වෙබ් ලිපිනය:

Tuesday, August 3, 2021

ඇමරිකාවේ ගුරු වැටුප්


ගුරු වැටුප් ඉහළ නොදැමීමට කැබිනට් තීරණයක් ගෙන ඇති බව වාර්තා වී තිබෙනවා. එහෙත්, ගුරු අරගලය දිගටම සිදු වන බව පේනවා. ගුරු වැටුප් ඉහළ දැමිය යුතුද නැද්ද යන්න පිළිබඳව මා සෘජු අදහසක් ඉදිරිපත් කරන්නේ නැහැ. එය මට කළ හැකි දෙයක්ද නොවෙයි. මෙවැන්නක් කිව හැක්කේ කවර හෝ පදනමක් මතයි. තෝරා ගන්නා පදනම වෙනස් වෙද්දී නිගමනයද වෙනස් වෙනවා.

ගුරුවරුන් කියා කියන්නේ සුවිශේෂී සේවයක් කරන පිරිසක් නෙමෙයි. ආරක්ෂක හමුදා සාමාජිකයින්, වෛද්‍යවරුන් වගේම ගුරුවරුන් කියා කියන්නේත් තවත් එක් රැකියාවක් කරන පිරිසක්. රැකියාවක් කිරීමේ ප්‍රධාන අරමුණ ඒ වෙනුවෙන් ලැබෙන වැටුප්, අනෙකුත් වරප්‍රසාද හා මානසික තෘප්තියයි. මෙය ඕනෑම රැකියාවකට පොදුයි. මානසික තෘප්තිය රැකියා කරන සියල්ලන්ටම නොලැබෙනවා විය හැකියි.

ඕනෑම රැකියාවක් කරන අයෙකු විසින් සමාජයට යම් සේවයක් සලසනවාය යන අර්ථයෙන් ගුරුවරුන් විසින්ද සමාජයට සේවයක් සලසනවා. එම සේවය කොයි තරම් වටිනවාද යන්න නිර්ණය කළ යුත්තේ සේවය ලබන අය විසිනුයි. වෙළඳපොළ ක්‍රමයක් තුළ කිසියම් සේවයක් සපයන අයෙකුට එම සේවයේ නියම වටිනාකම ලැබෙනවා. සේවය ලබා ගන්නා අයට ඒ වෙනුවෙන් නියම මිල ගෙවන්න සිදු වෙනවා. 

ලංකාවේ ගුරු වැටුප් තීරණය වන්නේ වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම අනුව නෙමෙයි. ඒ වෙනුවට සේවය සපයන්නන් හා සේවය ලබන්නන් අතර අතරමැදියෙකු ලෙස රජය කටයුතු කරනවා. ගුරුවරුන් විසින් සපයන සේවයේ වටිනාකම තීරණය කරන්නේ රජය විසිනුයි. මේ අවස්ථාවේදී ගුරුවරු විසින් මෙම තීරණය අභියෝගයට ලක් කරමින් සිටිනවා.

රජයේ තීරණය අභියෝගයට ලක් කළත් ගුරුවරුන්ද තමන්ගේ සේවයේ වටිනාකම නිර්ණය කිරීමේ අර්බුදයක සිරව සිටින බව පෙනෙනවා. වෙළඳපොළක් නැති පසුබිමක ඔවුන්ට එය නිර්ණය කළ හැකි නිරපේක්ෂ ක්‍රමයක් නැහැ. ඒ නිසා, බොහෝ දෙනෙකු තමන්ගේ වැටුප් රජයේ වෙනත් රැකියා කරන්නන්ගේ වැටුප් සමඟත්, වෙනත් රටවල ගුරු වැටුප් සමඟත් සංසන්දනය කරමින් සිටිනවා. එවැනි එක් සංසන්දනයක ඇමරිකාවේ ගුරු වැටුප් ගැනද සඳහන්ව තිබුණා.

ඇමරිකාවේ ගුරු වැටුප් මධ්‍යගත ලෙස නිර්ණය වන්නේ නැහැ. එය සිදු වන්නේ වෙළඳපොල සාධක මතයි. කිසියම් ගුරුවරයෙකුට ඉල්ලුම වැඩි වෙද්දී ඔහුගේ හෝ ඇයගේ වැටුප්ද ඉහළ යනවා. ගුරුවරයෙකු සඳහා ඉල්ලුම වැඩි වන්නේ ඔහු හෝ ඈ විසින් සපයන සේවය පිළිබඳ සේවය ලබන්නන්ගේ ඇගයුම් ඉහළ යන තරමටයි.

ඇමරිකාවේ ගුරුවරයෙකු පසුගිය 2020 වසරේදී ඉපැයූ මධ්‍යන්‍ය වැටුප් පහත දැක්වෙනවා. 


පෙර පාසැල් ගුරුවරු - වසරකට ඩොලර් 31,930

බාලාංශ ශ්‍රේණියෙහි උගන්වන ගුරුවරු - වසරකට ඩොලර් 57,860

ප්‍රාථමික ශ්‍රේණි වල (1-5) උගන්වන ගුරුවරු - වසරකට ඩොලර් 60,940

කනිෂ්ඨ ද්වීතියික (6-8) ශ්‍රේණි වල උගන්වන ගුරුවරු- වසරකට ඩොලර් 60,810

ජ්‍යෙෂ්ඨ ද්වීතියික (9-12) ශ්‍රේණි වල උගන්වන ගුරුවරු- වසරකට ඩොලර් 62,870

ගුරු සහායකවරු - වසරකට ඩොලර් 28,900

විදුහල්පතිවරු - වසරකට ඩොලර් 98,490


මේ ගණන් රුපියල් වලට හැරවූ විට විශාල ගණන්. ඒ නිසා, ඇමරිකාවේ ගුරු වැටුප් පිළිබඳව විමර්ශනය කිරීමේදී පහත කරුණුද සැලකිල්ලට ගත යුතුයි.


ඇමරිකාවේ නිවාස ඒකකයක මධ්‍යන්‍ය ආදායම - වසරකට ඩොලර් 78,500

ඇමරිකාවේ දරිද්‍රතා ආදායම් සීමාව -  වසරකට ඩොලර් 26,500 (සිවු දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා)


ලංකාවේ නිවාස ඒකකයක මධ්‍යන්‍ය ආදායම (2016)- මසකට රුපියල් 43,511 

ලංකාවේ දරිද්‍රතා ආදායම් සීමාව -  මසකට රුපියල් 5,312


Saturday, July 31, 2021

මහ බැංකුව සහ භාණ්ඩාගාර බිල්පත්


මේ වියුණුව හරහා මා පෙර ලිපි ගණනාවකින් රාජ්‍ය ණය සහ විදේශ ණය අතර වෙනස පැහැදිලි කර තිබෙනවා. සියලුම රාජ්‍ය ණය විදේශ ණය නොවනවාක් මෙන්ම සියලුම විදේශ ණය රාජ්‍ය ණයද නෙමෙයි. ඒ නිසා, රාජ්‍ය ණය අඩු වෙද්දී විදේශ ණය ඉහළ යා හැකියි. ඒ වගේම විදේශ ණය අඩු වෙද්දී රාජ්‍ය ණය ඉහළ යා හැකියි. මේ වෙද්දී, අඩු වශයෙන් අපේ වියුණුවෙහි පාඨකයින්ට, රාජ්‍ය ණය සහ විදේශ ණය අතර සම්බන්ධය පිළිබඳ ලොකු ගැටළු නැතැයි මා සිතනවා.

මහ බැංකුව සහ භාණ්ඩාගාර බිල්පත් අතර සම්බන්ධයද මෙවැනිම පැටලිලි සහගත දෙයක්. ඒ නිසා, බොහෝ දෙනෙකුට මේ සම්බන්ධය පිළිබඳව විවිධ ගැටළු මතු වෙනවා.

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම කිසියම් රටක රජය විසින් ණය ලබා ගන්නා ක්‍රමයක්. එම ණය දේශීය ණය හෝ විදේශීය ණය විය හැකියි. එය තීරණය වන්නේ නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නේ රට වැසියෙක්ද නැත්නම් විදේශිකයෙක්ද යන්න මතයි. රජයක් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් වලින් යම් කොටසක් එම රටේ මහ බැංකුව විසින්ද මිල දී ගන්නට ඉඩ තිබෙනවා. එහිදී මහ බැංකුව විසින් රජයට ගෙවන්නේ අලුතෙන් මුද්‍රණය කළ මුදල්. ඒ නිසා රටේ මුදල් සැපයුම ඉහළ යනවා. 

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිද්දී රටේ මුදල් සැපයුම ඉහළ ගියත්, එම බිල්පත් කල් පිරෙද්දී රජය විසින් ණය ලෙස ලබාගත් මුදල පොලියද සමඟ ආපසු මහ බැංකුවට ගෙවන නිසා කලින් සංසරණයට එකතු වූ මුදල් සංසරණයෙන් ඉවත් වී නැවතත් මහ බැංකුව කරාම පැමිණෙනවා. මෙහිදී මුදල් සැපයුමෙහි අඩු වීමක් සිදු වෙනවා. 

ඉහත පරිදි මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිද්දී සංසරණයට එකතු වන මුදල් නැවතත් කෙටි කලකින් මහ බැංකුව වෙතම ආපසු පැමිණියහොත් එයින් රටේ උද්ධමනය කෙරෙහි අහිතකර බලපෑමක් සිදු වන්නේ නැහැ. උද්ධමනයට හේතු වන්නේ මුදල් සැපයුම ඉහළ ගොස් දිගු කලක් එම ඉහළ මට්ටමෙහිම පැවති විටයි. මහ බැංකුව සතු රජයේ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය මහ බැංකුවේ වත්කමක් වන අතර රජයේ ණයක් හෙවත් බැරකමක්.

මේ ආකාරයෙන් මහ බැංකුව විසින් මිල දී ගන්නා භාණ්ඩාගාර බිල්පත් ඇතැම් විට මහ බැංකුව විසින් කල් පිරෙන තුරු තබා ගන්නා නමුත් හැම විටම එසේ කරන්නේ නැහැ. කල් පිරෙන්නට පෙර ඒවා බොහෝ විට ද්වීතියික වෙළඳපොළේ විකුණනවා. එවිට මහ බැංකුවට කල් පිරෙන්නට පෙරම මුදල් නැවත ලැබෙනවා. කල් පිරීමේදී රජය විසින් බිල්පතෙහි ඒ වන විට අයිතිකරුට මුදල් ගෙවනවා. මේ ආකාරයෙන්ම මහ බැංකුව විසින් සෘජුව රජයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී නොගෙන කලින් මිල දී ගත් අයෙකුගෙන් මිල දී ගැනීමද කරනවා. 

