වෙබ් ලිපිනය:

Thursday, February 13, 2020

ලෙඩක් ලෙඩක් වෙන්නේ කොහොමද?


මේ වන විට නව කොරෝනා වෛරස් ආසාදිතයින් ගණන හැට දහස ඉක්මවලා. නව කොරෝනා වෛරසය කිවුවත් දැන් මේ වෛරසය ටිකෙන් ටික පරණ වේගෙන යනවා. නමක් නැති කාලේ තාවකාලිකව භාවිතා කළ නව කොරෝනා වෛරසය කියන භාවිතය හැමදාටම ගැලපෙන එකක් නෙමෙයි. ඒ ගැන සලකා බලමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ වෙද්දී නව කොරෝනා වෛරසයට ස්ථිර නමක් ලබා දී තිබෙනවා.

කුරුළු උණ, මී උණ, පිස්සු බලු රෝගය වගේ සත්තුන්ගේ නම් වලින් හඳුන්වන ලෙඩ තිබෙනවා. පිස්සු බලු රෝගය කියා කිවුවහම ගොඩක් අය තේරුම් ගන්නේ බල්ලන්ගෙන් බෝවෙන ලෙඩක් විදිහටයි. ලංකාවේනම් ඔය ලෙඩේ බෝවෙන්නේ බල්ලන්ගෙන් තමයි. නමුත්, හරක්, පූසෝ, වවුල්ලු වගේ වෙනත් සතුන්ගෙනුත් පිස්සු බලු රෝගය බෝවෙන්න පුළුවන්. ඇමරිකාවේනම් මේ ලෙඩේ බල්ලෙක්ගෙන් බෝවෙන්නේ ඉතා කලාතුරකින්. ඒ නිසා, මේ ලෙඩේ පිස්සු බලු රෝගය ලෙස හැඳින්වීමේ අවුලක් තියෙනවා. සත්තුන්ගේ නම් වලින් නම් කර තිබෙන වෙනත් ලෙඩ වලටත් ඔය ප්‍රශ්නයම තිබෙනවා.

සත්තුන්ගේ නම් වලින් වගේම කිසියම් ස්ථානයක හෝ ජනවර්ගයක නමින් නම් කර තිබෙන ලෙඩ තිබෙනවා. මීට කලින් ව්‍යාප්ත වුනු මර්ස් වෛරසය එලෙස නම් කෙරුණේ එය මැද පෙරදිග කලාපය ආශ්‍රිතව පැතිරුණු නිසයි. එහෙත්, වරක් එක ප්‍රදේශයක් හෝ එක ජනවර්ගයක් ආශ්‍රිතව පැතිරුණු ලෙඩක් පසුව වෙනත් ප්‍රදේශයක් හෝ ජනවර්ගයක් ආශ්‍රිතව පැතිරෙන්න පුළුවන්. ඒ නිසා, මේ ආකාරයට නාමකරණය කිරීමේත් අවුලක් තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව කොරෝනා වෛරසය බෞතීස්ම කරලා තියෙන්නේ කෝවිඩ්-19 ලෙසයි. එහි සතෙකුගේ, ප්‍රදේශයක හෝ ජනවර්ගයක නමක් නැහැ.

මේ වන විට කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය 60,406 දක්වාත්, කෝවිඩ්-19 මරණ ගණන 1,369 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනය ඇතුළත ආසාදිතයින් ගණන 15,407 කිනුත්, මරණ ගණන 253 කිනුත් ඉහළ යාමත් සමගයි. එකවරම කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය මේ තරම් වැඩි වුනේ කොහොමද?

කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය දවසක් ඇතුළත මේ තරමටම වැඩි වුනේ රෝගියෙකුව කෝවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගන්නා සම්මතය චීනය විසින් වෙනස් කිරීම නිසයි. මෙතෙක් කලක් චීනය විසින් කිසියම් රෝගියෙකු කෝවිඩ්-19 ආසාදිතයෙකු ලෙස නම් කළේ සිරුරේ වෛරසය තිබෙන බව  විද්‍යාගාර පරීක්ෂණයකින් තහවුරු කර ගැනීමෙන් පසුවයි. එහෙත්, රෝගීන් ප්‍රමාණය විශාල ලෙස ඉහළ යද්දී තිබෙන සීමිත පහසුකම් යටතේ මේ වැඩේ කාර්යක්ෂමව කිරීම අසීරු වී තිබෙනවා. වෛරසය හඳුනා ගැනීම ප්‍රමාද වූ විට ප්‍රතිකාර ලබා දීමද ප්‍රමාද වෙනවා.

සිරුරේ වෛරසය තිබෙන බව විද්‍යාගාර පරීක්ෂණයකින් තහවුරු කර ගෙන නැතත්, රෝග ලක්ෂණ අනුව වෛද්‍යවරයෙකු විසින් සායනික ලෙස හඳුනා ගෙන ඇති අයත් කෝවිඩ්-19 ආසාදිතයන් සේ ගණන් ගැනීමට මේ වන විට චීනය තීරණය කර තිබෙනවා. ඒ වගේම, එසේ හඳුනා ගැනීමෙන් පසුව මිය යන අයගේ මරණද මින් අනතුරුව කෝවිඩ්-19 මරණ ලෙස සැලකෙනවා. මරණ ගණන හා රෝගීන් ගණන මෙලෙස එක වරම ඉහළ ගියේ රෝගයේ අර්ථ දැක්වීම වෙනස් වූ නිසයි.

රෝගයක් කියන්නේ සම්මතයක්. එහෙම නැතුව නිරපේක්ෂව පවතින දෙයක් නෙමෙයි. වෛද්‍යවරයෙක් රෝගයක් තිබෙන බව හඳුනා ගන්නවා හෝ තහවුරු කරනවා කියා කීවත් එය කරන්නේ ඔහු හෝ ඇය දන්නා කිසියම් සම්මතයක් අනුවයි. සම්මතය වෙනස් වූ විට රෝගයත් වෙනස් වෙනවා. කෝවිඩ්-19 හඳුනා ගැනීමේදී චීනය විසින් දැන් කර තිබෙන වෙනස සතියකට කලින් කළානම් ආසාදිතයින් ගණන හා මරණ ගණන මීටත් පෙරම හා මීටත් වඩා වැඩි වෙනවා.

සමහර වෙලාවට සම්මතය වෙනස් වූ විට නිරෝගී පුද්ගලයින් ලෙඩුන් වෙනවා. ලෙඩුන් නිරෝගී පුද්ගලයින් වෙනවා. ලෙඩක් අර්ථදැක්වීම වගේම ලෙඩෙක් අර්ථදැක්වීමත් සම්මතය මත තීරණය වන දෙයක්. අපි කුඩා කාලයේ දැන සිටි සුලබ ලෙඩ රෝග වුණේ උණ, හෙම්බිරිස්සාව, කැස්ස, බඩේ කැක්කුම, හිසරදය, කණ කැක්කුම වගේ දේවල්. ඒ දවස් වල ගෙදර උණ කටු තිබුණේ නැහැ. අම්මලා පිටි අල්ල නළලට තියලා උණ බලනවා. උණ මැන්නේ සෙල්සියස් වලින්වත් ෆැරන්හයිට් වලින්වත් නෙමෙයි. කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් වගේ දේවල් ගැන අහල තිබුණේනම් නිර්ධන පාන්තිකයින්ට නොහැදෙන ධනපති පන්තියේ ලෙඩ විදිහටයි.

පස්සේ ඉගෙන ගත්ත විදිහට උණ, හෙම්බිරිස්සාව, කැස්ස, බඩේ කැක්කුම, හිසරදය, කණ කැක්කුම වගේ දේවල් රෝග ලක්ෂණ මිසක් ලෙඩ නෙමෙයි. මේ එක් එක් රෝග ලක්ෂණ තිබෙන ලෙඩ විශාල ගාණක් තිබිය හැකි බවත් පස්සේ දැන ගත්තා. ඒ වුනත් දැනටත් වෛද්‍යවරයෙක් ළඟට එන රෝගියෙක්ගෙන් ඇහුවොත් කියන්නේ ඔය පරණ ලෙඩ වලින් එකක්. රෝග ලක්ෂණ අහලා ලෙඩේ තීරණය කරන්නෙත්, බෙහෙත් නියම කරන්නෙත් වෛද්‍යවරයා විසින්. ඇමරිකාවේ වුනත් ඔය වැඩේ වෙන්නේ ඔය විදිහටම තමයි.

අන්තිමට තමන්ට සනීපද කියන එක රෝගියා විසින් තීරණය කරන්නේ රෝග ලක්ෂණ දිහා බලලයි. ගොඩක් වෙලාවට වෛද්‍යවරයා කරන්නෙත් ඒකමයි. හැබැයි එහෙම නොවන වෙලාවලුත් තියෙනවා. සමහර ලෙඩ සනීප වුනු බව හරියටම තහවුරු කරන්න වෛද්‍යවරයා වෙත නැවත එන්න කියනවා. එහෙම කිවුවට තමන්ට සනීපයි වගේ තේරුණාම සමහර අය වෛද්‍යවරයා වෙත නැවත යන්නේ නැහැ. ඒක තොරතුරු අසමමිතිය පිළිබඳ ප්‍රශ්නයක්.

කෝවිඩ්-19ට බෙහෙත් නැහැ. එහෙම කියලා ලෙඩ්ඩුන්ට මැරෙන්න දෙන්න බැරි නිසා අත් හදා බැලීමේ පදනමකින් ඇතැම් බෙහෙත් වර්ග ලබා දෙනවා. එච්අයිවී ආසාදිතයින්ට ලබා දෙන ප්‍රතිශක්තිය වැඩි කිරීමේ බෙහෙත් මේ විදිහට ලබා දෙන එක් බෙහෙත් කාණ්ඩයක්. ඒ අතරම, චීනය තමන්ගේ සම්ප්‍රදායික බෙහෙතුත් රෝගීන්ට ලබා දෙනවා. මේ බෙහෙත් වලින් මීට පෙර සාර්ස් වෛරසයත් යම් තරමකින් පාලනය වී තිබෙනවා.

බෙහෙතක් සොයා ගැනීමේ ක්‍රමවේදයක් තිබෙනවා. එය පටන් ගන්නේ රෝගයේ අර්ථදැක්වීමේ සිටයි. රෝගය පාලනය කළ හැකි ක්‍රම ගැන හිතන්න පුළුවන් වෙන්නේ රෝගය කුමක්ද කියන එක පැහැදිලිනම් පමණයි. රෝගයක් සුව වුනා කියන එකත් අර්ථ දැක්වීමක්. රෝගයක් වැළඳී තිබෙන බව එකම විදිහට අර්ථ දක්වා තියෙද්දී රෝගය සුව වී තිබීම වෙනස් ආකාර වලට අර්ථ දැක්විය හැකි අවස්ථාත් තියෙන්න පුළුවන්. රෝගයට හේතුව හඳුනාගත් නිශ්චිත වෛරසයක්නම් බොහෝ විට ඉලක්කය වන්නේ වෛරසයේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමයි. එයත් කළ හැකි විවිධ ආකාර තිබෙනවා. වෛරසයක් පාලනය වී තිබේද කියන එකත් සම්මතයක්.

චීන සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය අනුව දැන් පැතිරෙමින් තිබෙන්නේ ගිණියම් රෝගයක්. කෝවිඩ්-19 නොවන වෙනත් ගිණියම් රෝගත් තිබෙනවා වගේම අදාළ වෛරසය ශරීරගත වූ ඇතැමුන්ට ගිණියම් රෝගයක් නැති වෙන්නත් පුළුවන්. ගිණියම් රෝගයකට අවශ්‍ය වෙන්නේ සිරුර සිසිල් කරන ප්‍රතිකාරයක්. එවිට රෝගය සුව වීමේ සම්මතය සිරුර ප්‍රමාණවත් තරමින් සිසිල් වීම වැනි දෙයක් විය හැකියි. එය පරීක්ෂා කර තහවුරු කරගැනීම එම වෛද්‍ය ක්‍රමයේ සම්මතයක්.

සංඛ්‍යාලේඛණ මත තීරණ ගැනීමේදී මුහුණු දෙන්න වෙන විශාලතම අභියෝගයක් වන්නේ සම්මත වරින් වර වෙනස් වීමයි. කෝවිඩ්-19 රෝගීන් හඳුනා ගැනීම පිළිබඳ සම්මතය චීනය විසින් වෙනස් නොකළානම් එම රෝගය නිසා මේ වන විට මිය ගොස් තිබෙන අයගෙන් කිසියම් පිරිසක් මිය යාමට හේතුව ලෙස සැලකිය හැකිව තිබුණේ වෙනත් කරුණක්.

මරණ වලට හේතු විතරක් නෙමෙයි මැරෙනවා කියන එකමත් සම්මතයක්. එක සම්මතයක් අනුව මිය ගිය කෙනෙක් වෙනත් සම්මතයක් අනුව ජීවත් වන කෙනෙක් විය හැකියි.

