වෙබ් ලිපිනය:

Sunday, July 31, 2016

මියන්මාරය සමඟ අළුත් වෙළඳ ගිවිසුමක් !


පැරකුම්බා සමයේ ලංකා හමුදාවන් විසින් සිදු කළ අරමණ ආක්‍රමණය ගැන ලියන්නට පොරොන්දු වී තෙසතියකට ආසන්න කාලයක් ගත වී ඇති බව රනිල් වික්‍රමසිංහ මහත්තයා විසින් මතක් කර දුන්නේය. මේ කාලය ඉකොනොමැට්ටා විසින් ගත කරන තරමක අස්ථාවර කාලයක් නිසා වියුණුව පෙර කළ වේගයෙන්ම යාවත්කාලීන කිරීම අපහසු කරුණක්ව පවතී. තෝරා ගැනීම් හිඟ වූ විට මෙන්ම තෝරා ගැනීම් වැඩි වූ විටද ඇති වන්නේ අස්ථාවරත්වයකි.

ලංකා රාජ්‍යයේ ජාත්‍යන්තර වෙළඳ ආධිපත්‍යයට අරමණ පාලකයෙකුගෙන් එල්ල වූ බාධාවක් කරණ කොට ගෙන එම රට ආක්‍රමණය කිරීමට මහ පැරකුම්බාවන් ගත් තීරණය ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වන්නේ රජුගේ ප්‍රධාන අමාත්‍යවරයෙකු නොවේ. පැරකුම්බාවන්ගේ හිතෛෂියෙකු වන ආදිත්‍ය ද්‍රවිඩාධිකාරී නම් වූ අවශේෂ මහ ඇමැත්තෙකි. ඇතැම් විට මේ මහ ඇමැත්තා ද්‍රවිඩ සම්භවයක් ඇත්තෙකු විය හැකිය.

අරමණ ආක්‍රමණය උදෙසා රට තුළ සැලකිය යුතු පිරිස් බලයක් ඇති මහ ඇමැතියෙකු (ප්‍රාදේශීය නායකයෙකු) නාවික බලය ඇතුළු අවි බලයෙන් ශක්තිමත් කරවීම දැඩි ආයාසයකින් රට එක්සේසත් කරගෙන සිටි මහ පැරකුම්බාවන් විසින් නොකළ යුතු දෙයක් ලෙස සිතුවා විය හැකිය. මෙය තේරුම් ගන්නා, රට තුළ තමාගේම වූ ලොකු පිරිස් බලයක් නැති, එහෙත් රජුගේ  විශ්වාසය දිනාගෙන සිටින, ආදිත්‍ය ද්‍රවිඩාධිකාරී නම් වූ දෙවන පෙල ඇමැත්තා අරමණ ආක්‍රමණයේ වගකීම කරට ගන්නේ මෙවැනි පසුබිමකය.

"එකල්හි ආදිත්‍ය ද්‍රවිඩාධිකාරී නම් ඇති එහි එක් ගණක මහ ඇමතියෙක් බඳනා ලද ඇඳිලි ඇත්තේ තෙමේම එහි යනු කැමැත්තේ රජහට මෙබස් මෙසේ කීය. මේ ක්‍රියාවෙහි ප්‍රධාන වූ මහා ඇමතියන් නොයොදන සේක්වා. නුඹ වහන්සේලාගේ උපදේශ මාර්ගයෙන් අවක්‍රමණය නොකරන්නා වූ ප්‍රතිලබ්ධ නියෝග ඇති හුදකලා වූ මට දුරතික්‍රමනය අනුශාසනා ඇත්තා වූ ම ස්වාමිහුගේ අනුශාසනාව නොසිස් ආකාර කරනු පිණිස කිසි කලෙකත් බරෙක් නැතැයි කීය."

පස් මසක් පුරා අරමණ ආක්‍රමණයට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙන්නේ ඉන් පසුවය. පැරකුම්බා රජුගේ ජාත්‍යන්තර වෙළඳ හා නාවික කටයුතු භාරව ද්‍රවිඩ, කේරළ ඇතුළු විදේශ සම්භවයක් ඇති පුද්ගලයින් සැලකිය යුතු පිරිසක් සේවය කළේයැයි සිතිය හැකිය. ආදිත්‍ය ද්‍රවිඩාධිකාරී නම් පුද්ගලයාද එවැන්නෙකු විය හැකිය. අරමණ විජයග්‍රහණයෙන් පසු යුද විරුවකු බවට පත් වන අනෙක් ප්‍රධාන චරිතය කීර්ති නගරගිරි නමැත්තාය. මොහු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වීමට ඉඩ තිබේ.