මහ බැංකුව විසින් සෘජුව රජයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත්තත්, වෙනත් අයෙකුගෙන් ද්වීතියක වෙළඳපොළෙන් මිල දී ගත්තත් ඒ වෙනුවෙන් ගෙවන්නේ අලුතින් මුද්‍රණය කළ මුදල් නිසා මුදල් සැපයුම ඉහළ යනවා. බිල්පත් කල් පිරීමේදී හෝ ඊට පෙර ද්වීතියක වෙළඳපොළෙහි විකිණීමේදී මුදල් සැපයුම අඩු වෙනවා.

මීට අමතරව භාණ්ඩාගාර බිල්පත් හා අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරන තවත් කාර්යයක් තිබෙනවා. ඒ රජය වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් අලුතෙන් නිකුත් කර වෙන්දේසි කිරීමයි. මෙය ඉහත කී මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමෙන් හා විකිණීමෙන් වෙනස් වෙනම වැඩක්. පළමු කාර්යය ලෝකයේ බොහෝ මහ බැංකු විසින් කරන දෙයක් වුවත් දෙවැන්න එසේ ලෝකයේ අනෙකුත් රටවල සිදුවන සාමාන්‍ය දෙයක් නෙමෙයි. එය තනිකරම රජයේ නියෝජිතයෙකු ලෙස රජය වෙනුවෙන් කරන කාර්යයක්.

මහ බැංකුව විසින් රජය වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් අලුතෙන් නිකුත් කරන විට රාජ්‍ය ණය ඉහළ යනවා. එම බිල්පත් කල් පිරුණු විට රාජ්‍ය ණය පහළ යනවා. මෙසේ රජය වෙනුවෙන් මහ බැංකුව විසින් අලුතෙන් නිකුත් කරන බිල්පත් මහ බැංකුව විසින්ම මිල දී ගත්තොත් හැර එයින් රටේ මුදල් සැපයුමට බලපෑමක් සිදු වන්නේ නැහැ.

මහ බැංකුව වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම හා විකිණීම කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව විසින්. මෙහි අරමුණ රටේ මුදල් සැපයුම නිසි මට්ටමෙහි ස්ථාවරව තබා ගැනීමයි. එහිදී මහ බැංකුව විසින් ලාබ ඉපැයීම වැනි ඉලක්ක පසුපස යන්නේ නැහැ. මුදල් සැපයුම පාලනය කිරීම හරහා අවසාන වශයෙන් ඉලක්ක කරන්නේ උද්ධමනය පාලනය කිරීමයි.

රජය වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සහ කළමණාකරණය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින්. වසර කිහිපයකට පෙර බොහෝ කතා බහට ලක්වූ බැඳුම්කර වෙන්දේසිය වැනි වෙන්දේසි පැවැත්වෙන්නේ මෙම දෙපාර්තමේන්තුවේ. එම වෙන්දේසි සහ මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය අතර කිසිදු සෘජු සම්බන්ධයක් නැහැ. ඒ වගේම මේ වෙන්දේසියේදී වෙන්දේසි කෙරෙන්නේ මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් නෙමෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ බැංකුකරු ලෙසද කටයුතු කරනවා. ඒ අනුව, රජයේ මුදල් මහ බැංකුවේ තැන්පත් කරනවා. මහ බැංකුව රජයට ණය දෙනවා. දැන්නම් පළමුවැන්න සිදුවන්නේ ඉතා අඩුවෙන්. බොහෝ විට සිදු වන්නේ දෙවැන්නයි. මෙහිදී රජයට දෙන ණය ලෙස හැඳින්වූයේ මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම පමණක් නෙමෙයි. මහ බැංකුව විසින් රජයට එසේ නැතිවත් ණය දෙනවා. මහ බැංකුව විසින් කවර ආකාරයකින් රජයට ණය දුන්නත් එයින් මුදල් සැපයුම ඉහළ යනවා. 

පසුගිය ජූලි 28 දින වන විට රජය විසින් නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල වටිනාකම රුපියල් බිලියන 8,216ක්. එයින් රුපියල් බිලියන 1,136ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල හිමිකරු වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. මෙය පෙර නොවූ විරූ මට්ටමක් වුවත්, ඒ වගේම යම් තරමක සල්ලි අච්චු ගැසීමක්ද සිදුව තිබුණත්, මෙය බොහෝ දුරට මහ බැංකුව සතු වූ විදේශ සංචිත විකිණීමේ අතුරු ප්‍රතිඵලයක් මිසක් සල්ලි අච්චු ගැසීමක් නෙමෙයි. 

Wednesday, July 28, 2021

කෝටි දෙදාහේ මැණික


රත්නපුරේ පතලයකින් රුපියල් කෝටි දෙදාහක් වටිනා මැණිකක් හමු වී තිබෙන කතාව ගොඩක් අයට අහන්න ලැබෙන්න ඇතිනේ. ඇතැම් වාර්තා අනුව මැණික ඒ තරම්ම වටින්නේ නැහැ. ලිපිය ඉදිරියට ගෙන යාමේ අරමුණ පමණක් පෙරදැරිව මේ මැණික ඇත්තටම රුපියල් කෝටි දෙදාහක් වටිනවා කියලා අපි උපකල්පනය කරමු. අපට සාකච්ඡාවට බඳුන් කරන්න අවශ්‍ය අදහස් බොහොමයක්ම ඉදිරිපත්ව තිබුණේ එම උපකල්පනය මත පදනම්වයි.

පළමු ප්‍රශ්නය මේ වගේ වටිනා මැණිකක් මැණික් ව්‍යාපාරිකයෙකුගේ වත්තෙන්ම මතු වුනේ කොහොමද කියන එක. ඇතැම් අය මේ ප්‍රශ්නය මතු කර තිබෙනු මම දැක්කා. බොහෝ විට රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයින්ට අනෙක් සාමාන්‍ය අයට වඩා වැඩියෙන් විශාල ලොතරැයි දිනුම්ද ඇදෙනවා. ඔය වගේ ප්‍රවෘත්ති ප්‍රචාරය වෙද්දී කුණු තියෙන තැනටමයි කුණු ඇදෙන්නේ කියලා සමහරු හූල්ලනවා. මේ වැඩේ වෙන්නේ කොහොමද කියලා දන්නෝ දනිති කියා මම හිතනවා. මේ මැණික ඇතැම් විට ඇත්තටම අදාළ පුද්ගලයාගේ වත්තෙන්ම ලැබුණු එකක් විය හැකි නිසා, හරියටම කරුණු නොදැන මම වැඩිදුර මුකුත් කියන්නේ නැහැ.

මීටත් වඩා වැදගත් ප්‍රශ්නය දෙවන ප්‍රශ්නයයි. මහ පොළොවෙන් හමු වන මේ වගේ වටිනා මැණිකක තනි අයිතිය ඉඩමේ හිමිකරුට ලැබෙන එක සාධාරණද? ලංකාවේ හැමෝටම රුපියල් පන්සීය බැගින් බෙදලා දුන්නත් ඔය කෝටි දෙදාහෙන් කෝටි දාහක්ම ඉතුරු වෙනවනේ. 

වටිනා මැණිකක් කියා කියන්නේ වසර කෝටි ගණනක් තිස්සේ ස්වභාවිකව හැදුනු දෙයක් මිසක් ඉඩම අයිතිකරුගේ ශ්‍රමයෙන් හදපු දෙයක් නොවන බවට තර්ක කළ හැකි නිසා මේ අදහසට කිසියම් පදනමක් තිබෙනවා. එහෙමනම්, පොළොවෙන් ලැබෙන මැණිකක් වැනි වටිනා දෙයක් ඉඩම අයිතිකරුට හිමිවීම වැරැද්දක් නොවන්නේ කොහොමද?

කෝටි ගණනක් වටිනා, පොළොවෙන් හමු වූ මැණිකක් ඉඩම අයිතිකරුටම අයිති වීම පවතින සමාජ-ආර්ථික ක්‍රමයේ වරදක් ලෙස දකින ගොඩක් අයට පහසුවෙන් අමතක වන දෙයක් වන්නේ එම මැණිකට කෝටි ගණනක වටිනාකමක් ලැබෙන්නේ කොහොමද කියන එකයි. මෙවැනි මැණිකකට එපමණ වටිනාකමක් ලැබෙන්නේම ඒ වෙනුවෙන් විශාල මුදලක් ගෙවන්න සූදානම් අය සිටින නිසයි. එසේ නැතුව මේ වගේ මැණිකක බොහෝ විට කිසිදු නෛසර්ගික වටිනාකමක් නැහැ.

ලෝකයේ මිනිසුන් අතර අද මෙන් ගනුදෙනු සිදු නොවන කාලයකදී දුප්පත් ගැමියෙකුගේ වත්තෙන් මේ වගේ මැණිකක් ලැබුණා කියා හිතන්න. ඒ මැණිකෙන් ඔහුට තිබෙන ප්‍රයෝජනය කුමක්ද? 

පිළිතුර ඉතාම සරලයි. පැහැදිලියි. මේ වගේ මැණිකකින් ඔහුට කිසිම වැඩක් නැහැ. ඕනෑනම් එය මිදුලේ තිබෙන්න හැර හවසට ඒ මත වාඩි වී විටක් හපන්න පුළුවන්. බොහෝ විට කවුරුවත් ඔය මැණික රෑට ඇවිත් හොරකම් කරගෙන යන එකක් නැහැ. එහෙම ගෙනිච්චා කියලා ගෙනියන කෙනෙකුටත් එයින් ඇති වැඩක් නැහැ.

කාලයකට පෙර තමන්ගේ වත්තෙන් මැණිකක් වගේ වටිනා දෙයක් හොයාගත් කෙනෙක් බොහෝ විට කළේ එය රජ තුමාට හෝ වෙනත් ප්‍රාදේශීය ප්‍රධානියෙකුට තෑගි කරන එක. මෙය මහ පොළොවෙන් හමු වන දෙයෙහි අයිතිය රජතුමා සතු වූ නිසා කළ දෙයක් කියා කියන්න පුළුවන් වුනත් එහි ඊට වඩා දෙයක් තිබෙනවා. ඔය වගේ දෙයක් රජ තුමාට තෑගි කිරීමෙන් පසුව බොහෝ විට ධාන්‍ය කරත්තයක් හෝ හරක් බානක් වැනි වෙනත් යමක් ආපසු තෑගි සේ ලැබෙනවා. මැණිකෙන් සෘජු ප්‍රයෝජනයක් නැතත් ධාන්‍ය කරත්තයෙන් හෝ හරක් බානෙන් ගැමියාට සෘජු ප්‍රයෝජනයක් තිබෙනවා. අනෙක් අතට රජතුමා සතුව අදාළ මැණිකට වටිනාකමක් දිය හැකි තරමට ධාන්‍ය, හරකා බාන වැනි මූලික මට්ටමේ සම්පත් අඩුවක් නැතිව තිබෙනවා.