Tuesday, February 11, 2020

නීති කැඩීමේ ශුද්ධ වූ අයිතිය


මහජන නියෝජිතයින් හැම විටම මහා ලොකු උගතුන් විය යුතු නැහැ. සමහර වෙලාවට උගතුන් මහජන නියෝජිතයින් වූ විට වෙන්නේ වඩා ලොකු පාඩු හෝ හානි කියන කතාවේත් ඇත්තක් තිබෙනවා. නමුත්, මහජන නියෝජිතයෙකුට අඩු වශයෙන් තමන්ගේ රාජකාරිය කුමක්ද කියන එක පිළිබඳ තේරුමක් තියෙන්න ඕනෑ.

ලංකාවේ නීති හදන එක ප්‍රධාන වශයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රාජකාරියක්. ඊට පහළින් තිබෙන පළාත් සභා, ප්‍රාදේශීය සභා ආදියටත් සීමිත දේවල් ටිකක් කරන්න පුළුවන්. රාජ්‍ය සේවකයින් කියා කියන ඉතා විශාල පිරිසකගේ රාජකාරිය මේ නීති ක්‍රියාත්මක කරන එකයි. නීති ක්‍රියාත්මක වීම ගැන හොයා බලන එක අධිකරණයේ වැඩක්.

හරි වේවා, වැරදි වේවා, අඩුපාඩු තිබුණා හෝ නොතිබුණා වේවා රාජ්‍ය සේවකයින්ට තියෙන්නේ නීති ක්‍රියාත්මක කරන එකයි. ඔවුන්ට නීති වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. නීතියක වැරැද්දක් අඩුපාඩුවක් තියෙනවානම් නීති වෙනස් කරන එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රාජකාරියක්.

හැබැයි ලංකාවේ ගොඩක් මන්ත්‍රීවරු හිතාගෙන ඉන්නේ තමන්ගේ රාජකාරිය නීති ක්‍රියාත්මක කරන එක වැලැක්වීම කියලයි. සමහර මිනිස්සුත් මන්ත්‍රීවරුන්ගෙන් බලාපොරොත්තු වන ප්‍රධානම දෙය නීතියට එරෙහිව කටයුතු කරන්න උදවු උපකාරයි. හැමෝම මේ ගොඩේ නැති නිසා සමහර මිනිස්සු කියා කිවුවත් ඔය සමහර ගොඩ ගොඩක් ලොකුයි. ඒ වගේම, වෙන කෙනෙක් නීති කඩන කොට මාර ටෝක් දෙන සමහර අයත් තමන්ගේ වාසියට නීතියක් කඩන්න අවශ්‍ය වුන වෙලාවට මන්ත්‍රී කෙනෙක් පස්සේ යන්න පැකිලෙන්නේ නැහැ.

https://www.facebook.com/apearata/videos/551579162231529/?t=3&v=551579162231529

උඩ වීඩියෝවේ තිබෙන්නේ තවත් මෙවැනි එක් අවස්ථාවක්. මේ දේශපාලනඥයා කියන විදිහට වන සංරක්ෂණ, වන ජීවී, වෙරළ සංරක්ෂණ වගේ නීති සියල්ලම එක්ක ගියාම මිනිස්සුන්ට ජීවත් වෙන්න තැනක් නැති වෙනවලු. ඉතිං එහෙමනම් හරිම සරල දෙයක්නේ කරන්න තියෙන්නේ. ඔය නීති අහෝසි කරලා දමලා, ඔය අමාත්‍යංශ ටිකත් වහල දැම්මනම් කොයි තරම් වියදමක් ඉතිරි වෙයිද? නීති නැති කළාට පස්සේ නීති ක්‍රියාත්මක කරන්න නිලධාරීනුත් අවශ්‍ය නැති නිසා ඒ වියදමත් ඉතුරුයි.

මේ නීති ගොඩක් මේ වගේ අයම අත උස්සලා සම්මත කරපුවා. නමුත්, එහෙම අත උස්සන ගොඩක් අය තමන් අත ඉස්සුවේ ඇයි කියලවත් දන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දක්වාම ප්‍රශ්නය ඕකයි. අන්තිමට තමන්ම අත උස්සලා සම්මත කරපු නීති වල අඩුපාඩු ගැන එළියට ඇවිත් කෑ ගහනවා. සමාජ මාධ්‍ය හරහා මේ වගේ දේවල් එළියට එන එකෙන් අඩු ගානේ මේ නිලධාරිනියට පස්සෙන් පහු අකරතැබ්බයක් වෙන්න තිබෙන ඉඩකඩ හරි අඩු වෙයිනේ.

අන්තිමට ලංකාවට ආපු වෙලාවේ මේ වගේ දෙයක් පිළිබඳව සියළු සාක්ෂි සහිතව මම ලංකාවේ ආයතන ගණනාවකට පැමිණිලි කළා. වැඩක් නොවන බව දන්න නිසා යම් බලපෑමක් කරන්න හිතාගෙන අදාළ නිලධාරීන්ට සාකච්ඡාව ආරම්භයේදී දැනුම් දී කතා කළ දේවල් පටිගත කළා. සමහර අය කළේ මේ විදිහට පැමිණිලි කරන්න මට තිබෙන උවමනාව ප්‍රශ්න කිරීමයි. තවත් සමහර අයට ප්‍රශ්නයක් වුනේ සාකච්ඡාව පටිගත කිරීම. රන්ජන් වගේ දැනුම් නොදී කළානම් ප්‍රශ්නයක් නැහැ. හිතූ විදිහටම වැඩක් වුනේ නැහැ. මේ නිලධාරිනිය වැනි අය රජයේ ආයතන වල ගොඩක් නැහැ.

ලංකාවේ මිනිස්සු ලොකු හොරකම්, ලොකු වැරදි වලට කොයි තරම් කැමතිද කියන එකත් මේකෙන් පේනවා. විල්පත්තුව විනාශ වෙනවානම් ගම්පහ කඩොලාන ටිකක් විනාශ වුණාම මොකද? මහ බැංකුව කඩපු එකේ පොඩි හොරකමක් කළාට අවුලක් තියෙනවද? ලංකාවේ මිනිස්සු කිවුවට මෙයත් සාධාරණීකරණය කිරීමක් නෙමෙයි. අර නිලධාරිනිය වැනි අයත් ඉන්නවා.

Sunday, February 9, 2020

ඇමරිකානුවෙකුගේ පැය විසි හතර ගෙවෙන හැටි

දවසකට තියෙන්නේ පැය විසි හතරක් පමණයි. ඔය පැය විසිහතර ඇතුළත කරන්න කොයි තරම්නම් වැඩ තියෙනවද? කන්න, බොන්න, නිදා ගන්න, නාන්න, රෙදි හෝදන්න, කඩේ යන්න, ළමයින්ගේ හෝම්වර්ක් කරන්න, යාලුවෝ ආශ්‍රය කරන්න, රූපවාහිණිය නරඹන්න, ෆේස්බුක් යන්න, බ්ලොග් ලියන්න, බ්ලොග් කියවන්න... ඔය ඔක්කොම කරන්න කාලය අවශ්‍යයි. හැබැයි ඔය ඔක්කොම කරන අතරම ආදායමක් උපයන්නත් අවශ්‍යයි. ආදායමක් උපයන්න වැඩ කරන්න වෙනවා. වැඩ කරන්න, වැඩට යන්න එන්න, රස්සා හොයන්න යොදවන්න වෙන්නෙත් ඔය තියෙන පැය විසිහතරම තමයි.

තියෙන පැය විසි හතර මේ හැම දේකටම යොදවන්නේ කොහොමද කියන එක එක් එක් පුද්ගලයාගේ කැමැත්ත අනුව තීරණය වන දෙයක්. විශේෂයෙන්ම ඇමරිකාව වගේ ධනවාදී රටක කැමති කෙනෙකුට අඩුවෙන් වැඩ කර වැඩියෙන් විවේක ගන්න හෝ වැඩියෙන් වැඩ කර අඩුවෙන් විවේක ගන්න අවශ්‍ය නිදහස තිබෙනවා. ඒ නිසා, එක් එක් පුද්ගලයා තමන්ගේ පැය විසිහතර යොදවන්නේ එකම ආකාරයට නෙමෙයි. පවුලක් පන්සලක් වුනාට පස්සේ දෙන්නගෙන් එක් කෙනෙක් වැඩි වෙලාවක් ආදායම් උපයන රස්සාවක් කරන්නත්, අනිත් එක්කෙනා ගෙදර වැඩ වැඩි ප්‍රමාණයක් කරමින් අඩු කාලයක් ආදායම් උපයන කටයුතු වල නියැලෙන්න, එහෙමත් නැත්නම් රැකියාවක් නොකරම ඉන්න, එකඟතාවයකට පැමිණෙන්න පුළුවන්.

එක් එක් ඇමරිකානුවා තමන්ගේ පැය විසිහතර විවිධ කටයුතු සඳහා යොදවන ආකාරය වෙනස් වුවත්, මේ කටයුතු සඳහා යොදවන සාමාන්‍ය කාලය දෙස බලා ඇමරිකානුවෙකුගේ සමාජ ජීවිතය පිළිබඳ දළ අදහසක් ගන්න පුළුවන්. පහතින් විස්තර කෙරෙන්නේ 2018 වසරේදී සාමාන්‍ය වශයෙන් ඇමරිකානුවෙකුගේ පැය විසිහතර ගෙවුණු ආකාරයයි.

1.  පෞද්ගලික නඩත්තුව සඳහා පැය 9 කුත් මිනිත්තු 35ක කාලයක්-  මෙයින් පැය 8 කුත් මිනිත්තු 49ක කාලයක් යොදවන්නේ නිදා ගන්නයි. නින්ද යන තුරු සහ අවදි වීමෙන් පසුව ඇඳට වී සිටින කාලයත් එයට ඇතුළත්. ඉතිරි මිනිත්තු 46ක කාලය නාන්න, මූණ සෝදන්න, දත් මදින්න, වැසිකිළි කැසිකිළි යන්න, නියපොතු කපන්න, මේක්අප් දමන්න ආදියට ගත වන කාලයයි.

2. කෑම බීම ගැනීමට පැයකුත් මිනිත්තු 11ක් - රැකියාවෙහි යෙදීම, රූපවාහිණිය නැරඹීම හෝ වෙනත් වැඩක් කරන අතර කෝපි කෝප්පයක් බීම මෙයට ඇතුළත් නැහැ. ප්‍රධාන කටයුත්ත ලෙස කෑම බීම ගැනීම කරන කාලය පමණක් මෙයට ඇතුළත්.

3. ගෙදර වැඩ සඳහා පැයකුත් මිනිත්තු 47ක් - මෙයින් මිනිත්තු 35ක් යන්නේ කෑම ඉවීමට හා හැලි වලං සේදීම් වලටයි. රෙදි සේදීම වැනි අනෙකුත් ගෙදර වැඩ වලට මිනිත්තු 33කුත්, වත්ත පිටියේ වැඩ වලට මිනිත්තු 11කුත් ගත වෙනවා.

4. කඩේ යාමට දවසකට මිනිත්තු 43ක් වැය වෙනවා. සැලූන් යාම වැනි පිටතින් කර ගන්නා පෞද්ගලික නඩත්තු සඳහා වැය වන කාලයත් මෙයට ඇතුළත්.

5. දරුවන් හා වයස්ගත දෙමවුපියන් වැනි පවුලේ සාමාජිකයින් වෙනුවෙන් ගත කරන කාලය මිනිත්තු 31ක්.

6. පවුලේ සාමාජිකයින් නොවන පිට මිනිස්සුන්ට උදවු කිරීමට යොදවන කාලය මිනිත්තු 13ක්.

7. ආදායම් උපයන කටයුතු හා ආශ්‍රිත කටයුතු වෙනුවෙන් යොදවන කාලය පැය 3 කුත් මිනිත්තු 34ක්. මෙයින් වැඩ කරන කාලය පැය 3 කුත් මිනිත්තු 14ක්. ඉතිරි මිනිත්තු 20 ප්‍රධාන වශයෙන්ම රැකියාවට යාම ඒම සඳහාත්, රැකියා සඳහා ඉල්ලුම් කිරීමට හා සම්මුඛ පරීක්ෂණ ආදිය සඳහාත් ගත වන කාලයයි.

8. ආගමික හා සමාජයීය කටයුතු සඳහා යොදවන කාලය මිනිත්තු 18ක්. මේ කාලයෙන් අඩක් පමණ ආගමික කටයුතු සඳහාත්, ඉතිරි අඩ වෙනත් විවිධ ස්වේච්ඡා කටයුතු වෙනුවෙනුත් වැය වෙනවා.

9. අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැය කරන කාලය මිනිත්තු 28ක්.

10. විනෝදාස්වාද හා ක්‍රීඩා කටයුතු වෙනුවෙන් වැය කරන කාලය පැය 5කුත් මිනිත්තු 16ක්. මෙයින් පැය 2කුත් මිනිත්තු 50ක් වැය වන්නේ රූපවාහිනිය නැරඹීමටයි. ෆේස්බුක් යන්න, බ්ලොග් ලියන්න, බ්ලොග් කියවන්න වගේ දේවල් වලට ගත කරන කාලය මිනිත්තු 38ක්. ක්‍රීඩා හා ව්‍යායාම වැනි ශාරීරික ක්‍රියාකාරකම් වෙනුවෙන් යොදවන කාලය මිනිත්තු 17ක්.

11. දුරකථන ඇමතුම්, ඊමේල් වැනි සන්නිවේදන කටයුතු සඳහා වැය කරන කාලය මිනිත්තු 9ක්.

