පසුගිය කාලයේ ඇතැම් අය නිතර කියූ කතාවක් වුනේ කෝවිඩ්-19 හමුවේ බටහිර අසරණ වී ඇති බවයි. සමහර අය දැකපු විදිහට බටහිර රටවල් අසරණ වෙලා. සමහර අය දැකපු විදිහට බටහිර විද්‍යාව අසරණ වෙලා. සමහර අය දැකපු විදිහට බටහිර ආර්ථික ක්‍රමය බිඳ වැටිලා. තවත් සමහර අයට අනුව ප්රජාතන්ත්රවාදී ක්‍රමය අසාර්ථක බව පැහැදිලි වෙලා. ඔය උප කුලක වලින් එකක සිටි ගොඩක් අය තවත් උප කුලක එකක හෝ කිහිපයකත් ඉන්නවා. එහෙම නැති අයත් ඉන්නවා.
බටහිර රටවල් ගැන, විශේෂයෙන්ම ඇමරිකාව ගැන, ලිපි කිහිපයකින්ම කතා කරලා තිබෙන නිසා බටහිර විද්‍යාව කියන කරුණට එමු. මෙහිදී බටහිර විද්‍යාව කියා කියන්නේ ලංකාවේ මේ වන විට බොහෝ දෙනෙක් එම යෙදුම යොදන අර්ථයෙන්. මේ කණ්ඩායම විසින් අවධාරණය කරන ප්‍රධාන කරුණක් වන්නේ බටහිර විද්‍යාව නොවන වෙනත් දැනුම් පද්ධති තිබෙන බවයි. මේ කරුණ හා අදාළව මගේ ප්රතිවිරෝධයක් නැහැ.
බටහිර විද්‍යාව කියා කියන්නේ තනි දැනුම් පද්ධතියක් හෝ නොවෙනස් වන දැනුම් පද්ධතියක් නෙමෙයි. ඒ වගේම පැහැදිලි ඉරක් ඇඳ වෙනත් දැනුම් පද්ධති වලින් නිශ්චිත ලෙස වෙන් කළ හැකි දැනුම් පද්ධතියකුත් නෙමෙයි. එසේ වුවත්, වෙනත් දැනුම් පද්ධති වල ඇති ඇතැම් සංකල්ප ප්‍රායෝගිකව බටහිර විද්‍යාව සමඟ ගලපන්න බැහැ. උදාහරණයක් විදිහට කිසියම් නොපෙනෙන දෙවි කෙනෙකු හරහා දැනුම ලබා ගැනීම බටහිර විද්‍යාවේ විධික්රමයක් නෙමෙයි. එය වෙනත් දැනුම් පද්ධති වල විධික්රමයක්.
අසරණ වීම කියන වචනයේ තේරුම ගත්තොත් එය වඩා ගැලපෙන්නේ දෙවි කෙනෙකු හරහා දැනුම ලබා ගැනීම මූලික විධික්රමය සේ සලකන දැනුම් පද්ධතියකටයි. දැනුමේ සම්භවය මේ දෙවියා නිසා දෙවියා පිටු පෑවොත්, දෙවියාව සම්බන්ධ කරගන්න බැරි වුනොත්, එහෙමත් නැත්නම් දෙවියාත් අසරණ වෙලානම් දැනුම් පද්ධතිය පහසුවෙන්ම බිඳ වැටෙනවා.
බටහිර විද්‍යාවේ දැනුම නිර්මාණය කිරීම කියන කරුණේදී මේ අසරණ වීම මේ ආකාරයෙන් සිදු වෙන්න ඉඩක් නැහැ. එහෙත්, වෙනත් අය නිර්මාණය කරන බටහිර විද්‍යා දැනුම තමන්ගේ ප්‍රයෝජනය සඳහා යොදාගන්න බලාගෙන ඉන්න අය හා සම්බන්ධව මේ යෙදුමේ යම් තේරුමක් තිබෙනවා. දැනුම අලුතින් නිර්මාණය කරන අයට ඒ වැඩේ කරගන්න බැරි වුනොත්, එහෙමත් නැත්නම් ඒ අය සතු දැනුම වෙනත් අය වෙත සම්ප්‍රේෂණය නොවුනොත් ධුරාවලියේ පහළ ඉන්න අය අසරණ වෙන්න පුළුවන්. ඒ අතින් බැලුවොත්නම් දෙවියන්ගෙන් දැනුම ලබා ගන්න බලා ඉන්න අයගේ ප්‍රශ්නයම මෙහිත් තිබෙනවා.
