වෙබ් ලිපිනය:

Friday, February 18, 2022

කපුටාස් වෝ ඇන්ඩ් බැසිල්ස් කඩු පයිට්

 

බයිබලයේ උත්පත්ති කතාව අනුව දෙවියන් වහන්සේ විසින් හතර වන දවසේදී “පක්ෂීහු පොළොවට උඩින් අහස් කුස හරහා පියඹා යත් වා!” කියා වදාරනවා. එය එසේම වෙනවා. ඉන් පසු ඔවුන්ට ආසිරි පතමින් “පක්ෂීහු පොළොවේ බෝවෙත් වා!” කියාත් පවසනවා. 

බයිබලයට අනුව අහසේ වගේම පොළොවේත් මුලින්ම දැකිය හැකි වන්නේ පක්ෂීන්. “විවිධ ගවමහිෂයන් ද උරගයන් ද වන මෘගයන් ද යන ජීවමාන සත්ත්වයෝ පොළොවෙන් නිපදෙත් වා!”යි කියා වදාරන්නෙත්, “අපගේ ස්වරූපය අනුව, අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා මවමු, ඔහු මුහුදේ මසුන් ද අහසේ පක්ෂීන් ද ගවමහිෂයන් ද මුළු පොළෝ තලයෙහි සියලු වන මෘගයන් ද උරගයන් ද පාලනය කෙරේවා!”යි අණ කරමින් මිනිසුන් මවන්නෙත් පස්වන දවසේ. 

බයිබලය අනුව පක්ෂීන්ට මිනිස්සුන්ගේ පාලනයෙන් බේරී ඉන්න ලැබුණේ එකම එක දවසක් පමණත් වුවත්, ඉතිහාසයේ බොහෝ කාලයක් තිස්සේම අහසේ අයිතිය තනිකරම වාගේ තිබුණේ ලේ, මස් වලින් හැදුනු පක්ෂීන්ට, වවුලන් වැනි ක්ෂීරපායී සතුන්ට හා කෘමීන්ටයි. පියාඹන්න නුපුළුවන් වූ මිනිස්සුන්ට අහසේ පියාඹන පක්ෂීන් ඇතුළු අනෙකුත් සතුන් පාලනය කරන්න හැකි වුනේ යම් සීමාවක් තුළ පමණයි. 

පසුගිය සියවසේ මුල සිට මේ තත්ත්වය වේගයෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. දැන් ලේ, මස් වලින් හැදුනු පක්ෂීන්ට අමතරව මිනිසුන් විසින් මවන ලද ඇලුමිනියම් පක්ෂීනුත් අහසේ පියාඹානවා. ඒ එක්කම, මේ ඇලුමිනියම් පක්ෂීන් හා ලේ, මස් වලින් හැදුනු පක්ෂීන් අතර ගැටුමක්ද නිර්මාණය වී තිබෙනවා. ඇතැම් විට මේ ගැටුම මරාගෙන මැරෙන සටනක් දක්වා දුර දිග යනවා.

ගුවන් යානා හා සතුන් අතර ගැටීම් හේතුවෙන් 1988-2020 කාලය තුළ ලෝකය පුරා ගුවන් යානා 271ක් විනාශ වී ඇති අතර ජීවිත 293ක් අහිමි වී තිබෙනවා. 1990-2021 අතර වසර 31ක කාලය තුළ ඇමරිකාවෙන් පමණක් මෙවැනි ගැටීම් 243,064ක් වාර්තා වී තිබෙනවා. කෝවිඩ් හේතුවෙන් ගුවන් ගමන් විශාල ලෙස සීමා වූ 2020 වසරේදී වාර්තා වී තිබෙන සිදුවීම් ගණන 11,605ක් පමණක් වුවත්, ඊට පෙර 2019 වසරේදී එවැනි ගැටුම් 17,358ක් වාර්තා වී තිබුණා.

ඉහත අවස්ථා වලදී විවිධ පක්ෂීන් වර්ග 608ක්, වවුල් වර්ග 38ක්, පියාඹන්නේ නැති ක්ෂීරපායී සතුන් වර්ග 52ක් හා උරග විශේෂ 27ක් ගුවන් යානා සමඟ ගැටෙනු හඳුනාගෙන තිබෙනවා. මෙවැනි ගැටුම් හේතුවෙන් ඇමරිකාවේ ගුවන් සේවා කර්මාන්තයට වසරකට අවම වශයෙන් පියාසර පැය 75,861ක් අහිමි වන බවත්, ඩොලර් මිලියන 124ක සෘජු අලාභයක් සිදු වන බවත් ඇස්තමේන්තු කර තිබෙනවා. 

වනසතුන්, විශේෂයෙන්ම පක්ෂීන්, හා ගුවන් යානා අතර ගැටුම් සිදුවීම් පිළිබඳව ගුවන් සේවා කර්මාන්තයෙහි නිරත සමාගම් ඉතාම සැලකිලිමත්. කිසියම් සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ විසින් මේ ගැන කතා කරනවා. ඉංග්‍රීසි භාෂාවෙන් සිදුවන මේ සංවාදයේදී ඔහු කපුටා යන වචනය එලෙසම භාවිතා කරනවා. 

පෙනෙන්නට තිබෙන පරිදි මෙය අත්වැරදීමක් හෝ ඉංග්‍රීසි වචනය නොදැන සිටීම නිසා සිදුවන දෙයක් නෙමෙයි. සාකච්ඡාව ආරම්භයේදී ඔහු crow යන වචනය භාවිතා කරනවා. මේ විදිහට ඉංග්‍රීසි වාක්‍යයක් මැදට සිංහල වචනයක් එබීමේ කිසිම වැරැද්දක් මටනම් පේන්නේ නැහැ. අනෙක් අතට, ඉංග්‍රීසි වචනයක් නොදැන සිටීම වුනත් කිසිසේත්ම ගණන් ගත යුතු අඩුපාඩුවක් නෙමෙයි. 

සිංහලෙන් කතා කරන බොහෝ දෙනෙක් එසේ කතා කරද්දී බාගෙට බාගයක් ඉංග්‍රීසි වචන ඔබනවා. සිංහල වචනය නොදන්නා අවස්ථාවක හෝ හරි සිංහල වචනයක් නැති අවස්ථාවක එහෙම කරන එකේ කිසිම වැරැද්දක් නැහැ. එහෙත්, ගොඩක් වෙලාවට මේ වැඩේ කරන්නේ ඔය හේතු දෙකෙන් එකක් නිසා නෙමෙයි.

ලංකාවේදී සිංහලෙන් කතා කරද්දී හෝ ලියද්දී සිදුවන ලොකු වැරදි වුවත් බොහෝ විට එතරම් ගණන් ගැනෙන්නේ නැහැ. හැබැයි ඉංග්‍රීසියෙන් වැඩ කරද්දීනම් පොඩි වැරැද්දක් වුවත් ලොකු ප්‍රශ්නයක්. පෞද්ගලිකව මගේ ඉංග්‍රීසි ගොඩක් හොඳ නැහැ. සිංහල කියලත් හොඳ නැහැ. මම විෂයයක් ලෙස සිංහල ඉගෙන ගෙන තියෙන්නෙත්, ඉංග්‍රීසි ඉගෙන ගෙන තියෙන්නෙත් දහයේ පන්තියට පමණයි. ඊට පස්සේ සරසවි ප්‍රවේශයට පෙර ලැබෙන සයමාසික ගෙල්ට් පුහුණුව ලැබුණා.

හැබැයි ඔය සීමිත දැනුම පමණක් තියාගෙන, දවසක හෝ පුහුණුවක්ද නොලබා, රජයේ ඉංග්‍රීසි උපගුරු තනතුරකත් කාලයක් වැඩ කළා. ලංකාවේ බොහෝ දරුවන්ට ඉංග්‍රීසි ඉගෙන ගන්න ලැබී තිබෙන්නේ මා රජයේ පාසැලක උගන්වද්දී මගෙන් උගත් දරුවන්ට ලැබුණු තරමේ අවස්ථාවන් පමණයි.

කෙසේ වුවත්, මම දන්න ඉංග්‍රීසි ටික ඇමරිකාවේදී හා ජාත්‍යන්තරව මගේ පෞද්ගලික හා වෘත්තීය කටයුතු කරගැනීම සඳහා මට හොඳටම ප්‍රමාණවත්. හැබැයි ලංකාවේ හිටියානම් මගේ ඉංග්‍රීසි දැනීම මට ප්‍රශ්නයක් වෙනවා. මම මේ කියන්නේ ඇමරිකාවට ආවාට පසුව මගේ ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු වීම ගැන නෙමෙයි. දැන් ලංකාවට ආවත් මගේ ඉංග්‍රීසි දැනුම ලංකාවේදී වැඩ කරන්න ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. බැසිල්ටත් ඇමරිකාවේදීනම් ඉංග්‍රීසි භාෂා ප්‍රශ්නයක් තියෙන්න නැතුව ඇති.

ඉංග්‍රීසි කතා කරද්දී වගේම ලියද්දිත් ලංකාවේ බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ වැඩි දෙනෙක් අසා නැති බර වචන පුළුවන් තරම් ඔබ්බන්නයි. එහෙත් මම අසා තිබෙන සාමාන්‍ය මූලධර්මය වන්නේ හොඳ ඉංග්‍රීසි කියන්නේ සරල ඉංග්‍රීසි බවයි. 

ඇමරිකාවේදී මේ වගේ දෙබස් මට නිතර ඇහෙනවා.

ඇමරිකාවට පැමිණ සිටින ජර්මානුවෙක්:  "සමාවෙන්න, මගේ ඉංග්‍රීසි දැනුම ඒ තරම් හොඳ නැහැ!"

ඇමරිකානුවා: "ඇත්තටම සමාව ඉල්ලිය යුත්තේ මමයි. මගේ ජර්මන් දැනුම ඔබේ ඉංග්‍රීසි දැනුමට කිට්ටුවෙන්වත් තියන්න බැහැ!"

ඇමරිකානුවෙක් ලංකාවට ගොස් සිංහල වචන කිහිපයක් හෝ දැන සිටියේනම් මා වැනි අයෙකු හා කතා කරද්දී අනිවාර්යයෙන්ම ඒ වචන ඉංග්‍රීසි වාක්‍ය වල මැදට දමනවා. දැන්නම් ඇතැම් අවස්ථා වලදී ගූගල් කර වචන හොයා ගන්න අයත් ඉන්නවා. භාෂාව අවශ්‍ය වන්නේ සන්නිවේදනය සඳහා සහ සම්බන්ධතා ගොඩ නගා ගැනීම සඳහා. ඔය දෙකෙන් එකකටවත් පරිපූර්ණ භාෂා භාවිතයක් අවශ්‍ය වන්නේ නැහැ. ඉංග්‍රීසි භාෂාව මුල් බස වූ හැම කෙනෙක්ම හැම විටම ව්‍යාකරණ නොවරද්දා කතා කරන්නේ හෝ ලියන්නේ නැහැ. 

මමනම් හිතන්නේ බැසිල්ගේ ඉංග්‍රීසි භාවිතය ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයෙකුට උත්තේජනයක් විය යුතුයි කියලයි. භාෂාවක ප්‍රවීණත්වය ලබාගන්නනම් එය භාවිතයේ යෙදවිය යුතුයි. භාෂාවක් භාවිතා කිරීම සඳහා පළමුව ප්‍රවීණත්වය අවශ්‍යයැයි සිතන අයෙකුට කවදාවත් තමන්ගේ ඉලක්කයට යන්න බැහැ. භාෂාවක් හරියට නොදැන එය භාවිතා කිරීමෙහි යම් හානි ඇත්නම්, ආර්ථික විද්‍යාව හරියට නොදැන ආර්ථිකය කළමනාකරණය කරන්න යාමේ හානි ඊට වඩා සිය දහස් වාරයක් වැඩියි.

Thursday, February 17, 2022

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (හත්වන කොටස)


පසුගිය වසර අවසාන වන විට ලංකාව සතු වූ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,139.3ක් පමණයි. මහ බැංකුව විසින් කලින් දැන සිටි, වසර තුළ ගෙවිය යුතු වූ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 5,523.2ක්. පොලී ගෙවීම් ප්‍රමාණය ඩොලර් මිලියන 1,380.5ක්. ඉදිරි වසර තුළ ගෙවන පොරොන්දුවට විකුණා ඇති අතේ නැති ඩොලර් ප්‍රමාණය (ශුද්ධ වශයෙන්) ඩොලර් මිලියන 1,929.4ක්. ඒ අනුව, භාණ්ඩ හා සේවා ආනයනය ඇතුළු වසරේ පරිභෝජන වියදම් සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණයට අමතරව වසර තුළ අවශ්‍ය වන ඩොලර් ප්‍රමාණය මිලියන 8,833.1ක්.

ඩොලර් මිලියන 3,139.3ක් අතේ තියාගෙන ඩොලර් මිලියන 8,833.1ක් ගෙවන්න පුළුවන්ද?

ජනවාරි මාසය අවසන් වන විට නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,360.6 දක්වා තව දුරටත් පහත වැටිලා. වසර තුළ ගෙවිය යුතු වූ මුදලින් කොපමණ ප්‍රමාණයක් ජනවාරි මාසය තුළ ගෙවලද? තව කොපමණ මුදලක් ගෙවන්න තියෙනවද?

ගෙවිය යුතුව තිබුණු මුදලින් ඩොලර් මිලියන 1,103.6ක් ජනවාරි මාසය තුළ ගෙවා තිබෙනවා. ඉතිරි මාස එකොළහ තුළ තවත් ඩොලර් මිලියන 7,739.5ක් ගෙවිය යුතුයි. එයින්ද ඩොලර් මිලියන 2,118.5ක් ගෙවිය යුත්තේ පෙබරවාරි හා මාර්තු මාස දෙක තුළයි. නිල සංචිත වලින් "කෑෂ් වලින්" තියෙන්නේ ඩොලර් මිලියන 2,078ක් පමණයි. ගෙවිය යුතු මුදල සංචිත වලින්ම ගෙවන්නනම් ඉතිරිව තිබෙන රත්තරන් සොච්චමත් විකුණන්න වෙනවා. නැත්නම් SDR විකුණන්න වෙනවා. එහෙම කළත්, මාර්තු අවසන් වෙද්දී ඉතිරි වෙන්නේ තව ඩොලර් මිලියන 242.1ක් පමණයි. ඔය කාලය තුළ ආදායම් ඉක්මවා ආනයන වෙනුවෙන් වැය කරන මුදල වෙනුවෙනුත් ඩොලර් අවශ්‍ය වෙනවා.

ඒ කියන්නේ අප්‍රේල් පමණ වෙද්දී රට බංකොලොත් වෙයිද?

සමහර අය ටික කාලෙක ඉඳලම රට බංකොලොත් වන දවස ගණන් හදනවා. තවත් පිරිසක් "අපිට මොකක් වෙයිද?" කියන ප්‍රශ්නය පෙරදැරිව මේ ගැන කනස්සළු වෙනවා. ඇත්තටම රට බංකොලොත් වෙයිද? එහෙමනම්, ඔය වැඩේ කවදා විතර වෙයිද?

අතේ තිබෙන සංචිත ප්‍රමාණය සහ ඉදිරි කාලයේ ගෙවන්න තිබෙන ණය දිහා පමණක් බලලා රට බංකොලොත් වන දවස ගණන් හදා පෙන්වන්න බැහැ. ජනවාරි මාසයම ගත්තත් ඩොලර් මිලියන 1,103.6ක ණය ගෙවා තිබෙන නමුත් සංචිත අඩු වී තිබෙන්නේ ඩොලර් මිලියන 778.7කින් පමණයි. ඒ කියන්නේ ඉතිරි ඩොලර් 324.9 කොහෙන් හෝ හොයා ගෙන කියන එකයි. හොයා ගෙන කියා කියන්නේ ණයට අරගෙන. ඊට අමතරව, ජනවාරි මාසයේ ඩොලර් ඉපැයීම් වලට වඩා වැඩි මුදලක් ආනයන වෙනුවෙන් වියදම් වී ඇත්නම් ඒ මුදලද හොයා ගෙන. 

කබ්රාල් නිවැරදිව කියනවා වගේම, ණය ගෙවන්නෙත්, ආනයන සඳහා වියදම් කරන්නෙත් අතේ තිබෙන සංචිත පමණක් නෙමෙයි. ඇත්තටම සාමාන්‍ය කාලයකනම් බොහෝ විට ඔය සංචිත වලට අතවත් තියන්නේ නැහැ. ණය ගෙවන්නේ ණය අරගෙන. දිගින් දිගටම ණය ගන්න පුළුවන්කම තිබේනම් සංචිත අඩුකම ප්‍රශ්නයක් නෙමෙයි.

ඉතාම දළ වශයෙන් ගත්තොත් රටේ ණය මේ වෙද්දී ඩොලර් බිලියන 60කට ආසන්නයි. ඔය ණය සියල්ල එකවර ගෙවා දමනවා කියලා මේ ආණ්ඩුව කියන්නේ නැහැ. "අපි නොවරදවා ණය ගෙවනවා" කියා ආණ්ඩුව කියද්දී එයින් අදහස් කරන්නේ ගෙවිය යුතු ණය වාරික හා පොලී මුදල් කලට වෙලාවට ගෙවනවා කියන එකයි. එජාප/සජබ හෝ 43 බලකාය විසින්ද මේ ණය සියල්ල ගෙවා දමන දවසක් හෝ එහෙම ගෙවන බවක් කියන්නේ නැහැ. එවැනි දෙයක් කෙටි කලකින් ප්‍රායෝගිකව කරන්න බැහැ. අපි හිතමු කැට හොල්ලලා විදේශගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඩොලර් මිලියනය ගානේ එකතු කළා කියලා. එහෙම කළත්, මිලියනය ගානේ දෙන්න කැමති අය හැට දාහක් හොයා ගන්න ඕනෑ. මනෝරාජික සමාන්තර විශ්වයක ඒ විදිහට ඩොලර් හොයා ගත්තා කියා කියමු. ඒ ගත්තා කියලත්, ඒවත් ණයනම් රටේ ණය එක ඩොලරයකින් හෝ අඩු වෙන්නේ නැහැ.

කොයි තරම් හොඳ සැලසුමක් යටතේ වුවත්, මේ මොහොතේ වගේම අඩු ගානේ තව අවුරුදු විස්සක්වත් යනකම්, බංකොලොත් නොවී ඉන්නනම්, ණය ගෙවන්න අලුත් ණය ගන්න එක අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. වෙන ක්‍රමයක් නැහැ. දැන් ප්‍රශ්නය ආණ්ඩුවට මේ වැඩේ කොයි තරම් දුරකට කරන්න පුළුවන්ද කියන එකයි.

