අන්දරේට වගේ හැමෝටම නොමිලේ රජවාසල සීනි කන්න ලැබෙන්නේ නැහැ. සීනි කන්නනම් සීනි වල මිලත් ගෙවන්න වෙනවා. නිදහස් වෙළඳපොලක සීනි මිල තීරණය වෙන්නේ කොහොමද? ඉල්ලුම හා සැපයුම මත කියා සරලව කියන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේ මූලික පාඩමක් වුනත් ඔය ඉල්ලුම හා සැපයුම ගැන කතා කරන හැමෝම හරියටම මේ ගැන දන්නවද?
පළමු කොටසින් අපි ඉල්ලුම් වක්‍රය ගැන කතා කළා. දෙවන කොටසෙන් අපි සැපයුම් වක්‍රය ගැන ඉගෙන ගත්තා. මේ කොටසින් අපි ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ගැන ඉගෙන ගනිමු.
සීනි, හාල්, පොල් වගේ පාරිභෝගික භාණ්ඩයකට ඉල්ලුමක් තිබුණු පමණින් පාරිභෝගිකයෙක්ට එම භාණ්ඩය හිමි කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. භාණ්ඩය සපයන්න කැමති සැපයුම්කරුවෙකුත් ඉන්න ඕනෑ. අනෙක් අතට සැපයුම්කරුවෙකුට මේ වගේ පාරිභෝගික භාණ්ඩයක් විකුණන්න පුළුවන් වෙන්නේ ප්‍රමාණවත් පාරිභෝගික ඉල්ලුමක් තිබුණොත් පමණයි. ඒ නිසා, ගනුදෙනුවක් සිදු වෙන්නනම් ඔය දෙපාර්ශ්වයේම නිදහස් කැමැත්ත අවශ්‍ය වෙනවා.
සැපයුම්කරුවෙක් පාරිභෝගික භාණ්ඩයක් කිසියම් මිලකට විකුණන්න කැමති වෙන්නේ ඒ මිලට විකුණා ලාබයක් ලැබිය හැකිනම් පමණයි. කවුරුවත් පාඩුවට බඩු විකුණන්නේ නැහැ. එහෙම කළොත් කරන්නේ රජය පමණයි. අනෙක් අතට පාරිභෝගිකයෙක් කිසියම් මිලකට භාණ්ඩයක් මිල දී ගන්නේ තමන්ට එයින් පාරිභෝගික අතිරික්තයක් ලැබේනම් පමණයි. නිදහස් වෙළඳපොළ ගනුදෙනුවක් කියා කියන්නේ ඔය දෙකම එක වර සිදු වන අවස්ථාවක්.
වෙළඳපොළ සමතුලිතාවකදී භාණ්ඩයකට තිබෙන ඉල්ලුම එහි සැපයුමට හරියටම සමාන වෙනවා. මේ වැඩේ සිදු විය හැක්කේ එකම එක නිශ්චිත මිලකදී පමණයි. එය තමයි අපට භාණ්ඩයක නියම මිල ලෙස සැලකිය හැක්කේ.
එහෙම කියන්නේ කොහොමද? ඉල්ලුම් වක්‍රය පහළට බෑවුම් වන බවත් එය එසේ වෙන්නේ ඇයි කියන එකත් අපි දැන් දන්නවා. ඒ වගේම සැපයුම් වක්‍රය ඉහළට බෑවුම් වන බව හා හේතුවත් අපි දන්නවා. ඉහළට බෑවුම් වන ඉරක් හා පහළට බෑවුම් වන ඉරක් එක තැනකදී එකිනෙක හරහා යනවා. හරියටම ඒ ලක්ෂ්‍යයේදී ඉල්ලුම හා සැපයුම සමාන වෙනවා. ඒ වගේම එය සිදු වන එක් නිශ්චිත මිලක් තිබෙනවා. ඉල්ලුම හා සැපයුම හරියටම සමාන වෙන්නේ මේ නිශ්චිත මිලේදී පමණයි.
