පසුගිය වසර ආරම්භ වන විට ලංකාවේ නිල විදේශ විණිමය සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 7,642ක්. වසර අවසාන වෙද්දී මෙම නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 5,665 දක්වා අඩු වී තිබෙනවා. මෙය ඩොලර් මිලියන 1,977ක අඩුවක්. ජනවාරි මාසය ඇතුළත තවත් ඩොලර් මිලියන 851කින් අඩු වීමෙන් පසුව තවත් ඉතිරිව තිබෙන්නේ ඩොලර් මිලියන 4,815ක් පමණයි. වසරේ ඉදිරි මාස එකොළහ තුළ විදේශ ණය හා වාරික ලෙස ගෙවිය යුතු මුදල මීට වඩා වැඩියි.
ලංකාව නැවත වරක් ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී සිටින බව පැහැදිලියි. කොහොම වුනත් ගෙවුම් ශේෂ අර්බුද ලංකාවට අලුත් දෙයක්නම් නෙමෙයි.
පසුගිය වසර ඇතුළත ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,977කින් අඩු වුනේ කොහොමද?
විදේශ සංචිත අඩු වුනේ කෝවිඩ් නිසා කියන එකනම් පිළිගන්න අමාරුයි. ඇතැම් විට කෝවිඩ් වසංගතය නොවන්නට තත්ත්වය වඩාත් දරුණු විය හැකිව තිබුණු බව මගේ අදහසයි. මා එසේ කියන්නේ හේතු ඇතිව.
ලංකාවට විදේශ විණිමය ලැබෙන ප්‍රධාන මාර්ග තුන විදිහට භාණ්ඩ අපනයනය, සේවා අපනයනය හා ශ්‍රමික ප්‍රේෂණ හඳුනා ගත හැකියි. පසුගිය වසර ඇතුළත විදේශ විණිමය ලැබෙන මේ එක් එක් මාර්ගයට සිදු වුනේ කුමක්ද?
වසර තුළදී භාණ්ඩ අපනයන ආදායම පෙර වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 1,863කින් අඩු වී තිබෙනවා. මෙයින් ඩොලර් මිලියන 1,266ක්ම අඩු වී තිබෙන්නේ ඇඟලුම් අපනයන ආදායමින්. කොහොමටත් ලංකාවේ අපනයන ආදායමෙන් බාගයකට වඩා ලැබෙන්නේ ඇඟලුම් අපනයන වලින් නිසා මෙහි විශාල අමුත්තකුත් නැහැ. ඉතිරි අඩුව අනෙක් සියළුම අපනයන අතර බෙදී ගොස් තිබෙනවා.
අපනයන ආදායම අඩු වීමට හේතුව කෝවිඩ් වසංගතය හා එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ හා යුරෝපයේ ඇඟලුම් ඇතුළු අනෙකුත් අපනයන සඳහා වූ ඉල්ලුම අඩු වීම ලෙස හඳුනාගත හැකියි. ඒ අනුව, අවශ්‍යනම් ගෙවුම් ශේෂ හිඟයට හේතුව වසංගතය නිසා අපනයන ආදායම් අඩු වීම කියන සරල නිගමනයට පැමිණිය හැකියි. එහෙත් එවැනි නිගමනයක් නිවැරදි නොවන්නේ වසංගතය නිසා අපනයන ආදායම් අඩු වනවාට වඩා වැඩියෙන් ආනයන වියදම් අඩු වී තිබීම නිසයි.
අපනයන ආදායම් ඩොලර් 1,863කින් අඩු වෙද්දී ආනයන වියදම් ඩොලර් 3,882කින් අඩු වී තිබෙනවා. මේ අනුව, පසුගිය වසරේදී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් මිලියන 2,019කින් පහළ ගොස් තිබෙනවා. වෙනත් විදියකින් කිවුවොත් ආනයන අපනයන පරතරයක් තිබුණත් එය පෙර වසරට වඩා ඩොලර් මිලියන 2,019කින් අඩු පරතරයක්. ඒ නිසා, සංචිත වැඩි වෙන්න මිසක් අඩු වෙන්න හේතුවක් නැහැ.
ආනයන වියදම් වලින් ඩොලර් 1,349ක්ම අඩු වී තිබෙන්නේ ඉන්ධන ආනයන වියදම් වලින්. කෝවිඩ් නිසා ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩු වීමත්, රට ඇතුළේ ඉන්ධන අවශ්‍යතා යම් තරමකින් අඩු වීමත් මෙයට හේතුව බව පැහැදිලියි. ඒ කියන්නේ මෙය වසංගතය නිසා ලැබුණු වාසිදායක ප්‍රතිඵලයක්. මේ වාසිය පමණක් ගත්තත් ඇඟලුම් අපනයන අඩු වීමේ අවාසියට වඩා වැඩියි.