යහපාලන ආණ්ඩුව කාලයේ පරිභෝජන වියදම් වෙනුවෙන් ණය ගත්තේ නැහැ. තිබුණු ණය එක ඩොලරයක් හෝ (ශුද්ධ වශයෙන්) ගෙවුවෙත් නැහැ. එහෙත්, තිබුණු ණය වල පොලී ගෙවන්න (සහ වෙනත් බැරකම් වෙනුවෙන් ප්‍රතිලාභ ගෙවන්න) ණය ගත්තා. මේ ණය වැඩි වශයෙන්ම ගත්තේ ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරලා. 

ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරන එක පටන් ගත්තේ 2007දී. යහපාලන ආණ්ඩුව බලයට පත් වන විට ඩොලර් බිලියන 5.5ක ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරලා තිබුණා. යහපාලන ආණ්ඩුව විසින් ඩොලර් බිලියන 12.05ක ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කළා. ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව විසින් ගත් අලුත් ණය සියල්ලම වගේ ස්වෛරිත්ව බැඳුම්කර හරහා ගත් ණය. මේවා පියවිය යුත්තේ අනාගතයේදී. රාජපක්ෂ ආණ්ඩුව කාලයේ ගත් ස්වෛරිත්ව බැඳුම්කර සියල්ල වුවත් තවම පියවා අවසන් නැහැ. එකවර ඩොලර් බිලියනයක් ගෙවන්න තියෙන අමාරුව බැලුවහම අනාගතයේදී එකවර ඩොලර් බිලියන 2.5ක් ගෙවන්න වූ විට වැටෙන අමාරුව හිතා ගන්නකෝ!

කොහොම වුනත්, යහපාලන ආණ්ඩුව විසින් මේ තරම් මුදලක් ස්වෛරිත්ව බැඳුම්කර හරහා හොයා ගත්තේ එය වැඩි අපහසුවක් නැතිව කළ හැකි වූ නිසා. එම කාලයේ ආණ්ඩුව විසින් පවත්වාගෙන ගිය සාපේක්ෂව යහපත් රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය හා විදේශ විණිමය ප්‍රතිපත්තිය නිසා ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර මිල දී ගන්න හිතන අයෙකුට එහි ලොකු අවදානමක් පෙනුනේ නැහැ. මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව සිදු කළ බේබි කැපිල්ලක් වූ බදු කැපිල්ල නිසා තත්ත්වය කණපිට හැරුණා. රටේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ ගියා. ජාත්‍යන්තර වෙළඳපොළ වෙත ගොස් ස්වෛරිත්ව බැඳුම්කර විකිණීමට තිබුණු හැකියාව නැති වී ගියා. වත්මන් අර්බුදය මතු වුනේ ඒ නිසා.

හැබැයි මේ ආණ්ඩුව කරන්නේ කිසිවක් නොදන්නා තොත්ත බබ්බු නෙමෙයි. සමහර විට ලංකාවේ දේශපාලන ධාරා අතරින් රාජ්‍යමූල්‍ය කළමනාකරණය පිළිබඳ වැඩිම අත්දැකීම් හා පළපුරුද්දක් තිබෙන පිරිස ඉන්නේ රාජපක්ෂලා එක්ක වෙන්න පුළුවන්. මේ පිරිස විසින් අනුගමනය කරන ප්‍රතිපත්ති දිගුකාලීනව රටට කොයි තරම් හිතකරද කියන එක ප්‍රශ්නයක් වුනත්, අඩු වශයෙන් තමන් ආණ්ඩු කරන කාලය තුළ රටේ ආර්ථිකයේ විශාල කඩා වැටීමක් දකින්න මේ ආණ්ඩුවට කිසිම උවමනාවක් නැහැ. තැත් වරද ක්‍රමයට අවදානම් තීරණ ගනිමින් සිටියත් ආණ්ඩුව විසින් කරන දේවල් කරන්නේ කිසියම් විශ්වාසයකින් යුතුවයි. ස්වෛරිත්ව බැඳුම්කර විකුණන්න බැරි වුනත් මොන දහංගැටයක් හරි දාලා අවශ්‍ය ඩොලර් ටික ණයට ගත හැකිය යන විශ්වාසයේ ආණ්ඩුව ඉන්නවා. 

සංචිත පහළ වැටීම හා ගෙවිය යුතු ණය ප්‍රමාණය අතේ තිබෙන සංචිත වලට වඩා වැඩි වීම ඒ හේතුව නිසාම ප්‍රශ්නයක් නෙමෙයි. 2015 වසර ආරම්භයේදී ඩොලර් මිලියන 8,208ක නිල සංචිත ප්‍රමාණයක් ලංකාව සතුව තිබුණා. වසර මුලදී ඇස්තමේන්තු කර තිබුණු, එම වසර තුළ ගෙවිය යුතු වූ ණය ප්‍රමාණය සහ වසර තුළ ගෙවූ බැරකම් ප්‍රතිලාභ ප්‍රමාණය ඩොලර් මිලියන 7,535ක්. එහෙත්, වසර අවසාන වෙද්දී සංචිත පහළ ගොස් තිබුනේ ඩොලර් මිලියන 905කින් පමණයි. ඉතිරි ඩොලර් ටික ආණ්ඩුව විසින් හොයා ගත්තා. හොයා ගත්තා කියන්නේ ඉතිං ණය තමයි. වසරේ ආදායම් හා වියදම් අතර වෙනසින්ද ඩොලර් මිලියන 173ක පොඩි ගාණක් ලැබුණා. 

යහපාලන ආණ්ඩුවේ දෙවන වසර වූ 2016 ආරම්භ වන විට ඉතිරිව තිබුණු සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 7,304යි. වසර තුළ ඩොලර් මිලියන 9,971ක් ගෙවිය යුතු වුනා. හැබැයි එහෙමයි කියලා ලංකාව බංකොලොත් වුනේ නැහැ. වසර තුළ අඩු වුනේ සංචිත වලින් ඩොලර් මිලියන 1,285ක් පමණයි.

ඊළඟ අවුරුද්ද පටන් ගනිද්දී අතේ තිබුණු සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,019ක් පමණයි. ඩොලර් මිලියන 8,887ක් ණය ගෙවන්න තිබුණා. හැබැයි වසර අවසන් වෙද්දී ඔය ණය සියල්ලත් ගෙවලා සංචිත වලට ඩොලර් මිලියන 1,940ක් එකතු කර ගන්න ආණ්ඩුවට පුළුවන් වුනා. ඒ නිසා, 2017 අවසන් වෙද්දී නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 7,959 දක්වා ඉහළ ගියා.

ඉන් පසුව එළඹුණු 2018 වසරේදී ඩොලර් මිලියන 8,712ක් රටින් එළියට ගියත් සංචිත පහල ගියේ ඩොලර් මිලියන 1,039කින් පමණයි. මේ විදිහටම, 2019 වසරේදීද ඩොලර් මිලියන 6,774ක් එළියට යද්දී සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 723කින් වැඩි වුනා. ඔය වසර පහම බැළුවහම ඩොලර් බිලියන හත අටක සංචිත ප්‍රමාණයක් අතේ තියාගෙන ඩොලර් බිලියන 42ක පමණ රෝලක් ගහලා තියෙනවා. අවුරුද්දකට ඩොලර් බිලියන 8ක් පමණ රෝල් කරලා තියෙනවා. තාවකාලිකව බිලියනයක් දෙකක් එහා මෙහා වුනත් සංචිත ටික එහෙම්මම තියෙනවා. 

මේ ආණ්ඩුව බලයට පත් වෙන කොට ඩොලර් මිලියන 7,632ක සංචිත ඉතිරි වී තිබුනා. වසර අවසන් වෙද්දී ඩොලර් මිලියන 1,978කින් සංචිත පහළ ගියා. ඒ, බැරකම් ප්‍රතිලාභ හැර, ඩොලර් මිලියන 1,084ක ජංගම ගිණුම් ශේෂයක් ඉතිරි වීමෙන්ද පසුවයි. ඒ කියන්නේ, ඩොලර් මිලියන 3,063ක ණය රෝල් කර ගන්න බැරි වුනා කියන එකයි. වසර තුළ ගෙවිය යුතු වූ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 5,818ක්. 2020 වසරේදී ආණ්ඩුවට හොයා ගන්න හැකි වී තිබෙන්නේ එයින් ඩොලර් මිලියන 2,755ක පමණ මුදලක් පමණයි. වසර තුළ සෘජු විදේශ ආයෝජන ලෙස ඩොලර් මිලියන 543ක් ඇවිත් තිබෙනවා. රජය ඩොලර් මිලියන 2,002ක ණය අරගෙන තිබෙනවා. ඉතිරි ඩොලර් මිලියන 210 වෙනත් විවිධ ක්‍රම වලින් රටට එන්න ඇති. 

කොහොම වුනත් මේ ගණන් දෙස බලා ආණ්ඩුව වැටී සිටි වලේ ගැඹුර මැන ගන්න පුළුවන්. ණය හෝ වෙනත් මූල්‍ය ප්‍රවාහ ලෙස රජයට 2020 වසර තුළ ලබා ගත හැකි වී තිබෙන්නේ ඩොලර් බිලියන 2.8කට නොවැඩි මුදලක් පමණයි. බිලියන 3.1ක් පමණම වියදම් කර තිබෙන්නේ සංචිත විකුණලා. මේ තත්වය යටතේ බොහෝ දෙනෙකු පහළ යන නිල සංචිත පිළිබඳව කනස්සළු වීම තේරුම් ගන්න අමාරු නැහැ. 2020 අවසන් වන විට තත්ත්වය මෙවැන්නක් වීනම්, 2021 වසරේදී වුනේ කුමක්ද?

තවමත් සම්පූර්ණ සංඛ්‍යාලේඛණ තියෙන්නේ 2021 පළමු මාස නවය සඳහා පමණයි. මේ කාලය තුළ සිදු වූ විශේෂ වෙනසක් වන්නේ ණය ගෙවීමට අමතරව එදිනෙදා වියදම් සඳහාද ණය වන තැනට නැවතත් රට වැටීමයි. 2015-2019 කාලයේදී මෙන්ම වසංගතයෙන් දරුණුවට බැට කෑ 2020දීත් එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. මේ තත්ත්වය තනිකරම වැරදි විදේශ විණිමය ප්‍රතිපත්තියේ ප්‍රශ්නයක්. 

ස්වාධීන, ධනවාදී ආර්ථික විද්‍යාඥයෙකු ලෝකය දෙස බලන්නේ ජාත්‍යන්තරවාදී ඇසකින්. කිසියම් ගනුදෙනුවක නිරපේක්ෂ කාර්යක්ෂමතාවය සැලකුවොත්, කාර්යක්ෂමතාවය ඉහළ යන්නේනම් ඒ ගනුදෙනුවෙහි වැඩි වාසිය යන්නේ කවර රටකටද කියන එක වැදගත් නැහැ. එහෙත්, කිසියම් රටක ජාතික ආර්ථික ප්‍රතිපත්තිය හදන ආර්ථික විද්‍යාඥයෙකුට එලෙස හිතන්න බැහැ. මෙහිදී අදාළ රටේ රජය නඩත්තු කිරීම සඳහා බදු ගෙවන ඒ රටේ මිනිස්සුන්ගේ ශුභ සිද්ධිය පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්න වෙනවා. පිටරැටියෙකුට පාඩුවක් වී රටවැසියෙකුට වාසියක් වන ඇතැම් අවස්ථා වලදී පෙර කී නිරපේක්ෂ කාර්යක්ෂමතාවය නොසලකා හැර රටට ලැබෙන සාපේක්ෂ වාසිය ගැන හිතන්න වෙනවා. ලෝකයේ කිසිදු රටක් වෙනත් රටවල වැසියන්ගේ ශුභ සිද්ධියට සමාන ප්‍රමුඛතාවයක් දී ආර්ථික ප්‍රතිපත්ති හදන්නේ නැහැ. 

මේ වගේ කාරණාවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි සංවිධානයක අපේක්ෂාවන් හා කිසියම් රටක ජාතික අපේක්ෂාවන් සමපාත නොවෙන්න පුළුවන්. එයින් කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි සංවිධාන කාගෙවත් අතකොළු කියන එක හෝ ලංකාවට කෙළින්න බලාගෙන ඉන්න බව නෙමෙයි. එහෙත්, එවැනි සංවිධානයකට ලංකාව කියන්නේ කිසිදු විශේෂත්වයක් නැති තවත් එක රටක් පමණයි. රටේ ජාතික ආර්ථික ප්‍රතිපත්ති හදන අයට එතැනින් ඔබ්බට යන දැක්මක් තිබිය යුතුයි.

ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් ජාත්‍යන්තරවාදීව නොසිතා රට ගැන හිතන එක කෙසේවත් නරක දෙයක් නෙමෙයි. නමුත් ප්‍රශ්නය දේශපාලන සටන් පාඨ ලෙස ඔය වගේ කතා කිවුවත්, ඇත්තටම එහි අනෙක් පැත්ත සිදු වීමයි. 

මම හිතන්නේ කියවන ගොඩක් අය මින්ට් රසැති පෝලෝ ලොසින්ජර කාලා තියෙනවා. අනූ ගණන් වලදී ඔය ලොසින්ජර වල මැද හිලක් තිබුණේ නැහැ. ලොසින්ජරය ටිකක් ලොකු ඩිස්ප්‍රින් පෙත්තක් නැත්නම් ඔරලෝසු බැටරියක් වගේ එකක්. දැන්නම් ඩිස්ප්‍රිනුත් භාවිතයෙන් අයින් වෙලානේ. ඔහොම තියෙද්දී ඔය බෙහෙත් පෙත්තක් වගේ පෝලෝ ලොසින්ජරය දැන් තිබෙන ඩෝනට් එහෙමත් නැත්නම් උළුදු වඩ හැඩයේ එකක් බවට වෙනස් වුනා. අසුරණය වෙනස් වුනේ නැහැ. මිල වෙනස් වුනෙත් නැහැ.

දැන් ඇත්තටම වුනේ කලින් තිබුණු පෝලෝ ලොසින්ජරය පොඩි වෙන එක. රවුම ඒ තරමටම තිබුණත් මැදින් කෑල්ලක් අයින් වෙලානේ. ඒ කියන්නේ පාරිභෝගිකයාට පාඩුවක් වෙලා තියෙන්නේ. හැබැයි ඔය ලොසින්ජර විකුණපු සමාගම විසින් කළේ "සිසිල ගලන මින්ට් සිදුර සමඟ" කියලා අර අඩුව අමතර වාසියක් විදිහට පෙන්වමින් මාකට් කරපු එක.

රාජපක්ෂලා මේ වැඩේට ඉතාම දක්ෂයි. ඔවුන්ගේ "සිදුරු" ගැන අනෙක් අය දැනුවත් වී හඬක් නගන්න හිතන කොට මේ ගොල්ලෝ සිදුර විකුණලා ගාණක් හොයා ගෙනත් ඉවරයි. ඇමරිකන් පුරවැසියන් විසින් ලොකු තනතුරු බොහොමයක් දරන ආණ්ඩුව බලයට එන්නේ ඇමරිකන් විරෝධය මාකට් කරලා ඡන්ද එකතු කරගෙන.

ආනයන පාලනයත් මේ වගේම වැඩක්. රටේ දේශීය නිෂ්පාදනය වැඩි වෙන බව මිනිස්සුන්ට පෙන්වනවා. මිනිස්සුත් එහෙම හිතනවා. හැබැයි වෙන්නේ අනෙක් පැත්ත. මේ ආණ්ඩුවේ වත්මන් ආර්ථික ප්‍රතිපත්ති නිසා දේශීය නිෂ්පාදනය වැඩි වෙනවා තමයි. හැබැයි ලංකාවේනම් නෙමෙයි. ඉන්දියාවේ හා චීනයේ. 

විණිමය පාලනයට පින් සිදු වෙන්න ලංකාවට භාණ්ඩ හා සේවා අපනයනය කරන රටවලට 2021 පළමු මාස නවය තුළ ලංකාව ඉපැයූ ඩොලර් ප්‍රමාණයට වඩා ඩොලර් 716ක භාණ්ඩ හා සේවා විකුණන්න පුළුවන් වුනා. මේ හේතුව නිසා, පෙර වසරේ ඉපැයූ ඩොලර් වලින් මිලියන 1,084ක් ණය පොලී ගෙවීම සඳහා ඉතිරි කර ගත් ලංකාවට ඒ ඉතිරිය නැති වුනා පමණක් නොව තවත් ඩොලර් 716ක් හොයන්න වුනා. ණය හා බැරකම් ප්‍රතිලාභ වෙනුවෙන් ගෙවන්න සිදු වූ ඩොලර් මිලියන 1,499ක් එක්ක පළමු මාස නවයේ ජංගම ගිණුමේ හිඟය ඩොලර් මිලියන 2,215 දක්වා ඉහළ ගියා. 

ඔය මාස නවය තුළ රටේ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,960කින් පහළ ගියා. එයින් ඩොලර් මිලියන 2,215ක්ම ජංගම ගිණුමේ හිඟය පියවන්න. ඉතිරි ඩොලර් මිලියන 745 ණය ගෙවන්න. හැබැයි ඔය කාලය තුළ ඩොලර් මිලියන 5,933ක ණය ගෙවලා තියෙනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 5,188ක්ම රෝල් කරගෙන තියෙනවා. තවත් විදිහකින් කිවුවොත් සංචිත වලින් ඩොලර් බිලියන 3.0ක් පමණ වියදම් කරද්දී තවත් ඩොලර් බිලියන 5.2ක් ණයටත් අරගෙන තියෙනවා.

ජනවාරි අවසන් වන විට ඉතිරිව තිබුණු නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,360.6ක්. ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේ තිබුණාටත් වඩා ඩොලර් මිලියන 343.6කින් අඩු වෙලා. 2021 සැප්තැම්බර් වලින් පසුව ගෙවුණු ඔය අන්තිම මාස හතර තුළ බොහෝ විට ඊට ආසන්න මුදලක් ඉපැයූ ඩොලර් වලට අමතරව ආනයන වෙනුවෙන් වෙන් කළා වෙන්න පුළුවන්. කොහොම වුනත්, ඔය මාස හතර ඇතුළත තවත් ඩොලර් මිලියන 1103.6ක් ණය හා පොලී ගෙවන්න වියදම් කරලා තියෙනවා.