මිල මේ සමතුලිත මිලට වඩා වැඩි වුනොත් සැපයුම තරමට ඉල්ලුමක් නැති වෙනවා. භාණ්ඩය විකුණා ගන්න බැරි වී අතිරික්තයක් හැදෙනවා. එවිට සැපයුම්කරුවන්ට මිල අඩු කරන්න සිදු වෙනවා. මිල සමතුලිත මිලට වඩා අඩු වුනොත් සැපයුමට වඩා ඉල්ලුම වැඩි වී භාණ්ඩ හිඟයක් ඇති වෙනවා. එවිට පාරිභෝගිකයෝ වැඩි මිලක් ගෙවා කොහෙන් හෝ භාණ්ඩ මිල දී ගන්න පෙළඹෙනවා. මිල ඉහළ යනවා. කොතැනින් පටන් ගත්තත් අන්තිමට නවතින්නේ සමතුලිත මිලට ඇවිදින්.
සමතුලිත මිලට භාණ්ඩයක් විකිණෙද්දී භාණ්ඩයේ වටිනාකම එහි මිලට වඩා වැඩියි කියා හිතන හැම පාරිභෝගිකයෙකුටම භාණ්ඩය හිමි වෙනවා. භාණ්ඩය හිමි නොවන්නේ එය එතරම් නොවටිනා සේ සලකන අයටයි. ඒ වගේම භාණ්ඩය විකුණා ලාබයක් ලැබිය හැකි තරමට කාර්යක්ෂම හැම සැපයුම්කරුවෙකුටම එම අවස්ථාව ලැබෙනවා.
වෙළඳපොළ මිල නිදහස් වෙළඳපොළක ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය හරහා තීරණය වෙද්දී සැපයුම්කරුවෙකුට ලැබෙන ලාබය තීරණය වෙන්නේ සැපයුම්කරුවාගේ සැපයුම් පිරිවැය කොපමණද කියන එක මතයි. පිරිවැය වැඩි සැපයුම්කරුවෙකුට ලැබෙන්නේ අඩු ලාබයක්. පිරිවැය අඩු සැපයුම්කරුවෙකුට වැඩි ලාබයක් ලැබෙනවා. පහත රූප සටහනේ නිල් පාට ත්‍රිකෝණයේ වර්ග ඵලය සියළුම සැපයුම්කරුවන්ගේ ලාබ වල එකතුවට සමානයි. ත්‍රිකෝණයේ උසම කොටසේ ඉන්නේ අඩුම පිරිවැකට භාණ්ඩය සපයන, ඒ නිසාම වැඩිම ලාබයක් ගන්න සැපයුම්කරුවෝ. සැපයුම්කරුවෙකුගේ පිරිවැය වැඩි වෙද්දී ලාබය ටිකෙන් ටික අඩු වෙලා පිරිවැය සමතුලිත මිලට සමාන වෙද්දී ලාබයක් නැතුව යනවා. වැදගත්ම කරුණ වෙළඳපොළ මිල එකක් වුවත් එක් එක් සැපයුම්කරුවා එම මිලට භාණ්ඩය විකුණා ලබන ලාබ සමාන නැති බව.
පාරිභෝගිකයාගේ පැත්තෙන් බැලුවත් මිල එකම වුවත්, භාණ්ඩය වඩාත්ම වටිනා සේ සලකන පාරිභෝගිකයන්ගේ අතිරික්තය වඩා වැඩියි. පාරිභෝගිකයෙකු විසින් භාණ්ඩයට ලබා දෙන සාපේක්ෂ වටිනාකම අඩු වෙද්දී ඇගේ පාරිභෝගික අතිරික්තයද ටිකෙන් ටික අඩු වෙනවා. ඉහත කොළ පාට ත්‍රිකෝණයේ වර්ග ඵලය සියලුම පාරිභෝගිකයින්ගේ අතිරික්ත වටිනාකම් වල එකතුවට සමානයි.
වෙළඳපොළ මිල නිදහස් වෙළඳපොළක ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය හරහා තීරණය වෙද්දී සැපයුම්කරුවෙකුට ලැබෙන ලාබය තීරණය වෙන්නේ සැපයුම්කරුවාගේ සැපයුම් පිරිවැය කොපමණද කියන එක මතයි. පිරිවැය වැඩි සැපයුම්කරුවෙකුට ලැබෙන්නේ අඩු ලාබයක්. පිරිවැය අඩු සැපයුම්කරුවෙකුට වැඩි ලාබයක් ලැබෙනවා. පහත රූප සටහනේ නිල් පාට ත්‍රිකෝණයේ වර්ග ඵලය සියළුම සැපයුම්කරුවන්ගේ ලාබ වල එකතුවට සමානයි. ත්‍රිකෝණයේ උසම කොටසේ ඉන්නේ අඩුම පිරිවැකට භාණ්ඩය සපයන, ඒ නිසාම වැඩිම ලාබයක් ගන්න සැපයුම්කරුවෝ. සැපයුම්කරුවෙකුගේ පිරිවැය වැඩි වෙද්දී ලාබය ටිකෙන් ටික අඩු වෙලා පිරිවැය සමතුලිත මිලට සමාන වෙද්දී ලාබයක් නැතුව යනවා. වැදගත්ම කරුණ වෙළඳපොළ මිල එකක් වුවත් එක් එක් සැපයුම්කරුවා එම මිලට භාණ්ඩය විකුණා ලබන ලාබ සමාන නැති බව.
