයි සිතිය හැකි වුවත් ඒ වැඩි වූ ආදායම වැය කළ යුද වියදමට තරම් වීද යන්න එතරම් පැහැදිලි නැත. වත්මන් නිදසුන් අනුව බැලූ විට බොහෝ විට පෙනෙන දෙයනම් බාහිර යුද මෙහෙයුම් වල මෙවැනි ශුද්ධ මූල්‍යමය වාසියක් නොමැති බවයි. කෙසේ වුවද, ප්‍රබල රාජ්‍යයන්හි නායකයින් මෙවැනි බාහිර යුද මෙහෙයුම් වලට නිරන්තරයෙන් යොමු වීමෙන් පෙනෙන්නේ එහි කවර හෝ වාසියක් තිබිය යුතු බවයි.

මහ පැරකුම්බාවන් අරමණ ආක්‍රමණයට යොමු වන්නේ ගජබාහු හා මානාභරණ ඇතුළු රජුන් සමඟ යුද වැද ලංකාව එක් සේසත් කර රට තුළ සිය දේශපාලන ස්ථාවරත්වය තහවුරු කරගෙන සිටින පසුබිමකය. අරමණ ආක්‍රමණයෙන් අනතුරුව මහ පැරකුම් අණ අනුව ක්‍රියා කරන ලංකා හමුදා දකුණු ඉන්දියාවේ යුද්ධයකටද මැදිහත් වී එහි කොටසකද සිය ආධිපත්‍යය කෙටි කලක් පතුරුවයි.

මෙසේ සිය බලය රටින් පිටතට පැතිරවීම මඟින් රටක පාලකයන්ට ලැබෙන ප්‍රධානම වාසියක් වන්නේ රට තුළ ජීවත් වන වැසියන් රාජ්‍යයේ ග්‍රහණයට වඩා පහසුවෙන් නතු කර ගත හැකි වීමයි. යුද ජයග්‍රහණ වලින් උත්කර්ෂයට පත් වන රටේ ජනතාව නොපැකිළ රජයට බදු ගෙවීමටත්, රාජ්‍ය විරෝධී කැරලි වලට එක් නොවීමටත් පෙළඹෙති.

රජයක් විසින් ඉහත වාසි ලබා ගැනීම සඳහා බාහිර යුද ජයග්‍රහණයට රට තුළ විශාල ප්‍රචාරයක් දීම මඟින් එය උත්කර්ෂයට නැංවිය යුතුය. අරමණ ජයෙන් පසුව පැරකුම්බාවන්ගේ රජයද මෙවැනි විජයග්‍රහණ සැමරුම් පවත්වන්නට ඇත. යුද ජයග්‍රහණයේ නියමුවන්ට රාජ්‍ය සම්මාන සමඟ ගම්වර ආදියද ලබා දෙන්නට ඇත.

මාවනැල්ල නගරයට සැතපුම් තුනක් පමණ ආසන්නව පිහිටි දෙවනගලින් හමුවන දෙවනගල සෙල්ලිපියෙන් අරමණ ආක්‍රමණයේ නියමුවකු වූ කීර්ති නගරගිරි හෙවත් කිත් නුවරගල් වෙත සිදු කළ මෙවැනි ගම්වර ප්‍රදානයක් ගැන තොරතුරු හමු වේ. මහ පැරකුම්බාවන්ගේ තේජස වනන සෙල්ලිපියේ මුල් කොටසින් පසු අදාළ කොටස මෙසේය.

"...සිංහ පරාක්‍රම ඇති පරාක්‍රමබාහු වත් හිමියන් වහන්සේ තමන් මුතුන් විජයරජපා ස්වර්ගස්ථභූත තැනැ සිටැ දෙසාලිස් හවුරුද්දක් නැසී තුබූ ලොසසුන් ඇති කරවමි යන සිතින් ගජබාහු මානාභරණ යන දෙදෙනා සමඟ යුධ කොට ලංකාජීපයෙහි එකච්චත්ර කොට පුලස්ති පුරවරෙහි රජ ශ්‍රී වළන්දන සමාහි දොළොස්වනු පොසොනැ පුර දසවකැ අරමණධිපති භුවනාදිත්තනම් කෙනෙකුන් රජ කරන කලැ ලක්දිවු සන්තාන නොකරම්හයි කී හෙයින් නැවු දහස් ගණනකට පිරිස් නඟා යවා අරමණය පාරනේ වදාළ කලැ කිත් නුවරගලුන් කුසුමිය යැයි යන නුවරක් පැහරැ පස් මසක් ර... ...... ... ගත් කලැ අරමණයන් සන්තාන කරම්හයි දූතයන් එවූ හෙයින් කිත් නුවරගලුන්ට හිරිසන්ද පවත්නා තෙක් සිටින පරිද්දෙන් මෙ ගලැ කොටා දුන් මලබටුව හා ... ... ... ... කිත්සෙන්පවුයෙන් බිජුවට දොළොසමුනු දෙ පෑළක් ඇතුළුවැ දෙයාලක් පමුණු කොට දුන්නේයි."

පැරකුම්බාවන් අරමණ ආක්‍රමණයට හමුදා යොදවන විට එහි පාලකයා වූයේ (භුවනාදිත්ත) අලවුන්සිතු රජුය. ඔහු බුරුමය පාලනය කළ ප්‍රබල රජෙකු වුවත් මේ කාලය වන විට ඔහු ඉතා වයස්ගතව මෙන්ම ඔහුගේ පුතුන් නිසා අභ්‍යන්තර ආරවුල් වලට මැදිවද හුන්නේය. පරණවිතානයන්ගේ ලිපියකට අනුව, අලවුන්සිතු රජු සිය පාලනයේ මුල් කාලයේදී ලංකාවට පැමිණ කාල නම් වූ සිය තානාපතියෙකු ලංකාවේ නවත්වා ගොස් තිබේ. කෙසේවුවද, මහාවංශයේ සඳහන් පරිදි ලංකා හමුදාවන් විසින් භුවනාදිත්ත අලවුන්සිතු මරා දමනු ලැබීම විශ්වසනීය නොවන කරුණකි. බුරුම මූලාශ්‍ර අනුව, ඔහු මේ සිදුවීමෙන් පසුවද ජීවත් වී වෙනත් අයුරකින් මිය ගොස් තිබේ. අරමණ රජු මරා දැමීමද, දහයක හෝ පහළොවක නැවු කණ්ඩායමක් නොකියා 'නැවු දහස් ගණනකට පිරිස් නඟා' යැවූ බව කීම වැනිම අතිශයෝක්තියක් විය හැකිය. සැබෑවටම මරා දමනු ලැබුවේ කුසුම්තොට පාලනය කළ ප්‍රදේශාධිපතියෙකු වන්නට පුළුවන.