අද රත්නපුරේ පතලයකින් හමු වන මැණිකක් ලෝකයේ කොහේ හෝ අයෙකු විසින් මැණික් වෙන්දේසියකින් මිල දී ගනිද්දී සිදු වන්නේත් සංකල්පීය ලෙස යම් තරමකින් ඔය වගේම දෙයක්. මේ වගේ මැණිකක් මුදල් ගෙවා මිල දී ගන්නට කැමති අය මහ ගොඩක් නැහැ. බොහෝ විට මෙය මිල දී ගන්නේ සමරු අයිතමයක් (collector's item) ලෙසයි. එසේ මිල දී ගන්නේ කිසියම් ධන කුවේරයෙකු හෝ කෞතුකාගාරයක් විසින් විය හැකියි. මිල දී ගන්න මැණික් ගල සමරු අයිතමයක් ලෙස තබා ගන්නවා හෝ ප්‍රදර්ශනය කරනවා හැර එය මිල දී ගන්නා අයෙකු විසින් එයින් වෙනත් සෘජු ප්‍රයෝජනයක් ලබා ගන්නේ නැහැ.

කන්න අඳින්නවත් සල්ලි නැති කෙනෙකුට මැණික් මිල දී ගන්න පුළුවන්කමක් හෝ අවශ්‍යතාවයක් නැහැ. එවැන්නක් කරන්නේ සැලකිය යුතු වත්කමක් තමන් සතුව තිබෙන කෙනෙක්. එවැනි විශාල වත්කමක් යමෙකු සතුව තිබිය හැක්කේ වෙනත් අය විසින් වටිනා සේ සලකන මොනවා හෝ දෙයක් නිර්මාණය කර හුවමාරු කළේනම් පමණයි. මැණික් ගල විකුණා මුදල් ලබා ගන්නා පුද්ගලයා පොහොසතෙක් වන ආකාරයේම ක්‍රියාවලියක් එය මිල දී ගන්නා පුද්ගලයා පොහොසතෙකු වීමේ ක්‍රියාවලිය තුළත් තිබෙනවා. මැණික් ගලට වටිනාකම දෙන්නේ ඔහු විසින් වනවාක් මෙන්ම ඔහු පොහොසතෙකු වී තිබෙන්නේ වෙනත් අය වටිනාකම් දෙන කවර හෝ දෙයක් නිවැරදිව හඳුනා ගැනීම නිසා.

තමන්ට අවශ්‍ය නැති මැණික් වැනි දෙයක් සෙවීම සඳහා කිසියම් අයෙකු විසින් තමන්ගේ ශ්‍රමය යොදවන්නේ මැණිකකට වටිනාකමක් දෙන කවුරු හෝ අයෙකු සිටින නිසා. එවැන්නෙකුගේ ශ්‍රමයට වටිනාකමක් ලැබෙන්නේම ධනවාදය තුළ සිදුවන නිදහස් හුවමාරුව නිසා. හුවමාරු කිරීමේ හැකියාවක් නැත්නම් ඔහු ගොවිතැනක් බතක් කරගෙන ඉන්නවා මිස මැණික් හොයන්න වෙහෙසෙන්නේ නැහැ. 

හුවමාරුවක් සිදු වන හැම විටකම අලුතෙන් වටිනාකමක් ජනනය වෙනවා. වී ගොවියෙක් වී විකුණා අත් ට්‍රැක්ටරයක් මිල දී ගන්නේ ඔහුට සාපේක්ෂව අත් ට්‍රැක්ටරයයේ වටිනාකම වී වල වටිනාකමට වඩා වැඩි නිසා. අත් ට්‍රැක්ටර් හදන ජපන් සමාගම එය යම් මිලකට විකුණන්නේ ඔවුන්ට එම මිලට එය විකිණීමෙන් ලාබයක් තිබෙන නිසා. මේ වැඩෙන් දෙපාර්ශ්වයටම සිදු වන්නේ ලාබයක්. එම ලාබය අලුතෙන්ම ජනනය වන වටිනාකමක්. රුපියල් කෝටි දෙදාහකට මැණිකක් මිල දී ගන්නා අයෙක් එහිදී වැය කරන්නේත් මේ ආකාරයෙන් ජනනය කරගත් වටිනාකම් වල මුදල් අගය. එවැන්නෙක් එසේ කරන්නේ ඔහුට සාපේක්ෂව අදාළ මැණික අවම වශයෙන් රුපියල් කෝටි දෙදාහක් වටින නිසා. වෙනත් අයෙකු විසින් එම මුදල ගෙවා එය මිල දී නොගන්නේ වෙනත් කිසිවෙකුට මැණික එපමණ නොවටින නිසා. මැණිකේ වටිනාකම රුපියල් කෝටි දෙදාහක් වන්නේම එපමණ මිලක් ගෙවා එය මිල දී ගන්නා පුද්ගලයෙකු සිටින නිසා.

හුවමාරුවක් සිදු වන හැම විටකම අලුතෙන් වටිනාකමක් ජනනය වෙනවා. කෝටි දෙදාහක මැණිකකට එම වටිනාකම ලැබීම තුළ පියවරෙන් පියවර වටිනාකම් එකතු වීමේ ක්‍රියාදාමයක් තිබෙනවා. මැණික වසර ලක්ෂ හෝ කෝටි ගණනක් තිස්සේ ස්වභාවිකව මහ පොළොවේ හැදී තිබෙනවා විය හැකි වුවත්, කිසිම නෛසර්ගික වටිනාකමක් නැති එවැනි මැණිකකට කෝටි ගණනක වටිනාකමක් ලැබෙන්නේ ධනවාදය තුළ නිදහස් ගනුදෙනු හරහා සිදුවන වටිනාකම් එකතු වීමේ ක්‍රියාවලිය නිසා මිසක් එය හැදෙන්න විශාල කාලයක් ගත වූ නිසා හෝ එවැනි මැණික් දුලබ වීම නිසාම නෙමෙයි. මැණික ලැබුණේ මහ පොළොවෙන් වුනත් මැණිකේ වටිනාකම මහ පොළොවෙන් ලැබුණු දෙයක් නෙමෙයි. 

Monday, July 26, 2021

ලංකාවේ රජය පැහැර හැරි ණය


මේ දවස් වල ලංකාවේ ජනප්‍රිය මාතෘකා දෙකකින් පළමුවැන්න ඩොලර් හිඟය සහ ණය පැහැර හැරීමට සිදු වීමේ අවදානම. දෙවැන්න කොතලාවල ප්‍රශ්නය සහ ගුරු වර්ජනය. පළමු කාරණාව සම්බන්ධව කොහොම වෙතත් දෙවැන්න සම්බන්ධව අපේ පෞද්ගලික හිත මිතුරන් හා පාඨකයින් දෙපිල බෙදී සිටීමක් දැකිය හැකියි. මේ බෙදීම සාමාන්‍ය පක්ෂ දේශපාලන බෙදීමම නොවන බවත් මට නිරීක්ෂණය වූ දෙයක්.

මීට පෙර සයිටම් ප්‍රශ්නය වෙලාවේදී මා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දැඩි සේ පෙනී සිටි බව ඔබට මතක ඇති. නිදහස් අධ්‍යාපනය යන්නෙන් මා අදහස් කරන්නේ කවර හෝ අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය අයෙකුට එම අධ්‍යාපනය ලබා ගැනීමට  තිබෙන අයිතිය. අධ්‍යාපනය ලබා දීමේ පිරිවැයක් තිබෙන නිසා එම පිරිවැය අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයාට හෝ වෙනත් අයෙකුට ගෙවන්නත් සිදු වෙනවා. තෙවන පාර්ශ්වයක් විසින් එය වැලැක්වීමෙන් සිදු වන්නේ නිදහස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි කිරීමක්. 

මේ අර්ථයෙන් මම කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය හරහා මුදල් අය කර සිවිල් වැසියන්ට උපාධි පිරිනැමීම ගැන විරුද්ධ නැහැ. එහෙත් මේ විරෝධය තුළ කතා වන හැම දෙයක් ගැනම මට අවබෝධයක් නැහැ. අදාළ පණත මා විසින් අධ්‍යයනය කර නැහැ. ඒ නිසා, ඒ ගැන වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ.

පළමු මාතෘකාවට ආවොත්, බාහිර ලෝකයේ ඇසින් ලංකාවේ රජයට ණය පැහැර හැරීමට සිදු වීමේ අවදානම විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ලංකාව තුළ වුවත් එය එසේ නොවන බව කියන පිරිස ඉතාම සීමිතයි. 

ලංකාවේ රජය බොහෝ විට ආඩම්බරයෙන් කියන දෙයක් වන්නේ මෙතෙක් කිසි විටෙකත් ලංකාවේ රජය විසින් ලබා ගත් ණය පැහැර හැර නැති බවයි. රාජ්‍ය ණය පැහැර හැරීම කියා කියන්නේ යාළුවෙක්ගෙන් ණයට ලබා ගන්නා රුපියල් පන්දාහක් ආපසු නොගෙවා මග හරිමින් සිටීම වැනි සරල දෙයක් නෙමෙයි. රාජ්‍ය ණය පැහැර හැරීම කියන එකට තිබෙන්නේ පුළුල් අර්ථකතනයක්. ණය ලබා ගැනීමේදී එකඟ වූ කොන්දේසි යාන්තමින් ඉටු නොවීම ණය පැහැර හැරීමක් ලෙස වාර්තා විය හැකියි.

රජයක් හෝ පෞද්ගලික සමාගමක් විසින් බැඳුම්කරයක් නිකුත් කිරීමේදී එහි කූපන් පොලී මුදල් හා මුල් මුදල ආපසු ගෙවන දින වකවානු පිළිබඳ නිශ්චිත එකඟතාවයක් තිබෙනවා. හරියටම ඒ කියපු දවසට මුදල් ගෙවන්න නොහැකි වී සුළු හෝ ප්‍රමාදයක් සිදු වුවහොත් එය ණය පැහැර හැරීමක් සේ සැලකෙන්න පුළුවන්.

ජාත්‍යන්තර මුදල් හුවමාරු සිදු වන්නේ දෙල්කඳ පොළෙන් පොළොස් ගෙඩියක් මිල දී ගන්න විදිහට නෙමෙයි. මුදල් ගෙවන්නා සහ මුදල් ලබන්නා එකිනෙකා හා සම්බන්ධ වෙන්නේ වෙනත් අතරමැදියන් ගණනාවක් හරහා. මේ වැඩේට කිසියම් ගෙවුම් පද්ධතියක් හෝ ගෙවුම් පද්ධති කිහිපයක් යොදා ගැනෙනවා. ඇතැම් විට මුදල් ගෙවූ අවස්ථාවේ සිට මුදල් ලැබෙන අවස්ථාව දක්වා දවස් කිහිපයක් ගත වෙන්න පුළුවන්. ඒ වගේම අදාළ තොරතුරු සන්නිවේදනය කිරීමේදී සිදු වන සුළු තාක්ෂනික අත් වැරැද්දක් නිසා වෙලාවට සල්ලි නොයන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී වුවත් එකඟතාවය කඩවීමක් සිදු වන නිසා එය ණය පැහැර හැරීමක් සේ සටහන් විය හැකියි. 