12. මෙහි සඳහන් නැති වෙනත් කවර හෝ කටයුතු සඳහා වැය කරන කාලය මිනිත්තු 16ක්.

මේ අනුව පෙනෙන පරිදි ඇමරිකානුවෙකුගේ පැය විසි හතරෙන් 40%ක පමණ කාලයක් ගත වෙන්නේ නිදාගැනීමට සහ පෞද්ගලික නඩත්තුව වෙනුවෙනුයි. තවත්, 22%ක පමණ කාලයක් ගෙවෙන්නේ  විනෝදාස්වාද හා ක්‍රීඩා කටයුතු වෙනුවෙනුයි. රැකියාවට යාමට ඒමට ගත වන කාලය හා රැකියාවක් හොයා ගැනීමට ගත වන කාලයද ඇතුළුව රැකියාව වෙනුවෙන් වැය කෙරෙන කාලය මුළු කාලයෙන් 15%ක් පමණයි.

සාමාන්‍ය තත්ත්වය මෙසේ වුවත් හැම ඇමරිකානුවෙක්ම මේ සියලු කටයුතු වෙනුවෙන් කාලය යොදවන්නේ නැහැ. නිදා ගන්න කාලය යොදවන එකනම් හැමෝම කරන දෙයක්. එහෙත්, අධ්‍යාපනය සඳහා කාලය යොදවන්නේ 7.9%ක පිරිසක් පමණයි. ඒ අය දවසකට පැය 5කුත් මිනිත්තු 50ක් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැය කරනවා. මිනිත්තු 28ක සාමාන්‍ය අගය හැදී තිබෙන්නේ මේ පිරිස නිසයි.

මේ ආකාරයෙන්ම වැඩ කරන සාමාන්‍ය කාලය පැය 3 කුත් මිනිත්තු 14ක් වුවත්, ආදායම් උපයන කාර්යයක නිරතවන වැඩිහිටි ඇමරිකානුවන්ගේ ප්‍රතිශතය (2018 වසරේදී) 42.5%ක් පමණයි. ඉතිරිය ප්‍රධාන වශයෙන්ම විශ්‍රාමිකයින්, පූර්ණකාලීනව අධ්‍යාපනයෙහි නිරත වූවන් හා ස්වේච්ඡාවෙන් රැකියාවක් නොකර සිටින අයයි. රැකියා විරහිත අයත් මේ ඉතිරි පිරිසට ඇතුළත්. රැකියාවක නිරතව සිටින ඇමරිකානුවෙකු වැඩ කරන දිනකදී වැඩ කරන පැය ගණන පැය 7කුත් මිනිත්තු 36ක්.

ඇමරිකානුවෙකු කොරියානුවෙකු, මෙක්සිකානුවෙකු හෝ රුසියානුවෙකු තරම් පැය ගණනක් වැඩ කරන්නේ නැතත්, බොහෝ බටහිර රටවල සතියකට වැඩ කරන පැය ගණනට වඩා වැඩියෙන් වැඩ කරනවා. පහත තිබෙන්නේ 2018 වසර සඳහා OECD දත්තයි.


මට සාපේක්ෂවනම් සතියකට පැය 34ක් වැඩ කරන්නට වීම නරක දෙයක් නෙමෙයි. මා ඉතා කැමැත්තෙන් ඊට වඩා පැය ගණනක් වැඩ කරනවා. කොහොම වුනත්, යුරෝපයේ බොහෝ රටවල සතියකට වැඩ කරන පැය ගණන මීට වඩා බෙහෙවින්ම අඩුයි. ඒ ඇයි?

එක හේතුවක් යුරෝපයට සාපේක්ෂව ඇමරිකානුවන්ට වැඩ කරන්නට වැඩි අවස්ථාවන් ප්‍රමාණයක් තිබීම. ඇමරිකාවේත් අවම වැටුප් නීති වැනි බාධක නිසා බොහෝ දෙනෙකුට රැකියා අහිමි වන නමුත් එය වෙනත් බටහිර රටවල තරමටම වෙන්නේ නැහැ. මේ දවස්වලනම් අවම වැටුප් වල බලපෑමක් නැති තරම්. ඉහළ අවම වැටුප් වැනි මානුෂික සේ පෙනෙන එහෙත් අමානුෂික නියාමන ක්‍රියාමාර්ග හරහා වගේම වැටුප් මත අය කරන අධික බදු හරහාත් යුරෝපයේ බොහෝ රටවල වැඩ කිරීම අධෛර්යමත් කර නිකම් සිටීම ධෛර්යමත් කෙරෙනවා. ඇමරිකාවේ මෙය සිදු වෙන්නේ සාපේක්ෂව අඩුවෙන් නිසා ඇමරිකානුවන්ගේ වැඩ කරන්නට තිබෙන උනන්දුව වැඩියි.

පහළ මට්ටමේ රැකියා කරන ඇමරිකානුවන් ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම අමාරු නිසා විශාල පැය ගණනක් වැඩ කරනවද? පෞද්ගලික අංශයේ පහළම මට්ටමේ රැකියා කරන, එනම් තමන්ගේ යටතේ වෙනත් සේවකයින් කිසිවෙකු නැති අය සතියකට වැඩ කරන පැය ගණන සාමාන්‍ය ඇමරිකානුවෙකු සතියකට වැඩ කරන පැය ගණනටත් වඩා යම් තරමකින් හෝ අඩුයි. මේ කාණ්ඩයේ සේවකයින් 1965 පමණ කාලයේදී සතියකට පැය 38ක් 39ක් පමණ වැඩ කළත්, 2000 පමණ වන විට මේ පැය ගණන 33ක් 34ක් පමණ දක්වා අඩු වුනා. පසුගිය වසර විස්ස ඇතුළත මේ පැය ගණන ලොකුවට වෙනස් වී නැහැ.


ඉහළ ආදායම් ලබන වෘත්තිකයින් මීට සාපේක්ෂව සතියකට සෑහෙන පැය ගණනක් වැඩ කරනවා. උදාහරණයක් විදිහට ඇමරිකාවේ වෛද්‍යවරුන්ගෙන් අඩක්ම සතියකට පැය 50 ඉක්මවා වැඩ කරනවා. 23%ක්ම පැය 60 ඉක්මවා වැඩ කරනවා.


සමස්තයක් ලෙස ඇමරිකාවේ වෘත්තිකයින් පහළම ස්ථර වල රැකියා කරන පිරිස් වලට වඩා සතියකට පැය දෙක තුනක්වත් වැඩියෙන් වැඩ කරනවා. ඒ ඔවුන් වැඩ කිරීමෙන් හෝ වැඩ කිරීම නිසා ලැබෙන ප්‍රතිලාභ වලින් සතුටු වන නිසා මිස අඩුවෙන් වැඩ කළොත් ඇමරිකාවේ ජීවත් වෙන්න බැරි නිසා නෙමෙයි.


ඇමරිකන් ආර්ථික ක්‍රමය සකස් වී තිබෙන්නේ මහන්සි වී වැඩ කරන අයටත්, වඩා කාර්යක්ෂම රැකියා කරන අයටත් වාසි වෙන අයුරින් මිස වැඩ නොකර සිටීම හා ඵලදායී නැති රැකියා වල දිගටම නිරතව සිටීම ප්‍රවර්ධනය කෙරෙන අයුරින් නෙමෙයි. හැකි තරම් අඩුවෙන් වැඩ කර හැකි තරම් වැඩි වෙලාවක් නිකම් සිටීම සමාජවාදීන්ගේ ඉලක්කයක් මිසක් ධනවාදීන්ගේ ඉලක්කයක් නෙමෙයි. ධනවාදය විසින් පුද්ගලයෙකුගේ රුචිකත්වය අනුව වැඩියෙන් වැඩ කරන්න කැමති කෙනෙකුට වැඩියෙනුත්, අඩුවෙන් වැඩ කරන්න කැමති කෙනෙකුට අඩුවෙනුත් වැඩ කිරීමට අවස්ථාව සලසනවා.

Thursday, February 6, 2020

කොරෝනා බිය මාධ්‍ය වලින් හැදූ එකක්ද?

කොරෝනා භීෂණය මාධ්‍ය මගින් හදපු එකක් කියා ඇතැම් අය කිවුවත් එය නිවැරදි නැහැ. එය සැබෑ ප්‍රශ්නයක්. නව කොරෝනා වෛරසය වැළඳුනු අයගෙන් මිය යන්නේ 2%කට මඳක් වැඩි ප්‍රමාණයක් පමණක් බව ඇත්ත. නමුත්, කොරෝනා වෛරසය භයානක වන්නේ මරණ අනුපාතය නිසා නෙමෙයි. පැතිරෙන වේගය නිසයි.


රෝගය පැතිරීම වලක්වන්න චීනය කොයි තරම් උත්සාහ කළත් තවමත් දවසෙන් දවසම තත්ත්වය දරුණු වෙන එකයි වෙන්නේ. සෑම දවසකම පෙර දවසේ මැරුණු ගණනට වඩා වැඩි ගණනක් මිය යනවා. නිල සංඛ්‍යාලේඛන අනුව මේ වන විට මිය ගොස් ඇති ගණන 638ක්. වෛරසය වැළඳුනු ගණන 31,481ක්. චීනයෙන් පිටතත් රෝගය ක්‍රමයෙන් පැතිරෙමින් තිබෙන බව පේනවා. සතියක් ඇතුළත ආසාදිත ගණන වගේම මරණ ගණනත් තුන් හතර ගුණයකින් ඉහළ ගිහින්.


සිකුරාදා (පෙබරවාරි 7) අලුයම නව කොරෝනා වෛරසය නිසා මිය ගිය වෛද්‍ය වෙන්ලියාන් ලී ගැන මේ වෙද්දී සමාජ මාධ්‍ය වල විශාල ලෙස කතා වෙනවා. වුහාන් කේන්ද්‍ර කරගෙන පැතිරෙන සාර්ස් වැනි වෛරසයක් ගැන අවධානය යොමු කරමින් එයින් ප්‍රවේශම් විය යුතු බව පැවසීමෙන් පසුව චීන රජය විසින් කර තිබෙන්නේ අසත්‍ය ප්‍රචාර කිරීමේ චෝදනාව මත වෙන්ලියාන් ලීව අත් අඩංගුවට ගැනීමයි. දෙසැම්බර් 30 වනදා ඔහු විසින් පෙන්වා දී තිබෙන්නේ මුහුණු වැසුම් පැළඳීමේ හා විෂබීජ නාශක භාවිතා කිරීමේ වැදගත්කම ගැනයි. මේ වෙද්දී ඔහු චීන්නුන්ගේ ජාතික වීරයෙක් වෙලා.

මේ වෙද්දී නව කොරෝනා වෛරසය පැතිරෙන්නේ චීන රජයේ වැරැද්දක් නිසා කියා කියන්න බැහැ. චීන රජය වෛරසය පැතිරීම වලක්වන්න කළ හැකි හැමදේම වගේ කරනවා. නමුත්, චීන රජයේ තොරතුරු වාරණය හා නිලධාරීවාදය නොවන්නට මුලදීම තත්ත්වය පාලනය කර ගැනීමට කිසියම් ඉඩක් තිබුණු බවත් බැහැර කරන්න බැහැ. දැනටත් චීන රජය විසින් රෝගය හා අදාළ තොරතුරු වාරණය කිරීමක් කරනවා.

මීට පෙර, 2013-2015 කාලයේ පැතිරුණු මර්ස් කොරෝනා වෛරසයේ මරණ අනුපාතය 37%ක් වුවත් එයින් මිය ගියේ 449 දෙනෙකු පමණයි. නව කොරෝනා මරණ ගණන දැනටමත් ඊට වැඩියි. 2002-2003 වසර වලදී ව්‍යාප්ත වූ සාර්ස් කොරෝනා මරණ අනුපාතය 9.6%ක් වුනා. එයින්, 774 දෙනෙකු මිය ගියා. දැනට පවතින ප්‍රවණතාව අනුව තව දින දෙකකින් නැත්නම් තුනකින් නව කොරෝනා මරණ ප්‍රමාණය මේ ගණනද ඉක්මවන බව පැහැදිලියි.

Tuesday, February 4, 2020

පාඩු හා වංචා


සාමාන්‍යයෙන් නිදහස් ගනුදෙනුවකින් ඒ ගනුදෙනුවෙහි යෙදෙන පාර්ශ්ව කිසිවකට පාඩුවක් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට කොරෝනා බිය පැතිරෙන්න කලින් රුපියල් පහළොවකට විකුණපු මුහුණු වැස්මක් රුපියල් පණහකට විකුණන ෆාමසියක් ගැන හිතන්න. රුපියල් පනහක ගෙවා තමන්ගේ කැමැත්තෙන් මුහුණු වැස්මක් මිල දී ගන්නා අයෙක් එසේ කරන්නේ ඇයට එහි වටිනාකම අඩුම වශයෙන් රුපියල් පණහක්වත් වන නිසායි. ඉතා පැහැදිලිවම මෙහිදී ෆාමසියට ලාබයක් ලැබෙන නමුත් එයින් අදහස් වන්නේ පාරිභෝගිකයාට පාඩුවක් වෙන බව නෙමෙයි.