විජයග්‍රහණ සැමරුමකදී එහි අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මෙවැනි අතිශයෝක්තීන්ද අවශ්‍ය වේ. ඒ කාලයේදී අඬබෙර ආදිය මඟින් යම් තරමකට මෙවැනි මාධ්‍ය මවාපෑම්ද සිදු කරන්නට ඇත. ඒ අනුව, අරමණ රජු මරා දැමූ පුවත මෙන්ම මේ යුද මෙහෙයුම සඳහා නැවු දහස් ගණනක් යෙදවුණු බවද ඒ කාලයේ ලංකාවේ ජීවත් වූ බොහෝ දෙනෙක්ද විශ්වාස කරන්නට ඇත. එසේ විශ්වාස කළ නිසා ලොකු පැකිලීමකින් තොරව රජයේ බදු මුදල් හා නොමිලේ ලබා දෙන ශ්‍රමය ආදිය ලබා දෙන්නටද ඇත.


කෙසේවුවද, මේ අතිශයෝක්තීන් විය හැකි කරුණු නොසලකා හැරියද අරමණ ආක්‍රමණය ලංකා ඉතිහාසයේ විශාලම යුද මෙහෙයුමකි.


(Image: mazinglanka.com)

Sunday, July 31, 2016

මියන්මාරය සමඟ අළුත් වෙළඳ ගිවිසුමක් !


පැරකුම්බා සමයේ ලංකා හමුදාවන් විසින් සිදු කළ අරමණ ආක්‍රමණය ගැන ලියන්නට පොරොන්දු වී තෙසතියකට ආසන්න කාලයක් ගත වී ඇති බව රනිල් වික්‍රමසිංහ මහත්තයා විසින් මතක් කර දුන්නේය. මේ කාලය ඉකොනොමැට්ටා විසින් ගත කරන තරමක අස්ථාවර කාලයක් නිසා වියුණුව පෙර කළ වේගයෙන්ම යාවත්කාලීන කිරීම අපහසු කරුණක්ව පවතී. තෝරා ගැනීම් හිඟ වූ විට මෙන්ම තෝරා ගැනීම් වැඩි වූ විටද ඇති වන්නේ අස්ථාවරත්වයකි.

ලංකා රාජ්‍යයේ ජාත්‍යන්තර වෙළඳ ආධිපත්‍යයට අරමණ පාලකයෙකුගෙන් එල්ල වූ බාධාවක් කරණ කොට ගෙන එම රට ආක්‍රමණය කිරීමට මහ පැරකුම්බාවන් ගත් තීරණය ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වන්නේ රජුගේ ප්‍රධාන අමාත්‍යවරයෙකු නොවේ. පැරකුම්බාවන්ගේ හිතෛෂියෙකු වන ආදිත්‍ය ද්‍රවිඩාධිකාරී නම් වූ අවශේෂ මහ ඇමැත්තෙකි. ඇතැම් විට මේ මහ ඇමැත්තා ද්‍රවිඩ සම්භවයක් ඇත්තෙකු විය හැකිය.

අරමණ ආක්‍රමණය උදෙසා රට තුළ සැලකිය යුතු පිරිස් බලයක් ඇති මහ ඇමැතියෙකු (ප්‍රාදේශීය නායකයෙකු) නාවික බලය ඇතුළු අවි බලයෙන් ශක්තිමත් කරවීම දැඩි ආයාසයකින් රට එක්සේසත් කරගෙන සිටි මහ පැරකුම්බාවන් විසින් නොකළ යුතු දෙයක් ලෙස සිතුවා විය හැකිය. මෙය තේරුම් ගන්නා, රට තුළ තමාගේම වූ ලොකු පිරිස් බලයක් නැති, එහෙත් රජුගේ  විශ්වාසය දිනාගෙන සිටින, ආදිත්‍ය ද්‍රවිඩාධිකාරී නම් වූ දෙවන පෙල ඇමැත්තා අරමණ ආක්‍රමණයේ වගකීම කරට ගන්නේ මෙවැනි පසුබිමකය.

"එකල්හි ආදිත්‍ය ද්‍රවිඩාධිකාරී නම් ඇති එහි එක් ගණක මහ ඇමතියෙක් බඳනා ලද ඇඳිලි ඇත්තේ තෙමේම එහි යනු කැමැත්තේ රජහට මෙබස් මෙසේ කීය. මේ ක්‍රියාවෙහි ප්‍රධාන වූ මහා ඇමතියන් නොයොදන සේක්වා. නුඹ වහන්සේලාගේ උපදේශ මාර්ගයෙන් අවක්‍රමණය නොකරන්නා වූ ප්‍රතිලබ්ධ නියෝග ඇති හුදකලා වූ මට දුරතික්‍රමනය අනුශාසනා ඇත්තා වූ ම ස්වාමිහුගේ අනුශාසනාව නොසිස් ආකාර කරනු පිණිස කිසි කලෙකත් බරෙක් නැතැයි කීය."

පස් මසක් පුරා අරමණ ආක්‍රමණයට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙන්නේ ඉන් පසුවය. පැරකුම්බා රජුගේ ජාත්‍යන්තර වෙළඳ හා නාවික කටයුතු භාරව ද්‍රවිඩ, කේරළ ඇතුළු විදේශ සම්භවයක් ඇති පුද්ගලයින් සැලකිය යුතු පිරිසක් සේවය කළේයැයි සිතිය හැකිය. ආදිත්‍ය ද්‍රවිඩාධිකාරී නම් පුද්ගලයාද එවැන්නෙකු විය හැකිය. අරමණ විජයග්‍රහණයෙන් පසු යුද විරුවකු බවට පත් වන අනෙක් ප්‍රධාන චරිතය කීර්ති නගරගිරි නමැත්තාය. මොහු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වීමට ඉඩ තිබේ.

කාකද්වීපය ජයගෙන (විනාශ කර), අරමණ රටට ලඟා වන ලංකා හමුදාවන් ක්‍රියා කරන්නේ ලංකාවට වරින් වර පැමිණි දකුණු ඉන්දීය හා යුරෝපීය ආක්‍රමණිකයින් ක්‍රියා කළ ආකාරයට වඩා වෙනස් අයුරකින් නොවේ.

ඔවුහු දිගට හරහට අරමණ වැසියන් මරා දමති. ඇතැමුන් යුද සිරකරුවන් ලෙස අල්ලා ගනිති. අරමණ වැසියන්ගේ නිවාස හා වගා බිම් ගිණි තබා විනාශ කරති. ගම් බිම් වනසමින් විශාල භීෂණයක් මුදා හරිති. ආක්‍රමණික පාර්ශ්වයකට මේවා කවදත් වීර ක්‍රියාවන්ය. දෙමළ අධිකාරීන් විසින් සෘජුව මෙහෙයවූ හමුදා අනු ඛණ්ඩයක් විසින් මේ අයුරින් පප්පළා තොට වනසද්දී, කීර්ති නගරගිරිගේ අණ යටතේ වූ හමුදා අනු ඛණ්ඩය කුසුම්තොට වනසයි.

