වෙබ් ලිපිනය:

Wednesday, July 7, 2021

ඇයි රත්තරං හැංගිලා?

 


ලංකානිවුස්වෙබ් වාර්තාවකට අනුව ලංකාව තුළ දැඩි රත්තරන් හිඟයක් ඇති වෙලා. මෙයට හේතුව "රන් ආභරණ නිෂ්පාදකයන් ඔවුන් සතු රත්රන් තොග සඟවා තබා ගනිමින් සීමිත ප්‍රමාණයක් පමණක් වෙළඳපොලට නිදහස් කිරීම" බවත් "දේශීය වෙළඳපොල තුළ රන් පවුමක මිල රුපියල් 124,000 දක්වා ඉහළ ගොස් තිබෙන" බවත් එම වාර්තාවේම සඳහන්.

මේ බඩු හංගන කතාව කියන්නේ රත්තරන් හා අදාළව පමණක් නෙමෙයි. පෝර ගැනත් ඔය කතාවම කියනවා. කලකට පෙර හාල් ගැන කිව්වෙත් ඔය කතාවමයි. භාණ්ඩයකට පුද්ගලයෙකුට සාපේක්ෂ වටිනාකමක් මිසක් නිරපේක්ෂ වාස්තවික වටිනාකමක් නැති බව තේරුම් ගෙන ඉන්න අයටනම් මේ සිද්ද වෙන්නේ කුමක්ද කියා තේරුම් ගන්න අමාරු වෙන එකක් නැහැ. වටිනාකම ගැන ශ්‍රම න්‍යාය පමණක් දන්න අය කනිපින්දම් ගාන එක පුදුමයක් නෙමෙයි.

ලංකාවෙන් රත්තරන් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ලංකාවේ රත්තරන් සැපයුම තීරණය වෙන්නේ ආනයන මත. ආනයන සිදු නොවන තාක් රට ඇතුළේ රත්තරන් සැපයුම වෙනස් වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් මේ දවස් වල රුපියලේ අගය කඩා වැටීමේ අවදානම ගැන ගොඩක් අය ඉන්නේ සැලකිල්ලෙන්. ඒ නිසා, තමන්ගේ රුපියල් ඩොලර්, රත්තරන් වගේ දේවල් වලට මාරු කරලා අගය ආරක්ෂා කර ගන්න උනන්දුවක් රටේ ඇති වී තිබෙනවා. ඒ නිසා, ඩොලර් ඉල්ලුම වගේම රත්තරන් ඉල්ලුමත් ඉහළ ගිහින්. සැපයුම එසේම තියෙද්දී ඉල්ලුම වැඩි වුනහම මිල ඉහළ යනවා.

මූලික ආර්ථික විද්‍යා න්‍යාය අනුව ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් ඇති වූ විට මිල යාන්ත්‍රනය ක්‍රියාත්මක වී එම පරතරය නැති කරනවා. මිල වැඩි වෙද්දී භාණ්ඩයක් සපයන්න නිෂ්පාදකයින්ට තිබෙන උනන්දුව වැඩි වෙලා ඉල්ලුම තරමටම සැපයුම වැඩි වීම හරහායි මේ පරතරය නැති වෙන්නේ. නමුත් රත්තරන් ලංකාවේ නිපදවන්න බැරි නිසා මිල කොයි තරම් ඉහළ ගියත් දේශීය සැපයුම වැඩි වෙන්නේ නැහැ. සැපයුම වැඩි වෙන්නේ රත්තරන් ආනයනය කළොත් පමණයි. එයට ඉඩ නොලැබෙන තුරු ඉල්ලුම හා සැපයුම පහසුවෙන් සමතුලිත වෙන්නේ නැහැ.