පාරිභෝගිකයාගේ පැත්තෙන් බැලුවත් මිල එකම වුවත්, භාණ්ඩය වඩාත්ම වටිනා සේ සලකන පාරිභෝගිකයන්ගේ අතිරික්තය වඩා වැඩියි. පාරිභෝගිකයෙකු විසින් භාණ්ඩයට ලබා දෙන සාපේක්ෂ වටිනාකම අඩු වෙද්දී ඇගේ පාරිභෝගික අතිරික්තයද ටිකෙන් ටික අඩු වෙනවා. ඉහත කොල පාට ත්‍රිකෝණයේ වර්ග ඵලය සියලුම පාරිභෝගිකයින්ගේ අතිරික්ත වටිනාකම් වල එකතුවට සමානයි.
දැන් මේ රූප සටහනේ නිල් හා කොළ පැහැති ත්‍රිකෝණ දෙකේ වර්ග ඵල වල එකතුවෙන් පෙන්වන්නේ නිදහස් වෙළඳපොළ ගනුදෙනු නිසා කවුරු හෝ පුද්ගලයෙකුට ලැබුණු ලාබ වල එකතුව. ධනවාදයේ මූලධර්ම අනුව සියලු මිනිස්සු සමාන සේ සලකනවා මිසක් ඔවුන් ධනපතියන් හා නිර්ධන පංතිකයින් ලෙස, ජාතීන් අනුව, දේශිකයින් හා විදේශිකයින් ලෙස හෝ ආණ්ඩුවට බලයට එන්න උදවු කළ අය හා නොකළ අය ආදී ලෙස බෙදා වෙන් කර වෙන වෙනම සලකන්නේ නැහැ. ඒ නිසා, සැපයුම්කරුවන් ගොඩේ ඉන්නේ කවුද පාරිභෝගිකයින් ගොඩේ ඉන්නේ කවුද කියන එක වැදගත් කරුණක් නෙමෙයි. ධනවාදය අනුව කාර්යක්ෂමතාවය ලෙස සලකන්නේ කාට හෝ කෙනෙකුට ලැබෙන අතිරික්ත වල එකතුව හැකි තරම් වැඩි කරන එකයි.
නිදහස් වෙළඳපොළක මිල ඉහත විස්තර කළ සමතුලිත මිලෙන් වෙනස් වන හැම විටකම සමස්ත අතිරික්තයේ කිසියම් හෝ අඩු වීමක් සිදු වෙනවා. සැපයුම්කරුවන්ගේ ලාබයෙන් රුපියලක් අඩු කරලා ඒ රුපියල පාරිභෝගිකයන්ට ලබා දිය හැකිනම් කාර්යක්ෂමතාවය අඩු වීමක් වෙන්නේ නැහැ. නමුත්, එහෙම කරන්න බැහැ. පාරිභෝගික අතිරික්තය රුපියලකින් වැඩි කරන්න සැපයුම්කරුවන්ගේ ලාබ රුපියලකට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරන්න වෙනවා. මේ විදිහටම සැපයුම්කරුවන්ගේ ලාබ රුපියලකින් වැඩි කරන්නනම් පාරිභෝගිකයන්ගේ අතිරික්තය රුපියලකට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරන්න වෙනවා. මේ අවස්ථා දෙකේදීම වෙන්නේ සමස්තයක් ලෙස අතිරික්ත වටිනාකම් ජනනය වීම සීමා වීමයි. නිදහස් වෙළඳපොළකට මැදිහත් වීම හැම විටකම වාගේ අකාර්යක්ෂම වන්නේ ඒ නිසයි.