"එකල්හි නැව් පසෙක නැන්ගවූ මහ බල ඇති යෝදයෝ අරමණ දේශයෙහි කුසුම්තොට ගොඩ බැස්සාහ. කීර්ති නගරගිරි ප්‍රධාන කොට ඇත්තා වූ ප්‍රබල වූ ඒ භටයෝ නැවෙන් ගොඩබට තොට පටන් බහා පළඳන ලද ඒ කවදත් හා ආයුධ ඇතිව අරමණ වැසි නොයෙක් දහස් ගණන් ඒ බලයෙන් බිහිසුණු යුදෙහිදී මරමින් මතැතුන් සෙයින් හාත්පස නෙරළු ආදී නොයෙක් වෘක්ෂයන් සිඳිමින් ගම්හි ගිණි ලමින් රාජ්‍යයෙන් භාගයක් විනාශ කළහ. ආදිත්‍ය ද්‍රවිඩාධිකාරින් විසින් අධිෂ්ඨිත නෞකා තොමෝද එම රට පප්පළා නම් තොට බටුවා, එසේම දෙමළ අධිකාරීන් ප්‍රධාන කොට ඇති ජනයෝ වෛරීන් විධ්වංසනය කරන්නා වූ ඝෝර වූ බිහිසුණු යුද කෙරෙමින් ජනලද වැසි බොහෝ වූ ඒ (අරමණ) ජනයන් ජීවග්‍රහණයෙන් අල්වමින් එකල්හි අරමණ නම් ඒ රට අත්‍යත්ථයෙන් ඇලලූහ."

මහා වංශයේ සඳහන් පරිදි, මෙසේ නගර කිහිපයක භීෂණය පතුරුවන ලංකා හමුදාවන් පසුව ආරවුලට මුල් වූ නගරයට ඇතුළුව එහි පාලකයාව මරා දමයි. ඉන්පසුව, අරමණ දේශය හෝ එහි කොටසක් ලංකා රාජ්‍යයේ ආධිපත්‍යයට නතු කර ගනී.

විදේශ හමුදාවකගේ ආක්‍රමණය හේතුවෙන් බොහෝ පීඩාවට පත් වන අරමණ වැසියෝ දෙරට සංඝ සංස්ථා අතර ඇති සමීප සම්බන්ධතාවය ප්‍රයෝජනයට ගනිමින් සාම සාකච්ඡා වලට එළඹෙති. ත්‍රෛනිකායික සඟුන්ගේ මැදිහත්වීමෙන් පැරකුම්බා රජු සිය හමුදා ආපසු ගෙන්වා ගැනීමට කැමති වන අතර (පැරකුම්බා සමයේ පැවති නිකායත්‍රය කුමක්දැයි පැහැදිලි නැත), ලංකාවට වඩාත් වාසිදායක පරිදි වෙළඳ ගිවිසුමක් නැවත අත්සන් කෙරේ. ඒ අනුව, ඉන්පසුව අවුරුදු පතා ලංකාවට බොහෝ ඇතුන් පැමිණේ.

රටවල් දෙකක් අතර සිදුවන වෙළඳාමෙන් සාමාන්‍යයෙන් දෙරටටම සිදුවන්නේ වාසියකි. එහෙත්, බොහෝ විට මේ එක් එක් රටට ලැබෙන වාසි සමාන නැත. ප්‍රායෝගිකව, ඒ වාසි දෙරට අතර බෙදෙන ආකාරය වෙළඳ ගිවිසුම් මඟින් තීරණය වේ. වෙළඳ ගිවිසුම් වල කොන්දේසි තීරණය වන්නේ එක් එක් රට සතු හෙට්ටු කිරීමේ හැකියාව මතය. වඩා ප්‍රබල ආර්ථික, දේශපාලනික හෝ යුද ශක්තියක් ඇති රටකට බොහෝ විට වැඩි හෙට්ටු කිරීමේ හැකියාවක් තිබේ. අරමණය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව එහි අළුත් පාලකයින් සමඟ මහ පැරකුම්බාවන් විසින් අත්සන් කළ වෙළඳ ගිවිසුම පෙර පැවති ගිවිසුමටත් වඩා ලංකාවට වාසිදායක වූ බව නිසැකය.


(Image: www.crossed-flag-pins.com)

Monday, July 11, 2016

මියන්මාර් පාලනය පෙරළීමට ලංකාවෙන් මෙහෙයුමක්!


ථෙරවාද බෞද්ධ රටවල් වූ ලංකාව හා මියන්මාරය අතර කවදත් තිබුණේ සමීප සංස්කෘතික හා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයකි. මහ පැරකුම්බා සමයේදී ලංකාව ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස සිය ස්ථාවරය තිරසාර කර ගනිමින් සිටියදී, මියන්මාර පාර්ශ්වයෙන් පැනවූ සෘජු හා වක්‍ර වෙළඳ සම්බාධක හේතුවෙන් මේ සම්බන්ධය පළුදු වී ලංකා හමුදාවන් විසින් මියන්මාරය ආක්‍රමණය කිරීමට පෙළඹීම දක්වා තත්ත්වය ඔඩු දුවයි. මහා වංශයේ හැත්තෑ හය වන පරිච්ඡේදය අනුව, මහ පැරකුම් සමයට පෙර දෙරට අතර පැවති සබඳතාව මෙවැන්නකි.

"සම්‍යග්දෘෂ්ඨි සමඟි මිනිසුන්ගේ නිවස බැවින් ලංකා රාමඤඤ දේශයන්ගේ භේදයෙක් හැම කල්හි නොවීය. ලක්දිව අධිපති වූ රජ දරුවෝද රාමඤඤ දේශ ඊශ්වරයෝද යන මේ දෙපක්ෂයෙහි ඇත්තෝ සාදෘශ්‍යයෙන් හැම කල්හිම පරාම සෞගතයහ. එහෙයින්, දේශ දෙක්හිම පූර්වික සියලු රජදරුවෝ දැඩි සේ හටගත් විස්වස් ඇත්තේ සිතින් යුක්තවම හිතයෝය. මාහැඟි නොයෙක් පඬුරු උනුන් වෙත පමුණුවමින් බොහෝ කලක් නොකඩවා සමඟි බැව් පැවැත්වූහ."