කාකද්වීපය ජයගෙන (විනාශ කර), අරමණ රටට ලඟා වන ලංකා හමුදාවන් ක්‍රියා කරන්නේ ලංකාවට වරින් වර පැමිණි දකුණු ඉන්දීය හා යුරෝපීය ආක්‍රමණිකයින් ක්‍රියා කළ ආකාරයට වඩා වෙනස් අයුරකින් නොවේ.

ඔවුහු දිගට හරහට අරමණ වැසියන් මරා දමති. ඇතැමුන් යුද සිරකරුවන් ලෙස අල්ලා ගනිති. අරමණ වැසියන්ගේ නිවාස හා වගා බිම් ගිණි තබා විනාශ කරති. ගම් බිම් වනසමින් විශාල භීෂණයක් මුදා හරිති. ආක්‍රමණික පාර්ශ්වයකට මේවා කවදත් වීර ක්‍රියාවන්ය. දෙමළ අධිකාරීන් විසින් සෘජුව මෙහෙයවූ හමුදා අනු ඛණ්ඩයක් විසින් මේ අයුරින් පප්පළා තොට වනසද්දී, කීර්ති නගරගිරිගේ අණ යටතේ වූ හමුදා අනු ඛණ්ඩය කුසුම්තොට වනසයි.

"එකල්හි නැව් පසෙක නැන්ගවූ මහ බල ඇති යෝදයෝ අරමණ දේශයෙහි කුසුම්තොට ගොඩ බැස්සාහ. කීර්ති නගරගිරි ප්‍රධාන කොට ඇත්තා වූ ප්‍රබල වූ ඒ භටයෝ නැවෙන් ගොඩබට තොට පටන් බහා පළඳන ලද ඒ කවදත් හා ආයුධ ඇතිව අරමණ වැසි නොයෙක් දහස් ගණන් ඒ බලයෙන් බිහිසුණු යුදෙහිදී මරමින් මතැතුන් සෙයින් හාත්පස නෙරළු ආදී නොයෙක් වෘක්ෂයන් සිඳිමින් ගම්හි ගිණි ලමින් රාජ්‍යයෙන් භාගයක් විනාශ කළහ. ආදිත්‍ය ද්‍රවිඩාධිකාරින් විසින් අධිෂ්ඨිත නෞකා තොමෝද එම රට පප්පළා නම් තොට බටුවා, එසේම දෙමළ අධිකාරීන් ප්‍රධාන කොට ඇති ජනයෝ වෛරීන් විධ්වංසනය කරන්නා වූ ඝෝර වූ බිහිසුණු යුද කෙරෙමින් ජනලද වැසි බොහෝ වූ ඒ (අරමණ) ජනයන් ජීවග්‍රහණයෙන් අල්වමින් එකල්හි අරමණ නම් ඒ රට අත්‍යත්ථයෙන් ඇලලූහ."

මහා වංශයේ සඳහන් පරිදි, මෙසේ නගර කිහිපයක භීෂණය පතුරුවන ලංකා හමුදාවන් පසුව ආරවුලට මුල් වූ නගරයට ඇතුළුව එහි පාලකයාව මරා දමයි. ඉන්පසුව, අරමණ දේශය හෝ එහි කොටසක් ලංකා රාජ්‍යයේ ආධිපත්‍යයට නතු කර ගනී.

විදේශ හමුදාවකගේ ආක්‍රමණය හේතුවෙන් බොහෝ පීඩාවට පත් වන අරමණ වැසියෝ දෙරට සංඝ සංස්ථා අතර ඇති සමීප සම්බන්ධතාවය ප්‍රයෝජනයට ගනිමින් සාම සාකච්ඡා වලට එළඹෙති. ත්‍රෛනිකායික සඟුන්ගේ මැදිහත්වීමෙන් පැරකුම්බා රජු සිය හමුදා ආපසු ගෙන්වා ගැනීමට කැමති වන අතර (පැරකුම්බා සමයේ පැවති නිකායත්‍රය කුමක්දැයි පැහැදිලි නැත), ලංකාවට වඩාත් වාසිදායක පරිදි වෙළඳ ගිවිසුමක් නැවත අත්සන් කෙරේ. ඒ අනුව, ඉන්පසුව අවුරුදු පතා ලංකාවට බොහෝ ඇතුන් පැමිණේ.