ඉහත විස්තර කළ ආකාරයේ නිදහස් වෙළඳපොළ සමතුලිතතාවයකදී සමස්ත අතිරික්තය හා එහි සංරචක දෙක වන පාරිභෝගික අතිරික්තය හා සැපයුම්කරුවන්ගේ ලාබ කොපමණද කියන එක තීරණය වන්නේ කොහොමද? ඉල්ලුම් හා සැපයුම් වක්‍ර වල තිරස් අක්ෂය හා සමතුලිතතාව අතර කොටසේ බෑවුම වැඩි වෙද්දී ත්‍රිකෝණයේ අදාළ ත්‍රිකෝණයේ වර්ග ඵලයද වැඩි වන බව ඔබට පෙනෙනවා ඇති. අපේ උදාහරණයේ සැපයුම් වක්‍රයේ බෑවුම අඩුයි. ඉල්ලුම් වක්‍රයේ බෑවුම වැඩියි. ඒ නිසා සැපයුම්කරුවන්ගේ ලාබ අඩුයි. පාරිභෝගික අතිරික්තය වැඩියි.
ඉහත විස්තර කළ ආකාරයේ නිදහස් වෙළඳපොළ සමතුලිතතාවයකදී සමස්ත අතිරික්තය හා එහි සංරචක දෙක වන පාරිභෝගික අතිරික්තය හා සැපයුම්කරුවන්ගේ ලාබ කොපමණද කියන එක තීරණය වන්නේ කොහොමද? ඉල්ලුම් හා සැපයුම් වක්‍ර වල තිරස් අක්ෂය හා සමතුලිතතාව අතර කොටසේ බෑවුම වැඩි වෙද්දී ත්‍රිකෝණයේ අදාළ ත්‍රිකෝණයේ වර්ග ඵලයද වැඩි වන බව ඔබට පෙනෙනවා ඇති. අපේ උදාහරණයේ සැපයුම් වක්‍රයේ බෑවුම අඩුයි. ඉල්ලුම් වක්‍රයේ බෑවුම වැඩියි. ඒ නිසා සැපයුම්කරුවන්ගේ ලාබ අඩුයි. පාරිභෝගික අතිරික්තය වැඩියි.
ඉල්ලුම් වක්‍රයේ හෝ සැපයුම් වක්‍රයේ බෑවුම් වලින් අදහස් වන්නේ කුමක්ද?
ඉල්ලුම් වක්‍රයේ බෑවුම අඩුනම් එයින් අදහස් වන්නේ මිල සුළු වශයෙන් හෝ වෙනස් වෙද්දී ඉල්ලුම විශාල ලෙස වෙනස් වෙනවා කියන එකයි. ඒ කියන්නේ පාරිභෝගිකයින්ගේ මිල සංවේදීතාවය ඉතාම වැඩියි කියන එකයි. ඉල්ලුම් වක්‍රයේ බෑවුම වැඩිනම් එයින් අදහස් වන්නේ පාරිභෝගිකයින් එතරම් මිල සංවේදී නැති බවයි.
මිල සංවේදී නැති වීමේ ආන්තීය තත්ත්වය යටතේ ඉල්ලුම් වක්‍රය සිරස් රේඛාවකට ආසන්න එකක් වෙන්න පුළුවන්. එයින් අදහස් වෙන්නේ මිල කොයි තරම් අඩු වැඩි වුනත් මිල දී ගන්නා ප්‍රමාණය වෙනස් නොවන බවයි. ආර්ථික විද්‍යාවේදී මෙවැනි තත්ත්වයක් හඳුන්වන්නේ අනම්‍ය ඉල්ලුමක් ලෙසයි. හාල්, සීනි වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට තිබෙන ඉල්ලුම සෑහෙන තරමකට අනම්‍ය ඉල්ලුමක්.
මේ විදිහටම සැපයුම් වක්‍රයේ බෑවුම අඩුනම් එයින් අදහස් වන්නේ මිල සුළු වශයෙන් හෝ වෙනස් වෙද්දී සැපයුම විශාල ලෙස වෙනස් වෙනවා කියන එකයි. ඒ කියන්නේ සැපයුම්කරුවන්ගේ මිල සංවේදීතාවය ඉතාම වැඩියි කියන එකයි. සැපයුම් වක්‍රයේ බෑවුම වැඩිනම් එයින් අදහස් වන්නේ සැපයුම්කරුවන් එතරම් මිල සංවේදී නැති බවයි.