යම් හෙයකින් තාක්ෂණික බිඳ වැටීමක් නිසා ලැබිය යුතු මුදලක් පැයක් පරක්කු වුනත් එයින් ණය දුන් අයෙකුට දැනෙන පාඩුවක් සිදු වන්නේ නැහැ. ලංකාවේ රජය ණය ආපසු ගෙවීමේදී මෙතෙක් කවදාවත් මෙවැනි අත් වැරැද්දක් කරගෙන නැහැ කියා කියන එකෙන් පෙනෙන්නේ අදාළ කටයුත්ත කොයි තරම් බැරෑරුම් ලෙස සලකා තියෙනවද කියන එකයි. 

මේ දවස් වල ඇහෙන තවත් වචනයක් වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන එක. ඉතාම කෙටියෙන් කිවුවොත් මෙහිදී වෙන්නේ මුලින් එකඟ වූ ආකාරයට ණය නොගෙවා සිටීමක්. නමුත් එය කරන්නේ කිසියම් පූර්ව එකඟතාවයකින් පසුවයි. කිසිවක්ම නොලැබී යාමේ අවදානම හමුවේ තමන්ට ලැබිය යුතු මුදලට වඩා අඩු මුදලක් ලබා ගැනීමට, නියම මුදල පසු දිනක ලබා ගැනීමට හෝ ඔය දෙකටම ණය දුන් පාර්ශ්වය එකඟ වෙන්න පුළුවන්. මෙහිදී ගිවිසුම් කඩවීමක් සිදු නොවන නිසා තාක්ෂනිකව ණය පැහැර හැරීමක් සිදු වන්නේ නැහැ. එහෙත් සුළු තාක්ෂනික ප්‍රමාදයක් නිසා සිදු වන තාක්ෂනික ණය පැහැර හැරීමක (technical default) අලාභයට සාපේක්ෂව මෙවැනි එකඟතාවයක අලාභය බොහෝ වැඩි විය හැකියි. ඒ නිසා, පූර්ව එකඟතා මත සිදු වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම් වුවත් ණය පැහැර හැරීම් සේ සැලකෙනවා. ඔය කාණ්ඩ දෙකටම නොවැටෙන, "ගෙවන්නේ නැහැ. පුළුවන් දෙයක් කරන්න!" මාදිලියේ ණය පැහැර හැරීම් ඉතාම දුලබයි.

බොහෝ ආර්ථික දැවැන්තයින් විසින්ද ණය පැහැර හැරි අවස්ථා ඉතිහාසයේ තිබුණත් මෑත ඉතිහාසය තුළ ණය පැහැර හැර ඇති සේ සැලකෙන බොහොමයක් රටවල් අඩු ආදායම්ලාභී හෝ මැදි ආදායම් කාණ්ඩයේ රටවල්. එහෙත් ආර්ථික විද්‍යා දෘෂ්ඨි කෝණයකින් පුළුල් ලෙස බැලුවොත් ලෝකයේ හැම රජයක්ම වගේ දිගින් දිගටම අඛණ්ඩව එක්තරා ආකාරයක ණය පැහැර හැරීමක් කරමින් සිටිනවා.

ගුරු වර්ජනය වෙත නැවත පැමිණියහොත්, වෙනත් ඉල්ලීම් ගණනාවක් පෙනෙන්නට තිබුනත්, මේ වර්ජනය පසුපස ගුරු වැටුප් වැඩි කර ගැනීමේ ඉල්ලීමක්ද තිබෙනවා. මේ ආකාරයෙන්ම වරින් වර වෛද්‍යවරුන් හා අනෙකුත් සෞඛ්‍ය සේවකයින්, සරසවි ඇදුරන් හා අනධ්‍යයන සේවකයින් වැනි වෙනත් රජයේ සේවකයින්ද වැඩි වැටුප් ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා. රජයේ සේවකයින් විශාල පිරිසකට රැකියා අහිමි කරමින් අවසන් වූ 1980 ජූලි වර්ජනය පිළිබඳ මතක තවමත් බොහෝ දෙනෙකුට තිබෙනවා. මේ ආකාරයට රජයේ සේවකයින් විසින් වරින් වර වැඩි වැටුප් ඉල්ලා සිටීම එක්තරා ආකාරයකින් රජය විසින් සිදු කරන ණය පැහැර හැරීමකට ප්‍රතිචාරයක් ලෙසද අර්ථ දැක්විය හැකියි.

කිසියම් අයෙකු රජයේ රැකියාවක් භාර ගැනීමේදී එම තැනැත්තා විසින් ලබා දෙන සේවය වෙනුවෙන් යම් නිශ්චිත වැටුපක් ලබා ගැනීමේ එකඟතාවයක් ඇති වෙනවා. පළමු පඩි දිනය දක්වා, මාසයකට ආසන්න කාලයක්, ශ්‍රමිකයා වැඩ කරන්නේ ණයටයි. මාසය අවසානයේදී රජය විසින් ණය ගෙවනවා. යම් හෙයකින් නියමිත දිනයේදී කලින් පොරොන්දු වූ වැටුප ලබා නොදුන්නොත් එය සැලකිය හැක්කේ ණය පැහැර හැරීමක් ලෙසයි.

ලංකාවේ රජය හා රාජ්‍ය සේවකයෙකු අතර ඇති වන සේවා ගිවිසුම තුළ එකඟතාවයක් ඇති වන්නේ නිශ්චිත ශ්‍රම කාලයක්  නිශ්චිත රුපියල් ප්‍රමාණයක් සමඟ හුවමාරු කර ගැනීමටයි. මෙහිදී රාජ්‍ය සේවකයා තමන්ගේ ශ්‍රමයේ වටිනාකම රුපියල් වලින් ලබා ගන්නේ රුපියල් පරිභෝජනය කළ හැකි නිසා නෙමෙයි. රුපියල් සත කන්න බැරි බව ත්‍රිරෝද රථ වලට ස්ටිකර් විකුණන අය වගේම ෆේස්බුක් එකේ පෝස්ට් ශෙයා කරන අයත් දන්නවා. රුපියල් ලබා ගන්නේ රුපියල් සමඟ හුවමාරු කර ලබා ගත හැකි පරිභෝජනය කළ හැකි දේවල් නිසා. එහෙත් ඒ බව බොහෝ විට සේවා ගිවිසුමේ නැහැ. එය යම් ආකාරයක අලිඛිත එකඟතාවයක්.

මාසය අවසානයේදී පොරොන්දු වූ වැටුප ලැබෙනවානම්, මුල් මාස වලදී ගැටලුවක් ඇති වන්නේ නැහැ. එහෙත් කාලයත් එක්ක ලැබෙන නිශ්චිත රුපියල් ප්‍රමාණයෙන් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩු වන බව ශ්‍රමිකයාට තේරෙනවා. එහෙත්, ගිවිසුමේ ඔහුගේ කොටස ඒ විදිහටම සිදු වෙනවා. ලබා දෙන ශ්‍රම කාලයේ අඩුවක් වෙන්නේ නැහැ. ගිවිසුම අනුව රජය වැරැද්දක් කර නැහැ. පොරොන්දු වූ රුපියල් ප්‍රමාණය මාසය අන්තිමට අඩු නැතුව ලැබෙනවා. නමුත් එම රුපියල් ප්‍රමාණය තුළ අපේක්ෂා කළ වටිනාකම නැහැ. ඒ පදනම මත බැලුවොත් ලැබෙන්නේ පොරොන්දු වූ දෙයට වඩා අඩු දෙයක්. 

මේ කතාව පෞද්ගලික ආයතනයක ශ්‍රමිකයන් හා අදාළව වුවත් කිව හැකියි. එහෙත්, මේ දෙකේ වෙනසක් තිබෙනවා. උද්ධමනය නිසා නාමික වැටුප් වල මූර්ත වටිනාකම අඩු වීම පෞද්ගලික ආයතනයක් විසින් හිතාමතා කරන දෙයක් නෙමෙයි. එය බාහිර කරුණක්. හැමවිටම නොවුනත්, ඇතැම් පෞද්ගලික ආයතන වල සේවා ගිවිසුම් තුළ සේවක වැටුප් උද්ධමනය හා ගැලපීමක්ද දකින්නට පුළුවන්.

මෙයින් වෙනස්ව, උද්ධමනය කියන්නේ රජය විසින් සැලසුම්සහගතව නිෂ්පාදනය කරන දෙයක්. එය බාහිර කරුණක් නෙමෙයි. රජයේ ආදායමට වඩා වියදම් වැඩිනම්, කවර හෝ හේතුවක් නිසා බදු හරහා ආදායම් වැඩි කර ගැනීම අසීරුනම්, සේවා ගිවිසුම් අනුව රජයේ සේවකයින්ගේ නාමික වැටුප් අඩු කරන්නත් බැරිනම්, උද්ධමනය තෝරා ගැනීම රජයකට හොඳ විකල්පයක්. 

උද්ධමනය ඉහළ යද්දී බොහෝ විට බදු අය කෙරෙන පදනම්ද නාමිකව ඉහළ ගොස් රජයේ ආදායම් ඉහළ යන නමුත් අඩු වශයෙන් යම් කාලයක් යන තුරු රජයේ වියදම් ඉහළ යන්නේ නැහැ. එය සිදු වන්නේ රජයේ සේවකයින් විසින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් හරහා වැටුප් වැඩි කරගැනීම වැනි දෙයක් සිදු වීමෙන් පසුවයි. එම කාලය තුළ රජයට ආදායම් හා වියදම් අතර පරතරය යම් තරමකින් අඩු කර ගන්න පුළුවන්, වෙනත් විදිහකින් කිවුවොත් නාමිකව ඉහළ ගියත්, මූර්ත පදනමකින් අයවැය හිඟය පහළ දමා ගන්න පුළුවන්. 

මේ විදිහට උද්ධමනය ඉහළ යද්දී රජයට වාසියක් වෙන්නේ මූර්ත පදනමින් රාජ්‍ය සේවක වැටුප් අඩුවීම නිසා පමණක් නෙමෙයි. සැපයුම්කරුවන්ට කරන ගෙවීම් වගේ දේවල් හා අදාළවත් ඔය වැඩේම වෙනවා. පොරොන්දු වූ මුදලක් මාස කිහිපයක් ප්‍රමාද කර ගෙවනවා කියා කියන්නේ මූර්ත පදනමින් අඩුවෙන් ගෙවීමක්. 