මේ අවස්ථාවේදී පාරිභෝගිකයාට පාඩුවක් නොවන නමුත් පාරිභෝගිකයාගේ ලාබය අඩු වීමක් වෙනවා. කෙනෙකුට අවශ්‍යනම් විකල්ප තත්ත්වයක් යටතේ පාරිභෝගිකයාට ලැබෙන්න තිබුණු වැඩි ලාබය සමඟ සසඳා ඇයට සිදු වුනු සාපේක්ෂ පාඩුව ඇස්තමේන්තු කළ හැකියි. එහෙම කරන අවස්ථා තිබෙනවා. විශේෂයෙන්ම ගණුදෙනුවේ එක් පාර්ශ්වයකට නිදහස් ගනුදෙනුවකින් ලැබිය හැකි ලාබය ඉක්මවන කිසියම් අවම ලාබයක් ලබන්න නීතිමය අයිතියක් තිබෙන අවස්ථා වලදී.

මිල පාලනයේදී වෙන්නේ ඔය වගේ වැඩක්. මිල පාලනය හරහා එක පාර්ශ්වයකට ලැබිය හැකි අවම ලාබය නීතියෙන් තහවුරු කරනවා කියන්නේ අනෙක් පාර්ශ්වයට ලැබිය හැකි උපරිම ලාබය සීමා කිරීමක්ද වෙනවා.

සාමාන්‍යයෙන් නිදහස් ගනුදෙනුවකින් ඒ ගනුදෙනුවෙහි යෙදෙන පාර්ශ්ව කිසිවකට පාඩුවක් වෙන්නේ නැති වුනත් එසේ සිදු වන විශේෂ අවස්ථා තිබෙනවා. එක් පාර්ශ්වයක් විසින් අනෙක් පාර්ශ්වයට වංචාවක් කිරීම එවැනි අවස්ථාවක්. සුලබවම සිදු වන වංචාවක් වන්නේ භාණ්ඩය හෝ සේවාව විකුණන පාර්ශ්වය විසින් එහි සැබෑ ස්වභාවය වංචනික ලෙස සඟවා මිල දී ගන්නා පුද්ගලයාගෙන් වැඩි මුදලක්  ගැනීමයි.

මේ ආකාරයේ වංචා වලට තේරෙන සිංහලෙන් නංගී පෙන්වා අක්කා දීම් කියා කියන්න පුළුවන්. නංගිව පෙන්වන්නේම වංචනික අදහසින්. පාරිභෝගිකයා මිල ගෙවන්නේ නංගිගේ වටිනාකම වෙනුවෙන්. එහෙත් ලැබෙන්නේ අක්කාවයි. දුරකථන, රක්ෂණ වැනි සේවා සපයන ආයතන බොහෝ වෙලාවට මේ වැඩේ කරනවා. මෙවැනි අවස්ථාවන් ගැන බ්ලොග් අවකාශයේ බොහෝ දෙනෙකු දැන සිටි විචාරක ජීවත්ව සිටියදී කිහිප වරක්ම කණස්සල්ලෙන් හා කේන්තියෙන් යුතුව ලියා තිබුණු බව මතකයි.

ගනුදෙනුවකදී එක් පාර්ශ්වයකට මේ ආකාරයේ වංචාවක් කර ලාබයක් ලබන්න ඉඩ සැලසෙන්නේ ගනුදෙනුවට අදාල භාණ්ඩය හෝ සේවාව පිළිබඳව දෙපාර්ශ්වය සතු තොරතුරු අතර ඇති අසමමිතිය නිසායි. උදාහරණයක් විදිහට පාවිච්චි කළ මෝටර් රථයක් විකුණන අවස්ථාවක් ගැන හිතන්න. මෝටර් රථය කාලයක් පාවිච්චි කර එය විකුණන පුද්ගලයා එහි තිබෙන අට අනූවක් රෝග ගැන දැන සිටියත්, ඒ ලෙඩ ගැන වාහනය විකුණද්දී ගැනුම්කරුට දැනුම් දී ලැබෙන අර්පණය පහත දමා ගන්න කැමති වෙන්නේ නැහැ. ඒ වගේම රෝගියෙකු පරීක්ෂා කරන වෛද්‍යවරයෙකු රෝගයේ ස්වභාවය පිළිබඳව දැන ගන්නා සියලු දේ රෝගියා දන්නේ නැහැ. මේ අවස්ථා තොරතුරු අසමමිතිය පිළිබඳ උදාහරණ වුවත්, ඒ හේතුව නිසා වංචා සිදු වීමේ ඉඩක් ඇති වෙනවා මිස හැම විටම වංචා සිදු වෙන්නේ නැහැ.

වංචාවක් කියන එකෙන් අදහස් වෙන්නේ ලාබයක් ලබා ගැනීමේ අදහසින් වෙනත් පාර්ශ්වයක් රැවටිල්ලකට ලක් කිරීමයි. එහිදී රැවටිල්ලට ලක් වන පාර්ශ්වයට පාඩුවක් සිදු වෙනවා. නමුත්, ගනුදෙනුවකදී රැවටිල්ලක් සිදු වන හැම අවස්ථාවකම වංචාවක් සිදු වූ ලෙස සැලකෙන්නේ නැහැ. ඒ, ගනුදෙනුවකදී විචක්ෂණශීලී වී, නොරැවටී සිටීම  පුද්ගලයෙකුගේ වගකීමක් නිසා. ගනුදෙනුව සිදු කරද්දී මෝඩයෙකු සේ හැසිරී රැවටුණු බව පස්සේ කියලා වැඩක් නැහැ.

ඒ වගේම, නිදහස් ගනුදෙනුවකදී එහි යෙදෙන කිසිදු පාර්ශ්වයකට පාඩුවක් නොවන බව මා කීවත්, අවදානමක් තිබෙන ගනුදෙනු හා අදාළව මෙය අවදානම හා ගැලපීමෙන් පසුව පාඩුවක් නොවන බව ලෙස වෙනස් විය යුතුයි. කෙනෙක් දැන දැනම අවදානමක් ගෙන ගනුදෙනුවක නිරත වූ විට පාඩුවක් සිදු වීමේ පැහැදිලි ඉඩක් තිබෙනවා. එය අනෙක් පාර්ශ්වය විසින් කළ වංචාවක් සේ සැලකිය නොහැකියි.

මේ වගේ සංකීර්ණ කරුණු ගණනාවක් සලකා බැලිය යුතු නිසා සාමාන්‍යයෙන් ගනුදෙනුවකදී එක් පාර්ශ්වයක් විසින් වංචාවක් කළාද කියන එක තීරණය කිරීම අසීරු  නීතිමය කාර්යයක්. එහිදී, එක් පාර්ශ්වයක් විසින් තවත් පාර්ශ්වයක් රවටා තිබිය යුතු අතර ඒ හේතුව නිසා පළමු පාර්ශ්වයට ලාබයකුත් දෙවන පාර්ශ්වයට අලාබයකුත් සිදු වී තිබිය යුතුයි. එහෙත්, මේ ලාබය හා අලාබය බොහෝ විට සමාන වෙන්නේ නැහැ. ඇතැම් විට කෙනෙක් වංචනික ලෙස ලබන ලාබය නිසා අනෙක් පාර්ශ්වයට සිදු වන ලාබය සාපේක්ෂව අඩු එකක් වෙන්න පුළුවන්. එහි අනෙක් පැත්ත වෙන්නත් පුළුවන්.


මේ ලිපිය සමඟ පලවන්නේ උදය ආහාරය සඳහා ගන්නා සීරියල් පැකට්ටුවක ඡායාරූප දෙකක්. පැකට්ටුවේ මුහුණත දෙස ඈත සිට බැලූ විට "100% OATS" ලෙසත්. තරමක් කිට්ටු වූ විට "100% WHOLE GRAIN OATS" ලෙසත් පෙනෙනවා. කුඩාවට වැල් අකුරෙන් ලියා තිබෙන "Made with" යන කොටස පෙනෙන්නේ ඉතා සැලකිල්ලෙන් බැලුවොත් පමණයි. "Made with" යන්න අතහැර කියවූ විට ඔළුවට යන්නේ වෙනස් තේරුමක්.

ඒ වගේම, මෙහි අඩංගු පෝෂ්‍ය පදාර්ථ දෙස බැලුවොත් සංතෘප්ත මේද හා කොලෙස්ටරෝල් 0% ලෙස සඳහන්ව තිබෙන බව පෙනෙනවා. 0% කියන්නේ කිසියම් දෙයක් අඩංගු නොවන බව නෙමෙයි. එම සංඝටක තිබෙන්නේ 0.5%කට වඩා අඩුවෙන් බවයි. 0.49% යන්නෙහි දශම ඉවත් කර රවුම් කළ විට 0% වෙනවා. එය දශමස්ථානයකට රවුම් කළොත් 0.5% වෙන නිසා 0.0% ලෙස සඳහන් කරන්න බැහැ. ඒ වගේම, මේ ගණනය සිදු කර තිබෙන්නේ දිනකට සීරියල් ග්රෑම් 36කට වඩා ආහාරයට නොගන්නා බව සලකමිනුයි. පැකට්ටුවේ එමෙන් 15 ගුණයක් සීරියල් තිබෙනවා.

මෙහි රැවටීමක් තිබෙනවා. එය හිතා මතා කරන දෙයක්. රැවටෙන කෙනෙකුට පාඩුවකුත් වෙනවා. ඒ වගේම එයින් සීරියල් නිෂ්පාදකයාට වාසියකුත් වෙනවා. නමුත්, මෙය වංචාවක් සේ සැලකෙන්නේ නැහැ. පැකට්ටුවේ මුද්‍රණය කර ඇති කරුණු කියවීම හා අවබෝධ කර ගැනීම පාරිභෝගිකයාගේ වැඩක්. නිෂ්පාදකයා විසින් බොරු කියා නැහැ. එක විදිහකින් මෙහි සිදු වන්නේ "පිට නෑ" කියමින් කමිස විකුණන ආකාරයේ වැඩක්.  "පිට නෑ" කියන වෙළෙන්දාත් බොරු කියා නැහැ. මේ වගේ රැවටීමක් වංචාවක්ද කියන එක රටේ පවතින නීතිය අනුව තීරණය වන දෙයක්.

ඩොලර් 120,000කට විකිනුණු කෙසෙල් ගෙඩියක් ගැන අපි පසුගිය දෙසැම්බර් මාසයේදී කතා කළානේ. මේ කෙසෙල් ගෙඩිය මෙතරම් මිලකට විකිණුනේ එය සීමිත සැපයුමක් ඇති කලා කෘතියක් වූ නිසයි. අදාළ මිල ගෙවා කෙසෙල් ගෙඩිය මිල දී ගන්නා අයෙකුට එම කලා කෘතියේ පිටපත් තුනකට වඩා නිකුත් නොකරන බවට සහතිකයක්ද ලැබෙනවා. සැපයුම මීට වඩා වැඩි වුනානම් මිල මෙතරම් ඉහළ යන්නේ නැහැ. යම් හෙයකින් මුල් පිටපත් තුන අලෙවි කිරීමෙන් පසුව අදාල කලාකරුවා විසින් තවත් පිටපත් නිකුත් කළොත්, මුල් පිටපත් වල වටිනාකම විශාල ලෙස පහත වැටෙනවා. එවැන්නක් නංගිව පෙන්නා අක්කා දීමක් මෙන්ම වංචාවක්ද වෙනවා.

බැඳුම්කර වෙන්දේසියකදී මුලින් දැනුම් දුන් ප්‍රමාණයට වඩා බැඳුම්කර නිකුත් කළ විට වෙන්නේත් මේ වගේ දෙයක්. එසේ කළ වහාම මුල් බැඳුම්කර ප්‍රමාණය පමණක් නිකුත් කරනු ඇතැයි හිතාගෙන ලන්සු තැබූ ගැණුම්කරුවන්ට පාඩුවක් වෙනවා. නමුත්, වෙන්දේසියේ කොන්දේසි වල මුලින් දැනුම් දුන් ප්‍රමාණයට වඩා වැඩියෙන්  බැඳුම්කර නිකුත් කරන්නට ඉඩ තිබෙන බව සඳහන් කර තිබෙනවානම්, ඒ ගැන සැලකිලිමත් වී අවදානමට සරිලන සේ ලන්සු තැබීම ගැනුම්කරුවන්ගේ වැඩක් බවට පත් වෙනවා. එසේ නොකර යමෙක් පාඩු ලැබූ පමණින් එය අනෙක් පාර්ශ්වය විසින් කළ වංචාවක් වෙන්නේ නැහැ.

කොහොම වුනත් "පිට නෑ" වගේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී සාමාන්‍ය සිහි බුද්ධිය තිබෙන අයෙකු "පිට නෑ" කියන එක තේරුම් ගන්නේ කොහොමද කියා සොයා බලා වංචාවක් සිදුවී ඇති බව හෝ නැති බව තීරණය කිරීමට අධිකරණයට හැකියාවක් තිබෙනවා.

Monday, February 3, 2020

මූණ වසාගත් චීනය Facemasked China


මේ දවස් වල චීන්නු බොහෝ දෙනෙක් මුහුණු වැසුම් දමාගෙන ඉන්න බව මාධ්‍ය හරහා බොහෝ දෙනෙක් දන්නවා. එයට හේතුවත් දන්නවා. කොහොමටත් චීනය කියන රටත් මුහුණු වැස්මක් දමාගෙන සිටින රටක්. පිටතට පේන්නේ ඒ මුහුණු වැස්ම නිරාවරණය කර පිටතට පෙන්වන්න චීන රජයට අවශ්‍ය ප්‍රමාණය පමණයි.