ඉල්ලුම් වක්‍රයේ බෑවුම තීරණය වන්නේ අදාළ භාණ්ඩයට පාරිභෝගිකයින් විසින් වටිනාකම් දෙන ආකාරය අනුව. සැපයුම් වක්‍රයේ බෑවුම තීරණය වන්නේ නිෂ්පාදන තාක්ෂණයේ ස්වභාවය අනුව. මීට අමතරව ගැනුම්කරුවන්ගේ හෝ සැපයුම්කරුවන්ගේ ඒකාධිකාර හෝ කතිපයාධිකාර ඇති විටද මිල සංවේදීතාවය අඩු වෙනවා. මේවා සාමාන්‍යයෙන් පහසුවෙන් වෙනස් නොවන දේවල්. ඒ නිසා, නිදහස් වෙළඳපොළ සමතුලිතතාවයකදී පාරිභෝගිකයින් හා සැපයුම්කරුවන් අතර අතිරික්තය බෙදී යන ආකාරයත් බොහෝ දුරට ස්වභාවික ලෙස තීරණය වන දෙයක් කියා කියන්න පුළුවන්.
රජයයන්ට ඇතැම් විට මේ ස්වභාවික සමතුලිතතාවය වෙනස් කරන්න අවශ්‍ය වෙනවා. ඇතැම් විට සමාජවාදී හෝ ජාතිකවාදී දේශපාලනික අදහස් එයට පාදක වෙනවා. මෙහිදී වෙන්නේ බලයේ සිටින කණ්ඩායමට සහයෝගය දෙන පිරිසකට වාසියක් වන ආකාරයට වෙළඳපොළ සමතුලිතතාවය වෙනස් කිරීමක්. එවැනි මැදිහත්වීමක් හැම විටම අකාර්යක්ෂම වුවත් සමහර අවස්ථා වල මෙවැනි අකාර්යක්ෂමතාවයක් නඩත්තු කිරීම රටේ වැඩි දෙනෙකුගේ කැමැත්ත වෙන්න පුළුවන්. සමහර අවස්ථා වල කියා කිවුවත් මෙවැනි තත්ත්වයන් සුලභයි. සමහර රටවල මෙය සාමාන්‍ය තත්ත්වයයි.
උදාහරණයක් විදිහට හාල්, සීනි ආදී ඇතැම් පාරිභෝගික භාණ්ඩ හා අදාළව මේ දවස් වල ලංකාවේ ක්‍රියාත්මක වන මිල පාලනය පෙන්වා දෙන්න පුළුවන්. මිල පාලනයේ ඉලක්කය පාරිභෝගිකයින්ට වාසියක් සැලසීම කියා අපි හිතමු. දැන් පාරිභෝගිකයින්ට මේ වාසිය සලසද්දී සැපයුම්කරුවන්ට අනිවාර්යයෙන්ම පාඩුවක් වෙනවා. පාඩුවක් කියා කියන්නේ ලාබ අඩු වීමක්.
අපි හිතමු සීනි කිලෝවක වෙළඳපොළ සමතුලිත මිල රුපියල් 110ක් කියලා. දැන් මේ මිල යටතේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. අපි හිතමු මිල රුපියල් 110ක් වෙද්දී ඉල්ලුම වගේම සැපයුමත් සීනි කිලෝග්‍රෑම් මිලියන 600ක් කියලා. මෙහෙම තියෙද්දී ආණ්ඩුව විසින් සීනි වල උපරිම සිල්ලර මිල රුපියල් 85ක් කළාම වෙන්නේ කුමක්ද?
පළමු කොටසෙන් අපි ඉගෙන ගත්ත විදිහට මිල අඩු වෙද්දී ඉල්ලුම වැඩි වෙනවා. දැන් මිල සීනි කිලෝවක රුපියල් 110 සිට 85 දක්වා අඩු වෙද්දී ඉල්ලුම සීනි කිලෝග්‍රෑම් මිලියන 600ට වඩා වැඩි විය යුතුයිනේ. අපි හිතමු මිල රුපියල් 85 වෙද්දී ඉල්ලුම කිලෝග්‍රෑම් මිලියන 625 දක්වා වැඩි වෙනවා කියලා.