බැංකු ණයක් ගෙන රජය වෙනුවෙන් යම් භාණ්ඩ හෝ සේවා සැපයුමක් කරන කොන්ත්‍රාත්කරුවෙක් ගැන හිතන්න. දැන් මේ සැපයුම වෙනුවෙන් ලැබිය යුතු ගෙවීම ප්‍රමාද වන තරමට බැංකු ණය වෙනුවෙන් අමතර පොලී මුදලක් ගෙවන්න සිදු වෙනවා. එය කොන්ත්‍රාත්කරුට සිදු වන අවාසියක්. මෙහි ඇති සැඟවුණු කරුණ වන්නේ ඇත්තටම එම අවාසිය රජයට සිදුවන වාසියක් බවයි. වෙනත් ආකාරයකින් කිවුවොත් මෙහිදී සිදුවන්නේ රජය විසින් පොරොන්දු වූ මුදලට වඩා අඩු මුදලක් ගෙවීමක් හෙවත් ණය පැහැර හැරීමක් වැනි දෙයක්.

රජයේ සියලු වියදම් ආවරණය කරගත හැකි තරමට බදු ගෙවන්න රටක මිනිස්සු සූදානම් නැත්නම් එයින් අදහස් වන්නේ රජය විසින් සලසන සේවයේ වටිනාකම පිළිබඳ මිනිසුන්ගේ තක්සේරුව අඩු බවයි. වෙනත් අයුරකින් කිවුවොත් රාජ්‍ය සේවකයින් විසින් සලසන සේවය වෙනුවෙන් රටේ බදු ගෙවන ජනතාව ගෙවන්න සූදානම් මුදල ඔවුන් වැටුප් සේ ලබා ගන්නා මුදලට වඩා අඩු බවයි. එසේනම් කළ යුත්තේ රාජ්‍ය සේවක වැටුප් අඩු කරන එකයි. එහෙත් විවිධ නෛතික හා ප්‍රායෝගික බාධාවන් නිසා රජයකට එය කිරීම අසීරුයි. නාමික වැටුප් එලෙසම තිබියදී උද්ධමනයට ඉඩ හැර මූර්ත වැටුප් අඩු කිරීම මෙය වක්‍ර ලෙස කළ හැකි ක්‍රමයක්. ලංකාවේ රජය කාලයක සිට මේ උපක්‍රමය භාවිතා කරනවා.

ජේආර්ගේ ආණ්ඩුවට හැත්තෑ හතේදී පෙනී ගිය කරුණක් වුනේ විශාල හා අකාර්යක්ෂම රාජ්‍ය සේවය රජයේ අයවැයට දරාගත නොහැකි බරක් බවයි. එහෙත්, රාජ්‍ය සේවයේ නාමික වියදම් අඩු කිරීම පහසුවෙන් කළ හැක්කක් වුනේ නැහැ. සල්ලි අච්චු ගසා උද්ධමනය ඉහළ යන්න සැලැස්වීමෙන් මේ කාර්යය වක්‍ර ලෙස කළ හැකි වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ සේවකයින්ට ඔවුන්ගේ වැටුපෙන් ජීවත් වීම අසීරු වුනා. ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා පෙළඹුණා. කෙසේ වුවත්, මෙහිදී සිදු වුනේ රාජ්‍ය සේවක ශ්‍රමයේ සැබෑ වටිනාකම හා ගැලපෙන පරිදි මූර්ත වැටුප් අඩු වීමක් නිසා ඔවුන්ට හෙට්ටු කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. වර්ජකයින් විශාල පිරිසකට තිබුණු ආදායමද අහිමි වුනා.

ජේආර් උපක්‍රමය අද දක්වාම සාර්ථකව නැවත නැවත ක්‍රියාත්මක වෙනවා.

Friday, July 23, 2021

රුපියලේ අනාගතය කුමක්ද?

අලුත් වැඩක්! ඉදිරියට යනවද කියන එක තීරණය වෙන්නේ ප්‍රතිචාර අනුවයි.




කිසියම් හේතුවක් නිසා ජංගම දුරකථන වලින් පිවිසෙන අයට වීඩියෝව පෙනෙන්නේ නැහැ. පහත ලින්ක් එක හරහා වීඩියෝවට යා හැකියි: https://www.youtube.com/watch?v=echr-J7HYhQ

Wednesday, July 21, 2021

සෙනසුරු අපලයෙන් බේරෙන්නේ කොහොමද?


ලංකාවේ බොහෝ දෙනෙක් ජ්‍යෝතිෂය විශ්වාස කරනවා. ජ්‍යෝතිෂය විශ්වාස කරන අය සෙනසුරු ඒරාෂ්ඨකය සලකන්නේ ඉතාම නරක අපල කාලයක් ලෙසයි. සෙනසුරු මාරුවක් සිදු වන විට ලංකාවේ බොහෝ දෙනෙක් තමන්ගේ කේන්ද්‍ර පරීක්ෂා කර ගන්නවා. සෙනසුරු ඒරාෂ්ඨක එහෙමත් නැත්නම් සාමාන්‍ය ව්‍යවහාරය අනුව "හෙනහුරාගේ අපලේ" ලැබෙන ආකාර ගණනාවක් තිබෙනවා. ඒ අතරින් ලග්න ඒරාෂ්ඨකය හෝ ජන්ම ඒරාෂ්ඨකය ලබපුවහම එය ගෙවෙන්න වසර හත හමාරක පමණ කාලයක් යනවා. සෙනසුරු ඒරාෂ්ඨකය ගැන දැන නොසිටියත්, හෙනහුරා අවුරුදු හතහමාරක් විෂ්ණු දෙවියන්ටත් බට කොළ කවපු කතාව ජ්‍යෝතිෂය විශ්වාස නොකරන අයෙක් වුවත් අසා නොතිබෙන්න හේතුවක් නැහැ.

ජ්‍යෝතිෂය පදනම් වී තිබෙන්නේ පෘථිවියට සාපේක්ෂව සිදු වන අනෙකුත් ග්‍රහයන්ගේ චලනය මතයි. කේන්ද්‍ර සටහනකින්  කරන්නේ කිසියම් මොහොතක පෘථිවියට සාපේක්ෂව අනෙකුත් ග්‍රහයින්ගේ පිහිටීම සටහන් කර තබන එකයි. මෙහිදී පොළොවට සාපේක්ෂ අහස කොටස් දොළහකට බෙදා එම එක් එක් කොටසක් තුළ දැකිය හැකි ග්‍රහයින් අදාළ කොටු වල සටහන් කරනවා.

සෙනසුරා හෙවත් ශනි ග්‍රහයා සූර්ය ග්‍රහ මණ්ඩලයේ සූර්යයාට බොහෝ ඈතින් වූ පථයක චලනය වන ග්‍රහයෙක්. පෘථිවිය චලනය වන්නේ සෙනසුරුට සාපේක්ෂව සූර්යයාට කිට්ටුවෙන් නිසා පෘථිවියට සාපේක්ෂව ශනි ග්‍රහයාට වටයක් සම්පූර්ණ කරන්න වසර තිහක පමණ කාලයක් ගත වෙනවා. ඒ නිසා, කිසියම් මොහොතක අඳින කේන්ද්‍ර සටහනක ශනි ග්‍රහයා ලකුණු කෙරෙන තැනට වටයක් ගොස් නැවත ආපසු එන්නට ශනි ග්‍රහයාට වසර තිහක පමණ කාලයක් ගත වෙනවා. ලග්න දොළහක් තිබෙන නිසා එක ලග්නයක සීමාව පසු කරන්න සෙනසුරුට වසර දෙකහමාරක පමණ කාලයක් ගත වෙනවා.

සෙනසුරු කිසියම් පුද්ගලයෙකුගේ උපන් ලග්නය, ඊට පෙර ලග්නය හා ඊට පසු ලග්නය පසුකරන කාලය සෙනසුරුගේ ලග්න ඒරාෂ්ඨකය ලෙස හැඳින්වෙනවා. මේ කොටු තුන පහු කරන්න ආසන්න වශයෙන් වසර හතහමාරක් පමණ ගත වෙනවා. එහෙත් මෙය සාපේක්ෂ චලිතයක් නිසා කාලය අඩු වැඩි වෙන්න පුළුවන්. කිසියම් පුද්ගලයකුට බොහෝ විට ජීවිත කාලය තුළ තෙවරක් සෙනසුරුගේ ලග්න ඒරාෂ්ඨකය ලබනවා. එහෙත්, තෙවන වර දක්වා හැමෝම ජීවත් නොවෙන්න පුළුවන්.

උදාහරණයක් විදිහට, 1948 පෙබරවාරි 4 දින උදේ 7:30ට කොළඹදී උපන් කෙනෙක්ගේ ලග්නය කුම්භ ලග්නයයි. ලංකාවට නිදහස ලැබුණේ මේ වෙලාවේදී නිසා ලංකාවේ රාජ්‍ය ලග්නයද කුම්භ ලග්නය සේ සලකනවා. කුම්භ ලග්නයට පෙර ලග්නය මකර ලග්නයයි. කුම්භ ලග්නයට පසු ලග්නය මීන ලග්නයයි. මේ අනුව, ලංකාවේ රාජ්‍ය කේන්ද්‍රය අනුව, මකර-කුම්භ-මීන රාශි වල සෙනසුරා ගමන් කරන කාලය සෙනසුරුගේ ලග්න ඒරාෂ්ඨක කාලය ලෙස සැලකිය හැකියි.  මකරාගේ කොටුවට සෙනසුරා ආවා කියන්නේ ඒරාෂ්ඨක කාලය ලබලා!

පසුගිය 2020 ජනවාරි 24 වෙනිදා සෙනසුරා මකර රාශියට ඇතුළු වුනා. මකර-කුම්භ-මීන රාශි හරහා ගමන් කරමින් සිටින සෙනසුරා මීන රාශියෙන් පිටව යන්නේ 2027 ජූනි මාසයේදී. මේ වසර හත හමාරක කාලය 1948 පෙබරවාරි 4 දින උදේ 7:30ට කොළඹදී උපන් කෙනෙකුගේ සෙනසුරු ඒරාෂ්ඨක කාලයක් සේ හඳුන්වන්න පුළුවන්. ජනශ්‍රැතිය අනුව, විෂ්ණු දෙවියන්ට බට කොළ කන්න සිදු වුනේත් සෙනසුරු ඒරාෂ්ඨක කාලයකයි.