මේ අනුව බැළුවහම 2021 ජනවාරි මුල සිට 2022 ජනවාරි අග දක්වා කාලය තුළ සංචිත වලින් ඩොලර් බිලියන 3.3ක් පමණ වියදම් කරන අතර තව ඩොලර් බිලියන 6.3ක් පමණ මොන විදිහකින් හෝ රෝල් කරගෙන තියෙනවා. මෙයින් ඩොලර් මිලියන 567ක් පසුගිය වසර තුළ සෘජු විදේශ ආයෝජන විදිහට ඇවිත් තියෙනවා. තවත් ඩොලර් මිලියන 2,418 ක් රජය විසින් ලබාගත් දිගුකාලීන ණය. එතකොට බිලියන තුනකට කිට්ටුයිනේ. IMF එකෙන් මිලියන 800ක් ලැබුණා. චීනයෙන් විණිමය හුවමාරු ගිවිසුම යටතේ ඩොලර් බිලියන 1.5ක පමණ යුවාන් ලැබුණා. ඉතිරි බිලියනය බංග්ලාදේශයෙන්, ඉන්දියාවෙන් එහෙම එකතු කරගත් ටික වෙන්න ඇති.

කොහොම හරි මට පෙන්වන්න අවශ්‍ය වැදගත්ම කරුණ ආණ්ඩුව IMF නොගොස් මොන විදිහෙන් හෝ රෝල ගහගෙන යනවා කියන එකයි. තවමත් IMF නොගිහින් ඉන්නේ රෝල ගහගෙන යන්න පුළුවන් නිසා. 2021 ජනවාරි අවසානයේ සිට වසරේ අවසන් මාස 11 තුළ ගෙවිය යුතු ණය පිළිබඳ මහ බැංකුවේ ඇස්තමේන්තු මෙහෙමයි.

ණය වාරික - ඩොලර් මිලියන 4,499යි.

පොලී ගෙවීම් - ඩොලර් මිලියන 1,242යි.

විකුණා ඇති අතේ නැති ඩොලර් - මිලියන 1998යි.

එකතුව ඩොලර් මිලියන 7,739යි.

ඔයිට අමතරව මේ අවුරුද්ද තුළ ණයට කන කොටසකුත් එකතු වෙනවනේ. ඒ නිසා, මේ ගණන ඩොලර් බිලියන 8 පන්නනවා. අතේ තියෙන්නේ ඩොලර් බිලියන 2.3ක් පමණයි. තව ඩොලර් බිලියන 5.7ක් පමණවත් මේ අවුරුද්ද තුළ හොයා ගන්න වෙනවා. 

මේක අමාරු වැඩක්. හැබැයි බැරි වැඩක් නෙමෙයි. ගිය අවුරුද්දෙත් ඔය ගාණට කිට්ටු ගාණක් හොයා ගෙන තියෙනවා. වැඩේ නූලෙන් ගැස්සෙන්න බැරි නැහැ. එහෙම වෙන්න යන බව පෙනුනොත් ආණ්ඩුව IMF යයි. මේ අවුරුද්දේ ඔයිට වඩා අමුතු දෙයක් සිදු වෙන එකක් නැහැ. 

හැබැයි මෙතැන තවත් දෙයක් වෙනවා. යහපාලන ආණ්ඩුව කාලයේ කලින් තිබුණු ණය වෙනුවට ස්වෛරිත්ව බැඳුම්කර ණය ආදේශ වුනා. දැන් ස්වෛරිත්ව බැඳුම්කර ණය වෙනුවට චීන හා ඉන්දියානු ණය ආදේශ වෙනවා. මේවා ඉතාම කෙටිකාලීන ණය. ඔය ණය ගෙවන්න කිසිම ක්‍රමයක් නැති බව දැන් පැහැදිලි ඇතිනේ. ඒ කියන්නේ ණය කල් පිරෙද්දී නැවත අලුත් කරන්න වෙනවා. එහෙම කරන්නනම් ඔය රටවල් දිගටම හොඳින් තියා ගන්න වෙනවා. විශේෂයෙන්ම ඉන්දියාව. චීනයට වැඩිපුර තියෙන්නේ ආර්ථික අරමුණු වුනත් ඉන්දියාව එහෙමම නැහැනේ. 

ඉන්දියාව මේ වෙලාවේ නූල අත ඇරියොත් චීනය ලංකාව බේරා ගන්න එයි කියා හිතන්න අමාරුයි. එහෙම කරන බවක් පේන්න තිබුණේ නැහැ. හැබැයි චීනය ලංකාව අත ඇරියොත් ඉන්දියාව ඒ කොටසටත් කරගහන්න ඉඩ තියෙනවා. දැන් ඉන්දියාවට එසේ කරන්න අවශ්‍ය ශක්තිය තියෙනවා.

Tuesday, February 15, 2022

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (හයවන කොටස)

පසුගිය ලිපියෙහි සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා දුන් පරිදි, 2015ට පෙර අතීතයේ සිදුව ඇති වැරදි හෝ අඩුපාඩු පැත්තකින් තබා 2015 සිට 2020 දක්වා කාලය දෙස හැරී බැලුවොත්, අදාළ පස් වසර තුළ ශ්‍රී ලාංකිකයන් විසින් භාණ්ඩ හා සේවා පරිභෝජනය වෙනුවෙන් වැය කළ ඩොලර් ප්‍රමාණය එම කාලය තුළම භාණ්ඩ හා සේවා අපනයනය කිරීමෙන් හෝ ශ්‍රමික ප්‍රේෂණ ලෙස රටට ලැබී තිබෙනවා. ඊට අමතරවද සාමාන්‍ය වශයෙන් වසරකට ඩොලර් බිලියනය ඉක්මවන මුදලක් ලැබී තිබෙනවා.    

කෙසේ වුවත්, ශ්‍රී ලාංකිකයින්ට ඩොලර් අවශ්‍ය වන්නේ භාණ්ඩ හා සේවා පරිභෝජනය සඳහා පමණක් නෙමෙයි. වසරකට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් ශ්‍රී ලාංකිකයින් විසින් ඩොලර් ලෙසම රටින් එළියට යවනවා (මෙහිදී ඩොලර් යන්නෙන් මා අදහස් කරන්නේ ඩොලර් ඇතුළු සියළුම විදේශ විණිමය). මෙයින් විශාල කොටසක් යැවෙන්නේ විදෙස්ගතව ඉගෙනුම ලබන දරුවන්ගේ නඩත්තුව පිණිස විය හැකියි. එය වෙනම විස්තරාත්මකව කතා කළ යුතු ප්‍රශ්නයක්.

පසුගිය ලිපිය සමඟ පළ කළ, පහත නැවත පළ කෙරෙන, වගුවෙහි පෞද්ගලික ප්‍රේෂණ ලෙස පෙන්වා දී තිබෙන්නේ එම කොටසයි.


ඉහත වගුවෙහි අනෙකුත් ලැබීම් (ශුද්ධ) ලෙස පෙන්වා තිබෙන සාපේක්ෂව කුඩා මුදලක්ද තිබෙනවා. එයට ඇතුළත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ ආයෝජන, විශේෂයෙන්ම නිල සංචිත, වෙනුවෙන් ලැබෙන පොලී ආදායමට ශ්‍රී ලාංකිකයින් විසින් ලංකාවේ සිට විදේශ සමාගම් හෝ ආයතන වලින් ලබා ගන්නා වැටුප් හෝ විශ්‍රාම වැටුප් එකතු කර ලංකාවේ සිටින ලංකාව වෙනුවෙන් සේවය කරන විදේශිකයන් වෙනුවෙන් ගෙවන වැටුප් අඩු කිරීමෙන් පසු ඉතිරි වන මුදලයි. මේ කොටස්ද එකතු කර පෞද්ගලික ප්‍රේෂණ කොටස අඩු කළ විට ලැබෙන්නේ රටේ බැරකම් වෙනුවෙන් ගෙවන ප්‍රතිලාභ හැර ජංගම ගිණුමේ ශේෂයයි.

රටේ බැරකම් වෙනුවෙන් ගෙවන ප්‍රතිලාභ හැර ජංගම ගිණුමේ ශේෂය 2018 වසරේදී පමණක් යම් තරමකින් සෘණ පැත්තට ගොස් ඇතත් 2015-2020 අතර අනෙකුත් හැම වසරකදීම එය ධන අගයක්. මෙයින් පැහැදිලිව පෙනෙන්නේ ගොඩ ගැසී තිබෙන විදේශ බැරකම් වෙනුවෙන් ප්‍රතිලාභ ගෙවීමට අවශ්‍ය නොවුනානම් ශ්‍රී ලාංකිකයින් විසින් උපයන ඩොලර් ප්‍රමාණය ඔවුන්ගේ අවශ්‍යතා සඳහා හොඳටම ප්‍රමාණවත් බවයි.

කෙසේ වුවත්, විදේශ බැරකම් වෙනුවෙන් ගෙවිය යුතු ප්‍රතිලාභ නොගෙවා සිටිය නොහැකියි. ඒ කොටස එකතු කළ විට ලංකාවේ ජංගම ගිණුමෙහි වසරකට ඩොලර් බිලියන 2ක පමණ හිඟයක් ඇති වෙනවා. ඒ මුදල ආයෝජන හෝ ණය ලෙස රටට පැමිණිය යුතුයි. එසේ නොපැමිණෙන්නේනම් සංචිත පහළ යා යුතුයි. වසර තුළ පරිභෝජන වියදම් සඳහා අවශ්‍ය වූ ඩොලර් ප්‍රමාණය ණයට නොගත්තත්, 2015-2019 අතර කාලය තුළදීද විදේශ බැරකම් වෙනුවෙන් ගෙවිය යුතු ප්‍රතිලාභ වලින් වැඩි කොටසක් ආපසු ගෙවා තිබෙන්නේ ණය අරගෙනයි. 

හරියටම ගණන් කියනවානම් විදේශ බැරකම් වෙනුවෙන් ගෙවිය යුතු ප්‍රතිලාභ ලෙස ඉහත වසර පහ තුළ ඩොලර් මිලියන 11,834ක් ගෙවා තිබෙනවා. එම වසර පහ තුළ, ඩොලර් මිලියන 1,267ක් ඉපැයූ ආදායම් වලින් ඉතිරි කර ගෙන තිබෙනවා. ඔය කාලය තුළ රටේ නිල සංචිත ඩොලර් මිලියන 566කින් අඩු වී ඇතත්, අනෙකුත් සංචිත ඊට වඩා වැඩියෙන් ඉහළ ගොස් ඇති නිසා, සමස්තයක් ලෙස රටේ සංචිත ප්‍රමාණය ඩොලර් 9,884 සිට ඩොලර් මිලියන 10,402 දක්වා ඩොලර් මිලියන 518කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ ඉතිරි කරගත් ඩොලර් වලින් මිලියන 750ක් විදේශ බැරකම් වෙනුවෙන් ප්‍රතිලාභ ගෙවීමට වැය වී තිබෙනවා. ඉතිරි ඩොලර් මිලියන 11,084 ගෙවා තිබෙන්නේ ණය වෙලා. 

ඉහත වසර පහ තුළ නූපයූ ඩොලර් වියදම් නොකළත් රටේ විදේශ ණය ඩොලර් බිලියන 11කටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගියේ ඔය හේතුව නිසයි. මේ විදිහට රටේ බැරකම් ඉහළ යද්දී, ඒ වෙනුවෙන් ගෙවිය යුතු ප්‍රතිලාභද සමානුපාතිකව මෙන් ඉහළ යනවා. 2019 වන විට මෙම මුදල ඩොලර් මිලියන 2,583ක්.

කෝවිඩ් වසංගතය නිසා ඔය ආකෘතියේ විශාල වෙනසක් වුනේ නැහැ. 2020 වසරේදී විදේශ බැරකම් හැර ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,084ක අතිරික්තයක් තිබුණා. ඇතැම් විට එය වසරක් තුළ ඉතිරි කරගත් වැඩිම ඩොලර් ප්‍රමාණය විය හැකියි. වාහන ආනයනය පාලනය කිරීම මේ අතිරික්තය මේ තරම් ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වෙන්න ඇති. කෙසේ වුවත්, එවැනි පාලනයක් නොතිබියද මෙය අතිරික්තයක් මිස හිඟයක් වීමේ ඉඩක් නැහැ. 

රටේ විදේශ බැරකම් ඉහළ යද්දී ඒ වෙනුවෙන් ගෙවිය යුතු ප්‍රතිලාභද සමානුපාතිකව ඉහළ යන බව අපි දැන් දන්නවනේ. කෙසේ වුවත්, බැරකම් ඉහළ යාමේ ප්‍රශ්නය මෙසේ ගෙවිය යුතු ප්‍රතිලාභද ටිකෙන් ටික ඉහළ යාම පමණක් නෙමෙයි. බැරකම් වලින් කොටසක්ද වාර්ෂිකව ආපසු ගෙවිය යුතුයි. සරලව කිවුවොත් හැම වසරකම තිබෙන ණය වල ණය වාරික ගෙවිය යුතුයි.

ජංගම ගිණුමේ හිඟයක් තිබෙනවා කියන්නේ ඒ හිඟය පියවන්නත් ණය ගන්න වෙනවා කියන එකනේ. එහෙම තියෙද්දී ණය වාරික ගෙවන්න පුළුවන් එකම ක්‍රමය තවත් ණය ගැනීම පමණයි. ඒ කියන්නේ පරණ ණය වෙනුවෙන් පොලී ගෙවන්න වසරකට ඩොලර් බිලියන දෙකකට වඩා ණය ගන්න වෙනවා වගේම ඒ ණය වල වාරික ගෙවන්නත් ණය ගන්න වෙනවා. ණය ඉහළ යද්දී මේ වාරික ගෙවීම් ප්‍රමාණයද ඉහළ යනවා. 2020දී ලංකාවට මුහුණ දෙන්න සිදු වූ ප්‍රශ්නය මේ සඳහා ණය ගැනීම අපහසු වීමයි.

දිගින් දිගටම ජංගම ගිණුමේ තිබුණු හිඟය පියවුනේ මූල්‍ය ගිණුමේ අතිරික්තයෙන්. ජංගම ගිණුමේ අතිරික්තයක් තිබෙනවානම් එයින් කියැවෙන්නේ විදේශ වැය ඉක්මවා විදේශ ආදායම් ලැබී තිබෙන බවයි. එය හොඳ දෙයක්. එහෙත්, මූල්‍ය ගිණුමේ අතිරික්තයක් යන්නෙන් අදහස් වන්නේ තවත් රටේ විදේශ බැරකම් තවත් ඉහළ ගොස් ඇති බවයි. කෙටිකාලීනව මෙය සතුටට කාරණයක් වෙන්න පුළුවන්. මොන විදිහෙන් හෝ ඩොලර් ඇවිත්නේ. හැබැයි මූල්‍ය ගිණුමට එන ඩොලර් කවදා හෝ පොලියත් එක්ක ආපහු ගෙවන්න වෙනවා. 2020 අර්බුදය ජංගම ගිණුමේ අර්බුදයක් නෙමෙයි. මූල්‍ය ගිණුමේ අර්බුදයක්.

විදේශ බැරකම් සඳහා ගෙවිය යුතු ප්‍රතිලාභ යන්නේ ජංගම ගිණුමෙන් වුවත්, ආපසු ගෙවන ණය හෝ වාරික අඩු වෙන්නේ මූල්‍ය ගිණුමෙන්. 2020 දක්වාම මෙසේ මූල්‍ය ගිණුමෙන් අඩු වී රටින් එළියට ගිය ඩොලර් ප්‍රමාණයට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් මූල්‍ය ගිණුම හරහා රටට ආ නිසා ඒ ඩොලර් වලින් ජංගම ගිණුමේ හිඟයද පියවා ගත හැකි වුනා. ඒ කියන්නේ එළියට යනවාට වඩා ඩොලර් බිලියන දෙකක් පමණවත් මූල්‍ය ගිණුම හරහා රටට ආවා. එහෙත්, 2020දී ගිය ප්‍රමාණවත් නැවත එකතු කරගන්න බැරි වුනා. 

මෙතෙක් කලක් ජංගම ගිණුමේ හිඟය පියැවුයේ මූල්‍ය ගිණුමේ අතිරික්තයෙන්. දැන් මූල්‍ය ගිණුමේත් හිඟයක්. පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක් ඇති නැති ගාණය! 

ජංගම ගිනුමේත් හිඟයක්නම්, මූල්‍ය ගිණුමේත් හිඟයක්නම්, ඔය ඩොලර් ටික එන්න ක්‍රමයක් තියෙන්නත් ඕනෑනේ. මොකද ඩොලර් මහ පොළොවෙන් මතු වෙන්නේ නැහැ. මේ ඩොලර් ටික ආවේ සංචිත වලින්. 2020 වසරේදී රටේ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 10,402 සිට ඩොලර් මිලියන 8,521 දක්වා ඩොලර් මිලියන 1,881කින් අඩු වුනා. මෙයින් ඩොලර් මිලියන 1,084ක් ජංගම ගිණුමේ හිඟය. ඉතිරි ඩොලර් මිලියන 797 මූල්‍ය ගිණුමේ හිඟය. 

මේ විදිහට මූල්‍ය ගිණුමේ හිඟයක් ඇති වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ රටේ විදේශ බැරකම් යම් තරමකින් අඩු වෙනවා කියන එක. එහිදී විදේශ බැරකම් වෙනුවෙන් ගෙවිය යුතු ප්‍රතිලාභද අඩු වෙනවා. නමුත්, මෙතැන තිබෙන ප්‍රශ්නය බැරකම් අඩු වුනාට වඩා වැඩියෙන් වත්කම් අඩු වී තිබීමයි. ඒ නිසා, ශුද්ධ වශයෙන් සිදු වී තිබෙන්නේ විදේශ බැරකම් තවත් ඉහළ යාමක්. 

මේ කතා කළේ 2020 අවසාන වන විට තිබුණු තත්ත්වය. 2021 ගැන ඉදිරි කොටසින් කතා කරමු.

Monday, February 14, 2022

කෙට්ටු වෙන ඩොලරය හා හෙට්ටු නොවෙන රුපියල

වසංගතය හමුවේ පසු ගිය දෙවසර තුළ ඇමරිකන් ආණ්ඩුව කිහිප වරක්ම ඇමරිකානුවන්ට සල්ලි බෙදුවා. ඒ බෙදුවේ, ජනාධිපති බයිඩන් ගෙදරින් ගෙනාපු සල්ලි නෙමෙයි. එයින් සැලකිය යුතු කොටසක් අච්චු ගහපු සල්ලි. සල්ලි අච්චු ගැසීමේ අනිවාර්ය ප්‍රතිඵලය සල්ලි බාල්දු වීම. රුපියලද ඩොලරයද කියා ඒකේ වෙනසක් නැහැ.