රටවල් දෙකක් අතර සිදුවන වෙළඳාමෙන් සාමාන්‍යයෙන් දෙරටටම සිදුවන්නේ වාසියකි. එහෙත්, බොහෝ විට මේ එක් එක් රටට ලැබෙන වාසි සමාන නැත. ප්‍රායෝගිකව, ඒ වාසි දෙරට අතර බෙදෙන ආකාරය වෙළඳ ගිවිසුම් මඟින් තීරණය වේ. වෙළඳ ගිවිසුම් වල කොන්දේසි තීරණය වන්නේ එක් එක් රට සතු හෙට්ටු කිරීමේ හැකියාව මතය. වඩා ප්‍රබල ආර්ථික, දේශපාලනික හෝ යුද ශක්තියක් ඇති රටකට බොහෝ විට වැඩි හෙට්ටු කිරීමේ හැකියාවක් තිබේ. අරමණය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව එහි අළුත් පාලකයින් සමඟ මහ පැරකුම්බාවන් විසින් අත්සන් කළ වෙළඳ ගිවිසුම පෙර පැවති ගිවිසුමටත් වඩා ලංකාවට වාසිදායක වූ බව නිසැකය.


(Image: www.crossed-flag-pins.com)

11 comments:

  1. //කාකද්වීපය ජයගෙන (විනාශ කර), අරමණ රටට ලඟා වන ලංකා හමුදාවන් ක්‍රියා කරන්නේ ලංකාවට වරින් වර පැමිණි දකුණු ඉන්දීය හා යුරෝපීය ආක්‍රමණිකයින් ක්‍රියා කළ ආකාරයට වඩා වෙනස් අයුරකින් නොවේ.//

    ඒ උනාට අපි සුද්දන්ට බනිනවනෙ උන් අපිට නරක විදිහට සලකුවයි කියල. දැන් බලපුවහම අපි කරලා තියෙන්නෙත් ඒ විදිහටමයි! (මේවා දේශද්‍රෝහී කතා නේද? කරන එක නොවෙයි, කරපුවා ගැන කියන එක!)

    ReplyDelete
    Replies
    1. සුදු දුඹුරු කහ විතරක් නෙමෙයි කලු හා රතුත් එහෙම තමයි.
      උදා -
      සුද්දන් එන්න ටික කාලයකට කලින් දකුණුදිග අප්‍රිකාවේ Shaka සහ Mzilikazi ගේ යටත් විජිත ව්‍යාප්තිය, උතුරු මධ්‍යම හා දකුණු රතු ඉන්දියානුවන් අනිත් ගෝත්‍ර යටත් කර ගැනීම.

      Delete
    2. මේවා සංස්කෘතික ලේයරයට ඇතුළෙන් තියෙන මිනිස්සුන්ගේ පොදු චර්යාවේ කොටස්.

      Delete
    3. කතා දෙකම ඇත්ත!

      Delete
  2. යුධ අපරාධවලට කවුරු කවුරුත් කප්පිත්තන් ය!

    ReplyDelete
    Replies
    1. ඇට මැස්සා කියවලා තියෙනවාද/ තමන්ට වදින්නේ නැත්නම් කිටහෝ ගසා සතුටු විමට කවුරුත් කැමතිය.

      Delete
    2. යුද්ධ ඇති තැන අපරාධත් ඇත.

      Delete
  3. යුද්ධයක් කියන්නෙ කොහොමත් අපරාධයක් තමයි.යුද්ධයක සාධාරණත්වයක් හොයනවා නම් ඒ ජාවාරම්කාරයෙක් විතරයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. //යුද්ධයක් කියන්නෙ කොහොමත් අපරාධයක් තමයි.//අර්ථදැක්වීම අනුවම එය එසේ විය යුතුයි. සමහර විට යුද්ධ නොවැලැක්විය හැකි වීම වෙනම කරුණක්.

      Delete
  4. ඉකොනො මොනා කරනවද මංදා ! දැන් අර හුසේන් කුමාරයා මේක කියෙව්වොත් කපෝති.. තියන ප්‍රශ්ණ මදිවට තව අලුත් මානව හිමිකම් පුරස්න ගොන්නකට මුහුණ දෙන්න වෙනවා..

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...