ලංකාවේ ප්‍රධානම අපනයන ආදායම ඇඟලුම් වුනත් මේ අපනයන නිෂ්පාදනය සඳහා අවශ්‍ය රෙදිපිළි ඇතුළු බොහෝ අමුද්‍රව්‍ය ආනයනය කරන නිසා කර්මාන්තයෙන් ලැබෙන අපනයන ආදායම ශුද්ධ අපනයන ආදායමක් නෙමෙයි. ආදායමෙන් කොටසක් අමුද්‍රව්‍ය ආනයනය සඳහා නැවත රටෙන් එළියට යනවා. කර්මාන්තය කඩා වැටෙන විට අපනයන ආදායම් අඩු වනවා වගේම ආනයන වියදම් වලින් කොටසක්ද අඩු වෙනවා. පසුගිය වසර තුළ ඇඟලුම් හා රෙදිපිළි ආනයන වියදම් ඩොලර් මිලියන 574කින් අඩු වී තිබෙනවා. ඒ කියන්නේ, අඩු වුනු ඇඟලුම් අපනයන ආදායම් වලින් බාගයකට කිට්ටු මුදලක් ඇත්තටම අඩු වෙලා නැහැ. වෙන පැත්තකින් ඉතුරු වෙලා.
මේ අනුව, මෙම මුදල අඩුකර, සමස්ත අපනයන ආදායමේ සැබෑ අඩු වීම ඩොලර් මිලියන 1,863 - 574 = 1,289ක් කියා කියන්න පුළුවන්. තෙල් වලින් පමණක් ලැබී තිබෙන වාසිය ඩොලර් 1,349ක්. ඒ වාසිය අපනයන අඩුවීමේ සමස්ත අවාසියට වඩා වැඩියි. වසංගතය නිසා වෙළඳ ශේෂයට වාසියක් මිස අවාසියක් සිදු වී නැති බව ඉතාම පැහැදිලියි.
එහෙමනම්, ශ්‍රමික ප්‍රේෂණ අඩු වෙලාද?
ඒත් නැහැ. වසර තුළ ශ්‍රමික ප්‍රේෂණ විදිහට ඩොලර් මිලියන 7,104ක් ලැබී තිබෙනවා. මෙය පෙර වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 387ක වැඩි වීමක්. වසංගතය නිසා ශ්‍රමික ප්‍රේෂණ තවත් වැඩි වී මිස අඩු වී නැහැ.
පසුගිය අවුරුද්දේ සමස්ත වෙළඳ ශේෂය ඩොලර් මිලියන 5,978 දක්වා අඩු වෙද්දී ශ්‍රමික ප්‍රේෂණ විදිහට පමණක් ඩොලර් මිලියන 7,104ක් ලැබී තිබෙනවා. මෙතැනම ඩොලර් මිලියන 1,126ක් වැඩිපුර තිබෙනවා. පහුගිය කාලය මුළුල්ලේම ලංකාවේ වෙළඳ ශේෂ හිඟයෙන් සැලකිය යුතු කොටසක් ශ්‍රමික ප්‍රේෂණ වලින් ආවරණය වුනත් මේ විදිහට ශ්‍රමික ප්‍රේෂණ වලින් වෙළඳ ශේෂ හිඟය මුළුමනින්ම ආවරණය වුනේ පළමු වතාවට කියලයි මම හිතන්නේ.
ආනයන පාලනය කිරීමේ බලපෑම නොසලකා හැරිය නොහැකි වුවත්, මෙය බොහෝ දුරට වසංගතය නිසා ලැබුණු වාසියක්. ආනයන පාලනය ගැන අපි වෙනම කතා කරමු.
දැන් අඩු වශයෙන් කරුණු දෙකක් පැහැදිලි විය යුතුයි. පළමුව, කෝවිඩ් නිසා භාණ්ඩ අපනයන වෙළඳපොළේ තත්ත්වය හොඳ අතට මිස නරක අතට හැරී නැහැ. දෙවනුව, ශ්‍රමික ප්‍රේෂණ වැඩි වී මිස අඩු වී නැහැ.
වසංගතය නිසා සිදු වූ තුන් වන පාඩුව ලෙස සැලකෙන්නේ සංචාරක කර්මාන්තය හරහා ලැබුණු ආදායම් අඩු වීම. පසුගිය වසර තුළදී සංචාරක කර්මාන්තයෙන් උපයා තිබෙන ආදායම ඩොලර් මිලියන 957ක් පමණයි. පෙර වසරේ ආදායම ඩොලර් මිලියන 3,607ක්. මෙය ඩොලර් මිලියන 2,650ක අඩුවක්.