පසුගිය ජනවාරි මාසය වෙද්දී ඇමරිකාවේ උද්ධමනය 7.5%ට නැග්ගා. මෙය අවුරුදු හතළිහකින් ඇමරිකාවේ වාර්තා වූ ඉහළම උද්ධමනය. මෙයින් අදහස් වන්නේ වසරක් ඇතුළත ඩොලරය 7.5%කින් බාල්දු වී ඇති බවයි.

ඩොලරය මේ විදිහට බාල්දු වෙද්දී අනෙක් මුදල් ඒකක වලින් ඩොලරයක මිල පහළ යා යුතුයි. හැබැයි අනෙක් මුදල් ඒකක ඊටත් වඩා බාල්දු වෙලානම් එහෙම වෙන්නේ නැහැ. ඇමරිකාවේ ඉහළ උද්ධමනය හමුවේ ගොඩක් රටවල් පරාද වී ඇතත්, ලංකාවනම් සෙකන්ඩ් වෙලා නැහැ. ජනවාරි මාසයේ ලංකාවේ උද්ධමනය 14.2% දක්වාම ඉහළ ගියානේ. ඩොලරය 7.5%කින් කෙට්ටු වෙද්දී රුපියල 14.2%කින්ම කෙට්ටු වෙලා. කෙට්ටු ඩොලරය එක්ක දුවලා වුවත්, රුපියල ගිහින් තියෙන්නේ තවත් පස්සටයි.

හැබැයි කෙට්ටු වෙන ඩොලරය එක්ක රුපියල හරියට හෙට්ටු වෙන්නේ නැහැ. රුපියල තාම ඉන්නේ ඇඟේ තරමට වඩා ලොකු ඇඳුමක් ඇඳගෙන. මේ ඇඳුම නඩත්තු කරන්න ලංකාවට ලොකු වියදමක් යනවා. ආණ්ඩුව ණයට කමින් ඇඳුම නඩත්තු කරනවා.

හැපී වැලන්ටයින්!




Sunday, February 13, 2022

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (පස්වන කොටස)

විණිමය අනුපාතය නිදහසේ තීරණය වෙනවානම් ආනයන වෙනුවෙන් කොයි තරම් විදේශ විණිමය වැය කළත් රටකට ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ. මොකද ආනයන ඉල්ලුමට සරිලන ඩොලර් සැපයුමක් නැත්නම් ඩොලරයේ මිල ඉහළ යනවා. එවිට, ආනයන ස්වභාවිකවම සීමා වෙනවා. 2001දී විණිමය අනුපාතය පාවෙන්න ඉඩ දීමෙන් පසුව, 2001-2003 කාලයේදීත්, ඉන් පසුව 2015-2019 කාලයේදීත් භාණ්ඩ හා සේවා ආනයන වෙනුවෙන් ලංකාව වැය කළ හැම ඩොලරයක්ම භාණ්ඩ හා සේවා අපනයන ආදායම් ලෙස හෝ ශ්‍රමික ප්‍රේෂණ ලෙස රටට පැමිණි ඩොලර්. 

රාජපක්ෂ දශකය තුළ ලංකාවේ විදේශ බැරකම් ඉතා විශාල ලෙස ඉහළ යාමට හේතු වුනේ ණයට ගත් ඩොලර් වලින් විණිමය අනුපාතය පාලනය කිරීමයි. මෙහිදී විණිමය අනුපාතය පාලනය කිරීම තුළ ණයට ගත් ඩොලර් වලට අමතරව තවත් ඩොලර් රටට ආවා. ඒ ඩොලර් නිසා විණිමය අනුපාතය තව දුරටත් පහළ ගියා. තව තවත් ඩොලර් ණය ලෙස රටට ආවා. ණය ඉහළ ගියා.

එහෙමනම් 2015-2019 අතර කාලයේදීත් ඩොලර් ප්‍රශ්න මතු වුනේ කොහොමද? 

භාණ්ඩ හා සේවා ආනයන වෙනුවෙන් අවශ්‍ය වූ ඩොලර් ප්‍රමාණය රටට ආවත්, 2015 වන විට එකතු වී තිබුණු විදේශ ණය වල වාරික ගෙවීමට හා පොලී ගෙවීමට තවත් ඩොලර් අවශ්‍ය වුනා. විණිමය අනුපාතය තවත් ඉහළ යාමට ඉඩ දුන්නානම් පරණ ණය වල පොලී ගෙවන්න අවශ්‍ය ඩොලර් වුවත් මිල දී ගන්න තිබුණා. එහෙත්, යහපාලන ආණ්ඩුව එසේ කළේ නැහැ. මම හිතන්නේ පැවති දේශපාලන වාතාවරණය එයට හේතු වෙන්න ඇති. එයට අමතරව එසේ කිරීමේදී මතුවන සාධාරණත්වය පිළිබඳ ගැටළුවක් ඇතුළු වෙනත් අතුරු ප්‍රශ්නද තිබෙනවා. 

කෝවිඩ් වසංගතය හා ආණ්ඩුවේ අසාර්ථක කෝවිඩ් මර්දන ක්‍රියාමාර්ග නිසා ආර්ථිකයට සිදු වූ හානිය හමුවේ වුවත් 2020 වසරේදීද මේ තත්ත්වය එළෙසම තිබුණා. එම වසරේදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 10,047කුත්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 3,035කුත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 7,104කුත් රටට ආවා. එකතුව ඩොලර් මිලියන 20,186ක්. භාණ්ඩ හා සේවා ආනයන වෙනුවෙන් රටින් පිටට ගියේ ඩොලර් මිලියන 18,271ක් පමණයි. වාහන ආනයනය පාලනය කිරීම නිසා ඩොලර් මිලියන 500කින් හෝ 600කින් පමණ ආනයන වියදම් අඩු වූ සේ සැලකුවත්, ආනයන පාලනයක් නැති තත්ත්වයක් යටතේ ආනයන වියදම් සඳහා අවශ්‍ය විය හැකිව තිබුණු මුළු ඩොලර් ප්‍රමාණයම රටට ඇවිත්. 

කෝවිඩ් නිසා රටේ ඩොලර් හිඟයක් ඇති නොවූ බව ඉහත සංඛ්‍යාලේඛණ දෙස බැලූ විට ඉතාම පැහැදිලියි. ඩොලර් මදි වුනේ ණය වාරික හා පොලී ආපසු ගෙවන්නයි. ඒ ණය 2004-2014 කාලයේ හෝ ඊටත් පෙර කාලයක ගත් ණය. කෙසේ වුවත්, 2021 වසරේදී විණිමය අනුපාතය පාලනය කිරීමට පටන් ගැනීම නිසා, දැඩි ආනයන පාලනය හමුවේ වුවත්, 2004-2014 කාලයේදී මෙන්ම, භාණ්ඩ හා සේවා ආනයන වියදම, භාණ්ඩ හා සේවා අපනයන වලින් හා ශ්‍රමික ප්‍රේෂණ වලින් ඉපැයූ මුදල ඉක්මවා තිබෙනවා. 

පසුගිය 2021 වසර තුළ ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 20,637ක් වැය වී තිබෙනවා. සේවා ආනයන වෙනුවෙන් වැය වූ මුදලද මෙයට එකතු කළ විට එකතුව ඩොලර් මිලියන 24,000 ඉක්මවනවා විය හැකියි. මහ බැංකු අධිපති කබ්රාල් විසින් විමසන්නේ රටේ ඩොලර් නැත්නම් මෙපමණ මුදලක් වියදම් කළේ කොහොමද කියලයි. මේ කතාව බොරුවක්ම නෙමෙයි. 

ඇතැම් විපක්ෂ දේශපාලනඥයින් විසින් රටේ ඉතිරිව තිබෙන නිල සංචිත ප්‍රමාණය අනාගත ආනයන වියදම් සමඟ සසඳමින් ආනයන සඳහා ඩොලර් නැති වන දවස ගණන් හදනවා. එහෙත්, සෑම මසකම භාණ්ඩ හා සේවා අපනයන ආදායම් ලෙසත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙසත් රටට ඩොලර් එනවා. ඒ නිසා, සංචිත පහළට වැටී තිබීම ඒ හේතුව නිසාම ප්‍රශ්නයක් වන්නේ නැහැ. කබ්රාල් කියන්නේ මේ කතාවයි. 

සෑම මසකම රටට කොහොමටත් ඩොලර් යම් ප්‍රමාණයක් පැමිණෙන නිසා වියදමට ඩොලර් මදිනම් ආනයන පාලනය හරහා රටට එන ඩොලර් රටින් යන එක සීමා කළ විට ප්‍රශ්නය විසඳෙන බව කබ්රාල්ගේ ප්‍රකාශය තුළ ගැබ්ව තිබෙන අදහසයි. ඇතැම් වාමාංශික ආර්ථික විද්‍යාඥයින් මේ අදහසෙහි සෘජු ප්‍රකාශකයින් වී සිටිනවා. උදාහරණයක් ලෙස රටට එන්නේ ඩොලර් මිලියන 20,000ක් පමණක්නම්, ආනයන සීමා කර රටින් පිටට යන ඩොලර් ප්‍රමාණයද ඒ මට්ටමටම සීමා කර ගත් විට සංචිත නැතිකම තව දුරටත් ප්‍රශ්නයක් වන්නේ නැහැ.

මේ විසඳුම තුළ නොදකින දෙය හෝ නොකියන දෙය වන්නේ විණිමය අනුපාතය වෙනස් වන්නට ඉඩ නොදී රට තුළ මුදල් සැපයුම වැඩි කරද්දී රටට එන ඩොලර් ක්‍රමයෙන් අඩු විය හැකි බවයි. ඒ වගේම, ආනයන පාලනය කළද ආනයන ඉල්ලුම ඉහළ යාම නිසා අවසාන වශයෙන් ඩොලර් රටින් යාම වැළැක්වීම අසීරු බවයි. 2021 සංඛ්‍යාලේඛණ වලින් මේ කරුණ තහවුරු කරනවා.

පසුගිය වසරේ රටට ආ සහ රටින් ගිය ඩොලර් ප්‍රමාණ පිළිබඳ සම්පූර්ණ දත්ත තිබෙන්නේ සැප්තැම්බර් අවසානය දක්වා පමණයි. එම නව මස තුළ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 8,934ක්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 1,833ක් හා ශ්‍රමික ප්‍රේෂණ හරහා තවත් ඩොලර් මිලියන 4,577ක් ලෙස ඩොලර් මිලියන 15,345ක් රටට ලැබී තිබෙනවා. ඒ අතර, දැඩි ආනයන පාලන හමුවේ වුවද, භාණ්ඩ ආනයනය වෙනුවෙන් ඩොලර් 15,885ක් රටින් එළියට ගොස් තිබෙනවා. මේ අයුරින්, රටවැසියන් විසින් නූපයූ ඩොලර් වියදම් කිරීම 2015 වසරේ සිට 2020 වසර දක්වාම සිදු නොවූ දෙයක්. 

මුළු වසරම සැලකූ විට, භාණ්ඩ අපනයනයෙන් ඩොලර් 12,502ක් හා ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 5,491ක් ලෙස, සේවා අපනයන ආදායම් හැර, ඩොලර් මිලියන 17,993ක් රටට පැමිණ ඇති අතර භාණ්ඩ අපනයනය වෙනුවෙන් පමණක් ඩොලර් මිලියන 20,637ක් රටින් එළියට ගොස් තිබෙනවා. මේ අනුව, ඩොලර් මිලියන 2,644ක හිඟයක් තිබෙනවා. පළමු මාස නවය තුළ සේවා ගිණුමෙහි ඩොලර් මිලියන 886ක අතිරික්තයක් තිබීම සැලකූ විට වසර අවසාන වන විට මේ හිඟය පියවිය හැකි තරමේ අතිරික්තයක් සේවා ගිණුමෙන් ලැබෙන්න ඉඩක් නැහැ. සමානුපාතිකව සලකා එහි ඩොලර් මිලියන 1,181ක අතිරික්තයක් තිබුණේයැයි සැලකුවොත් තවත් ඩොලර් මිලියන 1,463ක හිඟයක් තිබෙනවා. වසර අවසානයේ සංචාරක කර්මාන්තයේ යම් පිබිදීමක් ඇති වූ නිසා මෙය මීට වඩා තරමක් අඩු විය හැකියි.

අධිපති කබ්රාල් කියන විදිහටම ආනයන වියදම් හා ණය ගෙවීම සඳහා යොදා ගත හැක්කේ දැනට රටේ තිබෙන සංචිත පමණක් නෙමෙයි. කවුරු හෝ එහෙම කියනවානම් එය විහිළු කතාවක් තමයි. සෑම මසකම රටට එන ඩොලර් ආනයන වෙනුවෙන් වගේම පරණ ණය ගෙවන්නත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. 2015-2020 අතර කාලයේදී ලංකාවේ රටවැසියන් විසින් "පරිභෝජනය කළ" ඩොලර් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන් විසින් රටට ගෙනාවා. ඒ නිසා, පරිභෝජන වියදම් වෙනුවෙන් ණය ගන්න හෝ සංචිත වැය කරන්න කිසිසේත්ම අවශ්‍ය වුනේ නැහැ. එසේ තිබියදීත් රටේ ඩොලර් හිඟයක් ඇති වුනේ 2015ට පෙර ලබාගත් ණය වල පොලී හා වාරික ගෙවන්න 2015-2020 කාලයේ රටවැසියන් විසින් ඉපැයූ ඩොලර් වලින් පරිභෝජන වියදම් වලින් පසු ඉතිරි වූ කොටස ප්‍රමාණවත් නොවූ නිසයි.

දැන්, 2021දී, නැවතත් පරිභෝජන වියදම් වෙනුවෙන් ණය ගන්න තැනට රට වැටී තිබෙනවා. එයට හේතුව අලුත් විදේශ විණිමය ප්‍රතිපත්තියයි. රටවැසියන් විසින් උපයන ඩොලර් ප්‍රමාණයට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් ආනයන වෙනුවෙන් රටෙන් එළියට යනවා කියන්නේ විදේශ ණය නොගන්නේනම් සංචිත වැය කරන්න වෙනවා කියන එකයි. සංචිත පහළ බැසීම ප්‍රශ්නයක් වන්නේ මේ සන්දර්භය තුළයි. දැඩි ආනයන පාලන රෙගුලාසි හමුවේ වුවද ආනයන වියදම් ඉහළ ගොස් තිබීමෙන් පෙනෙන්නේ මිල (විණිමය අනුපාතය) ඉහළ දමා ආනයන ඉල්ලුම අඩු නොකර පැලැස්තර අලවන්න යාම සාර්ථක වී නැති බවයි.

විණිමය අනුපාතය පාලනය කිරීම නිසා සිදුව තිබෙන්නේ එකක් කඩතොළු මකා ගන්නට ගොස් දෙකක් කඩතොළු හදාගත් ඉඳුරුවේ ආචාරියට වූ දෙයයි. ගත් ණය හා වාරික ගෙවන්නට විදේශ විණිමය නැතිව රට අර්බුදයට ගොස් තිබියදී දැන් සිදුව ඇත්තේ එදිනෙදා පරිභෝජන වියදම් වෙනුවෙන්ද විදේශ විණිමය සොයන්නට සිදු වන තත්ත්වයක් ඇති වී තිබීමයි. 

බොහෝ විට මේ වසරේ මැද භාගය වෙද්දී කෝවිඩ් වසංගතය අවසන් වෙයි. එයින් අදහස් වන්නේ කෝවිඩ් ලෝකයෙන් තුරන් වන බව නෙමෙයි. බටහිර රටවල කටයුතු බොහෝ දුරට සාමාන්‍ය තත්ත්වයට පත් වෙයි. ඒ එක්කම ලංකාවට නැවතත් සංචාරකයින් පැමිණීම ඉහළ ගොස් සේවා ගිණුමේ අතිරික්තය ඉහළ යයි. එහෙත්, එසේ වූ පමණින්, පවතින විණිමය අනුපාතය පවත්වා ගනිමින් ලංකාවට මේ අර්බුදයෙන් ගොඩ යාමේ හැකියාවක් නැහැ. 

Saturday, February 12, 2022

පානදුරා වාදය


පානදුර නගර නාමයේ සම්භවය ගැන අදහසක් ඉදිරිපත් කරන නලින් ද සිල්වා විසින් එම නගර නාමය පාණ්තුරෙයි යන දෙමළ නමෙහි විකාශනයක්යැයි අදහසක් ඉදිරිපත් කරනවා. ඒ එක්කම පානදුරට දකුණෙන් පිහිටි "නල්ලූරුවට හා පාණදුරේට එක් කලෙක දෙමළ කතා කරන ජනයා පැමිණ ඇති බවත් ඔවුන් එහි බහුතරයක් වී ඇති බවත්" ඔහු කියනවා.

මේ වගේ ප්‍රකාශ වලින් නලින් ද සිල්වාගේ ජාතිකවාදය හා වෙනත් ඇතැම් අයගේ ජාතිකවාද අතර වෙනස පැහැදිලිව ලකුණු කෙරෙනවා. නලින් ද සිල්වාගේ ජාතිකවාදය සංස්කෘතිය මත පදනම් වූවක් මිසක් ජාන මත පදනම් වූවක් නෙමෙයි. ඒ නිසා, ඔහුට මේ වගේ අදහස් සංස්කරණය කර බයක් නැතිව එළියට දමන්න පුළුවන්කම තිබෙනවා. ඔහු කියන විදිහට මෙය ඔහු දන්නා තරමින් පොතක පතක තියෙන හෝ ඔහු විසින් අසා ඇතිි දෙයක් නොවෙයි. 

කාලයක සිටම ටැමිල්නෙට් වෙබ් අඩවියේ ලංකාවේ ග්‍රාම නාම වල නිරුක්ති පිළිබඳ පැහැදිලි කිරීම් කෙරුණා. දැන් බොහෝ දෙනෙකුට අමතකව ගොස් ඇතත්, මේ වෙබ් අඩවිය යුද්ධය නිමා වීමට පෙර අප දිනපතාම වාගේ පිවිසුණු වෙබ් අඩවියක්. යුද්ධයේ ශ්‍රී ලංකා රජය විසින් නොපෙන්වූ පැත්ත ගැන අදහසක් ගැනීමට මෙය හොඳ මූලාශ්‍රයක්ව තිබුණා.