පෝර සම්බන්ධව තත්ත්වයත් මීටම සමානයි. පෝර ලංකාවේ නිපදවන්න බැරිකමක් නැතත් එය හදිස්සියෙන් කරන්න බැහැ. ඒ නිසා, හදිස්සියේම ආනයන තහනම් කළ විට ඉල්ලුම හා සැපයුම අතර, මිල යාන්ත්‍රනය තුලින් පහසුවෙන් නැති කළ නොහැකි, පරතරයක් ඇති වෙනවා. අඩු පරිමාණයකින් වුවත් හාල් සම්බන්ධව තත්ත්වයත් ඕකමයි. 

රටක ආර්ථික-දේශපාලන ක්‍රමය කොයි තරම් ධනවාදයෙන් ඈත්ව තිබුණත්, කොයි තරම් සමාජවාදයට බරව තිබුණත්, මූලික මිනිස් හැසිරීම් වල ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. මිනිස්සු බොහෝ දෙනෙක් හැකි හැම විටම ලාබ හොයනවා. යම් හෙයකින් රුපියලේ අගය විශාල ලෙස කඩා වැටුනොත් රුපියල් අතේ තියාගෙන ඉන්න අයට වෙන්නේ විශාල පාඩුවක්. දැනට වුනත් බැංකු පොලිය උද්ධමන අනුපාතිකයට වඩා අඩුයි. රුපියල් ඩොලර් වලට හරි රත්තරන් වලට හරි මාරු කිරීම මේ අවදානම අවම කර ගත හැකි ක්‍රමයක්. ධනවාදය ගැන හරි ආර්ථික විද්‍යාව ගැන හරි හාන්කවිසියක් නොදැන හිටියත් මිනිස්සුන්ට ඔය ටික තේරෙනවා. ඒ නිසා, රුපියල් වලට වගේම ඩොලර් වලටත් මේ වෙලාවේ විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බවයි පෙනෙන්නේ.

ඉල්ලුම කොයි තරම් ඉහළ ගියත් ඩොලර් හෝ රත්තරන් හෝ සැපයුම ඉහළ යන බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසා, ඉල්ලුම හා සැපයුම නුදුරු දිනක සමතුලිත වන බවක් පෙනෙන්නත් නැහැ. ඒ කියන්නේ, රත්තරන් වල වගේම ඩොලර් එකේත් මිල ඉහළ යාමේ විභවයක් මිසක් පහළ යාමේ විභවයක් පෙනෙන්න නැහැ. 

ඔය වගේ වෙලාවක සිහියක් බුද්ධියක් තියෙන කෙනෙක් ස්වේච්ඡාවෙන් තමන් සතු ඩොලර් හෝ රත්තරන් හෝ විකුණන්නේ නැහැ. මොකද තමන්ට සාපේක්ෂව මේවායේ වටිනාකම වෙළඳපොළ වටිනාකමට වඩා වැඩියි. පෝර හෝ හාල් හා අදාළව වෙන්නෙත් ඕකමයි. රත්තරන් තොග තිබෙන අය මිල වැඩි වනු ඇතැයි අපේක්ෂාවෙන් තමන් සතු රත්තරන් නොවිකුණා සිටිද්දී රත්තරන් වලට ඉල්ලුම ඉහළ ගියාම මිල ඉහළ යන එක පුදුමයක් නෙමෙයි. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවස වෙනුවෙන් මහ බැංකුව විසින් රුපියල් දහසක රන් කාසියක් නිකුත් කරලා. මුහුණත වටිනාකම රුපියල් දහසක් වුනත් මේ රන් කාසිය රුපියල් දහසක් ගෙවා මහ බැංකුවෙන් මිල දී ගන්න බැහැ. මහ බැංකුව විසින් කාසියක් විකුණන්නේ රුපියල් 220,000ක මුදලකට.