චීන්නු හා මුහුණු වැසුම් අතර සම්බන්ධය කොරෝනා වෛරසය විසින් ඇති කරපු එකක් නෙමෙයි. මුහුණු වැසුම් පැළඳීම බොහෝ නගර වල ජීවත් වන චීන්නු විසින් කාලයක් තිස්සේම කරන දෙයක්. ඒ වෛරස් පැතිරීම වලක්වන්න හෝ වෛරස් වලින් බේරෙන්න නෙමෙයි. චීනයේ වායුගෝලය ඒ තරමටම අපවිත්‍ර නිසයි. උඩ රූපයේ දැකිය හැකි චීන්නු මුහුණු වැසුම් දමාගෙන ඉන්නේත් කොරෝනා වලට හෝ වෙනත් වෛරසයකට බයේ නෙමෙයි. හැබැයි පහුගිය අවුරුදු පහ ඇතුළතනම් මේ තත්ත්වය හොඳ අතට වෙනස් වෙලා තිබෙනවා.

චීනයේ වේගවත් කාර්මීකරණයේ හා නාගරීකරණයේ එක් නරක අතුරු පලයක් වුනේ චීන අහස වසාගත් කළු මීදුමයි. කළු මීදුම ලෙස මා සිංහලට පරිවර්තනය කරන්නේ smog කියන ඉංග්‍රීසි වචනයයි. මේ වචනය දුම යන තේරුම ඇති smoke යන්න හා මීදුම යන තේරුම ඇති fog යන්න එකතු වී හැදුනු වචනයක්. සිංහලෙන්නම් මීදුම කියන වචනය ඇතුළේම දුම කියන කොටස තිබෙන නිසා smog කියන එකට කළු මීදුම වැනි වචනයක් ගැලපෙනවා.

චීනයේ කළු මීදුමට හේතුව වුනේ ගල් අඟුරු බලාගාර වලින්, රථ වාහන වලින් හා කර්මාන්ත ශාලා වලින් පිටවන දුම් නිසි නියාමනයකින් තොරව වායු ගෝලයට මුදා හැරීමයි. වායු දූෂණය මැනීමේදී යොදා ගන්නා නිර්ණායකයක් වන්නේ PM 2.5 සාන්ද්‍රණයයි. මෙහි PM ලෙස හැඳින්වෙන්නේ අංශු පදාර්ථ (particulate matter) යන්නයි. PM 2.5 ලෙස වර්ග කරන්නේ මයික්‍රෝමීටර 2.5කට වඩා කුඩා, එනම් කෙස් ගහක ගණකමින් 3%කට වඩා අඩු ගණකමක් ඇති අංශු පදාර්ථයි. මීට වඩා තරමක් විශාල අංශු පදාර්ථ PM 10 ලෙස හැඳින්වෙනවා.

වායුගෝලයේ තිබෙන PM 10  අංශු පදාර්ථ පෙනහළු වලට ඇතුළු වී පෙනහළු වල ගැඹුරේ තැන්පත් වෙනවා. ඊටත් වඩා භයානක PM 2.5 අංශු පෙනහළු සිසාරා රුධිරයටම එකතු වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දවසක් ඇතුළත හා වසරක් ඇතුළත සාමාන්‍ය වශයෙන් ආශ්වාස වාතයේ ඝන මීටරයක් තුළ තිබිය යුතු උපරිම PM 10 හා PM 2.5 අංශු පදාර්ථ ප්‍රමාණ පිළිබඳව පහත තිබෙන නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

Fine particulate matter (PM2.5)
10 μg/m3 annual mean
25 μg/m3 24-hour mean

Coarse particulate matter (PM10)
20 μg/m3 annual mean
50 μg/m3 24-hour mean

ඇමරිකාවේ පරිසර ආරක්ෂක ඒජන්සියේ නිර්දේශ මීටත් වඩා දැඩියි.


චීනය දීර්ඝ කාලයක් තිස්සේ මේ නිර්දේශ සත පහකටවත් මායිම් කළේ නැහැ. මේ වෙද්දී ලෝකයේ අපවිත්‍රම වායු ගෝල සහිත නගර තිබෙන්නේ ඉන්දියාවේ වුනත් කාලයක් තිස්සේම ඒ වාර්තාව දැරුවේ චීනයයි. 2013 වසරේදී බෙයිජිං නගරයේ PM 2.5 සාන්ද්‍රණය චීන රජයේ නිල වාර්තා අනුව 400 μg/m3 මට්ටමට දක්වාත්, බෙයිජිංහි ඇමරිකානු තානාපති කාර්යාලයේ දර්ශක අනුව 800 μg/m3 මට්ටමට දක්වාත් ඉහළ ගියා. PM 2.5 සාන්ද්‍රණය 300 μg/m3 මට්ටම ඉක්මවීම සැලකෙන්නේ ඉතාම අන්තරායදායක මට්ටමක් ලෙසයි. වාතය එපමණ දූෂණය වී ඇති විට නිවෙස් වලින් එළියට නොබැස සිටීමටයි නිර්දේශ කෙරෙන්නේ. චීනයේ වායු දූෂණය හේතුවෙන් වසරකට සිදු වන මරණ ගණන මිලියන 1.6ක් බව 2015දී ප්‍රකාශිත අධ්‍යයනයකින් ඇස්තමේන්තු කර තිබුණා.

බෙයිජිං නගරයේදී ජාත්‍යන්තර ඔලිම්පික් තරඟාවලිය පැවැත්වුණු 2008 වසරේදී චීන රජය තාවකාලිකව කර්මාන්ත ශාලා වලින් වායු ගෝලයට අපද්‍රව්‍ය මුදා හැරීම නියාමනය කළා. එහි ප්‍රතිපලයක් ලෙස කළු දුමාරයෙන් වසර ගණනාවක් වැහී තිබුණු බෙයිජිං අහස නිල් පැහැ ගැන්වුනා. ඔලිම්පික් නිල ලෙස හැඳින්වුණු මේ තත්ත්වය නිසා එම වසරේදී චීනයේ මරණ ගණන සැලකිය යුතු ලෙස අඩු වුනා. එහෙත්, ඔලිම්පික් තරඟ අවසන් වීමෙන් පසුව චීන රජය විසින් නැවතත් නියාමන රෙගුලාසි ලිහිල් කළා. චීන අහස නැවතත් කළු මීදුමෙන් වැසී ගියා. ඉන් පසුව, නැවත චීන රජය මේ වැඩේට අත ගැහුවේ පසුගිය වසර කිහිපය ඇතුළතයි.

මේ වන විට කොරෝනා මරණ ගණන 362 දක්වාත්, ආසාදිතයින් ගණන 17,387 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා මරණ වලට එකම හේතුව කොරෝනා වෛරසයද? එසේ නැත්නම්, කාලයක් තිස්සේ චීන නගර වල දූෂිත වාතය ආශ්වාස කර ශ්වසන පද්ධතිය දුර්වල වී සිටි අයට කොරෝනා වෛරසය අන්තිම මාරාන්තික පහර එල්ල කළාද?

කොළඹ අහසත් ඒ තරම්ම පිරිසිදු නැහැ. මේ තියෙන්නේ දැන් මොහොතකට පෙර තත්ත්වය.


(Image: https://www.zdnet.com/article/chinas-smog-hits-new-highs-and-lows/)

Saturday, February 1, 2020

මුහුණු වැසුම් වලින් ගසා කෑම


මුහුණු වැසුම් කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ පාරිභෝගිකයන් බොහෝ දෙනෙකුට අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි. එහෙත්, කොරෝනා භීතිය පැතිරීමත් එක්ක මේ තත්ත්වය වෙනස් වෙලා. මුහුණු වැසුම් ඉල්ලුම ඉහළ යද්දී මිලත් ඉහළ ගොස්, අන්තිමේදී රජය විසින් පාලන මිලක් පැනවීමෙන් පසුව මුහුණු වැසුම් හිඟයක් ඇති වී තිබෙන බව පෙනෙනවා.

ඇමරිකානුවෙකු මුහුණු වැසුමක් භාවිතා කර සිටිනු දැකීම දුලබ දෙයක් නෙමෙයි. කෙනෙක් මුහුණු වැසුමක් භාවිතා කරන්නේ කිඹුහුම්, කෙළ, හොටු, ප්‍රශ්වාස වාතය ආදී ක්‍රමයකින් වෙනත් අයට බෝවිය හැකි රෝගයක් වැළඳුනු විට හෝ එවැනි රෝගයක් තමන්ට ඇති බවට සැකයක් ඇති වූ විටයි. මේ මුහුණු වැස්ම අනෙක් අයට අදාළ පුද්ගලයාට කිට්ටු වී රෝගය බෝ කර නොගැනීමට සංඥාවක්ද ලබා දෙනවා. වරක් භාවිතා කර ඉවතලන මුහුණු වැස්මක් ඇමරිකානු ඩොලර් ශත දහයකට පමණ මිල දී ගන්න බැරිකමක් නැහැ.

මම හිතන්නේ කොරෝනා භීතිය එන්න කලින් මෙවැනි වරක් භාවිතා කර ඉවතලන මුහුණු වැස්මක් ලංකාවේ විකිණෙන්න ඇත්තේ රුපියල් දහයකට හෝ පහළොවකට වෙන්න ඇති. සමහර විට ඊටත් අඩුවෙන් වෙන්න ඇති. එය ඉල්ලුම හා සැපයුම මත තීරණය වුනු මිලක්. මෙවැනි මුහුණු වැස්මක නිෂ්පාදන පිරිවැය එතරම් විශාල නැති නිසා මේ වගේ මුදලකට විකුණා ලාබගන්න නිෂ්පාදකයෙකුට බැරිකමක් නැහැ. ඒ වගේම පාරිභෝගිකයෙකුට මෙවැනි මුහුණු වැස්මක මීට වඩා මහා ලොකු වටිනාකමක් නොතිබුණු නිසා මුහුණු වැස්මක් රුපියල් දෙතුන් සීයකට මිල දී ගන්න කැමති අය එතරම් සිටියා වෙන්න බැහැ.

මේ විදිහට සරලව විස්තර කළත් ලංකාවේ පාරිභෝගිකයෙකු මුහුණු වැස්මක් මිල දී ගන්නේ එහි නිෂ්පාදකයාගෙන් නෙමෙයි. ළඟම තිබෙන ෆාමසිය වැනි අතරමැදියෙකුගෙන්. ෆාමසිය හිමිකරු  මුහුණු වැස්ම විකුණන්නේ එය ඔහුට ලැබෙන මිලටම නෙමෙයි. මුහුණු වැසුම් තොග මිලට මිල දී ගෙන ගබඩා කරගෙන සිටීම සඳහා ඔහුට වියදමක් දරන්න වෙනවා. ඒ වියදම හා වෙනත් වියදම් ඔහු විසින් ආවරණය කරගත යුතුයි. අනවශ්‍ය තොග ගොඩ ගසාගෙන සිටීම තේරුමක් නැති වියදමක්. ඒ නිසා ෆාමසි කරුවෙකු විසින් ගබඩා කර තබා ගන්නේ කිසියම් නිශ්චිත කාලයක් තුළ විකිණී අවසන් වේයැයි අපේක්ෂිත මුහුණු වැසුම් ප්‍රමාණයක් පමණයි.

ලංකාවේ ෆාමසි හිමිකරුවෙකු  මුහුණු වැසුම් මිලදී ගන්නේත් සෘජුවම එහි නිෂ්පාදකයාගෙන් නෙමෙයි. නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර අතරමැදියන් ගණනාවක් සිටිනවා. ලංකාවේ බොහෝ පරිභෝජන භාණ්ඩ වල වගේම මේ මුහුණු වැසුම් වල නිෂ්පාදකයින්ද සිටින්නේ ඉන්දියාවේ හෝ චීනයේ වෙන්න පුළුවන්. එය එසේනම් එයින් අදහස් වෙන්නේ ඉන්දියානුවෙකුට හෝ චීනෙකුට ලාංකිකයෙකුට වඩා කාර්යක්ෂමව මුහුණු වැසුම් නිපදවිය හැකි බවයි. එයට හේතු අපි මෙහි කතා නොකර සිටිමු.

කොරෝනා භීතිය පැතිරීමත් සමඟ ලංකාවේ බොහෝ දෙනෙකුට මුහුණු වැස්මක තිබෙන පෞද්ගලික වටිනාකම එක වර විශාල ලෙස ඉහළ ගියා. ඒ එක්කම ඔවුන් මුහුණු වැස්මක් සඳහා ස්වේච්ඡාවෙන් ගෙවන්න කැමතිව සිටි උපරිම මිලත් විශාල ලෙස ඉහළ ගියා. මෙය ආර්ථික විද්‍යාවේ කියන ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වීමක්.