මේ සමීප රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව මෙසේ පැවතෙද්දී කලක් තිස්සේම සිදුවුණු එක් චාරිත්‍රයක් ලෙස මියන්මාරයට ලංකාවෙන් පැමිණෙන සෑම නැවකටම අරමණ රජයෙන් ලැබෙන තුටු පඬුරක් ලෙස ඇතෙකු බැගින් ලැබුණේය. පෙර ලිපියෙන් විස්තර කළ වෙළඳ සම්බාධක හා මිල වැඩි කිරීමට අමතරව අරමණ රජු විසින් මේ චාරිත්‍රය බිඳිමින් ඇත් පඬුර නවත්වයි. ඒ අතරම, ලංකාවෙන් එහි යැවෙන අපනයන භාර ගන්නා නමුත් එහි මිල ලෙස ලබා දීමට පොරොන්දු වූ භාණ්ඩ ලබා දීම මඟ හරිමින් ජාත්‍යන්තර වෙළඳ නීති උල්ලංඝනය කරයි.  ලංකා වෙළඳ නියෝජිතයෝ සිර ගත කරනු ලබති.


"ගෙන යන පඬුර පිණිස නැවක් පාසා එකෙක් එකෙක් බැගින් දෙනු ලබන්නා වූ පුරාණ ඇත් පඬුර මුලිනිදිරි. තමන් උදෙසා එලවන ලද රන්මුවා ලියුම් දක්නේත්, ... සියලු වස්තු උදුරාගෙන ලංකේශ්වරයාගේ දූතයින්  කඳුරට බලකොටුවක ලැවීය. ... දිය ඇදීම් පිණිසද සිර ගෙට ලද යෙදුවේයි."

" නැවත එක් කලෙක ඇතුන් විකිණ ගන්නා පිණිස ලංකේශ්වරයා විසින් මෙහෙයන ලද පඬුරු හා බඩුත් දූතයන් අතින් හැරගෙන 'ඇතුන් තුදුසක්  තොපට දෙමු. රිදී මිල හෝ දෙමු.' යයි මෙසේ කියා උන්ට කිසිවක් නොදෙන්නේ හුදෙක් බොරුම කීය. ඉක්බිති ලංකාධිපතීහු විසින් කාම්බෝජ රට බලා යවන ලද රජ කුමරියක්ද බලාත්කාරයෙන් උදුරා ගත."


මේ අනුව, ලංකාව මුහුණ දුන් ප්‍රශ්නය ලංකාව හා මියන්මාරය අතර ද්විපාර්ශ්වික වෙළඳාම පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ. පැරකුම්බා රජයේ සමස්ත අපනයන  වෙළඳපොළ ව්‍යාපෘතියටම එල්ල වූ තර්ජනයකි.


මේ  ආකාරයෙන් දිගින් දිගටම කෙණෙහිලිකම් සිදු වෙද්දී මහ පැරකුම්බාවන්ගේ ඉවසීමේ සීමාව පනී. ඔහු සිය ඇමතියන් රැස් කරවා "අරිමර්දන රජහු අල්වා ගැනීම හෝ මැරීම හෝ වහාම කටයුතුය"යි නියෝග කරයි. "එකල්හි, ආදිත්‍ය ද්‍රවිඩාධිකාරී නම් ඇති එහි එක් ගණක මහ ඇමතියෙක්" මේ කටයුත්ත සඳහා වහාම ඉදිරිපත් වේ. පසුව, අරමණ ආක්‍රමණයේ  ප්‍රධාන නියමුවන් වන්නේ  ආදිත්‍ය ද්‍රවිඩාධිකාරී නම් වූ මේ මහ ඇමති වරයා සහ කීර්ති නගරගිරි නම් වූ සෙනෙවියෙකි.

ආදිත්‍ය ද්‍රවිඩාධිකාරී විසින් රජුගේ නියෝගය ක්‍රියාත්මක කිරීමට වහාම ඉදිරිපත් වීම ගැන සතුටු වන පැරකුම්බාවෝ අවශ්‍ය පෙර සූදානම් කටයුතු වහා අරඹයි.

"පසුව මහා යසස් ඇති ඒ රජ තෙමේ 'නොයෙක් සියගණන් නැව් වහා සම්පාදනය කටයුත්තාහ'යි නියෝග කෙළේයි. එකල්හි මොනවට පටන් ගන්නා ලද නැව් කර්මාන්තයෙන් ආකූල වූ හාත්පස මුහුදුබට දේශයේ එක් කර්මාන්ත ශාලාවක් බඳු වූහ. පසුව පස්මසකින් ඒ සියළු නැව්කම් නිමවා දළුවක් නම් තොට යුහුව රැස් කරවී. ඒ රජ තෙමේ අවුරුද්දකට පොහෝනා සහල් ආදී මාර්ගෝපකරණද සන්නාහ ආයුධ ආදී නොයෙක් යුද්ධෝපකරණද, ... අයෝමය සන්නාහද, ගෝණ සමින් කළ සන්නාහද, .." ඇතුළු කළමනා ප්‍රසම්පාදනය කරයි. මෙසේ එකතු කරන සම්පත් අතර විෂ පෙවූ හී වල විෂ නසන ඔසුද, විස මුසු ජලයේ විෂ නසන ඔසුද තිබේ. මේ අනුව පෙනෙන්නේ යුද්ධ වලදී සතුරන් නැසීම පිණිස විෂ යොදා ගැනීම ඒ කාලයේදී සාමාන්‍ය දෙයක් බවයි.

අරමණ දේශය ගැනීමට යන කණ්ඩායමේ යුද සෙබළුන්ට අමතරව තවත් ප්‍රධාන කණ්ඩායම් දෙකක් සිටිති. ඒ, "තියුණු  බුද්ධි ඇති වෙදුන්" හා "සප්පායකාර ස්ත්‍රීන්"ය. මේ සප්පායකාර ස්ත්‍රීන්ගේ කාර්ය භාරය වූයේ යුද භටයින්ගේ ඉවීම් පිහීම්, සාත්තු සේවා, පිරිසිදු කිරීම් වැනි කටයුතු කිරීමද එසේ නැත්නම් නිවෙස් වලින් බැහැරව කලක් ගත කරන ඔවුන්ගේ සියළු අවශ්‍යතා සැපිරීමද යන්න පැහැදිලි නැත.

මෙසේ සියළු කටයුතු සම්පූර්ණ කෙරුණු පසු අරමණ දේශය බලා ගමන් ඇරැඹු නැව් පන්තිය "ඉතා වේගයෙන් යන්නේ ගමන් ගත් දිවයිනක් සේ පෙනිණ."