නලින් ද සිල්වාගේ සංස්කෘතික ජාතිකවාදය ඔහුගේ අදහස් ප්‍රචලිත වීමට සමගාමීව ජනප්‍රිය වූ මෑතකාලීන දෘෂ්ඨිවාදයක්. උතුරේ සිවිල් යුද්ධය ආරම්භ වන කාලය දක්වාම දෙමළාට එරෙහි සිංහල ජාතිවාදය හෝ ජාතිකවාදය තුළ ආර්යවාදයට සැලකිය යුතු ඉඩක් වෙන් වී තිබුණා. මෙය අඩු වැඩි වශයෙන් ජාන මත පදනම් වූ අදහසක්. ඒ වගේම, මහා වංශයේ කරුණු එලෙසම ගැනීම මත පදනම් වූ මතවාදයක්.

උතුරේ සිවිල් යුද්ධයට සමගාමීව දෙමළ ජාතිවාදීන් හෝ ජාතිකවාදීන් විසින් මතවාදී මෙහෙයුමක්ද කළා. ඒ මතවාදී මෙහෙයුම ඇතුළේ සිංහල ආර්යවාදයට පැහැදිලි අභියෝගයක් කිරීමට ඔවුන් සමත් වුනා. ඔවුන්ට සැලකිය යුතු තරමකින් සංගත විකල්ප ඉතිහාස කතාවක් ඉදිරිපත් කරන්න පුළුවන් වුනා. ඒ අනුව, විජය පැමිණීමට පෙර ලංකාවේ ජීවත්ව සිට ඇත්තේ ද්‍රවිඩ සම්භවයක් තිබුණු, අනාර්ය භාෂාවක් කතා කළ, ශිව දෙවියන් ඇදහූ ජනතාවක්. යක්ෂ ගෝත්‍රිකයින් හා රාවණ ආදීන් මේ කණ්ඩායමේ අයයි. සිංහලයින් පැවත එන්නේ වසර දෙදහස් පන්සීයකට පෙර ලංකාවට පැමිණෙන ආර්ය සංක්‍රමණිකයින්ගෙන්. ඔවුන් ලංකාවේ මුල් පදිංචිකරුවන් නෙමෙයි. වත්මන් දෙමළා යනු මේ ආර්ය ආක්‍රමණය හමුවේ රටේ අනෙක් ප්‍රදේශ අහිමි වෙද්දී දිගින් දිගටම උතුරු නැගෙනහිර ප්‍රදේශ වල සිය සම්ප්‍රදායික නිජ භූමි ආරක්ෂා කරගෙන සිටින පිරිසයි. ඔවුන්ට දැන් සටන් කරන්න සිදු වී තිබෙන්නේ ආක්‍රමණික සිංහල හමුදාව මේ කොටසත් අල්ලා ගන්න හදන නිසයි.

ඉහත ප්‍රවාදයට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ආර්යවාදයට ශක්තිමත් පදනමක් තිබුණේ නැහැ. මොකද මේ ප්‍රවාදය තුළ ආර්යවාදීන් කියූ දේ ප්‍රතික්ෂේප කිරීමක් සිදු වුනේ නැහැ. ආර්යවාදය සිංහල සමාජයෙන් ක්‍රමයෙන් අතුරුදහන් වී යක්ඛ පුතුන්, හෙළයන් හා රාවණාවාදීන් ආදී කණ්ඩායම් බිහිවන්නේ මේ පසුබිම තුළයි. 

ටැමිල්නෙට් වෙබ් අඩවියහි ලංකාවේ ග්‍රාම නාම වල නිරුක්ති පිළිබඳ පැහැදිලි කිරීම් තුළ වූ දේශපාලන ව්‍යාපෘතිය වූයේ ඉහත මතවාදය තහවුරු කෙරෙන සාක්ෂි සැපයීමයි. සිංහල සමාජය තුළ ආර්යවාදය වියැකී ගොස් ඒ වෙනුවට නලින් ද සිල්වාගේ සංස්කෘතික ජාතිකවාදය හා පූර්ව-ඓතිහාසික කතිකාව ඉස්මතු වෙද්දී ඉහත දේශපාලන ව්‍යාපෘතිය තේරුමක් නැති දෙයක් බවට පත් වුනා. කෙසේ වුවත්, මේ ව්‍යාපෘතිය තුළ කරුණු ඉදිරිපත් කිරීමේදී එය කළ කවුරු හෝ පිරිස කිසියම් සංයමයකින් යුතුව, ශාස්ත්‍රාලීය ප්‍රවේශයකින් ඒ වැඩේ කළා. ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන පුද්ගලයෙකු ලෙස මම මේ පැහැදිලි කිරීම් කියෙවුවේ ඉතා උනන්දුවෙන්.

පානදුර නගර නාමයේ සම්භවය ගැන නලින් ද සිල්වා දැන් ඉදිරිපත් කරන අදහස (දුර හා තුරෙයි අතර සම්බන්ධය) ටැමිල්නෙට් අඩවියෙහි කලින්ම ඉදිරිපත් කර තිබුණා. 

"The component Dura has many shades of meanings in Sinhala, which are discussed in another column. But in the context of the place name Pāna-dura, it is very likely that Dura means a seaport and is a variation of Tura/ Tara in Sinhala and Tuṟai in Tamil."

කෙසේ වුවත්, එහි පානදුර නම හැදෙන්නේ පාණ්තුරෙයි යන්නෙන් බවක් ඔවුන් කීවේ නැහැ. "පාන" යන්නට ඔවුන් සැපයූ නිරුක්තිය වූයේ "පාෂාණ" යන්නයි. දෙමළ නිරුක්තියක් අමාරුවෙන් හෝ හොයා ගන්න පුළුවන් වුනානම් ඔවුන් එය නොකර ඉන්නේ නැහැ. 

"Pāṇa, meaning stone in Sinhala, corresponds to Pāṣāṇa meaning the same in Sanskrit."

මට මතක ඇති කාලයේ පානදුර පැත්තට සම්බන්ධයක් තිබුණු මගේ ඥාතීන් විසින්ද මේ නගර නාමය වැහැරුවේ "පානදුරේ/ පාණදුරේ" ලෙසයි. ඉහත දුම්රිය ස්ථාන නාම පුවරුවෙහි සඳහන්ව ඇත්තේත් එලෙසයි. දෙමළෙන් මෙය ලියා තිබෙන්නේ "පාණත්තුරෛ" ලෙස. එහි "තුරෛ" කොටස ලියා තිබෙන්නේ කාඞ්කේසන්තුරෛ (කන්කසන්තුරේ) යන්නෙහි අවසන් කොටස දෙමළ බසින් ලියන ආකාරයටමයි. කෙසේ වුවත්, "දුර" හෝ "දුරේ" යන කොටස් දෙමළ "තුරෛ" අර්ථයෙන් සිංහල භාෂාව තුළම ව්‍යවහාර වුනා වෙන්නත් පුළුවන්. 

මෙයට තවත් උදාහරණයක් ලෙස තවත් වෙරළබඩ නගරයක් වූ "කැකුණදුර" දැක්විය හැකියි. "පාණදුර" "කැකුණදුර" ආදී තැන් වල මූර්ධජ "ණ" කාරයෙන් පරව එන "තුර" දුර වී "මාතර" "කළුතර" "බෙන්තර" වැනි වෙනත් තැන් වල එය "තර" වෙනවාද? "ගන්දර" "මෝදර" වැනි තැන් වල "දර" වෙන්නෙත් මෙයමද? එහෙම නැත්නම් "දොර" යන්න "දර" වෙනවද? "දුර" වෙන්නෙත් "දොර" වෙන්න වුනත් බැරිද?

"නල්ලුරුව" නමෙහි ද්‍රවිඩ ස්වරූපය වඩා පැහැදිලිව පෙනෙනවා. එහෙත්, "නල්ලුරුව" නම හැදෙන්නේ "නල්ලූර්" නම හැදෙන විදිහටම නොවෙන්න පුළුවන්.  "නල්ලූර්" යන්නෙහි සම්භවය "නල්ල ඌර්" යන්නයි. ඌර් කියන්නේ ගම. නල්ල ඌර්, හොඳ ගම. හැබැයි "නල්ලුරුව" කියන එක විසන්ධි වෙන්නේ "නල්ල + උරුව" කියලයි. "උරු" කියන වචනයේ දෙමළ හා මලයාලම් තේරුම "ඔරුව" කියන එකයි. මලයාලම් බසින් "උරුවු" කියාත් කියනවා. මෙහි නල්ලුරුව හැදුනේ නල්ල උරුවු කියන මලයාලම් වචන වලින් වෙන්න පුළුවන්. 

"උරු", "ඌරු" හෝ "උරුවු" හෝ ලෙස හඳුන්වන නාවික යාත්‍රා කේරළයේ සියවස් ගණනක් තිස්සේ හදනවා. මෙය පරම්පරාවෙන් පැවත එන ශිල්පයක්. කේරළයට මේ ශිල්පය ලැබෙන්නේ අරාබි වෙළඳුන් කේරළයේ පැලපදියම් වීමට සමගාමීවයි. ඒ අරාබි වෙළඳ කණ්ඩායම් ලංකාවටත් පැමිණි බව සහතිකයි. "ඔරු" යන වචනය සිංහලට බිඳී එන්නේ මේ "උරු" යන වචනයෙන් විය හැකියි. 

"උරු" "ඌරු" ආදී වචන සිංහලයින් හෝ සංක්‍රමණික වෙන්ඩ-සිංහලයින් විසින් සමාන අර්ථයකින් එළෙසමද භාවිතා කර තිබෙනවා. දැන් ඔරුගොඩවත්ත සේ හැඳින්වෙන ප්‍රදේශය කලකට පෙර හැඳින්වුණේ ඌරුගොඩවත්ත ලෙසයි. පානදුරා වාදයෙන් පසුව මොහොට්ටිවත්තේ ජනානන්ද හිමි පස් වන වාදය පැවැත්වුවේ ඌරුගොඩවත්තේ මිසක් ඔරුගොඩවත්තේ නෙමෙයි. කොහොම වුනත් මේ නම් දෙකේම තියෙන්නේ එකම තේරුම. ඌරුගොඩවත්තට "ඌරු" හෙවත් "ඔරු" වල මිස ඌරන්ගේ සම්බන්ධයක් නැහැ. ඌරුබොක්ක වගේ තැන් වලටත් මේ කතාව අදාළයි කියා මම හිතනවා.


Thursday, February 10, 2022

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (සිවුවන කොටස)


ප්‍රශ්නයක ස්වභාවය හා ගැඹුර ගැන අවබෝධයක් නැති අයෙකුට විසඳුම් යෝජනා කරන එක පහසුයි. එසේ කරන අයද සුලබයි. බොහෝ දෙනෙකුට අනුව ලංකාවේ ආර්ථිකයේ වත්මන් ප්‍රශ්නය ඩොලර් නැතිකම. මෙයට හේතු ලෙස අධිපරිභෝජනය, රටේ හදාගත හැකි දේවල් ආනයනය කිරීම, රට ඇතුළේ ප්‍රමාණවත් නිෂ්පාදනයක් සිදු නොවීම ආදී විවිධ හේතු ඉදිරිපත් වෙනවා. යමෙක් ප්‍රශ්නයකට ඉදිරිපත් කරන විසඳුම් ප්‍රශ්නයට හේතුව ලෙස හඳුනා ගැනෙන කරුණු මත තීරණය වෙනවා. 

ඩොලර් හිඟයට හේතු සේ ඉදිරිපත් කරන අධිපරිභෝජනය, රටේ හදාගත හැකි දේවල් ආනයනය කිරීම, රට ඇතුළේ ප්‍රමාණවත් නිෂ්පාදනයක් සිදු නොවීම ආදී කරුණු හරහා කෙරෙන්නේ ප්‍රශ්නය රටේ සාමාන්‍ය මිනිස්සු වෙත තල්ලු කිරීම. මේ වගේ දේවල් නිතර ඇහෙද්දී රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ඇති වන හැඟීම මෙහෙම වෙලා තියෙන්නේ රජයේ වැරැද්දකින් නෙමෙයි අපේ වැරැද්දකින් කියන එකයි. නමුත් ඇත්ත තත්ත්වය ඒක නෙමෙයි.

ලංකාවේ වත්මන් ඩොලර් හිඟය තනිකරම රාජපක්ෂ දශකය තුළ පටන් ගත් පොන්සි ක්‍රීඩාව නිසා ඇති වූ ප්‍රශ්නයක්. එය රටේ විදේශ විනිමය ප්‍රතිපත්තියේ ප්‍රශ්නයක් මිසක් සාමාන්‍ය ජනතාවගේ වැරැද්දකින් ඇති වූ ප්‍රශ්නයක් නෙමෙයි. මේ ප්‍රශ්නය හමුවේ අපට කළ හැක්කේ කුමක්ද කියා විමසන අය ඉන්නවා. නමුත්, ඇත්තටම මේ ප්‍රශ්නය හමුවේ රටේ සාමාන්‍ය පුද්ගලයෙකුට කළ හැකි දෙයක් නැහැ. කළ යුතු දෙය කළ යුත්තේ රජය හා මහ බැංකුව විසිනුයි. ඇත්තටම රටේ තිබෙන ප්‍රශ්නය වගකීමක් නැති සල්ලි අච්චු ගැසීම හමුවේ රුපියලේ වටිනාකම වේගයෙන් පහළ යාම හා එයට අනුරූපව විණිමය අනුපාතය සකස්වීම වලක්වා තිබීම මිසක් රටේ මිනිස්සු ආනයන වෙනුවෙන් වැඩියෙන් වියදම් කිරීම නෙමෙයි.

කවුරු හෝ තමන්ගේ සල්ලි වලින් බල්ලන්ට ආප්ප අරන් දුන්නා කියලා වෙනත් අයෙකුට එය අධිපරිභෝජනයක් කියා කියන්න බැහැ. සල්ලි තමන්ගේනම් වියදම් කරද්දී තමන්ට ඕනෑ හැටියකට වියදම් කරනවා මිසක් වෙන අයට අවශ්‍ය විදිහට වියදම් කරන්න අවශ්‍ය නැහැ. කැමති කෙනෙක් ආප්ප අරන් නොදී ඉතාලියෙන් පීසා ගෙනත් බල්ලන්ට දුන්නත් කතාව එච්චරයි. ඔය වගේ වැඩකින් වෙනත් අයට වගේම රටටත් හොඳක් මිසක් නරකක් වෙන්නේ නැහැ. සල්ලි තියෙන කෙනෙක් මිල අධික මෝටර් රථයක් ආනයනය කළ විට රටේ තවත් බොහෝ දෙනෙකුටත් කීයක් හෝ හොයා ගන්න සුළු හෝ අවස්ථාවක් ලැබෙන එකයි වෙන්නේ.

රුපියල් වේවා, ඩොලර් වේවා, තමන් විසින් උපයා ගත් සල්ලි කවුරු හෝ වියදම් කරනවානම් එය අධිපරිභෝජනයක් නෙමෙයි. සල්ලි තමන්ගේනම් ඒ සල්ලි ගඟේ මූදේ දැම්මත් වෙන කාටවත් එයින් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. රටට ප්‍රශ්නයක් වෙන්න විදිහකුත් නැහැ, හැබැයි වියදම් කරන්නේ අනුන්ගේ සල්ලිනම් එතැන ප්‍රශ්නයක් තිබෙනවා. වියදම් කරන්නේ නැති සල්ලිනම් ඊටත් වඩා ප්‍රශ්නයක් තිබෙනවා.

කවුරු හෝ විසින් තමන් විසින් උපයා නොගත්, නැති සල්ලි වියදම් කරනවානම් එය අධිපරිභෝජනයක් කියා කියන්න පුළුවන්. ලංකාව නිදහස ලැබූ තැන් පටන් බලයේ සිටි හැම ආණ්ඩුවක්ම නැති රුපියල් වියදම් කළා. සල්ලි අච්චු ගසමින් අයවැය හිඟය පියවීමේදී වෙන්නේ නැති රුපියල් අලුතින් මවා වියදම් කිරීමක්. නැති රුපියල් වියදම් කරන තරමට රුපියලේ අගය පහළ යනවා. එවිට ඒ පහළ යාම විණිමය අනුපාතය තුළද නිරූපනය විය යුතුයි. එසේ නොවුනහොත් රුපියල් වලට ලංකාවෙන් පිටදී ඉල්ලුමක් නැතිව යනවා. රුපියල් ගෙවා ඩොලර් වැනි විදේශ මුදල් මිල දී ගන්න බැරි වෙනවා. ඩොලර් හිඟයක් ඇති වෙනවා.

නැති රුපියල් වියදම් කිරීම රාජපක්ෂලා පටන් ගත් සෙල්ලමක් නෙමෙයි. එය පරණ සෙල්ලමක්. රාජපක්ෂලා පටන් ගත් අලුත් සෙල්ලම නැති රුපියල් වලට අමතරව නැති ඩොලර්ද වියදම් කිරීමයි. අද ලංකාව මුහුණ දෙන අර්බුදයට හේතුව මේ විදිහට නැති ඩොලර් වියදම් කිරීමයි. එහෙම නැතුව හැම දෙයක්ම ආනයනය කිරීම නෙමෙයි.

රාජපක්ෂ දශකයට පෙර 2001-2003 කාලයේදී ශ්‍රී ලාංකිකයින් විසින් නැති ඩොලර් වියදම් කළේ නැහැ. ආනයන සඳහා වියදම් කළ හැම ඩොලරයක්ම කවර හෝ ආකාරයකින් ඉපැයූ ඩොලර්. රාජපක්ෂ දශකය තුළ විණිමය අනුපාතය හිර කර ගෙන සිටීම නිසා මේ තත්ත්වය වෙනස් වුනත්, සමස්තයක් ලෙස 2015-2019 අතර පැවතියේත් මෙවැනිම තත්ත්වයක්. 2014 අවසානයේදී ඩොලරයක මිල 131.05ක් පමණයි. යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව 2015 වසර අවසාන වෙද්දී ඩොලරයේ මිල රුපියල් 144.06 දක්වා ඉහළ ගියා. එසේ කිරීම නිසා, එම වසර තුළ ආනයන වෙනුවෙන් වැය කළ යුතු වූ විදේශ විණිමය මුළු ප්‍රමාණයම පහසුවෙන් උපයා ගැනීමට ශ්‍රී ලාංකිකයින්ට හැකි වුනා.