ලංකාවට නිදහස ලැබෙන කොට ඇමරිකන් ඩොලරයක් රුපියල් 3.30ක් පමණයි. රන් අවුන්සයක නිල මිල ඇමරිකන් ඩොලර් 35යි. ඒ කියන්නේ රන් අවුන්සයක් රුපියල් 116කට අඩුයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ අඩ සියවස සැමරූ 1971 කාලය වෙද්දීත් ඩොලරයක් රුපියල් 5.95යි. රන් අවුන්සයක් රුපියල් 208ක් පමණ. නිදහසෙන් පසුව දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වී තිබුනත්, ඒ වෙද්දීත් නිල වටිනාකම අනුව රුපියල් දහසක් ගෙවා රන් අවුන්ස 4.8ක් මිල දී ගත හැකිව තිබුණා. රන් අවුන්ස 4.8ක රත්තරන් කියන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවස වෙනුවෙන් නිකුත් කළ රන් කාසියක තිබෙන රත්තරන් ප්‍රමාණය වගේ 13.57 ගුණයක්. ඒ කියන්නේ මේ කාසියේ තිබෙන රත්තරන් ප්‍රමාණයේ වටිනාකම ඒ වෙද්දී රුපියල් 73.68ක් පමණයි.

දැන් චීනය කොමියුනිස්ට් පක්ෂයේ සියවස සමරනවා. පහුගිය අවුරුදු පණහක මහ බැංකුවේ කෙරුවාව නිසා රුපියල කොයි තරම් බාල්දු වෙලාද කියනවානම් 1971දී රුපියල් 73.68ක වටිනාකමක් තිබුණු රත්තරන් ප්‍රමාණයක් දමලා හදපු රුපියල් දහසක කාසිය දැන් මහ බැංකුවට එහි මුහුණත වටිනාකමට විකුණන්න බැහැ. රුපියල් 1000 විකුණන්නේ රුපියල් 220,000කට.

අලුත් කාසියක කැරට් 22 රත්තරන් ග්‍රෑම් 12ක් තිබෙනවා. රන් පවුමක තිබෙන්නේ ග්‍රෑම් 7.98ක් පමණ. ඒ කියන්නේ මහ බැංකුව විසින් මේ කාසියේ මිල නියම කර තිබෙන පදනම අනුව බැලුවොත් මේ වෙද්දී රන් පවුමක වටිනාකම රුපියල් 146,300ක් විය යුතුයි. එහෙම තියෙද්දී වෙළඳපොළේ රන් පවුමක මිල රුපියල් 124,000ක් කියා කියන්නේ ගොඩක් අඩු මිලක්. මහ බැංකුව විසින්ම රන් පවුමක් රුපියල් 146,300කට මිල නියම කරද්දී රත්තරන් තොග අතේ තියෙන අය තමන්ගේ රත්තරන් රුපියල් 124,000 ගානේ නොවිකුණා මිල තවත් වැඩි වන තුරු බලා ඉන්න එක අහන්නත් දෙයක්ද?

6 comments:

  1. ඉකොන්,

    මම හිතන්නේ මේක වැරදි තොරතුරු මත පදනම් වූ බොරු ප්‍රචාරයක් විය හැකි බව.

    ලංකාවේ පහුගිය කාලයේ සිට මේ මොහොත දක්වා රන් මිල ගණන් බහ බැංකු වාර්තා අනුව මේ;

    https://bit.ly/3wlAhoR

    ඊළඟට වාණිජ වෙළඳ පොළ තුල ලංකාවේ රන් මිල ගණන්

    https://www.ideabeam.com/finance/rates/goldprice.php

    ලංකාවේ 2021 ජූලි මස හත් වැනිදා වන විට කැරට් 22 රන් ග්රෑම් අටක පවුම් එකක් (1 Pawn) රුපියල් 93,400.00 ක මිලට වාණිජ වෙළඳ පොළ තුල අලෙවි වන අතර කැරට් 24 රන් ග්‍රෑම් අටක පවුම් එකක් රුපියල් 101,850 ක මිලට අලෙවි වනවා. මා දන්නා තරමින් රන් සඳහා ඔය වගේ අධික ඉල්ලුමක් නෑ. ඔය නිව්ස් එක යම් කිසි සංවිධානාත්මක වෙබ්/ සමාජ ජාල වල පච ප්‍රචාරය කරන කල්ලියක් විසින් කරන තවත් එක පචයක් වෙන්න ඇති.