මේ ආකාරයට මුහුණු වැසුම් සඳහා වන ඉල්ලුම විශාල ලෙස ඉහළ ගියේ දින කිහිපයක් වැනි කෙටි කාලයක් ඇතුළතයි. ඒ තරම් කෙටි කාලයක් ඇතුළත සැපයුම් වක්‍රය වෙනස් වෙන්නේ නැහැ. කෙටිකාලීනව මුහුණු වැසුම් සැපයුම් වක්‍රය තීරණය වන්නේ ෆාමසි වල ගබඩා කරගෙන තිබෙන තොග ප්‍රමාණ මතයි. නමුත්, වැඩි වූ ඉල්ලුම අනුව, වෙනදා මාස හත අටකින් විකිණෙන මුහුණු වැසුම් ප්‍රමාණයක් දවසකින් දෙකකින් විකිණෙන්න පුළුවන්කමක් ඇති වුනා. ඒ තරම් ඉක්මණින් මුහුණු වැසුම් ආනයනය කරන්න බැහැ.

මුහුණු වැසුම් ඉල්ලුම වැඩි වුනේ ලංකාවේ පමණක් නොවෙයි. කොරෝනා නිජ භූමිය වූ චීනයේ මේ සිද්ධියම මීට වඩා ලොකුවට සිදු වුනා. චීනය ඇතුළේ මුහුණු වැසුම් ඉල්ලුම විශාල ලෙස ඉහළ යාමත්, චීනය සමඟ කෙරෙන ජාත්‍යන්තර වෙළඳ කටයුතු සීමා වීමත් නිසා මුහුණු වැසුම් සැපයුම් වක්‍රයටත් බලපෑමක් ඇති වුනා. එය ආර්ථික විද්‍යා භාෂාවෙන් සැපයුම් වක්‍රය වමට විතැන් වීමක්.

සැපයුම් වක්‍රය නොවෙනස්ව තිබියදී ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වීමේ ප්‍රතිඵලය මිල ඉහළ යාමයි. ඉල්ලුම් වක්‍රය නොවෙනස්ව තිබියදී සැපයුම් වක්‍රය වමට විතැන් වීමේ ප්‍රතිඵලයත් මිල ඉහළ යාමයි. ඔය දෙකම එකවර වෙනවා කියන්නේ ඩබල් බෝනස්!

පහුගිය දවස් වල ලංකාවේ ෆාමසි වල මුහුණු වැසුම් මිල ඉහළ ගියේ ඔය මූලධර්මය අනුවයි. නමුත්, මේ වෙලාවේ සිදු වුනේ ෆාමසි කාරයින් විසින් ඉතා අසාධාරණ ලෙස අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන පාරිභෝගිකයින් ගසා කෑමක් කියා කෙනෙකුට කියන්න පුළුවන්. ඒක ඇත්තද?

මගේ එක් වත්පොත් මිතුරෙක් මේ "අමානුෂික වැඩේ" ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවමින් වහාම මුහුණු වැසුම් වලට උපරිම සිල්ලර මිලක් නියම කරන ලෙස ඉල්ලීමක් කර තිබුණා. මේ වෙද්දී ඔහුගේ ඉල්ලීම ඉටු වී තිබෙනවා. දැන් වරක් භාවිතා කර ඉවතලන මුහුණු වැසුමක උපරිම සිල්ලර මිල රුපියල් පහළොවක් පමණයි. නමුත්, ඒ මිලට ගන්න බඩු නැහැ!

මානුෂික වේවා අමානුෂික වේවා, වෛරස් බිය පැතිරෙද්දී මුහුණු ආවරණ වල මිල ඉහළ ගියේ නිදහස් වෙළඳපොළ ක්‍රමය නිසා කියන එක ඇත්ත. භාණ්ඩ හා සේවා මිල රජය විසින් තීරණය කරන විකල්ප ආර්ථික ක්‍රමයක් යටතේ මේ විදිහට මිල ඉහළ යන්නේ නැහැ. මේ විදිහට ආපදා අවස්ථාවකදී වැඩි වැඩියෙන් අවශ්‍ය වන භාණ්ඩයක මිල ඉහළ යන ක්‍රමයක් අමානුෂිකද?

මේ ගැන කතා කරන්න පටන් ගත යුත්තේ බැහැර කළ නොහැකි බිම් යථාර්ථ වල සිටයි. ෆාමසි වල සහ සමස්තයක් ලෙස රට ඇතුළේ කොහේ හෝ තිබෙන මුහුණු වැසුම් ප්‍රමාණය සීමිතයි. කොරෝනා වෛරස් බිය නොවන්නට මේ මුහුණු වැසුම් ප්‍රමාණය මාස හත අටකටවත් ප්‍රමාණවත්. ඒ කාලය ඇතුළත කවුරු හෝ විසින් නැවත තොග ආනයනය කරන නිසා රටේ  මුහුණු වැසුම් හිඟයක් ඇති වීමේ ඉඩක් නැහැ. නමුත්, දැන් හදිසියේම එකවර ඇති වී තිබෙන විශාල ඉල්ලුම රටේ තිබෙන මුහුණු වැසුම් ප්‍රමාණය ඉක්මවන්නක්. ඒ නිසා, මුහුණු වැසුම් අවශ්‍ය සියල්ලන්ටම මුහුණු වැසුම් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. රටේ ආර්ථික ක්‍රමය සමාජවාදී වුවත්, ධනවාදී වුවත් මේ සැබෑ ප්‍රශ්නය එළෙසම තිබෙනවා.

අපි හිතමු රටේ දැනට තිබෙන මුහුණු වැසුම් ප්‍රමාණය ලක්ෂයක් කියා. නමුත්, මුහුණු වැසුම් ඉල්ලුම ලක්ෂ පහක්. මේ ගණන් උදාහරණ පමණයි. පවතින තත්ත්වය යටතේ මුහුණු වැසුම් අවශ්‍ය අයගෙන් සෑම පස් දෙනෙකුගෙන් හතර දෙනෙකුටම මුහුණු වැසුම් ලැබෙන්නේ නැහැ. මුහුණු වැසුම් ලැබෙන්නේ කාටද කියන එක තීරණය වෙන්නේ රටේ සම්පත් බෙදා හැරීමේ ක්‍රමවේදය එහෙමත් නැත්නම් ආර්ථික ක්‍රමය අනුවයි.

මුහුණු වැසුම් ලැබිය යුත්තේ ඒවා වඩාත්ම අවශ්‍ය පිරිසටයි. ඒ පිරිස කවුද? නිදහස් වෙළඳපොළක සමතුලිත මිල කියා කියන්නේ මේ වඩාත්ම අවශ්‍ය පිරිස තෝරා ගන්නා යාන්ත්‍රණයටයි. මුහුණු වැස්මක මිල ටිකින් ටික ඉහළ යන විට මුහුණු වැස්මක් ඒ තරම්ම ලොකුවට අවශ්‍ය නැති අය ටිකින් ටික මේ තරඟයෙන් ඉවත් වෙනවා. අන්තිමට ඉතිරි වෙන්නේ කීයක් ගියත් මුහුණු වැස්මක් මිල දී ගන්න අවශ්‍ය පිරිසයි.

මුහුණු වැස්මක මිල රුපියල් පහළොවක සිට රුපියල් පණහ දක්වා ඉහළ ගිය විට ඒ ගැන මැසිවිලි නගන කෙනෙක් ගැන කියන්න තියෙන්නේ කුමක්ද? ඔහුට හෝ ඇයට මුහුණු වැස්මක් රුපියල් පණහක් වටින්නේ නැහැ. එපමණ මුදලක් ගෙවා මුහුණු වැස්මක් මිල දී ගන්න තරම් අවදානමක් තමන්ට නැති බව ඇය දන්නවා. එහෙත්, රුපියල් පහළොවකට මුහුණු වැස්මක් මිල දී ගත හැකිනම් තිබෙන සුළු අවදානම හමුවේ වුවත් එහි යම් වාසියක් ඇයට තිබෙනවා.

තමා ගැවසෙන ප්‍රදේශයේම කොරෝනා වෛරස් රෝගියෙකු සිටින බව දැනගත් විට, එහෙමත් නැත්නම් යම් අයෙකුට ස්වශන ආබාධයක් ඇති විට මුහුණු වැස්මක අවශ්‍යතාවය වැඩියි. එවැනි අය රුපියල් පණහක් නෙමෙයි සීයක් හෝ ගෙවා මුහුණු වැස්මක් මිල දී ගන්නවා. එවැනි අයට තිබෙන වැඩි අවදානම නිසා මුහුණු වැස්මක වටිනාකම වැඩියි. මුහුණු වැසුම් නිපදවන්න යන වියදම සමාන වුවත්, එහි වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ෆාමසිකරුවන් විසින් දිගින් දිගටම මුහුණු වැසුම් වල මිල ඉහළ දැමීම නිසා කිසියම් මුහුණු වැසුම් ප්‍රමාණයක් නොවිකිණී ෆාමසි වල ඉතිරි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, මුහුණු වැස්මක් අත්‍යාවශ්‍ය අයෙකුට වැඩි මිලක් ගෙවා හෝ මුහුණු වැස්මක් මිල දී ගැනීමේ හැකියාවද අහිමි නොවී ඉතිරි වෙනවා.

මුහුණු වැසුම් වලට උපරිම සිල්ලර මිලක් දැමූ වහාම මේ ස්වභාවික වෙළඳපොළ යාන්ත්‍රනය බිඳ වැටෙනවා. දැන් මුහුණු වැසුම් අයිති කර ගන්නේ ඒවා අවශ්‍යම පිරිස නෙමෙයි. ගන්නන් වාලේ ගන්න අයයි. එහි ප්‍රතිඵලයක් ලෙස මුහුණු වැසුම් අත්‍යවශ්‍යම අයට මුහුණු වැසුම් ලබා ගැනීමේ හැකියාව අහිමි වෙනවා. ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් ඇති වූ විට මිල ඉහළ යාම ඉතාම මානුෂීය වන්නේත්, මිල පාලනය අමානුෂික වන්නේත් ඒ නිසයි.

මිල පාලනයේ තිබෙන එකම අවාසිය මෙපමණක් නෙමෙයි. ඉහළ යන මිල කියා කියන්නේ වෙළඳපොළේ ඉල්ලුම වෙනස් වී ඇති බව සැපයුම්කරුවන්ට දැනුම් දෙන සංඥාවයි. රුපියල් පහළොවකට මුහුණු වැසුම් හදා වෙළඳපොළට දමන්න බොහෝ අය නොපෙළඹෙන්නේ එසේ කර වාසියක් ලැබීම අසීරු නිසයි. මිල රුපියල් පණහක් වූ විට තත්ත්වය වෙනස් වෙනවා. ඒ වගේම, මිල ප්‍රමාණවත් තරම් ඉහළ මට්ටමක තිබුණොත් කෙනෙක් ඉන්දියාවට ගොස් තමන්ගේ ගමන් මළු වල දමාගෙන මුහුණු වැසුම් අරගෙන එන්න පවා පෙළඹෙන්න පුළුවන්. මේ වගේ දේවල් නිසා ඉතා ඉක්මණින් සැපයුම ඉහළ ගොස් නැවත මිල පහළ වැටෙනවා. නමුත්, හදිස්සි වී මිල පාලනය කළ විට මේ යාන්ත්‍රනය ඇණ හිටිනවා.

සැබෑ ප්‍රශ්නය ඉල්ලුමට සරිලන තරම් මුහුණු වැසුම් සැපයුමක් නැතිකම මිස මිල ඉහළ යාම නෙමෙයි. මිය ඉහළ යාම කියා කියන්නේ සැබෑ ප්‍රශ්නය ගැන දැනුම් දෙන පණිවුඩකරු මිස සැබෑ ප්‍රශ්නය නෙමෙයි. පණිවුඩකරුට වෙඩි තිබ්බා කියා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.

කිසියම් මැදිහත්වීමක් කළ යුතු බව රජය විසින් හඳුනාගත්තානම් කළ යුතුව තිබුණේ කෙසේ හෝ මුහුණු වැසුම් සැපයුම වැඩි කිරීමයි. එසේ කළානම්, මිල ඉබේම පහළ වැටෙනවා. එසේ නොකර මිල පාලනය කරන්න යාමෙන් සිදු වන්නේ මුහුණු වැසුම් හිඟය තවත් උග්‍ර වීම පමණයි.

මුහුණු වැසුම් සංස්කෘතිය



සතියකට දෙකකට පෙර මගේ මිතුරියක් තරමක් දේශපාලනික ආකාරයේ ප්‍රශ්නයක් වත්පොත හරහා ඇගේ මිතුරු මිතුරියන්ගෙන් අසා තිබුණා. මම සාමාන්‍යයෙන් දේශපාලනය, ආගම වගේ දේවල් ගැන පෞද්ගලික මිතුරන්, අසල්වැසියන්, ඥාතීන් වැනි අය සමඟ කතා කරන්නේ එසේ කතා නොකරම බැරි වෙලාවල් වලදී පමණයි. පුළුවන්කමක් තිබෙන හැම වෙලාවකම පෞද්ගලික සම්බන්ධතාව පලුදු කර නොගෙන අයින් වෙලා පයින් යන එකයි කරන්නේ. මේ ප්‍රශ්නයටත් මම පිළිතුරු දෙන්න ගියේ නැහැ.