විෂ්ණු දෙවියෝ ගැන කවුරු වුනත් අහලා තියෙනවනේ. ඔහුගේ බිරිඳ ලක්ෂ්මී. ධනයට අධිපති. සෙනසුරු ඒරාෂ්ඨක කාලය ලබන තුරුම විෂ්ණු ලක්ෂ්මීත් එක්ක ඉතාම සතුටින් දිව්‍ය භෝජන වළඳමින්, දෙවු සැප ලබමින් කාලය ගත කරලා තියෙනවා. ඔහොම ඉඳිද්දී හදිසියේම දවසක සෙනසුරා ඇවිදින් දැන් එළැඹෙන්නේ තමන්ගේ කාලය බව විෂ්ණු දෙවියන්ට මතක් කරලා. මේ වගේ දැනුම් දීමක් විෂ්ණු දෙවියන්ට වුනත් නොසලකා හරින්න බැහැනේ. සෙනසුරා එක්ක සෙල්ලම් නැහැ!

කොහොම වුනත් විෂ්ණු දෙවියෝ වගේ බලවත් කෙනෙක්ට පුළුවන්ද සෙනසුරාට වුනත් සෙකන්ඩ් වෙන්න? මොන නව නිංගිරාවක්ද? ඒ නිසා, විෂ්ණු දෙවියෝ කල්පනා කරනවා අපල කාලය ගෙවුනට පස්සේ  "මම තමයි හොඳටම කළේ" කියා කියන්න ක්‍රමයක්. ඔහොම කල්පනා කරලා අන්තිමට තීරණය කරනවා අපලය ගෙවෙන තුරු ඇත් වේශයක් අරගෙන සෙනසුරුට හොයා ගන්න බැරි කැලේක හැංගිලා ඉන්න. කොහොමද ටිකිරි මොළේ?

ඉතිං විෂ්ණු දෙවියෝ ඇත් වේශයක් අරගෙන කැලේකට යනවා. මේක බට කැලයක්. බට කැලේක දිව්‍ය භෝජන නැහැනේ. ඒ නිසා, අවුරුදු හතහමාරක් තිස්සෙම බට කොළ කකා කාලය ගෙවනවා. සෙනසුරු අපලය ගෙවුනට පස්සේ නැවත දිව්‍ය ලෝකයට ඇවිත් සෙනසුරාට කෝචෝක් පාරක් දානවා.

"තමුසේ හැමෝටම අපල කළාට අවුරුදු හතහමාරක් තිස්සෙම මාව අල්ල ගන්න බැරි වුනානේ?" 

මම තමයි පළමු වරට සෙනසුරු අපලෙන් බේරුණේ!

සෙනසුරා කට කොණකින් කින්ඩි හිනාවක් දානවා.

"ඔබ වගේ බලවත් දෙවි කෙනෙක්ට දිව්‍ය භෝජන අත ඇරලා, ලක්ෂ්මිය සමඟ කිසිදු ඇසුරක් නැතිව, අවුරුදු හත හමාරක් කැලේක හැංගිලා බට කොළ කන්න සලස්සන එකට වඩා තවත් කරන්න පුළුවන් අපලයක් තියෙනවද?'

මේ කතාව මට මතක් වුනේ මගේ මිතුරෙක් අහපු ප්‍රශ්නයක් නිසා.

"ආනයන පාලනය කරලා ලංකාවට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ යන්න බැරි වෙයිද?"

ලංකාව ආර්ථික අර්බුදයක ඉන්න බව අපි කවුරුත් දන්නවා. මේක විදේශ අංශයේ අර්බුදයක්. ඒ අනුව, ආර්ථිකය කඩා වැටුනොත් වෙන්නේ කුමක්ද?

මෙහි බලපෑම ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ විණිමය අනුපාතිකයට. නරක තත්ත්වයක් යටතේ ඩොලරයක මිල එක වර විශාල ලෙස ඉහළ යා හැකියි. ඉන් පසු, ආනයන වල රුපියල් මිල ඉහළ යන නිසා බොහෝ දේ පෙර තරමට ආනයනය කරන්න බැරි වෙයි. උදාහරණයක් විදිහට ගොවීන්ට අවශ්‍ය පමණ පෝර ආනයනය කරන්න නොහැකි වී, එය අස්වැන්න අඩු කිරීමට හේතු වෙන්න පුළුවන්. අවශ්‍ය පමණ තෙල් ආනයනය කරන්න බැරි වෙන්න පුළුවන්. මිල අධික නිසා වාහන අවශ්‍ය ඇතැම් අයට වාහන ආනයනය කරන්න බැරි වෙන්න පුළුවන්. කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කරන්න බැරි වී එය ආර්ථික වර්ධනය කෙරෙහි නරක ලෙස බලපාන්න පුළුවන්. රට තුළ බොහෝ දෙනෙකුට ආනයනික භාණ්ඩ මිල දී ගත නොහැකි තත්ත්වයක් ඇති විය හැකියි. මේ දේවල් වෙන්නේ විණිමය අනුපාතිකය එක වර කඩා වැටුණොත්.

ආනයන පාලනය කිරීමෙන් විණිමය අනුපාතිකය කඩා වැටෙන එක වලක්වා ගන්න පුළුවන්!

Saturday, July 10, 2021

දැන් රාජ්‍ය ණය කොපමණද?


අප්‍රේල් අවසානය වෙද්දී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 16,288 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බිලියන ගණන් ඇඟට නොදැනෙන නිසා මේ ණය ප්‍රමාණය ලංකාවේ ජනගහණයෙන් බෙදූ විට එක් අයෙකුට රුපියල් ලක්ෂ හත හමාරක පමණ ප්‍රමාණයක්. ඒ වගේම, පසුගිය වසරේ රජයේ සමස්ත ආදායම මෙන් දොළොස් ගුණයකට ආසන්න මුදලක්. 2019 අවසානයේ පැවති මට්ටමට සාපේක්ෂව, මාස 16ක කාලයක් තුළ, දේශීය ණය 46%කින්ද විදේශීය ණය වල රුපියල් අගය 3%කින්ද සමස්ත ණය 25%කින්ද ඉහළ ගොස් තිබෙනවා.

රාජ්‍ය ණය ප්‍රශ්නය හා විදේශ ණය ප්‍රශ්නය ප්‍රශ්න දෙකක්. විදේශ ණය වලින් කොටසක් රාජ්‍ය ණය වන අතර රාජ්‍ය ණය වලින් කොටසක් විදේශ ණයයි. විදේශ ණය ප්‍රශ්නයටද හේතු වී තිබෙන්නේ රාජ්‍ය ණය ප්‍රශ්නය වුවත් එය එකම හේතුව නෙමෙයි. ලංකාවේ විදේශ විණිමය ප්‍රතිපත්තියත් විදේශ ණය ප්‍රශ්නයට හේතුවක්. 

සල්ලි අච්චු ගසා රාජ්‍ය ණය ප්‍රශ්නය තාවකාලිකව විසඳා ගත හැකි වුවත් විදේශ ණය ප්‍රශ්නය එසේ විසඳා ගන්න බැහැ. මේ මොහොතේ ලංකාවේ රජය මුහුණ දී සිටින ගැටලුව එයයි. 

(Image: dailymirror.lk)

Wednesday, July 7, 2021

ඇයි රත්තරං හැංගිලා?

 


ලංකානිවුස්වෙබ් වාර්තාවකට අනුව ලංකාව තුළ දැඩි රත්තරන් හිඟයක් ඇති වෙලා. මෙයට හේතුව "රන් ආභරණ නිෂ්පාදකයන් ඔවුන් සතු රත්රන් තොග සඟවා තබා ගනිමින් සීමිත ප්‍රමාණයක් පමණක් වෙළඳපොලට නිදහස් කිරීම" බවත් "දේශීය වෙළඳපොල තුළ රන් පවුමක මිල රුපියල් 124,000 දක්වා ඉහළ ගොස් තිබෙන" බවත් එම වාර්තාවේම සඳහන්.

මේ බඩු හංගන කතාව කියන්නේ රත්තරන් හා අදාළව පමණක් නෙමෙයි. පෝර ගැනත් ඔය කතාවම කියනවා. කලකට පෙර හාල් ගැන කිව්වෙත් ඔය කතාවමයි. භාණ්ඩයකට පුද්ගලයෙකුට සාපේක්ෂ වටිනාකමක් මිසක් නිරපේක්ෂ වාස්තවික වටිනාකමක් නැති බව තේරුම් ගෙන ඉන්න අයටනම් මේ සිද්ද වෙන්නේ කුමක්ද කියා තේරුම් ගන්න අමාරු වෙන එකක් නැහැ. වටිනාකම ගැන ශ්‍රම න්‍යාය පමණක් දන්න අය කනිපින්දම් ගාන එක පුදුමයක් නෙමෙයි.

ලංකාවෙන් රත්තරන් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ලංකාවේ රත්තරන් සැපයුම තීරණය වෙන්නේ ආනයන මත. ආනයන සිදු නොවන තාක් රට ඇතුළේ රත්තරන් සැපයුම වෙනස් වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් මේ දවස් වල රුපියලේ අගය කඩා වැටීමේ අවදානම ගැන ගොඩක් අය ඉන්නේ සැලකිල්ලෙන්. ඒ නිසා, තමන්ගේ රුපියල් ඩොලර්, රත්තරන් වගේ දේවල් වලට මාරු කරලා අගය ආරක්ෂා කර ගන්න උනන්දුවක් රටේ ඇති වී තිබෙනවා. ඒ නිසා, ඩොලර් ඉල්ලුම වගේම රත්තරන් ඉල්ලුමත් ඉහළ ගිහින්. සැපයුම එසේම තියෙද්දී ඉල්ලුම වැඩි වුනහම මිල ඉහළ යනවා.

මූලික ආර්ථික විද්‍යා න්‍යාය අනුව ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් ඇති වූ විට මිල යාන්ත්‍රනය ක්‍රියාත්මක වී එම පරතරය නැති කරනවා. මිල වැඩි වෙද්දී භාණ්ඩයක් සපයන්න නිෂ්පාදකයින්ට තිබෙන උනන්දුව වැඩි වෙලා ඉල්ලුම තරමටම සැපයුම වැඩි වීම හරහායි මේ පරතරය නැති වෙන්නේ. නමුත් රත්තරන් ලංකාවේ නිපදවන්න බැරි නිසා මිල කොයි තරම් ඉහළ ගියත් දේශීය සැපයුම වැඩි වෙන්නේ නැහැ. සැපයුම වැඩි වෙන්නේ රත්තරන් ආනයනය කළොත් පමණයි. එයට ඉඩ නොලැබෙන තුරු ඉල්ලුම හා සැපයුම පහසුවෙන් සමතුලිත වෙන්නේ නැහැ.

පෝර සම්බන්ධව තත්ත්වයත් මීටම සමානයි. පෝර ලංකාවේ නිපදවන්න බැරිකමක් නැතත් එය හදිස්සියෙන් කරන්න බැහැ. ඒ නිසා, හදිස්සියේම ආනයන තහනම් කළ විට ඉල්ලුම හා සැපයුම අතර, මිල යාන්ත්‍රනය තුලින් පහසුවෙන් නැති කළ නොහැකි, පරතරයක් ඇති වෙනවා. අඩු පරිමාණයකින් වුවත් හාල් සම්බන්ධව තත්ත්වයත් ඕකමයි. 