අරමණ ආක්‍රමණයට ආසන්න හේතුව වූයේ එහි පාලකයාගේ හැසිරීමයි. කෙසේ වුවද, ආර්ථික ශක්තියෙන් ඉදිරියට එන රටවල පාලකයින්ට "සස්නද ලොවද සෘජු කොට තබන්නෙම්නම් යෙහෙකි." යැයි සිතීම සාමාන්‍ය දෙයකි. එදා මෙදාතුර, ආර්ථික ශක්තිය අතින් ඉදිරියෙන් සිටින බොහෝ රටවල පාලකයෝ තමන්ගේ රටින්  පිටත වෙනත් රටවල්ද  තමන්ගේ අභිලාෂ වලට ගැලපෙන  පරිදි පැවතෙනු දකින්නට කැමැත්තෝය. එමෙන්ම, යුද්ධාභිලාෂ  කිසියම් රජයක රාජ්‍ය ප්‍රතිපත්තියෙහි ප්‍රමුඛ අංගයක් වූ කළ, පැත්තක සිටින පාර්ශ්ව වලටද පීඩා විඳින්නට සිදුවේ.

අරමණ මෙහෙයුමේ පළමු ගොදුර වන්නේ අරමණ වැසියන් නොවේ. අතරමඟ පැත්තක සිටින, ලංකාවට කිසිදු කෙණෙහිලි කමක් කර නැති, කාකද්වීපයේ වැසියෝය.

"එක් නැවෙක නැංගා වූ ඉතා සමර්ථ බොහෝ භටයෝ කාක දිවයිනට ගොඩ බැස්සෝ එහි යුද කොට ඒ දිවයින් වැසි නොයෙක් ජනයින් ජීවග්රහයෙන් අල්ලාගෙන එයින් ගෙනවුත් ලංකාධිකාරීන්ට දැක්වූහු."

කෙසේ වුවද, පසුව ලංකා හමුදාවෝ සිය අවසන් ඉලක්කය වන අරමණ දේශයේ කුසුම්තොටට ගොඩ බසිති. ඉන් පසු සිදු වූ දේ  ගැන ඊළඟ ලිපියෙන් කතා කරමු.


(Image: wwp.greenwichmeantime.com)

Thursday, July 7, 2016

වෙළඳ සම්බාධක වලට එරෙහිව ලංකාව යුද්ධයකට...


පරාක්‍රමබාහු යුගයේදී, ඒ කාලයට සාපේක්ෂව, ලංකාව ආර්ථික, දේශපාලනික හා යුදමය ලෙස බලවත්ව හා ස්ථාවරව පැවති රටකි. මේ යුගය ගැන සැලකිය යුතු විස්තරයක් මහාවංශයෙහි ලියවී තිබේ.

රට එක්සේසත් කර සෞභාග්‍යමත් රටක් බවට පත් කිරීම සඳහා වූ පැරකුම්බාවන්ගේ අධිෂ්ඨානය මෙන්ම සිය රටට අමතරව බුදුසසුන හා රටින් පිටත ලෝකය ගැන ඔහුගේ පැවති අපේක්ෂාවන්ද මහා වංශයේ හැටනවවන පරිච්ඡේදය ආරම්භයේ මෙසේ ලියැවී තිබේ.

"එකල්හි පැරකුම්බා රජතෙම මෙසේ සිය රජය නිරවුල් කොට තබා කටයුතු මෙසේ සිතී."

"මෙකල්හි මම වහාම ලංකාව එක්සේසත් කොට සස්නද ලොවද සෘජු කොට තබන්නෙම්නම් යෙහෙකි."


මේ දේශපාලනික අරමුණ වියදම් අධික කටයුත්තකි. පැරකුම්බාවෝ ඒ වියදම් අධික කටයුත්තට අත ගසති.

"මෙසේ සිතා සාමන්තයන් හා මාණඩලීකයන්ට සේනාවද, යුද පිණිස උපකරණද සපයනු පිණිස උපදෙස් දෙමින් ක්ෂත්‍රිය තෙමේ පළමු කොට රත්කුරවක නම් රට දෙමළ සෙනඟට අධිපති වූ මලය රට නැමැත්තා කැඳවා නොයෙක් බලද හසුන්ද ඔවුන්ට සන්නාහයන් හා අවිද සපයා එහි වසන පිණිස යැවී. තඹ රටද, ගිරිබා පටද, මොණර වැවද, මීපල් නම් රටද, බුත්ගමු නම් රටද අළ වන නම් රටද, බෝගම්බරනම් රටද, කටුපේකට නම් රටද පසල් දනව් රක්නා ඇමතියන් වෙන් වෙන් වශයෙන් කැඳවා නොයෙක් දහස් ගණන් යෝධයින් හා කොටුද, සන්නාහයන් ද, කඩු තෝමර හෙල්ල ආදී නොයෙක් ඇවිද සපයා ඒ ඒ තන්හිම වසන පිණිස යැවී."

යුද උපකරණ වලට මෙන්ම දේශීය හා විදේශීය සෙබළුන් බඳවා ගනිමින් හමුදා ශක්තිය තර කිරීමටද පැරකුම්බා රජය මුදල් වැය කරයි.

"මහත් සිරුරු හා මහ බලැතියන් නොයෙක් දහස් ගණන් මුගුරු ගන්නා යෝධයන් කොට යුද්ධෝපකරණ ද දින. අන්‍ය දේශවාසී වූ කේරළාදී කෘතහස්ත යෝධයන් සම්බන්ධී වූ බොහෝ දහස් ගණන් ද සෑදී."

මෙසේ යුද වියදම් වැඩි වෙද්දී, පරිපාලනයද පුළුල් වී පැරකුම්බාවන්ගේ රජය ප්‍රසාරණය වෙයි. සිය පරිපාලන නිලධාරීන්ගේ විදෙස් භාෂා දැනුම ඇතුළු මානව ප්‍රාග්ධනය එකතු කිරීම ගැනද ගැනද පැරකුම්බාවෝ සැලකිලිමත් වෙති.

"ඇත් අස් කඩු ශිල්පයෙහිද අන්‍ය දේශ  භාෂායෙහිද නැටීම් ගීයෙහිද දක්ෂව රාජ කාර්යයෙහි නුවණැතිව වැඩෙත්වයි නොයෙක් කුලවතුන්ගේ පුත් සොහොවුරු මුණුබුරන් එකල අධිපති තෙමේ සිය මැදුරෙහි වැඩුවේය." මෙසේ සිය පරිපාලන නිලධාරීන් පුහුණු කරන අතරම ඔවුන් යටතේ සේවය කිරීම සඳහා තවත් දහස් ගණනක් රාජ්‍ය සේවකයෝ බඳවා ගැනෙති.


මෙසේ රජයේ යුද හා පරිපාලන වියදම් පුළුල් වෙද්දී පැරකුම්බා රජයේ අයවැය හිඟය ඉහළ ගොස් රාජ්‍ය භාණ්ඩාගාරය හිස්වන්නට පටන් ගනී. කෙසේවුවද, පැරකුම්බා රජය අයවැය හිඟය පියවා ගැනීම සඳහා පහසුම ක්‍රමය වන බදු වැඩි කිරීම වෙනුවට වෙනත් විකල්පයක් ගැන සිතයි.