පසුව ඈ වත්පොත් පණිවුඩයකින් මා හා සම්බන්ධ වී හැකිනම් මේ ගැන ප්‍රතිචාරයක් දක්වන මෙන් ඉල්ලා සිටියා. ඇය ලංකාවේ සරසවියක ශාස්ත්‍රාලයීය රැකියාවක නිරතව සිටින කෙනෙක්. ඇතැම් විට වෘත්තීය කරුණු හා අදාළව ඈ මගේ අදහස් විමසනවා.  බොහෝ විට දුරකතනයෙන් හෝ ඊමේල් මගින්. වත්පොත හරහා පොදුවේ අසා තිබෙන ප්‍රශ්නය ගැන මා ඇයට දැනුම් දුන්නේ ඇය මගෙන් අදහස් විමසන්නේ ශාස්ත්‍රාලයීය කටයුත්තක් සඳහානම් පමණක් පිළිතුරක් දිය හැකි වුවත්, තේරුමක් නැති වත්පොත් විවාදයකට පැටලෙන්නට මගේ කැමැත්තක් නැති බවයි.

අවසානයේදී අප දුරකතනයෙන් සම්බන්ධ වුනා. සාකච්ඡාව ටික දුරක් යද්දී ඈ විසින් ලංකාවේ ඉතා සුලබ ගිරවෙකු කූඩුවෙන් එළියට ගනිමින් ධනවාදය හොඳ වුවත් එය අමානුෂික වීමේ ගැටළුව ගැන මතක් කළා. ඇගේ පෞද්ගලික මතය අනුව ධනවාදය අමානුෂික වන්නේ කොහොමද කියන ප්‍රශ්නයට ඇයට දිය හැකි පැහැදිලි පිළිතුරක් තිබුණේ නැහැ. ඈ ඉදිරිපත් කළේ ඉතා පහසුවෙන් නිශේධනය කළ හැකි තර්ක.

ධනවාදය අමානුෂිකයි කියන එක සමාජවාදීන් විසින් ඉතා සැලසුම් සහගතව කාලයක් තිස්සේ ලංකාවේ ඔලු වලට රිංගවා තිබෙන අදහසක්. වැඩිදුර කරුණු නොසොයා අපද කාලයක් මේ කතාව විශ්වාස කළා. නමුත්, ඇත්ත තනිකරම එහි අනිත් පැත්තයි.

ආර්ථික ක්‍රමයක් ලෙස මධ්‍යගත සැලසුම් ක්‍රමය සහ නිදහස් වෙළඳපොළ ක්‍රමය දෙමගක යන්න පටන් ගන්නේ භාණ්ඩයක වටිනාකම කියන සංකල්පය අර්ථ දක්වන තැන සිටයි. දැන් රුසියාවේ සරසවි වල පවා උගන්වන මහා සම්ප්‍රදායේ ආර්ථික විද්‍යාව අනුව භාණ්ඩයකට වටිනාකමක් ලැබෙන්නේ අවසානයේදී එය පරිභෝජනය කරන පාරිභෝගිකයාට ලැබෙන උපයෝගීතාවය මතයි. භාණ්ඩයකට විවිධ පාරිභෝගිකයින් විසින් ලබා දෙන වටිනාකම් අනුව එම භාණ්ඩයට තිබෙන වෙළඳපොළ ඉල්ලුම ඇති වෙනවා.

මාක්ස්වාදය අනුව භාණ්ඩයක වටිනාකම මූලික වශයෙන්ම පදනම් වෙන්නේ එය නිෂ්පාදනය කිරීම සඳහා යොදවනු ලැබූ අමුද්‍රව්‍ය ප්‍රමාණ හා ශ්‍රමය මතයි. භාණ්ඩයක මිල මේ "නිවැරදි" මට්ටම ඉක්මවූ විට මාක්ස්වාදීන් එය නිෂ්පාදකයා හෝ වෙනත් අතරමැදියෙකු විසින් අසාධාරණ ලාබ ලැබීමක් ලෙස දකිනවා. මිල අඩු වුනොත් එය දකින්නේ නිෂ්පාදකයාගේ ශ්‍රමය සූරාකෑමක් ලෙසයි.

ධනවාදී ආර්ථික විද්‍යාවේදීත් භාණ්ඩයක නිෂ්පාදන පිරිවැය නොසලකා හරින්නේ නැහැ. නිදහස් වෙළඳපොළක සැපයුම තීරණය වන්නේ නිෂ්පාදන පිරිවැය මතයි. එහෙත්, නිදහස් වෙළඳපොළක භාණ්ඩයක මිල එහි නිෂ්පාදන පිරිවැයට සමාන විය යුතුම නැහැ. මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වීම මතයි. මේ සමතුලිත මිල සාමාන්‍යයෙන් එහි නිෂ්පාදන පිරිවැයට වඩා වැඩියි.

ධනවාදී ක්‍රමයකදී නිෂ්පාදකයෙකුගේ ලාබ ඉහළ යන්නේ පාරිභෝගිකයා විසින් කිසියම් භාණ්ඩයකට ලබා දෙන වටිනාකම ඉහළ යන තරමටයි. පාරිභෝගිකයා විසින් භාණ්ඩයකට වැඩි වටිනාකමක් දෙන්නේ එය පරිභෝජනය කිරීමෙන් ඔහු හෝ ඇය සතුටු වන තරමටයි. ඒ නිසා, ධනවාදී ක්‍රමයකදී පුද්ගලයෙකු සාර්ථක වන්නේ ඔහුට හෝ ඇයට අනෙකාව සතුටු කළ හැකි තරමටයි. කිසියම් භාණ්ඩයකට පාරිභෝගිකයින්ගේ කැමැත්තක් නැත්නම්, එහි නිෂ්පාදන පිරිවැය කොපමණ වුවත් එවැනි භාණ්ඩයක වටිනාකමක් නැහැ.

සමාජවාදය විසින් මේ ආකාරයට අනෙකාව සතුටු කරන්න පොළඹවන්නේ නැහැ. භාණ්ඩයක් නිෂ්පාදනය කළ වහාම එහි වටිනාකම තීරණය වී හමාරයි. පාරිභෝගිකයා භාණ්ඩයේ වටිනාකම තක්සේරු කරන්නේ යෙදවූ අමුද්‍රව්‍ය වල වටිනාකමට හා ශ්‍රමයට වඩා අඩුවෙන් වුවත් එය මිල දී ගන්න වෙන්නේ නිශ්චිත මිලක් ගෙවීමෙන් පසුවයි. නැත්නම් එය සැලකෙන්නේ ශ්‍රමය සූරාකෑමක් ලෙසයි. සමාජවාදය විසින් පුරුදු කරන්නේ අනෙකාව බය කරලා කොහොම හරි මේ මිල ලබා ගන්නයි.

මේ වෙනස නිසා සමාජවාදය ක්‍රමයක් විදිහට ගත්තොත් පට්ට අමානුෂිකයි. මෙහිදී මිනිස්සුන්ව පොළොඹවන්නේ අනෙකාව කෙසේ හෝ බලය යොදා මැඩ පවත්වා අනෙකාගේ දේ බලහත්කාරයෙන් කඩා ගන්නයි. වැඩ වර්ජන, විරෝධතා ආදියේ සිට ජන ඝාතක විප්ලව දක්වා කෙරෙන්නේ ඕකනේ. නමුත්, ධනවාදය විසින් පුරුදු කරන්නේ අනෙකාව හැකි තරම් සතුටු කරන්නයි. අනෙකා ගැන නොහිතන කෙනෙකුට ධනවාදී ක්‍රමයක් යටතේ සාර්ථක වෙන්න බැහැ.

මිනිස්සු ස්වභාවයෙන්ම ආත්මාර්ථකාමීයි. පරිණාමයේදී ඉතිරි වෙන්නේ ආත්මාර්ථකාමී මිනිස්සු. හැබැයි සියයට සියයක්ම ආත්මාර්ථකාමී මිනිස්සු නෙමෙයි. ආත්මාර්ථකාමයත් එක්ක මිනිස්සුන්ගේ ඇතුළේ ස්වභාවයෙන්ම පරාර්ථකාමයක් හා කණ්ඩායම් හැඟීමකුත් තිබෙනවා. ධනවාදය පදනම් වන්නේ මේ මිශ්‍රණය මතයි. මිනිස්සු තමන් ගැන සිතිය යුතුයි. ඒ අතරම අනෙකා ගැනත් සිතිය යුතුයි. ධනවාදය පවත්වා ගෙන යන්න මිනිස්සුන්ගේ ස්වභාවිකත්වය වෙනස් කරන්න අවශ්‍ය නැහැ.

සමාජවාදී ක්‍රමයකදී මිනිස්සුන්ට අනෙකා ගැන හිතන්න ක්‍රමය විසින් පෙළඹවීමක් කරන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු අමානුෂික වෙනවා. එය වළක්වන්න නිරන්තරයෙන් ප්‍රතිවිරුද්ධ බලයක් යොදවන්න වෙනවා. සමාජවාදීන් හැම වෙලාවෙම මිනිස්සු වෙනස් කිරීම ගැන කතා කරන්නේ ඒකයි. මිනිස්සු මානුෂික කරන්න රජය හෝ පක්ෂය මුල් වී අධ්‍යාපනය හෝ නීති ආදිය හරහා බලපෑමක් කළ යුතුයි. ක්‍රමය නිසාම ඇති වෙන අමානුෂිකත්වය අඩු කරන්න රජය විසින් උත්සාහ කිරීම තමයි පිටතට පෙනෙන සමාජවාදයේ මානුෂිකකම. ධනවාදය ඇතුළේ ඔය වැඩේ ස්වභාවිකවම සිදු වෙන නිසා මිනිස්සු මානුෂික කරන්න පන්ති පවත්වන්න අවශ්‍ය නැහැ.

කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ ලංකාවේ බොහෝ දෙනෙක් මුහුණු වැසුම් පළඳින්න පටන් අරන්. මේ තත්ත්වය මීටත් වඩා වැඩියෙන් චීනයේ දැකිය හැකියි. ඇමරිකාවෙන් දැනට කොරෝනා රෝගීන් හය දෙනෙකු හමු වී තිබෙනවා. එහෙත්, ඇමරිකාවේ මෙවැනි මුහුණු වැසුම් පිස්සුවක් ඇති වී නැහැ. මා හිතන්නේ වෙනත් බටහිර රටවලත් නැහැ.

සාමාන්‍ය දවසක ලංකාවේ මෙවැනි මුහුණු වැසුමක් පළඳා සිටින අයෙකු දැකීම ඉතා දුලබ දසුනක්. නමුත්, ඇමරිකාවේ එහෙම නැහැ. කාර්යාල, සරසවි දේශන ශාලා, පොදු ස්ථාන ආදියේ බොහෝ විට මුහුණු වැසුම් පැළඳි අය දැකිය හැකියි. මේ විදිහට මුහුණු වැසුමක් පළඳින්නේ කිසියම් වෛරස් ආසාදනයකට ලක් වූ අයයි. සෙම්ප්‍රතිශ්‍යාවක් වැළඳුණු, කිඹුහුම් යන, කැස්ස තිබෙන අයෙක් බොහෝ විට මුහුණු වැසුමක් පළඳිනවා. රැස්වීමක් වගේ අවස්ථාවකදී අනෙක් අයට තමන් කිට්ටුවට නොඑන මෙන් අවවාද කරනවා. ඇතැම් විට ලොකු අමාරුවක් නැතත් නිවාඩුවක් දමා ගෙදර නවතිනවා. මේ සියල්ල කරන්නේ තමන් නිසා වෙනත් අයෙකුට රෝගය බෝවීම වළක්වන්නයි. එසේ සිදු වීමේ ඉඩකඩ ගැන බොහෝ දෙනෙකුට තිබෙන්නේ වරදකාරී හැඟීමක්.

ලංකාවේ මගේ අත්දැකීම මෙහි අනිත් පැත්තයි. සෙම්ප්‍රතිශ්‍යාවක් වැළඳුණු, කිඹුහුම් යන, කැස්ස තිබෙන අයෙක් ලෙඩ නිවාඩු දමා ගෙදර නවතින්න්නේ වැඩට යන්න බැරි තරමටම උණ ගත්තොත් පමණයි. ඒ නිවාඩු නැති කමට නෙමෙයි. තිබෙන ලෙඩ නිවාඩු ටික ඉතුරු කර ගන්නේ මළ ගෙවල්, මගුල් ගෙවල්, විනෝද චාරිකා ආදිය වෙනුවෙනුයි. ලෙඩ තියාගෙන කාර්යාල, පොදු ප්‍රවාහන සේවා, පාසැල් ආදී තැන් වල සිටින අය තමන්ගේ සිරුරේ තිබෙන වෛරස් බාහිර පරිසරයට මුදා හරින්නේ කිසිදු වරදකාරී හැඟීමක් නැතිවයි. තමන්ට කොහොමටත් ලෙඩේ හැදිලා නිසා දැන් පරිස්සම් වෙලා මොකටද?

චීනයේ මුහුණු වැසුම් සංස්කෘතිය ඇමරිකානුවන්ට පුදුමයක්. චීනයේ මුහුණු වැසුම් පළඳින්නේ වෛරසය වැළඳී නැති අයයි. ඒ අනෙක් අයගෙන් පරිස්සම් වෙන්න. එහෙත්, ඇමරිකාවේ මුහුණු වැසුම් පළඳින්නේ වෛරස් රෝගයක් වැළඳුනු හෝ එවැනි සැකයක් තිබෙන අයයි. ඒ අනෙක් අයට තමාගෙන් රෝගය වැළඳෙන එක වළක්වන්න. ඇමරිකානු මාධ්‍ය මෙය දකින්නේ බටහිර සංස්කෘතියේ සහ ආසියානු සංස්කෘතියේ වෙනසක් ලෙසයි. මම හිතන්නේ කාලයක් තිස්සේ වෙනස් ආර්ථික ක්‍රම යටතේ ජීවත් වීමත් මෙයට හේතුවක් වෙන්න ඇති.