    ලංකාවට රන් ආනයනය කරන්නේ රාජ්‍ය බැංකුවක් හරහායි. යම් හෙයකින් තාවකාලික ලෙස රන් හිඟයක් සමග රන් මිල ඉහළ ගියොත් ක්ෂණිකව රන් ආනයනය කර මිල පහළ දාගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. මේ පුවතේ නිරවද්‍යතාවය ගැන මට සහතික වෙන්න බැහැ. එසේ වුවත්, මහ බැංකු සංඛ්‍යාලේඛණ වල තිබෙන්නේ ජාත්‍යන්තර රන් මිල හා නිල විණිමය අනුපාතිකය ඇසුරෙන් ව්‍යුත්පන්න කර ගත් අගයක් මිසක් ලංකාවේ වෙළඳපොළේ සැබෑ රන් මිල නෙමෙයි. ලංකාවේ රන් වෙළඳපොළෙහි සිදුවන මිල වෙනස් වීම් එහි පිළිබිඹු වන්නේ නැහැ. අනෙක් වෙබ් අඩවියේත් මට තේරෙන හැටියෙන්නම් තිබෙන්නේ ඒ ආකාරයෙන්ම ව්‍යුත්පන්න කරගත් මිල ගණන්මයි. සුළු වෙනසට හේතුව ජාත්‍යන්තර රන් මිල ලබා ගත් තැන වෙනස් වීම විය හැකියි. මහ බැංකුව විසින් නොකරන රන් මිල පිළිබඳ දෛනික සමීක්ෂණයක් වෙනත් වෙබ් අඩවියක් පවත්වාගෙන යන අයෙකු විසින් කරනවා කියන එක සැක සහිතයි.

      ඒ වගේම "කැරට් 24 රන් ග්‍රෑම් අටක පවුම් එකක් රුපියල් 101,850 ක මිලට අලෙවි වනවා" කියා ඔබ සඳහන් කර තිබුණත් මම දන්නා තරමින් "කැරට් 24 රන් පවුම්" කියා දෙයක් වෙළඳපොළේ නැහැ. රන් පවුම් හදන්නේ කැරට් 22 රත්තරන් වලින්. කැරට් 24 රන් පවුමක මිල කියන එක කොහොමටත් සංකේතාත්මක මිලක් පමණයි. ඒ වගේම රන්කරුවන් රන් මිලට වැඩ කුලිය එකතු කරනවා. ඒ නිසා, රන් හිඟයක් නැතත් ජාත්‍යන්තර වෙළඳපොළේ මිලට රන්කරුවෙකුගෙන් රන් මිල දී ගන්න බැහැ. වෝග් ජුවර්ලස්හි කැරට් 22 රන් ග්‍රෑම් 8ක බ්‍රේස්ලට් එකක් අලෙවි වන්නේ රුපියල් 140,500ක මිලකට (https://onlinestorevoguejewellers.com/index.php?route=product/product&path=60&product_id=679). මල්ලිකා හේමචන්ද්‍ර එකේ කැරට් 22 රන් ග්‍රෑම් 8ක වළල්ලක් අලෙවි වෙන්නේ රුපියල් 153,000කට (https://www.mallikahemachandra.com/catalogue/bangles/g173-1-22kt-). ඒ නිසා, රන් පවුමක මිල රුපියල් 124,000ක් කියා කියන එක ඔබ කියනවා වගේ "වැරදි තොරතුරු මත පදනම් වූ බොරු ප්‍රචාරයක් විය හැකි බව" මට බැහැර කළ නොහැකි වුවත් එය බැලූ බැල්මටම අවිශ්වාසනීය සේ පෙනෙන පුවතක්නම් නෙමෙයි.

      Delete
  2. දන්නා කියන උදවිය දැන් අරගෙන රන්
    බඩු, යන්නේ උගස් කරන තැනක් හොයන්
    උගතුන් ඉන්නෙ රෙදි ඇඳගෙන අමු හෙළුවෙන්
    කවුරු පිළිගනිති, උන්ගේ හිලව්-ගණන්?