"පිය රජහුගේ භාණ්ඩාගාරාධිකාරින්ගෙන් ධන ප්‍රමාණ දැන මා විසින් මෙපමණ ධනයෙන් ලංකා තොමෝ එක්සත් කරන්ට නොහැක්කීයයි නිශ්චය කොට ජන සමූහයා නොපෙළ මෙසේ ධනය රැස් කළේයි."



සිය පරිපාලනය විධිමත් කරමින් පැරකුම්බාවෝ පළමුව මුදල් හා ආරක්ෂක ඇමති වරුන්ද ඉන්පසුව වෙනත් ඇමති වරුන්ද පත් කරති. මේ අතර සිය ආර්ථික උපාය මාර්ගය අනුව විදෙස් වෙළඳාම පුළුල් කර රජයේ ආදායම වැඩි කර ගැනීමේ අරමුණෙන් "අන්තරංග" නම් ධුරයක් ඇති කර එම ධුරයට ඇමති වරයෙකු පත් කරයි. රටේ ආර්ථික වැදගත් කමක් ඇති ප්‍රදේශ මේ ඇමතිවරයාගේ සෘජු පාලනයට යටත් කෙරේ.

"මුහුදු තෙර රටින්ද, රුවන් ආකාර රටින්ද, මහ මලය රටින් ද, ඉන් අවශේෂ රටින්දැයි ඒ මිහිපල් තෙමේ සියල් සාර තැන් වෙන් කොට අන්තරංග ධුරයයැයි නම් කොට ඇමතියෙක් කෙරෙහි තැබී. හේ තෙමේ බොහෝ රුවන් නැව් වලින් යවා වෙළඳාම් කරවා ධන රාශියද වැඩී."


පැරකුම්බාවන්ගේ මේ ආර්ථික උපාය මාර්ගය සාර්ථක වෙයි. ලංකාව පෙර අපරදිග වෙළඳාම සිදුවන වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත් වේ. නොයෙක් රටවලින් ආනයනය කෙරෙන වෙළඳ භාණ්ඩ වෙනත් රටවලට ප්‍රති අපනයනය කෙරේ.

ලංකාවේ අලි ඇතුන් වෙළඳාම මේ වන විට සියවස් ගණනක් පැරණි වෙළඳාමකි. රට තුළ අලි ඇතුන්ගේ හිඟයක් නැත. එහෙත්, වල් අලියෙකු අල්ලා හීලෑ කර වෙළඳ භාණ්ඩයක් ලෙස සකස් කිරීමට කාලයක් ගත වෙයි. එහි ආවස්ථික පිරිවැයද සැලකිය යුතු මට්ටමක පවතී. අරමණ දේශයේ (මියන්මාරයේ) හීලෑ අලි අඩු මිලකට විකිණේ. ඒ නිසා, අරමණ රටින් අලි ඇතුන් ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීම හොඳ ව්‍යාපාරික අවස්ථාවකි. අරමණ දේශය සමඟ ඇති දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික හා සංස්කෘතික සම්බන්ධතා නිසා මේ කටයුත්ත වඩාත් පහසුය. කෙසේවුවද, ප්‍රවාහන වියදම් වෙන් කිරීමෙන් පසු ලාභයක් ලැබීමටනම් මියන්මාරයෙන් මේ අලි ඇතුන් අඩු මිලකට ලබා ගැනීමට හැකි විය යුතුය.

ලංකාව විසින් මියන්මාරයෙන් අලි ඇතුන් ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීම කලක් සාර්ථක ලෙස සිදුවේ. එහෙත්, කල් ගතවෙද්දී ලංකාවේ ස්ථානගත කර සිටි සිය චර පුරුෂයකු ලබාදෙන තොරතුරු අනුව සිය අලි ඇතුන් කුණු කොල්ලයට විකිණෙන බවත්, ඔවුන් ප්‍රති අපනයනය කිරීමෙන් ලංකාව විශාල ලාභයක් ලබන බවත් මියන්මාර රජ තුමා දැනගනී. ඒ අනුව, ඔහු ලංකාවට වෙළඳ සම්බාධක පනවයි. ඉන් පසුව සිදු වූ දේ මහාවංශයේ හැත්තෑ හය වන පරිච්ඡේදයේ විස්තර වේ.



"...ඒ රජ තෙමේ මේ ලක්දිවින් ගිය කණෙහි කොඳුරන්නා වූ කිසි දූත කෙනෙකුන්ගේ බස් අසමින් තමන් වෙත ගිය ලංකේශ්වරයානන්ගේ දූතයන්ට පුරාණ සිරිත් වූ දෙනු ලබන්නා වූ වැටුප් පිරිහෙලී. බැහැර නොයෙක් තැන නොයෙක් දෙනා විසින් විකුණනු ලබන්නා වූ "ඇත්තු නොවිකිණිය යුත්තාහ ය" සම්මතයකුදු කරවී. යම් ඇත් කෙනෙකු වනාහී පූර්වයෙහි රිදී සියයට හෝ වැලි දහසට හෝ එහි පූර්වයෙහි විකුණනු ලබන්නෝ  "සහශ්‍රද්වයට හෝ සහශ්‍රත්‍රයට හෝ වික්ක යුත්තාහ" යි මෙසේ දුෂ්ට අදහස් ඇත්තා වූ හේ තෙමේ ගණන් සීමා තැබ්බ වී."

අරමණ රජු විසින් ක්ෂණිකව මෙවැනි විශාල මිල වැඩි කිරීමක් සිදු කළ විට නිදහස් වෙළඳාමෙහි වාසිය ලබමින් සිටි ලංකාව ලොකු අමාරුවක වැටෙන බව කිව යුතු නැත. ආර්ථික ශක්තිය ඇති රජයක එම ආර්ථික ශක්තිය දුර්වල කෙරෙන බාහිර ක්‍රියාවක් සිදු වූ විට එවැනි රජයක් යුදමය ක්‍රියාමාර්ග වෙත එළැඹීම අද මෙන්ම එදාත් සිදු වූ දෙයකි. ඒ අනුව, මහ පැරකුම්බාවෝද අරමණ දේශය ආක්‍රමණය කිරීමට තීරණය කරති.

ලංකා ඉතිහාසයේ, ලංකාව විසින් දකුණු ඉන්දියාවෙන් පිටත රටක් ආක්‍රමණය කළ එකම අවස්ථාව ලෙස සැලකිය හැකි පැරකුම්බාවන්ගේ මේ අරමණ ආක්‍රමණය ගැන ඊළඟ කොටසින් කතා කරමු.



උපුටා ගැනීම් සියල්ල හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් හා බටුවන්තුඩාවේ පඬිතුමන් විසින් සකස් කරන ලද, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ප්‍රකාශිත මහාවංශ සිංහල පිටපතෙනි.