රටක ආර්ථික-දේශපාලන ක්‍රමය කොයි තරම් ධනවාදයෙන් ඈත්ව තිබුණත්, කොයි තරම් සමාජවාදයට බරව තිබුණත්, මූලික මිනිස් හැසිරීම් වල ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. මිනිස්සු බොහෝ දෙනෙක් හැකි හැම විටම ලාබ හොයනවා. යම් හෙයකින් රුපියලේ අගය විශාල ලෙස කඩා වැටුනොත් රුපියල් අතේ තියාගෙන ඉන්න අයට වෙන්නේ විශාල පාඩුවක්. දැනට වුනත් බැංකු පොලිය උද්ධමන අනුපාතිකයට වඩා අඩුයි. රුපියල් ඩොලර් වලට හරි රත්තරන් වලට හරි මාරු කිරීම මේ අවදානම අවම කර ගත හැකි ක්‍රමයක්. ධනවාදය ගැන හරි ආර්ථික විද්‍යාව ගැන හරි හාන්කවිසියක් නොදැන හිටියත් මිනිස්සුන්ට ඔය ටික තේරෙනවා. ඒ නිසා, රුපියල් වලට වගේම ඩොලර් වලටත් මේ වෙලාවේ විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බවයි පෙනෙන්නේ.

ඉල්ලුම කොයි තරම් ඉහළ ගියත් ඩොලර් හෝ රත්තරන් හෝ සැපයුම ඉහළ යන බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසා, ඉල්ලුම හා සැපයුම නුදුරු දිනක සමතුලිත වන බවක් පෙනෙන්නත් නැහැ. ඒ කියන්නේ, රත්තරන් වල වගේම ඩොලර් එකේත් මිල ඉහළ යාමේ විභවයක් මිසක් පහළ යාමේ විභවයක් පෙනෙන්න නැහැ. 

ඔය වගේ වෙලාවක සිහියක් බුද්ධියක් තියෙන කෙනෙක් ස්වේච්ඡාවෙන් තමන් සතු ඩොලර් හෝ රත්තරන් හෝ විකුණන්නේ නැහැ. මොකද තමන්ට සාපේක්ෂව මේවායේ වටිනාකම වෙළඳපොළ වටිනාකමට වඩා වැඩියි. පෝර හෝ හාල් හා අදාළව වෙන්නෙත් ඕකමයි. රත්තරන් තොග තිබෙන අය මිල වැඩි වනු ඇතැයි අපේක්ෂාවෙන් තමන් සතු රත්තරන් නොවිකුණා සිටිද්දී රත්තරන් වලට ඉල්ලුම ඉහළ ගියාම මිල ඉහළ යන එක පුදුමයක් නෙමෙයි. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවස වෙනුවෙන් මහ බැංකුව විසින් රුපියල් දහසක රන් කාසියක් නිකුත් කරලා. මුහුණත වටිනාකම රුපියල් දහසක් වුනත් මේ රන් කාසිය රුපියල් දහසක් ගෙවා මහ බැංකුවෙන් මිල දී ගන්න බැහැ. මහ බැංකුව විසින් කාසියක් විකුණන්නේ රුපියල් 220,000ක මුදලකට.

ලංකාවට නිදහස ලැබෙන කොට ඇමරිකන් ඩොලරයක් රුපියල් 3.30ක් පමණයි. රන් අවුන්සයක නිල මිල ඇමරිකන් ඩොලර් 35යි. ඒ කියන්නේ රන් අවුන්සයක් රුපියල් 116කට අඩුයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ අඩ සියවස සැමරූ 1971 කාලය වෙද්දීත් ඩොලරයක් රුපියල් 5.95යි. රන් අවුන්සයක් රුපියල් 208ක් පමණ. නිදහසෙන් පසුව දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වී තිබුනත්, ඒ වෙද්දීත් නිල වටිනාකම අනුව රුපියල් දහසක් ගෙවා රන් අවුන්ස 4.8ක් මිල දී ගත හැකිව තිබුණා. රන් අවුන්ස 4.8ක රත්තරන් කියන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවස වෙනුවෙන් නිකුත් කළ රන් කාසියක තිබෙන රත්තරන් ප්‍රමාණය වගේ 13.57 ගුණයක්. ඒ කියන්නේ මේ කාසියේ තිබෙන රත්තරන් ප්‍රමාණයේ වටිනාකම ඒ වෙද්දී රුපියල් 73.68ක් පමණයි.

දැන් චීනය කොමියුනිස්ට් පක්ෂයේ සියවස සමරනවා. පහුගිය අවුරුදු පණහක මහ බැංකුවේ කෙරුවාව නිසා රුපියල කොයි තරම් බාල්දු වෙලාද කියනවානම් 1971දී රුපියල් 73.68ක වටිනාකමක් තිබුණු රත්තරන් ප්‍රමාණයක් දමලා හදපු රුපියල් දහසක කාසිය දැන් මහ බැංකුවට එහි මුහුණත වටිනාකමට විකුණන්න බැහැ. රුපියල් 1000 විකුණන්නේ රුපියල් 220,000කට.

අලුත් කාසියක කැරට් 22 රත්තරන් ග්‍රෑම් 12ක් තිබෙනවා. රන් පවුමක තිබෙන්නේ ග්‍රෑම් 7.98ක් පමණ. ඒ කියන්නේ මහ බැංකුව විසින් මේ කාසියේ මිල නියම කර තිබෙන පදනම අනුව බැලුවොත් මේ වෙද්දී රන් පවුමක වටිනාකම රුපියල් 146,300ක් විය යුතුයි. එහෙම තියෙද්දී වෙළඳපොළේ රන් පවුමක මිල රුපියල් 124,000ක් කියා කියන්නේ ගොඩක් අඩු මිලක්. මහ බැංකුව විසින්ම රන් පවුමක් රුපියල් 146,300කට මිල නියම කරද්දී රත්තරන් තොග අතේ තියෙන අය තමන්ගේ රත්තරන් රුපියල් 124,000 ගානේ නොවිකුණා මිල තවත් වැඩි වන තුරු බලා ඉන්න එක අහන්නත් දෙයක්ද?

Tuesday, July 6, 2021

ලංකාවට ආසියාවෙන් පළමු තැනක්!

පයිසර් එන්නත මිල දී ගත් පළමු දකුණු ආසියානු රට ලංකාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ට්විටර් හරහා ප්‍රචාරය කර අනෙක් පැත්ත හැරෙද්දී එය එසේ නොවන බව වෙනත් අය පෙන්වා දී තිබෙනවා. මාල දිවයින් රජය එරට වැසියන්ට ලබා දී ඇත්තේ නොමිලේ ලැබුණු පයිසර් එන්නත් පමණක්නම් ජනාධිපති රාජපක්ෂගේ ප්‍රකාශය නිවැරදි විය හැකියි. කොහොම වුනත් මේ ප්‍රකාශයෙන්ද පෙනෙන්නේ "අපි තමයි ඉහළින්ම ඉන්නේ" උන්මාදයයි.  

මේ වන විට ඒක පුද්ගල ආදායම වගේම ආයු අපේක්ෂාව අතින්ද දකුණු ආසියානු කලාපයේ ඉදිරියෙන්ම සිටින රට මාල දිවයින නිසා ලංකාවට දකුණු ආසියාවේ හෝ පළමු වැනියා වීමට තිබෙන අවස්ථා අඩු වෙමින් තිබුණත් බ්ලූම්බර්ග් විසින් වාර්තා කරන පරිදි ණය ආපසු නොගෙවීමේ අවදානම අතින් මේ වන විට ලංකාව ආසියා-ශාන්තිකර කලාපයේම පළමු තැනට පැමිණ තිබෙනවා. මේ බව සඳහන් කරමින් ඊයේ පළ වූ බ්ලූම්බර්ග් විශ්ලේෂණ වාර්තාව වොෂින්ටන් පෝස්ට් ඇතුළු වෙනත් මාධ්‍ය වලද ප්‍රචාරය වී තිබෙනවා.

දිගුකාලීන බැඳුම්කරයක ආයෝජනය කරන්නෙකුට තම ආයෝජනය අහිමි වීමේ අවදානමක් තිබෙනවා. මේ සඳහා හොඳම උදාහරණයක් වන්නේ ග්‍රීක බැඳුම්කර වල ආයෝජනය කිරීමෙන් ලංකාවට සිදු වූ පාඩුවයි. මෙසේ තම ආයෝජනය ආපසු නොලැබීමේ අවදානම අවම කර ගැනීම සඳහා ආයෝජකයෙකුට ස්වොප් ගිවිසුමක් අත්සන් කළ හැකියි. මෙවැනි ගිවිසුමක් ණය පෙරනිමි හුවමාරු ගිවිසුමක් (credit default swap) ලෙස හැඳින්වෙනවා. මෙය එක්තරා ආකාරයක රක්ෂණ ගිවිසුමක් ලෙසද හැඳින්විය හැකියි. 

ණය අවදානම අඩු රටක බැඳුම්කරයක් සඳහා ණය පෙරනිමි හුවමාරු ගිවිසුමක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුත්තේ බැඳුම්කරයේ මුහුණත වටිනාකමෙන් 0.1% නොඉක්මවන සුළු මුදලක් වුවත් ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර වල පස් අවුරුදු ණය අවදානමට එරෙහිව ණය පෙරනිමි හුවමාරු ගිවිසුමක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු මුදල මේ වන විට 15.53% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරම බ්ලූම්බර්ග් ගණන් බැලීම් අනුව ඉදිරි වසර තුළ ලංකාවට ණය ආපසු ගෙවීමට නොහැකි වීමේ අවදානම 27.9% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම අගය 1.5% ඉක්මවීම අධි අවදානමක් ලෙස ඔවුන් සලකනවා. ඒ අනුව, ලංකාව ණය පැහැර හැරීමේ අවදානම අතින් මේ වන විට ආසියා-ශාන්තිකර කලාපයෙන්ම පළමු තැනට පැමිණ සිටිනවා. 

Sri Lanka's 1-year default probability is the highest in the Asia-Pacific

Source: Bloomberg

Note: Bloomberg's debt default probability scale lists any score above 1.5% as an indication of high risk of failure to pay


Sunday, July 4, 2021

මහ බැංකුව උගස් කර ණය ගැනීම


මේ වෙලාවේ ලංකාව විසින් කරමින් සිටින දෙය හැඳින්විය හැකි හොඳම ආකාරය "මහ බැංකුව උගස් කර ණය ගැනීම" කියන එකයි. ලංකාවේ ආර්ථික අර්බුදයට පාදක හේතුව වන අයවැය හිඟය පියවා ගැනීම සඳහා දිගින් දිගටම විදේශ ණය ගැනීම නිසා ලංකාවේ රජය අර්බුදයකට ගියා. මෙය අද ඊයේ සිදු වූ දෙයක් නෙමෙයි. 