Thursday, January 30, 2020

කොරෝනා භීෂණය


මේ වන විට නව කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රමාණය 7,815 දක්වාත්, ආශ්‍රිත මරණ ගණන 170 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. අසල්වැසි ඉන්දියාවෙන් සහ පිලිපීනයෙන්ද නව කොරෝනා රෝගීන් හමු වීමත් සමඟ මේ වන විට චීනයෙන් පිටත රටවල් හා ප්‍රදේශ 20ක් කරා වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා. නව කොරෝනා වෛරසය ආසාදනය වූ අයගෙන් මිය ගොස් තිබෙන්නේ 2.2% ක් පමණයි.

මීට පෙර, 2002-2003 වසර වලදී ව්‍යාප්ත වූ සාර්ස් කොරෝනා වෛරසය රටවල් 29ක පැතිරී 8,098 දෙනෙකු ආසාදනය වුනා. ඔවුන්ගෙන් 774 දෙනෙකු මිය ගියා. ඒ අනුව, සාර්ස් මරණ අනුපාතය 9.6%ක් වුනා. ඉන් පසුව, 2013-2015 කාලයේ පැතිරුණු මර්ස් කොරෝනා වෛරසය රටවල් 26ක 1227 දෙනෙකුට වැළඳී ඔවුන්ගෙන් 449 දෙනෙකු මිය ගියා. එය 37%ක මරණ අනුපාතයක්.

කොරෝනා වෛරස් වර්ග නිසා ඇති වන අතුරු ආබාධ වලට ප්‍රතිකාර කරනු මිස වෛරසය මැඩලිය හැකි ඖෂධ නැහැ. එහෙත්, මිනිස් සිරුරේ ඇති වන ස්වභාවික ප්‍රතිශක්තියෙන් බොහෝ දෙනෙකුට වෛරසය මැඩ පැවැත්විය හැකියි. වයස්ගත හා වෙනත් රෝගී තත්ත්වයන් ඇති අය හැර සාමාන්‍යයෙන් නිරෝගී බොහෝ දෙනෙකුට නව කොරෝනා වෛරසය මැඩ පවත්වා ගැනීමට හැකි වී තිබෙනවා. සාර්ස් හා මර්ස් කොරෝනා වෛරස වලට සාපේක්ෂව නව කොරෝනා වෛරසය වැළඳුනු අයෙකු මිය යාමේ ඉඩකඩ කිහිප ගුණයකින් අඩුයි.

කෙසේ වුවත්, මරණ අනුපාතිකය අඩු මට්ටමක තිබීම නිසා නව කොරෝනා වෛරසය සාර්ස් හා මර්ස් කොරෝනා වෛරස වලට වඩා අඩුවෙන් භයානක බව කියන්න බැහැ. මෙය භයානක වන්නේ මරණ අනුපාතිකය නිසා නෙමෙයි. වෛරසය ව්‍යාප්ත වන වේගය නිසයි. සාර්ස් වෛරසය 8,098 දෙනෙකුට ආසාදනය වුනේ මාස අටක පමණ කාලයක් තුළයි. මරණ අනුපාතය වැඩි වුවත්, මරණ ගණනින් හා ආසාදිතයින් ප්‍රමාණය අනුව සාර්ස් වෛරසය තරම් බලපෑමක් නොකළ, මර්ස් වෛරසය පැතිරුනේත් මාස ගණනාවක කාලයක් තුළයි. නමුත්, නව කොරෝනා ආසාදිතයින් ගණන 7,815 දක්වා ඉහළ ගොස් තිබෙන්නේ සති හයක පමණ කාලයක් ඇතුළතයි.


මේ වන විට හඳුනාගෙන ඇති මුළු නව කොරෝනා ආසාදිතයින් ගණන ලොව පුරා සිටි සාර්ස් ආසාදිතයින් ගණනට ආසන්නයි. චීනයේනම් සාර්ස් ආසාදනය වූ ගණනට වඩා නව කොරෝනා ආසාදිතයින් ගණන දැනටමත් ඉක්මවා අවසන්. නව කොරෝනා වෛරසයේ මෙන්ම සාර්ස් වලද ආරම්භක රට වූ චීනයෙන් හඳුනාගත් මුළු සාර්ස් ආසාදිතයින් ගණන 5327ක් පමණයි.

සංසන්දනාත්මකව, 774ක් වූ සාර්ස් මරණ ප්‍රමාණයට සාපේක්ෂව 170 මට්ටමේ දැනට තිබෙන නව කොරෝනා මරණ ප්‍රමාණය අඩුයි. එහෙත්, නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වන්නේ මීට පෙර සාර්ස් හා මර්ස් කොරෝනා වෛරස ව්‍යාප්ත වූවාට වඩා බොහෝ වේගයෙන්. නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම කෙසේ හෝ පාලනය කර නොගත්තොත් මේ රෝගය ආශ්‍රිත මරණ අනුපාතය පහළ මට්ටමක තිබුණත්, මරණ ප්‍රමාණය වැඩි වීමේ අවදානමක් තිබෙනවා.

රෝගයේ ස්වභාවය අනුව චීනය විසින් කරන්නේ කළ යුතු හොඳම දෙයයි. රටක විශාල කොටසක් හුදෙකලා කිරීම චීනය වැනි රටකට මිස ඇමරිකාව වැනි රටකට ලේසියකින් කළ නොහැකි දෙයක්.

යාවත්කාලීන කිරීම:

මේ වන විට, නව කොරෝනා වෛරස ආසාදිතයින් ගණන 9,692 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මරණ ප්‍රමාණයද 213 දක්වා ඉහළ ගිහින්. එක් සතියක් ඇතුළත නව කොරෝනා වෛරස් ආසාදිතයින් ගණන දස ගුණයකින් වැඩි වීම ඇතුළු තවත් කරුණු සලකා බලමින් මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජාත්‍යන්තර සැලකිල්ලට බඳුන් විය යුතු මහජන සෞඛ්‍යය පිළිබඳ හදිසි ආපදා තත්ත්වයක් (Public Health Emergency of International Concern) ප්‍රකාශයට පත් කර තිබෙනවා. 


Wednesday, January 29, 2020

උඹේ කටෙත් පස් මගේ කටෙත් පස්

කාලයකට ඉස්සර උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් කියා කිවූ බව පැවසෙන්නේ අන්දරේ විසින් ඔහුගේ පුතාටයි. අන්දරේ කියන්නේ ඒ වෙද්දී රජවාසල කවටයා.

අන්දරේ කාටත් ඇහෙන්න උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් කියා කිවුවත් අන්දරේගේ හෝ පුතාගේ කටේ පස් තිබුණේ නැහැ. පස් කන බව කෑ ගසා කියමින් ඔවුන් කළේ හිතේ හැටියට රජවාසල සීනි කන එකයි. වෙනත් විදිහකින් කිවුවොත් පොදු දේපොළ අපහරණය කරමින් වංචාවක් කිරීමයි. ඒ දවස් වල වෝහාරික විගණන තිබුණේ නැති නිසා රජවාසල කවටයින් පවුල් පිටින් සීනි කෑමෙන් සිදු වූ අලාභය ගැන ගණන් මිමි නැහැ.

අන්දරේට පොදු දේපොළ අපහරණය කරන්න අවස්ථාව ලැබුණේ රජා විසින් තොරතුරු වසන් කරමින් බොරුවක් කියූ නිසයි. අන්දරේ විසින් රජවාසල මිදුලේ වේලෙන්න වනා තිබුණු සීනි පෙන්වා රජාගෙන් ඒ මොනවාදැයි ඇසූ විට රජා ඇත්ත නොකියා බොරුවක් කිවුවා.

සීනි වල කැලරි අගය ඉහළයි. ඒ වගේම සීනි කන්න කවුරුත් වගේ ආසයි. නමුත්, අන්දරේලාට හා දරුවන්ට රජාට හා දරුවන්ට මෙන් හිතේ හැටියට සීනි කන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා, එවැනි අවස්ථාවක් ලැබුණොත් අතාරින්නේත් නැහැ. රජා ඕක දන්නවා. තොරතුරු වසන් කරමින් පැදුරේ තියෙන්නේ වැලි කියා අන්දරේට කියන්නේ ඒකයි.

ඕනෑනම් පැදුරේ තිබෙන්නේ සීනි කියා කියන්න පුළුවන්කම රජාට තිබුණා. ඒ වගේම, ඒ සීනි රාජ්‍ය දේපොළක් බවත් කියන්න තිබුණා. නමුත්, රජා එහෙම කිවුවේ නැහැ. ඒකටත් හේතු තිබෙනවා.

රාජ්‍ය දේපොළ කියන්නේ පොදු දේපොළ. ඒ බව රජා දන්නවා. ඒ එක්කම මේ පොදු දේපොළ භුක්ති විඳින්නේ තමන්, පවුලේ අය සහ වටේ ඉන්න ටික දෙනෙක් පමණක් බවත් දන්නවා. ඒ කුඩා කණ්ඩායම ඇතුළට රජවාසල කවටයින්ව ඇතුළු කර ගන්න රජාට අවශ්‍ය නැහැ. රජා බොරු කියන්නේ ඒ නිසයි.

රජා බොරු කිවුවත් රජවාසල කවටයින්ව අන්දන්න අමාරුයි. රජාවත් අන්දලා රජවාසල සීනි කන හැටි ඔවුන් දන්නවා. තනියම නෙමෙයි පවුල් පිටින්.

අන්දරේ රජවාසල සීනි කන්නේ ලස්සනට රජාගේ කට වහලා. පැදුරු වල තියෙන්නේ සීනි නෙමෙයි වැලි කියලා කිවුවේ රජා විසින්මයි. ඒ නිසා දැන් රජාට රාජ්‍ය දේපොළ අපහරණය කළා කියා අන්දරේට දඩුවම් දෙන්න බැහැ.

රජවාසල කවටයෝ වැලි කිය කිය සීනි කනවා. ඒ අතරේ රටේ මිනිස්සු කන්න දෙයක් නැතුව ඇත්තටම පස් කනවා. පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මොරදෙණිය ග්‍රාම නිලධාරි වසමේ, ඉතා දිළිඳු පවුලක දරුවකු තම නිවසේ බිත්තිවල ඇති මැටි  ආහාරයට ගන්නා පුවතක් අද එක්තරා වෙබ් අඩවියක වාර්තා වී තිබුණා.

මා වෛද්‍යවරයෙකුගේ කාර්යය කරන්න යන්නේ නැහැ. එහෙත්, මේ වාර්තාවේ තිබෙන විස්තරය අනුව මෙය පයිකා (pica eating disorder) කියන රෝගී තත්ත්වය වෙන්න පුළුවන්. මෙය සැලකෙන්නේ මානසික රෝගී තත්ත්වයක් ලෙසයි. එහෙත්, මන්දපෝෂණය හා ඛණිජ ලවණ ඌණතා ඇතුළු වෙනත් පෝෂණ ඌණතා සමඟ මේ රෝගී තත්ත්වයේ විශාල සහසම්බන්ධයක් තිබෙනවා. හැම විටම දරුවෙකු පස් කන්නේ පෝෂණ ඌණතා නිසා නොවුණත්, දිගින් දිගටම පස් කන දරුවෙකු පෝෂණ ඌණතා වලින් පෙළෙන්නෙකු වීමේ සම්භාවිතාව ඉතා වැඩියි. වාර්තාවේ තිබෙන අනෙකුත් තොරතුරු අනුව මේ දරුවා පෝෂණ ඌණතාවයකින් පෙළෙන දරුවෙකු බව පැහැදිලියි.

ලංකාව ඉහළ සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වයක් ඇති බවට උදම් අනන රටක්. ඒ වගේම, මෑතකදී ඉහළ මැදි ආදායම් කාණ්ඩයට ඇතුළත් වූ රටක්. මේ සියල්ලටම වඩා කාලයක් තිස්සේ විශාල සුබසාධන ආර්ථිකයක් පවත්වාගෙන යන රටක්. එවැනි රටක දරුවන්ට පස් කන්න යොමු වෙන තරමේ ආහාර සුරක්ෂිතතා ප්‍රශ්නයක් තිබීමෙන් පෙනෙන්නේ මේ සුබසාධන ආකෘතිය අසමත් එකක් බවයි.

අප මේ කරුණ කියන්නේ ඉහත තනි උදාහරණය දෙස බලමින් නෙමෙයි. 2016 ශ්‍රී ලංකා ජනවිකාශ හා සෞඛ්‍ය සමීක්ෂණ ප්‍රතිඵල අනුව ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 17%ක් වයසට අවශ්‍ය තරමට වඩා මිටියි. එම දරුවන්ගෙන් 15%කට උසට ගැලපෙන බර නැහැ. අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 21%ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. වඩාත්ම කණගාටුවට කරුණ 2006-2016 අතර වසර දහයක් තුළ මේ තත්ත්වයේ පැහැදිලිව පෙනෙන වෙනසක් සිදු වී නොතිබීමයි.


වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...