දෙවන කොටසින් අපි ඉගෙන ගත්ත විදිහට මිල අඩු වෙද්දී සැපයුමත් අඩු වෙනවා. දැන් මිල සීනි කිලෝවක රුපියල් 110 සිට 85 දක්වා අඩු වෙද්දී සැපයුම සීනි කිලෝග්‍රෑම් මිලියන 600ට වඩා අඩු විය යුතුයිනේ. අපි හිතමු මිල රුපියල් 85 වෙද්දී කිලෝග්‍රෑම් මිලියන 550 දක්වා අඩු වෙනවා කියලා.
සමස්ත ප්‍රතිඵලය කුමක්ද? මිල රුපියල් 85ට සීමා කළ විට ඉල්ලුම සීනි කිලෝග්‍රෑම් මිලියන 625 දක්වා වැඩි වෙද්දී සැපයුම කිලෝග්‍රෑම් මිලියන 550 දක්වා අඩු වෙලා. දැන් වෙළඳපොළේ සීනි කිලෝග්‍රෑම් මිලියන 75ක හිඟයක් තිබෙනවා. මිල රුපියල් 85 වුනත් කැමති කෙනෙකුට කැමති වෙලාවක මිල දී ගන්න සීනි නැහැ. රුපියල් 85ට සීනි විකුණන තැනකින් සීනි ගන්න පෝලිමේ ඉන්න ඕනෑ. එහෙම පෝලිමේ ඉඳලා සීනි මිල දී ගන්න කෙනෙකුට රුපියල් 110 - 85 = 25ක වාසියක් වෙනවා. නමුත් පෝලිමේ සිටීමේ "මිල" වියදමක් ලෙස එකතු වෙනවා.
කරන්න වෙන වැඩක් නැති "පෝලිමේ මැද- හිටියට පාඩු වෙනවද- ඔය තරුණියන් මැද- ඔහෙලට සොමියක් නැද්ද" කියලා හිතන අයටනම් ඔය වියදම වියදමක් වගේ නොපෙනෙන්න පුළුවන්. හැබැයි සීනි පෝලිම් වල රස්තියාදු වෙනවට වඩා වෙන කරන්න වැඩ තියෙන අයට ඔය රස්තියාදුව වියදමක්. පෝලිමේ රස්තියාදු වෙන එකේ "පිරිවැය" රුපියල් 25කට වඩා වැඩි කෙනෙක්ට සීනි මිල රුපියල් 85 දක්වා අඩු කළ එකෙන් අවාසියක් මිසක් වාසියක් වෙන්නේ නැහැ.
ප්රශ්නය ඒක විතරක් නෙමෙයි. පෝලිමේ ඉන්න වෙලාව තියෙන අය පෝලිමේ ගිහින් සීනි මිල දී ගන්නවා. නමුත් සීනි සැපයුම කිලෝග්‍රෑම් මිලියන 550ක් පමණක් නිසා වෙළඳපොළේ සීනි ඉතා ඉක්මණින් ඉවර වෙනවා. තවත් කිලෝග්‍රෑම් මිලියන 75කට ඉල්ලුම තිබෙනවා. නමුත් රාක්ක හිස්. පෝලිමේ රස්තියාදු වීමේ ආවස්ථික පිරිවැය අත ඇරියත් සීනි මිල දී ගන්න හිතාගෙන හිටි එහෙත් එම අවස්ථාව නොලැබුණු පිරිසකගේ පාරිභෝගික අතිරික්තය දැන් ශුන්‍ය වෙලා.
මිල පාලනය නිසා සැපයුම්කරුවන්ගේ ලාබ අඩු වෙනවා කියන එක ඉතාම පැහැදිලි දෙයක්නේ. මිල පාලනය කරන්නේම ඒකටනේ. මිල පාලනයෙන් පස්සේ මුලින් තිබුණු සැපයුම්කරුවන්ගේ ලාබයෙන් ඉහත රූප සටහනේ රතු පාට ඉරෙන් උඩ කොටස ඔවුන්ට අහිමි වෙනවා. එයින් කොටසක්, එනම් මිල රුපියල් 110 හා 85 අතරත්, ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 0 හා 550ත් අතර කොළ පාට චතුරශ්‍ර කොටස පාරිභෝගිකයින්ට ලැබෙනවා. පෝලිමේ සිටීමේ පිරිවැය අමතක කළොත් මෙය සැපයුම්කරුවන්ට පාඩුවක් වුනත් පාරිභෝගිකයින්ට වාසියක්. නමුත්, සැපයුම්කරුවන්ගේ ලාබ වලින් අඩුවෙන රුපියල් 110 මට්ටමට යටින්, කිලෝග්‍රෑම් මිලියන 550ට දකුණෙන් හා සැපයුම් වක්‍රයට උඩින් පිහිටි කහ පාට ත්‍රිකෝණ කොටස කාටවත්ම නැතුව යනවා.