සංචාරක කර්මාන්තයෙන් ලංකාව විශාල ආදායමක් උපයනවා කියන එක ඇත්ත. හැබැයි අනෙක් පැත්තට ශ්‍රී ලාංකිකයින් විදේශ රටවල සංචාරය කරද්දී වියදමක්ද යනවා. ඒ නිසා මේ මුළු මුදලම කර්මාන්තය හරහා සිදු වූ ශුද්ධ විදේශ විණිමය ලැබීමක් ලෙස සලකන්න බැහැ. පහුගිය අවුරුද්දේ සංචාරක ආදායම් ප්‍රමාණය ඩොලර් මිලියන 3,607ක් වෙද්දී සංචාරක වියදම්ද ඩොලර් මිලියන 1,638ක්ව තිබුණා. ඒ නිසා කර්මාන්තයේ ශුද්ධ විදේශ විණිමය ලැබීම ප්‍රමාණය වුනේ ඩොලර් මිලියන 1,969ක් පමණයි. ඒ වගේම සමස්තයක් ලෙස සියලුම සේවා අංශ වලින් ඩොලර් මිලියන 2,849ක ශුද්ධ විදේශ විණිමය ප්‍රමාණයක් ලැබී තිබුණා.
දැන් මේ අවුරුද්දේ සංචාරක ආදායම් ඩොලර් මිලියන 2,650කින් අඩු වෙද්දී සංචාරක වියදම්ද විශාල ලෙස අඩු වී තිබිය යුතුයි. මාර්තු වලින් පස්සේ ලාංකිකයින් විදේශ සංචාර වල යෙදෙන එක සම්පූර්ණයෙන්ම වගේ නැවතුනානේ. ඒ නිසා, ඉහත කී අවාසියෙන් සෑහෙන ප්‍රමාණයක් අඩු විය යුතුයි. සංඛ්‍යාලේඛණ හරියටම නැතත් වසංගතය නිසා සිදු වූ පාඩුව ඩොලර් බිලියන 1-1.5 ප්‍රමාණයක් කියා හිතන්න පුළුවන්. මේ මට්ටමේ අවාසියක් සිදු වුනත්, සමස්තයක් ලෙස ලංකාවේ සේවා ගිණුමේ අතිරික්තයක් තිබිය යුතුයි.
වෙළඳ ගිණුමේ හිඟය ශ්‍රමික ප්‍රේෂණ වලින් සම්පූර්ණයෙන්ම ආවරණය වෙලානම්, සේවා ගිණුමේත් හිඟයක් නැත්නම්, පසුගිය වසර තුළදී රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,977කින් අඩු වුනේ කොහොමද?
මෙය වසංගතය නිසා සිදු වී ඇති දෙයක් නෙමෙයි. රටේ මිනිස්සුන්ගේ හෝ ව්‍යාපාරිකයින්ගේ අකාර්යක්ෂමතාවය හෝ වෙනත් වැරැද්දක් නිසා සිදු වී ඇති දෙයක්ද නෙමෙයි. සමස්තයක් විදිහට රටේ පෞද්ගලික අංශය විසින් වියදම් කරනවාට වඩා වැඩියෙන් විදේශ විණිමය උපයා තිබෙනවා. පසුගිය වසර පමණක් තනිව ගත්තොත් රජයේ කාර්යභාරයත් සාධනීයයි.
පහුගිය කාලය මුළුල්ලේම රටේ සමස්ත ගෙවුම් ශේෂය යම් ස්ථාවර තත්ත්වයක පැවතුනා තමයි. උදාහරණයක් විදිහට 2019 වසර තුළ රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 377කින් ඉහළ ගියා. නමුත්, එසේ නිල සංචිත ඉහළ ගියේ විදේශ ණය විදිහට රජය විසින් ඩොලර් මිලියන 6,570ක් ලබා ගැනීමෙන් පසුවයි. ණය නොගත්තානම් පසුගිය වසරේදීම විදේශ සංචිත හිඳිලා. ඉහත ණය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 4,400ක්ම ලබා ගත්තේ ස්වෛරීත්ව බැඳුම්කර විකුණලා. ඉතිරි ඩොලර් මිලියන 2,170 වෙනත් ණය. මේක කාලයක් තිස්සේම ගහපු රෝලක්.
මේ වෙද්දී මේ රෝල තවදුරටත් ගහන්න බැරි තරමට තත්ත්වය නරක අතට හැරිලා. එයට හේතුව වසංගතය නෙමෙයි. වසංගතය නොතිබුණත් මේ වෙද්දී ඔය ටික වෙනවා. දැන් මේ කොහොමටත් සිදු විය හැකිව තිබුණු දෙය වසංගතය පිට දමන්න හැකි වී තිබෙනවා.