(Image: www.delcampe.net)

Friday, July 1, 2016

අත්වැඩකරුවන් හිඟද?


ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය අත්වැඩකරුවන්ගේ හිඟය ගැන එම ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු මැසිවිලි නඟති. පෙදරේරුවන් වැනි පුහුණු ශ්‍රමිකයන් හා අදාළවද මෙවැනි කතා අසන්නට ලැබේ. බොහෝ පිරිස් ත්‍රිරෝද රථ සේවා සැපයීම කෙරෙහි යොමුවීම මෙයට හේතුවක් බව ඇතැම් අය සිතති.

කිසියම් වෙළඳපොළක ඉල්ලුම හා සැපයුම අතර අසමතුලිතතාවක් පවතීනම් එහි ස්වභාවික හෝ කෘතීම බාධාවක් තිබිය යුතු අතර එය හඳුනාගත හැකි විය යුතුය.

පළමුව, දිගුකාලීනව ඉදිකිරීම් සිදු නොවන තරමේ ශ්‍රමික හිඟයක් මම නොදකිමි. එවැනි තත්ත්වයක් පවතීනම්, ඉදිකිරීම් කර්මාන්තයෙහි නියැලෙන්නෙන් අතර ශ්‍රමිකයින් වෙනුවෙන් උග්‍ර තරඟයක් ඇති වී, මේ ශ්‍රමිකයින්ගේ ශ්‍රමය වෙනුවෙන් ඔවුන් ගෙවන මිල කෙටි කලක් තුළ විශාල ලෙස වැඩිවනු පෙනිය යුතුය. එහෙත්, එවැන්නක් නොපෙනේ.

මා හිතන පරිදි, ඇත්තටම පවතින ප්‍රශ්නය අවශ්‍ය වෙලාවට ප්‍රමාදයකින් තොරව අත්වැඩකරුවන් හා/හෝ පෙදරේරුවන් සොයාගැනීමයි. මෙයද සැලකිය යුතු ප්‍රශ්නයකි. මේ ප්‍රශ්නය පැහැදිලිව දෘශ්‍යමාන වන්නේ කලකට පෙර පැවති තත්ත්වය සමඟ සැසඳීමේදීය.

ඉදිකිරීම් කටයුතු වලදී අත්වැඩකරුවන්ගේ ශ්‍රමය සඳහා වන ඉල්ලුම බොහෝ විචල්‍ය ඉල්ලුමකි. කොන්ක්‍රීට් දැමීම වැනි අවස්ථාවක එකවර විශාල ශ්‍රමිකයින් පිරිසක් අවශ්‍ය වෙයි. විශේෂයන්ම නාගරික ප්‍රදේශ වලදී මේ ඉල්ලුම සැපිරුනේ නාගරික පැල්පත්වාසීන් වූ අඩු අධ්‍යාපනයක් ලබා ඇති, රැකියා විරහිත තරුණයින්ගෙනි. මේ අය අතර දිනපතා මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවූ, කරන්නට වෙනත් නිශ්චිත කාර්යයක් නොමැති පිරිස්
අඩු නොවීය. තැරැව්කරුවෙකු හරහා අවශ්‍ය අවස්ථාවක මෙවැනි කණ්ඩායමක් එකතු කර ගැනීම දශකයකට හෝ දෙකකට පෙර එතරම් අසීරු හෝ වියදම් අධික කටයුත්තක් නොවීය. පසුගිය දශක දෙක තුළ රැකියා නියුක්තියෙහි සිදුවූ විශාල වැඩිවීම හේතුවෙන් දැන් මෙවැනි පිරිස් අවශ්‍ය වෙලාවට එසේ එකතු කරගැනීම පහසු නොවන බව පෙනේ.

අත්වැඩකරුවන් සඳහා මෙන්ම පෙදරේරුවන් හා තීන්ත ආලේපකරුවන් වැනි පුහුණු ශ්‍රමිකයින් සඳහා වන ඉල්ලුමද වසර පුරා එක ලෙස නොපවතින විචල්‍ය ඉල්ලුමකි. සිය ශ්‍රමය සඳහා වන ඉල්ලුම නියත ඉල්ලුමක් නොවූ විට ශ්‍රමිකයෙකුට ඉල්ලුම් කළමනාකරණ ක්‍රමවේද ගැන සිතන්නට සිදුවේ.


ඇඟ මහන්සි වී කරන වැඩ වලට මිනිසුන්ගේ ස්වභාවික ප්‍රතිරෝධයක් තිබේ. අඩුවෙන් මහන්සි වී වැඩි ප්‍රතිලාභයක් ලබන්නට කවුරුත් වාගේ කැමතිය. තාක්ෂනය මඟින් එසේ අඩුවෙන් මහන්සි වී වැඩි ප්‍රතිලාභ ලබන්නට මිනිසුන්ට ඉඩ සලසයි. තාක්ෂණ දියුණුව සමඟ නුපුහුණු ශ්‍රමයට ඇති ඉල්ලුම අඩු වන නමුත්, පුහුණු ශ්‍රමයට ලැබෙන ප්‍රතිලාභ වඩා වේගයෙන් වැඩි වන නිසා නුපුහුණු ශ්‍රම සැපයුමද සමාන්තරව අඩු වේ. මේ නිසා රටක ආදායම් හා අධ්‍යාපන මට්ටම් ඉහළ යද්දී නුපුහුණු ශ්‍රමය සඳහා වන වෙළඳපොළේ ඇති ශ්‍රම අතිරික්තය ක්‍රමයෙන් ක්ෂය වී යයි.

නුපුහුණු ශ්‍රම වෙළඳපොළෙහි සිය ශ්‍රමය විකුණන අත්වැඩකරුවෙකු හෝ පුහුණු ශ්‍රමය විකුණන පෙදරේරුවෙකු කම්හලක හෝ රජයේ කාර්යාලයක සේවය කරන්නෙකු මෙන් සතියේ දින පහක් වැඩ කර දින දෙකක් විවේක ගන්නට කැමති වනු ඇත. එහෙත්, ඒ ආකාරයෙන් සිය ශ්‍රමය විකිණීමටනම් ශ්‍රමය සඳහා විචල්‍ය නොවන ස්ථාවර ඉල්ලුමක් පැවතිය යුතුය. එහෙත්, පවතින ඉල්ලුම එවැනි ස්ථාවර එකක් නොවේ. මේ නිසා, මෙවැනි රැකියාවක නිරත අයෙකුට තමන්ගේ ශ්‍රමයට ඇති විචල්‍ය ඉල්ලුම ස්ථාවර කර ගැනීම සඳහා ක්‍රමෝපායික වන්නට සිදුවේ. මෙහිදී එවැන්නෙකු විසින් ක්‍රමෝපායික වන්නේ (වෙනස්කම් ඇතත්) චැනල් සේවා සැපයීමේදී වෛද්‍යවරයෙකු ක්‍රමෝපායික වන ආකාරයටමය.