බටහිර විද්‍යාවත් වෙනත් දැනුම් පද්ධති වගේම යම් මූලික විශ්වාස මත පදනම් වූ එකක් තමයි. ඒ නිසා, ඒ කරුණ මත පදනම්ව බටහිර විද්‍යාව වෙනත් දැනුම් පද්ධති වලින් වෙන් කරන්න බැහැ. ඒ වගේම, විධික්රමයක් ලෙස දෙවියන්ගෙන් දැනුම ලබා ගත හැකි බව කවුරු හෝ කියනවානම් එය නිශ්චිත ලෙස ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවකුත් අපට නැහැ. එහෙමනම් මේ හැම දැනුම් පද්ධතියකටම සමාන තැනක් හිමි විය යුතුද?
බටහිර විද්‍යාවට තිබෙන විවේචනයක් වන්නේ එය අනෙකුත් දැනුම් පද්ධති අතර ආධිපත්‍යයක් උසුලන බවයි. මේ පිළිබඳවත් මගේ කිසිදු ප්රතිවිරෝධයක් නැහැ. එහෙත්, මේ කතාව කියන බොහෝ දෙනෙක් සමඟ මා එකඟ නොවන තැනක් තිබෙනවා. ඒ බටහිර විද්‍යාව ආධිපත්‍යයක් උසුලන්නේ ඇයි කියන තැනේදී. මම දකින විදිහටනම් මෙය ස්වභාවිකව සිදුව ඇති දෙයක්. බටහිර විද්‍යාවේ අඩුපාඩු කොයි තරම් තිබුණත් වෙනත් කිසිදු දැනුම් පද්ධතියක් බටහිර විද්‍යාව සමඟ තරඟ කළ හැකි මට්ටමක නැහැ.
සමහර අයට සමහර විට දෙවියන්ගෙන් දැනුම ලබා ගන්න පුළුවන් කමක් ඇති. එහෙත්, එක්කෝ ඒ අයට සන්නිවේදන සීමාවන් තිබෙනවා. එහෙම නැත්නම් ඔය දැනුම ලබා දෙන දෙවියන්ටත් ඒ තරම් ලොකු දැනුමක් නැහැ. සෛද්ධාන්තිකව දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීමේ හැකියාවක් තිබෙන්න පුළුවන් වුනත්, ඒ විදිහට ලබා ගන්නා දැනුමක් බටහිර විද්‍යාව වෙනුවට යොදා ගත හැකි ප්‍රායෝගික විකල්පයක් සේ සලකන්න කිසිදු හේතුවක් පෙනෙන්නේ නැහැ. වෙනත් සියලු සම්ප්‍රදායික දැනුම් පද්ධති වලටත් මෙය අදාළයි.
දැන් අපි කෝවිඩ්-19 කියන නිශ්චිත කරුණට එමු. කෝවිඩ්-19 කියා කියන්නේම බටහිර දැනුම් පද්ධතිය තුළ හැදුනු සංකල්පයක්. වෙනත් දැනුම් පද්ධතියක් තුළ කෝවිඩ්-19 ගැන කතා කරනවානම් එය අනිවාර්යයෙන්ම එය බටහිර දැනුම් පද්ධතියේ කර උඩ යාමක් (piggybacking).
දැනට වසර 250කට පෙර බටහිර රටවල මේ රෝගය මේ ආකාරයටම පැතිරුණානම් මෙය වෛරස් රෝගයක් ලෙස හඳුනා ගැනෙන්නේ නැහැ. එසේනම්, බොහෝ දෙනෙකු විසින් නිරීක්ෂණය කළ හැකිව තිබුණේ හුස්ම ගැනීම අසීරු වී බොහෝ දෙනෙකු මිය යන බවයි. එයට හේතුව දෙවි කෙනෙකු කෝප වීම කියා හිතා ප්‍රතිකාර ලෙස විවිධ පුද පූජා පැවැත්වීමත් සුලබව සිදු විය හැකිව තිබුණා.
බටහිර විද්‍යාව තුළ මුලින් රෝග පතුරුවන විෂබීජ පිළිබඳ දැනුමත්, පසුව වයිරස් පිළිබඳ දැනුමත්, ඊටත් පසුව සාර්ස් වෛරසය පිළිබඳ දැනුමත් වැඩි දියුණු වුණා. කෝවිඩ්-19 නම් වූ රෝගයක් හඳුනා ගැනෙන්නේ මේ දැනුම මත පදනම්වයි. මෙහිදී අදාළ රෝගය පතුරුවන නිශ්චිත වෛරසයක් හඳුනා ගැනෙනවා. නිශ්චිත කියා කීවත් රෝගය පතුරුවන වෛරස සියල්ලම එකිනෙකට හරියටම සමාන නැහැ. නිශ්චිත කියා කියන්නේ මේ වෛරස වල දැකිය හැකි පොදු ගුණ කාණ්ඩයකටයි.