වැඩි වැඩියෙන් ණය ගනිද්දී ලංකාවේ රජයට තව තවත් විදේශ ණය ලබා ගැනීම අසීරු වුනා. මෙහිදී මධ්‍යම රජයේ ණය අඩුවෙන් පෙන්වීමේ උපක්‍රමයක් විදිහට රාජ්‍ය සංස්ථා හරහා ණය ගත්තා. ඉන් පසුව සෘජුව හා වක්‍රව වාණිජ බැංකු හරහා විදේශ ණය ලබා ගත්තා. මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස මේ වෙද්දී ලංකාවේ මධ්‍යම රජය වගේම රාජ්‍ය සංස්ථා හා වාණිජ බැංකුද එකිනෙක හා ගැට ගැහුණු ණය අවදානමක පැටලී ඉන්නවා. මේ දිය සුලිය කරා අවසාන වශයෙන් මහ බැංකුවද ඇදෙමින් සිටිනවා. 

රටක ආර්ථික ක්‍රියාකාරිත්වය තේරුම් ගත යුත්තේ වෛද්‍යවරයෙකු විසින් විද්‍යාගාර පරීක්ෂණ වාර්තා තේරුම් ගන්නා ආකාරයටයි. විද්‍යාගාර පරීක්ෂණ වාර්තා සැලකිය යුත්තේ කිසියම් රෝගයක් ගැන කරන සංඥා ලෙසයි. මොනවා හෝ කර වාර්තාව හොඳ කර ගත්තා කියා රෝගය අවසන් වන්නේ නැහැ. රටක ආර්ථිකයක සැබෑ ප්‍රශ්න හඳුනාගෙන විසඳීමෙන් මිසක් සංඛ්‍යාලේඛණ ඉලක්ක කිරීමෙන් ආර්ථිකයක් අර්බුදයට යාම වලක්වන්න බැහැ.

මේ දවස් වල ලංකාවේ තේරීම වී තිබෙන්නේ මුදල් හුවමාරු ගිවිසුම්. මේ ගිවිසුම් සිදු වන්නේ රටවල් දෙකක මහ බැංකු අතරයි. මුදල් හුවමාරු ගිවිසුමක් ගෙවුම් ශේෂ ප්‍රශ්නයට තාවකාලික විසඳුමක්. මෙහිදී සිදු වන්නේ මහ බැංකුවෙන් ණය අරගෙන විදේශ ණය ගෙවීමක්. මහ බැංකුව වෙනත් රටක මහ බැංකුවකින් ණය ගන්නවා.

මේ වැඩෙන් සල්ලි අච්චු ගැසීමක් වෙන්නේ නැහැ. මොකද ශුද්ධ වශයෙන් ගත්තොත් මෙහි රුපියල් සම්බන්ධයක් නැහැ. මහ බැංකුව විසින් එක පැත්තකින් ණයට ගන්න ඩොලර් (හෝ වෙනත් විදේශ ව්‍යවහාර මුදලක්) අනෙක් පැත්තෙන් ඩොලර් ලෙසම එළියට යනවා. 

හැබැයි මේ විදිහට මහ බැංකුව විසින් ණය වී ගෙවන්නේ රජයේ ණය මිසක් මහ බැංකුවේ ණය නෙමෙයි. මහ බැංකුව විසින් ණය වී ලබා ගන්නා ඩොලර් මහ බැංකුව විසින් රජයට විකුණනවා. රජය ඒ වෙනුවෙන් මුදල් ගෙවනවා. ඒ මුදල් හොයා ගන්න නැවත මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකුණනවා. දැන් රජයේ ණය ඒ විදිහටම තිබෙනවා. කලින් තිබුණු විදේශ ණය වෙනුවට දැන් තිබෙන්නේ මහ බැංකුවට වූ ණය. සංඛ්‍යාලේඛණ වල රාජ්‍ය ණය ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. රාජ්‍ය ණය වෙනස් වෙන්නේ නැහැ කිවුවත් තව දුරටත් රජය ආදායම් ඉක්මවා වියදම් කරන නිසා රාජ්‍ය ණය වැඩි වෙනවා. මම කියන්නේ ඒ හැර විදේශ ණය ගෙවීම හේතුවෙන් රාජ්‍ය ණය වෙනස් වීමක් සිදු නොවන බවයි. ඒ වෙනුවට සිදු වන්නේ විදේශ ණය වෙනුවට දේශීය ණය ආදේශ වීමක්.

මේ විදිහට මහ බැංකුවෙන් ණය ගත්තත්, ඒ සල්ලි නැවත මහ බැංකුවටම යන නිසා සංචිත මුදල් විශාල ලෙස වැඩි වෙන්නේත් නැහැ. ඒ නිසා, උද්ධමනය ගැන බය වෙන්න අවශ්‍ය නැද්ද? 

ඇත්තටම වෙන්නේ ප්‍රශ්නය මහ බැංකුව පැත්තට තල්ලු කිරීමක්. දැන් රජය වෙනුවට ණය වෙන්නේ මහ බැංකුවයි. රජයේ විදේශ ණය අඩු වන ප්‍රමාණයට මහ බැංකුවේ විදේශ ණය ඉහළ යනවා. මේ විදේශ ණය මහ බැංකුව සතු විදේශ වත්කම් වලින් අඩු කළ විට මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් පහළ යනවා. ඒ එක්කම රුපියලට වටිනාකමක් ලැබෙන පදනම වේගයෙන් ඛාදනය වෙනවා. 

මහ බැංකුව විසින් මුදල් හුවමාරු ගිවිසුමක් අත්සන් කළාම මහ බැංකුවට ඩොලර් එනවා. ඩොලර් වත්කම් ඉහළ යනවා. එහෙත් ඒ එක්කම අනෙක් පැත්තෙන් ඊට හරියටම සමානව ඩොලර් බැරකම්ද ඉහළ යනවා. ඒ නිසා මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් වෙනස් වෙන්නේ නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් මුදල් හුවමාරු ගිවිසුම් නිසා මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත ඉහළ යන්නේ නැහැ.

මේ විදිහට මහ බැංකුව මුදල් හුවමාරු ගිවිසුම් අත්සන් කරන්නේ රජයේ විදේශ ණය ගෙවන්න ඩොලර් හොයා ගන්න කියලා අපි දන්නවා. මහ බැංකුව මුදල් හුවමාරු ගිවිසුම් හරහා ලබා ගන්නා ඩොලර් රජයට විකුණනවා. එසේ කරද්දී මහ බැංකුවේ විදේශ වත්කම් අඩු වුනත් බැරකම් ඒ විදිහටම තිබෙනවා. මෙහි ප්‍රතිඵලය මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් අඩු වෙන එකයි. එහෙමත් නැත්නම් මහ බැංකුවේ "වටිනාකම" අඩු වෙන එකයි. මේ වැඩේ මහ බැංකුව උගස් කර ණය ගැනීමක් වන්නේ ඒ නිසයි.

මහ බැංකුව උගස් කර ණය ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට මේ මොහොත වන විට මහ බැංකුව තිබෙන්නේ බංකොලොත් තත්ත්වයක කියා කියන්න පුළුවන්. 2021 ජූලි 1 දින වන විට මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් වල වටිනාකම රුපියල් බිලියන 1,072.0ක්. මහ බැංකුවට අනුව ඩොලරයක මිල රුපියල් 200.52යි. ඒ අනුව, මහ බැංකුවේ බැරකම් සියල්ල ඇමරිකන් ඩොලර් වලින් පියවන්නනම් ඩොලර් මිලියන 5,346.1ක් අවශ්‍යයි. නමුත්, මහ බැංකුව සතුව තිබෙන ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඊට වඩා අඩුයි. මැයි අවසන් වන විටත් තිබුණේ ඩොලර් මිලියන 4,032.8ක නිල සංචිත ප්‍රමාණයක් පමණයි.

ඩොලර් මිලියන 4,032.8ක ශුද්ධ විදේශ වත්කම් වලින් රුපියල් බිලියන 1,072.0ක මුදල් සැපයුමක් ආවරණය කළ හැක්කේ අවම වශයෙන් ඩොලරයක මිල රුපියල් 265.87ක් වුනොත් පමණයි. ඒ නිසා, ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියා ගන්නනම් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය අවම වශයෙන් ඩොලර් මිලියන 5,346.1ක මට්ටමට ඉහළ නංවා ගන්න වෙනවා. මුදල් හුවමාරු ගිවිසුම් වලින් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් වෙනස් වෙන්නේ නැහැ. එසේ ලබා ගන්නා ඩොලර් රජයට විකිණීමෙන් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් තවත් පහළ යන්නනම් පුළුවන්.

මහ බැංකුවට විදේශ වත්කම් වැඩි කර ගත හැකි වන්නේ වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීමෙන් පමණයි. පවතින විණිමය අනුපාතිකය යටතේ එය කළ හැකිද? 

මහ බැංකුව විසින් දැනට අනුගමනය කරන උපක්‍රමය වන්නේ ඩොලර් රටින් පිටවීම හැකි තරම් පාලනය කිරීමයි. මේ සීමාවන් නිසා විධිමත් ලෙස ඩොලර් මිල දී ගැනීම වඩ වඩා අසීරු වී අවිධිමත් වෙළඳපොළේ ඩොලර් ඉල්ලුම ඉහළ යනවා. ඩොලරයක අවිධිමත් වෙළඳපොළ මිල බැංකු වල මිල ඉක්මවා විශාල ලෙස ඉහළ යනවා. ඒ එක්කම කවර හෝ ආකාරයකින් ඩොලර් උපයන අය, උදාහරණයක් විදිහට විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල් වල අය, රටේ බැංකු පද්ධතිය මග හැර යාමේ ප්‍රවණතාවයක් ඉදිරියේදී ඇති විය හැකියි. එහි ප්‍රතිඵලය වන්නේ මහ බැංකුවට දැන් මිලට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම තවත් අමාරු වෙන එකයි. 

දැන් යන ක්‍රමයට ලංකාවේ ආර්ථික අර්බුදය මහ බැංකුවේ ස්ථායීතාවය පිළිබඳ ප්‍රශ්නයක් විදිහට මතු වෙන්න වුනත් බැරිකමක් නැහැ! ශ්‍රී ලාංකිකයෙකුගේ අපේක්ෂිත ආයු කාලය අවුරුදු හැත්තෑ හතක්. මහ බැංකුවටත් දැන් හැත්තෑ එකක්!!  

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...