දැන් ලංකාවට තවදුරටත් ස්වෛරීත්ව බැඳුම්කර විකුණා ණය ගන්න බැහැ. එසේ බැරි වුනේ ණය ශ්‍රේණිගත කරන ආයතන ලංකාවේ ශ්‍රේණිගත කිරීම් පහළට දමපු නිසා නෙමෙයි. එය සිදු වී තිබෙන්නේ අනෙක් පැත්තටයි. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කරන ආයතන වලට ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළට දමන්න සිදු වුනේම ලංකාවට ස්වෛරීත්ව බැඳුම්කර හරහා තවදුරටත් ණය අරගෙන ගෙවන්න බැරි මට්ටමට වැටී තිබෙන නිසයි. ශ්‍රේණිගත කිරීම් පහළට නොදමන්නට ලංකාව තවත් ණය අරගෙන මීට වඩා ලොකු අමාරුවක වැටෙනවා.
පහුගිය අවුරුද්ද ඇතුළත ලංකාවේ රජයට ස්වෛරීත්ව බැඳුම්කර විකුණා එක ඩොලරයක් හෝ හොයා ගන්න පුළුවන් වුනේ නැහැ. එහෙත්, වෙනත් ක්‍රම වලින් ඩොලර් මිලියන 2,002ක ණය අරගෙන තිබෙනවා. 2019 වසරේදී ලබාගත් ඩොලර් මිලියන 6,570ක ශුද්ධ විදේශ ණය ප්‍රමාණය එක්ක බැලුවහම මෙය ඩොලර් මිලියන 4,568ක අඩුවක්.
රජය විසින් ලබාගත් විදේශ ණය ඩොලර් මිලියන 4,568කින් අඩු වෙද්දී විදේශ සංචිත අඩු වී තිබෙන්නේ ඩොලර් මිලියන 1,977කින් පමණයි. මෙය ඉතා හොඳ තත්ත්වයක්. මෙයින් අදහස් වෙන්නේ පෙර වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 2,591කින් ශුද්ධ විණිමය ලැබීම් ඉහළ ගිහින් කියන එකයි. පෙර වසරට සාපේක්ෂව වෙළඳ ශේෂය ඩොලර් මිලියන 2,019කින් අඩු වීමත්, ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් මිලියන 387කින් ඉහළ යාමත් මේ වෙනස බොහෝ දුරට පැහැදිලි කරනවා. ඊට අමතරවද තවත් ඩොලර් මිලියන 185ක ඉතිරියක් තිබීමෙන් පෙනෙන්නේ සේවා ගිණුම ඇතුළු අනෙක් සියලු ගිණුම් වල ශේෂයන් සමස්තයක් ලෙස ගත් විටද හොඳ අතට මිස නරක අතට හැරී නැති බවයි.
ආනයන පාලනය වෙනම දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. ආනයන පාලනය කිරීම ඉහත ප්‍රතිඵලය කෙරෙහි බලපා ඇති බවත්, ආර්ථික වර්ධනය අඩාල කිරීමටද හේතු වී ඇති බවත් බොරු නෙමෙයි. එහෙත්, මෙහිදී රජය පැත්තෙන් සිදු වී තිබෙන්නේ අවශ්‍ය පමණ විදේශ ණය ගැනීමේ හැකියාවක් නැති නිසා විකල්පයක් නැති කමින් ආනයන පාලනය කිරීම කෙරෙහි යොමු වීමක් මිස ආනයන පාලනය හේතුවෙන් ණය ගන්න අවශ්‍ය නොවීමක් නෙමෙයි. යම් හෙයකින් පහසුවෙන් තවත් විදේශ ණය ලබා ගත හැකිව තිබුණානම් මේ විදිහේ ආනයන පාලනයක් කරා රජය යොමු නොවිය හැකිව තිබුණා.
මොන විදිහෙන් සිදු වුනත් සිදු වී තිබෙන්නේ සිදු විය යුතුව තිබුණු දෙයක්. විදේශ සංචිත අඩු වී ඇතත්, විදේශ ණය අඩු වූ තරමට විදේශ සංචිත අඩු වී නැහැ. වසංගතය නිමා වීමෙන් පසුවද මේ ක්‍රමයට දිගටම ගියොත් දිගුකාලීනව ගෙවුම් ශේෂය මත තිබෙන පීඩනය අඩු කර ගන්න පුළුවන් වෙයි. හැබැයි ඒ අතරවාරයේ ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් ඇවිත් ආර්ථිකය කඩා වැටෙන එක වලක්වා ගන්න අවශ්‍ය මට්ටමට ණය ගන්න වෙනවා.