    ReplyDelete
  3. වැඩ මිලත් එකතු කරල කාසියෙ මිල නියම කරල තියෙන නිසා නේද 220000 වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඇතැම් විට එසේ කළා විය හැකියි. එසේ වී නම්, එයින් පෙනෙන්නේද මහ බැංකුව පිහිටුවීමෙන් පසුව රුපියල බාල්දු වී තිබෙන තරමයි. රන් ආභරණයක් විකුණද්දී හෝ උගස් කරද්දී එය මිල කෙරෙන්නේ රන් බරටයි. වැඩ කුලියෙහි වටිනාකමක් තිබෙන්නේ රන් ආභරණයක් ආයෝජනයක් සේ නොසලකා ආභරණයක් සේ සලකන අයෙකුට පමණයි. මහ බැංකුවක් කියන්නේ රන් ආභරණ කර්මාන්තයේ නියැලෙන ආයතනයක් නෙමෙයිනේ. මහ බැංකුවක් සාමාන්‍යයෙන් කාසියක හෝ නෝට්ටුවක මිල නියම කරන්නේ එය හදන්න යන වියදම මත පදනම්ව නෙමෙයි. එසේ මිල නියම කරනවානම් රුපියල් 5000 නෝට්ටුවක මිල ඇතැම් විට ශත ගණනක් විය හැකියි. සාමාන්‍යයෙන් මහ බැංකුවක් සමරු කාසි නිකුත් කරන්නේ එහි මුහුණත සඳහන් වටිනාකමට. ශ්‍රී ලංකා මහ බැංකුවත් 1998 වන තුරුම අනුගමනය කළේ මේ ක්‍රමයයි. 1978දී ජනාධිපති ජයවර්ධනගේ මුහුණ තිබෙන කැරට් 22 රන් ග්‍රෑම් 12ක රුපියලේ කාසියකුත්, 1992දී ජනාධිපති ප්‍රේමදාසගේ මුහුණ තිබෙන කැරට් 22 රන් ග්‍රෑම් 12ක රුපියලේ කාසියකුත් නිකුත් කළේ රුපියල බැගින්. මේ කාසි වල නිෂ්පාදන වියදම රුපියලට වඩා වැඩි වුවත් සමරු තිළිණ සේ රාජ්‍ය නායකයින්ට/ කැබිනට් ඇමතිවරුන්ට ලබා දෙනවා මිස මහජනයාට නිකුත් නොකළ නිසා ප්‍රශ්නයක් වුනේ නැහැ. 1991දී සාෆ් ක්‍රීඩා වෙනුවෙන් කැරට් 12 රන් ග්‍රෑම් 1.6ක කාසියක් මහජනයාට නිකුත් කළේ එහි මුහුණත අගය වූ රුපියල් 500 බැගින්. මේ කාසියක් මා ලඟ දැනටත් තිබෙනවා. එහෙත්, 1998දී කැරට් 22 රන් ග්‍රෑම් 8ක (පවුමක) රුපියල් 5000 කාසියක් මහජනයාට නිකුත් කරද්දී ප්‍රශ්නයක් මතු වුනා. වෙළඳපොළේ පවුමක මිල රුපියල් 5000ට වඩා වැඩි වූ නිසා අතරමැදියන් විසින් මේ කාසි රුපියල් 5000 බැගින් මිල දී ගෙන රන්කරුවන්ට අලෙවි කිරීමේ ගැටළුවට මුහුණ දෙන්න සිදු වී එයට පිළියමක් ලෙස කාසියක් විකිනුවේ රුපියල් 8000 බැගින්. දැන් මේ රුපියල් දහසේ කාසියක් රුපියල් 220,000 බැගින් විකුණන්න සිදු වී තිබෙන්නේත් එම හේතුව නිසා.

      Delete
    2. මෙන්න මේ වගේ උත්තර හම්බවෙන නිසා තමයි මේ බ්ලොග් එක පට්ට

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...