ආනයන පාලනයක් නොතිබුණු 2015 වසරේදී භාණ්ඩ ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 18,935ක් වැය වුනා. සේවා ආනයන වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 4,072ක් වැය වුනා. ඒ අනුව, රටේ ආනයනික භාණ්ඩ හා සේවා පරිභෝජන වියදම ඩොලර් මිලියන 23,007ක්. එම වසර තුළදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 10,546කුත්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 6,397කුත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස තවත් ඩොලර් මිලියන 6,980කුත් රටට ආවා. එකතුව ඩොලර් මිලියන 23,923ක්. එහෙමනම්, ලංකාවේ මිනිස්සු හැම දේම පිටරටින් ගෙන්වීම නිසා ඩොලර් හිඟ වුනා කියන කතාවේ ඇත්තක් තියෙනවද?

ඊළඟ අවුරුද්ද ගත්තත් කතාව මේ විදිහමයි. 2016 වසරේදී භාණ්ඩ ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 19,400ක් වැය වුනා. සේවා ආනයන වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 4,259ක් වැය වුනා. ඒ අනුව, රටේ ආනයනික භාණ්ඩ හා සේවා පරිභෝජන වියදම ඩොලර් මිලියන 23,659ක්. එම වසර තුළදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 10,310කුත්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 7,138කුත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස තවත් ඩොලර් මිලියන 7,242කුත් රටට ආවා. එකතුව ඩොලර් මිලියන 24,690ක්

ඩොලර් ආදායම් රටට එනවානම්, ඒ ඩොලර් මොන විදිහට වියදම් කළත් රටේ ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ. 2017 වසරේදී භාණ්ඩ ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 20,980ක් වැය වුනා. සේවා ආනයන වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 4,421ක් වැය වුනා. ඒ අනුව, රටේ ආනයනික භාණ්ඩ හා සේවා පරිභෝජන වියදම ඩොලර් මිලියන 25,401ක්. එම වසර තුළදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 11,360කුත්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 7,724කුත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස තවත් ඩොලර් මිලියන 7,164කුත් රටට ආවා. එකතුව ඩොලර් මිලියන 26,248ක්. ඔය තියෙන්නෙ ඩොලර්!

ලංකා ඉතිහාසයේ ආනයන වෙනුවෙන් වැඩිම වියදමක් ගිය වසර 2018 වසරයි. 2018 වසරේදී භාණ්ඩ ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 22,233ක් වැය වුනා. සේවා ආනයන වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 4,608ක් වැය වුනා. ඒ අනුව, රටේ ආනයනික භාණ්ඩ හා සේවා පරිභෝජන වියදම ඩොලර් මිලියන 26,841ක්. එම වසර තුළදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 11,890කුත්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 8,374කුත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස තවත් ඩොලර් මිලියන 7,015කුත් රටට ආවා. එකතුව ඩොලර් මිලියන 27,279ක්. මෙම වසර තුළ, ඩොලරයක මිල රුපියල් 152.85 සිට රුපියල් 182.75 දක්වා ඉහළ ගියා. ඒ නිසාම, ඉහළ ගිය ආනයන ඉල්ලුමට ප්‍රමාණවත් ඩොලර් ප්‍රමාණයක් රටට ආවා. ඩොලර් හිඟ වී ආනයන පාලනය කරන්න වුනේ නැහැ. 

යහපාලන ආණ්ඩුවේ අවසන් අවුරුද්ද වූ 2019දීත් ආනයන පාලනයක් සිදු වුනේ නැහැ. එහෙත්, පෙර වසරේ විණිමය අනුපාතය විශාල ලෙස අවප්‍රමාණය වීම ඇතුළු හේතු නිසා නිසා ස්වභාවික ලෙසම ආනයන සීමාවීමක් සිදු වුනා. 2019 වසරේදී භාණ්ඩ ආනයන වියදම ඩොලර් මිලියන 19,937ක් දක්වා අඩු වුනා. සේවා ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 4,625ක් වැය වුනා. ඒ අනුව, රටේ ආනයනික භාණ්ඩ හා සේවා පරිභෝජන වියදම ඩොලර් මිලියන 24,562ක්. එම වසර තුළදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 11,940කුත්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 7,474කුත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස තවත් ඩොලර් මිලියන 6,717කුත් රටට ආවා. එකතුව ඩොලර් මිලියන 26,131ක්. ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයින් විසින් 2019 වසර තුළ ආනයන වියදමට වඩා ඩොලර් මිලියන 1,569ක් රටට ගෙනත්. මේ අවුරුද්ද තුළ ඩොලරයක මිල රුපියල් 182.75 සිට රුපියල් 181.63 දක්වා පහළ ගියා. 

පිටරටින් හැමදේම ගේන නිසා රටේ ඩොලර් හිඟ වෙනවා කියන එක පට්ටපල් බොරු කතාවක්. ආනයනික භාණ්ඩ පරිභෝජනය කරන ශ්‍රී ලාංකිකයෝ ඒ වෙනුවෙන් මුදල් උපයනවා. ඔවුන් වියදම් කරන්නේ තමන් උපයන සල්ලි. ආනයනික හෝ ආනයනික නොවන භාණ්ඩ හෝ සේවා වෙනුවෙන් සල්ලි වියදම් කරනවා කියා කියන්නේ ඒ සල්ලි මොන විදිහකින් හෝ උපයලා කියන එකයි. භාණ්ඩ හා සේවා වෙනුවෙන් වැඩිපුර වියදම් කරලානම් ඒ කියන්නේ රටේ මිනිස්සුන්ගේ ආදායම් වැඩි වෙලා කියන එකයි. එය හොඳ දෙයක් මිසක් නරක දෙයක් නෙමෙයි. ආනයනික භාණ්ඩ හා සේවා වෙනුවෙන් වැඩිපුර වියදම් කරලානම් ඒ කියන්නේ ඊට අමතරව රටේ මිනිස්සුන්ගේ විදේශ විණිමය ආදායම්ද වැඩි වෙලා කියන එකයි. එහෙමනම් වැඩි වැඩියෙන් ආනයනය කර පරිභෝජනය කිරීමේ තියෙන වැරැද්ද මොකක්ද?

ලංකාවේ ඩොලර් හිඟයට හේතුව රාජපක්ෂලා විසින් අලුතෙන් හොයාගත්, දැනටත් භාවිතයේ තිබෙන අපූරු දේශීය විසඳුමයි. මේ අපූරු දේශීය විසඳුම තුළ ලංකාවේ බැංකු පද්ධතිය ඇතුළේ ඩොලර් මැවීමක් සිදු වෙනවා. මේවා ආර්ථික විද්‍යා පාඨ ග්‍රන්ථ වල නැති දේවල්.

සාමාන්‍යයෙන් රටක බැංකු පද්ධතිය විසින් මුදල් මැවීමක් කළත් ඒ විදිහට මවන්නේ රටේ ජාතික මුදල් මිසක් වෙන රටක මුදල් නෙමෙයි. ලංකාවේනම් රුපියල්. මහ බැංකුව පිටවූ දා සිට ලංකාවේ වාණිජ බැංකු රුපියල් මවනවා. එසේ නැත්නම් ගුණනය කරනවා. රාජපක්ෂ දශකයේ සිට, ඊට අමතරව, ලංකාවේ වානිජ බැංකු විසින් ඩොලර් ගුණනය කිරීමක්ද කරනවා. හැබැයි මේ වැඩේට ආරම්භයක් දෙන්න මහ බැංකුවක් නැහැ. මොකද ලංකාවේ මහ බැංකුවට ඩොලර් අච්චු ගහන්න බැහැ. ඇමරිකාවේ අච්චු ගහන ඩොලර් ලංකාවට නිකම්ම දෙන්නේත් නැහැ. වාණිජ බැංකු වලට ගුණනය කරන්න ඩොලර් සපයන්නේ ලංකාවේ රජයයි. අවසාන වශයෙන් නැති රුපියල් වගේම නැති ඩොලර්ද පරිභෝජනය වෙනුවෙන් වැය වෙනවා. 

ලංකාවේ වාණිජ බැංකු විසින් කරන ඩොලර් මැවීමේ ක්‍රියාවලිය ඇතුළේ රජය විසින් ණයට ගන්න එක ඩොලර් එකක් දෙක තුනක් හෝ ඩොලර් කිහිපයක් බවට පත් වෙනවා. ඒ නිසා, ණයට ගත් ඩොලර් එකට වඩා වැඩිපුර වියදම් කරන්න පුළුවන්. ප්‍රශ්නය මතු වන්නේ කවදා හෝ ගත් ණය ගෙවන්න යන වෙලාවකයි. මොකද රජයේ විදේශ ණය වලින් ඩොලර් එකක් ගෙවද්දී වෙළඳපොළේ ඩොලර් දෙක තුනක් හෝ කිහිපයක්ම හිඟ වෙනවා. ඒ නිසා, මොන විදිහෙන් හෝ මේ ණය රෝල ගහගෙන යන්නම වෙනවා. පේන විදිහට ආණ්ඩුව ගේම අත අරින්නේ නැහැ. එහෙම නැත්නම් ඉන්දියාව ගේම අතට අරන්.

Wednesday, February 9, 2022

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (තෙවන කොටස)

තමන්ට නිෂ්පාදනය කර ගත හැකි හැම දෙයක්ම තමන් විසින්ම හදා ගන්නවා කියන එක ඉතාම අකාර්යක්ෂම වැඩක් වගේම ඉතාම පසුගාමී අදහසක්. මේ වගේ දෙයක් ගැන කවුරු හෝ හිතනවානම් එය ශිෂ්ඨාචාරයේ ආරම්භයට ආපසු යාමක්. මෙය ධනවාදී අදහසක් නොවනවාක් මෙන්ම අඩු වශයෙන් මාක්ස්වාදී හෝ සමාජවාදී අදහසක්වත් නෙමෙයි. ධනවාදය වගේම මාක්ස්වාදය පදනම් වන්නේත් විශේෂීකරණය මත පදනම් වූ සාමූහික නිෂ්පාදනය මතයි.

ගෙවතු වගාව නරක දෙයක් නෙමෙයි. විනෝදාංශයක් ලෙස ගෙවතු වගාවට කැමති අය බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ විනෝදාංශයේ ප්‍රතිඵලයක් විදිහට තමන්ගේ පරිභෝජනයට අවශ්‍ය ආහාර බෝග වලින් යම් ප්‍රමාණයක් ලැබෙන්නත් පුළුවන්. හැබැයි එහෙමයි කියලා ආර්ථික ප්‍රතිපත්තියක් විදිහට හැමෝම තම තමන්ගේ පරිභෝජනයට අවශ්‍ය ආහාර බෝග ගෙදරම හදා ගන්න එක ප්‍රවර්ධනය කිරීම අන්තිම පසුගාමී වැඩක්. මොකද ගෙවතු වගාවේ වාසි තිබුනත්, එහි ආවස්ථික පිරිවැයක්ද තිබෙනවා. 

අපි හිතමු කාට හෝ කෙනෙකුට කිසියම් අත්කම් භාණ්ඩයක් හැදීමේ කුසලතාවයක් තිබෙනවා කියලා. එවැනි කෙනෙක් ගෙවතු වගාව සඳහා යොදවන කාලය ඒ අත්කම් භාණ්ඩය හැදීම වෙනුවෙන් යොදවලා, අත්කම් භාණ්ඩය විකුණා ලැබෙන මුදලින් තමන්ට අවශ්‍ය ආහාර මිල දී ගන්න එක ගෙවතු වගාව වෙනුවෙන් කාලය වැය කරන එකට වඩා වාසිදායක වෙන්න පුළුවන්. 

මේ කරුණ රටකටත් අදාළයි. කිසියම් භාණ්ඩයක් රට ඇතුළේ නිෂ්පාදනය කළ හැකි වූ පමණින්ම එසේ කිරීම කළ යුතු හොඳම දෙය වන්නේ නැහැ. ඇමරිකාව ලංකාවෙන් ඇඟලුම් ආනයනය කරන්නේ මේ ඇඟලුම් ඇමරිකාව ඇතුළේ හදාගන්න බැරි නිසා නෙමෙයි. ඒ සඳහා අවශ්‍ය ශ්‍රමය, ප්‍රාග්ධනය වගේම තාක්ෂණයත් ඇමරිකාවේ තිබෙනවා. හැබැයි ඇමරිකාවේ තිබෙන ශ්‍රමය හා ප්‍රාග්ධනය ඇඟලුම් හදන්න නොයොදවා ඊට වඩා ඵලදායී දෙයක් වෙනුවෙන් යොදවා, ඇඟලුම් ලංකාවෙන් ආනයනය කරන එක ඇමරිකාවට වාසියි.

මේ කරුණ ලංකාවටත් අදාළයි. ලංකාවේ හදාගත යුතු හැම දෙයක්ම ලංකාවේම හදා ගැනීම ලංකාවේ පැත්තෙන් හොඳම දෙය නෙමෙයි. ලාබෙට මිල දී ගත හැකි දේ ආනයනය කිරීම රට ඇතුළේ ඒ දේවල් හදන්න ශ්‍රමය හා ප්‍රාග්ධනය නාස්ති කරනවාට වඩා වාසියි. එහෙම කළ පමණින් ලංකාවට විදේශ විණිමය හිඟයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. මොකද විදේශ විණිමය රටට එන එකම ක්‍රමය භාණ්ඩ අපනයනයනම්, ආනයන වෙනුවෙන් වැය කළ හැක්කේ අපනයන කර උපයන විදේශ විණිමය පමණයි. 

හැබැයි ඉහත කරුණ සත්‍ය වන්නේ විණිමය අනුපාතය නිදහසේ තීරණය වනවානම් පමණයි. මොකද රටට ඩොලර් එන තරමට ඩොලර් රටින් යන්නේ නැත්නම් රට ඇතුළේ ඩොලර් ඉතුරු වෙනවා. ඩොලර් වලට ඉල්ලුම අඩු වෙනවා. ඩොලරයේ මිල පහළ යනවා. ආනයන ලාබ වී ආනයන ඉහළ ගොස් ඉතුරු වූ ඩොලර් රටෙන් එළියට යනවා. අනෙක් අතට ආනයන ඉල්ලුම වැඩිනම් ඩොලරයේ මිල ඉහළ ගිහින් ආනයනික බඩු වල මිල ඉහළ යනවා. ආනයනික බඩු තව දුරටත් ලාබ නැති නිසා ඉල්ලුම අඩු වී ඩොලර් රටෙන් එළියට යන එක පාලනය වෙනවා. 

රටකට ඩොලර් එන්නේ භාණ්ඩ අපනයනය කිරීමෙන් පමණක් නෙමෙයි. සේවා වෙළඳාමෙන්ද රටට ඩොලර් එනවා. ඒ වගේම, ඩොලර් එළියටත් යනවා. භාණ්ඩ අපනයනය කිරීමෙන් ලැබුණත්, සේවා අපනයනය කිරීමෙන් ලැබුණත් ලැබෙන ඩොලර් වල වෙනසක් නැහැ. ඒ නිසා, විණිමය අනුපාතය පාවෙන්න ඉඩ දී ඇති විටක ඔය වෙළඳපොළවල් දෙකම එකට සමතුලිත වෙනවා මිසක් වෙන වෙනම සමතුලිත වෙන්නේ නැහැ. ඒ නිසා, සේවා ගිණුමේ ඩොලර් අතිරික්තයක් තිබේනම් වෙළඳ ගිණුමේ ඊට සමාන හිඟයක් තිබීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ගිණුම් දෙක එකට ගත් විට සමතුලිත වෙනවානම් මේ එක් එක් ගිණුම සමතුලිත කරන්න උත්සාහ කළ යුතු නැහැ. 

ලංකාවට සාමාන්‍යයෙන් සේවා වෙළඳාමේදී සාපේක්ෂ වාසියක් තිබෙනවා. ලාංකිකයින් සේවා නිෂ්පාදනයේදී වඩා කාර්යක්ෂමයි. භාණ්ඩ නිෂ්පාදනයේදී ඒ කාර්යක්ෂමතාවය නැහැ. ඒ නිසා, දිගින් දිගටම ලංකාවේ වෙළඳ ගිණුමේ හිඟයක් තිබුණත් සේවා ගිණුමේ තිබෙන්නේ අතිරික්තයක්.

රටකට විදේශ විණිමය එන්නෙත්, රටෙන් විදේශ විණිමය එළියට යන්නේත් භාණ්ඩ හෝ සේවා වෙළඳාම් හරහා පමණක් නොවෙයි. රටට විදේශ විණිමය එන හා රටෙන් පිටට විදේශ විණිමය යන තවත් ක්‍රම ගණනාවක් තිබෙනවා. මේ විදිහට රටට එන හා රටෙන් යන විදේශ විණිමය ජංගම ගිණුමේ හෝ මූල්‍ය ගිණුමේ සටහන් වෙනවා. ජංගම ගිණුමේ සටහන් වන්නේ ආපසු නොයන සේ රටට එන විදේශ විණිමය. එසේ නැත්නම් ආපසු නොඑන සේ රටින් යන විදේශ විණිමය. භාණ්ඩ හා සේවා වෙළඳාමෙන් ලැබෙන හෝ අහිමි වන විදේශ විණිමය සටහන් වෙන්නේ ජංගම ගිණුමේ. මෙයින් වෙනස්ව, මූල්‍ය ගිණුමේ සටහන් වන්නේ පසුව ආපසු යාමට නියමිත හෝ පසුව ආපසු ඒමට නියමිත විදේශ විණිමය. උදාහරණයක් විදිහට විදේශ ණය හා ආයෝජන. 

රටක ජංගම ගිණුමේ අතිරික්තයක් තිබෙනවානම් ඒ රටට තමන්ගේ විදේශ විණිමය අතිරික්තය රටින් පිට ආයෝජනය කර අනාගතයේදී ආදායම් උපදවන්න පුළුවන්. ජංගම ගිණුමේ හිඟයක් තිබෙනවානම් සිදු වෙන්නේ ඒ හිඟය පියවෙන තරමට විදේශ ණය ගන්න. විදේශ ණය වැඩි වන තරමට අනාගතයට විදේශ විණිමය වියදම්ද වැඩි වැඩියෙන් එකතු වෙනවා.

කාලයක සිටම ලංකාවේ ජංගම ගිණුමේ තිබෙන්නේ හිඟයක්. ජංගම ගිණුමේ හිඟයක් නොතිබුනානම් ආනයන වියදම අපනයන ආදායමට වඩා වැඩි වීම ලංකාවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද හිඟය පියැවීමට අවශ්‍ය පමණ විදේශ විණිමය රටට එන මාර්ගයක් තිබෙනවා. එසේ රටට එන විදේශ විණිමය නැවත රටින් එළියට යන්නේ නැහැ. ශ්‍රමික ප්‍රේෂණ උදාහරණයක්.

අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩි වීමේ කිසිම ප්‍රශ්නයක් නැතත්, සමස්තයක් ලෙස රටට එන ඩොලර් වලට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් රටෙන් එළියට යනවානම් එතැන පැහැදිලි ප්‍රශ්නයක් තිබෙනවා. ජංගම ගිණුමේ හිඟයක් තිබෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ මේකයි.

දිගින් දිගටම රටට එන ඩොලර් වලට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් රටෙන් එළියට යනවා කියන එක වෙන්න බැරි දෙයක්නේ. මොකද එළියට යන්නනම් ඩොලර් රටට ඇවිත් තියෙන්න ඕනෑ. එහෙම නැතුව ඩොලර් මහ පොළොවෙන් මතු වෙන්නේ නැහැනේ. ඒ නිසාම, ඩොලර් රටට එන යම් ක්‍රමයක් නැතුව දිගින් දිගටම ජංගම ගිණුමේ හිඟයක් තියෙන්නත් බැහැ. දිගින් දිගටම ලංකාවේ ජංගම ගිණුමේ හිඟයක් තියෙන්නේ දිගින් දිගටම විදේශ ණය ලෙස රටට ඩොලර් එන නිසයි. එහෙම නැත්නම් ප්‍රාග්ධන ආයෝජන ලෙස හෝ වෙන ක්‍රමයකට මූල්‍ය ගිණුමට ඩොලර් එන නිසයි. මූල්‍ය ගිණුමට ඩොලර් එන්නේ නැත්නම්, ජංගම ගිණුමේ හිඟයත් නැති වෙලා යනවා. ඒ එක්කම ඩොලර් ප්‍රශ්නයත් නැති වෙනවා. 

මූල්‍ය ගිණුමට දිගින් දිගටම ඩොලර් එනවානම්, එසේ එන තාක් කල්, ජංගම ගිණුමේ හිඟයක් නඩත්තු කරන්න පුළුවන්. හැබැයි මෙය ජංගම ගිණුම සමතුලිතව තියාගෙන වෙළඳ ගිණුමේ හිඟයක් නඩත්තු කරනවා වගේ වැඩක් නෙමෙයි. මූල්‍ය ගිණුමට එන ඩොලර් කවදා හෝ ආපසු යනවා. ඒ විතරක් නෙමෙයි. මූල්‍ය ගිණුමට එන හැම ඩොලරයක්ම රටේ බැරකමක් වෙනවා. රටේ බැරකම් ඉහළ යද්දී ඊට අනුපාතිකව වාර්ෂිකව ගෙවිය යුතු පොලී වියදම්ද ඉහළ යනවා. මේ පොලී වියදම් රටින් එළියට යන්නේ නැවත ආපසු එන්න නෙමෙයි. ඒ නිසා, ඒවා සටහන් වෙන්නේ ජංගම ගිණුමේ. අවසාන ප්‍රතිඵලය ජංගම ගිණුමේ හිඟය ඉහළ යාමයි. 

කලින් ලිපියක කතා කළ පරිදි, 1956 සිටම ලංකාවේ රජය ආදායම ඉක්මවා වියදම් කරමින් සිටිනවා. ඒ නිසා, අයවැය හිඟය පියවන්න ණය ගන්න වෙනවා. මේ වැඩේට විදේශ ණය අරගන්නවා කියන්නේ මූල්‍ය ගිණුමට සල්ලි එනවා කියන එක. මූල්‍ය ගිණුමට සල්ලි එද්දී අනික් පැත්තෙන් ජංගම ගිණුමේ හිඟයක් ඇති වෙනවා. ඒ වගේම, රටේ බැරකම් ඉහළ යාම නිසා අනාගතයේ ජංගම ගිණුම මත පීඩනයක්ද ඇති වෙනවා. එහිදී ඩොලරයේ මිල ඉහළ දමන්න වෙනවා. 1956න් පසුව ලංකාවේ ජංගම ගිණුමේ අතිරික්තයක් තිබී ඇත්තේ 1965 හා 1977 වසර වලදී පමණයි. එම වකවානු වල ඩොලරයේ මිල එකවර විශාල ලෙස ඉහළ ගිය බවත් මතක තබා ගත යුතුයි. පහත පළමු රූප සටහනේ තිබෙන්නේ මෑත වසර වලදී ලංකාවේ ජංගම ගිණුමේ ශේෂයයි. ශේෂයක් කිවුවට හිඟයන්ම තමයි!


ජංගම ගිණුමේ මේ හිඟය හැදෙන්නේ කොහොමද? 

පළමුව, ලංකාවේ ආනයන අපනයන අතර පරතරයක් තිබෙනවා. වෙළඳ හිඟය කියන්නේ එයට. මේ විදිහට වෙළඳ හිඟයක් තිබීම ඒ හේතුව නිසාම ප්‍රශ්නයක් නොවන බව මම කිවුවනේ. හැබැයි ප්‍රශ්නයක් නොවෙන්නනම් ඩොලර් රටට එන වෙන මාර්ගයක් තිබිය යුතුයි. ලංකාවේ වෙළඳ ගිණුමේ හිඟයක් තිබුණත් සේවා ගිණුමේ අතිරික්තයක් තිබෙනවා. එයින්ද නොපියැවෙන කොටස ශ්‍රමික ප්‍රේෂණ වලින්ද පියැවෙනවා. හැබැයි මේ සියල්ලටම අමතරව ලංකාවේ විදේශ බැරකම් වෙනුවෙන් ප්‍රතිලාභ ලෙස විශාල මුදලක් රටින් එළියට යනවා. ඒ කොටස වසරින් වසර ඉහළ යනවා. රටේ ඩොලර් හිඟයට මේ හේතුව කොයි තරම් දුරට බලපානවාද කියන එක සාකච්ඡා වී තිබෙන්නේ ඉතා අඩුවෙන්. ඇත්තටම කියනවානම් සාකච්ඡා වී නැති තරම්!

පහත දෙවන රූප සටහනෙහි පෙනෙන්නේ රටේ විදේශ බැරකම් සඳහා ප්‍රතිලාභ ලෙස වාර්ෂිකව රටින් පිටට යන ඩොලර් ප්‍රමාණයයි.


මේ ආකාරයෙන් රටේ විදේශ බැරකම් සඳහා ප්‍රතිලාභ ලෙස වාර්ෂිකව රටින් පිටට ගිය ඩොලර් ප්‍රමාණය රටේ ඉතිරි වුනානම් ජංගම ගිණුමේ ශේෂය මොන වගේ වෙයිද? 

පහත තෙවන රූප සටහනින් පෙනෙන්නේ බැරකම් සඳහා ප්‍රතිලාභ ලෙස වැය වුනු කොටස ඉවත් කිරීමෙන් පසු ජංගම ගිණුමේ ශේෂයයි.  2001-2003 කාලයේදීත්, 2018දී හැර 2015-2019 අතර කාලයේදීත් මෙම කොටස අතිරික්තයක්. ඒ කියන්නේ, එකතු වී තිබුණු පැරණි බැරකම් වෙනුවෙන් ප්‍රතිලාභ ගෙවන්නට සිදු නොවුනානම් මෙම වසර වලදී විදේශයන්ට ණය වනවා වෙනුවට තිබෙන ණය වලින් කොටසක්ද ගෙවා දැමිය හැකිව තිබුණු බවයි.


මෙයින් කරුණු කිහිපයක්ම පැහැදිලි වෙනවා. පළමුව, රජයේ අයවැය හිඟය පාලනය වී ඇති හා විණිමය අනුපාතය නිදහසේ තීරණය වී ඇති වකවානු වල පැරණි විදේශ බැරකම් සඳහා ප්‍රතිලාභ ගෙවීම හැර අනෙකුත් සියළු විදේශ විණිමය අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් තරම් ඩොලර් රටට පැමිණ තිබෙනවා. ඒ නිසා, පැරණි ණය හා පොලී ගෙවීමට හැර අළුතින් විදේශ ණය ගන්න අවශ්‍ය වී නැහැ. 

දෙවනුව, එම තත්ත්වය යටතේ වුවද, පැරණි විදේශ බැරකම් වලට පොලී එකතු වීම නිසා විදේශ බැරකම් තව දුරටත් සැලකිය යුතු තරමින් ඉහළ ගොස් තිබෙනවා. විණිමය අනුපාතය තව දුරටත් අවප්‍රමාණය වීමට ඉඩ හැරියේනම් ජංගම ගිණුම සමතුලනය කර ගත හැකිව තිබුණු බවද මෙයින් ගම්‍ය වෙනවා. එසේ වුනානම්, ණය ගැනීමේ ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. 

ඩොලර් හිඟය කියා කියන්නේම වැරදි විදේශ විණිමය ප්‍රතිපත්තිය නිසා හදාගත් ප්‍රශ්නයක්! ඔඩොක්කුවේ දමාගත් අහක යන නයෙක්!!

Sunday, February 6, 2022

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (දෙවන කොටස)

මෙම දෙවන ලිපි මාලාවේ පළමු කොටස අවසානයේදී අපි කතා කළේ පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ ලංකාවේ ශුද්ධ විදේශ බැරකම් විශාල ලෙස ඉහළ යාම හා එය වත්මන් ආර්ථික අර්බුදයට හේතු වූ ආකාරයයි. මේ කොටසින් අපි මේ ගැන අපි තව දුරටත් පැහැදිලි කර ගනිමු.

ශුද්ධ විදේශ බැරකම් යනු විදේශ වත්කම් හා විදේශ බැරකම් අතර වෙනසයි. විදේශ වත්කම් ඉක්මවා විදේශ බැරකම් ඉහළ යාමේ ප්‍රශ්නය වන්නේ එම බැරකම් වෙනුවෙන් දිගින් දිගටම වාර්ෂිකව විදේශ විණිමය වැය කිරීමට සිදු වීමයි. ඉතා අඩු පොලියකට විදේශ ණය ලබාගත හැකි ඇමරිකාව වැනි රටක විදේශ වත්කම් විදේශ බැරකම් වලට වඩා අඩු වුවත් තම විදේශ වත්කම් වලින් විදේශ බැරකම් වල මුළු වියදමම පියවා ගත හැකියි. හැබැයි එසේ කරන්න ඇමරිකාවට වුවද හැකි වී තිබෙන්නේ අඩු පොලී අනුපාතික වලට ණය ගැනීමේ හැකියාව මත මෙන්ම සැලකිය යුතු විදේශ වත්කම් ප්‍රමාණයක් තිබීමද හේතුවෙනුයි.

ලංකාවේ ශුද්ධ විදේශ බැරකම් ඉතා වැඩි වීම විශාල ප්‍රශ්නයක්. ඊටත් වඩා ප්‍රශ්නයක් වන්නේ ලංකාවේ විදේශ බැරකම් වල අනුපාතයක් ලෙස විදේශ වත්කම් ඉතා පහළ මට්ටමක තිබීමයි. ශුද්ධ විදේශ බැරකම් බොහෝ වැඩි වෙනත් ඇතැම් රටවලට මෙවැනි ප්‍රශ්නයක් නැහැ.

පහත වගුවෙහි පෙන්වා ඇති පරිදි ලෝකයේ රටවල් අතරින් වැඩිම ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණයක් තිබෙන රටවල් හයකම විදේශ වත්කම් ප්‍රමාණය විදේශ බැරකම් වලින් 70% ඉක්මවනවා. අසල්වැසි ඉන්දියාව ගත්තත් දැකිය හැක්කේ මෙවැනි තත්ත්වයක්. ණය අර්බුදයක සිර වී සිටින රටක් සේ හඳුනා ගැනෙන ග්‍රීසිය සතුව පවා ඔවුන්ගේ විදේශ බැරකම් ප්‍රමාණයෙන් 47% ක විදේශ වත්කම් ප්‍රමාණයක් තිබෙනවා. එහෙත්, ලංකාව සතුව තිබෙන විදේශ වත්කම් ප්‍රමාණය රටේ විදේශ බැරකම් වලින් 13%ක් පමණයි!


අතේ රුපියල් 70ක් තිබෙන කෙනෙකුට හිර නොවී රුපියල් 100ක රෝලක් ගහගන්න පුළුවන්. එහෙත්, අතේ රුපියල් 13ක් තියාගෙන රුපියල් 100ක රෝලක් ගහන කෙනෙක් කොයි වෙලාවක හෝ හිරවෙනවා. හිරවෙන්නේ කොයි වෙලාවෙද කියන එක කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. වසංගතය නිසා සංචාරකයින් පැමිණීම අඩු වෙද්දී ලංකාවට වුනෙත් මේකයි.

යම් ස්ථාවර මට්ටමක තිබුණු ලංකාවේ විදේශ බැරකම් ප්‍රමාණය 2007 පමණ සිට වේගයෙන් ඉහළ යන්න පටන් ගත්තා. එහෙත්, 2010න් පසුව විදේශ වත්කම් ඉහළ ගියේ නැහැ. මෙය පහත රූප සටහනෙහි පැහැදිලිව දැකගත හැකියි.



විදේශ බැරකම් ඉහළ යද්දී ඒ වෙනුවෙන් වාර්ෂිකව ගෙවිය යුතු ප්‍රතිලාභද ඉහළ යනවා. එහෙත්, විදේශ වත්කම්ද ඉහළ නොයන්නේනම් එම වත්කම් වලින් ලැබෙන ආදායම් ඉහළ යන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස සෑම වසරකම මේ හිඟය පියවීම සඳහා අතිරික්ත විදේශ විණිමය ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මේ අතිරික්ත විදේශ විණිමය ප්‍රමාණය උපයා ගත හැකි වෙනත් ක්‍රමයක් නැත්නම් ඒ වෙනුවෙන් තවත් විදේශ ණය ගන්න සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඊළඟ වසරේදී අවශ්‍ය වන අතිරික්ත විදේශ විණිමය ප්‍රමාණය තවත් ඉහළ යනවා. දිගුකාලීන සැලසුමක් ඇතිව විදේශ වත්කම් හා බැරකම් අතර වෙනස ක්‍රමයෙන් අඩු කර නොගෙන මේ විදේශ ණය උගුලෙන් ගැලවෙන්න බැරුවා වගේම උගුල යම් මොහොතක ගැස්සෙන එකත් වලක්වන්න බැහැ.


යහපාලන ආණ්ඩුව බලයට පත් වන විට (2014 අවසානයේදී) සමස්ත ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 42,914ක්. 2019 අවසාන වෙද්දී එම ණය ප්‍රමාණය ඩොලර් මිලියන 54,812ක්. මේ අනුව එම වසර පහ තුළ විදේශ ණය වැඩි වීම ඩොලර් මිලියන 11,897ක්. එම වසර පහ තුළ ලංකාවේ විදේශ බැරකම් වෙනුවෙන් ගෙවා ඇති ප්‍රතිලාභ මුදල ඩොලර් මිලියන 11,834ක්. මේ අනුව, විදේශ ණය ඉහළ යාමෙන් 99.5%ක්ම පරණ ණය වල පොලියයි. එසේ නැත්නම් පැරණි ආයෝජන වෙනුවෙන් ගෙවූ ප්‍රතිලාභයි. විදේශ බැරකම් ඩොලර් මිලියන 11,897කින් ඉහළ ගියත් ණය ලෙස ඇත්තටම රටට පැමිණ තිබෙන්නේ ඩොලර් මිලියන 63ක් පමණයි. 

මෙම කාලය තුළ ලංකාවේ විදේශ වත්කම් වල ආදායම් ලෙස ඩොලර් මිලියන 814ක් උපයා ඇති නමුත් සංචිත ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 518කින් පමණයි. එහි ඩොලර් මිලියන 296ක අඩුවක් තිබෙනවා. මේ ගණනද ඇතුළුව රටට ශුද්ධ විදේශ බැරකම් ලෙස 2014-2019 කාලය තුළ පැමිණ තිබෙන විදේශ විණිමය ප්‍රමාණය ඩොලර් මිලියන 359ක් පමණයි. සංචිත ඉහළ යාම අඩු කළ විට අදාළ කාලය තුළ ශුද්ධ විදේශ බැරකම් ඉහළ යාම ඩොලර් මිලියන 11,389ක්. ඒ අනුව, 2014-2019 අතර කාලය තුළ ඉහළ ගිය ශුද්ධ විදේශ බැරකම් වලින් 97%කටම හේතු වී තිබෙන්නේ පරණ ණයට වලට පොලී එකතු වීමයි. 

මේ කරුණ පැහැදිලි කළ යුත්තේ පසුගිය ආණ්ඩු වල ක්‍රියාකාරකම් වල හොඳ නරක සංසන්දනය කිරීම සඳහාම නෙමෙයි. ලංකාවේ වත්මන් තත්ත්වය නිවැරදිව තේරුම් ගැනීම සඳහා. ඉදිරි වසර වල ලංකාව එක ඩොලරයක හෝ විදේශ ණය අලුතින් නොගත්තත් තිබෙන ණය වල පොලිය ලෙස වාර්ෂිකව ඩොලර් බිලියන 2 ඉක්මවන මුදලක් එකතු වෙනවා. ඉන් පසුව, ඒ පොලියටද පොලිය එකතු වී වැල් පොලී වෙනවා. ඉදිරි සාර්ව-ආර්ථික වැඩ පිළිවෙලක මුඛ්‍ය ඉලක්කය විය යුත්තේ කෙසේ හෝ මේ චක්‍රයෙන් ගැලවීමයි.

මෙහිදී අප කතා කරන්නේ රටේ සමස්ත විදේශ ණය ගැනයි. රජයේ විදේශ ණය එයින් කොටසක් පමණයි. 2010 වන තුරු රටේ විදේශ ණය වලින් විශාල ප්‍රමාණයක් රජයේ විදේශ ණය වුවත්, 2010දී ආරම්භ කළ පොන්සි ක්‍රීඩාව හරහා රජය විසින් සෘජුව විදේශ ණය ලබා නොගෙන වක්‍ර ලෙස විදේශ ණය ලබා ගන්නා ක්‍රමයක් ආරම්භ වුනා. ඒ නිසා, රාජ්‍ය ණය අතර තිබෙන විදේශ ණය ප්‍රමාණය දෙස බැලූ විට රට සිරවී සිටින විදේශ ණය උගුලේ බරපතලකම පැහැදිලිව පෙනෙන්නේ නැහැ. විදේශ ණය ගැන කතා කරන හැම දෙනෙකුම මෙන් රාජ්‍ය ණය ගැන කතා කළත්, විනිමය අනුපාතය පාලනය කරමින් ආරම්භ කර පවත්වා ගෙන යන පොන්සි ක්‍රීඩාව පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු වී නැති තරම්. පහත රූප සටහන දෙස බැලූ විට මේ පොන්සි ක්‍රීඩාවේ ආරම්භය පැහැදිලිව හඳුනා ගත හැකියි.