පෙදරේරුවෙකු ඉල්ලුම ඇති විට එකවර ඇණවුම් කිහිපයක් භාරගනී. එසේ ඇණවුම් කිහිපයක් භාර ගැනීමෙන් පසු එවැන්නෙකු එක දිගට එකම තැනක වැඩ නොකර මේ සේවා ස්ථාන දෙක තුන අතර මාරුවෙන් මාරුවට වැඩ කරයි. එහෙත්, පෙද
රේරුවෙකුගේ සේවය ලබා ගන්නා අයෙකුට අවශ්‍ය වන්නේ ඔහුගෙන් (මේ වෘත්තියෙහි නිරත වන කාන්තාවන් ඉතා සීමිත නිසා ඔහු යන වචනය යොදමි.) එක දිගට වැඩ ගැනීමටය. ඒ නිසා, තමන් සමාන්තරව භාරගෙන ඇති අනෙකුත් ඇණවුම් සම්බන්ධ තොරතුරු  එළිදරවු නොකර බොරු කියන්නට ඔහුට සිදුවේ. තමන්ට අවශ්‍ය වෙලාවට අවශ්‍ය කටයුත්ත සිදු නොවී ප්‍රමාද වන බැවින් පෙදරේරුවාගේ සේවය ලබා ගන්නා අයට පෙදරේරුවන්ගේ හිඟයක් පෙනේ.

අවශ්‍ය අයෙකුට අවශ්‍ය වෙලාවටම පෙදරේරුවෙකුගේ, තීන්ත ආලේපකරුවෙකුගේ හෝ අත්වැඩකරුවෙකුගේ සේවය ලබා ගැනීමට හැකිවීමටනම් එවැන්නන්ගේ සැපයුම, වසර තුළ ඉල්ලුම උපරිමයක් වන මට්ටමට පැවතිය යුතුය. එහෙත්, සැපයුම ඒ තරමට වැඩි වුවහොත් මෙවැන්නන්ට වසරේ සැලකිය යුතු කලක් රැකියා විරහිතව ඉන්නට සිදුවේ.

කලකට පෙර විශාල පිරිසක් රැකියා විරහිතව සිටියදී මෙවැනි අතිරික්ත ශ්‍රම සැපයුමක් පැවති නිසා ක්ෂණික ශ්‍රම අවශ්‍යතාවයක් සපුරාගැනීම අපහසු කරුණක් නොවූවත් එය තවදුරටත් එසේ නොවේ. මෙසේ රැකියා විරහිතව සිටි කණ්ඩායමෙන් පිරිසක් මේ වන විට ත්‍රිරෝද රථ සේවා සැපයුමෙහි නිරතව සිටිනවා විය හැකිය. ඔවුන් දවසක් තුළ කිසියම් ඵලදායී කාර්යයක නිරත වන කාලය පැය කිහිපයක් වන්නටද පුළුවන. නමුත්, වසරක් තුළ දින කිහිපයක් පමණක් කිසියම් ඵලදායී කාර්යයක නිරත වීමට සාපේක්ෂව එය සේවා නියුක්තියේ සැලකිය යුතු වැඩිවීමකි.

එසේනම්, පෙදරේරුවෙකු හෝ අත්වැඩකරුවෙකු අවශ්‍ය අයෙකුට පොරොත්තු කාලය අඩු කරගැනීමට නොහැකිද?

බැරිකමක් නැත. ඒ සඳහා ඔවුන්ගේ ශ්‍රමය වෙනුවෙන් ගෙවන මිල වැඩි විය යුතුය. එවිට, සේවා නියුක්තිය සතියකට දින දෙක තුනක් වුවත් මේ සේවා සපයන්නෙකු බලාපොරොත්තු වන ආදායම ලැබෙන බැවින් තවත් පිරිසක් මේ සේවාවන් සැපයීම කෙරෙහි යොමුවනු ඇත.

එසේනම්, වෙළඳපොළ බලවේග මඟින් එවැනි මිල වැඩිවීමකට ඉඩ නොසලසන්නේ ඇයි?


අඩුම වශයෙන් හේතු තුනක් නිසාය.

1. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු හා නුපුහුණු ශ්‍රමය මිල දී ගන්නා ඉදිකිරීම් සමාගම්, කොන්ත්‍රාත්කරුවන් හා නිවාසයක් තැනීම වැනි කටයුත්තක යෙදෙන සාමාන්‍ය පුද්ගලයින්ට 'වැඩේ හැකි ඉක්මණින් ඉවර කර ගැනීමේ' හදිස්සිය කොතරම් වැඩි වුවත් 'පුළුවන් තරම් අඩුවට වැඩේ කර ගැනීමේ' උවමනාව ඊට වඩා වැඩිය. වෙනත් අයුරකින් කිවහොත් පොරොත්තු කාලය අඩු කර ගැනීම සඳහා ගෙවිය යුතු මිල ගෙවන්නට ක්ෂේත්‍රය සූදානම් නැත.

2. ඓතිහාසික හේතු මත අත්වැඩකරුවන් මෙන්ම පෙදරේරුවන්ද සිටින්නේ ලංකාවේ සමාජ ධුරාවලියේ පහළ මට්ටමකය. එවැන්නෙකුගේ ආදායම් මට්ටම කාර්යාලීය රැකියාවක යෙදෙන්නෙකුගේ ආදායම් මට්ටමට වඩා බෙහෙවින් වැඩි වුවද මේ තත්ත්වය එසේමය. සමාජ තත්ත්වය පෙන්වීමේ පීඩනය අඩු නිසා මේ රැකියා කරන්නෝ ඔවුන්ට දැනට ලැබෙන ආදායමෙන් ජීවත් වීම ප්‍රශ්නයක් ලෙස නොදකිති. ඒ නිසා, ඔවුන්ගෙන් සිය වැටුප් ඉහළ නංවා ගැනීම සඳහා පීඩනයක් ඇති නොවේ.

3. මේ ශ්‍රමිකයන්ට ලොකු මූල්‍ය කළමණාකරණ කුසලතා නැත. ඔවුහු බොහෝ විට කරන්නෝ එදිනෙදා ආදායමෙන් එදිනෙදා වියදම් පියවා ගැනීමයි. ඒ නිසා, වසරේ අහඹු දින සියයක් තුළ දිනකට රුපියල් හයදහස බැගින් ලැබෙන විකල්පයකට වඩා, දින තුන්සියයක් දිනකට රුපියල් දෙදහස බැගින් ලැබෙන විකල්පයකට ඔවුහු කැමැත්තෝය.


(Image: www.unhabitat.lk)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...