කාටවත්ම නැතුව යන්නේ සැපයුම්කරුවන්ගේ ලාබ වලින් අඩු වී පාරිභෝගියන්ටද නොලැබෙන ඉහත කොටස පමණක් නෙමෙයි. මිල පාලනය නිසා කලින් තිබුණු පාරිභෝගික අතිරික්තයෙන් කොටසක්ද ඔවුන්ට අහිමි වෙනවා. ඒ භාණ්ඩ හිඟය නිසා අහිමි වී යන කලින් තිබුණු පාරිභෝගික අතිරික්තය. පහත රූපයේ කහ පාටින් ලකුණු කර තිබෙන්නේ මේ විදිහට මිල පාලනය නිසා කාටවත්ම නොලැබී අතුරුදහන් වී යන සමස්ත අතිරික්තයයි. සමාජවාදයේ අකාර්යක්ෂමතාවයට හේතුව නිදහස් වෙළඳපොළට මැදිහත්වීම නිසා ඔය විදිහට කාටවත්ම නොලැබී අතුරුදහන් වී යන අතිරික්තයයි.
මිල පාලනය නිසා සැපයුම්කරුවන්ගේ ලාබ අඩු වන බව වගේම සමස්තයක් ලෙස සැපයුම්කරුවන්ගේ හා පාරිභෝගිකයින්ගේ අතිරික්තයේ අඩු වීමක්ද අනිවාර්යයෙන්ම සිදු වන බව දැන් ඉතාම පැහැදිලියිනේ. ඒ අවාසි තිබුණත් පාරිභෝගිකයින්ට වාසියක් වෙන්නේ නැද්ද? දැන් ඔය වැඩේ කරන්නේම පාරිභෝගිකයින් ගැන හිතලනේ.
සැපයුම්කරුවන්ගේ හා සමස්ත කාර්යක්ෂමතාවයේ වියදමින් පාරිභෝගිකයින්ට වාසියක් වෙන්න පුළුවන්. නමුත් එය වුවත් අනිවාර්ය නැහැ. ඉහත රූපයේ කොළ පාට චතුරශ්‍ර කොටස පාරිභෝගික අතිරික්තයට එකතු වෙනවා. කලින් රුපියල් 110ට සීනි ගත්ත අයට දැන් රුපියල් 85ට සීනි ලැබෙද්දී වාසියක් නැති වෙන්න විදිහක් නැහැනේ. ඔය වාසිය හරියටම ගණන් හදන්නත් පුළුවන්. කිලෝවකට රුපියල් 25 බැගින් කිලෝ මිලියන 550කින් ලැබෙන වාසිය.
හැබැයි ඒ එක්කම කලින් රුපියල් 110 බැගින් සීනි මිල දී ගත් යම් පිරිසකට දැන් කීයක් දීලාවත් ගන්න වෙළඳපොළේ සීනි නැහැ. කහ පාටින් ලකුණු කර ඇති කොටසේ උඩ ත්‍රිකෝණයේ වර්ග ඵලය මිල පාලනය හේතුවෙන් ඒ විදිහට සීනි නොලැබී යන පාරිභෝගිකයන්ට කලින් ලැබුණු, මිල පාලනය හේතුවෙන් අහිමි වන පාරිභෝගික අතිරික්තයයි. මිල පාලනයෙන් සමස්තයක් ලෙස පාරිභෝගික අතිරික්තය වැඩි වන්නේ කොළ පාට චතුරශ්‍රයේ වර්ග ඵලය කහපාට ත්‍රිකෝණයේ වර්ග ඵලයට වඩා වැඩිනම් පමණයි. එසේ නැත්නම් සැපයුම්කරුවන්ගේ ලාබ අඩු වන අතරම පාරිභෝගික අතිරික්තයද අඩු වෙනවා. ඊට අමතරව පෝලිම් වල රස්තියාදු වීමේ ආවස්ථික පිරිවැයද පාරිභෝගික අතිරික්තයෙන් අඩු වෙනවා.