Friday, February 4, 2022

ඩොලර් නැතිකම ප්‍රශ්නයක් වීමේ ප්‍රශ්නය


බොහෝ තනි පුද්ගලයින් විසින් මෙන්ම ලංකාවේ ප්‍රමුඛ දේශපාලන ධාරා විසින්ද ලංකාව මේ මොහොතේ මුහුණ දෙන ආර්ථික අර්බුදය ඩොලර් නැතිකම සේ හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම මත පදනම්ව විවිධ විසඳුම්ද යෝජනා කරනවා. මේ යෝජිත විසඳුම් එම විසඳුම් ඉදිරිපත් කරන දේශපාලන ධාරා අනුව වර්ග නොකර ආකෘතිය අනුව පහත අයුරින් ලැයිස්තුගත කළ හැකියි. 

1. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ණය ලබා ගැනීම හෝ එසේ නොගොස් වෙනත් පාර්ශ්ව වලින් ණය ලබා ගැනීම - මෙහිදී ක්ෂණිකව රටට ඩොලර් ආවත්, මැදිකාලීනව ඊට වඩා ඩොලර් ප්‍රමාණයක් රටින් එළියට යනවා. වෙනත් පාර්ශ්ව වලින් ණය ගත් විට ආපසු යන ප්‍රමාණය වැඩියි.

2. විදේශගත ලාංකිකයන්ගෙන් ඩොලර් එවන ලෙස ආයාචනය කිරීම- මෙහිදී ක්ෂණිකව රටට යම් ඩොලර් ප්‍රමාණයක් එනවා. ඒ ඩොලර් ආපසු යන්නේ නැහැ. නමුත්, මේ වගේ දෙයක් දිගින් දිගටම කරන්න බැහැ. මහා පරිමාණයෙන් කරන්නත් බැහැ. 

3. ණය පැහැර හැරීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ආනයන පාලනය කිරීම - මෙහිදී අරමුණ වන්නේ ඩොලර් එළියට යන එක සීමා කර ගැනීම හෝ පමා කර ගැනීම. හැබැයි මේ විදිහට ඩොලර් ඉතුරු කර ගත හැක්කේ කෙටි කාලයකට පමණයි.

4. දේශීය වත්කම් විදේශිකයන්ට විකිණීම හා/හෝ ස්වභාවික සම්පත් විකිණීම - මෙයින්ද ක්ෂණික වාසියක් ලැබුනත් බොහෝ විට සිදු විය හැක්කේ දිගුකාලීනව අවාසියක් වෙන එකයි. එසේ නොවන ආකාරයෙන්ද මෙය කළ හැකි අවස්ථා තියෙන්න පුළුවන්. 

5. විණිමය අනුපාතය පාවෙන්නට ඉඩ හැර රුපියල අවප්‍රමාණය කිරීම - ක්ෂණිකව ප්‍රශ්නය විසඳා ගත හැකි ක්‍රමයක් වුවත් දිගුකාලීනව ප්‍රශ්නය විසඳෙන්නේ මේ වැඩේ දිගින් දිගටම කරන්නේනම් පමණයි.

6. රුපියල අවප්‍රමාණය නොකර අපනයන ප්‍රවර්ධනය කිරීම - කරන්න පුළුවන්නම් හොඳයි. එහෙත් මෙය සංගත හෝ ප්‍රායෝගික යෝජනාවක් නෙමෙයි.

මේ ලැයිස්තුවට එකතු කළ හැකි තවත් විසඳුම් තිබිය හැකියි. මෙහි අවසනට සඳහන් කළ විසඳුමෙහි සංගතභාවය හා ශක්‍යතාවය ප්‍රශ්නකාරී වුවත්, අනෙක් හැම විසඳුමක්ම ඩොලර් නැතිකමට ප්‍රශ්නයක් විය හැකි විසඳුම්. මේ ඕනෑම ක්‍රමයකින් හෝ ක්‍රම කිහිපයකින් ලංකාව මේ මොහොතේ මුහුණ දෙන ක්ෂණික ප්‍රශ්නය විසඳෙන්න පුළුවන්. නමුත්, අප සාකච්ඡා කළ යුතු කරුණ එයින් ඔබ්බෙහි තිබෙන දෙයක්.

ලංකාව මේ මොහොතේ මුහුණ දෙන ක්ෂණික ප්‍රශ්නය ඩොලර් නැතිකම කියන එකේ වැරැද්දක් නැහැ. නමුත්, ලංකාවේ අනාගතය පිළිබඳ දිගුකාලීන දැක්මක් ඇති දේශපාලන වැඩ පිළිවෙලක් හෝ දිගුකාලීන සාර්ව-ආර්ථික වැඩ පිළිවෙලක් තුළ අවධානය යොමු විය යුතු හා විසඳුම් යෝජනා විය යුතු ලංකාවේ දිගුකාලීන ප්‍රමුඛ ආර්ථික ප්‍රශ්නය ඩොලර් නැතිකම නෙමෙයි. ඩොලර් නැතිකම ප්‍රශ්නයක් වීමයි. 

ඩොලර් නැතිකම ලංකාවට ප්‍රශ්නයක් වන්නේ ඇයි? ඉහත කවර ආකාරයකින් හෝ ඩොලර් නැතිකමට විසඳුමක් සොයා ගතහොත් අනාගතයේදී නැවතත් ඩොලර් නැතිකම ලංකාවට ප්‍රශ්නයක් නොවන බවට සහතිකයක් තිබේද? එවැනි සහතිකයක් නැත්නම්, ඩොලර් නැතිකමට මේ මොහොතේ ලබා දෙන විසඳුමක් පැලැස්තර විසඳුමක් පමණක් නොවන්නේද? ඩොලර් නැතිකම ලංකාවට ප්‍රශ්නයක් වීමම ප්‍රශ්නයක් බව ඔබ නොදකින්නේද?

ඩොලර් කියන්නේ ඇමරිකාවේ ජාතික මුදල් ඒකකයයි. ඇමරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුවට ඩොලර් ඕනෑ තරමක් මුද්‍රණය කර ගත හැකියි. ඒ නිසා, ඇමරිකාවට ඩොලර් නැතිකම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වෙනත් රටවලට ඩොලර් මුද්‍රණය කරන්න බැහැ. එහෙත්, ඒ හේතුව නිසාම අනෙක් හැම රටකටම ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. 

ඇමරිකාව ඩොලර් මුද්‍රණය කරනවාක් මෙන්ම අනෙක් රටවලට ඒ රටවල ජාතික මුදල් ඒකක මුද්‍රණය කර ගත හැකියි. ලංකාවටත් රුපියල් මුද්‍රණය කර ගන්න පුළුවන්.

ලංකාවට ඩොලර් අවශ්‍ය වන්නේ භාණ්ඩ හෝ සේවා ආනයනය සඳහා. ඇමරිකාවත් භාණ්ඩ හා සේවා ආනයනය කරනවා. ඒ වෙනුවෙන් ඩොලර් වැය කරනවා. අනෙක් රටවල් ඩොලර් ලබාගෙන ඇමරිකාවට භාණ්ඩ හා සේවා එවනවා. අනෙක් රටවල් රුපියල් ලබාගෙන ලංකාවට භාණ්ඩ හා සේවා එවනවානම් ලංකාවට ඩොලර් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත්, අනෙක් රටවල් රුපියල් අරගෙන ලංකාවට භාණ්ඩ හා සේවා එවන්නේ නැහැ. ඒ නිසා, ලංකාවට ඩොලර් උපයා ගන්න සිදු වී තිබෙනවා. 

ලෝකයේ අනෙක් හැම රටක්ම ලංකාව මුහුණ දෙන ප්‍රශ්නයට මුහුණ දෙන්නේ නැහැ. අපි එක්සත් රාජධානිය හෝ ජපානය වැනි රටක් ගනිමු. එක්සත් රාජධානියට භාණ්ඩ හා සේවා ආනයනය කරන්න ඩොලර් අවශ්‍යම නැහැ. ඔවුන්ට පවුම් ගෙවා භාණ්ඩ හා සේවා ආනයනය කළ හැකියි. ඒ අයුරින්ම ජපානයට යෙන් ගෙවා භාණ්ඩ හා සේවා ආනයනය කළ හැකියි. ලෝකයේ රටවල ජාතික මුදල් ඒකක අතරින් මෙවැනි ශක්තියක් තිබෙන්නේ මුදල් ඒකක සීමිත ප්‍රමාණයකට පමණයි. ලංකාවේ රුපියල ඒ අතර නැහැ. එහෙමනම්, දිගුකාලීනව බැලුවොත් ලංකාවේ ප්‍රශ්නය ඩොලර් නැතිකමද, එසේ නැත්නම්, රුපියලට පිළිගැනීමක් නැතිකමද? 

රටක ජාතික මුදල් ඒකකයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනීම කිසිසේත් කළ නොහැකි දෙයක් නෙමෙයි. ඇමරිකානු ඩොලරයට අද තිබෙන පිළිගැනීම මීට වසර සියයකට පෙර මේ ලෙසින්ම තිබුණේ නැහැ. පසුගිය සියවසේ මුල් කාලය වෙද්දීත් ඇමරිකානු ඩොලරය ඇමරිකාවෙන් පිටත ලොකු පිළිගැනීමක් නොලැබූ මුදල් ඒකකයක්. යුරෝ මුදල් ඒකකයට තිබෙන්නේ වසර තිහක පමණ ඉතිහාසයක්. ජපානයේ යෙන් මුදල් ඒකකයට පිළිගැනීමක් ලැබුණේ පසුගිය සියවසේ දෙවන භාගයේදී. ලංකාවේ රුපියලට තරම් ඉතිහාසයක් නැති, ඉතා කුඩා රටක් වන සිංගප්පූරුවේ ජාතික මුදල් ඒකකය අද ලොව පුරාම පිළිගැනෙන මුදල් ඒකකයක්. 

ඇතැම් මුදල් ඒකක වලට තිබෙන පිළිගැනීමට හේතුව අදාළ රටවල් වල ආර්ථිකය කියන එක ඇත්තක් වුවත්, මුදල් ඒකකයක ශක්තිය නිර්ණය කරන එකම සාධකය එය නෙමෙයි. බිට්කොයින් වැනි මුදල් පසුපස කිසිදු ආර්ථිකයක් නැහැ.

සිංගප්පූරු ඩොලර් අරගෙන සංචාරය කරන අයෙකුට ලෝකයේ බොහෝ රටවලදී ඉතා පහසුවෙන් එම මුදල් වෙනත් මුදලකට මාරු කරන්න පුළුවන්. එහෙත් ලංකාවේ රුපියල් අරගෙන වෙනත් රටකට යන කෙනෙකුට එසේ මාරු කරන්න බැහැ. ලංකාවේ සංචාරකයින් නිතර යන එන ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ හා සිංගප්පූරුවේ "පුංචි ඉන්දියාව" වැනි සීමිත තැන් කිහිපයකදී හැර ලංකාවෙන් පිටතදී ලංකාවේ රුපියල් මාරු කරන්න බැහැ. ඒ නිසා, පිටරටකට යන ලාංකිකයෙකුට රුපියල් වෙනුවට ඩොලර් හෝ වෙනත් විදේශ මුදල් ඒකකයක් අරගෙන යන්න වෙනවා. දිගුකාලීනව කරගත යුත්තේ මේ තත්ත්වය වෙනස් කර ගැනීම නෙමෙයිද? 

දූරදර්ශී දේශපාලන ව්‍යාපාරයක් විසින් ඉහත ලැයිස්තුවේ ඇති විසඳුම් දෙස බැලිය යුත්තේ මේ ඉලක්කය අමතක නොකරමිනුයි. මේ මොහොතේ ඩොලර් නැතිකම සඳහා යෝජනා කරන විසඳුම් වලින් දිගුකාලීනව සිදු වෙන්නේ "ඩොලර් නැතිකම ප්‍රශ්නයක් වීමේ ප්‍රශ්නය" විසඳෙන එකද, නැත්නම්, තවත් උග්‍ර වෙන එකද?

ලංකාවේ රුපියලට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනීම ක්ෂණිකව, වසරකින් දෙකකින් හෝ වසර දහයකින් පහළොවකින් කළ හැකි දෙයක් නෙමෙයි. නමුත්, ඒ ගැන නොසලකා හිටියොත් කවදාවත්ම ඔය වැඩේ වෙන්නේ නැහැ. ඒ තරම් දුර බලන්න කලින් මේ මොහොතේ ප්‍රශ්නය විසඳා ගත යුතු බව ඇත්ත. හැබැයි එහිදී අවධානය යොමු කළ යුත්තේ ප්‍රශ්නය කොහොම හරි විසඳා ගන්න නෙමෙයි. වඩා හොඳ විදිහකට විසඳා ගන්නයි.

ලංකාවේ රුපියල කාටවත් එපා කියන එකෙන් කියැවෙන්නේ ලංකාව පෙන්වන වටිනාකම කවුරුවත් එහි දකින්නේ නැහැ කියන එකයි. දැන් රුපියලක මිල ඩොලර් ශත බාගයක්. ඒ මිලට කවුරුවත් රුපියල් මිල දී ගන්නේ නැහැ. මිල අඩු කිරීම ප්‍රශ්නයට විසඳුමක්. ලංකාවේ චූටි රුපියලටත් යම්කිසි වටිනාකමක් තියෙනවනේ. ඒ මිලට දුන්නොත් ඩොලර් ගෙවා රුපියල් ගන්න අය හොයා ගන්න බැරිවෙන එකක් නැහැ. වෙනත් විදිහකට කිවුවොත් රුපියලේ සැබෑ වටිනාකම නිරූපණය වන ආකාරයට විණිමය අනුපාතය අවප්‍රමාණය කිරීම ක්ෂණික ප්‍රශ්නයට ලබා දිය හැකි පහසු හා ක්ෂණික විසඳුමක්. 

හැබැයි මේ විදිහට ප්‍රශ්නය විසඳා ගත් පමණින් දිගුකාලීන ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ලංකාව රුපියල් අච්චු ගහන තරමට එහි සැබෑ වටිනාකම අඩු වෙනවා. ඒ නිසා, එක්කෝ ඔය සල්ලි අච්චු ගැහිල්ල නවත්වන්න ඕනෑ. නැත්නම් හැමදාම දිගින් දිගටම රුපියලට අවප්‍රමාණය වෙන්න ඉඩ දෙන්න ඕනෑ.

ණයට ඩොලර් අරගන්න පුළුවන්නම් ඒ මගිනුත් මේ මොහොතේ ප්‍රශ්නය විසඳෙනවා. හැබැයි දිගුකාලීනව ඒ ගත් ණය පොලියද සමඟ ගෙවන්න වෙන නිසා ප්‍රශ්නය නැවත වටයකින් මතු වෙන්නේ වඩා දරුණු ලෙසයි. මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ණය ලබා ගැනීම හෝ එසේ නොගොස් වෙනත් පාර්ශ්ව වලින් ණය ලබා ගැනීම අතර තිබෙන ප්‍රධානම වෙනස පළමු ක්‍රමයේදී බොහෝ විට විණිමය අනුපාතය අවප්‍රමාණය කරන්න සිදු වීමයි. ඊට අමතරව, මැදිකාලීනව ප්‍රශ්නය යටපත් කළ හැකි කොන්දේසි ඒ සමඟ එන්න පුළුවන්.

විදේශගත ලාංකිකයන්ගෙන් ඩොලර් එකතු කර ගන්න පුළුවන්නම් ඒ මගින්ද මේ මොහොතේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන්. එහෙත්, අනුන්ගෙන් හැමදාම සල්ලි ඉල්ලන්න බැහැ. ඔය වැඩේ ලොකුවට කරන්නත් බැහැ.  දැන් ප්‍රශ්නය විසඳාගත්තා කියලා ප්‍රශ්නය නැවත මතු වෙන එක වලක්වා ගන්නත් බැහැ. මීට සාපේක්ෂව, ලාංකිකකයින් වැඩි වැඩියෙන් රට පටවන එකේත් ප්‍රශ්න ගණනාවක් තිබෙනවා වුවත් එය වඩා ස්ථාවර ක්‍රමයක්. ඒ වැඩෙන් ක්ෂණික ප්‍රශ්නය හෝ දිගුකාලීන ප්‍රශ්නය නොවිසඳුනත් මැදිකාලීනව සහනයක් ලැබෙනවා.

ණය පැහැර හැරීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ආනයන පාලනය කිරීම වගේ දේවලුත් ක්ෂණික ප්‍රශ්නයට විසඳුම් වුවත් මේ වැඩ වලින් මැදිකාලීනව වගේම දිගුකාලීනවත් වෙන්නේ ප්‍රශ්නය උග්‍ර වෙන එකයි. වත්කම් හා/හෝ ස්වභාවික සම්පත් විකිණීමෙන්ද ලැබිය හැක්කේ කෙටිකාලීන වාසියක් පමණයි. රුපියල අවප්‍රමාණය නොකර අපනයන ප්‍රවර්ධනය කිරීම කතාවට හොඳ දෙයක් වුවත් ප්‍රායෝගිකව කරන්න අමාරු වැඩක්.

ඔය මොන දෙයක් කළත් දිගුකාලීනව තියා මැදිකාලීනවවත් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒ නිසා, නහය ඉදිරිපස තිබෙන පහසු විසඳුම අතහැර වෙන වෙන විසඳුම් හොයන එක කිසිම තේරුමක් නැති වැඩක්. රුපියල එහි සැබෑ වටිනාකම දක්වා පහත වැටෙන්න ඉඩ දුන් පසු ක්ෂණික ප්‍රශ්නය අවසානයි. ඉන් පසු, සල්ලි අච්චු ගහන එක ටිකෙන් ටික හෝ අඩු කරන්න වෙනවා. සල්ලි අච්චු ගහනවානම් නැවත නැවත රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩ දෙන්න වෙනවා. 

අවසාන වශයෙන් "ඩොලර් නැතිකම ප්‍රශ්නයක් වීමේ ප්‍රශ්නය" විසඳා ගත හැක්කේ සල්ලි අච්චු ගැසීම සීමා කිරීම මගින් පමණයි. රටක් ලෙස කවදා හෝ ආර්ථික නිදහස ලබා ගැනීම ගැන හිතනවානම් ඩොලර් නැතිකම ප්‍රශ්නයක් වීමේ ප්‍රශ්නයෙන් හැකි ඉක්මණින්  නිදහස් වෙන එක ගැනත් දැන්ම හිතන්න වෙනවා.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...