කෝවිඩ්-19 පතුරුවන SARS-CoV2 ලෙස හඳුන්වන වෛරසය කියන්නේ බටහිර විද්‍යාවේ අර්ථදැක්වීමක්. එය මීට පෙර සාර්ස් රෝගයට හේතු වූ SARS-CoV වෛරසයට සැහෙන තරමකින් සමානයි. ඒ නිසා, SARS-CoV2 වෛරසය අර්ථදක්වා තිබෙන්නේ එම වෛරස වලට පොදු, එහෙත් SARS-CoV වැනි වෙනත් වෛරස වල දැකිය නොහැකි පොදු ගුණ ආශ්රයෙනුයි. කෝවිඩ්-19 ආසාදිතයෙක් කියා කියන්නේ මේ SARS-CoV2 වෛරසය ශරීරගත වූ අයෙක්. එහෙත්, SARS-CoV2 වෛරසය ශරීරගත වූ ඇතැම් අයට කිසිදු රෝග ලක්ෂණයක් ඇති නොවෙන්න පුළුවන්. කෝවිඩ්-19 ආසාදිතයින් ලෙස හඳුන්වන කුලකයට එවැනි අයත් ඇතුළත්.
බටහිර විද්‍යාවේ කෝවිඩ්-19 ආසාදිතයෙකු හඳුනා ගැනෙන්නේ මේ අර්ථදැක්වීම මත පදනම්වයි. ඒ අනුව, මේ වන විට බොහෝ දෙනෙක් දන්නා පීසීආර් පරීක්ෂණයකින් කරන්නේ කිසියම් පුද්ගලයෙකුගේ උගුරෙන් හා/හෝ නාසයෙන් ලබාගන්නා ජීව ද්‍රව්‍ය සාම්පලයක SARS-CoV2 වෛරස යම් අවම ප්‍රමාණයක් තිබේදැයි හඳුනාගත හැකිද කියා පරීක්ෂා කිරීමයි. එම පරීක්ෂණයකින් කෝවිඩ්-19 ආසාදිතයෙකු යම් නිරවද්‍යතාවයක් සහිතව හඳුනාගත හැකියි. එහෙත්, පරීක්ෂණ ප්‍රතිඵල හැම විටම නිවැරදි නැහැ.
මේ විදිහට පීසීආර් පරීක්ෂණයකින් රෝගීන් හඳුනා ගැනීමේ අරමුණ කුමක්ද? රෝගියෙකු හඳුනා ගත්තා කියා කළ හැකි නිශ්චිත ප්‍රතිකාරයක් තවමත් නැහැ. එහෙත්, පීසීආර් පරීක්ෂණයකින් හඳුනා ගැනෙන ඇතැම් රෝගීන් මිය යාමට ඇති ඉඩකඩ අඩු කර ගන්න පුළුවන්. ඔවුන්ට ඇති විය හැකි අනෙකුත් සංකූලතා අඩු කර ගන්නත් පුළුවන්.
කෝවිඩ්-19 ආසාදිතයෙකු සුව වන්නේ සිරුරේ හැදෙන ස්වභාවික ප්‍රතිශක්තියෙන්. වෛරසය ශරීරගත වූ ඇතැම් අය සුව වන තුරුම කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. ප්‍රතිදේහ පරීක්ෂාවකින් මෙවැනි අය හඳුනාගත හැකියි. කැලිෆෝර්නියාවේ සිදු කර තිබෙන එක් පරීක්ෂණයකට අනුව හඳුනාගත් සෑම කෝවිඩ්-19 ආසාදිතයෙකුටම හඳුනා නොගත් 50-85 අතර ප්‍රමාණයක් ඉන්නවා. මේ ප්‍රතිඵලය විවාදිත එකක් වුවත් එවැනි සෑහෙන පිරිසක් සිටින්නට ඉඩ තිබෙනවා.
කෝවිඩ්-19 මර්දනය සඳහා බටහිර විද්‍යාවේ ක්‍රමවේදය වන්නේ පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමට තිබෙන ඉඩකඩ අඩු කිරීමයි. ලංකාව, චීනය, ස්වීඩනය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, අයිස්ලන්තය, දකුණු කොරියාව වැනි ලෝකයේ විවිධ රටවල් වෛරසය සම්ප්‍රේෂණය වීම පාලනය කිරීමට එකම උපක්‍රම භාවිතා නොකළත් මේ හැම රටක්ම විශ්වාසය තබා තිබෙන්නේ බටහිර දැනුම මතයි. SARS-CoV2 වෛරසය ශරීරයට ඇතුළු වීම නිසා කෝවිඩ්-19 රෝගය ඇති වන බවත්, SARS-CoV2 වෛරසය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැතිරෙන බවත්, SARS-CoV2 වෛරසය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැතිරීම පාලනය කිරීම මගින් රෝගය පාලනය කළ හැකි බවත් මේ හැම රටක්ම විශ්වාස කරනවා. ඒ වගේම පීසීආර් පරීක්ෂණ මගින් වෛරසය ආසාදනය වී තිබෙන බොහෝ දෙනෙකු හඳුනාගත හැකි බවත් විශ්වාස කරනවා. මේ සියල්ල සිදු වන්නේ බටහිර විද්‍යාවේ දැනුම් පද්ධතිය තුළයි.
කෝවිඩ්-19 කියා කියන්නේ වෙනත් විකල්ප දැනුම් පද්ධති වලට එම දැනුම් පද්ධති වලින් කළ හැකි දේ පෙන්වීමට මගඟු අවස්ථාවක්. එය කරන අයෙක් තමන් කොයි තරම් දුරකට බටහිර විද්‍යාවෙන් ස්වායත්තද කියන එක පැහැදිලිව කිව යුතුයි. බටහිර විද්‍යාවේ දැනුමක් වෙනත් දැනුම් පද්ධතියක යොදා ගැනීමේ වරදක් නැහැ. එහෙත්, බටහිර විද්‍යාව සමඟ එකට යන්නේත් වෙන්ව යන්නේත් කොයි තැන් වලදීද කියා කිව යුතුයි.
පළමු ප්රශ්නය වන්නේ යොදා ගන්නා කවර හෝ දැනුම් පද්ධතිය විසින් කෝවිඩ්-19 නම් වූ SARS-CoV2 වෛරසය හරහා බෝවෙන ලෙඩක් තිබෙන බව පිළිගන්නේද යන්නයි. එසේ නැත්නම් ඔවුන් මේ රෝගය අර්ථ දක්වන ආකාරය පැහැදිලිව සඳහන් කළ යුතුයි. දෙවන ප්රශ්නය කෝවිඩ්-19 නම් වූ SARS-CoV2 වෛරසය හරහා පැතිරෙන රෝගය හෝ වෙනත් හේතුවක් නිසා හැදෙන වෙනත් රෝගය හඳුනාගන්නා නිර්ණායකය කුමක්ද කියන එකයි. ප්‍රතිකාර ප්රශ්නය තෙවන ප්රශ්නයයි.
තවමත් දිනපතා ලංකාවෙන් කෝවිඩ්-19 රෝගීන් කිහිප දෙනෙකු හඳුනා ගැනෙනවා. එසේ හඳුනා ගැනෙන්නේ පීසීආර් පරීක්ෂණ වලින්. මේ පරීක්ෂණ 100%ක් නිවැරදි නැහැ.
දැන් ලංකාවේ බොහෝ රෝගීන් හමුවන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලින්. කිසියම් අයෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙන්නේ බුද්ධි අංශ ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් කරන පරීක්ෂාවන් හරහා. මේ පරීක්ෂාවන් සෑහෙන තරම් නිවැරදියි. කෝවිඩ්-19 ආසාදිතයින් විය හැකි බොහෝ දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් හමු වෙන්නේ ඒ නිසයි.
මේ නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින අය අතරින් සැබෑ කෝවිඩ්-19 ආසාදිතයින්, එසේ නැත්නම් වෙනත් අයුරකින් අර්ථ දක්වන ආසාදිතයින්, කලින් හඳුනාගත හැකි විකල්ප දැනුමක් තියෙනවද? අදාළ පුද්ගලයින්ගේ නාඩි පරීක්ෂා කර, කේන්ද්‍ර පරීක්ෂා කර හෝ කිසියම් දෙවි කෙනෙකුගෙන් විමසා මෙය කළ හැකිද?
කරන්න තියෙන්නේ ඉතා සරල දෙයක්. නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින අඩු වශයෙන් 1000ක පමණ පිරිසකගේ කවර හෝ දෙයක් පරීක්ෂා කර ඔවුන් ආසාදිතයින් හා නිර්-ආසාදිතයින් ලෙස වර්ග කිරීමයි. ප්‍රතිඵල 100%ක් නිවැරදි විය යුතු නැහැ. යම් තරමක සාර්ථකත්වයකින් හෝ මෙය කළ හැකිනම් සාමාන්‍ය පුද්ගලයින් අතර සිටින ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා එම ක්‍රමය යොදාගත හැකියිනේ.
දැන් ලංකාවේ පවතින වාතාවරණය තුළ ඔය වගේ වැඩක් කරන්න ඉදිරිපත් වෙන කෙනෙකුට අවස්ථාවක් නොලැබෙන්න හේතුවක් නැහැ.